සාමුවෙල්ගේ පළමු වන පොත

– 1 වන පරිච්ඡේදය –

එල්කානා සහ ඔහුගේ පවුල

1 එප්‍රායිම් කඳු රටේ රාමාතයිම්-ශෝපීම්හි එල්කානා නම් මිනිසෙක් විය. ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; එප්‍රායිමියයෙකු වූ ශුප්ගේ ගෝත්‍රයේ තොහුගේ පවුලට අයත් එලීහුගේ මුණුබුරා ය. 2 එල්කානාට භාර්යාවෝ දෙදෙනෙක් සිටියහ. එක් තැනැත්තියකගේ නම හන්නා ය; අනික් තැනැත්තියගේ නම පෙනින්නා ය. පෙනින්නාට දරුවෝ සිටියහ; එහෙත්, හන්නාට දරුවෝ නොසිටියහ. 3 එල්කානා ෂිලෝහි දී සියලු බලැති සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්නත්, පූජා කරන්නත් අවුරුදු පතා ඔහුගේ නගරයෙන් නික්ම ගියේ ය. එහි සමිඳාණන් වහන්සේගේ පූජකයන් වූ හොප්නි සහ පිනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියහ. 4 එල්කානා පූජා කරන හැම අවස්ථාවේ දී ම සිය බිරිඳ වූ පෙනින්නාටත්, ඇගේ සියලු දූ දරුවන්ටත් කොටසක් දුන්නේ ය. 5 එහෙත්, ඔහු හන්නාට දෙකොටසක් දුන්නේ ය. එසේ කෙළේ, ඔහු හන්නාට බොහෝ ප්‍රේම කළ බැවිනි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබිණි. 6 සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණු බැවින්, ඇගේ විරුද්ධකාරී ඈ කො‍්ප කරවන පිණිස ඈට නින්දා කළා ය. 7 එල්කානා අවුරුදු පතා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගිය අවස්ථාවල දී පෙනින්නා හන්නා කෝප කළා ය. ඒ නිසා හන්නා කෑම නොකා හඬමින් සිටියා ය. 8 එවිට ඇගේ පුරුෂයා වන එල්කානා ඈට කතා කොට, ”හන්නා, ඔබ අඬන්නේ මන් ද? නොකා සිටින්නේ මන් ද? ඔබ සෝදුකින් සිටින්නේ මන් ද? පුත්‍රයන් දසදෙනෙකුට වඩා මා ඔබට අගේ නැද්දැ”යි කී ය.

හන්නා සහ ඒලී

9 වරක් ෂිලෝහි දී ඔවුන් කා බී හමාර වූ පසු හන්නා නැඟිට සිටියා ය. ඒලී නම් පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උළුවහු කණුව ළඟ තිබුණු සිය ආසනේ හිඳගෙන සිටියේ ය. 10 හන්නාගේ සිත ශෝකයෙන් පිරී තිබිණි. ඈ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් අඬ අඬා සිටියා ය. 11 ඈ බාරයක් වෙමින්, ”සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.
12 හන්නා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤා කරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේ ය. 13 හන්නා නිශ්ශබ්ද ව යාච්ඤා කළා ය. ඇගේ තොල් පමණක් සෙලවුණ නමුත්, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඒ නිසා ඈ බීමත් වී සිටිති යි ඒලී සිතුවේ ය. 14 ඒලී කතා කොට, ”ඔබ කොපමණ කල් වෙරි වී සිටින්නෙහි ද? වෙරි මත ඔබෙන් පහ වන තුරු ඉවතට යන්නැ”යි කී ය.
15 හන්නා උත්තර දෙමින්, ”මාගේ ස්වාමීනි, එසේ නොවේ; මුද්‍රික පානය වත් සැර බීමක් වත් මම නොබීවෙමි. මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්මි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් මාගේ දුක් ගැනවිලි උන් වහන්සේ ඉදිරියෙහි වැගිර වූයෙමි. 16 ඔබේ මෙහෙකාරී කමකට නැති ස්ත්‍රියකැ යි නොසිතන්න. මා මේ ආකාරයෙන් යාච්ඤා කරමින් සිටියේ මාගේ දුකේ හා සිත් වේදනාවේ වැඩිකම නිසා ය”යි කීවා ය.
17 එවිට ඒලී පිළිතුරු දෙමින්, ”ශාන්ති සිතින් යන්න; ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගෙන් ඔබ කළ ඉල්ලීම උන් වහන්සේ ඔබට ඉෂ්ට කර දෙන සේක්වා”යි කීවේ ය. 18 ඈ ද, ”ඔබේ දාසීට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේ වා”යි කියා එතැනින් පිටත් ව ගොස් කෑම කෑවා ය. ඉන්පසු ඇගේ මුහුණ ද මළානික ව නොතිබිණි.

සාමුවෙල්ගේ උපත සහ කැප කිරීම

19 පසු දින අලුයම එල්කානා සහ ඔහුගේ පවුල නැඟිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කොට, හැරී ගොස් රාමාහි තමන්ගේ ගෙදරට ගියෝ ය. එල්කානා සිය බිරිඳ වන හන්නා සමඟ එක් විය. සමිඳාණන් වහන්සේ ද ඇය සිහි කළ සේක. 20 ඈ පිළිසිඳගෙන නියම කාලයේ දී පුත්‍රයෙකු ලැබුවා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. ”එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැ”යි ඈ කීවා ය.
21 එල්කානා සහ ඔහුගේ මුළු පවුල අවුරුදුපතා කරන පූජාවත්, තමාගේ බාරයත් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ෂිලෝවට නික්ම ගියහ. 22 එහෙත්, හන්නා ගියේ නැත. මන්ද, ”ළමයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැම කල්හි ම නැවතී සිටින පිණිස කිරි වැරූ පසු ඔහු ගෙන යන තුරු මම නොයමි”යි ඈ ඇගේ පුරුෂයාට කීවා ය.
23 ඇගේ පුරුෂයා වන එල්කානා ඈට පිළිතුරු දෙමින්, ”ඔබට හොඳ යයි සිතෙන දේ කරන්න; දරුවා කිරි වරන තුරු නැවතී සිටින්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කරන සේක් වා”යි කීවේ ය. මෙසේ හන්නා නැවතී සිට සිය පුතා කිරි වරන තුරු ඔහුට කිරි දුන්නා ය.
24 දරුවා කිරි වැරූ පසු, හන්නා තුන් අවුරුදු වස්සෙකු ද පිටි කිලෝග්‍රෑම් දහයක් ද මිදියුස බඳුනක් ද අරගෙන දරුවා ගෙන ගොස් ෂිලෝහි තිබුණු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමුණුණා ය. එකල ඔහු කුඩා දරුවෙකු ව සිටියේ ය. 25 ඔව්හු ගොන් වස්සා මරා දරුවා ඒලී ළඟට ගෙනාහ. 26 ඈ ඒලී අමතා, ”අනේ ස්වාමීනි, මට සමා වන්න. වරක් ඔබ ළඟ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් සිටි ස්ත්‍රිය මා බව මම දිවුරා කියමි. 27 මේ දරුවා දෙන ලෙස මම යාච්ඤා කෙළෙමි. සමිඳාණන් වහන්සේ ද මා උන් වහන්සේගෙන් ඉල්ලූ මේ ඉල්ලීම මට ඉටු කළ සේක. 28 එබැවින් මම ද ඔහු සමිඳාණන් වහන්සේට දෙන්නෙමි. ඔහු ජීවත් ව සිටින තෙක් සමිඳාණන් වහන්සේට කැප ය”යි කීවා ය. ඔව්හු එහි දී සමිඳාණන් වහන්සේට නමස්කාර කළහ.

– 2 වන පරිච්ඡේදය –

හන්නාගේ යාච්ඤාව

1 හන්නා යාච්ඤා කරමින් මෙසේ කීවා ය:
”මා සිත සමිඳුන් කෙරෙහි ප්‍රීතිමත් වේ;
මාගේ සවිය සමිඳුන් කෙරෙහි උසස් වී තිබේ.
මාගේ මුවින් මා සතුරන්ට මම සරදම් කරමි;
ඔබ මා ගැළෙවු නිසා මම ප්‍රීති වෙමි.
2 සමිඳුන් මෙන් සුවිශුද්ධ අන් කෙනෙක් නැත;
ඔබ හැර අන් දෙවි කෙනෙක් ඇත්තේ ම නැත;
අපේ දෙවිඳුන්ට සම වන සරණක් නැත.
3 උඩඟු ලෙස පුරසාරම් නොදොඩන්න;
අහංකාර දෙඩුම් ඔබේ මුඛවලින් නොනික්මේ වා!
මන්ද,
සමිඳු සියල්ල දන්නා වූ දෙවි කෙනෙකි;
මිනිසුන්ගේ සියලු ක්‍රියා විනිශ්චය කරන කෙනෙකි.
4 බලවතුන්ගේ බලය දුබල වී ඇත.
දුබලයෝ බලවත් වී ඇත.
5 කා බී තර වී සිටි අය කුලී වැඩ කරති;
සාගින්නෙන් පෙළී සිටි අයට සාගින්නක් තවත් නැත.
වඳ ස්ත්‍රියට දරුවන් සත්දෙනෙක් ඇත.
බොහෝ දරුවන් ලැබූ ස්ත්‍රියට දැන් එකෙක් වත් නැත.
6 මරණය සමිඳුන්ගෙන් ය, ජීවිතය ද සමිඳුන්ගෙන් ය;
පාතාලයට ගෙන යන්නේත්, එයින් ගෙන එන්නේත් සමිඳාණෝ ය.
7 සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක;
පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක.
8 අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක;
දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක.
පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය;
එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.
9 එතුමාණෝ තම සුදනන්ගේ දිවි රක්නා සේක;
එහෙත්, දුදනෝ අඳුරෙහි වැනසෙන්නෝ ය.
සිය සවියෙන් පමණක් කිසිවෙක් ජය නොගන්නේ ය.
10 සමිඳුන්ගේ සතුරෝ සුණු විසුණු කරනු ලබති;
අතිඋසස් දෙවිඳාණෝ අහසෙන් ගිගුරුම් දෙන සේක.
සමිඳාණෝ මුළු පොළෝ තලය විනිශ්චය කරන සේක;
එතුමාණෝ සිය රජුට බලය දෙන සේක.
තමන් තෝරාගත් රජුට ජය අත් කර දෙන සේක.”
11 එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේ ය. එහෙත්, දරුවා නතර වී ඒලී පූජකයා යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය.

ඒලීගේ පුත්‍රයෝ

12 ඒලීගේ පුත්‍රයෝ දුර්ජනයෝ වූ හ. ඔවුන් සමිඳාණන් වහන්සේ ගැන කිසිත් සැලකුවේ නැත. 13 ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේ ය: යම් කෙනෙකු පූජාවක් ඔප්පු කරන කල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස් කොක්කක් රැගෙන අවුත්, 14 හට්ටියේ හෝ සැළියේ හෝ කල්දේරමේ හෝ ඇතිළියේ හෝ දමන්නේ ය; එවිට කොක්කට අසු වූ සියල්ල පූජකයා තමාට ම ගන්නේ ය. ෂිලෝ නගරයට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට ඔව්හු මෙසේ කළහ. 15 ඒ හැර, තෙල දැවී යන්නටත් පෙර පූජකයාගේ වැඩකාරයා අවුත්, පූජා ඔප්පු කරන මිනිසාට කතා කොට, ”පූජක තුමාට පුළුස්සන්නට මස් දෙන්න; මන්ද, එතුමා අමු මස් මිස පිසූ මස් ඔබෙන් නොපිළිගන්නේ ය”යි කී ය.
16 ඒ මිනිසා ඔහුට පිළිතුරු දෙමින්, ”තෙල දැවී ගිය පසු කැමැති තරම් ගන්නැ”යි ඔහුට කීවොත්, වැඩකාරයා පිළිතුරු දෙමින්, ”එසේ නොව, ඔබ දැන් ම දෙන්නට ඕනෑ ය; නැත්නම් බලහත්කාරයෙන් ගන්නෙමි”යි කියනු ඇත.
17 ඒලීගේ පුත්‍රයන් සමිඳාණන් වහන්සේගේ පූජාව සුළු කොට සැලකූ බැවින් ඔවුන්ගේ පාපය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉතා බරපතල විය.

සාමුවෙල් ෂිලෝහි සිටීම

18 ළමා වියෙහි සිටි සාමුවෙල් හණ ඒපොද් සැට්ටයක් ඇඳගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවය කරමින් සිටියේ ය. 19 ඔහුගේ මව සිය පුරුෂයා සමඟ වාර්ෂික පූජාව ඔප්පු කරන පිණිස අවුරුද්දක් පාසා අවුරුද්දක් ෂිලෝ නගරයට යන කල සාමුවෙල්ට කුඩා ඇඳුමක් සාදාගෙන ගියා ය. 20 ඒ අවස්ථාවල දී ඒලී එල්කානාටත්, ඔහුගේ භාර්යාවටත් ආශීර්වාද කරමින්, ”ඔබ දෙපළ සමිඳාණන් වහන්සේට දුන් දීමනාව වෙනුවට සමිඳාණන් වහන්සේ ඔබට මේ ස්ත්‍රියගෙන් දරු පරපුරක් දෙන සේක් වා”යි කීවේ ය. ඉන්පසු ඔව්හු සිය ගෙදරට ගියෝ ය.
21 සමිඳාණන් වහන්සේ හන්නාට කරුණා කළ සේක. ඈ පිළිසිඳගෙන පුත්‍රයන් තුන්දෙනෙකු ද දූවරුන් දෙදෙනෙකු ද ලැබුවා ය. සාමුවෙල් නම් ළමයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වැඩිණි.

ඒලී සහ ඔහුගේ පුත්‍රයෝ

22 ඒලී ඉතා මහලු ව සිටියේ ය. තමාගේ පුත්‍රයන් සියලු ඉශ්රායෙල්වරුන්ට කළ සියල්ල ගැනත්, සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සේවය කළ ස්ත්‍රීන් සමඟ ඔවුන් සයනය කරන බවත් ඔහුට ආරංචි විය. 23 ඒලී සිය පුතුන්ට කතා කොට, ”ඔබ මෙයාකාර දේවල් කරන්නේ කුමක් නිසා ද? ඔබේ නපුරු ක්‍රියා ගැන මේ හැම දෙනාගෙන් ම මට අසන්නට ලැබේ. 24 මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතරේ පැතිරී යන මේ දූසමාන ආරංචිය හොඳ නැත. 25 මිනිසෙකුට විරුද්ධ ව මිනිසෙකු පව් කළොත්, ඒ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට මැදහත් විය හැකි ය. එහෙත්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව මිනිසෙකු පව් කළොත්, ඔහු වෙනුවට මැදහත් විය හැක්කේ කවරෙකුට දැ”යි කීවේ ය. එහෙත්, ඔව්හු තම පියාගේ බසට සවන් නොදුන්නෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් නසන්නට තීරණය කර තිබුණු බැවිනි.
26 සාමුවෙල් කාය ශක්තියෙන් ද සමිඳාණන් වහන්සේගෙන් හා මනුෂ්‍යයන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණේ ය.

ඒලීගේ පවුලට විරුද්ධ ප්‍රකාශනයක්

27 දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් ඒලී වෙත අවුත්, ”සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය: ”නුඹේ පියා ද ඔහුගේ වංශය ද මිසරයෙහි පාරාවෝගේ ගෙදර වහල් ව සිටිය දී මම ඔවුන්ට ප්‍රකාශ නොවීම් ද? 28 පූජාසනය මත පූජා ඔප්පු කරන පිණිස ද සුවඳ දුම් ඔප්පු කරන පිණිස ද මා ඉදිරියෙහි දාදු කරඬුව දරන පිණිස ද මාගේ පූජකයන් ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මම ඒ වංශය තෝරා නොගතිම් ද? ඉශ්රායෙල්වරුන් විසින් ඔප්පු කරන ලද සියලු දවන යාග පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම් ද? 29 එසේ නම්, මාගේ වාසස්ථානයේ ඔප්පු කරන්නට මා අණ කර තිබෙන මාගේ යාගයටත්, මාගේ පූජාවටත් නුඹ අගෞරව කරන්නේත්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පූජාවල ඉතා හොඳ කොටස්වලින් නුඹේ පුත්‍රයන් තර කරගන්න පිණිස නුඹ මට වඩා නුඹේ පුත්‍රයන්ට ගෞරව කරන්නේත් මන් ද? 30 එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි. 31 නුඹේ වංශයෙන් ද නුඹේ පියාගේ වංශයෙන් ද කිසිවෙකු මහලු වියට නොපැමිණෙන ලෙස නුඹේ ද නුඹේ පියාගේ ද බලය මා බිඳදමන බව සිතට ගන්න. 32 ඉශ්රායෙල්වරුන්ට මා දෙන ආශීර්වාද සියල්ල කෙරෙහි නුඹ ඊර්ෂ්‍යාවෙන් බලා කැළඹෙන්නෙහි ය. නුඹේ වංශයෙන් කිසිවෙක් දීර්ඝායු වළඳන්නේ නැත. 33 එසේ වූවත් මට පූජකයෙකු ලෙස සේවය කරන පිණිස නුඹේ පරපුරෙන් එක් කෙනෙකු මම ඉතිරි කරගනිමි. එහෙත්, ඔහු අන්ධ වන්නේ ය; ඔහුගේ සියලු බලාපොරොත්තු නැති වී යන්නේ ය. නුඹේ වංශයෙන් පැවතෙන සියල්ලන් කඩු පහරින් මැරෙනු ඇත. 34 නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් එක දවසේ මැරුණ විට, මා කියන දේ සැබෑ බවට එය ලකුණක් වන්නේ ය. 35 මට පක්ෂපාත ව සිටින, මා කැමැති, මා කියන හැම දේ කරන පූජකයෙකු මම තෝරාගන්නෙමි. ඔහුට දරු පරපුරක් සලසා දී මාගේ අභිෂේක ලත් රජ්ජුරුවන් ඉදිරියෙහි නිරන්තරයෙන් සේවය කිරීමට ඔහු පත් කරමි. 36 තවද, නුඹේ වංශයෙන් ඉතුරු වන හැම දෙනා රිදී කාසියක් ද රොටියක් ද ලබාගන්න පිණිස රජු වෙත පැමිණ ඔහු ඉදිරියේ වැඳ වැටී, අනේ රොටි කෑල්ලක් කන පිණිස පූජක තනතුරට මා පත් කළ මැනවැ’යි කියනු ඇත.”

– 3 වන පරිච්ඡේදය –

සාමුවෙල් කැඳවනු ලැබීම

1 ළමා වියේ සිටි සාමුවෙල් ඒලී යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය. ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩ දුර්ලභ විය; දර්ශන ද විරල විය. 2 දැන් ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන තරමට අඳුරුවන්නට පටන්ගෙන තිබුණේ ය. දිනක් ඔහු සිය කාමරයෙහි සැතපෙමින් සිටියේ ය. 3 සාමුවෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයෙහි නිදාගෙන සිටියේ ය. එහි පහන එතෙක් දැල්වෙමින් තිබුණේ ය. 4 එවිට සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු ද, ”මම මෙහි ය”යි කී ය. 5 එසේ කියා, ඒලී ළඟට දිව ගොස්, ”ඔබ මට අඬගැසුවෙහි ය. මම මෙහි ය”යි කීවේ ය. ඒලී ද, ”මම අඬ නොගැසීමි; නැවත නිදාගන්නැ”යි කීවේ ය. ඔහු ගොස් නිදාගත්තේ ය.
6 සමිඳාණන් වහන්සේ නැවතත්, ”සාමුවෙල්” කියා අඬගැසූ සේක. සාමුවෙල් නැඟිට ඒලී ළඟට ගොස්, ”ඇත්තට ම ඔබ මට අඬගැසුවෙහි ය; මෙන්න, මම මෙහි ය”යි කී ය. එහෙත්, ඒලී පිළිතුරු දෙමින්, ”මාගේ පුත්‍රය, මම අඬ නොගැසීමි, නැවතත් නිදාගන්නැ”යි කීවේ ය. 7 සාමුවෙල් ඒ වන තුරු සමිඳාණන් වහන්සේ දැන සිටියේ නැත. ඒ වන තුරු සමිඳාණන් වහන්සේගේ වචන ඔහුට එළිදරව් නො වී ය.
8 සමිඳාණන් වහන්සේ යළිත් තුන් වන වරටත් සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු නැඟිට ඒලී ළඟට ගොස්, ”ඔබ මට කතා කෙළෙහි ය. මෙන්න, මම මෙහි ය”යි කී ය. එවිට, සමිඳාණන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලී තේරුම් ගත්තේ ය. 9 එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, ”ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, ‘සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා’යි කියන්නැ”යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය.
10 එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, ”සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, ”කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය.
11 සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට මෙසේ වදාළ සේක: ”මෙන්න, මම ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කරන්නට යන දේ; ඒ ගැන අසන සියල්ලන්ගේ කන් දෙක ලෙල දෙන්නේ ය. 12 මා ඒලීගේ වංශය ගැන කී සියල්ල ම, මුල පටන් අග දක්වා, ඒ දවසේ දී ඒලීට විරුද්ධ ව ඉෂ්ට කරන්නෙමි. 13 ඒලීගේ පුත්‍රයන් තමන් පිට සාපයක් පමුණුවා ගන්න බව ඔහු දැනගෙන සිටිය දී, ඔවුන් නොවැළැක්වීමේ අපරාධය නිසා මම ඔහුගේ වංශයට සෑම කල්හි ම දඬුවම් කරන්නෙමි යි මම ඔහුට දැන්වීමි. 14 එබැවින් ඒලීගේ වංශයේ අපරාධය කිසි යම් පූජාවකින් වත්, පඬුරකින් වත් පහකළ නොහැකි බව මා දිවුරා ඇත.”
15 සාමුවෙල් පහන් වන තුරු නිදා හිඳ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇරියේ ය. එහෙත්, සාමුවෙල් තමා දුටු දර්ශනය ඒලීට දන්වන්න බිය ව සිටියේ ය. 16 එවිට ඒලී, ”සාමුවෙල්, මාගේ පුත්‍රය,” කියා සාමුවෙල් ඇමතුවේ ය. ඔහු ද, ”මම මෙහි ය”යි පිළිතුරු දුන්නේ ය.
17 එවිට ඒලී, ”සමිඳාණන් වහන්සේ ඔබට කී දේ කුමක් ද? ඒක මාගෙන් නොසඟවන්න. උන් වහන්සේ ඔබට වදාළ සියලු දේ කිසිවක් මාගෙන් නොසඟවා ඔබ මට නොකියන්නෙහි නම්, දෙවියන් වහන්සේ ඔබට ඉතා තද ලෙස දඬුවම් කරන සේක් වා”යි කීවේ ය. 18 එවිට සාමුවෙල් කිසිවක් නොසඟවා සියල්ල ම ඔහුට කීවේ ය. ඒ ඇසූ ඒලී, ”උන් වහන්සේ සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේට යහපත් යැයි සිතෙන දේ කරන සේක් වා”යි පැවසී ය.
19 සාමුවෙල් වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු කී හැම දෙයක් ම එකක් වත් නෑර ඉෂ්ට කළ සේක. 20 සාමුවෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙකු වශයෙන් ස්ථිර කරන ලද බව, උතුරේ සිට දකුණ දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරු දැනගත්තෝ ය. 21 සමිඳාණන් වහන්සේ ෂිලෝහි දී සාමුවෙල්ට ප්‍රකාශ වූ සේක. එහි දී නැවත නැවත ප්‍රකාශ වී ඔහු සමඟ කතා කළ සේක.

– 4 වන පරිච්ඡේදය –

ගිවිසුම් කරඬුව පැහැරගැනීම

1 සාමුවෙල් කතා කළ විට ඉශ්රායෙල් ජනතාව ඔහුගේ වචන පිළිගත්හ. එකල ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට පිටත් ව ගොස්, එබෙන්-එශෙර් ළඟ කඳවුරු බැඳගත්හ. 2 පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්හ. පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට සැරසී, දරුණු ලෙස සටන් කළ පසු ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට පරාජය වූ හ. ඔව්හු යුද්ධ භූමියේ සේනාවෙන් මිනිසුන් හාරදාහක් පමණ මැරූහ. 3 ඉශ්රායෙල්වරුන් කඳවුරට ආපසු ආ කල, ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයෝ කතා කොට, ”අද අප පරාජය කරන්නට සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට ඉඩ දුන්නේ මන් ද? සමිඳාණන් වහන්සේ අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ෂිලෝවෙන් ගෙන්වා ගනිමු”යි කී හ. 4 ඒ කී ලෙස ඔව්හු ෂිලෝ නගරයට මිනිසුන් යවා, කෙරුබ්වරුන් අතර පිහිටි සිහසුන මත වැඩහිඳින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන්වා ගත්හ. හොප්නි සහ පිනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සමඟ පැමිණියහ.
5 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනෙනු ලැබූ කල මුළු ඉශ්රායෙල් ජනතාව පොළොව පුරා දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් මොරහඬ නැඟුවහු ය. 6 පිලිස්තිවරු ඒ මොරගැසීමේ ශබ්දය අසා, ”හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ ඇසෙන මේ මහා ඝෝෂාව කුමක් දැ”යි ඇසූ හ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනා බව ඔව්හු දැන ගත්හ. 7 ඒ නිසා පිලිස්තිවරු බිය වූ හ. මන්ද, ”දෙවියන් වහන්සේ කඳවුරට වැඩිය සේකැ”යි ඔව්හු කී හ. තවද, ඔව්හු කතා කොට, ”අපට වන විපතක මහත! මන්ද, මෙබඳු දෙයක් මීට පෙර නො වී ය. 8 අනේ, අපට වන විපතක මහත! මේ බලසම්පන්න දෙවිවරුන්ගේ අතින් අප ගළවාගන්නෝ කවුරු ද? මේ දෙවිවරු වනාහි කාන්තාරයේ මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහර දුන් දෙවිවරු ය. 9 පිලිස්තිවරුනි, ධෛර්ය සම්පන්න වී වීර පුරුෂයන් මෙන් සටන් කරන්න. එසේ නොකළොත් ඔවුන් අපේ වහලුන් වූවාක් මෙන් අපි හෙබ්‍රෙව්වරුන්ගේ වහල්ලු වන්නෙමු. ඒ නිසා වීර පුරුෂයන් මෙන් සටන් කරන්නැ”යි කී හ.
10 එවිට පිලිස්තිවරු සටන් කළහ. ඉශ්රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරම්වලට පලා ගියෝ ය. ඉමහත් ඝාතනයක් ඇති විය. ඉශ්රායෙල් හේවායෝ තිස්දාහක් මරනු ලැබූ හ. 11 දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවත් ඔවුන් අතට අසු විණි. ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් ද මැරුම්කෑහ.

ඒලීගේ මරණය

12 බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් මිනිසෙක් යුද්ධ භූමියෙන් දුව ගොස් එම දවසේ ම ෂිලෝ නගරයට පැමිණියේ ය. ඔහු ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සිටියේ ය. 13 ඔහු එන විට ඒලී පාර අද්දර තිබුණ තමාගේ ආසනයෙහි ඉඳගෙන බලා සිටියේ ය. මන්ද, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන ඔහුගේ සිත බොහෝ සේ තැති ගෙන තිබිණි. ඒ මිනිසා නගරයට අවුත් ආරංචිය කී කල නුවර වැසි සියල්ලෝ මොරහඬ දුන්හ. 14 ඒලී මොරගැසීමේ ශබ්දය අසා, ”අර කෝලාහල ශබ්දය කිමෙක් දැ”යි ඇසී ය. ඒ මිනිසා ඉක්මනින් අවුත් ඒලීට ආරංචිය සැළ කෙළේ ය. 15 ඒලී වනාහි අනූඅට අවුරුද්දක් වයස් ව සිටියේ ය; ඔහුගේ ඇස් නොපෙනෙන තරමට අඳුරුව තිබුණේ ය. 16 ඒ මිනිසා කතා කොට, ”යුද්ධ භූමියේ සිට ආ තැනැත්තා මම ය; එතැන සිට මෙතැනට අද මම දුවගෙන ආවෙමි”යි ඒලීට කීවේ ය. ඒලී ද, ”මාගේ පුත්‍රය, එහි සිදුවුණේ කිමෙක් දැ”යි ඇසී ය.
17 පණිවුඩකාරයා උත්තර දෙමින් ”ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ. සෙනඟ අතරේ ඉමහත් ඝාතනයක් ඇති විය; ඔබේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි ද පිනෙහාස් ද මළහ. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද පැහැර ගනු ලැබී ය”යි කීවේ ය.
18 ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන සඳහන් කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේ ය. මන්ද, ඔහු මහලු තරබාරු මිනිසෙකු වූ බැවිනි. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.

පිනේහාස්ගේ වැන්දඹුවගේ මරණය

19 ඒලීගේ ලේලී යන පිනේහාස්ගේ බිරිඳ ගැබ්ගෙන දරුවෙකු ලබන්නට ආසන්න ව සිටියා ය. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ බවත්, ඇගේ මාමණ්ඩිය ද ස්වාමි පුරුෂයා ද මැරුණ බවත් ඈ ඇසූ කල, ප්‍රසව වේදනාව හටගෙන ඈ නැඹුරු වී දරුවා බිහි කළා ය. 20 ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කතා කොට, ”බිය නොවන්න; ඔබ පුත්‍රයෙකු ලැබුවෙහි යැ”යි කීවෝ ය. එහෙත්, ඈ පිළිතුරු දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත. 21 දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ නිසා ද ඇගේ මාමාත්, ස්වාමි පුරුෂයාත් මළ නිසා ද ඈ, ”ඉශ්රායෙල් කෙරෙන් තේජස පහ ව ගියේ ය” කියා දරුවාට ‘ඊකාබොද්’ යන නම තැබුවා ය. 22 දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ හෙයින්, ”ඉශ්රායෙල් කෙරෙන් තේජස පහ ව ගියේ ය”යි ඈ කීවා ය.

