ශුද්ධවර ලූක්
– 1 වන පරිච්ඡේදය –
පිළිගැන්වීම
1 ශ්‍රීමත් තියෝපිලස් තුමෙනි, අප අතර ඉටු වී ඇති සිද්ධීන් අලළා කථා වස්තුවක් සම්පාදනය කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කර ඇත. 2 ඔවුන් එසේ කර ඇත්තේ ඒ සිද්ධීන් මුල සිට ම සියැසින් දුටු අය හා දහම් පණිවුඩය දෙසූ අය අපට භාර දුන් කරුණු අනුව ය. 3 එබැවින්, මුල සිට ම සියල්ල තතු පරිදි විමසා බැලූ මට ද ඔබ උදෙසා විධිමත් වෘත්තාන්තයක් ලිවීම මැනවැ යි සිතිණි. 4 මා එසේ ලියන්නේ, ඔබ තුමාණන්ට උගන්වා ඇති කරුණුවල නියම සත්‍යය පහදා දෙන පිණිස ය.
ස්නාවක ජොහන්ගේ උත්පත්තිය
5 ජුදාහි රජ වූ හෙරොද්ගේ කාලයෙහි අබියාගේ පේරුවට අයත් සෙකරියස් නම් එක් පූජක නමක් විය. ඔහුට ආරොන්ගේ පෙළපතෙන් බිරිඳක් වූවා ය. ඇගේ නම එලිසබෙත් ය. 6 මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ. 7 එලිසබෙත් වඳ ව සිටි බැවින් ඔවුන්ට දරුසම්පතක් නො වී ය. ඇරත් ඒ දෙපොළ වයස් ගත ව සිටියහ.
8 සෙකරියස්ගේ පේරුවේ අයට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජක කටයුතු කරන අවස්ථාව පැමිණි විට, 9 පූජක නිල පිළිවෙළින් සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙන්, සෙකරියස්ට පැවරිණි. 10 සුවඳ දුම් පූජා පවත්වන වේලෙහි මුළු පිරිස පිටත යාච්ඤා කරමින් උන්හ. 11 එවිට දුම් පූජාසනයට දකුණු පසින් සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔහුට දර්ශනය විය. 12 සෙකරියස් ඔහු දැක කැළඹී බියපත් විය. 13 දේව දූතයා ඔහුට කතා කොට, ”සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න. 14 සතුට හා සොම්නස ඔබට ඇති වේ. බොහෝ දෙන ඔහුගේ උත්පත්තිය නිමිත්තෙන් ප්‍රීති වන්නාහ. 15 මන්ද, ඔහු සමිඳාණන් වහන්සේ අබිමුවෙහි ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහු මිදියුස වත්, මත්පැන් වත් නොබොන්නේ ය. මව්කුස සිට ම ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්නේ ය. 16 ඔහු ඉශ්රායෙල්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත හරවන්නේ ය. 17 ඔහු මවුපියන් හා දරුවන් සමඟි කරවන පිණිස ද, නොදැමුණු ජනයන් දමිටුන්ගේ ප්‍රඥාවට හරවන පිණිස ද, සැදී පැහැදී සිටින සෙනඟක් සමිඳාණන් වහන්සේට සූදානම් කර දෙන පිණිස ද, එලියාගේ ආත්මානුභාවයෙන් හා බලයෙන් උන් වහන්සේට පෙරටුව යන්නේ ය”යි කී ය.
18 එවිට සෙකරියස්, දේව දූතයා අමතමින්, ”මා මෙය දැනගන්නේ කෙසේ ද? මම මහල්ලෙක්මි; මාගේ භාර්යාව ද වයස්ගත ව සිටී ය”යි කී ය. 19 දේව දූතයා පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේ අබිමුවෙහි සේවා කරන ගාබ්‍රියෙල් මම ය; මා එවන ලද්දේ ඔබ සමඟ කතා කරන්නටත්, මේ සුබ ආරංචිය ඔබට පවසන්නටත් ය. 20 බලන්න. නියම කාලයෙහි ඉටුවන්න යන, මා කී දේ ඔබ අවිශ්වාස කළ බැවින්, මේ කාරණා සිදු වන දවස දක්වා ඔබ කතා කළ නොහැකි ව නිහඬ වනු ඇතැ”යි කී ය.
21 සෙකරියස් එන තෙක් බලා සිටි සමූහයා ඔහු ශුද්ධස්ථානයෙහි පමා වීම ගැන මවිත වූ හ: 22 ඔහු පිට වී ආ කල ඔවුන් සමඟ කතා කිරීමට අපොහොසත් විය. ඔහු පූජා ස්ථානයෙහි යම් කිසි දර්ශනයක් දක්නට ඇතැ යි ඔව්හු තේරුම්ගත්හ. ඔහු ද අතින් සංඥා කරමින් ගොළුගැහී සිටියේ ය. 23 සේවා කාලය නිම වූ පසු ඔහු සිය නිවෙසට ගියේ ය.
24 මඳ කලකට පසු ඔහුගේ බිරිඳ වන එලිසබෙත් ගැබ්ගෙන, පස් මසක් රහසිගත ව වෙසෙමින්, 25 ”ලෝකයා අතර පැවති මාගේ නින්දාව පහ කරනු වස් සමිඳාණන් වහන්සේ මෙකල මා දෙස කරුණාවෙන් බලා මේ දේ කළ සේකැ”යි කීවා ය.
ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීම
26 සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ, 27 දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය. 28 දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ”විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය. 29 එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය. 30 දේව දූතයා ඈට කතා කොට, ”මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය. 31 මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න.
32 ”උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; 33 උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය.
34 එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, ”මට පුරුෂයෙකු නැති බැවින් මෙවැන්නක් කෙසේ විය හැකි දැ”යි ඇසුවා ය. 35 දේව දූතයා ඈට උත්තර දෙමින්, ”ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක. 36 බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය. 37 මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කීවේ ය. 38 මරිය තුමී කතා කරමින්, ”බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.
මරිය තුමී එලිසබෙත් බැහැදැකීම
39 දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්, 40 සෙකරියස්ගේ ගෙට ඇතුළු වී, එලිසබෙත් හට ආචාර කළා ය. 41 එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, 42 මහ හඬින් උදන් අනමින්, ”ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය. 43 මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද? 44 මක්නිසා ද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙණෙහි ම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය. 45 සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය.
මරියාවන්ගේ උදාන ගීය
46 එවිට මරිය තුමී මෙසේ උදන් ඇනුවා ය:
”මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි,
47 මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි;
48 මක්නිසා ද, එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක.
හැම පරපුරක් ම මෙතැන් සිට, භාග්‍යවන්තී ය’යි මට කියනු ඇත.
49 පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක.
‘පරිශුද්ධයාණෝ’ යනු එතුමන්ගේ නාමය ය.
50 එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.
51 සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා, උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර,
52 මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක.
53 සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.
54 අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට,
55 සදහට ම පොරොන්දු වූ දයාව සිහි කරමින් සිය සේවක ඉශ්රායෙල් සෙනඟ හට, පිහිට වූ සේක.”
56 මරිය තුමී, එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිට සිය නිවෙසට පෙරළා ගියා ය.
ස්නාවක ජොහන්ගේ උපත
57 නියම කාලය පැමිණි විට එලිසබෙත් තොමෝ පුත්‍රයෙකු ලැබුවා ය. 58 ඇගේ අසල්වැසියෝ ද නෑයෝ ද සමිඳාණන් වහන්සේ ඈ කෙරෙහි මහා දයානුකම්පාවක් දැක්වූ බැව් අසා ඇය සමඟ ප්‍රීති වූ හ. 59 තවද, අට වන දා චර්මඡේදන පිළිවෙත පිණිස ඔව්හු දරුවා ගෙනැවිත් සිය පියාගේ නාමය අනුව ඔහුට සෙකරියස් යයි නම් තබන්නට සැරසුණහ. 60 එහෙත්, ඔහුගේ මව කතා කරමින්, ”එසේ නොවේ; ඔහුට ජොහන් යන නාමය තැබිය යුතු ය”යි කීවා ය. 61 ”ඔබේ නෑයන් අතර ඒ නාමය ඇත්තෙක් නැතැ”යි ඔව්හු ඈට කී හ. 62 ඔහුගේ පියා ඔහුට කුමන නමක් තබන්න කැමැති දැ යි දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥා කළහ. 63 ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන, ”ඔහුගේ නම ජොහන් ය”යි ලිවී ය. සියල්ලෝම මවිත වූ හ. 64 එකෙණෙහි ම ඔහුගේ කතා ශක්තිය ලැබිණි; ඔහු දෙවියන් වහන්සේ පසසමින් කතා කෙළේ ය. 65 අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේ ය. මෙපවත් සියල්ල ජුදයේ කඳු රට පුරා පතළ විය. 66 ඒ ඇසූ හැම දෙන ම ඒ සියල්ල සිය සිත්හි තබාගෙන, ”ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේ දැ”යි ඇසූ හ. මක්නිසා ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි විය.
සෙකරියස්ගේ ප්‍රශංසා ගීතය
67 ජොහන්ගේ පිය වූ සෙකරියස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව දිවැස් වැකි පවසමින් මෙසේ කී ය:
68 ”ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන්, සිය සෙනඟ වෙත බලා කරුණාවෙන්, විමුක්තිය සලසා දුන් බැවින්, එතුමන් හට තුති පැසසුම් වේ වා!
69 සිය දාසයා වූ දාවිත්ගේ වංශයෙන් අප හට, බලවත් මිදුම්කාරයෙකු එතුමාණෝ එවූ සේක.
70 එසේ වූයේ, පෙර ශුද්ධ දිවැසිවරුන්ගේ මුවින් පැවසූ ලෙස ය.
71 රුපුන්ගෙන් හා අපට වෙර බැන්දවුන්ගෙන්, අප මුදාලන පිණිස, එතුමාණෝ එය කළ සේක;
72 මෙසේ, අප පියවරුන්ට කළ දයා-පොරොන්දුව ඉටු කර, සිය ශුද්ධ ගිවිසුම සිහි කළ සේක.
73 එය, අප පිය ආබ්‍රහම්ට එතුමන් දිවුළ දිවුරුම ය.
74 මෙසේ කෙළේ, අප සතුරන්ගෙන් මිදීම ලබමින්, නොබිය ව එතුමන්ගේ සේවයේ යෙදෙමින්,
75 එතුමන් අබිමුවෙහි බැතියෙන් හා දැහැමින්, දිවි ඇති තෙක් විසීමට ය.
76 ළදරුව, ඔබ සමිඳුන්ට පෙරටුව යමින්, එතුමන් මඟ පිළියෙළ කරන බැවින්, ‘මෙහෙසුරු දිවැසිවර’ යන නම ඔබට දෙනු ඇත.
77 එතුමන්ගේ සෙනඟට පව් කමාවෙන් ලැබෙන ගැළවීම, ඔබ ඔවුන්ට දන්වන්නෙහි ය.
78 අප දෙවිඳාණෝ මෘදු ය, දයාවන්ත ය.
අප කෙරෙහි අහසින් ළහිරු රැස් උදා කරවන සේක.
79 අඳුරේ හා මරණ සෙවණේ සිටින්නවුන් කෙරෙහි, එලෙසින් එළිය උදා කරවමින් සෙත් මඟ යාමට අපට මඟපෙන්වන සේක.”
80 දරුවා වැඩී, ආත්මානුභාවයෙන් බලවත් ව තමන් ඉශ්රායෙල්ට ප්‍රකාශවන දිනය දක්වා පාළුකරයෙහි සිටියේ ය.
– 2 වන පරිච්ඡේදය –
ජේසුස් වහන්සේගේ උපත
(මතෙව් 1:18-25)
1 තවද එසමයෙහි, අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා වෙතින් නියෝගයක් නික්මිණි. 2 මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටිය දී කරන ලද පළමු වන සංගණනය යි. 3 සියල්ලෝ ලියාපදිංචි වනු පිණිස තම තමන්ගේ නුවරවලට ගියහ. 4 ජෝසෙප් ද දාවිත්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන්, ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවර බලා ගියේ ය. 5 ඔහු ගියේ, තමාට විවාහ ගිවිසුම් දුන්, ගැබ්ගෙන සිටි මරිය තුමී සමඟ ලියාපදිංචි වන පිණිස ය. 6 තවද, ඔවුන් එහි සිටිය දී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය. 7 ඈ කුලුඳුල් පුත්‍රයා බිහි කොට රෙදිවලින් ඔතා, නවාතැන්ගෙයි ඉඩකඩ නොතිබුණු බැවින්, ගව ඔරුවක බෑවුවා ය.
එඬේරු සහ දේව දූතයෝ
8 තවද, එම පළාතෙහි එඬේරු රෑ යාමයෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියහ. 9 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔවුන්ට දර්ශනය විය: සමිඳාණන් වහන්සේගේ තේජශ්‍රීය ඔවුන් සිසාරා බැබළිණි; ඔව්හු අතිශයින් බියපත් වූ හ. 10 එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, ”බිය නොවන්න; මෙන්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. 11 මක්නිසා ද, ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේ ය. 12 රෙදිවලින් ඔතා ගව ඔරුවක බාවා සිටින බිළිඳෙක් ඔබට සම්බ වන්නේ ය. එය ඔබට සලකුණ ය”යි කී ය. 13 ඒ ඇසිල්ලෙහි ම දේව දූතයා සමඟ ස්වර්ග සේනා සමූහයක් දෙවියන් වහන්සේ පසසමින්,
14 ”අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.
15 තවද, දේව දූතයන් ඔවුන් කෙරෙන් සගලොවට ගිය කල, එඬේරු, ”අපි වහාම බෙත්ලෙහෙමට ගොස් සමිඳාණන් වහන්සේ අපට දන්වා වදාළ මේ සිද්ධිය බලමු”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. 16 ඔව්හු යුහුව ගොස් මරිය තුමී ද ජෝසෙප් ද ගව ඔරුවක සතප්වා උන් බිළිඳා ද දුටුවෝ ය. 17 ඔව්හු ඒ දැක මේ දරුවා ගැන තමන්ට දන්වන ලද දේ පළ කළහ. 18 ඒ ඇසූ සියල්ලෝ, එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූ හ. 19 එහෙත්, මරිය තුමී එකී සියල්ල සිත්හි නිදන් කොට ඒවා මෙනෙහි කළා ය. 20 එඬේරු ද තමන්ට දන්වන ලද ලෙස ම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන් වහන්සේට ගෞරව කරමින් ද ප්‍රශංසා කරමින් ද පෙරළා ගියහ.
21 උන් වහන්සේගේ චර්මඡේදන පිළිවෙත සඳහා අට දවස පිරුණු කල, උන් වහන්සේ කුසෙහි පිළිසිඳගැනීමට පෙර දේව දූතයා විසින් දෙන ලද, ‘ජේසුස්’ යන නාමය උන් වහන්සේට තබන ලද්දේ ය.
ජේසුස් වහන්සේ කැප කිරීම
22 මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ පවිත්‍ර වීමේ කාලය පැමිණියෙන්, ඔව්හු උන් වහන්සේ සමිඳාණන් වහන්සේට කැප කරනු වස්, ජෙරුසලමට ගෙනාහ. 23 එසේ කෙළේ, ”හැම කුලුඳුල් පිරිමි දරුවෙක් ම සමිඳාණන් වහන්සේට කැප ය”යි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති ලෙස, දරුවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිසත්, 24 එහි ම කියා ඇති පරිදි කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත් ය.
25 එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ. 26 සමිඳාණන් වහන්සේ අභිෂේක කළ ‘ක්‍රිස්තුන් වහන්සේ දක්නට පළමුවෙන් ඔහු මරණය නොදක්නේ ය’යි ශුද්ධාත්මයාණන් විසින් ඔහුට අනාවරණය කරනු ලැබ තිබිණි. 27 ඔහු ශුද්ධාත්මානුභාවයෙන් දේව මාලිගාවට පැමිණියේ ය. ළදරු ජේසුස් වහන්සේ පිළිබඳ ව ව්‍යවස්ථාවෙහි සඳහන් වත්පිළිවෙත් ඉටු කරනු වස්, දෙමවුපියන් උන් වහන්සේ ගෙනා විට, 28 ඔහු උන් වහන්සේ දෝතින් වඩාගෙන මෙසේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය:
29 ”සමිඳුනි, ඔබ පොරොන්දු වූ ලෙස ම දැන් ඔබ දාසයා හට, ශාන්ති සිතින් යාමට ඔබ නිදහස දී ඇත,
30 මන්ද, ගැළවීම මාගේ දෙනෙතින් දිටිමි.
31 එය සකල ජාතීන් අබිමුව කළ ගැළවීම ද
32 විජාතීන්ට එළිය දෙන ආලෝකය ද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමය ද වේ.”
33 උන් වහන්සේ පිළිබඳ ව කී දේ ගැන උන් වහන්සේගේ පියා ද මවු ද මවිත වූ හ. 34 සිමියොන් ඔවුන්ට ආශීර්වාද කරමින් උන් වහන්සේගේ මව වූ මරිය තුමීට කතා කොට, ”මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී. 35 එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත. මෙසේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය.
36 තවද, ආෂෙර්ගේ පෙළපතින් ආ පානුවෙල්ගේ දුවක වන බොහෝ වයස්ගත අන්නා නම් දිවැසිවරියක් වූවා ය. විවාහයෙන් පසු සත් වසක් සැමියා සමඟ විසූ ඈ 37 අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය. 38 ඈ ද ඒ මොහොතේ දී ම අවුත්, දෙවියන් වහන්සේට තුති පුදා, ජෙරුසලමේ විමුක්තිය අපේක්ෂා කළ සියලු දෙනා හට උන් වහන්සේ ගැන කතා කළා ය.
නාසරෙත් නුවරට යාම
39 ජෝසෙප් සහ මරියා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලිය අනුව සියල්ල ඉටු කළ පසු ගලීලයෙහි නාසරෙත් නම් සිය නුවරට පෙරළා ගියහ. 40 දරුවා වැඩී ශක්තිමත් ව ප්‍රඥාවෙන් පූර්ණ විය; දෙවියන් වහන්සේගේ ප්‍රසාදය උන් වහන්සේ කෙරෙහි විය.
ජේසුස් කුමරුන් දේව මාලිගයට යෑම
41 ජේසුස් වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ. 42 උන් වහන්සේ දොළොසැවිරිදි වූ කල, ඔව්හු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ. 43 ඔවුන් නියමිත දවස් ගෙවා පෙරළා එන අතර, ජේසුස් කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක; එහෙත්, උන් වහන්සේගේ දෙමවුපියෝ ඒ බව නොදැන, 44 උන් වහන්සේ වන්දනාකාර පිරිස සමඟ ඇතැ යි සිතාගෙන, දවසක ගමන් ගොස්, නෑ මිතුරන් අතරෙහි උන් වහන්සේ සෙවූ හ. 45 එහෙත් සම්බ නොවූයෙන්, ඔව්හු උන් වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරළා ගියහ.
46 තෙදිනකට පසු ඔව්හු උන් වහන්සේ දේව මාලිගාවෙහි පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අසමින් ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින් ද සිටිනු දුටුවෝ ය. 47 ඒ ඇසූ සියල්ලෝ ම උන් වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විස්මිත වූ හ. 48 දෙමවුපියෝ උන් වහන්සේ දුටු කල මවිත වූ හ. උන් වහන්සේගේ මෑණියෝ, ”පුතා, කුමක් නිසා අපට මෙසේ කෙළෙහි ද? බලන්න, ඔබේ පියා ද මම ද දුකින් තැවි තැවී ඔබ සෙවීමු”යි කී හ. 49 එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ මා සෙව්වේ මන් ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහු දැ”යි ඔවුන්ට වදාළ සේක. 50 එහෙත්, උන් වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නො වී ය.
51 උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ. 52 ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන් ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණු සේක.
– 3 වන පරිච්ඡේදය –
ස්නාවක ජොහන්ගේ දේශනාව
(මතෙව් 3:1-12; මාක් 1:1-8; ජොහන් 1:19-28)
1 තිබේරියස් අධිරාජයා රජ පැමිණි පසළොස් වන අවුරුද්දෙහි පොන්තියස් පිලාත් ජුදයට ආණ්ඩුකාරයා ව ද හෙරොද් ගලීලයට යුවරජ ව ද ඔහුගේ සහෝදර පිලිප් ඉතුරයටත්, ත්‍රිකොනියටත් යුවරජ ව ද ලුසානියස් අබිලේනියට යුවරජ ව ද අන්නස් හා කායාපස් උත්තම පූජකවරයන් ව ද සිටි සමයෙහි, 2 දෙවියන් වහන්සේගේ පණිවුඩය පාළුකරයෙහි සෙකරියස්ගේ පුත් ජොහන් වෙත පැමිණියේ ය. 3 තවද, ඔහු ජොර්දාන් ගඟ අවට පෙදෙස මුළුල්ලෙහි සැරිසරමින්, පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනයa ලබන්නැ යි ප්‍රකාශ කෙළේ ය. 4 එපවත් දිවැසිවර යෙසායාගේ ලියවිලිවල මෙසේ ලියා ඇත:
”සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න, එතුමන් හට ඇද නැති මාවත් සාදන්න.
5 සියලු කඳුරැළි පුරවනු ලැබේ;
6 සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ;
සියලු වංගු ඇද හරිනු ලැබේ;
රළු මාවත් මට්ටම් කරනු ලැබේ.
දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි
පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.”
7 එකල ඔහු තමාගෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්ට ආ ජනතාවට කතා කොට, ”එම්බා පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යන්න නුඹලාට අවවාද කෙළේ කවරෙක් ද? 8 එබැවින් ආබ්‍රහම් අපේ පියාණෝ යයි සිතින් කියාගන්න පටන් නොගෙන පසුතැවී සිත් හරවා ගත් බව දැක්වෙන ලෙස හැසිරෙන්න; මන්ද, මේ ගල්වලින් ආබ්‍රහම්ට දරු පරපුරක් උපදවා දෙන්නට දෙවියන් වහන්සේට හැකි යයි මම ඔබට කියමි. 9 තවද, දැනටමත් පොරොව ගස් මුල්වලට එල්ල කර ඇත. එබැවින් හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නෙහි හෙළනු ඇතැ”යි කී ය.
10 එවිට ජනකාය, ”එසේ නම් අප කුමක් කළ යුතු දැ”යි ඔහුගෙන් ඇසූ හ. 11 ඔහු උත්තර දෙමින්, ”අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා”යි කී ය. 12 අයකැමියෝ ද බව්තීස්ම-ස්නාපනය ලබන්ට අවුත්, ”ගුරුදේවයිනි, අප කුමක් කළ යුතු දැ”යි ඔහුගෙන් ඇසූ හ. 13 ”නියමිත පමණට වැඩියෙන් අය බදු නොගන්නැ”යි ඔහු ඔවුන්ට කී ය. 14 හේවායෝ ද, ”ඉතින් අප කළ යුත්තේ කුමක් දැ”යි ඇසූ හ. ”කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් වත් බොරු චෝදනා නැඟීමෙන් වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්නැ”යි ඔහු ඔවුන්ට කී ය.
15 ”මේ ක්‍රිස්තුවරයා විය හැකි දැ”යි සෙනඟ අපේක්ෂාවෙන් බලා සිටිය දීත්, හැම දෙන ජොහන් ගැන විවාද කරමින් සිටිය දීත්, 16 ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, ”මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක. 17 කමත හොඳ හැටි පිරිසිදු කරන පිණිසත්, ධාන්‍ය පොළා සිය අටුවෙහි රැස් කරන පිණිසත්, උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත; එහෙත් බොල් නොනිවෙන ගින්නෙන් දවනු ලැබේ ය”යි කී ය.
18 මෙසේ තවත් බොහෝ අනුශාසනා මඟින් ඔහු සමූහයාට සුබ අස්න දේශනා කෙළේ ය. 19 එහෙත්, හෙරොද් යුවරජු සිය සොහොයුරාගේ බිරිඳ වූ හෙරොදියස් විවාහ කරගත් නිසා ද ඔහු කළ සියලු දුෂ්ටකම් නිසා ද ජොහන් ඔහුට තරවටු කෙළේ ය.
20 ඒ නිසා හෙරොද් ඔහු හිරගෙට යැවී ය. එසේ කිරීමෙන් ඔහු අනිත් සියල්ලටත් වඩා දරුණු දුෂ්ටකමක් කෙළේ ය.
ජේසුස් වහන්සේගේ බව්තීස්ම-ස්නාපනය
(මතෙව් 3:13-17; මාක් 1:9-11)
21 තවද මුළු සෙනඟ බව්තීස්ම-ස්නාපනය ලැබූ විට, ජේසුස් වහන්සේත් බව්තීස්ම-ස්නාපනය ලබා යාච්ඤා කරමින් සිටිය දී ස්වර්ගය විවර වී, 22 ශුද්ධාත්මයාණෝ පරෙවියෙකුගේ රූපාකාරයෙන් උන් වහන්සේ කෙරෙහි පහළ වූ සේක. එවිට: ”ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි”යි අහසින් හඬක් නික්මිණි.
ජේසුස් වහන්සේගේ වංශාවලිය
(මතෙව් 1:1-17)
23 ජේසුස් වහන්සේ සිය සේවය අරඹන විට අවුරුදු තිහක් පමණ වයස් ව සිටි සේක. උන් වහන්සේ ජෝසෙප්ගේ පුත්‍රයා යයි ඔව්හු සිතූ හ. ජෝසෙප් හේලීගේ පුත්‍රයා ය, 24 ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය, ඔහු මෙල්කීගේ පුත්‍රයා ය, ඔහු ජන්නයිගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය, 25 ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු ආමොස්ගේ පුත්‍රයා ය, ඔහු නාහුම්ගේ පුත්‍රයා ය, ඔහු එස්ලීගේ පුත්‍රයා ය, ඔහු නග්ගයිගේ පුත්‍රයා ය, 26 ඔහු මායත්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු සෙමෙයින්ගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය, ඔහු ජෝදාගේ පුත්‍රයා ය, 27 ඔහු ජොවානන්ගේ පුත්‍රයා ය, ඔහු රෙසාගේ පුත්‍රයා ය, ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්‍රයා ය, ඔහු නේරයිගේ පුත්‍රයා ය, 28 ඔහු මෙල්කිගේ පුත්‍රයා ය, ඔහු අද්දිගේ පුත්‍රයා ය, ඔහු කෝසම්ගේ පුත්‍රයා ය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයා ය, ඔහු ඒර්ගේ පුත්‍රයා ය, 29 ඔහු ජෝෂුවාගේ පුත්‍රයා ය, ඔහු එළියේශර්ගේ පුත්‍රයා ය, ඔහු ජෝරයිම්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය, 30 ඔහු සිමියොන්ගේ පුත්‍රයා ය, ඔහු ජූදාගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය, ඔහු ජෝනාම්ගේ පුත්‍රයා ය, ඔහු එලියාකිම්ගේ පුත්‍රයා ය, 31 ඔහු මෙලියාගේ පුත්‍රයා ය, ඔහු මෙන්නාගේ පුත්‍රයා ය, ඔහු මත්තතාගේ පුත්‍රයා ය, ඔහු නාතන්ගේ පුත්‍රයා ය, ඔහු දාවිත්ගේ පුත්‍රයා ය, 32 ඔහු ජෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය, 33 ඔහු අම්මිනාදාබ්ගේ පුත්‍රයා ය, ඔහු අද්මික්ගේ පුත්‍රයා ය, ඔහු අර්නීගේ පුත්‍රයා ය, ඔහු හෙස්රෝම්ගේ පුත්‍රයා ය, ඔහු පෙරෙෂ්ගේ පුත්‍රයා ය, ඔහු ජූදාගේ පුත්‍රයා ය, 34 ඔහු ජාකොබ්ගේ පුත්‍රයා ය, ඔහු ඊසාක්ගේ පුත්‍රයා ය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයා ය, ඔහු තේරාගේ පුත්‍රයා ය, ඔහු නාහෝර්ගේ පුත්‍රයා ය, 35 ඔහු සෙරුග්ගේ පුත්‍රයා ය, ඔහු රෙව්ගේ පුත්‍රයා ය, ඔහු පලගේගේ පුත්‍රයා ය, ඔහු ඒබර්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙලාගේ පුත්‍රයා ය, ඔහු කායිනන්ගේ පුත්‍රයා ය. 36 ඔහු අර්පක්සද්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙම්ගේ පුත්‍රයා ය, ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයා ය, 37 ඔහු මෙතුසෙලාගේ පුත්‍රයා ය, 38 ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු ජාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මාලෙලෙයීල්ගේ පුත්‍රයා ය, ඔහු කේනාන්ගේ පුත්‍රයා ය, ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.
