1 තෙසලෝනික
– 1 වන පරිච්ඡේදය –
ආචාරය
1 පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේ වා!
තෙසලෝනිකවරුන්ගේ ඇදහිල්ල හා ආදර්ශය
2 අපේ යාච්ඤාවල දී අපි නිතර ම ඔබ සිහි කරමින්, ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පුදමු. 3 අපගේ දෙවි පියාණන් ඉදිරියෙහි, ක්‍රියාවෙන් ප්‍රකාශ වන ඔබේ ඇදහිල්ල ද, සේවයෙන් දැක්වෙන ඔබේ ප්‍රේමය ද, ඉවසීමෙන් හෙළි වන අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ ඔබේ බලාපොරොත්තුව ද අපි සිහි කරමු. 4 දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය සහෝදරවරුනි, උන් වහන්සේ ඔබ තෝරාගත් බව අපි දනිමු. 5 මන්ද, අප සුබ අස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව, ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය ඇතිව ය. ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වීමු දැ යි ඔබ දන්නහු ය. 6 ඔබ ද, බොහෝ දුක් විඳිමින්, ශුද්ධාත්මයාණන්ගෙන් වන ප්‍රීතිය ඇතිව පණිවුඩය පිළිගැනීමෙන්, අප ද සමිඳාණන් වහන්සේ ද අනුගමනය කරන්නෝ වූවහු ය. 7 මෙලෙස ඔබ මසිදෝනියෙහි සහ ග්‍රීසියෙහි සිටින සියලු ඇදහිලිවතුන්ට ආදර්ශයක් වූවහු ය. 8 මන්ද, ඔබ වෙතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩයේ රාවය මසිදෝනියෙහිත් ග්‍රීසියෙහිත් පිළිරැව් දුන්නා පමණක් නොව, දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඔබේ ඇදහිල්ල සෑම තැන ම පතළ විය. මේ ගැන වැඩි යමක් කීම අවශ්‍ය නැත. 9 අප ඔබ වෙත පැමිණි විට ඔබ අප පිළිගත් ආකාරය ගැන ද, ජීවමාන වූ සත්‍ය වූ දෙවියන් වහන්සේට සේවය කරනු පිණිස ඔබ දේවතා වන්දනාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු අන්දම ගැන ද ඔව්හු ම කතා කරති. 10 තවද, මරණයෙන් උත්ථාන කරනු ලැබූ, පැමිණෙන්නට යන උදහසින් අප මුදන්නා වූ, තමන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේ ස්වර්ගයෙන් වඩිනු බලාපොරොත්තුවෙමින් ඔබ සිටින ආකාරය ගැන ද ඔව්හු කතා කරති.
– 2 වන පරිච්ඡේදය –
තෙසලෝනිකයෙහි පාවුලු තුමාගේ සේවය
1 සහෝදරවරුනි, ඔබ වෙත අපේ පැමිණීම නිෂ්ඵල නුවූ බව ඔබ ම දන්නහු ය. 2 ඔබ දන්නා පරිදි, ඊට පෙර පිලිප්පියෙහි දී, අපි දුකට හා නිග්‍රහයට භාජනය වීමු. එහෙත් බොහෝ විරුද්ධවාදිකම්වලට මුහුණ පාමින් වුව ද, ඔබට සුබ අස්න දේශනා කිරීමට දෙවියන් වහන්සේ අප ධෛර්යවත් කළ සේක. 3 අපගේ අයැදීම මුළාවෙන් හෝ, අපිරිසුදු චේතනාවෙන් හෝ වන්නක් නොවේ. රැවටීමට උත්සාහයක් ද අප තුළ නැත. 4 එහෙත් ධර්මදූත සේවය පැවරීමට අප සුදුස්සන් යයි දෙවියන් වහන්සේ අප අනුමත කළ ලෙසින් ඒ අනුව අපි කතා කරමු. මිනිසුන් සතුටු කිරීමට නොව, නිතර ම අපගේ සිත් විමසන දෙවියන් වහන්සේ සතුටු කිරීමට උත්සාහ කරමු. 