– 5 වන පරිච්ඡේදය –

ගිවිසුම් කරඬුව නිසා වූ පීඩා

1 පිලිස්තිවරු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන එබෙන්-එශෙර්හි සිට අෂ්දොද් නගරයට එය ගෙනාවෝ ය. 2 ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව, රැගෙන දාගොන් දෙවියාගේ දේවාලයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූ හ. 3 පසු දා අලුයම අෂ්දොද්හි වැසියන් අවදි වූ විට, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට දාගොන් මුණින්තළා වී තිබෙනවා ඔව්හු දුටුහ. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහු කලින් තිබූ ස්ථානයෙහි ම තැබූ හ. 4 ඔව්හු පසු දා අලුයම අවදි වූ විටත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ යළිත් දාගොන් මුණින්තළා වී බිම සිටිනවා දුටුහ; දාගොන්ගේ හිස ද අත් දෙක ද වෙන් වී එළිපත්ත උඩ තිබෙනවා දුටුහ; ඉතිරි ව තිබුණේ කඳ පමණක් ය. 5 අද දවස දක්වා ම දාගොන්ගේ පූජකයන් ද දාගොන්ගේ දේවාලයට ඇතුළු වන අය ද අෂ්දොද්හි තිබෙන දාගොන්ගේ දේවාලයේ එළිපත්ත නොපාගන්නේ එබැවිනි.
6 එකල සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් අෂ්දොද් වැසියන්ට තදින් පහර දුන් සේක. උන් වහන්සේ අෂ්දොද්හි වැසියන්ටත්, එහි දිසාවල වැසියන්ටත් භයානක ගඩු හටගැන්වීමෙන් පහර දුන් සේක. 7 අෂ්දොද් වැසියෝ සිදු වූ දේ දැක, ”ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟ නොතිබිය යුතු ය; මන්ද, උන් වහන්සේ සිය බාහු බලයෙන් අපටත්, අපේ දෙවියා වන දාගොන්ටත් තදින් දඬුවම් කරන සේකැ”යි කී හ. 8 එබැවින් ඔව්හු පණිවුඩ යවා, පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා තමන් ළඟට රැස් කර, ”ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන අප කුමක් කළ යුතු දැ”යි විමසූ හ. ඔව්හු පිළිතුරු දෙමින්, ”ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගාත් නගරයට ගෙන යන්නැ”යි කී හ. ඒ කී ලෙස ඔව්හු ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එහි ගෙන ගියහ.
9 ඔවුන් එය ගෙන ගිය විට, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පා ඒ නගරයට දඬුවම් කොට එහි ඉමහත් කැළඹීමක් ඇති වන්නට සැලැසූ සේක. උන් වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන් පිට භයානක ගඩු හටගන්වා ඔවුන්ට පහර දුන් සේක. 10 එවිට ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්‍රොන් නගරයට යැව්වෝ ය. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්‍රොන් නගරයට පැමිණි කල එහි වැසියෝ, ”අප ද අපේ සෙනඟ ද නසන්නට ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟට ගෙනවුත් ඇතැ”යි කියමින් මොරගැසූ හ. 11 එබැවින් ඔව්හු පණිවුඩ යවා, පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් රැස් කරවා, ”ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප හා අපේ සෙනඟ විනාශ නොකරන පිණිස එය ස්වකීය ස්ථානයට ආපසු යවන්නැ”යි කී හ. එසේ කීවේ, නගරය මුළුල්ලේ මාරක කැළඹීමක් හටගත් නිසා ය; දෙවියන් වහන්සේගේ බාහු බලයෙන් එයට තදින් පහර වැදුණේ ය. 12 නොමළ අය ගඩුවලින් පීඩා වින්දෝ ය; නගර වැසියන්ගේ විලාපය ද අහස දක්වා නැඟුණේ ය.

– 6 වන පරිච්ඡේදය –

ගිවිසුම් කරඬුව ආපසු බාර දීම

1 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පිලිස්තිවරුන්ගේ රටෙහි හත් මාසයක් තිබිණි. 2 පිලිස්තිවරු පූජකයන් ද පේන කියන්නන් ද කැඳවා, ”සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සම්බන්ධයෙන් අප කුමක් කළ යුතු ද? එය ස්වකීය ස්ථානයට කුමන දෙයක් සමඟ යැවිය යුතු ද කියා අපට දන්වන්නැ”යි කී හ.
3 ඔව්හු පිළිතුරු දෙමින්, ”ඔබ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ආපසු යවන්නහු නම්, එය හිස් අතින් නෑර, ඔබේ පව් වෙනුවෙන් වන්දි පූජාවක් උන් වහන්සේට යවන්න. එවිට ඔබ සුව වන්නහු ය. උන් වහන්සේගේ බාහු බලයෙන් කෙරෙන පීඩා ඔබ කෙරෙන් පහ ව නොයන්නේ කුමක් නිසා ද කියා ඔබට දැනගන්නට ලැබෙනු ඇතැ”යි කීවෝ ය.
4 ”අප කුමන වන්දි පූජාවක් ගෙවිය යුතු දැ”යි ඔව්හු ඇසූ හ. පූජකවරු හා පේන කියන්නෝ පිළිතුරු දෙමින්, ”පිලිස්තිවරුන්ගේ අධිපතීන්ගේ ගණන අනුව රනින් කළ ගඩු රූප පහකුත්, රනින් කළ මීයන් පස්දෙනෙකුත් ය. මන්ද, ඔබ සියල්ලන් හා ඔබේ අධිපතීන් කෙරෙහි පැමිණුණේ එක ම පීඩාවක් ය. 5 එබැවින් ගඩු රූප ද රට නාස්ති කරන මී රූප ද සාදා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ගෞරව දෙන්න. එසේ කළොත්, සමහර විට උන් වහන්සේ ස්වකීය බාහු බලයන් ඔබ කෙරෙන් ද ඔබේ දෙවිවරුන් කෙරෙන් ද ඔබේ දේශය කෙරෙන් ද ඉවත් කරනු ඇත. 6 මිසරවරුන් හා පාරාවෝ ඔවුන්ගේ සිත් දැඩි කරගත් ලෙස ඔබත් සිත් දැඩි කරගන්නේ කුමට ද? උන් වහන්සේ ඔවුන් මෝඩයන් කළ විට ඔවුන් සෙනඟට යන්නට අවකාශ දුන්නා නොවේ ද? ඉශ්රයෙල්වරුන් පිටත් ව ගියා නොවේ ද? 7 දැන් ඉතින් අලුත් ගැලක් සාදාගෙන වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන ගැලට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් වෙන් කර ගාලේ නවත්වන්න. 8 ඉන්පසු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගැල මත තබා, වන්දි පූජාව පිණිස උන් වහන්සේට දෙන රන් භාණ්ඩ එහි පැත්තක කුඩා කරඬුවක තබා ගැල යන දෙසක යන්නට එයට ඉඩ හැර බලා සිටින්න. 9 ඉතින්, එය සිය දේශ සීමාවට යන මාර්ගයේ බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදු කෙළේ උන් වහන්සේ බව එයින් පෙනෙයි; එසේ නැත්නම්, අපට පහර දුන්නේ උන් වහන්සේ නොව, එය ඉබේ ම අපට පැමිණි දෙයක් බව අපට පෙනෙනු ඇතැ”යි කීවෝ ය.
10 ඔව්හු එලෙස කරමින්, කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන ගැලට බැඳ, උන්ගේ වස්සන් ගාල් කොට තබා, 11 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් මී රූප සහ ගඩු රූප දැමූ කුඩා කරඬුව ද ගැලෙහි තැබූ හ. 12 එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට යන මාර්ගයේ ගියෝ ය; දකුණට වත්, වමට වත් නොහැරී තපුල්ලමින් එම මාවත දිගේ ම ගියෝ ය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝ ද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පසුපස ගියහ.
13 බෙත්-ෂෙමෙෂ්හි මිනිස්සු මිටියාවතේ තිරිඟු කපමින් සිටියෝ ය. ඔව්හු හිස ඔසවා බලා, ගිවිසුම් කරඬුව දැක ප්‍රීතියෙන් පිනා ගියහ. 14 ගැල ද බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේ ය. එහි ලොකු ගලක් තිබුණේ ය. සෙනඟ ගැලේ ලී පළා, එළදෙනුන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් කොට ඔප්පු කළෝ ය. 15 ලෙවීවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් භාණ්ඩ දමා තිබුණු කරඬුව ද ගෙන, මහ ගල මත තැබූහ. බෙත්-ෂෙමෙෂ් වැසියෝ ඒ දවසේ දී සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කොට, පඬුරු ද පිදුවෝ ය. 16 පිලිස්තිවරුන්ගේ අධිපතීහු පස්දෙන ඒ දැක එදා ම එක්‍රොන්ට හැරී ගියහ.
17 පිලිස්තිවරු වන්දි පූජාවක් වශයෙන්, අෂ්දොද් උදෙසා ද ගාසා උදෙසා ද අෂ්කෙලොන් උදෙසා ද ගාත් උදෙසා ද එක්‍රොන් උදෙසා ද එක එක බැගින් රනින් කළ ගඩු යැවූහ. තවද, ඔව්හු පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා විසින් පාලනය කරන ලද නගර වෙනුවෙන් එකකට එක රූපයක් බැගින් රනින් කළ මී රූප යැවූහ. 18 ඒ නගරවලට පවුරු සහිත නගර ද පිටිසර ගම් ද ඇතුළත් ය. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබූ බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතෙහි විශාල ගල, මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂියක් වශයෙන් අද දක්වා ම තිබේ.
19 බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇර බැලූ නිසා, උන් වහන්සේ සෙනඟගෙන් සැත්තෑදෙනෙකුට පහර දුන් සේක. සමිඳාණන් වහන්සේ සෙනඟ අතරෙහි මේ සා මහත් ඝාතනයක් කළ බැවින් සෙනඟ වැලපුණෝ ය.

කිරියත්-ජෙයාරීම්හි ගිවිසුම් කරඬුව තැබීම

20 බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, ”සමිඳාණන් වහන්සේ වන ශුද්ධ දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටින්නට පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ අප වෙතින් බැහැර කරන පිණිස ගිවිසුම් කරඬුව කොතැනට යැවිය හැකි දැ”යි ඇසුවෝ ය. 21 ඔව්හු කිරියත්-ජෙයාරීම්හි වැසියන් වෙත දූතයන් අත පණිවුඩයක් යවමින්, ”පිලිස්තිවරුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ආපසු එවා තිබේ; අවුත් එය ගෙන යන්නැ”යි කී හ.

– 7 වන පරිච්ඡේදය –

1 කිරියත්-ජෙයාරීම් වැසියෝ අවුත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන, කන්ද පිට පිහිටි අබිනාදාබ්ගේ ගෙට ගෙන ගොස්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රක්ෂා කරන පිණිස එලෙයාසර් භාරකරු ලෙස පත් කළහ.

සාමුවෙල් විනිශ්චයකාරයා වීම

2 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම්හි තැන්පත් කළ දා පටන් දීර්ඝ කාලයක් එනම්, විසි අවුරුද්දක්, ගත විය. මේ කාලය තුළ දී මුළු ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේගේ උපකාරය සොයා මොරගැසූ හ.
3 සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනයා අමතා, ”ඔබ හැම මුළු සිතින් ඔබේ සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්නහු නම්, ඔබ අතරෙන් අන්‍ය දෙවිවරුන් ද අෂ්ටාරොත් දේවතාවිය ද පහ කරදමා, ඔබේ සිත් සමිඳාණන් වහන්සේ දෙසට ම යොමු කොට උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කරන්න. උන් වහන්සේ ද පිලිස්තිවරුන්ගේ අතින් ඔබ ගළවාගනු ඇතැ”යි කීවේ ය. 4 එවිට ඉශ්රායෙල් ජනයා බාල් දේවතාවන් ද අෂ්ටාරොත් ද පහ කරදමා සමිඳාණන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළහ.
5 එවිට සාමුවෙල් කතා කොට, ”මා ඔබ උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් මිශ්පා නගරයට රැස් කරන්නැ”යි කීවේ ය. 6 ඔව්හු මිශ්පා නගරයට රැස් වී වතුර ඇද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් වශයෙන් වත් කොට, ඒ දවසේ නිරාහාර ව සිට, ”අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි එහි දී කී හ. සාමුවෙල් මිශ්පාහි පදිංචි වී සිට ඉශ්රායෙල් ජනයා විනිශ්චය කෙළේ ය.
7 ඉශ්රායෙල් ජනයා මිශ්පා නගරයට රැස් ව සිටින බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන්ගේ අධිපතීහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟී ආහ. ඉශ්රායෙල් ජනයා ඒ අසා පිලිස්තිවරුන්ට බිය වූ හ. 8 එවිට ඔව්හු සාමුවෙල්ට කතා කොට,
”අපේ දෙවි සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ අතින් අප ගළවන පිණිස අප උදෙසා නොනැවතී ම යාච්ඤා කළ මැනවැ”යි කී හ. 9 සාමුවෙල් කිරි බොන බැටළු පැටවෙකු රැගෙන සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් කොට ඔප්පු කර ඉශ්රායෙල්වරුන් උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය; සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දුන් සේක. 10 සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන වේලේ ම පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬින් ගිගුරුම් දී ඔවුන් වියවුලට පත් කළ සේක. ඔව්හු ඉශ්රායෙල්වරුන් කෙරෙන් පලා ගියහ. 11 ඉශ්රායෙල් ජනයා මිශ්පා නුවරින් නික්ම, පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස්, බෙත්-කාර්ට පැමිණෙන තුරු ඔවුන්ට පහර දුන්හ.
12 එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පා නගරයටත්, ෂේන් නගරයටත් අතරේ තබා, ”මෙතැන් දක්වා සමිඳාණන් වහන්සේ අපට පිහිට වූ සේකැ”යි කියමින් ඊට ‘එබෙන්-එශෙර් ය’යි නම තැබුවේ ය.
13 මෙසේ පිලිස්තිවරු පරාජය වී ඉශ්රායෙල් දේශයේ සීමාවට ඇතුළු නො වූ හ. සාමුවෙල්ගේ මුළු ජීවිත කාලය තුළ සමිඳාණන් වහන්සේගේ බාහු බලය පිලිස්තිවරුන්ට විරුද්ධ ව පැවතුණේ ය. 14 පිලිස්තිවරුන් විසින් එක්‍රොන් සිට ගාත් දක්වා ඉශ්රායෙල්වරුන්ගෙන් ගන්නා ලද නගර ආපසු ඉශ්රායෙල්වරුන්ට දෙන ලද්දේ ය. ඉශ්රායෙල්වරු සියලු දේශ සීමාවන් පිලිස්තිවරුන්ගේ අතෙන් මුදාගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතර සාමදානය ද පැවතිණි.
15 සාමුවෙල් ජීවිතාන්තය දක්වා ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. 16 ඔහු වසරක් පාසා වසරක් බෙතෙල්ටත්, ගිල්ගාල්ටත්, මිශ්පාටත් පිළිවෙළින් ගොස් ඒ ඒ ස්ථානවල දී ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. 17 ඉන්පසු ඔහු රාමා නගරයට ගියේ ය. මන්ද, ඔහුගේ ගෙය තිබුණේ එහි බැවිනි. එහි දී ද ඔහු ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. තවද, ඔහු එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය.

– 8 වන පරිච්ඡේදය –

සෙනඟ රජෙකු ඉල්ලීම

1 සාමුවෙල් මහලු වයසට පත් වූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඉශ්රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන් වශයෙන් පත් කෙළේ ය. 2 ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම ජෝවෙල් ය; දෙවැන්නාගේ නම අබියා ය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූ හ. 3 එහෙත්, සාමුවෙල්ගේ පුත්‍රයෝ ඔහුගේ අඩි පාරේ නොගොස්, වස්තු තණ්හාවෙන් අල්ලස් ගෙන, යුක්තියට පිටුපා ක්‍රියා කළහ.
4 එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්, 5 ඔහුට කතා කොට, ”ඔබ මහලු ව සිටින්නෙහි ය, ඔබේ පුත්‍රයෝ ඔබේ අඩි පාරෙහි ගමන් නොකරති. ඉතින් අන් ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මැනවැ”යි කී හ. 6 ”අප පාලනය කරන පිණිස අපට රජ කෙනෙකු දුන මැනවැ”යි කී කීම ගැන සාමුවෙල් අසතුටු වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. 7 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ”සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ, ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මා ය. මන්ද, මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස 8 මා ඔවුන් මිසර දේශයෙන් ගෙනා දා පටන් අද දවස දක්වා ඔව්හු මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. ඔව්හු සෑම කල්හි ම මට කළ දේ දැන් නුඹටත් කරති. 9 දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. එසේ වී නමුත්, ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නැ”යි වදාළ සේක.
10 එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට සමිඳාණන් වහන්සේ වදාළ සියලු දේ කීවේ ය. 11 ඔහු ඔවුන්ට මෙසේ කීවේ ය: ”ඔබ කෙරෙහි රජකම් කරන රජ මෙවැන්නෙක් වන්නේ ය. ඔහු ඔබේ පුත්‍රයන් ගෙන තමාගේ රියැදුරන් හා අසරුවන් වශයෙන් ද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිස ද පත් කරගන්නේ ය. 12 ඔහු ඔවුන් සහශ්‍රාධිපතීන් ද පණසාධිපතීන් ද වශයෙන් පත් කරගන්නේ ය; සමහරුන් තමාගේ බිම් හාන්නට ද තමාගේ ගොයම් කපන්නට ද තමාගේ යුද්ධ ආයුධත්, රථායුධත් සාදන්නට ද පත් කරගන්නේ ය. 13 ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිස ද කෑම පිසින පිණිස ද රොටි පුළුස්සන පිණිස ද ගන්නේ ය. 14 ඔහු ඔබේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු අතරෙන් ඉතා හොඳ ඒවා ද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේ ය. 15 ඔබේ ධාන්‍යවලින් ද මුද්‍රික ඵලයෙන් ද දසයෙන් කොටසක් ගෙන තමාගේ රජ වාසලේ නිලධාරීන්ටත්, සෙසු නිලධාරීන්ටත් දෙන්නේ ය. 16 ඔබේ දාස දාසීන් ද ඔබේ හොඳ ම ගවයන් ද කොටළුවන් ද තමාගේ වැඩට පත් කරගන්නේ ය. 17 ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේ ය; ඔබ ඔහුගේ වහල්ලු වන්නහු ය. 18 ඒ කාලය පැමිණි විට ඔබ ම තෝරාගත් ඔබේ රජු ගැන ඔබ දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඔබට උත්තර නොදෙන සේක.”
19 එහෙත්, සෙනඟ සාමුවෙල් කී දේට සවන් නොදී, ”නැත. අපටත් රජ කෙනෙකු ඕනෑ ම ය. 20 එවිට අප විනිශ්චය කරන, අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල දී සටන් කරන රජ කෙනෙක් අපට ඇත. අපිත් අන් ජාතීන් මෙන් වන්නෙමු”යි කී හ. 21 සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය. 22 සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔවුන්ගේ හඬට සවන් දී, ඔවුන්ට රජෙකු පත් කරන්නැ”යි සාමුවෙල්ට වදාළ සේක. සාමුවෙල් ද ඉශ්රායෙල් සෙනඟගේ සියලු දෙනාට කතා කොට, ”තම තමන්ගේ නිවාසවලට යන්නැ”යි කීවේ ය.

– 9 වන පරිච්ඡේදය –

සාමුවෙල් සහ සාවුල් හමු වීම

1 බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ ය. ඔහු වූ කලී මහා ධනවතෙකි. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි. 2 ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය.
3 දිනක් සාවුල්ගේ පිය වූ කිෂ්ගේ කොටළුවෝ නැති වුණෝ ය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට, ”ඔබ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු අඬගසා ගෙන පිටත් ව ගොස් කොටළුවන් සොයන්නැ”යි කීවේ ය. 4 ඔහු එප්‍රායිම් කඳුකරයෙහි සිට ෂාලීෂා රට දක්වා ඇවිද්ද නමුත්, කොටළුවන් සම්බ වුණේ නැත. ඔවුන් ෂාලීම් රටේත් ඇවිද්ද නමුත්, කොටළුවන් එහි ද නො වූ බැවින්, ඔව්හු බෙන්ජමින්ගේ රටෙහි ද ඇවිද්දෝ ය. එහෙත්, ඔවුන්ට උන් සම්බ වුණේ නැත. 5 ඔව්හු ශුප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි සිය වැඩකාරයාට කතා කොට, ”අපි ආපසු හැරී යමු; නැත්නම්, මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වනු ඇතැ”යි කීවේ ය.
6 සේවකයා ඔහුට පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටියි; ඔහු ගරු කටයුතු කෙනෙකි; ඔහු කියන සියල්ල නොවරදවා ඉෂ්ට වන්නේ ය. අපි ඔහු වෙත යමු; සමහර විට, අප යා යුත්තේ කොහේ දැ යි ඔහු අපට දන්වනු ඇතැ”යි කීවේ ය.
7 එවිට සාවුල් වැඩකාරයාට කතා කොට, ”අපි යන්නෙමු නම්, ඒ මිනිසාට කුමක් ගෙන යමු ද? අපේ භාජනවල තිබුණු කෑම දැන් ඉවර ය; දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යන්නට කිසි තෑග්ගක් නැත. අප ළඟ කුමක් තිබේ දැ”යි ඇසුවේ ය.
8 වැඩකාරයා යළිත් සාවුල්ට පිළිතුරු දෙමින්, ”මා අතේ කුඩා රිදී කාසියක් තිබේ. අප යා යුතු මාර්ගය දන්වන පිණිස එය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමි”යි කීවේ ය.
9-10 පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, ”දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී අනාගතවක්තෘ යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, ”ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය. 11 ඔව්හු කන්ද නඟිමින් නුවරට යන කල, වතුර අදින පිණිස නුවරින් පිටතට එන තරුණියන් ඔවුන්ට සම්බ වී, ”අනාගතවක්තෘ මෙහි ඉන්නවා දැ”යි ඔවුන්ගෙන් විමසුවෝ ය.
12 ඔව්හු උත්තර දෙමින්, ”ඔව්, ඔහු ඉන්නවා; බලන්න, ඔහු ඔබ ඉදිරියෙහි ය. ඉක්මන් කරන්න, මන්ද, කඳු මත පූජාස්ථානයෙහි අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට අවුත් සිටියි. 13 ඔබ නුවරට ඇතුළු වූ වහා ම කෑම කන පිණිස කඳු මත පූජාස්ථානයට ඇතුළු වීමට මත්තෙන් ඔහු සම්බ වනු ඇත. මන්ද, ඔහු පූජාවට ආශීර්වාද කරන බැවින් ඔහු එන තුරු සෙනඟ කන්නේ නැත. කැඳවන ලද්දන් කෑම කන්නේ ඉන්පසු ය. ඒ නිසා යන්න; මේ වේලාවට ඔහු ඔබට සම්බ වනු ඇතැ”යි කීවෝ ය. 14 ඔවුන් නුවරට ගොස්, නුවර ඇතුළට පිවිසෙද්දී සාමුවෙල් කඳු මත පූජාස්ථානයට යන පිණිස ඔවුන් දෙසට පිටත් වී ආවේ ය.
15 සාවුල් පැමිණෙන්නට දවසකට පෙර, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, 16 ”මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය.
17 සාමුවෙල්, සාවුල් දුටු විට, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, ”මෙන්න, මා නුඹට කී මිනිසා! මොහු මාගේ සෙනඟ පාලනය කරන්නේ ය”යි වදාළ සේක. 18 එවිට සාවුල් දොරටුව ළඟ සාමුවෙල් වෙත ගොස්, ”අනාවැකි කියන්නාගේ ගෙය තිබෙන්නේ කොතැන ද කියා මට දන්වන්නැ”යි කී ය.
19 සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, ”අනාවැකි කියන්නා මම ය; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි. 20 තුන් දවසකට පෙර නැති වූ ඔබේ කොටළුවන් ගැන කරදර නොවන්න. උන් සම්බ වී ඇත. ඉශ්රායෙල් ජනයා අතිශයෙන් අපේක්ෂා කරන්නේ කවරෙක් ද? ඔබ උදෙසාත්, ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේ දැ”යි කීවේ ය.
21 සාවුල් පිළිතුරු දෙමින්, ”මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක් ව තිබෙන බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙක් නොවෙම් ද? බෙන්ජමින්ගේ සියලු පවුල්වලින් මාගේ පවුල ඉතා සුළු එක නොවේ ද? එසේ නම්, ඔබ මෙලෙස මට කතා කරන්නේ මන්දැ”යි ඇසුවේ ය.
22 එවිට සාමුවෙල්, සාවුල් සහ ඔහුගේ වැඩකාරයා කැඳවාගෙන, කෑම ශාලාවට ඇතුළු වී, ගණනින් තිහක් පමණ වූ ආරාධිතයන් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන්ට අසුන් දුන්නේ ය. 23 සාමුවෙල් අරක්කැමියාට කතා කොට, ”මම ඔබට ‘වෙන් කර තබන්නැ’යි දුන් කොටස මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. 24 අරක්කැමියා ගාතය ද ඒ පිට තිබුණු දේ ද ගෙනවුත් සාවුල් ඉදිරිපිට තැබුවේ ය. සාමුවෙල් කතා කොට, ”මෙන්න, ඔබ උදෙසා තැබූ කොටස. එය වළඳන්න. මා ආරාධනා කළ සෙනඟ සමඟ එය මේ මොහොතේ දී වළඳන පිණිස ඔබ උදෙසා මම එය වෙන් කොට තැබුවෙමි”යි කීවේ ය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ ආහාර වැළඳුවේ ය. 25 ඔවුන් කඳු මත පූජාස්ථානයෙන් බැස නගරයට ආ කල, ඔව්හු පියස්ස උඩ සාවුල්ට යහනක් සකස් කර දුන්නෝ ය. සාවුල් එහි නිදාගත්තේ ය.
26 පහන් වන වේලාවේ දී සාමුවෙල් පියස්ස උඩ සිටි සාවුල්ට අඬගසා, ”නැඟිටින්න, මම ඔබ පිටත් කර යවමි”යි කීවේ ය. සාවුල් නැඟිට්ටේ ය. ඔහු සහ සාමුවෙල් එකට වීදියට ගියේ ය.

සාවුල් අභිෂේක කරනු ලැබීම

27 ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, ”අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය.

– 10 වන පරිච්ඡේදය –

1 එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත් කොට, ඔහු සිඹ මෙසේ කීවේ ය: ”සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි අධිපතියා කොට ඔබ අභිෂේක කරන සේක. ඔබ සෙනඟ පාලනය කොට ඔවුන් සියලු සතුරන්ගෙන් ගළවාගන්නෙහි ය. සමිඳාණන් වහන්සේ තමන් තෝරා ගත් සෙනඟගේ අධිපතියා වශයෙන් ඔබ පත් කළ බවට සාක්ෂිය මෙය වන්නේ ය: 2 ඔබ අද මා ළඟින් පිටත් ව යන විට, බෙන්ජමින්ගේ දේශ සීමාවේ ශෙල්ශාහි තිබෙන රාකෙල්ගේ සොහොන් පළ ළඟ දී මිනිසුන් දෙදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන් ඔබට කතා කොට, ඔබ සොයන්නට ගිය කොටළුවන් සම්බ වූ බවත්, ඔබේ පියා කොටළුවන් ගැන නොව ඔබ ගැන කරදර වන බවත්, ‘මාගේ පුත්‍රයා ගැන මම කුමක් කරම් දැ’යි කිය කියා සිටින බවත් ඔබට කියනු ඇත. 3 එවිට ඔබ එතැනින් තව දුර ගොස් තාබොර්හි ආලෝන ගස ළඟට පැමිණෙන්නෙහි ය. එතැන දී දෙවියන් වහන්සේට පූජා කරන පිණිස බෙතෙල්ට යන මිනිසුන් තිදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන්ගෙන් එක් කෙනෙක් එළුපැටියන් තුන් දෙනෙකු ද එක් කෙනෙක් රොටි තුනක් ද එක් කෙනෙක් මුද්‍රිකපාන භාජනයක් ද රැගෙන යන්නෝ ය. 4 ඔවුන් ඔබට ආචාර කොට රොටි දෙකක් ඔබට දෙනවා ඇත. ඒවා ඔවුන් අතින් පිළිගන්න. 5 ඉන්පසු ඔබ පිලිස්තිවරුන්ගේ මුර හමුදාව සිටින ගිබියාහි ඇති දෙවියන් වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහි ය. ඔබ එහි නුවරට ඇතුළු වන විට දිවැසිවරු කණ්ඩායමක් තමන්ට පෙරටුව වීණාවක් ද රබානක් ද නළාවක් ද කුඩා වීණාවක් ද ඇති ව ධර්ම වාක්‍ය පවසමින්, නටමින් ද ඝෝෂා කරමින් ද ගිරිකුළුවලින් බැස එනු ඔබට සම්බවන්නේ ය. 6 එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ කෙරෙහි බලවත් ලෙස ආරුඪ වනු ඇත. ඔබ ද ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පවසන්නෙහි ය. ඔබ අමුතු ම මිනිසෙක් වන්නෙහි ය. 7 මේ ලකුණු ඔබට පැමිණි කල ප්‍රස්තාවෝචිත ව ක්‍රියා කරන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින සේක. 8 ඔබ මට පෙරටුව ගිල්ගාල්ට යන්න. මම දවන යාග පූජා ඔප්පු කරන පිණිසත්, ශාන්ති පූජාවල යාගයන් පූජා කරන පිණිසත් ඔබ ළඟට එන්නෙමි. මා ඔබ ළඟට අවුත්, ඔබ කළ යුතු දේ ඔබට දන්වන තුරු සත් දවසක් බලා සිටින්න.”
9 මෙසේ කී පසු සාවුල්, සාමුවෙල් වෙතින් යන්නට හැරුණ විට දෙවියන් වහන්සේ ඔහුට අමුතු සිතක් දුන් සේක. සාමුවෙල් කී සියලු දේ ඒ දවසේ දී ම සිදු විය. 10 සාවුල් සහ ඔහුගේ සේවකයා හෙල ළඟට පැමිණි කල, දිවැසිවර කණ්ඩායමක් සාවුල්ට හමු විය. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහුට ආරූඪ විය. එවිට ඔහු, ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පැවසුවේ ය. 11 කලින් සාවුල් හැඳින සිටි හැම දෙනා ම, ඔහු දිවැසිවරුන් සමඟ ධර්ම වාක්‍ය පවසනවා දුටු කල, ඔවුනොවුන් අතරේ කතා කරමින්, ”කිෂ්ගේ පුත්‍රයාට කුමක් වී ඇද් ද? සාවුලුත් දිවැසිවරයෙකු වී සිටී දැ”යි කී හ. 12 එතැන සිටි කෙනෙක් පිළිතුරු දෙමින්, ”මේ මිනිසුන්ගේ පියවරුත් දිවැසිවරු දැ”යි ඇසුවේ ය. ”සාවුලුත් දිවැසිවරුන් අතරේ සිටී දැ”යි යන කීම ඇති වූයේ මෙලෙස ය. 13 ඔහු ධර්ම වාක්‍ය පවසා නිම වූ කල කඳු මත පූජාස්ථානයට ගියේ ය.
14 සාවුල්ගේ බාප්පා කතා කොට, ”ඔබ කොතැනට ගියහු දැ”යි සාවුල්ගෙන් ද වැඩකාරයාගෙන් ද ඇසුවේ ය. ”අපි කොටළුවන් සොයන්නට ගියෙමු. උන් නැති බව දුටු විට අපි සාමුවෙල් ළඟට ගියෙමු”යි සාවුල් පිළිතුරු දුන්නේ ය.
15 ”සාමුවෙල් ඔබට කුමක් කීවේ ද කියා මට කියන්නැ”යි සාවුල්ගේ බාප්පා කී ය.
16 සාවුල් පිළිතුරු දෙමින්, ”කොටළුවන් සම්බ වූ බව ඔහු පැහැදිලි ලෙස දැන්නුවේ ය”යි තම බාප්පාට කීවේ ය. එහෙත්, රජකම ගැන සාමුවෙල් කී කාරණය ඔහුට දැන්නුවේ නැත.

