1 ජොහන්
– 1 වන පරිච්ඡේදය –
ජීවනයේ ධර්මයාණෝ
1 මූලාරම්භයේ පටන් වූ ජීවනයේ ධර්මයාණන් ගැන අපි ඔබට ලියමු. අපි උන් වහන්සේ කනින් ඇසීමු, අපේ ඇස්වලින් දුටිමු; දැක බලා, අපේ අත්වලින් ස්පර්ශ කෙළෙමු. 2 මේ ජීවනය දෘශ්‍යමාන විය. අපි එය දැක, ඒ ගැන සාක්ෂි දරමින්, පියාණන් වහන්සේ සමඟ වැඩවිසූ, අපට දෘශ්‍යමාන කරන ලද සදාතන ජීවනය ඔබට ප්‍රකාශ කරමු. 3 අප ඔබටත් ප්‍රකාශ කරන්නේ අප ඇසූ දුටු ඒ දේ ම ය. අප එසේ කරන්නේ, පියාණන් වහන්සේ ද උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද සමඟ පවත්නා අපේ සහභාගිකමට ඔබත් පංගුකාර වන පිණිස ය. 4 තවද, අප මෙය ලියන්නේ අප හැමගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.
දෙවියන් වහන්සේ ආලෝකය ය
5 උන් වහන්සේගෙන් අප ඇසූ, ඔබට දන්වන පණිවුඩය මෙය වේ: දෙවියන් වහන්සේ ආලෝකය ය, උන් වහන්සේ තුළ කිසි ම අන්ධකාරයක් නැත. 6 එබැවින්, උන් වහන්සේ සමඟ අපි සහභාගිකම පවත්වන්නෙමු යි කියමින් අපි අන්ධකාරයෙහි හැසිරෙමු නම් අප කියන්නේ බොරුවකි. අප පිළිපදින්නේ සත්‍යය නොවේ. 7 එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.
8 අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත. 9 එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක. 10 අපි පව් කර නැතැ යි කියමු නම්, අපි උන් වහන්සේ බොරුකාරයෙකු කරමු: උන් වහන්සේගේ වචනය ද අප තුළ නොපවතියි.
– 2 වන පරිච්ඡේදය –
මැදහත්කාරයාණෝ
1 මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා මා ඔබට ලියා එවන්නේ, ඔබ පව් නොකරන පිණිස ය. එහෙත් යමෙකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නම් මැදහත්කාරයාණන් කෙනෙක් අප වෙනුවෙන් පියාණන් වහන්සේ වෙත සිටින සේක. 2 අපේ පාපයෙන් මිදීමේ මිලය උන් වහන්සේ ය; එය අපේ පව් උදෙසා පමණක් නොව සකල ලෝකයාගේ ද පව් උදෙසා ය.
3 අපි උන් වහන්සේගේ ආඥා පිළිපදිමු නම්, එයින් අප උන් වහන්සේ දන්නා බව සහතික වේ. 4 ”මම උන් වහන්සේ දනිමි”යි කියමින් උන් වහන්සේගේ ආඥා නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි; සත්‍යය ඔහු තුළ නැත. 5 එහෙත් යමෙක් උන් වහන්සේගේ දහම පිළිපදින්නේ ද, ඒකාන්තයෙන් ම ඔහු තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී ඇත. අප උන් වහන්සේ තුළ සිටින බව දැනගන්නේ මෙසේ ය: 6 උන් වහන්සේ තුළ ජීවත් වන්නේ යයි කියන තැනැත්තා, ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වුණාක් මෙන් ජීවත් විය යුතු ය.
