ප්‍රේරිතවරුන්ගේ ක්‍රියා
– 1 වන පරිච්ඡේදය –
ශුද්ධාත්ම පොරොන්දුව
1 තියෝපිලස් තුමෙනි, ජේසුස් වහන්සේ කළා වූ ද ඉගැන්නුවා වූ ද සියලු දේ, 2 උන් වහන්සේ තෝරාගත් ප්‍රේරිතවරුන්ට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අණ දී උන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කෙළෙමි. 3 උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක. 4 උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, ”ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. 5 මන්ද, ජොහන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනයa කෙළේ ය; එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලබන්නහු ය”යි වදාළ සේක.
ස්වර්ගාරෝහණය
6 ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල, ”ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. 7 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ. 8 එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක. 9 උන් වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටිය දී ම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගිය සේක.
10 උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට, 11 ”ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ”යි කී හ.
ප්‍රේරිත තනතුරට මතියස් තෝරාගැනීම
12 එකල ඔව්හු ජෙරුසලමට සබත් දවසක ගමන් දුර වූ ඔලීව නම් කන්දේ සිට ජෙරුසලමට පෙරළා පැමිණියහ. 13 ඔව්හු නගරයට පිවිස තමන් නවාතැන් ගෙන සිටි උඩුමහල් මැදුරට නැඟුණාහ. ඔව්හු නම්: පේදුරු, ජොහන්, ජාකොබ් සහ ඇන්ඩෘ ද පිලිප් සහ තෝමස් ද බර්තොලමෙව් සහ මතෙව් ද අල්පෙවුස්ගේ පුත්‍ර වූ ජාකොබ් ද අන්ත ජාතිවාදී සීමොන් සහ ජාකොබ්ගේ පුත්‍ර වූ ජූදස් ද යන මොවුහු ය. 14 මේ සියලු දෙනා, ස්ත්‍රීන් ද ජේසුස් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමිය ද උන් වහන්සේගේ සහෝදරයන් ද සමඟ එක්සිත් ව නොකඩ ව යාච්ඤාවේ නිරත වූ හ.
15 මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය: 16 ”සහෝදරවරුනි, ජේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් ජූදස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතු ව තිබිණි. 17 මන්ද, ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ සේවයෙහි තමාට හිමි කොටස ලැබී ය. 18 මේ මිනිසා, සිය ද්‍රෝහිකමෙන් ලත් මුදලින් ඉඩමක් මිලයට ගත්තේ ය. ඔහු එහි මුහුණින් වැටී, මැදින් පැළුණේ ය. ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය. 19 ජෙරුසලම් වැසි සියල්ලන්ට එය සැළ විය. එබැවින් ඔව්හු ඒ ඉඩමට ඔවුන්ගේ බසින් ‘ලේ බිම’ යන අරුත ඇති ‘අකෙල්දෙමා’ යයි කී හ. 20 මන්ද යත්:
‘ඔහුගේ වාසස්ථානය පාළු වේ වා!
කිසිවෙක් එහි වාසය නොකෙරෙත් වා!’
කියා ද, ‘ඔහුගේ තනතුර වෙන කෙනෙක් ගනිත් වා!’
කියා ද ගීතාවලියේ ලියා තිබේ. 21-22 එබැවින් ජේසුස් වහන්සේගේ පුනරුජ්ජීවනය පිළිබඳ ව අප සමඟ සාක්ෂි දරන පිණිස යම් කිසිවෙකු අපට එක් විය යුතු ව තිබේ. ජොහන් බව්තීස්ම-ස්නාපනය පටන්ගත් දා සිට, ජේසුස් සමිඳාණන් වහන්සේ අප කෙරෙන් ඔසවාගනු ලැබූ දින දක්වා, උන් වහන්සේ අප අතර ආ ගිය මුළු කාලය තුළ, ඔහු නිතර ම අප සමඟ සිටි අයගෙන් එක් කෙනෙකු විය යුතු ය.” 23 එබැවින් ඔව්හු දෙදෙනෙකු ඉදිරිපත් කළහ. ඒ යුස්තස් යන තවත් නමක් දැරූ බාර්සබස් නමින් හඳුන්වනු ලැබූ ජෝසෙප් සහ මතියස් යන දෙදෙනා ය. 24-25 ඉන්පසු ඔව්හු යාච්ඤා කරමින්, ”සියලු මිනිසුන්ගේ සිත් දන්නා වූ ස්වාමීනි, තමාට නියම ස්ථානයට යන පිණිස ජූදස් විසින් අත්හරින ලද මේ සේවයේත් ප්‍රේරිතකමේත් පුරප්පාඩුව පිරවීමට මොවුන් දෙදෙනාගෙන් ඔබ වහන්සේ තෝරාගත් තැනැත්තා කවරෙක් දැ යි පෙන්නුව මැනවැ”යි කී හ. 26 එකල ඔව්හු ඔවුන් පිළිබඳ ව දාදු දැමූ හ; දාදුව මතියස්ට වැටිණි. එහෙයින් ඔහු ද ප්‍රේරිතවරුන් එකොළොස් දෙනා සමඟ ගණන්ගන්නා ලදී.
– 2 වන පරිච්ඡේදය –
පෙන්තකොස්ත දවසේ ශුද්ධාත්ම දානය
1 තවද, පෙන්තකොස්ත දිනය පැමිණි කල, ඔව්හු සියල්ලෝ එක් තැනක රැස් ව සිටියාහ. 2 එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය. 3 ගිනි දලු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිණි. 4 ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ.
5 එකල මිහි පිට හැම රටකින් ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝ ය. 6 මේ ශබ්දය ඇසුණු කෙණෙහි ම සමූහයා එක්රැස් වූ හ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මවු බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුණෙන් ඔව්හු වික්ෂිප්ත වූ හ. 7 ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, ”බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද? 8 අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද? 9 පාතිවරුන් ද මේදවරුන් ද එලාම්වරුන් ද මෙසොපොතේමියාවෙහිත් ජුදය සහ කපදෝකියෙහිත්, පොන්තසය සහ ආසියාවෙහිත්, 10 පිරිගිය සහ පම්පිලියායෙහිත්, මිසරය සහ සිරේනිය අවට ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්තවුන් ද 11 ක්‍රීතවරුන් හා අරාබිවරු ද වන අපි, අපේ ම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ”යි කී හ. 12 ඔව්හු සියල්ලෝ ම විස්මිත ව, වියවුල් ව, ”මෙහි තේරුම කිමෙක් දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. 13 එහෙත් සමහරෙක් සරදම් කරමින්, ”මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ.
පෙන්තකොස්ත දවසේ දී පේදුරු තුමාගේ දේශනාව
14 එවිට එකොළොස් දෙනා සමඟ නැඟී සිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කී ය: ”ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න. 15 තව ම වේලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත. 16 මේ සිද්ධිය නම් ජෝවෙල් දිවැසිවරයා කී දෙය ඉටු වීමකි. ඒ මෙලෙස ය:
17 ”දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක:
අන්තිම දවස්වල දී සකල මනුෂ්‍යයන් මාගේ ආත්මානුභාවයෙන් පුරවා ලමි.
එවිට ඔබේ දූ පුත්තු දිවැසි වැකි කියති;
ඔබේ තරුණයෝ දර්ශන දකිති, ඔබේ මහල්ලෝ ද පැතුම් පතති.
18 එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි;
ඔව්හු ද දිවැස් වැකි පවසති.
19 තවද, ඉහළ අහසේ අරුමපුදුම දේ ද, පහත පොළොවේ ලකුණු ද දක්වාලමි.
ලේ ද ගිනි ද දුම්වලාපටල ද ඇති වේ.
20 සමිඳාණන් වහන්සේගේ උදාර තේජාන්විත ඒ දවස පහළ වන්නට පෙර, ඉර අඳුරු වන්නේ ය.
හඳ ලේ පාට වන්නේ ය.
21 සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය.’
22 ”ඉශ්රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස, නාසරෙත්හි ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව, දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුමපුදුම දේවලින් ද ලකුණුවලින් ද පෙන්වූ සේක. 23 එම ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා පෙර දැනුම අනුව, පාවා දෙනු ලැබූ සේක. ඔබ අදමිටු මිනිසුන් ලවා උන් වහන්සේ කුරුසියේ ඇණ ගස්වා මරා දැමුවහු ය. 24 එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය. 25 දාවිත් උන් වහන්සේ ගැන කතා කරමින් මෙසේ කී ය:
‘සමිඳාණන් වහන්සේ නිරතුරු මා ඉදිරියේ සිටිනු දුටිමි;
මා නොසැලෙන පිණිස උන් වහන්සේ මාගේ දකුණු පසෙහි සිටින සේක.
26 එබැවින් මාගේ හද සොම්නස් විය;
මාගේ වචන ප්‍රමුදිත විය;
මාගේ සිරුර ද බලාපොරොත්තුවෙන් පුල පුලා සිටින්නේ ය.
27 මන්ද, ඔබ වහන්සේ, මාගේ ජීවිතය පාතාලයේ දමන්නේ වත්, ඔබගේ දැහැමි තැනැත්තා ජරාපත් වන්නට ඉඩ දෙන්නේ වත් නැත.
28 ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන් වූ සේක.
ඔබගේ වැඩවිසීමෙන් ඔබ මා ප්‍රීතියෙන් පුරවන සේක.
29 ”සහෝදරවරුනි, ආදි පිතෘ වන දාවිත් මළ බවත්, තැන්පත් කරනු ලැබූ බවත් නොවළහා කියන්නට කැමැත්තෙමි. ඔහුගේ සොහොන අද දක්වා අප අතර ඇත. 30 ඔහු දිවැසිවරයෙකු වූ බැවින්, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවන සේකැ යි දෙවියන් වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව ඔහු දැන ගත්තේ ය. 31 ඔහු මෙය කල් මත්තෙන් දැක, ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන කතා කරමින්,
‘උන් වහන්සේ පාතාලයේ හැරදමනු නොලැබූ බවත්, උන් වහන්සේගේ සිරුර ජරාපත් නොවූ බවත්’ කී ය.
32 ”දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු. 33 උන් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ, පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, ඔබ අසන දකින මේ දේ ප්‍රදානය කළ සේක. 34-35 එහෙත් දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. මන්ද, ඔහු ම,
‘මා ඔබේ සතුරන් ඔබේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කියයි.
36 ”එබැවින් ඔබ කුරුසියෙහි ඇණ ගැසූ මේ ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් ස්වාමීන් බවටත්, ක්‍රිස්තුන් බවටත්, පත් කර වදාළ බව මුළු ඉශ්රායෙල් ජනතාව සහතික ලෙස දැන ගනිත් වා.”
දේශනාවේ ප්‍රතිඵල
37 ඔව්හු ඒ අසා සන්තාපිත සිත් ඇති ව ”සහෝදරවරුනි, අප කුමක් කළ යුතු දැ”යි පේදුරුගෙන් ද අනෙක් ප්‍රේරිතයන්ගෙන් ද විචාළහ. 38 පේදුරු තුමා පිළිතුරු දෙමින්, ”ඔබ සියලුදෙනා ම පසුතැවී සිත් හරවා ගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහු ය. 39 මන්ද, ඒ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, දුර බැහැර වෙසෙන අන් අයටත්, සැබැවින් ම, අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන සියල්ලන්ටත් ය”යි කී ය. 40 ඔහු තවත් බොහෝ වචනවලින් උදක් ම අයැදිමින්, ”මේ කුහක පරම්පරාවෙන් ගැළවෙන්නැ”යි ඔවුන්ට අනුශාසනා කෙළේ ය. 41 එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ.
ක්‍රිස්තියානි සභාවේ ලක්ෂණ
42 ඔව්හු ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද රොටි කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ. 43 සියලු දෙනා තුළ ගෞරවාන්විත භීතියක් ඇති විය. ප්‍රේරිතවරුන් අතින් බොහෝ අරුමපුදුම දේ හා ලකුණු සිදු විය. 44 ඇදහිලිවතුන් සියල්ලෝ එක් වී හැම දෙය ම පොදුවේ තබාගත්හ. 45 ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ. 46 තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් රොටි කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද 47 දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් හා සියල්ලන්ගේ ප්‍රසාදය ලබමින් ද කල් යැවූ හ. සමිඳාණන් වහන්සේ ගැළවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩිකර වදාළ සේක.
– 3 වන පරිච්ඡේදය –
කොරෙකු සුවපත් කිරීම
1 දිනක් පේදුරු සහ ජොහන් යාච්ඤා වේලාව වූ සවස තුනට දේව මාලිගයට ගියහ. 2 උපන් දා පටන් කොර ව සිටි එක්තරා මිනිසෙක් විය. දේව මාලිගාවට ඇතුළු වන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස, දේව මාලිගාවේ ‘සුදර්ශන’ නම් ලත් දොරටුව ළඟ දිනපතා ඔහු තබන ලදී. 3 ඔහු පේදුරු සහ ජොහන් දේව මාලිගාවට ඇතුළුවන්නට යන බව දැක සිඟමන් ඉල්ලී ය. 4 පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, ”අප දෙස බලන්නැ”යි කී ය. 5 ඔහු ද ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස ඕනෑකමින් බැලී ය. 6 එවිට පේදුරු, ”රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ”යි කී ය. 7 එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය. 8 ඔහු උඩ පැන කෙළින් සිට ඇවිදින්නට විය. තවද, ඇවිදිමින් ද, උඩ පනිමින් ද, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ද ඔහු ඔවුන් සමඟ දේව මාලිගාවට ඇතුළු විය. 9 ඔහු ඇවිදිනවාත්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවාත් සියලු දෙනා දුටුවෝ ය. 10 දේව මාලිගාවේ ‘සුදර්ශන’ දොරටුව ළඟ හිඳගෙන සිඟමන් ඉල්ලුවේ මේ මිනිසා බව හඳුනා ගත් ඔව්හු ඔහුට සිදුවූ දේ ගැන පුදුමයෙන් පුදුමයට පත් වූ හ.
පේදුරු තුමාගේ දේශනාව
11 පේදුරු සහ ජොහන් ඔහුගේ අතින් අල්ලාගෙන සලමොන්ගේ සක්මන් මළුවෙහි සිටිනු දුටු සමූහයා අතිශයින් පුදුම වී ඔවුන් වෙතට දිවූ හ. 12 පේදුරු ඒ සෙනඟට මෙසේ කී ය: ”ඉශ්රායෙල් ජනයිනි, මේ ගැන ඔබ පුදුම වන්නේ කුමක්නිසා ද? අපේ ම බලයෙන් වත් යහපත්කමින් වත් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවාක් මෙන් අප දෙස නෙත් යොමා මවිතයෙන් බලන්නේ මන් ද? 13 ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහු ය. 14 ඔබ සුවිශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මිනීමරුවෙකු මුදා දෙන මෙන් ඉල්ලා සිටියහු ය. 15 මෙසේ ඔබ ජීවනේශ්වරයාණන් මරණයට පත් කළහු ය. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළ සේක. අපි ඊට සාක්ෂිකාරයෝ වම්හ. 16 දැන් ඔබ ඉදිරියේ සිටින ඔබ හඳුනන මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබුවේ උන් වහන්සේගේ නාමයෙන් හා ඒ නාමය කෙරෙහි ඇති ඇදහිල්ල කරණකොටගෙන ය.
17 ”දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානීන් මෙන් ම, ඔබ ද, නොදැනුම්කමින් ක්‍රියා කළ බව මම දනිමි. 18 එසේ වුවත්, ස්වකීය ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳිය යුතු යයි දෙවියන් වහන්සේ සියලු දිවැසිවරයන්ගේ මුවින් පෙර දන්වා වදාළ දේ, මෙසේ සම්පූර්ණ කළ සේක. 19 එබැවින්, ඔබේ පව් මකාලන පිණිස ද දෙවියන් වහන්සේ කෙරෙන් නව ජීවන යුගයක් පැමිණෙන පිණිස ද 20 ඔබ උදෙසා පෙර නියම කරන ලද ක්‍රිස්තුන් නම් ජේසුස් වහන්සේ එවා වදාරන පිණිස ද පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න. 21 ආදි යුගවල සිට දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධ දිවැසිවරයන්ගේ මුවින් දැන්වූ, මුළු ලොවට නව ජීවනය දීමේ කාලය පැමිණෙන තුරු උන් වහන්සේ ස්වර්ගයේ වැඩ විසිය යුතු ය. 22 මන්ද, ‘ඔබගේ දෙවි ස්වාමීන් වහන්සේ මා එවා වදාළාක් මෙන් ඔබේ සහෝදරයන් අතුරෙන් ම දිවැසිවරයෙකු ඔබ හට එවා වදාරන සේක. ඔහු ඔබට වදාරන සියල්ලට ඔබ සවන් දිය යුතු ය. 23 ඒ දිවැසිවරයාට සවන් නොදෙන හැම කෙනෙක් ම සෙනඟ අතරෙන් සහමුලින් ම විනාශ කරනු ලැබෙති’යි මෝසෙස් කී ය. 24 තවද, සාමුවෙල් පටන් පහළ වූ සියලු දිවැසිවරු ද එසේ ම පැවසූ හ; මේ දවස් ගැනත් නිවේදනය කළහ. 25 ඔබ වනාහි දිවැසිවරුන්ගේ ද ‘ඔබේ වංශය කරණකොටගෙන මිහි පිට සියලු පවුල් ආශීර්වාද කරනු ලබන්නේ ය’යි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට වදාරමින් ඔබේ පියවරුන් සමඟ කළ ගිවිසුමේ ද පුත්‍රයෝ වන්නහු ය. 26 දෙවියන් වහන්සේ ස්වකීය සේවකයාණන් උත්ථාන කොට, පළමුවෙන් ම උන් වහන්සේ එවා වදාළේ ඔබ වෙතට ය. එසේ කෙළේ ඔබ හැම කෙනෙකු ම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශීර්වාද කරනු පිණිස ය.”
– 4 වන පරිච්ඡේදය –
පේදුරු තුමා සහ ජොහන් තුමා මන්ත්‍රණ සභාව ඉදිරියේ සිටීම
1 පේදුරු තුමා සහ ජොහන් තුමා සෙනඟට කතා කරමින් සිටිය දී, පූජකයෝ ද දේව මාලිගාවේ මුර සෙබළුන්ගේ ප්‍රධානියා ද සද්දුසිවරු ද ඔවුන් අබිමුවට කඩා වැදුණාහ. 2 ඔවුන් සෙනඟට අනුශාසනා කළ නිසා ද ජේසුස් වහන්සේගේ උත්ථානය මඟින් පුනරුජ්ජීවනය ඇති වන බව ප්‍රකාශ කළ නිසා ද ඔව්හු අතිශයෙන් උදහස් වූ හ. 3 ඔව්හු ඔවුන් අත්අඩංගුවට ගෙන, සවස් වී තිබුණු බැවින්, පසු දා වන තුරු හිර අඩස්සියේ තැබූ හ. 4 එහෙත් පණිවුඩය ඇසූ බොහෝ දෙනෙක් අදහාගත්හ. ඒ පිරිමින්ගේ ගණන පන්දහසක් පමණ විය.
5 පසුවදා ඔවුන්ගේ ප්‍රධානීහු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද යන මොවුහු, 6 උත්තම පූජක අන්නස් ද කායාපස් ද ජොහන් ද අලෙක්සන්දර් ද ඇතුළු උත්තම පූජක පරපුරට අයිති සියලු දෙනා ද සමඟ ජෙරුසලමේ රැස් වූ හ. 7 ඔව්හු ප්‍රේරිතවරුන් දෙදෙනා සභාව මැද සිටුවා, ”ඔබ කුමන බලයකින්, කවරෙකුගේ නාමයෙන් මෙය කළහු දැ”යි විචාළහ. 8 එවිට පේදුරු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව ඔවුන් අමතා මෙසේ කී ය: ”ප්‍රධානියෙනි, ප්‍රජා මූලිකයෙනි, 9 කොර මිනිසෙකුට කරන ලද කාරුණික ක්‍රියාව ගැන හා ඔහු සුවපත් කරන ලද්දේ කෙසේ ද යන්න ගැන හා අද අපි විමසනු ලබමු නම්, 10 එයට අපේ පිළිතුර මෙසේ ය: ඔබ විසින් කුරුසියේ ඇණ ගසන ලද්දා වූ ද දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද්දා වූ ද නාසරෙත්හි ජේසුස් වහන්සේගේ අනුහසින් ඔබ ඉදිරියේ මේ මිනිසා සුව සම්පන්න ව සිටියි. ඒ බව ඔබ සියලු දෙනාත්, මුළු ඉශ්රායෙල් ජනයාත් දැන ගනිත් වා. 11 උන් වහන්සේ වනාහි ‘ගෘහ ශිල්පීන් වන ඔබ විසින් ප්‍රතික්ෂේප කරන ලද ගල ය. එහෙත් උන් වහන්සේ ම ප්‍රධාන ගල වූ සේක.’ 12 අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත; මන්ද, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුළු ලොවෙහි ම මිනිසුන් අතර නැත.”
13 උගත්කමක් නැති සාමාන්‍ය මිනිසුන් වශයෙන් සිටි පේදුරුගේ ද ජොහන්ගේ ද නිර්භීතකම දුටු ඔව්හු මවිත වූ හ. ඔවුන් ජේසුස් වහන්සේ ඇසුරෙහි සිටියවුන් බව ද පෙනී ගියේ ය. 14 සුවපත් කරනු ලැබූ මිනිසා ඔවුන් සමඟ සිටි බැවින්, ඒ දෙදෙනාට විරුද්ධ ව කිසිවක් කියන්නට ඔවුන්ට නොහැකි විය. 15 එබැවින් මන්ත්‍රණ සභාවෙන් බැහැර යන්නට ඔවුන්ට අණ කර, ඔව්හු තම තමන් අතර සාකච්ඡා කරමින් මෙසේ කී හ: 16 ”අපි මේ මිනිසුන්ට කුමක් කරමු ද? ඔවුන් විසින් විශිෂ්ඨ, අරුමපුදුම දෙයක් කරන ලද බව ජෙරුසලමෙහි සියලු වැසියන්ට පෙනී ගොස් ඇත. එවැන්නක් නැතැ යි කියන්නට අපට නොහැකි ය. 17 එබැවින්, ජනයා අතර එය තවදුරටත් පතළ නොවන පිණිස මින්පසු මේ නාමයෙන් කිසි ම කෙනෙකුට කතා නොකරන මෙන් අපි ඔවුන්ට තර්ජනය කරමු.” 18 ඉන්පසු ඔව්හු ඔවුන් කැඳවා ජේසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත් ම කතා නොකරන මෙන් ද නූගන්වන මෙන් ද ඔවුන්ට අණ කළහ.
19 එහෙත් පේදුරු ද ජොහන් ද පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරි දැ යි, දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ම විනිශ්චය කරගන්න. 20 මන්ද, අප ඇසූ දුටු දේ ගැන කතා නොකර සිටින්නට අපට නොහැකි ම ය”යි කී හ. 21 ඔව්හු ඔවුන්ට තවදුරටත් තර්ජනය කොට නිදහස් කර යන්නට හැරියෝ ය. සිදු වූ දේ ගැන සියලු දෙනා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බැවින්, ජනයා නිසා ඒ දෙදෙනාට දඬුවම් කිරීමට ඔවුන්ට මඟක් නො වී ය. 22 පුදුම ලෙස සුවපත් කරනු ලැබූ මේ මිනිසා අවුරුදු සතළිසක් ඉක්මවූවෙකි.
සභාව යාච්ඤාවේ යෙදී සිටීම
23 පේදුරු හා ජොහන් නිදහස් කරනු ලැබූ පසු, සිය මිතුරන් වෙතට ගොස්, නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද තමන්ට කී දේ සැළ කළහ. 24 මෙය ඇසූ ඔව්හු, එක හඬින් දෙවියන් වහන්සේට මෙසේ යාච්ඤා කළහ: ”මහෝත්තම ස්වාමීනි, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැව්වේ ඔබ වහන්සේ ය. 25 ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබගේ දාසයා වූ ද අපගේ පියා වූ ද දාවිත් රජුගේ මුඛයෙන් කතා කරමින්, ‘විජාතීන් කෝප වූයේ කුමට ද? ජනයන් නිෂ්ඵල උපා යෙදූයේ කුමට ද?
26 සමිඳාණන් වහන්සේට ද සිය මෙසියස්වරයාණන්ට ද විරුද්ධ ව, පොළොවේ රජවරු සැරසී සිටියාහ, අධිපතියෝ ද එක්රැස් වූ හ’යි
ඔබ වහන්සේ වදාළ සේක. 27 සැබැවින් ම, ඔබ ආලේප කළ ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේට විරුද්ධ ව හෙරොද් හා පොන්තියුස් පිලාත්, විජාතීන් ද, ඉශ්රායෙල් ජනයා ද සමඟ මේ නුවර රැස් වූ හ. 28 එසේ කෙළේ ඔබගේ බලයෙන් හා කැමැත්තෙන් සිදුවන්නට ඔබ පෙර නියම කළ සියල්ල ඉටුවන පිණිස ය. 29 දැන් ඉතින් ස්වාමීනි, ඔවුන්ගේ තර්ජන සලකා බලා ඔබගේ වචනය නිර්භීත ව ප්‍රකාශ කිරීමට ඔබගේ දාසයන්ට වර දුන මැනව. 30 සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව; තවද, ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේගේ නාමානුභාවයෙන් ලකුණු ද අරුමපුදුම දේ ද සිදු කළ මැනව.” 31 මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ.
සභාවේ ඒකාත්මතාව
32 එකල ඇදහිලිවතුන් සමූහයා එක්සත් ව, එක්සිත් ව සිටිය හ; තමන් සතු දෙයින් කිසිවක් තමාගේ ම යයි කිසිවෙක් නොකී හ; සියල්ල පොදුවේ තබාගත්හ. 33 ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන ප්‍රේරිතයෝ ප්‍රබල ලෙස සාක්ෂි දුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි දේව වරප්‍රසාදය බහුල ව පැවැතිණි. 34 අගහිඟ ඇති කිසිවෙක් ඔවුන් අතර නොවූ හ. මන්ද, වතුපිටි හෝ ගෙවල් හෝ අයිතිකරුවෝ ඒවා විකුණා, එයින් ලත් මුදල් ගෙනැවිත්, 35 ප්‍රේරිතයන්ගේ පාමුල තැබූ හ. ඒ මුදල් එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදා දෙන ලදී. 36 එකල, ‘අනුශාසනාවේ පුත්‍රයා’ යන අර්ථය ඇති බාර්ණබස් යයි ප්‍රේරිතයන් විසින් නම් කරන ලද ලෙවීවරයෙක් වූ ද සයිප්‍රස් වැසියෙක් වූ ද ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය. 37 ඔහු තමා සතු කෙතක් විකුණා එයින් ලත් මුදල ගෙනවුත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබී ය.
– 5 වන පරිච්ඡේදය –
අනනියස් සහ සපිරා
1 අනනියස් නම් එක්තරා මිනිසෙක්, සපිරා නම් තම භාර්යාව සමඟ ඉඩමක් විකුණා, 2 ඇය දැනුවත් ව මුදලෙන් කොටසක් තබාගෙන, ඉතිරි කොටස ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබී ය. 3 එවිට පේදුරු කතා කොට, ”අනනියස්, ශුද්ධාත්මයාණන් වහන්සේ රවටා, ඉඩමේ මුදලෙන් කොටසක් තබාගන්නට සාතන් ඔබේ සිත පෙළෙඹෙව්වේ කෙසේ ද? 4 විකුණන්නට පෙර ඉඩම ඔබට ම අයිති ව තිබුණා නොවේ ද? විකුණූ පසු මුදලත් ඔබගේ ම නොවේ ද? එසේ නම්, මේ ක්‍රියාව කිරීමට ඔබේ සිත පෙළඹුණේ කෙසේ ද? ඔබ රැවටුවේ මිනිසුන් නොව, දෙවියන් වහන්සේ ය”යි කී ය. 5 අනනියස් ඒ වචන අසා මැරී වැටුණේ ය. ඒ ඇසූ සියල්ලෝ අතිශයින් බියපත් වූ හ. 6 තරුණයෝ අවුත් මළ මිනිය ඔතා, පිටතට ගෙන ගොස් වැළැලූ හ.
7 පැය තුනකට පමණ පසු, සිදු වූ දේ නොදැන ඔහුගේ බිරිඳ එතැනට පිවිසියා ය. 8 පේදුරු ඇය අමතා, ”මට කියන්න, ඔබ ඉඩම විකුණා ලැබූ මුදල මෙපමණ දැ”යි ඇසී ය. ”එසේ ය, එපමණ ය”යි ඈ පිළිතුරු දුන්නා ය. 9 එවිට පේදුරු ඇය අමතා, ”ස්වාමීන්ගේ ආත්මයාණන් පරීක්ෂා කරන්නට ඔබ දෙපොල එකඟ වූයේ කෙසේ ද? අන්න, ඔබේ පුරුෂයා ගෙන ගොස් වැළැලූ අය දොර ළඟ සිටිති. ඔව්හු ඔබ ද එලෙස ම ගෙන යන්නෝ ය”යි කී ය. 10 ඈ එකෙණෙහි ම පේදුරුගේ පාමුල මැරී වැටුණා ය. තරුණයෝ ඇතුළු වී, ඇය මැරී සිටිනු දැක, පිටතට ගෙන ගොස් පුරුෂයා ළඟ වැළැලූ හ. 11 මුළු සභාව ද එය ඇසූ සියල්ලෝ ද අතිශයින් බියපත් වූ හ.
