– 1 වන පරිච්ඡේදය –
ජුදාගේ සහ සිමියොන්ගේ ගෝත්‍රවල ජයග්‍රහණ
1 ජෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා, ”කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පළමු කොට අප අතරෙන් යා යුතු ගෝත්‍රය කුමක් දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ.
2 සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ජුදාගේ ගෝත්‍රය පළමු කොට යා යුතු ය; මම ඔවුන්ගේ අතට දේශය දිනිමි”යි වදාළ සේක.
3 ජුදාගේ ගෝත්‍රය සිමියොන් නම් තම සහෝදර ගෝත්‍රයට කතා කොට, ”අප කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපට හිමි උරුම කොටසට ඔබත් අප සමඟ එන්න; අපිත් ඔබේ උරුම කොටසට ඔබ සමඟ එන්නෙමු”යි කී හ. මෙසේ සිමියොන්ගේ ගෝත්‍රය ජුදාගේ ගෝත්‍රය සමඟ ගියහ. 4 ජුදා ගෝත්‍රය එසේ නැඟී ගිය කල, සමිඳාණන් වහන්සේ කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ඔවුන්ගේ අතට පාවා දුන් සේක. ඔව්හු බෙශෙක්හි දී මිනිසුන් දසදහසකට පහර දුන්නෝ ය. 5 බෙශෙක්හි දී අදොනි-බෙශෙක් ඔවුන්ට හමු විය. ඔව්හු ඔහුට විරුද්ධ ව යුද්ධ කොට කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත් පහර දුන්නෝ ය. 6 එහෙත්, අදොනි-බෙශෙක් පලා ගියේ ය. ඔව්හු ඔහු ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන ඔහුගේ අත්පාවල මාපටැඟිලි කපාදැමූ හ. 7 අදොනි-බෙශෙක් කතා කොට, ”අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියෝ ය. ඔහු එහි දී මළේ ය.
ජෙරුසලම සහ හෙබ්‍රොන් අත්කරගැනීම
8 ජුදා සෙනඟ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කොට, එය අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී නුවර ගිනි ලෑවෝ ය. 9 ඉන්පසු ජුදා සෙනඟ කඳු රටේ ද දකුණු දිශාවේ ද පහත රටේ ද විසූ කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට බැස ගියෝ ය. 10 එසේ ජුදා සෙනඟ කලින් කිරියත්-අර්බා යන නම තිබූ හෙබ්‍රොන්හි වාසය කළ කානානිවරුන්ට විරුද්ධ ව ගොස්, ෂේෂයිට ද අහීමාන්ට ද තල්මයිට ද පහර දුන්නෝ ය.
ඔත්නියෙල් දෙබීර් නගරය අල්ලාගැනීම
11 ඔව්හු එතැනින් දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියෝ ය. කලින් දෙබීර්ට තිබුණු නම කිරියත්-සේපෙර් ය. 12 කාලෙබ් කතා කොට, ”කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා බිරිඳ කොට පාවා දෙන්නෙමි”යි කීවේ ය. 13 කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලාගත්තේ ය. කාලෙබ් තමාගේ දුව වන අක්සා ඔහුට බිරිඳ කොට විවාහ කර දුන්නේ ය. 14 ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්නට ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කොටළුවා පිටින් බැස්සා ය. එවිට කාලෙබ් ඈට කතා කොට, ”ඔබට ඕනෑ කුමක් දැ”යි ඇගෙන් ඇසී ය. 15 ඈ ද, ”මට වරයක් දුන මැනවි. ඔබ වියළි පෙදෙසක් වන දකුණු දිශාව මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනවැ”යි කීවා ය. එවිට කාලෙබ් ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.
බෙන්ජමින්ගේ සහ ජුදාගේ ගෝත්‍රවල ජයග්‍රහණ
16 කේනීය ජාතිකයෙකු වූ මෝසෙස්ගේ මාමණ්ඩියගේ පරම්පරාව ජුදා සෙනඟ සමඟ ඉඳි ගස් නම් නුවර සිට අවුත්, අරාද්ට දකුණෙන් තිබෙන ජුදා පාළුකරයට ගොස් අමලෙක්වරුන් සමඟ වාසය කළෝ ය. 17 ජුදා සෙනඟ තමන් සහෝදර සිමියොන් සෙනඟ සමඟ ගොස්, ශෙපත්හි විසූ කානානිවරුන්ට පහර දී ඒ නගරය සහමුලින් ම විනාශ කර දැමුවෝ ය. එබැවින් ඒ නගරයට හොර්මා යන නම තබන ලදී. 18 ජුදා සෙනඟ ගාසා, අෂ්කෙලොන් සහ එක්‍රොන් යන නගර ද ඒවාට අයත් පළාත් ද අල්ලාගත්හ. 19 සමිඳාණන් වහන්සේ ජුදා සෙනඟ සමඟ සිටි සේක; ඔව්හු ද කඳු රටේ වැසියන් පන්නා දැමූ හ. එහෙත්, මිටියාවතේ වැසියන්ට යකඩ රථ තිබුණ බැවින් ඔවුන් පන්නා දමන්නට ඔවුන්ට නොහැකි විය. 20 මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නගරය දුන්නෝ ය. ඔහු එතැනින් අනාක්ගේ පුත්‍රයන් තිදෙනා පන්නා දැමී ය. 21 බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති.
ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල් අල්ලාගැනීම
22 ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක. 23 ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල් ගැන ඔත්තු සොයන පිණිස චර පුරුෂයන් යැව්වෝ ය. කලින් ඒ නගරයේ නම ලූස් ය. 24 ඒ චර පුරුෂයෝ මිනිසෙකු නගරයෙන් එනු දැක, ”නගරයට ඇතුළු වන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි ඔබට කරුණාව දක්වන්නෙමු”යි කීවෝ ය. 25 නගරයට ඇතුළු වන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේ ය. ඔව්හු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. එහෙත්, ඔව්හු ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් බේරා හැරියෝ ය. 26 ඒ මිනිසා හිත්තීවරුන්ගේ දේශයට ගොස්, එහි නගරයක් ගොඩනඟා, ඊට ලූස් යන නාමය තැබුවේ ය. අද දවස දක්වා එහි නම එය ම ය.
මනස්සේගේ සහ එප්‍රායිම්ගේ ගෝත්‍රවල ජයග්‍රහණ
27 මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නගරවල වැසියන් වත්, තයනාක් හා ඊට අයිති නගරවල වැසියන් වත්, දෝර් සහ ඊට අයිති නගරවල වැසියන් වත්, ඉබ්ලෙයාම් හා ඊට අයිති නගරවල වැසියන් වත්, මෙගිද්දෝ හා ඊට අයිති නගරවල වැසියන් වත් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඒ රටේ ම වාසය කළෝ ය. 28 ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය.
29 එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය.
සෙසු ගෝත්‍රවල ජයග්‍රහණ
30 සාබුලොන්ගේ ගෝත්‍රයේ සෙනඟ කිත්‍රොන් වැසියන් ද නහලොල් වැසියන් ද පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කරමින් බර වැඩට යටත් වූ හ.
31 ආෂෙර් ගෝත්‍රයේ වැසියෝ අක්කෝහිත්, සීදොන්හිත්, අහ්ලාබ්හිත්, අක්ශිබ්හිත්, හෙල්බාහිත්, අපෙක්හිත්, රෙහොබ්හිත් වැසියන් පන්නා නොදැමුවෝ ය. 32 ආෂෙර්වරු ඒ දේශවාසි වූ කානානිවරුන් සමඟ වාසය කළෝ ය. ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝ ය.
33 නප්තලී ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙමෙෂ්හි වැසියන් වත්, බෙත්-අනාත්හි වැසියන් වත් පන්නා නොදමා, රටේ වැසියන් වූ කානානිවරුන් අතරේ වාසය කළෝ ය. එසේ වුවත්, බෙත්-ෂෙමෙෂ්හි ද බෙත්-අනාත්හි ද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත් වුණෝ ය.
34 අමෝරිවරු දාන්ගේ ගෝත්‍රයේ සෙනඟට මිටියාවතට බසින්නට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝ ය. 35 අමෝරිවරු හෙරෙස් කන්දේ ද අයාලෝන්හි ද ෂාල්බිම්හි ද වාසය කළෝ ය. එසේ වුවත්, ජෝසෙප්ගේ ගෝත්‍ර බලවත් වූ පසු අමෝරිවරු බර වැඩට යටත් වුණෝ ය.
36 අමෝරිවරුන්ගේ දේශ සීමාව අක්‍රබ්බිම් නැඟුමේ පටන් පර්වතයේ ඉහළට පිහිටියේ ය.
– 2 වන පරිච්ඡේදය –
බෝකීම්හි දේව දූතයා
1 සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: ”මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි. 2 ‘එසේ ම මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ගේ පූජාසන කඩා දමන්නැ’යි ද කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නුදුන්නහු ය. නුඹලා මෙසේ කෙළේ මන් ද? 3 එබැවින් මම නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු නුඹලාගේ සතුරෝ වන්නෝ ය; ඔවුන්ගේ දෙවි දේවතාවෝ නුඹලාට මලපතක් මෙන් වන්නෝ ය.” 4 සමිඳාණන් වහන්සේගේ දූතයා සකල ඉශ්රායෙල් ජනයාට මේ වචන කී විට ඔව්හු ශබ්ද නඟා හැඬුවෝ ය. 5 ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යැයි නම් තබා එහි දී සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කළෝ ය.
ජෝෂුවාගේ මරණය
6 ජෝෂුවා සෙනඟ පිටත් කර යැවූ කල, ඉශ්රායෙල් සෙනඟ දේශය හිමි කරගනු පිණිස තම තමන්ට නියම උරුම ප්‍රදේශවලට ගියෝ ය. 7 ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. 8 සමිඳාණන් වහන්සේගේ සේවක නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය. 9 ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය. 10 ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය.
දේව නමස්කාරය ප්‍රතික්ෂේප කිරීම
11 ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුරු දේ කර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කළහ. 12 ඔව්හු තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අතහැර, අන් දෙවිවරුන් එනම්, තමන් අවට සිටි මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් අනුව ගොස් ඔවුන්ට නමස්කාර කළෝ ය. එසේ කිරීමෙන් ඔව්හු සමිඳාණන් වහන්සේ කෝප කළෝ ය. 13 ඔව්හු සමිඳාණන් වහන්සේ අත්හැර බාල් දේවතාවාටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කළෝ ය. 14 සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ගෙන් කොල්ලකෑවෝ ය. තමන්ගේ සතුරන්ට විරුද්ධ ව සිටින්නට තවත් ඔවුන්ට නොහැකි වන ලෙස උන් වහන්සේ ඔවුන් වට කර සිටි සතුරන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. 15 සමිඳාණන් වහන්සේ කී ප්‍රකාරයටත්, ඔවුන්ට දිවුළ හැටියටත් ඔවුන් යුද්ධයට ගිය හැම අවස්ථාවක දී ම උන් වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධ ව තිබුණේ ය. ඔව්හු ද තද අමාරුවට පත් වුණෝ ය.
වීර නායකයන් නියම කිරීම
16 එවිට ඉශ්රායෙල් සෙනඟ කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස සමිඳාණන් වහන්සේ වීර නායකයන් පත් කළ සේක. 17 එහෙත්, ඔව්හු ඒ වීර නායකයන්ට වත් සවන් නොදී උන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඔවුන්ට නමස්කාර කළෝ ය. සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ක්‍රියා නොකොට, ඔවුන් ගිය මාර්ගයෙන් වහා ම ඉවත් ව ගියෝ ය. 18 සමිඳාණන් වහන්සේ ඔවුන්ට වීර නායකයන් පත් කර දුන් විට උන් වහන්සේ වීර නායකයන් සමඟ සිට, ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ඉශ්රායෙල්වරුන් සතුරන්ගේ අතින් ගැළෙවු සේක. ඔවුන්ට පීඩා කළාවූ ද ඔවුන් පොඩි කළාවූ ද අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා සමිඳාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ සේක. 19 එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය. 20 සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය. එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මේ ජාතිය මාගේ හඬට සවන් නොදී, මා ඔවුන්ගේ පියවරුන්ට අණ කළ මාගේ ගිවිසුම කඩ කළ බැවින්, 21 මම ජෝෂුවා නසින විට ඉතිරි ව සිටි ජාතීන්ගෙන් එක් කෙනෙකු වත් ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් මින්පසු පන්නා නොදමන්නෙමි. 22 මෙසේ කරන්නේ, ඔවුන්ගේ පියවරුන් මාගේ මාර්ගය රක්ෂා කළ පරිදි, ඔව්හු ද ඒ මාර්ගයේ හැසිරෙන ලෙස එය රක්ෂා කරත් ද නැද්ද යනු ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල් ජනයා සෝදිසිකර බලන පිණිස ය.” 23 එබැවින් සමිඳාණන් වහන්සේ ඒ ජාතීන් ජෝෂුවා අතට පාවා නොදී, ඔවුන් ඉක්මනින් පන්නා නොදමා එහි විසීමට ඉඩ දුන් සේක.
– 3 වන පරිච්ඡේදය –
පරාජය නොවූ ජාතීහු
1 කානාන්හි ඇති වූ සියලු යුද්ධ සම්බන්ධයෙන් අත්දැකීමක් නොලැබූ සකල ඉශ්රායෙල්වරු සෝදිසි කරන පිණිස සමිඳාණන් වහන්සේ ඉතිරි කළ ජාතීහු මොවුහු ය. 2 උන් වහන්සේ එසේ කෙළේ, ඉශ්රායෙල් ජනයාගේ පරම්පරාවලින් මීට පෙර යුද්ධ කරන්නට දැනගෙන නොසිටිය අයට එය ඉගැන්වීමට ය. 3 ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත්, කානානිවරු සියලුදෙනාත්, සීදොන්වරුත්, බාල්-හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසය කළ හිවීවරුත් වෙති. 4 ඔවුන් ඉතිරි කෙළේ, සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට අණ කර වදාළ උන් වහන්සේගේ ආඥාවලට ඔව්හු කීකරු වෙත් දැ යි ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන් සෝදිසි කරන පිණිස ය. 5 ඉශ්රායෙල් සෙනඟ කානානිවරුන් ද හිත්තීවරුන් ද අමෝරිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද අතරෙහි වාසය කළහ. 6 ඔව්හු ඔවුන්ගේ දූවරුන් සරණ පාවාගෙන, තමන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය.
ඔත්නියෙල්
7 ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කොට බාල් දේවතාවුන්ටත්, අෂෙර් දේවතාවියටත් වැඳුම්පිදුම් කළහ. 8 එබැවින් සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළ, මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් අතට උන් වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල් සෙනඟ කුෂාන්-රිෂාතයිම්ට අට අවුරුද්දක් මෙහෙවර කළහ. 9 ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ගැළවුම්කාරයෙකු එවා වදාළ සේක. ඔහු වූ කලී කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් ය. 10 සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්රායෙල්වරුන්ගේ වීර පුරුෂයා වී යුද්ධයට පිටත් ව ගියේ ය. සමිඳාණන් වහන්සේ මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් ඔහු අතට පාවා දුන් සේක. ඔහු කුෂාන්-රිෂාතයිම් පරදවා ජය ගත්තේ ය. 11 එවිට හතළිස් අවුරුද්දක් දේශයේ සාමය පැවතුණේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මැරුණේ ය.
ඒහුද්
12 ඉශ්රායෙල් සෙනඟ යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව මෝවබ්හි රජ වූ එග්ලොන් බලවත් කළ සේක. 13 ඔහු අම්මොන් සහ අමලෙක් සෙනඟ රැස් කරවාගෙන ගොස් ඉශ්රායෙල්වරුන්ට පහර දී, ඉඳි ගස් නුවර ද හිමි කරගත්තේ ය. 14 ඉශ්රායෙල් සෙනඟ මෝවබ්හි රජ වූ එග්ලොන්ට දසඅට අවුරුද්දක් මෙහෙවර කළෝ ය.
15 එහෙත්, ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල සමිඳාණන් වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට එවා වදාළ සේක. ඔහු වූ කලී බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ඒහුද් ය. ඔහු වමත හුරු මිනිසෙක් විය. ඉශ්රායෙල් සෙනඟ මෝවබ්හි රජ වූ එග්ලොන්ට ඒහුද් අත කප්පම් යැවූ හ. 16 ඔහු රියනක් දිග දෙමුවහත් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කලවයෙහි ඇඳුම් යට බැඳගෙන ගොස් 17 මෝවබ්ගේ රජ වූ එග්ලොන්ට ඒ කප්පම පිරිනැමී ය. එග්ලොන් වනාහි ඉතා තර මිනිසෙකි. 18 ඒහුද් කප්පම පිරිනමා නිම වූ කල කප්පම ගෙන ගිය මිනිසුන් පිටත් කර හැරියේ ය. 19 එහෙත්, ඔහු ගිල්ගාල් ළඟ කැපූ ගල් තිබෙන තැන සිට හැරී ගොස්, ”රජතුමනි, ඔබට කියන්න රහස් පණිවුඩයක් මට ඇතැ”යි කීවේ ය. රජ තෙමේ, ”නිශ්ශබ්දවන්න” කියා, ඔහු වෙත සිටි සේවකයන් ඔහු කෙරෙන් පිටතට ඇරියේ ය.
20 ඒහුද් රජතුමා වෙත පැමිණියේ ය. ඔහු තමාගේ උඩුමහල් තලෙහි තනියම ඉඳගෙන සිටියේ ය. ඒහුද් ඔහු අමතා, ”ඔබට දෙවියන් වහන්සේගේ පණිවුඩයක් දන්වන්න මට ඇතැ”යි කී ය. ඔහු හුනස්නෙන් නැඟිට්ටේ ය. 21 ඒහුද් තමාගේ වමත දිගු කොට දකුණු කලවයෙන් කඩුව ඇදගෙන රජුගේ බඩට ඇන්නේ ය. 22 තලය සමඟ මිටත් බඩ ඇතුළට ගියේ ය. රජුගේ බඩෙන් ඒහුද් කඩුව ඇද නොගත් නිසා, තලය මාංසයෙන් වැසී ගොස් පිටුපසින් එළියට නෙරා ආයේ ය. 23 ඒහුද් පිටත ශාලාවට ගොස්, උඩුමහලේ දොරවල් වසා තබා, අගුලු දමා ගියේ ය. 24 ඔහු පිටත් ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ අවුත් බැලූ හ. ඔව්හු උඩුමහලේ දොරවල් අගුලු දමා තිබෙනවා දැක, රජ තෙම, ‘උඩුමහල් තලයේ රහස් කාමරයේ ශරීරකෘත්‍යය කරනු ඇතැ’යි සිතූ හ. 25 ඔව්හු තුෂ්ණිම්භූත ව බලා සිටියෝ ය. ඔහු උඩුමහලෙහි දොරවල් නොහැරිය බැවින්, ඔව්හු යතුර ගෙන ඒවා ඇරිය කල, ඔවුන්ගේ ස්වාමියා බිම වැටී, මැරී සිටිනු දුටුවෝ ය.
26 ඔවුන් ප්‍රමාදවෙමින් සිටිය දී, ඒහුද් කැපූ ගල් ඇති ස්ථානය පසු කර සෙයිරාට ගැළවී ගියේ ය. 27 ඔහු අවුත් එප්‍රායිම් කඳු රටේ දී හොරණෑවක් පිම්බේ ය. එවිට ඉශ්රායෙල් ජනයා ඔහු සමඟ කඳු රටෙන් බැස ගියෝ ය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්, 28 ඔවුන්ට කතා කොට, ”මා පස්සේ එන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් වන මෝවබ්වරුන් ඔබේ අතට පාවා දී ඇතැ”යි කීවේ ය. ඔව්හු ඔහු පස්සේ ගොස්, මෝවබ් ළඟ තිබෙන ජොර්දාන්හි තොටුපොළවල් අල්ලාගෙන කිසිවෙකුට එයින් එගොඩ වන්නට ඉඩ නොදුන්නෝ ය. 29 ඔව්හු ඒ අවස්ථාවේ දී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝ ය. ඒ මෝවබ්වරු සියලු දෙන ශක්තිසම්පන්න බලවන්ත අය වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ගැළවුණේ නැත. 30 ඒ දවසේ දී මෝවබ්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ. ඉන්පසු අසූ අවුරුද්දක් තුළ දේශයේ සාමය පැවැතුණේ ය.
ෂම්ගර්
31 ඒහුද්ට පසුව පැමිණියේ අනාත්ගේ පුත් ෂම්ගර් ය. ඔහු පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් හයසියයක් හරක් අංකුසයකින් මැරී ය. ඔහු ද ඉශ්රායෙල් ගැළෙවුවේ ය.
– 4 වන පරිච්ඡේදය –
දෙබොරා සහ බාරාක්
1 ඒහුද්ගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. 2 සමිඳාණන් වහන්සේ ද හාශොර්හි රජකම් කළ කානාන්හි රජ වූ ජාබින් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ සේනාවේ අධිපතියාගේ නම සිසෙරා ය. ඔහු හරොෂෙත්-ගොයිම් වැසියෙකි. 3 ඔහුට යකඩ රථ නවසියයක් තිබිණි. ඔහු ඉශ්රායෙල් සෙනඟට විසි අවුරුද්දක් තුළ බලවත් ලෙස පීඩා කෙළේ ය. එබැවින් ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය.
4 ඒ කාලයෙහි ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ, ලප්පිදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වූ දෙබොරා තොමෝ ය. 5 එප්‍රායිම් කඳු රටේ රාමාටත්, බෙතෙල්ටත් අතර තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට අසුන් ගැනීම ඇගේ සිරිත විය. ඉශ්රායෙල් සෙනඟ විනිශ්චය ලබන පිණිස ඈ වෙත පැමිණියෝ ය. 6 ඈ කෙදෙෂ්-නප්තලීයෙන් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා ඔහු අමතා, ”ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ අණ කර ඇත: ‘නුඹ ගොස් නප්තලීගේ ගෝත්‍රයෙන් ද සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ද මිනිසුන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න; 7 මම ජාබින්ගේ සේනාවේ අධිපති සිසෙරා ද ඔහුගේ රථ ද ඔහුගේ හමුදාව ද කීෂොන් ඔය ළඟ නුඹ වෙත රැස් කර ඔහු නුඹේ අතට පාවා දෙන්නෙමි’ ”යි කීවා ය.
