හේ‍‍බ්‍රෙව්

හෙබ්‍රෙව්

– 1 වන පරිච්ඡේදය –

පුත්‍රයාණන් මඟින් කළ අවසාන ප්‍රකාශනය

1 දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක. 2 එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා, සියල්ලේ උරුමකාරයාණන් කොට උන් වහන්සේ පත් කළ සේක. 3 උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.

පුත්‍රයාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය

4 මෙසේ දේව දූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයාණන් වහන්සේට උරුම වූ බැවින් උන් වහන්සේ ඔවුන්ට වඩා බොහෝ සේ උතුම් වන සේක. 5 මන්ද: ‍
”ඔබ මාගේ පුත්‍රයා ය;
මම අද ඔබ ජනිත කෙළෙමි”යි
කියාත්, ”මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය”
කියාත්, උන් වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවදාළ සේක. 6 උන් වහන්සේ තමන්ගේ කුලුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල:
‘දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන් වහන්සේට නමස්කාර කරත්වා”යි
වදාරන සේක. 7 දේව දූතයන් ගැන:
”උන් වහන්සේ ස්වකීය දූතයන් සුළං ද, ස්වකීය සේවකයන් ගිනි ජාලාවක් ද කරන සේකැ”යි
වදාරන සේක. 8 එහෙත් පුත්‍රයාණන් ගැන:
”දෙවියන් වහන්ස, ඔබගේ සිංහාසනය සදහට ම පවත්නේ ය;
ධර්මිෂ්ඨකමේ ජයකොන්තය ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය වේ.
9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය ව අධර්මිෂ්ඨකමට ද්වේෂ කළ සේක;
එබැවින් දෙවියන් වහන්සේ, ඔබේ ම දෙවියන් වහන්සේ, ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබේ සහකාරයන්ට ඉහළින් ඔබ අභිෂේක කළ සේකැ”යි
වදාරන සේක. 10 යළිත්:
”ස්වාමීනි, ආරම්භයේ දී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක, ස්වර්ගලෝක ඔබගේ මැවිලි ය.
11 ඒවා පහ ව යන්නේ ය, එහෙත් ඔබ පවතින සේක.
ඒ සියල්ල වස්ත්‍ර මෙන් පරණ වන්නේ ය;
12 ඔබ ඒවා සළුවක් මෙන් අකුළන සේක, වස්ත්‍ර මෙන් ඒවා මාරු කරනු ලබයි.
එහෙත් ඔබ ඒකාකාර ම ය, ඔබගේ වයසට සීමාවක් නැතැ”යි
වදාරන සේක. 13 එහෙත්:
”මා විසින් ඔබේ සතුරන් ඔබට පා පුටුවක් කරනු ලබන තෙක්, මාගේ දකුණත අසුන් ගන්නැ”යි
උන් වහන්සේ, දේව දූතයන්ගෙන් කවරෙකුට කවදා වදාළ සේක් ද? 14 එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.

 

– 2 වන පරිච්ඡේදය –

උදාර ගැළවීම

1 එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය. 2 මන්ද, දේව දූතයන් මඟින් ප්‍රකාශ කරන ලද ව්‍යවස්ථාව කෙතරම් දැඩි වී ද යත්, සියලු වැරදිවලටත්, අකීකරුකම්වලටත් සාධාරණ ප්‍රතිවිපාක ලැබුණු බව අපි දනිමු. 3 එසේ නම්, පළමුවෙන් සමිඳාණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්, අපි කෙසේ ගැළවෙමු ද? 4 දෙවියන් වහන්සේත් ලකුණුවලින් ද අරුමපුදුම දේවලින් ද විවිධ ප්‍රාතිහාර්යවලින් ද ස්වකීය කැමැත්ත අනුව ශුද්ධාත්මයාණන් වහන්සේගේ වරප්‍රසාද දීමෙන් ද ඊට සාක්ෂි දුන් සේක.

විමුක්තිදායකයාණන් වූ ක්‍රිස්තුන් වහන්සේ

5 අප කතා කරන්නේ පැමිණෙන්නට තිබෙන ලෝකයක් ගැන ය. ඒ ලෝකය දෙවියන් වහන්සේ දේව දූතයන්ට යටත් නොකළ සේක. 6 එසේ නොව, ශුද්ධ ලියවිල්ලෙහි යම් තැනක යම් තැනැත්තෙක් මෙසේ සාක්ෂි දරයි.
”ඔබ, මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද?
නොහොත්, යම් මිනිසෙකු ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කිමෙක් ද?
7 ඔබ ඔහු, ටික කලකට දේව දූතයන්ට වඩා පහත් කළ සේක.
ඔබ තෙජස ද ගෞරවය ද නමැති කිරුළ ඔහුට පැළඳ වූ සේක.
8 ඔබ ඔහුගේ පාදවලට සියල්ල ම යටත් කළ සේක.”
එසේ ය, උන් වහන්සේ සියල්ල මිනිසාට යටත් කළ සේකැ යි කීමෙන් යටත් නොකළ කිසිවක් තවත් ඉතිරි වී නැති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් සියල්ල මිනිසාට යටත් කර තිබෙන බව තව ම අපට නොපෙනේ. 9 එහෙත් අපට පෙනෙන්නේ, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්, දිවි පිදූ නිසා, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය.
10 මන්ද, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව තිබිණි.
11 මන්ද, පිරිසිදු කරන්නා ද පිරිසිදු කරනු ලබන්නො‍් ද යන සියල්ලෝ ම එක ම පියාණන් වහන්සේගෙන් වෙති. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලජ්ජා නොවී:
12 ”මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි,
සබ මැද ඔබට පැසසුම් ගී ගයන්නෙමි”යි
වදාරන සේක. 13 නැවතත්:
”මම උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි”යි කියා ද, යළිත්:
”මෙන්න, මමත් දෙවියන් වහන්සේ මට දුන් දූදරුවෝත්” ය කියා ද වදාළ සේක.
14 එහෙයින් පවුලේ සියලු දරුවන්ට එක ම මාංසයත් රුධිරයත් පොදුවේ ඇතිවා සේ ම උන් වහන්සේත් එම මිනිස් ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කෙළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයා මරණය මඟින් විනාශ කොට, 15 දිවි ඇති තාක් මරණ භයින් වහල්කමට යටත් ව සිටින සියල්ලන් නිදහස් කරන පිණිස ය. 16 මන්ද, උන් වහන්සේගේ සැලකිල්ලට භාජන වන්නේ දේව දූතයන් නොව, ආබ්‍රහම්ගේ පෙළපතෙන් පැවත එන අය ය. 17 එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි. 18 උන් වහන්සේ ම පරීක්ෂා කරනු ලැබ, දුක් වින්ද බැවින්, පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන් වහන්සේට පිළිවන.

