සාමුවෙල්ගේ දෙ වන පොත

– 1 වන පරිච්ඡේදය –

සාවුල්ගේ මරණය දාවිත්ට සැළ වීම

1 සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය. 2 තුන් වන දවසේ දී මිනිසෙක් තමාගේ ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සාවුල්ගේ කඳවුරෙන් නික්ම ආවේ ය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේ ය. 3 ”ඔබ කොතැනින් ආවෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, ”මම ඉශ්රායෙල් කඳවුරෙන් ගැළවී ආවෙමි”යි ඔහුට පිළිතුරු දුන්නේ ය.
4 එවිට දාවිත්, ”එහි සිදු වූයේ කිමෙක් දැ යි මට කියන්නැ”යි ඔහුට කීවේ ය. ඔහු පිළිතුරු දෙමින්, ”සෙනඟ යුද්ධයෙන් පලා ගියහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටුණෝ ය; සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද මැරුණෝ ය”යි කීවේ ය.
5 එකල දාවිත් මෙපවත් සැළ කළ ඒ තරුණයාගෙන්, ”සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් මළ බව ඔබ දන්නේ කොහොම දැ”යි ඇසී ය.
6 එපවත් ඔහුට සැළ කළ තරුණයා ඔහුට කතා කොට, ”මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමිණියෙමි. ඒ වේලාවේ දී සාවුල් තමාගේ හෙල්ලයට හේත්තු වී සිටියේ ය; රථ හා අසරුවෝ ඔහු පසුපස වේගයෙන් එළවාගෙන ආහ. 7 ඔහු පස්සට හැරී මා දැක මට අඬගැසී ය. ‘මම මෙහි ය’යි මම උත්තර දිනිමි. 8 ‘ඔබ කවුදැ’යි ඔහු මාගෙන් ඇසී ය. ‘මම අමලෙක් ජාතිකයෙක්මි’යි ඔහුට පිළිතුරු දිනිමි. 9 ඔහු මට කතා කොට, ‘මා ළඟ සිට මා මරන්න. මන්ද, මට තවමත් පණ තිබුණත් මම බොහෝ වේදනාවෙන් පසු වෙමි’යි කී ය. 10 එවිට මම ඔහු ළඟ සිට ඔහු මැරුවෙමි. මා එසේ කෙළේ, ඔහු වැටුණු වහා ම ජීවත් නොවන බව සහතික ලෙස මා දැන සිටි බැවිනි. මම ඔහුගේ හිස මත තිබුණු කිරීටය ද අතේ දමා තිබුණු වළල්ල ද රැගෙන මෙහි මාගේ ස්වාමියා ළඟට ගෙනාවෙමි”යි කීවේ ය.
11 එවිට දාවිත් ශෝකයෙන් පිරී තමාගේ වස්ත්‍ර ඇද ඉරා දැමුවේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද එසේ කළහ. 12 ඔව්හු සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද සමිඳාණන් වහන්සේගේ සෙනඟ ද ඉශ්රායෙල් වංශය ද යුද්ධයේ දී මැරුම් කෑ බැවින් ඔවුන් ගැන හඬා වැලපෙමින් හවස දක්වා නිරාහාර ව සිටියහ.
13 දාවිත් තමාට ඒ සිද්ධිය සැළ කළ තරුණයාට කතා කොට, ”ඔබ කොහේ කෙනෙක් දැ”යි ඇසී ය. ”මම විදේශිකයෙකු වන අමලෙක් ජාතිකයෙකුගේ පුතෙක් වෙමි”යි ඔහු පිළිතුරු දුන්නේ ය.
14 දාවිත් ද, ”සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා නැසීමට භය නැති ව ඔබේ අත එසෙව්වේ කෙසේ දැ”යි ඔහුට කියා, 15 තරුණයන්ගෙන් එක් කෙනෙකුට අඬ ගසා, ”ඔබ ගොස් ඔහුට පහර දෙන්නැ”යි කී ය. ඔහු ද පහර දී ඒ තරුණයා මැරුවේ ය. 16 දාවිත් කතා කරමින්, ”මේ ලේ වැගිරීමේ වරදට වගකිව යුත්තේ ඔබ ම ය. මන්ද, ‘මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා මැරුවෙමි’යි කීමෙන් ඔබ ඔබේ ම කටින් ඔබට විරුද්ධ ව සාක්ෂි දුන්නෙහි ය”යි කීවේ ය.

දාවිත්ගේ විලාප ගීය

17 සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් ගැන මේ විලාප ගීය ගයමින් දාවිත් වැලපිණි. 18 ඒ ගීය ජුදා ජනයාට උගන්වන්නටත් නියම කෙළේ ය. එය ජාෂාර්ගේ පොතේ සඳහන් වී ඇත.
19 ”අහෝ, ඉශ්රායෙල් දේශය!
ඔබේ තේජස ගිරිකුළු මුදුනෙහි අතුරුදන් වී ඇත.
අහෝ!
බලවතුන් වැටුණු හැටි!
20 ඒ ගැන ගාත්හි නො‍කියන්න;
අෂ්කෙළො‍න් වීදිවල පළ නො‍කරන්න;
එසේ කළො‍ත්, පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීති වනු ඇත;
විජාතිකයන්ගේ දූවරුන් ජය ඝෝෂා නඟනු ඇත.
21 එම්බා ගිල්බො‍්වා කඳු හෙල්!
තොප පිට පිනි වත්, වැසි වත් නොවැටේ වා!
එහි කෙත්වතු පාළු වී යේ වා!
මන්ද, බලවතුන්ගේ පලිහ කෙලෙසී ඇත.
සාවුල්ගේ පලිහ තෙලින් ආලේප නො‍කර ඇත.
22 එහෙත්, මරන ලද්දවුන්ගේ ලෙයින් ද සෙබළුන්ගේ තෙලින් ද එය ආලේප කර ඇත.
ජොනතන්ගේ දුන්න මාරක අවියක් විය.
සාවුල්ගේ කඩුව ද ජයෙන් තොර ව හැරී නාවේ ය.
23 සාවුල් හා ජොනතන් ජීවත් ව සිටිය දී සෙනෙහසින් හා සතුටින් බැඳී සිටියහ.
ජීවිතේ දී හෝ මරණයේ දී හෝ ඔවුහු වෙන් නො‍ වූ හ.
ඔවුහු රාජාලීන්ට වඩා වේගවත් වූ හ;
සිංහයන්ට වඩා බලවත් වූ හ.
24 ඉශ්රායෙල් දූවරුනි, පියකරු රතු වස්ත්‍ර ඔබට පැළඳවූ, ඔබේ වස්ත්‍ර රන් ආභරණවලින් සැරසූ සාවුල් ගැන හඬන්න.
25 අහෝ, බලවතුන් රණ බිම මැද දී වැටුණු හැටි!
අහෝ ජොනතන්!
ගිරිකුළු මුදුනෙහි ඔබ මැරුම් කෑවෙහි ය.
26 මාගේ සොහොයුරු වන ජොනතන්, ඔබ ගැන මම වියෝ දුකින් පසු වෙමි.
ඔබ මට ඉතා පියකරු ව සිටියෙහි ය.
මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුම ය;
වනිතාවකගේ ආදරයට වඩා මහත් ය.
27 අහෝ, බලවතුන් වැටුණු හැටි!
යුද්ධ ආයුධත් විනාශ වුණ හැටි!

 

– 2 වන පරිච්ඡේදය –

දාවිත් ජුදාහි රජ වීම

1 ඉන්පසු දාවිත්, ”මා ජුදාහි නගරයකට යන්නට දැ”යි සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. ”යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. ”මා කොයි නගරයට යන්නට දැ”යි දාවිත් ඇසුවේ ය. ”හෙබ්‍රොන් නගරයට ය”යි උන් වහන්සේ වදාළ සේක. 2 එවිට දාවිත් ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් ද කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල් ද එහි ගියහ. 3 දාවිත් තමා සමඟ සිටි තමාගේ මිනිසුන් ඔවුන් එකිනෙකාගේ ගෙයි වැසියන් සමඟ කැඳවාගෙන ආයේ ය. ඔව්හු හෙබ්‍රොන් නගරවල වාසය කළහ. 4 තවද, ජුදාහි සෙනඟ අවුත් එහි දී දාවිත් ජුදා වංශයේ රජු වශයෙන් අභිෂේක කළහ.
”සාවුල් තැන්පත් කරනු ලැබුවේ ජාබෙෂ්-ගිලියද් මිනිසුන් විසින් ය”යි දාවිත්ට දන්වන ලද්දේ ය. 5 දාවිත් ජාබෙෂ්-ගිලියද් මිනිසුන් වෙත පණිවුඩයක් යවමින් මෙසේ කීවේ ය: ”ඔබේ ස්වාමියා වූ සාවුල්ට ඔබ පක්ෂපාත ව සිට ඔහු තැන්පත් කළ බැවින් සමිඳාණන් වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේ වා! 6 දැන් සමිඳාණන් වහන්සේ ඔබට කරුණාවත්, විශ්වාසවන්තකමත් පෙන්වන සේක් වා! ඔබ මේ දේ කළ නිසා මමත් එසේ ම ඔබට යහපත කරන්නෙමි. 7 එබැවින් ඔබේ අත් බලවත් වේ වා! වික්‍රමාන්විත ව සිටින්න. මන්ද, ඔබේ ස්වාමි වූ සාවුල් මිය ගිය නමුත්, ජුදා වංශය කෙරෙහි රජු වශයෙන් ඔව්හු මා අභිෂේක කළහ.”
8 තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්, 9 ගිලියද්වරුන්, අෂූර්වරුන්, ජෙශ්‍රෙයෙල්වරුන්, එප්‍රායිම්වරුන්, බෙන්ජමින්වරුන් සහ සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකමට පත් කෙළේ ය. 10 සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ඉශ්රායෙල්හි රජකම් කරන්නට පටන් ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස් ව සිටියේ ය. ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේ ය. එහෙත්, ජුදා වංශය පමණක් දාවිත්ට පක්ෂපාත වුණේ ය. 11 දාවිත් හෙබ්‍රොන්හි ජුදා වංශයට රජ ව සිටි කාලය සත් අවුරුදු හය මාසයක් ය.

ඉශ්රායෙල් හා ජුදා අතරේ යුද්ධය

12 නේර්ගේ පුත් අබ්නේර් ද සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ගේ සේවකයෝ ද මහනයිම් සිට පිටත් ව ගිබියොන් නගරයට ගියහ. 13 ශෙරුයාගේ පුත් ජෝවාබ් ද දාවිත්ගේ සේවකයෝ ද පිටත් ව ගොස් ගිබියොන් පොකුණ ළඟ දී මුණගැසී, එක පක්ෂයක් පොකුණේ එක පැත්තක ද අනෙක් පක්ෂය පොකුණේ අනෙක් පැත්තේ ද නැවතුණාහ. 14 ”තරුණයෝ නැඟිට අප ඉදිරියෙහි ක්‍රීඩා කරත් වා”යි අබ්නේර් ජෝවාබ්ට කී ය. ජෝවාබ් ද, ”ඔව්හු එසේ කරත් වා”යි කීවේ ය.
15 එවිට සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්ජමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළො‍ස් දෙනෙක් ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළො‍ස් දෙනෙක් ද නැඟිට ගියහ. 16 එවිට ඔව්හු එකිනෙකා තම තමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා, කඩුවෙන් ළපැත්තට ඇන එකට වැටුණෝ ය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට මුවහත් පිහියා කෙත යන අර්ථය ඇති හෙල්කත්-හශ්ශුරීම් යන නම තබන ලද්දේ ය.
17 ඒ දවසේ දී බලවත් සටනක් ඇති විය. අබ්නේර් ද ඉශ්රායෙල් සෙනඟ ද දාවිත්ගේ සේවකයන්ට පැරදුණෝ ය. 18 ශෙරුයාගේ පුත්‍රයන් තිදෙනා වන ජෝවාබ්, අබිෂයි සහ අසාහෙල් එහි සිටියහ. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් වේගයෙන් දිවීමේ ශූරතාව තිබුණේ ය. 19 අසාහෙල්, අබ්නේර් ලුහුබැඳ යනුයේ, දකුණට වත්, වමට වත් නො‍හැරී අබ්නේර් පස්සේ ගියේ ය. 20 එවිට අබ්නේර් පස්සට හැරී, ”ඔබ අසාහෙල් දැ”යි ඇසී ය. ”එසේ ය”යි ඔහු කී ය.
21 අබ්නේර්, ”ඔබ දකුණට හෝ වමට හෝ හැරී, තරුණයන්ගෙන් එක් කෙනෙකු අල්ලාගෙන, ඔහුගේ ආයුධ පැහැරගන්නැ”යි ඔහුට කී ය. එහෙත්, අසාහෙල් ඔහු වෙතින් අහක් ව යන්නට කැමැති නො‍ වී ය. 22 නැවතත් අබ්නේර්, ”මා වෙතින් අහක් ව යන්න. මා ඔබට ගසා බිම හෙළන්නේ කුමට ද? එසේ කළො‍ත්, මා ඔබේ සහෝදර වන ජෝවාබ්ට මුහුණ දෙන්නේ කොහොම දැ”යි අසාහෙල්ට කී ය. 23 එහෙත්, ඔහු අහක් ව යන්නට අකමැති විය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඇන්න හෙල්ලය ඔහුගේ පිට පසාරු කරගෙන එළියට ආවේ ය. ඔහු එතැන ම වැටී මළේ ය. තවද, අසාහෙල් වැටී මැරුණු ස්ථානයට ආ විට සියල්ලෝ ම නතර වූ හ.
24 එහෙත්, ජෝවාබ් සහ අබිෂයි, අබ්නේර් ලුහුබැඳ ගොස් ඉර බැස ගිය විට ගිබියොන් පාළුකරයට යන මාර්ගයෙහි ගීයා ඉදිරිපිට තිබෙන අම්මා හෙලට පැමිණියහ. 25 බෙන්ජමින්වරු අබ්නේර් වෙත රැස් වී එක කණ්ඩායමක් ව හෙලක් මුදුනේ නැවතී සිටියහ. 26 එවිට අබ්නේර් ජෝවාබ්ට අඬගසා, ”මේ ඝාතනය සදහට ම කළ යුතු ද? එයින් අවසානයේ දී උග්‍ර දුක හටගන්න බව ඔබ නො‍දන්නෙහි ද? එසේ වී නම්, තමන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්නට කියා අණ නො‍කර ඔබ කොපමණ කල් සිටින්නෙහි දැ”යි ඇසී ය.
27 ජෝවාබ් කතා කරමින්, ”සැබැවින් ම ඔබ කතා නො‍කෙළෙහි නම්, සෙනඟ තමන්ගේ සහෝදරයන් උදේ වනතෙක් ලුහුබැඳ යන්නට ඉඩ තිබිණි යයි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කීවේ ය. 28 එවිට ජෝවාබ් හොරණෑව පිම්බේ ය; මුළු සෙනඟ ද නැවතුණාහ. ඔවුන් තවත් ඉශ්රායෙල්වරුන් පසුපස ලුහුබැඳ ගියේ වත්, යුද්ධ කෙළේ වත් නැත.
29 අබ්නේර් සහ ඔහුගේ සෙනඟ ඒ රාත්‍රිය මුළුල්ලෙහි අරබා සමභූමිය මැදින් ගොස් ජොර්දානින් එගොඩ ව, මුළු උදේ වරුවේ ගමන් කොට මහනයිම් නගරයට පැමිණියහ.
30 ජෝවාබ්, අබ්නේර් ලුහුබැඳ යාමෙන් හැරී අවුත් මුළු ජනයා රැස් කෙළේ ය. එවිට දාවිත්ගේ සේවකයන්ගෙන් මිනිසුන් දහනවදෙනෙකු ද අසාහෙල් ද නැති බව පෙනී ගියේ ය. 31 එහෙත්, දාවිත්ගේ සේවකයෝ බෙන්ජමින්වරුන්ගෙන් ද අබ්නේර්ගේ මිනිසුන්ගෙන් ද තුන්සිය හැටදෙනෙකුට පහර දී මැරූ හ. 32 ඔව්හු අසාහෙල් රැගෙන බෙත්ලෙහෙම්හි තිබුණ ඔහුගේ පියාගේ සොහොන් ගෙයි තැන්පත් කළො‍් ය. ජෝවාබ් ද ඔහුගේ සෙනඟ ද මුළු රාත්‍රියේ ගමන් කර එළි වන විට හෙබ්‍රොන් නගරයට පැමිණියහ.

– 3 වන පරිච්ඡේදය –

දාවිත් රජුගේ පවුල

1 සාවුල්ගේ වංශයත්, දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධ පැවතුණේ ය. දාවිත් වනාහි වඩ වඩා බලවත් වන අතර, සාවුල්ගේ වංශය වඩ වඩා බල හීන වේගෙන ගියේ ය.
2 හෙබ්‍රොන්හි දාවිත්ට පුත්‍රයෝ උපන්නාහ. ඔහුගේ කුලුඳුලා නම්, ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නො‍න් ය; 3 දෙවැනියා කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ් ය; තුන්වැනියා ගෙෂූර්හි රජ වූ තලමයිගේ දුව වන මයකාගේ පුත් අබ්සලොම් ය; 4 සතරවැනියා හග්ගිත්ගේ පුත් අදොනියා ය; පස්වැනියා අබිටල්ගේ පුත් ෂෙපටියා ය; 5 සවැනියා දාවිත්ගේ බිරිඳ වන එග්ලාගෙන් උපන් ඉත්රෙයාම් ය. මොවුහු හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන්නාහ.

අබ්නේර් දාවිත්ට එකතු වීම

6 සාවුල්ගේ වංශය ද දාවිත්ගේ වංශය ද අතරේ යුද්ධය පැවතෙද්දී, අබ්නේර් සාවුල්ගේ වංශයෙහි එන්න එන්න බලවත් විය.
7 ආයාගේ දුව වන රිශ්පා නම් උපභාර්යාවක් සාවුල්ට සිටියා ය. ”ඔබ මාගේ පියාගේ උපභාර්යාව සමඟ සයනය කෙළේ මන්දැ”යි ඊෂ්-බොෂෙත් අබ්නේර්ගෙන් ඇසී ය. 8 එවිට අබ්නේර්, ඊෂ්-බොෂෙත්ගේ ප්‍රශ්නය ගැන ඉතා කෝප වී, ”මම ජුදාට දාස වූ නරි බල්ලෙක් ද? මම දාවිත්ගේ අතට ඔබ අසු කරනො‍දී, අද දක්වා ඔබේ පියා වන සාවුල්ගේ වංශයටත්, ඔහුගේ සහෝදරයන්ටත්, ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්නුවෙමි. එහෙත්, අද ඔබ මේ ස්ත්‍රිය සම්බන්ධයෙන් මට දොස් නඟන්නෙහි ය. 9 සමිඳාණන් වහන්සේ දාවිත්ට දිවුළ ලෙස, මම ඔහුට නො‍කෙළෙම් නම්, දෙවියන් වහන්සේ අබ්නේර්ට ඉතා තදින් දඬුවම් කරන සේක් වා! 10 එසේ කළ යුත්තේ, රජකම සාවුල්ගේ වංශයෙන් පහකර, දාවිත්ගේ සිංහාසනය දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද කෙරෙහි පිහිටුවන පිණිස ය”යි කීවේ ය. 11 ඊෂ්-බොෂෙත් අබ්නේර්ට බිය වූ බැවින් එක වචනයකින් වත් උත්තර දෙන්නට ඔහුට නො‍හැකි විය.
12 එකල අබ්නේර්, දාවිත් වෙත පණිවුඩකාරයන් යවා, ”දේශය අයිති කවරෙකුට ද? මා සමඟ ඔබේ ගිවිසුම කරගන්න. එවිට සියලු ඉශ්රායෙල්වරුන් ඔබ වෙත හරවා ගන්න පිණිස මාගේ සහාය ඔබට දෙන්නෙමි”යි කීවේ ය.
13 දාවිත් පිළිතුරු දෙමින්, ”යහපත, මම ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමි. හැබැයි, ඔබ එක දෙයක් කළ යුතු ය; එනම්, ඔබ මා බලන්නට එන විට පළමු කොට සාවුල්ගේ දුව වන මීකල් කැඳවාගෙන ආ යුතු ය; එසේ නො‍කළො‍ත්, මාගේ මුහුණ නො‍දකින්නෙහි ය”යි කී ය. 14 එවිට දාවිත් සාවුල්ගේ පුත්‍ර ඊෂ්-බොෂෙත් වෙත පණිවුඩකාරයන් යවා, ”පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර දී මා ලබාගත් මාගේ බිරිඳ වන මීකල් මට දෙන්නැ”යි කියන්නට කීවේ ය. 15 ඊෂ්-බොෂෙත් මිනිසුන් යවා, ඇගේ පුරුෂයා වන, ලායිෂ්ගේ පුත් පල්තියෙල් වෙතින් ඈ ගෙන්වා ගත්තේ ය. 16 ඇගේ පුරුෂයා බහුරීම් නගරය දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේ ය. එවිට ”හැරී යන්නැ”යි අබ්නේර් ඔහුට කී ය. ඔහු හැරී ගියේ ය.
17 අබ්නේර් ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ කතා කොට, ”දාවිත් ඔබ හැමගේ රජු වන පිණිස ඔබ පසු ගිය කාලයෙහි දී ඔහු සෙව්වහු ය. 18 දැන් එසේ කරන්න. මන්ද, ‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල්, පිලිස්තිවරුන්ගේ අතින් ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින් ද මාගේ මෙහෙකරු වන දාවිත් ලවා මම ගළවාගනිමි’යි සමිඳාණන් වහන්සේ දාවිත් ගැන වදාරා තිබේ ය”යි පැවසී ය. 19 අබ්නේර් බෙන්ජමින්වරුන් සමඟ කතා කෙළේ ය. ඉන්පසු අබ්නේර් ඉශ්රායෙල්වරුන් ද මුළු බෙන්ජමින් වංශය ද කළ යුතු යයි සම්මත කරගත් සියල්ල හෙබ්‍රොන්හි සිටි දාවිත්ට කියන පිණිස ගියේ ය.
20 මෙසේ අබ්නේර් ද ඔහු සමඟ මිනිස්සු විසිදෙනෙක් ද හෙබ්‍රොන්හි සිටි දාවිත් ළඟට පැමිණියෝ ය. දාවිත් අබ්නේර්ටත්, ඔහු සමඟ සිටි මිනිසුන්ටත් භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය. 21 අබ්නේර් දාවිත්ට කතා කොට, ”මම පිටත් ව ගොස්, සියලු ඉශ්රායෙල්වරුන් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ ගිවිසුමක් කරන පිණිස ඔවුන් ඔබ වෙත රැස් කරගෙන එන්නෙමි; මෙසේ ඔබේ සිත් ගන්න සියල්ලන් කෙරෙහි ඔබ රජකම් කරනු ඇතැ”යි කීවේ ය. දාවිත් අබ්නේර්ට යන්නට අවසර දුන් විට ඔහු සාමදානයෙන් ගියේ ය.

