පිලිප්පි

පිලිප්පි

– 1 වන පරිච්ඡේදය –

ආචාරය

1 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සේවකයන් වන පාවුලු ද තිමෝතියස් ද යන අපි, පිලිප්පියෙහි වසන සභා නායකයන් සහ උපස්ථායකවරුන් ඇතුළු සකල කිතුනු සැදැහැවතුන් වෙත ලියා එවමු. 2 අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!

පාවුලු තුමාගේ යාච්ඤාව

3 මට ඔබ සිහි වන සෑම විට ම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි; 4 මා යාච්ඤා කරන සෑම විට ම, ඔබ සියලු දෙනා උදෙසා යාච්ඤා කරමින් ප්‍රීතියෙන් පිරී සිටිමි. 5 මා එසේ කරන්නේ පළමු දවස පටන් මේ වන තුරු ධර්මදූත සේවයට ඔබ සහභාගි වූ නිසා ය. 6 ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි. 7 ඔබ මට ඉතා හිතවත් බැවින් ද මා සිරගත ව සිටිය දී ද සුබ අස්න ගැන වගඋත්තර දීමේ දී හා එය ස්ථිර කිරීමේ දී ද මා ලැබූ දේව වරප්‍රසාදයන්ට ඔබ පංගුකාරයන් වූ බැවින් ද ඔබ හැම ගැන මා මෙසේ සිතීම යුතු ය. 8 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සෙනෙහසින් මා ඔබට සැබැවින් ම ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක. 9 ඔබ උදෙසා මාගේ යාච්ඤාව මේ ය: විශිෂ්ටතම දේවල් වටහාගැනීමට හැකි වන පිණිස, දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝසෙයින් වර්ධනය වේ වා. 10 ක්‍රිස්තුන් වහන්සේගේ දවස දක්වා අවංක ව හා නිදොස් ව සිටීමට ඔබට හැකි වේ වා. 11 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය හා ප්‍රශංසාව පිණිස ඔබ දැහැමි ජීවිතයක ඵලවලින් පූර්ණ වේ වා.

ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම

12 සහෝදරවරුනි, මට සිදු වූ කාරණා සුබ අස්නේ ම දියුණුවට හැරී තිබෙන බව ඔබට දන්වනු කැමැත්තෙමි. 13 මා සිරගත වීම ක්‍රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත. 14 මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්‍රකාශ කිරීමට අධික ලෙස නිර්භීත ව සිටිති.
15 සමහරු ඊර්ෂ්‍යාවෙන් හා විරුද්ධ වාදිකමින් ද සමහරු හොඳ සිතින් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති. 16 පසුව කී අය, මා සිරගත ව සිටින්නේ සුබ අස්න ආරක්ෂා කිරීමට බව දැන ප්‍රේමයෙන් ද 17 මුලින් කී අය, මා සිරගත ව සිටින විට වඩාත් කරදර ඇති කරවීමේ අදහසින්, අවංක ලෙස නොව, ආත්මාර්ථකාමී චේතනාවෙන් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති.
18 කෙසේ වූවත් කමක් නැත. වංක ලෙස වේ වා, අවංක ලෙස වේ වා, හැම අයුරින් ම ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරනු ලබන බැවින් ඒ ගැන ප්‍රීති වෙමි. මතු ද ප්‍රීති වන්නෙමි. 19 ඔබගේ යාච්ඤා නිසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ලැබෙන ආධාරය නිසා ද, මේ කරුණු මාගේ නිදහසට ඉවහල් වන බව මම දනිමි. 20 මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය. 21 මට ජීවත් වීම නම්, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම ය. මරණය මට වාසියකි. 22 එහෙත් මිහි පිට ජීවත්වීමෙන් යම් වැඩදායි සේවයක් කළ හැකි නම්, මේ දෙකින් කුමක් තෝරාගන්නට දැ යි මම නොදනිමි. 23 මම මේ දෙක මැද හිර වී සිටිමි. මාගේ ආශාව නම් මෙලොවින් තුරන් වී ගොස්, ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය. මෙය වඩාත් හොඳ ය. 24 එහෙත් ඔබ උදෙසා මිහි පිට විසීම ඊටත් වඩා අවශ්‍ය වේ. 25 මේ ගැන මට සහතික ය. එබැවින් මා ජීවතුන් අතර සිට, ඔබගේ ඇදහීමේ වර්ධනය හා ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව මම දනිමි. 26 මෙලෙස, මා ඔබ වෙත නැවත පැමිණීම කරණකොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වැඩි වන ඔබගේ පාරට්ටුව මට ද භුක්ති විඳීමට හැකි වනු ඇත.
27 කෙසේ වෙතත්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට ඔබින ලෙස ම හැසිරෙන්න. එවිට ඔබ දැකීමට මා ආවත්, නාවත්, ඔබ ස්ථීර ව, එක්සත් ව සිටින බව ද, ඔබ හැම, එකෙකු මෙන් සුබ අස්නේ ඇදහිල්ල සඳහා වීර්ය කරන බව ද, 28 ඔබේ විරුද්ධවාදීන්ට අභීත ව මූණ පාන බව ද, ඇසීමට මට හැකි වනු ඇත. ඒ අභීතකම ඔවුන්ට විනාශයේ ලකුණක් ද ඔබට විමුක්තියේ ලකුණක් ද ලෙස දෙවියන් වහන්සේගෙන් ම පැමිණෙන්නේ ය. 29 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහන්නට පමණක් නොව, උන් වහන්සේ උදෙසා දුක් විඳින්නටත් වරප්‍රසාදයක් ඔබට දෙන ලද්දේ ය. 30 වරක් මා යෙදී සිටි සටන ඔබ දුටුවහු ය. තවමත් මා ඒ සටනෙහි යෙදෙන බව ඔබ අසා ඇත. ඔබට ඇත්තේත් එම සටන ම ය.

