2 තිමෝති
– 1 වන පරිච්ඡේදය –
ආචාරය
1 මේ හසුන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඉටු වී ඇති ජීවනයේ පොරොන්දුව ලෙස, දෙවියන් වහන්සේගේ කැමැත්ත හේතුකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ප්‍රේමවන්ත දරුවා වන තිමෝතියස් වෙතට ය.
2 දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද වරප්‍රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!
සුබ අස්න කෙරෙහි විශ්වාසය
3 මම දිවා රෑ දෙක්හි ම නිතර මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින්, මාගේ මුතුන්මිත්තන් කළාක් මෙන් පිරිසිදු හෘදය සාක්ෂියකින් මා සේවය කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි. 4 ඔබේ කඳුළු සිහි කර මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරගැනීම පිණිස මම ඔබ දකින්නට ආශාවෙමි. ඔබ තුළ තිබෙන අවංක ඇදහිල්ල මට සිහි වෙයි. 5 ඒ ඇදහිල්ල ප්‍රථමයෙන් ඔබේ ආච්චි වූ ලොයිස් කෙරෙහි ද, ඔබේ අම්මා වූ යූනිස් කෙරෙහි ද පිහිටියේ ය. ඔබ තුළත් එය ඇති බව මම විශ්වාස කරමි. 6 ඒ නිසා මාගේ හස්තාලේපනය හේතුකොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක් සේ දල්වාගන්නා ලෙස ඔබට සිහි කරවමි. 7 දෙවියන් වහන්සේ අපට දුන්නේ, බයාදු ගතිය නොව, බලසම්පන්න, ප්‍රේමාන්විත, හික්මුණු ආත්මානුභාවය ය.
8 එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න. 9 උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි. 10 එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය. උන් වහන්සේ මරණයේ බලය බිඳදමා, ජීවනයත්, අමරණීය භාවයත්, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක.
11 ඒ සුබ අස්න පිළිබඳ දේශනාකරුවෙකු ද ප්‍රේරිතයෙකු ද, ගුරුවරයෙකු ද ලෙස මම පත් කරනු ලැබුවෙමි. 12 මා දුක් විඳින්නේ ඒ නිසා ම ය. එහෙත් මම ලජ්ජා නොවෙමි. මන්ද, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි. මට භාර දී තිබෙන දෙය, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි. 13 ඔබ මාගෙන් ලබාගත් සාරගර්භ ධර්මයේ ආදර්ශය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතු ව සිතෙහි නිදන් කරගන්න. 14 අපට භාර දුන් මේ අගනා දෙය අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් ආරක්ෂා කරන්න.
15 පිගෙලස්, හර්මෝගෙනිස් සහ ආසියාවේ සිටින සියල්ලන් මා හැරදමා ගිය බව ඔබ දන්නෙහි ය. 16 ඔනේසිපොරස්ගේ පවුලේ අයට සමිඳාණන් වහන්සේගේ කරුණාව ලැබේ වා! මන්ද, ඔහු බොහෝ වර මට සැනසිල්ලක් විය. ඔහු මා සිරගත වීම ගැන ලජ්ජා නොවූවා පමණක් නොව, 17 ඔහු රෝමයට ආ කෙණෙහි ම, මා හමු වන තෙක් ම බොහෝ වෑයමෙන් මා සෙවී ය. 18 ඒ මහා දවසේ දී ඔහුට සමිඳාණන් වහන්සේගෙන් කරුණාව ලැබෙන්නට උන් වහන්සේ සලස්වන සේක් වා! ඔහු එපීසයෙහි දී මට කෙතරම් උපස්ථාන කළේ දැ යි මට වඩා හොඳින් ඔබ දන්නෙහි ය.
– 2 වන පරිච්ඡේදය –
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ විශ්වාසවන්ත හේවායෙක්
1 මා ප්‍රිය පුත්‍රය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ වරප්‍රසාදයෙන් ශක්තිමත් වන්න. 2 බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියෙහි ඔබ මගෙන් අසා දැනගත් දේ, අන්‍යයන්ට ඉගැන්වීමට හැකි, විශ්වාසවන්ත පුද්ගලයන්ට පවරා දෙන්න.
