වංශාවලියේ දෙ වන පොත

– 1 වන පරිච්ඡේදය –

සලමොන් රජු ප්‍රඥාව ඉල්ලා යැදීම
(1 රාජා: 3:1-15; 10:26-29)

1 දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක.
2 සලමොන් සියලු ඉශ්රායෙල්වරුන්ට එනම්, සහශ්‍රාධිපතීන්ට හා ශතාධිපතීන්ට ද විනිශ්චයකාරයන්ට ද පිය වංශවල ප්‍රධානීන් වන මුළු ඉශ්රායෙල්හි අධිපතීන් සියල්ලන්ට ද කතා කෙළේ ය. 3 ඉක්බිති සලමොන් ද ඔහු සමඟ මුළු සභාව ද ගිබියොන්හි ගිරිකුළට ගියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් පාළුකරයේ දී සාදන ලද දෙවියන් වහන්සේගේ සම්මුඛ මණ්ඩපය එහි තිබූ බැවිනි. 4 එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම් සිට දාවිත් ඊට සූදානම් කළ ස්ථානයට ඔහු විසින් ගෙනෙනු ලැබ තිබිණි. එසේ වූයේ, ඔහු ජෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණ නිසා ය. 5 තවද, හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් සෑදූ ලෝකඩ පූජාසනය සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරිපිට විය. සලමොන් ද සභාව ද ඊට ළඟා වූ හ. 6 එහි සමිඳාණන් වහන්සේ අබිමුව සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට තිබෙන ලෝකඩ පූජාසනය පිට සලමොන් දවන යාග පූජා දහසක් ඔප්පු කෙළේ ය.
7 එදා රාත්‍රියේ දෙවියන් වහන්සේ සලමොන්ට පෙනී, ”මා විසින් නුඹට දෙනු ලැබිය යුත්තේ කුමක් ද කියා ඉල්ලන්නැ”යි ඔහුට වදාළ සේක.
8 සලමොන් කතා කරමින්, ”ඔබ මාගේ පිය වූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකමට පත් කළ සේක. 9 දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක. 10 එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය.
11 දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, ”නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්‍රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා, 12 ප්‍රඥාවත්, දැනගැන්මත් මම නුඹට දෙමි. තවද, නුඹට පළමුවෙන් සිටි කවර රජෙකුට වත් නොතිබුණ, නුඹට පසු ව කවර රජ කෙනෙකුට වත් නොලැබෙන තරම් වස්තුවත්, සම්පතත්, ගෞරවයත් නුඹට දෙන්නෙමි”යි වදාළ සේක.
13 එවිට සලමොන් ගිබියොන්හි ගිරිකුළෙහි තිබුණ සම්මුඛ මණ්ඩපය වෙතින් ජෙරුසලමට ආවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ රජ විය. 14 තවද, සලමොන් රථ ද අසරුවන් ද රැස් කරගත්තේ ය. ඔහුට එක්දහස් හාරසියයක් රථ ද දොළොස්දහසක් අසරුවෝ ද වූ හ. ඔහු ඒවා රථ නවතන නුවරවල ද රජු ළඟ ජෙරුසලමෙහි ද තැබුවේ ය. 15 ඇරත්, රජ රන් රිදී ජෙරුසලමෙහි ගල් මෙන් ද කිහිරි ගස් පාත රටෙහි අත්තික්කා ගස් මෙන් ද ගණනින් වැඩි වන්න සැලැස්සුවේ ය. 16 සලමොන්ට සිටි අශ්වයෝ මිසර හා කූවේ දේශයෙන් ගෙනෙන ලද්දෝ ය. රජුගේ වෙළෙන්දෝ උන් රැළක් රැළක් වශයෙන් නියමිත මිලකට ලබාගත්හ. 17 ඔව්හු රථයකට රිදී කාසි හයසියය බැගින් ද අශ්වයෙකුට එකසියපණහ බැගින් ද ගෙවා මිසර දේශයෙන් ගෙනාවෝ ය. එසේ ම ඔව්හු හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත්, සිරියාවේ රජුන්ටත් ගෙනවුත් දුන්නෝ ය.

– 2 වන පරිච්ඡේදය –

දේව මාලිගාව සාදන්න සූදානම් වීම
(1 රාජා: 5:1-18)

1 සලමොන් සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ද තමාට රජමැදුරක් ද ගොඩනඟන්න අදහස් කරගෙන, 2 බර අදින පිණිස මිනිසුන් සැත්තෑදහසක් ද කඳුකරයේ ලී කපන පිණිස මිනිසුන් අසූදහසක් ද ඔවුන් කෙරෙහි නිලධාරීන් තුන්දහස් හයසියයක් ද නියම කෙළේ ය.
3 සලමොන් තීර්හි හූරාම් රජුට පණිවුඩයක් යවමින්, ”මාගේ පිය වූ දාවිත්ට වාසය කිරීමට ගෙයක් ගොඩනැඟීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ගනු දෙනු කළ පරිදි මා සමඟත් ගනු දෙනු කළ මැනව. 4 මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟා උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවස ද සබත් දවස්වල ද අමාවක් දිනවල ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියම මංගල්‍යවල දී ද දවන යාග පූජා ඔප්පු කරන පිණිසත් එය උන් වහන්සේට කැප කරන්න යමි. මෙය සදහට ම ඉශ්රායෙල්වරුන්ට නියෝගයක් වනු ඇත. 5 අපේ දෙවියන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් නිසා මා ගොඩනඟන මාලිගාවත් විශාල ය. 6 එහෙත්, ස්වර්ගයට ද අති උසස් ස්වර්ගයට ද උන් වහන්සේ දරන්න අවකාශ තිබෙද්දී උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්න කවරෙකු හට පුළුවන්කම තිබේ ද? උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කිරීමට මිස, වෙන කුමන හේතුවක් නිසා උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්න මම කවරෙක් ද? 7 ඉතින් මාගේ පිය දාවිත් සපයා දුන්, ජුදාහිත්, ජෙරුසලමෙහිත් මා ළඟ සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ රන්, රිදී, ලෝකඩ, යකඩ වැඩත්, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් වැඩත් වන සියලු ආකාර කැටයම් වැඩ කරන්න දන්න මිනිසෙකු මට එවුව මැනව. 8 ලෙබනොන්හි සිට කිහිරි ලී ද දේවදාර ලී ද හඳුන් ලී ද මා වෙත එවුව මැනව. මන්ද, ඔබේ මෙහෙකරුවන් ලෙබනොන්හි ලී කැපීමෙහි දක්ෂ බව මම දනිමි. මාගේ මෙහෙකරුවන් ඔබේ මෙහෙකරුවන් සමඟ වැඩ කරනු ඇත. 9 මා ගොඩනඟන මාලිගාව මහා ආශ්චර්යමත් එකක් නිසා, මට බොහෝ සෙයින් ලී සූදානම් කළ යුතු ව තිබේ. 10 ලී කපන ඔබේ මෙහෙකරුවන්ගේ ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන්‍ දෙදහසක් ද යව මෙට්රික් ටොන්‍ දෙදහසක් ද මුද්‍රික පාන ලීටර් හාරලක්ෂයක් ද තෙල් ලීටර් හාරලක්ෂයක් ද මම දෙන්නෙමි”යි කියා යැවී ය.
11 එවිට තීර්හි රජ වන හූරාම්, සලමොන්ට ලියුමකින් උත්තර දෙමින්, ”සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට ප්‍රේම කරන නිසා උන් වහන්සේ ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කී ය. 12 තවදුරටත් හූරාම් කියනුයේ, ”අහසත්, පොළොවත් මැවූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, සමිඳාණන් වහන්සේට මාලිගාවක් ද තමාට ම රජමැදුරක් ද ගොඩනැඟීමට සිහි කල්පනාවෙන් හා නැණ නුවණින් යුක්ත පුත්‍රයෙකු උන් වහන්සේ දාවිත් රජුට දුන් සේක. 13 ඉතින් ප්‍රඥාවන්ත, කලාශිල්පියෙකු වන හූරාම්-අබි මම එවමි. 14 ඔහුගේ මව දාන්ගේ ගො‍්ත්‍රයේ ස්ත්‍රියකි. ඔහුගේ පියා තීර්හි වැසියෙකි. ඔබේ ශිල්පීන් හා ඔබේ පියා වන මාගේ ස්වාමී වූ දාවිත්ගේ ශිල්පීන් සමඟ ඔහු වැඩ කළ යුතු ය. ඔහු රන්, රිදී, ලෝකඩ, යකඩ, ගල්, ලී වැඩ හා රත්නිල්, නිල්වන්, සිහින් හණ, රතු නූල් වැඩ කරන්න හා කොයි යම් කැටයම් වැඩක් නමුත් කරන්න සමර්ථ වේ. 15 ඉතින්, මාගේ ස්වාමියා කී පරිදි තිරිඟු ද යව ද තෙල් ද මුද්‍රික පානය ද තම මෙහෙකරුවන්ට එවිය යුතු ය. 16 අපි ද ඔබට ඕනෑ හැටියට ලෙබනොන් සිට ලී කපා, ඒවා පහුරු බැඳ, මුහුදෙන් ජොප්පාවට ගෙනවුත් ඔබට දෙන්නෙමු. එවිට ඔබට ඒවා ජෙරුසලමට ගෙන්වා ගත හැකි ය”යි ද දැන්වී ය.

දේව මාලිගාව ගොඩනැඟීම ආරම්භ කිරීම
(1 රාජා: 6:1-38)

17 සලමොන් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් තමාගේ පිය වූ දාවිත් ඔවුන් ගණන් කළ ලෙස නැවත ඔවුන් ගණන් කෙළේ ය. ඔව්හු එක්ලක්ෂ පණස්තුන්දාස් හයසියයක් වූවෝ ය. 18 ඔහු ඔවුන්ගෙන් හැත්තෑදහසක් බර අදින පිණිස ද අසූදහසක් කඳුකරයේ ලී කැපීමට ද තුන්දහස් හයසියයක් සෙනඟ ලවා වැඩ කරවන නිලධාරීන් කොට ද පත් කෙළේ ය.

 

– 3 වන පරිච්ඡේදය –

1 එකල සලමොන් තමාගේ පිය වූ දාවිත්ට ජෙරුසලමෙහි දී සමිඳාණන් වහන්සේ දර්ශනය වූ මොරියා කන්දේ ජෙබුසිය වූ ඔර්ණාන්ගේ කමතේ දාවිත් විසින් නියම කරන ලද ස්ථානයෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්න පටන්ගත්තේ ය. 2 ඔහු තමා රජකමට පත් වූ හතර වන අවුරුද්දේ දෙ වන මාසයේ දෙ වන දා එය ගොඩනඟන්න පටන්ගත්තේ ය. 3 දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට සලමොන් දැමූ අත්තිවාරම මෙය වේ. පළමුවෙන් තිබූ නියමිත මිම්මේ හැටියට එහි දිග මීටර් විසිහතකි; පළල මීටර් නවයකි: 4 ඉස්සරහ තිබුණු ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙස ම මීටර් නවයකි; උස මීටර් පණස්හතරකි. එහි ඇතුළත ඔහු පවිත්‍ර රන් ආලේප කෙළේ ය. 5 ඔහු ලොකු මාලිගාවේ ඇතුළ දේවදාර ලීවලින් වසා, එහි පෙරූ රත්රන් ආලේප කොට, ඒ මතු පිට තල්ගස් ද දම්වැල් ද සාදා, 6 අලංකාරය පිණිස අනර්ඝ ගල්වලින් මාලිගාව සැරසුවේ ය. ඒ රන්, පර්වායිම් නම් ස්ථානයේ රන් ය. 7 ඔහු මාලිගාව ද බාල්ක ද උළුවහු ද එහි බිත්ති ද දොරවල් ද රනින් ආලේප කෙළේ ය. බිත්තිවල කෙරුබ් රූප ද කැටයම් කෙළේ ය. 8 ඔහු අතිශුද්ධස්ථානයක් සෑදුවේ ය. එහි දිග මාලිගාවේ පළල ලෙස ම මීටර් නවයකි; එහි පළලත් මීටර් නවයකි. ඔහු එය පෙරූ රන් මෙට්රික් ටොන්‍ විස්සකින් පමණ ආලේප කෙළේ ය. 9 ඇණවල බර රන් ග්‍රෑම් පන්සියහැත්තෑවකි. ඔහු උඩුමහල් තලයෙත් රන් ආලේප කෙළේ ය.
10 තවද, ඔහු අතිශුද්ධස්ථානයෙහි කෙරුබ් රූප දෙකක් කපා සාදා තැබුවේ ය. ඒවා රනින් ආලේප කරන ලද්දේ ය. 11 කෙරුබ් රූප පියාපත්වල දිග මීටර් නවයකි. එක පියාපතක් මීටර් දෙකයි දශම දෙකකි. එකක් මාලිගාවේ බිත්තියට ස්පර්ශ වන ලෙස ද, අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් දික් ව, අනික් කෙරුබ් රූපයේ පියාපතකට ස්පර්ශ වන ලෙස ද තිබුණේ ය. 12 අනික් කෙරුබ් රූපයේ පියාපතක් මීටර් දෙකයි දශම දෙකක් දිග ව මාලිගාවේ බිත්තියට ස්පර්ශ වන ලෙස ද, අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් දිග ව අනික් කෙරුබ් රූපයේ පියාපතකට ස්පර්ශ වන ලෙස ද තිබුණේ ය. 13 මේ කෙරුබ් රූපවල පියාපත් මීටර් නවයක් විහිදී තිබුණේ ය. ඒවා කෙළින් පිහිටා තිබිණි. ඒවායේ මුහුණු මාලිගාව දෙසට විය. 14 ඔහු නිල් පාට, තද රතු පාට, දම් පාට නූල්වලිනුත්, සිහින් හණ නූල්වලිනුත් තිරය ද ඒ පිට කෙරුබ් රූප ද සෑදුවේ ය.

කුළුණු දෙක
(1 රාජා: 7:15-22)

15 මාලිගාව ඉදිරිපිට ඔහු මීටර් පහළොවයි දශම පහක් උස ඇති කුළුණු දෙකක් සෑදුවේ ය. එක එකේ මුදුන පිට තිබුණ පේකඩය මීටර් දෙකයි දශම දෙකකි. 16 දිව්‍ය-වාක්‍යස්ථානයෙහි තිබුණ පරිදි ඔහු දම්වැල් සාදා ඒවා කුළුණු මුදුන්වල තබා දෙළුම් සියයක් ලෝකඩවලින් සාදා ඒවා දම්වැල්වල එල්ලුවේ ය. 17 ඔහු මාලිගාව ඉදිරිපිට ඒ කුළුණු, එකක් දකුණු පැත්තේ ද එකක් වම් පැත්තේ ද පිහිටුවා, දකුණු පැත්තේ එකට, ‘එතුමාණෝ පිහිට වන සේක’ යන අර්ථය ඇති ‘ජාකීන්’ යන නම ද, වම් පැත්තේ එකට, ‘එහි ශක්තිය තිබේ’ යන අර්ථය ඇති ‘බෝවස්’ යන නම ද තැබී ය.

 

– 4 වන පරිච්ඡේදය –

දේව මාලිගාවේ භාණ්ඩ
(1 රාජා: 7:23-51)

1 ඔහු ලෝකඩ පූජාසනයක් ද සෑදුවේ ය. එහි දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් හතරයි දශම පහකි. 2 ඔහු වතුර පොකුණ වාත්තු කර සෑදුවේ ය. එහි ගැටියේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා මීටර් හතරයි දශම හතරකි. එය වටකුරු ව තිබුණේ ය. එහි උස මීටර් දෙකයි දශම දෙකකි. එහි වට ප්‍රමාණය මීටර් දහතුනයි දශම දෙකකි. 3 එහි පහළ කොට්ඨාශයේ මීටර් දශම පහකට ගව රූප දහය බැගින්, එය වාත්තු කරන විට වාත්තු කළ දෙපේළියක ගව රූප වටේට ම තිබිණි. 4 ඒ පොකුණ ගව රූප දොළොසක් පිට තැබී ය. රූප තුනක් උතුරු දෙසට ද තුනක් බටහිර දෙසට ද තුනක් දකුණු දෙසට ද තුනක් නැගෙනහිර දෙසට ද හැරී තිබිණි. වතුර පොකුණ ඒවාට උඩින්, ඒවා පිට, විය. ඒවායේ පසුපස කොට්ඨාශ සියල්ල ම ඇතුළට තිබිණි. 5 එහි ඝනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය කුසලාන් ගැටියක හැඩේට මෙන් මානෙල් මලක් ලෙස සාදා තිබිණි. එහි වතුර ප්‍රමාණය ලීටර් හැටදහසක් පමණ විය. 6 සේදීම පිණිස ඔහු භාජන දහයක් සාදා, පහක් දකුණු පැත්තේ ද පහක් වම් පැත්තේ ද තැබී ය. දවන යාග පූජාවට ඔප්පු කළ දේ එහි සෝදන ලද්දේ ය. එහෙත්, වතුර පොකුණ තිබුණේ පූජකයන්ට ස්නානය කරන පිණිස ය.
7 ඔහු රන් පහන් රුක් දසයත් ඒවායේ නියම පිළිවෙළට සාදා, මාලිගාවේ දකුණේ පහකුත්, වමේ පහකුත් තැබුවේ ය. 8 ඔහු මේස දහයක් ද සාදා, පහක් මාලිගාවේ දකුණේ ද පහක් වමේ ද තැබුවේ ය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේ ය.
9 පූජකයන්ගේ මළුව ද මහ මළුව ද ඒ මළුවට දොරවල් ද සාදා, ඒ දොරවල් ලෝකඩෙන් වැසුවේ ය. 10 ඔහු දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරෙහි වතුර පොකුණ තැබුවේ ය.
11 තවද, හූරාම්, සැළිත්, හැඳිත්, තාලිත් සෑදුවේ ය. මෙසේ හූරාම් දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සලමොන් රජ උදෙසා කළ වැඩ ඉෂ්ට කොට නිම කෙළේ ය. 12 ඒ වැඩ නම්, කුළුණු දෙක ද, කුළුණු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙක ද, කුළුණු මුදුන් පිට වූ පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද, 13 කුළුණු පිට තිබුණු පේකඩවල ගෝල වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයක් ද යන මේවා ය. 14 ඔහු මැසි ද සෑදුවේ ය. මැසි පිට භාජන ද 15 වතුර පොකුණ ද ඒ යට ගව රූප දොළොස ද 16 සැළි ද හැඳි ද මස් කොකු ද ඒවායේ සියලු බඩු ද ඔහු සෑදුවේ ය. ඔහුට පියෙකු වූ හූරාම්-අබි සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා සලමොන් රජුට ඒ බඩු ඔප දැමූ පිත්තලෙන් සෑදුවේ ය.
17 ජොර්දාන් සමභූමියෙහි සුක්කොත් ද ශෙරෙදා ද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තු කරවී ය. 18 මෙසේ සලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේ ය. ලෝකඩවල බර දැනගත නොහැකි විය. 19 සලමොන් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු බඩු වන රන් පූජාසනය ද, පිදීමේ රොටි තිබුණු මේස ද, 20 දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට නියමයේ සැටියට දැල්වීමට පවිත්‍ර රන් පහන් රුක් ද, ඒවායේ පහන් ද, 21 රනින් එනම්, ඉතා අනර්ඝ රනින් මල් ද පහන් ද අඬු ද සෑදුවේ ය. 22 පවිත්‍ර රනින් පහන් කතුරු ද තලි ද හැඳි ද ගිනි කබල් ද සෑදෙව්වේ ය. මාලිගාවට ඇතුළු වන තැන එනම්, අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් ද ගෘහයේ එනම්, මාලිගාවේ දොරවල් ද රනින් විය.

 

– 5 වන පරිච්ඡේදය –

1 මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කළ සියලු වැඩ සම්පූර්ණ විය. සලමොන් තමාගේ පිය දාවිත් විසින් කැප කරනු ලැබ තිබුණු දේවල් එනම්, රිදී ද රන් ද සියලු භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඒවා තැබී ය.

ගිවිසුම් කරඬුව දේව මාලිගාවට ගෙන ඊම
(1 රාජා: 8:1-9)

2 එකල සලමොන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට ගෙනෙන්නට ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද ජෙරුසලමට රැස් කරවී ය. 3 සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝ ද සත් වන මාසයේ පැවැත්වූ මංගල්‍යයේ දී රජු වෙත රැස් වූවෝ ය. 4 ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් ආ කල, ලෙවීවරු ගිවිසුම් කරඬුව උසුලාගෙන 5 කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ භාණ්ඩ ද ගෙනාහ. පූජකයෝත්, ලෙවීවරුත් ඒවා ගෙනාහ. 6 සලමොන් රජු හා ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව කියන්න හෝ ගණින්න හෝ බැරි තරම් බැටළුවන් ද ගවයන් ද පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය. 7 පූජකයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත්, කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝ ය. 8 එසේ කරඬුව තැබූ ස්ථානයට උඩින් විහිදී තිබුණු කෙරුබ්වරුන්ගේ පියාපත්වලට කරඬුවත් එහි පොලුත් වැසී තිබුණේ ය. 9 පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් කරඬුවෙන් පිට දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේ ය. එහෙත්, ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වා ම එහි තිබේ. 10 ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හොරෙබ්හි දී එහි තැබූ ගල්ලෑලි දෙක මිස කරඬුවේ වෙන කිසිවක් නොතිබුණේ ය.

දිව්‍ය තේජස ප්‍රකාශ වීම

11 එතැන සිටි සියලු පූජකයෝ කවර පංතියට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය. 12 ආසාප් ද හේමන් ද ජෙදුතුන් ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ගායකයන් වූ ලෙවීවරු සියල්ලෝ ම සිහින් හණ සළු හැඳ, අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව පූජාසනයට පෙරදිගින් සිටියෝ ය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝ ය. 13 එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත්, සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් සියල්ලන් ම එක ශබ්දයක් ඇසෙන පිණිස එක් කෙනෙකු මෙන් සිට, නළාවලින් ද අත්තල්වලින් ද වෙනත් තූර්ය භාණ්ඩවලින් ද ”උන් වහන්සේ යහපත් ය. උන් වහන්සේගේ ස්ථිරසාර ප්‍රේමය සදාකාලයට ම පවත්නේ ය” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, මාලිගාව එනම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරී ගියේ ය. 14 ඒ වලාපටලය නිසා සේවය කිරීම පිණිස පූජකයන්ට එහි සිටින්නට බැරි විය. එසේ වූයේ, සමිඳාණන් වහන්සේගේ තේජසින් දෙවියන් වහන්සේගේ මාලිගාව පිරී ගිය බැවිනි.

– 6 වන පරිච්ඡේදය –

දේව මාලිගාව කැප කිරීම
(1 රාජා: 8:12-21)

1 එවිට සලමොන් කතා කොට, සමිඳාණන් වහන්සේ වැඩ විසීමට වලාපටල හා ඝනාන්ධකාරය තෝරා ගත් සේක. 2 එහෙත්, මම ඔබට නිවාසයක් ද සදහට ම ඔබට වැඩ සිටීමට ස්ථානයක් ද ගොඩනැඟුවෙමි”යි කීවේ ය.
3 රජ තෙමේ සෙනඟ දෙසට හැරී මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී මුළු සභාවට ආශීර්වාද කෙළේ ය. 4 ඔහු කතා කොට, ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පිය වූ දාවිත්ට කතා කොට, 5 ‘මම මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස මාලිගාවක් ගොඩනඟන්න සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා ව සිටින්න කිසි මනුෂ්‍යයෙකු ද තෝරා නොගතිමි. 6 එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.
7 ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න මාගේ පිය වූ දාවිත්ගේ සිතේ අදහසක් තිබිණි. 8 එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න නුඹේ සිතේ අදහසක් තිබිණි. එය හොඳ දෙයකි. 9 එහෙත්, නුඹ ඒ මාලිගාව ගොඩනොනඟන්නෙහි ය. නුඹට දාව උපදින නුඹේ පුත්‍රයා මාගේ නාමයට ඒ මාලිගාව ගොඩනඟන්නේ ය’යි වදාළ සේක.
10 ”සමිඳාණන් වහන්සේ තමන් වදාළ වචනය ඉෂ්ට කර තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ වදාළ හැටියට මම මාගේ පිය වූ දාවිත් වෙනුවෙන් ඉශ්රායෙල් සිංහාසනයේ හිඳ, ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟුවෙමි. 11 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සමඟ කළ ගිවිසුම අඩංගු වූ කරඬුව එහි තැබුවෙමි”යි කීවේ ය.

