– 1 වන පරිච්ඡේදය –
අහසියා රජුගේ මරණය ගැන එලියා කලින් දැන්වීම
1 ආහබ් රජු මියගිය පසු මෝවබ්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.
2 තවද, අහසියා සමාරියෙහි තමාගේ උඩු මහලේ සඳලුතලයෙන් වැටී රෝගාතුර විය. ”ඔබ ගොස් මම මේ රෝගයෙන් සුව වන්නෙම් දැ යි එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නැ”යි ඔහු පණිවුඩකාරයන් යැවී ය. 3 එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයා තිෂ්බි ජාතික දිවැසිවර එලියාට කතා කොට, ”නැඟිට සමාරියේ රජුගේ පණිවුඩකාරයන්ගේ පෙරමඟට ගොස්, ‘ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යන්නේ, ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? 4 එබැවින්, නුඹ නැඟී සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔවුන්ට දන්වන්නැ”යි කී ය. එලියා පිටත් ව ගියේ ය.
5 එවිට පණිවුඩකාරයෝ රජු ළඟට හැරී ආ හ. ”ඔබ හැරී ආවේ කුමක් නිසා දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය.
6 ඔව්හු කතා කොට, ”මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ.
7 ”ඔබේ පෙරමඟට අවුත් මේ වචන ඔබට කී මනුෂ්‍යයා කෙබඳු කෙනෙක් දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. 8 ඔව්හු ඔහුට උත්තර දෙමින්, ”ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉඟටියෙහි සම් පටියක් බැඳගත් මනුෂ්‍යයෙක් ය”යි කී හ. ඔහු, ”ඒ තිෂ්බි ජාතික එලියා ය”යි කී ය.
අහසෙන් ගිනි එවීම
9 එවිට රජ පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ එලියා වෙත යැවී ය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස්, ”දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට දැන්වී ය.
10 එලියා පණසාධිපතියාට උත්තර දෙමින්, ”මම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් නම්, අහසින් ගිනි බැස ඔබ ද ඔබේ පණස්දෙනා ද දවාදමා වා”යි කී ය. එවිට අහසින් ගිනි බැස ඔහු ද ඔහුගේ පණස්දෙනා ද දවාදැමී ය.
11 රජ නැවත තවත් පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ ඔහු ළඟට යැවී ය. ඔහු කතා කොට, ”දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඉක්මනින් බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට කී ය.
12 එලියා උත්තර දෙමින්, ”මම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් නම්, අහසින් ගිනි බැස ඔබ ද ඔබේ පණස්දෙනා ද දවාදමා වා”යි ඔවුන්ට කී ය. එවිට අහසින් ගිනි බැස ඔහු ද ඔහුගේ පණස්දෙනා ද දවාදැමී ය.
13 රජ නැවතත් තුන් වන වර පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ යැවී ය. පණස්දෙනාට අධිපති වූ තුන්වැනියා ද නැඟී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤා කරමින්, ”දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයට ද ඔබේ මෙහෙකරුවන් වන මේ පණස්දෙනාගේ ප්‍රාණවලට ද හානියක් නොකළ මැනව. 14 බැලුව මැනව, අහසින් ගිනි බැස පළමු පණසාධිපතීන් දෙදෙනා ද ඔවුන්ගේ පිරිස් ද දවාදැමුවේ ය. එහෙත්, දැන් මාගේ ප්‍රාණයට හානියක් නොකළ මැනව”යි ඔහුට කීවේ ය.
15 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා කතා කොට, ”බිය නොවී ඔහු සමඟ යන්නැ”යි එලියාට කී ය. ඔහු නැඟිට ඔහු සමඟ රජු ළඟට බැස ගියේ ය. 16 ඔහු කතා කොට, ”නුඹ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට පණිවුඩකාරයන් යැව්වේ, දේව වාක්‍යයෙන් විචාරන්නට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින් නුඹ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ඔහුට කී ය.
17 මෙසේ එලියා පැවසූ සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස ඔහු මළේ ය. ඔහුට පුත්‍රයෙකු නොසිටි බැවින් ඔහු වෙනුවට ජොරාම්, ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් වන ජෙහෝරාම්ගේ දෙ වන අවුරුද්දේ දී රජ විය.
18 අහසියා කළ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
– 2 වන පරිච්ඡේදය –
එලියා ස්වර්ගයට ගෙනයනු ලැබීම
1 තවද, සමිඳාණන් වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ගන්නට කැමැති වූ අවස්ථාවේ දී එලියා, එලිෂා සමඟ ගිල්ගාල් නගරයෙන් පිටත් ව ගියේ ය. 2 එලියා කතා කොට, ”සමිඳාණන් වහන්සේ මා පමණක් බෙතෙල් නගරයට යවන නිසා මෙහි නවතින්නැ”යි එලිෂාට කී ය.
එලිෂා උත්තර දෙමින්, ”ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු බෙතෙල් නගරයට බැස ගියෝ ය.
3 බෙතෙල්හි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, ”සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු උත්තර දෙමින්, ”එසේ ය, මම දනිමි; නිශ්ශබ්ද වන්නැ”යි කී ය.
4 එලියා, ඔහුට කතා කොට, ”එලිෂා, මෙහි නවතින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මා ජෙරිකෝවට යවන සේකැ”යි කීවේ ය. ඔහු ද, ”ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු ජෙරිකෝවට ආ හ.
5 ජෙරිකෝවෙහි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, ”සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු ද, ”එසේ ය, මම දනිමි, නිශ්ශබ්ද වන්නැ”යි උත්තර දිනි.
6 එලියා ද කතා කොට, ”සමිඳාණන් වහන්සේ මා ජොර්දානට යවන නිසා මෙහි නවතින්නැ”යි ඔහුට කී ය.
ඔහු උත්තර දෙමින්, ”ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. එවිට ඒ දෙදෙනා ම යන්න ගියහ.
7 දිවැසිවරුන්ගේ කණ්ඩායමේ පණස්දෙනෙක් ගොස්, ඔවුන් ඉදිරිපිට දුරින් සිටියෝ ය. ඒ දෙදෙනා ද ජොර්දානය ළඟ සිටියෝ ය. 8 එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන, අකුළා වතුරට ගැසී ය. වතුර දෑතට බෙදී ගියේ ය. ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩ වූ හ. 9 තවද, ඔවුන් එගොඩ වූ කල එලියා කතා කොට, ”ඔබ වෙතින් මා ගන්න පළමුවෙන් ඔබට මාගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැ”යි එලිෂාට කී ය, එලිෂා පිළිතුරු දෙමින්, ”ඔබට තිබෙන ආත්මානුභාවය මෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේ වා”යි කී ය.
10 ඔහු ද, ”ඔබ අමාරු දෙයක් ඉල්ලුවෙහි ය. එහෙත්, ඔබ වෙතින් මා ගන්න විට ඔබ මා දුටුවොත් ඔබට එසේ වන්නේ ය; නැතහොත්, එසේ නොවන්නේ යැ”යි කී ය.
11 තවද, ඔවුන් කතා කරමින් යද්දී, ගිනි අශ්ව රථයක් ද ගිනි අශ්වයෝ ද පෙනී ඔවුන් දෙදෙනා වෙන් කළෝ ය. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැඟී ගියේ ය. 12 එලිෂා ඒ දැක, ”ඉශ්රායෙල්හි රථ සහ අසරුවන් වැනි බලසම්පන්න මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි”යි කී ය. ඔහු තවත් එලියා නුදුටුවේ ය.
13 එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ආවේ ය. 14 ඉන්පසු එලිෂා ජොර්දානය අද්දර සිට, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන, ”එලියාගේ දෙවි සමිඳාණන් වහන්සේ කොතැන ද,” කියා වතුරට ගැසී ය. ඔහුත් වතුරට ගැසූ විට එය දෑතට බෙදී ගියේ ය. එලිෂා එගොඩ විය. 15 ඔහුට ඉදිරියෙන් ජෙරිකෝවේ සිටි දිවැසිවර කණ්ඩායම ඔහු දැක, ”එලියාට තිබුණු ආත්මානුභාව එලිෂා කෙරෙහි පිහිටා තිබේ ය”යි කියමින් ඔහුගේ පෙරමඟට ගොස්, බිමට නැමී ඔහුට වැන්දෝ ය. 16 ඔව්හු එලිෂාට කතා කොට, ”මෙහි ඔබේ මෙහෙකරුවන් අතරේ ශක්තිමත් මනුෂ්‍යයෝ පණස්දෙනෙක් සිටිති. ඔව්හු ගොස් ඔබේ ස්වාමියා සොයත් වා. සමහර විට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ගෙන ගොස් යම්කිසි කන්දක් පිට වත්, යම්කිසි මිටියාවතක වත් දමන්නට ඇතැ”යි ඔහුට කී හ.
17 ඔහු ද, ”කිසි කෙනෙකු නොයවන්නැ”යි කී ය. එහෙත්, ඔහු ලජ්ජාවට පත්වන තුරු ම ඔවුන් ඔහුට කරදර කළ බැවින්, ”යවන්නැ”යි ඔහු කී ය. එවිට ඔව්හු මනුෂ්‍යයන් පණස්දෙනෙකු යැවූ හ. ඔව්හු තුන් දවසක් සෙවූ නමුත් ඔහු හමු නො වී ය. 18 ඉන්පසු ඔව්හු ජෙරිකෝවේ නැවතී සිටි එලිෂා ළඟට හැරී ආ හ. ඔහු ද, ”නොයන්නැ යි මා ඔබට කීවා නොවේ දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
එලිෂා කළ හාස්කම්
19 ඒ නුවර වැසියෝ එලිෂාට කතා කොට, ”මෙන්න, මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථානය ප්‍රසන්න ය. එහෙත්, වතුර අපවිත්‍ර ය. එයින් ගබ්සා ඇති වන්නේ ය”යි කී හ.
20 ඔහු ද කතා කොට, ”අලුත් සැළියක් මා ළඟට ගෙනවුත් එහි ලුණු දමන්නැ”යි කී ය. ඔව්හු ද එය ඔහු ළඟට ගෙනාවෝ ය. 21 ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා, ” ‘මේ වතුර පිරිසිදු කෙළෙමි’යි කියාත්, ‘මින්පසු එයින් මරණය වත්, ගබ්සාවීම වත් නොවන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය. 22 මෙසේ එලිෂා කී වචනය ලෙස ඒ වතුර අද දක්වා පිරිසිදු ව පවතී.
23 ඔහු එතැනින් බෙතෙල් නගරයට ගියේ ය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත් ව අවුත් ඔහුට කවටකම් කරමින්, ”පලා යව, තට්ටයා, පලා යව තට්ටයා” යයි කීවෝ ය.
