විලාප ගී

– 1 වන පරිච්ඡේදය –

ජෙරුසලම වැටීම

1 සෙනඟගෙන් පිරී තිබුණ නුවර දැන් පාළු වී තිබෙන හැටි!
ජාතීන් අතර උතුම් වී සිටි ඈ කණවැන්දුමියක මෙන් වී දේශාධිපතිනියක් වූ ඇය දාසියක් වී සිටින හැටි!
2 ඈ රාත්‍රියෙහි අතිශයෙන් වැලපෙයි.
කඳුළු ඇගේ දෙකපොල දිගේ ගලා යයි, ඇගේ පෙම්වතුන් අතර ඇය සනසන්නට කිසිවෙක් නැත.
ඇගේ සියලු මිතුරො‍් ද්‍රෝහිකම් කර, ඇගේ සතුරන් වී සිටිති.
3 පීඩාව නිසා ද අධික දාසකම නිසා ද ජුදා විප්‍රවාසයට ගොස් ඇත.
ඈ විජාතීන් අතර දැන් වාසය කරයි.
එහි ඈ කිසි සහනයක් නොලබයි.
ඈ ලුහුබැඳ ගිය හැම දෙන ඇගේ විපතේ දී ඈ අසු කරගත්හ.
4 මංගල්‍ය රැස්වීමට එන කෙනෙකු නැති බැවින් සියොන් වැසියෝ වැලපෙන්නාහ.
ඇගේ සියලු දොරටු පාළු වී තිබේ.
ඇගේ පූජකයෝ සුසුම්ලති.
ඇගේ කාන්තාවෝ ශෝකයෙන් පෙළෙති.
ඈ බොහෝ සේ දුක් විඳියි.
5 ඇගේ එදිරිකාරයෝ දැන් ඇගේ ස්වාමිවරුන් වී සිටිති.
ඇගේ සතුරෝ සෞභාග්‍යය භුක්ති විඳිති.
එසේ වූයේ, ඇගේ අපරාධ රාශිය නිසා සමිඳාණන් ඈට පීඩා කළ බැවිනි.
පීඩා කරන්නා විසින් පලවා හරිනු ලැබූ ඇගේ දරුවන් ඈ අත්හැර ගොස් ඇත.
6 සියොන් පුරඟනගේ මුළු මහිම‍ශ්‍රීය ඇගෙන් පහ ව ගොස් ඇත.
ඇගේ අධිපතීහු ගොදුරු නැති මුවන්ට සමාන ය.
ලුහුබැඳ එන්නා කෙරෙන් පලා යමින් ඔවුහු බෙලහීන වී සිටිති.
7 ජෙරුසලම ඇගේ පීඩා සහ දුක් දවස්වල දී පෙර කල පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහි කරයි.
ඈට උපකාර කරන්නෙකු නැති ව, ඇගේ සෙනඟ සතුරාගේ අතට අසු වූ විට,
උදව් කරන්න කිසිවෙක් නො වී ය.
සතුරෝ ඈ දෙස බලා, ඇගේ වැටීම ගැන ඈට සරදම් කළෝ ය.
8 ජෙරුසලම බලවත් ලෙස පව් කළ බැවින් ඈ අපිරිසිදු වී සිටින්නී ය.
ඈට ගෞරව කළ සියල්ලෝ ම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළා දකිති.
එසේ ය, ඈ සුසුම් ලා ඇගේ මුහුණ අන් අතකට හරවාගනියි.
9 ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේ ය, තමාගේ ඉරණම ගැන ඈ කිසි දා නොසිතුවා ය.
ඇගේ වැටීම භයංකර ය.
ඈට සැනසිලිකාරයෙක් නැත.
සමිඳුනි, මාගේ දුක බැලුව මැනව.
මන්ද, සතුරා ජය ගෙන ඇත.
10 ඇගේ එදිරිකාරයා සිය අත පාමින්, ඇගේ සියලු වස්තුව පැහැරගෙන ඇත.
සභාවට පිවිසීමට ඔබ තහනම් කළ විදේශීන් ශුද්ධස්ථානයට ඇතුළු වී ඇත.
11 ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති.
පණ රැකගන්න පිණිස ඔව්හු ආහාර වෙනුවට තමන්ගේ වටිනා දේ දුන්නෝ ය.
සමිඳුනි, මා නීච වී සිටින බව බලා මා සැලකුව මැනව.
