ශෙපනියා

– 1 වන පරිච්ඡේදය –

1 ආමොන්ගේ පුත්, ජුදාහි රජ ව සිටි ජොෂියාගේ කාලයේ දී සමිඳාණන් වහන්සේ ශෙපනියාට දුන් පණිවුඩය මේ ය. ශෙපනියා වනාහි හෙසකියාගේ පුත් අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත් වූ කුෂිගේ පුත්‍රයා ය.

සමිඳාණන් වහන්සේගේ උදහසේ දවස

2 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මම මිහි පිට ඇති සියලු දේ සහමුලින් ම විනාශ කරන්නෙමි. 3 මම සියලු මිනිසුන් ද ස්ත්‍රීන් ද අහසේ කුරුල්ලන් ද මුහුදේ මත්ස්‍යයන් ද විනාශ කරමි. දුෂ්ටයන් වැටෙන්නට සලස්වා, මනුෂ්‍ය වර්ගයා මිහි පිටින් සහමුලින් ම විනාශ කරන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ම ය.
4 ”මම ජුදාට ද ජෙරුසලමේ සියලු සෙනඟට ද විරුද්ධ ව මාගේ හස්තය ඔසවා විජාතීන්ගේ පූජකයන්ගේ නාම මේ ස්ථානයෙන් මකාදමන්නෙමි. 5 ග්‍රහබලධාරීන්ට නමදින පිණිස වහලට නඟින සෑම දෙනෙකු ද මට දිවුරුම් දී මා නමදින නමුත්, මල්කොම් දෙවියාගේ නාමයෙන් දිවුරන සියලු දෙනා ද මම විනාශ කරන්නෙමි. 6 මා වෙතින් වෙන් ව ගොස් තවත් මා අනුගමනය නො කරන, මා වෙත නො එන, මාගේ මඟපෙන්වීම නොසොයන අය ද මම විනාශ කරමි.”
7 සමිඳාණන් වහන්සේගේ විනිශ්චය දවස ආසන්න ය. එබැවින් උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා! සමිඳාණන් වහන්සේ පූජාවක් පිළියෙළ කළ සේක. පූජාව සඳහා සිය සෙනඟ කැපකළ සේක. 8 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඒ පූජාව ඔප්පු කරන දවසේ දී අධිපතීන්ට ද රජුගේ පුත්‍රයන්ට ද විදේශීය ඇඳුම් අඳින සියල්ලන්ට ද මම දඬුවම් කරන්නෙමි. 9 ඒ දවසේ දී විජාතීන් ලෙස නමදින, සොරකම්කර, මිනී මරා සොරාගත් දෙයින් තමන්ගේ දේවාල පුරවාගන්න සියලු දෙනාට මම දඬුවම් කරමි.
10 ”ඒ දවසේ දී ‘මත්ස්‍ය ද්වාරයේ’ ඝෝෂාවක් ද නගරයේ දෙ වන කොටසින් කෑමොරගැසීමක් ද කඳුවලින් මහා ශබ්දයක් ද නුඹලාට ඇසෙනු ඇත. 11 සියලු වෙළෙඳුන් වැනසූ නිසා ද රිදී කිරන අය විනාශ කරනු ලැබූ නිසා ද නගරයේ පහත කොටසේ සිටින නුඹලා හඬා වැලපෙන්න.
12 ”ඒ කාලයේ දී මම පහනක් දල්වා ජෙරුසලම සො‍්දිසිකර, ‘සමිඳාණන් වහන්සේ යහපතක් වත්, නපුරක් වත් කරන එකක් නැතැ’යි කියමින් උදාසීන ව සැපපහසුකමින් කල් යවන සියලු දෙනාට දඬුවම් කරමි. 13 ඔවුන්ගේ වස්තුව කොල්ලකනු ලැබේ; ඔවුන්ගේ ගෙවල් පාළුකරනු ලැබේ; ඔවුන් ගෙවල් ගොඩනඟන නමුත්, ඒවායේ වාසය කරන්නේ වත් මිදි වතු වවන නමුත්, ඒවායින් මිදියුස බොන්නේ වත් නැත.”
14 සමිඳාණන් වහන්සේගේ මහා දවස ළඟ ය; එය විගසින් ම පැමිණේ. සමිඳාණන් වහන්සේගේ දවසේ ශබ්දය අමිහිරි ය. ඒ දවසේ දී හේවායෝ පවා බියෙන් කෑගසති. 15 ඒ දවස උදහසේ දවසක් ය. දුක් විපත් ඇති දවසක් ය; නාස්තියේ හා විනාශයේ දවසක් ය; අන්ධකාරයේ හා කළුවරකමේ දවසක් ය; වලාපටල හා ඝනාන්ධකාරය ඇති දවසක් ය. 16 පවුරු ඇති නගරවලටත් උස් කොත්වලටත් විරුද්ධ ව යුද්ධ හොරණෑ පිඹීමේ ද රණ හඬ නැඟීමේ ද දවසක් ය.
17 ”ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින් අන්ධයන් මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන් ද මළකඳන් කසළ මෙන් ද විසුරුවනු ලබන්නේ ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
18 සමිඳාණන් වහන්සේගේ උදහසේ දවසේ දී ඔවුන්ගේ රිදී නිසා වත්, රන් නිසා වත් ඔවුන්ට ගැළවෙන්නට නුපුළුවන. උන් වහන්සේගේ උදහසේ ගින්නෙන් පොළොව විනාශ වන්නේ ය. මිහි පිට වසන සියල්ලන් උන් වහන්සේ හදිසියෙන් නැත්තට ම නැති කරදමන සේක.

