මාර්ක්

ශුද්ධවර මාක්

– 1 වන පරිච්ඡේදය –

ස්නාවක ජොහන්ගේ දේශනාව
(මතෙව් 3:1-12; ලූක් 3:1-9, 15-17; ජොහන් 1:19-28)

1 දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්නේ ආරම්භය මෙය ය. 2 යෙසායා සිය දිවැසාවලියෙහි මෙසේ ලියා ඇත:
”මෙන්න, මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ පිළියෙළ කරන්නේ ය;
3 ‘සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න;
එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් වේ!”
aඑපරිද්දෙන් ස්නාවක ජොහන් තෙමේ ‘පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබිය යුතු ය’යි දේශනා කරමින් පාළුකරයෙහි පහළ විය. 5 එවිට මුළු ජුදා රට ද ජෙරුසලම් පුරවැසියෝ ද ඔහු වෙත රැස් වී, පාපෝච්චාරණය කරමින් ඔහුගෙන් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.
6 ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් හැඳ, ඉණ වටා සම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය. 7 ඔහු දේශනා කරමින්, ”මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමාණන්ගේ පා වහන් පටි මුදන්නට පවා මම නොවටිමි; 8 මම වතුරෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කෙළෙමි; එහෙත් උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේකැ”යි කී ය.

ජේසුස් වහන්සේගේ බව්තීස්ම-ස්නාපනය
(මතෙව් 3:13-17; ලූක් 3:21-22)

9 එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලයේ නාසරෙත්හි සිට වැඩම කර, ජොහන් විසින් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සේක. 10 උන් වහන්සේ දියෙන් ගොඩ නැඟෙත් ම ස්වර්ගය විවර වී, ආත්මයාණන් වහන්සේ පරෙවියෙකු මෙන්‍ තමන් පිට බැස එනු දුටු සේක. 11 තවද, ස්වර්ගයෙන් නික්මුණු හඬක්, ”ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි”යි පැවසී ය.

ජේසුස් වහන්සේ පරීක්ෂා කරනු ලැබීම
(මතෙව් 4:1-11; ලූක් 4:1-13)

12 එම ඇසිල්ලෙහි ආත්මයාණෝ උන් වහන්සේ පාළුකරයට පැමිණෙවූ සේක. 13 උන් වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින් දින සතළිසක් පාළුකරයෙහි විසූ සේක; උන් වහන්සේ වන සතුන් අතර විසූ සේක. දේව දූතයෝ උන් වහන්සේට උපස්ථාන කළහ.

ගලීලයෙහි දේශනා කිරීම
(මතෙව් 4:12-17; ලූක් 4:14-15)

14 ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක. 15 ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.

ධීවරයන් සතර දෙනා කැඳවීම
(මතෙව් 4:18-22; ලූක් 5:1-11)

16 උන් වහන්සේ ගලීලයේ මුහුද අද්දර ඇවිදින විට සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදෙහි දැලක් දමනු දුටු සේක. ඔව්හු මසුන් අල්ලන්නෝ වූ හ. 17 ජේසුස් වහන්සේ ඒ දැක, ”මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. 18 එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
19 උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක. 20 ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.

අශුද්ධාත්මයක් ආවේශ වූ මිනිසා
(ලූක් 4:31-37)

21 ඉන්පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන් වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක. 22 උන් වහන්සේගේ අනුශාසනාව ගැන ඔව්හු විස්මිත වූ හ. මන්ද, උන් වහන්සේ විනයධරයන් මෙන්‍ නොව බලධාරී කෙනෙකු මෙන්‍ අනුශාසනා කළ හෙයිනි.
23 එකල ඔවුන්ගේ ධර්මශාලාවෙහි අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් විය. 24 ඔහු මෙසේ මොරහඬ දුනි: ”නාසරෙත්හි ජේසුස් වහන්ස, ඔබත් අපත් අතර මොන ගනු දෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි; ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය.” 25 ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, ”කට පියව; මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. 26 එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට, මහහඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුරු විය. 27 ඒ දුටු සියල්ලෝ ම මවිත වී, ”මේ කුමක් ද? අලුත් ධර්මයකි! මෙතුමාණෝ බලධාරී කෙනෙකු මෙන්‍ උගන්වති; මුන් වහන්සේ අණ දෙන විට අශුද්ධාත්මයෝ වුව ද කීකරු වෙති”යි කී හ. 28 එකෙණෙහි ම උන් වහන්සේ පිළිබඳ පුවත අවට ගලීලය පුරා දස දෙස පැතිර ගියේ ය.

පේදුරුගේ භාර්යාවගේ මව සුව කිරීම
(මතෙව් 8:14-15; ලූක් 4:38-39)

29 ඔව්හු ධර්මශාලාවෙන් නික්ම ආ කෙණෙහි ම, ජාකොබ් ද ජොහන් ද කැටුව, සීමොන්ගේ හා ඇන්ඩෘගේ ගෙදරට පැමිණියහ. 30 සීමොන්ගේ භාර්යාවගේ මව උණෙන් ඔත්පළ ව සිටියා ය. ඔව්හු වහා ම ඇය ගැන උන් වහන්සේට දැන්වූ හ. 31 උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය.

බොහෝ දෙනෙකුට සුවය දීම
(මතෙව් 8:16-17; ලූක් 4:40-41)

32 සවස හිරු බැස ගිය පසු සියලු රෝගීන් ද දුෂ්ටාත්මාවේශ වූ අය ද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූ හ. 33 නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ. 34 උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ද දුරු කළ සේක. තමා කවරෙක් දැ යි ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන් වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නුදුන් සේක.

ධර්මදූත චාරිකාවක්
(ලූක් 4:42-44)

35 හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක. 36 සීමොන් සහ ඔහුගේ සහායකයෝ උන් වහන්සේ සොයා ගොස්, 37 සම්මුඛ වී, ”හැම දෙන ම ඔබ සොයති”යි පැවසූ හ. 38 උන් වහන්සේ උත්තර දෙමින්, ”අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු; මා ආයේ ඒ සඳහා ය”යි වදාළ සේක. 39 උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.

ලාදුරු රෝගියෙකු සුව කිරීම
(මතෙව් 8:1-4; ලූක් 5:12-16)

40 එකල, ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත් දණින් වැටී, ”ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය”යි අයැද සිටියේ ය. 41 උන් වහන්සේ මහානුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා, ”මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. 42 එකෙණෙහි ම ලාදුරු රෝගය පහ වී ඔහු පවිත්‍ර කරනු ලැබී ය. 43 උන් වහන්සේ, ”මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්නැ”යි ඔහුට තදින් අණ දී, 44 ”යන්න, පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න; මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍රවීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න” කියා ඔහු වහා පිටත් කර යැවූ සේක. 45 එහෙත්, ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කිය කියා, දස දෙස පතුරුවා හැරියේ ය. එහෙයින්, කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට ඉන්පසු උන් වහන්සේට නොහැකි වූයෙන්, ජේසුස් වහන්සේ පාළු පෙදෙස්වල නැවතුණ සේක. එසේ වුව ද, සමූහයා සියලු දිශා භාගවලින් උන් වහන්සේ වෙත පැමිණියහ.

– 2 වන පරිච්ඡේදය –

අංසබාග රෝගියෙකු සුව කිරීම
(මතෙව් 9:1-8; ලූක් 5:17-26)

1 දින ගණනකට පසු ජේසුස් වහන්සේ යළිත් කපර්ණවුමට පිවිසුණු සේක. උන් වහන්සේ ගෙදර සිටින බව පතළ විය. 2 එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහ පිරිසක් එහි රැස් වූ හ. උන් වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටි සේක. 3 එකල සතර දෙනෙක් අංසබාග රෝගියෙකු උසුලාගෙන උන් වහන්සේ වෙත ආහ. 4 සමූහය නිසා උන් වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් ඔව්හු උන් වහන්සේ සිටි තැනට ඉහළින් පියස්සේ සෙවිල්ල හැර, පියස්ස කඩා, අංසබාග රෝගියා ඔත් යහන පහතට බැස්වූ හ. 5 ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ”පුත්‍රය, ඔබේ පව් කමා කර තිබේ” යයි අංසබාග රෝගියාට වදාළ සේක. 6 එහෙත් එතැන හුන් විනයධරයන්ගෙන් සමහරෙක් තර්ක කරමින්, 7 ”මේ මිනිහා මෙසේ කතා කරන්නේ මක්නිසා ද? මේ දේවාපහාසයකි! දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් වෙන කාට දැ”යි සිතූ හ. 8 ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට එකෙණෙහි ම දැනී, ඔවුන්ට කතා කොට, ”ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්නහු ද? 9 වඩා පහසු කුමක් ද? අංසබාග රෝගියාට ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඔබේ යහන රැගෙන යන්නැ’යි කීම ද? 10 එහෙත්, මෙලොව දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ඇති බැව් ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි”යි කියා උන් වහන්සේ අංසබාග රෝගියාට කතා කොට, 11 ”නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. 12 ඔහු නැඟිට එකෙණෙහි ම යහන රැගෙන පිරිස බලා සිටිය දී ම නික්ම ගියේ ය. සියල්ලෝ ම විස්මිත ව, ”මෙවැන්නක් අප කවදාවත් දැක නැතැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.

ලෙවී කැඳවීම
(මතෙව් 9:9-13; ලූක් 5:27-32)

13 නැවත උන් වහන්සේ පිටත් ව මුහුද අසලින් ගිය සේක. මුළු සමූහයා උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ සේක. 14 උන් වහන්සේ මඟ වඩින විට, අල්පෙවුස්ගේ පුත් ලෙවී නැමැත්තා රේගු පොළේ හිඳිනු දැක, ”මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
15 තවද, උන් වහන්සේ ඔහුගේ නිවෙසහි කෑමට වැඩහුන් කල අයකැමියන් සහ පව්කාරයන් බොහෝ දෙනෙක් ද උන් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ අනුගාමිකයෝ වූ හ. 16 උන් වහන්සේ පව්කාරයන් හා අයකැමියන් සමඟ ආහාර වළඳනු දුටු පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයෝ, ”බලන්න, උන් වහන්සේ අයකැමියන් හා පව්කාරයන් සමඟ කන බොන සැටි”යි ශ්‍රාවකයන්ට කී හ. 17 ජේසුස් වහන්සේ ඒ අසා, ”රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත; මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.

උපවාස ප්‍රශ්නය
(මතෙව් 9:14-17; ලූක් 5:33-39)

18 වරක් ජොහන්ගේ ගො‍්ලයෝ ද පරිසිවරු ද උපවාසයෙහි යෙදුණාහ. එවිට සමහරෙක්, ”ජොහන්ගේ ගෝලයෝ ද පරිසිවරුන්ගේ ගෝලයෝ ද උපවාස කරති; ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසූ හ.
19 උන් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: ”මනාලයා ඔවුන් සමඟ සිටිය දී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට උපවාස කළ හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තුරු ඔවුන්ට උපවාස කළ නොහැකි ය. 20 එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණෙයි. ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇත. 21 තාන් රෙදි කඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත, එසේ කළොත්, අලුත් රෙදි කඩට පරණ රෙද්ද ඇදී ඉරුම වඩා ලොකු වේ. 22 අලුත් මිදියුස පැරණි සම් බඳුන්වල වක්කරන කිසිවෙක් නැත. එසේ කළොත්, මිදියුසින් සම් බඳුන් පැළී, මිදියුසත් බඳුනුත් දෙක ම නැති වේ. නව මිදියුස දැමිය යුත්තේ නව බඳුන්වලට ම ය.”

සබත කඩ කිරීමේ ප්‍රශ්නය
(මතෙව් 12:1-8; ලූක් 6:1-5)

23 තවද, උන් වහන්සේ සබත් දිනයේ දී වෙල්යායක් මැදින් වඩින විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩ කඩා ගියහ. 24 පරිසිවරු ඒ දැක, ”බලන්න, මොවුන් සබත් දිනයෙහි නොකට යුත්තක් කරන්නේ මක්නිසා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 25 උන් වහන්සේ උත්තර දෙමින්, දාවිත් රජ තමාට ද සිය පිරිවරට ද කෑමට කිසිවක් නැති ව බඩගිනි වූ කල කළ දේ, 26 එනම්, අබියාතර් නායක පූජක ව සිටිය දී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිස අන් කිසිවෙකු නොකෑ යුතු පිදූ රොටි කා, සිය පිරිවරටත් දුන් වග, ඔබ කවදාවත් කියවා නැද්දැ”යි ඇසූ සේක. 27 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසා ය; මිනිසා සබත උදෙසා නොවේ; 28 එහෙයින් මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි වදාළ සේක.

 

– 3 වන පරිච්ඡේදය –

අතක් පණ නැති මිනිසා
(මතෙව් 12:9-14; ලූක් 6:6-11)

1 තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. 2 එවිට එහි රැස් ව සිටි අය උන් වහන්සේට වරද තබන පිණිස, සබත් දිනයේ දී උන් වහන්සේ ඔහු සුව කරනු ඇද්දැ යි බල බලා උන්හ. 3 උන් වහන්සේ අත පණ නැති මිනිසාට කතා කොට, ”නැඟිට ඉදිරියට එන්නැ”යි වදාරා 4 ඉන්පසු, ”සබත් දිනයේ දී කළ යුත්තේ යහපත ද අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නැසීම දැ”යි සෙනඟගෙන් ඇසූ සේක. එහෙත්, ඔව්හු නිහඬ ව සිටියහ. 5 උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා ”ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය. 6 එවිට පරිසිවරු පිටත් ව ගොස් උන් වහන්සේ කෙසේ නසමු දැ යි උන් වහන්සේට විරුද්ධ ව හෙරෝදීයයන් සමඟ එකෙණෙහි ම කුමන්ත්‍රණය කළහ.

මුහුදුබඩ රැස් වූ මහ පිරිස

7 ජේසුස් වහන්සේ එතැනින් නික්ම සිය ශ්‍රාවකයන් සමඟ මුහුදු වෙරළට වැඩිය සේක. ගලීලයෙන් සහ ජුදයෙන් ද 8 ජෙරුසලමෙන් ද ඉදුමයෙන් ද ජොර්දාන් එගොඩින් ද තීර් සහ සීදොනය අවටින් ද මහා ජනකායක් උන් වහන්සේ කළ සියල්ල ගැන අසා උන් වහන්සේ වෙත ආහ. 9 සමූහයා උන් වහන්සේ නොතෙරපෙන පිණිස තමන් හට ඔරුවක් සූදානම් ව තිබිය යුතු යයි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක. 10 එසේ කීවේ, උන් වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හෙයින්, රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආ බැවිනි. 11 අශුද්ධාත්මයෝ ද උන් වහන්සේ දුටු හැම විට ම උන් වහන්සේගේ පාමුල වැඳ වැටී, ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි මොරගා කී හ. 12 තමා කවරෙක් දැ යි හෙළි නොකරන ලෙස උන් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක.

ප්‍රේරිතයන් දොළොස් දෙනා පත් කිරීම
(මතෙව් 10:1-4; ලූක් 6:12-16)

13 උන් වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමැති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන් වහන්සේ වෙත ආවෝ ය. 14 උන් වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක; ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූ සේක. උන් වහන්සේ එසේ කෙළේ, ඔවුන් තමන් හා සමඟ සිටින පිණිසත්, සුබ අස්න දේශනා කිරීමට යවන පිණිසත්, 15 දුෂ්ටාත්මයන් දුරු කිරීමේ බලය ඇති ව සිටින පිණිසත් ය, 16 එසේ පත් කළ දොළොස් දෙනා කවුරු ද යත්: පේදුරු යයි උන් වහන්සේ නම් කළ සීමොන් ද, 17 ‘ගර්ජනා පුත්‍රයෝ’ යන අර්ථය දෙන ‘බෝවනර්ගස්’ යයි උන් වහන්සේ නම් කළ සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ද 18 ඇන්ඩෘ සහ පිලිප් ද බර්තොලමෙව් සහ මතෙව් ද තෝමස් සහ අල්පෙවුස්ගේ පුත් ජාකොබ් ද තද්දෙවුස් සහ අන්ත ජාතිවාදී සීමොන් ද 19 උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය.