අලුත් ආඥාව
7 ප්‍රේමවන්තයෙනි, මා ඔබ හට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම ඔබ අතර තිබුණු පැරණි ආඥාව ය. ඒ පැරණි ආඥාව නම් ඔබ අසා ඇති පණිවුඩය ම ය. 8 කෙසේ වෙතත් මා ඔබ වෙත ලියා එවන මෙම ආඥාව අලුත් එකකි. එහි සත්‍යය ක්‍රිස්තුන් වහන්සේ තුළ ද ඔබ තුළ ද විද්‍යමාන වී ඇත. මන්ද, අන්ධකාරය පහ ව යන්නේ ය. සැබෑ ආලෝකය දැනටමත් බැබළෙන්නේ ය. 9 ආලෝකයෙහි පවතිමි යි කියමින් සිය සහෝදරයාට වෛර කරන්නා තවමත් අන්ධකාරයෙහි සිටියි. 10 සිය සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයෙහි සිටියි. ඒ නිසා පැකිළී වැටීමට හේතුවක් ඔහුට නැත. 11 එහෙත් සිය සහෝදරයාට වෛර කරන්නා අන්ධකාරයෙහි හැසිරෙයි. අන්ධකාරයෙන් ඔහුගේ ඇස් අන්ධ වී තිබෙන බැවින්, තමා යන්නේ කොහේ දැ යි ඔහු නොදනියි.
12 මාගේ ප්‍රියාදර දරුවෙනි, මා ඔබට ලියන්නේ උන් වහන්සේගේ නාමය නිසා ඔබේ පව් කමා කර ඇති බැවිනි. 13 පියවරුනි, මා ඔබට ලියන්නේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයිනි, මා ඔබට ලියන්නේ, ඔබ නපුරා දමනය කර ඇති බැවිනි. 14 දරුවෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ පියාණන් වහන්සේ දන්නා බැවිනි. පියවරුනි, මා ඔබට ලියා එවූයේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ ශක්තිමත් බැවිනුත්, දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුළ ඇති බැවිනුත්, ඔබ නපුරා දමනය කර ඇති බැවිනුත් ය.
15 මේ ලෝකයට වත්, එහි ඇති දේ වලට වත් ආලය නොකරන්න. යමෙක් ලෝකයට ආලය කරන්නේ ද, දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. 16 මන්ද, ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, කාමරාගයත්, මාංසික තෘෂ්ණාවත්, අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් ය. 17 ලෝකයත් ලෝකානුරාගයත් පහ වී යන්නේ ය. එහෙත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදහට ම ජීවත් වන්නේ ය.
ක්‍රිස්තු-විරෝධියා
18 ප්‍රිය දරුවෙනි, අවසාන මොහොත පැමිණ ඇත. මේ කාලයේ දී ක්‍රිස්තු-විරෝධියා එන බව ඔබ අසා ඇත. දැනට ම බොහෝ ක්‍රිස්තු-විරෝධීහු පහළ වී සිටිති. මේ කරුණින් මෙය අන්තිම මොහොත බව අපට පෙනේ. 19 මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත. ඔවුන් අපට අයිති ව සිටියා නම්, අප සමඟ නැවතී සිටිනු ඇත. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය.
20 එහෙත් ඔබ වනාහි ශුද්ධ තැනැන් වහන්සේගෙන් ආලේපය ලබා ඇත. එයින් ඔබ හැමට ප්‍රඥාව ලැබී ඇත. 21 මා ඔබට ලියා එවූයේ ඔබ සත්‍යය නොදන්නා නිසා නොව, එය දන්නා නිසාත්, සත්‍යයෙන් කිසි බොරුවක් හට නොගන්නා බව දන්නා නිසාත් ය.
22 බොරුකාරයා කවරෙක් ද? ඔහු අන් කිසිවෙකු නොව, ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් නොවේ යයි කියන තැනැත්තා ය. ක්‍රිස්තු-විරෝධියාත් ඔහු ම ය. ඔහු පියාණන් වහන්සේත් පුත්‍රයාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරන්නේ ය. 23 යමෙක් පුත්‍රයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරයි; යමෙක් පුත්‍රයාණන් වහන්සේ පිළිගන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් පිළිගන්නේ ය. 24 ඔබ මුල සිට ම ඇසූ දේ සිතෙහි නිදන් කරගන්න. මුල සිට ම ඔබ ඇසූ දේ ඔබ තුළ පවතී නම් ඔබ පුත්‍රයාණන් වහන්සේ තුළත්, පියාණන් වහන්සේ තුළත් ජීවමාන ව සිටින්නහු ය. 25 උන් වහන්සේ අපට දුන් පොරොන්දුව නම් මේ සදාතන ජීවනය ය.