අරුමපුදුම දේ
12 ප්‍රේරිතයන් විසින් ජනයා අතර කරන ලද ලකුණු ද අරුමපුදුම දේ ද බොහෝ විය. ඔව්හු සියලු දෙනා ම එක්සිත් ව සලමොන්ගේ සක්මන් මළුවෙහි රැස් වූ හ. 13 සෙසු අයගෙන් කිසිවෙක් ඔවුන් හා එක් වන්නට තරම් ධෛර්යවත් නො වූ හ. එසේ වුව ද ජනයා ඔවුන් පැසසූ හ. 14 සමිඳාණන් වහන්සේ අදහාගත් අයගේ සංබ්‍යාව තව තවත් වැඩි විය. ඒ මහා ජනකාය ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයෙන් සමන්විත විය. 15 එබැවින් පේදුරු මඟ යන විට, ඔහුගේ සෙවණැල්ල වත් රෝගීන් මත වැටෙන පිණිස, ඔව්හු ඔවුන් මහ මඟට ගෙනැවිත් යහන්වල ද පැදුරුවල ද තැබූ හ. 16 ජෙරුසලම අවට නුවරවලින්, රෝගාතුරයන් ද දුෂ්ටාත්මයන්ගෙන් පීඩිත වූවන් ද රැගත් ජනකායක් රැස් වූ හ. ඒ සියල්ලෝ ම සුවය ලැබූ හ.
ප්‍රේරිතයන්ට පීඩා කිරීම
17 එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට, 18 ප්‍රේරිතයන් අල්ලා පොදු හිරගෙයි දැමූ හ. 19 එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දුතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට, 20 ”යන්න, දේව මාලිගාවේ සිට මේ ජීවන මඟ පිළිබඳ සියලු දේ සෙනඟට ප්‍රකාශ කරන්නැ”යි කී ය. 21 ඔව්හු ඒ අසා අලුයම දේව මාලිගාවට පිවිස ඉගැන්වූ හ.
ඒ අතරතුර, උත්තම පූජකයා ද පිරිවර ද පැමිණ, මුළු ඉශ්රායෙල් උත්තර මණ්ඩලය ඇතුළු මන්ත්‍රණ සභාව රැස් කරවා, ප්‍රේරිතයන් ගෙනෙන පිණිස හිරගෙදරට නියෝගයක් යැවූ හ. 22 එහෙත් මුර සේවකයෝ ගොස්, හිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැළ කළහ: 23 ”සිරගෙය ඉතා සුරක්ෂිත ලෙස වසා තිබුණි. මුරකරුවන් දොරටු ළඟ සිටි බව ද දුටිමු; එහෙත් දොර ඇරිය කල ඇතුළේ කිසිවෙක් අපට හමු නො වූ හ.” 24 දේව මාලිගාවේ සේනාධිපතියා ද නායක පූජකයෝ ද මේ පුවත අසා, කුමකින් කුමක් වේ දැ යි වික්ෂිප්ත වූ හ. 25 එවිට මිනිසෙක් අවුත්, ”අන්න ඔබ හිරගෙයි දැමූ අය දේව මාලිගාවේ සිට ජනයාට උගන්වති”යි සැළ කෙළේ ය. 26 දේව මාලිගාවේ සේනාධිපතියා සිය මුර සේවකයන් සමඟ පිටත් ව ගොස් ප්‍රේරිතයන් රැගෙන ආවේ ය. එසේ ගෙනෙන විට, සෙනඟ ඔවුන්ට ගල් ගසති යි යන බියෙන් ප්‍රේරිතයන්ට කිසි හිරිහැරයක් නොකළහ.
27 ඔව්හු ඔවුන් ගෙනවුත් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි සිටෙව්වෝ ය. උත්තම පූජකයා ඔවුන් අමතා, 28 ”මේ මිනිසාගේ නාමයෙන් නූගන්වන ලෙස අපි ඔබට අණ කෙළෙමු. එහෙත් ඔබ, ඔබගේ මේ ධර්මය ජෙරුසලම පුරා පතළ කර, මේ මිනිසාගේ මරණය ගැන අප වගකිව යුත්තන් කරන්නට අදහස් කරන්නහු දැ”යි ඇසූ හ. 29 එවිට පේදුරු සහ ප්‍රේරිතයෝ පිළිතුරු දෙමින්, ”අප මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කීකරු විය යුතු ය. 30 අප පියවරුන්ගේ දෙවියන් වහන්සේ, ඔබ විසින් ගසක එල්ලා මරණයට පත් කළ ජේසුස් වහන්සේ උත්ථාන කොට වදාළ සේක. 31 එම තැනැන් වහන්සේ නායකයාණන් ද ගැළවුම් කාරයාණන් ද වන පිණිස දෙවියන් වහන්සේ සිය දකුණතින් දකුණතට උසස් කර වදාළ සේක. එසේ කෙළේ, ඉශ්රායෙල්ට පසුතැවී සිත් හරවා ගැනීමත් පව් කමාවත් දෙන පිණිස ය. 32 මේ කරුණුවලට අපි සාක්ෂිකාරයෝ වෙමු. දෙවියන් වහන්සේට කීකරු වන අයට ප්‍රදානය කර ඇති ශුද්ධාත්මයාණන් වහන්සේ ද අප සමඟ, සාක්ෂිකාරයෙක් වන සේකැ”යි කී හ.
33 ඔව්හු ඒ අසා කෝපයෙන් දිළිහී, ඔවුන් මරන්නට අදහස් කළහ. 34 එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්‍රණ සභාවෙහි නැඟිට, ප්‍රේරිතයන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය: 35 ”ඉශ්රායෙල් ජනයිනි, ඔබ මේ මිනිසුන්ට කරන්නට යන දේ ගැන පරිස්සම්වන්න. 36 ටික කලෙකට පෙර තියුදාස්, තමා වැදගත් කෙනෙකැ යි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් හාරසිය දෙනෙක් පමණ එකතු වූ හ. එහෙත්, ඔහු මරනු ලැබී ය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තට ම නැති වූ හ. 37 ඔහුට පසු, සංගණනය කළ දවස්වල ගලීලයේ ජූදස් ඉදිරිපත් වී ජනයාගෙන් සමහර දෙනෙකු තමා වෙතට දිනාගත්තේ ය. ඔහු ද විනාශ විය. ඔහුගේ අනුගාමිකයෝ ද විසුරුවනු ලැබූ හ. 38 ඉදින් මේ සිද්ධිය ගැන මා ඔබට කියන්නේ, මේ මිනිසුන්ගෙන් ඈත් වී සිටින්න කියාත්, තමන්ගේ පාඩුවේ ඉන්නට ඔවුන්ට ඉඩ හරින්න කියාත් ය. ඔවුන්ගේ මේ ව්‍යාපාරය හෝ ක්‍රියා මාර්ගය හෝ මිනිසාගෙන් වන දෙයක් නම්, එය කඩාකප්පල් වන්නේ ය. 39 එහෙත් එය දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම්, ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකි ය. එපමණක් නොව, ඔබ අදහස් කරන දේ, දෙවියන් වහන්සේට විරුද්ධ ව සටන් කිරීමක් වීමට ද ඉඩ ඇත.” ඔව්හු මේ අවවාදය පිළිගත්හ.
40 ඉන්පසු ඔව්හු ප්‍රේරිතයන් තමන් වෙතට ගෙන්වා, කස පහර දී, ජේසුස් වහන්සේගේ නාමයෙන් කතා නොකරන්නට අණ කොට ඔවුන් නිදහස් කර යැවූ හ. 41 එවිට ප්‍රේරිතයෝ ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ. 42 තවද ඔව්හු, දිනපතා ම දේව මාලිගාවේ ද ගෙදරක් ගෙදරක් පාසා ද ඉගැන්වීමෙහිත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්න දේශනා කිරීමෙහිත් නිරත වූ හ.
– 6 වන පරිච්ඡේදය –
උපස්ථායකයන් සත්දෙනා පත් කිරීම
1 ඒ දවස්වල දී ශ්‍රාවකයන්ගේ ගණන වැඩි වන කල, හෙබ්‍රෙව් බස කතා කරන ජුදෙව්වන්ට විරුද්ධ ව, ග්‍රීක බස කතා කරන ජුදෙව්වරු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ: දිනපතා සහනාධාර දීමේ දී, තමන්ගේ වැන්දඹුවන් නොසලකා හරිනු ලබති යි ඔව්හු කී හ. 2 එවිට දොළොස් දෙනා ගෝල සමූහය රැස් කරවා, ”අප දෙව් දහම දේශනා කිරීම අතපසු කොට සහනාධාර කටයුතුවල යෙදී සිටීම කිසිසේත් සුදුසු නැත. 3 එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න. 4 ඉන්පසු අපි යාච්ඤාවෙහි ද ධර්ම දේශනාවෙහි ද නියුක්ත ව සිටිමු”යි කී හ. 5 මේ යෝජනාව ගැන මුළු මහත් පිරිස සතුටු වූ හ. එවිට ඔව්හු, ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ මිනිසෙකු වන ස්තේපන් ද ඔහු සමඟ පිලිප් ද ප්‍රොකොරස් ද නිකනොර් ද තීමොන් ද පර්මෙනස් ද ජුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලොස් ද තෝරාගත්හ. 6 ඔව්හු මේ අය ප්‍රේරිතයන් වෙත ඉදිරිපත් කළහ. ප්‍රේරිතයෝ යාච්ඤා කොට ඔවුන් මත අත් තැබූ හ.
7 තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේ ය. ජෙරුසලමේ ශ්‍රාවකයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදහිල්ල පිළිගත්හ.
ස්තේපන් අත්අඩංගුවට ගැනීම
8 ස්තේපන්, දේව වරප්‍රසාදයෙන් ද ආනුභාවයෙන් ද පූර්ණ ව මහත් ලකුණු හා අරුමපුදුම දේ ජනතාව අතර සිදු කෙළේ ය. 9 එහෙත්, ‘ස්වාධීන’ යයි නම් ලත් ධර්මශාලාවට අයත් සිරේනීයයන් සහ අලෙක්සන්ද්‍රියයන්ගෙන් ඇතැමෙක් ද සිලීසියාවේ සහ ආසියාවේ සමහරු ද නැඟිට ස්තේපන් සමඟ විවාද කළහ. 10 ඔහුගේ කතාවෙහි ගැබ් වූ ප්‍රඥාව හා ශුද්ධාත්ම බලය අභිබවා නැඟී සිටීමට ඔවුන්ට නොහැකි විය. 11 එවිට, ”මේ මිනිසා මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් අපහාස කරනවා අපි ඇසීමු”යි කියන්නට ඔව්හු මිනිසුන් පෙළඹුවහු ය. 12 තවද ඔව්හු ජනතාව ද ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියහ. 13 එහි දී ඔව්හු බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් කර, ”මේ මිනිසා ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධ ව නොනවත්වා ම කතා කරයි. 14 නාසරෙත්හි ජේසුස් වහන්සේ මේ ස්ථානය වනසා දමා, මෝසෙස්ගෙන් අපට උරුම වූ වත්පිළිවෙත් වෙනස් කරන්නේ යයි ඔහු කියනවා ඇසීමු”යි කී හ. 15 මන්ත්‍රණ සභාවේ හිඳගෙන හුන් හැම දෙනා ම ඔහු දෙස බැලූ හ. ඔහුගේ මුහුණ දේව දුතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට දර්ශනය විය.
– 7 වන පරිච්ඡේදය –
ස්තේපන්ගේ පිළිතුරු කතාව
1 එවිට උත්තම පූජකයා, ”මේ ඇත්ත දැ”යි ඇසී ය. 2 ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: ”සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී, 3 ‘ඔබේ රටින් ද ඥාතීන්ගෙන් ද වෙන් වී මා ඔබට පෙන්වන දේශයට එන්නැ’යි වදාළ සේක. 4 එවිට ඔහු කල්දීයයන්ගේ දේශයෙන් නික්ම ගොස් හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ ඇවෑමෙන් දෙවියන් වහන්සේ ඔහු එතැනින් ඉවත් කොට ඔබ දැන් වසන මේ දේශයට ගෙනා සේක; 5 එහි අඩියක් පමණ වත් උරුමයක් ඔහුට නුදුන් සේක. එහෙත්, එවකට ඔහුට දරුවෙකු නොසිටි නමුත්, මේ දේශය ඔහුට ද ඔහුගේ දරු පරම්පරාවට ද උරුම කර දීමට පොරොන්දු වූ සේක. 6 දෙවියන් වහන්සේ වදාළ දේ නම් මේ ය: ‘ඔහුගේ දරු පරම්පරාව අන්‍ය දේශයක ආගන්තුකයන් ව සිටිනවා ඇත. ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන අවුරුදු හාර සියයක් මුළුල්ලේ ඔවුන්ට පීඩා කරනු ඇත. 7 ඔව්හු යම් ජාතියකට වහල් වෙත් ද, මම ඒ ජාතිය විනිශ්චයට පමුණුවමි; ඉන්පසු ඔව්හු පිටත් ව අවුත් මේ ස්ථානයෙහි මට නමස්කාර කරති.’ 8 තවද, උන් වහන්සේ ගිවිසුමේ ලකුණක් වශයෙන් චර්මඡේදනය ඔහුට දුන් සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් ද උපන්නේ ය. ආබ්‍රහම් අට වන දා ඔහු චර්මඡේදනය කෙළේ ය. ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව කුලපතියෝ දොළොස් දෙනා ද උපන්හ. ඔව්හු සියල්ලෝ චර්මඡේදනය කරනු ලැබූ හ.
9 ”ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට, 10 සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජ වූ පාරාවෝ ඉදිරියෙහි වරප්‍රසාදයත් ප්‍රඥාවත් ඔහුට දුන් සේක. පාරාවෝ තෙමේ මිසරයට ද තමාගේ මුළු රජ ගෙදරට ද, පාලකයා ලෙස ඔහු පත් කෙළේ ය. 11 එකල මුළු මිසර දේශයෙහි ද කානාන්හි ද සාගතයක් ඇති වූයෙන් මහත් විපත්තියක් ඇති විය. අපගේ පියවරුන්ට කිසි ආහාරයක් නොමැති විය. 12 එහෙත් මිසරයෙහි ධාන්‍ය ඇති බව ජාකොබ් අසා, පළමු වරට අපේ පියවරුන් එහි යැවී ය. 13 දෙ වන වාරයේ දී ජෝසෙප් තම සහෝදරයන්ට හඳුන්වා දෙනු ලැබී ය. පාරාවෝට ද ජෝසෙප්ගේ වංශය හෙළි විය. 14 එකල ජෝසෙප් තම පිය වූ ජාකොබ් ද හැත්තෑපස්දෙනෙකුගෙන් යුත් ඔහුගේ සියලු ඥාතීන් ද කැඳවා යැවී ය. 15 ජාකොබ් මිසරයට ගියේ ය. එහි දී ඔහු ද අපගේ පියවරු ද මියගියහ. 16 ඔව්හු ෂෙකෙම් නුවරට ගෙන යන ලදුව, ෂෙකෙම්හි හේමොර්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් රිදී මිල ගණනකට ගත් සොහොන් ගෙය තුළ තැන්පත් කරනු ලැබූ හ.
17 ”දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ. 18 එකල ජෝසෙප් ගැන නොදත් අන් රජෙක් මිසරයේ රජකමට පත් විය. 19 ඔහු අප ජාතියට විරුද්ධ ව යටිඋගුල් අටවා, අපගේ ළදරුවන් මැරී යන ලෙස පිටතට දමන්නට අපගේ පියවරුන්ට බල කෙළේ ය. 20 මෝසෙස් උපන්නේ මේ කාලයේ දී ය. ඔහු දෙවියන් වහන්සේට ප්‍රිය වූ සුන්දර දරුවෙක් විය. ඔහු ස්වකීය පියාගේ ගෙදර තුන් මසක් ඇතිදැඩි කරනු ලැබී ය. 21 ඉන්පසු ඔහු ඉවත දමනු ලැබූ කල පාරාවෝගේ දුව ඔහු රැගෙන, ඇගේ ම පුත්‍රයා මෙන් ඇතිදැඩි කරගත්තා ය. 22 මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, කතාවෙහි ද ක්‍රියාවෙහි ද දක්ෂපක්ෂ තැනැත්තෙක් විය.
23 ”මෝසෙස්ට සතළිස් වසක් පමණ වූ විට, ඉශ්රායෙල් පුත්‍රයන් වන තම නෑදෑ පිරිස බලන්නට යාමට ඔහුගේ සිතේ අදහසක් ඇති විය. 24 ඉශ්රායෙල්වරුන්ගෙන් කෙනෙකුට අයුක්තියක් කරනු දැක, ඔහුට පක්ෂ ව, මිසරයාට පහර දී, පීඩා කරනු ලැබූ තැනැත්තාට යුක්තිය ඉටු කෙළේ ය. 25 දෙවියන් වහන්සේ ඔහු අතින් ඔහුගේ නෑදෑ පිරිසට විමුක්තිය සලසා දෙන බව ඔවුන් තේරුම්ගෙන ඇතැ යි ඔහු සිතී ය. එහෙත් ඔව්හු එය තේරුම් නොගත්හ. 26 පසුවදා ඉශ්රායෙල්වරුන් දෙදෙනෙකු දබර කරනු දැක, ඔවුන් සමඟි කිරීමේ අදහසින් ඉදිරිපත් වී, ‘මිත්‍රවරුනි, ඔබ සහෝදරයෝ ය; එකිනෙකාට අයුතුකම් කරන්නේ මන්දැ’යි ඇසී ය. 27 එහෙත් අසල්වැසියාට අයුතුකම් කරමින් සිටි මිනිසා මෝසෙස් තල්ලු කර දමා, ‘අප කෙරෙහි අධිපතියෙකු ද විනිශ්චයකාරයෙකු ද කර ඔබ පත් කෙළේ කවරෙක් ද? 28 ඔබ ඊයේ මිසරයා මැරූ ලෙස, මාත් මරන්නට හදනවා දැ’යි කී ය. 29 ඒ කීම නිසා මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයෙහි ආගන්තුක ව විසී ය. එහි දී ඔහුට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්හ.
30 ”සතළිස් අවුරුද්දක් ගත වූ පසු, සීනයි කඳු පාළුකරයේ පඳුරක ගිනි ජාලාවක් තුළ දේව දුතයෙක් ඔහුට දර්ශනය විය. 31 මෝසෙස් ඒ දර්ශනය දැක, පුදුම වී, එය සොයා බලන පිණිස ළඟට ගිය කල, 32 ‘ඔබේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ මම වෙමි’යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ ඇසුණේ ය. මෝසෙස් වෙව්ලන්නට වී, වැඩිදුර පරීක්ෂා කරන්නට බිය විය. 33 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ‘නුඹේ පාවහන් ගලවනු; මන්ද, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකි. 34 මිසරයෙහි වසන මාගේ ජනතාව විඳින පීඩා සැබැවින් ම දිටිමි; ඔවුන්ගේ සුසුම්ලෑම ඇසීමි; ඔවුන් ගළවන පිණිස බැස ආවෙමි; එනු, මම දැන් නුඹ මිසරයට යවමි’යි වදාළ සේක.
35 ”අප කෙරෙහි අධිපතියෙකු හා විනිශ්චයකාරයෙකු ලෙස පත් කරන ලද්දේත්, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේත් මේ මෝසෙස් ය. එහෙත් පඳුරෙහි දර්ශනය වූ දේව දූතයා මඟින් අධිපතියෙකු හා මිදුම්කාරයෙකු ද වන පිණිස දෙවියන් වහන්සේ විසින් යවන ලද්දේත් මොහු ම ය. 36 මිසරයෙහිදීත්, රතු මුහුදේදීත්, සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි පාළුකරයේදීත්, හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔවුන් පිටතට ගෙන ගියේත් මේ මෝසෙස් ම ය. 37 ‘දෙවියන් වහන්සේ මා එවූ ලෙස ම ඔබගේ සහෝදරයන් අතරෙන් ඔබට දිවැසිවරයෙකු එවන සේකැ’යි ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවේත්, මේ මෝසෙස් ම ය. 38 සීනයි කන්දේ දී තමාට කතා කළ දේව දූතයා සමඟ ද අපේ පියවරුන් සමඟ ද පාළුකරයෙහි වූ සභාවේ ද සිටියේත්, අපට ප්‍රදානය කරන පිණිස ජීවන දහම ලැබුවේත් මොහු ම ය.
39 ”එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්, 40 ආරොන්ට කතා කරමින්, ‘අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනව, මන්ද, මිසර දේශයෙන් අප ගෙන ආ ඒ මෝසෙස්ට කුමක් වී ද කියා නොදනිමු’යි කී හ. 41 ඔව්හු ඒ දවස්වල දී වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් ඔප්පු කර, තමන් අතින් සෑදූ දේ ගැන ප්‍රීති වූ හ. 42 එවිට දෙවියන් වහන්සේ ඔවුන් වෙතින් හැරී, ග්‍රහ දේවතා නමස්කාරයට ඔවුන් අත්හැරදැමූ සේක. දිවැසිවරයන්ගේ පොතේ ඒ ගැන,
‘ඉශ්රායෙල් වංශය, කාන්තාරයෙහි සතළිස් වසක් තුළ ඔබ මට බිලි හා පූජා ඔප්පු කළහු ද?
43 නැත, නමස්කාර කරන පිණිස ඔබ විසින් සාදන ලද රූප, එනම්, මොලෙක්ගේ දේවාලය ද රෙපාන් දෙවියාගේ තාරකාව ද ඔබ ඔසවාගෙන ගියහු ය.
එබැවින් ඔබ බබිලෝනියෙන් එපිටට නෙරපන්නෙමි’ යනුවෙන් ලියා තිබේ.
44 ”අපේ පියවරුන්ට කාන්තාරයෙහි සාක්ෂි මණ්ඩපය තිබුණේ ය. එය සාදන ලද්දේ, දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පෙන්වන ලද සැලැස්ම අනුව, ඔහු සමඟ කතා කළ තැනැන් වහන්සේ නියම කළ ලෙසට ය. 45 අපගේ පියවරු ජෝෂුවා හා සමඟ, දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ දේශය අයිති කරගත් අවස්ථාවේදීත්, ඔවුන් ලබාගත් මේ කූඩාරම ද ගෙන ගොස් දාවිත්ගේ කාලය දක්වා තබාගත්හ. 46 දාවිත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසාදය ලබා, ජාකොබ්ගේ දෙවියන් වහන්සේට වාසස්ථානයක් සැපයීමට අවසර ඉල්ලී ය. 47 එහෙත් උන් වහන්සේට මන්දිරයක් තැනුවේ සලමොන් ය.
48 ”එසේ වුවත් අතින් සෑදූ ස්ථානවල මහෝත්තමයාණන් වහන්සේ වාසය නොකරන සේක. ඒ බව දිවැසිවරයා මෙසේ කියා ඇත: 49 ‘අහස මාගේ සිහසුන ය,
පොළොව මාගේ පාපුටුව ය, කෙබඳු ගෘහයක් ඔබ මට ඉදි කරන්නහු ද?
නොහොත්, මාගේ විවේක ස්ථානය කිමෙක් ද?
50 මේ සියල්ල මාගේ අතින් නොසාදන ලද දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
51 ”හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය. 52 ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත. 53 දේව දූතයන් විසින් දෙන ලද ව්‍යවස්ථා ඔබ ලැබූ නමුත් ඒවා නොපිළිපැද්දහු ය.”
ස්තේපන්ට ගල් ගැසීම
54 ඔව්හු ඒ අසා, ඔහුට විරුද්ධ ව කෝපයෙන් දිළිහී දත්මිටි කෑහ. 55 එහෙත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ ව, ස්වර්ගයට බැල්ම හෙළා, දෙවියන් වහන්සේගේ තේජශ්‍රීයත් උන් වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැඟිට සිටිනවාත් දැක, 56 ”අන්න, ස්වර්ගය විවර වී ඇත, මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණු පස නැඟිට සිටිනවා මට පෙනේ ය”යි කී ය. 57 එහෙත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරහඬගසා, තමන්ගේ කන් වසා ගෙන, එක සිතින් ඔහු පිටට කඩා පැන, 58 ඔහු නුවරින් පිටතට ඇද ඔහුට ගල් ගැසූ හ. සාක්ෂිකාරයෝ තමන්ගේ ඇඳුම් සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබූ හ. 59 ”ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනවැ”යි කියා ස්තේපන් යාච්ඤා කරද්දී ඔව්හු ඔහුට ගල් ගැසූ හ. 60 ඔහු දණින් වැටී, ”සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ”යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය.
– 8 වන පරිච්ඡේදය –
සාවුල් සභාවට පීඩා කිරීම
1 ඔහු මරාදැමීම ගැන සාවුල් ද සතුට ප්‍රකාශ කෙළේ ය.
ඒ දවසේ දී ජෙරුසලමෙහි වූ සභාවට විරුද්ධ ව දරුණු පීඩාවක් හට ගත්තේ ය. එවිට ප්‍රේරිතයන් හැර, සෙසු සියල්ලෝ ජුදයේ සහ සමාරියේ පළාත්වල විසුරුවනු ලැබූ හ. 2 සැදැහැවත් අය ස්තේපන් භූමදාන කොට, ඔහු ගැන බොහෝ සෙයින් වැලපුණහ. 3 එහෙත් සාවුල් ගෙදරින් ගෙදරට ගොස්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද අල්ලා හිරභාරයට ගනිමින්, සභාව වනසන්නට දිරි දැරී ය.
සමාරියේ දහම් දෙසීම
4 විසුරුවනු ලැබූ අය දේශයෙහි සැරිසරමින් දේව වචනය දේශනා කළහ. 5 පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කෙළේ ය. 6 පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ. 7 අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහ හඬින් මොරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශභාග රෝගීහු ද කොරු ද සුව කරනු ලැබූ හ. 8 ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය.
9 එකල ඒ නුවර ඊට කලින් අනවින කරමින් සිටි, තමා මහා උත්තමයෙකැ යි පුරසාරම් දෙඩූ, සමාරීය ජනතාව මවිත කළ, සීමොන් නම් එක්තරා මිනිසෙක් සිටියේ ය. 10 පරාක්‍රමයාණෝ යයි නම් ලත් දෙවියන්ගේ බලය මොහු යයි කියමින්, ලොකු කුඩා හැම දෙනා ම ඔහුට සාවධාන ව සවන් දුන්හ. 11 ඔවුන් ඔහුට එසේ සවන් දුන්නේ ඔහුගේ අනවිනවලින් කාලයක් තිස්සේ ඔහු ඔවුන් මවිත කළ නිසා ය. 12 එහෙත් පිලිප් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය ද ගැන සුබ අස්න දේශනා කළ විට, ඔව්හු ඔහු විශ්වාස කළහ. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. 13 එපමණක් නොව සීමොන් ද විශ්වාස කොට, බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, පිලිප් සමඟ නිරතුරු සිටිමින්, ඔහු කළ අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද දැක මවිත විය.
14 සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි ප්‍රේරිතවරයන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ. 15 ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස යාච්ඤා කළහ. 16 මන්ද, ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවා මිස, ඒ වන තුරුත් ශුද්ධාත්මයාණන් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත. 17 ප්‍රේරිතවරුන් ඔවුන් පිට අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබිණි.
18 ප්‍රේරිතවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්, 19 ”යමෙකු පිට මම අත් තබම් ද, ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැ”යි කී ය. 20 එහෙත් පේදුරු ඔහුට කතා කොට, ”දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා. 21 මේ කාරණයෙහි කොටසක් වත් පංගුකාරකමක් වත් ඔබට නැත. මන්ද, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබේ සිත අවංක නැත. 22 එහෙයින් ඔබේ සිතේ අදහස ගැන ඔබට කමා කරනු ලබන්නේ දැ යි බලනු පිණිස ඒ දුෂ්ටකම ගැන පසුතැවී සිත හරවා ගෙන, සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. 23 මන්ද, ඔබ තික්තකමේ ගැඹුරට කිමිදී පාප බැමිවලින් වෙළී සිටින බව මට පෙනේ ය”යි කී ය. 24 සීමොන් පිළිතුරු දෙමින්, ”ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.
25 ඔවුන් සාක්ෂි දරා සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දේශනා කළ ඉක්බිති ජෙරුසලමට පෙරළා එන අතර සමාරීයයන්ගේ බොහෝ ගම්වල දේව වචනය දේශනා කළෝ ය.