සාවුල් රජු වශයෙන් පිළිගැනීම

17 සාමුවෙල් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පා නගරයට සෙනඟ රැස් කරවී ය. 18 ඔහු ඉශ්රායෙල් සෙනඟ අමතා මෙසේ කීවේ ය: ”ඉශ්රයෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඉශ්රායෙල් සෙනඟ වන නුඹලා මිසරයෙන් ගෙනවුත් මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන් ද නුඹලා ගළවාගතිමි. 19 එහෙත්, නුඹලාගේ සියලු විපත්තිවලින් ද පීඩාවලින් ද නුඹලා ගැළෙවු නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා නුඹලා අද එපා කර, නුඹලාට රජ කෙනෙකු පත් කරන ලෙස මාගෙන් ඉල්ලන්නහු ය. එබැවින් දැන් නුඹලා ගෝත්‍ර වශයෙන් ද පවුල් වශයෙන් ද ස්වාමීන් වන මා ඉදිරියේ රැස් වන්න.’ ”
20 මෙසේ සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනතාව එක එක ගෝත්‍රය වශයෙන් ඉදිරිපත් කෙළේ ය. සමිඳාණන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රය තෝරාගත් සේක. 21 ඉන්පසු සාමුවෙල් බෙන්ජමින්ගේ ගෝත්‍රයේ අය පවුල් වශයෙන් ඉදිරිපත් කෙළේ ය. ඒවායින් මට්රීගේ පවුල තෝරාගන්නා ලද්දේ ය. ඒ පවුලෙන් කිෂ්ගේ පුත් සාවුල් තෝරාගන්න ලද්දේ ය. එහෙත්, ඔවුන් සාවුල් කොහේ දැ යි සෙවූ නමුත්, ඔහු සොයාගත නොහැකි විය. 22 එබැවින් ඔව්හු, ”ඒ මිනිසා මෙහි ඇවිත් සිටී දැ”යි යළිත් සමිඳාණන් වහන්සේගෙන් ඇසුවෝ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔහු භාණ්ඩ අතරේ සැඟවී සිටී”යි වදාළ සේක.
23 ඔව්හු දුව ගොස් සාවුල් එතැනින් ගෙනාවෝ ය. ඔහු සෙනඟ අතරේ සිටි කල, අන් හැමට වඩා උස කෙනෙක් විය. 24 සාමුවෙල් මුළු සෙනඟට කතා කොට, ”මෙන්න, සමිඳාණන් වහන්සේ තෝරාගත් තැනැත්තා, ඔහුට සමාන අන් කිසිවෙකු සෙනඟ අතරේ නැති බව ඔබට නොපෙනේ දැ”යි කී ය. එවිට සියලු ජනයා, ”මහ රජතුමා සැරදේ වා!” කියා මොරගැසූ හ.
25 සාමුවෙල් රජකමේ යුතුකම් සෙනඟට විස්තර කර දී, ඒවා පොතක සටහන් කර සමිඳාණන් වහන්සේ ඉදිරියේ තැබුවේ ය. ඉන්පසු සාමුවෙල් සෙනඟ විසුරුවා හැර ඔවුන් සිය ගෙවලට පිටත් කර යැවුවේ ය. 26 සාවුල් ද ගිබියාහි තිබූ සිය ගෙදරට ගියේ ය. දෙවියන් වහන්සේ විසින් සිත් ප්‍රබො‍්ධ කරන ලද සේනාවක් ද ඔහු සමඟ ගියෝ ය. 27 එහෙත්, සමහර දුර්ජනයන් කතා කොට, ”මේ මිනිහා අප ගළවන්නේ කොහොම දැ”යි සාවුල් සුළු කොට සිතා ඔහුට කිසි තෑග්ගක් ගෙනාවේ නැත.

– 11 වන පරිච්ඡේදය –

සාවුල් රජ අම්මොනිවරුන් පරාජය කිරීම

1 මසකට පමණ පසු අම්මොනිවරයෙකු වූ නාහාෂ් රජ ගිලියද් පෙදෙසෙහි තිබූ ජාබෙෂ් නගරයට විරුද්ධ ව පැමිණ එය වටලෑවේ ය. ජාබෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, ”අප සමඟ ගිවිසුමක් කළ මැනව, එවිට අපි ඔබට යටත් වන්නෙමු”යි නාහාෂ්ට කීවෝ ය.
2 අම්මොනිය නාහාෂ් ද පිළිතුරු දෙමින්, ”ඔබ සියල්ලන්ගේ දකුණු ඇස් උගුලා දමා, එයින් ඉශ්රායෙල්වරුන් පිට නින්දාවක් පමුණුවන්නට මට ඉඩ දුන්නොත් පමණක් ඔබ සමඟ ගිවිසුමක් කරගන්නෙමි”යි ඔවුන්ට කීවේ ය.
3 ජාබෙෂ්හි ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, ”අප ඉශ්රායෙල්හි සියලු පළාත්වලට පණිවුඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුන මැනව; අපට පිහිට වන්නට කිසිවෙක් නැත්නම්, අපි ඔබට යටත් වන්නෙමු”යි කීවෝ ය.
4 එකල පණිවුඩකාරයෝ සාවුල් සිටි ගිබියාට පැමිණ ඒ කාරණය සෙනඟ ඉදිරියෙහි ප්‍රකාශ කළෝ ය. ඒ ඇසූ මුළු සෙනඟ ශබ්ද නඟා හැඬූ හ. 5 ඒ අවස්ථාවේ දී සාවුල් කෙතේ සිට හරකුන් දක්කාගෙන එමින් සිටියේ ය. ”සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසා දැ”යි ඔහු විමසුවේ ය. ඔව්හු ජාබෙෂ් සිට පැමිණි පණිවුඩකාරයන් කී දේ ඔහුට දැන්වූවෝ ය. 6 සාවුල් මේ වචන ඇසූ විට දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පිහිටිණි. ඔහු අතිශයෙන් කෝපාවිෂ්ට වුණේ ය. 7 එවිට ඔහු ගොන් බානක් ගෙන උන් කැබලිවලට කපා, ”සාවුල් ද සාමුවෙල් ද කැටුව යුද්ධයට යමෙක් නොයනු ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේ ම කරනු ලැබේ ය” කියා ඒ කැබලි පණිවුඩකාරයන් අත ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට යැවී ය. එවිට සෙනඟ පිට සමිඳාණන් වහන්සේ කෙරෙහි භීතියක් පහළ වී ඔව්හු සියලු දෙනා එක් කෙනෙකු මෙන් පිටත් ව ආවෝ ය. 8 සාවුල් ඔවුන් බෙශෙක් නගරයෙහි එක්රැස් කෙළේ ය. ඉශ්රායෙල්වරු තුන් ලක්ෂයක් ද ජුදාවරු තිස් දහසක් ද එහි සිටියෝ ය. 9 ඔව්හු පණිවුඩකාරයන්ට කතා කොට, ” ‘හෙට මද්දහනට පෙර ගිලියද්හි ජාබෙෂ් නගරය මුදනු ලබනු ඇතැ’යි ජාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැ”යි කීවෝ ය. පණිවුඩකාරයෝ ගොස් ජාබෙෂ්හි සෙනඟට එපවත් දැන්නුවෝ ය; ඔව්හු ද ප්‍රීතියෙන් පිනා ගියෝ ය. 10 එබැවින් ජාබෙෂ්හි සෙනඟ, ”හෙට අපි ඔබට යටත් වන්නෙමු, එවිට ඔබ කැමැති ඕනෑ ම දෙයක් අපට කරන්නට පුළුවනැ”යි නාහාෂ්ට කීවෝ ය.
11 පසු දා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේ ය; ඔව්හු එළි වන යාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට කඩා පැන ඉර මුදුන් වේලාව දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය. දෙදෙනෙකු එක තැනක නොසිටින ලෙස ඉතිරි වූ අය විසුරුවනු ලැබූ හ.
12 එවිට සෙනඟ සාමුවෙල්ට කතා කොට, ”සාවුල් අපේ රජු නොවිය යුතුය යි කී සෙනඟ කවුරු ද? ඒ අය අපට භාර දෙන්න; අපි ඔවුන් මරන්නෙමු”යි කීවෝ ය.
13 එවිට සාවුල් සෙනඟ අමතා, ”අද දවසේ දී සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගළවාගත් නිසා කිසිවෙකු මේ දවසේ දී මරණයට පත් නොකළ යුතු ය”යි කීවේ ය. 14 එවිට සාමුවෙල් සෙනඟට කතා කොට, ”එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහි දී සාවුල් රජකමෙහි නැවත ස්ථිර කරමු’යි කීවේ ය. 15 සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ.

– 12 වන පරිච්ඡේදය –

සාමුවෙල්ගේ අවසාන කතාව

1 සාමුවෙල් මුළු ඉශ්රායෙල් සෙනඟට මෙසේ කීවේ ය; ”මෙන්න, ඔබ හැම මාගෙන් ඉල්ලූ සියලු දේට මම සවන් දී ඔබ කෙරෙහි රජෙකු පත් කෙළෙමි. 2 දැන් ඒ රජතුමා ඔබ හැමගේ නායකයා ය. මම නම් මහලු ය, මාගේ හිසකෙස් පැහී තිබේ. මාගේ පුත්‍රයෝත් ඔබ සමඟ සිටිති. මම බාල වියෙහි පටන් අද දක්වා ඔබේ නායකයා වී සිටියෙමි. 3 මෙන්න, මම මෙහි සිටිමි. මා යම් වරදක් කර තිබේ නම්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ද උන් වහන්සේ තෝරාගත් රජ්ජුරුවන් ඉදිරියෙහි ද දැන් මට විරුද්ධ ව පැමිණිලි කරන්න. මම කවරෙකුගේ හරකා ගතිම් ද? කවරෙකුගේ කොටළුවා ගතිම් ද? කවරෙකුට අයුත්තක් කෙළෙම් ද? කවරෙකුට පීඩා කෙළෙම් ද? කවරෙකුගෙන් අල්ලසක් ගතිම් ද? මේවා ගැන මම වරදකාරයෙක් නම්, මා ගත් දේ ආපසු දෙන්නෙමි.”
4 සෙනඟ පිළිතුරු දෙමින්, ”ඔබ අපට අයුක්තියක් කෙළේ වත්, පීඩා කෙළේ වත්, කිසිවෙකුගේ අතින් කිසිවක් ගත්තේ වත් නැතැ”යි කීවෝ ය.
5 සාමුවෙල් පිළිතුරු දෙමින්, ”ඔබ හැම මා අත වරදක් නැති බවට සමිඳාණන් වහන්සේ ද උන් වහන්සේ තෝරාගත් රජතුමා ද ඉදිරියෙහි අද දවසේ සාක්ෂිකාරයන් ව සිටින්නහු ය”යි කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්සේ අපේ සාක්ෂිකාරයාණෝ ය”යි කී හ.
6 සාමුවෙල් තවදුරටත් සෙනඟට කතා කරමින් මෙසේ කීවේ ය: ”මෝසෙස් සහ ආරොන් තෝරාගත්තේත්, මිසරයෙන් ඔබේ පියවරුන් ගෙනාවේත් සමිඳාණන් වහන්සේ ය. 7 එබැවින් ඔබටත්, ඔබේ පියවරුන්ටත් සමිඳාණන් වහන්සේ කළ සියලු බලවත් ක්‍රියා ගැන මා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබට මතක් කර දෙන පිණිස නිශ්චල ව සිටින්න. 8 ජාකොබ් මිසරයට පැමිණි පසු ඔබේ පියවරුන් සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, සමිඳාණන් වහන්සේ මෝසෙස් ද ආරොන් ද යවා ඔබේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ දේශයෙහි වාසය කෙරෙව් සේක. 9 එහෙත්, ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කළෝ ය. එවිට උන් වහන්සේ හාශොර්හි සේනාධිපතියා වූ සිසෙරා අතටත්, පිලිස්තිවරුන් අතටත්, මෝවබ්හි රජු අතටත් ඔවුන් පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කළෝ ය. 10 එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසමින්, ‘අපි සමිඳාණන් වහන්සේ අත් හැර බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කිරීමෙන් පව් කෙළෙමු. එහෙත්, අපේ සතුරන් අතින් අප ගැළෙවුව මැනව. අපි ඔබ වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු’යි කීවෝ ය. 11 එවිට සමිඳාණන් වහන්සේ ජෙරුබ්බාල් ද බාරාක් ද ජෙප්තා ද සාමුවෙල් ද එවා වටකර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබ ගැළෙවු සේක. එවිට ඔබ සුරක්ෂිත ව වාසය කළහු ය. 12 එහෙත්, අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් ඔබට විරුද්ධ ව එන බව ඔබ දුටු කල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ රජ ව සිටි නමුත්, ඔබ කතා කරමින්, ‘එසේ නොවේ, අප කෙරෙහි රජ කරන පිණිස අපට රජ කෙනෙක් ඕනෑ ය’යි කීවහු ය.
13 ”මෙන්න, ඔබ තෝරාගත්, ඔබ ඉල්ලූ රජතුමා දෙස බලන්න. සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි රජ කෙනෙකු පත් කළ සේක. 14 ඔබ සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි නොගසා, උන් වහන්සේට බිය ව වැඳුම්පිදුම් කොට, උන් වහන්සේගේ හඬට කීකරු ව සිටින්නහු නම්, ඔබ කෙරෙහි රජකම් කරන රජුත්, ඔබ හැමත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අනුව යන්නහු නම්, ඔබට ශුභසිද්ධ වේ. 15 එහෙත්, ඔබ හැම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී, උන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසන්නහු නම්, උන් වහන්සේ ඔබේ රජතුමාටත්, ඔබටත් විරුද්ධ ව සිටින සේක. 16 එබැවින් නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් හමුයෙහි කරන්නට යන මේ මහත් දේ බලන්න. 17 දැන් තිරිඟු කපන කාලය නොවේ ද? එහෙත්, අහස් ගර්ජනාවක් ද වර්ෂාව ද එවන ලෙස මම සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි. ඒ ඉටු වූ කල රජෙකු ඉල්ලීමෙන් ඔබ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කළ දුෂ්ටකම ඔබ තේරුම් ගන්නවා ඇත.”
18 මෙසේ කී පසු සාමුවෙල් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. එදින සමිඳාණන් වහන්සේ අහස් ගර්ජනාව ද වර්ෂාව ද එවූ සේක. එවිට මුළු සෙනඟ සමිඳාණන් වහන්සේටත්, සාමුවෙල්ටත්, අතිශයෙන් බිය වූ හ. 19 ඔව්හු සාමුවෙල් අමතා, ”අප නොනසින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤා කළ මැනව; මන්ද, රජෙකු ඉල්ලීමේ වරද අපේ අනික් සියලු පාපවලට අප එකතු කර ඇතැ”යි කී හ.
20 එවිට සාමුවෙල් ඔවුන්ට මෙසේ කීවේ ය: ”බිය නොවන්න. ඔබ හැම ඇත්තෙන් ම මේ සියලු වැරදි කළහු ය. එහෙත්, සමිඳාණන් වහන්සේ අනුව යාම අත් නොහැර ඔබේ මුළු සිතින් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. 21 බොරු දෙවිවරුන් අනුව නොයන්න. ඔවුන් බොරු දෙවිවරුන් වන බැවින්, ඔබට පිහිටවන්නට වත්, ඔබ ගළවන්නට වත් ඔවුන්ට නොහැකි ය. 22 සමිඳාණන් වහන්සේ ඔබ තමන් වහන්සේගේ ම සෙනඟ කරගන්නට ප්‍රසන්න ව සිටින බැවින්, තමන්ගේ උදාර නාමය නිසා තමන්ගේ ම සෙනඟ අත් නොහරින සේක. 23 ඇරත් මා ඔබ උදෙසා යාච්ඤා නොකර සිටීමේ පාපයෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා, තවද, මම යහ මඟ ඔබට උගන්වන්නෙමි. 24 සමිඳාණන් වහන්සේට ගරුබිය ඇතිව, ඔබේ මුළු සිතින් උන් වහන්සේට සැබෑ ලෙස වැඳුම්පිදුම් කරන්න. සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා කොපමණ මහත් දේ කර ඇත් දැ යි සිහි කරන්න. 25 එහෙත්, ඔබ තවදුරටත් නපුරුකම් කරන්නහු නම්, ඔබ ද ඔබේ රජු ද විනාශ වනු ඇත.”

– 13 වන පරිච්ඡේදය –

පිලිස්තිවරුන් සමඟ යුද්ධ කිරීම

1 සාවුල් රජකමට පැමිණි විට වයස අවුරුදු තිහක්a පමණ විය. ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි දෑවුරුද්දක් රජකම් කෙළේ ය.
2 සාවුල් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් තුන්දාහක් තෝරාගත්තේ ය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හි ද බෙතෙල් කඳුකරයේ ද සිටියෝ ය; දාහක් බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් පෙදෙස වන ගිබියාහි සිටි ජොනතන් සමඟ සිටියෝ ය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට යන්නට හැරියේ ය.
3 ජොනතන් ගෙබායෙහි සිටි පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන්නේ ය. එපවත් පිලිස්තිවරුන්ට ආරංචි විය. එවිට සාවුල් කතා කොට, හෙබ්‍රෙව්වරු අසත් වා”යි දේශය මුළුල්ලෙහි හොරණෑ පිඹින්නට සැලැස්සුවේ ය. 4 සාවුල් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන් බවත්, පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන් පිළිකුල් කළ බවත් සියලු ඉශ්රායෙල්වරුන්ට සැළ විය. සෙනඟ ද ගිල්ගාල්හි සිටි සාවුල් වෙත රැස් වූවෝ ය.
5 පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් සමඟ යුද්ධ කරන පිණිස රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මූදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල සෙනඟක් ද ඇතිව රැස් වී අවුත්, බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය. 6 එවිට ඉශ්රායෙල්වරු තමන් අනතුරට භාජන වී සිටි බව දුටුවෝ ය. ඔව්හු අවදානම් තත්ත්වයක සිටියෝ ය. එවිට සෙනඟ ගුහාවල ද වළවල ද පර්වතවල ද පතල්වල ද ළිංවල ද සැඟවුණෝ ය. 7 සමහරෙක් ගාද් දේශයටත්, ගිලියද් දේශයටත් ජොර්දානින් එගොඩ වී ගියෝ ය. එහෙත්, සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේ ය. සෙනඟ සියලු දෙන වෙවුලමින් ඔහු පසුපස ගියෝ ය.

සාවුල් රජ එපා කරනු ලැබීම

8 සාමුවෙල් නියම කළ පරිදි ඔහු එන තුරු සාවුල් සත් දවසක් බලා සිටියේ ය. එහෙත්, සාමුවෙල් ගිල්ගාල්ට නොපැමිණියේ ය. සෙනඟ ද ඔහු වෙතින් විසිර ගියෝ ය. 9 එබැවින් සාවුල් ඔවුන් අමතා, ”දවන යාග පූජාව හා සහභාගිකමේ පූජා මා ළඟට ගෙනෙන්නැ”යි කීවේ ය. සාවුල් දවන යාග පූජා ඔප්පු කෙළේ ය. 10 ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම කළ හැටියේ ම සාමුවෙල් පැමිණියේ ය. සාවුල් ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමඟට ගියේ ය. 11 සාමුවෙල් ඔහු අමතා, ”ඔබ කුමක් කෙළෙහි දැ”යි ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, ”සෙනඟ මා අත්හැර යන බව මම දිටිමි; ඔබ එනවා යයි කී දවසේ දී නොපැමිණියෙහි ය; පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස් ව සිටින බවත් මම දිටිමි. 12 ගිල්ගාල්හි දී පිලිස්තිවරුන් මට පහර දෙන්නට යන නමුත් දෙවියන් වහන්සේගේ හිත දිනාගැනීමට මා උත්සාහ නොකළා යයි මම සිතුවෙමි. ඒ නිසා පූජාව ඔප්පු කළ යුතු බව මට හැඟුණේ ය”යි කීවේ ය.
13 එවිට සාමුවෙල් සාවුල්ට මෙසේ කීයේ ය: ”ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ආඥා ඔබ රක්ෂා කෙළේ නැත. ඔබ ඒවා රක්ෂා කෙළෙහි නම්, සමිඳාණන් වහන්සේ ඔබේ පරම්පරාවට ඉශ්රායෙල් කෙරෙහි සදහට ම රජකම් කරන්නට සලස්වන සේක. 14 එහෙත්, දැන් ඔබේ රජකම පවතින්නේ නැත. සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ දේ ඔබ රක්ෂා නොකළ බැවින් උන් වහන්සේ තමන්ගේ සිතට එකඟ වන මිනිසෙකු තෝරාගෙන තමන්ගේ සෙනඟ කෙරෙහි ඔහු නායකයා වන පිණිස නියම කර ඇතැ”යි කීවේ ය.

සටනට සූදානම් වීම

15 සාමුවෙල් පිටත් වී ගිල්ගාලෙන් බෙන්ජමින්ගේ පෙදෙසේ ගිබියාට ගියේ ය. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන් කෙළේ ය. ඔව්හු හයසියයක් පමණ වූ හ. 16 සාවුල් ද ඔහු පුත් ජොනතන් ද ඔවුන් සමඟ සිටි සෙනඟ ද බෙන්ජමින්ගේ පෙදෙසේ ගෙබාහි නැවතී සිටියෝ ය. එහෙත්, පිලිස්තිවරු මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය. 17 පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ආක්‍රමණිකයෝ කණ්ඩායම් තුනකට බෙදී නික්ම ආවෝ ය. එක කණ්ඩායමක් ෂුවාල් රටේ ඕප්‍රාට යන මාර්ගයෙන් ගියේ ය. 18 එක කණ්ඩායමක් බෙත්-හෙරොන්ට යන දිශාවට ගියේ ය. අනෙක් කණ්ඩායම පාළුකරයට සහ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන දේශ සීමා දෙසට ගියේ ය.
19 හෙබ්‍රෙව්වරුන් කඩු ද හෙල්ල ද සාදා ගැනීම වැළැක්වීමට පිලිස්තිවරුන් අධිෂ්ඨාන කරගෙන සිටි නිසා මුළු ඉශ්රායෙල් දේශයෙහි කම්මල්කාරයෙකු සොයා ගන්නට බැරි විය. 20 ඉශ්රායෙල්වරු සියලු දෙනා තම තමන්ගේ හීවැල ද දෑකැත්ත ද පොරොව ද උදැල්ල ද මුවහත් කරන පිණිස පිලිස්තිවරුන් ළඟට ගියෝ ය. 21 එහෙත්, උදලු ද දෑකැති ද හීවැල් ද පොරො‍් ද මුවහත් කිරීමට රිදී කාසියකින් තුනෙන් දෙකක් ද කෙවිටි හරිගස්සන්නට රිදී කාසියකින් තුනෙන් එකක් ද ඔව්හු අය කළෝ ය. 22 එබැවින් යුද්ධ දවසේ දී සාවුල්ටත්, ඔහුගේ පුත් ජොනතන්ටත් මිස ඒ දෙදෙනා සමඟ සිටි සෙනඟගෙන් කිසිවෙකු අතේ කඩුවක් වත්, හෙල්ලයක් වත් තිබුණේ නැත.
23 පිලිස්තිවරුන්ගේ මුර හමුදාව මික්-මාෂ්හි කඳු පාරට ගියෝ ය.

– 14 වන පරිච්ඡේදය –

ජොනතන්ගේ ජයග්‍රහණය

1 එක් දවසක් සාවුල්ගේ පුත් ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, ”එන්න, අර පැත්තේ සිටින පිලිස්තිවරුන්ගේ මුර හමුදාව ළඟට යමු”යි කීවේ ය. ජොනතන් ඒ බව තම පියාට දැන්නුවේ නැත. 2 සාවුල් ගිබියාවට යාබද ව පිහිටි මිග්‍රෝන්හි තිබුණ දෙළුම් ගස යට කඳවුරු බැඳගෙන සිටියේ ය. ඔහු සමඟ හයසියයක් පමණ සෙනඟ සිටියෝ ය. 3 ෂිලෝහි සමිඳාණන් වහන්සේගේ පූජකයා ව සිටි ඒලීගේ පුත් පිනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදර වූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා ඒපොද් සැට්ටයක් ඇඳගෙන එහි සිටියේ ය. ජොනතන් ගිය බව සෙනඟ නොදත්හ.
4 පිලිස්තිවරුන්ගේ මුර හමුදාව ළඟට ජොනතන් යන්නට උත්සාහ කළ කඳුපාරවල් අතරේ, එක පැත්තක ගිරිකුළක් ද අනික් පැත්තේ තවත් ගිරිකුළක් ද විය. එකක නම බෝශෙශ් ය, අනිකේ නම සෙනේ ය. 5 එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිට ද අනික දකුණු දෙසට ශෙබා ඉදිරිපිට ද උස් ව පිහිටියේ ය.
6 ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, ”එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.
7 ආයුධ රැගත් තරුණයා පිළිතුරු දෙමින්, ”ඔබ අදහස් කරන සියල්ල කරන්න. අපි එහි යමු. ඔබ කැමැති ඕනෑ ම දෙයක් කරන්නට මම කැමැති වෙමි”යි ඔහුට කීවේ ය.
8 එවිට ජොනතන් කතා කරමින්, ”අපි මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙන්නට සිටිමු. 9 ඔවුන් අප ළඟට එන තෙක් අපට නතර වී සිටින්නට යයි කීවොත්, ඔවුන් අප ළඟට එන තෙක් අපි මේ ස්ථානයෙහි ම නැවතී සිටිමු. 10 ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.”
11 ඔව්හු දෙදෙන ගොස් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පෙනෙන්නට සිටියෝ ය. පිලිස්තිවරු කතා කරමින්, ”අන්න, හෙබ්‍රෙව්වරු සැඟවී සිටින ගුහාවලින් පිටතට එමින් සිටිති”යි කීවෝ ය. 12 මුර හමුදාවේ මිනිස්සු ජොනතන්ටත්, ඔහුගේ ආයුධ රැගත් තරුණයාටත් කතා කොට, ”අප ළඟට පැමිණෙන්න. ඔබට යම් කාරණයක් කියන්නට අපට ඇතැ”යි කීවෝ ය. එවිට ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, ”මා පස්සේ එන්න, සමිඳාණන් වහන්සේ ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය. 13 ජොනතන් ද ඔහු පස්සෙන් ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද සතර ගාතයෙන් නැඟී ගියෝ ය. ඔව්හු ජොනතන් ඉදිරියෙහි පැරදී වැටුණෝ ය. ආයුධ රැගත් තරුණයා ද ජොනතන් පස්සේ ගොස් ඔවුන් මරා දැමුවේ ය. 14 ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද මෙසේ ප්‍රථම වරට මැරුවේ, අක්කර භාගයක පමණ බිම් පෙදෙසක සිටි මිනිසුන් විසිදෙනෙකු පමණ ය. 15 කඳවුරේ ද එළිමහනේ ද සිටි සෙනඟ අතරේ මහත් තැතිගැනීමක් ඇති විය. මුර හමුදාවත්, ආක්‍රමණකාරයෝත් වෙවුලුවෝ ය. පොළොව කම්පා විය. මෙසේ ඉතා මහත් සන්ත්‍රාසයක් ඇති විය.

