එපීස

එපීස

– 1 වන පරිච්ඡේදය –

ආචාරය

1 දේව කැමැත්තෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලු නම් මම, එපීසයේ සිටින, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන සැදැහැවතුන් වෙත ලියමි. 2 අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාව හා ශාන්තිය ඔබ හට වේ වා!

ආධ්‍යාත්මික ආශීර්වාද

3 ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! 4 ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක. 5 තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ, අප දරුකමට පිළිගන්න පිණිස, දෙවියන් වහන්සේ පෙර නියම කළ සේක. 6 උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය.
7 ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය කරණකොටගෙන, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත්, පව් කමාවත් ලැබී ඇත. 8 ඒ වරප්‍රසාදය, සියලු ප්‍රඥාවෙන් හා නුවණින් උන් වහන්සේ අපට බහුල ව ප්‍රදානය කර, 9 උන් වහන්සේගේ කැමැත්තේ අබිරහස අපට දන්වා වදාළ සේක. එසේ කරන ලද්දේ, තමන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළ, සිය කැමැත්තෙන් නියම කරගත් ස්වකීය අභිප්‍රාය අනුව ය. 10 දෙවියන් වහන්සේගේ ඒ අභිප්‍රාය නම්, නියමිත කාලයේ දී ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, එනම් මුළු විශ්වයෙහි ඇති සියල්ල, ක්‍රිස්තුන් වහන්සේ යටතේ එක්සත් කිරීම ය.
11 අපි මෙම ක්‍රිස්තුන් වහන්සේ තුළින් තෝරාගත් සෙනඟක් වෙමු. එසේ වන්නේ, දෙවියන් වහන්සේ පෙර නියම කරගත් සැලැස්ම ලෙස, සියල්ල සිදු කරන ස්වකීය අභිප්‍රාය අනුව ය. 12 මෙසේ වූයේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ප්‍රථමයෙන් බලාපොරොත්තු ලැබූ අප, උන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිස ය.
13 ඉදින්, උන් වහන්සේ තුළින් ඔබ ද, සත්‍ය ධර්මය වන ඔබගේ ගැළවීම සලසන සුබ අස්න අසා අදහාගෙන, පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් සහතිකකමේ මුද්‍රාව ලැබුවහු ය. 14 ඒ ශුද්ධාත්මයාණන් වනාහි, දෙවියන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා, උන් වහන්සේට අයිති අයට ගැළවීම සලසා දෙන අපේ උරුමයේ අත්තිකාරම ය. 15 ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල ගැන ද සැදැහැවතුන්ට ඔබ දක්වන ප්‍රේමය ගැන ද යන කරුණු අසා, 16 මම ඔබ ගැන මාගේ යාච්ඤාවල දී සිහි කරමින් නොකඩවා දෙවියන් වහන්සේට ස්තුති කරමි. 17 තේජසේ පියාණන් වූ, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණිස, ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤා කරමි. 18 තවද, උන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක් ද කියාත්, සැදැහැවතුන්ට හිමි වන තේජාන්විත උරුමයේ ධන සම්භාරය කිමෙක් ද කියාත්, 19 ඇදහිලිවන්තයන් වන අප තුළ ක්‍රියා කරන, උන් වහන්සේගේ බලපරාක්‍රමයේ උදාරබව කිමෙක් ද කියාත්, ඔබ දැන ගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාච්ඤා කරමි.

සභාවේ මහේශාක්‍ය නායකයාණෝ

20 දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බලපරාක්‍රමය නම්, උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන කර, ස්වර්ග ලෝකයෙහි ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ තුළ උන් වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලය ම ය. 21 එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අධිපතීන්ටත්, බලධාරීන්ටත්, පරාක්‍රමවලටත්, අධිකාරීන්ටත්, එසේ ම, මේ යුගයේ පමණක් නොව, මතු පැමිණෙන යුගයෙහි ද, නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජඹෙන සේක. 22 දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක. 23 සභාව උන් වහන්සේගේ ශරීරය ය. ශරීරය එහි හිස වන, සියල්ල බද්ධ කරන, ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ වූ විට, එක ම සර්ව සම්පූර්ණත්වයක් ඇති වේ.