පිලිප් සහ එතියෝපීය නපුංසකයා
26 එකල සමිඳාණන් වහන්සේගේ දුතයෙක් පිලිප්ට කතා කොට, ”නැඟිට දකුණු දෙස ජෙරුසලමේ සිට ගාසාවට බසින පාරට යන්නැ”යි කී ය. එය කාන්තාර පාරකි. 27 ඔහු එහි ගියේ ය. එවිට එතියෝපීය රටවැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තා වූ ද ඇගේ මුළු වස්තුවේ අධිකාරී වූ ද එතියෝපීය නපුංසකයෙක් වන්දනාව පිණිස ජෙරුසලමට ගොස් 28 ආපසු යන විට, තමාගේ රථයෙහි හිඳ, දිවැසිවර යෙසායාගේ පොත කියවමින් සිටියේ ය. 29 එවිට ආත්මයාණන් වහන්සේ පිලිප්ට කතා කොට, ”ඔබ ඉදිරියට ගොස් රථයට ළං ව ගමන් කර එක්වන්නැ”යි වදාළ සේක. 30 පිලිප් ඔහු ළඟට දිවගොස් ඔහු යෙසායා දිවැසිවරයාගේ පොත කියවනු අසා, ”ඔබ කියවන දේ ඔබට තේරෙන්නේ දැ”යි ඇසී ය. 31 ”යමෙකු මඟ පෙන්නුවොත් මිස මට තේරුම්ගත හැක්කේ කෙසේ දැ”යි ඔහු පිළිතුරු දී, රථයට නැඟී තමා සමඟ හිඳගන්නට පිලිප්ගෙන් උදක් ම ඉල්ලී ය. 32 ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය මෙසේ ය:
”මරණයට ගෙනයනු ලබන බැටළුවෙකු මෙන් ද උගේ ලොම් කපන්නා ඉදිරිපිට ගොළු ව සිටින බැටළු පැටවෙකු මෙන් ද උන් වහන්සේ තමන් මුඛය නාරින සේක.
33 උන් වහන්සේ නින්දා ලැබූ හ;
යුක්තිය නොලැබූ හ.
උන් වහන්සේගේ පෙළපත ගැන ප්‍රකාශ කරන්නේ කවරෙක් ද? මන්ද, උන් වහන්සේගේ ජීවිතය මිහි පිටින් පහකරදමන ලදී.”
34 නපුංසකයා පිලිප්ගෙන් විචාරමින්, ”දිවැසිවරයා මෙය කියන්නේ කවරෙකු ගැන ද? තමා ම ගැන ද නැතහොත් අන් කෙනෙකු ගැන දැ යි මට කියන්නැ”යි කී ය. 35 එවිට පිලිප් පිළිතුරු දෙමින්, එකී ශුද්ධ ලියවිලි පාඨයෙන් පටන්ගෙන ජේසුස් වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේ ය. 36 ඔව්හු මාර්ගයේ යද්දී, ජලය ඇති තැනකට පැමුණුණාහ. නපුංසකයා ”මෙන්න, ජලය ඇත; බව්තීස්ම-ස්නාපනය ලැබීමට ඇති බාධාව කුමක් දැ”යි කී ය. 37 පිලිප් කතා කොට, ‘ඔබේ මුළු සිතින් අදහන්නෙහි නම් එසේ කළ හැකි ය’යි පැවසී ය. ඔහු උත්තර දෙමින්, ”ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව මම අදහමි”යි කී ය. 38 රථය නවත්වන්නට අණ කළ පසු පිලිප් ද නපුංසකයා ද දෙදෙනා ම වතුරට බැස්සෝ ය. පිලිප් ඔහු බව්තීස්ම-ස්නාපනය කෙළේ ය. 39 ඔවුන් වතුරෙන් ගොඩ ආ කල සමිඳාණන් වහන්සේගේ ආත්මයාණෝ පිලිප් හැරගෙන ගිය සේක. නපුංසකයා තවත් ඔහු නුදුටුවේ ය. ඔහු ප්‍රීතියෙන් තමාගේ ගමන ගියේ ය. 40 ඉන්පසු පිලිප් දක්නා ලද්දේ අසෝතස්හි දී ය. ඔහු කායිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුබ අස්න ප්‍රකාශ කෙළේ ය.
– 9 වන පරිච්ඡේදය –
තාර්සස්හි සාවුල්ගේ හැරීම
(ක්‍රියා 22:6-16; 26:12-18)
1 එකල සාවුල් තවදුරටත් ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් මරාදමන පිණිස ඔවුන්ට විරුද්ධ ව තර්ජනය කරමින් සිටියේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්, 2 ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්‍ර ඉල්ලාගත්තේ ය.
3 මෙසේ ඔහු ගමන් කරමින් දමස්කයට ළං වූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළිණි. 4 ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: ”සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි. 5 ”ස්වාමීනි, ඔබ කවරෙක් දැ”යි ඔහු ඇසී ය. ”මම ඔබ විසින් පීඩා කරනු ලබන ජේසුස් ය. 6 නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය. 7 ඔහු සමඟ ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණ නමුත්, ඔව්හු කිසිවෙකු නොදැක තුෂ්ණීම්භූත ව සිටියෝ ය. 8 සාවුල් නැඟිට ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත. ඔව්හු ඔහු අතින් අල්ලාගෙන දමස්කයට ගෙන ගියහ. 9 ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේ ය.
10 දමස්කයෙහි අනනියස් නම් එක්තරා ශ්‍රාවකයෙක් සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී, ”අනනියස්”, කියා ඔහු ඇමතූ සේක. ”ස්වාමීනි, මම මෙහි ය”යි ඔහු කී ය. 11 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ”නැඟිට, කෙළින් නම් වූ වීදියට ගොස්, තාර්සස්හි වැසියෙකු වූ සාවුල් නම් කෙනෙකු ගැන ජූදස්ගේ ගෙදරින් විමසන්න. ඔහු යාච්ඤා කරමින් සිටියි. 12 තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මිනිසෙකු පැමිණ තමා පිට අත් තබනු ඔහුට දර්ශනය වී ය”යි වදාළ සේක. 13 එහෙත් අනනියස් උත්තර දෙමින්, ”ස්වාමීනි, මේ මනුෂ්‍යයා ජෙරුසලමේ දී ඔබගේ ශුද්ධවරයන්ට කොපමණ හිංසා පීඩා කෙළේ දැ යි බොහෝ දෙනෙකුගෙන් ඇසීමි. 14 මෙහිදීත් ඔබගේ නාමයට යාච්ඤා කරන සියල්ලන් අත්අඩංගුවට ගන්නට ඔහු නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටී ය”යි කී ය. 15 එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ”යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි. 16 ඔහු මාගේ නාමය නිසා කොපමණ දුක් විඳින්න ඕනෑ ද කියා ඔහුට දක්වන්නෙමි”යි වදාළ සේක.
17 අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, ”සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය. 18 එකෙණෙහි ම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී ඔහු පෙනීම ලැබී ය; ඔහු නැඟිට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, 19 කෑම කා යළිත් ශක්තිය ලැබී ය.
සාවුල් දමස්කයේ දී දේශනා කිරීම
සාවුල් දමස්කයේ ශ්‍රාවකයන් සමඟ කීප දවසක් නතර ව සිටියේ ය. 20 ඔහු නොපමා ව ජේසුස් වහන්සේ ගැන ධර්මශාලාවල දී දේශනා කරමින්, ”උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි ප්‍රකාශ කෙළේ ය. 21 ඒ ඇසූ සියල්ලෝ අතිශයින් මවිත ව, ”මෙම නාමයෙන් යාච්ඤා කරන්නන් ජෙරුසලමේ දී වනසා දැමූ තැනැත්තා මොහු නොවේ ද? මොහු මෙහි ආයේත් ඔවුන් අත්අඩංගුවට ගෙන නායක පූජකයන් ඉදිරියට ගෙන යන අදහසින් නොවේ දැ”යි කී හ. 22 එහෙත් සාවුල් වඩ වඩා බලසම්පන්න ව, ඒ ජේසුස් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ම යයි ඔප්පු කරමින්, දමස්කයෙහි විසූ ජුදෙව්වරුන් නිරුත්තර කෙළේ ය.
23 කලක් ගත වූ පසු, ජුදෙව්වරු ඔහු මරන්නට කුමන්ත්‍රණ කළහ. 24 එහෙත් ඔවුන්ගේ උපාය සාවුල්ට දැනගන්නට ලැබිණි. ඔහු මරණ පිණිස ඔව්හු රෑ දාවල් දෙක්හි දොරටුවල රැකබලා සිටියහ. 25 එහෙත් ඔහුගේ ශ්‍රාවකයෝ රාත්‍රියේ ඔහු ගෙන ගොස්, කූඩයක බහා, පවුරෙහි විවරයකින් පහළට බැස්වූ හ.
සාවුල් ජෙරුසලමට පැමිණීම
26 ඉන්පසු සාවුල් ජෙරුසලමට පැමිණිවිට, ශ්‍රාවකයන් සමඟ එක්වන්නට උත්සාහ කෙළේ ය. එහෙත් ඔහු ශ්‍රාවකයෙකැ යි විශ්වාස නොකොට සියල්ලෝ ඔහුට බිය වූ හ. 27 එවිට බාර්ණබස් ඔහු කැටුව ප්‍රේරිතයන් ළඟට කැඳවා ගෙන ගොස්, මාර්ගයේ දී ඔහු සමිඳාණන් වහන්සේ දුටු සැටිත්, උන් වහන්සේ ඔහුට කතා කළ බවත්, දමස්කයේ දී ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීත ලෙස දේශනා කළ සැටිත්, ඔවුන්ට විස්තර කෙළේ ය. 28 සාවුල් ද ඔවුන් සමඟ ජෙරුසලමෙහි සැරිසරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නිර්භීත ව කතා කෙළේ ය. 29 ඔහු ග්‍රීක බස කතා කළ ජුදෙව්වරුන් සමඟ සාකච්ඡාවෙහි ද වාද කිරීමෙහි ද යෙදීම නිසා ඔව්හු ඔහු මරන්නට අධිෂ්ඨාන කර ගත්හ. 30 සහෝදරයෝ ඒ බව දැන, ඔහු කායිසාරියට ගෙන ගොස් එතැනින් තාර්සස්ට පිටත් කර යැවූ හ.
31 මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.
පේදුරු තුමා අයිනෙයස් සුව කිරීම
32 තවද පේදුරු සියලු පළාත්වල සැරිසරා, ලිද්දායෙහි විසූ සැදැහැවතුන් වෙතට පැමිණියේ ය. 33 එහි අට අවුරුද්දක් අංශභාග රෝගයෙන් ඔත්පළ ව හුන් අයිනෙයස් නම් මනුෂ්‍යයෙක් ඔහුට හමු විය. 34 පේදුරු ඔහුට කතා කොට, ”අයිනෙයස්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඔබට සුවය දෙන සේක. නැඟිට ඔබේ යහන සකස් කරගන්නැ”යි කී ය. එකෙණෙහි ම ඔහු නැඟිට්ටේ ය. 35 ලිද්දායෙහි ද ශාරොනෙහි ද විසූ සියල්ලෝ ඔහු දැක, සමිඳාණන් වහන්සේ සරණ ගියහ.
දොර්කස් මරණයෙන් උත්ථාන කිරීම
36 දොර්කස්, හෙවත් මුවදෙන යන අර්ථය ඇති, තබිතා නම් එක්තරා සැදැහැවත් කාන්තාවක් ජොප්පාවෙහි සිටියා ය. ඈ යහපත කිරීමේ දී හෝ දන්දීමෙහි දී හෝ කිසි විටෙක වෙහෙසට පත් නොවූවා ය. 37 එහෙත් ඒ දවස්වල ඈ රෝගී ව මළා ය. ඔව්හු මිනිය නාවා, උඩුමහලක තැබූ හ. 38 ලිද්දාව ජොප්පාවට සමීප බැවින්, පේදුරු එහි සිටින බව ඇසූ ශ්‍රාවකයෝ ”පමා නොවී අප වෙත එන්නැ”යි අයැදිමින් මිනිසුන් දෙදෙනෙකු ඔහු වෙත යැවූ හ. 39 එවිට පේදුරු පිටත් ව ඔවුන් සමඟ ගියේ ය. ඔහු පැමිණි කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹුවෝ ඔහු වටා සිට හඬ හඬා, දොර්කස් ජීවත් ව සිටිය දී මැහූ කමිසත් කබාත් පෙන්වූ හ. 40 පේදුරු ඔවුන් සියල්ලන් බැහැර කර, දණින් වැටී යාච්ඤා කර, මෘත දේහය දෙසට හැරී, ”තබිතා, නැඟිටින්නැ”යි කී ය. එවිට ඈ ඇස් ඇර, පේදුරු දැක, හිඳගත්තා ය. 41 ඔහු ඈ අතින් අල්ලා නැඟිටුවා, සැදැහැවතුන් ද වැන්දඹුවන් ද කැඳවා, පණපිටින් සිටි ඇය ඔවුන්ට භාර දුන්නේ ය. 42 ජොප්පාව පුරා මේ පුවත පතළ විය. බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේ අදහා ගත්හ. 43 පේදුරු, සීමොන් නම් සම් පදම් කරන්නෙකු සමඟ කීප දවසක් ජොප්පාවෙහි නැවතී සිටියේ ය.
– 10 වන පරිච්ඡේදය –
පේදුරු සහ කොර්නේලියස්
1 ඉතාලි යයි නම් ලත් භට හමුදාවේ ශතාධිපතියෙකු වූ කොර්නේලියස් නම් එක්තරා මිනිසෙක් කායිසාරියේ සිටියේ ය. 2 ඔහු බැතිමතෙකි. සිය ගෙදර වැසියන් සමඟ දේව නමස්කාරයෙහි යෙදුන කෙනෙකි. සෙනඟට බොහෝ සේ දන් දෙමින් නොකඩ ව දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමෙහි නිරත වූවෙකි. 3 දිනක් සවස තුනට පමණ දෙවියන් වහන්සේගේ දුතයෙක් ඔහුගේ නිවසට පැමිණ, ”කොර්නේලියස්” කියා තමාට ආමන්ත්‍රණය කරනු ඔහු දර්ශනයකින් පැහැදිලි ලෙස දැක, 4 දූතයා දෙස නෙත් යොමා බලා, බියපත් වී, ”ස්වාමීනි, කිමෙක් දැ”යි ඇසී ය. දූතයා කතා කොට, ”ඔබේ යාච්ඤා ද දාන ද සිහිවටන වශයෙන් දෙවියන් වහන්සේ ඉදිරියට නැඟී ඇත. 5 ඉදින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් සීමොන් කැඳවාගන්න. 6 ඔහු මුහුද අද්දර සීමොන් නම් සම් පදම් කරන්නෙකුගේ ගෙදර නවාතැන්ගෙන සිටී ය”යි කී ය. 7 මෙසේ කතා කළ දේව දූතයා ගිය කල, කොර්නේලියස් තමාගේ ගෙදර මෙහෙකරුවන්ගෙන් දෙදෙනෙකු ද තමාගේ පෞද්ගලික ආවතේව කරන්නන්ගෙන් පක්ෂපාත හේවායෙකු ද කැඳවා, 8 ඔවුනට සියල්ල කියා දී, ඔවුන් ජොප්පාවට යැවී ය.
9 පසු දින ඔවුන් ගමන් කොට ඒ නුවරට ළං වෙත් ම, පේදුරු මද්දහන වේලාව පමණේ දී යාච්ඤා කරන පිණිස වහල්තලයට නැඟුණේ ය. 10 එවිට බඩගිනි ව, කෑම කන්නට ඔහුට ඕනෑ විය. එහෙත් ඔවුන් කෑම පිළියෙළ කරද්දී ඔහුට දිව්‍ය දර්ශනයක් ලැබුණි. 11 එවිට අහස විවර ව, මහත් රුවලක් වැනි යම් දෙයක් එහි සතර කොණින් බැඳ පොළොවට බස්වනු ඔහු දිටී ය. 12 පොළොවේ සියලු ආකාර සිවුපාවෝ ද උරග ජාතීහු ද ආකාශ පක්ෂීහු ද එහි සිටියෝ ය. 13 ”පේදුරු නැඟිට මරා කන්න” යන හඬක් ඔහුට ඇසිණි. 14 එහෙත් පේදුරු, ”ස්වාමීනි, එසේ නොවේ වා; මන්ද, අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මම නොකෑවෙමි”යි කී ය. 15 ”දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, අකැප යයි නොකියන්නැ”යි දෙ වන වරටත් කියන හඬක් ඇසිණි. 16 මෙය තුන් වරක් ම සිදු විය. එකෙණෙහි ම ඒ දේ අහසට ඔසවාගනු ලැබී ය.
17 තවද, තමා දුටු දර්ශනය කුමක් දැ යි සිත සිතා, පේදුරු වියවුල් ව සිටිය දී, කොර්නේලියස් විසින් එවන ලද මනුෂ්‍යයෝ සීමොන්ගේ ගෙදර කොහේ දැ යි විමසමින් අවුත් එහි දොරටුව ළඟ සිට, 18 ”පේදුරු නම් ලත් සීමොන් මෙහි නැවතී සිටී දැ”යි හඬ නඟා ඇසූ හ. 19 පේදුරු තමා දුටු දර්ශනය ගැන කල්පනා කරමින් සිටිය දී, ආත්මයාණන් වහන්සේ ඔහු අමතමින්, ”අන්න, මිනිස්සු තුන් දෙනෙක් ඔබ සොයති. 20 එබැවින් නැඟිට, බැස ගොස් කිසි සැකයක් නැති ව, ඔවුන් සමඟ යන්න. ඔවුන් එවූයේ මම ය”යි වදාළ සේක. 21 එවිට පේදුරු ඒ මනුෂ්‍යයන් වෙතට බැස ගොස්: ”ඔබ සොයන තැනැත්තා මම ය, ඔබ ආ කාරණය කිමෙක් දැ”යි ඇසී ය. 22 ඔව්හු කතා කොට: ”දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දුතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ. 23 එවිට පේදුරු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේ ය.
පසුවදා ඔහු ඔවුන් සමඟ පිටත් ව ගියේ ය. ජොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක් ද ඔහු කැටුව ගියහ. 24 ඊට පසුදා ඔව්හු කායිසාරියට පැමිණියහ. කොර්නේලියස් තමාගේ නෑයන් ද හිතමිතුරන් ද කැඳවාගෙන ඔවුන් එන තුරු බලා සිටියේ ය. 25 පේදුරු ගෙට පිවිසුණු විට, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස් ඔහුගේ පාමුල වැඳ වැටුණේ ය. 26 එහෙත් පේදුරු, ”නැඟිටින්න, මමත් මනුෂ්‍යයෙකැ”යි කියා ඔහු එසෙව්වේ ය. 27 පේදුරු ඔහු සමඟ කතා කරමින්, ගේ ඇතුළට ගොස්, බොහෝ දෙනෙකු රැස් ව සිටිනු දැක, 28 ඔවුන් අමතා, ”ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්‍ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක. 29 එබැවින් ඔබ මා කැඳවා යැවූ කල මම කිසි සැකයක් නැති ව ආවෙමි. ඔබ මා කැඳෙව්වේ මන්දැ”යි ඇසී ය.
30 එවිට කොර්නේලියස්, ”සිව්දිනකට පෙර මෙවැනි වේලාවක දී, සවස තුනට, මම ගෙදර යාච්ඤා කරමින් සිටියෙමි. එවිට දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිසෙක් මා ඉදිරියෙහි සිට, 31 ‘කොර්නේලියස්, ඔබේ යාච්ඤා අසන ලද්දේ ය, ඔබේ පුණ්‍ය ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිහි කරන ලද්දේ ය; 32 එබැවින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම් පදම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන් ගෙන සිටී ය’යි කී ය. 33 එහෙයින් එකෙණෙහි ම මම ඔබ කැඳවා යැවීමි; ඔබේ පැමිණීම ඉතා හොඳ ය. දැන් සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ සියල්ල අසන පිණිස අපි සියල්ලෝ මෙහි දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටිමු”යි කී ය.
පේදුරු තුමාගේ කතාව
34 එවිට පේදුරු මෙසේ කී ය: ”දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබැවින් ම පැහැදිලි ය. 35 සියලු ජාතීන් අතර උන් වහන්සේ කෙරෙහි බිය ඇති, හරි දේ කරන තැනැත්තා උන් වහන්සේට ප්‍රියමනාප ය. 36 උන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සාමයේ සුබ අස්න ප්‍රකාශ කරමින් ඉශ්රායෙල් පුත්‍රයනට දහම් පණිවුඩය දුන් සේක. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සියල්ලන්ගේ සමිඳාණෝ ය. 37 ජොහන් ප්‍රකාශ කළ බව්තීස්ම-ස්නාපනයට පසු ගලීලය පටන් ජුදය මුළුල්ලෙහි සිදු වූ දේ ඔබ දන්නහු ය; 38 දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය. 39 උන් වහන්සේ ජුදෙව්වරුන්ගේ රටෙහි ද ජෙරුසලමෙහි ද කළ සියල්ලට අපි සාක්ෂිකරුවෝ වම්හ. ඔව්හු උන් වහන්සේ ගසක එල්ලා මැරූ හ. 40 එහෙත් දෙවියන් වහන්සේ තුන් වන දා උන් වහන්සේ උත්ථාන කොට දර්ශනය වන්නට සැලැස්සූ සේක. 41 උන් වහන්සේ සියල්ලනට ම පෙනුණේ නැත. පෙනුණේ, දෙවියන් වහන්සේ විසින් කලින් තෝරාගන්නා ලද සාක්ෂිකරුවන් වන, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු උන් වහන්සේ සමඟ එකට කෑවා වූ, බීවා වූ, අපට ම ය. 42 ජීවත් වන්නවුන්ගේ ද මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තැනැත්තාණන්, උන් වහන්සේ බව සෙනඟට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දෙන්නටත්, උන් වහන්සේ අපට අණ කළ සේක. 43 උන් වහන්සේ අදහන සියල්ලනට උන් වහන්සේගේ නාමයේ අනුහසින් පව් කමාව ලැබෙන බවට සියලු දිවැසිවරයෝ සාක්ෂි දෙති”යි කී ය.
විජාතිකයන් ශුද්ධාත්මය ලැබීම
44 පේදුරු මේ වචන කතා කරද්දී ම එය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ පහළ වූ සේක. 45 පේදුරු සමඟ පැමිණි, චර්මඡේදනය ලත් සැදැහැවත්හු විජාතීන් කෙරෙහි ශුද්ධාත්ම දීමනාව පහළ වූ බැවින් මවිත වූ හ. 46 ඔවුන් අන්‍ය භාෂාවලින් කතා කරන සැටිත්, දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන සැටිත්, ඔවුනට ඇසිණි. 47 එවිට පේදුරු උත්තර දෙමින්, ”අප ලැබුවාක් මෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබූ ඔවුන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කිරීම වැළැක්විය හැක්කේ කවරෙකුට දැ”යි කී ය. 48 ඔහු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්නට අණ කෙළේ ය. එවිට ඔව්හු, කීප දවසක් තමන් සමඟ නැවතී සිටින ලෙස ඔහුගෙන් ඉල්ලූ හ.
– 11 වන පරිච්ඡේදය –
ජෙරුසලමේ සභාවට පේදුරු තුමාගේ වාර්තාව
1 විජාතීන් විසින් ද දේව වචනය පිළිගනු ලැබූ බව ජුදයෙහි සිටි ප්‍රේරිතයනටත් සහෝදරයනටත් ආරංචි විය. 2 පේදුරු ජෙරුසලමට ආ කල චර්මඡේදිතයෝ ඔහුට දොස් පවරමින්, 3 ”ඔබ අචර්මඡේදිත මිනිසුන් වෙතට ගොස් ඔවුන් සමඟ කෑම කෑවේ මන් දැ”යි ඇසූ හ. 4 එවිට පේදුරු ඒ කාරණය මුල පටන් පිළිවෙළින් පහදා දෙන්නට පටන්ගෙන මෙසේ කී ය:
5 ”මම ජොප්පා නුවර යාච්ඤා කරමින් සිටි විට අහසෙන් බස්වන ලද සතර කොණින් බැඳුණු මහත් රුවලක් වැනි දෙයක් පහත් වෙනවා දර්ශනයකින් දිටිමි. එය මා ළඟට ම පැමිණියේ ය. 6 මා එය සෝදිසියෙන් බැලූ විට, පොළොවේ සිවුපාවුන් ද වන මෘගයන් ද උරග ජාතීන් ද ආකාශ පක්ෂීන් ද දිටිමි. 7 එවිට, ‘පේදුරු නැඟිට, මරා, කන්නැ’යි මට කියන ශබ්දයකුත් ඇසීමි. 8 මම ද, ‘ස්වාමීනි, එය නම් කළ නොහැක; අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මා කටට ගෙන නැතැ’යි කීවෙමි. 9 එහෙත් දෙ වන වරටත් අහසෙන් හඬක් මට කතා කරමින්, ‘දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, පිළිකුල් යයි නොකියන්නැ’යි කී ය. 10 තුන් වරක් ම මෙය සිදු විය. ඉන්පසු නැවත සියල්ල අහසට ඇද ගන්නා ලද්දේ ය.
11 ”එවේලෙහි ම කායිසාරියෙන් මා වෙත එවන ලද මිනිස්සු තුන් දෙනෙක් මා විසූ නිවෙස ඉදිරියෙහි සිටියහ. 12 ආත්මයාණන් වහන්සේ ද, සැකයක් නැති ව ඔවුන් සමඟ යන ලෙස මට අණ කළ සේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියහ. අපි කොර්නේලියස්ගේ ගෙදරට ඇතුළු වීමු. 13 එවිට ඔහු, තමාගේ ගෙයි දේව දූතයා සිටිනු දුටු හැටිත්, ‘ජොප්පාවට මිනිසුන් යවා පේදුරු නම් ලත් සීමොන් කැඳවන්න; 14 ඔහු වනාහි ඔබ සහ ඔබේ ගෙදර සියල්ලන්ගේ ද, ගැළවීම සලසා දෙන දහම ඔබට දෙසන්නේ ය’යි තමාට කී හැටිත් අපට දැන්වී ය. 15 මා කතා කරන්නට පටන්ගත් කල, ශුද්ධාත්මයාණන් වහන්සේ මුල දී අප කෙරෙහි පහළ වූ සේ ම ඔවුන් කෙරෙහිත් පහළ වූ සේක.
16 ”එකල, ‘ජොහන් බව්තීස්ම-ස්නාපනය කෙළේ වතුරෙන් ය. ඔබ බව්තීස්ම-ස්නාපනය ලබන්නේ ශුද්ධාත්මයෙන් ය’යි සමිඳාණන් වහන්සේ වදාළ වචනය මට මතක් විය. 17 එබැවින් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහාගත් කල්හි අපට දෙනු ලැබුවාක් මෙන් දෙවියන් වහන්සේ ඔවුන්ටත් එම දීමනාව ම දුන් සේක් නම්, දෙවියන් වහන්සේට බාධා කිරීමට මම කවරෙක් දැ”යි කී ය.
18 ඔව්හු ඒ අසා නිහඬ වූ හ. ”එසේ නම් විජාතීන්ටත් දෙවියන් වහන්සේ ජීවනය සලසන පසුතැවී සිත් හරවා ගැනීමක් දුන් සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
අන්තියෝකියේ සභාව
19 ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබූ අය, ජුදෙව්වරුන්ට මිස අන් කිසිවෙකුට දහම ප්‍රකාශ නොකොට, පිනීසිය ද සයිප්‍රසය ද අන්තියෝකිය ද දක්වා ගමන් කළහ. 20 එහෙත් ඔවුන් අතරෙන් සයිප්‍රසයේ ද සිරේනියේ ද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ, ග්‍රීකයනටත් කතා කරමින්, ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කළහ. 21 සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ.
22 ඔවුන් පිළිබඳ පුවත ජෙරුසලමේ සභාවට සැළ විය. එවිට ඔව්හු බාර්ණබස් අන්තියෝකියට යැවූ හ. 23 ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය. 24 බාර්ණබස්, වනාහි යහපත් වූ ද ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ වූ ද මිනිසෙකි. මෙසේ මහත් සමූහයක් සමිඳාණන් වහන්සේ සරණ ගියහ.
25 බාර්ණබස් සාවුල් සොයමින් තාර්සසයට ගොස්, 26 ඔහු හමු වී, අන්තියෝකියට කැඳවාගෙන ආවේ ය. ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහි ම සභාව හා එක්රැස් ව, මහත් සමූහයකට ඉගැන්වූ හ. ‘ක්‍රිස්තියානි’ යන නාමය ශ්‍රාවකයනට පළමුකොට දෙනු ලැබූයේ අන්තියෝකියේ දී ය.
27 ඒ දවස්වල දී ජෙරුසලමෙන් දිවැසිවරු අන්තියෝකියට පැමිණියාහ. 28 ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැඟිට, ‘ලොව පුරා මහත් සාගතයක් ඇති වන්නේ ය’යි ආත්මයාණන් කරණකොටගෙන ප්‍රකාශයක් කෙළේ ය. ඒ සාගතය ක්ලෞදියස් රජු දවස සිදු විය. 29 එවිට ශ්‍රාවකයෝ එකිනෙකා තම තමාගේ වත්කමේ හැටියට ජුදයෙහි සිටි සහෝදරයනට ආධාර යවන්නට තීරණය කරගත්හ. 30 ඔව්හු ආධාර එකතු කර, බාර්ණබස් සහ සාවුල් අත සභා මූලිකයන්ට යැවූ හ.
