ජාකොබ්
– 1 වන පරිච්ඡේදය –
ආචාරය
1 දෙවියන් වහන්සේගේත් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේත් සේවකයෙකු වන ජාකොබ් නම් මම, ලොව පුරා විසිර සිටින ගෝත්‍ර දොළොසට සුබ පතමින් මෙය ලියා එවමි.
ඇදහිල්ල හා ප්‍රඥාව
2 මාගේ සහෝදරයෙනි, ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබීමෙන් ඉවසිල්ල ඇති වන බව සිතට ගෙන, 3 විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන කල එය වාසනාවකැ යි සලකන්න. 4 ඔබ කිසිවකින් ඌන ව නොසිට, සියලු අයුරින් පරිපූර්ණ ව සිටින පිණිස ඉවසීමේ ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේ වා. 5 ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්රදානය කරන සේක. 6 එහෙත් සැක නොකර ඇදහිල්ලෙන් ඔහු එය අයැදී වා. මන්ද, සැක කරන තැනැත්තේ සුළඟින් කැළඹී නඟින බසින මුහුදු රැල්ලට සමාන ය. 7 එබඳු මනුෂ්‍යයා තමාට සමිඳාණන් වහන්සේගෙන් කිසිවක් ලැබේ යයි නොසිතා වා. 8 ඔහු සිත් දෙගිඩියාවෙන් පසුවන මනුෂ්‍යයෙකු ව තමාගේ සියලු ක්‍රියා මාර්ගවල දී අස්ථීර ව සිටින්නේ ය.
දිළිඳු සහෝදරයා සහ ධනපතියා
9 පීඩිත තත්ත්වයක සිටින සහෝදරයා තමා උසස් කරනු ලැබීම ගැන ද, 10 ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය. 11 දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි.
පරීක්ෂාව හා පෙළඹීම
12 කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය. 13 පරීක්ෂා කරනු ලබන කල, ”මා පොළඹවන්නේ දෙවියන් වහන්සේ ය”යි කිසිවෙක් නොකියා වා. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැත. කිසිවෙකු පොළඹවන්නෙත් නැත. 14 ඒ ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ ම තෘෂ්ණාවෙන් මුළා වී පෙළඹෙන විට ය. 15 මෙසේ තෘෂ්ණාව පිළිසිඳ, පාපය බිහි කරයි. පාපය ද මුහුකුරා ගොස් මරණය සිදු කරයි.
16 මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න. 17 සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය. 18 උන් වහන්සේ මැවූ සත්ත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.
ධර්මය අසා පිළිපැදීම
19 මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න. 20 මන්ද, මනුෂ්‍යයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටු වන්නේ නැත. 21 එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න.
22 එහෙත්, තමන් ම රවටා නොගෙන දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න. 23 මන්ද යමෙක් දහම් පණිවුඩය අසන නමුත් එය නොපිළිපදින්නේ නම්, ඔහු කැඩපතකින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මනුෂ්‍යයෙකුට සමාන ය. 24 ඔහු තම රූපය දෙස බලා අහක් ව ගිය පසු, තමා කෙබඳු මනුෂ්‍යයෙක් දැ යි වහා ම අමතක කරයි. 25 එහෙත් නිදහස ගෙනදෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනැවින් බලා, එය අසා අමතක කරන්නෙකු නොවී එය ක්‍රියාවෙහි යොදමින් ඒ අනුව ජීවත් වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේ ය.
26 යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත. 27 අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.
– 2 වන පරිච්ඡේදය –
තරාතිරම් බැලීමේ වරද
1 මාගේ සහෝදරයෙනි, ඔබ තේජශ්‍රීයෙන් වැජඹෙන, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන නිසා, මිනිසුන්ගේ තරාතිරම් බැලීමෙන් වැළකෙන්න. 2 රන් මුදු පැළඳ, ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් කෙනෙක් ද වැරහැලි ඇඳගත් දිළින්දෙක් ද ඔබගේ ධර්මශාලාවට පැමිණියෝ යයි සිතමු. 3 ඔබ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා, ”කරුණාකර මෙහි, අසුන් ගන්න” කියා ද, දිළින්දාට, ”උඹ ඔතන හිටපන්”, නැත්නම් ”මාගේ පාපුටුව ළඟ බිම හිඳගන්නැ”යි කියා ද කීවොත්, 4 ඔබ අතරෙ ම පක්ෂවාදිකම් ඇති කරන නපුරු සිතුවිලි සහිත විනිශ්චයකරුවන් නොවන්නේ ද?