12 අනේ!
මේ මඟ යන සියල්ලෙනි, නෙත් යොමා බලන්න.
සමිඳුන්ගේ උදහස ඇවිළී ගිය දවසේ දී එතුමාණන් මට පහර දීමේ දී මට ඇති වූ දුක තරම් දුකක් තවත් ඇද් ද?
13 එතුමාණෝ මාගේ ඇටකටු තුළට ඉහළින් ගින්නක් එවූ සේක.
එතුමාණෝ මාගේ පාදවලට දැලක් දැමූ සේක.
මා පහතට හෙළූ සේක.
මා තනිවන්න සලසා, දවස මුළුල්ලේ
බෙලහීනයෙකු ද කළ සේක.
14 මාගේ අපරාධ වියගහක් මෙන් මා පිට බර ව තිබේ.
එතුමාණෝ ම මාගේ ගෙල පිට එය තැබූ සේක.
ඒ නිසා, මාගේ ශක්තිය හීන විය.
විරුද්ධ ව සිටින්න මට බැරි ලෙස සමිඳාණෝ සතුරන් අතට මා පාවා දුන් සේක.
15 මට සිටි මාගේ සියලු බලවත් සෙබළුන් සමිඳාණෝ හෙළාදැමූ සේක.
මාගේ යෞවනයන් වනසන පිණිස එතුමාණෝ මට විරුද්ධ ව සේනාවක් කැඳවූ සේක.
මිදි යන්ත්‍රයක මිදි පොඩි කරන්නාක් මෙන් සමිඳාණෝ ජුදා සෙනඟ පොඩි කරදැමූ සේක.
16 මේ දේවල් නිසා මම හඬමි, මාගේ ඇසින්, එසේ ය, මාගේ ඇසින් කඳුළු ගලා යයි.
මන්ද, මා ප්‍රාණවත් කළ හැකි, මා සැනසිය හැකි කිසිවෙක් ළඟ නැත.
සතුරා ජය ගත් බැවින් මාගේ දරුවෝ අසරණ ව සිටිති.
17 සියොන් ඇගේ දෑත විදහාගෙන සිටියි.
ඈ සනසන්නට එහි කිසිවෙක් නැත.
ජාකොබ් අවට සිටින්නන් ඔහුගේ සතුරන් වන ලෙස සමිඳාණෝ ඔවුන් දස’තින් කැඳෙවු සේක.
ජාතීන් අතර ජෙරුසලම පිළිකුලක් වී ඇත.
18 සමිඳාණෝ දැහැමි ය;
එතුමන්ගේ අණසකට එරෙහි ව කැරලි ගැසුවේ මම ය.
අනේ! සියලු ජාතිනි, සවන් දී මාගේ දුක බලන්න.
මාගේ කන්‍යාවන් ද මාගේ තරුණයන් ද වහල්කමට ගෙන ගොස් ඇත.
19 මාගේ පෙම්වතුන්ට අඬගැසීමි, එහෙත්, ඔව්හු මා රැවටුවෝ ය.
මාගේ පූජකයෝ ද මාගේ නායකයෝ ද තමන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමන්ට කෑම සොයන අතර නුවර තුළ නැසී ගියෝ ය.
20 සමිඳුනි, බැලුව මැනව.
මම විපතට පත් ව සිටිමි.
මාගේ සිත කැළඹී තිබේ.
මාගේ හදවත දෙදරා ගොස් තිබේ.
මම බලවත් ලෙස කැරලි ගැසීමි.
පිටත දී මාගේ දරුවෝ කඩුවෙන් නැසී ගියෝ ය.
ඇතුළත ද මරණය ඇත්තේ ය.
21 මා සුසුම්ලන රඟ ඇසුව මැනව.
මා සනසන්න කිසිවෙක් නැත.
මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝ ය.
ඔබ එය කළ නිසා ඔව්හු සතුටු වෙති.
ඔබ ප්‍රකාශ කළ දවස පැමිණෙව්ව මැනව.
එවිට ඔව්හු ද මා හා සමාන වන්නෝ ය.
22 ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියට පැමිණේ වා!
මාගේ සියලු අපරාධ නිසා ඔබ මට කළාක් මෙන් ඔවුන්ටත් කළ මැනව.
මන්ද, මාගේ සුසුම්ලෑම් බොහෝ ය;
මාගේ සිත ද ක්ලාන්ත වී තිබේ.
මම කලකිරී සිටිමි.

