එළිදරව්
– 1 වන පරිච්ඡේදය –
1 දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ එළිදරව්ව මේ ය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදු වන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිස ය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක. 2 ජොහන් ද දෙවියන් වහන්සේගේ පණිවුඩය ගැනත්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම්, තමන් දුටු සියල්ල ගැන සාක්ෂි දුන්නේ ය. 3 මේ දිවැසි වාක්‍යය කියවන්නා ද, එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින්නෝ ද භාග්‍යවන්තයෝ ය. මන්ද, නියමිත කාලය ආසන්න ය.
සභා සතට ආචාර
4 ආසියාවේ සභා සතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මම ය. වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින දෙවියන් වහන්සේගෙන් ද, උන් වහන්සේගේ සිහසුන ඉදිරියෙහි සිටින ආත්මයන් සත් දෙනාගෙන් ද, විශ්වාසවන්ත සාක්ෂිකරුත් 5 මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක. 6 තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක. ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්.
7 බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.
8 ”ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.
ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ දර්ශනය
9 ඔබගේ සහෝදරයා වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් පීඩාවල ද, උන් වහන්සේගේ රාජ්‍යයේ ද, ඔබේ ඉවසිල්ලේ ද පංගුකාරයා වන, ජොහන් නම් මම, පැට්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. මා එහි සිටියේ දෙවියන් වහන්සේගේ පණිවුඩය දේශනා කිරීම නිසාත්, ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දීම නිසාත් ය. 10 සමිඳාණන් වහන්සේගේ දවසේ දී මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි. 11 ”ඔබ දකින දර්ශන පොතක ලියා, එපීසය, ස්මර්ණය, පෙර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නැ”යි ඒ හඬ පැවසී ය.
12 එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක් දැ යි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක් ද, 13 ඒ පහන් රුක් මැද, පාද දක්වා වස්ත්‍රයක් හැඳ, ළය රන් පටියක් බැඳගෙන සිටි, මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙකු ද දිටිමි. 14 උන් වහන්සේගේ හිස ද හිසකෙස් ද ලෝම මෙන් ද හිම මෙන් ද සුදෝසුදු ය; ඇස් ගිනි දැල්ලක් හා සමාන ය; 15 පාද උදුනක ගිනියම් කළ දිළිසෙන ලෝකඩ වැනි ය; උන් වහන්සේගේ කටහඬ සමුද්‍ර ඝෝෂයක් හා සමාන ය; 16 දකුණතෙහි තාරකා සතක් විය; උන් වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මිණි. උන් වහන්සේගේ මුහුණ මද්දහනේ හිරු මෙන් දීප්තිමත් ව බැබළිණි.
17 උන් වහන්සේ දුටු කල, මම මළ තැනැත්තෙකු මෙන් උන් වහන්සේ පාමුල වැටුණෙමි. උන් වහන්සේ සිය දකුණත මා පිට තබා මෙසේ වදාළ සේක: ”බිය නොවන්න. මම පළමුවැන්නා සහ අන්තිමයා ය, 18 ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත. 19 එබැවින් ඔබ දුටු දේ ද දැන් තිබෙන දේ ද මතු සිදු වන්නට යන දේ ද වන ඔබ දකින මේ දේවල් ගැන ලියන්න. 20 මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහි ද රන් පහන් රුක් සතෙහි ද ගුප්තාර්ථය මේ ය; තාරකා සත නම් සභා සතේ දූතයෝ ය; පහන් රුක් සත නම් සභා සත ය.
– 2 වන පරිච්ඡේදය –
සභා සතට හසුන්: ප්‍රේම හීන සභාව
1 ”එපීස සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘සිය දකුණතෙහි තාරකා සත දරන, රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. 2 ඔබේ ක්‍රියා ද ඔබේ වෙහෙසීම් ද ඔබේ ඉවසීම ද මම දනිමි. ඔබ දුදනන් නුරුස්සන බව ද, ප්‍රේරිතවරුන්ගේ පදවිය අයුතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ ඔවුන් බොරුකාරයන් යයි දැනගත් බව ද මම දනිමි. 3 මාගේ නාමය නිසා, ඔබ ඉවසිල්ලෙන් දුක් ඉසිලීමේ දී පසුබට නො වූ බව ද මම දනිමි.
4 ‘එහෙත් ඔබට විරුද්ධ ව එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත. 5 ඔබ කෙතරම් පහතට වැටී ඇත් දැ යි සිහියට ගෙන, පසුතැවී සිත හරවා ගන්න. මුලින් කළ ක්‍රියා නැවත කරන්න; එසේ නොකළොත්, පසුතැවී සිත හරවා නොගතහොත්, මම ඔබ වෙත පැමිණ, ඔබේ පහන් රුක තිබෙන තැනින් එය ඉවත් කරන්නෙමි. 6 එහෙත් ඔබේ වාසියට එක දෙයක් ඇත. එනම්, මා මෙන් ම ඔබත් නිකොලයිතයන්ගේ ක්‍රියාවලට ද්වේෂ කිරීම ය.
7 ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්රාහකයාට දෙවියන් වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් අනුභව කරන්නට දෙන්නෙමි.’
පීඩා විඳින සභාව
8 ”ස්මර්ණායේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘පළමුවැන්නා ද අන්තිමයා ද වන, මැරුණ නමුත් ජීවත් ව සිටින තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. 9 ඔබ විඳින බලවත් පීඩාව ද දිළිඳුකම ද මම දනිමි. එහෙත් ඔබ ධනවත් ය. ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරුන් යයි කියාගන්නා, සාතන්ගේ හවුලක් වන අයගේ අපවාද මම දනිමි. 10 ඔබ විඳින්නට යන දේවලට බිය නොවන්න. බලන්න, ඔබ විමසන පිණිස, යක්ෂයා ඔබෙන් සමහරෙකු සිරගත කිරීමට අර අඳිමින් සිටියි. දස දවසක් ඔබ පීඩා විඳින්නහු ය. මරණය දක්වා විශ්වාසී ව සිටින්න; එවිට මම ඔබට ජීවන කිරුළ ප්රදානය කරමි.
11 ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්රාහකයාට දෙ වන මරණයෙන් අනතුරක් නොවන්නේ ය.’
චපල සභාව
12 ”පෙර්ගමම් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න:
‘දෙමුවහත් තියුණු කඩුව දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක. 13 ඔබ වාසය කරන තැන මම දනිමි. එය සාතන්ගේ සිංහාසනය පිහිටි ස්ථානය යි. එහෙත් ඔබ මට පක්ෂපාත ව සිටින්නහු ය. මාගේ විශ්වාසවන්ත සාක්ෂිකාරයෙකු වූ අන්තිපාස්, සාතන්ගේ වාසභූමිය වන ඔබේ නගරයේ දී මරනු ලැබූ කාලයේ දී පවා, ඔබ මා කෙරෙහි විශ්වාසය ප්‍රතික්ෂේප නොකළහු ය. 14 එහෙත් ඔබට විරුද්ධ ව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම්, දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත්, කාමමිථ්‍යාචාරය කිරීමටත්, ඉශ්රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්වී ය. 15 එලෙස ම නිකොලයිතයන්ගේ ඉගැන්වීම් පිළිගත් අයත් ඔබ අතර සිටිති. 16 එබැවින්, පසුතැවී සිත හරවා ගන්න. එසේ නුවූවොත්, මම විගසින් ඔබ වෙත පැමිණ, මාගේ මුඛයෙන් නික්මෙන කඩුවෙන් ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමි.
17 ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! සැඟවී තිබෙන මන්නා ආහාරයෙන් ජයග්රාහකයාට දෙන්නෙමි. තවද ලබන්නා මිස අන් කිසිවෙකු නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.’
දෑතට වැනෙන සභාව
18 ”තියාතිරා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න:
‘ගිනි දැල්ලක් වැනි ඇස් ද, ඔපයෙන් දිළිසෙන ලෝකඩ වැනි පාද ද ඇති දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙසේ වදාරන සේක. 19 ඔබේ ක්‍රියා ද ප්‍රේමය ද විශ්වාසවන්තකම ද සේවය ද ඉවසිල්ල ද මම දනිමි. තවද, මෑතක දී ඔබ කළ ක්‍රියා පෙරට වඩා හොඳ බව ද දනිමි. 20 එහෙත් ඔබට විරුද්ධ ව මේ චෝදනාව මට ඇත. තමා දිවැස්වරියකැ යි කියාගන්නා ජෙසබෙල් නම් ස්ත්‍රියට ඔබ අනුබල දෙන්නහු ය. කාමමිථ්‍යාචාරය කරන්නට ද දේවතා රූපවලට පිදූ පිදේනි කන්නට ද උගන්වමින් ඈ මාගේ සේවකයන් මුළා කරන්නී ය. 21 පසුතැවී සිත හරවා ගැනීමට මා ඇයට කාලය දී ඇත. එහෙත් ඈ කාමමිථ්‍යාචාරය ගැන පසුතැවී සිත හරවා ගැනීමට අකමැති වන්නී ය. 22 එබැවින් මම ඇය දුක් යහනක හෙළා, ඇය සමඟ කාමමිථ්‍යාචාරය කරන්නන් පසුතැවී සිත් හරවා නොගතහොත්, ඔවුන් ද ඇය සමඟ දරුණු පීඩාවකට පත් කරන්නෙමි. 23 තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.
24 ‘එහෙත් මේ ඉගැන්වීම් නොපිළිගත්, සාතන්ගේ යයි හඳුන්වනු ලබන ගුප්ත කරුණු නොදත්, තියාතිරාවෙහි සිටින සෙසු අයට මම මෙසේ කියමි. 25 මා එන තුරු ඔබට ඇති දේ තුළ ස්ථීර ව පවතින්න. වෙන බරක් ඔබ පිට මම නොතබමි. 26 අග දක්වා මාගේ ක්‍රියා නොපිරිහෙළා ඉටු කරන ජයග්රාහකයාට පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස, ජාතීන් කෙරෙහි බලය පවරා දෙන්නෙමි, 27 මැටි බඳුන් බිඳ සුණු විසුණු කරන්නාක් මෙන්, ඔහු ඔවුන් යගදාවකින් පාලනය කරන්නේ ය. 28 මම ඔහුට පහන් තාරකාව ද දෙන්නෙමි.
29 ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!
– 3 වන පරිච්ඡේදය –
නිඳා වැටෙන සභාව
1 ”සර්දිස් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘දෙවියන් වහන්සේගේ ආත්මයන් සත් දෙනා හා තාරකා සත දරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. ඔබේ ක්‍රියා මම දනිමි. නමින් ඔබ ජීවත් ව සිටියත්, සැබැවින් ම ඔබ මළ කෙනෙකි. 2 පිබිදෙන්න. තවමත් ඉතිරි ව ඇති දේ මැරී යාමට පෙර පණගන්වන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි, සම්පූර්ණ යයි කිව හැකි ඔබේ කිසි ක්‍රියාවක් මට නොපෙනේ. 3 එබැවින්, ඔබ අසා පිළිගත් වචනය සිහි කර, ඊට කීකරු වී, පසුතැවී සිත හරවා ගන්න. ඔබ අවදි ව නොසිටින්නහු නම්, සොරෙකු මෙන් ඔබ වෙත එන්නෙමි. මා ඔබ වෙත පැමිණෙන වේලාව ඔබ නොදන්නහු ය. 4 එහෙත් තමන්ගේ වස්ත්‍ර අපවිත්‍ර කර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිස්හි ඔබ අතර සිටිති. ඔව්හු සුදුස්සන් බැවින් ධවල වස්ත්‍ර ඇඳ මා සමඟ ඇවිදින්නෝ ය. 5 ජයග්‍රාහකයා මෙලෙස ධවල වස්ත්‍රයෙන් සරසනු ලබන්නේ ය. මම ඔහුගේ නාමය ජීවන පොතෙන් මකා නොහරින්නෙමි. මාගේ පියාණන් වහන්සේ ද, උන් වහන්සේගේ දූතයන් ද ඉදිරියෙහි මම ඔහුගේ නාමය පිළිගන්නෙමි.
6 ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!’