අබ්නේර් මරනු ලැබීම

22 ඒ අවස්ථාවේ දී ම දාවිත්ගේ සේවකයෝ ද ජෝවාබ් ද කොල්ලකෑම පිණිස ගොස් බොහෝ වස්තුව ලබාගෙන පෙරළා ආහ. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නො‍සිටියේ ය. මන්ද, දාවිත් ඔහුට යන්නට අවසර දුන් බැවින් ඔහු සාමදානයෙන් ගොස් තිබිණි. 23 එහෙත්, ජෝවාබ් සහ ඔහු සමඟ සිටි මුළු සේනාව පැමිණි විට, ”නේර්ගේ පුත් අබ්නේර් රජු ළඟට ආවේ ය; රජු ඔහුට අවසර දුන්නේ ය; ඔහු සාමදානයෙන් ගියේ ය”යි කී හ. 24 එවිට ජෝවාබ් රජතුමා ළඟට අවුත්, ”ඔබ කෙළේ කුමක් ද? අබ්නේර් ඔබ ළඟට ආවේ ය; දැන් ඔහු පිට වී ගොස් ඇත; ඔබ එසේ ඔහුට යන්නට අවසර දුන්නේ මන් ද? 25 නේර්ගේ පුත් අබ්නේර් ඔබ රවටා, ඔබේ යාම් ඊම් ද ඔබ කරන සියල්ල ද දැනගන්න පිණිස ආවේ ය; ඔබ එය දන්නෙහි දැ”යි ඇසී ය.
26 ජෝවාබ් දාවිත් වෙතින් පිටතට අවුත් අබ්නේර් පසුපස පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු සිරාගේ ළිඳ ළඟ සිට අබ්නේර් නැවත කැඳවාගෙන ආහ. එහෙත්, දාවිත් එය නො‍දත්තේ ය. 27 අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය. 28 ඉන්පසු දාවිත් ඒ ගැන අසා, ”මමත්, මාගේ රාජ්‍යයත් නේර්ගේ පුත් අබ්නේර්ගේ ලේ වැගිරීම ගැන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දී සදහට ම නිදොස් ය. 29 ඒ වරද ජෝවාබ්ටත්, ඔහුගේ පියාගේ මුළු වංශයටත් පඩිසන් දේ වා! ජෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහ රෝගයක් ඇති කෙනෙකු හෝ කුෂ්ඨ රෝගියෙකු හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙකු හෝ කඩුවෙන් වැටෙන කෙනෙකු හෝ කෑම හිඟ වූ කෙනෙකු හෝ නො‍සිටින කාලයක් කිසි කලෙක නො‍වේ වා!”යි කීවේ ය. 30 අබ්නේර් ගිබියොන්හි සටනේ දී, ජෝවාබ්ගේ සහ අබිෂයිගේ සහෝදර අසාහෙල් මැරූ නිසා, මෙසේ ඔව්හු අබ්නේර් මරාදැමූහ.
31 දාවිත් ජෝවාබ්ටත්, ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කතා කොට, ”දුකින් ඔබේ ඇඳුම් ඉරාගෙන, ගො‍්ණි රෙදි හැඳ, අබ්නේර්ගේ මෘත දේහයට පෙරටුවෙන් වැලපෙමින් යන්නැ”යි කී ය. දාවිත් රජ ද මිනී දෙණ පස්සේ ගියේ ය. 32 ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත් කළහ. රජ ශබ්ද නඟා අබ්නේර්ගේ සොහොන් පොළේ දී හැඬී ය. මුළු සෙනඟත් හැඬූ හ. 33 රජ අබ්නේර් ගැන විලාප ගීයක් ගයමින් මෙසේ කීවේ ය:
”කාලකණ්ණියෙකු මැරෙන සේ අබ්නේර් මිය යා යුතු ද?
ඔබේ අත් නො‍බඳින ලද්දේ ය;
34 ඔබේ පාදවල විලංගු නො‍දමන ලද්දේ ය.
දුෂ්ටයන් අතින් මිනිසෙකු මැරුම් කන සේ ඔබ මැරුම් කෑවෙහි ය.”
මුළු සෙනඟ යළිත් ඔහු ගැන හඬා වැලපුණෝ ය.
35 එය දවල් කාලය වූ බැවින් දාවිත්ට කෑම කන්නට පෙරැත්ත කරන පිණිස මුළු සෙනඟ ආහ. එහෙත් දාවිත්, ”මා රොටි වත්, වෙන කිසි දෙයක් වත් ඉර බැස යන තෙක් කටට ගත්තොත්, දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”යි කියමින් දිවුළේ ය. 36 මුළු සෙනඟ ඒ බව දැනගෙන එය අනුමත කළහ; එසේ ම රජ්ජුරුවන් කළ සියල්ල ගැන සතුටු වූ හ. 37 මෙසේ නේර්ගේ පුත් අබ්නේර් මැරීම රජ්ජුරුවන්ගේ කැමැත්ත නො‍වූ බව මුළු සෙනඟ ද සියලු ඉශ්රායෙල්වරු ද ඒ දවසේ දැනගත්හ. 38 රජතුමා තමන්ගේ නිලධාරීන්ට කතා කොට, අද දවසේ ඉශ්රායෙල්හි අධිපතියෙකු ද උත්තමයෙකු ද මියගිය බව ඔබ හැම දන්නේ නැද් ද? 39 මා රජු වශයෙන් අභිෂේක ලැබූ නමුත්, අද මම දුර්වල ව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයන් වන මේ මනුෂ්‍යයෝ මට වඩා බලවත් ය; නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක් වා”යි කීවේ ය.

– 4 වන පරිච්ඡේදය –

ඊෂ්-බොෂෙත් මරනු ලැබීම

1 අබ්නේර් හෙබ්‍රොන්හි දී මැරුණු බව සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැළ වූ විට ඔහු අධෛර්යයට පත් විය; සියලු ඉශ්රායෙල් ජනයා ද කැළඹුණහ. 2 සාවුල්ගේ පුත්‍රයාට කඩා වදින යුද කණ්ඩායම් භාර අධිපතියන් දෙදෙනෙක් සිටියහ; එක් කෙනෙකුගේ නම බානා ය; අනික් අයගේ නම රේකාබ් ය. මොවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝ ය. මන්ද, බෙයේරොත් ද බෙන්ජමින් වංශයට ඇතුළත් කර තිබිණි. 3 බෙයේරොතිවරු ගිත්තායිම් නගරයට පලා ගොස් අද දක්වා එහි විදේශිකයන් වී සිටිති.
4 සාවුල්ගේ පුත් ජොනතන්ට දෙපා කොර වූ පුත්‍රයෙක් සිටියේ ය. ජෙශ්‍රෙයෙල්හි සිටි සාවුල් හා ජොනතන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙකු ව සිටියේ ය. ඔහුගේ කිරි මව ඔහු වඩාගෙන පලා ගියා ය. ඈ කඩිනම් කර පලා යන අතර ඔහු වැටී කොර වුණේ ය. ඔහුගේ නම මෙපිබොෂෙත් ය.
5 තවද, බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වූ රේකාබ් ද බානා ද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේ දී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුළු වූ හ. ඉර මුදුන් වේලාව නිසා ඔහු සැතපී සිටියේ ය. 6 ඒ අවස්ථාවේ දී තිරිඟු පොළමින් සිටි දොරටුපාලී නිදිබර වී නිදා වැටුණා ය. එවිට රේකාබ් ද ඔහුගේ සහෝදර වූ බානා ද ඇතුළට පිවිසියහ. 7 ඔව්හු ගෙට ඇතුළු වී ඊෂ්-බොෂෙත් ඔහුගේ නිදන කාමරයේ යහනේ නිදා සිටිය දී ඔහුට පහර දී ඔහු මරා, ඔහුගේ හිස කපා දමා, එය රැගෙන මුළු රැයේ ම අරබා සමභූමිය පාරෙන් ගියාහ. 8 ඔව්හු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ඊෂ්-බොෂෙත්ගේ හිස ගෙනවුත්, රජුට කතා කොට, ”ඔබ මරන්නට සෙවූ, ඔබට සතුරු වූ, සාවුල්ගේ පුත්‍රයා වන ඊෂ්-බොෂෙත්ගේ හිස මෙන්න; මෙසේ සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් උදෙසා අද සාවුල්ගෙන් ද ඔහුගේ වංශයෙන් ද පළිගත් සේකැ”යි කී හ.
9 දාවිත් ද බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයන් වන රේකාබ්ටත්, ඔහුගේ සහෝදර බානාටත් පිළිතුරු දෙමින්, ”සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා මෙසේ කියමි: 10 යහපත් ආරංචියක් ගෙනෙමි යි සිතාගෙන එක් කෙනෙක්, ‘සාවුල් මැරුණේ ය’යි මට දැන්වූ විට මම ඔහු අල්ලා ශික්ලග්හි දී මරා දැමුවෙමි. ඔහු ගෙනා ආරංචියට මා විසින් දෙන ලද ප්‍රතිවිපාකය එය වේ. 11 තමාගේ ගෙයි, තමාගේ යහනේ සිටිය දී, දැහැමි මිනිසෙකු මරාදැමූ දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්නට යුතු ද? එබැවින් ඔහුගේ ලේ වැගිරීමේ වරදට ඔබෙන් පළි ගෙන ඔබ දැන් මිහි පිටින් පහ කරදැමීම මට යුතු නො‍වේ දැ”යි ඇසුවේ ය. 12 දාවිත් තමාගේ තරුණයන්ට අණ දුන්නේ ය; ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබූ හ. එහෙත්, ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළහ.

 

– 5 වන පරිච්ඡේදය –

දාවිත් ඉශ්රායෙල්හි රජකමට පත් වීම
(1 වංශා: 11:1-9; 14:1-7)

1 එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, ”අපි ඔබේ ම ලේ නෑයෝ වමු. 2 පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය. 3 මෙසේ ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙත පැමිණියෝ ය. දාවිත් රජු හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කළෝ ය. 4 දාවිත් රජකමට පත් වුණ විට ඔහුගේ වයස අවුරුදු තිහකි. ඔහු සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. 5 ඔහු හෙබ්‍රොන්හි ජුදෙව්වරුන් කෙරෙහි රජකම් කෙළේ සත් අවුරුදු හය මාසයකි; ජෙරුසලමේ ඔහු සියලු ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද කෙරෙහි රජකම් කෙළේ තිස්තුන් අවුරුද්දකි.

ජෙරුසලම අත්පත් කරගැනීම

6 රජු ද ඔහුගේ සෙනඟ ද රටේ වැසියන් වූ ජෙබුසිවරුන්ට විරුද්ධ ව ජෙරුසලමට ගියෝ ය. ඔව්හු ද, ”දාවිත්ට මෙහි ඇතුළු වන්නට බැරි ය”යි කියමින් දාවිත්ට කතා කොට, ”ඔබ මෙහි ඇතුළු නොවන්නෙහි ය. අන්ධයන් හා කොරුන් ඔබ පහකරදමනු ඇතැ”යි කීවෝ ය. 7 එසේ වුව ද, දාවිත් සියොන් බලකොටුව අල්ලාගත්තේ ය; එය දාවිත්ගේ නුවර විය.
8 ඒ දවසේ දාවිත් කතා කොට, ”ජෙබුසිවරුන්ට පහර දෙන සියල්ලෝ ම දිය අගල තුළින් ගොස් මා ද්වේෂ කරන මේ කොරුන්ටත්, අන්ධයන්ටත් පහර දෙත් වා”යි කී ය. ‘අන්ධයන් ද කොරුන් ද දේව මාලිගාවට ඇතුළු නො‍විය යුතු ය’ යන කීම ඇති වූයේ මේ නිසා ය.
9 දාවිත් බලකොටුවේ වාසය කෙළේ ය. එය දාවිත්ගේ නුවර යයි නම් කරන ලදී. දාවිත් මිල්ලෝ පටන් වටකරින් ද ඇතුළතින් ද නගර ගොඩනැඟුවේ ය. 10 කල් යත් යත් දාවිත් බලවත් විය. එසේ වූයේ, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි බැවිනි.
11 තවද, තීර්හි රජ වූ හීරාම් තෙමේ පණිවුඩකාරයන් ද කිහිරි ලී ද වඩුවන් ද ගල් වඩුවන් ද දාවිත් වෙත එව්වේ ය. ඔව්හු දාවිත්ට මාලිගාවක් ගොඩනැඟුවෝ ය. 12 තමා ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් සමිඳාණන් වහන්සේ විසින් පත් කරනු ලැබූ බවත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා තමාගේ රාජ්‍යය උසස් කරනු ලැබූ බවත් දාවිත් දැනගත්තේ ය.
13 දාවිත් හෙබ්‍රොන්හි සිට පැමිණි පසු තවත් උපභාර්යාවන් ද භාර්යාවන් ද ජෙරුසලමෙන් පාවාගත්තේ ය. තව පුත්‍රයෝ ද දූවරු ද දාවිත්ට දාව උපන්නෝ ය. 14 ජෙරුසලමෙහි දී දාවිත්ට උපන් අයගේ නම් මේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන්, සලමොන්; 15 ඉබ්හාර්, එලිෂුවා, නෙපෙග්, ජපියා; 16 එලිෂාමා, එලියාදා සහ එලිපෙලෙත් ය.

දාවිත් රජ පිලිස්තිවරුන්ට පහර දීම
(1 වංශා: 14:8-17)

17 දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේ ය. 18 පිලිස්තිවරු අවුත් රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය. 19 දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, ”මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මාගේ අතට පාවා දෙන සේක් දැ”යි ඇසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”යන්න, මම සැබැවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවා දෙමි”යි දාවිත්ට වදාළ සේක.
20 දාවිත් බාල්-පෙරාශීම් නගරයට අවුත්, එහි දී ඔවුන්ට පහර දී, ”ගඟක් ඉවුරු තළා යන්නා සේ සමිඳාණන් වහන්සේ මා ඉදිරියේ මාගේ සතුරන් බිඳ දැමූ සේකැ”යි කීවේ ය. එබැවින් ඔහු ඒ ස්ථානයට භංගස්ථානය යන අරුත ඇති බාල්-පෙරාශීම් යන නම තැබී ය. 21 ඔව්හු තමන්ගේ දේව රූප එහි දමා ගියෝ ය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඒවා රැගෙන ගියෝ ය.
22 පිලිස්තිවරු යළිත් පැමිණ රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය. 23 දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාළ කල්හි උන් වහන්සේ කතා කරමින්, ”නුඹ ඉස්සරහට නො‍යන්න; වටකරින් ඔවුන්ට පිටුපසින් ගොස් ඇඹිල්ල ගස්වලට ඉදිරිපිටින් ඔවුන් ළඟට පැමිණෙන්න. 24 තවද, ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙන කල කඩිසර වන්න. මන්ද, ඒ වේලාවේ දී සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව යන සේකැ”යි වදාළ සේක. 25 දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කර, ගෙබාහි සිට ගෙශෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය.

– 6 වන පරිච්ඡේදය –

ගිවිසුම් කරඬුව ජෙරුසලමට ගෙන ඊම
(1 වංශා: 13:1-14; 15:25-16:6,43)

1 ඉශ්රායෙල්වරුන්ගෙන් තො‍්රාගත් සියල්ලන් වන මිනිසුන් තිස්දහසක් දාවිත් නැවත රැස් කෙළේ ය. 2 දාවිත් නැඟිට තමා සමඟ සිටි මුළු සෙනඟ කැටුව යනුයේ, කෙරුබ්වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලේට ගියේ ය. 3 ඔව්හු හෙල මත පිහිටා තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අලුත් රථයක තබා ගෙනාවෝ ය. අබිනාදාබ්ගේ පුත්‍රයන් වන උශ්ශා ද අහියෝ ද අලුත් රථය දක්කාගෙන ගියෝ ය. 4 ඔව්හු හෙල මත තිබුණ අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන රථයේ තබාගෙන ගෙනාවෝ ය; ඒ ඉදිරියෙන් අහියෝ ගමන් කෙළේ ය. 5 දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය සියලු ආකාර තූර්ය භාණ්ඩවලින් ද කුඩා වීණාවලින් ද කයිතාලම්වලින් ද වීණාවලින් ද රබන්වලින් ද අත්තලවලින් ද නාද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මහ හඬින් ගයමින් නැටුවෝ ය.
6 ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය. 7 එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවිළිණි. දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහි දී ඔහුට පහර දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේ ය. 8 සමිඳාණන් වහන්සේ උශ්ශාට පහර දුන් බැවින්, දාවිත් ශෝකයට පත් වී ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අරුත ඇති පෙරෙශ්-උශ්ශා යන නම තැබුවේ ය. ඒ නාමය අද දක්වා පවතී.
9 ඒ දවසේ දී දාවිත් සමිඳාණන් වහන්සේට භය ව, ”සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට එන්නේ කෙසේ දැ”යි කීවේ ය. 10 එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය. 11 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසේ තුන් මාසයක් තිබුණේ ය. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළ සේක.
12 දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගත ව ගෙනාවේ ය. 13 තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය. 14 දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය. 15 මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ.
16 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුව වන මීකල් කවුළුවෙන් බලා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙළා දැක්කා ය. 17 ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය. 18 දාවිත් දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම කළ පසු සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය. 19 තවද, ඔහු මුළු සෙනඟට එනම්, ඉශ්රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාට හා ස්ත්‍රියට රොටියකුත්, මස් කැබැල්ලකුත්, වියළි මුද්‍රික කැටියකුත් දුන්නේ ය. එවිට මුළු සෙනඟ තම තමන්ගේ නිවෙස්වලට යන්නට ගියහ.
20 දාවිත් ද තමන්ගේ ගෙවැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය. සාවුල්ගේ දුව වන මීකල් දාවිත්ගේ පෙරමඟට අවුත් කතා කොට, ”කමකට නැති කෙනෙකු විලි ලජ්ජා නැති ව තමාගේ ඇඳුම් ගලවා දමන්නා සේ අද සිය මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගලවා දැමූ ඉශ්රායෙල් රජතුමා අද තේජවන්ත වී සිටින හැටි පුදුම ය”යි කීවා ය.
21 දාවිත් මීකල්ට කතා කොට, ”එසේ කරන ලද්දේ, සිය සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට පත් කරන පිණිස ඔබේ පියාත්, ඔහුගේ මුළු වංශයත් පහ කොට මා තෝරාගත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ය. ඒ නිසා මම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නටන්නෙමි. 22 මම ඊටත් වඩා නීච ව මාගේ ම ඇස් හමුයෙහි පහත් වන්නෙමි, එහෙත්, ඔබ කී දාසීන්ගෙන් නම් ගෞරව ලබන්නෙමි”යි කීවේ ය.
23 එබැවින් සාවුල්ගේ දුව වන මීකල්ට මැරෙන තුරු දරුවෙක් නො‍ලැබුණේ ය.

– 7 වන පරිච්ඡේදය –

නාතාන්ගෙන් දාවිත් රජුට පණිවුඩයක්
(1 වංශා: 17:1-15)

1 දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිඳාණන් වහන්සේ ඔහුට හැම අතින් ම නිදහස දුන් පසු, ඔහු සිය නිවෙසෙහි වාසය කෙළේ ය. 2 එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවැසිවරයාට කතා කොට, ”මෙන්න, මම දැන් කිහිරි ගෙයක වසමි; එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළේ තිබේ ය”යි කීවේ ය.
3 එවිට නාතාන් පිළිතුරු දෙමින්, ”ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය.
4 තවද, එම රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ පණිවුඩය නාතාන් වෙත පැමිණියේ ය. 5 උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න: 6 ‘මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නො‍කොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි. 7 මාගේ සෙනඟ වන ඉශ්රායෙල් පාලනය කරන පිණිස මා අණ දුන් වීර පුරුෂයන්ගෙන්, ‘නුඹලා මට කිහිරි ලීවලින් ගෘහයක් ගොඩනොනැඟුවේ මන්දැ’යි සියලු ඉශ්රායෙල් සෙනඟ හැසුරුණ කිනම් ස්ථානයක දී ඇසුවෙම් ද?
8 ”එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි. 9 නුඹ ගිය හැමතැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳදැමුවෙමි. මිහි පිට සිටින උත්තමයන්ගේ නාමය මෙන් උසස් නාමයක් නුඹට සලසා දෙන්නෙමි. 10 මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ඔවුන්ට ම හිමි ස්ථානයෙහි වාසය කරමින්, තවත් බැහැර කරනු නො‍ලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථිර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙර කළා සේ තවත් ඔවුන්ට හිරිහැර නො‍කරන්නාහ. 11 එසේ කරන්නේ, මා ඉශ්රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේ දී මෙන් ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සමිඳාණන් වහන්සේ ම නුඹට දන්වන සේක. 12 නුඹේ ආයු කාලය සම්පූර්ණ වී නුඹේ පියවරුන් සමඟ සැතපුණ කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථිර කරන්නෙමි. 13 ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි. 14 මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළො‍ත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි. 15 එහෙත්, නුඹේ මාර්ගයෙන් මා විසින් අහක් කරන ලද සාවුල්ගෙන් මාගේ ස්ථිර ප්‍රේමය පහ කළ ලෙස ඒ රජුගෙන් එය පහ නො‍කරන්නෙමි. 16 නුඹේ වංශය ද රාජශ්‍රීය ද මා ඉදිරියෙහි සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය. නුඹේ සිංහාසනය සදහට ම පිහිටුවනු ලබන්නේ ය.”
17 මේ සියලු වචනවල හැටියටත්, මේ මුළු දර්ශනයේ හැටියටත් නාතාන් දාවිත්ට දැන්විය.

දාවිත් රජුගේ ස්තුති දීමේ යාච්ඤාව
(1 වංශා: 17:16-27)

18 එවිට දාවිත් රජ ඇතුළට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හිඳගෙන, මෙසේ යැදී ය: ”දෙවි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මෙපමණ දුර මා ගෙන ඊමට තරම් මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද? 19 එහෙත්, දෙවි ස්වාමීන් වහන්ස, මේ දේ වුව ද, ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමීන් වහන්ස, මතු පරම්පරා ද මට පෙන්වා ඇත. 20 දාවිත් ඔබ වහන්සේට තවත් කුමක් කියන්න ද? දෙවි ස්වාමීන් වහන්ස, ඔබ නම් ඔබේ මෙහෙකරුවා දන්නා සේක. 21 ඔබ මේ සියලු උසස් දේ කොට ඔබේ මෙහෙකරුවාට එය දැන්වූයේ ඔබේ පොරොන්දුව නිසා ය. ඔබේ සිතට එකඟ ලෙස ය. 22 එබැවින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ උතුම් ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත; ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත. 23 මිහි පිට කුමන ජාතියක් ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්ට සමාන ද? දෙවි ස්වාමීන් වහන්ස, තමන් සෙනඟ වන පිණිස දෙවියන් වහන්සේ විසින් වහල්කමින් මුදාගන්න ලද තවත් ජාතියක් ඇද් ද? ඔබ වහන්සේ කීර්තිය දිනාගන්න පිණිස උදාර වූ, භයානක වූ දේ කර දුන් තවත් ජාතියක් ඇද් ද? අන්‍ය ජාතීන් ද පන්නා දමා, ඔවුන්ගේ දෙවිවරුන් ද පන්නා දමා, මිසර දේශයෙන් තමන් වහන්සේ උදෙසා මුදාගත් ජාතියට සමාන අන් ජාතියක් ඇද් ද? 24 මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්, සදහට ම ඔබට සෙනඟක් වශයෙන් ස්ථිර කරගෙන, සමිඳුනි ඔබ ම ඔවුන්ගේ දෙවියන් වහන්සේ ව සිටින සේක.
25 ”ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ මෙහෙකරුවා හා ඔහුගේ වංශය ගැනත් ඔබ වදාළ වචන සදහට ම ස්ථිර කොට, ඔබ වදාළ ලෙස කළ මැනව. 26 ‘ඉශ්රායෙල් කෙරෙහි දෙවියන් වහන්සේ ව සිටින්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය’යි කියනු ලැබීමෙන් ඔබේ නාමය සදහට පසසනු ලැබේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව තිබේ. 27 මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබ කතා කොට, ‘මම නුඹට වංශයක් සාදා දෙන්නෙමි’යි ඔබේ මෙහෙකරුවාට එළිදරව් කළ සේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පු කරන්නට ඔබේ මෙහෙකරුවා ධෛර්ය ගත්තේ ය.
28 ”ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ ම දෙවියන් වහන්සේ ය, ඔබේ වචනය සැබෑ ම ය, ඔබ ද ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක. 29 එබැවින් ඔබේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදහට ම පවතින පිණිස ඊට ආශීර්වාද කරන්නට ඔබ කැමැති වන සේක් වා! මන්ද, දෙවි ස්වාමීන් වහන්ස, ඔබ එසේ වදාළ සේක. ඔබේ ආශීර්වාදය මඟින් ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ආශීර්වාද කරනු ලැබේ වා!”

