– 1 වන පරිච්ඡේදය –
ජෙරුසලම ගැන නෙහෙමියාගේ අයැදීම
1 මෙය වනාහි හකලියාගේ පුත් නෙහෙමියා වන මාගේ කතා වස්තුවකි. අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ කිස්ලෙව් මාසයේ සූසා නම් අගනුවර මා සිටි කල, 2 මාගේ ඥාතීන්ගෙන් එක් කෙනෙකු වූ හනානි ද ඔහු සමඟ තවත් මනුෂ්‍යයෝ ද ජුදයෙන් ආහ. එවිට විප්‍රවාසයෙන් ගැළවී ඉතුරු වූ ජුදෙව්වරුන් ගැන ද ජෙරුසලම ගැන ද මම ඔවුන්ගෙන් විචාළෙමි. 3 ඔව්හු කතා කොට, ”විප්‍රවාසයෙන් බේරී ඒ රටේ ඉතිරි ව සිටින අය මහා දුක් කරදරවලටත්, නින්දාවටත් භාජන වී සිටිති. ජෙරුසලමේ පවුර ද බිඳ දමා තිබේ. එහි දොරටු ගිනිබත් කර තිබේ ය”යි මට කී හ. 4 මම ඒ වචන ඇසූ කල හිඳගෙන ඇඬුවෙමි. මම කීප දවසක් වැලපෙමින්, නිරාහාර ව සිටිමින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤා කෙළෙමි:
5 ”අහෝ! ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥා රක්ෂා කරන්නන් සමඟ විශ්වාසවන්ත ව ගිවිසුම පවත්වන, ගරුබිය දනවන දෙවියන් වහන්ස, 6 ඔබේ මෙහෙකරුවන් වන ඉශ්රායෙල් සෙනඟ උදෙසා ඔබේ මෙහෙකරු මා දැනට රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියෙහි ඔප්පු කරන යාච්ඤා අසන පිණිස ඔබේ කන් යොමා මා දෙස බැලුව මැනව. ඉශ්රායෙල් සෙනඟ වන අප ඔබට විරුද්ධ ව කළ පව් මම කියා සිටිමි. මාගේ පියාගේ වංශයේ අය ද මම ද පව් කෙළෙමු. 7 අපි ඔබට විරුද්ධ ව ඉතා දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු; ඔබේ මෙහෙකරුවා වූ මෝසෙස්ට ඔබ අණ කළ අණපණත් ද නියෝග ද රක්ෂා නොකෙළෙමු. 8 ඔබේ මෙහෙකරුවා වූ මෝසෙස්ට ඔබ අණ කළ දෙය සිහි කළ මැනව. එනම්, ‘නුඹලා ද්‍රෝහිකම් කළොත් මම නුඹලා ජාතීන් අතර විසුරුවන්නෙමි. 9 එහෙත්, නුඹලා මා වෙත හැරී, මාගේ ආඥා රක්ෂා කරමින්, ඒවා ඉෂ්ට කළොත්, නුඹලාගෙන් සමහරෙකු පන්නා දමනු ලැබ අහසේ කෙළවර සිටියත්, මම ඔවුන් එතැනින් රැස් කර, මාගේ නාමය පිහිටුවන්නට මා විසින් තෝරාගනු ලැබූ ස්ථානයට ඔවුන් ගෙනෙන්නෙමි’ යනුයි.
10 ”මොවුහු වනාහි ඔබේ බලයෙන් ද බලවත් හස්තයෙන් ද ඔබ විසින් මුදාගනු ලැබූ ඔබේ ම මෙහෙකරුවන් හා සෙනඟත් ය. 11 අහෝ සමිඳාණන් වහන්ස! ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත්, ඔබේ නාමයට ගරුබිය දක්වන්නට ප්‍රිය වන මෙහෙකරුවන්ගේ යාච්ඤාවලටත් ඔබේ කන් යොමු කළ මැනව. අද ඔබේ මෙහෙකරුවාට ශුභසිද්ධිය සලසා දී රජ්ජුරුවන් ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්නට සැලසුව මැනව.” එවකට මම රජුගේ පාත්‍රධාරී ව සිටියෙමි.
– 2 වන පරිච්ඡේදය –
නෙහෙමියා ජෙරුසලමට යෑම
1 දිනක් අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ නිසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රික පානය තිබෙද්දී මම මුද්‍රික පානය රැගෙන රජුට දිනිමි. මීට පෙර මම ඔහු ඉදිරියෙහි දී දුක්මුසු ව නොසිටියෙමි. 2 එවිට රජු මට කතා කර, ”ඔබට අසනීපයක් නැති නමුත්, ඔබේ මුහුණ දුක්මුසු ව තිබෙන්නේ මන් ද? මෙය සිතේ කණගාටුවක් මිස වෙන කිසිවක් නොවේ ය”යි කීවේ ය.
3 එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට, ”රජතුමා සදහට ම ජීවත් වේ වා! මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී, එහි දොරටු ගින්නෙන් දැවී ගොස් තිබිය දී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේ දැ”යි කීමි.
4 එවිට රජතුමා කතා කොට, ”ඔබ ඉල්ලා සිටින්නේ කුමක් දැ”යි මාගෙන් ඇසී ය. එවිට, මම ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, 5 ”රජතුමා සතුටු නම්, ඔබේ දාසයා රජු ඉදිරියෙහි කරුණාව ලබා සිටී නම්, ජුදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය ගොඩනඟනු පිණිස මා එහි යැව්ව මැනවැ”යි කීමි.
6 රජ තෙම, බිසවත් තමා ළඟ වාඩිවී සිටිය දී, කතා කොට, ”ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද” කියාත්, ”ඔබ නැවත එන්නේ කවදා ද” කියාත්, මාගෙන් ඇසී ය. මම රජුට කාලයක් නියම කර කීවෙමි. රජතුමා මා යවන්නට සතුටු විය.
7 ඇරත් මම රජුට කතා කොට, ”රජතුමා සතුටු නම්, මා ජුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්නට දෙන ලෙස, එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම් ද 8 ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත්, නුවර පවුරුවලටත්, මා පදිංචි වන්නට යන නිවාසයටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරයා වන ආසාප්ට දීමට ලියුමක් ද මට ලැබේ වා”යි කීමි. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජ තෙම එසේ ම මට දුන්නේ ය.
9 එකල මම ගඟ එගොඩ සිටි දිශාධිපතීන් ළඟට අවුත් රජුගේ හසුන් පත් ඔවුන්ට දිනිමි. රජ වනාහි සේනාධිපතීන් ද අසරුවන් ද මා සමඟ එවුවේ ය. 10 හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද ඒ අසා, ඉශ්රායෙල් සෙනඟගේ ශුභසිද්ධිය දියුණු කරන්නට මනුෂ්‍යයෙකු ආ බව දැනගෙන ඉතාමත් අමනාප වූ හ.
11 මෙසේ මම ජෙරුසලමට අවුත් තුන් දවසක් එහි සිටියෙමි. 12 තවද, මම රාත්‍රියේ නැඟිට, මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ ජෙරුසලම උදෙසා කරන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතේ තැබූ කල්පනාව කිසි ම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැඟී ගිය සතා මිස වෙන යම් සතෙකු නැති ව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත් වී, 13 නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා, 14 පසු ව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. එහෙත්, මා නැඟී උන් සතාට යන්නට ඉඩ නොතිබුණේ ය. 15 මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි.
16 මා ගිය ගමන ගැන වත්, මා කළ දේ වත් නිලධාරීහු නොදත්හ. මම ඒ වන තුරු ජුදෙව්වරුන්ට වත්, පූජකයන්ට වත්, නායකයන්ට වත්, නිලධාරීන්ට වත්, පවුර ගොඩනැඟිය යුතු සෙසු අයට වත් ඒ බව නොදැන්වීමි. 17 එකල මම ඔවුන්ට කතා කොට, ”ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි. 18 තවද, මාගේ දෙවියන් වහන්සේගේ කරුණා හස්තය මා කෙරෙහි තිබෙන බව ද රජු මට කී වචන ගැන ද මම ඔවුන්ට දැන්වීමි. ඔව්හු පිළිතුරු දෙමින්, ”අපි නැඟිට ගොඩනඟමු”යි කී හ. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩය සඳහා තමන්ගේ ශ්‍රමශක්තිය යෙදෙවුවෝ ය.
19 එහෙත්, හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද අරාබි ජාතික ගෙෂෙම් ද ඒ අසා, අපට කවටකම් කරමින් අප හෙළා දැක, ”ඔබ කරන මේ දෙය කුමක් ද? ඔබ රජුට විරුද්ධ ව කැරලිගසන්නට සිතන්නහු දැ”යි ඇසූ හ.
20 එවිට මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ”ස්වර්ගයේ දෙවියන් වහන්සේ ම අපේ කාර්යය සාර්ථක කරනු ඇත. එබැවින් උන් වහන්සේගේ සේවකයන් වන අපි ගොඩනැඟීමේ වැඩ පටන්ගනිමු. එහෙත්, ඔබට ජෙරුසලමෙහි කිසි කොටසක් වත්, අයිතිවාසිකමක් වත්, සිහිවීමේ ලකුණක් වත් නැතැ”යි කීවෙමි.
– 3 වන පරිච්ඡේදය –
පවුර ගොඩනැඟීම
1 එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය.
2 එලියාෂිබ්ට පසු ව ජෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැඟුවෝ ය. ඔවුන්ට පසු ව ඉම්රිගේ පුත් ශක්කුර් ඒවා ගොඩනැඟුවේ ය.
3 මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැඟුවෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළහ. 4 ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
5 ඔහුට පසු ව තෙකෝවරු එය අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. එහෙත්, ඔවුන්ගේ නායකයෝ තමන්ගේ ස්වාමීන්ගේ සේවයට කරගසන්නට කැමැති නුවූ හ.
6 පාසේයාගේ පුත් ජෝයාදා ද බෙසෝදෙයාගේ පුත් මෙෂුල්ලාම් ද පරණ දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළෝ ය.
7 ඔවුන්ට පසු ව ගිබියෝනි ජාතික මෙලෙටියා ද මෙරොනොතීය ජාතික ජාදොන් ද ගිබියොන්හි සහ මිශ්පාහි මනුෂ්‍යයෝ ද යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපතීන් උදෙසා අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
8 ඔවුන්ට පසු ව රන් කරුවන් වූ හර්හායාගේ පුත් උශ්ශියෙල් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍ර කරන්නන්ගෙන් කෙනෙකු වූ හනනියා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔව්හු පළල් පවුර දක්වා ජෙරුසලම ශක්තිමත් කළෝ ය.
9 ඔවුන්ට පසු ව ජෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හුර්ගේ පුත් රෙපායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
10 ඔහුට පසු ව හරුමප්ගේ පුත් ජෙදායා තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව හෂබ්නෙයාගේ පුත් හට්ටුෂ් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
11 හාරීම්ගේ පුත් මල්කියා ද පාහත්-මෝවබ්ගේ පුත් හප්ෂුබ් ද තව කොටසක් හා උදුන් කොත අලුත්වැඩියා කළෝ ය.
12 ඔවුන්ට පසු ව ජෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හල්ලෝ-හෙෂ්ගේ පුත් ෂල්ලුම් ද ඔහුගේ දූවරු ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
13 මිටියාවතේ දොරටුව හානුන් ද ශානොවේ වැසියෝ ද අලුත්වැඩියා කළෝ ය. ඔව්හු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් මීටර් හාරසිය හතළිහක් ද අලුත්වැඩියා කළෝ ය.
14 කසළ දොරටුව බෙත්-හක්කෙරෙම් පළාතේ අධිපතියා වූ රේකාබ්ගේ පුත් මල්කියා අලුත්වැඩියා කෙළේ ය. ඔහු එය ගොඩනඟා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කෙළේ ය.
15 මිශ්පා පළාතේ අධිපතියා වූ කොල්-හෝශෙගේ පුත් ෂල්ලුම් උල්පත් දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කර රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැඟුවේ ය.
16 ඔහුට පසු ව බෙත්-ශුර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ අශ්බුක්ගේ පුත් නෙහෙමියා දාවිත්ගේ සොහොන ඉදිරිපිටට පැමිණෙන තුරුත්, සාදන ලද පොකුණ දක්වාත්, බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියා කෙළේ ය.
අලුත්වැඩියා වැඩ කළ ලෙවීවරු
17 ඔහුට පසු ව, ලෙවීවරු බානීගේ පුත් රෙහුම් යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
18 ඔහුට පසු ව ඔහුගේ සහෝදරයෝ කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෙනාදාද්ගේ පුත් බව්වයි යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
19 ඔවුන්ට පසු ව මිශ්පායේ අධිපතියා වූ ජේෂුවාගේ පුත් එශෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැඟුම ඉදිරිපිට තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
20 ඔහුට පසු ව සබ්බයිගේ පුත් බාරුක් පවුරු කොනේ සිට උත්තම පූජකයා වූ එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ දක්වා තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ උනන්දුවෙන් කෙළේ ය.
