හිතෝපදේශ

– 1 වන පරිච්ඡේදය –

හිතෝපදේශවල අගය

1 ඉශ්රායෙල් රජ වූ, දාවිත්ගේ පුත් සලමොන් පැවසූ හිතෝපදේශ මේ ය:
2 ඒවායින්, ප්‍රඥාව ද විනය ධර්ම ද ධර්මාවබෝධය ද ලැබෙනු ඇත.
3 ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්‍රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත.
4 ඒවායින්, අනුවණයන් හට නුවණ ද තරුණයන් හට මනා අවබෝධය හා සිහිකල්පනාව ද ලැබෙනු ඇත.
5 හිතෝපදේශ හා උපහැරණ ද
6 බුද්ධිමතුන්ගේ කියුම් ද ප්‍රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය;
ප්‍රාඥයෝ උපදෙස් ලබාගන්නෝ ය.
7 දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර යි;
අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති.

තරුණයන්ට අවවාද

8 මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න;
මවගේ උපදෙස් ඉවත නොදමන්න.
9 ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය.
10 මාගේ පුත්‍රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න:
11 ”අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු;
සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු.
12 පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු;
නිවැරදි වුව ද, ඔවුන් අපායට බසින්නවුන් මෙන් වනු ඇත.
13 නන් වැදෑරුම් අගනා වස්තු අපි පැහැරගනිමු;
කොල්ලකාගත් දෙයින් අපේ ගේදොර පුරවාගනිමු.
14 එන්න, අපේ කල්ලියට එක් වන්න;
අප කාටත් පොදු පසුම්බියක් තබාගනිමු.”
15 මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න;
ඔවුන්ගේ ක්‍රියා මාර්ගයෙන් ඈත් වන්න.
16 ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති;
ලේ වැගිරීමට වේගයෙන් දුවති.
17 කුරුල්ලා බලා සිටිය දී දැල දැමීමෙන් පලක් නැත.
18 මේ මිනිස්සු තමන්ට ම උගුල් අටවාගනිති;
තමන්ගේ ම විනාශයට උපා යොදති.
19 අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ.
ඔහුගේ ඉරණම එය වේ.

ප්‍රඥාවගේ ආයාචනය

20 ප්‍රඥා තොමෝ වීදිවල හඬනඟයි;
ප්‍රසිද්ධ තැන්වල මොරගසයි.
21 දෙනෝදහසක් රැස් වන මංසන්දිවල ඈ හඬනඟයි;
නුවර වාසල් දොරටු ළඟ ඈ මෙසේ නිවේදනයක් කරයි:
22 ”අනුවණයෙනි, ඔබ කොතෙක් කල් අනුවණකමට ප්‍රිය වන්නහු ද?
නින්දා කරන්නෙනි, ඔබ කොතෙක් කල් නින්දාවට ප්‍රසන්න වන්නහු ද?
අඥානයෙනි, ඔබ කොතෙක් කල් දැනගැන්මට ගරහන්නහු ද?
23 මාගේ තරවටුව හිතට ගන්න;
එසේ කළොත්, මම මුළු හිතින් ගුරුකම් දෙන්නෙමි.
24 මම හඬගැසුවෙමි;
ඔබ සවන් දුන්නේ නැත.
මම ආයාචනා කෙළෙමි;
ඔබ සැලකුවේ නැත.
25 ඔබ මාගේ සියලු දැනමුතුකම් ගණනට නොගත්තහු ය;
මාගේ ඔවා බස් නොපිළිගත්තහු ය.
26 ඒවායින් ඔබ විපතට වැටෙන විට මම සිනාසෙන්නෙමි;
භීතිය පැමිණෙන විට ද මම සමච්චල් කරන්නෙමි.
27 භීතිය, කුණාටුවක් මෙන් ඔබට පැමිණි විට ද විනාශය, සුළි සුළඟක් මෙන් එන විට ද සිත් වේදනා හා දුක ඇති වන විට ද මම සමච්චල් කරමි.
28 එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි;
ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත.
29 ඔබ කවදත් දැනුම හෙළා දුටුවහු ය;
දේව ගරුබිය එපා කළහු ය.
30 ඔබ කිසිදාක මාගේ දැනමුතුකම් පිළිගත්තේ නැත;
මාගේ ඔවා බස්වලට කන් දුන්නේ නැත.
31 කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය;
ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත.
32 අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති;
අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති.
33 එහෙත් මට සවන් දෙන තැනැත්තේ සුරැකි ව, විපතට නොබා,
යෙහෙන් වසනු ඇත.

– 2 වන පරිච්ඡේදය –

ප්‍රඥාව ගැන ප්‍රශංසා

1 මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් හිතට ගන්න;
මාගේ උපදෙස් සිතෙහි නිදන් කරගන්න.
2 ප්‍රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න.
3 නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න.
4 රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න;
සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න.
5 එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි.
දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි.
6 මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි.
දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි.
7 සමිඳාණෝ අවංක වූවන් හට නියම ප්‍රඥාව දෙන සේක;
සත්‍යවාදී අයට එතුමාණෝ පලිහක් වන සේක.
8 සමිඳාණෝ යුක්ති මාවත ආරක්ෂා කරන සේක;
බැතිමතුන්ගේ මාර්ගය රැකවල් කරන සේක.
9 මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය.
10 ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි;
දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි.
11 සිහි නුවණ ඔබ රැකවල් කරයි;
තියුණු නැණ ඔබ රැකගනියි.
12 එය දුදනන්ගේ මාර්ගවලින් ද මිනිසුන්ගේ රැවටිලි කතාවෙන් ද ඔබ මුදාගනියි;
13 අන්ධකාර මාර්ගවල යන පිණිස, අවංක මාවත් හැර දමන්නන්ගෙන් ඔබ මුදාගනියි.
14 ඔවුන්ගේ සතුට නපුර කිරීමට ය;
ඔවුන්ගේ ප්‍රීතිය දුෂ්ට උපායවලට ය;
15 ඔවුන්ගේ ක්‍රියා වංක ය;
ඔවුන්ගේ මාවත් ඇද ය.
16 ඒ මඟින්, දුසිරිතට සිත දුන් ස්ත්‍රියකගෙන්, ඉච්චා බස් දොඩන ස්ත්‍රියකගෙන්,
17 පතිවත කඩන ස්ත්‍රියකගෙන්, දේව ගිවිසුම් කඩ කරන ස්ත්‍රියකගෙන්, ඔබ ගැළවෙන්නෙහි ය.
18 ඇගේ නිවස මරණයට බැස යන බෑවුමකි;
ඇගේ මාවත් මළවුන්ගේ ලෝකයට යන ගමනකි.
19 ඈ වෙතට යන්නෙකු ආපසු එන්නේ නැත;
ජීවන මාවත්වලට යළි පැමිණෙන්නේ නැත.
20 මෙය මා කියන්නේ, නුඹ යහ මඟ හැසිර, දැහැමි මඟ ඇවිදින පිණිස ය.
21 අවංක අය මිහි පිට දිගු කල් වසති;
නිදොස් අය එහි යෙහෙන් කල් යවනු ඇත.
22 එහෙත් දුදනෝ පොළොවෙන් පහකර දමනු ලබති;
ද්‍රෝහියෝ එයින් මුලිනුපුටා දමනු ලබති.

 

– 3 වන පරිච්ඡේදය –

සදාචාරයේ අගය

1 මාගේ පුත්‍රය,
මාගේ ඔවදන් අමතක නොකරන්න;
මාගේ අණපණත් ඔබ හද තුළ රැකගන්න.
2 එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය;
චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය:
සව් සිරින් වැඩිවන්නෙහි ය.
3 පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න;
ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න.
ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න.
4 එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්‍රසාදයට හා කීර්තියට පාත්‍ර වනු නිසැක ය.
5 හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න.
6 හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න;
එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.
7 ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න.
සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න.
8 එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත.
9 ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න.
10 එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත;
මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත.
11 මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න.
එතුමන්ගේ තරවටු ගැන නොකලකිරෙන්න.
12 පියෙකු සිය ප්‍රියාදර පුතු හට යම් සේ දඬුවම් කරන්නේ ද,
එසේ ම සමිඳාණෝ සිය පෙම්වතුන්ට දඬුවම් දෙන සේක.

ප්‍රඥා සම්පත

13 ප්‍රඥා සම්පත සොයාගන්නා, ඥාන සම්පත හිමි කරගන්නා, මිනිසාගේ වාසනාවක මහත!
14 එයින් ලැබෙන යසඉසුරු, රිදීයටත්, තනි රත්රනටත් වඩා අගනේ ය.
15 ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය;
ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය.
16 දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය:
ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය,
17 ප්‍රඥාවගේ ක්‍රියා මාර්ග ජීවන රටාවට මනහර ය;
ඇගේ සියලු මාවත් සත් හට සෙත් දෙයි.
18 ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි;
එවැනියන්ගේ වාසනාවක මහත!
19 සමිඳාණෝ ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් ලූ සේක.
බුද්ධියෙන් අහස් මණ්ඩලය පිහිටෙවූ සේක.
20 එතුමන්ගේ ඥානයෙන් පොළොවේ ගැඹුරු තැන් කණිනු ලැබී ය;
වලාකුළුවලින් පිනි බින්දු කාන්දු වනු ඇත.

නැණවතුන්ගේ වාසනාව

21 මාගේ පුත්‍රය, විචක්ෂණ බුද්ධිය ද තීක්ෂණ ඥානය ද දියුණු කරගන්න.
ඒවා ඔබ කෙරෙන් පහ ව යන්න ඉඩ නොදෙන්න.
22 ඒවා ඔබට ජීවනය ද ඔබේ ගෙලට ආභරණයක් ද වනු ඇත.
23 එවිට ඔබේ දෙපා නොපැකිළ, ඔබ සුව සේ ජීවන මඟ යනු ඇත;
24 සැතපෙන කල ඔබට බියක් නැත;
ඔබේ නින්ද සැපදායක වනු ඇත.
25 හදිසි භීතියට වත් දුදනන්ගෙන් එන දුර්විපතට වත්, බිය නොවන්න.
26 සමිඳාණෝ ඔබ සුරක්නා සේක;
ඔබේ දෙපා උගුලට අසු නොවන සේ රක්නා සේක.
27 ත්‍යාගශීලී වීමට හැකියාව තිබිය දී, උපකාර කිරීමට මැළි නොවන්න.
28 හැකියාව තිබිය දීත්, ”ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි”යි ඔබේ අසල්වැසියාට නොකියන්න.
29 ඔබේ අසල්වැසියා බිය සැක නැති ව යෙහෙන් වාසය කරද්දී,
ඔහුට විරුද්ධ ව උපායක් නොයොදන්න.
30 ඔබට වරදක් නොකරන කෙනෙකු සමඟ නිකරුණේ නඩුහබයට නොබසින්න.
31 සාහසිකයෙකු ආදර්ශයට නොගන්න;
ඔවුන් අනුගමනය නොකරන්න;
32 වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුලකි;
එතුමන්ගේ ප්‍රසාදය අවංක අය සමඟ ය.
33 දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත;
සුදනන්ගේ නිවෙස්වලට එතුමාණෝ ආසිරි දෙන සේක.
34 නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක;
යටහත් අයට ප්‍රසාදය දක්වන සේක.
35 නැණවතුන් හට කීර්තිය උරුම වේ;
නැණ හීනයන් හට අපකීර්තිය හිමි වේ.

 

– 4 වන පරිච්ඡේදය –

ප්‍රඥාවේ ඵල

1 මාගේ පුත්‍රයෙනි, පියාගේ අවවාදයට සවන් දෙන්න;
නැණනුවණ ලැබීමට කන් යොමු කරන්න.
2 මන්ද, මම මනා උවදෙස් ඔබට දෙමි;
මාගේ ඔවා බස් ඉවත නොදමන්න.
3 මම මාගේ පියාගේ ද මවගේ ද ළදබොළඳ ප්‍රියාදර එක ම පුත් රුවන වූයෙමි.
4 මාගේ පියා මට මෙසේ අවවාද කෙළේ ය:
”මේ මා කියන දේ ඔබේ සිතේ නිදන් කරගන්න;
මාගේ උපදෙස් රැක ජීවිත ලාභය විඳින්න.
5 ප්‍රඥාව ලබාගන්න, නැණනුවණ ලබාගන්න;
එය අමතක නොකරන්න;
මා පවසන උපදේශවලින් ඉවත් ව නොයන්න.
6 ප්‍රඥා සම්පත ඉවත නොදමන්න;
එවිට ඈ ඔබ සුරක්ෂිත ව තබනු ඇත.
ඇයට සෙනෙහස දක්වන්න;
ඈ ඔබ ආරක්ෂා කරනු ඇත.
7 ප්‍රඥා සම්පත හැම සම්පතට ම වඩා උදාර ය;
ඔබ රැස් කරගන්න සකල සම්පතට වඩා නැණනුවණ ලබාගන්න.
8 ඇයට ගරු සම්මාන පිරිනමන්න, එවිට ඈ ඔබ උසස් කරනු ඇත.
ඇය සෙනෙහසින් වැළඳගන්න, එවිට ඈ ඔබ ගෞරවයට පමුණුවනු ඇත.
9 ඈ ඔබේ සිරසෙහි දිමුතු මල් මාලාවක් තබනු ඇත;
තේජස් කිරුළක් පළඳවනු ඇත.”
10 මාගේ පුත්‍රය, සවන් දී, මේ මාගේ අවවාද මුළු සිතින් පිළිගන්න.
එවිට ඔබ දිගායු වළඳනු ඇත.
11 ප්‍රඥාවේ මාර්ගය මම ඔබට උගන්වමි;
හරි මාවත්වල මම ඔබ ගෙන යමි.
12 එවිට ඔබ ඇවිදින කල ඔබට අවහිරයක් නොවනු ඇත;
ඔබ දුවන කල පැකිළීමක් නොවනු ඇත.
13 මාගේ උපදෙස් තරයේ පිළිගෙන, ඉවත නොලා, රැකගන්න.
ඒවා ඔබට ජීවන සම්පත වේ.
14 අදමිටුන්ගේ මාවතෙහි පා නොතබන්න;
දුදනන්ගේ පාරෙහි නොයන්න.
15 නපුරෙන් වළකින්න, එයට ඉඩ නොදෙන්න;
එය දුරින් දුරු කොට, ඉදිරියට යන්න.
16 නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත;
යමෙකු පාගා නොදැමුවොත්,
ඔවුන්ට නින්දක් නැත.
17 කුරිරුකම ඔවුන්ගේ ආහාරය වේ, සැහැසිකම ඔවුන්ගේ පානය වේ.
18 එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි.
19 දුදනන්ගේ මඟ ගනඳුරින් වැසී ඇත;
තමන් කුමක පැටලෙත් දැ යි ඔව්හු නොදනිති.
20 මාගේ පුත්‍රය, මා කියන දෙයට සවන් දෙන්න, මාගේ අවවාදයට කන් යොමු කරන්න.
21 ඒවා ඔබේ සිතින් පහ නොවේ වා;
ඒවා ඔබේ හදවතෙහි නිදන් කර තබන්න.
22 ඒවායින් ඔබට ජීවන සම්පත ද ඔබේ සර්වාංගයට සුව සැපත ද අත් වේ.
23 අන් හැම දෙයට ම වඩා ඔබේ සිත රැකගන්න;
මන්ද, ඔබේ දිවි මඟ හැඩගැසෙන්නේ එයිනි.
24 රැවටිලිකාර කියමන් ඔබෙන් පහකරන්න.
කෛරාටික වදන් ඔබෙන් දුරලන්න.
25 දෙසිත් නැති ව එක එල්ලේ කෙළින් බලන්න;
දෙගිඩියාවෙන් තොර ව ඉදිරිය බලා යන්න.
26 ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න;
එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත.
27 හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න;
ඔබේ දෙපා නපුරෙන් දුරු කරගන්න.

