2 කොරින්ති

2 කොරින්ති

– 1 වන පරිච්ඡේදය –

සුබ පැතුම්

1 දේව කැමැත්ත අනුව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන් ද සහෝදර තිමෝතියස්ගෙන් ද කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතටත්, ග්‍රීසිය පුරා සිටින දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ වෙතටත් ය. 2 අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!

පීඩා මැද තුති පැසසුම්

3 කරුණාවේ පියාණන් වූ ද, සකල සැනසීම දෙන දෙවියන් වූ ද, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! 4 උන් වහන්සේ අපගේ සෑම පීඩාවල දී අප සනසන සේක. එසේ කරන්නේ දෙවියන් වහන්සේගෙන් අප ලබන සැනසීම කරණකොටගෙන සියලු ආකාර පීඩා විඳින්නන් සනසන්නට අපටත් හැකි වනු පිණිස ය. 5 ක්‍රිස්තුන් වහන්සේගේ අධිකතර වේදනාවලට යම් සේ අපි පංගුකාරයෝ වීමු ද, එසේම උන් වහන්සේගේ අධිකතර සැනසිල්ලටත් අපි පංගුකාරයෝ වෙමු. 6 අපි පීඩා විඳිමු නම් එය විඳින්නේ ඔබගේ සැනසීම හා ගැළවීම පිණිස ය. අපි සැනසීම ලබමු නම් එය ලබන්නේ ඔබත් අප මෙන් ඉවසීමෙන් දුක් විඳින විට, සැනසීම ලබන පිණිස ය. 7 ඔබ ගැන අපේ බලාපොරොත්තුව ස්ථීර ව පවතී. මන්ද, දුකට පංගුකාර ව සිටින ලෙස ම, ඔබ සැනසීමටත් පංගුකාරයන් වන බව අපි දනිමු.
8 සහෝදරවරුනි, ආසියාවේ දී අපට පැමිණි පීඩා ගැන ඔබට දන්වන්නට අපි කැමැත්තෙමු. ජීවිතය ගැන පවා බලාපොරොත්තු නැති වන තරමට ඉසිලිය නොහැකි දුක් බර අප පිට පැමිණියේ ය. 9 මරණ තීන්දුව ලැබුවාක් මෙන් අපට හැඟුණි. එසේ වූයේ, අප කෙරෙහි ම විශ්වාසය නොතබා, මළවුන් උත්ථාන කරන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ විශ්වාසය තබන පිණිස ය. 10 දෙවියන් වහන්සේ මෙබඳු භයංකර මරණයකින් අප මිදූ සේක. මතු ද අප මුදාලන සේක. අපි උන් වහන්සේ කෙරෙහි අපේ බලාපොරොත්තුව තබමු. 11 ඔබත් සහයෝගී ව, අප උදෙසා යාච්ඤා කළොත්, උන් වහන්සේ තවදුරටත් අප මුදාලන සේක. මෙලෙස දෙවියන් වහන්සේ අපට දුන් වරප්‍රසාදය ගැන බොහෝ දෙනෙකු උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනු ඇත.

ගමන වෙනස් කිරීමට හේතුව

12 අපගේ පාරට්ටුව මෙයයි. එනම්, ලෝකයා අතරත් විශේෂයෙන් ඔබ අතරත් අපගේ හැසිරීම, ලෞකික ප්‍රඥාවෙන් නොව දේව වරප්‍රසාදයෙන් ද දෙවියන් වහන්සේ දුන් ශුද්ධවන්තකමින් ද අවංකකමින් ද පාලනය වූ බවට අපගේ හෘදය සාක්ෂිය සහතික කරයි. 13 අප ඔබට ලියන්නේ කියවන්නටත් තේරුම්ගන්නටත් පුළුවන් දේ පමණ ය. දැනට ඔබ තේරුම්ගෙන තිබෙන්නේ අර්ධ වශයෙන් ය. 14 එහෙත් අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ විනිශ්චය දවසේ දී, අප ඔබ ගැන ආඩම්බර වන සේ ඔබටත් අප ගැන ආඩම්බර වීමට හැකි වන බව ඔබ මුළුමනින් ම තේරුම්ගනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.
15 මේ සියල්ල ගැන මට සහතිකයක් තිබුණු බැවින්, ඔබට දෙවරක් මා දැක ගැනීමේ වාසනාව ලබා දෙනු පිණිස මම පළමුවෙන් ඔබ වෙත ඒමට අදහස් කෙළෙමි. 16 මසිදෝනියට යන ගමනේ දී ද ආපසු එන විට ද ඔබ දැකබලාගැනීමට මම අදහස් කෙළෙමි. තවද ජුදයට මා යන ගමනේ දී ඔබගෙන් ආධාර ලබාගන්නට මම බලාපොරොත්තු වෙමි. 17 මා මෙසේ අදහස් කෙළේ, වගකීමක් නැති ව ද? මා තීරණ ගන්න විට, එසේ ගන්නේ, එක හුස්මෙන් ම, ‘ඔව්, ඔව්’, ‘නැහැ, නැහැ’ කියන ආත්මාර්ථකාමී චේතනාවෙන් ද? 18 සත්‍යවාදී දෙවියන් වහන්සේ විශ්වාසවන්ත සේ ම අපගේ වචනය ‘ඔව්’ ‘නැහැ’ කියා දෙගිඩියාවෙන් කියන්නක් නොවේ. 19 මන්ද, අප විසින් එනම්, සිල්වානස්, තිමෝතියස් හා මා විසින් ඔබ අතර දේශනා කළ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ‘ඔව්’, ‘නැහැ’ කියා දෙගිඩියාවක් නැත. ඇත්තේ ‘ඔව්’ යන්න පමණකි. 20 දෙවියන් වහන්සේගේ සියලු ම පොරොන්දු ඉටු කිරීම පිළිබඳ ‘ඔව්’ යන්න ක්‍රිස්තුන් වහන්සේ වන සේක. දෙවියන් වහන්සේට ගරු බුහුමන් කරන පිණිස අප ක්‍රිස්තුන් වහන්සේ තුළින් ‘ආමෙන්’ කියන්නේ ඒ නිසා ය. 21 ක්‍රිස්තුන් වහන්සේ තුළ, ඔබ සමඟ අප ශක්තිමත් කරන්නේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ අප ආලේප කර, 22 උන් වහන්සේගේ මුද්‍රාව අප පිට තබා, අපගේ සිත් තුළ, අපට අත්තිකාරමක් වශයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවා වදාළ සේක.
23 මා කොරින්තියට නාවේ ඔබට ඇති අනුකම්පාව නිසා බවට, හද පත්ලෙන් දිවුරමින්, දෙවියන් වහන්සේ මාගේ සාක්ෂිකරු වශයෙන් මම කැඳවමි. 24 ඔබ ඇදහිය යුතු දේ ගැන අපි ඔබට විධාන නොකරමු. ඔබගේ ප්‍රීතිය සඳහා අපි සහයෝගයෙන් ඔබ සමඟ සේවය කරමු. මන්ද, ඔබගේ ඇදහිල්ල ස්ථීර ය.

 

– 2 වන පරිච්ඡේදය –

1 ඔබට සිත් වේදනා නොදීම පිණිස, යළිත් ඔබ වෙත නොඒමට මා තීරණය කළේ එබැවිනි. 2 මා ඔබට සිත් වේදනා දුන්නොත්, මට සතුට දෙන්නට ඉන්නේ, මා සිත් වේදනාවට පත් කළ අය ම හැර, අන් කවරෙක් ද? 3 මා ඒ ලිපිය ලිව්වේ මේ කාරණාව නිසා ම ය. මා සතුටු කළ යුතු අය අතින් ම මා සිත් වේදනාවට පත් නොවන පිණිස, ඔබ වෙත ඒමට මම කැමැති නොවීමි. මා සතුටින් සිටින විට, ඔබත් සතුටින් සිටින බවට ඔබ ගැන මට පැහැදීමක් ඇත. 4 මහා දුකින් ද සිත් තැවුලින් ද කඳුළු සලමින් ද මා ඔබට ලිව්වේ, ඔබට සිත් වේදනා දීමට නොව ඔබට ඇති මාගේ ප්‍රේමය කෙතරම් අධික දැ යි ඔබ වටහාගන්නා පිණිස ය.