5 ඔබ දන්නා පරිදි අප කිසි කලෙක ඉච්ඡා වචන ව්‍යවහාර කළේත්, අපගේ තණ්හාව සැඟවීමට උපා යෙදුවේත් නැත. ඒ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරන සේක. 6 අපි කිසි දිනක ඔබගෙන් හෝ, අන්‍යයන්ගෙන් හෝ, මනුෂ්‍ය ප්‍රශංසාව නොසෙව්වෙමු. 7 ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතයන් මෙන් එසේ සෙවීමට අපට අයිතියක් තිබුණ නමුත් අපි එසේ නොකෙළෙමු. කිරි මවක් සිය දරුවන් මෘදු ලෙස පෝෂණය කරන්නාක් මෙන් අපි ඔබ අතරෙහි මෘදු ලෙස සිටියෙමු. 8 ඔබ අපට කෙතරම් ප්‍රේමාන්විත වූවහු ද යත්, දෙවියන් වහන්සේගේ සුබ අස්න දීමට පමණක් නොව, අපගේ ම ජීවිත පවා ඔබට දීමට සතුටු ව සිටියෙමු. ඔබ අපට එතරම් ප්‍රිය මනාප වූවහු ය. 9 මන්ද, සහෝදරවරුනි, අපි කෙතරම් වීර්යයෙන් හා වෙහෙස මහන්සියෙන් සේවය කළෙමු දැ යි ඔබට මතක ඇත. අපි ඔබෙන් කිසිවෙකුට බරක් නොවන පිණිස දිවා රෑ දෙක්හි රැකියාවක යෙදෙමින් දෙවියන් වහන්සේගේ සුබ අස්න ඔබට දේශනා කළෙමු.
10 ඇදහිලිවතුන් වන ඔබ අතරෙහි අපි කෙතරම් ශුද්ධ ව, දැහැමි ව, නිදොස් ව හැසුරුණෙමු ද කියා ඔබ පමණක් නොව දෙවියන් වහන්සේත් සාක්ෂි දරන සේක. 11 පියෙකු සිය දරුවන්ට සලකන පරිදි අප ඔබ ගැන සැලකූ හැටි ඔබ දන්නහු ය. 12 දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් කැඳවනු ලැබූ ඔබ, උන් වහන්සේට ඔබින පරිදි ජීවත් වන ලෙස අපි ඔබ එකිනෙකාට අනුශාසනා කළෙමු, ධෛර්යය දුනිමු, ආයාචනා කළෙමු.
තෙසලෝනිකවරුන්ගේ ඇදහිල්ල හා ඉවසීම
13 තවත් කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු. දෙවියන් වහන්සේගේ පණිවුඩය අප ඔබ වෙත ගෙනා කල, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවුඩයක් මෙන් නොව, ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ම එන පණිවුඩයක් හැටියට ය. මන්ද, අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ය. 14 සහෝදරවරුනි, ක්‍රිස්තියානි සහභාගිකමට ඇතුළත් ජුදයේ දෙවියන් වහන්සේගේ සභාවන්ට සිදු වූ දෙය ම ඔබටත් සිදු විය. ඔවුන් ජුදෙව්වරුන්ගෙන් පීඩා ලැබූ ලෙස ම ඔබත් ඔබගේ ම රටවැසියන්ගෙන් පීඩා ලැබුවහු ය. 15 ඒ ජුදෙව්වරු ජේසුස් ස්වාමීන් වහන්සේ ද, දිවැසිවරයන් ද මරණයට පත් කර, අප පලවා හැරියහ. ඔව්හු දේව කැමැත්තට පිටුපා සියලු මනුෂ්‍යයන්ට සතුරු ව සිටිති. 16 විජාතීන්ට ගැළවීම සලසන පණිවුඩය දේශනා කිරීම පවා අපට තහනම් කර ඇත. මෙසේ ඔව්හු තමන්ගේ පාපවල කෙළවරට ම පැමිණ සිටිති. අවසාන කොට, දැන් දේව උදහස ඔවුන් පිට පැමිණ තිබේ.