– 4 වන පරිච්ඡේදය –
ජේසුස් වහන්සේ පරීක්ෂා කරනු ලැබීම
(මතෙව් 4:1-11; මාක් 1:12-13)
1 ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණ ව ජොර්දානෙන් ආපසු ආ විට, ආත්මයාණන් වහන්සේ විසින් උන් වහන්සේ පාළුකරයට ගෙනයනු ලැබූ සේක. 2 එහි දී දින සතළිසක් මුළුල්ලේ යක්ෂයා උන් වහන්සේ පරීක්ෂා කෙළේ ය. ඒ දවස්වල දී උන් වහන්සේ කිසිවක් නොවැළඳූ සේක. ඒ කාලය නිම වූ පසු උන් වහන්සේට කුසගිනි ඇති විය.
3 එකල යක්ෂයා කතා කරමින්, ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල් ගෙඩිය පාන් ගෙඩියක් වන්නට අණ කළ මැනවැ”යි උන් වහන්සේට කී ය. 4 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්,
” ‘මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේ ය’ කියා ලියා ඇතැ”යි
ඔහුට වදාළ සේක.
5 එවිට යක්ෂයා උන් වහන්සේ උස් තැනකට පමුණුවා, ක්ෂණයකින් ලෝකයේ සියලු රට රාජ්‍යයන් උන් වහන්සේට පෙන්වා, 6 ”මේවා කෙරෙහි මුළු ආධිපත්‍යය ද ඒවායේ යස ඉසුරු ද ඔබට දෙන්නෙමි; ඒවා මට පවරා දී ඇති හෙයින් මා කැමැති කෙනෙකුට ඒවා දෙමි; 7 එබැවින් ඔබ මා ඉදිරියෙහි නමස්කාර කරන්නෙහි නම් ඒ සියල්ල ම ඔබ සන්තක වන්නේ ය”යි උන් වහන්සේට කී ය. 8 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්,
” ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි
ඔහුට වදාළ සේක.
9 ඉන්පසු ඔහු උන් වහන්සේ ජෙරුසලමට ගෙන ගොස්, දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් පහතට පනින්න. 10 එසේ කියන්නේ,
‘ඔබට රැකවරණ සලසනු වස් උන් වහන්සේ සිය දූතයන් හට අණ දෙනු ඇතැ’යි ද
11 ‘යම් ලෙසකින් ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන් සිය දෝතින් ඔබ උසුලනු ඇතැ’යි ද කියා
ලියා ඇති බැවිනැ”යි උන් වහන්සේට කී ය.
12 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්,
” ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරන්න,’ කියා ද ලියා ඇතැ”යි
වදාළ සේක. 13 යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා, සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන් වහන්සේ අත්හැර ගියේ ය.
ගලීලයේ සේවය ඇරඹීම
(මතෙව් 4:12-17; මාක් 1:14-15)
14 තවද, ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් යුක්ත ව ගලීලයට පෙරළා වැඩිය සේක. උන් වහන්සේ පිළිබඳ ආරංචිය අවට මුළු පෙදෙස පුරා පැතිරිණි. 15 උන් වහන්සේ සියල්ලන්ගෙන් ප්‍රශංසා ලබමින්, ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක.
නාසරෙත්හි මූලික දේශනය හා ජනතාවගේ විරෝධය
(මතෙව් 13:53-58; මාක් 6:1-6)
16 උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක. 17 එවිට දිවැසිවර යෙසායාගේ ග්‍රන්ථය උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේ ග්‍රන්ථය දිගහැර, මෙසේ ලියා ඇති තැන සොයාගත් සේක:
18 ”සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක.
වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්, 19 සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.”
20 උන් වහන්සේ එය කියවා, ග්‍රන්ථය අකුළා, උපස්ථායක තැනට දී වැඩහුන් සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන් වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ. 21 උන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් ගෙන, ”අද ඔබ සවන් දී සිටිය දී ම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී ය”යි වදාළ සේක. 22 සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, ”මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ. 23 එවිට උන් වහන්සේ කතා කොට, ” ‘වෙද තුමාණෙනි, ඔබ, ඔබම සුව කරගන්න’ යන ප්‍රස්තා පිරුළ ඔබ නිසැක ව ම මට ගෙන හැර පා, 24 ‘කපර්ණවුමෙහි දී ඔබ විසින් කරන ලදැ යි අප ඇසූ ක්‍රියා ඔබේ උපන් ගම වන මෙහිදීත් කරන්නැ’යි මට කියනු ඇත. සැබැවින් ම මම ඔබට කියමි, ගමේ දිවැසිවරයා ගමට අගේ නැත. 25 සහතික ලෙස මම ඔබට කියමි, එලියාගේ කාලයේ දී තුන් අවුරුදු සමසක් මුළුල්ලෙහි අහස පියවී, රට පුරා දැඩි සාගතයක් පැවති අතර, 26 ඉශ්රායෙල් රටේ බොහෝ වැන්දඹුවන් සිටි නමුත්, සීදොන් පළාතෙහි ශාරෙපත්හි වැන්දඹුව වෙත මිස අන් කිසිවෙකු වෙතට එලියා නොයවන ලද්දේ ය. 27 දිවැසිවර එලිෂාගේ කාලයේ දී ඉශ්රායෙල් රටේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටි නමුත්, සිරියානු ජාතික නාමන් මිස අන් කිසිවෙක් සුවය නොලැබී ය”යි වදාළ සේක. 28 ධර්මශාලාවෙහි සිටි මුළු සමූහයා ඒ අසා කෝපාවිෂ්ට වූ හ. 29 ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ. 30 එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක.
අශුද්ධාත්මයක් ආවේශ වූවෙකුට සුවය
(මාක් 1:21-28)
31 උන් වහන්සේ ගලීලයේ නුවරක් වන කපර්ණවුමට පැමිණ, සබත් දිනයේ දී අනුශාසනා කරමින් සිටි සේක. 32 උන් වහන්සේ බලධාරි කෙනෙකුන් මෙන් කතා කළ බැවින් ඒ අනුශාසනා ගැන සෙනඟ විස්මිත වූ හ. 33 අශුද්ධාත්මයක් ආවේශ වූ මිනිසෙක් ධර්මශාලාවෙහි සිටියේ ය. ඔහු මහ හඬින් මොරගසා, 34 ”අහෝ! නාසරෙත්හි ජේසුස් තුමෙනි ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය”යි කී ය. 35 ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, ”කට පියාගෙන මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. එවිට දුෂ්ටාත්මය සමූහයා ඉදිරියෙහි ඔහු බිම හෙළා, ඔහුට තුවාළ නොකොට ඔහුගෙන් දුරු වී ය. 36 සියල්ලෝ ම විස්මිත ව ”මේ මොන ධර්මයක් ද? මෙතුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති”යි තම තමන් අතර කතා කරගත් හ. 37 උන් වහන්සේ පිළිබඳ මෙපුවත අවට පෙදෙස පුරා පැතිරිණි.
පේදුරුගේ භාර්යාවගේ මව සහ වෙනත් අය සුව කිරීම
(මතෙව් 8:14-17; මාක් 1:29-34)
38 උන් වහන්සේ ධර්මශාලාවෙන් නැඟිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුළු වූ සේක. සීමොන්ගේ බිරිඳගේ මවට බලවත් උණ රෝගයක් වැළඳී තිබිණි. ඔව්හු ඈ උදෙසා උන් වහන්සේට කන්නලව් කළහ. 39 උන් වහන්සේ ද ඈ ළඟ සිට උණ රෝගය පහ ව යන්න අණ කළ සේක, උණ රෝගය ඇගෙන් පහ ව ගියේ ය. එකෙණෙහි ම ඈ නැඟිට ඔවුන්ට උපස්ථාන කළා ය.
40 හිරු බැස යද්දී, නොයෙක් රෝගවලින් පීඩිත වූ අය භාර ව සිටි සියල්ලෝ ම උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. උන් වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් කළ සේක. 41 දුෂ්ටාත්මයෝ ද, ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකුගෙන් දුරු වූ හ. තමන් ක්‍රිස්තුන් වහන්සේ යයි ඔවුන් දැන සිටි නිසා උන් වහන්සේ ඔවුන්ට තරවටු කොට, කතා කිරීම තහනම් කළ සේක.
ධර්මදූත චාරිකාවක්
(මාක් 1:35-39)
42 පසුදින පහන් වූ කල උන් වහන්සේ පිටත් ව හුදකලා තැනකට වැඩිය සේක. සමූහයා උන් වහන්සේ සොයා ගොස්, හමු වූ පසු, තමන් වෙතින් යන්න නොදී උන් වහන්සේ නවතාගන්න තැත් කළහ. 43 උන් වහන්සේ කතා කොට, ”මා වෙනත් නුවරවල ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කළ යුතු ය; මා එවන ලද්දේ ඒ සඳහා ය”යි ඔවුන්ට වදාළ සේක.
44 තවද, උන් වහන්සේ ජුදයේ ධර්මශාලාවල දේශනා කරමින් සිටි සේක.
– 5 වන පරිච්ඡේදය –
ප්‍රථම ශ්‍රාවකයන් කැඳවීම
(මතෙව් 4:18-22; මාක් 1:16-20)
1 දිනක් උන් වහන්සේ ගෙන්නෙසරෙත් විල අසල සිටිය දී, සමූහයා දෙවියන් වහන්සේගේ දහම් පණිවුඩය අසනු පිණිස උන් වහන්සේ වටා තෙරපි තෙරපී සිටි කල, 2 විල අයිනේ ඔරු දෙකක් තිබෙනු උන් වහන්සේ දුටු සේක. ධීවරයෝ ඒවායින් බැස විත් දැල් සෝදමින් සිටියහ. 3 උන් වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැඟී එය වෙරළින් මඳක් ඈතට දියත් කරන්න කියා එහි වැඩහිඳ, සමූහයාට අනුශාසනා කළ සේක. 4 එය නිම වූ කල උන් වහන්සේ සීමොන්ට කතා කොට, ”මසුන් අල්ලන පිණිස දියඹට ගොස් දැල් හෙළන්නැ”යි වදාළ සේක. 5 සීමොන් පිළිතුරු දෙමින්, ”ස්වාමීනි, රෑ මුළුල්ලේ ම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි”යි කී ය. 6 එසේ කළ විට ඔව්හු මසුන් මහා රාශියක් අල්ලාගත්හ. ඔවුන්ගේ දැල් ද ඉරෙන්නට වන. 7 ඔව්හු ද තමන්ගේ උදව්වට එන ලෙස අනික් ඔරුවෙහි සිටි හවුල් කාරයන්ට සංඥා කළහ. ඔව්හු අවුත් ඔරු දෙක කිඳා බසින තරමට පුරවාගත්හ. 8 සීමොන් පේදුරු ඒ දැක, ජේසුස් වහන්සේගේ පාමුල දණින් වැටී, ”ස්වාමීනි, මා වෙතින් ඉවත් වනු මැනව, මම පව්කාර මිනිසෙකැ”යි කී ය. 9 මන්ද, ඔහු ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද තමන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූ හ. 10 සීමොන්ගේ හවුල්කාරයන් වූ සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද එසේ ම විස්මිත වූ හ. ජේසුස් වහන්සේ සීමොන්ට කතා කරමින්, ”බිය නොවන්න, මෙතැන් සිට ඔබ මිනිසුන් දිනනු ඇතැ”යි වදාළ සේක. 11 ඔව්හු තමන්ගේ ඔරු වෙරළට ඇද ඒ සියල්ල හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
ලාදුරු රෝගියෙකු සුව කිරීම
(මතෙව් 8:1-4; මාක් 1:40-45)
12 තවද උන් වහන්සේ එක් නුවරක සිටිය දී, සර්වාංගයෙහි ලාදුරු තිබුණු මිනිසෙක් එහි විය. ඔහු ජේසුස් වහන්සේ අබිමුවෙහි වැඳ වැටී, ”ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය” කියමින් උන් වහන්සේට කන්නලව් කෙළේ ය. 13 උන් වහන්සේ අත දිගු කොට ඔහු මත තබා, ”මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. ලාදුරු රෝගය එකෙණෙහි ම ඔහුගෙන් පහ ව ගියේ ය. 14 එය කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔහුට අණ දී, ”ඔබ ගොස් පූජකයාට පෙනී, ඔබේ පවිත්‍ර වීම සඳහා ඔවුන්ට සාක්ෂියක් වන පිණිස මෝසෙස් අණ කළ දේවල් ඔප්පු කරන්නැ”යි වදාළ සේක. 15 එහෙත්, උන් වහන්සේ ගැන ප්‍රවෘත්තිය වඩ වඩා පතළ විය; බොහෝ සමූහයෝ උන් වහන්සේට සවන් දෙන පිණිස ද සියලු රෝග සුව කරවාගන්න පිණිස ද රැස් වූ හ. 16 එහෙත්, උන් වහන්සේ හුදකලා පෙදෙසකට ගොස් යාච්ඤා කළ සේක.
අංසබාග රෝගියෙකු සුව කිරීම
(මතෙව් 9:1-8; මාක් 2:1-12)
17 එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ. 18 එකල මිනිස්සු අංසබාග රෝගියෙකු යහනක තබා ගෙනාහ. ඔව්හු ඔහු ඇතුළට ගෙනවුත් උන් වහන්සේ ඉදිරියෙහි තබන්න සෙවූ හ. 19 එහෙත්, සමූහයා නිසා ඇතුළට ගෙන යන්නට මඟක් නොදැක පියස්සට නැඟී සෙවිල්ල ඇර, ජේසුස් වහන්සේ ඉදිරියෙහි පිරිස මැදට මෙට්ටයත් සමඟ රෝගියා බැස්වූ හ. 20 උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ”මිත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදැ”යි වදාළ සේක. 21 එවිට විනයධරයෝ ද පරිසිවරු ද, ”දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ”යි විවාද කරන්න පටන්ගත්හ. 22 ජේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්, ”ඔබේ සිත් තුළ මෙසේ විවාද කරන්නේ මන් ද? 23 වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද? 24 එහෙත්, පොළොවෙහි දී පව් කමා කරන්න මනුෂ්‍ය-පුත්‍රයාණන්ට බලය ඇති බව ඔබ දැනගන්න පිණිස මම මෙය කරමි”යි කියා, උන් වහන්සේ, ”මෙට්ටය රැගෙන යන්නැ යි මම ඔබට කියමි”යි අංසබාග රෝගියාට වදාළ සේක. 25 එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය. 26 සියල්ලෝ විස්මිත ව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් බියෙන් ඇලළී, ”අද අපි හරි පුදුම දේ දුටුවෙමු”යි කී හ.
ලෙවී කැඳවීම
(මතෙව් 9:9-13; මාක් 2:13-17)
27 ඉක්බිති උන් වහන්සේ නික්ම ගොස් ලෙවී නම් අයකැමියෙකු බදුපොළේ හිඳිනු දැක, ”මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. 28 ඔහු සියල්ල අත්හැරදමා නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය. 29 ලෙවී සිය නිවෙසෙහි උන් වහන්සේට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය. අයකැමියන් හා වෙනත් අයගෙන් මහත් පිරිසක් ඔවුන් සමඟ කෑමට හිඳගත්හ. 30 එකල පරිසිවරු ද ඔවුන්ගේ විනයධරයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධ ව චෝදනා කරමින්, ”ඔබ අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කන්නේත් බොන්නේත් මන්දැ”යි ඇසූ හ. 31 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් වැඩක් නැත. 32 මා ආයේ, පවිටුන් මිස දමිටුන් පසුතැවී සිත් හරවා ගැනීමට කැඳවීම පිණිස නොවේ ය”යි වදාළ සේක.
උපවාස ප්‍රශ්නය
(මතෙව් 9:14-17; මාක් 2:18-22)
33 එවිට ඔව්හු උන් වහන්සේට කතා කොට, ”ජොහන්ගේ ගෝලයෝ නොයෙක් වර උපවාස පවත්වා යාච්ඤා පුද කරති; පරිසිවරුන්ගේ ගෝලයෝත් එසේ ම කරති. එහෙත් ඔබේ ශ්‍රාවකයෝ කමින් බොමින් සිටිති”යි කී හ. 34 ජේසුස් වහන්සේ, පිළිතුරු දෙමින්, ”මනාලයා මඟුල් ගෙදර සිටිය දී මනාල පිරිස උපවාසයෙහි යෙදවිය හැකි ද? 35 එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවස එයි, ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇතැ”යි වදාළ සේක.
36 උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව ද වදාළ සේක: ”කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදිකඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව, අලුත් ඇඳුමෙන් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේ ද නැත. 37 කිසිවෙකු නව මිදියුස, පැරණි බඳුන්වලට වත් කරන්නේ නැත; වත් කළොත්, නව මිදියුසින් බඳුන් පැළී මිදියුස වැගිරී, බඳුනුත් නාස්ති වෙයි. 38 නව මිදියුස වත් කළ යුත්තේ නව බඳුන්වල ම ය. 39 තවද, පරණ මිදියුස පානය කළ කිසි මිනිසෙක් නව මිදියුස රුචි නොකරයි; පරණ මිදියුස ම රසය යි ඔහු කියන්නේ ය.”
– 6 වන පරිච්ඡේදය –
සබත කඩ කිරීමේ ප්‍රශ්නය
(මතෙව් 12:1-8; මාක් 2:23-28)
1 එක් සබත් දිනක ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් ගමන් කරන විට උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩා අතින් පොඩි කර කෑ හ. 2 එවිට පරිසිවරුන්ගෙන් සමහරෙක්, ”සබත් දිනයේ දී නොකටයුත්තක් ඔබ කරන්නේ මන්දැ”යි ඇසූ හ. 3 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”දාවිත් රජු තමන්ට ද සිය පිරිවරට ද බඩගිනි වූ විට කළ දේ, 4 එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන් මිස අන් කෙනෙකුන් අනුභව නොකළ යුතු, පිදූ රොටි කා, සිය පිරිවරටත් දුන් පුවත ඔබ කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 5 උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ”මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි ඔවුන්ට වදාළ සේක.
අත පණ නැති මිනිසා
(මතෙව් 12:9-14; මාක් 3:1-6)
6 තවත් සබත් දිනෙක උන් වහන්සේ ධර්මශාලාවට ඇතුළු ව ඉගැන්වූ සේක. දකුණු අත පණ නැති මිනිසෙක් එහි විය. 7 එවිට විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේට විරුද්ධ ව චෝදනාවක් එල්ල කරන අටියෙන් උන් වහන්සේ සබත් දිනයේ දී සුව කරනු ඇද්දැ යි බලමින් සිටියහ. 8 එහෙත්, උන් වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, ”නැඟිට මෙහි මැද සිටින්නැ”යි අත පණ නැති මිනිසාට වදාළ සේක. ඔහු එහි නැඟිට සිටියේ ය. 9 එකල ජේසුස් වහන්සේ, ”සබත් දිනයේ දී අප කළ යුත්තේ යහපත ද නොහොත් අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නොහොත් නැසීම ද යන ප්‍රශ්නය මම ඔබෙන් අසමි”යි වදාළ සේක. 10 උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, ”ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය. 11 එවිට ඔව්හු කෝපයෙන් උමතු වී, ”ජේසුස් වහන්සේට කුමක් කරමු දැ”යි තම තමන් අතර කතා කරගන්නට වූ හ.
ප්‍රේරිතයන් දොළොස්දෙනා තෝරා ගැනීම
(මතෙව් 10:1-4; මාක් 3:13-19)
12 තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක. 13 පහන් වූ කල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, ඔවුන් අතරෙන් දොළොස් දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූ සේක. 14 ඔව්හු කවුරු ද යත්: උන් වහන්සේ විසින් පේදුරු යයි නම් කරන ලද සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද ජාකොබ් සහ ජොහන් ද පිලිප් සහ බර්තොලමෙව් ද 15 මතෙව් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියා යි නම් ලත් සීමොන් ද 16 ජාකොබ්ගේ පුත් ජූදස් සහ පසුව දෝහියා වූ ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය.
මහා ජනකායට සුව සෙත
(මතෙව් 4:23-25)
17 උන් වහන්සේ ඔවුන් සමඟ කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටි සේක; උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහයක් ද, මුළු ජුදයෙන් හා ජෙරුසලමෙනුත්, තීර්හි සහ සීදොනයෙහි මුහුදුකරයෙනුත් උන් වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරවාගන්නට ආ බොහෝ දෙනෙක් ද එහි වූ හ. 18 අශුද්ධාත්මයන්ගෙන් පීඩිත වූවෝ සුව කරනු ලැබූ හ. 19 උන් වහන්සේ කෙරෙන් අනුහස නික්ම ඔවුන් සියල්ලන් සුව කළ බැවින්, මුළු සමූහයා උන් වහන්සේගේ ඇඟට අත තබන්නට උත්සාහ කළහ.
සැපත හා විපත
(මතෙව් 5:1-12)
20 එකල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙසේ වදාළ සේක:
”දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝ ය;
මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය.
21 දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝ ය;
මන්ද, ඔබ තෘප්තිමත් වනු ඇත.
දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝ ය;
මන්ද, ඔබ සිනාසෙනු ඇත.
22 මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය. 23 ඒ දවස්වල දී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් නටන්න; මක්නිසා ද යත්, ස්වර්ගයෙහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත; ඔවුන්ගේ පියවරු දිවැසිවරයන්ට ද එසේ ම කළහ.
24 අහෝ, ධනවත් ඔබට වන විපතක මහත!
ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාර ය.
25 අහෝ, දැන් පුෂ්ටිමත් ව සිටින ඔබට වන විපතක මහත!
ඔබට, සාගිනි වනු ඇත.
අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත!
ඔබ හඬා වැලපෙනු ඇත.
26 අහෝ, මිනිසුන් ඔබ පසසන විට ඔබට වන විපතක මහත!
ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරයන්ටත් කෙළේ එය ම ය.”
සතුරන් කෙරෙහි මෙත් සිත් වැඩීම
(මතෙව් 5:38-48; 7:12අ)
27 ”මට සවන් දෙන ඔබට මෙය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න; 28 ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න; 29 ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න; ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න. 30 ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න. 31 අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න.
32 ”ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. 33 ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා එසේ කරති. 34 ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති. 35 එහෙත්, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න, ආපසු ලබන බලාපොරොත්තුවක් නැති ව ම ණයට දෙන්න. එවිට ඔබේ පල විපාක මහත් වේ; ඔබ පරමෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහු ය. මන්ද, කෙළෙහි ගුණ නොදත් අයට ද දුෂ්ටයන්ට ද උන් වහන්සේ කාරුණික ය. 36 ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙන් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.”
අනුන් විනිශ්චය කිරීම
(මතෙව් 7:1-5)
37 ”අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ. 38 අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙන් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය”යි වදාළ සේක.
39 තවද, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: ”අන්ධයෙකුට මඟ පෙන්වීමට අන්ධයෙකුට හැකි ද? ඔවුන් දෙදෙනා ම වළක වැටෙන්නේ නැද් ද? 40 ගෝලයා ගුරුවරයාට වඩා උසස් නොවේ. එහෙත්, පූර්ණ පුහුණුව ලත් සැම දෙන ම තම ගුරුවරයා හා සම වන්නෝ ය. 41 ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ සොයන්නේ මන් ද? 42 නොහොත් ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා, ‘සහෝදරය, ඔබේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්නට ඉඩ දෙන්නැ’යි සහෝදරයාට කියන්නට ඔබට කෙසේ හැකි වේ ද? කෛරාටික ය, පළමු කොට ඔබේ ම ඇසින් ලී කොටය ඉවත ලන්න. එවිට සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්න ඔබට මැනවින් පෙනෙනු ඇත.”
පලවලින් ගස හැඳින්වේ
(මතෙව් 7:16-20; 12:33-35)
43 ”නරක පල දෙන හොඳ ගසක් වත්, හොඳ පල දෙන නරක ගසක් වත් නැත. 44 එක එක ගස එහි පලවලින් හඳුනාගනු ලැබේ. මිනිස්සු කටු ගස්වලින් අත්තික්කා පල නෙළා නොගනිති; ගොකටු පඳුරකින් මිදි පල කඩා නොගනිති. 45 යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයින් යහපත් දෙය ද, අයහපත් මිනිසා අයහපත් දෙයින් අයහපත් දෙය ද උපදවයි. මන්ද, සිතෙන් උතුරා යන දෙය කටින් පිට වේ.”
අත්තිවාරම් දෙක
(මතෙව් 7:24-27)
46 ”මා වදාරන දෙය නොකර, මට ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන්නේ මන් ද? 47 මා වෙතට විත් මාගේ අනුශාසනා අසා ඒවා පිළිපදින අය කවරෙකුට සමාන දැ යි ඔබට පෙන්වමි. 48 ඔහු ගැඹුරට පොළොව කැණ, පර්වතය මත අත්තිවාරම දමා, ගෙයක් සෑදූ මිනිසෙකුට සමාන ය. ජල ගැල්මක් පැමිණ, සැඩ පහර ඒ ගෙට ගැසූ නමුත් එය මනා ලෙස ඉදි කොට තිබුණු බැවින් සොලවන්න නොහැකි විය. 49 එහෙත් වචනය අසා, නොපිළිපදින තැනැත්තා අත්තිවාරමක් නැති බිමෙහි ගෙයක් තැනූ මිනිසෙකුට සමාන ය. සැඩ පහර ඒ ගෙට ගැසී ය, එවේලේ ම එය ඇද වැටුණේ ය. එහි විනාශය ද භයංකර විය.”
– 7 වන පරිච්ඡේදය –
ශතාධිපතියාගේ සේවකයාට සුවය
(මතෙව් 8:5-13; ජොහන් 4:46-54)
1 ජේසුස් වහන්සේ තමන් අදහස් කළ සියල්ල සෙනඟට කියා නිම කළ පසු කපර්ණවුමට ඇතුළු වූ සේක.
2 එක් ශතාධිපතියකුගේ ඉතා හිතවත් දාසයෙක් රෝගී ව මරණාසන්න ව සිටියේ ය. 3 ඔහු ජේසුස් වහන්සේ ගැන අසා, සිය දාසයා සුව කරන පිණිස වඩින මෙන් උන් වහන්සේට අයැදිනු වස් ජුදෙව් ප්‍රජා මූලිකයන් උන් වහන්සේ වෙත යැවී ය. 4 ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ, 5 ”ඔබගෙන් ඒ වරය ලබන්න ඔහු සුදුස්සෙකි, ඔහු අපේ ජාතියට හිත ඇති කෙනෙකි; තවද අපේ ධර්මශාලාව තනා දුන්නේත් ඔහු ය” කියා, උන් වහන්සේගෙන් උදක් ම ඉල්ලා සිටියහ. 6 එවිට ජේසුස් වහන්සේ ඔවුන් සමඟ වැඩිය සේක. උන් වහන්සේ ගෙදරට නුදුරු ව සිටිය දී ශතාධිපතියා මෙසේ කියා උන් වහන්සේ වෙතට මිත්‍රයන් යැවී ය, ”ස්වාමීනි, වෙහෙස නොවන්න, ඔබ මාගේ පියස්ස යටට වැඩමවාගැනීමට මම නොවටිමි. 7 මා ඔබ වෙතට නොපැමිණියේ ඒ නිසා ය. එහෙත් වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙහෙකරුවා සුවපත් වනු ඇත. 8 මම ද බලය ලත් අය යටතෙහි සිටින මිනිසෙක්මි. මා යටතෙහි ද හේවායෝ සිටිති. එක් අයෙකුට යන්නැ යි මා කී කල, ඔහු යයි; තව අයෙකුට එන්නැ යි කී කල, ඔහු එයි; මාගේ දාසයාට මෙය කරව යි කී කල, ඔහු එය කරයි.” 9 ජේසුස් වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිත වී, හැරී, තමන් පසුපස්සේ ආ පිරිසට; ”මුළු ඉශ්රායෙල් ජනතාව අතර වත් මෙතරම් මහා ඇදහිල්ලක් මා දැක නැතැ යි නුඹලාට කියමි”යි වදාළ සේක. 10 පණිවුඩකාරයෝ හැරී ගිය කල, ඒ දාසයා සුවපත් ව සිටිනු දුටහ.