21 ඔහුට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂිබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.
22 ඔහුට පසු ව සමභූමියේ මනුෂ්‍යයන් වූ පූජකයෝ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
23 ඔවුන්ට පසු ව බෙන්ජමින් ද හෂ්ෂුබ් ද තමන්ගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කළෝය. ඔවුන්ට පසු ව අනනීයාගේ පුත්‍රයා වන මයසේයාගේ පුත් අශරියා තමාගේ ගෙය ළඟ අලුත්වැඩියා කෙළේ ය.
24 ඔහුට පසු ව හෙනාදාද්ගේ පුත් බින්නුයි අශරියාගේ ගෙය පටන් පවුර හැරෙන තැන සහ කොත දක්වාත් තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.
25 ඌසයිගේ පුත් පාලාල් පවුරු කොතත්, හිරගෙයි මිදුල ළඟ ඉහළ රජ ගෙදරට ඉදිරිපිටින් තිබෙන කොතත් අලුත්වැඩියා කෙළේ ය. ඔහුට පසු ව පරොෂ්ගේ පුත් පෙදායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. 26 එකල ඕපෙල්හි විසූ දේව මාලිගයේ සේවකයෝ නැගෙනහිර දිශාවේ වතුර දොරටුව ද පිටතින් තිබෙන කොත ඉදිරිපිට තැන දක්වා අලුත්වැඩියා කළෝ ය.
අලුත්වැඩියාවේ නියැලුණු පූජකවරු හා අන් අය
27 පෙදායාට පසු ව තෙකෝවරු පිටතින් තිබෙන ලොකු කොත ඉදිරිපිට ද ඕපෙල්හි පවුර දක්වා ද තව කොටසක් අලුත්වැඩියා කළෝ ය.
28 පූජකයෝ එකිනෙකා අශ්ව දොරටුවට ඉහළින්, තම තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කළෝ ය.
29 ඔවුන්ට පසු ව ඉම්මෙර්ගේ පුත් ශාදොක් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කෙළේ ය. ඔහුට පසු ව නැගෙනහිර දොරටුවේ රැකවලා වූ ෂෙකනියාගේ පුත් ෂෙමායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
30 ඔහුට පසු ව ෂෙලෙමියාගේ පුත් හනනියා ද ශාලාප්ගේ ස වන පුත්‍රයා වූ හානුන් ද තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කෙළේ ය.
31 ඔහුට පසු ව රන්කරුවෙකු වූ මල්කියා මුර දොරටුව ඉදිරිපිට දේව මාලිගාවේ සේවකයන්ගේ ද වෙළෙන්දන්ගේ ද ගෙවල් දක්වාත්, කොනේ උඩුමහල දක්වාත් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
32 කොනේ උඩුමහලටත්, බැටළු දොරටුවටත් අතරේ රන්කරුවෝ ද වෙළෙන්දෝ ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
– 4 වන පරිච්ඡේදය –
විරෝධ මැඩලීම
1 අප පවුර සාදන බව සන්බලට් ඇසූ විට, ඔහු කෝප වී, අතිශයින් උදහස් වී ජුදෙව්වරුන්ට නින්දා කෙළේ ය. 2 ඔහු සිය සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේ දී කතා කොට, ”මේ බෙලහීන ජුදෙව්වරු කුමක් කරත් ද? මේ ස්ථානය යළි ගොඩනඟන්නට ඔව්හු සිතත් ද? ඔවුන් පූජා කරනු ඇද් ද? දවසකින් වැඩ නිම කරනු ඇද් ද? දවා දැමූ කුණු කන්දරාවලින් ඔවුන් නැවත ගඩොල් සාදාගනු ඇද්දැ”යි කීවේ ය.
3 ඔහු ළඟ සිටි අම්මොනි ජාතික ටෝබියා ද කතා කොට, ”ඔවුන් ගොඩනඟන මේ පවුර කුමක් ද? හිවලෙකු එයට නැඟුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩා දමනු ඇතැ”යි කීවේ ය.
4 මම මෙසේ යාච්ඤා කෙළෙමි: ”අපේ දෙවියන් වහන්ස! ඇසුව මැනව. අනේ ඔවුන් අප පහත් කොට සලකන හැටි! ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ හිස පිට කඩා වැටුණාවේ! වහල්කමට වැටෙන රටක කොල්ලයට ඔවුන් පාවා දුන මැනව. 5 ඔවුන්ගේ අපරාධය නොවැසුව මැනව. ඔවුන්ගේ පාපය ඔබ ඉදිරියෙන් නොමැකේ වා! මන්ද, ගොඩනඟන අය ඉදිරිපිට දී ඔවුන් ඔබ උදහස් කර ඇත.”
6 එහෙත්, අපි පවුර ගොඩනඟාගෙන ගියෙමු. මෙසේ හරි අඩක් උසට මුළු පවුර සාදන ලද්දේ ය. එසේ කළ හැකි වූයේ, වැඩ කරන්නට සෙනඟට සිතේ ධෛර්යය තිබුණ බැවිනි.
7 ජෙරුසලමේ පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ ඉෂ්ට වන බවත්, එහි කැඩුම්බිඳුම් හරිගස්සාගෙන යන බවත් අසා, සන්බලට් ද ටෝබියා ද අරාබිවරු ද අම්මොන්වරු ද අෂ්දොද්වරු ද ඉතා කෝපාවිෂ්ට වූ හ. 8 ඔව්හු සියල්ලෝ ම ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කර එහි වියවුලක් හටගන්වන්නට එක් ව කුමන්ත්‍රණය කළෝ ය. 9 එහෙත්, අපි අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කර, ඔවුන්ගෙන් ආරක්ෂා වන පිණිස රෑ දාවල් දෙක්හි මුර තැබීමු.
10 ජුදාවරු කතා කොට, ”බර ගෙන යන අයගේ ශක්තිය හීන වී තිබේ; කුණුකන්දල් ගොඩගැසී තිබේ. එබැවින් අපට පවුර ගොඩනඟන්නට නොහැකි ය”යි කී හ.
11 අපේ එදිරිකාරයෝ කතා කොට, ”ඔවුන් දැනගන්නට වත්, කිසිවක් දකින්නට වත් පෙර, අපි ඔවුන් පිට කඩා පැන, ඔවුන් මරාදමා ඔවුන්ගේ වැඩ නවත්වන්නෙමු”යි කී හ. 12 තවද, ඔවුන් අතර විසූ ජුදෙව්වරු පැමිණ, ”ඔවුන්, ජීවත් ව සිටින සියලු තැන්වලින් අවුත්, අප පිට කඩා පනිනු ඇතැ”යි කීප වරක් ම අපට කී හ. 13 ඒ නිසා මම පවුරට පිටුපසින් තිබූ පහත් එළිමහන් ඉඩම්වල තමන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත්, හෙල්ලත්, දුනුත් ඇති ව සෙනඟ සිටෙවුවෙමි.
14 මම කරුණු විමසා බලා නැඟිට, නායකයන්ටත්, නිලධාරීන්ටත්, ඉතිරි සෙනඟටත් කතා කොට, ”ඔවුන් ගැන බිය නොවන්න. බියජනක ශ්‍රේෂ්ඨ සමිඳාණන් වහන්සේ සිහි කරමින්, ඔබේ ඥාතීන් ද පුත්‍රයන් ද දූවරුන් ද භාර්යාවන් ද ගෙවල් ද උදෙසා සටන් කරන්නැ”යි කීවෙමි. 15 තවද, අප ඒ දේ දැනගත් බව ද දෙවියන් වහන්සේ ඔවුන්ගේ මන්ත්‍රණය ව්‍යර්ථ කළ බව ද අපේ සතුරන්ට ආරංචි වූ කල, අපි සියල්ලෝ ම එකිනෙකා තම තමාගේ වැඩ කිරීමට පවුරට ආපසු ගියෙමු.
16 එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩවල යෙදී සිටියෝ ය. කොටසක් හෙල්ල ද පලිස් ද දුනු ද යුද්ධ සැට්ට ද රැගෙන සිටියෝ ය. අධිපතියෝ ද පවුර ගොඩනැඟීම කළ මුළු ජුදා සෙනඟගේ වැඩ පරිපාලනය කළෝ ය. 17 බර උසුලාගෙන යන අය එක අතකින් වැඩ කරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියෝ ය. 18 ගොඩනඟන අය ද එකිනෙකා තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගෙන ගොඩනැඟුවෝ ය. හොරණෑ පිඹින්නා මා ළඟ සිටියේ ය. 19 මම නායකයන්ටත්, නිලධාරීන්ටත්, ඉතිරි සෙනඟටත් කතා කොට, ”මෙය ඉතා වැදගත් විශාල වැඩකි. අපි පවුර පිට විසිරී එකිනෙකාගෙන් දුරස්තර ව සිටිමු. 20 යම් තැනකින් ඔබට හොරණෑ ශබ්දය ඇසේ ද, එතැන සිට අප ළඟට රැස් වන්න. අපේ දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරන සේකැ”යි කීමි. 21 මෙසේ අපි වැඩෙහි නියුක්ත ව සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තාරකා පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝ ය.
22 එකල මම සෙනඟට තවදුරටත් කතා කොට, ”රාත්‍රියේ අපට රැකවලක් වන පිණිසත්, දවල් වැඩ කරන පිණිසත් එක එකා තම තමාගේ මෙහෙකරුවා සමඟ ජෙරුසලමෙහි රාත්‍රිය ගත කෙරේවා”යි කීවෙමි. 23 මාගේ ඥාතීහු වත්, මාගේ සේවකයෝ වත්, මා කැටුව පැමිණි රැකවල්ලු වත්, මම වත් ඇඳුම් නොගැලෙව්වෙමු. එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව සිටියෝ ය.
– 5 වන පරිච්ඡේදය –
සමාජ ගැටළුවලට මුහුණ පෑම
1 එකල සෙනඟ ද ඔවුන්ගේ භාර්යාවෝ ද තමන්ගේ සහෝදර ජුදෙව්වරුන්ට විරුද්ධ ව මහා කෑමොරගැසීමක් කළෝ ය. 2 සමහර දෙනෙක් කතා කොට, ”කෑමට හා ජීවත් වීමට ධාන්‍ය ලබා ගන්න පිණිස අපේ දූ පුතුන් උකසට තබන්නට අපට සිදු වී තිබේ ය”යි කී හ.
3 සමහරු, ”සාගතය නිසා ධාන්‍ය ලබා ගනු පිණිස අපේ කෙත් ද මිදි වතු ද ගෙවල් ද උකස් තබන්නට අපට සිදු වී තිබේ ය”යි කී හ.
4 තවත් සමහරු, ”අපේ බිම්වලට හා මිදි වතුවලට රජුගේ තීරු බදු ගෙවීමට අපට මුදල් ණයට ගන්නට සිදු වී තිබේ. 5 ඉතින් අපේ ශාරීරික වුවමනා අපේ සහෝදරයන්ගේ වුවමනාවලට සමාන නොවේ ද? අපේ දරුවෝ ඔවුන්ගේ දරුවන්ට සමාන නොවෙත් ද? එහෙත්, අපේ පුත්‍රයන් ද දූවරුන් ද දාසකමට දෙන්නට අපට සිදු වී ඇත. අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනට ම දාසකමට පත් ව සිටිති. අපට කරකියාගන්නට දෙයක් නැත. කුමක් නිසා ද අපේ බිම් ද මිදි වතු ද අනුන්ට අයිති වී තිබේ ය”යි කීවෝ ය.
6 ඔවුන්ගේ කෑමොරගැසීම ද මේ දුක්ගැනවිල්ල ද ඇසූ විට මම ඉතා කෝප වීමි. 7 මම මේ ගැන හොඳට කල්පනා කළ පසු, නායකයන්ට ද නිලධාරීන්ට ද තරවටු කර, ”ඔබ එක එකා තම තමාගේ සහෝදරයාගෙන් පොළී ගන්නවා නොවේ දැ”යි ඔවුන්ගෙන් ඇසුවෙමි. මම ඔවුන්ට විරුද්ධ ව මහා සමූහයක් රැස් කරවා ඔවුන්ට කතා කොට, 8 ”අන්‍ය ජාතීන්ට විකුණනු ලැබූ ජුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුළුවන්කමේ හැටියට අපි මිල දී මුදා ගත්තෙමු. එහෙත් දැන් ඔබ, ඔබේ ම සහෝදරයන් විකුණන්නහු ය. ඔවුන් මිල දී මුදා ගැනීමට අපට සිදු වනු ඇතැ”යි කීවෙමි. එවිට ඔව්හු වචනයක් වත් කියා ගත නොහැකි ව නිශ්ශබ්ද වී සිටියෝ ය.