24 ඔහු පස්සට හැරී ඔවුන් දැක සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට සාප කෙළේ ය, එවිට වැළහින්නන් දෙදෙනෙක් කැලෑවෙන් අවුත් ඒ ළමයින්ගෙන් සතළිස්දෙදෙනෙකු ඉරා දැමූ හ.
25 ඔහු එතැනින් කර්මෙල් කන්දට ගොස් එතැනින් සමාරියට හැරී ආවේ ය.
– 3 වන පරිච්ඡේදය –
ජොරාම් රජුගේ පාලන සමය
1 ආහබ්ගේ පුත් ජොරාම් ජුදාහි රජු වන ජෙහෝෂාපාට්ගේ දහඅට වන අවුරුද්දේ දී සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දොළොස් අවුරුද්දක් රජකම් කෙළේ ය. 2 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. එහෙත්, ඔහු තමාගේ පියා ද මවු ද මෙන් නපුරු නො වී ය. මන්ද, ඔහු තමාගේ පියා සෑදූ බාල්ගේ රූපස්තම්භ පහකෙළේ ය. 3 එසේ වුවත්, ඔහු ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් අහක් නොවී ඒවා දිගට ම කරගෙන ගියේ ය.
මෝවබ්වරුන්ට විරුද්ධ ව සටන් කිරීම
4 මෝවබ්හි රජු වූ මෙෂා බැටළු හිමියෙකු ව සිටියේ ය. ඔහු ඉශ්රායෙල් රජුට එක්ලක්ෂයක් බැටළු පැටවුන්ගේ ද එක්ලක්ෂයක් බැටළුවන්ගේ ද ලෝම කප්පම් දෙන සිරිතක් තිබිණි. 5 එහෙත්, ආහබ් මියගිය කල මෝවබ්හි රජ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව කැරලි ගැසී ය. 6 ජොරාම් රජ ද ඒ කාලයේ සමාරියෙන් පිටත් ව ගොස් සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය. 7 තවද, ඔහු ගොස් ජුදාහි රජු වන ජෙහෝෂාපාට් වෙත පණිවුඩයක් යවමින්, ”මෝවබ්හි රජ මට විරුද්ධ ව කැරලි ගැසී ය. ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධ ව යුද්ධයට යන්නෙහි දැ”යි අසා ඇරියේ ය. ඔහු ද, ”යන්නෙමි. මම ඔබ මෙන් සූදානම් ය. මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ද, මාගේ අශ්වයෝත් ඔබේ අශ්වයන් මෙන් ද සූදානම් ය”යි කී ය. 8 ඔහු කතා කොට, ”අපි කුමන පාරකින් යමු දැ”යි ඇසී ය. ”ඒදොම් පාළුකරයේ පාරෙන් ය”යි ඔහු උත්තර දුන්නේ ය.
9 මෙසේ ඉශ්රායෙල්හි රජ ද ඒදොම්හි රජ ද ජුදාහි රජ ද පිටත් ව ගියහ. ඔවුන් සත් දවසක් වැරදි මඟකින් යද්දී සේනාවටත්, ඔවුන් සමඟ ගිය සිව්පාවුන්ටත් වතුර නැති විය. 10 එවිට ඉශ්රායෙල් රජ, ”අහෝ! සමිඳාණන් වහන්සේ මේ රජුන් තුන්දෙනා වන අප, මෝවබ් රජුගේ අතට පාවා දෙන්නට ගෙන්වූ සේකැ”යි කී ය.
එලිෂාගෙන් විභාග කිරීම
11 ජුදා රජු වන ජෙහෝෂාපාට් කතා කොට, ”අප විසින් සමිඳාණන් වහන්සේගෙන් විචාරනු ලබන පිණිස උන් වහන්සේගේ දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසී ය.
එවිට ඉශ්රායෙල් රජුගේ සේවකයෙක් උත්තර දෙමින්, ”එලියාගේ අත්වලට වතුර වත් කළ, ශාපාත්ගේ පුත් එලිෂා මෙහි සිටී ය”යි කී ය.
12 ජෙහෝෂාපාට් කතා කොට, ”ඔහු සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පවත්වන්නේ ය”යි කී ය. මෙසේ ඉශ්රායෙල් රජ ද ජෙහෝෂාපාට් ද ඒදොම්හි රජ ද ඔහු ළඟට ගියහ.
13 එලිෂා ඉශ්රායෙල් රජුට කතා කොට, ”මා සමඟ ඔබට ඇති ගනුදෙනුව කුමක් ද? ඔබේ පියාගේ දිවැසිවරුන් ළඟටත්, ඔබේ මවුගේ දිවැසිවරුන් ළඟටත් ගිය මැනැවැ”යි කී ය. ඉශ්රායෙල් රජ ද, ”එසේ නොවේ වා. මන්ද, සමිඳාණන් වහන්සේ මෝවබ්වරුන් අතට පාවා දෙන පිණිස මේ රජුන් තුන්දෙනා වන අප ගෙන්වූ සේකැ”යි ඔහුට කී ය.
14 එලිෂා කතා කොට, ”මා සේවය කරන සර්ව පරාක්‍රම ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබැවින් ම ජුදාහි ජෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම්, මා ඔබ දෙස බලන්නේ වත්, ඔබ ගණන් ගන්නේ වත් නැතැ”යි දිවුරා, 15 ”දැන් ඉතින් වීණා වාදකයෙකු මා ළඟට ගෙනෙන්නැ”යි කී ය.
වීණා වාදකයා වාදනය කරද්දී සමිඳාණන් වහන්සේගේ බලය එලිෂා පිට පැමිණියේ ය. 16 ඔහු කතා කොට, ”සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මේ වියළි ගඟේ පතුල පුරා ම අගල් කපන්න. 17 මන්ද, නුඹලා හුළඟ වත්, වැස්ස වත් නොදකින නමුත් නුඹලාටත්, නුඹලාගේ සිවුපාවුන්ටත්, නුඹලාගේ මෘගයන්ටත් බීමට මේ ගඟ පතුල වතුරෙන් පිරෙනු ඇත.’ 18 මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන් වහන්සේ මෝවබ්වරුන් ද ඔබ අතට පාවා දෙන සේක. 19 ඔබ පවුරු ඇති සියලු නගර ද සියලු අලංකාර නගර ද වනසා, සියලු හොඳ ගස් කපාදමා, සියලු දිය උල්පත් වසා සියලු සාරවත් කෙත් වතු ගල් දමා වනසන්නහු ය”යි කීවේ ය. 20 පසු දා උදය පූජාව ඔප්පු කරන වේලාව පමණේ දී ඒදොම් දිශාවෙන් වතුර අවුත් එයින් රට පිරී ගියේ ය.
මෝවබ්වරුන් පරාජය කිරීම
21 තමන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට රජුන් පැමිණි බව ඇසූ විට, සියලු මෝවබ්වරු, යුද්ධායුධ පළඳින්නට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස් වූ සියල්ලෝ රැස් වී දේශ සීමාව ළඟ සිටියෝ ය. 22 ඔවුන් අලුයම නැඟිටි කල ඒ වතුර පිට හිරු රැස් වැටිණි. මෝවබ්වරු තමන් ඉදිරිපිට තිබූ වතුර ලේමෙන් රතු ව තිබෙනු දැක, 23 ”මේ නම් ලේ ය; සැබැවින් ම රජවරු විනාශ වූ හ. ඔවුන් එකිනෙකා මරාගන්නට ඇත. ඉතින්, මෝවබ්වරුනි, කොල්ලය ගැනීමට එන්නැ”යි කී හ.
24 ඔවුන් ඉශ්රායෙල් කඳවුරට පැමිණි විට ඉශ්රායෙල්වරු නැඟිට මෝවබ්වරුන් තමන් ඉදිරියෙන් පලා යන තුරු ඔවුන්ට පහර දී ඔවුන්ගේ රටටත් ගොස් මෝවබ්වරුන්ට පහර දුන්හ. 25 ඔව්හු නගර වනසා, රටේ හොඳ සියලු කෙත්වතුවලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ ගස් කපාදැමූ හ. ඉතිරි වූයේ, කීර්හරෙසෙත් නුවර පමණකි. ගල්පටිවලින් විදින්නෝ එය වටලා ඊට පහර දුන්හ.
26 මෝවබ් රජ සටන ඉතා වේගයෙන් තමාට විරුද්ධ ව යන බව දැක, සේනාව මැදින් බිඳගෙන ඒදොම් රජු කරා යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් හත්සියයක් රැගෙන ආවේ ය. එහෙත්, ඔවුන්ට යන්නට නුපුළුවන් විය. 27 එකල ඔහු තමා වෙනුවට රජ වන්නට සිටි තමාගේ කුලුඳුල් පුත්‍රයා රැගෙන දවන යාග පූජාවක් කොට පවුර පිට පුද කෙළේ ය. ඉමහත් උදහසක් ඉශ්රායෙල්වරුන් පිට පැමිණිණි. එවිට ඉශ්රායෙල්වරු ඔහු වෙතින් අහක් වී තමන්ගේ දේශයට හැරී ගියෝ ය.
– 4 වන පරිච්ඡේදය –
වැන්දඹුවගේ තෙල් කුළාව
1 දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, ”ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය. 2 එලිෂා කතා කොට, ”මම ඔබට කුමක් කරම් ද? ගෙදර ඔබට තිබෙන්නේ මොනවා දැ යි මට කියන්නැ”යි ඈට කී ය. ”තෙල් කුළාවක් මිස ගෙදර වෙන කිසිවක් ඔබේ දාසියට නැතැ”යි ඈ කීවා ය.
3 එවිට ඔහු කතා කොට, ”ඔබ පිටතට ගොස් ඔබේ සියලු අසල්වැසියන්ගෙන් භාජන එනම්, හිස් භාජන බොහොමයක් ඉල්ලාගන්න. 4 ඔබත්, ඔබේ පුත්‍රයනුත් ගෙදරට ඇතුළු වී දොර වසාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත් කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැ”යි කීවේ ය.
5 ඈ ද ඔහු වෙතින් ගොස්, ඈත්, ඇගේ පුත්‍රයෝත් ගෙදරට ඇතුළු වී දොර වසාගත්හ. ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝ ය. ඈ තෙල් වත් කළා ය. 6 භාජන පිරුණු කල ඈ, ”තවත් භාජනයක් මට ගෙනෙන්නැ”යි ඇගේ පුත්‍රයාට කීවා ය. ”තවත් භාජනයක් නැතැ”යි ඔහු ඈට කී ය. 7 තෙල් ගලා යෑම ද නැවතිණි. එවිට ඈ අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන්වූවා ය. ඔහු ද, ”ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත්, ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නැ”යි කීවේ ය.
