2 තෙසලෝනික

2 තෙසලෝනික

– 1 වන පරිච්ඡේදය –

ආචාරය

1 පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු. 2 දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාව සහ ශාන්තිය ඔබට වේ වා!

විනිශ්චයේ දවස

3 සහෝදරවරුනි, ඔබ ගැන අප නිතර ම දෙවියන් වහන්සේට ස්තුති පිදිය යුතු යයි අපට තදින් හැඟේ. මන්ද, ඔබගේ ඇදහිල්ල පුදුමාකාරයෙන් වර්ධනය වන නිසාත්, ඔබ හැමගේ අන්‍යොන්‍ය ප්‍රේමය අධික වී තිබෙන නිසාත්, එසේ කිරීම යුතු ය. 4 ඔබගේ සියලු පීඩාවල දී හා ඔබ විඳින දුක්ගැහැටවල දී ඔබ දක්වන ඉවසීම හා ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේගේ සභාවල දී අපි ඔබ ගැන පාරට්ටු කරමු. 5 දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් දුක් විඳින ඔබ, ඒ රාජ්‍යයට සුදුස්සන් වන බැවින්, ඔබ සැබැවින් ම දෙවියන් වහන්සේගේ සාධාරණ විනිශ්චයේ ආදර්ශයකි.
6 දෙවියන් වහන්සේ යුක්තිය ඉටු කරමින්, ඔබට දුක් දෙන්නන්ට දුක ද, 7 දුක් විඳින ඔබට හා අපට සහනය ද දෙන සේක. මෙය සිදු වන්නේ ජේසුස් සමිඳාණන් වහන්සේ ස්වකීය බලසම්පන්න දූතයන් සමඟ ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය. 8 එවිට ගිනි ජාලා ඇති වේ. දෙවියන් වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්, අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන් වහන්සේ දඬුවම් කරන සේක. 9 ඔව්හු සමිඳාණන් වහන්සේගේ අභිමුඛයෙන් ද, උන් වහන්සේගේ තේජාන්විත ප්‍රතාපයෙන් ද ඉවත් කරනු ලැබ, සදාතන විනාශයේ දඬුවම විඳින්නෝ ය. 10 මෙය සිදු වන්නේ උන් වහන්සේ සියලු සැදැහැවතුන්ගෙන් මහිමයත්, සියලු ඇදහිලිවතුන්ගෙන් ගෞරවයත් ලැබීමට පැමිණෙන ඒ දවසේ දී ය. අප ඔබ වෙත ගෙන ආ පණිවුඩය ඔබ ඇදහූ බැවින් ඔබත් ඒ ගණයට ඇතුළත් ය.
11 අප ඔබ ගැන නිතර ම යාච්ඤා කරන්නේ ඒ නිසා ය. දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් වන ලෙසත්, උන් වහන්සේගේ බලයෙන් යහපතට ඇති ඔබේ ආශා සියල්ල ඉටු කර, ඇදහිල්ලේ ක්‍රියාවන් සම්පූර්ණ කරන ලෙසත්, අපි යාච්ඤා කරමු. 12 තවද අපගේ දෙවියන් වහන්සේගේ ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ද වරප්‍රසාදය කරණකොටගෙන අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමය ඔබ අතර ගෞරවයට පැමිණෙන පිණිස ද, ඔබ උන් වහන්සේගෙන් ගෞරවය ලබන පිණිස ද, අපි යාච්ඤා කරමු.

– 2 වන පරිච්ඡේදය –

මුළාකරන්නාගේ පැමිණීම

1 සහෝදරවරුනි, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආගමනය ගැන ද උන් වහන්සේ හමුවෙහි අප එක් රැස් වීම ගැන ද දැන් අප කතා කළ යුතු ය. 2 සමිඳාණන් වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැ යි දැක්වෙන දිවැස් වැකියකින් හෝ, ආරංචියකින් හෝ, අපෙන් යයි කියන හසුනකින් හෝ, පහසුවෙන් වියවුල් නොවන හැටියටත්, නොකැළඹෙන හැටියටත්, අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු. 3 කිසිවෙකුට කිසිසේත් ඔබ රවටන්නට ඉඩ නාරින්න. මන්ද, ඇදහිල්ලෙන් වැටී යෑම ද, විනාශයේ පුත්‍රයා වන නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වීම වන තුරු ද, ඒ දවස නොපැමිණේ. 4 ඔහු මිනිසුන් දෙවියන් කොට සලකන සියල්ලන්ට ද, මිනිසුන් නමස්කාර කරන සියල්ලන්ට ද විරුද්ධ ව සිට, ඒ හැමට වඩා තමා උසස් කරගනිමින්, දේව මාලිගාවෙහි වැඩහිඳ තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කරන්නේ ය.
5 මා ඔබ සමඟ සිටිය දී මේ කාරණා ඔබට කී බව මතක නැද් ද? 6 ඒ නොපනත්කමේ මනුෂ්‍යයා නියම කාලයේ දී ප්‍රකාශ වන පිණිස, දැනට ඔහු වළක්වාලන්නේ කිමෙක් දැ යි ඔබ දන්නහු ය. 7 නොපනත්කමේ අබිරහස දැනුදු එසේ ම ක්‍රියා කරයි. එහෙත් වළක්වා ලන තැනැත්තා ඉවත් කරනු ලැබුවායින් පසු, රහසිගත කිසිවක් නොපවතී. 8 එවිට නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වකීය මුඛයේ හුස්මෙන් ඔහු නසා, උන් වහන්සේගේ ආගමනයේ තේජශ්‍රීයෙන් ඔහු වනසා ලන සේක. 9 නොපනත්කමේ මනුෂ්‍යයා සාතන්ගේ බලයෙන් යුක්ත ව පැමිණ, සියලු ආකාර ව්‍යාජ ප්‍රාතිහාර්ය ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද කරන්නේ ය. 10 විනාශයට නියම වූ අය, ගැළවීම අත්කර දෙන සත්‍යය ප්‍රේමයෙන් නොපිළිගත් බැවින්, දුෂ්ට ලෙස රවටනු ලබන්නෝ ය. 11 ඔවුන් අසත්‍ය දේ විශ්වාස කරන පිණිස, ඔවුන් තුළ ක්‍රියා කිරීමට දෙවියන් වහන්සේ මුළාවේ බලය එවන සේක. 12 මෙසේ, සත්‍යය විශ්වාස නොකොට පාපයට ප්‍රිය කරන සියලු දෙන විනිශ්චය කරනු ලබති.