 

– 2 වන පරිච්ඡේදය –

ජාතීන්ට පසුතැවීමට ආරාධනය

1 ලජ්ජා නැති ජාතිය, එකතු වී රැස්වීමක් පවත්වන්න. 2 නුඹ බොල් මෙන් පහකරනු ලබන්නට පෙර, සමිඳාණන් වහන්සේගේ බලවත් උදහස දක්වන දවස පැමිණෙන්නට පෙර එක් වන්න. 3 සමිඳාණන් වහන්සේගේ ආඥා පවත්වන, දේශයේ සිටින නිහතමානී ජනයෙනි, සමිඳාණන් වහන්සේ සොයන්න, ධර්මිෂ්ඨකම සොයන්න. බැගෑපත්කම සොයන්න, සමහර විට සමිඳාණන් වහන්සේ උදහස දක්වන දවසේ දී නුඹලා විනිශ්චයයෙන් බේරෙනු ඇත.

ජාතීන් කෙරෙහි විනිශ්චය පැමිණීම

4 ගාසා නගරයේ කිසිවෙකු වත් ඉතුරු වන්නේ නැත. අෂ්කෙලොන් විනාශ වන්නේ ය; අෂ්දොද්වරු මද්දහන වේලාව වන විට පලවා හරිනු ලබන්නෝ ය; එක්‍රොන් උදුරාදමනු ලබන්නේ ය. 5 මුහුදුබඩ වසන පිලිස්තිවරුනි, කෙරෙතිවරුනි, අනේ! නුඹලාට වන විපතක මහත! පිලිස්තිවරුන්ගේ දේශය වන කානානය, සමිඳාණන් වහන්සේ නුඹ ගැන තීන්දුව දී හමාර ය. උන් වහන්සේ කිසිවෙකු ඉතුරු නොවන සේ නුඹ විනාශ කරන සේක. 6 මුහුදුබඩ දේශයේ නුඹේ එඬේරුන්ට පැල් ද බැටළු ගාල් ද සහිත පිට්ටනියක් ඇති වන්නේ ය. 7 ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස මුහුදුබඩ දේශය අයිතිකර ගනිති. ඔවුන් තමන්ගේ බැටළුවන් එහි පො‍්ෂණය කරනු ඇත; සවස අෂ්කෙලොන්හි ගෙවල නිදාගනු ඇත. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිට ඔවුන්ට සෞභාග්‍යය අත් කරදෙනු ඇත.
8 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මෝවබ්වරුන්ගේ පාරට්ටු කිරීම ද අම්මොන් වැසියන්ගේ නින්දා කිරීම ද ඔවුන්ගේ දේශය ගැන පුරසාරම් දෙඩීම ද මාගේ සෙනඟට නින්දා කළ අන්දම ද මා අසා ඇත. 9 ජීවමාන දෙවියන් වහන්සේ වන මම මාගේ නාමයෙන් දිවුරා, මෝවබ්, සොදොම් මෙන් ද අම්මොන්, ගොමොරා මෙන් ද විනාශ කරමි. ඒ දෙරට කහඹිලියා හා ලුණු වළවල් ඇති බිමක් ද සදහට ම පාළු වූ ස්ථානයක් ද කරන්නෙමි. මාගේ සෙනඟ අතුරෙන් ඉතිරි ව සිටින අය ඒ දෙරට කොල්ලකන්නෝ ය. මාගේ ජාතීන්ගෙන් ඉතිරි වූ අය ඔවුන්ගේ රට උරුම කරගන්නෝ ය.”
10 ඒ ජාතිකයන්ගේ අහංකාරයත්, පාරට්ටුවත් නිසා ද සියලු බලැති දෙවියන් වහන්සේගේ සෙනඟට ඔවුන් නින්දාකළ නිසා ද ඔවුන්ට දඬුවම් පැමිණේ. 11 සමිඳාණන් වහන්සේ ඔවුන් තැතිගන්වන සේක; ලෝකයේ සියලු දෙවිවරුන් නැත්තට ම නැති කරන සේක. හැම ජාතීන්ගේ ම රටවල වැසියන් තම තමන්ගේ ස්ථානවල සිට උන් වහන්සේට නමස්කාර කරනු ඇත.
12 එතියෝපිවරුනි, නුඹලාත් මාගේ කඩුවෙන් මැරුම් කන්නහු ය.
13 සමිඳාණන් වහන්සේ සිය බලය මෙහෙයවා උතුරෙහි ඇති අසිරියාව විනාශ කොට, නිනිවය කාන්තාරයක් මෙන් දිය සීරාව නැති පාළුකරයක් කරනු ඇත. 14 හැම වර්ගයේ ගව මෘග ආදීන් එහි ලගිනු ඇත. එහි නටබුන් අතරේ බකමූණන් ලගින කවුළු තුළින් කරවැල් කොකා ද ඉත්තෑවා ද කෑකො‍් ගසනු ඇත. එළිපත් මත කපුටන් කරව් කරනු ඇත. ගොඩනැඟිලිවල කිහිරි ලී බිඳ හෙළනු ඇත. 15 සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.