විවෘත දොරක් ඇති සභාව
7 ”පිලදෙල්පියා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ශුද්ධ වූ, සත්‍ය වූ, දාවිත්ගේ යතුර ඇත්තා වූ ද, කිසිවෙකු නොපියන ලෙස දොර අරින්නා වූ ද කිසිවෙකු නාරින ලෙස එය පියන්නා වූ ද තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක. 8 මම ඔබේ ක්‍රියා දනිමි. බලන්න, කිසිවෙකුට වැසිය නොහැකි විවෘත දොරක් මම ඔබ ඉදිරියෙහි තැබුවෙමි. ඔබට ඇති ශක්තිය ස්වල්ප වූ නමුත්, ඔබ මාගේ වචනය පිළිපැද්දහු ය. මාගේ නාමය ප්‍රතික්ෂේප නොකළහු ය. 9 බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි. 10 ඉවසීමෙන් සිටින්නැ යි මා කළ නියමය ඔබ රක්ෂා කළ බැවින්, ලෝකවාසීන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිට පැමිණෙන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන් මමත් ඔබ ආරක්ෂා කරන්නෙමි. 11 මම වහා ම එමි. ඔබේ කිරුළ කිසිවෙකු පැහැර නොගන්න ලෙස, ඔබ සතු දෙය තදින් අල්ලාගන්න. 12 ජයග්‍රාහකයා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු එතැනින් කිසි කලෙක පිටත නොයන්නේ ය. මාගේ දෙවියන් වහන්සේගේ නාමය ද, මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින නව ජෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නගරයේ නාමය ද, මාගේ ම අලුත් නාමය ද ඔහු පිට කැටයම් කරන්නෙමි.
13 ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!’
ඇල්මැරුණු සභාව
14 ”ලවෝදීසයේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න:
‘විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකාරයාණන් වන දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමෙන් නම් තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක. 15 මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ ශීතල ගතියෙන් වත් උණුසුම් ගතියෙන් වත් නොසිටින බව මම දනිමි. ඔබ ශීතල ව හෝ උණුසුම් ව හෝ සිටියා නම් මම කැමැත්තෙමි. 16 ඔබ උණුසුම් ව හෝ ශීතල ව හෝ නොසිට, ඇල්මැරී සිටින බැවින් මම මාගේ මුඛයෙන් ඔබ වමාරන්නෙමි. 17 ‘මම ධනවත් ය, මට මහත් සම්පත් ඇත. මට කිසි හිඟයක් නැතැ’යි ඔබ කියන්නහු ය. එහෙත්, ඔබ කාලකණ්ණියෙකි, දුඃඛිතයෙකි, දිළින්දෙකි, අන්ධයෙකි, නග්නය, මේ කිසිවක් ඔබ නොදන්නහු ය. 18 එහෙයින් ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන් ද, නග්න භාවයේ විළිලජ්ජාව එළි නොවන පිණිස ඇඳගන්නට ධවල වස්ත්‍ර ද, ඇස් පෙනෙන පිණිස ආලේප කිරීමට අඳුන් ද, මාගෙන් මිලට ගන්නා ලෙස මම අවවාද කරමි. 19 මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න. 20 මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය. 21 මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි.
22 ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!’ ”
– 4 වන පරිච්ඡේදය –
ස්වර්ගයේ දේව නමස්කාරය
1 ඉන්පසු මෙන්න, අහසේ දොරක් ඇරී තිබෙනු මම දිටිමි. හොරණෑ හඬක් මෙන් කලින් මට කතා කළ එම හඬ, ”මෙහි නැඟී එන්න. මින්පසු සිදු වෙන්නට යන දේ මම ඔබට පෙන්වන්නෙමි”යි කී ය. 2 එකෙණෙහි ම මම ආත්මයාණන් වහන්සේගේ බලයට යටත් වී සිටියෙමි. ස්වර්ගයෙහි සිංහාසනයක් තිබිණි. ඒ සිංහාසනයෙහි කෙනෙක් වැඩ උන්හ. 3 එහි වැඩහුන් තැනැන් වහන්සේ පෙනුමෙන් සූර්යකාන්තයට හා පුෂ්පරාගයට සමාන වූ සේක. සිංහාසනය වටා මරකත මෙන් දිළෙන දේදුන්නක් විය. 4 මේ සිංහාසනය වටේ තව සිංහාසන විසිසතරක් විය. ඒ සිංහාසනවල කුලදෙටුවන් විසිසතරදෙනෙකු ධවල වස්ත්‍ර හැඳ, සිය හිස් මත රන් ඔටුනු දරාගෙන වාඩි වී සිටිනු මම දිටිමි. 5 සිංහාසනයෙන් විදුලිය ද ශබ්ද ද අහස් ගිගුරුම් ද නික්මිණි. සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබිණි. ඒ සත නම් දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය. 6 සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය.
ඒ සිංහාසනය මැද හා අවටින්, ඉදිරියෙන් හා පිටුපසින්, ඇස් රාශියක් ඇති ජීවමාන සත්ත්වයෝ සතර දෙනෙක් වූ හ. 7 පළමු වන සත්ත්වයා සිංහයෙකුට සමාන ය. දෙ වන සත්ත්වයා වස්සෙකුට සමාන ය. තුන් වන සත්ත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබිණි. සතර වන සත්ත්වයා පියාසර කරන රාජාලියෙකුට සමාන ය. 8 ඒ සත්ත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණි. ඔවුන් වටකර ද ඇතුළත ද ඇස්වලින් පිරී තිබුණේ ය. ඔව්හු, ”වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින සර්වපරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය”යි දිවා රෑ දෙක්හි නොනැවතී ගයන්නාහ. 9 ඒ ජීවමාන සත්ත්වයන් සිංහාසනයෙහි වැඩ හිඳින, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට ප්‍රශංසාව ද ගෞරවය ද ස්තුතිය ද දෙන හැම විට ම, 10 කුලදෙටුවෝ විසිහතර දෙනා ද, සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට නමස්කාර කරති. එසේ කරමින් ඔව්හු සිය ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා:
11 ”අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය.
මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක.
ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය.
සියලු දේ මවන ලද්දේ ය”යි
කියන්නාහ.
– 5 වන පරිච්ඡේදය –
ජීවන පොත සහ බැටළු පෝතකයාණෝ
1 එවිට ඇතුළත හා පිටත ලියන ලද, මුද්‍රා සතකින් මුද්‍රා තැබූ පොතක් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතෙහි තිබෙනු දිටිමි. 2 ”ඒ පොත දිග අරින්නටත්, මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවරෙක් දැ”යි කියමින් මහ හඬින් හඬගසන බලවත් දේව දූතයෙකු දිටිමි. 3 එහෙත් ඒ පොත දිග හරින්නට වත්, එය බලන්නට වත් හැකි කිසිවෙක් ස්වර්ගයෙහි වත්, මිහි පිට වත්, පොළොවෙන් යට වත් නොසිටියේ ය. 4 පොත දිග අරින්නට වත්, එය බලන්නට වත්, සුදුසු කිසිවෙකු හමු නො වූ බැවින් මම බොහෝසේ හැඬුවෙමි. 5 එවිට එක් කුලදෙටුවෙක් මට කතා කර, ”නාඬන්න, පොත ඇරීමේ සහ එහි මුද්‍රා සත කැඩීමේ වරම දාවිත්ගේ පෙළපතින් පැවත එන ජුදා ගෝත්‍රයේ සිංහයාණෝ දිනාගත්හ”යි මට කී ය.
6 එවිට සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද කුලදෙටුවන් ද මධ්‍යයෙහි මරනු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පෝතකයෙකු සිටිනු මම දිටිමි. ඒ බැටළු පෝතකයාට අං සතක් ද ඇස් සතක් ද විය. ඇස් සත නම්, ලොව පුරා යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය. 7 බැටළු පෝතකයාණෝ අවුත් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතින් පොත ගත්හ. 8 එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.
9 ඔව්හු මේ අලුත් ගීතය ගායනා කළහ:
”පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනැන් වහන්සේ ඔබ ය.
මන්ද, ඔබ මරනු ලැබ, ඒ aමරණය නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින් ද භාෂාවලින් ද ජනයාගෙන් ද ජාතීන්ගෙන් ද මිනිසුන්, දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක.
10 අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක;
ඔව්හු මිහි පිට රජකම් කරන්නාහ,”
11 එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් ද කුලදෙටුවන් ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් දිටිමි. ඔවුන්ගේ හඬ ද මට ඇසුණේ ය. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක් ද දහස් වර දහසක් ද විය. 12 ඔව්හු මහ හඬින් මෙසේ කී හ:
”මරනු ලැබූ බැටළු පෝතකයාණෝ බලය ද ධනය ද ප්‍රඥාව ද පරාක්‍රමය ද ගෞරවය ද මහිමය ද ප්‍රශංසාව ද ලබන්නට සුදුසු තැනැන් වහන්සේ ය.”
13 තවද, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද පොළොව යට ද මුහුදෙහි ද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්ත්වයන්:
”සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් ප්‍රශංසාව ද ගෞරවය ද මහිමය ද පරාක්‍රමය ද සදහට ම වේ වා!”යි
කියනු ඇසීමි. 14 ජීවමාන සත්ත්වයෝ සතර දෙනා ද ”ආමෙන්” යයි කී හ. කුලදෙටුවෝ වැඳ වැටී නමස්කාර කළහ.
– 6 වන පරිච්ඡේදය –
මුද්‍රා කැඩීම
1 එවිට බැටළු පෝතකයාණන් මුද්‍රා සතින් පළමුවැන්න කඩනවා මම දිටිමි. එකල ජීවමාන සත්ත්වයන් සතර දෙනාගෙන් එකෙකු ගිගුරුම් හඬකින් මෙන් කතා කොට, ”එන්නැ”යි කියනු ඇසීමි. 2 එකෙණෙහි ම මම සුදු අශ්වයෙකු දිටිමි. අසු පිට හුන් තැනැත්තා අතේ දුන්නක් තිබුණේ ය. කිරුළක් ඔහුට දෙන ලදි. ඔහු ජයග්‍රාහකයෙකුගේ විලාශයෙන් ජයෙන් ජයට පත් වන පිණිස නික්ම ගියේ ය.
3 බැටළු පෝතකයාණන් දෙ වන මුද්‍රාව කැඩූ කල, දෙ වන ජීවමාන සත්ත්වයා කතා කොට, ”එන්නැ”යි කියනු ඇසීමි. 4 එවිට රතු ම රතු, තවත් අශ්වයෙක් නික්ම ආවේ ය. ඒ අසු පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරා ගන්නා පිණිස, පොළොවෙන් සාමදානය දුරු කරන්නට බලය දෙන ලද්දේ ය. ඔහුට මහා කඩුවක් ද දෙන ලදී.
5 බැටළු පෝතකයාණන් තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්ත්වයා, ”එන්නැ”යි කියනු මම ඇසීමි. එකෙණෙහි ම කළු අශ්වයෙක් එහි විය. ඒ අසු පිට හුන් තැනැත්තා අතේ, තරාදියක් තිබුණේ ය. 6 එවිට ජීවමාන සත්ත්වයන් සතර දෙනා මධ්‍යයෙන් නික්මුණු හඬක් වැනි ශබ්දයක් මට ඇසුණේ ය. එය: ”තිරිඟු ලීටර් එකක් දවසේ වේතනයකි; යව ලීටර් තුනක් දවසේ වේතනයකි; එහෙත් තෙල්වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්නැ”යි කී ය.
7 බැටළු පෝතකයාණන් සතර වන මුද්‍රාව කැඩූ කල, සතර වන ජීවමාන සත්ත්වයා, ”එන්නැ”යි කියනු මම ඇසීමි. 8 එකෙණෙහි ම මම සුදුමැලි අශ්වයෙකු දිටිමි. ඒ අසු පිට හුන් තැනැත්තාගේ නාමය මාරයා යනු ය. පාතාල ලෝකය ද ඔහු පසුපස්සේ ගියේ ය. කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද පොළොවේ වන මෘගයන් ලවා ද මරණය පැමිණවීමට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි බලය ඔවුන්ට දෙන ලද්දේ ය.
9 බැටළු පෝතකයාණන් පස් වන මුද්‍රාව කැඩූ කල දෙවියන් වහන්සේගේ වචනය නිසා ද තමන් දැරූ සාක්ෂිය නිසා ද මරනු ලැබූවන්ගේ ආත්මයන් පූජාසනය යට දිටිමි. 10 ඔව්හු කතා කරමින්, ”ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ”යි මහ හඬින් මොරගසා කී හ. 11 එවිට ඔවුන් එකිනෙකාට සුදු සළුවක් දෙන ලද්දේ ය. ඔවුන් මෙන් ම මරනු ලැබීමට සිටි ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේ ද සහෝදරයන්ගේ ද ගණන සම්පූර්ණ වන තුරු තව ටික කලක් නවතින්නැ යි ඔවුන්ට කියන ලද්දේ ය.