 

– 8 වන පරිච්ඡේදය –

දාවිත් රජුගේ යුද්ධ ව්‍යාපාර
(1 වංශා: 18:1-17)

1 ඉන්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, අගනුවර පාලනය පිලිස්තිවරුන් අතින් පැහැර ගත්තේ ය.
2 ඔහු මෝවබ්වරුන්ටත් පහර දී, ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා ලණුවකින් මැන්නේ ය. මරණයට පත් කිරීමට පේළි දෙකක් ද ඉතුරු කරන පිණිස එක සම්පූර්ණ පේළියක් ද මැන වෙන් කෙළේ ය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ.
3 තවද, රෙහෝබ්ගේ පුත්‍රයා ද ශෝබාහි රජු ද වන හදද්-එශෙර් යුප්‍රටීස් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්නට යද්දී දාවිත් ඔහුටත් පහර දී, 4 අසරුවන් එක්දහස් හත්සියයක් ද පාබළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, එයින් රථ සියයකට අසුන් ඉතිරි කරගෙන අනික් සියලු අශ්වයන්ගේ කුදිකපා අබලන් කෙළේ ය.
5 දමස්කයෙහි සිරියන්වරු ශෝබාහි රජ වූ හදද්-එශෙර්ට උපකාර කරන්නට ආහ. එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මිනිසුන් විසිදෙදාහක් මැරුවේ ය. 6 සිරිය දමස්කයේ මුරකාර හමුදා තැබුවේ ය. සිරියන්වරු ද දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක. 7 දාවිත් හදද්-එශෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පළිස් රැගෙන ජෙරුසලමට ගෙනාවේ ය. 8 බෙටා ද බෙරොතයි ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් රජ ලෝකඩ බොහෝ සෙයින් ගත්තේ ය.
9 දාවිත්, හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජු වන තොයි ඇසූ විට, දාවිත් එසේ හදද්-එශෙර්ට විරුද්ධ ව සටන් කොට ඔහුට පහර දුන් නිසා දාවිත්ට ආචාර කරන්නටත්, 10 ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම් යැව්වේ ය. මන්ද, හදද්-එශෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුණේ ය. ජෝරාම් රන් බඩු ද රිදී බඩු ද ලෝකඩ බඩු ද ගෙනාවේ ය. 11 මේවා ද දාවිත් රජු යටත් කරගත් සියලු ජාතීන්ගෙන් ගත් රන් රිදී ද ඔහු සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය. 12 ඔහු ඒ රන් රිදී ගත්තේ, ඒදොම්වරුන්ගෙන් ද මො‍්වබ්වරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද අමලෙක්වරුන්ගෙන් ද රෙහෝබ්ගේ පුත් ශෝබාහි රජ වූ හදද්-එශෙර්ගෙන් ද ගත් කොල්ලයෙන් වේ.
13 දාවිත් ලුණු මිටියාවතෙහි ඒදොම්වරුන්ගෙන් දහඅට දාහකට පහර දී, හැරී ආ කල ඔහු කීර්තියට පත් විය. 14 ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.
15 දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කෙළේ ය. 16 ශෙරුයාගේ පුත් ජෝවාබ් සේනාපතියා ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරුවා ව සිටියේ ය. 17 අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය. 18 ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.

– 9 වන පරිච්ඡේදය –

දාවිත් රජ සහ මෙපිබොෂෙත්

1 දාවිත් කතා කොට, ”සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරු ව සිටී ද? සිටිනවා නම්, මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය.
2 සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය. ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගෙන ආ කල, ”ඔබ ශීබා දැ”යි රජ ඇසී ය. ඔහු ද, ”ඔබේ මෙහෙකරුවා වන මම ශීබා ය”යි කීවේ ය.
3 රජ ද, ”සාවුල්ගේ වංශයෙන් තවත් කිසිවෙක් ඉතිරි ව ඇද් ද? ඉතිරි ව ඇත්නම්, මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය. ශීබා පිළිතුරු දෙමින්, ”ජොනතන්ගේ පුත්‍රයෙක් තව ම සිටියි; ඔහු කොර වූ කෙනෙකැ”යි රජුට කී ය.
4 එවිට, ”ඔහු කොතැන දැ”යි රජ ඔහුගෙන් ඇසී ය. ශීබා පිළිතුරු දෙමින්, ”ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ ගෙදර සිටී ය”යි රජුට කී ය. 5 එවිට දාවිත් රජ පණිවුඩ යවා, ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ ගෙදරින් ඔහු ගෙන්වූයේ ය.
6 සාවුල්ගේ පුත්‍රයා වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත් වෙත අවුත් මුණින්තළා වී වැන්දේ ය. දාවිත් ද, ”මෙපිබොෂෙත්” කියා ඔහු ඇමතුවේ ය. ”ඔබේ මෙහෙකරුවා මෙහි ය”යි ඔහු කී ය.
7 දාවිත් කතා කොට, ”බය නොවන්න; සැබෑවට ම ඔබේ පියා වූ ජොනතන් නිසා මම ඔබට කරුණාව පෙන්වා, ඔබේ පියා වූ සාවුල්ගේ ගම් බිම් ඔබට නැවත දෙන්නෙමි. ඔබ නිතර ම මා සමඟ එකට වාඩි වී කෑම කන්නෙහි ය”යි ඔහුට කී ය.
8 ඔහු වැඳ කතා කොට, ”මා වැනි බලු කුණකට සැලකීමට ඔබේ මෙහෙකරුවා කවරෙක් දැ”යි ඇසී ය.
9 එවිට රජු සාවුල්ගේ වැඩකාරයා වන ශීබාට හඬගසා, ”සාවුල්ටත්, ඔහුගේ මුළු වංශයටත් අයිති ව තිබුණු සියල්ල ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට දෙන්නෙමි. 10 එබැවින් ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට කෑම කන්නට ලැබෙන පිණිස ඔබ සහ ඔබේ පුත්‍රයෝ ද ඔබේ වැඩකාරයෝ ද ඔහු උදෙසා බිම් වගා කොට එහි අස්වැන්න රැස් කරගන්න. එහෙත්, ඔබේ ස්වාමියාගේ පුත් මෙපිබොෂෙත් මාගේ මේසයේ කෑම කනු ඇතැ”යි කීවේ ය. ශීබාට පුත්‍රයෝ පසළො‍ස්දෙනෙක් හා වැඩකාරයෝ විසිදෙනෙක් සිටියහ.
11 එවිට ශීබා කතා කරමින්, ”මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමන්ගේ වැඩකරුවාට අණ කරන සියල්ල ලෙස ඔබේ මෙහෙකරුවා කරන්නේ ය”යි රජුට කීවේ ය. මෙපිබොෂෙත් වනාහි රාජ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු මෙන් රජු සමඟ එකට වාඩි වී කෑම කෑවේ ය. 12 මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් සිටියේ ය. ශීබාගේ ගෙවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයන් ව සිටියහ. 13 මෙලෙස මෙපිබොෂෙත් ජෙරුසලමේ විසී ය. මන්ද, ඔහු රජු සමඟ එකට වාඩි වී නිතර ම කෑම කෑවේ ය. ඔහුගේ දෙපය ම කොර වී තිබිණි.

 

– 10 වන පරිච්ඡේදය –

අම්මොන් සහ සිරියාව සමඟ යුද්ධ කිරීම
(1 වංශා: 19:1-19)

1 ඉන්පසු අම්මොන්වරුන්ගේ රජ මියගියේ ය. ඔහුගේ පුත් හානුන් ඔහු වෙනුවට රජ වුණේ ය. 2 දාවිත් කතා කරමින්, ”හානුන්ගේ පිය වූ නාහෂ් මට කරුණාව පෙන්වූ ලෙස මම හානුන්ට කරුණාව පෙන්වන්නෙමි”යි ඔහුගේ පියාගේ මරණය ගැන ඔහු සනසන පිණිස තමාගේ සේවකයන් අත පණිවුඩයක් යැවී ය. දාවිත්ගේ මෙහෙකරුවෝ අම්මොන්වරුන්ගේ දේශයට පැමිණියහ. 3 එහෙත්, අම්මොන්වරුන්ගේ අධිපතීහු තමන්ගේ ස්වාමීන් වන හානුන්ට කතා කොට, ”දාවිත් ඔබ වෙත සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබේ පියාණන්ට ගෞරව කරන්නේ යයි ඔබ සිතන්නෙහි ද? දාවිත් තමාගේ සේවකයන් ඔබ වෙත එවා ඇත්තේ, නගර සෝදිසි කර ඔත්තු බලා එය විනාශ කරන අදහසින් නො‍වේ දැ”යි කී හ.
4 එබැවින් හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා ඔවුන්ගේ රැවුලෙන් බාගයක් බූ ගා, තට්ටම් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපා දමා ඔවුන් යන්නට හැරියේ ය. 5 ඒ බව දාවිත්ට දැන්වූ කල ඔහු ඔවුන් සම්බ වන පිණිස මිනිසුන් යැවී ය. මන්ද, ඒ මිනිස්සු බොහෝ සෙයින් ලජ්ජාවට පැමිණ සිටියහ. ”ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවේ නැවතී සිට පසුව හැරී එන්නැ”යි රජ කියා යැවී ය.
6 තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළො‍ස්දහසක් ද කුලියට ගත්හ. 7 දාවිත් ඒ අසා, ජෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවී ය. 8 අම්මොන්වරු පිටතට අවුත්, දොරටුව ළඟ යුද්ධය සඳහා පෙළගැසී සිටියහ. ශෝබාහි ද රෙහොබ්හි ද සිරියන්වරුත්, ටෝබ්හි ද මයකාහි ද මිනිස්සුත් එළිමහනේ භූමියෙහි වෙන වෙන ම සිටගත්හ.
9 පෙරටුවෙන් ද පිටු පසින් ද සටන තමාට විරුද්ධ ව යොමු ව තිබෙන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන් අතරෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා, 10 සෙසු සෙනඟ අම්මොන්වරුන්ට විරුද්ධ ව සිටුවන පිණිස ඔහු තමාගේ සහෝදර අබිෂයි අතට භාර දී, 11 ඔහුට කතා කොට, ”සිරියන්වරුන් මට වඩා බලවන්ත වූවොත් ඔබ මට උපකාර කරන්න; අම්මොන්වරුන් ඔබට වඩා බලවන්ත වූවොත් මම අවුත් ඔබට උපකාර කරන්නෙමි. 12 අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න; ස්ථිර ව සිටින්න; සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා”යි කී ය.
13 මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ජෝවාබ් ඉදිරියෙන් පලා ගියහ. 14 සිරියන්වරුන් පලා ගිය බව අම්මොන්වරුන් දැක, ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුල් වූ හ. එවිට ජෝවාබ් අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ජෙරුසලමට පෙරළා ආවේ ය.
15 සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක එක්රැස් වූ හ. 16 හදද්-එශෙර් ද යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්තේ ය. ඔව්හු ඔවුන්ට පෙරටු ව හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝබා සමඟ හේලාම් නගරයට පැමිණියහ. 17 එපවත් දාවිත් රජුට දැන්වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානින් එගොඩ වී හේලාම් නගරයට ගියේ ය. 18 සිරියන්වරුන් ද දාවිත් රජුට විරුද්ධ ව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන් කළ විට ඔව්හු ඉශ්රායෙල් ඉදිරියෙන් පලා ගියහ. දාවිත් සිරියන්වරුන්ගේ රියැදුරන් හත්සියයක් ද අසරුවන් සතළිස්දහසක් ද මරා, ඔවුන්ගේ සෙන්පති ෂෝබාටත් පහර දුන්නේ ය. ඔහු එතැන ම මළේ ය. 19 එවිට හදද්-එශෙර්ගේ සේවකයන් වන සියලු රජවරු තමන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක, ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන ගිවිසගෙන ඔවුන්ට සේවය කළහ. මෙසේ සිරියන්වරු අම්මොන්වරුන්ට තවත් උපකාර කරන්නට බිය වූ හ.

 

– 11 වන පරිච්ඡේදය –

දාවිත් රජු සහ බැත්-ෂෙබා

1 ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය.
2 දිනක් සවස් වේලේ දාවිත් තමාගේ යහනින් නැඟිට ගොස්, රජ මාලිගාවේ පියස්ස උඩ සක්මන් කෙළේ ය. එවිට ස්ත්‍රියක ස්නානය කරනු ඔහු පියස්සේ සිට දිටී ය. ඒ ස්ත්‍රිය ඉතා රූමත් වූවා ය. 3 දාවිත් පණිවුඩ යවා ස්ත්‍රිය ගැන විභාග කරවී ය. එක් කෙනෙක් කතා කොට, ”ඈ එලියාම්ගේ දුව වන, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ වන බැත්-ෂෙබා නො‍වේ දැ”යි කී ය. 4 දාවිත් පණිවුඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේ ය. ඈ ඔහු ළඟට ආවා ය. ඔහු ඈ සමඟ සේවනයෙහි යෙදිණි; ඒ අවස්ථාවේ දී ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදු වූවා පමණකි. ඈ සිය ගෙදරට පෙරළා ගියා ය. 5 ඈ ගැබ්ගෙන, ”මම ගැබ්ගෙන සිටිමි”යි දාවිත්ට දන්වා යැවුවා ය.
6 එවිට දාවිත්, ”හිත්තීය උරියා මා ළඟට එවන්නැ”යි ජෝවාබ්ට කියා යැවී ය. ජෝවාබ්, දාවිත් ළඟට උරියා යැවී ය. 7 උරියා ඔහු ළඟට ආ කල දාවිත් ඔහුගෙන් ජෝවාබ්ගේ ද සෙනඟගේ ද සැප සනීප ගැනත්, යුද්ධය සිදු වේගෙන යන ආකාරයත් විචාළේ ය. 8 ඉන්පසු දාවිත්, ”ඔබ ගෙදර ගොස් විවේකී ව සිටින්නැ”යි උරියාට කීවේ ය. උරියා රජ මාලිගාවෙන් පිටත් ව ගියේ ය. ඔහු ගිය පසු රජුගෙන් ත්‍යාගයක් ඔහු වෙත යවන ලදී. 9 එහෙත්, උරියා සිය ගෙදරට නො‍ගොස්, තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ රජ මාලිගාවේ දොරකඩ නිදාගත්තේ ය. 10 ”උරියා තමාගේ ගෙදරට නො‍ගියේ ය”යි දාවිත්ට දන්වනු ලැබූ කල, දාවිත් උරියාට කතා කොට, ”ඔබ ගමනක් ගොස් ආවා නො‍වේ ද? ඔබ ගෙදර නො‍ගියේ මන්දැ”යි ඇසුවේ ය.
11 උරියා දාවිත්ට කතා කොට, ”ගිවිසුම් කරඬුව කූඩාරමක ඇත; ඉශ්රායෙල්වරු ද ජුදෙව්වරු ද කූඩාරම්වල සිටිති; මාගේ ස්වාමීන් වන ජෝවාබ් ද මාගේ ස්වාමියාගේ සේවකයෝ ද එළිමහනේ කඳවුරු බැඳගෙන සිටිති. එසේ නම්, කා, බී ප්‍රීති වන්නටත්, මාගේ බිරිඳ සමඟ සයනය කරන්නටත් මා මාගේ ගෙදරට යන්නේ කෙසේ ද? මම සැබෑ ලෙස එවැන්නක් නො‍කරමි යි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි පැවසී ය.
12 එවිට දාවිත් පිළිතුරු දෙමින්, ”අදත් මෙහි සිටින්න, හෙට ඔබ යන්නට හරින්නෙමි”යි උරියාට කීවේ ය. එසේ උරියා එදත්, පසු දිනත් ජෙරුසලමේ සිටියේ ය. 13 පසු දින දී දාවිත් ඔහු කැඳවා, ඔහුට කන්නටත්, බොන්නටත් දී ඔහු වෙරිමත් කෙළේ ය. ඔහු සවස තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදන පිණිස ගියේ ය. එහෙත් සිය ගෙදරට නො‍ගියේ ය.
14 පසු දින උදේ දාවිත් ජෝවාබ්ට ලියුමක් ලියා එය උරියා අතේ යැවී ය. 15 ඔහු ඒ ලියුමේ, ”සටන ඉතා බලවත් ව තිබෙන තැනක උරියා සිටුවා, පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වන්නැ”යි ලියා යැවී ය. 16 ජෝවාබ් නුවර වටලා සිටිය දී වීරවන්ත මිනිසුන් සිටින බව ඔහු දැන සිටි ස්ථානයේ උරියා සිටෙවුවේ ය. 17 නගර වැසියෝ පිටතට අවුත් ජෝවාබ් සමඟ යුද්ධ කළහ. එවිට සෙනඟගෙන් එනම්, දාවිත්ගේ සේවකයන්ගෙන් සමහරෙක් මැරී වැටුණ හ. හිත්තීය උරියා ද මැරුම් කෑවේ ය.
18 එවිට ජෝවාබ් යුද්ධය ගැන සියලු කාරණා දාවිත්ට දන්වා යැවී ය. 19 ඔහු පණිවුඩකාරයාට කතා කොට, ”ඔබ යුද්ධය ගැන සියලු කාරණා රජුට කියා නිම වූ කල, 20 රජු කෝප වී, ‘ඔබ සටන් කරන පිණිස නගරයට එපමණ ළං වූයේ මන් ද? ඔවුන් පවුරේ සිට දුන්නෙන් විදින බව දන්නේ නැද් ද? 21 ජෙරුබ්බෙෂෙත්ගේ පුත් අබිමෙලෙක් මරන ලද්දේ කවරෙකු විසින් ද? තේබේශ්හි දී ස්ත්‍රියක පවුරේ සිට ඔහු පිට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නො‍වේ ද? ඔබ එපමණ පවුරට ළං වුණේ මන්දැ’යි ඔබට කීවොත්, ‘ඔබේ සේවකයා වන හිත්තීය උරියා ද මළේ ය’යි දන්වන්නැ”යි ඔහුට අණ කෙළේ ය.
22 මෙසේ පණිවුඩකාරයා ගොස්, ජෝවාබ් තමා අත කියා යැවූ සියල්ල දාවිත්ට දැන්වී ය. 23 පණිවුඩකාරයා දාවිත්ට කතා කොට, ”ඒ මිනිසුන් අපට විරුද්ධ ව බලවත් වී අප සමඟ සටන් කරන පිණිස පිටතට ආ විට අපිත් ඔවුන්ට විරුද්ධ ව දොරටුව දක්වා ගියෙමු. 24 එවිට දුනුවායෝ පවුරේ සිට ඔබේ සේවකයන්ට විද්දො‍් ය. රජ්ජුරුවන්ගේ සේවකයන් සමහරෙක් මළහ. ඔබේ සේවක හිත්තීය ජාතික උරියාත් මළේ ය”යි කී ය.
25 එවිට දාවිත් පණිවුඩකාරයාට කතා කොට, ”ඔබ ජෝවාබ්ට මෙසේ කියන්න: ‘මේ කාරණය ගැන කණගාටු නොවන්න. මන්ද, කඩුව කවරෙකු නසන්නේ දැ යි කාට කිව හැකි ද? නගරයට තවත් දරුණු ලෙස පහර දී එය බිඳ හෙළන්න’ කියා ඔහුට ධෛර්ය දෙන්නැ”යි කී ය.
26 උරියාගේ බිරිඳ තමාගේ සැමියා වන උරියා මැරුණ බව අසා, ඔහු ගැන වැලපුණා ය. 27 වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.

 

– 12 වන පරිච්ඡේදය –

නාතාන්ගේ උපමාව

1 සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: ”එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි. 2 ධනවතාට බැටළු හා ගව පට්ටි ඉතා විශාල ගණනක් තිබිණි. 3 එහෙත්, තමා මිලට ගෙන ඇති කළ එක කුඩා බැටළු පැටියෙකු හැර වෙන කිසිවක් දිළින්දාට නො‍ වී ය. ඒ බැටළු වැස්සිය ඔහු සමඟ ද ඔහුගේ දරුවන් සමඟ ද වැඩෙමින්, ඔහුගේ කෑමවලින් කමින් ද ඔහුගේ කුසලානෙන් බොමින් ද ඇති දැඩි වූවා ය. ඔහු ඒ බැටළු වැස්සී සිය ළයෙහි හොවාගත්තේ ය. ඒ වැස්සී ඔහුට දුවක මෙන් වූවා ය. 4 ”දිනක් ධනවතාගේ ගෙදරට ගමනක් යන කෙනෙක් ආවේ ය. ධනවතා තමාගේ ගෙදරට ආ මඟියාට කෑම පිළියෙළ කරන පිණිස සතෙකු තමාගේ බැටළුවන්ගෙන් වත්, ගවයන්ගෙන් වත් ගන්නට අකමැති වී දිළින්දාගේ බැටළු වැස්සිය අරගෙන තමාගේ ගෙදරට ආ මිනිසාට කෑමක් පිළියෙළ කෙළේ ය.”
5 ඒ ඇසූ දාවිත්ගේ කෝපය ඒ මිනිසාට විරුද්ධ ව තදින් ඇවිළී, ඔහු නාතාන්ට කතා කොට, ”මේ දේ කළ මිනිසා මැරුම් කෑ යුතු ය කියා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. 6 ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නො‍දැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය.
7 එවිට නාතාන් දාවිත්ට මෙසේ කීවේ ය: ”ඒ මිනිසා ඔබ තමයි; එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කර, මම ම නුඹ සාවුල් අතින් ගළවා ගතිමි. 8 මම නුඹේ ස්වාමියාගේ වංශය ද ඔහුගේ භාර්යාවන් ද නුඹට ම දිනිමි. ඉශ්රායෙල් හා ජුදා වංශයත් නුඹට දිනිමි. මෙය නුඹට ප්‍රමාණවත් නොවන්නේ නම්, මෙවැනි තවත් දේ මම නුඹට දෙන්නෙමි. 9 නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමෙන් උන් වහන්සේගේ වචනය සුළු කොට සිතුවේ කුමක් නිසා ද? නුඹ හිත්තීය ජාතික උරියා කඩුවෙන් නසා, ඔහුගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත්තෙහි ය. නුඹ අම්මොන්වරුන් ලවා ඔහු කඩුවෙන් මැරෙව්වෙහි ය. 10 ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’ 11 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය. 12 නුඹ කළ දේ නුඹ කෙළේ රහසින් ය; එහෙත්, මම මේ දේ සියලු ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි.’
13 එවිට දාවිත් පිළිතුරු දෙමින්, ”මම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි”යි නාතාන්ට කී ය. නාතාන් ද කතා කරමින්, ”සමිඳාණන් වහන්සේ ඔබේ පාපයට ක්ෂමාව දුන් සේක; ඔබ නො‍නසින්නෙහි ය; 14 එහෙත්, ඔබේ මේ ක්‍රියාව හේතුකොටගෙන සමිඳාණන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ ම ය”යි දාවිත්ට කී ය. 15 ඉන්පසු නාතාන් සිය ගෙදරට ගියේ ය.