– 2 වන පරිච්ඡේදය –

ජෙරුසලමට දඬුවම් කිරීම

1 සමිඳාණන් සිය උදහසින් සියොන් පුරඟන පිට අඳුර ගෙනා හැටි!
එතුමාණෝ ඉශ්රායෙල්ගේ තේජෝමහිමය ස්වර්ගයෙන් පොළොවට හෙඵෑ සේක.
තමන් උදහස් දවසේ දී සියොන් තමන් පාපුටුව බව සිහි නොකළ සේක.
2 සමිඳාණෝ කිසි අනුකම්පාවක් නැති ව, ජාකොබ්ගේ සියලු නිවෙස් විනාශ කළ සේක.
එතුමාණෝ සිය කෝපයෙන් ජුදා රටේ බලකොටු බිඳ හෙඵෑ සේක.
ඒවා බිමට ම දැමූ සේක.
එතුමාණෝ රාජ්‍යය පිට ද එහි අධිපතීන් පිට ද නින්දාව පැමිණෙවු සේක.
3 එතුමාණෝ නොනිවෙන උදහසින් ඉශ්රායෙල්ගේ බලය සහමුලින් ම සිඳදැමූ සේක.
සතුරන් පැමිණි විට අපට උදව් නුදුන් සේක.
වටකරින් නාස්ති කරන ඇවිලෙන ගින්නක් මෙන් එතුමාණෝ ජාකොබ් දවා ලූ සේක.
4 එතුමාණෝ සතුරෙකු මෙන් තමන් දුන්න තැත් කැවූ සේක.
එදිරිකාරයෙකු මෙන් සිය දකුණ’ත ඔසවා,
ඇසට ප්‍රිය වූ සියල්ලන් නැසූ සේක.
සියොන් පුරඟනගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය දැල්වූ සේක.
5 සමිඳාණෝ සතුරෙකු මෙන් වූ සේක.
ඉශ්රායෙල් නටබුන් ගොඩක් කළ සේක.
එතුමාණෝ ඇගේ සියලු මාලිගා නටබුන් ගොඩක් කොට,
ඇගේ බලකොටු විනාශ කළ සේක.
ජුදා පුරඟන කෙරෙහි ශෝකය දෙගුණ තෙගුණ කළ සේක.
6 එතුමාණෝ තම මණ්ඩපය වත්තක් මෙන් පාළු කරදැමූ සේක.
ස්වකීය රැස්වීම් ස්ථානය විනාශ කළ සේක.
සමිඳාණෝ සියොන්හි මංගල්‍ය සහ සබත් දවස මතක නැති කරවූ සේක.
තම බලවත් කෝපයෙන් රජු සහ පූජකයා ඉවත් කළ සේක.
7 සමිඳාණෝ තමන් පූජාසනය ප්‍රතික්ෂේප කළ සේක.
තමන් ශුද්ධස්ථානය අත්හැරදැමූ සේක.
ඇගේ මාලිගාවල පවුරු සතුරා අතට පවරා දුන් සේක.
මංගල්‍ය දවසක දී මෙන් සමිඳාණන්ගේ මාලිගාවෙහි ඔව්හු ඝෝෂා කළෝ ය.
8 සමිඳාණෝ සියොන් පුරඟනගේ පවුර නාස්ති කරන්න අදහස් කළ සේක.
ලණුවක් ඇද එය මැන්න සේක.
එය සහමුලින් ම කඩාදමන තුරු සිය’ත ඉවත් නොකළ සේක.
එතුමාණෝ එහි කොටු -තාප්පය සහ පවුර පිට වැලපීම ඇති කළ සේක.
ඒවා එකට ගරා වැටී ඇත.
9 ඇගේ දොරටු පොළොවට කිඳා බැස ඇත.
එතුමාණෝ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූ සේක.
ඇගේ රජ ද අධිපතීහු ද ජාතීන් අතරේ සිටිති.
ව්‍යවස්ථාවක් දැන් නැත.
එසේ ය, ඇගේ දිවැසිවරු සමිඳුන්ගෙන් දර්ශනයක් තවත් නොලබති.
10 සියොන් පුරඟනගේ මහලු අය හිඳගෙන නිශ්ශබ්ද ව සිටිති.
ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගෙන,
ගො‍්ණි රෙදි ඇඳගෙන සිටිති.
ජෙරුසලමේ කන්‍යාවෝ තමන්ගේ හිස බිමට නමාගෙන හිඳිති.
11 මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්,
කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද,
ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත.
12 තුවාළ වූවන් මෙන් නුවර වීදිවල ඔවුන් ක්ලාන්ත වන විට,
තමන්ගේ මවුවරුන්ගේ ළයෙහි පණ අදින විට,
‘ධාන්‍ය සහ මිදියුස කොයි දැ’යි ඔව්හු තම මවුවරුන්ගෙන් කෑගසා අසති.
13 ජෙරුසලම් පුරඟන, මම ඔබට කුමක් කියම් ද?
ඔබ කුමකට සමාන කරම් ද?
අනේ සියොන් කන්‍යා පුරඟන, මම ඔබ සනසන පිණිස ඔබට කුමක් කරම් ද?
ඔබේ විපත මුහුද මෙන් විශාල ය;
ඔබට සුවය දෙන්නේ කවරෙක් ද?
14 ඔබේ දිවැසිවරු බොරු නිෂ්ඵල දර්ශන ඔබට දැක්වූ හ;
ඔව්හු ඔබේ වහල්කම පහ කිරීමට ඔබේ අපරාධ කිසි දා එළිදරව් නොකළහ.
ඔබ උදෙසා ඔවුන් දුටු දර්ශන බොරු ය, රැවටිලි සහිත ය, වංචනික ය.
15 මඟ යන සියල්ලෝ නුවර හෙළා දකිති.
ඔව්හු සියුරුහන් බාමින් ජෙරුසලම් පුරඟනට විරුද්ධ ව හිස් වනමින්, ” ‘ලෝකයේ අභිමානය ය;
මුළු පොළොවේ ප්‍රීතිය ය’යි කියනු ලැබූ නුවර මෙය දැ”යි අසති.
16 ඔබේ සියලු සතුරෝ ඔබට සරදම් කරති.
ඔව්හු සියුරුහන් බාමින්, දත්මිටි කති.
”අපි ඈ විනාශ කෙළෙමු;
සැබැවින් ම අප බලා සිටි දවස මේ ය;
එය දැන් පැමිණ ඇතැ”යි කියති.
17 සමිඳාණෝ තමන් යෝජනා කළ දේ ඉටු කළ සේක.
එතුමාණෝ පුරාණයේ සිට නියම කර තිබුණු තර්ජන ක්‍රියාත්මක කළ සේක.
එතුමාණෝ අනුකම්පා විරහිත ව ඔබ විනාශ කළ සේක.
සතුරා ඔබට විරුද්ධ ව සන්තෝෂ වන්න සලස්වා, ඔබේ එදිරිකාරයන්ගේ බලය වැඩි කළ සේක.
18 අනේ සියොන් පුරඟන, සමිඳුන්ට මොරගසන්න;
මහා ප්‍රවාහයක් සේ රෑ දාවල් දෙක්හි කඳුළු ගලා යා වා!
ඔබට කිසි සහනයක් නොලැබේ වා!
ඔබේ දෙනෙතට විවේකයක් නො වේ වා!
19 රෑ යාම්වල නැඟිට උදේ අලුයම ඝෝෂා කරන්න.
ඔබේ සිත සමිඳුන් ඉදිරිපිට ජලය මෙන් වගුරුවන්න.
සියලු වීදි සන්ධිවල දී බඩගින්නෙන් ක්ලාන්ත වන ඔබේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා ඔබේ අත් එතුමාණන් දෙසට ඔසවන්න.
20 සමිඳුනි, ඔබ මෙසේ කෙළේ කවරෙකුට දැ යි බලා කල්පනා කළ මැනව.
ස්ත්‍රීන් තමන් කුසෙහි ඵලය වන, සුව සේ ප්‍රසූත කළ අත දරුවන් කෑ යුතු ද?
පූජකයා සහ දිවැසිවරයා සමිඳුන්ගේ ශුද්ධස්ථානයේ මරනු ලැබිය යුතු ද?
21 බාලයා ද මහල්ලා ද වීදිවල බිම වැතිර සිටිති;
මාගේ තරුණ තරුණියෝ කඩු පහරින් වැටුණෝ ය.
ඔබේ උදහසේ දවසේ දී ඔබ ඔවුන් නැසූ සේක;
නිර්දය ලෙස ඔවුන් ඝාතනය කළ සේක.
22 මංගල්‍යයකට සෙනඟ රැස් කරන්නාක් මෙන් මට විරුද්ධ ව හැම අතින් ම සතුරන් රැස් කළ සේක.
සමිඳුන්ගේ උදහසේ දවසේ දී කිසිවෙක් ගැළවී ඉතිරි නො වී ය.
මා සුව සේ උපදවා, ඇතිදැඩි කළ සියලු දෙන සතුරන් විසින් විනාශ කරනු ලැබූ හ.