9 මම තවදුරටත් කතා කරමින්, ”ඔබ කරන දේ හොඳ නැත. අපේ සතුරන් වන අන්‍ය ජාතීන්ගේ අපහාසයට අප ලක් නොවන පිණිස, අපේ දෙවියන් වහන්සේට ගරුබිය ඇති ව හැසිරිය යුතු නොවේ ද? 10 මමත්, මාගේ ඥාතියෝත්, සේවකයෝත් ඔවුන්ට මුදල් ද ධාන්‍ය ද පොළියට දෙමින් සිටිමු. මෙයාකාර පොළී ගැනීම අපි අත්හැරදමමු. 11 ඔවුන්ගේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු ද ගෙවල් ද මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ඔබ ඔවුන්ගෙන් අය කරන සියයෙන් කොටස ද අද ම ඔවුන්ට ආපසු දෙන්නැ”යි කීමි.
12 එවිට ඔව්හු උත්තර දෙමින්, ”අපි ඒවා ආපසු දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර ඔබ කියන ලෙස ම කරන්නෙමු”යි කීවෝ ය. එවිට මම පූජකයන්ට අඬගසා, පොරොන්දුවේ හැටියට ක්‍රියා කරන ලෙස ඔවුන්ගෙන් දිවුරුම් ගතිමි. 13 මම මාගේ බඳ පටිය ගසා දමා, හිස් බව පෙන්වා, කතා කොට, ”මේ පොරොන්දුව ඉෂ්ට නොකරන කවුරුන් නමුත්, තම තමාගේ ගෙයිනුත්, වැඩපළවලිනුත් දෙවියන් වහන්සේ මෙසේ ගසා දමන සේක් වා! ඔහු මෙසේ ගසා දමනු ලැබ හිස් වේවා”යි කීවෙමි. එවිට මුළු සභාව, ”ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළහ. සෙනඟ මේ පොරොන්දුවේ ප්‍රකාරයට කළෝ ය.
14 තවද, ජුදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා වශයෙන් මා පත් කරනු ලැබූ දවසේ සිට එනම්, අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ පටන් තිස් දෙ වන අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ මාගේ ඥාතීහු වත්, මම වත් දිශාධිපතියාට හිමි කෑම නොකෑවෙමු. 15 එහෙත්, මට පෙර සිටි පුරෝගාමි දිශාධිපතිවරු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී කාසි හතළිහකුත් අය කරගත්තෝ ය. ඒ පමණක් නොව, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟට හිරිහැර කළෝ ය. එහෙත්, මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි නිසා එසේ නොකෙළෙමි. 16 එපමණක් නොව, මම පවුර සෑදීමේ වැඩට මාගේ මුළු ශ්‍රමය යෙදුවෙමි. මම කිසිදු ඉඩමක් මිලේට නොගතිමි. මාගේ සියලු සේවකයෝ ද ඒ වැඩය කිරීම සඳහා එහි රැස් ව සිටියෝ ය. 17 අප අවට විසූ ජාතීන්ගෙන් අප වෙත පැමිණි අය හැර ජුදෙව්වරු සහ නිලධාරීහු එකසිය පණස්දෙනෙක් මාගේ කෑම මේසයෙන් සංග්‍රහ ලැබූ හ. 18 මා සඳහා දවසකට ගොනෙකුත්, තර බැටළුවෝ හයදෙනෙකුත් පිළියෙළ කරන ලදහ. කුකුළෝ ද මා සඳහා පිළියෙළ කරන ලදහ. දස දවසකට වරක් මුද්‍රික පාන සම් බඳුන් තොග වශයෙන් ගෙනෙන ලදී. එසේ වුව ද, සෙනඟට බොහෝ බර උසුලන්නට තිබුණු නිසා දිශාධිපතියාට හිමි කෑම මම නොඉල්ලුවෙමි.
19 ”මාගේ දෙවියන් වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මාගේ යහපත පිණිස සිහි කළ මැනව.”
– 6 වන පරිච්ඡේදය –
සතුරන් යෙදූ කූටෝපාය
1 ප්‍රාකාරයේ කැඩුම්බිඳුම් කිසිවක් ඉතුරු නොවන ලෙස මා විසින් එය ගොඩනංවන ලද බව සන්බලට්ට ද ටෝබියාට ද අරාබීය ගෙෂෙම්ට ද අපේ සෙසු සතුරන්ට ද සැළ විය. එහෙත්, ඒ කාලය වන තුරු ම මා දොරටුවල දොරවල් සවි කර නොතිබුණේ ය. 2 එවිට සන්බලට් ද ගෙෂෙම් ද, ”එන්න, ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක අපි සම්මුඛ වෙමු”යි මට ආරාධනා කර එවුවෝ ය. එහෙත්, මෙය ඔවුන් මට අනතුරු කරන්නට යෙදූ උපායකි. 3 මම ඔවුන් ළඟට පණිවුඩකාරයන් යවමින්, ”මම වැදගත් වැඩක යෙදී සිටිමි. ඒ නිසා එන්නට නොහැකි ය. ඔබ වෙත පැමිණෙන පිණිස මා මේ වැඩ අත්හැරියොත් වැඩය නවතිනු ඇතැ”යි කියා යැව්වෙමි.
4 ඔව්හු මේ අයුරින් සතර වරක් ආරාධනා කර එවූ හ. මමත් ඒ අයුරින් ම ඔවුන්ට පිළිතුරු යැව්වෙමි.
5 එවිට සන්බලට් තෙම ඒ අයුරින් ම සිය සේවකයා අත විවෘත ලිපියක් පස් වන වරට මා වෙත එවුවේ ය. 6 එහි මෙසේ ලියා තිබුණේ ය: ”ඔබත්, ජුදෙව්වරුනුත් කැරලිගසන්නට සිතන බව මේ ජාතීන් අතරෙහි සැළ වී තිබේ. ගෂ්මු තෙමේ ද එය අනුමත කරයි. ඔබ පවුර ගොඩනඟන්නේ ඒ නිසා බවත්, මෙයාකාරයෙන් ඔබ ඔවුන්ගේ රජ වන්නට සිතන බවත් ඒ වාර්තාවෙන් පෙනේ. 7 තවද, ජුදාහි රජෙක් සිටි යි කියමින් ඔබ ගැන ම ජෙරුසලමෙහි නිවේදනයක් කරනු පිණිස දිවැසිවරුන්ට නියම කර ඇත. ඉතින් මේ ගැන රජ්ජුරුවන්ට සත්තකින් ම ආරංචි වනු ඇත. ඒ නිසා එන්න, අපි එක් ව මන්ත්‍රණය කරගනිමු.”
8 මීට පිළිතුරක් වශයෙන් මම පණිවුඩයක් යවමින්, ”ඔබ කියන ඔය කිසිවක් සිදු වී නැත. ඔබ ඒවා සිතින් මවාගෙන ඇතැ”යි කීමි.
9 අපි අපේ වැඩ අතපසු කර, ඒ හේතුවෙන් ඒ වැඩය කිසි කලක නිම කරනු නොලැබේ ය යන බලාපොරොත්තුවෙන් ඔව්හු සියල්ලෝ ම අප බිය ගන්වන්නට උත්සාහ කළෝ ය. එහෙත්, ”දෙවියන් වහන්ස, දැන් මාගේ අත් ශක්තිමත් කළ මැනව.”
10 ඉක්බිති මම මෙහෙතාබල්ගේ පුත් දෙලායාගේ පුත්‍රයා වන ෂෙමායාගේ ගෙදරට ගියෙමි. එසේ ගියේ ඔහුට මා වෙත එන්නට නොහැකි වූ බැවිනි. එවිට ඔහු මා අමතා, ”අපි එක් ව දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගොස් ශුද්ධස්ථානයේ දොරවල් වසාගෙන සිටිමු. මන්ද, ඔවුන් ඔබ මරන්නට එනු ඇත. ඔබ මරන්නට ඔව්හු අද රාත්‍රියේ ම එති”යි කීවේ ය.
11 මම ද උත්තර දෙමින්, ”මා වැනි කෙනෙකු පලා යන්නට සුදුසු ද? මා වැනි කවරෙක් ජීවිතය ගළවාගන්න පිණිස දේව මාලිගාවට ඇතුළු වේ ද? මම ඇතුළු නොවන්නෙමි”යි කීවෙමි.
12 ඒ ගැන මා සිතා බැලූ විට, දෙවියන් වහන්සේ ඔහු නොඑවූ බවත්, ටෝබියා ද සන්බලට් ද ඔහුට අල්ලස් දුන් නිසා ඔහු මා ගැන ඒ අනාගත වචනය කී බවත් මට වැටහිණි. 13 ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භය වී, කී ලෙස කර පව්කරන පිණිසත් එවිට මට නරක නමක් ලැබී, මට අපහාස වන පිණිසත් ය.
14 ”මාගේ දෙවියන් වහන්ස, ටෝබියා ද සන්බලට් ද කළ මේ ක්‍රියා නිසා, ඔවුන් සහ දිවැසිවරිය වන නෝවදියා ද මා බිය ගන්වන්නට උත්සාහ කළ අනෙක් දිවැසිවරුන් ද අමතක නොකරන්න.”
පවුර සාදා නිම කිරීම
15 පණස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස් වන දා පවුරේ වැඩ නිම කරන ලදී. 16 අපේ සියලු සතුරන් ඒ බව ඇසූ විට ද අප අවට සිටි සියලු ජාතීන් එය දුටු විට ද එය විස්මයජනක යැයි සිතා, මේ වැඩය ඉටු වුණේ අපේ දෙවියන් වහන්සේගේ උපකාරයෙන් බව ඔව්හු තේරුම්ගත්හ.
17 තවද, ඒ දවස්වල දී ජුදාහි නායකයෝ ලියුම් බොහොමයක් ටෝබියාට යැව්වෝ ය. ටෝබියාගෙන් ද ඔවුන්ට ලියුම් ලැබුණේ ය. 18 කුමක් නිසා ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාගේ බෑණා නිසාත්, ඔහුගේ පුත් ජෝහානාන් බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දුව පාවාගෙන සිටි නිසාත්, ජුදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝ ය. 19 තවද, ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියෙහි දී කීවෝ ය. මාගේ වචනය ද ඔහුට දැන්නුවෝ ය. ටෝබියා ද මා බිය ගන්වන පිණිස ලියුම් එවුවේ ය.
– 7 වන පරිච්ඡේදය –
නුවර ආරක්ෂා කිරීමට විධිවිධාන
1 පවුර ගොඩනැඟුවාට පසු මම දොරවල් පිහිටෙව්වෙමි. දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද ලෙවීවරු ද පත් කරනු ලැබූ හ. 2 ඉන්පසු මම මාගේ සහෝදර වූ හනානි ද බලකොටුවේ අධිපතියා වූ හනනියා ද ජෙරුසලමේ පරිපාලනයට පත් කෙළෙමි. කුමක් නිසා ද, හනනියා බොහෝ මිනිසුන්ට වඩා විශ්වාස වූ දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති කෙනෙකු වී සිටියේ ය. 3 මම ඔවුන්ට කතා කොට, ”අවු රස්නය සැර වන්නට පෙර ජෙරුසලමේ දොරවල් අරින්න නොදෙන්න. ඔවුන් මුර කරන අතර ම දොරවල් වසා පොලු දමා තිබිය යුතු ය. ජෙරුසලමේ වැසියන්ගෙන් සමහරෙකු මුර වැඩවලට ද අන් සමහරෙකු ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිට ද මුරට යොදවා ගත යුතු ය”යි කීවෙමි.
බබිලෝනියෙන් පැමිණි අයගේ නම්
(එස්රා 2:1-70)
4 නගරය පළල් ව විශාල ව තිබුණේ ය. එහෙත්, එහි විසූ සෙනඟ ස්වල්ප ය. ගෙවල් ගොඩනඟා තිබුණේ නැත. 5 එවිට පෙළපත් වශයෙන් ජන සංගණනයක් කරන පිණිස උත්තමයන් ද නිලධාරීන් ද සෙනඟ ද රැස් කරවන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතෙහි අදහසක් ඇති කළ සේක. පළමුවෙන් ම ආ අයගේ පෙළපත් ලේඛනය මට සම්බ විය. එහි මෙසේ ලියා තිබුණි.
6 බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ගෙනයනු ලැබූ බොහෝ දෙනෙක් වහල්කමෙන් මිදී බබිලෝනියේ සිට ජෙරුසලමටත් ජුදාහි තම තමන්ගේ නගරවලටත් පැමිණියහ. 7 ඔවුන්ගේ ප්‍රධානියෝ සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද නෙහෙමියා ද අශරියා ද රයමියා ද නහමානි ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිස්පෙරෙත් ද බිග්වායි ද නෙහුම් ද බානා ද යන මොවුහු වෙති.