 

– 5 වන පරිච්ඡේදය –

පරදාර සේවනය ගැන අවවාද

1 මාගේ පුත්‍රය,
මාගේ ප්‍රඥා සම්පතට සිත යොමු කරන්න;
මාගේ විමංසන බුද්ධියට අවධානය යොමු කරන්න.
2 එවිට ඥාන සම්පතින් ඔබ රැකෙනු ඇත.
ඔබේ කතාව ප්‍රඥාසාර වනු ඇත.
3 වෙසඟනගේ දෙතොලින් මී පැණි වෑහෙයි;
ඇගේ තෙපුල් ඔලීව තෙලට වඩා සුමුදු ය;
4 එහෙත් ඒවා අවසානයේ දී දිවි කදුරු මෙන් තිත්ත වනු ඇත;
දෙපිට කැපෙන කඩුපතක් මෙන් තියුණු වනු ඇත.
5 ඇගේ දෙපා මරණය බලා යයි;
ඇගේ පියවර පාතාල ලෝකයට යයි;
6 ඇය ජීවන මාර්ගය ගැන නොසලකයි;
ඇගේ ක්‍රියා මාර්ග අස්ථිර ය, වගකීමෙන් තොර ය.
7 එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න;
මා පවසන ඔවා වදනින් ඈත් ව නොසිටින්න.
8 එවැනි ගැහැණියකගෙන් දුරු වී සිටින්න;
ඇගේ දොරකඩට වත් නොයන්න.
9 එසේ යාමෙන්, ඔබේ ගෞරවය අනුන් ඉදිරියේ නැති කරගනු ඇත.
ඔබේ ආයු නපුරු අය නිසා කෙටි වනු ඇත.
10 ඔබේ සැපසම්පතින් වෙන අය තෘප්තියට පත් වනු ඇත.
ඔබ වැරවීරියෙන් උපයන දේ අන් ගෙදරකට අත් වනු ඇත.
11 අවසානයේ දී ඔබේ ඇඟපත දිරා ගොස්, ඔබ කෙඳිරිගානු ඇත.
12 එවිට ඔබ මෙසේ කියනු ඇත:
අනේ මා විනය දහමට ද්වේෂ කළ හැටි!
මාගේ සිතින් අවවාද සුළු කළ හැටි!
13 මම ධර්ම දේශකයන්ගේ බසට කීකරු නොවූයෙමි, ගුරු ඇදුරන්ගේ අවවාදයට කන් නුදුන්නෙමි.
14 හැම නපුරෙහි යෙදී නරක නමක් ලද්දෙමි, ප්‍රසිද්ධියේ ම මහ නින්දාවට පත් වුණෙමි.”
15 ඔබේ ම පොකුණේ ගලන ජලය ද ඔබේ ම ළිඳෙන් උනන වතුර ද බොන්න.
16 ඔබේ උල්පත පිටතට වත්, ජලධාරා වීදියට වත් ගලා යා යුතු නැත.
17 ඔබේ දූදරුවන් අන් අයට නොව,
ඔබට ම සතු වස්තුවක් වේ වා!
18 ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා!
ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න.
19 සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ,
ඇගේ පියයුරුවලින් විනෝද වන්න.
ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න.
20 මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද?
සල්ලාල ගැහැණියක වැළඳගන්නේ මන් ද?
21 මිනිසාගේ සියලු ක්‍රියා මාර්ග සමිඳාණන් අබිමුවෙහි ඇත.
ඔහුගේ සියලු මාවත් එතුමන්ගේ තියුණු බැල්මට ලක් වී ඇත.
22 දුදනාගේ පව්කම ඔහුට ම මලපතකි;
ඔහු සිය පාප දැලෙහි පැටලෙයි.
23 ආත්මදමනයෙන් තොර මිනිසා වැනසෙයි;
ඔහු නිම්හිම් නැති අනුවණකමින් මුළා වෙයි.

– 6 වන පරිච්ඡේදය –

ගැටළුවලින් ගැළවීම

1 මාගේ පුත්‍රය, ඔබ මිතුරෙකුට ඇප වී, අන් අයෙකු උදෙසා අත්තිකාරමක් දී,
2 ඔබේ වචනවලට අසු වී, ඔබේ පොරොන්දුවලට මැදි වී සිටින්නෙහි ද?
3 මාගේ පුත්‍රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න;
ඔබ ගොස්, ඔහුගේ දෙපා ළඟ වැටී පෙරැත්ත කරන්න.
4 නිදි නොගෙන, කිරා නොවැටී,
5 දඩයක්කාරයෙකු අතින් පැන දුවන තිත් මුවෙකු මෙන් ද උගුලක් ඇටවූ වැද්දෙකු අතින් ඉගිළී යන කුරුල්ලෙකු මෙන් ගැළවී යන්න.

කුහුඹුවාගෙන් පාඩම්

6 අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න.
7 ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත.
8 එහෙත් ඌ ගිම්හානයේ දී ආහාර සපයා ගනියි;
ගොයම් කපන සමයේ දී කෑම රැස් කර තබයි.
9 අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහි ද?
නින්දෙන් අවදි වන්නේ කොයි වේලාවෙහි ද?
10 ‘තව ටිකක් නිදාගනිමි, තව ඇබිත්තක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි’යි කියන ඔබ වෙතට,
11 දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන් ද එනු ඇත.

තක්කඩියාගේ විනාශය

12 සටකපට බස් දොඩමින් ඇවිදින, තැනැත්තේ දුදනෙකි, තක්කඩියෙකි.
13 ඔහු සිය දෙනෙතින් ඉඟි කරයි, දෙපයෙන් හැඟුම් දක්වයි, ඇඟිලිවලින් සංඥා කරයි.
14 ඔහුගේ සිත සටකපට ව ඇත, ඔහු නිතර ම නපුරට කුමන්ත්‍රණය කොට, වාද භේද පතුරුවාලයි.
15 එබැවින් ඔහුගේ නැස්පැත්තිය හදිසියෙන් එයි, ගැළවීමට මඟක් නැති ව, මොහොතකින් ඔහු සුණු වී යයි.

සමිඳුන් නුරුස්සන කරුණු

16 සමිඳාණන් නුරුස්සන කරුණු සයකි, එතුමන්ට පිළිකුල් කරුණු සතකි.
17 අහංකාර ඇස් ද බොරුකාර දිව ද නිදොස් ලේ වගුරුවන අත් ද
18 දුෂ්ට උපා යොදන සිත ද නපුරට වහා දුව යන පා ද මුසා බස් තෙපලන බොරු සාක්කිකරු ද
19 මිතුරන් අතර වාද භේද අවුස්සන අය ද වෙත්.

පරදාර සේවනයේ දුර්විපාක

20 මාගේ පුත්‍රය, ඔබේ පියාගේ අනුශාසනා පිළිපදින්න;
මවගේ උපදෙස් අත් නොහරින්න.
21 ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න.
22 ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි;
ඔබ නිදන විට රැකවල් කරයි;
ඔබ අවදි වන විට අවවාද දෙයි.
23 අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි.
24 නරක ගැහැණියකගෙන් ද ඉච්චා බස් දොඩන අන් අඹුවන්ගෙන් ද ඒවා ඔබ රැකගනියි.
25 ඇගේ රුවට සිතින් ඇදී නොයන්න;
ඇගේ නුවන’ග බැල්මෙන් ඈ ඔබ වසඟ කර නොගනී වා.
26 වෙසඟනක පතන්නේ පාන් ගෙඩියක මිල පමණකි;
පර අඹුවක සොයන්නේ මුළු ජීවිතයකි.
27 ගිනිදැල් තුරුලු කර ගතහොත්, මිනිසෙකුගේ ඇඳුම් නොපිළිස්සේ ද?
28 ගිනි අඟුරු මත ඇවිද්දොත්, ඔහුගේ දෙපා නොදැවේ ද?
29 සිය අසල්වැසියාගේ බිරිඳ වෙත එළඹෙන අයට එසේ වේ.
ඇයට අත තබන කිසිවෙක් දඬුවම් නොලැබ නොසිටියි.
30 සොරෙකු සිය සාගින්න නිවාගනු වස් සොරකම් කළත් මිනිස්සු ඔහු වරදින් නිදහස් නොකරති.
31 ඔහු අසුවුණොත් සත් ගුණයක් වන්දි ගෙවීමට සිදු වෙයි;
සිය නිවසෙහි මුළු වත්කම ද දෙන්නට වෙයි.
32 පරදාර සේවනය කරන්නා අනුවණයෙකි;
ඔහු තම ජීවිතය නාස්ති කරගන්නෙකි.
33 උවදුරු හා අවනම්බුව ඔහුට හිමි වෙයි;
ඔහුගේ නින්දාව නොමැකී පවතියි.
34 මන්ද, කාම ක්‍රෝධය සැමියෙකු උදහස් කරලයි;
පළිගන්න දවසේ දී ඔහුගෙන් සමාවක් නැත.
35 ඔහු කිසි වන්දි මුදලක් නොපිළිගනු ඇත;
කොතරම් තෑගි පිරිනැමුවත් ඔහු සතුටු නොවනු ඇත.

 

– 7 වන පරිච්ඡේදය –

1 මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් පිළිපදින්න;
මාගේ ආඥා සිතෙහි තැන්පත් කරගන්න.
2 මාගේ ආඥා පැවැත්වුවහොත් ඔබට ජීවනය ඇත;
මාගේ උවදෙස් ඔබේ දෙනෙත මෙන් රැකගන්න.
3 ඇඟිලිවල මුදු මෙන් ඒවා නිරතුරු තබාගන්න, ඔබේ සිත් නමැති පුවරුවෙහි ඒවා සටහන් කරගන්න.
4 ප්‍රඥාව ඔබේ සොහොයුරිය මෙන් ද නැණනුවණ ඔබේ මිතුරිය මෙන් ද සලකන්න.
5 එවිට ඔබ දුරාචාර කාන්තාවගෙන් ද ඉච්චා බස් දොඩන වෙසඟනගෙන් ද ආරක්ෂා වනු ඇත.

දුරාචාර ස්ත්‍රියගේ මායා

6 එක දිනක්, මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි.
7 එවිට අනුවණයන් අතර මෝඩ තරුණයෙකු සිටිනු දුටිමි.
8 ඔහු, අඳුර වැටෙද්දී, ගොම්මං වේලාවේ දී, මැදියම් රෑ කළුවරෙහි දී,
9 ඇගේ ගේ අද්දර වීදිය පසු කොට ඇගේ ගෙට යන මාවතෙහි ගමන් කෙළේ ය.
10 එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර හැඳ, රැවටිලිකාර ස්ත්‍රියක මෙන් ඔහුට මුණගැසුණා ය.
11 ඈ අඟරදඟර කරන චපල ස්ත්‍රියකි, ඈ කොයි වේලාවෙත් ගෙදර නැත.
12 විටක ඈ වීදිවල ද විටක ඈ වෙළෙඳ පොලේ ද සෑම මංසන්දියක ද සෝදිසියෙන් බලා සිටියි.
13 මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විළි ලජ්ජා කිසිත් නැති ව ඔහුට මෙසේ කීවා ය:
14 ”මම අද මාගේ පුද පූජා පැවැත්වීමි;
බාරහාර ඉෂ්ට කෙළෙමි.
15 ඔබ හමු වන පිණිස ආශාවෙන් ඔබ සොයා ආයේ ඒ නිසා ය.
දැන් ඉතින් ඔබ මට හමු විය.
16 මිසරයේ පාට පාට නූල්වලින් කළ විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත.
17 සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි.
18 එන්න, උදය වන තුරු පෙම් බඳුනෙන් බොමු;
ආදරය බී මත්වෙමු.
19 අද මාගේ පුරුෂයා ගෙදර නැත;
ඔහු ඈත දුර ගමනක් ගොස් ඇත.
20 ඔහු බොහෝ මුදල් රැගෙන ගියේ ය;
මහ පො‍්ය වන තුරු ඔහු ගෙදර එන්නේ නැත.”
21 ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය.
22 එකෙණෙහි ම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන් ද මලපුඩුවට දුවන මුවෙකු මෙන් ද
23 උගුලට වහා පියාඹා යන පක්ෂියෙකු මෙන් ද ඇය කැටුව ගියේ ය.
ඊගස ඔහුගේ අක්මාව විදගෙන යන තුරු, තමන් අනතුරෙහි සිටින බව ඔහු නොදත්තේ ය.
24 එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න, මා පවසන ඔවා බසට අවධානය යොමු කරන්න.
25 ඇගේ මාවත්වල යාමට ඔබේ සිත නොපෙළඹේ වා!
ඇගේ මාර්ගවල මං මුළා නොවන්න.
26 බොහෝ දෙනෙක් ඇගෙන් නාස්තියට පත් වූ හ;
ඈ නිසා විපතට පත් වූ අයගේ ගණන් විශාල ය.
27 ඇගේ නිවස පාතාලයට යන මඟ ය, මරුගේ මැදිරිවලට බැස යන මාවත ය.

 

– 8 වන පරිච්ඡේදය –

ප්‍රඥාවේ අනුහස

1 ප්‍රඥා තුමීගේ මොරගැසීම අසන්න;
ඥානාංගනාවගේ හඬගැසීමට සවන් දෙන්න.
2 ඕ තොමෝ කඳු මුදුන්හි ද පාර අද්දර ද මංසන්දිවල ද සිටින්නී ය.
3 නගරයට පිවිසෙන වාසල් දොරටු ළඟ ඈ හඬ නඟා මෙසේ කියන්නී ය:
4 ”සෙනඟෙනි, මාගේ ආයාචනය ඔබට ය, මම හැම මිනිසාට ම කතා කරමි.
5 අනුවණයෙනි, නුවණ ලබාගන්න, දැනුම්තේරුම් ඇති අය වන්න;
මෝඩයෙනි, කල්පනාකාරී වන්න.
6 අසන්න, මම උදාර දේ පවසමි.
මා මුවින් පවසන හැම දෙය ම සැබෑ ය.
7 මම සත්‍යය මිස අන් කිසිවක් නොකියමි.
දුෂ්ට කතා මට පිළිකුලකි.
8 මා කියන කවර දේත් සාධාරණ ය,
ඒවායෙහි ඇදකුද, හොරබොරු කිසිත් නැත.
9 නුවණැත්තන්ට ඒ සියල්ල සක්සුදක් සේ පැහැදිලි ය;
දැනුම ඇත්තන්ට ඒවා හරි බව වැටහේ.
10 රිදීයට වඩා මාගේ ගුරුහරුකම් ද පෙරූ රනට වඩා දැනගැන්ම ද පිළිගන්න.
11 මන්ද, ප්‍රඥාව රතු කැටවලට වඩා අගනේ ය;
ඊට සම කළ හැකි මිණිමුතු කිසිත් නැත.
12 මාගේ නාමය ප්‍රඥා තොමෝ ය.
මම තීක්ෂණ බුද්ධිය ප්‍රදානය කරමි.
දැනුම හා විමංසන බුද්ධිය මම පහදා දෙමි.
13 දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය.
මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.
14 මන්ත්‍රණයෙහි දක්ෂතාව හා විමංසන බුද්ධිය මට ඇත;
ස්ථානෝචිත ප්‍රඥාව හා බල මහිමය ද මා සතු ය.
15 මාගේ පිහිටෙන් භූපතීහු රජකම් කරති;
අධිපතීහු සාධාරණ නීති පණවති;
16 මාගේ වරමින් අධිපතීහු රට පාලනය කරති;
ලොව සියලු මැති ඇමතිවරු රට ආණ්ඩු කරති.
17 මට පෙම් කරන්නන්ට මමත් පෙම් කරමි, මා සොයන්නන්ට මා සම්බ වනු ඇත.
18 වස්තුව ද ගෞරවය ද අසීමිත සම්පත් ද දැහැමි ජීවිතයේ ආසිරි ද මා වෙත ඇත.
19 මාගේ අස්වැන්න රනට, පෙරූ රනට වඩා අගනේ ය;
මාගෙන් ලැබෙන සම්පත් හොඳ ම රිදීයට වඩා ශ්‍රේෂ්ඨ ය.
20 මට පෙම් කරන්නන්ට වස්තුව හිමි කර දීමෙන්
21 ඔවුන්ගේ ගබඩා පුරවා දමිටු මඟෙහි ද යුක්තියේ මංවල ද මම සැරිසරමි.
22 සමිඳාණෝ තමන් මැවූ හැම දෙයට ම පෙර සියලු මැවිලිවල පළමුවැන්නා මෙන් මා මැවූ සේක.
23 දූරාතීතයෙහි, මහ පොළොව ඇති වන්නට පෙර, ආරම්භයේ දී, මම මවනු ලැබුවෙමි.
24 සත් සමුදුර ඇති වන්නට පෙර ජලය පිරුණු උල්පත් නොවූ සමයෙහි මම ජනිත වූයෙමි.
25 ගිරිකුළු හා කඳුවැටි නියම තැන්වල පිහිටෙන්නට පෙර,
මාගේ උපත විය.
26 සමිඳාණන් මහ පොළොව හා කෙත් වතු මවන්නට පෙර, ප්‍රථම පස් පිඩැල්ල සාදන්නට පෙර, මම ඉපිද සිටියෙමි.
27 සමිඳාණන් අහස් කුස පිහිටෙවු කල ද, මම එහි සිටියෙමි.
එතුමන් මුහුද මත නිම් වළල්ල තබන විට,
28 ඉහළ අහසෙහි වලාකුළු පිහිටුවන විට, සත් සමුදුර උල්පත් සවි කරන විට,
29 මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට,
පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි.
30 මම එතුමන්ගේ නිර්මාණ ශිල්පියෙකු මෙන් ළඟ සිටියෙමි.
නිරතුරු එතුමන් අබිමුව ප්‍රමුදිත වෙමින්, දිනෙන් දින එතුමන්ගේ ප්‍රීතිය වූයෙමි.
31 එතුමන් මවා නිම කළ ලොවෙහි ලෝවැසියන් සමග සන්තෝෂ වූයෙමි.
32 ඒ නිසා, මාගේ පුත්‍රයෙනි, මට සවන් දෙන්න;
මාගේ මාර්ග රක්නා අය භාග්‍යවන්තයෝ ය.
33 මාගේ උපදෙස් ප්‍රතික්ෂේප නොකරන්න;
ඊට කන් දී නැණවත් වන්න.
34 දිනෙන් දින මාගේ වාසල් දොරටු ළඟ සිට, මාගේ ද්වාර මණ්ඩප රැකවල් කොට, ඔවදන් අසන මිනිසා භාග්‍යවන්තයෙකි.
35 මා සොයාගන්නා ජීවනය සොයාගනියි.
සමිඳුන්ගේ අනුග්‍රහය ද ඔහු සතු වේ.
36 එහෙත් මා සොයා නොඑන්නා තමාට ම අනතුරු කරගනියි.
මට වෛර වන සියල්ලෝ මරණයට පෙම් කරති.”