 

– 3 වන පරිච්ඡේදය –

මෝසෙස්ට වඩා ශ්‍රේෂ්ඨ ජේසුස් වහන්සේ

1 ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ කිතුනු සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් හා උත්තම පූජකයාණන් ද වන ජේසුස් වහන්සේ ගැන කල්පනා කරන්න. 2 මෝසෙස් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි විශ්වාස ව සිටි සේ ම, ජේසුස් වහන්සේ ද තමන් පත් කළ තැනැන් වහන්සේට විශ්වාස ව සිටින සේක. 3 ගෘහයට වඩා ගෘහය තැනූ තැනැත්තාට ගෞරවය ඇත්තේ යම් සේ ද, එසේ ම මෝසෙස්ට වඩා ජේසුස් වහන්සේ ගෞරවය ලැබීමට සුදුසු යයි ඒත්තුගන්නා ලදී. 4 මන්ද, සෑම ගෘහයක් ම නිර්මාණය කරන්නෙක් සිටියි. එහෙත් සියල්ල නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේ ය. 5 සැබැවින් ම මෝසෙස්, දෙවියන් වහන්සේ මතු දවස කියන්නට යන දේ ගැන සාක්ෂියක් ලෙස උන් වහන්සේගේ සේවකයෙකු මෙන් මුළු ගෘහයෙහි විශ්වාසී ව සිටියේ ය. 6 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගෘහය පාලනය කරන පුත්‍රයෙකු මෙන් විශ්වාසී ව සිටි සේක. අග දක්වා අපේ උදාර බලාපොරොත්තුවෙහි නිසැක ව පවතිමු නම්, අපි උන් වහන්සේගේ ගෘහවාසීහු වම්හ.

දේව සෙනඟට විශ්‍රාම ශාන්තිය

7 එබැවින් ශුද්ධාත්මයාණෝ මෙසේ වදාරන සේක:
”අද නුඹලා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නහු නම්,
8 පාළුකරයේ දී නුඹලා
උන් වහන්සේ පරීක්ෂා කළ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.
9 එහි දී නුඹලාගේ පියවරු
සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියා දැක දැකත් මා සෝදිසි කිරීමෙන් පරීක්ෂා කළහ.
10 එබැවින් මම ඒ පරම්පරාවට උදහස් වී:
‘ඔව්හු නිතර ම සිතින් මුළා වෙති;
මාගේ මාර්ග ද ඔව්හු තේරුම් නොගත්හ.
11 ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු
නොවන්නො‍් ය යි මාගේ උදහසින් දිවුළෙමි ය’යි කීවෙමි.”
12 එබැවින් සහෝදරයෙනි, ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් වෙන්වීමට හේතු වන, ඇදහිල්ලක් නැති නපුරු සිතක් ඇති කිසිවෙකු, ඔබ අතර නොසිටින හැටියට බලාගන්න. 13 ඔබගෙන් කිසිවෙකු පාප මායාවෙන් දැඩි නොවන පිණිස, ‘අද දවස’ යයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කරන්න. 14 මන්ද, මුලදී අප තුළ වූ විශ්වාසය, අග දක්වා අපි තරයේ පවත්වාගනිමු නම්, අපි ක්‍රිස්තුන් වහන්සේගේ උරුමක්කාරයෝ වම්හ. 15 ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි.
”අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම්, කැරලි ගැසූ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.”
16 දේව හඬ අසා, ඉන්පසු කැරලි ගැසුවෝ කවරහු ද? ඔව්හු මෝසෙස්ගේ මඟපෙන්වීම ඇති ව මිසරයෙන් නික්ම ආ සියල්ලෝ නොවෙත් ද? 17 උන් වහන්සේ සතළිස් අවුරුද්දක් ම උදහස් ව සිටියේ කවුරුන් සමඟ ද? පව් කොට, කාන්තාරයේ මළ අය සමඟ නොවේ ද? 18 තමන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය යි උන් වහන්සේ දිවුරා කීවේ කවුරුන් ගැන ද? අකීකරු වූවන් ගැන නොවේ ද? 19 එබැවින් ඔවුන්ගේ අවිශ්වාසය නිසා ඔවුන්ට ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට නුපුළුවන් වූ බව අපට පෙනේ.

 

– 4 වන පරිච්ඡේදය –

දෙවියන් වහන්සේගේ විශ්‍රාමය

1 එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබිය දී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේ දෝ කියා අපි බියක් ඇති කර ගනිමු. 2 මන්ද, ඔවුන්ට මෙන් අපටත් සුබ අස්න දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින්, ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නො වී ය. 3 ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත.
”මාගේ උදහසින් දිවුළ ලෙස, ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය.”
එසේ වුව ද, අදහාගත් අපි ඒ විශ්‍රාමයට ඇතුළු වෙමු. සැබැවින් ම ලෝකය මැවීමේ සිට, දෙවියන් වහන්සේගේ වැඩ නිම වී තිබුණේ ය. 4 උන් වහන්සේ එක් තැනක සත් වන දවස ගැන කතා කොට, ”දෙවියන් වහන්සේ තමන් සියලු කටයුතුවලින් සත් වන දවසේ දී නිවාඩු ගත් සේකැ”යි කියා තිබේ. 5 නැවත මේ පාඨයෙහිත්:
”ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය”යි කියා ඇත. 6 එබැවින් සමහරුන් ඊට ඇතුළු විය යුතු බැවින් ද, ඒ සුබ අස්න පළමුකොට ඇසූ අය, අකීකරුකම නිසා ඇතුළු නො වූ බැවින් ද, 7 උන් වහන්සේ බොහෝ කලකට පසු දාවිත් මඟින් ඉහත කී ලෙස කතා කරවමින්:
”අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම්, නුඹලාගේ සිත් දැඩි කර නොගන්න,”
යන පාඨයෙහි ‘අද’ කියා එක්තරා දවසක් නියම කරන සේක. 8 මන්ද, ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම්, ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන් වහන්සේ කතා කරන්නේ නැත. 9 එබැවින් දෙවියන් වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතිරි ව ඇත. 10 දෙවියන් වහන්සේ සිය කටයුතුවලින් නිවාඩු ගත්තාක් මෙන්, උන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වූ තැනැත්තා ද, සිය කටයුතුවලින් නිවාඩු ගන්නේ ය. 11 එබැවින් අපි ඔවුන් මෙන් අකීකරු වී නොවැටෙන පිණිස ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට උත්සාහ කරමු.
12 දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය. 13 උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.

ශ්‍රේෂ්ඨතම උත්තම පූජකයාණෝ

14 එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු. 15 මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි. 16 එබැවින් අපේ අවශ්‍යතාවන්හි දී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැති ව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු.

 

– 5 වන පරිච්ඡේදය –

1 සෑම නායක පූජකයෙක් ම, පඬුරුත් පාප පූජාත් ඔප්පු කිරීම පිණිස ස්වකීය සෙනඟ අතුරින් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ සඳහා වූ කටයුතු කිරීම පිණිස පත් කරනු ලබයි. 2 ඔහුත් දුර්වලකම්වලට භාජන වී සිටින බැවින් අනුවණයන් ද මුළාවෙන්නන් ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන. 3 ඒ දුර්වලකම් නිසා සෙනඟ උදෙසා මෙන් ම තමා උදෙසාත් ඔහු විසින් පාප පූජා ඔප්පු කරනු ලැබීම අවශ්‍ය ව ඇත. 4 තවද ආරොන් මෙන්, දෙවියන් වහන්සේ විසින් කැඳවන ලද අය මිස, අන් කිසිවෙක් ඒ නිලය තමාට ම පවරා නොගන්නේ ය.
5 එසේ ම ක්‍රිස්තුන් වහන්සේත් නායක පූජකයෙකු වීමේ ගෞරවය තමන් වහන්සේ ම පවරා නොගත් සේක. එහෙත්:
”ඔබ මාගේ පුත්‍රයා ය;
අද මම ඔබ ජනිත කෙළෙමි”යි
උන් වහන්සේට කී තැනැන් වහන්සේ ම ඒ ගෞරවය පැවරූ සේක. 6 එලෙස ම වෙන තැනක:
”ඔබ මෙල්කිසදෙක් පූජක පරපුර අනුව, සදහට ම පූජකයෙක් වන්නෙහි ය”යි
ඒ තැනැන් වහන්සේ වදාරන සේක.
7 ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක. 8 උන් වහන්සේ පුත්‍රයාණන් වූ නමුත්, තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙනගත් සේක. 9 මෙසේ උන් වහන්සේ සම්පූර්ණත්වය ලැබ, තමන් වහන්සේට කීකරු වන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයාණෝ වූ සේක. 10 තවද මෙල්කිසදෙක් පූජක පරපුර අනුව, උත්තම පූජක නාමය ද දෙවියන් වහන්සේගෙන් ලත් සේක.