12 බැටළු පෝතකයාණන් ස වන මුද්‍රාව කඩනවා මම බලා සිටියෙමි. එවිට මහත් භූමිකම්පාවක් ඇති විය. සූර්යයා කළු පැහැති ගෝණියක් මෙන් විය. හඳ මුළුමනින් ම ලේ මෙන් රතු විය. 13 අත්තික්කා ගසක් සැඩ සුළඟින් සෙලවී එහි අකල් පල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටිණි. 14 අකුළන ලද පොතක් මෙන් අහස නොපෙනී ගියේ ය. සියලු කඳු ද දිවයින් ද ඒවා පිහිටි තැන්වලින් පහ කරන ලද්දේ ය. 15 පොළොවේ රජවරු ද උත්තමයෝ ද සේනාධිපතියෝ ද ධනපතියෝ ද බලවන්තයෝ ද දාසයෝ ද නිර්දාසයෝ ද යන මේ සියලු දෙනා ගුහාවලත්, කඳු සහ පර්වත අතරේත් සැඟවුණෝ ය. 16 ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කතා කොට, ”අප පිට වැටී සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පෝතකයාණන්ගේ උදහසිනුත් අප සඟවා ගන්න. 17 මන්ද, ඔවුන් පිට උදහසේ මහා දවස පැමිණ තිබෙන බැවින්, ඊට මුහුණ දියහැක්කේ කාට දැ”යි කී හ.
– 7 වන පරිච්ඡේදය –
මුළු ඉශ්රායෙල් සංබ්‍යාව
1 ඉන්පසු දේව දූතයන් සතර දෙනෙකු පොළොවේ සතර කොණේ සිටිනු දිටිමි. ඔව්හු ගොඩට වත් මුහුදට වත් කිසි ම ගසකට වත් සුළං නොවදින පිණිස පොළොවේ සතර දිග සුළඟ අල්ලාගෙන සිටියහ. 2 එවිට තවත් දේව දුතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැඟී එනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලය ලත් දේව දූතයන් සතර දෙනාට මහ හඬකින් මොරගසා, 3 ”අපේ දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ නළල් මත මුද්‍රා සලකුණ තබන තුරු, ගොඩට වත්, මුහුදට වත්, ගස්වලට වත් අනතුරක් නොකරන්නැ”යි කී ය. 4 තවද, මුද්‍රා සලකුණ ලත් අයගේ ගණන මට ඇසුණේ ය. සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මුද්‍රා සලකුණු ලත් අය එක් ලක්ෂ සතළිස් සාර දහසක් වූ හ. 5 ජූදාගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් මුද්‍රා කරනු ලැබූ හ. රූබන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ගාද්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද 6 ආෂෙර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද නප්තලීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද මනස්සේගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද 7 සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද 8 සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ජෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද මුද්‍රා කරනු ලැබූ හ.
ජගත් මහා පිරිස
9 ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි. 10 ඔව්හු මහ හඬින් මොරගසා ”සිංහාසනයෙහි වැඩ හිඳින අපේ දෙවියන් වහන්සේගෙන් ද බැටළු පෝතකයාණන්ගෙන් ද ගැළවීම පැමිණේ ය”යි කී හ. 11 සියලු දේව දූතයෝ සිංහාසනය ද කුලදෙටුවන් ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද සිසාරා, සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කරමින්, 12 ”ආමෙන්! ප්‍රශංසාව ද මහිමය ද ප්‍රඥාව ද ස්තුතිය ද ගෞරවය ද බලය ද පරාක්‍රමය ද අපේ දෙවියන් වහන්සේට සදහට ම වේ වා! ආමෙන් ය”යි කී හ.
13 එවිට කුලදෙටුවන්ගෙන් එක් තැනැත්තෙක් මට කතා කොට, ”සුදු සළු පැළඳගත් මොවුහු කවුරු ද? කොතැනින් ආවෝ දැ”යි මාගෙන් ඇසී ය. 14 ”මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, ”මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය. 15 ඔවුන් දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සිටින්නේ ඒ හෙයිනි. සිංහාසනයේ වැඩ හිඳින තැනැන් වහන්සේ ඔවුන් සමඟ වැඩ වසන සේක. 16 ඔවුන්ට මින්පසු සාගින්නක් වත් පිපාසයක් වත් නැත. සූර්ය තාපය වත් දැවෙන ග්‍රීෂ්මය වත් ඔවුන් පෙළන්නේ නැත. 17 මන්ද, සිංහාසනය මැද සිටින බැටළු පෝතකයාණෝ ඔවුන්ගේ එඬේරාණන් වී, ජීවන දිය උල්පත්වලට ඔවුන් ගෙනයන සේක. දෙවියන් වහන්සේ ද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේකැ”යි කී ය.
– 8 වන පරිච්ඡේදය –
සත් වන මුද්‍රාව සහ ධූම පාත්‍රය
1 බැටළු පෝතකයාණන් සත් වන මුද්‍රාව කැඩූ කල ස්වර්ගයෙහි අඩපැයක් පමණ නිශ්ශබ්දතාවක් ඇති විය. 2 එවිට මම දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටින දේව දූතයන් සත් දෙනා දිටිමි. ඔවුන්ට හොරණෑ සතක් දෙන ලද්දේ ය.
3 තවත් දේව දුතයෙක් රන් ධූම පාත්‍රයක් රැගෙන පූජාසනය ළඟ සිටියේ ය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේ ය. 4 සුගන්ධ ද්‍රව්‍යයන්හි දුම සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයාගේ අතින් දෙවියන් වහන්සේ වෙත නැඟුණි. 5 දේව දූතයා ද ධූම පාත්‍රය රැගෙන පූජාසනයේ ගින්නෙන් එය පුරවා පොළොවට හෙළී ය. එවිට අහස් ගිගුරුම් ද ශබ්ද ද විදුලි කෙටීම් ද භූමිකම්පාවක් ද විය.
හොරණෑ පිඹීම
6 හොරණෑ හත අතින් ගත් දේව දූතයෝ සත් දෙනා ඒවා පිඹින පිණිස සූදානම් වූ හ.
7 පළමු වන දේව දූතයා හොරණෑව පිම්බේ ය. එවිට ලේ මුසු ගල් වර්ෂාවක් ද ගිනි ද හටගෙන පොළොව පිට හෙළනු ලැබී ය. පොළොවෙන් තුනෙන් කොටසක් දැවී ගියේ ය. ගස්වලින් තුනෙන් කොටසක් ද දැවී ගියේ ය. අමු තණකොළ සියල්ල ද දැවී ගියේ ය.
8 දෙවැන්නා ද හොරණෑව පිම්බේ ය. එවිට ගින්නෙන් ඇවිලෙන මහා කන්දක් වැනි දෙයක් මුහුදේ හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් කොටසක් ලේ විය. 9 පණ ඇති මුහුදු සත්ත්වයන්ගෙන් තුනෙන් කොටසක් මළෝ ය. නැව්වලින් ද තුනෙන් කොටසක් විනාශ විය.
10 තුන්වැන්නා ද හොරණෑව පිම්බේ ය. එවිට මහා තාරකාවක් ගිනි පන්දමක් මෙන් ඇවිලෙමින් අහසින් වැටිණි. එය ගංගාවලින් තුනෙන් කොටසක් පිට ද දිය උල්පත් පිට ද වැටිණි. 11 තාරකාවේ නාමය ‘තික්ත’ යනුයි. වතුරෙන් තුනෙන් කොටසක් තික්ත විය. එය තික්ත වී තිබුණු බැවින් බොහෝ මනුෂ්‍යයෝ ඒ වතුර බී මළෝ ය.
12 සතර වන දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් කොටසක් ද සඳුගෙන් තුනෙන් කොටසක් ද තාරකාවලින් තුනෙන් කොටසක් ද පහර ලැබී ය. මෙසේ ඒවායින් තුනෙන් කොටසක් අඳුරු විය. දවාලෙන් තුනෙන් කොටසක ද එසේ ම රාත්‍රියෙහි තුනෙන් කොටසක ද ආලෝකය පහ විය.
13 තවද එක් රාජාලියෙකු මැද අහසේ පියාසර කරමින්, ”මින්පසු දේව දූතයන් තුන් දෙනා පිඹින්නට යන අන්තිම හොරණෑවල ශබ්දය පැතිර යන විට පොළොවෙහි වාසය කරන්නන් හට දුක් වේ, දුක් වේ, දුක් වේ ය”යි මහ හඬින් කියනු මට ඇසිණි.
– 9 වන පරිච්ඡේදය –
1 පස් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට අහසින් තාරකාවක් පොළොවට වැටී තිබෙනු මම දිටිමි. එයට පාතාල වළේ යතුර දෙන ලදී. 2 එය පාතාල වළ විවෘත කෙළේ ය. එවිට එයින් මහත් උදුනකින් මෙන් දුමක් නැඟී, ඉරත් ආකාශයත් වළේ දුමෙන් අඳුරු විය. 3 ඒ දුමෙන් පළඟැටියෝ පොළොව පිටට නික්ම ආහ. පොළොවේ ගෝනුස්සන්ට මෙන් බලයක් ඔවුන්ට දෙන ලදී. 4 දෙවියන් වහන්සේගේ මුද්‍රා සලකුණ තමන්ගේ නළල්වල නැති මනුෂ්‍යයන්ට මිස, පොළොවේ තණ කොළවලට වත්, පැළෑටිවලට වත්, කිසි ගසකට වත් අනතුරු නොකරන ලෙස උන්ට කියන ලද්දේ ය. 5 උන්ට අවසර තිබුණේ මිනිසුන් මරන්නට නොව ඔවුන්ට පස් මසක් පීඩා කරන්නට ය. ඔවුන්ගේ වේදනාව මනුෂ්‍යයෙකුට ගෝනුස්සෙකු ඇන්න විට හටගන්න වේදනාව මෙන් විය. 6 ඒ දවස්වල දී මනුෂ්‍යයන් මරණය සොයන නමුත්, කිසිසේත් එය හමු නොවන්නේ ය. ඔවුන් මරණය පතන නමුත්, මරණය ඔවුන් කෙරෙන් පලා යන්නේ ය.
7 පළඟැටියන්ගේ ආකාරය, යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමාන ය. උන්ගේ හිස් පිට රන් ඔටුනු වැනි යමක් තිබිණි. උන්ගේ මුහුණු මනුෂ්‍යයන්ගේ මුහුණු හා සමාන ය. 8 උන්ගේ හිසකේ ස්ත්රීන්ගේ හිසකේ මෙන් ද උන්ගේ දත් සිංහයන්ගේ දත් මෙන් ද විය. 9 උන්ගේ ළය වැසුම් යකඩ ළය වැසුම් මෙන් විය. උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට කඩා පනින බොහෝ අශ්වරථවල ශබ්දයට සමාන ය. 10 ගෝනුස්සන්ගේ මෙන් වලිග සහ දළ ඔවුන්ට ඇත. මනුෂ්‍යයන්ට පස් මසක් පීඩා කිරීමේ බලය උන්ගේ වලිගවල පිහිටා තිබිණි. 11 පාතාලයේ දූතයා උන්ගේ රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් බසින් අබද්දෝනි ය. ග්‍රීක බසින් අපොල්ලියොන් ය. (එහි අර්ථය ‘විනාශකයා’ යනුයි)
12 පළමු වන විපත්තිය පහ විය. ඉන්පසු තව විපත්ති දෙකක් පැමිණේ.
13 සය වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට, ”එප්‍රාත් නම් මහා ගංගාව අසබඩ බඳින ලද දූතයන් සතර දෙනා මුදන්නැ”යි, 14 හොරණෑව ගෙන සිටි සය වන දේව දූතයාට කියන හඬක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි වූ රන් පූජාසනයේ සතර කොණින් මට ඇසුණේ ය. 15 එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරන පිණිස දූතයෝ සතර දෙනා මුදනු ලැබුවෝ ය. ඒ සඳහා මේ අවුරුද්දේ, මේ මාසයේ, මේ දවසේ, මේ පැයේ ක්‍රියා කරන පිණිස ඔව්හු සූදානම් කරනු ලැබ සිටියහ. 16 අසරු සේනාවන්ගේ ගණන විසි කෝටියකැ යි ඔවුන්ගේ සංබ්‍යාව කියනු ඇසීමි. 17 මෙසේ අශ්වයන් ද උන් පිට හුන් අය ද මම දර්ශනයෙන් දිටිමි. ඔව්හු ගිනි ද නිල් කැට ද ගෙන්දගම් ද පැහැති ළය වැසුම් පැළඳ සිටියහ. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වැනි ය. උන්ගේ කටින් ගිනි ද දුම් ද ගෙන්දගම් ද නික්මිණි. 18 උන්ගේ කටින් නික්මුණු ගිනි ද දුම් ද ගෙන්දගම් ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබූ හ. 19 මන්ද, ඒ අශ්වයන්ගේ බලය පිහිටියේ උන්ගේ කටවලත්, වලිගවලත් ය. උන්ගේ වලිග සර්පයනට සමාන ය; හිස් සහිත වූ ඒ වලිගවලින් ඔව්හු අනතුරු කරති.