සලමොන් රජුගේ යාච්ඤාව
(1 රාජා: 8:22-53)

12 එවිට සලමොන් මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහාගත්තේ ය. 13 මන්ද, ඔහු මීටර් දෙකයි දශම දෙකක් දිග ඇති, මීටර් දෙකයි දශම දෙකක් පළල ඇති, මීටර් එකයි දශම තුනක් උස ඇති ලෝකඩ වේදිකාවක් සාදා මළුව මැද තබා තිබුණේ ය. ඔහු එහි සිටගෙන මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තම අත් විදහාගෙන මෙසේ යාච්ඤා කෙළේ ය: 14 ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ස්වර්ගයෙහි වත්, පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් නැත. ඔබ වනාහි, ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක. 15 ඔබේ මෙහෙකරු වූ මාගේ පිය වූ දාවිත්ට ඔබ පොරොන්දු වූ දේ ඔබ ඔහුට ඉෂ්ට කර දුන් සේක. එසේ ය, ඔබ ස්වකීය මුඛයෙන් එය වදාරා අද දවසේ ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක. 16 එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ඔබ ස්වකීය මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට කතා කොට, ‘නුඹ මා ඉදිරියෙහි හැසුරුණු පරිදි නුඹේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පිළිපදින හැටියට තමන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම් වන්නෝ නම්, ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැති ව නොයන්නේ ය’යි ඔබ වදාළ කාරණා ඔහුට ඉෂ්ට කළ මැනව. 17 එබැවින් දැන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ඔබේ මෙහෙකරුවා වූ දාවිත්ට ඔබ වදාළ ඔබේ වචනය ස්ථිර වේ වා!
18 ”එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද ඔබට ඉඩ මදි ය; එසේ නම්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාව ඊටත් වඩා කොපමණ නොසෑහේ ද! 19 එහෙත්, මාගේ දෙවි සමිඳුනි, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා, ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම ද යාච්ඤාව ද ඇසුව මැනව. 20 ඔබ යම් ස්ථානයක් ගැන, ‘මාගේ නාමය එහි තබන්නෙමි’යි වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ ඇස් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව. 21 ඔබේ මෙහෙකරුවා ද ඔබේ සෙනඟ ද වන ඉශ්රායෙල්වරුන් ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන ඔවුන්ගේ කන්නලව්වට කන් දුන මැනව. එසේ ය, ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව; අසා කමා කළ මැනව.
22 ”යමෙකු තමාගේ අසල්වැසියාට විරුද්ධ ව වරද කොට, ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහු පිට තබන ලදුව, ඔහු අවුත් මේ ගෘහයේ ඔබේ පූජාසනය ඉදිරිපිට දිවුළහොත්, 23 ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරු හට ඔහුට නිසි විපාකය අනුව දඬුවම් කළ මැනව; නිවැරැදිකරු හට ඔහුගේ නිදොස්කම අනුව විපාක දුන මැනව.
24 ”ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් සතුරා ඉදිරියෙහි ඔවුන් පරාජය වූ කල, ඔව්හු ඔබ වෙත හැරී ඔබේ නාමය ප්‍රකාශ කර මේ මාලිගාවෙහි දී ඔබට යාච්ඤා කොට කන්නලව් කරන්නෝ නම්, 25 ඔබ ස්වර්ගයෙහි සිට එය අසා, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපය කමා කොට, ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.
26 ”ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින්, අහස පිය වී වර්ෂාව නැති ව ගොස්, ඔබ ඔවුන්ට මෙසේ දඬුවම් කරන කල, ඔව්හු මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කොට, ඔබේ නාමය ප්‍රකාශ කර, තමන්ගේ පාපය අත්හරින්නෝ නම්, ඔබ ස්වර්ගයෙහි සිට අසා, 27 ඔවුන් යා යුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්නා දුන් කල, ඔබේ මෙහෙකරුවන් හා ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපයට කමා වී, උරුමයක් කොට ඔබේ සෙනඟට ඔබ දී තිබෙන දේශයට වර්ෂාව එවුව මැනව.
28 ”දේශයට සාගතයක් නොහොත් වසංගතයක් පැමිණියොත්, වැසි නැත්නම්, ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය, පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණීම සිදු වුවහොත්, ඔවුන්ගේ දේශයේ නගර ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගනු ලබන්න හෝ යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ පමුණුවනු ලබන්න යෙදුණොත්, 29 කොයි මනුෂ්‍යයෙකු විසින් හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල් විසින් හෝ තම තමන්ගේ සිත්වල සෝදුකින් මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කරනු ලැබුවහොත්, 30 ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඒවා අසා කමා වුව මැනව: සෑම මනුෂ්‍යයෙකුගේ ම සිත් ඔබ පමණක් දන්න සේක. ඔබ එකිනෙකාට සුදුසු පරිදි ඒවා ඉෂ්ට කර දුන මැනව. 31 එවිට ඔබ අපේ පියවරුන්ට දුන් භූමිය මතු පිට ඔවුන් ජීවත් වන මුළු කාලයේ දී ඔව්හු ඔබ කෙරෙහි බිය වී ඔබේ මාර්ගවල ගමන් කරන්නෝ ය.
32 ”තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන විදේශිකයෙකු ඔබේ උතුම් නාමයත්, ප්‍රබල බාහුවත්, දිගු කළ හස්තයත් නිසා, දුර රටක සිට අවුත් මේ මාලිගාව දෙසට හැරී යාච්ඤා කළොත්, 33 ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් මෙන් පොළොවේ සියලු සෙනඟ ද ඔබේ නාමය හැඳිනගෙන ඔබ කෙරෙහි ගරුබිය දක්වන පිණිසත්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාවට ඔබේ නාමය තබා තිබෙන බව දැනගන්න පිණිසත් ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, විදේශිකයා ඔබෙන් ඉල්ලන සියල්ල ලෙස ඔහුට ඉටු කළ මැනව.
34 ”ඔබේ සෙනඟ තමන්ගේ සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ඔබ විසින් යවනු ලබන යම් මාර්ගයකින් ගොස්, ඔබ තෝරාගත් නුවර ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී ඔබට යාච්ඤා කරන්නෝ නම්, 35 ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව ද කන්නලව්ව ද අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.
36 ”තවද, පව් නොකරන කෙනෙකු නැති බැවින් ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළොත්, ඔබ ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දී ඔවුන් වහල්කමට ගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන දේශයකට ඔවුන් ගෙනයනු ලැබූ පසු, 37 ඔවුන් වහලුන් කොට ගෙනයනු ලැබූ දේශයෙහි දී ඔවුන් එය සිතට ගෙන පසුතැවී සිත් හරවා ගෙන එම දේශයේ දී ඔබට කන්නලව් කර, ‘අපි පව් කෙළෙමු; අපි හිතුවක්කාරකම් කොට දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු’යි කියමින්, 38 ඔවුන් වහල්කමට ගෙන ගිය අයගේ දේශයෙහි දී ඔවුන්ගේ මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නුවර ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී ඔව්හු යාච්ඤා කරන්නෝ නම්, 39 ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාව ද කන්නලව්ව ද අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව, ඔබට විරුද්ධ ව පව් කළ ඔබේ සෙනඟට කමා වුව මැනව.
40 ”දැන්, මාගේ දෙවියන් වහන්ස, මේ ස්ථානයෙහි දී කරන යාච්ඤාවට ඔබේ ඇස් ඇරී, ඔබේ කන් යොමු වී තිබේ වා! 41 ඉතින්, දෙවි සමිඳුනි, ඔබ නැඟිට ඔබේ බලයේ සංකේතය වන ගිවිසුම් කරඬුව සමඟ ඔබේ නිවාසයට වැඩිය මැනව. දෙවි සමිඳුනි, ඔබේ පූජකයෝ ගැළවීමේ සළුව පැළඳගෙන සිටිත් වා! ඔබේ සැදැහැවත්හු ද යස ඉසුරින් ප්‍රීති වෙත් වා! 42 දෙවි සමිඳුනි, ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් අහකට නොහැරෙනු මැනව. ඔබේ මෙහෙකරු වූ දාවිත්ට ඔබ දැක්වූ කරුණාව ප්‍රසාදයෙන් සිහි කළ මැනව.”

– 7 වන පරිච්ඡේදය –

දේව මාලිගාව කැප කිරීම
(1 රාජා: 8:62-66)

1 සලමොන් යාච්ඤා කර නිම කළ විට අහසින් ගිනි බැස අවුත් දවන යාග පූජාව ද යාගයන් ද දවාදැමී ය. සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් මාලිගාව පිරී ගියේ ය. 2 සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබුණු නිසා පූජකයන්ට ඒ මාලිගාවට ඇතුල් වන්න බැරි විය. 3 සියලු ඉශ්රායෙල්වරු ගිනි බසිනවාත් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය මාලිගාව පිට තිබෙනවාත් දැක, ගල් ඇල්ලූ බිමට තමන්ගේ හිස් නමා නමස්කාර කොට, ”උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේගේ කරුණාව සදහට පවත්නේ ය”යි කියමින් සමිඳාණන් වහන්සේට ස්තුති කළො‍් ය. 4 ඉන්පසු ව රජ ද මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පු කළහ. 5 සලමොන් රජ ගවයන් විසිදෙදහසක් ද බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් ද ඔප්පු කෙළේ ය. මෙසේ රජ ද මුළු සෙනඟ ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කළහ. 6 පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, ”සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ.
7 තවද, සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබුණු මිදුලේ මැදභාගය විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජා ද සහභාගිකමේ පූජාවල තෙල ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සලමොන් සෑදූ ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල ද තැබීමට ප්‍රමාණවත් නොවූ නිසා ය.
8 මෙසේ ඒ කාලයේ දී සලමොන් ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද හමාත්ට ඇතුළු වන තැන පටන් මිසරයේ ඔය දක්වා සිට පැමිණි ඉතා විශාල සමූහයක් ද මංගල්‍යය පැවැත්වූ හ. 9 අට වන දා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූ හ. මන්ද, ඔවුන් සත් දවසක් පූජාසනය කැප කිරීම ද සත් දවසක් මංගල්‍යය ද පැවැත්වූ බැවිනි. 10 සත් වන මාසයේ විසිතුන් වන දා ඔහු සෙනඟ තම තමන්ගේ කූඩාරම්වලට යන්නට හැරියේ ය. ඔව්හු ද සමිඳාණන් වහන්සේ දාවිත්ටත්, සලමොන්ටත්, තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් කළ යහපත ගැන ප්‍රීති සන්තෝෂ වෙමින් යන්න ගියෝ ය.

දෙවියන් වහන්සේ සලමොන් රජුට යළි දර්ශනය වීම
(1 රාජා: 9:1-9)

11 මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මැදුර ද සාදා නිම කෙළේ ය. උන් වහන්සේගේ මාලිගාවෙහිත්, තමාගේ ම රජ මැදුරෙහිත් කරන්න අදහස් කළ සියල්ල සලමොන් ඉෂ්ට කෙළේ ය. 12 එවිට සමිඳාණන් වහන්සේ රාත්‍රියේ සලමොන්ට දර්ශනය වී මෙසේ වදාළ සේක: ”මම නුඹේ යාච්ඤාව අසා මේ ස්ථානය මට පූජාසනයක් කොට තෝරාගතිමි. 13 වැසි නොවසින ලෙස මම අහස වසාලන්නෙම් නම්, නොහොත් රට පාළු කිරීමට පළඟැටියන්ට අණ කරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම් නම්, 14 මාගේ නාමය දරන මාගේ සෙනඟ බැගෑපත් වී, යාච්ඤා කර, මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයට සෙත සලසන්නෙමි. 15 දැන් ද මින් ඉදිරියට ද මේ ස්ථානයේ දී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇර, මාගේ කන් යොමු කරනු ලැබේ. 16 දැන් ද ඉදිරියට ද මාගේ නාමය මේ මාලිගාවෙහි සදහට ම තිබෙන පිණිස මෙය තෝරාගෙන විශුද්ධ කෙළෙමි. මාගේ නෙත් ද මාගේ සිත ද නිතර ම මෙතැනට යොමු වී තිබෙන්නේ ය. 17 ඉතින්, නුඹේ පිය දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි හැසිරෙමින්, මා විසින් නුඹට අණ කරන ලද සියල්ල කරමින්, මාගේ පණත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්, 18 ඉශ්රායෙල්හි ආණ්ඩුකාරයෙකු වීමට නුඹෙන් කෙනෙක් නැති ව නොයන්නේ ය කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිර කරන්නෙමි. 19 එහෙත්, නුඹලා මා වෙතින් ඉවත් ව ගොස්, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පණත් ද ආඥා ද අත්හැර ගොස්, වෙන දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කරන්නහු නම්, 20 මා ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින් ම පහකරන්නෙමි. මාගේ නාමයට මා විශුද්ධ කළ මේ මාලිගාව මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. එය සියලු ජාතීන් අතරේ විහිළුවක් ද උපහාසයක් ද නටබුන් ගොඩක් ද වනු ඇත.
21 ”මේ මාලිගාව ළඟින් යන සියල්ලෝ විස්මයට පත් ව, ‘සමිඳාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් කුමක් නිසා මෙසේ කළ සේක් දැ’යි අසන්නෝ ය. 22 එවිට මනුෂ්‍යයන් කතා කොට, ‘ඔවුන් මිසර දේශයෙන් ගෙන ආ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇළුම් ව, ඔවුන්ට නමස්කාර කොට වැඳුම්පිදුම් කළ නිසා, උන් වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේකැ’යි කියනු ඇත.”

– 8 වන පරිච්ඡේදය –

සලමොන් රජුගේ වීර ක්‍රියා
(1 රාජා: 9:10-28)

1 සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තමාගේ රජ මැදුර ද ගොඩනැඟීමට ගත කළ විසි අවුරුද්දට පසු, 2 හූරාම් විසින් සලමොන්ට දෙන ලද නගර ඔහු ගොඩනඟා ඒවායේ ඉශ්රායෙල්වරුන් වාසය කරවී ය.
3 සලමොන් හමාත්-ශෝබාට ගොස් එය යටත් කර ගත්තේ ය. 4 ඔහු පාළුකරයෙහි තද්මොර් ද හමාත්හි ගොඩනැඟුවා වූ ගබඩා-නගර සියල්ල ද ඉදි කෙළේ ය. 5 එසේ ම ඉහළ බෙත්-හෝරන් ද පහළ බෙත්-හෝරන් ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නගර ද 6 බාලාත් නගරය ද සලමොන්ට තිබුණ සියලු ගබඩා-නගර ද තමාගේ රථවලට සියලු නගර ද තමාගේ අසරුවන්ට නගර ද තමාගේ සතුට පිණිස ඉදි කරන්න කැමැති වූ සියල්ල ද ජෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ ආණ්ඩුවට අයත් මුළු දේශයෙහිත් ගොඩනැඟුවේ ය. 7 ඉශ්රායෙල්වරුන්ගෙන් නොවූ, ඉශ්රායෙල්වරුන් විනාශ නොකළ හිත්තීවරුන්ගෙන් ද අමෝරිවරුන්ගෙන් ද පෙරිස්සිවරුන්ගෙන් ද, 8 හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි ව සිටි ඔවුන්ගේ පුත්‍රයන් සලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේ ය. 9 එහෙත්, සලමොන් ඉශ්රායෙල්වරුන්ගෙන් කිසිවෙකු තමාගේ වැඩට දාසයෙකු කොට පත් නොකෙළේ ය. ඔව්හු වනාහි යුද්ධ භටයන් ව ඔහුගේ අධිපතියන් ව, ඔහුගේ රථාධිපතියන් ව, ඔහුගේ අසරුවන් ව සිටියෝ ය. 10 සෙනඟ ආණ්ඩු කළා වූ ප්‍රධාන නිලධාරීහු දෙසිය පණස්දෙනෙකුත් සලමොන් රජුට සිටියෝ ය.
11 සලමොන් වනාහි පාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය සඳහා ගොඩනැඟුවා වූ මාලිගාවට ඇය ගෙනාවේ ය. මන්ද, ”සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පැමිණි ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ මාලිගාවෙහි නොවිසිය යුතු ය”යි ඔහු කීවේ ය.
12 එකල සලමොන් ද්වාර මණ්ඩපය ඉදිරිපිට තමා ගොඩනඟා තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට උන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කෙළේ ය. 13 සබත් දවස්වල දී ද අමාවක්වල දී ද නියම මංගල්‍යවල දී ද අවුරුද්දට තුන් වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේ දී ද සති මංගල්‍යයේ දී ද කූඩාරම් මංගල්‍යයේ දී ද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පු කෙළේ ය. 14 තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පන්ති ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ පන්තිවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි. 15 කොයි කාරණයක් ගැන වත්, අගනා වස්තු ගැන වත් පූජකයන්ට සහ ලෙවීවරුන්ට රජු දුන් ආඥාවෙන් ඔව්හු ඉවත් නො වූ හ.
16 සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමූ දවස දක්වාත්, එය නිම වන තුරුත් සලමොන්ගේ සියලු වැඩ සූදානම් ව තිබුණේ ය. මෙසේ සමිඳාණන් වහන්සේගේ මාලිගාව සම්පූර්ණ විය.
17 එකල සලමොන් ඒදොම් දේශයේ මුහුදුබඩ තිබෙන එශියොන්-ගෙබෙර් සහ ඒලෝත් යන නගරවලට ගියේ ය. 18 හූරාම් තමාගේ සේවකයන්ගේ මෙහෙයීම යටතේ නැව් ද මුහුදේ තතු දන්න සේවකයන් ද ඔහු වෙත එවුවේ ය. ඔව්හු සලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් පසළොස්දහසක් සලමොන් රජු වෙත ගෙනාවෝ ය.

 

– 9 වන පරිච්ඡේදය –

ෂෙබාහි රැජිනගේ පැමිණීම
(1 රාජා: 10:1-13)

1 ෂෙබාහි රැජින සලමොන්ගේ කීර්තිය අසා, ගැටලු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහා රාශියකුත්, මැණික් ගලුත් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට ආවා ය. ඈ සලමොන් වෙත පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය. 2 සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා දුන්නේ ය. ඈට තෝරා දිය නොහැකි කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය. 3 සලමොන්ගේ ප්‍රඥා මහිමය ද ඔහු විසින් ගොඩනඟන ලද මාලිගාව ද ඔහුගේ මේසයේ කෑම ද, 4 ඔහුගේ මෙහෙකරුවන්ගේ වාසස්ථාන හා ඔහුගේ ඇමතියන්ගේ සේවය ද ඔවුන්ගේ ඇඳුම් ද ඔහුගේ පානපාත්‍ර දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම් ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඔප්පු කළ දවන යාග පූජා ද දුටු කල ෂෙබාහි බිසව තුෂ්ණීම්භූත වූවා ය.
5 ඈ රජුට කතා කොට, ”මාගේ දේශයේ දී මා ඔබේ ප්‍රඥා මහිමය ද ඔබ ද ගැන ඇසූ ප්‍රවෘත්තිය සැබෑ ය. 6 එසේ වී නමුත්, මා අවුත් මාගේ ම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබේ ප්‍රඥා මහිමයේ විශාලත්වයෙන් අර්ධයක් වත් මට නොකියන ලද්දේ ය. මා ඇසූ කීර්තියේ පමණටත් වඩා ඔබ උසස් ව සිටින්නෙහි ය. 7 ඔබේ භාර්යාවෝ වාසනාවන්තියෝ ය. ඔබ ඉදිරියෙහි නිතර ම සිට ඔබේ ප්‍රඥාව අසන ඔබේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝ ය. 8 ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබේ දෙවියන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින්, ඔවුන් සදහට ම ස්ථිර කරන පිණිස ඔවුන්ට විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්න උන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.
9 තවද, ෂෙබාහි රැජින රන් කිලෝග්‍රෑම් හාරදහසක් පමණ ද සුගන්ධ ද්‍රව්‍ය මහා රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් සුගන්ධ ද්‍රව්‍යවලට සමාන ඒවා තවත් නොලැබුණේ ය.
10 ඕපීර් සිට රන් ගෙනා හූරාම්ගේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයෝ ද හඳුන් ලී සහ මැණික් ගල් ගෙනාවෝ ය. 11 රජ ඒ හඳුන් ලීවලින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරෙහිත් පඩිපෙළවල් ද ගායකයන්ට වීණා සහ කුඩා වීණා ද සෑදෙව්වේ ය. ඊට කලින් එබඳු ඒවා ජුදා දේශයේ නොදක්නා ලදී.
12 ෂෙබාහි රැජින සලමොන් රජුට ගෙනා දේවල් වෙනුවට දුන් ඒවා හැර, ඈ සිතූපැතූ සියල්ලත් රජතුමා ඈට දුන්නේ ය. ඉන්පසු ඇගේ සේවකයෝත්, ඈත් හැරී තමන්ගේ දේශයට යන්නට ගියෝ ය.

සලමොන් රජුගේ යස ඉසුරු
(1 රාජා: 10:14-29)

13 සලමොන් රජුට ව්‍යාපාරික වෙළෙන්දන්ගෙන් ද වෙනත් වෙළෙන්දන්ගෙන් ද ලැබුණු රත්රන් හැර, අවුරුද්දකට ලැබුණු රත්රන්වල බර කිලෝග්‍රෑම් විසිතුන්දහසක් පමණ වේ. 14 අරාබියේ සියලු රජවරු ද දේශයේ ආණ්ඩුකාරයෝ ද සලමොන්ට රන් රිදී ගෙනාවෝ ය. 15 සලමොන් රජ තැළූ රනින් පලිස් දෙසියයක් සෑදී ය. එක එක පලිහක තැළූ රන් කිලෝග්‍රෑම් සතක් විය. 16 ඔහු කුඩා පලිස් තුන්සියයක් ද තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහක රන් කිලෝග්‍රෑම් තුනක් විය. රජ ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි ඒවා තැබී ය.
17 තවද, රජ ඇත් දත්වලින් විශාල සිංහාසනයක් සාදා තනිකර රනින් එය ආලේප කෙළේ ය. 18 සිංහාසනයට සවි කළ පඩි හයක් ද රන් පා පුටුවක් ද ආසනයේ දෙපැත්තෙහි අත් දඬු ළඟ සිංහ රූප දෙකක් ද තිබිණි. 19 පඩිවල පිට දෙපැත්තේ සිංහ රූප දොළොසක් ද විය. කිනම් රාජ්‍යයකට වත් එයාකාර සිංහාසනයක් නො වී ය.
20 සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි සියලු භාජනත් තනිකර රනින් විය. සලමොන්ගේ කාලයේ දී රිදී අගය නොකරන ලදී. 21 මන්ද, හූරාම්ගේ සේවකයන් සමඟ තර්ෂිෂ්ට යන නැව් රජුට තිබිණි. ඒ තර්ෂිෂ් නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් ද රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද බැවිනි.
22 මෙසේ සලමොන් රජ ධන සම්පතින් ද ප්‍රඥාවෙන් ද මිහි පිට සියලු රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ ව සිටියේ ය. 23 දෙවියන් වහන්සේ සලමොන්ගේ සිතේ නිදන් කර තිබූ ප්‍රඥාව අසන පිණිස මිහි පිට සියලු රජවරු ඔහු වෙත පැමිණියහ. 24 ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමන්ගේ තෑගි වන රිදී භාජන ද රන් භාජන ද වස්ත්‍ර ද යුද්ධායුධ ද සුගන්ධ ද්‍රව්‍ය ද අශ්වයන් ද කොටළුවන් ද නියම ගණනක් ගෙනාවෝ ය.
25 සලමොන් රජුට අශ්වයන් සහ රථ සඳහා ගාල් හාරදහසක් තිබිණි. අසරුවෝ දොළොස්දහසකුත් සිටියෝ ය. රජ ඒවා රථ නවත්වන නගරවල ද තමා ළඟ ජෙරුසලමෙහි ද තැබුවේ ය. 26 ඔහු යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සිටි සියලු රජවරුන් පාලනය කෙළේ ය. 27 තවද, රජ ජෙරුසලමෙහි රිදී ගල් මෙන් ද, කිහිරි ලී පහත රටේ තිබෙන අත්තික්කා ගස් මෙන් ද ගණනින් වැඩිවන්නට සැලැස්සුවේ ය. 28 මිසරයෙනුත්, සියලු දේශවලිනුත් සලමොන් වෙත අශ්වයෝ ගෙනෙන ලදහ.

සලමොන් රජුගේ අභාවය
(1 රාජා: 11:41-43)

29 සලමොන් රජුගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා, දිවැසිවර නාතාන්ගේ ඉතිහාසයේ ද ෂිලෝනීය අහියාගේ දිවැස් වැකියේ ද නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් ගැන දිවැස් ඇත්තා වන ඉද්දෝ ලියූ දර්ශන ග්‍රන්ථයේ ද ලියා තිබෙනු නොවේ ද? 30 සලමොන් මුළු ඉශ්රායෙල් ජාතිය හතළිස් අවුරුද්දක් ජෙරුසලමෙහි පාලනය කෙළේ ය. 31 සලමොන් මියගොස් තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් රෙහොබෝවම් ඔහු වෙනුවට රජ විය.

 

– 10 වන පරිච්ඡේදය –

ගෝත්‍ර දසය කැරලි ගැසීම
(1 රාජා: 12:1-20)

1 තවද, රෙහොබෝවම් ෂෙකෙම් නුවරට ගියේ ය. මන්ද, ඔහු රජකමට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම් නුවරට පැමිණ සිටි බැවිනි. 2 සලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයේ දී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේ ය. 3 ඔව්හු පණිවුඩයක් යවා ඔහු ගෙන්වාගත්හ. එවිට ජෙරොබෝවම් ද සියලු ඉශ්රායෙල්වරු ද අවුත් රෙහොබෝවම්ට කතා කොට, 4 ”ඔබ පියාණෝ අපේ වියගහ බර කළහ. ඒ නිසා ඔබේ පියාණන්ගේ අමාරු සේවය ද ඔහු අප පිට තැබූ ඔහුගේ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ ය.
5 ඔහු උත්තර දෙමින්, ”ඔබ තුන් දවසකින් නැවත මා ළඟට එන්නැ”යි ඔවුන්ට කීවේ ය. සෙනඟ ද යන්න ගියෝ ය.
6 රෙහොබෝවම් රජ තමාගේ පිය වූ සලමොන් ජීවත් ව සිටිය දී ඔහුගේ සේවයෙහි සිටි ප්‍රජා මූලිකයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්, ”මා මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඇසුවේ ය.
7 ඔව්හු කතා කොට, ”ඔබ මේ සෙනඟට කරුණාවන්ත ව, ඔවුන් ප්‍රසන්න කොට, ප්‍රිය මනාප වචන ඔවුන්ට කතා කළොත්, ඔවුන් සෑම කල්හි ම ඔබේ මෙහෙකරුවන් වනු ඇතැ”යි ඔහුට කීවෝ ය.
8 එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු, තමාගේ සේවයෙහි සිටි තරුණයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්, 9 ” ‘ඔබේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනවැ’යි මට කී මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.
10 ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කතා කොට, ” ‘ඔබේ පියා අපේ වියගහ බර කෙළේ ය; එහෙත්, ඔබ එය අපට සැහැල්ලු කළ මැනවැ’යි ඔබට කී ඒ සෙනඟට කතා කොට, ‘මාගේ පියාගේ තුනටියට වඩා මාගේ හුළැඟිල්ල ලොකු ය. 11 මාගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම ඔබේ වියගහ වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි’ කියා කිව යුතු ය”යි දැන්වූහ.
12 ‘තුන් වන දා නැවත මා ළඟට එන්නැ’යි රජු කී හැටියට ජෙරොබෝවම් ද මුළු සෙනඟ ද තුන් වන දා රෙහොබෝවම් ළඟට ආවෝ ය. 13 රජ ප්‍රජා මූලිකයන්ගේ අවවාද අත්හැර, 14 තරුණයන්ගේ අවවාද ප්‍රකාර ඔවුන්ට තදින් කතා කොට, උත්තර දෙමින්, ”මාගේ පියා ඔබේ වියගහ බර කෙළේ ය, මම එය වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය, මම ඔබට කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කීවේ ය. 15 මෙසේ රජ තෙම සෙනඟට ඇහුම්කන් නුදුන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ෂිලෝහි අහියා ලවා නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ට කිය වූ ස්වකීය වචනය ඉෂ්ට කරන පිණිස ඒ කාරණය දෙවියන් වහන්සේගෙන් පැමිණියේ ය.
16 රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව සියලු ඉශ්රායෙල්වරුන් දුටු කල, ඔව්හු රජුට උත්තර දෙමින්, ”දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක් ද? ජෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත් තුමෙනි, ඔබ ඔබේ ම වංශය බලාගන්නැ”යි කීවෝ ය. මෙසේ සියලු ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට ගියෝ ය. 17 එහෙත්, රෙහොබෝවම් රජ ජුදා නගරවල විසූ ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.
18 එවිට රෙහොබෝවම් රජ රාජකාරියේ නිලධාරියා වූ හදෝරාම් එහි යැවුවේ ය. ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මැරුවෝ ය. එවිට රෙහොබෝවම් රජ ජෙරුසලමට පලා යන පිණිස ඉක්මනින් රථයට නැඟුණේ ය. 19 මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගැසූ හ.

– 11 වන පරිච්ඡේදය –

ෂෙමායාගේ දිවැස් වැකිය
(1 රාජා: 12:21-24)

1 රෙහොබෝවම් ජෙරුසලමට පැමිණ, තමාට රාජ්‍යය නැවත ලබාගන්න ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස, ජුදා වංශයෙන් ද බෙන්ජමින් වංශයෙන් ද වන තෝරාගත් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය. 2 එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ ෂෙමායා වෙත පැමිණ, 3 ”නුඹ සලමොන්ගේ පුත් ජුදාහි රජ වන රෙහොබෝවම්ටත්, ජුදාහි සහ බෙන්ජමින්හි සියලු ඉශ්රායෙල්වරුන්ටත් කතා කොට, 4 ‘නුඹලා නොයන්න. නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධ ව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මන්ද, මේ කාරණා පැමිණියේ මාගෙන් ය කියා සමිඳාණන් වහන්සේ වදාරන සේක’ කියා දන්වන්නැ”යි කී ය. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේගේ වචනවලට ඇහුම්කන් දී, ජෙරොබෝවම්ට විරුද්ධ ව නොගොස් හැරී ආවෝ ය.

රෙහොබෝවම් රජ බලකොටු තැනීම

5 රෙහොබෝවම් ජෙරුසලමෙහි වාසය කරමින් ආරක්ෂාව පිණිස ජුදාහි නගර ගොඩනැඟුවේ ය. 6 මේ නගර නම්, බෙත්ලෙහෙම්, ඒතාම්, තෙකෝවා; 7 බෙත්-ශූර්, ශෝකෝ, අදුල්ලාම්; 8 ගාත්, මාරේෂා, ශීප්; 9 අදොරයිම්, ලාකීෂ්, අශේකා; 10 ශොරා, අයාලෝන් සහ හෙබ්‍රොන් වේ. ජුදාහි ද බෙන්ජමින්හි ද තිබෙන නගරවලට බලකොටු තැනී ය. 11 ඔහු මේ බලකොටු සවි කර, ඒවායේ අධිපතීන් සිටුවා, ඒවායේ ආහාර සහ තෙල් ද මුද්‍රික පානය ද රැස් කොට තැබී ය. 12 යළිත් හෙතෙම එක එක නගරයෙහි පලිස් සහ හෙල්ල තැබී ය. ඔහු ඒවා ඉතා බලවත් ලෙස ශක්තිමත් කෙළේ ය. එසේ කෙළේ, ජුදා සහ බෙන්ජමින් පෙදෙස්වල සෙනඟ මෙල්ල කරන පිණිස ය.
13 සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටි පූජකවරු ද ලෙවීවරු ද තමන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙත ආවෝ ය. 14 මන්ද, ජෙරොබෝවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් සමිඳාණන් වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක් කරනු ලැබූ නිසා, තමන්ගේ තණ බිම් ද තමන්ගේ උරුමය ද අත්හැර ජුදාටත්, ජෙරුසලමටත් එන්න ඔවුන්ට සිදු වූ බැවිනි. 15 තවද, ඔහු තමා සෑදූ ගිරිකුළු දේවාලවලටත්, එළු රූප හා ගව රූප වන දේවතාවන්ටත් පූජකයන් පත් කරගත්තේ ය. 16 ලෙවීවරුන්ට පසු, සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට තමන් සිත් යොමු කරගත් අය තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ජෙරුසලමට ආවෝ ය. 17 මෙසේ ඔව්හු ජුදා රාජ්‍යය ශක්තිමත් කොට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට තුන් අවුරුද්දක් සහාය දුන්හ. මන්ද, ඔවුන් තුන් අවුරුද්දක් ම දාවිත්ගේ ද සලමොන්ගේ ද මාර්ගයෙහි ගමන් කළ බැවිනි.