8 ඉශ්රායෙල් සෙනඟ වූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය: පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය. 9 ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑදෙදෙනෙක් ය. 10 ආරාගේ පුත්‍රයෝ හයසිය පණස්දෙදෙනෙක් ය. 11 පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දහඅටදෙනෙක් ය. 12 ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය. 13 ශට්ටුගේ පුත්‍රයෝ අටසිය හතළිස්පස්දෙනෙක් ය. 14 ශක්කයිගේ පුත්‍රයෝ හත්සිය හැටදෙනෙක් ය. 15 බින්නුයිගේ පුත්‍රයෝ හයසිය හතළිස්අටදෙනෙක් ය. 16 බේබයිගේ පුත්‍රයෝ හයසිය විසිඅටදෙනෙක් ය. 17 අශ්ගාද්ගේ පුත්‍රයෝ දෙදාස් තුන්සිය විසිදෙදෙනෙක් ය. 18 අදොනිකාම්ගේ පුත්‍රයෝ හයසිය හැටහත්දෙනෙක් ය. 19 බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් හැටහත්දෙනෙක් ය. 20 ආදීන්ගේ පුත්‍රයෝ හයසිය පණස්පස්දෙනෙක් ය. 21 හෙසකියාගේ වංශයට අයිති වූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅටදෙනෙක් ය. 22 හාෂුම්ගේ පුත්‍රයෝ තුන්සිය විසිඅටදෙනෙක් ය. 23 බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිහතරදෙනෙක් ය. 24 හාරිප්ගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය. 25 ගිබියොන්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.
26 බෙත්ලෙහෙමේ සහ නොටොපාහි මනුෂ්‍යයෝ එකසිය අසූඅටදෙනෙක් ය. 27 අනාතොත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය. 28 බෙත්-අශ්මාවෙත්හි මනුෂ්‍යයෝ හතළිස්දෙදෙනෙක් ය. 29 කිරියත්-ජෙයාරීම්හි ද කෙපීරාහි ද බෙයේරොත්හි ද මනුෂ්‍යයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය. 30 රාමාහිත්, ගෙබාහිත් මනුෂ්‍යයෝ හයසිය විසිඑක්දෙනෙක් ය. 31 මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසිදෙදෙනෙක් ය. 32 බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ එකසිය විසිතුන්දෙනෙක් ය. 33 අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පණස්දෙදෙනෙක් ය. 34 අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය. 35 හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය. 36 ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය. 37 ලොද්හි ද හාදිද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිඑක්දෙනෙක් ය. 38 සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් නවසිය තිස්දෙනෙක් ය.
39 පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය. 40 ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පණස්දෙදෙනෙක් ය. 41 පෂ්හුර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත්දෙනෙක් ය. 42 හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත්දෙනෙක් ය.
43 ලෙවීවරු නම්: හෝදෙවාගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු වූ කද්මියෙල්ගෙන් පැවත ආ ජේෂුවාගේ පුත්‍රයෝ හැත්තෑහතරදෙනෙක් ය. 44 ගායනාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයන් එකසිය හතළිස්අටදෙනෙක් ය. 45 දොරටු පාලකයන් වූ ෂල්ලුම්ගේ පුත්‍රයෝ ද ආටෙර්ගේ පුත්‍රයෝ ද ටල්මොන්ගේ පුත්‍රයෝ ද අක්කුබ්ගේ පුත්‍රයෝ ද හට්ටාගේ පුත්‍රයෝ ද ෂෝබයිගේ පුත්‍රයෝ ද එකසිය තිස්අටදෙනෙක් ය.
46 දේව මාලිගාවේ සේවකයන් වන නේතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය; 47 කේරොස්ගේ පුත්‍රයෝ ය; සියාගේ පුත්‍රයෝ ය; පාදොන්ගේ පුත්‍රයෝ ය; 48 ලෙබානාගේ පුත්‍රයෝ ය; හගාබාගේ පුත්‍රයෝ ය; සල්මයිගේ පුත්‍රයෝ ය; 49 හානාන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; ගහර්ගේ පුත්‍රයෝ ය; 50 රෙයායාගේ පුත්‍රයෝ ය; රෙශීන්ගේ පුත්‍රයෝ ය; නෙකෝදාගේ පුත්‍රයෝ ය; 51 ගශ්ශාම්ගේ පුත්‍රයෝ ය; උස්සාගේ පුත්‍රයෝ ය; පසේයාගේ පුත්‍රයෝ ය; 52 බේසයිගේ පුත්‍රයෝ ය; මෙයුනිම්ගේ පුත්‍රයෝ ය; නෙපුෂෙසිම්ගේ පුත්‍රයෝ ය; බක්බූක්ගේ පුත්‍රයෝ ය; 53 හකුපාගේ පුත්‍රයෝ ය; හර්හුර්ගේ පුත්‍රයෝ ය; 54 බශ්ලීත්ගේ පුත්‍රයෝ ය; මෙහිදාගේ පුත්‍රයෝ ය; හර්ෂාගේ පුත්‍රයෝ ය; 55 බර්කොස්ගේ පුත්‍රයෝ ය; සිසෙරාගේ පුත්‍රයෝ ය; තෙමාගේ පුත්‍රයෝ ය; 56 නෙශියාගේ පුත්‍රයෝ ය; හටිපාගේ පුත්‍රයෝ ය.
57 සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝ ය; සොපෙරෙත්ගේ පුත්‍රයෝ ය; පෙරීදාගේ පුත්‍රයෝ ය; 58 ජයලාගේ පුත්‍රයෝ ය; දර්කොන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; 59 ෂෙපටියාගේ පුත්‍රයෝ ය; හට්ටිල්ගේ පුත්‍රයෝ ය; පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝ ය; ආමොන්ගේ පුත්‍රයෝ ය;
60 දේව මාලිගාවේ සේවකයන්ගේ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.
61 තේල්-මෙලෙහෙන් ද තේල්-හර්ෂායෙන් ද කෙරුබෙන් ද අද්දෝනෙන් ද ඉම්මෙරෙන් ද ආ, තමන් ඉශ්රායෙල්වරුන් බවට තමන්ගේ පිය වංශයත්, තමන්ගේ පෙළපතත් පෙන්වන්නට බැරි වූ අය නම්: 62 දෙලායාගේ පුත්‍රයෝත්, ටෝබියාගේ පුත්‍රයෝත්, නෙකෝදාගේ පුත්‍රයෝත් හයසිය හතළිස්දෙදෙනෙක් ය.
63 පූජකයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත් ගිලියදිය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය. 64 නාම සටහන් වූ තමන්ගේ පෙළපත් ලේඛනය සෙවූ නමුත්, සම්බ නොවූ බැවින් මොවුහු අපවිත්‍ර අය ලෙස ගණන්ගන්න ලදුව පූජකකමෙන් ඉවත් කරනු ලැබුවෝ ය. 65 ඌරිම් සහ තුම්මිම් ඇති පූජකයන් නැඟිටින තුරු ඔවුන් ඉතා ශුද්ධ දේවල් නොකෑ යුතු යයි තිර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේ ය.
66 මුළු සභාවේ ගණන නම්, හතළිස්දෙදාස් තුන්සිය හැටක් ය. 67 ඒ හැර ඔවුන්ගේ වැඩකාරයෝත්, වැඩකාරියෝත් හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් වූවෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසිය හතළිස්පස්දෙනෙක් සිටියෝ ය. 68 ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස්හයදෙනෙක් ය. ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස්දෙනෙක් ය. 69 ඔටුවෝ හාරසිය තිස්පස්දෙනෙක් ය. කොටළුවෝ හයදාස් හත්සිය විසිදෙනෙක් ය.
වැඩය සඳහා පඬුරු දීම
70 තවද, පවුල්වල ප්‍රධානීන් අතරෙන් සමහරු වැඩයට දායකයෝ වූ හ. තිර්ෂාතා රන් කිලෝග්‍රෑම් අටකුත්, පාත්‍රා පණසකුත්, පූජක ඇඳුම් පන්සිය තිහකුත් ගබඩාවට දුන්නේ ය. 71 පිය වංශවල ප්‍රධානින්ගෙන් සමහරු රන් කිලෝග්‍රෑම් එකසිය හැටඅටකුත්, රිදී කිලෝග්‍රෑම් එක්දාස් දෙසිය පණහකුත් වැඩ සඳහා ගබඩාවට දුන්නෝ ය. 72 සෙනඟගෙන් ඉතිරි අය දුන්නේ, රන් කිලෝග්‍රෑම් එකසිය හැටඅටකුත්, රිදී කිලෝග්‍රෑම් එකසිය හතළිසකුත්, පූජක ඇඳුම් හැටහතකුත් ය.
73 මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද සෙනඟගෙන් සමහරු ද දේව මාලිගාවේ සේවකයෝ ද සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ නගරවල විසූහ.
– 8 වන පරිච්ඡේදය –
ව්‍යවස්ථා පොත කියවා තේරුම් කර දීම
1 හත් වන මස පළමු වන දවස පැමිණි කල ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ නගරවල සිටියෝ ය. මුළු සෙනඟ ද එක් කෙනෙකු මෙන් වතුර දොරටුව ඉදිරිපිට චතුරශ්‍රයෙහි රැස් වූ හ. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත ගෙනෙන්නට නීතිවේදියා සහ පූජකයා වන එස්රාට කී හ. 2 පූජකයා වන එස්රා ද හත් වන මාසයේ පළමු වන දා සභාව එනම්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද තේරුම්ගන්නට පුළුවන් වයසට පැමිණි දරුදැරියන් ද ඉදිරිපිට ව්‍යවස්ථා පොත ගෙනවුත්, 3 වතුර දොරටුව ඉදිරියේ තිබුණු චතුරශ්‍රය ඉදිරිපිට සිට, ස්ත්‍රී පුරුෂයන් ද තේරුම්ගත හැකි වයසට පැමිණි දරුදැරියන් ද ඉදිරියේ දී අලුයම් වේලේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේ ය. මුලු සෙනඟ ද ව්‍යවස්ථා පොතට සවන් දුන්හ.
4 ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාදන ලද වේදිකාවක් පිට නීතිවේදියා වන එස්රා සිටියේ ය. ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියා ද ෂෙමා ද අනායා ද උරියා ද හිල්කියා ද මයසේයා ද; වම් පැත්තෙන් පෙදායා ද මිෂායෙල් ද මල්කියා ද හාෂුම් ද හෂ්බද්දානා ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද සිටියෝ ය.
5 මුළු සෙනඟට වඩා උස් තැනක සිටි එස්රා මුළු සෙනඟ ඉදිරියෙහි පොත දිග ඇරියේ ය. ඔහු එය දිග අරින විට සෙනඟ සියලු දෙන නැඟිට සිටියෝ ය. 6 එස්රා අති උත්තම දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. මුළු සෙනඟ ද අත් ඔසවමින්, ”එසේ ම වේ වා!” කියා හිස් නමා මුණින්තලා වී සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.
7 තවද, ජේෂුවා ද බානී ද ෂෙරෙබියා ද ජාමීන් ද අක්කුබ් ද ෂබ්බෙතයි ද හෝදියා ද මයසේයා ද කෙලීටා ද අශරියා ද ජොශාබාද් ද හානාන් ද පෙලායා ද යන ලෙවීවරු ද සෙනඟ ඔවුන් සිටි තැන්වල නැවතී සිටිය දී ම ඔවුන්ට ව්‍යවස්ථාව තේරුම් කර දුන්හ. 8 මෙසේ ඔව්හු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත පැහැදිලි ලෙස කියවා එහි අර්ථය තෝරා දුන්හ. මිනිස්සු ද කියෙවූ දේ තේරුම් ගත්හ.
9 තිර්ෂාතා වූ නෙහෙමියා ද නීතිවේදියා වූ පූජක එස්රා ද සෙනඟට ඉගැන්වූ ලෙවීවරු ද මුළු සෙනඟට කතා කොට, ”අද දින ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයක් ය. වැලපෙන්නට වත්, අඬන්නට වත් එපා ය”යි කී හ. එසේ කීවේ, මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූ කල ඇඬූ බැවිනි. 10 එවිට ඔහු ඔවුන්ට කතා කොට, ”ඔබ ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම් කර නොගත් අයට ආහාර පංගු යවන්න. කුමක් නිසා ද අද දින අපේ සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයකි. ශෝක නොවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම ඔබේ ශක්තිය වේ ය”යි කී ය.