 

– 2 වන පරිච්ඡේදය –

මරණයෙන් ජීවනයට

1 වැරදි ක්‍රියා හා පාප හේතුකොටගෙන ඔබ මැරී සිටි කාලයක් විය. 2 එකල ඔබ අනුගමනය කෙළේ මේ යුගයේ පවිටු මඟ ය. තවද, අකීකරු අය තුළ ක්‍රියා කරන බලවේගය වන, ආකාශ බලධාරීන්ගේ අධිපතියාට ද ඔබ යටත් ව සිටියහු ය. 3 එකල අපිත් ඔවුන්ගේ ගණයට අයිති ව, මාංසික තෘෂ්ණාවලට වහල් ව ජීවත් වෙමින්, සිතෙත් කයෙත් ආශාවන් පිනවමින්, සෙසු අය මෙන් අපේ ගතිපැවතුම් අනුව දේව උදහසට ලක් වී සිටියෙමු.
4 එහෙත් දයාවෙන් සමෘද්ධ වූ දෙවියන් වහන්සේ, අධික ප්‍රේමයකින් අපට ප්‍රේම කළ බැවින්, 5 අපේ වැරදි ක්‍රියා හේතුකොටගෙන අප මැරී සිටිය දී පවා, ක්‍රිස්තුන් වහන්සේ සමඟ අප ජීවත් කර වදාළ සේක. ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදයෙන් ය.‍ 6 තවද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ සමඟ අප උත්ථාන කර, උන් වහන්සේ සමඟ සග ලොවෙහි අපට අසුන් ගැනීමට සැලැසූ සේක. 7 එසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ අපට දැක්වූ කරුණාව කරණකොටගෙන උන් වහන්සේගේ වරප්‍රසාදයේ මහා ධන සම්භාරය මතු යුගවලට පෙන්වන පිණිස ය.
8 ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින් වූ ඇදහීම කරණකොටගෙන ය. එය ඔබගේ ම ක්‍රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාව ය. 9 ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත. 10 මන්ද, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානම් කළ සේක.

ක්‍රිස්තුන් වහන්සේ තුළ ඒකත්වය

11 එබැවින් ඔබේ පෙර තත්ත්වය සිහි කරන්න. ඒ කාලයේ දී ඔබ ශාරීරික ලකුණක් නොලත් බැවින් විජාතිකයෝව සිටියහු ය. බාහිර පිළිවෙතක් නිසා තුමූ චර්මඡේදිතයෝ යයි කියාගත් අය විසින් ඔබ අචර්මඡේදිතයෝ යයි අවමන් කරනු ලැබුවහු ය. 12 තවද ඒ කාලයේ දී ඔබ ක්‍රිස්තුන් වහන්සේ නැති ව, තෝරාගත් ඉශ්රායෙල් ජාතියෙන් බැහැර ව, පොරොන්දුවේ ගිවිසුම්වල පංගුකාරකමක් නොමැති ව, බලාපොරොත්තු රහිත ව, දෙවියන් වහන්සේගෙන් ඉවත් ව, ලෝකයෙහි ජීවත් වූ බව සිහි කරන්න. 13 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ තුළින්, වරක් දුර සිටියා වූ ඔබ, දැන් උන් වහන්සේගේ දිවි පිදීම කරණකොටගෙන ළං කරනු ලැබුවහු ය.
14 ජුදෙව්වරුන් හා විජාතිකයන් එක්කරමින් උන් වහන්සේ අප අතර සමඟිය ඇති කළ සේක. උන් වහන්සේ මිනිසත් බව ගෙන, ඔවුන් වෙන් කළ, ඔවුන් අතර වෛරය ඇති කළ, මැද බිත්තිය කඩා දැමූ සේක. 15 මේ දෙජාතිය, නව මනුෂ්‍යත්වයක් කොට මවා, සමඟිය ඇති කරන පිණිස, උන් වහන්සේ නීති නියෝග ඇතුළත් ව්‍යවස්ථාව අවලංගු කළ සේක. 16 කුරුසිය කරණකොටගෙන උන් වහන්සේ වෛරය නැති කර, දෙවියන් වහන්සේ උදෙසා ඒ දෙජාතිය එක ම ශරීරයක් වන පිණිස සමඟි කර වදාළ සේක. 17 එසේ උන් වහන්සේ වැඩම කර, දුර සිටියා වූ ඔබටත්, ළඟ සිටියා වූ අයටත්, සාමයේ පණිවුඩය දේශනා කර වදාළ සේක. 18 එක ම ආත්මයාණන් වහන්සේ තුළ, ජුදෙව්වරුන් හා විජාතීන් යන දෙපක්ෂයට, පියාණන් වහන්සේ වෙතට පිවිසීමේ වරය ලැබිය හැක්කේ, ක්‍රිස්තුන් වහන්සේ නිසා ය.
19 එබැවින් ඔබ තවත් විදේශිකයෝ වත්, ආගන්තුකයෝ වත් නොව, ශුද්ධ වන්තයන් සමඟ සහකාර පුරවැසියෝ ද දෙවියන් වහන්සේගේ පවුලේ දූදරුවෝ ද වෙති. 20 ඔබ ප්‍රේරිතයන්ගේ ද, දිවැසිවරයන්ගේ ද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහු ය. එහි කොණේ ප්‍රධාන ගල නම් ක්‍රිස්තුන් වහන්සේ ම ය. 21 උන් වහන්සේ තුළ මුළු ගොඩනැඟිල්ල ඒකාබද්ධ ව, සමිඳාණන් වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් සේ වර්ධනය වන්නේ ය. 22 උන් වහන්සේ තුළ ඔබත්, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක් කොට ගොඩනඟනු ලැබේ.

