ශුද්ධවර ජොහන්
– 1 වන පරිච්ඡේදය –
ධර්මයාණන් මිනිසත් බව ගැනීම
1 ආරම්භයේ දී, ධර්මයාණෝa සිටි සේක;
ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක;
ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක.
2 ආරම්භයේ දී උන් වහන්සේ, දෙවියන් වහන්සේ සමඟ සිටි සේක.
3 සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී;
උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය.
4 උන් වහන්සේ තුළ ජීවය විය;
ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය.
5 ආලෝකය අන්ධකාරයෙහි බබළයි;
අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය.
6 දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය. 7 ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි. 8 ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය.
9 සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.
10 උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක;
ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය.
එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ.
11 උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.
12 එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම්, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක.
13 එසේ උපත ලැබූයේ, මානව සන්තතියෙන් වත්, කායික සබඳතාවෙන් වත්, මිනිස් පියෙකුගෙන් වත් නොව, දෙවියන් වහන්සේගෙන් ම ය.
14 ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක.
දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.
15 ජොහන් උන් වහන්සේ ගැන සාක්ෂි දෙමින්, ”මට පසුව එන තැනැන් වහන්සේ මට පෙර වූ බැවින්, මට වඩා උතුම් ය යි මා කීවේ මුන් වහන්සේ ගැන ය”යි මොරගසා කී ය.
16 උන් වහන්සේගේ පූර්ණතාවෙන් අපි සියල්ලෝ ම වරප්‍රසාද පිට වරප්‍රසාද ලැබීමු. 17 කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය. 18 කිසිවෙකු කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන්ගේ ළයෙහි වැඩවසන, උන් වහන්සේගේ එක ම පුත්‍රයාණෝ ම උන් වහන්සේ ප්‍රකාශ කර වදාළ සේක.
ස්නාවක ජොහන්ගේ සාක්ෂිය
(මතෙව් 3:1-12; මාක් 1:2-8; ලූක් 3:15-17)
19 ”ඔබ කවරෙක් දැ”යි අසන පිණිස ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන් ද ලෙවීයයන් ද යැවූ කල, ජොහන් සාක්ෂි දෙමින්, 20 ”මම ක්‍රිස්තුස් නොවෙමි”යි නොසඟවා ම ප්‍රකාශ කෙළේ ය. 21 ”එසේ නම් කිමෙක් ද? ඔබ එලියා දැ”යි ඔව්හු ඇසූ හ. ”නැතැ”යි ඔහු කී ය. ”ඔබ ඒ දිවැසිවරයා ද?” යන ප්‍රශ්නයටත්, ”නැතැ”යි ඔහු කී ය. 22 ”එසේ නම්, ඔබ කවරෙක් ද? අප එවූ අයට පිළිතුරක් දිය යුතු යි; ඔබ ගැන ම ඔබ කියන්නේ කිමෙක් දැ”යි ඔව්හු ඇසූ හ. 23 ”මම නම්, යෙසායා දිවැසිවරයා කී පරිදි, ‘සමිඳාණන්ගේ මඟ පිළියෙළ කරන්නැ’යි පාළුකරයෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි”යි ජොහන් පිළිතුරු දුනි.
24 එවන ලද සමහරෙක් පරිසිවරු ය. 25 ඔව්හු ප්‍රශ්න කරමින්, ”ඉදින් ඔබ ක්‍රිස්තුස් වත්, එලියා වත්, ඒ දිවැසිවරයා වත් නොවන්නෙහි නම්, බව්තීස්ම-ස්නාපනයb කරන්නේ කුමක් නිසා දැ”යි ඇසූ හ. 26 ජොහන් ද පිළිතුරු දෙමින්, ”මම වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත්, ඔබ නාඳුනන කෙනෙක් ඔබ මැද වැඩ සිටිති. 27 එනම්, මට පසුව වඩින තැනැන් වහන්සේ ය; උන් වහන්සේගේ පාවහන් පටි මුදන්නට වත් මම නොවටිමි”යි කී ය. 28 මෙය සිදුවූයේ, ජොහන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ජොර්දානෙන් එතෙර බෙතානියේ දී ය.
දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ
29 පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, ”මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ! 30 මට පසු ව එන තැනැන් වහන්සේ මට පෙර සිටි බැවින් මට වඩා උතුම් යයි යමෙකු ගැන මම කීවෙම් ද? ඒ මුන් වහන්සේ ය; 31 මම උන් වහන්සේ නොහැඳින සිටියෙමි; එහෙත්, වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමින්, මා පැමිණියේ උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රකාශ වන පිණිස ය”යි කී ය.
32 තවද, ජොහන් සාක්ෂි දරමින්, ”ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බැස උන් වහන්සේ මත වැඩ හිඳිනු මම දිටිමි; 33 මම උන් වහන්සේ නොහැඳින සිටියෙමි; එහෙත්, වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරන්නට මා එවා වදාළ තැනැන් වහන්සේ ම මට කතා කොට, ‘ආත්මයාණන් යමෙකු පිට බැස විත් වැඩ හිඳිනු ඔබ දකින්නෙහි ද, ඒ වනාහි ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරන තැනැන් වහන්සේ ය’යි වදාළ සේක. 34 ඒ දේ මම ම දිටිමි; දැක, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි සාක්ෂි දැරුවෙමි”යි කීවේ ය.
මුල් ශ්‍රාවක පිරිස
35 පසු දින නැවතත් ජොහන් සිය ගෝලයන් දෙදෙනෙකු සමඟ සිටිය දී 36 මඟ වඩිනා ජේසුස් වහන්සේ දෙස බලා, ”බලන්න, දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ”යි කී ය. 37 ගෝලයෝ දෙදෙන ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගියහ. 38 ජේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පසුපස එනු දැක, ”ඔබ කුමක් සොයන්නහු දැ”යි ඇසූ සේක. ඔව්හු ද, ”රබ්බි, (එහි තේරුම ගුරුදේවයෙනි, යනු යි.) ඔබ වැඩ වසන්නේ කොතැන දැ”යි ඇසූ හ. 39 ”ඇවිත් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. එසේ ඔව්හු අවුත් උන් වහන්සේ වැඩ වසන ස්ථානය දැක, එදින උන් වහන්සේ සමඟ ගත කළහ. වේලාව සවස හතරට පමණ වී ය.
40 ජොහන්ගේ කීම අසා උන් වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් නම්, සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ ය. 41 ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, ”අපට මෙසියස් වහන්සේ හමු වූ හ”යි කී ය. (‘මෙසියස්’ යන්නෙහි අර්ථය ‘ක්‍රිස්තුස්’ යනු යි.) 42 ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, ”ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට ‘කේපස්’ යයි කියනු ඇතැ”යි වදාළ සේක. (‘කේපස්’ යන්නෙහි අර්ථය ‘පර්වතය’c යනු යි.)
පිලිප් සහ නතානියෙල් කැඳවීම
43 පසු දින ජේසුස් වහන්සේ ගලීලයට යන්නට ඉටාගත් සේක. එහි දී පිලිප් හමු වී, ”මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. 44 පිලිප් වනාහි ඇන්ඩෘගේ සහ පේදුරුගේ ගම වූ බෙත්සයිදාවෙන් ආ තැනැත්තෙකි. 45 පිලිප් ද නතානියෙල් සොයා ගෙන, ”මෝසෙස් ව්‍යවස්ථාවලියෙහි හා දිවැසාවලියෙහි සඳහන් කර ඇති තැනැන් වහන්සේ, එනම්, ජෝසෙප්ගේ පුත් නාසරෙත්හි ජේසුස් වහන්සේ අපට හමු වූ සේකැ”යි කී ය. 46 නතානියෙල් ද කතා කරමින්, ”වැදගැම්මක් ඇති කිසිවක් නාසරෙතින් නික්මේ දැ”යි ඇසී ය. ”ඇවිත් බලන්නැ”යි පිලිප් කී ය. 47 ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක, ”මෙන්න, හොරබොරු නැති, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ”යි ඔහු ගැන වදාළ සේක. 48 ”ඔබ මා ගැන කෙසේ දන්නෙහි දැ”යි නතානියෙල් උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”පිලිප් ඔබ කැඳවන්නටත් පෙර, අත්තික්කා ගස යට ඔබ සිටිනු මම දිටිමි”යි වදාළ සේක. 49 නතානියෙල් උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, ඔබ වහන්සේ නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නම්, ඉශ්රායෙල්හි රජිඳාණෝ ය”යි කී ය. 50 ජේසුස් වහන්සේ ද පිළිතුරු දෙමින්, ”ඔබ අත්තික්කා ගස යට සිටිනු මම දිටිමි, යි මා ඔබට වදාළ බැවින් ද, ඔබ අදහා ගත්තේ? මීට වඩා මහත් දේ ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක. 51 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි; ස්වර්ගය විවර වී, මනුෂ්‍ය-පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැඟ යනවාත්, බැස එනවාත් ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක.
– 2 වන පරිච්ඡේදය –
කානාහි සරණ මංගල්‍යය
1 තුන් වන දවසෙහි, ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය; ජේසුස් වහන්සේගේ මෑණියෝ ද එහි සිටියහ. 2 සිය ශ්‍රාවකයන් සමඟ ජේසුස් වහන්සේ ද මංගල්‍යයට කැඳවනු ලැබූ සේක. 3 මිදියුස හිඟ වූ විට, ජේසුස් වහන්සේගේ මෑණියෝ, ”මිදියුස නැතැ”යි උන් වහන්සේට කී හ. 4 ජේසුස් වහන්සේ ද කතා කොට, ”ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක. 5 උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.
6 ජුදෙව්වරුන්ගේ පවිත්‍ර වීමේ වත්පිළිවෙත් සඳහා ලීටර් සියයක් පමණ අල්ලන ගල් භාජන සයක් එහි තබා තිබිණි. 7 ”භාජනවලට වතුර පුරවන්නැ”යි ජේසුස් වහන්සේ සේවකයන්ට වදාළ සේක. ඔව්හු ද ඒවා ගැටිය දක්වා ම පිරෙව්වෝ ය. 8 ”දැන් මෙයින් ටිකක් සංවිධායක තැන වෙත ගෙන යන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු එය ගෙන ගියහ. 9 සංවිධායක තැන මිදියුස බවට හැරුණු වතුර ගෙන රස බැලී ය. එය කෙසේ ලැබිණි දැ යි වතුර ගෙනා සේවකයන් දැන සිටි නමුත්, ඔහු නොදත්තේ ය. එබැවින් ඔහු මනාලයා කැඳවා, 10 ”හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.
11 මේ වනාහි ජේසුස් වහන්සේ ලකුණක් පිණිස කළ හාස්කම්වලින් පළමු වැන්න ය. එය සිදු කරන ලද්දේ ගලීලයේ කානාහි දී ය. එසේ කිරීමෙන් උන් වහන්සේ සිය තේජශ්‍රීය ප්‍රකාශ කළ සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ අදහාගත්හ. 12 ඉන්පසු උන් වහන්සේ සිය මෑණියන් ද සොහොයුරන් ද ශ්‍රාවකයන් ද සමඟ කපර්ණවුමට වැඩිය සේක; එහෙත්, ඔව්හු එහි වැඩි කලක් නොසිටියහ.
දේව මාලිගාව පවිත්‍ර කිරීම
(මතෙව් 21:12-13; මාක් 11:15-19; ලූක් 19:45-46)
13 ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න ව තිබුණු බැවින්, ජේසුස් වහන්සේ ජෙරුසලමට වැඩම කළ සේක. 14 එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක, 15 ලණුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරළා දැමූ සේක. 16 ඉන්පසු උන් වහන්සේ පරෙවි වෙළෙඳුන් අමතා, ”මේවා අහකට ගෙන යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් නො කරන්නැ”යි වදාළ සේක. 17 ”ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි”යි ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය.
18 එකල ජුදෙව්වරු, ”ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නෙහි දැ”යි ඇසූ හ. 19 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”මේ දේව මාලිගාව කඩාදමන්න. තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි”යි වදාළ සේක. 20 එවිට ජුදෙව්වරු කතා කොට, ”මේ දේව මාලිගාව ගොඩනඟන්නට හතළිස් හය වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනඟන්නෙහි දැ”යි ඇසූ හ. 21 එහෙත්, උන් වහන්සේ කතා කෙළේ, තමන්ගේ ශරීරය නමැති දේව මාලිගාව ගැන ය. 22 උන් වහන්සේ මරණින් නැඟිටුවනු ලැබූ පසු, ශ්‍රාවකයෝ, උන් වහන්සේ මේ දේ කී බව සිහි කොට ශුද්ධ ලියවිල්ල ද උන් වහන්සේගේ වචනය ද විශ්වාස කළහ.
සියලු සිත් දන්නා ජේසුස් වහන්සේ
23 උන් වහන්සේ පාස්කු මංගල්‍යයේ දී ජෙරුසලමෙහි සිටි කල්හි, බොහෝ දෙනෙක් උන් වහන්සේ කළ හාස්කම් දැක, උන් වහන්සේ අදහාගත්හ. 24 එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් කෙරෙහි විශ්වාසය නොතැබූ සේක. මන්ද, උන් වහන්සේ සියල්ල දත් නිසා ය. 25 මිනිස් සිතෙහි ඇති දෙය උන් වහන්සේ දැන සිටි බැවින්, මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන් වහන්සේට අවශ්‍ය නො වී ය.
– 3 වන පරිච්ඡේදය –
ජේසුස් වහන්සේ සහ නිකොදේමුස්
1 එකල පරිසිවරුන්ගෙන් කෙනෙක් වූ ද, ජුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක් වූ ද, නිකොදේමුස් නම් මිනිසෙක් විය. 2 ඔහු එක් රැයක උන් වහන්සේ වෙත අවුත්, ”ගුරුදේවයෙනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකැ යි අපි දනිමු; මන්ද, දෙවියන් වහන්සේ තමා සමඟ වැඩ නොසිටින සේක් නම්, කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකි ය”යි කී ය. 3 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙක් නැවත නූපන්නොත්, ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකි ය”යි ඔහුට වදාළ සේක. 4 නිකොදේමුස්, කතා කරමින්, ”මනුෂ්‍යයෙකු මහලු ව සිටිය දී, උපදින්නට පුළුවන් කොහොම ද? දෙ වන වරටත් මවු කුසට පිවිස උපත ලැබිය හැකි දැ”යි ඇසී ය. 5 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙකු වතුරෙන් ද ආත්මයාණන්ගෙන් ද නූපන්නොත්, ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකි ය. 6 කයින් උපදින දේ කායික ය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මික ය; 7 ‘ඔබ නැවත උපදින්නට ඕනෑ ය’යි මා කීවාට පුදුම නොවන්න. 8 සුළඟ සිතු සිතූ තැන් වල හමයි; එහි ශබ්දය ඔබට ඇසෙයි. එහෙත්, එය කොතැනින් එන්නේ ද කොතැනට යන්නේ දැ යි ඔබ නොදන්නහු ය. ආත්මයාණන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුන් ද එසේ ම ය”යි වදාළ සේක.
9 ”මේ දේ සිදුවිය හැක්කේ කෙසේ දැ”යි නිකොදේමුස් පිළිවිසී ය. 10 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ ඉශ්රායෙල්හි කීර්තිමත් ගුරුවරයකු ව සිටියදීත් මේ දේ ඔබට තේරුම් ගත නොහැකි ද? 11 ඒකාන්තයෙන් මම ඔබට කියමි; අපි දන්නා දේ කියමු, දුටු දේ ගැන සාක්ෂි දරමු. එහෙත්, අපේ සාක්ෂිය ඔබ නොපිළිගන්නෙහු ය. 12 මා ඔබට ලෞකික දේ ගැන කී කල්හි ඔබ විශ්වාස නොකරන්නෙහි නම්, ලෝකෝත්තර දේ ප්‍රකාශ කළහොත් කෙසේ විශ්වාස කරන්නෙහි ද? 13 ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය-පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය. 14 පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද, 15 උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙන ම සදාතන ජීවනය ලබන පිණිස, ඔසවනු ලබන්නට ඕනෑ ය.”
16 ”දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය. 17 දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය. 18 උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත.
19 ”විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ. 20 නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති. 21 එහෙත්, සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරු ව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණේ ය”යි වදාළ සේක.
ජොහන්ගේ සාක්ෂිය
22 ඉන්පසු ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව ජුදා දේශයට පැමිණි සේක. එහි උන් වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට බව්තීස්ම-ස්නාපනය කළ සේක. 23 ජොහන් ද සාලිම් සමීපයෙහි ඒනොන් යන ස්ථානයෙහි ජලය අධික ව තිබුණු බැවින් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටියේ ය. මිනිස්සු පැමිණ බව්තීස්ම-ස්නාපනය ලැබූ හ. 24 මෙය සිදු වූයේ ජොහන් හිර අඩස්සි කරනු ලැබීමට පෙර ය.
25 එකල ජොහන්ගේ ගෝලයන් හා ජුදෙව්වෙකු අතර පවිත්‍ර වීම ගැන වාදයක් හටගති. 26 එවිට ඔව්හු ජොහන් වෙතට පැමිණ, ”ඇදුරිඳුනි, ජොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූ ද ඔබ විසින් සාක්ෂි දරනු ලැබුවාවූ ද තැනැත්තේ ම බව්තීස්ම-ස්නාපනය කරයි. සියල්ලෝ ම ඔහු වෙතට යති”යි කී හ. 27 ජොහන් පිළිතුරු දෙමින් මෙසේ කී ය: ”ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නො හැකි ය. 28 මම ක්‍රිස්තුස් නොවෙමි; එහෙත්, ‘මම උන් වහන්සේට ප්‍රථමයෙන් එවන ලද්දෙමි’යි මා කී බවට ඔබ ම සාක්ෂිකාරයෝ ය. 29 මනාලිය අයිති මනාලයාට ය, මනාලයා ළඟ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා, මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රමුදිත වෙයි. මේ මාගේ ප්‍රීතිය පිරී ඇත්තේ එබැවිනි. 30 උන් වහන්සේගේ නැඟීමත්, මාගේ බැසීමත් සිදුවිය යුතු ය.”
ස්වර්ගයෙන් එන තැනැත්තා
31 ”ඉහළින් වඩිනා තැනැත්තේ සියල්ලනට වඩා උතුම් ය. භූමියෙන් වන තැනැත්තේ භූමියට අයිති වේ; ඔහු භෞමික දේ ගැන කතා කරයි. ස්වර්ගයෙන් එන තැනැන් වහන්සේ සියල්ලනට ම වඩා උතුම් ය; 32 උන් වහන්සේ තමන් ඇසූ දුටු දේ ගැන සාක්ෂි දරන සේක. එහෙත්, කිසිවෙක් උන් වහන්සේගේ සාක්ෂිය නොපිළිගනිති. 33 උන් වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා තැනැත්තේ දෙවියන් වහන්සේ සත්‍යවාදි බව සහතික කරයි. 34 දෙවියන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ, දෙවියන් වහන්සේගේ වදන් පවසන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මය සීමා රහිත ව දානය කරන බැවිනි. 35 පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන් වහන්සේ අතට භාර දී ඇත. 36 යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”
– 4 වන පරිච්ඡේදය –
සමාරීය ස්ත්‍රිය
1 ජේසුස් වහන්සේ ජොහන්ට වඩා ශ්‍රාවකයන් බඳවාගෙන බව්තීස්ම-ස්නාපනය කරති යි පරිසිවරුන්ට සැළ විය. 2 (ඇත්ත වශයෙන් උන් වහන්සේගේ ශ්‍රාවකයන් මිස, උන් වහන්සේ ම බව්තීස්ම-ස්නාපනය නොකළ සේක.) 3 ඒ බව දැනගත් කල, සමිඳාණන් වහන්සේ ජුදයෙන් පිට වී යළිත් ගලීලයට වැඩම කළ සේක. 4 සමාරිය පසු කොට යා යුතු ව තිබුණු බැවින් 5 උන් වහන්සේ, ජාකොබ් තම පුත් ජෝසෙප්ට දුන් ඉඩම ළඟ වූ සිකාර් නම් සමාරියේ නගරයකට පැමිණි සේක. 6 ජාකොබ්ගේ ළිඳ එහි විය. ගමන් විඩාවෙන් සිටි උන් වහන්සේ ළිඳ ළඟ හිඳගත් සේක. එය මධ්‍යාහ්න වේලාව පමණ විය.
7 එකල, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස පැමිණියා ය. ”මට වතුර ටිකක් දෙන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක. 8 එවේලේ, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෑම මිලයට ගනු පිණිස, නගරයට ගොස් සිටියෝ ය. 9 සමාරීය ස්ත්‍රිය ද, ”ජුදෙව්වෙකු වන ඔබ, සමාරීය ස්ත්‍රියක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ, කෙසේ දැ”යි උන් වහන්සේගෙන් ඇසුවා ය. එසේ කීවේ, ජුදෙව්වරුන් හා සමාරියයන් අතර ගනුදෙනුවක් නුවූ බැවිනි. 10 ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක.
11 ස්ත්‍රිය ද, ”මහතාණෙනි, වතුර අදින්නට ඔබට භාජනයක් නැත; ළිඳත් ගැඹුරු ය; එබැවින් ඒ ජීවන ජලය ඔබට කොයින් ද? 12 මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය. ඔහු ද, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය. ඔබ ඔහුට වඩා උතුම් දැ?”යි විචාළා ය.