11 ලෙවීවරු ද කතා කරමින්, ”අද දවස ශුද්ධ දිනයක් නිසා, නිශ්ශබ්ද වන්න. ශෝක නොවන්නැ”යි මුළු සෙනඟ නිශ්චල කළෝ ය. 12 එසේ සෙනඟ සියලු දෙන කන්නටත්, බොන්නටත්, කෑම පංගු යවන්නටත්, බොහෝ සේ ප්‍රීතිවන්නටත් පිටත් වී ගියෝ ය. කුමක් නිසා ද ඔවුන් ප්‍රකාශ කළ වචන ඔව්හු තේරුම් ගත්තෝ ය.
කූඩාරම් මංගල්‍යය යළිත් පිහිටු වීම
13 දෙ වන දා මුළු සෙනඟගේ පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද නව ව්‍යවස්ථාව උගෙනීම පිණිස නීතිවේදියා වූ එස්රා වෙත රැස් වූ හ. 14 එවිට හත් වන මාසයේ පවත්වන මංගල්‍යයේ දී ඉශ්රායෙල් සෙනඟ පැල්පත්වල වාසය කළ යුතුය කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ආඥා කළ බව ව්‍යවස්ථාවේ ලියා තිබෙනු ඔවුන්ට සම්බ විය. 15 මෙය දැනගන්නට ලැබුණු වහා ම, ඔව්හු ඔවුන්ගේ නගරවල ද ජෙරුසලමෙහි ද ප්‍රකාශනයක් කළෝ ය. ඒ මෙසේ ය: ”පොතේ ලියා තිබෙන ලෙස, පැල්පත් සාදනු පිණිස ඔබ කඳුකරයට ගොස්, ඔලීව අතු ද වල් ඔලීව අතු ද මරඳ අතු ද තල් අතු ද අතු ඝන ව තිබෙන ගස්වල අතු ද ගෙනෙන්න.”
16 එබැවින් සෙනඟ ගොස් ඒවා ගෙනවුත් එක් එක්කෙනා තම තමාගේ පියස්ස උඩත්, තමන්ගේ මිදුල්වලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ මිදුල්වලත්, වතුර දොරටුව චතුරශ්‍රයේත්, එප්‍රායිම් දොරටුවේ එළිමහනේත් පැල්පත් සාදාගත්තෝ ය. 17 විප්‍රවාසයෙන් මිදී ආ අයගෙන් යුත් මුළු සභාව පැල්පත් සාදාගෙන පැල්පත්වල විසුවෝ ය. නූන්ගේ පුත් ජෝෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්රායෙල් සෙනඟ මෙවැන්නක් කර තිබුණේ නැත. ඒ නිසා ඉමහත් සන්තෝෂයක් ද විය. 18 තවද, පළමු වන දා පටන් අන්තිම දවස දක්වා එස්රා දවසින් දවස දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙවුවේ ය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්වූවෝ ය. අට වන දා නියමය ලෙස, ගරුගාම්භීර මංගල රැස්වීමක් පවත්වනු ලැබී ය.
– 9 වන පරිච්ඡේදය –
සෙනඟ පාපෝච්චාරණය කිරීම
1 තවද, ඒ මාසයේ විසිහතර වන දා ඉශ්රායෙල් සෙනඟ නිරාහාර ව ගෝණි රෙදි හැඳ, තමන්ගේ හිස පිට පස් ලා ගෙන, උපවාසයක් සඳහා රැස් වූ හ. 2 ඉශ්රායෙල් ජාතිය අන්‍ය සියලු ජාතීන්ගෙන් වෙන් වී, තමන්ගේ පව් ද තමන්ගේ පියවරුන්ගේ අපරාධ ද ප්‍රකාශ කළහ. 3 ඔව්හු තමන්ගේ ස්ථානයෙහි නැඟිට සිට, දවසෙන් හතරෙන් කොටසක් තුළ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙව්වෝ ය; තවත් හතරෙන් කොටසක් තුළ එකිනෙකා පාපෝච්චාරණය කර, දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.
4 එවිට ජේෂුවා ද බානී ද කද්මියෙල් ද ෂෙබනියා ද බුන්නී ද ෂෙරෙබියා ද බානී ද කෙනානි ද ලෙවීවරුන්ගේ වේදිකාවේ උඩ සිට මහා හඬකින් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කළෝ ය.
5 පසුව ජේෂුවා ද කද්මීයෙල් ද බානී ද හෂබ්නෙයා ද ෂේරෙබියා ද හෝදියා ද ෂෙබනියා ද පෙතහියා ද යන ලෙවීවරු කතා කොට, ”ඔබ නැඟිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්න. එසේ ය, සියලු ප්‍රශංසා හා වර්ණනා ඉක්මවා ඇති ඔබේ තේජාන්විත නාමයට ප්‍රශංසා වේවා”යි කී හ.
පාපෝච්චාරණ යැදුම
6 එස්රා මෙසේ යාච්ඤා කෙළේ ය: ”ඔබ ම, ඔබ පමණක් ම සමිඳාණන් වහන්සේ ය. ඔබ ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද එහි සියලු ග්‍රහතාරකා ද පොළොව සහ එය මතුපිට ඇති සියල්ල ද සත් සමුදුර සහ එහි ඇති සියල්ල ද මැවූ සේක. ඔබ ම ඒ සියල්ල ආරක්ෂා කරන සේක. ග්‍රහතාරකාවෝ ද ඔබට නමස්කාර කරති. 7 ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබූ දෙවි සමිඳාණන් වහන්සේ ය. 8 ඔබ ඉදිරියෙහි ඔහු විශ්වාසවන්ත ව සිටින බව දැක, ඔබ කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද දේශය දෙන්නට, ඔහුගේ වංශයට දෙන්නට ඔහු සමඟ ගිවිසුමක් කර ඔබේ පොරොන්දුව ඔබ ඉෂ්ට කළ සේක. කුමක් නිසා ද ඔබ ධර්මිෂ්ඨ ය.
9 ”තවද, මිසරයේ දී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටු සේක. රතු මුහුද ළඟ දී ඔවුන්ගේ මොරගැසීම ද ඔබ ඇසූ සේක. 10 පාරාවෝට ද ඔහුගේ සියලු සේවකයන්ට ද ඔහුගේ දේශයේ මුළු සෙනඟට ද විරුද්ධ ව හාස්කම් හා අරුමපුදුම දේ කර වදාළ සේක. කුමක් නිසා ද ඔවුන්ට විරුද්ධ ව ඒ අය උඩඟුකම් කරන බව ඔබ දැනගෙන සිටි සේක. ඔබ ද අද දක්වා පවතින කීර්තිමත් නාමයක් දිනාගත් සේක. 11 තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද දෙබෑ කළ සේක. ඔවුන් පසුපස ලුහුබැඳගෙන ආ අය ඔබ මහා ජලයෙහි ගලක් දමන ලෙස ගැඹුරට හෙළූ සේක. 12 ඔබ දවල් වලා ටැඹකින් ද ඔවුන් යන මාර්ගයෙහි දී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින් ද ඔවුන් ගෙන ගිය සේක. 13 ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කතා කර, සාධාරණ විනිශ්චයයන් ද සැබෑ ව්‍යවස්ථාවන් ද සුදුසු පණත් ද ආඥා ද ඔවුන්ට දුන් සේක.
14 ”ඔබේ මෙහෙකරු වූ මෝසෙස් මඟින් ඔබේ ශුද්ධ සබත් දවස් ද ඔබ ඔවුන්ට දන්වා, ආඥාවන් ද ව්‍යවස්ථාවන් ද ඔවුන්ට නියම කළ සේක. 15 ඔවුන්ගේ කුසගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට ආහාර දුන් සේක. ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්ම වූ සේක. 16 ඔබ ඔවුන්ට දෙන බවට දිවුරුම් දුන් දේශය හිමි කරගැනීමට ඇතුළුවන්නට කියා ද ඔවුන්ට අණ කළ සේක. එහෙත්, අපේ පියවරු මුරණ්ඩු ව ඔබේ ආඥාවන්ට අකීකරු වූ හ. 17 ඔව්හු කීකරු වන්නට අකමැති වී, ඔවුන් අතරේ ඔබ කළ පුදුම දේ සිහි නොකර, මුරණ්ඩු ව සිටිමින්, පෙරළා වහල්කමට යන පිණිස තමන්ගේ ප්‍රධානියෙකු පත් කරගත්හ. එහෙත්, ඔබ කමා වන, දයාබර, අනුකම්පාවෙන් පූර්ණ, ඉවසිලිවන්ත, කරුණාභරිත දෙවි කෙනෙකු බැවින් ඔබ ඔවුන් අත් නොහැරිය සේක. 18 එපමණක් නොව, ඔව්හු තමන්ට වාත්තු වස්සෙකු සාදාගෙන ‘මිසරයෙන් ඔබ ගෙනා ඔබේ දෙවියන් වහන්සේ මේ ය’යි මහා දේව අපහාසයක් කළ විටත්, 19 ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් පාළුකරයෙහි අත් නොහැරිය සේක. මාර්ගයේ ඔවුන් ගෙන ගිය වලා ටැඹ දවාලේ වත්, ඔවුන් යා යුතු මාර්ගයේ දී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේ වත් ඔවුන් කෙරෙන් පහ නො වී ය. 20 ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබේ යහපත් ආත්මානුභාවය ඔබ ඔවුන්ට දුන් සේක. ඔවුන්ගේ ආහාරය වූ මන්නා ඔබ ඔවුන්ගෙන් අහක් කර නොගත් සේක. ඔවුන්ගේ පිපාසයේ දී ඔබ ඔවුන්ට වතුර දුන් සේක. 21 එසේ ය, ඔබ හතළිස් අවුරුද්දක් පාළුකරයේ දී ඔවුන් පෝෂණය කළ සේක. ඔවුන්ට කිසි අගහිඟයක් නො වී ය. ඔවුන්ගේ ඇඳුම් පරණ වුණේ වත්, ඔවුන්ගේ පාද ඉදිමුණේ වත් නැත.
22 ”තවද, ඔබ රාජ්‍යයන් ද ජනයන් ද ඔවුන්ට දී, ඔවුන් පළාත්වලට බෙදා නියම කළ සේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශයත් එනම්, හෙෂ්බොන්හි රජුගේ දේශයත්, බාෂාන්හි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝ ය. 23 ඔබ අහසේ තාරකා මෙන් ඔවුන්ගේ දරුවන් වැඩිකර, හිමි කරගන්නට ඔවුන්ට ඇතුළු විය යුතු ය කියා ඔබ ඔවුන්ගේ පියවරුන්ට කී දේශයට ඔවුන් පැමිණෙවූ සේක. 24 ඔවුන්ගේ දරුවෝ ද ඇතුළු වී දේශය හිමි කරගත්තෝ ය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන් වූ කානානිවරුන් යටත් කර ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන් ද ඔවුන්ගේ රජවරුන් ද දේශයේ ජාතීන් ද ඔවුන් අතට පාවා දුන් සේක. 25 ඔව්හු පවුරු ඇති නගර ද සශ්‍රීක රටක් ද අල්ලාගෙන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල් ද කණින ලද තටාක ද මිදි වතු ද ඔලීව වතු ද පල දෙන බොහෝ ගස් ද හිමි කරගත්හ. ඒවා අනුභව කොට, තෘප්තියට පැමිණ, තර වී, ඔබේ මහා යහපත්කම කරණකොටගෙන සැපෙන් පසු වූවෝ ය.
26 ”එසේ වී නමුත්, ඔව්හු අකීකරු වී ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබේ ව්‍යවස්ථාවට පිටුපා, ඔබ වෙත ඔවුන් හරවාගන්නට ඔවුන්ට අවවාද කළ ඔබේ දිවැසිවරුන් මරා මහා දේව අපහාසයක් කළෝ ය. 27 එහෙයින් ඔබ ඔවුන්ගේ එදිරිකාරයන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔව්හු ඔවුන්ට පීඩා කළෝ ය. ඔවුන්ගේ පීඩා කාලයේ දී ඔවුන් ඔබට මොරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට සවන් දී, ඔබේ මහානුකම්පාව නිසා ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතින් ඔවුන් ගළවාගත් විමුක්තිදායකයන් ඔවුන්ට දුන් සේක. 28 එහෙත්, ඔවුන්ට නිදහස ලැබුණ විට ඔව්හු නැවත ඔබ ඉදිරියෙහි නපුරුකම් කළෝ ය. එවිට ඔවුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වනු පිණිස ඔබ ඔවුන් සතුරන්ගේ අතට පාවා දුන් සේක. එහෙත්, ඔවුන් නැවතත් මොරගැසූ විට ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබේ අනුකම්පාවේ හැටියට, බොහෝ වතාවල ඔවුන් නිදහස් කළ සේක. 29 ඔබේ ව්‍යවස්ථාවට ඔවුන් හරවා ගන්නට ඔබ ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු උඩඟුකම් කර, ඔබේ ආඥාවලට සවන් නො දී, මනුෂ්‍යයා ජීවත් වන පිණිස ඔහු කළ යුතු ඔබේ විනිශ්චයයන්ට විරුද්ධ ව පව් කොට දරදඬු වී, හිතුවක්කාරකමින් සවන් නො දී සිටියෝ ය. 30 එහෙත්, ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබේ ආත්මානුභාවයෙන් ඔබේ දිවැසිවරුන් මඟින් ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු සවන් නුදුන්හ. ඔබ ද දේශවල ජනයන් අතට ඔවුන් පාවා දුන් සේක. 31 එසේ වී නමුත්, ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැති කර දැමුවේ වත්, ඔවුන් අත්හැර දැමුවේ වත් නැත. කුමක් නිසා ද ඔබ දයාබර අනුකම්පා ඇති දෙවි කෙනෙකු බැවිනි.