– 2 වන පරිච්ඡේදය –

ක්‍රිස්තුන් වහන්සේගේ පහත් වීම හා උසස් වීම

1 ක්‍රිස්තුන් වහන්සේට අයිති වීමෙන් ඔබට යම් ශක්තියක් තිබේ ද? ප්‍රේමයෙහි යම් අස්වැසිල්ලක් තිබේ ද? ආත්මයාණන් වහන්සේ සමඟ යම් සහභාගිකමක් තිබේ ද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේ ද? 2 එසේ නම්, ඔබ එක සමාන චේතනා ඇති ව, එක ම ප්‍රේමයෙන් බැඳී, එක ම අරමුණකින් එක්සිත් ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. 3 පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න. 4 සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැන ද සලකන්න. 5 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පැවති ජීවිතාකල්පය ම ඔබ තුළත් පවතී වා!
6 උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා,
7 තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්, වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක.
8 මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
9 එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.
10 එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,
11 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.

අඳුරු ලොවක තාරකා මෙන් බැබළීම

12 සැබැවින් මාගේ ප්‍රේමවන්තයෙනි, මා ඔබ වෙත සිටිය දී, ඔබ කීකරු ව සිටියාක් මෙන් ම, දැන් මා ඔබෙන් ඈත් ව සිටින විටත්, ඊටත් වඩා කීකරු ව සිටිය යුතු ය. ඔබ බියෙන් හා වෙව්ලීමෙන් යුතු ව ඔබේ විමුක්තිය සලසාගන්න. 13 මන්ද, ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී, එය ඉෂ්ට කරවීමට උන් වහන්සේ ම ඔබ තුළ ක්‍රියා කරන සේක. 14 ඔබ කුමන දෙයක් කළත්, මැසිවිලි කීමක් වත් විවාදයක් වත් නැති ව එය කරන්න. 15 එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව, 16 ඔවුන් අතර ජීවන පණිවුඩය ප්‍රදානය කරමින්, අඳුරු ලෝකයක දීප්තිමත් තාරකා මෙන් බබළන්නහු ය. ඔබ එසේ කළොත්, ‘මම නිෂ්ඵල ලෙස නොදිව්වෙමි, නිෂ්ඵල ලෙස වීර්ය නොකෙළෙමි’යි ක්‍රිස්තුන් වහන්සේගේ දවසේ දී ඔබ ගැන මට පාරට්ටු කරගත හැකි වේ.
17 ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි. 18 එලෙස ම ඔබත් සන්තෝෂ වන්න, මා සමඟ ප්‍රීති වන්න.

