1 තිමෝති
– 1 වන පරිච්ඡේදය –
ආචාරය
1 අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද, අපේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය. 2 දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, වරප්‍රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!
වැරදි ඉගැන්වීම් ගැන අවවාද
3 මා මසිදෝනියට යන විට ඔබට අවවාද කළ පරිදි ඔබ එපීසයේ නැවතී සිටින්න. මා එසේ කියන්නේ වැරදි ධර්ම ඉගැන්වීමෙන් ද, 4 ඇදහිල්ලෙන් ප්‍රකාශිත වූ දෙවියන් වහන්සේගේ සැලැස්ම සපුරාලනු වෙනුවට විවාද උපදවන, ඉමක් නැති මිථ්‍යා හා පෙළපත් කතා සැලකීමෙන් ද වළකින ලෙස, සමහරුන්ට ඔබ අවවාද දෙන පිණිස ය. 5 මේ අවවාදයේ අදහස නම්, පිරිසිදු සිතකින් ද, යහපත් හෘදය සාක්ෂියෙන් ද, අවංක ඇදහිල්ලෙන් ද නික්මෙන ප්‍රේමය වර්ධනය කිරීම යි. 6 සමහරු මේවායින් බැහැර ව නිරර්ථක විවාදවල නියැලී ඇත. 7 ඔවුන් විනයාචාරීන් වෙන්නට කැමැති වුවත්, තමන් කියන දේ ගැන වත්, උගන්වන කරුණු ගැන වත් ඔවුන්ට අවබෝධයක් නැත.
8 යමෙක් ව්‍යවස්ථාව නියම ලෙස භාවිත කරන්නේ නම්, ව්‍යවස්ථාව යහපත් බව අපි දනිමු. 9 ව්‍යවස්ථාව පනවා ඇත්තේ දමිටුවන් උදෙසා නොව, අදමිටුවන් හා දාමරිකයන් ද, අභක්තිකයන් හා පව්කාරයන් ද, අපිරිසිදුවූවන් හා ශුද්ධ දේ කෙලෙසන්නන් ද, පීතෘ ඝාතකයන් හා මාතෘ ඝාතකයන් ද, මිනීමරුවන් ද, 10 වේශ්‍යාකම් කරන්නන් ද, පුරුෂයන් සමඟ අනාචාරයෙහි හැසිරෙන්නන් ද, මිනිසුන් පැහැරගෙන යන්නන් ද, බොරුකාරයන් ද, බොරුවට දිවුරන්නන් ද, 11 මට භාර දෙන ලද ආශීර්වාදලත් දෙවියන් වහන්සේගේ මහිමාන්විත සුබ අස්න ප්‍රකාශ කරන සම්‍යක් ධර්මයට විරුද්ධ වූ අනෙකුත් හැම දේ කරන්නන් ද උදෙසා ය.
දේව දයාව ගැන ස්තූතිය
12 මා ශක්තිමත් කළා වූ ද, උන් වහන්සේගේ සේවය සඳහා පත් කිරීමට තරම් මා ඇදහිලිවන්ත යයි සැලකුවා වූ ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට මම ස්තුති කරමි. 13 පළමුවෙන් මම උන් වහන්සේට අපහාස කරන්නෙකු ව, පීඩා කරන්නෙකු ව, නින්දා කරන්නෙකු ව සිටිය නමුත්, නොදන්නාකමින් හා ඇදහිල්ල නැතිකමින් එසේ කළ ද මම දයාව ලැබුවෙමි. 14 අපේ සමිඳාණන් වහන්සේගේ වරප්‍රසාදය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ අපගේ ඇදහිල්ල ද ප්‍රේමය ද සමඟ අධික ලෙස මට දෙනලද්දේ ය. 15 පව්කාරයන් ගළවන්නට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ලෝකයට වැඩිය සේක යන කීම විශ්වාසකටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කියමනකි. ඔවුන් අතරෙන් ප්‍රධාන පව්කාරයා මම ය. 16 එසේ වූ නමුත් මට දයාව ලැබුණේ මේ නිසා ම ය. එසේ කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ඉවසීම අසීමිත බව උන් වහන්සේ පැහැදිලි කළ සේක. සදාතන ජීවනය ලබාගැනීම පිණිස උන් වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට ම මා ආදර්ශයක් වෙන්නට උන් වහන්සේ සැලැස් වූ සේක. 17 අමරණීය වූ, අදෘශ්‍යමාන වූ, සදාතන රජ වූ එක ම දෙවියන් වහන්සේට ගෞරවයත් මහිමයත් සදහට ම වේ වා! ආමෙන්.