26 මා මේ කාරණා ඔබට ලිව්වේ ඔබ මුළා කරන්නට උත්සාහ කරන අය සම්බන්ධයෙන් ය. 27 උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.
28 ඉතින් මාගේ ප්‍රිය දරුවෙනි, උන් වහන්සේ තුළ පවතින්න. එසේ කළ යුත්තේ උන් වහන්සේ ප්‍රකාශ වූ විට ඔබ නිසැක ව සිටින පිණිසත්, උන් වහන්සේගේ ආගමනයේ දී ඔබ උන් වහන්සේ ඉදිරියේ ලජ්ජා රහිත ව සිටින පිණිසත් ය. 29 උන් වහන්සේ ධර්මිෂ්ඨ බව ඔබ දන්නහු නම්, දමිටුකම් කරන සියල්ලන් උන් වහන්සේගෙන් උපත ලබා සිටින බව ඔබට තේරුම් යනු ඇත.
– 3 වන පරිච්ඡේදය –
දෙවියන් වහන්සේගේ දරුවෝ
1 බලන්න, පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්, ඔව්හු අප ද නොහඳුනති. 2 ප්‍රේමවන්තයෙනි, අපි දැනට ම දෙවියන් වහන්සේගේ දරුවෝ ය. එහෙත් අනාගතයේ දී අපි කොයි ආකාර අය වන්නෙමු දැ යි තව ම ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් උන් වහන්සේ ප්‍රකාශ වන විට අපි උන් වහන්සේට සමාන වන බව දනිමු. මන්ද, උන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහි ම අපි උන් වහන්සේ දකින්නෙමු. 3 උන් වහන්සේ පිළිබඳ මේ බලාපොරොත්තුව ඇති හැම කෙනෙක් ම, උන් වහන්සේ පිරිසිදු ව සිටින්නාක් මෙන්, තමන් ද පිරිසිදු කරගනිති.
4 පව් කරන සෑම දෙන ම දේව නීතිය කඩ කරති. පාපය නම් දේව නීතිය කඩ කිරීම ය. 5 ක්‍රිස්තුන් වහන්සේ පැමිණියේ පව් දුරු කරන පිණිස බව ඔබ දන්නහු ය. උන් වහන්සේ තුළ පාපයක් නැත. 6 යමෙක් උන් වහන්සේ තුළ ජීවත් වන්නේ ද ඔහු පව් නොකරයි. පව් කරන කිසිවෙක් උන් වහන්සේ දුටුවේ වත්, උන් වහන්සේ අඳුනන්නේ වත් නැත.
7 මාගේ ප්‍රිය දරුවෙනි, ඔබ මුළා කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටින්නාක් මෙන්, දමිටුකම් කරන්නා දමිටු ව සිටියි. 8 පව් කරන තැනැත්තා යක්ෂයාට අයිති ය. මන්ද, පටන්ගැන්මේ සිට ම යක්ෂයා පව් කර ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම පිණිස ය.
9 දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙක් පව් නොකරති. මන්ද, උන් වහන්සේගේ ජීවය ඔහු තුළ පවතියි. ඔහු දෙවියන් වහන්සේගෙන් උපත ලැබ සිටින බැවින් ඔහුට පව් කළ නොහැකි ය. 10 දෙවියන් වහන්සේගේ දරුවන් ද යක්ෂයාගේ දරුවන් ද හඳුනාගත හැක්කේ මෙසේ ය: යුතු දේ නොකරන, තම සහෝදරයාට ප්‍රේම නොකරන, කිසිවෙක් දෙවියන් වහන්සේගේ දරුවෝ නොවෙති.