5 මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, සවන් දෙන්න, ඇදහිල්ලෙහි ධනවතුන් වන පිණිසත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, උන් වහන්සේ ලෝකයේ දිළිඳුන් තෝරා ගත්තේ කුමක්නිසා ද? 6 එහෙත් ඔබ දිළිඳුන්ට අවමන් කළහු ය. ඔබට පීඩා කරන්නෝ ධනවත්තු නොවෙත් ද? නඩු ශාලාවලට ඔබ ඇදගෙන යන්නෝත්, 7 ඔබ දරන උතුම් නාමයට අපහාස කරන්නෝත් ඔව්හු නොවෙත් ද?
8 එසේ වුව ද, ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි: ”ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන රාජ නීතිය පවත් වන්නහු නම්, ඔබ කරන දෙය කදිම යි. 9 එහෙත් මිනිසුන්ගේ තරාතිරම් සලකන්නහු නම්, ඔබ වරදකාරයන් බව ව්‍යවස්ථාව අනුව ඔප්පු වන බැවින් ඔබ කරන දෙය පාපයකි. 10 මන්ද, යමෙකු මුළු ව්‍යවස්ථාව පිළිපැද්දත්, ඉන් එක අණක්වත් කඩ කළොත්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක් වෙයි. 11 ”කාමමිථ්‍යාචාරය නොකරව”යි වදාළ තැනැන් වහන්සේ ම, ”මිනී නොමරන්න” කියාත් කී සේක. ඉදින් ඔබ කාමමිථ්‍යාචාරය නොකළත්, මිනී මරන්නෙහි නම්, ව්‍යවස්ථාව කඩ කරන්නෙක් වන්නෙහි ය. 12 නිදහස සලසන ව්‍යවස්ථාවකින් විනිශ්චය ලැබීමට සිටින අය මෙන් කතා කරන්න. ක්‍රියා කරන්න. 13 දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.
ක්‍රියාකාරී ඇදහිල්ල
14 මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැ යි යමෙකු කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම්, ඉන් වැඩක් ඇද් ද? එවැනි ඇදහිල්ලක් ඔහුට ගැළවීම ගෙන දෙයි ද? 15 යම් සහෝදරයකු හෝ සහෝදරියක හෝ ඇඳුම් නැති ව, දිනපතා කෑම නැති ව සිටිය දී, 16 ඔබගෙන් යමෙක් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සපයා නොදී: ”ඔබට දෙවි පිහිට යි, උණුසුමට ඇඳ පැළඳ, කා බී සතුටු වන්නැ”යි ඔවුන්ට කියන්නේ නම්, එයින් මොන යහපතක් ද? 17 ඇදහිල්ල ගැන කිය යුත්තේත් එය ම යි. ක්‍රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි.
18 ”ඔබට ඇත්තේ ඇදහිල්ල ය, මට ඇත්තේ යහපත් ක්‍රියා ය. හොඳයි, ඔබ ක්‍රියා නැති ව ඔබේ ඇදහිල්ල පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වමි”යි කියන්නට යමෙකුට පුළුවන්කම තිබෙනවා විය හැකි ය. 19 ඇත්තේ එක ම දෙවි කෙනෙකු බව ඔබ අදහන්නෙහි ය; එය කදිම යි. දුෂ්ටාත්මයෝත් එසේ අදහා බියෙන් වෙවුලති. 20 අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල නිෂ්ඵල බව ඔබ නොදන්නෙහි ද? 21 අපේ පිය වූ ආබ්‍රහම් සිය පුත් ඊසාක් පූජාසනය පිට ඔප්පු කළ විට, ඔහු දමිටුකමට පමුණුවනු ලැබුවේ ඔහුගේ යහපත් ක්‍රියා නිසා නොවේ ද? 22 ඇදහිල්ල, ඔහුගේ යහපත් ක්‍රියා හා සමඟ එක් ව ක්‍රියා කළ බවත්, ඇදහිල්ල ක්‍රියා නිසා සම්පූර්ණ වූ බවත් ඔබට පෙනෙනු ඇත. 23 මෙසේ: ”ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේ ය. ඒ ඇදහිල්ල ඔහුගේ දමිටුකම හැටියට පිළිගනු ලැබී ය”යි කියන ශුද්ධ ලියවිල්ල ඉටු විය. එපමණකුත් නොව, ඔහු දෙවියන් වහන්සේගේ මිත්‍රයා යයි කියනු ලැබී ය. 24 මනුෂ්‍යයෙකු දමිටුකමට පමුණුවනු ලබන්නේ ක්‍රියාවලින් බවත්, ඇදහිල්ලෙන් පමණක් නොවන බවත්, ඔබට පෙනෙනු ඇත.