18 තිමෝතියස්, මාගේ පුත්‍රය, ඔබ ගැන කලින් කියන ලද දිවැස් වැකි අනුව මේ වගකීම ඔබට භාර දෙමි. 19 එනම්, ඒ වාක්‍යයන් ආයුධ කොට ගෙන, ඇදහිල්ල ද නිදොස් හෘදය සාක්ෂියක් ද ඇති ව, ධර්ම යුද්ධය කරන්න. සමහරු මෙයට පිටුපා ගොස්, ඇදහිල්ල නමැති නැව බිඳ ගත්තෝ ය. 20 හිමෙනියස් ද අලෙක්සන්දර් ද එබඳු තැනැත්තෝ ය. ඔවුන් දේව අපහාස නොකරන පිණිස පාඩමක් වශයෙන් මම ඔවුන් සාතන් හට බාර දුනිමි.
– 2 වන පරිච්ඡේදය –
නමස්කාරය ගැන උපදෙස්
1 සියල්ලට ම ප්‍රථමයෙන්, සෑම දෙනා වෙනුවෙන් අයැදුම් ද යාච්ඤා ද ඉල්ලීම් ද ස්තුති දීම් ද ඔප්පු කළ යුතු බව මගේ අවවාදය යි. 2 භක්තියෙන් හා ගෞරවයෙන් යුක්ත ව, සාමකාමී තැන්පත් ජීවිතයක් අපට ගත කළ හැකි වන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා ද යාච්ඤා කළ යුතු ය. 3 මෙය මිදුම්කාර දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ය. ප්‍රසන්න ය. 4 සියලු මනුෂ්‍යයන්ගේ මිදීමත්, ඔවුන් සත්‍යය දැනගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ය. 5 ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මැදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය. 6 සියල්ලන්ගේ මිදීම පිණිස උන් වහන්සේ සිය දිවි පිදූ සේක. මෙසේ නියමිත කාලයේ දී උන් වහන්සේ සාක්ෂි දැරූ සේක. 7 ඒ පිළිබඳ දේශනාකාරයෙකු ද ප්‍රේරිතයෙකු ද ලෙස මා පත් කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල්ල උගන්වන පිණිස ය. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යයක් ම ය.
8 එහෙයින් පිරිමි පක්ෂය සෑම තැන්හි ම කෝපයෙන් හා වාදයෙන් තොර ව, සැදෑ සිතින් දොහොත් නඟා, යාච්ඤා කරන්නේ නම් මම කැමැති වෙමි.
9 එසේ ම, ස්ත්‍රී පක්ෂය කොණ්ඩ මෝස්තර ද, රන් මුතු අබරණ ද, මිල අධික වස්ත්‍ර ද යන මේවායින් වැළකී ඔබින, විනීත ඇඳුම් ඇඳගත යුතු යි. 10 ඔවුන්ගේ ආභරණය විය යුත්තේ භක්තිමත් ස්ත්රීන්ට ඔබින යහපත් ක්‍රියා කිරීම ය. 11 ස්ත්‍රීහු නිශ්ශබ්ද ව යටත්කමින් ඉගෙනගනිත් වා. 12 ඉගැන්වීමට වත් පුරුෂයා කෙරේ බලය දැක්වීමට වත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි. ස්ත්‍රිය නිශ්ශබ්ද ව සිටිය යුතු යි. 13 මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ. 14 තවද, ආදම් රැවටුණේ නැත, නමුත් ස්ත්‍රිය රැවටී වරදට පත් වූවා ය. 15 එහෙත් ඇදහිල්ලෙන් ද ප්‍රේමයෙන් ද ශුද්ධකමින් ද විනීත ලෙස ජීවත් වුවොත්, ඈ නිරුපද්‍රිතව දරුවන් ලබන්නී ය.