සභා සේවක තිමෝතියස් සහ එපප්‍රොදිතස්

19 ඔබ ගැන තොරතුරු අසා ධෛර්ය වත් වන පිණිස, ජේසුස් ස්වාමීන් වහන්සේ කැමැති සේක් නම් තිමෝතියස් ඔබ වෙත නොපමා ව එවීමට මම බලාපොරොත්තු වෙමි. 20 ඔබගේ යහපත ගැන අවංක සැලකිල්ලක් දක්වන, ඔහු වැනි වෙන තැනැත්තෙක් මට නැත. 21 සියල්ලෝම තම තමන්ගේ ම කාරිය ගැන මිස, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති. 22 ඔහු නම්, පුත්‍රයෙකු සිය පියා හා සමඟ සේවය කරන්නාක් මෙන්, සුබ අස්නේ අභිවෘද්ධිය සඳහා මා සමඟ සේවය කළ බවට ඔහුගේ සාක්ෂිය ඔබ දන්නහු ය. 23 එබැවින් මාගේ කාරණා කොයි අතට හැරේ දැ යි දුටු කෙණෙහි ම ඔහු ඔබ වෙත එවීමට මම බලාපොරොත්තු වෙමි. 24 සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම් නොබො‍් කලකින් මටත් ඔබ වෙතට එන්න ලැබෙනු ඇතැ යි මම විශ්වාස කරමි.
25 මා සොහොයුරු එපප්‍රොදිතස් ද ආපසු ඔබ වෙත එවීම මැනවැ යි මට කල්පනා වී ඇත. ඔහු වනාහි මට ආධාරෝපකාර කිරීමට ඔබ මා වෙත එවූ ඔබේ දුතයෙකු වන මාගේ සේවකයෙකු ද හවුල් හේවායෙකු ද වේ. 26 ඔහු ඔබ හැම දෙනා දැකීමට තද ආශාවක් ඇති ව සිටියේ ය, තමා රෝගාතුර ව සිටිය බව ඔබට සැළ වූ බැවින් ඉතා කණගාටු විය. 27 ඔහු සැබැවින් ම මරණාසන්න වන තරමට රෝගාතුර ව සිටියේ ය. එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කරුණා කළ සේක. ඔහුට පමණක් නොව, දුක පිට දුක මා වෙත නොඑන පිණිස මටත් කරුණා කළ සේක. 28 එබැවින් ඔබ ඔහු නැවත දැක ප්‍රීති වන පිණිසත්, මාගේ ශෝකය අඩු වන පිණිසත් ඔහු එවීමට වඩාත් ආශාවෙන් සිටිමි. 29 කිතුනු සහෝදර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න. එබඳු අය ගෞරවයෙන් සලකන්න. 30 මන්ද, ඔහු ක්‍රිස්තුන් වහන්සේගේ සේවය සඳහා දිවි පිදීමට පවා සූදානම් ව මරුමුවට ළඟා වූයේ ඔබ විසින් දීමට නොහැකි වූ සහාය මට දීමට යි.

 