ජේසුස් වහන්සේ සහ දුෂ්ටාත්මාධිපතියා
(මතෙව් 12:22-32; ලූක් 11:14-23; 12:10)

20 උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ. 21 උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, ”උන් වහන්සේ සිහිවිකල් වී සිටිති”යි සමහරුන් කී බැවිනි.
22 ජෙරුසලමෙන් ආ විනයධරයෝ, ”මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, ”දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති”යි ද කී හ. 23 එවිට උන් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, උපමාවලින් කතා කරමින් මෙසේ වදාළ සේක: ”සාතන් දුරු කරන්න සාතන්ට ම පුළුවන් ද? 24 යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය. 25 යම් ගෙදරක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ ගෙදරට පැවැත්මක් නැත්තේ ම ය. 26 සාතන් තමාට ම විරෝධී ව නැඟී භේද වුවහොත්, ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ. 27 එහෙත්, බලවතෙකු පළමුකොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද බඩු කොල්ලකන්න කිසිවෙකුට නොහැකි ය. ඔහුගේ ගෙය කොල්ලකන්න හැකි වන්නේ, එසේ කළොත් පමණකි.
28 ”සැබැවින් ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන් ද සියලු ආකාර දේව අපහාසයන් ද කමා කරනු ලබන්නේ ය. 29 එහෙත්, ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලක වත් කමාවක් නැත්තේ ය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි.” 30 මෙසේ වදාළේ, ”උන් වහන්සේට අශුද්ධාත්මයක් වැහී ඇතැ”යි ඔවුන් පැවසූ බැවිනි.

ජේසුස් වහන්සේගේ මෑණියන් සහ සහෝදරයෝ
(මතෙව් 12:46-50; ලූක් 8:19-21)

31 එවිට උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද අවුත් පිටත සිට, උන් වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූ හ. 32 සමූහයක් උන් වහන්සේ අවට වාඩි වී උන්හ. ඔව්හු, ”අන්න, ඔබේ මෑණියෝත්, සහෝදරයෝත්, සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති”යි උන් වහන්සේට කී හ. 33 උන් වහන්සේ උත්තර දෙමින්, ”මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද” කියා පෙන්වමින්, 34 තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා, ”මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ! 35 දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.

– 4 වන පරිච්ඡේදය –

වපුරන්නා පිළිබඳ උපමාව
(මතෙව් 13:1-9; ලූක් 8:4-8)

1 නැවත උන් වහන්සේ මුහුද අද්දර උගන්වන්න පටන්ගත් සේක. එකල ඉතා මහත් ජනකායක් රැස් වූ බැවින් උන් වහන්සේ මුහුදේ ඔරුවකට නැඟී වැඩහුන් සේක. මුළු සමූහයා ද වෙරළ දිගේ සිටියෝ ය. 2 උන් වහන්සේ උපමාවලින් ඔවුන්ට බොහෝ කාරණා ඉගැන්වූ සේක. සිය ඉගැන්වීමේ දී උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: 3 ”සවන් දෙන්න! වපුරන්නෙක් වපුරන්නට නික්මිණි. 4 ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මඟ අද්දර වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලා කෑවෝ ය. 5 තව සමහරක් පස තුනී ගල් බිමේ වැටී, පස ගැඹුරු නුවූ නිසා වහා පැළ විය. 6 හිරු නැඟුණු කල ඒවා දැවී, මුල් නැති බැවින් වියළී ගියේ ය. 7 අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ වැවී, ඒවා යටපත් කළ බැවින් ඒවා පල නොදැරී ය. 8 තවත් සමහරක් සරු බිමේ වැටිණි. ඒවා පැළ වී, වැඩී, පල දරමින්, එකකින් තිස් ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් සිය ගුණයක් ද බැගින් අස්වැන්න ඉපදවිය. 9 සවන් ඇත්තෝ සවන් දෙත් වා!”

උපමාවල අදහස
(මතෙව් 13:10-17; ලූක් 8:9-10)

10 උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ. 11 උන් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, පිටත සිටින අයට සියල්ලක් ම උපමා මඟින් දන්වනු ලැබේ. 12 එසේ වන්නේ:
‘දැක දැක නොදක්නා පිණිසත්, අස අසා වටහා නොගන්නා පිණිසත් ය.
මන්ද, යම් හෙයකින් එසේ වුවහොත්, ඔවුන් දෙවියන් වහන්සේ වෙත හැරී කමාව ලබන්න පුළුවන් නිසා ය.’ ”

උපමාවේ විවරණය
(මතෙව් 13:18-23; ලූක් 8:11-15)

13 තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද? 14 වපුරන්නා වචනය වපුරයි. 15 මඟ අසල වූවෝ යන්නෙන් අදහස් කරනුයේ වචනය වපුරනු ලැබූ කල එය ඇසූ වහා ම සාතන් විත් සිතෙහි වපුරන ලද වචනය පැහැරගනු ලැබූ අය ය. 16 ගල් බිමෙහි වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය ඇසූ කෙණෙහි ම, එය සතුටින් පිළිගන්න නමුත්, 17 තමන් සිත්හි කිඳා නොබසින බැවින් මඳ කලක් පැවත, වචනය නිසා විපතක් හෝ පීඩාවක් හෝ පැමිණි කල, වහා ම පැකිළී වැටෙන අය ය. 18 සෙස්සෝ, කටු අතරේ වැපුරූ බීජවලට සමාන ය. ඔවුන් වචනය ඇසූ නමුත්, 19 මේ ලෝකයේ කම්කටොලු හා වස්තු මායාව ද අනිකුත් දෙයට තණ්හාව ද ඔවුන් තුළට ඇතුළු වෙමින් වචනය හිර කරයි. ඔව්හු ද පල නොදරති. 20 සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයක් ද සැට ගුණයක් ද සිය ගුණයක් ද බැගින් පල දරන අය ය.”

බඳුනකින් සැඟවූ පහන
(ලූක් 8:16-18)

21 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ”පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිස ද? පහන් රුක උඩ තැබීමට නොවේ ද? 22 මන්ද යත්, හෙළි නොකරනු ලබන සැඟවුණ දෙයක් වත්, පළ නොකරනු ලබන රහසක් වත් නැති හෙයිනි. 23 සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක. 24 තවද, උන් වහන්සේ ඔවුන් අමතා, ”ඔබ අසන දේ හොඳින් සිතට ගන්න. ඔබ මැන දෙන මිනුමෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ; වැඩියෙනුත් දෙනු ලැබේ. 25 යමක් ඇති තැනැත්තාට වැඩියෙනුත් දෙනු ලැබේ; නැති තැනැත්තාගෙන් ඇති දෙයත් ගනු ලැබේ” යයි වදාළ සේක.

වැඩෙන බීජය පිළිබඳ උපමාව

26 තවද, උන් වහන්සේ කතා කරමින්, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි; 27 රෑ දාවල් දෙක්හි ඔහු නිදා සිටිය දීත්, අවදිව සිටිය දීත්, ඔහු නොදන්නා අයුරින් බීජ පැළවී වැඩෙයි. 28 පොළොව එහි ස්වභාවයෙන් ම පල හටගන්වයි. පළමුව දලුව ද දෙවනුව කරල ද ඉන්පසු කරල පුරා ධාන්‍ය ද හටගනියි. 29 ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක.

අබ ඇටය පිළිබඳ උපමාව
(මතෙව් 13:31-32; ලූක් 13:18-19)

30 තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන කරම් ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම් ද? 31 එය අබ ඇටයකට සමාන ය. එය පොළොවේ වපුරන කල මිහි පිට සියලු බීජවලට වඩා කුඩා වුවත්, 32 වපුළායින් පසුව වැඩී, සියලු ම පැළෑටිවලට වඩා ලොකු වේ. එහි සෙවණෙහි අහසේ කුරුල්ලන්ට ලගින්න හැකි වන තරම් විශාල අතු එය විහිදුවන්නේ ය.”

උපමා භාවිතය
(මතෙව් 13:34-35)

33 උන් වහන්සේ මෙවැනි උපමා රැසක් මඟින්, අසන්නන්ට තේරුම්ගත හැකි පමණට දහම් දෙසූ සේක. 34 උපමාවක් නැති ව උන් වහන්සේ ඔවුන්ට කිසිත් නොවදාළ සේක. එහෙත්, උන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන් සේක.

මාරුත දමනය
(මතෙව් 8:23-27; ලූක් 8:22-25)

35 එදා සවස් වූ කල, ”අපි එගොඩ යමු”යි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක. 36 ඔව්හු සමූහයා පිටත් කර යවා, උන් වහන්සේ ඔරුවේ හුන් ලෙස ම තමන් සමඟ ගෙන ගියෝ ය. ඒ සමඟ තවත් ඔරු තිබිණි. 37 එවිට චණ්ඩ මාරුතයක් හමා, ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසී ය. 38 උන් වහන්සේ ඔරුවේ අවරයෙහි, මෙත්තය මත නිදා හුන් සේක. ඔව්හු උන් වහන්සේ පුබුදුවා, ”ගුරුදේවයෙනි, අප විනාශ වන්න ළඟ ය, ඔබට කිසි ගණනක් නැද්දැ”යි ඇසූ හ. 39 උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, ”නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය. 40 උන් වහන්සේ ද, ”ඔබ ඔය තරම් බිය වන්නේ මන් ද? තව ම ඔබට ඇදහිල්ල නැද්දැ”යි ඇසූ සේක. 41 ඔව්හු මහත් භීතියකින් ඇලළී, ”මේ කවරෙක් ද? සුළඟ සහ මුහුද පවා උන් වහන්සේට කීකරු වන්නේ ය”යි එකිනෙකාට කී හ.

– 5 වන පරිච්ඡේදය –

ගෙරසීන් රටේ අශුද්ධාත්ම ආවේශ වූවෙකු සුව කිරීම
(මතෙව් 8:28-34; ලූක් 8:26-39)

1 ඔව්හු මුහුදින් එතෙර ගෙරසීනයන්ගේ රටට පැමිණියහ. 2 උන් වහන්සේ ඔරුවෙන් බැස ආ කෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් සොහොන් ගුහා අතරින් නික්ම එනු උන් වහන්සේට හමු විය. 3 ඔහු වාසය කෙළේ සොහොන් ගුහාවල ය. කිසිවෙකුට ඔහු කිසි සේත් දමනය කළ නොහැකි විය; යදමකින් වත් එය කළ නොහැකි විය. 4 බොහෝ වර විලංගුවලින් ද යදම්වලින් ද බඳිනු ලැබූ නමුත්, ඔහු යදම් කැබලි කොට කඩා, විලංගු සුණු විසුණු කොට දැමී ය. ඔහු මැඩලීමට තරම් ශක්තිය කිසිවෙකුට නො වී ය. 5 ඔහු දිවා රෑ දෙක්හි ම, කෑකෝගසමින් ද ගල්වලින් කපාගනිමින් ද සොහොන් ගුහා අතරත්, කඳු බෑවුම්වලත් සිටියේ ය.
6 ඔහු ජේසුස් වහන්සේ වඩිනු දුරතියා දැක, දිව අවුත්, පසඟ පිහිටුවා වැඳ, 7 මහහඬින් මොරගා, ”පරමෝත්තම දෙවියන්ගේ පුත්‍ර වූ, ජේසුස් වහන්ස, ඔබත් මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙන්‍ දෙවියන්ගේ නාමයෙන් අයැදිමි”යි කී ය. 8 එසේ කීවේ ”අශුද්ධාත්මය, මේ මිනිසාගෙන් දුරුවෙව”යි උන් වහන්සේ ඔහුට කී බැවිනි. 9 ”නුඹේ නම කුමක් දැ”යි උන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. ”මගේ නම සේනා ය, අපි සේනාංකයක් වම්හ”යි ඔහු කී ය. 10 තමන් රටෙන් පිට නොකරන ලෙස ඔහු උන් වහන්සේගෙන් උදක් ම අයැද සිටියේ ය.
11 එතැන කන්ද අද්දර මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය. 12 අශුද්ධාත්මයෝ ද, ”ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යැවුව මැනවැ”යි අයැද සිටියහ. 13 උන් වහන්සේ අවසර දුන් සේක. අශුද්ධාත්මයෝ නික්ම අවුත් ඌරන්ට වැහුණෝ ය. දෙ දහසක් පමණ වූ ඒ ඌරු රැළ ප්‍රපාතයෙන් පහත මුහුදට වේගයෙන් දිව ගොස් මුහුදේ ගිලී මළෝ ය.
14 ඌරු ගොවුවෝ පලා ගොස්, නුවර ද ගම්මානයේ ද එපවත් පතළ කළෝ ය. එවිට සිදුවූ දේ කුමක් දැ යි බලන පිණිස මිනිස්සු නික්ම ආහ. 15 ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ, අශුද්ධාත්මාවේශ වූ මිනිසා, එනම්, දුෂ්ටාත්ම සේනාංකය වැහී සිටි මිනිසා දැන් වස්ත්‍ර හැඳ හොඳ සිහිකල්පනාවෙන් හිඳිනු දැක භීතියට පත් වූ හ. 16 එය සියැසින් දුටු අය අශුද්ධාත්මාවේශ වූ මනුෂ්‍යයාට සිදුවූ දෙය ද ඌරන් පිළිබඳ සිද්ධිය ද ඔවුන්ට කියා දුන්හ. 17 ඔව්හු ද සිය දේශ සීමාවලින් පිට වී යන මෙන්‍ උන් වහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෝ ය.
18 උන් වහන්සේ ඔරුවට නඟිද්දී, අශුද්ධාත්මාවේශ ව සිටි මිනිසා තමාටත් උන් වහන්සේ සමඟ යාමට අවසර දෙන මෙන්‍ ආයාචනා කෙළේ ය. 19 උන් වහන්සේ ඊට අවසර නුදුන් සේක. ”එහෙත්, ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්, සමිඳාණන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළ සේක් ද කොතරම් අනුකම්පාව පෙන්වූ සේක් ද කියා ඔවුන්ට දන්වන්නැ”යි වදාළ සේක. 20 ඔහු නික්ම ගොස්, ජේසුස් වහන්සේ තමාට කොතරම් මහත් දේ කළ සේක් දැ යි දෙකපොලිසෙහි ප්‍රසිද්ධ කරන්න වුනි. සියල්ලෝ ම විස්මිත වූ හ.

යායිරස්ගේ දුව; සළුවට අතගැසූ ස්ත්‍රිය
(මතෙව් 9:18-26; ලූක් 8:40-56)

21 ජේසුස් වහන්සේ යළිත් ඔරුවෙන් එතෙර වූ කල මහා ජනකායක් උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ද මුහුදු වෙරළෙහි වැඩසිටි සේක. 22 එකල ධර්මශාලා ප්‍රධානීන් අතුරෙන් යායිරස් නමැත්තෙක් අවුත්, උන් වහන්සේ දැක, පාමුල වැටී, 23 ”මගේ පුංචි දුව මරණාසන්න ව සිටියි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස, ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවැ”යි උන් වහන්සේට ආයාචනා කෙළේ ය. 24 උන් වහන්සේ ඔහු සමඟ වැඩිය සේක. මහත් සමූහයක් උන් වහන්සේ තෙරපමින් උන් වහන්සේ පිරිවරා ගියහ.
25 දොළොස් වසරක් ම මහා ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් එහි වූවා ය. 26 ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය. 27 ඈ ජේසුස් වහන්සේ ගැන අසා, සමූහයා අතර පිටුපසින් ඇවිත්, උන් වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවා ය. 28 උන් වහන්සේගේ වස්ත්‍රවලට පමණ වත් අත තැබුවොත්, තමාට සුවය ලැබෙනු ඇතැ යි ඈ සිතුවා ය. 29 එකෙණෙහි ම ලේ ධාරාව නැවතී ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ම ඇඟට දැනිණි. 30 එවේලේ ම ජේසුස් වහන්සේ තමන් කෙරෙන් අනුහස නික්ම ගිය බව දැන, සමූහයා මැද හැරී, ”මාගේ වස්ත්‍රවලට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක. 31 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, ”සමූහයා ඔබට තෙරපි තෙරපී සිටිනු දැක දැකත්, මට අත ගැසුවේ කවරෙක් ද කියා අසන සේක් දැ”යි කී හ. 32 ඒ දේ කෙළේ කවරෙක් දැ යි සොයනු වස් උන් වහන්සේ අවට බැලූ සේක. 33 එහෙත් ස්ත්‍රිය සිදු වූ දේ දැක බිය වී, වෙවුළ වෙවුළා අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, මුළු ඇත්ත උන් වහන්සේට කීවා ය. 34 උන් වහන්සේ කතා කරමින්, ”දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්න; ඔබේ පීඩාවෙන් මිදී වසන්නැ”යි ඈට වදාළ සේක.
35 උන් වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත්, ”ඔබේ දුව මළා ය. ඉතින් ගුරුදේවයන් තවත් වෙහෙසන්නේ කුමට දැ”යි කී හ. 36 එහෙත්, ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, ”බිය නොවන්න, ඇදහිල්ල ඇති ව සිටින්නැ”යි වදාළ සේක. 37 උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජාකොබ්ගේ සහෝදර වූ ජොහන් ද හැර අන් කිසිවෙකුට තමන් සමඟ එන්න ඉඩ නුදුන් සේක. 38 ඔව්හු ධර්මශාලා නායකයාගේ නිවෙසට පැමිණියෝ ය. එවිට උන් වහන්සේ කලබලයක් ද විලාප හා ළතෝනි නඟන්නන් ද දැක, 39 ගෙට පිවිස, ”ඔබ කලබල වන්නේත්, විලාප කියන්නේත් මන් ද? දැරිය මැරී නැත; ඈ නිදන්නී ය”යි ඔවුන්ට වදාළ සේක. 40 එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ. එහෙත්, උන් වහන්සේ සියල්ලන් බැහැර කොට, දරුවාගේ පියා ද මව ද තමන් සමඟ සිටියවුන් ද කැඳවාගෙන දරුවා හුන් තැනට ගොස් 41 ඇය අතින් අල්ලා, ”තලිතාකුම්”යි ඈට වදාළ සේක. එහි අර්ථය: ”දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න” යනු ය. 42 දොළොස් හැවිරිදි ඒ දැරිය, එකෙණෙහි ම නැඟිට ඇවිද්දා ය. ඔව්හු ද ඉමහත් විස්මයකින් භ්‍රාන්ත වූ හ. 43 මෙය කිසිවෙකුට නොදන්වන ලෙස ඔවුන්ට තදින් අණ දී, උන් වහන්සේ ඈට කෑමට යමක් දෙන්න නියම කළ සේක.