රෙහොබෝවම් රජුගේ පවුල

18 තවද, රෙහොබෝවම් දාවිත්ගේ පුත් ජෙරිමොත්ගේ ද ජෙස්සේගේ පුත් එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේ ද දුව වන මහලත් භාර්යාව කොට පාවාගත්තේ ය. 19 ඈ ජෙවුෂ් ද ෂෙමරියා ද සාහම් ද යන පුත්‍රයන් ඔහුගෙන් ලැබුවා ය. 20 ඈට පසු ව ඔහු අබ්සලොම්ගේ දූ වන මයකා පාවාගත්තේ ය. ඈ අබියා ද අත්තයි ද සීසා ද ෂෙලොමිත් ද ඔහුගෙන් ලැබුවා ය. 21 රෙහොබෝවම් තමාගේ සියලු භාර්යාවන්ටත්, උපභාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූ වන මයකාට ප්‍රේම කෙළේ ය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත්, උපභාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේ ය. පුත්‍රයෝ විසිඅටදෙනෙක් ද දූවරු හැටදෙනෙක් ද ඔහුට උපන්නෝ ය. 22 රෙහොබෝවම් වනාහි මයකාගේ පුත් අබියා රජකමට පත් කරන්නට සිතාගෙන ඔහු ඔහුගේ සහෝදරයන් අතරේ අධිපතියා කොට ප්‍රධානකමට පත් කෙළේ ය. 23 ඔහු සිහි නුවණින් හැසිර තමාගේ සියලු පුත්‍රයන්ට වගකීම් පවරා දී ඔවුන්ගෙන් කීප දෙනෙකු ජුදාහිත්, බෙන්ජමින්හිත් පළාත් මුළුල්ලෙහි සියලු බලකොටු නගරවලට බෙදා යැවී ය. තවද, බොහෝ සෙයින් ඔවුන්ට ආහාර සපයා දුන්නේ ය. ඔවුන්ට බොහෝ භාර්යාවන් ද සොයා දුන්නේ ය.

– 12 වන පරිච්ඡේදය –

මිසරයේ රජු ජුදා වටලෑම
(1 රාජා: 14:25-28)

1 තවද, රෙහොබෝවම්ගේ රාජ්‍යය ස්ථිර වී ඔහු බලවත් වූ කල්හි ඔහුත්, සියලු ඉශ්රායෙල්වරුත් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝ ය. 2 ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝ‍්හිකම් කළ නිසා, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට ආයේ ය. 3 ඔහු රථ එක්දහස් දෙසියයක් ද අසරුවන් සැටදහසක් ද ඇති ව පැමිණියේ ය. ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලුබ්වරු ද සුක්කිවරු ද කුෂ්වරු ද ගණනාවක් නැති ව සිටියහ. 4 ඔහු ජුදා දේශයෙහි බලකොටු නගර අල්ලා, පසු ව ජෙරුසලම දක්වා ආයේ ය.
5 එවිට දිවැසිවර ෂෙමායා රෙහොබෝවම් වෙතටත්, ෂීෂක්ට බියෙන් ජෙරුසලමෙහි රැස් ව සිටි ජුදාහි අධිපතීන් වෙතටත් අවුත්, ඔවුන්ට කතා කොට, ” ‘නුඹලා මා අත්හැරියහු ය. එබැවින් මමත් නුඹලා ෂීෂක් අතට පාවා දෙන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.
6 එවිට ඉශ්රායෙල්හි අධිපතීහු ද රජු ද යටත් වී, ”සමිඳාණන් වහන්සේ ධර්මිෂ්ඨ ය”යි කීවෝ ය. 7 ඔවුන් යටත් වූ බව සමිඳාණන් වහන්සේ දුටු විට, උන් වහන්සේ ෂෙමායාට කතා කොට, ”ඔව්හු යටත් වූවෝ ය. මම ඔවුන් විනාශ නොකොට ස්වල්ප කලකින් ඔවුන්ට ගැළවීම දෙන්නෙමි. මාගේ උදහස ද ෂීෂක් අතින් ජෙරුසලම පිට වගුරුවනු නොලබන්නේ ය. 8 එසේ වී නමුත්, මාගේ සේවය හා විදේශීය රාජ්‍යයන්ගේ සේවය අතර වෙනස ඔවුන් දැනගන්න පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ ය”යි වදාළ සේක.
9 මෙසේ මිසරයේ රජ වන ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට අවුත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජ ගෙයි තිබුණු වස්තු ද හැරගෙන ගියේ ය. ඔහු සලමොන් සෑදූ රන් පලිස් ද ඇතුළු සියල්ල ම ගෙන ගියේ ය. 10 රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ ගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට බාර දුන්නේ ය. 11 රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු අවස්ථාවන්හි දී මුරකාරයෝ ඒවා ඔසවාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය. 12 තවද, ඔහු යටත් වූ බැවින් ඔහු මුළුමනින් ම විනාශ නොකරන හැටියට සමිඳාණන් වහන්සේගේ උදහස ඔහු කෙරෙන් හැරිණි. ඇරත් ජුදා දේශයෙහි ද සෞභාග්‍යය උදාවිය.

රෙහොබෝවම් රජුගේ අභාවය

13 මෙසේ රෙහොබෝවම් රජ ජෙරුසලමෙහි ස්ථිර වී රජකම් කෙළේ ය. රෙහොබෝවම් තෙම රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ තමන්ගේ නාමයේ ගෞරවය රක්නා ස්ථානය වශයෙන් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වන ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය. 14 ඔහු සමිඳාණන් වහන්සේ සෙවීමට තම සිත යොමු නොකර නපුරුකම් කෙළේ ය.
15 මුල පටන් අන්තිම දක්වා රෙහොබෝවම්ගේ ක්‍රියා දිවැසිවර ෂෙමායාගේ ද ඉද්දෝ නම් දිවැසිවරයාගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල පරම්පරා වශයෙන් වාර්තාකර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතරේ නිතර ම යුද්ධ පැවතුණේ ය. 16 රෙහොබෝවම් මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් අබියා ඔහු වෙනුවට රජ විය.

 

– 13 වන පරිච්ඡේදය –

අබියා රජ ජෙරොබෝවම් රජ සමඟ යුද්ධ කිරීම
(1 රාජා: 15:1-8)

1 ජෙරොබෝවම් රජුගේ දහඅට වන අවුරුද්දේ දී අබියා ජුදා දේශයෙහි රජ වී 2 තුන් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මීකායා ය. ඈ ගිබියාහි උරියෙල්ගේ දුවක් ය. අබියා ද ජෙරොබෝවම් ද අතරේ යුද්ධ පැවතිණි. 3 එවිට අබියා යුද්ධයට බලවන්ත, තෝරාගත් මනුෂ්‍යයන් හාරලක්ෂයකින් යුත් සේනාවක් ඇති ව යුද්ධාරම්භ කෙළේ ය. ජෙරොබෝවම් ද ඔහුට විරුද්ධ ව තෝරාගත් බලසම්පන්න මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇති ව යුද්ධයට සැරසී පිළිවෙළින් සිටියේ ය.
4 එවිට අබියා එප්‍රායිම් කඳු රටේ තිබෙන ශෙමාරයිම් කන්ද උඩ සිට මෙසේ කී ය: ”ජෙරොබෝවම් සහ සියලු ඉශ්රායෙල්වරුනි, මාගේ බස් අසන්න. 5 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් කෙරෙහි රජකම් කිරීම දාවිත්ට ද ඔහුගේ පුත්‍රයන්ට ද නොබිඳෙන ගිවිසුමකින් සදහට ම දුන් බව ඔබ හැම දැනගත යුතු නොවේ ද? 6 එහෙත්, දාවිත්ගේ පුත්‍රයා වන සලමොන්ගේ සේවක නෙබාත්ගේ පුත් වන ජෙරොබෝවම් නැඟිට තමාගේ ස්වාමියාට විරුද්ධ ව කැරලි ගැසුවේ ය. 7 කමකට නැති දුර්ජන මනුෂ්‍යයෝ ඔහුට එකතු ව ඔවුන්ගේ කැමැත්ත කිරීමට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට විරුද්ධ ව ඔහු තදින් පෙළඹ වූ හ. ඔහු වයසින් බාල ව, සිතින් මෘදු ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්න ඔහුට බැරි විය. 8 දැන් ඔබ හැම දාවිත්ගේ පුත්‍රයන් අතේ තිබෙන සමිඳාණන් වහන්සේගේ රාජ්‍යයට විරුද්ධ ව සිටින්න කල්පනා කරන්නහු ය. ඔබ හැම මහත් සමූහයක් ය. දෙවිවරුන් කොට ජෙරොබෝවම් ඔබට සාදා දුන් රන් වහු රූප ඔබ හැම සමඟ ඇත. 9 ඔබ හැම ආරොන්ගේ පුත්‍රයන් වන සමිඳාණන් වහන්සේගේ පූජකයන් ද ලෙවීවරුන් ද එළවා දමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියම කරගත්තෝ නොවන්නහු ද? මෙසේ කැප වන පිණිස ගොනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නමුත්, නමින් දෙවිවරුන් වූ අයට පූජකයෙක් වන්නේ ය.
10 ”එහෙත්, අපේ දෙවියන් වහන්සේ නම්, සමිඳාණන් වහන්සේ ය. අපි උන් වහන්සේ අත් නොහැරියෙමු, සමිඳාණන් වහන්සේට සේවය කරන පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරු ද අපට සිටිති. 11 ඔව්හු සමිඳාණන් වහන්සේට හැම උදය ද හැම සවස ද දවන යාග පූජා ද සුවඳ දුම් ද ඔප්පු කරති. පිදීමේ රොටි රන් මේසය උඩ පිළිවෙළට තබති. රන් පහන් රුක සමඟ එහි පහන් හැම සවස ම දල්වති. මන්ද, අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආගමික වත්පිළිවෙත් පවත්වමු. එහෙත්, ඔබ හැම උන් වහන්සේ අත්හැරියහු ය. 12 මෙන්න, දෙවියන් වහන්සේ අප කෙරෙහි ප්‍රධාන ව අප සමඟ සිටින සේක; උන් වහන්සේගේ පූජකයෝ ද ඔබ හැමට විරුද්ධ ව පිඹින පිණිස හොරණෑ ගෙන සිටිති. ඉශ්රායෙල්වරුනි, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව සටන් නොකරන්න; මන්ද, ඔබට ද ජය අත් නොවන්නේ ය.”
13 අබියා මෙසේ කී පසු ජෙරොබෝවම් ඔවුන්ට පිටුපසින් එන පිණිස සේනාවක් රහසින් වටේට යැවී ය. මෙසේ ඔව්හු ජුදාවරුන්ට ඉස්සරහින් ද රහස් සේනාව ඔවුන්ට පිටුපසින් ද සිටියෝ ය. 14 ජුදාවරු හැරී බැලූ විට තමන්ට විරුද්ධ ව ඉස්සරහින් ද පිටුපසින් ද යුද්ධය ඇති බව දැක සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය. පූජකයෝ හොරණෑ පිම්බෝ ය. 15 එවිට ජුදා මනුෂ්‍යයන් ඔල්වර හඬ නැඟුව කල, දෙවියන් වහන්සේ ජෙරොබෝවම් සහ සියලු ඉශ්රායෙල්වරුන් අබියාත්, ජුදාත් ඉදිරියේ පරදවා හැරිය සේක. 16 එවිට ඉශ්රායෙල්වරු ජුදාවරුන් ඉදිරියෙන් පලා ගියෝ ය. දෙවියන් වහන්සේ ඔවුන් ජුදාවරුන් අතට පාවා දුන් සේක. 17 අබියා ද ඔහුගේ සෙනඟ ද ඔවුන් ඝාතනය කළහ. තෝරාගත් ඉශ්රායෙල් මනුෂ්‍යයෝ පන්ලක්ෂයක් මැරුම් කා වැටුණෝ ය. 18 මෙසේ ඒ කාලයේ දී ඉශ්රායෙල්වරු යටත් කරන ලද්දෝ ය. ජුදාවරු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා ජයගත්හ.
19 අබියා තෙමේ ජෙරොබෝවම් ලුහුබැඳ ගොස් බෙතෙල් සහ ඊට අයිති නගර ද ජෙෂානා හා ඊට අයිති නගර ද එප්‍රෝන් සහ ඊට අයිති නගර ද අල්ලාගත්තේ ය. 20 මෙසේ ජෙරොබෝවම්, අබියාගේ කාලයේ දී නැවත බලවත් නො වී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු මළේ ය.
21 එහෙත්, අබියා බලවත් විය; හෙතෙම භාර්යාවන් දහහතරදෙනෙකු පාවාගත්තේ ය. පුත්‍රයෝ විසිදෙදෙනෙක් ද දූවරු දහසයදෙනෙක් ද ඔහුට දාව උපන්නෝ ය. 22 අබියාගේ සෙසු ක්‍රියා ද ඔහුගේ ප්‍රතිපත්ති ද කියමන් ද දිවැසිවර ඉද්දෝගේ අටුවා පොතෙහි ලියා තිබේ.

– 14 වන පරිච්ඡේදය –

ආසා රජකමට පැමිණීම

1 මෙසේ අබියා මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත්‍ර වූ ආසා ඔහු වෙනුවට රජ විය. ඔහුගේ කාලයෙහි දස අවුරුද්දක් දේශයේ සාමය පැවතිණි. 2 ආසා තම දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය. 3 මන්ද, ඔහු විදේශීය පූජාසන ද ගිරිකුළු දේවාල ද පහකොට, රූපස්තම්භ බිඳ, අෂේරා කප් කණු ද කපා දැමුවේ ය. 4 තවද, තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන්න ද ව්‍යවස්ථාව හා ආඥාව පිළිපදින්න ද ජුදාවරුන්ට ඔහු අණ කෙළේ ය. 5 ඔහු ජුදාහි සියලු නගරවලින් ගිරිකුළු දේවාල සහ සුවඳ දුම් පූජාසන පහකෙළේ ය. ඔහුගේ කාලයේ රාජ්‍යයෙහි ද සාමය පැවතිණි. 6 තවද, ඔහු ජුදාහි බලකොටු නගර යළි ගොඩනැඟුවේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහුට සාමය දුන් බැවින් දේශයේ සමගිය තිබුණේ ය. ඒ අවුරුදුවල එහි යුද්ධයක් නො වී ය. 7 ඔහු ජුදාවරුන්ට කතා කොට, ”අපි මේ නගර ගොඩනඟා, අවට පවුරු ද කොටු ද දොරටු ද අගුල් ද සාදමු. අප විසින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ සොයනු ලැබූ බැවින් දේශය තවම නිරවුල් ව අප ඉදිරියෙහි තිබේ. අපි උන් වහන්සේ සෙවුවෙමු. උන් වහන්සේ ද හැම අතින් ම අපට සාමය දී තිබේ ය”යි කීවේ ය. මෙසේ ඔව්හු නගර ගොඩනඟමින් සමෘද්ධිමත් වූවෝ ය. 8 ජුදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින් ද බෙන්ජමින්වරුන්ගෙන් පලිස් දරන දුනු ගත් දෙලක්ෂ අසූදහසකින් ද යුක්ත වූ සේනාවක් ආසාට සිටියහ. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ වූ හ.
9 ඔවුන්ට විරුද්ධ ව කුෂ්හි ශෙරා දසලක්ෂයක් සෙනඟ ද රථ තුන්සියයක් ද අඩංගු වූ සේනාවක් ඇති ව පිටත් වී මාරේෂා දක්වා පැමිණියේ ය. 10 ආසා වනාහි ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. එවිට මාරේෂාහි ශෙපාතා මිටියාවතෙහි ඔව්හු යුද්ධයට සැරසී සිටගත්හ. 11 ආසා තම දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, ”සමිඳුනි, බලසම්පන්න අයට විරුද්ධ ව බලහීන අයට පිහිට වන්න ඔබ හැර අන් කිසිවෙක් නැත්තේ ය. අපේ දෙවි සමිඳුනි, අපට පිහිට වුව මැනව. මන්ද, අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබේ නාමයෙන් මේ සමූහයට විරුද්ධ ව අවුත් සිටිමු. සමිඳුනි, ඔබ අපේ දෙවියන් වහන්සේ ය. ඔබට විරුද්ධ ව මනුෂ්‍යයා ජය නොගනීවා”යි කීවේ ය.
12 සමිඳාණන් වහන්සේ ආසා සහ ජුදාවරුන් ඉදිරියෙහි කුෂ්වරුන් පැරද වූ සේක. කුෂ්වරු පලා ගියෝ ය. 13 ආසා ද ඔහු සමඟ සිටි සෙනඟ ද ගෙරාර් දක්වා ලුහුබැඳ ගියෝ ය. කුෂ්වරුන්ගෙන් කිසිවෙකු ජීවත් ව ඉතුරු නොවන ලෙස ඔව්හු මැරුම්කෑහ. මන්ද, ඔව්හු සමිඳාණන් වහන්සේ ද උන් වහන්සේගේ සේනාව ද ඉදිරියෙන් විනාශ කරනු ලැබුවෝ ය. ඔව්හු ඉතා මහත් කොල්ලයක් ද රැගෙන ආවෝ ය. 14 ගෙරාර් නගරය අවට සියලු නගරවලට ඔව්හු පහර දුන්නෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙන් ඔවුන් පිට භීතියක් පැමිණි බැවින් ඔව්හු ඒ සියලු නගර කොල්ලකෑවෝ ය. ඒවායේ බොහෝ කොල්ලය තිබිණි. 15 ඔව්හු සිවුපාවුන්ගේ මඩුවලටත් පහර දී බොහෝ බැටළුවන් ද ඔටුවන් ද අල්ලාගෙන ජෙරුසලමට හැරී ආවෝ ය.

 

– 15 වන පරිච්ඡේදය –

දිවැසිවර අසරියාගේ දිවැස් වැකිය

1 තවද, දෙවියන් වහන්සේගේ ආත්මානුභාව ඕදෙද්ගේ පුත් අසරියා කෙරෙහි පැමිණියේ ය. 2 ඔහු ආසාගේ පෙරමඟට ගොස් මෙසේ කී ය: ”ආසා සහ සියලු ජුදාවරුනි, බෙන්ජමින්වරුනි, මට සවන් දෙන්න. ඔබ සමිඳාණන් වහන්සේ සමඟ සිටින තුරු උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ උන් වහන්සේ සොයන්නහු නම්, උන් වහන්සේ ඔබ සියල්ලන්ට සම්බ වනු ඇත. ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ද ඔබ අත්හරිනු ඇත. 3 බොහෝ කාලයක සිට ඉශ්රායෙල්වරු සැබෑවන දෙවියන් වහන්සේ ද උගන්වන පූජකයෙකු ද ව්‍යවස්ථාව ද නැති ව සිටියෝ ය. 4 එහෙත්, ඔවුන් තමන්ගේ විපතේ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙස හැරී, උන් වහන්සේ සෙවූ විට ඔවුන්ට උන් වහන්සේ සම්බ වූ සේක. 5 ඒ කාලයේ ගමන් බිමන්වල යෙදුණු කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති විය. දේශවල සියලු වැසියන්ට මහා පීඩා පැමිණියේ ය. 6 ජාතියක් විසින් ජාතියක් ද නුවරක් විසින් නුවරක් ද පොඩි කරනු ලැබූ හ. මන්ද, දෙවියන් වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන්ට පීඩා කළ බැවිනි. 7 එහෙත්, ඔබ දුබල නොවී ශක්තිමත් වන්න. මන්ද, ඔබ හැමගේ වැඩට විපාක ලැබෙන්නේ ය.”

ආසා රජුගේ යහපත් වැඩ

8 ආසා මේ පණිවුඩය ද දිවැසිවර ඕදෙද්ගේ දිවැස් වැකිය ද ඇසූ කල ධෛර්ය උපදවාගෙන, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් මුළු දේශයෙන් ද එප්‍රායිම් කඳු රටින් තමා අල්ලාගත් නගරවලින් ද පිළිකුල් දේව රූප අහක් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපය ඉදිරිපිට තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය ද අලුත් වැඩියා කෙළේ ය.
9 තවද, ඔහු සියලු ජුදාවරුන් ද බෙන්ජමින්වරුන් ද ඔවුන් සමඟ එප්‍රායිම්වරුන්ගෙනුත්, මනස්සේවරුන්ගෙනුත්, සිමියොන්වරුන්ගෙනුත් අවුත් සිටි ආගන්තුකයින් ද රැස් කරගත්තේ ය. මන්ද, ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින බව දුටු කල ඉශ්රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙකු ඔහුට එක් වූ බැවිනි. 10 ආසා රජකමට පත් වූ පහළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ දී ඔව්හු ජෙරුසලමට රැස් වූ හ. 11 ඔවුන් ගෙනා කොල්ලයෙන් ගවයන් සත්සියයකුත්, බැටළුවන් සත්දහසකුත් සමිඳාණන් වහන්සේට ඔව්හු ඒ දවසේ පූජා කළො‍් ය. 12 තවද, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද සොයන්නත්, 13 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොසොයන සියල්ලන්, ලොකු කෙනෙකු වුවත්, කුඩා කෙනෙකු වුවත්, පුරුෂයෙකු වුවත්, ස්ත්‍රියක වුවත් මරණයට පත් කළ යුතු යයි නියම කරගන්නත් වූ හ. 14 ඔව්හු මහා හඬ ද ඝෝෂා හඬ ද හොරණෑවලත්, නළාවලත් ශබ්දය ද ඇති ව සමිඳාණන් වහන්සේට දිවුරුම දුන්නෝ ය. 15 සියලු ජුදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීති වූ හ. මන්ද, ඔවුන් තමන්ගේ මුළු සිතින් දිවුරා, තමන්ගේ මුළු කැමැත්තෙන් උන් වහන්සේ සෙවූ බැවිනි. සමිඳාණන් වහන්සේ ද ඔවුන්ට තමන් වහන්සේ සොයා ගැන්මට ඉඩ දුන් සේක. උන් වහන්සේ ඔවුන්ට හාත්පසින් ම සාමය ලබා දුන් සේක.
16 ආසා රජුගේ මව වූ මයකා විසින් අෂේරා දේවතාවියට පිළිකුල් රූපයක් සාදනු ලැබූ නිසා, ආසා ඇය බිසෝකමෙන් අහක් කර, ඇගේ පිළිම කප් කණුව කපා දමා, සුණු කර, කිද්‍රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමුවේ ය. 17 එහෙත්, ඉශ්රායෙල්වරුන් අතරෙන් ගිරිකුළු දේවාල පහ කරනු නොලැබුවේ ය. එසේ වුවත්, ආසාගේ සිත ඔහුගේ මුළු කාලයේ දී නිර්දෝෂිව තිබුණේ ය. 18 ඔහු තමාගේ පියා ද තමා ද කැප කළ රන් රිදී සහ බඩු භාණ්ඩ දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගෙනාවේ ය. 19 ආසා රජකම් කළ තිස්පස් වන අවුරුද්ද දක්වා තවත් යුද්ධ නො වී ය.

– 16 වන පරිච්ඡේදය –

ආසා රජු බාෂා රජු සමඟ යුද්ධ කිරීම
(1 රාජා: 15:17-22)

1 ආසා රජකම් කළ තිස්හය වන අවුරුද්දේ දී ඉශ්රායෙල්හි රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස් ජුදාහි රජු වූ ආසා වෙත කිසිවෙකුට යන්න එන්න ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැඟුවේ ය. 2 එවිට ආසා සමිඳාණන් වහන්සේගේ දේව මාලිගාවේ හා රජ මැදුරේ ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසය කළ සිරියාවේ රජ වන බෙන්-හදද්ට ඒවා යවමින්, 3 ”මාගේ පියා ද ඔබේ පියා ද අතරේ තිබුණ පරිදි, මා සහ ඔබ අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි. ඉශ්රායෙල්හි රජු වන බාෂා මාගේ රටින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩ කළ මැනවැ”යි කියා හැරියේ ය.
4 එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන් දී තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්රායෙල් නගරවලට විරුද්ධ ව යැවී ය. ඔහු ඊයොන්ටත්, දාන්ටත්, ආබෙල්-මායිම්ටත්, නප්තලීහි සියලු ගබඩා-නගරවලටත් පහර දුන්නේ ය. 5 බාෂා රජ එය ඇසූ විට, ඔහු රාමා නගරය ගොඩනැඟීමෙන් නැවතී තම වැඩ අත් හිටවී ය. 6 එවිට ආසා රජ සියලු ජුදාවරුන් කැඳවාගෙන ගොස්, බාෂා ගොඩනැඟුවා වූ රාමාහි ගල් ද ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, එයින් ගෙබා ද මිශ්පා ද යන නගර ගොඩනැඟුවේ ය.

දිවැසිවර හනානි

7 එවිට දිවැසිවර හනානි ජුදාහි රජ වූ ආසා ළඟට අවුත් කතා කොට, ” ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා, සිරියාවේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියාවේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී යන්නේ ය. 8 කුෂ්වරු ද ලූබ්වරු ද රථ සහ අසරුවන් මහා රාශියක් ඇති මහා සේනාවක් ව සිටියෝ නොවෙත් ද? එහෙත්, ඔබ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා, උන් වහන්සේ ඔවුන් ඔබ වෙත පාවා දුන් සේක. 9 මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය. 10 එවිට ආසා රජ දිවැසිවරයා කෙරෙහි කෝප වී ඔහු හිර ගෙයි දැමී ය. මන්ද, ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස් ව සිටි බැවිනි. එම කාලයේ ම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩා කෙළේ ය.

ආසා රජුගේ පාලනයේ අවසානය
(1 රාජා: 15:23-24)

11 ආසාගේ ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි ද ඉශ්රායෙල්හි ද රජුන්ගේ පොතෙහි ලියා තිබේ. 12 ආසා රජකම් කළ තිස්නව වන අවුරුද්දේ දී ඔහුගේ පාදවල රො‍්ගයක් විය; ඒ රෝගය තදබල විය. එහෙත්, ඔහු තමාගේ රෝගයේ දී සමිඳාණන් වහන්සේ නොව වෛද්‍යවරුන් සෙවී ය. 13 එහෙත්, ආසා මියගියේ ය. ඔහු මියගියේ, තමා රජ කළ සතළිස්එක් වන අවුරුද්දේ දී ය. 14 ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගෙන තිබූ ඔහුගේ ම සොහොන් ගෙයි ඔහු තැන්පත් කළො‍් ය. තවද, තෛල සංයෝගකරුගේ ශාස්ත්‍රය අනුව පිළියෙළ කළ නොයෙක් ආලේපනයෙන් සහ සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූ පසු ඔව්හු ඔහුගේ ගෞරවය පිණිස ඉමහත් ගිනිමැලයක් දැල්වූවෝ ය.

 

– 17 වන පරිච්ඡේදය –

ජෙහෝෂාපාට් රජ වීම

1 ආසාගේ පුත් ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වී ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව තමාගේ බලය තහවුරු කරගත්තේ ය. 2 ඔහු ජුදා රටේ සියලු බලකොටු නගරවල හමුදාවන් සිටුවා, ජුදා දේශයෙහි ද තමාගේ පිය වූ ආසා අල්ලාගත් එප්‍රායිම් නගරවල ද මුර සේනාවන් සිටෙව්වේ ය. 3 සමිඳාණන් වහන්සේ ජෙහෝෂාපාට් සමඟ වැඩ සිටි සේක. මන්ද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ මුල් කාලයේ ආදර්ශ අනුව හැසිර, බාල් දේවතාවුන්ට වැඳුම්පිදුම් නොකර, 4 තම පියාගේ දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ ක්‍රියා අනුව නොව, උන් වහන්සේගේ ආඥා අනුව හැසුරුණේ ය. 5 එබැවින් සමිඳාණන් වහන්සේ ඔහු යටතේ රාජ්‍යය ස්ථිර කළ සේක. සියලු ජුදාවරු ජෙහෝෂාපාට්ට තෑගි ගෙනාහ. වස්තුව ද ගෞරවය ද ඔහුට බොහෝ සෙයින් තිබිණි. 6 ඔහු සමිඳාණන් වහන්සේට වන්දනා කිරීමට ධෛර්යවත් වී, නැවත ජුදා රටින් ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද පහකෙළේ ය.
7 තවද, ඔහු තමා රජකම් කළ තුන් වන අවුරුද්දේ දී ජුදා නගරවල උගන්වන පිණිස තමාගේ අධිපතීන් වන බෙන්හයිල් ද ඔබදියා ද ශෙකරියා ද නෙතනේල් ද මීකායා ද 8 ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායා ද නෙතනියා ද ශෙබදියා ද අසාහෙල් ද ෂෙමිරාමොත් ද ජෙහොනාතාන් ද අදොනියා ද ටෝබියා ද ටෝබ්-අදොනියා ද ඔවුන් සමඟ පූජකවරුන් වූ එලීෂාමා ද ජෙහෝරාම් ද යැවී ය. 9 ඔව්හු ද ජුදාහි උගන්වමින්, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන ජුදාහි සියලු නගරවලට ගොස් සෙනඟ අතරෙහි එය ඉගැන්නුවෝ ය.