– 12 වන පරිච්ඡේදය –
ජාකොබ්ගේ මරණය හා පේදුරු හිරගත වීම
1 ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය. 2 ඔහු ජොහන්ගේ සහෝදර වූ ජාකොබ් කඩුවෙන් මැරී ය. 3 ඊට ජුදෙව්වරුන් ප්‍රසන්න වූ බව දැක, ඔහු පේදුරු ද අල්ලාගැනීමට ප්‍රයත්න දැරී ය. ඒ වනාහි නුමුහුන් රොටි වළඳන දවස් ය. 4 ඔහු පේදුරු අල්ලා හිරගෙයි දමා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට ගෙනෙන්නට සිතා, හේවායින් සතර දෙනා බැගින් ඇති කණ්ඩායම් සතරකට ඔහු රැකවල් කරන්නට භාර දුන්නේ ය. 5 එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය.
පේදුරු හිරගෙයින් ගැළවී යාම
6 පේදුරු නඩු ශාලාවට පමුණුවන්නට හෙරොද් අදහස් කරගෙන සිටි දිනට පෙර දින රාත්‍රියේ දී පේදුරු දම්වැල් දෙකකින් බඳින ලදුව හේවායන් දෙදෙනකු මැද නිඳා සිටියේ ය. මුර භටයෝ දොර ඉදිරියේ හිරගෙය රැකවල් කළහ. 7 එකෙණෙහි ම සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එහි පහළ විය. ආලෝකයක් හිර ගෙයි බැබළිණි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින්, ”වහා ම නැඟිටින්නැ”යි කී ය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේ ය. 8 දේව දූතයා ඔහුට කතා කොට, ”ඉඟපටිය බැඳ, පාවහන් දමා ගන්නැ”යි කී ය. ඔහු එසේ කෙළේ ය. ”ඔබේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැ”යි දූතයා ඔහුට කී ය. 9 දූතයා කළ දේ ඇත්තක් බව නොදැන, තමා දර්ශනයක් දකින්නේ යයි සිතමින්, පේදුරු පිටත් ව දූතයා පසුපසින් ගියේ ය. 10 ඔව්හු පළමු වන, දෙ වන මුරකාවල් පසු කොට නුවරට පිවිසීමට ඇති යකඩ දොරටුවට ළඟා වූ හ. එය ඔවුන් සඳහා ඉබේ ම ඇරුණේ ය. ඔවුන් පිටතට ගොස් එක වීදියක් පසු කළ කෙණෙහි ම, දේව දූතයා ඔහු කෙරෙන් වෙන් ව ගියේ ය. 11 එවිට පේදුරු පියවි සිහිය ලැබ, කතා කොට, ”සමිඳාණන් වහන්සේ තමන් දූතයා එවා, හෙරොද්ගේ බලයෙන් ද ජුදෙව් ජනතාවගේ සියලු බලාපොරොත්තුවලින් ද මා මිදූ බව සැබැවින් ම දනිමි”යි කී ය.
12 මෙය තේරුම්ගත් ඔහු මාක් නම් ලත් ජොහන්ගේ මව වූ මරියාගේ ගෙදරට පැමිණියේ ය. එහි බොහෝ දෙනෙක් රැස් ව යාච්ඤා කරමින් සිටියහ. 13 පේදුරු පිටත සිට දොරට තට්ටු කළ විට, රොදා නම් යුවතියක් ඒ කවුදැ යි බලන්නට ආවා ය. 14 ඈ පේදුරුගේ කටහඬ ඇඳින, ප්‍රීතිය නිසා දොරවත් නෑර, ඇතුළට දිව ගොස්, පේදුරු පිටත දොරකඩ ළඟ සිටින බව සැළ කළා ය. 15 ”ඔබට පිස්සු ය”යි ඔව්හු කී හ. එහෙත්, ඒ ඔහු ම ය යි ඈ සහතික කොට කී විට ”ඒ ඔහුගේ රැකවල් දූතයා ය”යි ඔව්හු කී හ. 16 එහෙත් පේදුරු දොරට තට්ටු කරමින් සිටියේ ය. දොර ඇරිය කල ඔව්හු පේදුරු දැක, විස්මිත වූ හ. 17 එහෙත් ඔහු ඔවුනට නිශ්ශබ්ද වන්නට අතින් සංඥා කොට, සමිඳාණන් වහන්සේ තමා හිර ගෙයින් පිටතට ගෙනා හැටි ඔවුනට විස්තර කොට, ”ජාකොබ්ට ද අනෙක් සහෝදරයනට ද මෙපවත් දන්වන්නැ”යි කියා, පිටත් ව වෙන තැනකට ගියේ ය.
18 පහන් වූ කල, පේදුරුට කුමක් සිදුවී දැ යි හේවායන් අතර මහත් කැළඹීමක් ඇති විය. 19 හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, මුර සෙබළුන්ගෙන් ප්‍රශ්න කොට, ඔවුන් මරන්නට අණ කෙළේ ය. ඉන්පසු ඔහු ජුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේ ය.
හෙරොද් රජුගේ මරණය
20 හෙරොද්, තීර් සහ සීදොන් වැසියන් කෙරෙහි දැඩි කෝපයෙන් සිටියේ ය. එහෙත් ඔව්හු එක්සිත් ව ඔහු වෙතට පැමිණ, රජවාසල නිලමේ වූ බ්ලාස්තුස්ගේ සිත දිනා ගෙන, සාමදානය ඉල්ලුවෝ ය. මක්නිසා ද යත්, ඔවුන්ගේ රටට ආහාර ලැබුණේ ඒ රජුගේ රටින් ය.
21 නියම කරගත් දවසක හෙරොද් තෙමේ රාජාභරණ පැළඳ සිංහාසනාරූඪ වී, ජනතාව ඇමතුවේ ය. 22 ජනයා කෑගසමින්, ”මෙය මිනිසෙකුගේ කටහඬ නොව, දෙවි කෙනෙකුගේ හඬ ය”යි කී හ. 23 හෙරොද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එකෙණෙහි ම ඔහුට පහර දුන්නේ ය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මළේ ය.
24 එහෙත්, දෙවියන් වහන්සේගේ වචනය වර්ධනය වී පැතිරී ගියේ ය.
25 බාර්ණබස් ද සාවුල් ද තමන්ගේ මෙහෙය නිමවා මාක් නම් ලත් ජොහන් කැඳවා ගෙන, ජෙරුසලමෙන් පෙරළා ගියෝ ය.
– 13 වන පරිච්ඡේදය –
බාර්ණබස් සහ සාවුල් ප්‍රථම ධර්මදූත ගමන ඇරඹීම
1 අන්තියෝකියේ පිහිටි සභාවෙහි දිවැසිවරු ද ගුරුවරු ද සිටියහ. එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන් ද සිරේනියේ ලුසියස් ද යුව රජ වූ හෙරොද් සමඟ ඇතිදැඩි වූ මානායින් ද සාවුල් ද යන මොවුහු ය. 2 ඔවුන් සමිඳාණන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටි විට ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කොට, ”මා විසින් බාර්ණබස් ද සාවුල් ද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක. 3 එවිට ඔව්හු උපවාසයේ යෙදී යාච්ඤා කොට ඔවුන් පිට අත් තබා, ඔවුන් පිටත් කර යැවූ හ.
සයිප්‍රසයේ ඉන්ද්‍රජාලිකයාගේ විරෝධය
4 මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව සිලුකියට බැස ගොස්, එහි දී නැව් නැඟී සයිප්‍රසයට ගියහ. 5 සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය. 6 ඔවුන් මුළු දිවයින හරහා පාපස් දක්වා ගිය විට ‘බාර් ජේසුස්’ නම් ජුදෙව් ජාතික බොරු දිවැසිවර ඉන්ද්‍රජාලිකයෙක් ඔවුනට හමු විය. 7 ඔහු සිටියේ බුද්ධිමත් මිනිසෙකු වූ සර්ගියස් පාවුලස් නම් දේශාධිපතියා සමඟ ය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ වචනය අසන්නට කැමැති විය.
8 එහෙත් එලිමස් මැගෝස් යන ග්‍රීක නාමයකින් ද හඳුන්වනු ලැබූ යථෝක්ත ඉන්ද්‍රජාලිකයා ඒ ඇදහිල්ලෙන් දේශාධිපතියා වළක්වන අදහසින්, ඔවුනට විරුද්ධ විය. 9 එහෙත් පාවුලු යන නම ඇති සාවුල් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, ඔහු දෙස නෙත් යොමා, 10 ”වංචාකාර, කෛරාටික, හැම යහපතට ම සතුරුකම් කරන, යක්ෂයාගේ පුත්‍රය, නුඹ සමිඳාණන් වහන්සේගේ යහ මඟ නොමඟට පෙරළීම නවත්වන්නේ නැද් ද? 11 මෙන්න, සමිඳාණන් වහන්සේගේ උදහස නුඹ පිට ය. නුඹ අන්ධ වී කලකට ඉරු එළිය නොදක්නෙහි ය”යි කී ය. එකෙණෙහි ම ඇස් පටලයකින් ද අඳුරකින් ද ඔහුගේ ඇස් වැසිණි. ඔහු ද තමාට කනවැල අල්ලාගෙන යන්නට කෙනකු සොය සොයා ඒ මේ අත ගියේ ය. 12 එකල දේශාධිපති තෙමේ සිදු වූ දේ දැක, සමිඳාණන් වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත් වී, අදහා ගත්තේ ය.
පාවුලු සහ බාර්ණබස් පිසිදීය අන්තියෝකියට පැමිණීම
13 පාවුලු සහ පිරිස පාපස්හි සිට නැව් නැඟී ගොස්, පම්පිලියේ පර්ගායට පැමිණියෝ ය. එවිට ජොහන් ඔවුන්ගෙන් වෙන් ව ජෙරුසලමට පෙරළා ගියේ ය. 14 ඔව්හු පර්ගායෙන් පිටත් ව ගමන් කොට, පිසිදියේ අන්තියෝකියට අවුත්, සබත් දවසේ දී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝ ය. 15 ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, ”සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ. 16 එවිට පාවුලු නැඟිට අතින් සංඥා කොට, ”ඉශ්රායෙල් ජනයෙනි, දේවභය ඇත්තෙනි, සවන් දෙන්න. 17 මේ ඉශ්රායෙල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන, මිසර දේශයේ විදේශී ව සිටිය දී ඔවුන් උසස් කොට, බලසම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනා සේක. 18 උන් වහන්සේ හතළිස් අවුරුද්දක් පමණ කාලයක් පාළුකරයෙහි ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටි සේක. 19 උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක. 20 එයින් පසු දිවැසිවර සාමුවෙල් දක්වා උන් වහන්සේ ඔවුන්ට වීරවරයන් දුන් සේක.
21 ”ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක. 22 උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, ‘ජෙස්සේගේ පුත්‍ර වූ, මට ප්‍රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි’යි වදාළ සේක. 23 දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක. 24 උන් වහන්සේගේ පැමිණීමට පෙර ජොහන් ඉශ්රායෙල්හි මුළු සෙනඟට පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනය දේශනා කෙළේ ය. 25 තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, ‘මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි’යි කී ය.
26 ”සහෝදරයෙනි, ආබ්‍රහම් වංශයේ පුත්‍රයෙනි, දේවභය ඇති සියල්ලෙනි, මේ ගැළවීමේ පණිවුඩය ඔබ සඳහා ය. 27 කවර හෙයින් ද? ජනතාවත් ඔවුන්ගේ පාලකයිනුත් උන් වහන්සේ ගැන තේරුම් නොගත්තත්, උන් වහන්සේ වරදට පත් කිරීමෙන් සත්තකින් ම කෙළේ, සෑම සබත් දිනක දී ම අප විසින් කියවනු ලබන දිවැස් වැකි සම්පූර්ණ කිරීම ය. 28 උන් වහන්සේ අත මරණයට සුදුසු කිසිවක් සොයා ගත නොහැකි වූ නමුත් උන් වහන්සේ මරණයට පත් කරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලූ හ. 29 මෙසේ උන් වහන්සේ ගැන ලියා තිබුණු සියල්ල සම්පූර්ණ කළ විට, ඔව්හු උන් වහන්සේ කුරුසියෙන් බා සොහොන් ගෙයක තැන්පත් කළහ. 30 එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ උත්ථාන කළ සේක. 31 උන් වහන්සේ තමන් සමඟ ගලීලයේ සිට ජෙරුසලමට පැමිණි අයට බොහෝ දවසක් දර්ශනය වූ සේක. ඔව්හු දැන් උන් වහන්සේ ගැන ජනතාව ඉදිරියෙහි සාක්ෂිකාරයෝ ව සිටිති. 32-33 එබැවින් ‘දෙවියන් වහන්සේ පියවරුනට දුන් පොරොන්දුව ජේසුස් වහන්සේ උත්ථාන කිරීමෙන් අපේ දරුවනට ඉෂ්ට කළ සේක’ යන සුබ අස්න ඔබ වෙත ගෙනෙමු. ඒ බව,
‘ඔබ මාගේ පුත්‍රයාණෝ ය, අද ඔබ ජනිත කෙළෙමි’යි
දෙ වන ගීතයෙහි ලියා තිබේ. 34 දිරාපත් නොවන ලෙස දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කර වදාළ බව පෙන්වීමට,
‘දාවිත්ට පොරොන්දු වූ ශුද්ධ, සහතික ආශීර්වාද ඔබට දෙන්නෙමි’යි කියා තිබේ.
35 ඇරත් තවත් ගීතයක:
‘ඔබගේ ශුද්ධ තැනැත්තා දිරාපත් වීමට ඉඩ නොදෙන්නෙමි’යි
වදාරා ඇත. 36 දාවිත් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස සිය පරම්පරාවේ දී මෙහෙ කළ පසු මරණයට පත් ව තමාගේ පියවරුන් අතර තැන්පත් කරනු ලැබ, දිරාපත් විය. 37 එහෙත් දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද තැනැන් වහන්සේ දිරාපත් නොවූ සේක. 38 එහෙයින්, සහෝදරයෙනි, උන් වහන්සේ කරණකොටගෙන පව් කමාව අප ඔබට ප්‍රකාශ කරන බව දැන ගන්න. 39 මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඔබට ලබා ගත නොහැකි වූ පාපයෙන් නිදහස දැන් උන් වහන්සේ අදහන සැමට ම සැම අතින් ම අත් වන්නේ ය. 40 එබැවින්, දිවැසිවරුන් කියා ඇති කාරණා ඔබ ගැන සත්‍ය නොවන පිණිස පරෙස්සම් වන්න. එනම්:
41 ‘හෙළා දකින්නෙනි, බලන්න, පුදුම වන්න, පුදුම වී වැනසෙන්න;
මන්ද, ඔබගේ දවස්වල දී එක් ක්‍රියාවක් කරමි.
ඒ ක්‍රියාව ගැන යමෙක් ඔබට පැවසුවත් ඔබ එය කිසිසේත් විශ්වාස නොකරන්නහු ය,’ ” යනු යි.
42 ඔවුන් නික්ම යද්දී, ඊළඟ සබත් දවසෙහිත් එම වචන ප්‍රකාශ කරන ලෙස ඔව්හු ඉල්ලූ හ. 43 සමූහයා විසිර ගිය පසු ජුදෙව්වරුන්ගෙන් ද, ජුදෙව් ආගමට හැරුණු භක්තිවන්තයන්ගෙන් ද, බොහෝ දෙනෙක් පාවුලු සහ බාර්ණබස් අනුව ගියහ. ඔව්හු ඔවුන්ට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙහි පවතින්නට අවවාද කළහ.
44 ඊළඟ සබත් දවසේ දී දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි සියල්ලෝ ම වාගේ රැස් වූ හ. 45 එහෙත් ජුදෙව්වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුලු කී කාරණාවලට විරුද්ධ ව කතා කරමින් අපහාස කළහ. 46 එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: ”දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්‍රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු. 47 මන්ද, සමිඳාණන් වහන්සේ අපට මෙසේ අණ කළ සේක:
‘ලොව පුරා ගැළවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි.’ ”
48 විජාතීහු ඒ අසා සන්තෝෂ ව, දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව කළහ. සදාතන ජීවනය ලැබීමට තෝරාගන්නා ලද සියල්ලෝ ම අදහාගත්හ. 49 සමිඳාණන් වහන්සේගේ දහම ඒ පළාත මුළුල්ලෙහි ම පැතිරී ගියේ ය. 50 එහෙත් ජුදෙව්වරු සැදැහැවත් කුල ස්ත්‍රීන් ද නුවර ප්‍රභූන් ද පොළඹවා, පාවුලු සහ බාර්ණබස්ට විරුද්ධ ව පීඩාකාරී තත්ත්වයක් ඇති කර, තමන්ගේ පෙදෙස්වලින් ඔවුන් පිටතට නෙරපාදැමූ හ. 51 එවිට ඔව්හු තමන්ගේ පාදවල දූවිලි ඔවුන්ට විරුද්ධ ව ගසාදමා, ඉකෝනියට ගියහ. 52 ශ්‍රාවකයෝ ප්‍රීතියෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද පූර්ණ වූ හ.
– 14 වන පරිච්ඡේදය –
ඉකෝනියෙහි ධර්මදූත සේවය
1 තවද ඔව්හු ඉකෝනියෙහි දී ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවලට ඇතුළු වී දේශනා කළහ. ඒ ඇසූ ජුදෙව්වන්ගෙන් ද ග්‍රීක්වරුන්ගෙන් ද මහත් සමූහයක් අදහාගත්හ. 2 එහෙත් අදහා නොගත් ජුදෙව්වරු විජාතීන් කළඹා, ඔවුන්ගේ සිත් සහෝදරයනට විරුද්ධ ව පෙළඹුවහු ය. 3 එහෙයින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ වරමින් එඩිතර ව කතා කරමින් බොහෝ කලක් එහි නැවතී සිටියහ. උන් වහන්සේ ඔවුන් ලවා අරුමපුදුම දේ ද ලකුණු ද කරවමින් සිය වරප්‍රසාදය පිළිබඳ ධර්මයට සාක්ෂි දැරූ සේක.
4 ඒ නගරයේ ජනයා දෙකට බෙදී සමහරෙක් ජුදෙව්වරුන්ගේ පක්ෂය ද අන් සමහරෙක් ප්‍රේරිතවරයන්ගේ පක්ෂය ද ගත්හ. 5 විජාතීන් ද ජුදෙව්වරුන් ද තමන්ගේ ප්‍රධානීන් සමඟ ඔවුන්ට නිග්‍රහ කරන්නටත් ගල් ගසන්නටත් අදහස් කළ කල්හි, 6 ඔව්හු ඒ දැන, ලුකොනියාවේ නගර වන ලුස්ත්‍රාවට ද දර්බයට ද අවට පෙදෙස්වලට ද පලා ගොස්, 7 එහි දී සුබ අස්න දේශනා කළහ.
ලුස්ත්‍රාවේ ධර්මදූත සේවය
8 මවුකුස පටන් කොර වූ, පාද දුර්වල වූ, කිසි කලෙකත් ඇවිදගත නොහැකි වූ එක්තරා මිනිසෙක් ලුස්ත්‍රාවේ එක් තැනක වාඩිවී සිටියේ ය. 9 ඔහු පාවුලු කතා කරනු ඇසී ය. පාවුලු ඔහු දෙස බලා, ඔහු සුවය ලබන්නට තරම් සැදැහැ ඇත්තෙකු බව දැක, 10 ”නැඟිට පය බිම ගසා කෙළින් සිටින්නැ”යි මහත් හඬින් කී ය. එවිට ඔහු පැන නැඟිට ඇවිද්දේ ය. 11 එකල සමූහයා පාවුලු කළ දේ දැක ශබ්ද නඟා, ”දෙවිවරු මිනිස් වෙසින් අප වෙතට බැස සිටිති”යි ලුකෝනීය බසින් කී හ. 12 ඔව්හු බාර්ණබස්ට සියුස් කියා ද, පාවුලු ප්‍රධාන කථිකයා බැවින් ඔහුට හෙර්මිස් කියා ද නම් තැබූ හ.
13 නුවර දොරටුවෙහි පිහිටි සියුස්ගේ දේවාලයේ පාලක පූජක තැන ගොනුන් ද මල්මාලා ද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාග කරන්නට සූදානම් විය. 14 එහෙත් ප්‍රේරිතවරුන් වූ බාර්ණබස් ද පාවුලු ද ඒ ගැන අසා, තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන සමූහයා අතරට දිව ගොස්, මොරගසා, 15 ”මනුෂ්‍යයිනි, ඔබ මේ දේවල් කරන්නේ මන් ද? අපිත් ඔබ හා සමාන මිනිස්සු ය, ඔබ මේ නිෂ්ඵල දේවලින් දුරු ව, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ, ජීවමාන දෙවියන් වහන්සේ වෙතට හැරෙන පිණිස සුබ අස්න ඔබ වෙත ගෙනෙමු. 16 උන් වහන්සේ යටගිය පරම්පරාවල දී සියලු ජාතීන්ට තම තමන් සිතූ පැතූ ලෙස හැසිරෙන්නට ඉඩ හැරිය සේක. 17 එහෙත් උන් වහන්සේ තමන් වහන්සේ ගැන සාක්ෂි නො දී සිටි කලක් නො වී ය. මන්ද, උන් වහන්සේ අහසින් වර්ෂාව ද සාරවත් කාල සීමාවන් ද ඔබට දී ආහාරයෙන් හා ප්‍රීතියෙන් ඔබගේ සිත් පුරවමින්, යහපත්කම් කළ සේකැ”යි කී හ. 18 ඔවුන් එසේ කී නමුත්, තමනට පූජා ඔප්පු කිරීමෙන් ජනයා වළක්වා ගත හැකි වූයේ ඉතා අමාරුවෙනි.
19 එහෙත් අන්තියෝකියෙන් ද ඉකෝනියෙන් ද ජුදෙව්වරු අවුත් සමූහයන් පොළඹවා ගෙන, පාවුලුට ගල් ගසා, ඔහු මළහ යි සිතා නුවරින් පිටතට ඇද්දෝ ය. 20 එහෙත් ශ්‍රාවකයන් ඔහු අවට රැස් ව සිටි කල, ඔහු නැඟිට නුවරට ඇතුළු වී, පසුදා බාර්ණබස් සමඟ දර්බයට ගියේ ය.
අන්තියෝකියට හැරී යාම
21 ඔව්හු ඒ නුවර සුබ අස්න දේශනා කොට, බොහෝ දෙනෙකු ශ්‍රාවකයන් කර, ලුස්ත්‍රාවට ද ඉකෝනියට ද අන්තියෝකියට ද හැරී අවුත්, 22 ”අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ. 23 ඔව්හු එක එක සභාවේ සැදැහැවතුන් කෙරෙහි සභා මූලිකයන් පත් කොට, උපවාසයේ යෙදී යාච්ඤා කර, තමන් අදහා ගත් සමිඳාණන් වහන්සේට ඔවුන් භාර දී, 24 පිසිදිය මැදින් ගොස්, පම්පිලියට පැමිණියහ.
25 ඔව්හු පර්ගායේ දී වචනය දේශනා කොට, අත්තාලියට ගොස් 26 එතැනින් නැව් නැඟී අන්තියෝකියට පැමිණියහ. ඔවුන් ඉෂ්ට කළ සේවය නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට ඔවුන් කල්මත්තෙන් භාර දෙන ලද්දේ මේ අන්තියෝකියේ දී ය. 27 එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ. 28 තවද, ඔව්හු ශ්‍රාවකයන් සමඟ බොහෝ කලක් එහි නැවතී සිටියහ.
– 15 වන පරිච්ඡේදය –
ජෙරුසලමෙහි මන්ත්‍රණ සභාව
1 ජුදයෙන් සමහර දෙනෙක් අවුත්, ”මෝසෙස්ගෙන් පැවත එන සිරිත ලෙස ඔබ චර්මඡේදනය කරනු නොලැබුවහොත් ඔබට ගැළවීම ලැබිය නොහැකි ය”යි සහෝදරයන්ට ඉගැන්වූ හ. 2 එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ. 3 මෙසේ ඔව්හු සභාව විසින් යවන ලදුව, පිනීසිය ද සමාරිය ද මැදින් ගොස්, විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින්, සියලු සහෝදරයනට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ. 4 ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද ප්‍රේරිතයෝ ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ. 5 එවිට පරිසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඇදහිලිවතුන් සමහරෙක් නැඟිට, ”චර්මඡේදනය කරන්නටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපදින්නටත් ඔවුන්ට නියම කළ යුතු ය”යි කී හ.
6 ප්‍රේරිතවරයෝ ද සභා මූලිකයෝ ද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූ හ. 7 දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, ”සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය. 8 සියලු සිත් දන්නා වූ දෙවියන් වහන්සේ අපට මෙන් ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දී, ඔවුන් ද පිළිගත් අය බවට සාක්ෂි දුන් සේක. 9 උන් වහන්සේ, ඔවුන් සහ අප අතර කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍ර කළ සේක. 10 එබැවින් අපගේ පියවරුන්ට වත් අපට වත් දැරිය නොහැකි වියගසක් ශ්‍රාවකයන්ගේ කර පිට තැබීමෙන් ඔබ කුමක් නිසා දෙවියන් වහන්සේ පිරික්සන්නහු ද? 11 එසේ නොව, ඔවුන් මෙන් ම අපත් ගැළවෙන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයෙන් බව විශ්වාස කරමු”යි කී ය.
12 එවිට මුළු සමූහයා නිශ්ශබ්ද වී, තමන් ලවා දෙවියන් වහන්සේ විජාතීන් අතර දැක් වූ ලකුණු ද අරුමපුදුම දේ ද ගැන පාවුලු සහ බාර්ණබස් කී සියල්ලට සවන් දුන්හ. 13 ඒ දෙදෙනා කතා කර නිම වූ පසු ජාකොබ් පිළිතුරු දෙමින්, 14 ”සහෝදරයෙනි, මට සවන් දුන මැනව. දෙවියන් වහන්සේ තමන්ගේ නාමය දැරීමට විජාතීන් අතුරෙන් සෙනඟක් තෝරාගන්නා පිණිස මුල පටන් ම ක්‍රියා කළ සැටි සීමොන් කියා දුන්නේ ය. 15-18 දිවැසිවරුන්ගේ වචනයෙන් ද එය අනුමත වේ, ඒ මෙසේ ය: ‘මින්පසු මම හැරී අවුත්, දාවිත්ගේ වැටී ගිය මණ්ඩපය නැවත සාදා, එහි නටබුන් තැන් ද යළිත් ගොඩනඟා, සවිමත් කරන්නෙමි.
එවිට අවශේෂ මනුෂ්‍යයන් ද මාගේ නාමය දරන සියලු ජාතීන් ද, සමිඳාණන් වහන්සේ සොයන්නෝ ය.
ලෝකයේ පටන්ගැන්මේ සිට ක්‍රියා කරන සමිඳාණන් වහන්සේ මේ සියල්ල වදාරන සේක.’
19 ”එබැවින් මාගේ නිගමනය නම්; විජාතීන් අතර දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නන්ට තවත් හිරිහැර නොකොට, 20 රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි. 21 මන්ද, ආදි පරම්පරාවල සිට ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. ඔව්හු සියලු සබත් දිනවල එය ධර්මශාලාවල දී කියවති”යි කී ය.
මන්ත්‍රණ සභාව යැවූ සන්දේශය
22 එකල තමන් අතරෙන් නියෝජිතයන් තෝරාගෙන, ඔවුන් පාවුලු සහ බාර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැ යි ප්‍රේරිතයන්ට ද සභා මූලිකයන්ට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. තෝරාගනු ලැබුවෝ නම්, සහෝදරයන් අතර මූලිකයන් වන බර්සබස් නම් ලත් ජූදස් සහ සීලස් ය. 23 ඔවුන් අත මෙසේ ලියා යවන ලදී:
”ප්‍රේරිතවරයෝ ද සහෝදර සභා මූලිකයෝ ද වන අපි අන්තියෝකියෙහිත් සිරියාවෙහිත් සිලිසියාවෙහිත් වසන විජාතී වූ සහෝදරයන් වෙත සුබ පතමින් මෙසේ ලියා එවමු: 24 අපේ අනුමැතිය නොලත් සමහරෙකු අප අතරෙන් පිටත් ව ගොස්, නොයෙක් දේ කියා ඔබ කළඹමින් ඔබගේ සිත් අවුල් කළ බව අපි ඇසීමු. 25-26 එහෙයින් තමන්ගේ දිවි නොතකා, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා, ජීවිත කැප කළ අපගේ ප්‍රේමණීය බාර්ණබස් ද පාවුලු ද සමඟ, නියෝජිතයන් තෝරා ගෙන ඔබ වෙතට එවීම සුදුසු යයි රැස් වූ අපගේ ඒකමතික තීරණය විය. 27 එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත. 28-29 එනම්, දේව පිළිමවලට පිදූ දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන් කෑමෙන් ද කාමමිථ්‍යාචාරයෙන් ද ඔබ වැළකිය යුතු බව මිස, වෙන කිසි බරක් ඔබ පිට නොතැබීම යහපතැ යි ශුද්ධාත්මයාණන්ටත් අපටත් පෙනී ගියේ ය. ඔබ මේවායින් වළකින්නහු නම් යහපති. ඔබට සෙත් වේ වා!”