වැරදිකරුට කමාව දීම

5 එහෙත් යමෙක් දුක් දී ඇත්නම් ඔහු දුක් දී ඇත්තේ මට නොව, තරමක්දුරට ඔබ හැමට ය. මෙසේ කීම අතිශයෝක්තියක් නොවේ යයි සිතමි. 6 ඔබෙන් වැඩිදෙනා ඒ තැනැත්තාට කර ඇති දඬුවම සෑහේ. 7 අනෙක් අතට ඒ තැනැත්තා ඔහුගේ අධිකතර ශෝකයෙහි ගිලී නොයන පිණිස ඔහුට කමා වීම හා ධෛර්ය දීම ඔබගේ නියම යුතුකම වේ. 8 එබැවින් ඔබ ඔහුට ප්‍රේම කරන බව සහතික කර දක්වන්න. 9 මා ඔබ වෙත ඒ ලිපිය ලිව්වේ සියලු කාරණාවල දී ඔබ මට කීකරු දැ යි, පරීක්ෂා කර දැනගන්නා පිණිස ය. 10 යම් කරුණක් නිසා යමෙකුට ඔබ කමා වන්නහු නම්, මම ද කමා වෙමි. මා එසේ කමා වී ඇත්නම්, කමා වී ඇත්තේ, ක්‍රිස්තුන් වහන්සේ අබිමුවෙහි ඔබ උදෙසා ය. 11 මා එසේ කෙළේ, අප සාතන්ගේ උපා දන්නා බැවින්, ඔහුගෙන් පරාජය වීමට ඉඩ නොතබන පිණිස ය.

ත්‍රෝවසයෙන් මසිදෝනියට

12 තවද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීමට මා ත්‍රෝවසට පැමිණි කල සමිඳාණන් වහන්සේගේ සේවයට දොරක් විවෘත වී තිබුණි. 13 එහෙත් මාගේ සහෝදර වූ තීතස් මට සම්බ නුවූ බැවින් මාගේ සිතට සහනයක් නුවූයෙන් ඔවුන්ගෙන් සමුගෙන මම මසිදෝනියට ගියෙමි.

කිතුනු ජය පෙරහර

14 තවද, කිතුනුවන් වූ අප නිතර ම ජය පෙරහරින් ගෙන යන, තමන් වහන්සේ පිළිබඳ දැනගැන්ම නමැති සුගන්ධය අප ලවා හැම තැන ම පතුරුවන, දෙවියන් වහන්සේට ස්තුති වේ වා! 15 අපි, ගැළවෙන්නන් හා විනාශ වෙන්නන් උදෙසා, දෙවියන් වහන්සේට ක්‍රිස්තුන් වහන්සේ පිදූ සුගන්ධය වෙමු. 16 විනාශ වන අයට එය මරණයට පමුණුවන මාරක දුර්ගන්ධයකි. ගැළවෙන අයට එය ජීවනයට පමුණුවන ජීවනදායක සුගන්ධයකි. මෙවැනි කාර්යයකට සමතා කවරෙක් ද? 17 බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් අපි, දෙවියන් වහන්සේගේ වචනය වංචනික ලෙස භාවිතා නොකොට, අවංක ව ද දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස ද උන් වහන්සේ ඉදිරියෙහි අපි ප්‍රකාශ කරමු.

 

– 3 වන පරිච්ඡේදය –

අලුත් ගිවිසුමේ සේවකයෝ

1 මෙසේ අපි, අප ගැන ම රෙකමදාරුවක් කරන්නට පටන් ගනිමු ද? නැත්නම් සමහරුන්ට වුවමනා වන සේ අපටත් ඔබට දීමට හෝ ඔබෙන් ලබාගැනීමට හෝ රෙකමදාරු ලිපි වුවමනා ද? 2 නැත. අපට ඇති රෙකමදාරු ලිපිය නම් ඔබ ම ය; එය අපේ සිත්වල ලියා ඇත. සියල්ලන්ට ම එය කියවා දැනගත හැකි ය. 3 ඔබ වනාහි අප විසින් එවන ලද ‘ක්‍රිස්තුන් වහන්සේගේ ලිපිය’ බව පැහැදිලි ය. එය ලියා ඇත්තේ තීන්තෙන් නොව, ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන ය. ගල් පුවරුවල නොව, මිනිස් සිත් නමැති පුවරුවල ය.
4 ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපට එවැනි සහතිකයක් ඇත. 5 එහෙත් මේ සියල්ල කිරීමේ හැකියාව අපගේ ම යයි කීමට පුළුවන්කමක් අපට නැත. අපගේ හැකියාව එන්නේ දෙවියන් වහන්සේගෙන් ය. 6 අලුත් ගිවිසුමේ සේවකයන් වීමේ හැකියාව දුන්නේ උන් වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත නීතියෙන් නොව ශුද්ධාත්මයාණන්ගෙනි. ලිඛිත නීතිය මරණය ගෙන දෙයි. ශුද්ධාත්මයාණෝ ජීවනය ගෙන දෙති.
7 අකුරින් අකුර ගලේ ලියා කොටන ලද ව්‍යවස්ථාව මරණය ඇති කළ නමුත්, එය ප්‍රදානය කරන ලද්දේ මහා තේජසිනි. ඒ තේජස පහ ව යන්නක් වූ නමුත්, එයින් උද්දීපනය වූ මෝසෙස්ගේ මුහුණ දෙස නෙත් යොමු කර බලා සිටීම ඉශ්රායෙල් සෙනඟට නොහැකි තරමට එය දීප්තිමත් විය. 8 එය එසේ නම්, ශුද්ධාත්මයාණන් ප්‍රදානය කිරීම කරණකොටගෙන ඇති වන තේජස ඊට වඩා කෙතරම් දීප්තිමත් වේ ද? 9 අප වරදට පත් කළ ව්‍යවස්ථාව ප්‍රදානය කිරීම තේජාන්විත වී නම්, අප දමිටු කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ප්‍රදානය කිරීම ඊටත් වඩා තේජාන්විත නොවේ ද? 10 කලින් තේජසින් පැමිණි දේ දැන් පහ ව ගොස් ඇත. ඒ තේජස පරදවන ඊට වඩා මහා තේජසක් දැන් පැමිණ තිබේ. 11 පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද?
12 මෙවැනි බලාපොරොත්තුවක් අපට ඇති බැවින් අපි නිර්භීත ව කතා කරමු. 13 පහ ව යන තේජස ඉශ්රායෙල් සෙනඟ නොදකින පිණිස මුහුණු වැස්මක් දමාගත් මෝසෙස්ට අපි සමාන නොවෙමු. 14 එහෙත් ඔවුන්ගේ සිත් දැඩි වී තිබිණි. මන්ද, අද දක්වා ම පුරාණ ගිවිසුමෙන් කියවන විට එම වැස්ම ඉවත් නොකොට පවතී. ඒ වැස්ම ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන පමණ ය. 15 සැබැවින් ම, අද දක්වා මෝසෙස්ගේ ව්‍යවස්ථාව කියවන විට, ඔවුන්ගේ සිත් වැස්මකින් ආවරණය වී ඇත. 16 එසේ වුවත් ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, යමෙක් සමිඳාණන් වහන්සේ වෙත හැරුණු විට, වැස්ම ඉවත් කරනු ලැබේ. 17 ඒ සමිඳාණන් වහන්සේ ශුද්ධාත්මයාණෝ වන සේක. සමිඳාණන් වහන්සේගේ ආත්මයාණන් යම් තැනක ද, එතැන නිදහස ඇත. 18 අපි සියල්ලෝ, වැස්ම ඉවත ලූ මුහුණුවලින් සමිඳාණන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයාණන් වන සමිඳාණන් වහන්සේගෙන් එන තේජස, අප උන් වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විත ව පමුණුවනු ඇත.