නායින් නුවර පුනරුත්ථාන සිද්ධිය
11 ඉන්පසු ජේසුස් වහන්සේ නායින් නම් නුවරකට වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද මහත් සමූහයක් ද උන් වහන්සේ පිරිවරා ගියහ. 12 උන් වහන්සේ නුවර දොරටුවට ළං වූ කල, මළ මිනියක් පිටතට ගෙනෙන ලද්දේ ය. මළ තැනැත්තේ, සිය මවගේ එක ම පුත්‍රයා ය. ඈ ද වැන්දඹුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමඟ ආහ. 13 සමිඳාණන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට, ”හැඬීම නවත්වන්නැ”යි වදාළ සේක. 14 උන් වහන්සේ ළං වී දෙණට අත තැබූ සේක. එවිට දෙණ උසුලන්නෝ නැවතුණාහ. උන් වහන්සේ, ”යෞවනය, නැඟිටින්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. 15 එවිට මළ මිනිසා නැඟිට හිඳගෙන කතා කරන්න පටන්ගත්තේ ය. උන් වහන්සේ ඔහු සිය මෑණියන්ට භාර දුන් සේක. 16 එකල සියල්ලෝ ම බිය පත් ව, ”ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. 17 උන් වහන්සේ ගැන මේ පුවත මුළු ජුදයෙහි ද අවට පෙදෙස්වල ද පැතිර ගියේ ය.
ස්නාවක ජොහන්ගේ ප්‍රශ්න
(මතෙව් 11:2-19)
18 ජොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්වූ හ. එවිට ජොහන් සිය ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා, 19 ”වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ”යි අසනු පිණිස සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් යැවී ය. 20 ඔව්හු උන් වහන්සේ වෙත පැමිණ, ” ‘වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ’යි විමසනු වස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී ය”යි කී හ. 21 ඒ වේලාවේ දී ම උන් වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර, අශුද්ධාත්ම දුරු කර, අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන් සේක. 22 උන් වහන්සේ උත්තර දෙමින්, ”යන්න, ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න; අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරෝ ඇසීම ලබති, මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ. 23 මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ඔවුන්ට වදාළ සේක.
24 ජොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන් වහන්සේ ජොහන් ගැන පිරිසට කතා කරමින්, ”ඔබ කුමක් බැලීමට වනයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද? 25 කුමක් බැලීමට ගියහු ද? සිනිඳු පිළියෙන් සැරසුණු මිනිසෙකු ද? බලන්න, විසිතුරු වස්ත්‍ර හැඳ, සැප විහරණයෙන් කල් යවන්නෝ නම් රජ මැඳුරුවල සිටිති. 26 එසේ නම් ඔබ කුමක් බැලීමට ගියහු ද? දිවැසිවරයෙකු බැලීමට ද? එසේ ය, මම ඔබට කියමි; ඔහු දිවැසිවරයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨයෙකි,
27 ‘බලන්න, මාගේ දූතයා ඔබ පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි
ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත්තේ මොහු ගැන ය. 28 මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැතැ යි මම ඔබට කියමි. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද ඔහුට වඩා ශ්‍රේෂ්ඨය”යි වදාළ සේක. 29 ඒ ඇසූ මුළු පිරිස ද අයකැමියෝ ද තමන් ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය ලැබූ බැවින්, දෙවියන් වහන්සේ ධාර්මික බව පිළිගත්හ. 30 එහෙත් පරිසිවරු ද විනයධරයෝ ද ඔහුගෙන් බව්තීස්ම-ස්නාපනය නොලැබූ බැවින් තමන් පිළිබඳ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ප්‍රතික්ෂේප කළහ.
31 තවදුරටත් උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මේ පරම්පරාවෙහි මිනිසුන් කුමකට සමාන කරම් ද? කුමන දෙයකට මොවුහු සමාන ද? ඔව්හු වනාහි, වෙළඳ පොළේ හිඳ ඔවුනොවුන්ට හඬගා,
32 ‘අපි ඔබට නළා පිම්බෙමු.
ඔබ නැටුවේ නැත;
අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැතැ’යි
කියන දරුවන් හා සමාන වෙති. 33 ස්නාවක ජොහන් නිරාහාර ව ද මිදියුසින් තොර ව ද සිටි කෙනෙකි; එබැවින් ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකැ’යි ඔබ කියන්නහු ය. 34 මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක; ‘බලන්න, ඔහු කෑදරයෙකි, බේබද්දෙකි, අයකැමියන්ගේත්, පව්කාරයන්ගේත් යහළුවෙකි’යි ඔබ කියන්නහු ය. 35 දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරැදි බව එය පිළිගන්න සියලු දරුවන් මඟින් දිස් වන්නේ ය.”
පවිටු අඟනකට කමාව
36 එක් පරිසිවරයෙක් තමා සමඟ ආහාර වළඳන පිණිස ජේසුස් වහන්සේට ආරාධනා කෙළේ ය. උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදරට වැඩම කර, කෑමට හිඳගත් සේක. 37 ඒ නුවර විසූ පව්කාර ස්ත්‍රියක් උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදර කෑමට වැඩහුන් බව දැන, සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ කරඬුවක් රැගෙන එතැනට ආවා ය. 38 ඈ උන් වහන්සේ පිටිපසින් පාමුල සිට හඬ හඬා, උන් වහන්සේගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඇගේ හිසකේවලින් පිසදමා, උන් වහන්සේගේ පාද සිඹ, සුවඳ විලේපනයෙන් ආලේප කළා ය. 39 උන් වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක: ”මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනැත්තියක් ද කෙබඳු අඟනක් ද කියා දැනගනු ඇතැ”යි සිය සිතින් සිතුවේ ය. 40 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”සීමොන්, ඔබට කිය යුතු කරුණක් ඇතැ”යි වදාළ සේක. ඔහු ද, ”ගුරුදේවයෙනි, වදාළ මැනවැ”යි කී ය. 41 උන් වහන්සේ කතා කොට, ”මුදල් ණයට දෙන එක්තරා මිනිසෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් රිදී කාසි පන් සියයක් ද, අනිත් තැනැත්තා පණසක් ද ණය ව සිටියෝ ය. 42 ණය ගෙවීමට ඔවුන්ට කිසි වත්කමක් නැති වූයෙන් ඔහු ඒ දෙදෙනාට ම කමා කෙළේ ය. එබැවින් ඒ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩියෙන් ප්‍රේම කරනු ඇද්දැ”යි ඇසූ සේක. 43 සීමොන් උත්තර දෙමින්, ”ඔහු, යමෙකුට වැඩියෙන් කමා වූයේ ද, ඒ තැනැත්තා යයි මම සිතමි”යි කී ය. එවිට උන් වහන්සේ, ”ඔබේ පිළිතුර හරි ය”යි ඔහුට කියා, 44 ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කතා කොට, ”මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවා නොවේ ද? මම ඔබේ ගෙදරට ඇතුළු වුණෙමි, ඔබ මාගේ පාද සේදීමට වතුර නුදුන්නෙහි ය. එහෙත් මෑ සිය කඳුලින් මාගේ පාද තෙමා සිය හිසකේවලින් ඒවා පිසදැමුවා ය. 45 ඔබ මා සිම්බේ නැත. එහෙත්, මෑ මා ආවේලේ පටන් මාගේ පාද සිඹීම නතර නොකළා ය. 46 ඔබ මාගේ හිස තෙලින් ආලේප නොකෙළෙහි ය. එහෙත්, මෑ මාගේ පාද සුවඳ විලේපනයෙන් ආලේප කළා ය. 47 එබැවින් මම ඔබට කියමි, ඇගේ බොහෝ වූ පව් ඇයට කමා කරන ලද බව ඈ මට දැක් වූ ඇගේ ඉමහත් ප්‍රේමයෙන් ඔප්පු වේ. එහෙත්, යමෙකුට ස්වල්ප වශයෙන් කමා කරනු ඇද්ද, ඔහු ස්වල්ප වශයෙන් ප්‍රේමය දක්වනු ඇතැ”යි වදාළ සේක. 48 එවිට උන් වහන්සේ, ”ඔබේ පව් ඔබට කමා කරන ලදැ”යි ඇයට වදාළ සේක. 49 උන් වහන්සේ සමඟ කෑමට සිටි අය, ”පව් කමාව පවා දෙන මොහු කවරෙක් දැ”යි තම තමන් අතර විමසූ හ. 50 එහෙත් උන් වහන්සේ, ”ඔබේ ඇදහිල්ල ඔබට ගැළවීම ගෙන දුන්නේ ය, ශාන්ති සිතින් යන්නැ”යි ඒ ස්ත්‍රියට වදාළ සේක.
– 8 වන පරිච්ඡේදය –
උපස්ථායිකාවෝ
1 ඉන්පසු ජේසුස් වහන්සේ ධර්ම දේශනා කරමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කරමින් ද නගර සහ ගම්වල සැරිසැරූ සේක. උන් වහන්සේ සමඟ ශ්‍රාවකයෝ දොළොස්දෙනා ද 2 අශුද්ධාත්ම කෙරෙන් හා ලෙඩ රෝගවලින් සුවය ලත් සමහර ස්ත්‍රීහු ද තමන් කෙරෙන් දුෂ්ටාත්මයන් හත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලේනා නම් ලත් මරියා ද 3 හෙරොද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජෝවන්නා ද සුසානා ද සිය සම්පතින් උන් වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ස්ත්‍රීහු ද සිටියහ.
වපුරන්නා පිළිබඳ උපමාව
(මතෙව් 13:1-9; මාක් 4:1-9)
4 ඒ ඒ නුවරින් මිනිසුන් උන් වහන්සේ වෙත පැමිණ, මහා පිරිසක් රැස්වූ කල උන් වහන්සේ උපමාවකින් මෙසේ වදාළ සේක: 5 ”වපුරන්නෙක් බීජ වපුරන්න නික්මිණි; ඔහු වපුරන කල බීජ සමහරක් මඟ දිගේ වැටී පයින් පෑගිණි; අහසේ කුරුල්ලෝ ඒවා අවුළා කෑහ. 6 අන් සමහරක් ගල් බිමෙහි වැටී පැළ වූ කෙණෙහි ම දිය සීරාව නැති බැවින් වියළී ගියේ ය. 7 අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ ද ඒ සමඟ ම වැඩී ඒවා යටපත් කර දැමී ය. 8 අන් සමහරක් සරු බිමේ වැටී, පැළ වූ විට එකකින් සිය ගුණයක් අස්වැන්න ඇති විය.” උන් වහන්සේ මෙසේ වදාරා, තවදුරටත්, ”සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි හඬ නඟා වදාළ සේක.
උපමාවල අදහස
(මතෙව් 13:10-17; මාක් 4:10-12)
9 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ”ඒ උපමාවේ තේරුම කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් විමසූ හ. 10 උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ”දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අබිරහස් පිළිබඳ අවබෝධය ඔබට දී ඇත. එහෙත්, දැක දැකත් නොදක්නා පිණිස ද අස අසාත් නොවටහාගන්නා පිණිස ද සෙසු අයට ඒවා උපමා මඟින් දෙනු ලැබේ.”
උපමාවේ විවරණය
(මතෙව් 13:18-23; මාක් 4:13-20)
11 ”උපමාවේ තේරුම මේ ය: බීජ නම් දෙවියන් වහන්සේගේ වචනය ය. 12 මඟ අසල වූවෝ නම් වචනය ඇසූ අය ය. එහෙත්, ඔවුන් අදහා ගැළවීම නොලබන පිණිස, යක්ෂයා අවුත් ඔවුන්ගේ සිත්වලින් වචනය පැහැර ගන්නේ ය. 13 ගල් බිමෙහි වූවෝ නම්, වචනය අසා සතුටින් පිළිගන්න නමුත්, සිත්හි රඳා නොපවතින බැවින් කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටී යන අය ය. 14 කටු අතර වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා ජීවිතයේ කම්කටොලුවලින් ද වස්තුවෙන් ද ඉඳුරන් පිනවීමෙන් ද වචනය හිර වී සම්පූර්ණ පල නොදරන අය ය. 15 සරු බිමේ වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ අවංක, පිරිසිදු සිතකින් වචනය අසා, පිළිපැද, නොපසුබට වීර්යයෙන් පල දරන අය ය.”
බඳුනකින් වැසූ පහන
(මාක් 4:21-25)
16 ”කිසිවෙකු පහනක් දල්වා බඳුනකින් වසන්නේ වත් යහනක් යට තබන්නේ වත් නැත; එහෙත්, ඇතුළු වන්නන්ට එළිය පෙනෙන පිණිස පහන්රුක උඩ තබති. 17 ඒ නිසා හෙළි කරනු නොලබන සැඟවුණු දෙයක් නැත; නොහොත් ප්‍රකාශයට පත් නොවන, හෙළි නොවන කිසි රහසක් ද නැත. 18 එබැවින් ඔබ සවන් දෙන්නේ කෙසේ දැ යි විමසිල්ලෙන් සිටින්න. මන්ද, යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; යමක් නැති තැනැත්තාගෙන්, තමාට ඇතැ යි සිතන දෙය පවා පැහැරගනු ලැබේ.”
ජේසුස් වහන්සේගේ මෑණියෝ සහ සහෝදරයෝ
(මතෙව් 12:46-50; මාක් 3:31-35)
19 උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ වෙත ආහ. එහෙත්, සමූහයා නිසා උන් වහන්සේට ළං වන්න ඔවුන්ට නොහැකි විය. 20 එවිට, ”ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ දකිනු රිසියෙන් පිටත සිටිති”යි උන් වහන්සේට දන්වනු ලැබී ය. 21 එහෙත් උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ”මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති”යි වදාළ සේක.
මාරුත දමනය
(මතෙව් 8:23-27; මාක් 4:35-41)
22 එක් දිනක් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී, ”අපි එගොඩට යමු”යි ඔවුන්ට වදාළ සේක. එවිට ඔව්හු ඔරුව දියත් කළහ. 23 ඔවුන් යාත්‍රා කරද්දී උන් වහන්සේ නිදාගත් සේක. එකල චණ්ඩ මාරුතයක් නැඟී විල මත හැමී ය; ඔරුවට වතුර පිරෙත් ම ඔව්හු මහ අනතුරකට පත් ව සිටියහ. 24 ඔව්හු අවුත් උන් වහන්සේ පුබුදුවා, ”ස්වාමීනි, ස්වාමීනි, අප විනාශ වෙන්න ළඟ ය”යි කී හ. උන් වහන්සේ පිබිද, මාරුතයට ද රළු තරංගවලට ද තර්ජනය කළ සේක. එවිට මාරුතය සංසිඳී නිශ්චලත්වයක් ඇති විය. 25 ”ඔබේ ඇදහිල්ල කොයි දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු බිය ව, විස්මයට පත් වී, ”මේ මොන විධියේ කෙනෙක් ද? සුළඟට හා ජලයට පවා මෙතුමාණෝ අණ දෙති; ඒවා ද කීකරු වන්නේ ය”යි එකිනෙකාට කියාගත්හ.
ගෙරසේනයේ දුෂ්ටාත්මාවේශ වූවෙකු සුව කිරීම
(මතෙව් 8:28-34; මාක් 5:1-20)
26 ඔව්හු ගලීලය ඉදිරියෙහි වූ ගෙරසේනයන්ගේ රටට පැමිණියහ. 27 උන් වහන්සේ ගොඩ බසිත් ම, නුවරින් ආ දුෂ්ටාත්මාවේශ වූ මිනිසෙක් උන් වහන්සේට හමු විය. ඔහු බොහෝ කලක් ම නිර්වස්ත්‍ර ව, ගෙයක නොව, සොහොන් ගෙවල වාසය කෙළේ ය. 28 ඔහු ජේසුස් වහන්සේ දැක, මොරගසා, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, ”පරමෝත්තම දෙවියන්ගේ පුත් ජේසුස් වහන්ස, ඔබත්, මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙන් අයැදිමි”යි මහ හඬින් කීවේ ය. 29 මෙසේ කීවේ, ඒ මිනිසාගෙන් දුරු වන්න උන් වහන්සේ අශුද්ධාත්මයට අණ කළ බැවිනි. ඒ අශුද්ධාත්මය නොයෙක් වර ඔහුට ආවේශ වූ බැවින්, යදම්වලින් ද විලංගුවලින් ද බැඳ ඔහු මුර කරන ලද්දේ ය; එහෙත්, ඔහු ඒ බැඳුම් කඩා දැමී ය. දුෂ්ටාත්මය විසින් ඔහු පාළුකරයට පලවා හරින ලද්දේ ය. 30 ”තාගේ නම කුමක් දැ”යි ජේසුස් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ආවේශ ව සිටි නිසා, ඔහු, ”සේනා”යිb කී ය. 31 එවිට දුෂ්ටාත්මයෝ පාතාලයට යන පරිදි තමන් හට අණ නොකරන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ.
32 එතැන කන්දේ මහා ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය. ඌරන්ට වැහෙන පිණිස දුෂ්ටාත්මයෝ උන් වහන්සේගෙන් අවසර ඉල්ලූ හ. උන් වහන්සේ අවසර දුන් සේක. 33 දුෂ්ටාත්මයෝ ඒ මිනිසාගෙන් දුරු ව ගොස් ඌරන්ට ආවේශ වූ හ; එකල ඌරු රැළ ප්‍රපාතයෙන් පහළ විලට වේගයෙන් දිව ගොස් ගිලී මළෝ ය. 34 ඌරු ගොව්වෝ සිදු වූ දේ දැක, පලා ගොස් නුවරෙහි ද ගම්මානයෙහි ද එපවත් දැන්වූ හ. 35 ඒ සිද්ධිය බලන පිණිස මිනිස්සු පිටත් ව අවුත්, ජේසුස් වහන්සේ වෙත පැමිණ, දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා ඇඳුම් ඇඳ, හොඳ සිහි කල්පනාවෙන් ජේසුස් වහන්සේගේ පාමුල ඉඳිනු දැක බිය වූ හ. 36 එය සියැසින් දුටු අය දුෂ්ටාත්මාවේශ ව සිටි මිනිසා සුවය ලැබූ සැටි ඔවුන්ට කී හ. 37 එවිට ගෙරසේනයන්ගේ ප්‍රදේශය අවටින් වූ මුළු සෙනඟ මහා භීතියට පැමිණ, තමන් වෙතින් අහක් ව යන ලෙස උන් වහන්සේගෙන් අයැදියහ. උන් වහන්සේ ද ඔරුවකට නැඟී පෙරළා වැඩිය සේක. 38 දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා උන් වහන්සේ සමඟ නවතින්න අවසර ඉල්ලී ය. එහෙත්, උන් වහන්සේ ඔහු යවමින්, 39 ”ඔබේ ගෙදරට හැරී ගොස්, දෙවියන් වහන්සේ ඔබට කළ සියල්ල ම ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක. ඔහු ගොස්, ජේසුස් වහන්සේ තමාට කොපමණ මහත් දේ කළ සේක් දැ යි නුවර පුරා ප්‍රචාරය කෙළේ ය.
යායිරස්ගේ දුවණිය. සළුවට අතගැසූ ස්ත්‍රිය
(මතෙව් 9:18-26; මාක් 5:21-43)
40 ජේසුස් වහන්සේ ආපසු පැමිණි කල සමූහයා උන් වහන්සේ පිළිගත්හ. සියල්ලෝ ම උන් වහන්සේගේ පැමිණීම බලා සිටියහ. 41 එවිට, ධර්මශාලා ප්‍රධානියෙකු වන යායිරස් නම් කෙනෙක් අවුත්, ජේසුස් වහන්සේගේ පාමුල වැටී සිය නිවෙසට වඩින ලෙස උන් වහන්සේගෙන් උදක් ම ඉල්ලී ය. 42 එසේ කෙළේ දොළොස් වසරක් පමණ වයස් වන ඔහුගේ එක ම දියණියන් මරණාසන්න ව සිටි බැවිනි. උන් වහන්සේ වඩිනා කල සමූහයා උන් වහන්සේ ව තෙරපමින් ගියහ. 43 එකල කිසිවෙකුට සුව කළ නොහැකි වූ, දොළොස් වසරක් මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් 44 පසුපස්සෙන් අවුත්, උන් වහන්සේගේ සළුවේ දාවල්ල ස්පර්ශ කළා ය. ඒ ඇසිල්ලෙහි ම ඇගේ ලේ ගැලීම නැවතිණි. 45 එවිට ජේසුස් වහන්සේ, ”මගේ ඇඟට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක. එසේ නොකළ බව හැම දෙන ම කී කල්හි, පේදුරු කතා කොට, ”ස්වාමීනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිති”යි කී ය. 46 එහෙත්, ජේසුස් වහන්සේ, ”කවුරු නමුත් මගේ ඇඟට අත තැබී ය; මන්ද මගෙන් අනුහස නික්ම ගිය බව මට දැනුණේ ය”යි වදාළ සේක. 47 කරුණ හෙළි වූ බව දුටු ඒ ස්ත්‍රිය වෙවුලමින් අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී ඈ උන් වහන්සේට අත තැබුවේ මන්ද කියාත්, එකෙණෙහි ම ඈ සුව වූ හැටිත් මුළු සමූහයා ඉදිරියෙහි ප්‍රකාශ කළා ය. 48 දියණියෙනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.
49 උන් වහන්සේ මෙවදන් පවසද්දී ම, ධර්මශාලා නායකයාගේ ගෙදරින් කෙනෙක් අවුත්, ”ඔබේ දුව මළා ය; ගුරුදේවයන් නොවෙහෙසන්නැ”යි කී ය. 50 ජේසුස් වහන්සේ ඒ අසා, ”බිය නොවන්න, ඇදහිල්ලෙන් ම සිටින්න, ඈ සුව වනු ඇතැ”යි උත්තර දුන් සේක. 51 උන් වහන්සේ ගෙදරට පිවිසි කල, පේදුරු ද ජොහන් ද ජාකොබ් ද දැරියගේ පියා ද මව ද හැර අන් කිසිවෙකුට තමන් සමඟ ඇතුළු වන්න අවසර නුදුන් සේක. 52 සියල්ලෝ ම ඈ ගැන හඬමින් වැලපෙමින් සිටියහ. එහෙත්, උන් වහන්සේ කතා කොට, ”නාඬන්න, ඈ මැරී නැත, ඈ නිදන්නී ය”යි වදාළ සේක. 53 ඔව්හු ඈ මළ බව දැන උන් වහන්සේ උපහාසයට ලක් කළහ. 54 එහෙත්, උන් වහන්සේ ඇගේ අත අල්ලා, ”දැරිය නැඟිටින්නැ”යි ශබ්ද නඟා වදාළ සේක. 55 එවිට ඇගේ ප්‍රාණය නැවත ආයේ ය. ඈ එකෙණෙහි ම නැඟිට්ටා ය. ඇයට යමක් කන්න දෙන ලෙස උන් වහන්සේ අණ කළ සේක. 56 ඇගේ මවුපියෝ විස්මිත වූ හ; එහෙත්, මේ සිද්ධිය කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක.
– 9 වන පරිච්ඡේදය –
ධර්මදූත සේවාව
(මතෙව් 10:5-15; මාක් 6:7-13)
1 එකල උන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා, සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යය ද රෝග සුව කිරීමේ වරය ද පවරා දී 2 දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන පිණිසත්, රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යැවූ සේක. 3 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”චාරිකාව සඳහා කිසිවක් නොගන්න; සැරයටියක් වත්, මල්ලක් වත්, රොටි වත්, මිලමුදල් වත්, කමිස දෙකක් වත් නොගන්න. 4 ඔබ යම් කිසි නිවෙසකට පිවිසි කල, එතැනින් පිටත් ව යන තුරු එහි ම නැවතී සිටින්න. 5 ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද, ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, ඔබේ පාද යට තිබෙන ධූලි ගසා දමන්නැ”යි වදාළ සේක. 6 ඔව්හු පිටත් ව රට පුරා සුබ අස්න දේශනා කරමින් ද රෝග සුව කරමින් ද ගමින් ගමට ගියහ.
උප රජ හෙරොද්ගේ වියවුල
(මතෙව් 14:1-12; මාක් 6:14-29)
7 යුවරජ හෙරොද්, උන් වහන්සේ කළ සියල්ල අසා, අතිශයින් වියවුල් විය. එසේ වූයේ, ‘ජොහන් මළවුන් කෙරෙන් උත්ථාන වී ය’ කියාත්, 8 සමහරුන්, ‘එලියා පහළ වූයේ ය’ කියාත්, අන් සමහරුන්, ‘පෙර සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් උත්ථාන වී ය’ කියාත් කී බැවිනි. 9 එවිට හෙරොද්, ”මම ජොහන්ගේ හිස සිඳ දැමීමි; එහෙත්, මට සැළ වී ඇති මෙබඳු දේ කරන මේ තැනැත්තා කවරෙක් දැ”යි ඇසී ය. ඔහු උන් වහන්සේ දැකීමට වෑයම් කෙළේ ය.
පන්දහසකට කෑම දීම
(මතෙව් 14:13-21; මාක් 6:30-44; ජොහන් 6:1-14)
10 ප්‍රේරිතයෝ ආපසු පැමිණ, තමන් කළ සියලු දේ උන් වහන්සේට දැන් වූ හ. එවිට උන් වහන්සේ ඔවුන් වෙන්කොට බෙත්සයිදා නම් නුවරකට ඉවත් ව ගිය සේක. 11 එහෙත් සමූහයෝ එපවත් අසා උන් වහන්සේ පසුපස්සේ ගියහ, උන් වහන්සේ ඔවුන් පිළිගෙන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට වදාරා, සුවය අවශ්‍ය වූ අය සුව කළ සේක. 12 සවස් වේගෙන එත් ම, දොළොස් දෙනා උන් වහන්සේ වෙත අවුත්, ”මෙහි අප සිටින්නේ පාළු පෙදෙසක බැවින්, අවට නියම්ගම් හා ගොවි ජනපදවලට ගොස් නවාතැන් හා කෑම සපයාගන්නා පිණිස සමූහයා හැරිය මැනවැ”යි කී හ. 13 උන් වහන්සේ, ”ඔබ ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. ”අප ළඟ නම්, රොටි පහකට හා මසුන් දෙදෙනෙකුට වඩා නැත; කළ යුතු දේ නම්, අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිල දී ගැනීම ය”යි ඔව්හු කී හ. 14 එසේ කීවේ, පුරුෂයන් පන්දහසක් පමණ එහි සිටි බැවිනි. එවිට උන් වහන්සේ, ”ඔවුන් පණස් දෙනා බැගින් කාණ්ඩ වශයෙන් හිඳුවන්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක. 15 ඔව්හු එසේ කොට, හැම දෙන ම හිඳගන්න සැලැස්සූ හ. 16 එකල උන් වහන්සේ රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා, ආශීර්වාදය පවසා, ඒවා කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. 17 සියල්ලෝ ම කා තෘප්තියට පැමිණියහ. ඔවුන් කෑ පසු ඉතිරි වූ කැබලිවලින් කූඩා දොළොසක් රැස් කරගන්නා ලදී.
පේදුරුගේ මහා ප්‍රකාශනය
(මතෙව් 16:13-19; මාක් 8:27-29)
18 ඉන්පසු උන් වහන්සේ තනියම යාච්ඤා කරද්දී ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ සිටියහ. එවිට උන් වහන්සේ, ”මහජනයා මා කවරෙකැ යි කියද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 19 ඔව්හු, ”සමහරු ‘ස්නාවක-ජොහන් ය’ කියාත් සමහරු ‘එලියා ය’ කියාත් අන් සමහරු, ‘ආදියෙහි සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් නැවත උත්ථාන වී ය’ කියාත් කියති”යි පිළිතුරු දුන්හ. 20 ”එහෙත්, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය.
ජේසුස් වහන්සේ සිය මරණය හා පුනරුජ්ජීවනය ගැන කලින් කීම
(මතෙව් 16:20-28; මාක් 8:30-9.1)
21 උන් වහන්සේ මෙය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක. 22 තවද, ”මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණින් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ”යි වදාළ සේක.