13 ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, ”මේ වතුර බොන හැම කෙනෙකුට ම නැවත පිපාසය ඇති වන්නේ ය. 14 එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක. 15 ස්ත්‍රිය කතා කරමින්, ”මහතාණෙනි, මට තවත් පිපාසය ඇති නො වන පිණිසත්, වතුර ඇදීමට මෙපමණ දුර නැවත නොඑන පිණිසත් ඒ වතුර මට දුන මැනවැ”යි කීවා ය.
16 ජේසුස් වහන්සේ ඈ අමතා, ”යන්න, ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැ”යි වදාළ සේක. 17 ස්ත්‍රිය පිළිතුරු දෙමින්, ”මට ස්වාමි පුරුෂයෙක් නැතැ”යි කීවා ය. ජේසුස් වහන්සේ ද, ” ‘මට ස්වාමි පුරුෂයෙක් නැතැ’යි ඔබ කීවා හරි ය; 18 මන්ද, ඔබට පුරුෂයෝ පස් දෙනෙක් සිටියාහ; දැන් සිටින තැනැත්තේ ඔබේ පුරුෂයා නො වේ; මේ දේ ඔබ සැබෑ ලෙස පැවසුවෙහි ය”යි වදාළ සේක.
19 ස්ත්‍රිය උන් වහන්සේ අමතමින්, ”මහතාණෙනි, ඔබ දිවැසිවරයකු බව මට පෙනේ; අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළහ. 20 එහෙත්, මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමෙහි ය යි ඔබතුමන්ලා කියන්නහු ය”යි කීවා ය. 21 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ස්ත්‍රිය, මා විශ්වාස කරන්න. මේ කන්දේ දී වත්, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය. 22 ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය. 23 එහෙත්, නමස්කාර කරන්නන්, ආත්මානුභාවයෙන් ද අවංක සිතින් ද, පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබැවින් ම පැමිණෙන්නේ ය; දැනටමත් පැමිණ ඇත. තමන් වහන්සේට නමදින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන් ය. 24 දෙවියන් වහන්සේ ආත්මය ය; උන් වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන් ද අවංක සිතින් ද නමස්කාර කළ යුතු ය”යි වදාළ සේක.
25 ස්ත්‍රිය පිළිතුරු දෙමින්; ” ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය. 26 ”මේ ඔබ සමඟ කතා කරන මම, ඒ තැනැත්තා වෙමි”යි ජේසුස් වහන්සේ වදාළ සේක.
27 ඒ මොහොතේ දී, පැමිණි උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උන් වහන්සේ ස්ත්‍රියක සමඟ කතා කරනු දැක මවිත වූ හ. එහෙත් කිසිවෙක්, ”ඔබ කුමක් සොයන්නෙහි ද” කියාවත්, ”ඔබ ඈ සමඟ කතා කරන්නේ මන් ද?” කියාවත් ඇසුවේ නැත. 28 ස්ත්‍රිය ඇගේ වතුර කළය එතැන තබා, නුවරට ගොස්, 29 ”එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය. 30 ඔව්හු නුවරින් නික්ම ජේසුස් වහන්සේ වෙත එන්නට පටන්ගත්හ.
31 ඒ අතර ශ්‍රාවකයෝ, ”ගුරුදේවයෙනි, වළඳනු මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියෝ ය. 32 එහෙත් උන් වහන්සේ, ”ඔබ නො දන්නා භෝජනයක් වැළඳීමට මට ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. 33 ”යම් කිසිවෙක් උන් වහන්සේට ආහාර ගෙනවුත් දුන්නේ දැ”යි එවිට ශ්‍රාවකයෝ තම තමන් අතරේ විමසූ හ. 34 ජේසුස් වහන්සේ ඔවුන් අමතා, ”මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය.
35 ”තව හාරමාසයක් ගත වූ විට අස්වැන්න පැමිණේ යයි ඔබ කියන්නේ නැද් ද? එහෙත් මම ඔබට කියමි: බලන්න, ඔබේ ඇස් ඇර කුඹුරු නරඹන්න; මන් ද? ඒවා දැනට ම අස්වැන්න සඳහා පැසී ඇත. 36 ගොයම් කපන්නා කුලිය ලබා, සදාතන ජීවනය සඳහා අස්වැන්න එකතු කරයි; එසේ වන්නේ, වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීතිමත් වන පිණිස ය. 37 මෙයින්, ‘එක් කෙනෙක් වපුරයි, තව කෙනෙක් කපයි’ යන කීම සැබෑ වෙයි. 38 ඔබ වගා නො කළ කෙතක අස්වැන්න කැපීමට මම ඔබ යැවීමි. අන්‍යයෝ වගා කළහ. ඔබ ඔවුන්ගේ වගාවේ ප්‍රතිඵල භුක්ති විඳින්නහු ය”යි වදාළ සේක.
39 ”මා කළ සියල්ල උන් වහන්සේ මට වදාළ සේකැ”යි සාක්ෂි දුන් ස්ත්‍රියගේ කීම නිසා, ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ. 40 එබැවින් සමාරියයෝ උන් වහන්සේ වෙතට පැමිණි කල, තමන් සමඟ නවතින ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ. උන් වහන්සේ ද දෙදවසක් එහි නැවතුණ සේක.
41 තවත් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ ම වචනය නිසා අදහාගත්තෝ ය. 42 ඔව්හු ස්ත්‍රියට කතා කොට, ”දැන් අප අදහන්නේ ඔබේ කීම නිසා නොවේ; අප ම උන් වහන්සේගේ බස් අසා, උන් වහන්සේ සැබැවින් ම ලෝකයේ ගැළවුම්කාරයාණන් බව දැනගත් නිසා ය”යි කී හ.
43 ඒ දෙදවසට පසු, උන් වහන්සේ එතැනින් නික්ම ගලීලයට වැඩම කළ සේක. 44 මන්ද, ”ගමේ දිවැසිවරයා ගමට අගේ නැතැ”යි කීවේ උන් වහන්සේ ම ය. 45 එහෙත් ජෙරුසලමෙහි මංගල්‍යයේ දී උන් වහන්සේ කළ සියල්ල දුටු බැවින්, ගලීලයෝ උන් වහන්සේ උත්සවාකාරයෙන් හොඳින් පිළිගත්හ.
රාජ්‍ය නිලධාරියෙකුගේ පුත්‍රයා සුව කිරීම
(මතෙව් 8:5-13; ලූක් 7:1-10)
46 යළිත් උන් වහන්සේ ගලීලයේ කානා නම් ගමට වැඩම කළ සේක. උන් වහන්සේ විසින් වතුර මිදියුස බවට හරවන ලද්දේ එහි දී ය. එකල, එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය. ඔහුගේ පුත්‍රයා රෝගාතුර ව කපර්ණවුමෙහි සිටියේ ය. 47 ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලීලයට වැඩම කළ බව අසා, ඔහු උන් වහන්සේ වෙතට ගොස්, තම පුත්‍රයා මරණාසන්න ව සිටින බැවින්, අවුත් ඔහු සුව කරන මෙන් උන් වහන්සේගෙන් අයැද සිටියේ ය. 48 ජේසුස් වහන්සේ, ”ඔබ ලකුණු ද අරුමපුදුම දේ ද දුටුවොත් මිස විශ්වාස නො කරන්නාහු ය”යි ඔහුට වදාළ සේක. 49 රාජ්‍ය නිලධාරියා ද, ”මහතාණෙනි, මාගේ දරුවා මියයන්නට පෙර වැඩිය මැනවැ”යි අයැදී ය. 50 ජේසුස් වහන්සේ කතා කරමින්, ”යන්න, ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි ඔහුට වදාළ සේක. ඒ තැනැත්තා ජේසුස් වහන්සේ වදාළ වචනය විශ්වාස කරගෙන ගියේ ය.
51 ඔහු යන කල, ඔහුගේ දාසයෝ පෙරමඟට අවුදින්, ”ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි කී හ. 52 එවිට, ”පුත්‍රයා සුවය ලබන්න පටන්ගත්තේ කොයි වේලාවේ දැ”යි ඔහු ඔවුන්ගෙන් විමසී ය. ”ඊයේ පස්වරු එකට පමණ උණ බැස්සේ ය”යි ඔව්හු කී හ. 53 ”ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළේ, ඒ මොහොතේ දී යයි දැනගත් බැවින්, ඔහු ද, ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එතුමන් අදහාගත්හ.
54 මේ වනාහි, ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලීලයට පැමිණි පසු, කළ දෙ වන දේව බල ප්‍රකාශනය වේ.
– 5 වන පරිච්ඡේදය –
බෙතෙස්දා පොකුණ අසල කොරා සුව කිරීම
1 ඉන්පසු ජුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය. ජේසුස් වහන්සේ ද ජෙරුසලමට වැඩම කළ සේක. 2 ජෙරුසලමෙහි බැටළු දොරටුව ළඟ, හෙබ්‍රෙව් බසින් ‘බෙතෙස්දා’ යයි නම් ලත් පොකුණක් විය. එය අවට ද්වාර මණ්ඩප පහක් විය. 3 ඒවායෙහි අන්ධ වූ ද කොර වූ ද අංශභාග වූ ද රෝගීන් සමූහයක් ඔත්පළ ව සිටියෝ ය. 4 ඔව්හු වතුර කැළඹෙන තෙක් බලා සිටියාහ. මන්ද, සමිඳාණන් වහන්සේගේ දුතයෙක් කලින් කල පොකුණට බැස වතුර කැළඹුවේ ය. වතුර කළඹනු ලැබූ පසු එහි බට පළමුවැන්නා කවර රෝගයකින් පෙළුණු නමුත් සුවකරනු ලැබී ය. 5 එහි තිස් අට අවුරුද්දක් රෝගී ව සිටි එක් මිනිසෙක් විය. 6 ඒ මිනිසා හාන්සි වී සිටිනු ජේසුස් වහන්සේ දැක, ඔහු බොහෝ කලක් එහි සිටි බව දැන, ”ඔබ සුව වීමට කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක. 7 රෝගියා උන් වහන්සේට උත්තර දෙමින්, ”ස්වාමීනි, වතුර කැළඹෙන විට මා පොකුණට බස්වන්නට කිසිවෙක් නැත. මා එන අතර, අන් කෙනෙක් මට පළමුවෙන් බසින්නේ ය”යි කීවේ ය. 8 ”නැඟිට ඔබේ පැදුර රැගෙන යන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක. 9 එකෙණෙහි ම මිනිසා සුවපත් වී, සිය පැදුර රැගෙන යන්නට ගියේ ය.
එය සබත් දවස විය. 10 එබැවින් ජුදෙව්වරු, ”අද සබත් දවස ය, පැදුර රැගෙන යෑම නීති විරෝධී ය”යි සුවය ලැබූ මිනිසාට කී හ. 11 එහෙත්, ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, ”මා සුවපත් කළ තැනැත්තා ම ‘ඔබේ පැදුර රැගෙන යන්නැ’යි මට කීවේ ය”යි කී ය. 12 ” ‘පැදුර රැගෙන යන්නැ’යි ඔබට කී මිනිසා කවරෙක් දැ”යි ඔව්හු විමසූ හ. 13 එහෙත් සුවපත් කරනු ලැබූ මිනිසා, ඔහු කවරෙක් දැ යි නොදත්තේ ය. මන්ද, ඒ ස්ථානයේ සමූහයා අතරින් ජේසුස් වහන්සේ සොයාගත නො හැකි වූ බැවිනි. 14 ඉන්පසු, ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී ඔහු මුණගැසී, ”බලන්න, ඔබ සුවපත් වී ඇත. මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නැ”යි වදාළ සේක. 15 ඒ මිනිසා ද ගොස්, තමා සුවපත් කෙළේ, ජේසුස් වහන්සේ බව ජුදෙව්වරුන් හට සැළ කෙළේ ය.
16 ජේසුස් වහන්සේ මෙවැනි දේ සබත් දවසේ දී කළ බැවින්, ජුදෙව්වරු උන් වහන්සේට පීඩා කළහ. 17 එහෙත්, ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ පියාණන් වහන්සේ නොනැවතී ම වැඩ කරන සේක; මමත් වැඩකරමි”යි වදාළ සේක. 18 මේ කරුණ නිසා ජුදෙව්වරු උන් වහන්සේ මරන්නට වඩ වඩා උත්සාහ දැරූ හ. මන්ද, උන් වහන්සේ සබත කඩ කළා පමණක් නොව, ”දෙවියන් වහන්සේ තමන්ගේ ම පියාණෝ ය”යි කියමින්, තමාත් දෙවියන් වහන්සේට සමාන යයි ප්‍රකාශ කළ නිසා ය.
පුත්‍රයාණන්ගේ අධිකාරිත්වය
19 ජේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක: ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි: පුත්‍රයාණන්ට කිසිවක් තනි බලයෙන් කළ නොහැකි ය; පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දකින්නේ ද, ඒ දෙය මිස තනි ව ම කිසිවක් කරන්නට උන් වහන්සේට නො හැකි ය. මන්ද, උන් වහන්සේ යම් දෙයක් කරන සේක් ද, ඒ දෙය පුත්‍රයාණෝ ද එසේ ම කරන සේක. 20 මන්ද, පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන බැවින්, තමන් වහන්සේ කරන සියලු ක්‍රියා උන් වහන්සේට දක්වා වදාරන සේක. තවද, ඔබ මවිත කරවන සුලු, මීටත් වඩා මහත් ක්‍රියා ද දක්වා වදාරන සේක. 21 පියාණන් වහන්සේ මළවුන් උත්ථාන කොට ජීවත් කරවන්නාක් මෙන්, පුත්‍රයාණෝ ද තමන්ට අභිමත වූවන් ජීවත් කරවන සේක. 22 සැබැවින් ම පියාණන් වහන්සේ කිසිවකු විනිශ්චය නොකරන සේක. සම්පූර්ණ විනිශ්චය පුත්‍රයාණන් හට පවරා ඇත. 23 එසේ කෙළේ, සියලු දෙනා පියාණන්ට මෙන් ම පුත්‍රයාණන්ට ද ගෞරව කරන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නොකරන්නා, පුත්‍රයාණන් එවා වදාළ පියාණන්ට ද ගෞරව නොකරන්නේ ය.
24 ”ඒකාන්තයෙන් මම ඔබට කියමි: මාගේ වචනය අසා, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි. 25 ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති. 26 පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක. 27 තවද, උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් වන බැවින් විනිශ්චය කිරීමේ අධිකාරි බලය ද උන් වහන්සේට දෙවා වදාළ සේක. 28 මේ ගැන මවිත නොවන්න; මන්ද, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය. 29 එවිට, යහපත කළ අය සදාතන ජීවනය සඳහා උත්ථාන කරනු ලබති; අයහපත කළ අය විනිශ්චය සඳහා උත්ථාන කරනු ලබති.
30 ”මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නො හැකි ය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණ ය. මන්ද, මාගේ අරමුණ, මාගේ ම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම ය.”
දේව පුත්‍රයාණන් පිළිබඳ සාක්ෂි
31 ”මම, මා ගැන ම සාක්ෂි දෙන්නෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ. 32 එහෙත්, මා ගැන සාක්ෂි දරන වෙන කෙනෙක් වෙති. උන් වහන්සේ මා ගැන දරන සාක්ෂිය සැබෑ බව මම දනිමි. 33 ඔබ ජොහන් වෙත මිනිසුන් යැව්වහු ය. ඔහු සත්‍යය පිළිබඳ සාක්ෂිය දරා ඇත. 34 එහෙත්, මා මේ දේ ඔබට කියන්නේ, මිනිසාගෙන් සාක්ෂියක් ලබන පිණිස නොව, ඔබ ගැළවීම ලබන පිණිස ය. 35 ජොහන් වනාහි, දිළෙන, බැබළෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය. 36 එහෙත් මට ඇති සාක්ෂිය ජොහන්ගේ සාක්ෂියට වඩා උතුම් එකකි. මන්ද, මා විසින් පරිපූර්ණ කරනු ලබන පිණිස පියාණන් වහන්සේ මට පැවරූ කටයුතු, එනම්, මා කරන කටයුතු ම, පියාණන් වහන්සේ මා එවා වදාළ බවට සාක්ෂි වෙයි. 37 තවද, මා එවා වදාළ පියාණන් වහන්සේ ම මා පිළිබඳව සාක්ෂි දරා ඇත. උන් වහන්සේගේ හඬ කිසි කලෙක ඔබ අසා නැත. ස්වරූපය ද දැක නැත. 38 තවද, උන් වහන්සේගේ වචනය ඔබ තුළ නිදන්ගත වී නැත. මන්ද, ඔබ උන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ විශ්වාස නොකරන බැවිනි. 39 ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය. 40 එහෙත්, ජීවනය ලබන පිණිස මා වෙතට එන්නට ඔබ කැමැති නොවන්නහු ය.
41 ”මම මිනිසුන්ගෙන් ගෞරවය නොසොයමි. 42 එහෙත් මම ඔබ හොඳින් අඳුනමි. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නොමැති බව මම දනිමි. 43 මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. එහෙත්, ඔබ මා නොපිළිගන්නහු ය. වෙන තැනැත්තෙකු තමාගේ ම නාමයෙන් පැමිණියහොත්, ඔබ ඔහු පිළිගනු ඇත. 44 එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට ප්‍රිය කරන ඔබ, අදහාගන්නේ කෙසේ ද? 45 ඔබට විරුද්ධ ව මම පියාණන් වහන්සේට චෝදනා කරන්නෙමි යි නො සිතන්න. ඔබට විරුද්ධ ව චෝදනා කරන්නෙක් ඇත; එනම්, මෝසෙස් ය. ඔබේ බලාපොරොත්තුව ඔබ තබා ඇත්තේ ඔහු පිට ය. 46 ඔබ මෝසෙස් විශ්වාස කළාහු නම්, මා ද විශ්වාස කරන්නහු ය. මන්ද, මෝසෙස් මා ගැන ලියූ බැවිනි. 47 ඔබ මෝසෙස්ගේ ලියවිලි විශ්වාස නොකරන්නහු නම්, මාගේ වචන විශ්වාස කරන්නේ කෙසේ ද?”
– 6 වන පරිච්ඡේදය –
පන්දහසකට කෑම
(මතෙව් 14:13-21; මාක් 6:30-44; ලූක් 9:10-17)
1 ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන්, හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළ සේක. 2 උන් වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. 3 එවිට ජේසුස් වහන්සේ කන්දකට නැඟී තමන්ගේ ශ්‍රාවකයන් සමඟ එහි වැඩහුන් සේක. 4 ජුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළං ව තිබිණි. 5 ජේසුස් වහන්සේ ඇස් ඔසවා බැලූ කල, තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක, ”මොවුන් හැම දෙනාට ම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලේට ගනිමු දැ”යි පිලිප්ගෙන් ඇසූ සේක. 6 උන් වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිස ය. මන්ද, තමන් කරන්න යන්නේ කුමක් දැ යි උන් වහන්සේ ම දැන සිටි බැවිනි. 7 පිලිප් පිළිතුරු දෙමින්, ”එකිනෙකාට ටික ටිකවත් දීමට රිදී කාසි දෙසියයක රොටි වුවත් නොසෑහේ ය”යි කී ය. 8 ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ උන් වහන්සේ අමතා, 9 ”යව රොටි පහක් ද මසුන් දෙදෙනකු ද ඇති කොලුවෙක් මෙහි සිටියි. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පලක් දැ”යි ඇසී ය. 10 ”මිනිසුන් හිඳුවන්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක. එතැන බොහෝ තණකොළ විය. ගණනින් පන්දහසක් පමණ පිරිමි එහි හිඳගත්හ. 11 එවිට ජේසුස් වහන්සේ රොටි ගෙන තුති පුදා, හිඳගෙන සිටි අයට බෙදා දුන් සේක. එලෙස ම මසුන්ගෙන් ද දුන් සේක. සියල්ලන්ට කැමැති තරම් කෑම ලැබුණේ ය. 12 ඔවුන් කා තෘප්තියට පැමිණි පසු, උන් වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා, ”කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නැ”යි වදාළ සේක. 13 මෙසේ කෑම වැළඳු අය, යව රොටි පහෙන් ඉතිරි කළ කැබලි එකතු කොට මලු දොළසක් පුරවාගන්නා ලදී.
14 සමූහයා මේ හාස්කම දුටු කල ”සැබෑවට ම මෙතුමාණෝ ලොවට වඩින්නට සිටින දිවැසිවරයාණෝ ය”යි කී හ. 15 තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන, රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන, නැවත තනියම කන්දට වැඩිය සේක.
මුහුද මත ඇවිදීම
(මතෙව් 14:22-33; මාක් 6:45-52)
16 සවස් වූ කල, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ මුහුදට ගොස්, 17 ඔරුවට නැඟී මුහුදෙන් එතෙර කපර්ණවුමට යන්නට පිටත් වූ හ. රෑ බෝ වී තිබුණ නමුත්, ජේසුස් වහන්සේ ඒ තාක් ඔවුන් වෙත නො පැමිණි සේක. 18 තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි. 19 ඔව්හු කිලෝමීටර් පහක් පමණ ඔරුව පැදගෙන ගිය කල, ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදිමින් ඔරුව ළඟට වඩින බව දැක බියපත් වූ හ. 20 එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, ”මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක. 21 ඔව්හු උන් වහන්සේ ඔරුවට පිළිගන්නට සතුටු වූ හ. එකෙණෙහි ම ඔරුව ඔවුන් යමින් සිටි රටට පැමිණියේ ය.