 

– 6 වන පරිච්ඡේදය –

නාසරෙත්හි දී ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැබීම
(මතෙව් 13:53-58; ලූක් 4:16-30)

1 උන් වහන්සේ එතැනින් නික්ම සිය රටට පැමිණි සේක. ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පිරිවරා ගියහ. 2 එය සබත් දින වූයෙන් උන් වහන්සේ ධර්මශාලාවෙහි උගන්වන්න පටන්ගත් සේක. උන් වහන්සේට සවන් දුන් සමූහයා විස්මිත ව, ”මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන් ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක් ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේ ද? 3 මොහු වඩුවා නොවේ ද? මරියාගේ පුතා නොවේ ද? ජාකොබ්, ජෝසෙප්, ජූදස් හා සීමොන් යන අයගේ සහෝදරයා නොවේ ද? මොහුගේ සහෝදරියනුත් අප අතර සිටිනවා නොවේ ද?” කියා ඔව්හු උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. 4 ජේසුස් වහන්සේ කතා කරමින්, ”දිවැසිවරයෙකුට ගරුබුහුමන් නැත්තේ සිය ගමේ දීත්, නෑදෑයන් අතර දීත්, තම ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක. 5 එහි දී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත් තබා සුව කිරීම හැර, අන් කිසි හාස්කමක් කරන්න උන් වහන්සේට නොහැකි විය. 6 ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක.

ධර්මදූත සේවාව
(මතෙව් 10:5-15; ලූක් 9:1-6)

උන් වහන්සේ අනුශාසනා කරමින් අවට ගම්වල සැරිසැරූ සේක. 7 එකල උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යැවූ සේක. අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලය ද දුන් සේක. 8 ගමනට සැරයටියක් හැර, රොටි වත්, මල්ලක් වත්, පසුම්බිවල මුදල් වත් යන කිසිවක් නොගෙන, වහන් පය ලා, 9 කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළ සේක. 10 තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ඔබ යම් කිසි නිවසකට පිවිසි කල, එතැනින් පිට වී යන තෙක් එහි ම නවතින්න. 11 යම් තැනක දී, ඔවුන් ඔබ පිළිගන්නේ වත් ඔබේ වචන අසන්නේ වත් නැත්නම්, එතැනින් පිට වී යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස ඔබේ පාදවල තිබෙන ධූලි ගසා දමන්නැ”යි වදාළ සේක. 12 එලෙස ඔව්හු පිටත් ව ගොස් සෙනඟ පසුතැවී සිත් හරවා ගත යුතු ය යි දේශනා කළහ. 13 තවද, ඔව්හු බොහෝ දුෂ්ටාත්මයන් දුරු කොට, බොහෝ රෝගීන් ද තෙලින් ආලේප කොට සුවපත් කළහ.

ස්නාවක ජොහන්ගේ මරණය
(මතෙව් 14:1-12; ලූක් 9:7-9)

14 එකල ජේසුස් වහන්සේගේ කීර්තිරාවය පතළ වී ගිය බැවින් හෙරොද් රජුට එපවත් සැළ විය. සමහරු, ”ස්නාවක ජොහන් මළවුන් කෙරෙන් උත්ථාන වී ඇත; මේ බලමහිම ඔහු තුළ ක්‍රියා කරන්නේ ඒ නිසා ය”යි කී හ. 15 එහෙත් සමහරු, ”මොහු එලියා ය”යි කී හ. අන් සමහරු, ”මොහු පෙර සිටි දිවැසිවරයන් වැනි දිවැසිවරයෙකැ”යි කී හ. 16 එහෙත්, හෙරොද් ඒ ඇසූ කල, ”මේ මා විසින් හිස ගසාදම්මන ලද ජොහන් ය; මොහු මළවුන්ගෙන් නැඟිට සිටී” යයි කී ය.
17 හෙරොද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්, ඇය නිසා මිනිසුන් යවා ජොහන් අල්ලා බැඳ හිර අඩස්සි කෙළේ ය. 18 ”ඔබේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් හෙරොද්ට කී බැවින්, 19 හෙරෝදියස් ඔහු කෙරේ වෛර බැඳ, ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියා ය. එහෙත්, එය කළ නොහැකි විය. 20 මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.
21 සුදුසු අවස්ථාවක් පැමිණියෙන්, හෙරොද් සිය ජන්මො‍්ත්සව දින, තමාගේ උසස් නිලධාරීන්ට ද ප්‍රධාන සේනාධිපතීන්ට ද ගලීලයේ ප්‍රභූවරයන්ට ද මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. 22 එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, ”ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි”යි කී ය. 23 තවද, ”ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි”යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය. 24 ඈ පිටතට ගොස්, ”මම කුමක් ඉල්ලම් දැ”යි ඇගේ මවගෙන් ඇසුවා ය. ”ස්නාවක ජොහන්ගේ හිස” යයි ඈ කීවා ය. 25 එවිට තරුණිය වහා ම රජු වෙත පැමිණ, ”ඔබ ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා දැන් මට දෙනු මැනව”යි කීවා ය. 26 රජතුමා අතිශයින් ශෝක විය. එහෙත්, ඔහුගේ දිවුරුම නිසා ද, අමුත්තන් නිසා ද, ඈට දුන් පොරොන්දුව කඩ කරන්න අකමැති විය. 27 එකෙණෙහි ම රජතුමා මුර සෙබළෙකු යවමින් ජොහන්ගේ හිස ගෙනෙන්න අණ කෙළේ ය. ඔහු ද ගොස් හිර ගෙයි දී ජොහන්ගේ හිස ගසාදමා 28 එය තැටියක ලා ගෙනවුත්, තරුණියට දුන්නේ ය; තරුණිය ද එය මවට දුන්නා ය. 29 ජොහන්ගේ ගෝලයෝ ඒ ගැන අසා අවුත්, ඔහුගේ මෘත දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.

පන්දහසකට කෑම
(මතෙව් 14:13-21; ලූක් 9:10-17; ජොහන් 6:1-14)

30 ප්‍රේරිතයෝ ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ. 31 එවිට උන් වහන්සේ කතා කරමින්, ”ඔබ පමණක් වෙන් ව, හුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක ගන්නැ”යි ඔවුන්ට වදාළ සේක. එසේ කීවේ, ඔවුන්ට කෑම කන්න වත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි. 32 එවිට ඔව්හු පමණක් ඔරුවෙන් හුදකලා තැනකට ගියෝ ය.
33 බොහෝ දෙනෙක් ඔවුන් යනවා දැක, ඔව්හු කවරහු දැ යි හැඳින, සියලු නුවරවලින් එක් වී ගොඩින් දිව අවුත්, ඔවුන්ට පෙර එහි පැමිණියහ. 34 උන් වහන්සේ ගොඩට ආ කල, මහ පිරිසක් දැක, එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ, ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක. 35 දවස ගෙවී යත් ම ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, ”මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත; 36 එබැවින් අවට ගම් නියම්ගම් වලට ගොස් තමන්ට කෑමට යමක් මිලයට ගන්න පිණිස මොවුන් යන්න හැරිය මැනවැ”යි කී හ. 37 එහෙත් උන් වහන්සේ උත්තර දෙමින්, ”ඔබ ම ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු පිළිතුරු දෙමින්, ”අප ගොස් රිදී කාසි දෙසියයක රොටි මිල දී ගෙන ඔවුන්ට කෑමට දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 38 ”ඔබ ළඟ රොටි කීයක් තිබේ ද කියා ගොස් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු සොයා බලා අවුත්, ”රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ”යි කී හ.
39 උන් වහන්සේ ඔවුන් සියල්ලන් කාණ්ඩ වශයෙන් නිල් තණ බිම පිට හිඳුවන්න ශ්‍රාවකයන්ට අණ කළ සේක. 40 ඔව්හු සියය සියය හා පණස පණස බැගින්, පේළි වශයෙන් හිඳගත්හ. 41 උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගය දෙස බලා, ආශීර්වාදය පවසා, රොටි කඩා, ඔවුන් ඉදිරියෙහි තබන්න ශ්‍රාවකයන්ට දී, මසුන් දෙදෙනාත් ඒ සැමට බෙදා දුන් සේක. 42 සෑම දෙන ම කා තෘප්තියට පැමිණියහ. 43 ඉතිරි රොටි කැබලිවලින් ද මසුන්ගෙන් ද කූඩා දොළොසක් පිරෙන තරම් රැස්කරගත්හ. 44 රොටි කෑ පුරුෂයෝ පන්දහසක් වූ හ.

මුහුද මත ඇවිදීම
(මතෙව් 14:22-33; ජොහන් 6:15-21)

45 එකෙණෙහි ම උන් වහන්සේ සමූහයා විසුරුවා හැරිය සේක. සිය ශ්‍රාවකයන්ට ද ඔරුවට නැඟී තමන්ට පෙරටුව බෙත්සයිදාව බලා එගොඩට යන්න අණ දුන් සේක. 46 උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාච්ඤා කරනු වස් කන්දට නැඟුණු සේක. 47 සවස් වූ කල ඔරුව මුහුද මැද විය. උන් වහන්සේ තනි ව ගොඩ සිටි සේක. 48 සුළඟ ඔවුන්ට විරුද්ධ ව හැමූ බැවින්, ඔවුන් ඔරු පැදීමෙන්‍ වෙහෙසෙනු දුටු උන් වහන්සේ, රෑ සතර වැනි යාමයb පමණේ දී මුහුද පිට ඇවිදිමින් ම ඔවුන් වෙත අවුත් ඔවුන් පසු කර යන්න තැත් කළ සේක. 49 ඔව්හු උන් වහන්සේ මුහුද පිට ඇවිදිනු දැක, ”ඒ අවතාරයකැ”යි සිතා බියෙන් මොරගැසූ හ. 50 සියල්ලෝ ම උන් වහන්සේ දැක බිය වූ හ. එහෙත් උන් වහන්සේ එකෙණෙහි ම, ”ධෛර්ය ගන්න; ඒ මම ය; බිය නොවන්නැ”යි ඔවුන්ට කියා 51 ඔවුන් සිටි ඔරුවට නැඟුණු සේක. සුළඟ නැවතිණි. ඔව්හු විස්මයෙන් විස්මයට පත් වූ හ. 52 ඔවුන්ගේ මනස අඳුරු වී තිබිණි. මක්නිසා ද රොටි පිළිබඳ සිද්ධිය ඔවුන්ට අවබෝධ නොවූ බැවිනි.

ගෙන්නෙසෙරෙත්හි රෝගීන් සුව කිරීම
(මතෙව් 14:34-36)

53 ඔව්හු එගොඩ වී ගෙන්නෙසෙරෙත් රටට පැමිණ ඔරුව වෙරළෙහි බැන්දෝ ය. 54 ඔවුන් ඔරුවෙන් නික්මුණු කෙණෙහි ම ජනයා උන් වහන්සේ හැඳිනගත්හ. 55 ඔව්හු ඒ අවට රට පුරා දිව ගොස්, උන් වහන්සේ යම් තැනකට ආ බව පතළ වී ද, එතැනට රෝගීන් යහන් පිටින් උසුලා ගෙනෙන්න පටන්ගත්හ. 56 උන් වහන්සේ යම් කිසි ගම්මානයකට හෝ ගොවිපොළකට හෝ නුවරකට හෝ ඇතුළු වූ සේක් ද, එහි ඔව්හු රෝගීන් කඩපිල්වල තබා, ඔවුන්ට උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න ඉඩ දෙන ලෙස ඉල්ලූ හ. එසේ ස්පර්ශ කළ හැම දෙනාට ම සුවය ලැබිණි.

 

– 7 වන පරිච්ඡේදය –

සම්ප්‍රදායයන් ගැන විවාදය
(මතෙව් 15:1-9)

1 තවද, ජෙරුසලමෙන් පරිසිවරු ඇතැම් විනයධරයන් හා සමඟ උන් වහන්සේ වෙතට පැමිණ, 2 උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන්, අපවිත්‍ර අත්වලින්, එනම්, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා, කෑම කනවා දුටුවෝ ය. 3 පරිසිවරුත්, සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත් සෝදාගෙන මිස කෑම නොකන්නෝ ය. 4 වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය. 5 පරිසිවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අමතා, ”ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැ”යි ඇසූ හ. 6 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”කෛරාටිකයෙනි, ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස, ඔබ ගැන යෙසායා කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ:
‘මුවින් මේ සෙනඟ මට ගරු කරති;
සිතින් නම් මගෙන් දුරු ව සිටිති.
7 මිනිස් ඔවා, දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති.’
8 ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවත ලා, මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායයන් පිළිපදින්නහු ය”යි වදාළ සේක.
9 උන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: ”ඔබේ සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝ ය. 10 මක්නිසා ද ‘ඔබේ පියාට ද මවට ද, ගෞරව කරන්නැ’යි ද, ‘පියාට හෝ මවට නිග්‍රහ කරන්නා මරණ දඬුවම ලැබිය යුතු ය’යි ද මෝසෙස් පවසා ඇත. 11 එහෙත්, යමෙකු තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘මා විසින් ඔබේ ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද කොයි දෙයක් වුවත් දේව පඬුරකැ’යි කී පසු 12 එතැන් සිට පියාට වත් මවට වත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතු ය යි ඔබ කියන්නහු ය. 13 මෙසේ කීමෙන්‍ ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්‍රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහු ය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.

මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන දේ
(මතෙව් 15:10-20)

14 උන් වහන්සේ යළිත් සමූහයා තමන් වෙතට කැඳවා, ”ඔබ හැම මට සවන් දී තේරුම්ගන්න. 15 පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලෙසිය හැකි, කිසි දෙයක් නැත. මිනිසා තුළින් නික්මෙන දෙයින් ඔහු කෙලෙසනු ලබයි; 16 සවන් ඇත්තෝ සවන් දෙත් වා”යි කී සේක.
17 උන් වහන්සේ සමූහයා කෙරෙන් වෙන් ව ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ ඒ උපමාව ගැන උන් වහන්සේගෙන් විචාළහ. 18 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබත් වෙන අය සේ ම අවබෝධයක් නැති ව සිටින්නහු ද? පිටතින් මිනිසා තුළට පිවිසෙන කවර දෙයක් වත්, 19 ඔහුගේ උදරයට මිස හෘදයට ඇතුළු නොවී පහ ව යන බැවින්, ඔහු කෙලෙසන්නට අපොහොසත් බව ඔබට තේරෙන්නේ නැද්දැ”යි ඇසූ සේක. මෙසේ කීමෙන්‍ උන් වහන්සේ සියලු ආහාර වර්ග පවිත්‍ර බව ප්‍රකාශ කළ සේක. 20 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ”එහෙත්, මිනිසා කෙලෙසනු ලබන්නේ ඔහු තුළින් නිකුත් වන දෙයින් ම ය. 21 ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්, 22 සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි. 23 මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේ ය”යි වදාළ සේක.

විජාතික ස්ත්‍රියගේ ඇදහිල්ල
(මතෙව් 15:21-28)

24 උන් වහන්සේ එතැනින් නික්ම තීර් පෙදෙස් බලා පිටත් ව ගොස්, ගෙයකට ඇතුළු වූ සේක. කිසිවෙකු ඒ බව දැනගන්නවාට අකමැති වූ නමුත්, සැඟවී සිටීමට උන් වහන්සේට නොහැකි විය. 25 එකෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූ කුඩා දුවක ඇති ස්ත්‍රියක් උන් වහන්සේ ගැන අසා අවුත් උන් වහන්සේගේ පාමුල වැටුණා ය. 26 ඈ සිරියාවේ පිනීසිය නම් පෙදෙස්හි උපන් ග්‍රීක් ජාතික ස්ත්‍රියකි. ඇගේ දුවගෙන් දුෂ්ටාත්මය දුරු කරන ලෙස ඈ උන් වහන්සේගෙන් අයැද සිටියා ය. 27 උන් වහන්සේ ඈට උත්තර දෙමින්, ”පළමුකොට දරුවෝ තෘප්තියට පැමිණෙත් වා! දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම හරි නැතැ”යි වදාළ සේක. 28 එහෙත් ඈ උත්තර දෙමින්, ”එසේය, ස්වාමීනි, මේසය යට සිටින බල්ලෝ වුව ද දරුවන්ගේ කෑමෙන්‍ වැටෙන කැබෙලි අවුලා කති”යි උන් වහන්සේට කීවා ය. 29 උන් වහන්සේ ද කතා කරමින්, ”මේ පිළිතුර නිසා ප්‍රීතියෙන් යන්න, දුෂ්ටාත්මය ඔබේ දුවගෙන් දුරු ව ගියේ ය”යි ඈට වදාළ සේක. 30 ඈ ගෙදර ගිය කල, ඇගේ දුව ඇඳේ හාන්සි වී සිටින බවත්, දුෂ්ටාත්මය දුරු වූ බවත් දුටුවා ය.