– 3 වන පරිච්ඡේදය –

විජාතීන් උදෙසා පාවුලු තුමාගේ සේවය

1 මේ කාරණය නිසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාරයෙකු වන පාවුලු නම් මම, විජාතීන් වූ ඔබ උදෙසා යාච්ඤා කරමි. 2 ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත. 3 මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. 4 මා ලියා ඇති ඒ දේ කියවීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට තේරුම් ගත හැකි ය. 5 ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ ප්‍රේරිතයනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත. 6 ඒ අබිරහස නම්, සුබ අස්න කරණකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන් ද වන බව ය.
7 දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට, මට දෙන ලද උන් වහන්සේගේ කරුණාවේ දීමනාව ලෙස, මම ඒ සුබ අස්නේ සේවකයෙක් කරනු ලැබීමි. 8 සැදැහැවතුන්ගෙන් ඉතා සුළු තැනැත්තාටත් වඩා සුළු වූ මට, මේ වරප්‍රසාදය දෙන ලද්දේ, ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සම්භාරය, විජාතීන්ට දේශනා කිරීමටත්, 9 මේ අබිරහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය. යුග ගණනාවක් මුළුල්ලේ ඒ අබිරහස විශ්වයේ මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ තුළ සැඟවී තිබිණි. 10 එසේ වූයේ, මේ කාලයේ දී, ශුද්ධ සභාව මඟින් ස්වර්ග ලෝකවල අධිපතීන්ටත්, බලධාරීන්ටත්, දෙවියන් වහන්සේගේ විවිධාකාර ප්‍රඥාව දන්වනු ලබන පිණිස ය. 11 දෙවියන් වහන්සේ මෙසේ කළේ, අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ ඉටු කළ ස්වකීය සදාතන අභිප්‍රායට අනුකූල ව ය. 12 ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතිව දෙවියන් වහන්සේ වෙත ළඟා වීමේ නිදහසත්, උන් වහන්සේ තුළ අපට ඇත. 13 එහෙයින් ඔබ නිසා මා දුක් විඳින බැවින්, අධෛර්ය‍ නොවන ලෙස ඉල්ලමි. ඒ ගැන ඔබ ආඩම්බර විය යුතු ය.