25 රාහාබ් වෙසඟනක වුව ද, දූතයන් පිළිගෙන අන් මඟකින් යාමට ඔවුන්ට පිහිට වූ බැවින්, ඈ දමිටුකමට පමුණුවනු ලැබුවේ ඒ ක්‍රියාවලින් නොවේ ද? 26 හුස්ම නැති සිරුර මළසිරුරක් වන සේ ම ක්‍රියා නැති ඇදහිල්ල මළ ඇදහිල්ලකි.
– 3 වන පරිච්ඡේදය –
දිව දමනය
1 මාගේ සහෝදරයෙනි, ඔබගෙන් බොහෝ දෙනෙක් ගුරුවරුන් වීමට නොසිතන්න. ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අපි වඩාත් බරපතල මිම්මකින් විනිශ්චය කරනු ලබමු. 2 අපි සියල්ලෝ ම බොහෝ විට වරදට වැටෙමු. යමෙක් වචනයෙන් වරදක් නොකරන්නේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්නට සමත්, සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙකි. 3 අශ්වයන් කීකරු කරගන්නා පිණිස උන්ට කටකලියා දැමූ විට අපි උන්ගේ මුළු ශරීරය ම දමනය කරගනිමු. 4 නැව් ගැන සිතන්න, නැවක් කෙතරම් විශාල වුව ද, සැඬ සුළඟට ගසාගෙන යන විට, ඉතා කුඩා සුක්කානමකින් නැව්පතියා එය තමා රිසි සේ හරවාගෙන යයි. 5 එලෙස ම දිව කුඩා අවයවයක් වුව ද එය ලොකුවට පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොපමණ මහත් ළැව් ගින්නක් හටගනී ද? 6 දිව ද ගින්නකි. එය අපේ ඉඳුරන් අතර, අදමිටුකමින් පිරුණු ලෝකයකි. එය මුළු ශරීරය දූෂණය කොට, නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි. 7 සියලු ආකාර වන මෘගයන් ද කුරුල්ලන් ද උරග ජාතීන් ද මුහුදු සතුන් ද පෙර මෙන් දැනුත්, මිනිසාට දමනය කළ හැකි ය.
8 එහෙත් දිව දමනය කිරීම කිසිවෙකුට නුපුළුවන. එය හික්මවිය නොහැකි විෂඝෝර නපුරු ඉන්ද්‍රියයකි. 9 එයින් අපි ස්වාමීන් වන පියාණන් වහන්සේ පසසමු; එයින් ම දිව්‍ය සමානත්වයෙන් මවන ලද මනුෂ්‍යයන්ට සාප කරමු. 10 ප්‍රශංසාවත් සාපයත් එක ම මුඛයෙන් නික්මෙයි. මාගේ සහෝදරයෙනි, මෙසේ වීම හරි නැත. 11 දිය උල්පතේ එක සිදුරෙන් මිරිදියත් කරදියත් නික්ම එයි ද? 12 මාගේ සහෝදරයෙනි, දිවුල් ගසේ රට වෙරළු වත්, මිදි වැලේ දිවුල් වත් හටගනී ද? කරදිය උල්පතෙන් මිරිදිය නික්මෙන්නේ නැත.
ලෝකෝත්තර ප්‍රඥාව
13 ඔබ අතර පැණවත් නැණවත් යමෙක් සිටී ද? එසේ නම් ඔහු තමාගේ සදාචාරයෙන් ද ප්‍රඥාවෙන් ඇති වන විනීත ක්‍රියාවලින් ද එය ප්‍රකාශ කෙරේ වා. 14 එහෙත් ඔබගේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාව ද, උන්නතිකාමය ද, ඇත්නම් පුරසාරම් දොඩමින් සත්‍යයට විරුද්ධ ව ක්‍රියා නොකරන්න. 15 එවැනි ප්‍රඥාව ඉහළින් පැමිණෙන්නක් නොවේ. එය ලෞකික ය, කාමුක ය, අමානුෂික ය. 16 මන්ද, ඊර්ෂ්‍යාවත් උන්නතිකාමයත් කොතැන ද එතැන අවුල්වියවුල් ද සියලු නපුරු ක්‍රියා ද ඇත්තේ ය. 17 එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මල ය, ඊළඟට සාමකාමී ය, සානුකම්පිත ය, යුක්ති සහගත ය; එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණ ව, පක්ෂවාදිකමින් ද කුහකකමින් ද තොර ව පවතී. 18 සැබෑ දමිටුකම වූකලී සාම දූතයන් සාමයෙන් වපුළ බීජවලින් නිපදවන අස්වැන්නකි.