 

– 9 වන පරිච්ඡේදය –

ප්‍රඥාව හා අඥානකම

1 ප්‍රඥාව ඇගේ මන්දිරය ඉදි කර ඇත, එහි කුළුණු සතක් සාදා ඇත.
2 සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත.
3 තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය:
4 ”අනුවණ ජනතාවෙනි, මෙහි පිවිසෙන්න.”
මෝඩ මිනිසුන්ට ඈ මෙසේ කියන්නී ය:
5 ”එන්න මාගේ බොදුන් අනුභව කොට, රස කැවූ මිදිරස පානය කරන්න.
6 අනුවණකම හැරදමා ජීවත් වන්න;
නැණනුවණ මාවතෙහි ගමන් කරන්න.”
7 ගරහන්නෙකුට ඔවා බස් දෙන්නා හට ඇති වන්නේ ලජ්ජාව පමණ ය;
දුදනෙකුට තරවටු කරන්නා හට ඇති වන්නේ සිත් වේදනාව පමණ ය.
8 ගරහන්නෙකුට කිසිදාක අවවාද නොකරන්න;
අවවාද කළොත්, ඔහු ඔබට සතුරෙක් වනු ඇත.
නුවණැත්තෙකුට අවවාද කරන්න, ඔහු ඔබට මිතුරෙකු වනු ඇත.
9 බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි.
දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි.
10 දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ, ශුද්ධ දෙවිඳුන් ගැන දැනුම නැණනුවණ වේ.
11 ප්‍රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත.
12 ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය;
ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.
13 අමනකම වූ කලී, කටකාර, අනුවණ, විලිබිය නැති ගැහැණියක වැනි ය.
14 ඇගේ ම ගෙදර දොරකඩ හෝ නගරයේ ඉහළ ම තැන්වල හෝ ඈ අසුන්ගන්නී ය.
15 තමාගේ පාඩුවේ වැඩට යන මගීන් මුළා කරනු වස්
16 ඈ මෙසේ කියන්නී ය:
”අනුවණ ජනයෙනි, මෙහි පිවිසෙන්න.”
ඈ මෝඩ මිනිසුන්ට මෙසේ කියන්නී ය:
17 ”සොරාගත් වතුර ඉමිහිරි ය,
සොරාගත් කෑම වඩා රස ය.”
18 ඈ කැඳවන අය, මරණය එහි ඇති බව ද පාතාලයෙහි ගැඹුරු තැන වැටී ඇති බව ද නොදනිති.

 

– 10 වන පරිච්ඡේදය –

දමිටු හා අදමිටු සමාජය

1 සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය:
නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි.
2 වංකකමින් ලබන වස්තුව නිෂ්ඵල වෙයි;
එහෙත් අවංකකම මරණින් මුදයි.
3 සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක;
එහෙත් දුදනන්ගේ මන දොළ නිෂ්ඵල කරන සේක.
4 අලසකමින් දිළිඳුකම උපදියි;
කඩිසරකමින් ධනය උපදියි.
5 ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි;
අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි.
6 දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි;
දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි.
7 දැහැමි දනා සැමරීම වාසනාවකි;
එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි.
8 පැණවතා අණපණත් පිළිගනියි;
නන්දොඩන මෝඩයා වැනසී යයි.
9 අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි;
වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි.
10 වපර ඇසින් වරද දෙස බලන්නා කරදර උපදවයි;
එහෙත් නිර්භය විවේචනය කරන්නා සාමය ගෙන දෙයි.
11 සුදනන්ගේ කතාව ජීවන උල්පතකි;
දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී ඇත.
12 වෛරය කලහ උපදවයි;
ප්‍රේමය වැරදි නොතකයි.
13 නුවණැත්තා සිහිනුවණින් කතා කරයි;
අනුවණයා කස පහර ලැබිය යුතුයි.
14 නැණවත්හු දැනුම රැස් කරගනිති;
එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි.
15 ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි;
දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි.
16 දමිටුන්ගේ විපාකය ජීවනය වේ;
අදමිටුන්ගේ විපාකය විනාශය වේ.
17 ශික්ෂා පිළිපදින්නා ජීවන මඟ යයි;
අවවාදයට පිටු පාන්නා මුළා වී යයි.
18 බොරු කියන්නා වෛරය උපදවන්නෙකි;
කේලාම් පතළ කරන්නා අඥානයෙකි.
19 කතාව වැඩි තැන වරදට ඉඩ ඇත;
සිය මුව රැකගන්නා නුවණැත්තෙකි.
20 සුදනන්ගේ තෙපුල් පිරිසිදු රිදී මෙනි;
දුදනන්ගේ බසෙහි කිසි හරයක් නැත.
21 දැහැමියන්ගේ බස් බහු ජන හිත සුව පිණිස වේ;
එහෙත් අනුවණයෝ අනුවණකමින් වැනසෙති.
22 සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි;
දැඩි ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක.
23 අනුවණයාගේ විනෝදය නපුරු ක්‍රියා කිරීම ය;
නුවණැත්තාගේ ප්‍රීතිය ප්‍රඥාව ලැබීම ය.
24 දුෂ්ටයා බිය වන දේ ම ඔහු පිටට එයි;
ධර්මිෂ්ඨයා කැමැති වන දේ ම ඔහුට දෙනු ලැබෙයි.
25 සැඬ සුළඟ පහවෙත් ම දුදනෝ ද පහ වී යති;
එහෙත් සුදනන්ගේ අත්තිවාරම් සදා පවතිනු ඇත.
26 අලසයාගෙන් කිසි වැඩක් නොගන්න;
ඔහු, දත්වලට විනාකිරි ද ඇස්වලට දුම ද මෙන් වනු ඇත.
27 සමිඳුන් කෙරෙහි ගෞරවය දිගාසිරි දෙයි;
එහෙත් දුෂ්ටයෝ අඩු වයසින් මිය යන්නහු ය.
28 දමිටුන්ගේ පැතුම සොම්නස ගෙන දෙයි;
අදමිටුන්ගේ පැතුම නිෂ්ඵල වෙයි.
29 සමිඳුන්ගේ මඟ අවංක අයට බලකොටුවකි;
අයුතුකම් කරන්නන්ට එය මහ විපතකි.
30 දැහැමියා සිය තැනින් කිසිදා නොසෙල් වෙයි;
එහෙත් දුෂ්ටයාට දේශයෙහි තැනක් නැති වෙයි.
31 දැහැමියාගේ මුවින් ප්‍රඥාව ගලා යයි;
එහෙත් ප්‍රයෝගකාරී දිව සිඳදමනු ලැබෙයි.
32 දැහැමියා සිය මුවින් ප්‍රස්තාවෝචිත දේ කියයි;
එහෙත් දුෂ්ටයා කතාවෙන් කැරලිකාර දේ පවසයි.

 

– 11 වන පරිච්ඡේදය –

1 හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි;
හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි.
2 අහංකාරය සමඟ නින්දාව එයි;
එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව ඇත.
3 අවංක අයට අවංකකම මඟපෙන්වයි.
ද්‍රෝහියා සිය ද්‍රෝහිකමින් විනාශ වෙයි.
4 මැරෙන දිනයේ දී සම්පතින් වැඩක් නැත;
එහෙත් දැහැමි ජීවිතය මරණින් මුදයි.
5 දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ;
අදමිටුකමින් අදමිටුන්ගේ ම වැටීම සිදු වේ.
6 අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති;
එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති.
7 දුදනාගේ මරණය සමඟ ඔහුගේ පැතුම ද නැසෙයි;
අභක්තිකයන්ගේ ප්‍රාර්ථනා ද එසේ ම නැසෙයි.
8 ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත;
දුෂ්ටයා මිදෙනු වෙනුවට විපතට පත් වෙනු ඇත.
9 අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති;
එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති.
10 දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි;
නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නඟයි.
11 අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි;
එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි.
12 සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි;
එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි.
13 කේලාම් පතුරන්නා රහස් හෙළි කරයි.
එහෙත් විශ්වාසවන්තයා රහස් සඟවා තබාගනියි.
14 දක්ෂ නායකත්වය නැති තැන සෙනඟ පිරිහෙති;
එහෙත් අනුශාසකයන් රැසක් සිටියොත් රට සුරැකේ.
15 නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි;
එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි.
16 විනීත වනිතාව ආත්ම ගෞරවය දිනාගනියි;
එහෙත් අවිනීත ස්ත්‍රිය නින්දාවකි.
අලසයා අත කිසි විටෙක මුදල් නැත;
උත්සාහවන්තයා ධනවත් වෙයි.
17 කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය;
ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය.
18 දුෂ්ටයා වංචාවෙන් ලබන දේ මායාවකි.
එහෙත් යහපත වපුරන්නාට අස්වැන්නක් නියත ය.
19 දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති;
නපුරු මඟ යන්නෝ මරණය ළඟා කර ගනිති.
20 වංක අය සමිඳුන් හට පිළිකුලකි;
අවංක අය එතුමන්ට සතුටකි.
21 දුෂ්ටයා දඬුවම් ලබනු සහතික ය;
එහෙත් සුදනන්ගේ පරපුර ඉන් නිදහස් වනු ඇත.
22 ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය.
23 දමිටුන්ගේ මන දොළ හුදෙක් යහපත සඳහා වේ;
දුදනන්ගේ පැතුමෙන් කිසි වැඩක් නැත.
24 කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති;
තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති.
25 ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය;
අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති.
26 අනුන්ට නො දී ධාන්‍ය රැස් කරන්නාට සෙනඟ සාප කරනු ඇත;
එහෙත් එය විකුණන්නා හට ආසිරි ලැබෙනු ඇත.
27 යහපත ගැන වීර්ය කරන්නා කරුණාව ලබයි;
එහෙත් නපුර සොයන්නා නපුර ම ලබයි.
28 වස්තුව කෙරේ විශ්වාසය තබන්නා වියළි කොළයක් මෙන් වැටෙයි;
එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීක වෙයි.
29 සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි;
මෝඩයා පැණවතා හට වහලෙකු වනු ඇත.
30 ධර්මිෂ්ඨයා ජීවන වෘක්ෂයක් මෙන් පල දරයි;
එහෙත් සැහැසි අයට එය නැති වී යයි.
31 බලන්න, ධර්මිෂ්ඨයා මොලොව දී හොඳ ප්‍රතිඵල ලබයි;
ඊට කොතරම් වැඩියෙන් දුෂ්ටයා හා පාපිෂ්ඨයා දුර්විපාක නොලබත් ද?

 

– 12 වන පරිච්ඡේදය –

1 අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි;
එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි.
2 සත්පුරුෂයා සමිඳුන්ගෙන් ප්‍රසාදය ලබයි;
එහෙත් දුෂ්ට උපා යොදන්නා එතුමාණෝ වරදට පත් කරන සේක.
3 දුෂ්ටකමින් මිනිසෙකුට ස්ථිර ජීවිතයක් නැත;
එහෙත් දැහැමියාගේ ගුණ කිසිදා මුලින් උදුරාදැමිය නොහැකි ය.
4 ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි;
එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි.
5 දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය;
දුෂ්ටයන්ගේ කුමන්ත්‍රණ වංචනික ය.
6 දුෂ්ටයන්ගේ වචන මරණ උගුලකි;
එහෙත් අවංක අයගේ බස් ගැළවීමකි.
7 දුෂ්ටයෝ වැටී නැත්තට ම නැති වෙති;
එහෙත් දැහැමියන්ගේ පරපුර සදහට ම පවතියි.
8 මිනිසෙකුගේ ප්‍රඥාවේ තරමට ඔහු කීර්තිය ලබයි;
එහෙත් වංක සිත අපකීර්තියට ලක් වෙයි.
9 පුහු මානය සොයමින් කුසගින්නෙන් පෙළීමට වඩා
චාම් ගතියෙන් ජීවිකාව ගෙන යෑම යෙහෙකි.
10 දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති;
අදමිටු අය උන්ට ක්‍රෑරතර ය.
11 වැර වීරියෙන් වගා කරන්නාට බතබුලත බහුල ය;
නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නා මෝඩයෙකි.
12 දුෂ්ටයාගේ බලකොටුව මැටි පවුරක් මෙන් බිඳ වැටෙයි;
එහෙත් දැහැමියන්ගේ පදනම් සදහට ම පවතියි.
13 දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි;
එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් ජය ගනියි.
14 එක් මිනිසෙක් සිය වදනින් සඵලවත් වෙයි;
තව මිනිසෙක් තම ශ්‍රමයෙන් ප්‍රතිඵල ලබාගනියි.
15 අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි;
නුවණැත්තා ඔවා බසට සවන් දෙයි.
16 මෝඩයා සිය කො‍්පය වහා පෙන්වයි;
බුද්ධිමතා අපහාසය නොතකා හරියි.
17 ඇත්ත කියන්නා සත්‍යය දක්වයි;
බොරු සාක්ෂිකරු වංචාව ද දක්වයි.
18 කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි;
නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.
19 ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත;
බොරු කියන දිව එක මොහොතකට පමණි.
20 නපුරට මාන බලන්නාගේ සිතෙහි වංචාව ඇත;
සාම සම්මන්ත්‍රණ කරන්නන්ට ප්‍රීතිය ඇත.
21 දැහැමි අයට කිසිදු අනතුරක් සිදු නොවේ ම ය;
දුෂ්ටයන්ට සතර දිගින් විපත ගලා එයි.
22 බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි;
අවංක අය සමිඳුන් හට ප්‍රියමනාප ය.
23 බුද්ධිමතා තම දැනුම ගැන පුරසාරම් නොදොඩයි;
අනුවණයෝ තම අනුවණකම් පතුරුවා හරිති.
24 කාර්යක්ෂම අත රට පාලනය කරයි;
අලසයෝ වහල් සේවයට යට වෙති.
25 සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි.
කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.
26 ධර්මිෂ්ඨයා සිය අසල්වැසියා හට මඟපෙන්වයි;
දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළා කරයි.
27 අලසයා දඩයමේ ගියත් කෑමට මස් නොලබයි;
එහෙත් කඩිසර මිනිසා සාර අස්වැන්නක් ලබයි.
28 දැහැමි මාවතෙහි ජීවනය ඇත;
අදමිටු මඟෙහි මරණය ඇත.

 

– 13 වන පරිච්ඡේදය –

1 පැණවත් පුතා පියාගේ අවවාදයට සවන් දෙයි;
උඩඟු මිනිසා තරවටුව නොසලකයි.
2 සුදනෝ සිය වදනින් යසඉසුරු වළඳති;
කපටියෝ අපරාධය ම සොයා යති.
3 දිව රැකගන්නා දිවි රැකගනියි;
දොඩමළුවා විනාශයට පැමිණෙයි.
4 අලස අය ආසා වුවත් කිසිත් නොලබති;
ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.
5 දැහැමියා මුසාවාද පිළිකුල් කරයි;
දුදන බස තුච්ඡ ය, වංචනික ය.
6 දමිටුකම සුදනන්ට ආරක්ෂාව දෙයි;
අදමිටුකම දුදනන් ප්‍රපාතයට හෙළයි.
7 පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය;
දුප්පත් යයි පෙන්වතත් ඇතැමෙක් පොහොසත් ය.
8 ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි;
දිළිඳාට එවැනි තර්ජනයක් නැත.
9 දමිටුන්ගේ එළිය දීප්තිමත් ව බබළයි;
එහෙත් අදමිටුන්ගේ පහන නිවීගෙන යයි.
10 උඩඟුකම වාද විවාද ඇති කරයි;
ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.
11 නිරායාසයෙන් ලබන සම්පත වහා නැති වී යයි;
වැර වීරියෙන් ලබන වස්තුව තව තව වැඩි වෙයි.
12 පැතූ දෙය පමා වීමෙන් සිත කලකිරෙයි;
පැතුම ඉටු වීම ජීවන වෘක්ෂයකි.
13 ඔවා බස් නොතැකීම කරදරයට පාර කැපීමකි;
ඔවා බස් තැකීම වාසනාව ගෙන එයි.
14 පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි;
එය මරණයේ මලපත්වලින් ඔබ මුදයි.
15 හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි;
ද්‍රෝහීන්ගේ මාර්ගය විනාශය බලා යයි.
16 බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි;
අඥානයා සිය අනුවණකම ගැන පාරට්ටු කරයි.
17 අදක්ෂ නියෝජිතයා නිසා රට කරදරයට පත්වෙයි;
එහෙත් විශ්වාසී තානාපතියා දියුණුව ගෙන දෙයි.
18 අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත;
උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත.
19 මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය.
නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය.
20 නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත;
අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත.
21 විපත පවිටුන් ලුහුබැඳ එයි;
සැපත දමිටුන්ගේ විපාකය වෙයි.
22 සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි:
දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි.
23 වගා නොකළ කෙත්වල දිළිඳුන්ට කෑම තිබිය හැකි ය,
එහෙත් අයුක්තිය නිසා ඒවා පවා රැස් කරගැනීමට ඉඩක් නැත.
24 වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි;
වේවැල ගන්න පියා පුතාට මිතුරෙකි.
25 දමිටු අයට කෑම හිඟයක් නැත;
අදමිටු අයට කවදත් කුසගිනි ඇත.