– 3 වන පරිච්ඡේදය –
සභා නායකයන්ට උපදෙස්
1 යමෙක් සභාවේ නායක තනතුර දැරීමට ආශා වන්නේ නම්, ඔහු යහපත් වැඩක් කිරීමට කැමැති වන්නේ ය යන කීම සැබෑ වේ. 2 එහෙයින් සභා නායක තෙමේ නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, තැන්පත්, සන්සුන්, ආචාර සම්පන්න, ආගන්තුක සත්කාරයට කැමැති, උගන්වන්නට සමර්ථ තැනැත්තෙකු ද විය යුතු යි. 3 ඔහු බීමත්කමින් තොර, හිංසාකාරී නො වූ ඉවසිලිවන්ත, සාමකාමී, 4 මුදල් තණ්හාව නොමැති, සිය පවුල මැනැවින් පාලනය කරන, තම දරුවන් ගෞරව සම්ප්‍රයුක්ත බියෙන් හික්මවා ගන්න, තැනැත්තෙකු විය යුතු යි. 5 යමෙක් තමාගේ ම පවුල හසුරුවාගන්නට නොදන්නේ නම්, ඔහු දෙවියන් වහන්සේගේ සභාවේ වගකීම දරන්නේ කෙසේ ද? 6 ඔහු ළඟ දී ක්‍රිස්තු භක්තිය වැළඳගත්තෙකු නොවිය යුතු යි. මන්ද, එවැන්නෙකු උඩඟුකමින්, යක්ෂයාට පැමිණි දඬුවමට පත් විය හැකි නිසා ය. 7 ඔහු සභාවෙන් පිට අය විසින් ගරු කොට සලකනු ලබන්නෙකු ද විය යුතු යි. එසේ නොවේ නම් ඔහු හොඳ නම නැති කරගෙන, යක්ෂයාගේ උගුලට අසු වන්නේ ය.
උපස්ථායකයන්ට උපදෙස්
8 එසේ ම, උපස්ථායකයන් සන්සුන්, දිව දෙකේ කතා නැති, පමණ ඉක්මවා මත්පැන් පානය නොකරන, අයුතු ලාභයට ලොල් නො වූ, 9 ඇදහිල්ලේ අබිරහස පිරිසිදු හෘදය සාක්ෂියකින් දරන තැනැත්තන් විය යුතු ය. 10 උපස්ථායකයන් ලෙස සේවය කිරීමට ඉඩ දිය යුත්තේ, කලින් සෝදිසි කර බලා, ඔවුන්ට විරුද්ධ ව කිසිවක් නොමැති අයට පමණි. 11 එසේ ම ස්ත්‍රීවරුන් ද, ගෞරවය ලැබීමට සුදුසු වූ, ඕපාදූප නොකියන, තැන්පත්, විශ්වාස කටයුතු අය විය යුතු ය. 12 උපස්ථායකයා එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, සිය දරුපවුල මැනැවින් රැකබලාගන්නා වූ ද තැනැත්තෙකු විය යුතු ය. 13 යහපත් ලෙස සේවය කර, උසස් තත්ත්වයක් ලබාගන්නා උපස්ථායකයන්ට, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල තුළින් මහත් නිර්භීතකමක් ලබා ගැනීමට පුළුවන් වෙයි.
අපේ ඇදහිල්ලේ අබිරහස
14 ඉක්මනින් ඔබ වෙත එන්නට බලාපොරොත්තු වෙමි. එහෙත් ඔබට මේ අනුශාසනා ලියා එවන්නේ 15 මා ප්‍රමාද වුණොත්, දෙවියන් වහන්සේගේ පවුලෙහි අය කෙසේ හැසිරිය යුතු ද කියා ඔබ දැනගන්නා පිණිස ය. ඒ පවුල වනාහි ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව ය; එය සත්‍යයේ කණුව හා මුල් ගල වේ. 16 අපේ ඇදහිල්ලේ අබිරහස නිසැක ව ම ගැඹුරු එකකි. ඒ අබිරහස මේ ය:
උන් වහන්සේ මිනිසත්බව ගෙන, ආත්මයාණන් විසින් සහතික කරනු ලැබ, දූතයන්ට දිස් වූ සේක.
