හොසියා

– 1 වන පරිච්ඡේදය –

1 උශ්ශියා, ජෝතාම්, ආහාස් සහ හෙසකියා පිළිවෙළින් ජුදාහි රජවරුන් වූ කාලයේ දී ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි රජ ව සිටි කාලයේ දී ද බෙයේරිගේ පුත් හොසියාට සමිඳාණන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය:

හොසියාගේ බිරිඳ හා දරුවෝ

2 සමිඳාණන් වහන්සේ හොසියා මඟින් පළමු වරට ඉශ්රායෙල් සෙනඟට කතා කළ විට මෙසේ වදාළ සේක: ”නුඹ ගොස් වෙසඟනක විවාහ කරගෙන ඇගේ වේශ්‍යාකමින් දරුපල ලබාගන්න. මන්ද, මේ රට සමිඳාණන් වහන්සේ කෙරෙන් වෙන්‍ වී යාමෙන් වෙසඟනකට සමාන වී ඇත.”
3 එවිට, හොසියා ගොස්, දිබ්ලයිම්ගේ දුව වූ ගොමෙර් සරණ පාවා ගත්තේ ය. ඈ ඔහුට දාව ගැබ්ගෙන දරුවෙකු ලැබුවා ය. 4 සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, ”ඔහුට ‘දෙවියන් වහන්සේ වපුරන සේක’ යන අර්ථය ඇති ‘ ජෙශ්‍රෙයෙල්’ යන නම තබන්න. මන්ද, නොබෝ කලකින් ජෙශ්‍රෙයෙල්හි කරන ලද ලේ වැගිරීම්වලට ජේහුගේ වංශයට දඬුවම් කොට, මම ඉශ්රායෙල් වංශයේ රාජ්‍යය නැති කරන්නෙමි. 5 තවද, ඒ දවසේ දී ඉශ්රායෙලයේ යුද්ධ බලය මම ජෙශ්‍රෙයෙල් මිටියාවතේ දී බිඳදමන්නෙමි”යි වදාළ සේක.
6 යළිත් ගොමෙර් ගැබ්ගෙන දුවක ලැබුවා ය. සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, ”ඈට ‘අනුකම්පා නොලද්දී’ යන අර්ථය ඇති ‘ලෝ-රුහාමා’ යන නම තබන්න. මන්ද, මා නැවත කිසි කලෙක ඉශ්රායෙල් වංශයට කරුණාව දක්වන්නේ වත්, කමා කරන්නේ වත් නැත. 7 එහෙත්, මම ජුදා වංශයට අනුකම්පා කරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ඔවුන් ගළවන්නෙමි. එසේ කරන්නේ දුන්නෙන් වත්, කඩුවෙන්‍ වත්, යුද්ධයෙන් වත්, අශ්වයන්ගෙන් හෝ අසරුවන්ගෙන් වත් නොවේ ය”යි වදාළ සේක.
8 ලෝ-රුහාමා කිරි වැරෙව්වායින් පසු ගොමෙර් ගැබ්ගෙන තවත් පුතෙකු ලැබුවා ය. 9 ”ඔහුට ‘මාගේ සෙනඟ නොවේ’ යන අර්ථය ඇති ‘ලෝ-අම්මී’ යන නම තබන්න. මන්ද, නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය. මමත් නුඹලාගේ දෙවියන් වහන්සේ නොවෙමි”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.

ඉශ්රායෙලය යළි සඵලවත් කරනු ලැබීම

10 ”එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුදේ වැලි මෙන් ගිණිය නොහැකි, මැනිය නොහැකි තරම් විශාල සංබ්‍යාවක් වන්නෝ ය. ‘නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය’යි කියනු ලැබූ ස්ථානයේ දී ම, ‘නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ ය’යි කියනු ලබන දවස පැමිණෙන්නේ ය. 11 ජුදා ද ඉශ්රායෙල් සෙනඟ ද එක්රැස් වී යළිත් එක ම නායකයෙකු පත් කර ගන්නෝ ය. ඔව්හු නැවත වර්ධනය වී සඵලවත් වන්නෝ ය.

– 2 වන පරිච්ඡේදය –

1 එසේ ජෙශ්‍රෙයෙල් හට සෞභාග්‍යවත් යුගයක් උදා වන්නේ ය. එබැවින් නුඹලාගේ සහෝදරයන්ට ‘අම්මී’ කියා ද සහෝදරියන්ට ‘රුහාමා’ කියා ද කියන්න.”

අවිශ්වාසවත් ගොමෙර් වැනි ඉශ්රායෙල් දේශය

2 ”දරුවෙනි,
නුඹලාගේ මවුට කන්නලව් කරන්න;
කන්නලව් කරන්න.
ඈ මාගේ බිරිඳ නොවන්නී ද?
මම ඇගේ පුරුෂයා නොවෙම් ද?
ඇගේ ගණිකා බැල්ම ද තුරුල්ලට ගත් පෙම්වතුන් ද පහකරන්නැ යි ඈට කියන්න.
3 එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි;
උපන් දා මෙන් නග්න කරමි.
නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි.
ඇය පිපාසයෙන් නසන්නෙමි.
4 ඇගේ දරුවන්ට ද මම අනුකම්පා නොකරමි.
ඔව්හු වේශ්‍යාකමේ දරුපල වෙති.
5 ඔවුන්ගේ මව වෙසඟනකි;
ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි.
ඈ මෙසේ කියයි:
‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි;
ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’
6 එබැවින් ඇගේ මඟ කටුවලින් අසුරන්නෙමි;
පාර නොපෙනෙන පරිදි පවුරක් ගොඩනඟන්නෙමි.
7 ඈ සිය පෙම්වතුන් පසුපස ගියත්, ඔවුන් වෙත පැමිණෙන්නේ නැත;
ඔවුන් සොය සොයා ගියත්, ඔවුන් හමු වන්නේ නැත.
එවිට ඈ මෙසේ කියනු ඇත:
‘මම මාගේ පළමු සැමියා වෙත හැරී යමි. මන්ද, අදට වඩා එදා යහපත් ව තිබිණි.’
8 ධාන්‍ය ද මිදියුස ද තෙල් ද දුන්නේත්, බාල්ගේ දේව රූප නෙළීමට ගත් රන් රිදී ඈට නොමසුරු ව දුන්නේත් මා බව ඈ දැන සිටියේ නැත.
9 එබැවින් අස්වැන්න කාලයේ දී මා ඈට දුන් ධාන්‍යත්, පල නෙළන කාලයේ දී ඈට දුන් මිදියුසත් මම ආපසු ගන්නෙමි.
ඇගේ නිරුවත වසාගැනීමට මා දුන් ලොම් හා පිළි ඇගෙන් උදුරා ගන්නෙමි.
10 දැන් ඇගේ පෙම්වතුන් බලා සිටිය දී ඇගේ සලෙලුකම මම හෙළි කරන්නෙමි.
එවිට මා අතින් ඈ මුදාගැනීමට කිසිවෙකුට නොහැකි වේ.
11 ඇගේ හැම විනෝදයක් ද මංගල්‍යයන් හා අමාවක් උත්සවයන් ද සබත් දිනයන් හා නියමිත රැස්වීම් ද මම තහනම් කරන්නෙමි.
12 ඈ කී පරිදි ඇගේ පෙම්වතුන් කුලියක් වශයෙන් ඈට දුන් මිදි වැල් හා අත්තික්කා ගස් විනාශ කර වන ලැහැබක් කර දමමි.
වන මෘගයෝ ඒවා කාදමති.
13 ඈ කනකර අබරණ පළඳිමින්, පෙම්වතුන් පසුපස දුවමින්, බාල් දේවතාවන්ට සුවඳ දුම් පුදමින් මා අමතක කළ බැවින් මම ඈට දඬුවම් කරමි.
මෙසේ පවසන්නේ සමිඳාණන් ය.”