දරුවාගේ මරණය හා සලමොන්ගේ උපත

දාවිත්ගෙන් උරියාගේ බිරිඳ ලැබූ දරුවා රෝගයකින් පෙළෙන්නට සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. ළදරුවා ඉතා රෝගාතුර විය. 16 එබැවින් ළදරුවා ගැන දාවිත් දෙවියන් වහන්සේට කන්නලව් කෙළේ ය. දාවිත් නිරාහාර ව සිට, ගෙට ඇතුල් වී බිම වැතිර මුළු රෑ ගත කෙළේ ය. 17 ඔහු බිමෙන් නැඟුටුවන්නට ඔහුගේ ගෙදර වැඩිහිටියෝ ඔහු ළඟ සිටියහ. එහෙත්, ඔහු නැඟිටින්නට කැමැති නො‍ වී ය. ඔවුන් සමඟ කෑම කෑවේ වත් නැත. 18 සත් වන දා දරුවා මැරුණේ ය.
දාවිත්ගේ සේවකයෝ දරුවා මැරුණු බව ඔහුට දන්වන්න බිය වූ හ. මන්ද, ”දරුවා ජීවත් ව සිටිය දී අප ඔහුට කතා කළ විට ඔහු අපේ හඬට සවන් දුන්නේ නැත. ඉතින් දරුවා මැරුණ බව ඔහුට කීවොත් සමහර විට ඔහු තමාට යම් අනතුරක් කරගන්නට බැරි නැතැ”යි ඔව්හු සිතූ හ.
19 එහෙත්, දාවිත් තමාගේ මෙහෙකරුවන් රහසින් කතා කරනු දැක, දරුවා මළ බව තේරුම්ගෙන, ”ළදරුවා මැරුණේ දැ”යි මෙහෙකරුවන්ගෙන් ඇසී ය. ඔව්හු ද, ”ළදරුවා මැරුණේ ය”යි කී හ.
20 එවිට දාවිත් බිමෙන් නැඟිට ස්නානය කොට, තෙල් ගාගෙන, තමාගේ වස්ත්‍ර මාරු කර, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වී නමස්කාර කොට, ඉන්පසු සිය නිවෙසට ආවේ ය. තවද, ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්න කියා, කෑම කෑවේ ය. 21 එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, ”ඔබ කළ මේ දේ කුමක් ද? ළදරුවා ජීවත් ව සිටිය දී ඔබ ඔහු නිසා නිරාහාර ව ඇඬුවෙහි ය. එහෙත්, ළදරුවා මැරුණු විට ඔබ නැඟිට කෑම කෑවෙහි ය”යි කී හ.
22 දාවිත් පිළිතුරු දෙමින්, ”ළදරුවා ජීවත් ව සිටිය විට මම නිරාහාර ව සිට ඇඬුවෙමි. මා එසේ කෙළේ, ‘දරුවා ජීවත් වන ලෙස සමිඳාණන් වහන්සේ මට කරුණා කරන සේක් ද, නො‍කරන සේක් ද කියා කවුරු දනිත් දැ’යි මා සිතූ බැවිනි. 23 එහෙත්, දැන් ඔහු මළ පසු කුමට නිරාහාර ව සිටිම් ද? ඔහු නැවත ගෙන්වාගන්නට පුළුවන් ද? මා ඔහු ළඟට යනවා මිස, ඔහු මා ළඟට එන්නේ නැතැ”යි කී ය.
24 ඉන්පසු දාවිත් තමාගේ බිරිඳ වන බැත්-ෂෙබා සනසා, ඈ ළඟට පැමිණ, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ පුතෙකු ලැබුවා ය. සලමොන් යන නම දාවිත් ඔහුට තැබුවේ ය. සමිඳාණන් වහන්සේ දරුවාට ප්‍රේම කළ සේක. 25 ඒ බව උන් වහන්සේ දිවැසිවර නාතාන් අත දන්වා හැර, සමිඳාණන් වහන්සේ කී පරිදි, ඔහුට ‘සමිඳුන් ප්‍රේම කළ තැනැත්තා’ යන අර්ථය ඇති ‘ජෙදීදියා’ යන නම තැබී ය.

රබ්බා නගරය අල්ලාගැනීම
(1 වංශා: 20:1-3)

26 ජෝවාබ් අම්මොන්වරුන්ට අයිති රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කොට රාජධානිය අල්ලාගත්තේ ය. 27 ජෝවාබ් දාවිත් රජු වෙත පණිවුඩකාරයන් යවමින්, ”රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කෙළෙමි; ජලය සපයන ඒ රාජධානිය ද අල්ලාගතිමි. 28 එබැවින් මා විසින් ඒ නගරය අල්ලාගැනීමෙන් ඊට මාගේ නාමය නො‍ලැබෙන පිණිස, ඔබ ඉතිරි සෙනඟ රැස් කරගෙන නගරයට විරුද්ධ ව කඳවුරු බැඳ එය අල්ලාගත මැනවැ”යි කියන්නට නියම කෙළේ ය. 29 දාවිත් වනාහි, මුළු සෙනඟ රැස් කරගෙන, රබ්බා නගරයට ගොස්, ඊට විරුද්ධ ව සටන් කොට එය අල්ලාගත්තේ ය. 30 ඔහු මිල්කොම් රජුගේ ඔටුන්න ඔහුගේ හිසෙන් ගත්තේ ය. එහි බර, රන් කිලෝග්‍රෑම් තිස්පහක් විය. එහි අනර්ඝ මැණික් ගලක් අල්ලා තිබිණි. එය දාවිත්ගේ හිසේ තබන ලද්දේ ය. ඔහු ඒ නුවරින් කොල්ලකෑ බොහෝ දේ ගෙනාවේ ය. 31 ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා, කියත්වලින් ද යකඩ ගල් කටුවලින් ද යකඩ පොරෝවලින් ද වැඩ කරන්නටත්, ගඩොල් උදුන්වල වැඩ කරන්නටත් ඔවුන් යෙදෙවුවේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නගරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් රජ සහ මුළු සෙනඟ ජෙරුසලමට පෙරළා ආහ.

 

– 13 වන පරිච්ඡේදය –

අම්නො‍න් සහ තාමාර්

1 ඉන්පසු මෙසේ සිදු විය. දාවිත්ගේ පුත් අබ්සලොම්ට තාමාර් නම් රුවැති සහෝදරියක් සිටියා ය. දාවිත්ගේ පුත් අම්නො‍න් ඈට ප්‍රේම කෙළේ ය. 2 අම්නො‍න් තමාගේ සහෝදරී වූ තාමාර්ට ප්‍රේම කළ නිසා අසනීප වන තරම් සිත් වේදනාවෙන් සිටී ය. ඈ කන්‍යාවක වන බැවින් ඈට කිසිවක් කිරීම දුෂ්කර බව අම්නො‍න්ට පෙනුණේ ය. 3 දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත් ජොනාදාබ් නම් මිත්‍රයෙක් අම්නො‍න්ට සිටියේ ය. ජොනාදාබ් උපායේ ඉතා දක්ෂ මිනිසෙකි. 4 ඔහු අම්නො‍න්ට කතා කොට, ”රාජ පුත්‍රය, ඔබ දවසින් දවස මෙසේ කෘශවන්නේ මන් ද? මට කියන්නේ නැද්දැ”යි ඇසී ය. එවිට අම්නො‍න්, ”මාගේ සහෝදර අබ්සලොම්ගේ සහෝදරිය වන තාමාර්ට මම ආලය කරමි”යි ඔහුට කී ය.
5 ජොනාදාබ් ද පිළිතුරු දෙමින්, ”ඔබ ලෙඩින් සිටින්නා සේ ඔබේ යහනේ වැතිර සිට, ඔබේ පියාණන් ඔබ බලන්නට ආ කල, ඔහුට කතා කොට, ‘මාගේ සහෝදරී වන තාමාර් මා වෙත අවුත් මට කෑම දෙන්නටත්, මට පෙනෙන ලෙස කෑම පිළියෙළ කරන්නටත්, ඇගේ අතින් එය කන්නටත් අවසර දුන මැනවැ’යි ඔහුට කියන්නැ”යි කීවේ ය. 6 මෙසේ අම්නො‍න් ලෙඩින් සිටින්නා සේ වැතිර සිටියේ ය. රජු අම්නො‍න් බලන්නට ආ කල, ”මාගේ සහෝදරී වන තාමාර්ගේ අතින් ම මට කන්නට පුළුවන් වන පිණිස ඈ අවුත් මා ඇස් ඉදිරියේ ම රොටි දෙකක් සාදන්නට ඈට අවසර දුන මැනවැ”යි කී ය.
7 එවිට දාවිත් පණිවුඩයක් යවමින්, ”ඔබේ සහෝදර අම්නො‍න්ගේ නිවෙසට ගොස්, ඔහුට කෑම සාදා දෙන්නැ”යි ගෙදර සිටි තාමාර්ට කියා යැවී ය. 8 එවිට තාමාර් තමාගේ සහෝදර අම්නො‍න්ගේ ගෙට ගියා ය. ඔහු නිදා සිටියේ ය. ඈ පිටි රැගෙන අනා, ඔහුගේ ඇස් ඉදිරියෙහි දී රොටි සාදා, පුළුස්සා, 9 ඇතිලිය ගෙනවුත් ඔහු ඉදිරියෙහි ඒවා බෙදා දුන්නා ය. එහෙත්, ඔහු කන්නට අකමැති විය. අම්නො‍න්, ”හැම දෙනා ම මා වෙතින් පිටතට යන්නැ”යි කී ය. එවිට සියලු දෙනා ම ඔහු වෙතින් පිටතට ගියහ. 10 අම්නො‍න් කතා කරමින්, ”මා ඔබේ අතින් කන පිණිස, කෑම ඇතුළු ගෙට ගෙනෙන්නැ”යි තාමාර්ට කීවේ ය. තාමාර් ඈ සෑදූ රොටි ගෙන ඇතුල් ගෙයි සිටි ඇගේ සහෝදර අම්නො‍න් ළඟට ගෙන ගියා ය. 11 ඒවා ඔහුට කවන්නට ළඟට ගෙන ගිය විට ඔහු ඈ අල්ලා, ”මාගේ සහෝදරිය, ඇවිත් මා සමඟ සයනය කරන්නැ”යි ඈට කී ය.
12 එවිට ඈ කතා කොට, ”මාගේ සහෝදරය, එසේ නො‍වේවා. මට අවනම්බු නො‍කරන්න; ඉශ්රායෙල්හි එබඳු දෙයක් කරන්නට යුතු නැත; මේ නින්දිතකම නො‍කරන්න; 13 එසේ කළො‍ත්, මා මාගේ නින්දාව සඟවාගන්නේ කෙසේ ද? ඔබත් ඉශ්රායෙල්හි නින්දිතයන්ගෙන් එක් කෙනෙකු මෙන් වන්නෙහි ය. ඒ නිසා රජ්ජුරුවන්ට කතා කරන්න; ඔහු මා ඔබට නො‍ දී සිටින්නේ නැතැ”යි කීවා ය. 14 එහෙත්, ඔහු ඇගේ කීමට සවන් නො‍ දී, ඈට වඩා ශක්තිමත් බැවින් බලහත්කාරකමින් ඈ දූෂණය කළේ ය.
15 එවිට අම්නො‍න් ඈට බොහෝ සේ වෛර කෙළේ ය. ඔහුට ඇති වූ ඒ වෛරය කලින් ඔහු ඈට තිබුණ ආලයට වඩා බලවත් විය. ”නැඟිට පලයන්නැ”යි අම්නො‍න් ඈට කී ය.
16 ඈ කතා කොට, ”එසේ නො‍කරන්න; මා යන්නට හැරීම ඔබ මට කළ අනික් නපුරට වඩා මහත් ය”යි කීවා ය. එහෙත්, ඔහු ඈට සවන් නො‍ දී, 17 තමාට සේවය කළ වැඩකාරයාට අඬගසා, ”මේ ස්ත්‍රිය මා වෙතින් පිටතට හැර, දොර අගුල ලාපන්නැ”යි කී ය. 18 ඈ අත් දිග ඇඳුමක් ඇඳ සිටියා ය. රජුගේ කන්‍යා දූවරුන් එබඳු ඇඳුම් ඇඳීම සිරිතකි. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර, දොර අගුල් දැමුවේ ය. 19 එවිට තාමාර් තමාගේ හිසේ අළු දමාගෙන, ඇඳ සිටි දිග අත් ඇති ඇඳුම ඉරාගෙන, හිසේ අත තබාගෙන කෑගසමින් ගියා ය.
20 ඇගේ සහෝදර අබ්සලොම් ඈට කතා කොට, ”ඔබේ සහෝදර අම්නො‍න් ඔබ සමඟ සිටියේ ද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්ද ව සිටින්න. ඔහු ඔබේ සහෝදරයා ය. මේ කාරණය සිතට නො‍ගන්නැ”යි ඈට කීවේ ය. තාමාර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙදර අසරණ භාවයෙන් විසුවා ය.
21 දාවිත් මේ සියලු දේ අසා ඉතා උදහස් විය. 22 එහෙත්, අබ්සලොම් අම්නො‍න්ට විරුද්ධ ව ගුණ වත්, අගුණ වත් නො‍කීවේ ය. එසේ නො‍කීවේ, තමාගේ සහෝදරී වන තාමාර්ට අම්නො‍න් අවනම්බු කළ නිසා අබ්සලොම් ඔහුට වෛර බැන්ද බැවිනි.

අම්නො‍න්ගේ මරණය

23 මීට දෑවුරුද්දකට පසු, එප්‍රායිම්ට නුදුරු වූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූ හ. අබ්සලොම් රජුගේ සියලු පුත්‍රයන් කැඳෙව්වේ ය. 24 ඔහු රජු වෙත අවුත් කතා කොට, ”ඔබේ මෙහෙකරුවාට බැටළු ලොම් කපන්නෝ සිටිති; ඉතින් රජු ද තමන්ගේ සේවකයන් ද ඔබේ මෙහෙකරුවා සමඟ අව මැනවැ”යි කී ය.
25 රජ ද පිළිතුරු දෙමින්, ”නැත, මාගේ පුත්‍රය, අපි සියල්ලෝ ම නො‍එන්නෙමු; ආවොත් ඔබට බරක් වනු ඇතැ”යි අබ්සලොම්ට කී ය. අබ්සලොම් පෙරැත්ත කළ නමුත්, රජ යන්නට කැමැති නො‍වී, ඔහුට ආශීර්වාද කොට පිටත් කර හැරියේ ය.
26 එකල අබ්සලොම්, ”එසේ නම්, මාගේ සහෝදර අම්නො‍න්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. ”ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය. 27 එහෙත්, අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළෙන්, අම්නො‍න්ට ද රජුගේ සියලු පුත්‍රයන්ට ද ඔහු සමඟ යන්නට ඉඩ දුන්නේ ය.
28 අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණ කරමින්, ”අම්නො‍න් මුද්‍රික පානය බී විනෝද සිතින් සිටින කල, ‘අම්නො‍න්ට පහර දෙන්නැ’යි මා ඔබට කී විට, ඔහු මරාදමන්න; බිය නොවන්න; ඔබට අණ කරන්නේ මම නො‍වෙම් ද? ධෛර්යවත් ව ද බලසම්පන්න ව ද සිටින්නැ”යි කී ය. 29 අබ්සලොම්ගේ වැඩකාරයෝ අබ්සලොම් අණ කළ ලෙස අම්නො‍න්ට කළහ. එවිට රජුගේ සියලු පුත්‍රයෝ නැඟිට තම තමන්ගේ අශ්වතරයන් පිට නැඟී පලා ගියහ.
30 ඔවුන් මාර්ගයේ යද්දී, ”රජුගේ සියලු පුත්‍රයෝ අබ්සලොම් විසින් මරන ලද්දේ ය; එක් කෙනෙක් වත් ඉතුරු වී නැතැ”යි දාවිත්ට සැළ විය. 31 එවිට රජ නැඟිට සොවින් තමාගේ වස්ත්‍ර ඉරාගෙන, බිම වැතුරුණේ ය; ඔහුගේ සියලු සේවකයෝ ද තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන ළඟ සිටියහ. 32 දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත් ජොනාදාබ් කතා කොට, ”රජුගේ පුත්‍රයන් වන ඒ තරුණයන් සියල්ලන් ම ඔව්හු මැරුවෝ යයි මාගේ ස්වාමියා නො‍සිතා වා; මැරුණේ අම්නො‍න් පමණයි. මන්ද, අබ්සලොම්ගේ සහෝදරී වන තාමාර් අම්නො‍න් විසින් කෙලෙසුණු දා පටන්, අබ්සලොම් එසේ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය. 33 ඒ නිසා සියලු රාජ කුමාරයෝ මළො‍‍් යයි මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිතට නො‍ගත මැනව. මැරුණේ අම්නො‍න් පමණකි”යි කීවේ ය.
34 අබ්සලොම් පලා ගියේ ය. රැකවලේ සිටි තරුණයා හිස ඔසවා බැලූ විට, විශාල සෙනඟක් කන්දේ පැත්තකින් හොරානායිම් මාර්ගයේ එනවා දුටුවේ ය. 35 ජොනාදාබ් රජුට කතා කොට, ”අන්න, රාජ කුමාරයෝ එති. ඔබේ මෙහෙකරුවා කී ලෙස ම සිද්ධ වී තිබේ ය”යි කීවේ ය. 36 තවද, ඔහු කතා කර නිම වූ කෙණෙහි ම රාජ කුමාරයෝ අවුත් ශබ්ද නඟා ඇඬූ හ. රජ ද ඔහුගේ සියලු සේවකයෝ ද ශබ්ද නඟා ඇඬූ හ.
37 අබ්සලොම් ගෙෂූර්හි රජ වූ අම්මිහුද්ගේ පුත් තල්මයි වෙත පලා ගියේ ය. දාවිත් තමාගේ පුත්‍රයා ගැන හැම දින ම බොහෝ කාලයක් තුළ වැලපිණි. 38 මෙසේ අබ්සලොම් ගෙෂූර්ට පලා ගොස් එහි තුන් අවුරුද්දක් සිටියේ ය. 39 අම්නො‍න්ගේ මරණයෙන් පසු දාවිත් සැනසීමට පත් ව සිටි බැවින්, අබ්සලොම් කෙරෙහි ඔහුගේ සිත ඇදී ගියේ ය.

– 14 වන පරිච්ඡේදය –

අබ්සලොම් දාවිත් රජ සමඟ සාමදාන වීම

1 දාවිත් රජුගේ සිත අබ්සලොම් කෙරෙහි ඇලුම් ව තිබෙන බව ශෙරුයාගේ පුත් ජෝවාබ්ට පෙනී ගියේ ය. 2 එවිට තෙකෝවායෙන් කපටි ස්ත්‍රියක ගෙන්වාගෙන ඈට කතා කොට, ”ඔබ වැලපෙන්නියක මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නො‍ගා, මියගිය කෙනෙකු ගැන බොහෝ කල් වැලපෙන ස්ත්‍රියක මෙන් වී, 3 රජු ළඟට ගොස්, මෙසේ කියන්නැ”යි කීවේ ය. ජෝවාබ්, ඈ විසින් කියනු ලැබිය යුතු දේ ඈට කියා දිනි.
4 තෙකෝවාවේ ස්ත්‍රිය රජු ළඟට ගොස්, මුණින්තළා වී වැඳ, ”අනේ දේවයන් වහන්ස, පිහිට වුව මැනවැ”යි කීවා ය.
5 රජු කතා කොට, ”ඔබට කුමක් වෙලා දැ”යි ඇගෙන් ඇසූ විට, ඈ පිළිතුරු දෙමින්, ”මම සැබැවින් ම වැන්දඹුවක්මි. මාගේ පුරුෂයා මැරුණේ ය. 6 ඔබේ දාසීට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ. ඒ දෙදෙනා පිටත දී දබර කරගත්හ. ඔවුන් නවත්වන්නට කිසිවෙකු නො‍සිටි නිසා, එක් කෙනෙක් අනෙකාට ගසා ඔහු මැරුවේ ය. 7 ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබේ දාසියට විරුද්ධ ව නැඟිට, ‘සිය සහෝදරයා මැරූ මිනිසා එසේ කළ බැවින් අප ඔහු මරා දමන පිණිස අපට භාර දෙන්න. මෙසේ අපි උරුමකරුවාත් විනාශ කරමු’යි කියති. මෙයාකාරයෙන් මාගේ පුරුෂයාට මිහි පිට නාමයක් වත්, දරුවෙකු වත් නො‍පවතින ලෙස, ඔවුන් මට ඉතිරි ව තිබෙන ගිනි අඟුර නිවනු ඇතැ”යි කීවා ය.
8 රජ ද කතා කරමින්, ”ඔබ ගෙදර යන්න. මම ඔබේ පැමිණිල්ල ගැන බේරුමක් කරන්නෙමි”යි කීවේ ය.
9 තෙකෝවාහි ස්ත්‍රිය කතා කරමින්, ”මාගේ ස්වාමීන් වන රජතුමනි, ඒ දෝෂය මා පිටත්, මාගේ වංශය පිටත් වේවා; රජු ද රජුගේ සිංහාසනය ද ඒ ගැන නිර්දෝෂ වේවා”යි කීවා ය.
10 රජු ද, ”ඔබට විරුද්ධ ව කතා කරන අය මා ළඟට ගෙනෙන්න. එවිට ඔහු තවත් ඔබට අත නො‍ගසන්නේ ය”යි කී ය.
11 එවිට ඈ, ”ලේවලට පළිගන්න සිටින මිනිසා තවත් අය විනාශ නො‍කරන පිණිස ද ඔහු මාගේ පුත්‍රයා නැති නො‍කරන පිණිස ද රජතුමනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අයදින්නැ”යි කීවා ය. රජ ද, ”ඔබේ පුත්‍රයාගේ හිසකෙසක් වත් බිම නො‍වැටෙන්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කී ය.
12 එවිට ස්ත්‍රිය, ”මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට වචනයක් කියන්නට ඔබේ දාසීට අවසර ලැබේවා”යි කීවා ය. ”කියන්නැ”යි ඔහු කී ය.
13 ස්ත්‍රිය ද මෙසේ කීවා ය: ”එසේ වී නම්, ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධ ව එබඳු දෙයක් කරන්නට කල්පනා කෙළේ මන් ද? ඔබ පන්නා දැමූ ඔබේ පුත්‍රයාට ආපසු එන්නට ඉඩ දී නැත. එබැවින් ඔබ කී දෙයින් ම ඔබ වරදකරුවෙක් වන්නෙහි ය. 14 මන්ද, බිම වැගුරුණු වතුර එකතු කරගන්නට බැරි ලෙස අප මැරෙන්නට ම ඕනෑ ය; දෙවියන් වහන්සේ වුව ද, මළ මිනිසෙකුට නැවත පණ නො‍දෙන සේක. එහෙත්, පිටුවහල් කළ මිනිසෙකු ආපසු ගෙන ඒමට මඟක් රජ්ජුරුවන්ට සොයාගත හැකි ය. 15 ”එබැවින් දැන් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මේ කාරණය කියන්නට මා පැමිණ සිටින්නේ, සෙනඟ මා බිය ගැන්වූ නිසා ය. එබැවින්, මම රජ්ජුරුවන්ට කතා කරමි; සමහර විට රජ්ජුරුවන් වහන්සේ තම දාසියගේ ඉල්ලීම ඉෂ්ට කරනු වන්නට පුළුවන. 16 මන්ද, දෙවියන් වහන්සේගේ උරුමයෙන් මාත්, මාගේ පුත්‍රයාත් එක වර ම නැති කර දමන්නට හදන මිනිසාගේ අතින් තමන්ගේ දාසිය ගළවාගන්නට රජ්ජුරුවන් සවන් දෙනු ඇතැ යි මම සිතුවෙමි. 17 එබැවින් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේ වා’යි ඔබේ දාසී කීවා ය. මන්ද, යහපත හා අයහපත විමසීමේ දී මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ දෙවියන් වහන්සේගේ දූතයෙකුට සමාන ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”
18 එවිට රජ පිළිතුරු දෙමින්, ”මා ඔබෙන් අසන දෙය මාගෙන් නො‍සඟවන්නැ”යි ස්ත්‍රියට කීවේ ය. ස්ත්‍රිය ද, ”මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ කතා කරත්වා”යි කීවා ය.
19 රජ ද, ”මේ සියල්ල සම්බන්ධ ව ජෝවාබ් ඔබට අනුබල දී ඇද්දැ”යි ඇසී ය. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, ”මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කී සියල්ල මඟ හැර දකුණට වත්, වමට වත් යන්නට කිසිවෙකුට නො‍හැකි බව ඔබේ නාමයෙන් මම දිවුරා කියමි. එසේ ය, ඔබේ සේවක වන ජෝවාබ් ම මට අණ කර ඔහු ම මේ සියලු වචන ඔබේ දාසීගේ කටට දුන්නේ ය. 20 ඔබේ සේවකයා වන ජෝවාබ් මෙසේ කෙළේ, ඒ කාරණය අන් මඟකට හරවන පිණිස ය. එහෙත්, මිහි පිට සියල්ල දැනගැනීමට මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ ප්‍රඥාව දෙවියන් වහන්සේගේ දූතයෙකුගේ ප්‍රඥාව හා සමාන ය”යි කීවා ය.
21 එවිට රජ ජෝවාබ්ට කතා කොට, ”මෙන්න, ඔබේ ඉල්ලීම ඉටු කර දෙමි. ඔබ ගොස් තරුණ අබ්සලොම් කැඳවාගෙන එන්නැ”යි කී ය.
22 ජෝවාබ් මුණින්තළා වී වැඳ රජුට ස්තුති කොට, ”රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ට කළ නිසා, රජතුමනි, ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව ඔබේ මෙහෙකරුවා දැන් දන්නේ ය”යි කී ය. 23 මෙසේ ජෝවාබ් පිටත් ව ගෙෂූර් නගරයට ගොස්, අබ්සලොම් ජෙරුසලමට කැඳවාගෙන ආවේ ය. 24 රජ ද, ”ඔහු තමාගේ ම ගෙදරට යේවා; ඔහු මා ඉදිරියට නො‍පැමිණිය යුතු ය”යි කී ය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේ ය. ඔහු රජ්ජුරුවන් ඉදිරියට නො‍පැමිණියේ ය.
25 අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්රායෙල්හි නො‍සිටියේ ය. පතුල පටන් හිස් මුදුන දක්වා ඔහුට කිසි කැළලක් නො‍ වී ය. 26 ඔහු තමාගේ හිස කෙස් අවුරුද්දෙන් අවුරුද්දට කැපුවේ ය. එසේ කෙළේ, ඔහුගේ කේශ කලාපය ඔහුට බර ව තිබුණ නිසා ය. ඔහු හිස කෙස් කැපූ විට එය කිරා බැලුවේ ය. ඒවායේ බර සම්මත රාජකීය මිම්ම අනුව කිලෝග්‍රෑම් දෙකක් විය. 27 අබ්සලොම්ට පුත්‍රයෝ තුන්දෙනෙක් ද එක දුවක් ද උපන්නාහ. දුවගේ නම තාමාර් ය. ඈ ශෝභන පෙනීමක් ඇති කාන්තාවක් වූවා ය.
28 අබ්සලොම් රජු ඉදිරියට නො‍පැමිණ දෑවුරුද්දක් ම ජෙරුසලමේ වාසය කෙළේ ය. 29 එවිට අබ්සලොම්, ජෝවාබ් රජු ළඟට යවන පිණිස, ඔහුට අඬගසා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො‍ වී ය. ඔහු යළිත් දෙ වන වර ද කියා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො‍ වී ය. 30 එබැවින් තමාගේ වැඩකාරයන්ට කතා කොට, ”බලන්න, ජෝවාබ්ගේ කෙත මාගේ කෙතට යාබද ව තිබේ. එහි ඔහුට යව ගොයම් තිබේ. ඔබ ගොස් ඒවාට ගිනි තියන්නැ”යි කී ය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තැබූහ.
31 එවිට ජෝවාබ් නැඟිට අබ්සලොම්ගේ ගෙදරට අවුත්, ”ඔබේ මෙහෙකරුවන් අවුත් මාගේ කෙතට ගිනි තැබුවේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය.
32 අබ්සලොම් කතා කොට, ”මෙහි පැමිණෙන්නැ යි ඔබට පණිවුඩ එව්වේ, ‘මම ගෙෂූර් සිට ආවේ කුමට ද? මේ වන තුරුත් එහි සිටියෙම් නම් හොඳ ය’ කියා දන්වා ඔබ රජු වෙත යවන පිණිස ය. ඉතින් මට රජුගේ මුහුණ දකින්නට ලැබේවා. මා තුළ අපරාධයක් ඇත්නම්, ඔහු මා මැරුවා වේ”යි කී ය.
33 ජෝවාබ් රජු ළඟට අවුත් එපවත් ඔහුට දැන්වී ය. ඔහු අබ්සලොම් කැඳවූ කල හෙතෙම රජු ළඟට අවුත්, රජු ඉදිරියෙහි මුණින්තළා වී වැන්දේ ය. රජ ද අබ්සලොම් සිඹගත්තේ ය.