ධර්මය හා කල්ක්‍රියාව

11 මේ ගැන බොහෝ දේ කීමට ඇතත් ඔබේ ඇසීමට ඇති ආශාව හීන වී ඇති බැවින්, ඒවා පහදා දීම දුෂ්කර කරුණකි. 12 ඔබ ගුරුවරුන් විය යුතු කාලය දැන් පැමිණ ඇතත්, දේව පණිවුඩය ‘අ’ යන්නේ පටන් යමෙකු විසින් ඔබට ඉගැන්විය යුතු ව තිබේ. ඉන් අදහස් කරන්නේ, ඔබට ඝන ආහාර නොව කිරි දිය යුතු බව ය. 13 කිරි බීමෙන් ජීවත් වන්නා ළදරුවෙකු බැවින් ඔහුට ධර්මිෂ්ඨකම පිළිබඳ හැඟීමක් නැත. 14 එහෙත් ඝන ආහාර අවශ්‍ය වන්නේ හොඳ නරක විමසා බැලීමට අත්දැකීමෙන් තියුණු වූ ඉඳුරන් ඇති මුහුකුරා ගිය පුද්ගලයන්ට ය.

 

– 6 වන පරිච්ඡේදය –

1 එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් පසුකර යමු. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීම ද දෙවියන් වහන්සේ කෙරේ ඇදහීම ද 2 බව්තීස්ම-ස්නාපනය ද අත් තැබීම ද මළවුන්ගේ උත්ථානය ද සදාතන විනිශ්චය ද යන මේවා පිළිබඳ ඉගැන්වීම් ගැන නැවත වෙහෙසීමට වුවමනාවක් නැත. ඒ වෙනුවට පරිණත ධර්මය කරා ඉදිරියට යමු. 3 දෙවියන් වහන්සේ කැමැති සේක් නම් අපි එසේ කරමු.
4 වරක් දහම් එළියෙන් පැහැදීම ලැබූවන් වැටී ගිය විට ඔවුන් නැවත පසුතැවී සිත් හරවා ගැනීමට පැමිණවීම කළ නොහැකි ය. ඔව්හු ස්වර්ගීය දීමනාව රසාස්වාදනය කර, ශුද්ධාත්මයාණන් සමඟ පංගුකාරයෝ වූ හ. 5 දේව වචනය යහපත් බව ද, එන්නට තිබෙන යුගයේ බලවේගයන් ද ඔව්හු අත්දැකීමෙන් දැනගත්හ. 6 ඔවුන් නැවත වැටී ගියොත් නැවත පාපයෙන් හරවාගැනීමට නුපුළුවන, මන්ද ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, නැවතත් කුරුසියේ ඇණ ගසා උන් වහන්සේට ප්‍රසිද්ධියේ නින්දා කරති. 7 වරින් වර වහින වැහි වතුර උරාගනිමින් ගොවීන්ට සුදුසු අස්වැන්නක් දෙන පොළොවට දෙවියන් වහන්සේගෙන් ආශීර්වාද ලැබේ. 8 එහෙත් ඒ පොළොව කටු ගස් ද, ගොකටු ද දරයි නම් ඉන් වැදගැම්මක් නැත; සාපය ඒ පිට පැමිණෙයි. දැවී යාමෙන් එය අවසන් වේ.
9 එහෙත් ප්‍රේමවන්තයෙනි, අප මෙසේ කතා කළත්, ගැළවීම ගෙන දෙන වඩා යහපත් දේ ඔබට ඇති බව අපි නිසැක ව ම විශ්වාස කරමු. 10 මන්ද, ඔබගේ සේවය ද, ඔබ සැදැහැවතුන්ට කළා වූ, කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන්වූ ප්‍රේමය ද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක. 11 එහෙත් ඔබ එකිනෙකා අග දක්වා ම බලාපොරොත්තු මුදුන්පත් වන තෙක්, එම උද්‍යෝගය පෙන්වනවාට අපි ආශා වෙමු. 12 තවද ඔබ අලස නොවී, ඇදහීමෙන් හා ඉවසීමෙන් යුතු ව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාව ය.

දේව පොරොන්දුව හා දිවුරුම

13 මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල, දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේ ම නාමයෙන් දිවුරමින්; 14 ”සැබැවින් ම නුඹට අතිශයින් ආශීර්වාද කරන්නෙමි, නුඹේ දරු පරම්පරා බොහෝ වැඩි කරන්නෙමි”යි වදාළ සේක. 15 එසේ ඔහු ඉවසිල්ලෙන් සිට ඒ පොරොන්දුව ලබා ගත්තේ ය. 16 සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි. 17 එමෙන් ම දෙවියන් වහන්සේ: පොරොන්දුව උරුම කරගන්නන්ට තමන් වහන්සේගේ අරමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණිස, දිවුරුමකින් එය සහතික කළ සේක. 18 මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත. 19 අප සතු මේ බලාපොරොත්තුව ආත්මයේ නැංගුරමක් වැනි ය. එය සුරක්ෂිත ය, ස්ථීර ය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට, ශුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුව ය. 20 ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව, සදහට ම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසි සේක.

– 7 වන පරිච්ඡේදය –

මෙල්කිසදෙක්

1 මේ මෙල්කිසදෙක් තෙමේ සාලෙම්හි රජ ද පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයෙක් ද විය. ආබ්‍රහම් රජවරුන් පලවා හැර පෙරළා එද්දී මේ මෙල්කිසදෙක් ඔහු හමු වී ඔහුට ආශීර්වාද කෙළේ ය. 2 ආබ්‍රහම් තමා සතු සියල්ලෙන් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. පළමු ව මෙල්කිසදෙක් යන නාමයේ අර්ථය ‘ධර්මිෂ්ඨකමේ රජු’ යනුයි. දෙවනු ව, ඔහු සාලෙම්හි රජ වූ බැවින්, ඔහුගේ නාමයේ අර්ථය ‘සාමයේ රජු’ යනු ද විය. 3 තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන ය; ඔහු සදහට ම පූජකයෙක් ව සිටියි.
4 මෙසේ මොහු කොතරම් ශ්‍රේෂ්ඨ දැ යි කල්පනා කරන්න. 5 ආදි පිතෘවර ආබ්‍රහම් පවා තමා පැහැරගත් දෙයින් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක පදවිය ලබන්නෝ ව්‍යවස්ථාව අනුව ජනතාවගෙන්, එනම්, ආබ්‍රහම්ගෙන් පැවත එන සිය සොහොයුරන්ගෙන් පවා, දසයෙන් කොටස ගන්නට බලය ලැබ සිටිති. 6 එහෙත් ඔවුන්ගේ පෙළපතට ඇතුළත් නො වූ මේ තැනැත්තා දසයෙන් කොටස ආබ්‍රහම්ගෙන් ලබාගෙන, පොරොන්දු හිමි වූ ඔහුට ආශීර්වාද කෙළේ ය. 7 ආශීර්වාද කරන්නේ උසස් අය විසින් පහත් අයට බව වාද රහිත ය. 8 එක අතකින් දසයෙන් කොටස ලබන පූජකයෝ මිය යන්නෝ වෙති; අනෙක් අතින් දසයෙන් කොටස ලැබූ මෙල්කිසදෙක් ජීවමාන ව සිටින බවට සහතිකයක් ලද්දෙකි. 9 ඇරත් දසයෙන් කොටස ලැබූ ලෙවී පවා ආබ්‍රහම් හේතුකොටගෙන දසයෙන් කොටස ගෙවූ බව කිව හැකි ය. 10 මන්ද, මෙල්කිසදෙක් ආබ්‍රහම්ට හමු වූ විට ලෙවී තම ආදි පියා තුළ සිටියේ ය.
11 ඉශ්රායෙල් සෙනඟට ව්‍යවස්ථාව දෙන ලද්දේ ලෙවීගේ පූජකත්වය සම්බන්ධ කරගෙන ය. ඒ පූජකත්වය හේතුකොටගෙන පූර්ණත්වය ලැබී නම්, ආරොන්ගේ පූජක පිළිවෙළ අනුව නො වූ, මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව වෙන පූජකයෙකුගේ පහළ වීම ගැන කතා කරන්නේ කෙසේ ද? 12 මන්ද, පූජකත්වය වෙනස් වුවහොත් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතු ම ය. 13 එසේය, යමෙකු ගැන මේ දේ කියන ලද්දේ ද, ඒ තැනැන් වහන්සේ වෙන ගෝත්‍රයකට අයිති වූ සේක. ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවය නොකෙළේ ය. 14 මන්ද, අපගේ සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයෙන් පහළ වූ බව ඉතා පැහැදිලි ය. පූජකයන් ගැන කතා කිරීමේ දී මෝසෙස් ඒ ගෝත්‍රය ගැන කිසිවක් කීවේ නැත.