20 මේ පීඩාවලින් නොමැරී ඉතිරි වූ මනුෂ්‍යයෝ තමන්ගේ අත්වලින් කළ නිර්මාණ අත් නොහළහ; දකින්නටත්, අසන්නටත්, ඇවිදින්නටත් නොහැකි, රන්, රිදී, ලෝකඩ, ගල්, ලී ආදියෙන් කළ රූපවලටත්, දුෂ්ටාත්මයන්ටත් නමස්කාර කිරීමෙන් වැළකී නොසිටියහ. 21 ඔවුන්ගේ මිනී මැරීම ද අනවින ද සල්ළාලකම් ද සොරකම් ද ගැන ඔව්හු පසුතැවී සිත් හරවා නොගත් හ.
– 10 වන පරිච්ඡේදය –
දේව දූතයා හා කුඩා පොත
1 ඉන්පසු තවත් බලවත් දේව දුතයෙකු වලාකුළක් පැළඳ, හිස මත දේදුන්නක් දරා ස්වර්ගයෙන් බසිනු දිටිමි. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන් ද විය. 2 ඔහුගේ අතේ දිග හළ කුඩා පොතක් විය. ඔහු සිය දකුණු පය මුහුද පිට ද වම් පය ගොඩබිම පිට ද තබා, 3 සිංහයෙකු ගොරවන්නාක් මෙන් මහ හඬින් මොරගැසී ය. ඔහු මොරගැසූ කල ගිගුරුම් සත ද කතා කෙළේ ය. 4 ඒ ගිගුරුම් සත කතා කළ විට මම ලියන්නට සැරසුණෙමි. එවිට, ”ගිගුරුම් සත කී දේ රහසේ තබාගන්න; එය නොලියන්නැ”යි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසිණි. 5 මුහුද පිට ද ගොඩබිම ද සිටිනු මා දුටු දේව දූතයා, ස්වර්ගය දෙසට සිය දකුණත ඔසවා, 6 සදහට ම ජීවත් වන, ස්වර්ගයත් එහි ඇති දේත්, පොළොවත් එහි ඇති දේත්, මුහුදත් එහි ඇති දේත් මවා වදාළ තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරමින් මෙසේ කී ය: ”තවත් පමා වීමක් නැත. 7 සත් වන දේව දූතයාගේ හොරණෑව පිඹීමේ වේලාව පැමිණි විට, දෙවියන් වහන්සේ තම සේවක දිවැසිවරයන්ට ප්‍රකාශ කළ ලෙස, උන් වහන්සේගේ අබිරහස සම්පූර්ණ වනු ඇත.”
8 ස්වර්ගයෙන් ඇසුණු හඬ නැවතත් මට කතා කරමින්, ”ඔබ ගොස් මුහුද පිට ද ගොඩබිම ද සිටින දේව දූතයාගේ අතේ දිගහැර තිබෙන පොත ගන්නැ”යි මට කී ය. 9 මම දේව දූතයා වෙත ගොස්, ”කුඩා පොත මට දෙන්නැ”යි කීවෙමි. ඔහු ද: ”එය රැගෙන කන්න; එයින් ඔබේ ආමාශය තික්ත වන්නේ ය. එහෙත් එය ඔබේ කටෙහි මීපැණි ලෙස මිහිරි වන්නේ ය”යි මට කී ය. 10 මම ද දේව දූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මගේ කටේ මීපැණි ලෙස මිහිරි ව තිබුණේ ය. එය කෑ පසු මාගේ ආමාශය තික්ත විය.
11 තවද: ”ඔබ බොහෝ සෙනඟ ද ජාතීන් ද භාෂාවන් ද රජුන් ද ගැන නැවතත් දිවැස් වැකි ප්‍රකාශ කළ යුතු ය”යි මට කියන ලද්දේ ය.
– 11 වන පරිච්ඡේදය –
සාක්ෂිකාරයන් දෙදෙනා
1 ඉන්පසු දිග සැරයටියක් වැනි කෝදුවක් මට දෙන ලද්දේ ය. ”නැඟිට දෙවියන් වහන්සේගේ මාලිගාව ද පූජාසනය ද මැන, එහි නමස්කාර කරන්නන් ගණන් කරන්න. 2 මාලිගාවෙන් පිටත වූ මළුව විජාතීන්ට දී ඇති බැවින්, එය නොමැන අත් හරින්න. ඔව්හු සතළිස් දෙමාසයක් ශුද්ධ නගරය පයින් පාගා දමන්නෝ ය. 3 තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනා යවන්නෙමි. ඔව්හු ගෝණි රෙදි හැඳ, එක් දහස් දෙසිය සැට දවසක් දිවැස් වැකි කියන්නෝ ය”යි මට කියන ලදී.
4 මේ දෙදෙනා පොළොවේ සමිඳාණන් වහන්සේ ඉදිරිපිට තිබෙන ඔලීව ගස් දෙක ද පහන් රුක් දෙක ද වෙයි. 5 යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට සිතන්නේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම විත් ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. ඔවුන්ට අනතුරු කරන්නට සිතන තැනැත්තේ, මෙලෙස මරනු ලබන්නේ ය. 6 තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.
7 ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැඟී එන මෘගයා ඔවුන්ට විරුද්ධ ව සටන් කොට, ඔවුන් පරාජය කර මරාදමන්නේ ය. 8 ඔවුන්ගේ මළකඳන්, උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරය යයි කියන, ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ, මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේ ය. 9 සියලු සෙනඟගෙන් ද ගෝත්‍රයන්ගෙන් ද භාෂාවන්ගෙන් ද ජාතීන්ගෙන් ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මළකඳන් දෙස දවස් තුනහමාරක් බලා සිටිමින් ඒවා සොහොනක තබන්නට ඉඩ නොදෙති. 10 ඒ දිවැසිවරුන් දෙදෙනා මිහි පිට වැසියන්ට පීඩා කළ බැවින්, ඔව්හු ප්‍රීති සන්තෝෂ වෙමින් තමන් අතරේ තෑගි හුවමාරු කරගන්නාහ. 11 ඒ දවස් තුනහමාරට පසු දෙවියන් වහන්සේ කෙරෙන් ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණි විට ඔව්හු නැඟිට සිටියෝ ය. ඔවුන් දුටු අය බොහෝ සේ බියපත් වූ හ. 12 ”නැඟිට මෙහි එන්නැ”යි කියන මහ හඬක් ස්වර්ගයෙන් ඔවුන්ට ඇසිණි. එකල ඔවුන්ගේ සතුරන් බලා සිටිය දී ඔව්හු වලාකුළකින් ස්වර්ගයට නැඟී ගියහ. 13 ඒ ඇසිල්ලෙහි ම මහා භූමිකම්පාවක් ඇති විය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිණි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලළී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූ හ.
14 දෙ වන විපත පහ විය; මෙන්න තුන් වන විපත වහා එන්නේ ය.
සත් වන හොරණෑව
15 සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: ”ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය. 16 දෙවියන් වහන්සේ ඉදිරියෙහි තමන්ගේ සිහසුන්වල හුන් කුලදෙටුවෝ විසි හතර දෙනා මුහුණින් වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කර මෙසේ කී හ:
17 ”වැඩ සිටින, වැඩ සිටිය, සර්ව පරාක්‍රම දෙවි සමිඳාණන් වහන්ස, ඔබගේ අතිමහත් බලය මෙහෙයවා ඔබ රජකම් කළ බැවින් අපි ඔබට ස්තුති කරමු.
18 මනුෂ්‍ය ජාතීහු කෝපාවිෂ්ට වූ හ.
ඔබගේ උදහස ද මළවුන් විනිශ්චය කිරීමේ කාලය ද දැන් පැමිණ තිබේ.
ඔබගේ සේවක දිවැසිවරයන්ට හා සැදැහැවතුන්ට ද ඔබගේ නාමයට භය වන ලොකු කුඩා සියල්ලන්ට ද විපාක දීමටත් පොළොව වනසන්නන් වැනසීමටත් කාලය පැමිණ තිබේ.”
19 එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ ය. උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුළ පෙනුණේ ය. එවිට විදුලි කෙටීම් ද ශබ්ද ද ගිගුරුම් ද භූමිකම්පාවක් ද, මහ ගල් වර්ෂාවක් ද විය.
– 12 වන පරිච්ඡේදය –
ස්ත්‍රිය සහ මකරා
1 තවද අහසෙහි පුදුම ලකුණක් විය. එනම්, සූර්යයා පැළඳගෙන, පාද යට සඳ මඬල ද හිස මත තාරකා දොළසකින් යුත් කිරුළක් ද ඇති ස්ත්‍රියකි. 2 ගැබ්ගෙන සිටි ඈ, විළිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් කෑගැසුවා ය. 3 අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක් ද අං දසයක් ද තමන් හිස් මත කිරුළු සතක් ද ඇති මහා රතු මකරෙකි. 4 ඌ උගේ වලිගයෙන් අහසේ තරුවලින් තුනෙන් කොටසක් ඇද, පොළවට හෙළී ය. උපන් කෙණෙහිම දරුවා කාදමන පිණිස, මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියෙහි සූදානම් ව බලා සිටියේ ය. 5 ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළා ය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබී ය. 6 ස්ත්‍රිය කාන්තාරයට පලා ගියා ය. එක් දහස් දෙසිය සැට දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙළ කරන ලද ස්ථානයක් ඈට එහි විය.
7 තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධ ව සටන් කළහ. 8 මකරා ද තමාගේ දූතයන් පිරිවරා සටන් කොට පරාජය විය. ඔවුන්ට ස්වර්ගයෙහි තැනක් තවත් නො වී ය. 9 මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය.
10 ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහ හඬක් මට ඇසිණි; එනම්, ”අපේ දෙවියන් වහන්සේගේ ගැළවීම ද බලය ද රාජ්‍යය ද ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකම ද දැන් පැමිණ ඇත. මන්ද, අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවා රෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදි. 11 ඔව්හු බැටළු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසා ද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසා ද ඔහුගෙන් ජය ගත්තෝ ය. මන්ද, ඔව්හු මරණයට වත් බිය නොවී දිවි දීමට සූදානම් ව සිටියහ. 12 එබැවින් ස්වර්ගයෙනි, එහි වැසියෙනි, ප්‍රීති සන්තෝෂ වන්න. අහෝ! පොළොවටත් මුහුදටත් වන විපත! මන්ද, යක්ෂයා තමාට වැඩි කලක් නැති බව දැන, කෝපාවිෂ්ට ව, ඔබ වෙත බැස ගියේ ය” යනු යි.
13 තමා පොළොවට හෙළනු ලැබූ බව දුටු මකරා, පිරිමි දරුවා ප්‍රසූත කළ ස්ත්‍රිය ලුහුබැඳ ගියේ ය. 14 එහෙත් මරුකතරෙහි ඇගේ රක්ෂස්ථානයට සර්පයා වෙතින් පියාඹා යන පිණිස මහා රාජාලියෙකුගේ පියාපත් දෙක ඇයට දෙන ලදි. එහි කාලයක් ද කාල දෙකක් ද අර්ධ කාලයක් ද ඈ පෝෂණය කරනු ලබයි. 15 එවිට සර්පයා ඒ ස්ත්‍රිය සැඬ පාරෙන් ගසාගෙන යන පිණිස, ඇය පස්සෙන් ගංගාවක් මෙන් තමාගේ කටින් වතුර පිට කෙළේ ය. 16 එහෙත් පොළොව ස්ත්‍රියට පිහිට වී, කට ඇර, මකරා තමාගේ කටින් පිට කළ ගංගාව ගිලගත්තා ය. 17 එවිට මකරා ස්ත්‍රිය කෙරෙහි කෝපයෙන් දිලිහී දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදින, ජේසුස් වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධ ව සටනට ගියේ ය. 18 ඔහු මුහුදු වෙරළෙහි සිටියේ ය.
