– 1 වන පරිච්ඡේදය –
සමිඳාණන් වහන්සේ වෙත කැඳවීම
1 දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ අට වන මාසයේ දී සමිඳාණන් වහන්සේ ඉද්දෝගේ පුත්‍ර වන බෙරෙකියාගේ පුත්‍ර වූ දිවැසිවර සෙකරියාට වදාළ පණිවුඩය මෙය වේ. 2 සියලු බලැති සමිඳාණන් වහන්සේ සෙකරියාට කතා කොට සෙනඟට මෙසේ ප්‍රකාශ කරන ලෙස වදාළ සේක: ”ස්වාමීන් වන මම, නුඹලාගේ මුතුන්මිත්තන් ගැන ඉතා අප්‍රසන්න වීමි. 3 එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි කියන්න. ‘මා වෙත හැරී එන්න. මම ද නුඹලා වෙත හැරී එන්නෙමි. 4 නුඹලාගේ මුතුන්මිත්තන්ට සමාන නොවන්න. පෙර සිටි දිවැසිවරු ඔවුන් අමතා, ‘නුඹලාගේ නපුරු මාර්ගවලින් ද නපුරු ක්‍රියාවලින් ද හැරෙන්නැ’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේකැ’යි ඔවුන්ට මොරගැසූ හ. ඔවුන් එයට සවන් දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත. 5 නුඹලාගේ මුතුන්මිත්තෝ දැන් කොහේ ද? ඒ දිවැසිවරු සදාකාලයට ම සිටිත් ද? 6 ඔවුන් දැන් නැති වුවත් මාගේ මෙහෙකරු දිවැසිවරුන් මඟින් මා ප්‍රකාශ කළ මාගේ වචනත්, නියෝගත් නුඹලාගේ මුතුන්මිත්තන් කෙරෙහි බලපෑවේ නැද් ද?” ඒ නිසා ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන, ”සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉටාගත් පරිදි අපේ කල්ක්‍රියාව අනුව අපට දඬුවම් කළ සේකැ”යි කීවෝ ය.
රතු අශ්වයන් පිළිබඳ දර්ශනය
7 දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ, ෂෙබාට් නම් එකොළොස් වන මාසයේ විසිහතර වන දා දර්ශනයක් මඟින් සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය මට දුන් සේක. 8 බලන්න, රාත්‍රි කාලයේ රතු අශ්වයෙකු පිට නැඟී සිටි මිනිසෙක් මට දර්ශනය විය. මිටියාවතේ තිබුණු රටමරඳ ගස් අතරේ ඔහු නතර වී සිටියේ ය. ඔහු පිටිපස්සේ රතු පාට, දුඹුරු පාට හා සුදු පාට අශ්වයෝ සිටියහ. 9 ”ස්වාමීනි, මේ අශ්වයන් මෙහි සිටීමේ තේරුම කුමක් දැ”යි මම ඇසීමි. මා සමඟ කතා කළ දූතයා පිළිතුරු දෙමින්, ”එහි තේරුම, මම නුඹට පහදා දෙමි”යි කීවේ ය. 10 එවිට, ”සමිඳාණන් වහන්සේ මේ අශ්වාරෝහකයන් එවා ඇත්තේ පොළොව පරීක්ෂා කර බලන පිණිස ය”යි රටමරඳ ගස් අතර සිටි මිනිසා කීවේ ය.
11 ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි සමිඳාණන් වහන්සේගේ දූතයාට පිළිතුරු දෙමින්, ”අපි පොළොව සැරිසරා, මුළු පොළොව ම නිශ්කලංක ව, නිශ්චල ව තිබෙන බව දුටිමු”යි සැළ කළහ.
12 එවිට, ”සියලු බලැති සමිඳාණන් වහන්ස, සැත්තෑ වසක් තුළ උන් වහන්සේගේ උදහසට ලක් වූ ජෙරුසලමට හා ජුදාහි නගරවලට තව කොපමණ කල් අනුකම්පා නොකර සිටින සේක් දැ”යි සමිඳාණන් වහන්සේගේ දූතයා ඇසී ය.
13 සමිඳාණන් වහන්සේ මා සමඟ කතා කළ දූතයාට යහපත්, පැහැදිලි වචනවලින් පිළිතුරු දුන් සේක. 14 මා සමඟ කතා කළ දේව දූතයා මෙසේ කී ය: ”කෑමොරගසන්න, සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලමට හා සියොන්ට මම ඉමහත් ප්‍රේමයකින් ප්‍රේම කරමි. 15 එහෙත්, සැප ජීවිකාවෙන් කල් යවන ජාතීන් කෙරෙහි මම අධික ලෙස උදහස් වී සිටිමි. මාගේ සෙනඟට මා දැක්වූ උදහස සුළු ව තිබිය දී මේ ජාතීහු මාගේ සෙනඟට මා සිතුවාට වඩා පීඩා කළහ. ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. 16 අනුකම්පාව දක්වන පිණිස මම ජෙරුසලමට නැවත පැමිණ සිටිමි; මාගේ මාලිගාව නැවත ගොඩනඟනු ලැබේ. ඒ නගරය ප්‍රතිසංස්කරණය කරනු ලැබේ.
17 ”කෑමොරගසන්න, මාගේ නගරය නැවත යසඉසුරෙන් පිරී යන්නේ ය. සියොන් නැවත සනසා, ජෙරුසලම තම තමන්ගේ ම නගරය කරගනු ලබන්නේ ය කියා සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
අං සතර පිළිබඳ දර්ශනය
18 මා හිස ඔසවා බැලූ විට සතුන්ගේ අං සතරක් මට දර්ශනය විය. 19 ”එහි තේරුම කුමක් දැ”යි මා සමඟ සිටි දේව දූතයාගෙන් මම ඇසීමි.
ඔහු පිළිතුරු දෙමින්, ”මේවා ජුදා, ඉශ්රායෙල් හා ජෙරුසලම විසුරුවාදැමූ ලෝක බලවත්තු සතරදෙනා ය”යි කීවේ ය.
20 එවිට සමිඳාණන් වහන්සේ මට කම්මල්කාරයන් සතරදෙනෙකු පෙන්වූ සේක. 21 ”මොවුන් අවුත් සිටින්නේ කුමට දැ”යි මම ඇසීමි. උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”කිසිවෙකු නැවත නොනැඟිටින ලෙස ජුදා රට විසුරුවාදැමූ ජාතීහු මොවුහු වෙති. ඔවුන් පැමිණෙන්නේ, ඒ ජාතීන් බිය ගන්වා ජුදා රට විසුරුවාදමන්නට බලය යෙදූ ජාතීන් මැඩලීමට ය”යි වදාළ සේක.
– 2 වන පරිච්ඡේදය –
මනින ලණුව පිළිබඳ දර්ශනය
1 මා හිස ඔසවා බැලූ විට සිය අතේ මනින ලණුවක් ඇති මිනිසෙක් මට දර්ශනය විය. 2 ”ඔබ කොහේ යනවා දැ”යි මම ඔහුගෙන් ඇසීමි.
”ජෙරුසලම මැන, එය කොපමණ දිග ද කියාත්, කොපමණ පළල ද කියාත් බලන පිණිස මම යමි”යි ඔහු පිළිතුරු දුන්නේ ය.
3 එවිට මා සමඟ කතා කළ දූතයා පිටත් ව යනවාත්, වෙන දූතයෙකු ඔහුගේ පෙරමඟට එනවාත් මම දිටිමි. 4 ඔහු පළමු දූතයාට මෙසේ කී ය: ”ඔබ දුව ගොස් අර තරුණයාට කතා කොට මෙසේ කියන්න: ජෙරුසලම පවුරකින් සීමා නොකළ හැකි නගරයක් වනු ඇත. මන්ද, එහි ජනගහණය ද ගවමහිෂයන් ද වැඩි වන්නට යන නිසා ය. 5 ‘මම ඒ වටා පවුරක් වෙමි. ඒ තුළ තේජාලංකාරයෙන් වැඩ සිටින්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
විප්‍රවාසගතවූවන් කැඳවීම
6 ”එන්න, එන්න, උතුරු දේශයේ සිට පලා එන්න. මම නුඹලා සතර දිග් භාගයෙහි සුළං මෙන් විසුරුවා හරිමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. 7 ”බබිලෝනියෙහි වාසය කරන නුඹලා සියොන් නගරයට බේරී එන්න.”