3 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ විශ්වාසී හේවායෙකු සේ දුක් විඳීමට පංගුකාරයෙක් වන්න. 4 ඕනෑ ම හේවායෙක් ජන සමාජයේ කටයුතුවල පැටලෙන්නේ නැති ව, තමා බඳවාගත් තැනැත්තා සතුටු කරන්නට බලයි. 5 තවද, තරඟයේ සියලු නීති රීති අනුව ක්‍රියා නොකළොත්, ක්‍රීඩකයෙකුට ජය කිරුළක් පැළඳගැනීමට ලැබෙන්නේ නැත. 6 අස්වැන්න කපා භුක්ති විඳීමේ අයිතිය මුලින් ම ඇත්තේ ඒ සඳහා වෙහෙස වූ ගොවියාට ය. 7 මා කියන දේ ගැන කල්පනා කරන්න. මන්ද, සියල්ල තේරුම්ගැනීමේ හැකියාව සමිඳාණන් වහන්සේ ඔබට දෙනු ඇත.
8 මාගේ සුබ අස්නේ තේමාව නම්; ”දාවිත්ගේ වංශයෙන් උපන්, මරණයෙන් උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.” 9 අපරාධකරුවෙකු මෙන් යදමින් බඳිනු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. එහෙත් දේව වාක්‍යය, බැඳ තැබිය නොහැකි ය. 10 එබැවින් තෝරා ගත් අයට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් වන ගැළවීමත්, ඒ සමඟ ම වූ සදාතන මහිමයත් ලැබෙන සේ ඔවුන් නිසා සියල්ල ඉවසමි. 11 පහත දැක්වෙන්නේ විශ්වාස කටයුතු කීමක් ය.
”අපි උන් වහන්සේ සමඟ මැරෙමු නම්, අපි උන් වහන්සේ සමඟ ජීවත් වන්නෙමු;
12 අපි ස්ථිර ව සිටිමු නම්, උන් වහන්සේ සමඟ රජකම් කරන්නෙමු;
අපි උන් වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, උන් වහන්සේ අපත් ප්‍රතික්ෂේප කරන සේක.
13 අප අවිශ්වාසවන්ත වුවත්, උන් වහන්සේ විශ්වාසවන්ත ව, සිටින සේක.
මන්ද, උන් වහන්සේට තමන් ම ප්‍රතික්ෂේප කිරීම නොකළ හැකි ය.”
පිළිගත් සේවකයෙක්
14 මේවා ඔවුන්ට මතක් කරමින්, වැඩක් නැති, අසන්නන්ට හානි ගෙන දෙන වචන ගැන විවාද නොකිරීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි තරයේ අණ කරන්න. 15 ඔබත් සත්‍ය ධර්මය නියම ලෙස ප්‍රකාශ කරන්න, ලජ්ජා වීමට හේතුවක් නැති සේවකයෙකු ලෙස දෙවියන් වහන්සේට ප්‍රිය තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට උත්සාහ කරන්න. 16 තේරුමක් නැති හිස් දෙඩවිලිවලින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිසා භක්තිවන්තකම වැඩි වැඩියෙන් නැති වේ. 17 ඔවුන්ගේ ඒ ඉගැන්වීම් පිළිකාවක් මෙන් ඔඩු දුවන්නේ ය. හිමෙනියස් ද පිලේතස් ද එවැනි අය වෙත්. 18 ඔව්හු පුනරුජ්ජීවනය දැනට ම සිදු වී තිබෙන බව කියමින්, සත්‍යයෙන් බැහැර ගොස්, සමහරුන්ගේ විශ්වාසය අවුල් කරති. 19 කෙසේ වුවත්, දෙවියන් වහන්සේ දැමූ සවි අත්තිවාරම ස්ථිර ව පවතී. ඒ මත මෙසේ ලියා ඇත: ”සමිඳාණන් වහන්සේ තමන්ට අයිති අය දන්නා සේක; සමිඳාණන් වහන්සේගේ නම කියා උන් වහන්සේ අමතන සියල්ලෝ ම අධර්මිෂ්ඨකමින් වැළකිය යුත්තෝ ය.”