– 13 වන පරිච්ඡේදය –
මුහුදෙන් මතු වූ මෘගයා
1 එවිට අං දසයක් ද හිස් සතක් ද ඇති මෘගයෙකු මුහුදෙන් මතු වී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක් ද උගේ හිස්වල දේවාපහාස නාම ද තිබිණි. 2 මා දුටු මෘගයා අඳුන් දිවියෙකුට සමාන ය. උගේ පාද වලසෙකුගේ පාද වැනි ය. උගේ කට සිංහයෙකුගේ කට වැනි ය. මකරා සිය පරාක්‍රමය ද සිංහාසනය ද මහා අධිපතිකම ද ඌට දුන්නේ ය. 3 උගේ හිස්වලින් එකක මාරක තුවාළයක් තිබෙන්නාක් මෙන් පෙනිණි; එහෙත් උගේ මාරක තුවාළය සුව වී තිබිණි. මුළු ලෝකයා මවිත වෙමින් මෘගයා පසුපස්සේ ගියෝ ය. 4 මකරා මෘගයාට අධිපතිකම පැවරූ නිසා ඔව්හු මකරාට නමස්කාර කළහ. ඔව්හු මෘගයාටත් නමස්කාර කොට, ”මෘගයාට සමාන කවරෙක් ද? ඌ හා සමඟ සටන් කිරීමට කවරෙකුට හැකි දැ”යි කී හ.
5 අහංකාර වචන ද දේව අපහාස ද තෙපලීමට කටක් ඌට දෙන ලදි. තවද මාස සතළිස් දෙකක් තමා කැමැති සේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේ ය. 6 එකල ඌ දේවාපහාස කීමට ද, උන් වහන්සේගේ නාමයටත් වාසස්ථානයටත් ස්වර්ග වාසීන්ටත් විරුද්ධ ව අපහාස කීමට ද මුඛය ඇරියේ ය. 7 තවද, සැදැහැවතුන්ට විරුද්ධ ව සටන් කරන්නට ද ඔවුන්ගෙන් ජයගන්නට ද ඌට ඉඩ දෙන ලදී. සියලු ගෝත්‍රයන් ද සෙනඟ ද භාෂාවන් ද ජාතීන් ද කෙරෙහි බලය ද ඌට දෙන ලද්දේ ය. 8 මරණයට පත් කරන ලද, බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහි පිට සියලු පොළෝ වාසීහු ඌට නමස්කාර කරන්නෝ ය. 9 කන් ඇත්තේ අසා වා! 10 වහල්කමට නියම තැනැත්තාට වහල්කම නියත ය. කඩුවෙන් මරන්නා, කඩුවෙන් ම මැරිය යුතු ය. සැදැහැවතුන්ට ඉවසිල්ලත් ඇදහීමත් අවශ්‍ය වන්නේ මේ නිසා ය.
11 එවිට තවත් මෘගයෙකු පොළොවෙන් නැඟී එනු දිටිමි. බැටළු පැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබිණි. ඌ මකරෙකු මෙන් කතා කෙළේ ය. 12 ඌ පළමු වැනි මෘගයාගෙන් ආධිපත්‍යය ලබා, එය ඒ මෘගයා ඉදිරියෙහි මෙහෙය වී ය. මාරක තුවාළයෙන් සුවය ලැබූ පළමු වන මෘගයාට නමස්කාර කිරීමට ඌ පොළොවට හා එහි වැසියන්ට බල කෙළේ ය. 13 සියලු මිනිසුන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරම් මහා හාස්කම් කෙළේ ය. 14 මෘගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මඟින් ඌ ලෝවැසියන් මුළා කෙළේ ය. කඩුපහර ලැබූ නමුත් තවමත් ජීවත් වන මෘගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළෝ වැසි සියල්ලන්ට ඌ නියම කෙළේ ය. 15 ඒ ඇර කතා කරන පිණිස මෘගයාගේ රූපයට පණ දෙන්නටත්, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන්ට මරණය සලසන්නටත් ඌට බලය ලැබුණේ ය. 16 තවද, ඌ ලොකු කුඩා, දුප්පත් පොහොසත්, දාස නිර්දාස යන සියල්ලන්ට තමන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වී ය; 17 ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමය අඟවන අංකය හෝ ඇත්තාට මිස, අන් කිසිවෙකුට මිලයට ගන්නට වත් විකුණන්නට වත් ඉඩක් නොතැබී ය.
18 නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. නුවණැත්තා, මෘගයාගේ අංකය ගණන් බලා දැනගනී වා. මන්ද, එය මනුෂ්‍යයෙකුගේ නාමය දක්වයි. ඒ ගණන හයසිය හැට හයයි (666).
– 14 වන පරිච්ඡේදය –
විමුක්ති ජය ගීතය
1 තවද, බැටළු පෝතකයාණන් ද, උන් වහන්සේ සමඟ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනෙකුන් ද සියොන් කන්ද මත සිටිනු දිටිමි. ඔවුන්ගේ නළල්වල උන් වහන්සේගේ නාමය ද, උන් වහන්සේගේ පියාණන්ගේ නාමය ද ලියා තිබිණි. 2 ගලා බසින මහා ජල ඝෝෂාවක් මෙන් ද, තද හෙණ හඬක් මෙන් ද වූ, අහසින් නික්මුණු ශබ්දයක් මට ඇසුණේ ය. මට ඇසුණ ශබ්දය වීණා වාදකයන්ගේ වාදනය මෙන් විය. 3 ඔව්හු සිංහාසනය ඉදිරියෙහි ද, ජීවමාන සත්ත්වයන් සතර දෙනා සහ කුලදෙටුවන් ඉදිරියෙහි ද අලුත් ගීතිකාවක් ගායනය කළහ. ඒ ගීතිකාව, පොළොවෙන් මුදාගනු ලැබූ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනා හැර, අන් කිසිවෙකුට ඉගෙන ගත නොහැකි විය. 4 ඔව්හු ස්ත්‍රී සේවනයෙන් නොකෙලෙසුණු බ්‍රහ්මචාරීහු ය. ඔව්හු, බැටළු පෝතකයාණන් යන යන තැන, උන් වහන්සේ අනුව යන්නෝ වෙති. ඔව්හු දෙවියන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් නාඹුල් පල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මුදා ගන්නා ලද්දෝ ය. 5 ඔවුන්ගේ මුඛයෙන් කවදාවත් බොරුවක් පිට නො වී ය. ඔව්හු නිර්මල ය.
දේව දූතයන් තිදෙනාගේ පණිවුඩය
6 පොළෝ වාසීන්ට ද සියලු ජාතීන්ට ද ගෝත්‍රයන්ට ද භාෂාවන්ට ද සෙනඟට ද ප්‍රකාශ කරන පිණිස සදාතන සුබ අස්නක් ඇති ව, මැද අහසේ පියාසර කරමින් සිටි තවත් දේව දුතයෙකු මම දිටිමි. 7 ඔහු මහ හඬින් මෙසේ කී ය: ”දෙවියන් වහන්සේට බිය වී උන් වහන්සේට ගෞරව කරන්න. මන්ද, උන් වහන්සේගේ විනිශ්චයේ මොහොත පැමිණ ඇත. අහස හා පොළොවත්, මුහුද හා දිය උල්පතුත් මවා වදාළ තැනැන් වහන්සේට නමස්කාර කරන්න.”
8 ඒ දේව දූතයා පසුපසින් ගිය දෙ වන දේව දුතයෙක්: ”තදබල කාමරාගය නමැති මද්‍යසාරය සියලු ජාතීන්ට පෙවූ මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය, වැටුණා ය”යි කී ය.
9 තුන් වන දේව දුතයෙක් ද, ඒ දෙදෙනා පස්සේ යමින් මහ හඬින් මෙසේ කී ය. ”යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කර, ඔහුගේ නළලේ හෝ අතේ හෝ ලකුණක් තබනු ලබන්නේ ද, 10 ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නමැති කුසලානට වත් කරන ලද උන් වහන්සේගේ කෝපය නමැති අමිශ්‍ර මුද්‍රික පානය බොන්නේ ය. ඔහු ශුද්ධ දේව දූතයන් ඉදිරියෙහි ද, බැටළු පෝතකයාණන් ඉදිරියෙහි ද ගින්නෙන් හා ගෙන්දගම්වලින් වද වේදනා විඳින්නේ ය. 11 ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදහට ම නඟින්නේ ය. මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝ ද උගේ නාමයේ සලකුණ ලබන්නෝ ද දිවා රෑ දෙක්හි විවේකයක් නොලබන්නෝ ය.” 12 දෙවියන් වහන්සේගේ ආඥා ද, ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද රක්ෂා කරන සැදැහැවතුන්ට ඉවසීම අවශ්‍ය වන්නේ මේ නිසා ය.
13 එවිට: ”මෙතැන් පටන් සමිඳාණන් වහන්සේ තුළ නසින්නෝ භාග්‍යවන්තයෝ ය කියා ලියන්නැ”යි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේ ය. ”එසේ ය, ඔව්හු තමන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති: ඔවුන්ගේ ක්‍රියා ඔවුන් කැටුව යන්නේ ය”යි ආත්මයාණන් වහන්සේ වදාරන සේක.
පොළොවේ අස්වැන්න නෙළීම
14 තවද සුදු වලාකුළක් ද, ඒ වලාකුළ මත සිය හිසේ රන් කිරුළක් සහ අතේ මුවහත් දෑකැත්තක් ද ඇති මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු වැඩ සිටිනු දිටිමි. 15 එවිට තවත් දේව දුතයෙක් දේව මාලිගාවෙන් නික්ම අවුත්, වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේට මහ හඬින් මොරගසා: ”ඔබ වහන්සේගේ දෑකැත්ත යොදා කැපුව මැනව; මන්ද, පොළොවේ ගොයම් හොඳට ම පැසී තිබෙන බැවින්, කපන කාලය පැමිණ ඇතැ”යි කී ය. 16 එවිට වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේ දෑකැත්ත පොළොවෙහි දැමූ සේක. පොළොවෙහි ගොයම් කපනු ලැබී ය.
17 තවත් දේව දුතයෙක් ස්වර්ගයෙහි වූ දේව මාලිගාවෙන් නික්ම ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි. 18 එවිට ගින්න බාර ව සිටි තවත් දේව දුතයෙක් පූජාසනයෙන් නික්ම අවුත්, මුවහත් දෑකැත්ත ඇති ව සිටි තැනැත්තාට මහ හඬින් මොරගසා, ”ඔබේ මුවහත් දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු කපා රැස් කරන්න. මන්ද, මිදි පොකුරු ඉදී ඇතැ”යි කී ය. 19 දේව දූතයා තමාගේ දෑකැත්ත පොළොවෙහි යොදා, පොළොවෙහි මිදි පල රැස් කොට, දෙවියන් වහන්සේගේ උදහස නමැති මහා මිදි මිරිකන වළට හෙළී ය. නුවරින් පිටත ඒ වළේ මිදි පාගන ලදී. 20 එවිට කිලෝමීටර් තුන් සියයක් පමණ දුරට ද, අශ්වයෙකුගේ කටකලියාව දක්වා උසට ද, ඒ වළෙන් ලේ ගලා ගියේ ය.
– 15 වන පරිච්ඡේදය –
වසංගත සත
1 ස්වර්ගයෙහි තවත් විස්මයජනක මහා ලකුණක් දිටිමි. දේව දූතයෝ සත් දෙනෙක් වසංගත සතක් රැගෙන සිටියෝ ය. මේවායින් දෙවියන් වහන්සේගේ උදහස අවසාන වන බැවින්, ඒවා අන්තිම වසංගත වේ.
2 ගිනි මුසු වීදුරු සාගරයක් වැනි දෙයක් ද, මෘගයාගෙනුත්, උගේ රූපයෙනුත්, උගේ නාමයේ සංබ්‍යාවෙනුත් දැක්වෙන ජයගත් අය, දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනු දිටිමි. 3 ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ:
”සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය.
ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.
4 ස්වාමීනි ඔබ වහන්සේට බිය නොවන්නේත්, ඔබ වහන්සේගේ නාමයට ගෞරව නොකරන්නේත් කවරෙක් ද?
ඔබ වහන්සේ පමණක් සුවිශුද්ධ බැවිනි;
සියලු ජාතීහු පැමිණ, ඔබ වහන්සේ ඉදිරියේ නමස්කාර කරති.
මන්ද, ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේ ය.”
5 ඉන්පසු ස්වර්ගයෙහි තිබෙන සාක්ෂි මණ්ඩපය වන ඇතුළු ශුද්ධස්ථානය ඇරී, 6 වසංගත සතේ දේව දූතයන් සත් දෙනා පිටතට ආවෝ ය. ඔව්හු දිළිසෙන පිරිසිදු වස්ත්‍ර ඇඳ, තමන්ගේ ළයෙහි රන් පටි බැඳගෙන සිටියෝ ය. 7 එවිට ජීවමාන සත්ත්වයන් සතර දෙනාගෙන් එකෙක්, සදහට ම ජීවත් වන දෙවියන් වහන්සේගේ උදහසින් පිරුණු, රන් පාත්‍ර සතක් දේව දූතයන් සත් දෙනාට දුන්නේ ය. 8 එවිට දේව මාලිගාව දෙවියන් වහන්සේගේ තේජසින් හා බලයෙන් නික්මුණු ධූමයෙන් පිරුණේ ය. ඒ නිසා, දේව දූතයන් සත් දෙනාගේ වසංගත සත කෙළවර වන තුරු දේව මාලිගාවට ඇතුළු වීමට කිසිවෙකුට නුපුළුවන් විය.