– 15 වන පරිච්ඡේදය –

අබ්සලොම් කැරලි ගැසීම

1 අබ්සලොම් රථයක් ද අශ්වයන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පණස්දෙනෙකු ද සූදානම් කර ගත්තේ ය. 2 තවද, අබ්සලොම් අලුයම නැඟිට දොරටුවට යන මාර්ගය අයිනේ සිටිමින්, විනිශ්චය පිණිස නඩුවක් ඇති යම් මිනිසෙකු පැමිණි විට, ඔහුට අඬගසා, ”ඔබ කුමන නගරයට අයිති දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, ”ඔබේ මෙහෙකරුවා අසවල් ඉශ්රායෙල් ගෝත්‍රයට අයිති ය”යි කී විට, 3 අබ්සලොම් ඔහු අමතා, ”බලන්න, ඔබේ පැමිණිල්ල හොඳ ය. සාධාරණ ය. එහෙත්, ඔබේ ඒ පැමිණිල්ල අසන පිණිස රජු විසින් පත් කරන ලද කෙනෙක් නැතැ”යි කීවේ ය. 4 ඇරත්, ”දේශයේ විනිශ්චයකාරයා වශයෙන් මම පත් කරනු ලබම් නම්, නඩුවක් හෝ පැමිණිල්ලක් හෝ ඇති කෙනෙකු මා වෙත ආ කල්හි මම ඔහුට යුක්තිය ඉටු කර දෙන්නෙමි”යි ද අබ්සලොම් කී ය. 5 යමෙකු ඔහුට වඳින්නට ළං වූ කල ඔහු තමාගේ අත දිගු කොට ඔහු අල්ලා සිඹගත්තේ ය. 6 විනිශ්චය පිණිස රජු ළඟට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට අබ්සලොම් මෙලෙස කර ඔවුන්ගේ සිත් දිනාගත්තේ ය.
7 තවද, සතර අවුරුද්දකට පසු අබ්සලොම්, රජුට කතා කොට, ”මා සමිඳාණන් වහන්සේට වුණ බාරය හෙබ්‍රොන්හි දී ඉෂ්ට කරන පිණිස මට යන්නට අවසර දුන මැනව. 8 මන්ද, ඔබේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටිය දී, ‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම මා නැවත ජෙරුසලමට පමුණුවන්නට යෙදුණොත්, මම සමිඳාණන් වහන්සේට සේවය කරන්නෙමි’යි බාරයක් වුණෙමි”යි කී ය.
9 ”සාමදානයෙන් යන්නැ”යි රජ ඔහුට කී ය. ඔහු නැඟිට හෙබ්‍රොන් නගරයට ගියේ ය. 10 එහෙත්, අබ්සලොම් ඉශ්රායෙල් ගෝත්‍රයන් අතරෙහි ඔත්තුකාරයන් යවා, ”ඔබට හොරණෑ ශබ්දය ඇසුණ කෙණෙහි ම, ‘අබ්සලොම් හෙබ්‍රොන්හි රජ වී සිටී ය’යි කියන්නැ”යි දන්වන්නට කී ය. 11 තවද, කැඳවන ලද මිනිස්සු දෙසියයක් අබ්සලොම් සමඟ ජෙරුසලමට ගියහ. ඔව්හු කිසිවක් නො‍දැන, අවංක සිතින් ගියහ. 12 අබ්සලොම් පූජා ඔප්පු කරන අතර දාවිත්ගේ මන්ත්‍රීවරයෙකු ද ගිලොන් වැසියෙකු ද වන අහිතොපෙල් ඔහුගේ නගරය වූ ගිලොයෙන් ගෙන්වා ගත්තේ ය. මෙසේ කුමන්ත්‍රණය බලවත් වී සෙනඟ වඩ වඩා අබ්සලොම්ට එකතු වූ හ.

දාවිත් රජ පලා යෑම

13 පණිවුඩකාරයෙක් දාවිත් කරා පැමිණ, ”ඉශ්රායෙල් මිනිසුන්ගේ සිත් අබ්සලොම් දෙසට ඇදී ගොස් ඇතැ”යි කී ය.
14 එවිට දාවිත් ජෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කතා කොට, ”අපි පිටත් ව පලා යමු. නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් බේරෙන්නේ නැත. ඔහු වහා ම අප කරා පැමිණ, අප පිට අනතුරු පමුණුවා, කඩුවෙන් නගරයට පහර නො‍දෙන පිණිස පිට වී යන්නට ඉක්මන් කරන්නැ”යි කී ය.
15 රජුගේ සේවකයෝ රජුට කතා කොට, ”අපේ ස්වාමීන් වන රජ්ජුරුවන් නියම කරන කවර දෙයක් වුව ද කරන්නට ඔබේ සේවකයෝ සැරසී සිටිති”යි කී හ. 16 එවිට රජ ද ඔහු අනුව ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද පිටත් ව ගියහ. රජ තෙමේ රාජ මාලිගාව බලාගැනීමට උපභාර්යාවන් දසදෙනෙකු නතර කොට පලා ගියේ ය.
17 මෙසේ රජ ද ඔහු සමඟ සියලු සෙනඟ ද පිටත් ව ගොස්, නගර සීමාවේ අන්තිම ගෙදර නැවතුණාහ. 18 ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟ සිටියහ. සියලු කෙරෙතිවරු ද සියලු පෙලෙතිවරු ද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තීය ජාතික මිනිස්සු හයසියයක් ද ඔහුට පෙරටු ව ගියහ. 19 එවිට රජ ගිත්තීය ජාතික ඉත්තයිට කතා කොට, ”ඔබත් අප සමඟ එන්නේ මන් ද? හැරී ගොස් අලුත් රජු සමඟ සිටින්න. මන්ද, ඔබ විදේශිකයෙක් ය; ඔබේ රටෙන් පිට වූ කෙනෙක් ය; 20 ඊයේ පැමිණි ඔබට අද අප සමඟ ඔබමොබ යන්නට සැලැස්විය යුතු ද? මම වනාහි මට යා හැකි කොතැනට වුව ද යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගෙන යන්න. කරුණාවත්, සැබෑකමත් ඔබ සමඟ වේවා”යි කී ය.
21 ඉත්තයි රජුට උත්තර දෙමින්, ”මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිටින්නේ යම් තැනක ද, එතැන ම මැරෙන්නට හෝ ජීවත් වන්නට හෝ ඔබේ මෙහෙකරුවා සිටින්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි කී ය.
22 දාවිත් ද, ”ගොස් එගොඩ වන්නැ”යි ඉත්තයිට කී ය. එවිට ගිත්තීය ජාතික ඉත්තයි ද ඔහුගේ සියලු මිනිස්සු ද ඔහුගේ පිරිවර ද එගොඩ වූ හ. 23 මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැන ම මිනිස්සු මහා හඬින් ඇඬූ හ. රජු කිද්‍රොන් නම් ඔයෙන් එගොඩ වූ පසු සියලු සෙනඟ ද පාළුකරය බලා යන මාර්ගය දිගේ ගියහ.
24 ශාදොක් ද ඔහු සමඟ සියලු ලෙවීවරු ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන පැමිණියහ. මුළු ජනතාව නගරයෙන් අවුත් නිම වන තුරු ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබියාතර් ළඟ බිම තැබූ හ. 25 රජ ශාදොක්ට කතා කොට, ”දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව යළිත් නගරයට ගෙන යන්න. සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි මට කරුණාව ලැබුණොත්, උන් වහන්සේ යළිත් මා ගෙනවුත් ගිවිසුම් කරඬුවත්, එය තබා තිබෙන ස්ථානයත් මට පෙන්වනු ඇත. 26 එහෙත්, ‘නුඹ කෙරෙහි මම ප්‍රසන්න නොවෙමි’යි උන් වහන්සේ වදාරන සේක් නම්, මම මෙහි ය; උන් වහන්සේ කැමැති ලෙස මට කරන සේක් වා”යි කී ය. 27 රජ පූජක වූ ශාදොක්ට තවදුරටත් කතා කොට, ”හොඳින් බලන්න. ඔබේ පුත් අහීමයාශ් ද අබියාතර්ගේ පුත් ජොනතන් ද යන ඔබේ පුත්‍රයන් දෙදෙනා සමඟ ඔබ ද අබියාතර් ද සාමදානයෙන් නගරයට පෙරළා යන්න. 28 මෙන්න, මට දන්වන්නට ඔබෙන් ආරංචි ලැබෙන තුරු මම පාළුකරයේ සමභූමිවල නවතින්නෙමි”යි කී ය. 29 එවිට ශාදොක් ද අබියාතර් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නැවත ජෙරුසලමට ගෙන ගොස් එහි නැවතී සිටියහ.
30 දාවිත් අඬ අඬා, හිස වසාගෙන, පාවහන් නැති ව, ඔලීව කන්දට නඟින පාරේ ගියේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද තම තමන්ගේ හිස් වසාගෙන, අඬමින් නැඟී ගියහ. 31 අහිතොපෙල් කුමන්ත්‍රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, ”අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්‍රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.
32 තවද, දෙවියන් වහන්සේට නමස්කාර කරන ස්ථානය වන කන්ද මුදුනට දාවිත් පැමිණි විට, අර්කීය ජාතික හූෂයි තමාගේ උතුරු සළුව ඉරාගෙන, හිස පිට පස් දමාගෙන ඔහුගේ පෙරමඟට ආයේ ය. 33 දාවිත් ඔහුට මෙසේ කී ය: ”ඔබ මා සමඟ ගියොත් ඔබ මට බරක් වන්නෙහි ය. 34 එහෙත්, ඔබ නගරයට හැරී ගොස්, අබ්සලොම්ට කතා කර, ‘රජතුමනි, මම ඔබේ සේවකයා වෙමි; පළමු ව ඔබේ පියාගේ සේවකයෙකු ව සිටි ලෙස ම දැන් ඔබේ සේවකයෙක් වෙමි’යි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කරන්නට ඔබට පුළුවන් වන්නේ ය. 35 පූජකයන් වන ශාදොක් හා අබියාතර් ඔබ සමඟ එහි සිටිනවා නො‍වේ ද? එබැවින් රජ ගෙදරින් අසන්නට ලැබෙන කවර දෙයක් වුව ද, ඔබ පූජකයන් වන ශාදොක්ටත්, අබියාතර්ටත් දන්වන්න. 36 ඔවුන්ගේ පුත්‍රයන් දෙදෙනා වන ශාදොක්ගේ පුත් අහීමයාශ් හා අබියාතර්ගේ පුත් ජොනතන් ද එහි ඔවුන් සමඟ සිටිති. ඔබ හැම දැනගන්න සියලු දේ ඔවුන් අත මට කියා එවන්නැ”යි කී ය.
37 මෙසේ දාවිත්ගේ මිත්‍ර වූ හූෂයි නුවරට පිවිසෙත්දී අබ්සලොම් ද ජෙරුසලමට ඇතුළු විය.

 

– 16 වන පරිච්ඡේදය –

ශීබාගේ හිතවත්කම

1 දාවිත් කඳු මුදුනෙන් මඳක් ඔබ්බට ගිය විට, මෙපිබොෂෙත්ගේ වැඩකාරයා වන ශීබා, ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙකු ද උන් පිට පටවන ලද රොටි දෙසියයක් ද වියළි මිදි පල පොකුරු සියයක් ද වෙනත් පලතුරු වලු සියයක් ද මුද්‍රික පාන භාජනයක් ද ඇති ව ඔහුගේ පෙරමඟට ආවේ ය. 2 ”මේවා මොනවාට දැ”යි රජ ශීබාගෙන් ඇසී ය. ශීබා ද, ”කොටළුවන්, රජ්ජුරුවන්ගේ පවුලේ අයට නැඟී යන පිණිස ය; රොටි හා පලතුරු තරුණයන්ට කන්නටත්, මුද්‍රික පානය පාළුකරයේ දී වෙහෙසෙන්නන්ට බොන්නටත් ය”යි පිළිතුරු දුන්නේ ය.
3 එවිට රජ, ”ඔබේ ස්වාමියාගේ පුත්‍රයා කොහේ දැ”යි ඇසුවේ ය. ශීබා පිළිතුරු දෙමින්, ”බලන්න, ඔහු ජෙරුසලමේ නැවතී සිටියි; මන්ද, ‘ඉශ්රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය මට දෙනු ඇත’ කියා ඔහු කීවේ ය”යි රජුට පිළිතුරු දුන්නේ ය.
4 එවිට රජ, ”බලන්න, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට අයිති වේවා”යි ශීබාට පැවසී ය. ශීබා ද, ”මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ ගරු බුහුමන් පිළිගත මැනව; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා”යි කී ය.

ෂිමෙයි දාවිත් රජුට සාප කිරීම

5 දාවිත් බහුරීම් නගරයට පැමිණි කල, සාවුල්ගේ කුල පරම්පරාවට අයිති වූ ගේරාගේ පුත් ෂිමෙයි නම් මිනිසෙක් එතැනින් පිටත් වී, දෙස් කිය කියා යමින්, 6 දාවිත්ටත්, දාවිත් රජුගේ සියලු සේවකයන්ටත් ගල් ගැසී ය. සියලු සෙනඟ ද සියලු බලවන්තයෝ ද දාවිත්ගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද සිටියෝ ය. 7 ෂිමෙයි දෙස් තබමින්, ”මිනීමරුව, දුර්ජනය, පලා යව, පලා යව. 8 සාවුල් වෙනුවට රජ වූ ඔබ පිට, සමිඳාණන් වහන්සේ සාවුල්ගේ පවුලේ සියල්ලන්ගේ ලේ වැගිරීමේ දුර්විපාකය පමුණුවා, ඔබේ පුත් අබ්සලොම්ට රජකම භාර දුන් සේක. ඔන්න, ඔබ විපත්තියට අසු වී සිටින්නෙහි ය. මන්ද, ඔබ මිනීමරුවෙක් ය”යි රජුට කී ය.
9 එවිට ශෙරුයාගේ පුත් අබිෂයි කතා කොට, ”මෙවැනි බලු කුණක්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මන් ද? ගොස් ඔහුගේ හිස ගසා දමන්නට මට අවසර ලැබේවා”යි කී ය.
10 රජ ද පිළිතුරු දෙමින්, ”ශෙරුයාගේ පුත්‍රයෙනි, මෙය මට වත්, ඔබට වත් අයිති වැඩක් නො‍වේ. ඔහු දෙස් කීවා වේ! ‘දාවිත්ට දෙස් කියාපන්නැ’යි ඔහුට කීවේ සමිඳාණන් වහන්සේ නම්, ‘ඔබ මෙසේ කෙළේ මන්දැ’යි කියන්නට පුළුවන් කවරෙකුට දැ”යි ඇසී ය. 11 තවද, දාවිත් රජ අබිෂයිටත්, තමාගේ සියලු සේවකයන්ටත් කතා කොට, ”බලන්න, මට දාව උපන් මාගේ ම පුත්‍රයා මා නසන්නට සොයන්නේ නම්, ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්ජමින් ජාතිකයාට දැන් එසේ කරන්නට බැරි ද? ඔහු නිකම් සිටියා වේ, දෙස් කීවා වේ; මන්ද, එලෙස කරන්නට සමිඳාණන් වහන්සේ වදාළ සේක. 12 සමහර විට මට කරන ලද අයුක්තිය දෙස සමිඳාණන් වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනු ඇතැ”යි කී ය. 13 මෙසේ දාවිත් හා ඔහුගේ මිනිසුන් මාර්ගයේ යද්දී, ෂිමෙයි ඔහුට ඉදිරිපිටින් කන්දේ පැත්තකින් යනුයේ, දෙස් කියමින් ද ඔහුට ගල් ගසමින් ද පස් විසි කරමින් ද ගියේ ය. 14 රජ ද තමා ළඟ සිටි සියලු සෙනඟ ද වෙහෙස ව ජොර්දාන් ගඟ ළඟට අවුත් එහි විඩා සංසිඳුවා ගත්තෝ ය.

අහිතොපෙල් අබ්සලොම්ට අවවාද කිරීම

15 අබ්සලොම් ද ඉශ්රායෙල් ජාතික සියලු සෙනඟ ද ඔහු සමඟ අහිතොපෙල් ද ජෙරුසලමට ආවෝ ය. 16 තවද, දාවිත්ගේ මිතුරා වන අර්කීය ජාතික හූෂයි අබ්සලොම් ළඟට පැමිණි විට, ”රජු සැරදේ වා!, සැරදේ වා!”යි කීවේ ය.
17 අබ්සලොම් ද, ”ඔබේ මිතුරා කෙරෙහි ඇති ඔබේ කරුණාව කුමක් ද? ඔබේ මිතුරා සමඟ නො‍ගියේ මන්දැ”යි හූෂයිගෙන් ඇසී ය.
18 හූෂයි ද, ”එසේ නො‍වේ; සමිඳාණන් වහන්සේ ද මේ සෙනඟ ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන් ද විසින් තෝරාගන්නා ලද තැනැත්තාට එකතු ව මම ඔහු සමඟ සිටිමි. 19 ඇරත්, මා සේවය කළ යුත්තේ කවරෙකුට ද? ඔහුගේ පුත්‍රයාට නො‍වේ ද? මම ඔබගේ පියාණන් ඉදිරියෙහි සේවය කළ පරිදි, ඔබට සේවය කරන්නෙමි”යි අබ්සලොම්ට කීවේ ය.
20 එවිට අබ්සලොම් අහිතොපෙල්ට කතා කොට, ”අප කුමක් කටයුතු දැ යි සම්මන්ත්‍රණය කොට කියන්නැ”යි කීවේ ය.
21 අහිතොපෙල් අබ්සලොම්ට පිළිතුරු දෙමින්, ”ඔබේ පියාණන්ගේ ගෙදර ප්‍රවේසම් කරන පිණිස සිටුවා ගිය ඔහුගේ උපභාර්යාවන් වෙත පිවිසෙන්න; එවිට සියලු ඉශ්රායෙල්වරු ඔබේ පියාණන්ට ඔබ පිළිකුලක් ව සිටින බව අසන්නො‍‍් ය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලෝ ශක්තිසම්පන්න වන්නෝ ය”යි කී ය. 22 මෙසේ ඔව්හු ගෙය උඩ අබ්සලොම්ට කූඩාරමක් සෑදුවෝ ය. අබ්සලොම් ද සියලු ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි තමාගේ පියාගේ උපභාර්යාවන් වෙත පිවිසුණේ ය.
23 ඒ කාලයේ දී මිනිසකු දෙවියන් වහන්සේගේ පණිවුඩය සොයන ලෙස, ඔව්හු අහිතොපෙල්ගේ අවවාදය සෙව්වෝ ය. අහිතොපෙල්ගේ අවවාදය දාවිත් හා අබ්සලොම් සැලකුවේ එයාකාරයෙන් ය.

– 17 වන පරිච්ඡේදය –

අබ්සලොම් නො‍මඟ යැවීම

1 අහිතොපෙල් අබ්සලොම්ට කතා කොට, ‘මිනිසුන් දොළො‍ස්දහසක් තෝරාගෙන, අද රාත්‍රියේ පිටත් ව, දාවිත් පස්සේ ලුහුබැඳ යන්නට මට අවසර ලැබේවා. 2 ඔහු වෙහෙස ව අධෛර්ය ව සිටිය දී මම ඔහුට විරුද්ධ ව ගොස් ඔහු බිය ගන්වන්නෙමි. එවිට ඔහු සමඟ සිටින මුළු සෙනඟ පලා යනු ඇත. මම රජුට පමණක් පහර දෙමි. 3 මනාලියක සිය සැමියා වෙත ගෙනෙනු ලබන පරිදි මම මුළු සෙනඟ ඔබ වෙත හරවා ගෙනෙන්නෙමි. ඔබ සොයන්නේ එක් කෙනෙකු මරන්නට ය; සෙසු අය සුරැකි ව සිටිනු ඇතැ”යි කීවේ ය. 4 අබ්සලොම් ද මුළු ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ ද ඒ කීමට ප්‍රසන්න වූ හ.
5 එවිට අබ්සලොම්, ”දැන් අර්කීය ජාතික හූෂයිටත් අඬගසන්න; ඔහු කියන දේත් අසමු”යි කීවේ ය. 6 හූෂයි අබ්සලොම් වෙත ආ කල්හි අබ්සලොම් ඔහුට කතා කොට, අහිතොපෙල් කී සියල්ල ඔහුට කියා, ”අහිතොපෙල්ගේ කීම ලෙස අපි කරමු ද? එසේ නැත්නම් ඔබ සිතන්නේ කුමක් දැ”යි ඇසී ය.