සෙනඟට සමිඳාණන් වහන්සේගේ ප්‍රේමය

14 ”එහෙත්, දැන් මම ඇගේ සිත දිනාගෙන, මරුකතරට ඈ කැඳවාගෙන කරුණාවෙන්‍ ඈට කතා කරන්නෙමි.
15 ඈ සතු ව තිබූ මිදි වතු මම ඈට ආපසු දෙමි.
ආකොර් නම් අවාසනා නිම්නය වාසනා දොරටුවක් බවට පමුණුවන්නෙමි.
එහි දී ඈ යොවුන් වියේ දී මෙන්, මිසර දෙසින් ආ කල මෙන් මට පිළිතුරු දෙනු ඇත.”
16 සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: ”එවිට ඈ තවත් මට ‘මාගේ බාල් දෙවියා’ කියා නොකියා, ‘මාගේ සැමියා’ කියා මා අමතන්නී ය. 17 මම බාල් දෙවිවරුන්ගේ නම් ඇගේ මුවින් ඉවත් කරන්නෙමි. ඒ නාම තවත් පවසනු නොලබන්නේ ය.
18 එවිට මම ඉශ්රායෙල් සෙනඟ වෙනුවෙන්‍ වන සතුන් ද අහසේ පක්ෂීන් ද බිම බඩගා යන සතුන් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. මම දුන්න ද කඩුව ද යුද අවි ද දේශයෙන් පහකර දමා, මාගේ සෙනඟ සුව සේ විසීමට සලස්වන්නෙමි. 19 එම්බා ඉශ්රායෙල් දේශය, මම නුඹ සදහට ම සරණ පාවා ගතිමි. දැහැමින් හා යුක්තියෙන්, ස්ථිර ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන්‍ මම නුඹ සරණ පාවා ගතිමි. 20 විශ්වාසයෙන් නුඹ සරණ පාවා ගතිමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ හැඳිනගන්නෙහි ය. 21 ඒ කාලයේ දී මම මාගේ සෙනඟගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. මම අහසින් පොළොවට වැසි වස්වන්නෙමි. 22 ධාන්‍ය ද මිදි ද ඔලීව ද පොළොවේ හටගන්නේ ය. එවිට ඉශ්රායෙල් සරුසාර වන්නේ ය. 23 මාගේ සෙනඟ දේශයේ ස්ථිර කොට පිහිටුවා වර්ධනය කරන්නෙමි. ‘ලෝ-රුහාමා’යි කී සෙනඟට මම අනුකම්පාව දක්වන්නෙමි. ‘ලෝ-අම්මී’යි කී ජනයාට ‘නුඹලා මාගේ සෙනඟ ය’ කියා කියන්නෙමි. ඔව්හු පිළිතුරු දෙමින්, ‘ඔබ අපගේ දෙවියන් වහන්සේ ය’යි කියන්නෝ ය.”

 

– 3 වන පරිච්ඡේදය –

චපල ස්ත්‍රිය දිනාගැනීමට තැත

1 සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක: ”අන් පෙම්වතෙකු ඇති, කාමමිථ්‍යාචාරය කරන ස්ත්‍රියක වෙත ගොස්, ඈට පෙම් කරන්න. අන් දෙවිවරුන් වෙත හැරී යන, වියළි මිදි පලවලින් සෑදූ පිදේනි දෙවිවරුන් වෙත ගෙනයන්න කැමැති ඉශ්රායෙල් සෙනඟට මා තවමත් ප්‍රේම කරන්නාක් මෙන් ම ඔබත් ඈට පෙම් කරන්න.”
2 මම ද, රිදී මිල පසළොසක් ද යව කිලෝග්‍රෑම් එකසිය පණහක් ද දී ඈ ලබාගෙන, 3 ඈට මෙසේ කීවෙමි: ”ඔබ කාමයෙහි වරදවා නොහැසිරෙමින්, අන් පුරුෂයකු ඇසුරු නොකරමින් ඉන්න. මම ද ඔබ කෙරෙහි එලෙස සිටිමි.” 4 මෙලෙස ඉශ්රායෙල් සෙනඟ බොහෝ දවස් රජ කෙනෙකු වත්, අධිපතියෙකු වත්, පුද පූජා වත්, රූපස්ථම්භ වත්, පිළිම වත්, ඉටුදෙව් රූප වත්, නැති ව සිටිනු ඇත. 5 ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.

– 4 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ චෝදනා

1 ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මේ දේශයේ වැසියන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ චෝදනාවක් ඇත. ”විශ්වාසකම වත්, කරුණාව වත්, දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමක් වත් දේශයේ නැත. 2 බොරු දිවිරීම ද බොරු කීම ද මිනීමැරීම ද සොරකම ද කාමමිථ්‍යාචාරය ද මිස වෙන කිසිවක් නැත. ඇත්තේ ලේ වැගිරීම් පිට ලේ වැගිරීම් ය. 3 එබැවින් දේශය වියළී යන්නේ ය. එහි වසන වනසතුන් හා ආකාශයේ පක්ෂීන් ඇතුළු සියල්ලෝ ම මලානික වන්නෝ ය. මුහුදේ මත්ස්‍යයෝ පවා විනාශ වී යන්නෝ ය.

පූජකයන්ට විරුද්ධ චෝදනා

4 ”සෙනඟට විරුද්ධ ව කිසිවෙක් චෝදනාවක් වත්, පැමිණිල්ලක් වත් නොකරත් වා! මාගේ චෝදනාව පූජකයන්ට විරුද්ධ ව ය. 5 නුඹලා රෑ දාවල් දෙක්හි වැරදි පිට වැරදි කරන්නහු ය. දිවැසිවරු ද නුඹලා සමඟ එසේ ම කරති. නුඹලාගේ මාතෘ භූමියේ විනාශය නුඹලා ම ය. 6 මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි.
7 ”පූජකයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඔව්හු වැඩි වැඩියෙන් මට විරුද්ධ ව පව් කළහ. එබැවින් මම ඔවුන්ගේ කීර්තිය අපකීර්තියට හරවන්නෙමි. 8 ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍ය වෙති. ඔවුන් වඩ වඩා පව් කරනවාටත් ඔව්හු ආශා වෙති. 9 එබැවින් සෙනඟට වන දේ පූජකයන්ටත් සිදු වේ. මම ඔවුන්ගේ හැසිරීමට යුතු දඬුවම ද ක්‍රියාවලට නිසි විපාකය ද දෙන්නෙමි. 10 කොපමණ කෑවත් ඔව්හු තෘප්තියට නොපැමිණෙති. වේශ්‍යාකම් කළත් ඔව්හු දරුපල නොලබති. එසේ වන්නේ ඔවුන් අන් දෙවිවරුන් අනුව යන පිණිස මා කෙරෙන් හැරී ගොස් ඇති බැවිනි.