සහෝදර ප්‍රේමය
11 පටන්ගැන්මේ සිට ඔබ ඇසූ පණිවුඩය නම්, අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ය යනු යි. 12 සිය සහෝදරයා මැරූ, නපුරාට අයිති වූ කායින් මෙන් අප නොවිය යුතු ය. කායින් සිය සහෝදරයා මැරුවේ මන් ද? තමාගේ ක්‍රියා නපුරු ව ද සහෝදරයාගේ ක්‍රියා යහපත් ව ද තිබුණු බැවිනි.
13 සහෝදරයෙනි, ලෝකයා ඔබට වෛර කරන්නේ නම් පුදුම නොවන්න. 14 අපි සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් මරණයෙන් ජීවනයට පැමිණ සිටින බව දනිමු. ප්‍රේම නොකරන්නා මරණයෙහි පවතියි. 15 තම සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නෙකි. කිසි මිනී මරන්නෙකු තුළ සදාතන ජීවනය නොමැති බව ඔබ දන්නහු ය. 16 ප්‍රේමය යනු කිමෙක් දැ යි අප දන්නේ, ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතය අප උදෙසා පරිත්‍යාග කළ බැවිනි. අප ද, සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතු ය. 17 ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද? 18 මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය.
දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්භීතකම
19 අප සත්‍යයේ පිහිටා සිටින බව දන්නේත්, ඒ ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ සිතේ සහතිකයක් අපට ඇති විය හැක්කේත් මෙසේ ය: 20 අපේ සිත අපට දෝෂාරෝපණය කරයි නම්, දෙවියන් වහන්සේ අපේ සිතට වඩා උතුම් බවත්, උන් වහන්සේ සියල්ල දන්නා බවත් අපි දනිමු. 21 ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරයි නම්, දෙවියන් වහන්සේ ඉදිරියේ අපට බියවීමට කරුණක් නැත. 22 තවද, අපි උන් වහන්සේගේ ආඥා පිළිපදින නිසා ද, උන් වහන්සේට ප්‍රියමනාප දේ කරන නිසා ද, උන් වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු. 23 උන් වහන්සේගේ ආඥාව නම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඇදහීමත්, උන් වහන්සේ අපට අණ කළ ලෙස එකිනෙකාට ප්‍රේම කිරීමත් ය. 24 උන් වහන්සේගේ ආඥා පිළිපදින්නා, උන් වහන්සේ තුළ වෙසෙයි; උන් වහන්සේ ද ඔහු තුළ වැඩවසන සේක. උන් වහන්සේ අප තුළ වැඩවසන බව අප දන්නේ උන් වහන්සේ අපට දුන් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ය.
– 4 වන පරිච්ඡේදය –
සැබෑ දිවැසිවරු හා බොරු දිවැසිවරු
1 ප්‍රේමවන්තයෙනි, තමන්ට ආත්මයාණන් ඇතැ යි කියන හැම කෙනෙකු ම විශ්වාස නොකොට, ඔවුන්ට ආත්මයාණන් ලැබී ඇත්තේ දෙවියන් වහන්සේගෙන් දැ යි පරීක්ෂා කර බලන්න. එසේ කියන්නේ, බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙකු ලෝකයේ විසිර ගොස් සිටින නිසා ය. 2 ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ දැනගන්නේ මෙසේ ය: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිස්බව ගෙන වැඩම කළ බව ඒත්තු ගන්නාවූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් ය. 3 එසේ ජේසුස් වහන්සේ ඒත්තු නොගන්නා වූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් නොවෙති. මේ ක්‍රිස්තු-විරෝධියාගේ ක්‍රියා ය. ඔහු එන බව ඔබ අසා ඇත. දැනටමත් ඔහු ලෝකයෙහි සිටියි.
