2 පේදුරු

2 පේදුරු

– 1 වන පරිච්ඡේදය –

ආචාරය

1 මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු ද ප්‍රේරිතවරයෙකු ද වන සීමොන් පේදුරුගෙනි. මෙය ලියා එවන්නේ, අපගේ දෙවියන් වහන්සේ ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මිෂ්ඨකමින් අප මෙන් ම අනර්ඝ ඇදහිල්ලක් ලැබූ ඔබ වෙතට ය.
2 දෙවියන් වහන්සේ ද අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ ද දැනගැන්මෙන්, කරුණාවත් සාමදානයත් බහුල ලෙස ඔබට ලැබේ වා!

දේව කැඳවීම හා තෝරාගනු ලැබීම

3 උන් වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා භක්තිවන්තකමට අදාළ වන සියලු දේ අපට දී ඇත. එසේ දී ඇත්තේ තමන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට පංගුකාරයන් වීමට අප කැඳවාගත් තැනැන් වහන්සේ දැනගැනීම කරණකොටගෙන ය. 4 මෙලෙස උන් වහන්සේ ඉතා අගනා, අතිඋතුම් පොරොන්දු අපට දානය කර ඇත. එසේ කෙළේ තෘෂ්ණාව නිසා ලෝකයෙහි ඇති දූෂ්‍යකමින් ඔබ ගැළවී ඒ පොරොන්දු මඟින් දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිස ය. 5 එබැවින් ඔබේ මුළු වීර්යයෙන් ඇදහිල්ලට යහපත්කම ද යහපත්කමට දැනගැන්ම ද, 6 දැනගැන්මට ආත්ම දමනය ද, ආත්ම දමනයට ඉවසිල්ල ද ඉවසිල්ලට දේව භක්තිය ද 7 දේව භක්තියට සහෝදර ස්නේහය ද, සහෝදර ස්නේහයට ප්‍රේමය ද එකතු කරන්න. 8 මේ ගුණ දහම් ඔබ තුළ වර්ධනය වෙමින් පවතී නම්, ඒවා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැන ගැනීමෙහි ලා, අලස වීමට වත්, නිෂ්ඵල වීමට වත්, ඔබට ඉඩ නොදෙයි. 9 මේ ගුණ දහම් නැති තැනැත්තේ අදූරදර්ශී අන්ධ කෙනෙ‍කි. ඔහු, තමා අතීතයේ කළ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව අමතක කර ඇත.
10 එබැවින් සහෝදරවරුනි, ඔබගේ කැඳවීම ද තෝරාගනු ලැබීම ද තහවුරු කරන පිණිස වඩාත් උද්‍යෝගී ව ක්‍රියා කරන්න. මෙසේ කළොත් ඔබ කිසි කලෙක ඇදහිල්ල අත්හරින්නේ නැත. 11 මෙසේ අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සදාතන රාජ්‍යයට පිවිසීමේ අයිතිය සම්පූර්ණයෙන් ම ඔබට සහතික කරනු ලැබේ.
12 එබැවින් ඔබ මේ දේවල් දැනටමත් දැන, ඔබ ලබා ඇති මේ සත්‍යයෙහි ස්ථිර ව පවතින නමුත්, නැවත නැවත ඒවා ඔබට සිහි කරවීමට මම අදහස් කරමි. 13 මා ජීවත් ව සිටින තුරු, මේ දේවල් ඔබට සිහිගැන්වීම මාගේ යුතුකම යයි මම සිතමි. 14 මන්ද, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වටහා දුන් ලෙස, නොබෝ කලකින් කූඩාරමක් වැනි මේ ශරීරය හැරපියා යන බව මම දනිමි. 15 එබැවින් මාගේ ඇවෑමෙන් පසු ඔබට මේ දේවල් හැම කල්හි ම සිහි කරගැන්මට පිළිවන් වන පිණිස මට හැකි හැම දේ ම මම කරමි.