දේවතා නමස්කාරය හෙළා දැකීම

11 ”කාමසේවනය, සුරා පානය සහ මිදියුස සිහිය විකල් කරයි. 12 මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති. 13 ඔව්හු කඳු මුදුන්වල යාග කරති; හෙල් උඩ ඇති ආලෝන, ලිබීනා, ඒලා යන ගස්වල සෙවණ හොඳ නිසා ඒවා යට සුවඳ දුම් ඔප්පු කරති. එබැවින් නුඹලාගේ දූවරු වේශ්‍යාකම් කරති. භාර්යාවෝ කාමමිථ්‍යාචාරයේ යෙදෙති. 14 නුඹලාගේ දූවරුන්ගේ වේශ්‍යාකම්වලටත්, ලේලියන්ගේ කාමමිථ්‍යාචාරකම්වලටත් දඬුවම් නොකරමි. මන්ද, පුරුෂයන් ද දේවාල වෙසඟනක් සමඟ පුද පූජා කරන බැවිනි. මෙසේ සිහිනුවණ නැති සෙනඟ විනාශ වන්නෝ ය.
15 ”එම්බා ඉශ්රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකම් කරන නමුත්, ජුදා එම වරද නොකෙරේ වා! ගිල්ගාලයට වත්, බෙත්-ආවෙන්‍ට වත් ගොස් නමස්කාර නොකරන්න; ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එහි දී නොදිවුරන්න. 16 ඉශ්රායෙල් සෙනඟ කුළු මීහරකෙකු මෙන් මුරණ්ඩු ය. ඒ නිසා තණ පිට්ටනියක බැටළු පොව්වකු මෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් පෝෂණය කරන්නේ කෙසේ ද? 17 එප්‍රායිම් ජනයා දේව රූපවලට වසඟ වී සිටිති. ඔවුන් එසේ සිටියාවේ. 18 ඔව්හු සුරාසොඩුන් සමඟ විකාර කරති; කාමමිථ්‍යාචාරයෙහි ම යෙදී සිටිති; ආත්ම ගෞරවයට වඩා නින්දිතකමට ඇළුම් වෙති. 19 මාරුතය එහි පියාපත්වලින් ඔවුන් ගසාගෙන යනු ඇත. ඔවුන්ගේ පූජාවලින් ඔව්හු ලජ්ජාවට පත්වන්නෝ ය.”

 

– 5 වන පරිච්ඡේදය –

නියත විනාශය

1 ”පූජකයෙනි, මෙයට සවන් දෙන්න. ඉශ්රායෙල් වැසියෙනි, කන් දෙන්න. රජ පවුලට අයිති ඔබ හැම දෙනා ද සවන් දෙන්න. ඔබ පිට විනිශ්චය පැමිණෙනු ඇත; මන්ද, ඔබ මිශ්පාහි මලපතක් ද තාබොර් මත අතුරන ලද දැලක් ද වී ඇත; 2 ෂිට්ටිම් මිටියාවතේ ගැඹුරු පාතාලයක් වී ඇත. මම ඔබ සියල්ලන්ට ම දඬුවම් කරමි. 3 එප්‍රායිම්ගේ හැටි මම හොඳින් දනිමි. මාගෙන් සැඟවෙන්නට ඉශ්රායෙල්වරුන්ට බැරි ය. එම්බා එප්‍රායිම්, ඔබ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂණය වී ඇත.
4 ”ඉශ්රායෙල් සෙනඟගේ දූෂණ ක්‍රියා නිසා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙත හැරී එන්න ඔව්හු අපොහොසත් ය. වේශ්‍යාකමට වැටුණු ස්ත්‍රියක මෙන් ඔව්හු ඔවුන්ගේ ස්වාමීන් නාඳුනති. 5 ඉශ්රායෙල් සෙනඟගේ අහංකාරය ඔවුන්ට විරුද්ධ ව මොරහඬ දෙයි. එප්‍රායිම් සෙනඟ තමන්ගේ පාප නිසා පැකිළ වැටෙති; ජුදා සෙනඟ ද ඔවුන් සමඟ ම වැටෙති; 6 පූජා කරන පිණිස ඔවුන් බැටළුවන් ද ගවයන් ද රැගෙන සමිඳාණන් වහන්සේ සොයා යන නමුත්, උන් වහන්සේ ඔවුන්ට සම්බ වන්නේ නැත. මන්ද, උන් වහන්සේ ඔවුන් අත්හැර ගොස් ඇති බැවිනි. 7 ඔව්හු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහ. අවජාතක දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. එබැවින් විනාශකයා ඔවුන්ගේ වතුපිටි සමඟ ඔවුන් විනාශ කරන්නේ ය.
8 ”ගිබියාහි හොරණෑවක් ද රාමාහි නළාවක් ද පිඹින්න. බෙත්-ආවෙන් ‍හි යුද්ධ ඝෝෂා නඟන්න. අහෝ! බෙන්ජමින් සෙනඟෙනි, සතුරා ඔබ පස්සේ ය. 9 දඬුවම් කිරීමේ දවසේ දී එප්‍රායිම් නැති නාස්ති වන්නේ ය. මා ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ නියත විනාශය ප්‍රකාශ කර ඇත.
10 ”ජුදාහි අධිපතීහු මායිම් කණු වෙනස් කරන්නන් වැනි ය. ඔවුන් කෙරෙහි මාගේ උදහස ජලගැල්මක් මෙන් වගුරුවන්නෙමි. 11 එප්‍රායිම් නිෂ්ඵල දේ ලුහුබැඳ ගිය බැවින් ඒ දේශය විනිශ්චයයට යට වී පොඩි වී ඇත. 12 එබැවින් මම එප්‍රායිම් සෙනඟට කාවෙකු මෙන් ද ජුදා සෙනඟට පිළිකාවක් මෙන් ද වන්නෙමි.
13 ”එප්‍රායිම් තමාගේ රෝගාතුරකම ද ජුදාව තමාගේ තුවාළ ද දුටු කල එප්‍රායිම් අසිරියාවට ගිය නමුත්, ජුදා විසින් මහ රජතුමාට පණිවුඩයක් යවනු ලැබූ නමුත්, රෝගය වත් තුවාළය වත් සුව කිරීමට ඒ රජුට බැරි විය. 14 මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන් ද ජුදාට සිංහ නාම්බෙකු මෙන් ද වන්නෙමි. මම, මම ම ඔවුන් පිටට කඩාපැන ඔවුන් ඉරාදමා ඇදගෙන යන්නෙමි. කිසිවෙකුට ඔවුන් ගැළවිය නොහැකි ය.
15 ”මාගේ සෙනඟ තමන්ගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම ඔවුන් අත්හැර මාගේ වාසභවනයට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා එනු ඇත.”

 

– 6 වන පරිච්ඡේදය –

පසුතැවී සිත් හරවා ගැනීමට කැඳවීම

1 ”එන්න; අපි සමිඳාණන් වහන්සේ වෙත හැරී යමු; අප ඉරාදැම්මේ උන් වහන්සේ ය; අප සුව කරන්නේත් උන් වහන්සේ ය; අපට පහර දුන්නේත් උන් වහන්සේ ය; අපේ තුවාළ බඳින්නේත් උන් වහන්සේ ය. 2 දෙදිනකට පසු උන් වහන්සේ අප ප්‍රාණවත් කරන සේක; තුන් වන දා අප නැඟුටුවන සේක. එවිට අපි උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු. 3 අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ”යි සෙනඟ කියති.