 

පිලිස්තිවරුන්ගේ පරාජය

16 බෙන්ජමින්ගේ දේශයෙහි ගිබියාහි සිටි සාවුල්ගේ රැකවල්ලු පිලිස්තිවරුන් වියවුල් වී ඔබමොබ විසිර යනු දුටුවෝ ය. 17 එවිට සාවුල් තමා ළඟ සිටි සෙනඟට කතා කොට, ”අප කෙරෙන් කොපමණ දෙනෙක් ගියෝ දැ යි ගණන් කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගණන් කර බැලූ විට ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද එහි නොසිටි බව දැනගත්තෝ ය. 18 එවිට සාවුල් අහියා නම් පූජකයාට කතා කොට, ”ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ අවස්ථාවේ දී ඒපොද් සැට්ටය ඉශ්රායෙල් ජනයාට ඉදිරියෙන් උසුලාගෙන ගියේ ඔහු ය. 19 සාවුල් පූජකයාට කතා කරන ඒ අවස්ථාවේ දී පිලිස්තිවරුන්ගේ කඳවුරේ ඇති වූ අවුල් වියවුල් එන්න එන්න වැඩි විය. ”ඔබේ අත අහකට ගන්නැ”යි සාවුල් පූජකයාට කී ය. 20 එවිට සාවුල් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද යුද්ධය සඳහා පැමිණියෝ ය. පිලිස්තිවරුන් අතරේ මහත් වියවුලක් තිබුණ බව ඔව්හු දුටුවෝ ය. එක එක මිනිසා තම තමාගේ කඩුවෙන් තම තමා ළඟ සිටි තැනැත්තාට පහර දුන්නේ ය. 21 ඊට පෙර පිලිස්තිවරුන් සමඟ සිටියාවූ ද ඔවුන් සමඟ කඳවුරට ගියාවූ ද හෙබ්‍රෙව්වරු, සාවුල් හා ජොනතන් සමඟ සිටි ඉශ්රායෙල්වරුන් වෙත හැරී ආවෝ ය. 22 එසේ ම එප්‍රායිම් කඳු රටේ සැඟවී සිටි සියලු ඉශ්රායෙල් ජනයා පිලිස්තිවරුන් පලා යන බව අසා, ඔවුන්ට පහර දෙමින් වේගයෙන් ඔවුන් ලුහුබැඳ ගියෝ ය. 23 මෙසේ සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඉශ්රායෙල්වරුන් ගැළෙවු සේක. යුද්ධය ද බෙත්-ආවන් ඉක්මවා පැතුරුණේ ය.

ජොනතන්ට සිදු වූ ඇබැද්දිය

24 ඒ දවසේ දී ඉශ්රායෙල් සෙනඟ ආහාර නැති ව දුර්වල ව සිටියෝ ය. එසේ වූයේ ”මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගනු ලබන තුරු, සවස වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට සාප වේවා”යි සෙනඟගෙන් සාවුල් දිවුරුම් ගත් බැවිනි. එබැවින් සෙනඟගෙන් කිසිවෙකු කෑම කෑවේ නැත. 25 ඔවුන් සියලු දෙනා වනයට පැමිණි විට එහි හැම තැන ම බිම මී පැණි සම්බ විය. 26 මී පැණි වැගිරෙනවා දුටු නමුත්, ඔවුන් දී තිබුණ දිවුරුම ගැන බිය වූ බැවින් කිසිවෙකු එයින් තමාගේ කටට බිඳක් වත් ගත්තේ නැත. 27 එහෙත්, තම පියා සෙනඟගෙන් දිවුරුමක් ගෙන තිබෙන බව ජොනතන් දැන සිටියේ නැත. ඒ නිසා ඔහු තමාගේ අතේ තිබුණ සැරයටිය දිගු කොට එහි අග මී වදයක ගල්වා ඒවා අරගෙන කටට ගත්තේ ය. එයින් ඔහුට අමුතු ශක්තියක් ලැබුණේ ය. 28 එවිට සෙනඟගෙන් එක් කෙනෙක් කතා කොට, ”ඔබේ පියා අද කෑම කන මනුෂ්‍යයාට සාප වේවා යි කියා කෑම නොකන හැටියට සෙනඟගෙන් දිවුරුමක් ගත්තේ ය. ඒ නිසා සෙනඟ විඩාවට පත් වී සිටිති”යි කීවේ ය.
29 එවිට ජොනතන් පිළිතුරු දෙමින්, ”මාගේ පියා ජාතියට කොතරම් අවැඩක් කර තිබේ ද? මේ මී පැණි ටික කෑමෙන් මට අමුතු ශක්තියක් ලැබුණු හැටි බලන්න. 30 ඉදින් තමන්ගේ සතුරන්ගෙන් කොල්ලකාගත් කෑම රිසි සේ අද කෑවා නම්, තවත් කොපමණ හොඳ ද? එසේ කළා නම්, පිලිස්තිවරුන්ගෙන් තවත් බොහෝ දෙනෙකු විනාශ කරන්නට ඉඩ තිබිණි”යි කීවේ ය.
31 ඒ දවසේ දී ඉශ්රායෙල්වරු මික්මාෂ් පටන් අයාලෝන් දක්වා පිලිස්තිවරුන්ට පහර දුන්නෝ ය. සෙනඟ බොහෝ සේ විඩාවට පත් වී සිටියෝ ය. 32 සෙනඟ කොල්ලය පිට කඩා පැන, බැටළුවන් ද හරකුන් ද වස්සන් ද අරගෙන බිම දමා මරා, ලේ පිටින් ම කෑවෝ ය. 33 එවිට, ”සෙනඟ ලේ පිටින් ම කෑම කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරති”යි සාවුල්ට දන්වන ලද්දේ ය. ඔහු ද පිළිතුරු දෙමින් ”ඔබ ද්‍රෝහි ලෙස ක්‍රියා කළහු ය. මා ළඟට මහ ගලක් පෙරළාගෙන එන්නැ”යි කීවේ ය. 34 සාවුල් තවදුරටත් කතා කරමින්, ”ඔබ සෙනඟ අතරට ගොස්, ලේ සමඟ කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකර ඔබ එකිනෙකා තම තමාගේ හරකා ද බැටළුවා ද මා ළඟට ගෙනවුත් මෙහි දී මරා කන්නැ”යි කියන්නට අණ කෙළේ ය. සෙනඟ සියලු දෙනා තම තමාගේ හරකා රාත්‍රියෙහි ගෙනවුත් එහි දී මැරුවෝ ය. 35 සාවුල් එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය. එය ඔහු විසින් ගොඩනැඟුණු පළමු වන පූජාසනය ය.
36 සාවුල් සෙනඟ අමතා, ”අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකර, පහන් වන තෙක් මුළු රෑ ඔවුන්ගෙන් කොල්ලකාගනිමු”යි කීවේ ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, ”ඔබට යහපතැ යි පෙනෙන කොයි දෙයක් වුව ද කළ මැනවැ”යි කීවෝ ය. එවිට පූජකයා, ”අපි මෙහි දෙවියන් වහන්සේ වෙත ළං වමු”යි කීවේ ය.
37 සාවුල් ද, ”මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්නට ඕනෑ ද? ඔබ වහන්සේ ඔවුන් ඉශ්රායෙල් අතට පාවා දෙන සේක් දැ”යි දෙවියන් වහන්සේගෙන් විචාළේ ය. එහෙත්, උන් වහන්සේ එදා ඔහුට උත්තර නොදුන් සේක. 38 එවිට සාවුල් කතා කොට, ”සෙනඟගේ සියලු ප්‍රධානියෙනි, මෙහි රැස් ව අද මේ පාප සිදු වුණේ කුමන හේතුවක් නිසා දැ යි සෝදිසි කර බලන්න. 39 වරදකරු මාගේ පුත් ජොනතන් වුව ද, ඉශ්රායෙල් ගළවන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නමින් මම දිවුරා, ඔහු වුව ද මරණයට පත් කරන්නෙමි”යි කීවේ ය. එහෙත්, මුළු සෙනඟ අතරෙන් කිසිවෙකු ඔහුට උත්තර දුන්නේ නැත.
40 එවිට ඔහු, ”ඔබ සියලු දෙනා එක පැත්තක සිටින්න. මම ද මාගේ පුත් ජොනතන් ද අනික් පැත්තෙන් සිටින්නෙමු”යි සියලු ඉශ්රායෙල්වරුන්ට කීවේ ය. ”ඔබට යහපත් යයි පෙනෙන දෙයක් කළ මැනවැ”යි සෙනඟ සාවුල්ට කීවෝ ය.
41 සාවුල් යාච්ඤා කරමින්, ”ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේගේ මෙහෙකරු වන මට අද ඔබ පිළිතුරු නුදුන්නේ මන් ද? ඉශ්රායෙල්හි දෙවි සමිඳුනි, වරද මා අත හෝ මාගේ පුත් ජොනතන් අත හෝ වේ නම්, උරීම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්න. වරද ඔබ වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ අතේ නම්, තුමිම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්නැ”යි සමිඳාණන් වහන්සේට කීවේ ය. දාදු දැමූ විට සාවුල් සහ ජොනතන් වරදකරුවන් බව පෙනිණි. සෙනඟ වරදින් නිදහස් වුණෝ ය. 42 එවිට සාවුල් කතා කරමින්, ”මා සහ මාගේ පුත් ජොනතන් අතරෙන් වරදකරු කවරෙක් දැ යි බලන පිණිස දාදු දමන්නැ”යි කී ය. එසේ කළ විට ජොනතන් වරදකරු බව පෙනිණි. 43 ”ඔබ කෙළේ කුමක් ද කියා මට කියන්නැ”යි සාවුල් ජොනතන්ට කීවේ ය. ජොනතන් පිළිතුරු දෙමින්, ”මාගේ අතේ තිබුණ සැරයටියේ අගින් මී පැණි ටිකක් ගෙන මා කෑ බව සැබෑ ය. ඒ නිසා මෙන්න, මම මැරෙන්නට සූදානම් ය”යි කීවේ ය.
44 සාවුල් පිළිතුරු දෙමින්, ”ජොනතන් ඔබ නසින්නට ම ඕනෑ ය; නැත්නම් දෙවියන් වහන්සේ ඊට වැඩියෙනුත් මට දඬුවම් කරන සේක්වා”යි කීයේ ය.
45 එවිට සෙනඟ සාවුල්ට කතා කොට, ”ඉශ්රායෙල්ට මේ මහත් ජයග්‍රහණය ලබා දුන් ජොනතන් නසින්නට ඕනෑ ද? එසේ නොවේ වා. ඔහුගේ හිසෙන් කේශයක් වත් බිම නොවැටිය යුතු යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමු. මන්ද, ඔහු දෙවියන් වහන්සේ සමඟ අද දවසේ ක්‍රියා කෙළේ ය”යි කීවෝ ය. මෙසේ ජොනතන් නොනසින ලෙස සෙනඟ ඔහු බේරාගත්තෝ ය.
46 එවිට සාවුල් පිලිස්තිවරුන් ලුහුබැඳ නොගොස් හැරී ආවේ ය. පිලිස්තිවරු ඔවුන්ගේ ප්‍රදේශයට යන්නට ගියෝ ය.

සාවුල්ගේ රජ කාලය

47 සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කමට පත් කරනු ලැබූ පසු අවට සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත්, අම්මොන්වරුන්ටත්, ඒදොම්වරුන්ටත්, ශෝබාහි රජුන්ටත්, පිලිස්තිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කෙළේ ය. ඔහු ගිය ගිය තැන ජය ගත්තේ ය. 48 ඔහු වික්‍රමාන්විත ක්‍රියා කරමින් අමලෙක්වරුන්ට පහර දී ඉශ්රායෙල්වරුන්ව කොල්ලකන අයගේ අත්වලින් ඔවුන් ගළවා ගත්තේ ය.
49 සාවුල්ගේ පුත්‍රයෝ නම්: ජොනතන් ද ඉෂ්වී ද මල්කීෂුවා ද යන මොවුහු ය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නම් මේවා ය: වැඩිමහල් දුවගේ නම මේරබ් ය, බාල දුවගේ නම මීකල් ය. 50 සාවුල්ගේ භාර්යාවගේ නම අභිනොවම් ය. ඈ අභීමයාශ්ගේ දුව ය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර් ය. ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයා ය. 51 සාවුල්ගේ පිය වූ කිෂ් සහ අබ්නේර්ගේ පිය වූ නේර් අබියෙල්ගේ පුත්‍රයෝ ය.
52 සාවුල්ගේ මුළු ජීවිත කාලයේ දී ම පිලිස්තිවරුන්ට විරුද්ධ ව දරුණු යුද්ධ පැවතුණේ ය. සාවුල් වනාහි යම් බලසම්පන්න මනුෂ්‍යයෙකු හෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු හෝ දුටු විට ඔහු රාජ සේවය සඳහා පත් කරගත්තේ ය.

– 15 වන පරිච්ඡේදය –

අමලෙක්වරුන්ට විරුද්ධ ව සටන

1 සාමුවෙල් සාවුල්ට කතා කොට මෙසේ කීවේ ය: ”සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔබ රජ කොට අභිෂේක කරන පිණිස මා එවූ සේක. එබැවින් දැන් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න. 2 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රයෙල් සෙනඟ මිසර දේශයෙන් එන කල, මාර්ගයේ දී අමලෙක්වරුන් ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කළ නිසා මම ඔවුන්ට දඬුවම් කරමි. 3 දැන් නුඹ අමලෙක්වරුන්ට පහර දී ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින් ම විනාශකර දමා, පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා කිරි දරුවන් ද ගවයන් හා බැටළුවන් ද ඔටුවන් හා කොටළුවන් ද මරා දමන්න.’ ”
4 සාවුල් සෙනඟ එකතු කරගෙන තෙලායිම්හි දී ඔවුන් ගණන් කෙළේ ය. පාබළ සෙනඟ දෙලක්ෂයක් ද ජුදාවෙන් හේවායෝ දස දහසක් ද සිටියෝ ය. 5 සාවුල් අමලෙක්වරුන්ගේ නුවරට පැමිණ මිටියාවතේ සැඟවී රැක සිටියේ ය. 6 තවද, සාවුල් කේනිවරුන්ට කතා කොට, ”මා විසින් අමලෙක්වරුන් සමඟ ඔබ විනාශ නොකරනු ලබන පිණිස ඔවුන් කෙරෙන් අහක් ව යන්න. මන්ද, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් එද්දී ඔබ ඔවුන් සියල්ලන්ට කරුණා කළ නිසා ය”යි ඔවුන්ට කීවේ ය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක් ව ගියෝ ය.
7 සාවුල් ද හවිලා පටන් මිසරයට පෙරදිගින් පිහිටා තිබෙන ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේ ය. 8 ඔහු අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් පණපිටින් අල්ලාගෙන, සියලු සෙනඟ කඩුවෙන් ගසා දමා සහමුලින් ම විනාශ කර දැමුවේ ය. 9 එහෙත්, සාවුල් සහ සෙනඟ ආගග් ද බැටළුවන් හා ගවයන්ගෙනුත්, තර සතුන්ගෙනුත් ඉතා හොඳ සතුන් ද බැටළු පැටවුන් ද ප්‍රයෝජනවත් දේ සියල්ල ද විනාශ නොකර ඉතිරි කරගත්තෝ ය. ප්‍රයෝජනයක් නැති, නොවටින සියල්ල ම ඔව්හු විනාශ කර දැම්මෝ ය.

සාවුල් රජකමින් පහකරනු ලැබීම

10 සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, 11 ”මම සාවුල් රජකමට පත් කිරීම ගැන තැවෙමි; මන්ද, ඔහු මාගේ ආඥා නොපවත්වා මා කියන දේ ඉටු නොකර මා වෙතින් අහක් ව ගොස් ඇතැ”යි වදාළ සේක. සාමුවෙල් උදහස් වී රාත්‍රිය මුළුල්ලේ සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. 12 සාමුවෙල් සාවුල් හමු වන පිණිස පසු දින උදේ ම නැඟිට ගියේ ය. ”සාවුල් කර්මෙල් කන්දට පැමිණ එහි තමාගේ නමින් ජයස්ථම්භයක් පිහිටුවා එතැනින් පිටත් වී ගිල්ගාල් බලා නික්ම ගියේ ය”යි සාමුවෙල්ට දන්වන ලද්දේ ය. 13 සාමුවෙල් සාවුල් වෙත පැමිණෙන කල සාවුල් ඔහු අමතා, ”සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා; මම සමිඳාණන් වහන්සේ වදාළ දේ ඉෂ්ට කෙළෙමි”යි කී ය.
14 සාමුවෙල් පිළිතුරු දෙමින්, ”එසේ නම්, මට ඇසෙන මේ බැටළු හඬත්, මට ඇසෙන ගවයින්ගේ හඬත් කිමෙක් දැ”යි ඇසුවේ ය.
15 සාවුල් පිළිතුරු දෙමින්, ”මාගේ සෙනඟ අමලෙක්වරුන්ගෙන් උන් ගෙනාවෝ ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස සෙනඟ බැටළුවන්ගෙන් ද ගොනුන්ගෙන් ද ඉතා හොඳ සතුන් ඉතිරි කරගත්තෝ ය. සෙසු සතුන් අපි සහමුලින් ම විනාශ කර දැමුවෙමු”යි කීවේ ය.
16 එවිට සාමුවෙල්, ”නවතින්න, මේ රාත්‍රියේ සමිඳාණන් වහන්සේ මට වදාළ කාරණය ඔබට දන්වමි”යි සාවුල්ට කීවේ ය. ”කිව මැනවැ”යි සාවුල් කී ය.
17 එවිට සාමුවෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය: ”ඔබ සුළු කෙනෙකැ යි ඔබ ම සිතූ නමුත්, ඔබ ඉශ්රායෙල් ගෝත්‍ර කෙරෙහි නායකයා කරනු ලැබුවා නොවේ ද? සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට ඔබ අභිෂේක කළ සේක. 18 සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවමින්, ‘පව්කාරයන් වන අමලෙක්වරුන් විනාශ කරදමා ඔවුන් නැති වී යන තුරු ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නැ’යි ඔබට වදාළ සේක. 19 එහෙත්, සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවී කොල්ලය පිට කඩා පැන, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි වැරදි සහිත දේ කෙළේ මක්නිසා දැ”යි ඇසී ය.
20 සාවුල් පිළිතුරු දෙමින්, ”නැත, මම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු ව, සමිඳාණන් වහන්සේ මා යැවූ ගමන ගොස් අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් ගෙනාවෙමි; අමලෙක්වරුන් ද සහමුලින් ම විනාශ කරදැමීමි. 21 එහෙත්, සෙනඟ විනාශ කළ යුතුව තිබූ දේවලින් ඉස්තරම් කොටස වන බැටළුවන් ද ගවයන් ද කොල්ලය අතරෙන් රැගෙන ගිල්ගාල්හි දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෝ ය”යි සාමුවෙල්ට කීවේ ය.
22 සාමුවෙල් පිළිතුරු දෙමින්, ”හිමි තුමන්ට වඩා ප්‍රසන්න වන්නේ කුමක් ද? එතුමන්ගේ හඬට කීකරු වීම ද නැතහොත් දවන පූජා හා යාග පූජා ද? පූජාවට වඩා කීකරු වීම හොඳ ම ය. බැටළු තෙල් පිදීමට වඩා අවනත වීම හොඳ ය. 23 මන්ද, කැරලිකාරකම අනවින කිරීමේ පාපයට සමාන ය. මුරණ්ඩුකම රූප ඇදහීමට සමාන ය. ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා උන් වහන්සේ ඔබ රජකමෙන් ඉවත් කළ සේකැ”යි කීවේ ය.
24 සාවුල් සාමුවෙල්ට පිළිතුරු දෙමින්, ”මම පව් කෙළෙමි. මන්ද, මම සෙනඟට බිය වී ඔවුන්ගේ හඬට කීකරු වූ බැවින් සමිඳාණන් වහන්සේගේ ආඥාව ද ඔබේ වචන ද කඩ කෙළෙමි. 25 එහෙත්, දැන් ඔබ මාගේ පාපයට කමා වී සමිඳාණන් වහන්සේට මා නමස්කාර කරන පිණිස මා සමඟ අව මැනවැ”යි කීවේ ය.
26 සාමුවෙල් පිළිතුරු දෙමින්, ”මම ඔබ සමඟ ආපසු නොඑමි. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කෙළෙහි ය; සමිඳාණන් වහන්සේ ද ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමින් ඔබ පහකළ සේකැ”යි සාවුල්ට කීවේ ය.
27 සාමුවෙල් යන්නට හැරෙන විට සාවුල් ඔහුගේ සළුවේ කෙළවර අල්ලාගත්තේ ය. එවිට ඒ සළුව ඉරුණේ ය. 28 සාමුවෙල් ඔහුට කතා කරමින්, ”සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ. 29 ඉශ්රායෙල්හි පරාක්‍රමයාණෝ බොරු නොකියන සේක. අධිෂ්ඨාන කරගත් දේ වෙනස් නොකරන සේක. උන් වහන්සේ මනුෂ්‍යයෙකු නොවන බැවින් සිතූ දේ වෙනස් නොකරන සේකැ”යි කීවේ ය.
30 එවිට සාවුල් පිළිතුරු දෙමින්, ”මම පව් කළෙමි; එහෙත්, දැනට මාගේ සෙනඟගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන් ද ඉදිරියෙහි මට ගෞරවය දී, මා විසින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කරනු ලබන පිණිස මා සමඟ අව මැනව”යි කීවේ ය. 31 එවිට සාමුවෙල් සාවුල් සමඟ ගියේ ය. සාවුල් ද සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළේ ය.
32 එවිට සාමුවෙල් කතා කොට, ”අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් මා ළඟට ගෙනෙන්නැ”යි කීවේ ය. ආගග් ද, ‘මරණයට පත් වීම කෙතරම් භයානක දෙයක් ද’ කියා සිතමින් භයෙන් වෙවුල වෙවුලා සාමුවෙල් වෙත ආවේ ය. 33 සාමුවෙල් ද කතා කොට, ”ඔබේ කඩුව, ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක් මෙන් ඔබේ මවත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැති කෙනෙක් වන්නී ය”යි කියා ගිල්ගාල්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලි කොට කපා දැමුවේ ය.
34 ඉක්බිති සාමුවෙල් රාමා නගරයට ගියේ ය; සාවුල් ද ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේ ය. 35 ඉන්පසු සාමුවෙල් ජීවිතාන්තය දක්වා තවත් සාවුල් දුටුවේ නැත. එහෙත්, සාමුවෙල් සාවුල් ගැන ශෝක විය. සමිඳාණන් වහන්සේ සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට පත් කළ බැවින් තැවුණු සේක.

 

– 16 වන පරිච්ඡේදය –

දාවිත් රාජ පදවියට අභිෂේක කරනු ලැබීම

1 සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, ”නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක.
2 සාමුවෙල් පිළිතුරු දෙමින්, ”මා එසේ කරන්නේ කොහොම ද? එය සාවුල්ට සැළ වුණොත් ඔහු මා මරනු ඇතැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ද පිළිතුරු දෙමින්, ”නුඹ වැස්සියක ගෙන ‘සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ආවෙමි’යි කියන්න. 3 ජෙස්සේ ද ඒ පූජාවට කැඳවන්න. එවිට නුඹ විසින් කරනු ලැබිය යුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා රජු වශයෙන් නුඹ අභිෂේක කළ යුතු ය”යි වදාළ සේක.
4 සාමුවෙල් සමිඳාණන් වහන්සේ වදාළ දේ කරමින්, බෙත්ලෙහෙමට පැමිණියේ ය. එවිට නගරයේ ප්‍රජා මූලිකයෝ වෙවුලමින් ඔහු හමු වන්නට අවුත්, ”ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසූ හ.
5 සාමුවෙල් පිළිතුරු දෙමින්, ”සාමදානයෙන් ය; සමිඳාණන් වහන්සේට පූජා කරන්නට ආවෙමි; ඔබ හැම පවිත්‍ර වී මා සමඟ පූජාවට එන්නැ”යි කීවේ ය. සාමුවෙල්, ජෙස්සේ ද ඔහුගේ පුත්‍රයන් ද පවිත්‍ර කොට පූජාවට කැඳෙව්වේ ය.
6 ඔවුන් පැමිණි කල සාමුවෙල් එලියාබ් දෙස බලා, ”සැබැවින් ම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන් වහන්සේ ඉදිරියෙහි සිටී”යි තමන්ට ම කියාගත්තේ ය. 7 එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, ”ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.
8 එවිට ජෙස්සේ අබිනාදාබ්ට හඬගසා සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්වී ය. ”මොහු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි සාමුවෙල් කී ය. 9 එවිට ජෙස්සේ ෂම්මා ඔහු ඉදිරිපිටින් එන්නට සැලැස්විය. ”මොහු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි සාමුවෙල් කී ය. 10 මෙසේ ජෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකු සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්සුවේ ය. සාමුවෙල් ද, ”මොවුන් එක් කෙනෙකු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි ජෙස්සේට කී ය. 11 එසේ කියා සාමුවෙල්, ”ඔබේ පුත්‍රයෝ හැම දෙනා ම මෙහි සිටිත් දැ”යි ජෙස්සේගෙන් ඇසී ය. ජෙස්සේ පිළිතුරු දෙමින්, ”තව ඉතිරි ව සිටින්නේ බාලයා ය; ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා ය”යි කී ය. සාමුවෙල් ද, ”පණිවුඩකාරයෙකු යවා ඔහු මෙහි ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි පූජාව ඔප්පු නොකරන්නෙමු”යි ජෙස්සේට කී ය. 12 එවිට ජෙස්සේ පණිවුඩකාරයෙකු යවා ඔහු ගෙන් වී ය. ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද දීප්තිමත් නෙත් යුවලක් ද ඇති කෙනෙකි, සමිඳාණන් වහන්සේ කතා කරමින්, ”නැඟිට මොහු අභිෂේක කරන්න; මොහු ඒ තැනැත්තා ය”යි වදාළ සේක. 13 එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.

දාවිත්ගේ වීණා වාදනය

14 සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් කෙරෙන් පහ ව ගියේ ය. සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහු කැළඹුවේ ය. 15 සාවුල්ගේ සේවකයෝ ඔහුට කතා කොට, ”දෙවියන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔබ කළඹන්නේ ය. 16 ඒ නිසා දක්ෂ වීණාකාරයෙකු සොයන පිණිස අපේ ස්වාමීන්ගේ සේවකයන් වන අපට අණ කළ මැනව. එවිට දෙවියන් වහන්සේ එවන දුෂ්ටාත්මය ඔබට ආවේශ වූ කල, ඔබට සුව සහනය ලැබෙන පිණිස ඔහු වාදනය කරනු ඇතැ”යි කීවෝ ය.
17 සාවුල් කතා කොට, ”හොඳට වාදනය කරන මිනිසෙකු සොයා ඔහු මා වෙත ගෙනෙන්නැ”යි සේවකයන්ට කීවේ ය.
18 එවිට සේවකයන්ගෙන් එක් කෙනෙක් පිළිතුරු දෙමින්, ”දක්ෂ වාදකයෙකු වන පුත්‍රයෙක් බෙත්ලෙහෙමේ වසන ජෙස්සේට සිටියි. ඔහු නිර්භීත කෙනෙකි; දක්ෂ හේවායෙකි; කතාවෙහි දක්ෂ ය; රූපසම්පන්න ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින සේකැ”යි කීවේ ය.
19 එවිට සාවුල් ජෙස්සේ වෙත පණිවුඩකාරයන් යවමින්, ”බැටළුවන් සමඟ සිටින ඔබේ පුත්‍රයා වන දාවිත් මා ළඟට එවන්නැ”යි කියා යැවී ය. 20 එවිට ජෙස්සේ රොටි ද මිදියුස භාජනයක් ද කොටළුවෙකු පිට පටවා එළු පැටවෙකු සමඟ ඒවා තමාගේ පුත් දාවිත් අත සාවුල්ට යැව්වේ ය. 21 දාවිත් සාවුල් වෙත අවුත්, ඔහුගේ සේවයට බැඳුණේ ය. සාවුල් ඔහුට ඉතා ප්‍රේම කෙළේ ය. ඔහු සාවුල්ගේ ආයුධ රැගෙන යන්නා විය. 22 සාවුල් ජෙස්සේට පණිවුඩයක් යවමින්, ”දාවිත් මට ප්‍රිය මනාප නිසා ඔහු මා සමඟ සිටියාවේ”යි කියා ඇරියේ ය. 23 එතැන් පටන් දෙවියන් වහන්සේ සාවුල්ට දුෂ්ටාත්මයක් ආවේශ කළ විට දාවිත් වීණාව රැගෙන වාදනය කෙළේ ය. එයින් සාවුල්ට සුව සහනය ලැබී දුෂ්ටාත්මය ඔහුගෙන් පහ ව ගියේ ය.

 

– 17 වන පරිච්ඡේදය –

ගොලියත් ඉශ්රායෙල්වරුන්ට අභියෝග කිරීම

1 පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකො‍් නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ. 2 සාවුල් ද ඉශ්රායෙල් ජනයා ද එක් රැස් ව ඒලා මිටියාවතේ කඳවුරු බැඳගෙන පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධය සඳහා සැරසී සිටියහ. 3 පිලිස්තිවරු එක පැත්තක තිබුණ කන්දේ ද ඉශ්රායෙල්වරු අනික් පැත්තේ තිබුණ කන්දේ ද සිටියහ. ඒ කඳු දෙකට අතරේ මිටියාවතක් තිබිණි.
4 ගාත් නගරයෙහි වැසියෙකු වූ ගොලියත් නම් මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ඉදිරිපත් ව ආවේ ය. ඔහු මීටර් තුනක් පමණ උස ය. 5 ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් තිබිණි; ඔහු ලෝහ යුද්ධ ඇඳුමක් පැළඳගෙන සිටියේ ය. එය කිලෝග්‍රෑම් පණස්හතක් පමණ බර ය. 6 ඔහුගේ පාදවල ලෝකඩ වැසුම් තිබිණි. ඔහුගේ උරහිස මත කුඩා ලෝකඩ හෙල්ලයක් එල්ලාගෙන සිටියේ ය. 7 ඔහුගේ මහා හෙල්ලයේ මිට, වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන ය; එහි තලය කිලෝග්‍රෑම් හතක් පමණ බර ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුවෙන් ගියේ ය. 8 ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, ”ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න. 9 මා සමඟ සටන් කොට මා මරන්නට ඔහුට පුළුවන් වුණොත්, අපි ඔබේ මෙහෙකරුවෝ වන්නෙමු. එහෙත්, මා ඔහුගෙන් ජය ගෙන ඔහු මැරුවොත්, ඔබ අපේ මෙහෙකරුවන් ව අපට සේවය කරන්නට ඕනෑ ය”යි කීවේ ය. 10 තවදුරටත් ඒ පිලිස්තියයා කතා කරමින්, ”මම ඉශ්රායෙල් සේනාවට අද දවසේ අභියෝග කරමි. මා සමඟ සටන් කරන්නට මිනිසෙකු තෝරා ඉදිරිපත් කරන්නැ”යි කීවේ ය. 11 සාවුල් ද සියලු ඉශ්රායෙල් ජනයා ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝ සෙයින් බියපත් වූ හ.