– 14 වන පරිච්ඡේදය –

1 නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය;
අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.
2 අවංක මිනිසා සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෙකි;
වංක මිනිසා එතුමන් හෙළා දකියි.
3 මෝඩයාගේ දොඩමළු කතා තමාට ම පහර දෙන ඉපලකි;
ප්‍රාඥයාගේ කියුම් ඔහුට රැකවරණය දෙන්නකි.
4 ගවයන් නැති විට අටුකොටු හිස් ව ඇත;
ගවයන් ඇති විට අටුකොටු පිරී ඇත.
5 විශ්වාසී සාක්ෂිකරු බොරු නොකියයි:
බොරු සාක්ෂිකරුවෙක් බොරුව ම කියයි.
6 උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි;
බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි.
7 අඥානයා කෙරෙන් ඈත් වන්න;
ඔහුට කලඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ.
8 නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති;
අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.
9 අනුවණයාට පාපය සෙල්ලමකි;
අවංක අයට පාප කමාව අවශ්‍ය දෙයකි.
10 ඔබේ දුක සැප දන්නේ ඔබ ම ය;
අන් කෙනෙකුට එය ඔබ සමඟ විඳිය නොහැකි ය.
11 දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත;
අවංක අයගේ නිවෙස පවතිනු ඇත.
12 මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ අවසානයේ දී මරණය විය හැක.
13 සිනාවේ පවා සිත් තැවුලක් විය හැක;
ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක.
14 දුදනා සිය ක්‍රියාවල විපාකය ලබයි;
සුදනා තම ක්‍රියාවල ප්‍රතිඵල ලබයි.
15 නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි;
උගතා තම පියවර හොඳින් විමසා බලයි.
16 ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි;
අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.
17 වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි.
එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි.
18 අනුවණයන්ට මෝඩකමේ පල විපාක උරුම වෙයි;
එහෙත් නුවණැත්තෝ දැනුම නමැති කිරුළ පැළඳගනිති.
19 නපුරෝ යහපතුන් අබිමුව වැඳ වැටෙති;
දුදනෝ දැහැමියන්ගේ දොරටු ළඟ වැඳ වැටෙති.
20 දිළින්දාට කිසි ම හිතවතෙක් නැත;
පොහොසතාට නම් බොහෝ මිතුරෝ ඇත.
21 කෙනෙකු හෙළා දැකීම පාපයකි;
දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.
22 නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි;
යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.
23 වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ;
කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ.
24 නැණවතුන්ගේ කිරුළ ඔවුන්ගේ නැණනුවණ වේ;
අඥානයන්ගේ ඔටුන්න ඔවුන්ගේ අනුවණකම වේ.
25 සැබෑ සාක්ෂිකරු ජීවිත ගළවයි;
බොරු සාක්ෂිකරු ජීවිත පාවා දෙයි.
26 දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත;
ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත.
27 දේව ගරුබිය ජීවන උල්පතකි;
එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය.
28 රජුගේ මහේශාක්‍යය රඳා ඇත්තේ සෙනඟගේ සංබ්‍යාව පිට ය;
සෙනඟ අඩුකම ඔහුට මදිකමකි.
29 කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි;
වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.
30 නිසල් සිත, ගතට සුවය දෙයි;
ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි.
31 දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි;
දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.
32 දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි;
ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.
33 නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි;
අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.
34 ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි;
කවර ජාතියට වුව ද පාපය නින්දාවකි.
35 කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති;
යුතුකම් පැහැර හරින අයට ඔව්හු දඬුවම් දෙති.

 

– 15 වන පරිච්ඡේදය –

1 මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි;
රළු පරුස වදන තරහ අවුස්සයි.
2 පැණවතාගේ බස් දැනුම පතුරුවයි;
අනුවණයාගේ මුවින් මෝඩකම ගලා යයි.
3 සමිඳාණෝ දිවැසින් මුළු ලොව නරඹන සේක,
සුදනන් හා දුදදන් පිරික්සා බලන සේක.
4 මුදු මොළොක් වදන් දිවි රුකක් වැනි ය, එහෙත් කටුක වදන් මිනිස් සිත තුවාළ කරයි.
5 මෝඩයා තම පියාගේ ඔවා බස් හෙළා දකියි.
ඔහුගේ අවවාදය සලකන්නා නුවණැතියෙකි.
6 සුදනන්ගේ නිවසෙහි සම්පත් බොහෝ ය;
දුදනන්ගේ වස්තුව කරදර උපදවයි.
7 පැණවතුන්ගේ වචන දැනුම පතුරුවාලයි;
අඥානයන්ගේ වචනවලින් එවැන්නක් සිදු නොවෙයි.
8 දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි;
සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.
9 දුදනන්ගේ ක්‍රියා කලාපය සමිඳුන්ට පිළිකුලකි;
යහ මඟ යන අයට එතුමාණෝ පෙම් කරන සේක.
10 යහ මඟ හැර යන අයට තද දඬුවම් ඇත;
අවවාදය නුරුස්සන අය නසිනු ඇත.
11 පාතාලය හා අපාය වුව ද සමිඳුන්ගේ බැල්මෙන් සැඟවී නැත;
එසේ නම් මිනිස් හදවත එතුමන්ගේ බැල්මෙන් සැඟවිය හැකි ද?
12 උඩඟු මිනිසා අවවාදය නුරුස්සයි;
ඔහු පැණවතුන්ගේ අදහස් නොවිමසයි.
13 සතුටු සිත මුහුණ එළිය කරයි;
සෝ දුක සිත දෙදරවයි.
14 නැණැතියෝ දැනුම සොයා යති;
අනුවණයෝ මෝඩකමින් තෘප්තියට පත් වෙති.
15 පීඩිතයන්ට හැම දවස ම අසුබ දිනයකි;
සතුටු සිත ඇති අයට හැමදා ම මඟුල් උළෙලකි.
16 කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය.
17 වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.
18 වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි;
ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.
19 අලසයාට පාර කටු මාවතකි;
අවංක අයට එය රජ මාවතකි.
20 නැණවත් පුතා පියා ප්‍රීතියෙන් පිනවයි;
එහෙත් අනුවණයා මව හෙළා දකියි;
21 අනුවණයා හට මෝඩකම ප්‍රීතියකි;
එහෙත් නැණවතා කෙළින් ඉදිරියට ම යයි.
22 උවදෙස් නැති ව හදන සැලැස්ම නිසරු වෙයි;
බොහෝ උවදෙස් ඇති විට එය සරු වෙයි.
23 සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි;
තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි.
24 නැණවතා පාතාලය දෙස පහළට නොව, ජීවනය දෙස ඉහළට ගමන් කරයි.
25 සමිඳාණෝ උඩඟු වූවන්ගේ ගේදොර වනසන සේක;
වැන්දඹුවගේ ගෙවතු සීමා ආරක්ෂා කරන සේක.
26 දුදනන්ගේ අදහස් සමිඳුන් හට පිළිකුලකි;
පිවිතුරු සිත් ඇති අයගේ වචන එතුමන්ට ප්‍රීතියෙකි.
27 ධන ලෝභී මිනිසා සිය පවුලට කරදර ගෙන දෙයි;
අල්ලස් නුරුස්සන මිනිසා දිගායු වළඳයි.
28 දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි;
නොදැහැමියා වහා පිළිතුරු දෙයි;
එයින් කරදර ගොඩක් ඇති වෙයි.
29 සමිඳාණෝ දුදනන් වෙතින් ඈත් ව සිටින සේක;
එහෙත් සුදනන්ගේ යැදුමට සවන් දෙන සේක.
30 සිනහා මුහුණ මන පිනවයි;
සුබ පුවත් ඇඟපතට සුව සැප දෙයි.
31 යහපත් අවවාදයට කන් දෙන තැනැත්තේ,
නැණවතුන් අතර නැණවතෙකි.
32 අවවාද එපා කරන මිනිසා තමාට ම සතුරෙක් වෙයි.
උවදෙස් අසන්නා වැඩි වැඩියෙන් නැණනුවණ ලබයි.
33 දේව ගරුබිය ප්‍රඥාවේ පාසලකි;
යටහත්පහත්කම ගරු බුහුමන් ලැබීමට මඟකි.

 

– 16 වන පරිච්ඡේදය –

1 සිතුවිලි සැලැස්ම මිනිසා සතු ය;
අවසන් තීරණය සමිඳුන් වෙත ය.
2 තම ක්‍රියාවලිය හරි යයි මිනිසා සිතයි; එහෙත් සමිඳාණෝ ඔහුගේ ඇතුළාන්තය විමසන සේක.
3 ඔබේ ක්‍රියාවලිය සමිඳුන් හට කැප කරන්න;
එවිට ඔබේ අරමුණු ඉටු වනු ඇත.
4 සමිඳුන් මැවූ හැම දෙයට ම ඉරණමක් ඇත;
දුදනන්ගේ ඉරණම විනාශය වේ.
5 උඩඟු සිත් ඇති අය සමිඳුන්ට පිළිකුලකි.
ඔවුන්ට දඬුවම සිකුරු ය.
6 දෙවිඳුන් කෙරේ පක්ෂපාත ව විශ්වාසී ව සිටින්න;
දෙවිතුම ඔබේ පව් කමා කරනු ඇත.
සමිඳුන් කෙරේ ගරුබිය දක්වන්න, කිසි නපුරක් ඔබට නොවනු ඇත.
7 මිනිසෙකුගේ කල්ක්‍රියාවලට සමිඳුන් සතුටු වන විට, ඔහුගේ සතුරෝ වුවද මිතුරන් වනු ඇත.
8 වංකකමින් ලබන සැප සම්පත් රාශියට වඩා අවංකකමින් උපයන අල්පයක් වුව ද යහපත.
9 මිනිසා සැලැස්ම සාදයි, සමිඳාණෝ ඔහුගේ ගමන හසුරුවන සේක.
10 රජ තෙම දෙවි අනුහසින් කතා කරයි.
එබැවින් ඔහුගේ තීරණ නිවැරදි ය.
11 තුලා සහ තරාදි හරි ව තිබීම දෙවි තුමන්ගේ කැමැත්ත ය, හරි පඩි භාවිතය එතුමන්ගේ අදහස ය.
12 පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය.
13 අවංක කතාබහ රාජ ප්‍රසාදය දිනයි;
ඇත්ත පවසන අයට රජවරු ප්‍රසන්න ය.
14 රජුගේ උදහස මාර දූතයෙකු වැන්න, නැණවතා ඒ උදහස සංසිඳුවයි.
15 රජුගේ මුහුණේ බැබළෙන එළියෙහි ජීවනය ඇත;
රාජ ප්‍රසාදය වසන්තයේ වැහි වලාකුළක් වැන්න.
16 රනට වඩා පැණ ද රිදියට වඩා නැණ ද ප්‍රසන්න ය.
17 නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය;
ඔබේ ක්‍රියා මාර්ග ගැන ප්‍රවේසම් වී දිවි රැකගන්න.
18 විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.
19 උඩඟු අය සමඟ කොල්ලය බෙදාගැනීමට වඩා,
යටහත් සිතින් දිළිඳුන් ඇසුරු කිරීම යහපත.
20 දෙව් වදන් සලකන අයට සව් සැපත ද සමිඳුන් අදහන අයට වාසනාව ද ඇත.
21 සිතෙහි ප්‍රඥාව ඇත්තා නැණවතෙකි;
සිය මියුරු බසින් අන් අය නම්මා ගනියි.
22 නුවණැත්තාගේ ප්‍රඥාව ඔහුට ජීවන උල්පතකි.
එහෙත් අනුවණයාට ඉගැන්වීමෙන් වැඩක් නැත.
23 නැණවතා කතාවට පෙර සිතා බලයි;
ඔහු පවසන දෙයින් දැනුම දියුණු වෙයි.
24 ප්‍රිය වදන මී වදය මෙන් කටට රස ය, ඇඟට ගුණ ය,
25 මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ වුව ද, මරණයෙන් අවසන් විය හැකි ය.
26 සාගින්න කම්කරුවා වැඩට යවයි;
සාගින්න නිවාගැනීම ඔහුගේ අරමුණ වෙයි.
27 දුදනා නපුරු කටකතා පතුරුවයි:
ඔහුගේ දිව, දැවෙන ගින්නකි.
28 කලහකාරී අය වාද භේද පතුරුවති;
කේළාම් කියන්නෝ මිතුරුදම් බිඳලති.
29 දාමරිකයෝ මිතුරන් මුළා කරති;
ඔවුන්ගේ විනාශයට මඟ පාදති.
30 දෙතොල තද කරගන්නා විපත ගෙන දෙයි;
ඇස් කොණකින් ඉඟි කරන්නා නපුර සිතයි.
31 පැසුණු හිස තෙද කිරුළකි, එය ලැබෙන්නේ දැහැමි ජීවිතයකිනි.
32 ඉවසීම, බලතලවලට වඩා ප්‍රශස්ත ය;
ආත්මදමනය, නුවරක් යටත් කරගැනීමට වඩා අගනේ ය.
33 තීරණයක් ගැනීමට පස ඇට දමනු ලැබේ;
තීරණය දෙන්නේ සමිඳාණෝ ය.

 

– 17 වන පරිච්ඡේදය –

1 අඬදබර ඇති ගෙදරක මංගල භෝජන වැළඳීමට වඩා සාමදානයෙන් වියළි පාන් කෑල්ලක් කෑම හොඳ ය.
2 නාස්තිකාර පුතෙකු සිටින තැන සිහි නුවණ ඇති දාසයා පාලකයා වෙයි.
සොහොයුරන් අතර උරුමයෙන් කොටසක් ද ඔහු ලබයි.
3 රිදී සෝදිසි කර බැලීමට කෝවය ද රන් සෝදිසි කර බැලීමට උදුන ද ඇත;
මිනිස් සිත සෝදිසි කර බැලීම සමිඳුන් අතේ ය.
4 නපුරා නපුරු කතාවලට කන් දෙයි;
බොරුකාරයා බොරු වදනට සවන් දෙයි.
5 දිළිඳාට උසුළු-විසුළු කිරීම මැවුම්කාර දෙවිඳුට අවමන් කිරීමකි.
අනුන්ගේ දුක් විපත් ගැන ප්‍රීති වෙන්නාට දඬුවම සිකුරු ය.
6 මහලු වියේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝ ය.
දරුවන්ගේ පාරට්ටුව නම් ඔවුන්ගේ පියවරු ය.
7 හරබර කතාව මෝඩයෙකුට නොගැළපෙයි;
හොරබොරු කතාව උතුමෙකුට ඊටත් වඩා නොගැළපෙයි.
8 සමහරු අල්ලස සිතුමිණකැ යි සිතති;
හැරෙන හැරෙන අතට ඔහුට වාසනාව ඇතැ යි කල්පනා කරති.
9 අනුන් කළ වරද සිතට නොගන්නා මිතුදම දියුණු කරයි;
එය මතු කර කර බලන්නා මිතුදම බිඳදමයි.
10 අනුවණයාට පහර සියයකට වඩා, නුවණැතියාට එක අවවාදයක් වැඩදායක වෙයි.
11 නපුරාගේ එක ම අරමුණ කැරලි ගැසීම ය;
එබැවින් ඔහු වෙත නපුරු දූතයෙකු එනු නියත ය.
12 මෝඩ දෙයක් කරන මෝඩයෙකු හමු වීමට වඩා, පැටවුන් නැති වුණු වැලහින්නකට මුහුණ පෑම යහපත.
13 කළ හොඳට නරකක් කරන මිනිසාගේ නිවසින් විපත පහ ව යන දවසක් එන්නේ ම නැත.
14 නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය;
වාද විවාද හටගන්න පෙර ඒවා වැළැක්වීම හොඳ ය.
15 දුදනන් නිදොස් කරන මිනිසා ද සුදනන් සදොස් කරන මිනිසා ද සමිඳුන්ට එක සේ පිළිකුලකි.
16 දැනුම් තේරුම් නැති මෝඩයෙකුට අධ්‍යාපනය සඳහා වියදම් කිරීමෙන් වැඩක් ඇද් ද?
17 මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම මිතුරෝ ය;
සොහොයුරන් සිටින්නේ විපතේ දී අත දීමට ය.
18 අසල්වැසියාගේ ණයතුරුස්වලට මැදි වී අත්තිකාරමක් දෙන්නා සිහි නුවණ නැති මිනිසෙකි.
19 දබරයට ප්‍රිය කරන්නා පාපයට ප්‍රිය කරයි;
නිතර පුරසාරම් දොඩන්නා කරදරයට දොර අරියි.
20 වංක සිතට සැපසම්පත් නැත, කපටි අයට දුක් විපත් ඇත.
21 අනුවණ පුතාගේ පියාට සෝදුක ඇත,
මෝඩ පුතාගේ පියාට ප්‍රීතියක් නැත.
22 සතුටු සිත මහා ඖෂධයකි;
බිඳුණු සිතකින් ඇඟපත වැහැරී යයි.
23 දූෂිත විනිසකරුවෝ රහස් අල්ලස් ගනිති;
ඉන් යුක්තිය අයුක්තියට පෙරළති.
24 දැනුම්තේරුම් ඇති මිනිසාගේ ඉලක්කය ප්‍රඥාව ය;
එහෙත් මෝඩයා ඉලක්කයක් නැති ව ඉබාගාතේ යන්නේ ය.
25 අනුවණ පුතා සිය පියා හට ශෝකයකි, වැදූ මවට දුකකි.
26 දැහැමි අයට දඩ ගැසීම නුසුදුසු ය;
උතුමන් හට පහර දීම ඉතා ම නුසුදුසු ය.
27 දිව දමනය කරන්නාට ප්‍රඥාව ඇත;
තැන්පත් සිතක් ඇති අයට වැටහීම ඇත.
28 මෝඩයා පවා නිහඬ ව සිටින විට නැණවතෙකු මෙන් සැලකේ;
කට පියාගෙන සිටින විට බුද්ධිමතෙකු මෙන් ගණන් ගැනේ.