මෙල්කිසදෙක් වැනි උත්තම පූජකයෙක්

15 මෙල්කිසදෙක්ට සමාන අන් පූජකයෙකු පැමිණි නිසා මේ කරුණ වඩාත් පැහැදිලි ය. 16 උන් වහන්සේ පූජකයෙකු වූයේ මනුෂ්‍ය නීති රීති අනුව නොව, අමරණීය ජීවිතයක බල මහිමය අනුව ය. 17 මන්ද:
”ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව සදහට ම පූජකයෙක් වන සේකැ”යි
උන් වහන්සේ ගැන සාක්ෂි දී තිබේ. 18 පළමු තිබුණු ව්‍යවස්ථාවේ දුර්වලත්වයත් නිෂ්ඵලකමත් නිසා එය අවලංගු වී ඇත. මන්ද, ව්‍යවස්ථාව මඟින් කිසිවක් සම්පූර්ණ නො වී ය. 19 එහෙත් දැන් වඩා අගනා බලාපොරොත්තුවක් උදා වී ඇත. ඒ බලාපොරොත්තුව මඟින් අපි දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු. 20 තවද, දිවුරුම් දීමක් ද ඇත. ලෙවීය පූජකයන් පත් කිරීමේ දී දිවුරුම් දීමක් නො වී ය. 21 එහෙත් උන් වහන්සේ පූජකයෙකු වූයේ දිවුරුම් දීමක් ඇති ව ය. ඒ බව ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත:
” ‘ඔබ සදහට ම පූජකයෙකැ’යි සමිඳාණන් වහන්සේ දිවුරුම් දුන් සේක, ඒ දිවුරුම උන් වහන්සේ නිෂ්ප්‍රභ නොකරන සේක.”
22 මෙසේ ජේසුස් වහන්සේ වඩා උතුම් ගිවිසුමක ඇපකාරයාණන් ද වී සිටින සේක.
23 තවද, මරණය හේතුකොටගෙන පූජක පදවියෙහි පවතින්නට පූජකවරුන්ට නොහැකි වූ බැවින් පූජක සංබ්‍යාව, විශාල විය. 24 එහෙත් ජේසුස් වහන්සේ සදහට ම පවතින හෙයින් උන් වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකි ය. 25 එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ වෙතට ළඟා වන්නන් සදහට ම ගළවන්නට උන් වහන්සේට පිළිවන. මන්ද, ඔවුන් උදෙසා මැදහත් වීමට උන් වහන්සේ සදහට ම ජීවත් වන බැවිනි.
26 අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය. 27 අන් උත්තම පූජකයන් මෙන්, පළමු කොට තමන්ගේ ම පව් උදෙසාත්, දෙවනු ව ජනතාවගේ පව් උදෙසාත් දිනපතා පූජා ඔප්පු කිරීමට උන් වහන්සේට වුවමනාවක් නැත. මන්ද, උන් වහන්සේ තමන් ම එක ම වරක් පූජා වීමෙන් ඒ වුවමනාව ඉටු කළ සේක. 28 දුර්වලකම් ඇති මනුෂ්‍යයෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත් කරනු ලැබෙත්. එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණි දිවුරුමේ වචනයෙන් සදහට ම සම්පූර්ණ ව සිටින පුත්‍රයාණෝ පත් කරනු ලැබූ හ.

 

– 8 වන පරිච්ඡේදය –

අලුත් ගිවිසුමේ උත්තම පූජකයාණෝ

1 අප කියන ප්‍රධාන දෙය නම්, එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බව ය. උන් වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ, දකුණත අසුන් ගෙන, 2 මනුෂ්‍යයා විසින් නොව සමිඳාණන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක. 3 සියලු නායක පූජකයෝ පඬුරු හා පූජා ඔප්පු කරන පිණිස පත් කරනු ලබන්නාහ. එහෙයින් පූජා ඔප්පු කිරීමට මේ නායක පූජකයාටත් යම් කිසිවක් තිබිය යුතු ය. 4 උන් වහන්සේ තවමත් මිහි පිට සිටින සේක් නම්, උන් වහන්සේට කිසි සේත් පූජකයෙකු විය නොහැකි ය. මන්ද, ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි.
5 මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: ”කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති. 6 එහෙත් දැන් උන් වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද වඩා විශිෂ්ට ගිවිසුමක මැදහත්කාරයාණන් ව සිටින සේ ම උන් වහන්සේ වඩා උතුම් සේවක ධුරයක් ලැබූ සේක:
7 පළමු වන ගිවිසුම නිදොස් ව තිබුණා නම්, දෙ වන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ. 8 එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ට දොස් නඟමින් මෙසේ වදාරන සේක:
”බලන්න, මා ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණෙන්නේ ය.
9 එය මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන් අතින් අල්ලාගත් දවසේ දී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේ;
මන්ද, ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණාහ, මම ද ඔවුන් නොසලකා හැරියෙමි.
10 ඒ දවස්වලට පසු මා විසින් ඉශ්රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්:
මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර, ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි.
මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු ද මාගේ සෙනඟ වන්නෝ ය.
11 සමිඳාණන් වහන්සේ දැනගන්න කියා එකිනෙකා තමාගේ පුරවැසියාටත්, සහෝදරයාටත් නූගන්වන්නේ ය.
මන්ද, ඔවුන් අතර ලොකු කුඩා සියල්ලෝ ම මා දැනගන්නෝ ය.
12 මම ඔවුන්ගේ අදමිටුකම් දයාවෙන් ඉවසමි.
ඔවුන්ගේ පව් ද තවත් සිහි නොකරන්නෙමි.”
13 අලුත් ගිවිසුම යයි කීමෙන් පළමු වැනි ගිවිසුම පරණ වූවක් කළ සේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළඟ ය.