30 මෙසේ යවනු ලැබූ ඔව්හු, අන්තියෝකියට පැමිණ, සමූහයා රැස් කරවා ලිපිය භාර දුන්හ. 31 සමූහයා එය කියවා, ඒ අනුශාසනාව ගැන ප්‍රීති වූ හ. 32 ජූදස් සහ සීලස් යන දෙදෙන දිවැසිවරයන් වූ බැවින්, බොහෝ වචනවලින් සහෝදරයන්ට අනුශාසනා කර, ඔවුන් ධෛර්යවත් කළහ. 33 ඔවුන් කලක් එහි නැවතී සිටි පසු සහෝදරයෝ ඔවුනට දේව පිහිට පතා, ඔවුන් එවූ අය වෙත ආපසු යැවූ හ. එහෙත් 34 එහි නැවතීම හොඳ ය යි සීලස්ට පෙනුණේ ය.b 35 පාවුලු ද බාර්ණබස් ද තවත් බොහෝ දෙනෙකු සමඟ සමිඳාණන් වහන්සේගේ සුබ අස්න උගන්වමින් ද දේශනා කරමින් ද අන්තියෝකියෙහි නැවතී සිටියහ.
බාර්ණබස් පාවුලුගෙන් වෙන් වීම
36 කීප දවසකට පසු පාවුලු බාර්ණබස්ට කතා කොට: ”අපි සමිඳාණන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කළ සියලු නුවරවල වසන සහෝදරයන්ගේ දුක් සැප කෙසේ දැ යි බලන පිණිස නැවත යමු”යි කී ය. 37 තමන් සමඟ මාක් නම් ලත් ජොහන් ද, කැඳවා ගෙන යන්නට බාර්ණබස් කැමැත්ත දැක්වී ය. 38 එහෙත් තමන් සමඟ සේවයට නොගොස්, පම්පිලියේ දී අහක් ව ගිය තැනැත්තා යළිත් කැඳවාගෙන යාම සුදුසු නැතැ යි පාවුලු සිතී ය. 39 ඒ ගැන දැඩි විවාදයක් හටගත් බැවින්, ඔව්හු එකිනෙකාගෙන් වෙන් ව ගියහ. බාර්ණබස් මාක් කැඳවාගෙන, සයිප්‍රසයට නැවෙන් ගියේ ය; 40 එහෙත් පාවුලු සීලස් තෝරා ගෙන, සහෝදරයන් විසින් සමිඳාණන් වහන්සේගේ වරප්‍රසාදයට භාර දෙන ලදුව, පිටත් වී, 41 සභාවන් ස්ථීර කරමින්, සිරියාව සහ සිලිසියාව මැදින් ගමන් කෙළේ ය.
– 16 වන පරිච්ඡේදය –
තිමෝතියස් පාවුලුට එක් වීම
1 තවද පාවුලු දර්බයටත් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. කිතු දහම පිළිගත් ජුදෙව් ස්ත්‍රියකගේ පුත්‍ර වූ තිමෝතියස් නම් ශ්‍රාවකෙයක් එහි සිටියේ ය. ඔහුගේ පියා ග්‍රීකයෙකි. 2 ඔහු ලුස්ත්‍රාවෙහි ද ඉකෝනියෙහි ද සහෝදරයන් අතර ප්‍රශංසා ලැබූ කෙනෙකි. 3 පාවුලු, තමා සමඟ ඔහු කැඳවාගෙන යන්නට අදහස් කර, ඒ පළාත්වල සිටි ජුදෙව්වරුන් නිසා ඔහු චර්මඡේදනය කෙළේ ය. මන්ද, ඔහුගේ පියා ග්‍රීකයෙකු බව සියල්ලන් දැන සිටි හෙයිනි. 4 ඔව්හු නුවරින් නුවරට ගමන් කරද්දී ජෙරුසලමේ සිටි ප්‍රේරිතයන් විසින් ද සභා මූලිකයන් විසින් ද පනවන ලද නියෝග පවත්වන්නට ඔවුන්ට භාර දුන්හ. 5 මෙසේ සභාවෝ ඇදහිල්ලෙහි වර්ධනය වූ හ. දිනෙන් දින සෙනඟගේ ගණන ද වැඩි විය.
පාවුලු තුමා දුටු දර්ශනය
6 ආසියාවෙහි වචනය දේශනා කිරීම ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරන ලද බැවින්, ඔව්හු පිරිගිය සහ ගලාතිය ප්‍රදේශයන් මැදින් ගියහ. 7 ඔව්හු මිසියේ සීමාව තෙක් අවුත්, බිතිනියට යන්නට උත්සාහ කළහ. එහෙත් ජේසුස් වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන්හ. 8 එවිට ඔව්හු මිසිය පසු කොට ත්‍රෝවසට බැස ආහ. 9 එහි දී පාවුලු රාත්‍රියෙහි දර්ශනයක් දුටුවේ ය; එනම්: ”මසිදෝනියට අවුත් අපට ආධාර කරන්නැ”යි මසිදෝනියේ මනුෂ්‍යයෙක් නැඟිට සිට ඔහුගෙන් අයැදී ය. 10 ඔවුන්ට සුබ අස්න දේශනා කරන්නට දෙවියන් වහන්සේ අප කැඳෙව් බව ඔහුගේ දර්ශනයෙන් තේරුම් ගත් අපි එකෙණෙහි ම මසිදෝනියට යන්නට සැරසුණෙමු.
ලිදියාගේ හැරීම
11 එහෙයින් අපි ත්‍රෝවසෙන් නැව් නැඟී, කෙළින් ම සමොත්‍රාසියට ද පසුවදා නෙයාපොලිසියට ද යාත්‍රා කර, 12 එයින් මසිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නගරය වූ ද, රෝම ජනපදයක් වූ ද පිලිප්පියට අවුත්, එහි කීප දවසක් නැවතී සිටියෙමු. 13 සබත් දවසේ දී, නුවර වාසලෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැ යි අපට සිතුණු බැවින්, අප පිටත් ව ගං තෙරකට ගොස් එහි රැස් ව සිටි ස්ත්‍රීනට කතා කෙළෙමු. 14 ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක. 15 ඈ ද ඇගේ ගෙයි වැසියන් ද බව්තීස්ම-ස්නාපනය ලැබූ පසු, ඈ කතා කොට, ”මම සැබැවින් ම සමිඳාණන් වහන්සේ අදහන කෙනෙකැ යි ඔබ පිළිගන්නවා නම්, මාගේ ගෙදරට අවුත් එහි නැවතුණ මැනවැ”යි අපෙන් උදක් ම ඉල්ලා, අප කැමැති කරවා ගත්තා ය.
පිලිප්පියේ දී සිර කරනු ලැබීම
16 අප යාච්ඤා කරන තැනට යද්දී, ගුප්ත දෑ හෙළි කරන ආත්මයක් ආවේශ වූ, පේන කීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ උපදවා දුන්, එක්තරා වහල් තරුණියක් අපට හමු වූවා ය. 17 ඈ පාවුලුත් අපත් පසුපස එමින්, ”මේ අය ගැළවීමේ මාර්ගය අපට ප්‍රකාශ කරන, පරමෝත්තම දෙවියන් වහන්සේගේ දාසයෝ” යයි මොරගසා කීවා ය. 18 ඈ දවස් කීපයක් ම මෙසේ කළා ය. එවිට පාවුලු අතිශයින් අප්‍රසන්න වී, ආත්මයට කතා කොට, ”ඇගෙන් අහක් වී යන්නට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් නුඹට අණ කරමි”යි කී ය. ඒ මොහොතේ දී ම ඒ ආත්මය අහක් ව ගියේ ය. 19 එහෙත් ඇගේ ස්වාමිවරු, මුදල් ගරා ගැනීමේ තම බලාපොරොත්තුව නැති වූ බව දැක, පාවුලු සහ සීලස් අල්ලා වෙළෙඳාම්පළට ඇද ගෙන ගොස්, ප්‍රධානීන් ඉදිරියෙහි සිටෙව්වෝ ය. 20 ඉන්පසු නඩුකාරයන් ළඟට ද ඔවුන් ගෙන ගොස්, ”ජුදෙව්වරුන් වන මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්, 21 රෝමවරුන් වන අපට පිළිගන්නට වත් පිළිපදින්නට වත් බැරි නීතිවිරෝධි චාරිත්‍ර උගන්වති යි කී හ. 22 එවිට ජනයා ඔවුන්ට විරුද්ධ ව එක්ව නැඟී සිටියහ. නඩුකාරයෝ ද, ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා, කෝටුවලින් ඔවුන්ට තළන්නට අණ කළෝ ය. 23 ඔවුන්ට බොහෝ පහර දුන් පසු, හිරගෙයි දමා ඔවුන් පරිස්සමෙන් රැක බලාගන්නා ලෙස හිරගෙයි මුලාදෑනියාට අණ කළහ. 24 මෙසේ අණ ලැබූ ඔහු, ඔවුන් ඇතුළු සිරකාමරයේ දමා, ඔවුන්ගේ පාද දඬුකඳන්වල සවි කෙළේ ය.
25 එහෙත් මධ්‍යම රාත්‍රිය පමණේ දී, පාවුලු ද සීලස් ද යාච්ඤා කරමින් දෙවියන් වහන්සේට ගී ගැයූ හ. හිරකාරයෝ ද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියහ. 26 හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය. හිරගෙයි අත්තිවාරම් සෙලවිණි. එකෙණෙහි ම සියලු දොරවල් ඇරිණි; සියල්ලන්ගේ බැඳුම් ද ලිහිණි. 27 එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් අවදි ව, හිරගෙයි දොරවල් ඇරී තිබෙන බව දැක, හිරකරුවන් පැන ගියහ යි සිතා, කඩුව ඇද, සිය පණ හානි කරගන්නට සැරසුණේ ය. 28 එහෙත් පාවුලු, කතා කරමින් ”ඔබට කිසි අනතුරක් කර නොගන්න; අපි සියල්ලෝ ම මෙහි ය”යි මහත් හඬින් මොරගසා කී ය.
29 එකල ඔහු පහනක් ඉල්ලා ගෙන ඇතුළට පැන, බියෙන් වෙවුලමින්, පාවුලු සහ සීලස් ඉදිරියෙහි වැටී, 30 ඔවුන් පිටතට කැඳවා, ”ගැළවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය. 31 ඔව්හු පිළිතුරු දෙමින්, ”ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැළවෙන්නෙහි ය; ඔබ ද ඔබේ ගෙයි වැසියෝ ද ගැළවෙන්නාහ”යි කී හ.
32 තවද ඔව්හු ඒ මුලාදෑනියාට ද ඔහුගේ ගෙදර වැසි සියල්ලන්ට ද සමිඳාණන් වහන්සේගේ වචනය පහදා දුන්හ. 33 මුලාදෑනියා රාත්‍රියේ ඒ පැයේ දී ම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාළ සේදුවේ ය. ඔහු ද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එවලේ ම බව්තීස්ම-ස්නාපනය ලැබූ හ. 34 ඔහු තමාගේ ගෙට ඔවුන් කැඳවා ගෙන ගොස්, කෑමෙන් සංග්‍රහ කොට තමා දෙවියන් වහන්සේ අදහා ගත් බැවින් සිය ගෙයි වැසි සියල්ලන් සමඟ අතිශයින් ප්‍රීති විය.
35 පහන් වූ කල නඩුකාරයෝ, ”ඒ මනුෂ්‍යයන් නිදහස් කර හරින්නැ”යි පොලිස් සේවකයන් අත කියා යැවූ හ. 36 එවිට හිරගෙයි මුලාදෑනියා එපවත් පාවුලුට දන්වා, ”ඔබ මුදා හරින්නට නඩුකාරවරු කියා එවූ හ. එබැවින් පිටතට අවුත් සාමදානයෙන් යන්නැ”යි කී ය. 37 එහෙත් පාවුලු ඔවුන්ට කතා කොට, ”ඔව්හු, රෝම පුරවැසියන් වන අප විනිශ්චය නොකොට ප්‍රසිද්ධියේ අපට තළා අප හිරගෙයි දැමූ හ; දැන් ඔවුන් හදන්නේ රහසින් අප පිටත් කර හරින්නට ද? එසේ කරන්නට බැරි ය, ඔව්හු ම අවුත් අප පිටතට ගෙන යත්වා”යි කී ය.
38 පොලිස් සේවකයෝ එපවත් නඩුකාරයන්ට සැළ කළහ. ඔවුන් රෝමවරුන් බව ඇසූ විට නඩුකාරයෝ බිය වී, 39 අවුත් ඔවුනට කන්නලව් කර පිටතට කැඳවා, නුවරින් නික්ම යන ලෙස ඉල්ලා සිටියහ. 40 එවිට ඔව්හු හිර ගෙයින් පිටත් ව ගොස් ලිදියාගේ ගෙදරට පැමිණියහ. එහි දී ඔව්හු සහෝදරයන් හමු වී, ඔවුන් දිරි ගන්වා පිටත් ව ගියහ.
– 17 වන පරිච්ඡේදය –
තෙසලෝනිකයේ කලබලය
1 ඔවුහු අම්පිපොලිසිය සහ අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආහ. එහි ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවක් තිබුණි. 2 පාවුලු සිය සිරිත ලෙස ඔවුන් වෙතට ගොස්, සබත් දින තුනක් ඔවුන් සමඟ වාද කරමින්, 3 ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නටත්, මළවුන්ගෙන් උත්ථාන වන්නටත් යුතු ව තිබුණු බව ශුද්ධ ලියවිල්ලෙන් පාඨ ගෙනහැරපාමින් පැහැදිලි කර දුන්නේ ය. ”තවද මා ඔබට ප්‍රකාශ කරන මේ ජේසුස් වහන්සේ වනාහි ක්‍රිස්තුන් වහන්සේ ම ය”යි පාවුලු ඔවුනට පහදා දුන්නේ ය. 4 ඔවුන්ගෙන් සමහරෙක් ද භක්තිවන්ත ග්‍රීකවරුන්ගෙන් මහත් සමූහයක් ද වැදගත් ස්ත්‍රීන්ගෙන් කීප දෙනෙක් ද ඒ අදහා ගෙන, පාවුලු සහ සීලස් සමඟ එක් වූ හ.
5 එහෙත් ජුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, රස්තියාදුකාරයන් අතරෙන් සමහර මැරවරයන් කැඳවාගෙන, සෙනඟ රැස් කර, නුවර කළඹා, ජාසොන්ගේ නිවස ළඟට පැමිණ, පාවුලු සහ සීලස් ඉන් පිට කර ජනකාය මැදට ගෙන්වා ගන්නට තැත් කළහ. 6 එහෙත් ඒ දෙදෙනා සොයා ගත නොහැකි වූ බැවින්, ඒ වෙනුවට ජාසොන් සහ සමහර සහෝදරයන් ද, නුවර මුළාදෑනීන් ළඟට ඇද ගෙන ගොස්, ”ලෝකය පෙරලූ මේ අය මෙහි ද පැමිණ සිටිති; ජාසොන් ඔවුන් පිළිගත්තේ ය. 7 මොවුහු සියල්ලෝ ජේසුස් නම් වෙන රජෙක් ඇතැ යි කියා, සීසර් අධිරාජයාගේ නියෝගවලට විරුද්ධ ව ක්‍රියා කරති”යි මොරගසා කී හ. 8 මේ ඇසූ සමූහයා ද නුවර මුළාදෑනිහු ද කැළඹුණාහ. 9 ඔව්හු ජාසොන් ද අනෙක් අය ද ඇප පිට නිදහස් කළහ.
බෙරියාවට පැමිණීම
10 රෑ වූ විගස සහෝදරයෝ පාවුලු ද සීලස් ද බෙරියාවට යැවූ හ. ඔව්හු එහි පැමිණ ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවට ඇතුළු වූ හ. 11 එහි සිටි අය තෙසලෝනිකයෙහි අයට වඩා උදාර ගතිගුණ ඇත්තෝ වූ හ. ඔව්හු කරුණු හරි හැටි දැන ගන්නා පිණිස, දවස්පතා ශුද්ධ ලියවිල්ල පිරික්සමින් මුළු සිතින් ධර්මය පිළිගත්හ. 12 එහෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ද ග්‍රීක් කුල කාන්තාවන්ගෙන් සහ පුරුෂයන්ගෙන් කීප දෙනෙක් ද අදහා ගත්හ. 13 එහෙත් පාවුලු බෙරියාවෙහිදීත් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව ඇසූ තෙසලෝනිකයේ ජුදෙව්වරු එතැනට පැමිණ, සමූහයා අවුස්සා කැළඹීමක් ඇති කළෝ ය. 14 එවිට සහෝදරයෝ එවේලේ ම පාවුලු මුහුදු වෙරළට පිටත් කර යැවූ හ. සීලස් ද තිමෝතියස් ද එහි ම නැවතී සිටියහ. 15 පාවුලු ඇරලීමට ගිය අය ඇතන්ස් නගරය දක්වා ඔහු පිරිවරා ගියහ. හැකි පමණ ඉක්මනින් තමා වෙතට එන මෙන්, සීලස්ට ද තිමෝතියස්ට ද පාවුලුගෙන් නියමයක් රැගෙන ඔව්හු ආපසු ගියහ.
ඇතන්ස්හි දේශනාව
16 පාවුලු ඇතන්ස්හි ඔවුන්ගේ පැමිණීම බලා සිටිය දී, ඒ නුවර දේව රූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ සිත කැළඹී ගියේ ය. 17 එබැවින් ඔහු ධර්මශාලාවේ දී ජුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟ ද, වෙළෙඳාම් පොළේ දී දිනපතා හමු වූවන් සමඟ ද වාද කෙළේ ය. 18 එපීකුරිය සහ ස්තෝයික දාර්ශනිකයන්ගෙන් සමහරෙක් ද ඔහුට මුණ ගැසුණාහ. ඇතැමෙක්, ”මේ වාචාලයා කුමක් කියන්නට හදනවා දැ”යි කී හ. ”ඔහු අන්‍ය දෙවිදේවතාවන් ප්‍රචාරය කරන්නෙකු මෙන් පෙනේ ය”යි සමහරු කී හ. මෙසේ කීවේ ඔහු ජේසුස් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනය ප්‍රකාශ කළ බැවිනි.
19 එබැවින් ඔව්හු අරියෝපගයේ රැස්වීමට ඔහු ගෙන ගොස්, ”ඔබ උගන්වන මේ අලුත් ධර්මය අපටත් දැනගන්නට පුළුවන් ද? 20 මන්ද, සමහර අපූරු කාරණ ඔබ අපේ කන්වල හෙළන්නෙහි ය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක් දැ යි දැනගන්ට කැමැත්තෙමු”යි කී හ. 21 සියලු ඇතන්ස් වැසියෝ ද එහි පදිංචි ව සිටි විදේශීහු ද අලුත් මතිමතාන්තර ගැන කතාබහ කරමින් හෝ ඒවාට සවන් දීමෙන් හෝ මිස වෙන අයුරකින් කාලය ගත නොකළහ.
22 එවිට පාවුලු, අරියෝපග ශාලාව මැද සිට මෙසේ දෙසී ය: ”ඇතන්ස් වැසියෙනි, ඔබ හැම අතින් ම ආගම ධර්මයට ලැදිකම් ඇති අය බව මට පෙනේ. 23 ඔබ නමස්කාර කරන වස්තු නරඹමින් මා යන අතර, ‘නාඳුනන දෙවියන්ට ය’ යන ලේඛනයක් ඇති පූජාසනයක් ද දිටිමි. ඔබ නොදැන නමස්කාර කරන ඒ දෙවියන් මම ඔබට ප්‍රකාශ කරමි. 24 ලෝකය ද එහි සියල්ල ද මවා වදාළ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් ව සිටින බැවින්, උන් වහන්සේ මිනිස් අතින් සාදන ලද මාලිගාවල නොවසන සේක. 25 උදව්උපකාරයෙන් යැපෙන අයෙකු සේ උන් වහන්සේ මිනිස් අත්වලින් උපස්ථාන නොලබන සේක. මන්ද, සියල්ලන්ට ජීවිතය ද හුස්ම ද අන් සියලු දේ ද දෙන්නේ උන් වහන්සේ ය. 26 උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක. 27 මෙසේ කෙළේ දෙවියන් වහන්සේ ගැන හැඟීමකින් ද, හමුවන බලාපොරොත්තුවෙන් යුතුව ද උන් වහන්සේ සොයන පිණිස ය. උන් වහන්සේ අප එකිනෙකාට නුදුරු ව සිටින සේක.
28 ”මන්ද, කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේ තුළ ජීවත් වෙමු, හැසිරෙමු, පවතිමු.’
තවද, ඔබගේ කිවිවරයන්ගෙන් සමහරෙකු පවා කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේගේ දරුවෝ වෙමු.’
29 අප දෙවියන් වහන්සේගේ දරුවන් වන බැවින් දේවත්වය වනාහි මිනිස් කලාශිල්පයෙන් හා දක්ෂකමින් හා කැටයම් කළ රනට වත් රිදීයට වත් ගලට වත් සමාන යයි නොසිතිය යුතු ය. 30 ඉතින් මේ නොදැනුම් කමේ කාලයන් දෙවියන් වහන්සේ නොතකා හැරිය නමුත් දැන් සියලු මනුෂ්‍යයන්ට සියලු තැන්හි පසුතැවී සිත් හරවා ගන්නට දැන් අණ කරන සේක. 31 මන්ද, තමන් වහන්සේ විසින් පත් කරන ලද මනුෂ්‍යයෙකු ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට එක් දවසක් නියම කර තිබේ. උන් වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් උත්ථාන කිරීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.”
32 මළවුන්ගෙන් උත්ථාන වීම ගැන ඔවුන්ට ඇසුණ කල, සමහරු සරදම් කළහ. සමහරු, ”මේ ගැන ඔබ කියන දේ අපි නැවත වරක් අසන්නෙමු”යි කී හ. 33 එවිට පාවුලු ඔවුන් කෙරෙන් අහක් ව ගියේ ය. 34 එහෙත් සමහර අය ඔහුට එකතු වී අදහා ගත්හ. ඔවුන් අතරෙහි අරියෝපගීය දියෝනිසියස් ද දමරිස් නම් ස්ත්‍රියක් ද තවත් අය ද වූ හ.
– 18 වන පරිච්ඡේදය –
කොරින්තියේ ධර්මදූත සේවය
1 මින්පසු පාවුලු ඇතන්ස් නුවරින් පිටත්ව, කොරින්තියට පැමිණියේ ය. 2 එහි දී ඔහුට මෑතක දී ඉතාලියට පැමිණි, පන්තස්හි උපන් අකිලා නම් එක්තරා ජුදෙව්වරයෙක් මුණගැසුණේ ය. ක්ලෞදියස් සියලු ජුදෙව්වරුන්ට රෝමයෙන් අහක් ව යන්නට අණ කර තිබුණු බැවින්, ඔහු ප්‍රිස්කිලා නම් සිය බිරිඳ සමඟ කොරින්තියට පැමිණ සිටියේ ය. පාවුලු ඔහු හමු වීමට ගියේ ය. 3 දෙගොල්ල ම එක ම කර්මාන්තය කරන්නන් වූ බැවින්, පාවුලු ඔවුන් සමඟ නැවතී වැඩ කෙළේ ය. ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීම ය. 4 පාවුලු සියලු සබත් දවස්වල ධර්මශාලාවෙහි දී වාද කර, ජුදෙව්වරුන් ද ග්‍රීක්වරුන් ද ඇදහිල්ලට පමුණුවාගන්නට උත්සාහ කෙළේ ය.
5 සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය. 6 එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්‍රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, ”ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි”යි කී ය. 7 ඔහු එතැනින් නික්ම ගොස් දෙවියන් වහන්සේට නමස්කාර කළ තීතස් ජුස්තස් නම් මිනිසෙකුගේ ගෙදරට ගියේ ය. ඔහුගේ නිවස ධර්මශාලාවලට යාව තිබිණි. 8 ධර්මශාලා මුළාදෑනියා වූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක් ද පාවුලුගේ බස් අසා අදහා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.
9 සමිඳාණන් වහන්සේ රාත්‍රියේ දී දර්ශනයකින් පාවුලුට කතා කොට, ”ඔබ බිය නොවී, නිශ්ශබ්ද ව නොසිට කතා කරන්න. 10 මන්ද, මම ඔබ සමඟ සිටිමි; ඔබට අනතුරු කරන ලෙස කිසිවෙක් ඔබට විරුද්ධ ව නො එන්නේ ය. මට මේ නුවර බොහෝ සෙනඟ සිටිති”යි වදාළ සේක. 11 ඔහු දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් අතර උගන්වමින් එක් අවුරුදු සමසක් එහි වාසය කෙළේ ය.
12 එහෙත් ගලියෝ අකයියාවේ අධිපතියා ව සිටිය දී ජුදෙව්වරු එක්සිත් ව පාවුලුට විරුද්ධ ව නැඟී සිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්, 13 ”මොහු ව්‍යවස්ථාවලියට විරුද්ධ ව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට මිනිසුන් පොළඹවන්නේ ය”යි පැමිණිලි කළහ. 14 පාවුලු කතා කරන්නට සැරසෙන විට ගලියෝ ජුදෙව්වරුන් අමතමින්, ”ජුදෙව්වරුනි, මේ කාරණය අපරාධයක් වත් නපුරු දුෂ්ට කමක් වත් වී නම්, මා ඔබේ පැමිණිල්ලට සවන් දීම යුතු ය. 15 එහෙත් මේ වනාහි ඇතැම් වචන ගැන ද ඇතැම් නාම ගැන ද ඔබගේ ම ව්‍යවස්ථාවලිය ගැන ද වූ ප්‍රශ්න වන බැවින් ඒ ගැන ඔබ ම වගබලාගන්න; මේ දේවල් ගැන මම විනිශ්චයකාරයෙක් නොවන්නෙමි”යි කියා, 16 ඔවුන් නඩු ආසනය වෙතින් එලවාදැමුවේ ය. 17 එවිට ඒ සියල්ලෝ ධර්මශාලාවේ මුලාදෑනියා වූ සොස්තෙනේස් අල්ලා නඩු ආසනය ඉදිරියේ ඔහුට තැළූහ. එහෙත් ගලියෝ මේ ගැන සැලකුවේ නැත.
අන්තියෝකියට හැරී ඒම
18 පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය. 19 ඔවුන් එපීසයට පැමිණි විට, පාවුලු ඔවුන් එහි නැවැත් වී ය. එහෙත් ඔහු ධර්මශාලාවට ගොස් ජුදෙව්වරුන් සමඟ තර්ක කෙළේ ය. 20 තවත් කාලයක් එහි නැවතී සිටින ලෙස ඔවුන් ඉල්ලූ නමුත්, ඔහු ඊට එකඟ නොවී, 21 ඔවුන්ගෙන් සමුගනිමින්, ”දෙවියන් වහන්සේ කැමැති සේක් නම් ඔබ වෙතට නැවත එන්නෙමි” කියා එපීසයෙන් නැව් නැංගේ ය. 22 ඔහු කායිසාරියට ගොඩ බැස, ජෙරුසලමට ගොස්, සභාවට ආචාර කොට, අන්තියෝකියට ගියේ ය. 23 ඔහු එහි කලක් ගත කළ පසු පිටත් ව ගලාතිය සහ පිරිගිය යන පළාත් මැදින් යමින් සියලු ශ්‍රාවකයන් ධෛර්යවත් කෙළේ ය.
අපොල්ලොස් එපීසයේ සිටීම
24 අලෙක්සන්ද්‍රියාවෙහි උපන් අපොල්ලොස් නම් එක්තරා ජුදෙව්වරයෙක් එපීසයට ආවේ ය; ඔහු ව්‍යක්ත කථිකයෙකි; බහුශ්‍රැත ධර්ම දේශකයෙකි. 25 මේ මිනිසා සමිඳාණන් වහන්සේගේ මාර්ගය ගැන ඉගෙනීම ලැබූවෙකි. ඔහු ජ්වලිත සිතින්, දෙවියන් වහන්සේ පිළිබඳ කරුණු හරි ලෙස උගන්වමින් දේශනා කෙළේ ය. එහෙත් ඔහු දැන ගෙන සිටියේ ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය පමණකි. 26 ඔහු ධර්මශාලාවෙහි දී නිර්භීත ව කතා කරන්නට පටන් ගත්තේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහුගේ බස් අසා, ඔහු තමන් ළඟට කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ මාර්ගය වඩා හරි ලෙස ඔහුට පහදා දුන්හ. 27 තවද ඔහු ග්‍රීසියට යන්නට අදහස් කළ කල්හි, සහෝදරයෝ ඔහු ධෛර්යවත් කොට, ඔහු පිළිගන්නා ලෙස ශ්‍රාවකයනට ලියා යැව්වෝ ය. ඔහු එහි පැමිණි කල, දේව වරප්‍රසාදය කරණකොටගෙන අදහාගෙන සිටි අයට බොහෝ උපකාර කෙළේ ය. 28 මන්ද, ඔහු ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් බව ශුද්ධ ලියවිල්ලෙන් පෙන්වා දෙමින්, ජුදෙව්වරුන්ගේ තර්ක ප්‍රසිද්ධියේ ම එඩිතර ලෙස බිඳහරිමින් පරාජය කෙළේ ය.
– 19 වන පරිච්ඡේදය –
එපීසයේ ස්නාවක ජොහන්ගේ ගෝලයෝ
1 තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ. 2 පාවුලු ඔවුන් අමතා: ”ඔබ අදහා ගත් කල ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබුවහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු, ”නැත, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති බවක් වත් නොඇසීමු”යි කී හ. 3 ”එසේ වී නම්, ඔබ කුමන බව්තීස්ම-ස්නාපනයක් ලැබුවහු දැ”යි ඔහු ඇසී ය. ”ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය”යි ඔව්හු කී හ. 4 පාවුලු කතා කොට, ”ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය”යි පැවසී ය. 5 ඔව්හු ඒ අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. 6 පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ. 7 ඒ මනුෂ්‍යයෝ දොළොස් දෙනෙක් පමණ වූ හ.