 

– 18 වන පරිච්ඡේදය –

1 හුදකලාව වසන මිනිසා තම මතය ම අනුගමනය කරයි;
කවර උවදෙසකට වුව ද කිපෙයි.
2 අනුවණයා යමක් තේරුම්ගැනීමට කැමැත්තක් නොදක්වයි;
ඔහුගේ එක ම කැමැත්ත තම පණ්ඩිතකම හුවා දැක්වීමයි.
3 දුෂ්ටකම ඇති තැන නින්දාව ඇත;
ගෞරවය නැති තැන ලජ්ජාව ඇත.
4 මිනිසාගේ කියමන්, මහ සයුර මෙන් ගැඹුරු ය, ගලා යන දොළක් වැනි ය, නොසිඳෙන උල්පතක් වැනි ය.
5 විනිශ්චයේ දී, දුදනන්ට වාසිය සැලසීම ද සුදනන්ගෙන් යුක්තිය පැහැරගැනීම ද හරි නැත.
6 මෝඩයාගේ කතාබහින් වාද විවාද ඇති වෙයි,
ඔහුගේ කට නිසා ගුටි බැට ලබයි.
7 අඥානයාගේ කට ඔහුගේ විනාශය වේ;
ඔහුගේ ම වචන ඔහුට ම උගුලක් වේ.
8 කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය.
9 අලසයා හා නාස්තිකාරයා එක වල්ලේ පොල් වැනි ය.
10 සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි;
දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති.
11 පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි.
12 විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත;
ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.
13 පිළිතුරු දීමට පෙර සවන් දෙන්න;
නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.
14 මිනිසෙක් සිය ආත්ම ශක්තියෙන් ලෙඩ දුක් උසුලයි;
එය බිඳ වැටුණොත් කවරෙකුට එය ඉසිලිය හැකි ද?
15 බුද්ධිමත් සිත දැනුම ලබාගනියි;
නැණවතාගේ අවධානය ප්‍රඥාව දෙසට ය.
16 ඔබ දෙන ත්‍යාගය ඔබට අලුත් දොරවල් ඇර දෙයි;
ප්‍රභූවරයන් වෙත යාමට අවස්ථාව ද සලසයි.
17 උසාවියේ දී විත්තිය හරස් ප්‍රශ්න අසන තුරු පැමිණිල්ල සාධාරණ යයි පෙනේ.
18 පස ඇට දැමීමෙන් උසාවියේ නඩුවක් විසඳිය හැකි ය,
බලවත් දෙගොල්ලක් අතර සාමය ඇති කළ හැකි ය.
19 සොහොයුරාට අත දෙන සොහොයුරා බලකොටුවක් වැනි ය;
සොහොයුරා සමඟ දබර කළොත් ඔහු ඔබට දොර වසනු ඇත.
20 මිනිසෙකු පවසන දේ ගැන වගකීම ඔහු ම දැරිය යුතු ය.
ඒ පිට ඔහුගේ ප්‍රගතිය රඳා ඇත.
21 ජීවිතය හා මරණය ඔබේ වචන මත රඳා ඇත;
ඒවායේ ප්‍රතිවිපාක ඔබේ ම වගකීම ය.
22 බිරිඳක සොයා ගන්නා යහපතක් සොයා ගනී;
දෙවිඳුන්ගෙන් ලත් ප්‍රසාදයකි.
23 දිළිඳා නම් බැගෑපත් ව අයැදියි;
ධනවතා නම් රළු පිළිතුරක් දෙයි.
24 සමහර මිතුරෝ කලකට පමණ ය.
සමහර මිතුරෝ සොහොයුරන්ටත් වඩා හිතවත් ය.

 

– 19 වන පරිච්ඡේදය –

1 අවංක ගතිගුණ ඇති දිළිඳා වංචා කතා කියන මෝඩයාට වඩා උතුම් ය.
2 දැනුමෙන් තොර උද්‍යෝගය හොඳ නැත, ඉක්මන් වීමෙන් කරදර ඇති වේ.
3 සමහරු මෝඩකමින් විපතට පත්වෙති;
පසු ව සමිඳුන් හට දොස් තබති.
4 සම්පත් ඇති තැන මිතුරෝත් බහුල ය;
දුප්පතාට ඇති මිතුරාත් නැති වී යයි.
5 බොරු සාක්කි කියන්නාට දඬුවම් නියත ය;
මුසාවාද දෙසන්නාට නිදහස් වීමක් නැත.
6 බොහෝ දෙන ලොකු ලොක්කන්ගේ හොඳ හිත සොයති;
නොමසුරු ව දෙන මිනිසාට කාත් කවුරුත් මිතුරෝ වෙති.
7 දිළිඳාගේ සියලු සොහොයුරෝ ඔහු අප්‍රිය කරති, එසේ නම්, ඔහුගේ මිතුරෝ ඊටත් වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද් ද?
ඔහු ඔවුන් පස්සේ දුවතත් ඔවුන්ට ළං විය නොහැකි ය.
8 ප්‍රඥාව ලබාගන්නා අර්ථ සිද්ධිය සාදාගනියි;
සිහි නුවණින් ක්‍රියා කරන්නා සෞභාග්‍යය සලසාගනියි.
9 බොරු සාක්කිකරුට දඬුවම නියත ය;
මුසාවාදය දෙසන්නාට විපත සිකුරු ය.
10 මෝඩයෙකුට නායකත්වය නොහොබී;
අධිපතිකම් කිරීම වහලුන්ට කිසිසේත් නොහොබී.
11 සිහිකල්පනාව ඇත්තා වහා නොකිපෙන සුලු ය;
අනුන්ගේ වරද නොතකා හැරීම උදාර ගුණයකි.
12 රජුගේ උදහස සිහ රදෙකුගේ ගර්ජනාව වැනි ය,
ඔහුගේ කරුණාව තණ මත පිනි බිඳු වැනි ය.
13 අනුවණ පුතා පියාගේ විනාශය වේ.
බැණ වදින බිරිඳ නොනැවතී වහින වැස්සකි.
14 ගෙවතු හා වස්තුව පියාගෙන් ලැබෙන උරුමයකි;
නුවණින් ක්‍රියා කරන බිරිඳ දෙවි තුම දෙන දීමනාවකි.
15 කුසීතකම බර නින්දට පමුණුවයි.
කම්මැළියා සාගින්නෙන් පෙළෙයි.
16 දේව නීති පිළිපදින අයට දිගායු ඇත,
ඒවා මඟහරින අයට මරණය ඇත.
17 දිළිඳුන්ට දෙන්නා සමිඳුන්ට ණයට දෙයි,
පසු ව සමිඳාණෝ ඔහුට වැඩි වැඩියෙනුත් දෙන සේක.
18 බාල වියේ දී ම පුතුට දඬුවම් දී හික්මවන්න, එහෙත් මැරෙන තරම් ඔහුට නොතළන්න.
19 වහා කිපෙන අය දඬුවම් විඳිනු ඇත;
ඔබ ඔහු වරක් මිදුවත් නැවත නැවත එය කිරීමට සිදු වේ.
20 අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න;
එවිට ඔබ මතු දවස නැණවතෙක් වන්නෙහි ය.
21 මිනිසා සිතින් බොහෝ දේ අරමුණු කරයි;
එහෙත් ස්ථිරවන්නේ සමිඳුන්ගේ අරමුණ ය.
22 මිනිසෙකුගේ පැතුම විය යුත්තේ දයා කරුණාව ය;
දිළිඳුකම වංකකමට වඩා යෙහෙකි.
23 සමිඳුන්ට ගරුබිය, ජීවනයේ මඟ ය;
ඒ මඟ යන මිනිසා විපතින් දුරු ව තෘප්තියට පැමිණෙයි.
24 අලසයා බත් පිඬ ගන්න බඳුනට අත දමයි,
එහෙත් එය කටට ගන්න පවා කම්මැළි ය.
25 උඩඟු මිනිසාට තළන්න, අනුවණයා නැණවත් වන්නේ එවිට ය.
තේරුම් ඇත්තාට ඔවා බස් දෙන්න, ඔහු දැනුම ලබන්නේ එවිට ය.
26 පියාට ගරහන, මව ගෙදරින් පිටමං කරන පුතා, හිරිඔතප් නැති, නින්දිත කෙනෙකි.
27 අවවාදයට සවන් නොදෙන පුතා, ප්‍රඥාවේ වචනයට පිටුපා යනු නියත ය.
28 නීච සාක්ෂිකරු යුක්තිය පෙරළයි;
දුදන බස් වරදට රුකුල් දෙයි.
29 උඩඟු මිනිහාට දඬුවම සිකුරු ය;
මෝඩයාට කස පහර නියත ය.

 

– 20 වන පරිච්ඡේදය –

1 මද්‍යපානය කේලාම්කරුවෙකි;
සුරාපානය කලහකරුවෙකි;
බීමත්කමින් මුළාවෙන්නා මෝඩයෙකි.
2 රාජ කෝපය සිංහ රාජයෙකුගේ ගර්ජනාව මෙන් බියකරු ය;
රජුන් කෝප කරන්නා සිය පණට හානියක් පමුණුවාගනියි.
3 ඕනෑ ම මෝඩයෙකුට දබරයක් ඇරඹිය හැකි ය;
ඉන් වැළකී සිටීම මිනිසෙකුට ගෞරවයකි.
4 නියම කන්නයේ දී වැපිරීමට අලස වන ගොවියාට
කපන කාලයේ දී අස්වැන්නක් නැත.
5 මිනිස් සිතේ අදහස් ගැඹුරු ළිඳක වතුර වැනි ය;
නැණනුවණ ඇති අය එය ඇදගනිති.
6 සිය පක්ෂපාතකම ගැන පුරසාරම් දොඩන අය බොහෝ ය,
එහෙත් සැබෑ විශ්වාසී කෙනෙකු සෙවීම කළුනික සෙවීමකි.
7 සත්ගුණවත් අවංක පියෙකුගේ දරුවෝ භාග්‍යවන්තයෝ ය.
8 සිහසුන් අරා නඩු අසන රජෙක් සිය නැණැසින් හරි වැරදි විසඳයි.
9 ”මගේ සිත පිරිසිදු ය;
මගේ පව් සේදී ඇතැ”යි කිය හැකි කෙනෙක් මොලොව ඇද් ද?
10 දෙයාකාර තරාදි ද දෙයාකාර කලන් පඩි ද ඇත.
ඒවා සමිඳුන් හට පිළිකුලකි.
11 ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ,
එයින් ඔහුගේ අවංකකම ද පිරිසිදුකම ද දැනගත හැකි ය.
12 ඇසීමට කණ ද, බැලීමට ඇස ද යන දෙක ම මැවුයේ සමිඳාණෝ ය.
13 නින්දට ප්‍රිය වුවහොත් ඔබට දිළිඳුකම ඇත.
නොනිදා අවදි ව සිටියොත් කුස පුරා කෑම ඇත.
14 පාරිභෝගිකයා ගිනි ගණන් ගැන වෙළෙඳාට දොස් නඟයි,
එහෙත් එතැනින් ගිය විට තම වාසිය ගැන කයිවාරු කියයි.
15 ලොවෙහි රන්මුතු කොතරම් ඇතත් නැණවත් කියමන දුර්ලභ මැණිකකි.
16 අමුත්තෙකුට ඇප වන විට ඇපවන්නාගේ ඇඳුම ගන්න;
එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න.
17 සොරාගත් කෑම කටට රස ය, එහෙත් පසු ව එය කටේ පස් මෙන් ය.
18 හොඳ අවවාද ඇති විට ඔබට සඵලය ඇත;
සියුම් සැලසුම නැති ව රණබිමට නොයන්න.
19 වාචාලයා රහස් එළිදරව් කරයි;
දොඩමලු අයගෙන් ඈත් වන්න.
20 පියාට හෝ මවට හෝ දොස් කියන අයගේ ජීවිතය ගන’ඳුරේ නිවී යන පහනක් වැනි ය.
21 මුල දී වහා ගොඩනඟන සම්පතින් අන්තිමේ දී වැඩි සෙතක් නැත.
22 නපුරට නපුර කරමි යි නොකියන්න, සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න, එතුමාණෝ නුඹ සුරකින සේක.
23 දෙයාකාර කලන් පඩි සමිඳුන්ට පිළිකුලකි,
හොර තරාදි සුදුසු නැත.
24 මිනිසෙකුගේ ගමන් මඟ සමිඳාණෝ මෙහෙය වන සේක,
එසේ නම්, යමෙකුට තමා යන මඟ තේරුම්ගත හැකි ද?
25 බාරයක් වෙන්න පෙර සිතා බලන්න,
බාර වීමෙන් පසු ළතැවීමෙන් පලක් නැත.
26 නැණවත් නිරිඳා වරදකරුවන් සොයා බලා, දයා විරහිත ව දැඩි දඬුවම් දෙයි.
27 මිනිසාගේ හෘදයසාක්ෂිය සමිඳාණන් දැල්වූ පහනකි;
එයින් ඔහුගේ මුළු අභ්‍යන්තරය විනිවිද පෙනෙයි.
28 කරුණාව හා අවංකකම රජුට ආරක්ෂාව සලසයි;
දැහැමි බව ඔහුගේ සිහසුන තහවුරු කරවයි.
29 යෞවනයන්ගේ අලංකාරය ඔවුන්ගේ කාය ශක්තිය වේ;
වෘද්ධයන්ගේ ගෞරවය ඔවුන්ගේ පැසුණු හිස වේ.
30 වැරදි මඟ හරි මඟ කරගැනීමට නම් ඇතැම් විට දුක් බර අත්දැකීම් අවශ්‍ය වේ.