ප්‍රේමය අරබයා යැදුම

14 මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ, 15 පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි. 16 උන් වහන්සේගේ මහිමතාවේ සම්පතේ හැටියට, ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබේ ආධ්‍යාත්මික භාවය ශක්තිසම්පන්න වන පිණිස ඔබට බලය දෙන ලෙස ද, 17 ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණිස ද, යාච්ඤා කරමි. තවද, ප්‍රේමයේ මුල් බැස, ස්ථිර ව පිහිටා සිටින පිණිස ද, යාච්ඤා කරමි. 18 සියලු සැදැහැවතුන් සමඟ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ දිගත්, පළලත්, උසත්, ගැඹුරත් වටහා ගැනීමට ශක්තිය ලබා, 19 ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි.
20 අප තුළ ක්‍රියා කරන බලය කරණකොටගෙන අප ඉල්ලන, සිතන සියලු දේට වඩා අධික ලෙස කරන්නට බලය ඇති 21 දෙවියන් වහන්සේට සභාව තුළ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ද යුගයෙන් යුගයට, සදහට ම මහිමය වේ වා! ආමෙන්.

 

– 4 වන පරිච්ඡේදය –

ශරීරයේ ඒකත්වය

1 එබැවින්, දෙවියන් වහන්සේගෙන් ඔබ ලත් කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිඳාණන් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන මම ඔබෙන් උදක් ම ඉල්ලමි. 2 සැම විට ම නිහතමානි ව, විනීත ව, ඉවසිලිවන්ත ව සිටින්න; ප්‍රේමයෙන් එකිනෙකා සමඟ පෑහී සිටින්න; 3 ආත්මයාණන් වහන්සේගෙන් වන එක්සත්කම, සමඟිකමේ බැම්මෙන් පවත්වාගන්ට උත්සාහ කරන්න. 4 ඔබ කැඳවනු ලැබූ කල එක ම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස, ඇත්තේ එක ම ශරීරයත්, එක ම ආත්මයාණන් වහන්සේත් ය; 5 එක ම සමිඳාණන් වහන්සේත්, එක ම ඇදහිල්ලත්, එක ම බව්තීස්ම-ස්නාපනයත් ය;
6 සියල්ලන්ට ඉහළින් සිටින, සියල්ලන් තුළින් ක්‍රියා කරන, සියල්ලන් තුළ වැඩවසන එක ම දෙවි පියාණන් වහන්සේත් ය.
7 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ සිය දීමනාවේ ප්‍රමාණය අනුව අප එකිනෙකාට දේව වරප්‍රසාදය ප්‍රදානය කර ඇත. 8 ඒ ගැන මෙසේ කියා තිබේ:
”උන් වහන්සේ අග්‍රස්ථානයට නැඟුණු කල, පරදවා ජයගත් සතුරු සේනාව ගෙන ගොස්, මිනිසුන්ට දීමනා පිරිනැමූ සේක.”
9 උන් වහන්සේ නැඟුණ සේකැ යි කීමෙන් කුමක් අදහස් කෙරේ ද? එයින් අදහස් කරන්නේ උන් වහන්සේ ප්‍රථමයෙන් පොළොවේ පහත් ම තැන් වලට බැස්ස බව ය. 10 පහළට බැස වදාළ තැනැන් වහන්සේ නම්, මුළු විශ්වය පූර්ණ කරන පිණිස සියලු ස්වර්ග ලෝක ඉක්මවා ඉහළට නැඟුණු තැනැන් වහන්සේ ම ය. 11 මේ ක්‍රිස්තුන් වහන්සේ, සමහරුන් ප්‍රේරිතයන් ද සමහරුන් දිවැසිවරුන් ද සමහරුන් ධර්ම දේශකයන් ද සමහරුන් සභා පාලකයන් ද සමහරුන් ගුරුවරුන් ද වශයෙන් පත් කළ සේක. 12 එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණයෙන් පුහුණු කිරීමටත්, ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත් ය. 13 මේ ආකාරයෙන් ඇදහිල්ලේ ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැන්මේ ද එකමුතුකමටත්, ක්‍රිස්තුන් වහන්සේගේ පරිණතභාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපි පත් වන්නෙමු. 14 එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. 15 එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු. 16 හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ.