20 විශාල ගෙයක රන් රිදී භාජන පමණක් නොව, ලී හා මැටි භාජනත් තිබේ. මුලින් කී ඒවා වටිනා ලෙසත් සෙසු ඒවා නොවටිනා ලෙසත් සැලකිය හැකි ය. 21 එහෙයින් යමෙක් නපුරු දේ අත්හැර, තමා ම පවිත්‍ර කරගනී නම්, ඔහු පිරිසිදු කරන ලද, සමිඳාණන් වහන්සේගේ භාවිතයට සුදුසු වටිනා දෙයකට යෙදෙන, ඕනෑ ම යහපත් සේවයකට යෝග්‍ය භාජනයක් වන්නේ ය. 22 යොවුන් වියේ ඇති වන කාමතෘෂ්ණාවලින් ඉවත් වී, පිරිසිදු සිතින් සමිඳාණන් වහන්සේගේ නම අමතන අය සමඟ දමිටුකමත්, විශ්වාසයත්, ප්‍රේමයත්, සාමයත් සොයා යන්න. 23 හිස්, අනුවණ විවාදවලින් කලහ හටගන්නා බව දැන, ඒවායින් වළකින්න. 24 සමිඳාණන් වහන්සේගේ දාසයා කලහකාරයෙකු නොව, සියල්ලන්ට ම කරුණාවන්ත, උගන්වන්නට සමත්, ඉවසිලිවන්ත තැනැත්තෙකු විය යුතු ය. 25 විරුද්ධවාදීන් සෞම්‍ය ලෙස යහමඟ යැවිය යුත්තේ දෙවියන් වහන්සේ ඔවුන්ට සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් දිය හැකි නිසා ය. එවිට ඔවුන්ට සත්‍යය හඳුනාගන්නට පිළිවන් වෙයි. 26 මෙසේ ඔවුන්ට සිහිකල්පනාව ආ විට, ඔව්හු, යක්ෂයා විසින් සිය කැමැත්ත කරවාගන්න පිණිස තමන් අසු කරගන්නා ලද උගුලෙන් මිදෙන්නෝ ය.
– 3 වන පරිච්ඡේදය –
අවසාන කාලයේ උවදුරු
1 මෙය හිතට ගන්න: අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි. 2 ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, පුරසාරම් දොඩන, අහංකාර, දේව අපහාස කරන, දෙමව්පියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ, 3 අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති, 4 ද්‍රෝහී, හිතුවක්කාර, හිස උදුම්මාගත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාට වඩා විනෝදයට ඇලුම් වූ අය වන්නෝ ය. 5 දේව භක්තික පෙනුම ඔවුන්ට තිබුණත්, එහි බලය ප්‍රතික්ෂේප කරති. එබඳු අයගෙන් අහක් වී සිටින්න. 6 මන්ද, මොවුන්ගෙන් සමහරු ගෙවලට ඇතුළු වී, පවින් බර වූ, අනේක කාමතෘෂ්ණාවලින් බැඳුණු 7 නිතර ම ඉගෙනගන්න නමුත් කිසිකලෙක සත්‍යය දැනගන්නට බැරි, ළාමක ස්ත්‍රීන් වසඟ කරගන්න අය වෙති. 8 යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවාක් මෙන්, මොවුහු සත්‍යයට විරුද්ධ ව සිටිති. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙයකි. 9 එහෙත් ඔවුනට වැඩි දුර යන්නට නොලැබේ. මන්ද, ඒ දෙදෙනාට සිදු වූවාක් මෙන්, මොවුන්ගේ මෝඩකම කාටත් හෙළි වන බැවිනි.
තිමෝතියස්ට අවසාන උපදෙස්
10 එහෙත් මගේ ඉගැන්වීම ද හැසිරීම ද අරමුණ ද ඇදහිල්ල ද ඉවසිලිවන්තකම ද ප්‍රේමය ද ශාන්තිය ද 11 අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක. 12 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දේව භක්තික ව ජීවත් වන්නට කැමැති සියල්ලෝ ම පීඩා විඳින්නෝ ය. 13 එහෙත් නපුරු මිනිස්සු ප්‍රයෝගයෙන් අනුන් රවටා, තමන් ද රැවටී, වැඩි වැඩියෙන් නරක් වන්නෝ ය. 14 එහෙත් ඔබ ඉගෙනගත්, ඔබ සහතික ලෙස අදහන දේවල් සිතේ තබාගන්න. ඔබේ ගුරුවරුන් අමතක නොකරන්න. 15 ළමාවියේ සිට ඔබ ශුද්ධ ලියවිලි දැනගත් බව ද අමතක නොකරන්න. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, ගැළවීමේ මාර්ගයත්, ඒවායින් ඉගෙනගත හැකි ය. 16 දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමට ද දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද දමිටු ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමට ද ප්‍රයෝජනවත් වෙයි. 17 දෙවියන් වහන්සේට කැප වූ පුද්ගලයා සම්පූර්ණ වශයෙන් පුහුණු වී, ඕනෑ ම යහපත් සේවයකට සූදානම් ව සිටින්නේ එසේ ය.