ෂුනම්මිය ස්ත්‍රියට එලිෂාගෙන් ත්‍යාගයක්
8 එක් දවසක් එලිෂා ෂුනෙම් නම් දේශයට ගියේ ය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් කෑම කන්න ඔහුට පෙරැත්ත කළා ය. මෙසේ ඔහු යන එන සෑම විට ම කෑම කන පිණිස එහි නැවතිණි. 9 ඈ ඇගේ පුරුෂයාට කතා කොට, ”නිතර ම අප ළඟින් යන එන මොහු දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මනුෂ්‍යයෙකු බව මට පෙනෙයි. 10 අපි බිත්ති ඇති කුඩා උඩුමහලක් සාදා, ඇඳකුත්, මේසයකුත්, පුටුවකුත්, පහනකුත් එහි තබමු. එවිට ඔහු අප ළඟට ආ කල එහි සිටින්න පුළුවනැ”යි කීවා ය.
11 එක් දවසක් ඔහු එහි පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේ ය. 12 තවද, ඔහු, ”ෂුනම්මිය ජාතික ස්ත්‍රියට අඬගසන්නැ”යි තම වැඩකාරයා වන ගෙහාසිට කී ය. ඔහු ඈට අඬගැසූ විට ඇය ඔහු ඉදිරියට ආවා ය. 13 එලිෂා ද කතා කොට, ”මේ සියලු සත්කාර කිරීමට ඔබ බොහෝ සේ මහන්සි වූ බැවින් ඔබ උදෙසා කුමක් කළ යුතු ද? රජුට හෝ සේනාපතියාට හෝ ඔබ වෙනුවට කතා කරනවාට කැමැති ද? කියා ඇගෙන් අසන්නැ”යි ගෙහාසීට කී ය. ඈ ද, ”මාගේ ම සෙනඟ අතරේ මම වාසය කරමි”යි උත්තර දුන්නා ය.
14 ”එසේ වී නම් ඈ උදෙසා කරන්න තිබෙන්නේ කිමෙක් දැ”යි ඔහු ඇසී ය.
ගෙහාසී කතා කොට, ”ඈට පුත්‍රයෙක් නැත, ඇගේ පුරුෂයාත් මහලු ය”යි කීවේ ය.
15 ”ඈට අඬගසන්නැ”යි ඔහු කී ය. ඔහු ඈට අඬගැසූ කල ඈ දොරකඩ ළඟට ආවා ය. 16 එවිට ඔහු කතා කොට, ”ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට ඔබ පුත්‍රයකු අතට ගන්නෙහි ය”යි කී ය. ඈ ද, ”නැත, මාගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබේ දාසීට බොරු කියන්නට එපා ය”යි කීවා ය.
17 ඒ ස්ත්‍රිය ගර්භණී ව එලිෂා ඈට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණි විට පුත්‍රයකු ලැබුවා ය.
ෂුනම්මිය ස්ත්‍රියගේ පුත්‍රයා මියයෑම
18 ඒ ළමයා වැඩුණු කල එක් දවසක් ගොයම් කපන්නන් අතරේ සිටි තම පියා ළඟට ගියේ ය. 19 එවිට ඔහු, ”අනේ! මාගේ ඔළුව කකියනවා ය; මාගේ ඔළුව කකියනවා ය”යි තම පියාට කී ය. පියා ද, ”ඔහුගේ මවු ළඟට ඔහු ගෙනයන්නැ”යි තමාගේ වැඩකාරයාට කීවේ ය. 20 වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙන ගියේ ය. ඔහු ඉර මුදුන් වේලාව දක්වා ඇගේ උකුලේ හිඳ මළේ ය. 21 එවිට ඈ නැඟිට ගොස්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා, දොර වසා පිටතට ගියා ය. 22 තවද, ඈ තමාගේ පුරුෂයාට අඬගසා, ”දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හනික ගොස් එන පිණිස, වැඩකාරයෙකුත්, කොටළු දෙනකුත් මට එවන්නැ”යි කීවා ය.
23 ඔහු ද, ”ඔබ අද ඔහු ළඟට යන්නේ කුමට ද? අද අමාවක වත්, සබත් දිනය වත් නොවේ ය”යි කී ය. 24 ඈ, ”ඒකට කමක් නැත” කියා කොටළු දෙන සූදානම් කරගෙන ඇගේ වැඩකාරයාට කතා කොට, ”කොටළු දෙන දක්කාගෙන යන්න; මා ඔබට කියන තෙක් දැක්කීමේ වේගය අඩු නොකරන්නැ”යි කීවා ය. 25 මෙසේ ඈ ගොස් කර්මෙල් කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණියා ය.
තවද, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඈ දුර දී දැක තමාගේ මෙහෙකරු වන ගෙහාසීට කතා කොට, ”අන්න, අර ෂුනම්මිය ස්ත්‍රිය එන්නී ය. 26 දැන් ම ඇගේ පෙරමඟට දිව ගොස්, ‘ඔබ සුව සේ ද? ඔබේ පුරුෂයා සුව සේ ද? ළමයා සුව සේ දැ’යි ඇගෙන් අසන්නැ”යි කී ය.
”සුව සේ ය”යි ඈ ද උත්තර දුන්නා ය. 27 ඈ වනාහි කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්ලාගත්තා ය. එවිට ගෙහාසී ඈ අහක් කරනු පිණිස ළං විය. එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, ”ඈට කරදර නොකරන්න; ඇගේ සිත ශෝකී ව ඇත. සමිඳාණන් වහන්සේ එය මට නොදන්වා මාගෙන් සැඟ වූ සේකැ”යි කී ය.
28 එවිට ඈ කතා කොට, ”මාගේ ස්වාමීන්ගෙන් මම පුත්‍රයෙකු ඉල්ලුවෙම් ද? මා රවටන්න එපා කියා මම නොකීයෙම් දැ”යි ඇසුවා ය.
29 එවිට ඔහු ගෙහාසීට කතා කොට, ”ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙකු ඔබට සම්බවුණත් ඔහුට ආචාර කරන්නේ වත්, යමෙකු ඔබට ආචාර කළත් ඔහුට උත්තර දෙන්නේ වත් නැති ව ගොස් මාගේ සැරයටිය ළමයා පිට තබන්නැ”යි කී ය.
30 එහෙත්, ළමයාගේ මවු, ”ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත්හැර නොයමි”යි දිවුරා කීවා ය. එවිට ඔහු පිටත් වී ඈ පසුපස ගියේ ය.
එලිෂා ළමයාට නැවත පණ දීම
31 ගෙහාසී ඔවුන්ට පෙරටුවෙන් ගොස් සැරයටිය ළමයා පිට තැබී ය. එහෙත්, කිසි හඬක් වත්, පිළිතුරක් වත් නො වී ය. එබැවින් ගෙහාසී ඔහුගේ පෙරමඟට හැරී අවුත්, ”ළමයා පිබිදුණේ නැතැ”යි ඔහුට දැන්නුවේ ය. 32 එලිෂා ඒ ගෙදරට පැමිණි විට ළමයා මැරී තමාගේ ඇඳේ බාවා තිබෙනු දිටී ය. 33 එවිට ඔහු ඇතුළු වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. 34 තවද, ඔහු ඇඳට නැඟී, ළමයා පිට වැතිර, තමාගේ කට ඔහුගේ කට පිට ද තමාගේ ඇස් ඔහුගේ ඇස් පිට ද තමාගේ අත් ඔහුගේ අත් පිට ද තබා ළමයා පිට දිගා විණි. ළමයාගේ මාංසය ද උණුසුම් විය. 35 එවිට ඔහු හැරී අවුත් ගෙයි එහා මෙහා ඇවිද, නැවත ඇඳට නැඟී ගොස් ඔහු පිට පෙර ලෙස ම සත් වරක් දිගාවුණේ ය. එවිට ළමයා කිඹිහුම් ඇර ඇස් ඇරියේ ය. 36 ඔහු ගෙහාසී කැඳවා, ”ඒ ෂුනම්මිය ස්ත්‍රියට අඬගසන්නැ”යි කී ය. ඔහු ඈට අඬගැසී ය. ඈ ඔහු ළඟට ආ කල, ”ඔබේ පුත්‍රයා ගන්නැ”යි ඔහු කී ය. 37 ඈ ද ඇතුළු වී ඔහුගේ පාමුල වැටී, බිමට නැමී වැඳ, ඇගේ පුත්‍රයා රැගෙන ගියා ය.
තවත් හාස්කම් දෙකක්
38 එලිෂා ගිල්ගාල් නුවරට නැවත ගොස් සිටිය දී දේශයෙහි දුර්භික්ෂයක් තිබිණි. දිවැසිවරු කණ්ඩායම ඔහු ඉදිරියෙහි වාඩි වී උන්නෝ ය. ඔහු තමාගේ මෙහෙකරුවා අමතා, ”ලොකු සැළිය ලිපේ තබා දිවැසිවරයන්ට කෑම පිසින්නැ”යි කී ය. 39 එක් කෙනෙක් පලා එකතු කරන්නට කෙතට ගොස්, වල් කැකිරි වැලක් සම්බ වී, එයින් ගෙඩි කඩා ගෙන තමාගේ ඔඩොක්කුව පුරවාගන අවුත්, ඒවා කෑලි කොට කපා කෑම සැළියේ දැමී ය. එහෙත්, ඔව්හු, ”ඒ මොනවා දැ”යි නොදත්හ. 40 තවද, ඔව්හු ඒවා මිනිසුන්ට කන පිණිස බෙදා දුන්නෝ ය. එහෙත්, ඔව්හු ඒ කෑම කන්න පටන්ගත් විට ම මොරගසා, ”දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, සැළියේ විස තිබේ ය”යි කී හ. 41 ඔවුන්ට ඒවා කන්න නොහැකි විය. ඔහු ද, ”එසේ වී නම් පිටි ටිකක් ගෙනෙන්නැ”යි ඒවා සැළියෙහි දමා, ”කන පිණිස සෙනඟට වත් කර දෙන්නැ”යි කී ය. එවිට සැළියෙහි කිසි විසක් නො වී ය.
42 තවද, බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් යව රොටි විස්සක් ද අලුත් ගොයම් කරල් ද තමාගේ මල්ලේ දමාගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වෙත ගෙනාවේ ය. ඔහු ද, ”සෙනඟට කන්න දෙන්නැ”යි කී ය. 43 ඔහුගේ මෙහෙකරුවා, ”කිමෙක් ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්න දැ”යි ඇසී ය.
එහෙත් ඔහු, ”ඒවා සෙනඟට කන්න දෙන්න; මන්ද, ඔවුන් අනුභව කොට ඉතිරි කරනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය. 44 එවිට ඔහු ඒවා ඔවුන් ඉදිරියෙහි තැබී ය. ඔව්හු එයින් අනුභව කොට සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඉතිරි කළෝ ය.