– 9 වන පරිච්ඡේදය –

අලුත් ගිවිසුමේ මැදහත්කාරයාණෝ

1 සැබැවින් ම පළමු වන ගිවිසුම සම්බන්ධයෙන් පවා පූජා විධාන ද භෞමික ශුද්ධස්ථානයක් ද තිබුණේ ය. 2 එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් රොටි ද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය. 3 දෙ වන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නම් ලත් මණ්ඩපය තිබිණි. 4 එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය. 5 ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත.
6 මේ දේවල් මෙසේ පිළියෙළ කොට තිබිය දී, පූජකයෝ සිය පුදපූජා ඉටු කිරීමට පළමු වන මණ්ඩපයට ඇතුළු වෙති. 7 එහෙත් දෙ වන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත්, සෙනඟගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි. 8 ඒ පළමු වන මණ්ඩපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශ වී නැති බව මෙයින් ශුද්ධාත්මයාණන් වහන්සේ පැහැදිලි ව පෙන්වන සේක. 9 මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි. 10 මේවා කෑමබීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණ ය.
11 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනට ම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි විට, උන් වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ, මිනිස් අතින් නොසෑදූ, එනම්, මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩිය සේක. 12 උන් වහන්සේ එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක. 13 මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය. 14 එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද? 15 මේ කාරණය නිසා, කැඳවනු ලැබූවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන් වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාරයාණෝ වන සේක. එසේ වන්නේ පළමු වන ගිවිසුමේ කාලයේ දී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි.
16 අන්තිම කැමැති පත්‍රයක් වලංගු වීමට නම්, එහි අත්සන් කළ තැනැත්තා මළ බව ඔප්පු කළ යුතු ය. 17 එවැනි ගිවිසුමක් ස්ථීර වන්නේ මරණයෙන් පසු ව ය. ගිවිසුම කළ තැනැත්තා ජීවත් ව සිටිනතුරු එය කොහෙත් ම වලංගු නැත. 18 පළමු වන ගිවිසුම වුව ද ලේ නැති ව පිහිටුවනු නොලැබුවේ ඒ නිසා ය. 19 මන්ද, මෝසෙස් ව්‍යවස්ථාව අනුව මුළු ජනතාවට සියලු ආඥා කියා දුන් පසු, වස්සන්ගේත්, එළුවන්ගේත් ලේ සමඟ වතුර ද රතු ලොම් ද හිසොප් ද ගෙන: 20 ”මේවා දෙවියන් වහන්සේ විසින් ඔබ ගැන නියෝග කළ ගිවිසුමේ ලේ ය”යි කියමින් පොතත් මුළු ජනතාවත් මත ඉස්සේ ය. 21 එසේ ම ඔහු මණ්ඩපයටත්, සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේ ය. 22 ව්‍යවස්ථාව අනුව සියලු දෙය ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කිව හැකි ය. ලේ වැගිරීමක් නැති ව පව් කමාවක් නැත.

සදහට ම පව් නසන පූජාව

23 එබැවින් ස්වර්ගීක දේවල අනුරූ පූජාවලින් පවිත්‍ර කිරීම අවශ්‍ය වී නම්, ස්වර්ගීක දේවල් මීට වඩා උතුම් පූජාවලින් පවිත්‍ර කරනු ලැබිය යුතු ය. 24 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක. 25 නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදුපතා ශුද්ධස්ථානයට, ඇතුළු වන්නාක් මෙන්, උන් වහන්සේ නැවත නැවතත් තමන් ම ඔප්පු කරන පිණිස ඇතුළු නො වූ සේක. 26 එසේ නොවූයේ නම්, ලෝකය මැවීමේ පටන් නොයෙක් වර, උන් වහන්සේට වද වේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන් වහන්සේ තමන් ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේ දී සදහට ම එක වරක් ප්‍රකාශ වූ සේක. 27 තවද එක වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම, 28 බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක. තවද, පාපය දුරු කරන පිණිස නොව, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණිස, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක.

– 10 වන පරිච්ඡේදය –

1 ව්‍යවස්ථාව වනාහි මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස එහි නියම රූපය ම නොවේ. ඔවුන් වසරක් පාසා, නැවත නැවත ඔප්පු කරන එම පූජාවලින් පුදපූජා කරන්නන් පරිපූර්ණ කිරීමට කවදාවත් ව්‍යවස්ථාවට නොහැකි ය. එසේ කළ හැකි නම්, 2 පුදපූජා කරන්නන් වරක් පවිත්‍ර කරනු ලැබූ නිසා, තවත් ඔවුන්ට පාප හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ ය. 3 එහෙත් ඒ යාගවලින් සිදුවන්නේ අවුරුදුපතා මිනිසුන්ට ඔවුන්ගේ පව් සිහි කර දීමකි. 4 ගොනුන්ගේත්, එළුවන්ගේත් ලෙයින් පව් පහකර දැමීමක් සිදු නොවේ. 5 එහෙයින්, ක්‍රිස්තුන් වහන්සේ ලෝකයට වඩින කල දෙවියන් වහන්සේට මෙසේ වදාළ සේක:
”ඔබට පුද පඬුරු රිසි නැත.
එහෙත් ඔබ මට සිරුරක් සූදානම් කළ සේක;
6 දවන පූජා හා පාප පූජා කිසිත් ඔබ සිත් නොගනියි,
7 එසේ හෙයින්: දෙවිඳුනි, පොත් වෙළුමේ මා ගැන ලියා ඇති සේ, ඔබ රිසි දේ කරනු වස් මෙන්න, මම ඇවිත් සිටිමි.”
8 ව්‍යවස්ථාව අනුව ඔප්පු කරන පුදපඬුරුවලටත්, දවන පූජාවලටත්, පාප පූජාවලටත් ඔබ කැමැති වන්නේ වත් සතුටු වන්නේ වත් නැතැ යි ඉහත කියා: 9 ”මෙන්න ඔබගේ කැමැත්ත කරන්නට මම පැමිණ සිටිමි”යි උන් වහන්සේ දෙවනු ව වදාළ සේක. උන් වහන්සේ දෙවැන්න පිහිටුවන පිණිස පළමුවැන්න අවලංගු කරන සේක. 10 ඒ කැමැත්ත පරිදි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදහට ම එක වරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ධිය ලැබ සිටිමු.
11 තවද හැම පූජකයෙක් ම සිටගෙන, දවස්පතා තේවා ඉටු කරමින්, කිසිකලෙකත් පව් නසාලීමට නොහැකි වූ එම පූජාවන් බොහෝ වර ඔප්පු කරයි. 12 එහෙත් උන් වහන්සේ පව් උදෙසා සදහට ම එක ම පූජාවක් ඔප්පු කොට, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක. 13 එහි උන් වහන්සේ සිය සතුරන් තම පාපුටුව කරනු ලබන තුරු බලා සිටින සේක. 14 මන්ද, උන් වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එක ම පූජාවකින් සදාතනික පරිපූර්ණත්වයට ගෙනා සේක. 15 ශුද්ධාත්මයාණන් වහන්සේත් අපට සාක්ෂි දෙමින්:
16 ”ඒ දවස්වලින් පසු මා ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ මනසෙහි ලියන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කී
පසු, යළිත්:
17 ”ඔවුන්ගේ පාප සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමි”යි
කියන සේක. 18 කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත.