8 බාරාක් ඈට පිළිතුරු දෙමින්, ”ඔබ මා සමඟ යන්නෙහි නම් මමත් යන්නෙමි; ඔබ මා සමඟ නොයන්නෙහි නම් මමත් නොයන්නෙමි”යි කී ය.
9 ඈ පිළිතුරු දෙමින්, ”සැබැවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේ වී නමුත්, ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ස්ත්‍රියකගේ අතට සිසෙරා පාවා දෙනු ඇතැ”යි කීවා ය. එවිට දෙබොරා තොමෝ බාරාක් සමඟ කෙදෙෂ්ට ගියා ය. 10 බාරාක් සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද කෙදෙෂ්ට කැඳවා ගත්තේ ය; මිනිස්සු දසදහසක් ඔහු කැටුව ගියෝ ය. දෙබොරාත් ඔහු සමඟ ගියා ය.
11 එකල කේනීය ජාතික හෙබෙර්, මෝසෙස්ගේ මාමණ්ඩි වන හොබාබ්ගේ පුත්‍රයන් වූ කේනිවරුන්ගෙන් වෙන් වී කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි ආලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගෙන සිටියේ ය.
12 එවිට, අබිනොවම්ගේ පුත් බාරාක් තාබෝර් කන්දට ගිය බව සිසෙරාට දන්වන ලද්දේ ය. 13 සිසෙරා තමාගේ සියලු රථ එනම්, යකඩ රථ නවසියයක් ද තමා සමඟ සිටි මුළු සෙනඟ ද හරොෂෙත්-ගොයිම් සිට කීෂොන් ඔය ළඟට කැඳවාගත්තේ ය.
14 එවිට දෙබොරා බාරාක් අමතා, ”නැඟිටින්න, මන්ද, සමිඳාණන් වහන්සේ සිසෙරා ඔබ අතට පාවා දෙන දවස මේ ය: සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුව යන සේකැ”යි කීවා ය. එහෙයින්, බාරාක් ද ඔහු අනුව මිනිස්සු දසදහසක් ද තාබෝර් කන්දෙන් බැස ගියෝ ය. 15 එවිට සමිඳාණන් වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථ ද ඔහුගේ මුළු සේනාව ද බාරාක් ඉදිරියෙහි කඩුව ලෙලවා, ඔවුන් කලඹා විසුරුවාදැමූ සේක. සිසෙරා තමන්ගේ රථයෙන් බැස පයින් පලා ගියේ ය. 16 එහෙත්, බාරාක් රථ හා සේනාව පසුපස හරොෂෙත්-ගොයිම් දක්වා ලුහුබැඳ ගියේ ය. සිසෙරාගේ මුළු සේනාව කඩුවෙන් මරනු ලැබූ හ. එක් කෙනෙක් වත් ඉතුරු නො වී ය.
17 එහෙත්, හාශොර්හි රජ වූ ජාබින් හා කේනීය ජාතික හෙබෙර්ගේ වංශය අතරේ සාමය තිබුණු බැවින්, සිසෙරා කේනීය ජාතික හෙබෙර්ගේ භාර්යාව වූ ජායෙල්ගේ කූඩාරමට පයින් පලා ගියේ ය. 18 ජායෙල්, සිසෙරාගේ පෙරමඟට ගොස්, ”මාගේ ස්වාමීනි, ඇතුළට අව මැනව; බිය නොවී මා ළඟට ඇතුළට අව මැනවැ”යි කීවා ය. ඔහු ඈ සමඟ කූඩාරමට ගියේ ය, ඈ පලස් රෙද්දකින් ඔහු වැසුවා ය. 19 ඔහු ද, ”කරුණාකර වතුර ටිකක් බොන්නට දෙන්න, මට පිපාසා යැ”යි කීවේ ය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්නට දී ඔහු යළිත් වසා තැබුවා ය. 20 ඔහු ඈට කතා කොට, ”ඔබ කූඩාරමේ දොරකඩ ළඟ සිට, යම් කෙනෙකු අවුත්, ‘මෙහි කවුරු වත් සිටින්නේ දැ’යි ඇසුවොත්, ‘නැතැ’යි කියන්නැ”යි ඈට කීවේ ය.
21 සිසෙරා බොහෝ තෙහටේටු වී සිටි බැවින් තද නින්දට වැටී සිටියේ ය. එවිට හෙබෙර්ගේ බිරිඳ වූ ජායෙල් කූඩාරමේ ඇණය හා අතකොලුවක් රැගෙන නිශ්ශබ්ද ව ඔහු ළඟට ගොස් ඔහුගේ නළල් කෙළවරට ඒ ඇණය පොළොවට යන තෙක් ගසා හිස පසාරු කළා ය. මෙසේ ඔහු මළේ ය. 22 බාරාක් සිසෙරා ලුහුබැඳ ආ කල, ජායෙල් ඔහුගේ පෙරමඟට ගොස්, ”එන්න, ඔබ සොයන මිනිසා පෙන්වමි”යි ඔහුට කීවා ය. ඔහු ඈ සමඟ ඇතුළට ගිය කල, සිසෙරා වැටී මැරී සිටිනවාත්, ඇණය ඔහුගේ නළල පසාරු කර ඇති බවත් දුටුවේ ය.
23 මෙසේ දෙවියන් වහන්සේ ඒ දවසේ දී කානානිය රජ වූ ජාබින් ඉශ්රායෙල් සෙනඟ ඉදිරියෙහි යටත් කළ සේක. 24 කානාන්හි රජ වූ ජාබින් සහමුලින් ම විනාශ කර දමන තුරු ඉශ්රායෙල් සෙනඟ ඔහුට විරුද්ධ ව වඩ වඩා බලවත් ලෙස පහර දුන්නෝ ය.
– 5 වන පරිච්ඡේදය –
දෙබොරාගේ සහ බාරාක්ගේ ගීය
1 ඒ දවසේ දී දෙබොරා ද අබිනොවම්ගේ පුත් බාරාක් ද මෙසේ ගී ගැයූ හ:
2 ”අධිපතීන් ඉශ්රායෙල්හි මූලික ව ගිය බැවින්, සෙනඟ සිය කැමැත්තෙන් ඉදිරියට ආ බැවින්, සමිඳුන් හට දෙව් ගී පැසසුම්.
3 රජ දරුවෙනි අසන්න;
අධිපතියෙනි කන් දෙන්න;
සමිඳුන් හට මම ගී ගයමි.
ඉශ්රායෙල්හි දෙවි සමිඳුන් හට පැසසුම් දෙමි.
4 සමිඳුනි, ඔබ සේයිර් සිට නික්ම ගිය කල,
ඒදොම් සිට නැඟී ආ විට දෙරණ දෙදරා ගියේ ය;
ගුවනින් වැසි වැස්සේ ය;
මේඝයෙන් වතුර වෑස්සුණේ ය.
5 සීනයි කන්දේ සමිඳුන් ඉදිරියේ, ඉශ්රායෙල්ගේ දෙවි සමිඳුන් හමුයේ කඳු කම්පා වී ගියේ ය.
6 අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය.
මගීහු අතුරු මාර්ගවලින් ගියහ.
7 දෙබොරා නම් මා නැඟී එන තෙක්, ඉශ්රායෙල්ට මා මවක වන තෙක් ඉශ්රායෙල්හි ප්‍රධානීහු කොහෙත් ම නොසිටියෝ ය.
8 ඔවුන් අමුතු දෙවිවරුන් තෝරාගත් කල, දොරටු කරා යුද්ධය පැමිණියේ ය.
ඉශ්රායෙල්හි සතළිස්දහසක් අතරේ පලිහක් වත්, හෙල්ලයක් වත් දකින්නට ලැබුණේ ද?
9 සෙනඟ අතරෙන් සිය කැමැත්තෙන් ම, ඉදිරියට ආ සෙනෙවියන් කෙරේ මාගේ සිත ඇලුම් වේ. සමිඳුන් හට ගී පසස් දෙව්.
10 සුදු කොටළුවන් පිට නැඟී එන ඔබත්, බුමුතුරුණු පිට හිඳින ඔබත්, මඟ යන ඔබ හැම දෙනාත් එය ප්‍රකාශ කරන්න.
11 ළිං වටේ රැස් ව ජය හඬ නඟන සෙනඟ, සමිඳුන්ගේ ජය ශ්‍රී සමරති.
සෙනඟගේ විජය ශ්‍රී ඔව්හු පසසති.
එවිට සමිඳුන්ගේ සෙනඟ සිය නගරවලින් ගමන් කළහ.
12 පිබිදෙන්න, දෙබොරා පිබිදෙන්න, පිබිදෙන්න, පිබිදෙන්න, ගීයක් ගයන්න, නැඟිටින්න;
අබිනොවම් පුත් බාරාක්, නැඟිටින්න;
වාලට ගත් අය ගෙනයන්න.
13 ඉශ්රායෙල් සෙනඟ එකල දොරටු කරා ගමන් ගත්හ.
සමිඳුන්ගේ සෙනඟ වීරයන් ලෙස එතුමන් වෙනුවෙන් සටනට ආහ.
14 ඔව්හු එප්‍රායිම් සිට මිටියාවතට ආහ,
බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ ඔවුන්ට එක් වූ හ:
මාකීර් කෙරෙන් සෙනෙවියෝ ද සාබුලොන් කෙරෙන් නිල යෂ්ටිය දරන්නෝ ද නිලධාරීහු ද පැමිණිය හ.
15 ඉස්සාකර් ගෝත්‍රයේ අධිපතීහු ද දෙබොරා සමඟ ආහ,
ඉස්සාකර් සමඟ බාරාක් ද පැමිණියේ ය.
ඔහු පසුපස ඔව්හු මිටියාවතට වේගයෙන් දිවූ හ.
එහෙත්, රූබන්ගේ ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.
16 එඬේරුන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ ඔව්හු කුමට සිටියෝ ද?
රූබන් ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.
17 ගිලියද් ගෝත්‍රය ජොර්දානෙන් එතෙර ද දාන් ගෝත්‍රය තණ බිම් අතර ද නතර වී වාසය කළහ:
ආෂෙර් ගෝත්‍රය මුහුදු වෙරළේ ඔවුන්ගේ තොටුපොළවල් අතරේ සුව සේ වාසය කළෝ ය.
18 සාබුලොන් ගෝත්‍රයේ සෙනඟ මරණයට මුහුණ පෑ හ;
නප්තලී ගෝත්‍රය ද රණ බිමට බට හ.
19 තයනාක්හි මෙගිද්දෝ ජලය ළඟ රජවරු යුද්ධ කළහ;
කානානිය රජවරුන් යුද්ධ කළ නමුත් මුදල් කොල්ලයක් ඔවුන්ට නොලැබුණේ ය.
20 තාරකාවෝ අහසේ සිට යුද්ධ කළෝ ය;
සිසෙරාට විරුද්ධ ව සිය කක්ෂයේ සිට යුද්ධ කළෝ ය.
21 කීෂොන් ගංගාව, ඒ පැරණි ගංගාව ඔවුන් ගසාගෙන ගියා ය.
සවි ශක්තියෙන් මම ඉදිරිය ම බලා ගමන් කරමි.
22 එවිට පොළොව මත අඩි තළ තළා, අශ්වයෝ පැන පැන ගියහ.
23 ‘සමිඳුන්ගේ උදව්වට සතුරන්ට විරෝධය පා ඉදිරියට නා බැවින් මෙරොස්හි වැසියන්ට සාප වේවා’යි සමිඳුන්ගේ දූතයා කී ය.
24 කේනීය හෙබෙර්ගේ බිරිඳ වන ජායෙල් අන් කතුන්ට වඩා ආසිරි ලද්දියක් වන්නී ය.
25 සිසෙරා වතුර ඉල්ලී ය, ඈ කිරි දුන්නා ය;
අගනා තැටියක වෙඬරු දා ඔහුට ගෙනවුත් දුන්නා ය.
26 ඈ සිය වමතින් ඇණයක් ද දකුණතින් කම්කරු අතකොලුවක් ද රැගෙන අතකොලුවෙන් සිසෙරාට හිස සිදුරු වන්නට ගැසුවා ය.
ඔහුගේ නළල සිදුරු කොට එය පොඩි කර දැම්මා ය.
27 ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය, දිගා වුණේ ය.
ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය.
කිඳා වැටුණු තැන ම ඔහු නැසුණේ ය.
28 සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය.
‘රථය මෙතෙක් කල් පමා වන්නේත්,
රථයේ අශ්වයන් සුනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය.
29 ඇගේ නැණවත් කුලඟනෝ ඈට පිළිතුරු දුන්නෝ ය.
එය ඈ තමා හට ම මෙසේ කියාගත්තා ය:
30 ‘ඔවුන් කොල්ලය සොයනු ඇත.
තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්,
වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’
31 සමිඳුනි, ඔබේ සතුරෝ, මෙලෙස විනාශ වෙත් වා!
එහෙත්, ඔබට ප්‍රේම කරන්නෝ විකුමෙන් නැඟී එන හිරු මෙන් වෙත් වා!”
හතළිස් වසරක් මුළුල්ලේ දේශයේ සාමය ඇති විය.
– 6 වන පරිච්ඡේදය –
මිදියන්වරුන්ගෙන් වූ පීඩා
1 ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේ මිදියන්වරුන් අතට ඔවුන් සත් අවුරුද්දකට පාවා දුන් සේක. 2 මිදියන්වරු ඉශ්රායෙල්වරුන්ට වඩා බලසම්පන්න වූ හ. මිදියන්වරුන්ගෙන් බේරෙන පිණිස ඉශ්රායෙල් සෙනඟ කඳුවිවරවල ගුහා ද කොටු ද පාවිච්චි කළහ. 3 ඉශ්රායෙල්වරුන් බීජ වැපුරූ හැම විට ම මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද ඔවුන්ට පහර දෙන්නට පැමිණියෝ ය. 4 ඔව්හු ඒ ප්‍රදේශයේ කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භවභෝග නාස්ති කළෝ ය. ඔව්හු ආහාර වත්, එළු බැටළුවන් වත්, ගවයන් වත්, කොටළුවන් වත් ඉශ්රායෙල්වරුන්ට ඉතිරි නොකළෝ ය. 5 ඔව්හු තමන්ගේ ගවයන් ද කූඩාරම් ද ඇතිව පැමිණියෝ ය; ඔව්හු ද ඔවුන්ගේ ඔටුවෝ ද ගණන් කළ නොහැකි විශාල පළඟැටියන් සංබ්‍යාවක් මෙන් අවුත් දේශය විනාශ කරන පිණිස එයට ඇතුළු වුණෝ ය. 6 මිදියන්වරුන් නිසා ඉශ්රායෙල්වරු ඉතා දුඃඛිත තත්ත්වයකට පත් වුණෝ ය. එවිට ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය.
7 මිදියන්වරුන් නිසා ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල, 8 උන් වහන්සේ දිවැසිවරයෙකු ඉශ්රායෙල් ජනයා වෙත එවූ සේක. ඔහු ඔවුන් අමතා, ”ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ”යි කී ය. ”මම නුඹලා මිසරයෙන් පිටතට ගෙනවුත්, වහල්කමේ නිවාසයෙන් පිටතට පැමිණෙව්වෙමි. 9 මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියල්ලන්ගේ අතින් ද නුඹලා නිදහස් කර, නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා දමා ඔවුන්ගේ දේශය නුඹලාට දිනිමි. 10 මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ ය කියා ද, නුඹලා වාසය කළ දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට ගරුබිය නොදක්වන්න කියා ද මම නුඹලාට කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නොදෙන්නහු ය.”
ගිඩියොන් කැඳවනු ලැබීම
11 සමිඳාණන් වහන්සේගේ දූතයා පැමිණ අබියෙශ්‍රීය ජෝවාෂ්ට අයත් ඔප්‍රාහි තිබෙන ආලෝන අරඹ යට හිඳ ගත්තේ ය. ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඬිමින් සිටියේ ය. 12 සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට පෙනී, ”ධෛර්යවත්, බලවත් මනුෂ්‍යය, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේකැ”යි කී ය.
13 ගිඩියොන් ඔහුට කතා කරමින්, ”අහෝ මාගේ ස්වාමීනි, සමිඳාණන් වහන්සේ අප සමඟ සිටින සේක් නම්, මේ සියල්ල අපට සිදු වී තිබෙන්නේ කුමක්නිසා ද? ‘සමිඳාණන් වහන්සේ අප මිසරයෙන් ගෙනා සේකැ’යි කියමින් අපේ පියවරුන් අපට මතක් කර දුන් උන් වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොහේ ද? දැන් නම්, සමිඳාණන් වහන්සේ අප අත්හැරදමා, මිදියන්වරුන් අතට අප පාවා දී ඇතැ”යි කීවේ ය.
14 සමිඳාණන් වහන්සේ ඔහු දෙස බලා, ”නුඹට ඇති බලසම්පන්නකම මෙහෙයවා, මිදියන්වරුන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවන්න. නුඹ යවන්නේ මම ය”යි වදාළ සේක.
15 ගිඩියොන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, ”අහෝ, ස්වාමීනි, මා ඉශ්රායෙල්වරුන් ගළවාගන්නේ කෙසේ ද? බලන්න, මාගේ පවුල මනස්සේ ගෝත්‍රයෙහි ඇති ඉතා දුබල පවුල ය; මම ද ඒ පවුලේ ඉතා ම සුළු තැනැත්තා වෙමි”යි කීවේ ය.
16 සමිඳාණන් වහන්සේ ද, ”සැබැවින් මම නුඹ සමඟ සිටින්නෙමි. නුඹ එක් කෙනෙකුට පහර දෙන්නාක් මෙන් මිදියන්වරුන්ට පහර දෙන්නෙහි යැ”යි ඔහුට වදාළ සේක.
17 ඔහු උන් වහන්සේට පිළිතුරු දෙමින්, ”ඔබ වහන්සේ ඉදිරියෙහි මට ප්‍රසාදය ලැබී තිබේ නම්, ඔබ මා සමඟ කතා කරන බවට ලකුණක් මට පෙන්වුව මැනව. 18 ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් එය ඔබ ඉදිරියේ තබන තෙක් මෙතැනින් නොගිය මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, ”නුඹ පෙරළා එන තුරු මම නැවතී සිටින්නෙමි”යි වදාළ සේක.
19 ගිඩියොන් ඇතුළට ගොස්, එළු පැටවෙකු ද කිලෝග්‍රෑම් දහයක් පමණ පිටිවලින් මුහුන් නොදැමූ රොටි ද සූදානම් කොට, පෙට්ටියක මස් දමා, භාජනයක සොදි වත්කොට, ආලෝන ගස යටට ගෙන උන් වහන්සේට ඔප්පු කෙළේ ය. 20 දෙවියන් වහන්සේගේ දූතයා, ”මස් සහ මුහුන් නොදැමූ රොටි ගෙන මේ ගල පිට තබා සොදි වත් කරන්නැ”යි ඔහුට කී ය. ඔහු එසේ කෙළේ ය. 21 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබූ සැරයටියේ අග දිගු කොට මස්වලටත්, මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේ ය. එවිට පර්වතයෙන් ගිනි මතු වී මස් ද මුහුන් නොදැමූ රොටි ද දවා දැමී ය: සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේ ය.
22 ගිඩියොන් දුටුවේ, සමිඳාණන් වහන්සේගේ දූතයා බව ඔහුට පෙනී ගිය විට, ”මහෝත්තම දෙවි සමිඳාණන් වහන්ස, මම සමිඳාණන් වහන්සේගේ දූතයා මුහුණට මුහුණ ලා දිටිමි”යි කී ය. 23 සමිඳාණන් වහන්සේ, ”නුඹට සාමදානය වේ වා! බිය නොවන්න; නුඹ නසින්නේ නැතැ”යි ඔහුට වදාළ සේක. 24 එවිට ගිඩියොන් එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟා, ‘සමිඳාණන් වහන්සේ සාමදානය ය’ යන අර්ථය ඇති ‘යාවේ-ෂාලොම්’ යන නාමය ඊට තැබුවේ ය. එය අද දවස දක්වා අබියෙශ්‍රීයවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.
බාල් දෙවියාගේ පූජාසන කඩා දැමීම
25 එදා ම රාත්‍රියේ සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, ”නුඹේ පියාට අයිති ගොනා එනම්, සත් අවුරුදු වයස් ඇති දෙ වන ගොනා ගෙන ගොස්, නුඹේ පියාට අයිති බාල් දෙවියාගේ පූජාසනය කඩා දමා, ඒ ළඟ තිබෙන අෂේරා කප් කණු කපා දමන්න. 26 මේ බලකොටුව මුදුනේ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, ගොනා ගෙන, නුඹ කපා දමන අෂේරා කප් ලීවලින් ඌ දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නැ”යි වදාළ සේක. 27 එවිට ගිඩියොන් සිය වැඩකාරයන්ගෙන් දසදෙනෙකු කැඳවාගෙන, සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙස කෙළේ ය. ඔහු තමාගේ පියාගේ ගෙවැසියන් නිසාත්, නගර වැසියන් නිසාත් එය දවාලේ කරන්නට බිය වී රාත්‍රියේ කෙළේ ය.
28 නගර වැසියෝ අලුයම අවදි වූ විට, බාල්ගේ පූජාසනය කඩා තිබෙන බවත්, ඒ ළඟ තිබුණු අෂේරා කප් කණු කපා, ගොඩනඟා තිබුණු පූජාසනය මත ගොනා පූජා කර තිබුණු බවත් දුටුවෝ ය. 29 මෙය කෙළේ කවරෙක් දැ යි එකිනෙකාගෙන් අසා විමසූ කල, ”ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් එය කෙළේ යැ”යි ඔවුන්ට කියන ලද්දේ ය. 30 එවිට නගර වැසියෝ ජෝවාෂ්ට කතා කොට, ”ඔබේ පුතා බාල් දෙවියාගේ පූජාසනය කඩා දැමූ නිසා ද ඒ ළඟ තිබුණු අෂේරා කප් කණු කැපූ නිසා ද ඔහු මරන පිණිස පිටතට ගෙනෙන්නැ”යි කීවෝ ය.