ගොළු බිහිරෙකුට සුවය

31 යළිත් උන් වහන්සේ තීර් පෙදෙසින් පිටත් ව, සීදොනය මැදින් ගොස්, දෙකපොලිස පෙදෙස පසු කොට ගලීල මුහුද ළඟට පැමිණි සේක. 32 එකල සෙනඟ වික්කල් බිහිරෙකු උන් වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන් වහන්සේගෙන් උදක්ම ඉල්ලූ හ. 33 උන් වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන් කොට ඉවතට ගෙන ගොස්, ඔහුගේ කන්වල උන් වහන්සේගේ ඇඟිලි බහා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක. 34 ඉන්පසු ස්වර්ගය දෙස බලා, සුසුම් ලා, ”එප්පාතා”යි ඔහුට වදාළ සේක. එහි අර්ථය, ‘ඇරේවා’ යනු යි. 35 එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම ලිහී, ඔහු පැහැදිලි ලෙස කතා කෙළේ ය. 36 ඒ බව කිසිවෙකුට නොකියන්න උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක. එහෙත්, උන් වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක් ද, ඔව්හු එපමණටත් වඩා එය පතළ කළහ. 37 එය ඇසුවෝ අතිශයින් මවිත ව, ”උන් වහන්සේ හැම දෙය ම යස ලෙස කරන සේක; බිහිරන්ට ඇසීම ද ගොළුවන්ට බිණීම ද පවා සලසා දෙන සේකැ”යි කී හ.

 

– 8 වන පරිච්ඡේදය –

හාරදහසකට කෑම
(මතෙව් 15:32-39)

1 ඒ දවස්වල දී නැවත මහත් සමූහයක් රැස් වූයෙන්, ඔවුන්ට කෑමට කිසිවක් නොතිබුණු නිසා උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, 2 ”මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය. ඔව්හු දැනට තුන් දිනක් මා සමඟ සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත. 3 කුසගින්නෙන් ගෙදර යන්න හැරියොත්, ඔවුන් මඟ දී ක්ලාන්ත වනු ඇත, ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති”යි වදාළ සේක. 4 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, ”මෙවැනි පාළුකරයක මොවුන්ට කොහොන් කෑම සපයා දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසුවෝ ය. 5 ”ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”සතක්”යයි ඔව්හු කී හ.
6 එවිට උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, රොටි සත ගෙන තුති පුදා කඩා, ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. ඔව්හු එය සමූහයා ඉදිරියේ තැබූ හ. 7 ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක් ද විය. උන් වහන්සේ ආශීර්වාදය පවසා, එය ද ඔවුන් ඉදිරියේ තබන්න අණ කළ සේක. 8 ඔව්හු ද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවාගත්හ. 9 එහි සෙනඟ හාරදහසක් පමණ වූ හ. උන් වහන්සේ ඔවුන් යන්න හැරිය සේක. 10 එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක.

ස්වර්ගයෙන් හාස්කමක් ඉල්ලීම
(මතෙව් 16:1-4)

11 එකල පරිසිවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලාගන්න පිණිස ස්වර්ගයෙන් හාස්කමක් ඉල්ලා විවාදයට එළඹුණාහ. 12 උන් වහන්සේ හද පත්ලෙන් බලවත් ලෙස සුසුම් ලා, ”මේ පරම්පරාව හාස්කමක් සොයන්නේ මන් ද? සැබැවින් ම මම ඔබට කියමි, මේ පරම්පරාවට හාස්කමක් නොදෙනු ලැබේ ය”යි වදාරා, 13 ඔවුන් අත්හැර යළිත් ඔරුවට නැඟී එතෙරට වැඩිය සේක.

කපටි ඉගැන්වීම්වලින් පරෙස්සම් වීම
(මතෙව් 16:5-12)

14 රොටි ගෙන යන්න ශ්‍රාවකයන්ට අමතක විය. ඔරුවේ ඔවුන් ළඟ එක රොටියක් මිස වෙන කිසිවක් නො තිබිණි. 15 උන් වහන්සේ කතා කොට, ”සිහි කල්පනාවෙන් යුතුව, පරිසිවරුන්ගේ මුහුන්වලින් ද හෙරොද්ගේ මුහුන්වලින් ද පරෙස්සම් වන්නැ”යි ඔවුන්ට අණ කළ සේක. 16 ”එසේ කීවේ අප ළඟ රොටි නැති නිසා වන්න ඇතැ”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ. 17 ජේසුස් වහන්සේ එපවත් දැන, ”රොටි නැති නිසා ඔබ අතරේ විවාද කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් පැහැදුම් නැද් ද? ඔබේ සිතත් අඳුරු වී ඇද් ද? 18 ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැද් ද? කන් තිබියදීත් ඔබට ඇසෙන්නේ නැද් ද? ඔබට මතක නැද් ද? 19 මා රොටි පහ කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩා කීයක් පුරවා ගත්තහු දැ”යි ඇසූ සේක. ”දොළොසකැ”යි ඔව්හු කී හ. 20 ”රොටි සත හාරදහසක් අතර බෙදා දුන් විට කැබලිවලින් කූඩා කීයක් පුරවාගත්තහු දැ”යි ඇසූ සේක. ”සතක්” යයි ඔව්හු කී හ. 21 ”තවමත් ඔබට තේරුම් ගියේ නැද්දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.

බෙත්සයිදාවේ අන්ධයෙකු සුව කිරීම

22 ඔව්හු බෙත්සයිදාවට පැමිණියහ. එවිට ඇතැමෙක් උන් වහන්සේ වෙත අන්ධයෙකු ගෙනවුත් ඔහු පිට අත් තබන මෙන්‍ ආයාචනා කළහ. 23 උන් වහන්සේ අන්ධයා අතින් අල්ලාගෙන ගමෙන් පිටතට ගෙන ගොස්, ඔහුගේ ඇස්වල කෙළ තවරා, ඔහු පිට අත් තබා, ”ඔබට කිසිවක් පෙනේ දැ”යි ඇසූ සේක. 24 ඔහු ද ඇස් ඔසවා, ”මිනිස්සු මට පෙනේ; ඔව්හු ගස් වාගේ ය; ඔවුන් ඇවිදිනු මට පෙනේ” යයි කී ය. 25 උන් වහන්සේ ඔහුගේ ඇස් පිට යළිත් අත් තැබූ සේක. එවිට ඔහු ඕනෑකමින් බැලී ය; පෙනුම ලැබී ය; සියල්ල පැහැදිලි ලෙස දිටී ය. 26 උන් වහන්සේ ඔහු ගෙදර පිටත් කර යවමින්, ”ගමේ කිසිවෙකුට මේ ගැන නොකියන්නැ”යි වදාළ සේක.

පේදුරුගේ මහා ප්‍රකාශනය
(මතෙව් 16:13-20; ලූක් 9:18-21)

27 ජේසුස් වහන්සේ ද ශ්‍රාවකයෝ ද පිලිප්පි කායිසාරියේ ගම්වලට නික්ම ගියහ. මඟ දී උන් වහන්සේ, කතා කරමින්, ”මා කවරෙකු කියා මිනිස්සු කියත් දැ”යි ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක. 28 ඔව්හු උත්තර දෙමින්, ”සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’යි කියති; සමහරෙක්, ‘එලියා ය’යි කියති; අන් සමහරෙක්, ‘දිවැසිවරයන්ගෙන් කෙනෙකැ’යි කියති”යි පැවසූ හ. 29 ”මා කවරෙකු කියා ඔබ කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”ඔබ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය. 30 උන් වහන්සේ ද තමන් ගැන කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට අණ කළ සේක.

ජේසුස් වහන්සේ සිය මරණය හා පුනරුජ්ජීවනය ගැන කලින් කීම
(මතෙව් 16:21-28; ලූක් 9:22-27)

31 එවිට උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්නටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරනු ලබන්නටත්, තෙ දිනකට පසු නැවත නැඟිටින්නටත් නියම බව ඔවුන්ට උගන්වන්න පටන්ගත් සේක. 32 උන් වහන්සේ මේ ගැන ප්‍රසිද්ධියේ ම කතා කළ සේක. එකල පේදුරු උන් වහන්සේ පසෙකට ගෙන, උන් වහන්සේට තදින් චෝදනා කෙළේ ය. 33 උන් වහන්සේ හැරී, සිය ශ්‍රාවකයන් දෙස බලා, පේදුරුට තදින් චෝදනා කරමින්, ”සාතන්, අහකට යව, නුඹ සිතන්නේ, මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.
34 එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව සමූහයා තමන් වෙත කැඳවා ඔවුන් අමතා මෙසේ වදාළ සේක: ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරා, මා අනුව ඒ වා! 35 සිය ජීවිතය රැකගන්න තැත් කරන යමෙක් වේ ද ඔහු එය නැති කරගනියි. මා උදෙසාත්, සුබ අස්න උදෙසාත් සිය ජීවිතය පුදන යමෙක් වේ ද, ඔහු එය රැකගනියි. 36 යමෙක් මුළු ලෝකය ම ලබාගත්තත්, සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද? 37 නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද? 38 එසේ හෙයින් මේ දේව ද්‍රෝහි, පාපිෂ්ඨ පරම්පරාවේ දී යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් පියාණන්ගේ තේජශ්‍රීයෙන් ශුද්ධ දූතයන් පිරිවරා වඩිනා කල උන් වහන්සේ ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.”

 

– 9 වන පරිච්ඡේදය –

1 තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට,”සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය බලපරාක්‍රම සහිත ව පහළ වූ බව දකින්න පෙර, මෙහි සිටින්නන්ගෙන් ඇතැමෙක් කිසි සේත් මරණයට පත් නොවන්නාහ”යි වදාළ සේක.

රූප විපර්යාසය
(මතෙව් 17:1-13; ලූක් 9:28-36)

2 සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද වෙන් කොට ගෙන, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙන ගිය සේක. උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන් වෙසක් වූ සේක. 3 මිහි පිට කිසිවෙකුටවත් සෝදා සුදු කළ නොහැකි තරම් ධවල දීප්තියකින් උන් වහන්සේගේ වස්ත්‍ර බැබළිණි. 4 එවිට එලියා ද මෝසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ. 5 එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, ”ගුරුදේවයෙනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු”යි කී ය. 6 ඔවුන් මහා භීතියකින් ඇලළී ගියෙන්, කුමක් කියන්න දැ යි ඔහු නොදැන සිටියේ ය. 7 තවද වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට, ”මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි. 8 හදිසියෙන් අවට බැලූ විට, ඔව්හු තමන් සමඟ ජේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නුදුටුවෝ ය.
9 ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන්ගෙන් උත්ථාන වන තුරු තමන් දුටු දේ කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක. 10 එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත්, ඔව්හු, ”මළවුන්ගෙන් උත්ථාන වීම යනු කුමක් දැ”යි ඔවුනොවුන් අතර විමසමින් සිටියහ. 11 තවද ඔව්හු කතා කොට, ”පළමුවෙන් එලියා ආ යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 12 උන් වහන්සේ කතා කොට, ”එසේ ය, එලියා පළමුවෙන් පැමිණ සියල්ල නිසි ලෙස පිළියෙළ කරනු ඇත. මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, නිග්‍රහ ලබන්නත් යුතු ය යි ඔහු ගැන සඳහන් ව තිබෙන්නේ කෙසේ ද? 13 එහෙත් මම ඔබට කියමි, එලියා දැනට ම පැමිණ ඇත, ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි ඔව්හු තමන් රිසි දේ ඔහුට කළහ”යි වදාළ සේක.

මීමැස්මොර රෝගී ළමයෙකු සුව කිරීම
(මතෙව් 17:14-21; ලූක් 9:37-43අ)

14 ඔව්හු ශ්‍රාවකයන් වෙත ආ කල ඔවුන් වටකරගෙන මහත් සමූහයක් සිටිනවාත්, විනයධරයන් ඔවුන් සමඟ විවාද කරනවාත් දුටුවෝ ය. 15 එකෙණෙහි ම මුළු සමූහයා උන් වහන්සේ දැක ඉතා විස්මිත ව, උන් වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ. 16 ”ඔබ ඔවුන් සමඟ කුමක් ගැන වාද කරන්නහු දැ”යි උන් වහන්සේ විනයධරයන්ගෙන් ඇසූ සේක. 17 සමූහයාගෙන් එක් කෙනෙක් උන් වහන්සේට උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, මාගේ පුත්‍රයා ඔබ වෙතට ගෙනාවෙමි; ඔහුට ගොළු ආත්මයක් ආවේශ වී ඇත. 18 ඒ ආත්මය ඔහු මැඩලන කොතැනක දී වුව ද ඔහු බිම හෙළයි. එවිට ඔහු කටින් පෙණ දමයි; දත්මිටි කයි; දරදඬු වෙයි. මේ ආත්මය දුරු කරන ලෙස මම ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලුවෙමි. එහෙත් ඔවුන්ට එය කළ නොහැකි වී ය”යි කී ය. 19 උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ”අහෝ! ඇදහිලි හීන පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක. 20 ඔව්හු උන් වහන්සේ වෙතට ළමයා ගෙනාහ. උන් වහන්සේ දුටු කෙණෙහි ම ඒ ආත්මය ඔහු තදින් සලිත කරලී ය. ඔහු ද බිම වැටී පෙරළි පෙරළී කටින් පෙණ දමන්න වන. 21 ”මොහුට මෙය සිදු වී කොපමණ කල් දැ”යි උන් වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, ”ළමා වයසේ පටන් ය, 22 තවද, ඒ ආත්මය ඔහු විනාශ කරන පිණිස වරින් වර ගින්නෙහි ද වතුරෙහි ද හෙළයි. ඔබට යමක් කළ හැකි නම්, අපට අනුකම්පා කොට පිහිට වුව මැනවැ”යි කී ය. 23 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ඔබට හැකි නම්, කියා ඔබ කීවෙහි ද? අදහන්නාට සියල්ල හැකි ය”යි වදාළ සේක. 24 එකෙණෙහි ම දරුවාගේ පියා, ”මම අදහමි, මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවැ”යි මොරගා කීවේ ය.
25 සමූහයා එක් ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, ”ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරු වෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි”යි වදාළ සේක. 26 එවිට දුෂ්ට ආත්මය මොරගසා ඔහු බොහෝ සේ සලිත කොට පිටතට ආවේ ය. ළමයා ද මළකඳක් මෙන්‍ විය. ඒ නිසා වැඩි දෙනා ”ඔහු මැරිලා ය”යි කී හ. 27 එහෙත් ජේසුස් වහන්සේ ඔහු අතින් අල්ලා එසෙවූ සේක. ඔහු සිටගත්තේ ය.
28 උන් වහන්සේ ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ කතා කොට, ”ඒ ආත්මය දුරු කරන්න අපට නොහැකි වූයේ මන්දැ”යි උන් වහන්සේගෙන් රහසින් විචාළහ. 29 උන් වහන්සේ ද ”යාච්ඤාවෙන් මිස අන් මඟකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකි ය”යි ඔවුන්ට වදාළ සේක.

මරණය හා පුනරුජ්ජීවනය ගැන යළිත් පැවසීම
(මතෙව් 17:22-23; ලූක් 9:43-45)

30 ඔව්හු එතැනින් නික්ම ගලීලය මැදින් ගියහ. ඒ බව කිසිවෙකු දැනගැනීම උන් වහන්සේගේ කැමැත්ත නො වී ය. 31 කුමක්නිසා ද, උන් වහන්සේ, ”මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවා දෙනු ලබති; ඔව්හු එතුමාණන් මරන්නෝ ය. මරනු ලැබූ පසු එතුමාණෝ තෙ දිනකින් නැවත නැඟිටින්නාහ”යි ශ්‍රාවකයන්ට ඉගැන්වූ බැවිනි. 32 එහෙත් ඒ කීම ඔවුන්ට අවබෝධ නො වී ය. උන් වහන්සේගෙන් අසන්නටත් ඔව්හු බිය වූ හ.