ක්‍රිස්තුන් වහන්සේගේ මහිමය හා දිවැස් වැකිය

16 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ බලයත් තේජාන්විත ආගමනයත් ගැන අප ඔබට දැන්වූ කල, අප එසේ කෙළේ හිතා මතා ගෙතූ ප්‍රබන්ධ අනුව නොව, උන් වහන්සේගේ මහිමශ්‍රීය අපගේ ම ඇස්වලින් දුටු අය ලෙසිනි. 17 ”මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝ ය; මොහු කෙරෙහි මම ප්‍රසන්න ව සිටිමි” කියන හඬක් උත්කෘෂ්ට තේජසින් උන් වහන්සේ කරා පහළ වූ කල්හි දෙවි පියාණන් වහන්සේගේ ගෞරවයත් මහිමයත් උන් වහන්සේ ලැබූ සේක. 18 උන් වහන්සේ සමඟ ශුද්ධ කන්ද මත සිටිය දී මේ හඬ ස්වර්ගයෙන් නික්ම එනු අපි අපේ ම කන්වලින් ඇසීමු.
19 ඒ නිසා දිවැසිවරුන් ප්‍රකාශ කළ පණිවුඩය වඩාත් ස්ථිර ලෙස අප සතු ව ඇත. ඔබේ අවධානය ඊට යොමු කිරීම යෙහෙකි. මන්ද, එය අලුයම පැමිණ, පහන් තරුව ඔබගේ සිත්හි උදා වන තුරු, අඳුරු තැනක බබළන පහනක් මෙනි. 20 එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි එන දිවැස් වැකියක් කිසිවෙකුට තමා විසින් ම විසඳාගැනීම නොහැකි බව පළමුකොට ඔබ දැනගත යුතු ය. 21 මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ.