 

– 21 වන පරිච්ඡේදය –

1 රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.
2 මිනිසෙකුට තමන් කරන කොයි දෙයත් හරි යයි පෙනේ, එහෙත් සමිඳාණෝ මිනිස් හදවත කිරා බලන සේක.
3 දැහැමිකම හා යුක්තිය ඉටු කරන්න, එය පුද පඬුරුවලට වඩා සමිඳුන්ට ප්‍රසන්න ය.
4 උඩඟු බැල්ම ද අහංකාර සිත ද යන මේ පව් දුදනන්ගේ චරිත ලක්ෂණ වේ.
5 හිතා මතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය;
ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය.
6 වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව මීදුමක් මෙන් පහ ව යයි,
ඔහු මරණයේ මලපත්වල ද පැටලේ.
7 යුක්තිය කරන්න අකමැති නිසා දුෂ්ටයෝ තමන්ගේ ම අපරාධවලින් වැනසෙති.
8 වරදකරුවන්ගේ මඟ ඇද ය;
නිදොස් අයගේ ක්‍රියා කෙළින් ය.
9 කලහකාරී බිරිඳක සමඟ ගෙදර විසීමට වඩා අටුවේ මුල්ලක විසීම හොඳ ය.
10 දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය;
ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත.
11 උඩඟු මිනිසාට තළන්න, එවිට නූගතා ගුරුකම් ලබයි.
නැණවතාට ඔවා බස් දෙන්න, එවිට ඔහු වැඩියෙනුත් දැනුම ලබයි.
12 දැහැමි දෙවිඳාණෝ දුදනන්ගේ පරපුර අවසන් කරන සේක;
දුදනන් විනාශ කර දමන සේක.
13 දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.
14 රහසින් දෙන තිළිණය කෝපය සංසිඳුවයි;
හොරෙන් දෙන අල්ලස කෝපාග්නිය නිවයි.
15 යුක්තිය ඉටු වන විට සුදනන්ට සතුට ද දුදනන්ට විපත ද පැමිණේ.
16 ප්‍රඥා මාවතෙන් මුළා ව යන මිනිසා මළවුන්ගේ ලෝකයෙහි වසයි.
17 සැප සෙල්ලමට ඇලුම් වන්නා හිඟමනට බසියි;
මත්පැනට හා සැප දිවියට ඇලුම් වන්නා කිසි කලෙක පොහොසත් නොවෙයි.
18 දුදනන් සුදනන් හට දෙන වද දුදනන් පිටට ම ආපසු පැමිණෙයි.
19 බැණ වදින, දබරකාරී බිරිඳක සමඟ විසීමට වඩා මරු කතරක තනියම විසීම හොඳ ය.
20 නැණවතාගේ නිවෙස සැපසම්පතින් පිරී ඇත.
එහෙත් අනුවණයා නාස්තිකාරයෙකි.
21 දැහැමි, කාරුණික ජීවිතයක් ගත කරන්න;
එවිට ඔබ ජීවනය ද යුක්තිය ද ගෞරවය ද ලබන්නෙහි ය.
22 උපායෙහි දක්ෂ සෙනෙවියා අවි ගත් බළ සෙබළුන් රකින නුවරකට නගියි.
ඔවුන් විශ්වාසය තැබූ කොටු පවුරු බිඳ හෙළයි.
23 විපතට නොවැටී සුරැකි ව ඉන්න නම් කට රැකගන්න.
24 ගර්විත උඩඟු මිනිසාගේ නම ‘ගරහන්නා’ යනුයි.
ඔහු උද්ධච්ඡ ව අහංකාරයෙන් ක්‍රියා කරයි.
25 දෑත වෙහෙසා වැඩ නොකරන අලසයා ඔහුගේ ම මරණයට මඟ පාදයි.
26 දවස පුරා ඔහු ආශා වන දෙය ඔහුට ලැබෙන්නේ නැත;
එහෙත් දැහැමි මිනිසා දෙයි, නොමසුරු ව ම දෙයි.
27 දුදනන් පුදන යාග පූජා සමිඳුන්ට පිළිකුලකි,
වැරදි චේතනාවෙන් පුදන විට වැඩියෙනුත් පිළිකුලකි.
28 බොරු සාක්කිකරු වැනසී යයි;
සාවධාන ව සවන් දෙන්නාගේ වදන් සුරැකී පවතියි.
29 දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි;
අවංක මිනිසා තමා යන මඟ ගැන කල්පනාකාරී වෙයි.
30 ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.
31 යුද බිමෙහි අශ්ව සේනාව සැරසී සිටියත්, ජයශ්‍රීය එන්නේ සමිඳුන්ගෙනි.

 

– 22 වන පරිච්ඡේදය –

1 ධන සම්භාරයට වඩා හොඳ නාමය ද රන් රිදීවලට වඩා ගෞරවය ද අගනේ ය.
2 සමිඳුන් අබියස පොහොසතා හා දුප්පතා අතර වෙනසක් නැත, සමිඳාණන් ඒ දෙදෙන ම මැවූ බැවිනි.
3 නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි.
එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.
4 යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත.
5 වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත;
සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි.
6 දරුවා බාල වියේ දී ම යහ මඟ යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත් ව නොයයි.
7 පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති;
ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.
8 අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගනියි.
ඔහුගේ කටයුතුවල අවසානය විනාශය ය.
9 කුළුණු ගුණෙන් දිළිඳුන් හට කෑම දෙන අය සෙත් සිරි ලබනු ඇත.
10 අහංකාර මිනිසා දුරින් දුරු කරන්න;
එවිට තරඟය, විවාද හා අවලාද නවතිනු ඇත.
11 සුමිහිරි බස රාජ ප්‍රසාදය දිනයි;
එහෙත් සමිඳුන් කැමැති නිර්මල සිත් ඇති අයට ය.
12 සමිඳාණෝ මුසාවාදීන්ගේ වදන්හි අසත්‍යය පෙන්වන සේක;
සත්‍යය රැකීමට කරුණු යොදන සේක.
13 ”පිටත සිංහයෙක් සිටියි, වීදියට ගියොත් මා මැරෙනු ඇතැ”යි අලසයා කියයි.
14 වෙසඟනකගේ කට ගැඹුරු වළක් වැන්න;
සමිඳුන්ගේ කෝපයට පාත්‍රවන්නෝ ඒ වළේ වැටෙති.
15 ළාමක වැඩ කිරීම ළමයින්ගේ සහජ ගතියකි.
වේවැල භාවිතයෙන් එය දුරු කළ හැකි ය.
16 කෙනෙක් දිළිඳුන් පෙළීමෙන් පොහොසත් වෙති.
පොහොසතුන්ට තෑගිබෝග දීමෙන් කෙනෙක් දිළිඳු වෙති.

ආප්තෝපදේශ තිහ

17 මාගේ උපදේශයන්ට සවන් දෙන්න;
මාගේ අනුශාසනාවන්ට හිත යොමන්න.
18 ඒවා සිතෙහි නිදන් කරගන්න;
කතාබහේ දී උපුටා දක්වන්න;
එවිට ප්‍රීතිය ඔබ සතු වනු ඇත.
19 ඔබේ විශ්වාසය සමිඳුන් කෙරේ තබන්න;
මා අද පවසන මේ ඔවා බස් ඒ සඳහා ය.
20 දැනුම හා නැණවත් උපදෙස් සහිත කියුම් තිහක් මම මෙහි ලියා තබමි.
21 එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය.
ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි.

– 1 –

22 දිළිඳා දිළිඳු නිසා ඔහුගෙන් අයුතු වාසියක් නොගන්න;
අසරණයා අසරණ නිසා උසාවියේ දී ඔහුට පීඩා නොකරන්න.
23 මන්ද, සමිඳුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
ඔවුන්ගෙන් පැහැරගන්න අයගෙන් පැහැරගනු ඇත.

– 2 –

24 වහා කිපෙන අයෙකු සමඟ මිත්‍ර නොවන්න;
කෝපයෙන් පුපුරන කෙනෙකු ඇසුරු නොකරන්න.
25 එසේ කළොත් ඔබත් ඒ නරක ගතිවලට ඇබ්බැහි වනු ඇත.
ඔබ මලපතකට ද අසුවනු ඇත.

– 3 –

26 උකස් දෙන්නන්ගේ ගණනට එකතු නොවන්න;
අන් කෙනෙකුගේ ණයතුරුස්වලට ඇප නොවන්න.
27 ඇපය ගෙවීමට ඔබට නොහැකි වූවොත් ඔවුන් ඔබේ නිදන යහන පවා ගෙන යන්නට බැරි නැත.

– 4 –

28 ඔබේ මුතුන්මිත්තන් පිහිටෙවූ පැරණි මායිම් ගල් කිසි විටෙක වෙනස් නොකරන්න.

– 5 –

29 තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.

 

– 23 වන පරිච්ඡේදය –

– 6 –

1 ඔබ රජ කුමරෙකු සමඟ කෑමට හිඳින කල අබිමුවෙහි ඇති දේ ගැන කල්පනාකාරී වන්න.
2 ඔබ කෑදර නම් කෑදරකම දමනය කරගන්න.
3 ඔහුගේ රසවත් කෑමට ගිජු නොවන්න, මෙය ඔබ රැවටීමේ උපායක් වන්නට බැරි නැත.

– 7 –

4 පොහොසත් වන්නට නොවෙහෙසෙන්න, ඒ අදහස ඔබේ සිතින් අත්හරින්න.
5 වස්තුව දෙස බලන විට ම එය පියාපත් මවාගෙන, රාජාලියෙකු මෙන් අහසට පියාඹා යනු ඇත.

– 8 –

6 මසුරෙකු සමඟ කෑමට නොයන්න, ඔහුගේ ප්‍රණීත ආහාර වැළඳීමට ලොල් නොවන්න.
ඒ කෑම කෙස් රොදක් මෙන් උගුරේ හිර වෙනු ඇත.
7 ”තව බෙදාගන්න, හොඳට කන්නැ”යි ඔහු කියතත්,
ඔහුගේ සිත අවංක නැත.
8 එවිට ඔබ කෑ දෙය වමාරාලීමට ඔබට සිදු වනු ඇත.
ඔබ කළ ප්‍රශංසාවෙන් වැඩක් නොවනු ඇත.

– 9 –

9 අනුවණයාට නුවණින් කතා කිරීමෙන් වැඩක් නැත;
ඔබේ කීම්වල අගය තේරුම්ගන්න ඔහු අපොහොසත් ය.

– 10 –

10 පැරණි මායිම් ගල් කිසි දා වෙනස් නොකරන්න;
අනාථයන්ගේ වතුපිටි අල්ලා නොගන්න.
11 මන්ද,
ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න ය;
එතුමාණන් උසාවියේ දී ඔබට විරුද්ධ ව පෙනී සිටිනු ඇත.

– 11 –

12 ඔබේ සිත විනයට ද ඔබේ කන් ප්‍රඥාවට ද යොමු කරන්න.

– 12 –

13 දරුවාට දඬුවම් කිරීමට අදිමදි නොකරන්න,
කෝටු පාර දුන්නාට ඔහු මැරෙන එකක් නැත.
14 කෝටුවෙන් ඔහුට තළන්න, එයින් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.

– 13 –

15 මාගේ පුත්‍රය, ඔබ නැණවතෙකු වුණොත් මටත් කොතරම් ප්‍රීතියක් ද?
16 ඔබ නැණවත් දේ පවසන විට මාගේ හදවත පිනා යයි.

– 14 –

17 පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න.
18 එසේ කළොත්, ඔබට අනාගතයක් ඇත, එය දීප්තිමත් අනාගතයක් වනු ඇත.

– 15 –

19 මාගේ පුත්‍රය, ම වදන් අසා නැණවත් වන්න;
හරි මඟ ගමන් කරන්න.
20 සුරා සොඬුන් ද මස් මාංසයට කෑදර වූවන් ද ඇසුරු නොකරන්න.
21 මන්ද, බේබද්දාත්, කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති.
ඔබත් වෙරිමතින් හිඟමනට බසිනු ඇත.

– 16 –

22 ඔබට ජීවය දුන් පියාගේ බස් අසන්න;
මහලු වියට පත් ඔබේ මව සුළු නොකරන්න.
23 සත්‍යය ද ප්‍රඥාව ද උගත්කම ද නැණනුවණ ද මිල දී ගන්න,
ගත් පසු, ඒවා කිසි ම දාක නොවිකුණන්න.
24 දැහැමි පුතෙකුගෙන් පියාට ප්‍රීතිය ඇත;
නැණවත් පුතෙකු ඇති පියා සතුටින් පිනා යයි.
25 ඔබේ පියාට ද මවට ද ආඩම්බරයක් වන්න;
ඔබගේ වැදූ මවට ඒ ප්‍රීතිය දෙන්න.

– 17 –

26 මාගේ පුත්‍රය, ම වදන් සිතට ගන්න, මා දෙන ඔවාබස් පිළිගන්න.
27 වෙසඟන ගැඹුරු වළකි;
සලෙලු ලිය පටු ළිඳකි.
28 මොවුහු හොරුන් මෙන් සැඟවී බලා සිටිති,
බොහෝ දෙන පරදාර සේවනයට පොළඹවති.

බීමත්කමේ දුර්විපාක
– 18 –

29 දුක කාට ද?
කාලකණ්ණිකම කාට ද?
අඬදබර කාට ද?
මැසිවිලි කාට ද?
නිකරුණේ තුවාළ කාට ද?
රතු ඇස් කාට ද?
30 සුරා බෝතලය ළඟ පමා වන මිනිසාට ය.
තව තවත් මත්පැන් බොන්න යන මිනිසාට ය.
31 මද්‍යසාරය රතට රතේ දිළිසෙන විට, වීදුරුවෙහි පෙණ දමන විට, ලස්සනට වැක්කෙරෙන විට, ඒ දෙස නොබලන්න.
32 අන්තිමේ දී එය, නයෙකු මෙන් සපා කයි;
පොළඟෙකු මෙන් දෂ්ට කරයි.
33 එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි;
ඔබේ කට විලම්බීත දොඩවයි.
34 එවිට ඔබ මුහුද මැද ඒ මේ අත පෙරළෙන කෙනෙකු මෙන් ද කුඹ ගස මුදුනේ නිදන්න හදන කෙනෙකු මෙන් ද වනු ඇත.
35 එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත:
” ‘ඔවුන් මට පහර දෙන්නට ඇත,
නමුත් මට රිදුණේ නැත.
ඔවුන් මට ගසන්නට ඇත, නමුත් මට දැනුණේ නැත.
කොයි වේලේ මා අවදි වේ ද?
එවිට මම තව උගුරක් බොමි.’ ”

 

– 24 වන පරිච්ඡේදය –

– 19 –

1 පවිටුන් ආදර්ශයට නොගන්න, ඔවුන් ඇසුරට ආශා නොවන්න.
2 ඔවුන්ගේ සිතේ එක ම අරමුණ සැහැසිකමක් කිරීම ය;
ඔවුන්ගේ එක ම කතාව නපුරක් කිරීම ය.

– 20 –

3 ගෙදරක පදනම් දැමිය යුත්තේ ප්‍රඥාවෙනි, එය ගොඩනැඟිය යුත්තේ ඥානයෙනි.
4 එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ යුත්තේ බුද්ධියෙනි.

– 21 –

5 පැණවතා බලවතාට වඩා උදාර ය.
බුද්ධිමතා ශක්තිමතාට වඩා ශ්‍රේෂ්ඨ ය.
6 රණ බිමෙහි විජය සඳහා දක්ෂ උපා අවශ්‍ය ය;
උපදේශකයන් වැඩි වූ තරමට විජය සිකුරු ය.

– 22 –

7 මෝඩයෙකුට ප්‍රඥාව ඔරොත්තු නොදෙයි;
උසාවියේ දී ඔහුට එක වචනයක් වත් නොකිය හැකි ය.

– 23 –

8 කොයි වේලෙත් හොර මැරකම් කිරීමේ අදහස ඇති මිනිස්සු ”ඉහළ පෙළේ තක්කඩි”යයි කියනු ලබති.
9 මෝඩයාගේ කොයි යෝජනාවත් පාපී ය.
උඩඟු මිනිසා සෙසු අයට පිළිකුලකි.

– 24 –

10 අර්බුදයක් ඉදිරියෙහි දුබල වන මිනිසා, සැබැවින් ම දුබල මිනිසෙකි.

– 25 –

11 මරණයට ගෙනයනු ලබන අය මුදාගන්න;
ඝාතනයට ගෙනයනු ලබන අය ගළවාගන්න.
12 ”මම මේ ගැන කිසිත් නොදනිමි”යි ඔබ කියතත්,
යටි හිත විමසන දෙවි තුමාණෝ එය නොදකිත් ද?
ඔබ පිරික්සා බලන උතුමා එය නොදන්නේ ද?
එක එක මිනිසාගේ එක එක ක්‍රියාවට විපාක නොදෙන්නේ ද?

– 26 –

13 මාගේ පුත්‍රය, මී පැණි ඇඟට ගුණ ය;
කටට රස ය;
එය පානය කරන්න.
14 ඔබේ ජීවිතයට ප්‍රඥාව ද එසේ ම ය;
එය ලදහොත් හොඳ අනාගතයක් උදා වෙයි.
ඔබේ පණ කෙන්ද නොකැඩී පවතියි.

– 27 –

15 දැහැමියාගේ නිවස වටා නපුරෙකු මෙන් සැඟවී නොසිටින්න;
ඔහුගේ වස්තුව කොල්ල නොකන්න.
16 .දැහැමියා සත් වරක් වැටුණත් ඔහු යළි නැඟිටියි;
එහෙත් දුෂ්ටයා විපතට වැටුණොත් වැටුණා ම ය.

– 28 –

17 ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න;
ඔහුගේ වැටීම ගැන ප්‍රීති නොවන්න.
18 ඔබේ ඒ ප්‍රීතිය දක්නා සමිඳාණන් අසතුටු වනු ඇත.
සිය උදහස සතුරා කෙරෙන් පහකරනු ඇත.

– 29 –

19 නපුරන් ගැන නොකිපෙන්න;
දුදනන් ආදර්ශයට නොගන්න.
20 නපුරන්ට අනාගතයක් නැත;
නිවී යන පහනක් මෙන් ඔවුන් පහවනු ඇත.

– 30 –

21 මාගේ පුත්‍රය, සමිඳුන්ට ද රජුට ද ගරුබිය දක්වන්න;
ඔවුන්ට විරුද්ධ ව කැරලි නොගසන්න.
22 මන්ද, හිටිහැටියේ ඔවුන්ගෙන් විපත පැමිණෙනු ඇත.
ඒ දෙදෙනාගෙන් එන විපත්තිය කවරෙක් දනිද් ද?