සැබෑ උතුම්කම
(මතෙව් 18:1-5; ලූක් 9:46-48)

33 ඔව්හු කපර්ණවුමට පැමිණියහ. උන් වහන්සේ ගෙයි සිටි කල, ”ඔබ මඟ දී කුමක් ගැන විවාද කළහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 34 එහෙත් ඔව්හු නිහඬ වූ හ. මන්ද, වඩා උසස් කවරෙක් දැ යි මඟ දී තම තමන් අතර ඔවුන් විවාද කළ බැවිනි. 35 එකල උන් වහන්සේ වැඩහිඳ දොළොස් දෙනා කැඳවා, ”ප්‍රථමයා වන්න කැමැත්තේ හැමට ම අන්තිමයාත්, හැමගේ සේවකයාත් විය යුතු ය”යි ඔවුන්ට වදාළ සේක. 36 උන් වහන්සේ කුඩා දරුවෙකු ගෙන ඔවුන් මැද සිටුවා ඔහු තුරුල් කරගෙන, 37 ”මෙබඳු කුඩා දරුවන්ගෙන් එකෙකු මාගේ නාමයෙන් පිළිගන්නා, මා පිළිගන්නේ ය. මා පිළිගන්නා, පිළිගන්නේ මා නොව, මා එවා වදාළ තැනැන් වහන්සේ ය”යි ඔවුන්ට වදාළ සේක.

අපට විපක්ෂ නොවන්නා අපට පක්ෂ ය
(ලූක් 9:49-50)

38 ජොහන් උන් වහන්සේට කතා කොට, ”ගුරුදේවයෙනි, අප අනුගමනය නොකරන කෙනෙකු ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අප අනුගමනය නොකරන නිසා අපි ඔහුට එය තහනම් කෙළෙමු”යි කීවේ ය. 39 එහෙත් ජේසුස් වහන්සේ ”තහනම් නොකරන්න. මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරෙකුටවත් ඒ හුස්මෙන්‍ ම මා ගැන අපවාදයක් කරන්න නොහැකි ය. 40 අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය. 41 ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝප්පයක් වුව ද බොන්න දෙන්නේ නම්, එහි ආනිශංසය ඔහුගෙන් කිසි සේත් නැති නොවන්නේ යයි සැබැවින් ම මම ඔබට කියමි”යි වදාළ සේක.

පාපයට පෙළඹවීම
(මතෙව් 18:6-9; ලූක් 17:1-2)

42 ”තවද, උන් වහන්සේ කතා කරමින් මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යම් කෙනෙක් ඇද්ද, ඔහුගේ ගෙල වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළාදැමීම ඔහුට යහපත. 43 ඔබේ වැටීමට හේතුව ඔබේ අත නම් එය කපා දමන්න. දෑත ඇතිව අපායෙහි නොනිවෙන ගින්නට යාමට වඩා අබ්බාගාත ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත. 44 අපායේ දී ඔවුන් කාදමන පණුවා නොනසියි. ඔවුන් දවාලන ගින්න නොනිවෙයි. 45 ඔබේ වැටීමට හේතුව ඔබේ පාදය නම් එය කපා දමන්න. දෙපා ඇතිව අපායට හෙළනු ලැබීමට වඩා කොර ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත. 46 අපායේ දී ඔවුන් කාදමන පණුවා නොනසියි. ඔවුන් දවාලන ගින්න ද නොනිවෙයි. 47 ඔබේ වැටීමට හේතුව ඔබේ ඇස නම් එය උපුටා දමන්න. දෑස ඇතිව අපායේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතිව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම ඔබට යහපත. 48 අපායේ දී ඔවුන් කාදමන පණුවා නොනසියි, ඔවුන් දවාලන ගින්න ද නොනිවෙයි. 49 ලුණෙන් පවිත්‍රවීම ඇති වන සේ, සියල්ලෝ ම ගින්නෙන් පවිත්‍ර කරනු ලබති. 50 ලුණු හොඳ ය. එහෙත් ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඔබ තුළ සුහදතාව නමැති ලුණු ගතිය ඇතිව එකිනෙකා සමඟ සාමකාමී ව සිටින්නැ”යි වදාළ සේක.

 

– 10 වන පරිච්ඡේදය –

දික්කසාදය පිළිබඳ අනුශාසනා
(මතෙව් 19:1-12; ලූක් 16:18)

1 උන් වහන්සේ එතැනින් නික්ම ජුදයට සහ ජොර්දානෙන් එගොඩ පළාත්වලට පැමිණි සේක. යළිත් සමූහයෝ උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ සිරිත් පරිදි ඔවුන්ට ඉගැන්වූ සේක.
2 පරිසිවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලාගනු පිණිස, ”පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. 3 උන් වහන්සේ උත්තර දෙමින්, ”මෝසෙස් ඔබට කුමක් අණ කෙළේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 4 ”දික්කසාද සහතිකයක් ලියා ඇය අත්හැර දමන්න මෝසෙස් අවසර දුන්නේ ය”යි ඔව්හු කී හ. 5 එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ඔහු මේ ආඥා පැණවූයේ, ඔබේ සිත් දැඩිකම නිසා ය. 6 එහෙත්, මැවීමේ මුල සිට ම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් මැවූ සේක. 7 ඒ හේතුකොට ගෙන මිනිසෙක් තම පියා ද මව ද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. 8 ඒ යුවළ ද එක ම මාංසයක් වෙති. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එක් කෙනෙක් වන්නෝ ය. 9 එබැවින් දෙවියන් වහන්සේ එක්කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා!”යි වදාළ සේක.
10 ශ්‍රාවකයෝ ගෙදර දී මේ කාරණය ගැන යළිත් උන් වහන්සේගෙන් ඇසූ හ. 11 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවාගන්න කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධ ව කාමමිථ්‍යාචාරය කරයි. 12 ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම්, ඈ ද කාමමිථ්‍යාචාරය කරන්නී ය”යි වදාළ සේක.

ළදරුවන්ට ආශීර්වාද කිරීම
(මතෙව් 19:13-15; ලූක් 18:15-17)

13 සමහරු තමන්ගේ ළදරුවන් පිට ජේසුස් වහන්සේගේ අත් තබවා ගන්නා පිණිස, උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. එවිට ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ. 14 ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, ”ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය. 15 සැබැවින් ම මම ඔබට කියමි, යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු සේ නොපිළිගත්තොත්, ඔහු කිසි සේත් එහි ඇතුළු නොවන්නේ ය”යි ඔවුන්ට වදාළ සේක. 16 උන් වහන්සේ ඔවුන් තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබා ඔවුන්ට ආශීර්වාද කළ සේක.

පොහොසත් තරුණයා
(මතෙව් 19:16-30; ලූක් 18:18-30)

17 උන් වහන්සේ මඟ බැස ගමන් ගනිත් ම එක් මිනිසෙක් දිව අවුත් උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී, ”යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 18 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”මා යහපත් යයි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. 19 ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; වංචා නොකරන්න; නුඹේ පියාටත්, මවටත් ගෞරව කරන්න යනු”යි වදාළ සේක. 20 ඔහු ද උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, මම මේ සියල්ලක් ම යොවුන් වියේ සිට රක්ෂා කෙළෙමි”යි උන් වහන්සේට කීවේ ය. 21 ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, ඔහු කෙරෙහි මෙත් සිත් වඩා, ”ඔබට එක අඩු පාඩුවක් ඇත; යන්න, ඔබ සතු සියල්ල විකුණන්න; විකුණා දිළිඳුන්ට දෙන්න; ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය. එන්න, මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. 22 එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී, දොම්නසින් පිරී එතැනින් නික්ම ගියේ ය. එසේ කෙළේ, ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි.
23 එවිට ජේසුස් වහන්සේ අවට බලා, ”ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර දැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක. 24 ශ්‍රාවකයෝ ද ඒ අසා විස්මයට පත්වූ හ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළ සේක; ”දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර ද? 25 ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය.” 26 ඔව්හු අතිශයින් මවිත වී, ”එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඔවුනොවුන් අතර කියාගත්හ. 27 ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, ”මිනිසුන්ට නම් එය කළ නොහැකි ය. දෙවියන් වහන්සේට එසේ නොවේ; දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි ය”යි වදාළ සේක.
28 පේදුරු කතා කරමින්, ”බලන්න, අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමු”යි කී ය. 29 ජේසුස් වහන්සේ ද, ”සැබැවින් ම මම ඔබට කියමි; මා නිසා ද සුබ අස්න නිසා ද, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද, 30 ඔහු දැන් මේ කාලයේ දී ම සිය ගුණයක් ගේදොර ද සොහොයුරන් ද සොහොයුරියන් ද මවුවරුන් ද දරුවන් ද ගම්බිම් ද ඒ සමඟ පීඩා ද, එන යුගයේ දී සදාතන ජීවනය ද නොලබා නොසිටින්නෝ ය. 31 එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය”යි වදාළ සේක.

මරණය සහ පුනරුජ්ජීවනය ගැන තෙ වන වරටත් කීම
(මතෙව් 20:17-19; ලූක් 18:31-34)

32 ජේසුස් වහන්සේ සහ ශ්‍රාවකයෝ ජෙරුසලමට යන මාර්ගයෙහි යමින් සිටියහ. ජේසුස් වහන්සේ විස්මිතව සිටි ශ්‍රාවකයින්ට පෙරටුව වැඩිය සේක. පසුපස්සේ ගිය සෙනඟ භීත වී සිටියහ. උන් වහන්සේ යළිත් දොළොස් දෙනා කැඳවා තමන් වහන්සේට සිදු වන්න යන දේ කියන්න පටන්ගෙන, 33 ”බලන්න, අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය-පුත්‍රයාණෝ නායක පූජකවරුන්ටත්, විනයධරයන්ටත් පාවා දෙනු ලබති. ඔව්හු එතුමාණන් මරණයට නියම කොට විජාතීන්ට පාවා දෙන්නෝ ය. 34 ඔව්හු එතුමාණන්ට නින්දා කොට, කෙළ ගසා, කසවලින් තළා මරණයට පත් කරන්නෝ ය. තෙ දිනකට පසු එතුමාණෝ උත්ථාන වන සේකැ”යි වදාළ සේක.

ජාකොබ් සහ ජොහන්ගේ අයැදුම
(මතෙව් 20:20-28)

35 සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද උන් වහන්සේ වෙත අවුත්, ”ගුරුදේවයෙනි, අප ඉල්ලන දේ ඔබ අපට ඉටුකර දෙන සේක් නම් අපි කැමැත්තෙමු”යි කී හ. 36 ”මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැත්තහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. 37 ”ඔබගේ තේජශ්‍රීයෙහි දී, අපෙන් එක් කෙනෙකුට ඔබගේ දකුණු පස ද, එක් කෙනෙකුට වම් පස ද හිඳගන්නට වර දුන මැනවැ”යි ඔව්හු උන් වහන්සේට කී හ. 38 එහෙත් ජේසුස් වහන්සේ, ”ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම නොදන්නහු ය. මා බොන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න හෝ මා ලබන බව්තීස්ම-ස්නාපනය ලබන්නට හෝ ඔබට හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 39 ”අපට හැකිය”යි ඔව්හු උන් වහන්සේට කී හ. ජේසුස් වහන්සේ ද, ”මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බව්තීස්ම-ස්නාපනයෙන් ඔබත් බව්තීස්ම-ස්නාපනය ලබනු ඇත. 40 එහෙත්, මාගේ දකුණු පස ද වම් පස ද ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ. යම් අය සඳහා එය නියම කර ඇද්ද, එය අයිතිවන්නේ ඔවුන්ට ය”යි වදාළ සේක.
41 එවිට අනික් දස දෙනා ඒ අසා ජාකොබ් සහ ජොහන් සමඟ අතිශයින් කෝප වූ හ.
42 ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා මෙසේ වදාළ සේක: ”විජාතීන් අතර ආණ්ඩුකාරයන් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරෙහි බලය පාන බවත් ඔබ දන්නහු ය. 43 එහෙත්, ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු ඔබේ සේවකයා විය යුතු ය. 44 ඔබ අතර ස්වාමියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතු ය. 45 කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.”

අන්ධ බර්තිමේයස්ට පෙනීම දීම
(මතෙව් 20:29-34; ලූක් 18:35-43)

46 ඔව්හු ජෙරිකෝවට පැමිණියෝ ය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක් ද සමඟ ජෙරිකෝවෙන් නික්ම යන කල, තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ හිඟන්නෙක් පාර අද්දර වාඩි වී සිටියේ ය. 47 ”මේ වඩින්නේ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය”යි අසා, ”දාවිත්ගේ පුත් ජේසුස් වහන්ස, මට අනුකම්පා කළ මැනවැ”යි ඔහු මොරගසන්න විය. 48 නිහඬ වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට තරවටු කළහ. එහෙත් ඔහු, ”දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය. 49 ජේසුස් වහන්සේ නැවතී, ”ඔහුට හඬගසන්නැ”යි වදාළ සේක. ඔව්හු අන්ධයාට හඬගසා, ”ධෛර්ය ගන්න, නැඟිටින්න, එතුමාණෝ ඔබ කැඳවන සේකැ”යි කී හ. 50 ඔහු එවිට තමාගේ සළුව ගසාදමා, පැන නැඟී ජේසුස් වහන්සේ වෙතට ආවේ ය. 51 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ”ගුරුදේවයෙනි, මට පෙනීම දුන මැනවැ”යි අන්ධයා උන් වහන්සේට කී ය. 52 ජේසුස් වහන්සේ ද, ”යන්න, ඔබේ ඇදහිල්ල ඔබට සුවසම්පත ලබා දී ඇතැ”යි ඔහුට වදාළ සේක. ඒ ඇසිල්ලෙහි ම ඔහු පෙනීම ලබා මඟ දිගේ උන් වහන්සේ පසුපස්සේ ගියේ ය.

 

– 11 වන පරිච්ඡේදය –

රාජ තේජසින් ජෙරුසලමට පිවිසීම
(මතෙව් 21:1-11; ලූක් 19:28-40; ජොහන් 12:12-19)

1 ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්දට නුදුරු බෙත්පාගයට හා බෙතානියට පැමිණියහ. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, 2 ”ඔබ ඉදිරියේ ඇති ගමට යන්න; ගිය කෙණෙහි ම කිසිවෙකු කිසි කලක නොනැඟුණු, බැඳ සිටින කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත; ඌ ලිහා මෙහි ගෙනෙන්න. 3 ‘ඔබ මෙය කරන්නේ මන්දැ’යි යමෙකු ඇසුවොත්, ‘සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇත; නොපමාව ඌ ආපසු එවනු ඇතැ’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක. 4 ඔව්හු ගොස්, දොර ළඟ පිටත වීදියෙහි දිගේලි කොට සිටි කොටළු නාම්බෙකු දැක ඌ ලිහුවෝ ය. 5 එහි සිටි අයගෙන් ඇතැමෙක් කතා කොට, ”කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූහ. 6 ජේසුස් වහන්සේ වදාළ ලෙසම ඔව්හු ඔවුන්ට පිළිතුරු දුන්හ. එවිට ඔව්හු ඔවුන්ට ඉඩ දුන්නෝ ය. 7 ඔව්හු කොටළු නාම්බා ජේසුස් වහන්සේ වෙතට ගෙනවුත් තමන්ගේ උතුරු සළු ඌ පිට එළාලූ හ. උන් වහන්සේ ද ඌ පිට හිඳගත් සේක. 8 එවිට බොහෝ දෙනෙක් තමන්ගේ සළු ද, අන් අය වතුපිටිවලින් කපා ගත් කොළ අතු ද මඟ අතුළෝ ය. 9 පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය ”හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේ වා!, 10 අපේ පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේ වා!, අති උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූහ.
11 ජේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුළු ව අවට සියල්ල නරඹා, සවස් වූ බැවින් දොළොස් දෙනා සමඟ බෙතානිය බලා නික්ම ගිය සේක.

අත්තික්කා ගසට සාපය
(මතෙව් 21:18-19)

12 පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කල උන් වහන්සේට බඩගිනි විය. 13 උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් කිසිවක් සම්බ නො වී ය. ඒ අත්තික්කා වාරය නුවූ බැවිනි. 14 උන් වහන්සේ, ”මෙවක් පටන් සදහට ම කිසිවෙක් කිසි කලෙක තාගෙන් පල අනුභව නොකරත්වා”යි ගසට වදාළ සේක. එය උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසිණි.