31 ජෝවාෂ් ද ඔහුට විරුද්ධ ව සිටි සියලු දෙනාට කතා කොට, ”ඔබ බාල් උදෙසා කරුණු කියන්නහු ද, නොහොත් ඔහු ගළවාගන්නට උත්සාහ කරන්නහු ද? බාල් උදෙසා කරුණු කියන්නට කැමැති තැනැත්තේ එළි වන්නට පෙර මරනු ලැබේ වා. බාල් දෙවි කෙනෙක් නම්, ඔහුගේ පූජාසනය යමෙකු කඩා දමා තිබෙන නිසා ඔහු ම තමා උදෙසා කරුණු කියා වා”යි කීවේ ය. 32 ”බාල්ගේ පූජාසනය කඩා දැමූ නිසා බාල් ම තමා උදෙසා කරුණු කියා වා”යි ඒ දවසේ දී කියූ ජෝවාෂ් ‘බාල් ම තමාගේ ම විත්තිකාරයා ය’ යන අර්ථය ඇති ජෙරුබ්බාල් යන නම ගිඩියොන්ට තැබුවේ ය.
33 එවිට සියලු මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද එකට රැස් ව ජොර්දාන් ගඟෙන් මෙගොඩට අවුත්, ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි කඳවුරු බැඳගත්තෝ ය. 34 සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ගිඩියොන් කෙරෙහි පහළ වූයේ ය; ඔහු හොරණෑව පිම්බේ ය; එවිට අබියෙශ්‍රීයවරු ඔහු ළඟට රැස් වූ හ. 35 ඔහු මනස්සේ ගෝත්‍රය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු ද ඔහු ළඟට රැස් වූ හ. ඔහු ආෂෙර්වරුන් ද සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද වෙතටත් පණිවුඩකාරයන් යැවී ය. ඔව්හු ද ඔහු හමු වන පිණිස පැමිණියෝ ය.
36 ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, ”ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන සේක් නම්, 37 මෙන්න මම, බැටළු ලොම් මිටියක් කමතේ තබන්නෙමි; මුළු බිම වියළී තිබියදී, ලොම් මිටිය පිට පමණක් පිනි තිබුණොත්, ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන බව එයින් මම දැනගන්නෙමි”යි කීවේ ය. 38 එය එසේ ම සිදු විය. ඔහු පසු දා අලුයම නැඟිට බඳුනක් පිරෙන තරමට වතුර ලොම් මිටියෙන් මිරිකා හැරියේ ය. 39 යළිත් ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, ”ඔබ වහන්සේගේ උදහස මට විරුද්ධ ව නොඇවිළේ වා! තව එක වරක් කතා කරන්නට මට අවසර දුන මැනව. ලොම් මිටියෙන් තව එක් වතාවක් පමණක් මට අත්හදා බලන්නට අවසර ලැබේ වා. මුළු බිම පිට පිනි තිබියදී ලොම් මිටිය පමණක් වියළී තිබේ වා”යි කී ය. 40 දෙවියන් වහන්සේ ඒ රාත්‍රියේ එසේ කළ සේක. මුළු බිම පිට පිනි තිබියදී ලොම් මිටිය පමණක් වියළී තිබුණේ ය.
– 7 වන පරිච්ඡේදය –
හමුදාව තෝරාගැනීම
1 ජෙරුබ්බාල් නම් ගිඩියොන් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද අලුයම් වේලෙහි නැඟිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝ ය. ඔවුන්ට උතුරෙන් මිදියන්වරුන්ගේ කඳවුරු මොරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේ ය.
2 එවිට සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, ”මිදියන්වරුන් නුඹ අතට පාවා දීමට නුඹ සමඟ සිටින සෙනඟගේ ගණන වැඩි ය, මා එසේ කළොත්, ‘අපේ ශක්තියෙන් ම අපි ගැළවුණෙමු’යි ඉශ්රායෙල් සෙනඟ මට ගෞරවය නොදී අහංකාර වනු ඇත. 3 එබැවින්, ‘භය ද තැතිගැනීම ද ඇති අය ගිලියද් කන්දේ සිට හැරී යත් වා’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක. එවිට සෙනඟගෙන් විසිදෙදහසක් හැරී ගියෝ ය. දසදහසක් ඉතිරි ව සිටියෝ ය.
4 සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, ”සෙනඟගේ ගණන තවමත් වැඩි ය. ඔවුන් වතුර සමීපයට ගෙන එන්න, එහි දී මම ඔවුන් වෙන් කොට ඔබට තෝරා දෙන්නෙමි. ‘මොහු නුඹ සමඟ යා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු යන්නේ ය. ‘මොහු නුඹ සමඟ නොයා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු නොයන්නේ යැ”යි වදාළ සේක. 5 ගිඩියොන් සෙනඟ වතුර ළඟට ගෙනාවේ ය. සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, ”බල්ලෙකු ලෙවකා බොන ලෙස තමන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැම දෙන ද වතුර බොන්නට දණ ගසන හැම දෙන ද වෙන වෙන ම සිටුවන්නැ”යි වදාළ සේක. 6 තමන්ගේ අතට වතුර ගෙන ලෙවකා බිව් අය තුන්සියයක් වූ හ; සෙසු සියල්ලෝ වතුර බොන පිණිස දණ ගැසුවෝ ය. 7 සමිඳාණන් වහන්සේ ද, ”ලෙවකා වතුර බීවාවූ මිනිස්සු තුන්සියය ලවා නුඹලා ගළවා මිදියන්වරුන් නුඹේ අතට පාවා දෙන්නෙමි. සෙසු සියල්ලෝ තම තමන්ගේ නිවෙස්වලට යත් වා”යි ගිඩියොන්ට වදාළ සේක. 8 ගිඩියොන් ඒ මිනිසුන් තුන්සියය නවත්වාගෙන සෙසු සියලු ඉශ්රායෙල්වරුන් තම තමන්ගේ කූඩාරම්වලට යන්නට හැරියේ ය. ඔවුන්ගේ කෑම භාජනත්, හොරණෑත් ඔහු තබා ගත්තේ ය. මිදියන්වරුන්ගේ කඳවුර ඔහුට පහළින් මිටියාවතේ තිබුණේ ය.
මිදියන්වරුන් පරාජය කිරීම
9 එදා රෑ සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, ”නැඟිට කඳවුරට පහර දෙන්න; මම ඔවුන් නුඹේ අතට පාවා දෙන්නෙමි. 10 එහෙත්, නුඹ පහර දෙන්නට භය නම්, නුඹේ මෙහෙකරුවා වන පූරා සමඟ කඳවුරට බැස යන්න. 11 එවිට ඔවුන් කියන දේ නුඹට ඇසෙන විට කඳවුරට පහර දෙන්නට නුඹ ධෛර්යවත් වන්නෙහි ය”යි වදාළ සේක. එවිට ගිඩියොන් තම මෙහෙකරු පූරා සමඟ කඳවුරේ මුර පොළේ අවි ගත් මිනිසුන් වෙත බැස ගියේ ය. 12 මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග සියලු වැසියෝ ද පළඟැටි සමූහයක් මෙන් විශාල ගණනක් මිටියාවතේ පැතිර සිටියෝ ය. ඔවුන්ගේ ඔටුවෝ ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල ගණනක් වූ හ.
13 ගිඩියොන් එතැනට පැමිණි විට එක් මිනිසෙක් තවත් මිනිසෙකුට තමා දුටු සිහිනයක් ගැන කියමින්, ”මම සිහිනයක් දිටිමි. යව රොටියක් මිදියන්වරුන්ගේ කඳවුරට පෙරළීගෙන අවුත් කූඩාරම දක්වා පැමිණ, එයට හැපී, එය ඊට පහර දී, එය පෙරළා දමා තිබෙනු දිටිමි”යි කීවේ ය.
14 අනෙක් තැනැත්තා පිළිතුරු දෙමින්, ”මෙය ඉශ්රායෙල් වැසියෙකු වන ජෝවාෂ්ගේ පුත් ගිඩියොන්ගේ කඩුව මිස අනෙකක් නොවේ. ඔහු අතට දෙවියන් වහන්සේ මිදියන්වරුන් ද සියලු සේනාව ද පාවා දී තිබේ යැ”යි කීවේ ය. 15 මෙසේ කියන ලද සිහිනය ද එහි තේරුම ද ගිඩියොන් ඇසූ විට, ඔහු නමස්කාර කොට, ආපසු ඉශ්රායෙල් කඳවුරට ගොස්, ”නැඟිටින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මිදියන් සේනාව ඔබ අතට පාවා දුන් සේකැ”යි කීවේ ය. 16 ඔහු ඒ මිනිසුන් තුන්සියදෙනා කණ්ඩායම් තුනකට බෙදා ඔවුන් සියල්ලන් අතට හොරණෑ ද ඇතුළේ පන්දම් ඇති හිස් කළගෙඩි ද දී, 17 ඔවුන්ට කතා කොට, ”මා කරන හැටි බලා එයාකාර ව කරන්න. මා කඳවුර අද්දරට පැමිණි විට මා කරන හැටියට ඔබත් කරන්න. 18 මාත්, මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින විට, ඔබත් මුළු කඳවුර වට කරමින් හොරණෑ පිඹිමින්, ‘සමිඳාණන් වහන්සේ සහ ගිඩියොන් උදෙසා ය’ කියා මොරගසන්නැ”යි කීවේ ය.
19 මෙසේ මධ්‍යම රාත්‍රියේ, මුර මාරු කළ මුල් අවස්ථාවේ දී ම ගිඩියොන් ද ඔහු සමඟ සිටි මිනිස්සු සියදෙනා ද කඳවුර අද්දරට පැමිණ හොරණෑ පිඹ, තමන්ගේ අත්වල තිබූ කළගෙඩි බින්දෝ ය. 20 කණ්ඩායම් තුන ම හොරණෑ පිඹ, කළගෙඩි බිඳ දමා, වමතින් පන්දම් ද පිඹින පිණිස දකුණතින් හොරණෑ ද රැගෙන, ”සමිඳාණන් වහන්සේගේ ද ගිඩියොන්ගේ ද කඩුව යැ”යි මොරගැසුවෝ ය. 21 ඔව්හු සියල්ලෝ ම කඳවුර වටේ එකිනෙකා තම තමන්ගේ ස්ථානයේ සිටියෝ ය. මුළු සේනාව ද කෑගසමින් පලා ගියෝ ය. 22 ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝ ය. එවිට සමිඳාණන් වහන්සේ කඳවුරේ සිටි අය එකිනෙකා තම තමාගේ කඩුවෙන් අනෙකාට පහර දෙන්නට සැලැස්සූ සේක. සේනාව ද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වා ද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වා ද පලා ගියෝ ය.
23 නප්තලී ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද මුළු මනස්සේ ගෝත්‍රයෙන් ද ඉශ්රායෙල් සෙනඟ රැස් ව මිදියන්වරුන් පස්සේ එළවාගෙන ගියෝ ය. 24 ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුල්ලේ ම පණිවුඩකාරයන් යවා, ”මිදියන්වරුන්ට විරුද්ධ ව අවුත්, ඔවුන් එන්නට පළමුවෙන් බෙත්-බාරා දක්වා ජොර්දාන් ගඟේ තොටුපොළවල් අල්ලාගන්නැ”යි කියා යැවී ය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස් ව බෙත්-බාරා දක්වා ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය. 25 ඔව්හු මිදියන්වරුන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ් ද ශීබ් ද අල්ලාගෙන, ඔරෙබ් නම් පර්වතය ළඟ දී ඔරෙබ් ද ශීබ්හි ඇති මිදි යන්ත්‍රය ළඟ දී ශීබ් ද මරාදමා, මිදියන්වරුන් පස්සේ එළවාගෙන ගියෝ ය. ඔව්හු ඔරෙබ්ගේ ද ශීබ්ගේ ද හිස් දෙක ජොර්දානෙන් එතෙර සිටි ගිඩියොන් වෙත ගෙනාවෝ ය.
– 8 වන පරිච්ඡේදය –
මිදියන්වරුන්ගේ අන්ත පරාජය
1 එප්‍රායිම් වැසියෝ ගිඩියොන්ට කතා කොට, ”ඔබ මිදියන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන කල අපට අඬ නොගසා මෙසේ කෙළේ මන්දැ”යි ඔහුට තද ලෙස දොස් පැවරූ හ.
2 ඔහු පිළිතුරු දෙමින්, ”ඔබ හැම කළ දේට සමාන කළ විට මා කළ දේ කුමක් ද? එප්‍රායිම් ගෝත්‍රයට අයත් ඔබ කළ සුළු දේ අබියෙශෙර් නම් මාගේ ගෝත්‍රය කළ සියල්ලට වඩා වටිනවා නොවේ ද? 3 ඔබ අතට දෙවියන් වහන්සේ මිදියන්හි අධිපතීන් වන ඔරෙබ් ද ශීබ් ද පාවා දුන් සේක. ඔබ කළ දේට සමාන ව මට කරන්නට හැකි වූයේ කිමෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණ ඔවුන්ගේ කෝපය සංසිඳුණේ ය.
4 ගිඩියොන් සහ ඔහුගේ මිනිස්සු තුන්සියදෙනා ජොර්දාන් ගඟ ළඟට පැමිණ එයින් එතෙර වූ හ. ඔව්හු අධික වෙහෙසට පත් වී සිටිය නමුත්, එතෙක් සතුරන් ලුහුබැඳ ගියෝ ය. 5 ගිඩියොන් සුක්කොත්හි මිනිසුන්ට කතා කොට, ”මා කැටුව යන මිනිසුන් අධික වෙහෙසට පත් ව සිටින බැවින් ඔවුන්ට රොටි දුන මැනව; මම මිදියන්හි රජවරුන් වන ශෙබා ද ශල්මුන්නා ද ලුහුබැඳ යමි”යි කීවේ ය.
6 සුක්කොත්හි අධිපතීහු, ”අප විසින් ඔබේ සේනාවට කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද දැන් ඔබේ අතට අසු වී සිටිත් දැ”යි ඇසූ හ.
7 ”සමිඳාණන් වහන්සේ ශෙබා ද ශල්මුන්නා ද මා අතට පාවා දුන් විට මම ඔබ හැමගේ මාංසය වනයේ කටුවලින් ද ගොකටුවලින් ද ඉරා දමන්නෙමි”යි ගිඩියොන් ඔවුන්ට කීවේ ය. 8 ගිඩියොන් එතැනින් පෙනුයෙල්ට ගොස් එහි වැසියන්ගෙන් ද එසේ ම ඉල්ලුවේ ය. ඔව්හු ද සුක්කොත්හි වැසියන් උත්තර දුන් ලෙස ම ඔහුට උත්තර දුන්නෝ ය. 9 ඔහු පෙනුයෙල්හි මිනිසුන්ට කතා කොට, ”මම ජයාන්විත ව ආපසු ආ විට මේ බලකොටුව බිඳ දමන්නෙමි”යි කී ය.
10 ශෙබා ද ශල්මුන්නා ද පසළොස්දහසක් දෙනාගෙන් සමන්විත වූ ඔවුන්ගේ සේනාව සමඟ කර්කොර්හි සිටියෝ ය. පූර්ව දිශාවේ වැසියන්ගෙන් ඉතිරි වූයේ මේ අය පමණකි. මන්ද, යුද්ධයේ දී එකසිය විසිදහසක් දෙනා නැසුණෝ ය. 11 ගිඩියොන් නොබාට ද ජොග්බෙහාට ද පෙරදිගින්, කූඩාරම්වල වාසය කරන්නන්ගේ පාරෙන් ගොස්, සේනාව පරීක්ෂාකාරී ව නොසිටිය දී ඔවුන්ට පහර දුන්නේ ය. 12 ශෙබා ද ශල්මුන්නා ද පලා ගියෝ ය. ඔහු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් මිදියන් රජ වන ශෙබා ද ශල්මුන්නා ද අල්ලාගත්තේ ය. ඔහු මුළු සේනාව ද භයගන්වා විසුරුවා හැරියේ ය.
13 ඉන්පසු ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් හෙරෙස් දුර්ගමාර්ගයෙන් ගමන් කර අවුත්, 14 සුක්කොත්හි තරුණයෙකු අල්ලාගෙන ඔහුගෙන් තොරතුරු විචාළේ ය. ඔහු සැත්තෑසත්දෙනෙකුන් වන සුක්කොත්හි අධිපතීන් ද ප්‍රජා මූලිකයන් ද ගැන විස්තර ලියා දුන්නේ ය. 15 ගිඩියොන් සුක්කොත්හි වැසියන් ළඟට අවුත්, ඔවුන්ට කතා කොට, ”ඔබ මට සරදම් කළ අවස්ථාව සිහි කරන්න. ‘වෙහෙස වූ ඔබේ මිනිසුන්ට, අප විසින් කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද ඔබේ අතට අසු ව සිටිත් දැ’යි ඔබ කීවහු ය. ඒ ශෙබා ද ශල්මුන්නා ද මෙන්න, බලන්නැ”යි කී ය. 16 ඔහු නගරයේ ප්‍රජා මූලිකයන් අල්ලා වනයේ කටු ගස් ද ගොකටු ද රැගෙන එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටු කෙළේ ය. 17 ඔහු පෙනුයෙල්හි බලකොටුව ද කඩා දමා නගරයේ වැසියන් මැරුවේ ය.
18 එවිට ගිඩියොන් ශෙබාට හා ශල්මුන්නාට කතා කොට, ”ඔබ තාබෝර්හි මැරූ අය කොයි ආකාර මිනිස්සු දැ”යි ඇසුවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, ”ඒ අය ඔබ වාගේ ය. එකිනෙකා පෙනීමෙන් රාජ කුමාරයන්ට සමාන ය”යි කීවෝ ය.
19 ගිඩියොන් ද, ”ඔව්හු මාගේ සහෝදරයෝ ය, මාගේ මෑණියන්ගේ පුත්‍රයෝ ය. ඔබ ඔවුන් නොමැරුවහු නම්, මමත් ඔබ නොමරමි යි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි”යි කීවේ ය. 20 ඔහු තමාගේ කුලුඳුල් පුත් ජෙතෙර්ට, ”නැඟිට ඔවුන් මරන්නැ”යි කී ය. එහෙත්, ඒ තරුණයා බිය වී කඩුව නොඇද සිටියේ ය. මන්ද, ඔහු ඒ තාක් තරුණයෙකු ව සිටි බැවිනි.
21 එවිට ශෙබා ද ශල්මුන්නා ද කතා කොට, ”ඔබ ම නැඟිට අප මරන්න. මන්ද, ලොකු මිනිසෙකු කළ යුතු දේ ලොකු මිනිසෙකු ම කළ යුතු ය”යි කීවෝ ය. ගිඩියොන් නැඟිට ශෙබා ද ශල්මුන්නා ද මරා, ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණ අඩ සඳාකාර ආභරණ ගත්තේ ය.
ගිඩියොන් සෑදූ රන් ඒපොද් පිළිමය
22 ඉශ්රායෙල් ජනයා ගිඩියොන්ට කතා කොට, ”ඔබ ද ඔබේ පුත්‍රයා ද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයා ද අප කෙරෙහි ආණ්ඩු කළ යුතු ය. මන්ද, ඔබ මිදියන්වරුන්ගේ අතින් අප ගළවා ගත්තෙහි යැ”යි කී හ.
23 ගිඩියොන් පිළිතුරු දෙමින්, ”මම ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි; මාගේ පුත්‍රයා වත් ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නේ ය; සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි ආණ්ඩු කරන සේකැ”යි කීවේ ය. 24 ගිඩියොන් තවදුරටත් කතා කරමින්, ”මම ඔබ හැමගෙන් ඉල්ලීමක් කරමි. ඔබ එකිනෙකා කොල්ලකෑ කුණ්ඩලාභරණ මට දෙන්නැ”යි කීවේ ය. ඔහු එසේ කීවේ, සතුරන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණ නිසා ය.
25 ඔව්හු, ”අපි ඒවා කැමැත්තෙන් ම දෙමු”යි පිළිතුරු දී වස්ත්‍රයක් අතුරා එක් එක්කෙනා කොල්ලකෑ කුණ්ඩලාභරණ එහි දැමුවෝ ය. 26 මිදියන්හි රජු පැළඳ සිටි අඩ සඳ වැනි ආභරණ ද කර්ණාභරණ ද රත් නිල් වස්ත්‍ර ද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වටා තිබුණ මාල ද හැර ඔහු ඉල්ලා ගත් රන් කුණ්ඩලාභරණවල බර රන් කිලෝග්‍රෑම් විස්සක් පමණ විය. 27 ගිඩියොන් එයින් පිළිමයක් සාදා එය තමාගේ නගරය වූ ඔප්‍රාහි පිහිටෙවුවේ ය. ඉශ්රායෙල්වරු සියලු දෙනා සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී ඒ පිළිමය වැළඳගත්හ. එය ගිඩියොන්ටත්, ඔහුගේ පවුලටත් මලපතක් මෙන් විය.
ගිඩියොන්ගේ මරණය
28 මෙසේ මිදියන්වරු ඉශ්රායෙල් සෙනඟ විසින් යටත් කරනු ලැබූ හ: ඉන්පසු ඔවුන්ට බලය පාන්නට නොහැකි විය. ගිඩියොන්ගේ පාලන කාලයේ දී දේශයේ සතළිස් අවුරුද්දක් සාමය පැවතුණේ ය.
29 ජෝවාෂ්ගේ පුත් ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් තමාගේ ම ගෙදරට ගොස් එහි වාසය කෙළේ ය. 30 ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ හැත්තෑදෙනෙක් වූ හ. එසේ වූයේ, ඔහුට බොහෝ භාර්යාවන් සිටි බැවිනි. 31 ෂෙකෙම්හි ඔහුට උපභාර්යාවක් ද සිටියා ය. ඇගෙන් ඔහුට පුත්‍රයෙක් ලැබුණේ ය. ඔහු ඔහුට අබිමෙලෙක් යන නම තැබී ය. 32 ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් දීර්ඝායු වළඳා මියගොස්, අබියෙශ්‍රීවරුන්ට අයත් ඔප්‍රාහි තමාගේ පියා වූ ජෝවාෂ්ගේ සොහොන් ගෙහි තැන්පත් කරනු ලැබුවේ ය.