ජීවනදායක ආහාරය
22 පසු දින උදේ මුහුදෙන් එගොඩ සිටි සමූහයා, එහි තිබුණේ එක ම ඔරුවක් පමණක් බවත්, ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට නො නැඟුණු බවත්, ශ්‍රාවක පිරිස පමණක් එයට නැඟී ගිය බවත් දැක සිටියහ. 23 කෙසේ වුව ද, සමිඳාණන් වහන්සේ තුති පිදූ පසු රොටි වළඳන ලද ස්ථානය සමීපයට තිබේරියස් සිට ඔරු පැමිණියේ ය. 24 ජේසුස් වහන්සේ වත්, ශ්‍රාවකයන් වත් එහි නො සිටි බව සමූහයා දුටු කල, ඔව්හු ඒ ඔරුවලට නැඟී ජේසුස් වහන්සේ සොයමින් කපර්ණවුමට පැමිණියාහ.
25 මුහුදෙන් එගොඩ දී උන් වහන්සේ හමු වී, ”ගුරුදේවයෙනි, ඔබ මෙහි වැඩියේ කොයි වේලේ දැ”යි ඔව්හු ඇසූ හ. 26 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මා සොයන්නේ හාස්කම් දුටු නිසා නොව, රොටි කා තෘප්තියට පැමිණි නිසා ය. 27 නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක. 28 එබැවින් ඔව්හු, ”දෙවියන් වහන්සේගේ අභිප්‍රාය අනුව වැඩ කරන පිණිස අප කුමක් කටයුතු දැ”යි ඇසූ හ. 29 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වනුයේ, උන් වහන්සේ එවා වදාළ තැනැත්තාණන් ඔබ විසින් අදහාගැනීම ය”යි වදාළ සේක.
30 එවිට ඔව්හු, ”එසේ නම්, අප විසින් දැක අදහාගන්නා පිණිස ඔබ කවර හාස්කමක් දක්වන සේක් ද? කවර ක්‍රියාවක් කරන සේක් ද? 31 අපේ පියවරු පාළුකරයෙහි දී මන්නා කෑහ. ‘බුදින පිණිස එතුමෝ ඔවුන්ට ස්වර්ගයෙන් ආහාර සැපයූහ’යි ලියා ඇතැ”යි උන් වහන්සේට කී හ. 32 එවිට ජේසුස් වහන්සේ, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, ස්වර්ගයෙන් ඔබට ආහාරය දුන්නේ මෝසෙස් නොවේ; ස්වර්ගයෙන් සැබෑ ආහාරය දෙන්නේ මාගේ පියාණන් වහන්සේ ය. 33 මන්ද, දෙවියන් වහන්සේ දෙන ආහාරය වනාහි, ස්වර්ගයෙන් පහළ වී ලෝකයට ජීවනය දෙන ආහාර ය”යි වදාළ සේක. 34 ඔව්හු ද, ”ස්වාමීනි, ඒ ආහාරය නිතර ම අපට දුන මැනවැ”යි කී හ.
35 ජේසුස් වහන්සේ කතා කොට, ”ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය. 36 එහෙත් මා කී ලෙස ම, ඔබ මා දුටු නමුත් මා නොඅදහන්නහු ය. 37 පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි. 38 මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේ ම කැමැත්ත කරන පිණිස නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස ය. 39 මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත නම්, උන් වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනෙකු වත් නැති වන්නට නෑර, සියල්ලන් ම අන්තිම දවසේ දී මා විසින් උත්ථාන කරනු ලැබීම ය. 40 පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහාගන්නා හැම කෙනෙකු ම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ය. මම ද අන්තිම දවසේ දී ඔවුන් උත්ථාන කරන්නෙමි”යි වදාළ සේක.
41 එවිට, ‘ස්වර්ගයෙන් පහළ වූ ආහාරය මම ය’යි උන් වහන්සේ වදාළ බැවින්, ජුදෙව්වරු උන් වහන්සේ ගැන මැසිවිලි කියමින්, 42 ”මොහු ජෝසෙප්ගේ පුත් ජේසුස් නොවේ ද? අප මොහුගේ මව ද පියා ද අඳුනන්නේ නැද් ද? ‘මම ස්වර්ගයෙන් බැස්සෙමි’යි ඔහු දැන් කියන්නේ කෙසේ දැ”යි කී හ. 43 ජේසුස් වහන්සේ ඔවුන් අමතමින්, ”ඔබ අතරෙහි මැසිවිලි නොදොඩන්න. 44 මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි ය. මම අන්තිම දවසේ දී ඔහු උත්ථාන කරන්නෙමි. 45 ‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති. 46 දෙවියන් වහන්සේ වෙතින් පැමිණි තැනැන් වහන්සේ හැර, අන් කිසිවෙකු දෙවියන් වහන්සේ දැක ඇතැ යි මෙයින් අදහස් නොකරමි, උන් වහන්සේ පමණක් පියාණන් වහන්සේ දැක ඇත. 47 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, අදහන්නාට සදාතන ජීවනය ඇත. 48 ජීවනදායක ආහාරය මම ය. 49 ඔබේ පියවරු කාන්තාරයේ දී මන්නා කෑහ; එහෙත් ඔව්හු මියගියහ. 50 මෙය වනාහි, ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නො මැරෙන්නේ ය. 51 ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.
52 එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින්, ”මේ මිනිසා, ඔහුගේ මාංසය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේ දැ”යි කී හ. 53 එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත. 54 යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි. 55 මන්ද, මාගේ මාංසය සැබෑ ආහාරය වේ; මාගේ රුධිරය සැබෑ පානය වේ. 56 මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි. 57 ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙස ම, මා අනුභව කරන තැනැත්තේ, මා නිසා ජීවත් වෙයි. 58 මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරුන් වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔව්හු මළහ. එහෙත්, මේ ආහාරය වළඳන තැනැත්තේ සදහට ම ජීවත් වන්නේ ය.” 59 උන් වහන්සේ කපර්ණවුමේ ධර්මශාලාවෙහි උගන්වමින් සිටිය දී මේ සියල්ල වදාළ සේක.
සදාතන ජීවනය පිළිබඳ කියුම්
60 එය ඇසූ විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් ”මෙය දරාගන්නට බැරි කීමකි, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාට දැ”යි තමන් අතරේ කතා කරගත්හ. 61 ශ්‍රාවකයන් මෙසේ මැසිවිලි කියන බව ජේසුස් වහන්සේ දිවැසින් දැන ඔවුන් අමතා, ”මෙය ඔබට අධෛර්යයට පත්වීමට හේතුවක් ද? 62 එසේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පෙර සිටි තැනට නඟිනු බව ඔබ දුටුවොත් කෙසේ ද? 63 ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. 64 එහෙත් නොඅදහන සමහරෙක් ඔබ අතරෙහි සිටිති”යි වදාළ සේක. එසේ වදාළේ, නොඅදහන්නෝ කවුරු ද කියාත්, තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක් ද කියාත්, ජේසුස් වහන්සේ මුල සිට ම දැනගෙන සිටි බැවිනි. 65 එහෙයින් උන් වහන්සේ ඔවුන් අමතා, ”මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නො හැකි බව මා කීවේ ඒ නිසා ය”යි වදාළ සේක.
66 මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන් වහන්සේ අනුව නොගියහ.
පේදුරුගේ ඇදහිල්ල
67 ජේසුස් වහන්සේ දොළොස් දෙනා අමතා, ”ඔබත් ඉවත් ව යන්නට සිතන්නහු දැ”යි ඇසූ සේක. 68 සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, ”ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය. 69 ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණන් වහන්සේ බව අපි අදහමු. එසේ ම ඒ බව දනිමු”යි කී ය. 70 ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබ දොළොස් දෙනා තෝරාගත්තේ මම නොවෙම් ද? ඒ නමුත් ඔබෙන් එක් කෙනෙක් යක්ෂයෙක් ය”යි වදාළ සේක. 71 එසේ වදාළේ, සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍ර වූ ජූදස් ගැන ය. ජේසුස් වහන්සේ පාවා දෙන්නට සිටියේ දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ඔහු ය.
– 7 වන පරිච්ඡේදය –
සහෝදරයන්ගේ අවිශ්වාසය
1 ඉන්පසු ජේසුස් වහන්සේ ගලීලයේ සැරිසරමින් සිටි සේක. ජුදෙව්වරුන් තමන් මරන්නට සෙවූ බැවින්, උන් වහන්සේ ජුදයෙහි සැරිසරන්ට නොකැමැති වූ සේක. 2 එකල ජුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළං ව තිබිණි. 3 එබැවින් උන් වහන්සේගේ සහෝදරයෝ කතා කොට, ”ඔබ කරන ක්‍රියා ඔබේ ශ්‍රාවකයන් ද දකින පිණිස මෙතැනින් පිටත් ව ජුදයට යන්න. 4 එසේ කියන්නේ, ප්‍රසිද්ධ වන්නට කැමැති කිසිවෙකු රහසින් කිසිත් නොකරන බැවිනි. ඔබ මේ දේවල් කරන්නෙහි නම්, ලෝකයාට ප්‍රකාශ වුව මැනවැ”යි කී හ. 5 මන්ද, සිය සහෝදරයෝ පවා උන් වහන්සේ අදහාගත්තේ නැත. 6 ජේසුස් වහන්සේ ඔවුන් අමතා, ”මගේ නියමිත මොහොත තව ම පැමිණ නැත. එහෙත් ඔබට නම් කොයි වේලාවත් සුදුසු ය. 7 ඔබට ද්වේෂ කරන්නට ලෝකයාට නොහැකි ය. එහෙත්, ලෝකයා මට ද්වේෂ කරති. මන්ද, ‘ලෝකයාගේ ක්‍රියා නපුරු ය’යි මා සාක්ෂි දරන බැවිනි. 8 ඔබ කැමැති නම් මංගල්‍යයට යන්න. මාගේ නියමිත මොහොත තව ම පැමිණ නැති බැවින් මම නම් නොයමි”යි වදාළ සේක. 9 උන් වහන්සේ මෙසේ වදාරා ගලීලයෙහි ම නැවතී සිටි සේක.
ජේසුස් වහන්සේ කූඩාරම් මංගල්‍යයට යාම
10 එහෙත්, තමන්ගේ සහෝදරයන් මංගල්‍යයට ගිය පසු, උන් වහන්සේ ද ප්‍රසිද්ධියේ නොව, රහසින් මංගල්‍යයට වැඩිය සේක. 11 එකල ජුදෙව්වරු මංගල්‍යයේ දී උන් වහන්සේ සොය සොයා ”ඔහු කොහේ දැ”යි විමසූ හ. 12 සමූහයා අතර උන් වහන්සේ ගැන මහා කසුකුසුවක් ඇති විය. සමහරුන් ”උන් වහන්සේ සත්පුරුෂයෙකැ”යි කී අතර, සමහරු, ”එසේ නොවේ, ඔහු මහජනයා මුළා කරති”යි කී හ. 13 එහෙත්, ජුදෙව්වරුන්ට බියෙන් කිසිවෙක් උන් වහන්සේ ගැන එළිපිට කතා නොකළහ.
14 මංගල්‍යයේ මැද හරියේ දී ජේසුස් වහන්සේ දේව මාලිගාවට වැඩම කර අනුශාසනා කරන්නට පටන්ගත් සේක. 15 ඒ ගැන ජුදෙව්වරු මවිත ව ”කිසිකලෙක ඉගෙන නොගත් මේ මිනිසාට මේ සා උගත්කමක් කොයින් දැ”යි කී හ. 16 එහෙයින් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ ඉගැන්වීම මාගේ ම නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ ය. 17 යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැ යි දැනගන්නේ ය. 18 තමාගේ ම අධිකාරී බලයෙන් අදහස් පවසන තැනැත්තේ තමාගේ ම ගෞරවය සොයන්නෙකි. එහෙත්, තමන් එවා වදාළ තැනැන් වහන්සේගේ ගෞරවය සොයන්නා අවංක තැනැත්තෙකි. වංක බවක් ඔහු තුළ නැත.
19 ”මෝසෙස් ඔබට ව්‍යවස්ථාවලිය දුන්නා නොවේ ද? එහෙත් ඔබගෙන් කිසිවෙක් ව්‍යවස්ථාවලිය නොපිළිපදිති. ඔබ මා මරන්නට සොයන්නේ මන්දැ”යි ඇසූ සේක. 20 සෙනඟ පිළිතුරු දෙමින්, ”ඔබට දුෂ්ටාත්මයක් වැහී සිටියි; ඔබව මරන්න සොයන්නේ කවරෙක් දැ”යි ඇසූ හ. 21 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මම එක් ක්‍රියාවක් සබත් දවසේ දී කෙළෙමි; ඊට ඔබ සියල්ලෝ ම තවමත් මවිත වී සිටිති. 22 මෝසෙස් චර්මඡේදන නීතිය ඔබට දී ඇත. (එය මෝසෙස්ගෙන් පැවත එන්නක් නොව, පියවරුන්ගෙන් පැවත එන්නකි). එහෙත්, ඔබ සබත් දවසේ වුව ද චර්මඡේදනය කරන්නහු ය. 23 ඉදින්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නො වන පරිදි, මිනිසෙක් සබත් දවසේ දී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේ දී මා මිනිසෙකු සම්පූර්ණයෙන් ම සුවපත් කළ බැවින්, ඔබ කෝප වන්නේ මන් ද? 24 බැලූ බැල්මට විනිශ්චය නොකරන්න; සාධාරණ විනිශ්චයක් ම කරන්නැ”යි වදාළ සේක.
මොහු ක්‍රිස්තුවරයාණෝ ද?
25 එබැවින්, ජෙරුසලම් වැසි ඇතැමෙක්, ”ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේ ද? 26 එසේ වුව ද ඔහු එළිපිට ම කතා කරයි. එහෙත්, ඔව්හු කිසිවක් ඔහුට නොකියති. මේ ක්‍රිස්තුවරයාණන් බව ප්‍රධානීන් දැන සිටිනවා විය හැකි ද? 27 කෙසේ වෙතත්, මොහු පැමිණියේ කොහෙන් දැ යි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණි විට උන් වහන්සේ කොතැනින් වඩින සේක් දැ යි කිසිවෙක් දැන නොගනිති”යි කී හ.
28 එවිට ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී හඬනඟා අනුශාසනා කරමින් මෙසේ වදාළ සේක: ”ඔබ සැම මා දන්නහු ය, මා පැමිණියේ කොතැනින් ද කියාත් දන්නහු ය. එහෙත් මා පැමිණියේ, මාගේ ම කැමැත්තෙන් නොවේ. මා එවා වදාළේ සත්‍යය ම වන තැනැන් වහන්සේ ය. ඔබ උන් වහන්සේ නොදන්නහු ය. 29 එහෙත් මම උන් වහන්සේ දනිමි; කුමක් හෙයින් ද, මම උන් වහන්සේ කෙරෙන් පැමිණියෙමි; මා එවා වදාළේ උන් වහන්සේ ය.” 30 මෙසේ වදාළ විට, ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. ඒ නමුත්, උන් වහන්සේගේ නියමිත මොහොත නොපැමිණි බැවින් කිසිවෙක් උන් වහන්සේ පිට අත් නොතැබූ හ. 31 එසේ වුව ද, සෙනඟගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගෙන, ”ක්‍රිස්තුවරයාණන් වැඩම කළ විට, මේ මිනිසා කර ඇති හාස්කම්වලට වඩා යමක් එතුමාණන් කරනු ඇද්දැ”යි ඇසූ හ.
ජේසුස් වහන්සේ අල්ලාගැනීමට මුර සේවකයන් යැවීම
32 සමූහයා උන් වහන්සේ ගැන මේ දේ කියමින් කොඳුරනු ඇසූ පරිසිවරු ද නායක පූජකයෝ ද උන් වහන්සේ අල්ලාගන්නට මුර සේවකයන් යැවූ හ. 33 ජේසුස් වහන්සේ ඔවුන් අමතා, ”තව ටික කලක් මම ඔබ සමඟ සිටිමි; ඉන්පසු මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි. 34 ඔබ මා සොයන්නහු ය; එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත. ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය”යි වදාළ සේක. 35 එබැවින් ජුදෙව්වරු ඔවුනොවුන් අතර කතා කරමින්, ”මොහු අපට සම්බ නොවන පරිදි, කොතැනට යන්නේ ද? ග්‍රීකයන් අතර විසිර සිටින ජුදෙව්වරුන් වෙත ගොස් ග්‍රීකයන්ට උගන්වනු ඇද් ද? 36 ‘ඔබ මා සොයන්නහු ය, එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත; ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය’යි ඔහු කී කියමනේ තේරුම කුමක් දැ”යි ඇසූ හ.
ජීවනදායක ජලධාරා
37 මංගල්‍යයේ අවසාන මහා දවසේ දී, ජේසුස් වහන්සේ නැඟිට, හඬනඟා, ”යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා! 38 ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුළින් ජීවනදායක ජලධාරා ගලන්නේ ය”යි ප්‍රකාශ කළ සේක. 39 උන් වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහාගත්තවුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ව ය. ශුද්ධාත්මයාණන් ඒ තාක් නොදෙන ලද්දේ ය; මන්ද, ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයට පත් නොවූ බැවිනි.
මිනිසුන් අතර මතභේද
40 මේ වචන ඇසූ කල සෙනඟගෙන් සමහරු, ”මොහු, සැබැවින් ම ඒ දිවැසිවරයාණෝ ය”යි කී හ. 41 අන් සමහරු, ”මේ ක්‍රිස්තුස් ය”යි කී හ. තවත් සමහරු ”ක්‍රිස්තුවරයාණන් වඩින්නේ ගලීලයෙන් ද? 42 ක්‍රිස්තුවරයාණන් දාවිත්ගේ වංශයෙන්, දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙමෙන්, වඩින බව ශුද්ධ ලියවිල්ලෙහි ලියා නැද්දැ”යි ඇසූ හ. 43 මෙසේ උන් වහන්සේ නිසා සමූහයා අතර භේදයක් හටගත්තේ ය. 44 ඔවුන් අතරෙන් සමහරෙක් උන් වහන්සේ අල්ලාගන්නට සිතූ හ. එහෙත්, කිසිවෙක් උන් වහන්සේ පිට අත නොතැබූ හ.
අධිකාරි බලය ඇත්තන්ගේ අවිශ්වාසය
45 ඉක්බිති, මුර සේවකයෝ නායක පූජකයන් ද පරිසිවරුන් ද වෙතට පෙරළා පැමිණියහ. ඔව්හු ද, ”නුඹලා ඔහු නොගෙනාවේ මන්දැ”යි ඇසූ හ. 46 ”කවර මිනිසෙක් වත් මෙසේ කතා නොකෙළේ ය”යි මුර සේවකයෝ පිළිතුරු දුන්හ. 47 පරිසිවරු පිළිතුරු දෙමින්, ”නුඹලාත් මුළා වූවාහු ද? 48 ප්‍රධානීන්ගෙන් වත් පරිසිවරුන්ගෙන් වත් කිසිවෙක් ඔහු අදහාගත්තෝ ද? 49 ව්‍යවස්ථාව නොදත් මේ සෙනඟ සාප ලද්දෝ ය”යි කී හ. 50 ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, මීට පෙර උන් වහන්සේ වෙත ගිය නිකොදේමුස් කතා කොට, 51 ”පළමුකොට යම් මිනිසකුගෙන් කරුණු නොවිමසා, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුම් නොගෙන, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. 52 ඔව්හු පිළිතුරු දෙමින්, ”ඔබත් ගලීලයෙක් ද? ගලීලයෙන් දිවැසිවරයෙක් එන්නේ ද කියා සොයා බලන්නැ”යි කී හ.d 53 එවිට සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගිය හ.
– 8 වන පරිච්ඡේදය –
පව්කාරියට ගල් ගැසීම
1 එහෙත්, ජේසුස් වහන්සේ ඔලීව කන්දට වැඩම කළ සේක. 2 අලුයම උන් වහන්සේ දේව මාලිගාවට වැඩිය සේක. මුළු සෙනඟ උන් වහන්සේ වෙත පැමිණියහ. උන් වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළ සේක. 3 එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාරයේ හැසිරෙද්දී ම අසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා, 4 ”ගුරුදේවයෙනි, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලාගන්නා ලද්දී ය. 5 මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත; එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 6 ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. 7 ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, ”ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා 8 නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. 9 ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි. 10 ජේසුස් වහන්සේ කෙළින් සිට, ඈට කතා කොට, ”ස්ත්‍රිය, ඔව්හු කොහේ ද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්දැ”යි ඇසූ සේක. 11 ”ස්වාමීනි නැතැ”යි ඈ කීවා ය. ”මමත් ඔබට වරද නොතබමි; යන්න, මින්පසු තවත් පව් නොකරන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.