– 2 වන පරිච්ඡේදය –

ව්‍යාජ ගුරුවරු

1 පෙර කාලයේ ජනතාව අතර බොරු දිවැසිවරුන් පහළ වූවාක් මෙන් ඔබ අතර බොරු ගුරුවරුන් පහළ වනු ඇත. ඔව්හු විනාශකාරී අසත්‍ය ධර්ම උපදවමින්, තමන් මිදූ සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට හදිසි විනාශය පමුණුවාගන්නො‍් ය. 2 බොහෝ දෙනෙක් ඔවුන්ගේ දුරාචාරය අනුගමනය කරන්නෝ ය. ඔවුන් නිසා සත්‍ය මාර්ගය අපකීර්තියට පැමිණෙනු ඇත. 3 ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.
4 පව් කළ දේව දූතයන්ට දෙවියන් වහන්සේ දඬුවම් දීමෙන් නොවැළකී, ඔවුන්ගේ විනිශ්චය සඳහා ඔවුන් වෙන් කර තැබීමට නිරයෙහි හෙළා, අන්ධකාර ගුහාවලට භාර දුන් සේක. 5 උන් වහන්සේ පුරාණ ලෝකයට අනුකම්පා නොකොට අභක්තිකයන්ගෙන් පිරුණු ලෝකය පිට ජලගැල්මක් පැමිණවූ නමුත්, ධර්මිෂ්ඨකම දේශනා කළ නෝවා සහ තවත් සත් දෙනෙකු පමණක් ආරක්ෂා කළ සේක. 6 තවද උන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර විනාශයට තීන්දු කරමින් ගිනිබත් කොට අනාගතයේ දී අභක්තිකයන් ලෙස හැසිරෙන්නන්ට අනතුරු හැඟවීමක් කළ සේක. 7 එහෙත් උන් වහන්සේ අභක්තික මනුෂ්‍යයන්ගේ අනාචාර හැසිරීම ගැන සංවේගයට පත් වූ දැහැමි මිනිසෙකු වන ලොත් ගළවාගත් සේක. 8 ඒ යහපත් මනුෂ්‍යයා ඔවුන් මැද ජීවත් වූ අතර, දිනපතා එහි සිදු වූ දේවල් දැකීමෙන් ද ඇසීමෙන් ද ඔවුන්ගේ අසභ්‍ය ජීවිතය නිසා ඔහුගේ යහපත් සිත දැඩි දුකින් පෙළුණේ ය. 9 මෙයින් පෙනෙන්නේ, සමිඳාණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය. 10 විශේෂයෙන් ශාරීරික ලෙස අපිරිසිදුකමේ තෘෂ්ණාව අනුව හැසිරෙන්නන්ට ද ආධිපත්‍යයට අපහාස කරන්නන්ට ද උන් වහන්සේ එසේ කරන සේක.
සාහසික අහංකාරී මොවුහු, ස්වර්ගයේ උත්තමයන්ට නින්දා කිරීමට බිය නොවෙති. 11 පරාක්‍රමයෙන් හා බලයෙන් ඔවුන්ට වඩා උතුම් දේව දූතයෝ වුව ද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ස්වර්ගයේ උත්තමයන්ට නින්දා සහගත චෝදනාවක් නොකරති. 12 එහෙත් අල්ලාගෙන විනාශ කරනු ලැබීමට උපන් නුවණ නැති තිරිසනුන් වැනි මොවුහු, තමන් නොදන්නා දෙයට අපහාස කරති. ඔව්හු වන මෘගයන් මෙන් විනාශ කරනු ලබති. 13 ඔවුන් ඇති කළ දුකෙහි විපාකය ඔව්හු ම විඳිති. දිවා කාලයෙහි කම් සැප සේවනය ඔවුන්ගේ ප්‍රීතිය වේ. ඔව්හු ඔබගේ සමාගමට කැළලක් හා පලුද්දක් වෙති. ඔවුන් ඔබ සමඟ මංගල භෝජන වළඳන විට ඔව්හු ඔබ රවටා ප්‍රීති වෙති. 14 ඔවුන්ගේ ඇස් කාමුක බැල්මෙන් පිරී ඇත. ඔවුන්ගේ පාපාශාවන්ට තෘප්තියක් නැත. ඔව්හු වැනෙන සුලු පුද්ගලයන් වරදට පොළඹවන්නෝ ය. ඔව්හු තණ්හාවට ඇබ්බැහි වූ සිත් ඇත්තෝ ය. සාප ලත් දරුවෝ ය. 15 ඔව්හු හරිමඟ හැර දමා මුළා වූ හ. මුදලට තණ්හාවෙන් අයුතුකම් කිරීමට කැමැති වූ බෙයෝර්ගේ පුත් බාලාම් දිවැසිවරයාගේ මාර්ගයේ ඔව්හු ගියහ. 16 එහෙත් බාලාම් තමා කළ අපරාධය ගැන තරවටු ලැබී ය. ගොළු කොටළුවෙක් මිනිස් හඬින් කතා කොට ඒ දිවැසිවරයාගේ ඔල්මාදය වැළැක්විය.
17 ඔව්හු දිය සිඳුණු උල්පත් වැනි ය. සැඬ සුළඟින් ගසාගෙන යන මීදුම් පටල වැනි ය. ඔවුන්ට ඝනාන්ධකාරයෙහි ස්ථානයක් වෙන් කර ඇත. 18 ඔව්හු අහංකාර නිෂ්ඵල වචන දොඩමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවී යන අය, කාම තෘෂ්ණාවෙන් පොළඹවා ගනිති. 19 තමන් ම දූෂ්‍යකමට වහල් ව සිටින ඔව්හු, අන්‍යයන්ට නිදහස දීමට පොරොන්දු වෙති. මන්ද, යමකට වසඟ වන තැනැත්තා, එයට වහලෙක් වෙයි. 20 අප ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැනගැනීමෙන්, ලෝකයේ දූෂණවලින් මිදුණායින් පසු, ඔවුන් යළිත් ඒවාට පටලැවී වසඟ වුණොත්, ඔවුන්ගේ දැන් තත්ත්වය පළමු තත්ත්වයට වඩා භයානක ය. 21 ඔවුන් දැහැමි මඟ දැනගත්තායින් පසු ඔවුන්ට භාර දුන් ශුද්ධ වූ ව්‍යවස්ථාවට පිටුපා යාමට වඩා, ඒ මාර්ගය ඔවුන් නොදැන සිටියා නම් වඩා හොඳ ය. 22 ”බල්ලා උගේ ම වමනයට හැරී එයි; සේදූ පසුත් ඊරි මඬ වගුරෙහි පෙරළෙයි” යන මේ ප්‍රස්තා පිරුළ ඔවුන් ගැන සැබෑ ය.