 

– 3 වන පරිච්ඡේදය –

දඬුවම

1 එතුමන්ගේ කෝපය නමැති දණ්ඩෙන් දුක අත්දුටු මිනිසා නම් මම ය.
2 එතුමාණන් මා ගෙන ගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්නට සැලැසූ සේක.
3 සැබැවින් ම එතුමාණෝ දවස මුළුල්ලේ මට යළි යළි නිර්දය ලෙස පහර දුන් සේක.
4 එතුමාණෝ මාගේ මාංසයත්, හමත් ජරාවට පමුණුවා මාගේ ඇටකටු පොඩි කළ සේක.
5 එතුමාණෝ මට වියගහක් සාදා විඩාවෙන් මාගේ හිස වට කළ සේක.
6 පුරාණයෙහි නැසී ගියවුන් මෙන් එතුමාණෝ අඳුරු තැන්වල විසීමට මට සැලැසූ සේක.
7 බේරී යන්න බැරි වන ලෙස එතුමාණෝ මා කොටු කළ සේක.
බර විලංගු මට දැමූ සේක.
8 මා කෑගසා පිහිට ඉල්ලන නමුත්, එතුමාණෝ මාගේ යැදුමට සවන් නොදෙන සේක.
9 එතුමාණෝ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා මාගේ මාවත් අවහිර කළ සේක.
10 එතුමාණෝ මා හට, මඟ රැක සිටින වලසෙකු ද රහස් තැන්වල සැඟවී සිටින සිංහයෙකු ද මෙන් වන සේක.
11 එතුමාණෝ මාගේ මාර්ගයෙන් මා ඉවත් කොට මා කෑලිවලට ඉරාදැමූ සේක.
මා පිළිකුලක් කළ සේක.
12 එතුමාණෝ තම දුන්න තැත් කවා, ඊගසට ඉලක්කයක් කොට මා තැබූ සේක.
13 එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක.
14 මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි.
15 එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක.
16 එතුමාණෝ බොරළුවලින් මාගේ දත් බින්ද සේක;
කෑම සඳහා මට අළු දුන් සේක.
17 සාමය මාගෙන් තුරන් වී ඇත.
සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත.
18 දැන් මම මෙසේ කියමි:
”මාගේ ශක්තිය පහ වී ගොස් ඇත.
සමිඳුන් කෙරෙහි මාගේ බලාපොරොත්තුව තුරන් වී ඇත.”

බලාපොරොත්තුව

19 මාගේ ශෝකයත්, මාගේ පීඩාවත් මට සිහි වීම කොසඹ හා වස දිය වැනි ය.
20 මම ඒ ගැන නිතර ම සිහි කරමි;
මාගේ සිත අධෛර්යයට පත් වී ඇත.
21 එහෙත්, මේ දේ මා සිහි කළ විට බලාපොරොත්තුව මට ඇති වන්නේ ය.
22 ”සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය;
එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය.
23 ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ;
ඔබේ විශ්වාසවන්තකම ඉමහත් ය.”
24 මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි.
එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි.
25 සමිඳාණන් ගැන බලා සිටින්නන්ටත්, එතුමාණන් සොයා යන අයටත් එතුමාණෝ යහපත් ය.
26 සමිඳුන්ගෙන් වන ගැළවීම නිශ්චල ව බලා සිටීම මිනිසාට හොඳ ය.
27 තමාගේ බාල වියෙහි දී ඉවසීම නමැති වියගහ දැරීම මිනිසාට යහපත් ය.
28 එතුමාණන් එය ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්ද ව සිටී වා!
29 සමහර විට බලාපොරොත්තුවක් තිබිය හැකි බැවින් අප නැමී අවනත විය යුතු යි.
30 ඔහු තමාට පහර දෙන අයට කම්මුල පෑවා වේ!
නින්දාවෙන් පිරුණා වේ!
31 මන්ද, සමිඳාණන් සදහට ම සිය සේවකයන් ඉවත දමන්නේ නැත.
32 එතුමාණන් ශෝකය පමුණුවන නමුත්, තමන්ගේ ඉමහත් කරුණාව ලෙස අනුකම්පා ද කරන සේක.
33 මන්ද, එතුමාණෝ මිනිසුන්ට ඕනෑකමින් පීඩා නොකරන සේක. ඔවුන් ශෝකයට නොපමුණුවන සේක.