8 පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය. 9 එහෙත් සමහරුන් මුරණ්ඩු ව, අකීකරු ව, සමූහයා ඉදිරියෙහි ඒ ධර්ම මාර්ගය හෙළා දකිමින් කතා කළ කල්හි ඔහු ඔවුන්ගෙන් ඈත් වී, ශ්‍රාවකයන් වෙන් කරගෙන, තුරානස්ගේ ශිල්පශාලාවෙහි දවස්පතා තර්ක කරමින් සිටියේ ය. 10 මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ.
ස්කේවාගේ පුත්‍රයෝ
11 දෙවියන් වහන්සේ පාවුලුගේ අත්වලින් පුදුම හාස්කම් සිදු කළ සේක. 12 ඔහුගේ ශරීර ස්පර්ශය ලැබූ තුවායක් වත් රෙදිකඩක් වත් ලෙඩුන් ළඟට ගෙන ගිය කල රෝග ඔවුන්ගෙන් දුරු විය, නපුරු ආත්මයෝ ද පහ ව ගියහ. 13 එහෙත් සමහර සංචාරක ජුදෙව් යකැදුරෝ අශුද්ධාත්ම වැහී සිටි අය කෙරෙහි ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය කියන්නට පටන් ගෙන, ”පාවුලු දේශනා කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි කී හ. 14 නායක පූජකයෙකු වූ ස්කේවා නම් ජුදෙව්වරයෙකුගේ පුත්‍රයෝ සත් දෙනෙක් මෙසේ කළහ. 15 එහෙත් අශුද්ධාත්මය උත්තර දෙමින්, ”මම ජේසුස් වහන්සේ අඳුනමි, පාවුලු ද දනිමි, එහෙත් ඔබ කවුරු දැ”යි ඔවුනට කීවේ ය.
16 අශුද්ධාත්මය වැහී සිටි මිනිසා ඔවුන් වෙතට පැන සියලු දෙනා ම දමනය කොට අඩන්තේට්ටම් කෙළේ ය. ඔව්හු තුවාළ වී, නග්න ව, ඒ ගෙයින් පලා ගියහ. 17 මෙය එපීසයෙහි විසූ සියලු ජුදෙව්වරුනට ද ග්‍රීකයනට ද සැළ විය. ඔව්හු බොහෝ සේ බියපත් වූ හ. ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයට ද ගෞරවය ඇති විය. 18 අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක් අවුත් තමන් ද මන්ත්‍රගුරුකම්වල යෙදී සිටි බව ප්‍රකාශ කළහ. 19 යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාස කළ බොහෝ දෙනෙක් ද, තමන්ගේ පොත් එක් කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමූ හ. ඒවායේ මිල ගණන් බලා, රිදී මිල පණස් දහසක් බව දැන ගන්නා ලදී. 20 මෙසේ සමිඳාණන් වහන්සේගේ වචනය බලවත් සේ වැඩී පැතිරී ගියේ ය.
21 මේ සියල්ල නිම වූ කල, පාවුලු කතා කරමින්, ”මා ජෙරුසලමට ගිය පසු, රෝමය ද දකින්න ඕනෑ ය” කියා, මසිදෝනිය සහ ග්‍රීසිය මැදින් ගොස්, ජෙරුසලමට යන්නට අධිෂ්ඨාන කරගත්තේ ය. 22 ඔහු තමාට සේවය කළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස් ද එරස්තස් ද මසිදෝනියට යවා තමා ම කලක් ආසියාවෙහි නැවතී සිටියේ ය.
එපීසයේ කෝලාහලය
23 ඒ කාලයේ මේ ධර්ම මාර්ගය ගැන මහත් කැළඹීමක් හටගත්තේ ය. 24 මන්ද, අර්තෙමිස්ගේ දේවාලයයේ රිදී රූප සාදන දෙමෙත්‍රියස් නම් රිදී කලාකරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවා දුන්නේ ය. 25 ඔහු, ඔවුන් ද එබඳු වූ වෙනත් කම්කරුවන් ද රැස් කරවා ”භවතුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව ඔබ දන්නහු ය. 26 මේ පාවුලු වනාහි ‘අත්වලින් සැදූ දෙවිවරු, දෙවිවරු නොවෙති’යි කියමින් එපීසයේ පමණක් නොව මුළු ආසියාවේ හැම තැන ම පාහේ බොහෝ සෙනඟට උගන්වා ඔවුන් හරවා ගත් බව ඔබට දකින්නට ද අසන්නට ද ලැබී ඇත. 27 ඒ නිසා අපේ මේ කර්මාන්තය අපකීර්තියට පත් විය හැකි ය. එපමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාර කරන උත්තරීතර දේවතාවිය වූ අර්තෙමිස්ගේ දේවාලය අභාවයට පත් වීමට ද ඇගේ අභිමානය පවා නැති වී යාමට ද ඉඩ තිබේ ය”යි කී ය.
28 ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී, ”එපීසයන්ගේ අර්තෙමිස් අති උසස් ය”යි කියමින් මොරගැසූ හ. 29 එවිට මුළු නුවර කැළඹිණ. ඔව්හු, පාවුලු සමඟ ගමන් කළ ගායස් ද අරිස්තාර්කස් ද යන මසිදෝනිවරුන් දෙදෙනා අල්ලා ගෙන නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවූ හ. 30 පාවුලු සෙනඟ මැදට යන්නට සිතූ නමුත් ශ්‍රාවකයෝ ඔහුට ඉඩ නුදුන්හ. 31 ඔහු සමඟ මිත්‍ර ව සිටි ආසියාතික අධිපතීන්ගෙන් සමහරෙක් ද, නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින් වත් ඇතුළු නොවන සේ ඉල්ලමින් කන්නලව් කළහ. 32 සභාව වියවුල් වූ බැවින්, සමහරෙක් එකක් ද, අන් සමහරෙක් තවත් එකක් ද කියමින් මොරගැසූ හ. ඔවුන්ගෙන් වැඩි කොටස තමන් රැස්වුණේ කුමන කරුණක් නිසා දැ යි නොදත්හ. 33 ජුදෙව්වරුන් විසින් අලෙක්සන්දර් ඉදිරිපත් කරනු ලැබූ බැවින්, සමූහයාගෙන් සමහරෙක්, වගකිවයුත්තා ඔහු යයි නිගමනය කළහ. අලෙක්සන්දර් අතින් සංඥා කොට, සමූහයාට පිළිතුරු දෙන්නට කැමැත්ත දැක්වී ය. 34 එහෙත් ඔහු ජුදෙව්වරයෙකු බව දැනගත් විට: ”එපීසයන්ගේ අර්තෙමිස් අතිඋතුම් ය”යි කියමින් දෙපැයක් පමණ ඔව්හු සියල්ලෝ ම එක හඬින් මොරගැසූ හ.
35 නගර සභා ලේකම් තැන සමූහයා සන්සිඳුවා, ”එපීසයේ මනුෂ්‍යයිනි, එපීසවරුන්ගේ නුවර වනාහි ශ්‍රේෂ්ඨ අර්තෙමිස්ගේ මාලිගාවේ ද ස්වර්ගයෙන් පතිත වූ රූපයේ ද රැකවලී බව නොදන්නා මනුෂ්‍යයා කවරෙක් ද? 36 මෙසේ මේ දේවලට විරුද්ධ ව යමක් කියන්නට කවරෙකුට වත් බැරි හෙයින් ඔබ ඉක්මන් වී සැහැසිකමක් නොකළ යුතු ය. 37 මන්ද ඔබ මෙහි ගෙනා මේ මනුෂ්‍යයෝ දේවාලවලින් සොරකම් කරන්නෝ වත්, මේ දේවතාවියට අපහාස කරන්නෝ වත් නොවෙති. 38 එසේ හෙයින්, යමෙකුට විරුද්ධ ව දෙමෙත්‍රියස්ගේ ද ඔහු සමඟ සිටින කර්මාන්තකාරයන්ගේ ද පැමිණිල්ලක් ඇත් නම්, නඩු දවස් තිබේ, අධිපතියෝ ද සිටිති. ඔව්හු එකිනෙකාට විරුද්ධ ව පැමිණිලි කරත් වා. 39 එහෙත්, ඔබ එයට වැඩි යමක් සොයන්නහු නම්, එය නීත්‍යනුකූල සභාවේ දී තීරණය කරනු ලැබේ. 40 මන්ද අපට මේ කලබලයට යුක්තිසහගත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි බැවින්, අද ඇති වූ මේ කෝලාහලය ගැන අපට විරුද්ධ ව චෝදනාවක් ඉදිරිපත් වෙන්නට ඉඩ තිබේ”යයි කී ය. 41 ඔහු මෙසේ කියා සභාව විසුරුවා හැරියේ ය.
– 20 වන පරිච්ඡේදය –
මසිදෝනියට හා ග්‍රීසියට යාම
1 කෝලාහලය සංසිඳුන පසු පාවුලු ශ්‍රාවකයන් කැඳවා ඔවුන් ධෛර්යවත් කොට, ඔවුන්ගෙන් සමුගෙන මසිදෝනිය බලා නික්ම ගියේ ය. 2 ඔහු ඒ පළාත් මැදින් ගොස්, ඔවුන් බොහෝ සේ ධෛර්යවත් කොට, ග්‍රීසියට පැමිණියේ ය. 3 ඔහු එහි තුන් මසක් ගත කොට, නැවෙන් සිරියාවට යන්නට සූදානම් ව සිටිය දී, ඔහුට විරුද්ධ ව ජුදෙව්වරුන් විසින් කූට උපායයක් යොදන ලදී. එහෙයින් මසිදෝනිය ඔස්සේ හැරී යන්නට ඔහු නියම කරගත්තේ ය. 4 පුරස්ගේ පුත්‍ර වූ බෙරියාවේ සෝපතර් ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස් ද දර්බයේ ගායස් ද තිමෝතියස් ද ආසියාවේ තුකිකස් සහ ත්‍රොපිමස් ද ඔහු සමඟ ආසියාව දක්වා ගියහ. 5 මොවුහු පෙරටුව ගොස්, අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ. 6 නුමුහුන් රොටි මංගල්‍ය දවස්වලට පසු අපි පිලිප්පියෙන් නැව් නැඟී, පස් දවසකින් ත්‍රෝවසයෙහි සිටි ඔවුන් වෙතට ගොස්, එහි සත් දවසක් නැවතී සිටියෙමු.
යුතිකස්ට පණ දීම
7 c සතියේ පළමු වැනි දා අප රොටි කඩන්නට රැස් වූ කල, පාවුලු පසුවදා යන්නට අදහස් කළ බැවින්, මැදියම් රැය දක්වා, ඔහු ඔවුන්ට අනුශාසනා කෙළේ ය; 8 අප රැස් ව සිටි උඩු මහලේ බොහෝ පහන් දල්වා තිබිණි. 9 යුතිකස් නම් එක් තරුණයෙක් නිදි කිරා වැටෙමින් කවුළුව උඩ උන්නේ ය; පාවුලු දිගින් දිගට අනුශාසනා කරද්දී යුතිකස් බර නින්ද නිසා තුන්වැනි මහලින් පහළට වැටිණි. ඔහු ඔසවා ගත් කල මැරී සිටියේ ය. 10 එවිට පාවුලු බැස, ඔහු පිට වැටී, ඔහු වැළඳ ගෙන: ”කරදර නොවන්න, මොහුට තව ම පණ තිබේ ය”යි කී ය. 11 ඔහු නැවත උඩුමහලට ගොස්, රොටි කඩා වළඳා, ඔවුන් සමඟ පහන් වන තුරු බොහෝ වේලාවක් කතා කර, පසුව පිටත් ව ගියේ ය. 12 ඔව්හු ඒ තරුණයා පණපිටින් කැඳවා ගෙන ගොස්, බොහෝ සේ සැනසුණාහ.
මිලේතසට ගමන
13 අපි අසොස්හි දී පාවුලු නැවට කැඳවාගන්නට අදහස් කර, පෙරටුව ගොස්, නැව් නැඟී, එහි ගියෙමු. මන්ද, පාවුලු ගොඩින් යන්නට අදහස් කළෙන් එසේ යාමට අපට නියම කර තිබුණි. 14 අසොස්හි දී අපට ඔහු හමු වූයෙන්, අපි ඔහු නැවට නංවා ගෙන මිතුලේනට පැමිණියෙමු. 15 අපි එතැනින් යාත්‍රා කොට, පසුවදා කියොසය ඉදිරියට පැමිණ, ඊට පසුවදා සාමොසයට ළඟා වී, ඊළඟ දවසේ මිලේතසට පැමිණියෙමු. 16 ආසියාවෙහි කල් ගත කරන්නට සිදු නොවන පිණිස, එපීසය පසු කර යන්නට ඔහු තීරණය කරගෙන සිටියේ ය. එසේ කෙළේ, හැකි නම් පෙන්තකොස්ත දවසේ ජෙරුසලමේ සිටින්නට පාවුලු ඉක්මන් කළ බැවිනි.
එපීසයේ දී සභා මූලිකයන්ගෙන් සමුගැනීම
17 ඔහු මිලේතසෙන් එපීසයට පණිවුඩ යවා, සභාවේ මූලිකයන් කැඳෙව්වේ ය. 18 ඔවුන් තමා වෙතට ආ කල ඔහු මෙසේ පැවසී ය, ”මා ආසියාවට පැමිණි පළමු වැනි දා පටන් මුළු කාලය ඔබ සමඟ ගත කළ සැටි ඔබ දන්නහු ය. 19 මම සියලු ආකාර යටහත්පහත්කමින් ද ශෝකයෙන් ද ජුදෙව්වරුන්ගේ උපායයන් නිසා පැමිණි දුෂ්කරතාවලින් ද යුක්ත ව සමිඳාණන් වහන්සේට සේවය කෙළෙමි. 20 ඔබට වැඩදායක වූ කිසිවක් කීමෙන් නොවැළකී, ප්‍රසිද්ධියේ ද ගෙයින් ගෙට යමින් ද ඔබට උගන්වමින්, 21 පසුතැවී සිත් හරවා ගැනීමෙන් දෙවියන් වහන්සේ වෙත හැරෙන ලෙසත්, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ලෙසත් ජුදෙව්වරුන්ට හා අන්‍ය ජාතිකයන්ට ද තදින් අනුශාසනා කෙළෙමි. 22 දැන් ඉතින් ආත්මයාණන් විසින් බලපානා ලදුව, මම ජෙරුසලමට යමි; එහි දී මට කුමකින් කුමක් වේ දැ යි නොදනිමි. 23 එහෙත් සිරගත වීම් හා පීඩා ද මට පැමිණේ යයි, ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නගරවල දී දැනුම් දුන් බව හැර අන් කිසිවක් නොදනිමි. 24 එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.
25 ”මේ වන තෙක් මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ඔබ අතර ගැවසුණෙමි. දැන් ඉතින් මින්පසු ඔබගෙන් කිසිවෙකු මගේ මුහුණ තවත් නොදකින බව දනිමි. 26 එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්‍රකාශ කරමි. 27 මන්ද, දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය නොවළහා ඔබට ප්‍රකාශ කෙළෙමි. 28 ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න. 29 මා ගියායින් පසු, රැළට අනුකම්පා නොකරන, රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි. 30 ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත් ව, තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත. 31 එබැවින් මා අවුරුදු තුනක් තිස්සේ දිවා රෑ දෙකේ කඳුළු හෙළමින් සියලු දෙනාට නිතර ම අවවාද කළ බව සිහි කර අවදිව සිටින්න.
32 ”දැන් මම දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ වරප්‍රසාදදායක පණිවුඩයටත් ඔබ භාර කරමි. ඔබ වැඩි වර්ධනය කිරීමටත්, කැප වූ සියලු අය සමඟ ඔබට උරුමය සාදා දීමටත් ඒ පණිවුඩයට හැකි ය. 33 මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි. 34 මාගේත් මා සමඟ සිටි අයගේත් අවශ්‍යතා පිරිමසාගැනීමට මේ දෑතින් මා වැඩ කළ හැටි ඔබ ම දන්නහු ය. 35 ‘ලැබීමට වඩා දීම භාග්‍යවන්ත යැ’යි ස්වාමීන් වන ජේසුස් වහන්සේ ම වදාළ වචන සිහි කර, දුබලයන්ට උපකාර කළ යුතු බව මෙසේ වැඩ කිරීමෙන් මම ඔබට පෙන්වා දුනිමි.”
36 ඔහු මෙසේ කියා ඔවුන් සියල්ලන් සමඟ දණින් වැටී යාච්ඤා කෙළේ ය. 37 ඔවුන් සියලු දෙනා හඬමින් පාවුලුගේ ගෙල වැළඳ ගෙන සාදරයෙන් සිඹ ගත්තෝ ය. 38 අනෙක් හැම දේට ම වඩා, තමාගේ මුහුණ යළිත් ඔවුන් නොදකිති යි ඔහු කී වචන ගැන, ඔව්හු ශෝක වූ හ. ඉන්පසු ඔව්හු ඔහු සමඟ නැව කරා ගියහ.
– 21 වන පරිච්ඡේදය –
පාවුලු ජෙරුසලම බලා යයි
1 අපි ඔවුන්ගෙන් වෙන් ව නැව් නැඟී කෙළින් ම ගොස්, කෝස්ට ද පසුවදා රෝදස්ට ද එතැනින් පතාරාට ද ආවෙමු. 2 එහි දී පිනීසියා ව බලා යන නැවක් සම්බ වී එහි නැඟී පිටත් වුණෙමු. 3 සයිප්‍රසය පෙනෙන තෙක් මානයට ආවායින් පසු, ඉන් දකුණු දෙසට යාත්‍රා කොට සිරියාවට පැමිණ, තීර්හි දී ගොඩ බැස්සෙමු. මන්ද, එහි බඩු ගොඩබාන්නට තිබුණේ ය. 4 අපි එහි දී ශ්‍රාවකයන් සොයාගෙන සත් දවසක් නැවතී සිටියෙමු. ජෙරුසලමට නොයන ලෙස ඔව්හු ආත්මයාණන් වහන්සේගෙන් අවවාද ලැබ, පාවුලුට එපවත් කී හ. 5 එහෙත් ඒ දවස් ගත වූ පසු අපි පිටත් ව අපේ ගමන ගියෙමු. අප නුවරින් පිට වන තුරු ඔව්හු සියලු දෙනා ම තමන්ගේ භාර්යාවන් හා දරුවන් ද සමඟ අප කැටුව ආහ. අපි වෙරළෙහි දණින් වැටී යාච්ඤා කර, 6 එකිනෙකාට සුබපතා, නැව් නැඟුණෙමු. ඔව්හු තම නිවෙස් කරා හැරී ගියහ.
7 අපි තීර් සිට පිටත් ව ගොස් අපේ මුහුදු ගමන නිම කොට, තොලිමයිසයට පැමිණියෙමු. එහි දී සහෝදරයන්ට ආචාර කොට ඔවුන් සමඟ දවසක් නැවතී සිටියෙමු. 8 පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු. 9 දිවැස් වැකි කීමේ වරය ලත්, කන්‍යා දූවරු සතර දෙනෙක් ඔහුට සිටියෝ ය. 10 බොහෝ දවස් අප එහි නැවතුණ අතර, අගබස් නම් එක් දිවැසිවරයෙක් ජුදයෙන් අප වෙත පැමිණියේ ය. 11 ඔහු පාවුලුගේ ඉඟපටිය රැගෙන එයින් තමාගේ ම අත් පා බැඳ ගෙන, ”ජුදෙව්වරුන් මේ ඉඟපටිය අයිති මිනිසා ජෙරුසලමේ දී මේ ආකාරයෙන් බැඳ විජාතීන්ගේ අත්වලට පාවා දෙති යි ශුද්ධාත්මයාණන් වහන්සේ කියන සේකැ”යි පැවසී ය.
12 අප මේ දේ ඇසූ කල, ඒ ස්ථානයේ සිටි අය ද අපි ද ජෙරුසලමට නොයන ලෙස ඔහුගෙන් උදක් ම ඉල්ලීමු. 13 එවිට පාවුලු උත්තර දෙමින්, ”ඔබ කුමක් කරන්නහු ද? හැඬීමෙන් මාගේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ මන් ද? මම ජෙරුසලමේ දී ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය නිසා හිරගෙට පමණක් නොව මැරෙන්නට වුවත් සූදානම් ව සිටිමි”යි කී ය. 14 ඔහු කැමැති කරවාගන්නට නොහැකි වූයෙන්, ”සමිඳාණන් වහන්සේගේ කැමැත්ත වේ වා!”යි කියමින් අපි නිහඬ වීමු.
15 ටික දවසකට පසු අපි බඩුබාහිරාදිය රැගෙන ජෙරුසලම බලා ගියෙමු. 16 කායිසාරියේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් අප සමඟ අවුත් බොහෝ කලෙක පටන් ශ්‍රාවකයෙකු ව සිටි සයිප්‍රසයේ මීනාසොන් නම් කෙනෙකු වෙත නවාතැන් ගන්නට අප කැඳවාගෙන ගියහ.
පාවුලු ජාකොබ් හමු වීම
17 අප ජෙරුසලමට පැමිණි කල සහෝදරයෝ ප්‍රීතියෙන් අප පිළිගත්හ. 18 පසුවදා පාවුලු අප සමඟ ජාකොබ් හමු වීමට ගියේ ය. සභා මූලිකයෝ සියලු දෙනා ම එහි සිටියහ. 19 ඔහු ඔවුන්ට ආචාර කොට, තමාගේ සේවය මඟින් දෙවියන් වහන්සේ විජාතීන් අතර සිදු කළ දේ ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කෙළේ ය. 20 ඔව්හු ඒ අසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. තවද ඔව්හු ඔහුට කතා කොට, ”සහෝදරය, ජුදෙව්වරුන් අතර, අදහාගත්තවුන් කොපමණ දහස් ගණනක් ඇද්දැ යි ඔබ දන්නෙහි ය. ඔව්හු සියල්ලෝ ම ව්‍යවස්ථාවලිය ගැන දැඩි භක්තියක් දක්වන අය වෙති. 21 තමන්ගේ දරුවන් චර්මඡේදනය නොකරන්නටත්, ජුදෙව් වත්පිළිවෙත් නොපවත්වන්නටත් උගන්වමින් මෝසෙස්ට පිටුපා යන්නට විජාතීන් අතර සිටින ජුදෙව්වරුන්ට ඔබ උපදෙස් දෙන බව ඔවුන්ට සැළ වී තිබේ. 22 දැන් ඉතින් කළ යුතු දේ කුමක් ද? ඔබ මෙහි ඇවිත් සිටින බව ඔවුන් නිසැකව ම දැනගනු ඇත. 23 එබැවින් අප කියන දේ කරන්න. අප අතර බාරයක් වූ මනුෂ්‍යයෝ සතර දෙනෙක් සිටිති. 24 ඔබ ද ඔවුන් හා එකතු වී පවිත්‍ර වීමේ පිළිවෙත පවත්වන්න. ඔවුන්ගේ හිස් මුඩු කිරීම සඳහා යන වියහියදම් ඔබ ම දරන්න. එසේ කළ විට ඔබ ගැන ඔවුනට සැළ වූ කාරණාවලින් එකක් වත් සැබෑ නොවන බවත්, ඔබ ව්‍යවස්ථාවලිය අනුව ජීවත් වන බවත් සියල්ලන් ම දැනගනු ඇත. 25 එහෙත් ඇදහිල්ල පිළිගත් විජාතීන් ගැන නම්, ඔවුන් රූපවලට පුදන ලද දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද වේශ්‍යාකමින් ද වැළකී සිටින ලෙස අපි ම තීරණය කර ඔවුන්ට ලියා හැරියෙමු”යි කී හ. 26 පසුවදා පාවුලු ඒ මනුෂ්‍යයන් හා එක් වී, ඔවුන් හා සමඟ පවිත්‍ර වීමේ පිළිවෙත පැවැත්විය. ඉන්පසු පාවුලු පවිත්‍ර වීම අවසාන වන කාලය ද ඔවුන් එකිනෙකා උදෙසා ඔප්පු කළ යුතු පූජාව ද දැනුම් දෙන පිණිස දේව මාලිගාවට ඇතුළු විය.
දේව මාලිගාවේ දී පාවුලු අත්අඩංගුවට ගනු ලැබීම
27 ඒ දවස් සත සම්පූර්ණ වෙත් ම, ආසියාවෙන් පැමිණි ජුදෙව්වරු දේව මාලිගාවේ දී පාවුලු දැක, මුළු ජනකාය කළඹා, ඔහු අල්ලා ගෙන, 28 ”ඉශ්රායෙල් ජනයෙනි, උදව් දෙන්න. අපේ ජනතාවටත්, අපේ ව්‍යවස්ථාවලියටත්, මේ ස්ථානයටත් විරෝධී ව හැම තැන ම, හැම අයට ම උගන්වන මිනිසා මොහු ය. ඒ විතරක් නොවේ, මොහු ග්‍රීකයන් ද දේව මාලිගාවට කැඳවා ගෙන අවුත් මේ ශුද්ධස්ථානය කෙලෙසා ඇතැ”යි මොරගසා කී හ. 29 ඔවුන් මෙසේ කීවේ එපීසයෙකු වූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනු ඔවුන් කලින් දැක තිබුණු නිසා, පාවුලු ඔහු දේව මාලිගාවට කැඳවා ගෙන යන්නට ඇතැ යි සිතූ බැවිනි. 30 එවිට මුළු නුවර කැළඹිණි; ජනකාය එකාවන් ව දිව අවුත්, පාවුලු අල්ලා ගෙන දේව මාලිගාවෙන් පිටතට ඇදදැමූ හ. එකෙණෙහි ම දොරවල් වසා දමන ලදී. 31 ඔවුන් ඔහු මරන්නට අදහස් කරගෙන සිටින අතර මුළු ජෙරුසලම කැලඹී ඇතැ යි සේනාධිපතියාට දන්වන ලදී. 32 ඔහු එකෙණෙහි ම හේවායන් ද ශතාධිපතියන් ද කැඳවා ගෙන ඔවුන් වෙතට දිවී ය. ඔව්හු සේනාධිපතියා හා හේවායන් දැක, පාවුලුට තැළීම නතර කළහ. 33 එවිට සේනාධිපතියා ළං වී ඔහු අල්ලා, දම්වැල් දෙකකින් බඳින්නට අණ කොට, ”මොහු කවරෙක් ද? කුමක් කෙළේ දැ”යි විචාළේ ය. 34 එවිට සමූහයා අතර සමහරෙක් එකක් ද තවත් සමහරෙක් අනෙකක් ද මොරගසා කී හ. මේ කෝලාහලය නිසා ඇත්ත නැත්ත දැනගන්නට ඔහුට බැරි වූයෙන්, පාවුලු බලකොටුවට ගෙන යන්නට ඔහු අණ කෙළේ ය. 35 පාවුලු එහි තිබුණු පඩි පෙළ උඩට පැමිණි කල, සමූහයාගේ බලහත්කාරකම නිසා හේවායන්ට ඔහු උසුලා ගෙන යන්නට සිදු විය. 36 මන්ද, ”මොහු මරාදමන්නැ”යි මොරගසමින් ජනකාය ඔවුන් පස්සෙන් ගියහ.
පාවුලුගේ පිළිතුර
37 පාවුලු බලකොටුව ඇතුළට ගෙනයනු ලබද්දී, ”ඔබට වචනයක් කීමට අවසර ඇද්දැ”යි ඔහු සේනාධිපතියාගෙන් ඇසී ය. එවිට සේනාධිපතියා ”ඔබ ග්‍රීක් භාෂාව දන්නෙහි ද? 38 එසේ නම් මෑත දී කැරැල්ලක් ඇති කර, ත්‍රස්තවාදීන් සාරදහසක් වනයට ගෙන ගිය මිසර ජාතිකයා ඔබ නොවේ දැ”යි ඇසී ය. 39 එහෙත් පාවුලු පිළිතුරු දෙමින්, ”මම නම් සත්කීර්තිමත් නුවරක් වන සිලිසියාවේ තාර්සස්හි ජුදෙව්වෙක්මි. සෙනඟ අමතා කතා කිරීමට අවසර දෙන ලෙස ඔබගෙන් ඉල්ලමි”යි කී ය. 40 ඔහු අවසර දුන් කල, පාවුලු පඩි පෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥා කෙළේ ය. මහා නිශ්ශබ්දතාවයක් ඇති විය. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් ඔවුන් අමතා,
– 22 වන පරිච්ඡේදය –
1 ”සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය. 2 ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරන බව ඔවුන්ට ඇසුණ විට ඔව්හු වඩාත් නිශ්ශබ්ද වූ හ. එවිට පාවුලු කතා කොට මෙසේ කී ය: 3 ”මම සිලිසියාවේ තාර්සස්හි උපන් ජුදෙව්වෙක්මි, එහෙත් මේ නුවර ඇතිදැඩි වී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාමුල ඉගෙනීම ලැබ, අද ඔබ සියල්ලන් සිටින්නාක් මෙන් මමත් දෙවියන් වහන්සේ ගැන බැති සිතින් සිටියෙමි; 4 මේ ධර්ම මාර්ගයට අයිති වූවනට මැරෙන තුරු පීඩා කෙළෙමි; 5 පුරුෂයන් ද ස්ත්‍රීන් ද අත්අඩංගුවට ගෙන හිරගෙවලට භාර දුනිමි. ඒ ගැන උත්තම පූජකයා ද මුළු මන්ත්‍රණ සභාව ද මට සාක්ෂි දරති. ඔවුන්ගෙන් ද දමස්කයේ ජුදෙව් සහෝදරයන්ට ලියුම් ලබාගෙන එහි සිටි අයටත් දඬුවම් කරන පිණිස ඔවුන් බැඳ ජෙරුසලමට ගෙනෙන්නට මම එහි ගියෙමි.”