8 මේ දර්ශනවලින් පසු සියලු බලැති සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ කොල්ලකෑ ජාතීන් වෙත තේජාන්විත සේවය සඳහා මා යවමින් මෙසේ වදාරන සේක: 9 ”යම් ජාතියක් නුඹලාට පහර දුන්නොත්, එය සමිඳාණන් වහන්සේගේ ඇස් මෙන් වටිනා දෙයට පහරදීමකි. මම ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමි. එක් කලෙක නුඹලා වහල් ව සිටි සෙනඟ නුඹලා විසින් කොල්ලකනු ලබති.
මෙසේ සිදු වූ විට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා එවූ බව නුඹලා දැනගනු ඇත.
10 ”සියොන් පුරඟන, ප්‍රීතියෙන් ගී ගයන්න. මම නුඹලා සමඟ වාසය කරන පිණිස එන්නෙමි යි කියා සමිඳාණන් වහන්සේ වන මම කියමි.” 11 ඒ කාලයේ දී බොහෝ ජාතීහු සමිඳාණන් වහන්සේට එක් වී උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වැඩවසන සේක. එවිට උන් වහන්සේ ඔබ වෙත මා එවූ බව ඔබ දැනගන්නහු ය. 12 නැවත වරක් සමිඳාණන් වහන්සේ ශුද්ධ කන්දෙහි ජුදා රට තමන්ගේ ම විශේෂ උරුමයක් කරගෙන, ජෙරුසලම තමන්ගේ ප්‍රියතම නුවර කරගන්න සේක.
13 සියලු මනුෂ්‍ය ජාතීනි, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වන්න. උන් වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයෙන් නැඟිට වඩින සේක.
– 3 වන පරිච්ඡේදය –
ජෝෂුවා පිළිබඳ දර්ශනය
1 උත්තම පූජක ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ දූතයා ඉදිරියේ සිටිනවාත්, ජෝෂුවාගේ දකුණු පැත්තේ ඔහුට විරුද්ධ ව චෝදනා නඟන පිණිස සාතන් සූදානමින් සිටිනවාත් සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සේක. 2 සමිඳාණන් වහන්සේගේ දූතයා සාතන් අමතා, ”සාතන්, සමිඳාණන් වහන්සේ නුඹට තරවටු කරන සේක් වා! ජෙරුසලමට ප්‍රිය කරන සමිඳාණන් වහන්සේ නුඹට තරවටු කරන සේක් වා! මොහු ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් නොවේ දැ”යි කී ය.
3 ජෝෂුවා වනාහි කිළුටු ඇඳුම් හැඳගෙන දේව දූතයා ඉදිරියෙහි සිටියේ ය. 4 ”කිළුටු ඇඳුම් ඔහුගෙන් ඉවත් කරන්නැ”යි දේව දූතයා තමා පිරිවරා සිටි අයට කී ය. ඉන්පසු, ”මම නුඹේ පව් පහ කෙළෙමි. නුඹට මංගල ඇඳුම් පළඳවමි”යි ජෝෂුවාට කී ය.
5 ”ඔහුගේ හිසේ ශෝභන මකුටයක් තබන්නැ”යි නියම කෙළේ ය. එසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ දූතයා බලා සිටිය දී, ශෝභන මකුටයක් ඔහුගේ හිසේ තබා, මංගල ඇඳුම් ඔහුට පැළඳෙව්වෝ ය.
6 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ජෝෂුවාට අනුශාසනා කරමින්, 7 ”සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. ”නුඹ මාගේ ආඥාවලට කීකරු වී මා නුඹට නියම කරන යුතුකම් ඉටු කරන්නෙහි නම්, මාගේ මාලිගාවේ හා එහි මණ්ඩපයේ භාගය නුඹට අයත් වන්නේ ය. මා ඉදිරියෙහි සිටින අයගේ අයැදුම්වලට සවන් දෙන්නාක් මෙන් මම නුඹේ අයැදුම්වලට ද සවන් දෙන්නෙමි. 8 ජෝෂුවා, උත්තම පූජක වන නුඹ ද සහකාර පූජකයන් වන නුඹලා ද සවන් දෙන්න. නුඹලා වනාහි මංගල පෙර නිමිති ය. ‘පැළෑටිය’ වන මාගේ මෙහෙකරුවා පැමිණෙන්නට සලස්වන්නෙමි. 9 ඇස් සතක් ඇති ගලක් ජෝෂුවා ඉදිරියේ මම තබමි. ඒ පිට මම ලේඛනයක් කොටා මේ දේශයේ පාපය එක දවසකින් පහ කරන්නෙමි. 10 ඒ දවස පැමිණි විට නුඹලාගේ මිදිවැල් හා අත්තික්කා ගස් යට නුඹලා එකිනෙකාට සංග්‍රහ කරනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
– 4 වන පරිච්ඡේදය –
පහන් රුක පිළිබඳ දර්ශනය
1 මා සමඟ කතා කළ දේව දූතයා නැවත අවුත්, නින්දෙන් පුබුදු කරනු ලබන්නෙකු මෙන් මා පුබුදුවා, 2 ”නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසී ය. මම පිළිතුරු දෙමින්, ”මුළුමනින් ම ස්වර්ණමය වූ පහන් රුකක් මට පෙනෙයි. එහි මුදුනේ පහන් සතකින් යුත් තෙල් දැමිය යුතු භාජනයක් ඇත. එහි මුදුනේ එක එක පහනේ තිරවලට නළ සතක් ඇත. 3 ඒ ළඟ ඔලීව ගස් දෙකක් ඇත. එකක් වම් පැත්තෙන් ද අනික දකුණු පැත්තෙන් ද වේ ය”යි කීවෙමි. 4 ”මාගේ ස්වාමීනි, මේවායෙහි තේරුම කුමක් දැ”යි මම දේව දූතයාගෙන් යළි ඇසීමි. 5 ”නුඹ දන්නේ නැද්දැ”යි ඔහු ඇසී ය. ”නැත, ස්වාමීනි”යි මම පිළිතුරු දිනිමි.
සෙරුබ්බාබෙල්ට පොරොන්දු
6 එකල දේව දූතයා මට කතා කරමින්, ”සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: ”නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය. 7 විශාල කන්දක් වුවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේ ය. දේව මාලිගාව නැවත ගොඩනඟා, ‘කදිම ය, කදිම ය’ කියා කෑගසන අතර එහි මුල් ගල නුඹ තබන්නෙහි ය.”
8 සමිඳාණන් වහන්සේගෙන් තවත් පණිවුඩයක් මා වෙත පැමිණියේ ය. 9 එය මෙසේ ය: ”සෙරුබ්බාබෙල් දේව මාලිගාවේ අත්තිවාරම් දමා ඇත. ඔහු ම ගොඩනැඟිල්ල නිම කරනු ඇත. මෙය සිදු වූ විට මාගේ සෙනඟ වෙත මා නුඹ යැවූ බව ඔවුන් දැනගනු ඇත. 10 කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්‍රීති වන්නෝ ය.”
පහන් රුක පිළිබඳ දර්ශනයේ තේරුම
දේව දූතයා මට කතා කොට, ”පහන් සත නම් පොළොවේ සියලු දිශාවන් දකින සමිඳාණන් වහන්සේගේ ඇස් සත ය”යි කී ය.