දේව මාලිගාව පවිත්‍ර කිරීම
(මතෙව් 21:12-17; ලූක් 19:45-48; ජොහන් 2:13-22)

15 ඔව්හු ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවට පිවිස එහි වෙළහෙළඳාම් කළවුන් පිටතට පලවා හරින්න පටන්ගෙන, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා, 16 දේව මාලිගාව මැදින් කිසිදු දෙයක් ගෙන යන්න කිසිවෙකුට ඉඩ නුදුන් සේක. 17 උන් වහන්සේ ඔවුන්ට උගන්වමින්, ” ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයකැ’යි කියනු ලබන බව ලියා නැද් ද? එහෙත් ඔබ එය හොරුන්ගේ ගුහාවක් කර ඇතැ”යි වදාළ සේක. 18 නායක පූජකවරු ද විනයධරයෝ ද ඒ අසා උන් වහන්සේ නසාදැමීමට මඟක් සෙවූ හ. මන්ද, උන් වහන්සේගේ අනුශාසනා ගැන මුළු සමූහයා විස්මිත වූ බැවින් ඔව්හු උන් වහන්සේට බිය වූ හ. 19 සවස් වූ විට උන් වහන්සේ නුවරින් නික්ම ගිය සේක.

වියළි අත්තික්කා ගසෙන් පාඩමක්
(මතෙව් 21:20-22)

20 ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය. 21 ඒ සිද්ධිය මතක් වී, පේදුරු කතා කරමින්, ”බලන්න ගුරුදේවයෙනි, ඔබ සාප කළ අත්තික්කා ගස වියළී තිබේ ය”යි කී ය. 22 ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: ”දෙවියන් වහන්සේ අදහාගන්න. 23 සැබැවින් ම මම ඔබට කියමි, කවරෙක් නමුත් මේ කන්දට, ‘ඉදිරීගොස්, මුහුදෙහි පතිත වේ වා’යි කියා, තමා කියන ඒ දේ සිදු වන්නේ ම යයි නිසැක සිතින් අදහන්නේ නම් එය සිදු වන්නේ ම ය. 24 එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය. 25 ඔබ නැඟිට යාච්ඤා කරන විට කිසිවෙකුට විරුද්ධ ව කිසිවක් ඇත්නම් කමා කරන්න. එසේ කළ යුත්තේ ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේත් ඔබේ වැරදිවලට කමා කරන පිණිස ය. 26 එහෙත් ඔබ කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේ ද ඔබේ වැරදිවලට කමා නොවන සේක.”

ජේසුස් වහන්සේගේ අධිකාරී බලය ගැන ප්‍රශ්න කිරීම
(මතෙව් 21:23-27; ලූක් 20:1-8)

27 ඔව්හු යළිත් ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවෙහි සක්මන් කරන කල, නායක පූජකවරු ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙත අවුත්, 28 ”ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 29 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. මට පිළිතුරු දෙන්න; එවිට මේ දේවල් කරන්නේ කවර බලයකින් දැ යි මම ඔබට කියන්නෙමි. 30 ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන් ද? මට පිළිතුරු දෙන්නැ”යි වදාළ සේක. 31 ඔව්හු තම තමන් අතර විවාද කරමින්, ” ‘දෙවියන් වහන්සේගෙන් ය’යි අප කීවොත්, ‘ඔහු අදහා නොගත්තේ මන්දැ’යි අපට කියනු ඇත. 32 එසේ නම්, ‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කියමු ද?” ජොහන් සැබැවින් ම ‘දිවැසිවරයෙකැ’යි කොයි කවුරුනුත් පිළිගත් බැවින් ඔව්හු සෙනඟට භයින්, ”එසේ නොකියමු”යි තීරණය කොට, 33 ”අපි නොදනිමු”යි ජේසුස් වහන්සේට පිළිතුරු දුන්හ. ජේසුස් වහන්සේ ද, ”මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට නොකියමි”යි වදාළ සේක.

 

– 12 වන පරිච්ඡේදය –

මිදි වත්ත හා වැවිලිකරුවන් පිළිබඳ උපමාව
(මතෙව් 21:33-46; ලූක් 20:9-18)

1 ජේසුස් වහන්සේ ඔවුන්ට තවදුරටත් උපමා මඟින් කතා කරමින් මෙසේ වදාළ සේක: ”එක් මිනිසෙක් මිදි වත්තක් වගා කොට, එය වටා වැටක් බැඳ, මිදි යන්ත්‍රයට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, ගොවීන්ට අඳයට දී පිට රට ගියේ ය. 2 ඔහු මිදි වත්තේ පලදාවෙන් සිය කොටස අඳකාරයන්ගෙන් ගන්නා පිණිස අස්වැන්න වාරයේ දී ගොවීන් වෙත දාසයෙකු යැවී ය. 3 ඔව්හු දාසයා අල්ලා තළා පෙළා, ඔහු හිස් අතින් හැරියෝ ය. 4 යළිත් ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙත යැවී ය. ඔව්හු ඔහුගේ හිස තුවාළ කොට ඔහුට නින්දා අපහාස ද කළහ. 5 ඔහු තවත් කෙනෙකු යැවී ය. ඔව්හු ඔහු ද මැරූ හ; තවත් බොහෝ දෙනෙකුන්ට එසේ ම කළහ. සමහරු තැළුම් කෑ හ; සෙසු අය මැරුම් කෑ හ. 6 ඔහුට තව එක් කෙනෙක්, එනම්, ප්‍රේමාන්විත පුත්‍ර රත්නයක් සිටියේ ය. ‘ඔවුන් මාගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’යි කියා, අවසාන වශයෙන් ඔහු ද ඔවුන් වෙත යැවී ය. 7 එහෙත්, ඒ ගොවීහු තමන් අතර කතා වී, ‘මේ උරුමක්කාරයා ය. එන්න, මොහු මරමු. එවිට උරුමය අප සතු වන්නේ ය’ කියා 8 ඔහු අල්ලා, මරා, මිදි වත්තෙන් බැහැරට ඇද දැමූ හ. 9 ඉතින් මිදි වතු හිමියා කුමක් කරනු ඇද් ද? ඔහු ඇවිත් ඒ ගොවීන් නසා දමා මිදි වත්ත අන් අයට පවරනු ඇත. 10 මේ ශුද්ධ ලියවිලි පදයවත් ඔබ කියවා, නැද් ද?
‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම කොණේ මුල් ගල වී ඇත;
11 මෙය සමිඳුන්ගේ ම ක්‍රියාවකි, අප ඇස් හමුයෙහි එය විස්මයජනක ය.’ ”
12 මේ උපමාව තමන්ට විරුද්ධ ව එල්ල කළ බව තේරුම්ගත් ඔව්හු උන් වහන්සේ අල්ලන්නට තැත් කළහ. එහෙත්, ජනකායට බිය වූයෙන් ඔව්හු උන් වහන්සේ අත්හැර යන්න ගියහ.

අධිරාජයාට බදු ගෙවීම
(මතෙව් 22:15-22; ලූක් 20:20-26)

13 වචනයකින් උන් වහන්සේ අසු කර ගන්නා පිණිස ඔව්හු පරිසිවරුන්ගෙන් ද හෙරෝදිවරුන්ගෙන් ද සමහරෙකු උන් වහන්සේ වෙත යැවූ හ. 14 ඔව්හු අවුත්, ”ගුරුදේවයෙනි, ඔබ අවංක මිනිසෙකු බවත්, කිසිවෙකු නොතකන බවත් අපි දනිමු; ඔබ මිනිසුන්ගේ තරාතිරම් නොබලා, දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන සේක. සීසර් අධිරාජයාට බදු දීම යුතු ද අයුතු ද? දෙමු ද, නොදෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 15 එහෙත් උන් වහන්සේ ඔවුන්ගේ කෛරාටිකකම දැන, ”කුමට මා පරීක්ෂා කරන්නහු ද? මට බලන්න රිදී කාසියක් මෙහි ගෙනෙන්නැ”යි වදාළ සේක. 16 ඔව්හු කාසියක් ගෙනාහ. ”මේ රූපයත්, සටහනත් කාගේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”සීසර් අධිරාජයාගේ ය”යි ඔව්හු කී හ. 17 එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”රජුගේ දේ රජුට ද දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට ද දෙන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඔව්හු උන් වහන්සේ ගැන අතිශයින් පුදුම වූ හ.

පුනරුජ්ජීවන ප්‍රශ්නය
(මතෙව් 22:23-33; ලූක් 20:27-40)

18 පුනරුජ්ජීවනයක් නැතැ යි උගන්වන සද්දුසිවරුන්ගෙන් සමහරු උන් වහන්සේ වෙත අවුත් ප්‍රශ්න කරමින්, උන් වහන්සේගෙන් මෙසේ ඇසූ හ: 19 ”ගුරුදේවයෙනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ, සිය භාර්යාව ජීවත් ව සිටිය දී මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු ය යි මෝසෙස් විසින් අපට අණ දී තිබේ. 20 වරක් සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නැති ව මළේ ය. 21 දෙවැන්නාත් ඇය පාවාගෙන දරුපල නැති ව මළේ ය. තෙවැන්නාටත් එසේ ම විය. 22 සත්දෙන ම දරුපල නැති ව මළෝ ය. හැමට ම පසු ස්ත්‍රිය ද මළා ය. 23 සත් දෙනා ම ඇය භාර්යාව කොට පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේ දී, ඔවුන් මළවුන්ගෙන් නැඟිටින කල ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නී ද?”
24 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”ඔබ මුළා වන්නේ ශුද්ධ ලියවිලි වත් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය වත් නොදන්නා නිසා නොවේ ද? 25 මා එසේ කියන්නේ මළවුන්ගෙන් උත්ථානවීමේ දී ආවාහ වීමක් හෝ විවාහ වීමක් හෝ නැති බැවිනි; ඔව්හු ස්වර්ගයෙහි දේව දූතයන් මෙන්‍ වෙති. 26 තවද මළවුන් නැඟිටුවනු ලැබීම ගැන, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය, ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය’යි දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ බව ඔහුගේ පොතේ ගිනිගත් පඳුර ගැන සඳහන් වන පාඨයෙහි ඔබ කියවා නැද් ද? 27 උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය. ඔබ බොහෝ සේ මුළා ව ගොස් ඇත.”

ශ්‍රේෂ්ඨතම ආඥාව
(මතෙව් 22:34-40; ලූක් 10:25-28)

28 විනයධරයන්ගෙන් කෙනෙක් පැමිණ, ඔවුන් එකතු වී උන් වහන්සේ සමඟ විවාද කරනු අසා, උන් වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරු දුන් බව ද දැක, ”සියලු ආඥා අතරෙන් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. 29 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ශ්‍රේෂ්ඨතම ආඥාව මේ ය: ‘ඉශ්රායෙල් වැසියෙනි, අසන්න, අපේ ස්වාමින් වන දෙවියන් වහන්සේ එක ම සමිඳාණන් වහන්සේ ය. 30 නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ දෙවි‍ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’ 31 දෙවැන්න මේ ය: ‘නුඹ නුඹට ම ප්‍රේම කරන්නාක් මෙන්‍ නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’ මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැතැ”යි වදාළ සේක. 32 එවිට විනයධරයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, ”ගුරුදේවයෙනි, එය සැබෑ ය. ‘උන් වහන්සේ එක ම තැනැන් වහන්සේ ය’යි ඔබ කීවා හරි ය. උන් වහන්සේ හැර අන් දෙවි‍ කෙනෙක් නැත. 33 මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු වීර්යයෙන් ද උන් වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්‍ ම තම අසල්වැසියාට ප්‍රේම කිරීම, දවන යාග පූජා හා වෙනත් පූජා සියල්ලට ම වඩා ශ්‍රේෂ්ඨය”යි කීවේ ය. 34 ඔහු කොතරම් තේරුම් පැහැදුම් ඇතුව පිළිතුරු දුන්නේ දැ යි ජේසුස් වහන්සේ දැක ”ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදුරු ව සිටින්නෙහි ය”යි ඔහුට වදාළ සේක. ඉන්පසු උන් වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්න කිසිවෙකුට ධෛර්යයක් නො වී ය.

දාවිත්ගේ පුත්‍රයා මෙන්‍ ම ස්වාමීන් ද වන ක්‍රිස්තුස් වහන්සේ
(මතෙව් 22:41-46; ලූක් 20:41-44)

35 ජේසුස් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනා කරමින්, ”ක්‍රිස්තුන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යයි විනයධරයෝ කෙසේ කියත් ද? 36 දාවිත් ම ශුද්ධාත්මානුභාවයෙන් කතා කරමින්: ‍
‘මා ඔබ සතුරන් ‍ ඔබ පාද යට ලන තෙක් ‍ මා දකුණු පස අසුන් ගන්න කියා ‍ සමිඳාණෝ ‍ මා සමිඳුන්ට වදාළ සේකැ’යි
කී ය. 37 දාවිත් උන් වහන්සේට ‘සමිඳුන්’ කියා අමතයි. එසේ නම්, උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ”යි ඇසූ සේක. මහා ජනකායක් උන් වහන්සේට සතුටින් සවන් දුන්හ.

විනයධරයන් හට චෝදනා
(මතෙව් 23:1-36; ලූක් 20:45-47)

38 උන් වහන්සේ සිය අනුශාසනාවේ දී කතා කරමින්, ”විනයධරයන්ගෙන් පරෙස්සම් වන්න. ඔව්හු දිග උතුරු සළු හැඳ සක්මන් කරන්න ද වෙළෙඳපොළවල දී ගෞරවාචාර ලබන්න ද ප්‍රිය වෙති; 39 ධර්මශාලාවල දී මූලාසනවලටත්, මංගල භෝජනවල දී සම්භාවනීය ආසන ලබන්ටත් ප්‍රිය වෙති; 40 වැන්දඹුවන්ගේ ගේදොර කාදමති; පෙනුමට දිගින් දිගට යාච්ඤා කරති; මොවුහු වඩාත් බරපතල දඬුවමක් ලබති”යි වදාළ සේක.

වැන්දඹුවගේ පඬුර
(ලූක් 21:1-4)

41 උන් වහන්සේ දේව මාලිගාවේ මුදල් ගබඩාව ඉදිරියේ වැඩ හිඳ සෙනඟ එයට මුදල් දමනු බලා හුන් සේක. ධනපතීහු බොහෝ දෙනෙක් බොහෝ මුදල් දැමූ හ. 42 එක් දිළිඳු වැන්දඹුවක් අවුත්, සතයක් පමණ වටිනා තඹ සල්ලි දෙකක් දැමුවා ය. 43 උන් වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, ”සැබැවින් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව ගබඩාවට මුදල් දැමූ අනික් හැම දෙනාට ම වැඩියෙන් දැමුවා ය. 44 ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටිය දීත් සිය දිවිපෙවෙත සඳහා තිබුණු මුළු වත්කම ම දැමුවා ය”යි වදාළ සේක.

 

– 13 වන පරිච්ඡේදය –

දේව මාලිගාවේ විනාශය ගැන කලින් කීම
(මතෙව් 24:1-2; ලූක් 21:5-6)

1 උන් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යද්දී ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක්, ”ගුරුදේවයෙනි, බලන්න! මොන තරම් විශාල ගල් ද, මොන තරම් විශාල ගොඩනැඟිලි දැ!”යි උන් වහන්සේට කී ය. 2 ජේසුස් වහන්සේ ඔහු අමතා, ”මේ විශාල ගොඩනැඟිලි ඔබට පෙනෙනවා නොවේ ද? ගලක් මත ගලක් ඉතිරි නොවන සේ ඒවා බිඳ හෙළනු ලැබේ ය”යි වදාළ සේක.

පීඩාවල පෙර ලකුණු
(මතෙව් 24:3-14; ලූක් 21:7-19)

3 උන් වහන්සේ දේව මාලිගාව ඉදිරියෙහි වූ ඔලීව කන්දේ වැඩහුන් කල පේදුරු ද ජාකොබ් ද ජොහන් ද ඇන්ඩෘ ද පෞද්ගලික ව උන් වහන්සේට කතා කොට, 4 ”මේ දේ කවදා සිදුවනු ඇද් ද? ඒ සියල්ල ඉෂ්ට වන්න යන කල කුමන ලකුණක් ඇති වේ දැ යි අපට කිව මැනවැ”යි කී හ.
5 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන්ගෙන මෙසේ වදාළ සේක: ”කිසිවෙකු ඔබ මුළා නොකරන හැටියට බලාගන්න. 6 බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘මම එතුමා ය’ කියා බොහෝ දෙන මුළා කරන්නාහ. 7 යුද්ධ ගැන ද යුද්ධ පිළිබඳ දූසමාන ආරංචි ද ඔබ අසන කල සන්ත්‍රාසයට පත් නොවන්න. මේ දේවල් සිදුවනු ඒකාන්ත ය. එහෙත් අවසානය තව ම නැත. 8 මන්ද, ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමි කම්පා ඇති වේ. සාගත ද ඇති වේ. මේ වූකලී නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.
9 ”එහෙත් පරෙස්සම් වන්න. ඔවුන් උසාවිවලට ඔබ පාවා දෙනු ඇත. ධර්මශාලාවලට ගෙනවුත් ඔබට තළනු ඇත. ඔබ මා නිසා, ආණ්ඩුකාරයන් ද රජුන් ද අබිමුවෙහි, ඔවුන්ට සාක්ෂි වන පිණිස පෙනී සිටිනු ඇත. 10 පළමු කොට සියලු ජාතීන් හට සුබ අස්න දේශනා කළ යුතු ය. 11 ඔවුන් ඔබ පාවා දෙන්න ගෙන යන කල කුමක් කියන්න දැ යි කල් තියා කරදර නොවන්න. ඒ පැයේ දී ම ඔබට දෙනු ලබන දෙය කියන්න. මන්ද, කතා කරන්නේ ඔබ නොව ශුද්ධාත්මයාණන් වහන්සේ ය. 12 තවද සහෝදරයා සහෝදරයා ද පියා දරුවා ද මරණයට පාවා දෙනු ඇත. දරුවෝ මවුපියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන් මරණයට පත් කරන්නෝ ය. 13 මාගේ නාමය නිසා සියල්ලන් ම ඔබට වෛර කරනු ඇත. එහෙත්, අග දක්වා ම ස්ථීරව සිටින්නා ගළවනු ලැබේ.”