පසුතැවී සිත් හරවා ගැනීම

34 දේශයේ සෑම හිරකාරයන් තළා පෙළා පොඩි කිරීම ද
35 මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේ දී මිනිසුන්ගේ යුක්තිය පෙරළාදැමීම ද
36 මිනිසෙකුට ඔහුගේ නඩුවේ දී අයුක්තිය කිරීම ද සමිඳාණෝ අනුමත නොකරන සේක.
37 සමිඳාණෝ කැමැති නොවන සේක් නම්, කිසිවෙකුට කිසිවක් නොකළ හැකි ය.
38 සැපතත් විපතත් ඇති වන්නේ, මහෝත්තමයාණන්ගේ නියමයෙන් නොවේ ද?
39 අපේ පව් ගැන දඬුවම ලබන නිසා අප කොඳුරන්නේ කුමට ද?
40 අපේ මාර්ග සො‍්දිසි කර විමසා සමිඳාණන් වෙත නැවත හැරෙමු.
41 ස්වර්ගයෙහි සිටින දෙවිඳාණන් වෙත අපේ අතත් සිතත් ඔසවමු.
42 ”අපි වනාහි වරද කොට කැරලි ගැසීමු;
ඔබ කමා නොකළ සේක.
43 ඔබ වහන්සේ උදහසින් සැඟවී සිට අප පසුපස ලුහුබැඳ ආ සේක.
අනුකම්පා නොකොට අප මරාදැමූ සේක.
44 අපේ යැදුම ඔබ වෙත නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබ ම වසාගෙන සිටින සේක.
45 ඔබ විජාතීන් අතරෙහි අප කසළ ගොඩක් මෙන් කළ සේක.
46 අපේ සියලු සතුරෝ අපට විරුද්ධ ව බොහෝ සේ දොස් කී හ.
47 භීතිය සහ පාතාලයත්, නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ.
48 මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලා යයි.
49 සමිඳාණන් ස්වර්ගයේ සිට බලා සලකන තුරු,
50 මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙයි.
51 නගරයේ කාන්තාවන්ට සිදු වී ඇති දේ මා දකින විට මාගේ සිත කම්පා වෙයි.
52 නිකරුණේ මට සතුරු ව සිටින අය කුරුල්ලෙකු මෙන් මා උගුලට අසු කරගත්හ.
53 ඔව්හු පණපිටින් මා වළට හෙළාදමා මා පිට ගල් ද පැටවූ හ.
54 වතුර මාගේ හිසට උඩින් ගලා ගියේ ය;
”මාගේ අවසානය පැමිණ ඇතැ”යි මම කීමි.
55 සමිඳුනි, මම ගැඹුරු පාතාලයේ සිට ඔබේ නාමය කියා යැදිමි.
56 මාගේ මොරගැසීමට සවන් දෙන ලෙස මා බැගෑපත් ව ඉල්ලා සිටි විට ඔබ මට සවන් දුන් සේක.
57 මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, ”බිය නොවන්නැ”යි මට වදාළ සේක.
58 සමිඳුනි, ඔබ මා වෙනුවෙන් කරුණු වදාළ සේක. මාගේ ප්‍රාණය මිදූ සේක.
59 සමිඳුනි, ඔබ මාගේ පීඩාව දුටු සේක; මට යුක්තිය ඉටු කර දුන මැනව.
60 ඔවුන්ගේ සියලු ම පළිගැනීම් සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ දුටු සේක.
61 සමිඳුනි, ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ ඇසූ සේක.
62 මට විරුද්ධ ව නඟන වචන ද දවස මුළුල්ලේ මට විරුද්ධ ව යොදන ඔවුන්ගේ උපායයන් ද ඔබ ඇසූ සේක.
63 ඔවුන් වාඩි වී සිටියත්, සිටගෙන සිටියත් ඔවුන්ගේ උපහාසයට මම ලක් වී සිටිමි.
64 සමිඳුනි, ඔවුන්ගේ ක්‍රියා අනුව ඔබ ඔවුන්ට විපාක දුන මැනව.
65 සිත් දැඩිකම වන සාපය ඔබ ඔවුන්ට දුන මැනව.
66 ඔබ, උදහසින් ඔවුන් ලුහුබැඳ ගොස්, මිහි පිටින් ඔවුන් අතුගාදැමුව මැනව.”

 