– 5 වන පරිච්ඡේදය –
නාමන්ගේ කුෂ්ඨය සුව කිරීම
1 සිරියාවේ රජුගේ සේනාපතියා වූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙකු ව ගරුබුහුමන් ලැබූ මනුෂ්‍යයෙකු ව සිටියේ ය. මන්ද, ඔහු කරණකොටගෙන සමිඳාණන් වහන්සේ සිරියන්වරුන්ට ජය දී තිබිණි. ඔහු බලසම්පන්න කෙනෙකු වූ නමුත් කුෂ්ඨ රෝගියෙක් විය. 2 සිරියන්වරුන්ගේ එක්තරා ආක්‍රමණයක දී ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබිණි. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළා ය. 3 ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට, ”මාගේ ස්වාමියා සමාරියේ දිවැසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳ ය; එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැ”යි කීවා ය. 4 එවිට නාමන් ගොස් ඉශ්රායෙල් දේශයෙන් ආ දැරිය කී දේ එලෙස ම කියා තමාගේ ස්වාමියාට දැන්වී ය. 5 සිරියාවේ රජ ද, ”ඉතින් ඔබ එහි යන්න; මම ඉශ්රායෙල් රජුට ලියුමක් හරින්නෙමි”යි කී ය.
ඔහු ද රිදී කාසි තිස්දාහකුත්, රන් කාසි හයදාහකුත්, ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත් ව ගියේ ය.
6 ඔහු ඒ ලියුම ඉශ්රායෙල් රජු වෙත ගෙනාවේ ය. ”මේ ලියුම ඔබට ලැබුණු විට නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුව කරන පිණිස ඔහු ඔබ ළඟට එවමි”යි එහි ලියා තිබිණි.
7 ඉශ්රායෙල් රජ ලියුම කියවා, පුදුම වී තමාගේ ඇඳුම් ඉරාගෙන, ”මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුව කරන්නට කියා මොහු මට ලියා එවන්නේ යමෙකු මරන්නත්, ජීවත් කරන්නත් මා දෙවියන් වහන්සේ කියා සිතාගෙන ද? මොහු මට විරුද්ධ ව දබරයකට කාරණයක් සොයන හැටි කල්පනා කර බලන්නැ”යි කී ය.
8 ඉශ්රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂා අසා, ”ඔබ කුමක් නිසා ඔබේ ඇඳුම් ඉරාගන්නෙහි ද? ඔහු මා ළඟට ආවා වේ. එවිට ඔහු ඉශ්රායෙල්හි දිවැසිවර කෙනෙකු සිටින බව දැනගන්නේ ය”යි රජුට කියා යැවී ය.
9 මෙසේ නාමන් තමාගේ අශ්වයන් ද රථ ද ඇති ව අවුත් එලිෂාගේ ගෙයි දොරකඩ ළඟ සිටියේ ය. 10 එලිෂා කතා කොට, ”ඔබ ගොස් ජොර්දාන් ගඟෙහි සත් වරක් නාන්න; එවිට ඔබේ කුෂ්ඨය සුව වී ඔබේ ශරීරය නැවත පවිත්‍ර වන්නේ ය”යි පණිවුඩකාරයෙකු අත කියා යැවී ය. 11 එහෙත්, නාමන් කෝප වී යන්නට ගියේ ය. ඔහු කතා කොට, ”ඔහු පිටතට මා ළඟට අවුත් සිටගෙන, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුව කරනු ඇතැ යි මම සිතුවෙමි. 12 දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්රායෙල් දේශයේ සියලු ගංගා ජලයට වඩා හොඳ නොවේ ද? ඒවායේ ස්නානය කොට පවිත්‍රවන්න මට බැරි දැ”යි ඇසී ය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේ ය.
13 ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කතා කොට, ”මාගේ පියාණෙනි, දිවැසිවරයා මහා දෙයක් කරන්න ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද් ද? එසේ වී නම්, ‘ස්නානය කොට පවිත්‍ර වන්නැ’යි ඔහු ඔබට කී කල එය කරන්න බැරි දැ”යි ඇසූ හ. 14 එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය. 15 එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හැරී අවුත්, ඔහු ඉදිරියේ සිට කතා කොට, ”ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවැ”යි කී ය.
16 ඔහු ද කතා කරමින්, ”මා සේවය කරන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම කිසිවක් නොපිළිගනිමි”යි දිවුරමින් කීවේ ය.
එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේ ය. එහෙත්, ඔහු අකමැති විය. 17 එවිට නාමන්, ”එසේ නැත්නම්, කොටළුවන් දෙන්නෙකුට ගෙන යත හැකි බරට පස් වත් ඔබේ මෙහෙකරුවාට ලැබේ වා. මන්ද, මින් මතු ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන යාග පූජාවක් වත්, යාගයක් වත් ඔප්පු කරන්නේ නැත. 18 මේ කාරණය ගැන සමිඳාණන් වහන්සේ ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා! එනම්, මාගේ ස්වාමියා, රිම්මොන්ගේ දේවාලයෙහි වඳින්නට මාගේ අතේ හේත්තු වී එහි යන විට මාත් රිම්මොන්ගේ දේවාලයෙහි දී වැන්දොත්, එසේ වඳින විට සමිඳාණන් වහන්සේ ඒ කාරණය ගැන ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා”යි කී ය. 19 එලිෂා ද, ”සාමදානයෙන් යන්නැ”යි ඔහුට කී ය. එවිට ඔහු එලිෂා වෙතින් වෙන් ව ටික දුරක් ගියේ ය.
ගෙහාසීට දඬුවම් දීම
20 එකල දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාර ගෙහාසී කල්පනා කොට, ”බලන්න, මාගේ ස්වාමියා මේ සිරියන් ජාතික නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් නොපිළිගෙන නිකම් යන්න හැරියේ ය. ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම ඔහු පස්සේ දිව ගොස් ඔහුගෙන් යමක් ලබාගනිමි”යි දිවිරී ය. 21 මෙසේ ගෙහාසී නාමන් පසුපස ගියේ ය. නාමන් තමා පසුපස කෙනෙකු දුවගෙන එනු දැක ඔහු සම්බවන්න රථයෙන් බැස, ”යම් කරදරයක් ඇත්දැ”යි ඇසී ය.
22 ඔහු ද, ”කරදරයක් නැත. දිවැසිවර කණ්ඩායමෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙත ආවෝ ය. ඔවුන්ට රිදී කාසි තුන්දාහකුත්, ඇඳුම් කුට්ටම් දෙකකුත් දුන මැනවැ යි කියන්නට මාගේ ස්වාමියා මා එවුවේ ය”යි කීවේ ය.
23 නාමන් ද කතා කොට, ”ඔබ රිදී කාසි හයදාහක් ගන්නට සතුටු වන්නැ”යි ඔහුට පෙරැත්ත කර, රිදී කාසි හයදාහක් මලු දෙකක බැඳ, ඇඳුම් කුට්ටම් දෙකකුත් තමාගේ වැඩකාරයන් දෙදෙනෙකු පිට තැබුවේ ය. ඔව්හු ඔහුට පෙරටුවෙන් ඒවා උසුලාගෙන ගියෝ ය. 24 හෙල ළඟට පැමිණි විට ඔහු ඔවුන් අතින් ඒවා රැගෙන ගෙයි තබා, ඒ මනුෂ්‍යයන් යන්න හැරියේ ය. ඔව්හු ද යන්නට ගියෝ ය.
25 ඔහු වනාහි ඇතුළු වී තමාගේ ස්වාමියා ඉදිරියේ සිටියේ ය. එලිෂා කතා කොට, ”ගෙහාසී ඔබ කොහේ ගොස් ආවෙහි දැ”යි ඔහුගෙන් ඇසී ය. ”ඔබේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැ”යි ඔහු කී ය.
26 එලිෂා කතා කොට, ”ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවන්න හැරී ආ විට මාගේ ආත්මානුභාවය ඔබ සමඟ ගියේ නැද් ද? මේ මුදල් පිළිගන්නත්, ඇඳුම් ද ඔලීව වතු ද මිදි වතු ද බැටළුවන් ද ගවයන් ද දාස දාසීන් ද පිළිගන්නත් අවස්ථාවක් ද? 27 එබැවින් නාමන්ගේ කුෂ්ඨය ඔබටත්, ඔබේ වංශයටත් නිරතුරු ම වැළදෙන්නේ ය”යි ඔහුට කී ය.
එවිට ඔහු හිම මෙන් කුෂ්ඨයක් ඇති ව ඔහුගෙන් ඉවත් ව ගියේ ය.
– 6 වන පරිච්ඡේදය –
නැති වූ පොරෝ තලය සොයාගැනීම
1 දිවැසිවරු කණ්ඩායම එලිෂාට කතා කොට, ”බැලුව මැනව, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදි ය. 2 ජොර්දානය ළඟට ගොස්, එතැනින් එක් එක්කෙනා ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදාගන්න අපට අවසර ලැබේ වා”යි කී හ. ”යන්නැ”යි ඔහු පිළිතුරු දිනි.
3 එක් කෙනෙක්, ”ඔබ ද, ඔබේ මෙහෙකරුවන් සමඟ යන්න සතුටු වුව මැනවැ”යි කී ය. ”මම යමි”යි ඔහු ඔවුන් සමඟ ගියේ ය. 4 ඔව්හු ජොර්දානය ළඟට පැමිණ ගස් කැපූ හ. 5 එක් කෙනෙකු ලීයක් කපද්දී පොරෝ තලය වතුරේ වැටිණි. ඔහු, ”අනේ මාගේ ස්වාමීනි, ඒක ඉල්ලාගත් එකකැ”යි කෑගසා කී ය.
6 එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, ”එය වැටුණේ කොහේ දැ”යි ඇසී ය.
ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමී ය. එවිට යකඩය පා විය. 7 ඔහු ද කතා කොට, ”ඒක ගන්නැ”යි කී විට ඔහු අත දිගු කර එය ගත්තේ ය.
සිරියන් රාජ්‍යය පරාජය කිරීම
8 සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, ”අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය. 9 දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ද, ”සිරියන්වරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනව”යි ඉශ්රායෙල් රජුට දන්වමින් අනතුරු ඇඟවී ය. 10 දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා දැනුම් දුන් ස්ථානයට ඉශ්රායෙල් රජ මිනිසුන් යැවී ය. ඔහු ද රජුට අනතුරු ඇඟ වූ බැවින් රජ ද පරීක්ෂාකාරී ව සිටියේ ය. එසේ වූයේ වරක් දෙවරක් නොව, බොහෝ වාරයක් ය.
11 මේ කාරණය ගැන සිරියාවේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා, ”අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවරෙක් ද කියා ඔබ මට දන්වන්නේ නැද් දැ?”යි ඇසී ය. 12 ඔහුගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් කතා කොට, ”මාගේ ස්වාමීන් වන රජතුමනි, එසේ නොවේ. ඔබේ යහන් ගබඩාවේ දී ඔබ කියන වචන ඉශ්රායෙල්හි දිවැසිවරයා වන එලිෂා, ඉශ්රායෙල් රජුට දන්වන්නේ ය”යි කීවේ ය.