බිහිසුණු දුක් ගාවිනා
(මතෙව් 24:15-28; ලූක් 21:20-24)

14 ”තවද, ‘බිහිසුණු දූෂිතය’ එයට නොහිමි තැන සිටිනු ඔබ යම් කලෙක දකින්නහු ද, (පාඨකයා තේරුම් ගනී වා), එකල ජුදයෙහි සිටින අය කඳුවලට පලා යෙත් වා. 15 පියස්ස මත සිටින්නා පහතට නොබසී වා; තම ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුළු නොවේ වා. 16 කෙතෙහි සිටින්නා තම උතුරු සළුව ගැනීමට පෙරළා නොයේ වා; 17 අහෝ, ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මවුවරුන්ට ද ඇති වන විපතක මහත! 18 හේමන්තයේ දී මෙය සිදු නොවන පිණිස යාච්ඤා කරන්න. 19 මන්ද, දෙවියන් වහන්සේ මැවූ ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නුවූ විරූ, මතු ද නොවන විරූ, දුක් පිඩා ඒ දවස් වල දී පැමිණෙන බැවිනි. 20 සමිඳාණන් වහන්සේ විසින් ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් ගළවනු නොලබන්නෝ ය. එහෙත්, උන් වහන්සේ තෝරා වෙන් කොට ගත් අය වෙනුවෙන් ඒ කාලය කෙටි කළ සේක.
21 ”එකල, ‘බලන්න, ක්‍රිස්තුන් වහන්සේ මෙහි ය; බලන්න, එහි ය’යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න. 22 මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත. 23 එහෙත් සෝදිසියෙන් සිටින්න! මම කල් තියා සියල්ල ඔබට කීවෙමි.”

මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය
(මතෙව් 24:29-31; ලූක් 21:25-28)

24 ”තවද, ඒ දවස්වල දී දුක් ගාවිනාවලින් පසු ව, හිරු මඬල අඳුරු වන්නේ ය; සඳ මඬල එළිය නොදෙන්නේ ය. 25 අහසින් තාරකාවෝ පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රමයෝ චංචල වන්නාහ. 26 එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් මහා බලපරාක්‍රමයෙන් හා තේජශ්‍රියෙන් විරාජමාන ව, වලාකුළු මත වඩිනු ඔව්හු දකිති. 27 එවිට උන් වහන්සේ තම දූතයන් යවා පොළොවේ සීමාන්තයේ පටන් අහසේ සීමාන්තය දක්වා සිවු දිගින් තමන් වහන්සේ තෝරාගත් අය රැස් කරනු ඇත.”

අත්තික්කා ගසෙන් පාඩමක්
(මතෙව් 24:32-35; ලූක් 21:29-33)

28 ”අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙනගන්න. එහි ළපටි අතු මතු වී, කොළ ලියලන කල ගිම්හානය ළඟ බව ඔබ දන්නහු ය. 29 එලෙස ම මේ දෙය සිදු වනු ඔබ දකිත් ම, උන් වහන්සේ දොරකඩ ළඟ ම ය යි දැනගන්න. 30 සැබැවින් ම මම ඔබට කියමි, ඒ සියල්ල සිදු වන තෙක් මේ පරම්පරාව පහ ව නොයන්නේ ය. 31 අහසත් පොළොවත් පහ ව යන්නේ ය, එහෙත් මාගේ වචනය කිසි දා පහ ව නොයන්නේ ම ය.”

අවදි ව සිටීම
(මතෙව් 24:36-44)

32 ”ඒ දිනය පිළිබඳ ව හෝ ඒ පැය පිළිබඳ ව හෝ කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති; එය දන්නේ පියාණන් වහන්සේ පමණක් ය. 33 නියමිත මොහොත කවදා දැ යි ඔබ නොදන්න බැවින්, පරෙස්සම් වන්න, අවදි ව ඉන්න. 34 ඒ වනාහි සිය දාසයන්ට බලය ද එකිනෙකාට තම තමන්ගේ වැඩ ද පවරා, ‘අවදි ව ඉන්නැ’යි දොරටු පාලයාට අණ දී සිය නිවෙසින් පිට වී ගමනක යෙදෙන මනුෂ්‍යයෙකුගේ ආපසු පැමිණීම හා සමාන ය. 35 ඒ ගෘහපතියා කොයි වේලේ එයි ද, සවස ද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේ ද අලුයම දැ යි, ඔබ නොදන්නා හෙයින්, 36 ඔහු හදිසියෙන් අවුත් ඔබ නිදා හිඳිනු නොදක්නා පිණිස, අවදි ව සිටින්න. 37 ඔබට කියන දෙය හැමට ම කියමි, අවදි ව සිටින්න.”

 

– 14 වන පරිච්ඡේදය –

ජේසුස් වහන්සේ නැසීමට කුමන්ත්‍රණය
(මතෙව් 26:1-5; ලූක් 22:1-2; ජොහන් 11:45-53)

1 පාස්කුවට ද නුමුහුන් රොටි මංගල්‍යයට ද ඇත්තේ තව දෙදවසකි. නායක පූජකවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අල්ලා මැරීමට කපටි උපායක් සෙවූ හ. 2 ”එහෙත්, සෙනඟ අතර කලකෝලාහල ඇති නොවන පිණිස මංගල්‍යයේ දී එය සිදු නොකරමු”යි ඔව්හු කී හ.

බෙතානියේ දී ආලේප කරනු ලැබීම
(මතෙව් 26:6-13; ජොහන් 12:1-8)

3 උන් වහන්සේ බෙතානියෙහි ලාදුරු රෝගී සීමොන්ගේ ගෙදර කෑමට හිඳගෙන සිටිය දී, එක් ස්ත්‍රියක් ඉතා අගනා සුපිරිසිදු සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක් ගෙන’වුත්, එය බිඳ උන් වහන්සේගේ හිස මත ඒ සුවඳ විලවුන් වත් කළා ය. 4 එහෙත් එහි සිටි ඇතැමෙක් කෝප වී, ”මේ විලේපනය නාස්ති කෙළේ කුමට ද? 5 මේ විලේපනය රිදී කාසි තුන්සියයකට වැඩියෙන් විකුණා, ඒ මුදල දිළිඳුන්ට දිය හැකි ව තිබුණේ ය”යි තම තමන් අතර කියාගනිමින් ඈට බැණ වැදුණෝ ය. 6 එහෙත් ජේසුස් වහන්සේ කතා කොට, ”ඈට නිකම් ඉන්න දෙන්න, ඈට කරදර කරන්නේ මන් ද? ඈ මා හට කෙළේ මනහර දෙයකි. 7 දුගීහු ඔබ සමඟ හැම දා ම සිටිති. ඔබ කැමැති හැම විටක ම ඔවුන්ට යහපත කරන්න ඔබට පුළුවන. එහෙත්, මම හැම දා ම ඔබ සමඟ නොසිටිමි. 8 ඇයට හැකි දෙය ඈ කළා ය. තැන්පත් කිරීම සඳහා, කල්තියා, ඈ මාගේ සිරුර ආලේප කර ඇත. 9 සැබැවින් ම මම ඔබට කියමි, සුබ අස්න ලොව පුරා දේශනා කරනු ලබන හැම තැන්හි ම මේ ස්ත්‍රියගේ මේ ක්‍රියාව ද ඇය ගැන සැමරුමක් වශයෙන් කියනු ලැබේ ය”යි වදාළ සේක.

ජූදස්ගේ ද්‍රෝහි ක්‍රියාව
(මතෙව් 26:14-16; ලූක් 22:3-6)

10 දොළොස් දෙනාගෙන් එක් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් ජේසුස් වහන්සේ නායක පූජකවරුන්ට පාවා දෙනු පිණිස ඔවුන් වෙතට ගියේ ය. 11 ඔව්හු එපවත් අසා තුටුපහටු වී ඔහුට මුදල් දෙන්නට පොරොන්දු දුන්හ. එවිට ඔහු උන් වහන්සේ පාවා දෙන්න සුදුසු අවස්ථාවක් සෙවී ය.

ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වැළඳීම
(මතෙව් 26:17-25; ලූක් 22:7-14, 21-23; ජොහන් 13:21-30)

12 පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ”පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 13 එවිට උන් වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, ”නුවරට යන්න; ගිය විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ යන්න. 14 ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේ ද ඒ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයි ද කියා සමිඳාණන් වහන්සේ අසන සේකැ’යි කියන්න. 15 එවිට සකස් කොට සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙළ කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. 16 ශ්‍රාවකයෝ පිටත් ව නුවරට ගියහ. උන් වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ල ම සම්බ විය; ඔව්හු ද පාස්කු භෝජනය පිළියෙළ කළහ.
17 සවස් වූ කල උන් වහන්සේ දොළොස් දෙනා කැටුව වැඩිය සේක. 18 ඔවුන් වාඩි වී භෝජන වළඳමින් සිටිය දී ජේසුස් වහන්සේ, ”සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් එක් කෙනෙක්; මා හා සමඟ වළඳන කෙනෙක්; මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. 19 ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා ”ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ. 20 උන් වහන්සේ ද පිළිතුරු දෙමින්, ”ඒ තැනැත්තා දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් ය; මා සමඟ එක පාත්‍රයෙහි අත ලන තැනැත්තේ ය. 21 ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන ලියා තිබෙන ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මිනිසෙක් වේ ද ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක.

අන්තිම රාත්‍රි භෝජනය
(මතෙව් 26:26-30; ලූක් 22:14-20; 1 කොරි: 11:23-25)

22 ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ රොටි ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, ”ගන්න, මේ මාගේ ශරීරය ය”යි වදාළ සේක. 23 උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ. 24 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ. 25 සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී මම නැවත මිදියුස පානය කරන දිනය එන තෙක්, මම මේ මිදියුස යළිත් පානය නොකරන්නෙමි”යි වදාළ සේක. 26 ඔව්හු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ.

පේදුරුගේ අපලාපය ගැන කලින් කීම
(මතෙව් 26:31-35; ලූක් 22:31-34; ජොහන් 13:36-38)

27 තවද, ජේසුස් වහන්සේ කතා කරමින්, ”ඔබ හැම දෙන ම පැකිළෙන්නහු ය; මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ලියා තිබේ. 28 කෙසේ වුව ද උත්ථාන කරනු ලැබූ පසු, මම ඔබට පෙරටුව ගලීලයට යන්නෙමි”යි ඔවුන්ට වදාළ සේක. 29 පේදුරු කතා කොට, ”අන් හැම දෙනා ම අධෛර්යයට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි”යි උන් වහන්සේට කී ය. 30 ජේසුස් වහන්සේ ද, ”සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 31 එහෙත්, ඔහු ”මට ඔබ වහන්සේ සමඟ මැරෙන්න සිදු වුණත් ‘ඔබ නාඳුනමි’යි කියන්නේ ම නැතැ”යි තරයේ ම කියා සිටියේ ය. සෙසු සියල්ලෝ ද එසේ ම කී හ.

ගෙත්සෙමනෙහි යාච්ඤාව
(මතෙව් 26:36-46; ලූක් 22:39-46)

32 ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝ ය. උන් වහන්සේ ද, ”මා යාච්ඤා කරන අතර, ඔබ මෙහි සිටින්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක. 33 උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ අතිශයින් බියපත් වන්න ද ශෝක වන්න ද පටන් ගත් සේක. 34 උන් වහන්සේ ඔවුන් අමතා, ”මැරෙණ තරමට මාගේ සිත අතිශයින් ශෝකාකූල ය; මෙහි නැවතී අවදි ව සිටින්න” කියා, 35 මඳක් පෙරට ගොස් මුණින්තලා වී, හැකි නම්, ඒ පැය තමන් කෙරෙන් පහ ව යන ලෙස යාච්ඤා කරමින්, 36 ”අබ්බා, පියාණෙනි, ඔබට සියල්ලක් ම හැකි ය; මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නොව, ඔබගේ කැමැත්ත වේ වා”යි වදාළ සේක.
37 පසුව උන් වහන්සේ අවුත්, ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරු අමතා, ”සීමොන් ඔබ නිදි ද? පැයක් වත් අවදි ව ඉන්න ඔබට නොහැකි වූයේ ද? 38 පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදි ව හිඳ යාච්ඤා කරන්න; හිත නම් කැමැතිය, එහෙත් ගත නම් දුබලය”යි වදාළ සේක.
39 උන් වහන්සේ යළිත් ගොස් එම වචන ම පවසමින් යාච්ඤා කළ සේක. 40 ඉන්පසු නැවතත් හැරී අවුත් ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. උන් වහන්සේට කුමන පිළිතුරක් දෙන්න දැ යි ඔව්හු නොදත්හ.
41 උන් වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, ”තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; නියමිත මොහොත පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක; 42 නැඟිටින්න; අපි යමු; මෙන්න මා පාවා දෙන්නා ළඟ ම ය”යි වදාළ සේක.

ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබීම
(මතෙව් 26:47-56; ලූක් 22:47-53; ජොහන් 18:3-12)

43 ජේසුස් වහන්සේ කතා කරමින් සිටිය දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ද ඔහු කැටුව නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් විසින් එවන ලද සමූහයක් ද කඩු මුගුරු රැගෙන ආහ. 44 ”මම යමෙකු සිඹිම් ද ඒ ඔබ සොයන තැනැත්තා ය. ඔහු අල්ලා පරෙස්සමින් ගෙන යන්න” කියා උන් වහන්සේ පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණි.
45 ජූදස් අවුත් වහා ම උන් වහන්සේ වෙත ගොස්, ”රබ්බී” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. 46 ඔව්හු උන් වහන්සේ අල්ලාගෙන අත්අඩංගුවට ගත්හ. 47 ළඟ සිටි අයගෙන් කෙනෙක් කඩුව ඇද මහා නායක පූජකවරයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාලී ය. 48 ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ”ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන්‍ කඩු මුගුරු ගෙන මා අල්ලන්න ආවාහු ද? 49 මම දිනපතා ම දේව මාලිගාවෙහි අනුශාසනා කරමින් ඔබ සමඟ සිටියෙමි; එහෙත් ඔබ මා අල්ලා නොගත්තහු ය; මෙසේ වන්නේ ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති දේ සම්පූර්ණ වන පිණිස ය”යි වදාළ සේක. 50 එවිට සියල්ලෝ ම උන් වහන්සේ හැරපියා පලා ගියහ.

පලා ගිය තරුණයා

51 සිහින් හණ රෙද්දක් පමණක් පොරවාගත් තරුණයෙක් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔව්හු ඔහු අල්ලාගත්හ. 52 එහෙත්, ඔහු ඒ රෙද්ද හැර දමා නග්න ව පලා ගියේ ය.

ජේසුස් වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි සිටීම
(මතෙව් 26:57-68; ලූක් 22:54-55, 63-71; ජොහන් 18:13-14, 19-24)

53 ඔව්හු ජේසුස් වහන්සේ උත්තම පූජකයා වෙත ගෙන ගියහ. සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද එහි රැස් වූ හ. 54 පේදුරු ද උත්තම පූජකයාගේ මළුව දක්වා ම දුරින් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔහු මුර සේවකයන් සමඟ වාඩි වී ගිනි තපිමින් සිටියේ ය. 55 නායක පූජකවරු ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජේසුස් වහන්සේ මරණයට පත් කරවන පිණිස උන් වහන්සේට විරුද්ධ ව සාක්ෂි සෙවූ හ. එහෙත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය. 56 බොහෝ දෙනෙකු උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි කී නමුත්, ඔවුන්ගේ සාක්ෂි එකට එකක් නොගැළපිණි.
57 එවිට සමහරු ඉදිරිපත් වී උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි කියමින්, 58 ” ‘මිනිස් අතින් තැනූ මේ දේව මාලිගාව බිඳදමා අතින් නොතැනූ අනිකක් මම තෙ දිනකින් ගොඩනඟමි’යි මොහු කියනු අපි ඇසීමු”යි කී හ. 59 එහෙත්, මේ ලෙසින් ද ඔවුන්ගේ සාක්ෂි එකට එක විරුද්ධ විය.
60 උත්තම පූජකයා ද ඔවුන් ඉදිරියෙහි නැඟිට, ”ඔබ පිළිතුරක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන සාක්ෂි මොනවා දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසී ය. 61 එහෙත්, ජේසුස් වහන්සේ නිශ්ශබ්ද ව කිසි පිළිතුරක් නොදී සිටි සේක. යළිත් උත්තම පූජකයා කතා කොට, ”ඔබ ක්‍රිස්තුවරයාණෝ ද? ආශීර්වාදිතයාණන්ගේ පුත්‍රයාණෝ දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 62 ජේසුස් වහන්සේ ද, ”එසේ ය, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ”යි වදාළ සේක. 63 එකල උත්තම පූජකයා තම සළුව ඉරාගෙන, ”තවත් සාක්ෂිකරුවන්ගෙන් අපට මොන වැඩක් ද? 64 දේවාපහාසය ඔබට ම ඇසුණේ ය; ඔබේ තීරණය කිමෙක් දැ”යි ඇසුවේ ය. සියල්ලෝ ම ඒකමතික ව උන් වහන්සේ මරණයට සුදුස්සෙකැ යි එකහෙළා තීරණය කළහ.
65 එකල ඇතැමෙක් උන් වහන්සේට කෙළ ගසන්නට ද උන් වහන්සේගේ මුහුණ වසා අතින් පහර දෙමින්, ”ඉතින් දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කියන්නට ද පටන්ගත්හ. මුර සේවකයෝ ද උන් වහන්සේ භාරගෙන, අතුල් පහර දුන්හ.