ජෙහෝෂාපාට් රජුගේ බලවත් ක්‍රියා

10 සමිඳාණන් වහන්සේ ජුදා රට අවට දේශවල සියලු රාජ්‍යයන් භීතියට පත් කළ නිසා, ඔව්හු ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධ නොකළෝ ය. 11 පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් ජෙහෝෂාපාට්ට තෑගි ද රිදී ද කප්පම් පිණිස ගෙනාවෝ ය. අරාබිවරු ද බැටළුවන් හත්දහස් හත්සියයක් හා එළුවන් හත්දහස් හත්සියයක් ද යන සිවුපාවුන් ගෙනාවෝ ය. 12 ජෙහෝෂාපාට් අතිශයින් උතුම් ව ජුදාහි බලකොටු ද ගබඩා-නගර ද ගොඩනැඟුවේ ය.
13 ඔහුට ජුදා නගරවල බොහෝ බලකොටු තිබුණේ ය. යුද්ධයට බලවත්, වික්‍රමාන්විත මනුෂ්‍යයෝ ද ජෙරුසලමෙහි සිටියෝ ය. 14 ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේ ය: ජුදාවරුන් අතර සහශ්‍රාධිපතියෝ නම්, අධිපතියා වන අද්නා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝ ය. 15 ඊළඟට අධිපතියා වූ ජෙහෝහානාන් ය. ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂ අසූදාහක් සිටියෝ ය. 16 ඊළඟට සිටියේ, කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේගේ සේවයට බාර වූ ශික්රීගේ පුත් අමසියා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝ ය. 17 ඊළඟට සිටියේ බෙන්ජමින්වරුන් අතර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු වූ එල්යාදා ය. ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධ වූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝ ය. 18 ඊළඟට සිටියේ, ජෙහෝශාබාද් ය; යුද්ධයට සැරසී සිටි එක්ලක්ෂ අසූදහසක් ඔහු සමඟ වූවෝ ය. 19 ඔව්හු රජුට මෙහෙ කළ අය වූ හ. ඔවුන් හැර රජු විසින් මුළු ජුදාහි බලකොටු නගරවල නවතනු ලැබූ අයත් රජුට මෙහෙ කළෝ ය.

 

– 18 වන පරිච්ඡේදය –

ආහබ් රජුට අනතුරු ඇඟවීම
(1 රාජා: 22:1-27)

1 තවද, ජෙහෝෂාපාට්ට බොහෝ සෙයින් වස්තුව ද ගෞරවය ද තිබිණි. ඔහු ආහබ් සමඟ විවාහ නෑකම් බැඳගත්තේ ය. 2 අවුරුදු ගණනකට පසු ඔහු සමාරියේ විසූ ආහබ් වෙත ගියේ ය. එවිට ආහබ් ඔහු ද ඔහු සමඟ සිටි සෙනඟ ද උදෙසා බොහෝ බැටළුවන් ද ගවයන් ද මරා, තමා සමඟ රාමොත්-ගිලියද්ට යන්න ඔහු පෙළඹෙව්වේ ය. 3 ඉශ්රායෙල් රජ වන ආහබ් ජුදාහි රජ වන ජෙහෝෂාපාට්ට නැවත කතා කොට, ”ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසුවේ ය. ඔහු ද උත්තර දෙමින්, ”මමත් ඔබ මෙන් සටනට සූදානම් ය; මාගේ සෙනඟත්, ඔබේ සෙනඟ මෙන් සටනට සූදානම් ය. යුද්ධයේ දී අපි ඔබ සමඟ සිටින්නෙමු”යි ඔහුට කීවේ ය. 4 තවද, ජෙහෝෂාපාට් කතා කොට, ”සටනට යෑම ගැන අද සමිඳාණන් වහන්සේගෙන් විචාළ මැනවැ”යි ඉශ්රායෙල් රජුට කීවේ ය.
5 එකල ඉශ්රායෙල් රජ ගණනින් හාරසියයක් වන දිවැසිවරුන් රැස් කොට, ”අප යුද්ධය පිණිස රාමොත්-ගිලියද්ට යන්න ද නොහොත් මා නොගොස් සිටින්න දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය. ඔව්හු ද, ”ගියමැනව; දෙවියන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.
6 එහෙත්, ජෙහෝෂාපාට් කතා කොට, ”මොවුන් හැර අප විසින් විචාරනු ලබන පිණිස සමිඳාණන් වහන්සේගේ වෙන දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසුවේ ය.
7 ඉශ්රායෙල් රජ ද උත්තර දෙමින්, ”සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් වන තව එක් කෙනෙක් සිටියි. එහෙත්, ඔහු නිතර ම මා ගැන නපුරක් මිස යහපතක් දිවැස් වැකියෙන් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් කතා කරමින්, ”රජ්ජුරුවෝ එසේ නොකියත්වා”යි කීවේ ය.
8 එවිට ඉශ්රායෙල් රජ ඇමතියෙකු කැඳවා, ”ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි කීවේ ය. 9 ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජ වස්ත්‍ර හැඳ තම තමන්ගේ සිංහාසනවල හිඳගත්හ. ඔව්හු සමාරියේ දොරකඩ එළිමහන් තැනක වාඩි වී සිටියහ. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරියෙහි දිවැස් වැකි කියමින් සිටියහ. 10 කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, ” ‘නුඹ සිරියන්වරුන් විනාශ වන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය. 11 සියලු දිවැසිවරු එසේ ම දිවැස් වැකි කියමින්, ”රාමොත්-ගිලියද්ට ගොස් ජයගත මැනව. සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.
12 මීකායා කැඳවාගෙන එන්න ගිය පණිවුඩකාරයා ඔහුට කතා කොට, ”බලන්න, දිවැසිවරුන්ගේ වචනවලින් එක ලෙස ම රජු ගැන සුබ දෙයක් ම කියැවේ. ඒ නිසා ඔබේ වචනයත් ඔවුන්ගෙන් කෙනෙකුගේ වචන ම මෙන් වන පිණිස, සුබ දෙයක් ම කියන්නැ”යි කීවේ ය.
13 මීකායා ද, ”ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මාගේ දෙවියන් වහන්සේ කියන දෙය ම කතා කරන්නෙමි”යි කීවේ ය.
14 ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කතා කොට, ”මීකායා, අප යුද්ධ පිණිස රාමොත්-ගිලියද්ට යන්න ද නැතහොත් මා නොගොස් සිටින්න දැ”යි ඔහුගෙන් ඇසුවේ ය. ඔහු ද, ”ගොස් ජයගන්න. ඔව්හු ඔබ අතට පාවා දෙනු ලබන්නෝ ය”යි කී ය.
15 රජ තෙමේ ඔහු අමතා, ”සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන ලෙස මම කී වරක් ඔබ දිවුරුවෙම් දැ”යි ඔහුට කී ය.
16 එවිට ඔහු කතා කොට, ”සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල ඉඳිනු දිටිමි. එවිට සමිඳාණන් වහන්සේ ‘මොවුන්ට ස්වාමියෙක් නැත. එකිනෙකා තම තමාගේ ගෙදරට සාමදානයෙන් හැරී යේවා’යි වදාළ සේකැ”යි කීවේ ය.
17 ඉශ්රායෙල් රජ ද කතා කොට, ”ඔහු මා ගැන දිවැස් වැකියෙන් අසුබ දෙයක් මිස සුබ දෙයක් නොකියන්නේ ය කියා මම ඔබට නොකීවෙම් දැ”යි ජෙහෝෂාපාට්ට කීවේ ය.
18 මීකායා කතා කොට මෙසේ කී ය: ”එබැවින් සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. සමිඳාණන් වහන්සේ තමන් සිංහාසනයෙහි වැඩහිඳිනවා ද මුළු ස්වර්ග සේනාව උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනවා ද මම දිටිමි. 19 සමිඳාණන් වහන්සේ ද, ‘ඉශ්රායෙල් රජ වන ආහබ් රාමොත්-ගිලියද්හි දී පරාජය වන පිණිස එහි යන්න ඔහු කැමැති කරවන්නේ කවුරු දැ’යි ඇසූ සේක. එවිට එක් කෙනෙක් මේ ආකාරයට ද අනික් කෙනෙක් ඒ ආකාරයට ද කීවෝ ය. 20 එකල භූතාත්මයක් පැමිණ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිට, ‘මම ඔහු කැමැති කරවමි’යි කී ය. ‘කුමකින් දැ’යි සමිඳාණන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. 21 ‘මම ගොස් ඔහුගේ සියලු දිවැසිවරුන්ගේ මුඛවල මුසාවාදී ආත්මයක් වෙමි’යි ඔහු කීවේ ය. උන් වහන්සේ ද, ‘නුඹ ගොස් ඔහු පොළඹවා ජයගන්න; ගොස් එසේ කරන්නැ’යි වදාළ සේක.
22 ”එබැවින් සමිඳාණන් වහන්සේ ඔබේ මේ දිවැසිවරුන්ගේ මුඛවල මුසාවාදී ආත්මයක් තැබූ සේක. සමිඳාණන් වහන්සේ ඔබ ගැන අසුබ දෙයක් කියා තිබේ.”
23 මෙය ඇසූ විට කෙනානාගේ පුත් ශෙදෙකියා ළං වී, මීකායාගේ කම්මුලට ගසා, ”සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔබට කතා කරන්න මා කෙරෙන් ගියේ මොන මාර්ගයෙන් දැ”යි ඇසුවේ ය.
24 මීකායා ද උත්තර දෙමින්, ”බලන්න, ඔබ සැඟවෙන්න ඇතුල් ගෙයකට යන දවසේ දී එය දැන ගන්නෙහි ය”යි කීවේ ය.
25 ඉශ්රායෙල් රජ කතා කොට, ”ඔබ මීකායා ගෙන නුවර අධිපතියා වන ආමොන් ද රජුගේ පුත් ජෝවාෂ් ද ළගට ගොස්, ‘මොහු හිරගෙහි ලා, 26 මා සාමදානයෙන් හැරී එන තුරු මොහුට කන්න රොටි ද බොන්න වතුර ද පමණක් දෙන්න’ කියා කියන්නැ”යි පැවසී ය.
27 මීකායා ද උත්තර දෙමින්, ”ඔබ ඇත්තට ම සුව සේ හැරී එන්නෙහි නම්, සමිඳාණන් වහන්සේ මා ලවා කතා කෙළේ නැත. ජනයෙනි, ඔබ සියල්ලන් ම මෙය අසන්නැ”යි කීවේ ය.

ආහබ් රජුගේ මරණය
(1 රාජා: 22:29-35)

28 මෙසේ ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාමොත්-ගිලියද්ට විරුද්ධ ව සටනට ගියෝ ය. 29 ඉශ්රායෙල් රජ ජෙහෝෂාපාට්ට කතා කොට, ”මම වෙස් මාරු කරගෙන යුද්ධයට යන්නෙමි. එහෙත්, ඔබ ඔබේ වස්ත්‍ර හැඳගත මැනව”යි කීවේ ය. මෙසේ ඉශ්රායෙල් රජ වෙස් මාරු කරගත් පසු ඔව්හු සටනට ගියෝ ය.
30 සිරියාවේ රජ තමාගේ රථාධිපතීන්ට කතා කරමින්, ”ඉශ්රායෙල් රජු සමඟ මිස, ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැ”යි අණකර තිබුණේ ය. 31 රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු විට, ”මොහු ඉශ්රායෙල් රජ ය”යි ඔහුට විරුද්ධ ව සටන් කරන්න ඔහු වට කරගත්තෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිහිට වී ඔහු වෙතින් ඔවුන් අහක් කර වූ සේක. 32 ඔහු ඉශ්රායෙල් රජු නොවන බව රථාධිපතීහු දැක, ඔහු ලුහුබැඳයාමෙන් ආපසු හැරුණෝ ය. 33 එහෙත්, එක්තරා මනුෂ්‍යයෙක් දුන්න තැත්කවා, නොදැන ම ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රථාචාර්යාට කතා කොට, ඔබ ආපසු හැරී, සේනාවෙන් පිටතට මා ගෙන යන්න. මන්ද, මට හොඳට ම තුවාළ ය”යි කීවේ ය. 34 ඒ දවස ගත වීමත් සමඟ යුද්ධය තදබල විය. එසේ වී නමුත්, ඉශ්රායෙල් රජ සවස වන තුරු සිරියන්වරුන්ට ඉදිරියෙන් ආධාර ඇති ව රථයේ කෙළින් සිටුවනු ලැබූ පසු, ඉර බසින වේලාව පමණේ දී මළේ ය.

– 19 වන පරිච්ඡේදය –

ජේහුගේ තරවටුව

1 ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ජෙරුසලමේ තම මාලිගාවට සුව සේ හැරී ගියේ ය. 2 එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, ”දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ. 3 එසේ වුවත්, ඔබ දේශයෙන් අෂේරා කප් කණු පහකර දැමීම ද දෙවියන් වහන්සේ සෙවීමට ඔබේ සිත යොමු කිරීම ද යන යහපත් ක්‍රියා කර ඇත්තේ ය”යි කීවේ ය.

ජෙහෝෂාපාට් රජුගේ ප්‍රතිසංස්කරණ

4 ජෙහෝෂාපාට් ජෙරුසලමෙහි කලක් වාසය කොට, බෙයර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳු රට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් නැවත හරවා ගත්තේ ය. 5 ඔහු ජුදා දේශයේ සියලු බලකොටු නගරවල, නගරයක් නගරයක් පාසා විනිශ්චයකාරයන් සිටුවා කතා කොට, 6 ”ඔබ හැම කරන්නේ කුමක් ද කියා වග බලාගන්න. මන්ද, ඔබ විනිශ්චය කරන්නේ, මනුෂ්‍යයා උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා ය. විනිශ්චයයේ දී උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. 7 එබැවින් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව ප්‍රවේසමින් ක්‍රියා කරන්න. මන්ද, අපේ දෙවි සමිඳාණන් වහන්සේ වංචාවක් වත්, අයුක්තියක් වත්, අල්ලස් ගැනීමක් වත් නොකරන කෙනෙකු වන බැවිනි”යි විනිශ්චයකාරයන්ට කීවේ ය.
8 තවද, ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේ වෙනුවෙන් විනිශ්චය කිරීමටත්, නඩු හබ විසඳීමටත් ලෙවීවරුන්ගෙන් ද පූජකයන්ගෙන් ද ඉශ්රායෙල් පිය වංශවල ප්‍රධානීන්ගෙන් ද සමහර අය ජෙරුසලමට පත් කෙළේ ය. ඔව්හු ජෙරුසලමට හැරී ආවෝ ය. 9 ඔහු ඔවුන්ට අණ කොට, ”සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව විශ්වාසවන්තකමින් ද මුළු සිතින් ද මෙසේ කරන්න. 10 තමන්ගේ නගරවල වාසය කරන ඔබේ සහෝදරයන්ගේ ලේ වැගිරවීම ගැන වත්, ව්‍යවස්ථාව සහ ආඥාව ගැන වත්, පණත් හා විනිශ්චයයන් ගැන වත් ඔබ වෙත පැමිණෙන සියලු පැමිණිලිවල දී ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව වරදකාරයන් නොවන පිණිසත්, ඔබ සහ ඔබේ සහෝදරයන්ට විරුද්ධ ව උදහස නොපැමිණෙන පිණිසත් ඔවුන්ට අවවාද කරන්න. ඔබ වරදකාරයන් නොවන පිණිස මෙසේ කරන්න. 11 මෙන්න, සමිඳාණන් වහන්සේගේ සියලු කටයුතු ගැන උත්තම පූජක වන අමරියා ද, රජුගේ සියලු කටයුතු ගැන ජුදා වංශයේ අධිපතියා වන ඉෂ්මායෙල්ගේ පුත් සෙබදියා ද ඔබ හැමගේ ප්‍රධානියෝ ය. ලෙවීවරු ද ඔබ ඉදිරියෙහි නිලධාරීහු වෙති. ධෛර්යවත් ව ක්‍රියා කරන්න. උපදෙස් පිළිපදින්න. සමිඳාණන් වහන්සේ ඔබට යහපත සලසන සේක් වා!”යි කීවේ ය.

– 20 වන පරිච්ඡේදය –

ඒදොම්ට විරුද්ධ සටන

1 මින්පසු මෝවබ්වරු ද අම්මොන්වරු ද ඔවුන් සමඟ මෙයුනිවරුන්ගෙන් සමහරෙක් ද ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධයට ආවෝ ය. 2 එවිට සමහරෙක් අවුත්, ජෙහෝෂාපාට්ට කතා කොට, ”මුහුද එගොඩින් ඒදොම්හි සිට මහත් සමූහයක් ඔබට විරුද්ධ ව එන්නාහ. ඔව්හු හශශොන්-තාමාර්හි හෙවත් එන්-ගෙදියෙහි සිටිති”යි දැන්වූ හ. 3 එවිට ජෙහෝෂාපාට් බිය වී, සමිඳාණන් වහන්සේට යැදීමට ඉටාගෙන ජුදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කෙළේ ය. 4 සමිඳාණන් වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස ජුදාවරු රැස් වූවෝ ය. ජුදාහි සියලු නගරවලින් ඔව්හු සමිඳාණන් වහන්සේට යැදීමට ආවෝ ය. 5 එවිට ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අලුත් මළුව ඉදිරිපිට, ජුදා දේශයේ සහ ජෙරුසලමේ සිට රැස් වූ සභාව මැද සිට මෙසේ කීවේ ය: 6 ”අපේ පියවරුන්ගේ දෙවි සමිඳුනි, ඔබ ස්වර්ගයෙහි දෙවියන් වහන්සේ නොවන සේක් ද? ජාතීන්ගේ සියලු රාජ්‍යයන් කෙරෙහි ආණ්ඩු කරන්නේත් ඔබ වහන්සේ නොවන සේක් ද? ඔබේ හස්තයේ බලය හා පරාක්‍රමය තිබේ. ඔබට විරුද්ධ ව සිටින්න පුළුවන් කෙනෙකුත් නැත. 7 අපේ දෙවියන් වහන්ස, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ඉදිරිපිටින් ඔබ වහන්සේ ම මේ දේශයේ වැසියන් පන්නා දමා, ඔබේ මිත්‍ර වන ආබ්‍රහම්ගේ වංශයට එය සදහට ම නුදුන් සේක් ද? 8 ඔව්හු මෙහි වාසය කොට, ඔබේ නාමයට මෙහි ශුද්ධස්ථානයක් ගොඩනඟා කතා කොට, 9 ‘අප පිට යම් විපත්තියක් එනම්, යුද්ධයක් හෝ දඬුවමක් හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමිණියොත්, ඔබේ මේ මාලිගාව ඔබේ නාමය දරන නිසා, අපි මේ මාලිගාවෙහි හා ඔබ ඉදිරියෙහි සිට අපේ දුකේ දී ඔබට යාච්ඤා කරන්නෙමු, එවිට ඔබ ඇහුම්කන් දී අප ගළවන සේකැ’යි කීවෝ ය.
10 ”බැලුව මැනව, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ආ කල, අම්මොන්වරුන් සහ මෝවබ්වරුන් ද සේයිර් කඳුකරේ වැසියන් ද අතරට පැමිණෙන්න ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශ නොකර ඔවුන් වෙතින් අහක් ව ගියෝ ය. 11 එහෙත්, ඔබ අපට හිමිකර දුන් ඔබේ උරුමයෙන් අප පන්නා දමන්න ඊමෙන් ඔවුන් අපට ප්‍රතිඵල දෙන හැටි බැලුව මැනව. 12 අපේ දෙවියන් වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරන සේක් ද? මන්ද, අපට විරුද්ධ ව එන මේ විශාල සෙනඟ ඉදිරියෙහි සිටින්න අපට ශක්තිය නැත: අපි කුමක් කරමු ද කියාත් නොදනිමු. එබැවින්, අපේ ඇස් ඔබ දෙස ම යොමු කර තිබේ.”
13 ජුදා දේශයේ පිරිමි සියල්ලෝ ම තමන්ගේ අත දරුවන් ද භාර්යාවන් ද දරුවන් ද සමඟ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටියෝ ය. 14 එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන ලෙවීය මත්තනියාගේ පුත් ජෙයීයෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජහසියෙල් මත පහළ විය. 15 ඔහු කතා කොට, ”සියලු ජුදාවරුනි, ජෙරුසලම් වැසියෙනි, ජෙහෝෂාපාට් රජතුමෙනි, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ හැමට මෙසේ කියන සේක: ‘මේ විශාල සමූහය නිසා බිය නොවන්න; නොකැළඹෙන්න, මන්ද, මේ යුද්ධය ඔබ සැමගේ නොව දෙවියන් වහන්සේගේ වන බැවිනි. 16 හෙට ඔවුන්ට විරුද්ධ ව යන්න. බලන්න, ඔව්හු ශීශ් නම් බෑවුමෙන් නැඟී එති; ජෙරුයෙල් පාළුකරය ඉදිරිපිට මිටියාවතේ කෙළවර දී ඔව්හු ඔබ සියල්ලන්ට සම්බ වන්නෝ ය. 17 ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේ දී ඔබ සටන් කරන්න ඕනෑ නැත.’ සැරසී නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබට දෙන ගැළවීම බලා සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින නිසා බිය නොවී, නොකැළඹී, හෙට ඔවුන් වෙත පිටත් ව යන්නැ”යි පැවසී ය.
18 එවිට ජෙහෝෂාපාට් බිමට නැමුණේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද සමිඳාණන් වහන්සේට නමස්කාර කරමින් උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. 19 කොහාත්වරුන්ගේ පුත්‍රයන් ද කොරාවරුන්ගේ පුත්‍රයන් ද වන ලෙවීවරු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඉමහත් හඬකින් ප්‍රශංසා කිරීමට පටන් ගත්හ.
20 ඔව්හු පසු දා අලුයම නැඟිට තෙකෝවා පාළුකරයට පිටත් ව ගියෝ ය. ඔවුන් පිටත් වෙද්දී ජෙහෝෂාපාට් නැඟිට කතා කොට, ”ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වන්නහු ය. උන් වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ ජයග්‍රාහී වන්නහු ය”යි කීවේ ය. 21 ඔහු සෙනඟ සමඟ සම්මන්ත්‍රණය කොට සමිඳාණන් වහන්සේට ගායනා කරන්නන් පත් කෙළේ ය. ඔව්හු නමස්කාරයට සුදුසු ඇඳුම් ලා ගෙන යුද්ධ සේනාවට පෙරටු ව යමින්, උන් වහන්සේට ප්‍රශංසා කරමින්, ”සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි ගැයුවෝ ය.

සතුරන්ගේ විනාශය

22 ඔවුන් ප්‍රීති ඝෝෂාව ද ප්‍රශංසාව ද පටන්ගත් වේලාවේ දී ජුදාහි ජනයාට විරුද්ධ ව අවුත් සිටි අම්මොන්වරුන්ට සහ මෝවබ්වරුන්ට ද සේයිර් කඳුකරයේ වැසියන්ට ද විරුද්ධ ව සැඟවී සිට පහර දෙන සේනාවක් සමිඳාණන් වහන්සේ සිටවූ සේක. ඔව්හු පැරදුණෝ ය. 23 මන්ද, අම්මොන්වරු සහ මෝවබ්වරු සේයිර් කඳුකරයේ වැසියන් නසා වනසන පිණිස ඔවුන්ට විරුද්ධ ව සටනට ගියහ. සේයිර් වැසියන් මුළුමනින් ම නැති කළ පසු ඔව්හු එකෙකු අනිකෙකු විනාශ කරන්න උපකාර වූ හ. 24 ජුදාවරු වනාහි පාළුකරයේ මුරකොටුව උඩට අවුත් ඒ සමූහයා දෙස බැලූ විට, ඔවුන් මළකඳන් ව බිම වැටී සිටිනු දුටුවෝ ය. ගැළවී ගිය කිසිවෙක් ද නොසිටියේ ය.
25 ජෙහෝෂාපාට් ද ඔහුගේ සෙනඟ ද ඔවුන්ගෙන් කොල්ලය ගන්න ආ කල, ගවයන් ද වස්තුව ද වස්ත්‍ර ද අනර්ඝ බඩු ද ඔවුන්ට සම්බ විය. ගෙනයන්න බැරි තරමට ඔව්හු ඒවා එකතු කරගත්තෝ ය. කොල්ලය අධික බැවින් ඔව්හු තුන් දවසක් ඒවා එකතු කරමින් සිටියහ. 26 සතර වන දා ඔව්හු බෙරාකා මිටියාවතේ රැස් වුණෝ ය. ඔවුන් එහි දී සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා මිටියාවත යයි කියන ලද්දේ ය. 27 එවිට ජුදාහි සහ ජෙරුසලමේ සියලු මනුෂ්‍යයෝ ද ඔවුන්ට පෙරටුව ජෙහෝෂාපාට් ද ප්‍රීතියෙන් ජෙරුසලමට හැරී යන්න පිටත් වුණෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ සතුරන් ගැන ප්‍රීති වන්න ඔවුන්ට සැලැස්සූ බැවිනි. 28 ඔව්හු වීණා ද මහා වීණා ද හොරණෑ ද ඇති ව ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ආවෝ ය. 29 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කළ බව දේශ දේශාන්තරවල රාජ්‍යයන් ඇසූ විට, ඔව්හු දෙවියන් වහන්සේ ගැන භීතියට පත් වූ හ. 30 මෙසේ ජෙහෝෂාපාට්ගේ රාජ්‍යය සාමකාමී ව පැවතුණේ ය. එසේ වූයේ, ඔහුගේ දෙවියන් වහන්සේ හාත්පසින් ම ඔහුට සාමදානය දුන් බැවිනි.

ජෙහෝෂාපාට්ගේ රජ කාලය
(1 රාජා: 22:41-50)

31 ජෙහෝෂාපාට් ජුදා දේශයෙහි රජකම් කෙළේ ය. ඔහු සිංහාසනාරූඪ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමෙහි විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය. 32 ඔහු තමාගේ පිය වන ආසාගේ අඩි පාරේ ගමන් කරමින් එයින් අහක් නොවී, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය. 33 එසේ වුවත්, ගිරිකුළු දේවාල විනාශ නොකරන ලද්දේ ය. ඒ වන තුරු සෙනඟ තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ දෙසට තමන්ගේ සිත් යොමු කෙළේ නැත.
34 ජෙහෝෂාපාට්ගේ ඉතිරි ක්‍රියා මුල පටන් අග දක්වා ඉශ්රායෙල් රජුන්ගේ ග්‍රන්ථයෙහි අන්තර්ගත ය. ඒවා හනානිගේ පුත් ජේහුගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තාකර තිබේ.
35 මින්පසු ජුදාහි රජ වූ ජෙහෝෂාපාට් ඉතා දුර්ජන ලෙස හැසුරුණු ඉශ්රායෙල් රජ වූ අහසියාට එකතු වුණේ ය. 36 ඔහු තර්ෂිෂ්ට යාමට නැව් සාදන පිණිස ඔහුට එකතු විය. ඔව්හු එශියොන්-ගෙබෙර්හි නැව් සෑදුවෝ ය. 37 එවිට මරේෂාහි දෝදාවාහුගේ පුත් එලියෙසර් ජෙහෝෂාපාට්ට විරුද්ධ ව දිවැස් වැකියක් පවසමින්, ”ඔබ අහසියාට එකතු වූ නිසා සමිඳාණන් වහන්සේ ඔබේ වැඩ කඩාකප්පල් කළ සේකැ”යි කීයේ ය. තවද, නැව් බිඳී තර්ෂිෂ්ට යන්න ඒවාට බැරි විය.