13 එවිට ඔහු කතා කොට, ”මා විසින් ඔහු අල්ලාගනු ලබන පිණිස ඔහු කොතැන ද කියා ඔබ ගොස් බලන්නැ”යි කී ය.
”ඔහු දොතාන්හි සිටින්නේ ය”යි ඔහුට දන්වන ලදී. 14 එබැවින් ඔහු අශ්වයන් ද රථ ද විශාල හමුදාවක් ද එහි යැවී ය. ඔව්හු රාත්‍රියේ අවුත් නුවර වටලාගත්තෝ ය. 15 එලිෂාගේ සේවකයා අලුයම නැඟිට පිටතට ගිය කල හමුදාවක්, අශ්වයන් හා රථ ඇති ව නුවර වටේට සිටිනු දුටුවේ ය. එවිට ඔහු, ”අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි ඔහුගෙන් ඇසී ය.
16 ඔහු ද කතා කොට, ”බිය නොවන්න. මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝ ය”යි කීවේ ය. 17 එවිට එලිෂා යාච්ඤා කොට, ”සමිඳාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේ ය.
18 ඔවුන් එලිෂා ළඟට ගිය කල ඔහු, ”මේ සෙනඟ අන්ධ කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ එලිෂාගේ ඉල්ලීම ලෙස ඔවුන් අන්ධ කළ සේක. 19 එවිට එලිෂා ඔවුන්ට කතා කොට, ”ඒ පාර මෙය නොවේ. ඒ නුවරත් මෙය නොවේ. මා පසුපස එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ ගෙනයන්නෙමි”යි ඔවුන් සමාරියට ගෙන ගියේ ය.
20 තවද ඔවුන් සමාරියට පැමිණි විට එලිෂා කතා කොට, ”සමිඳාණන් වහන්ස, පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඇස් පැහැදූ සේක. ඔව්හු බැලූ විට තමන් සමාරිය මැද සිටින බව දුටුවෝ ය.
21 ඉශ්රායෙල් රජු ඔවුන් දැක, ”මාගේ පියාණෙනි, ඔවුන්ට පහර දෙම් ද? පහර දෙම් දැ”යි එලිෂාගෙන් ඇසී ය.
22 ඔහු, ”ඔබ ඔවුන්ට පහර නොදිය යුතු ය. ඔබේ කඩුවෙන් ද ඔබේ දුන්නෙන් ද අල්ලාගත් තැනැත්තන්ට ඔබ පහර දෙන්නෙහි ද? ඔවුන් කා බී තමන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන්ට කෑම ද වතුර ද දෙන්නැ”යි කී ය. 23 ඔහු ඔවුන්ට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කළේ ය. ඔවුන් ආහාර පාන අනුභව කළ පසු ඔහු ඔවුන් පිටත් කර හැරියේ ය. ඔව්හු ද තමන්ගේ ස්වාමියා ළඟට ගියෝ ය. සිරියාවේ ආක්‍රමණය සඳහා යෙදෙන කණ්ඩායම් තවත් ඉශ්රායෙල් රටට නාවෝ ය.
සමාරිය වටලෑම
24 ඉන්පසු සිරියාවේ රජ වන බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස් කරගෙන විත් සමාරිය වටලාගත්තේ ය. මහා සාගතයක් සමාරියෙහි විය. 25 කොටළු හිසක් රිදී කාසි අසූවකටත්, aවල් ලූණු ග්‍රෑම් දෙසියයක් රිදී කාසි පහකටත් විකිණෙන තෙක් ඔව්හු සමාරිය වටලාගෙන සිටියෝ ය.
26 ඉශ්රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක් කතා කොට, ”මාගේ ස්වාමීන් වන රජතුමනි, පිහිට වුව මැනවැ”යි මොරගැසුවා ය.
27 ඔහු උත්තර දෙමින්, ”සමිදාණන් වහන්සේ ඔබට පිහිට නොවන සේක් නම්, මම කුමකින් ඔබට පිහිට වෙම් ද? මට තිරිඟු වත් මිදි වත් ඇද් දැ?”යි කියා, 28 ”ඔබට කුමක් වී තිබේ දැ”යි ඇගෙන් ඇසී ය.
ඈ ද පිළිතුරු දෙමින්, ” ‘ඔබේ පුත්‍රයා අද අපට කන්න දෙන්න. මාගේ පුත්‍රයා හෙට අපි කන්නෙමු’යි මේ ස්ත්‍රිය මට කීවා ය. 29 එසේ අපි මාගේ පුතා උයා කෑවෙමු. පසු දින ‘ඔබේ පුත්‍රයා අපට කන්න දියන්නැ’යි ඈට කීවෙමි. එහෙත් ඈ ඇගේ පුත්‍රයා සඟවාගෙන සිටියා ය” කීවා ය.
30 එකල රජ පවුර පිට යමින් සිටියේ ය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචනය අසා මවිත වී තමාගේ ඇඳුම් ඉරාගත්තේ ය. සෙනඟ ද ඔහු දෙස බලා ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනු දුටුවෝ ය. 31 එවිට ඔහු, ”ශාපාත්ගේ පුත් එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්නට හැරියොත් දෙවියන් වහන්සේ මට ඉතා තදින් දඬුවම් කරන සේක් වා”යි කී ය.
සහනය ගැන කල්තියා දැන්වීම
32 එලිෂා ප්‍රජා මූලිකයන් සමඟ තමාගේ ගෙදර වාඩි වී සිටියේ ය. එවිට රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවී ය. එහෙත්, පණිවුඩකාරයා ඔහු ළඟට එන්න පළමුවෙන් එලිෂා ප්‍රජා මූලිකයන්ට කතා කොට, ”අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්න කෙනෙකු එවූ බව ඔබට පෙනේ ද? ඔබ බලා සිට පණිවුඩකාරයා ආ විට, ඔහුට ඇතුළු වන්න ඉඩ නොදී, දොර වසා එය තද කරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද් දැ?”යි ඇසී ය. 33 ඔහු ඔවුන් සමඟ කතා කරද්දී ම පණිවුඩකාරයා ඔහු ළඟට ආවේ ය. රජ කතා කොට, ”මේ නපුර සමිඳාණන් වහන්සේගෙන් ය; සමිඳාණන් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වන්නේ කුමට දැ”යි ඇසී ය.
– 7 වන පරිච්ඡේදය –
1 එවිට එලිෂා කතා කොට, ”සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න. ‘හෙට මේ වේලාවට පමණ රිදී කාසියකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද, රිදී කාසියකට යව කිලෝග්‍රෑම් හයක් ද සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇත’ කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කී ය.
2 එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, ”සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. ”එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.
සිරියන් හමුදාව කඳවුර අත්හැර යාම
3 කුෂ්ඨ රෝගීහු සතර දෙනෙක් වාසල් දොරකඩ සිටියෝ ය. ඔව්හු එකිනෙකාට කතා කොට, ”අපි නහින තුරු කුමට මෙහි සිටිමු ද? 4 අපි නුවරට ඇතුළුවෙමු යි කීවත් නුවර තුළ සාගතය තිබෙන නිසා අප එහි නසිනු ඇත. මෙහි සිටියත් නසිනු ඇත. එබැවින් දැන් එන්න, අපි සිරියන්වරුන්ගේ සේනාවට එකතුවෙමු. ඔවුන් අප ආරක්ෂා කළොත් අපි ජීවත්වන්නෙමු. ඔවුන් අප මැරුවොත් අපට මරණය පමණක් සිදු වනු ඇතැ”යි කී හ. 5 එසේ ඔව්හු සිරියන්වරුන්ගේ කඳවුරට යන පිණිස ඇඳිරි වේගෙන එන වේලෙහිම පිටත් වූ හ. එහෙත්, ඔව්හු සිරියන්වරුන්ගේ කඳවුරේ සීමාවට පැමිණෙන විට එහි කිසිවෙකු නැති බව දුටුවෝ ය. 6 මන්ද, සමිඳාණන් වහන්සේ රථ ඝෝෂාවක් ද අශ්ව ඝෝෂාවක් ද යන මහා සේනාවක ඝෝෂාවක් සිරියන්වරුන්ගේ සේනාවට ඇසෙන්න සැලැසූ සේක. ඔව්හු එකිනෙකාට කතා කොට, ”ඉශ්රායෙල් රජ හිත්තීවරුන්ගේ ද මිසරවරුන්ගේ ද රජුන් අපට විරුද්ධ ව කුලියට ගෙන්වාගත්තේ ය” කියා 7 නැඟිට රෑ කාලයේ පලා ගියහ. ඔව්හු තමන්ගේ කූඩාරම් ද අශ්වයන් ද කොටළුවන් ද ඇතුළු ව කඳවුර තිබුණු හැටියට ම අත්හැර තමන්ගේ ප්‍රාණය ගළවා ගන්නට පලා ගියහ.
8 ඒ කුෂ්ඨ රෝගීන් කඳවුරේ සීමාවට පැමිණි විට, ඔව්හු එක් කූඩාරමකට ඇතුළු වී කා බී, එතැනින් රන් රිදී වස්ත්‍ර රැගෙන ගොස්, සඟවා තබා, නැවත හැරී අවුත්, වෙන කූඩාරමකට ඇතුළු වී, එතැනිනුත් ඒවා රැගෙන ගොස් සඟවා තැබූ හ.
වටලෑමේ අවසානය
9 එවිට කුෂ්ඨ රෝගීහු සතරදෙන එකිනෙකාට කතා කොට, ”අප කරන දේ හරි නැත. අද දවස හොඳ ආරංචි ඇති දවසක් ව තිබෙද්දී අපි නිශ්ශබ්ද ව සිටිමු. උදය එළි වන තුරු ප්‍රමාද වුණොත් අපට වරද පැමිණෙයි. ඒ නිසා එන්න, අපි රජ ගෙදරට මෙපවත් දන්වමු”යි කී හ. 10 මෙසේ ඔව්හු අවුත් නුවර දොරටු පාලකයන්ට හඬගසා කතා කොට, ”අපි සිරියන්වරුන්ගේ කඳවුරට ගියෙමු. එහි කිසි මනුෂ්‍යයෙක් වත්, මනුෂ්‍ය හඬක් වත් නැත. බඳින ලද අශ්වයෝත්, කොටළුවෝත් සිටිති. කූඩාරම් ද තිබුණු හැටියට ම තිබේ ය”යි ඔවුන්ට දැන්නූ හ.