– 4 වන පරිච්ඡේදය –

ජෙරුසලමේ වැටීමෙන් පසු තත්ත්වය

1 පරණ රත්රන් අඳුරු වී තිබෙන හැටි!
පෙරූ රත්රන් වෙනස් වී තිබෙන හැටි!
ශුද්ධස්ථානයේ ගල් සියලු මංසන්ධිවල විසුරුවා තිබේ.
2 අගනා රන් මෙන් වටිනා සියොන්හි තරුණයන් කුම්භකාරයාගේ අත්වලින් සාදන ලද භාජන මෙන් සලකනු ලබන හැටි!
3 සිවල් දෙන්නු පවා උන්ගේ පැටවුන්ට කිරි පොවති.
එහෙත්, මාගේ සෙනඟගේ දූවරු කාන්තාරයේ පැස්බරුන් මෙන් කෲර වී සිටිති.
4 කිරි දරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි.
කුඩා දරුවෝ කෑම ඉල්ලති, කිසිවෙක් ඔවුන්ට කෑම නොදෙති.
5 රස කෑම කෑ අය අසරණ ව වීදිවල හිඳිති.
රතු ඇතිරිලි පිට ඇතිදැඩි වූ අය කසළ ගොඩවල් වැළඳගෙන හිඳිති.
6 කිසිවෙකුගෙන් පහර නොලබා ඇසිල්ලකින් මෙන් විනාශ වූ සොදොම් නගරයේ පාපයට වඩා මාගේ සෙනඟගේ අයුතුකම් මහත් ය.
7 ඇගේ වංශාධිපතීහු හිමවලට වඩා පිරිසිදු ව, කිරිවලට වඩා සුදු ව සිටියෝ ය.
රතු කැටවලට වඩා ඔවුන්ගේ සිරුර රතු ව තිබුණේ ය.
ඔවුන්ගේ ඔපය නීලමාණික්‍ය මෙන් විය.
8 දැන් ඔවුන්ගේ පෙනීම අඟුරුවලට වඩා කළු ය.
ඔවුන් වීදිවල දී ඇඳිනගන්න වත් බැරි ය.
ඔවුන්ගේ හම ලී මෙන් වියළී ඔවුන්ගේ ඇටවලට ඇළී ඇත.
9 සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේ ය.
මන්ද, මොවුහු කෙතේ අස්වැන්න නැති බැවින් කෙමෙන් පීඩිත වී, ක්ෂය වී යති.
10 දයාවන්ත ස්ත්‍රීහු තමන්ගේ අත්වලින් සිය දරුවන් තම්බා පිසුවෝ ය.
මාගේ සෙනඟ පිට පැමිණි විනාශයේ දී ඒ දරුවෝ ඔවුන්ට ආහාර වූ හ.
11 සමිඳාණෝ තම කෝපය නොවළක්වා තමන්ගේ බලවත් උදහස වැගිරෙවු සේක.
සියොන්හි ගින්නක් ඇවිළු සේක.
එයින් එහි අත්තිවාරම් දැවී ගියේ ය.
12 ‘එදිරිකාරයා සහ සතුරා ජෙරුසලමේ දොරටුවලට ඇතුළු වන්නේ ය’යි පොළොවේ රජවරු ද ලෝකයේ සියලු වැසියෝ ද විශ්වාස නොකළෝ ය.
13 මෙසේ වනුයේ, දමිටු ලේ නගරය තුළ වැගිරෙවූ දිවැසිවරුන්ගේ පව් නිසාත්, පූජකයන්ගේ අපරාධ නිසාත් ය.
14 ඔව්හු අන්ධයන් මෙන් වීදිවල ඔබමොබ යති.
මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වස්ත්‍රවල තැවරෙන්නට බැරි තරමට ඔව්හු ලෙයින් කිළුටු වී සිටිති.
15 ”ඉවත් වන්න, අපවිත්‍ර ය.
ඉවත් වන්න, ඉවත් වන්න, අපට අත නො ගසන්නැ”යි ඔව්හු ඔවුන්ට මොරගසා කී හ.
ඔවුන් පලා ගොස් ඔබමොබ ගිය විට, ”ඔව්හු තවත් මෙහි නොසිටිති”යි විජාතීන් අතරේ කියන ලද්දේ ය.
16 සමිඳාණෝ ම ඔවුන් විසුරුවා හැරිය සේක.
එතුමාණෝ තවත් ඔවුන් නොසලකන සේක.
සෙනඟ පූජකයන්ට ගරු නොකළ හ.
වැඩිහිටියන්ට කරුණාව නොදැක්වූ හ.
17 නොලැබෙන උපකාර ගැන බලා සිටීමෙන් අපේ ඇස් තවත් අඳුරු වී යන්නේ ය.
ගළවන්න බැරි ජාතියක් ගැන මුර කුළුණු උඩ අපි බලා සිටියෙමු.
18 අපේ වීදිවල අපට යන්න බැරි වන ලෙස අපේ සතුරෝ අපේ යාම් ඊම් සෝදිසියෙන් බලා සිටියහ.
අපේ අන්තිමය ආසන්න ය;
අපේ ඉරණම තීන්දු ය;
මන්ද, අපේ අන්තිමය පැමිණ ඇත.
19 අප පසුපස ලුහුබැඳ ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත් වූ හ.
ඔව්හු කඳුවල අප ලුහුබැඳ ආවෝ ය.
අප අල්ලන්න පාළුකරයේ රැක සිටියෝ ය.
20 ”ඔහුගේ ආරක්ෂා සෙවණෙහි ජාතීන් අතර අපට ජීවත් වන්න ලැබේ ය”යි අප කීවා වූ අපේ නාසයේ හුස්ම වැනි වූ සමිඳාණන්ගේ අභිෂේක ලත් තැනැත්තේ ඔවුන්ගේ බොරු වළේ අසුවුණේ ය.
21 ඌශ් දේශයෙහි වාසය කරන ඒදොම් ජාතිය,
ප්‍රීති සන්තෝෂ වන්න. විනාශය ඔබ වෙතත් පැමිණෙන්නේ ය.
ඔබ මත් වී නිරුවතින් සිටින්නෙහි ය.
22 එම්බා සියොන් පුරඟන, ඔබේ අයුතුකමේ දඬුවම ඉටු විය.
එතුමාණෝ තවත් ඔබ විප්‍රවාසයට ගෙන නොයන සේක.
එම්බා ඒදොම් පුරඟන, එතුමාණෝ ඔබේ අයුතුකමට දඬුවම් කරන සේක.
ඔබේ පව් එළිදරව් කරන සේක.