– 4 වන පරිච්ඡේදය –
ලෞකික ඇල්ම
1 ඔබ අතර ආරාවුල් හා කලකෝලාහල ඇති වෙන්නේ කෙසේ ද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුළ සටන් කරන තෘෂ්ණාවලින් නොවේ ද? 2 ඔබ යමකට ආසා වන්නහු ය; එහෙත් එය ඔබට ලැබෙන්නේ නැත; ඒ නිසා ඔබ මිනී මරන්නහු ය. ඔබ ඊර්ෂ්‍යා කරන්නහු ය; ඔබට තෘප්තියක් නැත. ඔබ දබර කරන්නහු ය; සටන් කරන්නහු ය. නො ඉල්ලන නිසා ඔබට ලැබෙන්නේ නැත. 3 ඔබ ඉල්ලුවත්, වැරදි ලෙස ද ආත්මාර්ථකාමි තෘප්තිය සඳහා ද ඉල්ලන බැවින් එය නොලැබෙන්නේ ය. 4 අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය. 5 ”දෙවියන් වහන්සේ අප තුළ පිහිටුවා වදාළ ආත්මය උන් වහන්සේ දැඩි ආශාවකින් රකින සේකැ”යි ශුද්ධ ලියවිල්ලේ ඇති කීම නිෂ්ඵල කතාවකැ යි ඔබ සිතන්නහු ද? 6 එහෙත් උන් වහන්සේගෙන් එන වරප්‍රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: ”දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි.
7 ඒ නිසා දෙවියන් වහන්සේට යටහත් ව සිටින්න; යක්ෂයාට විරුද්ධ ව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. 8 දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්‍ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න. 9 දුක් වන්න, ශෝක වන්න, හඬා වැලපෙන්න, ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ ප්‍රීතිය දුකටත් හැරේ වා. 10 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් පහත් වන්න. එවිට උන් වහන්සේ ඔබ උසස් කරන සේක.
අනුන් විනිශ්චය කිරීම
11 සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධ ව ඕපාදූප නොදොඩන්න. සහෝදරයෙකුට විරුද්ධ ව ඕපාදූප කියන්නා, නැතහොත් තමාගේ සහෝදරයා විනිශ්චය කරන්නා ව්‍යවස්ථාවට අපහාස කරන්නේ ය; ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේ ය. ඉදින් ඔබ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නෙහි නම්, ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නෙක් නොව එය විනිශ්චය කරන්නෙකි. 12 ඇත්තේ එක ම නීති දායකයෙකි; එක ම විනිශ්චයකාරයෙකි. ගළවන්නට ද විනාශ කරන්නට ද පුළුවන්කම ඇත්තේ උන් වහන්සේට පමණකි. එසේ නම් ඔබේ අසල්වැසියා විනිශ්චය කිරීමට ඔබ කවරෙක් ද?
පුරසාරම් දෙඩීම ගැන අවවාද
13 ”අද හෝ හෙට හෝ අපි අසවල් නගරයට ගොස් එහි අවුරුද්දක් නැවතී වෙළහෙළඳාම් කොට ලාභ උපයාගන්නෙමු”යි කියන තැනැත්තෙනි, සවන් දෙන්න. 14 හෙට කුමක් වේ දැ යි ඔබ නොදන්නහු ය. ඔබගේ ජීවිතය කුමක් ද? ඔබ මඳ වේලාවක් පෙනී, පසු ව නොපෙනී යන මීදුමක් වැන්න. 15 එබැවින් ඔබ කිය යුත්තේ: ”සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම්, අපි ජීවත් වී ඒ දෙය හෝ මේ දෙය හෝ කරන්නෙමු”යි කියා ය. 16 එහෙත් දැන් ඔබ පුරසාරම් දොඩමින් අහංකාරයෙන් පාරට්ටු කරගන්නහු ය. එවැනි සියලු පුරසාරම් දෙඩීම් නපුරු ය. 17 එබැවින් යමෙක් කළ යුතු යහපත දැන දැනත් එය නොකරන්නේ නම්, ඔහු පව්කාරයෙකි.