32 ”ඉතින් අපේ දෙවියන් වහන්ස, මහත් වූ, බලවන්ත වූ, භයානක වූ ගිවිසුම ද කරුණාව ද පවත්වන්නා වූ දෙවියන් වහන්ස, අසිරියාවේ රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත්, අපේ පියවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පූජකයන්ටත්, අපේ දිවැසිවරුන්ටත්, ඔබේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළු ලෙස නොපෙනේ වා! 33 ඔබ වනාහි අපට පැමිණි සියල්ල සම්බන්ධයෙන් සාධාරණ ව සිටි සේක. කුමක් නිසා ද, ඔබ විශ්වාසවන්ත ව ක්‍රියා කළ සේක. අපි නම් දුෂ්ටකම් කෙළෙමු. 34 අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද අපේ පූජකයන් ද අපේ පියවරුන් ද ඔබේ ව්‍යවස්ථාව පැවැත්වූයේ වත්, ඔබේ ආඥාවලට ද ඔබ ඔවුන්ට කළ ඔබේ අවවාදවලට ද සවන් දුන්නේ වත් නැත.
35 ඔවුන් සිය රජවරුන් යටතේ ඔබ ඔවුන්ට දුන් සෞභාග්‍යය භුක්තිවිඳින විට ද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේ දී ද ඔබට සේවය කෙළේ වත්, තමන්ගේ නපුරු ක්‍රියාවලින් වෙන් වුණේ වත් නැත. 36 මෙන්න අපි දැනට දාසයන් වී සිටිමු. භූමියේ උපදින ඵල ද හොඳ දේවල් ද භුක්තිවිඳීමට ඔබ අපේ පියවරුන්ට දුන් දේශයෙහි ම අපි දාසයන් වී සිටිමු. 37 අපේ පව් නිසා ඔබ අප කෙරෙහි පත් කළ රජුන්ට දේශයේ අස්වැන්න අයිති වන්නට සලසා ඇත. ඔව්හු සිය කැමැත්ත පරිදි අප කෙරෙහි ද අපේ ගවයන් කෙරෙහි ද බලය පවත්වති. අපි මෙබඳු මහා දුකකින් සිටිමු.
38 ”මේ සියල්ල නිසා අපි ලියවිල්ලකින් ස්ථිර ගිවිසුමක් කරමු. අපේ අධිපතීහු ද අපේ ලෙවීවරු ද අපේ පූජකයෝ ද ඒ පිට ඔවුන්ගේ මුද්‍රාව තබති.”
– 10 වන පරිච්ඡේදය –
ගිවිසුමට බැඳුණු අය
1 මුද්‍රා කළ අය නම්: හකලියාගේ පුත් තිර්ෂාතා වන නෙහෙමියා ද ශෙදෙකියා ද; 2 සෙරායා ද අශරියා ද ජෙරමියා ද; 3 පෂ්හුර් ද අමරියා ද මල්කියා ද; 4 හට්ටුෂ් ද ෂෙබනියා ද මල්ලූක් ද; 5 හාරීම් ද මෙරේමොත් ද ඔබදියා ද; 6 දානියෙල් ද ගින්නෙතොන් ද බාරුක් ද; 7 මෙෂුල්ලාම් ද අබියා ද මියාමින් ද; 8 මයශයා ද බිල්ගයි ද ෂෙමායා ද යන පූජකයෝ ය.
9 ලෙවීවරුන් වන අශනියාගේ පුත් ජේෂුවා ද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන බීන්නුයි ද කද්මියෙල් ද; 10 ඔවුන්ගේ සහෝදරයන් වන ෂෙබනියා ද හෝදියා ද කෙලීටා ද පෙලායා ද හානාන් ද; 11 මීකා ද රෙහොබ් ද හෂබියා ද; 12 ශක්කුර් ද ෂේරෙබියා ද ෂෙබනියා ද; 13 හෝදියා ද බානී ද බෙනීනු ද යන තැනැත්තෝ ය.
14 සෙනඟගේ ප්‍රධානියන් වන පාරොෂ් ද පාහත්-මෝවබ් ද ඒලාම් ද ශට්ටු ද බානී ද, 15 බුන්නී ද අශ්ගාද් ද බේබයි ද; 16 අදොනියා ද බිග්වායි ද ආදීන් ද; 17 ආටෙර් ද හෙසකියා ද අශ්ශුර් ද; 18 හෝදියා ද හාෂුම් ද බේශයි ද; 19 හාරිප් ද ආනාතොත් ද නෝබයි ද; 20 මග්පියාෂ් ද මෙෂුල්ලාම් ද හෙසීර් ද; 21 මෙෂේශබයෙල් ද ශාදොක් ද ජද්දුවා ද; 22 පෙලටියා ද හානාන් ද අනායා ද 23 හෝෂෙයා ද හනනියා ද හෂ්ෂුබ් ද; 24 හල්ලෝහෙෂ් ද පිල්හා ද පෝබෙක් ද; 25 රෙහුම් ද හෂබ්නා ද මයසේයා ද; 26 අහියා ද හානාන් ද ආනාන් ද; 27 මල්ලූක් ද හාරීම් ද බානා ද යන තැනැත්තෝ ය.
ගිවිසුමට අදාළ උපදෙස්
28 සෙනඟගෙන් ඉතිරි අය ද පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගීතිකාකාරයෝ ද දේව මාලිගාවේ සේවකයෝ ද දේශවල ජනයන්ගෙන් වෙන් ව දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට හැරුණු සියල්ලෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සහ දූවරුන්ගෙන් දැනුම් තේරුම් ඇති සියල්ලෝ ද 29 තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී, දෙවියන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අතින් දෙන ලද උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ සමිඳාණන් වහන්සේගේ ආඥා ද විනිශ්චයයන් ද පණත් ද පවත්වා ඉෂ්ට කරන හැටියටත්,
30 දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්න හැටියටත්,
31 දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේ වත්, ශුද්ධ දවසක වත් ඔවුන්ගෙන් මිලේට නොගන්න හැටියටත්, හත් වන අවුරුද්දේ පලදාව සහ සියලු ණය ද අත්හරින හැටියටත් සාපයකින් හා දිවුරුමකින් බැඳුණෝ ය.
32-33 තවද, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට සබත් දවස්වල ද අමාවක්වල ද පිදීමේ රොටි සඳහාත්, නිරන්තර ආහාර පූජාව සඳහාත්, නිරන්තර දවන යාග පූජාව සඳහාත්, නියම මංගල්‍ය සඳහාත්, ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟි කිරීමේ පාප පූජා සඳහාත්, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මුළු වැඩ සඳහාත්, රිදී ග්‍රෑම් පහක් අවුරුදුපතා දෙන ලෙස අපට නියෝග පණවාගතිමු.
34 තවද, ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ගිනි දල්වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයට අපේ පිය වංශවල ප්‍රකාරයට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දෙන පඬුරු ගෙන ඊම ගැන පූජකයන් ද ලෙවීවරුන් ද සෙනඟ ද වන අපි පස ඇට දැමුවෙමු.
35 අපේ බිම්වල ප්‍රථම අස්වැන්න ද සියලු ආකාර ගස්වල සියලු පලවලින් ප්‍රථම පල ද අවුරුද්දෙන් අවුරුද්ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන හැටියටත්,
36 ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිවුපාවුන්ගෙන් කුලුඳුලන් ද අපේ ගවයින්ගෙන් හා බැටළුවන්ගෙන් කුලුඳුලන් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට එනම්, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරන පූජකයන් වෙත ගෙනෙන හැටියටත්,
37 අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවා ද අපේ පිළිගැන්වීමේ පූජා ද සියලු ආකාර ගස්වල පල ද මුද්‍රික යුස හා තෙල් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු ගෙවල පූජකයන් වෙත ද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙත ද ගෙනෙන හැටියටත්, 38 ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවේ ඇතුළු ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට, ආරොන්ගේ පුත්‍රයෙකු වන පූජකයෙකු ඔවුන් සමඟ සිටින හැටියටත් නියම කරගතිමු. 39 කුමක් නිසාද, ශුද්ධස්ථානයට අයිති භාණ්ඩ තිබෙන, සේවය කරන පූජකයන් ද දොරටු පාලකයන් ද ගායකයන් ද සිටින ඇතුළු ගෙවලට ඉශ්රායෙල්වරුන් ද ලෙවීවරුන් ද ධාන්‍යවලිනුත්, මිදියුසෙනුත්, තෙල්වලිනුත් පිළිගැන්වීමේ පඬුර ගෙනෙන්නට යුතු ය. තවද, අපි අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව අත් නොහරින්නෙමු.
– 11 වන පරිච්ඡේදය –
ජෙරුසලමේ විසූ සෙනඟ
1 තවද, සෙනඟගේ අධිපතීහු ජෙරුසලමෙහි වාසය කළෝ ය. සෙසු සෙනඟ තමන් අතරෙන් දසදෙනෙකුගෙන් එක් කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන ජෙරුසලමෙහි වාසය කිරීමට එවන පිණිස පස ඇට දැමුවෝ ය. අනික් කොටස් නුවරවල වාසය කළෝ ය. 2 ජෙරුසලමෙහි වාසය කිරීමට කැමැත්තෙන් ම පැමිණි සියලු මනුෂ්‍යයන්ට සෙනඟ ආශීර්වාද කළෝ ය. 3 ජුදාහි නුවරවල ඉශ්රායෙල්වරු ද පූජකයෝ ද ලෙවීවරු ද මාලිගාවේ සේවය කරන්නෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ නුවරවල තිබුණ තම තමන්ගේ උරුම කොටස්වල වාසය කළෝ ය.
ජෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොවුහු ය: 4 ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද සමහරෙක් ජෙරුසලමෙහි වාසය කළෝ ය. ජුදාවරුන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ මහලලේල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත් අතායා ය.
5 ෂිලොනියයාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජෝයාරීබ්ගේ පුත් ආදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත් කොල්-හෝශෙගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත් මයසේයා ය. 6 ජෙරුසලමෙහි විසූ පෙරෙශ්ගේ සියලු පුත්‍රයන් වූ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හාරසිය හැටඅටදෙනෙක් ය.
7 බෙන්ජමින්වරුන්ගෙන්, ජෙෂායාගේ පුත් ඊතියෙල්ගේ පුත්‍රයා වන මයසේයාගේ පුත් කෝලායාගේ පුත්‍රයා වන පෙදායාගේ පුත් ජෝවෙද්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් සල්ලු ය.
8 ඔව්හු ගබ්බයි සහ සල්ලයි ආදි වූ නවසිය විසිඅටදෙනෙක් ය. 9 සික්රීගේ පුත් ජෝවෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය. හස්සෙනුවාගේ පුත් ජුදා තෙම නගරයේ දෙවැන්නා ව සිටියේ ය.
10 පූජකයන්ගෙන්, ජෝයාරීබ්ගේ පුත් ජෙදායා ද ජාකීන් ද
11 දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අහිටුබ්ගේ පුත් මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත් සෙරායා ද 12 දේව මාලිගාවේ වැඩ කළා වූ ඔවුන්ගේ සහෝදරයන් අටසිය විසිදෙදෙනෙක් ද මල්කියාගේ පුත් පෂ්හුර්ගේ පුත්‍රයා වන ශෙකරියාගේ පුත් අම්ශීගේ පුත්‍රයා වන පෙලලියාගේ පුත් ජෙරොහාම්ගේ පුත්‍රයා වන අදායා ද 13 පිය වංශවල ප්‍රධානීන් වන ඔහුගේ සහෝදරයන් දෙසිය හතළිස්දෙදෙනෙක් ද ඉම්මෙර්ගේ පුත් මෙෂිල්ලේමොත්ගේ පුත්‍රයා වන ආසයිගේ පුත් අශරියෙල්ගේ පුත්‍රයා වන අමෂ්සයි ද 14 බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන් වන ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅටදෙනෙක් ද යන මොවුහු ය. හග්ගෙදෝලීම්ගේ පුත් ශබ්දීයෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය.