– 5 වන පරිච්ඡේදය –

දයාව සඳහා යැදීමක්

1 සමිඳුනි, අපට සිදු වී තිබෙන දේ සිහි කළ මැනව.
අපේ නින්දාව බලා සැලකුව මැනව.
2 අපේ උරුමය අන්‍යයන්ටත්, අපේ ගෙවල් විදේශීන්ටත් අයිති වී තිබේ.
3 අපි අනාථයෝ ය, පියා නැති දරුවෝ ය.
අපේ මවුවරු වැන්දඹුවන් මෙන් ය.
4 අප අපේ ම වතුර මිල දී ගත යුතු ය.
අපේ ම දර අපට විකුණනු ලැබේ.
5 වියගහ අපේ කර පිට ය.
මැරෙන තෙක් අපි වෙහෙසෙන්නෙමු.
එහෙත්, අපට සහනයක් නැත.
6 සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු.
7 අපේ පියවරු පව් කළෝ ය;
ඔව්හු දැන් නැත.
ඔවුන්ගේ අයුතුකම් නිසා අපි දුක් විඳිමු.
8 වහල්ලු අප ආණ්ඩු කරති.
ඔවුන් අතින් අප ගළවාගන්නට කෙනෙක් නැත.
9 පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු.
10 සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත් වී තිබේ.
11 සියොන්හි ස්ත්‍රීහුත්, ජුදාහි නගරවල කන්‍යාවෝත් බලහත්කාරකම් කරනු ලැබූ හ.
12 අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ.
වැඩිහිටි අය ගරු නොකරන ලදහ.
13 වහලුන් මෙන් ධාන්‍ය ඇඹරීමට අපේ තරුණයෝ බල කරනු ලැබූ හ.
ළමයි දරමිටිවල බරින් යට වී වැටි වැටී යති.
14 මහලු අය දොරටුවෙන් පහ ව ගියෝ ය.
යෞවනයෝ ගීතිකා කිරීමෙන් වැළකුණෝ ය.
15 අපේ සිත්වලින් ප්‍රීතිය තුරන් විය.
අපේ නැටීම වැලපීමට පෙරළුණේ ය.
16 අපේ හිසින් මල්දම් වැටුණේ ය.
අප පව් කළ බැවින් අනේ! අපට වන දුකක මහත!
17 මේ නිසා අපේ සිත ක්ලාන්ත වී තිබේ.
මේ දේවල් නිසා අපේ ඇස් අඳුරු වී තිබේ.
18 එසේ වන්නේ, සියොන් කන්ද පාළු වී තිබෙන බැවිනි.
සිවලුන් සැරිසරන බැවිනි.
19 එහෙත් සමිඳුනි, ඔබ සදහට ම රජ ව සිටින සේක.
ඔබේ සිහසුන පරපුරෙන් පරපුරට පවත්නේ ය.
20 මෙතෙක් කල් ඔබ අප අත් හළේ මන් ද?
කවර දා නමුත්, ඔබ අප යළි සිහි කරන සේක් ද?
21 සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව.
අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව.
22 ඔබ අප සහමුලින් පහ කරදැමූ සේක් ද?
ඔබේ කෝපයට සීමාවක් නැද් ද?

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s