33 ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය. 34 ඔවුන් වට කර සිටි සියලු සතුරන්ගේ අත්වලින් ඔවුන් ගළවා ගත් ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔව්හු අමතක කළෝ ය. 35 එපමණක් නොව, ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් ඉශ්රායෙල් ජනයාට කළ සියලු යහපත් දේට ඔබින ලෙස ඔහුගේ පවුලට ඔව්හු කෙළෙහිගුණ ද නොදැක්වූ හ.
– 9 වන පරිච්ඡේදය –
අබිමෙලෙක්ගේ කැරලි ගැසීම
1 ජෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක් ෂෙකෙම්හි සිටි තමාගේ මවගේ සහෝදරයන් ළඟට ගොස්, ඔවුන්ටත්, තමාගේ මවගේ පිය වංශයේ මුළු පවුලටත් කතා කොට, 2 ”ෂෙකෙම්හි සියලු වැසියන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන්න, ‘ඔබට වඩා හොඳ සේ පෙනෙන්නේ කුමක් ද? ජෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම්, සැත්තෑදෙනෙකු ඔබ කෙරෙහි අධිපතිකම් කිරීම ද නැතහොත් එක් කෙනෙකු අධිපතිකම් කිරීම ද?’ මා වනාහි ඔබේ ම ලේ නෑයෙකු බවත් සිහි කරන්නැ”යි කීවේ ය. 3 ඔහුගේ මවගේ සහෝදරයෝ ඔහු වෙනුවෙන් ෂෙකෙම්හි සියලු වැසියන් සමඟ මේ කරුණ ගැන කතා කළහ. ඔව්හු අබිමෙලෙක් අනුගමනය කරන්නට තීරණය කරගත්හ. ඔවුන් එසේ කෙළේ, ඔහු ඔවුන්ගේ ම ඥාතියෙකු වන බැවිනි. 4 තවද, ඔව්හු බාල්-බෙරිත්ගේ දේවාලයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝ ය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තේ ය. 5 ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් වන තමාගේ ම සහෝදරයන් සැත්තෑදෙනා එක ගලක් මත මැරුවේ ය. එහෙත්, ජෙරුබ්බාල්ගේ බාල ම පුත්‍රයා වන ජෝතාම් සැඟ වී සිටි බැවින් නොමැරී බේරුණේ ය. 6 ඉන්පසු ෂෙකෙම්හි සියලු වැසියෝ ද මිල්ලෝහි සියලු වැසියෝ ද එක් ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල ආලෝන වෘක්ෂය ළඟ දී අබිමෙලෙක් රජකමට පත් කළෝ ය.
ජෝතාම්ගේ උපමාව
7 මේ කරුණ ගැන ජෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිශීම් කන්ද පිට සිට මොරගසමින් මෙසේ කීවේ ය: ”ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන් වහන්සේ ඔබට සවන් දෙන පිණිස, ඔබ මට සවන් දෙන්න. 8 එක් කලෙක වෘක්ෂයෝ තමන් කෙරෙහි රජෙකු පත් කරගන්නට ගිය හ. ඒ වෘක්ෂයෝ, ‘ඔබ අප කෙරෙහි රජ වුණ මැනවැ’යි ඔලීව වෘක්ෂයට කී හ. 9 ඔලීව ගස ඒ වෘක්ෂයන්ට පිළිතුරු දෙමින්, ‘දෙවියන් වහන්සේට ද මනුෂ්‍යයන්ට ද ගෞරව කරන්නට පාවිච්චි කරන මාගේ තෙල් අත්හැර ඔබ කෙරෙහි රජ කරන පිණිස යාම මට යුතු දැ’යි ඇසී ය. 10 එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි අත්තික්කා ගසට කී හ. 11 අත්තික්කා ගස ඒ වෘක්ෂයන්ට පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජ කරන පිණිස, මාගේ හොඳ ඵල ද එහි මිහිර ද අත්හැරීම යුතු දැ’යි ඇසී ය. 12 එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි මිදි වැලට කී හ. 13 මිදි වැල පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජකම් කරන පිණිස, මා දෙවිවරුන් සහ මනුෂ්‍යයන් ප්‍රීති කරවන මාගේ මිදියුස අත්හැරීම යුතු දැ’යි ඇසී ය. 14 එවිට සියලු වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි කටුඇඹිල්ල ගසට කී හ. 15 කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.
16 ”දැන් ඉතින් ෂෙකෙම් වැසියෙනි, ඔබ හැම සැබෑ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කොට අබිමෙලෙක් රජකමට පත් කළහු ද? ජෙරුබ්බාල්ගේ ක්‍රියාවලට ඔබින ලෙස ඔහුටත්, ඔහුගේ පවුලේ අයටත් යුතු දේ කළහු ද? 17 මාගේ පියා තමාගේ ජීවිතය නොතකා ඔබ උදෙසා යුද්ධ කර මිදියන්වරුන්ගේ අත්වලින් ඔබ ගැළෙවුවේ ය. 18 එහෙත්, ඔබ අද මාගේ පියාගේ වංශයට විරුද්ධ ව නැඟී සිට ඔවුන්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙකු එක ගල පිට මරා, ඔහුගේ දාසියගේ පුත්‍ර අබිමෙලෙක් ඔබේ ඥාතියෙකු වන බැවින් ඔහු ෂෙකෙම්හි වැසියන් කෙරෙහි රජකමට පත් කළහු ය. 19 ඔබ මෙසේ අද දවසේ ජෙරුබ්බාල්ට සහ ඔහුගේ පවුලට සැබෑ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කළහු නම්, අබිමෙලෙක් ගැන ප්‍රීති වන්න; ඔහුත් ඔබ ගැන ප්‍රීති වේ වා. 20 එසේ නැත්නම්, අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන් ද මිල්ලෝ වංශය ද දවා දමා වා! ෂෙකෙම් වැසියන්ගෙන් ද මිල්ලෝ වංශයෙන් ද ගිනි නික්ම අබිමෙලෙක් දවා දමා වා!” 21 එවිට ජෝතාම් තමාගේ සහෝදර අබිමෙලෙක්ට බියෙන් බෙයේර්ට පලා ගොස් එහි විසුවේ ය.
අබිමෙලෙක්ගේ නැඟීම හා වැටීම
22 අබිමෙලෙක් ඉශ්රායෙල්හි අවුරුදු තුනක් රජකම් කෙළේ ය. 23 ඉන්පසු අබිමෙලෙක් සහ ෂෙකෙම් වැසියන් අතරේ විරුද්ධවාදිකමක් දෙවියන් වහන්සේ ඇති කළ සේක. ෂෙකෙම් වැසියෝ අබිමෙලෙක්ට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. 24 මෙසේ වූයේ, ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කරන ලද අයුක්තියේත්, ඔවුන්ගේ ලේ වැගිරීමේත් ප්‍රතිවිපාකය ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරයා වන අබිමෙලෙක් පිටත්, ඔහුගේ සහෝදරයන් මැරීමට අනුබල දුන් ෂෙකෙම් වැසියන් පිටත් පැමිණෙන පිණිස ය. 25 ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධ ව කඳු මුදුන්වල මිනිසුන් රහසින් සිටෙව්වෝ ය. ඔව්හු ඒ මාර්ගයෙහි ඔවුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝ ය. එපවත් අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය.
26 තවද, ඒබෙද්ගේ පුත් ගයල් සිය සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමිණියේ ය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ හ. 27 ඔව්හු කෙත්වලට ගොස් තමන්ගේ මිදිවතුවලින් පල නෙළා, මැඬගෙන, මංගල්‍ය පවත්වමින්, තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වී, කා බී අබිමෙලෙක්ට දෙස් තැබුවෝ ය. 28 ඒබෙද්ගේ පුත් ගයල් කතා කොට, ”අප විසින් අබිමෙලෙක්ට සේවය කරනු ලැබීමට ඔහු කවරෙක් ද? ෂෙකෙම් වැසියෝ කවුරු ද? අබිමෙලෙක් ජෙරුබ්බාල්ගේ පුත්‍රයා නොවේ ද? ඔහුගේ අධිපතියා ශෙබුල් නොවේ ද? අප ඔහුට සේවය කරන්නේ කුමට ද? ඔබේ ගෝත්‍රය පිහිටෙවු, ඔබේ පියා වූ හාමොර්ට පක්ෂපාත ව සිටින්න. එසේ නම්, අප ඔබට සේවය කළ යුත්තේ මන් ද? 29 අහෝ! මේ මිනිස්සු මා යටතේ සිටිත් නම්, මම අබිමෙලෙක්ට පහර දෙන්නෙමි. ‘ඔබේ සේනාව තර කරගෙන සටන් කරන පිණිස පිටතට එන්නැ’යි අබිමෙලෙක්ට කියන්නෙමි”යි කීවේ ය.
30 නගරයේ අධිපතියා වන ශෙබුල් ඒබෙද්ගේ පුත් ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේ ය. 31 ඔහු රහසින් පණිවුඩකාරයන් අබිමෙලෙක් වෙත යවා, ”බලන්න, ඒබෙද්ගේ පුත් ගයල් ද ඔහුගේ ඥාතීහු ද ෂෙකෙම්ට අවුත් සිටිති. ඔව්හු ඔබට විරුද්ධ ව නගරවැසියන් පොළඹවති. 32 එබැවින් ඔබ සහ ඔබ සමඟ සිටින සෙනඟ රාත්‍රියේ පිටත් වී, කෙතේ සැඟවී සිට 33 ඉර උදා වූ වහා ම නැඟිට, නුවර ආක්‍රමණය කරන්න. එවිට ඔහු ද ඔහු සමඟ සිටින සෙනඟ ද ඔබට විරුද්ධ ව පිටතට ආ කල්හි ප්‍රස්තාවෝචිත ලෙස ඔවුන්ට කළ යුතු දේ කරන්නැ”යි කියන්නට කීවේ ය.
34 අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද රාත්‍රියේ පිටත් ව අවුත් කණ්ඩායම් හතරකට බෙදී ෂෙකෙම්ට පහර දෙන්නට රැකබලා සිටියෝ ය. 35 ඒබෙද්ගේ පුත් ගයල් ද පිටතට ගොස් නුවරට ඇතුළු වන දොරකඩ සිටියේ ය. අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සැඟවී සිටි තැනින් නැඟිට ආවෝ ය. 36 ගයල් සෙනඟ දැක, ”අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් එති”යි ශෙබුල්ට කීවේ ය. ශෙබුල් ද, ”සෙනඟ මෙන් ඔබට පෙනෙන්නේ කඳුවල ඇති සෙවණැලි යැ”යි ඔහුට කීවේ ය.
37 ගයල් නැවත කතා කොට, ”අන්න, රටේ සෙනඟ ද උස් පළාතෙන් බැස එති; තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි ආලෝන අරඹට යන මාර්ගයෙන් බැස එති”යි කී ය.
38 එවිට ශෙබුල් ඔහුට පිළිතුරු දෙමින්, ” ‘අප විසින් සේවය කරනු ලැබීමට අබිමෙලෙක් කවරෙක් දැ’යි කීවාවූ ඔබේ කට දැන් කොහේ ද? මේ ඔබ විසින් හෙළා දකින ලද මිනිස්සු නොවෙත් ද? ඉතින් දැන් ඔබ ඔවුන්ට විරුද්ධ ව ගොස් සටන් කරන්නැ”යි කීවේ ය. 39 එවිට ගයල් ෂෙකෙම් වැසියන්ට පෙරටුව ගොස් අබිමෙලෙක්ට විරුද්ධ ව සටන් කෙළේ ය. 40 අබිමෙලෙක් ඔහු එළවාගෙන ගියේ ය. ගයල් ද අබිමෙලෙක් ඉදිරියෙන් පලා ගියේ ය. නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුම් කා වැටුණෝ ය. 41 අබිමෙලෙක් අරුමාහි වාසය කෙළේ ය. ශෙබුල් වනාහි ගයල්ට ද ඔහුගේ ඥාතීන්ට ද ෂෙකෙම්හි වාසය කරන්නට ඉඩ නොදී ඔවුන් නෙරපා දැමුවේ ය.
42 පසු දින ෂෙකෙම් වැසියෝ පිටතට ගියෝ ය. ඒ බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය. 43 ඔහු සෙනඟ කැඳවා කණ්ඩායම් තුනකට බෙදා පිටත සැඟවී සිටියේ ය. සෙනඟ නුවරින් පිටතට එන බව ඔහු දුටු විට, ඔහු ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් ඔවුන්ට පහර දුන්නේ ය. 44 අබිමෙලෙක් ද ඔහු සමඟ වූ කණ්ඩායම ද ඉදිරියට දිව ගොස් නුවරට ඇතුළු වන දොරකඩ සිටියෝ ය. කණ්ඩායම් දෙකක් පිටත සිටි සියල්ලන් වෙත දිව ගොස් ඔවුන්ට පහර දුන්නෝ ය. 45 අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි ෂෙකෙම් නුවරට විරුද්ධ ව සටන් කොට, එය අල්ලාගෙන, එහි සෙනඟ මරා, නුවර බිඳ හෙළා එහි ලුණු වැපුරුවේ ය.
46 ෂෙකෙම්හි කොටුවේ සිටි සියලු දෙනා ඒ අසා, බෙරිත් නම් දෙවියාගේ දේවාලයේ කොතට ඇතුළු වුණෝ ය. 47 ෂෙකෙම්හි කොටුවේ මිනිසුන් සියලු දෙනා එක්රැස් ව සිටින බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය. 48 අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද ශල්මොන් කන්දට නැඟී ගියෝ ය. අබිමෙලෙක් සිය අතින් පොරොවක් ගෙන, ගසකින් අත්තක් කපා, එය ඔසවා ඔහුගේ කරපිට තබාගෙන, තමා සමඟ සිටි සෙනඟට කතා කොට, ”මා කරනවා ඔබ දුටු දේ ම ඔබත් ඉක්මනින් කරන්නැ”යි කීවේ ය. 49 එවිට සියලු දෙනා එකිනෙකා අත්තක් බැගින් කපාගෙන, අබිමෙලෙක් පසුපස්සේ ගොස්, ඒවා කොත ළඟ තබා, මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනි ලෑවෝ ය. මෙසේ ෂෙකෙම් කොටුවේ සිටි දහසක් පමණ ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා මියගියහ.
50 ඉක්බිති අබිමෙලෙක් තේබේශ්ට ගොස්, එය වටලා, එය අල්ලාගත්තේ ය. 51 ඒ නුවර තුළ ශක්තිමත් බලකොටුවක් තිබුණේ ය. ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා ද නුවර වැසි සියල්ලෝ ද එයට පලා ගොස් දොර වසාගෙන, කොටුවේ පියස්ස මුදුනට නැඟී සිටියෝ ය. 52 අබිමෙලෙක් කොටුව ළඟට අවුත්, ඊට විරුද්ධ ව සටන් කොට කොටුවේ දොර පුළුස්සා දමන පිණිස එය ළඟට ගියේ ය. 53 එවිට එක්තරා ස්ත්‍රියක් අබිමෙලෙක්ගේ හිස පිටට ඇඹරුම් ගලක් හෙළා ඔහුගේ හිස් කබල පොඩි කළා ය. 54 අබිමෙලෙක් සිය ආයුධ රැගත් තරුණයා ඉක්මනින් කැඳවා, ” ‘ස්ත්‍රියක් ඔහු මැරුවා ය’යි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇද මා මරන්නැ”යි කී ය. තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය. 55 ඉශ්රායෙල් සෙනඟ අබිමෙලෙක් මළ බව දැක සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගියෝ ය.
56 දෙවියන් වහන්සේ, අබිමෙලෙක් තම සහෝදරයන් සැත්තෑදෙනා මැරීමෙන් තමාගේ පියාට කළ දුෂ්ටකමට ප්‍රතිවිපාක දුන් සේක. 57 ෂෙකෙම්හි මිනිසුන්ගේ දුෂ්ටකමේ ප්‍රතිවිපාකය දෙවියන් වහන්සේ ඔවුන් පිට පැමිණෙවු සේක. මෙසේ ජෙරුබ්බාල්ගේ පුත් ජෝතාම් කළ සාපය ඉෂ්ට විය.
– 10 වන පරිච්ඡේදය –
තෝලා සහ ජායිර්
1 අබිමෙලෙක්ට පසුව ඉස්සාකර් වැසියෙකු වූ දෝදෝගේ පුත්‍රයා වූ පුවාගේ පුත් තෝලා ඉශ්රායෙල්වරුන් ගළවන්නට ඉදිරිපත් වුණේ ය. ඔහු එප්‍රායිම් කඳු රටේ වූ ෂාමීර්හි වාසය කෙළේ ය. 2 ඔහු විසිතුන් අවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කොට, නැසී, ෂාමීර්හි තැන්පත් කරනු ලැබී ය.
3 ඔහුට පසු ගිලියද් වැසියෙකු වූ ජායිර් ඉදිරිපත් වී විසි දෑවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කෙළේ ය. 4 ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් වූවෝ ය. ඔවුන්ට ගිලියද් දේශයෙහි නගර තිහක් ද තිබුණේ ය. ඒවාට හවොත්-ජායිර් කියා අද දවස දක්වා කියනු ලැබේ. 5 ජායිර් ද නැසී කාමොන්හි තැන්පත් කරනු ලැබී ය.
ඉශ්රායෙල්වරුන්ට පීඩා කිරීම
6 ඉශ්රායෙල් ජනයා නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කොට, බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවිටත්, සිරියාවේ දෙවිවරුන්ටත්, සීදොන්හි දෙවිවරුන්ටත්, මෝවබ්හි දෙවිවරුන්ටත්, අම්මොන්වරුන්ගේ දෙවිවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කළෝ ය; සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් නොකොට උන් වහන්සේ අත් හැරියෝ ය. 7 සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට ද අම්මොන්වරුන්ගේ අතට ද පාවා දුන් සේක. 8 ඔවුන් ඒ අවුරුද්දේ පටන් දසඅට අවුරුද්දක් ජොර්දානෙන් එගොඩ ගිලියද්හි තිබෙන අමෝරිවරුන්ගේ දේශයේ සිටි සියලු ඉශ්රායෙල් ජනයාට පීඩා කොට ඔවුන් මැඬලුවෝ ය. 9 තවද, අම්මොන්හි සෙනඟ ජුදා ගෝත්‍රයටත්, බෙන්ජමින් ගෝත්‍රයටත්, එප්‍රායිම් ගෝත්‍රයටත් විරුද්ධ ව යුද්ධ කරන පිණිස ජොර්දානෙන් මෙගොඩට ආවෝ ය. මෙසේ ඉශ්රායෙල් සෙනඟ බරපතල අමාරුවකට පත් වූ හ.
10 එවිට ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගසා, ”අපි අපේ දෙවියන් වහන්සේ අත්හැර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමෙන් ඔබ වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි කීවෝ ය.
11 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, ”මිසරවරුන්ගෙන් ද අමෝරිවරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද මම නුඹලා ගළවා නොගතිම් ද? 12 සීදොන්වරුන් සහ අමලෙක්වරුන් ද මායොන්වරුන් ද නුඹලාට පීඩා කළ විට, නුඹලා මට මොරගැසූ කල්හි ඔවුන්ගේ අතිනුත් මම නුඹලා ගැළෙවුවෙමි. 13 එහෙත්, නුඹලා මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළහු ය. එබැවින් දැන් මම නුඹලා නොගළවන්නෙමි. 14 නුඹලා තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න. ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේ දී නුඹලා ගළවත්වා”යි වදාළ සේක.
15 ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට කතා කොට, ”අපි පව් කෙළෙමු. ඔබ වහන්සේට සුදුසු යැයි පෙනෙන දෙයක් අපට කළ මැනව. එහෙත්, මේ වතාවේ අප ගැළෙවුව මැනවැ”යි කීවෝ ය. 16 එවිට ඔව්හු අන් දෙවිවරුන් තමන් කෙරෙන් පහ කර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ කාලකණ්ණිකම ගැන ශෝක වූ සේක.
17 එකල අම්මොන් ජනයා රැස් ව ගිලියද්හි කඳවුරු බැඳගත්තෝ ය. ඉශ්රායෙල් ජනයා රැස් වී මිශ්පාහි කඳවුරු බැඳගත්තෝ ය. 18 එවිට සෙනඟ හා ගිලියද්හි අධිපතියෝ එකිනෙකාට කතා කරමින්, ”අම්මොන් සෙනඟට විරුද්ධ ව සටන් කරන්නට පටන්ගන්න මිනිසා කවරෙක් ද? ඔහු ගිලියද්හි සියලු වැසියන් කෙරෙහි ප්‍රධානියා කරන්නෙමු”යි කී හ.
– 11 වන පරිච්ඡේදය –
ජෙප්තාගේ පාලන කොන්දේසි
1 ගිලියද් වැසියෙකු වූ ජෙප්තා බලසම්පන්න හේවායෙක් විය. ඔහු වේශ්‍යා ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියාගේ නම ගිලියද් ය. 2 ගිලියද්ගේ භාර්යාව ඔහුට දාව පුත්‍රයන් ලැබුවා ය. ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩි වයසට පැමිණි කල, ඔව්හු ජෙප්තාට කතා කොට, ”ඔබ අන් ස්ත්‍රියකගේ පුතෙකු බැවින්, අපේ පියාගේ ගෙදර උරුමකරුවෙක් නොවන්නෙහි ය” කියා එළවාදැමුවෝ ය. 3 එවිට ජෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලා ගොස් ටෝබ් දේශයේ වාසය කෙළේ ය. කමකට නැති මිනිස්සු ජෙප්තාට එකතු වී ඔහු කැටුව ගියෝ ය.
4 කලකට පසු අම්මොන්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කළෝ ය. 5 අම්මොන්වරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට, ගිලියද් දේශයේ ප්‍රජා මූලිකයෝ ටෝබ් දේශයෙන් ජෙප්තා කැඳවාගෙන එන්නට ගොස්, 6 ඔහුට කතා කොට, ”අප අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපේ අධිපතියා වන්නට පැමිණෙන්නැ”යි ඉල්ලා සිටියෝ ය.
7 ජෙප්තා පිළිතුරු දෙමින්, ”ඔබ මා කෙරෙහි වෛර බැඳ, මාගේ පියාගේ ගෙදරින් මා පන්නා දැමුවා නොවේ ද? දැන් ඔබේ විපතේ දී කුමක් නිසා මා ළඟට ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.