අවවාදානුශාසනා

19 එබැවින් සහෝදරවරුනි, උන් වහන්සේගේ යාගික රුධිරය හේතුකොටගෙන ශුද්ධස්ථානයට ඇතුළු වීමට අපට නිදහස තිබේ. 20 උන් වහන්සේ ස්වකීය ශරීරය නමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන් සේක. 21 තවද දෙවියන් වහන්සේගේ ගෘහවාසීන් කෙරෙහි උතුම් පූජකයෙක් ද අපට සිටියි. 22 එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු. 23 පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුවෙහි නොසෙල්වී, ස්ථීර ව පිහිටා සිටිමු. 24 තවද ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණිස එකිනෙකා ගැන සලකමු. 25 ඇතැම් අය කරන ලෙස අපේ ම රැස්වීම්වලින් ඈත් ව නොසිට, සමිඳාණන් වහන්සේගේ දිනය ළං වන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්ය දෙමු.
26 සත්‍යය අවබෝධ වූ පසු අපි දැන දැන ම පව් කරමු නම්, පව් දුර ලන පූජාවක් අපට තවත් නැත. 27 අපට ඇත්තේ විනිශ්චය ගැනත්, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි. 28 මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොතකා හරින අය දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ හෝ සාක්ෂි පිට අනුකම්පාවක් නැති ව මරණයට පත් වනු ඇත. 29 එසේ නම් දේව පුත්‍රයාණන් පයින් පාගාදමන, තමාට විශුද්ධිය දුන් ගිවිසුම් ලේ, අශුද්ධ දෙයක් කොට සිතන, වරප්‍රසාදයේ ආත්මයාණන් වහන්සේට අපහාස කරන අපි ඊටත් වඩා තද දඬුවමකට සුදුස්සෝ නොවෙමු ද? 30 මන්ද; ”පළිගැනීම මා සතු ය, විපාක දෙන්නේ මම ය”යි ද, ”සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරන සේකැ”යි ද, වදාළ තැනැන් වහන්සේ අපි දනිමු. 31 ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසු වීම භයංකර දෙයකි.
32 ඔබ සත්‍යාලෝකය ලැබුවායින් පසු, දුක් පීඩා හා සමඟ මහා සටනක යෙදෙමින් ස්ථීර ව සිටි ඒ මුල් කාලය සිහි කරන්න. 33 නින්දා සහ පීඩා නිසා ඔබ උපහාසයට ලක් කරනු ලැබුවා පමණක් නොව, එසේ ලක් කරනු ලැබූවන් සමඟ හවුල්කාරයෝ ද වූවහු ය. 34 ඔබ සිරකරුවන් ව සිටි අයගේ දුක් වේදනාවලට සහභාගි වූවා පමණක් නොව, වඩා විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඔබට ඇති බව දැන, ඔබේ දේපළ කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසාගත්තහු ය. 35 මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න. 36 දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කොට උන් වහන්සේගේ පොරොන්දුව ලැබීමට නම් ඉවසීම ඔබට අවශ්‍ය ය. 37 ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත:
”එන්නට සිටින තැනැන් වහන්සේ පමා නොවී, තව මඳ කලෙකින් වඩින සේක.
38 ඉදින් මාගේ දැහැමි තැනැත්තා ඇදහිල්ලෙන් ජීවත් වේ.
එහෙත් ඔහු පසුබට වන්නේ නම්, ඔහු ගැන මට සතුටක් නැත.”
39 එසේ වුව ද පසුබට වී විනාශ වන අයගේ ගණයට අපි අයිති නොවෙමු. විමුක්තිය ගෙන දෙන ඇදහීම අපට ඇත.

 