 

– 4 වන පරිච්ඡේදය –

දේවසම්පත් දරන මැටි බඳුන්

1 මේ සේවය දේව වරප්‍රසාදයෙන් අප පිට පවරා ඇති බැවින් අප අධෛර්ය නොවෙමු. 2 ලජ්ජා සහිත රහසිගත ක්‍රියා අපි අත් හළෙමු; කපටි කමින් අපි ජීවත් නොවෙමු; දෙවියන් වහන්සේගේ වචනය වෙනස් නොකර, අපි සත්‍යය එළිදරව් කරමු. එසේ කරමින්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදය සාක්ෂියට අපි අප ම රෙකමදාරු කරගනිමු. 3 අපගේ සුබ අස්න සැඟවුණු දෙයක් නම්, එය සැඟවී ඇත්තේ විනාශ වෙන්නන්ට ය. 4 දෙවියන් වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත සුබ අස්නේ ප්‍රභාව නොපෙනෙන සේ මෙලොව දෙවියා නොඇදහිලිවන්තයන්ගේ සිත් අඳුරු කර ඇත. 5 මන්ද, අපි අප ගැන ම නොව, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ස්වාමීන් බවත්, ජේසුස් වහන්සේ උදෙසා අප ඔබගේ දාසයන් බවත් ප්‍රකාශ කරමු. 6 ”අන්ධකාරයෙන් ආලෝකය නික්ම ඒවා”යි වදාළ එම දෙවියන් වහන්සේ ම, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය, අපගේ සිත් තුළ බැබළෙවූ සේක.
7 එහෙත් මේ අති ශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස, අප මේ වස්තුව රැස් කර තැබූ මැටි බඳුන් හා සමාන ය. 8 අපි හැම අතින් ම මඩිනු ලැබුවත් කොටු වී නොසිටිමු. වියවුල් වුවත් බලාපොරොත්තු රහිත නොවෙමු; 9 ලුහුබඳිනු ලැබුවත් අතරමං නොවෙමු; පහර ලැබුවත් නොවැනසෙමු. 10 ජේසුස් වහන්සේගේ ජීවිතය අපේ ශරීරයෙන් ප්‍රකාශ වන පිණිස උන් වහන්සේ මරණයට භාජනය වූ ලෙස ම, අපිත් නිතර ම ශාරීරික වශයෙන් මරණයට භාජනය වෙමින් සිටිමු. 11 අපගේ මැරෙනසුලු ශරීරයේ ජේසුස් වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, අපි ජීවත් ව සිටිය දී නිතර ම මරණයට පාවා දෙනු ලැබ සිටිමු. 12 මෙලෙස අප කෙරෙහි බලපාන්නේ මරණයයි. ඔබ කෙරෙහි බලපාන්නේ ජීවනයයි.
13 තවද, ”මම විශ්වාස කළ නිසා කතා කෙළෙමි”යි ශුද්ධ ලියවිල්ල කියයි. එම ඇදහිල්ල ඇති අපිත් විශ්වාස කරන නිසා කතා කරමු. 14 ස්වාමීන් වන ජේසුස් වහන්සේ උත්ථාන කළ දෙවියන් වහන්සේ, ජේසුස් වහන්සේ සමඟ අපත් උත්ථාන කරන බව ද, ඔබ සමඟ අපත් උන් වහන්සේ ඉදිරියට පමුණුවන බව ද අපි දනිමු. 15 මේ සියල්ල ඔබ උදෙසා සලසා ඇත්තේ දේව වරප්‍රසාදය බොහෝදෙනෙකු වෙත පැතිරී වැඩි වී යාමෙන් දෙවියන් වහන්සේගේ මහිමය සඳහා ස්තුති දීම ද අධික වන පිණිස ය.

ඇදහිල්ලෙන් ජීවත් වීම

16 එබැවින් අපි අධෛර්ය නොවෙමු. බාහිර වශයෙන් අප දිරාපත් වෙමින් සිටියත්, අභ්‍යන්තරික වශයෙන් අපි දිනෙන් දින ම අලුත් වෙමින් පවතිමු. 17 දැනට අප විඳින තාවකාලික සුළු දුක, එය මුළුමනින් ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදයි. 18 මන්ද, අප නෙත් යොමුකර සිටින්නේ දෘශ්‍යමාන දේ දෙස නොව අදෘශ්‍යමාන දේ දෙස ය. දෘශ්‍යමාන දේ තාවකාලික ය; අදෘශ්‍යමාන දේ සදාතනික ය.

– 5 වන පරිච්ඡේදය –

1 කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු. 2 මෙහි දී අපි ස්වර්ගීක නිවාසයේ ආවරණය ලබාගැනීමේ දැඩි ආශාවෙන් සුසුම්ලමු. 3 මෙය ලබාගත් විට අපි ආවරණ රහිත ව නොසිටිමු. 4 කූඩාරමක් වැනි මේ ශරීරයෙහි සිටින තුරු, අපි දුක් බරින් සුසුම්ලමු. අපගේ ආශාව නම් ආවරණ රහිත ව සිටීම නොව, මැරෙනසුලු දේ ජීවනයට පරිවර්තනය වන පිණිස ආවරණ සහිත ව සිටීම ය. 5 මෙය සඳහා අප සූදානම් කළේ දෙවියන් වහන්සේ ම ය. එහි අත්තිකාරම වශයෙන් උන් වහන්සේ අපට ශුද්ධාත්මයාණන් ප්‍රදානය කළ සේක.
6 එබැවින් අපි සැම විට ම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නමැති නිවාසයෙහි සිටින තුරු, අපි සමිඳාණන් වහන්සේගෙන් ඈත් ව සිටින බව දනිමු. 7 අප ජීවත් වනුයේ දැකීමෙන් නොව, ඇදහීමෙන් ය. 8 අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නමැති නිවාසයෙන් ඈත් වී සමිඳාණන් වහන්සේ තුළ විසීමට අපි වඩාත් කැමැති වෙමු. 9 ඒ නිසා අපි, එහි වේවා, මෙහි වේවා, කොයි නිවාසයෙහි සිටියත්, සමිඳාණන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශා වෙමු. 10 මන්ද, අපි සියලුදෙනා ම තම තමාගේ ශාරීරික ජීවිතයේ දී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියම ව සිටිමු.

ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ බලය

11 සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය වීම කුමක් දැ යි අප දන්නා බැවින් මිනිසුන්ට කරුණු පහදා දීමට අපි උත්සාහ කරමු. දෙවියන් වහන්සේට අපේ නියම ස්වභාවය පැහැදිලි ව පෙනේ. එලෙස ම ඔබටත් පෙනෙනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි. 12 අප උත්සාහ කරන්නේ යළිත් අප ම ඔබට රෙකමදාරු කරගැනීමට නොව අප ගැන පාරට්ටු කිරීමට ඉඩ ප්‍රස්ථාවක් ඔබට සලසා දීමට ය. එවිට චරිතය අනුව නොව පෙනුම අනුව පාරට්ටු කරගන්නන්ට පිළිතුරු දීමට ඔබට හැකි වනු ඇත. 13 අපි සිහිවිකල වී සිටිමු නම්, එය දෙවියන් වහන්සේ උදෙසා ය. අපි සිහි බුද්ධියෙන් සිටිමු නම්, එය ඔබ උදෙසා ය. 14 සියල්ලන් උදෙසා එක් කෙනෙකු මළ නිසා, සියල්ලෝ ම මළහ යි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි. 15 උන් වහන්සේ දිවි පිදුවේ ජීවත් වන්නන් තවත් තමන් ම උදෙසා ජීවත් නොවී, ඔවුන් උදෙසා මැරී, උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.

ක්‍රිස්තුන් වහන්සේ තුළ නව ජීවනය

16 මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු. 17 එබැවින් යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහ ව ගොස් ඇත. දැන් සියල්ල ම අලුත් වී තිබේ. 18 සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් ය. උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අප තමන් වහන්සේට සමඟි කරගෙන, සමඟි කිරීමේ සේවය අපට දුන් සේක. 19 එහි තේරුම නම්, මිනිසුන්ගේ පව් ඔවුනට විරුද්ධ ව ගණන් නොගෙන ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, දෙවියන් වහන්සේ, ලෝකය තමන් වහන්සේට සමඟි කරගනිමින් සිටි බවත්, ඒ සමඟි කිරීමේ සේවය අපට භාර දුන් බවත් ය.
20 දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු. 21 දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.

 

