හබක්කුක්

– 1 වන පරිච්ඡේදය –

1 හබක්කුක් නම් දිවැසිවරයා දර්ශනයකින් ලත් දිව්‍ය ප්‍රකාශනය මෙය වේ.

හබක්කුක්ගේ දුක්ගැනවිල්ල

2 සමිඳාණන් වහන්ස, ඔබ සවන් දෙන තෙක්, සවන් දී බලහත්කාරයෙන් අප මුදන තෙක් මම කොපමණ කල් ඔබට මොරගසම් ද? 3 තාඩන පීඩන හා බලහත්කාරය මා අවටින් ඇත. කලකෝලාහල හා අඬදබර හැම තැන ම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ වහන්සේ සලසා ඇත්තේ මන් ද? 4 නීතිය දුර්වල වී ඇත. යුක්තිය කිසි කලෙක ඉටු නොවේ. දුෂ්ටයන් ධර්මිෂ්ඨයන් යටපත් කර ඇත. යුක්තිය නොපිට පෙරළා ඇත.

සමිඳාණන් වහන්සේගේ පළමු වන පිළිතුර

5 ”නුඹ අවට ඇති ජාතීන් දෙස බලන්න. නුඹ දකින දෙයින් නුඹ පුදුමයට හා විස්මයට පත් වනු ඇත. මන්ද, නුඹලාගේ කාලයේ දී මා කරන්න යන්නේ, නුඹට කීවත් විශ්වාස කරන්න බැරි දෙයකි. 6 දරුණු, කලබලකාරී බබිලෝනි ජාතිකයන් මම බලයට පත් කරමි. ඔව්හු අන්‍ය රටවල් අල්ලාගන්න පිණිස ලෝකය හරහා ගමන් කරති. 7 ඔව්හු භයානක ය, බිහිසුණු ය. ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ යුක්තිය හා උසස්කම වේ.
8 ”ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රගාමී ය. ක්ෂුධාවෙන් සිටින අඳුරු වේලේ වෘකයන්ට වඩා දරුණු ය. ඔවුන්ගේ අසරුවෝ ඉදිරියට යන්නෝ ය; අසරුවෝ දුර සිට එන්නෝ ය. ගොදුරු කරා වේගයෙන් යන රාජාලීන් මෙන් ඔව්හු කඩා පැන එන්නෝ ය. 9 ”ඔවුන්ගේ හමුදා සාහසික ලෙස ඉදිරියට එති. ඔවුන් ආක්‍රමණය කරන විට සෙනඟ තැතිගෙන සිටිති. ඔවුන් වහල්කමට ගන්න අයගේ ගණන වැලි හා සමාන ය. 10 ඔව්හු රජුන්ට නින්දා කරති; අධිපතීන්ට කවටකම් කරති; සෑම බලකොටුවක් ම සුළු කොට සලකති; පස් ගොඩකර ඒවා අල්ලා ගනිති. 11 තමන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් වරදකරුවන් වන මොවුහු සුළඟ මෙන් ගසාගෙන ගොස් පහ ව යන්නෝ ය.”

හබක්කුක්ගේ දෙ වන දුක්ගැනවිල්ල

12 ස්වාමීනි, දඬුවම් කරන පිණිස විනිශ්චය කිරීමේ ආයුධයක් සේ ඔබ ම බබිලෝනිවරුන් තෝරාගෙන ඔවුන් පර්වතයක් මෙන් ශක්තිමත් කර ඇත. මාගේ දෙවි සමිඳුනි, මාගේ ශුද්ධ තැනැන් වහන්ස, ඔබ ආදියේ සිට අමරණීය දෙවියන් වහන්සේ නොවන සේක් ද? 13 නපුර බලන්නට බැරි තරම් පවිත්‍ර ඇස් ඇති, වැරදි කරන අය නුරුස්සන ඔබ වහන්සේ, ද්‍රෝහීන් දෙස බලා සිටින්නේත්, දුෂ්ටයා තමාට වඩා දැහැමි තැනැත්තා විනාශ කරන විට ඔබ නිහඬ ව සිටින්නේත් මන් ද?
14 ඔබ වහන්සේ මිනිසුන් මුහුදේ මත්ස්‍යයන් මෙන් ද මූලිකයෙකු නැති බඩගා යන සතුන් මෙන් ද සලකන්නේ මන් ද? 15 බබිලෝනිවරු බිලිකටුවලින් මිනිසුන් අල්ලා ගනිති; දැල් දමා ඇදගෙන, අතංගුවෙන් ඔවුන් එකතුකර ඒ ගැන ප්‍රීති වෙමින් උදන් අනති. 16 ඔව්හු දැල්වලට පූජා ද අතංගුවට සුවඳ දුම් ද ඔප්පු කරති. මන්ද, ඒවායින් ම සැප විහරණයෙන් කල් යවමින් පුෂ්ටිමත් ආහාර අනුභව කරන බැවිනි.
17 මේ අයුරින් දැල් හිස් කරමින් නිර්දය ලෙස ජාතීන් විනාශ කිරීමට ඔබ ඉඩ හරින සේක් ද?