– 11 වන පරිච්ඡේදය –

වීරෝදාර ඇදහිල්ල

1 ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකය යි. අදෘශ්‍යමාන දේ පිළිබඳ නිසැකකම යි. 2 තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන්මිත්තෝ දෙවියන් වහන්සේට ප්‍රිය මනාප වූ හ.
3 දෙවියන් වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ බව අප තේරුම් ගන්නේ ඇදහිල්ලෙන් ය. මෙසේ දෘශ්‍යමාන දෙය, අදෘශ්‍යමාන දෙයින් පහළ වූ බව පෙනී යයි.
4 ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබී ය. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි.
5 ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොවිඳ ගෙනයනු ලැබී ය; දෙවියන් වහන්සේ ඔහු ගෙන ගිය බැවින් ඔහු ජීවතුන් අතර නො වී ය. ඔහුගේ තුරන් වීමට පෙර, ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් බවට සහතිකය ලැබී ය. 6 ඇදහිල්ල නැති ව උන් වහන්සේගේ ප්‍රසාදය දිනාගැනීමට පුළුවන්කමක් නැත. මන්ද, දෙවියන් වහන්සේ වෙත ළඟා වන්නා උන් වහන්සේ ජීවත් වන බවත්, උන් වහන්සේ සොයා එන්නවුන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතු ය.
7 ඇදහිල්ලෙන්, නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ, දේව ගරුබියෙන් ඇලළී සිය පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක් සෑදුවේ ය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය.
8 ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවීම ලැබූ කල, තමා යන්නේ කොහේ දැ යි නොදැන, තමාට උරුමයක් පිණිස පසු ව ලැබෙන්නට යන ස්ථානයකට පිටත් ව යන ලෙස කීකරු වී, නික්ම ගියේ ය. 9 ඇදහිල්ලෙන්, ඔහු ආගන්තුකයෙකු මෙන් දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශයෙහි පදිංචි වී, එම පොරොන්දුවට හිමිකාරයන් වූ ඊසාක් සහ ජාකොබ් සමඟ කූඩාරම්වල වාසය කෙළේ ය. 10 මන්ද, දෙවියන් වහන්සේ ම, සිය සැලැස්ම අනුව සාදා නිම කළ අත්තිවාරම් ඇති, නගරය ගැන ඔහු බලා සිටියේ ය.
11 ඇදහිල්ලෙන්, සාරා පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාස කටයුතු කෙනෙකැ යි පිළිගත් නිසා, නිසි වයස ඉක්මවා ගිය ද පිළිසිඳගැනීමේ ශක්තිය ලැබුවා ය. 12 එහෙයින් මළ කෙනෙකු වැනි තැනැත්තෙකුගෙන් පවා, ගණනින් අහසේ තරු මෙන් ද, මුහුදු වෙරළේ අසංබ්‍ය වැලි ඇට මෙන් ද වූ විශාල පරපුරක් ඇති විය.
13 ඇදහිල්ලෙහි පිහිටා සිටි මොවුහු සියල්ලෝ ම මියගිය හ. ඔව්හු පොරොන්දු වූ දේ නොලැබූ නමුත්, ඒවා කල්තියා දැක සතුටින් පිළිගෙන, මිහි පිට තමන් ආගන්තුකයන් ද කලක් නේවාසිකයන් ද බව ප්‍රකාශ කළහ. 14 මෙබඳු දේ ප්‍රකාශ කරන අය, තමන්ගේ ම මවුබිමක් සොයන බව මැනවින් පැහැදිලි කරති. 15 ඔව්හු තමන් හැරදමා ආ රට ගැන ම සිත සිතා සිටියහු නම්, පෙරළා එහි යාමට ඔවුන්ට අවස්ථා තිබිණි. 16 එහෙත් ඔව්හු දැන් වඩා උතුම් රටක්, එනම් ස්වර්ගීය රටක් දෙස සිත් යොමු කරති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවිඳාණෝ යයි කියනු ලබනවාට උන් වහන්සේ ලජ්ජා නොවන්නේ උන් වහන්සේ ඔවුන්ට නුවරක් පිළියෙළ කර තිබෙන නිසා ය.
17 ආබ්‍රහම් පරීක්ෂා කරනු ලැබූ කල, ඔහු ඇදහිල්ලෙන් ඊසාක් පූජා කෙළේ ය. 18 ”ඔබේ වංශය ඊසාක්ගෙන් පැවත එන්නේ ය” යන දේව පොරොන්දුව ආබ්‍රහම් සතුටින් පිළිගත් නමුත්, සිය ඒකජාතක පුත්‍රයා පූජා කිරීමට සූදානම් ව සිටියේ ය. 19 මළවුන් උත්ථාන කිරීමට වුව ද දෙවියන් වහන්සේට හැකි බව ඔහු සිතට ගත්තේ ය. උපමානුසාරයෙන් කියතොත්, ඔහු ඊසාක් මරණයෙන් නැවත ලබාගත්තේ ය.
20 ඇදහිල්ලෙන්, ඊසාක් එන්නට ඇති දේ පිළිබඳව ජාකොබ්ට සහ ඒසව්ට ආශීර්වාද කෙළේ ය. 21 සිය මරණ මොහොතේ දී ජාකොබ්, ඇදහිල්ලෙන් ජෝසෙප්ගේ පුතුන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාද කොට, සිය සැරයටිය මත හිස නමා නමස්කාර කෙළේ ය. 22 ජෝසෙප් තමාගේ අවසානය ළං වූ විට, ඇදහිල්ලෙන්, ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නික්මයාම සඳහන් කොට, තමාගේ ඇටකටු පිළිබඳ උපදෙස් දුන්නේ ය.
23 මෝසෙස් උපන් කල ඔහුගේ දෙමවුපියෝ ඔහු සුන්දර දරුවෙකු බව දැක, රාජාඥාවට බිය නොවී, ඇදහිල්ලෙන් ඔහු තුන් මසක් සඟවාගත්තෝ ය. 24 මෝසෙස් වැඩුණු පසු, පාරාවෝ රජුගේ දියණියන්ගේ පුත්‍රයා යයි කියනු ලැබීම ඔහු ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කෙළේ ය. 25 ඔහු කලකට පස්කම් සැප විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනඟ හා සමඟ දුක් විඳීම තෝරාගත්තේ ය. 26 මන්ද, මතු එන්නට තිබෙන ඉෂ්ට විපාකය හිත ගත් බැවින්, මිසරයේ යසඉසුරුවලට වඩා විමුක්ති දායකයාණන් නමින් එන අවමානය මහත් සම්පතකැයි ඔහු සිතී ය.
27 ඇදහිල්ලෙන්, ඔහු රාජ උදහසට බිය නොවී, මිසරය අත්හැර ගියේ ය. අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ දෙනෙතින් දකින්නාක් මෙන් ඔහු ස්ථීර ව සිටියේ ය. 28 මාර දූතයා ඔවුන්ගේ කුලුඳුලන් විනාශ නොකරන පිණිස, ඔහු පාස්කුව හා ලේ ඉසීම ද ඇදහිල්ලෙන් පැවැත්වී ය.
29 ඇදහිල්ලෙන්, ඔව්හු රතු මුහුද මැදින් වියළි බිමක මෙන් ගමන් කළෝ ය. එසේ යාමට කළ ප්‍රයත්නයේ දී මිසරවරු දියේ ගිලී මළෝ ය. 30 සත් දිනක්, ජෙරිකො‍්වේ පවුරු වටා ගමන් කළ පසු, ඔවුන්ගේ ඇදහිල්ලෙන් ඒ පවුරු බිඳ වැටුණේ ය.
31 ගණිකාවක වූ රාහාබ්, ඇදහිල්ලෙන්, චරපුරුෂයන් හොඳ සිතින් පිළිගත් බැවින්, අකීකරු වූවන් සමඟ විනාශ නොවී ඉතිරි වූවා ය.
32 තවදුරටත් කීම අවශ්‍ය ද? ගිඩියොන් ද බාරක් ද සම්සොන් ද ජෙප්තා ද දාවිත් ද සාමුවෙල් ද දිවැසිවරයන් ද ගැන කීමට කල් වේලා නැත. 33 ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් පරාජය කළහ. යුක්තිය ඉටු කළහ. දේව පොරොන්දු අත් කර ගත්හ, සිංහයන්ගේ කට වැසූ හ. 34 රෞද්‍ර ගිනි ජාලා නිවාලූ හ, කඩුපතින් නොමළහ, දුබල ව සිටි නමුත් ප්‍රබල වූ හ, රණ බිම්හි ජය කොඩි නැංවූ හ, පර සතුරු සේනා නෙරපූ හ. 35 ස්ත්‍රීහු සිය මළවුන් පුනරුත්ථානයෙන් නැවත ලැබූ හ. තවත් අය වඩා විශිෂ්ට පුනරුත්ථානයක් ලබන පිණිස, බේරීමක් නොසොයා මාරක වද වේදනා වින්දහ. 36 තවත් අය අපහාස හා කස පහරවලට ද විලංගු සහ හිර අඩස්සියට ද මුහුණ පෑ හ. 37 ඔව්හු ගල් පහර ලැබූ හ. කියතෙන් දෙකට ඉරනු ලැබූ හ, කඩුවෙන් මරනු ලැබූ හ. ඔව්හු අනාථ ව දුක් පීඩා විඳිමින්, බැටළු හම් හා එළු හම් ඇඳ, ඔබමොබ ගියහ. 38 එවැන්නන් දැරීමට මේ ලෝකය වටින්නේ නැත. ඔව්හු මරුකතරෙහි හා කඳුකරවල ද ගුහාවල ද බිම්ගෙවල ද ගැවසුණ හ.
39 මොවුහු සියල්ලෝ ම ඇදහිල්ල ගැන පැසසුම් ලැබූ නමුත්, පොරොන්දු නොලදහ. 40 එසේ වූයේ, දෙවියන් වහන්සේ අප ගැන සලකා, ඔවුන් පරිපූර්ණත්වය ලැබිය යුත්තේ අප හා සමඟ පමණකැ යි යන වඩා හොඳ සැලැස්මක් කල්තියා පිළියෙළ කොට තිබූ හෙයිනි.

– 12 වන පරිච්ඡේදය –

හික්මවීමෙන් දැහැමි ජීවිත

1 මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා, සියලු අවහිර ද, පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා, 2 ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.
3 ඒ නිසා ඔබ අධෛර්ය ව විඩාවට පත් නොවන පිණිස, තමාට විරුද්ධ ව නැඟී සිටි පව්කරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනැන් වහන්සේ ගැන සිතා බලන්න.
4 පාපයට විරුද්ධ ව කරන සටනෙහි දී ඔබ තව ම ලේ වගුරුවන තැනට පත් වී නැත. 5 දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද?
”මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න:
6 මන්ද, සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන අය උන් වහන්සේ හික්මවන සේක;
පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන් වහන්සේ දඬුවම් කරන සේක.”
7 ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න; දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරන සේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද් ද? 8 හැම දරුවෙකු ම ලබන දඬුවමට ඔබ පංගුකාරයෝ නොවන්නහු නම්, ඔබ පුත්‍රයන් නොව, අවජාතක දරුවෝ ය, 9 තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද? 10 අපේ මෙලෝ පියවරු තමන්ට හරි යයි පෙනුණු ලෙස මඳ කලකට අපට දඬුවම් කළහ; එහෙත් උන් වහන්සේ තමන්ගේ පරිශුද්ධත්වයට අප පංගුකාරයන් වන පිණිස, අපේ යහපත සඳහා දඬුවම් කරන සේක. 11 දඬුවමක් ලබන කල එය දුකට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් නොපෙනේ. එහෙත් එයින් හික්මුණු අයට පසු ව දැහැමි සාමකාමී ජීවිතයක පල අත් වේ. 12 එබැවින් පහතට වැටී ඇති අත් ද දුබල දණහිස් ද ශක්තිමත් කරගන්න. 13 කොර කකුල් අබලන් නොවී, සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න.