8 එවිට ගිලියද් දේශයේ ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, ”අප දැන් යළිත් ඔබ ළඟට ආවේ, ඔබ අප සමඟ ගොස්, අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කර, ගිලියද් වැසියන් වන අප සියල්ලන්ට ප්‍රධානියා වන පිණිස යැ”යි ජෙප්තාට කී හ.
9 ජෙප්තා ඔවුන්ට කතා කොට, ”අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔබ මා යළිත් කැඳවා ගෙන ගිය විට, සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන්නොත්, මම ඔබේ ප්‍රධානියා වන්නෙම් දැ”යි ඇසුවේ ය.
10 එවිට ඔව්හු පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්සේ අප අතරේ සාක්ෂි දෙන සේක. සැබැවින් ම ඔබේ වචනය ලෙස ම කරන්නෙමු”යි ජෙප්තාට කී හ. 11 එවිට ජෙප්තා ගිලියද්හි ප්‍රජා මූලිකයන් සමඟ නික්ම ගියේ ය. සෙනඟ ඔහු තමන්ගේ ප්‍රධානියා ද අධිපතියා ද කරගත්හ. ජෙප්තා මිශ්පාහි දී ඔහුගේ සියලු කොන්දේසි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය.
ජෙප්තා සහ අම්මොන්වරුන්ගේ රජ
12 ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යවා, ”ඔබ මාගේ දේශයට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පැමිණියේ, මා සහ ඔබ අතරේ ඇති කුමන ආරාවුලක් නිසා දැ”යි ඇසුවේ ය.
13 අම්මොන්වරුන්ගේ රජ ජෙප්තාගේ පණිවුඩකාරයන්ට පිළිතුරු දෙමින්, ”මා එසේ කෙළේ, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ කල අර්ණොන් පටන් ජබ්බොක් හා ජොර්දාන් දක්වා මාගේ දේශය පැහැරගත් නිසා ය; එහෙයින්, දැන් ඒ රටවල් සාමදානයෙන් ආපසු දෙන්නැ”යි කීවේ ය.
14 ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යැව්වේ ය. 15 ”ජෙප්තා මෙසේ කියන්නේ යැ”යි ඔව්හු කී හ: ”ඉශ්රායෙල්වරුන් මෝවබ් දේශය වත්, අම්මොන්වරුන්ගේ දේශය වත් පැහැරගත්තේ නැත. 16 එහෙත්, ඉශ්රායෙල්වරුන් මිසර දේශයෙන් ආ කල ඔව්හු රතු මුහුද දක්වා පාළුකරයේ ගමන් කර කාදෙෂ්ට පැමිණියෝ ය. 17 එවිට ඉශ්රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවුඩකාරයන් යවා, ‘ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර ලැබේවා’යි කී හ. එහෙත්, ඒදොම් රජු එයට සවන් නොදුන්නේ ය. මෝවබ් රජු වෙතටත් එසේ ම පණිවුඩකාරයෝ යවනු ලැබූ හ. ඔහු ද ඒ ඉල්ලීමට කැමැති නො වී ය. ඉශ්රායෙල්වරු කාදෙෂ්හි නැවතී සිටියෝ ය. 18 ඉන්පසු ඔව්හු පාළුකරය මැදින් ගමන් කොට ඒදොම් දේශයත්, මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයේ නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළතට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝ ය. මන්ද, අර්ණොන් ඔය මෝවබ් සීමාව වූ බැවිනි. 19 එවිට ඉශ්රායෙල්වරු හෙෂ්බොන්හි රජු වන අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් වෙත පණිවුඩකාරයන් යවා, ‘ඔබේ දේශය මැදින් අපේ ම දේශයට යන්නට අපට අවසර දුන මැනවැ”යි කී හ. 20 එහෙත්, සීහොන් රජ තමාගේ දේශය මැදින් ඉශ්රායෙල්වරුන් යාම ගැන සැක කර, තමාගේ මුළු සෙනඟ රැස් කොට, ජහශ්හි කඳවුරු බැඳ, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. 21 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සීහොන් රජු සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්රායෙල්වරුන් අතට පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන්ට පහර දී ඒ දේශවාසී වූ අමෝරිවරුන්ගේ මුළු රට හිමි කරගත්තෝ ය.
22 ”ඔව්හු අර්ණොන් පටන් ජබ්බොක් දක්වා ද පාළුකරයේ පටන් ජොර්දාන් දක්වා ද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමි කරගත්තෝ ය. 23 මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් අමෝරිවරුන් පන්නා දමා තිබිය දී, ඔබ ඔවුන්ගේ රට හිමි කරගන්නට අදහස් කරන්නෙහි ද? 24 ඔබේ දෙවි වන කෙමොෂ් ඔබට හිමි කරගැනීමට දුන් දේ ඔබට හිමි කරගත හැකි ය. එලෙස ම අපේ දෙවි සමිඳාණන් වහන්සේ අප ඉදිරියෙන් පන්නා දැමූ සියල්ලන්ගේ රට අපිත් හිමි කරගනිමු. 25 ශිප්පොර්ගේ පුත් මෝවබ්හි රජ වූ බාලාක්ට වඩා ඔබ කොයි අයුරකින් වත් උතුම් ද? ඔහු ඉශ්රායෙල්වරුන් සමඟ කවරදා වත් ආරාවුල් කෙළේ ද? ඔවුන්ට විරුද්ධ ව කවරදා වත් යුද්ධ කෙළේ ද? 26 ඉශ්රායෙල්වරුන් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නගරවල ද අරෝයෙර් හා ඊට අයිති නගරවල ද අර්ණොන් අසබඩ තිබෙන සියලු නගරවල ද අවුරුදු තුන්සියයක් වාසය කරද්දී ඔබ ඒ කාලය අතරතුරේ දී ඒවා ගළවා නොගත්තේ මන් ද? 27 එබැවින් මම ඔබට විරුද්ධ ව වරදක් නොකෙළෙමි. එසේ වුව ද මට විරුද්ධ ව යුද්ධ කිරීමෙන් ඔබ මට අයුත්තක් කරන්නෙහි ය. විනිශ්චයකාරයාණන් වන සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් හා අම්මොන්වරුන් අතරේ අද විනිශ්චය කරන සේක් වා.” 28 එසේ වුවත්, අම්මොන්වරුන්ගේ රජ, තමාට ජෙප්තා එවූ පණිවුඩයට සවන් නුදුන්නේ ය.
ජෙප්තාගේ දුව පිළිබඳ බාරය
29 සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ජෙප්තා කෙරෙහි පහළ විය. ඔහු ගිලියද් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්හි මිශ්පාට පැමිණ එතැන් සිට අම්මොන්වරුන් වෙත ගියේ ය. 30 ජෙප්තා සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, ”ඔබ වහන්සේ සැබැවින් අම්මොන්වරුන් මා අතට පාවා දෙන සේක් නම්, 31 මා සාමදානයෙන් අම්මොන්වරුන් වෙතින් හැරී එන කල, මා හමු වන පිණිස මාගේ ගෙයින් පිටත් ව එන කවරෙකු වුවත්, ඔහු සමිඳාණන් වහන්සේට අයිති වන්නේ ය; මම ඔහු දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නෙමි”යි කීවේ ය.
32 මෙසේ ජෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔවුන් කරා ගියේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු අතට ඔවුන් පාවා දුන් සේක. 33 ඔහු නගර විස්සකින් සමන්විත අරෝයෙර් පටන් මින්නිත්ට පැමිණෙන තැන දක්වා ද ආබෙල්-කෙරාමීම් දක්වා ද ඔවුන්ට පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. මෙසේ අම්මොන්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ.
34 ජෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන විට, ඔහුගේ දුව රබන් ගසමින් ද නටමින් ද ඔහුගේ පෙරමඟට ආවා ය. ඈ වූ කලී ඔහුගේ එක ම දරුවා ය. ඈ හැර ඔහුට පුතෙක් වත්, දුවක් වත් නො වූ හ. 35 ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, ”අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය.
36 ඈ ද පිළිතුරු දෙමින්, ”මාගේ පියාණෙනි, ඔබේ මුවින් ඔබ සමිඳාණන් වහන්සේට පොරොන්දුවක් වුණෙහි නම්, ඔබ දුන් පොරොන්දුව ලෙස මට කරන්න; ඔබේ සතුරන් වන අම්මොන්වරුන්ගෙන් ඔබ උදෙසා උන් වහන්සේ පළිගත් සේකැ”යි කීවා ය. 37 තවදුරටත් ඈ පියාට කතා කොට, ”මෙසේ මට අවසර ලැබේ වා. මා ද මාගේ යෙහෙළියන් ද ගොස් කඳුවල ඇවිද, මාගේ කන්‍යාභාවය ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දුන මැනවැ”යි කීවා ය. 38 ඔහු ද ඈට, ”යන්නැ”යි කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේ ය. ඈ ඇගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. 39 දෙමස ගෙවී ගිය කල ඈ ඇගේ පියා වෙත හැරී ආවා ය. එවිට ඔහු තමා කළ බාරය අනුව ඈට කෙළේ ය. ඈ කන්‍යාවක් ව සිටියා ය. මෙය ඉශ්රායෙල්වරුන් අතරේ ඇති වූ සිරිතකි. 40 එනම්, ගිලියද්හි ජෙප්තාගේ දුව සිහි කිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්රායෙල් දූවරුන් ගෙදරින් පිටත් ව යාම අවුරුදු පතා පවත්වන ඔවුන්ගේ සිරිතක් ය.
– 12 වන පරිච්ඡේදය –
එප්‍රායිම්වරුන් සමඟ සටන
1 එප්‍රායිම් වැසියෝ රැස් වී, උතුරු දිශාවට එතෙර වී ගොස් ජෙප්තාට කතා කොට, ”ඔබ සමඟ යන පිණිස අපට ආරාධනා නොකොට, ඔබ අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට එගොඩට ගියේ මන් ද? අපි ඔබේ නිවෙස ඔබත් ඇතුළු ව ගින්නෙන් පුළුස්සා දමන්නෙමු”යි කී හ.
2 ජෙප්තා ඔවුන්ට කතා කොට, ”මාගේ සෙනඟත්, මමත් අම්මොන්වරුන්ට විරුද්ධ ව තදබල ආරාවුලක යෙදී සිටියෙමු. මා ඔබට අඬගැසූ නමුත්, ඔවුන්ගේ අතින් ඔබ මා නොගැළෙවුවහු ය. 3 ඔබ මා නොගැළෙවු බව දුටු විට මම මාගේ ජීවිතය නොතකා, අම්මොන්වරුන්ට විරුද්ධ ව එගොඩට ගියෙමි. සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන් සේක. ඉතින් ඔබ හැම මට විරුද්ධ ව සටන් කරන්නට අද දවසේ මා වෙත ආවේ කුමක් නිසා දැ”යි කීවේ ය. 4 එවිට ජෙප්තා ගිලියද්හි සියලු මිනිසුන් රැස් කරවාගෙන එප්‍රායිම්ට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. එසේ කෙළේ, ”එප්‍රායිම්වරුන් හා මනස්සේවරුන් අතර වසන ගිලියද්වරුනි, ඔබ එප්‍රායිම් කෙරෙන් පලා ගිය අය යැ”යි එප්‍රායිම්වරුන් කී බැවිනි. 5 ගිලියද්වරු එප්‍රායිම්ට යන ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය. පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙකු අවුත්, ”මට එගොඩ වන්නට අවසර දෙන්නැ”යි කී කල, ගිලියද් සෙනඟ, ”ඔබ එප්‍රායිම් වැසියෙක් දැ”යි ඔහුගෙන් අසති. ඔහු ”නැතැ”යි කීවොත්, 6 ” ‘ෂිබ්බොලෙත්’ කියා කියාපන්නැ”යි ඔව්හු ඔහුට කියති. ඔහුට එය හරියට උච්චාරණය නොකළ හැකි ව, ‘සිබ්බොලෙත්’ කියා කීවොත්, ඔව්හු ඔහු අල්ලා ජොර්දාන් තොටුපොළවල් ළඟ මරති. ඒ අයුරින් එප්‍රායිම්වරුන්ගෙන් සතළිස්දෙදහසක් මැරුම්කෑවෝ ය. 7 ජෙප්තා සය අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. ඉන්පසු ගිලියද් වැසියෙකු වූ ජෙප්තා මියගියේ ය. ගිලියද්හි ඔහුගේ ම නගරයක ඔහු තැන්පත් කරන ලද්දේ ය.
ඉබ්ශාන්, ඒලොන් සහ අබ්දොන්
8 ජෙප්තාට පසුව බෙත්ලෙහෙම්හි ඉබ්ශාන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. 9 ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් ද දූවරු තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔහු දූවරුන් තිස්දෙනා ඔහුගේ වංශයෙන් පිටත අයට සරණපාවා දී, ඔහුගේ පුත්‍රයන්ට පිටතින් කාන්තාවන් තිස්දෙනෙකු ගෙනාවේ ය. ඔහු සත් අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. 10 ඉබ්ශාන් මියගිය පසු බෙත්ලෙහෙම්හි තැන්පත් කරන ලද්දේ ය.
11 ඔහුට පසුව සාබුලොන් වැසියෙකු වූ ඒලොන් ඉශ්රායෙල් පාලනය කෙළේ ය. ඔහු දස අවුරුද්දක් ඉශ්රායෙල් පාලනය කෙළේ ය. 12 සාබුලොන් වැසියෙකු වූ ඒලොන් මියගිය පසු සාබුලොන් රටේ තිබෙන අයාලෝන්හි තැන්පත් කරන ලද්දේ ය.
13 ඔහුට පසුව පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. 14 ඔහුට පුත්‍රයෝ සතළිස්දෙනෙක් ද මුණුබුරෝ තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යන පිණිස කොටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. ඔහු අට අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. 15 පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ද මියගොස් එප්‍රායිම්හි අමලෙක්වරුන්ගේ කඳුකරයේ පීරාතෝන්හි තැන්පත් කරන ලද්දේ ය.
– 13 වන පරිච්ඡේදය –
සම්සොන්ගේ උපත
1 ඉශ්රායෙල් සෙනඟ නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවා දුන් සේක.
2 දාන්ගේ වංශයට අයිති ශොරාහි එක්තරා මිනිසෙක් සිටියේ ය. ඔහුගේ නම මානෝවා ය. ඔහුගේ භාර්යාව වඳ වූ බැවින් දරුවන් නොලැබ සිටියා ය. 3 සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රියට පෙනී මෙසේ කීවේ ය: ”නුඹ වඳ ව දරුවන් නොලැබ සිටින්නෙහි ය. එහෙත්, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය. 4 ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට වගබලාගන්න. 5 මන්ද, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය. දැළි පිහියකින් ඔහුගේ කෙස් නොකැපිය යුතු ය. මන්ද, දරුවා ගර්භයේ පටන් දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු බැවිනි. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්රායෙල්වරුන් ගළවා ගන්නේ ය.”
6 එවිට ඒ ස්ත්‍රිය ඇගේ පුරුෂයා වෙත අවුත් මෙසේ කීවා ය: ”දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මා ළඟට ආවේ ය. ඔහුගේ පෙනීම දේව දූතයෙකුගේ පෙනීම හා සමාන ව ඉතා ප්‍රතාපවත් ව තිබුණේ ය. ඔහු කොතැනින් ආවේ ද කියා මම නොඇසීමි. ඔහු තමාගේ නම මට දැන්වූයේ නැත. 7 එහෙත්, ඔහු මට කතා කොට, ‘බලන්න, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය; ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මන්ද, ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු ය’යි කීවේ ය.”
8 එවිට මානෝවා සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, ”අහෝ, සමිඳුනි, ඔබ විසින් එවන ලද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා නැවත අප ළඟට අවුත්, උපදින්නට යන දරුවාට අප විසින් කරනු ලැබිය යුතු දේ ඉගැන්වුව මැනවැ”යි කීවේ ය.
9 දෙවියන් වහන්සේ මානෝවාගේ කන්නලව්වට ඇහුම්කන් දුන් සේක. දේව දූතයා ඒ ස්ත්‍රිය කෙතේ සිටිය දී යළිත් ඈ ළඟට පැමිණියේ ය. එහෙත්, ඇගේ පුරුෂයා වන මානෝවා ඈ ළඟ නොසිටියේ ය. 10 ස්ත්‍රිය ඉක්මනින් දුව ගොස්, ”මෙන්න, එදා මා ළඟට ආ මනුෂ්‍යයා මට දැන් පෙනුණේ යැ”යි ඇගේ පුරුෂයාට දැන්වූවා ය.
11 මානෝවා නැඟිට සිය භාර්යාව කැටුව ගොස්, ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ, ”මේ ස්ත්‍රියට කතා කළ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, ”ඔව්, මම යැ”යි පිළිතුරු දුන්නේ ය.
12 එවිට මානෝවා කතා කොට, ”ඔබ කී දේ ඉටු වූ විට, දරුවා හැසිරිය යුත්තේ කෙසේ ද? ඔහු කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය.
13 සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට කතා කොට, ”මා ස්ත්‍රියට කී සියල්ල කිරීමට ඈ වගබලාගනී වා. 14 මුද්‍රික වැලෙන් උපදින කිසිවක් නොකා, මුද්‍රික පානය වත් සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසිවක් නොකා සිටීවා. මා විසින් ඈට අණ කරන ලද සියල්ල ඈ කළ යුතු යැ”යි කී ය.
15 මානෝවා සමිඳාණන් වහන්සේගේ දූතයාට කතා කොට, ”අප විසින් ඔබට එළු පැටවෙකු උයා පිළියෙළ කරනු ලබන තුරු, ඔබ නවත්වාගන්නට අපට අවසර ලැබේවා”යි කීවේ ය. 16 සමිඳාණන් වහන්සේගේ දූතයා, ”නුඹ මා නවත්වාගන්න නමුත්, නුඹේ කෑමෙන් නොකන්නෙමි; එහෙත්, නුඹ දවන යාග පූජාවක් පිළියෙළ කරන්නෙහි නම්, ඒ නුඹ විසින් සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු ලැබිය යුතු යැ”යි මානෝවාට කීවේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේ ය.
17 මානෝවා ද, ”ඔබ කී ලෙස සිද්ධ වූ කල අප ඔබට ගෞරව කරන පිණිස ඔබේ නාමය කිමෙක් දැ”යි සමිඳාණන් වහන්සේගේ දූතයාගෙන් ඇසුවේ ය.
18 සමිඳාණන් වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, ”නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මන් ද? එය අබිරහසකැ”යි කීවේ ය.
19 එවිට මානෝවා එළු පැටවාත්, ආහාර පූජාවත් ගෙනවුත්, අරුමපුදුම දේ කරන සමිඳාණන් වහන්සේට පර්වතය මත පූජා කෙළේ ය. 20 ගිනි ජාලාව පූජාසනයෙන් අහස දෙස නඟින අතර, සමිඳාණන් වහන්සේගේ දූතයා ගිනි ජාලාවෙහි නැඟී ගියේ ය. මානෝවා ද ඔහුගේ භාර්යාව ද බලාගෙන සිටියෝ ය. එවිට ඔව්හු මුණින්තළා වැටුණෝ ය. 21 ඉන්පසු සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට වත්, ඔහුගේ භාර්යාවට වත් නොපෙනුණේ ය. එවිට මානෝවා ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව දැන ගත්තේ ය.
22 මානෝවා කතා කොට, ”අප දෙවියන් වහන්සේ දුටු නිසා ඒකාන්තයෙන් නසින්නෙමු”යි තම භාර්යාවට කීවේ ය.
23 එහෙත්, ඔහුගේ භාර්යාව, ”සමිඳාණන් වහන්සේ අප නසන්නට කැමැති සේක් නම්, උන් වහන්සේ අපේ අතින් දවන යාග පූජාවක් හා ආහාර පූජාවක් පිළිගන්නේ වත්, උන් වහන්සේ මේ සියල්ල අපට පෙන්වන්නේ වත්, මේ කාලයේ දී අපට මෙබඳු දේවල් දන්වන්නේ වත් නැතැ”යි ඔහුට කීවා ය.
24 ඒ ස්ත්‍රිය පුත්‍රයෙකු ලැබූ පසු ඈ ඔහුට සම්සොන් යන නම තැබුවා ය. දරුවා වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක. 25 සම්සොන් ශොරාටත් එෂ්තායොල්ටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටිය දී, සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන්ගත්තේ ය.
– 14 වන පරිච්ඡේදය –
සම්සොන් කාන්තාවකට පෙම් බැඳීම
1 සම්සොන් තිම්නා නගරයට ගියේ ය. එහි දී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේ ය. 2 ඔහු අවුත් තම පියාටත් මවටත් කතා කොට, ”පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් කාන්තාවක තිම්නාහි දී මම දිටිමි. ඈ මාගේ බිරිඳ කරගන්න පිණිස මට ඈ ලබාදෙන්නැ”යි කීවේ ය.
3 එවිට ඔහුගේ මවුපියෝ ඔහුට කතා කොට, ”ඔබ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් බිරිඳක ගන්නට යන්නේ, ඔබේ ඥාතීන්ගේ දූවරුන් අතරේ වත්, අපේ සෙනඟ අතරේ වත් කාන්තාවක නැති නිසා දැ”යි ඔහුගෙන් ඇසූ හ. එහෙත් සම්සොන්, ”ඒ කාන්තාව මට ලබා දෙන්න, මම ඈට කැමැත්තෙමි”යි තම පියාට කීවේ ය.
4 මේ කටයුත්ත සම්බන්ධයෙන් ක්‍රියා කෙළේ, සමිඳාණන් වහන්සේ බව ඔහුගේ දෙමවුපියෝ නොදැන සිටියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කිරීමට අවස්ථාවක් සොයමින් සිටි සේක. ඒ කාලයේ දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් පාලනය කළෝ ය.