තෙසලෝනිකවරුන් බැහැදැකීමේ ආශාව
17 සහෝදරවරුනි, ටික කලකට අපි ඔබ ඇසින් නුදුටුවත්, සිතින් අමතක නොකෙළෙමු. ඒ කාලයේ දී ඔබගේ මුහුණ දැකීමට අපි ඉමහත් ආශාවකින් බොහෝ සේ උත්සාහ කෙළෙමු. 18 ඔබ වෙත පැමිණීමට අපි පුල පුලා සිටියෙමු. ඇත්තට ම, පාවුලු වන මම කීප වරක් ම උත්සාහ කෙළෙමි. එහෙත් සාතන් අපට බාධා කෙළේ ය. 19 අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ ආගමනයේ දී, උන් වහන්සේ ඉදිරියෙහි අපගේ බලාපොරොත්තුවත්, ප්‍රීතියත් ප්‍රෞඪ කිරීටයත් කවරෙක් ද? ඔබ ම නොවන්නහු ද? 20 එසේ ය, ඔබ අපගේ ගෞරවයත් ප්‍රීතියත් ය.
– 3 වන පරිච්ඡේදය –
තෙසලෝනිකයෙන් හොඳ ආරංචි
1 අපට එය තවත් ඉවසාගන්නට නොහැකි වූ බැවින් ඇතන්ස්හි නතර වීමට තීරණය කරගෙන, 2 අපි තිමෝතියස් එවීමු. ඔහු වනාහි අපගේ සහෝදරයා ද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කිරීමේ දෙවියන් වහන්සේගේ හවුල් සේවකයා ද වේ. අප ඔහු එවූයේ මේ පීඩාවලින් කිසිවෙකු චංචල නොවන ලෙස, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථිර ව සිටීමට ඔබට ධෛර්ය දෙන පිණිස ය. 3 දුක් විඳීම අපට නියම දෙයක් බව ඔබ ම දන්නහු ය. 4 අපට දුක් විඳින්නට සිදු වන බව අපි ඔබ සමඟ සිටිය දී කල්තියා ඔබට කීවෙමු. එලෙස ම සිදු වූ බව ඔබ දන්නහු ය. 5 මේ කරුණ තවදුරටත් ඉවසාගත නොහැකි ව, පරීක්ෂාකාරයා සමහර විට ඔබ පරීක්ෂා කර, අපගේ සේවය නිෂ්ප්‍රභා කර ඇද්දැ යි බිය වී ඔබගේ ඇදහිල්ල ගැන සොයා බැලීමට ඔහු ඔබ වෙත එවීමි.
6 එහෙත් දැන් තිමෝතියස් පෙරළා අප වෙත පැමිණ ඔබගේ ඇදහිල්ලත් ප්‍රේමයත් ගැන හොඳ ආරංචියක් අපට සැළ කෙළේ ය. ඇරත්, අප ඔබ දැකීමට ආශාවෙන් සිටින්නාක් මෙන් ම ඔබත් අප දැකීමට ආශාවෙන් සිටින බව ද, ඔබ නිතර ම අප ගැන කරුණාවෙන් සිහි කරන බව ද ඔහු අපට දැන්වී ය. 7 සහෝදරවරුනි, අපගේ සියලු අමාරුකම්වලදීත් පීඩාවලදීත් ඔබගේ ඇදහිල්ල ගැන අසා අපි ධෛර්යවත් වීමු. 8 ඔබ සමිඳාණන් වහන්සේ තුළ ස්ථීර ව සිටින්නහු නම්, එය අපේ ජීවිතයේ පණ නළ වේ. 9 ඔබ නිසා අපට ලැබී ඇති සකල ප්‍රීතිය ගැන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපි කෙසේ ස්තුති කර සෑහීමකට පත් වෙමු ද? 10 ඔබගේ මුහුණ දක්නා පිණිස ද, ඇදහිල්ලේ ඌනතා සම්පූර්ණ කරන පිණිස ද, දිවා රෑ දෙක්හි අපි අධික ලෙස යාච්ඤා කරමු.