11 දොරටු පාලකයෝ හඬගසා රජ ගෙදර වැසියන්ට එපවත් දැන්නූ හ. 12 රජ තෙමේ රාත්‍රියේ නැඟිට, තමාගේ සේවකයන්ට කතා කොට, ”ඉතින් සිරියන්වරුන් අපට කර තිබෙන කාරණය ඔබට දන්වමි. අපට කුසගිනි ඇති බව ඔව්හු දනිති. එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා, නුවරට ඇතුළු වන්නට සිතාගෙන පිටත සැඟවී ඉන්න කඳවුර අත්හැර ගියෝ ය”යි කීවේ ය.
13 සේවකයන්ගෙන් එක් කෙනෙක් උත්තර දෙමින්, ”නුවර ඉතිරි ව සිටින අශ්වයන්ගෙන් පස්දෙනෙකු රැගෙන කඳවුර බැලීම සඳහා මනුෂ්‍යයන් යවමු. මෙහි ඉතිරි ව සිටින මුළු ඉශ්රායෙල් සමූහය මෙන් ඔවුන් ද මැරෙනු ඇතැ”යි කී ය. 14 ඔව්හු අශ්වයන් යෙදූ රථ දෙකක් ගත්තෝ ය. ”එහි ගොස් බලන්න” කියා රජ සිරියන් සේනාව පස්සේ ඔවුන් යැවී ය. 15 ඔව්හු ඔවුන් පස්සේ ජොර්දාන් ගඟ දක්වා ගියහ. සිරියන්වරුන් ඉක්මනින් පලා යද්දී විසිකළ වස්ත්‍රවලින් හා භාජනවලින් මාවත දිගට ම පිරී තිබිණි. පණිවුඩකාරයෝ හැරී අවුත් රජුට එපවත් දැන්නුවෝ ය. 16 සෙනඟ ගොස් සිරියන්වරුන්ගේ කඳවුර කොල්ලකෑ හ. මෙසේ සමිඳාණන් වහන්සේ වදාළ ලෙස රිදී කාසි එකකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද රිදී කාසි එකකට යව කිලෝග්‍රෑම් හයක් ද විකුණන්නට යෙදුණේ ය.
17 තමාගේ අත පිට රජු හේත්තු වී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත් කරන ලද්දේ ය. ඔහු දොරටුවේ දී සෙනඟට පෑගී මැරුණේ ය. මෙසේ රජු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධ විය. 18 ”යව කිලෝග්‍රෑම් හයක් රිදී කාසියකට ද සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් රිදී කාසියකට ද හෙට මේ වේලාවට පමණ සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇතැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා රජුට කතා කර කී විට, 19 ඒ අධිපතියා ඔහුට උත්තර දෙමින්, ”බලන්න, සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් එබඳු දෙයක් සිදු විය හැකි දැ”යි කීවේ ය. එලිෂා කතා කොට, ”ඔබ එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි කී ය. 20 එසේ ම සිදු විය. ඔහු දොරටුවේ දී සෙනඟට පෑගී මළේ ය.
– 8 වන පරිච්ඡේදය –
ෂුනම්මිය ස්ත්‍රිය ආපසු පැමිණීම
1 තවද, එලිෂා විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවුට ඔහු කතා කොට, ”ඔබේ ගෙවැසියන් සමඟ ඔබ පිටත් ව ගොස් ඔබට නැවතී සිටින්න පුළුවන් තැනක සිටින්න. මන්ද, සමිඳාණන් වහන්සේ සාගතයක් නියම කර තිබේ. එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනු ඇතැ”යි කී ය. 2 ඒ ස්ත්‍රී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ වචනය ලෙස කරමින් ඇගේ ගෙවැසියන් සමඟ පිටත් ව ගොස් පිලිස්තිවරුන්ගේ දේශයෙහි සත් අවුරුද්දක් සිටියා ය.
3 සත් අවුරුද්ද කෙළවර දී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවා ය. තවද, ඈ ඇගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිල්ලක් කිරීමට පිටත් ව ආවා ය. 4 එකල්හි රජ, ”එලිෂා කළ සියලු පුදුම දේවල් මට කියන්නැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කතා කරමින් සිටියේ ය. 5 ඔහු විසින් මළ කෙනෙකු ජීවත් කරනු ලැබූ සැටි රජුට කියන විට ම බලන්න, එසේ ඔහු විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවු තමාගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිලි කරමින් සිටියා ය. ගෙහාසී කතා කොට, ”මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ සිටින්නේ ඒ ස්ත්‍රිය ය; මේ සිටින්නේ එලිෂා විසින් නැවත පණ දෙන ලද ඇගේ පුත්‍රයා ය”යි කී ය. 6 රජු ද ස්ත්‍රියගෙන් ඇසූ විට ඈ ඔහුට සියල්ල කීවා ය. තවද, රජ තෙමේ ඈ ගැන එක්තරා මුලාදෑනියෙකුට නියම කොට, ”ඈට අයිති වූ සියල්ල ද ඈ දේශය අත්හැර ගිය දා පටන් මේ වන තුරු ඇගේ ඉඩමෙන් හටගත් සියලු පල ද ඈට ලබා දෙන්නැ”යි කී ය.
එලිෂා සහ දමස්කයේ හසායෙල්
7 එලිෂා දමස්කයට පැමිණියේ ය. එකල්හි සිරියාවේ බෙන්-හදද් රජ ලෙඩින් සිටියේ ය. එවිට, ”දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා මෙහි ආවේ ය”යි ඔහුට දන්වන ලදී. 8 රජ හසායෙල්ට කතා කොට, ”ඔබ තෑග්ගක් රැගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සම්මුඛවන්න ගොස්, ‘මේ ලෙඩෙන් මම සුව වෙම් දැ’යි ඔහු ලවා සමිඳාණන් වහන්සේගෙන් විචාරන්නැ”යි කීවේ ය. 9 එවිට හසායෙල් තෑග්ගක් ගෙන දමස්කයේ නන් වැදෑරුම් ඉස්තරම් හොඳ දේවල් ඔටුවන් සතළිස්දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියෙහි සිට, ” ‘මේ ලෙඩෙන් මම සුව වන්නෙම් ද’ කියා විචාරන්නට ඔබේ පුත් සිරියාවේ රජු වන බෙන්-හදද් මා ඔබ ළඟට එව්වේ ය”යි කී ය.
10 එලිෂා ද උත්තර දෙමින්, ”ඔබ ගොස්, ‘සැබැවින් ඔබ සුව වන්නෙහි ය’යි ඔහුට කියන්න. එහෙත්, ඔහු සැබැවින් නසින බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි ඔහුට කී ය. 11 තවද, සංවේගයට පත් වන තුරු ම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු දෙස බලා සිට පසු ව ඇඬුවේ ය. 12 එවිට හසායෙල්, ”මාගේ ස්වාමියා අඬන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, ”ඔබ ඉශ්රායෙල් ජනයාට කරන්න යන නපුර මා දන්න නිසා ය. ඔබ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිම ගසා මරා, ඔවුන්ගේ ගර්භණීන් දෙපළුකර දමන්නෙහි ය”යි කී ය.
13 හසායෙල් ද කතා කොට, ”බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, ”ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය.
14 ඔහු එලිෂා වෙතින් ගොස් තමාගේ ස්වාමියා ළඟට පැමිණි විට, ”එලිෂා ඔබට කීවේ කුමක් දැ”යි ඔහුගෙන් ඇසුවේ ය. ”සැබැවින් ම ඔබ සුව වනු ඇත කියා මට කීයේ යැ”යි ඔහු පැවසී ය.
15 පසු දා ඔහු දළ රෙද්දක් ගෙන වතුරේ පොඟවා ඔහුගේ මුහුණ පිට එළා තැබී ය. එයින් ඔහු මැරුණේ ය.
හසායෙල් ඔහු වෙනුවට රජ විය.
ජෙහෝරාම් රජුගේ පාලන සමය
(2 වංශා: 21:1-20)
16 ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ ආහබ්ගේ පුත් ජෝරාම්ගේ පස් වන අවුරුද්දේ ජෙහෝෂාපාට් ජුදාහි රජ ව සිටිද්දී ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් ජෙහෝරාම් රජ විය. 17 ඔහු තිස්දෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ අට අවුරුද්දක් රජකම් කෙළේ ය. 18 ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුව සරණ පාවාගෙන සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. 19 එසේ වී නමුත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ දාවිත්ට ඔහුගේ පෙළපතින් එන කෙනෙකු නොනිවෙන පහනක් මෙන් රට පාලනය කරන බවට පොරොන්දු වූ ලෙස ඔහු නිසා ජුදා රාජ්‍යය නැති කරන්නට අකමැති වූ සේක.
20 ඔහුගේ කාලයේ දී ඒදොම්වරු කැරලි ගසා, ජුදාගේ පාලනය යටතෙන් අහක් ව තමන්ට රජෙකු පත් කරගත්හ. 21 එවිට ජෝරාම් තමාගේ සියලු රථ රැගෙන ශායීර් නම් ස්ථානයට ගොස්, රෑ කාලයේ නැඟිට තමා වටකරගෙන සිටි ඒදොම්වරුන්ටත්, රථාධිපතීන්ටත් පහර දුන්නේ ය. එකල සෙනඟ තමන්ගේ කූඩාරම්වලට පලා ගියහ. 22 මෙසේ ඒදොම්වරුන් අද දක්වා ජුදාවරුන්ගේ රාජ්‍ය පාලනය ඉවත දමා තිබේ. එම කාලයේ දී ලිබ්නාවරු ද කැරලි ගැසූ හ.
23 ජෙහෝරාම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 24 ජෙහෝරාම් මියගිය පසු තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.
අහසියා රජුගේ පාලන සමය
(2 වංශා: 22:1-6)
25 ඉශ්රායෙල් රජු වූ ආහබ්ගේ පුත් ජෝරාම්ගේ දොළොස් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන ජෙහෝරාම්ගේ පුත් අහසියා රජ විය. 26 අහසියා විසිදෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම අතලියා ය. ඈ ඉශ්රායෙල් රජු වූ ඔම්රිගේ දුවක් ය. 27 ඔහු ආහබ්ගේ වංශය ගිය මාර්ගයේ ගමන් කරමින් ආහබ්ගේ වංශය කළ ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. විවාහයෙන් ඔහු ආහබ්ගේ පවුලට බෑණා විය.
28 ඔහු ආහබ්ගේ පුත් ජෝරාම් සමඟ සිරියාවේ රජු වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධ කරන්නට ගියේ ය. සිරියන්වරු ජෝරාම්ට තුවාළ කළෝ ය. 29 ජෝරාම් රජ තමා සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධ ව යුද්ධ කරද්දී රාමාහි දී සිරියන්වරුන් ඔහුට කළ තුවාළ ජෙශ්‍රෙයෙල්හි සුව කරගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජු වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෝරාම් රෝගාතුර ව සිටි නිසා ඔහු බලන්නට ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.