හූෂයිගේ අවවාදය

7 හූෂයි අබ්සලොම්ට කතා කොට, ”අහිතොපෙල් මේ වතාවේ දී දුන් අවවාදය නම් හොඳ නැතැ”යි කීවේ ය. 8 හූෂයි තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය: ”ඔබේ පියා හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත්, වනයේ පැටවුන් නැති වූ වැලහින්නක මෙන් කෝප වී සිටින බවත් ඔබ දන්නෙහි ය. ඔබේ පියා යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු රාත්‍රියේ සෙනඟ සමඟ නවතින්නේ නැත. 9 දැන් වුව ද ඔහු ගුහාවක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද, මුල් පහර දීමේ දී ඔවුන්ගෙන් සමහර දෙනෙකු මිය ගිය විට එය අසන කවුරුන් නමුත්, ‘අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මහා ඝාතනයක් සිදු වී තිබේ ය’යි කියනු ඇත. 10 එවිට සිංහයකුගේ සිත මෙන් සිතක් ඇති බලවතා පවා සහමුලින් ම මලානික වනු ඇත. මන්ද, ඔබේ පියා බලවන්තයෙකු බවත්, ඔහු සමඟ සිටින අය වික්‍රමාන්විත මිනිසුන් බවත් සියලු ඉශ්රායෙල්වරු දනිති. 11 ඒ නිසා මා ඔබට දෙන අවවාදය නම් මෙය යි. දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා, සිටින, ගණනින් මුහුදු වෙරළේ වැලි මෙන් විශාල සංබ්‍යාවක් වන සියලු ඉශ්රායෙල්වරුන් ඔබ වෙත රැස් වන තෙක් සිට, ඔබ ම පෞද්ගලික ලෙස සටනට යන්න. 12 එසේ ඔහු යම් ස්ථානයක සිටින්නේ ද, අපි එතැනට පැමිණ, මිහි පිට පිනි වැටෙන පරිදි ඔහු කරා පැමිණෙන්නෙමු. එවිට ඔහු වත්, ඔහු සමඟ සිටින මිනිසුන්ගෙන් එකෙක් වත් ඉතිරි නොවන්නො‍‍් ය. 13 ඔහු යම් හෙයකින් නගරයකට ඇතුල් වී සිටියොත්, සියලු ඉශ්රායෙල්වරුන් ඒ නගරයට කඹ ගෙනවුත් එහි බොරළු කැටයක් වත් ඉතුරු නොවන තුරු අපි ඒ නගරය ගඟට ම ඇද දමන්නෙමු.”
14 අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, ”අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්‍රභා කරන්නට නියම කර තිබුණේ ය.

දාවිත් රජ ගැළවී පලා යාම

15 එකල පූජකයන් වන ශාදොක්ටත්, අබියාතර්ටත් හූෂයි කතා කොට, ”අහිතොපෙල් මේ මේ විධියට අබ්සලොම්ටත්, ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයන්ටත් අවවාද දුන්නේ ය. මම මේ මේ විධියට අවවාද දිනිමි. 16 එබැවින් දැන් ඉක්මනින් පණිවුඩයක් යවා, ‘රජු ද මුළු සෙනඟ ද නැති නොවන පිණිස, අද රාත්‍රියේ පාළුකරයේ සමභූමිවල නො‍නැවතී, කොහොම නමුත් එගොඩ විය යුතු ය’යි දාවිත් රජුට දන්වන්නැ”යි කීවේ ය.
17 ජොනතන් හා අහීමයාශ් ඒන්රොගෙල් ස්ථානය ළඟ සිටියෝ ය. වැඩකාරියක් ගොස් සිරිතක් වශයෙන් ඔවුන්ට ආරංචි දැන්වුවා ය. ඔව්හු ගොස් එපවත් රජ්ජුරුවන්ට දැන්වුවෝ ය. මෙසේ කරන ලද්දේ ඒ දෙදෙනා තමන්ගේ නගරය ඇතුළට පිවිසෙනු කිසිවෙකු නො‍දකින පිණිස ය. 18 එසේ වුව ද, තරුණයෙක් ඔවුන් දැක අබ්සලොම්ට දැන්වී ය. එවිට ඔවුන් දෙදෙන වහා ගොස්, බහුරීම්හි වසන මිනිසෙකුගේ ගෙදරට පැමිණියෝ ය. ඔහුගේ ගෙමිදුලේ ළිඳක් තිබුණේ ය. ඔව්හු එයට බැස්සෝ ය. 19 ස්ත්‍රිය ද වැස්මක් ගෙන එය ළිං කටේ එළා, ඒ පිට ධාන්‍ය වනා තැබුවා ය. එසේ කෙළේ, කිසිවෙකු එහි ළිඳක් ඇති බව දැන නො‍ගන්න පිණිස ය. 20 අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රිය වෙත ඒ ගෙදරට අවුත්, ”අහීමයාශ් හා ජොනතන් කොතැන දැ”යි ඇසූ හ. ඒ ස්ත්‍රී පිළිතුරු දෙමින්, ”ඔව්හු වතුර ඇළෙන් එගොඩ වූවෝ ය”යි කීවා ය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බ නො‍වූ බැවින් ජෙරුසලමට පෙරළා ගියෝ ය.
21 ඔවුන් ගිය පසු, ජොනතන් හා අහීමයාශ් ළිඳෙන් ගොඩට විත්, දාවිත් රජු වෙත ගොස්, එපවත් දන්වමින්, ”ඔබට විරුද්ධ ව අහිතොපෙල් මෙසේ අවවාද කළ නිසා පිටත් වී ඉක්මනින් ඇළෙන් එගොඩ වුව මැනවැ”යි ඔහුට කී හ. 22 එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද පිටත් ව ජොර්දාන් ගඟෙන් එගොඩ වූ හ. එළි වන විට ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ජොර්දානෙන් එගොඩට නො‍ගොස් ඉතිරි ව සිටියේ නැත.
23 තමාගේ අවවාදය ලෙස නො‍කරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.

දාවිත් රජ මහනයිම් නගරයට පිවිසීම

24 දාවිත් රජ මහනයිම් නගරයට පැමිණියේ ය. අබ්සලොම් ද ඔහු සමඟ සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ ද ජොර්දාන් ගඟෙන් එගොඩට ගියෝ ය. 25 තවද, අබ්සලොම් ජෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා වශයෙන් පත් කළේ ය. අමාසා වූකලී ඉෂ්මායෙල් ජාතික ඉත්රාගේ පුත්‍රයා ය. ඉත්රාගේ බිරිඳ නාහාෂ්ගේ දුව වන අබිගායිල් ය. තවද, ඈ ජෝවාබ්ගේ මව වන ශෙරුයාගේ සහෝදරී ය. 26 ඉශ්රායෙල්වරු ද අබ්සලොම් ද ගිලියද් රටෙහි කඳවුරු බැඳගත්තෝ ය.
27 දාවිත් රජු මහනයිම් නගරයට පැමිණි විට අම්මොන්වරුන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත් ෂෝබි ද ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර් ද රොගේලීම්හි ගිලියද් ජාතික බර්ශිල්ලයි ද 28 යහන්, තළි, මැටි භාජන, කෑමට තිරිඟු, යව පිටි, විලඳ, මෑ, කොල්ලු ඇට, බැදපු මුං, 29 මී පැණි, කේජු, බැටළුවන් සහ එළ දීකිරි යන මේවා දාවිත්ටත්, ඔහු සමඟ සිටි සෙනඟටත් ගෙනාවෝ ය. ඔවුන් එසේ කෙළේ, ”සෙනඟ පාළුකරයේ බඩගිනි ව, වෙහෙස ව, පිපාසිත ව සිටිති”යි දැන සිටි බැවිනි.

 

– 18 වන පරිච්ඡේදය –

අබ්සලොම්ගේ පරාජය හා මරණය

1 දාවිත් තමා සමඟ සිටි සෙනඟ ගණන් කොට, ඔවුන් කෙරෙහි සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් පත් කෙළේ ය. 2 තවද, දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් ජෝවාබ් යටතේ ද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර අබිෂයි යටතේ ද තුනෙන් කොටසක් ගිත්තීය ඉත්තයි යටතේ ද පිටත් කර හැරියේ ය. ”මමත් ඔබ සමඟ යමි”යි දාවිත් රජ සෙනඟට කී ය.
3 එහෙත්, සෙනඟ කතා කරමින්, ”ඔබ නො‍යා යුතු ය; මන්ද, අප පලා ගියත් ඔවුන් අප සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත; එහෙත්, ඔබ අපෙන් දසදහසක් දෙනෙකු හා සමාන ය. එබැවින් අපට උපකාර කරන්නට සූදානම් ව ඔබ නගරයේ සිටියොත් මැනවැ”යි කීවෝ ය.
4 ”ඔබ යහපතැ යි සිතන දේ මම කරමි”යි රජ ඔවුන්ට කී ය. රජු දොරටුවේ පැත්තකින් සිටිය දී සියලු සෙනඟ සියය සියය බැගින් ද දහස දහස බැගින් ද පිටත් ව ගියෝ ය. 5 රජ ජෝවාබ්ට ද අබිෂයිට ද ඉත්තයිට ද කතා කොට, ”මා නිසා ඒ තරුණ අබ්සලොම්ට කරුණාවෙන් සලකන්නැ”යි අණ කෙළේ ය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට එසේ අණ කළ විට මුළු සෙනඟට එය ඇසුණේ ය.
6 මෙසේ සෙනඟ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටත් ව ගියෝ ය. සටන එප්‍රායිම් වනයේ දී සිදු විය. 7 එතැන දී ඉශ්රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝ ය. එදා මහා ඝාතනයක් සිදු වී මිනිස්සු විසිදහසක් මළහ. 8 යුද්ධය රට මුළුල්ලේ පැතිර ගොස්, එදා කඩුවෙන් විනාශ වූ ගණනට වඩා විශාල සෙනඟක් වනයෙන් විනාශ වූ හ.
9 අබ්සලොම් තම අශ්වතරයා පිට නැඟී යද්දී, දාවිත්ගේ සේවකයන්ට මුණ ගැසුණේ ය. අශ්වතරයා මහත් ආලෝන ගසක විශාල අතු යටින් යද්දී ඔහුගේ හිස ආලෝන ගසේ අතුවල හිර වී, ඔහු අහසටත්, පොළවටත් අතරේ එල්ලී සිටියේ ය. ඔහු නැඟී සිටි අශ්වතරයා යන්නට ගියේ ය. 10 එක්තරා මිනිසෙක් ඒ දැක, ජෝවාබ්ට ඒ බව දන්වමින්, ”අබ්සලොම් ආලෝන ගසක එල්ලී සිටිනු දිටිමි”යි කීවේ ය.
11 ජෝවාබ් එපවත් තමාට කී මිනිසාට කතා කොට, ”ඔබ ඔහු දුටුවෙහි ද? එසේ නම් ඔහු එතැන ම මරා බිමට නො‍දැමුවේ මන් ද? ඔබ එසේ කෙළෙහි නම්, රිදී දසයක් ද ඉඟ පටියක් ද මා ඔබට දෙන්නට තිබුණේ ය”යි කීවේ ය.
12 ඒ මිනිසා පිළිතුරු දෙමින්, ”මාගේ අත්වල ඔබ රිදී කාසි දහසක් තැබුවත්, රජුගේ පුත්‍රයාට විරුද්ධ ව මාගේ අත මා ඔසවන්නේ නැත. මන්ද, ‘කිසිවෙකු තරුණ අබ්සලොම්ට අත නො‍ගසන ලෙස වග බලාගන්න’ කියා අප අසාගෙන සිටිය දී රජ්ජුරුවෝ ඔබටත්, අබිෂයිටත්, ඉත්තයිටත් අණ කළහ. 13 එසේ හෙයින් මම ඔහුගේ ජීවිතයට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළෙම් නම්, ඔබ ම මට විරුද්ධ ව සිටිනු ඇත; මන්ද, කිසි දෙයක් රජුගෙන් සැඟවී නැතැ”යි කී ය.
14 එවිට ජෝවාබ්, ”මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නො‍හැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය. 15 ජෝවාබ්ගේ ආයුධ රැගත්, මෙහෙකරුවෝ දසදෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහර දී ඔහු මැරුවෝ ය.
16 ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා ආවෝ ය. එසේ කෙළේ, ජෝවාබ් සෙනඟ නැවැත්වූ බැවිනි. 17 ඔව්හු අබ්සලොම් රැගෙන වනයේ තිබුණ මහ වළක හෙළා ඔහු පිට ඉතා මහත් ගල් ගොඩක් නැඟුවෝ ය. සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ කූඩාරම්වලට පලාගියෝ ය.
18 අබ්සලොම් ජීවත් ව සිටිය දී, ”මාගේ නාමය සිහිපත් කරවන්නට මට පුත්‍රයෙක් නැතැ”යි රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා සිහි වීම උදෙසා පිහිටුවා, ඊට තමාගේ නම තැබුවේ ය. අද දක්වා ඊට ‘අබ්සලොම් ටැඹ’ යයි කියනු ලැබේ.

දාවිත් රජ අබ්සලොම් ගැන ශෝක වීම

19 එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් කතා කොට, ”සමිඳාණන් වහන්සේ රජ්ජුරුවන් උදෙසා ඔහුගේ සතුරන්ගෙන් පළිගත් බව රජුට දන්වන පිණිස දුවන්නට මට අවසර ලැබේවා”යි කීවේ ය.
20 ජෝවාබ් ද, ”අද ඔබ ආරංචි ගෙන නො‍යන්න. වෙන දවසක ඔබට ආරංචි ගෙන ගිය හැකි ය. අද රජුගේ පුත්‍රයා මැරුණු නිසා අද ම ආරංචිය ගෙන නො‍යන්නැ”යි ඔහුට කීවේ ය. 21 එවිට ජෝවාබ්, ”ඔබ ගොස් දුටු දේ රජුට දන්වන්නැ”යි කුෂීය ජාතිකයාට කීවේ ය. ඔහු ජෝවාබ්ට වැඳ දිව්වේ ය.
22 එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් යළිත් ජෝවාබ්ට කතා කොට, ”කොහොම නුමුත්, මටත් ඒ කුෂීය ජාතිකයා පස්සේ දුවන්නට අවසර දුන මැනවැ”යි කීවේ ය. ජෝවාබ් ද, ”මාගේ පුත්‍රය, ඔබ දුවන්නේ මන් ද? ඔබ ගෙනයන ආරංචියට ඔබට විපාකයක් ලැබෙන්නේ නැතැ”යි කීවේ ය.
23 එහෙත් ඔහු, ”කුමක් වෙතත් මම දුවමි”යි කීවේ ය. ජෝවාබ් ද, ”එසේ නම් දුවන්නැ”යි ඔහුට කීවේ ය. එවිට අහීමයාශ් සමභූමියේ මාවතින් දුව ගොස් කුෂීය ජාතිකයා පසු කර ගියේ ය.
24 දාවිත් වාසල් දොරටු දෙක අතර වාඩි වී සිටියේ ය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේ ය. ඔහු හිස ඔසවා බැලූ විට, මිනිසෙකු තනියම දුවගෙන එනු දුටුවේ ය. 25 මුරකාරයා මොරගසා එපවත් රජුට කී ය. රජ කතා කොට, ”ඔහු තනියම එන්නේ නම්, ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය. ඔහු ඉක්මනට අවුත් ළං විය.
26 මුරකාරයා තව මිනිසෙකු දුව එනු දැක, දොරටු පාලයාට අඬගසා, ”තව මිනිසෙක් තනියම දුව එන්නේ ය”යි කී ය. එවිට රජ, ”ඔහුත් ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය.
27 මුරකාරයා ද පළමු වන මිනිසාගේ දිවීම ශාදොක්ගේ පුත් අහීමයාශ්ගේ දිවීම හා සමාන බව මට පෙනේ ය”යි කීවේ ය. රජ ද, ”ඔහු යහපත් මිනිසෙකි. යහපත් ආරංචි ඇතිව එන්නේ ය”යි කී ය.
28 අහීමයාශ් මොරගසා, ”සියල්ල යහපතැ”යි රජුට කියා මුණින්තළා වී වැඳ කතා කොට, ”මාගේ රජ්ජුරුවන්ට විරුද්ධ ව තමන්ගේ අත් එසෙවූ මිනිසුන් පාවා දුන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා”යි කීවේ ය.
29 ”තරුණ අබ්සලොම් සුව සේ සිටින්නේ දැ”යි රජ ඇසී ය. එවිට අහීමයාශ් පිළිතුරු දෙමින්, ”ජෝවාබ් විසින් රජ්ජුරුවන්ගේ මෙහෙකරුවාත්, ඔබේ මෙහෙකරු වන මාත් එවනු ලබන විට මහා කෝලාහලයක් දිටිමි; එහෙත්, එය කිමෙක් දැ යි නො‍දන්නෙමි”යි පිළිතුරු දුන්නේ ය.
30 රජ ද, ”පැත්තකට වී මෙහි සිටින්නැ”යි ඔහුට කී ය. ඔහු පැත්තකට වී සිටියේ ය.
31 එවිට කුෂීය ජාතිකයා ආවේ ය. ඔහු කතා කොට, ”මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මන්ද, ඔබට විරුද්ධ ව නැඟී ආ සියල්ලන්ගෙන් සමිඳාණන් වහන්සේ අද ඔබ උදෙසා පළිගත් සේකැ”යි කීවේ ය.
32 එවිට රජ, ”තරුණ අබ්සලොම් සුව සේ සිටී දැ”යි කුෂීය ජාතිකයාගෙන් ඇසී ය. කුෂීය ජාතිකයා ද, ”මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරෝ ද ඔබට අනතුරු කරන්නට ඔබට විරුද්ධ ව නැඟී සිටින සියල්ලෝ ද ඒ තරුණයා මෙන් වෙත්වා”යි උත්තර දුන්නේ ය.
33 එවිට රජ අතිශයෙන් කම්පා වී දොරටුවට ඉහළින් තිබුණු උඩුමහලට ගොස් ඇඬුවේ ය. ඔහු අඬ අඬා, ”අනේ! මාගේ පුත් අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත් අබ්සලොම්! ඔබ වෙනුවට මා මැරුණා නම් යහපත; අහෝ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය”යි කීවේ ය.

– 19 වන පරිච්ඡේදය –

ජෝවාබ් දාවිත් රජුට අවවාද දීම

1 රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා ජෝවාබ්ට දන්වන ලද්දේ ය. 2 රජ සිය පුත්‍රයා ගැන ශෝක වන්නේ යයි එදින ම මුළු ජනයාට සැළ වුණ බැවින් ඒ දවසේ ඇති වූ ජය ගීය විලාප ගීයකට හැරිණි. 3 මන්ද, යුද්ධයේ දී පලා යන සෙනඟක් ලජ්ජා සහගත ව රහසින් එන සේ ඒ දවසේ දී සෙනඟ රහසින් නගරයට ඇතුළු වුණෝ ය. 4 රජ තමාගේ මුහුණ වසාගෙන, ”අනේ! මාගේ පුත් අබ්සලොම්, අනේ! අබ්සලොම් මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය!” කියා මහා හඬින් හැඬී ය.
5 ජෝවාබ් රජු වෙත ගෙට ඇතුල් වී කතා කොට, ”අද දවසේ දී ඔබේ ජීවිතයත්, ඔබේ පුත්‍රයන්ගේ හා දූවරුන්ගේ ජීවිතත්, ඔබේ භාර්යාවන්ගේ ජීවිතත්, ඔබේ උපභාර්යාවන්ගේ ජීවිතත්, ගැළෙව් ඔබේ සියලු සේවකයන් අද ඔබ ලජ්ජාවට පැමිණෙවුවෙහි ය. 6 එසේ වූයේ, ඔබට වෛර කරන්නන්ට ඔබ ප්‍රේම කරන නිසාත්, ඔබට ප්‍රේම කරන්නන්ට ඔබ වෛර කරන නිසාත් ය. අධිපතීන්ගෙන් වත්, සේවකයන්ගෙන් වත් ඔබට කමක් නැති බව අද ඔබ පෙන්නුවෙහි ය. අබ්සලොම් ඉතිරි ව අපි සියල්ලෝ ම මැරුණෙමු නම්, ඔබ ඉතා ප්‍රසන්න වන බව අද මට පැහැදිලි විය. 7 එබැවින් දැන් නැඟිට, පිටතට ගොස් ඔබේ සේවකයන්ට කරුණාවෙන් කතා කළ මැනව. ඔබ පිටතට නො‍ගියොත්, ඔබ සමඟ කිසිවෙකු නො‍සිටින බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. එසේ වූවොත්, ඔබේ බාල වයසේ පටන් අද දක්වා ඔබට සිදු වූ සියලු අන්තරාවලට වඩා එය ඔබට දරුණු වනු ඇතැ”යි කී ය. 8 එවිට රජ නැඟිට දොරටුව ළඟ හිඳ ගත්තේ ය. ”රජ දොරටුව ළඟ හිඳගෙන සිටින්නේ ය”යි මුළු සෙනඟට දන්වන ලද්දේ ය. මුළු සෙනඟ ද රජු ඉදිරියට පැමිණියෝ ය.

දාවිත් රජ ජෙරුසලමට හැරී ඒම

ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට පලා ගොස් සිටියෝ ය. 9 සියලු ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ විවාද කරමින්, ”රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා, පිලිස්තිවරුන්ගේ අතින් ද අප ගළවාගත්හ. එහෙත්, දැන් ඔහු අබ්සලොම් නිසා රටින් පලා ගොස් ඇත. 10 අප විසින් අප කෙරෙහි අභිෂේක කරන ලද අබ්සලොම් දැන් යුද්ධයේ දී මැරුණේ ය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන ඔබ හැම කිසිවක් නො‍කියා සිටින්නේ මන්දැ”යි ඇසූ හ.
11 එවිට දාවිත් රජ පූජක වන ශාදොක්ටත්, අබියාතර්ටත් මෙසේ කියා යැවී ය. ”ඔබ ජුදාහි ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ කියමින් සිටි දේ රජ්ජුරුවන්ට සැළ විය. එබැවින් රජ්ජුරුවන් සිය නිවෙසට ගෙන්වන පිණිස ඔබ අන්තිමයන් වන්නේ මන්දැ”යි අසන්න. 12 ‘ඔබ හැම මාගේ සහෝදරයෝ ය; මාගේ ලේ නෑයෝ ය; එබැවින් රජ්ජුරුවන් නැවත ගෙන්වා ගන්නට ඔබ අන්තිමයන් වන්නේ මන්දැ’යි අසන්න. 13 තවද, අමාසාට කතා කොට, ‘ඔබ මාගේ ලේ නෑයෙක් නො‍වේ ද? අද සිට ජෝවාබ් වෙනුවට මම නුඹ සේනාපතියා වශයෙන් පත් කරමි. එසේ නො‍කළො‍ත් දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක්වා’යි කියන්නැ”යි කියා යැව්වේ ය. 14 මෙසේ දාවිත් සියලු ජුදා මිනිසුන්ගේ සිත් එක් කෙනෙකුගේ සිත මෙන් දිනාගත්තේ ය. සෙනඟ කතා කරමින්, ”ඔබේ සියලු සේවකයන් සමඟ හැරී අව මැනව”යි කියා යැව්වෝ ය. 15 එවිට රජ හැරී ජොර්දාන් ළඟට පැමිණියේ ය. ජුදා වාසීන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට රජු කැඳවාගෙන එන පිණිස රජුගේ පෙරමඟට යන්නට ගිල්ගාල් නගරයට පැමිණියෝ ය.
16 එකල බහුරීම් වැසියෙකු වූ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ෂිමෙයි කඩිනමින් ජුදා මිනිසුන් සමඟ දාවිත් රජුගේ පෙරමඟට බැස ආවේ ය. 17 ඔහු සමඟ බෙන්ජමින් ගෝත්‍රයේ මිනිස්සු දහසක් ද සාවුල්ගේ වංශයේ සේවකයෙකු වූ ශීබා ද ඔහුගේ පුත්‍රයෝ පසළො‍ස්දෙනා ද ඔහුගේ වැඩකාරයෝ විසිදෙනා ද සිටියෝ ය. ඔව්හු රජු බලා සිටිය දී ජොර්දාන් මැදින් ගියෝ ය.