ලෝකාලෝකයාණෝ
12 යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක. 13 එවිට පරිසිවරු උන් වහන්සේට කතා කරමින්, ”ඔබ තමා ගැන ම සාක්ෂි දරන්නෙහි ය; ඒ නිසා ඔබේ සාක්ෂිය වලංගු නැතැ”යි කී හ. 14 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”මා ගැන ම මා සාක්ෂි දරන නමුදු, මාගේ සාක්ෂිය වලංගු ය; මන්ද මම කොතැනින් ආයෙම් ද, කොතැනට යන්නෙම් දැ යි දනිමි. එහෙත්, මා එන්නේ කොතැනින් ද; යන්නේ කොතැනට ද කියා ඔබ නොදන්නහු ය. 15 ඔබ මනුෂ්‍ය මිම්මෙන් විනිශ්චය කරන්නහු ය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි. 16 එහෙත් මා විනිශ්චය කළත්, මාගේ විනිශ්චය සැබෑ ය. මන්ද, මා විනිශ්චය කරන්නේ තනියම නොව, මා එවා වදාළ පියාණන් වහන්සේත් සමඟ ය. 17 ‘දෙදෙනෙකුගේ සාක්ෂිය වලංගු ය’යි ඔබේ ව්‍යවස්ථාවෙහි ලියා ඇත. 18 මම මා ගැන ම සාක්ෂි දරමි; මා එවා වදාළ පියාණන් වහන්සේ ද මා ගැන සාක්ෂි දරන සේකැ”යි වදාළ සේක. 19 එබැවින් ඔව්හු ”ඔබේ පියා කොහේ දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ මා හඳුනන්නේ නැත, මාගේ පියාණන් හඳුනන්නේත් නැත. ඔබ මා හඳුනන්නහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනනවා ඇතැ”යි වදාළ සේක.
20 උන් වහන්සේ මේ වචන වදාළේ දේව මාලිගාවේ උගන්වන අතර, පඬුරු ගබඩාවේ දී ය. එහෙත් කිසිවෙක් උන් වහන්සේ අල්ලා ගත්තේ නැත. මන්ද, උන් වහන්සේගේ නියමිත මොහොත ඒ තාක් නොපැමිණි බැවිනි.
මම දෙවියන් වහන්සේ ම ය
21 ජේසුස් වහන්සේ යළිත් ඔවුන්ට කතා කොට, ”මම ඉවත් ව යමි. ඔබ මා සොයන්නහු ය. එහෙත් ඔබ ඔබේ පාපයෙහි මැරෙන්නහු ය. මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය”යි වදාළ සේක. 22 එවිට ජුදෙව්වරු, ” ‘ මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය’යි මොහු කියන්නේ සිය පණ හානි කරගන්නට යන නිසා වත් දැ”යි ඇසූ හ. 23 එබැවින් උන් වහන්සේ, කතා කොට, ”ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි. 24 ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය”යි වදාළ සේක. 25 එබැවින් ඔව්හු, ”ඔබ කවරහු දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා ඔබට කී පරිදි, මම මුල සිට ම ඔබට කී තැනැත්තා ම ය. 26 ඔබ ගැන කියන්නටත් විනිශ්චය කරන්නටත් බොහෝ දේ මට ඇත. එහෙත් මා එවා වදාළ තැනැන් වහන්සේ සත්‍යය බැවින් උන් වහන්සේගෙන් මා ඇසූ දේ මම ලෝකයාට ප්‍රකාශ කරමි”යි වදාළ සේක.
27 උන් වහන්සේ පියාණන් වහන්සේ ගැන කතා කළ බව ඔවුන්ට අවබෝධ නො වී ය. 28 එබැවින් ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවා ලූ කල මා උන් වහන්සේ ම බවත්, පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස, මාගේ ම අධිකාරිත්වයෙන් මා කිසිවක් නොකරන බවත්, ඔබට අවබෝධ වනු ඇත. 29 මා එවා වදාළ තැනැන් වහන්සේ මා සමඟ වැඩ වසන සේක. උන් වහන්සේ මා තනි වෙන්නට නොහැරිය සේක. මන්ද, මා නිරතුරු උන් වහන්සේට ප්‍රිය මනාප දේ කරන බැවිනි”යි වදාළ සේක. 30 උන් වහන්සේ මෙසේ කතා කරන අතර, බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.
විමුක්තිදායක සත්‍යය
31 එබැවින්, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය; 32 ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය”යි වදාළ සේක. 33 ඔව්හු පිළිතුරු දෙමින්, ”අපි ආබ්‍රහම්ගේ වංශයෙන් වම්හ; කිසි කලෙක කිසිවෙකුට අපි වහල් නොවීමු. එබැවින් ‘අප නිදහස් වනු ඇත’ කියා ඔබ කියන්නේ කෙසේ දැ”යි ඇසූ හ.
34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි. 35 වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. 36 එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම්, ඔබ සැබැවින් ම නිදහස් ය. 37 ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන බව මම දනිමි. එසේ වුව ද, ඔබ තුළ මාගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නහු ය. 38 මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි; ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.
39 ”අපේ පියාණෝ ආබ්‍රහම් ය”යි ඔව්හු උන් වහන්සේට පිළිතුරු දුන්හ. උන් වහන්සේ ද, ”ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත. 40 එසේ වුව ද, දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍යය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නහු ය. ආබ්‍රහම් නම් එසේ කෙළේ නැත. 41 ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියා ය”යි වදාළ සේක. එවිට ඔව්හු; ”අපි අවජාතක දරුවෝ නොවෙමු. අපට ඇත්තේ එක ම පියෙකි; එනම්, දෙවියන් වහන්සේ ම ය”යි කී හ. 42 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද, මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේ ම කැමැත්තෙන් මා පැමිණියා නොව, උන් වහන්සේ මා එවා වදාළ සේක. 43 මා කියන දේ ඔබට අවබෝධ නොවන්නේ මන් ද? මාගේ දහම තේරුම් ගැනීමට ඔබ අපොහොසත් බැවිනි. 44 ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය. මුල සිට ම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියා ය. 45 මා ඔබට සත්‍යය පවසන බැවින් ඔබ මා විශ්වාස නොකරන්නහු ය. 46 පාපය ගැන මට විරුද්ධ ව චෝදනා කළ හැක්කේ ඔබ අතුරෙන් කවරෙකුට ද? මම සත්‍යය පවසන්නෙම් නම්, ඔබ මා විශ්වාස නොකරන්නේ මන් ද? 47 දෙවියන් වහන්සේගෙන් පැවතෙන තැනැත්තේ දෙවියන් වහන්සේගේ වචන අසයි. ඔබ සවන් නොදෙන්නේ ඔබ දෙවියන් වහන්සේගෙන් නොවන බැවිනැ”යි වදාළ සේක.
ආබ්‍රහම්ට පළමුවෙන් මම වීමි
48 ජුදෙව්වරු උත්තර දෙමින්, ”ඔබ සමාරියයෙකු බවත්, ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බවත් අප කියන විට එය ඇත්ත නොවේ දැ”යි ඇසූ හ. 49 උන් වහන්සේ එයට පිළිතුරු දෙමින්, ”මට දුෂ්ටාත්මයක් ආවේශ වී නැත. මා ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේට ය. එහෙත් ඔබ මට අගෞරව කරන්නහු ය. 50 එසේ වුව ද, මම මාගේ ම ගෞරවය නොසොයමි. එය සොයන, විනිශ්චය කරන, කෙනෙක් සිටිති. 51 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම්, ඔහු කිසි කලෙක මරණය නොදකින්නේ ය”යි වදාළ සේක.
52 ජුදෙව්වරු කතා කරමින්, ”ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බව දැන් අපි දනිමු. ආබ්‍රහම් මියගියේ ය; දිවැසිවරයෝ ද මියගියහ. එහෙත් ඔබ, ‘යමෙක් මාගේ ධර්මය පිළිගන්නේ නම්, ඔහු කිසි කලෙක නොමැරෙන්නේ ය’යි කියන්නෙහි ය. 53 මියගියා වූ අපේ පිය වූ ආබ්‍රහම්ට වඩා ඔබ උතුම් ද? දිවැසිවරයෝ පවා මියගියහ. ඔබ කවරෙකු කියා සිතන්නෙහි දැ”යි ඇසූ හ.
54 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මම මට ම ගෞරව කරන්නේ නම්, මාගේ ගෞරවයෙහි වැදගැම්මක් නැත. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේ ය. ඔබේ දෙවියන් වහන්සේ යයි ඔබ කියන්නේ උන් වහන්සේ ගැන ම ය. 55 ඔබ උන් වහන්සේ නොහඳුනන්නහු ය. එහෙත් මම උන් වහන්සේ හඳුනමි. මම උන් වහන්සේ නොහඳුනමි යි කීවොත්, මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. එහෙත් මම උන් වහන්සේ හඳුනමි; උන් වහන්සේගේ වචනය ද පිළිපදිමි. 56 ඔබේ පිය වූ ආබ්‍රහම් මාගේ පැමිණීමේ දවස දැකීමට පුල පුලා සිටියේ ය. ඔහු එය දැක ප්‍රීති වී ය”යි වදාළ සේක. 57 ජුදෙව්වරු පිළිතුරු දෙමින්, ”තව ම වයස අවුරුදු පණහක් වත් නැති ඔබ ආබ්‍රහම් දුටුවේ කෙසේ දැ”යි ඇසූ හ. 58 ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි”යි උන් වහන්සේ වදාළ සේක.
59 ඔව්හු උන් වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්හ. එහෙත් ජේසුස් වහන්සේ රහසිගත ව, දේව මාලිගාවෙන් පිට වී ගිය සේක.
– 9 වන පරිච්ඡේදය –
ජාත්‍යන්ධයෙකු සුවපත් කිරීම
1 උන් වහන්සේ වඩිනා කල්හි, උපන් දා සිට අන්ධ වූ මිනිසෙකු දුටු සේක. 2 ”ගුරුදේවයෙනි, මොහු අන්ධ ව ඉපදුණේ මොහු හෝ මොහුගේ දෙමවුපියන් හෝ පව් කළ නිසා දැ”යි ශ්‍රාවකයෝ උන් වහන්සේගෙන් ඇසූ හ. 3 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මොහු අන්ධ ව ඉපදුණේ මොහු වත් මොහුගේ දෙමවුපියන් වත් පව් කළ නිසා නොව; දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන පිණිස ය. 4 දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්‍රියා අප විසින් කළ යුතු ය. රාත්‍රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි ය. 5 මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක.
6 මෙසේ කියමින් උන් වහන්සේ බිමට කෙළ පිඬක් ගසා, එයින් මඬ සාදා, ඔහුගේ නෙත්වල ගල්වා, 7 ”ගොස් සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ”යි වදාළ සේක. (සිලෝවම් යන්නෙහි අර්ථය ‘එවන ලද්දේ ය’ යනු යි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආපසු පැමිණියේ ය.
8 අසල්වාසීහු ද, පෙර ඔහු සිඟනු දුටු අය ද, ”මේ, අර හිඳගෙන සිඟා කෑ මිනිසා නොවේ දැ”යි ඇසූ හ. 9 ”මේ ඔහු ම ය”යි සමහරු කී හ. ”නැත, ඔහු නොවේ, ඔහුට සමාන අන් අයෙකැ”යි වෙනත් අය, කී හ. එහෙත්, ”මම ඒ මිනිසා ම ය”යි ඔහු කී ය. 10 ”එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කෙසේ දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ. 11 ඔහු පිළිතුරු දෙමින්, ”ජේසුස් නම් කෙනෙක් මඬ සාදා මගේ ඇස්වල ගල්වා, ‘සිලෝවම් පොකුණට ගොස් සෝදාගන්නැ’යි මට කී හ. මම ගොස් සෝදාගෙන පෙනීම ලබාගතිමි”යි කී ය. 12 ”ඒ තැනැත්තා කොහේ දැ”යි ඔව්හු ඇසූ හ. ”මම නො දනිමි”යි ඔහු කී ය.
අන්ධයාගේ සුවය ගැන වගවිභාගය
13 ඔව්හු කලින් අන්ධ ව සිටි ඒ තැනැත්තා පරිසිවරුන් වෙතට ගෙන ගියහ. 14 ජේසුස් වහන්සේ මඬ පිඬක් සාදා ඔහුගේ ඇස් පෑදුවේ සබත් දවසක දී ය. 15 එබැවින් ඔහුට පෙනීම ලැබුණේ කොහොම දැ යි නැවතත් පරිසිවරු ඔහුගෙන් ඇසූ හ. ඔහු පිළිතුරු දෙමින්, ”උන් වහන්සේ මාගේ ඇස්වල මඬ ගැල්වූ සේක: මම සෝදාගතිමි; එවිට පෙනීම ලදිමි”යි කී ය.
16 එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්, ”ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණියෙක් නොවේ ය”යි කී හ. එහෙත් අන් සමහරෙක්, ”පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කම් කළ හැක්කේ කෙසේ දැ”යි ඇසූ හ. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය. 17 එබැවින් ඔව්හු නැවතත් අන්ධයාට කතා කොට, ”නුඹේ ඇස් පෑදුවේ ඒ මිනිසා නම්, ඔහු ගැන නුඹේ අදහස කුමක් දැ”යි ඇසූ හ. ”ඔහු නම් දිවැසිචරයෙකැ”යි හෙතෙම පිළිතුරු දුන්නේ ය.
18 ඔහු අන්ධ ව සිටි බවත්, පසුව පෙනීම ලැබූ බවත්, පෙනීම ලැබූ මිනිසාගේ දෙමවුපියන් කැඳවා විමසන තුරු විශ්වාස කිරීමට ජුදෙව්වරු මැළි වූ හ. 19 ”මේ මිනිසා ඔබේ පුතා ද? ඇත්තට ම ඔහු අන්ධ ව උපන්නේ ද? එසේ නම් දැන් ඔහුට පෙනෙන්නේ කෙසේ දැ”යි ඔව්හු දෙමවුපියන්ගෙන් ප්‍රශ්න කළහ. 20 ඔහුගේ මවුපියෝ පිළිතුරු දෙමින්, ”මේ අපගේ පුත්‍රයා බව අපි දනිමු, ඔහු අන්ධ ව උපන් බවත් අපි දනිමු. 21 එහෙත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ යි අපි නොදනිමු. ඔහුගේ ඇස් පෑදුවේ කවරෙක් ද කියාත් අපි නොදනිමු. ඔහුගෙන් ම අසන්න; දැන් ඔහු තේරෙන වයසැති කෙනෙකි. තමා ගැන ම කතා කරන්නට ඔහුට පුළුවනැ”යි කී හ. 22 ඔහුගේ දෙමවුපියන් මෙසේ කීවේ ජුදෙව්වරුන්ට බියෙනි. මන්ද, ‘යමෙක් උන් වහන්සේ ක්‍රිස්තුවරයාණෝ යයි ඒත්තුගන්නේ නම් ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමිය යුතු ය’යි ජුදෙව්වරුන් නියම කරගෙන සිටි හෙයිනි. 23 ඒ නිසා ඔහුගේ මවුපියෝ, ”ඔහු තේරෙන වයසැති කෙනෙකි; ඔහුගෙන් අසන්නැ”යි කී හ.
24 ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා, ”දෙවියන් වහන්සේ ඉදිරියේ eඇත්ත කියන්න; මේ මිනිසා නම් පව්කාරයෙකු බව අපි දනිමු”යයි කී හ. 25 එවිට ඔහු පිළිතුරු දෙමින්, ”ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි, දැන් මට පෙනේ” යයි කී ය. 26 එවිට ඔව්හු, ”ඔහු ඔබට කුමක් කෙළේ ද? ඔබේ ඇස් පැහැදුවේ කොහොම දැ”යි ඔහුගෙන් ඇසූ හ. 27 ඔහු පිළිතුරු දෙමින්, ”මම කලින් ඔබට කීවෙමි, එහෙත් ඔබ මගේ කීම ඇසුවේ නැත. ඔබ එය නැවතත් අසන්නට තැත් කරන්නේ මන් ද? ඔබත් උන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන්නට අදහස් කරන නිසා වත් දැ”යි ඇසී ය.
28 ඔව්හු ඔහුට බැණවදිමින්, ”ඔබ යි ඔහුගේ ශ්‍රාවකයා; අපි නම් මෝසෙස්ගේ ශ්‍රාවකයෝ වම්හ. 29 දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ බව අපි දනිමු. එහෙත් මේ මිනිසා ගැන නම්, මොහු කොහෙන් වී දැ යි අපි නොදනිමු”යි කී හ.
30 ඒ මිනිසා පිළිතුරු දෙමින්, ”මෙය මහ පුදුමයක්! ඔහු කොතැනින් ආවේ දැ යි ඔබ නොදන්නහු ය; එහෙත් මාගේ ඇස් පෑදුවේ ඔහු ය. 31 දෙවියන් වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත්, දේව භක්තිය ඇති, දේව කැමැත්ත කරන, යමෙකු ඇත්නම් ඔහුගේ බස් අසන බවත් අපි දනිමු. 32 යම් කිසිවෙකු අන්ධ ව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් ඇසූ දෙයක් නොවේ. 33 මේ තැනැත්තා දෙවියන් වහන්සේ වෙතින් නොපැමිණියෙක් නම් කිසිවක් කරන්නට ඔහුට නොහැකි ය”යි කී ය. 34 ඔව්හු පිළිතුරු දෙමින්, ”උපන් දා සිට ම පාපයේ සිටින ඔබ අපට උගන්වන්නට එන්නෙහි දැ”යි කියා ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමූ හ.
ආධ්‍යාත්මික අන්ධකම
35 ඔවුන් ඒ මිනිසා නෙරපාදැමූ බව ජේසුස් වහන්සේට ආරංචි වී, ඔහු හමු වූ පසු, ”ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් අදහන්නෙහි දැ”යි ඇසූ සේක. 36 ”ස්වාමීනි, ඒ කවරෙක් ද? එතුමා අදහාගන්න පිණිස මට කියන්නැ”යි ඔහු යැදී ය. 37 ”ඔබ එතුමා දැක ඇත; දැන් ඔබ සමඟ කතා කරන තැනැත්තේ එතුමා ය”යි පිළිතුරු දුන් සේක. 38 ඔහු ද, ”ස්වාමීනි, මම අදහමි”යි කියා පසඟ පිහිටුවා උන් වහන්සේට වැන්දේ ය.
39 ජේසුස් වහන්සේ කතා කොට: ”මා මෙලොවට වැඩියේ විනිශ්චය සඳහා ය. එයින්, පෙනීම නැත්තන්ට පෙනීම ඇති වනු ඇත, පෙනීම ඇත්තන්ට පෙනීම නැති වනු ඇතැ”යි වදාළ සේක.
40 උන් වහන්සේ සමඟ සිටි පරිසිවරුන්ගෙන් ඇතැමෙක් එය අසා, ”අපිත් අන්ධයෝ දැ?”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 41 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ අන්ධ ව සිටියා නම් ඔබට පාපයක් නැත. එහෙත් දැන් ‘අපට පෙනේ ය’යි ඔබ කියන නිසා ඔබේ පාපය එසේ ම පවතී ය”යි ඔවුන්ට වදාළ සේක.
– 10 වන පරිච්ඡේදය –
බැටළු ගාල පිළිබඳ උපමාව
1 ජේසුස් වහන්සේ කතා කරමින්, ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවී අන් තැනකින් නැඟී පැන එන්නා සොරෙක් ද කොල්ලකන්නෙක් ද වේ. 2 එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්නා බැටළුවන්ගේ එඬේරා ය. 3 දොරටු පාලයා ඔහුට දොර හරියි; බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේ ම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආ විට, 4 උන්ට පෙරටුව යයි; බැටළුවෝ ද ඔහුගේ කටහඬ අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති. 5 එහෙත් බැටළුවෝ අමුත්තෙකු පසුපස්සේ නොයති; එපමණක් නොව, ඔහු වෙතින් පලා යති. මන්ද, උන් අමුත්තන්ගේ කටහඬ නාඳුනන බැවිනි”යි වදාළ සේක.
6 ජේසුස් වහන්සේ මේ උපමාව ඔවුන්ට වදාළ නමුත්, එයින් කුමක් අදහස් කළ සේක් දැ යි ඔව්හු තේරුම් නොගත්හ.
යහපත් එඬේරාණෝ
7 එහෙයින්, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා, ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි. බැටළුවන්ට දොරටුව මම ය. 8 මට පළමුව ආ සියල්ලෝ ම සොරු ද කොල්ලකන්නෝ ද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්හ. 9 දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය. 10 සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය.
11 ”යහපත් එඬේරා මම වෙමි. යහපත් එඬේරා, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය. 12 එඬේරෙකු නොවන, එසේ ම බැටළුවන්ගේ අයිතිකාරයා ද නොවන කුලීකාරයා, වෘකයා එනු දැක බැටළුවන් හැරදමා පලා යන්නේ ය. වෘකයා ද උන් වෙත කඩා පැන විසුරුවා හරින්නේ ය. 13 ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයෙකු වන නිසාත්, බැටළුවන් ගැන සැලකිල්ලක් ඔහුට නැති නිසාත් ය.