පූජාව නොව ස්ථිරසාර ප්‍රේමය

4 ”අහෝ! එප්‍රායිම්වරුනි, මම නුඹලාට කුමක් කරම් ද? අහෝ! ජුදාවරුනි, මම නුඹලාට කුමක් කරම් ද? නුඹලාගේ ප්‍රේමය අලුයම මීදුම වැනි ය; වහා නැති වී යන පිනි වැනි ය. 5 එබැවින් මම විනිශ්චයය ද විනාශයේ පණිවුඩය ද රැගත් මාගේ දිවැසිවරයන් ඔබට විරුද්ධ ව එව්වෙමි. මාගේ සෙනඟගෙන් මා බලාපොරොත්තු වන දේ සක්සුදක් සේ පැහැදිලි ය. 6 මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි; දවන යාග පූජාවලට වඩා දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයට කැමැත්තෙමි.”

ඉශ්රායෙල්වරුන්ගේ දූෂණ

7 ”ඉශ්රායෙල් සෙනඟ සමඟ අද්මා නම් ස්ථානයේ දී මා කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. 8 ගිලියද් වනාහි නපුරු මිනිසුන්ගෙන් ද මිනී මරුවන්ගෙන් ද ගහණ වූ නගරයකි. 9 පූජක පිරිස වූකලී, මිනිසෙකුට පහර දීමට සැඟවී සිටින සොර මුළක් හා සමාන ය. ෂෙකෙම්ට යන මාර්ගයෙහි ම වුව ද ඔව්හු මිනී මරති. ඔවුන්ගේ ක්‍රියා ඉතා සාහසික ය. 10 භයංකර දෙයක් ඉශ්රායෙල් සෙනඟ අතරේ මට දකින්නට ලැබී ඇත. එප්‍රායිම් සෙනඟ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂ්‍ය වී ඇත.
11 ”එම්බා ජුදා වැසියෙනි! නුඹලාට දඬුවම් දීමේ කාලයත් මා නියම කර ඇත.

 

– 7 වන පරිච්ඡේදය –

1 ඉශ්රායෙල් සෙනඟට සෞභාග්‍යයත්, සුවයත් ආපසු දෙන්න මා බලන හැම විට ම මට පෙනෙන්නේ එප්‍රායිම්ගේ අයුතුකම් හා සමාරියේ දුෂ්ටකම් ය. ඔව්හු වංචාකම් කරති; සොරුන් මෙන් ගෙවල් බිඳ සොරකම් කරති; එයින් පිට මංකොල්ල කති. 2 ඔවුන් කරන සියලු නපුරු දේ මා අමතක නොකරන බව ඔවුන්ගේ සිහියට නොනැඟේ. පාපයෙන් වට වී සිටින ඔවුන්ට මාගේ ඇස් හමුවෙන්‍ සැඟවෙන්න බැරි ය.”

රජ මාලිගාවේ කුමන්ත්‍රණය

3 ”සෙනඟ තමන්ගේ දුෂ්ටකමෙන් රජු ද උපායවලින් අධිපතීන් ද රවටති. 4 ඔව්හු සියල්ලෝ ම කාමමිථ්‍යාචාරය කරන්නෝ ය. ඔව්හු වනාහි පාන් පුළුස්සන්නා රත් කළ, ඇනූ පිටි පිපෙන තුරු ගිනියම් වෙමින් පවතින ගිනි උදුනට සමාන ය. 5 රජුගේ උත්සව දිනයේ දී සිය අධිපතීන් මත්පැන් බී වෙරි වූ විට, රජ ද ඒ කුහකයන් සමඟ එක් වෙයි. 6 ඔවුන්ගේ සිත් කුමන්ත්‍රණ චේතනාවෙන්‍ උදුනක් මෙන් දැවෙන්නේ ය. ඔවුන්ගේ ක්‍රෝධය රෑ මුළුල්ලේ දුම් නඟිමින් ඇවිළී උදෑසන පුපුර පුපුරා ගිනි ගනියි.
7 ”ඔව්හු ගිනි උදුනක් මෙන් කො‍්පයෙන් දැවී තමන්ගේ අධිපතීන් මරාදැමූ හ. රජෙකු පාසා රජෙකු බැගින් මරනු ලැබූ නමුත්, ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් අයැදුම් නොකෙළේ ය.”

ඉශ්රායෙල්වරුන් හා අන්‍ය ජාතීහු

8 ”එප්‍රායිම් සෙනඟ වනාහි අඩක් පිළිස්සූ රොටියක් හා සමාන ය. ඔව්හු අන්‍ය ජාතීන් සමඟ මිශ්‍ර වී සිටිති. 9 විදේශිකයෝ ඔවුන්ගේ ශක්තිය කාදමති. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. ඔවුන්ගේ හිසකෙස් අතරින්පතර පැසී ඇති බවත් ඔව්හු නොදනිති. 10 ඉශ්රායෙල්වරුන්ගේ අහංකාරය ඔවුන්ට විරුද්ධ ව මොරහඬ නඟයි. කරුණු මෙසේ වුව ද ඒ සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී උන් වහන්සේ නොසෙව්වෝ ය. 11 එප්‍රායිම් නුනුවණ, බොළඳ පරවියෙකු හා සමාන ය. එහි වැසියෝ මිසරයෙන් පිහිට ඉල්ලති. ඉන්පසු අසිරියාවට දුවති. 12 ඔවුන් එසේ යන කල, ඔවුන් පිට මම දැලක් හෙළන්නෙමි; කුරුල්ලන් මෙන් ඔවුන් පහතට ඇද හෙළන්නෙමි. ඔවුන් කර ඇති නපුරු ක්‍රියාවලට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.
13 ”ඔවුන් මාගෙන් පලා ගිය නිසා, ඔවුන්ට වන විපතක මහත! ඔවුන් මට විරුද්ධ ව කැරලිගැසූ නිසා ඔවුන්ට වන විනාශයක මහත! මම ඔවුන් මුදාගන්න කැමැති වීමි; එහෙත්, ඔව්හු මට විරුද්ධ ව බොරු කී හ. 14 ඔවුන් අවංක සිතින් මට යාච්ඤා කර නැත. ඒ වෙනුවට ඔව්හු බිය වැදී කෑමොරගසති. ධාන්‍ය ද මිදියුස ද ඉල්ලන විට, ඔව්හු ඇනකොටාගනිමින් මට විරුද්ධ ව කැරලිගසති. 15 ඔවුන්ට සවිශක්තිය දෙමින් ඔවුන් ඇතිදැඩි කෙළේ මම ය. එහෙත්, ඔව්හු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කරති. 16 ඔව්හු මා වෙතින් හැරී බාල් දෙවිවරුන් කරා යති. ඔව්හු වනාහි හරි නැති දුන්නක් වැනි ය. ඔවුන්ගේ අධිපතීහු අහංකාර ලෙස කතා කරන නිසා කඩුවෙන්‍ විනාශ වෙති. මිසර දේශ වැසියන් ඔවුන්ට සිනාසෙනු ඇත.”