4 ප්‍රිය දරුවෙනි, ඔබ දෙවියන් වහන්සේට අයිති වෙමින් බොරු දිවැසිවරුන් පරාජය කර ඇත. මන්ද, ඔබ තුළ වැඩවසන දෙවියන් වහන්සේ ලෝකයේ සිටින ක්‍රිස්තු-විරෝධියාට වඩා උතුම් ය. 5 ඒ බොරු දිවැසිවරු ලෝකයට අයිති ය; ඔව්හු ලෝක ව්‍යවහාරය අනුව කතා කරති. එබැවින් ලෝකයා ඔවුන්ට සවන් දෙති. 6 අප දෙවියන් වහන්සේට අයිති ය. දෙවියන් වහන්සේ අඳුනන තැනැත්තා අපට සවන් දෙයි. දෙවියන් වහන්සේට අයිති නොවන්නා අපට සවන් නොදෙයි. සත්‍යයත් අසත්‍යයත් අපට හඳුනාගත හැක්කේ මේ ලෙසිනි.
දෙවියන් වහන්සේගේ ප්‍රේමය
7 ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද, ප්‍රේමය දෙවියන් වහන්සේගෙන් ය. ප්‍රේම කරන සෑම දෙන ම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන් වහන්සේ අඳුනති. 8 ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේ නාඳුනයි. මන්ද, දෙවියන් වහන්සේ ප්‍රේමය ය. 9 අප කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්, අප උන් වහන්සේ කරණකොටගෙන ජීවත් වන පිණිස, ලෝකයට එවා වදාළ කාරණයෙන් ය. 10 ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව, උන් වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලය වශයෙන් එවීම ය.
11 ප්‍රේමවන්තයෙනි, දෙවියන් වහන්සේ අපට මෙසේ ප්‍රේම කළ සේක් නම්, අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතු ය. 12 කිසිවෙකු කිසි කලෙක දෙවියන් වහන්සේ දුටුවේ නැත. එහෙත්, අපි එකිනෙකාට ප්‍රේම කරමු නම්, දෙවියන් වහන්සේ අප තුළ වැඩවසන සේක. උන් වහන්සේගේ ප්‍රේමය ද අප තුළ පරිපූර්ණ වන්නේ ය.
13 අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි. 14 තවද, පියාණන් වහන්සේ තමන් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයාණන් වන පිණිස එවා වදාළ බව අපි දුටිමු. ඊට සාක්ෂි දරමු. 15 යමෙක් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව අදහාගනිමින් ප්‍රකාශ කරන්නේ ද, දෙවියන් වහන්සේ ඔහු තුළත්, ඔහු දෙවියන් වහන්සේ තුළත් වාසය කරති. 16 මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු.
දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක. 17 ප්‍රේමය අප තුළ පරිපූර්ණ වූ කල, විනිශ්චය දවසේ දී අපට නිසැකකම ඇති වේ. මන්ද ක්‍රිස්තුන් වහන්සේ මෙලොව ජීවත් ව සිටින සේ ම අපිත් ජීවත් වෙමු. 18 ප්‍රේමයෙහි බියක් ඇති නොවේ. ප්‍රේමය බිය දුරු කරයි. බිය වීම දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින්, බිය වන්නා ප්‍රේමයෙහි පරිපූර්ණ වී නැත.
19 අප ප්‍රේම කරන්නේ උන් වහන්සේ පළමුකොට අපට ප්‍රේම කළ බැවිනි. 20 යමෙක් ”මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි”යි කියමින්, තම සහෝදරයාට වෛර කරයි නම්, ඔහු බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකි ය. 21 දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තා තම සහෝදරයාටත් ප්‍රේම කළ යුතු ය යන ආඥාව අපි උන් වහන්සේගෙන් ලැබීමු.