14 ”යහපත් බැටළු එඬේරා මම වෙමි; මම මගේ බැටළුවන් අඳුනමි; ඔව්හු ද මා අඳුනති. 15 පියාණන් වහන්සේ මා ද, මා පියාණන් වහන්සේ ද අඳුනන්නාක් මෙන්, මම මාගේ බැටළුවන් අඳුනමි. බැටළුවන් උදෙසා මාගේ දිවි පුදමි. 16 තවද, මේ රැළට අයිති නොවූ අන් බැටළුවෝ ද මට ඇත්තාහ. මා ඔවුන් ද ගෙන ආ යුතු ය. ඔව්හු මාගේ හඬට ඇහුම්කන් දෙති. මෙසේ එක රැළක් ද එක එඬේරෙක් ද වන්නාහ.
17 ”මා පියාණන් මට ප්‍රේම කරන්නේ, මා නැවත ලබන පිණිස මාගේ දිවි පුදන බැවිනි. 18 කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි. එය පුදන්නට මට බලය තිබේ. එය යළි ලබන්නට ද මට බලය තිබේ. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි”යි වදාළ සේක.
19 මේ වදන් නිසා ජුදෙව්වරුන් අතර නැවත භේදයක් හටගත්තේ ය. 20 ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, ”ඔහුට දුෂ්ටාත්මයක් වැහී ඇත; සිහිවිකල වී ඇත; ඔහුට කන්දෙන්නේ කුමට දැ”යි කී හ. 21 ”මේවා දුෂ්ටාත්මාවේශ වූවකුගේ කීම් නොවේ; අන්ධයන්ගේ ඇස් පහදන්නට දුෂ්ටාත්මයකට පුළුවන් දැ”යි සෙසු අය කී හ.
ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැබීම
22 එකල ජෙරුසලමේ, කැප කිරීමේ මංගල්‍යය පවත්වනු ලැබී ය. 23 ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක. 24 එබැවින් ජුදෙව්වරු පැමිණ උන් වහන්සේ වටකරගෙන, ”ඔබ කොතෙක් කල් අප සැක පිට තබන සේක් ද? ඔබ ක්‍රිස්තුවරයාණෝ නම් පැහැදිලි ලෙස අපට කිව මැනවැ”යි කී හ.
25 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”ඔබට මම කීවෙමි; එහෙත් ඔබ විශ්වාස නොකරන්නහු ය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝ ම මා ගැන සාක්ෂි දෙති. 26 එහෙත්, ඔබ මාගේ බැටළුවන් නොවන බැවින්, මා විශ්වාස නොකරන්නහු ය. 27 මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති. 28 මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති. 29 ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය. 30 මාත් මාගේ පියාණන් වහන්සේත් එක ම ය”යි වදාළ සේක.
31 උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ. 32 එවිට ජේසුස් වහන්සේ කතා කොට, ”පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නහු දැ”යි ඇසූ සේක. 33 ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්, ”අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය”යි කී හ.
34 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ” ‘ඔබ දෙවිවරු ය’යි කීමි යි ඔබේ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේ ද? 35 එය ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන්ට දෙවිවරු යයි උන් වහන්සේ වදාළ සේක. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි ය. 36 එසේ නම්, දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා’යි කී නිසා, ‘ඔබ දේවාපහාස කරන්නෙහි ය’යි මා ගැන කියන්නහු ද? 37 මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරම් නම්, මා විශ්වාස නොකරන්න. 38 එහෙත් මම ඒවා කරම් නම්, ඔබ මා විශ්වාස නොකරතත්, මාගේ ක්‍රියා විශ්වාස කර පියාණන් වහන්සේ මා තුළ ද, මා පියාණන් වහන්සේ තුළ ද සිටින බව අවසාන වශයෙන් දැනගන්නැ”යි වදාළ සේක.
39 නැවතත් ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. එහෙත් උන් වහන්සේ ඔවුන් අතින් මිදී ගිය සේක.
40 උන් වහන්සේ ජොර්දානෙන් එගොඩ ජොහන් පළමුවෙන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ස්ථානයට යළිත් ගොස්, එහි නැවතී සිටි සේක. 41 බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙතට පැමිණ: ”ජොහන් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජොහන් කී සියල්ල ම සැබෑ ය”යි කී හ. 42 එහි දී බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.
– 11 වන පරිච්ඡේදය –
ලාසරස්ගේ මරණය
1 මරියා සහ ඇගේ සොහොයුරිය වූ මාර්තාගේ ගම වන බෙතානියෙහි ලාසරස් නම් එක්තරා මිනිසෙක් අසනීපයෙන් සිටියේ ය. 2 මේ මරියා වනාහි, සමිඳාණන් වහන්සේ සුවඳ විලේපනයෙන් ආලේප කර, සිය හිසකේවලින් උන් වහන්සේගේ පාද පිස දැමූ තැනැත්තිය ය. රෝගාතුර ව සිටි ලාසරස් ඇගේ සහෝදරයා ය. 3 එබැවින් ඒ සොහොයුරියෝ, ”ස්වාමීනි, ඔබගේ හිතමිතුරා අසනීපයෙන් සිටී ය”යි උන් වහන්සේට දන්වා යැවූ හ. 4 ඒ ඇසූ කල ජේසුස් වහන්සේ කතා කොට, ”මේ රෝගය මරණයෙන් කෙළවර වන්නක් නොවේ; මෙය දේව මහිමය සඳහා ය; මෙයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මහිමයට පමුණුවනු ලබන සේකැ”යි වදාළ සේක.
5 ජේසුස් වහන්සේ මාර්තාට ද ඇගේ සොහොයුරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක. 6 එහෙත් ඔහු අසනීපයෙන් සිටින බව උන් වහන්සේට සැළ වූ පසු, තමන් සිටි ස්ථානයෙහි ම දෙදිනක් නතර වී සිටි සේක. 7 ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් අමතා, ”අපි යළිත් ජුදා දේශයට යමු”යි වදාළ සේක. 8 ශ්‍රාවකයෝ ද, ”ගුරුදේවයෙනි, මේ ළඟ දී ජුදෙව්වරු ඔබට ගල් ගසන්නට මාන බැලූ හ. ඉදින් ඔබ නැවතත් එහි වඩින සේක් දැ”යි ඇසූ හ.
9 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”දිවා කාලයට දොළොස් පැයක් තිබෙනවා නොවේ ද? යමෙක් දවල් කාලයෙහි ඇවිදින්නේ නම්, මෙලොව එළිය ඔහුට පෙනෙන බැවින් ඔහු නොපැකිළෙයි. 10 එහෙත් යමෙක් රාත්‍රි කාලයෙහි ඇවිදින්නේ නම්, ඔහු තුළ එළිය නැති නිසා ඔහු පැකිළේ ය”යි පැවසූ ජේසුස් වහන්සේ නැවතත් ඔවුන් අමතා, 11 ”අප හිතමිත්‍ර ලාසරස් සැතපී සිටියි; ඔහු පුබුදුවන පිණිස යන්නෙමි”යි වදාළ සේක.
12 එවිට ශ්‍රාවකයෝ කතා කොට, ”ස්වාමීනි, ඔහු සැතපී සිටී නම් ඔහුට සුව වනු ඇතැ”යි කී හ. 13 සැතපීම යන්නෙන් ජේසුස් වහන්සේ අදහස් කෙළේ ලාසරස්ගේ මරණය ය. එහෙත් ඔවුන් එය තේරුම්ගත්තේ නිදාගැන්ම යනුවෙනි. 14 එබැවින් ජේසුස් වහන්සේ පැහැදිලි ලෙස කතා කරමින්, ”ලාසරස් මියගොස් ඇත. 15 ඔබ විශ්වාස කරන පිණිස, ඔබගේ ම යහපත සඳහා, මා එහි නොසිටීම ගැන ප්‍රීති වෙමි. එසේ වී නමුත්, අපි ඔහු වෙතට යමු”යි වදාළ සේක. 16 ‘නිවුන්නා’ යයි නම් ලත් තෝමස් අනෙක් ශ්‍රාවකයන් අමතා, ”උන් වහන්සේ සමඟ නසින පිණිස අපිත් යමු”යි කී හ.
පුනරුජ්ජීවනය ද ජීවනය ද වන ජේසුස් වහන්සේ
17 ජේසුස් වහන්සේ වැඩම කළ විට, ලාසරස් සොහොන් ගෙයි තබා එදිනට දින සතරක් වූ බව දැනගත් සේක. 18 බෙතානිය ජෙරුසලමට ආසන්න ය; දුර කිලෝමීටර් තුනක් පමණ ය. 19 මාර්තාගේ හා මරියාගේ සහෝදරයාගේ මරණය ගැන අසා, ඔවුන් සනසන පිණිස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. 20 ජේසුස් වහන්සේ වඩින බව මාර්තාට ආරංචි වූ විට, ඈ උන් වහන්සේ හමුවන්නට පෙරමඟට ගියා ය. එහෙත් මරියා ගෙදර නැවතී සිටියා ය.
21 මාර්තා කතා කරමින්, ”ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත. 22 දැන් වුවත් ඔබ දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, දෙවියන් වහන්සේ ඔබට එය දෙන බව මම දනිමි”යි කීවා ය. 23 ”ඔබේ සහෝදරයා නැවත නැඟිටින්නේ ය”යි ජේසුස් වහන්සේ ඇයට වදාළ සේක. 24 මාර්තා පිළිතුරු දෙමින්, ”අන්තිම දවසේ, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි”යි කීවා ය.
25 ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය; 26 ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.
27 ඈ පිළිතුරු දෙමින්, ”ඔබ ක්‍රිස්තුවරයාණන් බවත්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි”යි කීවා ය.
ජේසුස් වහන්සේ දුක් වීම
28 මාර්තා මෙසේ පවසා, ගොස්, ඇගේ සොහොයුරිය වූ මරියා කැඳවා, ”ගුරුදේවයාණෝ වැඩම කර සිටිති; උන් වහන්සේ ඔබ කැඳවති”යි රහසින් කීවා ය. 29 ඈ ඒ අසා නැඟිට වහා ම උන් වහන්සේ වෙතට ගියා ය. 30 ඒ වන තුරු ජේසුස් වහන්සේ ගමට ඇතුළු නොවී, උන් වහන්සේට මාර්තා හමු වූ ස්ථානයෙහි ම නතර වී සිටි සේක. 31 එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටි ජුදෙව්වරු, ඈ විගස නැඟිට බැහැර යනු දැක, ඈ හඬන පිණිස සොහොන් ගේ ළඟට යන්නී යයි සිතා ඈ පස්සේ ගියහ.
32 මරියා ජේසුස් වහන්සේ සිටි තැනට අවුත්, උන් වහන්සේ දුටු කෙණෙහි පාමුල වැටී, ”ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැ”යි කීවා ය. 33 ජේසුස් වහන්සේ, ඈ ද ඈ සමඟ ආ ජුදෙව්වරුන් ද හඬනු දැක, සිතින් සුසුම්ලා කැළඹී, 34 ”ඔහු කොතැන තැන්පත් කළාහු දැ”යි ඇසූ සේක. ”ස්වාමීනි, ඇවිත් බැලුව මැනැවැ”යි ඔව්හු කී හ.
35 ජේසුස් වහන්සේ හැඬු සේක. 36 එබැවින් ජුදෙව්වරු, ”බලන්න, උන් වහන්සේ මොහුට ප්‍රේම කළ තරම ය”යි කී හ. 37 එහෙත් ඔවුන්ගෙන් සමහරෙක්, ”අන්ධයාගේ ඇස් පෑදුවේ උන් වහන්සේ නොවෙත් ද? එසේ නම්, මේ මිනිසාගේ මරණය වළක්වන්නට උන් වහන්සේට නොහැකි වී දැ”යි කී හ.
ලාසරස් මරණයෙන් උත්ථාන කිරීම
38 එවිට, නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැළඹී, සොහොන් ගේ ළඟට පැමිණි සේක. එය වනාහි ගල් ගුහාවකි. එහි කට ගලකින් වසා තිබිණි. 39 ”ගල ඉවත් කරන්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක. ”ස්වාමීනි, ඔහු මියගොස් සතර දිනකි, දැන් දුගඳත් ඇතැ”යි මළ තැනැත්තාගේ සොහොයුරියක වූ මාර්තා කීවා ය.
40 ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබට ඇදහිල්ල ඇත්නම් ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය අත්දකින බව මා කීවා නොවේ දැ”යි ඈට වදාළ සේක. 41 එවිට ඔව්හු ගල ඉවත් කළහ. ජේසුස් වහන්සේ ඇස් ඔසවා, ”පියාණෙනි, ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි. 42 සැමවිට ම ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අවට සිටින සමූහයා අදහාගන්න පිණිස ය”යි වදාළ සේක.
43 උන් වහන්සේ මෙසේ කියා, ”ලාසරස් පිටතට එන්නැ”යි මහ හඬින් වදාළ සේක. 44 මැරී සිටි තැනැත්තා පිටතට ආවේ ය; ඔහුගේ අත් පා රෙදි පටිවලින් වෙළා තිබුණේ ය; මුහුණ රෙදි කඩකින් ඔතා තිබුණේ ය. ”මොහුගේ බැමි ලිහා, යන්නට හරින්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක.
45 මරියා වෙතට ආ ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක උන් වහන්සේ අදහාගත්හ. 46 එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් පරිසිවරුන් වෙතට ගොස් ජේසුස් වහන්සේ කළ දේවල් ඔවුන්ට සැළ කළහ.
ජේසුස් වහන්සේ නැසීමේ කුමන්ත්‍රණය
(මතෙව් 26:1-5; මාක් 14:1-2; ලූක් 22:1-2)
47 එවිට නායක පූජකයෝ ද, පරිසිවරු ද ශ්‍රේෂ්ඨාධිකරණය රැස් කරවා, ”අපි කුමක් කරමු ද? මේ මිනිසා බොහෝ හාස්කම් කරයි. 48 අප ඔහුට මෙසේ ඉඩ හැරියොත්, සියල්ලන් ම ඔහු අදහාගනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ශුද්ධස්ථානයත්, අපේ ජාතියත් වනසනු ඇතැ”යි කී හ.
49 ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, ඒ අවුරුද්දේ උත්තම පූජකයා වූ කායාපස් කතා කොට, 50 ”ඔබ දන්නා දෙයක් නැත; මුළු ජාතියේ විනාශයට වඩා, ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැ”යි කී ය. 51 මෙය ඔහු ම හිතා කී දෙයක් නොවේ. ඒ වනාහි, ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයා ව සිටි බැවින්, ජේසුස් වහන්සේ ජාතිය උදෙසා ද, 52 ජාතිය උදෙසා පමණක් නොව, දෙවියන් වහන්සේගේ විසිරී ගිය දරුවන් එක්රැස් කරන පිණිස ද, දිවි පිදිය යුතු බවට ඔහු පැවසූ දිවැසි කීමකි. 53 එබැවින් එදා පටන් ඔව්හු උන් වහන්සේ මරන්නට කුමන්ත්‍රණය කළහ.
54 ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධියේ නොගැවසී, එයින් ඉවත් ව පාළුකරයට යාබද පෙදෙසෙහි, එප්‍රායිම් නම් නුවරට වැඩම කර ශ්‍රාවකයන් සමඟ එහි නැවතී සිටි සේක.
55 එකල ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළං ව තිබිණි. මංගල්‍යයට තම තමන් පවිත්‍ර කරගන්නා පිණිස බොහෝ දෙනෙක් පිටිසරින් නික්ම ජෙරුසලමට ගියහ. 56 එවිට, ඔව්හු ජේසුස් වහන්සේ සොයමින් දේව මාලිගාවේ සිටිය දී, ”ඔබ කුමක් සිතන්නහු ද? ඔහු මංගල්‍යයට නෑවිත් සිටී දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. 57 උන් වහන්සේ සිටින තැන යමෙක් දනිතොත්, අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ බව දන්වන මෙන් නායක පූජකයන් හා පරිසිවරුන් විසින් අණ දී තිබිණි.
– 12 වන පරිච්ඡේදය –
බෙතානියේ දී ආලේප කරනු ලැබීම
(මතෙව් 26:6-13; මාක් 14:3-9)
1 ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පෙර, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් විසූ බෙතානියට වැඩම කළ සේක. 2 ඔව්හු උන් වහන්සේට එහි භෝජන සංග්‍රහයක් පිළියෙළ කළහ. මාර්තා උපස්ථාන කළා ය; ලාසරස් උන් වහන්සේ සමඟ කෑමට හිඳගත් අයගෙන් කෙනෙකි. 3 එවිට මරියා ඉතා වටිනා සුවඳ විලවුන් ලීටර් භාගයක් රැගෙන, උන් වහන්සේගේ පාද ආලේප කොට, ඇගේ කෙස් කළඹින් පිසදැමුවා ය. එහි සුවඳින් ගෙය පිරීගියේ ය. 4 එවිට, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ, උන් වහන්සේ පාවා දීමට සිටි, ජූදස් ඉස්කාරියොත් කතා කොට, 5 ”මේ විලවුන් රිදී කාසි තුන් සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මන් දැ?”යි ඇසී ය. 6 ඔහු මෙසේ කීවේ දිළිඳුන් ගැන කැක්කුමක් තිබුණ නිසා නොව, ඔහු සොරෙකු වූ බැවිනි. පොදු මුදල් පසුම්බිය භාර ව සිටි ඔහු, එහි දමන ලද දේ සොරාගන්නට පුරුදු ව සිටියේ ය. 7 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඈට කරදර නොකරන්න. මා භූමදාන කරන දවස සඳහා ඈ එය තබාගත්තාවේ. 8 දිළින්දෝ නම් ඔබ සමඟ නිතර ම සිටිති; එහෙත් මම ඔබ සමඟ නිතර ම නොසිටිමි”යි වදාළ සේක.
ලාසරස් මරන්නට කුමන්ත්‍රණය
9 ජුදෙව්වරුන්ගෙන් මහා සමූහයක් ජේසුස් වහන්සේ එහි සිටින බව අසා උන් වහන්සේ දැකීමට පමණක් නොව, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් දැකීමට ද පැමිණියහ. 10 එබැවින්, ලාසරස් ද මරන්නට නායක පූජකයෝ කුමන්ත්‍රණය කළහ. 11 මන්ද, ඔහු නිසා ජුදෙව්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් අහක් ව ගොස් ජේසුස් වහන්සේ අදහාගත් නිසා ය.
රාජ තේජසින් ජෙරුසලමට ප්‍රවේශ වීම
(මතෙව් 21:1-11; මාක් 11:1-11; ලූක් 19:28-40)
12 පසුදා, මංගල්‍යයට පැමිණ සිටි මහා සමූහයක් ජේසුස් වහන්සේ ජෙරුසලමට වඩිනා සේකැ යි අසා, 13 තල් අතු රැගෙන:
”හෝසන්නා!
සමිඳාණන්ගේ නාමයෙන් වඩිනා තැනැන් වහන්සේට ආසිරි වේ වා!
ඉශ්රායෙල් රජු හට ආසිරි වේ වා!”යි
ඔල්වර හඬ නඟමින් උන් වහන්සේගේ පෙරමඟට පැමිණියහ.
14-15 ”සියොන් පුරඟන, බිය නොවන්න, මෙන්න!
ඔබේ රජ
කොටළු වස්සකු පිට නැඟ එන්නේ ය”යි ලියා තිබෙන ලෙස, උන් වහන්සේ කොටළු නාම්බෙකු සොයාගෙන ඌ පිට හිඳගත් සේක. 16 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ සිද්ධිය කලින් තේරුම් නොගත් නමුත්, ජේසුස් වහන්සේ මහිම ප්‍රාප්ත වූ විට, උන් වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවත්, සෙනඟ මේ සියල්ල උන් වහන්සේ උදෙසා කළ බවත් සිහි කළහ. 17 උන් වහන්සේ ලාසරස් සොහොන් ගෙයින් පිටතට කැඳවා, ඔහු මරණයෙන් උත්ථාන කළ අවස්ථාවේ දී උන් වහන්සේ සමඟ සිටි සමූහයා ඒ ගැන සාක්ෂි දැරූ හ. 18 සමූහයා උන් වහන්සේගේ පෙරමඟට ගියේ උන් වහන්සේ මේ හාස්කම කළ බව ඔවුන්ට සැළ වූ හෙයිනි. 19 එබැවින් පරිසිවරු ඔවුනොවුන් අතර කතා කරගනිමින්, ”අපට කිසිවක් නොකළ හැකි බව පෙනෙනවා නොවේ ද? බලන්න, මුළු ලෝකය ම ඔහු පසුපස්සේ ගොස් ඇතැ”යි කී හ.
ඇතැම් ග්‍රීකයෝ සමිඳුන් සොයති
20 මංගල්‍යයේ දී නමස්කාර කරන පිණිස ගියවුන් අතර, ග්‍රීකයෝ සමහර දෙනෙක් ද සිටියහ. 21 ඔව්හු, ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ, ”මහතාණෙනි, අපි ජේසුස් වහන්සේ දකින්නට කැමැත්තෙමු”යි කී හ. 22 පිලිප් එය ඇන්ඩෘට කී ය; ඇන්ඩෘ ද පිලිප් ද ජේසුස් වහන්සේට සැළ කළහ. 23 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පමුණුවනු ලබන නියමිත මොහොත පැමිණ තිබේ. 24 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, තිරිඟු බීජය පොළොවෙහි වැටී නොමළොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මළොත් සරු ලෙස පල දරයි. 25 තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනියි; මෙලොව තම ජීවිතයට ද්වේශ කරන්නා එය සදාතන ජීවනය සඳහා රැකගනියි. 26 යමෙක් මට සේවය කරන්නේ ද, ඔහු මා අනුගාමී විය යුතු යි. මම යම් තැනෙක සිටිම් ද මාගේ සේවකයා ද එහි ම සිටිනු ඇත. යමෙක් මට සේවය කරන්නේ ද මාගේ පියාණෝ ඔහුට ගෞරව කරන සේක.”