විජාතීන්ට ප්‍රකාශ කරනු ලැබ, ලොව පුරා අදහාගනු ලැබ, මහිමයෙන් ඔසවනු ලැබූ සේක.
– 4 වන පරිච්ඡේදය –
ව්‍යාජ ගුරුවරුන් ගැන අවවාද
1 පසු කාලවල දී සමහරුන්, මුළා කරවන භූතයනටත්, දුෂ්ටාත්මයන්ගේ ගුරුකම්වලටත් සවන් දී, ඇදහිල්ලෙන් වැටී යනු ඇතැ යි ආත්මයාණෝ නිසැක ව ම කියති. 2 එසේ වන්නේ යක්ෂයාගේ බොරුව නමැති සලකුණ හංවඩු ගසන ලද හෘදය සාක්ෂියක් ඇති අය තුළින් ය. 3 ඔව්හු විවාහය තහනම් දෙයක් බව කියති. කෑමවලින් වළකින ලෙස ද අවවාද කරති. එහෙත් දෙවියන් වහන්සේ ඒවා මැවූයේ, සත්‍යය දැනගත් සැදැහැවතුන් ස්තුති පූර්වක ව ඒවා භුක්ති විඳින පිණිස ය. 4 දෙවියන් වහන්සේ මවා ඇති සියල්ල ම යහපත් ය. ස්තුතිවන්ත ව පිළිගන්නවා නම්, කිසිවක් ප්‍රතික්ෂේප නොකළ යුතු ය. 5 මන්ද, ඒවා දේව වචනයෙන් ද යාච්ඤාවෙන් ද සංස්කාර කරනු ලබන්නේ ය.
ක්‍රිස්තුන් වහන්සේගේ හොඳ සේවකයෙක්
6 මේවා සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙහි නම්, ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හොඳ සේවකයෙක් වන්නෙහි ය. එවිට ඔබ අනුගමනය කරන ඇදහිල්ලේ වචන ද සම්‍යක් ධර්මය ද ඉගැන්වීමෙන් පෝෂණය වන්නේ ය. 7 අභක්තික මිථ්‍යා කථා ද, මැහැලියන්ගේ ප්‍රලාප ද නොතකා, දේව භක්තිය සඳහා ව්‍යායාම කරන්න. 8 මන්ද, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්රයෝජනයකි. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ. කුමක් හෙයින් ද යත්, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි. 9 මෙය විශ්වාස කටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කීමකි. 10 අප වෙහෙස වන්නේත්, සටන් කරන්නේත්, සියලු මිනිසුන්ගේ, විශේෂයෙන් අදහන්නන්ගේ, මිදුම්කාර වූ ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ බලාපොරොත්තුව තබා තිබෙන නිසා ය.
11 ඔබේ ඉගැන්වීම්වල දී මේවා අණ කරන්න. 12 ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ කතාවෙන් ද හැසිරීමෙන් ද ප්‍රේමයෙන් ද ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින් ද අදහන්නන්ට ආදර්ශයක් වන්න. 13 මා එන තුරු ප්‍රසිද්ධියේ ශුද්ධ ලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද ඉගැන්වීමට ද අවධානය යොමු කරන්න. 14 දිවැස් වැකි පැවසීමෙන් සභා මූලිකයන්ගේ අත්තැබීම ඇතුව ඔබට දෙන ලද ආත්මික වරම භාවිත කිරීම පැහැර නොහරින්න. 15 මෙය සිතට ගෙන ක්‍රියා කරන්න. එවිට ඔබේ දියුණුව කාටත් පෙනෙනු ඇත. 16 ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් සැලකිලිමත් වන්න. මේ දේවල නිරත ව සිටින්න. ඔබ මෙසේ කිරීමෙන් ඔබ ද ඔබට සවන් දෙන්නන් ද ගළවා ගන්නෙහි ය.