තවත් උපදේශ

23 මේවාත් ප්‍රාඥයින්ගේ කියමන් ය:
අධිකරණයේ දී පක්ෂපාත ව ක්‍රියා කිරීම යුතු නැත.
24 ”වැරදිකරු නිවැරදි ය”යි තීන්දු දෙන විනිසකරුට ජනතාව සාප කරනු ඇත.
ජාතීන් ඔහු හෙළා දකිනු ඇත.
25 එහෙත් වැරදිකරුට දඬුවම දෙන අය කීර්තිය දිනාගනියි;
ජනතාව ඔහුට සෙත් සිරි පතති.
26 අවංක පිළිතුර සුහදතාවේ ලකුණකි.
27 කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු,
ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න.
28 හේතුවක් නැති ව අසල්වැසියාට විරුද්ධ ව සාක්ෂි නොදෙන්න;
ඔහු ගැන බොරු සාක්ෂි නොකියන්න.
29 ”ඔහු මට කළ දේ ම මමත් ඔහුට කරමි;
ඔහු කළ දෙයට සෑහෙන පළියක් ගනිමි”යි නොකියන්න.
30 මම අලසයාගේ කෙත ළඟින් ද අනුවණයාගේ මිදි වත්ත අසලින් ද ගියෙමි.
31 එහි හැම තැන ම කටු පඳුරු වැවී තිබිණි, මුළු ඉඩම කහඹිලියාවලින් වල් බිහි වී තිබිණි,
ගල් තාප්පය බිඳ වැටී තිබිණි.
32 මම එය හොඳින් බලා, තේරුම්ගතිමි.
මේ පාඩම ඉගෙනගතිමි:
33 තව ටිකක් නිදාගන්න, ටිකක් සැතපෙන්න, අත් දෙක පොරවාගෙන නිකම් ඉන්න,
34 එවිට ඔබ වෙත දිළිඳුකම සොරෙකු මෙන් ද හිඟකම අවි ගත් කෙනෙකු මෙන් ද පැමිණෙනු නියත ය.

 

– 25 වන පරිච්ඡේදය –

සලමොන් රජුගෙන් තවත් උපදේශ

1 ජුදාහි රජ වූ හෙසකියාගේ ලේකම්වරුන් විසින් පිටපත් කරන ලද සලමොන් නිරිඳුන්ගේ තවත් උපදේශ පහත දක්වනු ලැබේ.
2 අබිරහස් ගැන අපි දෙවිඳුන්ට ගරු කරමු;
අර්ථය පහදා දීම ගැන අපි රජුට පැසසුම් දෙමු.
3 රජුගේ හිතුම් පැතුම් අහස මෙන් උස ය, මුහුද මෙන් ගැඹුරු ය, අචින්ත්‍ය ය.
4 රිදීයෙන් බොර පහකරන්න, එවිට විසිතුරු බඳුනක් තැනීමට රිදීකරුවාට හැකි වේ.
5 රජු වෙතින් දුදනන් පහකරන්න;
එවිට රාජ සිහසුන දැහැමිකමෙහි තිරසර වේ.
6 රජු අබිමුවෙහි මහන්තත්ත්වය නොපාන්න;
ප්‍රභූන්ගේ තත්ත්වය නොපතන්න.
7 රජ කුමරෙකු ඉදිරියෙහි පහත්කරනු ලැබීමට වඩා ”ඉහළ තැනට එන්නැ”යි කියා කැඳවනු ලැබීම කොතරම් හොඳ ද?
8 ඔබ දුටු යමක් ගැන ඉක්මන් වී උසාවි නොයන්න;
වෙන සාක්ෂිකරුවෙකු ඔබ නිරුත්තර කළොත් කුමක් කරන්න ද?
9 අසල්වැසියා සමඟ ම ආරාවුල බේරාගන්න;
අනුන්ගේ රහස් අන් අයට හෙළි නොකරන්න.
10 එසේ කළොත් ඔවුන් ඔබට අවලාද කියනු ඇත.
ඔබේ අපවාද පහනොවනු ඇත.
11 තැනට කැපෙන වචනය රිදී තැටියක නෙළූ රන් කැටයමක් වැන්න.
12 මැනවින් සවන් දෙන අයට නැණවතාගේ ඔවා බස් රන් අරුංගල් ජෝඩුවක් ද තනි රන් මාලයක් ද වැන්න.
13 විශ්වාසවත් පණිවුඩකරු තම හිමියාට ගිම්හානයේ රස්නය නිවන සිහිල් හිම මෙන් සතුට ගෙන දෙයි.
14 දීමට පොරොන්දු වී නො දී සිටින අය වැහි නොදෙන සුළං හා වලාකුළු මෙනි.
15 ඉවසීමෙන් අධිපතියකු වුව ද නම්මාගත හැක;
මුදු මොළොක් බසින් දැඩි ආධිපත්‍යය බිඳිය හැක.
16 මී පැණි ලදහොත් තරමට පමණක් කන්න;
වැඩියෙන් කෑවොත් වමනය ඇති වේ.
17 අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර නොයන්න;
ගියොත් ඔහුට ඔබ එපා වී ඔහු ඔබ නුරුස්සයි.
18 අනුන්ට විරුද්ධ ව බොරු සාක්ෂි කියන්නා මුගුරක් ද කඩුවක් ද තියුණු ඊගසක් ද මෙන් නපුරු ය.
19 විපත්ති දවසේ දී චපල මිනිසෙකු කෙරේ විශ්වාසය තැබීම,
දිරා ගිය දතක් ද කොර කකුලක් ද ඇති ව සිටීම මෙනි.
20 දුකින් පෙළෙන කෙනෙකුට මියුරු ගීයක් ගැයීම තුවාළයක් මත විනාකිරි දැමීමත් සීත දවසක ඔහුගේ කබාය ගැලවීමත් සමාන ය.
21 ඔබේ සතුරාට සාගිනි නම් කන්න දෙන්න;
පිපාසා නම් බොන්න වතුර ටිකක් දෙන්න;
22 මෙසේ හිස ගිනිගත් කෙනෙකු මෙන් ඔහුට දැරිය නොහැකි ලජ්ජාවකින් දැවීමට සලසනු ඇත.
සමිඳුන් ඔබට විපාක දෙනු ඇත.
23 උතුරු සුළඟ වැස්ස ගෙනෙයි, එලෙස ම කේළාම් කීම කෝපය අවුස්සයි.
24 කලහකාරී බිරිඳක සමඟ ගෙයි විසීමට වඩා එහි අටුවේ මුල්ලක විසීම හොඳ ය.
25 දුර රටකින් එන හොඳ ආරංචිය,
පිපාසයෙන් වේළුණු උගුරට ඇල් වතුර මෙනි.
26 දුදනා අබිමුව බියෙන් ගැහෙන සුදනා බොර දිය නඟින උල්පතක් ද පල් වතුර ඇති ළිඳක් ද වැනි ය.
27 මී පැණි ගොඩක් බීම හොඳ නැත;
තම ගෞරවය ම වැඩියෙන් සෙවීම ද හොඳ නැත.
28 අසංවර මිනිසා කොටු පවුරු නැති බිඳ වැටුණු නුවරක් වැන්න.

 

– 26 වන පරිච්ඡේදය –

1 ගිම්හානයේ දී හිම ද, ගොයම් නෙළන කාලයේ දී වැස්ස ද, අනුවණයෙකුට ගරු සම්මාන ද හරි නැත.
2 ඔබමොබ පියාඹන ගේ කුරුල්ලා මෙන් ද ඉගිළී යන වැහිලිහිණියා මෙන් ද හේතුවක් නැති ව කරන සාපය නොරැඳී පලා යයි.
3 අශ්වයාට කසය ඇත;
බූරුවාට කටකලියාව ඇත;
අනුවණයාට කෙවිට ඇත.
4 මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙක් වෙයි.
5 මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට දිය යුත්තේ මෝඩ පිළිතුරකි.
නැත්නම් ඔහු, ‘තමා නැණවතෙකැ’යි සිතනු ඇත.
6 අනුවණයා අත පණිවුඩයක් යවන්නා, සිය දෙපා කපාගෙන දුකට පත් වෙයි.
7 අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ කොරාගේ කකුල් මෙන් පණ නැත.
8 අනුවණයාට ගෞරවය දීම ගල පටියේ බැඳ විදීම මෙන් නිෂ්ඵල ය.
9 අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ, බේබද්දා අතින් වනන කටු අත්තක් වැනි ය.
10 මඟ යන අඥානයකු කුළී වැඩට ගන්නා, පාරේ යන හැම අයට ම තුවාළ කරන දුනුවායෙකු මෙනි.
11 එම මෝඩකම යළිත් කරන මෝඩයා, උගේ වමනයට හැරී යන බල්ලෙකු වැනි ය.
12 මෝඩයා වුව ද ‘තමා නැණවතෙකැ’යි කියා සිතන අනුවණයාට වඩා හොඳ ය.
13 අලසයා වැඩට නොයන පිණිස මෙසේ කියයි:
”පාරේ සිංහයෙක් ඇත, වීදියේ නිදැල්ලේ දුවන සිංහයෙක් ඇත.”
14 දොර, අසව්ව පිට ඒ මේ අත හැරෙයි, අලසයා ද තම යහනේ ඒ මේ අත පෙරළෙයි.
15 අලසයා බත් පිඬ ගන්න බඳුනට අත දමයි; එහෙත් එය කටට ගන්න වත් කම්මැළි ය.
16 නුවණැති ව පිළිතුරු දෙන සත්දෙනෙකුට වඩා ‘තමා නැණවතෙකැ’යි අලසයා සිතයි.
17 අනුන්ගේ දබරයකට ඇඟිලි ගසන්නා, පාරේ යන බල්ලෙකු උගේ කන් දෙකින් අල්ලාගන්නෙකු හා සමාන ය.
18 තමාගේ අසල්වැසියා රවටමින්,
19 ”මම සෙල්ලමට එය කෙළෙමි”යි කියන මිනිසා, තමා වටකර බියකරු ගිනි පෙනෙලි ද මාරක ඊගස් ද විසි කරන පිස්සෙකු වැනි ය.
20 දර නැති තැන ගින්න නිවෙයි;
කේළාම් නැති තැන දබර නවතියි.
21 ගිනි අඟුරුවලට මයිනහමත්, ගින්නට දරත් යම් සේ ද දබරයක් ඇවිස්සීමට කලහකාරී මිනිසාත් එසේ ම ය.
22 කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය.
23 නපුරු හදවත් සඟවාගෙන කරන සිනිඳු කතාව රිදී ගෑ මැටි බඳුනක් වැන්න.
24 කපටියා චාටු බස් මුවාවෙන් වෛරය වසාගනියි.
සතුරා මිහිරි බස් දොඩයි,
එහෙත් හිත තුළ වෛරය තබාගනියි.
25 ඔහුගේ හදවත උතුරා යන තරම් නපුරෙන් පිරී ඇත,
මිතුරු වචන කීවත් ඔහු විශ්වාස නොකරන්න.
26 තම නපුරුකම ව්‍යාජයෙන් වසාගත්තත්, ඔහුගේ දුෂ්ටකම සියල්ලන් හට හෙළි වනු ඇත.
27 ඔහු කණින වළෙහි ඔහු ම වැටෙන්නේ ය;
ඔහු පෙරළා හරින ගලට ඔහු ම යට වන්නේ ය.
28 මුසා බස් දොඩන්නා ඉන් හානි වූවන්ට වෛර කරයි,
ඉච්චා බස් දොඩන්නා විනාශය ගෙන දෙයි.

 

– 27 වන පරිච්ඡේදය –

1 ”අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න.
2 අන්‍යයෝ ඔබට ප්‍රශංසා කරත් වා;
අමුත්තෝ වුව ද ඔබට ප්‍රශංසා කරත් වා, එහෙත් ඔබ ඔබට ම ප්‍රශංසා කර නොගන්න.
3 ගල් බර ය, වැලිත් බර ය,
අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය.
4 කෝපය කුරිරු ය;
ක්‍රෝධය රුදුරු ය;
එහෙත් ඊර්ෂ්‍යාව ඉවසිය හැක්කේ කාට ද?
5 කෙළින් තරවටු කිරීම ක්‍රියාවෙන් නොපෙන්වන ප්‍රේමයට වඩා අගනේ ය.
6 මිතුරාගෙන් වන රිදුම හිතවත්කමේ ලකුණකි.
සතුරාගෙන් ලැබෙන සිඹීම විපතේ පෙර නිමිත්තකි.
7 කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ;
සාගිනි ඇති අයට තිත්ත කදුරුත් මිහිරි වේ.
8 සිය රට හැර යන මනුෂ්‍යයා කැදැල්ල හැර පියාඹන කුරුල්ලා වැනි ය.
9 සඳුන්, කපුරු, සුවඳ විලවුන් මන පිනවයි;
හිරිහැර, කරදර සිත දෙදරවයි.
10 ඔබේ ම මිත්‍රයා ද පියාගේ මිත්‍රයා ද අත් නාරින්න.
විපතේ දී නෑයින් වෙත නොයන්න.
ළඟ සිටින මිතුරා දුර සිටින නෑයාට වඩා අගනේ ය.
11 මාගේ පුත්‍රය, මට ගරහන අයට උත්තර දෙන පිණිස නැණවත් ව ම සිතට සතුට දෙන්න.
12 නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි;
අනුවණයා එය ඉදිරියට ගොස් දුක් විඳියි.
13 අමුත්තෙකුට ඇප වන විට ඇප වන්නාගේ ඇඳුම ඇපයට ගන්න,
එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න.
14 ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය.
15 කලහකාරී කතගේ කන්දොස්කිරියාව නොනැවතී වසින වැස්සක් වැන්න.
16 ඇය නැවැත්වීමට තැත් කිරීම සුළඟ අල්ලාගැනීම වැනි ය.
තෙල් අහුරක් ගැනීම වැනි ය.
17 යකඩින් යකඩ මුවහත් වෙයි;
එසේ ම මනසින් මනස දියුණු තියුණු වෙයි.
18 අත්තික්කා ගස බලාගන්නා එහි ගෙඩි කයි;
තම හිමියාට සලකන්නා ගෞරවය ලබයි.
19 වතුරෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම මුහුණ ය;
සිතෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම චරිතය ය.
20 පාතාලය හා අවීචිය කවදාවත් තෘප්තියට නොපැමිණෙයි;
මිනිසාගේ තෘෂ්ණාව ද කවදාවත් සෑහීමට පත් නොවෙයි.
21 රිදී, කෝවයෙන් දැනගනිති;
රන්, ගිනි උදුනෙන් දැනගනිති;
මිනිසා, පැසසුමෙන් දැනගනිති.
22 මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද?
23 ඔබේ ගව පට්ටිවල තත්ත්වය මැනවින් දැනගන්න;
ඔබේ ගව රැළට මුළු සිත දෙන්න.
24 ධන සම්පත් සදහට ම පවතින්නේ නැත.
රජකම ද පරපුරෙන් පරපුරට පවතින්නේ නැත.
25 තණපත් මැලවුණ විට ළා තණ නැගෙයි.
කඳු මත පලා ජාති එක්රැස් කරනු ලැබෙයි.
26 ඔබේ රෙදිපිළි පිණිස බැටළු පැටවුන් ද කෙතේ සම්පත පිණිස එළුවන් ද ඇත.
27 ඔබේ ද ඔබේ ගෙයි වැසියන්ගේ ද කෑම පිණිසත්, ඔබේ සේවිකාවන්ගේ නඩත්තුව පිණිසත්, සෑහෙන තරම් එළු කිරි ලැබෙනු ඇත.