– 6 වන පරිච්ඡේදය –

1 එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු. 2 මන්ද,
”ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි
දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.
3 අපේ සේවය දෝෂයට ලක් නොවන පිණිස කිසිවෙකුට අපගෙන් බාධා ඇති වීමට ඉඩ නොතබමු. 4 එසේ නොව, දුක් පීඩා ද අගහිඟකම් ද විපත්ති ද මහත් ඉවසීමකින් විඳදරා, අපි දෙවියන් වහන්සේගේ සේවකයන් වශයෙන් ඔබට ඒත්තුගන්වමු. අපි බොහෝ දේ විඳදරාගත්තෙමු. 5 පහර ලැබුවෙමු; සිරගත වීමු; අඩන්තේට්ටම් කරනු ලැබුවෙමු. විවේකයක් වත්, නින්දක් වත් කෑමක් වත් නැති ව සිටියෙමු. 6 පිරිසිදුකමින් ද දැනගැන්මෙන් ද ඉවසීමෙන් ද කරුණා ගුණයෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද අවංක ප්‍රේමයෙන් ද සත්‍ය වචනයෙන් ද දේව බලයෙන් ද අපි දෙවියන් වහන්සේගේ සේවකයන් බව ඔබට ඒත්තුගන්වමු. 7 දකුණතින් හා වමතින් රැගත් දමිටුකම නමැති සන්නාහයෙන් ද සන්නද්ධ ව සිටියෙමු. 8 ගෞරවය හා අගෞරවය ද, කීර්තිය හා අපකීර්තිය ද ලැබීමු. වංචාකාරයන් මෙන් ගණන්ගැනුණත්, සත්‍යවාදීහු වීමු. 9 වැදගැන්මකට නැති අය මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනා පිළිගත් අය වීමු. මළා වූ අය මෙන් ගණන්ගැනුණත්, බලන්න, අපි ජීවත් ව සිටිමු. දඬුවම් ලබන අය මෙන් ගණන්ගැනුණත් නොමැරී සිටිමු. 10 ශෝකවන්නන් මෙන් ගණන්ගැනුණත් නිතර ම ප්‍රීතියෙන් සිටිමු. දිළිඳුන් මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනෙකුන් ධනවතුන් කරමු. කිසිත් නැත්තන් මෙන් ගණන්ගැනුණත් සියල්ල ඇත්තන් වී සිටිමු.
11 කොරින්තිවරුනි, අපි අවංක සිතින් කිසිත් නොසඟවා ඔබට කතා කෙළෙමු. 12 ඔබ ගැන අපේ සිතේ වෙනසක් සිදු වී නැත. අප ගැන නම් ඔබේ සිතේ වෙනසක් සිදු වී ඇත. 13 එබැවින් අප කර ඇති සේ ම, ඔබේ සිත් ද පළල් ලෙස විවෘත කරන්න. අපේ සිතේ වෙනසක් සිදු වී නැතුවාක් මෙන් අප ගැන ද ඔබේ සිතේ වෙනසක් ඇති කර නොගන්න. දරුවන්ට පියෙකු කියන්නාක් මෙන් මම මෙය ඔබට කියමි.

නොගැළපෙන සම්බන්ධකම්වලින් වැළකීම

14 නොඇදහිලිවතුන් සමඟ නොගැළපෙන සම්බන්ධකම්වලින් නොබැඳෙන්න. යුක්තියත් අයුක්තියත් අතර ඇති සම්බන්ධකම කුමක් ද? එළියත් අඳුරත් අතර ඇති එකමුතුකම කුමක් ද? 15 ක්‍රිස්තුන් වහන්සේ හා යක්ෂාධිපතියා හා අතර එකඟ වීමක් තිබිය හැකි ද? ඇදහිලිවන්තයෙකු හා නොඇදහිලිවන්තයෙකු හා අතර පොදුවේ යමක් ඇද් ද? 16 දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක:
”මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නො‍් ය.”
17 එබැවින්:
”ඔවුන් අතරෙන් නික්මවිත්, වෙන් වී සිටින්න.
අපවිත්‍ර කිසිවක් ස්පර්ශ නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
”එවිට මම ඔබ පිළිගෙන,
18 ඔබට පියෙක් වන්නෙමි.
ඔබ ද මට දූපුත්තු වන්නහු ය”යි
සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.

 

– 7 වන පරිච්ඡේදය –

1 ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.

ප්‍රීතියට හේතු වූ පසුතැවී සිත හරවා ගැනීම

2 ඔබගේ සිත අප වෙත විවෘත කරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකෙළෙමු; කිසිවෙකු විනාශයට පත් නොකෙළෙමු; කිසිවෙකුගෙන් අයුතු වාසියක් නොගතිමු. 3 මා එසේ කියන්නේ ඔබට වරද තබන අදහසින් නොවේ. මා කලින් කී පරිදි, මැරෙතත් ජීවත් වෙතත් අපි හිතවත්කමින් ඔබ හා එකට බැඳී සිටිමු. 4 ඔබ මට හොඳට ම විශ්වාස ය. ඔබ ගැන මම ආඩම්බර වෙමි. අපේ සියලු දුක්විපත්වල දී මම ධෛර්යයෙන් පිරී ප්‍රීතියෙන් පිනා යමි.
5 මසිදෝනියාවට සැපත් වූ විට පවා අපට කිසි සැනසිල්ලක් නො වී ය. හැම අතින් ම අපට කරදර ඇති විය. අප අවට කලකෝලාහල ද, අප සිත තුළ බියසැක ද තිබිණි. 6 එහෙත් කලකිරුණු අය ධෛර්යවත් කරවන දෙවියන් වහන්සේ තීතස්ගේ පැමිණීමෙන් ද, 7 ඔහුගේ පැමිණීමෙන් පමණක් නොව ඔබ අතර ඔහු ලැබූ ධෛර්යයෙන් ද අප ධෛර්යවත් කළ සේක. මා දැකීමට ඇති ඔබගේ මහත් ආශාව ද ඔබගේ කණගාටුව ද මට ඇති ඔබගේ පක්ෂපාතකම ද ගැන ඔහු අපට සැළ කළ විට මම වඩාත් ප්‍රීති වීමි.
8 මාගේ ලිපිය නිසා ඔබට සිත් වේදනාවක් ඇති වූ නමුත් ඒ ගැන කණගාටු නොවෙමි. ඒ ලිපිය නිසා ටික කලකට පමණක් සිත් වේදනාවක් ඔබට ඇති වූ බව මම දනිමි. 9 ඒ ගැන මා කලින් කණගාටු වූ නමුත් දැන් මම ප්‍රීති වෙමි. එසේ වන්නේ ඔබට සිත් වේදනාවක් ඇති වූ නිසා නොව, ඔබගේ සිත් වේදනාව පසුතැවී සිත් හරවා ගැනීමකට තුඩු දුන් නිසා ය. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරූ නිසා, අපෙන් ඔබට කිසි විධියකින් හානියක් නො වී ය. 10 දේව කැමැත්ත අනුව සිත් වේදනාව දරාගැනීමෙන් සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් ඇති වී, එය ගැළවීමට මඟ පාදන බැවින් කණගාටු වීමට ඉඩක් නැත. එහෙත් ලෞකික පිළිවෙළ අනුව සිත් වේදනාව දරාගැනීම මරණය ගෙන දෙයි. 11 දේව කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරීමෙන් ඔබ තුළ ඇති වූ ප්‍රතිඵල ගැන සිතා බලන්න. එයින් කෙතරම් මහත් උනන්දුවක් හා නිදොස් කරගැනීමක් ඇති වී ද? ඒ හැර වරදට දඬුවම් දීම සඳහා ඇති වූ කෝපය, තැතිගැන්ම, සිත් වේදනාව හා උද්‍යෝගය කෙතරම් මහත් වී ද? මේ කරුණ පිළිබඳ ව ඔබ නිදොස් බව සියලු අයුරින් ඔප්පු කර ඇත.
12 මා ඔබට ලියා එවූ නමුත්, මා එසේ ලීවේ වරද කළ අය නිසා වත්, වරද වින්ද අය නිසා වත් නොව, අප කෙරෙහි ඇති ඔබගේ හිතවත්කම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබට ප්‍රකාශ වන පිණිස ය. 13 අප එතරම් ධෛර්යවත් වූයේ ඒ නිසා ය.
එසේ ධෛර්යවත් වීමේ දී අප වඩාත් ප්‍රීති වූයේ තීතස් දැක්වූ ප්‍රීතිය නිසා ය. මන්ද, ඔබ සියල්ලන්ගෙන් ඔහුට සහනය ලැබුණ නිසා ය. 14 ඔබ ගැන ඔහුට යම් පාරට්ටුවක් කෙළෙම් නම්, මම ඒ ගැන ලජ්ජා නොවීමි. එහෙත් ඔබට අප පැවසූ සියල්ල සැබෑ වූ සේ ම, තීතස්ට අප කළ ඒ පාරට්ටුවත් සැබෑ වී ඇත. 15 ඔබ සියල්ලන්ගේ කීකරුකමත් බියෙන් හා තැතිගැන්මෙන් යුතු ව ඔබ ඔහු පිළිගත්සැටිත් සිහි කරන විට ඔහුගේ සිත ඔබ වෙත ඉමහත් ප්‍රේමයෙන් ඇදී යයි. 16 සියල්ලෙහි දී ඔබ ගැන මට සම්පූර්ණ විශ්වාසය ඇති බැවින් මම ප්‍රීති වෙමි.