– 5 වන පරිච්ඡේදය –
සැදැහැවතුන් පිළිබඳ වගකීම්
1 වැඩිමහල්ලෙකුට සැරෙන් කතා නොකරන්න, පියෙකුට මෙන් ඔහුට අවවාද කරන්න. තරුණයන් සහෝදරයන් මෙන් ද, 2 වැඩිමහල් ස්ත්‍රීන් මවුවරුන් මෙන් ද තරුණියන් සහෝදරියන් මෙන් ද සෑම විට ම පිරිසිදු සිතින් සලකන්න.
3 ඇත්තට ම අසරණ ව සිටින වැන්දඹුවන් පිළිබඳ වගකීම භාරගන්න. 4 එහෙත් යම් වැන්දඹුවකට දරුවන් හෝ මුණුබුරන් හෝ ඇත්නම්, තම පවුල් වෙත යුතුකම් දැන ප්‍රථමයෙන් සිය දෙමවුපියන් පිළිබඳ යුක්තිය ඉෂ්ට කළ යුත්තෝ ඔව්හු ය. මන්ද, එය දෙවියන් වහන්සේට ප්‍රිය හෙයිනි. 5 එහෙත් ඇත්තෙන් ම අසරණ ව සිටින වැන්දඹුව දෙවියන් වහන්සේට කැප වී, දිවා රෑ දෙක්හි ආයාචනාවල ද යාච්ඤාවල ද යෙදෙයි. 6 කම්සැපෙහි ලොල් වූ තැනැත්තී, ජීවත් ව සිටිය දී ම මැරී සිටින්නී ය. 7 ඔවුන්ගේ ජීවිත නිදොස් වන ලෙස මේවා ඔවුන්ට සිහිපත් කරවන්න. 8 යමෙක් තමාගේ නෑයන්, විශේෂයෙන් තමාගේ පවුලේ අය, නොසලකා හරින්නේ නම්, ඔහු ඇදහිල්ල අත්හැර දැමූවෙකි; මිථ්‍යාදෘෂ්ටිකයෙකුට වඩා අයහපත් තැනැත්තෙකි.
9 වැන්දඹුවක ලෙස නාම ලේඛනයෙහි ඇතුළත් කළ යුත්තේ අවුරුදු හැටක් වත් වයසැති, එක ම පුරුෂයෙකුට භාර්යාව වී සිටි ස්ත්‍රියෙකි. 10 ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.
11 එහෙත් යෞවන වැන්දඹුවන් නාම ලේඛනයෙහි ඇතුළත් නොකරන්න. ස්වාභාවික කාමතෘෂ්ණාවල බලපෑම නිසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී, ඔවුන් නැවත විවාහයට පෙළඹෙන්නට පිළිවන. 12 මේ නිසා ඔව්හු පළමු පොරොන්දුව කඩකර වරදට පැමිණෙති. 13 තවද ඔව්හු, ගෙන්-ගෙට යමින් අලස වීමට පුරුදු වෙති. අලස වෙනවා පමණක් නොව, වාචාලකමින් අනුන්ගේ දේවලට ඇඟිලි ගැසීමට ද, නුසුදුසු දේ දෙඩීමට ද පුරුදු වෙති. 14 යෞවන වැන්දඹුවන් විවාහ වී දරුවන් ලබනවාටත්, ගේදොර රැකබලාගන්නවාටත් මම කැමැති වෙමි. එවිට නින්දා කිරීම සඳහා විරුද්ධවාදීන්ට කිසි ඉඩක් නොලැබේ. 15 මන්ද, දැනටමත් සමහරු අහක් වී සාතන් අනුව ගොස් සිටිති. 16 යම් කිසි ක්‍රිස්තු භක්තික ස්ත්‍රියකට, වැන්දඹු නෑදෑයින් ඇත්නම්, සභාවට වියදම් දරන්නට ඉඩ නොහැර, ඇය ඔවුන් නඩත්තු කළ යුතු ය. එවිට කාත් කවුරුනුත් නැති වැන්දඹුවන්ට උපකාර කරන්නට සභාවට පුළුවන් වේ.