23 ජේසුස් වහන්සේ සියල්ලන්ට කතා කොට, ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා, දිනපතා සිය කුරුසිය දරාගෙන මා අනුව ආවා වේ. 24 සිය ජීවිතය රැක ගන්න කැමැති යමෙක් වේ ද, ඔහු එය නැති කරගනියි; මා නිසා සිය ජීවිතය නැති කරගන්න යමෙක් වේ ද ඔහු එය රැකගනියි. 25 යමෙකු මුළු ලෝකය ලබාගත්තත් සිය ජීවිතය නැති කරගතහොත්, නැත්නම්, විනාශ කර- ගතහොත් ඔහුට කුමන ලාභයක් ද? 26 යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් තමන්ගේ ද පියාණන්ගේ ද ශුද්ධ දූතයන්ගේ ද තේජශ්‍රීයෙන් යුක්ත ව වඩිනා කල ඔහු ගැනත් ලජ්ජා වනු ඇත. 27 එහෙත්, මෙහි සිටින්නන්ගෙන් ඇතැමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින තුරු කිසි සේත් මරණයට පත් නොවන්නාහ යි ඒකාන්ත ලෙස මම ඔබට කියමි”යි වදාළ සේක.
රූප විපර්යාසය
(මතෙව් 17:1-8; මාක් 9:2-8)
28 මේ වචන පවසා අට දිනකට පමණ පසු උන් වහන්සේ පේදුරු ද ජොහන් ද ජාකොබ් ද කැඳවාගෙන යාච්ඤා කරන පිණිස කන්දට නැඟුණු සේක. 29 යාච්ඤා කරද්දී, උන් වහන්සේගේ මූණුවර වෙනස් විය; උන් වහන්සේගේ වස්ත්‍ර ධවල කාන්තියෙන් බැබළිණි. 30 හදිසියේ මනුෂ්‍යයෝ දෙදෙනෙක් උන් වහන්සේ සමඟ කතා කරමින් උන්හ. ඔව්හු නම්: මෝසෙස් සහ එලියා ය. 31 ඔව්හු තේජශ්‍රීයෙන් යුක්ත ව පෙනී උන් වහන්සේ ජෙරුසලමෙහි දී ඉටු කරන්න යන ජීවිත පූජාව ගැන කතා කරමින් සිටියහ. 32 පේදුරු ද ඔහු සමඟ වූවෝ ද නිදිබර ව උන්හ. එහෙත් ඔව්හු නින්දෙන් අවදි ව, උන් වහන්සේගේ තේජශ්‍රීය ද උන් වහන්සේ සමඟ සිටි මිනිසුන් දෙදෙනා ද දුටහ. 33 තවද, මෝසෙස් සහ එලියා උන් වහන්සේ වෙතින් වෙන් ව යද්දී, පේදුරු තමා කුමක් කියන්නේ දැ යි නොදැන, ”ස්වාමීනි, මෙහි සිටීම අපට වාසනාවකි. එබැවින් මණ්ඩප තුනක් සාදමු; එකක් ඔබට ය, එකක් මෝසෙස්ට ය; එකක් එලියාට ය”යි කී ය. 34 ඔහු මෙය කියද්දී ම වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. වලාකුළ ඔවුන් වසාගත් කල ඔව්හු භීතියට පත් වූ හ. 35 එවිට, ”මේ මාගේ පුත්‍රයාණෝ ය, මේ මා තෝරාගත් තැනැත්තාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි. 36 ඒ හඬ නැඟුණු කල ජේසුස් වහන්සේ පමණක් සිටිනු දක්නා ලදී. ඔව්හු නිහඬ ව සියැසින් දුටු කිසිවක් ඒ දවස්වල දී කිසිවෙකුට නොපැවසූ හ.
මීමැස්මොර රෝගී ළමයෙකු සුව කිරීම
(මතෙව් 17:14-18; මාක් 9:14-27)
37 පසුදින ඔවුන් කන්දෙන් බැස ආ කල උන් වහන්සේට මහ පිරිසක් හමු වූ හ. 38 ඒ පිරිසෙන් කෙනෙක් මොරගා, ”ගුරුදේවයෙනි, මාගේ පුත්‍රයා දෙස අනුකම්පාවෙන් බලාවදාරන මෙන් ඔබෙන් ඉල්ලමි. මේ මාගේ එක ම දරුවා ය. 39 ඔහුට ආත්මයක් ආවේශවෙයි, ඔහු හදිසියේ ම මොරගසයි. ඒ ආත්මය ඔහු පෙණ දමවමින්, සලිත කොට, බොහෝ සේ තළා පෙළා මිස, පහසුවෙන් ඔහු කෙරෙන් වෙන් ව නොය යි. 40 ඔහු දුරු කරන ලෙස ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලීමි. එහෙත් ඔවුන්ට නොහැකි වී ය”යි කී ය. 41 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”අහෝ! ඇදහිලි හීන මුරණ්ඩු පරම්පරාව, මා කොතෙක් කල් ඔබ සමඟ සිටිමින් ඔබ ගැන ඉවසන්න ද? ඔබේ පුත්‍රයා මෙහි ගෙනෙන්නැ”යි වදාළ සේක. 42 ඒ දරුවා එද්දී ම, දුෂ්ටාත්මය ඔහු බිම හෙළාදමා, දැඩි ලෙස ඔහු සලිත කෙළේ ය. එහෙත්, ජේසුස් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, දරුවාට සුවය දී, ඔහු පියාට භාර දුන් සේක. 43 ඔවුන් සියල්ලෝ ම දෙවියන් වහන්සේගේ මහානුභාව ගැන විස්මිත වූ හ.
මරණය හා පුනරුජ්ජීවනය ගැන යළිත් කලින් කීම
(මතෙව් 17:22-23; මාක් 9:30-32)
උන් වහන්සේ සිදු කළ සියල්ල ගැන හැම දෙනා ම පුදුම ව සිටිය දී, උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, 44 ”මා කියන දේ සාවධාන ව සිතට ගන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවා දෙනු ලබන සේකැ”යි වදාළ සේක. 45 එහෙත් ඔවුන්ට ඒ කීම අවබෝධ නො වී ය. එය ඔවුන්ට නොවැටහෙන ලෙසින් සැඟවී තිබිණි. ඔව්හු ඒ කීම ගැන උන් වහන්සේගෙන් ඇසීමටත් බිය වූ හ.
සැබෑ උතුම්කම
(මතෙව් 18:1-5; මාක් 9:33-37)
46 තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම තැනැත්තේ කවරෙක් දැ යි ඔවුන් අතර විවාදයක් මතු විය. 47 ජේසුස් වහන්සේ ඔවුන්ගේ සිත්හි නැඟුණු ඒ විවාදය දැන, කුඩා දරුවකු ගෙන තමන් ළඟ සිටුවා, 48 ”මාගේ නාමයෙන් මේ කුඩා දරුවා පිළිගන්න යමෙක් වේ ද, ඔහු මා පිළිගන්නේ ය; යමෙක් මා පිළිගන්නේ ද, ඔහු මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගන්නේ ය. කුමක් හෙයින් ද, ඔබ හැම අතර ඉතා ම සුළු තැනැත්තා ශ්‍රේෂ්ඨතම තැනැත්තා ය”යි වදාළ සේක.
අපට විපක්ෂ නොවන්නා අපට පක්ෂය
(මාක් 9:38-40)
49 ජොහන් කතා කරමින්, ”ස්වාමීනි, එක් මිනිසෙක් ඔබගේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අපේ පක්ෂයට අයිති නැති නිසා ඔහුට තහනම් කෙළෙමු”යි කී ය. 50 එහෙත් ජේසුස් වහන්සේ, ”තහනම් නොකරන්න, මන්ද; ඔබට විපක්ෂ නොවන තැනැත්තේ ඔබට පක්ෂ ය”යි වදාළ සේක.
සමාරීය ගමකින් විරෝධය
51 තවද, උන් වහන්සේගේ ස්වර්ගාරෝහණ දිනය ආසන්න වූ කල, උන් වහන්සේ ජෙරුසලම බලා යන අධිෂ්ඨානයෙන් 52 තමන්ට පෙරටුව දූතයන් යැවූ සේක. ඔව්හු ගොස් උන් වහන්සේට අවශ්‍ය දේ පිළියෙළ කරන පිණිස සමාරීයයන්ගේ ගමකට ඇතුළු වූ හ. 53 එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ. 54 උන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, ”ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. 55 උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක. 56 ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.
අනුගාමිකයන් වීමට නුසුදුස්සෝ
(මතෙව් 8:19-22)
57 ඔවුන් මඟ බැස යද්දී එක් මිනිසෙක්, ”ඔබ වහන්සේ යන ඕනෑ ම තැනකට වුව ද මමත් ඔබ අනුව එන්නෙමි”යි කී ය. 58 ජේසුස් වහන්සේ කතා කොට, ”හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට වත් තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක. 59 උන් වහන්සේ තව කෙනෙකුට, ”මා අනුව එන්නැ”යි වදාළ සේක. ඔහු: ”ස්වාමීනි පළමුකොට මාගේ පියා භූමදාන කරන පිණිස යන්නට මට අවසර දුන මැනවැ”යි කී ය. 60 උන් වහන්සේ උත්තර දෙමින්, ”මළවුන්ගේ භූමදානය මළවුන් ම කළා වේ; ඔබ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නැ”යි ඔහුට වදාළ සේක. 61 තවත් කෙනෙක්, ”ස්වාමීනි ඔබ අනුව එන්නෙමි; එහෙත් පළමුකොට මාගේ ගෙදර උදවියගෙන් සමු ගෙන ඊමට අවසර දුන මැනවැ”යි කී ය. 62 ජේසුස් වහන්සේ, ”නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැ”යි ඔහුට වදාළ සේක.
– 10 වන පරිච්ඡේදය –
සැත්තෑ දෙනාගේ ධර්මදූත මෙහෙය
1 ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් cසැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක. 2 උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ”ගොයම නම් බහුල ය. ගොවීහු විරල ය. එබැවින් ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන මෙන් ගොයමේ හිමියාණන්ට යාච්ඤා කරන්න. 3 ඉතින් යන්න. වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙන් මම ඔබ යවමි. 4 පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න. 5 ඔබ යම් ගෙදරකට ඇතුළු වූ කල, පළමුකොට ‘මේ ගෙදරට සාමය වේ වා!’යි පතන්න. 6 සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත. 7 ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙහෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න. 8 ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න. 9 එහි සිටින රෝගීන් සුව කරන්න. ‘දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණියේ ය’යි ඔවුන්ට ප්‍රකාශ කරන්න. 10 එහෙත් යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ නොපිළිගත්තොත්, ඒ නුවර වීදිවලට ගොස්, 11 ‘අපේ පාදවල වැකුණු මේ නුවර දූවිලි පවා ඔබට විරුද්ධ ව අපි ගසා දමමු; ඒ කෙසේ වුවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළං ව ඇති බව දැනගන්නැ’යි කියන්න. 12 මෙය මම ඔබට කියමි, ඒ දවසේ දී ඒ නුවරට වඩා සොදොමට සහනය ඇති වන්නේ ය.”
පසුතැවී සිත් හරවා නොගත් නුවරවලට විපත්
(මතෙව් 11:20-24)
13 ”එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්හි හා සීදොන්හි කළා නම්, මීට කලින් ගෝනි රෙදි හැඳ අළු තවරා ගෙන පසුතැවී සිත් හරවා ගැනීමට ඔවුන්ට ඉඩ තිබිණි. 14 එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය. 15 එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. 16 ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.”
සැත්තෑ දෙනා හැරී ඊම
17 ඉන්පසු dසැත්තෑ දෙනා ප්‍රීතියෙන් හැරී අවුත්, ”ස්වාමීනි, ඔබගේ නාමයේ අනුහසින් දුෂ්ටාත්මයෝ පවා අපට අවනත වෙති”යි කී හ. 18 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”සාතන් විදුලියක් මෙන් අහසින් වැටෙනු දිටිමි. 19 බලන්න, සර්පයන් ද ගෝනුස්සන් ද පාගන්ටත්, සතුරාගේ මුළු ශක්තිය මැඬලන්ටත් මා ඔබට බලය පවරා ඇත; කිසිවකින් ඔබට අනතුරක් නොවෙයි. 20 එසේ වුව ද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න; ඔබගේ නාම ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්නැ”යි වදාළ සේක.
දේවානාවරණය ගැන ජේසුස් වහන්සේගේ තුති පිදුම
(මතෙව් 11:25-27; 13:16-17)
21 ඒ පැයේ දී ම උන් වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණ වී උදන් අනමින්, ”ස්වර්ගයටත් පොළොවටත් අධිපති වූ පියාණෙනි, ඔබ මේ දේවල් පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ බැවින් ඔබට තුති පුදමි. එසේය පියාණෙනි, ඔබට ප්‍රිය මනාප වූයේත් එය ම ය. 22 මාගේ පියාණන් වහන්සේ සියල්ල ම මට පවරා දී තිබේ. පුත්‍රයාණෝ කවරෙක් දැ යි පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් නොදනිති. එසේ ම පුත්‍රයාණනුත්, පුත්‍රයාණන් විසින් පියාණන් වහන්සේ එළිදරව් කිරීමට තෝරාගනු ලැබූ අයත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ කවරෙක් දැ යි නොදනිති”යි වදාළ සේක. 23 එවිට උන් වහන්සේ ශ්‍රාවකයන් සමඟ තනියම සිටිය දී ඔවුන්ට කතා කොට, ”ඔබ නරඹන දේ දකින ඇස් භාග්‍යවන්ත ය. 24 මෙය මම ඔබට කියමි, ඔබ දකින දේ දකින්ටත්, ඔබ අසන දේ අසන්ටත් බොහෝ දිවැසිවරු ද රජවරු ද අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් ඔවුන් එය දුටුවේ වත් නැත, ඇසුවේ වත් නැතැ”යි වදාළ සේක.
යහපත් සමාරියයා
25 එක්තරා විනයධරයෙක් නැඟිට, උන් වහන්සේ පරීක්ෂා කරමින් ”ගුරුදේවයෙනි, සදාතන ජීවනය හිමි කරගනු සඳහා මා කුමක් කටයුතු දැ”යි ඇසී ය. 26 උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, ”ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේ කිමෙක් ද? ඔබ එය තේරුම්ගන්නේ කෙසේ දැ”යි ඇසූ සේක. 27 ඔහු උත්තර දෙමින්, ”නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත්, නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි” කී ය. 28 උන් වහන්සේ, ”ඔබේ උත්තරය හරි ය. එසේ කරන්න, එවිට ඔබ ජීවත් වන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 29 එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්ට කැමැති ව ”මාගේ අසල්වැසියා කවරෙක් දැ”යි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය.
30 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: ”එක් මිනිසෙක් ජෙරුසලමෙන් ජෙරිකෝව බලා යද්දී, සොර මුළකට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට තළා පෙළා, ඔහු අඩ පණ කොට දමා යන්නට ගියහ. 31 ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. 32 එසේ ම ලෙවීයයෙක් ද, එතැනට පැමිණ ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. 33 එහෙත්, ඒ මඟින් ගමන්ගත් එක් සමාරිය ජාතික මිනිසෙක් ඔහු හුන් තැනට අවුත්, ඔහු දැක, අනුකම්පා උපදවා, 34 ඔහු වෙතට ගොස්, තෙල් හා මිදියුස ගල්වා, තුවාළ බැඳ, තමාගේ ම මෘගයා පිට හිඳුවා, තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේ ය. 35 පසුවදා ඔහු රිදී කාසි දෙකක් ගෙන තානායම්කාරයාට දී, ‘මොහු බලාගන්න; මෙයට වැඩියෙන් ඔබ වියදම් කරන යම් තරමක් ඇද්ද, නැවත ආ විට මම එය ඔබට ගෙවන්නෙමි’යි කී ය. 36 ඉදින් සොරුන් අතට අසුවූ ඒ තැනැත්තාට මෙකී තිදෙනාගෙන් අසල්වැසියා වූයේ කවරෙක් ද කියා ඔබ සිතන්නෙහි ද? 37 ”ඔහුට දයාව දැක්වූ තැනැත්තා ය”යි විනයධරයා කී ය. ”ඔබත් ගොස් එසේ ම කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.
මාර්තා සහ මරියා
38 තවද ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ යද්දී, උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ සේක. එවිට මාර්තා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන් වහන්සේ පිළිගත්තා ය. 39 ඇයට මරියා නම් සහෝදරියක් වූවා ය. ඈ සමිඳාණන් වහන්සේගේ පාමුල හිඳ උන් වහන්සේගේ ඉගැන්වීමට සවන් දුන්නා ය. 40 එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩි වීමෙන් කරදර වී සිටියා ය. ඈ උන් වහන්සේ වෙතට පැමිණ, ”ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මා පිට ම පවරා සිටින හැටි ඔබ සලකන්නේ නැද් ද? එබැවින් මට උදව් කරන්නට ඈට කිව මැනවැ”යි කීවා ය. 41 එහෙත් සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, ”මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නළංගු වන්නෙහි ය. 42 එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත; එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ ය”යි වදාළ සේක.
– 11 වන පරිච්ඡේදය –
යාච්ඤාව පිළිබඳ අනුශාසනා
(මතෙව් 6:9-13; 7:7-11)
1 උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, ”ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ”යි කීවේ ය. 2 උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ”ඔබ යාච්ඤා කරන කල මෙසේ කියන්න:
‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා.
3 අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව.
4 අපේ පව් අපට කමා කළ මැනව;
මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි.
අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ ”
5 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, ”ඔබ අතර මිතුරෙකු ඇති තැනැත්තෙක් මහ රෑ ඔහු වෙත ගොස්, ‘මිත්‍රය, මට රොටි තුනක් දෙන්න; 6 ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා වෙත අවුත් සිටියි; ඔහුට දෙන්න කිසිවක් මා ළඟ නැතැ’යි කියන්නේ නම්, 7 ගේ ඇතුළේ සිට ඒ මිතුරා, උත්තර දෙමින්, ‘මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ; මාගේ දරුවෝ ද මා සමඟ ඇඳේ නිඳා සිටිති; නැඟිට යමක් ඔබට දෙන්නට නොහැකි ය’යි කියයි ද? 8 මම ඔබට මෙය කියමි, ඔහු සිය මිත්‍රකම සලකා නැඟිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත් ඔහුගේ ලජ්ජා නැති පෙරැත්තය නිසා නැඟිට, වුවමනා පමණ ඔහුට දෙනු ඇතැ”යි වදාළ සේක. 9 ”මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. 10 මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ. 11 ඔබ අතරෙන් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු ඉල්ලූ විට මාළුවා වෙනුවට සර්පයෙකු දෙයි ද? 12 නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගෝනුස්සකු දෙයි ද? 13 මෙසේ අයහපත් වූ ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?”
ජේසුස් වහන්සේ සහ දුෂ්ටාත්මාධිපතියා
(මතෙව් 12:22-30; මාක් 3:20-27)
14 වරක්, උන් වහන්සේ ගොළු දුෂ්ටාත්මයෙකු දුරු කරමින් සිටි සේක. දුෂ්ටාත්මය දුරුවෙත් ම ගොළු මිනිසා කතා කෙළේ ය. සමූහයෝ පුදුම වූ හ. 15 එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් කතා කොට, ”මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපති වූ බෙල්සෙබුල්ගේ අනුහසින් ය”යි කී හ. 16 අන් සමහරු උන් වහන්සේ වචනයකින් අල්ලාගන්න පිණිස, ස්වර්ගයෙන් හාස්කමක් උන් වහන්සේගෙන් ඉල්ලූ හ. 17 උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන මෙසේ වදාළ සේක: ”ඊට ම විරෝධී ව භේද වූ යම් රාජ්‍යයක් ඇද්ද එය පාළු වන්නේ ය, ඊට ම විරෝධී ව භේද වූ යම් ගෙදරක් ඇද්ද එය පිරිහී යන්නේ ය. 18 සාතන් ඔහුට ම විරෝධී ව භේද ව සිටී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් යයි ඔබ කියන්නාහු ය. 19 එහෙත් මම බෙල්සෙබුල්ගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, ඔබගේ අනුගාමිකයෝ කවරකුගේ අනුහසින් ඔවුන් දුරු කරද් ද? මෙලෙස ඔබේ අනුගාමිකයෝ ම ඔබේ තර්කය බිඳදමති. 20 එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, සැබැවින් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත. 21 අවිආයුධ ගත් බලවන්තයකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපළ සුරක්ෂිත ව ඇත. 22 එහෙත් ඔහුට වඩා බලවන්තයෙක් අවුත් ඔහු මැඩපවත්වන්නේ නම්, ඔහු විශ්වාසය තැබූ ආයුධ පැහැරගෙන, කොල්ලකාගත් දේ බෙදාගන්නේ ය. 23 මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.”
අශුද්ධාත්මය පෙරළා පැමිණීම
(මතෙව් 12:43-45)
24 ”අශුද්ධාත්මය මිනිසකුගෙන් දුරු ව ගිය කල, ඔහු දිය නැති තැන්වල සැරිසරමින්, නවාතැනක් සොයන්නේ ය, එය නොලදහොත් ‘මා නික්ම ආ මාගේ නිවසට ආපසු යමි’යි කියන්නේ ය. 25 ඔහු එහි පැමිණි කල, නිවස අතුගා අස්පස් කොට තිබෙනු දකියි. 26 එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වූ තවත් ආත්මයන් සත් දෙනෙකු තමා කැටුව ගෙන එන්නේ ය. ඔව්හු ඒ නිවසට පිවිස එය අරක්ගනිති. එවිට ඒ පුද්ගලයාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය.”
සැබෑ සැපත
27 උන් වහන්සේ මෙවදන් පවසද්දී, සමූහයා කෙරෙන් එක් ස්ත්‍රියක් හඬනඟා, ”ඔබ දැරූ කුසය ද ඔබට කිරි දුන් පියයුරු ද භාග්‍යවන්ත ය”යි උන් වහන්සේට කීවා ය. 28 උන් වහන්සේ ද, ”එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.
හාස්කමක් ඉල්ලීම
(මතෙව් 12:38-42; මාක් 8:12)
29 සමූහයා උන් වහන්සේ වෙත රැස් කකා එද්දී උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මේ පරම්පරාව නපුරු එකකි; ඔව්හු හාස්කමක් සොයති. එහෙත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත. 30 ජෝනා නිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වී ද එසේ ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ මේ පරම්පරාවට ලකුණක් වන සේක. 31 දේව විනිශ්චය දවසේ දී, දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යයන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් වරදට පත් කරන්නී ය; ඈ සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාන්තවල සිට පැමිණියා ය. බලන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ. 32 නිනිවයේ මනුෂ්‍යයෝ විනිශ්චය දවසේ දී මේ පරම්පරාව සමඟ නැඟී සිට ඔවුන් වරදට පත් කරන්නෝ ය; මන්ද, ජෝනාගේ ධර්ම දේශනා අසා ඔව්හු පසුතැවී සිත් හරවා ගත්හ. බලන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ.”
සිරුරට පහන ඇස ය
(මතෙව් 5:15, 6:22-23)
33 ”යමෙක් පහනක් දල්වා ඇතුළු වන අයට එළිය දෙන පිණිස පහන්රුක මත තබනු මිස මුල්ලක වත්, බඳුනක් යට වත් එය නොතබයි. 34 ඔබේ සිරුරට පහන ඔබේ ඇස ය; ඇස් පෙනුම හොඳ නම් ඔබේ මුළු සිරුර ආලෝකවත් ය; ඇස් පෙනුම අඳුරු නම්, ඔබේ සිරුර අඳුරු වේ. 35 එබැවින් ඔබ තුළ ඇති එළිය අඳුරු නොවන ලෙස බලාගන්න. 36 එහෙයින් ඔබේ මුළු සිරුර කිසිදු අඳුරක් නැති ව බැබළේ නම්, දීප්තියෙන් දිළෙන පහනක් ඔබට එළිය දෙන්නාක් මෙන්, එය සම්පූර්ණයෙන් ම එළිය වන්නේ ය.”
පරිසිවරයන්ට හා විනයධරයන්ට තරවටු
(මතෙව් 23:1-36; මාක් 12:38-40; ලූක් 20:45-47)
37 උන් වහන්සේගේ දේශනාවෙන් පසු එක් පරිසිවරයෙක් තමා සමඟ කෑමට වඩින මෙන් උන් වහන්සේට ආරාධනා කෙළේ ය. උන් වහන්සේ ඇතුළු ව කෑමට වැඩහුන් සේක. 38 කෑම කන්නට පළමු ව උන් වහන්සේ අත් සේදීමේ පිළිවෙත ඉටු නොකළ බැව් දුටු පරිසිවරයා පුදුම විය. 39 සමිඳාණන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක: ”පරිසිවරුනි, ඔබ කෝප්පයේ ද පිඟානේ ද පිටපැත්ත සෝදා පිරිසුදු කරන්නාහු ය; එහෙත් ඔබගේ ඇතුළත තණ්හාවෙන් ද දුෂ්ට චේතනාවෙන් ද පිරී ඇත. 40 අඥානයෙනි, පිටපැත්ත මැවූ තැනැන් වහන්සේ ඇතුළු පැත්තත් නොමැවූ සේක් ද? 41 එසේ නම් ඔබට ඇති දෙයින් දන් දෙන්න. එවිට සියල්ල ම ඔබට පිරිසුදු වන්නේ ය.
42 ”පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ සුවඳතලාවලින් ද සුදුදුරුවලින් ද සියලු පලාවලින් ද දසයෙන් කොටස දෙන නමුත් යුක්ති ධර්මය ද දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද නොසලකා හරින්නාහු ය. ඔබ කළ යුතු ව තිබුණේ ඒ දේත් හැර නොදමා මේ දේත් ඉටු කිරීම ය. 43 පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ ධර්මශාලාවල දී උසස් ආසන ද වෙළෙඳාම් පළවල දී ගෞරවාචාර ද ලැබීමට ආශා ඇත්තාහු ය. 44 ඔබට වන විපතක මහත! ඔබ නොපෙනෙන සොහොන් ගෙවලට සමාන ය; ඒ මත ඇවිදින අය, නොදැන එසේ කරති.”
45 විනයධරයන්ගෙන් එක් තැනැත්තෙක් උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, ඔබ මෙසේ කීමෙන් අපටත් අපහාසයක්, කරන සේකැ”යි කී ය. 46 උන් වහන්සේ ඔහුට මෙසේ පිළිතුරු දුන් සේක: ”විනයධරයෙනි, ඔබට වන විපතක මහත! ඉසිලිය නොහැකි බර ඔබ මිනිසුන් පිට පටවන්නාහු ය. එහෙත් ඒ බරට ඔබගේ එක ඇඟිල්ලක් වත් නොතබන්නාහු ය. 47 ඔබට වන විපතක මහත! ඔබගේ පියවරුන් අතින් මැරුම්කෑ දිවැසිවරයන්ගේ සොහොන් කොත් ඔබ ගොඩනඟන්නාහු ය. 48 එසේ කිරීමෙන් ඔබගේ පියවරුන්ගේ ඒ ක්‍රියා ඔබ අනුමත කරන බව සහතික කරන්නාහු ය; ඔව්හු ඔවුන් මැරූ හ. ඔබ ඔවුන්ගේ සොහොන් කොත් ගොඩනඟන්නාහු ය. 49 එහෙයින් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පවසන ලෙස: ‘දිවැසිවරයන් ද ප්‍රේරිතයන් ද ඔවුන් වෙත යවන්නෙමි; මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් ඇතැමෙකුට තළා පෙළා ඇතැමෙකු මරාදමති.’ 50 මෙසේ ආබෙල්ගේ මරණයේ පටන්, පූජාසනය හා ශුද්ධස්ථානය අතර මරන ලද සෙකරියස්ගේ මරණය දක්වා, 51 ලෝකය මැවීමේ සිට වගුරුවන ලද සියලු දිවැසිවරයන්ගේ ලේ ගැන මේ පරම්පරාව වගකිව යුතු ය. එසේ ය, මේ පරම්පරාව ඒ ගැන වගකිව යුතු යයි මම ඔබට කියමි. 52 විනයධරයෙනි, ඔබට වන විපතක මහත! විද්‍යාවේ යතුරු ඔබ ගෙන ගියාහු ය; එහෙත් ඔබ ම ඇතුළු නොවූවහු ය; ඇතුළු වන්නන් ද වළක්වාලූවහු ය.”
53 උන් වහන්සේ එතැනින් ආ කල්හි විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගනු වස් මාන බලමින්, 54 බොහෝ දේ ගැන, විවාදයට පොළඹවනු පිණිස උන් වහන්සේ අවුස්සාලීමට පටන්ගත්හ.