 

– 8 වන පරිච්ඡේදය –

දේවතා නමස්කාරය ගැන චෝදනා

1 ”හොරණෑව පිඹින්න; මන්ද, රාජාලියෙකු මෙන් සතුරෝ සමිඳාණන් වහන්සේගේ ගෘහය පිට පැමිණෙන්නෝ ය. මාගේ සෙනඟ මාගේ ගිවිසුම කඩ කර, මාගේ ආඥාවලට විරුද්ධ ව කැරලිගැසූ හ. 2 ‘ඔබ අපේ දෙවියන් වහන්සේ ය, අපි ඔබ හඳුනමු’ කියා ඉශ්රායෙල් මොරගසති. 3 එහෙත්, ඔවුන් යහපත එපා කර ඇත. එබැවින් සතුරෝ ඔවුන් ලුහුබැඳ යති.
4 ”ඔව්හු මාගේ කැමැත්ත නැති ව රජවරුන් තෝරාගත්හ; මාගේ අනුමැතිය නැති ව අධිපතීන් පත් කළහ; ඔවුන්ගේ විනාශයට හේතු වන දේව පිළිම ඔවුන්ගේ රන් රිදීයෙන් තනාගත්හ. 5 සමාරියේ වැසියෙනි, නුඹලා නමස්කාර කළ රන් වස්සා මම ප්‍රතික්ෂේප කෙළෙමි. ඔවුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී ඇත. ඔවුන් නිදොස් මඟට පැමිණෙන්න කොපමණ කල් ගත වේ ද? 6 ඒ රන් වස්සා සෑදුවේ ඉශ්රායෙල් කම්කරුවෙක් ය. එය දෙවියෝ නොවෙති. සමාරියයන් නමස්කාර කරන ඒ වහු පිළිමය මම කැබලි කර දමමි. 7 ඔව්හු සුළඟ වපුරා, සුළි සුළඟ කපාගනිති; ගොයම් කරල් නැත, කරල් තිබුණත් විදේශීන් ඒවා ගිලදමනු ඇත. 8 ඉශ්රායෙලය ගිල ගනු ලැබී ය; දැනට ම අන්‍ය ජාතීහු ඔවුන් පලක් නැති බඳුනක් සේ සලකති. 9 රැළෙන් වෙන්‍ වූ වල් කොටළුවෙකු සේ ඔවුන් අසිරියාවට ගොස් ඇත. එප්‍රායිම් ජාතිය පෙම්වතුන් කුලියට ගන්න පිණිස අන්‍ය ජාතීන්ට මුදල් ගෙවා ඇත. 10 ඔවුන් ජාතීන් අතරෙන් ජනයා කුලියට ගන්න නමුත්, දැන් මම ඔවුන් එක්රැස් කොට ඔවුන්ට දඬුවම් කරමි. අසිරියාවේ රජු නොපමා ව ඔවුන්ට පීඩා කරන විට ඔව්හු වේදනාවෙන්‍ මිරිකී යන්නෝ ය.
11 ”එප්‍රායිම් සෙනඟ පව් කිරීම සඳහා වැඩි වැඩියෙන් පූජාසන තනාගෙන ඇත. වැඩි වැඩියෙන් පව් කිරීමට ඒවා හේතු වී තිබේ. 12 සෙනඟ උදෙසා මාගේ ආඥා දසදහස් ගණන් මා ලියා දුන්නත් ඔව්හු ඒවා බාහිර දේවල් සේ ප්‍රතික්ෂේප කළහ. 13 මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත.
14 ”ඉශ්රායෙල් දේශයේ සෙනඟ ඔවුන්ගේ මැවුම්කාරයාණන් අමතක කර, තමන්ට මාලිගා තනාගත්හ. ජුදා දේශයේ සෙනඟ සුරක්ෂිත වන පිණිස බලකොටු නගර වැඩි වැඩියෙන් තනාගත්හ. එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඒ නගර පිට ගින්නක් එවන සේක, එයින් එහි මාලිගා දැවී වැනසෙනු ඇත.”

 

– 9 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල් පිට පැමිණෙන දඬුවම්

1 ”ඉශ්රායෙල් ජනයෙනි, විජාතීන් මෙන් ප්‍රීති උත්සව නොපවත්වන්න. මන්ද, නුඹලා දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඇත. නුඹලා සියලු කමත්වල දී වේශ්‍යාවන්ගේ පණයම් ලබන්නට ලොල් වූවහු ය. 2 එබැවින් කමත වත් මිදි යන්ත්‍රය වත් නුඹලාට ආහාර සපයන්නේ නැත; අලුත් මිදියුස කිසිත් ලැබෙන්නේ නැත. 3 එප්‍රායිම් සෙනඟට සමිඳාණන් වහන්සේගේ දේශයෙහි වාසය කිරීමට නොහැකි ව ඔවුන්ට ආපසු මිසර දේශයට යන්න සිදු වන්නේ ය; අසිරියාවේ දී අපිරිසිදු කෑම කන්න ඔවුන්ට සිදු වන්නේ ය. 4 සමිඳාණන් වහන්සේට මිදියුස පුදන්නට වත්, උන් වහන්සේට පුද පූජා කරන්නට වත් ඔවුන්ට නොහැකි වන්නේ ය. ඔවුන්ගේ කෑම මළ ගෙවල කෑම මෙන් ය. ඒවා කන සියලු දෙන අපවිත්‍ර වන්නෝ ය. ඔවුන්ගේ කෑම ඔවුන්ගේ ම කුසගිනි නිවීමට මිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට සුදුසු නොවේ. 5 එසේ නම්, සමිඳාණන් වහන්සේගේ නියමිත උත්සව හා පූජා මංගල්‍යයන් පැවැත්වීමේ කාලය පැමිණි විට ඔව්හු කුමක් කරන්නෝ ද? 6 ඔවුන් විනාශයෙන් පලා ගොස් ඇත. මිසර වැසියෝ ඔවුන් එක්රැස් කර, මෙම්පිස්හි භූමදාන කරන්නෝ ය. ඔවුන්ගේ රිදී වස්තුව කහඹිලියා පැළවලින් ද ගේ දොරවල් ගොකටුවලින් ද වැසී යන්නේ ය.
7 ”දඬුවම් දීමේ කාලය පැමිණ තිබේ; සෙනඟ දුර්විපාක ලැබීමේ කාලය පැමිණ තිබේ. මේ දිවැසිවරයා මෝඩයෙක් ය; දේව ආත්මානුභාවය ඇති මේ මිනිසා පිස්සෙක් යයි ඉශ්රායෙල් දැනගන්නවා ඇත. නුඹලා මට එසේ ද්වේෂ කරන්නේ නුඹලාගේ අධික පාපය හා දැඩි කෝපය නිසා ය. 8 දිවැසිවරයෙකු වශයෙන් ඔහු මා එවා ඇත්තේ සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන එප්‍රායිම්ට තදින් අවවාද කිරීමට ය. එහෙත්, පක්ෂි වැද්දා යන යන තැන පක්ෂියෙකු මලපතකට අසු කරගන්න උත්සාහ කරන්නා සේ නුඹලා මා අසු කරන්නහු ය; දෙවියන් වහන්සේගේ මාලිගාවේ ම සතුරෝ වී සිටිති. 9 ගිබියාහි දී මෙන් ඔව්හු අතිශයෙන් දූෂණය වී සිටිති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පව් සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් දෙන සේක.”

ඉශ්රායෙල්වරුන්ගේ පාපය සහ එහි විපාකය

10 ”ඉශ්රායෙල් සෙනඟ මට හමු වූයේ කාන්තාරයේ මුද්‍රික පල මෙන් ය. මා නුඹලාගේ මුතුන්මිත්තන් මුලින් ම දුටු විට, පළමු සෘතුවේ අත්තික්කාවල නාඹුල් පල දැකීමක් මෙන් විය. එහෙත්, බාල්-පෙයොර් නම් ස්ථානයට පැමිණි විට ඔව්හු නින්දිත බාල් දේවතාවන්ට කැප වූ හ. එබැවින් ඔවුන් දේවතාවන්ට ඇළුම් වූ තරමට ම මම ඔවුන් පිළිකුල් කෙළෙමි. 11 එප්‍රායිම්ගේ තේජස, ඉගිළී යන කුරුල්ලෙකු මෙන් පහ වී යන්නේ ය. දරුවන් ඉපදීමක් වත්, ගැබ් ගැනීමක් වත්, පිළිසිඳ ගැනීමක් වත් තවත් නොවන්නේ ය. 12 ඔවුන් දරුවන් ඇතිදැඩි කරතත්, ඉන් එකෙකු වත් ඉතිරි නොවන පරිදි මම ඔවුන් තුරන් කරන්නෙමි. මා මේ සෙනඟ අත් හැරදමා ගිය විට ඔවුන්ට වන විපතක මහත!”
13 මට දැන් පෙනෙන හැටියට එප්‍රායිම් සෙනඟ ඔවුන්ගේ දරුවන් ගොදුරු කොට දෙනු ඇත. මරනු ලබන පිණිස ඔවුන් ගෙන යා යුතු ය. 14 ‘සමිඳුනි, මේ සෙනඟට දෙනු මැනව’ කියා, මම ඔබෙන් කුමක් ඉල්ලම් ද? දරුපල නොදෙන ගර්භ ද කිරි නොඑරෙන තන ද ඔවුන්ට දුන මැනව.