17 යහපත් ලෙස මූලිකයන් වශයෙන් කටයුතු කරන සභාමූලිකයන්ට, එනම්, විශේෂයෙන් දේශනා කිරීමෙහිත්, ඉගැන්වීමෙහිත් වෙහෙස දරන අයට දෙගුණයක් වේතන ගෙවිය යුතු යි. 18 ගොයම් පාගන විට ගවයාගේ කට නොබැඳිය යුතු ය කියා ද, වැඩ කරන්නාට කුලියක් ලැබිය යුතු ය කියා ද, ශුද්ධ ලියවිල්ලේ සඳහන් කොට ඇත. 19 දෙතුන් දෙනෙකුගේ සාක්ෂි නැත්නම්, සභාමූලිකයෙකුට විරුද්ධ ව ඉදිරිපත් කරන කිසි ම චෝදනාවකට සවන් නොදෙන්න. 20 අන් අය භය වන පිණිස පව් කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටු කරන්න.
21 කලින් ගත් තීරණයක් අනුව වත්, පක්ෂපාතකමින් වත් කිසිවක් නොකර, සාධාරණ ව ක්‍රියා කිරීම ඔබේ යුතුකමක් ලෙස දෙවියන් වහන්සේ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද තෝරාගත් දේව දූතයන් ද ඉදිරියෙහි ඔබට අණ කරමි. 22 ඉක්මන් වී කිසිවෙකු හස්තාලේපනය නොකරන්න; අනුන්ගේ වැරදිවලට පංගුකාරයෙක් නොවන්න; ඔබත් පිරිසිදු ව සිටින්න.
23 වතුර පමණක් නොබී, කෑම දිරවීම පිණිසත්, නිතර ඇති වන අසනීප ගතිය නිසාත්, මිදියුස ටිකක් භාවිතා කරන්න. 24 සමහරුන්ගේ වැරදි, විනිශ්චයක් කිරීමටත් පෙර, පැහැදිලි ය. එහෙත් සමහරුන්ගේ වැරදි, එළිදරව් වන්නේ පසු ව ය. 25 එසේ ම පැහැදිලි ව පෙනෙන යහපත් ක්‍රියා ද ඇත. එසේ නොපෙනුණත්, ඒවා සැඟවී තිබෙන්නට නොහැකි ය.
– 6 වන පරිච්ඡේදය –
1 වහල්කමට බැඳී සිටින සියලු දාසයෝ තම ස්වාමිවරුන්ට නිසි ගෞරවය දැක්විය යුත්තෝ ය. එසේ නොකළොත් දෙවියන් වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස ඇති වෙයි. 2 කිතුනු ස්වාමිවරුන් ඇති දාසයෝ, ඔවුන් දෙගොල්ල ම සහෝදරයන් වන නිසා, තම ස්වාමිවරුන් සුළු කොට නොසැලකිය යුත්තෝ ය. එසේ නොකර, තමන්ගේ වැඩවලින් ප්‍රයෝජන ලබන ස්වාමිවරුන්ට ඔවුන් වඩාත් හොඳින් සේවය කළ යුතු ය. කවර හෙයින් ද? ඔවුන් ද තමන් ප්‍රේම කරන කිතුනුවන් වන බැවිනි. ඔබේ ඉගැන්වීම් වල දී මේ කාරණා තරයේ කියන්න.