– 12 වන පරිච්ඡේදය –
කුහකකම හෙළා දැකීම
(මතෙව් 10:26-27)
1 ඒ අතරතුරේ දී ඔවුනොවුන් පෑගෙන තරමට දහස් ගණන් සමූහයක් රැස් ව සිටිය දී, උන් වහන්සේ පළමුකොට සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාරන්න පටන්ගත් සේක: ”පරිසිවරුන්ගේ කුහකකම නමැති මුහුන්වලින් පරෙස්සම් වන්න. 2 සැඟවී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ; සෑම රහසක් ම ප්‍රකාශ කරනු ලැබේ. 3 එබැවින් ඔබ අඳුරෙහි පැවසූ දේ එළියෙහි අසන්න ලැබේ; ඇතුළු ගබඩා වල දී කනට කොඳුරන ලද දෙය පියසි මුදුනෙන් පළ කරනු ලැබේ.”
බිය විය යුතු කාට ද?
(මතෙව් 10:28-31)
4 ”මාගේ මිත්‍රවරුනි, ශරීරය නසා ඉන්පසු අන් කිසිවක් කළ නොහැකි අයට බිය නොවන්නැ යි මම ඔබට කියමි. 5 එහෙත් ඔබ බිය විය යුත්තේ කවරකුට දැ යි මම ඔබට පෙන්වමි. ඔබ නැසුණු පසු නිරයේ හෙළීමට බලය ඇති තැනැන් වහන්සේට බිය වන්න; එසේ ය, උන් වහන්සේට බිය වන්නැ යි මම ඔබට කියමි.
6 ”තුට්ටු දෙකකට ගේකුරුල්ලන් පස් දෙනෙකු විකුණනවා නොවේ ද? දෙවියන් වහන්සේ උන්ගෙන් එකකු වත් අමතක නොකරන සේක. 7 ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න; ඔබ ගේකුරුල්ලන් රාශියකට වඩා අගනේ ය.”
ක්‍රිස්තුන් වහන්සේ පිළිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම
(මතෙව් 10:32-33; 12:32; 10:19-20)
8 ”තවද යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝත් දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන සේක. 9 එහෙත්, මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන තැනැත්තේ දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි දී ප්‍රතික්ෂේප කරනු ලැබේ යයි මම ඔබට කියමි. 10 මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව යමක් කියන කවරෙකුට වුව ද කමාව ලැබෙන්නේ ය; එහෙත් ශුද්ධාත්මයාණන්ට, විරුද්ධ ව අපහාස කරන්නාට නම් කමාවක් නොලැබෙන්නේ ය. 11 ඔවුන් ධර්මශාලාවලට ද අධිපතීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ද ඔබ ගෙන යන කල, ඔවුන්ට උත්තර දෙන්නේ කෙසේ ද කියා වත්, කියන්නේ කුමක් ද කියා වත්, සිතමින් කරදර නොවන්න. 12 ඔබ කිය යුතු දේ ඒ මොහොතේ දී ම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට දන්වනු ඇත.”
පොහොසත් මෝඩයා පිළිබඳ උපමාව
13 සමූහයා අතරෙන් එක් තැනැත්තෙක් කතා කොට, ”ගුරුදේවයෙනි, මා සමඟ අපේ උරුමය බෙදාගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ”යි උන් වහන්සේට කී ය. 14 එහෙත් උන් වහන්සේ කතා කරමින්, ”මිත්‍රය, ඔබ කෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපළ බදෙන්නකු කොට මා පත් කෙළේ කවරෙක් දැ”යි ඔහුගෙන් ඇසූ සේක. 15 ”තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාළ සේක; 16 ”එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇති විය. 17 එවිට ඔහු තම සිතින් කල්පනා කරමින්, මම කුමක් කරම් ද? මාගේ භවභෝග රැස් කර තබන්න ඉඩකඩ නැත. 18 මම මෙසේ කරමි: මාගේ අටුකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්‍ය රැස් කොට තබා, 19 ‘අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස් කොට තිබේ. විවේක සුවයෙන් කා බී ප්‍රීති වන්නැ’යි මට ම කියාගනිමි. 20 එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක. 21 දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොහොසත් නොවී තමාට ම වස්තු රැස් කරගන්නා අය එවැනි ය.”
පෞද්ගලික ඕනෑකම් ගැන කරදර වීම
(මතෙව් 6:25-34; 19-21)
22 තවද උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාරන සේක්: ”එහෙයින් මම ඔබට කියමි, කුමක් කමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. 23 කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද උතුම් ය. 24 කපුටන් ගැන කල්පනා කරන්න: උන් වපුරන්නේ නැත, කපන්නේත් නැත, උන්ට අටුකොටු නැත, ගබඩාවක් ද නැත. එහෙත් දෙවියන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ පක්ෂීන්ට වඩා කොතරම් අගනේ ද? 25 සිත් තැවුළෙන් ඔබගේ ආයු ප්‍රමාණය eදික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද? 26 ඉදින් එවැනි සුළු දෙයක් වත් කරගන්නට ඔබට නොහැකි නම්, ඔබ අනෙක් කාරණා ගැන කරදර වන්නේ මන් ද? 27 මානෙල් මල් ගැන කල්පනා කරන්න; ඒවා නූල් කටින්නේ වත් වියන්නේ වත් නැත. එහෙත්, තමාගේ සකල රාජ තේජසින් සැරසී සිටි සලමොන් වුව ද මානෙල් මලක් සේ, විරාජමාන නොවී යයි මම ඔබට කියමි. 28 ඇදහිලි හීන තැනැත්තෙනි! කෙතෙහි අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තෘණ දෙවියන් වහන්සේ මෙසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් ඔබ නොසරසන සේක් ද? 29 එබැවින් ඔබ කුමක් කන්නේ ද කියා වත්, කුමක් බොන්නේ ද කියා වත් සොයමින් කරදර නොවන්න. 30 මේ සියල්ල ලෝකයේ සියලු ජාතීහු මුළු සිතින් සොයා යති; මේ දේවල් ඔබට අවශ්‍ය බව ඔබේ පියාණන් වහන්සේ දන්නා සේක. 31 එසේ නොව උන් වහන්සේගේ රාජ්‍යය සොයා යන්න, එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ.
32 ”කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක. 33 ඔබ සතුදේ විකුණා දන් දෙන්න; නොදිරන පසුම්බි ද නොපිරිහෙන වස්තු ද ස්වර්ගයෙහි ඔබට සපයාගන්න. එහි දී ඒවාට සොරු ළං නොවෙති, කාවෝ ද නාස්ති නොකරති. 34 මන්ද, ඔබගේ වස්තුව කොතැන ද, ඔබගේ සිතත් එතැන ම ය.”
විශ්වාසදායක දාසයෝ
35 ”ඔබගේ ඉඟ පටි බැඳගන්න, පහන් ද දල්වා තබාගන්න. 36 තම ස්වාමියා සරණ මංගල්‍යයෙන් පසු, පෙරළා අවුත් දොරට තට්ටු කළ වහා ම දොර හරිනු වස් ඔහුගේ ඊම බල බලා සිටින මනුෂ්‍යයන් හා සමාන ව සිටින්න. 37 ස්වාමියා එන කල දාසයන් අවදි ව සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔහු තමාගේ ඉඟ පටිය බැඳ ඔවුන් කෑමට හිඳුවා ඔවුන්ට උපස්ථාන කරන්නේ ය. 38 ඔහු දෙ වන යාමයේ දී හෝ තුන් වන යාමයේ දී හෝ අවුත් එලෙස ම දකින්නේ නම් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. 39 එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා හිඳ, තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. 40 එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. මෙසේ කියන්නේ, ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින නිසා ය.”
විශ්වාසී හා අවිශ්වාසී දාසයෝ
(මතෙව් 24:45-51)
41 එවිට පේදුරු කතා කරමින්, ”ස්වාමීනි, මේ උපමාව වදාරන්නේ අප උදෙසා ද, නැතහොත් සියල්ලන් උදෙසා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 42 එවිට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: ”ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක් ද? 43 ස්වාමියා ආ කල යම් දාසයකු සිය සේවයෙහි සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය. 44 ඒ ස්වාමියා තමා සන්තක සියල්ල භාර ව ඔහු පත් කරන්නේ යයි ඇත්තෙන් ම මම කියමි. 45 එහෙත් ඒ දාසයා, ‘මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැ’යි සිතමින් දැසිදසුන්ට පහර දෙන්නටත් කා බී මත් වන්නටත් පටන් ගතහොත්, 46 ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී ඒ දාසයාගේ ස්වාමියා අවුත් ඔහුට දරුණු ලෙස දඬුවම් කොට, අවිශ්වාසීන්ට නියම ඉරණම ඔහුටත් නියම කරන්නේ ය. 47 සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය. 48 එහෙත් ඒ අදහස නොදැන, පහර ලැබීමට නිසි දේ කළ අය ස්වල්ප වශයෙන් පහර ලබන්නෝ ය. යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ ද, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ; යමෙකුට බොහෝ දේ පවරන ලද්දේ ද, ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වනු ලැබේ.”
භේදයට හේතුව ජේසුස් වහන්සේ ය
(මතෙව් 10:34-36)
49 ”පොළොව මත ගිනි ලන්න ආවෙමි. ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ද! 50 මට එක්තරා බව්තීස්ම-ස්නාපනයක් ලබන්න තිබේ; එය ඉටු වන තුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි. 51 පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමි යි ඔබ සිතන්නාහු ද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිස යයි මම ඔබට කියමි. 52 මෙවක් පටන් එක ගෙදර වසන පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධ ව තිදෙනෙක් ද තිදෙනෙකුට විරුද්ධ ව දෙදෙනෙක් ද භේද වන්නෝ ය. 53 පියා පුතාටත්, පුතා පියාටත්, මව දුවටත්, දුව මවටත්, නැන්දම්මා ලේලිටත්, ලේලිය නැන්දම්මාටත් විරුද්ධ ව භේද වන්නෝ ය.”
අවස්ථාව තේරුම්ගැනීම
(මතෙව් 16:2-3)
54 තවද උන් වහන්සේ සමූහයන්ට කතා කොට, ”අවර දිගින් වලාකුළක් නඟිනු ඔබ දක්නා විට, ‘වර්ෂාවක් එන්නේ ය’යි ඔබ එවේලේ ම කියන්නහු ය; එසේ ම වහින්නේ ය. 55 දකුණු දිගින් සුළඟ හමන විට, ‘දැඩි ග්‍රීෂ්මයක් වන්නේ ය’යි ඔබ කියන්නහු ය; එසේ ම වන්නේ ය. 56 කෛරාටිකයෙනි, අහසේ ද පොළොවේ ද ලකුණු තෝරා දීමට ඔබ දන්නාහු ය; එහෙත් මේ නියමිත මොහොත ඔබ නොදන්නේ කෙසේ ද?”
පැමිණිලිකරු සමඟ සමඟි වීම
(මතෙව් 5:25-26)
57 ”හරි දෙය කුමක් දැ යි ඔබ ම විනිශ්චය නොකරන්නේ මන් ද? 58 ඔබේ පැමිණිලිකාරයා සමඟ උසාවියට යන විට, මඟ දී ම ඔහු සමඟ බේරුමක් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි ගන්න. එසේ නොකළොත් සමහරවිට ඔහු ඔබ නඩුකාරයා වෙත ඇදගෙන යන්නේ ය; නඩුකාරයා ද ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; උසාවියේ නිලධාරියා ඔබ හිරගෙට යවන්නේ ය. 59 අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.”
– 13 වන පරිච්ඡේදය –
පසුතැවී සිත් හරවා නොගැනීමේ විපත
1 ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම යාග සමඟ මිශ්‍ර කළ අන්දම ගැන උන් වහන්සේට දැන්වූ හ. 2 උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ”ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔව්හු අන් හැමට ම වඩා පාපී වූ හ යි ඔබ සිතන්නහු ද? එසේ නොවේ ය යි මම ඔබට කියමි. 3 පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැම ද එසේ ම විනාශ වන්නහු ය. 4 සිලෝවම් හී බලකොටුව වැටී ඊට යට වී මළ දසඅට දෙන ජෙරුසලමෙහි විසූ අන් හැමට ම වඩා දුෂ්ට වූ හ යි ඔබ සිතන්නාහු ද? 5 එසේ නොවේ ය යි ඔබට කියමි. පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැමට වන්නේත් එම විපත්තිය ම ය”යි වදාළ සේක.
පලදාව නැති අත්තික්කා ගස ගැන උපමාව
6 උන් වහන්සේ උපමාවක් වදාරමින්, ”එක් මිනිසකුගේ මිදි වත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේ ය. එහෙත් කිසිවක් සම්බ නො වී ය. 7 එවිට ඔහු උයන්ගොව්වාට කතා කරමින්, ‘බලන්න, දැන් අවුරුදු තුනක් ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ නො වී ය. ගස කපා දමන්න; එය පොළොවට බරක් ව තිබිය යුතු මන්දැ’යි කී ය. 8 ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණා වේ. 9 ඉන්පසු පල දැරුවොත් හොඳ ය; නැති නම් එය කපා දමන්නට පුළුවනැ’ ”යි කී බව වදාළ සේක.
කුදු ස්ත්‍රිය සබත් දින දී සුව කිරීම
10 උන් වහන්සේ සබත් දිනක එක් ධර්මශාලාවක අනුශාසනා කරමින් සිටි සේක. 11 එහි දසඅට වසක් තිස්සේ අශුද්ධාත්මයක් නිසා දුර්වලකමින් පෙළුණු, කොයි අන්දමකින් වත් කෙළින් වෙන්නට බැරි ස්ත්‍රියක් වූවා ය. 12 ජේසුස් වහන්සේ ඈ දැක කැඳවා, ”ස්ත්‍රිය, ඔබේ දුර්වල කමින් ඔබ මිදුණෙහි ය”යි කියා 13 ඈ පිට අත් තැබූ සේක. එකෙණෙහි ම ඈ කෙළින් සිට, දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා ය. 14 ජේසුස් වහන්සේ සබත් දිනයේ දී සුව කළ බැවින් ධර්මශාලා නායකයා කෝප ව සමූහයා අමතා, ”වැඩපල සඳහා සදවසක් ඇත. සබත් දිනයේ නොව වෙන දවස්වල අවුත් සුවය ලබාගන්නැ”යි ඔවුන්ට කී ය. 15 සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, ”කෛරාටිකයෙනි, ඔබ හැම කෙනෙකු ම සබත් දිනයේ දී තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර දීමට ගෙන යනවා නොවේ ද? 16 එසේ නම්, දසඅට වසක් තිස්සේ සාතන් විසින් බඳිනු ලැබ සිටි, ආබ්‍රහම්ගේ දියණියක වූ මේ ස්ත්‍රිය ඒ බන්ධනයෙන් සබත් දිනයේ දී මුදන්න යුතු ව තිබුණා නොවේ දැ”යි වදාළ සේක. 17 මෙසේ වදාළ විට උන් වහන්සේගේ සියලු විරුද්ධවාදීහු ලජ්ජාවට පත් වූ හ. මුළු සමූහයා ද උන් වහන්සේ කළ මහිමාන්විත ක්‍රියා සියල්ල ගැන අමන්දානන්දයට පත් වූ හ.
අබ ඇටය සහ මුහුන් පිළිබඳ උපමා
(මතෙව් 13:31-33; මාක් 4:30-32)
18 උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන ද? එය කුමකට උපමා කරම් ද? 19 එක්තරා මිනිසෙකු තම වත්තෙහි රෝපණය කළ පසු වැඩී, මහ ගසක් වූ අබ ඇටයකට එය සමාන ය. අහසේ කුරුල්ලෝ අවුත් එහි අතු පතරෙහි ලැගුම් ගත්හ”යි වදාළ සේක. 20 යළිදු උන් වහන්සේ කතා කොට, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට උපමා කරම් ද? 21 ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් මුළුමනින් ම පිපෙනතෙක් එහි දමන ලද මුහුන් පිඬකට එය සමාන ය”යි වදාළ සේක.
ජීවනයේ පටු මඟ
(මතෙව් 7:13-14, 21-23)
22 උන් වහන්සේ ජෙරුසලම බලා යද්දී නගර හා ගම් නියම්ගම් මැදින් අනුශාසනා කරමින් වැඩි සේක. 23 එක් කෙනෙක් කතා කොට, ”ස්වාමීනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: 24 ”පටු දොරෙන් ඇතුළු වන්නට වීර්ය කරන්න. මන්ද, බොහෝ දෙනෙක් ඇතුළු වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේ ය යි මම ඔබට කියමි. 25 ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත. 26 එවිට ඔබ: ‘අපි ඔබ සමඟ කෑවෙමු, බීවෙමු, ඔබ අපේ වීදිවල ඉගැන්වූ සේකැ’යි කියන්නහු ය. 27 එහෙත් ඔහු කතා කොට, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි මම නොදනිමි. අදමිටුකම් කරන නුඹලා සියලු දෙනා ම මා කෙරෙන් පලා යව්’ යයි කියන්නේ ය. 28 ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සියලු දිවැසිවරයන් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි සිටිය දී ඔබ පිටතට දමනු ලබන කල එහි විලාප කීම ද දත්මිටිකෑම ද ඇති වේ. 29 තවද, මනුෂ්‍යයෝ පෙරදිගින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මංගල භෝජනයට අසුන් ගන්නෝ ය. 30 මෙන්න, දැන් අන්තිමයන් ව සිටින සමහරු ප්‍රථමයෝ ද දැන් ප්‍රථමයන් ව සිටින සමහරු අන්තිමයෝ ද වන්නෝ ය.”
ජෙරුසලම ගැන අඳෝනා
(මතෙව් 23:37-39)
31 ඒ මොහොතේ දී ම පරිසිවරුන්ගෙන් සමහරෙක් පැමිණ, ”මෙතැනින් අහක් ව ගිය මැනව. මන්ද, හෙරොද් ඔබ මරනු රිසියෙන් සිටින්නේ ය”යි කී හ. 32 උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”ඔබ ගොස් ඒ හිවලාට මෙසේ කියන්න: අදත්, හෙටත් මම දුෂ්ටාත්මයන් දුරු කොට රෝග සුව කරමි. තුන් වැනිදා මාගේ පරමාර්ථය මුදුන් පත් කරගන්නෙමි, 33 එසේ වුව ද, අදත්, හෙටත්, අනිද්දාත් මා චාරිකාවෙහි යෙදිය යුතු ය: කුමක් හෙයින් ද, දිවැසිවරයෙකුගේ මරණය ජෙරුසලමෙන් පිටත දී සිදුවිය නොහැකි ය.”
34 ”අහෝ! ජෙරුසලම, දිවැසිවරයන් නසන, තී වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන්, තිගේ දරු කැල එක්රැස් කරගන්නට මම කී වරක් කැමැති වීම් ද? එහෙත් ඔබ කැමැති වූයේ නැත. 35 බලන්න, ඔබේ දේව මාලිගාව පාළු කරදමා තිබෙන හැටි! තවද, ‘සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාට ආසිරි වේ වා’යි පවසන තුරු ඔබ මා යළි නොදක්නහු ය යි මම ඔබට කියමි.”
– 14 වන පරිච්ඡේදය –
දිය උදර රෝගියෙකුට සුවය
1 සබත් දිනක උන් වහන්සේ නායක පරිසිවරයෙකුගේ ගෙදරට කෑම පිණිස වැඩිය සේක. හැම දෙන ම උන් වහන්සේ දෙස සෝදිසියෙන් බලා සිටියහ. 2 දිය උදර රෝගයෙන් පෙළෙන මිනිසෙක් උන් වහන්සේ ඉදිරියෙහි සිටියේ ය. 3 ජේසුස් වහන්සේ කතා කරමින්, ”සබත් දිනයේ දී සුව කිරීම යුතු ද අයුතු දැ”යි විනයධරයන් හා පරිසිවරුන්ගෙන් ප්‍රශ්න කළ සේක. 4 ඔව්හු නිහඬ ව සිටියහ. උන් වහන්සේ රෝගියා අතින් ගෙන ඔහුට සුවය දී යන්නට හැරිය සේක. 5 පසුව උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, ”යමෙකුට අයත් කොටළුවෙකුf හෝ ගොනෙකු හෝ සබත් දවසේ දී ළිඳේ වැටුණොත් එවේලේ ම ඌ ගොඩට අදින්නේ නැද්දැ”යි ඇසූ සේක. 6 පිළිතුරක් දෙන්නට ඔව්හු අපොහොසත් වූ හ.
ආගන්තුක සත්කාරය පිළිබඳ අනුශාසනා
7 ආරාධනා ලත් අය ප්‍රධාන ආසන ලබාගන්නට සොයන බව දැක, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව කියමින්, 8 ”යමෙකුගේ විවාහ මඟුලකට කැඳවීමක් ඔබට ලැබුණොත් ප්‍රධාන ආසනයේ හිඳ නොගන්න. 9 යම් හෙයකින් ඔබට වඩා උසස් කෙනෙකු ද කැඳවනු ලැබුවොත්, ඔබ දෙදෙනා ම කැඳවූ තැනැත්තා අවුත්, ‘ඔය ස්ථානය මොහුට දෙන්නැ’යි ඔබට කීවොත්, ලජ්ජාවෙන් යුක්ත ව පහත් ම ස්ථානයට යන්නට සිදු වේ. 10 එහෙත්, ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත් ම ස්ථානයෙහි හිඳගන්න; එවිට ඔබ කැඳවූ තැනැත්තේ අවුත්, ‘මිත්‍රය, ඉහළ තැනකට එන්නැ’යි ඔබට කීවොත් ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නෙහි ය. 11 තමා ම උසස් කරගන්න හැම දෙනා ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලැබේ ය”යි වදාළ සේක.
12 උන් වහන්සේ තමන්ට ආරාධනා කළ තැනැත්තාට කතා කොට, ”ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙළ කරන කල, ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න; එසේ කළොත් ඔවුන් ද එසේ ම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි. 13 එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙළ කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න. 14 ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහි ය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේ දී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ ය”යි වදාළ සේක.
මහා මංගල භෝජනය පිළිබඳ උපමාව
(මතෙව් 22:1-10)
15 එහි සිටි අයගෙන් කෙනෙක් එවදන් අසා, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී ආහාර වළඳන තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ජේසුස් වහන්සේට කී ය. 16 එහෙත් උන් වහන්සේ කතා කරමින් මෙසේ වදාළ සේක: ”එක් මිනිසෙක් මහා මංගල භෝජනයක් පිළියෙළ කොට බොහෝ දෙනෙකු කැඳැවී ය. 17 භෝජන වේලාව පැමිණෙත් ම, ‘එන්න, දැන් සියල්ල සූදානම් ව ඇතැ’යි කැඳවනු ලැබූවන්ට කියනු පිණිස ඔහු සිය දාසයා යැවී ය. 18 එහෙත්, ඔව්හු සියල්ලෝ ම නෑවිත් සිටීමට එකහෙළා කරුණු කියන්නට පටන් ගත්හ. පළමුවැන්නා, ‘මම කෙතක් මිළ දී ගතිමි, එය බලන්නට යාම අවශ්‍ය ම ය. මට කමා වන මෙන් ඉල්ලමි’යි ඔහුට කී ය. 19 තව කෙනෙක්, ‘මම ගොන් පස් බානක් මිළ දී ගතිමි; ඔවුන් වැඩට හොඳ ද කියා අත්හදා බලන්න යමි; මට කමා වන මෙන් ඉල්ලමි’යි ඔහුට කී ය. 20 තවත් කෙනෙක්, ‘මම ස්ත්‍රියක විවාහ කර ගතිමි; එබැවින් එන්න නොහැකි ය’යි කී ය. 21 ඒ දාසයා පෙරළා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වී ය. එවිට ගෘහපතියා කෝප ව, ‘වහා ම නුවර වීදිවලට ද පටු මාවත්වලට ද යව, දිළිඳුන් ද අබ්බගාතයන් ද අන්ධයන් ද කොරුන් ද මෙහි ගෙනෙව’යි සිය දාසයාට කී ය. 22 දාසයා ද, ‘ස්වාමීනි ඔබ අණ කළ ලෙස කෙළෙමි. එහෙත් තවත් ඉඩකඩ ඇතැ’යි කී ය. 23 එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව,’යි කී ය. 24 මම ඔබට කියමි, ආරාධිතයන් අතුරෙන් එකෙක් වත් මාගේ මංගල භෝජනයේ රස නොබලන්නේ ය.”
ශ්‍රාවකයෙකු වීමේ බාරදූරකම
(මතෙව් 10:37-38)
25 තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමඟ ගමන් ගත්හ. උන් වහන්සේ හැරී ඔවුන්ට මෙසේ වදාළ සේක: 26 ”මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාට ද මවට ද භාර්යාවට ද දරුවන්ට ද සහෝදරයන්ට ද සහෝදරියන්ට ද තමාගේ ම ජීවිතයට වුව ද ප්‍රේම කරන්නේ නම්, ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය. 27 කුරුසිය දරා ගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය. 28 ඔබ අතුරෙන් යමෙක් මුර අටල්ලක් ගොඩනැඟීමට අදහස් කරයි නම්, එය නිම කරලීමට කොතරම් වියහියදම් ඇද්දැ යි පළමුකොට හිඳ ගණන් නො බලන්නේ ද? 29 එසේ නොකළොත්, අත්තිවාරම දමා ඒ අටල්ල නිමකරන්නට නොහැකි වූ විට, එය දකින සියල්ලන්, 30 ‘මේ මිනිසා ගොඩනඟන්නට පටන්ගත් නමුත් නිම කරන්නට ඔහුට බැරි වී යයි කියා සරදම් කරනු ඇත. 31 තවද, තමන්ට විරුද්ධ ව විසි දහසක් රැගෙන යුද පිණිස එන රජෙකුට මුහුණ පෑමට දස දහසක් රැගෙන යා හැකි දැ යි පළමුකොට හිඳ නොවිමසන කිසි යම් රජෙක් ඇද් ද? 32 එසේ කළ නොහැකි නම්, ඔහු ඒ රජ දුර සිටිය දී ම, රාජ දූතයන් යවා, සාම ගිවිසුමක් ඉල්ලා සිටිනු ඇත. 33 එමෙන් ම ඔබ අතුරෙන් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු වන්නට බැරි ය.”
වැඩකට නැති ලුණු
(මතෙව් 5:13; මාක් 9:50)
34 ”ලුණු හොඳ දෙයකි; එහෙත් ලුණෙහි වුව ද, ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? 35 පසට වත්, කසළ ගොඩට වත් එයින් වැඩක් නැත; මිනිස්සු ඒවා ඉවත දමති. සවන් ඇත්තෝ සවන් දෙත්වා!”
– 15 වන පරිච්ඡේදය –
නැති වුණු බැටළුවා පිළිබඳ උපමාව
(මතෙව් 18:12-14)
1 එක් දිනක් සියලු අයකැමියෝ ද පව්කාරයෝ ද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන් වහන්සේ සමීපයට ආහ. 2 පරිසිවරු ද විනයධරයෝ ද කතා කොට, ”මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේ ය, බොන්නේ ය”යි මැසිවිලි කීවෝ ය.