– 5 වන පරිච්ඡේදය –
ලෝකය ජයගැනීම
1 ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ බව අදහන කවරෙක් නමුත් දෙවියන් වහන්සේගේ දරුවෙකි. පිය කෙනෙකුට ප්‍රේම කරන්නා ඔහුගෙන් උපන් පුත්‍රයාටත් ප්‍රේම කරයි. 2 දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් ද, උන් වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ද අපි උන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැනගනිමු. 3 දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන් වහන්සේගේ ආඥා පිළිපැදීම යි. උන් වහන්සේගේ ආඥා පිළිපැදීම දුෂ්කර නොවේ. 4 මන්ද, දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකු ම ලෝකයෙන් ජයගෙන ඇත. ලෝකය පරදවන වික්‍රමය නම් ඇදහිල්ල යි. 5 ලෝකයෙන් ජයගත හැක්කේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යයි අදහන තැනැත්තාට මිස අන් කවරෙකුට ද?
පුත්‍රයාණන් පිළිබඳ ත්‍රිවිධ සාක්ෂිය
6 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, වතුර හා රුධිරය කරණකොටගෙන පැමිණි තැනැන් වහන්සේ ය. එසේ පැමිණියේ වතුර පමණක් නොව වතුරත් රුධිරයත් ඇතිව ය. මෙය සත්‍ය බවට ආත්මයාණන් වහන්සේ සාක්ෂි දරන සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ සත්‍යය වන බැවිනි. 7 එබැවින් සාක්ෂි තුනක් ඇත: 8 ආත්මයාණන් වහන්සේ, වතුර හා රුධිරය යන මේ තුන ය. මේ සාක්ෂි තුන අතරේ එකඟත්වයක් ඇත. 9 අපි මනුෂ්‍යයන්ගේ සාක්ෂිය පිළිගනිමු. එහෙත් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා බලගතු ය. දෙවියන් වහන්සේගේ ම සාක්ෂිය නම්, සිය පුත්‍රයාණන් පිළිබඳ ව දුන් සාක්ෂිය වේ. 10 දෙවියන් වහන්සේගේ පුත්‍රයා අදහාගන්නාට තමා තුළ ම සාක්ෂිය ඇත. දෙවියන් වහන්සේ අදහානොගන්නා, උන් වහන්සේ තමන් පුත්‍රයාණන් පිළිබඳ ව දී ඇති සාක්ෂි විශ්වාස නොකරන බැවින්, උන් වහන්සේ බොරුකාරයෙකු කරයි. 11 ඒ සාක්ෂිය නම්, දෙවියන් වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවත්, ඒ ජීවනය තම පුත්‍රයාණන් තුළ ඇති බවත් ය. 12 පුත්‍රයාණන් වහන්සේ පිළිගත් තැනැත්තාට මේ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොපිළිගත් තැනැත්තාට ඒ ජීවනය නැත.
සදාතන ජීවන ඥානය
13 මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණිස ය. 14 උන් වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ අපේ ඉල්ලීම අසන බව ය. 15 ඒ ඉල්ලීමට උන් වහන්සේ සවන් දෙන බව අපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන බව අපි දනිමු.
16 යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක් කරන බව දුටුවොත්, ඔහු යාච්ඤා කෙරේ වා! එවිට, එය මරණයට නොපමුණුවන පාපයක් නම්, දෙවියන් වහන්සේ ඔහුට ජීවනය දෙන සේක. මරණයට පමුණුවන පාපයක් ඇත්තේ ය. ඒ ගැන ඔබ යාච්ඤා කළ යුතු යයි මම නොකියමි. 17 සියලු අදමිටුකම් පව් ය. එහෙත් සියලු ම පාප මරණයට පමුණුවන පව් නොවේ.
18 දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන සේක. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය.
19 අප දෙවියන් වහන්සේට අයිති බවත්, මුළු ලෝකය නපුරාට යටත් බවත් දනිමු. 20 තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥාව අපට දුන් බව අපි දනිමු. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ, එනම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක. 21 මාගේ ප්‍රිය දරුවෙනි, බොරු දෙවිවරුන්ගෙන් පරිස්සම් වී සිටින්න.
Does it always has to Pray god for mercy. He loves us most. if we stay clean and do not pray for mercy what will happen? he is almighty.