11 එවිට මම, ”පහන් රුක දෙපැත්තේ ඇති ඔලීව ගස් දෙකෙන් කුමක් අදහස් කෙරේ දැ”යි ඇසීමි. 12 ”ඔලීව තෙල් ගලා එන රන් නළ දෙක අසල ඇති ඔලීව අතු දෙකෙන් කුමක් අදහස් කෙරේ දැ”යි දෙ වන වරටත් ඇසීමි. 13 ”නුඹ දන්නේ නැද්දැ”යි ඔහු මාගෙන් ඇසී ය. ”නැත, ස්වාමීනි”යි මම පිළිතුරු දිනිමි. 14 එවිට ඔහු පිළිතුරු දෙමින්, ”මේ දෙකෙන් අදහස් කරන්නේ මුළු පොළොවේ සමිඳාණන් වහන්සේට සේවය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරාගෙන අභිෂේක කරන ලද දෙදෙනා ය”යි කී ය.
– 5 වන පරිච්ඡේදය –
පියාඹන පොත පිළිබඳ දර්ශනය
1 මම නැවත බැලූ විට පියාඹන පොතක් දිටිමි. 2 ”නුඹට කුමක් පෙනේ දැ”යි දේව දූතයා මාගෙන් ඇසූ විට, ”මීටර් නවයක් දිග මීටර් හතරහමාරක් පළල පියාඹන පොතක් මට පෙනේ ය”යි මම කීමි.
3 එවිට ඔහු මෙසේ කීවේ ය: ”මුළු දේශය පුරා පැතිරී යන සාපය මෙය වේ. එක පැත්තක සොරකම් කරන සියල්ලෝ නෙරපනු ලබන්නෝ ය කියා ද අනෙක් පැත්තේ බොරුවට දිවුරන්නෝ නෙරපනු ලබන්නෝ ය කියා ද මෙහි ලියා ඇත. 4 සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන පරිදි උන් වහන්සේ මේ සාපය එවන සේක. එවිට එය හැම සොරෙකුගේ ද බොරුවට දිවුරන හැම කෙනෙකුගේ ද නිවෙසට ඇතුළු වන්නේ ය. එය ඒ නිවෙස්වල රැඳී එහි සිටින සියල්ලන් ද එහි ලී දඬු ද ගඩොල් ද විනාශ කර දමන්නේ ය.”
භාජනය තුළ වූ ස්ත්‍රිය පිළිබඳ දර්ශනය
5 දේව දූතයා නැවතත් ඉදිරියට අවුත්, ”හිස ඔසවා බලන්න. දැන් පිටතට එන දේ දෙස බලන්නැ”යි කී ය.
6 ”එය කුමක් දැ”යි මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, ”එය භාජනයකි. මුළු දේශයේ පාපය එයින් අදහස් කෙරේ”යි කී ය.
7 ඒ භාජනය ඊයම් පියනකින් වසා තිබිණි. මා බලා සිටිය දී ඊයම් පියන ඔසවනු ලැබී ය. භාජනය තුළ ස්ත්‍රියක් වාඩි වී සිටියා ය.
8 ”මේ ස්ත්‍රිය වනාහි දුෂ්ටකමේ මූර්තිය ය”යි දේව දූතයා මට කී ය. ඉන්පසු ඒ ස්ත්‍රිය නැවත භාජනය තුළට තල්ලු කරදමා, ඔහු එය පියනෙන් වැසුවේ ය. 9 මම හිස ඔසවා බැලූ විට ස්ත්‍රීන් දෙදෙනකු මා දෙසට එනවා දිටිමි. කණ කොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබිණි. ඔවුන්ගේ ඒ පියාපත්වලට සුළං බැඳී ය. ඔව්හු අහසත්, පොළොවත් අතරේ ඒ භාජනය උසුලාගෙන ගියෝ ය. 10 ”ඔවුන් එය කොහේ ගෙන යනවා දැ”යි මට කතා කළ දූතයාගෙන් මම ඇසීමි.
11 ”ඔවුන් එය ගෙන යන්නේ ෂිනාර් දේශයට ය; එහි දේවාලයක් සාදන පිණිස ය; එය තනා නිම වූ විට ඒ භාජනය එහි තබනු ලබන්නේ ය”යි කී ය.
– 6 වන පරිච්ඡේදය –
රථ සතර පිළිබඳ දර්ශනය
1 මම හිස ඔසවා බැලූ විට කඳු දෙකක් අතරෙන් රථ සතරක් පිට වී එනවා දිටිමි. ඒ කඳු ලෝකඩ කඳු ය. 2 පළමු වන රථයට රතු අශ්වයෝ ද දෙ වැන්නට කළු අශ්වයෝ ද 3 තුන් වැන්නට සුදු අශ්වයෝ ද සතර වැන්නට පුල්ලි ඇති දුඹුරු පාට අශ්වයෝ ද යොදා සිටියෝ ය. 4 ”ස්වාමීනි, මේ රථවලින් කුමක් අදහස් කෙරේ දැ”යි මට කතා කළ දේව දූතයාගෙන් මම ඇසීමි.
5 දේව දූතයා මට පිළිතුරු දෙමින් මෙසේ කී ය: ”මේ වනාහි මුළු පොළොවේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිට, පිටත් ව යන අහසේ සුළං සතර ය.
6 ”කළු අශ්වයන් බැඳ සිටි රථය උතුරු දේශයටත්, සුදු අශ්වයන් බැඳ සිටි රථය බටහිරටත්, පුල්ලි ඇති අශ්වයන් බැඳ සිටි රථය දකුණු දේශයටත් දුඹුරු අශ්වයන් බැඳ සිටි රථය නැගෙනහිරටත් යන්නේ ය.” 7 අශ්වයන් පිටතට ආ විට පොළොව පරීක්ෂා කර බැලීමට ඔවුන්ට ඉවසිල්ලක් නො වී ය. ”ගොස් පොළොව පරීක්ෂා කර බලන්නැ”යි දේව දූතයා කී ය. ඔව්හු එසේ කළහ. 8 එවිට දේව දූතයා මහා හඬින් මට කතා කොට, ”උතුරු දේශයට ගිය අශ්වයන් සමිඳාණන් වහන්සේගේ උදහස උතුරු දේශයේ සංසිඳුවා ඇතැ”යි කී ය.
ජෝෂුවාට ඔටුනු පැළඳවීම
9 සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය මට දුන් සේක. 10 ”විප්‍රවාසයට ගෙනගිය, බබිලෝනියේ සිට පැමිණි හෙල්දයිගෙන් ද ටෝබියාගෙන් ද ජෙදායාගෙන් ද නුඹ රන් රිදී ලබාගෙන, එම දවසේ දී ම ශෙපනියාගේ පුත් ජොෂියාගේ ගෙදරට යන්න. 11 ඔවුන්ගෙන් නුඹ ලබාගත් රන් රිදීවලින් ඔටුන්නක් සාදා, ජෙහෝශාදාක්ගේ පුත්, උත්තම පූජකයා වන ජෝෂුවාගේ හිසේ පළඳවා 12 ‘සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි ඔහුට කියන්න. ‘පැළෑටිය’ කියා නම් කරන ලද තැනැත්තා මොහු ය. ඔහු මේ ස්ථානයේ වර්ධනය වී සමිඳාණන් වහන්සේගේ මාලිගාව නැවත ගොඩනඟන්නේ ය. 13 ඔහු ඒ දේව මාලිගාව ගොඩනඟා රජ කෙනෙකුට හිමි මහිමය ලැබ සිංහාසනයේ වැඩහිඳ ආණ්ඩු කරන්නේ ය. ඔහුගේ සිංහාසනය ළඟ පූජකයෙක් සිටින්නේ ය. ඔවුන් දෙදෙනා ම සමඟි සාමයෙන් එකට වැඩ කරනු ඇත.’ 14 ඒ ඔටුන්න වනාහි, හෙල්දියාගේ ද ටෝබියාගේ ද ජෙදායාගේ ද ජොෂියාගේ ද ගෞරවාන්විත සිහිවටනයක් සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තබා තිබේ.
15 දුර බැහැර අය පැමිණ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට උදව් වන්නෝ ය. එවිට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා නුඹලා වෙත එවූ බව නුඹලා දැනගන්නහු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට නුඹලා මුළුමනින් කීකරු වන්නහු නම් මෙසේ සිදු වනු ඇත.”