– 9 වන පරිච්ඡේදය –
ජේහු අභිෂේක කරනු ලැබීම
1 දිවැසිවර එලිෂා දිවැසිවර කණ්ඩායමෙන් කෙනෙකුට අඬගසා, ”ඔබ ඉඟටිය බැඳගෙන, මේ තෙල් කුළාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න. 2 ඔබ එහි පැමිණි කල නිම්ෂීගේ පුත්‍රයා වන ජෙහෝෂාපාට්ගේ පුත් ජේහු සොයාගෙන, ඔහුගේ සහෝදරයන් අතරෙන් ඔහු කැඳවාගෙන ඇතුළු කාමරයකට ගොස්, 3 තෙල් කුළාව රැගෙන ඔහුගේ හිසේ වත්කොට, ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස අභිෂේක කෙළෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කී පසු, දොර හැර ප්‍රමාද නොවී යන්නැ”යි කී ය.
4 මෙසේ ඒ තරුණ දිවැසිවරයා රාමොත්-ගිලියද්ට ගියේ ය. 5 ඔහු ඇතුළු වන විට සේනාපතියෝ වාඩි වී සිටියහ. එවිට ඔහු, ”සේනාපතිතුමෙනි, ඔබට වචනයක් කියන්න මට තිබේ ය”යි කී ය. ”අප සියල්ලන්ගෙන් කවරෙකුට දැ”යි ජේහු ඇසී ය. ”සේනාපතිතුමෙනි, ඔබට ය”යි ඔහු කී ය. 6 ඔහු නැඟිට කාමරය ඇතුළට ගිය විට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත් කොට, ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස ඔබ අභිෂේක කෙළෙමි. 7 මාගේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මැරීම ගැන ද සමිඳාණන් වහන්සේගේ සියලු මෙහෙකරුවන් මැරීම ගැන ද මා ජෙශෙබෙල්ගෙන් පළිගන්න පිණිස නුඹේ ස්වාමීන් වූ ආහබ්ගේ වංශයට පහර දෙන්න. 8 ආහබ්ගේ මුළු වංශය විනාශ වන්නේ ය. ඉශ්රායෙල්වරුන් අතරේ දාසයන් ද නිර්දාසයන් ද වන ආහබ්ගේ සියලු පිරිමින් මරාදමා, 9 ආහබ්ගේ වංශය නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද වන්නට සලස්වන්නෙමි. 10 බල්ලෝ ජෙශ්‍රෙයෙල් නම් බිම් කොටසේ දී ජෙශෙබෙල් කන්නෝ ය. ඈ භූමදාන කරන්නට කිසිවෙක් නොසිටින්නේ ය.’ ”යි ඔහුට කියා දොර ඇර ඔහු යන්න ගියේ ය.
11 එකල ජේහු තම ස්වාමියාගේ සේවකයන් වෙත ආවේ ය. එක් කෙනෙක් කතා කොට, ”සියල්ල හොඳින් තේරුණා ද? ඒ පිස්සා ඔබ ළඟට ආවේ කුමක්නිසා දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, ”ඒ මනුෂ්‍යයාත්, ඔහුගේ කතාවත් ඔබ දන්නවා නොවේ දැ”යි ඔවුන්ට කී ය. 12 ”අපි එය නොදනිමු. අපට එය කියන්නැ”යි ඔව්හු කී හ. ඔහු කතා කොට, ” ‘මම ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස නුඹ අභිෂේක කෙළෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි මේ මේ හැටියට මට කීවේ ය”යි දැන්වී ය.
13 එවිට ඔව්හු ඉක්මන් ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩි පෙළ මත එළා හොරණෑ පිඹ, ”ජේහු දැන් රජ යැ”යි කී හ.
ජේහු රජ බලය උදුරාගැනීමට සූදානම් වීම
14 මෙසේ නිම්ෂිගේ පුත් ජෙහෝෂාපාට්ගේ පුත්‍ර වන ජේහු, ජෝරාම්ට විරුද්ධ ව කුමන්ත්‍රණය කෙළේ ය. එකල ජෝරාම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද් මුර කරමින් සිටියහ. 15 එහෙත්, ජෝරාම් රජ තමා සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධ ව යුද්ධ කරන අතර සිරියන්වරුන් විසින් තමාට කරන ලද තුවාළ සුව කරගන්න පිණිස ජෙශ්‍රෙයෙල්ට හැරී අවුත් සිටියේ ය. තවද, ජේහු කතා කොට, ”ඔබ කැමැති නම් ජෙශ්‍රෙයෙල්ට ගොස් දන්වන පිණිස නුවරින් කාට වත් ගැළවී යන්න ඉඩ නොදෙන්නැ”යි කියා 16 රථයට නැඟ ජෙශ්‍රෙයෙල්ට ගියේ ය. කුමක් නිසා ද ජෝරාම් එහි ඔත්පල ව සිටියේ ය. ජුදාහි රජ වූ අහසියා ද ජෝරාම් බලන්නට එහි අවුත් සිටියේ ය.
17 ජෙශ්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා ජේහුගේ හමුදාව එනු දැක, ”හමුදාවක් මට පෙනේ ය”යි කී ය. ජෝරාම් ද, ”ඔබ අසරුවෙකුට අඬගසා ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි අසන්නට ඔවුන්ගේ පෙරමඟට යවන්නැ”යි කී ය.
18 මෙසේ එක් කෙනෙක් අශ්වයෙකු පිට නැඟී ඔහුගේ පෙරමඟට ගොස්, ” ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, ”සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය. මුරකාරයා කතා කොට, ”පණිවුඩකාරයා ඔවුන් ළඟට පැමිණි නමුත් ආපසු නොඑන්නේ ය”යි කී ය. 19 එවිට ඔහු දෙ වන අසරුවෙකු යැවී ය. ඔහු ද ඔවුන් ළඟට අවුත්, ” ‘ඔබ එන්නේ සාමදානයෙන් ද’ කියා රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, ”සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය.
20 මුරකාරයා ද, ”ඔහු ඔවුන් ළඟට පැමිණි නමුත් නැවත නොඑන්නේ ය. රථය පදවන්නා එය පදවන්නේ නම්, නිම්ෂිගේ පුත් ජේහුගේ මෙහෙයවීම මෙන් ය. කුමක් නිසා ද ඔහු උමතුවෙන් මෙන් පදවන්නේ ය”යි දැන්නුවේ ය.
21 ජෝරාම් ද කතා කොට, ”රථය සූදානම් කරන්නැ”යි කී ය. ඔව්හු ඔහුගේ රථය සූදානම් කළෝ ය. ඉශ්රායෙල් රජ වූ ජෝරාම් ද ජුදාහි රජ වූ අහසියා ද තම තමාගේ රථයට නැඟී පිටත් වී ජේහුගේ පෙරමඟට ගොස්, ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ බිම් කොටසේ දී ඔහුට සම්මුඛ වූ හ.
ජෝරාම් රජුගේ මරණය
22 ජෝරාම්, ජේහු දුටු විට, ”ජේහු, ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, ”ඔබේ මව වන ජෙශෙබෙල්ගේ වේශ්‍යාකම් ද ඇගේ මායම් ද මෙපමණ තිබිය දී මොන සාමදානයක් දැ”යි ඇසී ය. 23 එවිට ජෝරාම් හැරී පලා යමින්, ”අහෝ අහසියා, මෙය ද්‍රෝහිකමකි” කියා අහසියාට කී ය. 24 එහෙත්, ජේහු මුළු ශක්තියෙන් දුන්න ඇද ජෝරාම්ගේ පිට මැදට විද්දේ ය. ඊ ගහ ඔහුගේ හෘදය පසා කරගෙන පිට විය. ඔහු රථයෙහි ඇද වැටුණේ ය. 25 එවිට ජේහු තමාගේ ආරක්ෂක භටයා වන බිද්කර්ට කතා කොට, ”ඔහු රැගෙන ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ කෙතට දමන්න, මන්ද, මාත්, ඔබත් එක් ව ඔහුගේ පිය වූ ආහබ් පස්සෙන් අසුන් පිට ගිය විට සමිඳාණන් වහන්සේ ඔහුට විරුද්ධ ව දුන් තීන්දුව සිහි කරන්න. 26 එනම්, සැබැවින් නාබොත්ගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ලේ ඊයේ දුටුවෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. තවද, මම මේ කෙතේ දී ඔබට විපාක දෙන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. එබැවින් ඔහු රැගෙන සමිඳාණන් වහන්සේ වදාළ ලෙස මේ කෙතෙහි දමන්නැ”යි කී ය.
අහසියා රජුගේ මරණය
27 ජුදාහි රජු වන අහසියා ඒ දැක බෙත්-හගාක් නම් පාර දිගේ පලා ගියේ ය. ජේහු ඔහු ලුහුබැඳ ගොස්, ”ඔහුටත් පහර දෙන්නැ”යි කී ය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගූර් නම් බෑවුමේ දී ඔහු රථයේ සිටින විට ඔහුට පහර දුන්හ. ඔහු මෙගිද්දෝ මිටියාවතට පලා ගොස් එහි දී මළේ ය. 28 ඔහුගේ සේවකයෝ ඔහු රථයකින් ජෙරුසලමට ගෙන ගොස් දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් සමඟ ඔහුගේ සොහොන් ගෙයි තැන්පත් කළහ.
29 ආහබ්ගේ පුත් ජෝරාම්ගේ එකොළොස් වන අවුරුද්දේ දී අහසියා ජුදා දේශයේ රජ විය.
ජෙශෙබෙල්ගේ මරණය
30 ජේහු ජෙශ්‍රෙයෙල්ට ආ කල ජෙශෙබෙල් ඒ අසා, ඇගේ ඇස්වල අඳුන් ගා, හිස සරසාගෙන කවුළුවෙන් බැලුවා ය. 31 ජේහු දොරටුවෙන් ඇතුළු වන විට ඈ කතා කොට, ”ස්වකීය ස්වාමියා මැරූ සිම්රි, ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසුවා ය.