– 2 වන පරිච්ඡේදය –

සමිඳාණන් වහන්සේගේ දෙ වන පිළිතුර

1 මම මාගේ මුර අට්ටාලය උඩට නැඟ, බලකොටුව උඩ සිටගෙන, සමිඳාණන් වහන්සේ මට කියන්නේ කුමක් ද කියාත්, මාගේ පැමිණිල්ල ගැන දෙන පිළිතුර කුමක් ද කියාත් බලා සිටින්නෙමි.
2 සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: ”දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න. 3 එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය. 4 අදමිටු අය නොපවතින්නෝය; එහෙත්, දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝ ය.”

අදමිටු අයගේ විනාශය

5 වස්තුව රවටන සුලු ය. පාතාලය මෙන් කට අයාගත් තෘෂ්ණාව ඇත; මරණය මෙන් තෘප්තියක් නොලබන, සියලු ජාතීන් තම ආශාව සඳහා රැස් කරන්නාවූ සියලු මිනිසුන් තම වාසියට හරවාගන්නාවූ මිනිසා අහංකාරී නොසංසුන් කෙනෙකි. 6 සියලු දෙනා ඔහුට අවමන් කොට ඔහුට විරුද්ධ ව මෙසේ ඇනුම්පද කියනු ඇත; ”නුඹලාට අයිති නැති දේ ගොඩගසාගත්, උකස් බඩු තමා පිට පටවාගත් අයට වන විපතක මහත!”
7 නුඹලාගේ ණය හිමියන් හදිසියේ නුඹලා පිට කඩා පනින්නේ නැද් ද? නුඹලාගේ සතුරෝ නුඹලා තැති නොගන්වන්නෝ ද? එවිට ඔව්හු නුඹලා කොල්ලකන්නෝ ය. 8 නුඹලා බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ නිසා ද නුඹලා කර ඇති ඝාතන නිසා ද දේශයටත්, නගරයටත්, එහි වැසියන්ටත් නුඹලා කර ඇති බලහත්කාරකම් නිසා ද ඉතිරි ව සිටින අය නුඹලා කොල්ලකන්නෝ ය.
9 තමාගේ නිවෙස උස් තැනක සාදන පිණිස ද උපද්‍රවයෙන් මිදෙන පිණිස ද සිය වංශයේ වාසිය පිණිස සෙස්සන් සූරාකන තැනැත්තාට වන විපතක මහත! 10 නුඹලාගේ උපායයන් නිසා නුඹලාගේ වංශය පිට නින්දාව පමුණුවාගෙන ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීම නිසා නුඹලා, තමන්ගේ ම විනාශය පමුණුවාගෙන ඇත. 11 බිත්තියේ ගල් වුව ද නුඹලාට විරුද්ධ ව මොරහඬ නඟන අතර වහලේ රීප්ප හා පරාල දෝංකාර නඟනු ඇත.
12 නුඹලා අපරාධයෙන් නුවරක් ද මිනීමැරීමෙන් නගරයක් ද ගොඩනඟාගෙන ඇති බැවින් නුඹලාට වන විපතක මහත! 13 ජාතීන් නිකරුණේ වෙහෙස මහන්සියෙන් ඔවුන් ගොඩනඟා ඇති සියල්ල ගින්නෙන් දවා නැත්තට නැති කිරීම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ක්‍රියාව නොවේ ද? 14 මුහුද ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේගේ තේජස පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.
15 අසල්වාසීන්ගේ නග්න රූප දෙස බලා නින්දා කරන පිණිස අධික කො‍්පයෙන් ඔවුන්ට බොන්නට දී වෙරිමත් කරන්නාවූ නුඹලාට වන විපතක මහත! 16 ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක. 17 නුඹලා කර ඇති මිනීමැරීම් නිසාත්, දේශයටත් නගරයටත් එහි වැසියන්ටත් කර ඇති බලහත්කාරකම් නිසාත්, නුඹලා ලෙබනොන්හි කළ අපරාධ නිසාත් නුඹලා විනාශ කරනු ඇත.
18 පිළිමයකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එය මිනිසා විසින් සාදන ලද්දකි. එයට සත්‍යය පවසන්නට බැරි ය. එය වාත්තු පිළිමයක් පමණකි. එය කෙරෙහි විශ්වාසය තැබීමෙන් එය තැනූ තැනැත්තාට වන යහපත කුමක් ද? 19 ඒ රූපයට ‘පිබිදෙන්න’ කියාත්, ගලින් නෙළූ ගොළු පිළිමවලට ‘නැඟිටින්න’ කියාත් කියන නුඹලාට වන විපතක මහත! පිළිමවලට කිසිවක් එළිදරව් කළ හැකි ද? අහෝ! රන් රිදීයෙන් එය වසා තිබුණත් එය තුළ ප්‍රාණයක් ඇත්තේ ම නැත.
20 එහෙත්, සමිඳාණන් වහන්සේ සිය ශුද්ධ මාලිගාවේ වැඩ සිටින සේක; මුළු පොළොව උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා!