 

– 8 වන පරිච්ඡේදය –

පරිත්‍යාගශීලී දීමනා

1 සහෝදරවරුනි, මසිදෝනියාවේ සභාවන්ට දෙවියන් වහන්සේ දී ඇති වරප්‍රසාදය ගැන අපි ඔබට දන්වනු කැමැත්තෙමු. 2 එනම්, බොහෝ දුක් පීඩා මැද ඔවුන් පරීක්ෂා කරනු ලැබූ නමුත්, ඔවුන්ගේ ප්‍රීතිය කෙතරම් අධික වී ද යත්, ඉතා දිළිඳු වුව ද, ඔවුන්ගේ ත්‍යාගශීලීවන්තකමින් ඔවුන් පොහොසත් වූ බව ය. 3 ඔවුන් සිය කැමැත්තෙන් ම ඔවුන්ට හැකි පමණින් හා ඊටත් වැඩියෙන් දුන් බව මම සහතික කොට කියමි. 4 තවද, සැදැහැවතුන්ට උපස්ථාන කිරීමට පංගුකාර වීමේ වරප්‍රසාදය ඔව්හු අපගෙන් උදක් ම ඉල්ලා සිටියහ. 5 අප සිතූ පමණටත් වඩා, ඔව්හු මුලින් ම සමිඳාණන් වහන්සේටත්, එමෙන් ම දේව කැමැත්ත අනුව අපටත් භාර වූ හ. 6 එබැවින් තීතස්, මුලින් ම පටන්ගත් මේ සහනාධාර සේවය ඔබ අතරෙහි සම්පූර්ණ කරන ලෙස අපි ඔහුගෙන් උදක් ම ඉල්ලා සිටියෙමු. 7 ඇදහිල්ලෙන් ද කතාවෙන් ද දැනගැන්මෙන් ද උද්‍යෝගිමත්භාවයෙන් ද අප වෙත ඇති ඔබගේ ප්‍රේමයෙන් ද ඔබ පොහොසත් වී සිටින්නාක් මෙන් මේ සහනාධාර සේවයෙහි ද පොහොසත් වී සිටින්න.
8 මා මෙය කියන්නේ අණ දීමක් ලෙස නොව, අනෙකුත් අය ආධාර කිරීමට කෙතරම් උද්‍යෝගිමත් දැ යි මා ඔබට දැන්වීමෙන් ඔබගේ ප්‍රේමයේ සැබෑකම සෝදිසි කරන පිණිස ය. 9 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.
10 මේ ගැන මාගේ අදහස මම ඔබට කියමි. ඔබ අවුරුද්දකට පෙර ආධාර දීමට කැමැති වී, එය ක්‍රියාවේ යෙදවීමට පුරෝගාමී වූවහු ය. 11 ඔබ පටන්ගත් ඒ දේ දැන් අවසාන කළ යුතු ය. එවකට ආධාර දීමට ඔබ උද්‍යෝගිමත් වූ ලෙස ම එය නිමකරන්නට ද උද්‍යෝගිමත් වන්න. ඒ සඳහා හැකි පමණට දෙන්න. 12 දීමට උද්‍යෝගිමත් බවක් ඇති නම් දෙවියන් වහන්සේ, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නා සේක. 13 මෙයින් අදහස් කරන්නේ ඔබ අමාරුවේ වැටී අනුන්ට සහනය දීමක් නොව, සාධාරණකමක් ඇති වීමයි. 14 දැන් ඔබගේ වැඩිමනත්කමින් ඔවුන්ගේ අගහිඟකම පිරිමැසෙන්නාක් මෙන්, මතු ඔවුන්ගේ වැඩිමනත්කමින් ඔබගේ අගහිඟකම පිරිමැසෙනු ඇත. මෙලෙස දෙගොල්ල අතර සාධාරණකමක් ඇති වේ. 15 මෙසේ:
”වැඩියෙන් ලැබූ තැනැත්තාට වැඩි වූයේ වත්, අඩුවෙන් ලැබූ තැනැත්තාට අඩු වූයේ වත් නැතැ”යි
ශුද්ධ ලියවිල්ලේ ලියා තිබේ.

තීතස් සහ සහකාර සේවකයෝ

16 ඔබ ගැන අප දක්වන හිතවත්කම ම, තීතස්ට දැක්වූ දෙවියන් වහන්සේට ස්තුති වේ වා! 17 ඔහු අපගේ ඉල්ලීම පිළිගත්තා පමණක් නොව, සිය කැමැත්තෙන් ම ඔබ වෙත පැමිණීමට ලොකු උනන්දුවක් දැක්වී ය. 18 තවද ධර්මදූත සේවය පිළිබඳ ව සියලු සභාවලින් ප්‍රශංසාව ලබා ඇති සහෝදරයෙකු ද අපි ඔහු සමඟ එවමු. 19 එපමණක් නොව, සමිඳාණන් වහන්සේගේ මහිමය උදෙසා ද අපගේ උද්‍යෝගයේ සාක්ෂියක් වශයෙන් ද පුදන මේ දීමනාව අප සමඟ ගෙන යන පිණිස අපේ සහකාරයා වීමට සභාවන් මඟින් ඔහු පත් කර ඇත.
20 මේ නොමසුරු දීමනාව සම්බන්ධ ව ක්‍රියා කිරීමෙන් කිසිවෙකුගෙන් දෝෂාරෝපණයක් නොලැබීමට අපි පරෙස්සම් වෙමු. 21 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පමණක් නොව, මිනිසුන් ඉදිරියෙහි ද අවංක ව ක්‍රියා කිරීම අපේ අරමුණ වේ. 22 තවද අපි ඔවුන් සමඟ තවත් සහෝදරයෙකු එවමු. නොයෙක් විට බොහෝ කාරණවල දී ඔහුගේ උද්‍යෝගය අපට ඔප්පු වී ඇත. ඔබ සම්බන්ධයෙන් ඇති ඔහුගේ විශ්වාසය නිසා, දැන් ඔහු වඩාත් උද්‍යෝගිමත් ව සිටියි. 23 තීතස් වනාහි ඔබ උදෙසා හවුල් සේවකයෙකු වන මාගේ සහකාරයා ය. සෙසු සහෝදරයෝ වනාහි ක්‍රිස්තුන් වහන්සේට ගෞරවයක් ව සිටින සභාවන්හි නියෝජිතයෝ ය. 24 සියලු සභාවන් ඉදිරියෙහි ඔබගේ ප්‍රේමය ගැන ද ඔබට ඇති අපගේ පාරට්ටුව ගැන ද ඔවුන්ට සාක්ෂි දක්වන්න.

 

– 9 වන පරිච්ඡේදය –

සැදැහැවතුනට උවටැන්

1 සැදැහැවතුන්ට ආධාර දීම ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත. 2 ඔබගේ උද්‍යෝගය ගැන මම දනිමි. ගිය අවුරුද්දේ සිට ම ග්‍රීසියේ වාසීන් වන ඔබ ආධාර දීමට සූදානම් ව සිටි බව කියමින් මසිදෝනියේ වැසියන්ට ඔබ ගැන පාරට්ටු කෙළෙමි. තවද ඔබගේ උද්‍යෝගය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් උනන්දු කර ඇත. 3 ඔබ ගැන අප කළ පාරට්ටුව බොරුවක් නොවන පිණිස මම සහෝදරයන් එවමි. එසේ කරන්නේ ඔබ සූදානම් ව සිටිනවා යයි මා කී ලෙස ම ඔබ සූදානම් ව සිටින පිණිස ය. 4 නැත්නම්, යම් හෙයකින් මසිදෝනිවරුන් මා සමඟ පැමිණ ඔබ සූදානම් නැති බව දුටුවොත්, ඔබට කෙසේ වෙතත්, ඔබ කෙරේ මෙතරම් විශ්වාසයක් තැබූ අපට කෙතරම් ලජ්ජාවක් ද? 5 එබැවින්, ඔබ පොරොන්දු වී ඇති දීමනාව කල් තියා සූදානම් කරන පිණිස, මට පෙරටුව යන මෙන් සහෝදරයන්ගෙන් ඉල්ලීම අවශ්‍ය යයි සිතුවෙමි. එවිට, ඒ දීමනාව බල කිරීම නිසා දෙන දෙයක් නොව ත්‍යාගශීලී ව දෙන්නක් බව පැහැදිලි වනු ඇත.