3 එවිට උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: 4 ”ඔබ අතුරෙන් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක්, උන්ගෙන් එකෙකු නැති වුවහොත්, අනූ නව දෙනා පාළුකරයෙහි හැරදමා, නැති වූ එකා පසුපස්සේ ගොස්, ඌ සම්බ වන තුරු සොයන්නේ නැද් ද? 5 ඒ බැටළුවා සම්බ වූ විට ඔහු ප්‍රීති වෙමින්, ඌ කර තබාගෙන, 6 ගෙදර අවුත් මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න, මාගේ නැති වූ බැටළුවා සම්බ වී ය’යි ඔවුන්ට කියයි. 7 එලෙස ම පසුතැවී සිත් හරවා ගැනීමට වුවමනා ව නැතැ යි සිතන සිල්වතුන් අනූ නව දෙනෙකුට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කාරයකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”
නැති වුණු කාසිය පිළිබඳ උපමාව
8 තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”රිදී කාසි දසයක් ඇති කවර ස්ත්‍රියක හෝ ඉන් එකක් නැති වුවහොත් පහනක් දල්වා, ගෙය අතුගා, එය සම්බ වන තුරු අස්සක් මුල්ලක් නෑර ඕනෑකමින් සොයන්නේ නැද් ද? 9 එය සම්බ වූ විට ඈ මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න; මාගේ නැති වූ රිදී කාසිය සම්බ වී ය’යි ඔවුන්ට කියන්නී ය. 10 එලෙස ම පසුතැවී සිත හරවා ගන්නා වූ එක පව්කාරයකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”
නැති වුණු පුත්‍රයා පිළිබඳ උපමාව
11 තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝ ය. 12 ඔවුන්ගෙන් බාලයා, ‘පියාණෙනි, ඔබගේ දේපළවලින් මට අයිති කොටස දුන මැනවැ’යි පියාට කී ය. එවිට ඔහු තමාගේ දේපළ ඔවුන් අතර බෙදා දුන්නේ ය. 13 නොබෝ දිනකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කොටගෙන, දුර රටකට ගොස්, එහිදී දුරාචාරයෙහි යෙදෙමින්, තමාගේ සම්පත නාස්ති කරදැමී ය. 14 සියල්ල වියදම් කළ පසු, ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අග හිඟකම් දැනෙන්න විය. 15 එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසි වී ය; ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොවිපළට ඔහු යැවී ය. 16 ඌරන් කන කරල්වලින් වුව ද තමාගේ කුස පුරවාගන්න ඔහු කැමැති විය. කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නෝ ය. 17 එවිට ඔහු හරි සිහි කල්පනාවට පැමිණ; මාගේ පියාගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑ පමණටත් වඩා කෑම තිබේ. එහෙත් මම මෙහි සාගින්නෙන් නසිමි! 18 මම නැඟිට මාගේ පියාණන් වෙත ගොස්, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද පව් කෙළෙමි. 19 මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්න නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එකෙකු මෙන් මා තබාගත මැනවැ යි ඔහුට කියන්නෙමි’යි සිතා, 20 පිටත් ව, තම පියා වෙත ගියේ ය. ඔහුගේ පියා දුරතියා ම ඔහු දැක, අනුකම්පාවෙන් ඇලළී දුව ගොස්, දෑතින් ඔහුගේ ගෙළ වැළඳ, සිපගත්තේ ය. 21 එවිට පුත්‍රයා ඔහුට කතා කොට, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද මම පව් කෙළෙමි. මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්නට නොවටිමි’යි කී ය. 22 එහෙත් පියා සිය මෙහෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න; 23 තර කළ වස්සා ගෙනැවිත් මරන්න; අපි කා බී ප්‍රීති ප්‍රමෝද වෙමු. 24 මන්ද, මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත් ව සිටියි; නැතිවී සිට සම්බ වී ය’යි කී ය. එවිට ඔව්හු ප්‍රීති ප්‍රමෝද වන්න පටන්ගත්හ.
25 ඔහුගේ වැඩිමල් පුත්‍රයා ගොවිපළට ගොස් සිටියේ ය. ඔහු පෙරළා එන්නේ ගෙදරට ළං වූ කල, නැටුම් ගැයුම් වැයුම් හඬ අසා, 26 දාසයන්ගෙන් එක් කෙනෙකුට අඬගසා, ‘මෙහි තේරුම කිමෙක් දැ’යි විචාළේ ය. 27 ඔහු ද, ‘ඔබේ සහෝදරයා ඇවිත් සිටියි; ඔබේ පියා ඔහු සුවසේ ආපසු ලත් බැවින්, තර කළ වස්සා මැරෙව්වේ ය’යි කී ය. 28 එහෙත් ඔහු කිපී, ගෙට ඇතුළු වන්නට වත් නොකැමැති විය. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත්, ඇතුළට එන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේ ය. 29 ඔහු උත්තර දෙමින්, ‘මෙපමණ අවුරුදු ගණනක් මුළුල්ලේ මම ඔබට සේවය කරමින් සිටියෙමි; කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකෙළෙමි. එසේ වුවත් මාගේ මිතුරන් සමඟ ප්‍රීති වන්නට ඔබ එක එළු පැටවෙකු පමණ වත් කිසි කලක මට නුදුන්නෙහි ය. 30 එහෙත්, ඔබගේ මුළු වත්කම පරස්ත්‍රීන් සමඟ නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියේ ම, ඔහු නිසා තර කළ වස්සා මැරෙව්වෙහි ය’යි පියාට කී ය. 31 ඔහු ද පිළිතුරු දෙමින්, ‘පුතේ, ඔබ නිතොර ම මා සමඟ ය, මා සතු සියල්ල ඔබ සතු ය. 32 අප ප්‍රීති සන්තෝෂ විය යුතු ම ය. මන්ද, මේ ඔබේ මල්ලී මැරී සිටි නමුත් නැවත ජීවත් ව සිටි’ ”යි; නැති වී සිටි නමුත් නැවත සම්බ වී ය’යි කීයේ ය.
– 16 වන පරිච්ඡේදය –
වංචනික ගබඩාකාරයා පිළිබඳ උපමාව
1 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාළ සේක: ”එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ. 2 එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා, ‘ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක් ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අය වැය මට භාර දෙන්න; මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකි ය’යි කී ය. 3 ගබඩාකාරයා ද, ‘මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස්කරන්නට යන නිසා මම කුමක් කරම් ද? බිම් කෙටීමට මට ශක්තිය නැත; හිඟාකෑමට ලජ්ජා වෙමි. 4 ගබඩාකාර නිලයෙන් මා අස් කළ විට මිනිසුන්ගේ ගෙවල ඉඳුම්හිටුම් ලබාගැනීමට කළ යුතු දේ මම දනිමි’යි සිතින් සිතාගත්තේ ය. 5 මෙසේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක්කෙනා බැගින් කැඳවා, පළමුවැනියාට කතා කොට, ‘මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. 6 ‘තෙල් පීප්ප සියයකැ’යි ඔහු කීවේ ය. ගබඩාකාරයා කතා කොට, ‘ඔබේ බිල ගෙන වහා ම හිඳගෙන පණසක් කියා ලියන්නැ’යි ඔහුට කී ය. 7 තවත් කෙනෙකුගෙන්, ‘ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. ‘තිරිඟු බුසල් දහස කැ’යි ඔහු කී ය. ‘ඔබ බිල ගෙන අට සියයක් කියා ලියන්නැ’යි ඔහුට කී ය. 8 ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.
9 ”එබැවින් මම ඔබට කියමි, ලෞකික වස්තුවෙන් මිතුරන් සපයාගන්න; වස්තුව නිම ව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත. 10 අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි. 11 එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාස ව නොසිටියාහු නම් සැබෑ වස්තුව ඔබට භාර දෙන්නෝ කවුරු ද? 12 අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද? 13 ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසි සේවකයෙකුට නුපුළුවන; මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර කරන්නේ ය; අනෙක් අයට ප්‍රේම කරන්නේ ය. නොහොත් එක් කෙනෙකුට ලැදි වන්නේ ය; අනික් අය හෙළා දකින්නේ ය. දෙවියන් වහන්සේට හා වස්තුවට එකවිට ම සේවය කරන්නට ඔබට බැරි ය.”
ව්‍යවස්ථාවලිය හා ස්වර්ග රාජ්‍යය
(මතෙව් 11:12-13; 5:31-32; මාක් 10:11-12)
14 පරිසිවරු ධනලෝභී අය වූ හෙයින් මෙවදන් අසා උන් වහන්සේට සරදම් කළහ. 15 එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක. ”ඔබ නම් මිනිසුන් ඉදිරියෙහි ඔබගේ ම දමිටුකම ගැන පාරට්ටු කරගන්නා අය ය; එහෙත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් දන්නා සේක. මනුෂ්‍යයන් විශිෂ්ට යයි සලකනු ලබන දෙය දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි. 16 ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය ජොහන්ගේ කාලය දක්වා විය. එතැන් සිට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සුබ අස්න දේශනා කරනු ලැබේ. සියල්ලෝ ම බලවත් ඕනෑකමින් ඊට ඇතුළු වෙති.
17 එහෙත්, ව්‍යවස්ථාවලියෙන් බින්දු මාත්‍රයක් වත් අහෝසි වී යාමට වඩා අහස හා පොළොව පහවී යාම පහසු ය.
18 ”සිය බිරිඳ දික්කසාද කොට, අන් ස්ත්‍රියක පාවාගන්නා කවරෙක් වුව ද කාමමිථ්‍යාචාරය කරයි. පුරුෂයකු විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක පාවාගන්න තැනැත්තේ ද කාමමිථ්‍යාචාරය කරයි.”
ධනපතියා සහ ලාසරස්
19 ”අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය. 20 ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වණ තිබූ ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙනවුත් තබන ලදී. 21 ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබැලිවලින් වුව ද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වණ ලෙව කෑවෝ ය. 22 ඒ හිඟන්නා මියගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේ ය. ධනපතියාත් මැරී භූමිදාන කරන ලද්දේ ය. 23 ඔහු ආත්ම භවනෙහි වධ විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් ද ඔහුගේ තුරුල්ලේ හුන් ලාසරස් ද දුරින් දැක, 24 මොරගසා, ‘ආබ්‍රහම් පිය තුමෙනි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි’යි කී ය. 25 එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙහි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය. 26 එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමට වත් ඔබින් අප වෙත ඒමට වත් කැමැති වූවන්ට එය කළ නොහැකි වන සේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටුවා ඇතැ’යි කී ය. 27 එවිට ධනවතා, ‘එසේ නම් පිය තුමෙනි, මාගේ සහෝදරයෝ පස් දෙනෙක් සිටිති; 28 ඔවුන් ද මේ වධ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙන් ඉල්ලමි’යි කී ය. 29 එහෙත්, ආබ්‍රහම් කතා කොට: ‘මෝසෙස් සහ දිවැසිවරයෝ ඔවුන්ට සිටිති. ඔව්හු ඔවුන්ට සවන් දෙත් වා’යි කී ය. 30 ඔහු කතා කොට, ‘එසේ නොවේ, ආබ්‍රහම් පිය තුමෙනි, මළවුන් කෙරෙන් එකකු ඔවුන් වෙත ගියොත් ඔවුන් පසුතැවී සිත් හරවා ගනු ඇතැ’යි කී ය. 31 ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔව්හු මෝසෙස්ටත් දිවැසිවරයන්ටත් සවන් නොදෙත් නම්, මළවුන්ගෙන් උත්ථානයට පැමිණියෙකු වුව ද ඔව්හු විශ්වාස නොකරති’යි ඔහුට කී ය.”
– 17 වන පරිච්ඡේදය –
ජේසුස් වහන්සේගේ තවත් දේශනා
(මතෙව් 18:6-7, 21-22; මාක් 9:42)
1 උන් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරමින්, ”මිනිසුන් පාපයට පමුණුවන හේතුන් ඇති වීම නියත ය. එහෙත් යමෙකු නිසා ඒ හේතු පැමිණේ ද, ඔහුට වන විපතක මහත! 2 මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද, ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති. 3 කපරිස්සම් වන්න; ඔබේ සහෝදරයා පව්ළොත් ඔහුට තරවටු කරන්න; ඔහු පසුතැවී සිත් හරවා ගනී නම් ඔහුට කමා වන්න. 4 දවසකට සත් වරක් ඔබට විරුද්ධ ව පව් කොට, සත් වරක් ඔබ වෙතට හැරී, ‘මම පසුතැවී සිත හරවා ගතිමි’යි කීවොත්, ඒත් ඔහුට කමා වන්නැ”යි වදාළ සේක.
5 එවිට ප්‍රේරිතයෝ කතා කොට, ”අපේ ඇදහිල්ල වැඩි කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට කී හ. 6 සමිඳාණන් වහන්සේ කතා කොට, ”අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇති ව, මේ ඇඹිල්ල ගහට, ‘ඉදිරී ගොස්, මුහුදේ පැලවෙව’යි කියන්නහු නම්, එය ඔබට කීකරු වනු ඇත. 7 එහෙත්, ඔබ අතරෙන් යමෙකුට සීසාන හෝ බැටළුවන් බලන හෝ දාසයෙක් සිටී නම් කෙතේ සිට ආ කල, ‘වහාම ඇවිත් කෑමට ඉඳ ගන්නැ’යි කියන්නෙහි ද? 8 එසේ නොව, ‘මට කෑම බීම පිළියෙළ කොට, ඇඳගෙන ලෑස්ති වී, කා බී නිම වන තුරු මට උපස්ථාන කරන්න; ඉන්පසු ඔබ කන්න බොන්නැ’යි කියන්නේ නැද් ද? 9 ඒ දාසයා තමාට අණ කළ දේ කළ බැවින් ස්වාමියා ඔහුට ස්තුති කරයි ද? නැත. 10 එසේ ම ඔබත් ඔබට අණ කළ සියල්ල කළ පසු, ‘අපි දාසයෝ ය, ස්තුතියක් අපට හිමි නැත, කළ යුතු දෙය පමණක් අපි කෙළෙමු’යි කියන්නැ”යි වදාළ සේක.
ලාදුරු රෝගීන් දස දෙනාට සුවය
11 ජේසුස් වහන්සේ ජෙරුසලම බලා යද්දී, සමාරිය හා ගලීලය මැදින් ගමන් ගත් සේක. 12 උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, ලාදුරු රෝගීහු දස දෙනෙක් උන් වහන්සේට හමු වූ හ. 13 ඔව්හු දුරින් සිට, ”ජේසුස් වහන්ස, ආචාරීනි, අපට කරුණා කළ මැනවැ”යි හඬ නඟා කී හ. 14 උන් වහන්සේ ඔවුන් දැක, ”ඔබ ගොස් පූජකවරුන් අබිමුවෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක. 15 ඔව්හු එසේ යද්දී පවිත්‍ර වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් තමා සුව වූ බව දැක, මහ හඬින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් පෙරළා අවුත්, 16 උන් වහන්සේගේ පාමුල වැඳ වැටී උන් වහන්සේට ස්තුති කෙළේ ය. ඔහු වනාහි සමාරීය ජාතිකයෙකි. 17 ජේසුස් වහන්සේ කතා කරමින්, ”දහ දෙනෙක් ම පවිත්‍ර වූවා නොවේ ද? අනෙක් නව දෙනා කොහේ ද? 18 මේ විජාතිකයා හැර, දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස වෙන කිසිවෙක් හැරී ආවේ නැද් ද” කියා, 19 ඔහුට කතා කොට, ”නැඟිට යන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක.
දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උදාව
(මතෙව් 24:23-28, 37-41)
20 ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය කවර කලෙක පහළ වන්නේ දැ”යි පරිසිවරුන් ඇසූ බැවින්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඇසට පෙනෙන අයුරින් නොපැමිණෙයි. 21 මෙන්න මෙතැන ය, අන්න අතැන යයි කිසිවෙකුට කිව නොහැකි ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ gඅතරෙහි ය”යි වදාළ සේක.
22 උන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩ සිටින දවස්වලින් එකක් වුව ද දැකීමට ඔබ ආශාවන කාලයක් පැමිණෙයි; එහෙත් ඔබ එය නොදක්නාහු ය. 23 ‘අන්න, එතැන ය! මෙන්න මෙතැන ය!’යි ඔවුන් කියන කල, පිටත් වී එය පසුපස්සේ නොයන්න. 24 අහසෙහි එක් දිශාවකින් පහළ වන විදුලිය අහසේ අනෙක් දිශාව දක්වා බබළන්නාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පහළ වන දවසේ දී බබළන සේක. 25 එහෙත් පළමුකොට එතුමාණෝ බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුත්තාහ. 26 තවද නෝවාගේ දවස්වල දී වූ ලෙස ම, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ දවස්වල දී ද වන්නේ ය. 27 නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින්, බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ. එවිට ජල ගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය. 28 ලොත්ගේ දවස්වල දී ද එසේ ම විය; ඔව්හු කමින්, බොමින්, වෙළහෙළඳාම් කරමින්, වවමින්, ගෙවල් සාදමින් කල් යැවූ හ: 29 එහෙත් ලොත් සොදොම්හි සිට නික්ම ගිය දා, අහසින් ගිනි සහ ගෙන්දගම් වැසි වැස, සියල්ලන් විනාශ කර දැමී ය. 30 මනුෂ්‍ය-පුත්‍රයාණන් ප්‍රකාශ වන දිනයේ දී ද ඒ අයුරින් ම වන්නේ ය. 31 ඒ දවසේ දී පියස්ස මත සිටින්නා ගෙයි තිබෙන තම බඩු බාහිරාදිය ගෙනයනු පිණිස බිමට නොබසීවා. එසේ ම කෙතේ සිටින්නා පෙරළා නොඒවා. 32 ලොත්ගේ භාර්යාව සිහි කරන්න. 33 සිය ජීවිතය රැකගන්නට සොයන්නා එය නැති කර ගන්නේ ය. සිය ජීවිතය නැති කරගන්නා එය රැක ගන්නේ ය. 34 මෙය ඔබට කියමි, ඒ රැයේ දී මනුෂ්‍යයන් දෙදෙනෙක් එක යහනක සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය, අනෙකා හැර දමනු ලබන්නේ ය. 35 ස්ත්‍රීහු දෙදෙනෙක් එකට ධාන්‍ය අඹරමින් සිටිති; එක තැනැත්තියක් ගනු ලබන්නී ය, අනෙක් තැනැත්තිය හැර දමනු ලබන්නී ය. 36 මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය; අනෙකා හැර දමනු ලබන්නේ ය.” 37 එවිට ඔව්හු උත්තර දෙමින්, ”ස්වාමීනි, ඒ කොතැන්හි දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින්, ”මළකුණ කොතැන ද, ගිජු ලිහිණියෝ එතැන රැස්වෙති”යි වදාළ සේක.
– 18 වන පරිච්ඡේදය –
වැන්දඹුව හා විනිශ්චයකාරයා පිළිබඳ උපමාව
1 තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: 2 ”එක් නුවරක දෙවියන්ට බිය නැති, මිනිසුන්ට ගරු නොකරන විනිශ්චයකාරයෙක් වී ය. 3 එම නුවර වැන්දඹුවක් ද වූවා ය; ඈ නොයෙක් වර ඔහු වෙත ගොස්, ‘මාගේ විරුද්ධකාරයා මට කළ අයුක්තියට, යුක්තිය ඉෂ්ට කළ මැනවැ’යි කීවා ය. 4 ඔහු කලක් ඒ ඉල්ලීම නොසලකා හැරියේ ය. පසුව ඔහු තමාට ම මෙසේ කියාගත්තේ ය, ‘මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑවත්, මනුෂ්‍යයන්ට ගරු සරු නොකළත්, 5 මේ වැන්දඹුවගේ, කරදරය නිසා ඈ නිතර පැමිණ මා නොවෙහෙසන පිණිස, ඈට යුක්තිය ඉටු කර දෙමි’යි කීයේ ය.” 6 තවද, සමිඳාණන් වහන්සේ කතා කොට, ”මේ අධාර්මික විනිශ්චයකාරයා කියන දේ අසන්න. 7 දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙක්හි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක් ද? උන් වහන්සේ ඔවුන් ගැන බොහෝ නොඉවසන සේක් ද? 8 උන් වහන්සේ ඔවුන්ට වහා ම යුක්තිය ඉටු කරන සේකැ යි, මම ඔබට කියමි. එසේ වුව ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩිනා කල මිහි පිට ඇදහිල්ල ඇති අය උන් වහන්සේට සම්බ වනු ඇද්දැ”යි ඇසූ සේක.
පරිසිවරයා සහ අයකැමියා පිළිබඳ උපමාව
9 තමා සිල්වත් යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක. 10 ”මිනිසුන් දෙදෙනෙක් යාච්ඤාව පිණිස දේව මාලිගාවට නැඟී ගියහ; එක් කෙනෙක් පරිසිවරයෙකි; අනික් තැනැත්තා අයකැමියෙකි. 11 පරිසිවරයා නැඟී සිට පසෙකට වී තනියම යාච්ඤා කරමින්, ‘දෙවියන් වහන්ස, මා අන් මිනිසුන් මෙන් වස්තු ලෝභී, වංචනික, කාමමිථ්‍යාචාරී තැනැත්තකු නොවන බැවින් ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වැන්නෙක් ද නොවෙමි. 12 සතියකට දෙවරක් උපවාස කරමි; මා උපයන සියල්ලෙන් දහයෙන් කොටස දෙමි’යි කී ය. 13 එහෙත් අයකැමියා ඈතින් සිට ස්වර්ගය දෙස ඇස් ඔසවා බලන්නට වත් නොසිතා, තමාගේ ළයට ගසාගනිමින්, ‘දෙවියන් වහන්ස, පව්කාර වූ මා හට කරුණා කළ මැනවැ’යි කී ය. 14 මෙය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.”
ළදරුවන්ට ආශීර්වාද කිරීම
(මතෙව් 19:13-15; මාක් 10:13-16)
15 සමහරු උන් වහන්සේගේ අත්, ඔවුන් පිට තබවා ගනු පිණිස, තම ළදරුවන් පවා උන් වහන්සේ වෙත ගෙනාවෝ ය. ශ්‍රාවකයෝ ඒ දැක ඔවුන්ට තරවටු කළහ. 16 එහෙත් ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, ”ළදරුවන්ට මා වෙත එන්නට ඉඩ දෙන්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේ ය. 17 ඇත්තෙන් ම මම ඔබට කියමි, යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් නොපිළිගන්නේ ද, ඔහු කිසි සේත් එහි ඇතුළු නොවන්නේ ය”යි වදාළ සේක.
ධනවත් ප්‍රධානියා
(මතෙව් 19:16-30; මාක් 10:17-31)
18 එවිට එක් ප්‍රධානියෙක් උන් වහන්සේට කතා කොට, ”යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කර ගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය. 19 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා ‘යහපත් ය’යි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. 20 කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න. බොරු සාක්ෂි නොකියන්න, නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න යන ආඥා ඔබ දන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 21 ”මේ සියල්ලක් ම මාගේ යොවුන් වියේ පටන් රක්ෂා කෙළෙමි”යි ඔහු කී ය. 22 ජේසුස් වහන්සේ ඒ අසා, ”ඔබට තව එක අඩුපාඩුවක් ඇත. ඔබ සතු සියල්ල විකුණන්න, විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. 23 එහෙත් ඔහු ඒ කීම අසා අතිශයින් ශෝක විය; එසේ වූයේ ඔහු බොහෝ ධනවත් ව සිටි බැවිනි.
24 ජේසුස් වහන්සේ ඒ දැක, ”ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කර ද! 25 ධනවතෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක. 26 ඒ ඇසූ අය, ”එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, 27 ”මනුෂ්‍යයන්ට නොහැකි දේ දෙවියන් වහන්සේට හැකි ය”යි වදාළ සේක.
28 එවිට පේදුරු කතා කොට, ”අපි නම් අප සතු සියල්ල අත්හැර ඔබ වහන්සේ අනුව ආවෙමු”යි කී ය. 29 උන් වහන්සේ කතා කරමින්, ”ඇත්තෙන් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය නිසා ගේදොර හෝ භාර්යාව හෝ සොහොයුරන් හෝ දෙමව්පියන් හෝ දූදරුවන් හෝ අත්හළ කවරෙක් වුව ද, 30 මේ යුගයේ දී ම ඊට බොහෝ වැඩියෙන් ද එන යුගයේ දී සදාතන ජීවනය ද ලබන්නේ ම ය”යි වදාළ සේක.
මරණය සහ පුනරුජ්ජීවනය ගැන තෙ වන වරටත් කීම
(මතෙව් 20:17-19; මාක් 10:32-34)
31 උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන්ට කතා කරමින්, ”මෙන්න, දැන් අපි ජෙරුසලමට යම්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන දිවැසිවරයන් විසින් ලියා ඇති සියල්ල ඉෂ්ට වන්නේ ම ය. 32 කුමක්නිසා ද උන් වහන්සේ විජාතීන්ට පාවා දෙනු ලබන සේක. ඔව්හු උන් වහන්සේට සරදම් කර, අපහාස කර, කෙළ ගසන්නාහ. 33 ඔව්හු උන් වහන්සේ කසවලින් තළා මරන්නෝ ය. එහෙත් තුන්වනදා නැවත උත්ථාන වන සේකැ”යි වදාළ සේක. 34 මේ දේවලින් කිසිවක් ඔවුන්ට අවබෝධ නො වී ය. උන් වහන්සේ පැවසූ දෙය නොවැටහෙන සේ එය ඔවුන් කෙරෙන් සැඟවී තිබිණි.
ජෙරිකෝවේ අන්ධයෙකුට පෙනීම දීම
(මතෙව් 20:29-34; මාක් 10:46-52)
35 ජේසුස් වහන්සේ ජෙරිකෝවට සමීප වූ කල, එක් අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගෙන සිටියේ ය. 36 ජනකායක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, ”ඒ කුමක් දැ”යි විමසී ය. 37 එවිට ඔව්හු නාසරෙත්හි ජේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කී හ. 38 ඔහු ද, ”ජේසුස් වහන්ස, දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි මොරගැසී ය. 39 ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: ”දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය. 40 ජේසුස් වහන්සේ නැවතී, ඔහු තමන් ළඟට ගෙනෙන්න අණ කළ සේක. ඔහු ළඟට ආ කල, 41 ”මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ”ස්වාමීනි මාගේ පෙනීම මට ලබා දුන මැනවැ”යි ඔහු කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්, 42 ”පෙනීම ලබන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක. 43 එකෙණෙහි ම ඔහු ඇස් පෙනීම ලබා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. මුළු ජනතාව තමන් දුටු දේ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
– 19 වන පරිච්ඡේදය –
ජේසුස් වහන්සේ සහ සාකෙවුස්
1 උන් වහන්සේ ජෙරිකෝවට පිවිස, ඒ මැදින් ගිය සේක. 2 සාකෙවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය. 3 ඔහු ජේසුස් වහන්සේ කවුරුන් දැ යි බැලීමට සෙවී ය. එහෙත් ඔහු මිටිකෙනෙකු වූයෙන් සමූහයා නිසා එය කළ නොහැකි විය. 4 ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින්, ඔහු පෙරටුව දුව ගොස්, උන් වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැංගේ ය. 5 ජේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා, ඔහුට කතා කොට, ”සාකෙවුස්, වහා ම බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑ ය”යි ඔහුට වදාළ සේක. 6 ඔහු වහා ම බැස, අවුත්, ප්‍රීතියෙන් උන් වහන්සේ පිළිගත්තේ ය. 7 ඒ දුටු සියල්ලෝ, ”උන් වහන්සේ පව්කාර මනුෂ්‍යයකු සමඟ නවාතැන් ගන්නට ගිය සේකැ”යි කියමින් කොඳුළෝ ය. 8 සාකෙවුස් නැඟිට, ”ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය. 9 ජේසුස් වහන්සේ කතා කරමින්, ”ගැළවීම අද මේ ගෙදරට පැමිණ ඇත; මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි. 10 මනුෂ්‍ය-පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගළවාගන්නට ද වැඩම කළ සේකැ”යි වදාළ සේක.