– 3 වන පරිච්ඡේදය –

නියම දැහැමි ජීවිතය

1 ඉතින් සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ප්‍රීතියෙන් පවතින්න. කලින් ඔබට කී දේ ම යළිත් සඳහන් කිරීම මට කරදරයක් නොවේ. ඔබේ පරෙස්සමටත් එය හොඳ ය. 2 බල්ලන් වැනි අයගෙන් ද ඔවුන්ගේ දුරාචාරකම්වලින් ද පරෙස්සම් වන්න. චර්මඡේදනය යයි කියා ශාරීරික ඡේදනයක් අදහස් කරන්නන්ගෙන් පරෙස්සම් වන්න. 3 නියම චර්මඡේදිතයෝ නම්, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් උන් වහන්සේට නමස්කාර කරන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න, බාහිර වත්පිළිවෙත් පිට විශ්වාසයක් නොතබන අපි වම්හ.
4 ඕනෑ නම් මට බාහිර වත්පිළිවෙත් කෙරෙහි පවා විශ්වාසය තැබීමට පිළිවන. යමෙක් බාහිර වත්පිළිවෙත් කෙරෙහි විශ්වාසය තබන්නට පිළිවනැ යි සිතන්නේ නම්, මට ඊටත් වඩා එසේ කළ හැකි ය. 5 මම අට වන දා චර්මඡේදනය ලැබීමි; ඉශ්රායෙල් වංශයේ ද බෙන්ජමින් ගො‍්ත්‍රයේ ද තැනැත්තෙක්මි; හෙබ්‍රෙව් පෙළපතින් එන නියම හෙබ්‍රෙව්වෙක්මි; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් නම් පරිසියෙක්මි; 6 උද්‍යෝගය අතින් නම් සභාවට පීඩා කළ තැනැත්තෙක්මි. ව්‍යවස්ථාවෙන් පැමිණෙන දමිටුකම අතින් නම් නිදොස් වූවෙක්මි.
7 එහෙත් මට වාසියක් ව තිබූ දේ ම, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා දැන් අවාසියකැ යි සිතන්නට පටන්ගතිමි. 8 එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්, 9 උන් වහන්සේ හා ඒකාබද්ධ වීමත් ය; ව්‍යවස්ථාවෙන් වන මාගේ ම දමිටුකම නොව, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහීම කරණකොටගෙන ඇදහිල්ල නිසා, දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබාගැනීම ය. 10 මට ඕනෑ එක ම දේ නම් ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනයේ බලය දැනගැනීම හා ක්‍රිස්තුන් වහන්සේගේ මරණයට සමාන වීමෙන් උන් වහන්සේගේ දුක්වේදනාවලට පංගුකාර වීමත්, 11 යම් අන්දමකින් මළවුන්ගෙන් උත්ථාන වීමට පැමිණීමත් ය.

දිනුම් කණුව බලා දිවීම

12 මේ සියල්ල දැනට ම මට ලැබී තිබෙන බවක් වත්, දැනට ම මා සම්පූර්ණ වී සිටින බවක් වත් මම නොකියමි. යමක් පිණිස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මා අත්කරගත් සේක් ද, ඒ දේ අත්කර ගැනීම පිණිස මමත් වීර්යයෙන් දුවමි. 13 සහෝදරයෙනි, මම තවමත් ඒ දේ අත්කරගෙන ඇතැ යි නොසිතමි. එක දෙයක් මට වැදගත් ය: පසුගිය දේ අමතක කරදමා, ඉදිරියෙහි තිබෙන දේ දෙස ම නෙත් යොමා, 14 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කණුව කරා මම දුව යමි. 15 එබැවින් අප අතරෙන් මුහුකුරා ගිය අයවලුන් ඒකාකාර ව කල්පනා කළ යුතු ය. එහෙත් ඔබ යමක් ගැන වෙනස් ලෙස සිතන්නහු නම්, ඒ ගැනත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් පහදවනු ඇත. 16 කෙසේ වෙතත් අපි යම් තත්ත්වයකට පැමිණ සිටිමු ද ඒ තත්ත්වය අනුව හැසිරෙමු.
17 සහෝදරවරුනි, ඔබ හැම දෙන ම මා අනුගමනය කිරීමට එකඟ වන්න. අපි ඔබට ආදර්ශයක් වී සිටිමු. ඒ ආදර්ශය අනුව හැසිරෙන්නන් හොඳින් කල්පනාවට ගන්න. 18 මන්ද, මා බොහෝ වර ඔබට කියා ඇති ලෙසත්, දැන් කඳුළු හලමින් කියන ලෙසත්, බොහෝ දෙනෙක් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ සතුරන් මෙන් හැසිරෙති. 19 ඔවුන්ගේ අවසානය විනාශය වේ; ඔවුන්ගේ දෙවියෝ මාංසික තෘෂ්ණාවෝ වෙති; ලජ්ජා විය යුතු දේ ගැන ඔව්හු පාරට්ටු කර ගනිති; ඔවුන්ගේ කල්පනාව මෙලො‍් දේ ගැන පමණ ය. 20 එහෙත් අපි ස්වර්ගයේ පුරවැසියෝ වම්හ; අප ගළවන පිණිස ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගයෙන් වඩින තෙක් අපි බලා සිටිමු. 21 සියල්ල තමන්ට වසඟ කර ගැනීමට ඇති ස්වකීය බලය අනුව, දැනට අපට ඇති පහත්කමේ ශරීර, තමන් වහන්සේගේ තේජාන්විත ශරීරයට සමාන වන පිණිස, උන් වහන්සේ ඒවා, වෙනස් කරන සේක.