ත්‍යාගශීලීභාවයේ ප්‍රතිඵල

6 මෙය සිතට ගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනියි; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනියි. 7 එක් එක්කෙනා අකමැත්තෙන් වත් බලකිරීම නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක. 8 සියල්ලෙහි දී ඔබ නිතර ම සියලු අයුරින් අනූන ව සිටින පිණිසත්, සියලු යහපත් සේවාවන්ට නොමසුරු ව ආධාර කළ හැකි වන පිණිසත් උවමනා පමණටත් වඩා අධික ලෙස ආශීර්වාද ඔබට දෙන්න දෙවියන් වහන්සේට පුළුවන. 9 මෙසේ, ශුද්ධ ලියවිල්ලෙහි:
”උන් වහන්සේ දිළිඳුන්ට නොමසුරු ව දුන් සේක, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි
ලියා තිබේ. 10 වපුරන්නාට බීජ ද කෑමට ආහාර ද සපයා දෙන දෙවියන් වහන්සේ ඔබට බීජ සපයා දී, ඒවා වැඩෙන්න සලස්වා, ඔබගේ ත්‍යාගශීලීභාවයේ අස්වැන්න සරුසාර කරන සේක. 11 මෙලෙස ඔබ සියල්ලෙහි දී ත්‍යාගශීලී වන පිණිස දෙවියන් වහන්සේ ඔබ බහුල ලෙස ධනවත් කරන සේක. එවිට අප මඟින් කරන ලද මේ දේ නිසා දෙවියන් වහන්සේට තුති පැසසුම් ඇති වේ. 12 සැදැහැවතුන්ගේ මේ උපස්ථාන සේවාවෙන් අගහිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන් වහන්සේට බොහෝ ස්තුති දීම ද හටගන්නේ ය. 13 මේ සේවාවෙන්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න පිළිගෙන, එය පිළිපදින ආකාරය ද ඔවුන්ට හා අන් සියල්ලන්ටත් ඔබ දැක්වූ ත්‍යාගශීලීභාවය ද ඔප්පු වන බැවින් ඔව්හු දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරති. 14 තවද, දෙවියන් වහන්සේ ඔබට දක්වා ඇති මහා කරුණාව නිසා, ඔවුන් මහත් ළැදිකමකින් ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත. 15 දෙවියන් වහන්සේගේ කියා නිම කළ නොහැකි දීමනාව ගැන උන් වහන්සේට ප්‍රශංසා වේ වා!

– 10 වන පරිච්ඡේදය –

චෝදනාවලට පිළිතුරු

1 ඉදිරිපිට සිටිය දී බියසුල්ලෙකැ යි ද ඈත්ව සිටිය දී එඩිතර කෙනෙකැ යි ද ඔබ කියන පාවුලු වන මම ක්‍රිස්තුන් වහන්සේගේ මුදුමොළොක් බව පෙරදැරි කොටගෙන ඔබගෙන් ඉල්ලීමක් කරමි. 2 අප ක්‍රියා කරන්නේ ලෞකික චේතනාවෙන් යයි කියන අයට විරුද්ධ ව එඩිතර ව ක්‍රියා කිරීමට මට ශක්තිය ඇති බැවින්, ඔබ වෙත පැමිණි විට, එලෙස එඩිතර ව ක්‍රියා කිරීමට මා නොපොළඹවන මෙන් ඔබගෙන් මම යටහත් ලෙස ඉල්ලමි. 3 අප ලෝකයේ ජීවත් වුව ද, අප සටන් කරන්නේ ලෞකික චේතනාවෙන් නොවේ. 4 අප සටනට ගන්නා අවිආයුධ ලෞකික ඒවා නොව, දෙවියන් වහන්සේගේ බලයෙන් බලකොටු බිඳ හෙළීමට තරම් බලසම්පන්න ඒවා ය. 5 බොරු තර්ක හා දෙවියන් වහන්සේ පිළිබඳ ව දැනගැන්මට විරුද්ධ ව නැඟුණු හැම උස් පවුරක් ම බිඳ හෙළමු. තවද, අපි සැම සිතුවිල්ලක් ම වහල් කොටගෙන, එය ක්‍රිස්තුන් වහන්සේ යටතේ කීකරුකමට පත් කරමු. 6 ඔබ සහමුලින් ම කීකරු වූ කල සියලු අකීකරුකම්වලට දඬුවම් දීමට අපි සූදානම් ව සිටිමු.
7 කරුණු ඇති සැටි සිතා බලන්න. යමෙක් තමා ක්‍රිස්තුන් වහන්සේට අයිති යයි සිතාගනී නම්, ඔහු මෙන් අපත් ක්‍රිස්තුන් වහන්සේට අයිති බව සිතට ගනීවා. 8 විනාශයට නොව ගොඩනැඟීම පිණිස සමිඳාණන් වහන්සේ මට දුන් ආධිපත්‍යය ගැන මම සමහර විට පමණට වඩා පාරට්ටු කරගත්තත්, ඒ ගැන ලජ්ජා නොවෙමි. 9 මාගේ ලියුම්වලින් ඔබ බියගැන්වීමට උත්සාහ කරනවා යයි නොසිතන්න. 10 ‘ඔහුගේ ලියුම් හරබර ය. වේගවත් ය. එහෙත් ඔහු අප ළඟ සිටින විට, ඔහුගේ කිසි පෙනුමක් නැත, කතාවෙහි දක්ෂකමක් නැතැ’යි කෙනෙකු කියනු ඇත. 11 එහෙත්, අප ඈත් ව සිටින විට ලියන ලියුම් ද අප ඔබ සමඟ සිටින විට කරන දේ ද අතර වෙනසක් නැති බව එවැනි අය තේරුම් ගත යුතු යි.
12 තමන්ගේ ම ප්‍රසිද්ධිය ලැබීමට තැත් කරන අයගේ ගණයට ඇතුළු වීමට හෝ අප එවැන්නන් හා සසඳා ගැනීමට හෝ ඉදිරිපත් නොවෙමු. තමන්ගේ මිම්මෙන් තමන් මනින, සැසඳීමේ මිණුම් දණ්ඩ තමන් තුළ ම යයි සලකන අය අඥානයෝ ය. 13 එහෙත් සීමාව ඉක්මවා අපි අප ගැන ම පාරට්ටු කර නොගනිමු. දෙවියන් වහන්සේ ම අපේ සීමාව නියම කර ඇත. ඒ සීමාවට ඔබ ද ඇතුළත් ය. 14 අන් සියල්ලන්ට ම පෙර ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න රැගෙන ඔබ වෙත පැමිණි අය අපි වෙමු. එබැවින් ඔබ ගැන පාරට්ටු කරගැනීමෙන් අපි අපේ සීමාව ඉක්මවා නොයමු. 15 අපගේ නියම සීමාවෙන් පිට අනිකුත් අයගේ සේවාවන් ගැන අපි පාරට්ටු කර නොගනිමු. එහෙත් අපගේ සීමාව තුළ, ඔබගේ ඇදහිල්ල වර්ධනය වන විට, ඔබ අතර අපගේ සේවය බොහෝ සේ වර්ධනය වනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙමු. 16 එවිට, අන් කෙනෙකුගේ පෙදෙසක කළ සේවයක් ගැන පාරට්ටු කර නොගෙන, ඔබගෙන් ඈත පෙදෙස්වල ද, අපට සුබ අස්න දේශනා කළ හැකි ය. 17 ”යමෙක් පාරට්ටු කිරීමට කැමැති නම්, සමිඳාණන් වහන්සේ ගැන පාරට්ටු කරාවා”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි, 18 පිළිගත යුත්තේ ආත්ම ප්‍රශංසාව සොයන්නා නොව දේව ප්‍රශංසාව ලබන්නා ය.