– 5 වන පරිච්ඡේදය –
ධනපතීන්ට අවවාද
1 දැන් ඉතින් ධනවතුනි, ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න. 2 ඔබගේ ධනධාන්‍ය දිරාගොස් ඇත, ඔබගේ වස්ත්‍ර කාවුන් කාදමා ඇත. 3 ඔබේ රන් රිදී මලකඩ කා ඇත; ඒ මලකඩ ඔබට විරුද්ධ ව සාක්ෂියක් වී, ගින්නක් මෙන් ඔබගේ මාංස කාදමනු ඇත. ඔබ වස්තු ගොඩගසා ඇත්තේ නිම වේගෙන යන යුගයක ය. 4 බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය. 5 ඔබ මෙලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූවහු ය. ඒ දිනය දැන් පැමිණ ඇත. 6 විරෝධයක් නොපෑ නිදොස් මිනිසාට වුව ද ඔබ වරද එල්ල කොට ඔහු මරාදැමුවහු ය.
ඉවසිල්ල හා යාච්ඤාව
7 එබැවින් සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ ආගමනය දක්වා ඉවසිල්ලෙන් සිටින්න. පළමු සහ අන්තිම වර්ෂාව වහින තුරු ගොවියා පොළොවේ සරුසාර පලදාව ගැන බලා ඉවසිල්ලෙන් සිටියි. 8 එසේ ම ඔබ ද ඉවසිල්ලෙන් සිටින්න; සමිඳාණන් වහන්සේගේ ආගමනය දැන් ළං ව ඇති බැවින් ඔබේ සිත් තිරසර ව තබාගන්න.
9 සහෝදරයෙනි, ඔබ විනිශ්චයට ලක් නොවන පිණිස එකිනෙකාට විරුද්ධ ව චෝදනා නොකරන්න. මෙන්න, විනිශ්චයකාරයාණෝ දොරකඩ සිටින සේක. 10 සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරයන්ගේ පීඩා විඳීම ද ඉවසීම ද ආදර්ශයට ගන්න. 11 ස්ථිර ව සිටි අය ආශීර්වාද ලද්දෝ යයි අපි කියමු. ජෝබ් ස්ථීර ව සිටි හැටි ඔබ අසා ඇත. ඔහු ගැන සමිඳාණන් වහන්සේගේ තීරණය ද ඔබට පැහැදිලි ය, සමිඳාණන් වහන්සේ දයානුකම්පාවෙන් අධික ලෙස පොහොසත් වී සිටින සේක.
12 මේ සියල්ලට වඩා, මාගේ සහෝදරයෙනි, අහස ගැනවත්, පොළොව ගැනවත්, අන් කිසිවක් ගැනවත් නොදිවුරන්න, ඔබ වරදට පත් නොවන පිණිස ඔබගේ වචනය ”එසේ” නම් ”එසේ ය” කියා ද, ”නැත” නම් ”නැත” කියා ද වේ වා.
13 ඔබ අතරෙන් යමෙක් දුක් විඳින්නේ නම් ඔහු යාච්ඤා කෙරේ වා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේ නම් ඔහු තුති ගී ගයා වා. 14 ඔබ අතරෙන් යමෙක් රෝගී ව සිටින්නේ නම්, ඔහු සභා මූලිකයන් කැඳවාගනී වා. ඒ මූලිකයෝ සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔහු තෙලින් ආලේප කොට, ඔහු උදෙසා යාච්ඤා කරත් වා. 15 එවිට ඇදහිල්ලෙන් පුදන යාච්ඤාචෙන් රෝගියාට සුවය ලැබේ. සමිඳාණන් වහන්සේ ඔහු නැඟිටුවනු ඇත. ඔහු පව් කර තිබේ නම්, ඒ පව් ඔහුට කමා කරනු ලැබේ. 16 එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය; 17 දිවැසිවර එලියා අප හා සමාන ගති ඇති මනුෂ්‍යයෙකු වුව ද, වැසි නොවසින පිණිස ඔහු උනන්දුවෙන් යාච්ඤා කෙළේ ය. එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේ ය. 18 ඉන්පසු ඔහු නැවත යාච්ඤා කෙළේ ය. එවිට අහසින් වැසි වැස, පොළොවේ පලදාව ඇති විය.
19 මාගේ සහෝදරයෙනි, ඔබ අතරෙන් යමෙකු සත්‍යයෙන් මුළා ව ගියොත්, වෙන තැනැත්තෙකු ඔහු සත්‍යයට හරවා ගත්තොත් ඉතා මැනවි. 20 නොමඟ ගිය පව්කරුවෙකු යළි සත්‍යයට හරවන තැනැත්තේ ප්‍රාණයක් මරණයෙන් මුදා, පව් රාශියක් මකා හරින බව දැනගනී වා.