උවදෙස් හා අවවාද

14 සියල්ලන් සමඟ සාමදානයෙන් සිටින්නටත්, ශුද්ධකම නැති ව කිසිවෙක් සමිඳාණන් වහන්සේ නොදක්නා බැවින්, ශුද්ධකම අනුව යන්නත් උත්සාහ කරන්න. 15 කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙස ද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද, 16 දුශ්ශීල කෙනෙකු හෝ එක කෑම වේලක් නිසා සිය ජන්ම උරුමය විකුණු ඒසව් වැනි දේව අභක්තික කෙනෙකු හෝ නොවන ලෙස ද පරෙස්සම් වන්න. 17 පසු ව ඔහු ඒ ආශීර්වාදය යළි උරුම කරගැනීමට කැමැති වුව ද, ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබූ හැටි ඔබ දන්නහු ය. ඉන්පසු ඔහු කඳුළු සලමින් එය ලබාගැනීමට අවස්ථාවක් ඉතා ඕනෑකමින් සෙවූ නමුත් එවැන්නකට ඉඩක් නොලැබිණි.

භයංකර පුරාණ ගිවිසුම හා තේජාන්විත නව ගිවිසුම

18 ඔබ පැමිණ සිටින්නේ, ස්පර්ශ කළ හැකි ගිනි ජාලාවකට වත්, කළුවරට වත්, ඝන අන්ධකාරයට වත්, චණ්ඩ මාරුතයට වත්, 19 හොරණෑ ශබ්දයට වත්, හඬකින් නික්මෙන වචනවලට වත් නොවේ. ඒ හඬ ඇසූ අය තවත් ඔවුන්ට එසේ කතා නොකරන ලෙස ඉල්ලා සිටියහ. 20 මන්ද, ”මෘගයෙකු වුව ද කන්දෙහි ගෑවුණොත්, ඌට ගල් ගසා මැරිය යුතු ය”යි කී අණ ඔවුන්ට දැරිය නොහැකි විය. 21 ඒ දර්ශනය කෙතරම් බියකරු වී ද යත්, ”මම බියෙන් වෙවුලමි”යි මෝසෙස් කී ය.
22 එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කො‍්ටි සංබ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය; 23 සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය; 24 නව ගිවිසුමක මැදහත්කාරයාණන් වූ ජේසුස් වහන්සේ වෙතට ය. ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන උන් වහන්සේගේ ඉසීමේ ලෙය ද වෙතටත් ය. 25 එසේ නම් කතා කරන තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලා ගන්න. මන්ද, මිහි පිට අනුශාසනා කළ තැනැන් වහන්සේ එපා කළ විට, ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අනුශාසනා කරන තැනැන් වහන්සේ කෙරෙන් අහක් ව ගියොත් අපි කෙසේ ගැළවෙමු ද? 26 උන් වහන්සේගේ ශබ්දය ඒ කාලයේ දී පොළොව කම්පා කෙළේ ය. එහෙත් දැන් උන් වහන්සේ, ”මම පොළොව පමණක් නොව, ස්වර්ගයත් තව වරක් කම්පා කරවන්නෙමි”යි පොරොන්දු වී තිබේ. 27 ‘තව වරක්’ ය කීමෙන් අදහස් කරන්නේ නොසෙල්වෙන දේ පවත්නා පිණිස සෙලවෙන දේ, එනම්, මවන ලද සියල්ල පහ වන බව ය. 28 එහෙයින් නොසෙල්විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු. එමඟින් ගෞරවයෙන් හා දේව ගරුබියෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු. 29 මන්ද, අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි.

– 13 වන පරිච්ඡේදය –

දෙවියන්ට ප්‍රිය මනාප සේවය

1 සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න. 2 ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ. 3 සිර ගෙයි සිටින අය සමඟ ඔබත් සිටිනවා යයි සිතා, ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින්, දුක් පීඩා විඳින්නන් සිහි කරන්න.
4 විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.
5 ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, ”මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.
6 මෙසේ:
”සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි.
මිනිසා මට කුමක් කරයි ද?”
කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.

සභා නායකයන්ට යටත් වීම

7 දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත ගෙනා ඔබගේ නායකයන් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මේ ප්‍රතිඵල දෙස බලමින්, එම ඇදහිල්ල අනුගමනය කරන්න. 8 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය. 9 නා නා ප්‍රකාර අමුතු ඉගැන්වීම් සොයා ගොස් මුළා නොවන්න. ආහාර පිළිබඳ නීතිරීතිවලින් නොව, දේව වරප්‍රසාදයෙන් සිත් ශක්තිමත් කර ගැනීම යහපති. ඒ නීතිරීතිවලින් කිසිවෙකුට යහපතක් නො වී ය.
10 අපට පූජාසනයක් ඇත. පූජා මණ්ඩපයෙහි සේවය කරන්නන්ට එයින් වළඳන්ට අවසර නැත. 11 මන්ද, නායක පූජකයා විසින් පාප පූජාවක් සඳහා සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙන ගිය පසු, ඒ සතුන්ගේ මළසිරුරු කඳවුරෙන් පිටත දී පුළුස්සා දමනු ලැබේ. 12 එහෙත් ජේසුස් වහන්සේ ද තමන් රුධිරයෙන් සෙනඟ පවිත්‍ර කරන පිණිස වාසල් දොරින් පිටත දී වද වින්දේ ඒ නිසා ය. 13 ඒ නිසා උන් වහන්සේ දැරූ නින්දාව උසුලාගෙන අපිත් කඳවුරෙන් පිටත උන් වහන්සේ වෙත යමු. 14 සදාතන නුවරක් මිහි පිට අපට නැත. අප සොයන්නේ මතු පැමිණෙන්නට තිබෙන නුවර ය. 15 එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේට අපේ පැසසුම් පූජාව නොකඩව පුද කරමු. ඒ පූජාව නම්, උන් වහන්සේගේ නාමයට අපේ මුවින් ම පැසසුම් දීමයි. 16 යහපත කිරීමට ද, ඔබ සතු දෙය අනුන් සමඟ බෙදාහදා ගැනීමට ද අමතක නොකරන්න. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වන සේක.
17 ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ.

අවසන් උවදෙස් හා ආචාර

18 අප ගැන යාච්ඤා කරන්න. මන්ද, සියල්ලේ දී යහපත කිරීමට ආශාවෙන් යුත් නිදොස් හෘදය සාක්ෂියක් අපට ඇති බව සහතික ය. 19 නොපමා ව මා ඔබ වෙත නැවත එන පිණිස, වඩාත් උනන්දු ලෙස යාච්ඤා කරන මෙන් ඉල්ලමි.
20 සදාතන ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහා එඬේරාණන් වන, අප ජේසුස් සමිඳාණන් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ සාමදානයේ දෙවියන් වහන්සේ, 21 ඔබ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස, සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරන සේක් වා! තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේ අප තුළ ඉටු කරන සේක් වා! උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
22 සහෝදරවරුනි, මේ අවවාදාත්මක පණිවුඩය ඉවසිල්ලෙන් අසන මෙන් ඉල්ලමි. මා මෙය ලියා ඇත්තේ ලුහුඬින් ය. 23 අපේ සහෝදර තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දන්වනු කැමැත්තෙමි. ඔහු පමා නොවී ආවොත්, මම ඔහු සමඟ ඔබ බලන්නට එන්නෙමි.
24 ඔබගේ සියලු නායකයන් ඇතුළු දෙවියන් වහන්සේගේ සියලු ජනතාවට මා වෙනුවෙන් ආචාර කරන්න. ඉතාලියේ හිතමිතුරෝ ඔබට සුබ පතති.
25 දේව කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s