 

– 21 වන පරිච්ඡේදය –

ජෙහෝරාම් රජ
(2 රාජා: 8:17-24)

1 ජෙහෝෂාපාට් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය. 2 ජෙහෝෂාපාට්ගේ පුත්‍රයන් වන අශරියා, ජෙහීයෙල්, ශෙකරියා, අශරියා, මීකායෙල්, ෂෙපටියා යන මොවුහු ඔහුගේ සහෝදරයෝ ය. මේ සියල්ලෝ ඉශ්රායෙල්හි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත්‍රයෝ ය. 3 ඔවුන්ගේ පියා රන් රිදී ද අනර්ඝ දේවල් ද වන බොහෝ තෑගි ද ජුදාහි බලකොටු නගර ද ඔවුන්ට දුන්නේ ය. එහෙත්, ජෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය බාර දුන්නේ ය. 4 ජෙහෝරාම් තම පියාගේ රාජ්‍යයට පැමිණ බලවත් වූ කල, තමාගේ සියලු සහෝදරයන් ද ඉශ්රායෙල්හි සමහර අධිපතීන් ද කඩුවෙන් මැරී ය.
5 ජෙහෝරාම් තිස්දෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි අට අවුරුද්දක් රජකම් කෙළේ ය. 6 ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුවක සරණ පාවා ගත්තේ ය. මෙසේ ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. 7 එහෙත්, සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසා ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත් සෑමකල්හි ම නොනිවෙන පහනක් සේ එහි රජකම දෙන්න පොරොන්දු වූ නිසා ද දාවිත්ගේ වංශය නැති කරන්න අකමැති වූ සේක.
8 ඔහුගේ කාලයේ දී ඒදොම්වරු කැරලි ගසා ජුදාවරුන් යටතෙන් අහක් ව තමන්ට රජෙකු පත්කර ගත්තෝ ය. 9 එවිට ජෙහෝරාම් තමාගේ අධිපතීන් ද සියලු රථ ද සමඟ ගොස්, රාත්‍රියේ නැඟිට, තමා වටකර සිටි ඒදොම්වරුන්ටත්, රථාධිපතීන්ටත් පහර දුන්නේ ය. 10 මෙසේ ඒදොම්වරු අද දක්වා ජුදාවරුන්ගේ පාලනයෙන් ඉවත් වී සිටිති. තවද, ලිබ්නාවරුත් එම කාලයේ දී කැරලි ගසා ඔහුගේ පාලනයෙන් ඉවත් වූ හ. මෙසේ වූයේ, ඔහු තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත් හැරිය නිසා ය. 11 ඇරත්, ඔහු ජුදා ගිරිකුළු දේවාල සාදා, ජෙරුසලමේ වැසියන් අන් දෙවිවරුන් ඇදහීමට පොළඹවා ජුදාවරුන් මුළා කරවී ය.
12 තවද, දිවැසිවර එලියා විසින් ලියන ලද ලියවිල්ලක් ඔහුට ලැබුණේ ය. එහි ලියා තිබුණේ, ”ඔබේ පියා වන දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔබේ පිය වූ ජෙහෝෂාපාට්ගේ අඩි පාරේත්, ජුදාහි රජ වූ ආසාගේ අඩි පාරේත් ඔබ නොගොස්, 13 ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කරමින්, ආහබ්ගේ වංශය කළ පරිදි ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද අන් දෙවිවරුන් ඇදහීමට පමුණුවා, ඔබේ පියාගේ වංශය වන, ඔබට වඩා යහපත් වන ඔබේ සහෝදරයන් මැරූ බැවින්, 14 සමිඳාණන් වහන්සේ ඔබේ සෙනඟටත්, ඔබේ දරුවන්ටත්, ඔබේ භාර්යාවන්ටත්, ඔබේ සියලු සම්පත්වලටත් මහත් පීඩාවකින් පීඩා කරනු ඇත. 15 ඔබේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටී යන ලෙස ඒවායෙහි දරුණු රෝග වන්නේ ය” කියා ය.
16 එලෙස සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ ද කුෂ්වරුන්ට ළං ව වාසය කරන අරාබිවරුන්ගේ ද සිත් ජෙහෝරාම්ට විරුද්ධ ව පෙළඹෙවූ සේක. 17 ඔව්හු ජුදාට විරුද්ධ ව අවුත් ඇතුළට වැද රජ ගෙදර තිබූ සම්පත් සියල්ල ද ඔහුගේ පුත්‍රයන් ද භාර්යාවන් ද රැගෙන ගියෝ ය. ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයා වූ අහසියා හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරි නො වී ය.
18 මේ සියල්ලට පසු ඔහුගේ බඩවැල් වල වැළඳි අසාධ්‍ය රෝගයකින් සමිඳාණන් වහන්සේ ඔහුට පහර දුන් සේක. 19 එම රෝගය කලක් පැවතිණි. දෑවුරුද්දක් පසු වූ කල, ඒ රෝගය නිසා ඔහුගේ බඩවැල් වැටී ගියේ ය. ඔහු ද දරුණු රෝග වේදනාවෙන් මළේ ය. ඔහුගේ පියවරුන්ගේ ගෞරවය ලෙස ගිනි මැලයක් දැල් වූ පරිදි ඔහුගේ සෙනඟ ඔහු ගැන ගිනි මැලයක් නොදැල් වූ හ.
20 ඔහු තිස්දෑවුරුදු වයසේ දී රජ වී අට අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කණගාටු නො වූ හ. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝ ය. එහෙත්, තැන්පත් කෙළේ රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේ.

 

– 22 වන පරිච්ඡේදය –

අහසියාගේ රජකම
(2 රාජා: 8:24-29, 9:21-28)

1 ජෙරුසලමේ වැසියෝ රජුගේ බාල පුත් අහසියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය. මන්ද, අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව රජුගේ සියලු වැඩිමහල් පුත්‍රයන් මරා දමා තිබිණි. එබැවින් ජුදාහි රජ වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා රජකම් කෙළේ ය. 2 අහසියා හතළිස්දෑවුරුදු වයසේ දී රජ වී අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඈ ඔම්රීගේ මිණිබිරියකි. 3 ඔහු ද ආහබ්ගේ වංශයෙන් පැවතෙන්නන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුට උපදෙස් දුන්නා ය. 4 ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කළේ ය. මන්ද, ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුගේ උපදේශකයෝ වූ හ. 5 ඔහුත් ඔවුන්ගේ අවවාද ලෙස හැසිර, ආහබ්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝරාම් සමඟ සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධයට ගියේ ය. සිරියන්වරු ජෙහෝරාම්ට තුවාළ කළෝ ය. 6 ඔහු සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව සටන් කරන අතර, රාමාහි දී සිරියන්වරුන් විසින් ඔහුට කරන ලද තුවාළ ජෙශ්‍රෙයෙල්හි දී සුව කරවාගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෙහෝරාම් රෝගාතුර ව සිටි බැවින් ඔහු බලන්න ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.
7 ජෙහෝරාම් ළඟට යාම නිසා අහසියාට වූ විනාශය දෙවියන් වහන්සේ කෙරෙන් විය. මන්ද, ඔහු ගිය කල ආහබ්ගේ වංශය වනසන පිණිස සමිඳාණන් වහන්සේ විසින් අභිෂේක කරන ලද නිම්ෂිගේ පුත් ජේහුට විරුද්ධ ව ඔහු ජෙහෝරාම් සමඟ ගියේ ය. 8 තවද, ජේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරද්දී ජුදාහි අධිපතීන් ද අහසියාට සේවය කළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් ද සම්බ වී ඔවුන් මැරුවේ ය. 9 ඔහු අහසියා සොයා ගියේ ය. ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්ලා ජේහු ළඟට ගෙනවුත් මැරුවෝ ය. තවද, ඔව්හු කතා කොට, ”මොහු වනාහි තමාගේ මුළු සිතින් සමිඳාණන් වහන්සේ සොයා ගිය ජෙහෝරාම්ගේ පුත්‍රයා ය”යි ඔහු තැන්පත් කළෝ ය. රාජ්‍යය ගෙන යාමට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.

අතලියා බිසව කළ අපරාධය
(1 රාජා: 11:1-3)

10 එකල අහසියාගේ මව වූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක, නැඟිට මුළු ජුදා රාජ වංශය නැති කළා ය. 11 එහෙත්, රජුගේ දූ වන ජෙහෝෂබත් මරන්න නියම රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහු ද ඔහුගේ කිරි මව ද යහන් ගබඩාවෙහි සඟවා තැබුවා ය. මෙසේ ජෙහෝරාම් රජගේ දූ වූ, ජෙහෝයාදා පූජකයාගේ භාර්යාව වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂබත්, අතලියා විසින් නොමරනු ලබන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවා ය. 12 ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.

 

– 23 වන පරිච්ඡේදය –

අතලියා රැජිනගේ මරණය
(2 රාජා: 11:4-16)

1 සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා ධෛර්ය වඩා, ශතාධිපතීන් වන ජෙරො‍්හාම්ගේ පුත් අශරියා ද ජෙහෝහානාන්ගේ පුත් ඉෂ්මායෙල් ද ඕබෙද්ගේ පුත් අසරියා ද අදායාගේ පුත් මයසේයා ද ශික්රිගේ පුත් එලිෂාපාට් ද සමඟ ගිවිසුමක් කර ගත්තේ ය. 2 ඔව්හු ජුදා දේශයෙහි ඔබමොබ ගොස්, ජුදාහි සියලු නගරවලින් ලෙවීවරුන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද රැස් කරගෙන ජෙරුසලමට ආවෝ ය.
3 මුළු සභාව දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි රජු හා සමඟ ගිවිසුමක් කරගත්තා ය. ජෙහෝයාදා ඔවුන්ට කතා කොට, ”සමිඳාණන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයන් ගැන කී ප්‍රකාරයට රජුගේ පුත්‍රයා රජකමට පත් විය යුතු ය. 4 ඔබ හැම කරන්නට ඕනෑ දේ මේ ය. සබත් දවසේ දී දේව මාලිගාවට ඇතුල් වන පූජකයන් ද ලෙවීවරුන් ද වන ඔබෙන් තුනෙන් කොටසක් දොරටු පාලකයන් විය යුතු ය. 5 තුනෙන් කොටසක් රජ ගෙයි ද තුනෙන් කොටසක් අත්තිවාරම් දොරටුවෙහි ද සිටිය යුතු ය. මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටිත්වා. 6 එහෙත්, පූජකයන් ද ලෙවීවරුන්ගෙන් සේවය කරන්නන් ද හැර වෙන කිසිවෙක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් නොවෙත්වා. ඔව්හු විශුද්ධ ව සිටින නිසා ඇතුළු වෙත්වා. එහෙත්, මුළු සෙනඟ සමිඳාණන් වහන්සේගේ නියමයන් පිළිපැද්ද යුතු ය. 7 ලෙවීවරුන් එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිටිය යුතු ය. දේව මාලිගාවට ඇතුළු වන කවුරුන් නමුත් මරනු ලැබිය යුතු ය. රජු ඇතුළු වන කල්හි ද පිටත යන කල්හි ද ඔබ හැම ඔහු සමඟ සිටින්නැ”යි කීවේ ය.
8 ලෙවීවරු ද සියලු ජුදාවරු ද ජෙහෝයාදා පූජකයා විසින් අණ කරනු ලැබූ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝ ය. මන්ද, ජෙහෝයාදා පූජකයා මුරකාවල් නිදහස් කර නොහැරියේ ය. 9 එවිට ජෙහෝයාදා පූජකයා දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල ද කුඩා පලිස් සහ මහ පලිස් ද ශතාධිපතීන්ට දී, 10 මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව දේව මාලිගාවේ දකුණු පැත්තේ සිට දේව මාලිගාවේ වම් පැත්ත දක්වා පූජාසනයත්, දේව මාලිගාවත් ළඟ රජු වටකර සිටෙව්වේ ය. 11 ඉන්පසු ඔව්හු රජ කුමාරයා පිටතට ගෙනවුත්, ඔහු මත්තෙහි ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දී, ඔහු රජකමට පත් කළෝ ය. ජෙහෝයාදා ද ඔහුගේ පුත්‍රයෝ ද ඔහු අභිෂේක කොට, ”මහ රජ සැරදේවා” කියා හඬ නැඟුවහු ය.
12 සෙනඟ රජ වෙත දුවමින්, රාජ ප්‍රශස්ති ගී ගයන හඬ අතලියාට ඇසුණ විට, ඈ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටි සෙනඟ ළඟට ආවා ය. 13 ඈ බැලූ විට ඇතුළු වන තැන රජ තෙම තම වේදිකාව උඩ සිටිනවාත්, රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටිනවාත් දැක, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත් ව හොරණෑ පිඹිණවාත්, ගී කියන්නන් ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන් ද ප්‍රශස්ති ගී ගයනවාත් අසා, කෝපයෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, ”ද්‍රෝහිකම ය, ද්‍රෝහිකම ය” කියා කෑ ගැසුවා ය.
14 එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන් පිටතට ගෙනවුත්, ඔවුන්ට කතා කොට, ”ඇය පේළි අතරෙන් පිටතට ගෙන එන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. ”දේව මාලිගාවෙහි දී ඈ මරනු නොලබාවා”යි පූජකයා කියා තිබිණි.
15 ඔව්හු ඇය අත්අඩංගුවට ගත්හ; ඈ රජ ගෙදරට ගෙන ගියෝ ය. එහි දී අශ්ව දොරටුව ළඟ ඔව්හු ඈ මැරුවෝ ය.

දේව නමස්කාරය නැවත පිහිටුවීම
(2 රාජා: 11:17-20)

16 සමිඳාණන් වහන්සේගේ සෙනඟ වී සිටින ලෙස ජෙහෝයාදා තමා සහ මුළු සෙනඟත්, රජුත් අතරේ ගිවිසුමක් කෙළේ ය. 17 මුළු සෙනඟ බාල් දෙවියාගේ ගෘහයට ගොස් එය කඩා දමා, ඔහුගේ පූජාසන ද ඔහුගේ පිළිම ද බිඳ දමා පූජාසන ඉදිරියෙහි බාල්ගේ පූජකයා වන මත්තන් මැරුවෝ ය. 18 තවද, දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතිය ද ගී ගැයීම ද ඇති ව, සමිඳාණන් වහන්සේගේ දවන යාග පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පු කිරීමට, ජෙහෝයාදා උන් වහන්සේගේ මාලිගාවේ මුර මෙහෙයවල් දාවිත් විසින් උන් වහන්සේගේ මාලිගාවේ සේවයට බෙදා නියම කරන ලද ලෙවීවරුන් වන පූජකයන් අතට බාර කෙළේ ය. 19 යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙකු ඇතුළු නොවන පිණිස ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩවල දොරටු පාලකයන් සිටෙවුවේ ය. 20 තවද, ඔහු ශතාධිපතීන් ද වංශාධිපතීන් ද සෙනඟගේ ආණ්ඩුකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද කැඳවාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගියේ ය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජ ගෙට පැමිණ රජතුමන් රාජාසනයෙහි වාඩි කරවූ හ. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ. 21 නගරය ද සාමකාමී ව තිබුණේ ය. මෙලෙස ඔව්හු අතලියා කඩුවෙන් මැරුවෝ ය.

 

– 24 වන පරිච්ඡේදය –

ජෝවාෂ් රජ දේව මාලිගාව ප්‍රතිසංස්කරණය කිරීම

1 ජෝවාෂ් සත් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි ස්ත්‍රියකි. 2 ජෙහෝයාදා පූජකයාගේ කාලයේ මුළුල්ලෙහි ජෝවාෂ් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. 3 ජෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු පාවා දුන්නේ ය. ඔහුට දාව පුත්‍රයෝත්, දූවරුත් උපන්නෝ ය.
4 ඉන්පසු ජෝවාෂ් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ප්‍රකෘතිමත් කරන්න සිතට ගෙන, 5 පූජකයන් ද ලෙවීවරුන් ද රැස් කරගෙන ඔවුන්ට කතා කොට, ”ඔබ හැම ජුදාහි නගරවලට ගොස් අවුරුද්දෙන් අවුරුද්ද ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් මුදල් එකතු කරන්න. ඒ කාරණය ගැන ඉක්මන්වන්නැ”යි කීවේ ය. එහෙත්, ලෙවීවරු ඉක්මන් නො වූ හ. 6 එවිට රජ තෙම ප්‍රධානියා වන ජෙහෝයාදා කැඳවා, ”සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ද ඉශ්රායෙල් සභාව ද විසින් සම්මුඛ මණ්ඩපය උදෙසා නියම කරන ලද බදු මිල ලෙවීවරුන් විසින් ජුදා දේශයෙන් සහ ජෙරුසලමෙන් එකතු කර ගෙනෙනු ලබන හැටියට ඔබ වග බලා නොගත්තේ මන්දැ”යි ඇසී ය.
7 මන්ද දුෂ්ට වූ අතලියා සහ ඇගේ පුත්‍රයන් දෙවියන් වහන්සේගේ මාලිගාව කඩා, උන් වහන්සේගේ මාලිගාවේ කැප වූ සියලු දේවල් බාල් දේවතාවන් උදෙසා පාවිච්චියට ගෙන ගොස් තිබුණු හෙයිනි.
8 තවද, පෙට්ටියක් සාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ පිටතින් තබන ලෙස රජ අණ කෙළේ ය. 9 එවිට දෙවියන් වහන්සේගේ මෙහෙකරුවා වූ මෝසෙස් පාළුකරයේ දී ඉශ්රායෙල්වරුන්ට නියම කළ බද්ද සමිඳාණන් වහන්සේ උදෙසා ගෙනෙන්න කියා ජුදාහි සහ ජෙරුසලමෙහි ප්‍රසිද්ධ කරන ලද්දේ ය. 10 එවිට සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද සන්තෝෂ ව, බදු ගෙවා නිම වන තුරු මුදල් ගෙනවුත් පෙට්ටියේ දැම්මෝ ය. 11 මෙයාකාරයෙන් ඒ පෙට්ටිය ලෙවීවරුන් ලවා රාජ භාණ්ඩාගාරයට ගෙන්වන විටත්, බොහෝ මුදල් තිබෙන බව දකින විටත්, රජුගේ ලේකම් ද උත්තම පූජකයාගේ සේවකයා ද අවුත් පෙට්ටිය හිස්කර, එය නැවත ගෙන ගොස් පළමු තිබුණු තැන තැබූ හ. ඔව්හු දවසින් දවස මෙසේ කොට බොහෝ මුදල් එකතු කළෝ ය.
12 රජ සහ ජෙහෝයාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කරවන්නට ඒවා දුන්නෝ ය. ඔව්හු උන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන් ද වඩුවන් ද උන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමට යකඩ සහ ලෝකඩ වැඩ කරන්නන් ද කුලියට ගත්හ. 13 කම්කරුවෝ වීර්යයෙන් වැඩ කළෝ ය. මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණ කරන ලදී. ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව නිසි ලෙස පිහිටුවා එය සවි කළෝ ය. 14 වැඩ නිම කළ පසු ඔව්හු ඉතිරි මුදල රජු සහ ජෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝ ය. එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට භාණ්ඩ එනම්, මෙහෙයටත්, පූජා ඔප්පු කිරීමටත් බඩු ද හැඳි ද රන් රිදී භාජන ද සාදන ලද්දේ ය. ජෙහෝයාදාගේ මුළු කාලයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දවන යාග පූජා නිතර ම ඔප්පු කරන ලද්දේ ය.

ජෝවාෂ් රජුගේ වැටීම සහ මරණය

15 එහෙත්, ජෙහෝයාදා මහලු ව දීර්ඝ ආයු වළඳා මළේ ය. මැරෙන කල ඔහුට වයස අවුරුදු එකසිය තිහකි. 16 ඔහු ඉශ්රායෙල්හි ද දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ මාලිගාව උදෙසා ද යහපත කළ බැවින් දාවිත්ගේ නුවර රජවරුන් අතරේ තැන්පත් කරනු ලැබී ය.
17 ජෙහෝයාදා මියගිය පසු ජුදාහි අධිපතීහු අවුත් රජුට ආචාර කළහ. එවිට රජ ඔවුන්ට සවන් දුන්නේ ය. 18 ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අත්හැර දමා අෂේරා කප් කණුවලටත්, පිළිමවලටත් සේවය කළෝ ය. ඔවුන්ගේ මේ වරද නිසා ජුදා දේශය ද ජෙරුසලම ද පිට දේව උදහස පැමිණියේ ය. 19 එහෙත්, ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හරවන පිණිස උන් වහන්සේ දිවැසිවරුන් ඔවුන් අතරට එවූ සේක. ඒ දිවැසිවරුන් ඔවුන්ට අවවාද කළ නමුත්, ඔව්හු ඇහුම්කන් නුදුන්හ. 20 දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ජෙහෝයාදා පූජකයාගේ පුත් ශෙකරියා පිට පැමිණියේ ය. ඔහු සෙනඟට ඉහළින් නැඟිට සිට ඔවුන්ට කතා කොට, ”දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? නුඹලාට යහපතක් නොවන්නේ ය. නුඹලා සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා උන් වහන්සේත් නුඹලා අත්හැරිය සේකැ’ ”යි කීවේ ය. 21 ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ දී ඔහුට ගල් ගැසුවෝ ය. 22 මෙසේ ජෝවාෂ් රජ ශෙකරියාගේ පිය වූ ජෙහෝයාදා තමාට පෙන් වූ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරී ය. ඔහු මැරෙද්දී කතා කොට, ”සමිඳාණන් වහන්සේ මෙය බලා ප්‍රතිවිපාක දෙන සේක්වා”යි කීවේ ය.
23 ඊළඟ අවුරුද්දෙහි සිරියන්වරුන්ගේ සේනාව ජෝවාෂ්ට විරුද්ධ ව පැමිණියේ ය. ඔව්හු ජුදා දේශයටත්, ජෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකර දමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට යැවූ හ. 24 සිරියන්වරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙකු ව පැමිණි නමුත්, ජුදාවරුන් තම පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හළ නිසා, සමිඳාණන් වහන්සේ ඉතා විශාල සේනාවක් ඔවුන් අතට පාවා දුන් සේක. මෙසේ ඔව්හු ජෝවාෂ්ට සුදුසු ලෙස දඬුවම් දුන්හ. 25 ඔහු බොහෝ තුවාළ වී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගිය පසු, ඔහුගේ සේවකයෝ පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයන්ගේ මරණය ගැන ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ඇඳේ දී ඔහු මැරුවෝ ය. මෙසේ ඔහු මියගියේ ය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළ නමුත්, රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝ ය. 26 ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කළ අය නම්, අම්මොනිය ස්ත්‍රියක වන ෂිමෙයාත්ගේ පුත් සාබාද් සහ මෝවබිය ස්ත්‍රියක වන ෂිම්රීත්ගේ පුත් ජෙහෝශාබාද් ය. 27 ඔහුගේ පුත්‍රයන් ගැන ද, ඔහු පිට තබන ලද විශාල වගකීම සහ දෙවියන් වහන්සේගේ මාලිගාව දෙවනුව ගොඩනැඟීම ගැන ද රාජාවලී අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.

 

– 25 වන පරිච්ඡේදය –

අමශියාගේ රාජ්‍ය කාලය
(2 රාජා: 14:2-6)

1 අමශියා විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙහෝයද්දාන් ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි. 2 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, එසේ කෙළේ මුළු සිතින් නොවේ. 3 තවද, රජකම ඔහුට ස්ථිර වූ කල, ඔහු තමාගේ පිය රජ්ජුරුවන් නැසූ තම සේවකයන් මරා දැම්මේ ය. 4 එහෙත්, ”දරුවන් නිසා පියවරු වත්, පියවරුන් නිසා දරුවෝ වත් මරනු නොලබත්වා; එක් එක්කෙනා තම තමාගේ ම පාපය නිසා මරනු ලැබේවා”යි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිද්දෙන් ඔහු ඔවුන්ගේ දරුවන් නොමරා හැරියේ ය.

ඒදොම්ට විරුද්ධ යුද්ධය
(2 රාජා: 14:7)

5 තවද, අමශියා ජුදාවරුන් රැස්කර, මුළු ජුදා දේශයෙහි ද බෙන්ජමින් දේශයෙහි ද ඔවුන්ගේ පිය වංශවල හැටියට ඔවුන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද යටතේ පත්කොට, විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් වූවන් ගණන් කර, හෙල්ල ද පලිස් ද ගෙන යුද්ධ කරන්න දක්ෂ වූ තෝරා ගත් මනුෂ්‍යයන් තුන්ලක්ෂයක් සිටි බව දැනගත්තේ ය. 6 ඔහු ඉශ්රායෙල්වරුන්ගෙන් යුද්ධයට දක්ෂ අය ලක්ෂයක් රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකට කුලියට ගත්තේ ය. 7 එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් ඔහු ළඟට අවුත්, ”රජතුමනි, සියලු එප්‍රායිම්වරුන් වන ඉශ්රායෙල්වරුන් සමඟ සමිඳාණන් වහන්සේ වැඩ සිටින නිසා ඉශ්රායෙල් යුද්ධ සේනාව ඔබ සමඟ නොයත්වා. 8 එහෙත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත් වී සටනට බලවත් වන්න. දෙවියන් වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළා දමන සේක. මන්ද, උපකාර කරන්නටත්, හෙළා දමන්නටත් දෙවියන් වහන්සේට බලය ඇත්තේ ය”යි කීවේ ය.
9 අමශියා ද, ”එසේ නම්, මා ඉශ්රායෙල් සේනාවට දුන් රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියය ගැන අපි කුමක් කරමු දැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගෙන් ඇසුවේ ය. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා උත්තර දෙමින්, ”ඊටත් වඩා ඔබට දෙන්න සමිඳාණන් වහන්සේට පුළුවනැ”යි කී ය. 10 එකල අමශියා එප්‍රායිම්හි සිට තමා වෙත පැමිණි හමුදාව ස්වකීය ස්ථානයට යන පිණිස වෙන් කෙළේ ය. ඒ නිසා ඔවුන්ගේ කෝපය ජුදා කෙරෙහි බොහෝ සෙයින් ඇවිළී, ඔව්හු තද කෝපයෙන් තමන්ගේ ස්ථානයට හැරී ගියෝ ය.
11 ඉක්බිති අමශියා ධෛර්යය වඩා තම සෙනඟ කැඳවාගෙන, ලුණු මිටියාවතට පැමිණ සේයිර්වරුන්ගෙන් දසදහසක් මැරී ය. 12 ජුදාවරු තව දසදහසක් පණපිටින් අල්ලාගෙන, ඔවුන් පර්වතයේ මුදුනට ගෙන ගොස් පර්වතය මුදුනෙන් පහළට හෙළා දැමුවෝ ය. ඔව්හු සියල්ලෝ ද සුණු විසුණු වූ හ.
13 අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියා වූ හමුදාවේ භටයෝ සමාරියේ සිට බෙත්-හෝරොන් දක්වා ජුදාහි නුවරවලට වැද, එහි දී තුන්දහසකට පහර දී බොහෝ කොල්ලය ගත්තෝ ය.
14 අමශියා ඒදොම්වරුන් මරා පැමිණි පසු, සේයිර්වරුන්ගේ දෙවිවරුන් ගෙන වුත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පු කෙළේ ය. 15 එවිට සමිඳාණන් වහන්සේගේ උදහස අමශියා කෙරෙහි ඇවුළුණේ ය. උන් වහන්සේ දිවැසිවරයෙකු ඔහු වෙත යැවූ සේක. ඔහු කතා කොට, ”තමන්ගේ සෙනඟ ඔබේ අතින් ගළවා නොගත් සෙනඟගේ දෙවියන් වෙත හැරුණේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවේ ය.
16 මෙසේ ඔහු රජු සමඟ කතා කරද්දී අමශියා ඔහුට කතා කොට, ”ඔබ රජුගේ මන්ත්‍රීවරයෙකු කොට පත් කෙළෙමු ද? ඔබ මැරුම්කන්න කැමැති නැත්නම් නිකම් සිටින්නැ”යි කීවේ ය.
එවිට දිවැසිවරයා නැවතී, ”ඔබ මාගේ දැනුමැතිකම නොඅසා මෙය කළ බැවින්, දෙවියන් වහන්සේ ඔබ විනාශ කරන්න තීරණය කර ගත් බව මට පෙනේ ය”යි කීවේ ය.

ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ යුද්ධය
(2 රාජා: 14:8-20)

17 එකල ජුදාහි රජ වූ අමශියා මන්ත්‍රණය කොට, ”එන්න, අපේ ශක්තිය උරගා බලමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වන ජෝවාෂ්ට කියා හැරියේ ය. 18 ඉශ්රායෙල් රජ වන ජෝවාෂ් උත්තර දෙමින්, ” ‘ඔබේ දුව මාගේ පුත්‍රයාට භාර්යාව කොට පාවාදෙන්නැ’යි ලෙබනොන්හි තිබෙන ගොකටු ගස ලෙබනොන්හි තිබෙන කිහිරි ගසට කියා ඇරියේ ය. එහෙත්, ලෙබනොන්හි වන මෘගයෝ එහි යන විට ගොකටු ගස පාගා දැමූ හ.
19 ‘මෙන්න, මම ඒදොම්වරුන්ට පහර දුන්නෙමි’යි ඔබ කියයි. ඔබේ සිත ද පාරට්ටු කරගන්න පිණිස අහංකාර වී තිබේ. ගෙදර සිටින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජුට කියා හැරියේ ය.
20 එහෙත්, අමශියා ඇහුම්කන් නුදුන්නේ ය. ඔවුන් ඒදොම්හි දෙවිවරුන් වෙත හැරුණු බැවින්, ඔවුන් පාවා දෙන පිණිස එය දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණියේ ය. 21 මෙසේ ඉශ්රායෙල්හි රජ වන ජෝවාෂ් පිටත් ව ගියේ ය. ඔහු ද ජුදාහි රජ වූ අමශියා ද ජුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හි දී මුණ ගැසුණෝ ය. 22 ජුදාවරු ඉශ්රායෙල්වරුන්ට පරාජය වූ එක් එක්කෙනා තම තමාගේ කූඩාරමට පලා ගියෝ ය. 23 ඉශ්රායෙල් රජ වන ජෝවාෂ් තෙමේ ජෙහෝවාහාස්ගේ පුත් ජෝවාෂ්ගේ පුත් ජුදාහි රජ වන අමශියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන ජෙරුසලමට ගෙනවුත්, එප්‍රායිම් දොරටුව සිට කොනේ දොරටුව දක්වා ජෙරුසලමේ පවුරෙන් මීටර් දෙසියයක් පමණ බිඳ හෙළා, 24 දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඕබෙද්-ඒදොම්ගේ පෙළපතේ අය ළඟ තිබුණු රන් රිදී සියල්ල ද සියලු භාජන ද රජ ගෙයි වස්තු ද ඇපකාරයන් ද රැගෙන සමාරියට හැරී ගියේ ය.
25 ජෙහෝවාහාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෝවාෂ්ගේ මරණයෙන් පසු ජුදාහි රජ වන ජෝවාෂ්ගේ පුත් අමශියා අවුරුදු පහළොවක් ජීවත් ව සිටියේ ය. 26 අමශියාගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි රජුන්ගේ ද ඉශ්රායෙල් රජුන්ගේ ද පොතෙහි ලියා තිබෙනු නොවේ ද? 27 අමශියා සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව ගිය පසු ජෙරුසලමෙහි මනුෂ්‍යයන් විසින් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණයක් කරන ලදී. ඔහු ලාකීෂ්ට පලා ගියේ ය. එහෙත්, සෙනඟ ඔහු පසුපස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහි දී ඔහු මරා, 28 අශ්වයන් පිට තබා ගෙනවුත්, දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත් කළෝ ය.

– 26 වන පරිච්ඡේදය –

උශ්ශියාගේ රාජ්‍ය කාලය
(2 රාජා: 14:21-22; 15:1-7)

1 එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් වන උශ්ශියා තෝරාගෙන ඔහුගේ පිය වූ අමශියා වෙනුවට ඔහු රජකමට පත් කළෝ ය. 2 අමශියා රජු මියගිය පසු ඔහු ඒලොත් ගොඩනඟා එය ජුදා දේශයට නැවත අයිති කරගත්තේ ය.
3 උශ්ශියාට දහසය අවුරුදු වූ කල ඔහු රජ වී ජෙරුසලමෙහි පණස්දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙකෝලියා ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි. 4 ඔහු තමාගේ පිය වන අමශියා කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. 5 දේව ගරුබිය පිළිබඳ ව තමාට පහදා දුන් ශෙකරියාගේ දවස්වල දී ඔහු දෙවියන් වහන්සේ සෙවුවේ ය. ඔහු සමිඳාණන් වහන්සේ සෙවූ තාක් කල් දෙවියන් වහන්සේ ඔහු සමෘද්ධිමත් කළ සේක.
6 ඔහු නික්ම ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කොට, ගාත්හි පවුරත්, ජබ්නෙහි පවුරත්, අෂ්දොද්හි පවුරත් බිඳ දමා, අෂ්දොද් රටෙහි ද පිලිස්තිවරුන් අතරේ ද නගර ගොඩනැඟුවේ ය. 7 දෙවියන් වහන්සේ පිලිස්තිවරුන්ටත්, ගුර්-බාල්හි සිටි අරාබිවරුන්ටත්, මෙයුනිවරුන්ටත් විරුද්ධ ව ඔහුට උපකාර කළ සේක. 8 අම්මොනිවරුන් උශ්ශියාට කප්පම් ගෙව්වෝ ය. ඔහු ඉතා ම බලවත් වූ බැවින් ඔහුගේ කීර්තිය මිසරයේ සීමාව දක්වා පතළ වී ගියේ ය.
9 තවද, උශ්ශියා ජෙරුසලමෙහි කොනේ දොරටුව ළඟ ද මිටියාවතේ දොරටුව ළඟ ද පවුරු මුලුවල ද මුරකොටු ගොඩනඟා ඒවා සවිශක්තිමත් කෙළේ ය. 10 ඔහුට පහත රටෙහිත්, සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු පාළුකරයෙහි මුරකොටු ගොඩනඟා බොහෝ ජලාශයන් ද සෑදුවේ ය. ඔහු ගොවි කර්මාන්තයට සතුටු ව සිටි බැවින් ඔහුට කඳුවලත්, සරු කෙත්වලත් ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද සිටියෝ ය.
11 යුද්ධයට පුහුණු වූ සේනාවක් ද උශ්ශියාට සිටියේ ය. ලේකම් වන ජෙයීයෙල් විසින් ද නිලධාරියා වූ මයසේයා විසින් ද ඔවුන් ගණන් කරන ලද සංඛ්‍යවේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙකු වූ හනනියාගේ පාලනය යටතේ හමුදා වශයෙන් සේවයට පිටත් ව ගියෝ ය. 12 බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදස් හයසියයක් ය. 13 ඔවුන් යටතේ සතුරාට විරුද්ධ ව රජුට උදව් වන පිණිස බලවත් ලෙස යුද්ධ කරන මිනිසුන් තුන්ලක්ෂ හත්දහස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් ඔහුට සිටියේ ය. 14 උශ්ශියා ඒ මුළු සේනාවට පලිස් ද හෙල්ල ද තොප්පි ද යුද්ධ සැට්ට ද දුනු ද විසි කිරීමට ගල් ද පිළියෙළ කෙළේ ය. 15 තවද, ඔහු ඊගස්වලින් ද ලොකු ගල්වලින් ද විදින පිණිස මුරකොටු උඩත්, කොත් උඩත් තැබීමට දක්ෂ මිනිසුන් විසින් නිපදවන ලද යන්ත්‍ර ජෙරුසලමෙහි සෑදෙව්වේ ය. ඔහුගේ කීර්තිය දස දෙස පතළ ව ගියේ ය. මන්ද, ඔහුට සවි ශක්තිය ලැබුණේ ඉතා පුදුමාකාර මාර්ගයකින් බැවිනි.

රජ කුෂ්ඨ රෝගියෙකු වීම

16 එහෙත්, ඔහු බලවත් වන්න වන්න ඔහුගේ සිත උඩඟු විය. මෙය ඔහුගේ වැටීමට හේතු විය. ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පු කරන පිණිස සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමෙන් තම දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව වරද කෙළේ ය. 17 එහෙත්, අශරියා පූජකයා ද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන් ව සිටි සමිඳාණන් වහන්සේගේ පූජකයෝ අසූදෙනෙක් ද උශ්ශියා රජු පසුපස ගොස් ඇතුළු වී, 18 ඔහුට විරුද්ධ ව සිටිමින්, ඔහුට කතා කොට, ”උශ්ශියා, සුවඳ දුම් ඔප්පු කිරීමට කැප කරන ලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න. මන්ද, ඔබ වරද කෙළෙහි ය. මෙය දෙවියන් වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේ ය”යි කීවෝ ය.
19 එවිට උශ්ශියා කො‍්පාවිෂ්ට විය, සුවඳ දුම් ඔප්පු කිරීමට දුම් භාජනයක් ඔහුගේ අතේ තිබුණේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දුම් පූජාසනය ළඟ ඔහු පූජකයන් සමඟ උදහස් ව සිටිය දී, පූජකයන් ඉදිරියෙහි ඔහුගේ නළලේ ලාදුරු රෝගයක් මතු විය. 20 උත්තම පූජකයා වූ අශරියා ද සියලු පූජකයෝ ද ඔහු දෙස බැලූ විට ඔහුගේ නළලේ ලාදුරු රෝගයක් මතු වී තිබෙන බව දැක, ඔහු එතැනින් වහා ම නෙරපා දැමූ හ. එසේ ය, සමිඳාණන් වහන්සේ තමාට පහර දුන් නිසා, පිටතට යන්න ඔහු ම ඉක්මන් කෙළේ ය.
21 උශ්ශියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා ලාදුරු රෝගියෙකු වී සිටියේ ය. ලාදුරු රෝගියෙකු ලෙස වෙන් වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසය කෙළේ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීම ඔහුට තහනම් ව තිබිණි. ඔහුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.
22 උශ්ශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොස්ගේ පුත් දිවැසිවර යෙසායා විසින් ලියන ලද්දේ ය. 23 උශ්ශියා මියගියේ ය. මනුෂ්‍යයෝ ඔහු ලාදුරු රෝගියෙක් ය කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන් පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත් කළෝ ය. ඉන්පසු ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය.

– 27 වන පරිච්ඡේදය –

ජෝතාම්ගේ රාජ්‍ය කාලය
(2 රාජා: 15:32-38)

1 ජෝතාම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි. 2 තමාගේ පිය වූ උශ්ශියා කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වූයේ නැත. ඒ කාලයෙහිත් සෙනඟ දුෂ්ටකම් කළෝ ය.
3 ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ද ඕපෙල් පවුරේ බොහෝ තැන් ද ගොඩනැඟුවේ ය. 4 ජුදා කඳු රටෙහි නගර ද මූකළන්වල බලකොටු ද මුරකොටු ද ඔහු ගොඩනැඟුවේ ය. 5 ඔහු අම්මොන්වරුන්ගේ රජුට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන්ගෙන් ජයගත් පසු, අම්මොන්වරු ඒ අවුරුද්දේ රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයක් ද තිරිඟු මෙට්රික් ටොන්‍ දහසක් ද යව මෙට්රික් ටොන්‍ දහසක් ද ඔහුට දුන්නෝ ය. දෙ වන, තුන් වන අවුරුදුවල දීත් අම්මොන්වරු එසේ ගෙවූ හ.
6 මෙසේ ජෝතාම් දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යහ මඟ ගිය බැවින් බලවත් විය. 7 ජෝතාම්ගේ අනික් ක්‍රියා ද සියලු යුද්ධ ද ඔහුගේ ප්‍රතිපත්ති ද ඉශ්රායෙල් සහ ජුදා රජුන්ගේ පොතෙහි ලියා තිබේ. 8 ඔහු විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. 9 ජෝතාම් මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරන ලදී. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජ විය.

 

– 28 වන පරිච්ඡේදය –

ආහාස්ගේ රාජ්‍ය කාලය
(2 රාජා: 16:1-4)

1 ආහාස් විසි අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. 2 ඔහු තමාගේ පිය වූ දාවිත් කළාක් මෙන් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ නොකොට, ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කරමින්, බාල් දේවතාවුන්ට වාත්තු පිළිම සෑදුවේ ය. 3 ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පු කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේ ය. 4 ඔහු ගිරිකුළු පිටත්, හෙල් පිටත්, අතු පතර ඇති සියලු ගස් යටත් පූජා ද සුවඳ දුම් ද ඔප්පු කෙළේ ය.

සිරියාව හා ඉශ්රායෙල් සමඟ ජුදා යුද්ධය

5 ඒ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සිරියාවේ රජු අතට පාවා දුන් සේක. සිරියන්වරු ඔහුට පහර දී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙන ගියෝ ය. ඔහු ඉශ්රායෙල් රජු අතටත් අසුවූයෙන් ඒ රජ තෙමේ මහා ඝාතනයකින් ඔහු පරාජය කෙළේ ය. 6 රෙමලියාගේ පුත් පෙකා බලවන්තයන් ව සිටි එක්ලක්ෂ විසිදහසක් එක දවසේ ජුදාහි දී මැරුවේ ය. මෙසේ වූයේ, ඔවුන් තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා ය. 7 එප්‍රායිම්හි බලසම්පන්න මනුෂ්‍යයෙකු වූ ශික්රී තෙම රජුගේ පුත් මයසේයා ද රජගෙයි අධිපතියා වූ අශ්රීකාම් ද රජුගේ දෙවැනියා වූ එල්කානා ද මැරුවේ ය. 8 තවද, ඉශ්රායෙල්වරු තමන්ගේ සහෝදරයන්ගෙන් ස්ත්‍රීන් ද පුත්‍රයන් ද දූවරුන් ද දෙලක්ෂයක් අල්ලාගෙන, ඔවුන්ගෙන් විශාල කොල්ලයකුත් රැගෙන ඒ කොල්ලය සමාරියට ගෙන ගියෝ ය.

ඕදෙද් දිවැසිවරයා

9 එහෙත්, එහි සිටි ඕදෙද් නමැති සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙක් සමාරියට ආ සේනාව සම්මුඛ වන්න පිටත් ව ගොස් ඔවුන්ට කතා කොට, ”ඔබ සැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ජුදා කෙරෙහි උදහස් වූ නිසා උන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දුන් සේක. ඔබ අහසට නැඟෙන තරම් මහා කෝපයකින් ඔවුන් මැරුවහු ය. 10 දැනුත් ජුදාහි ද ජෙරුසලමේ ද දරුවන් දාස දාසීන් කොට, යටත් කරගන්න ඔබ අදහස් කරන්නහු ය. එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කළ අපරාධ ඔබ පිටත් නැද් ද? 11 එබැවින් මට ඇහුම්කන් දී ඔබේ සහෝදරයන්ගෙන් අල්ලාගත් තැනැත්තන් ආපසු යවන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙහි තිබේ ය”යි කීවේ ය.
12 එකල එප්‍රායිම්වරුන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙකු වූ ජොහානාන්ගේ පුත් අශරියා ද මෙෂිල්ලේමොත්ගේ පුත් බෙරෙකියා ද ෂල්ලුම්ගේ පුත් ජෙහිස්කියා ද හද්ලයිගේ පුත් අමාසා ද යුද්ධයෙන් ආ අයට විරුද්ධ ව නැඟිට සිට, 13 ඔවුන්ට කතා කොට, ”අල්ලාගෙන ආ තැනැත්තන් මෙහි නොගෙනා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අප කළ වරද හැර, අපේ පාප සහ අපේ අපරාධ වැඩි කරන්න ඔබ සිතන්නහු ය. අපේ අපරාධය බරපතල ය, දේව උදහස ද ඉශ්රායෙල් කෙරෙහි තිබේ ය”යි කීවෝ ය. 14 මෙසේ කී පසු ආයුධ ගත් තැනැත්තෝ අල්ලාගනු ලැබූ අය සහ කොල්ලය, අධිපතීන් සහ මුළු සභාව ඉදිරියෙහි හැර දමා යන්න ගියෝ ය. 15 එවිට නම් සඳහන් කොට පත් කරන ලද මනුෂ්‍යයෝ නැඟිට, අසුවුණ අය කැඳවාගෙන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍ර දී, ඔවුන්ට හඳවා, ඔවුන්ට වහන් ද කෑම බීම ද දී, තෙල් ගා, බෙලහීන ව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවර වූ ජෙරිකෝවේ ඔවුන්ගේ සහෝදරයන් වෙත ගෙනවුත්, පසු ව සමාරියට හැරී ගියෝ ය.

ආහාස් රජ අසිරියාවෙන් උපකාර ඉල්ලීම
(2 රාජා: 16:7-9)

16 ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාර කරන ලෙස අසිරියාවේ රජු වෙත පණිවුඩයක් යැවී ය. 17 කුමක් නිසා ද ඒදොම්වරු නැවත අවුත් ජුදාවරුන්ට පහර දී සමහරුන් අල්ලාගෙන ගියෝ ය. 18 පිලිස්තිවරු ද පහත රටේ සහ ජුදාහි දකුණු දිශාවේ නගරවලට වැද, බෙත්-ෂෙමෙෂ් ද අයාලෝන් ද ගෙදේරෝත් ද ශොකෝව සහ එහි ගම් ද තිම්නා සහ එහි ගම් ද ගිම්සෝ සහ එහි ගම් ද අල්ලාගෙන ඒවායේ වාසය කළෝ ය. 19 මන්ද, ජුදාහි රජු වූ ආහාස් ජුදාවරුන් අවිශ්වාසයට පමුණුවා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ බැවින්, උන් වහන්සේ ජුදා මනුෂ්‍යයන් යටත් කළ සේක. 20 අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලනෙසෙර් ඔහු වෙත අවුත් ඔහුට පීඩා කළා මිස ඔහු ශක්තිමත් කෙළේ නැත. 21 ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් ද රජුගේත්, අධිපතීන්ගේත් ගෙවලින් ද වස්තු රැගෙන අසිරියාවේ රජුට දුන් නමුත් එයින් ඔහුට පලක් නො වී ය.

ආහාස් රජුගේ පාප

22 මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේ දී තව තවත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළේ ය. 23 තමාට පහර දුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජා කොට, ”සිරියාවේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන බැවින්, ඔවුන් මටත් පිහිට වන පිණිස මම ඔවුන්ට පූජා කරමි”යි කී ය. එහෙත්, ඒ දෙවිවරු ඔහුගේ ද මුළු ඉශ්රායෙල් සෙනඟගේ ද විනාශයට හේතු වූ හ. 24 ආහාස් දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ එකතු කර, එහි වෙනත් භාණ්ඩ කැබලි කොට කපා, උන් වහන්සේගේ මාලිගාවේ දොරවල් වසා, ජෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර පූජාසන සාදා ගත්තේ ය. 25 ජුදාහි සියලු නගරවල ම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන පිණිස ඔහු ගිරිකුළු දේවාල සාදා තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කෙළේ ය.
26 මුල පටන් අග දක්වා ඔහුගේ අනික් ක්‍රියා ද ඔහුගේ සියලු ප්‍රතිපත්ති ද ජුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ලියා තිබේ. 27 ආහාස් මියගිය පසු ඔව්හු ජෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝ ය. ඔව්හු ඉශ්රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝ ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය.

– 29 වන පරිච්ඡේදය –

හෙසකියා රජු විසින් දේව මාලිගාව පවිත්‍ර කරනු ලැබීම

1 හෙසකියා වයස අවුරුදු විසිපහේ දී රජ වී විසිනව අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අබියා ය. ඈ ශෙකරියාගේ දුවකි. 2 ඔහුගේ පිය වූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. 3 ඔහු රජකමට පත් වූ පළමු වන අවුරුද්දේ පළමු වන මාසයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇර ඒවා ප්‍රතිසංස්කරණය කෙළේ ය. 4 ඔහු පූජකයන් ද ලෙවීවරුන් ද ගෙන්වා ගෙන, නැගෙනහිරින් වූ එළිමහන් තැන ඔවුන් රැස් කර, 5 ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: ”ලෙවීවරුනි, මට සවන් දෙන්න; ඔබ දැන් පවිත්‍ර වී, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවත් පවිත්‍ර කොට, ශුද්ධස්ථානයෙන් අපවිත්‍රකම පහකරන්න. 6 මන්ද, අපේ පියවරු ද්‍රෝහිකම් කරමින්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, උන් වහන්සේ අත්හැර උන් වහන්සේගේ වාසස්ථානය වෙතින් අහක් වී උන් වහන්සේට පිටු පෑවෝ ය. 7 ඔව්හු ද්වාර මණ්ඩපයේ දොරත් වසා තබා, පහන් නිවා, ශුද්ධස්ථානයෙහි ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට සුවඳ දුම් වත්, දවන යාග පූජා වත් ඔප්පු නොකළෝ ය. 8 ඒ නිසා සමිඳාණන් වහන්සේගේ උදහස ජුදා සහ ජෙරුසලම කෙරෙහි පැමිණියේ ය. ඔබේ ඇස්වලට පෙනෙන හැටියට ඔවුන් ඉතා අප්‍රිය වීමට ද බියජනක නින්දාවක් වීමට ද උන් වහන්සේ පාවා දුන් සේක. 9 මේ නිසා අපේ පියවරු කඩුවෙන් මැරී වැටුණෝ ය. අපේ පුත්‍රයෝ ද දූවරු ද භාර්යාවෝ ද වහල්කමෙහි සිටිති.
10 ”ඉතින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ තද උදහස අප කෙරෙන් පහ ව යන පිණිස උන් වහන්සේ සමඟ ගිවිසුමක් කරන්න මම අදහස් කර ඇත්තෙමි. 11 මාගේ පුත්‍රයෙනි, දැන් අලස ව නොසිටින්න. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නත්, උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නත්, උන් වහන්සේගේ සේවකයන් ව සුවඳ දුම් ඔප්පු කරන්නත් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.”
12 මෙසේ කී පසු, කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමාසයිගේ පුත් මහත් ද අශරියාගේ පුත් ජෝවෙල් ද; මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත් කිෂ් සහ ජෙහල්ලෙලෙල්ගේ පුත් අශිරියා ද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත් ජෝවා ද ජෝවාගේ පුත් ඒදෙන් ද; 13 එලිශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ෂිම්රි ද ජෙවුයෙල් ද; ආසාප්ගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ද මත්තනියා ද; 14 හේමන්ගේ පුත්‍රයන්ගෙන් ජෙහුවෙල් ද ෂිමෙයි ද ජෙදුතුන්ගේ පුත්‍රයන්ගෙන් ෂෙමායා ද උශ්ශියෙල් ද යන ලෙවීවරු නැඟිට, ‍ 15 තමන්ගේ සහෝදරයන් රැස් කර, තුමූ ම පවිත්‍ර වී, රජුගේ ආඥාව පරිද්දෙන් සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන්නට ආවෝ ය. 16 පූජකයෝ උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන පිණිස එහි ඇතුළට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ සියලු අපිරිසිදු දේ ඒ මාලිගාවේ මළුවට ගෙනාවෝ ය. ලෙවීවරු ඒවා කිද්‍රොන් ඔයට ගෙන ගියහ.
17 ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා දේව මාලිගාව පවිත්‍ර කරන්නට පටන්ගෙන, මාසයේ අට වන දා සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපයට ආවෝ ය. අට දවසකින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාව පවිත්‍ර කර පළමු වන මාසයේ දහසය වන දා එය නිම කළෝ ය.

දේව මාලිගාව යළි කැප කිරීම

18 එවිට ඔව්හු රජ මැදුරේ සිට හෙසකියා රජු වෙත ගොස් කතා කොට, ”අපි සමිඳාණන් වහන්සේගේ මුළු මාලිගාවත්, දවන යාග පූජාසනයත්, ඊට අයිති සියලු භාණ්ඩත්, පිදුම් පූප මේසයත්, ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදු කෙළෙමු. 19 ඇරත් ආහාස් රජු රජකම් කරන කල ඔහුගේ ද්‍රෝහිකමේ දී අහක දැමූ සියලු භාණ්ඩත් අපි සූදානම් කර පවිත්‍ර කෙළෙමු. ඒවා සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේ ය”යි කීවෝ ය.
20 එවිට හෙසකියා රජ අලුයම නැඟිට, නුවර අධිපතීන් රැස් කරවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය. 21 ඔව්හු රාජ්‍යය ද ශුද්ධස්ථානය ද ජුදාවරුන් ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත්, බැටළු පැටවුන් සත්දෙනෙකුත්, එළුවන් සත්දෙනෙකුත් ගෙනාහ. ඒ සතුන් සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ඔප්පු කරන්න ඔහු පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට කීවේ ය. 22 ගොනුන් මැරූ විට පූජකයෝ ලේ රැගෙන පූජාසනය පිට ඉස්සෝ ය. බැටළුවන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය. එසේ ම බැටළු පැටවුන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය. 23 ඔව්හු පාප පූජාවේ එළුවන් රජු සහ සභාව ඉදිරියට ගෙනාවෝ ය. ඔව්හු තමන්ගේ අත් උන් පිට තැබූ හ. 24 ඉන්පසු පූජකයෝ උන් මරා, මුළු ඉශ්රායෙල් උදෙසා සමඟි කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝ ය. මන්ද, ”මුළු ඉශ්රායෙල් සෙනඟ උදෙසා දවන යාග පූජා වත්, පාප පූජා වත් ඔප්පු කළ යුතු ය”යි නියම කර තිබිණි.
25 තවද, ඔහු දාවිත්ගේ ද රජුගේ දිවැසිවරයා වූ ගාද්ගේ ද දෙවියන් වහන්සේට කැප මිනිසෙකු වූ දිවැසිවර නාතාන්ගේ ද අණ පරිද්දෙන් අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව ලෙවීවරුන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටෙව්වේ ය. මන්ද, ඒ ආඥාව දිවැසිවරුන් මඟින් සමිඳාණන් වහන්සේගෙන් පැමිණ තිබිණි. 26 ලෙවීවරු දාවිත්ගේ තූර්ය භාණ්ඩ ද පූජකයෝ හොරණෑ ද රැගෙන සිටියෝ ය. 27 හෙසකියා ද පූජාසනය පිට දවන යාග පූජාව ඔප්පු කරන්න අණ කළේ ය. දවන යාග පූජාව පටන්ගන්න වේලාවේ සමිඳාණන් වහන්සේගේ ගී ද හොරණෑ ශබ්දය ද ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩවල හඬ ද ඇති ව එය පටන්ගන්න ලදී. 28 මුළු සභාව වැඳ වැටී සිටියා ය. ගී ගයන්නෝ ගී ගැයූ හ. හොරණෑකාරයෝ නළා පිම්බෝ ය. දවන යාග පූජාව නිම වන තුරු සියල්ල එසේ පැවතිණි. 29 පූජා ඔප්පු කර නිම වූ කල රජ ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද දණින් වැටී වැන්දෝ ය. 30 හෙසකියා රජ ද අධිපතීහු ද දාවිත්ගේත්, දිවැසිවරයා වන ආසාප්ගේත් වචනවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා ගී කියන්න ලෙවීවරුන්ට අණ කළෝ ය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිස නමා වැන්දෝ ය.
31 එවිට හෙසකියා කතා කොට, ”දැන් ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වී සිටින බැවින් ළං වී යාග ද ස්තුති පූජා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන්නැ”යි කීවේ ය. සභාව යාග ද ස්තුති පූජා ද භාර පඬුරු වශයෙන් දවන යාග පූජා ද සතුටින් ගෙනාහ. 32 සභාව ගෙනා දවන යාග පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත්, බැටළුවන් සියයකුත්, බැටළු පැටවුන් දෙසියයකුත් ය. මේ සියල්ල ගෙනාවේ, සමිඳාණන් වහන්සේට දවන යාග පූජා පිණිස ය. 33 කැප කරනු ලැබූ පඬුරු නම්, ගොන්නු හයසියයකුත්, බැටළුවෝ තුන්දහසකුත් ය. 34 එහෙත්, පූජකයන් මදි වූ නිසා සියලු දවන යාග පූජා සූදානම් කරන්න බැරි විය. ඒ නිසා ඔවුන්ගේ සහෝදර ලෙවීවරු, වැඩ කටයුතු නිම වන තුරුත්, අනික් පූජකයන් පවිත්‍ර වන තුරුත් ඔවුනට උදව් වූවෝ ය. මන්ද, තමන් පවිත්‍ර වීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංක ව සිටියෝ ය. 35 සහභාගිකමේ පූජාවල තෙලත්, දවන යාග සඳහා වූ පාන පූජාවලුත් ඇතුළු ව දවන යාග පූජා බොහෝ සෙයින් තිබිණි.
මෙසේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිළිවෙළට නැවත සිදු කරන ලද්දේ ය. 36 දෙවියන් වහන්සේ සෙනඟ උදෙසා සූදානම් කළ දේ හදිසියෙන් පවත්වන්න සිදු වූ නිසා හෙසකියා ද මුළු සෙනඟ ද ප්‍රීති වූ හ.