– 3 වන පරිච්ඡේදය –

පුනරාගමනය

1 ප්‍රේමවන්තයෙනි, දැන් මෙය මා ඔබ වෙත ලියා එවන දෙ වන හසුන ය. මාගේ මේ හසුන් දෙකින් ම ඔබට යම් යම් දේ සිහිගන්වා, ඔබ තුළ සිත් පිබිදවීමක් ඇති කිරීමට උත්සාහ කළෙමි. 2 ශුද්ධ දිවැසිවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන ද, ඔබගේ ප්‍රේරිතයන් විසින් ඔබට දෙන ලද ගැළවුම්කාර සමිඳාණන් වහන්සේගේ ආඥා ද සිහියට ගන්න. 3 මෙය පළමුකොට දැනගන්න; අන්තිම දවස්වල දී තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන, ඔබට සරදම් කරන ගරහන්නන් පැමිණ මෙසේ කියනු ඇත. 4 ”උන් වහන්සේගේ ආගමනය පිළිබඳ පොරොන්දුවට කිමෙක් වී ද? පියවරුන් මළ පසු සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට තිබුණු ලෙස ම තවමත් පවතිනවා නොවේ ද?” 5 මෙසේ කීමෙන් ඔව්හු ඕනෑකමින් ම මේ දේවල් අමතක කරති. එනම්, දේව වචනය කරණකොටගෙන, පුරාණයේ පටන් අහසක් ද, වතුරට යා වූ, වතුර මධ්‍යයෙහි වූ පොළවක් ද තිබුණ බවත්, 6 එම වචනය කරණකොටගෙන එකල පැවති ලෝකය ජල ගැල්මෙන් විනාශ වූ බවත් අමතක කරති. 7 දැන් පවතින අහස හා පොළොව, එම වචනයෙන් ම, විනිශ්චයේ හා අභක්තිකයන්ගේ විනාශයේ දවස දක්වා, ගිනිබත් කිරීම පිණිස ඉතිරි කොට තබා ඇති බව ද ඔව්හු අමතක කරති.
8 එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න. 9 පමා වී ඇතැ යි සමහරුන් සිතන නමුත්, සමිඳාණන් වහන්සේ සිය පොරොන්දු ඉටු කිරීමට පමා වී නැත. එහෙත්, කිසිවෙකු විනාශ වීම උන් වහන්සේගේ කැමැත්ත නොවන බැවින්, සියල්ලනට පසුතැවී සිත් හරවා ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනු පිණිස උන් වහන්සේ ඔබ ගැන බොහෝ කල් ඉවසන සේක.
10 එහෙත් සමිඳාණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි. ඒ දවසේ දී අහස ගිගුරුම් හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය. 11 මේ මුළු විශ්වය මේ අයුරින් විනාශ වී යන බැවින්, ඔබ කොයි ආකාර අය විය යුතු ද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතු ය. 12 දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිට, එය ඉක්මන් කිරීමට උත්සාහ කරන්න. ඒ දවසේ දී අහස ගිනිගෙන විනාශ වනු ඇත. මහා භූතයන් දැවී උණු වී යනු ඇත. 13 එහෙත් ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ නව අහසක් ද නව පොළොවක් ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත. අපි එය බලාපොරොත්තුවෙන් සිටිමු.
14 එබැවින්, ප්‍රේමවන්තයෙනි, ඔබ මේ දේවල් බලාපොරොත්තුවෙන් සිටින අතර, උන් වහන්සේ ඉදිරියෙහි නොකැළැල් ව, නිදොස් ව සිටින්නට දැඩි උත්සාහයක් ගෙන, උන් වහන්සේ සමඟ සාමදානයෙන් සිටින්න. 15 අපගේ සමිඳාණන් වහන්සේ බොහෝ කල් ඉවසන්නේ ඔබට ගැළවීමට අවස්ථාවක් දෙන පිණිස බව සිහි කරන්න. අපගේ ප්‍රේමවන්ත සහෝදර පාවුලු, තමා ලත් ප්‍රඥාව අනුව ඔබට ලියා එව්වේත් මේ දේ ම ය. 16 තවද, මේ කාරණා ගැන ලියන විට, ඔහු තමාගේ හසුන්වල කියන්නේත් මේ දේ ම ය. ඒවායේ තේරුම්ගැනීමට දුෂ්කර සමහර දේ ඇත. නූගත් අස්ථීර අය ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස්වල මෙන් මේවායේත් අර්ථය නොපිට පෙරළාගනිති. එයින් ඔවුන්ගේ විනාශය සිදු වේ.
17 එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබට මේ දේවල් කල්තියා ම දන්වා ඇත. ඒ නිසා ප්‍රතිපත්ති රහිත අයගේ දුර්මතවලින් මුළා නොවී, ඔබගේ ස්ථීර භාවයෙන් නොවැටෙන්නට බලාගන්න. 18 අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s