රන් කාසි දසය පිළිබඳ උපමාව
(මතෙව් 25.14-30)
11 ඔවුන් මෙබස් අසා සිටිය දී, උන් වහන්සේ තවත් උපමාවක් වදාළ සේක. එය වදාළේ, උන් වහන්සේ ජෙරුසලමට සමීප ව සිටි බැවින් හා දෙවියන් වහන්සේගේ රාජ්‍යය වහා ම එළිදරව් වනු ඇතැ යි ඔවුන් සිතූ බැවිනි. 12 ”රදළපෙළෙහි වූ එක් මනුෂ්‍යයෙක් රාජ පදවියක් ලබා එනු පිණිස දුර රටකට පිටත් ව ගියේ ය. 13 ඔහු තමාගේ දාසයන් දස දෙනෙකු කැඳවා, ඔවුන් එකිනෙකාට රන් කාසියක් බැගින් දී, ‘මා එන තුරු මෙයින් වෙළහෙළඳාම් කරන්නැ’යි කී ය. 14 එහෙත් ඔහුගේ නගරවැසියෝ ඔහුට වෛර වී, ‘මේ මනුෂ්‍යයා අප කෙරේ රජකම් කිරීම අපේ කැමැත්ත නොවේ ය’යි කියනු පිණිස නියෝජිත පිරිසක් ඔහු පස්සේ යැවූ හ. 15 ඔහු රාජ පදවිය ලබා පෙරළා ආ විට, තමා මුදල් දුන් දාසයෝ වෙළහෙළඳාමෙන් කොපමණ උපදවා ගත්තෝ දැ යි දැනගන්නා පිණිස ඔවුන් තමන් වෙත කැඳවන්න අණ කෙළේ ය. 16 පළමුවැන්නා ඔහු ඉදිරියට අවුත්, ‘ස්වාමීනි, ඔබේ එක රන් කාසියෙන් රන් කාසි දසයක් උපදවා ගතිමි’යි කී ය. 17 ඔහු කතා කොට, ‘ඉතා හොඳ ය, යහපත් වූ දාසය, ඔබ ඉතා සුළු දෙයක් ගැන විශ්වාසී වූ බැවින් නගර දසයක් කෙරේ අධිපති වන්නැ’යි ඔහුට කී ය. 18 දෙවැන්නා ද අවුත්, ‘ස්වාමීනි, ඔබ දුන් රන් කාසියෙන් පහක් උපදවාගතිමි’යි කී ය. 19 එවිට ඔහු, ‘ඔබත් නගර පහක් කෙරේ අධිපති වන්නැ’යි ඔහුට කී ය. 20 තවත් කෙනෙක් අවුත්, ‘ස්වාමීනි, මෙන්න ඔබේ රන් කාසිය! එය රෙදි කඩක ඔතා තැබීමි. 21 මන්ද, ඔබ නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ දැඩි සිතක් ඇති කෙනෙකු බැවින් ඔබට බිය වූවෙමි’යි කී ය. 22 එවිට ඔහු කතා කොට, ‘නපුරු දාසය, ඔබේ ම වචනවලින් ඔබ විනිශ්චය කරමි. මා නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ, දැඩි සිතක් ඇති කෙනෙකු බව ඔබ දැන සිටියෙහි ය. 23 එසේ නම් මා ආ විට පොළියත් සමඟ අය කරගනු පිණිස මාගේ මුදල් බැංකුවේ තැන්පත් නොකෙළේ මන් ද?’ කියා, 24 ළඟ සිටියවුන්ට කතා කොට, ‘ඒ කාසිය ඔහුගෙන් ගෙන කාසි දසය ඇත්තාට දෙන්නැ’යි කී ය. 25 එවිට ඔව්හු, ‘ස්වාමීනි ඔහුට කාසි දසයක් ඇතැ’යි කී හ. 26 ‘ඇති හැමට වැඩියෙනුත් දෙනු ලැබේ; නැති අයගෙන් ඇති දෙයත් ගනු ලැබේ ය යි මම ඔබට කියමි. 27 එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”
රාජ තේජසින් ජෙරුසලමට පිවිසීම
(මතෙව් 21:1-11; මාක් 11:1-11; ජොහන් 12:12-19)
28 උන් වහන්සේ මෙවදන් දෙසා ජෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව වැඩි සේක. 29 උන් වහන්සේ ඔලීව නම් කන්දට නුදුරු බෙත්පාගයට ද බෙතානියට ද ළං වූ කල, සිය ශ්‍රාවකයන්ගෙන් දෙදෙනකු යවමින්, 30 ”ඔබ ඉදිරිපිට තිබෙන ගමට යන්න; එහි ඇතුළු වූ විට, කිසි කලෙක කිසිවෙකු නොනැඟුණු කොටළු නාම්බෙකු බැඳ සිටිනු ඔබට සම්බවන්නේ ය. 31 ඌ ලිහා මෙහි ගෙනෙන්න. ඌ ලිහන්නේ මන්දැ යි යමෙකු ඇසුවොත්, සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ යි කියන්නැ”යි වදාළ සේක. 32 යවනු ලැබුවෝ ගොස් උන් වහන්සේ ඔවුන්ට වදාළ ලෙස ම දුටුවෝ ය. 33 ඔවුන් කොටළු නාම්බා ලිහන කල අයිතිකාරයෝ ”ඔබ කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූ හ. 34 ”සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ”යි ඔව්හු කී හ. 35 ඔව්හු කොටළු නාම්බා උන් වහන්සේ වෙත ගෙනවුත්, තමන්ගේ උතුරු සළු ඌ පිට අතුරා, ජේසුස් වහන්සේ ඌ පිට හිඳවූ හ. 36 උන් වහන්සේ යද්දී, ඔව්හු තමන්ගේ උතුරු සළු මඟ එලා ලූ හ. 37 උන් වහන්සේ ඔලීව කන්දේ බෑවුම ළඟට පැමිණි කල්හි, මුළු ශ්‍රාවක සමූහයා ප්‍රීති වන්නටත් තමන් දුටු සියලු ප්‍රබල ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නටත් පටන් ගෙන, 38 ”සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේ වා! ස්වර්ගයෙහි සාමය ද අති උසස් තැන්හි මහිමය ද වේ වා!”යි කී හ. 39 එවිට සමූහයා අතරෙන් සමහර පරිසිවරු, ”ගුරුදේවයෙනි, ඔබගේ ශ්‍රාවකයන්ට තරවටු කළ මැනවැ”යි උන් වහන්සේට කී හ. 40 උන් වහන්සේ උත්තර දෙමින්, ”ඔවුන් නිහඬ වූවොත්, ගල්, මොරගසනු ඇතැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.
ජේසුස් වහන්සේ ජෙරුසලම ගැන කම්පා වීම
41 උන් වහන්සේ අගනුවරට ළඟා වී එය දුටු විට නුවර ගැන හඬමින් මෙසේ වදාළ සේක: 42 ”අහෝ, ඔබට ශාන්තිය සලසන දේ ගැන මේ උදාර දිනයේ දී වත් ඔබ දැන සිටියා නම්! එහෙත් එසේ නො වී ය, එය ඔබේ දෙනෙතින් සැඟවී ඇත. 43 ඔබේ සතුරන් බලකොටු තනා, ඔබ සිසාරා, සතර දිගින් ඔබ වටලන දවස් පැමිණෙන්නේ ය. 44 ඔව්හු ඔබ ද ඔබ තුළ සිටින දරු කැල ද පොළොවේ ගසා, ගලක් පිට ගලක් තිබෙන්ට ඉඩ නාරින්නෝ ය. මන්ද, දෙවියන් වහන්සේ ඔබ ගළවන්නට පැමිණි දවස ඔබ නොදත් හෙයිනි.”
දේව මාලිගාව පවිත්‍ර කිරීම
(මතෙව් 21:12-17; මාක් 11:15-19; ජොහන් 2:13-22)
45 උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු වී, එහි සිටි වෙළඳුන් පලවා හරින්න පටන්ගෙන, 46 ” ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’යි ලියා ඇත. එහෙත් ඔබ එය සොරුන්ගේ ගුහාවක් කර තිබේ ය”යි ඔවුන්ට වදාළ සේක.
47 උන් වහන්සේ දිනපතා දේව මාලිගාවෙහි ඉගැන්වූ සේක. එහෙත්, නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රභූවරයෝ ද උන් වහන්සේ නසාලීමට උපක්‍රම සෙවූ හ. 48 මුළු ජනතාව උන් වහන්සේගේ ඉගැන්වීම්වලට සතුටින් සවන් දුන් බැවින්, උන් වහන්සේට කිසිවක් කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබිණි.
– 20 වන පරිච්ඡේදය –
ජේසුස් වහන්සේගේ අධිකාරී බලය ගැන ප්‍රශ්න කිරීම
(මතෙව් 21:23-27; මාක් 11:27-33)
1 එක් දිනක් උන් වහන්සේ දේව මාලිගාවෙහි සෙනඟට අනුශාසනා කරමින් ද සුබ අස්න දේශනා කරමින් ද සිටිය දී නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයන් හා සමඟ උන් වහන්සේ වෙත පැමිණ, 2 ”ඔබ මේ දේවල් කරන්නේ කුමන අධිකාරී බලයකින් ද නොහොත් මේ අධිකාරී බලය ඔබට පැවරුවේ කවරෙක් දැ යි අපට කියන්නැ”යි උන් වහන්සේට කී හ. 3 උන් වහන්සේ උත්තර දෙමින්, ”මමත් ඔබගෙන් ප්‍රශ්නයක් අසමි; 4 ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක. 5 එවිට ඔව්හු තම තමන් අතර කතා කොට, ” ‘දෙවියන් වහන්සේගෙන් ය’යි අප කීවොත්, ‘එසේ නම්, ඔහු අදහා නොගත්තේ මන්දැ’යි මොහු අපෙන් අසනු ඇත. 6 ‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කීවොත්, ජොහන් දිවැසිවරයකු ලෙස මුළු ජනතාව විශ්වාස කරන බැවින්, ඔවුන් අපට ගල් ගසනු ඇතැ”යි කියා, 7 ”එය කොතැනින් වූයේ දැ යි අපි නොදනිමු”යි උත්තර දුන්හ. 8 එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා කුමන අධිකාරී බලයකින් මේ දේවල් කරම් දැ යි මමත් ඔබට නොකියමි”යි වදාළ සේක.
මිදි වත්ත හා ගොවීන් පිළිබඳ උපමාව
(මතෙව් 21:33-46; මාක් 12:1-12)
9 උන් වහන්සේ සෙනඟට මේ උපමාව කියන්නට පටන්ගත් සේක: ”මිනිසෙක් මිදි වත්තක් වවා, ගොවීන්ට අඳයට දී, බොහෝ කලකට පිටරට ගියේ ය. 10 පල නෙළන කාලයේ දී, මිදි වත්තේ අස්වැන්නෙන් කොටසක් ගොවීන්ගෙන්, ලබන රිසියෙන්, ඔහු දාසයකු ඔවුන් වෙත යැවී ය. එහෙත් ගොවීහු ඔහුට තළා පෙළා ඔහු හිස් අතින් හැරියෝ ය. 11 පසුව ඔහු තව දාසයකු යැවී ය. ගොවීහු ඔහුටත් තළා පෙළා, නිගා කොට, හිස් අතින් හැරියෝ ය. 12 යළිත් ඔහු තුන්වැනියෙකු යැවී ය. ඔව්හු ඔහුටත් තුවාළ කොට එළවා දැමූ හ. 13 එවිට මිදි වත්තේ හිමියා කතා කොට, ‘මම කුමක් කරම් ද? මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා යවමි. සමහරවිට ඔවුන් ඔහුට ගෞරව කරනු ඇතැ’යි කී ය. 14 එහෙත් ගොවීහු ඔහු දැක, ඔවුනොවුන් අතර කතා කොට, ‘මොහු උරුමක්කාරයා ය. උරුමය අපට අත් වන පිණිස මොහු මරමු’යි කියා, 15 ඔහු මිදි වත්තෙන් පිටත දමා මැරූ හ. එහෙයින් මිදි වත්තේ හිමියා ඔවුන්ට කුමක් කරනු ඇද් ද? 16 ඔහු අවුත් ඒ ගොවීන් වනසා, මිදි වත්ත අන්‍යයන්ට දෙනු ඇතැ”යි වදාළ සේක. 17 ඔව්හු ඒ අසා, ”එසේ නොවේ වා”යි කී හ. එහෙත් උන් වහන්සේ ඔවුන් දෙස බලා, ”එසේ වී නම්: ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත’ යන දහම් පාඨයේ අර්ථය කුමක් ද? 18 ඒ ගල මත වැටෙන කවුරු නමුත් දැඩි තුවාළ ලබන්නේ ය; ඒ ගල යමෙකු මත වැටෙන්නේ ද, ඔහු එයින් සුණු විසුණු කරනු ලබන්නේ ය”යි වදාළ සේක.
අධිරාජයාට බදු ගෙවීම
(මතෙව් 22:15-22; මාක් 12:13-17)
19 නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ ඒ උපමාව ඔවුන්ට විරුද්ධ ව එල්ල කළ බව දැන, ඒ පැයේ දී ම උන් වහන්සේ අල්ලාගන්නට සෙවූ හ; එහෙත් සෙනඟ නිසා බිය වූ හ. 20 ඔව්හු උන් වහන්සේගේ කටින් වචනයක් අල්ලාගෙන උන් වහන්සේ රජයට ද ආණ්ඩුකාරයාගේ බලයට ද බාර දීමට අවස්ථාවක් සොයමින්, තමන් අවංකයන් සේ පෙනී සිටින ඔත්තුකාරයන් යැවූ හ. 21 ඔව්හු කතා කොට, ”ගුරුදේවයෙනි, ඔබ යුක්ති සහගත ලෙස කතා කරන බවත්, අනුශාසනා කරන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලා, දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන බවත් අපි දනිමු. 22 අප සීසර් අධිරාජයාට අයබදු ගෙවීම යුතු ද, නැද්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 23 එහෙත් උන් වහන්සේ ඔවුන්ගේ කෛරාටිකකම දැන, ”කාසියක් මෙහි ගෙනෙන්න; 24 එහි තිබෙන රූපයත් සටහනත් කාගේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. ”සීසර් අධිරාජයාගේ” යයි ඔව්හු කී හ. 25 ”එසේ නම් සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ”යි ඔවුන්ට වදාළ සේක. 26 මෙසේ සෙනඟ ඉදිරියෙහි දී උන් වහන්සේ කට වචනයෙන් අල්ලාගන්නට ඔවුන්ට බැරි විය. ඔව්හු උන් වහන්සේගේ පිළිතුරට පුදුම ව නිහඬ වූ හ.
පුනරුජ්ජීවන ප්‍රශ්නය
(මතෙව් 22:23-33; මාක් 12:18-27)
27 පුනරුජ්ජීවනයක් නැතැ යි කියන සද්දුසිවරුන්ගෙන් සමහරෙක් ජේසුස් වහන්සේ වෙත අවුත්, 28 ”ගුරුදේවයෙනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත් ව සිටිය දී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන, තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු යයි මෝසෙස් ලියා ඇත. 29 ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය. 30 දෙවැන්නාත් තුන්වැන්නාත් ඇය පාවා ගත්හ. 31 සත් දෙන ම එසේ දරුපල නොලබා මළෝ ය. 32 පසුව ඒ ස්ත්‍රියත් මළා ය. 33 සත් දෙනාම ඈ පාවාගත් බැවින්, පුනරුජ්ජීවනයේ දී ඈ ඔවුන්ගෙන් කවරකුගේ භාර්යාව වන්නී දැ”යි ඇසූ හ. 34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මේ යුගයට අයත් වූවෝ ආවාහ විවාහ වන්නාහු ය; 35 එහෙත් එන යුගයට හා පුනරුජ්ජීවනයට පැමිණීමට වරම් ලත් අය ආවාහ වන්නේ වත් විවාහ වන්නේ වත් නැත. 36 ඉන්පසු ඔවුන්ට මරණයක් නැත. ඔව්හු දේව දූතයන්ට සම වෙති. පුනරුජ්ජීවන වරය ලත් බැවින් ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. 37 ‘සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය, ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය’යි කීමෙන් මෝසෙස් පවා, පුනරුජ්ජීවනයක් ඇති බව පඳුර පිළිබඳ පාඨයෙහි පෙන්වා දී ඇත. 38 උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව, ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය. මන්ද, උන් වහන්සේ උදෙසා සියල්ලෝ ම ජීවත් වෙති”යි වදාළ සේක. 39 එවිට විනයධරයන්ගෙන් සමහරෙක් උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, ඔබේ කතාව කදිම ය”යි කී හ. 40 උන් වහන්සේගෙන් තවත් කිසි ප්‍රශ්නයක් ඇසීමට ඔවුන්ට ධෛර්ය නොතිබිණි.
දාවිත්ගේ පුත්‍රයා මෙන් ම ස්වාමීන් ද වන ක්‍රිස්තුස් වහන්සේ
(මතෙව් 22:41-46; මාක් 12:35-37)
41 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරමින්, ”ක්‍රිස්තුස් දාවිත්ගේ පුත්‍රයා යයි කියන්නේ කෙසේ ද? 42-43 මන් ද?
‘මා විසින් සතුරන් ඔබේ පා යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි
දාවිත් ම ගීතාවලියෙහි ලියා තිබේ. 44 මෙසේ දාවිත් ම උන් වහන්සේට ‘සමිඳාණන්’ යයි කියයි නම් උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ”යි ඇසූ සේක.
විනයධරයන්ට චෝදනා
(මතෙව් 23:1-36; මාක් 12:38-40; ලූක් 11:37-54)
45 මුළු සෙනඟ සවන් දී සිටිය දී උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, 46 ”දිග උතුරු සළු හැඳ සක්මන් කිරීමට කැමැති, වෙළඳ පොළේ දී ගෞරවාචාරවලට ද ධර්මශාලාවල දී ප්‍රධාන ආසනවලට ද මංගල භෝජනවල දී ප්‍රධාන ස්ථානවලට ද ඇලුම් කරන, 47 වැන්දඹුවන්ගේ ගේදොර කාදමමින්, පෙනුමට දිගින් දිගට යාච්ඤා පුද කරන, විනයධරයන්ගෙන් පරෙස්සම්වන්න. ඔව්හු වඩාත් බරපතල දඬුවමකට පත් කරනු ලබන්නෝ ය”යි වදාළ සේක.
– 21 වන පරිච්ඡේදය –
වැන්දඹුවගේ පඬුර
(මාක් 12:41-44)
1 උන් වහන්සේ අවට බැලූ විට ධනවතුන් සිය පුදපඬුරු දේව මාලිගා ගබඩාවෙහි දමනු දුටු සේක. 2 එක් දිළිඳු වැන්දඹු ස්ත්‍රියක් තඹ සල්ලි දෙකක් දමනු උන් වහන්සේ දැක, 3 ”ඇත්තෙන් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව අනෙක් හැමට ම වඩා පඬුරු දැම්මා ය. 4 මන්ද, ඔවුන් සියල්ලෝ ම තමන්ට තිබුණු වැඩිපුර දෙයින් ගබඩාවට පඬුරු දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටියදීත් තම දිවි පෙවෙත සඳහා වූ මුළු වත්කම ම පිදුවා ය”යි වදාළ සේක.
දේව මාලිගාවේ විනාශය ගැන කලින් කීම
(මතෙව් 24:1-2; මාක් 13:1-2)
5 සමහරුන් දේව මාලිගාව ගැන කතා කරමින්, එය මනහර ගලින් හා පූජා වස්තුවලින් ද සරසා තිබෙන නියාව පැවසූ විට උන් වහන්සේ කතා කොට, 6 ”ඔබට පෙනෙන මේ දෙය, ගලක් පිට ගලක් ඉතිරි නොවන සේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේ ය”යි වදාළ සේක.
පීඩාවල පෙර නිමිති
(මතෙව් 24:3-14; මාක් 13:3-13)
7 ”ගුරුදේවයෙනි, ඒ දෙය කවර කලෙක වන්නේ ද? ඒ පිළිබඳ පෙර ලකුණු කවරේ දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. 8 උන් වහන්සේ කතා කොට, ”මුළා නොවෙන්ට බලාගන්න; කුමක් නිසා ද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වී ‘ඒ මම ය, නියමිත මොහොත පැමිණ ඇතැ’යි කියන්නෝ ය; ඔවුන් අනුව නොයන්න. 9 යුද්ධ සහ විප්ලව ගැන ආරංචි වන විට, භයින් ත්‍රස්ත නොවන්න; මන්ද, මේ දේවල් පළමුකොට සිදුවිය යුතු ය; එහෙත් අවසානය එකෙණෙහි ම නොපැමිණෙන්නේ ය”යි වදාළ සේක.
10 එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. 11 මහා භූමිකම්පා ද නොයෙක් තැන්වල සාගත හා වසංගත ද වන්නේ ය; ත්‍රාසජනක දර්ශන ද පුදුම ලකුණු ද අහසෙහි වන්නේ ය. 12 එහෙත් ඒ සියල්ලට පෙර, මාගේ නාමය නිසා ඔව්හු ඔබ අල්ලාගෙන, ධර්මශාලාවටත්, හිර ගෙවලටත් ඔබ පාවාදෙමින්, ඔබට පීඩා කරන්නෝ ය; ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝ ය. 13 ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය. 14 ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න. 15 මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. 16 දෙමවුපියන්, සහෝදරයන් හා නෑ මිතුරන් විසින් ම ඔබ පාවා දෙනු ලබන්නහු ය; ඔව්හු ඔබගෙන් සමහරෙකු මරණයට පත් කරන්නෝ ය. 17 මාගේ නාමය නිසා සියල්ලෝ ම ඔබට වෛර කරන්නෝ ය. 18 එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය. 19 ස්ථීර ව සිටීමෙන් ඔබ ජීවනය දිනා ගන්නහු ය.”
ජෙරුසලමේ විනාශය කලින් කීම
(මතෙව් 24:15-21; මාක් 13:14-19)
20 ”යම් කලෙක යුද හමුදා ජෙරුසලම වටලනු ඔබ දකින්නාහු ද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. 21 එකල ජුදයෙහි වසන්නෝ කඳුකරයට පලා යත්වා; නගරය තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද ව සිටින්නෝ නුවරට, ඇතුළු නොවෙත්වා. 22 මන්ද, ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස එය විනිශ්චය දවස වන්නේ ය. 23 ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මව්වරුන්ට ද වන විපතක මහත! මන්ද, දේශය පිට දැඩි ආපදා හා වේදනා ද මේ සෙනඟ කෙරෙහි දේව සාපය ද වන්නේ ය. 24 ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”
මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය
(මතෙව් 24:29-31; මාක් 13:24-27)
25 ”හිරු, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේ ය. මුහුදේ හා රළ පතරෙහි ඝෝෂාවෙන් වන වියවුලින් ජාතීන් හට සිත් වේදනා වන්නේ ය. 26 අහසේ බලවේගයන් සොලවනු ලබන බැවින්, ලෝකයට සිදුවන්න යන ආපදා ගැන බලා සිටීමෙන් මිනිසුන්ගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේ ය. 27 එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද වලාකුළක් මත වඩිනු ඔව්හු දකින්නෝ ය. 28 මේ දේ සිදුවන්න පටන්ගන්නා කල ඔබේ විමුක්තිය ළං වේගන එන බැවින් නැඟී සිට හිස් ඔසවන්නැ”යි වදාළ සේක.
අත්තික්කා ගසෙන් පාඩමක්
(මතෙව් 24:32-35; මාක් 13:28-31)
29 තවද ජේසුස් වහන්සේ ඔවුන්ට උපමාවක් වදාළ සේක. ”අත්තික්කා ගස හෝ අන් කිසි ගසක් හෝ ගැන සිතන්න. 30 ඒවා දලු ලන විට, එය දුටු හැටියේ ම ගිම්හානය දැන් ළං වී ඇතැ යි ඔබ දන්නහු ය. 31 එලෙස ම, මේ දේ සිදුවනු දක්නා කල, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළං වී ඇතැ යි දැනගන්න. 32 ඇත්තෙන් ම මම ඔබට කියමි, මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහ ව නොයන්නේ ය. 33 අහසත්, පොළොවත් පහ ව යන්නේ ය. එහෙත් මාගේ කිසිදු වචනයක් පහ ව නොයන්නේ ම ය.”
අවදි ව සිටීමට අවවාද
34 ”ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න. 35 මන්ද, එය මුළු පොළොවෙහි සකල ලෝක වාසීන් පිට පැමිණෙන්නේ ය. 36 එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”
37 දිවා භාගයෙහි උන් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනය කළ සේක. රාත්‍රියෙහි නුවරින් නික්ම ගොස්, ඔලීව නම් කන්දෙහි නැවතුණ සේක. 38 මුළු ජනතාව දේව මාලිගාවෙහි දී උන් වහන්සේට සවන් දෙනු පිණිස අලුයම් වේලෙහි උන් වහන්සේ වෙත රැස්වූ හ.
– 22 වන පරිච්ඡේදය –
ජේසුස් වහන්සේ නැසීමට කුමන්ත්‍රණය
(මතෙව් 26:1-5, 14-16; මාක් 14:1-2, 10-11; ජොහන් 11:45-53)
1 පාස්කුව නම් වූ නුමුහුන් රොටි මංගල්‍යය ළං විය. 2 නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ නැසීමට උපා සෙවූ හ; එසේ කෙළේ ඔවුන් ජනතාවට භයින් සිටි බැවිනි.
3 ඒ අතර දොළොස් දෙනාගෙන් කෙනෙක් වූ ඉස්කාරියොත් නම් ජූදස්ගේ සිතට සාතන් ඇතුළු විය. 4 ඔහු ගොස් උන් වහන්සේ පාවා දෙන්නේ කෙසේ ද කියා නායක පූජකයන් හා දේව මාලිගාවේ මුර සෙබළුන් සමඟ කතා කර ගත්තේ ය. 5 ඔව්හු ඉතා සතුටු ව ඔහුට මුදල් දීමට පොරොන්දු වූ හ. 6 ඔහු ඊට එකඟ වී, සෙනඟ නැති වේලාවක උන් වහන්සේ ඔවුන් අතට පාවා දෙනු පිණිස සුදුසු අවස්ථාවක් සෙවී ය.
පාස්කු මංගල්‍යය සඳහා සූදානම
(මතෙව් 26:17-25; මාක් 14:12-21; ජොහන් 13:21-30)
7 පාස්කු බැටළුවා පූජා කළ යුතු නුමුහුන් රොටි මංගල්‍යය පවත්වන දවස පැමිණියේ ය. 8 එවිට උන් වහන්සේ පේදුරු ද ජොහන් ද යවමින්, ”ඔබ ගොස් අප විසින් පාස්කු භෝජනය වළඳන පිණිස පිළියෙළ කරන්නැ”යි වදාළ සේක. 9 ”කොතැන පිළියෙළ කරනවාට ඔබ වහන්සේ කැමැති සේක් දැ”යි ඔව්හු ඇසූ හ. 10 උන් වහන්සේ, ”ඔබ නුවරට ඇතුළු වූ විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ ගොස් ඔහු යන ගෙදරට ඇතුළු වී, 11 ගෘහ මූලිකයාට කතා කොට, ‘මා විසින් මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වැළඳීම සඳහා වෙන් කර ඇති කාමරය කොයි ද කියා ගුරුදේවයාණෝ අසන සේකැ’යි කියන්න. 12 සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි පිළියෙළ කරන්නැ”යි වදාළ සේක. 13 ඔව්හු ගොස්, උන් වහන්සේ වදාළ ලෙස ම සියල්ල සම්බවූයෙන්, පාස්කු භෝජනය පිළියෙළ කළහ.
අන්තිම රාත්‍රි භෝජනය
(මතෙව් 26:26-30; මාක් 14:22-26; 1 කොරි: 11:23-25)
14 නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. ප්‍රේරිතයෝ ද උන් වහන්සේ සමඟ හිඳගත්හ. 15 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි. 16 ඒ මන්දැ යි මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවළඳමි”යි වදාළ සේක. 17 උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, ”මෙය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න. 18 මන්ද, මම ඔබට කියමි, මෙතැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදියුස පානය නො කරන්නෙමි”යි වදාළ සේක. 19 උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, ”ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක. 20 එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, ”මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය. 21 එහෙත්, දැන් මා පාවා දෙන්නාගේ අත මා ළඟින් ම මේසය මත තිබේ. 22 මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය. එහෙත්, ඔහු පාවා දෙන ඒ මනුෂ්‍යයාට වන විපතක මහතැ”යි උන් වහන්සේ වදාළ සේක. 23 එවිට එය කරන්නට යන්නේ ඔවුන්ගෙන් කවරෙක් දැ යි ඔව්හු තම තමන් අතර විමසන්නට පටන්ගත්හ.
ශ්‍රේෂ්ඨතම තැනැත්තා පිළිබඳ ප්‍රශ්නය
24 තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය යුත්තේ කවරෙක් දැ යි ශ්‍රාවකයන් අතර විවාදයක් ඇති විය. 25 උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ”විජාතීන්ගේ රජවරු වැසියන් කෙරෙහි අධිපති බලය පාන්නාහ; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ ජාති හිතෛෂීහු යයි කියනු ලබති. 26 එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙන් ද නායකයා සේවකයා මෙන් ද වේ වා; 27 වඩා උතුම් කවරේ ද, කෑමට හිඳින තැනැත්තා ද, නැතහොත් සේවකයා ද? කෑමට හිඳින තැනැත්තේ නොවේ ද? එහෙත්, මම නම්, ඔබ මැද සේවකයා මෙන් වෙමි. 28 මාගේ පරීක්ෂාවල දී මා සමඟ සිටි අය ඔබ ම ය. 29 එබැවින් මාගේ පියාණන් වහන්සේ මට රාජ්‍යය පවරා දුන් සේ ම, 30 මාගේ රාජ්‍යයෙහි මාගේ මේසයේ දී කන බොන පිණිස ද සිහසුන් අරා ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස කෙරෙහි විනිශ්චය කරන පිණිස ද වරය මමත් ඔබට පවරා දෙමි.”