 

– 30 වන පරිච්ඡේදය –

පාස්කු මංගල්‍යය පැවැත්වීමට සූදානම

1 ඉන්පසු හෙසකියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන පිණිස ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන්න කියා ඉශ්රායෙල් රට හා ජුදා දේශය මුළුල්ලෙහි දන්වා යැවී ය. එප්‍රායිම් ජනයාට සහ මනස්සේ ජනයාටත් ලියුම් ලියා යැවී ය. 2 සෑහෙන පමණ පූජකයන් පවිත්‍ර නොවූ නිසාත්, සෙනඟ ජෙරුසලමට රැස් නොවූ නිසාත්, නියම කාලයට පාස්කු මංගල්‍යය පවත්වන්න නොහැකි ව, 3 දෙ වන මාසයේ එය පවත්වන්න රජ ද ඔහුගේ අධිපතීහු ද සම්මත කරගත්හ. 4 ඒ කරුණ රජුටත්, මුළු සභාවටත් සුදුසු යයි පෙනිණි. 5 බොහෝ කාලයක පටන් විශාල පිරිසක් ව්‍යවස්ථාවේ ලියා තිබෙන ආකාරයට පාස්කුව නොපැවැත් වූ නිසා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පාස්කුව ජෙරුසලමෙහි පවත්වන පිණිස එන ලෙස ඔව්හු බෙයර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධ කරන ලෙස නියෝගයක් කළෝ ය. 6 මෙසේ පණිවුඩකාරයෝ රජුගෙන් ද ඔහුගේ අධිපතීන්ගෙන් ද ලැබූ ලියුම් රැගෙන, රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඉශ්රායෙල් රට ද ජුදා දේශය ද මුළුල්ලෙහි ගොස් කතා කොට,
”ඉශ්රායෙල් ජනයෙනි, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. එවිට අසිරියාවෙහි රජුන්ගේ අතින් ගැළවී ඉතුරු ව සිටින ඔබ වෙත උන් වහන්සේ හැරෙනු ඇත. 7 තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ ඔබේ පියවරුන්ටත්, සහෝදරයන්ටත් සමාන නොවන්න. ඔබට පෙනෙන හැටියට උන් වහන්සේ ඔවුන් ව්‍යසනයට පාවා දුන් සේක. 8 ඉතින් ඔබේ පියවරුන් මෙන් ඔබ මුරණ්ඩු නොවී සමිඳාණන් වහන්සේට ගිවිසුම් දී, උන් වහන්සේ සදහට ම පවිත්‍ර කළ උන් වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වී උන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙන් පහවන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වන්දනා නමස්කාර කරන්න. 9 මන්ද, ඔබ සමිඳාණන් වහන්සේ වෙත හැරුණොත්, ඔබේ සහෝදරයන් ද දරුවන් ද තමන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනු ඇත. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දයානුකම්පාව ඇති කෙනෙකි; ඔබ උන් වහන්සේ වෙත හැරුණොත්, උන් වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙන් හරවා නොගන්න සේකැ”යි කීවෝ ය.
10 මෙසේ පණිවුඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වා ම නුවරින් නුවරට ගියෝ ය. එහෙත්, මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම් කළහ. 11 එසේ වුවත්, ආෂෙර්හි ද මනස්සේහි ද සාබුලොන්හි ද සමහරු අවනත වී ජෙරුසලමට ආවෝ ය. 12 සමිඳාණන් වහන්සේගේ වචනය පරිදි රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පිළිපදින පිණිස ජුදාවරුන් එක් සිත් කරවන ලෙස දෙවියන් වහන්සේගේ හස්තය ඔවුන් පිට ද වූයේ ය.

පාස්කු මංගල්‍යය පැවැත්වීම

13 මෙසේ දෙ වන මාසයේ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන පිණිස ඉමහත් සභාවක් වූ බොහෝ සෙනඟ ජෙරුසලමට රැස් වුණෝ ය.
14 ඔව්හු පැමිණ ජෙරුසලමෙහි තිබූ පූජාසන පහකළෝ ය. සියලු දුම් පූජාසනත් පහකොට ඒවා කිද්‍රොන් ඔයට දැමුවෝ ය. 15 යළිත් ඔව්හු දෙ වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළුවන් මැරූ හ. පූජකයෝ ද ලෙවීවරු ද ලජ්ජාවට පැමිණ තුමූ ම පවිත්‍ර වී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට දවන යාග පූජා ගෙනාවෝ ය. 16 ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට තම තමන්ගේ නියම පිළිවෙළට තම තමන්ගේ ස්ථානවල සිටගත්හ. පූජකයෝ ලෙවීවරුන්ගේ අතින් ලේ රැගෙන ඉස්සෝ ය. 17 මන්ද, පවිත්‍ර නො වූ බොහෝ දෙනෙක් සභාවෙහි සිටියෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස පිරිසිදු නො වූ සියල්ලන් උදෙසා පාස්කු බැටළු පැටවුන් මැරීම ලෙවීවරුන්ට බාර විය. 18 මන්ද, ජනයාගෙන් විශාල සමූහයක් එනම්, එප්‍රායිම්ගෙන් ද මනස්සේගෙන් ද ඉස්සාකර්ගෙන් ද සාබුලොන්ගෙන් ද බොහෝ දෙනෙක් පිරිසිදු නොවී, ව්‍යවස්ථාවේ ලියා තිබෙන අන්දමට නියමයන් ඉටු නොකර පාස්කුව වැළඳූ හ. හෙසකියා ඔවුන් උදෙසා යාච්ඤා කරමින්, 19 ”ශුද්ධස්ථානයේ පවිත්‍ර කිරීම ලෙස පිරිසිදු නොවූ නමුත්, තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සොයන්න තමන්ගේ සිත් යොමු කරගෙන සිටින සියල්ලන්ට කරුණාවන්ත සමිඳාණන් වහන්සේ කමා වන සේක්වා”යි කීවේ ය. 20 සමිඳාණන් වහන්සේ හෙසකියාට ඇහුම්කන් දී සෙනඟ සුව කළ සේක. 21 ජෙරුසලමෙහි සිටි ඉශ්රයෙල්වරු ද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය ඉමහත් ප්‍රීතියෙන් සත් දවසක් පැවැත් වූ හ. ලෙවීවරු ද පූජකයෝ ද මුළු ශක්තිය යොදා තූර්ය භාණ්ඩ රැගෙන ගී ගයමින්, සමිඳාණන් වහන්සේට දවසින් දවස ප්‍රශංසා කළෝ ය. 22 හෙසකියා සමිඳාණන් වහන්සේගේ මෙහෙය ගැන දක්ෂතාව ඇති සියලු ලෙවීවරුන් දිරි ගන්වන ලෙස මිත්‍ර ලීලාවෙන් කතා කෙළේ ය.

මංගල්‍යය තවත් වරක් පැවැත්වීම

ඔව්හු සහභාගිකමේ පූජා ඔප්පු කරමින් ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් ද සත් දවසක් මංගල්‍ය පූජාවලින් වැළඳුවෝ ය. 23 මුළු සභාව ද තවත් සත් දවසක් මංගල්‍යය පවත්වන්න සම්මත කරගෙන, එය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත් වූ හ. 24 මන්ද, ජුදාහි රජ වූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක් ද පූජා සඳහා සභාවට දුන්නේ ය. අධිපතීහු ද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝ ය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක් ද පවිත්‍ර වූ හ. 25 ජුදාහි මුළු සභාව ද පූජකයෝ ද ලෙවීවරු ද ඉශ්රායෙල් දේශයෙන් අවුත් සිටි නොහොත් ජුදාහි වාසය කළ විදේශිකයෝ ද ප්‍රීති වූ හ. 26 මෙසේ ජෙරුසලමෙහි ඉමහත් ප්‍රීතියක් විය. මන්ද, දාවිත්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ සලමොන්ගේ කාලයට පසු ජෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නො වී ය. 27 එවිට ලෙවීවරුන් වූ පූජකයෝ නැඟිට සෙනඟට ආශීර්වාද කළෝ ය. ඔවුන්ගේ හඬ අසනු ලැබී ය. ඔවුන්ගේ යාච්ඤාව උන් වහන්සේගේ පිරිසිදු වාසස්ථානය වන ස්වර්ගයෙහි පිළිගන්න ලදී.

 

– 31 වන පරිච්ඡේදය –

පූජක සේවය යළි පිහිටුවීම

1 මේ සියල්ල නිම වූ කල එහි සිටි සියලු ඉශ්රායෙල්වරු ජුදාහි නගරවලට ගොස් රූපස්තම්භ බිඳ දමා, අෂේරා කප් කණු කපා දමා, ජුදාගේ මුළු රටේ ද බෙන්ජමින්ගේ රටේ ද එප්‍රායිම්ගේ රටේ ද මනස්සේගේ රටේ ද ගිරිකුළු සහ පූජාසන නැති වී යන තුරු ඒවා කඩා දැමුවෝ ය. ඉන්පසු ඉශ්රායෙල්වරු තම තමන්ගේ නගරවල තම තමන්ගේ උරුම දේශවලට හැරී ගියෝ ය.
2 හෙසකියා දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කරන්නත්, සමිඳාණන් වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්නත්, ස්තුති ප්‍රශංසා කරන්නත්, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් පංතිවල ප්‍රකාරයට, පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංති නියම කෙළේ ය. 3 තවද, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිදි දවන යාග පූජා සඳහා එනම්, උදේ සවස දවන යාග පූජා ද සබත් දවස්, අමාවක් සහ ප්‍රසිද්ධ මංගල්‍ය සම්බන්ධ දවන යාග පූජා ද සඳහා ඔහු ස්වකීය රාජ සම්පතින් කොටසක් නියම කෙළේ ය.
4 ඇරත්, පූජකයන් ද ලෙවීවරුන් ද සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි යෙදී සිටීම පිණිස ඔවුන්ගේ කොටස් දෙන ලෙස ඔහු ජෙරුසලමෙහි විසූ සෙනඟට අණ කෙළේ ය. 5 මේ ආඥාව පතළ වූ විට ඉශ්රායෙල්වරු බොහෝ සෙයින් ම ධාන්‍යවලිනුත්, මුද්‍රික යුෂයෙනුත්, තෙල්වලිනුත්, මී පැණිවලිනුත්, භූමියේ සියලු අස්වනුවලිනුත් ප්‍රථම පල සහ සියල්ලෙන් දසයෙන් කොටසක් ද යහමින් ගෙනාවෝ ය. 6 ජුදාහි නගරවල විසූ ඉශ්රායෙල්වරු සහ ජුදාවරු ගොනුන්ගෙනුත්, බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාහ. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක් ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබූ හ. 7 ඔව්හු තුන් වන මාසයේ දී ඒවා ගොඩගසන්න පටන් ගෙන හත් වන මාසයේ දී එම වැඩය නිම කළෝ ය. 8 හෙසකියා ද අධිපතීහු ද අවුත් ඒ ගොඩවල් බලා සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් ප්‍රශංසා කළෝ ය. 9 හෙසකියා රජ ඒ ගොඩවල් ගැන පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද විභාග කෙළේ ය. 10 එවිට ශාදොක්ගේ වංශයේ උත්තම පූජකයා වන අශරියා ඔහුට උත්තර දෙමින්, ”සෙනඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පඬුරු ගෙනෙන්න පටන් ගත් දා සිට අපි සෑහෙන පමණ අනුභව කොට බොහෝ සෙයින් ඉතුරු කෙළෙමු. මන්ද, සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාද කළ සේක. මේ විශාල කොටස ද ඉතිරි වී තිබේ ය”යි කීවේ ය.
11 එකල හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් පිළියෙළ කරන්න අණ කෙළේ ය. ඔව්හු එසේ පිළියෙළ කොට, 12 පඬුරු ද දසයෙන් කොටස් ද කැප කළ දේවල් ද සුරැකි ව තැබීමට ඒවා ඇතුළට ගෙනාහ. ලෙවීයයෙකු වූ කොනනියා ඒවා බලාගැනීමට පත් ව සිටියේ ය. ඔහුගේ සහෝදර ෂිමෙයි ඔහුට දෙවැනියා ව සිටියේ ය. 13 හෙසකියා රජුගේත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අශරියාගේත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදර වූ ෂිමෙයි යටතේ ජෙහීයෙල් ද අශශියා ද නහත් ද අසාහෙල් ද ජෙරීමොත් ද ජෝශාබාද් ද එලීයෙල් ද ඉස්මාකියා ද මහත් ද බෙනායා ද යන මොවුහු නිලධාරීන් ව සිටියෝ ය. 14 නැගෙනහිර දොරටු පාලකයා වූ, ලෙවීයෙකු වූ ඉම්නාගේ පුත් කෝරේ සමිඳාණන් වහන්සේගේ පඬුරුත්, අතිශුද්ධ දේත් බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන් වහන්සේට ඔප්පු කළ දේවල් බාර ව සිටියේ ය. 15 ඔහු යටතේ වාර පිළිවෙළින් තමන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදා දෙන පිණිස, විශ්වාසවන්ත ව සහාය වීමට ඒදෙන් ද මිනියාමින් ද ජේෂුවා ද ෂෙමායා ද අමරියා ද ෂෙකනියා ද පූජකයන්ගේ නගරවල පත් ව සිටියෝ ය. 16 තුන් අවුරුදු වයසේ පටන් වංශ වශයෙන් ලියාපදිංචි වූ ඔවුන්ගේ පිරිමින් හැර, තමන්ගේ පංතිවල හැටියට තම තනතුරු ලෙස සේවය කිරීමට දවසින් දවස සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වූ සියල්ලන්ටත් ඔව්හු එසේ දුන්නෝ ය. 17 එනම්, තමන්ගේ පිය වංශවල හැටියට ලියාපදිංචි වූ අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇති තමන්ගේ පංතිවල තම තනතුරුවල සිටි පූජකයන් ද ලෙවීවරුන් ද 18 ලියාපදිංචි වූ ඔවුන්ගේ සියලු බාලයන් ද ඔවුන්ගේ භාර්යාවන් ද පුත්‍රයන් ද දූවරුන් ද යන මුළු සභාවට ඔව්හු ඒවා දුන්නෝ ය. තවද, තමන්ගේ නියම සේවය සඳහා ඔව්හු විශුද්ධ ව සිටියෝ ය. 19 තවද, තමන්ගේ නගරබද තණ බිම්වල විසූ පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියාපදිංචි වූ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් වශයෙන් පත් කොට ඇති මනුෂ්‍යයෝ සියලු නගරවල සිටියෝ ය.
20 හෙසකියා ජුදා මුළුල්ලෙහි මෙසේ කරමින් තමාගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යහපත් දේ ද හරි දේ ද යුක්තිසහගත දේ ද කෙළේ ය. 21 ඔහු තමාගේ දෙවියන් වහන්සේ සොයමින් උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය ද ව්‍යවස්ථාව ද ආඥාව ද සම්බන්ධ ව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ට කොට සමෘද්ධිමත් විය.

 

– 32 වන පරිච්ඡේදය –

අසිරියාවේ රජු විසින් ජුදා දේශය වටලනු ලැබීම
(2 රාජා: 18:13-37; 19:14-19, 35-37)

1 මේ කාරණාවලටත්, මේ සේවයටත් පසු ව, අසිරියාවේ රජ වන සෙනකෙරීබ් අවුත්, ජුදා දේශයට ඇතුළු ව, පවුරු ඇති නගර අල්ලාගන්න සිතා ඒවාට විරුද්ධ ව කඳවුරු බැන්දේ ය. 2 සෙනකෙරීබ් පැමිණ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන්න යන බව හෙසකියා දැක, 3 නගරයට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්න තමාගේ අධිපතීන් ද බලවන්තයන් ද සමඟ මන්ත්‍රණය කරගත්තේ ය. ඔහුගේ යුද්ධ මණ්ඩලය ද ඔහුට උපකාර කෙළේ ය. 4 මෙසේ විශාල සෙනඟක් රැස් ව කතා කොට, ”අසිරියාවේ රජවරුන් පැමිණි විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්න ඉඩ තබන්නේ කුමට දැ”යි කියා සියලු උල්පත් ද දේශය මැදින් ගලා යන ඔය ද නැවැත්තූ හ. 5 හෙසකියා ධෛර්යය වඩා, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැඟුවේ ය. පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනඟා, දාවිත්ගේ නුවරට තිබුණු මිටියාවතෙහි ආරක්ෂා සංවිධාන මිල්ලෝ සවිකර බොහෝ ආයුධ හා පලිස් සෑදුවේ ය. 6 ඔහු සෙනඟ කෙරෙහි යුද්ධාධිපතීන් පත් කොට, නුවර දොරකඩ එළිමහන් තැන ඔවුන් රැස්කර, ඔවුන්ට මිත්‍ර ලීලාවෙන් කතා කොට, 7 ”අසිරියාවේ රජුට වත්, ඔහු සමඟ සිටින මුළු සමූහයට වත් බිය නොවී, නොකැළඹී, බලවත් ව, ධෛර්යවත් ව සිටින්න. මන්ද, ඔහු සමඟ සිටින තැනැත්තාට වඩා බලවන්තයෙක් අප සමඟ සිටින්නේ ය. 8 ඔහුට ඇත්තේ මනුෂ්‍ය බලයකි, එහෙත්, අපට පිහිට වී, අපේ යුද්ධ කරන පිණිස අප සමඟ වැඩ සිටින්නේ, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය”යි කීවේ ය. සෙනඟ ජුදාහි රජ වන හෙසකියාගේ වචනය විශ්වාස කළහ.

දේවාපහාස

9 මින්පසු අසිරියාවේ රජ වන සෙනකෙරීබ් තෙම තමාගේ මුළු සේනාව ඇති ව ලාකීෂ් ඉදිරිපිට සිටිය දී, ජෙරුසලමෙහි සිටි ජුදාහි රජ වන හෙසකියාටත්, ජෙරුසලමෙහි සිටි සියලු ජුදාවරුන්ටත් තමාගේ සේවකයන් අත මෙසේ කියා යැවී ය: 10 ”අසිරියාවේ රජ වන සෙනකෙරීබ් මෙසේ කියන්නේ ය: ඔබ ජෙරුසලමේ බලකොටුවෙහි සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාස කරගෙන ද? 11 අපේ දෙවි සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ අතින් අප ගළවාගන්න සේකැ යි කියමින්, හෙසකියා ඔබ හැම පොළඹවන්නේ සාපිපාසයෙන් මැරෙන්න ඔබ සියල්ලන් භාර දෙන පිණිස නොවේ ද? 12 ගිරිකුළු දේවාල ද පහකොට, ඔබ එක ම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාර කරන්නටත්, ඒ පිට සුවඳ දුම් ඔප්පු කරන්නත් ඕනෑ ය කියා ජුදාටත්, ජෙරුසලමටත් අණ කෙළේ මේ හෙසකියා නොවේ ද? 13 මා සහ මාගේ පියවරුන් අන් දේශවල සියලු ජනයන්ට කළ දේ ඔබ දන්නේ නැද් ද? අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන්ට කොයි අන්දමකින් වත් ඔවුන්ගේ දේශය මාගේ අතින් ගළවාගන්න පුළුවන් වූයේ ද? 14 මාගේ අතින් ඔබ හැම ගළවන්න ඔබේ දෙවියන්ට පුළුවන් වන ලෙස, මාගේ පියවරුන් වනසා ලූ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරුන් අතරෙන් තමාගේ සෙනඟ මාගේ අතින් ගළවන්න පුළුවන් වූයේ කාට ද? 15 එබැවින් ඔබ රවටන්න වත්, මෙලෙස ඔබ පොළඹවන්න වත් හෙසකියාට ඉඩ නොදෙන්න. ඔහු විශ්වාස නොකරන්න. මන්ද, කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවි කෙනෙකුට වත් තමාගේ සෙනඟ මාගේ අතින් වත්, මාගේ පියවරුන්ගේ අතින් වත් ගළවාගන්න පුළුවන් නො වී ය. එසේ නම්, ඔබේ දෙවියන් වහන්සේ ඔබ හැම මාගේ අතින් ගළවන්නේ කෙසේ දැ”යි කීවේ ය.
16 ඔහුගේ නිලධාරීහු දෙවි සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ මෙහෙකරු වන හෙසකියාටත් විරුද්ධ ව තවදුරටත් කතා කළෝ ය. 17 ”තවද, අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමන්ගේ සෙනඟ මා අතින් නොගැළවූ ලෙස හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත” කියා ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේට නින්දාකර, උන් වහන්සේට විරුද්ධ ව කතා කරන පිණිස සෙනකෙරීබ් ලියුම් එවුවේ ය. 18 ඔව්හු නගරය අල්ලාගන්න පිණිස, පවුර පිට සිටි ජෙරුසලමේ සෙනඟ බයගන්වන්නත්, ඔවුන් කළඹන්නත් ජුදෙව් භාෂාවෙන් මහා හඬකින් මොරගසා, 19 මනුෂ්‍ය අතින් සාදා නිම කරන ලද මිහි පිට ජනයන්ගේ දෙවිවරුන් ගැන කතා කරන පරිදි, ජෙරුසලමේ දෙවියන් වහන්සේ ගැන කතා කළෝ ය.

යාච්ඤාවෙන් ජය ලබාගැනීම

20 ඒ නිසා හෙසකියා රජ ද ආමොස්ගේ පුත් දිවැසිවරයා වන යෙසායා ද යාච්ඤා කොට ස්වර්ගයට මොරගැසූ හ. 21 එවිට සමිඳාණන් වහන්සේ දේව දූතයෙකු එවූ සේක. ඔහු අසිරියාවේ රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධ භටයන් ද ප්‍රධානීන් ද අධිපතීන් ද මරා දැමුවේ ය. මෙසේ සෙනකෙරීබ් රජ අපකීර්තියට පත් වී හැරී තම දේශයට ආපසු ගියේ ය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාගේ ම පුත්‍රයෝ එහි දී ඔහු කඩුවෙන් මැරුවෝ ය.
22 මෙසේ සමිඳාණන් වහන්සේ හෙසකියා ද ජෙරුසලමේ වැසියන් ද අසිරියාවේ රජු වූ සෙනකෙරීබ්ගේ අතින් ද අනික් සියල්ලන්ගේ අතින් ද ගළවා හැම අතින් ම ඔවුන් ආරක්ෂා කළ සේක. 23 එවිට බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේට පඬුරු ද ජුදාහි රජ වන හෙසකියාට අනර්ඝ දේ ද දෙන පිණිස ජෙරුසලමට ඒවා ගෙනාවෝ ය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.

හෙසකියා රජ ලෙඩ වීම
(2 රාජා: 20:1-3, 12-19)

24 ඒ කාලයේ දී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුර වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට සලකුණක් ඔහුට දුන් සේක. 25 එහෙත්, හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට කෘතඥා නොවී සිතින් උඩඟු විය. ඒ නිසා ඔහු පිට ද ජුදා සහ ජෙරුසලම පිට ද උදහස පැමිණියේ ය. 26 එහෙත්, තම සිතේ උඩඟුකම ගැන හෙසකියා ද ජෙරුසලමේ වැසියන් ද යටත් වූ නිසා, හෙසකියාගේ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ උදහස නිසා උන් වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර පසු ව දඬුවම් කළ සේක.

හෙසකියාගේ වස්තුව හා ඓශ්වර්යය

27 හෙසකියා බොහෝ වස්තුව හා කීර්තිය භුක්ති වින්දේ ය. ඔහු රන් රිදීවලටත්, අනර්ඝ මැණික් ගල්වලටත්, සුවඳ ද්‍රව්‍යවලටත්, පලිස්වලටත්, සියලු ආකාර අනර්ඝ බඩුවලටත් ගබඩා ගෙවල් ද, 28 ධාන්‍යවල අස්වැන්නටත්, මුද්‍රික පානයටත්, තෙල්වලටත් ගබඩා ද, සියලු ආකාර ගවමහිෂයන්ට ගව මඩු ද, රැළවලට ගාල් ද සැදුවේ ය. 29 දෙවියන් වහන්සේ ඔහුට අතිශයින් ම සම්පත් දුන් නිසා ඔහු නගර ද බොහෝ එළු බැටළු ගව පට්ටි ද සපයා ගත්තේ ය. 30 මේ හෙසකියා රජ ගීහොන්හි වතුර ගලා එන ඉහළ උල්පත නවත්වා එය දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැස එන්න සැලැස්සුවේ ය. හෙසකියා තමාගේ සියලු වැඩවල දී සමෘද්ධිමත් විය. 31 එසේ වුවත්, දේශයෙහි සිද්ධ වූ ආශ්චර්යය ගැන විභාග කරන්න බබිලෝනියේ අධිපතීන් ඔහු ළඟට තානාපතීන් එවූ කල, ඔහුගේ සිතුම් පැතුම් සියල්ල දැන ගන්න පිණිස දෙවියන් වහන්සේ ඔහු සෝදිසි කිරීමට පමණක් ඔහු අත්හැරිය සේක.

හෙසකියා රජුගේ අවසාන කාලය

32 හෙසකියාගේ අනික් ක්‍රියා ද ඔහුගේ භක්තිමත් කෘත්‍යයන් ද ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයාගේ දර්ශන පොතෙහි ද ජුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ද ලියා තිබේ. 33 හෙසකියා මියගිය පසු දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාශයෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ මරණයේ දී සියලු ජුදාවරු ද ජෙරුසලම් වැසියෝ ද ඔහුට ගෞරව කළෝ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.

 

– 33 වන පරිච්ඡේදය –

මනස්සේ රජුගේ රාජ්‍ය කාලය
(2 රාජා: 21:1-10)

1 මනස්සේ දොළොස් අවුරුදු වයසේ දී රජ වී පණස්පස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. 2 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. 3 තම පිය වූ හෙසකියා කඩාදැමූ ගිරිකුළු දේවාල ඔහු නැවත ගොඩනඟා, බාල් දේවතාවන්ට පූජාසන ඉදි කොට අෂේරා කප් කණු සෑදුවේ ය. ඔහු අහසේ ග්‍රහතාරකාවන් සියල්ලට නමස්කාර කරමින් ඒවාට සේවය කෙළේ ය. 4 තවද, ”මාගේ නාමය ජෙරුසලමෙහි සදහට ම පවතින්නේ ය”යි සමිඳාණන් වහන්සේ වදාළ උන් වහන්සේගේ මාලිගාවෙහි ඔහු අන් දෙවිවරුන්ට පූජාසන ගොඩනැඟුවේ ය. 5 මෙසේ ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩප දෙකේ ග්‍රහතාරකාවන් සියල්ලට පූජාසන ගොඩනැඟුවේ ය. 6 ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේ දී ගිනි පූජාවක් වශයෙන් ඔප්පු කෙළේ ය. ඔහු නිමිති බැලීම් ද ශාස්ත්‍ර කීම් ද මායම් ද උපයෝගී කොට, ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද ආශ්‍රය කෙළේ ය. සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි ඔහු නපුරු දේ බොහෝ සෙයින් ම කෙළේ ය. 7 ඔහු සෑදූ දේවතා රූපය ද දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි තැබී ය. ඒ මාලිගාව ගැන දෙවියන් වහන්සේ දාවිත්ටත්, ඔහුගේ පුත් සලමොන්ටත් කතා කොට, ”මේ මාලිගාවෙහිත්, මා විසින් සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙන් තෝරාගනු ලැබූ ජෙරුසලමෙහිත් මාගේ නාමය සදහට ම පවතින්නට සලසන්නෙමි. 8 මෝසෙස් අතින් ඉශ්රායෙල්වරුන් ලැබූ මුළු ව්‍යවස්ථාවේ ද පණත්වල ද නියෝගවල ද ප්‍රකාරයට මා ඔවුන්ට අණ කළ සියල්ල කරන හැටියට ඔව්හු බලාගන්නෝ නම්, නුඹලාගේ පියවරුන්ට මා නියම කළ දේශයෙන් ඔවුන්ට තවත් අහක් ව යන්න නොසලස්වන්නෙමි”යි වදාළ සේක. 9 එහෙත්, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් විනාශ කරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද මුළා කෙළේ ය.