– 7 වන පරිච්ඡේදය –
උපවාස ප්‍රශ්නය
1 දාරියුස් රජුගේ සතර වන අවුරුද්දේ කිස්ලෙව් නම් නව වන මාසයේ සතර වන දා සමිඳාණන් වහන්සේ සෙකරියාට පණිවුඩයක් දුන් සේක.
2 බෙතෙල්හි වැසියෝ ශරෙෂෙර් ද රෙගෙම්මොලෙක් ද ඔවුන්ගේ මිනිසුන් ද සමිඳාණන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරන්න යැව්වෝ ය. 3 සර්ව පරාක්‍රම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පූජකයන්ගෙන් ද දිවැසිවරුන්ගෙන් ද මෙසේ ප්‍රශ්න කරන්න ඔවුන්ට නියම විය: ”මෙපමණ අවුරුදු ගණනක් තිස්සේ අප කළාක් මෙන් තවදුරටත් හැම පස් වන මාසයේ දී ම වැලපෙමින් උපවාස පැවැත්වීම අප කරගෙන යා යුතු ද?”
4 සියලු බලැති සමිඳාණන් වහන්සේ මට මේ පණිවුඩය දුන් සේක: 5 ”දේශයේ සෙනඟටත් පූජකයන්ටත් කතා කොට, ඔවුන් මේ අවුරුදු සැත්තෑව තුළ දී පස් වන හා සත් වන මාසවල උපවාස පවත්වා වැලපෙමින් උපවාස කෙළේ මා උදෙසා ද? 6 තවද, ඔවුන් කෑවේත්, බීවේත් ඔවුන්ගේ ම සන්තුෂ්ටිය උදෙසා නොවේ ද?
7 ජෙරුසලම සෞභාග්‍යයෙන් හා ජනගහණයෙන් පිරී, ඒ නගරය අවට නගර ද දකුණු දිශාව ද පහත පළාත ද ජනාවාස වී තිබුණු කාලයේ දී පවා සමිඳාණන් වහන්සේ කලින් සිටි දිවැසිවරුන් මඟින් කීවේත් මෙය නොවේ දැ යි කියන්න.”
අකීකරුකමේ විපාකය
8 සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය සෙකරියාට දුන් සේක: 9 ”සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘අවංක ලෙස විනිශ්චය කරන්න. එකිනෙකාට කරුණාව ද අනුකම්පාව ද පෙන්වන්න. 10 වැන්දඹුවන්ට හා අනාථයන්ටත් විදේශීන්ටත් පීඩා නොකරන්න. නුඹලා එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න.”
11 ”එහෙත්, ඔව්හු එයට සවන් දෙන්න අකමැති වූ හ. ඔව්හු මුරණ්ඩුකම දැක් වූ හ. නොඇසෙන පිණිස කන් වසා ගත්තෝ ය. 12 ඔව්හු ඔවුන්ගේ සිත් ගල් මෙන් දැඩි කරගෙන, සියලු බලැති සමිඳාණන් වහන්සේ සිය ආත්මානුභාවය කරණකොටගෙන ආදියේ සිටි දිවැසිවරුන් මඟින් දෙවා වදාළ ඉගැන්වීම්වලට සහ පණිවුඩවලටත් සවන් නුදුන්හ. ඒ නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ අතිශයින් උදහස් වූ සේක. 13 ‘මා අඬගසන කල ඔවුන් සවන් නුදුන් නිසා, ඔවුන් අඬගසන කල මම පිළිතුරු නොදෙන්නෙමි’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. 14 ‘සුළි සුළඟකින් මෙන් මම ඔවුන් විදේශීය රටවල විසුරුවාදැමීමි. ඒ දේශයට යන එන කෙනෙකු නැති නිසා එය පාළු විය. නුඹලා යහපත් දේශය පාළුකරයක් කළහු ය’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
– 8 වන පරිච්ඡේදය –
ජෙරුසලම ප්‍රතිසංස්කරණය කිරීම
1 සියලු බලැති සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මා වෙත පැමිණියේ ය. 2 සියලු බලැති සමිඳාණන් වහන්සේ පැවසූ පණිවුඩය මෙසේ ය: ”සියොන් වැසියන් උදෙසා මම දැවෙන සෙනෙහසකින් ප්‍රේම කරමි. මේ ප්‍රේමය නිසා ඔවුන්ගේ සතුරන් කෙරෙහි මම උදහස් වීමි. 3 ජෙරුසලමෙහි සියොන් කන්දට ආපසු පැමිණ මම එහි වැඩ වාසය කරන්නෙමි. ජෙරුසලම විශ්වාසවන්ත නගරය වශයෙන් ද සියලු බලැති දෙවියන් වහන්සේගේ කන්ද ශුද්ධ කන්ද වශයෙන් ද ප්‍රසිද්ධ වන්නේ ය. 4 වයෝවෘද්ධ වූ බැවින් සැරයටි වාරුවෙන් ඇවිදින මහල්ලෝ ද මැහැල්ලෝ ද ජෙරුසලමේ වීථිවල වාඩි වන්නෝ ය. 5 නගරයේ වීථි සෙල්ලම් කරන බාලක බාලිකාවන්ගෙන් පිරී යන්නේ ය.
6 ”මේ රටේ දැන් ඉතිරි ව සිටින අයට ඒ දවස්වල දී එය පුදුමයක් ව පෙනුණත් මටත් එය පුදුමයක් ව පෙනේ දැ”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක. 7 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නැගෙනහිර හා බස්නාහිර සිටින මාගේ සෙනඟ මුදාගෙන ජෙරුසලමේ ජීවත් වන පිණිස මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. 8 ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
9 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මාගේ මාලිගාව යළි ගොඩනඟන පිණිස අත්තිවාරම දැමූ දා සිට දිවැසිවරයා කී මේ වචන දැනුත් අසන නුඹලා ධෛර්යවත් වන්න. 10 ඊට පෙර දවස්වල දී මිනිසුන් හෝ ගවයන් හෝ කුලියට ලබාගැනීමට කිසිවෙකුට වත්කමක් නො වී ය. සතුරු උවදුරුවලට ගොදුරු නොවී ගමන්බිමන් යාමට කිසිවෙකුට නොහැකි විය. අසල්වැසියන් එකිනෙකාට විරුද්ධ ව සිටින්න මම සැලැස්වීමි. 11 එහෙත්, මම දැන් මේ රටේ ඉතිරි ව සිටින අයට පෙර මෙන් ක්‍රියා නොකරමි යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේක. 12 ඔවුන් සාමදානයෙන් බීජ වපුරනු ඇත. මිදි වැල්වල පල හටගන්වනු ඇත; භූමියෙන් අස්වැන්න ලැබෙනු ඇත; ඇති පමණට වැසි වසිනු ඇත. මේ සියලු ආසිරි මම මාගේ දේශයේ ඉතිරි ව සිටින අයට දෙන්නෙමි. 13 ජුදෙව් ජනයෙනි, ඉශ්රායෙල් ජනයෙනි, කලින් නුඹලා ජාතීන් අතරේ සාපයක් ව සිටි නමුත්, ආශීර්වාදයක් වන ලෙස මම නුඹලා මුදන්නෙමි. බිය නොවන්න. ධෛර්යවත් වන්න.”
යුක්තිය, සත්‍යය හා සාමදානය
14 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නුඹලාගේ මුතුන්මිත්තන් මා උදහස් කළ විට ඔවුන් පිට විපත්තිය පමුණුවන්නට මම සිතට ගතිමි. මාගේ සිත මම වෙනස් නොකෙළෙමි. 15 එහෙත්, දැන් ජෙරුසලමට හා ජුදා වැසියන්ට ආශීර්වාද කරන්න මම සිතට ගෙන සිටිමි. ඒ නිසා බිය නොවන්න. 16 නුඹලාගේ යුතුකම් මේවා ය. එකිනෙකාට සත්‍යය කතා කරන්න. උසාවිවල දී සාමය සැලසෙන ලෙස නියම යුක්තිය ඉෂ්ට කරන්න. 17 එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න. දිවුරුමක් පිට බොරු සාක්ෂි නොකියන්න. මන්ද, මේ සියල්ල මම හෙළා දකිමි යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
18 සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය මට දුන් සේක. 19 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”සතර වන, පස් වන, සත් වන හා දස වන මාසවල පවත්වනු ලැබූ උපවාස උත්සව ජුදාහි සෙනඟට ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන මංගල උත්සව වන්නේ ය. එබැවින් නුඹලා සත්‍යයටත්, සාමයටත් ඇලුම්වන්න.”