– 3 වන පරිච්ඡේදය –

දයාව සඳහා හබක්කුක්ගේ යාච්ඤාව

1 ශෝක ගීත වෘත්තියට ලියන ලද දිවැසිවර හබක්කුක්ගේ යාච්ඤාව මෙය වේ.
2 සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව.
3 සමිඳාණන් වහන්සේ තේමාන් සිට ද ශුද්ධ දෙවියන් වහන්සේ පාරාන් කන්දේ සිට ද වඩින සේක. උන් වහන්සේගේ තේජාලංකාරයෙන් ස්වර්ගය ප්‍රභාවත් වෙයි. පොළොව ද උන් වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරී ඇත.
4 අරුණෝදය මෙන් උන් වහන්සේ වඩින සේක. රශ්මි දහරා උන් වහන්සේගේ අතින් විහිදෙයි. එහි උන් වහන්සේගේ බලය සැඟවී ඇත.
5 උන් වහන්සේ ඉදිරියෙන් වසංගතය ද පසුපස්සෙන් මාරක රෝගය ද පැමිණේ.
6 උන් වහන්සේ නවතින විට පොළොව කම්පා කරවන සේක; උන් වහන්සේ බලන විට ජාතීන් වෙවුළුවා හරින සේක. පුරාතන පර්වත දෙදරා යයි; සදාකාල කඳු කිඳා බසියි. උන් වහන්සේගේ ගමන් පුරාණයෙහි මෙන් ය.
7 කුෂාන්හි සෙනඟ බිය වෙනවාත්, මිදියන්හි ජනයා වෙවුලනවාත් මම දිටිමි.
8 සමිඳුනි, ඔබ උදහස් වුණේ ගංගාවන්ට විරුද්ධ ව ද? කෝප වුණේ මුහුදට විරුද්ධ ව ද? ඔබ අසුන් පිට නැඟී එන විට ඔබේ ඒ ගමන ජයග්‍රහණය සඳහා ය.
9 දුන්න පාවිච්චි කරන්න ඔබ සූදානම් වූ සේක; කොපුව ඊතලවලින් පිරී තිබුණේ ය. ඔබ විදුලි පහරින් පොළොව විවර කළ සේක.
10 ඔබ දැක කඳු තැතිගැනුණේ ය. අහසින් ජලධාරා වැගුරුණේ ය. පාතාලයේ වතුර ඝෝෂා කළේ ය. ඒවායේ රැළ ඉහළට නැඟ විහිදුණේ ය.
11 ඔබේ ඊතලවලින් විහිදුණු එළිය නිසා ද දිළිසෙන හෙල්ලයේ දීප්තිය නිසා ද ඉර හඳ ස්වකීය විමානවල නැවතී සිටියේ ය.
12 ඔබ වහන්සේ කෝපයෙන් ලෝකය හරහා ගමන්ගත් සේක. උදහසින් ජාතීන් පාගා දැමූ සේක.
13 ඔබේ සෙනඟ ගළවන පිණිසත්, ඔබේ අභිෂේක ලත් නිරිඳා මුදන පිණිසත් ඔබ පිටත් ව වැඩිය සේක. ඔබ දුෂ්ටයන්ගේ නායකයා ගසා දමා, ඔහුගේ අනුගාමිකයන් සහමුලින් ම විනාශ කළ සේක.
14 ඔබ සෙබළුන්ගේ ප්‍රධානියාට ඔහුගේ ම හෙල්ලවලින් ඇන්න සේක. ඔව්හු මා විසුරුවා දමන්නට සුළි සුළඟක් මෙන් ආවෝ ය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්ති කිරීම ය.
15 ඔබේ අශ්වයන් මඟින් ඔබ මුහුද පාගා දැමූ විට මහා ජලස්කන්ධය කැළඹී ගියේ ය.
16 මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි.
17 අත්තික්කා ගස පල නොදැරුවත්, මිදි වැල්වල පලදාව නොතිබුණත්, ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත්, ගාලෙන් බැටළු රැළ නැති වී ගියත්, ගව හල් සියල්ල හිස් ව ගියත්,
18 සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නෙමි. මාගේ ගැළවීමේ දෙවිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්නෙමි.
19 දෙවි සමිඳාණෝ මාගේ ශක්තිය වේ.
මාගේ පාද මුවෙකුගේ පාද මෙන් ශීඝ්‍ර කරන සේක.
උස් තැන්වල ඇවිදින්න මට සලස්වන සේක.
නායක ගායනාකරුට ය. වීණා ඇති ව ගායනා කිරීමට ය.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s