15 ලෙවීවරුන්ගෙන්, බුන්නීගේ පුත් හෂබියාගේ පුත්‍රයා වන අශ්රීකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ද
16 ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ගෙන්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ දී පිටත කාරණා බලාගන්න ෂබ්බෙතයි ද ජෝෂාබාද් ද
17 යාච්ඤාවේ දී ස්තුති දීම පටන්ගැනීමට ප්‍රධානියා ව සිටි ආසාප්ගේ පුත්‍රයා වන ශබ්දීගේ පුත් මීකාගේ පුත්‍රයා වන මත්තනියා ද ඔහුගේ සහෝදරයන් අතරේ දෙවැන්නා වන බක්බුකියා ද ජෙදුතුන්ගේ පුත් ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත් අබ්දා ද යන මොවුහු ය.
18 ශුද්ධ නුවර සිටි සියලු ලෙවීවරු දෙසිය අසූහතරදෙනෙක් ය.
19 තවද, දොරටු රැකවල් කළා වූ අක්කුබ් ද ටල්මොන් ද ඔවුන්ගේ සහෝදරයන් වූ දොරටු පාලකයෝ ද එකසිය හැත්තෑදෙදෙනෙක් ය.
20 සෙසු ඉශ්රායෙල්වරු ද පූජකයෝ ද ලෙවීවරු ද ජුදාහි සියලු නුවරවල එකිනෙකා තම තමාගේ උරුම භූමියෙහි සිටියෝ ය. 21 එහෙත්, දේව මාලිගාවේ සේවය කරන්නෝ ඕපෙල්හි වාසය කළෝ ය. ශීහා ද ගිෂ්පා ද දේව මාලිගාවේ සේවකයන්ට ප්‍රධානියන් ව සිටියෝ ය.
22 ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය. 23 කුමක් නිසාද, ගායකයන් ගැන රජුගේ ආඥාවක් තිබුණේ ය. ඔවුන් උදෙසා දවස් පතා වුවමනා වූ කොටසක් ද නියම කර තිබුණේ ය.
24 ජුදාගේ පුත්‍රයා වන ශෙරාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මෙෂේශබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේ ය.
ජෙරුසලම අවට පෙදසේවල විසූ සෙනඟ
25 තමන්ගේ කෙත් ළඟ පිහිටි ගම්වල බොහෝ දෙන විසූ හ. ජුදාවරුන්ගෙන් සමහරෙක් කිරියත්-අර්බා, දිබොන්, ජෙකබ්ශෙයෙල් සහ ඒවායේ ගම්වල ද 26 ජේෂුවාහි ද මොලාදාහි ද බෙත්-පෙලෙත්හි ද 27 හශර්-ෂුවාල්හි ද බෙයර්-ෂෙබාහි සහ ඒවායේ ගම්වල ද 28 ශික්ලග්හි ද මෙකොනාහි සහ ඒවායේ ගම්වල ද 29 ඒන්-රිම්මෝන්හි ද ශොරාහි ද ජර්මුත්හි ද 30 ශානොවාහි ද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වල ද ලාකීෂ්හි සහ එහි කෙත්වල ද අශේකාහි සහ එහි ගම්වල ද විසූ හ. මෙසේ ඔව්හු බෙයර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝ ය.
31 බෙන්ජමින්වරුන් ගෙබාහි සිට මික්මාෂ්හි ද අයියාහි ද බෙතෙල්හි ද ඒවායේ ගම්වල ද; 32 අනාතොත්හි ද නොබ්හි ද අනනියාහි ද; 33 හශොර්හි ද රාමාහි ද ගිත්තයිම්හි ද; 34 හාදීද්හි ද ශෙබොයිම්හි ද නෙබල්ලාට්හි ද; 35 කර්මාන්තකාරයන්ගේ මිටියාවතේ තිබෙන ලොද්හි ද ඕනෝහි ද විසුවෝ ය. 36 ජුදාහි විසූ ලෙවීවරුන්ගෙන් ද සමහර පන්ති බෙන්ජමින්වරුන් සමඟ සිටියෝ ය.
– 12 වන පරිච්ඡේදය –
බබිලෝනියෙන් පැමිණි පූජකයන් සහ ලෙවීවරුන්
1 ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද සමඟ පැමිණි පූජකයෝත් ලෙවීවරුත් මොවුහු ය; 2 සෙරායා, ජෙරමියා, එස්රා, අමරියා, මල්ලූක්, හට්ටුෂ්; 3 ෂෙකනියා, රෙහුම්, මෙරේමොත්; 4 ඉද්දෝ, ගින්නෙතොන්, අබියා; 5 මියාමින්, මයදියා, බිල්ගා; 6 ෂෙමායා, ජෝයාරීබ්, ජෙදායා; 7 සල්ලු, ආමොක්, හිල්කියා සහ ජෙදායා ය. මොවුහු ජේෂුවාගේ දවස්වල දී පූජකයන්ගෙන් ද ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ද ප්‍රධානියන් ව සිටියෝ ය.
8 තවද, ලෙවීවරු නම්: ජේෂුවා, බින්නුයි, කද්මියෙල්, ෂේරෙබියා, ජුදා සහ මත්තනියා ය. ඔවුහුත්, ඔවුන්ගේ සහෝදරයෝත් ස්තුති ගායනා කණ්ඩායම්වලට පත් ව සිටියෝ ය.
9 තවද, ඔවුන්ගේ සහෝදරයන් වන බක්බුකියා ද උන්නෝ ද ඔවුන් ඉදිරිපිට වාර පිළිවෙළින් සිටියෝ ය.
10 ජේෂුවාට දාව ජෝයාකීම් උපන්නේ ය. ජෝයාකීම්ට දාව එලියාෂිබ් උපන්නේ ය. එලියාෂිබ්ට දාව ජෝයාදා උපන්නේ ය. 11 ජෝයාදාට දාව ජොනතන් උපන්නේ ය. ජොනතන්ට දාව ජද්දුවා උපන්නේ ය.
පූජකවරුන්ගේ ප්‍රධානියෝ
12 ජෝයාකීම්ගේ දවස්වල පිය පෙළපත් ප්‍රධානියන් වූ පූජකයෝ නම්: සෙරායාගෙන් මෙරායා ය; ජෙරමියාගෙන් හනනියා ය; 13 එස්රාගෙන් මෙෂුල්ලාම් ය; අමරියාගෙන් ජෙහෝහානාන් ය. 14 මල්ලූකීගෙන් ජොනතන් ය; ෂෙබනියාගෙන් ජෝසෙප් ය; 15 හාරීම්ගෙන් අද්නා ය; මෙරායොත්ගෙන් හෙල්කයි ය; 16 ඉද්දෝගෙන් ශෙකරියා ය; ගින්නෙතොන්ගෙන් මෙෂුල්ලාම් ය; 17 අබියාගෙන් සික්රී ය; මිනියාමින්ගෙන් මොවාදියාගේ පිල්ටයි ය; 18 බිල්ගාගෙන් ෂම්මුවා ය; ෂෙමායාගෙන් ජෙහෝනාතාන් ය; 19 ජෝයාරීබ්ගෙන් මත්තෙනයි ය; ජෙදායාගෙන් උශ්ශී ය; 20 සල්ලයිගෙන් කල්ලයි ය; ආමොක්ගෙන් ඒබෙර් ය; 21 හිල්කියාගෙන් හෂබියා ය; ජෙදායාගෙන් නෙතෙනේල් ය.
22 එලියාෂිබ්ගේ ද ජෝයාදාගේ ද ජෝහානාන්ගේ ද ජද්දුවාගේ ද දවස්වල ලෙවීවරුන්ගේ පිය පෙළපත් ප්‍රධානියෝ ලියාපදිංචි කරනු ලැබුවෝ ය. පූජකයෝත් පර්සියාවේ දාරියුස්ගේ රජ කාලය දක්වා එසේ වූ හ.
23 පිය පෙළපත්වල ප්‍රධානියන් වූ ලෙවීගේ පුත්‍රයෝ එලියාෂිබ්ගේ පුත් ජෝහානාන්ගේ දවස් දක්වා ම ලේකම් පොතෙහි ලියවුණෝ ය.
24 ලෙවීවරුන්ගේ ප්‍රධානියන් වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මියෙල්ගේ පුත් ජේෂුවා ද තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇති ව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝ ය.
25 මත්තනියා ද බක්බුකියා ද ඔබදියා ද මෙෂුල්ලාම් ද ටල්මොන් ද අක්කුබ් ද දොරටු ගබඩාවල දොරටු පාලකයන් ව සිට රැකවල් කළෝ ය.
26 මොවුහු ජොශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයා වන ජෝයාකීම්ගේ දවස්වල දිශාධිපතියා වන නෙහෙමියාගේත්, නීතිවේදියා වන පූජක එස්රාගේත් දවස්වල ද සිටියෝ ය.
පවුර කැප කිරීම
27 ජෙරුසලමේ පවුර කැප කිරීමේ දී ප්‍රීති ප්‍රමෝදයෙන් ද ස්තුති කිරීමෙන් ද ගීතිකා කිරීමෙන් ද අත්තල්වලින් ද වීණා හා මහා වීණාවලින් ද කැප කිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරු විසූ සෑම තැන්වලින් ඔවුන් සොයාගෙන ජෙරුසලමට ගෙනෙන ලදහ. 28 එවිට ගායකයන් වූ ලෙවීවරු ජෙරුසලම අවට ප්‍රදේශයෙනුත්, නෙටොපාතිවරුන්ගේ ගම්වලිනුත්, 29 බෙත්-ගිල්ගාලෙනුත්, ගෙබාහි ද අශ්මාවෙත්හි ද ගම්වලිනුත් රැස් වූ හ. ගායකයෝ ජෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝ ය. 30 පූජකයෝත් ලෙවීවරුත් පවිත්‍ර වී, සෙනඟ ද දොරටු ද පවුර ද පවිත්‍ර කළෝ ය.
31 එවිට මම ජුදාහි අධිපතීන් පවුර පිටට නඟින්නට සලස්වා, ස්තුති කිරීමටත්, පෙරහරින් යාමටත් මහා කණ්ඩායම් දෙකක් නියම කෙළෙමි. එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේ ය. 32 ඔවුන් පස්සේ හෝෂායා ද ජුදාහි අධිපතීන්ගෙන් භාගයක් ද 33 අශරියා ද එස්රා ද මෙෂුල්ලාම් ද 34 ජුදා සහ බෙන්ජමින් ද ෂෙමායා ද ජෙරමියා ද 35 නළා ඇති ව, පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම්, ආසාප්ගේ පුත් ශක්කුර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත් ජොනතන්ගේ පුත්‍රයා වන ශෙකරියා සහ 36 දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩ ඇති ව, ඔහුගේ සහෝදරයන් වන ෂෙමායා ද අශරියෙල් ද මිලලයි ද ගිලලයි ද මායයි ද නෙතනේල් ද ජුදා ද හනානි ද ඔවුන්ට පෙරටුවෙන් සිටි නීතිවේදී එස්රා ද ගියෝ ය. 37 ඔව්හු උල්පත් දොරටුව ළඟින් ද තමන් ඉදිරිපිට ද තිබුණු දාවිත්ගේ නිවෙසට ඉහළින් පවුරට නැඟුමෙහි දාවිත්ගේ නගරයේ පඩිවලින් නැඟී නැගෙනහිරට තිබෙන වතුර දොරටුව ළඟට ගියෝ ය.
38 අනික් පැත්තට දෙ වන ගායක කණ්ඩායම ද ඔවුන් පස්සේ සෙනඟගෙන් භාගයක් ද මම ද පවුර පිට මුදුන් කොත උඩින් පළල් පවුර දක්වාත්, 39 එප්‍රායිම් දොරටුව උඩිනුත්, පුරාණ දොරටුව ළඟිනුත්, මත්ස්‍ය දොරටුව ද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු දොරටුව දක්වා ගොස් මුර දොරටුව ළඟ නැවතුණෙමු.
40 මෙසේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගායක කණ්ඩායම් දෙක ද මා සමඟ මුලාදෑනීන්ගෙන් කොටසක් ද නළා ඇති ව 41 එලියාකිම්, මයසේයා, මිනියාමින්, මීකායා, එලියෝයේනයි, ශෙකරියා, හනනියා යන පූජකයෝ ද; 42 මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උශ්ශී, ජෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒශෙර් යන මොවුහු ද මම ද සිටියෙමු. ජෙශ්‍රාහියා තමන්ගේ ප්‍රධානියා වශයෙන් ඇති ව ගීතිකාකාරයෝ ශබ්ද නඟා ගායනා කළෝ ය.
43 එදා ඔව්හු මහා පූජා ඔප්පු කොට ප්‍රීති වූ හ. මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ට අතිශයින් ප්‍රීති ප්‍රමෝද වන්නට සැලැසූ සේක. ස්ත්‍රීහු ද දරුවෝ ද ප්‍රීති වූ හ. මෙසේ ජෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේ ය.