දාවිත් සාවුල්ගේ කඳවුරට පැමිණීම

12 දාවිත් ජුදයේ බෙත්ලෙහෙම්හි ජෙස්සේ නම් වූ එප්‍රාතියයාගේ පුත්‍රයා ය; ජෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් වූ හ. සාවුල් රජ ව සිටි කාලයේ ජෙස්සේ දුබල මහලු මනුෂ්‍යයෙක් විය. 13 ජෙස්සේගේ වැඩිමහල් පුත්‍රයෝ තුන් දෙනා සාවුල් අනුව යුද්ධයට ගියහ. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තිදෙනාගේ නාම මෙසේ ය; කුලුඳුලා එලියාබ් ය, දෙවැනියා අබිනාදාබ් ය. තුන්වැනියා ෂම්මා ය. 14 දාවිත් සියල්ලන්ට ම බාලයා ය. වැඩිමහල් තිදෙනා සාවුල් සමඟ නැවතී සිටියහ. 15 දාවිත් වනාහි බෙත්ලෙහෙම්හි තමාගේ බැටළුවන් බලා ගන්න පිණිස සාවුල් වෙතින් ඔබමොබ ගියේ ය.
16 ගොලියත් හතළිස් දවසක් මුළුල්ලේ උදයේත්, සවසත් ඉදිරියට අවුත් අභියෝග කෙළේ ය.
17 දිනක් ජෙස්සේ තම පුත් දාවිත්ට කතා කොට, ”මේ විළඳවලින් කිලෝග්‍රෑම් දහයක් ද මේ රොටි දසය ද රැගෙන කඳවුරේ සිටින ඔබේ සහෝදරයන් ළඟට ඉක්මනින් ගොස් ඒවා ඔවුන්ට දෙන්න; 18 ඔවුන්ගේ සහශ්‍රාධිපතියාට මේ කේජු ගෙඩි දසය ද ගෙන ගොස් දී ඔබේ සහෝදරයන්ගේ සැප සනීප කොහොම ද කියා බලා ඔවුන්ගේ තොරතුරු දැනගෙන ආපසු එන්නැ”යි කීවේ ය.
19 ඒ අවස්ථාවේ දී සාවුල් ද දාවිත්ගේ සහෝදරයෝ ද ඉශ්රායෙල් සෙනඟ සියලු දෙනා ද ඒලා නම් මිටියාවතේ පිලිස්තිවරුන් සමඟ සටන් කරමින් සිටියහ.
20 දාවිත් අලුයම නැඟිට, බැටළු පාලකයෙකුට බැටළුවන් භාර දී, ජෙස්සේ තමාට අණ කළ ලෙස ආහාර රැගෙන ගොස් කඳවුර තිබුණ ස්ථානයට පැමිණියේ ය. ඒ අවස්ථාවේ දී සේනාව රණ බිමට යමින් ඔල්වර හඬ නඟමින් සිටියහ. 21 ඉශ්රායෙල්වරුන්ගේ සේනාව ද පිලිස්තිවරුන්ගේ සේනාව ද එක එකාට විරුද්ධ ව මුහුණට මුහුණ ලා යුද්ධයට සැරසී සිටියහ. 22 දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම් කරන්නා අතට දී, සේනාව ළඟට දිව ගොස් තමාගේ සහෝදරයන්ට ආචාර කෙළේ ය. 23 ඔහු ඔවුන් සමඟ කතා කරන කල, ගාත්හි ගොලියත් නම් පිලිස්තිය මල්ලවයා පිලිස්තිවරුන්ගේ හමුදාවෙන් පිටත් ව අවුත් කලින් මෙන් අභියෝග කෙළේ ය. දාවිත්ට එය ඇසිණි. 24 ඉශ්රායෙල් සෙනඟ සියලු දෙනා ඒ මිනිසා දුටු විට බොහෝ සෙයින් බිය වී ඔහු ඉදිරියෙන් පලා ගියහ. 25 ඉශ්රායෙල් සෙනඟ කතා කොට, ”ඉදිරියට එන අර මිනිසා දෙස බලන්න. ඉශ්රායෙල්වරුන්ට ඔහු කරන අභියෝගය අසන්න. යම් මිනිසෙකු ඔහු මැරුවොත්, රජතුමා ඔහුට බොහෝ වස්තුව දී ඔහු ධනවතෙකු කොට, තමාගේ දුව ඔහුට සරණපාවා දී, ඉශ්රායෙල්හි ඔහුගේ පියාගේ පවුල අයබදුවලින් නිදහස් කරනු ඇතැ”යි කී හ.
26 දාවිත් තමා ළඟ සිටි මිනිසුන්ට කතා කොට, ”මේ පිලිස්තියයා මරා දමා ඉශ්රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මිනිසාට කුමක් දෙන්නේ ද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට අභියෝග කරන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවරෙක් දැ”යි ඇසී ය. 27 සෙනඟ ද පෙර සේ පිළිතුරු දෙමින් ඒ මිනිසා මරන තැනැත්තාට දෙන දේ ද කී හ.
28 දාවිත් මිනිසුන්ට කතා කරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන එලියාබ් අසාගෙන සිටියේ ය. එවිට එලියාබ් දාවිත් කෙරේ කෝප වී, ”ඔබ ආවේ කුමකට ද? පාළුකරයේ සිටින ඒ බැටළුවන් ස්වල්ප දෙනා ඔබ කාට භාර දී ආවෙහි ද? කපටි දඟකාර කොලුවා! ඔබ මෙහි ආවේ යුද්ධය බලන පිණිස ය”යි කීවේ ය.
29 දාවිත් පිළිතුරු දෙමින්, ”මම දැන් කුමක් කෙළෙම් ද? ප්‍රශ්නයක් ඇසුවා පමණක් නොවේ දැ”යි කියා, 30 ඔහු වෙතින් අනිකෙකු දෙසට හැරී ගොස් ඒ ප්‍රශ්නය ම ඇසුවේ ය. මිනිස්සු පළමු කී ලෙසට ම ඔහුට යළිත් උත්තර දුන්හ. 31 දාවිත් කී වචන ඇසූ සමහර මිනිස්සු සාවුල්ට එපවත් සැළ කළහ. සාවුල් ද ඔහු කැඳෙව්වේ ය. 32 දාවිත් සාවුල්ට කතා කොට, ”රජතුමෙනි, කිසිවෙකු මේ පිලිස්තියයාට බිය නොවිය යුතු යි. ඔබේ මෙහෙකරුවා වන මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන් කරමි”යි කී ය.
33 සාවුල් පිළිතුරු දෙමින්, ”මේ පිලිස්තියයාට විරුද්ධ ව ගොස් ඔහු සමඟ සටන් කරන්නට ඔබට බැරි ය. මන්ද, ඔබ කොලු ගැටයෙකි. එහෙත්, ඔහු තරුණ වයසේ පටන් හේවායෙකු ව සිටින්නෙකැ”යි දාවිත්ට කී ය.
34 දාවිත් පිළිතුරු දෙමින් සාවුල්ට මෙසේ කී ය: ”ඔබේ මෙහෙකරුවා වන මා, මාගේ පියාගේ බැටළුවන් බලාගෙන සිටිය දී සිංහයෙකු හෝ වලසෙකු හෝ අවුත් රැළෙන් බැටළුවෙකු ගත්තොත්, 35 මම ඌ පස්සේ ගොස්, ඌට පහර දී ඌගේ කටින් බැටළුවා ගළවාගන්නෙමි. ඌ මට කඩාපැන්න විට මම ඌ බෙල්ලෙන් අල්ලා ඌට පහර දී මරන්නෙමි. 36 ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි, 37 සිංහයාගේ නිය පහරින් ද වලසාගේ නිය පහරින් ද මා ගැළෙවු සමිඳාණන් වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවන සේක.” සාවුල් කතා කොට, ”යන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”යි දාවිත්ට කී ය.
38 තවද, සාවුල් තමාගේ ඇඳුම් දාවිත්ට අඳවා, ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් දමා, යුද්ධ ඇඳුමක් ඔහුට පැළඳෙවුවේ ය. 39 දාවිත් ඒ ඇඳුමේ සාවුල්ගේ කඩුව බැඳගෙන ඇවිදින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, ඔහුට නුපුළුවන් විය. මන්ද, ඔහු ඒවා පැළඳ පුරුදු නැති නිසා ය. එවිට දාවිත් සාවුල්ට කතා කොට, ”මට මේවා ඇඳ පුරුදු නැති බැවින් මේවා ඇඳගෙන යන්නට බැරි ය”යි කියා ඒවා ගලවා දමා, 40 තමාගේ සැරයටිය අතින් ගෙන, දොළෙන් සිනිඳු ගල් පහක් තෝරාගෙන, තමා ළඟ තිබුණ පසුම්බියක් වන එඬේර මල්ලේ ඒවා දමාගෙන, අතින් ගල් පටිය රැගෙන පිලිස්තියයා දෙසට යන්නට ගියේ ය.

දාවිත් ගොලියත් පරාජය කිරීම

41 පිලිස්තියයා පිටත් ව අවුත් දාවිත් දෙසට ගමන් කෙළේ ය. පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුව ආවේ ය. 42 පිලිස්තියයා දාවිත් දුටු විට ඔහුට ගැරහුම් කෙළේ ය. මන්ද, ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද ඇති තරුණයෙකු වූ බැවිනි. 43 පිලිස්තියයා දාවිත්ට කතා කොට, ”තෝ සැරයටිය රැගෙන මා ළඟට එන්නේ මා බල්ලෙකැ යි සිතා ද” කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස් කීවේ ය. 44 ඔහු තවදුරටත් කතා කරමින්, ”මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් දෙන්නෙමි”යි දාවිත්ට කීවේ ය.
45 එවිට දාවිත් පිළිතුරු දෙමින්, ”තෝ කඩුවක් ද හෙල්ලයක් ද කුන්තයක් ද රැගෙන මා ළඟට එන්නෙහි ය. මම වනාහි තා නින්දා කළ ඉශ්රායෙල් හමුදාවල සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. 46 අද දින සමිඳාණන් වහන්සේ තා මා අතට පාවා දෙන සේක; මම තට ගසා, තාගේ හිස කපා දමා, පිලිස්තිවරුන්ගේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ට ද පොළොවේ වන මෘගයන්ට ද දෙන්නෙමි. මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවි කෙනෙකුන් සිටින බව පොළොවේ සියල්ලන් ම දැනගනු ඇත. 47 ජය ගැනීමට සමිඳාණන් වහන්සේට කඩුවක් වත්, හෙල්ලයක් වත් වුවමනා නැති බව මුළු සමූහයා දැනගනු ඇත. සටන සමිඳාණන් වහන්සේගේ ය; උන් වහන්සේ ද ඔබ අප අතට පාවා දෙන සේකැ”යි පිලිස්තියයාට කී ය.
48 පිලිස්තියයා යළිත් දාවිත්ට විරුද්ධ ව ගමන් කෙළේ ය. දාවිත් විගසින් පිලිස්තියයාට විරුද්ධ ව සේනාව දෙසට දුව ගොස්, 49 මල්ලේ අත දමා එයින් ගලක් ගෙන, එය ගල් පටියෙන් විද්දේ ය. ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී නළල ඇතුළට කා වැදුණේ ය. පිලිස්තියයා මුණින්තළා බිමට වැටිණි. 50 මෙසේ දාවිත් කඩුවක් නැති ව ගල් පටියෙන් ද ගලෙන් ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහර දී, ඔහු මැරුවේ ය. 51 එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට ඔහුගේ කඩුව කොපුවෙන් ඇද, එයින් ඔහුගේ හිස ගසා දමා ඔහු මැරුවේ ය. පිලිස්තිවරු තමන්ගේ යෝධයා මළ බව දැක පලා ගියෝ ය. 52 ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද නැඟිට, ඔල්වර හඬ පවත්වා පිලිස්තිවරුන් ලුහුබැඳ ගායිට පැමිණෙන තැන දක්වාත් ඒක්‍රොන්හි දොරටුව දක්වාත් ගියහ. ෂාරයිම්ට යන මාර්ගය දිගට ගාත් දක්වා ද ඒක්‍රොන් දක්වා ද පිලිස්තිවරු මැරුම් කා වැටුණා හ. 53 ඉශ්රායෙල් ජනයා පිලිස්තිවරුන් ලුහුබැඳ එලවා දමා, හැරී අවුත් ඔවුන්ගේ කඳවුරු කොල්ලකාගත්තෝ ය. 54 දාවිත් පිලිස්තියයාගේ හිස රැගෙන ජෙරුසලමට පැමිණියේ ය; ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තබාගත්තේ ය.

සාවුල් දාවිත් පිළිගැනීම

55 දාවිත් පිලිස්තිවරුන්ට විරුද්ධ ව පිටත් ව යන බව සාවුල් දැක, සේනාවේ අධිපතියා වන අබ්නේර්ට කතා කොට, ”අබ්නේර්, මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. අබ්නේර් පිළිතුරු දෙමින්, ”රජතුමනි, ඔබේ නාමයෙන් දිවුරා කියමි. මම ඒ ගැන කිසිත් නොදනිමි”යි කී ය.
56 රජතුමා ද, ”මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා ද කියා සොයා බලන්නැ”යි කීවේ ය.
57 දාවිත් පිලිස්තියයා මරා දමා ආපසු හැරී එන කල අබ්නේර් ඔහු කැඳවාගෙන සාවුල් ඉදිරියට ගියේ ය. පිලිස්තියයාගේ හිස දාවිත්ගේ අතේ තිබිණි. 58 සාවුල් ඔහු අමතා, ”තරුණය, ඔබ කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින්, ”මම ඔබේ මෙහෙකරු වන, බෙත්ලෙහෙම්හි සිටින ජෙස්සේගේ පුත්‍රයෙක් වෙමි”යි කීවේ ය.

 

– 18 වන පරිච්ඡේදය –

දාවිත් සහ ජොනතන්ගේ මිත්‍රකම

1 දාවිත් සාවුල්ට කතා කොට නිම වූ කල ජොනතන්ගේ සිත දාවිත් දෙසට තදින් ඇදී ගොස්, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කෙළේ ය. 2 ඒ දවසේ පටන් සාවුල්, දාවිත් තමා සමඟ නවතාගෙන ඔහුගේ පියාගේ ගෙදරට යන්නට ඔහුට ඉඩ නුදුන්නේ ය. 3 ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්හ. 4 ජොනතන් තමාගේ සළුව ගලවා ඒ සමඟ ඔහුගේ කඩුවත්, දුන්නත්, ඉඟපටියත් ඇතුළු ව තමාගේ යුද්ධ ඇඳුම ද දාවිත්ට දුන්නේ ය. 5 සාවුල් විසින් දාවිත් යවනු ලැබූ හැම කාර්යයක දී ම ඔහු ජයගත්තේ ය. සාවුල් ඔහු හේවායන් කෙරෙහි ප්‍රධානියා කෙළේ ය. මුළු සෙනඟ ද සාවුල්ගේ සේවකයෝ ද ඊට ප්‍රසන්න වූ හ.

සාවුල් දාවිත්ට ඊර්ෂ්‍යා කිරීම

6 දාවිත් පිලිස්තියයා මරා පෙරළා එන විට, ඉශ්රායෙල්හි සියලු නගරවලින් කාන්තාවෝ නික්ම ගායනා කරමින් ද නටමින් ද රබන් ගසමින් ද ප්‍රීති හඬ නඟමින් ද අත්තාලම් ගසමින් ද සාවුල් රජු හමු වීමට ආහ. 7 කාන්තාවෝ නට නටා ගී ගයමින්,
”මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි
කී හ. 8 සාවුල් මේ කීමට අප්‍රසන්න ව ඉතා කෝප වී, ” ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය. 9 එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්‍යා සහගත ඇසිණි.
10 පසු දා දෙවියන් වහන්සේගෙන් දුෂ්ටාත්මයක් සාවුල්ට ආවේශ විය. ඔහු නිවෙස ඇතුළේ පිස්සෙකු මෙන් දෙඩෙවුවේ ය. දාවිත් පෙර ලෙස වීණාව වාදනය කරන විට සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි. 11 ”මම දාවිත් බිත්තියට ම ඇණ තබමි”යි සිතා ඔහු හෙල්ලය දාවිත් දෙසට දෙවරක් විසි කෙළේ ය. දාවිත් අහකට පැන බේරුණේ ය.
12 සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ වැඩ සිටි නිසාත්, සාවුල්ගෙන් පහ ව වැඩිය නිසාත් සාවුල් දාවිත්ට බිය විය. 13 ඒ නිසා සාවුල් තමා වෙතින් දාවිත් අහක් කොට, ඔහු සහශ්‍රාධිපතියෙකු කෙළේ ය. දාවිත් මූලිකත්වය දරා සෙනඟ කැටුව සටනට ගියේ ය. 14 සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි නිසා ඔහු කළ හැම දේ සාර්ථක විය. 15 දාවිත් ජයගන්න බව සාවුල් දැක වඩ වඩා ඔහුට බිය විය. 16 එහෙත්, මුළු ඉශ්රායෙල් ජනයා ද ජුදා වැසියෝ ද දාවිත් ජයග්‍රාහී මූලිකයෙකු වූ බැවින් ඔහුට ප්‍රේම කළහ.

දාවිත් සාවුල්ගේ දුව සරණපාවා ගැනීම

17 සාවුල් දාවිත්ට කතා කොට, ”මෙන්න, මාගේ වැඩිමහල් දුව වන මේරබ් ඔබට භාර්යාව කොට දෙන්නෙමි. ඔබ මා උදෙසා වික්‍රමාන්විත ව සමිඳාණන් වහන්සේගේ යුද්ධවල සටන් කරන්නැ”යි කීවේ ය. සාවුල් එසේ කීවේ, ‘දාවිත් ඔහුගේ අතින් නොව පිලිස්තිවරුන්ගේ අතින් මරනු ලැබිය යුතු ය’යි අදහස් කළ බැවිනි.
18 දාවිත් සාවුල්ට පිළිතුරු දෙමින්, ”රජතුමාණන්ට බෑණා වන්නට මම කවරෙක් ද? ඉශ්රායෙල්හි සිටින මාගේ පියාගේ වංශයටත්, මාගේ ඥාතීන්ටත් ඇති වැදගත්කම කුමක් දැ”යි ඇසුවේ ය. 19 එහෙත්, සාවුල්ගේ දුව වන මේරබ් දාවිත්ට පාවා දෙන්නට නිසි කාලය පැමිණි විට, ඈ මෙහොලාතියේ වැසියෙකු වන අද්‍රියෙල්ට භාර්යාව කොට දෙන ලද්දී ය.
20 ඒ අතරතුරේ දී සාවුල්ගේ දුව මීකල් දාවිත්ට ආදරේ වූවා ය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් ඒ ගැන ප්‍රීති විය. 21 එවිට සාවුල්, ”මම මීකල් දාවිත්ට දෙන්නෙමි. ඈ උගුලක් අටවා පිලිස්තිවරුන් ලවා ඔහු මරවනු ඇතැ”යි අදහස් කරගෙන, දෙ වන වතාවටත් දාවිත්ට කතා කොට, ”ඔබ අද මාගේ බෑණා වන්නට ඕනෑ ය”යි කීවේ ය. 22 සාවුල් තමාගේ සේවකයන්ට අණ කරමින්, ”දාවිත් සමඟ රහසින් කතා කොට, රජ්ජුරුවෝ ඔබ කෙරෙහි ප්‍රිය මනාප ය. එතුමන්ගේ සියලු සේවකයෝ ද ඔබට කැමැති ය; එබැවින් රජ්ජුරුවන්ගේ බෑණා වන්න කියා කියන්නැ”යි කී ය.
23 සාවුල්ගේ සේවකයෝ එපවත් දාවිත්ට සැළ කළහ. දාවිත් පිළිතුරු දෙමින්, ”මම නම් වැදගැම්මක් නැති දිළිඳු කෙනෙක්මි. ඉතින් රජ්ජුරුවන්ගේ බෑණා වීම සුළුපටු දෙයක් නොවන බව ඔබට පෙනෙනු ඇතැ”යි කීවේ ය.
24 සාවුල්ගේ සේවකයෝ දාවිත් කී දේ ඔහුට දැන්නූ හ. 25 එවිට සාවුල් සේවකයන්ට අණ කරමින්, ”රජ්ජුරුවන්ගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සිය දෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට අන් කිසි දායාදයක් වුවමනා නැත කියා දාවිත්ට කියන්නැ”යි කී ය. සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්නට අදහස් කෙළේ මේ අයුරින් ය. 26 ඔහුගේ සේවකයන් මේ බව දාවිත්ට දැන්වූ කල දාවිත්, සාවුල් රජුගේ බෑණා වන්නට සතුටු විය. නියමිත කාලය ගත වන්නට පෙර, 27 දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය.
28 සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ සිටින බවත්, මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට ප්‍රිය බවත් සාවුල්ට හැඟී ගියේ ය. 29 ඒ නිසා සාවුල් වඩ වඩාත් දාවිත්ට භය වුණේ ය. සාවුල් ජීවිතාන්තය දක්වා ම දාවිත්ට වෛර කෙළේ ය.
30 පිලිස්තිවරුන්ගේ අධිපතීහු වරින් වර සටනට පැමිණියහ. ඔවුන් පැමිණි සෑම අවස්ථාවක දී ම දාවිත් සාවුල්ගේ සියලු සේවකයන්ට වඩා උසස් ලෙස ජය ගත්තේ ය. ඒ නිසා ඔහු ඉතා කීර්තිමත් කෙනෙක් විය.

– 19 වන පරිච්ඡේදය –

සාවුල් දාවිත් මරන්නට උත්සාහ කිරීම

1 දාවිත් මරන ලෙස සාවුල් තම පුත් ජොනතන්ටත්, තමාගේ සියලු සේවකයන්ටත් කීවේ ය. එහෙත්, සාවුල්ගේ පුත් ජොනතන් දාවිත්ට බොහෝ සේ ප්‍රේම කෙළේ ය. 2 ඔහු දාවිත්ට කතා කොට, ”මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේ ය. ඒ නිසා හෙට උදේ ප්‍රවේසම් වී රහසේ සැඟවී සිටින්න. 3 ඔබ සිටින කෙතෙහි මාගේ පියා ළඟට පැමිණ ඔබ ගැන මාගේ පියා සමඟ කතා කරන්නෙමි. ඔබට දන්වන්න යම් කරුණක් ඇත්නම් මම ඔබට දන්වන්නෙමි”යි දාවිත්ට කීවේ ය.
4 ජොනතන් තම පිය සාවුල්ට දාවිත්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කී ය: ”පිය රජතුමෙනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධ ව පව් නොකරන්න. මන්ද, ඔහු ඔබට විරුද්ධ ව පව් කෙළේ නැත. ඇරත් ඔහු කළ හැම ක්‍රියාවක් ම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය. 5 ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”
6 සාවුල් ජොනතන්ගේ බසට ඇහුම්කන් දී, ඔහු දාවිත් නොමරන බව සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කීවේ ය. 7 ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය.
8 නැවතත් යුද්ධයක් ඇති විය. දාවිත් පිටත් ව ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන් අතරේ මහා විනාශයක් කෙළේ ය. ඔව්හු ද ඔහු ඉදිරියෙන් පලා ගියහ.
9 දිනක් සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන නිවෙසේ හිඳින අතර සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහුට ආවේශ විය. දාවිත් තමාගේ වීණාව වාදනය කරමින් සිටියේ ය. 10 දාවිත් බිත්තියට ඇණ තබන අදහසින් සාවුල් හෙල්ලයෙන් දාවිත්ට අනින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, දාවිත් සාවුල් ඉදිරියෙන් අහකට පැන්නේ ය; හෙල්ලය බිත්තියට වැදුණේ ය. දාවිත් පලා ගොස් පණ බේරාගත්තේ ය.
11 එදා රෑ සාවුල්, දාවිත්ගේ නිවෙස මුර තියා පසු දින උදේ ඔහු මරන පිණිස සේවකයන් සමහර දෙනෙකු යැවී ය. මීකල් ඒ ගැන දාවිත්ට දන්වමින්, ”අද රාත්‍රියේ ඔබේ පණ බේරා නොගත්තොත්, හෙට ඔබ මරනු ලබනු ඇතැ”යි ඔහුට කීවා ය. 12 මීකල් ද දාවිත් කවුළුවෙන් පහළට බැස්සුවා ය. එවිට ඔහු ද පලා ගොස් ගැළවුණේ ය. 13 මීකල් තෙරපීම් රූපය රැගෙන ඇඳේ තබා, ඒකේ හිසට එළු ලොම් කොට්ටයක් තබා, එය රෙදිවලින් වැසුවා ය. 14 දාවිත් අල්ලාගෙන යන්නට සාවුල් එවූ සේවකයන් පැමිණි කල, ”ඔහු ලෙඩින් ය”යි ඈ කීවා ය. 15 ඔවුන්ගේ ඇසින් දාවිත් බලන පිණිස සාවුල් නැවතත් සේවකයන් යවා, ඔහු මරා දැමීම පිණිස, ”ඇඳ පිටින් ඔහු මා වෙත ගෙනෙන්නැ”යි කීවේ ය. 16 ඒ සේවකයෝ ගේ ඇතුළට ගිය කල, හිසට තබා තිබුණ එළු ලොම් කොට්ටය සමඟ තෙරපීම් රූපය ඇඳේ තිබෙන බව දුටුහ. 17 සාවුල් මීකල්ට කතා කොට, ”ඔබ මෙසේ මා රවටා, මාගේ සතුරාට ගැළවී යන්නට ඉඩ හැරියේ මන්දැ”යි ඇසී ය. මීකල් උත්තර දෙමින්, ” ‘ඔබ මට බේරී යන්නට උදව් නොකළොත් මම ඔබ මරන්නෙමි’යි ඔහු මට කී නිසා ය”යි කීවා ය.
18 දාවිත් ගැළවී පලා ගොස් රාමාහි සිටි සාමුවෙල් වෙත පැමිණ, සාවුල් තමාට කළ සියල්ල දැන්නුවේ ය. එවිට දාවිත් සහ සාමුවෙල් නායොත්ට ගොස් එහි විසූ හ. 19 ”දාවිත් රාමායේ නායොත්හි සිටින්නේ ය”යි සාවුල්ට දන්වන ලද්දේ ය. 20 දාවිත් අල්ලාගෙන එන පිණිස සාවුල් මිනිසුන් යැවී ය. ඔවුන් එහි පැමිණි කල්හි, දිවැස් වැකි පවසමින් සිටි දිවැසිවරුන් මණ්ඩලය ද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයා ව ද සිටින බව දුටු විට, දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් එවූ මිනිසුන් කෙරෙහි පැමුණුණේ ය. ඔව්හු ද දිවැස් වැකි පැවසුවෝ ය. 21 ඒ බව සාවුල්ට දැන්වූ කල, ඔහු වෙන සේවකයන් යැවී ය. ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ. සාවුල් නැවතත් තුන් වන වර සේවකයන් යැවී ය; ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ. 22 එවිට සාවුල් ද රාමාට ගොස් සේකුහි තිබෙන මහ ළිඳ ළඟට පැමිණ, ”සාමුවෙල් සහ දාවිත් මෙතැන සිටිත් දැ”යි ඇසී ය. ”අන්න, ඔව්හු රාමායේ නායොත්හි සිටිති”යි කෙනෙක් ඔහුට කීවේ ය. 23 සාවුල් රාමායේ නායොත්ට ගියේ ය. ඔහු මෙසේ යන අතර දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි ද පහළ විය. ඔහු රාමායේ නායොත්ට පැමිණෙන තුරු දිවැස් වැකි පවස පවසා ගියේ ය. 24 ඔහු තමාගේ ඇඳුම් ගලවා දමා, සාමුවෙල් ඉදිරියෙහි දිවැස් වැකි පවසා, ඒ මුළු දවාලේත්, ඒ මුළු රාත්‍රියේත් නග්න ව වැටී සිටියේ ය. ”සාවුලුත් දිවැසිවරයන් අතරේ දැ”යි යන කීම ඇති වූයේ මෙසේ ය.