 

– 4 වන පරිච්ඡේදය –

අවවාදානුශාසනා

1 එහෙයින් මාගේ ප්‍රේමවන්ත, හිතවත් සහෝදරවරුනි, මාගේ ප්‍රීතියත්, ඔටුන්නත් වන ප්‍රේමවන්තයෙනි, මෙසේ සමිඳාණන් වහන්සේ තුළ ස්ථීර ව සිටින්න.
2 අමනාපකම් ඉවත ලා, සමිඳාණන් වහන්සේ තුළ එක්සිත් වන ලෙස එවෝදියාගෙන් ද සින්තිකීගෙන් ද ඉල්ලමි. 3 එසේ ය, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමඟ සුබ අස්න සඳහා සේවය කළෝ ය. ඔවුන්ගේ නාම ජීවන පොතෙහි ලියා ඇත.
4 සමිඳාණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි. 5 ඔබගේ ගුණ යහපත්කම සියලු මනුෂ්‍යයන්ට දැනගන්නට ලැබේ වා. සමිඳාණන් වහන්සේ විගස වඩින සේක. 6 ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න. 7 එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය.
8 අවසන් කොට, සහෝදරවරුනි, සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද, ඒවා ගැනත් සිත යොදවන්න. 9 ඔබ මාගෙන් ඉගෙනගත්, මා ඔබට භාරදුන්, මා කියනු ඇසූ, මා කරනු දුටු, සියල්ල ක්‍රියාවෙහි යොදවන්න. එවිට සාමදානයේ දෙවියන් වහන්සේ ඔබ සමඟ වන සේක.

තුති පඬුරු පිළිගැනීම

10 බොහෝ කලකට පසු මා ගැන කල්පනා කිරීමට ඔබ නැවත පිබිදුණු බැවින් සමිඳාණන් වහන්සේ තුළ මම අතිශයින් ප්‍රීති වෙමි. කවදත් ඒ කල්පනාව ඔබ තුළ තිබිණි. එහෙත් එය පෙන්වීමට ඉඩප්‍රස්තාවක් නො වී ය. 11 මා මෙය කියන්නේ මට ඇති හිඟ කමක් නිසා නොවේ. මන්ද, මම කුමන තත්ත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. 12 මම පහත් තත්ත්වයක සිටින්නට ද සමෘද්ධ ව, සිටින්නට ද දනිමි. මා කුමන තත්ත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්, සාගින්නෙන් සිටින්නටත්, සමෘද්ධ ව සිටින්නටත්, අගහිඟකම් ඇති ව සිටින්නටත් හැකි, රහස ඉගෙනගෙන සිටිමි. 13 මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය. 14 කෙසේ වුව ද, මාගේ පීඩාවල දී ඔබ මට උපකාර කිරීම කොතරම් හොඳ ද?
15 පිලිප්පිවරුනි, මාගේ ධර්මදූත සේවයේ මුල් අවදියේ දී මා මසිදෝනියෙන් නික්ම ගිය විට, ඔබ හැර අන් කිසි සභාවක් මගේ අය වැය සම්බන්ධයෙන් මට හවුල් නො වූ බව ඔබ ම දන්නහු ය. 16 තවද මා තෙසලෝනිකයේ සිටිය දී පවා මාගේ ඕනෑඑපාකම් පිරිමැසීමට කීප වරක් ඔබ මට මුදල් එව්වහු ය. 17 මා දීමනාව සොයනවා නොවේ. මා සොයන්නේ ඔබගේ ගිණුම අධික ලෙස වැඩි කරන විපාකය යි. 18 දැන් මට සියල්ල වුවමනාවටත් වැඩියෙන් ලැබී ඇති බවට සහතික කරමි. ඔබ එපප්‍රොදිතස් අත මා වෙත එවූ දේවල් ද ලබා පූර්ණ වී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා ප්‍රියමනාප පූජාවක් වී ඇත. 19 මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක. 20 අපගේ පිය වූ දෙවියන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.

අවසාන ආචාරය

21 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සියලු සැදැහැවතුන්ට ආචාර කරන්න. මා සමඟ සිටින සහෝදරයෝ ඔබට ආචාර කරති. 22 සියලු සැදැහැවත්හු ද, ප්‍රධාන කොට සීසර්ගේ රාජ භවනයේ සැදැහැවත්හු ද ඔබට ආචාර කරති.
23 ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s