සිය හැරීම ගැන පාවුලුගේ විස්තරය
(ක්‍රියා 9:1-19; 26:12-18)
6 ”මා ගමන් කරමින් දමස්කයට ළං වූ කල, ඉර මුදුන් වේලාව පමණේ දී හදිසියෙන් අහසින් අතිදීප්තිමත් ආලෝකයක් මා වටකර බැබළිණි. 7 මම බිම වැටුණෙමි. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ’යි කියන හඬක් ඇසුණි. 8 මම ද ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසීමි. ‘මම නම් නුඹ පීඩා කරන නාසරෙත්හි ජේසුස් ය’යි උන් වහන්සේ මට වදාළ සේක. 9 මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝ ය. එහෙත් මට කතා කළ තැනැන් වහන්සේගේ හඬ ඔවුනට ඇසුණේ නැත. 10 ‘ස්වාමීනි, මම කුමක් කරම් දැ’යි මම ඇසීමි. සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට දමස්කයට යන්න; දෙවියන් වහන්සේ නියම කර ඇති අන්දමට ඔබ කළ යුතු සියල්ල ඔබට එහි දී දන්වනු ලැබේ ය’යි වදාළ සේක. 11 ඒ ආලෝකයේ උද්දීප්තිය නිසා මාගේ ඇස් නොපෙනී ගියේ ය. එබැවින් මාගේ සහචරයෝ මා අතින් අල්ලා ගෙන දමස්කයට ගෙන ගියහ.
12 ”ව්‍යවස්ථාවලිය මනා සේ පිළිපැද්ද, එසේ ම එහි වසන සියලු ජුදෙව්වරුන්ගේ ප්‍රසාදය දිනා ගත් අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත අවුත්, 13 ‘සහෝදර සාවුල්, පෙනීම ලබන්නැ’යි මට කී ය. මම ද එවේලේ ම පෙනීම ලැබ ඔහු දෙස බැලීමි. 14 ඔහු කතා කොට, ‘අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ කැමැත්ත දැනගන්නටත්, ධර්මිෂ්ඨයාණන් දකින්නටත්, උන් වහන්සේගේ මුඛයෙන් වචනය අසන්නටත් ඔබ තෝරා ගත් සේක. 15 මන්ද, ඔබ ඇසූ දුටු දේ ගැන සියලු මනුෂ්‍යයන්ට ඔබ උන් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වන්නෙහි ය. 16 ඉදින් පමා වන්නේ මන් ද? නැඟිට උන් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම-ස්නාපනය ලැබ, ඔබේ පව් සෝදා හරින්නැ’යි කී ය.”
විජාතීන් වෙත යවනු ලැබීම
17 ”තවද මම ජෙරුසලමට හැරී අවුත් දේව මාලිගාවේ දී ධ්‍යානශීලී ව යාච්ඤා කරමින් සිටිය දී දර්ශනයක් දුටිමි. 18 උන් වහන්සේ මට දර්ශනය වී: ‘මා ගැන ඔබේ සාක්ෂිය ඔවුන් නොපිළිගන්නා බැවින් පමා නොවී ජෙරුසලමෙන් යන්නැ’යි මට වදාළ සේක. 19 එකල මම කතා කොට, ‘ස්වාමීනි, මා ධර්මශාලාවලට ගොස් ඔබ අදහාගත්තවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට තැළූ බව කවුරුත් දනිති. 20 ඔබගේ සාක්ෂිකාර වූ ස්තේපන් මරනු ලැබූ කල, මමත් ළඟ සිට, එය අනුමත කරමින් ඔහු මැරූවන්ගේ වස්ත්‍ර බලාගත්තෙමි’යි කීවෙමි. 21 එවිට උන් වහන්සේ මට කතා කොට, ‘යන්න, මම ඔබ බොහෝ ඈත, විජාතීන් වෙත යවන්නෙමි’යි වදාළ සේකැ”යි පැවසී ය.
22 ඔහු මෙය කියන තෙක් ඔව්හු සවන් දුන්හ; ඉන්පසු ඔව්හු ”මෙවැන්නෙකු නැත්තට ම නැති කරන්න! මොහු ජීවත් විය යුතු නැතැ”යි මොරගැසූ හ. 23 ඔව්හු කෑගසමින්, තමන්ගේ උතුරු සළු ගලවා උඩ වීසි කරමින් ධූලි ඉහළට දමමින් සිටියෝ ය. 24 එබැවින් සේනාධිපතියා ඔහු බලකොටුවට ගෙන යන්නට අණ කොට, කුමන කාරණයක් නිසා ඔව්හු ඔහුට විරුද්ධ ව එසේ මොරගැසුවෝ දැ යි දැන ගන්නා පිණිස, ඔහුට කසයෙන් තළා විභාග කරන්නට නියම කෙළේ ය. 25 එහෙත් කසයෙන් තැළීම සඳහා ඔවුන් ඔහු බැන්ද විට පාවුලු කතා කොට, ”රෝම පුරවැසියෙකු විනිශ්චය නොකොට ඔහුට කසයෙන් තළවන්නට ඔබට නීතියෙන් බලයක් තිබේ දැ”යි ළඟ සිටි ශතාධිපතියාට කී ය. 26 ශතාධිපතියා ඒ අසා, සේනාධිපතියා ළඟට ගොස්, ”ඔබ කුමක් කරන්නට යන්නෙහි ද? මේ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ”යි කී ය. 27 එවිට සේනාධිපතියා අවුත්, ”ඔබ රෝම පුරවැසියෙක් දැ”යි ඔහුගෙන් ඇසී ය. ”එසේ ය”යි පාවුලු කී ය. 28 සේනාධිපතියා, ”මම බොහෝ මිල දී මේ පුරවැසිකම ලබා ගතිමි”යි කී ය. පාවුලු ද ”මම උත්පත්තියෙන් ම රෝම පුරවැසියෙක්මි”යි කී ය. 29 ඔහු විභාග කරන්නට සිටි අය එවේලේ ම ඔහු වෙතින් අහක් ව ගියහ. පාවුලු රෝම පුරවැසියකු බව දැන ගත් කල සේනාධිපතියා ඔහු බැඳ තැබීම ගැන බියට පත් විය.
පාවුලු ජුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරිපිට සිටීම
30 පසුවදා ජුදෙව්වරුන් කුමන කාරණයක් ගැන පාවුලුට වරද තබත් දැ යි හරියාකාර දැනගන්න සේනාධිපතියා කැමැති විය. එබැවින් ඔහු පාවුලු මුදා, නායක පූජකයන් සහ මුළු මන්ත්‍රණ සභාව රැස් කරවා ඔවුන් ඉදිරියට කැඳෙව්වේ ය.
– 23 වන පරිච්ඡේදය –
1 පාවුලු ඉතා ඕනෑකමින් මන්ත්‍රණ සභාව දෙස නෙත් යොමා, ”සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව හැසුරුණෙමි”යි කී ය. 2 එවිට උත්තම පූජක අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියවුනට අණ කෙළේ ය. 3 එවිට පාවුලු, ”කෛරාටිකයෙකු වූ ඔබට දෙවියන් වහන්සේ පහර දෙනු ඇත. ව්‍යවස්ථාව අනුව මා විනිශ්චය කිරීමට වාඩි වී සිටින ඔබ ව්‍යවස්ථාවට විරුද්ධ ව මට පහර දෙන්නට අණ කරන්නෙහි දැ”යි ඇසී ය. 4 එවිට ළඟ සිටි අය, ”ඔබ දෙවියන් වහන්සේගේ උත්තම පූජකයාට අපහාස කරන්නෙහි දැ”යි ඇසූ හ. 5 පාවුලු ද ”සහෝදරවරුනි, ඔහු උත්තම පූජකයාණන් බව මම නොදැන සිටියෙමි. මන්ද, ‘ඔබේ සෙනඟගේ ප්‍රධානියා ගැන අපවාද නොකියන්නැ’යි ලියා තිබේ ය”යි කී ය.
6 සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුන් ද අනෙක් කොටස පරිසිවරුන් ද බව පාවුලු දැක, මන්ත්‍රණ සභාවෙහි මොරගසා, ”සහෝදරයෙනි, මම පරිසියෙක්මි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන් උත්ථාන වීමේ බලාපොරොත්තුව ගැන මම විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි”යි කී ය. 7 ඔහු මෙසේ කී කෙණෙහි ම, පරිසිවරුන් හා සද්දුසිවරුන් අතර භේදයක් පැන නැඟුණි. රැස් ව සිටි අය දෙපිලකට බෙදුණාහ. 8 මන්ද, සද්දුසිවරු පුනරුජ්ජීවනයක් වත්, දේව දූතයන් වත්, ආත්මයක් වත් නැතැ යි කී නමුත් පරිසිවරු ඒ තුන ම ඇතැ යි කී හ. 9 එවිට කලබලය වඩාත් උග්‍ර විය. පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයන්ගෙන් සමහරෙක් නැඟිට තරයේ විරෝධය පාමින්: ”මේ මිනිසා අත කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේව දුතයෙක් හෝ ඔහුට කතා කරන්නට ඇතැ”යි කී හ.
10 එවිට භේදය වඩාත් වේගවත් විය. ඔවුන් පාවුලු කැබැලි කොට ඉරාදමනු ඇතැ යි සේනාධිපතියා බිය වී, හේවායන්ට කතා කොට, ඔවුන් වෙතින් ඔහු පැහැර ගෙන බලකොටුවට ගෙන යාමට අණ කෙළේ ය.
11 එදා රාත්‍රියේ සමිඳාණන් වහන්සේ පාවුලු ළඟ සිට, ”ධෛර්යවත් වෙන්න ඔබ ජෙරුසලමේ දී මා ගැන සාක්ෂි දුන් සේ ම, රෝමයේ දීත් සාක්ෂි දිය යුතු ය”යි වදාළ සේක.
පාවුලු නැසීමට කුමන්ත්‍රණයක්
12 පහන් වූ කල ජුදෙව්වරු කුමන්ත්‍රණයක් කර, පාවුලු මරනතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳුණෝ ය. 13 මේ කුමන්ත්‍රණය කළ අය සතළිස්දෙනෙකුට වැඩි වූ හ. 14 ඔව්හු නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද ළඟට ගොස්, ”පාවුලු මරනතුරු අපි කිසිවක් කටේ නොතියන්නට තද දිවුරුමකින් බැඳී සිටිමු. 15 එබැවින් ඔබ මන්ත්‍රණ සභාව සමඟ, ඔහු පිළිබඳ තතු වඩා හරි ලෙස වගවිභාග කරන්නට යන්නාක් මෙන්, හෙට ඔබ වෙතට ඔහු ගෙනෙන ලෙස සේනාධිපතියාට දන්වා හරින්න. ඔහු මෙතැනට පැමිණෙන්නට පෙර අපි ඔහු මරන්නට සූදානම් කරමු”යි කී හ.
16 ඔවුන්ගේ ඒ උපාය ගැන ඇසූ පාවුලුගේ සහෝදරීගේ පුත්‍රයා අවුත්, බලකොටුවට ඇතුළු වී, පාවුලුට එපවත් සැළ කෙළේ ය. 17 එවිට පාවුලු ශතාධිපතියන්ගෙන් කෙනෙකු කැඳවා, ”මේ තරුණයා ප්‍රධාන සේනාධිපතියා ළඟට ගෙන යන්න; ඔහුට දැන්විය යුතු යම් කාරණයක් ඇතැ”යි කී ය. 18 එවිට ඔහු සේනාධිපතියා ළඟට තරුණයා ගෙන ගොස්: ”පාවුලු නම් හිරකරුවා මා කැඳවා, ඔබට දන්වන්නට කාරණයක් ඇති හෙයින් මේ තරුණයා ඔබ වෙත ගෙනෙන්නට මාගෙන් ඉල්ලුවේ ය”යි කී ය. 19 එකල සේනාධිපතියා ඔහු අතින් අල්ලා ගෙන පසෙකට ගොස්, ”මට දන්වන්නට තිබෙන කාරණය කුමක් දැ”යි ඇසී ය. 20 ඔහු කතා කොට, ”පාවුලු ගැන මන්ත්‍රණ සභාව වැඩිදුරටත් වගවිභාග කරන්නට යන්නාක් මෙන්, ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස ජුදෙව්වරු ඔබගෙන් ඉල්ලීමට නියම කරගෙන සිටිති. 21 එහෙත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුන මැනවි. මන්ද, ඔවුන්ගෙන් හතළිහකට වැඩි ගණනක් ඔහු මරනතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳී සැඟවී, බලා ගෙන සිටිති. දැන් ඔව්හු සූදානම් ව ඔබ තීරණය දෙන තෙක් බලා සිටිති”යි කී හ. 22 එවිට සේනාධිපතියා, ”ඔබ මේ දේවල් මට දැන් වූ බව කිසිවෙකුට නොකියන්න”යි අණ කොට තරුණයා යන්නට හැරියේ ය.
පාවුලු ආණ්ඩුකාරයා වෙත යවනු ලැබීම
23 ඉක්බිති ඔහු ශතාධිපතීන් දෙදෙනෙකු කැඳවා, ”කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක් ද අසරුවන් සැත්තෑවක් ද කුන්තධරයන් දෙසියයක් ද රෑ නවයට සූදානම් කරන්නැ”යි කී ය. 24 ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්‍රවේසමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නට ද අණ කෙළේ ය. 25 තවද, ඔහු මෙසේ ලිපියක් ලීවේ ය:
26 ”ක්ලෞදියස් ලිසියස්, ශ්‍රීමත් ෆීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට සුබ පතමින් ලියා එවන වග නම්: 27 ජුදෙව්වරුන් මේ මනුෂ්‍යයා අල්ලා මරන්නට තැත් කළ විට, ඔහු රෝම පුරවැසියෙකු බව දැන ගෙන, මම හේවායන් සමඟ ගොස් ඔහු මුදා ගතිමි. 28 ඔවුන් ඔහුට විරුද්ධ ව කළ චෝදනා දැන ගන්නා පිණිස, ඔවුන්ගේ මන්ත්‍රණ සභාවට ඔහු ගෙන ගියෙමි. 29 එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවලියේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස, මරණයට වත්, සිරගත කිරීමට වත් සුදුසු කිසිවක් ගැන ඔහුට චෝදනා නොකළ බව දැන ගතිමි. 30 එහෙත් ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව කූට උපායක් යොදන්නට යන බව මට දන්වනු ලැබූ බැවින් එවේලේ ම ඔහු ඔබ වෙතට එවා, ඔහුට විරුද්ධ ව ඇති චෝදනා ඔබ ඉදිරියේ තබන්නට පැමිණිලිකරුවන්ට අණ කෙළෙමි.”
31 මෙසේ හේවායන්ට අණ කළ ලෙස ඔව්හු පාවුලු රැගෙන එම රාත්‍රියේ ම අන්තිපත්‍රිසයට ගියහ. 32 පසුවදා අසරුවන් ඔහු සමඟ යන්නට හැර, හේවායෝ බලකොටුවට හැරී ආහ. 33 අසරුවෝ කායිසාරියට අවුත් ලිපියත් සමඟ, පාවුලු ආණ්ඩුකාරයාට භාර දුන්හ. 34 එවිට ඔහු ඒ ලිපිය කියවා, පාවුලු කොයි පළාතේ කෙනෙක් දැ යි අසා, සිලිසියාවේ තැනැත්තෙකු බව දැන ගත් විට, 35 ”ඔබේ පැමිණිලිකරුවන් පැමිණි විට ඔබට කියන්නට ඇති දේ අසමි”යි කියා හෙරොද්ගේ මාලිගාවේ ඔහු රැකවලෙහි තබන්නට අණ කෙළේ ය.
– 24 වන පරිච්ඡේදය –
පාවුලුට විරුද්ධ ව චෝදනා
1 පස් දවසකට පසු උත්තම පූජක අනනියස්, සමහර ප්‍රජා මූලිකයන් ද තෙර්තුලස් නම් එක්තරා අධි නීතිඥයෙකු සමඟ අවුත් පාවුලුට විරුද්ධ ව ආණ්ඩුකාරයාට පැමිණිලි කෙළේ ය. 2 ඔහු කැඳවනු ලැබූ කල, තෙර්තුලස් පාවුලුට විරුද්ධ ව පැමිණිලි දේශනය මෙසේ අරඹමින්:
”ශ්‍රීමත් ෆීලික්ස් තුමෙනි, ඔබ තුමන් නිසා අපට ස්ථිරසාර සාම යුගයක් ද ඔබගේ දුරදර්ශී පාලනයෙන් මේ ජාතිය උදෙසා ප්‍රතිසංස්කරණ යුගයක් ද පහළ වී ඇති බව, 3 සැම විට ම, සැම තැන්හි ම, සියලු අයුරින් කෘතඥතාපූර්වක ව අපි පිළිගනිමු. 4 එහෙත් ඔබ තවදුරටත් පමා නොකර, මා ලුහුඬින් කියන දේ කරුණාවෙන් අසන ලෙස අයැදිමි. 5 මන්ද, මේ මිනිසා කරදරකාරයෙකු බව ද ලොව පුරා සියලු ජුදෙව්වරුන් අතර කැරලි උපදවන්නෙකු බව ද නාසරියයන්ගේ නිකායේ කැරලිනායකයෙකු බව ද දැනගතිමු. 6 මොහු දේව මාලිගාව කෙලෙසන්නටත් උත්සාහ කෙළේ ය. එහෙත් අපි ඔහු අල්ලා ගතිමු. අපගේ ම ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කිරීම අපගේ තීරණය විය. 7 එහෙත් ප්‍රධාන සේනාධිපතියා වන ලිසියස් අවුත් මහත් බලහත්කාරයෙන් ඔහු පැහැර ගෙන, 8 ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කෙළේ ය. අප මොහුට විරුද්ධ ව ගෙනෙන පැමිණිලි සියල්ල ගැන මොහුගෙන් ම විචාරා දැනගන්නට ඔබට පුළුවනැ”යි කී ය. 9 ජුදෙව්වරු ද ඊට එකඟ ව පැමිණිලි කරමින්, ”ඒ සියල්ල සැබෑ ය”යි සම්මත කළහ.
ෆීලික්ස් ඉදිරියේ පාවුලුගේ පිළිතුර
10 කතා කරන පිණිස ආණ්ඩුකාරයා පාවුලුට සංඥා කළ කල්හි ඔහු මෙසේ පිළිතුරු දුනි: ”ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජනතාවට විනිශ්චයකාරයෙකු ව සිටින බව මම දනිමි. එබැවින් මාගේ නිදහස ගැන මා උත්තර දෙන්නේ ඉතා සතුටිනි. 11 නමස්කාරය පිණිස මා ජෙරුසලමට ගොස් දැනට දොළොස් දවසකට වඩා නැති බව ඔබට ම දැන ගත හැකි ය. 12 දේව මාලිගාවේ දී වත්, ධර්මශාලාවල දී වත්, නගරයේ දී වත්, කිසි කෙනෙකු සමඟ මා වාද කරනවා හෝ සෙනඟ කලබල කරනවා හෝ ඔව්හු නුදුටුවෝ ය. 13 ඔවුන් දැන් මා පිට තබන වරද ඔප්පු කරන්නට ඔවුන්ට නොහැකි ය. 14 එහෙත් ඔබ ඉදිරියෙහි දැන් මා කියන්නට යන මේ දේ එනම්, නිකායක් යයි ඔවුන් සලකන ධර්ම මාර්ගය මම තරයේ පිළිගනිමි: ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ ලියා තිබෙන සියල්ල විශ්වාස කරමින් අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට සේවය කරමි. 15 මා මෙසේ විශ්වාස කරන බැවින් දමිටුන්ගේ ද අදමිටුන්ගේ ද පුනරුජ්ජීවනයක් ඇතැ යි මොවුන් බලාසිටින්නාක් මෙන්, මමත් බලාපොරොත්තුවෙන් සිටිමි. 16 ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.
17 ”අවුරුදු කීපයකට පසු මාගේ සෙනඟට සම්මාදම් බාර දී පූජා පවත්වනු සඳහා මෙහි ආවෙමි. 18 මේ සම්බන්ධයෙන් ඔවුන් දේව මාලිගාවේ දී මා දුටුවේ මා පවිත්‍ර කිරීමේ පිළිවෙත ඉටු කළායින් පසුව ය. එහි මා සමඟ සෙනඟක් සිටියේ නැත; කලබලයක් ද නොතිබිණි. එහෙත් ආසියාවෙන් පැමිණි සමහර ජුදෙව්වරු එහි සිටියෝ ය. 19 මට විරුද්ධ ව යමක් තිබුණා නම්, මට දෝෂාරෝපණය කරන පිණිස මෙහි ඔබ ඉදිරියට ඒම ඔවුන්ගේ යුතුකම ය. 20-21 නැතහොත්, මා මන්ත්‍රණ සභාව ඉදිරියේ කුමන අපරාධයක් කෙළේ දැ යි මෙහි සිටින මොවුහු කියත් වා. ඔවුන් ඉදිරියේ මා කියා ඇත්තේ එක ම එක දෙයයි. එනම්, ‘මළවුන්ගේ උත්ථාන වීම මා අදහන නිසා අද ඔබ විසින් විනිශ්චය කරනු ලබමි’ ”යි යනු යි.
22 එහෙත් ෆීලික්ස් ඒ ධර්ම මාර්ගය ගැන කාරණා මැනවින් දැන සිටි බැවින්, ”ලිසියස් නම් සේනාධිපතියා ආ කල ඔබගේ නඩුව තීන්දු කරන්නෙමි”යි කියා නඩුව කල් දැමී ය. 23 තවද පාවුලු රැකවලෙහි තබන්නටත් ඔහුට තරමක නිදහසක් දෙන්නටත්, ඔහුගේ මිත්‍රයන් ඔහුට උපස්ථාන කිරීම තහනම් නොකරන්නටත් ශතාධිපතියාට ඔහු අණ කෙළේ ය.
24 කීප දවසකට පසු ෆීලික්ස් ජුදෙව් ස්ත්‍රියක වූ ඩෘසිල්ලා නම් තම භාර්යාව සමඟ අවුත් පාවුලු ගෙන්වා, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල ගැන ඔහු කතා කරනු ඇසී ය. 25 පාවුලු, සුචරිතය ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද කතා කරද්දී ෆීලික්ස් බියපත් ව, ”දැනට යන්න, මට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණු විට ඔබ නැවත කැඳවන්නෙමි”යි කී ය. 26 ඒ ඇරත් තමාට පාවුලු මුදල් දෙනවා ඇතැ යි ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ ය. ඒ නිසා පාවුලු නැවත නැවත කැඳවා ඔහු සමඟ කතා කෙළේ ය. 27 එහෙත් දෑවුරුද්දක් ගත වූ පසු, ෆීලික්ස්ගේ නිලයට පොර්කියුස් ෆෙස්තුස් පත් කරන ලදී. ෆීලික්ස් වනාහි ජුදෙව්වරුන් සතුටු කරන්නට කැමැති ව, පාවුලු හිරබාරයෙහි තබා ගියේ ය.
– 25 වන පරිච්ඡේදය –
පාවුලු සීසර් අගරජුගේ විනිශ්චය ඉල්ලා සිටීම
1 ෆෙස්තුස් ඒ පළාතට පැමිණ තුන් දවසක් ගත වූ පසු කායිසාරියේ සිට ජෙරුසලමට ගියේ ය. 2 නායක පූජකයෝ ද ජුදෙව්වරුන්ගේ ප්‍රධානීහු ද පාවුලුට විරුද්ධ ව ෆෙස්තුස්ට පැමිණිලි කළහ. 3 තමන්ට විශේෂ සැලකිලි දැක්වීමක් වශයෙන් පාවුලු ජෙරුසලමට යවන ලෙස ඔව්හු ෆෙස්තුස්ගෙන් ඉල්ලූ හ. එසේ කෙළේ ඔවුන් මාර්ගයේ රැක සිට ඔහු මැරීමට උපායක් යෙදූ බැවිනි. 4 එහෙත් ෆෙස්තුස් උත්තර දෙමින්, ”පාවුලු කායිසාරියේ සිරභාරයේ සිටින බවත්, තමා ද ඉක්මනින් එහි යන්නට අදහස් කරන බවත් කී ය. 5 එහෙයින් ඔබ අතර සැලකිය යුතු අය, මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් වරදක් ඇත්නම්, ඔහුට විරුද්ධ ව චෝදනා කරත් වා”යි කී ය.
6 ඔහු ඔවුන් අතරෙහි දවස් අටක් හෝ දහයක් හෝ පමණ නතර වී, කායිසාරියට ගොස් පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ පාවුලු ගෙනෙන්නට අණ කෙළේ ය. 7 ඔහු ආ කල, ජෙරුසලමෙන් පැමිණි ජුදෙව්වරු පාවුලු වටකර සිට ඔහුට විරුද්ධ ව, ඔප්පු කළ නොහැකි, බරපතල වූ බොහෝ චෝදනා ඉදිරිපත් කළහ. 8 පාවුලු තමාගේ නිදහසට උත්තර දෙමින්, ”මම ජුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවලියට වත්, දේව මාලිගාවට වත්, සීසර් අධිරාජයාට වත් විරුද්ධ ව කිසි වරදක් නොකෙළෙමි”යි කී ය. 9 එහෙත් ෆෙස්තුස් ජුදෙව්වරුන් සතුටු කරන අදහසින් පාවුලුට කතා කොට, ”ඔබ ජෙරුසලමට ගොස්, එහි දී මේ චෝදනා ගැන මා ඉදිරියෙහි විනිශ්චය කරනු ලබන්නට කැමැත්තෙහි දැ”යි ඇසී ය. 10 එහෙත් පාවුලු, ”මම සීසර් අධිරාජයාගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මා විනිශ්චය කළ යුත්තේ මෙහි දී ය. ජුදෙව්වරුන්ට මා කිසි වරදක් කෙළේ නැත; ඒ බව ඔබටත් හොඳාකාර පෙනී යනු ඇත. 11 ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු යමක් මා කර තිබේ නම්, මා මරණ දඬුවමින් මුදන ලෙස නො ඉල්ලමි. එහෙත් මොවුන් මට තබන චෝදනාවල කිසි සත්‍යයක් නැත්නම්, මා ඔවුන් අතට පාවා දීමට කිසිවෙකුට බැරි ය. මම සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලමි”යි කී ය. 12 එවිට ෆෙස්තුස් උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, ”ඔබ සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලුවෙහි ය. ඔබ සීසර් අධිරාජයා වෙත යන්නෙහි ය”යි පාවුලුට කී ය.
අග්‍රිපා රජ සහ බර්නිස් ඉදිරියෙහි
13 කීප දවසකට පසු අග්‍රිපා රජ ද බර්නිස් ද ෆෙස්තුස්ට ආචාර කරන පිණිස කායිසාරියට පැමිණිය හ. 14 ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටිය දී ෆෙස්තුස් පාවුලු පිළිබඳ කාරණය රජුට දන්වමින්, ”ෆීලික්ස් නිදහස් නොකර ගිය එක් සිරකරුවෙක් මෙහි සිටියි. 15 මා ජෙරුසලමට ගිය විට නායක පූජකයෝ ද ජුදෙව්වන්ගේ සභා මූලිකයෝ ද ඔහු ගැන මට චෝදනා කරමින්, ඔහු වරදකරුවෙකැ යි තීන්දු කරන ලෙස මගෙන් ඉල්ලූ හ. 16 මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘පැමිණිලිකරුවන් ඉදිරියෙහි තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නැති ව, කිසි ම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්‍රදායයක් නොවේ ය’යි කීවෙමි. 17 එහෙයින් ඔවුන් මෙහි රැස් වූ කල මම නොපමා ව පසුදා විනිශ්චයාසනයෙහි හිඳ ඒ මිනිසා ගෙනෙන්නට අණ කෙළෙමි. 18 එහෙත් ඔහුගේ පැමිණිලිකරුවෝ, මා සිතූ අන්දමේ කිසි වරදක් ඔහු පිට නොතැබූ හ. 19 ඔහුට විරුද්ධ ව ඔවුන් ඉදිරිපත් කෙළේ තම ආගම ගැනත්, ජේසුස් නම් මළගිය කෙනෙකු යළි ජීවත් ව සිටිති යි යන පාවුලුගේ කීම ගැනත් විවාද සමහරක් පමණකි. 20 මේ දේවල් ගැන විභාග කරන්නේ කෙසේ දැ යි සිතින් වියවුල් වූ මම, ජෙරුසලමට ගොස්, එහි දී මේ කාරණා ගැන විනිශ්චය කරනු ලබන්නට කැමැති දැ යි ඔහුගෙන් ඇසුවෙමි. 21 එහෙත් අධිරාජයාගේ තීරණයට නඩුව ඉදිරිපත් කරන මෙන් පාවුලු ඉල්ලූ විට, ඔහු සීසර් අධිරාජයා ළඟට යන තුරු රැකවලෙහි තැබීමට මම අණ කෙළෙමි”යි කී ය. 22 එවිට අග්‍රිපා: ”මමත් ඒ මනුෂ්‍යයා කතා කරනවා අසන්නට කැමැත්තෙමි”යි ෆෙස්තුස්ට කී ය. ”හෙට ඔබට අසන්නට ලැබේ ය”යි ඔහු පිළිතුරු දුනි.