එප්‍රායිම් පිළිබඳ සමිඳුන්ගේ විනිශ්චය

15 ”ඔවුන්ගේ සියලු දුෂ්ට ක්‍රියා පටන් ගත්තේ ගිල්ගාල්හි දී ය. ඔවුන්ට ද්වේෂ කරන්නට මා පටන්ගත්තේ එහි දී ය. ඔවුන් කර ඇති නපුරු ක්‍රියා නිසා මාගේ දේශයෙන් මම ඔවුන් පලවා හරිමි. මම ඔවුන්ට තවත් ප්‍රේම නොකරමි. ඔවුන්ගේ සියලු අධිපතීහු මට විරුද්ධ ව කැරලිගැසූ හ. 16 එප්‍රායිම් සෙනඟ විනාශ වී ඇත; මුල් වියළී ගිය පල නොදරන ගසක් හා සමාන ය. ඔවුන්ට දරුපල ඇතිවුණත් මම ඔවුන්ගේ ඒ ප්‍රියාදර දරුවන් විනාශ කර දමමි.”
17 ඔවුන් මාගේ දෙවියන් වහන්සේට කීකරු නොවූ නිසා උන් වහන්සේ ඔවුන් පහකරදමන සේක. ඔව්හු විජාතීන් අතරේ මුළා වූ අය වන්නෝ ය.

– 10 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල් ගැන දිවැසිවරයන්ගේ විවේචන

1 ඉශ්රායෙල් සෙනඟ බොහෝ පල දරන සරු මිදි වැලක් මෙන් වූ හ. ඔවුන්ගේ පල වැඩි වන්න වැඩි වන්න ඔව්හු වැඩි වැඩියෙන් පූජාසන සාදාගත්හ. ඔවුන්ගේ දේශය වර්ධනය වූ පමණට ඔව්හු පූජනීය රූපස්ථම්භ වැඩි කරගත්හ. 2 ඔවුන්ගේ සිත් භේද භින්න වී ඇත. ඔවුන් තමන්ගේ පාපයට දඬුවම් විඳිය යුතු ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පූජාසන කඩාදමා ඔවුන්ගේ පූජනීය රූපස්ථම්භ විනාශ කරනු ඇත.
3 මේ සෙනඟ නොබෝ කලකින් මෙසේ කියනු ඇත: ”අප දෙවියන් වහන්සේට ගරුබිය නොදැක්වූ බැවින් අපට රජ කෙනෙක් නැත. එහෙත්, රජ කෙනෙකුගෙන් අපට වැඩක් ඇද් ද? 4 ඔවුන් හිස් වචන පවසනු ඇත; බොරු පොරොන්දුවලින් ගිවිසුම් කරනු ඇත. එබැවින් නඩුහබ කෙතේ ඕවිටිවල විෂ පැළෑටි මෙන් පැතිර යයි.
5 ”සමාරිය වැසියෝ බෙත්-ආවෙන්‍හි වහු පිළිමය නිසා වෙවුලමින් සිටිති. ඔව්හු දුක් වන්නෝ ය. ඔවුන්ගේ කපුවෝ ද රන් වහු පිළිමයේ අලංකාරය පහකරනු ලැබූ නිසා හඬා වැලපෙති. 6 එය අසිරියාවට, එහි මහා රජුට, පඬුරක් වශයෙන් ගෙනයනු ලබන්නේ ය. එප්‍රායිම් ලජ්ජාවට පත් වනු ඇත. ඉශ්රායෙල් සෙනඟ පිළිගත් අවවාද නිසා ඔව්හු ලජ්ජා වන්නෝ ය. 7 සමාරියේ රජ වතුරට ගසාගෙන යන ලී පතුරක් සේ පහ වී යන්නේ ය. 8 ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.”

ඉශ්රායෙල් පිළිබඳ සමිඳුන්ගේ තීන්දුව

9 ”එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ගිබියාහි පව් කරන්නට පටන්ගත් දා පටන් නුඹලා මට විරුද්ධ ව පව් කිරීම නතර කර නැත. ඒ නිසා ගිබියාහි දී ඔවුන් කරා යුද්ධය පැමිණෙන්නේ නැද් ද?
10 මේ පාපිෂ්ට සෙනඟට දඬුවම් දෙන පිණිස මම පහර දෙමි. ජාතීන් ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් දෙවැදෑරුම් පාප නිසා ඔවුන්ට දඬුවම් කරනු ඇත.”
11 ”එප්‍රායිම් වනාහි, ගොයම් පෑගීමට කැමැති මනා සේ පුහුණු කරන ලද එළ නෑම්බියකි. ඇගේ ශෝභන කර පිට වියගහක් දමා ඇත. එහෙත්, හාන්නට එප්‍රායිම් යොදා ගැන්මට මම තීරණය කරගතිමි. ඇගේ නගුල ජුදා විසින් ද ඇගේ දැති පෝරුව ජාකොබ් විසින් ද අදිනු ලබන්නට මම සැලැස්සුවෙමි. 12 ඔබ උදෙසා ධර්මිෂ්ඨකම වපුරාගන්න; ස්ථිර ප්‍රේමයට සුදුසු පල නෙළාගන්න. පුරන් බිම කොටන්න. නුඹේ සමිඳාණන් වහන්සේ වෙත හැරෙන්නට දැන් කාලය හරි ය. එවිට උන් වහන්සේ පැමිණ නුඹලා පිට ගැළවීමේ වැසි වස්වන සේක. 13 එහෙත්, නුඹලා දුෂ්ටකම හෑවහු ය; අයුතුකම කපාගත්තහු ය; මුසාවාදයේ ප්‍රතිඵල අනුභව කළහු ය. එසේ වූයේ නුඹලා තමන්ගේ ම යුද්ධ රථ කෙරෙහි ද නුඹලාගේ විශාල භට සංබ්‍යාව කෙරෙහි ද විශ්වාසය තැබූ බැවිනි. 14 එබැවින් නුඹලාගේ සෙනඟ පිට යුද්ධය පැමිණෙන්නේ ය; නුඹලාගේ සියලු බලකොටු විනාශ වන්නේ ය. ඒ දවස ෂල්මාන් රජු විසින් යුද්ධයේ දී බෙත්-අර්බේල් නගරය විනාශ කරනු ලැබූ, මවුවරුන් ද දරුවන් ද දරුණු ලෙස මරනු ලබන දවසට සමාන වන්නේ ය. 15 ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා කර ඇති බලවත් නපුරුකම් නිසා නුඹලාටත් වන්නේ මේ විපත ම ය. යුද ගිනි ඇවිලෙන විට ඉශ්රායෙල් සහමුලින් ම වනසා දමනු ලබනවා ඇත.”