නමස්කාරයට අවශ්‍ය දේ සැපයීම
44 ඒ දවසේ පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියම වූ කොටස් නගර ආසන්න කෙත්වල ප්‍රමාණයේ හැටියට ගබඩාවල රැස් කර තබන පිණිස, ඒවා කෙරෙහි පිළිගැන්වීමේ පූජා ද ප්‍රථම පල ද දසයෙන් එක ද සම්බන්ධ ව පාලනය කිරීමට මනුෂ්‍යයෝ පත් වූ හ. මන්ද සේවය කරමින් සිටි පූජකවරු ද ලෙවීවරු ද ගැන ජුදාවරු සතුටු ව සිටියෝ ය. 45 ඔව්හු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද දාවිත්ගේ සහ ඔහුගේ පුත් සලමොන්ගේ ආඥාව ලෙස තමන්ගේ දෙවියන් වහන්සේට නියම පූජා විධි ද පවිත්‍ර වීම පිළිබඳ නියම වත්පිළිවෙත් ද පැවැත්වූ හ. 46 මන්ද, පෙර දාවිත්ගේ ද ආසාප්ගේ ද කාලයේ පටන් ගායකයන්ගේ ප්‍රධානියෙක් සිටියේ ය. එපමණක් නොව දෙවියන් වහන්සේට තුති පැසසුම් ගී ද ගයනු ලැබී ය. 47 සියලු ම ඉශ්රායෙල්වරු ද සෙරුබ්බාබෙල්ගේ දවස්වලත්, නෙහෙමියාගේ දවස්වලත් දිනපතා ගායකයන්ගේත්, දොරටු පාලකයන්ගේත් කොටස් සහ ලෙවීවරුන්ට කැප කළ යුතු දේත් දුන්හ. ලෙවීවරු ද ආරොන්ගේ පුත්‍රයන්ට කැප කළ යුතු දේ දුන්හ.
– 13 වන පරිච්ඡේදය –
විදේශිකයන්ගෙන් වෙන් වීම
1 ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී, අම්මොනි ජාතිකයන් ද මෝවබ් ජාතිකයන් ද රොටි සහ වතුර රැගෙන ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පෙරමඟට නෑවිත් ඔවුන්ට සාප කරන පිණිස බාලාම් කුලියට ගත් නිසා, 2 අම්මොනි ජාතිකයෙක් වත්, මෝවබ් ජාතිකයෙක් වත්, දෙවියන් වහන්සේගේ සභාවට කිසි කලෙක ඇතුළු නොවන්නේ ය කියා ලියා තිබෙනවා සම්බ විය. ඒ සාපය අපේ දෙවියන් වහන්සේ ආශීර්වාදයකට හැරෙවූ සේක. 3 සෙනඟ මේ නියෝගය ඇසූ විට ඔව්හු මිශ්‍ර විවාහයෙන් පැවත ආ අය ඉශ්රායෙල් සෙනඟගෙන් වෙන් කළහ.
නෙහෙමියාගේ ප්‍රතිසංස්කරණ
4 මීට පෙර අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා බාර ව සිටි පූජක එලියාෂිබ් ටෝබියාට විවාහයෙන් නෑකමක් ඇති ව සිටියේ ය. 5 ඔහු ටෝබියාට විශාල කාමරයක් සකස් කර දී තිබිණි. කලින් ඒ කාමරයේ ආහාර පූජා ද තුවරලා ද භාණ්ඩ ද ලෙවීවරුන්ගේත්, ගීතිකාකාරයන්ගේත්, දොරටු පාලකයන්ගේත් නියම කොටස වූ ධාන්‍යයෙන් සහ මිදි යුසෙනුත්, තෙලිනුත් දසයෙන් කොටස ද පූජකයන්ට ලැබෙන පිළිගැන්වීමේ පූජා ද තැන්පත් කර තිබිණි. 6 මේ මුළු කාලයේ දී මම ජෙරුසලමෙහි නොසිටියෙමි. කුමක් නිසාද බබිලෝනියේ රජ වූ අර්තක්ෂස්තාගේ තිස් දෙ වන අවුරුද්දේ දී මා රජු වෙත ගිය බැවිනි. ටික කලකට පසු මම රජුගෙන් අවසර ලැබගෙන 7 ජෙරුසලමට පෙරළා පැමිණියෙමි. එවිට, එලියාෂිබ් දෙවියන් වහන්සේගේ මාලිගාවේ මළුවල ටෝබියා උදෙසා කාමරයක් සකස් කර දීමෙන් ඔහු කළ ඒ නපුරු දේ ගැන දැනගතිමි. 8 මම ඊට අතිශයින් කිපී ටෝබියාගේ කාමරයෙහි තිබුණු බඩු භාණ්ඩ සියල්ල පිටතට වීසි කෙළෙමි. 9 ඉන්පසු ඒ කාමරය පිරිසිදු කරන ලෙස ද දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ ද ආහාර පූජා ද තුවරලා ද නැවත එහි තබන ලෙස ද අණ කෙළෙමි.
10 ලෙවීවරුන්ට හිමි කොටස් ඔවුන්ට නොදී තිබුණු බව ද කටයුතු බාර ව සිටි ලෙවීවරුන් ද ගීතිකාකාරයන් ද තම තමන්ගේ කෙත්වලට පලා ගිය බව ද මට දැනගන්නට ලැබිණි. 11 ඒ නිසා නිලධාරීන්ට කතා කර, ”දෙවියන් වහන්සේගේ මාලිගාව පාළු වී ඇත්තේ මන් ද?” කියා තරවටු කෙළෙමි. මම ඔවුන් රැස් කරවා, ඔවුන්ගේ තනතුරුවලට ඔවුන් පත් කෙළෙමි. 12 එවිට සියලු ජුදාවරු ධාන්‍යයෙනුත්, මිදි යුසෙනුත්, තෙල්වලිනුත් දසයෙන් කොටස ගබඩාවලට ගෙනාවෝ ය. 13 මම ඒ ගබඩා පූජක වූ ෂෙලෙමියාට ද ලේකම්වරයා වූ ශාදොක්ට ද ලෙවීවරුන්ගෙන් පෙදායාට ද ඔවුන්ගේ සහකාර මත්තනියාගේ පුත් ශක්කුර්ගේ පුත් හනාන්ට ද බාර කෙළෙමි. කුමක් නිසාද, ඔව්හු විශ්වාස අය ලෙස සලකන ලද්දෝ ය. තමන්ගේ සහෝදරයන්ට හිමි කොටස් බෙදා දීම ඔවුන්ගේ යුතුකම විය.
14 ”මාගේ දෙවියන් වහන්ස, මා කළ මේ දේ සිහි කළ මැනව. මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා ද එහි නමස්කාරය උදෙසා ද මා කළ යහපත් ක්‍රියා අමතක නොකළ මැනව.”
සබත් දවස පැවැත්වීම ගැන
15 ඒ දවස්වල දී ජුදාහි සමහරුන් සබත් දවසේ මුද්‍රික යන්ත්‍රය පාගන බවත්, ගොයම් මිටි ගෙනවුත් ඒවා සහ මුද්‍රික පානය ද මිදි වලු ද අත්තික්කා පල ද සියලු ආකාර බර ද කොටළුවන් පිට පටවාගෙන සබත් දවසේ දී ජෙරුසලමට ගෙනෙන බවත් මම දිටිමි. එහෙයින් සබත් දවසේ දී කිසිවක් නොවිකුණන ලෙස මම තරයේ කියා සිටියෙමි. 16 ජෙරුසලමේ විසූ තීර්වරු මාළු සහ සියලු ආකාර බඩු ගෙනවුත් ජුදාහි සෙනඟට පමණක් නොව, ජෙරුසලමෙහිත් සබත් දවසේ දී වික්කෝ ය. 17 එබැවින් මම ජුදාහි උත්තමයන්ට තරවටු කරමින්, ”සබත් දවස කෙලෙසා, ඔබ කරන මේ නපුරු ක්‍රියාවේ තේරුම කුමක් ද? 18 ඔබේ පියවරුන් මෙසේ කළ බැවින් අපේ දෙවියන් වහන්සේ මේ සියලු විපත්ති අප පිටත්, මේ නුවර පිටත් පැමිණෙවුවා නොවේ ද? එසේ වී නමුත්, ඔබ සබත් දවස කෙලෙසමින් ඉශ්රායෙල්වරුන් කෙරෙහි දේව උදහස වැඩිකරන්නහු ය”යි ඔවුන්ට කීවෙමි.
19 තවද, මම සබත් දවසට පෙර ජෙරුසලමේ දොරටුවලට අඳුර වැටෙන කල දොරටු වසා තබන්නටත්, සබත් දවස පසු වන තුරු ඒවා නාරින්නටත් අණ කර, සබත් දවසේ කිසි බරක් ඇතුළට නොගෙනෙන පිණිස මාගේ මෙහෙකරුවන්ගෙන් සමහරෙකු දොරටු ළඟ සිටෙවුවෙමි. 20 ඒ නිසා වෙළෙන්දෝ ද සියලු ආකාර බඩු විකුණන්නෝ ද වරක් දෙවරක් ජෙරුසලමෙන් පිට නැවතුණෝ ය. 21 මම ඔවුන්ට තරවටු කොට, ”ඔබ පවුර ළඟ නවතින්නේ මන් ද? ඔබ නැවත එසේ කළොත් ඔබට දඬුවම් කරන්නෙමි”යි ඔවුන්ට කීවෙමි. එතැන් පටන් ඔවුන් සබත් දවසේ දී නගරයට ආවේ නැත. 22 තවද, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදු වී අවුත්, දොරටු රැකවල් කරන ලෙස මම ලෙවීවරුන්ට අණ කෙළෙමි. ”මාගේ දෙවියන් වහන්ස, මේ නිසාත් මා සිහි කර ඔබේ ඉමහත් කරුණාව පරිද්දෙන් මට දයා වී වදාළ මැනව.”
අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවා ගැනීම ගැන
23 ඒ දවස්වල දී සමහර ජුදාවරුන් අෂ්දොද්හි ද අම්මොන්හි ද මෝවබ්හි දී ස්ත්‍රීන් පාවාගෙන සිටිනු මම දුටුවෙමි. 24 ඔවුන්ගේ දරුවන්ගේ සංබ්‍යාවෙන් අඩක් අෂ්දොද් භාෂාව හෝ අන් ජාතීන්ගේ භාෂා හෝ කතා කළෝ ය. ජුදාවේ භාෂාව කතා කරන්න ඔව්හු නොදත්හ. 25 මම ඔවුන්ට තරවටු කර, සාප කර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුලා, ”ඔබේ දූවරු ඔවුන්ගේ පුත්‍රයන්ට පාවාදෙන්න වත් ඔබේ පුත්‍රයන් හෝ ඔබ ඔවුන්ගේ දූවරුන් පාවාගන්න වත් එපාය” කියා දෙවියන් වහන්සේ නමින් දිවුරන්නට සැලැසුවෙමි. 26 මම ඔවුන් අමතා මෙසේ කීවෙමි: ”ඉශ්රායෙල් රජු වූ සලමොන් මේ දේ කිරීමෙන් පව් කළා නොවේ ද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත; ඔහුගේ දෙවියන් වහන්සේ ද ඔහුට ප්‍රේම කොට මුළු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ඔහු පත් කළ සේක. එසේ වී නමුත්, ඔහු පවා අන්‍ය ජාතික ස්ත්‍රීන් විසින් පාපයට පොළඹවන ලදී. 27 එසේ නම්, ඔබත් ඔහුගේ ආදර්ශය අනුගමනය කරමින්, අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මහා නපුරු ක්‍රියාව කර, අපත් අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිවිය යුතු ද?”
28 උත්තම පූජක වූ එලියාෂිබ්ගේ පුත්‍රයා වන ජෝයාදාගේ පුත්‍රයෙකු හොරොනීය ජාතික සන්බලට්ට බෑණා ව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙව්වෙමි.
29 ”මාගේ දෙවියන් වහන්ස, ඔවුන් පූජක තනතුර ද පූජකකමේත්, ලෙවීවරුන්ගේත් ගිවිසුම ද අපිරිසිදු කළ හැටි සිහි කළ මැනව.”
30 මෙසේ මම විදේශික වන සියල්ලෙන් ඔවුන් පිරිසිදු කර, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් කටයුතු එකිනෙකාට බාර වූ අන්දමට නියම කෙළෙමි. 31 තවද, නියම කාලවලට දර, පඬුරු හා ප්‍රථම පල ද ගෙන ඊම පිළිබඳ විධිවිධාන සැලැසුවෙමි.
”මාගේ දෙවියන් වහන්ස, මාගේ යහපත පිණිස මා සිහි කළ මැනව.”