ශු. දොමිනික් තුමා ( 1170 – 1222 )

st-dominic.site

දොමිනික් තුමා කීර්තිමත්, උසස් ගයිස්මන් පවුලට අයත් විය. ගයිස්මන්ගේ පීලික්ස් යනුවෙන් ඔහුගේ පියා හැදින්විණි. ආසාහි ජෝන් ඔහුගේ මව විය. පුජකවරයෙකු ලෙස ඔහු ඔවුන්ගේ වැඩිමහල් පුත් ඇන්තනි, දුප්පතුන්ට පිහිට වීමට සිය කාලය හා ශ්‍රමය කැප කළේය.

1170දී උපන් තෙවැනි පුත් දොමිනික් මව්කුස සිටියදීම මව පුදුම සිහිනයක් දුටුවාය. එනම් ඇය සිංහ පැටවෙකු බිහිකල අතර උගේ කටෙහි වූ දැල්වෙන පන්දමින් ඌ ලොවම ගිනි දැල්වූ වගයි. දරුවා ඉපදුනු පසු ප්‍රමාද නොකර ඔහුට ප්‍රසාද ස්නාපනය දීමට ඇය සැලකිලිමත් වුවාය. මැවුම්කර දෙවිදුන් ගැන නිතර සෙවීමට ඇය ඔහුට කියා දුන්නාය. කුඩා අවධියේම රාත්‍රියේ නගිට යාච්ඤා කිරීමටත්, තමාගේ සුමුදු ඇද වෙනුවට තද ලැල්ලක් මත නිදා ගැනීමටත් පුරුදු විය. යාච්ඤාවට හා පොත්පත් කියවීමට මෙන්ම, දයාවේ ක්‍රියාවලට හෙතෙම තම කාලය වැඩි කොටසක් මිඩංගු කළේය.

වයස අවුරුදු 14දී ප්‍රසිද්ධ පාසලකය යවනු ලැබූ ඔහු, දේව වචනයෙහි විශාරදයෙක් විය. ඉගෙනුම ලැබූ කාලය තුල නිතර සමිදු ඉදිරියෙහි දිවි ගෙවිමට හෙතෙම පුරුදු විය. මවගේ මරණය ඔහුට බලවත් පහරක් විය. දෙව්මව් කෙරෙහි විශේෂ භක්තිය හා දුප්පතුන්ට ආදරය කිරීම ඔහුගේ මවගෙන් ඔහුට හිමිවූ දායාදයක් විය. තමන් සතු සියල්ල දිලිදුන්ට දුන් ඔහු, අන්අය සමග කතා බස් කලේද දෙවිදුන් ගැන හා ශුද්ධවූ දේවල් ගැනය. පවිටුන්ගේ සිත් හැරීමට නිතර යාච්ඤා කල ඔහු, තම ජීවිතය තුල සතුරන්ට එරෙහිව සටන් කළේය.

සිය අගරදගුරු තුමා සමග උතුරු යුරෝපයට ගිය ගමනේදී ඔහුට ඇල්බිජෙන්සියන්වාදයට මුහුණ දෙන්නට සිදුවිය. ඔවුන් පුත්‍රවන දෙවියන් වන ජේසුතුමාගේ මාංශගතවීම මෙන්ම සක්‍රමේන්තුද නොපිළිගත් අතර, දැඩි තපස් ජිවිත ගත කල ඔවුන්ට අනුගාමිකයන්ද විය. දොමිනික්තුමා ” සිස්ටර්ෂියන් ” තාපසයින් තිදෙනෙකු සමග පයින් ඇවිදිමින් සත්‍යාගම දේශනා කරන්නට පටන් ගත්තේය. වර්ෂ 1208 දෙව්මවුන්ගේ කුඩා දෙව්මැදුරේ දණින් වැටුණු දොමිනික්තුමා සභාව රැකගන්නා ලෙස දෙව් මවුන්ට යාච්ඤා කළේය. ඔහුට දර්ශනය වූ මරියතුමි ඔහු අතට ජපමාලයක් දී, ජපමාල භක්තිය දේශනා කරන ලෙස ඔහුගෙන් ඉල්ලුවාය. ජපමාලයේ ආධාරයෙන් ඔහු එම මිත්‍යාවාදය දුරු කළේය.

1215දී එතුමා දේශනා කිරීමේ පැවිදි නිකායක් ඇරබුවේය. ලොව සෑම දෙසින්ම ඔහුන්ට ඇරයුම් ලැබුණු අතර, එය යාච්ඤාව හා අපෝස්තලික ක්‍රියා එක්වූ නිකායක් විය. එමෙන්ම ඔවුහු ජපමාල භක්තියට විශේෂ තැනක් දුන් අතර, එය පැතිරවීමටද උත්සහ ගත්තේය.

දොමිනික්තුමාට තම ශුභ මරණය ගැන කලින් අවභෝධ වුයේය. දැවෙන උණ රෝගයක් ඔහුට වැළදුණි. ඔහුගේ මරණයට පෙර තම සොහොයුරු තාපසයන් කැදවා දිලිදු බව, ජ්වලිත බව හා අවදිව සිටීම පුරුදු වන ලෙස ඔහුන්ගෙන් ඉල්ලිය. රෝගීන්ගේ ප්‍රසාධ නිධානය ලබාගත් ඔහු, 1222 අගෝස්තු 6 දින තම ආත්මය සමිදුන්ට ඔප්පු කළේය.

අගෝස්තු 8 වන දින අපි එතුමන්ගේ මංගල්‍යය සිදු කරමු.