– 16 වන පරිච්ඡේදය –
වසංගත සත වැගිරවීම
1 ”ඔබ ගොස් දෙවියන් වහන්සේගේ උදහස නමැති පාත්‍ර සත පොළොව පිට වගුරුවන්නැ”යි දේව දූතයන් සත් දෙනාට කියන මහ හඬක් දේව මාලිගාවෙන් මට ඇසිණි.
2 එකල පළමුවැන්නා ගොස් තමාගේ පාත්‍රය පොළොව පිට වැගිරෙව්වේ ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ අයට ද, ඔහුගේ රූපයට නමස්කාර කළ අයට ද දරුණු දුස්සාධ්‍ය වණ හටගති.
3 දෙවැන්නා තමාගේ පාත්‍රය මුහුද පිට වැගිරෙව්වේ ය. මුහුදේ වතුර මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ පණ ඇති සියලු සත්ත්වයෝ මළෝ ය.
4 තෙවැන්නා තමාගේ පාත්‍රය ගංගා සහ දිය උල්පත් පිට වැගිරෙව්වේ ය. එවිට ඒවා ලේ විය. 5 ජලය භාර ව සිටි දේව දූතයා කතා කොට, ”වැඩ සිටින, වැඩ සිටිය, සුවිශුද්ධ තැනැන් වහන්ස, ඔබ දුන් විනිශ්චයන්හි ඔබ සාධාරණ ය. 6 ඔවුන් සැදැහැවතුන්ගේ ද දිවැසිවරයන්ගේ ද ලේ වැගිරෙව් බැවින්, ඔබ ඔවුන්ට ලේ බොන්නට දුන් සේක. ඔවුන්ට ලැබිය යුතු විපාකය මේ ය”යි කියනු මට ඇසිණි. 7 ”එසේ ය, සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්ස, ඔබගේ විනිශ්චය නිවැරැදි ය, සාධාරණ ය”යි පූජාසනයෙන් කියනු මට ඇසිණි.
8 එවිට සතරවැන්නා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙව්වේ ය. ගින්නෙන් මනුෂ්‍යයන් දවාලීමේ බලය ඊට දෙන ලද්දේ ය. 9 මනුෂ්‍යයෝ අධික උෂ්ණයකින් දවනු ලැබ, මේ වසංගත කෙරෙහි බලය ඇති දෙවියන් වහන්සේගේ නාමයට සාප කළා මිස, උන් වහන්සේට ගෞරවය දෙන පිණිස පසුතැවී සිත් හරවා නොගත් හ.
10 පස්වැන්නා තමාගේ පාත්‍රය මෘගයාගේ සිංහාසනය පිට වැගිරෙව්වේ ය. ඔහුගේ රාජ්‍යය අඳුරින් වැසී ගියේ ය. ඔව්හු වේදනා නිසා දිව් විකාගත්හ. 11 ඔව්හු තමන්ගේ තුවාළ හා වේදනා නිසා ස්වර්ගයේ දෙවියන් වහන්සේට සාප කළා මිස, තමන්ගේ ක්‍රියා ගැන පසුතැවී සිත් හරවා නොගත් හ.
12 සවැන්නා තමාගේ පාත්‍රය යුප්‍රටීස් නම් මහා ගංගාව පිට වැගිරෙව්වේ ය. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳී ගියේ ය. 13 එකල මකරාගේ කටින් ද, මෘගයාගේ කටින් ද, බොරු දිවැසිවරයාගේ කටින් ද මැඩියන් වැනි අශුද්ධාත්මයන් තුන් දෙනෙකු නික්ම එනු මම දිටිමි. 14 ඔව්හු හාස්කම් කරන දුෂ්ටාත්මයෝ ය. ඔව්හු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ.
15 ”මෙන්න! මම සොරෙකු මෙන් එමි. නග්න ව ඇවිද, තමාගේ විළිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදි ව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.”
16 මෙලෙස ඔව්හු හෙබ්‍රෙව් බසින් ආර්මගිදොන් නම් වූ ස්ථානයට රජවරුන් රැස් කළහ.
17 සත්වැන්නා ද තමාගේ පාත්‍රය අහසෙහි වැගිරෙව්වේ ය. එවිට, ”අවසානය පැමිණ ඇතැ”යි කියන මහ හඬක් දේව මාලිගාවේ සිංහාසනයෙන් නික්මිණි. 18 විදුලිය කෙටීම් ද ශබ්ද ද හෙණ හඬ ද විය. මහා භූමිකම්පාවක් ද විය. පොළොවේ මනුෂ්‍යයන් බිහි වූ දා පටන් ඒ සා බලවත්, මහා භූමිකම්පාවක් ඇති නො වී ය. 19 ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේ ය. ජාතීන්ගේ නගර ඇද වැටිණි. දෙවියන් වහන්සේ මහා බබිලෝනිය අමතක නොකර, සිය උදහසේ දරුණුකම නමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන් සේක. 20 සියලු දිවයින් අතුරුදහන් විය. කඳු නොපෙනී ගියේ ය. 21 අහසින් මහත් ගල් වර්ෂාවක් මනුෂ්‍යයන් පිට වැස්සේ ය. එහි එක එක ගල කිලෝග්‍රෑම් පණහක් පමණ බර විය. ඒ ගල් වර්ෂා වසංගතය එතරම් දරුණු වූ බැවින් මනුෂ්‍යයෝ දෙවියන් වහන්සේට සාප කළහ.
– 17 වන පරිච්ඡේදය –
අපකීර්තිමත් වේශ්‍යාව
1 පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් කෙනෙක් අවුත් මට කතා කොට, ”මෙහි එන්න, බොහෝ ජල පිට හිඳින මහා වේශ්‍යාවගේ විනිශ්චය ඔබට පෙන්වන්නෙමි. 2 පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම් කළෝ ය. පොළොවේ වැසියෝ ද ඇගේ වේශ්‍යාකම් නමැති මුද්‍රික පානයෙන් මත් වුණෝ ය”යි කීවේ ය.
3 දේව දූතයා ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මරුකතරකට මා ගෙන ගියේ ය. එහි රතු ම රතු මෘගයෙකු පිට ස්ත්‍රියක වාඩි වී සිටිනු මම දිටීමි. ඒ මෘගයා දේවාපහාස නාමවලින් පිරී සිටියේ ය. ඌට හිස් සතක් ද අං දසයක් ද විය. 4 ඒ ස්ත්‍රිය රත්නිල් හා තද රතු වස්ත්‍ර හැඳ රන්, මුතු, මැණික් ආභරණවලින් සැරසී සිටියා ය. පිළිකුල්කමින් ද ඇගේ අශික්ෂිත වේශ්‍යාකමින් ද පිරුණු රන් කුසලානක් ඈ අතේ විය. 5 ඇගේ නළල පිට: ”මහා බබිලෝනිය, පොළොවේ වේශ්‍යාවන්ගේ ද පිළිකුල්කම් වල ද මව” යන ගුප්ත නාමයක් ලියා තිබිණි. 6 ඒ ස්ත්‍රිය සැදැහැවතුන්ගේ ද, ජේසුස් වහන්සේ නමින් දිවි පිදූවන්ගේ ද ලෙයින් මත් ව සිටියා ය. ඈ දුටු විට මම අතිශයින් පුදුම වීමි.
7 දේව දූතයා මට කතා කොට, ”ඔබ පුදුම වූයේ මන් ද? ස්ත්‍රියගේ ද, ඇය උසුලාගෙන යන හිස් සතක් හා අං දසයක් ඇති මෘගයාගේ ද, අබිරහස ඔබට කියමි”යි පැවසී ය. 8 ඔබ දුටු මෘගයා වරක් ජීවත් ව සිටියේ ය. දැන් නැත. ඌ පාතාලයෙන් නැඟී එන්නට ද විනාශයට යන්නට ද සිටින්නේ ය. ලෝකාරම්භයේ සිට ජීවන පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසය කරන්නෝ, මෘගයා සිටි හැටිත්, දැන් නැති හැටිත්, මතු එන හැටිත් දැක පුදුම වන්නෝ ය.
9 ”නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. හිස් සත නම් ස්ත්‍රිය වාඩි වී සිටින කඳු සත ය. තවද ඒ හිස් සත රජවරු සත් දෙනෙකි. 10 පස් දෙනෙක් මළාහ, එක් කෙනෙක් තව ම සිටින්නේ ය, අනෙක් තැනැත්තා තව ම පැමිණියේ නැත. ඔහු පැමිණි කල ටික කලක් පමණක් සිටිය යුතු ය. 11 ජීවත් ව සිටියා වූ ද දැන් නැත්තා වූ ද මෘගයා, සත් දෙනාගෙන් එකෙකු වන අතර, අටවැනියෙක් ද වේ. ඔහු විනාශයට යන්නේ ය.
12 ”ඔබ දුටු අං දසය නම් තව ම රජකම නොලත් රජවරු දස දෙනෙකි. එහෙත් ඔව්හු මෘගයා සමඟ එක පැයකට පමණක් රජවරුන් ලෙස රාජ බලය ලබන්නෝ ය. 13 මොවුහු එක ම අරමුණක් ඇති ව, තමන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති. 14 මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”
15 ඔහු මට තවදුරටත් කතා කොට, ”වේශ්‍යාව වාඩි වී සිටි තැන ඔබ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝ ද ජනතාවෝ ද ජාතීහු ද භාෂාවෝ ද වෙති. 16 ඔබ දුටු අං දසය හා මෘගයා නම් වේශ්‍යාවට වෛර බැඳ, ඈ සහමුලින් ම නග්න කර, ඇගේ මාංස කා, ඈ මුළුමනින් ගින්නෙන් දවන අය වෙති. 17 මන්ද, දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට, තමන්ගේ රාජ්‍යය එක්සිත් ව මෘගයාට දෙන ලෙස, උන් වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කරවූ සේක. 18 ඔබ දුටු ස්ත්‍රිය නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහා නගරය”යි කීවේ ය.
– 18 වන පරිච්ඡේදය –
බබිලෝනියේ වැටීම
1 ඉන්පසු තවත් දේව දුතයෙකු මහා බලයෙන් යුක්ත ව ස්වර්ගයෙන් බැස එනු දිටිමි; ඔහුගේ තේජශ්‍රීයෙන් පොළොව ඒකාලෝක විය. 2 ඔහු මහ හඬින් මොරගසා, ”මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය. ඈ දුෂ්ටාත්මයන්ගේ වාසභවනයක් ද, සියලු අශුද්ධාත්මයන්ගේත් සියලු තුච්ඡ පිළිකුල් පක්ෂීන්ගේත් හිරගෙයක් ද වූවා ය. 3 මන්ද, සියලු ජාතීහු ඇගේ තදබල කාමරාගය නමැති මද්‍යසාරය පානය කළහ. මිහි පිට රජවරු ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළහ. දේශාන්තර වෙළෙන්දෝ ඇගේ සැප ජීවිකාවේ අධිකකමින් ධනවත් වූ හ”යි කී ය.
4 තවද, මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිණි:
”මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වංසගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත් ව එන්න.
5 මන්ද, ඇගේ පාප අහස උසට ගොඩ ගැසී ඇත.
දෙවියන් වහන්සේ ඇගේ අපරාධ අමතක නොකළ සේක.
6 ඈ කළ ලෙස ම ඈටත් කරන්න.
ඇගේ ක්‍රියා අනුව දෙගුණයක් ඈට දෙන්න.
ඈ මිශ්‍ර කර දුන් පාත්‍රය දෙගුණයකින් දැඩි කර ඈට දෙන්න.
7 ඇගේ ආත්ම වර්ණනාවේ හා සැප ජීවිකාවේ ප්‍රමාණයට, ඈට ශෝකය ද වද වේදනා ද දෙන්න.
මන්ද, ‘මම රැජිනක් ව වැජඹෙමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකය කිසි දිනක නොවිඳිමි’යි ඈ තමාට ම කියා ගන්නී ය.
8 එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය.
ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය.
මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.”
9 ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළ, සැප ජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඈ දවාලන ගින්නේ දුම දකින කල, 10 ඇගේ වේදනාවට බයින් ඈතින් සිට, ”අහෝ! අහෝ! බබිලෝනිය නම් මහා නුවර! බලවත් නුවර! එක පැයකින් තිගේ විනාශය පැමිණියේ ය”යි කියමින් හඬා වැලපෙති.