20 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”බලවත් රටවලින් හා බලවත් නගරවලින් සෙනඟ ජෙරුසලමට එන කාලය පැමිණෙන්නේ ය. 21 එක නගරයක සෙනඟ තවත් නගරයක සෙනඟ අමතා, ‘සියලු බලැති සමිඳාණන් වහන්සේ අයැද, උන් වහන්සේගේ ආසිරි පතන පිණිස අපි යන්නෙමු; අප සමඟ එන්නැ’යි කියනු ඇත. 22 විශාල සෙනඟක් ද බලසම්පන්න ජාතීහු ද සියලු බලැති සමිඳාණන් වහන්සේ අයැද උන් වහන්සේට ආසිරි පතන පිණිස ජෙරුසලමට පැමිණෙන්නෝ ය. 23 ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”
– 9 වන පරිච්ඡේදය –
සතුරන්ට දඬුවම්
1 මෙය දිව්‍ය ප්‍රකාශනය වේ: ”සමිඳාණන් වහන්සේගේ පණිවුඩය හද්‍රාක් දේශයටත්, දමස්කස් නගරයටත් විරුද්ධ ව පැමිණ ඇත. ඉශ්රායෙල්හි සියලු ගෝත්‍ර පමණක් නොව, ආරාම්හි අග නුවරත් සමිඳාණන් වහන්සේට අයිති ය. 2 හද්‍රාක් දේශයට යාව ඇති හමාත් ද නොයෙක් ශූර නුවණ ඇති තීර් සහ සීදොන් ද උන් වහන්සේට අයිති ය. 3 තීර් වනාහි බලකොටු සාදාගෙන ධූලි ගොඩ ගසන්නාක් මෙන් රිදී ද වීථිවල කුණු කසළ ගොඩ ගසන්නාක් මෙන් රන් ද රැස් කරගත්තේ ය. 4 එහෙත්, සමිඳාණන් වහන්සේ එහි ඇති සියලු දේ පැහැරගෙන එහි ඇති වස්තුව මුහුදට හෙළා දමන සේක. එය ගින්නෙන් විනාශ වන්නේ ය.
5 ”අෂ්කෙලොන් නගරය ඒ දැක බිය වන්නී ය. ගාසාත් ඒ දැක කම්පා වන්නී ය. එක්‍රොන්ට ද එසේ ම සිදු වී බලාපොරොත්තු ශූන්‍ය වන්නේ ය. ගාසාවෙහි රජ විනාශ වන්නේ ය. අෂ්කෙලොන් ජන ශූන්‍ය පෙදෙසක් වන්නේ ය. 6 අෂ්දොද්හි අවජාතක සෙනඟක් වාසය කරන්නෝ ය. මම පිලිස්තිවරුන්ගේ ඔද බිඳදමන්නෙමි. 7 ඔව්හු ලේ සහිත මාංස වත්, තහනම් කරන ලද කෑම වත් තවත් අනුභව නොකරන්නෝ ය. ඔව්හු ද ඉතිරි ව සිටින සියලු දෙනා සමඟ දෙවියන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය; ඔව්හු ජුදාහි ගෝත්‍රයක් මෙන් වන්නෝ ය; එක්‍රොන්වරු ද ජෙබුසියයන් මෙන් වන්නෝ ය. 8 එවිට මම මාගේ දේශය ආරක්ෂා කොට ඒ මැදින් යුද්ධ හමුදාවලට යන්න ඉඩ නොදෙන්නෙමි. ඔවුන්ට පීඩා කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්නෙමි. මාගේ සෙනඟගේ දුක මම දිටිමි.”
සාම කුමාරයාගේ ආගමනය
9 සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න;
ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න.
ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක.
එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක.
යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.
10 මම එප්‍රායිම් කෙරෙන් රථය ද ජෙරුසලමෙන් අශ්වයන් ද සිඳදමන්නෙමි. යුද්ධ දුන්න ද කපා හරිනු ලැබේ. උන් වහන්සේ ජාතීන්ට සාමදානය ප්‍රකාශ කරන සේක. උන් වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් යුප්‍රටීස් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේ ය.
සෙනඟට නිදහස
11 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ලෙයින් මුද්‍රා කරන ලද, නුඹ සමඟ කළ, මාගේ ගිවිසුම නිසා මම නුඹේ සෙනඟ වතුර නැති වළෙන් නිදහස් කරන්නෙමි. 12 පිටුවහල් වී සිටින්නෙනි, දැන් නුඹලාට බලාපොරොත්තු තිබෙන නිසා, නුඹලාගේ ආරක්ෂා ස්ථානයට පැමිණෙන්න. නුඹලා විඳි දුක්වලට වන්දි වශයෙන් නුඹලාට දෙගුණයක් ආශීර්වාද මා දෙන බව ප්‍රකාශ කරමි. 13 මම ජුදා රට දුන්නක් මෙන් ද එප්‍රායිම් ඊතල මෙන් ද සූදානම් කරගෙන සිටිමි. ග්‍රිසියේ ජනයාට විරුද්ධ ව සටන් කරන පිණිස මම සියොන්හි ජනයා රණශූරයකුගේ කඩුවක් මෙන් යොදාගන්නෙමි.
14 ”එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙන සේක. උන් වහන්සේගේ ඊතලය විදුලිය මෙන් විහිදෙන්නේ ය. දෙවි ස්වාමීන් වහන්සේ සිය හොරණෑව පිඹ දකුණු දිශාවේ සුළිසුළං සමඟ ඉදිරියට වඩින සේක. 15 සියලු බලැති සමිඳාණන් වහන්සේ සිය සෙනඟ ආරක්ෂා කොට, ඔවුන්ගේ සතුරන් ගල් පටියේ ගල් මෙන් පාගා දමන සේක. ඔව්හු මිදියුස මෙන් ලේ බොන්නෝ ය. සතුරන් මරාදමන්නෝ ය. ඔවුන්ගේ ලේ පූජාසනයේ කොන්වල නෙරා ගිය අං පෙඟී තිබෙන පරිදි ද භාජනයකින් ලේ උතුරා යන පරිදි ද ඔව්හු ලේවලින් වෙරිමත් වී සිටින්නෝ ය. 16 ඒ දවස පැමිණි විට, එඬේරෙකු සිය රැළ ආරක්ෂා කරන ලෙස උන් වහන්සේ තමන්ගේ සෙනඟ ආරක්ෂා කරන සේක. ඔටුන්නක ඇති මැණික් මෙන් උන් වහන්සේගේ දේශයේ ඔව්හු බබළන්නෝ ය. 17 එසේ ය, එය කොපමණ සාරවත්, අලංකාරවත් දේශයක් වන්නේ ද! ධාන්‍යයෙන් එහි වෙසෙන තරුණයෝ ද මිදියුසෙන් එහි වෙසෙන තරුණියෝ ද ශක්ති සම්පන්න වන්නෝ ය.”
– 10 වන පරිච්ඡේදය –
විමුක්තිය පිළිබඳ පොරොන්දුව
1 වසන්ත කාලයට වර්ෂාව එවන ලෙස සමිඳාණන් වහන්සේගෙන් අයැදින්න. සියලු දෙනා සඳහා කුඹුරු සාරවත් කරමින් වැසි වලාකුළු ද වර්ෂාව ද එවන්නේ සමිඳාණන් වහන්සේ ය. 2 පිළිම අයැදීමෙන් මිනිසුන්ට නිසරු බොරු පිළිතුරු ලැබෙන නිසා ද පේන කියන්නන් මිනිසුන් නොමඟ යවන නිසා ද ස්වප්න දකින්නන් හිස් සැනසිල්ලක් ගෙන දෙන නිසා ද සෙනඟ බැටළුවන් මෙන් ඉබාගාතේ ඇවිදිති. එඬේරෙකු නැති නිසා ම ඔව්හු දුකට පත් වී සිටිති.
