ශු. ලෝරන්ස් තුමා – 258

st-laurance

ශු. ලෝරන්ස් තුමා, ශු. දෙවන සික්ස්ටස් පාප්තුමා යටතේ සිටි රෝමානු ජාතික පුජක තුමෙකි. දෙව්මැදුරට අයිති වස්තුන් භාරව සිටි ඔහුට දිලිදුන්ට උදව් කිරීමටද නියමව තිබුණි. වැලේරියන් අධිරාජ්‍යයා විසින් කතෝලික සභාව වැනසීමේ දුෂ්ඨ චේතනාවෙන් සියලු කතෝලික රදගුරුවරුන් හා පුජකවරුන් මරන්නට නියම කර තිබිණි. සික්ස්ටස් පාප්තුමා අල්ලා මරා දැමීමට නියම කෙරිණි. ලෝරන්ස්තුමාද වැලපෙමින් සික්ස්ටස් පාප්තුමා පසුපස පෝරකය වෙතට ගියේ සමිදුන් වෙනුවෙන් දිවිපිදීමේ ආශාවෙනි. දින තුනකින් ඔහුටද එම තීන්දුව හිමිවන බව කියමින් ඔහු අස්වැසු පාප්තුමා, සභාව සතු සියලු ධනය දුගීන්ට දෙන ලෙස ඔහුට නියම කළේය.

ලෝරන්ස් කඩිනමින් ආපසු හැරී ගියේ සභාවේ ධනය දිලිදුන්ට බෙදා දීමටය. සභාවේ ධනය භාරව සිටිනුයේ ලෝරන්ස් බව ඇසු අධිරාජ්‍යා ඔහු කැදවා මෙසේ කිවේය. ” ඔබේ දෙවියන්ට අවශ්‍ය වන්නේ වචන මිස රත්රන් නොවේ. ඒ නිසා ලියකියවිලි තබාගෙන රත්රන් අපට දෙන්න. ” සභාව ඇත්තෙන්ම ධනවත්ය. ඒවා එකතු කර ගැනීමට මට දින තුනක් කල් දෙන්නැයි කීය.

ලෝරන්ස් කඩිනමින් සභාව සතු සියලු ධනය දුප්පතුන්ට බෙදා දුන්නේය. තුන්වන දින ඔහු කොරුන්, අන්ධයින් හා දුගීන් විශාල පිරිසක් දේවස්ථානය ඉදිරිපිට රැස් කරවිය. අනතුරුව ඔහු සභාව සතු වස්තුව බැලීමට අධිරාජ්‍යයාට ඇරයුම් කළේය. එහි පැමිණි අධිරාජ්‍යය එම දුගී සෙනග දැක කෝපයෙන් දිලිහි, ලෝරන්ස්ට ඔහු පැතු මරණය හිමිවන බවත්, එහෙත් එය කරනුයේ ක්‍රම ක්‍රමයෙන් බවත් පැවසිය. හෙතෙම යකඩ ඇදක් යටින් අගුරු දමා රත්කරවා ලෝරන්ස් ඒ මත දැමීමට අණ කළේය. සෑහෙන වෙලාවකට පසු ලෝරන්ස් සිනහ මුහුණින් විනිශ්චයකරුවන් වෙත හැරී, එක් පැත්තක් දැන් සැහෙන්න පිලිස්සී ඇති බැවින් අනිත් පැත්ත හරවන්නැයි කිහ. අධිරාජ්‍යා ආරක්ෂකයින් ලවා ලෝරන්ස් අනිත් පසට හැරවිය. පසුව ලෝරන්ස් අධිරාජ්‍යා දෙසට හැරී දැන් මා කදිමට පිලිස්සී ඇත. කැමතිනම් ඔබට වළදත හැකියැයි කීවේය.

අධිරාජ්‍යා ඔහුට නින්දා අපහාස කරද්දී යාච්ඤා කළේය. ඔහුගේ යැදුමට ස්වාමින් වහන්සේ පිළිතුරු දුන් සේක. එහි සිටි ඇතැම් වංශාධිපතින් හා මන්ත්‍රණ සභා සාමාජිකයින් සිදුවූ දෙය තම නෙත් වලින් දුටු පසු ක්‍රිස්තියානි ආගම වැළද ගත්හ. ඔවුන් එතුමාගේ ශරීරය තම උර මත තබා ගොස් නගරය අසල ගොවිපලක ගෞරව සහිතව භූමදාන කළේය.

අගෝස්තු 10 වන දින එතුමාගේ මංගල්‍යය සිදු කෙරේ.