– 20 වන පරිච්ඡේදය –

ජොනතන් දාවිත් ආරක්ෂා කිරීම

1 දාවිත් රාමායේ වූ නායොත්හි සිට පලා ගොස් ජොනතන් ළඟට පැමිණ, ”ඔබේ පියාණන් මා මරන්නට සොයන්නේ මා කුමක් කළ නිසා ද? මාගේ අපරාධය කිමෙක් ද? ඔහුට විරුද්ධ ව මා කළ පාපය කුමක් දැ”යි ඇසුවේ ය.
2 ජොනතන් පිළිතුරු දෙමින්, ”එවැන්නක් සිද්ධ නොවේ වා! ඔබ නොනසින්නෙහි ය. මාගේ පියා මට නොදන්වා ලොකු හෝ කුඩා හෝ කිසි දෙයක් නොකරන්නේ ය. එබැවින් මාගේ පියා මේ කාරණය මාගෙන් සඟවන්න වුවමනාවක් තිබේ ද? ‘මාගේ පියා ඔබ මරන්නට ඉන්නේ ය’ යන කීමේ සත්‍යයක් නැතැ”යි කීවේ ය.
3 දාවිත් පිළිතුරු දෙමින්, ”ඔබ මට ප්‍රේම කරන බව පියා හොඳාකාරයෙන් දන්නේ ය. ඒ නිසා ඔබේ සිත නොරිදවන පිණිස ඔහු මට කරන්න යන දෙය ඔබෙන් සඟවා ඇත. සැබැවින් ම මාත්, මරණයත් අතරේ ඇත්තේ එක මොහොතක් පමණ යයි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද ඔබට දිවුරා කියමි”යි කීවේ ය.
4 ජොනතන් ද, ”ඔබ කැමැති කොයි දෙයක් වුවත් ඔබ උදෙසා කරන්නෙමි”යි කී ය.
5 දාවිත් ජොනතන් අමතා මෙසේ කීවේ ය: ”හෙට අමාවක බැවින් මා නොවරදවා ම රජ්ජුරුවන් සමඟ කෑම වැළඳිය යුතු ව තිබේ. එහෙත්, තුන් වන දා සවස වන තුරු කෙතේ සැඟවී සිටින්නට මට යන්නට ඉඩ දෙන්න. 6 ඉදින් මා කොහේ ද කියා ඔබේ පියා ඇසුවොත්, ‘ඔහු තමාගේ නුවර වන බෙත්ලෙහෙමේ සිටින මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජා ඔප්පු කරන බැවින්, එහි ගොස් එන්නට උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේ ය’යි කියන්න. 7 ඉතින් ඔහු, ‘හොඳයි’ කීවොත්, ඔබේ මෙහෙකරු වන මට අනතුරක් නොවන බව එයින් පෙනෙනු ඇත. එහෙත්, ඔහු කිපුණොත්, ඔහු මට නපුරක් කරන්නට අදහස් කරගෙන සිටින බව එයින් පෙනෙනු ඇත. 8 ඒ නිසා කරුණා කොට ඔබේ මෙහෙකරුවා වන මට මේ උපකාරය කර මා සමඟ ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ කළ ගිවිසුම පවත්වන්න. එහෙත්, මා අතේ වරදක් ඇත්නම්, ඔබ ම මා මරන්න. ඔබේ පියා වෙත මා ගෙනයන්නේ කුමට ද?”
9 ජොනතන් ඊට පිළිතුරු දෙමින්, ”ඔබට එසේ නොවේ වා! ඔබට නපුරක් කරන්නට මාගේ පියා අදහස් කර සිටින බව මා ඇත්තට ම දන්නවා නම්, මා එය ඔබට දන්වන්නේ නැද්දැ”යි කී ය.
10 එවිට, දාවිත්, ”ඔබේ පියාණන් ඔබට උදහසින් උත්තර දුන්නොත් ඒ බව මට දන්වන්නේ කවරෙක් දැ”යි ජොනතන්ගෙන් ඇසී ය.
11 ජොනතන් ද, ”එන්න අපි කෙතට යමු”යි දාවිත්ට කී ය. ඔවුන් දෙදෙන ම කෙතට ගියහ. 12 ජොනතන් දාවිත් අමතා මෙසේ කීවේ ය: ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ සාක්ෂිකාරයාණෝ වන සේක් වා! හෙට හෝ අනිද්දා හෝ මේ වේලාවට පමණ මාගේ පියාගේ අදහස මා සොයා දැනගත් පසු, දාවිත්ට හොඳක් වන්නට තිබේ නම්, ඒ බව දන්වන පිණිස මම ඔබ වෙත පණිවුඩයක් එවන්නෙමි. 13 මාගේ පියා ඔබට නපුරක් කරන්නට අදහස් කර ඇත්නම්, ඔබ සාමදානයෙන් යන පිණිස මා ඒ බව ඔබට දන්වා ඔබ පිටත් කර නොහැරියොත්, සමිඳාණන් වහන්සේ ඉතා දරුණු ලෙස මට දඬුවම් කරන සේක් වා! සමිඳාණන් වහන්සේ මාගේ පියා සමඟ වැඩ සිටියාක් මෙන් ඔබ සමඟත් වැඩ සිටින සේක. 14 මා ජීවත් ව සිටිනවා නම්, මා නොනසින පිණිස සමිඳාණන් වහන්සේගේ දයා ප්‍රේමය මට දක්වන්න. 15 මා මැරුණොත්, මාගේ පවුලේ ඥාතීන් කෙරෙහි ඔබේ කරුණාව කවදාවත් පහ නොකරන්න. එසේ ය, සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සතුරන් එකිනෙකා මිහි පිටින් සිඳ දැමූ පසුත්, 16 ඔබත් මාත් අතර කළ ගිවිසුම නොකැඩී පවතී වා. එය කඩ කරනු ලැබුවොත්, සමිඳාණන් වහන්සේ ඔබට දඬුවම් කරන සේක.”
17 මෙසේ කී පසු දාවිත් තමාට ප්‍රේම කරන බවට ජොනතන් යළිත් ඔහුගෙන් දිවුරුම් ගත්තේ ය. එසේ කෙළේ, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ නිසා ය. 18 ඉන්පසු ජොනතන් දාවිත්ට මෙසේ කීවේ ය: ”හෙට අමාවක් දවස ය; ඔබේ ආසනය හිස් ව තිබුණොත්, ඔබ එහි නැති බව පෙනෙන්නේ ය. 19 අනිද්දා ඔබේ නොපැමිණීම වඩා හොඳට කැපී පෙනෙනු ඇත. ඒ නිසා ඔබ කලින් සැඟවී සිටි ස්ථානයට ගොස් එහි ඇති ගල් ගොඩ පිටුපස්සේ සැඟවී සිටින්න. 20 එවිට මම ඉලක්කයකට විදින්නාක් මෙන් එහි පැත්තකට ඊගස් තුනක් විදින්නෙමි. 21 ඉන්පසු ඊගස් සොයාගෙන එන පිණිස මාගේ සේවකයා යවන්නෙමි. මා සේවකයා අමතා ‘බලන්න, ඊගස් ඇත්තේ ඔබට මේ පැත්තෙන් ය; ඒවා ගන්නැ’යි කීවොත්, එයින් අදහස් කරන්නේ ඔබට අනතුරක් නැති බව ය. එබැවින් ඔබට පිට වී ආ හැකි ය. ඔබ කිසි අනතුරකට නොවැටෙන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි. 22 එහෙත්, සේවකයා අමතා, ‘ඊගස් ඇත්තේ ඔබට එහා පැත්තෙන් ය’යි කීවොත් පලා යන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවන සේක. 23 ඔබත් මාත් අතර කළ ගිවිසුම පිළිබඳ ව නම් එය සදහට ම පවතින බවට සමිඳාණන් වහන්සේ වග බලාගන්න සේක.”
24 ඔවුන් කතා කරගත් ලෙස දාවිත් කෙතෙහි සැඟවුණේ ය. අමාවක දවස පැමිණි විට රජතුමා කෑම කන්නට හිඳගත්තේ ය. 25 වෙන දා මෙන් ඔහු බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තේ ය. ජොනතන් රජු ඉදිරියෙන් ද අබ්නේර් රජුගේ පැත්තකින් ද හිඳගත්හ. දාවිත්ගේ අසුන හිස් ව තිබිණි. 26 එහෙත්, සාවුල් ඒ දවසේ දී කිසිවක් කීවේ නැත. මන්ද, ‘යම් දෙයක් සිදු වීම හේතුකොටගෙන ඔහු කිසි සේත් පවිත්‍ර නැතැ’යි කල්පනා කළ බැවිනි. 27 අමාවකට පසු දිනත්, දෙ වන දිනත් දාවිත්ගේ අසුන හිස් ව තිබිණි. සාවුල් තම පුත් ජොනතන්ට කතා කොට, ”ජෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මන්දැ”යි ඇසුවේ ය.
28 ජොනතන් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: ”දාවිත් බෙත්ලෙහෙමට යන පිණිස බැගෑපත් ව මාගෙන් අවසර ඉල්ලමින්, 29 ‘මට යන්න අවසර දුන මැනව; මන්ද, ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේ ය; මාගේ සහෝදරයා ද එහි එන්න මට අණ කෙළේ ය; එබැවින් ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී ඇත්නම්, මාගේ සහෝදරයන් දකින පිණිස මට අවසර ලැබේවා’යි අයැද සිටියේ ය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා ය.”
30 එවිට සාවුල්ගේ කෝපය ජොනතන්ට විරුද්ධ ව ඇවිළ, ”හිතුවක්කාර, අනාචාර ස්ත්‍රියකගේ පුත්‍රය, ඔබ ඔබට ලජ්ජාවත්, ඔබේ මෑණියන්ට ලජ්ජාව හා අගෞරවයත් පැමිණෙන ලෙස ජෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම් ව සිටින බව මා දන්නේ නැද් ද? 31 ජෙස්සේගේ පුත්‍රයා මිහි පිට ජීවත් ව සිටින තුරු ඔබ වත්, ඔබේ රජකම වත් ආරක්ෂා සහිත නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා වෙත ගෙන්වන්න; සැබැවින් ඔහු මරනු ලබන්නේ ය”යි කීවේ ය.
32 ජොනතන් තම පිය සාවුල්ට උත්තර දෙමින්, ”ඔහු මැරිය යුත්තේ මන් ද? ඔහු කළ වරද කුමක් දැ”යි ඇසී ය.
33 එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසි කෙළේ ය. තම පියා දාවිත් මරන්නට නියම කරගෙන සිටින බව එයින් ජොනතන් තේරුම්ගත්තේ ය. 34 ජොනතන් කෝපයෙන් දිළිහෙමින් මේසයෙන් නැඟිට ගොස් අමාවක දෙ වන දින වන එදා කෑම නොකා සිටියේ ය. තමාගේ පියා දාවිත්ට අගෞරව කළ බැවින් ඔහු දාවිත් ගැන ශෝක වුණේ ය. 35 පසු දින උදෑසන ජොනතන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේ දී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේ ය. 36 ඔහු ළමයාට කතා කොට, ”ඔබ දුව ගොස් මා විදින ඊගස් සොයාගෙන එන්නැ”යි කියා ළමයා දුවද්දී ඔහුට එහායින් ඊගසක් විද්දේ ය. 37 ජොනතන් ඊගස විද්ද තැනට ළමයා පැමුණුණ කල ජොනතන් ළමයාට මොරගසා, ”ඊගස ඔබට එහායින් තිබෙනවා නොවේ දැ”යි කීවේ ය. 38 යළිත් ජොනතන් ළමයාට මොරගසා, ”කඩිසර වී ඉක්මන් වන්න; ප්‍රමාද වන්නට එපා”යි කී ය. ළමයා ද ඊගස අහුලාගෙන තමාගේ ස්වාමියා ළඟට ආවේ ය. 39 ඒ සිද්ධියේ තේරුම කුමක් දැ යි ළමයා දැන නොගත්තේ ය. ජොනතන් හා දාවිත් පමණක් එය දැනගෙන සිටියහ. 40 ජොනතන් තමාගේ ආයුධ ළමයාට දී, ”ඒවා නුවරට ගෙන යන්නැ”යි ඔහුට කීවේ ය.
41 ළමයා ගිය පසු දාවිත් ගල් ගොඩ පිටුපසින් නික්ම අවුත් මුණින්තළා වී තුන්වරක් වැන්දේ ය. දාවිත් සහ ජොනතන් එකිනෙකා සිඹගෙන කඳුළු වගුරුවා ඇඬූ හ. දාවිත්ගේ ශෝකය ජොනතන්ගේ ශෝකයට වඩා අධික විය. 42 ජොනතන් දාවිත්ට කතා කොට, ”ඔබ ද මා ද ඔබේ පරම්පරාව ද මාගේ පරම්පරාව ද අප දෙදෙනා අතරේ කරගත් ගිවිසුම සදහට ම පවතින ලෙස සමිඳාණන් වහන්සේ සහතික කරන සේකැ”යි කී ය. එවිට දාවිත් නැඟිට පිටත් ව ගියේ ය. ජොනතන් ආපසු නුවරට ගියේ ය.

– 21 වන පරිච්ඡේදය –

දාවිත් සාවුල් වෙතින් පලා යෑම

1 දාවිත් නොබ්හි අහිමෙලෙක් නම් පූජකයා වෙත පැමිණියේ ය. අහිමෙලෙක් දාවිත් සමුවන්නට වෙවුලමින් අවුත්, ”කිසිවෙකු ඔබ සමඟ නැතිව ඔබ මෙහි තනියම ආවේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවේ ය.
2 දාවිත් පිළිතුරු දෙමින්, ”රජ්ජුරුවන්ගේ කටයුත්තක් සඳහා මම මෙහි ආවෙමි. එතුමා මා එවුවේ මන්දැ යි කිසිවෙකු දැන නොගන්න ලෙස වගබලා ගන්නැ යි මට අණ කෙළේ ය. මිනිසුන් සම්බන්ධයෙන් නම්, මා නියම කළ ස්ථානයක මා හමු වන්නැ යි මම ඔවුන්ට කීවෙමි. 3 දැන් ඔබ ළඟ තිබෙන්නේ මොනවා ද? මට රොටි පහක් හෝ වෙන තිබෙන දෙයක් හෝ දුන මැනවැ”යි අහිමෙලෙක් නම් පූජකයාට කීවේ ය.
4 පූජක තෙම දාවිත්ට පිළිතුරු දෙමින්, ”ශුද්ධ රොටි මිස වෙන රොටි මා ළඟ නැත: සේවකයෝ ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටියෝ නම්, ඒවා දෙන්නට පුළුවනැ”යි කීවේ ය.
5 දාවිත් ඔහුට පිළිතුරු දෙමින්, ”සැබැවින් ම අපි යම් ව්‍යාපාරයකට එළඹෙන විට ස්ත්‍රීහු අපෙන් වෙන් ව සිටිති. සාමාන්‍ය ව්‍යාපාරයක වුව ද සේවකයන්ගේ ශරීරය ශුද්ධ ව තිබෙන්නේ ය. එසේ නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් අද ඔවුන්ගේ ශරීරය ශුද්ධ නොවන්නේ දැ”යි ඔහුට කීවේ ය.
6 එවිට සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් අහකට ගන්න ලද පිදුම් රොටි මිස වෙන රොටි එහි නොතිබුණ බැවින් පූජකයා ශුද්ධ රොටි ඔහුට දුන්නේ ය. ඒවා අහකට ගන්න ලද්දේ, එම දවසේ දී ම ඒවා වෙනුවට උණු රොටි තබන පිණිස ය.
7 තවද, ඒ දවසේ දී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු වූ ඔහුගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම් ඒදොම් වැසියෙකු වන මිනිසෙක් ආගමික යුතුකමක් ඉටු කරන පිණිස එහි නැවතී සිටියේ ය.
8 දාවිත් අහිමෙලෙක්ට කතා කොට, ”මට දෙන්නට ඔබ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් හෝ තිබේ ද? රජ්ජුරුවන්ගේ අණ පරිදි නොපමා ව පිටත්වන්නට සිදු වුණ බැවින් කඩුවක් වත්, ආයුධයක් වත් මම නොගෙනාවෙමි”යි කීවේ ය.
9 පූජක තෙම පිළිතුරු දෙමින්, ”ඔබ ඒලා මිටියාවතේ දී මැරූ පිලිස්තියයා වූ ගොලියත්ගේ කඩුව මා ළඟ ඇත. එය රෙද්දකින් ඔතා ඒපොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්නට කැමැති නම් අරගන්න. ඒක මිස අන් කඩුවක් නැතැ”යි කීවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, ”ඊට සමාන අන් කඩුවක් නැත, ඒක මට දෙන්නැ”යි කීවේ ය.
10 දාවිත් පිටත් වී සාවුල්ට බියෙන් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජ වූ ආකීෂ් වෙත පැමිණියේ ය. 11 ආකීෂ්ගේ සේවකයෝ රජු අමතා, ”මොහු සිය දේශයෙහි රජ වූ දාවිත් නොවේ ද?
‘මැරී සාවුල්, දහස් ගණනක්
මැරී දාවිත් දස දහස් ගණනක් යැ’යි
කියමින් ස්ත්‍රීන් නටමින් එකිනෙකාට ගී කීවේ මොහු ගැන නොවේ දැ”යි කීවෝ ය. 12 දාවිත් ඒ වචන සිතට ගෙන ගාත්හි රජ වූ ආකීෂ්ට බොහෝ සේ බිය විය. 13 ඒ නිසා ඔහු ඔවුන් ඉදිරියෙහි ඔල්මාද වූවෙකු මෙන් හැසිරිණි; ඔවුන් ඔහු දමනය කරන්නට උත්සාහ කරන විට ඔහු පිස්සෙකු මෙන් ක්‍රියා කෙළේ ය; වාසල් දොර පහුරු ගෑවේ ය; තමාගේ කෙළ රැවුල දිගේ වැගිරෙන්න හැරියේ ය. 14 එවිට ආකීෂ් තමාගේ සේවකයන්ට කතා කොට, ”මේ මිනිසා පිස්සෙකු බව ඔබට පෙනෙන්නේ නැද් ද? ඔබ ඔහු මා ළඟට ගෙනාවේ කුමට ද? 15 මා ඉදිරියෙහි පිස්සු විකාර කරන්නට මොහු ගෙනාවේ පිස්සන් මට හිඟ නිසා ද? මොහු මාගේ ගෙට එන්නට යුතු දැ”යි කීවේ ය.

– 22 වන පරිච්ඡේදය –

1 දාවිත් ගාත් රටින් ගැළවී ගොස්, අදුල්ලාම්හි ගුහාවට පැමිණියේ ය. ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඒ අසා එහි ඔහු වෙත ගියෝ ය. 2 විපතට පත් වූ සියල්ලෝ ද ණයතුරුස් ඇති සියල්ලෝ ද අසහනයට පත් වූ සියල්ලෝ ද ඔහු වෙත රැස් වූ හ. දාවිත් ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ සිටියහ.
3 දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස්, මෝවබ් රජුට කතා කොට, ”දෙවියන් වහන්සේ මට කරන්නට යන්නේ කුමක් දැ යි මා දැනගන්න තුරු මාගේ මවුපියන්ට ඔබ වෙත අවුත් සිටින්නට අවසර ලැබේ වා”යි කී ය. 4 ඔහු මෝවබ් රජු වෙත ඔවුන් කැඳවාගෙන ගියේ ය. දාවිත් ගුහාවෙහි සැඟවී සිටි මුළු කාලය තුළ ඔව්හු රජු සමඟ වාසය කළහ.

දොවෙග් පූජකයන් මරා දැමීම

5 ගාද් නම් දිවැසිවරයා දාවිත් වෙත පැමිණ ඔහු අමතා, ”ගුහාවෙහි නොසිට ජුදා රටට පිටත් ව එන්නැ”යි කීවේ ය. එවිට දාවිත් පිටත් ව හෙරෙත් වනයට පැමිණියේ ය.
6 දාවිත් සහ ඔහු සමඟ වූ මිනිසුන් සිටින ස්ථානය එළිදරව් වූ බව සාවුල්ට සැළ විය. සාවුල් ඒ වේලාවේ තමාගේ හෙල්ලය අතේ ඇති ව ගිබියාවේ රාමාහි තිබුණු එශෙල් ගස යට ඉඳගෙන සිටියේ ය. ඔහුගේ සියලු සේවකයෝ ඔහු පිරිවරා සිටියහ. 7 සාවුල් තමා ළඟ සිටි සේවකයන්ට කතා කොට, ”බෙන්ජමින්වරුනි, සවන් දෙන්න; දාවිත් නම් ජෙස්සේගේ පුත්‍රයා ඔබ හැමට කෙත් ද මිදි වතු ද දෙනු ඇතැ යි ඔබ සිතන්නහු ද? ඔහු ඔබ සියල්ලන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද කරනු ඇතැ යි ඔබ සිතන්නහු ද? 8 එසේ නොවේ නම්, ඔබ සියල්ලන් මට විරුද්ධ ව කුමන්ත්‍රණය කරගෙන සිටින්නේ මන් ද? මාගේ පුත්‍රයා, දාවිත් සමඟ ගිවිසුමක් කර ගත් බව ඔබ අතරෙන් කිසිවෙකු මට කීවේ නැත. කිසිවෙකු මා ගැන සලකන්නේත් නැත. මාගේ ම සේවකයෙකු වන දාවිත් දැන් මා මරන්නට අවස්ථාවක් සොයමින් සිටින බවත්, මාගේ පුත්‍රයා ඔහුට අනුබල දෙන බවත් කිසිවෙකු මට කියා නැතැ”යි කීවේ ය.
9 ඒ අවස්ථාවේ දී සාවුල්ගේ මෙහෙකරුවන්ගේ ප්‍රධානියා ව සිටි ඒදොම්හි දොවෙග් පිළිතුරු දෙමින්, ”දාවිත් නොබ්හි සිටින අහිතුබ්ගේ පුත් වූ අහිමෙලෙක් වෙත පැමිණෙනු මම දිටිමි. 10 දාවිත් කළ යුත්තේ කුමක් දැ යි අහිමෙලෙක් සමිඳාණන් වහන්සේගෙන් විමසා ඔහුට ආහාර දී, පිලිස්තිවරයා වූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේ ය”යි කීවේ ය.
11 එවිට රජ තෙමේ අහිතුබ්ගේ පුත්‍ර වූ අහිමෙලෙක් නම් පූජකයාට ද නොබ්හි සිටි ඔහුගේ ඥාති පූජකයන් සියල්ලන්ට ද අඬගස්වා පණිවුඩයක් යැව්වේ ය. ඔව්හු සියල්ලෝ රජු වෙත පැමිණියහ. 12 එවිට සාවුල්, ”අහිතුබ්ගේ පුත්‍රය, අසන්නැ”යි කී ය. ඔහු, ”මාගේ ස්වාමීනි මම මෙහි ය”යි පිළිතුරු දුන්නේ ය.
13 සාවුල් ඔහු අමතා, ”ඔබ ද ජෙස්සේගේ පුත්‍රයා වන දාවිත් ද මට විරුද්ධ ව කුමන්ත්‍රණය කෙළේ මක්නිසා ද? ඔබ ඔහුට ආහාර ද කඩුවක් ද දුන්නෙහි ය. ඔහු උදෙසා දෙවියන් වහන්සේගෙන් විමසුවේ මන් ද? දැන් ඔහු මට විරුද්ධ ව හැරී අවස්ථාවක් එන තුරු බලා සිටින්නේ ය”යි කීවේ ය.
14 එවිට අහිමෙලෙක් පිළිතුරු දෙමින්, ”රජ්ජුරුවන්ගේ බෑණා වන ඔබේ මන්ත්‍රණ සභාවට ඇතුළත් වන රාජ සභාවේ සියල්ලන් විසින් ගරු කොට සලකනු ලබන දාවිත් මෙන් ඔබේ මෙහෙකරුවන් අතරෙන් විශ්වාස ව සිටින්නේ කවරෙක් ද? 15 මා ඔහු උදෙසා දෙවියන් වහන්සේගෙන් විමසන්න පටන්ගත්තේ මේ දවසේ පමණක් ද? කොහෙත් ම නැත. රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරු වූ මා කෙරෙහි වත්, මාගේ ඥාතීන් කිසිවෙකු කෙරෙහි වත් වරද නොතබත් වා. මන්ද, ඔබේ මෙහෙකරුවා මේ කැරලි ගැසීම ගැන කිසිවක් නොදන්නේ ය”යි කීවේ ය.
16 රජතුමා කතා කරමින්, ”අහිමෙලෙක්, ඔබ ද ඔබේ සියලු ඥාතීන් ද සැබැවින් ම මරණයට පත් කළ යුතු ය”යි කීවේ ය. 17 එසේ කියා රජතුමා තමා ළඟ සිටි මුරකාරයන්ට කතා කොට, ”ඔබ ළං වී සමිඳාණන් වහන්සේගේ පූජකයන් මරාදමන්න. මන්ද, ඔව්හු දාවිත් සමඟ එකතු ව සිටිති. ඔහු පලා යන බව දැනගෙනත් ඔවුන් මට එය එළිදරව් කෙළේ නැතැ”යි කීවේ ය. එහෙත්, රජුගේ සේවකයෝ සමිඳාණන් වහන්සේගේ පූජකයන්ට පහර දෙන්නට තමන්ගේ අත් ඔසවන්නට නොකැමති වූ හ. 18 එබැවින් රජ, ”ඔබ ළං වී පූජකයන්ට පහර දෙන්නැ”යි දොවෙග්ට කීවේ ය. ඒදොමිය දොවෙග් ළං වී පූජකයන්ට පහර දී සිහින් හණ රෙදි ඒපොද් සැට්ට ඇඳ සිටි අසූපස්දෙනෙකු ඒ දවසේ දී මැරුවේ ය. 19 ඔහු පූජකයන්ගේ නුවර වන නොබ්ටත් එනම්, එහි සිටි පුරුෂයන්ට හා ස්ත්‍රීන්ටත්, බාලයන්ට හා කිරි දරුවන්ටත්, ගවයන්ටත්, කොටළුවන්ටත්, බැටළුවන්ටත් කඩුවෙන් පහර දුන්නේ ය.
20 එහෙත්, අහිතුබ්ගේ පුත්‍රයා වන අහිමෙලෙක්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ අබියාතර් දාවිත් වෙත පලා ගියේ ය. 21 සාවුල් සමිඳාණන් වහන්සේගේ පූජකයන් මැරූ බව අබියාතර් දාවිත්ට දැන්නුවේ ය. 22 දාවිත් ඔහු අමතා,
”ඒදොමිය දොවෙග් එහි සිටිය බැවින් ඔහු සාවුල්ට නිසැකින් ම දන්වන බව මම ඒ දවසේ දී දැනගත්තෙමි. ඔබේ ඥාතීන්ගේ මරණයට හේතු වූයේ මම ය. 23 ඔබ මා ළඟ සිටින්න, බිය නොවන්න; මා මරන්න සොයන්නා ඔබත් මරන්න සොයන්නේ ය. එහෙත්, ඔබ මා ළඟ සුරක්ෂිත ව සිටින්නෙහි ය”යි අබියාතර්ට කීවේ ය.

 

– 23 වන පරිච්ඡේදය –

දාවිත් කෙයිලා නගරය ගළවාගැනීම

1 ”පිලිස්තිවරු කෙයිලා නගරයට විරුද්ධ ව යුද්ධ කරමින් කමත්වලින් ධාන්‍ය කොල්ලකන්නෝ ය”යි දාවිත්ට දන්වන ලදී. 2 එබැවින්, ”මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහර දෙන්න දැ”යි දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහර දී කෙයිලා නගරය ගළවාගන්නැ”යි දාවිත්ට වදාළ සේක.
3 එහෙත්, දාවිත්ගේ සෙනඟ ඔහුට කතා කොට, ”අපි මෙහි ජුදාහි වුව ද බියෙන් සිටිමු; පිලිස්තිවරුන්ගේ හමුදාවට විරුද්ධ ව අපි කෙයිලා නගරයට ගියොත් ඊට වඩා කොපමණ වැඩියෙන් බිය නොවන්නෙමු දැ”යි කී හ. 4 එවිට දාවිත් නැවතත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ”නැඟිට කෙයිලා නගරයට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවා දෙන්නෙමි”යි වදාළ සේක. 5 එවිට දාවිත් ද ඔහුගේ සෙනඟ ද කෙයිලා නගරයට ගොස් පිලිස්තිවරුන් සමඟ යුද්ධ කොට, ඔවුන්ගේ සිවුපාවුන් පැහැරගෙන, ඔවුන් අන්ත පරාජයට පමුණුවා කෙයිලාහි වැසියන් ගළවාගත්තේ ය.
6 අහිමෙලෙක්ගේ පුත් අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒපොද් සැට්ටයක් ඇති ව ආයේ ය.
7 දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් කතා කරමින්, ”දෙවියන් වහන්සේ දාවිත් මා අතට පාවා දී ඇත. මන්ද, ඔහු වාසල් දොරවල් ද අගුල් ද ඇති නුවරකට ඇතුළු වීමෙන් අසු වී සිටී”යි කීවේ ය. 8 දාවිත් සහ ඔහුගේ සෙනඟ වටලනු පිණිස සාවුල් කෙයිලා නගරයට යන්නට සියලු සෙනඟ යුද්ධය සඳහා කැඳෙව්වේ ය.
9 තමාට අනතුරු කරන්නට සාවුල් උපා යොදන බව දාවිත් දැන ගත් විට, ”ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි ඔහු පූජක අබියාතර්ට කීවේ ය. 10 එවිට දාවිත් මෙසේ පැවසුවේ ය: ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නගරය විනාශ කරන පිණිස එන්නට සැරසෙන බව ඔබේ මෙහෙකරු වන මට සැබැවින් සැළ වී තිබේ. 11 කෙයිලාහි ජනයා සාවුල් අතට මා පාවා දෙනවා ඇද් ද? ඔබේ මෙහෙකරු වන මට සැළ වී තිබෙන ලෙස සාවුල් එනවා ඇද් ද? ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුට දැන්වුව මැනව.” සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”සාවුල් එන්නේ ය”යි වදාළ සේක.
12 එවිට දාවිත්, ”කෙයිලාහි ජනයා මා සහ මාගේ සෙනඟ සාවුල් අතට පාවා දෙනවා ඇද් දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”එසේ ය, ඔවුන් පාවා දෙනු ඇතැ”යි වදාළ සේක.
13 එවිට දාවිත් හයසියයක් පමණ ඔහුගේ සෙනඟ ද රැගෙන කෙයිලා නගරයෙන් පිටත් වී තමන්ට යා හැකි ඒ ඒ තැන්වලට ගියහ. දාවිත් කෙයිලා නගරයෙන් ගැළවී ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එවිට ඔහු තමාගේ ගමන නතර කෙළේ ය.