3 ”එඬේරුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී තිබේ. මම ඔවුන්ගේ මූලිකයන්ට දඬුවම් කරමි. එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ ජුදාහි සෙනඟ වන බැටළු රැළ ආරක්ෂා කරන සේක. ඔව්හු උන් වහන්සේගේ බලවත් යුද්ධ අශ්වයන් මෙන් වන්නෝ ය. 4 මුදුන් ගල වැනි පාලකයන් ද ඇබ වැනි මූලිකයන් ද යුද්ධ දුනු වැනි නිලධාරීන් ද සියලු අධිපතීන් ද ඒ දේශයෙන් නික්මෙනු ඇත. 5 වීථිවල ඇති මඩෙහි සතුරන් පාගා දමන බලවත් හේවායන් මෙන් ජුදාහි සෙනඟ ජයග්‍රාහකයෝ වන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටින නිසා ඔව්හු සටන් කොට සතුරු අශ්වාරෝහකයන් වුව ද පරාජය කරන්නෝ ය. 6 මම ජුදාහි සෙනඟ බලවත් කර, ජෝසෙප්ගේ සෙනඟට ජය අත් කර දෙන්නෙමි. ඔවුන්ට අනුකම්පා කරන නිසා මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. ඔව්හු වනාහි, මා විසින් කිසි කලෙක ප්‍රතික්ෂේප නොකරන ලද සෙනඟක් මෙන් වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ අයැදුම්වලට මම පිළිතුරු දෙන්නෙමි. 7 එප්‍රායිම් සෙනඟ බලවන්ත හේවායෙකු මෙන් වන්නෝ ය. ඔවුන් මිදියුස පානය කළ අය මෙන් ප්‍රීති වනු ඇත. ඔවුන්ගේ දරු පරම්පරාව මේ ජයග්‍රහණය සිහි කොට ප්‍රීති වන්නෝ ය. සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔව්හු සන්තෝෂ වන්නෝ ය. 8 මම මාගේ සෙනඟ කැඳවා ඔවුන් එක්රැස් කරන්නෙමි. මම ඔවුන් ගළවා ඔවුන්ගේ සංබ්‍යාව පෙර මෙන් වැඩි කරන්නෙමි. 9 මා ඔවුන් ජාතීන් අතරේ විසුරුවා හරින නමුත්, ඔවුන් දුර බැහැර රටවල දී මා සිහි කොට, ඔවුන්ගේ දරුවන් සමඟ ජීවත් ව සිට ආපසු හැරී එනු ඇත. 10 මම ඔවුන් මිසරයෙන් නැවත ගෙනෙන්නෙමි; අසිරියාවෙන් ඔවුන් රැස් කර ගිලියද් දේශයටත්, ලෙබනොන්ටත් පමුණුවන්නෙමි; මුළු දේශය සෙනඟගෙන් පිරී ඉතිරී යන්නේ ය. 11 ඔවුන් විපත්තිය නමැති මුහුද මැදින් යන විට, මම මුහුදේ තරංගවලට පහර දෙන්නෙමි. එවිට නයිල් ගංගාවේ පත්ල වියළී යන්නේ ය. අසිරියාවේ අහංකාරය පහත් කරනු ලබන්නේ ය; මිසරයේ ජයකොන්තය නැති වී යන්නේ ය; 12 ඔවුන්ගේ ශක්තිය සමිඳාණන් වහන්සේ කෙරෙහි ය. ඔව්හු උන් වහන්සේට කීකරු වන්නෝ ය.” මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.
– 11 වන පරිච්ඡේදය –
බලවතුන්ගේ වැටීම
1 ”එම්බා ලෙබනොන්, ඔබේ කිහිරි ගස් ගින්නෙන් දැවී යන පිණිස ඔබේ දොරවල් අරින්න. 2 දේවදාර ගස් කෑමොරගසන්න; මන්ද, කිහිරි ගස් වැටී ඇත; ඒ තේජාන්විත ගස් විනාශ වී ඇත. බාෂාන්හි ආලෝන ගස් කෑමොරගසන්න; මන්ද, ඝන වනාන්තරය වනසාදමනු ලැබුවේ ය. 3 සවන් දෙන්න, පාලකයන්ගේ තේජස පහවී ගොස් ඇති බැවින්, ඔව්හු දුක් බරින් කෑමොරගසති. ජොර්දාන්හි වනය පාළු වී ඇති බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ අසන්න.”
එඬේරාගේ උපමාව
4 මාගේ දෙවි සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”මරනු ලබන්න නියම ව සිටින බැටළු රැළෙහි එඬේරා වන්න. 5 ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නමුත්, ඔව්හු දඬුවම් නොලබන්නෝ ය. ඔවුන් විකුණන අය, ‘සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! අපි දැන් පොහොසත් ය’යි කියති. ඔවුන්ගේ ම එඬේරු වුව ද ඔවුන්ට අනුකම්පා නොකරති.”
6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම දේශයේ වැසියන්ට තවත් අනුකම්පා නොකරමි. මම හැම මිනිසෙකු ම ඔහුගේ එඬේරා වන පාලකයාට හා රජුගේ බලයට පාවා දෙමි. මොවුහු දේශය නැතිනාස්ති කරති. ඔවුන්ගේ බලයෙන් මම කිසිවෙකු බේරා නොගනිමි.
7 ”ඒ නිසා බැටළුවන් මිලේට ගෙන විකුණන අය උදෙසා මම ඔවුන් තර කෙළෙමි. ඒ නිසා මම මරණයට නියම ව සිටි බැටළු රැළේ එඬේරා වීමි. මම සැරයටි දෙකක් රැගෙන, එකකට ‘ප්‍රසාදය’ කියා ද අනෙකට ‘සමගිය’ කියා ද නම් තබා බැටළු රැළ ආරක්ෂා කෙළෙමි. 8 මට ද්වේෂ කළ එඬේරුන් තිදෙනෙකු ගැන මට ඉවසාගත නොහැකි ව එක මාසයක් ඇතුළත දී ඔවුන් නැසුවෙමි. 9 එවිට මම බැටළු රැළට කතා කොට, ‘මම තවත් නුඹලාගේ එඬේරා නොවන්නෙමි, නසින අය නසිත් වා! වැනසෙන අය වැනසෙත් වා! ඉතිරි අය එකිනෙකාගේ මාංස කාදමත් වා’යි කීමි. 10 එවිට මම සියලු ජාතීන් සමඟ කළ ගිවිසුම අවලංගු කරන පිණිස ‘ප්‍රසාදය’ නමැති සැරයටිය ගෙන කඩා දැමුවෙමි. 11 එසේ ය, ඒ දවසේ දී ගිවිසුම අවලංගු කරන ලදී. බැටළුවන් මිලේට ගෙන විකුණන අය මා කළ දේ දැක, ඒ ක්‍රියාව මඟින් සමිඳාණන් වහන්සේ කතා කරන බව තේරුම්ගත්හ. 12 මම ඔවුන් අමතා, ‘මට කුලිය දෙන්න යුතු යයි නුඹලාට සිතේ නම් එය දෙන්න, නැත්නම් එය තබා ගන්නැ’යි කීමි. එවිට ඔව්හු මට රිදී කාසි තිහක් කුලී වශයෙන් කිරා දුන්හ. 13 ‘ඒ මුදල දේව මාලිගාවේ භාණ්ඩාගාරයෙහි දමන්නැ’යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක. මම ද, මාගේ වටිනාකම වශයෙන් ඔවුන් මිල කළ අගේ ඇති ඒ රිදී මිල තිහ දේව මාලිගාවේ භාණ්ඩාගාරයෙහි දැමීමි. 14 ඉන්පසු ජුදා හා ඉශ්රායෙල් අතරේ පැවති සමගිය බිඳෙන බව පෙන්වන පිණිස, ‘සමගිය’ යන නම ඇති සැරයටිය කැඩීමි.”