ගැළවීම සඳහා තෝරාගනු ලැබීම

13 සමිඳාණන් වහන්සේගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය. මන්ද, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැබීමත්, සත්‍යය විශ්වාස කිරීමත් කරණකොටගෙන ඔබ ගැළවෙන පිණිස, දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය. 14 එසේ දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ අප ඔබ වෙතට ගෙනා සුබ අස්න මඟින් ය. ඒ කැඳවීම ඔබ ලැබුවේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමයට ඔබ පංගුකාරයන් වන පිණිස ය. 15 එබැවින් සහෝදරවරුනි; ස්ථිර ව සිට, අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න.
16 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, අපට ප්‍රේම කොට සදාතන ධෛර්යයත්, යහපත් බලාපොරොත්තුවත්, වරප්‍රසාදයත් මඟින් අපට දුන් අපගේ දෙවි පියාණන් වහන්සේ ද 17 ඔබගේ සිත් ධෛර්යවත් කර, සියලු යහපත් දේ කීමට ද කිරීමට ද ඔබ ශක්තිමත් කරන සේක් වා!

– 3 වන පරිච්ඡේදය –

යාච්ඤා කරන මෙන් ඉල්ලීමක්

1 අවසන්කොට, සහෝදරවරුනි, ඔබ අතර සිදු වූ ලෙස ම අන් තැන්වලත් සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ශීඝ්‍ර ලෙස පැතිරී ගොස් ගෞරවයට පැමිණෙන පිණිස, අප උදෙසා යාච්ඤා කරන්න. 2 හිතුවක්කාර නපුරු මිනිසුන්ගෙන් අප ගැළවෙන පිණිස ද යාච්ඤා කරන්න. මන්ද, ඇදහීම සියල්ලන්ට ම ලැබී නැත. 3 එහෙත් සමිඳාණන් වහන්සේ විශ්වාසවන්ත ය. උන් වහන්සේ ඔබ ශක්තිමත් කොට නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක. 4 තවද, අප ඔබට අණ කරන දේ ඔබ දැනටත්, මතුවටත් ඉටු කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ ඔබ ගැන අපට සහතිකයක් දී ඇත. 5 සමිඳාණන් වහන්සේ ඔබගේ සිත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයටත්, ක්‍රිස්තුන් වහන්සේගෙන් වන ඉවසීමටත් පමුණුවන සේක් වා!

රැකියාවක් කිරීමේ යුතුකම

6 තවද, සහෝදරවරුනි, අපෙන් ලැබූ උපදෙස් අනුව නොව, අලසකමින් හැසිරෙන සියලු සහෝදරයන්ගෙන් වෙන් ව සිටින මෙන් අපගේ ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරමු. 7 අපේ ආදර්ශය ඔබ අනුගමනය කළ යුත්තේ කෙසේ දැ යි ඔබ ම දන්නහු ය. අප ඔබ අතර අලසකමින් හැසුරුණේ නැත. 8 අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු. ඔබෙන් කිසිවෙකුට බරක් නො වන පිණිස, අපි වෙහෙස මහන්සියෙන් දිවා රෑ දෙක්හි වැඩ කළෙමු. 9 අප මෙය කෙළේ ඔබෙන් ආධාර ලැබීමට අපට අයිතියක් නැති නිසා නොව, අනුගමනය කිරීම සඳහා ඔබට ආදර්ශයක් දෙන පිණිස ය. 10 ”වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා”යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු. 11 ඔබෙන් සමහරෙකු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසමින් අලසකමින් හැසිරෙන බව අපට සැළ වී ඇත. 12 එබඳු අය සන්සුන් ලෙස වැඩ කොට, සිය දිවි පෙවෙත උපයාගන්නා ලෙස ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අණ දී අවවාද කරමු.
13 එහෙත් සහෝදරවරුනි, ඔබ යහපත කිරීමට මැළි නොවන්න. 14 යමෙක් මේ හසුනේ සඳහන් අපගේ අවවාදවලට කීකරු නොවන්නේ නම් ඔහු සිතේ තබා ගෙන, ඔහු ලජ්ජාවට පමුණුවන පිණිස ඔහු ඇසුරු නොකරන්න. 15 එහෙත් ඔහු සතුරෙකු මෙන් නොසලකා, සහෝදරයෙකුට මෙන් ඔහුට දැනමුතුකම් දෙන්න.

අවසානය

16 සාමදානයේ සමිඳාණන් වහන්සේ ම, නිතර ම, සියලු අයුරින් ම ඔබට සාමදානය දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක් වා! 17 හැම හසුනක ම මා අත්සන් තබන පරිදි, පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියා එවමි.
18 අප ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s