මනස්සේ රජ පසුතැවී සිත හරවා ගැනීම

10 සමිඳාණන් වහන්සේ මනස්සේටත්, ඔහුගේ සෙනඟටත් කතා කළ නමුත් ඔව්හු සවන් නුදුන්නෝ ය. 11 ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය. 12 ඔහු තමාගේ විපතේ දී තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කොට, තම පියවරුන්ගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත් වී, 13 උන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ඔහුට සවන් දී ඔහුගේ කන්නලව්ව අසා ජෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවූ සේක. එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බව මනස්සේ දැනගත්තේ ය.
14 මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය-දොරටුවෙන් ඇතුළු වන තැන දක්වා ඕපෙල් තාප්පය වටේට ඉතා උසට පවුරක් ගොඩනඟා, ජුදා දේශයෙහි පවුරු ඇති සියලු නගරවල සේනාපතීන් සිටෙව්වේ ය. 15 ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් අන් දෙවිවරුන් ද පිළිම ද උන් වහන්සේගේ මාලිගාව පිහිටි කන්දෙහිත්, ජෙරුසලමෙහිත් ගොඩනඟා තිබුණු සියලු පූජාසන ද පහකොට ඒවා නගරයෙන් පිටත දැමුවේ ය. 16 තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට සහභාගිකමේ පූජා ද ස්තුති පූජා ද ඔප්පු කොට, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න ජුදාවරුන්ට අණ කෙළේ ය. 17 එහෙත්, සෙනඟ ඊට පසුත් ගිරිකුළු දේවාලවල පූජා කළෝ ය. එහෙත්, එසේ කෙළේ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ය.

මනස්සේගේ රාජ්‍යයේ අවසානය
(2 රාජා: 21:17-18)

18 මනස්සේගේ අනික් ක්‍රියා ද ඔහු තමාගේ දෙවියන් වහන්සේට ඔප්පු කළ යාච්ඤාව ද ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔහුට කතා කළ දිවැසිවරයාගේ වචන ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි ලියා තිබේ. 19 ඔහුගේ යාච්ඤාව ද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන් දුන් හැටි ද ඔහුගේ සියලු පාපයන් ද ඔහුගේ ද්‍රෝහිකම් ද ඔහු යටහත් වන්න පළමුවෙන් ඔහු ඉදි කළ කඳු මත පූජාස්ථාන ද අෂේරා කප් කණු සහ කැපූ රූප සිටෙවූ ස්ථාන ද දර්ශකයන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි ලියා තිබේ. 20 මෙසේ මනස්සේ මියගිය පසු ඔහුගේ ගෙදර සොහොන් ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ආමොන් ඔහු වෙනුවට රජ විය.

ආමොන්ගේ රාජ්‍ය කාලය
(2 රාජා: 21:19-26)

21 ආමොන් විසි අවුරුදු වයසේ දී රජ වී දෑවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. 22 ඔහු තමාගේ පිය වූ මනස්සේ කළ පරිදි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින්, තමාගේ පිය වූ මනස්සේ සෑදූ සියලු රූපවලට පූජා කොට වැඳුම්පිදුම් කෙළේ ය. 23 ඔහුගේ පිය වූ මනස්සේ යටහත් වුණ ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් නො වී ය. මෙම ආමොන් වඩ වඩා අපරාධ කෙළේ ය.
24 ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ම රජ මැදුරේ දී ඔහු මැරුවෝ ය. 25 එහෙත්, දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධ ව මන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය.

 

– 34 වන පරිච්ඡේදය –

ජොෂියා රජ වීම
(2 රාජා: 22:1-2)

1 ජොෂියා අට අවුරුදු වයසේ දී රජ වී තිස්එක් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. 2 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කරමින් තමාගේ පිය වූ දාවිත්ගේ ආදර්ශය අකුරට ම පිළිපැද්දේ ය.

රූප වන්දනා නැති කිරීම

3 ඔහු රජකමට පත් වූ අට වන අවුරුද්දේ, බාල වියේ සිටිය දී ම, තමාගේ පිය වූ දාවිත්ගේ දෙවියන් වහන්සේ සොයන්න පටන්ගෙන, දොළොස් වන අවුරුද්දේ දී ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද පහකර ජුදා සහ ජෙරුසලම පිරිසිදු කරන්න පටන් ගත්තේ ය. 4 ඔහු බලාගෙන සිටිය දී බාල් පූජාසන කඩා දමන ලද්දේ ය. ඒවාට උඩින් තිබුණු සුවඳ දුම් පුදන පූජාසන ඔහු කඩා දමා, අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද බිඳ කුඩු කොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඔහු ඒවා ඉස්සේ ය. 5 ඔහු පූජකයන්ගේ ඇටකටු ඔවුන්ගේ පූජාසන පිට පුළුස්සා, ජුදා ද ජෙරුසලම ද පිරිසිදු කෙළේ ය. 6 තවද, ඔහු නප්තලී දක්වා මනස්සේගේ ද එප්‍රායිම්ගේ ද සිමියොන්ගේ ද දේශයන්හි නගර මුළුල්ලෙහි ද ඒවා අවට කෙලසන ලද පළාත්හි ද එලෙස කෙළේ ය. 7 ඔහු ඉශ්රායෙල් දේශය මුළුල්ලෙහි තිබූ පූජාසන කඩා දමා, අෂේරා කප් කණු ද කැපූ රූප ද බිඳ දමා, ඒවා කුඩුකර, සියලු සුවඳ දුම් පූජාසන වනසා ජෙරුසලමට හැරී ආයේ ය.

දේව මාලිගාව ප්‍රකෘතිමත් කිරීම
(2 රාජා: 22:3-7)

8 තවද, ඔහු රජකමට පත් වූ දහඅට වන අවුරුද්දේ දී දේශයත්, දේව මාලිගාවත් පවිත්‍ර කළ පසු, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස, අසලියාගේ පුත් ෂාපාන් ද නුවර අධිපතියා වූ මයසේයා ද වාර්තාකරුවා වන ජෝවාහාස්ගේ පුත් ජෝවා ද යැවී ය. 9 ඔව්හු උත්තම පූජකයා වූ හිල්කියා ළඟට පැමිණ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද, දොරටු පාලකයන් වන ලෙවීවරුන් විසින් මනස්සේවරුන්ගෙන් ද එප්‍රායිම්වරුන්ගෙන් සහ ඉතුරු ව සිටි සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද සියලු ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද ජෙරුසලමේ වාසීන්ගෙන් ද එකතු කර ගන්න ලද මුදල් භාරගෙන, 10 සමිඳාණන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමටත්, අලුත්වැඩියා කිරීමටත් මාලිගාවේ වැඩ කරන කර්මාන්තකාරයන්ට දෙන පිණිස, උන් වහන්සේගේ මාලිගාවේ වැඩ කිරීමට පත් වී සිටින තැනැත්තන් අතට ඒවා දුන්නෝ ය. 11 ඔව්හු කැපූ ගල් ද ජුදා රජුන් විසින් නැති කරන ලද ගෙවල යටලීවලට සහ බාල්කවලට ලී ද මිලේට ගන්න පිණිස වඩුවන්ටත්, ගල්වඩුවන්ටත් ඒවා දුන්නෝ ය. 12 ඒ මනුෂ්‍යයෝ විශ්වාසවන්ත ව වැඩ කළෝ ය. වැඩ බලා ගැනීමට මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුන් වන ජහත් ද ඔබදියා ද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියා ද මෙෂුල්ලාම් ද ඔවුන් කෙරෙහි පත් වී සිටියෝ ය. ලෙවීවරු සියල්ලෝ ම තූර්ය භාණ්ඩ ගැන තේරුම් පැහැදුම් ඇති අය වූ හ. 13 ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත්, එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් නිලධාරීන් ව සිටියෝ ය. ලෙවීවරුන්ගෙන් සමහරු ලිපිකරුවන් ව, නිලධාරීන් ව, දොරටු පාලකයන් ව සිටියෝ ය.

ව්‍යවස්ථා පොත සම්භ වීම
(2 රාජා: 22:8-20)

14 තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනා මුදල් ඔවුන් එළියට ගන්න කල මෝසෙස් මඟින් දෙන ලද සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත හිල්කියා පූජකයාට සම්භ විය. 15 හිල්කියා තෙමේ ලේකම් වන ෂාපාන්ට කතා කොට, ”ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී මට සම්භ වී ය”යි කියා ඒ පොත ෂාපාන්ට භාර දුන්නේ ය. 16 ෂාපාන් ද පොත ගෙන නැවත රජු ළඟට ගෙන ගොස්, ”ඔබේ මෙහෙකරුවන්ට භාර දුන් සියල්ල ම ඔව්හු කරති. 17 සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තිබූ මුදල් ගෙන ඔව්හු නිලධාරීන් අතටත්, කර්මාන්තකාරයන් අතටත් දුන්නෝ ය”යි රජුට දැන්වී ය. 18 තවද, ලේකම් වන ෂාපාන් රජුට කතා කොට, ”පූජක වන හිල්කියා මට පොතක් භාර දුන්නේ ය” කියා රජු ඉදිරිපිට එයින් කියෙවුවේ ය.
19 රජ වනාහි ඒ ව්‍යවස්ථාවේ වචන ඇසූ විට ශෝකයෙන් තමාගේ ඇඳුම් ඉරාගත්තේ ය. 20 තවද, රජ හිල්කියාට ද ෂාපාන්ගේ පුත් අහිකාම්ට ද මීකාගේ පුත් අබ්දොන්ට ද ලේකම් වන ෂාපාන්ට ද රජුගේ සේවකයා වන අසායාට ද අණ කොට, 21 ”ඔබ ගොස් මා උදෙසාත්, ඉශ්රායෙල්වරුන්ගෙන් ද ජුදාවරුන්ගෙන් ද ඉතුරු ව සිටින්නන් උදෙසාත් සම්භ වූ පොතේ වචන ගැන සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, මේ පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට කරන ලෙස අපේ පියවරුන් සමිඳාණන් වහන්සේගේ වචනය රක්ෂා නොකළ බැවින්, අප පිට වගුරුවා තිබෙන උන් වහන්සේගේ උදහස මහත් ය”යි කීවේ ය.
22 එවිට හිල්කියා ද රජුගේ ආඥාව ලැබූ අනික් අය ද හස්රාගේ පුත්‍රයා වන තොක්හත්ගේ පුත් පූජක වස්ත්‍ර භාරකාරයා වූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් දිවැසිවරිය වෙත ගොස් මේ ගැන ඈට කතා කළෝ ය. හුල්දා ජෙරුසලමේ දෙ වන කොටසෙහි විසුවා ය. 23 ඈ ඔවුන්ට මෙසේ කීවා ය: ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබ මා වෙත එවූ මනුෂ්‍යයාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. 24 ‘බලන්න, මම මේ දේශය පිටත්, මෙහි වැසියන් පිටත් විපත්තියක් වන ජුදා රජු ඉදිරියෙහි කියෙවූ පොතෙහි ලියා තිබෙන සියලු සාප පමුණුවන්නෙමි. 25 ඔවුන් මා අත්හැර තමන්ගේ සියලු හස්ත කර්මාන්තවලින් මා කෝප කරවන හැටියට වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ දේශය පිට වගුරුවා තිබේ. එය නිවෙන්නේ නැත.’ 26 එහෙත්, සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඔබ එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘ඔබ ඇසූ වචන සම්බන්ධ ව ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. 27 මේ දේශයටත්, මෙහි වැසියන්ටත් විරුද්ධ ව දෙවියන් වහන්සේ වදාරා තිබෙන වචන ඔබ ඇසූ විට ඔබ සිත මොළොක් වී ඔබ උන් වහන්සේ ඉදිරියෙහි යටහත් වී, ශෝකයෙන් ඔබේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි හැඬූ බැවිනුත්, මමත් ඔබට කන් දුනිමි. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. 28 මම ඔබේ පියවරුන්ගේ සොහොන් බිමට ඔබ පමුණුවන්නෙමි. මා විසින් මේ දේශයටත් මෙහි වැසියන්ටත් පමුණුවනු ලබන සියලු විපත්ති ඔබේ ඇස්වලින් නොදැක, ඔබේ සොහොනට ඔබ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය.’ ” ඔව්හු ද හැරී ඇවිත් රජුට එපවත් සැළ කළෝ ය.

ගිවිසුම ප්‍රතිස්ථාපනය කිරීම
(2 රාජා: 23:1-20)

29 එවිට රජ, පණිවුඩකාරයන් යවා ජුදා සහ ජෙරුසලමේ සියලු ප්‍රජා මූලිකයන් රැස් කරවාගෙන, 30 ජුදාහි සියලු මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද පූජකයන් ද ලෙවීවරුන් ද ලොකු කුඩා මුළු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය. තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී සම්භ වූ ගිවිසුම් පොතේ සියලු වචන ද ඔවුන් අසාගෙන සිටිද්දී කියෙව්වේ ය. 31 රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියන ලද ගිවිසුමේ වචන ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ අනුව යන හැටියටත්, උන් වහන්සේගේ ආඥා ද ශික්ෂා පද ද පණත් ද තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු ආත්මයෙන් ද පවත්වන හැටියටත් උන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේ ය. 32 ඔහු ජෙරුසලමෙහි ද බෙන්ජමින්ගේ දේශයෙහි ද සිටි සියල්ලන් ඊට එකඟ වන්නට සැලැස්සුවේ ය. ජෙරුසලමේ වැසියෝ ද දෙවියන් වහන්සේගේ එනම්, තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේගේ ගිවිසුම ලෙස කළෝ ය. 33 ජොෂියා වනාහි ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්රායෙල්හි සිටි සියල්ලන් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න සැලැස්සුවේ ය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙතින් පහව නොගියෝ ය.

– 35 වන පරිච්ඡේදය –

විශේෂ පාස්කු මංගල්‍යයක් පැවැත්වීම
(2 රාජා: 23:21-23)

1 ජොෂියා ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්වී ය. ඔව්හු පළමු වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළු පැටවුන් මැරූ හ. 2 ජොෂියා, පූජකයන් ඔවුන්ගේ තනතුරුවලට පත්කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයට ඔවුන් ධෛර්ය කරවී ය. 3 සියලු ඉශ්රායෙල්වරුන්ට ඉගැන්නුවා වූ ද සමිඳාණන් වහන්සේ උදෙසා ශුද්ධ ව සිටියා වූ ද ලෙවීවරුන්ට ඔහු කතා කොට, ”ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ පුත් සලමොන් විසින් සාදන ලද මාලිගාවෙහි ශුද්ධ ගිවිසුම් කරඬුව තබන්න. ඔබේ කර පිට තවත් බරක් නැත. දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සේවය කරන්නටත්, 4 ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ ලියවිල්ලේ ද ඔහුගේ පුත් සලමොන්ගේ ලියවිල්ලේ ද ප්‍රකාරයට ඔබේ පිය වංශවල හැටියට ඔබේ පංති ලෙස සූදානම් වී, 5 සෙනඟගේ පුත්‍රයන් වන ඔබේ සහෝදරයන් උදෙසා පිය වංශවල බෙදීම්වල හැටියට ද ලෙවීවරුන් උදෙසා පිය වංශයකින් කොටසක් ඇති ව ද ශුද්ධස්ථානයෙහි සිට 6 පාස්කු බැටළු පැටවුන් මරන්න. ඔබ පවිත්‍ර වී, මෝසෙස් මඟින් ලත් සමිඳාණන් වහන්සේගේ වචනයේ හැටියට කිරීමට ඔබේ සහෝදරයන් උදෙසා උන් සූදානම් කරන්නැ”යි කීවේ ය.
7 ජොෂියා රජ ද පැමිණ සිටි සෙනඟගේ පුත්‍රයන් සියල්ලන්ට පාස්කු පූජා පිණිස ම ගණනේ හැටියට බැටළු පැටවුන් ද එළු පැටවුන් ද තිස්දහසකුත්, ගොනුන් තුන්දහසකුත් තමාගේ ම සම්පතෙන් දුන්නේ ය. 8 ඔහුගේ අධිපතීහු ද සෙනඟගේ ස්වේච්ඡා පූජා සඳහා සෙනඟටත්, පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් එලෙස දුන්නෝ ය. දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියන් වූ හිල්කියා ද ශෙකරියා ද ජෙහියෙල් ද පාස්කු පූජා පිණිස බැටළු පැටවුන් දෙදාස් හයසියයකුත්, ගොනුන් තුන්සියයකුත් පූජකයන්ට දුන්නෝ ය. 9 ලෙවීවරුන්ගේ අධිපතියන් වූ කොනනියා ද ෂෙමායා සහ නෙතනේල් යන ඔහුගේ සහෝදරයෝ ද හෂබියා ද ජෙයියෙල් ද ජෝශාබාද් ද පාස්කු පූජා පිණිස බැටළු පැටවුන් පන්දහසකුත්, ගොනුන් පන්සියයකුත් ලෙවීවරුන්ට දුන්නෝ ය.
10 මෙසේ පූජාකිරීමේ පිළිවෙත සූදානම් කරන ලද්දේ ය. පූජකයෝ තමන්ගේ ස්ථානයේ ද ලෙවීවරු තමන්ගේ පංතිවල ප්‍රකාරයට ද රජුගේ ආඥාව පරිද්දෙන් සිටියෝ ය. 11 ඔව්හු පාස්කු බැටළු පැටවුන් මැරුවෝ ය. පූජකයෝ ද ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝ ය. ලෙවීවරු සතුන් හම ගසා සූදානම් කළහ. 12 ඔව්හු මෝසෙස්ගේ පොතෙහි ලියා තිබෙන ලෙස සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාව සෙනඟගේ පුත්‍රයන්ගේ පිය වංශ බෙදීම්වල හැටියට දීමට වෙන් කළෝ ය. ගවයින්ටත් එසේ ම කළෝ ය. 13 ඔව්හු පාස්කුව නීත්‍යනුකූල ව ගින්නෙන් පුළුස්සා, අනික් ශුද්ධ ආහාර ඇතිළිවල ද කටාරම්වල ද හැළිවල ද තම්බා, ඉක්මනින් ගෙනවුත් මුළු සෙනඟට ඒවා දුන්නෝ ය. 14 ඉන්පසු ඔව්හු තමන්ටත්, පූජකයන්ටත් ඒවා පිළියෙළ කළෝ ය. මන්ද, ආරොන්ගේ පුත්‍රයන් වූ පූජකයෝ දවන යාග පූජා ද තෙල් ද රෑ වන තුරු ඔප්පු කරමින් සිටියහ. ලෙවීවරු තමන්ටත්, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ටත් ඒවා පිළියෙළ කළෝ ය. 15 ආසාප්ගේ පුත්‍රයන් වූ ගායකයෝ ද දාවිත්ගේත්, ආසාප්ගේත්, හේමන්ගේත්, රජුගේ දිවැසිවරයා වන ජෙදුතුන්ගේත් ආඥාවේ ප්‍රකාරයට තම තමන්ගේ ස්ථානයෙහි සිටියෝ ය. දොරටු පාලකයෝ එක එක දොරටුවෙහි සිටියෝ ය. තමන්ගේ සේවයෙන් අහක් ව යන්න ඔවුන්ට ඕනෑ කෙළේ නැත. මන්ද, ඔවුන්ගේ සහෝදර වූ ලෙවීවරුන් ඔවුන් උදෙසා ඒවා පිළියෙළ කළ බැවිනි. 16 මෙසේ ජොෂියා රජුගේ ආඥාව ලෙස පාස්කුව පවත්වන්නත්, සමිඳාණන් වහන්සේගේ පූජාසන පිට දවන යාග පූජා ඔප්පු කරන්නත් සමිඳාණන් වහන්සේගේ මුළු මෙහෙය එම දවසේ පිළියෙළ කර තිබුණේ ය. 17 එහි සිටි ඉශ්රායෙල්වරු පාස්කුවත්, මුහුන් නොදැමූ රොටි මංගල්‍යයත් ඒ කාලයෙහි සත් දවසක් පැවැත් වූ හ. 18 එයාකාර පාස්කුවක් දිවැසිවර සාමුවෙල්ගේ කාලයට පසු ව ඉශ්රායෙල්වරුන් අතරේ නොපවත්වන ලදී. ජොෂියා ද පූජකයන් ද ලෙවීවරුන් ද එහි සිටි ජුදා හා ඉශ්රායෙල්හි සියල්ලන් ද ජෙරුසලමේ වැසියන් ද පැවැත්වූවාක් මෙන් ඉශ්රායෙල් රජුන්ගෙන් කිසිවෙකු වත් එයාකාර පාස්කුවක් පැවැත්වූයේ නැත. 19 ඒ පාස්කුව පැවැත්වූයේ ජොෂියා රජකමට පත් වූ දහඅට වන අවුරුද්දේ දී ය.

ජොෂියා රජුගේ අවසානය
(2 රාජා: 23:28-30)

20 ජොෂියා මේ සියල්ල කර මාලිගාව පිළියෙළ කළායින් පසු, මිසරයේ රජ වූ නෙකෝ, යුප්‍රටීස් ගඟ ළඟ තිබෙන කර්කෙමිෂ් නම් ස්ථානයට ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ආවේ ය. ජොෂියා ද ඔහුට විරුද්ධ ව පිටත් ව ගියේ ය. 21 එහෙත්, මිසරයේ රජ ජොෂියා වෙත තානාපතියන් එවමින්, ”ජුදාහි රජතුමෙනි, මාගෙන් ඔබට කුමන වැඩක් ද? ඔබට විරුද්ධ ව නොව මා සමඟ යුද්ධ කරන වංශයට විරුද්ධ ව අද මම එමි. ඉක්මන් වන්න කියා දෙවියන් වහන්සේ මට අණකළ සේක; දෙවියන් වහන්සේ මා සමඟ සිටින සේක. උන් වහන්සේ ඔබ විනාශ නොකරන පිණිස උන් වහන්සේගේ කාරණා ගැන හරස් නොවිය යුතු ය” කියා දැන්වී ය. 22 එහෙත්, ජොෂියා, නෙකෝ කී දෙවියන් වහන්සේගේ වචනය නොඅසා, ඔහු වෙතින් අහක් ව නොගොස්, ඔහු සමඟ යුද්ධ කරන පිණිස, වෙස් මාරුකරගෙන මෙගිද්දෝ මිටියාවතෙහි සටනට පැමිණියේ ය.
23 දුනුකාරයෝ ජොෂියා රජුට විද්දෝ ය. එවිට රජු කතා කොට, ”මට බොහෝ තුවාළ වූ බැවින් අහකට ගෙනයන්නැ”යි තම සේවකයන්ට කී ය. 24 ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු රැගෙන ඔහුගේ දෙ වන රථයට නංවාගෙන ජෙරුසලමට ආවෝ ය. ඔහු මියගිය පසු තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් කරන ලද්දේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද ජොෂියා ගැන වැළපුණාහ.
25 ජෙරමියා වනාහි ජොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේ ය. ගී ගයන සියලු මිනිස්සු ද ගී ගයන සියලු ස්ත්‍රීහු ද අද දක්වා තමන්ගේ විලාප ගීතිකාවලින් ජොෂියා ගැන කතා කරති. ඔව්හු ඒවා ඉශ්රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝ ය.
26 ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ. ජොෂියාගේ අනික් ක්‍රියා ද සමිඳාණන් වහන්සේගේ ව්‍යස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩ ද, 27 මුල පටන් අග දක්වා ඔහුගේ ඉතිහාසය ද ඉශ්රායෙල් සහ ජුදා රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි වාර්තාකර තිබේ.

 

– 36 වන පරිච්ඡේදය –

ජෙහෝවාහාස් රජ
(2 රාජා: 23:30-35)

1 එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන, ඔහුගේ පියා වෙනුවට ඔහු ජෙරුසලමෙහි රජකමට පත් කළෝ ය. 2 ජෙහෝවාහාස් විසිතුන් අවුරුදු වයසේ දී රජ වී, ජෙරුසලමෙහි තුන් මාසයක් රජකම් කෙළේ ය. 3 මිසරයේ රජ තෙමේ ජෙරුසලමේ දී ඔහු නෙරපා රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත්, දේශයට දඩගසා, 4 ඔහුගේ සහෝදර වූ එලියාකීම් ජුදාහි සහ ජෙරුසලමෙහි රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. තවද, නෙකෝ ඔහුගේ සහෝදර වූ ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය.

ජෙහෝයාකිම් රජ
(2 රාජා: 23:36-24:7)

5 ජෙහෝයාකිම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී, එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. 6 බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඔහුට විරුද්ධ ව පැමිණ, බබිලෝනියට ගෙනයන පිණිස දම්වැල්වලින් ඔහු බැන්දේ ය. 7 සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සමහර භාණ්ඩත් නෙබුකද්නෙශර් බබිලෝනියට ගෙන ගොස් බබිලෝනියේ තම මාලිගාවෙහි තැබුවේ ය. 8 ජෙහෝයාකිම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ පිළිකුල් දේවල් ද ඔහුට විරුද්ධ ව දැනගත් කාරණා ද ඉශ්රායෙල් සහ ජුදා රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි වාර්තා කර තිබේ. ඔහුගේ පුත් ජෙහෝයාකීන් ඔහු වෙනුවට රජ විය.

ජෙහෝයාකීන් රජ
(2 රාජා: 24:8-17)

9 ජෙහෝයාකීන් දහඅට අවුරුදු වයසේ දී රජකමට පත් වී තුන් මාසයකුත් දස දවසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. 10 ඊළඟ අවුරුද්දේ දී නෙබුකද්නෙශර් රජ ඔහු සහ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර වූ ශෙදෙකියා ජුදා සහ ජෙරුසලමෙහි රජ කොට පත් කෙළේ ය.

ශෙදෙකියා රජ
(2 රාජා: 24:18-20; ජෙර: 52:1-3)

11 ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී, එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. 12 ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ වචන කී දිවැසිවරයා වූ ජෙරමියා ඉදිරියෙහි ඔහු යටහත් වූයේත් නැත.

ජෙරුසලමේ වැටීම

13 තවද, දෙවියන් වහන්සේගේ නමින් ඔහු දිවුර වූ නෙබුකද්නෙශර් රජුට විරුද්ධ ව ඔහු කැරලි ගැසුවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත නොහැරෙන ලෙස මුරණ්ඩු වී තමාගේ සිත දැඩි කරගත්තේ ය. 14 පූජකයන්ගේ සියලු ප්‍රධානීහු ද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා හැටියට බොහෝ සේ අපරාධ කරමින්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමෙහි විශුද්ධ කළ උන් වහන්සේගේ මාලිගාව අපවිත්‍ර කළෝ ය. 15 ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟටත්, ස්වකීය වාසස්ථානයටත් අනුකම්පා කළ නිසා, උන් වහන්සේ නැවත නැවත පණිවුඩකාරයන් අත ඔවුන්ට කියා ඇරිය සේක. 16 එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.
17 ඒ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කල්දිවරුන්ගේ රජ එවූ සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ දී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරී ය. ඔහු යෞවනයාට වත්, කන්‍යාවට වත්, මහල්ලාට වත්, රෝගියාට වත් අනුකම්පා නොකෙළේ ය. උන් වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවා දුන් සේක. 18 ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ ලොකු කුඩා සියලු භාණ්ඩ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජුගේත්, ඔහුගේ අධිපතීන්ගේත් වස්තු ද යන සියල්ල ම බබිලෝනියට ගෙන ගියේ ය. 19 ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව දවාදමා, ජෙරුසලමේ පවුර කඩා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණු සියලු අනර්ඝ බඩු විනාශ කළහ. 20 ඔහු කඩුපහරින් නොමළ අය බබිලෝනියට ගෙන ගියේ ය. පාර්සිවරුන් රජකමට පත්වීම දක්වා ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ඔව්හු දාසයන් ව සිටියෝ ය. 21 මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, ”නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.

සයිරස් රජුගේ ප්‍රකාශය
(එස්රා 1:1-4)

22 එහෙත්, සමිඳාණන් වහන්සේ ජෙරමියාගේ මුඛයෙන් කියෙවූ වචනය සම්පූර්ණ වන පිණිස පාර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ පාර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත පෙළඹෙවූ සේක. ඔහු වනාහි ප්‍රකාශයක් කරමින්, ”ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.
23 ”තවද, උන් වහන්සේ ජුදාහි තිබෙන ජෙරුසලමෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණකර තිබේ. උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින්නේ කවරෙක් ද? ඔහු සමඟ ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ වැඩ සිටින සේක් වා! ඔහු එතැනට යේවා යි පාර්සියාවේ සයිරස් දන්වන්නේ ය” කියා තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රසිද්ධ කොට ලියවිල්ලෙනුත් එය පතළ කරවී ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s