5 සම්සොන් ඔහුගේ මවුපියන් සමඟ තිම්නා නගරයට පිටත් ව ගියේ ය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල, සිංහ නාම්බෙකු ඔහුට ගොරවනවා ඇසුණේ ය. 6 එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේ ය. සම්සොන් තමාගේ අතේ කිසිදු අවියක් නැති ව, එළු පැටවෙකු ඉරා දමන ලෙස ඌ ඉරා දැමුවේ ය. එහෙත්, ඔහු කළ දේ ඔහුගේ පියාට වත්, මවට වත් ඔහු දැන්නුවේ නැත. 7 ඉන්පසු ඔහු ගොස් ඒ කාන්තාව සමඟ කතා කෙළේ ය. ඈ ඔහුට බොහෝ ප්‍රියමනාප වූවා ය.
සම්සොන්ගේ ප්‍රහේලිකාව
8 ස්වල්ප දවසකට පසු සම්සොන් ඈ සරණ පාවාගන්නට ආපසු යද්දී සිංහයාගේ මළකුණ බලන පිණිස ඉවතට හැරී ගියේ ය. ඔහු බැලූ කල සිංහයාගේ ශරීරයේ මී මැසි රංචුවක් ද මී පැණි ද තිබිණි. 9 ඔහු මී පැණි අතින් ගෙන, කකා ගොස්, ඔහුගේ මවුපියන් ළඟට පැමිණ ඔවුන්ටත් දුන්නේ ය. ඔව්හු කෑවෝ ය. එහෙත්, ඒ මී පැණි සිංහයාගේ මළකුණෙන් ගත් බව ඔහු ඔවුන්ට කීවේ නැත.
10 ඔහුගේ පියා ඒ කාන්තාව සිටි තැනට ආවේ ය. සම්සොන් එහි දී මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය. මෙය තරුණයන් අතරේ පැවති සිරිතක් විය. 11 පිලිස්තිවරු සම්සොන් දුටු විට ඔහු සමඟ සිටින පිණිස යහළුවන් තිස්දෙනෙකු ගෙනාවෝ ය. 12 සම්සොන් කතා කොට, ”මම දැන් ඔබ හැමට ප්‍රහේලිකාවක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළත දී ඔබ එය විසඳා මට කීවොත්, මම ඔබ හැමට සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද දෙන්නෙමි. 13 එය විසඳා මට කියන්නට ඔබට බැරි වුණොත්, ඔබ සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද මට දිය යුතු යැ”යි කීවේ ය. ඔව්හු, ”අපට ඇසෙන්නට ඔබේ ප්‍රහේලිකාව කියන්නැ”යි ඔහුට කීවෝ ය.
14 ඔහු මෙසේ කී ය.
”කන්නා කෙරෙන් කෑමකි;
බලවතාගෙන් මිහිරකි.”
ඒ ප්‍රහේලිකාව තුන් දවසකින් විසඳා කියන්නට ඔවුන්ට නුපුළුවන් විය.
15 සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, ”ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය.
16 සම්සොන්ගේ බිරිඳ ඔහුගේ ගෙල බදාගෙන අඬමින්, ”ඔබ මට ද්වේෂ කරනවා මිස මට ආදරේ කරන්නේ නැත. මාගේ මිතුරන්ට ඔබ ප්‍රහේලිකාවක් කී නමුත්, ඒක මට තෝරා දුන්නේ නැතැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, ”බලන්න, මම මාගේ පියාට වත්, මාගේ මවට වත් ඒ ගැන නොකීවෙමි. ඔබට කියන්නේ කෙසේ දැ”යි ඈට කීවේ ය. 17 ඔවුන්ගේ මංගල්‍ය පැවති සත් දවස මුළුල්ලේ ම ඈ ඔහුගේ ගෙල බදාගෙන හැඬුවා ය. ඈ ඔහුට පෙරැත්ත කළ බැවින් ඔහු සත් වන දවසේ දී තේරුම ඈට කී ය. ඈ ද ඇගේ රට වැසියන්ට ඒ තේරුම කීවා ය. 18 සත් වන දවසේ දී ඉර බසින්නට පෙර නුවර වැසියෝ ඔහුට කතා කොට මෙසේ කී හ:
”මී පැණිවලට වඩා මිහිරක් ඇද් ද?
සිංහයෙකුට වඩා බලවෙතක් ඇද් ද?”
සම්සොන් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේ ය:
”ඔබ මාගේ නෑම්බිය මඟින්
සීසෑවේ නැත්නම්,
මාගේ ප්‍රහේලිකාව
දැනගන්නට නොහැකි වන්නේ ය.”
19 එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ ය. ඔහු අෂ්කෙලොන්ට ගොස්, එහි මිනිසුන් තිස්දෙනෙකු මරා, ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහේලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේ ය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිළී තමාගේ පියාගේ ගෙදරට ගියේ ය. 20 සම්සොන්ගේ බිරිඳ, ඔහු යහළුවා කොටගත් ඔහුගේ මිතුරාට දෙන ලද්දී ය.
– 15 වන පරිච්ඡේදය –
හිවලුන් සහ පන්දම්
1 ස්වල්ප දවසකට පසු තිරිඟු කපන කාලයේ දී සම්සොන් එළු පැටවෙකු රැගෙන තමාගේ බිරිඳ බලන්නට ගියේ ය. ”මාගේ බිරිඳ වෙත ඇතුළු ගෙට මම යමි”යි ඔහු ඇගේ පියාට කීවේ ය. එහෙත්, ඇගේ පියා ඔහුට යන්නට ඉඩ නොදී, 2 ”සැබැවින් ම ඔබ ඈට මුළුමනින් ම වෛර වුණෙහි යැ යි මා සිතා, මම ඈ ඔබේ මිතුරාට දිනිමි. ඇගේ බාල සහෝදරී ඈට වඩා සුරූපී ය. ඈ වෙනුවට මෑ පාවාගන්නැ”යි සම්සොන්ට කීවේ ය.
3 සම්සොන් පිළිතුරු දෙමින්, ”මේ වතාවේ දී මා පිලිස්තිවරුන්ට කරන දේ සම්බන්ධයෙන් මම වගකීම භාර නොගනිමි”යි කීවේ ය. 4 එසේ කියා සම්සොන් ගොස්, හිවලුන් තුන්සියයක් අල්ලාගෙන, හුළු අතු ද ගෙන, උන්ගේ වල්ගා දෙකක් එකට බැඳ, ඒ දෙක මැද හුළු අත්තක් බැගින් තැබුවේ ය. 5 ඉන්පසු ඔහු ඒ හුළු අතුවලට ගිනි තියා පිලිස්තිවරුන්ගේ ගොයම් අතරට උන් යන්නට හැරියේ ය. කැපූ ගොයම් ද නොකැපූ ගොයම් ද ඔලීව වතු ද එයින් දාලා ගියේ ය. 6 එවිට පිලිස්තිවරු, ”මේ දේ කෙළේ කවුරු දැ”යි ඇසුවෝ ය. ”තිම්නියයාගේ බෑණා වන සම්සොන් ය; ඔහු සම්සොන්ගේ බිරිඳ ඔහුගේ මිතුරාට දුන් නිසා සම්සොන් මෙසේ කෙළේ යැ”යි මිනිස්සු පිළිතුරු දුන්නෝ ය. එවිට පිලිස්තිවරු අවුත් ඒ ස්ත්‍රිය ද ඇගේ පියා ද ගින්නෙන් දවා දැමුවෝ ය.
7 සම්සොන් ඔවුන්ට කතා කොට, ”ඉදින් මේ අන්දමින් ඔබ ක්‍රියා කරන්නහු නම්, සැබැවින් ඔබෙන් පළිගන්නෙමි; ඉන්පසු නවතින්නෙමි”යි කීවේ ය. 8 සම්සොන් ඔවුන්ට ගිය ගිය අතේ පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. ඉන්පසු ඔහු ගොස් ඒතාම් පර්වතයේ ගුහාවේ නැවතී සිටියේ ය.
පිලිස්තිවරුන් පරාජය කිරීම
9 එකල පිලිස්තිවරු පිටත් ව ගොස් ජුදාහි කඳවුරු බැඳගෙන ලෙහි නගරයට පහර දුන්නෝ ය. 10 ජුදා වැසියෝ, ”කුමක් නිසා ඔබ අපට විරුද්ධ ව ආවහු දැ”යි ඇසුවෝ ය. ඔව්හු පිළිතුරු දෙමින්, ”අප ආවේ, සම්සොන් අත්අඩංගුවට ගෙන ඔහු අපට කළ හැටියට ඔහුටත් කරනු පිණිස යැ”යි කීවෝ ය. 11 එවිට ජුදා සෙනඟගෙන් තුන්දහසක් ඒතාම් පර්වතයේ ගුහාව ළඟට ගොස් සම්සොන්ට කතා කොට, ”පිලිස්තිවරුන් අප කෙරෙහි ආණ්ඩු කරන බව ඔබ දන්නේ නැද් ද? එසේ නම්, ඔබ අපට කර තිබෙන මේ දේ කුමක් දැ”යි ඇසුවෝ ය. ”ඔවුන් මට කළ ලෙස ම මමත් ඔවුන්ට කෙළෙමි”යි ඔහු ඔවුන්ට කී ය.
12 ඔව්හු ද, ”ඔබ බැඳ පිලිස්තිවරුන්ට පාවා දෙන පිණිස අපි ආවෙමු”යි ඔහුට කී හ. සම්සොන් පිළිතුරු දෙමින්, ”ඔබ ම මා නොමරන හැටියට දිවුරුම් දෙන්නැ”යි ඔවුන්ට කීවේ ය.
13 ඔව්හු ද, ”ඔබ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබැවින් අපි ඔබ නොමරන්නෙමු”යි ඔහුට කියා, අලුත් කඹ දෙකකින් ඔහු බැඳ පර්වතයෙන් ගෙනාවෝ ය.
14 ඔහු ලෙහි නගරයට පැමිණි කල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැඟුවෝ ය. සමිඳාණන්ගේ ආත්මානුභාවය බලවත් ලෙස සම්සොන් කෙරෙහි පැමිණියේ ය. ඔහුගේ අත් බැඳ තිබුණු කඹ ගින්නෙන් දැවී ගිය හණ මෙන් විය. ඔහුගේ අත්වලින් බැඳුම් ද ලිහී වැටුණේ ය. 15 ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගු කොට එය ගෙන, එයින් මිනිසුන් දහස්දෙනෙකු මැරී ය. 16 එවිට සම්සොන් මෙසේ කී ය:
”කොටළු හකු ඇටයකින්, කොටළුවන් මෙන් ඔවුන් මැරීමි;
කොටළු හකු ඇටයකින්, මිනිසුන් දහසක් මැරීමි.”
17 ඔහු මෙසේ කී පසු තමාගේ අතෙන් හකු ඇටේ වීසි කොට, ‘හකු ඇට හෙළ’ යන අර්ථය ඇති රාමත්-ලෙහි යන නම එතැනට තැබී ය.
18 එවිට ඔහු ඉතා පිපාසිත ව, සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, ”ඔබේ මෙහෙකරුවා ලවා ඔබ ම මේ මහා ගැළවීම දුන් සේක; දැන් මම පිපාසාවෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසු වන්නෙම් දැ”යි කීවේ ය. 19 එවිට දෙවියන් වහන්සේ පොළොවෙහි වළක් විවර කළ සේක. ඒ වළ ලෙහියෙහි ඇත. එයින් වතුර නික්මුණේ ය. සම්සොන් එයින් බී ශක්තිය ලැබ ප්‍රාණවත් විය. එබැවින් ඒ ස්ථානයට ‘හඬගැසූ අයගේ උල්පත’ යන අර්ථය ඇති එන්-හක්-කෝරේ යන නම තබන ලදී. එය අද දවස දක්වා ලෙහිය නගරයේ දක්නට තිබේ.
20 පිලිස්තිවරුන් සිටි කාලයේ දී විසි අවුරුද්දක් සම්සොන් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.
– 16 වන පරිච්ඡේදය –
සම්සොන් ගාසාහි කළ දේ
1 සම්සොන් ගාසා නගරයට ගොස් එහි වෙසඟනක දැක ඈ වෙත ගියේ ය. 2 ”සම්සොන් මෙහි අවුත් සිටී ය”යි ගාසා වැසියන්ට දන්වන ලද්දේ ය. එවිට ඔව්හු සම්සොන් වට කොට ඔහු අල්ලන පිණිස නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝ ය. ”පහන් වනතුරු අපි සිටිමු. එවිට අපි ඔහු මරන්නෙමු”යි රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චල ව සිටියෝ ය. 3 සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදා හිඳ, රෑ මැදියම් වේලේ නැඟිට, නුවර දොරටුවේ දොරවල් ද උළුවහු කණු දෙක ද අගුල් ආදිය ද සමඟ උගුලා කර පිට තබාගෙන හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේ ය.
සම්සොන් සහ දෙලීලා
4 ඉන්පසු සම්සොන් සෝරෙක් නම් මිටියාවතේ සිටි දෙලීලා නම් ස්ත්‍රියකට ප්‍රේම කෙළේ ය. 5 පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඈ ළඟට අවුත් ඈට කතා කොට, ”ඔබ ඔහු චාටුවෙන් පොළඹවා ඔහුගේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන්හි ද කියාත්, අප ඔහුට පීඩා කිරීමට ඔහු බැඳ තබන පිණිස ඔහු දමනය කරන්නට පුළුවන් කෙසේ ද කියාත් දැනගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එක්දහස් එකසියයක් බැගින් ඔබට දෙන්නෙමු”යි කීවෝ ය.
6 දෙලීලා සම්සොන්ට කතා කොට, ”ඔබේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන ද කියාත්, ඔබ දමනය කරන පිණිස ඔබ බඳින්නට පුළුවන් කුමකින් ද කියාත් මට කරුණාකර කියන්නැ”යි කීවා ය.
7 සම්සොන් පිළිතුරු දෙමින්, ”නොවේළූ අලුත් දුනු ලණු සතකින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කී ය.
8 එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු නොවේළූ අලුත් දුනු ලණු සතක් ඈට ගෙනවුත් දුන්හ. ඈ එයින් ඔහු බැන්දා ය. 9 මිනිස්සු ගෙයි ඇතුළු කාමරයක සැඟවී බලාගෙන සිටියෝ ය. ඈ කතා කොට, ”සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්න එති”යි ඔහුට කෑ ගසා කීවා ය. එවිට ඔහු, හණ නූලක් ගින්න වැදුණු විට ම කැඩෙන්නාක් මෙන් ඒ දුනු ලණු කඩා දැමුවේ ය. එබැවින් ඔව්හු ඔහුගේ යෝධ ශක්තියේ රහස නොදත්හ.
10 දෙලීලා යළිත් සම්සොන්ට කතා කොට, ”ඔබ මා රවටා බොරු කීවෙහි ය; දැන්වත් ඔබ බඳින්න පුළුවන් කුමකින් ද කියා මට කියන්නැ”යි කීවා ය.
11 ඔහු පිළිතුරු දෙමින්, ”කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කීවේ ය.
12 එවිට දෙලීලා අලුත් කඹ ගෙන ඔහු බැඳ, ”සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි ඔහුට කෑ ගසා කීවා ය. මිනිස්සු ද ඇතුළු ගෙයි සැඟවී බලා සිටියෝ ය. ඔහු තමාගේ අත් බැඳ තිබූ කඹ නූල් පොටක් මෙන් කඩා දැමුවේ ය.
13 එවිට දෙලීලා සම්සොන්ට කතා කොට, ”ඔබ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහි ය. දැන් ඉතින් ඔබ බැඳ තබන්නට පුළුවන් කුමකින් දැ යි කියන්නැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, ”ඔබ මාගේ හිසේ කෙස් රොදවල් සත රෙදි වියමන සමඟ යන්ත්‍රයට ගොතා ඇබයකින් එය තද කළොත්, මා සාමාන්‍ය මිනිසෙකු මෙන් බල හීන වනු ඇතැ”යි කී ය.
14 දෙලීලා ඔහු නින්දට පමුණුවා, ඔහුගේ කෙස් රොදවල් සත ගෙන, රෙදි වියමනත් සමඟ ඒවා ගොතා, ඇබයකින් තද කර, ”සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි කෑ ගැසුවා ය. එහෙත් ඔහු පිබිද, ඔහුගේ හිස කෙස් ද රෙදි වියන යන්ත්‍රය ද ඇබය ද අහකට ඇදගත්තේ ය.
15 එවිට ඈ, ”ඔබේ සිත මට බැඳී නැති විට ඔබ මට ප්‍රේම කරනවා කියා කියන්නේ කෙසේ ද? ඔබ දැන් මා තුන්වරක් රැවටුවෙහි ය. ඔබේ යෝධ ශක්තිය තිබෙන තැන මට නොකීවෙහි යැ”යි ඔහුට කීවා ය. 16 ඉන්පසු ඈ සෑම දා ම ඇගේ ඉල්ලීමෙන් ඔහුට පෙරැත්ත කළා ය. ඒ නිසා මැරෙන තරමට ඔහුගේ ජීවිතය ඔහුට එපා විය. 17 එබැවින් ඔහු රහස ඈට දන්වමින් ඈට මෙසේ කීවේ ය: ”මා මවු කුස පටන් දෙවියන් වහන්සේට කැප වූ නාසරීයයෙකු බැවින් දැළි පිහියක් මාගේ හිසට ළං නොකරන ලද්දේ ය. මාගේ හිස බූගෑවොත්, මාගේ යෝධ ශක්තිය මාගෙන් නැති වී යන්නේ ය. මා ද බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි කීවේ ය.
18 සම්සොන් තමාගේ සිතේ තිබුණු සම්පූර්ණ රහස ඈට කී බව දෙලීලා දැන, පිලිස්තිවරුන්ගේ අධිපතීන් කැඳවමින්, ”මේ වතාවේ දී එන්න; මන්ද, ඔහු තමාගේ සිතේ තිබෙන සම්පූර්ණ රහස මට කියා තිබේ ය”යි දන්වා යැව්වා ය: එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු මුදල් රැගෙන ඈ ළඟට ආහ. 19 ඈ තමාගේ උකුල පිට ඔහු නිදි කරවා, මිනිසෙකු කැඳවා, ඔහුගේ හිසේ කෙස් රොදවල් සත කපා දමා, ඔහු පුබුදුවන්නට ඔහුට ගැසූ නමුත්, ඔහුගේ ශක්තිය ඔහුගෙන් පහ ව ගොස් තිබුණේ ය. 20 ඈ ද, ”සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි කීවා ය. එවිට සම්සොන් නින්දෙන් පිබිද, සමිඳාණන් වහන්සේ තමා කෙරෙන් අහක් ව ගිය බව නොදැන, වෙන වතාවල දී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස් වන්නෙමි”යි සිතුවේ ය. 21 එහෙත්, පිලිස්තිවරු ඔහු අල්ලාගෙන, ඔහුගේ ඇස් උගුලාදමා, ගාසා නගරයට ගෙන ගොස්, ලෝකඩ දම්වැල්වලින් ඔහු බැන්දෝ ය. 22 ඔහු හිරගෙයි ධාන්‍ය ඇඹරීමට යොදවන ලදී. එසේ වුවත්, ඔහුගේ හිස කෙස් කපා දමනු ලැබූ පසු, යළිත් ඒවා වැඩෙන්නට පටන්ගත්තේ ය.
සම්සොන්ගේ මරණය
23 පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමන්ගේ දෙවි වන දාගොන්ට මහා පූජාවක් ඔප්පු කරන්නටත්, ප්‍රීති වන්නටත් රැස් වූ හ. ”අපේ දෙවියෝ අපේ සතුරා වූ සම්සොන් අප අතට පාවා දුන්නාහ”යි ඔව්හු කීවෝ ය. 24 සෙනඟ සම්සොන් දුටු කල, ඔවුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝ ය. ”අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළ, බොහෝ දෙනෙකු මරා දැමූ, අපේ සතුරා අපේ අතට පාවා දුන්නාහ”යි කී හ. 25 ඔවුන් ප්‍රීතියෙන් පිනා ගිය කල, ”අප විනෝද කරන පිණිස සම්සොන් අඬගසාගෙන එන්න” කියා ඔව්හු හිරගෙයින් ඔහු ගෙන්වා ගත්තෝ ය. ඔහු ඔවුන් ඉදිරියෙහි ක්‍රීඩා කෙළේ ය. ඔව්හු කුළුණු අතරේ ඔහු සිටෙවුවෝ ය. 26 සම්සොන් තමාගේ අත අල්ලාගෙන සිටි තරුණයාට කතා කොට, ”මේ ගෘහය පිහිටා තිබෙන කුළුණුවලට මා හාන්සි වන පිණිස ඒවාට අත ගසා බලන්නට මට ඉඩ දෙන්නැ”යි කීවේ ය. 27 ඒ ගෘහය ස්ත්‍රී පුරුෂයන්ගෙන් පිරී තිබුණේ ය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතියෝ ද එහි සිටියෝ ය. පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන්දහසක් පමණ සම්සොන්ගේ විනෝද ක්‍රීඩා නරඹමින් සිටියෝ ය.
28 සම්සොන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, ”අනේ, දෙවි සමිඳාණන් වහන්ස, මා සිහි කළ මැනව. අනේ සමිඳුනි, මාගේ ඇස් දෙක උගුලා දැමූ නිසා, පිලිස්තිවරුන්ගෙන් එක වරට ම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවැ”යි කීවේ ය. 29 එවිට සම්සොන් ගෘහය පිහිටා තිබුණු මැද කුළුණු දෙක, එකක් දකුණතින් ද එකක් වමතින් ද අල්ලා තමාගේ මුළු ශක්තිය යොදා, 30 පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වා”යි කියා තමාගේ මුළු ශක්තියෙන් ඉදිරියට නැඹුරු වූයේ ය. එවිට ගෘහය, අධිපතීන් සහ එහි සිටි සියලු සෙනඟ පිට කඩාවැටුණේ ය. මෙසේ ඔහු ජීවත් ව සිටිය දී මැරූ අයට වඩා ඔහුගේ මරණයේ දී මැරූ අයගේ ගණන වැඩි විය.
31 එවිට ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ මුළු පවුල ද ගොස් ඔහු ගෙනවුත්, ශොරා ද එෂ්තායොල් ද අතරේ තිබෙන ඔහුගේ පිය වූ මානෝවාගේ සොහොන් පොළේ තැන්පත් කළෝ ය. සම්සොන් විසි අවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.