පේදුරුගේ අපලාපය ගැන කලින් කීම
(මතෙව් 26:31-35; මාක් 14:27-31; ජොහන් 13:36-38)
31 ”සීමොන්, සීමොන්, මෙය අසන්න. තිරිඟු පොළන්නාක් මෙන් ඔබ සියලු දෙන පොළාලන්නට සාතන් අවසර ලබා ඇත. 32 එහෙත්, ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස ඔබ උදෙසා මම යාච්ඤා කෙළෙමි. ඔබ යළිත් හැරුණු පසු, ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්නැ”යි වදාළ සේක. 33 ඔහු උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔබ හා සමඟ හිරේ යාමට හා මරණයට වුව ද මම සූදානම් ව සිටිමි”යි උන් වහන්සේට කී ය. 34 ජේසුස් වහන්සේ කතා කරමින්, ”පේදුරු, මම මෙය ඔබට කියමි, ඔබ මා නොදන්නා බව තුන් වරක් කියන තුරු, අද රෑ කුකුළා නොහඬළන්නේ ය”යි වදාළ සේක.
පසුම්බිය, මල්ල සහ කඩුව
35 උන් වහන්සේ ඔවුන්ට වදාරමින්, ”පසුම්බියක් වත්, මල්ලක් වත්, පා වහන් වත් නැති ව මා ඔබ යැවූ කල කිසිවක් හිඟ වී දැ”යි ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, ”නැතැ”යි කී හ. 36 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”එහෙත් දැන් පසුම්බියක් ඇති තැනැත්තා එය ගනී වා, එසේ ම මල්ලක් ද ගනී වා, කඩුවක් නැති තැනැත්තා තම සළුව විකුණා, කඩුවක් මිළ දී ගනී වා. 37 මම මෙය ඔබට කියමි, ‘උන් වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබී ය’යි ලියා තිබෙන ඒ කීම මා තුළින් මුදුන් පත් විය යුතු ය; මා ගැන ලියා ඇති දෙය සම්පූර්ණ වන්නේ ම ය”යි වදාළ සේක. 38 ඔව්හු කතා කරමින්, ”ස්වාමීනි, බැලුව මැනව, කඩු දෙකක් මෙහි ඇතැ”යි කී හ. උන් වහන්සේ ද: ”ඔය ඇති”යි වදාළ සේක.
ඔලීව කන්දෙහි යාච්ඤාව
(මතෙව් 26:36-46; මාක් 14:32-42)
39 එවිට ජේසුස් වහන්සේ පිටත් ව සිරිත් පරිදි ඔලීව කන්දට වැඩිය සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පසුපස්සේ ගියහ. 40 උන් වහන්සේ එහි පැමිණි පසු කතා කොට, ”ඔබ පරීක්ෂාවට නොවැටෙන ලෙස යාච්ඤා කරන්නැ”යි වදාළ සේක. 41 ගලක් ගසන තරම් දුරක් උන් වහන්සේ ඔවුන්ගෙන් ඈත් වී, දණින් හිඳ යාච්ඤා කරමින්, 42 ”පියාණෙනි, ඔබ කැමැති සේක් නම්, මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේ වා”යි වදාළ සේක. 43 එකල දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී, උන් වහන්සේ ශක්තිමත් කෙළේ ය. 44 උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙන් බිම වැටිණි. 45 උන් වහන්සේ යාච්ඤා කරමින් සිට නැඟිට, ශ්‍රාවකයන් වෙත අවුත්, ඔවුන් ශෝකය නිසා නිඳා හිඳිනු දැක, 46 ”ඔබ නිඳා ඉන්නේ මන් ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස නැඟිට යාච්ඤා කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක.
ජේසුස් වහන්සේ පාවා දීම
(මතෙව් 26:47-56; මාක් 14:43-50; ජොහන් 18:3-11)
47 උන් වහන්සේ මෙවදන් පවසත් ම සමූහයක් පැමිණියහ. දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ජූදස් නමැත්තා ඔවුන්ට පෙරටුව අවුත්, ජේසුස් වහන්සේ සිඹින පිණිස උන් වහන්සේ වෙතට ළං විය. 48 ජේසුස් වහන්සේ ද ”ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක. 49 උන් වහන්සේ සමඟ සිටි අය සිදු වන්න යන දෙය දැක, ”ස්වාමීනි, කඩු පහරක් දෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 50 ඔවුන්ගෙන් එක් කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය. 51 එහෙත් ජේසුස් වහන්සේ, ”ඔය ඇති, නවතින්න,” කියා ඔහුගේ කන අතගා සුව කළ සේක. 52 ජේසුස් වහන්සේ තමන්ට විරුද්ධ ව ආ නායක පූජකයන්ට ද දේව මාලිගාවේ මුර සෙබළුන්ට ද ප්‍රජා මූලිකයන්ට ද කතා කොට, ”ඔබ සොරෙකු හා සටනට මෙන් කඩු මුගුරු රැගෙන ආවාහු ද? 53 දිනපතා මා දේව මාලිගාවෙහි ඔබ හා සමඟ සිටිය දී ඔබ මට විරුද්ධ ව අත් එසෙව්වේ නැත. එහෙත් මෙය ඔබගේ අවස්ථාව ය. අන්ධකාරය රජ කරන මොහොත ය”යි වදාළ සේක.
පේදුරුගේ අපලාපය
(මතෙව් 26:57-58, 69-75; මාක් 14:53-54, 66-72; ජොහන් 18:12-18, 25-27)
54 ඔව්හු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගියහ. පේදුරු ද ඈතින් පසුපස්සේ ගියේ ය. 55 ඔවුන් මළුව මැද ගිනි මැලයක් ගසා එක් ව හිඳගෙන සිටිය දී, පේදුරු ඔවුන් මැද හිඳගත්තේ ය. 56 එවිට එක් සේවිකාවක් ඔහු ගිනි මැලය ළඟ සිටිනු දැක, ඔහු දෙස හොඳට බලා, ”මේ මිනිසාත් ඔහු සමඟ සිටියේ ය”යි කීවා ය. 57 ”ස්ත්‍රිය, නැත. මම ඔහු නාඳුනමි”යි පේදුරු කී ය. 58 මඳ වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, ”ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය”යි කී ය. පේදුරු පිළිතුරු දෙමින්, ”නැත, නැත, එසේ නොවේ ය”යි කී ය. 59 පැයකට පමණ පසු තවත් කෙනෙක් කතා කොට, ”ඇත්තෙන් ම මොහුත් ඔහු සමඟ සිටියේ ය. මන්ද, මොහු ගලීලයෙකැ”යි තරයේ ම කියා සිටියේ ය. 60 පේදුරු ද, ”ඔබ කියන දේ මට නොතේරේ” යයි කී ය. එකෙණෙහි ම, ඔහු කතා කරද්දී ම, කුකුළෙක් හැඬලී ය. 61 සමිඳාණන් වහන්සේ හැරී පේදුරු දෙස බැලූ සේක. පේදුරු ද, ”අද කුකුළා හඬලන්නට පළමුවෙන් ‘ඔහු නාඳුනමි’යි තුන් වරක් ඔබ මා ගැන කියන්නෙහි ය”යි සමිඳාණන් වහන්සේ ඔහුට පැවසූ කීම සිහි කොට, 62 පිටතට ගොස්, දැඩි දුකින් හැඬී ය.
නිගා කිරීම හා පහර දීම
(මතෙව් 26:67-68; මාක් 14:65)
63 එකල ජේසුස් වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන් වහන්සේට කවට කම් කරමින් පහර දුන්හ. 64 ඔව්හු ජේසුස් වහන්සේගේ ඇස් වසා බැඳ, ”ඔබට ගැසුවේ කවරෙක් ද කියා දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කී හ. 65 ඔව්හු තවත් බොහෝ දේ උන් වහන්සේට විරුද්ධ ව කියමින්, අපහාස කළහ.
ජේසුස් වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි
(මතෙව් 26:59-66; මාක් 14:55-64; ජොහන් 18:19-24)
66 පහන් වූ කෙණෙහි ම, නායක පූජකයන් ද විනයධරයන් ද ඇතුළු ප්‍රජා මූලිකයන්ගේ සංගමය රැස් ව, සිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට උන් වහන්සේ ගෙන ගොස්, 67 ”ඔබ ක්‍රිස්තුස් ද? අපට කියන්නැ”යි කී හ. උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා ඔබට කීවත් ඔබ විශ්වාස කරන්නේ නැත; 68 මා ඔබගෙන් ඇසුවත් ඔබ පිළිතුරු දෙන්නේ නැත. 69 එහෙත් මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමයේ දකුණු පස වැඩහිඳිනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. 70 ඔව්හු සියල්ලෝ, ”එසේ නම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ දැ”යි ඇසූ හ. උන් වහන්සේ ද, ”මා එසේ බැව් පවසන්නේ ඔබ ම ය”යි වදාළ සේක. 71 ඔව්හු ද, ”වෙන සාක්කියක් අපට කුමට ද? මෙය ඔහුගේ ම කටින් කියනවා අපගේ ම කණින් ඇසීමු”යි කී හ.
– 23 වන පරිච්ඡේදය –
ජේසුස් වහන්සේ පිලාත් ඉදිරියෙහි සිටීම
(මතෙව් 27:1-2, 11-14; මාක් 15:1-5; ජොහන් 18:28-38)
1 එවිට ඒ මුළු සමූහයා නැඟිට, උන් වහන්සේ පිලාත් ඉදිරියට ගෙන ගියහ. 2 ඔව්හු උන් වහන්සේ ගැන චෝදනා කරන්නට පටන්ගෙන, ”මොහු අපේ ජාතිය කැරලිගැසීමට පොළඹවන බවත්, අධිරාජයාට අයබදු දීම තහනම් කරන බවත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක් යයි කියාගන්න බවත් අපි දැනගතිමු”යි කී හ. 3 පිලාත් කතා කරමින්, ”ඔබ ජුදෙව්වරුන්ගේ රජු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ”එසේ කියන්නේ ඔබ ය”යි උන් වහන්සේ වදාළ සේක. 4 එවිට පිලාත් නායක පූජකයන්ට ද සමූහයන්ට ද කතා කොට, ”මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට නොපෙනේ ය”යි කී ය. 5 එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, ”මොහු ගලීලයේ සිට මෙතැන දක්වා ජුදය මුළුල්ලෙහි උගන්වමින් සෙනඟ කළඹන්නේ ය”යි තරයේ ම කියා සිටියහ.
ජේසුස් වහන්සේ උප රජ හෙරොද් ඉදිරියෙහි
6 පිලාත් ඒ අසා, ”මේ මනුෂ්‍යයා ගලීලයෙක් දැ”යි විචාළේ ය. 7 එවිට පිලාත් උන් වහන්සේ හෙරොද්ගේ ප්‍රදේශයට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වල ජෙරුසලමෙහි සිටි බැවින්, උන් වහන්සේ ඔහු වෙත යැවී ය. 8 හෙරොද් ජේසුස් වහන්සේ දැක, ඉතා සන්තෝෂ විය. මන්ද, ඔහු උන් වහන්සේ ගැන අසා සිටි බැවින් බොහෝ කලෙක පටන් උන් වහන්සේ දකින්න ආශාවෙන් සිටියේ ය. උන් වහන්සේ යම් ආශ්චර්යයක් කරනු දැකීමට ද ඔහු බලාපොරොත්තු විය. 9 ඔහු උන් වහන්සේගෙන් බොහෝ ප්‍රශ්න ඇසූ නමුත් උන් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක. 10 නායක පූජකයෝ ද විනයධරයෝ ද නැඟිට, උන් වහන්සේට තදින් වරද තැබූ හ. 11 හෙරොද් තමාගේ සෙබළුන් සමඟ උන් වහන්සේ හෙළා දකිමින් සරදම් කොට, විචිත්‍ර වස්ත්‍රයක් හඳවා, උන් වහන්සේ පිලාත් වෙත පෙරළා යැවී ය. 12 ඊට පෙර, කාලයක් ම මේ දෙදෙනා විරුද්ධවාදී ව සිටියත් ඒ දවසේ ම මිත්‍ර වූහ.
ජේසුස් වහන්සේට මරණීය දණ්ඩනය
(මතෙව් 27:15-26; මාක් 15:6-15; ජොහන් 18:39-19.16)
13 පිලාත් නායක පූජකයන් ද ප්‍රධානීන් ද සෙනඟ ද රැස් කරවා, 14 ඔවුන්ට කියනුයේ, ”ඔබ මේ මනුෂ්‍යයා සෙනඟ කැරලිගැසීමට පොළඹවන්නෙකැ යි කියා මා වෙත ගෙනාවහු ය. බලන්න, ඔබ ඉදිරියෙහි මා ඔහු විභාග කළ විට, ඔබ විසින් මොහුට විරුද්ධ ව කළ චෝදනාවලින් කිසිවක් ගැන ඔහු වරදකාරයෙකැ යි මට පෙනුණේ නැත; 15 හෙරොද්ට ද පෙනුණේ නැත. හෙරොද් මොහු නැවත අප වෙත එවුයේ ඒ නිසා ය; බලන්න, මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් ඔහු කර නැත. 16 එබැවින් මම ඔහුට තළා නිදහස් කොට හරිමි”යි කී ය. 17 hඑසේ කීවේ පාස්කු මංගල්‍යයක දී එක මිනිසකු නිදහස් කර දීමට ඔහු බැඳී සිටි බැවිනි. 18 එහෙත් සියල්ලෝ ම, ”මොහු මරාදමන්න, බරබ්බස් අපට නිදහස් කර දෙන්නැ”යි එක හඬින් මොරගැසූ හ. 19 බරබ්බස් වනාහි නගරයේ සිදුවූ කැරලිගැසීමක් ද මිනී මැරීමක් ද නිසා හිරගෙට යවනු ලැබූවෙකි. 20 පිලාත් ජේසුස් වහන්සේ මුදා හැරීමට කැමැති ව නැවතත් ඔවුන්ට කතා කෙළේ ය. 21 එහෙත් ඔව්හු, ”මොහු කුරුසියෙහි ඇණ ගසන්න! කුරුසියෙහි ඇණ ගසන්න!” කියා මොරගැසූ හ. 22 ඔහු තෙ වන වරටත් කතා කොට, ”කිමෙක් ද? මොහු කවර අපරාධයක් කෙළේ ද? මොහු අත මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් නැත. එබැවින් මොහුට තළා මුදා හරිමි”යි කී ය. 23 එහෙත්, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන ලෙස ම ඉල්ලා ඔව්හු වැඩි වැඩියෙන් මොරගැසූ හ. ඔවුන්ගේ උද්ඝෝෂණය සාර්ථක විය. 24 පිලාත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි තීන්දුව දුන්නේ ය. 25 තවද, ඔහු කැරලිගැසීම හා මිනී මැරීම නිසා හිර ගෙයි දමා සිටි, සෙනඟ ඉල්ලූ තැනැත්තා මුදා හැරියේ ය. එහෙත් ඔහු ජේසුස් වහන්සේ ඔවුන්ගේ හිතුමනාපයට පාවා දුන්නේ ය.
කුරුසියෙහි ඇණ ගැසීම
(මතෙව් 27:32-44; මාක් 15:21-32; ජොහන් 19:17-27)
26 ඔව්හු උන් වහන්සේ ගෙන යන කල, පිටිසරින් පැමිණි සිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලාගෙන, ජේසුස් වහන්සේ පසුපස්සෙන් කුරුසිය දරාගෙන යන පිණිස එය ඔහු පිට තැබූ හ. 27 පොදු ජනයාගෙන් ද උන් වහන්සේ නිසා හඬා වැලපෙන ස්ත්‍රීන්ගෙන් ද යුක්ත වූ විශාල පිරිසක් උන් වහන්සේ පසුපස්සේ, ගමන් ගත්හ. 28 ජේසුස් වහන්සේ ඔවුන් දෙසට හැරී, ”ජෙරුසලමේ දූවරුනි, මා නිසා නොහඬන්න, ඔබ සහ ඔබේ දරුවන් නිසා ම හඬන්න. 29 වඳ ස්ත්‍රීහු ද කිසි කලෙක දරුවන් නොදැරූ කුස ද කිරි නුදුන් පියයුරු ද භාග්‍යවන්ත යයි පවසන දවස් පැමිණෙන්නේ ය. 30 ඒ දවස්වල දී ඔව්හු කඳු අමතා, ‘අප පිට වැටෙන්න’ හෙල් අමතා, ‘අප වසාගන්නැ’යි කියන්න පටන්ගන්නෝ ය. 31 මන්ද, ඔව්හු අමු ගසට මේ දේ කරත් නම්, වියළුණු ගසට කුමක් නො කරනු ඇද්දැ”යි වදාළ සේක. 32 මරණ දඬුවමට වරදකරුවන් වූ තවත් දෙදෙනෙක් ද උන් වහන්සේ සමඟ ගෙන යන ලදහ. 33 ඔව්හු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ, එහි දී උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ හ. වරදකරුවන්ගෙන් එක් කෙනෙකු උන් වහන්සේගේ දකුණු පස ද, අනික් එක්කෙනා වම් පස ද කුරුසිවල ඇණ ගැසූ හ. 34 ජේසුස් වහන්සේ කතා කොට, ”පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ. 35 සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, ”මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ. 36 මුර සෙබළෝ ද උන් වහන්සේ ළඟට අවුත් උන් වහන්සේට කාඩි පිළිගන්වා, 37 ”ඔබ ජුදෙව්වරුන්ගේ රජු නම්, ඔබ ඔබ ම ගළවාගන්න” කියා සරදම් කළහ. 38 ”ජුදෙව්වරුන්ගේ රජ මොහු ය”යි කියා ලියන ලද පුවරු කඩක් උන් වහන්සේට ඉහළින් තබා තිබිණි.
39 එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, ”ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය. 40 අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද? 41 අපට දඬුවම් ලැබීම සාධාරණ ය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ”යි උත්තර දුන්නේ ය. 42 තවද ඔහු, ”ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය. 43 උන් වහන්සේ ද, කතා කරමින් ”ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය”යි වදාළ සේක.
ජේසුස් වහන්සේගේ මරණය
(මතෙව් 27:45-56; මාක් 15:33-41; ජොහන් 19:28-30)
44 එය මද්දහන් වේලාව පමණ විය; රට පුරා අන්ධකාරයක් පහළ වී, එය සවස තුන දක්වා පැවතිණි. 45 හිරු අඳුරු විය; දේව මාලිගාවේ තිරය දෙකඩ ව ඉරී ගියේ ය. 46 ජේසුස් වහන්සේ මහ හඬින් මොරගසා, ”පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය භාර දෙමි”යි වදාළ සේක. මෙවදන් කියා උන් වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක. 47 එවිට ශතාධිපතියා සිදු වූ දෙය දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, ”සැබැවින් ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙකැ”යි කීවේ ය. 48 මේ සිද්ධිය බැලීමට ආ සමූහයා සිදු වූ සියල්ල දැක, ළයට ගසාගනිමින් ආපසු ගියහ. 49 උන් වහන්සේ දැන හැඳින සිටි සියල්ලෝ ද ගලීලයේ සිට උන් වහන්සේ සමඟ ආ ස්ත්‍රීහු ද ඒ දේ නරඹමින් දුරින් සිටියහ.
භූමදානය
(මතෙව් 27:57-61; මාක් 15:42-47; ජොහන් 19:38-42)
50-51 ජුදෙව් නුවරක් වූ අරිමාතියෙන් පැමිණි ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය. ඔහු යහපත් දැහැමි තැනැත්තෙකි. ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකි. ඔහු ජුදෙව්වරුන්ගේ තීරණය හා ක්‍රියා කලාපය අනුමත නොකෙළේ ය; ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අපේක්ෂාවෙන් සිටියේ ය. 52 ඔහු පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මෘත දේහය ඉල්ලී ය. 53 ඔහු එය පහතට ගෙන, සිහින් හණ රෙද්දකින් වෙළා, ඒ දක්වා කිසිවකු නොතැබූ, ගලක කණින ලද සොහොනක උන් වහන්සේ තැන්පත් කෙළේ ය. 54 ඒ දවස සබත් දිනයට සූදානම් වීමේ දවස වන සිකුරාදා විය; 55 ගලීලයේ සිට උන් වහන්සේ සමඟ ආ ස්ත්‍රීහු ගොස්, සොහොන් ගෙය ද උන් වහන්සේගේ මෘත දේහය තැන්පත් කළ අන්දම ද බලාගත්හ. 56 ඔව්හු ආපසු අවුත් සුගන්ධ ද්‍රව්‍ය හා විලේපන සූදානම් කළහ. ව්‍යවස්ථාවට අනුකූල ව ඔව්හු සබත් දවසේ නිවාඩු ගත්හ.
– 24 වන පරිච්ඡේදය –
ජේසුස් වහන්සේගේ පුනරුජ්ජීවනය
(මතෙව් 28:1-10; මාක් 16:1-8; ජොහන් 20:1-10)
1 සතියේ පළමු වන දින හිමිදිරි උදයේ තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ස්ත්‍රීහු සොහොන් ගෙය ළඟට ගියාහු, 2 ගල සොහොන් ගෙයින් ඉවතට පෙරළා තිබෙනු දුටුවෝ ය. 3 ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය. 4 ඒ ගැන ඔවුන් වියවුල් ව සිටිය දී, කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියහ. 5 ඒ දුටු ඔවුන් බියපත් ව තමන්ගේ මුහුණු බිමට හරවාගත් කල ඒ මනුෂ්‍යයෝ කතා කොට, ”ජීවමාන තැනැන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන් ද? 6 උන් වහන්සේ මෙහි නැත, උන් වහන්සේ උත්ථාන වූ සේක. 7 මනුෂ්‍ය-පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නටත්, කුරුසියෙහි ඇණ ගසනු ලබන්නටත්, තුන් වන දා නැවත නැඟිටින්නටත් යුතු ම යයි කියා උන් වහන්සේ ගලීලයේ සිටිය දී පැවසූ හැටි සිහි කරන්නැ”යි ඔවුන්ට කී හ. 8 එකල ඔව්හු උන් වහන්සේගේ වචන සිහි කොට සොහොන් ගෙයින් හැරී අවුත්, 9 එපවත් සියල්ල එකොළොස් දෙනාට ද සෙසු සියල්ලන්ට ද දැන්වූ හ. 10 ඒ ස්ත්‍රීහු නම්: මග්දලායේ මරියා, ජොවන්නා සහ ජාකොබ්ගේ මව වූ මරියා ය. ඔවුන් සහ අනිකුත් ස්ත්‍රීහු ද ප්‍රේරිතයන්ට එපවත් කී හ. 11 මෙපුවත ඔවුන්ට ප්‍රලාපයක් සේ පෙනී ගියෙන්, ඔව්හු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ. 12 එහෙත්, පේදුරු නැඟිට සොහොන් ගෙය ළඟට දුව ගොස්, නැමී බලා, හණ රෙදි පමණක් තිබෙනු දැක, සිදුවූ දේ ගැන පුදුම වෙමින් සිය නිවෙසට ගියේ ය.
එම්මාවුස් ගමන
(මාක් 16:12-13)
13 එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. 14 එසේ යද්දී, ඔව්හු සිදුවූ සියල්ල ගැන කතා කරමින් ගියහ. 15 තවද, ඔවුන් සාකච්ඡා කරමින් යද්දී, ජේසුස් වහන්සේ ම ඔවුන් සමීපයට වැඩ, ඔවුන් හා සමඟ ගමන්ගත් සේක. 16 ඔවුන් උන් වහන්සේ දුටු නමුත්, ඔවුන්ට උන් වහන්සේ හඳුනා ගත නොහැකි විය. 17 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැන දැ”යි ඇසූ සේක. ඔව්හු දුක්මුසු මුහුණින් යුක්ත ව නතර වූ හ. 18 ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, ”මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ”යි උන් වහන්සේට කී ය. 19 ”කවර කාරණා දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, ”නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසම්පන්න දිවැසිවරයෙකු ව සිටි සේක. 20 නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ. 21 එහෙත්, ඉශ්රායෙල් මුදාලීමට සිටි එක ම තැනැන් වහන්සේ උන් වහන්සේ ය යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ. මේ දේ සිදුවී අදට තුන් දවසක් ගත වී ඇත. 22 තවද, අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන් ගෙය ළඟට ගොස්, 23 උන් වහන්සේගේ සිරුර නොදැක අවුත්, ඔවුන්ට දර්ශනය වූ දේව දූතයන් ‘උන් වහන්සේ ජීවමාන ව සිටින සේකැ’යි පැවසූ බව කියා අප විස්මිත කළහ. 24 අප හා සමඟ සිටි අයගෙන් සමහරෙක් සොහොන් ගෙය ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙස ම දුටුවෝ ය. එහෙත්, ඔව්හු උන් වහන්සේ නුදුටුවෝ ය”යි කී හ. 25 එවිට උන් වහන්සේ ඔවුන් අමතා, ”බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි, 26 ක්‍රිස්තුන් වහන්සේ ඒ දුක් විඳ ඉක්බිති ස්වකීය තේජශ්‍රීයට පැමිණිය යුතු ව තිබුණා නොවේ ද” කියා, 27 මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක.
28 ඔව්හු යමින් සිටි ගමට ළං වූ හ. එහෙත් උන් වහන්සේ තවත් දුර යන බවක් දැක්වූ සේක. 29 එවිට ඔව්හු: ”දවස ගෙවී සවස් වේගන එන බැවින්, අප සමඟ නතර වුව මැනවැ”යි උන් වහන්සේට පෙරැත්ත කළහ. උන් වහන්සේ ඔවුන් සමඟ නතර වීමට ගෙට ඇතුළු වූ සේක. 30 තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක. 31 එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක. 32 එකල ඔව්හු, ”උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ. 33 ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද, 34 ”ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැඟිට සිටින සේක, සීමොන්ට ද පෙනුණු සේකැ”යි කියමින් සිටිනු දුටහ. 35 එවිට ඔව්හු ද මඟ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙහි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ.
ශ්‍රාවකයන්ට ප්‍රකාශ වීම
(මතෙව් 28:16-20; මාක් 16:14-18; ජොහන් 20:19-23; ක්‍රියා 1:6-8)
36 ශ්‍රාවකයන් මෙසේ කතා කරමින් සිටිය දී උන් වහන්සේ ඔවුන් මැදට වැඩම කර, ”ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක. 37 එහෙත් ඔව්හු ත්‍රස්ත ව භීතියට පත් ව, ඒ අවතාරයකැ යි සිතූ හ. 38 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ඔබ කැළඹී සිටින්නේ මන් ද? ඔබගේ සිත්වල සැක උපදින්නේත් මන් ද? 39 මාගේ අත් හා පා බලන්න; මේ මා ම බව තේරුම්ගන්න; මා ස්පර්ශ කොට, බලන්න; ඔබට පෙනෙන ලෙස ඇට මස් සහිත සිරුරක් මට ඇත. අවතාරයකට නම් ඒවා නැතැ”යි වදාළ සේක. 40 උන් වහන්සේ මෙවදන් කියා, තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක. 41 ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුම වෙමින් සිටිය දී, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”කෑමට යමක් මෙහි ඔබ වෙත තිබේ දැ”යි ඇසූ සේක. 42 ඔව්හු බැදපු මාළු කෑල්ලක් උන් වහන්සේට පිළිගැන්වූ හ. 43 උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක.
44 තවද උන් වහන්සේ කතා කරමින්, ”මා පිළිබඳ මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙහි ද දිවැසාවලියෙහි ද ගීතාවලියෙහි ද ලියා ඇති හැම දෙය ම ඉෂ්ට විය යුතු යයි මා ඔබ සමඟ සිටිය දී ඔබට පැවසූ වචනයෙහි තේරුම මේ ය”යි වදාළ සේක. 45 එවිට උන් වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා කතා කොට, 46 ”මෙසේ ක්‍රිස්තුන් වහන්සේ වද විඳින්ටත් තුන් වන දා මළවුන්ගෙන් නැඟිටින්ටත්, 47 ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත. 48 ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහු ය. 49 බලන්න, මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත්, ඉහළින් වන බලපරාක්‍රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබන තුරු නගරයෙහි නැවතී සිටින්නැ”යි වදාළ සේක.
ස්වර්ගාරෝහණය
(මාක් 16:19-20; ක්‍රියා 1:9-11)
50 උන් වහන්සේ බෙතානිය දක්වා, ඔවුන් කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක. 51 එසේ ආශීර්වාද කරද්දී ම, උන් වහන්සේ ඔවුන් කෙරෙන් වෙන් ව, ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක. 52 ඔව්හු උන් වහන්සේට නමස්කාර කොට, ඉමහත් ප්‍රීතියකින් ජෙරුසලමට හැරී අවුත්, 53 නිරතුරු දේව මාලිගාවෙහි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කල් ගත කළහ.