දාවිත් පාළුකරයේ සැඟවී සිටීම

14 ශිප් පාළුකරය අසබඩ තිබූ කඳුකරයෙහි දාවිත් සැඟවී සිටියේ ය. සාවුල් හැමදා ම ඔහු සෙවුවේ ය. එහෙත්, දෙවියන් වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන් සේක.
15 සාවුල් තමා මරන්නට පිටත් ව ආ නිසා දාවිත් බිය පත් ව සිටියේ ය. එකල දාවිත් ශිප් කඳු රටේ තිබුණ හොරෙෂ්හි සිටියේ ය. 16 එවිට සාවුල්ගේ පුත් ජොනතන් හොරෙෂ්හි සිටි දාවිත් වෙත අවුත් දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔහු වෙත ඇතැ යි කියමින් ඔහු ධෛර්යවත් කෙළේ ය. 17 ජොනතන් ඔහුට කතා කරමින්, ”බිය නොවන්න; මන්ද, මාගේ පියා වන සාවුල්ගේ අතට ඔබ අසුවන්නේ නැත; ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වන්නට ඉන්නේ ඔබ ය; මම ද ඔබට දෙවැනියා වන්නෙමි; මාගේ පියා වන සාවුල් ද ඒ බව දන්නේ ය”යි ඔහුට කීවේ ය. 18 ඔවුන් දෙදෙනා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්හ. දාවිත් හොරෙෂ්හි නැවතී සිටියේ ය; ජොනතන් තමාගේ ගෙදරට ගියේ ය.
19 එවිට ශිප් වැසියෝ ගිබියාවෙහි සිටි සාවුල් ළඟට අවුත්, ”දාවිත් අපේ ප්‍රදේශයේ පාළුකරයට දකුණෙන් තිබෙන හකීලා නම් කැළෑවේ සැඟවී සිටී; 20 ඒ නිසා රජතුමෙනි, එනු මැනව; ඔබේ සිතෙහි ඇති මුළු කැමැත්ත ලෙස අව මැනව; රජ්ජුරුවන් අතට දාවිත් අල්ලා දීම අපේ වැඩක් ය”යි කීවෝ ය.
21 සාවුල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: ”ඔබ මට අනුකම්පා කළ නිසා සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා! 22 ඉතින් ඔබ ගොස් තවදුරටත් සෝදිසි කර, ඔහු ගැවසෙන ඔහුගේ ස්ථානයත්, එහි ඔහු සිටිනු දුටුවේ කවරෙක් ද කියාත් බලා දැනගන්න. මන්ද, ඔහු උපා යෙදීමට අති දක්ෂ බව මට දැනගන්නට ලැබී තිබේ. 23 ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් තැන් බලා නිසැක ව ම දැනගෙන මා ළඟට නැවත එන්න. එවිට මම ඔබ සමඟ ගොස් ඔහු රටේ සිටිනවා නම්, ජුදාහි සිටින සියලු ගෝත්‍රයන් එකින් එක විමසා බලා ඔහු සොයාගන්නෙමි.”
24 ශිප් වැසියෝ පිටත් ව සාවුල්ට පළමුවෙන් සිය නගරයට ගියහ. එහෙත්, දාවිත් සහ ඔහුගේ සෙනඟ පාළුකරයට දකුණු දිගින් අරබා සම භූමියෙහි තිබෙන මායොන් පාළුකරයෙහි සිටියහ. 25 සාවුල් ද ඔහුගේ සෙනඟ ද ඔහු සොයන පිණිස ගියහ. ඒ බව දාවිත්ට දන්වනු ලැබූ බැවින් ඔහු පර්වතයට බැස අවුත් මායොන් පාළුකරයෙහි සිටියේ ය. සාවුල් ඒ බව අසා දාවිත් ලුහුබැඳ මායොන් පාළුකරයට ගියේ ය. 26 සාවුල් සහ ඔහුගේ සෙනඟ කන්දේ එක පැත්තකින් ද දාවිත් සහ ඔහුගේ සෙනඟ කන්දේ අනික් පැත්තෙන් ද ගියහ. සාවුල් සහ ඔහුගේ සෙනඟ, දාවිත් සහ ඔහුගේ සෙනඟ අල්ලාගන්න පිණිස වට කළ නිසා, දාවිත් සාවුල්ට බියෙන් ගැළවී යන්නට ඉක්මන් කෙළේ ය. 27 ඒ අතරතුරේ දී සාවුල් වෙත පණිවුඩකාරයෙක් පැමිණ, ”ඉක්මනින් ආපසු අව මැනව; පිලිස්තිවරු අප රට ආක්‍රමණය කරති”යි කීවේ ය. 28 එබැවින් සාවුල් දාවිත් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා පැමිණ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටනට ගියේ ය. ඒ නිසා ඔව්හු ඒ ස්ථානයට වෙන් කිරීමේ පර්වතය යන අරුත ඇති සෙල-හම්මා-ලෙකොත් යන නම තැබූහ. 29 දාවිත් එතැනින් නික්ම ගොස් එන්ගෙදි බලකොටුවල සැඟවී සිටියේ ය.

– 24 වන පරිච්ඡේදය –

දාවිත් සාවුල් ගැළවීම

1 සාවුල් පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ආපසු හැරී ආ කල, ”දාවිත් එන්ගෙදියේ පාළුකරයේ සිටී ය”යි ඔහුට දන්වන ලද්දේ ය. 2 එවිට සාවුල් සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් තුන්දහසක් රැගෙන වල් එළුවන් ගැවසෙන පර්වතයේ නැගෙනහිරෙන් දාවිත් සහ ඔහුගේ සෙනඟ සොයන්නට ගියේ ය. 3 සාවුල් මාර්ගයෙහි තිබුණ බැටළු ගාලකට පැමිණ ශරීරකෘත්‍යය සඳහා එහි තිබුණු ගුහාවකට ඇතුළු විය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ගුහාවේ අහු මුලු වල සිටියෝ ය. 4 දාවිත්ගේ සෙනඟ කතා කොට, ”මෙන්න, හරි අවස්ථාව පැමිණ තිබේ. සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබේ සතුරා ඔබේ අතට පාවා දී ඇත. ඔබ කැමැති දෙයක් ඔහුට කරන්නට ඔබට හැකි ය”යි කී හ. එවිට දාවිත් නැඟිට සාවුල්ගේ සළුවේ කොන රහසින් කපා ගත්තේ ය. 5 සාවුල්ගේ සළුවේ කොන කපාගත් බැවින් පසුව දාවිත්ගේ සිත ඔහුට දොස් තැබුවේ ය. 6 ඔහු සිය සෙනඟට කතා කොට, ”සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධ ව අත් ඔසවා අනතුරක් කිරීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක්වා; මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා ය”යි කීවේ ය. 7 මෙසේ සාවුල්ට අනතුරක් කරන ලෙස දාවිත් තමාගේ සෙනඟට ඉඩ නෑර මේ වචනවලින් ඔවුන් වළක්වා ගත්තේ ය. සාවුල් ගුහාවෙන් පිටත් ව ගියේ ය.
8 ඉන්පසු දාවිත් නැඟිට ගුහාවෙන් පිටතට ගොස්, ”මාගේ ස්වාමීනි, රජ්ජුරුවන් වහන්සැ”යි හඬගැසුවේ ය. සාවුල් පස්සට හැරී බැලූ කල, දාවිත් මුණින්තළා වී වැඳ, 9 සාවුල්ට මෙසේ කීවේ ය: ” ‘දාවිත් ඔබට අනතුරු කරන්නට සොයන්නේ ය’යි කියන මිනිසුන්ගේ වචනවලට ඔබ සවන් දෙන්නේ මන් ද? 10 සමිඳාණන් වහන්සේ අද ගුහාවේ දී ඔබ මා අතට පාවා දුන් බව ඔබේ ඇස්වලින් ම මේ දවසේ දී පෙනෙනු ඇත. සමහරු ඔබ මරන්නට කියා මට කී හ. එහෙත්, මම ඔබට කරුණා කෙළෙමි. මන්ද, ‘මාගේ ස්වාමියා සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධ ව මාගේ අත ඔසවන්නේ නැතැ’යි මම කීමි. 11 තවද, මාගේ පියාණෙනි, මේ බලන්න, ඔබේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනව. මා ඔබ නොමරා, ඔබේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක් වත්, අපරාධයක් වත් නැති බව ද, මා ඔබට විරුද්ධ ව පව් නොකළ බව ද දැනගත මැනව. එසේ වුව ද මාගේ ප්‍රාණය නසන්නට ඔබ මා ලුහුබැඳ එන්නෙහි ය. 12 සමිඳාණන් වහන්සේ ඔබ හා මා අතරේ විනිශ්චය කොට, මට විරුද්ධ ව ඔබ ක්‍රියා කර ඇති බැවින්, ඔබට දඬුවම් කරන සේක්වා. මම නම් ඔබට කිසිම අනතුරක් නොකරමි. 13 පැරැණි ආප්තෝපදේශයේ හැටියට දුෂ්ටයාගෙන් දුෂ්ටකම නික්මෙයි. එහෙත්, මම ඔබට දුෂ්ටකමක් නොකරන්නෙමි. 14 ඉශ්රායෙල්වරුන්ගේ රජතුමා කවරෙකු ලුහුබැඳ එන්නේ ද? මළ බල්ලෙකු පස්සේ ද? බලුමැක්කෙකු පස්සේ ද? 15 සමිඳාණන් වහන්සේ විනිශ්චයකාරයාණන් වී මාගේ පැමිණිල්ල අසා ඔබත් මාත් අතරේ විනිශ්චය කර, ඔබේ අතින් මා ගළවන සේක් වා!”
16 දාවිත් මේ වචන සාවුල්ට කියා නිම කළ පසු සාවුල් කතා කොට, ”දාවිත්, මාගේ පුත්‍රය, ඔය ඔබේ හඬ ද?” කියා ශබ්ද නඟා හැඬුවේ ය. 17 ඔහු දාවිත්ට කතා කොට මෙසේ කීවේ ය: ”ඔබ මට වඩා දැහැමි ය. මන්ද, මා ඔබට නපුර කළ නමුත්, ඔබ මට යහපත කෙළෙහි ය. 18 සමිඳාණන් වහන්සේ ඔබ අතට මා පාවා දුන් විට පවා, ඔබ මා නොමරා, මට යහපත කළ බව අද ඔබ මට පෙන්වා දුන්නෙහි ය. 19 මිනිසෙකුට සිය සතුරා අසු වුණොත්, ඔහුට සුව සේ යන්නට ඉඩ හරියි ද? එබැවින් ඔබ අද දවසේ මට කළ මේ දේ නිසා සමිඳාණන් වහන්සේ ඔබට යහපත් විපාකයක් දෙන සේක් වා! 20 සැබැවින් ම ඔබ රජ වන බවත්, ඉශ්රායෙල්වරුන්ගේ රාජාධිපත්‍යය ඔබ අතේ ස්ථිර ව පවතින බවත් මම දනිමි. 21 ඒ නිසා මට පසුව එන මාගේ වංශය ඔබ විසින් සිඳ දමනු නොලබන ලෙසත්, මාගේ පිය වංශයෙන් මාගේ නාමය නැති කර නොදමනු ලබන ලෙසත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙන්න.” 22 දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේ ය. ඉක්බිති සාවුල් ගෙදර ගියේ ය; දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඔවුන් සැඟවී සිටි ස්ථානයට ගියහ.

– 25 වන පරිච්ඡේදය –

දාවිත් සහ නාබල්

1 සාමුවෙල් මියගියේ ය; සියලු ඉශ්රායෙල්වරු රැස් ව ඔහු ගැන වැළපී, රාමාහි තිබුණ ඔහුගේ නිවාසයෙහි ඔහු තැන්පත් කළහ.
ඉන්පසු දාවිත් පිටත් ව මායොන් පාළුකරයට බැස ගියේ ය. 2 සිය ධන සම්පත කර්මෙල්හි ඇති මිනිසෙක් මායොන්හි සිටියේ ය. ඔහු ධනකුවේරයෙකි; ඔහුට බැටළුවෝ තුන්දහසක් ද එළුවෝ දහසක් ද සිටියෝ ය. ඔහු කර්මෙල්හි තම බැටළුවන්ගේ ලොම් කප්පමින් සිටියේ ය. 3 ඒ මිනිසාගේ නම නාබල් ය; ඔහුගේ බිරිඳගේ නම අබිගායිල් ය. ඒ ස්ත්‍රිය බුද්ධිමත් රූමත් කාන්තාවක් වූවා ය. එහෙත්, ඇගේ පුරුෂයා තිරිසන් ගති ඇති නපුරු කෙනෙක් විය. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි. 4 නාබල් තම බැටළුවන්ගේ ලොම් කප්පන බව කාන්තාරයේ දී දාවිත්ට සැළ විය. 5 දාවිත් තරුණයන් දසදෙනෙකු යවමින් ඔවුන්ට මෙසේ කීවේ ය: ”ඔබ කර්මෙල් කන්දට ගොස්, නාබල් වෙත පැමිණ මාගේ නාමයෙන් ඔහුට ආචාර කරන්න. 6 ඔහුට ආචාර කරමින් ‘අපි ශුභ පැතීමට ඔබ වෙත එවනු ලැබීමු. ඔබේ පවුලට සාමදානය වේ වා! ඔබට ඇති සියල්ලටත් සාමදානය වේ වා! 7 ඔබට බැටළු ලොම් කපන්නන් සිටින බව ඇසීමු. ඔබේ බැටළු එඬේරු අප සමඟ සිටියහ; අප ඔවුන්ට හිංසා කෙළේ වත්, ඔවුන් කර්මෙල්හි සිටි මුළු කාලය තුළ දී ඔවුන්ට අයිති කිසිවක් නැති වුණේ වත් නැත. 8 ඒ ඔබේ සේවකයන්ගෙන් ඔබ විමසුවොත් ඔවුන් ඒ බව ඔබට කියනු ඇත. ඒ නිසා අපට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේ වා! මන්ද, අපි මංගල අවස්ථාවකට එළඹ සිටිමු. මෙහෙකරුවන්ටත්, ඔබේ පුත් දාවිත්ටත් ඔබට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමු’යි කියන්න.”
9 මෙසේ කී පසු දාවිත්ගේ තරුණයෝ පිටත් ව ගොස්, ඔහු කී පණිවුඩය ඔහුගේ නාමයෙන් නාබල්ට සැළ කර එහි නතර වූ හ. 10 නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට පිළිතුරු දෙමින්, ”දාවිත් කවරෙක් ද? ජෙස්සේගේ පුත්‍රයා කවරෙක් ද? මේ කාලයේ තම තමන්ගේ ස්වාමීවරුන් වෙතින් පලා යන මෙහෙකරුවෝ බොහෝ වෙති. 11 එසේ වී නම්, මා මාගේ රොටි ද වතුර ද මාගේ බැටළු ලොම් කපන්නන් උදෙසා මා මැරූ සතුන්ගේ මස් ද රැගෙන, කොතැනින් ආවා ද කියා මා නොදන්න මිනිසුන්ට දෙන්නට දැ”යි ඇසුවේ ය.
12 එවිට දාවිත්ගේ තරුණයන් හැරී ගොස් දාවිත් වෙත පැමිණ නාබල් කී දේ ඔහුට සැළ කළහ. 13 එවිට දාවිත්, ”ඔබ එකිනෙකා තම තමාගේ කඩුව ගන්නැ”යි තමාගේ තරුණයන්ට කී ය. ඔව්හු හැම දෙන ම තම තමන්ගේ කඩු ගත්හ. දාවිත් ද තමාගේ කඩුව ගත්තේ ය. මිනිස්සු හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝ ය; දෙසියයක් භාණ්ඩ ළඟ නැවතී සිටියහ.

අබිගායිල්ට දාවිත් මුණගැසීම

14 නාබල්ගේ මෙහෙකරුවන්ගෙන් එක් කෙනෙක් ඔහුගේ බිරිඳ වූ අබිගායිල්ට මෙසේ කීවේ ය: ”අප ස්වාමියාට ආචාර කරන පිණිස දාවිත් කාන්තාරයේ සිට පණිවුඩකාරයන් එව්වේ ය. එහෙත්, ඔහු ඔවුන්ට බැණ වැදුණේ ය. 15 ඒ තරුණයෝ නම් ඉතා හොඳින් අපට සැලකුවෝ ය. අපි කෙත්වල සිටිය දී ඔවුන් සමඟ ගැවසුණ මුළු කාලයේ දී අපට අනතුරක් වුණේ වත්, අපෙන් කිසිවක් නැති වුණේ වත් නැත. 16 අප බැටළුවන් බලාගනිමින් ඔවුන් සමඟ සිටි මුළු කාලයේ, ඔව්හු රෑ දවල් දෙක්හි අපට උපකාරයක් මෙන් සිටියහ. 17 ඒ නිසා දැන් ඔබ ඒ කරුණු දැනගෙන කුමක් කටයුතු දැ යි කල්පනා කළ මැනව. මන්ද, අපේ ස්වාමියාටත්, ඔහුගේ මුළු පවුලටත් විරුද්ධ ව අනතුරක් කිරීමට නියම කර ඇත. අපේ ස්වාමියා කොතරම් දුර්ජනයෙක් ද කීවොත්, ඔහු සමඟ කිසිවෙකුට කතා කරන්නට නොහැකි ය.”
18 එවිට අබිගායිල් කඩිනමින්, රොටි දෙසියයක් ද මිදියුස බඳුන් දෙකක් ද කෑමට පිළියෙළ කළ බැටළුවන් පස්දෙනෙකු ද විලඳ නැළි පහක් ද වියළි මුද්‍රික පල පොකුරු සියයක් ද අත්තික්කා කැටි දෙසියයක් ද රැගෙන, ඒවා කොටළුවන් පිට පැටෙවුවා ය. 19 එසේ කර ඈ වැඩකාරයන් අමතා, ”ඔබ මට පෙරටුව යන්න. මම ඔබ පස්සෙන් එන්නෙමි”යි කීවා ය. ඒ ගැන කිසිවක් ඈ සිය පුරුෂයාට කීවේ නැත.
20 ඈ කොටළුවා පිට නැඟී කඳු ගැටයකින් බැස යද්දී හදිසියේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඈ ඉදිරියට බැස ආවෝ ය. ඈ ද ඔවුන්ට මුණගැසුණා ය. 21 දාවිත් මෙසේ ඉටාගෙන සිටියේ ය: ”සැබැවින් පාළුකරයේ දී මේ මිනිසාට අයිති සියල්ල මම ආරක්ෂා කෙළෙමි. කිසිවක් නැති නොවන ලෙස මොහු සන්තක සියල්ල මා ආරක්ෂා කිරීම නිෂ්ඵල ය. එසේ වුව ද මා මොහුට කළ යහපතට ඔහු මට අයහපතක් කර ඇත. 22 මා මොහුගේ සියලු පිරිමින්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන සේ හෙට එළි වන්නට පෙර මරා නොදැම්මොත් දෙවියන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා.”
23 අබිගායිල් දාවිත් දුටු විට ඉක්මනින් කොටළුවා පිටින් බැස දාවිත් ඉදිරියෙහි මුණින්තළා වැඳ වැටුණා ය. 24 ඈ ඔහුගේ පාමුල වැටී මෙසේ කීවා ය: ”මාගේ ස්වාමීනි, ඒ අපරාධය මා පිට, මා පිට ම වේ වා; ඔබට කතා කරන්නට ඔබේ මෙහෙකාරියට අවසර ලැබේ වා. ඔබේ මෙහෙකාරීගේ වචන ඇසුව මැනව. 25 මාගේ ස්වාමීනි, නාබල් නම් ඒ දුර්ජන මිනිසා ගැන නොසැලකුව මැනව. ඔහුගේ නාමය යම් සේ ද, ඔහුගේ ගතියත් එසේ ම ය; ඔහුගේ නම නාබල් ය. එහි තේරුම අනුව ඔහු තිරිසනෙකි; මාගේ ස්වාමීන් වන ඔබ විසින් එවන ලද තරුණයන් ඔබේ මෙහෙකාරී වන මම නුදුටිමි. 26 දැන් මාගේ ස්වාමීනි, ලේ වැගිරීමේ අපරාධයෙන් ද ඔබේ ම අතින් පළිගැනීමෙන් ද සමිඳාණන් වහන්සේ ඔබ වැළැක්වූ සේකැ යි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි. එබැවින් ඔබේ සතුරො‍් ද මාගේ ස්වාමියා වන ඔබට අන්තරා කරන්නට සොයන්නා ද නාබල් මෙන් තිරිසන්නු වෙත් වා. 27 ඉතින් ඔබේ මෙහෙකාරී වන මා විසින් මාගේ ස්වාමියා වන ඔබට ගෙනෙන ලද මේ තෑග්ග මාගේ ස්වාමියා වන ඔබ පස්සේ යන තරුණයන්ට දුන මැනව. 28 ඔබේ මෙහෙකාරීගේ වරදට කමා වුණ මැනව. මාගේ ස්වාමියා වන ඔබ සමිඳාණන් වහන්සේගේ යුද්ධ කරන බැවින් සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ස්ථිර වංශයක් නංගවා දෙන සේක් ම ය. ඔබ ජීවත් ව සිටින මුළු කාලයේ දී ඔබ අත කිසි නපුරක් දකිනු නොලබන්නේ ය. 29 ඔබ ලුහුබැඳ අවුත් ඔබේ ප්‍රාණය හානි කරන්නට යම් මිනිසෙකු තැත් කළොත්, කෙනෙකු ඔහුගේ වටිනා වස්තුව ආරක්ෂා කරන සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබේ ප්‍රාණය ආරක්ෂා කරන සේක. උන් වහන්සේ ඔබේ සතුරන්, ගල් පටියකින් විදින ගල් සේ වීසි කරදමන සේක් වා! 30 සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබ ගැන වදාළ සියලු යහපත්කම් ඉෂ්ට කර, ඔබ ඉශ්රායෙල්වරුන් කෙරෙහි අධිපතියා වශයෙන් පත් කළ කල්හි 31 මාගේ ස්වාමියා වන ඔබ නිකරුණේ ලේ වැගිරෙව්වෙහි ය කියා වත්, තමා අතින් පළිගත්තේ ය කියා වත් ඒ ගැන ඔබට සිත් වේදනාවක් වත්, ශෝකයක් වත් නොවනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ආශීර්වාද කළ කල්හි ඔබේ මෙහෙකාරී වන මා සිහි කළ මැනව.”
32 දාවිත් අබිගායිල්ට මෙසේ පිළිතුරු දුන්නේ ය: ”මා සම්බ වන පිණිස අද දවසේ ඔබ එවා වදාළ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! 33 ඔබේ දැනුමැතිකමට ද ස්තුති වේ වා! ලේ වගුරුවා මාගේ අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැළකු ඔබට ආශීර්වාද වේ වා! 34 ඔබට හිංසා කිරීමෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මා වැළකු සේක. ඔබ කඩිනමින් මා සම්බ වන්නට නාවා නම්, නාබල්ට අයිති එක පිරිමියෙක් වත් හෙට එළි වන විට ඉතුරු නොවන්නේ යයි උන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.” 35 මෙසේ කියා දාවිත් අබිගායිල් තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන, ”ඔබේ ගෙදරට ශාන්ති සිතින් යන්න; මම ඔබේ හඬට සවන් දී ඔබ කී දේ පිළිගතිමි”යි කීවේ ය.
36 අබිගායිල් නාබල් වෙත පැමිණියා ය. එවිට රාජ මංගල්‍යයක් මෙන් ඔහු තම ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේ ය. නාබල් හොඳට ම මත් වී සිටි බැවින් ඔහු ප්‍රීති ලීලාවෙන් සිටියේ ය. එබැවින් පසු දා එළි වන තුරු ඈ ඔහුට කිසිවක් දැන්නුවේ නැත. 37 පසු දා නාබල්ගේ වෙරි සිඳුණ කල ඈ ඔහුට සියලු දේ සැළ කළා ය. එවිට ඔහු හදිස්සි ආබාධයකින් දරදඬු විය. 38 ඊට දස දවසකට පමණ පසු සමිඳාණන් වහන්සේ නාබල්ට පහර දුන් සේක; ඔහු මළේ ය.
39 නාබල් මළ බව දාවිත් අසා, ”නාබල් අතින් මට වූ නින්දාව ගැන යුක්තිය ඉටු කළ, තමන් වහන්සේගේ මෙහෙකරුවා නපුරෙන් වැළකූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ නාබල්ගේ නපුරුකම් ඔහුගේ ම හිස පිටට හැරෙවූ සේකැ”යි කී ය.
දාවිත් අබිගායිල් සරණපාවා ගන්න අදහසින් ඒ ගැන ඈ සමඟ කතා කරගන්නට පණිවුඩකාරයන් යැව්වේ ය. 40 දාවිත්ගේ සේවකයෝ කර්මෙල් කන්දෙහි අබිගායිල් වෙත පැමිණ ඈට කතා කරමින්, ”දාවිත් ඔබ සරණපාවා ගැනීමේ අදහසින් ඔබ කැඳවාගෙන එන පිණිස ඔබ වෙත අප එව්වේ ය”යි කී හ.
41 අබිගායිල් නැඟිට මුණින්තළා වී, ”එතුමාගේ දාසි වන මම එතුමාගේ සේවකයන්ගේ පාද සේදීමට සූදානම් ය”යි කීවා ය. 42 එවිට අබිගායිල් කඩිනමින් කොටළුවෙකු පිට නැඟී පිටත්වුණා ය. ඇගේ තරුණියෝ පස්දෙනෙක් ද ඈ සමඟ ගියහ. එසේ ඈ දාවිත්ගේ පණිවුඩකාරයන් කැටුව ගොස් ඔහුගේ භාර්යාව වූවා ය.
43 දාවිත් ජෙශ්‍රෙයෙල්හි අහිනොවම් ද සරණපාවාගෙන සිටියේ ය. ඈ ද අබිගායිල් ද යන දෙදෙනා ම ඔහුට භාර්යාවෝ වූ හ. 44 සාවුල් විසින් දාවිත්ගේ බිරිඳ ව සිටි මීකල් නම් තමාගේ දුව ගල්ලිම්හි විසූ ලායිෂ්ගේ පුත් පල්තීට භාර්යාව කොට දෙන ලද්දී ය.

 

– 26 වන පරිච්ඡේදය –

දාවිත් යළිත් සාවුල් ගැළවීම

1 ශිප්වරු ගිබියාවේ සිටි සාවුල් වෙත පැමිණ, ”දාවිත් මරුකතර ඉදිරියේ හකීලා හෙලේ සැඟවී සිටින්නේ ය”යි දැන්නූ හ. 2 එවිට සාවුල් පිටත් වී, ඉශ්රායෙල් දේශයෙන් තෝරාගත් තුන්දහසක් පිරිවරා ශිප් පාළුකරයෙහි දාවිත් සොයන පිණිස එතැනට ගියේ ය. 3 සාවුල් පාළුකරය ඉදිරිපිට මාර්ගය ළඟ තිබෙන හකීලා හෙලේ කූඩාරම් ගසාගත්තේ ය. දාවිත් පාළුකරයේ සිටියේ ය. සාවුල් තමා සොයමින් පාළුකරයට ඇවිත් සිටින බව දාවිත්ට දැනගන්නට ලැබිණි, 4 ඔහු ඔත්තුකාරයන් යවා සාවුල් ඇත්තට ම ඇවිත් සිටින බව දැනගත්තේ ය. 5 එවිට දාවිත් පිටත් වී සාවුල් කූඩාරම් ගසාගෙන සිටි ස්ථානයට අවුත්, සාවුල් ද ඔහුගේ සෙන්පතියා වූ නේර්ගේ පුත් අබ්නේර් ද නිදා උන් ස්ථානය දුටුවේ ය. සාවුල් කඳවුර ඇතුළේ වැදහොත්තේ ය; සෙනඟ ඔහු වට කර කූඩාරම් ගසාගෙන සිටියහ.
6 එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයිටත් කතා කොට, ”මා සමඟ සාවුල් ළඟට කඳවුරට යන්නේ කවරෙක් දැ”යි ඇසී ය. ”මම ඔබ සමඟ යමි”යි අබිෂයි පිළිතුරු දුන්නේ ය.
7 මෙසේ දාවිත් ද අබිෂයි ද රාත්‍රියෙහි සාවුල්ගේ කඳවුරට පිවිස, සාවුල් තමාගේ හෙල්ලය තම හිස ළඟ බිම සිටුවා කඳවුර මැද නිදාගෙන සිටිනු දුටුවෝ ය. අබ්නේර් සහ සෙනඟ ඔහු වටකර නිදා උන්හ. 8 එවිට අබිෂයි දාවිත්ට කතා කොට, ”දෙවියන් වහන්සේ අද ඔබේ සතුරා ඔබ අතට පාවා දුන් සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමට ම ඇණ දමන්නට මට අවසර දුන මැනව; ඔහුට පහර දෙකක් ගසන්නට වුවමනා නැතැ”යි දාවිත්ට කීවේ ය.
9 දාවිත් පිළිතුරු දෙමින්, ”ඔහු නොනසන්න; සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව සිය අත ඔසවා නිදොස් ව සිටින්නට හැකි කාට දැ”යි අබිෂයිට කීවේ ය. 10 තවදුරටත් ඔහු කතා කරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මෙසේ කී ය: ”ඔහු මැරෙන්නට නියම දවස පැමිණි විට හෝ ඔහු යුද්ධයට ගොස් නසින විට හෝ සමිඳාණන් වහන්සේ ම ඔහුට පහර දෙන සේක; 11 මාගේ අත සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව එසවීමෙන් උන් වහන්සේ මා වළක්වන සේක් වා! ඔහුගේ හිස ළඟ තිබෙන හෙල්ලයත්, වතුර භාජනයත් අරගෙන අපි යමු.” 12 මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබුණ හෙල්ලයත්, වතුර භාජනයත් ගෙන පිට වී ගියේ ය. එය කිසිවෙකු දුටුවේ වත්, දැනගත්තේ වත් නැත. කිසිවෙකු පිබිදුණේත් නැත; සමිඳාණන් වහන්සේ බර නින්දකට සියලු දෙනා පත්කර තිබුණ බැවින් ඔව්හු සියල්ලෝ ම නිදාගෙන සිටියහ.
13 එවිට දාවිත් අනික් පැත්තට ගොස් කන්ද මුදුනේ දුරින් සිටියේ ය. දෙගොල්ල අතරේ මහා පරතරයක් විය. 14 ඉන්පසු දාවිත් සාවුල්ගේ සෙනඟටත්, නේර්ගේ පුත් අබ්නේර්ටත් මොරගසා, ”අබ්නේර්, මට පිළිතුරු දෙන්නැ”යි කී ය. අබ්නේර් ද පිළිතුරු දෙමින්, ”රජ්ජුරුවන්ට අඬගසන ඔබ කවරෙක් දැ”යි ඇසුවේ ය.
15 දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය; ”ඔබ මිනිසෙක් නොවේ ද? ඉශ්රායෙල්හි ඔබ හා සමාන අන් කෙනෙක් සිටී ද? එසේ නම් ඔබේ ස්වාමියා වන රජ්ජුරුවන් ඔබ රැක බලා නොගත්තේ මන් ද? ඔබේ ස්වාමීන් වන රජ්ජුරුවන් නසන පිණිස සෙනඟගෙන් කෙනෙක් ඇතුළු විය. 16 ඔබේ යුතුකම ඔබ නොකෙළෙහි ය. ඔබ හැම දෙන සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන ඔබ හැමගේ ස්වාමියා රැක බලා නොගත් නිසා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි, ඔබ හැම මරණයට සුදුස්සෝ ය. රජ්ජුරුවන්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත්, වතුර භාජනයත් දැන් කොහේ ද කියා බලන්න.”
17 දාවිත්, මෙසේ කී පසු සාවුල් දාවිත්ගේ කට හඬ හැඳිනගෙන, ”මාගේ පුත, ඔය ඔබේ කට හඬ දැ”යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය: ”මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඒ මාගේ කට හඬ ය. 18 මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා ලුහුබැඳ එන්නේ මක්නිසා ද? මා කෙළේ කුමක් ද? මා කළ අපරාධය කුමක් ද? 19 මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබේ මෙහෙකරුවා වන මාගේ වචනවලට සවන් දෙන්න. ඔබ තුමා මට විරුද්ධ ව පෙළඹුවේ සමිඳාණන් වහන්සේ නම්, උන් වහන්සේ පූජාවක් පිළිගන්න සේක් වා! එහෙත්, ඔබ තුමා පෙළඹෙව්වේ මනුෂ්‍යයෝ නම්, ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාපලද්දෝ වෙත් වා. මන්ද, ඒ මිනිස්සු, ‘ඔබ ගොස් අන් දෙවිවරුන්ට නමස්කාර කරන්න’ කියා මට දැන් සමිඳාණන් වහන්සේගේ උරුමයට හිමිකමක් නැති වන හැටියට මා පන්නාදැමූ හ. 20 සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් දුරු ව විදේශිකයෙකු මෙන් මාගේ ලේ බිම හැළෙන්නට ඉඩ නුදුන මැනව. කඳුවල වටුවෙකු පස්සේ එළවා යන්නෙකු මෙන් මා වැනි බලුමැක්කෙකු මැරීමට ඉශ්රායෙල්හි රජතුමා පිටත් ව එන්නේ කුමට ද?”
21 එවිට සාවුල් පිළිතුරු දෙමින්, ”මම පව් කෙළෙමි; මාගේ පුත් දාවිත්, හැරී එන්න. අද දවසේ ඔබ මාගේ ප්‍රාණය ගරු කොට සැලකූ නිසා ඔබට තවත් මම හිංසා නොකරමි. මම මෝඩයෙකු මෙන් හැසිර, බොහෝ සේ මුළා වීමි”යි කීවේ ය.
22 දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය: ”රජ්ජුරුවන්ගේ හෙල්ලය මෙන්න. තරුණයන්-ගෙන් එක් කෙනෙක් මෙහි ඇවිත් ඒක ගෙන ගියා වේ. 23 සමිඳාණන් වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ දැහැමිකම හා විශ්වාසවන්තකම ලෙස විපාක දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ අද ඔබ මා අතට පාවා දුන් නමුත්, මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව අත ඔසවන්නට කැමැති නොවීමි. 24 ඉතින් අද දවසේ ඔබේ ප්‍රාණය මා ගරු කොට සැලකුවාක් මෙන් මාගේ ප්‍රාණය ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි දී ගරු කොට සලකනු ලැබේවා. උන් වහන්සේ සියලු විපත්තිවලින් මා ගළවන සේක් වා!”
25 එවිට සාවුල් කතා කොට, ”දාවිත්, මාගේ පුත්‍රය, ඔබට ආශීර්වාද වේ වා! ඔබ ඉමහත් දේ කරන්නෙහි ය; ඒකාන්තයෙන් ම ජය ගන්නෙහි ය”යි දාවිත්ට කී ය. ඉන්පසු දාවිත් යන්නට ගියේ ය; සාවුල් ද සිය නිවෙසට හැරී ගියේ ය.