කුරුසිගත වීමේ අවශ්‍යතාව
27 ”දැන් මාගේ සිත කැළඹී ඇත; ඉදින් මම කුමක් කියම් ද? ‘පියාණෙනි, මේ මොහොතෙන් මා ගැළවුව මැනවැ’යි කියම් ද? නැත, මා මේ මොහොතට පැමිණියේ මේ උදෙසා ම ය. 28 පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණවුව මැනවැ”යි වදාළ සේක. එවිට, ”මම එය මහිමයට පැමිණවීමි, යළිත් මහිමයට පමුණුවන්නෙමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි. 29 එහි සිටි සමූහයා එය අසා, ”ගිගුරුමකැ”යි කී හ. ඇතැමෙක්, ”දේව දුතයෙක් උන් වහන්සේට කතා කෙළේ ය”යි කී හ. 30 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මේ හඬ පැමිණියේ මා උදෙසා නොව ඔබ උදෙසා ය. 31 මේ ලෝකය පිළිබඳ විනිශ්චය මොහොත දැන් ය; මේ ලෝකයේ අධිපතියා දැන් පරාජය කරනු ලැබේ. 32 තවද මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි”යි වදාළ සේක. 33 උන් වහන්සේ මෙසේ වදාළේ, තමන් වහන්සේ විඳින්නට යන්නේ කෙබඳු මරණයක් දැ යි හඟවන පිණිස ය.
34 සමූහයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, ” ‘ක්‍රිස්තුවරයාණෝ සදහට ම වැඩවසති’යි ව්‍යවස්ථාවලියෙන් අප අසා ඇත. එසේ නම් මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවනු ලැබිය යුතු යයි ඔබ කියන්නේ කෙසේ ද? මේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් දැ”යි ඇසූ හ. 35 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”තව මඳ කලක් ආලෝකය ඔබ අතර පවතිනු ඇත. අන්ධකාරය ඔබ ග්‍රහණය නොකරන පිණිස, ආලෝකය තිබිය දී ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ ඔහු යන්නේ කොහේ දැ යි නොදනී. 36 ඔබ ආලෝකයේ පුත්‍රයන් වන පිණිස ඒ ආලෝකය අදහාගන්නැ”යි වදාළ සේක. ජේසුස් වහන්සේ මෙසේ වදාළ පසු ඔවුන්ගෙන් වෙන් වී සැඟවී වැඩහුන් සේක.
ජුදෙව්වරුන්ගේ අවිශ්වාසය
37 උන් වහන්සේ ඔවුන් ඉදිරියේ එපමණ හාස්කම් සිදු කළ නමුදු, ඔවුන් උන් වහන්සේ අදහාගත්තේ නැත. 38 එසේ සිදුවූයේ:
”සමිඳාණෙනි, අපේ පුවත විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳාණන්ගේ බලය කවරෙකුට ප්‍රකාශ කරන ලද්දේ ද?”
යනුවෙන්, යෙසායා දිවැසිවරයා කී වචන ඉටු වන පිණිස ය. 39 ඒ නිසා ඔවුන්ට අදහාගත නොහැකි විය. මන්ද, යෙසායා නැවතත් මෙසේ කී ය:
40 ”උන් වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක.
සිත් දැඩි කළ සේක, එසේ කෙළේ, ඔවුන් ඇසින් නොදැක, සිතින් තේරුම් නොගෙන, මාගෙන් සුවය ලැබීමට මා වෙත නොහැරෙන පිණිස ය.”
41 යෙසායා මෙසේ කීවේ, ඔහු උන් වහන්සේගේ තේජශ්‍රීය දැක උන් වහන්සේ ගැන කතා කළ නිසා ය. 42 එසේ වුව ද, ප්‍රධානීන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ. එහෙත් තමන් ධර්මශාලාවෙන් නෙරපනු ලබති යි පරිසිවරුන්ට බියෙන් එය එළිපිට නොකී හ. 43 මන්ද, ඔව්හු දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවයට ඇලුම් වූ හ.
ධර්මය අනුව විනිශ්චය
44 එවිට ජේසුස් වහන්සේ මහ හඬින් කතා කරමින්, ”මා අදහන තැනැත්තේ, මා නොව, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගනියි. 45 එසේ ම මා දකින තැනැත්තේ, මා එවා වදාළ තැනැන් වහන්සේ දකියි. 46 මා ලෝකයට ආලෝකයක් ව වැඩියේ මා අදහන කවරෙකු නමුදු අන්ධකාරයෙහි නොවසන පිණිස ය. 47 තවද, යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නම්, මම ඔහු විනිශ්චය නොකරමි. මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ. 48 මා ප්‍රතික්ෂේප කර මාගේ වචන නොපිළිගන්නා අය විනිශ්චය කරන්නෙක් සිටියි. මා වදාළ ධර්මය ම අන්තිම දවසේ දී ඔහු විනිශ්චය කරන්නේ ය. 49 මන්ද, මම මාගේ ම අධිකාරී බලයෙන් කතා නොකෙළෙමි; මා එවා වදාළ පියාණන් වහන්සේ මා කිව යුතු දෙයත්, දෙසිය යුතු දෙයත් ගැන මට ආඥාවක් දී තිබේ. 50 උන් වහන්සේගේ ආඥාව සදාතන ජීවනය වන බව මම දනිමි. එබැවින් මා පවසන දේ, පියාණන් වහන්සේ මට පැවසූ ලෙසින් ම මමත් පවසමි”යි වදාළ සේක.
– 13 වන පරිච්ඡේදය –
ශ්‍රාවකයන්ගේ පාද සේදීම
1 තමන් මෙලොවින් ඉකුත් ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර, ජේසුස් වහන්සේ දැනගත් සේක. උන් වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළ සේක; අන්තිම දක්වා ම ඔවුන්ට ප්‍රේම කළ සේක.
2 රාත්‍රි භෝජනය වළඳන වේලාව පැමිණියේ ය. යක්ෂයා උන් වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිණි. 3 පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බව ද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බව ද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බව ද දැන, 4 රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක. 5 ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක. 6 උන් වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, ”ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ”යි ඔහු ඇසී ය. 7 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා කරන්නේ කුමක් දැ යි ඔබ දැන් නොදන්නෙහි ය; එහෙත් පසුව ඔබට වැටහෙනු ඇතැ”යි වදාළ සේක. 8 එවිට පේදුරු, ”මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා ඔබ නොසේදුවොත් මා සමඟ සම්බන්ධකමක් ඔබට නැතැ”යි ඔහුට වදාළ සේක. 9 එවිට සීමොන් පේදුරු, ”ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනවැ”යි කී ය. 10 ජේසුස් වහන්සේ ද, ”ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති”යි වදාළ සේක. 11 ”හැම කෙනෙක් ම පවිත්‍ර නොවෙති”යි උන් වහන්සේ වදාළේ, තමන් පාවා දෙන්නා කවරෙක් දැ යි දැන සිටි බැවිනි.
12 මෙසේ උන් වහන්සේ ඔවුන්ගේ පාද සෝදා, තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල, ඔවුන්ට මෙසේ වදාළ සේක: ”මා ඔබට කළ දේ කිමෙක් දැ යි ඔබ දන්නහු ද? 13 ‘ගුරුදේවයෙනි’, ‘ස්වාමීනි’ කියා ඔබ මා අමතන්නහු ය. එසේ කීම හරි ය; මම එසේ ම වෙමි. 14 ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙම් නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය. 15 මා ඔබට, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි. 16 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන් ම, යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ. 17 ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය. 18 මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැන ම නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. එහෙත්, ‘මාගේ භෝජන වළඳන තැනැත්තා මට විරුද්ධ ව නැඟී ඇත’ යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ය. 19 එය ඉටු වූ විට, මම උන් වහන්සේ ම යයි ඔබ විශ්වාස කරන පිණිස එය ඉටු වන්න පෙර දැන් පවසමි. 20 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි.”
පාවා දීම කලින් දැන්වීම
(මතෙව් 26:20-25; මාක් 14:17-21; ලූක් 22:21-23)
21 ජේසුස් වහන්සේ මෙසේ පවසා, බොහෝ සේ කැළඹී, ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ අතරෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි ප්‍රකාශ කළ සේක. 22 උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ. 23 ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරෙන් උන් වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන් වහන්සේගේ ළයට ළං ව හාන්සි වී සිටියේ ය. 24 එබැවින් සීමොන් පේදුරු ඔහුට සංඥා කොට, ”උන් වහන්සේ කවරෙකු අදහස් කළ සේක් දැ යි කිව මැනැවැ”යි ඔහුට කී ය. 25 ඔහු ද, සිටි ලෙස ම ජේසුස් වහන්සේගේ ළයට නැඹුරු වී, ”ස්වාමීනි, ඒ කවුරු දැ”යි ඇසී ය. 26 එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මම රොටි කෑල්ලක් පොඟවා යමෙකුට දෙම් ද, ඒ ඔහු ය”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ ඒ කෑල්ල පොඟවා සීමොන් ඉස්කාරියොත්ගේ පුත් ජූදස්ට දුන් සේක. 27 ඔහු ඒ කෑල්ල අතට ගත් විගස ඔහුට සාතන් ආවේශ විය. එවිට ජේසුස් වහන්සේ ඔහු අමතා, ”ඔබේ අදහස වහා ම ඉටු කරන්නැ”යි වදාළ සේක. 28 උන් වහන්සේ කුමක් නිසා මෙසේ වදාළ සේක් දැ යි කෑමට හිඳගත් අයගෙන් කිසිවෙක් තේරුම් නොගත්හ. 29 ජූදස් පොදු මුදල් පසුම්බිය භාර ව සිටි බැවින්, මංගල්‍යයට වුවමනා දේ මිල දී ගන්න කියා හෝ දිළිඳුන්ට යමක් දෙන්න කියා හෝ ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේකැ යි සමහරු සිතූ හ. 30 ඔහු ඒ රොටි කෑල්ල අතට ගත් පසු, නොපමා ව පිටතට ගියේ ය. එය රෑ කාලය වී ය.
අලුත් ආඥාව
31 ජූදස් පිටතට ගිය කල, ජේසුස් වහන්සේ කතා කොට, ”දැන් මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත. 32 එතුමාණන් තුළින් දෙවියන් වහන්සේ ද මහිමයට පැමිණි සේක් නම්, දෙවියන් වහන්සේ තමන් තුළින් ඔහු ද මහිමයට පමුණුවන සේක. එය වහා ම කරන සේක. 33 දරුවෙනි, මා ඔබ සමඟ සිටින්නේ තව ටික වේලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි: මා යන තැනට ඔබට පැමිණිය නොහැකි ය; 34 මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. 35 ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නහු නම්, එයින් ඔබ මාගේ ශ්‍රාවකයන් බව සියල්ලෝ දැනගනිති”යි වදාළ සේක.
පේදුරුගේ අපලාපය කලින් කීම
(මතෙව් 26:31-35; මාක් 14:27-31; ලූක් 22:31-34)
36 සීමොන් පේදුරු කතා කොට, ”ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ”යි ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා යන තැනට ඔබට දැන් පැමිණිය නොහැකි ය; එහෙත් පසුව ඔබ පැමිණෙනු ඇතැ”යි වදාළ සේක. 37 පේදුරු උන් වහන්සේ අමතා: ”ස්වාමීනි, දැන් ම ඔබ අනුව එන්න මට බැරි මන් ද? ඔබ නිසා මාගේ දිවි පුදමි”යි කී ය. 38 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ මා නිසා ඔබේ දිවි පුදන්නෙහි ද? ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, කුකුළා හඬලන්නට පෙර, ඔබ මා නොහඳුනති යි තුන් වරක් කියනු ඇතැ”යි වදාළ සේක.
– 14 වන පරිච්ඡේදය –
ස්වර්ග මාර්ගය
1 ”ඔබේ සිත් නොකැළඹේ වා! දෙවියන් වහන්සේ අදහාගන්නf මා ද අදහාගන්න. 2 මාගේ පියාණන් වහන්සේගේ නිවාසයෙහි වාසය කිරීමට ඉඩපහසු තැන් බොහෝ ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම් ද? ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි. 3 මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට, මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි. 4 මා යන ස්ථානයට මාර්ගය ඔබ දන්නහු ය”යි වදාළ සේක.
5 තෝමස් කතා කොට, ”ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ යි අපි නොදනිමු; එසේ නම් මාර්ගය දැනගන්නේ කෙසේ දැ”යි ඇසී ය. 6 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය. 7 ඔබ මා හඳුනන්නහු නම්, මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නහු ය. මෙතැන් පටන් ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය; උන් වහන්සේ දැක ඇතැ”යි වදාළ සේක.
8 පිලිප් කතා කොට, ”ස්වාමීනි, පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව; එය අපට හොඳට ම ඇතැ”යි උන් වහන්සේට කී ය. 9 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”පිලිප්, මෙපමණ කලක් මා ඔබ සමඟ විසූ නමුදු, තවමත් ඔබ මා හඳුනන්නේ නැද් ද? මා දුටු තැනැත්තේ, පියාණන් වහන්සේ දුටුවේ ය. එසේ නම්, ‘පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවැ’යි ඔබ කියන්නේ කෙසේ ද? 10 මා පියාණන් වහන්සේ තුළ ද පියාණන් වහන්සේ මා තුළ ද සිටින බව ඔබ විශ්වාස නොකරන්නෙහි ද? මා ඔබ හට වදාරන වචන මාගේ ම අධිකාරී බලයෙන් නොවදාරමි; පියාණන් වහන්සේ ම මා තුළ වැඩවසමින් ස්වකීය ක්‍රියා ඉටු කරන සේක. 11 මා පියාණන් වහන්සේ තුළ ද පියාණන් වහන්සේ මා තුළ ද සිටින බවට මාගේ වචනය විශ්වාස කරන්න; එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසා වත් මා විශ්වාස කරන්න.
12 ”ඒකාන්තයෙන් ම මම එසේ, ඔබට කියමි, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය. 13 පුත්‍රයා තුළ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි. 14 ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි.”
සහායදායකයාණන් එවීම ගැන පොරොන්දුව
15 ”ඔබ මට ප්‍රේම කරන්නහු නම්, ඔබ මාගේ ආඥා පිළිපදින්නහු ය. 16 එවිට මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි; උන් වහන්සේ ද ඔබ සමඟ සදහට ම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙන සේක. 17 ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක.
18 ”ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි, මම නැවත ඔබ වෙතට එන්නෙමි. 19 තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති. එහෙත් ඔබ මා දකින්නහු ය; කුමක් හෙයින් ද, මා ජීවත් වන නිසා ඔබත් ජීවත් වන බැවිනි. 20 ඒ දවසේ දී, මා පියාණන් වහන්සේ තුළ ද ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින බව ඔබ දැනගන්නහු ය.
21 ”මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේ ද, මට ප්‍රේම කරන්නේ ඔහු ය. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේ ද මාගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරන සේක. මම ද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි”යි වදාළ සේක.
22 ජූදස් ඉස්කාරියොත් නොවන අනෙක් ජූදස් උන් වහන්සේ අමතා: ”ස්වාමීනි, ඔබ වහන්සේ අපට එළිදරව් වී ලෝකයාට එළිදරව් නොවන්නේ කෙසේ දැ”යි ඇසී ය. 23 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ”යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු. 24 මට ප්‍රේම නොකරන්නා මාගේ ධර්මය නොපිළිපදියි. ඔබ අසන ධර්මය මාගේ නොව, මා එවා වදාළ පියාණන් වහන්සේගේ ධර්මය ය.
25 ”ඔබ සමඟ සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි. 26 එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයාණන් වහන්සේ, එනම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක.
27 ”ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි; මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නට වත් බිය වන්නට වත් ඉඩ නොදෙන්න. 28 මම ගොස් නැවත ඔබ වෙතට එමි යි මා ඔබට කී බව ඔබ ඇසුවාහු ය. ඔබ මට ප්‍රේම කළාහු නම් මා පියාණන් වහන්සේ වෙතට යන බැවින් ඔබ ප්‍රීති වන්නහු ය. මන්ද, පියාණන් වහන්සේ මට වඩා උතුම් ය. 29 ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණිස, එය සිදු වන්න පෙර, දැනට ම ඔබට කියා ඇත. 30 තවදුරටත් ඔබ සමඟ කතා කිරීමට නුපුළුවන. ලෝකයේ අධිපතියා එන්නේ ය. මා කෙරෙහි කිසි බලපුළුවන්කාරකමක් ඔහුට නැත. 31 එහෙත් මෙසේ වන්නේ මා පියාණන් වහන්සේට ප්‍රේම කරන බවත්, පියාණන් වහන්සේ මට අණ කළ ලෙස මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිස ය. නැඟිටින්න, අපි මෙතැනින් පිටත් ව යමු”යි වදාළ සේක.
– 15 වන පරිච්ඡේදය –
සැබෑ මිදි වැල
1 ”සැබෑ මිදි වැල මම ය; මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයාණෝ ය. 2 උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක. 3 මා ඔබට වදාළ දහම කරණකොටගෙන ඔබ දැනට ම පිරිසිදු ය. 4 මා තුළ සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම්, පල දැරීමට ඔබට නොහැකි ය.
5 ”මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය. 6 යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය. 7 ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ; 8 මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ, ඔබ බොහෝ සේ පල දරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන් ය. 9 පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් ම මම ද ඔබට ප්‍රේම කෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න. 10 මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය.
11 ”මේ දේවල් මා ඔබට ප්‍රකාශ කෙළේ, මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇති වන පිණිසත්, ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත් ය.
12 ”මාගේ ආඥාව නම්: ‘මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි. 13 යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. 14 මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය. 15 මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි; මන්ද, දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක් දැ යි නොදනියි. එහෙත්, මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල ම ඔබට දන්වා වදාළ බැවින්, මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි. 16 ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය. 17 මා ඔබට අණ කරන දේ මේ ය: එකිනෙකාට ප්‍රේම කරන්න.”
ලෝකයාගේ ද්වේෂය
18 ”ලෝකයා ඔබට ද්වේෂ කරත් නම්, ඔබට පෙර මටත් ද්වේෂ කළ බව දැනගන්න. 19 ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති. 20 ‘දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවේ ය’යි මා ඔබට වදාළ වචනය සිහි කරන්න. ඔව්හු මට පීඩා කළෝ නම්, ඔබටත් පීඩා කරන්නෝ ය; මාගේ වචනය පිළිපැද්දෝ නම්, ඔබගේ වචනයත් පිළිපදින්නෝ ය. 21 එහෙත් ඔවුන්, මා එවා වදාළ උන් වහන්සේ ව නාඳුනන බැවින්, මාගේ නාමය නිසා මේ සියල්ල ඔවුන් ඔබට කරනු ඇත. 22 මම පැමිණ ඔවුන්ට කතා නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. එහෙත්, දැන් ඔවුන්ගේ පාපය ගැන නිදහසට කරුණක් ඔවුන්ට නැත. 23 මට ද්වේෂ කරන්නා මාගේ පියාණන් වහන්සේටත්, ද්වේෂ කරන්නේ ය. 24 වෙන කිසිවෙකු කවදා වත් නොකළ මෙවැනි ක්‍රියා මම ඔවුන් අතර නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. එහෙත්, දැන් ඔව්හු ඒවා දැක දැකත්, මට ද මාගේ පියාණන් වහන්සේට ද ද්වේෂ කරති. 25 මෙසේ සිදු වන්නේ, ‘ඔව්හු හේතුවක් නැති ව මට ද්වේෂ කළහ’යි ඔවුන්ගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති වචනය ඉෂ්ට වන පිණිස ය.
26 ”මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන්, එනම්, පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක. 27 තවද, මුල සිට ම ඔබ මා සමඟ සිටි බැවින් ඔබත් සාක්ෂිකාරයෝ වන්නහු ය.
– 16 වන පරිච්ඡේදය –
1 ”මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණිස ය. 2 ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය. 3 ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි. 4 තවද, මා මේ දේවල් ඔබට කීවේ, ඒවා ඉටු වන කාලය පැමිණි විට, ඒවා ගැන මා කී බව ඔබට සිහි වන පිණිස ය.”
ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියා
”මේ දේවල් මුල සිට ම ඔබට නොකීවේ, මා ඔබ සමඟ සිටි බැවිනි. 5 එහෙත් දැන් මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි. එසේ වුව ද, ‘ඔබ කොහේ යන්නේ දැ’යි ඔබ අතරෙන් කිසිවෙක් මගෙන් නොඅසති. 6 එනමුත්, මා මේ දේවල් ඔබට කී බැවින්, ඔබේ සිත් දුකින් පිරී ඇත. 7 කෙසේ වෙතත් මම ඔබ හට සැබෑව පවසමි. මාගේ නික්ම යාම ඔබේ ශුභසිද්ධිය පිණිස ය. මා නික්ම නොගියොත් සහායදායකයාණන් වහන්සේ ඔබ වෙත වැඩම නොකරන සේක. එහෙත් මම යන්නෙම් නම්, උන් වහන්සේ ඔබ වෙත එවන්නෙමි.
8 උන් වහන්සේ පැමිණි කල, පාපය ගැන ද ධර්මිෂ්ඨකම ගැන ද විනිශ්චය ගැන ද ලෝකයාට වටහා දෙන සේක. 9 පාපය ගැන යයි කීවේ, ඔවුන් මා නොඅදහන බැවිනි; 10 ධර්මිෂ්ඨකම ගැන යයි කීවේ, මින්පසු ඔබ මා නොදකින සේ, මා පියාණන් වහන්සේ වෙතට යන බැවිනි. 11 විනිශ්චය ගැන යයි කීවේ, මේ ලෝකයේ අධිපතියා විනිශ්චය කරන ලද බැවිනි.
12 ”ඔබට කීමට තව බොහෝ දේ මට ඇත. එහෙත්, දැන් ඒවා දරාගැනීමට ඔබට නොහැකි ය. 13 එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන් වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. 14 උන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින්, මා මහිමයට පමුණුවන සේක. 15 පියාණන් සතු සියල්ල මාගේ ය. ආත්මයාණන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන සේකැ යි මා කීවේ එබැවිනි.”
දොම්නස සොම්නසට හැරේ
16 ”ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය”යි උන් වහන්සේ වදාළ සේක. 17 එබැවින් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් තම තමන් අතර කතා කරගනිමින්: ” ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය,’ කියා ද එයට හේතුව ‘මා පියාණන් වහන්සේ වෙතට යන නිසා ය’ කියා ද උන් වහන්සේ අපට වදාරන මේ කතාව කුමක් දැ”යි කී හ. 18 ”උන් වහන්සේ ‘ස්වල්ප වේලාවකැ’යි කියන මේ දේ කුමක් ද? උන් වහන්සේ කියන කතාව අපට නොතේරේ” යයි කී හ.
19 ඔවුන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට අදහස් කළ බව ජේසුස් වහන්සේ දැන, මෙසේ ඔවුන්ට වදාළ සේක: ” ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු’යි මා කී මේ කරුණ ගැන ඔබ එකිනෙකා විචාරන්නහු ද? 20 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ හඬා වැලපෙන්නහු ය; එහෙත් ලෝකයා ප්‍රීති වන්නාහ. ඔබ දොම්නස් වන නමුත් ඔබේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. 21 ස්ත්‍රියකට ප්‍රසව මොහොත පැමිණි කල, ඇගේ වේලාව පැමිණ තිබෙන බැවින් ඈට දුක් වේදනා ඇති වේ. එහෙත් ඈ දරුවා බිහි කළ පසු ලෝකයට දරුවෙක් උපන්නේ ය යන ප්‍රීතිය නිසා, වේදනාව අමතක කරන්නී ය. 22 එමෙන් ම ඔබ දැන් ශෝක වන්නහු ය. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. ඔබේ ප්‍රීතිය ද කිසිවෙක් ඔබෙන් පැහැර නොගනිති.
23 ”ඒ දවසේ දී ඔබ කිසි ප්‍රශ්නයක් මාගෙන් අසන්නේ නැත. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ ඒ දේ ඔබට දෙන සේක. 24 මේ වනතෙක් ඔබ මාගේ නාමයෙන් කිසිවක් ඉල්ලා නැත. ඉල්ලන්න, ඔබට ලැබේ; මෙසේ ඔබගේ ප්‍රීතිය පූර්ණ වන්නේ ය.”
මම ලෝකය ජයගතිමි
25 ”මේ දේවල් උපමා මඟින් මම ඔබට කීවෙමි. එහෙත් තවත් උපමා මඟින් කතා නොකර, පියාණන් වහන්සේ ගැන පැහැදිලි ලෙස ඔබට ප්‍රකාශ කරන කාලය පැමිණෙන්නේ ය. 26 ඒ දවසේ දී ඔබ මාගේ නාමයෙන් අයැදින්නහු ය. ඔබ උදෙසා පියාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි යි මම නොකියමි. 27 ඔබ මට ප්‍රේම කරන බැවින් ද මා පියාණන් වහන්සේ වෙතින් වැඩම කළ බව ඔබ විශ්වාස කරන බැවින් ද පියාණන් වහන්සේ ම ඔබට ප්‍රේම කරන සේක. 28 මම පියාණන් කෙරෙන් නික්ම ආවෙමි; ලෝකයට පැමිණ සිටිමි. මම නැවත ලෝකය අත්හැර පියාණන් වහන්සේ වෙතට යන්නෙමි”යි වදාළ සේක.
29 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, ”ආ, දැන් ඔබ උපමා මඟින් නොව, පැහැදිලි ලෙස කතා කරන සේක. 30 ඔබ සියල්ල දන්නා බව ද කිසිවෙකු ඔබගෙන් ප්‍රශ්න අසන්න නුවුවමනා බව ද දැන් අපි දනිමු. මෙයින්, ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණි බව අපි විශ්වාස කරමු”යි කී හ. 31 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ දැන් විශ්වාස කරන්නහු ද? 32 ඒ කෙසේ වෙතත් ඔබ මා තනි කරදමා, තම තමන්ගේ තැන්වලට විසුරුවනු ලබන පැය පැමිණෙන්නේ ය; දැනටමත් එය පැමිණ තිබේ. එසේ වුවත් පියාණන් වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනි නොවෙමි. 33 මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇති වන පිණිස ය. ලෝකයෙහි ඔබට දුක්ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න; මම ලෝකය අභිබවා ජයගතිමි”යි වදාළ සේක.
– 17 වන පරිච්ඡේදය –
ජේසුස් වහන්සේගේ උත්තම පූජක යාච්ඤාව
1 ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤා කළ සේක: ”පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව. 2 මන්ද, ඔබ විසින් පුත්‍රයාණන්ට දෙන ලද සියල්ලන් හට සදාතන ජීවනය දෙන පිණිස, සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආධිපත්‍යය ඔබ වහන්සේ පුත්‍රයාණන්ට දුන් සේක. 3 සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය. 4 ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සම්පූර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණිවීමි. 5 ඉතින් පියාණෙනි, ලොව ඇති වන්නට පෙර ඔබ හා සමඟ මට තිබුණු තේජශ්‍රීයෙන්, දැන් ඔබ ඉදිරියෙහි මා තේජශ්‍රීයට පැමිණෙව්ව මැනව.
6 ”ඔබ වහන්සේ ලෝකයෙන් වෙන් කොට මට දුන් මිනිසුන් හට ඔබගේ නාමය මම ප්‍රකාශ කෙළෙමි. ඔව්හු ඔබට අයිති වූ හ. ඔබ ඔවුන් මට දුන් සේක. ඔව්හු ඔබගේ දහම පිළිපැද්දාහ. 7 ඔබ මට දුන් සියල්ල ම ඔබගෙන් පැමිණි බව දැන් ඔව්හු දනිති. 8 මන්ද, ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි. ඔව්හු එය පිළිගෙන මා ඔබ වෙතින් පැමිණි බව සැබැවින් ම දැන, ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති.
9 ”මම ඔවුන් උදෙසා යාච්ඤා කරමි. ඔබ මට දුන් ඔවුන් උදෙසා මිස, ලෝකයා උදෙසා යාච්ඤා නොකරමි. මන්ද, ඔව්හු ඔබගේ ය. 10 මා සන්තක සියල්ල ඔබගේ ය; ඔබ සන්තක සියල්ල මාගේ ය. ඔවුන් තුළින් මම තේජශ්‍රීයට පැමිණ සිටිමි. 11 මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව. 12 මම ඔවුන් සමඟ සිටිය දී ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් මම ඔවුන් ආරක්ෂා කෙළෙමි. මම ඔවුන් රැකබලාගතිමි. ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ වන පිණිස, විනාශයේ පුත්‍රයා හැර අන් කිසිවෙක් විනාශ නොවූ හ. 13 එහෙත් දැන් මම ඔබ වෙතට එමි. මා ලෝකයෙහි දී මේ දේවල් ප්‍රකාශ කරන්නේ, මාගේ ප්‍රීතිය ඔවුන් තුළ සම්පූර්ණයෙන් ම ඇති වන පිණිස ය. 14 මම ඔවුන්ට ඔබගේ දහම දුනිමි. මා ලෝකයට අයිති නොවන සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නොවන බැවින්, ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ. 15 ඔබ ලෝකයෙන් ඔවුන් වෙන් කරන මෙන් මම යාච්ඤා නොකරමි; නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන මෙන් යාච්ඤා කරමි. 16 මා ලෝකයෙන් නොවන්නාක් මෙන් ම ඔව්හු ද ලෝකයෙන් නොවෙති. 17 සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය. 18 ඔබ මා ලෝකයට එවා වදාළාක් මෙන්, මම ද ඔවුන් ලෝකයට යැවීමි. 19 ඔවුන් සත්‍යයට කැප වන පිණිස, මම ඔවුන් උදෙසා කැප වෙමි.
20 ”මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා අදහාගන්නා අය ගැනත් යාච්ඤා කරමි. 21 පියාණෙනි, මා මෙසේ යාච්ඤා කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන්, ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් ය. 22 අප ඒකත්වයක් ව සිටින්නා සේ ම, ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් තේජශ්‍රීය මම ඔවුන්ට දුනිමි. 23 මෙසේ කෙළේ, මා ඔවුන් තුළ ද ඔබ මා තුළ ද සිටීමෙන්, ඔවුන් සම්පූර්ණ ලෙස ඒකත්වයට පැමිණෙන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ද, ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බව ද ලෝකයා දැනගන්නා පිණිසත් ය.
24 ”පියාණෙනි, ලෝකය මැවීමට පෙර ඔබ මට ප්‍රේම කළ නිසා මට පැවරූ තේජශ්‍රීය, ඔබ මට දුන් අය විසින් දකින පිණිස, මා සිටින තැන ඔවුනුත් සිටිනවාට කැමැත්තෙමි.
25 ”ධාර්මික පියාණෙනි, ලෝකයා ඔබ දැනගත්තේ නැත. එහෙත් මම ඔබ දැනගතිමි. තවද, ඔබ මා එවා වදාළ බව මොවුහු දනිති. 26 ඔබ මට දැක් වූ ප්‍රේමය ඔවුන් තුළ වන පිණිසත්, මා ද ඔවුන් තුළ වන පිණිසත්, ඔබගේ නාමය ඔවුන්ට දන්වා වදාළෙමි. තවත් දන්වා වදාරන්නෙමි.”
– 18 වන පරිච්ඡේදය –
ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබීම
(මතෙව් 26:47-56; මාක් 14:43-50; ලූක් 22:47-53)
1 ජේසුස් වහන්සේ යාච්ඤාව නිම කළ පසු, සිය ශ්‍රාවකයන් සමඟ කිද්‍රොන් ඇලෙන් එගොඩට වැඩිය සේක. එහි උයනක් විය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට පිවිසි සේක. 2 ද්‍රෝහියා වූ ජූදස් මේ ස්ථානය දැන සිටියේ ය. මන්ද, ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එහි නිතර ම රැස් වූ බැවිනි. 3 ජූදස් තෙමේ, නායක පූජකයන්ගෙන් ද පරිසිවරුන්ගෙන් ද භට කණ්ඩායමක් සහ මුර සේවකයන් කීප දෙනෙකුත් ලබාගෙන, පහන්, පන්දම් හා අවිආයුධ ඇති ව එතැනට පැමිණියේ ය. 4 තමන් වහන්සේට සිදුවන්නට යන සියලු දේ දැන සිටි ජේසුස් වහන්සේ, ඉදිරියට ගොස්, ”ඔබ කවරෙකු සොයන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 5 ඔව්හු පිළිතුරු දෙමින්: ”නාසරෙත්හි ජේසුස් ය”යි කී හ. ”ඒ මම ය”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ද්‍රෝහියා වූ ජූදස් ඔවුන් සමඟ සිටියේ ය. 6 ”ඒ මම” යයි ජේසුස් වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණාහ. 7 යළිත් උන් වහන්සේ, ”ඔබ කවරෙකු සොයන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. ”නාසරෙත්හි ජේසුස් ය”යි ඔව්හු කී හ. 8 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒ මම යයි ඔබට කීවෙමි; ඉදින් ඔබ මා සොයන්නහු නම්, මොවුන්ට යන්න දෙන්නැ”යි වදාළ සේක. 9 මෙසේ වූයේ: ‘ඔබ මට දුන් අයගෙන් එක් කෙනෙක් වත් නැති නොවී ය’යි උන් වහන්සේ කී වචන ඉෂ්ට වන පිණිස ය.
10 සීමොන් පේදුරු ළඟ කඩුවක් තිබිණි. ඔහු එය ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය. ඒ දාසයාගේ නම මල්කස් ය. 11 එවිට ජේසුස් වහන්සේ, ”කඩුව කොපුවේ දමන්න, පියාණන් වහන්සේ මට දී තිබෙන කුසලාන මම නොබොම් දැ”යි පේදුරුට වදාළ සේක.
උත්තම පූජකයා ඉදිරියේ
(මතෙව් 26:57-58; මාක් 14:53-54; ලූක් 22:54)
12 එකල භට කණ්ඩායම ද ඔවුන්ගේ මහා සේනාධිපතියා ද ජුදෙව්වරුන්ගේ මුර සේවකයෝ ද ජේසුස් වහන්සේ අල්ලා, බැඳගෙන 13 පළමුකොට අන්නස් වෙතට ගෙන ගියෝ ය. ඔහු ඒ වසරේ උත්තම පූජකයා ව සිටි කායාපස්ගේ මයිලණුවන් විය. 14 මේ කායාපස් වනාහි, ජනතාව වෙනුවෙන් එක් මිනිසෙකු මරණයට පත්වීම සුදුසු යයි ජුදෙව්වරුන්ට උපදෙස් දුන් තැනැත්තේ ය.
පේදුරුගේ අපලාපය
(මතෙව් 26:69-75; මාක් 14:66-72; ලූක් 22:56-62)
15 ජේසුස් වහන්සේ පසුපස්සේ සීමොන් පේදුරු ද තවත් ශ්‍රාවකයෙක් ද ගියහ. මේ ශ්‍රාවකයා, උත්තම පූජකයා දැන සිටි කෙනෙකු වූ බැවින්, ඔහු ජේසුස් වහන්සේ සමඟ උත්තම පූජකයාගේ මැදුරේ මහා මළුවට ඇතුළු විය. 16 පේදුරු දොර ළඟ පිටත සිටියේ ය. එවිට උත්තම පූජකයා දැන සිටි අනික් ශ්‍රාවකයා පිටතට ගොස් දොරටුපාලියට කතා කොට, පේදුරු ඇතුළතට ගෙනාවේ ය. 17 එවිට දොරටුපාලී, ”ඔබත් මේ මිනිසාගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඇසුවා ය. ”නැතැ”යි ඔහු පිළිතුරු දුනි.
18 එය ශීත කාලය වූයෙන්, දාසයෝ ද මුර සේවකයෝ ද අඟුරු දල්වා ගිනි තපිමින් සිටියෝ ය. පේදුරු ද ඔවුන් සමඟ ගිනි තපිමින් සිටියේ ය.
උත්තම පූජකයා ඉදිරියේ නඩු විභාගය
(මතෙව් 26:59-66; මාක් 14:55-64; ලූක් 22:66-71)
19 එවිට උත්තම පූජකයා, ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන ද උන් වහන්සේගේ ඉගැන්වීම ගැන ද ප්‍රශ්න කෙළේ ය. 20 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ”මම එළිපිට ම ලෝකයාට කතා කෙළෙමි: ජුදෙව්වරුන් සියලු දෙනා එක්රැස් වන ධර්මශාලාවලදීත් දේව මාලිගාවේදීත්, නිතර ම අනුශාසනා කෙළෙමි. රහසින් කිසිවක් නොකීවෙමි. 21 මාගෙන් විචාරන්නේ කුමක්නිසා ද? මා කී දේ ඇසූ අයගෙන්, මා ඔවුන්ට කීවේ කුමක් දැ යි ප්‍රශ්න කරන්න. මා කීවේ කුමක් දැ යි ඔව්හු දනිති”යි වදාළ සේක. 22 උන් වහන්සේ මෙසේ වදාළ විට, ළඟ සිටි මුර සේවකයන්ගෙන් කෙනෙක්: ”නුඹ උත්තම පූජකයාට උත්තර දෙන්නේ මෙලෙස ද?” කියා ජේසුස් වහන්සේට අතුල් පහරක් ගැසී ය. 23 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්: ”මා කී දෙයෙහි වරදක් ඇත්නම්, එය ඔප්පු කරන්න; නැත්නම් කුමක් නිසා මට පහර දෙන්නෙහි දැ”යි ඇසූ සේක.
24 ඒ ඇසූ අන්නස්, උන් වහන්සේ බැඳ සිටි ලෙස ම උත්තම පූජකයා වූ කායාපස් වෙතට යැවී ය.
පේදුරු යළිත් අපලාප කිරීම
(මතෙව් 26:71-75; මාක් 14:69-72; ලූක් 22:58-62)
25 සීමොන් පේදුරු ගිනි තපිමින් සිටියේ ය. එවිට සෙසු අය කතා කරමින්, ”නුඹත් ඔහුගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු: ”නැත, එසේ නොවේ ය”යි කී ය. 26 එවිට පේදුරු විසින් කන කපන ලද තැනැත්තාගේ ඥාතියෙකු වූ, උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක් කෙනෙක්: ”නුඹ ඔහු සමඟ උයනේ සිටිනවා මා දුටුවා නොවේ දැ”යි ඇසී ය. 27 පේදුරු යළිත් අපලාප කෙළේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය.
ජේසුස් වහන්සේ පිලාත් ඉදිරියේ සිටීම
(මතෙව් 27:1-2; 11-14; මාක් 15:1-5; ලූක් 23:1-5)
28 එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ. 29 එබැවින් පිලාත්, පිටත ඔවුන් සිටි තැනට පැමිණ, ”මේ මිනිසාට විරුද්ධ ව ඔබ ගෙනෙන චෝදනාව කුමක් දැ”යි ඇසී ය. 30 ඔව්හු පිළිතුරු දෙමින්, ”මේ මිනිසා අපරාධකාරයෙක් නොවේ නම්, අප ඔහු ඔබ අතට භාර දෙන්නේ නැතැ”යි කී හ. 31 පිලාත් ඔවුන්ට පිළිතුරු දෙමින්, ”ඔබ ම ඔහු ගෙනගොස් ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්නැ”යි කී ය. ජුදෙව්වරු පිළිතුරු දෙමින්, ”කිසිවෙකු මරණයට පත් කිරීමට අපට බලය නැතැ”යි කී හ. 32 මෙසේ වූයේ, ‘තමන් වහන්සේ කුමන ආකාරයක මරණයකින් මැරෙන සේක් දැ’යි දන්වමින් ජේසුස් වහන්සේ වදාළ වචන ඉෂ්ට වන පිණිස ය.
33 එබැවින් යළිත් රජවාසලට පිලාත් ඇතුළු වී, ජේසුස් වහන්සේ කැඳවා, ”නුඹ ජුදෙව්වරුන්ගේ රජ දැ”යි ඇසී ය. 34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්: ”මෙය ඔබ ම කියන දෙයක් ද, නැතහොත් අන් අය මා ගැන කී දෙයක් දැ”යි ඇසූ සේක. 35 පිලාත් පිළිතුරු දෙමින්, ”මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කෙළෙහි ද?”යි ඇසී ය. 36 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම්, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය”යි වදාළ සේක. 37 එවිට පිලාත්, ”එසේ නම්, නුඹ රජෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මම රජෙක් යයි ඔබ ම කියන්නෙහි ය. මා උපන්නේත්, ලොව පහළ වූයේත්, සත්‍යයට සාක්ෂි දරන පිණිස ය; සත්‍යයෙහි පිහිටි සියල්ලෝ මාගේ හඬ අසති”යි වදාළ සේක. 38 ”සත්‍යය කියන්නේ කුමක් දැ”යි පිලාත් උන් වහන්සේගෙන් ඇසී ය.
ජේසුස් වහන්සේට මරණීය දඬුවම
(මතෙව් 27:15-31; මාක් 15:6-20; ලූක් 23:13-25)
පිලාත් මෙසේ කියා යළිත් පිටත සිටි ජුදෙව්වරුන් වෙතට ගොස්, ”මොහු අත කිසි වරදක් මට නොපෙනේ. 39 පාස්කු මංගල්‍යයේ දී ඔබ හට එක් මිනිසෙකු මා විසින් නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර ඇත. එබැවින් ජුදෙව්වරුන්ගේ රජු ඔබ හට නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. 40 එවිට ඔව්හු නැවතත් මොරගසමින්, ”මේ මිනිසා නොවේ, බරබ්බස් නිදහස් කර දෙන්නැ”යි කී හ. බරබ්බස් වනාහි මංකොල්ලකාරයෙකි.