පේදුරුගේ අපලාපය
(මතෙව් 26:69-75; ලූක් 22:56-62; ජොහන් 18:15-18, 25-27)

66 පේදුරු, පහළ මළුවේ සිටිය දී, උත්තම පූජකයාගේ එක් සේවිකාවක් අවුත් 67 පේදුරු ගිනි තපිනු දැක ඔහු දෙස හොඳින් බලා, ”ඔබත් නාසරෙත්හි ඒ ජේසුස් සමඟ සිටියෙහි ය”යි කීවා ය. 68 ඔහු අපලාප කරමින්, ”ඔබ කියන දේ කුමක් දැ යි මම නොදනිමි, මට නොතේරේ” කියා නික්ම, ද්වාර මණ්ඩපයට ගියේ ය. එකල කුකුළා හැඬලී ය. 69 ඒ තරුණිය නැවතත් ඔහු දැක, ”මොහු ඔවුන්ගෙන් කෙනෙකැ”යි ළඟ සිටියවුන්ට කියන්නට පටන් ගත්තා ය. 70 එහෙත් ඔහු යළිත්, ”නැතැ”යි කීවේ ය. මඳ වේලාවකට පසු නැවතත් ළඟ සිටි අය, ”සැබැවින් ම ඔබ ඔවුන්ගෙන් එක් කෙනෙක් ම ය, ඔබත් ගලීලයෙක් ම ය”යි පේදුරුට කී හ. 71 එහෙත් ඔහු, ”ඔබ කියන ඒ මනුෂ්‍යයා මම නාඳුනමි”යි කියමින් තමාට ම සාප කරගන්නට ද දිවුරන්නට ද පටන්ගත්තේ ය. 72 එකෙණෙහි ම කුකුළා දෙ වන වර හැඬලී ය. පේදුරු ද, ”කුකුළා දෙ වරක් හඬලන්නට පළමු, ‘ඔහු නාඳුනමි’යි ඔබ තෙ වරක් මා ගැන කියන්නෙහි ය”යි ජේසුස් වහන්සේ තමාට පැවසූ කීම සිහි කොට මහ හඬින් හැඬී ය.

– 15 වන පරිච්ඡේදය –

ජේසුස් වහන්සේ පිලාත් ඉදිරියෙහි සිටීම
(මතෙව් 27:1-2, 11-14; ලූක් 23:1-5; ජොහන් 18:28-38)

1 පහන් වූ කෙණෙහි ම නායක පූජකවරු, ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද සමඟ මන්ත්‍රණය කොට ජේසුස් වහන්සේට විලංගුදමා ගෙන ගොස්, පිලාත් හට භාර දුන්හ. 2 පිලාත් ද, ”ජුදෙව්වරුන්ගේ රජ ඔබ දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. උන් වහන්සේ උත්තර දෙමින්, ”එසේ කියන්නේ ඔබ ය”යි වදාළ සේක. 3 නායක පූජකවරු බොහෝ දේ ගැන උන් වහන්සේට චෝදනා කළහ. 4 පිලාත් නැවත කතා කොට, ”ඔබ කිසි ම පිළිතුරක් දෙන්නේ නැද් ද? බලන්න, මොවුහු ඔබට කෙතරම් චෝදනා කරත් දැ”යි උන් වහන්සේට කී ය. 5 එහෙත්, ජේසුස් වහන්සේ ඉන්පසු කිසි පිළිතුරක් නුදුන් සේක. ඒ ගැන පිලාත් ද මවිත විය.

ජේසුස් වහන්සේට මරණීය දඬුවම
(මතෙව් 27:15-26; ලූක් 23:13-25; ජොහන් 18:39-19:16)

6 මංගල්‍යයේ දී සෙනඟ ඉල්ලා සිටින හිරකරුවෙකු නිදහස් කරදීම, පිලාත්ගේ සිරිත විය. 7 කැරලි කෝලාහල කොට, මිනී මැරීමේ වරදට හිර කරනු ලැබූ කැරලිකරුවන් අතර බරබ්බස් නම් කෙනෙක් විය. 8 සමූහයා එක් ව ගොස්, පෙරසිරිත ඉටු කරන ලෙස පිලාත්ගෙන් අයැදින්නට පටන්ගත්හ. 9 පිලාත් උත්තර දෙමින්, ”මා ජුදෙව්වරුන්ගේ රජු නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. 10 එසේ කෙළේ, නායක පූජකවරුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව ඔහුට වැටහී තිබුණු බැවිනි. 11 එහෙත්, උන් වහන්සේ වෙනුවට බරබ්බස් නිදහස් කර දෙන ලෙස ඉල්ලන්න නායක පූජකවරු ජනයා පෙළඹවූ හ. 12 පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින්, ”එසේ නම්, ‘ජුදෙව්වරුන්ගේ රජ ය’යි ඔබ කියන මොහු ගැන කුමක් කරන්න දැ”යි ඇසී ය. 13 ”කුරුසියෙහි ඇණ ගසන්නැ”යි ඔව්හු යළිත් මොරගැසූ හ. 14 එකල පිලාත්: ”කිමෙක් ද? මොහු කුමන අපරාධයක් කෙළේ දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. එහෙත් ඔව්හු ”කුරුසියෙහි ඇණ ගසන්නැ”යි වැඩි වැඩියෙන් මොරගැසූ හ. 15 පිලාත් ජනතාව සතුටු කරන්නට කැමැති ව, බරබ්බස් ඔවුන්ට නිදහස් කර දී, ජේසුස් වහන්සේට කසයෙන් තළවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස භාර දුන්නේ ය.

සෙබළුන්ගෙන් නිග්‍රහ
(මතෙව් 27:27-31; ජොහන් 19:2-3)

16 මුර සෙබළෝ උන් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය රැස් කරවූ හ. 17 ඔව්හු උන් වහන්සේට නීල-රක්ත වස්ත්‍රයක් හඳවා, කටු කිරුළක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා, 18 ”ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට ආචාර කරන්න පටන් ගත්හ. 19 ඔව්හු බට දණ්ඩකින් උන් වහන්සේගේ හිසට ගසා, උන් වහන්සේට කෙළ ගසා, දණ නමා උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණාහ. 20 උන් වහන්සේට ගැරහුම් කළ පසු ඔව්හු නීල-රක්ත වස්ත්‍රය ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අන්දවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස ගෙන ගියහ.

කුරුසියේ ඇණ ගැසීම
(මතෙව් 27:32-44; ලූක් 23:26-43; ජොහන් 19:17-27)

21 අලෙක්සන්දර්ගේ ද රූපස්ගේ ද පිය වූ පිටිසරින් ආ සිරේනියේ සීමොන් නම් මඟියෙකුට උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු බල කළහ. 22 ඔව්හු කපාලපිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් තැනට උන් වහන්සේ ගෙන ගියහ. 23 සුවඳලාටු මුසු මුද්‍රික පානය උන් වහන්සේට දෙන ලද්දේ ය. එහෙත්, උන් වහන්සේ එය නොපිළිගත් සේක. 24 ඔව්හු උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසා, උන් වහන්සේගේ ඇඳුම් තම තමන් අතර බෙදාගනිමින්, එක් එක්කෙනා කුමක් ගන්න දැ යි බලන පිණිස ඒවා ගැන දාදු දැමූ හ. 25 ඔවුන් උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවේ හිරු උදා වී තුන් පැයකට පසුව ය. 26 ”ජුදෙව්වරුන්ගේ රජ ය”යි උන් වහන්සේ පිළිබඳ චෝදනා පුවරුව ලියා තිබිණි. 27 තවද, ඔව්හු සොරුන් දෙදෙනෙකු එක් කෙනෙකු දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගැසූ හ. 28 ‘උන් වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන්ගනු ලැබූ සේක’ යන ශුද්ධ ලියවිල්ල මෙසේ ඉටු විය.
29 මඟ යන අය හිස් වන වනා උන් වහන්සේට අපහාස කරමින්, ”හහා! දේව මාලිගාව වනසාදමා තෙදිනකින් එය ගොඩනඟන 30 ඔබ ම, ගැළවී කුරුසියෙන් බැස එන්නැ”යි කී හ. 31 එලෙස ම නායක පූජකවරු විනයධරයන් සමඟ තම තමන් අතර උන් වහන්සේට කවටකම් කරමින්, ”මොහු අනුන් ගැළවී ය, එහෙත් තමා ම ගළවාගන්නට මොහුට නොහැකි ය. 32 අප විසින් දැක අදහන පිණිස, ඉශ්රායෙල්හි රජ වන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්නැ”යි කී හ. උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබුවෝ ද උන් වහන්සේට ගැරහුම් කළහ.

ජේසුස් වහන්සේගේ මරණය
(මතෙව් 27:45-56; ලූක් 23:44-49; ජොහන් 19:28-30)

33 මද්දහනේ දී රට පුරා අන්ධකාරයක් පහළ විය. එය සවස තුන වන තෙක් පැවතිණි. 34 සවස තුනට ජේසුස් වහන්සේ, ”එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, ”මාගේ දෙවි‍යනි, මාගේ දෙවි‍යනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි. 35 බලා සිටිය අයගෙන් සමහරෙක් ඒ අසා, ”අන්න, ඔහු එලියාට හඬගසයි” කී හ. 36 කෙනෙක් දිව ගොස් මූදුහත්තක් විනාකිරෙහි පොඟවා, බට ලීයක ගසා උන් වහන්සේට බොන්න දී, ”ටිකක් ඉන්න, මොහු බස්වාලීමට එලියා එන්නේ ද කියා බලමු”යි කී හ. 37 ජේසුස් වහන්සේ මහ හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක.
38 එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය. 39 උන් වහන්සේ අබිමුවෙහි සිටි ශතාධිපතියා උන් වහන්සේ මෙසේ අවසන් හුස්ම හළ බව දුටු කල, ”සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම ය”යි කී ය. 40 ස්ත්‍රීහු ද දුරින් බලා සිටියහ. ඔවුන් අතර, ගලීලයේ සිටිය දී උන් වහන්සේ පිරිවරා ගොස් උපස්ථාන කළ මග්දලායේ මරියාත්, කුඩා ජාකොබ්ගේ ද ජො‍්සෙප්ගේ ද මව වූ මරියාත්, සලෝමිත්, 41 උන් වහන්සේ සමඟ ජෙරුසලමට ආ බොහෝ කාන්තාවෝත් සිටියහ.

භූමදානය
(මතෙව් 27:57-61; ලූක් 23:50-56; ජොහන් 19:38-42)

42 එය සබතට පෙර සූදානම් වීමේ දිනය වූ බැවින්, හිරු බැස ගිය කල, 43 ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකු වන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන අපේක්ෂාවෙන් සිටි, අරිමාතියේ ජෝසෙප් එහි පැමිණ, ධෛර්ය ගෙන, පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මෘත දේහය ඉල්ලා සිටියේ ය. 44 පිලාත් ද උන් වහන්සේ එතරම් ඉක්මනින් මියගිය බව අසා පුදුම වී, ශතාධිපතියා කැඳවා, ”උන් වහන්සේ මේ ඉක්මනින් මළ සේක් දැ”යි ඇසී ය. 45 ඒ බව ශතාධිපතියාගෙන් සහතික ලෙස දැනගත් පසු පිලාත් තෙමේ ජෝසෙප්ට මෘත දේහය බාර දුන්නේ ය. 46 ඔහු හණ රෙද්දක් මිලට ගෙන, උන් වහන්සේ පහතට බා, ඒ රෙද්දෙන් ඔතා, පර්වතයෙහි කණින ලද සොහොන් ගැබක තබා, දොරකඩට ගලක් පෙරළා තැබී ය. 47 මග්දලායේ මරියා ද ජෝසෙප්ගේ මව වූ මරියා ද උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ.

 

– 16 වන පරිච්ඡේදය –

පුනරුජ්ජීවනය
(මතෙව් 28:1-8; ලූක් 24:1-12; ජොහන් 20:1-10)

1 සබත් දින ගෙවුණු පසු මග්දලායේ මරියා ද ජාකොබ්ගේ මව වූ මරියා ද සලෝමි ද ගොස්, උන් වහන්සේ ආලේප කරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ. 2 ඔව්හු සතියේ පළමු වන දා පාන්දර, හිරු උදා වූ විගස ම, සොහොන් ගේ ළඟට ආහ. 3 ඔව්හු, ”අපට සොහොන් ගෙයි දොරකඩින් ගල ඉවතට පෙරළා දෙන්නේ කවරෙක් දැ”යි ඔවුනොවුන් අතර විමසූ හ. 4 හොඳින් බැලූ කල, ඒ ගල අති විශාල එකක් වුව ද අහකට පෙරළා තිබෙනු ඔව්හු දුටුවෝ ය. 5 එකල ඔව්හු සොහොන් ගෙට පිවිස, සුදු සළුවක් හැඳගත් තරුණයෙකු දකුණු පස ඉඳගෙන සිටිනු දැක භීත වූ හ. 6 ඔහු ඔවුන් අමතා, ”බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය; උන් වහන්සේ උත්ථාන වූ සේක; උන් වහන්සේ මෙහි නැත; මේ බලන්න, ඔවුන් උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය; 7 යන්න, ඔබට කී ලෙස ම උන් වහන්සේ ඔබට කලින් ගලීලයට වඩිනා බවත්, එහි දී ඔබ උන් වහන්සේ දක්නා බවත්, ශ්‍රාවකයන්ට ද පේදුරුට ද දන්වන්නැ”යි කී ය. 8 ඔව්හු කම්පිත ව, විස්මිත ව සොහොන් ගෙයින් පිට වී පලා ගියහ. තවද, ඔව්හු භීත ව සිටි බැවින්, කිසිවෙකුට කිසිවක් නොකී හ.c

මග්දලායේ මරියාට දර්ශනය වීම
(මතෙව් 28:9-10; ජොහන් 20:11-18)

9 සතියේ පළමු වන දා අලුයම ජේසුස් වහන්සේ නැඟිට වදාළ කල, උන් වහන්සේ තමන් විසින් දුෂ්ටාත්මයන් සත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලායේ මරියාට මුලින් ම දර්ශනය වූ සේක. 10 ඈ ගොස්, අඬමින් වැලපෙමින් සිටි උන් වහන්සේගේ හිතවතුන්ට එපවත් සැළ කළා ය. 11 එහෙත්, උන් වහන්සේ ජීවමාන ව සිටින බව ද ඇයට දර්ශනය වූ බව ද ඇසූ විට ඔව්හු එය විශ්වාස නො කළහ.

ශ්‍රාවකයන් දෙදෙනෙකුට දර්ශනය වීම
(ලූක් 24:13-35)

12 ඉක්බිති ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටිසරට යන කල උන් වහන්සේ අන් විලසකින් ඔවුන්ට දර්ශනය වූ සේක. 13 ඒ දෙදෙන ආපසු ගොස් අනික් අයට එපවත් දැන්වූ හ. ඔව්හු ඔවුන් කී දෙය ද විශ්වාස නො කළහ.

ධර්මදූත සේවාව පැවරීම
(මතෙව් 28:16-20; ලූක් 24:36-49; ජොහන් 20:19-23; ක්‍රියා 1:6-8)

14 පසුව ජේසුස් වහන්සේ, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක. 15 උන් වහන්සේ ඔවුන් අමතා, ”ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න; 16 අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය. 17 අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති; 18 සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක.

ස්වර්ගාරෝහණය
(ලූක් 24:50-53; ක්‍රියා 1:9-11)

19 මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක. 20 ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක.
ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්‍.

Advertisements