 

– 11 වන පරිච්ඡේදය –

ද්‍රෝ‍්හි සෙනඟට දෙවියන් වහන්සේගේ ප්‍රේමය

1 ”ඉශ්රායෙල් බාල වියේ දී මම ඔහුට ප්‍රේම කෙළෙමි;
මා පුත් ඔහු මිසරයෙන් කැඳවාගතිමි.
2 මා ඔවුන් පුතෙකු සේ සලකන්න සලකන්න ඔව්හු වඩ වඩා මට පිටුපා යන්න ගියෝ ය.
ඔව්හු බාල් දේවතාවන්ට පූජා කළහ;
කැපූ රූපවලට සුවඳ දුම් ඔප්පු කළහ.
3 එප්‍රායිම් සෙනඟට ඇවිදින්නට ඉගැන්නුවේ මම ය.
දෑතින් ඔවුන් වඩාගත්තේ මම ය.
එහෙත්, මා ඔවුන් රැකබලාගත් බව ඔව්හු නොදැන සිටියෝ ය.
4 දයාවේ රැහැන්වලින් ද ප්‍රේමයේ බැමිවලින් ද මම ඔවුන්ට මඟ පෙන්නුවෙමි.
ළදරුවෙකු ඔසවන සේ මම ඔවුන් මාගේ මුහුණට ඔසවාගතිමි;
පහතට නැමී ඔවුන්ට කෑම කැව්වෙමි.
5 ”ඔවුන් මා වෙත හැරී එන්නට අකමැති නිසා ඔවුන්ට මිසරයට ආපසු යන්න සිදු වේ. අසිරියා රජු ඔවුන් පාලනය කරනු ඇත. 6 ඔවුන්ගේ කුමන්ත්‍රණ නිසා ඔවුන්ගේ නගරවල යුද්ධ හටගෙන, එහි දොරටුවල පොලු බිඳ වැටී ඔවුන් විනාශ වනු ඇත. 7 ඔවුන් මට පිටුපා ගොස් ඇති බැවින් ඔවුන්ට වන විපතෙන් ඔවුන්ට බේරෙන්න බැරි ය. ඔවුන් පිට පැමිණි වියගහ නිසා ඔවුන් වැලපෙනු ඇත. එහෙත්, එය ඉවත් කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.
8 ”එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද?
ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද?
මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද?
ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද?
එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි.
ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.
9 දැඩි කෝපයට මම ඉඩ නොදෙමි.
මම නැවත එප්‍රායිම් විනාශ නොකරමි.
මන්ද, මම මනුෂ්‍යයෙකු නොව දෙවියන් වහන්සේ වෙමි.
ඔබ සමඟ සිටින ශුද්ධ තැනැන් වහන්සේ මම ය, විනාශ කරන්නට මට ආශාවක් නැත.
කෝපයෙන් මම ඔබ වෙත නොඑමි.
10 ”ඔව්හු සමිඳාණන් වහන්සේ පසුපස්සේ එන්නෝ ය. මම සිංහයෙකු සේ ගොරවමි. මා ගොරවන විට දරුවෝ ද වෙවුලමින් බටහිර සිට එන්නෝ ය. 11 ඔව්හු කුරුල්ලන් මෙන් මිසර දේශයෙන් ද පරවියන් මෙන් අසිරියාවෙන්‍ ද විගසින් එන්නාහ. මම නැවත ඔවුන්, ඔවුන්ගේ නිවාසවලට ගෙනෙන්නෙමි. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ කීවෙමි.”

ඉශ්රායෙල්ට හා ජුදාට විරුද්ධ චෝදනා

12 ”එප්‍රායිම් බොරුවෙන්‍ ද ඉශ්රායෙල් සෙනඟ වංචාවෙන්‍ ද මා වට කරගෙන සිටිති; විශ්වාසී, ශුද්ධ තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේට විරුද්ධ ව ජුදා සෙනඟ තවමත් කැරලි ගසමින් සිටිති.

 

– 12 වන පරිච්ඡේදය –

1 එප්‍රායිම් පෙරදිග සුළඟ පස්සේ දුවමින් එයින් වාසි ගැනීමට මාන බලති. බොරුව ද අපරාධය ද ඔවුන් අතර අධික වී ඇත. ඔව්හු අසිරියාව සමඟ ගිවිසුම් ද මිසර දේශය සමඟ තෙල් ගනු දෙනු ද කරගනිති.”
2 ජුදාහි සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට පැමිණිල්ලක් ඇත. තවද, උන් වහන්සේ ජාකොබ් සෙනඟගේ හැසිරීමට නිසි දඬුවම දෙන සේක. ඔවුන්ගේ ක්‍රියාවලට නිසි විපාකය දෙන සේක. 3 මවු කුසයේ සිටිය දී ම ජාකොබ් සිය සහෝදරයා රැවටුවේ ය. ඔහු වැඩිහිටියෙකු වූ විට දෙවියන් වහන්සේට විරුද්ධ ව පොරබැදුවේ ය. 4 ඔහු දේව දූතයෙකු සමඟ පොරබදා ජයගත්තේ ය. ඔහු හඬා ආශීර්වාදයක් ඉල්ලුවේ ය. උන් වහන්සේ ඔහුට සම්බ විය. උන් වහන්සේ බෙතෙල්හි දී ඔහු සමඟ කතා කළ සේක. 5 මම වනාහි සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේගේ නාමය සමිඳාණන් වහන්සේ ය. 6 එබැවින් නුඹලා දෙවියන් වහන්සේ වෙත හැරී, ප්‍රේමයෙන්, යුක්තිගරුක ව උන් වහන්සේ කෙරෙහි නිරන්තර බලාපොරොත්තුවෙන්‍ සිටින්න.

ඉශ්රායෙල්ට විරුද්ධ ව තවත් චෝදනා

7 ඉශ්රායෙල් සෙනඟ කානානි ජාතික වෙළෙන්දන් මෙන් හොර තරාදි ඇති ව අනුන් රැවටීමට ප්‍රිය වෙති. 8 එසේ වුව ද, ”අපි ධනවත් ය; වස්තු සම්භාර රැස් කරගෙන සිටිමු; ‘වංචාවෙන් ඔව්හු පොහොසත් වූ හ’යි අපට චෝදනා කරන්නට කිසිවෙකුට බැරි ය”යි එප්‍රායිම් සෙනඟ කියති. 9 මිසර දේශයෙන් ගෙනා දා සිට නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය. පාළුකරයේ දී මෙන් නුඹලා කූඩාරම්වල ජීවත් වුණා සේ ම ඉදිරියටත් නුඹලා කූඩාරම්වල වාසය කරවන්නෙමි.
10 ඇරත් මම දිවැසිවරයන්ට කතා කොට, ”මම ම බොහෝ දර්ශන පෙන්වා දිවැසිවරුන් මඟින් උපමා භාවිතා කෙළෙමි. 11 ගිලියද්හි ඔවුන් අයුතුකම් කර ඇත. ඔව්හු සහමුලින් ම නිෂ්ඵල ය. ඔව්හු ගිලියද්හි ගොනුන් පූජා කරති. එසේ ය, ඔවුන්ගේ පූජාසන ද කෙතේ හීවිටි මත තිබෙන ගල් ගොඩවල් වැනි ය.”
12 ජාකොබ්ට මෙසොපොතේමියාවට පලා යන්නට සිදු විය. එහි දී භාර්යාවක ලබාගන්න පිණිස සේවය කරමින් බැටළුවන් බලාගත්තේ ය. 13 සමිඳාණන් වහන්සේ දිවැසිවරයෙකු ලවා මිසර දේශයෙන් ඉශ්රායෙල් මුදාගත් සේක. දිවැසිවරයෙකු ලවා ඔවුන් ආරක්ෂා කළ සේක. 14 එප්‍රායිම් සෙනඟ දෙවියන් වහන්සේ තදින් කෝප කරවා ඇත. එබැවින් ඔවුන්ගේ අපරාධවලට ඔවුන්ට මරණ දඬුවම දෙනු ඇත. උන් වහන්සේට කර ඇති නින්දාව, උන් වහන්සේ ඔවුන් පිට ම පවරන සේක.