දාවිත් රජ ෂිමෙයිට කරුණාව දැක්වීම

18 රජු ද ඔහුගේ ගෙයිවැසි සියල්ලන් ද මෙගොඩට ගෙනෙන පිණිසත්, රජුගේ කැමැත්තක් කරන පිණිසත්, පාරුවක් ගඟින් එගොඩට ගියේ ය. ගේරාගේ පුත් ෂිමෙයි ජොර්දාන් ගඟෙන් එගොඩ වූ කල, 19 රජු ඉදිරියෙහි වැටී, කතා කොට, ”රජතුමනි, ඔබතුමා ජෙරුසලම අත්හැර ගිය දවසේ දී ඔබේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ සිහි නො‍කළ මැනව; එය මට විරුද්ධ දෙයක් ලෙස නො‍සැලකුව මැනව; එය සිතට නො‍ගත මැනව. 20 මන්ද, ඔබේ දාසයා වන මා පව් කළ බව මම දනිමි. එබැවින් ජෝසෙප්ගේ මුළු වංශය අතරෙන්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ පෙරමඟට බැස එන්නට මම පළමු කොට ආවෙමි”යි කී ය.
21 එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි පිළිතුරු දෙමින්, ”ෂිමෙයි සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට දෙස් කී බැවින් ඔහු මරනු ලැබිය යුතු නො‍වේ දැ”යි ඇසී ය.
22 දාවිත් පිළිතුරු දෙමින්, ”ශෙරුයාගේ පුත්‍රයෙනි, ඔබ හැම අද මට එදිරි වීමට ඔබත් මාත් අතර තිබෙන සම්බන්ධකම කුමක් ද? අද ඉශ්රායෙල්වරුන්ගෙන් කිසිවෙකු මරණයට පත් කිරීම යුතු ද? අද මා ඉශ්රායෙල් කෙරෙහි රජු ව සිටින බව මම නො‍දනිම් දැ”යි කී ය. 23 තවද, ”ඔබ නො‍නසින්නෙහි ය”යි රජ ෂිමෙයිට කියා දිවුළේ ය.

මෙපිබොෂෙත් දාවිත් රජුට ආචාර කිරීම

24 සාවුල්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත්ගේ පෙරමඟට ආවේ ය. ඔහු රජු ගිය දා සිට සාමදානයෙන් ආපසු පැමිණි දවස දක්වා තමාගේ පාද සේදුවේ වත්, රැවුල සකස් කරගත්තේ වත්, ඇඳුම් සේදුවේ වත් නැත. 25 තවද, ඔහු රජු සම්බ වන්නට ජෙරුසලමට ආ කල රජ කතා කොට, ”මෙපිබොෂෙත් ඔබ මා සමඟ නො‍ගියේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය.
26 එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: ”මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ වැඩකාරයා මා රැවටුවේ ය. මන්ද, ඔබ මෙහෙකරුවා කොර බැවින්, ‘කොටළුවෙකු සූදානම් කරගෙන ඌ පිට නැඟී, රජ්ජුරුවන් සමඟ යමි’යි ඔබේ මෙහෙකරුවා වන මම කීවෙමි. 27 මාගේ වැඩකාරයා මාගේ ස්වාමීන් වන රජුට ඔබේ මෙහෙකරුවා වන මා ගැන කේලාම් කී ය. එහෙත්, මාගේ ස්වාමීන් වන රජතුමා දෙවියන් වහන්සේගේ දූතයෙකු වැනි ය. ඔබට යහපත යයි පෙනෙන දේ කළ මැනව. 28 මන්ද, මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමීන් වන රජු ඉදිරියෙහි මරණයට සුදුස්සො‍් වූ හ. එසේ වී නමුත්, ඔබේ ම කෑම මේසයෙන් එකට කෑම කන අය අතරෙහි ඔබ, ඔබේ මෙහෙකරුවා වන මට තැනක් දුන්නේ ය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්නට මට අයිතියක් ඇද්දැ”යි කී ය.
29 රජ පිළිතුරු දෙමින්, ”ඔබේ කාරණාව ගැන තවත් කතා කරන්නේ කුමට ද? ඔබ ශීබා සමඟ දේශය බෙදාගන්න ලෙස මම තීරණය කරමි”යි ඔහුට කී ය.
30 මෙපිබොෂෙත් පිළිතුරු දෙමින්, ”මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමාගේ ගෙදරට සාමදානයෙන් ආ බැවින්, සියල්ල ම වුව ද ශීබා ගත්තා වේ ය”යි රජුට කීවේ ය.

දාවිත් රජ බර්ශිල්ලයිට කරුණාව පෑම

31 තවද, ගිලියද් වැසියෙකු වූ බර්ශිල්ලයි, රොගේලීම් සිට අවුත්, ජොර්දාන් ගඟෙන් මෙගොඩට රජු ගෙනෙන පිණිස ඔහු සමඟ ජොර්දානෙන් මෙගොඩට ආයේ ය. 32 බර්ශිල්ලයි අසූ අවුරුද්දක් වයස් වූ මහලු කෙනෙකු ව සිටියේ ය. ඔහු රජු මහනයිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයා දුන්නේ ය. ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙක් ය. 33 රජ ද, ”මා සමඟ යන්නට එන්න; ජෙරුසලමෙහි දී මම ඔබට ආහාර පාන සපයා දෙන්නෙමි”යි බර්ශිල්ලයිට කී ය.
34 බර්ශිල්ලයි පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: ”රජ්ජුරුවන් සමඟ ජෙරුසලමට යන්නට මාගේ ජීවිතයේ තවත් ඉතිරි වී ඇති අවුරුදු ගණන කොපමණ ද? 35 මම දැනට අසූ අවුරුද්දක් වයස් ගත ව සිටිමි. හොඳ නරක දෙක අතර වෙනස මට දැනේ ද? ඔබේ මෙහෙකරු වන මට කන බොන දේවල රස දැනේ ද? ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬ අසන්නට පුළුවන් ද? එබැවින් රජුගේ මෙහෙකරුවා වන මා, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තවත් බරක් වන්නේ කුමට ද? 36 ඔබේ මෙහෙකරුවා වන මම ජොර්දාන් ගඟෙන් එගොඩ ටික දුරක් යන්නෙමි. රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ කුමට ද? 37 මාගේ ම නගරයේ මාගේ පියාණන්ගේත් මාගේ මෑණියන්ගේත් සොහොන් පොළ ළඟ මැරෙන පිණිස ඔබේ මෙහෙකරුවාට හැරී යන්නට අවසර ලැබේවා. එහෙත්, ඔබේ මෙහෙකරුවා වන කිම්හාම් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ එගොඩ ගියා වේ. ඔබට යහපත යයි පෙනෙන හැටියට ඔහුට කළ මැනව.”
38 රජ පිළිතුරු දෙමින්, ”කිම්හාම් මා සමඟ එගොඩ වනු ඇත. ඔබ යහපත් යයි සිතන කවර දෙයක් වුව ද මම ඔහු උදෙසා කරමි. ඔබ මාගෙන් ඉල්ලන සියල්ලත් මම ඔබට ඉටු කර දෙන්නෙමි”යි කීවේ ය. 39 මුළු සෙනඟ ජොර්දානෙන් මෙගොඩ පැමිණියෝ ය. රජ ද මෙගොඩට පැමිණියේ ය. රජ තෙමේ බර්ශිල්ලයි සිඹගෙන ඔහුට ආශීර්වාද කෙළේ ය. ඔහු තමාගේ ගෙදරට පෙරළා ගියේ ය.
40 මෙසේ රජ මෙගොඩ වී ගිල්ගාල්ට පැමිණියේ ය. කිම්හාම් ද ඔහු සමඟ ගියේ ය. මුළු ජුදා සෙනඟ ද ඉශ්රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක් ද රජු මෙගොඩට කැඳවාගෙන ආහ. 41 එවිට සියලු ඉශ්රායෙල් සෙනඟ රජු ළඟට පැමිණ රජුට කතා කොට, ”අප සහෝදරයන් වන ජුදා සෙනඟ ඔබ රහසින් අඬගසාගෙන, රජු ද ඔහුගේ ගෙයි වැසියන් ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මිනිසුන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට ගෙනාවේ මන්දැ”යි ඇසුවෝ ය.
42 සියලු ජුදා සෙනඟ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, ”රජ්ජුරුවන් අපේ කිට්ටු නෑයෙකු නිසා ය; ඔබ හැම මේ කාරණය ගැන කෝප වන්නේ මන් ද? රජුගේ වියදමෙන් අපි කිසිවක් කෑවෙමු ද, නැතහොත් ඔහු කිසි තෑග්ගක් අපට දුන්නේ දැ”යි ඇසුවෝ ය.
43 ඉශ්රායෙල් සෙනඟ ජුදා සෙනඟට පිළිතුරු දෙමින්, ”රජුගෙන් දස කොටසක් අපට තිබේ. දාවිත් රජුගෙනුත් ඔබට වඩා අයිතිකම් අපට ඇත්තේ ය. ඔබ අප සුළු කොට සිතුවේ මන් ද? රජු යළිත් ගෙනෙන්නට පළමුකොට කතා කෙළේ අපි නො‍වෙමු දැ”යි කී හ. එහෙත්, ඉශ්රායෙල් සෙනඟගේ වචනවලට වඩා ජුදා සෙනඟගේ වචන වේගවත් විය.

 

– 20 වන පරිච්ඡේදය –

ෂෙබාගේ කැරලි ගැසීම

1 බෙන්ජමින් ජාතිකයෙකු වන බික්‍රිගේ පුත් ෂෙබා නම් දුර්ජන මිනිසෙක් එහි සිටියේ ය. ඔහු හොරණෑව පිඹ, මොරගසා,
”දාවිත් සමඟ ගනුදෙනු අපට නැත, ජෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් අපට නැත;
ඉශ්රායෙල්වරුනි, එකිනෙකා තම තමාගේ කූඩාරම්වලට යේවා”යි
කී ය. 2 එවිට සියලු ඉශ්රායෙල් ජනයා දාවිත් අත්හැර, බික්‍රිගේ පුත් ෂෙබා පසුපස ගියෝ ය. එහෙත්, ජොර්දාන් පටන් ජෙරුසලම දක්වා ම ජුදාහි සෙනඟ තමන්ගේ රජුට පක්ෂපාත ව සිටියෝ ය.
3 දාවිත් ජෙරුසලමෙහි රජ මැදුරට පැමුණුණ විට, එය බලාගැනීමට ඔහු තබා ගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන, ඔවුන් රැකවල් යටතේ තබා ඔවුන්ගේ වුවමනාවන් සපයා දුන්නේ ය. එහෙත්, ඔහු ඔවුන් සමඟ එක් නො‍ වී ය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා ම සිරගත ව වැන්දඹුවන් මෙන් සිටියෝ ය.
4 රජ අමාසාට කතා කොට, ”තුන් දවසකින් ජුදා සෙනඟ කැඳවා, ඔවුන් සමඟ ඔබත් මා ඉදිරියේ පෙනී සිටින්නැ”යි කී ය. 5 මෙසේ අමාසා ජුදා සෙනඟ කැඳවන්නට ගිය නමුත්, ඔහුට නියම කළ කාලයට වඩා ප්‍රමාද විය. 6 දාවිත් අබිෂයිට කතා කොට, ”අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුත් ෂෙබා අපට අනතුරු කරනු ඇත. ඔහු පවුරු ඇති නගර අත් කරගෙන අපෙන් ගැළවී නො‍යන පිණිස, ඔබේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගෙන ඔහු ලුහුබැඳ යන්නැ”යි කී ය. 7 එවිට ජෝවාබ්ගේ සෙනඟ ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද සියලු බලවන්තයෝ ද ඔහු පසුපස පිටත් වී ගියහ. බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු ජෙරුසලමෙන් නික්ම ගියහ. 8 ඔවුන් ගිබියොන්හි තිබෙන මහගල ළඟ සිටිය දී අමාසා ඔවුන් ඉදිරියට පැමිණියේ ය. ජෝවාබ් තමාගේ යුද්ධ ඇඳුම් ඇඳ ඊට උඩින් ඉඟ පටියක් බැඳගෙන සිටියේ ය. එහි කොපුවේ කඩුවක් දමා තිබිණි. ඔහු පිටතට යද්දී කඩුව වැටිණි. 9 ජෝවාබ් අමාසාට කතා කොට, ”මාගේ සහෝදරය, ඔබ සුව සේ සිටින්නෙහි දැ”යි ඔහුට කියමින් ඔහු සිඹගන්නට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේ ය. 10 එහෙත්, අමාසා ජෝවාබ්ගේ අතේ තිබුණු කඩුව ගැන නො‍සැලකුවේ ය. ජෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඔහුගේ අතුණු බිමට ඇද හැළුණේ ය. දෙ වන වරට පහර දීම අවශ්‍ය නො‍ වී ය. මෙසේ අමාසා මළේ ය. ජෝවාබ් ද ඔහුගේ සහෝදර වූ අබිෂයි ද බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ ගියහ.
11 ජෝවාබ්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් අමාසා ළඟ සිට, ”ජෝවාබ්ට හිතවත්, දාවිත්ට පක්ෂපාත කවුරු නමුත් ජෝවාබ් අනුව යත්වා”යි කී ය. 12 අමාසා වනාහි මහ මාවත මැද තමාගේ ලේ විලේ පෙරළෙමින් සිටියේ ය. ඒ නිසා හැම කෙනෙකු ම නවතින බව ඒ මිනිසාට පෙනී ගියේ ය. අමාසාගේ සිරුර ළඟින් එන සියල්ලන් මෙසේ නවතින බව ඔහු දුටු කල්හි, ඔහු එය මාවතෙන් කෙතට ගෙන ගොස් ඒ පිට රෙද්දක් හෙළුවේ ය. 13 අමාසාගේ මළකඳ මාවතින් ඉවත් කළ පසු, මුළු සෙනඟ බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබඳින පිණිස ජෝවාබ් පසුපස ගියහ.
14 ෂෙබා සියලු ඉශ්රායෙල් ගො‍්ත්‍ර මැදින් ගොස් ආබෙල්-බෙත්-මයකා නගරයට පැමුණුණේ ය. බේරීවරු රැස් වී ඔහු පස්සේ ගියෝ ය. 15 ඔව්හු අවුත් ආබෙල්-බෙත්-මයකා නගරය වටලාගෙන එය ඉදිරිපිට ගොඩැල්ලක් නැඟුවෝ ය. එය පවුර ඉදිරිපිට තිබිණි. ජෝවාබ් සමඟ සිටි මුළු සෙනඟ ද පවුර හෙළා දමන්නට ඊට පහර දුන්හ. 16 එවිට නැණවත් ස්ත්‍රියක් නගරයේ සිට මොරගසා, ”මෙන්න, සවන් දෙන්න, සවන් දෙන්න; මා ජෝවාබ් සමඟ කතා කරන පිණිස, ඔහුට මෙහි එන්නට කියා කිව මැනව”යි කීවා ය. 17 ඔහු ඈ ළඟට ආ කල ඒ ස්ත්‍රිය, ”ඔබ ජෝවාබ් ද” කියා ඇසුවා ය. ඔහු ද, ”එසේ ය”යි උත්තර දුන්නේ ය. එවිට ඈ, ”ඔබේ මෙහෙකාරී කියන දේට සවන් දුන මැනව”යි ඔහුට කීවා ය. ඔහු ද, ”මම සවන් දෙමි”යි කී ය.
18 එවිට ඈ කතා කොට, ”පුරාණ කාලයේ දී ‘දැනුමැතිකම් ලැබීමට ආබෙල්ට යන්නැ’යි කීමක් තිබිණි. ඒ අනුව පැරැන්නෝ ප්‍රශ්න විසඳාගත්හ. 19 අපේ නගරය, ඉශ්රායෙල්හි ඇති ඉතා සාමකාමී, විශ්වාසදායී නගරයක් බව ප්‍රසිද්ධ ය. ඉශ්රායෙල්හි මවු බිමක් වැනි නගරයක් විනාශ කරන්නට ඔබ උත්සාහ කරන්නෙහි ය. සමිඳාණන් වහන්සේගේ උරුමය ඔබ නාස්ති කරන්නේ කුමක් නිසා දැ”යි ඇසුවා ය.
20 ජෝවාබ් පිළිතුරු දෙමින්, ”නගරය නැති නාස්ති කිරීම ගැන අදහසක් මට කොහෙත් ම නැත. 21 එසේ කීම අසත්‍යයකි. බික්‍රිගේ පුත් ෂෙබා නම් එප්‍රායිම් කඳු රටේ මිනිසෙකු දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධ ව කැරලි ගසා ඇත. ඔහු පමණක් පාවා දෙන්න. එවිට මම නගරයෙන් අහක් ව යන්නෙමි”යි කී ය. ඒ ස්ත්‍රිය ද, ”ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙත විසි කරනු ලබන්නේ ය”යි ජෝවාබ්ට කීවා ය. 22 එවිට ඒ ස්ත්‍රිය නගරයට ගොස් ඥානවන්ත ලෙස සෙනඟට කතා කළා ය. සෙනඟ ද බික්‍රිගේ පුත් ෂෙබාගේ හිස ගසා ජෝවාබ් වෙත විසි කළෝ ය. ජෝවාබ් හොරණෑව පිම්ඹේ ය. එවිට ඔව්හු නගරයෙන් පිට වී තම තමන්ගේ කූඩාරම්වලට ගියහ. ජෝවාබ් ද ජෙරුසලමෙහි රජු වෙත හැරී ආවේ ය.
23 ජෝවාබ් මුළු ඉශ්රායෙල් සේනාවට අධිපතියා ය. ජෙහොයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් අධිපතියා ය. 24 අදොරාම් බැල මෙහෙවර භාර ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරු ය. 25 ෂෙවා වනාහි ලේකම් ය. ශාදොක් හා අබියාතර් පූජකයෝ ය. 26 ජායිර්හි ඊරාත් දාවිත්ගේ පූජකයා ය.

 

– 21 වන පරිච්ඡේදය –

සාවුල්ගේ පරපුර මරනු ලැබීම

1 දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේ ම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසාත් ය”යි වදාළ සේක. 2 ගිබියොන්වරු ඉශ්රායෙල් ජාතිකයන් නොව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව සිටි කොට්ඨාශයකි. ඉශ්රායෙල් සෙනඟ ඔවුන් නො‍මරන්නට දිවුරුම් දී තිබුණු නමුත්, සාවුල් ඉශ්රායෙල් සෙනඟටත්, ජුදා සෙනඟටත් ඇති තමාගේ උද්‍යෝගය නිසා ඔවුන් මරන්නට සෙව්වේ ය. 3 දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කතා කොට, ”ඔබ උදෙසා මම කුමක් කරම් ද? ඔබ සමිඳාණන් වහන්සේගේ සෙනඟට ආශීර්වාද කරන පිණිස මා වන්දි ගෙවීමක් වශයෙන් කුමක් කළ යුතු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
4 ගිබියොන්වරු පිළිතුරු දෙමින්, ”සාවුල්ට සහ ඔහුගේ පවුලට විරුද්ධ ව ඇති අපේ ආරාවුල් රන් රිදීවලින් බේරිය නො‍හැකි ය; තවද, ඉශ්රායෙල්හි කිසිවකු මැරීමට අපට වුවමනාවක් නැතැ”යි කී හ. ඔහු ද, ”ඔබ කියන දෙයක් මම ඔබට කර දෙමි”යි කී ය.
5 ඔව්හු රජුට කතා කොට, ”ඉශ්රායෙල්හි කිසි ම තැනක අපට ජීවත් වන්නට නො‍හැකි වන ලෙස සාවුල් අප නැතිනාස්ති කරන්නට සෙව්වේ ය. 6 ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ ”මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.
7 එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය. 8 එසේ වුව ද, ඔහු අයාගේ දුව වූ රිශ්පා සාවුල්ට දාව ලැබූ අර්මෝනි සහ මෙපිබොෂෙත් යන පුත්‍රයන් දෙදෙන ද සාවුල්ගේ දුව වූ මීකල් මෙහොලාතිය බර්ශිල්ලයිගේ පුත් අද්‍රියෙල්ට දාව ලැබූ පුත්‍රයන් පස්දෙනා ද ගෙන, 9 ගිබියොන්වරුන් අතට පාවා දුන්නේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝ ය. මෙසේ ඒ සත්දෙනා එක විට ම වැනසුණෝ ය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්නට පටන්ගන්න කාලයේ මුල් ම දවස්වල දී ය.
10 එවිට අයාගේ දුව වූ රිශ්පා ගො‍්ණි රෙදි අරගෙන ගොස් පර්වතය පිට අතුරා ඉඳගෙන, ගොයම් කපන කාලය පටන්ගැන්මේ සිට අහසින් වැසි වසින තෙක් දවල් ආකාශයේ පක්ෂීන්ට වත්, රෑ වනයේ මෘගයන්ට වත් ඒ මළකඳන් ළඟට පැමිණෙන්නට ඉඩ නො‍දී සිටියා ය.
11 අයාගේ දුව වූ, සාවුල්ගේ උපභාර්යාව වූ රිශ්පා කළ දෙය දාවිත්ට දන්වන ලද්දේ ය. 12 එවිට ඔහු ගොස්, ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු අරගත්තේ ය. ඔවුන් ඒ ඇටකටු බෙත්ෂාන්හි ප්‍රසිද්ධ චතුරශ්‍රයෙන් සොරාගෙන ගොස් තිබිණි. සාවුල් ගිල්බො‍්වා කන්දේ දී මරනු ලැබූ දවසේ දී පිලිස්තිවරුන් ඔහුගේ ද ජොනතන්ගේ ද සිරුරු එල්ලුවේ ඒ චතුරශ්‍රයෙහි ය. 13 දාවිත් ගොස් සාවුල්ගේ ඇටකටු සහ ඔහුගේ පුත් ජොනතන්ගේ ඇටකටු එතැනින් ගෙනාවේ ය. එල්ලා දමන ලද තැනැත්තන්ගේ ඇටකටුත් ඔව්හු එකතු කළෝ ය. 14 සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.

පිලිස්තීය යෝධයන් සමඟ සටන්
(1 වංශා: 20:4-8)

15 ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිලිස්තිවරු යළිත් යුද්ධයක් කළහ. දාවිත් තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කෙළේ ය. දාවිත් විඩාවට පත් විය. 16 එවිට රෙපායිම් නම් යෝධයන්ගෙන් පැවත ආ කෙනෙකු වන ඉෂ්බි-බෙනො‍බ්, දාවිත් මරන්නට සිතා ගත්තේ ය. ඔහුගේ ලෝකඩ හෙල්ලයේ බර කිලෝග්‍රෑම් තුනහමාරක් ය. ඔහු අලුත් කඩුවක් ද ඉණේ බැඳගෙන සිටියේ ය. 17 එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි රජුට සහාය වී පිලිස්තියයාට පහර දී ඔහු මැරුවේ ය. එවිට දාවිත්ගේ සෙනඟ, ”ඉශ්රායෙල්වරුන්ගේ පහන වැනි බලාපොරොත්තුව වන ඔබ, නො‍නිවෙන පිණිස තවත් අප සමඟ යුද්ධයට නො‍යා යුතු ය”යි දිවුරුම් දී දාවිත්ට කියා සිටියෝ ය.
18 ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි, යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සප් මැරුවේ ය.
19 නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්ලෙහෙමීය ජාරේ-ඔරෙගීම්ගේ පුත්‍ර වූ එල්හානාන් ගිත්තීය ගොලියත්ගේ සහෝදරයා මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩක් හා සමාන ය.
20 නැවතත් ගාත්හි යුද්ධයක් විය; එහි බොහෝ උස මහත මනුෂ්‍යයෙක් සිටියේ ය. ඔහුගේ අත්වලත්, පාවලත් හය හය බැගින් ඇඟිලි විසිසතරක් තිබිණි. ඔහුත් යෝධයාට දාව උපන් කෙනෙකි. 21 ඔහු ඉශ්රායෙල්වරුන්ට අභියෝග කළ කල, දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍ර වූ ජොනතන් ඔහු මැරී ය.
22 ඒ සතරදෙනා ගාත්හි දී යෝධයාට දාව උපන්නෝ ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද මැරුම්කෑවෝ ය.