 

– 3 වන පරිච්ඡේදය –

ජෙරුසලම කෙරෙහි විනිශ්චය

1 කැරලිකාර, දූෂ්‍ය, සිය දේශයේ ම වැසියන්ට පීඩා කරන ජෙරුසලමට වන විපතක මහත! 2 ඈ සමිඳාණන් වහන්සේගේ හඬට සවන් නුදුන්නා ය; අවවාදය නොපිළිගත්තා ය. ඈ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ වත්, ඇගේ දෙවියන් වහන්සේට ළං වුණේ වත් නැත. 3 ජෙරුසලමේ සිටින අධිපතීහු ගොරවන සිංහයෝ ය. ඇගේ විනිශ්චයකාරයෝ කෑදර වෘකයෝ ය. ඔව්හු පසු දිනට කිසිවක් ඉතිරි නොකරති. 4 එහි සිටින දිවැසිවරයෝ අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝ ය. පූජකයෝ ශුද්ධ දේ කෙලෙසති; ව්‍යවස්ථාව තමන්ගේ වාසියට පෙරළා ගනිති. 5 ඈ තුළ වැඩ සිටින සමිඳාණන් වහන්සේ ධර්මිෂ්ඨ ය. උන් වහන්සේ කිසි කලෙක වැරදි දේ නොකරන සේක. උදයක් උදයක් පාසා නොවරදවා ම උන් වහන්සේ සෙනඟ වෙත යුක්තිය ගෙන එන සේක. එහෙත්, අදමිටු අය විලි ලජ්ජා නැති ව අයුතු දේ ම කරති.
6 ”මම ජාතීන් වනසාලීමි; ඔවුන්ගේ පවුරු නටබුන් වී ඇත; වීථිවල කිසිවකුට ගමන් නොකළ හැකි සේ ඒවා පාළු කෙළෙමි. ඔවුන්ගේ නගරවල කිසිවෙකු වත් නොවසන ලෙස ජන ශූන්‍ය වී ඇත. 7 මාගේ සෙනඟ මට බිය වී මාගේ උපදෙස් පිළිගනු ඇතැ යි මම බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඔවුන්ට මා ඉගැන්වූ පාඩම ඔවුන් කිසි කලෙක අමතක නොකරති යි මම සිතුවෙමි. එහෙත්, ඔව්හු වැඩි වැඩියෙන් දූෂ්‍ය ලෙස හැසුරුණෝ ය.
8 ”එබැවින් ජාතීන්ට විරුද්ධ ව මා නැඟී චෝදනා කරන දවස වන තෙක් සිටින්න. මාගේ උදහසේ වේගය ඔවුන්ට දැනෙන පිණිස ජාතීන් ද රට රාජ්‍යයන් ද එක්රැස් කිරීමට මා තීරණය කර ඇත. මන්ද, මාගේ කෝපාග්නියෙන් මුළු පොළොව දැවී යන්නේ ය.
9 ”එකල සියලු ජාතීන් සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරමින් උන් වහන්සේට පමණක් එක සිතින් නමදින පිණිස මම ඔවුන්ට පිවිතුරු බසක් දෙන්නෙමි. 10 විසිරී ගොස් සිටින මාගේ සෙනඟ ඈත එතියෝපියාවෙන් වුව ද මා හට පඬුරු ගෙනෙනු ඇත. 11 ඒ කාලයේ දී, මාගේ සෙනඟ වන නුඹලා මට විරුද්ධ ව කළ ද්‍රෝහි ක්‍රියා නිසා ලජ්ජාවට පත් නොවන්නහු ය. මන්ද, අහංකාරි, අභිමානවත් සියලු දෙනා මම නුඹලා අතරෙන් පහ කරන්නෙමි. ඉන්පසු නුඹලා කිසි කලෙක මාගේ ශුද්ධ කන්දෙහි කැරලි නොගසන්නහු ය. 12 නිහතමානී, යටහත් පහත් සෙනඟක් නුඹලා අතර මම ඉතිරි කරන්නෙමි. ඔව්හු සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සරණ සොයා යන්නෝ ය. 13 ඉශ්රායෙල්හි ඉතිරි වන සෙනඟ තවත් අයුතුකම් නොකරන්නෝ ය; බොරු නොකියන්නෝ ය. වංචාව ඔවුන්ගේ කතාවෙහි නොවන්නේ ය. ඔවුන්ට සෞභාග්‍යය ද සුරක්ෂිතකම ද ඇති වන්නේ ය. කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත.”