– 11 වන පරිච්ඡේදය –

පාවුලු තුමා සහ ව්‍යාජ ප්‍රේරිතයෝ

1 මාගේ සුළු අනුවණකමක් ගැන ඉවසන මෙන් ඉල්ලමි. ඔබ ඉවසන බවට මට සැකයක් නැත. 2 නිර්මල කන්‍යාවක වැනි ඔබ, ක්‍රිස්තුන් වහන්සේ වන එක ම ස්වාමියා හට සරණ පාවා දීම පිණිස මා ගිවිසුම් දුන් බැවින්, මම දිව්‍යමය හිතවත්කමකින් ඔබ ගැන හිතවත් වෙමි. 3 එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත. 4 යමෙක් ඔබ වෙත පැමිණ අප ප්‍රකාශ නොකළ වෙන ජේසුස් කෙනෙකුන් ප්‍රකාශ කරයි නම්, ඔබ කලින් නොලැබූ වෙනත් ආත්මයක් හා ඔබ නොපිළිගත් වෙන සුබ අස්නක් ඉදිරිපත් කරයි නම්, එවැන්නෙකු පිළිගැනීමට ඔබ සූදානම් ය. එය හරි කදිම යි! 5 එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය ප්‍රේරිතයන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි. 6 මම කතාවෙහි අදක්ෂවූවත්, දැනඋගත්කමින් අදක්ෂ නොවෙමි. මේ බව හැම අවස්ථාවක දී, හැම අන්දමකින් ම ඔබට පැහැදිලි ලෙස දැක්වීමි.
7 ඔබ උසස් කරනු පිණිස මා පහත් වීමෙන් ද දෙවියන් වහන්සේගේ සුබ අස්න ඔබට නොමිලයේ දේශනා කිරීමෙන් ද මා කළේ වරදක් ද? 8 ඔබට සේවය කරන පිණිස, අන් සභාවලින් පැහැරගන්නා සේ ඔවුන්ගෙන් වැටුප් ගතිමි. 9 තවද, ඔබ අතර සිටිය දී, අගහිඟකම් ඇති වූ විට කිසිවෙකුට බරක් නොවීමි. මසිදෝනියාවෙන් ආ සහෝදරයෝ මාගේ අගහිඟකම් පිරිමැසූ හ. සියල්ලෙහි දී ඔබට බරක් නොවී සිටීමට ඉටාගතිමි. මතු ද එසේ කරන්නෙමි. 10 ග්‍රීසියේ පෙදෙස්වල මා මේ කරන පාරට්ටුව නිහඬ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබමි යි ක්‍රිස්තුන් වහන්සේගේ සත්‍යය මා තුළ ඇති සේ ම දිවුරා කියමි. 11 මෙසේ කියන්නේ මා ඔබට ප්‍රේම නොකරන නිසා ද? නැත. මා ඔබට ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.
12 අප හා සම තත්ත්වයක් ඇතැ යි පාරට්ටු කරගැනීමට අවස්ථා සොයන අයට කිසි අවස්ථාවක් නොදීම පිණිස මා දැන් කරන දේ මතු ද කරගෙන යමි. 13 එබඳු අය ව්‍යාජ ප්‍රේරිතවරයෝ ය, ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයන් මෙන් වෙස් වළාගත් වංචනික සේවකයෝ ය. 14 එය පුදුමයක් නොවේ. සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් වෙස් වළාගනියි. 15 ඒ නිසා ඔහුගේ සේවකයන් ද, දමිටුකමේ සේවකයන් මෙන් වෙස් වළාගැනීම පුදුමයක් නොවේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියා අනුව සිදු වේ.

ප්‍රේරිත තුමාට පැමිණි උවදුරු

16 මම අඥානයෙක් ය කියා කිසිවෙක් නොසිතිය යුතු යයි මම නැවතත් කියමි. ඔබ එලෙස සිතන්නහු නම් මට මඳක් පාරට්ටු කරගැන්මට හැකි වන සේ, අඥානයෙකු ලෙස වුව ද මා පිළිගන්න. 17 සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි. 18 බොහෝ දෙනෙකු ලෞකික ලෙස පාරට්ටු කරගන්නාක් මෙන්, මම ද පාරට්ටු කරගනිමි. 19 ඔබ ඥානවන්තයෝ ලූ! එහෙත් අඥානයන් පිළිගන්නහු ය. 20 යමෙකු ඔබ වහල්කොට ගත්තත්, ගසාකෑවත්, කොන්කළත්, හෙළා දැක්කත්, ඔබේ මුහුණට පහර දුන්නත් ඔබ ඉවසන්නහු ය. 21 මෙසේ කිරීමට තරම් මා දුර්වල වී නම් මම ලජ්ජා වෙමි. යමක් ගැන යමෙක් ආඩම්බර වේ නම්, මටත් එලෙස ආඩම්බර විය හැකි ය. මා එසේ කියන්නේ අඥානකමින් ය.
22 ඔව්හු හෙබ්‍රෙව්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ඉශ්රායෙල්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ආබ්‍රහම්ගේ පෙළපතින් පැවත එන්නො‍් ද? මමත් එසේ ම ය. 23 ඔව්හු ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෝ ද? මම ඊටත් වැඩියෙන් උන් වහන්සේගේ සේවකයෙක් වෙමි. මා එසේ කියන්නේ උමතු වූවෙකු මෙනි. ඔවුන්ට වඩා මම බොහෝ සේ වෙහෙසමහන්සි වූයෙමි. වඩා වාර ගණනක් මම සිරගත වූයෙමි. අප්‍රමාණ ව මම කස පහර ලදිමි. බොහෝ විට මරුමුවට පවා ළං වී සිටියෙමි. 24 ජුදෙව්වරුන්ගෙන් මම ‘තිස්නව-කස-පහර’ පස් වරක් ලදිමි. 25 තුන් වරක් මම වේවැල්වලින් තැළුම් කෑවෙමි. එක වරක් ගල් ගසනු ලැබීමි. තුන් වරක් නැව විනාශ වීමේ උවදුරට භාජන වීමි. මුළු රැයක් හා දවාලක් මම මුහුදේ සිටියෙමි. 26 මාගේ අනේක ගමන්වල දී, ගංගා උවදුරුවලට ද සොර උවදුරුවලට ද ස්වජාතික ජුදෙව්වරුන්ගෙන් පැමිණි උවදුරුවලට ද විජාතිකයන්ගෙන් පැමිණි උවදුරුවලට ද නගරවල උවදුරුවලට ද වනයෙහි උවදුරුවලට ද මුහුදේ උවදුරුවලට ද ව්‍යාජ සහෝදරයන්ගෙන් පැමිණෙන උවදුරුවලට ද භාජන වුණෙමි. 27 මහත් දුෂ්කරතා මැද මම වෙහෙස මහන්සි වී වැඩ කෙළෙමි. නොයෙක් විට නිදි නොලැබ සිටියෙමි; සාගින්නෙන් ද පිපාසයෙන් ද පෙළුණෙමි; බොහෝ විට ආහාර ද ඉඳුම්හිටුම් ද ඇඳුම්පැළඳුම් ද නැති ව සිටියෙමි. 28 මේ බාහිර දේ හැර, සියලු සභාවන් ගැන මාගේ සිතේ බරක් දිනපතා ම මට ඇත. 29 යමෙක් දුර්වල නම් ඒ දුර්වලකම මටත් නොදැනේ ද? යමෙක් පාපයට වැටුණොත් මම සංවේගයෙන් නොදැවෙම් ද?
30 පාරට්ටු කරගැනීම අවශ්‍ය ම නම්, මම මාගේ දුර්වලකම සම්බන්ධ කාරණ ගැන පාරට්ටු කරගන්නෙමි. 31 මා බොරු නොකියන බව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ සදහට ම පැසසුම් ලබන දෙවියන් වහන්සේ දන්නා සේක. 32 මා දමස්කයේ සිටිය දී අරෙතස් රජු යටතේ සිටි ආණ්ඩුකාරයා මා අල්ලාගන්නා පිණිස දමස්කස් නගරය මුර කළ නමුත්, 33 මම, කූඩයක බහා, පවුරේ කපොල්ලකින් බස්වනු ලැබ ඔහු අතින් ගැළවී ගියෙමි.

– 12 වන පරිච්ඡේදය –

දුර්වලකමේ දී ශක්තිය

1 පාරට්ටු කරගැනීමෙන් වැඩක් නැති වුවත් මට එසේ නොකර ඉන්න බැරි ය. එහෙත් සමිඳාණන් වහන්සේගෙන් මා ලත් දර්ශන හා එළිදරව් කිරීම් ගැන කතා කරමි. 2 දසසතර වසරකට පෙර, තුන් වන ස්වර්ගය දක්වා ඔසවාගනු ලැබූ කිතුනුවෙකු මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්ත ව ද, නොහොත් ශරීරයෙන් වියුක්ත ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක. 3 ඒ මිනිසා පාරාදීසයට ඔසවාගනු ලැබ, මිනිස් මුවින් නොපැවසිය යුතු, නොපැවසිය හැකි වචන ඇසූ බව දනිමි. 4 එසේ වූයේ ශරීරය ඇති ව ද ශරීරය නැති ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක. 5 එබඳු මිනිසෙකු ගැන මම පාරට්ටු කරමි. එහෙත් මාගේ ම දුර්වලකම් ගැන මිස, මා ගැන ම පාරට්ටු කර නොගනිමි. 6 පාරට්ටු කරගන්න මා අදහස් කළත්, මා ඇත්ත පවසන නිසා එසේ කිරීම අනුවණ කමක් නොවේ. එහෙත්, මා කරන දේ දැකීමෙන් ද මා ගැන ඇසීමෙන් ද යමෙකුට ඇති වන අදහසට වඩා උසස් අදහසක් මා ගැන ඇති නොවන පිණිස මම එයින් වැළකෙමි.
7 ඒ එළිදරව් කිරීම්වල අති උතුම්කම කරණකොටගෙන, මා හිස උදුම්මා නොගන්නා පිණිස, මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි, ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ ය. එසේ වූයේ මා හිස උදුම්මා නොගන්නා පිණිස ය. 8 එය ඉවත් කරන මෙන් තුන් වරක් මම සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලුවෙමි. 9 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේ දී බැවින්, මාගේ වරප්‍රසාදය ඔබට සෑහේ”යයි වදාළ සේක. එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස, මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි. 10 එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද මම සතුටින් පිළිගනිමි. මක්නිසා ද යත්, දුර්වල ව සිටිය දී ම මම ශක්තිසම්පන්න ව සිටිමි.