23 එසේ පසුවදා අග්‍රිපා ද බර්නිස් ද මහත් හරසරින් අවුත් ප්‍රධාන සේනාධිපතීන් හා නුවර ප්‍රභූන් හා සමඟ නඩු ශාලාවට පැමිණි කල, ෆෙස්තුස්ගේ ආඥාවෙන් පාවුලු එහි ගෙන්වන ලදී. 24 ෆෙස්තුස් කතා කොට: ”අග්‍රිපා රජතුමෙනි, මෙහි අප සමඟ සිටින සියලු භවතුනි, මොහු තවත් ජීවත් ව සිටින්නට නොවටනේ යයි ජෙරුසලමේදීත් මෙහිදීත් ජුදෙව් සමූහයා මොරගසමින් මට පැමිණිලි කෙළේ ඔබට පෙනෙන මේ මිනිසා ගැන ය. 25 එහෙත් මරණ දඬුවමට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනී ගියේ ය. ඇරත්, මොහු ම අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු එහි යැවීමට මම නියම කෙළෙමි. 26 ඔහු ගැන අධිරාජයාට ලියා යැවීමට නිසැක කිසිවක් මට නැත. එබැවින් මේ විභාගය කළ පසු ලියා ඇරීමට යම් යම් කරුණු මට ලැබෙන පිණිස ඔබ හැම ඉදිරියට, විශේෂයෙන් අග්‍රිපා රජතුමෙනි, ඔබ ඉදිරියට ද ඔහු ගෙනාවෙමි. 27 සිරකරුට විරුද්ධ ව ඇති චෝදනා නොදන්වා ඔහු යැවීම අනුවණ ක්‍රියාවක් බව මට පෙනේ ය”යි කී ය.
– 26 වන පරිච්ඡේදය –
අග්‍රිපා රජ ඉදිරිපිට පාවුලු නිදහසට කරුණු කියා පෑම
1 එවිට අග්‍රිපා රජු, ”ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය: 2 ”අග්‍රිපා රජතුමෙනි, ජුදෙව්වරුන් විසින් මට විරුද්ධ ව නඟන හැම චෝදනා ගැන ම අද ඔබ ඉදිරියේ උත්තර දීමට මා සිටින බැවින් මම භාග්‍යවන්තයෙකැ යි සිතමි. 3 විශේෂයෙන් ම මෙසේ සිතන්නේ ජුදෙව්වරුන් අතර පවතින සියලු සිරිත් ද මතභේද ද ඔබ හොඳාකාර දන්න නිසා ය. එහෙයින් මා කියන දේට ඉවසිල්ලෙන් සවන් දෙන මෙන් ඉල්ලමි.
4 ”යොවුන් වියේ පටන් මාගේ රට වැසියන් අතර හා ජෙරුසලමෙහි ද මාගේ හැසිරීම ගැන මුල පටන් සියලු ජුදෙව්වරු දනිති. 5 අපේ ආගමේ ඉතා දැඩිතර නිකාය අනුව, මා පරිසිවරයෙකු ව ජීවත් වූ බව ඔව්හු බොහෝ කලෙක සිට දනිති; කැමැති නම් ඔවුන්ට ඒ ගැන සාක්ෂි දෙත හැකි ය. 6 එහෙත් දෙවියන් වහන්සේ අපේ පියවරුන්ට දුන් පොරොන්දුව කෙරේ විශ්වාසය තැබීම ගැන දැන් මම විනිශ්චය කරනු ලබන්නට සිටිමි. 7 අපගේ ගෝත්‍ර දොළොස රෑ දාවල් උද්‍යෝගිමත් ව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ මේ පොරොන්දුව කෙරේ විශ්වාසයෙනි. රජතුමෙනි, ජුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව නිසා ය. 8 දෙවියන් වහන්සේ මළවුන් උත්ථාන කරන බව විශ්වාස කළ නොහැකි යයි ඔබ අතරෙන් කිසිවෙකු සිතන්නේ මන් ද?
9 ”නාසරෙත්හි ජේසුස් වහන්සේගේ නාමයට විරුද්ධ ව බොහෝ දේ මා විසින් කළ යුතු යයි වරක් මමත් සිතුවෙමි. 10 ජෙරුසලමේ දී මා කළේත් එයම ය. නායක පූජකයන්ගෙන් බලය ලැබ, ඇදහූ අයගෙන් බොහෝ දෙනෙකු සිරගෙවල දැමුවෙමි; ඔවුන් මරණ දඬුවමට පත් කරන කල්හි ඊට එකඟ ව ඡන්දය ද දුනිමි. 11 තවද සියලු ධර්මශාලාවල දී නොයෙක් විට ඔවුන්ට දඬුවම් කරමින්, ඔවුන් ලවා දේවාපහාස කරවන්නට උත්සාහ කෙළෙමි; මම ඔවුන් ගැන කෝපයෙන් දිළිහෙමින්, අන් නුවරවලට ද ගොස් ඔවුන්ට පීඩා කෙළෙමි.”
පාවුලුගේ හැරීම ගැන පැවසීම
(ක්‍රියා 9:1-19; 22:6-16)
12 ”ඒ සඳහා නායක පූජකයන්ගෙන් බලය ද අවසරය ද ලැබ, දමස්කයට මා ගමන් කරද්දී, 13 රජතුමෙනි, ඉර මුදුන් වේලෙහි මා ද මා සමඟ ගියවුන් ද වට කර සූර්ය තේජසට වඩා දීප්තිමත් එළියක් බබළනවා දුටිමි. 14 අප සියල්ලන් ම බිම වැටුණු කල, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන් ද? කෙවිටට පයින් ගැසීම ඔබට අන්තරායදායක ය’යි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන හඬක් ඇසිණි. 15 මම ද, ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසුවෙමි. සමිඳාණන් වහන්සේ ද; ‘මම නම් ඔබ පීඩා කරන ජේසුස් වෙමි. 16 නැඟිට කෙළින් සිටින්න. මන්ද, මා ඔබට දර්ශනය වූයේ මේ නිසා ය. එනම්, ඔබ දුටු දර්ශනය ගැන ද, තවත් ඔබට ප්‍රකාශ කරන්නට යන දේවල් ගැන ද ඔබ සේවකයෙකු හා සාක්ෂිකරුවෙකු කිරීමට ය. 17 මේ සඳහා ජුදෙව් සෙනඟගෙන් ද විජාතීන්ගෙන් ද මම ඔබ ගළවන්නෙමි. 18 මා අදහාගැනීමෙන් ඔවුන් පව් කමාව ද, දෙවියන් වහන්සේගේ ම ජනතාව අතරෙහි උරුමයක් ද ලබන පිණිස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ද, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට ද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පැහැදවීමට ඔවුන් වෙතට ඔබ යවමි’යි වදාළ සේක.
පාවුලුගේ ධර්මදූත ස්ථාවරය
19 ”එහෙයින්, අග්‍රිපා රජතුමෙනි, ස්වර්ගීය දර්ශනයට අකීකරු වීම මට නොහැකි විය. 20 පළමුකොට දමස්කයේ හා ජෙරුසලමේ ද පසුව ජුදා රට මුළුල්ලෙහි ද වැසියන්ටත්, විජාතීන්ටත්, පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙත හැරී, පසුතැවී සිත් හරවා ගත් බව දක්වන ක්‍රියා කරන්නැ යි ප්‍රකාශ කෙළෙමි. 21 මේ කාරණය නිසා ජුදෙව්වරු දේව මාලිගාවේ දී මා අල්ලා මරන්නට තැත් කළහ. 22 එසේ වුව ද දේව වරප්‍රසාදයෙන් අද දක්වා ලොකු කුඩා කාටත් සාක්ෂි දෙමින් මම මෙහි සිටිමි. මා කියන්නේත් අනාගතයේ දී සිදුවනු ඇතැ යි දිවැසිවරුන් හා මෝසෙස් කී දේ ම ය. 23 එනම්, ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නට ඕනෑ බවත්, සෙනඟට හා විජාතීන්ට ආලෝකය ප්‍රකාශ කිරීම සඳහා, සියල්ලනට පළමුවෙන් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වෙන්නට ඕනෑ බවත් ය.”
24 ඔහු මෙසේ තමාගේ නිදහසට කාරණා කියද්දී: ”පාවුලු, ඔබට පිස්සු ය; බොහෝ උගත්කම ඔබ පිස්සෙකු කර ඇතැ”යි ෆෙස්තුස් මහා හඬින් කී ය. 25 එහෙත් පාවුලු, ”ගරුතර ෆෙස්තුස් තුමෙනි, මට පිස්සු නැත; මා කියන්නේ නියම ඇත්ත ය. 26 මේ දේවල් ගැන රජතුමාට මනා දැනුමක් ඇත. එබැවින් නොබිය ව එතුමාට කතා කරමි. මන්ද, මේ දේවලින් කිසිවක් අස්සක මුල්ලක සිදු නොවූ බැවින් ඒවා එතුමාගෙන් සැඟවී නැතැ යි විශ්වාස කරමි. 27 අග්‍රිපා රජතුමෙනි, ඔබ දිවැසිවරුන් විශ්වාස කරන්නෙහි ද? ඔබ විශ්වාස කරන බව මම දනිමි”යි කී ය. 28 එවිට අග්‍රිපා රජ කතා කොට: ”ඔබ පහසුවෙන් මා ක්‍රිස්තියානිකාරයෙකු කරන්නට සිතනවා වගේ ය”යි පාවුලුට කී ය. 29 පාවුලු කතා කොට, ”ඔබ පමණක් නොව, අද මාගේ වචනය අසන සියල්ලන් ද, පහසුවෙන් හෝ අපහසුවෙන් හෝ මාගේ මේ යදම් නැති ව, මා වාගේ ම වන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරමි”යි කී ය.
30 එවිට රජ ද ආණ්ඩුකාරයා ද බර්නිස් ද ඔවුන් සමඟ සිටි අය ද නැඟිට, 31 පිටතට ගොස්, ”මේ මිනිසා මරණයට වත් යදම්වලින් බඳිනු ලැබීමට වත් සුදුසු කිසි දෙයක් කර නැතැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. 32 අග්‍රිපා තෙමේ ෆෙස්තුස්ට කතා කොට, ”මේ මිනිසා සීසර් අධිරාජයාගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහු මුදා හැරීමට හැකි ව තිබුණේ ය”යි කී ය.
– 27 වන පරිච්ඡේදය –
පාවුලු ඉතාලිය බලා නැව් නැඟීම
1 ඉතාලියට නැව් නැඟී යන්නට තීරණය කරනු ලැබූ විට, පාවුලු සමඟ තවත් සිරකාරයෝ සමහර දෙනෙක්, අගොස්තීනු නම් බලඇණියේ, ජුලියස් නම් ශතාධිපතියාට භාර දෙන ලද්දෝ ය. 2 අපි ආසියාවේ මුහුදුබඩ වරායවලට යාත්‍රා කරන්නට සූදානම් ව තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැඟී පිටත් වුණෙමු. තෙසලෝනිකයේ මසිදෝනි වැසියෙක් වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේ ය. 3 පසුවදා අපි සීදොනට ළඟා වීමු. ජුලියස් පාවුලුට කරුණාව දක්වමින් ඔහුගේ මිත්‍රයන් හමු වීමට යන්නටත්, ඔවුන්ගෙන් සත්කාර ලබන්නටත් ඔහුට ඉඩ දුන්නේ ය. 4 එතැනින් පිටත් වී යන විට, සුළඟ අපට විරුද්ධ ව හැමූ බැවින් සයිප්‍රසයේ වෙරළාසන්නයෙන් යාත්‍රා කෙළෙමු. 5 සිලිසිය සහ පම්පිලියාවේ වෙරළාසන්න මුහුද මැදින් යාත්‍රා කර, මුරා නම් ලිසියාවේ නුවරකට පැමිණියෙමු. 6 එහි දී ශතාධිපතියා ඉතාලියට යන අලෙක්සන්ද්‍රියාවේ නැවක් දැක අප එහි නැංවී ය.
7 කීප දිනක් ම හෙමින් යාත්‍රා කිරීමට සිදු වූ බැවින්, බොහෝ අමාරුවෙන් කනීදස ඉදිරියට පැමිණියෙමු. සුළඟ නිසා ගොඩබසින්නට නොහැකි වූ හෙයින්, අපි ක්‍රීතයේ වෙරළට ළං ව සල්මොන් තුඩුව වෙතට ගියෙමු. 8 අමාරුවෙන් එය ද පසු කර ලසේය නුවර අසල පිහිටි සුන්දර වරාය නම් තැනකට පැමිණියෙමු.
9 බොහෝ කල් ගත වී, උපවාස කාලය ද ගෙවී ගිය බැවින්, මුහුදු ගමන අන්තරාය සහිත වූයෙන්, පාවුලු ඔවුන්ට දැනමුතුකම් දෙමින්, 10 ”භවතුනි, මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව, අපේ ජීවිතවලටත් අන්තරායදායක වූ, බොහෝ අලාභ හානි පමුණුවන්නක් බව මට පෙනේ ය”යි කී ය. 11 එහෙත් ශතාධිපතියා පාවුලු කී දේවලට වඩා නැව්පතියාගේ ද නැව් අයිතිකාරයාගේ ද කීම් සැලකුවේ ය. 12 ශීත කාලයේ නැවතී සිටීමට ඒ වරාය අහිතකර වූයෙන්, එතැනින් පිටත් වී පුළුවන් නම් ඊසානට හා ගිනිකොණට මුහුණ දුන් ක්‍රීතයේ වරායක් වූ පෙනීකියට පැමිණ එහි ශීත කාලය ගත කරන ලෙස වැඩිදෙනා කැමැත්ත දැක්වූ හ.
කුණාටුව හා නැව බිඳීයාම
13 දකුණෙන් මඳ සුළඟක් හැමූ කල, ඔව්හු තමන්ගේ අදහස ඉටු වී යයි සිතා නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ ළඟින් ම ගියහ. 14 එහෙත් නොබෝ වේලාවකින් ‘එව්රකුලොන්, නම් චණ්ඩ මාරුතයක් දිවයින හරහා හැමුවේ ය. 15 නැව ඊට අසු වී, සුළඟට මුහුණ පා යන්නට බැරි වූ බැවින්, අපි එය සුළඟට ගසාගෙන යන්නට ඉඩ හැරියෙමු. 16 තවද, ක්ලෞද නම් සුළු දිවයිනක මුවාවට දුව ගොස් අමාරුවෙන් නැවේ ඔරුව රැකගත්තෙමු. 17 ඔව්හු එය නැවට ඔසවා, ආධාර කඹ නැව යටින් දමා බැන්දාහ; සර්ටිස්හි වැලි කණ්ඩිවල ගැටේ ය යන බියෙන් ඔව්හු කුඹදැව බා, නැව ගසා ගෙන යන්නට ඉඩ දුන්හ. 18 තද කුණාටුවකට අසු වී සිටි බැවින් පසුවදා ඔව්හු නැව සැහැල්ලු කරන්නට පටන්ගත්හ. 19 තුන් වන දා ඔව්හු තමන්ගේ ම අත්වලින් නැවේ බඩු බාහිරාදිය මුහුදට වීසි කළහ. 20 බොහෝ දවස් ඉර වත් තාරකා වත් නොපෙනුණ බැවින් ද, තද කුණාටුවක් පැවතුණ බැවින් ද අපේ ආරක්ෂාව ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් සුන් වී ගියේ ය.
21 අප බොහෝ දිනක් කෑම නොගෙන සිටි බැවින්, පාවුලු ඔවුන් මැද සිට, ”භවතුනි, ක්‍රීතයෙන් පිටත් නොවන ලෙස මා දුන් අවවාදයට ඇහුම්කන් දිය යුතු ව තිබිණි. එසේ කෙළේ නම් මෙවැනි අන්තරාවක් හා අලාභයක් පැමිණෙන්නේ නැත. 22 කෙසේ වෙතත් දැන් ඉතින් ධෛර්යවත් ව සිටින ලෙස ඔබට අවවාද කරමි. මන්ද, නැවට මිස ඔබ අතර ජීවිතහානියක් නොවන්නේ ය. 23 මා වැඳුම්පිදුම් කරන මාගේ ම දෙවියන් වහන්සේගේ දුතයෙක් ඊයේ රාත්‍රියේ මා ළඟ සිට, 24 ‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය. 25 එබැවින්, භවතුනි, ධෛර්යවත් වන්න. මන්ද, මම දෙවියන් වහන්සේ විශ්වාස කරමි; මට කී ලෙස ම සිද්ධ වන්නේ යයි විශ්වාස කරමි. 26 එසේ වුවත් අප යම් දිවයිනකට ගසා ගෙන යා යුතු ය”යි කී ය.
27 දසසතර වන රාත්‍රියේ දී අප මධ්‍යධරණි මුහුදේ ඔබමොබ ගෙනයනු ලබන කල, මධ්‍යම රාත්‍රිය පමණේ දී නැව්කාරයන් අප වෙරළකට ළං වෙති යි සිතා, ගැඹුර බලා, මීටර් සතළිසක් බව දැනගත්හ. 28 තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා මීටර් තිහක් බව දැනගත්හ. 29 එකල අප ගල්පරවල හැපේ ය යන බියෙන් ඔව්හු අවරෙන් නැංගුරම් සතරක් දමා, පහන් වන තෙක් ආශාවෙන් බලා සිටියහ. 30 නැවියන් නැවෙන් පලා යන්නට මඟක් සොයමින් ඇණියෙන් නැංගුරම් දමන්නට යන්නාක් මෙන් ඔරුව මුහුදට පහත් කළ විට පාවුලු කතා කර, 31 ”මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් ඔබට ගැළවෙන්නට නොපිළිවනැ”යි ශතාධිපතියාට ද හේවායනට ද කී ය. 32 එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඔරුව පාවී යන්නට ඇරියහ.
33 පහන් වේගන එන විට පාවුලු ඔවුන් සියල්ලන්ට ම කෑම කන්නට අවවාද කරමින්, ”ඔබ කිසිත් නොකා නිරාහාර ව බල බලා සිට අදට දසසතරවෙනි දවස ය. 34 එබැවින් කෑම කන මෙන් ඔබට අවවාද කරමි. මන්ද, ඔබගේ දිවි රැකගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය ය. ඔබ කිසිවෙකුගෙන් ඉසකේ ගහක් තරමට වත් කිසිත් නැති නොවන්නේ ය”යි කී ය. 35 ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන් වහන්සේට ස්තුති කොට කඩා කන්නට පටන් ගත්තේ ය. 36 එවිට ඔව්හු සියල්ලෝ ම ධෛර්යවත් වී, තුමූ ද කෑම කෑහ. 37 නැවේ සිටි අපි සියල්ලෝ ම දෙසිය සැත්තෑසදෙනෙකි. 38 කෑම කා සෑහීමට පැමිණි ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළහ.
නැව බිඳීයාම
39 පහන් වූ කල ඒ දේශය කිමෙක් දැ යි බැලූ නැවියන්ට එය හඳුනාගත නොහැකි විය. එහෙත් වෙරළක් ඇති මුහුදු බොක්කක් දැක, 40 පුළුවන් නම්, නැව එහි ගෙන යන්නට තීරණය කරගත්හ. නැංගුරම් පහ කර මුහුදේ තිබෙන්නට හැර, ඒ සමඟ ම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල සුළඟට නඟා වෙරළ බලා ගියෝ ය. 41එහෙත් සැඩ පහරින් ගසාගන ගිය නැව වැලි කණ්ඩියක හැපුණේ ය. එවිට ඇණිය එරී තද වුණේ ය, රැළ වේගය නිසා අවරය බිඳෙන්න පටන් ගත්තේ ය. 42 තවද හිරකාරයන්ගෙන් කිසිවෙකු පීනා පැන නොයන පිණිස ඔවුන් මැරීමට හේවායෝ අදහස් කළහ. 43 එහෙත් ශතාධිපතියා පාවුලු ආරක්ෂා කරනු කැමැති ව ඒ අදහසින් ඔවුන් වළක්වා පීනන්නට පුළුවන් අය පළමුකොට මුහුදට පැන ගොඩට යන්නටත්, 44 සෙස්සන්ට ලෑලිවල ආධාරයෙන් හෝ නැවේ කැබලි ආධාරයෙන් හෝ ගොඩට යන්නටත් අණ කෙළේ ය. මෙසේ සියල්ලෝ ම ගැළවී ගොඩට පැමිණියහ.
– 28 වන පරිච්ඡේදය –
මෝල්ටාවේ දී සිදු වූ කරුණු
1 මෙසේ ගැළවී ගොඩට පැමිණි කල ඒ ද්වීපයේ නම මෝල්ටාව යයි දැනගතිමු. 2 දිවයිනේ වැසියෝ අපට බොහෝ කරුණාව දැක්වූ හ. වහින වැස්ස හා ශීතලය නිසා ඔව්හු ගිනිමැලයක් ගසා අප සියල්ලන් පිළිගත්හ. 3 පාවුලු දර මිටියක් එකතු කර ගින්නෙහි ලූ කල ගිනි රස්නයට සර්පයෙක් එයින් පිට වී අවුත් ඔහුගේ අතේ එල්ලුණේ ය. 4 ඒ සතා ඔහුගේ අතේ එල්ලී සිටිනවා දුටු රටවැසියෝ ”ඒකාන්තයෙන් මේ මනුෂ්‍යයා මිනීමරුවෙකි, ඔහු මුහුදෙන් ගැළවුණ නමුත් ඔහුට ජීවත් වන්නට දෛවය ඉඩ නොහරී”යි කියා කතා කරගත්හ. 5 එහෙත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි හානියක් නැතිව සිටියේ ය. 6 ඔහු ඉදිමෙනු ඇතැ යි නොහොත් හදිසියෙන් මැරී වැටෙනු ඇතැ යි ඔව්හු බලා සිටියහ. බොහෝ වේලා බලා සිට, ඔහුට කිසි අනතුරක් නොවන බව දුටු කල, ඔව්හු සිය කල්පනාව වෙනස් කොට, ”ඔහු දෙවි කෙනෙකැ”යි කී හ.
7 ඒ දිවයිනේ ප්‍රධානියා වූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේ ය. ඔහු අප පිළිගෙන තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාර කෙළේ ය. 8 තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ අතීසාරයෙන් පෙළෙමින් ඔත්පල ව සිටියේ ය. පාවුලු ඔහු උන් තැනට ගොස් යාච්ඤා කොට, ඔහු පිට අත් තබා, ඔහු සුව කෙළේ ය. 9 මෙය සිදු වූ කල දිවයිනේ අනෙක් රෝගීහු ද පැමිණ සුව කරනු ලැබූ හ. 10 ඔව්හු අපට බොහෝ ගරු සම්මාන කොට, අප පිටත් ව යන කල අපට වුවමනා දේ නැවේ පැටෙව්වෝ ය.
රෝමයට පැමිණීම
11 ඒ දිවයිනේ ශීත කාලය ගත කර තුන් මාසයකට පසු, ‘නිඹුල් සොහොයුරු’ යන සලකුණ ඇති අලෙක්සන්ද්‍රියාවේ නැවකට නැඟී අපි පිටත් වුණෙමු. 12 අපි සිරාකුසයට පැමිණ, එහි තුන් දවසක් සිටියෙමු. 13 එතැනින් පිටත් ව වෙරළ අසලින් ගොස්, රෙගියොනට පැමිණ, එක් දිනකට පසු දකුණු සුළඟ හැමූ බැවින්, දෙ වන දා පොතියොලට ආවෙමු. 14 එහි දී අපට සහෝදරයන් හමු වී, තමන් සමඟ සත් දවසක් නැවතී සිටින ලෙස ඔව්හු අපගෙන් ඉල්ලූ හ. ඉන්පසු අපි රෝමයට පැමිණියෙමු. 15 රෝමයේ සිටි සහෝදරයෝ අප ගැන අසා, එතැනින් අපියුස්ගේ වෙළඳාම්පළ ද තුන් තානායම ද දක්වා අප පෙරමඟට ආහ. පාවුලු ඔවුන් දැක, දෙවියන් වහන්සේට ස්තුති කොට, ධෛර්යවත් විය. 16 අප රෝමයට පැමිණි කල, තමා මුර කළ හේවායා සමඟ තනියම සිටින්නට පාවුලුට අවසර ලැබුණේ ය.
පාවුලු රෝමයේ සිටීම
17 තුන් දවසකට පසු පාවුලු ජුදෙව් ප්‍රධානියන් රැස් කරවාගත්තේ ය. ඔවුන් රැස් වූ කල ඔහු ඔවුන්ට කතා කොට: ”සහෝදරයෙනි, මම සෙනඟට වත් අපේ පරම්පරාගත සිරිත්විරිත් වලට වත් විරුද්ධ ව කිසි දෙයක් නොකෙළෙමි. එහෙත් හිරකරුවෙකු මෙන් ජෙරුසලමෙන් රෝමවරුන්ගේ අත්වලට භාර දෙනු ලැබීමි. 18 ඔව්හු මා ගැන විභාග කර මරණයට සුදුසු කිසි වරදක් කර නොතිබුණු බැවින් මා නිදහස් කරන්නට කැමැති වූ හ. 19 එහෙත් ජුදෙව්වරුන් ඊට විරුද්ධ ව කතා කළ කල්හි අධිරාජයාගේ විනිශ්චය ඉල්ලන්නට මට සිදු විය. එහෙත් එසේ කෙළේ මාගේ සෙනඟට, කිසි චෝදනාවක් කරන අදහසින් නොවේ. 20 මේ කාරණය නිසා ඔබ දකින්නට ද, ඔබ හමු වී, කතා කරන්නට ද ඔබ කැඳෙව්වෙමි. මන්ද, මා මේ දම්වැලෙන් බඳිනු ලැබ සිටින්නේ ඉශ්රායෙල් ජනතාවගේ බලාපොරොත්තුව නිසා ය”යි කී ය. 21 එවිට ඔව්හු කතා කොට: ”ජුදයෙන් ඔබ ගැන අපට ලියුම් ලැබුණේ වත්, ආවා වූ සහෝදරයන්ගෙන් කවුරුන් වත් ඔබ ගැන කිසි නරකක් දැන්නුවේ වත් නැත. 22 එහෙත් ඔබේ මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධ ව කතා කරන බව නම් අපි දනිමු. එබැවින් ඔබේ අදහස කුමක් දැ යි අසන්නට අපි කැමැත්තෙමු”යි කී හ.
23 තවද ඔවුන් පාවුලුට දවසක් නියම කොට බොහෝ දෙනෙක් එදා ඔහුගේ නවාතැනට ආහ; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂි දෙමින්, ජේසුස් වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙන් හා දිවැසිවරයන්ගේ පොත්වලින් කාරණා තේරුම් කර දුන්නේ ය. 24 ඔහු කී දේ සමහරු විශ්වාස කළහ; සමහරු අවිශ්වාස කළහ. 25 ඔවුන් අතර මතභේද ඇති වූ බැවින් ඔව්හු යන්නට ගියහ. එසේ යන්නට පෙර පාවුලු මේ කරුණ කී ය. එනම්: ”දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබේ පියවරුන්ට කී දේ කොපමණ සැබෑ ද? 26 ඔබගේ ජනතාව වෙත ගොස් මෙසේ කියන්න:
‘අස අසාත් ඔබ කිසි සේත් තේරුම් නොගන්නහු ය;
දැක දැකත් කිසි සේත් නොපැහැදෙන්නහු ය.
27 මන්ද, මේ සෙනඟගේ සිත් අඳුරු ය, ඔව්හු කන් හොඳට වසා ගෙන, ඇස් පියා ගෙන සිටිති.
එසේ කර ඇත්තේ, තමන්ගේ ඇස්වලින් නොදක්නා පිණිසත්, කන්වලින් නොඅසන පිණිසත්, සිතින් තේරුම් ගෙන නොහැරෙන පිණිසත්, මා විසින් ඔවුන් සුව නොකරන පිණිසත් ය.’ ”
28 පාවුලු තවදුරටත් කතා කරමින්: ”එහෙයින් දෙවියන් වහන්සේගේ මේ ගැළවීම විජාතීන් වෙත යවන ලද බව තේරුම්ගන්න. ඔවුන් එයට සවන් දෙනු ඇතැ”යි කියා කතාව නිම කෙළේ ය. 29 ඔහු මෙසේ කී පසු ජුදෙව්වෝ තමන් අතරෙහි තදින් විවාද කරමින් යන්නට ගියහ.
අවසානය
30 පාවුලු තමා කුලියට ගත් ගෙයි දෑවුරුද්දක් වාසය කරමින්, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන, 31 නොබිය ව, ප්‍රසිද්ධියේ ම, දෙවියන් වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගැන අනුශාසනා කෙළේ ය.