උදාන ගීයක්

14 සියොන් පුරඟන, සොම්නසින් ගී ගයන්න;
ජෙරුසලම් වැසියෙනි, කෑමොරගසන්න;
ඉශ්රායෙල් ජනයෙනි, ප්‍රීති ප්‍රමෝද වන්න.
15 සමිඳාණෝ ඔබට විරුද්ධ ව තිබුණු නඩු තීන්දු අවලංගු කළ සේක;
ඔබේ සතුරන් නෙරපාදැමූ සේක;
ඉශ්රායෙල්හි රජ වන සමිඳාණෝ ඔබ සමඟ සිටින සේක.
විපතට බිය වීමක් තවත් නැත.”
16 එදින ජෙරුසලම මෙසේ කියනු ඇත.
”සියොන් නගරය, බිය නොවන්න;
ඔබ අත දුබල වන්නට ඉඩ නාරින්න.
17 ඔබේ දෙවි සමිඳාණෝ ඔබ සමඟ ය; ඔබට ජය අත් කර දෙන සෙබළාණෝ ය.
එතුමාණෝ ඔබ ගැන ප්‍රිය මනාප වන සේක;
සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක;
ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක;
18 මංගල දවසක් මෙන් ප්‍රීති වන සේක;
ඔබ නින්දාව නොලබන පිණිස ඔබ අතර විනාශය පහකරන සේක.
19 ඒ කාලය පැමිණි විට නුඹට පීඩා කළ අයට මම දඬුවම් දෙන්නෙමි.
කොරගසන අය මුදා හරින්නෙමි.
වහල්කමට ගෙන ගිය අය රැස් කරන්නෙමි.
ඔවුන් නින්දාව ලත් හැම රටවල ඔවුන්ට ප්‍රශංසාව හා කීර්තිය ලැබෙන්නට සලස්වන්නෙමි.
20 විසිර ගිය අය නැවත මවු බිමට ගෙනවුත් මා නුඹලාට මිහි පිට සියලු ජාතීන් අතර කීර්තියත්, ප්‍රශංසාවත් ලබා දී සෞභාග්‍යය ගෙන දෙන කාලය නුඹලා ම දෑසින් දකින්නහු ය.”
මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s