මිසදිටු ඉගැන්වීම හා සැබෑ ධනවත්කම
3 යමෙක් වෙනස් ධර්මයක් උගන්වමින්, අපගේ වැඩදායක ධර්මය වන, අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වචනවලටත්, විශ්වාසවන්ත ඉගැන්වීමටත් විරුද්ධ ව යන්නේ නම්, ඔහු අඥානයෙකි; 4 උඩඟුකමින් පිරුණු තැනැත්තෙකි; ඔහු සෑම දේ ගැන සැක කිරීමෙන් ද, වචන ගැන ප්‍රශ්න කිරීමෙන් ද උමතු වූවෙකි. එයින් ඊර්ෂ්‍යාව ද කලහ ද අපහාසය ද කූට අවිශ්වාසය ද 5 මිථ්‍යා අදහස් ඇති, සත්‍යය නොදන්න, දේව භක්තිය ලාභයට මඟකැ යි සිතන මිනිසුන්ගෙන් කෙළවරක් නැති වාද විවාද ද උපදින්නේ ය. 6 ලද පමණින් සතුටු වීම සහිත දේව භක්තිය මහත් ලාභයකි. 7 අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය. 8 කන්නට අඳින්නට ඇත්නම්, අපට සෑහෙයි. 9 ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය. 10 මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ.
ඇදහිල්ල උදෙසා නිර්භීත සටන
11 එහෙත් දෙවියන් වහන්සේට කැපවූවකු වන ඔබ, මේ දේවලින් වැළකී සිටිය යුතු ය. දමිටුකමට ද භක්තිවන්තකමට ද ඇදහිල්ලට ද ප්‍රේමයට ද ඉවසිලිවන්තකමට ද ශාන්තදාන්තකමට ද, අවධානය යොමු කරන්න. 12 ඇදහිල්ල නමැති මහා ධාවනය වීර්යයෙන් දුවන්න. සදාතන ජීවනය අත් කරගන්න. ඔබ එයට කැඳවනු ලැබූයේ සාක්ෂිකාරයන් කීප දෙනෙකු ඉදිරියෙහි ඔබේ ඇදහීම නිර්භීත ලෙස සහතික කොට ප්‍රකාශ කළ විට ය. 13 සකල ජීවයට උල්පත වූ දෙවියන් වහන්සේ ද, පොන්තියුස් පිලාත් ඉදිරියෙහි ඇදහීම නිර්භීත ලෙස ප්‍රකාශ කළ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද අබිමුවෙහි මා ඔබට භාර දෙන කටයුත්ත මෙය යි: 14 අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ආගමනය තෙක් මේ ආඥාව කිසි ම දෝෂයක් හෝ කැළලක් හෝ නැති ව පිළිපදින්න. 15 දෙවියන් වහන්සේ එම ආගමනය නියමිත කාලයේ දී එළිදරව් කරන සේක. උන් වහන්සේ වනාහි භාග්‍යවත්, අසහාය අධිපති, රාජාති රාජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන් වන තැනැන් වහන්සේ ය. 16 උන් වහන්සේ පමණක් අමරණීය ය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන් වහන්සේ වසන සේක. කිසිවෙක් කිසි කලෙක උන් වහන්සේ දැක නැත; දකින්නටත් බැරි ය. උන් වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේ වා! ආමෙන්.
17 උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න. 18 ඔවුන් දැහැමි ක්‍රියාවල යෙදී සිටින ලෙස ද දැහැමි ක්‍රියාවලින් ධනවත් වන ලෙස ද, සියල්ල අනුන් හා සමඟ ත්‍යාගශීලී ව බෙදාගැනීමට ළැදි වන ලෙස ද අවවාද කරන්න. 19 මෙසේ කිරීමෙන් ඔව්හු අනාගතය සඳහා ස්ථිර පදනමක් වන ධන සම්භාරයක් රැස් කරගන්නෝ ය. එවිට ඔව්හු නියම සැබෑ ජීවනය ලබා ගන්නෝ ය.
20 තිමෝතියස්, ඔබට භාර දුන් දෙය ආරක්ෂා කරන්න. දැනුම ලෙස සැලකෙන මිථ්‍යාදෘෂ්ටික අදහස්වලින් ද අර්ථයක් නැති හිස් දෙඩවිලිවලින් ද පරස්පර විරෝධී මතවලින් ද වළකින්න. 21 එවැනි සමහරු ඇදහිල්ලෙන් ඈත් ව සිටිති.
ඔබ හැමට කරුණාව වේ වා!