11 කිසිවෙකු තමන්ගේ වෙළඳ භාණ්ඩ තවදුරටත් මිල දී නොගන්නා බැවින්, දේශාන්තර වෙළෙන්දෝ ඈ ගැන හඬා ශෝක වෙති. 12 ඒ බඩු නම්, රන් රිදී භාණ්ඩ, මුතු මැණික්, සිනිඳු රෙදි, රත්නිල් වස්ත්‍ර, පට රෙදි, රතු විල්ලූද, නා නා විධ සුවඳ දැව, ඇත් දත් බඩු, ඉතා අනර්ඝ ලීයෙන් ද ලෝකඩින් ද යකඩින් ද කිරිගරුඬෙන් ද සෑදූ විවිධ බඩු, 13 කුරුඳු, කුළු බඩු, සුගන්ධ ද්‍රව්‍ය, සුගන්ධ රස, තුවරලා, මුද්‍රික පානය, තෙල්, සිහින් පිටි, ධාන්‍ය, මහිෂයන්, බැටළුවන්, අසුන් සහ රථ, වහලුන් හා මිනිස් ජීවිත යන මේවා ය. 14 ”තී හදින් පැතූ යසඉසුරු තී කෙරෙන් පහ වී ගියේ ය. තිගේ සුඛෝපභෝගී බව හා මනා පෙනුම යළි නොඑන සේ සදහට ම විනාශ වී ඇතැ”යි ඔව්හු කියති. 15 ඈ නිසා ධනවත් වූ, මේ බඩු විකුණූ වෙළෙන්දෝ ඈ විඳින දුක් පීඩාවට බයින් තැතිගෙන ඈතින් සිට: 16 ”අහෝ! අහෝ! මහා නුවර! සිනිඳු රෙදි, රත්නිල් හා රතු විල්ලූ ද හැඳ, රන් හා මුතු මැණික්වලින් සැරසුණු නුවර! 17 එක පැයකින් මෙපමණ මහා ධන සම්භාරයක් නැති වී ගිය හැටි!”යි කියමින් හඬා වැලපෙති. සියලු නැව්පතියෝ ද මගීහු ද නාවිකයෝ ද මුහුදෙන් ජීවිකාව කරගන්නෝ ද, ඈතින් සිට, ඈ දවාලන ගින්නේ දුම දැක, 18 ”මේ මහත් නුවරට සමාන නුවරක් තවත් ඇත් දැ”යි කියමින් මොරගැසූ හ. 19 ඔව්හු තමන්ගේ හිස් මත ධූලි දමාගෙන, හඬා වැලපෙමින්, ”අහෝ! අහෝ! ඒ මහා නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇති සියල්ලෝ ඇගෙන් ධනවත් වූ හ. එක පැයකින් ඈ නැතිනාස්ති වී ගිය හැටි”යි කියා මොරගැසුවෝ ය.
20 ස්වර්ගයෙනි, සැදැහැවතුනි, ප්‍රේරිතවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.
21 එවිට බලසම්පන්න දේව දුතයෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන, මෙසේ කියමින්, එය මුහුදේ හෙළී ය: ”මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙළාදමනු ලබන්නේ ය. එය නැත්තට ම නැති වී යයි. 22 වීණා වාදකයන්ගේ ද ගන්ධර්වයන්ගේ ද නළාකාරයන්ගේ ද හොරණෑකාරයන්ගේ ද ගීත නාදය තී තුළ තවත් නොඇසේ; කොයි ආකාර කර්මාන්ත කාරයෙක් වත් තී තුළ තවත් දකිනු නොලැබේ. ඇඹරුම් ගලේ හඬ තී තුළ තවත් නොඇසේ. 23 පහනක එළිය තී තුළ තවත් නොබැබළෙයි. මනාලයාගේත් මනාලියගේත් හඬ තී තුළ තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝ ව සිටියෝ ය. තීගේ අනවිනවලින් සියලු ජාතීහු මුළා කරනු ලැබුවෝ ය.
24 දිවැසිවරයන්ගේ ද සැදැහැවතුන්ගේ ද මිහි පිට මරනු ලැබූ සියල්ලන්ගේ ද ලේ, ඈ තුළ දක්නා ලදී.”
– 19 වන පරිච්ඡේදය –
1 ඉන්පසු ස්වර්ගයේ විශාල පිරිසකගේ මහා හඬක් මට ඇසිණි. ඔව්හු මෙසේ කී හ: ”අලේලූයා! විමුක්තිය ද මහිමය ද බලය ද අපගේ දෙවියන් වහන්සේට හිමි ය. 2 මන්ද, උන් වහන්සේගේ විනිශ්චය නිවැරදි ය, සාධාරණ ය, සිය වේශ්‍යාකමින් පොළොව දූෂණය කළ ප්‍රසිද්ධ වේශ්‍යාව උන් වහන්සේ විනිශ්චය කළ සේක. තමන් වහන්සේගේ මෙහෙකරුවන් මැරීම ගැන ඈට විපාක දුන් සේක.” 3 තව වරක් ඔව්හු, ”අලේලූයා! ඇගේ දුම සදහට ම නගින්නේ ය”යි කී හ. 4 තවද කුලදෙටුවෝ විසිහතර දෙනා ද, ජීවමාන සත්ත්වයෝ සතර දෙනා ද වැඳවැටී, ”ආමෙන්, අලේලූයා” කියමින් සිංහාසනයේ වැඩහුන් දෙවියන් වහන්සේට නමස්කාර කළහ.
බැටළු පෝතකයාණන්ගේ මංගල උළෙල
5 තවද, ”අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයෙනි, උන් වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කියන හඬක් සිංහාසනයෙන් නික්මිණි. 6 එවිට විශාල ජන සමූහයකගේ ඝෝෂාව මෙන් ද, සමුද්‍ර ඝෝෂාවක් මෙන් ද, බලවත් හෙන හඬක් මෙන් ද ශබ්දයක් මට ඇසිණි. ඒ හඬ මෙසේ කී ය: ”අලේලූයා! අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ රජකම් කිරීමට පටන්ගෙන ඇත. 7 අපි අතිශයින් ප්‍රීති සන්තෝෂවෙමු. උන් වහන්සේට ගෞරවය පිරිනමමු. මන්ද, බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍යය පැමිණ ඇත. උන් වහන්සේගේ මනාලිය සැරසී සිටින්නී ය. 8 බැබළෙන, පිවිතුරු, සිනිඳු වස්ත්‍රයෙන් සැරසෙන්නට ඈට අවසර දී ඇත.” සිනිඳු වස්ත්‍රවලින් සැදැහැවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා හඟවනු ලැබේ.
9 එවිට දේව දූතයා මට කතා කොට: ”බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ ය කියා ලියන්නැ”යි කී ය. ”දෙවියන් වහන්සේගේ මේ වචන සත්‍යය”යි තවදුරටත් ඔහු මට කී ය. 10 එවිට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු: ”මට නමස්කාර නොකරන්න. මම, ඔබ ද ඔබේ සහෝදරයන් ද සමඟ හවුල් සේවකයෙක් වෙමි. ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය අප හැම සතු ය. ඔබ දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතු ය”යි මට කී ය. ඒ ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය දිවැසිවරයන්ගේ ජීව බලය වන බැවිනි.
ක්‍රිස්තුන් වහන්සේගේ ජයග්‍රහණය
11 එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අශ්වයෙක් සිටියේ ය. ‘විශ්වාසය’ ‘සත්‍යය’ යන නම් දරන තැනැන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන සේක; යුද්ධ කරන සේක. 12 උන් වහන්සේගේ නේත්‍ර අග්නි ජාලා මෙනි; උන් වහන්සේගේ හිස මත බොහෝ කිරුළු ඇත. උන් වහන්සේ හැර අන් කිසිවෙකු නොදන්නා නාමයක් එහි ලියා ඇත. 13 ලෙයින් පෙඟුණු වස්ත්‍රයක් උන් වහන්සේ ඇඳ සිටි සේක. ”දෙවියන් වහන්සේගේ ධර්මයාණෝ” යයි උන් වහන්සේට කියන ලදී. 14 ස්වර්ගීක යුද්ධ සේනාවෝ සුදු, සිනිඳු, පිවිතුරු වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිට උන් වහන්සේ පසුපස්සේ ගියහ. 15 ජාතීන්ට පහර දෙනු පිණිස උන් වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන් වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඬින සේක. 16 උන් වහන්සේගේ වස්ත්‍රයෙහි ද කලවයෙහි ද ”රජවරුන්ගේ රජ ය, ස්වාමීවරුන්ගේ ස්වාමී ය” යන නාමය ලියා තිබේ.
සතුරු සේනාවන්ගේ විනාශය
17 තවද හිරු මඬලෙහි දේව දුතයෙකු සිටිනු දිටිමි. ඔහු මැද අහසේ පියාසර කරන සියලු පක්ෂීන්ට මහා හඬකින් මොරගසා: 18 ”තෙපි රජුන්ගේ මස් ද සේනාධිපතීන්ගේ මස් ද බලවත් මිනිසුන්ගේ මස් ද අශ්වයන්ගේත් අශ්වාරෝහකයන්ගේත් මස් ද දාස නිර්දාස, ලොකු කුඩා සියලු මිනිසුන්ගේ මස් ද කන පිණිස, දෙවියන් වහන්සේගේ මහා මංගල්‍ය භෝජනයට පැමිණ එක්රැස් වෙයව්” යයි කී ය.
19 අශ්වාරෝහක තැනැන් වහන්සේටත්, උන් වහන්සේගේ යුද්ධ සේනාවටත් විරුද්ධ ව සටන් කිරීමට මෘගයා ද මිහි පිට රජවරුන් ද ඔවුන්ගේ යුද්ධ සේනා ද රැස් ව සිටිනු මම දිටිමි. 20 එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ. 21 සෙසු අය අශ්වාරෝහක තැනැන් වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන් මරනු ලැබූ හ. සියලු පක්ෂීහු ඔවුන්ගේ මාංස ගිජු ලෙස ගිලදැමූ හ.
– 20 වන පරිච්ඡේදය –
දහස් වසකට සාතන් බැඳ තැබීම
1 තවද, පාතාලයේ යතුර ද මහත් දම්වැලක් ද අතින් ගත් දේව දුතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි. 2 ඔහු යක්ෂයා ද සාතන් ද වන පුරාතන සර්පයා හෙවත් ඒ මකරා අල්ලා අවුරුදු දහසකට බැඳ තැබී ය. 3 ඒ අවුරුදු දහස කෙළවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස, ඔහු පාතාලයට හෙළා, එය වසා, මතුපිට මුද්‍රා තැබී ය. මින්පසු මඳ කලකට ඔහු මුදා හැරිය යුතු ය.
4 එවිට සිංහාසන දිටිමි. ඒවායේ හිඳ ගත්තවුන්ට විනිශ්චය කිරීමේ වරම දෙන ලද්දේ ය. තවද, ජේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාත්, දෙවියන් වහන්සේගේ වචනය නිසාත් හිස් ගසාදමනු ලැබූවන්ගේ ද, මෘගයාට වත් උගේ රූපයට වත් නමස්කාර නොකළ, උගේ සලකුණ සිය නළල්වල හා අත්වල නොදැරූ තැනැත්තන්ගේ ද ආත්මයන් දිටිමි. ඔව්හු යළි ජීවනය ලබා ක්‍රිස්තුන් වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ. 5 මළා වූ සෙසු අය අවුරුදු දහස කෙළවර වන තුරු ජීවනය නොලැබූ හ. මේ පළමු වන පුනරුජ්ජීවනය වේ. 6 පළමු වන පුනරුජ්ජීවනයට පංගුකාරකම ඇති තැනැත්තා භාග්‍යවන්තයෙකි, සැදැහැවතෙකි. දෙ වන මරණයට ඔවුන් කෙරෙහි බලයක් නැත. ඔව්හු දෙවියන් වහන්සේගේත්, ක්‍රිස්තුන් වහන්සේගේත් පූජකයෝ ව, උන් වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම් කරන්නෝ ය.
සාතන්ගේ පරාජය
7 අවුරුදු දහස කෙළවර වූ පසු, සාතන් තමාගේ සිරගෙයින් මුදනු ලැබ, 8 පොළොවේ සතර දිශාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුළා කරනු පිණිස ද ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිස ද නික්ම එන්නේ ය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලි මෙන් ය. 9 ඔව්හු පොළොවේ සෑම දිශාවල ම පැතිර ගොස් සැදැහැවතුන්ගේ කඳවුර ද ප්‍රිය මනාප නුවර ද වටලාගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැස අවුත් ඔවුන් වනසාදැමී ය. 10 එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබී ය. ඔව්හු සදහට ම, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝ ය.
අවසාන විනිශ්චය
11 තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය. 12 මළා වූ, ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරියෙහි සිටිනු දිටිමි. පොත් ද දිගහරිනු ලැබී ය. ජීවන පොත වන තවත් පොතක් ද දිග හරිනු ලැබී ය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබුවෝ ය. 13 මහමුහුද එහි වූ මළවුන් භාර දුන්නේ ය. මරණයත්, පාතාලයත්, එහි උන් මළවුන් භාර දුන්නේ ය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබූ හ. 14 මරණයත්, පාතාලයත් ගිනි විලට හෙළන ලද්දේ ය. මේ ගිනි විල දෙ වන මරණය වේ. 15 යමෙකුගේ නම ජීවන පොතෙහි ලියැවී නැති බව සම්බ වී ද, ඔහු ගිනි විලට හෙළනු ලැබී ය.
– 21 වන පරිච්ඡේදය –
අලුත් අහස සහ අලුත් පොළොව
1 ඉන්පසු මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද දිටිමි. පළමු අහසත් පළමු පොළොවත් පහ ව ගියේ ය. මුහුද ද තවත් නො වී ය. 2 තවද, තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි. 3 සිංහාසනයෙන් මහා හඬක් මෙසේ කියනු ඇසීමි: ”මෙන්න, දෙවියන් වහන්සේගේ වාසභවනය මනුෂ්‍යයන් සමඟ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වාසය කරන සේක. ඔව්හු උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. දෙවියන් වහන්සේ ම ඔවුන් සමඟ වැඩවසමින්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක. 4 උන් වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියලු කඳුළු පිසදමන සේක. මරණය තවත් නැත. වැලපීම ද හැඬීම ද, වේදනාව ද තවත් නැත. ඒ පළමු පිළිවෙළ පහ ව ගිය බැවිනි.”
5 එවිට සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේ කතා කොට, ”බලව, මම සියල්ල අලුත් කරමි!”යි වදාළ සේක. උන් වහන්සේ තවදුරටත් කතා කොට, ”ලියන්න, මන්ද, මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ම ය”යි වදාළ සේක. 6 උන් වහන්සේ මට කතා කොට, ”ඒවා ඉෂ්ට වී ඇත. මම අල්පා සහ ඔමෙගා ය. ආරම්භය සහ අවසානය ය. පිපාසය ඇත්තාට මම ජීවන දිය උල්පතෙන් නොමිලයේ බොන්නට දෙන්නෙමි. 7 ජයග්රාහකයාගේ උරුමය එය යි. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේ ය. 8 එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.
ස්වර්ගීය ජෙරුසලම
9 අන්තිම වසංගත සතෙන් පිරුණ පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් තැනැත්තෙක් මා වෙත පැමිණ, ”එන්න, බැටළු පෝතකයාණන්ගේ බිරිඳවන මනාලිය ඔබට පෙන්වන්නෙමි”යි කී ය. 10 ආත්මයාණන්ගේ ආනුභාවයෙන් ඔහු මහ උස් කන්දකට මා ගෙන ගොස්, ශුද්ධ නගරය වූ ජෙරුසලම දේව තේජසින් විරාජමාන ව, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වී ය. 11 ඒ නගරයේ දීප්තිය ඉතා අනර්ඝ මාණික්‍යයක් මෙන් එනම්, පළිඟු මෙන් විනිවිද පෙනෙන සූර්යකාන්ත ගලක් මෙන් විය. 12 වාසල් දොරටු දොළොසකින් යුත්, මහ උස් පවුරක් එය වටේ තිබිණි. ඒ දොරටු ළඟ දේව දූතයෝ දොළොස් දෙනෙක් වූ හ. ඒවා පිට ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර දොළොසේ නාම ලියා තිබිණි. 13 නැගෙනහිරින් දොරටු තුනක් ද උතුරෙන් දොරටු තුනක් ද දකුණෙන් දොරටු තුනක් ද බස්නාහිරෙන් දොරටු තුනක් ද විය. 14 නුවර පවුරෙහි අත්තිවාරම් දොළොසක් විය. ඒවා පිට බැටළු පෝතකයාණන්ගේ ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නාම දොළොස ලියා තිබිණි. 15 මා සමඟ කතා කළ දේව දූතයාට නගරය ද එහි වාසල් දොරටු ද එහි පවුර ද මනින පිණිස රනින් කළ මිණුම් දණ්ඩක් තිබිණි. 16 මේ නගරය සම චතුරශ්‍රයකි. එහි දිගත්, පළලත් එක සමාන ය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේ ය. එය කිලෝමීටර් දෙ දහස් හාර සියයක් ය. එහි දිග, පළල හා උස එක සමාන ය. 17 ඔහු එහි පවුර ද මැන්නේ ය. එය මීටර් හැටක් විය. දේව දූතයා මැන්නේ ඔහු භාවිත කළ සම්මත මිම්මෙනි. 18 එහි පවුර සූර්යකාන්තවලින් ගොඩනඟා තිබුණේ ය. නගරය ද වීදුරු මෙන් පැහැදිලි ව පෙනෙන, පවිත්‍ර රනින් විය. 19 නුවර පවුරේ අත්තිවාරම් වෛවර්ණ මැණික් ගලින් සරසා තිබිණි. පළමු වන අත්තිවාරම සූර්යකාන්ත ය. දෙවැන්න ඉන්ද්‍ර නීල මාණික්‍ය ය. තුන්වැන්න අගස්ති ය. සතරවැන්න මරකත ය. 20 පස්වැන්න නඛ මාණික්‍ය ය. සවැන්න ලෝහිතංක ය. සත්වැන්න රන් කාන්ති ය. අටවැන්න වෛදූර්ය ය. නවවැන්න පුෂ්පරාග ය. දසවැන්න ගෝමේද ය. එකොළොස්වැන්න පද්ම රාග ය. දොළොස්වැන්න අඹතේස්ත ය. 21 දොරටු දොළොස මුතු දොළොසකි. එක එක දොරටුව එක එක මුතු ඇටයකින් සාදා තිබිණි. නුවර වීදිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පිරිසිදු රන් ය.
22 මම එහි දේව මාලිගාවක් නොදිටිමි. මන්ද, සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේත්, බැටළු පෝතකයාණෝත් ඒ දේව මාලිගාව වූ සේක. 23 දේව තේජසින් නුවර ආලෝක වූ බැවින් ද, බැටළු පෝතකයාණන් එහි පහන වන බැවින් ද එහි සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ හෝ බැබළීමක් අවශ්‍ය නැත. 24 ජාතීහු එහි ආලෝකයෙහි ඇවිදිති. පොළොවේ රජවරු ස්වකීය තේජස ඊට ගෙනෙන්නාහු ය. 25 එහි දොරටු දවාලේ විවෘතව ඇත. ඒවා කිසිසේත් වසනු නොලබන්නේ ය; මන්ද, එහි රාත්‍රියක් නොවන්නේ ය. 26 ඔව්හු, ජාතීන්ගේ ගෞරවය හා ශ්‍රී විභූතිය ඊට ගෙනෙන්නෝ ය. 27 අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝ ය.ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි.
– 22 වන පරිච්ඡේදය –
ජීවන වෘක්ෂය
1 දේව දූතයා, දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනයෙන් ගලා එන, පළිඟුමෙන් විනිවිද දිලෙන, ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙන්වී ය. 2 එහි වීදිය මැද, ගඟ දෙපස, මසකට වරක් බැගින්, දොළොස් මුරයක් පල දරන ජීවන වෘක්ෂය පිහිටා තිබිණි. ඒ වෘක්ෂයේ කොළ, ජාතීන්ගේ සුවය සඳහා විය. 3 කිසි සාපයක් තවත් එහි නොවන්නේ ය. දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනය එහි වන්නේ ය. උන් වහන්සේගේ සේවකයෝ උන් වහන්සේට නමස්කාර කරන්නෝ ය. 4 ඔව්හු උන් වහන්සේගේ මුහුණ දකින්නෝ ය. උන් වහන්සේගේ නාමය ද ඔවුන්ගේ නළල්වල ඇත. 5 එහි රාත්‍රියක් තවත් නොවන්නේ ය. පහන් ආලෝකය වත්, සූර්යාලෝකය වත් ඔවුන්ට අවශ්‍ය නැත. මන්ද, දෙවි ස්වාමීන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙන සේක. ඔව්හු සදහට ම රජකම් කරන්නෝ ය.
ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනය
6 එවිට දේව දූතයා මට කතා කොට, ”මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ය. මඳ කලෙකින් සිදුවන්නට යන දේ තමන්ගේ සේවකයන්ට පෙන්වනු පිණිස දිවැසිවරුන්ට ආනුභාවය දුන් දෙවි ස්වාමීන් වහන්සේ ස්වකීය දූතයා එවූ සේක. 7 මෙන්න, මම ඉක්මනින් එමි”යි කී ය. ”මේ පොතේ සඳහන් දිවැස් වැකි රක්ෂා කරන්නා භාග්‍යවන්තයෙකි”යි උන් වහන්සේ වදාරන සේක.
8 මේ සියල්ල ඇසූ දුටු තැනැත්තා ජොහන් වන මම ය. එවිට මා ඇසූ දුටු දේ මට පෙන්වූ දේව දූතයාට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි. 9 ඔහු මට කතා කොට, ”මට නමස්කාර නොකරන්න. මම ඔබේ ද, ඔබේ සහෝදර දිවැසිවරයන්ගේ ද මේ පොතේ වචන පිළිපදින්නන්ගේ ද හවුල් සේවකයෙක් වෙමි. දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්නැ”යි කී ය.
10 තවද ඔහු මට කතා කොට, ”මේ පොතේ ඇති දිවැස් වැකි රහසේ තබා නොගන්න. මන්ද, නියමිත කාලය ආසන්න ය. 11 නපුරුකම් කරන්නා, නපුරුකම් කරමින් ද, අපිරිසිදුකම් කරන්නා, අපිරිසිදුකම් කරමින් ද සිටී වා! දමිටු තැනැත්තා දමිටු ක්‍රියා කරමින් ද, ශුද්ධ තැනැත්තා ශුද්ධවන්ත කමෙහි පවතිමින් ද සිටී වා!”යි කී ය.
12 ”මෙන්න, මම ඉක්මනින් එමි. එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව විපාක දීම මා සතු ව ඇත. 13 මම අල්පා සහ ඔමෙගා ය. මම පළමුවැන්නා සහ අන්තිමයා ය. ආරම්භය සහ අවසානය ය”යි උන් වහන්සේ වදාරන සේක.
14 ජීවන වෘක්ෂයට ළඟා වීමට අයිතිය ලැබෙන පිණිසත්, වාසල් දොරටුවලින් නගරයට ඇතුළු වන්නට හැකි වන පිණිසත්, තමන්ගේ සළුසෝදාගන්නා තැනැත්තෝ භාග්‍යවන්තයෝ ය. 15 එහෙත් නුවරින් පිටත සිටින්නෝ නම් බල්ලෝ ද අනවින කරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද මිනී මරන්නෝ ද රූප වඳින්නෝ ද මුසාවට ප්‍රිය කොට එය භාවිත කරන්නෝ ද යන මොවුහු ය.
16 ”ජේසුස් වහන්සේ වන මම සභාවන්ගේ යහපත උදෙසා මේ දේවල් ප්‍රකාශ කරන පිණිස මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ වංශයේ මුල ද එයින් පැවත එන්නා ද වෙමි. මම සුදිළෙන පහන් තරුව වෙමි.”
17 ආත්මයාණන් වහන්සේ ද මනාලිය ද ”එන්නැ”යි කියති. අසන්නෝ ද, ”එන්නැ”යි කියත් වා! පිපාසය ඇත්තෝ ද එත් වා! කැමැති කෙනෙක් ජීවන පැන් නොමිලයේ ගනිත් වා!
අවසානය
18 මේ පොතේ සඳහන් දිවැස් වැකි අසන සියල්ලන්ට මම මෙය සහතික ලෙස කියමි. යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම්, දෙවියන් වහන්සේ මේ පොතේ ලියන ලද වසංගත ඔහුට එකතු කරන සේක. 19 යමෙක් මේ පොතේ දිවැස් වැකිවලින් යමක් අහක් කරන්නේ නම්, මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයේ ද ශුද්ධ නුවරේ ද පංගුකාරකමින් දෙවියන් වහන්සේ ඔහු පහ කරන සේක.
20 මේ කාරණා ගැන සාක්ෂි දරන තැනැන් වහන්සේ, ”සැබැවින් ම මම ඉක්මනින් එමි”යි වදාරන සේක.
ආමෙන්. ජේසුස් ස්වාමීන් වහන්ස වැඩිය මැනව!
21 ජේසුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව සියල්ලන් සමඟ වේ වා!