නව ජීවනය

17 එබැවින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම තදින් ම ඔබට මෙසේ කියමි: පුහු අදහස් ඇති මිසදිටුවන් මෙන් තවත් නොහැසිරෙන්න. 18 අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති. 19 විළිබිය නැති ව ඔව්හු සල්ළාලකමෙහි ඇලීගැලී සිටිමින්, ඉවක්බවක් නැති ව අනාචාරකම් කරති. 20 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ගැන ඔබ ඉගෙනගත් දේ එවැන්නක් නොවේ. 21 සැබැවින් ම උන් වහන්සේ ගැන ඔබ ඇසුවා පමණක් නොව, කිතුනුවන් වශයෙන් උන් වහන්සේ තුළ වූ සත්‍යය ද ඔබට උගන්වන ලදී. 22 එබැවින් ඔබේ පසුගිය පැවැත්මට අයිති වූ තෘෂ්ණාවලින් මුළා වී විනාශ වන්නා වූ පරණ ස්වභාවය අහක දමා, 23 ආධ්‍යාත්මික නවතාවයක් ඇති කරගන්න. 24 දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවන ලද, දමිටුකමින් ද ශුද්ධවන්තකමින් ද ප්‍රකාශ වන අලුත් ස්වභාවය පැළඳගන්න.
25 එබැවින් බොරු කීම අත්හැරදමා, අසල්වාසි එකිනෙකා සමඟ සත්‍යය කතා කරන්න. මන්ද, අපි එකිනෙකා අන්‍යොන්‍ය අවයවයෝ වෙමු. 26 කෝප වුවත් පව් නොකරන්න. ඉර බහින තුරු හිතේ කෝපය තබා නොගන්න. 27 යක්ෂයාට ඉඩ නොදෙන්න. 28 සොරකම් කළ අය තවත් සොරකම් නොකරත් වා. ඒ වෙනුවට දුගීන්ට උපකාර කළ හැකිවන සේ වෙහෙස මහන්සි දරා අවංක වැඩක් කරත් වා. 29 කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න. 30 ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න. මන්ද, මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති, සහතිකයේ මුද්‍රාව උන් වහන්සේ ය. 31 තිත්තකම්, කෝපය, උදහස, කෝලාහල, අපහාස හා සියලු ආකාර ද්වේෂ පහ කරදමන්න. 32 එකිනෙකා කෙරෙහි කරුණාව ද දයානුකම්පාව ද ඇති ව සිට, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න.

 

– 5 වන පරිච්ඡේදය –

ආලෝකයේ ජීවත් වීම

1 ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වන බැවින්, උන් වහන්සේ මෙන් වන්නට උත්සාහ කරන්න. 2 ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න.
3 ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත. 4 අශික්ෂිත, මෝඩ කතා හා නීච කවටකම් යන මේවාත් සුදුසු නැත. ඒ වෙනුවට ස්තුති දීමේ වචන පවසන්න. 5 මේ දේ තරයේ සිතට ගන්න: කාමමිථ්‍යාචාරය කරන්නෙකුට වත්, අශිෂ්ට කෙනෙකුට වත්, ලෝභයෙකුට වත්, මෙවැනි රූප වන්දනාවන් කරන කෙනෙකුට වත්, ක්‍රිස්තුන් වහන්සේගේ ද දෙවියන් වහන්සේගේ ද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන්නේ ම ය.
6 පුහු තර්කවලින් ඔබ රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මන්ද, අකීකරුවූවන් පිට දේව උදහස පැමිණෙන්නේ මේ කාරණා නිසා ම ය. 7 එවැන්නන් සමඟ කිසි ම ගනු දෙනුවක් නොකරන්න. 8 මන්ද, වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත්, දැන් සමිඳාණන් වහන්සේ තුළ ආලෝකයෙහි සිටින්නහු ය. 9 ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම්, සියලු ආකාර යහපත්කමත්, දමිටුකමත්, සැබෑකමත් ය. 10 සමිඳාණන් වහන්සේට ප්‍රිය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න. 11 අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න. 12 සැබැවින් ම ඔවුන් රහසිගත ව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි. 13 එහෙත් ආලෝකයෙන් එළි වන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක් සේ පැහැදිලි ව පෙනෙයි. 14 එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත:
”නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.”
15 එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න. 16 කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න. 17 එබැවින් අනුවණයන් නොවී, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුම්ගන්න.
18 මුද්‍රික පානයෙන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේ ය. ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න. 19 ගීතිකා, තුති ගී හා ශුද්ධ ගී එකිනෙකාට ගයන්න. ඔබ හදවත් තුළ තුති නද දෙමින් සමිඳුන්ට ගී ගයන්න. 20 අපගේ සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්, දෙවි පියාණන් වහන්සේට සෑම විට ම සෑම දේ ගැන ම, ස්තුති කරන්න.