 

– 28 වන පරිච්ඡේදය –

1 කිසිවෙකු ලුහුබැඳ නාවත් දුෂ්ටයා පලා යයි;
එහෙත් ධර්මිෂ්ඨයා සිංහයෙකු මෙන් වැජඹෙයි.
2 කැරලිකාර රාජ්‍යයක නායකයෝ බොහෝ දෙනෙකි,
එහෙත් නැණවත් පැණසර අයගෙන් යුත් රාජ්‍යයක් තිරසර ව පවතියි.
3 දිළිඳුන් පෙළන දුෂ්ටයා අස්වැන්න වනසන මහ වැස්සක් වැන්න.
4 නීති රීති කඩන්නෝ දුෂ්ටයන්ට පැසසුම් කරති;
නීති රීති රකින්නෝ ඔවුන්ට විරුද්ධ ව සිටිති.
5 නපුරු මිනිස්සු යුක්තිය තේරුම් නොගනිති;
සමිඳුන් සොයා යන්නෝ එය මුළුමනින් ම තේරුම්ගනිති.
6 වැරදි මඟ යන ධනවතාට වඩා හරි මඟ යන දිළින්දා අගනේ ය.
7 නීතිය රකින්නා නැණවත් පුත්‍රයෙකි;
දාමරිකයන් ඇසුරු කරන්නා තම පියාට නිගාවකි.
8 වැඩි පොළියෙන් හා අයුතු ලාභයෙන් උපයන ඔබේ ධනය දිළිඳුන්ට දයාව දක්වන කෙනෙකුට හිමි වේ.
9 දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.
10 අවංක අය නපුරු මඟට හරවන්නා තමා කැපූ වළේ ම වැටෙනු නියත ය;
එහෙත් සත්පුරුෂයා ආසිරි ලබනු ඇත.
11 ධනවතා තමන් නැණවතෙකැ යි සිතයි;
එහෙත් ඔහුගේ නියම තත්ත්වය දත් දිළිඳා එය වටහාගනියි.
12 දමිටු අය බලය ලබන කල සියල්ලෝ උත්සව පවත්වති.
දුෂ්ට අය උසස් වන කල ඔව්හු බියෙන් සැඟවෙති.
13 තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි;
වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.
14 දේව ගරුබිය ඇත්නම් ඔබට වාසනාව ඇත;
මුරණ්ඩුකම ඇත්නම් ඔබට විපත ඇත.
15 දුබල සෙනඟක් ආණ්ඩු කරන දුෂ්ටයා ගොරවන සිංහයෙකි,
ගොදුරු සොයා යන වලසෙකි.
16 නැණ හීන අධිපතියා දරුණු පාලකයෙක් වෙයි;
අයුතු ලාභයට ද්වේෂ කරන්නා දිගායු වළඳයි.
17 මිනීමැරීමේ වරදින් පෙළෙන්නා යුහුයුහු ව වළ පල්ලට යයි;
කිසිවෙකු එය නොවළක්වත්වා.
18 අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි;
වංක ලෙස ජීවත් වෙන්නා විපතට වැටෙයි.
19 වැර වීරියෙන් වගාකරන්නාට බතබුලත බහුල ය;
නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නාගේ දිළිඳු බව ඉමහත් ය.
20 විශ්වාස කටයුතු මිනිසාට ආසිරි විපුල ය;
ධනය ඉපැයීමට ඉක්මන් වන්නා දඬුවම් ලබනු නියත ය.
21 තරාතිරම් බැලීම හරි නැත;
බත් කටක් තකා අපරාධයක් කරන්නෝ වෙති.
22 වස්තු ලෝභියා වස්තුව සොය සොයා වේගයෙන් දුවයි;
කවදා හරි හිඟකමට පැමිණෙන බව ඔහු නොදනියි.
23 කපටි ඉච්චාවට වඩා අවංක විවේචනය ප්‍රශංසනීය ය.
24 දෙමවුපියන්ගෙන් සොරාගෙන එහි වරදක් නැතැ යි කියන්නා අන්ත හොරෙකි.
25 තණ්හාව ඇත්තා කලහ අවුස්සයි;
සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත.
26 හුදෙක් සිය නුවණෙහි රැඳෙන්නා මෝඩයෙකි;
නැණවත් ලෙස හැසිරෙන්නා සුරැකි ව වසන්නෙකි.
27 දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත;
දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත.
28 නොදැහැමි අය බලයට පත් වන විට වැසියෝ බියෙන් සැඟවෙති;
ඔවුන් වැනසෙන විට දැහැමියෝ බලයට පත් වෙති.

 

– 29 වන පරිච්ඡේදය –

1 බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත;
එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.
2 දමිටු අය පාලකයන් වන විට රට වැසියෝ ප්‍රීති වෙති.
අදමිටු අය පාලනය කරන විට රට වැසියෝ දුකින් සුසුම්ලති.
3 ප්‍රඥාවට ගරු කරන්නා සිය පියාට ප්‍රීතිය ගෙන දෙයි;
වෙසඟනන් ඇසුරු කරන්නා ඔහුගේ ධනය කාදමයි.
4 යුක්තියෙන් පාලනය කරන රජෙක් රටට චිරස්ථිතිය ගෙන දෙයි,
එහෙත් වැසියන් පෙළා අයබදු ගන්නා රට වනසයි.
5 අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි.
6 දුදනාගේ අයුතු වැඩ ඔහුට ම මලපතකි;
සුදනා ගී ගයමින් තුටු පහටු වෙයි.
7 දැහැමියා දිළිඳාගේ හිමිකම් සලකයි;
දුදනා එවැනි අවබෝධයක් නොදක්වයි.
8 අනුන්ට ගරහන මිනිස්සු නගරයට ගිනි තබති.
එහෙත් නැණවත්හු උදහස් ගින්න නිවාදමති.
9 නුවණැතියා මෝඩයෙකු උසාවියට ගෙන ගියොත් තමා ම නින්දා අපහාස ලබනු මිස ඉන් වන වැඩක් නැත.
10 මිනීමරුවෝ නිදොස් අයට වෙර බඳිති;
එහෙත් දැහැමියෝ නිදොස් අය රැකගනිති.
11 අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි;
නැණවතා සිය උදහස වළකාගනියි.
12 පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ වෙති.
13 දිළින්දා හා ඔහු පෙළන අය අතර එක පොදු දෙයක් ඇත,
ඒ දෙදෙනාට ම සෙත උදාවෙන්නේ සමිඳුන්ගෙනි.
14 සාධාරණකමින් දිළිඳුන් රක්නා රජුගේ සිහසුන සදහට ම තිරසර ය.
15 කෝටුව හා තරවටුව බුද්ධි වර්ධනය සලසයි;
හිතු හිතූ දේ කරන දරුවා මවට ලජ්ජාවකි.
16 දුදනන් පාලනයට පත් වන විට අපරාධ වැඩි වෙයි;
එහෙත් සුදනෝ දුදනන්ගේ වැටීම දකිති.
17 පුතු හික්මවන්න;
එවිට ඔබේ සිතට සහනය ද ප්‍රීතිය ද ලැබෙයි.
18 ජීවිත දර්ශනයක් නැති තැන විනයක් නැත.
විනය රක්නා අය වාසනාවන්ත ය.
19 මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි;
අවවාදය තේරුම් ගියත් ඔහු එය නොපිළිගනියි.
20 හිතා මතා කතා නොකරන මිනිසෙක් ඇද් ද?
එවැන්නෙකුට වඩා අනුවණයෙකුට අනාගතයක් ඇත.
21 මෙහෙකරුවෙකු බාලවියේ සිට ම සව් සැප දී ඇති කළත්,
අන්තිමේ දී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත.
22 කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි;
උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.
23 අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ;
එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි.
24 හොරෙකුට හවුල් වන්නා තමාගේ ම පරම සතුරෙකි;
දිවුරුම් දුන්නත්, හොරා ඇත්ත නොපවසයි.
25 මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි;
සමිඳුන් කෙරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වෙයි.
26 පාලකයන්ගේ අනුග්‍රහය පතන්නෝ බොහෝ ය;
එහෙත් යුක්තිය පැමිණෙන්නේ සමිඳුන්ගෙනි.
27 අදමිටු අය දමිටුන්ට පිළිකුලකි;
දමිටු අය අදමිටුන්ට පිළිකුලකි.

– 30 වන පරිච්ඡේදය –

ආගුර්ගේ ඔවදන්

1 පහත දැක්වෙන්නේ, ජාකේගේ පුත් ආගුර්ගේ විශිෂ්ට අවවාදානුශාසනා ය:
දෙවිඳුන් මා සමඟ නැත.
මා සමඟ නැත.
මම අසරණයෙක්මි.
2 මම මිනිසෙකු නොව, තිරිසනෙකු ව සිටිමි.
මිනිසෙකුට හිමි, මිනිස් ප්‍රඥාව මට නැත.
3 මම කවදාවත් ප්‍රඥාව දැන නොගතිමි;
දෙවිඳුන් පිළිබඳ දැනුමක් මට නැත.
4 සගලොවට නැඟී බැස ආවේ කවරෙක් ද?
සිය දෑතින් සුළඟ අල්ලාගත්තේ කවරෙක් ද?
සිය සළුවෙහි ජලය ඔතාගත්තේ කවරෙක් ද?
මහ පොළොවේ සීමා පිහිටෙව්වේ කවරෙක් ද?
ඔහුගේ නම කුමක් ද?
ඔහුගේ පුත්‍රයාගේ නම කුමක් ද?
නුඹ එවැනි කෙනෙකු දන්නෙහි ද?
5 දෙවිඳුන්ගේ හැම කියමනක් ම අත්දුටු සත්‍යය වේ;
දෙව් සරණ පතන අයට එතුමාණෝ පලිහක් වැනි ය.
6 එතුමන්ගේ වචනවලට කිසිවක් එක් නොකරන්න;
එසේ කළොත්, එතුමන් ඔබට තර්ජනය කරනු ඇත.
ඔබ බොරුකාරයෙකු බව පෙන්වනු ඇත.
7 මා ඔබ වෙත ගෙනා අයැදුම් දෙකක් ඇත;
මගේ දිවි ඇති තාක්, ඒවා ප්‍රතික්ෂේප නොකළ මැනව.
8 වංචාවත් මුසාවත් මා කෙරෙන් දුරු කළ මැනව.
මට දිළිඳුකම වත් පොහොසත්කම වත් නුදුන මැනව.
මට වුවමනා පමණට ආහාර දුන මැනව.
9 එසේ දිය යුත්තේ, මා සැප සම්පතින් පිරී, ඔබ හැරදමා,
”ඔය කියන සමිඳාණෝ කවරෙක් දැ”යි නොකියන පිණිසත්, මා දිළිඳෙකු වී, සොරකමට වැටී, දෙවිඳුන්ගේ නාමයට අගෞරව නොකරන පිණිසත් ය.
10 මෙහෙකරුවෙකු ගැන හාම්පුතුට කේළාම් නොකියන්න,
එසේ කළොත් සමහර විට ඔබ මෙහෙකරුගේ සාපය ලැබ දුක් විඳිනු ඇත.
11 සිය මුතුන්මිත්තන්ට දෙස් කියන, සිය මවුවරුන්ට සෙත් නොපතන, මිනිසුන් ඇත.
12 තමන්ගේ කිළිටි ගති සෝදා නොදමා, තමන් පවිත්‍ර යයි සිතන, මිනිසුන් ඇත.
13 අහංකාර, උඩඟු බැල්මක් ඇති මිනිසුන් ඇත.
14 මිහි පිට දිළිඳුන් ද ජනතාව අතරෙන් දුගීන් ද ගිලදැමීමට, කඩුපත් වැනි දත් හා පිහියා වැනි හකු ද ඇති මිනිසුන් ඇත.
15 ”දෙන්න, දෙන්නැ”යි කියන, දූවරුන් දෙදෙනෙක් කූඩැල්ලාට ඇත.
”ඇති, ඇති” කියන, තෘප්තියට නොපැමිණෙන දේවල් තුන හතරක් ඇත.
16 එනම්, පාතාලය ද වඳ ගැබ ද පිපාසයෙන් පෙළෙන මහ පොළොව ද දැවෙන ගින්න ද යන මේවා ය.
17 පියාට ගරහන, මහලු මව හෙළා දකින අයගේ දෑස දෙණියේ කපුටන් කනු ඇත, ගිජු ලිහිණියන්ට ගොදුරු වනු ඇත.
18 මට තේරුම්ගත නොහැකි කාරණා තුන හතරක් ඇත.
19 එනම්, අහස් කුසෙහි රාජාලියා පියාඹන මාවත ද කඳු මත සර්පයා යන පාර ද මහ සයුරේ නැව් යන මඟ ද ළඳක සමඟ මිනිසෙකුගේ පෙම් මාවත ද යන මේවා ය.
20 වෙසඟනකගේ කල්ක්‍රියාව මෙසේ ය:
ඈ කම්සැපෙහි යෙදුණු පසු ඇඟපත සෝදාගෙන, ”මා කළ වරදක් නැතැ”යි කියන්නී ය.
21 මහ පොළොව කම්පා කරවන, ඊට ඉසිලිය නොහැකි කරුණු තුන සතරක් ඇත.
22 එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද
23 පෙම් විරහිත කතක් විවාහ වීම ද ස්වාමිදුවගේ තැන සේවිකාව ගැනීම ද යන මේවා ය.
24 කුඩා වුව ද ඉතා නැණවත් ජාති සතරක් ලොව සිටිති.
25 කුරාකුහුඹුවෝ දුබල සත්තු ය;
එහෙත් ගිම්හානයේ දී උන් කෑම රැස් කර තබති.
26 බෙන් හාවෝ බෙලහීන සත්තු ය;
එහෙත් උන් සියල්ලෝ පර්වතවල සිය ගෙවල් තනාගනිති.
27 පළඟැටියන්ට රජෙක් නැත;
එහෙත් උන් සියල්ලෝ පෙළ ගැසී ගමන් කරති.
28 හූනා අතින් අල්ලාගත හැකි සතෙකි;
එහෙත් ඌ රජ මැදුරුවල සැරිසරයි.
29 අභිමාන ලෙස පියවර තබන තුන් වර්ගයක් සිටිති.
අලංකාර ලෙස ඇවිදින තුන් හතර වර්ගයක් වෙති.
30 එනම්, මෘගයන් අතර ඉතා බලවත්, කිසිවෙකු වෙතින් අහකට හැරී නොයන සිංහ රාජයා ද
31 කිකිළියන් මැද නටන කුකුළා ද රැළට පෙරටු ව යන එළුවා ද සිව්රඟ සෙනඟ පිරිවරා යන රජ ද යන මොවුහු ය.
32 නුඹ මෝඩකමින් උඩඟු වී නපුරු බස් දොඩන්න පෙළෙඹෙන විට කට පියාගෙන නිහඬ වන්න.
33 කිරි කැලැත්තීමෙන් වෙඬරු සෑදෙයි, නහය මිරිකීමෙන් ලේ ගලා එයි, උදහස ඇවිස්සීමෙන් අඬදබර හටගනියි.

– 31 වන පරිච්ඡේදය –

මවගෙන් රජුට ඔවාබස්

1 මස්සාහි ලෙමුවෙල් රජුගේ මව ඔහුට දුන් උපදේශ මේ ය:
2 මාගේ ප්‍රියාදර පුත්‍ර රත්නය, මාගේ යැදුම් නිසා, මාගේ කුසෙන් බිහි වූ පුත් රුවන, මට සවන් දෙන්න.
3 ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න;
ඔබේ සම්පත රජුන් වනසන කතුන් උදෙසා නාස්ති නොකරන්න.
4 ලෙමුවෙල්, මෙය අසන්න:
රජුන්ට මද්‍යපානය ද රජ කුමරුන්ට සුරා ලෝලය ද නොහොබියි.
5 සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති:
පීඩිතයන්ගේ නඩු අවනඩු කරති.
6 මත්පැන් දිය යුත්තේ මරණාසන්න අයට ය;
සුරාව දිය යුත්තේ ජීවිතය තිත්ත වූ අයට ය.
7 එවැනි අය මත්පැන් බී සිය දිළිඳුකම හා අවාසනාව අමතක කෙරෙත් වා.
8 තමන් උදෙසා කතා කළ නොහැකි අය වෙනුවෙන් කතා කරන්න;
අනාථ වූවන්ගේ අයිතිවාසිකම් උදෙසා ඉදිරිපත් වන්න.
9 ඔවුන් උදෙසා කතා කොට සාධාරණ විනිශ්චයක් දෙන්න;
අසරණයින්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න.

සත්ගුණවත් බිරිඳ

10 කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද?
ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය.
11 සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි.
ඔහුට සැප සම්පතින් අඩුවක් නැත.
12 දිවි ඇති තාක් ම ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නී ය.
13 ඈ ලොම් හා හණ සපයාගෙන සතොසින් අත්කම්වල යෙදෙයි.
14 ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි.
15 ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි;
දාසීන්ට වැඩ නියම කරයි.
16 ඈ කෙතක් ගැන සොයා බලා,
එය මිලට ගනියි;
ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි.
17 ඈ කඩිසර ව වැඩ කරන්නී ය;
වැඩට මුළු හිත යොදන්නී ය;
ඇගේ දෑත සවිමත් කරගනියි.
18 සිය වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ඇති බව ඈ දනියි;
රෑ යාමවල ඇගේ පහන නොනිවී දැල්වෙයි.
19 ඈ ඉද්දට ඇගේ අත් පොවා, දෑතින් වවුන්න අල්ලයි.
20 ඇගේ නොමසුරු අත දිළිඳුන් වෙත දිගු කර ඇත;
එය යාචකාදීන් වෙත විදහා ඇත.
21 හිම වැටෙන කල එන විට පවුල ගැන ඇයට බියක් නැත;
පවුලේ හැම අයට ම උණුසුම් වස්ත්‍ර ඇත.
22 ඈ ඇඳ ඇතිරිලි සාදාගනියි;
ඇගේ ඇඳුම් සිහින් හණ හා රත්නිල් රෙද්දෙන් මසා ඇත.
23 ඇගේ සැමියා ප්‍රජා මූලිකයන් අතර අසුන්ගනියි;
නගර වැසියන්ගෙන් ගරු බුහුමන් ලබයි.
24 ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි;
වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි.
25 ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි.
අනාගතය ගැන ඈට බිය සැක නැත.
26 ඈ නැණනුවණින් කතා බස් කරයි;
කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි.
27 ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි;
පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි.
28 ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති.
ඇගේ සැමියා ද ඇය පසසයි.
29 ”අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත;
එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි.
30 රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි;
එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.
31 ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න;
ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s