– 4 වන පරිච්ඡේදය –
1 දෙවියන් වහන්සේ ඉදිරියෙහි ද, ජීවතුන්ගේ ද, මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඉදිරියෙහි ද, එතුමාණන්ගේ ආගමනයේ හා රාජ්‍යයේ ද නාමයෙන් මා ඔබට පවරන භාරදූර කටයුත්ත මේ ය: 2 දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. තරවටු කරන්න, දිරි ගන්වන්න. 3 මන්ද, සාර ධර්මය නොතකා, තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කරගන්නා කාලයක් පැමිණෙන්නේ ය. 4 එවිට ඔව්හු සත්‍යයට කන් නොදී, මිථ්‍යා ප්රබන්ධවලට හැරෙන්නෝ ය. 5 එහෙත් ඔබ සියලු අවස්ථාවල දී සන්සුන් ලෙස ක්‍රියා කරන්න, දුක් ඉවසන්න, ධර්මදූත සේවයේ යෙදෙන්න. ඔබට පැවරී ඇති වගකීම් මනා ලෙස ඉටු කරන්න.
6 මා ගැන කියතොත්, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ව ඇත. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ. 7 මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි. 8 දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේ දී සාධාරණ විනිශ්චයකාර සමිඳාණන් වහන්සේ එය මට දෙන සේක. මට පමණක් නොව, උන් වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ට ද එය දෙන සේක.
පෞද්ගලික උපදෙස්
9 ඉක්මනින් මා වෙත එන්නට උත්සාහ කරන්න. 10 මන්ද, දේමස් ලෞකික ජීවිතයට ඇලුම් වී, මා අත්හැර, තෙසලෝනිකයට ගියේ ය. ක්‍රස්කේන්ස් ගලාතියටත්, තීතස් දල්මතියාවටත් ගියෝ ය. 11 ලූක් පමණක් මා සමඟ සිටී. මාක් ඔබ සමඟ කැඳවාගෙන එන්න. මගේ වැඩට ඔහු ප්‍රයෝජනවත් සහකාරයෙකි. 12 තුකිකස් එපීසයට යැවීමි. 13 ත්‍රෝවස්හි දී කාර්පස් ළඟ මා තබා ආ සළුව ද පොත් ද විශේෂයෙන් සටහන් පොත් ද ඔබ එන විට ගෙනෙන්න.
14 තඹකරු ඇලෙක්සැන්දර් මට බොහෝ නපුරුකම් පෑවේ ය. සමිඳාණන් වහන්සේ ඔහු කළ දෙයට නිසි විපාක දෙන සේක. 15 ඔබත් ඔහුගෙන් පරිස්සම් වෙන්න. මන්ද ඔහු අප දුන් පණිවුඩයට දරුණු ලෙස විරුද්ධ වූ බැවිනි.
16 මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමඟ නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝ ය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා. 17 එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි. 18 සමිඳාණන් වහන්සේ සියලු දරුණු උවදුරුවලින් මා මුදා, උන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවන සේක. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
අවසාන ආශීර්වාදය
19 ප්‍රිස්කාට ද අකිලාට ද ඔනෙසිපොරස්ගේ පවුලේ අයට ද ආචාර කරමි. 20 එරස්තස් කොරින්තියෙහි නතර විය. ත්‍රොපිමස් අසනීප වූ නිසා මිලේතසෙහි නවත්වා ආවෙමි. 21 ශීත කාලයට පෙර එන්නට උත්සාහ කරන්න, ජුබුලස් ද පුදෙන්ස් ද ලීනස් ද ක්ලෝඩියා ද සහෝදර පිරිස ද ඔබට ආචාර කරති.
22 සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා! ඔබ සැමට කරුණාව වේ වා!