භාර්යාව හා ස්වාමි පුරුෂයා

21 ක්‍රිස්තුන් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න.
22 භාර්යාවෙනි, ඔබ සමිඳාණන් වහන්සේට මෙන්, තම ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටින්න. 23 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ සභාවේ, එනම් උන් වහන්සේගේ ශරීරයේ, හිස වන්නාක් මෙන්, පුරුෂයා භාර්යාවගේ හිස ය. උන් වහන්සේ එම ශරීරයේ ගැළවුම්කාරයාණෝ වන සේක. 24 එබැවින් සභාව ක්‍රිස්තුන් වහන්සේට යටත් වන්නාක් මෙන්, භාර්යාවන් ද සියලු දේවල දී පුරුෂයන්ට යටත් විය යුතු ය.
25 පුරුෂයෙනි, ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් සිය දිවි පුද කළාක් මෙන්, ඔබත් ඔබගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. 26 උන් වහන්සේ එසේ කෙළේ, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර, කැප කර, 27 එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්, රැල්ලක් වත්, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව, නිකෙලෙස් ව, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය. 28 එසේ ම පුරුෂයන් විසින් ද සිය භාර්යාවන්ට තම ශරීරයට මෙන් ප්‍රේම කටයුතු ය. සිය භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාට ම ප්‍රේම කරගන්නේ ය. 29 කවරකුවත් කිසි ම කලෙක තමාගේ ශරීරයට ද්වේෂ කරගෙන නැත. එසේ නොව, ඔහු එය පෝෂණය කරගෙන ආරක්ෂා කරයි. ක්‍රිස්තුන් වහන්සේ සභාව ගැන සලකන්නේත් එසේ ම ය. මන්ද, එය උන් වහන්සේගේ ශරීරය වන බැවිනි. 30 අපි ඒ ශරීරයේ අවයවයෝ වෙමු. 31 මේ නිසා මිනිසෙක් තමාගේ පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. ඒ දෙදෙන එක් කෙනෙක් වන්නෝ ය. 32 මෙය මහා අබිරහසකි. මට හැඟෙන පරිදි එය අදාළ වන්නේ ක්‍රිස්තුන් වහන්සේට සහ සභාවට ය. 33 එහෙත් එය පෞද්ගලික වශයෙන් ඔබටත් අදාළ වන්නේ ය. හැම පුරුෂයෙකු ම තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතු ය. හැම භාර්යාවක් ම තම ස්වාමි පුරුෂයාට ගෞරව දැක්විය යුතු ය.

– 6 වන පරිච්ඡේදය –

දෙමවුපියන් හා දරුවෝ

1 දරුවෙනි, ඔබේ දෙමවුපියන්ට සමිඳාණන් වහන්සේ තුළ කීකරු වන්න. එය ඔබගේ යුතුකම ය. 2 ”ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” යනු පොරොන්දුවක් ඇති පළමු වන ආඥාව ය. 3 එනම්, එසේ කිරීමෙන් ඔබට සෙත සැලසෙනු ඇත; ඔබ මිහි පිට බොහෝ කල් ජීවත් වනු ද ඇත යනුයි.
4 පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් සමිඳාණන් වහන්සේ තුළ විනයෙන් ද අවවාදයෙන් ද ඇතිදැඩි කරන්න.