 

– 22 වන පරිච්ඡේදය –

දාවිත් රජුගේ මිදීමේ ගීය
(ගීතා: 18)

1 සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ඔහු මුදාගත් කල ඔහු සමිඳාණන් වහන්සේට ගැයූ ගීයේ වචන මෙසේ ය:
2 සමිඳාණෝ මාගේ පර්වතය ය, මාගේ බලකොටුව ය, මාගේ මිදුම්කාරයාණෝ ය.
3 මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය;
මම එතුමාණන් සරණ කරගනිමි.
එතුමාණෝ මාගේ පලිහ ය;
මාගේ ගැළවීමේ බලය ය;
මාගේ බලකොටුව ය;
මාගේ රක්ෂස්ථානය ය;
මාගේ විමුක්තිදායකයාණෝ ය;
ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.
4 සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුන් මම අයැද සිටිමි.
මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.
5 මන්ද, මරණය නමැති තරංගයෝ මා වට කළහ.
අධර්මය නමැති ජලධාරාවෝ මා බියගැන්වූ හ.
6 පාතාලයේ රැහැන් මා වෙළා ගති, මරණයේ මලපත් මට අටවා තිබිණි.
7 මාගේ විපතේ දී මම සමිඳුන් යැදීමි.
එසේ ය, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි.
එතුමාණෝ සිය මාලිගාවේ සිට මාගේ හඬට සවන් දුන් සේක.
මා යැදුම් එතුමන් වෙත නැඟිණි.
8 එවිට පොළො‍ව සෙලවී කම්පා විය;
සග පදනම් ද වෙවුළා සෙලවිණි.
මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
9 එතුමාණන්ගේ නාස් පුඬුවලින් දුමක් නැඟිණි.
එතුමන්ගේ මුවින් වනසන ගින්නක් නික්මිණි,
එයින් ගිනි අඟුරු ඇවිළිණි.
10 එතුමාණෝ අහස නමා බැස වැඩිය සේක, එතුමන්ගේ පා යට ගන’ඳුර වී ය.
11 එතුමාණෝ කෙරුබ්වරයෙකු අරා පියාසර කළ සේක.
එසේ ය, එතුමාණෝ සුළං පියාපත් පිට පියාඹා වැඩිය සේක.
12 එතුමාණෝ අඳුර සිය ආවරණය කරගත් සේක.
ඝන වැහි වලා සිය මණ්ඩපය කරගත් සේක.
13 එතුමාණන් ඉදිරියෙහි වූ දීප්තියෙන් ගිනි අඟුරු දැල්වී ගියේ ය.
14 සමිඳාණෝ අහසේ සිට ගිගුරුම් දුන් සේක:
මහෝත්තමයාණෝ සිය හඬ නිකුත් කළ සේක.
15 එතුමාණෝ සිය ඊගස් විද ඔවුන් විසුරුවා හළ සේක;
විදුලිය එවා ඔවුන් පරාජය කළ සේක.
16 එකල සමිඳුන්ගේ තරවටුවෙන් ද එතුමන්ගේ නාසයෙන් නික්මුණ වාත වේගයෙන් ද සමුද්‍ර පත්ල එළි පෙහෙළි විය;
පොළො‍වේ පදනම් ද දිස් විය.
17 එතුමාණෝ උඩින් අත පොවා මා අල්ලාගත් සේක;
ගැඹුරු දිය පාරින් මා ඇදගත් සේක.
18 මාගේ බලවත් සතුරන්ගෙන් ද මට වෛර කළවුන්ගෙන් ද එතුමාණෝ මා මුදා ගත් සේක.
මන්ද, ඔව්හු මට වඩා බලවත් වූ හ.
19 මාගේ විපත්ති දවසේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ.
එහෙත්, සමිඳාණෝ මාගේ පිහිට වූ සේක.
20 එතුමාණෝ අවහිර නැති තැනකට මා ගෙනා සේක, මා කෙරෙහි ප්‍රසන්න වූ බැවින් මා මිදූ සේක.
21 සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව මට විපාක දුන් සේක.
මාගේ නිදොස්කම අනුව මට ප්‍රතිඵල දුන් සේක.
22 මන්ද, මම සමිඳු මඟ හැසුරුණෙමි, මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස අහක් ව නො‍ගියෙමි.
23 එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි විය.
එතුමන්ගේ පණත්වලින් ඉවත් ව නො‍ගියෙමි.
24 මම එතුමන් ඉදිරියෙහි නිදොස් ව සිටියෙමි;
පවින් වැළකී සිටියෙමි.
25 එබැවින් සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව ද එතුමන්ගේ ඇස් හමුයෙහි මාගේ පිරිසිදුකම අනුව ද මට ප්‍රතිඵල දුන් සේක.
26 කරුණාවන්ත අයට ඔබ කරුණාවන්ත ය.
නිදොස් අයට ඔබ නිදොස් ය.
27 පිරිසිදු අයට ඔබ පිරිසිදු ය.
හිතුවක්කාර අයට ඔබ විරුද්ධ ය.
28 ඔබ පීඩිත සෙනඟ ගළවන සේක.
එහෙත්, උඩඟු වූවන් පහත් කරන පිණිස ඔබේ ඇස් ඔවුන් දෙස යොමා තිබේ.
29 මන්ද, සමිඳුනි, ඔබ මාගේ පහන ය, සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.
30 ඔබේ පිහිටෙන් මට හමුදාවක් වැනසිය හැකි ය.
ඔබේ පිහිටෙන් පවුරු උඩින් පැන්න හැකි ය.
31 මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය;
සමිඳුන්ගේ වචන නිර්මල ය.
තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.
32 මන්ද, සමිඳුන් මිස දෙවි වන්නේ කවරෙක් ද?
අපේ දෙවිඳුන් මිස පර්වතයක් වන්නේ කවරෙක් ද?
33 මේ දෙවි තුමාණෝ මාගේ බලකොටුව ය;
එතුමාණෝ මාගේ මාර්ගය නිදොස් කරන සේක.
34 එතුමාණෝ මාගේ පාද මුව දෙනුන්ගේ පාද මෙන් කරන සේක.
කඳු මුදුන්හි මා සුරක්ෂිත ව තබන සේක.
35 මාගේ බාහුවෙන් ලෝකඩ දුන්නක් නමන්න පුළුවන් වන පිණිස එතුමාණෝ මාගේ දෑත සටනට පුහුණු කරන සේක.
36 ඔබේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන් සේක.
ඔබේ පිහිට මා උසස් කළ සේක.
37 ඔබ මාගේ දෙපා යට මාගේ අඩි පාර පළල් කළ සේක.
මාගේ පාද නො‍ලිස්සුවේ ය.
38 මම මාගේ සතුරන් ලුහුබැඳ ගොස් ඔවුන් විනාශ කෙළෙමි.
මම ඔවුන් වනසන තුරු හැරී නායෙමි.
39 නැඟිටින්න බැරි වන ලෙස මම ඔවුන්ට පහර දී ඔවුන් වැනසුවෙමි.
එසේ ය, ඔවුහු වැටී මාගේ පාදවලට යට වූ හ.
40 මන්ද, ඔබ සටන් පිණිස ශක්තියෙන් මාගේ ඉඟටිය සවිමත් කරන සේක.
මට විරුද්ධ ව නැඟුණ අය ඔබ මා ඉදිරියෙහි අවනත කරවූ සේක.
41 ඔබ මාගේ සතුරන්ට පසු බැස යන්න සැලැසූ සේක.
මට ද්වේෂ කරන්නන් මම විනාශ කරමි.
42 ඔවුන් බැලූ නමුත්, ඔවුන් ගළවන්න කිසිවෙක් නො‍ වූ හ.
සමිඳුන්ට මොරගැසූ නමුත් එතුමාණෝ උත්තර නුදුන් සේක.
43 එකල මම පොළො‍වෙහි ධූලි මෙන් ඔවුන් සුණු විසුණු කෙළෙමි.
වීථිවල මඩ මෙන් ඔවුන් පාගා දැමුවෙමි.
44 කැරලිකාර සෙනඟගෙන් ඔබ මා මිදූ සේක;
ජාතීන්ට ප්‍රධානියා වන පිණිස මා රක්ෂා කළ සේක;
මා නො‍හඳුනන සෙනඟක් මට මෙහෙ කරති.
45 විදේශීහු බැගෑපත් ව මාගේ පිහිට පතා එන්නෝ ය.
මා ගැන ඇසූ කෙණෙහි ම ඔවුහු මට කීකරු වෙති.
46 විදේශීහු මලානික වී තමන් සැඟවී උන් හිටි තැන්වලින් වෙවුළමින් පිටත එති.
47 සමිඳාණෝ ජීවමාන ය;
මාගේ පර්වතයාණන්ට ප්‍රශංසා වේ වා!
මාගේ ගැළවීමේ පර්වතය වන දෙවිඳාණෝ උසස් වන සේක් වා!
48 එතුමාණෝ, මා උදෙසා සතුරන්ගෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන,
49 මාගේ සතුරන්ගෙන් මා මුදාගන්න දෙවියන් වහන්සේ ය.
එසේ ය, මට විරුද්ධ ව නැඟී සිටින්නාට වඩා ඔබ මා උසස් කරන සේක;
සැහැසි මිනිසුන්ගෙන් මා ගළවන සේක.
50 එබැවින් සමිඳුනි, විජාතීන් අතරේ ඔබට ස්තුති කරන්නෙමි;
ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.
51 උන් වහන්සේ තමන් රජු හට ඉමහත් ජය අත් කර දෙන සේක.
තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන දාවිත්ටත්, ඔහුගේ වංශයටත් සදහට කරුණාව පෙන්වන සේක.

 

– 23 වන පරිච්ඡේදය –

දාවිත් රජුගේ අවසාන වචන

1 දාවිත්ගේ අවසාන වචන මෙසේ ය.
ජෙස්සේගේ පුත්‍රයා ද උසස් කරනු ලැබූ මනුෂ්‍යයා ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේගේ අභිෂේක ලත් නැතැත්තා ද ඉශ්රායෙල් ජාතියේ මිහිරි ගායකයා ද වන දාවිත් මෙසේ කියයි:
2 ”සමිඳුන්ගේ ආත්මය මා මඟින් කතා කරන්නේ ය.
එතුමන්ගේ වචනය මාගේ දිවේ තිබුණේ ය.
3 ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ කතා කළ සේක.
ඉශ්රායෙල්වරුන්ගේ පර්වතයාණෝ මට මෙසේ වදාළ සේක:
මිනිසුන් යුක්තියෙන් පාලනය කරන, දේව ගරු බිය ඇති ව ආණ්ඩු කරන තැනැත්තේ වූකලී,
4 වැස්සෙන් පසු, වලාකුළු නැති උදයක දී, පොළො‍වේ තණ දීප්තිමත් කරන අලුයම හිරු උදා වන කල ඇති එළිය වැනි ය.
5 සැබැවින් මාගේ වංශය දෙවිඳුන් ඉදිරියෙහි එසේ ම නො‍පවතින්නේ ද?
මන්ද, සියල්ල නියම ලෙස ස්ථිර කර තිබෙන සදාකාල ගිවිසුමක් එතුමාණෝ මා සමඟ කළ සේක.
මාගේ මුළු ගැළවීමත්, මට රිසි සියල්ලත් එතුමාණෝ සඵල වන්නට නො‍සලසන සේක් ද?
6 එහෙත්, සියලු දුදනෝ අතින් ඇල්ලිය නො‍හැකි, අහක දමනු ලබන කටු ගස් හා සමාන ය.
7 ඒවා අල්ලන මිනිසා යකඩ අවියක් හෝ හෙල්ල මිටක් හෝ රැගෙන සිටිය යුතු ය;
ඒවා මුළුමනින් ගින්නෙන් දවා ලනු ඇත.”

දාවිත් රජුගේ වීරයෝ
(1 වංශා: 11:10-41)

8 දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.
9 ඊළඟට අහෝහිය දෝදෝගේ පුත් එලෙයාසර් ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස් ව සිටිය දී, ඉශ්රායෙල් සෙනඟ පසු බැස ගිය විට, ඒ ස්ථානයෙහි දාවිත් රජු සමඟ සිට ඔවුන්ට අභියෝග කළ බලවන්තයන් තුන්දෙනාගෙන් දෙවැන්නා ය. 10 ඔහු නැඟිට තමාගේ අත හිරි වැටී, අත කඩුවට ඇළෙන තුරු පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය. සමිඳාණන් වහන්සේ එදා ඉමහත් ජයක් සලසා දුන් සේක. සෙනඟ ද කොල්ලය ගන්නට පමණක් ඔහු පස්සේ ගියහ.
11 ඊළඟට, හාරාරීය අගීගේ පුත් ෂම්මා ය. පිලිස්තිවරු කොල්ලු පිරී තිබුණු ලෙහි නම් බිම් කොටසක එක්රැස් ව සිටියෝ ය; සෙනඟ ද පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ. 12 එහෙත්, ඔහු බිම් කොටස මැද සිට එය බේරාගෙන පිලිස්තිවරුන් මැරුවේ ය. සමිඳාණන් වහන්සේ ඉමහත් ජයක් සලසා දුන් සේක.
13 ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේ දී දාවිත් සිටි අදුල්ලම් ගුහාවට ගියහ. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියහ. 14 දාවිත් එවකට බලකොටුවෙහි සිටියේ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්ලෙහෙම්හි සිටියහ. 15 දාවිත්, තද පිපාසාවක් ඇති ව, ”අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර ටිකක් කවුරුත් ගෙනවුත් මට බොන්නට දෙන්නේ නම් යහපතැ”යි කීවේ ය. 16 එවිට ඒ වීරයන් තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුර මැදින් කඩා බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනාහ. එහෙත්, ඔහු එය නො‍බී, සමිඳාණන් වහන්සේට පානීය පූජාවක් ඔප්පු කොට, 17 ”සමිඳාණන් වහන්ස, මෙය බීමෙන් මා වැළැක්වුව මැනව. මේ වනාහි, සිය දිවි නො‍තකා ඉදිරියට ගිය මිනිසුන්ගේ ලේ ය”යි කී ය. ඒ නිසා ඔහු ඒ වතුර නො‍බීවේ ය. ඒ වීරයන්ගේ බලවත් ක්‍රියා එසේ ය.
18 ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියා විය. ඔහු සිය හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ලෙළවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නම ගිය කෙනෙක් විය. 19 තුන්දෙනා අතරෙන් ඔහු ඉතා කීර්තිමත් තැනැත්තා වෙමින්, ඔවුන්ගේ ප්‍රධානියා විය. එසේ වුවත්, ඔහු පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො‍ වී ය.
20 බොහෝ වීර ක්‍රියා කළ, කබ්ශෙයෙල් ජාතිකයෙකු වූ ජෙහෝයාදාගේ පුත් බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේ ය. හිම වැටෙන දවසක දී ඔහු ගොස් වළක් ඇතුළෙහි වූ සිංහයෙකු මැරුවේ ය. 21 ඔහු එඩිතර පෙනුමක් ඇති මිසර ජාතිකයෙකු මැරුවේ ය. ඒ මිසර ජාතිකයාගේ අතේ හෙල්ලයක් තිබිණි; එහෙත්, ඔහු පොල්ලක් ඇතුව මිසර ජාතිකයා ළඟට ගොස් ඔහුගේ අතින් හෙල්ලය උදුරාගෙන ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමී ය.
22 ජෙහෝයාදාගේ පුත් බෙනායා මේ දේවල් කොට වීරයන් තුන්දෙනා අතර කීර්තියක් ලැබී ය. 23 ඔහු සෙසු තිස්දෙනාට වඩා කීර්තිමත් කෙනෙක් විය; එහෙත්, පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො‍ වී ය. දාවිත් රජ ඔහු තමාගේ මුර හේවායන්ගේ අධිපතියා කෙළේ ය.
24 ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් තිස්දෙනාගෙන් එක් කෙනෙක් ය. තවත් අයගේ නම් මෙසේ ය: බෙත්ලෙහෙම්හි දෝදෝගේ පුත් එල්හානාන් ය; 25 හරොදිය ෂම්මා ය; 26 හරොදිය එලිකා ය; පල්තිය හෙලෙශ් ය; තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය; 27 අනාතෝතිය අබියෙශෙර් ය; හුෂාතිය මෙබුන්නයි ය; 28 අහෝහිය ශල්මොන් ය; නෙටෝපාතිය මහරයි ය; 29 නෙටෝපාතිය බානාගේ පුත් හෙලෙබ් ය; බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඉත්තයි ය; 30 පීරාතෝනිය බෙනායා ය; ගායෂ්හි මිටියාවතේ හිද්දයි ය; 31 අර්බාතිය අබි-යල්බොන් ය; බර්හුමිය අශ්මාවෙත් ය; 32 ෂාල්බොනිය එලියාබා ය; ජාෂෙන්ගේ පුත්‍රයන්ගෙන් ජොනතන් ය; 33 හරාරීය ෂම්මා ය; අරාරිය ෂරාර්ගේ පුත් අහියාම් ය; 34 මයකාතිය ජාතිකයාගේ පුත් වන අහස්බයිගේ පුත් එලිපෙලෙත් ය; ගිලොනිය අහිතොපෙල්ගේ පුත් එලියාම් ය; 35 කර්මෙලිය හශේරයි ය; අර්බිය පයරයි ය; 36 ශෝබාහි නාතාන්ගේ පුත් ඉගාල් ය; ගාදිය බානි ය; 37 අම්මොනිය ශෙලෙක් ය; ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙයේරොතිය නහරයි ය; 38 ඉත්රීය ඊරා ය; ඉත්රීය ගාරෙබ් ය; 39 හිත්තීය උරියා ය; ඒ සියල්ලෝ තිස්හත්දෙනෙකි.

– 24 වන පරිච්ඡේදය –

දාවිත් රජ සංගණනය ගැනීම
(1 වංශා: 21:1-27)

1 සමිඳාණන් වහන්සේගේ උදහස යළිත් ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව දාවිත් පොළඹවමින්, ”නුඹ ගොස්, ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද ගණන් කරන්නැ”යි ඔහුට වදාළ සේක. 2 රජ තෙමේ ජෝවාබ්ට ද තමා සමඟ සිටි සේනාපතීන්ට ද කතා කොට, ”සෙනඟගේ ගණන මා දැනගන්න පිණිස, ඔබ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන් කරන්නැ”යි කී ය.
3 ජෝවාබ්, රජුට කතා කොට, ”දැන් සිටින ගණන කොපමණ වුවත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ ඊට වඩා සිය ගුණයක් වැඩි කරන සේක් වා! මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට එය සියැසින් දකින්නටත් ලැබේ වා! එහෙත්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් මේ ගැන ප්‍රිය වන්නේ කුමට දැ”යි ඇසී ය. 4 එහෙත්, ජෝවාබ් හා සේනාපතීන් කී දේ රජතුමා නො‍සලකා සිය නියමය ස්ථිර කෙළේ ය. ජෝවාබ් ද සේනාපතීහු ද ඉශ්රායෙල් සෙනඟ ගණන් කරන පිණිස රජු ඉදිරියෙන් පිටත් ව ගියහ.
5 ඔව්හු ජොර්දාන් ගඟෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් සිට ද මිටියාවත මැද තිබෙන නගරය සිට ද සෙනඟ ගණන් කරන්නට පටන්ගෙන, ජාසේර් දෙසට ද ගමන් කළහ. 6 එතැනින් ඔව්හු ගිලියද්ටත්, හිත්තීවරුන්ගේ දේශයෙහි වූ කාදෙෂ්ටත් පැමිණියහ. ඉන්පසු දාන්යාන්ටත්, වටකරින් ගොස් සීදොන් දෙසටත් ගමන් කළහ. 7 එතැනින් පවුරු ඇති තීර්ටත්, හිවීවරුන්ගේ ද කානානිවරුන්ගේ ද සියලු නගරවලටත් පැමිණ, ජුදාහි දකුණු දිශාවේ බෙයර්-ෂෙබා දක්වා ගියහ. 8 මෙලෙස ඔව්හු මුළු දේශයෙහි සැරිසරා නව මාස විසි දවසකට පසු ජෙරුසලමට ආපසු පැමිණියහ. 9 ජෝවාබ් ගණන් කළ සෙනඟගේ මුළු ගණන රජුට දැන්වී ය. අවි ආයුධ දැරීමට දක්ෂ මිනිසුන්ගේ ගණන ඉශ්රායෙල්හි අටලක්ෂයක් ද ජුදාහි පන්ලක්ෂයක් ද වූ හ.

දාවිත් රජ දඬුවමක් තෝරාගැනීම

10 දාවිත් සෙනඟ ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබී ය. දාවිත් සමිඳාණන් වහන්සේට කතා කොට, ”මම මේ දේ කිරීමෙන් බොහෝ සෙයින් පව් කෙළෙමි. දැන් සමිඳුනි ඔබේ මෙහෙකරුවාගේ අපරාධ පහ කළ මැනව; මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කී ය.
11 දාවිත් පසු දින උදේ අවදි වූ විට දාවිත්ගේ දිවැසිවරයා වන ගාද් වෙත සමිඳාණන් වහන්සේගෙන් මේ පණිවුඩය පැමිණියේ ය: ”නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න: 12 ‘මම කරුණු තුනක් නුඹ ඉදිරියෙහි තබමි; නුඹ පිට පමුණුවන පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි කී ය. 13 ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට එපවත් දන්වමින්, ”ඔබ කැමැති කොයි එකට ද? ඔබේ දේශයට සත් අවුරුද්දක් සාගතය පැමිණීමට ද? නො‍හොත් තුන් මාසයක් ඔබේ සතුරන් ඔබ පසුපස ලුහුබැඳ එද්දී ඔබ ඔවුන් ඉදිරියෙන් පලා යෑමට ද, නො‍හොත් ඔබේ දේශයෙහි තුන් දවසකට වසංගතයක් ඇති වීමට ද? දැන් ඉතින් මා එවූ තැනැන් වහන්සේට කෙබඳු උත්තරයක් මා දිය යුතු දැ යි කල්පනා කර බලන්නැ”යි කී ය.
14 දාවිත් පිළිතුරු දෙමින්, ”මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අපි භාර වන්නෙමු. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මිනිසුන්ගේ අතට මම අසු නො‍වෙම්වා”යි ගාද්ට කී ය. 15 මෙසේ සමිඳාණන් වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්රායෙල් දේශය පිට වසංගතයක් එවූ සේක. එයින් දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මිනිස්සු සැත්තෑ දහසක් මැරුණෝ ය. 16 දේව දූතයා ජෙරුසලම විනාශ කරන්නට තමාගේ අත ඒ දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ විපත ගැන තැවී සෙනඟ අතරේ විනාශ සිදු කරන දූතයාට කතා කොට, ”ඉතින් ඇති, නුඹේ අත ඉවත් කර ගන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ අවස්ථාවේ දී ජෙබුසිය අරව්නාගේ කමත ළඟ සිටියේ ය.
17 දාවිත් ද සෙනඟට පහර දෙන දූතයා, දැක, සමිඳාණන් වහන්සේට කතා කොට, ”මම පව් කෙළෙමි. මම අපරාධ කෙළෙමි. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ ඔබේ අත මා පිටත්, මාගේ පවුල පිටත් පැමිණේ වා”යි කී ය.
18 එදින ගාද් දාවිත් ළඟට අවුත්, ”ඔබ ගොස් ජෙබුසිය අරව්නාගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන්නැ”යි ඔහුට කී ය. 19 දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස ගාද්ගේ කීමේ හැටියට නැඟිට ගියේ ය. 20 අරව්නා බැලූ විට රජු ද ඔහුගේ සේවකයන් ද තමා වෙත එනු දැක පිටතට අවුත්, මුණින්තළා වී රජුට වැඳ, 21 ”මාගේ ස්වාමීන් වන රජතුමා, තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් පිණිස දැ”යි ඇසී ය. ”වංසගතය සෙනඟගෙන් පහ වන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීම සඳහා කමත ඔබෙන් මිලේට ගැනීමට ය”යි දාවිත් පිළිතුරු දිනි.
22 අරව්නා ද, ”මාගේ ස්වාමීන් වන රජතුමා, එය ගෙන ඔබ කැමැති දෙයක් පූජා කරනු මැනව. මෙන්න, දවන යාග පූජාවට ගවයෝ සිටිති. දර පිණිස මඩින යන්ත්‍ර ද ගවයන්ගේ වියගස් ද තිබේ. 23 රජතුමනි, අරව්නා වන මම මේ සියල්ල රජතුමාට දෙන්නෙමි”යි දාවිත්ට කී ය. තවදුරටත් අරව්නා කතා කොට, ”ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ පිළිගන්න සේක් වා”යි රජුට කී ය.
24 රජ ද, ”එසේ නොව, මිලේට එය ඔබෙන් ගනිමි, මට වියදමක් නැති ව මාගේ දෙවි සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු නො‍කරමි”යි අරව්නාට කී ය. එසේ දාවිත් කමත ද ගවයන් ද රිදී කාසි පණසකට ගත්තේ ය. 25 එහි දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟා දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන කළ කන්නලව්ව පිළිගත් සේක. ඉශ්රායෙල් දේශයේ වසංගතය පහ ව ගියේ ය.

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s