– 17 වන පරිච්ඡේදය –
මීකාගේ දේවාලය
1 එප්‍රායිම් කඳු රටේ මීකා නම් මිනිසෙක් සිටියේ ය. 2 ඔහු සිය මවට කතා කොට, ”ඔබේ රිදී කාසි එක්දහස් එකසියය සොරකම් කරනු ලැබූ විට, ඔබ සොරා පිට සාපයක් තැබුවෙහි ය. ඔබ සාප කරනවා මට ඇසිණි. බලන්න, ඒ කාසි මා ළඟ ඇත. ඒවා ගත්තේ මම ය”යි කීවේ ය. ඔහුගේ මව, ”මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා”යි කීවා ය. 3 ඔහු තමාගේ මවට රිදී කාසි එක්දහස් එකසියය නැවත දුන්නේ ය. එවිට ඔහුගේ මවු කතා කොට, ”කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද සෑදීමට මම මේ රිදී මාගේ ම අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් සමිඳාණන් වහන්සේට සැබැවින් ම කැප කෙළෙමි. දැන් ඒවා මම නැවත ඔබට දෙමි”යි කීවා ය. 4 ඔහු ඒ මුදල නැවත ඔහුගේ මවට දුන් කල, ඔහුගේ මව රිදී කාසි දෙසියයක් රැගෙන කම්කරුවෙකුට දුන්නා ය. ඔහු එයින් කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද සෑදුවේ ය. ඒවා මීකාගේ ගෙයි තිබුණේ ය.
5 මීකා නම් මේ මිනිසාට දේවාලයක් තිබුණේ ය. ඔහු ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද සාදා තමාට පූජකයෙකු ව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත් කෙළේ ය. 6 ඒ කාලයේ දී ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. එක් එක්කෙනා තම තමාට රිසි දේ කෙළේ ය.
7 ජුදා පෙළපතට අයිති වූ ජුදයේ බෙත්ලෙහෙමේ සිට පැමිණි එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේ ය. ඔහු එහි ටික කලකට වාසය කළ කෙනෙකි. 8 ඒ මිනිසා විසීමට තැනක් සොයන පිණිස ජුදයේ බෙත්ලෙහෙමෙන් පිටත් ව ගොස්, ගමන් කරනුයේ, එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙදරට පැමිණියේ ය. 9 ”ඔබ කොතැනින් ආවෙහි දැ”යි මීකා ඔහුගෙන් ඇසී ය. ඔහු ද, ”මම ජුදයේ බෙත්ලෙහෙමේ ලෙවීවරයෙක්මි; මට විසීමට තැනක් සොයා යමි”යි පිළිතුරු දුන්නේ ය.
10 එවිට මීකා, ”මා සමඟ වාසය කර, මට පිය කෙනෙකු ද පූජකයෙකු ද වන්න; මම ඔබට අවුරුදු පතා රිදී කාසි දසයක් හා ඇඳුම් කුට්ටමක් ද කෑම ද දෙන්නෙමි”යි ඔහුට කීවේ ය. 11 එවිට ලෙවීවරයා ඇතුළු වී මීකා සමඟ වාසය කරන්නට සතුටු විය. ඔහු වනාහි මීකාට තමාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු මෙන් විය. 12 මීකා ඒ ලෙවීවරයා පූජකයා වශයෙන් පත් කෙළේ ය. ලෙවීවරයා ඔහුගේ ගෙයි විසී ය. 13 මීකා කතා කරමින්, ”ලෙවීවරයෙකු මට පූජකකමට සිටින නිසා සමිඳාණන් වහන්සේ මට යහපත කරන සේකැ යි දැන් දනිමි”යි කී ය.
– 18 වන පරිච්ඡේදය –
දාන්වරු ලායිෂ්හි ඔත්තු බැලීම
1 ඒ කාලයේ ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. තවද, ඒ දවස්වල දී දාන් ගෝත්‍රය තමන්ට වාසය කිරීම පිණිස ප්‍රදේශයක් සෙව්වෝ ය. එසේ කෙළේ, ඒ දවසේ ඒ වන තෙක් ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී නොතිබුණ නිසා ය. 2 දාන් වැසියෝ දේශයෙහි ඔත්තු බලන පිණිස, තමන්ගේ සියලු සෙනඟ අතරෙන් තමන්ගේ ම පෙළපෙත් වික්‍රමාන්විත මිනිසුන් පස්දෙනෙකු තෝරාගෙන, ශොරා ද එෂ්තායොල් ද සිට යවමින්, ”ඔබ ගොස් දේශයෙහි ඔත්තු බලන්නැ”යි ඔවුන්ට කීවෝ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝ ය. 3 ඔව්හු මීකාගේ නිවෙස ළඟ සිටිය දී, ලෙවීවරයා වන තරුණයාගේ කටහඬ ඇඳින, එහි ගොස් ඔහුට කතා කොට, ”ඔබ මෙහි ගෙනාවේ කවරෙක් ද? මෙතැන ඔබ කරන්නේ කුමක් ද? මෙහි ඔබේ වගකීම කුමක් දැ”යි ඇසුවෝ ය.
4 ”මීකා මට මේ මේ දේ කර ඇත. මා ඔහුගේ පූජකයා ව සිටින පිණිස ඔහු මට වැටුපක් ගෙවන්නේ යැ”යි ඔහු ඔවුන්ට කීවේ ය.
5 ඔව්හු ඔහුට කතා කොට, ”අප යන මේ ගමන සඵල වේ ද කියා අප දැනගන්න පිණිස දෙවියන් වහන්සේගෙන් විමසන්නැ”යි කී හ.
6 ”ශාන්ති සිතින් යන්න. ඔබ යන ගමන සමිඳාණන් වහන්සේගේ ආරක්ෂාව යටතේ තිබේ යැ”යි පූජකයා ඔවුන්ට කීවේ ය.
7 එවිට ඒ පස්දෙනා පිටත් ව ගොස්, ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනඟ ආරක්ෂා සහිත ව, සීදොන් වැසියන් හා සමාන ව සාමකාමී ව ද නිශ්චල ව ද වාසය කරන බව දුටුවෝ ය. ඔවුන්ට කිසි අගහිඟයක් තිබුණේ නැත. ඔව්හු සීදොන්වරුන්ගෙන් ඈත් ව වාසය කළහ. අරමීයයන් සමඟ ඔවුන්ට කිසි ගනුදෙනුවක් නො වී ය. 8 ඉන්පසු ඔව්හු ශොරාහි ද එෂ්තායොල්හි ද සිටි තමන්ගේ සහෝදරයන් වෙත පෙරළා ආවෝ ය. ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ට කතා කොට, ”ඔබ සොයාගත් තොරතුරු මොනවා දැ”යි ඇසුවෝ ය. 9 ඔව්හු පිළිතුරු දෙමින්, ”අපි පිටත් වී ගොස් ඔවුන්ට පහර දෙමු. මන්ද, ඒ රට ඉතා යහපත් බව අපි දුටිමු. කිසිත් නොකර මෙහි සිටින්නේ මන් ද? ඒ රටට ඇතුළු වී එය හිමි කරගන්න පිණිස යන්නට මැළි නොවන්න. 10 ඔබ ගිය විට, ආරක්ෂා රහිත සෙනඟක් කරා ඔබ පැමිණෙන්නහු ය. ඒ රට විශාල ය. දෙවියන් වහන්සේ ඔබ අතට ඒ රට දී තිබේ. එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයකැ”යි කී හ.
මීකාගේ දේව රූප සොරා ගැනීම
11 එවිට එතැනින් දාන්ගේ පෙළපතේ සෙනඟ හයසියයක් සන්නාහ සන්නද්ධ ව ශොරා ද එෂ්තායොල් ද සිට පිටත් ව ගියෝ ය. 12 ඔව්හු ජුදයේ තිබෙන කිරියත්-ජෙයාරීම්හි කඳවුරු බැඳගත්තෝ ය. ඒ නිසා ඒ ස්ථානයට අද දක්වා දාන්ගේ කඳවුර යන අර්ථය ඇති මහනේ-දාන් ය යි කියති. එය පිහිටා තිබෙන්නේ කිරියත්-ජෙයාරීම්ට බටහිරෙන් ය. 13 ඔව්හු එතැනින් එප්‍රායිම් කඳු රටට ගොස් මීකාගේ නිවෙස ළඟට පැමිණියෝ ය.
14 එවිට ලායිෂ් රටට ඔත්තු බලන්න ගිය පස්දෙනා තමන්ගේ සහෝදරයන්ට කතා කොට, ”මේ ගෙවල ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද තිබෙන බව ඔබ දන්නහු ද? ඉතින් දැන් ඔබ කළ යුතු දේ කල්පනා කරන්නැ”යි කී හ. 15 එබැවින් ඔව්හු හැරී ගොස්, තරුණ ලෙවීවරයා සිටි මීකාගේ නිවෙසට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝ ය. 16 සන්නාහ සන්නද්ධ ව සිටි දාන්වරුන් වන ඒ මිනිස්සු හයසියදෙනා දොරකඩ ළඟ සිටියෝ ය. 17 රටේ ඔත්තු බලන පිණිස ගිය පස්දෙනා නැඟී ගොස් නිවෙසට ඇතුළු ව කැපූ රූපය ද ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු පිළිමය ද ගත්තෝ ය. පූජකයා සහ සන්නාහ සන්නද්ධ හයසියදෙනා දොරකඩ ළඟ සිටියෝ ය.
18 ඔවුන් මීකාගේ ගෙට ඇතුළු ව කැපූ රූපය ද ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු පිළිමය ද පිටතට ගෙනා විට, පූජකයා, ”ඔබ කුමක් කරන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
19 ඔව්හු පිළිතුරු දෙමින්, ”නිශ්ශබ්ද ව අතින් කට වසාගෙන අප සමඟ ගොස්, අපට පියෙකු ද පූජකයෙකු ද වන්න. එක මිනිසෙකුගේ පවුලකට පූජකයෙකු වීමට වඩා ඉශ්රායෙල් ගෝත්‍රයකටත්, පෙළපතකටත් පූජකයෙකු වීම හොඳ නොවේ දැ”යි ඇසූ හ. 20 එවිට පූජකයාගේ සිත සතුටු ව ඔහු ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු රූපය ද රැගෙන සෙනඟ අතරට ගියේ ය.
21 මෙසේ ඔව්හු ආපසු හැරී බාලයන් ද ගවමහිෂයන් ද බඩු ද පෙරටු කොටගෙන ගියෝ ය. 22 ඔවුන් මීකාගේ නිවෙසින් ඈතට ගිය කල, මීකාගේ නිවෙස අසල නිවෙස්වල මිනිස්සු එක්රැස් ව දාන්වරුන් පසුපස ගොස්, ඔවුන්ට ළං ව මොරගැසුවෝ ය. 23 ඔව්හු හැරී බලා, ”මිනිසුන් රැස් කර ගෙන එන්නට ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ”යි මීකාගෙන් ඇසූහ.
24 ඔහු පිළිතුරු දෙමින්, ”මා සෑදු දේවතාවන් ද මාගේ පූජකයා ද ඔබ ගෙන යන්නහු ය. මට තවත් ඉතිරි ව තිබෙන්නේ කිමෙක් ද? ‘ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ’යි ඔබ මාගෙන් අසන්නේ කෙසේ දැ”යි ඇසී ය.
25 දාන්වරු ඔහුට පිළිතුරු දෙමින්, ”තවත් කතා නොකරන්න, කතා කළොත්, රෞද්‍ර මිනිසුන් ඔබ වෙත එන්නට පුළුවන. එවිට ඔබේ ජීවිතය ද ඔබේ ගෙයි වැසියන්ගේ ජීවිත ද හානි වනු ඇතැ”යි කියා යන්නට ගියෝ ය. 26 ඔවුන් තමාට වඩා බලවත් බව මීකා දැක ආපසු හැරී තමාගේ ගෙදරට ගියේ ය.
ලායිෂ් නගරයේ විනාශය
27 ඔව්හු මීකා සාදා තිබුණු දේ රැගෙන, ඔහු සමඟ සිටි පූජකයා කැටුව ගොස්, සාමකාමී ව ද සුරක්ෂිත ව ද සිටි ලායිෂ්හි සෙනඟ වෙත පැමිණ, කඩුවෙන් ඔවුන්ට පහර දී නුවර ගිනි ලෑවෝ ය. 28 ඒ නුවර සීදොන් නුවරින් ඈත් ව තිබුණ නිසා ද කිසිවෙකු සමඟ ඔවුන්ගේ ගනුදෙනුවක් නොවූ නිසා ද ඔවුන් ගළවන්නට කිසිවෙක් නො වූ හ. ඒ නුවර බෙත්-රෙහොබ්හි පිහිටි මිටියාවතේ තිබුණේ ය. ඔව්හු ඒ නුවර ගොඩනඟා එහි වාසය කළෝ ය. 29 ඉශ්රායෙල්ට දාව උපන් තමන්ගේ පියා වූ දාන්ගේ නාමය අනුව ඔව්හු ඒ නගරයට දාන් යන නාමය තැබුවෝ ය. කලින් ඒ නගරයේ නම ලායිෂ් ය. 30 දාන්වරු වාත්තු රූපය පිහිටුවා ගත්තෝ ය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ජොනාතන් ද ඔහුගේ පුත්‍රයෝ ද රට වැසියන් වහල්කමට ගෙනයනු ලැබූ දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝ ය. 31 මීකා විසින් සාදන ලද වාත්තු රූපය ඔව්හු පිහිටුවාගත්හ. දෙවියන් වහන්සේගේ මණ්ඩපය ෂිලෝහි තිබුණ තාක් කල් එය එහි තිබුණේ ය.
– 19 වන පරිච්ඡේදය –
ගිබියා වැසියන්ගේ දුෂ්ටකම්
1 ඉශ්රායෙල්හි රජ කෙනෙකු නොසිටි කාලයේ දී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ ලෙවීවරයෙක් වාසය කෙළේ ය. ඔහු ජුදයේ බෙත්ලෙහෙමෙන් උපභාර්යාවක සරණ පාවාගත්තේ ය. 2 ඔහුගේ උපභාර්යාව ඔහුට විරුද්ධ ව වේශ්‍යාකම් කොට, ඔහු අත්හැර ජුදයේ බෙත්ලෙහෙමේ ඇගේ පියාගේ ගෙදරට ගොස් එහි හාර මාසයක් සිටියා ය. 3 ඇගේ පුරුෂයා කරුණාවෙන් කතා කර ඈ නැවත ගෙනෙනු පිණිස තම වැඩකාරයා ද කොටළුවන් දෙදෙනෙකු ද සමඟ ඈ කරා ගියේ ය. ඈ තමාගේ පියාගේ ගෙදරට ඔහු කැඳවාගෙන ආවා ය. තරුණියගේ පියා ඔහු දුටු විට ඔහු හමුවීමට ප්‍රීතියෙන් ආවේ ය. 4 ඔහුගේ මාමා වන තරුණියගේ පියා ඔහු නවත්වා ගත්තේ ය. ඔහු තුන් දවසක් ඔහු සමඟ විසී ය. එලෙස ඔව්හු කමින් බොමින් එහි නැවතී සිටියෝ ය. 5 සතර වන දින අලුයම ඔහු නැඟිට පිටත් වී යන්නට සූදානම් විය. තරුණියගේ පියා කතා කොට, ”කෑම ටිකක් කා ඔබේ සිත සනසාගෙන පසුව ඔබට යන්නට පුළුවනැ”යි තම බෑණාට කීවේ ය.
6 මෙසේ ඔව්හු දෙදෙන හිඳගෙන එක් ව ආහාර පාන ගත්හ. තවද, තරුණියගේ පියා ඒ මිනිසාට කතා කොට, ”අනේ, අද රාත්‍රියේත් කරුණාකර නවතින්න; එසේ නැවතී සොම්නස් වන්නැ”යි ඒ මිනිසාට කීවේ ය.
7 ඒ මිනිසා යන්නට සැරසුණු විට, ඔහුගේ මාමා පෙරැත්ත කෙළෙන් ඔහු නැවතුණේ ය. 8 පස් වන දා අලුයම ඔහු යන්නට සැරසුණ විට, තරුණියගේ පියා ඔහුට කතා කොට, ”අනේ ඔබේ සිත සනසාගන්න, සවස් වන තෙක් නවතින්නැ”යි කීවේ ය. එබැවින් ඔව්හු දෙදෙන කෑම කෑහ.
9 ඒ මිනිසා ද ඔහුගේ උපභාර්යාව ද වැඩකාරයා ද යන්නට සැරසුණ විට ඔහුගේ මාමා වන තරුණියගේ පියා ඔහුට කතා කොට, ”දැන් සවස් වේගෙන එයි. අනේ, රාත්‍රියේ නැවතී සිටින්න. ඉර බැස යන්නට ළඟ ය. රාත්‍රියේ මෙහි සිට ඔබේ සිත සතුටු කරගෙන හෙට ඔබේ ගමනට වේලාසනින් නැඟිට ගෙදර යන්නට පිටත් වන්නැ”යි කීවේ ය.
10 එහෙත්, ඒ මිනිසා ඒ රාත්‍රියේ නවතින්නට නොකැමැති ව නැඟිට, සෑදල දැමූ කොටළුවන් දෙදෙනෙකු ද තමාගේ උපභාර්යාව ද රැගෙන ගොස්, ජෙබූස්, එනම්, ජෙරුසලම ඉදිරිපිටට පැමිණියේ ය. 11 ඔවුන් ජෙබූස් නගරයට ළං වන විට බොහෝ සවස් වී තිබුණේ ය. එවිට වැඩකාරයා, ”අපි ගොස් ජෙබුසිවරුන්ගේ මේ නගරයට ඇතුළු වී එහි නවාතැන් ගනිමු”යි තමාගේ ස්වාමියාට කී ය.
12 ඔහුගේ ස්වාමියා පිළිතුරු දෙමින්, ”ඉශ්රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරකට නොගොස් ගිබියාවට යමු”යි ඔහුට කීවේ ය. 13 තවද, ඔහු කතා කොට, ”ගිබියාවෙහි හෝ රාමාහි හෝ නවතින පිණිස ඒ ස්ථානවලින් එකකට ළඟා වමු”යි තමාගේ වැඩ-කාරයාට කීවේ ය. 14 මෙසේ ඔව්හු තවදුරටත් ගමන් කොට, බෙන්ජමින්ට අයිති ගිබියා පෙදෙසට ළඟා වන විට ඉර බැස ගියේ ය. 15 ඔව්හු ගිබියාවෙහි නවාතැන් ගන්න පිණිස ඒ දෙසට හැරී ගියෝ ය. ලෙවීවරයා ඇතුළු වී නුවර වීදියේ හිඳගත්තේ ය. මන්ද, කිසිවෙක් නවාතැන් දීමට ඔවුන් ගෙදරට කැඳවා නොගත්හ.
16 ඒ වේලේ මහලු මිනිසෙක් කෙතේ වැඩ කර සවස් වූයෙන් ආවේ ය. ඒ මිනිසා කඳු රටේ මිනිසෙකි. ඔහු ගිබියාවෙහි වාසය කෙළේ ය. එහෙත්, එහි වැසියෝ බෙන්ජමින්වරු ය. 17 ඒ මහල්ලා තම හිස ඔසවා නුවර වීදියේ හුන් ඒ මඟියා දැක, ”ඔබ කොතැනට යන්නෙහි ද? කොතැන සිට එන්නෙහි දැ”යි ඇසී ය.
18 ඔහු පිළිතුරු දෙමින්, ”අපි ජුදයේ බෙත්ලෙහෙමේ සිට එප්‍රායිම්හි කඳු රටෙහි එහා කෙළවරට යමු. මම එහි වැසියෙක්මි. මම ජුදයේ බෙත්ලෙහෙමට ගියෙමි. මම දැන් ගෙදර යමි. කිසිවෙකු මට මෙහි දී නවාතැන් දෙන්නේ නැත. 19 අපේ කොටළුවන්ට පිදුරුත්, කෑමත් තිබේ. මට සහ මාගේ උපභාර්යාවට ද මාගේ වැඩකාරයාට ද රොටිත්, මුද්‍රික පානයත් තිබේ. කිසි දෙයකින් අපට අඩුපාඩුවක් නැතැ”යි ඔහුට කීවේ ය.
20 මහලු මිනිසා කතා කරමින්, ”මාගේ ගෙදරට මම ඔබ පිළිගනිමි. ඔබේ සියලු ඕනෑකම් මම සපයා දෙමි. වීදියේ නම් නොසිටින්නැ”යි ඔහුට කීවේ ය. 21 එවිට ඒ මහලු මිනිසා ඔවුන් තමාගේ ගෙදරට කැඳවාගෙන ගොස්, කොටළුවන්ට කන්නට දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ පාද සෝදාගෙන ආහාර පාන අනුභව කළහ.
22 ඔවුන් සතුටින් කල් යවන අතර, ඒ නගරයේ දුර්ජනයන් ව සිටි සමහර මිනිස්සු ඒ ගෙදර වට කර සිට, දොරට ගසමින්, ගෘහ මූලිකයා වන මහලු මිනිසාට කතා කොට, ”ඔබේ ගෙදරට පැමිණ සිටින මිනිසා සමඟ කම් සැප විඳින්නට ඔහු පිටතට ගෙනෙන්නැ”යි කීවෝ ය.
23 එවිට ගෘහ මූලිකයා වන මහලු මිනිසා පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, ”අනේ සහෝදරයෙනි, එසේ නොවේ වා! එපමණ දූෂ්‍යකම් නොකරන්න. ඒ මිනිසා මාගේ ගෙට පැමිණ සිටිය දී ඔය නින්දිතකම් නොකරන්න. 24 මෙන්න, මෙහි මාගේ කන්‍යා දුවත්, ඒ මිනිසාගේ උපභාර්යාවත් සිටිති, මම දැන් ඔවුන් පිටතට ගෙනෙමි. ඔවුන් වසඟ කරගෙන ඔබ කැමැති දෙයක් ඔවුන්ට කරන්න. එහෙත්, මේ මිනිසාට ඒ නින්දිතකම නොකරන්නැ”යි කීවේ ය. 25 එහෙත්, ඒ මිනිස්සු ඔහුට ඇහුම්කන් නුදුන්නෝ ය. එබැවින් ඒ ලෙවීවරයා ඔහුගේ උපභාර්යාව අල්ලාගෙන ඔවුන් වෙත පැමිණෙවුවේ ය. ඔව්හු ඈ සමඟ බලහත්කාරයෙන් එක් වී අලුයම දක්වා මුළු රාත්‍රියේ ම ඈ දූෂණය කොට, පහන් වන විට ඈ යන්නට හැරියෝ ය.