11 අපගේ පිය වූ දෙවියන් වහන්සේ ම ද අපගේ ස්වාමීන් වූ ජේසුස් සමිඳාණන් වහන්සේ ද ඔබලා වෙතට එන්න අපට මාර්ගය සලස්වා දෙන සේක් වා! 12 අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් සමිඳාණන් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහිත්, අන් සියල්ලන් කෙරෙහිත්, ඔබගේ ප්‍රේමය පිරී ඉතිරී යන්නට සලස්වන සේක් වා! 13 අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ සිය සැදැහැවතුන් සමඟ වඩින විට, ඔබගේ සිත් අපගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ව ද, නිදොස් ව ද තිබෙන ලෙස ශක්තිමත් කරන සේක් වා!
– 4 වන පරිච්ඡේදය –
යහපත් ජීවිතයේ ප්‍රතිපත්ති
1 සහෝදරවරුනි, දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට කෙසේ හැසිරිය යුතු දැ යි ඔබ අපගෙන් ඉගෙනගත්තහු ය. ඔබ එසේ හැසිරෙන්නහු ය. එහෙත් ඔබ වැඩි වැඩියෙන් එසේ කරන ලෙස, අපි සහකාර කිතුනුවන් වශයෙන් ඔබගෙන් ඉල්ලා අවවාද කරමු. 2 ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට කුමන අවවාද අනුශාසනා දුනිමු දැ යි ඔබ දන්නහු ය. 3 දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය. 4 ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය. 5 දෙවියන් වහන්සේ නොදන්නා විජාතීන් මෙන්, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතු ය. 6 මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. මන්ද, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස, මෙබඳු අයට සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක. 7 දෙවියන් වහන්සේ අප කැඳෙව්වේ අපවිත්‍රකමට නොව, පවිත්‍රකමට ය. 8 එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව, ස්වකීය ශුද්ධාත්මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය.
9 එහෙත් සහෝදර ප්‍රේමය ගැන ඔබට ලියා එවීම වුවමනා නැත. කුමක් හෙයින් ද, එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබ දෙවියන් වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහු ය. 10 සැබැවින් ම ඔබ මසිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ කරන්නහු ය. එහෙත්, සහෝදරවරුනි, තව වඩ වඩා ඉදිරියට යන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. 11 ඔබට අප කලින් අවවාද කළ පරිදි, උපශාන්ත ජීවිතයක් ගත කිරීමටත්, තම තමාගේ කාරණා බලාගැනීමටත්, දහඩිය මහන්සියෙන් ජීවිකාව කර ගැනීමටත් අරමුණු කරගන්න. 12 මෙසේ කිරීමෙන් ඔබට සභාවෙන් පිටත සිටින්නන්ගේ ගෞරවය දිනාගෙන, අන්‍යයන්ගේ පිහිටාධාර පිට නොරැඳී සිටීමට හැකි වේ.
ඇදහිලිවතුන්ගේ මරණින් මතු බලාපොරොත්තුව
13 සහෝදරවරුනි, මතු බලාපොරොත්තුවක් නැති සෙසු අය මෙන් ඔබ ශෝක නොවන පිණිස, මියගියවුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ. 14 ජේසුස් වහන්සේ නැසී නැවත උත්ථාන වූ සේකැ යි අපි අදහමු: එසේ ම, ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන් වහන්සේ තුළ සැතපුණු අය, උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ නැවත ගෙනෙන සේකැ යි ද අදහමු.
15 අප දැන් ඔබට කියන්නේ සමිඳාණන් වහන්සේ ම වදාළ කරුණකි. එනම්: සමිඳාණන් වහන්සේගේ ආගමනයේ දී ජීවත් ව සිටින අපට, උන් වහන්සේ තුළ සැතපුණු අයට නොමැති විශේෂ වාසියක් නැති බව ය. 16 මන්ද, සමිඳාණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය. 17 එවිට ජීවතුන් අතර සිටින අපි, ඔවුන් සමඟ සමිඳාණන් වහන්සේ හමු වන පිණිස, වලාකුළුවලින් අහසට ඔසවාගනු ලබන්නෙමු. මෙසේ අපි නිතර ම සමිඳාණන් වහන්සේ සමඟ සිටින්නෙමු. 18 එහෙයින් මේ වචනවලින් එකිනෙකා සනසන්න.