– 27 වන පරිච්ඡේදය –

දාවිත් පිලිස්තිවරුන් අතරේ විසීම

1 දාවිත්ගේ සිතෙහි මෙවැනි කල්පනාවක් ඇති විය: ”යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේ ය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවී යාම මිස වෙන හොඳ විධියක් මට නැත. එවිට සාවුල් මුළු ඉශ්රායෙල් දේශය පුරා තවදුරටත් මා සොයා යෑමෙන් මත්තට වළකිනු ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවී යෑමට මට පුළුවන් වන්නේ ය.” 2 මෙසේ සිතූ පසු දාවිත් ද ඔහු සමඟ සිටි මිනිස්සු හත්සියය ද පිටත් වී මායොක්ගේ පුත් ගාත්හි රජ වූ ආකීෂ් වෙත ගියහ. 3 දාවිත් සහ ඔහුගේ සෙනඟ ද ඔවුනොවුන්ගේ පවුල් ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාව ව සිටි කර්මෙලීය අබිගායිල් ද ආකීෂ් රජු සමඟ ගාත්හි විසූ හ.
4 දාවිත් ගාත්ට පලා ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එබැවින් ඔහු තවත් දාවිත් නොසෙව්වේ ය.
5 දාවිත් ආකීෂ් රජුට කතා කොට, ”ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේ නම්, මට වාසය කිරීමට පිටිසර නුවරක යම් ස්ථානයක් ලැබේවා. ඔබේ මෙහෙකරුවා ඔබ සමඟ රජ නුවර වාසය කරන්නේ කුමට දැ”යි කීවේ ය. 6 ආකීෂ් රජු ද ඒ දවසේ දී ශික්ලග් නුවර දාවිත්ට දුන්නේ ය. ඒ නිසා ශික්ලග් නුවර අද දක්වා ජුදාහි රජවරුන්ට අයිති ය. 7 දාවිත් පිලිස්තිවරුන්ගේ රටේ විසූ මුළු කාලය එක් අවුරුදු හාර මාසයකි.
8 දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිටත් ව ගෙෂුර්වරුන්ට ද ගිර්ශිවරුන්ට ද අමලෙක්වරුන්ට ද විරුද්ධ ආක්‍රමණයේ දී කොල්ලකෑමට ගියෝ ය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වා ද මිසර දේශය දක්වා ද යන ප්‍රදේශයේ පෙර සිට වාසය කළහ. 9 දාවිත් පුරුෂයෙකු වත්, ස්ත්‍රියක වත් ඉතිරි නොකර ඒ ප්‍රදේශයේ සියල්ලන් මරා දමා, බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද ඔටුවන් ද වස්ත්‍ර ද පැහැරගෙන හැරී ආකීෂ් රජු වෙත පැමිණියේ ය. 10 ”අද ඔබ කොයි පළාතට විරුද්ධ ව කොල්ලකෑම සඳහා ගියහු දැ”යි ආකීෂ් රජ ඇසුවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, ”ජුදාහි දකුණු දිශාවට ද ජෙරාමෙයෙල්වරුන්ගේ දේශයේ දකුණු දිශාවට ද කේනිවරුන්ගේ දේශයේ දකුණු දිශාවට ද විරුද්ධ ව ගියෙමු”යි කී ය. 11 ගාත් නුවරට ගෙනෙන පිණිස දාවිත් පුරුෂයෙකු වත්, ස්ත්‍රියක වත් ඉතුරු කෙළේ නැත. මන්ද, ”දාවිත් මේ මේ ආකාර දේ කෙළේ ය කියා ඔවුන් අපට විරුද්ධ ව කරුණු දන්වන්නට පුළුවනැ”යි ඔහු සිතූ බැවිනි. දාවිත් පිලිස්තිවරුන්ගේ රටේ විසූ මුළු කාලය තුළ ක්‍රියා කෙළේ මේ ආකාරයෙනි. 12 ආකීෂ් දාවිත් කෙරෙහි විශ්වාසය තබා, ”ඔහු තමාගේ ම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පිළිකුල මුළුමනින් ම තමා පිට පමුණුවාගෙන ඇති බැවින් ඔහු සෑම කල්හි ම මාගේ මෙහෙකරුවා වනු ඇතැ”යි සිතාගත්තේ ය.

 

– 28 වන පරිච්ඡේදය –

මන්ත්‍රකාරියගේ ගුරුකම් ගැනීම

1 ඒ දවස්වල දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස තමන්ගේ සේනා යුද්ධය සඳහා රැස් කළහ. ආකීෂ් දාවිත්ට කතා කොට, ”ඔබ සහ ඔබේ සෙනඟ මාගේ හමුදාව කැටුව සටනට යා යුතු බව ඔබට දන්වා ඇතැ”යි කීවේ ය. 2 දාවිත් පිළිතුරු දෙමින්, ”එසේ නම් ඔබේ මෙහෙකරුවා කරන දෙය ඔබ දැනගනු ඇතැ”යි ආකීෂ්ට කී ය. ආකීෂ් පිළිතුරු දෙමින්, ”හොඳයි, මාගේ ජීවිතාන්තය දක්වා ඔබ මාගේ ආරක්ෂක භටයා කොට පත් කරමි”යි දාවිත්ට කී ය.
3 මේ කාලයේ දී සාමුවෙල් මියගොස් තිබිණි. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී, ඔහුගේ ම නුවර වූ රාමාහි ඔහු තැන්පත් කළහ. සාවුල් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහ කර තිබිණි.
4 පිලිස්තිවරු එක්රැස් වී අවුත්, ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය. ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්හ. 5 සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දුටු විට බිය විය; ඔහුගේ සිත ද බොහෝ සේ කම්පිත විය. 6 සාවුල් සමිඳාණන් වහන්සේගෙන් කරුණු විමසූ කල, උන් වහන්සේ ස්වප්නවලින් වත්, උරිම් පස ඇටවලින් වත්, දිවැසිවරුන් ලවා වත් ඔහුට පිළිතුරු නුදුන් සේක. 7 එවිට සාවුල් සිය සේවකයන්ට කතා කොට, ”ආත්මබන්ධනකාරියක මට සොයා දෙන්න; මම ඈ වෙත ගොස් ඇගෙන් කරුණු විචාරන්නෙමි”යි කී ය. ඔහුගේ සේවකයෝ ද ”ආත්මබන්ධනකාරියක් ඒන්දොර්හි සිටිනවා ය”යි කී හ.
8 සාවුල් අමුතු වස්ත්‍ර ඇඳ, වෙස්වළාගෙන මිනිසුන් දෙදෙනකු සමඟ ගොස්, රාත්‍රියේ ඒ ස්ත්‍රිය වෙත පැමිණ, ඈට කතා කොට, ”ආත්මබන්ධනයෙන් මට පේන කියා, මා ඔබට නම් කරන ආත්මය කැඳවන්නැ”යි කීවේ ය.
9 ස්ත්‍රිය පිළිතුරු දෙමින්, ”සාවුල් කළ දෙය, එනම්, ඔහු ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහකළ හැටි ඔබ දන්නෙහි ය. එසේ නම්, මා නසන පිණිස මාගේ ප්‍රාණයට මලපතක් තබන්නේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවා ය.
10 සාවුල් පිළිතුරු දෙමින්, ”ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මේ කාරණය නිසා ඔබට කිසි දඬුවමක් නොවනු ඇතැ යි දිවුරා කියමි”යි ඈට කී ය.
11 එවිට ස්ත්‍රිය, ”මම ඔබට කවරෙකු කැඳවා දෙම් දැ”යි ඇසුවා ය. ”සාමුවෙල් මට කැඳවා දෙන්නැ”යි සාවුල් ඈට කී ය.
12 ඒ ස්ත්‍රිය සාමුවෙල් දුටු කල මහ හඬින් කෑගැසුවා ය. ඈ සාවුල්ට කතා කොට, ”ඔබ මා රැවටුවේ මන් ද? ඔබ නම් සාවුල් ය”යි ඔහුට කීවා ය.
13 රජ ද, ”බිය නොවන්නැ”යි කියා, ”ඔබට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසුවේ ය. ”අවතාරයක් පොළොවෙන් නැඟී එනවා”යි ස්ත්‍රිය සාවුල්ට කීවා ය.
14 ”ඔහුගේ හැටි කොහොම දැ”යි ඔහු ඇගෙන් ඇසුවේ ය. ඈ පිළිතුරු දෙමින්, ”මහලු මිනිසෙක් නැඟී එන්නේ ය; ඔහු සළුවක් පොරවාගෙන සිටින්නේ ය”යි කීවා ය. ඒ සාමුවෙල් බව සාවුල්ට දැනී ඔහු මුණින්තළා වී වැන්දේ ය.
15 එවිට සාමුවෙල් කතා කොට, ”මා ආපසු කැඳවීමෙන් ඔබ මට කරදර කෙළේ මන්දැ”යි සාවුල්ගෙන් ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, ”මම තද අමාරුවකට පත් ව සිටිමි; පිලිස්තිවරු මට විරුද්ධ ව යුද්ධ කරති; දෙවියන් වහන්සේ මා කෙරෙන් අහක් ව ගිය සේක; උන් වහන්සේ දැන් දිවැසිවරුන් ලවා වත්, ස්වප්නවලින් වත් මට පිළිතුරු දෙන්නේ නැත. එබැවින් මා කළ යුතු දේ ඔබ මට දන්වන පිණිස ඔබට අඬ ගැස්වීමි”යි කීවේ ය.
16 එවිට සාමුවෙල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: ”සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙන් අහක් වී ඔබට විරුද්ධ ව සිටිද්දී ඔබ මාගෙන් අසන්නේ කුමක් නිසා ද? 17 සමිඳාණන් වහන්සේ මා ලවා ප්‍රකාශ කරවූ හැටියට ඉෂ්ට කළ සේක. සමිඳාණන් වහන්සේ ඔබ අතින් රජකම පැහැරගෙන ඔබේ අසල්වැසියා වන දාවිත්ට දුන් සේක. 18 උන් වහන්සේගේ බලවත් උදහස අනුව අමලෙක්වරුන්ට කළ යුතු දේ නොකර, උන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් උන් වහන්සේ අද දවසේ මේ දෙය කළ සේක. 19 ඒ හැර සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන් අතට ඔබ සමඟ ඉශ්රායෙල්වරුන් පාවා දෙන සේක. හෙට ඔබ සහ ඔබේ පුත්‍රයන් මා සමඟ සිටිනු ඇත. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ හමුදාවත් පිලිස්තිවරුන්ගේ අතට පාවා දෙන සේක.”
20 එවිට සාවුල් එකෙණෙහි ම බිම වැතිර සාමුවෙල් කී දේ නිසා අතිශයෙන් බියට පත් විය. ඔහු එදා මුළු දවාලෙහි වත්, රාත්‍රියෙහි වත් කෑම නොකෑ නිසා දුර්වල ව සිටියේ ය. 21 ඒ ස්ත්‍රිය සාවුල් ළඟට අවුත්, ඔහු බොහෝ සේ කැළඹී සිටින බව දැක, ඔහුට කතා කොට, ”ඔබේ දාසී වන මම ඔබේ හඬට කීකරු ව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී දේ කෙළෙමි. 22 ඒ නිසා දැන් ඔබේ දාසී කියන දේ අසා ඔබ ඉදිරියෙහි කෑම තබන්නට මට අවසර දී, ඔබ මාර්ගයෙහි යන කල ඔබට ශක්තිය ඇති වන පිණිස කෑම කනු මැනවැ”යි කීවා ය.
23 එහෙත්, සාවුල් අකමැති ව, ”මම නොකමි”යි කී ය. කෙසේ වෙතත් ඔහුගේ සේවකයෝ ද ඒ ස්ත්‍රිය ද ඔහුට පෙරැත්ත කළ නිසා ඔහු ඔවුන්ගේ කීමට ඇහුම්කන් දී බිමින් නැඟිට ඇඳේ හිඳගත්තේ ය. 24 තර කරන ලද වස්සෙක් ඒ ස්ත්‍රියට ගෙදර සිටියේ ය. ඈ කඩිනමින් ඌ මරා, පිටි අරගෙන අනා, මුහුන් නොදැමූ රොටි පුළුස්සා, 25 ඒවා සාවුල් ද ඔහුගේ සේවකයන් ද ඉදිරියෙහි තැබුවා ය. ඔව්හු කෑම කා, නැඟිට ඒ රාත්‍රියේ ම පිටත් ව ගියහ.

– 29 වන පරිච්ඡේදය –

පිලිස්තිවරුන් දාවිත් නෙරපා දැමීම

1 පිලිස්තිවරු ඔවුන්ගේ සියලු හමුදාවන් අපෙක් නම් ස්ථානයට රැස් කළහ. ඉශ්රායෙල්වරු ජෙශ්‍රෙයෙල්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්හ. 2 පිලිස්තිවරුන්ගේ අධිපතීහු සිය දහස් ගණන් වශයෙන් ආහ. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ආකීෂ් සමඟ ඔවුන්ට පස්සෙන් ආහ. 3 එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු, ”මේ හෙබ්‍රෙව්වරුන් මෙහි කුමක් කරත් දැ”යි ඇසූ හ. එවිට ආකීෂ් පිලිස්තිවරුන්ගේ අධිපතීන්ට කතා කොට, ”මේ තැනැත්තා ඉශ්රායෙල්වරුන්ගේ රජ වන සාවුල්ගේ සේවකයෙකු ව සිටි දාවිත් ය. මොහු දැන් කලක සිට, අවුරුදු ගණනක සිට මා සමඟ සිටියි; ඔහු මට එකතු වූ දා පටන් අද දක්වා ඔහු අතේ කිසි වරදක් මට දකින්නට ලැබුණේ නැතැ”යි කී ය.
4 එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝප වී ඔහුට කතා කොට, ”ඒ මිනිසා ඔබ නියම කළ ස්ථානයට ආපසු යන පිණිස ඔහු පිටත් කර හරින්න; ඔහු අප සමඟ යුද්ධයට යෑම සුදුසු නැත. සමහර විට සටන් බිමේ දී ඔහු අපට විරුද්ධ ව හැරෙන්නට බැරි කමක් නැත. මේ සෙනඟගේ හිස ගසා දැමීමෙන් මිස අන් කවර මඟකින් ඔහුට සිය ස්වාමියාගේ සිත දිනාගත හැකි ද? 5 මේ අර දාවිත් නොවේ ද?
‘මැරී සාවුල් දහස් ගණනක් මැරී දාවිත් දස දහස් ගණනක්’
කියමින් කාන්තාවන් නටමින් එකිනෙකාට ගී කීවේ මොහු ගැන නොවේ දැ”යි කී හ.
6 එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කතා කොට, ”ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ම, ඔබ අවංක ව ම හැසුරුණු බව මම දිවුරා කියමි. ඔබ මා සමඟ අවුත් මේ යුද්ධයේ දී සටන් කරන්නෙහි නම් මම කැමැත්තෙමි. ඔබ මා ළඟට ආ දා පටන් අද දක්වා ඔබ අත කිසි වරදක් මට දක්නට ලැබුණේ නැත; එසේ වුවත් අධිපතීන් ඔබට කැමැති නැත. 7 එබැවින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් අප්‍රසන්න නොවන පිණිස දැන් සුව සේ ආපසු යන්නැ”යි කීවේ ය.
8 දාවිත් පිළිතුරු දෙමින්, ”මම කුමක් කෙළෙම් ද? මා අවුත් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කරන්නට මට බැරි වන විධියට මා ඔබ ඉදිරියට පැමිණි දා පටන් අද දවස දක්වා ඔබේ මෙහෙකරුවා වන මා අත ඔබට සම්බ වූ වරද කුමක් දැ”යි ආකීෂ්ගෙන් ඇසුවේ ය.
9 ආකීෂ් පිළිතුරු දෙමින්, ”මට පෙනෙන හැටියට දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ඔබ නිදොස් බව මම දනිමි. එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු, ‘ඔබ අප කැටුව යුද්ධයට නොආ යුතු ය’යි කී හ. 10 එබැවින් ඔබ සමඟ පැමිණි ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ අලුයම නැඟිට එළිය වැටෙද්දී ම පිටත් ව යන්නැ”යි දාවිත්ට කීවේ ය. 11 මෙසේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී යන පිණිස අලුයම පිටත් වුණෝ ය. පිලිස්තිවරු ද ජෙශ්‍රෙයෙලයට ගියහ.

 

– 30 වන පරිච්ඡේදය –

අමලෙක්වරුන්ට විරුද්ධ ව යුද්ධය

1 දාවිත් සහ ඔහුගේ සෙනඟ තුන් වන දා ශික්ලග් නගරයට පැමිණියහ. ඊට පෙර අමලෙක්වරු දකුණු දිශාවටත්, ශික්ලග්ටත් විරුද්ධ ව අවුත්, ශික්ලග්ට පහර දී ඒ නගරය ගින්නෙන් දවාදමා, 2 එහි සිටින ස්ත්‍රීන් ද ලොකු කුඩා සියල්ලන් ද වහල්කමට ගෙන, කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගෙන පිටත් ව ගියහ. 3 දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ. 4 එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ ද ඔවුන්ට තවත් හඬන්නට ශක්තිය නැති වන තුරු ම ශබ්ද නඟා ඇඬූ හ. 5 දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ.
6 දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය. 7 දාවිත් අහිමෙලෙක්ගේ පුත් වූ අබියාතර් පූජකයා අමතා: ”ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේ ය. 8 දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, ”මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ”ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.
9 එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ හයසියදෙනා ද පිටත් ව ගියහ. ඔව්හු බෙසොර් ඔය ළඟට පැමිණි විට සමහරෙක් එහි නැවතුණහ. 10 එහෙත්, දාවිත් සහ සෙනඟ හාරසියදෙනෙක් ලුහුබැඳ ගියහ. බෙසොර් ඔයෙන් යාමට බැරි තරම් වෙහෙස ව සිටි මිනිසුන් දෙසියයක් නතර වූ හ.
11 දාවිත්ගේ සෙනඟට නුවරෙන් පිටත දී මිසර වැසියෙක් සම්බ විය. ඔව්හු ඒ මිනිසා දාවිත් ළඟට ගෙනවුත්, කන්නට රොටි ද බොන්නට වතුර ද ඔහුට දුන්හ. 12 තවද, ඔව්හු අත්තික්කා කැටියකින් කැබැල්ලක් ද මුද්‍රික පල පොකුරු දෙකක් ද ඔහුට දුන්හ. ඔහු කෑ පසු ප්‍රාණවත් විය. මන්ද, ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේ වත්, වතුර බීවේ වත් නැතුව සිටිය බැවිනි. 13 දාවිත් ඔහු අමතා, ”ඔබ කාට අයිති ද? කොතැනින් ආයේ දැ”යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, ”මම අමෙලෙක් මනුෂ්‍යයෙකුගේ වහලෙකු ව සිටින මිසර ජාතික තරුණයෙක් ය; තුන් දවසකට පෙර මට අසනීප වූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැර දමා ගියේ ය. 14 අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත්, ජුදාට අයිති දකුණු පළාතටත්, කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධ ව යුද්ධ කෙළෙමු; ශික්ලග් නුවර ගිනිබත් කෙළෙමු”යි කී ය.
15 ”ඒ හමුදාව ළඟට යන්නට ඔබ මට මඟ පෙන්වන්නෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, ”මා නොමරන හැටියටත්, මාගේ ස්වාමියා අතට පාවා නොදෙන හැටියටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ මට දිවුරුම් දුන්නොත් මම ඒ හමුදාව ළඟට පැමිණෙන්නට ඔබට මඟපෙන්වමි”යි කී ය.
16 ඔහු දාවිත් ඒ ස්ථානයට පැමිණෙව්වේ ය. එවිට ඔවුන් පිලිස්තිවරුන්ගේ දේශයෙනුත්, ජුදා දේශයෙනුත් ගත් ඉමහත් කොල්ලය කමින්, බොමින්, නටමින් සෑම තැන ම විසිරී සිටියහ. 17 දාවිත් ඇඳිරි වේලේ පටන් පසු දින සවස දක්වා ඔවුන්ට පහර දුන්නේ ය. ඔටුවන් පිට නැඟී පලා ගිය තරුණයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත. 18 මෙසේ දාවිත් අමලෙක්වරුන් ගෙන ගිය සියල්ලන් ද තමාගේ භාර්යාවන් දෙදෙනා ද ගළවාගත්තේ ය. 19 ලොකු කුඩා සියල්ලන්ගෙන් ද දරුදැරියන්ගෙන් ද කිසිවකු වත්, කොල්ලය වත්, ඔවුන් ගත් කිසිවක් වත් අඩු නැතිව සියල්ල ම දාවිත් නැවත ගෙනාවේ ය. 20 සියලු එළු බැටළුවන් ද ගවයන් ද දාවිත් ගත්තේ ය. ඔහුගේ සෙනඟ උන් අනික් සිවුපාවුන්ට පෙරටුවෙන් දක්කමින්, ”මෙය දාවිත්ට අයිති කොල්ලය ය”යි කී හ.
21 දාවිත් සමඟ යන්නට බැරි තරම් වෙහෙස වී සිටි, බෙසොර් ඔය ළඟ නතර කරන ලද මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට, ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමඟට පැමිණියහ. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔව්හු ආචාර කළහ. 22 එවිට දාවිත් සමඟ ගිය සෙනඟ අතරෙන් නපුරු, දුදන මිනිසුන් සියලු දෙනා කතා කොට, ”අප සමඟ නොගිය මිනිසුන්ට අප ගළවා ගත් කොල්ලයෙන් කිසිවක් නොදෙමු. ඔවුන් එකිනෙකාට තම තමන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද රැගෙන යන්නට පමණක් දෙමු”යි කී හ.
23 එවිට දාවිත් මෙසේ කී ය: ”මාගේ සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේ අපට දුන් දේවල් ගැන එසේ නොකරන්න. උන් වහන්සේ අප ආරක්ෂා කර, අපට විරුද්ධ ව පැමිණි හමුදාව අප අතට පාවා දුන් සේක. 24 ඔබ කියන දේට සවන් දෙන්නේ කවරෙක් ද? සියලු දෙනා ම එක හා සමාන ව බෙදාගත යුතු ය; යුද්ධයට යන අයගේ කොටසත්, බඩු ළඟ නැවතී සිටින අයගේ කොටසත් එක හා සමාන විය යුතු ය.” 25 එදා දාවිත් කී දේ, පණතක් හා නියෝගයක් හැටියට නියම කෙළේ ය. එදා පටන් අද දක්වා ඉශ්රායෙල් ජනයා විසින් එය පිළිපදිනු ලැබේ.
26 දාවිත් ශික්ලග් නුවරට පැමිණි විට තමාගේ මිත්‍රයන් වන ජුදාහි ප්‍රජා මූලිකයන්ට කොල්ලයෙන් කොටසක් යවමින්, ”මෙන්න, සමිඳාණන් වහන්සේගේ සතුරාගෙන් ගත් කොල්ලයෙන් ඔබට තෑගි ය”යි කියා යැවී ය. 27 එසේ යැව්වේ, බෙතෙල්හි ද දකුණු රාමොත්හි ද යත්තීර්හි ද 28 අරෝයෙර්හි ද සිප්මෝත්හි ද එෂ්තෙමෝවාහි ද 29 රාකාල්හි ද ජෙරාමෙයෙල්වරුන්ගේ නුවරවල ද කේනිවරුන්ගේ නුවරවල ද 30 හොර්මාහි ද බෝර්ආෂාන්හි ද අතාක්හි ද 31 හෙබ්‍රොන්හි ද දාවිත් සහ ඔහුගේ සෙනඟ ගැවසුණ සියලු තැන්හි ද සිටි ප්‍රජා මූලිකයන් වෙත ය.

 

– 31 වන පරිච්ඡේදය –

සාවුල්ගේ මරණය
(1 වංශා: 10:1-12)

1 පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කළහ. එවිට ඉශ්රායෙල් සෙනඟ පිලිස්තිවරුන් වෙතින් පලා ගොස් ගිල්බෝවා කන්දේ දී මැරුම් කා වැටුණෝ ය. 2 පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ ගොස් සාවුල්ගේ පුත්‍රයන් වන ජොනතන් ද අබිනාදාබ් ද මල්කිෂුවා ද මැරූ හ. 3 සටන සාවුල්ට විරුද්ධ ව බලවත් විය; දුනුවායෝ ඔහුටත් ළං වූ හ. ඔහු දුනුවායන්ගෙන් තදින් තුවාළ ලැබුවේ ය. 4 එවිට සාවුල් තම ආයුධ රැගෙන යන්නාට කතා කොට, ”අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කිරීමට කැමැති නො වී ය. මන්ද, ඔහු ඉතා බිය ව සිටියේ ය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටී මැරුණේ ය. 5 සාවුල් මැරුණ බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දුටු විට ඔහු ද තමාගේ කඩුව පිට වැටී සාවුල් සමඟ මළේ ය. 6 මෙසේ සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තිදෙනා ද ඔහුගේ ආයුධ ගෙනයන්නා ද ඔහුගේ සියලු සෙනඟ ද ඒ දවසේ දී එක විට ම මරණයට පත් වූ හ. 7 ඉශ්රායෙල් සෙනඟ පලා ගිය බවත්, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද මැරුණු බවත් මිටියාවතට මේ පැත්තේ ද ජොර්දානෙන් එගොඩ ද සිටි ඉශ්රායෙල් සෙනඟ දුටු විට ඔව්හු නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත් ඒ නගරවල වාසය කළහ.
8 පසු දා පිලිස්තිවරුන් මරන ලද අයගේ යුද්ධායුධ පැහැර ගැනීමට ආ කල සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනා ද ගිල්බෝවා කන්දේ වැටී සිටිනු ඔවුන්ට සම්බ විය. 9 ඔව්හු සාවුල්ගේ හිස කපා දමා ඔහුගේ ආයුධ ගලවා, එපවත් තමන්ගේ දේවාලවලත්, සෙනඟ අතරේත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවූ හ. 10 ඔව්හු සාවුල්ගේ ආයුධ අෂ්ටාරොත්ගේ දේවාලයෙහි තැබූ හ; ඔහුගේ ශරීරය බෙත්ෂාන් නගරයේ පවුරට සවි කොට තැබූහ.
11 පිලිස්තිවරුන් සාවුල්ට කළ දේ ගැන ජාබෙෂ්-ගිලියද් වැසියන් ඇසූ කල, 12 ඔවුන් අතරෙන් සියලු නිර්භීත මනුෂ්‍යයෝ නැඟිට මුළු රෑ බෙත්ෂාන්ට ගමන් කොට පවුරෙන් සාවුල්ගේ මළකඳ ද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන් ද ජාබෙෂ්ට ගෙන අවුත් එහි දී ඒවා ආදාහන කළහ. 13 ඉන්පසු ඔව්හු ඔවුන්ගේ ඇටකටු රැගෙන ජාබෙෂ්හි ඒෂෙල් ගස යට වළලා සත් දවසක් උපවාස කළහ.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s