දාසයන් හා ස්වාමිවරු

5 දාසයෙනි, ඔබ ක්‍රිස්තුන් වහන්සේට මෙන්, මෙලොව ඔබේ ස්වාමිවරුන්ට අවංක සිතින්, බයාදුකමින් හා ගෞරවයෙන් සේවය කරන්න. 6 මිනිසුන් සතුටු කරන අදහසින් මූනිච්චාවට වැඩ නොකර, ක්‍රිස්තුන් වහන්සේගේ දාසයන් මෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත මුළු සිතින් ම කරන්න. 7 මනුෂ්‍යයන්ට සේවය කරන්නාක් මෙන් නොව, සමිඳාණන් වහන්සේගේ දාසයන් මෙන් ප්‍රසන්න සිතින් සේවය කරන්න. 8 දාසයෙක් හෝ නිර්දාසයෙක් හෝ වේවා, යමෙකු කරන යහපත් දේ අනුව දෙවියන් වහන්සේ ඔහුට විපාක දෙන බව මතක තබාගන්න.
9 ස්වාමිවරුනි, ඔබේ දාසයන්ටත් එලෙස ම සලකා, ඔවුනට තර්ජනය කිරීමෙන් වැළකෙන්න. ඔවුන්ටත් ඇත්තේ, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, ස්වර්ගයේ සිටින එක ම ස්වාමීන් බව මතක තබාගන්න.

සැදැහැවතුන්ගේ යුද්ධායුධ

10 අවසාන වශයෙන් සමිඳාණන් වහන්සේ තුළ ද උන් වහන්සේගේ ප්‍රබල ශක්තියෙහි ද බලවත් වන්න. 11 යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධ ව සිටින්නට ඔබට පිළිවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න. 12 මන්ද, අපගේ සටන, මිනිස් සතුරන්ට විරුද්ධ ව නොව, අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ට ද විරුද්ධ ව ය. 13 එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධ ව සිටින්න පුළුවන් වන පිණිසත්, කළහැකි හැම දෙයක් ම කර, ස්ථිර ව සිටින්න පුළුවන් වන පිණිසත්, දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ ව සිටින්න.
14 එබැවින් ස්ථිර ව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න. 15 සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න. 16 තවද ඇදහිල්ල නමැති පලිහ ගන්න. එයින් නපුරාගේ සියලු ගිනිමය ඊතල මැඬලන්නට ඔබට හැකි වන්නේ ය. 17 ගැළවීම නමැති හිස් වැස්ම ද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වන දේව වචනය නමැති කඩුව ද ගන්න. 18 සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න. 19 සුබ අස්නේ අබිරහස ප්‍රකාශ කරන පිණිස, කතා කරන කොයි විටත්, නිර්භය ව එසේ කිරීමේ ශක්තිය මට ලැබෙන ලෙස යාච්ඤා කරන්න. 20 සිරගත ව සිටින මම, ඒ සුබ අස්න වෙනුවෙන් තානාපතියෙක් වෙමි. ඒ ගැන යුතු ලෙස අභීත ව කතා කිරීමට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න.

අවසාන සුබ පැතුම්

21 මාගේ සුව දුක් ගැන ද වැඩ කටයුතු ගැන ද දැනගැන්මට ඔබ ආශාවෙන් සිටිනු ඇත. අපගේ හිතවත් සහෝදරයා ද සමිඳාණන් වහන්සේ තුළ විශ්වාසවත් සේවකයා ද වූ, තුකිකස් සියලු තොරතුරු ඔබට දන්වනු ඇත. 22 මා ඔහු ඔබ වෙතට එවන්නේ මේ සඳහා ම ය; අප ගැන ආරංචි ඔබට දෙන පිණිසත්, ඔබ ධෛර්යවත් කරන පිණිසත් ය.
23 පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද සහෝදරයන් හට සාමයත්, ප්‍රේමයත්, ඇදහිල්ලත් වේ වා! 24 අමරණීය ප්‍රේමයකින් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ප්‍රේම කරන සියලු දෙනාට කරුණාව වේ වා!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s