– 5 වන පරිච්ඡේදය –
පුනරාගමනයට සූදානම් වීම
1 සහෝදරවරුනි, මේවා සිදුවෙන කාලවේලා හා අවස්ථා ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත. 2 මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය. 3 ‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.
4 එහෙත්, සහෝදරවරුනි, ඔබ අන්ධකාරයේ නොසිටින නිසා, ඒ දවස සොරෙකු මෙන් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත. 5 ඔබ සැම, ආලෝකයේ දරුවෝ ද, දිවා කාලයේ දරුවෝ ද වන්නහු ය; අපි රාත්‍රි කාලයේ වත්, අන්ධකාරයේ වත් දරුවෝ නොවන්නෙමු. 6 ඒ නිසා අපි, අන් අය මෙන් නිඳා නොසිට අවදි ව, සිහිකල්පනාව ඇතිව සිටිමු. 7 නිඳන්නන් නිඳන්නේ රාත්‍රියේ දී ය; මත් පැන් බොන්නන් මත් වන්නේ රාත්‍රියේ දී ය. 8 එහෙත් දවාලට අයිති අපි, සිහි කල්පනාව ඇතිව සිටිමු. ඇදහිල්ලත් ප්‍රේමයත් නමැති ළය වැස්ම ද, ගැළවීමේ බලාපොරොත්තුව නමැති යුද්ධ තොප්පිය ද පැළඳගනිමු. 9 දෙවියන් වහන්සේ අපට නියම කෙළේ දේව උදහස නොව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, ගැළවීම ලබාගැනීම ය. 10 අප අවදි ව සිටියත්, නිඳා සිටියත්, තමන් වහන්සේ සමඟ එක් ව ජීවත් වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා මළ සේක. 11 එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්, එකිනෙකාට ධෛර්ය දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න.
අනුශාසනා හා සුබ පැතුම්
12 සහෝදරවරුනි, ඔබ අතර වෙහෙස මහන්සි දරන, ක්‍රිස්තියානි සභාවෙහි මූලිකත්වය දරන, ඔබට අවවාද අනුශාසනා කරන තැනැත්තන් නිසි ලෙස සලකන්න. 13 ඔවුන්ගේ සේවය නිසා ඔවුනට උසස් ම ගෞරවාදරය පිරිනමන ලෙස අපි ඔබගෙන් ඉල්ලමු. එකිනෙකා හා සමඟ සාමදානයෙන් සිටින්න.
14 සහෝදරවරුනි, අලසයන්ට අවවාද දෙන්න; බියසුල්ලන් දිරිගන්වන්න; දුබලයන්ට සහයවන්න. මේ සියල්ලන් ගැන ඉවසිලිවන්ත ව සිටින මෙන් අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු. 15 කිසිවෙකුට නපුරට නපුර නොකරන ලෙස ද, එකිනෙකා ගැනත්, සියල්ලන් ගැනත් නිතර ම යහපත් දේ කරන ලෙස ද වගබලාගන්න.
16 නිතර ම ප්‍රීති වන්න, 17 නොකඩව යාච්ඤා කරන්න, 18 සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.
19 ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න; 20 දිවැස් වැකි සුළු කොට නොතකන්න. 21 සියල්ල විමසා බලා, යහපත් දේ තදින් අල්ලාගන්න. 22 සියලු ආකාර නපුරෙන් වළකින්න.
23 සාමදානයේ දෙවියන් වහන්සේ ම ඔබ මුළුමනින් ම පවිත්‍ර කරන සේක් වා! ඔබගේ මුළු ආත්මය ද ප්‍රාණය ද ශරීරය ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේ දී නිදොස් ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේ වා! 24 ඔබ කැඳවන තැනැන් වහන්සේ විශ්වාසවන්ත ය; උන් වහන්සේ එය ඉෂ්ට කරනු නියත ය.
25 සහෝදරවරුනි, අප උදෙසා යාච්ඤා කරන්න.
26 සියලු සහෝදරයන්ට සාම සිඹීමකින් ආචාර කරන්න. 27 මේ හසුන සියලු සහෝදරයන් ඉදිරියෙහි කියවන ලෙස සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි.
28 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ඔබ සමඟ වේ වා!