 

– 13 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල් පිට අන්තිම විනිශ්චය

1 එප්‍රායිම් වංශය කතා කළ විට අන් සියල්ලෝ වෙවුලුවෝ ය. මන්ද, ඉශ්රායෙල් වංශ අතරේ එප්‍රායිම් එපමණට උසස් කොට සලකනු ලැබී ය. එහෙත්, එහි වැසියෝ බාල් දේවතාවන්ට නමස්කාර කිරීමේ වරදට පත් වූ බැවින් මරණයට පත් වූ හ. 2 දැන් ඔව්හු තව තවත් පව් කරමින් නැමදීමට තමන්ගේ රිදීවලින් දක්ෂ ලෙස වාත්තු කළ දේව රූප තනා ගනිති. ඒවා වනාහි කම්කරුවන්ගේ නිෂ්පාදන පමණකි. ‘පූජා කරන මිනිස්සු වහු පිළිම සිඹ ගනිත් වා’යි කියති. 3 එබැවින් ඔව්හු අලුයම මීදුම මෙන් ද ඉක්මනින් නැති වී යන පිනි මෙන් ද සුළඟට ගසාගෙන යන කමතේ බොල් මෙන් ද දුම් කවුළුවෙන්‍ පිට වෙන දුම මෙන් ද වන්නෝ ය.
4 ”නුඹලා මිසර දේශයෙන් ගෙනා දා සිට ම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය. මා හැර අන් දෙවි කෙනෙකු ඔබ නොදැන සිටියහු ය. මා හැර අන් ගැළවුම්කාරයෙක් නුඹලාට නැත. 5 තද ඉඩෝරය ඇති පාළුකරයේ නුඹලා පෝෂණය කෙළේ මම ය. 6 ඔව්හු පසු ව තෘප්තියට පැමිණියෝ ය. තෘප්තියට පැමිණ උඩඟු වූ හ. එවිට ඔව්හු මා අමතක කළෝ ය. 7 එබැවින් මම ඔවුන්ට සිංහයෙකු මෙන් වන්නෙමි; මඟ රැක සිටින දිවියෙකු මෙන් වන්නෙමි. 8 පැටවුන් නැති වූ වැලහින්නියක මෙන් මම ඔවුන් පිට කඩා පැන ඔවුන් දෙපළු කරදමන්නෙමි. සිංහයෙකු මෙන් මම ඔවුන් එතැනදී ම කාදමන්නෙමි. වන මෘගයෙකු මෙන් ඉරාදමන්නෙමි.
9 ”අනේ ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා විනාශ කරදමන්නෙමි. නුඹලාට පිහිට වන්නේ කවරෙක් ද? 10 නුඹලා රජ කෙනෙකු ද අධිපතීන් ද ඉල්ලුවහු ය. නුඹලා ගළවාගන්න නුඹලාගේ රජ දැන් කොහේ ද? නුඹලා ආරක්ෂා කරන්න අධිපතීහු කොහේ ද? 11 මාගේ උදහසින් මම නුඹලාට රජෙකු දිනිමි; මම කෝපයෙන් ඔහු පහ කෙළෙමි.
12 ”එප්‍රායිම් සෙනඟගේ පාප හා අපරාධ සටහන් කර ඇත. ඒ සටහන් සුරක්ෂිත ව තැන්පත් කර ඇත. 13 ඉශ්රායෙල් වනාහි, බිහි වීමට අවස්ථාව පැමිණ ඇතත්, මවු කුසයෙන් පිටතට නොඑන මෝඩ දරුවෙකු හා සමාන ය. එබැවින් ප්‍රසූත කාලය පැමිණියත් ඔහු බිහි නොවෙයි. 14 මම මේ සෙනඟ පාතාලයෙන් ගළවන්නෙම් ද? මරණ බලයෙන් මුදන්නෙම් ද? එම්බා මරණය! ඔබේ වසංගතය කොහේ ද? එම්බා පාතාලය! ඔබේ විනාශය කොහේ ද? මොවුන් කෙරෙහි මට අනුකම්පාවක් නැත. 15 ඔවුන් සශ්‍රික බට ගස්මෙන් සරු වෙතත්, ඔවුන්ගේ උල්පත් හා ජලාශ වියළී යන පිණිස සමිඳාණන් වහන්සේ පාළුකරයෙන් පෙරදිග සුළඟක් එවන සේක. වටිනා සියලු දේ එයින් නැති වී යන්නේ ය. 16 දෙවියන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා ඇති බැවින් සමාරිය දඬුවම් ලබන්නී ය. සමාරිය වැසියෝ යුද්ධයේ දී විනාශ වන්නාහ. අත දරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය. ගර්භණීන් ඉරාදමනු ඇත.”

 

– 14 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල්ට හොසියාගේ ආයාචනය

1 ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. ඔබේ අයුතුකම් නිසා ඔබ වැටී සිටින්නහු ය. 2 සමිඳාණන් වහන්සේ වෙත හැරී අවුත් මේ යාච්ඤාව උන් වහන්සේට ඔප්පු කරන්න: ”අපේ සියලු අපරාධවලට කමා වී අපේ යාච්ඤා කරුණාවෙන්‍ පිළිගත මැනව. එවිට අපි පොරොන්දු වූ පරිදි ඔබට ප්‍රශංසා කරන්නෙමු. 3 අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.”

ඉශ්රායෙල්ට නව ජීවනයක්

4 ”මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි;
මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි.
මන්ද, ඔවුන් කෙරේ මාගේ උදහස පහ වී ගොස් ඇත.
5 ඉශ්රායෙල්ට මම පිනි මෙන් වන්නෙමි.
ඔවුන් මානෙල් මෙන් පිපෙනු ඇත;
ලෙබනොන්හි ගස් මෙන් මුල් අදිනු ඇත.
6 ඔවුන්ගේ අතු විහිදී යයි;
ඔලීව ගස් මෙන් හොබනේ වෙයි;
ලෙබනොන්හි මෙන් සුවඳ පතුරයි.
7 ඔවුන් යළිත් ආපසු පැමිණ මාගේ සෙවණෙහි වසනු ඇත;
උයනක් සේ සමෘද්ධ වී මිදි වැලක් සේ පල දරනු ඇත;
ලෙබනොන්හි මිදියුස මෙන් කීර්තිමත් වනු ඇත.
8 එප්‍රායිම් සෙනඟට දේව රූපවලින් තවත් වැඩක් ඇද් ද?
නුඹලාට පිළිතුරු දී නුඹලා ආරක්ෂා කරන්නේ මම ය.
මම කිසි කලෙක නොමැලවෙන දේවදාර ගසකි.
නුඹලාගේ රැකවරණය මම ය.
නුඹලාගේ සියලු ආසිරිවලට උල්පත මම ය.”

අවසානය

9 මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s