26 එවිට ඒ ස්ත්‍රිය අලුයම් වේලේ අවුත්, ඇගේ ස්වාමියා සිටි ඒ මිනිසාගේ ගෙයි දොරකඩ වැටී එළි වන තෙක් සිටියා ය. 27 ඇගේ ස්වාමියා අලුයම නැඟිට ගෙයි දොරවල් ඇර තමාගේ ගමන යන්නට එළියට ගියේ ය. එවිට ඔහුගේ උපභාර්යාව වන ස්ත්‍රිය ගෙයි දොරකඩ වැටී සිටියා ය. ඇගේ අත් එළිපත්ත උඩ තිබුණේ ය. 28 ඔහු ඈට කතා කොට, ”නැඟිටින්න, අපි යමු”යි කී ය. එහෙත්, උත්තරයක් ලැබුණේ නැත. එවිට ඔහු ඈ ඔසවා කොටළුවා පිට තබාගෙන, සිය නිවෙස බලා ගියේ ය. 29 ඔහු තමාගේ නිවෙසට පැමිණි කල පිහියක් ගෙන, තමාගේ උපභාර්යාවගේ සිරුර ඇට සමඟ කොටස් දොළොසකට කපා, ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට යැව්වේ ය. 30 ඒ දුටු සියල්ලෝ, ”ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ දා පටන් අද දක්වා මෙබඳු දෙයක් සිදු වුණේ වත්, දකින්නට ලැබුණේ වත් නැත. මේ ගැන සිතට ගෙන, සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන්නැ”යි කීවෝ ය.
– 20 වන පරිච්ඡේදය –
ඉශ්රායෙල්වරුන් යුද්ධයට සැරසීම
1 එවිට දාන් සිට බෙයර්-ෂෙබා දක්වා ද ගිලියද් දේශයේ ද සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ පිටත් ව අවුත් එක් කෙනෙකු මෙන් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පාහි රැස් වුණාහ. 2 දෙවියන් වහන්සේගේ සෙනඟගේ මේ රැස්වීමට ඉශ්රායෙල්හි සියලු ගෝත්‍රවල ප්‍රධානීහු පැමිණ සිටියහ. කඩු රැගත් පාබල සේනාව හාරලක්ෂයක් වූ හ. 3 ඉශ්රායෙල්වරුන් මිශ්පාට ගිය බව බෙන්ජමින්වරුන්ට සැළ විය. ”මේ දුෂ්ටකම සිදු වුණේ කෙසේ ද කියා කියන්නැ”යි ඉශ්රායෙල්වරු ඇසුවෝ ය.
4 එවිට මරනු ලැබූ ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා වන ලෙවීවරයා උත්තර දෙමින්, ”මාගේ උපභාර්යාවත්, මමත් නවාතැන් ගන්නට බෙන්ජමින්වරුන්ට අයිති ගිබියාවට පැමිණියෙමු. 5 එවිට ගිබියා වැසියෝ මට විරුද්ධ ව පැමිණ, මා සිටි නිවෙස රාත්‍රියේ වටලාගත්තෝ ය. ඔව්හු මා මරන්නට සිතුවෝ ය. එහෙත්, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලහත්කාරකම් කළෝ ය. 6 එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුර ගෙන, එය කොටස්වලට කපා, ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියෙමි. එසේ කෙළේ, ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකමක් ද නින්දිතකමක් ද කළ බැවිනි. 7 ඉශ්රායෙල් ජනයෙනි, ඔබ සියලු දෙනා මෙහි රැස් ව සිටින්නහු ය. මේ කාරණා ගැන සාකච්ඡා කර, දැන් ම මෙහි දී තීරණයක් ගන්නැ”යි කීවේ ය.
8 එවිට මුළු සෙනඟ එකා මෙන් නැඟිට, කතා කොට, ”අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේ ය. කිසිවෙක් තමාගේ ගෙදරට නොයන්නේ ය. 9 අප දැන් ගිබියාවට කරන දෙය මෙය යි. අපි පස ඇට දමා ගිබියාවට පහර දෙන සෙනඟ තෝරා ගනිමු. 10 සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිනිසුන් සියයකින් දසදෙනෙකු ද දහසකින් සියයක් ද දසදහසකින් දහසක් ද බැගින් තෝරා ගනිමු. ඔව්හු බෙන්ජමින්ට අයිති මිනිසුන් විසින් ඉශ්රායෙල්හි කරන ලද නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට පහර දෙන්නට යන හමුදාවට කෑම ගෙනෙන්නෝ ය”යි කී හ. 11 එකී ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍ර එකා මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධ ව රැස් වූවෝ ය.
12 ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ බෙන්ජමින් ගෝත්‍රයේ සෑම තැන්වලට පණිවුඩකාරයන් යවමින්, ”ඔබ අතරේ කර තිබෙන මේ දුෂ්ටකම කුමක් ද? 13 ඉතින් අප ගිබියාවෙහි සිටින ඒ දුර්ජනයන් මරා, ඉශ්රායෙල්වරුන් කෙරෙන් නපුර පහකර දමන පිණිස, ඔවුන් අපට පාවා දෙන්නැ”යි කීවෝ ය. එහෙත්, බෙන්ජමින්වරු තමන්ගේ සහෝදර ඉශ්රායෙල්වරුන්ගේ හඬට සවන් දෙන්නට කැමැති නො වූ හ. 14 බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන පිණිස නගරවලින් පිටත් ව ගිබියාවට එක්රැස් වූ හ. 15 ගිබියාවෙහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත්සියයක් හැර, නගරවලින් රැස් වූ කඩු රැගත් බෙන්ජමින්වරු විසිහයදහසක් ඒ දවසේ දී ගණන් කරනු ලැබූ හ. 16 මේ මුළු සෙනඟ අතර තෝරාගත් වමත හුරු මිනිස්සු සත්සියයක් වූ හ. ඔව්හු සියල්ලෝ ම කෙස් ගසක් පමණ වත් නොවරදා ගල් පටියකින් ගල් විදින්නට දක්ෂ අය ය. 17 බෙන්ජමින්වරුන් හැර, කඩු රැගත් ඉශ්රායෙල්වරු සාරලක්ෂයක් ගණන් කරනු ලැබූ හ. ඔව්හු පලපුරුදු යුද්ධ භටයෝ ය.
බෙන්ජමින්වරුන්ට විරුද්ධ සටන
18 ඉශ්රායෙල් සෙනඟ පිටත් ව බෙතෙල්ට ගොස්, ”බෙන්ජමින් සෙනඟට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපෙන් පළමුවෙන් යා යුත්තෝ කවුරු දැ”යි දෙවියන් වහන්සේගෙන් විචාළෝ ය. ”ජුදාවරුන් පළමු ව යා යුතු ය”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.
19 ඉශ්රායෙල් සෙනඟ උදේ නැඟිට ගිබියා ඉදිරිපිට කඳවුරු බැඳගත්තෝ ය. 20 ඉශ්රායෙල් සෙනඟ බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව යුද්ධයට ගොස්, ගිබියා ළඟ ඔවුන්ට විරුද්ධ ව සටන සඳහා පිළිවෙළින් සැරසී සිටියෝ ය. 21 එවිට බෙන්ජමින්වරු ගිබියාවෙන් පිටත් ව අවුත්, ඒ දවසේ ඉශ්රායෙල්වරුන්ගේ මිනිසුන් විසිදෙදහසක් විනාශ කර, බිම හෙළා දැමුවෝ ය. 22 ඉශ්රායෙල්වරු ධෛර්ය වඩා, තමන් පළමු වන දවසෙහි පිළිවෙළින් සිටි ස්ථානයෙහි යළිත් යුද්ධය පිණිස සැරසී සිටියෝ ය. 23 තවද, ඉශ්රායෙල්වරු ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සවස් වන තෙක් හඬා, ”අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවත සටනට යා යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. ”ඔවුන්ට විරුද්ධ ව යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.
24 ඉශ්රායෙල් සෙනඟ දෙ වන දින බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව ඔවුන්ට ළඟා වූ හ. 25 එවිට බෙන්ජමින්වරු දෙ වන දා ඔවුන්ට විරුද්ධ ව ගිබියාවෙන් පිටතට අවුත්, යළිත් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් දහඅටදහසක් විනාශ කර බිම හෙළුවෝ ය. මේ සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ. 26 එකල සියලු ඉශ්රායෙල්වරු ද සකල ජනයා ද ගොස් බෙතෙල්ට පැමිණ, එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හඬමින් සිට, එදා සවස් වන තෙක් නිරාහාර ව සිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සහභාගිකමේ පූජා ද දවන යාග පූජා ද ඔප්පු කළෝ ය. 27 ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව බෙතෙල්හි තිබුණ බැවින් ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූ හ. 28 ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ඒ දවස්වල දී ඒ ගිවිසුම් කරඬුව භාර ව සිටියේ ය. ඉශ්රායෙල්වරු කතා කොට, ”අප සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවතත් යුද්ධයට යා යුතු ද නැතහොත් නතර විය යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”යන්න, මන්ද, හෙට ඔවුන් නුඹලා අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක.
29 ඉශ්රායෙල්වරු ද ගිබියාව වටකර මිනිසුන් සඟවා තැබුවෝ ය.
30 තුන් වන දා ඉශ්රායෙල්වරු බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව ගොස්, වෙන වතාවල දී මෙන් ගිබියාව ළඟ සැරසී සිටගත්හ. 31 බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටතට අවුත්, නුවරින් ඈත් වී, වෙන වතාවල දී මෙන් සෙනඟට පහර දෙන්නට පටන්ගෙන බෙතෙල්ටත්, ගිබියාවටත් යන මාර්ග දෙකේ දී ඉශ්රායෙල් මිනිසුන් තිස්දෙනෙකු පමණ මැරූ හ. 32 ”පළමු වන වතාවේ දී මෙන් ඔවුන් අප ඉදිරියෙහි පරාජය වනු ඇතැ”යි බෙන්ජමින්වරු කී හ. එහෙත් ඉශ්රායෙල්වරු, ”අපි පලා ගොස් ඔවුන් නුවරින් ඈත් කොට, මාවත්වලට පමුණුවා ගනිමු”යි කීවෝ ය. 33 එවිට සියලු ඉශ්රායෙල්වරු තමන් සිටි තැනින් නැඟිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිට ගත්තෝ ය. සැඟවී බලා සිටි ඉශ්රායෙල්වරු ද තමන්ගේ ස්ථානය වූ ගිබියාවෙහි පිට්ටනියෙන් නික්ම ආවෝ ය. 34 සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් දසදහසක් ගිබියාව ඉදිරිපිටට ආහ. සටන ඉතා බලවත් විය. එහෙත්, බෙන්ජමින්වරු ඔවුන්ට විපත්තිය ආසන්න ව තිබුණු බව නොදැන සිටියහ. 35 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි බෙන්ජමින්වරුන් පරාජය කරවූ සේක. ඉශ්රායෙල් සෙනඟ ඒ දවසේ දී බෙන්ජමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දහස් එකසියයක් විනාශ කළෝ ය. මේ සියලු දෙනා කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ.
ඉශ්රායෙල්වරුන් ජයගත් ආකාරය
36 තමන් පරාජය වන බව බෙන්ජමින්වරුන්ට පෙනී ගියේ ය. ඉශ්රායෙල්වරු වනාහි තමන් ගිබියාවෙහි සඟවා තැබූ මිනිසුන් කෙරෙහි විශ්වාස කළ බැවින්, බෙන්ජමින්වරුන් ඉදිරියෙන් පසු බැස ගියහ. 37 සැඟවී සිටි මිනිස්සු ද ඉක්මනින් ගිබියාවට විරුද්ධ ව වේගයෙන් පැතිර ගොස් මුළු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. 38 ඉශ්රායෙල්වරුන් ද සැඟවී සිටි අය ද අතර නියම කර තිබුණ ලකුණ නම්, නුවරින් මහත් දුම් කඳක් නැංවීම ය. 39 එය දුටු විට ඉශ්රායෙල්වරු සටනේ දී ආපසු හැරුණෝ ය. බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට පහර දෙන්නට පටන්ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනෙකු පමණ මරා, ”පළමු වන සටනේ දී මෙන් ම ඔවුන් සත්තකින් අපට පරාජය වනු ඇතැ”යි කීවෝ ය. 40 එහෙත්, ලකුණක් වන ඒ දුම් කඳ නගරයෙන් පටන් ගත්තේ ය. බෙන්ජමින්වරු ආපසු හැරී බැලූ කල නගරයේ හැම තැනින් ම දුම් අහසට නඟිනු දුටුවෝ ය. 41 ඉශ්රායෙල් සෙනඟ ද ආපසු හැරුණෝ ය. එවිට බෙන්ජමින්වරු විපත්තිය තමන් පිට පැමිණ තිබෙන බව දැක කැළඹී, 42 ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් කාන්තාරයට යන මාර්ගයේ හැරී ගියෝ ය. එහෙත්, සටන ඔවුන් පසුපස්සේ බලවත් ව පැවතුණේ ය. නගරවලින් පිටතට ආ තැනැත්තෝ මැදි ව සිටි අය විනාශ කළෝ ය. 43 ඔව්හු බෙන්ජමින්වරුන් හැම අතින් ම වට කරගෙන නැගෙනහිර ගිබියාවට පැමිණෙන තුරු ඔවුන් ලුහුබැඳ ගොස්, ඔවුන් නතරවුණ තැනේ දී ඔවුන් පාගා දැමුවෝ ය. 44 මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් මිනිස්සු දහඅටදහසක් මැරුම්කෑහ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ.
45 සෙසු අය කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝ ය. ඔවුන්ගෙන් පන්දහසක් මාවත්වල දී මරනු ලැබූ හ. ඉශ්රායෙල්වරු සෙසු අය ගිදොම් දක්වා ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් දෙදහසක්දෙනා මැරුවෝ ය. 46 මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් ඒ දවසේ දී මැරුම්කෑ, කඩු හරඹෙහි දක්ෂ මනුෂ්‍යයෝ විසිපන්දහසක් වූ හ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ. 47 එහෙත්, මිනිස්සු හයසියයක් හැරී කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගොස්, රිම්මොන් පර්වතයේ හාර මාසයක් සිටියෝ ය. 48 ඉශ්රායෙල්වරු නැවත බෙන්ජමින්වරුන් වෙත අවුත්, නගරයේ මිනිසුන්ට ද සතුන්ට ද තමන්ට සම්බ වූ සියල්ලන්ට ද කඩුවෙන් පහර දුන්නෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ සියලු නගර ගිනි ලෑවෝ ය.
– 21 වන පරිච්ඡේදය –
බෙන්ජමින්වරුන්ට භාර්යාවන් සපයා දීම
1 ”අපෙන් කිසිවෙක් තමාගේ දුවක බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසෙකුට භාර්යාව වශයෙන් නොදෙන්නේ ය”යි ඉශ්රායෙල් සෙනඟ මිශ්පාහි දී දිවුරා තිබුණේ ය. 2 සෙනඟ බෙතෙල්ට පැමිණ එහි සවස් වන තෙක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි හිඳ, මහත් ශෝකයකින් ශබ්ද නඟා ඇඬුවෝ ය. 3 ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, අද ඉශ්රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් අඩු වී යන හැටියට මේ දේ ඉශ්රායෙල්හි සිදු වුණේ කුමක් නිසා දැ”යි ඔව්හු ඇසුවෝ ය.
4 පසු දා සෙනඟ අලුයම නැඟිට පූජාසනයක් ගොඩනඟා දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කළෝ ය. 5 ඉශ්රායෙල් සෙනඟ කතා කොට, ”සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේ රැස්වීමට නොපැමිණි අය කවුරු දැ”යි ඇසූ හ. ඔවුන් එසේ ඇසුවේ, මිශ්පාහි සමිඳාණන් වහන්සේ වෙත නොයන අය මැරිය යුතු ම ය කියා ඔවුන් තදබල දිවුරුමක් කළ බැවිනි. 6 ඉශ්රායෙල්වරු තමන්ගේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන් ගැන අනුකම්පා කර, ”මේ දවසේ දී ඉශ්රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් නැති වී ඇත. 7 ඔවුන්ගෙන් ඉතිරි ව සිටින්නන්ට භාර්යාවන් ලැබෙන පිණිස අපි කුමක් කරමු ද? අපේ දූවරුන් ඔවුන්ට භාර්යාවන් වශයෙන් නොදෙන හැටියට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අපි දිවුළෙමු”යි කීවෝ ය.
8 තවදුරටත් ඔව්හු කතා කරමින්, ”ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිශ්පාහි සමිඳාණන් වහන්සේ ඉදිරියට නොපැමිණියේ කවුරු දැ”යි ඇසූ හ. ජාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙකු රැස්වීමට සහභාගි වන පිණිස කඳවුරට නොපැමිණි බව දැනගත්තෝ ය. 9 සෙනඟ ගණන් කර බැලූ විට ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කිසිවෙකු වත් එහි නැති බව පෙනී ගියේ ය. 10 එබැවින් එහි රැස් වූ බලසම්පන්න මිනිසුන්ගෙන් දොළොස්දහසක් එතැනට යවමින්, ඔවුන් මරන්නට අණ කරමින්, ”ඔබ හැම ගොස් ස්ත්‍රීන් ද බාලයන් ද ඇතුළු ව ජාබෙෂ්-ගිලියද්හි වැසියන්ට කඩුවෙන් පහර දෙන්න. 11 ඔබ කළ යුතු දේ නම්, සියලු පුරුෂයන් ද පුරුෂයන් සමඟ සේවනයෙහි යෙදුණ සියලු ස්ත්‍රීන් ද මුළුමනින් ම විනාශ කර දැමීම ය”යි කීවෝ ය. 12 පුරුෂයන් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු කන්‍යාවන් හාරසියයක් ජාබෙෂ්-ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්බ වී කානාන් දේශයේ ෂිලෝහි තිබුණු කඳවුරට ඔවුන් ගෙනාවෝ ය.
13 එවිට රිම්මොන් පර්වතයේ බෙන්ජමින්වරුන් සමඟ කතා කොට ඔවුන්ට සාමදානය ප්‍රකාශ කරන පිණිස, ඒ සභාව මිනිසුන් යැව්වා ය. 14 එකල බෙන්ජමින්වරු හැරී ආවෝ ය. ඉශ්රායෙල්වරු ජාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරු කළ කාන්තාවන් ඔවුන්ට දුන්නෝ ය. එහෙත්, කාන්තාවෝ සෑහෙන ගණනක් නොසිටියහ.
15 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි බෙදීමක් ඇති කළ නිසා, සෙනඟ බෙන්ජමින්වරුන් ගැන ශෝක වූ හ. 16 එවිට ප්‍රජා මූලිකයෝ කතා කොට, ”බෙන්ජමින්වරුන් අතර ස්ත්‍රීන් විනාශ කරනු ලැබූ බැවින්, ඉතිරි ව සිටින අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමු ද? 17 ඉශ්රායෙල්වරුන් අතරෙන් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්ජමින් ගෝත්‍රයෙන් ගැළවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතු ය. 18 එහෙත්, අපේ දූවරුන්ගෙන් ඔවුන්ට භාර්යාවන් දෙන්නට බැරි ය. මන්ද, ‘බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසෙකුට භාර්යාවක දෙන තැනැත්තාට සාප වේ වා’යි කියා ඉශ්රායෙල්වරුන් දිවුරා තිබේ ය”යි කීවෝ ය.
19 තවද, ඔව්හු කතා කොට, ”බෙතෙල්ට උතුරෙන් ද බෙතෙල් සිට ෂෙකෙම්ට යන මාවතට නැගෙනහිරෙන් ද ලෙබොනාට දකුණෙන් ද තිබෙන ෂිලෝහි දී අවුරුදු පතා සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පවත්වන්නේ යැ”යි පවසා, 20 බෙන්ජමින්වරුන්ට අණ කරමින් මෙසේ කීවෝ ය; ”ඔබ ගොස් මිදිවතුවල සැඟවී සිට, 21 ෂිලෝහි දූවරුන් නටන්නට පිටතට ආවොත්, ඔබ මිදිවතුවලින් නික්ම අවුත්, එකිනෙකා ෂිලෝහි දූවරුන්ගෙන් තම තමාට භාර්යාවක බැගින් අල්ලාගෙන බෙන්ජමින් රටට යන්න. 22 ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලි කරන්නට පැමිණි විට, අපි ඔවුන්ට කතා කොට, ‘කරුණාවෙන් ඔවුන් අපට දුන මැනව. මන්ද, අපි යුද්ධයේ දී එක එකාට භාර්යාවක ඉතිරි නොකෙළෙමු. ඔබවත් ඔවුන්ට භාර්යාවන් දුන්නේ නැත. ඔබ දුන්නහු නම් වරදකරුවෝ වන්නහු ය’යි කියන්නෙමු.”
23 බෙන්ජමින්වරු එසේ කර, නටන්නට ආ තරුණියන්ගෙන් තමන්ගේ ගණන ලෙස තමන්ට භාර්යාවන් අල්ලාගෙන තමන්ගේ උරුම ප්‍රදේශයට හැරී ගොස්, නගර ගොඩනඟා එහි විසුවෝ ය. 24 එකල ඉශ්රායෙල්වරු සියලු දෙනා තමන්ගේ ගෝත්‍රය ද පවුල ද කරා ගියෝ ය. එතැනින් ඔව්හු එකිනෙකා තම තමාගේ උරුම ප්‍රදේශයට ගියෝ ය.
25 ඒ දවස්වල දී ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. එකිනෙකා තම තමා රිසි දේ කෙළේ ය.
If someone may use the Holy gospel in his daily life what and where ever in the world we are… The Lord our Divine Mercy GOD is also with us without any doubt.
Continuing his mother tone as Sinhalese would be most advantage of their personality, while in this WHOLE rich EUROPE most of real religious knows SINALESE are worthy and most well know people with the LORD our JESUS! For that I have plenty of evidence.
Do not forget,
”Remind yourselves. The Pains and Sufferings Jesus our Lord Bore on the Cross. Try your Best to bear your Pains and Sufferings” through the Gospel!
Love