15 එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”නුඹ නැවතත් පලක් නැති එඬේරෙකුගේ උපකරණ අරගන්න. 16 මම මේ දේශයට මෙවැනි එඬේරෙකු එවන්නෙමි. ඔහු විනාශයට ගොදුරු වූවන් ගැන සලකන්නේ වත්, නැති වූවන් සොයන්නේ වත්, තුවාළ වූවන් සුව කරන්නේ වත්, නොමැරී ඉතිරි වූවන්ට කෑම දෙන්නේ වත් නැත. ඒ වෙනුවට ඔහු ඉතා තර බැටළුවාගේ මස් කා උගේ කුර පවා උදුරා දමන්නේ ය. 17 රැළ අත්හැර ගිය ඒ පලක් නැති එඬේරාට වන විපතක මහත! යුද්ධය කරණකොටගෙන ඔහුගේ අතට සහ දකුණු ඇසට පහර වැදෙන්නේ ය. ඔහුගේ අත් වියළී යන්නේ ය; ඇස් ද අන්ධ වන්නේ ය.”
– 12 වන පරිච්ඡේදය –
ජෙරුසලමේ විමුක්තිය
1 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගැන කරන දිව්‍ය ප්‍රකාශනය මෙය වේ. අහස මැවූ, පොළොවේ අත්තිවාරම දැමූ, මනුෂ්‍යයා තුළ ආත්මානුභාවය පිහිටෙවූ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: 2 ”ජෙරුසලම, ඒ අවට ජාතීන් වෙරිමත් කරවන කුසලානක් සේ කරන්නෙමි. ඒ ජාතීන් ජෙරුසලම වටලන විට ජුදාහි සෙසු නගර ද වටලනු ලැබේ. 3 මම ඒ දවස පැමිණි විට සියලු ජාතීන්ට ජෙරුසලම බර ගලක් මෙන් කරන්නෙමි. එය උස්සන්න යන ජාතිය බොහෝ සේ තුවාළ ලබන්නේ ය. ලෝකයේ සියලු ජාතීහු එයට විරුද්ධ ව එක්රැස් වෙති. 4 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඒ කාලයේ දී මම සියලු අශ්වයන් බිය ගන්වා අසරුවන් වියරු වැටෙන්න සලස්වන්නෙමි. එහෙත්, මම ජුදාහි සෙනඟ රැක බලාගෙන ඔවුන්ගේ සතුරන්ගේ අශ්වයන් අන්ධ කරන්නෙමි. 5 එවිට ජුදාහි ගෝත්‍ර තම තමන් කතා කර ගනිමින්, ‘සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වසන සිය සෙනඟට ශක්තිය දෙන සේකැ’යි කියනු ඇත.
6 ”ඒ කාලයේ දී මම ජුදාහි ගෝත්‍රයන් වනලැහැබක නොහොත් ගොයම් ඇති කුඹුරක ගිනි හුලක් මෙන් ද පිදුරු මිටි අතර ගිනි පෙනෙල්ලක් මෙන් ද කරන්නෙමි. ඔව්හු සියලු ජාතීන් හාත්පසින් ම විනාශ කරන්නෝ ය. ජෙරුසලමේ සෙනඟ සිය නගරයෙහි සුරැකි ව සිටින්නෝ ය.
7 ”දාවිත්ගේ වංශයට හිමි මහිමය ද ජෙරුසලමේ වැසියන්ට ලැබෙන මහිමය ද ජුදාහි සෙසු කොටසට වඩා උසස් නොවන පිණිස මම පළමුකොට ජුදාවට ජය අත් පත් කර දෙන්නෙමි. 8 ඒ කාලයෙහි සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වැසියන් ආරක්ෂා කරන සේක: ඔවුන් අතරෙහි සිටින දුබලයා පවා දාවිත් මෙන් ප්‍රබල වන්නේ ය. දාවිත්ගේ වංශය ද දෙවියන් වහන්සේ මෙන් ද සමිඳාණන් වහන්සේගේ දූතයා මෙන් ද ඔවුන්ට මඟ පෙන්වන්නේ ය. 9 ඒ කාලයේ දී මම ජෙරුසලමට පහර දෙන්න උත්සාහ කරන හැම ජාතියක් ම විනාශ කරන්නෙමි.”
සෙනඟ තමන්ගේ පාපය ගැන වැලපීම
10 ”මම දාවිත්ගේ වංශයට ද ජෙරුසලමේ සෙනඟට ද කරුණාවේ හා අයැදීමේ සිතක් දෙන්නෙමි. ඔව්හු තමන් විසින් ඇන තුවාළ කරන ලද්දා වූ තැනැත්තා දෙස බලා, නැති වූ එක ම පුත්‍රයා ගැන වැලපෙන අය මෙන් වැලපෙන්නෝ ය; එක ම පුත්‍රයා ගැන ශෝක වන්නාක් මෙන් ශෝක වන්නෝ ය. 11 ඒ කාලයේ දී මෙගිද්දෝ සමභූමියෙහි දී හදද්-රිම්මොන් ගැන වැලපෙන්නාක් මෙන් ජෙරුසලමේ වැලපීම මහත් වන්නේ ය. 12 දේශයෙහි එක එක ගෝත්‍ර වෙන් වෙන් වශයෙන් වැලපෙනු ඇත. දාවිත්ගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය. නාතාන්ගේ ගෝත්‍රයෙන් පැවත එන පුරුෂයෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය. 13 ලෙවීගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද, ෂිමෙයි පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද 14 සෙසු සියලු ගෝත්‍රවල අය ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය.”
– 13 වන පරිච්ඡේදය –
ජෙරුසලම පවිත්‍ර කරනු ලැබීම
1 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය. 2 ඒ කාලයේ දී දේව රූපවල නම් තවත් සිහි නොවන පරිදි මම ඒ රූප දේශයෙන් බැහැර කරන්නෙමි. බොරු දිවැසිවරුන් ද පහ කරදමා, මම රූප වන්දනාවේ ආශාව නැති කරදමන්නෙමි. 3 තවදුරටත් දිවැස් දෙසීමට යමෙක් තැත් කරයි නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ඔහු ජනිත කළ පියාත්, මවත්, ‘නුඹ ජීවත් නො විය යුතු ය. මන්ද සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නුඹ බොරු පවසන්නෙහි ය’යි කියමින් ඔහුට ඇන මරන්නෝ ය. 4 ඒ කාලයේ දී සෑම දිවැසිවරයෙක් තමා දකින දර්ශන ගැන ලජ්ජා වන්නේ ය; දිවැසිවරයෙකු සේ අඳින්නේ වත්, තමා දිවැසිවරයෙකු යයි කියාගන්නේ වත් නැත. 5 ඒ වෙනුවට ඔහු, ‘දිවැසිවරයෙකු නොව මම ගොවියෙක්මි; මම බාල වියෙහි සිට ම ගොවිකම් කෙළෙමි’යි කියන්නේ ය. 6 ‘නුඹේ පිටේ තිබෙන ඔය තුවාළ මොනවා දැ’යි යමෙකු ඔහුගෙන් ඇසුවොත්, ‘ඒවා මාගේ මිත්‍රයාගේ ගෙදර දී මා ලැබූ තුවාළ ය’යි ඔහු කියන්නේ ය.”