– 19 වන පරිච්ඡේදය –
1 ඉක්බිති පිලාත් ජේසුස් වහන්සේට කසවලින් තැළෙව්වේ ය. 2 හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන් වහන්සේගේ හිසෙහි තබා, නීල-රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා, 3 උන් වහන්සේ ළඟට පැමිණ, ”ජුදෙව් රජතුමෙනි, සැරදේ!” කියමින් උන් වහන්සේට අතුල් පහර දුන්හ.
4 යළිත් පිලාත් පිටතට ගොස්, ”මොහු අත කිසි වරදක් මට නොපෙනෙන බව ඔබ දැනගන්නා පිණිස, මෙන්න, මොහු ඔබ වෙතට ගෙනෙමි”යි ඔවුන්ට කී ය. 5 එවිට ජේසුස් වහන්සේ, කටු ඔටුන්න හිසේ දරා, නීල-රක්ත වස්ත්‍රය ද හැඳගෙන, පිටතට ආ සේක. ”මෙන්න, ඒ මනුෂ්‍යයා” යයි පිලාත් ඔවුන්ට කී ය. 6 එවිට නායක පූජකවරු ද මුර සේවකයෝ ද උන් වහන්සේ දුටු කල, ”කුරුසියේ ඇණ ගසන්න, කුරුසියේ ඇණ ගසන්නැ”යි මොරගැසූ හ. පිලාත් කතා කරමින්, ”ඔබ ම මොහු ගෙන ගොස් කුරුසියේ ඇණ ගසන්න, මන්ද, මොහු අත කිසි ම වරදක් ඇති බව මට නම් නොපෙනේ ය”යි කී ය. 7 ජුදෙව්වරු පිළිතුරු දෙමින්, ”නීතියක් අපට ඇත; ඒ අනුව, මොහු තමා ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා යයි කී බැවින් මරනු ලැබිය යුතු ය”යි කී හ.
8 ඒ කීම ඇසූ කල, පිලාත් වඩාත් බිය වී, 9 රජවාසලට යළිත් ඇතුළු වී, ජේසුස් වහන්සේ අමතා, ”ඔබ කොහෙන් එන්නේ දැ”යි ඇසී ය. එහෙත් ජේසුස් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක. 10 එබැවින් පිලාත් කතා කොට, ”ඔබ මට පිළිතුරක් නොදෙන්නෙහි ද? ඔබ නිදහස් කර හරින්නට හෝ කුරුසියේ ඇණ ගසන්නට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 11 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.
12 ඒ මොහොතේ පටන් පිලාත් ජේසුස් වහන්සේ නිදහස් කර හරින්නට මඟක් සෙවී ය. එහෙත් ජුදෙව්වරු මොරගසමින්, ”ඔබ මොහු නිදහස් කර හැරියොත් ඔබ සීසර් අධිරාජයාගේ මිතුරෙක් නොවේ. යම් තැනැත්තෙක් තමා රජෙකැ යි කියාගන්නේ ද, ඔහු අධිරාජයාගේ හතුරෙකි”යි කී හ. 13 පිලාත් ඒ බස් අසා, ජේසුස් වහන්සේ පිටතට ගෙනැවිත් සිටුවා, හෙබ්‍රෙව් බසින් ‘ගබ්බාතා’ කියන ගල් වේදිකා නම් ස්ථානයේ ඇති විනිශ්චයාසනයෙහි අසුන් ගත්තේ ය.
14 ඒ වනාහි පාස්කු මංගල්‍යයට සූදානම් වීමේ දවසේ මද්දහන් වේලාව පමණ විය. ඔහු, ”මෙන්න ඔබේ රජ ය”යි ජුදෙව්වරුන්ට කී ය. 15 ”ඔහු මරව, ඔහු මරව, ඔහු කුරුසියේ ඇණ ගසව”යි ඔව්හු මොරගැසූ හ. ”ඔබේ රජු කුරුසියේ ඇණ ගසන්නට දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. නායක පූජකයෝ පිළිතුරු දෙමින්, ”සීසර් අධිරාජයා හැර අන් රජෙක් අපට නැතැ”යි කී හ. 16 එකල ඔහු, උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලබන පිණිස ඔවුන්ට භාර දුන්නේ ය.
කුරුසියේ ඇණ ගැසීම
(මතෙව් 27:32-44; මාක් 15:21-32; ලූක් 23:26-43)
එබැවින් ඔව්හු ජේසුස් වහන්සේ භාර ගත්හ. 17 උන් වහන්සේ ම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා යයි කියන කපාලපිටිය නම් ස්ථානයට වැඩිය සේක. 18 එහි දී ඔව්හු උන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ හ; උන් වහන්සේ සමඟ තවත් දෙදෙනෙකු දෙපසින් ද උන් වහන්සේ මැදි ව ද සිටින සේ ඇණ ගැසූ හ. 19 තවද පිලාත් නාම පුවරුවක් ලියවා කුරුසිය මත තැබෙව්වේ ය. ‘ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත්හි ජේසුස් ය’යි එහි ලියා තිබිණි. 20 ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානය නුවරට සමීප වූ බැවින්, ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්, එය කියෙව්වෝ ය. හෙබ්‍රෙව්, ලතින්, ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබිණි. 21 එබැවින් ජුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කතා කොට, ” ‘ජුදෙව්වරුන්ගේ රජ’ යයි නොලියා, ‘මම ජුදෙව්වරුන්ගේ රජ වෙමි යි, මේ මිනිසා, කියාගත්තේ ය’යි ලියෙව්ව මැනවැ”යි කී හ. 22 පිලාත් පිළිතුරු දෙමින්, ”මම ලිව්වොත් ලිව්වා ම ය”යි කී ය.
23 ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු, හේවායෝ උන් වහන්සේගේ වස්ත්‍ර ගෙන, එක හේවායෙකුට එක කොටසක් බැගින් කොටස් සතරකට බෙදාගත්හ. ඔව්හු උන් වහන්සේගේ සළුව ද ගත්හ. ඒ සළුවට මූට්ටුවක් නොදමා, උඩ සිට පහළට මුළුමනින් ම එකට වියා තිබිණි. 24 එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, ”අපි මෙය නොඉරා, කවරෙකුට වැටේ ද කියා දාදු දමා බලමු”යි කී හ. මෙසේ වූයේ:
”මාගේ වස්ත්‍ර ඔව්හු තම තමන් අතර බෙදාගත්හ;
මාගේ සළුව පිණිස දාදු දැමූ හ”
යන ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස ය. එබැවින් හේවායෝ මෙසේ කළහ.
25 ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය. 26 එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, ”ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක. 27 ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, ”මෙන්න ඔබේ මෑණියෝ ය”යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.
ජේසුස් වහන්සේගේ මරණය
(මතෙව් 27:45-56; මාක් 15:33-41; ලූක් 23:44-49)
28 ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන, ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, ”මට පිපාස ය”යි වදාළ සේක. 29 එහි විනාකිරි පිරූ භාජනයක් තිබිණි. එබැවින් ඔව්හු විනාකිරි පොඟවන ලද මූදුහත්තක් හිසොප් දණ්ඩක ගසා, උන් වහන්සේගේ මුඛයට ළං කළහ. 30 ජේසුස් වහන්සේ විනාකිරි පිළිගත් පසු, ”සියල්ල නිම වී ය”යි වදාරා, හිස නමා ස්වකීය ප්‍රාණය භාර දුන් සේක.
හෙල්ලයකින් ඇනීම
31 එය සබත් දිනට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ. 32 එබැවින් හේවායෝ අවුත්, පළමුවැන්නාගේත්, එමෙන් ම ඔහු සමඟ ඇණගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩාදැමූ හ. 33 එහෙත් ඔව්හු ජේසුස් වහන්සේ ළඟට පැමිණි විට උන් වහන්සේ මිය ගොස් සිටින බව දැක, උන් වහන්සේගේ කකුල් නොකැඩූ හ. 34 එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය. 35 එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි. 36 මේ දේවල් සිදු වූයේ, ‘ඔහුගේ එක ඇටයක් වත් නොබිඳිනු ලැබේ ය’යි ලියා ඇති ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය. 37 තවද: ‘ඔවුන් ඇණ තුවාළ කළ තැනැත්තා දෙස, බලනු ඇතැ’යි තවත් ශුද්ධ ලියවිලි පාඨයක් ඇත.
භූමදානය
(මතෙව් 27:57-61; මාක් 15:42-47; ලූක් 23:50-56)
38 ඉන්පසු, ජුදෙව්වරුන්ට බිය නිසා, රහසින් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ අරිමාතියේ ජෝසෙප්, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලී ය. පිලාත් අවසර දුන්නේ ය. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය. 39 මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකොදේමුස් ද, කිලෝග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය. 40 ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය. 41 උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයේ උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය. 42 ජුදෙව්වරුන්ගේ සබත් දිනට පෙර දින ආසන්න වූ බැවින් ද ඒ සොහොන් ගෙය නුදුරු ව තිබුණු බැවින් ද ඔව්හු ජේසුස් වහන්සේ එහි තැන්පත් කළහ.
– 20 වන පරිච්ඡේදය –
හිස් වූ සොහොන
(මතෙව් 28:1-10; මාක් 16:1-8; ලූක් 24:1-12)
1 සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවා ය. 2 එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, ”ඔවුන් සමිඳාණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු”යි කීවා ය. 3 එවිට පේදුරු ද අනික් ශ්‍රාවකයා ද නික්ම විත් සොහොන් ගේ දෙසට ගියහ. 4 දෙදෙනා ම එක් ව දිව්වෝ ය. අනික් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන් ගෙට පැමිණ, 5 නැමී බලා, සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටී ය. එහෙත් ඔහු ඇතුළට නොගියේ ය. 6 සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්, හණ රෙදි එහි තිබෙන බවත්, 7 උන් වහන්සේගේ හිස ඔතා තිබූ රෙදි කඩ, හණ රෙදි සමඟ නොව, වෙන ම එක් තැනෙක අකුළා තිබෙන බවත් දුටුවේ ය. 8 එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය. 9 උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත. 10 ඉක්බිති ශ්‍රාවකයෝ තම තමන්ගේ නිවෙස්වලට හැරී ගියහ.
ජේසුස් වහන්සේ මග්දලායේ මරියාට දර්ශනය වීම
(මතෙව් 28:9-10; මාක් 16:9-11)
11 එහෙත් මරියා සොහොන් ගෙය ළඟ පිටත හඬමින් සිටියා ය. ඈ මෙසේ හඬමින් ම සොහොන් ගෙය ඇතුළට නැමී බැලුවා ය. 12 එවිට ජේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ ස්ථානයෙහි, සුදු වස්ත්‍ර හැඳගත් දේව දූතයන් දෙදෙනෙකු, එක් කෙනෙක් හිස තැබූ තැන ද තව කෙනෙක් පාද ළඟ ද හිඳිනු දුටුවා ය. 13 එකල ඔව්හු: ”ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්දැ”යි ඇගෙන් ඇසූ හ. ”ඔවුන් මාගේ සමිඳාණන් වහන්සේ ගෙන ගොස් කොතැන තැන්පත් කර ඇද්දැ යි මා නොදන්නා නිසා ය”යි ඈ පිළිතුරු දුන්නා ය.
14 මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී, ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවා ය. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඈ නොදත්තී ය. 15 ”ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන් ද? ඔබ කවරෙකු සොයන්නෙහි දැ”යි ජේසුස් වහන්සේ ඇගෙන් ඇසූ සේක. ඈ උන් වහන්සේ උයන්ගොව්වා යයි සිතා: ”මහතාණෙනි, ඔබ උන් වහන්සේ ගෙන ගියා නම්, උන් වහන්සේ කොතැන තැන්පත් කෙළෙහි දැ යි මට කිව මැනව; මම උන් වහන්සේ රැගෙන යමි”යි කීවා ය. 16 ජේසුස් වහන්සේ, ”මරියා” කියා ඈ ඇමතූ සේක. ඈ ද, හැරී, ”රබ්බෝනි”යි හෙබ්‍රෙව් බසින් උන් වහන්සේට පිළිවදන් දුන්නා ය. එහි අර්ථය ‘ගුරුදේවයෙනි’ යනුයි.
17 ජේසුස් වහන්සේ කතා කොට, ”මා අල්ලන්නට එපා; මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්, ‘මම, මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නඟින්නෙමි’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.
18 මග්දලායේ මරියා ශ්‍රාවකයන් වෙතට ගොස්, ”මම ජේසුස් වහන්සේ දිටිමි”යි කියා ද, මේ දේවල් උන් වහන්සේ ඈට වදාළ බව ද, ඔවුන්ට දැන්වූවා ය.
ශ්‍රාවකයන්ට දර්ශනය වීම
(මතෙව් 28:16-20; මාක් 16:14-18; ලූක් 24:36-49)
19 සතියේ පළමු වන දා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට, ”ඔබට ශාන්තිය වේ වා!’යි වදාළ සේක. 20 උන් වහන්සේ මෙසේ වදාරා තමන් අත් ද ඇලය ද ඔවුන්ට පෙන්වූ සේක. ශ්‍රාවකයෝ සමිඳාණන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනාගියහ. 21 ”ඔබට ශාන්තිය වේ වා!”යි යළිත් උන් වහන්සේ ඔවුන්ට වදාරා ”පියාණන් වහන්සේ මා එවා වදාළාක් මෙන් මම ද ඔබ යවමි”යි ඔවුන්ට කී සේක. 22 උන් වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙළා, ”ශුද්ධාත්මයාණන් පිළිගන්න; 23 ඔබ යමෙකුගේ පව් කමා කරන්නහු ද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ; ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහු ද, ඒවා කමා නොකරනු ලැබේ ය”යි ඔවුන්ට වදාළ සේක.
තෝමස්ට දර්ශනය වීම
24 ජේසුස් වහන්සේ වැඩිය කල, දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ‘නිවුන් දරුවා’ යයි නම් ලත් තෝමස් ඔවුන් සමඟ නොසිටියේ ය. 25 එහෙයින් සෙසු ශ්‍රාවකයෝ, ”අපි සමිඳාණන් වහන්සේ දුටිමු”යි ඔහුට කී හ. එහෙත් ඔහු කතා කොට, ”උන් වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, ඇණ ගසා තිබූ තැන්වල මාගේ ඇඟිල්ල තබා, උන් වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමි”යි කී ය.
26 අට දවසකට පසු උන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුළට වී සිටියෝ ය. තෝමස් ද ඔවුන් සමඟ සිටියේ ය. දොරවල් වසා තිබිණි. එහෙත්, ජේසුස් වහන්සේ පැමිණ, ඔවුන් මැද වැඩ සිට: ”ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක. 27 ඉන්පසු උන් වහන්සේ තෝමස් අමතා, ”ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න; ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්නැ”යි වදාළ සේක. 28 තෝමස් පිළිතුරු දෙමින්, ”මාගේ ස්වාමීනි, මාගේ දෙවියෙනි”යි උන් වහන්සේට කී ය. 29 එවිට ජේසුස් වහන්සේ, ”ඔබ මා දුටු බැවින් අදහාගත්තෙහි ය. නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය”යි වදාළ සේක.
පොත ලිවීමේ අදහස
30 මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළ සේක. 31 එහෙත් මේවා ලියන ලද්දේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහාගන්නා පිණිසත්, ඇදහීමෙන් ජීවනය ලබන පිණිසත් ය.
– 21 වන පරිච්ඡේදය –
ශ්‍රාවකයන් සත් දෙනෙකුට දර්ශනය වීම
1 ඉන්පසු ජේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟ දී ශ්‍රාවකයන්ට නැවත දර්ශනය වූ සේක. උන් වහන්සේ දර්ශනය වූයේ මේ අයුරින් ය. 2 සීමොන් පේදුරු ද ‘නිවුන් දරුවා’ නම් වූ තෝමස් ද ගලීලයේ කානාහි නතානියෙල් ද සෙබදීගේ පුත්‍රයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් තවත් දෙදෙනෙක් ද එක් ව සිටියෝ ය. 3 සීමොන් පේදුරු, ”මම මසුන් අල්ලන්න යමි”යි ඔවුන්ට කී ය. ”අපිත් ඔබ සමඟ එමු”යි ඔව්හු ඔහුට කී හ. ඔව්හු පිටත් ව ගොස් ඔරුවට නැංගා හ. එහෙත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත.
4 පහන් වූ කල ජේසුස් වහන්සේ වෙරළෙහි සිටි සේක. එසේ වුවත්, ඒ ජේසුස් වහන්සේ බව ශ්‍රාවකයෝ නොදත්හ. 5 එවිට ජේසුස් වහන්සේ, ”මිත්‍රයෙනි, ඔබ ළඟ මාළු තිබේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු, ”නැතැ”යි කී හ. 6 උන් වහන්සේ ඔවුන් අමතමින්, ”ඔරුවේ දකුණු පැත්තෙන් දැල හෙළන්න, එවිට සම්බ වනු ඇතැ”යි වදාළ සේක. එසේ දැල හෙළූ කල, අසුවූ මසුන් රාශිය නිසා දැල ඇද ගන්නට වත් ඔවුන්ට නොහැකි විය.
7 ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා පේදුරුට කතා කොට, ”අන්න, ඒ සමිඳාණන් වහන්සේ ය”යි කී ය. එවිට සීමොන් පේදුරු ඒ සමිඳාණන් වහන්සේ බව අසා, තමා ඉණ රෙද්ද ලිහාදමා සිටි බැවින්, වහා එය ඇඳගෙන මුහුදට පැන්නේ ය. 8 එහෙත් සෙසු ශ්‍රාවකයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන, කුඩා ඔරුවෙන් ආහ. ඔව්හු වෙරළට නුදුරු ව මීටර් සියයක් පමණ ඈතින් සිටියහ. 9 ඔව්හු ගොඩට ආ විට එහි ගිනි අඟුරු ද ඒ පිට මාළු තිබෙන බව ද රොටි ද දුටුවෝ ය. 10 ”ඔබ දැන් ඇල්ලූ මසුන්ගෙන් ස්වල්පයක් ගෙනෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක.
11 සීමොන් පේදුරු ඔරුවට නැඟී, ලොකු මසුන් එකසිය පණස්තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේ ය. එපමණ තිබුණ නමුත් දැල ඉරුණේ නැත. 12 ජේසුස් වහන්සේ කතා කොට, ”එන්න, අනුභව කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඒ සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැන සිටි හෙයින්, ”ඔබ කවුරු දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ශ්‍රාවකයන්ගෙන් කිසිවෙකුට වත් ධෛර්යය නොතිබිණි. 13 ජේසුස් වහන්සේ ඇවිත්, රොටි රැගෙන ඔවුන්ට දුන් සේක; එසේ ම මාළුත් දුන් සේක.
14 මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය.
පේදුරුට පැවරූ තුන් ප්‍රකාර භාරය
15 මෙසේ ඔවුන් ආහාර වැළඳූ පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඇසූ සේක. ඔහු, ”එසේ ය ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ, ”මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නැ”යි ඔහුට වදාළ සේක.
16 නැවත දෙ වන වරටත්, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ඔහු, ”එසේ ය, ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ ද, ”මාගේ බැටළුවන්ගේ එඬේරා වන්නැ”යි වදාළ සේක.
17 උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: ”ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. ”මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක. 18 ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ තරුණ වියෙහි ඔබේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහි ය. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහි ය, වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමැති නැති තැනකට ගෙනයනු ඇතැ”යි වදාළ සේක. 19 ඔහු කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණුවනු ඇද්දැ යි හඟවනු වස් උන් වහන්සේ මෙසේ වදාළ සේක. ඉක්බිති ”මා අනුව එන්නැ”යි නැවතත් ඔහුට කී සේක.
හිතවත් ශ්‍රාවකයා
20 පේදුරු හැරී, ජේසුස් වහන්සේ ප්‍රේම කළාවූ ද රාත්‍රි භෝජනයෙහි දී උන් වහන්සේගේ ළයෙහි හාන්සි වී සිට, ‘ඔබ පාවා දෙන්නේ කවරෙක් දැ’යි ඇසුවාවූ ද ශ්‍රාවකයා තමන් පසුපස්සේ එනු දිටී ය. 21 පේදුරු ඔහු දැක, ”ස්වාමීනි, මොහුට කුමක් වේ දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසී ය. 22 ජේසුස් වහන්සේ ද, ”මා එනතෙක් ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක ද? 23 ඔබ මා අනුව එන්නැ”යි වදාළ සේක. එහෙයින් ඒ ශ්‍රාවකයා නොමැරෙන්නේ ය යන කීම සහෝදරයන් අතර පතළ විය. එසේ වී නමුත් ජේසුස් වහන්සේ, ‘මා එන තුරු ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක දැ’යි කීවා මිස, ‘ඔහු නොමැරෙන්නේ ය’යි නොවදාළ සේක.
24 මේ ගැන සාක්ෂි දෙන්නාවූ ද මෙය ලිව්වාවූ ද ශ්‍රාවකයා ඔහු ය. ඔහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමු.
25 ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ ඇත. ඒවා එකින් එක ලිව්වොත්, ලියවෙන ඒ පොත්වලට මුළු ලෝකය වුවත් ඉඩ මදි යයි සිතමි.