කොරින්තිවරුන් ගැන පාවුලු තුමාගේ සංවේගය

11 මා අනුවණයෙකු මෙන් කතා කළ බව ඇත්ත ය. එයට වගකිව යුත්තේ ඔබ ම ය. ඔබ කළ යුතු ව තිබුණේ මා ගැන සාක්ෂි දැරීම ය. මා නිකමෙකු වුවත්, මම කිසිසේත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතවරුන්ට දෙ වන තත්ත්වයේ නොවෙමි. 12 සැබැවින් ම ලකුණු ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද ඔබ අතර නොපිරිහෙළා කිරීමෙන්, ප්‍රේරිතවරයෙකුගේ ගුණාංග මට ඇති බව දැක්වීමි. 13 මා ඔබට දැක්වූ සැලකිල්ල, අන් සභාවලට දැක්වූ සැලකිල්ලට වඩා කිසි ලෙසකින් අඩු වී ද? ඇති වූ එක ම අඩුව නම්, මා ඔබට බරක් නොවීම ය. ඒ වරද ගැන මට සමා වන්න.
14 මම දැන් තුන් වන වරටත් ඔබ වෙත එන්නට සූදානම් ව සිටිමි. එහෙත් මම ඔබට බරක් නොවෙමි. මට වුවමනා ව තිබෙන්නේ ඔබේ දේපළ නොව, ඔබ ම ය. එසේ කියන්නේ දරුවන් දෙමවුපියන් උදෙසා නොව, දෙමවුපියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ යුතු බැවිනි. 15 ඔබ උදෙසා මට ඇති දේ වියදම් කරන්ටත්, මම මුළුමනින් ම වැය වෙන්ටත් ඉතා සතුටු වෙමි. මා ඔබට අධික ලෙස ප්‍රේම කරන බැවින් ඔබ මට අඩුවෙන් ප්‍රේම කරන්නහු ද?
16 මා ඔබට බරක් නුවූ බව ඔබ පිළිගන්නා අතර, මා කපටියෙකු බැවින් ප්‍රයෝගයෙන් ඔබ අල්ලාගත්තේ යයි යමෙකු කියනු ඇත. 17 මා ඔබ වෙත එවූ අයගෙන් යමෙකු ලවා ඔබගෙන් අයුතු වාසියක් ලබාගතිම් ද? 18 ඔබ වෙත යන ලෙස මා තීතස්ගෙන් උදක් ම ඉල්ලා ඔහු සමඟ ඒ සහෝදරයා එවීමි. තීතස් ඔබෙන් අයුතු වාසියක් ලබාගත්තේ ද? අපි එක ම ආත්මයාණන්ගෙන් මඟපෙන්වීම ලබා, එක ම මාර්ගයේ ගමන් නොකෙළෙමු ද?
19 මෙතෙක් කල් ඔබ ඉදිරියේ අපේ නිදොස් බව දැක්වීමට අපි තැත් කෙළෙමු යයි ඔබට සිතිය හැකි ය. එසේ නොවේ; අප කතා කරන්නේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි කිතුනුවන් මෙන් ය. ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල ඔබගේ අභිවෘද්ධිය උදෙසා ය. 20 ඔබ වෙත පැමිණි විට, මා සිතනවාට වඩා ඔබ වෙනස් වී ඇද්දෝ කියාත්, ඔබ සිතනවාට වඩා මා වෙනස් වී ඇද්දෝ කියාත් මට බියක් ඇත. යම් විධියකින් ආරාවුල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කෙළාම්, ඕපාදූප, අහංකාරය හා අවුල්වියවුල් ආදිය ද, ඔබ අතර තිබේ දෝ යි මට බියක් තිබේ. 21 මා නැවත ආ කල, මාගේ දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ මා පහත් කරනු ඇද්දැ යි කියා ද, පව්කොට, තමන් කළ අපිරිසිදුකම ද වේශ්‍යාකම ද සල්ලාලකම ද ගැන මෙතෙක් පසුතැවී සිත් හරවා නොගත් බොහෝ දෙනා ගැන මට වැලපෙන්නට වේ දෝ කියා ද බිය වෙමි.

– 13 වන පරිච්ඡේදය –

අවවාද හා සුබ පැතුම්

1 මා ඔබ වෙත එන තුන් වන වතාවයි මේ. ”හැම පැමිණිල්ලක් ම සාක්ෂිකරුවන් දෙදෙනකුගේ හෝ තුන්දෙනකුගේ සාක්ෂිවලින් ස්ථීර විය යුතු ය”යි ලියා තිබේ. 2 මම නැවත ඔබ වෙත පැමිණියොත් මේ දක්වා පව් කළ අයටත්, අනෙක් සියල්ලන්ටත් සත්තකින් ම දඬුවම් කරන බව කියමි. ඒ බව දෙ වන වතාවේ දී ඔබ සමඟ සිටිය දී කල් තියා ඔබට කීවෙමි. දැන් ඔබෙන් ඈත් ව සිටියදීත් එසේ ම කල් තියා ඔබට කියමි. 3 එවිට මා තුළින් ක්‍රිස්තුන් වහන්සේ කතා කරන බවට ඔබ සොයන සාක්ෂිය ඔබට ලැබෙනු ඇත. ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිබඳ ව දුර්වල ලෙස නොව, බලවත් ලෙස ක්‍රියා කරන සේක. 4 උන් වහන්සේ දුර්වලකමින් කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නමුත්, දෙවියන් වහන්සේගේ බලයෙන් ජීවත්වන සේක. එසේ ම අපි ද උන් වහන්සේගේ දුර්වලකමට පංගුකාරයන් ව සිටින නමුත්, දෙවියන් වහන්සේගේ බලයෙන් උන් වහන්සේ සමඟ ඔබ උදෙසා ජීවත් වන්නෙමු.
5 ඔබ ඇදහිල්ලේ පවතින්නහු ද කියා ඔබ ම සෝදිසි කර බලන්න; විමසා බලන්න. ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවසන බව ඔබ නොදන්නහු ද? නොදන්නහු නම් ඔබ පරාජිතයෝ වන්නහු ය. 6 එහෙත් අප පරාජිතයන් නොවන බව ඔබ දැනගනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි. 7 ඔබ කිසි නපුරක් නොකරන ලෙස අපි දෙවියන් වහන්සේට යාච්ඤා කරමු. එසේ කරන්නේ අප ජයග්‍රාහකයන් මෙන් පෙන්නුම් කරන පිණිස නොව, අප පරාජිතයන් මෙන් පෙනුනත් ඔබ යුතු දේ කරන පිණිස ය. 8 සත්‍යයට පක්ෂ ව මිස සත්‍යයට විපක්ෂ ව කිසිවක් අපට කළ නොහැකි ය. 9 අප දුර්වල ව සිටිය දී ඔබ ශක්තිමත් ව සිටීම අපට ප්‍රීතියකි. තවද, ඔබගේ සම්පූර්ණත්වය සඳහා අපි යාච්ඤා කරමු. 10 මා ඔබෙන් ඈත් ව සිටිය දී, මේ කරුණු ඔබට ලියා එවන්නේ, මා ඔබ වෙතට පැමිණි විට, තදින් ක්‍රියා කිරීමට මාගේ අධිකාරි බලය යෙදීම වුවමනා නොවන පිණිස ය. සමිඳාණන් වහන්සේ මේ ආධිපත්‍යය මට දෙවා වදාළේ, බිඳ හෙළීමට නොව, ගොඩනැඟීමට ය.

ආචාරය

11 ඉතින් සහෝදරවරුනි, ආයුබො‍්වන්. පරිපූර්ණත්වය සොයා යන්න; මාගේ අවවාද සිතට ගන්න; එක්සිත් වන්න; සාමදානයෙන් සිටින්න. එවිට ප්‍රේමාන්විත හා ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිටින සේක. 12 සාම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න.
13 සියලු සැදැහැවත්හු ඔබට ආචාර කරති.
ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ද දෙවියන් වහන්සේගේ ප්‍රේමය ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගිකම ද ඔබ සියල්ලන් සමඟ වේ වා!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s