එඬේරා මරන්නට නියමය
7 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”එම්බා කඩුව! පිබිද මාගේ එඬේරාට එනම්, සහකාර මිනිසාට පහර දෙන්න; එඬේරාට පහර දෙන්න. එවිට බැටළු රැළ විසිර යනු ඇත. මාගේ දුබල වූවන්ට මම පහර දෙන්නෙමි. 8 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. සෙනඟගෙන් තුනෙන් දෙකොටසක් මැරෙනු ඇත. එක කොටසක් ජීවත් වනු ඇත. දේශය මුළුල්ලෙහි මෙය සිදු වනු ඇත. 9 එහෙත්, ඉතිරි තුන් වන කොටස මම ගින්නෙහි දමන්නෙමි; රිදී පවිත්‍ර කරන්නාක් මෙන් ඔවුන් පවිත්‍ර කරන්නෙමි; රන් උරගා බලන්නාක් මෙන් ඔවුන් උරගා බලන්නෙමි. ඔවුන් මාගේ නාමයෙන් මට යාච්ඤා කරන විට මම ද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි. ‘ඔව්හු මාගේ සෙනඟ ය’යි මම ඔවුන්ට කියන්නෙමි; ‘සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ ය’යි ඔව්හු මට කියන්නෝ ය.”
– 14 වන පරිච්ඡේදය –
ජෙරුසලම උදෙසා සටන
1 සමිඳාණන් වහන්සේ ක්‍රියා කරන දවස පැමිණෙන්නේ ය. එකල ඔබ කොල්ලකනු ලැබ කොල්ලය ඔබේ ඇස් හමුයෙහි බෙදනු ලැබේ. 2 ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන පිණිස සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් එක්රැස් කරන සේක. නගරය අල්ලාගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කරනු ලබති; සෙනඟගෙන් දෙකෙන් කොටසක් වහල්කමට ගෙනයනු ලබන අතර, ඉතිරි කොටස නුවරින් පිටත ගෙනයනු නොලබති. 3 සමිඳාණන් වහන්සේ ඉදිරියට ගොස් පසුගිය කාලයෙහි යුද්ධ කළ පරිදි ඒ ජාතීන්ට විරුද්ධ ව යුද්ධ කරන සේක. 4 ඒ කාලයේ දී ජෙරුසලමට නැගෙනහිරෙන් පිහිටි ඔලීව කන්ද මත සමිඳාණන් වහන්සේ වැඩහිඳින සේක. එකල ඔලීව කන්ද නැගෙනහිර සිට බටහිර දෙසට දෙපළු වී මැදින් මහත් මිටියාවතක් මතු වන්නේ ය. කන්දෙන් භාගයක් උතුරු දෙසටත්, අනෙක් භාගය දකුණු දෙසටත් වෙන් වී යන්නේ ය. 5 නුඹලා ද මාගේ කන්දේ මිටියාවත මැදින් බේරී පලා යන්නහු ය. මන්ද, ඒ මිටියාවත කන්දෙන් එහා පැත්ත දක්වා ඇත. ජුදාහි රජ වූ උශ්ශියාගේ කාලයේ දී භූමිකම්පාවක් ඇති වූ විට නුඹලාගේ මුතුන්මිත්තන් පලා ගිය පරිදි නුඹලාත් පලා යන්නහු ය. එවිට මාගේ දෙවි සමිඳාණන් වහන්සේ සියලු ශුද්ධවන්තයන් පිරිවරා වඩින සේක.
සමිඳාණන් වහන්සේ රජකම් කරන සේක
6 ඒ කාලයේ දී උෂ්ණය වත්, ශීත වත් ඇති නොවන්නේ ය. 7 දවාලත්, රැයත් නොවී, සවස් වේලාවට එළිය ඇත්තා වූ, සමිඳාණන් වහන්සේ පමණක් දන්නා වූ, එක්තරා දවසක් පැමිණෙන්නේ ය.
8 ඒ කාලයේ දී පිරිසිදු වතුර ජෙරුසලමෙන් ගලා අවුත් එයින් භාගයක් මළ මුහුදටත්, ඉතිරි කොටස මධ්‍යධරණි මුහුදටත් ගලා යන්නේ ය. අවුරුද්ද මුළුල්ලේ ඒ වතුර ගලන්නේ ය. 9 එකල සමිඳාණන් වහන්සේ මුළු ලෝකයේ රාජයාණෝ වන සේක. සියලු දෙන උන් වහන්සේ දෙවියන් වහන්සේ වශයෙන් නමදිනු ඇත. එක ම නමකින් උන් වහන්සේ හඳුන්වනු ලබන සේක.
10 උතුරේ ගෙබා සිට දකුණේ රිම්මොන් දක්වා ඇති ජෙරුසලම අවට මුළු දේශය සමතලා කරනු ලබන්නේ ය. ජෙරුසලම ඒ අවට ප්‍රදේශයට ඉහළින් උස් ව තිබෙන්නේ ය. ‘බෙන්ජමින් දොරටුව’ සිට කලින් දොරටුවක් තිබුණු ‘කොනේ දොරටුව’ දක්වා ද ‘හනනෙල් කොත’ සිට රජුගේ මුද්‍රික තටාකය දක්වා ද නුවර පැතිර පවතින්නේ ය. 11 සෙනඟ තවත් විනාශයකට භාජන නොවී සුරැකි ව එහි වාසය කරන්නෝ ය.
12 ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන සකල ජාතීන් කෙරෙහි වසංගතයක් සමිඳාණන් වහන්සේ පමුණුවන සේක. ඔවුන් සිටගෙන සිටිය දී ඔවුන්ගේ මාංස කුණු වී යන්නේ ය. ඔවුන්ගේ ඇස් ද දිව් ද ජරාපත් වන්නේ ය.
13 ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේ ඔවුන් අතර භීතියක් ඇති කරන සේක. ඒ නිසා, එක මිනිසෙකු තමා ළඟ සිටින මිනිසා අල්ලාගෙන ඔහුට පහර දෙනු ඇත. 14 ජුදා සෙනඟ පවා ජෙරුසලමේ සිට සටන් කරනු ඇත. ඔව්හු අවට සියලු ජාතීන්ගේ සම්පත් වන රන් රිදී ද වස්ත්‍ර ද මහා රාශියක් එකතු කරගන්නෝ ය. 15 අශ්වයන් ද අශ්වතරයන් ද ඔටුවන් ද කොටළුවන් ද සතුරු කඳවුරුවල සිටින සියලු සත්ත්වයන් ද කෙරෙහි වසංගතයක් පැමිණෙන්නේ ය.
ජෙරුසලමේ මහිමාලංකාරය
16 ජෙරුසලමට විරුද්ධ ව සටන් කරන සියලු ජාතීන්ගෙන් ඉතිරි ව සිටින සියලු දෙනා සියලු බලැති දෙවියන් වහන්සේට රාජයාණන් වශයෙන් ම නමස්කාර කරන පිණිසත්, කූඩාරම් මංගල්‍යය පවත්වන පිණිසත් වසරක් පාසා වසරක් ජෙරුසලමට පැමිණෙන්නෝ ය. 17 යම් දේශයක සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේට රජාණන් වශයෙන් නමස්කාර කරන්න ජෙරුසලමට නොයන්නෝ නම්, ඒ දේශය පිට වැසි නොවසින්නේ ය. 18 මිසර ජාතිකයෝ කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙත් නම්, එසේ නොපැමිණෙන සියලු ජාතීන් කෙරෙහි සමිඳාණන් වහන්සේ පමුණුවන වසංගතය ඔවුන් පිටත් පමුණුවනු ලැබේ. 19 කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙන මිසර හා අවශේෂ ජාතීන් කෙරෙහි පැමිණෙන දඬුවම මෙය වේ.
20 ඒ කාලයේ දී ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන අශ්වයන්ගේ මිණිගෙඩිවල කොටා තබනු ඇත. දේව මාලිගාවේ පිසීමට ගන්න භාජන පූජාසන ඉදිරියෙහි ඇති පාත්‍ර මෙන් කැප වූ භාජන වන්නේ ය. 21 ජෙරුසලමේ හා ජුදාවේ ඇති, පිසීමට ගන්න සියලු භාජන සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නමස්කාරය සඳහා වෙන් කරනු ලබන්නේ ය. පූජා ඔප්පු කරන සෙනඟ පැමිණ, පූජාවට ගන්න මාංස තම්බන පිණිස ඒ භාජන පාවිච්චි කරනු ඇත. ඒ කාලය පැමිණි විට එක ම වෙළෙන්දෙකු වත් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නොසිටිනු ඇත.