32 ඔහු කවුළුව දෙස බලා, ”මාගේ පක්ෂයට සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. එවිට නපුංසකයන් දෙදෙනෙක් ඔහු දෙස බැලුවෝ ය. 33 ”ඈ පහළට හෙළන්නැ”යි ඔහු කී ය. ඔව්හු ඈ පහළට හෙළුවෝ ය. ඇගේ ලේවලින් මඳක් බිත්තියේත්, අශ්වයන් පිටත් ඉසිණි. 34 ඔහු ඇය පාගාගෙන අසුපිටින් ගියේ ය. ඔහු ඇතුළු වී, කා බී, ”ඒ සාපලත් ස්ත්‍රිය රජෙකුගේ දුවක නිසා සලකා බලා ඈ තැන්පත් කරන්නැ”යි කී ය. 35 ඔව්හු ඈ තැන්පත් කරන්නට ගිය විට ඇගේ හිස් කබල ද පාද ද දෑත ද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බ නොවී, 36 හැරී ගොස් ඔහුට දැන්නූ හ. ඔහු කතා කොට, ”මේ සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ තිෂ්බි ජාතික එලියා ලවා කියෙවූ වචනය ය: ‘ජෙශ්‍රෙයෙල් පෙදෙසේ දී බල්ලෝ ජෙශෙබෙල්ගේ මාංස කන්නෝ ය. 37 මේ ජෙශෙබෙල් යයි කියන්න බැරි වන ලෙස ජෙශෙබෙල්ගේ මළකඳ ජෙශ්‍රෙයෙල් පෙදෙසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේ ය. කියා වදාළ සේකැ’ ”යි කීවේ ය.
– 10 වන පරිච්ඡේදය –
රජ පවුල මරාදැමීම
1 ආහබ්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් සමාරියේ සිටියහ. ජේහු ලියුම් ලියා සමාරියේ සිටි ජෙශ්‍රෙයෙල්හි අධිපතීන් වන ප්‍රජා මූලිකයන්ට ද ආහබ්ගේ දරුවන් ඇතිදැඩි කළ භාරකාරයන්ට ද යැවී ය. 2 එහි ලියා තිබුණේ, ”ඔබේ ස්වාමියාගේ පුත්‍රයන් ඔබ ළඟ සිටින නිසාත්, රථ සහ අශ්වයන් ද පවුරු ඇති නුවරක් ද යුද්ධායුධ ද තිබෙන නිසාත් මේ ලියුම ඔබට ලැබුණු වහා ම 3 ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් ඉතා හොඳ සුදුසු තැනැත්තා තෝරාගෙන, ඔහුගේ පියාගේ සිංහාසනයේ හිඳුවා ඔබේ ස්වාමියාගේ වංශය උදෙසා සටන් කරන්න” යනු යි.
4 එහෙත්, ඔව්හු අතිශයින් බිය ව කතා කොට, ”බලන්න, ඒ රජවරුන් දෙදෙනාට ඔහු ඉදිරිපිට සිටින්නට නුපුළුවන් විය. එසේ නම්, අපි කෙසේ සිටිමු දැ”යි ඇසුවෝ ය. 5 එවිට මාලිගාවේ ප්‍රධානියා ද නගරාධිපතියා ද ප්‍රජා මූලිකයෝ ද රාජ කුමාරයන් ඇතිදැඩි කළ අය ද ජේහු වෙත පණිවුඩයක් යවමින්, ”අපි ඔබේ මෙහෙකරුවෝ ය, ඔබ අපට අණ කරන සියල්ල කරන්නෙමු; කිසිවෙකු රජ කර නොගන්නෙමු. ඔබට යහපත් ව පෙනෙන හැටියට කළ මැනවැ”යි කී හ.
6 එවිට ඔහු දෙ වන වර ඔවුන්ට ලියුමක් ලියා, ”ඔබ මාගේ පක්ෂයට සිට, මාගේ හඬට ඇහුම්කන් දෙන්නහු නම්, ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගේ හිස් රැගෙන හෙට මේ වේලාවට මා වෙත ජෙශ්‍රෙයෙල් නගරයට එන්නැ”යි කියා හැරියේ ය.
රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා වනාහි ඔවුන් ඇතිදැඩි කළ නුවර ප්‍රධානීන් වෙත සිටියෝ ය. 7 තවද, ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්ලා, හැත්තෑදෙනෙකු වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා ජෙශ්‍රෙයෙල්හි ඔහු වෙත යැවුවෝ ය.
8 එවිට පණිවුඩකාරයෙක් අවුත්, ”රජුගේ පුත්‍රයන්ගේ හිස් ගෙනවුත් තිබේ ය”යි ඔහුට දැන්වී ය. ”හෙට වන තුරු ඒවා ගොඩවල් දෙකක් කොට දොරටුව ළඟ තබන්නැ”යි ඔහු කී ය. 9 පසු දා උදෑසන ඔහු පිටතට ගොස් සිටගෙන, මුළු සෙනඟට කතා කොට, ”ඔබ නිර්දෝෂ ය. මම මාගේ ස්වාමියාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ඔහු මැරීමි. එහෙත්, මොවුන් සියල්ලන් මැරුවේ කවරෙක් ද? 10 එබැවින් සමිඳාණන් වහන්සේ ආහබ්ගේ වංශයට විරුද්ධ ව වදාළ තමන්ගේ වචනයෙන් කිසිවක් නිෂ්ඵල නොවන බව දැනගන්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ එලියා ලවා කියෙවූ දේ ඉෂ්ට කළ සේකැ”යි කී ය. 11 මෙසේ ජේහු ජෙශ්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතිරි ව සිටි සියල්ලන් ද ඔහුගේ සියලු ප්‍රධානීන් ද ඔහුගේ කිට්ටු හිතවතුන් ද ඔහුගේ පූජකයන් ද එක් කෙනෙකු වත් ඉතිරි නොකර මැරවී ය.
ජුදාහි කුමරුන් මරාදැමීම
12 ජේහු නැඟිට සමාරියට යන්න පිටත් විය. ඔහු මඟ දී එඬේරුන්ගේ බෙත්-එකෙද් නම් ස්ථානයට ළං ව සිටිය දී, 13 ජුදාහි රජු වන අහසියාගේ සහෝදරයන් ඔහුට සම්බ වී, ”ඔබ කවරහු දැ”යි ඇසී ය. ”අපි අහසියාගේ සහෝදරයෝ ය. රජුගේ පුත්‍රයන්ටත්, බිසවගේ පුත්‍රයන්ටත් ආචාර කරන්න යමු”යි ඔව්හු කී හ. 14 ඔහු ද, ”ඔවුන් පණපිටින් අල්ලාගන්නැ”යි කී ය. ඔව්හු ඔවුන් පණපිටින් අල්ලාගෙන මිනිසුන් සතළිස්දෙදෙනෙකු වන ඔවුන් බෙත්-එකෙද් නම් ළිඳ ළඟ දී මැරූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඔහු ඉතිරි කෙළේ නැත.
ජේහු රජ සහ ජෙහෝනාදාබ්
15 ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමඟට ආ රේකාබ්ගේ පුත් ජෙහෝනාදාබ් සම්බ වී ඔහුට ආචාර කොට, ”මාගේ සිත ඔබේ සිත කෙරේ අවංක ව තිබෙන්නාක් මෙන් ඔබේ සිතත් අවංක දැ”යි ඇසුවේ ය. ජෙහෝනාදාබ්, ”එසේ ය”යි කී විට, ”එසේ නම් මට ඔබේ අත දෙන්නැ”යි ඔහු කීවේ ය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේ ය. 16 එවිට ජේහු තමාගේ රථයට ඔහු නංවාගෙන, කතා කොට, ”සමිඳාණන් වහන්සේ උදෙසා වන මාගේ උද්‍යෝගය බලන්නට මා සමඟ එන්නැ”යි කී ය. මෙසේ ඔව්හු ස්වකීය රථයෙහි ඔහු නංවාගෙන ගියෝ ය. 17 ඔව්හු සමාරියට ආ කල සමිඳාණන් වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගේ පවුලේ ඉතිරි ව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශ වන තුරු මරාදැමූ හ.
බාල් දෙවියා අදහන්නන් මරාදැමීම
18 තවද, ජේහු මුළු සෙනඟ රැස් කර, ඔවුන්ට කතා කොට, ”ආහබ් බාල් දෙවියාට ස්වල්ප වශයෙන් සේවය කෙළේ ය. එහෙත්, ජේහු ඔහුට බොහෝ සෙයින් සේවය කරන්නේ ය. 19 එබැවින් බාල්ගේ සියලු දිවැසිවරුන් ද ඔහු අදහන සියල්ලන් ද සියලු පූජකයන් ද එක් කෙනෙකු වත් නෑර මා වෙත කැඳවාගෙන එන්න. මන්ද, බාල්ට මහා පූජාවක් ඔප්පු කරන්නට මට වුවමනා වී තිබේ. නොඑන සියල්ලෝ ම මරණයට පත් වන්නෝයැ”යි කී ය. එහෙත්, ජේහු බාල් අදහන්නන් නැති කරන පිණිස ප්‍රයෝගයෙන් එසේ කෙළේ ය. 20 තවද, ජේහු, ”බාල් උදෙසා පවත්වන නමස්කාරයට සියලු දෙන රැස්වීම පිණිස නියම කරන්නැ”යි කී ය. ඔව්හු එසේ ප්‍රසිද්ධ කළහ. 21 එසේ ජේහු ඉශ්රායෙල් රට මුළුල්ලේ ම පණිවුඩ යැවූ විට බාල්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙකු වත් නෑවිත් නොසිට, සියල්ලෝ ම බාල්ගේ දේවාලයට ඇතුළු වූ හ. බාල්ගේ දේවාලය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා පිරී ගියේ ය. 22 ඔහු වස්ත්‍ර ගබඩාවේ මුලාදෑනියාට කතා කොට, ”බාල් අදහන සියල්ලන්ට වස්ත්‍ර ගෙනෙන්නැ”යි කීවේ ය. ඔහු ද වස්ත්‍ර ගෙනාවේ ය. 23 ජේහු ද රේකාබ්ගේ පුත් ජෙහෝනාදාබ් ද බාල්ගේ දේවාලයට ගොස්, ”බාල් අදහන සියල්ලන් මිස, මෙහි ඔබ සමඟ සමිඳාණන් වහන්සේගේ සේවකයන් කිසිවෙකු නොසිටින ලෙස සොයා බලන්නැ”යි බාල් අදහන්නන්ට කී ය. 24 ඔව්හු යාග ද දවන පූජා ද ඔප්පු කරන්නට ඇතුළට ගියහ. එවිට ජේහු මිනිසුන් අසූ දෙනෙකු පිටත සිටුවා, ”මා විසින් ඔබ අතට අසු කර දෙනු ලබන මිනිසුන්ගෙන් කිසිවෙකු ගැළවී ගියොත්, ඔහු යන්නට අරින අයගේ ප්‍රාණය ඔහුගේ ප්‍රාණය වෙනුවට දෙන්න වේ ය”යි කියා තිබිණි.
25 තවද, ජේහු දවන යාග පූජාව පුදා නිම කළ කෙණෙහි ම මුරකාරයන්ටත්, ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කතා කොට, ”ඇතුළට ගොස් කාට වත් පිටතට එන්න නෑර ඔවුන් මරන්නැ”යි කී ය. එසේ මුරකාරයෝ ද මුලාදෑනීහු ද කඩුවෙන් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ දේවාලයේ මළුව දක්වාත් ගියෝ ය. 26 තවද, ඔව්හු බාල්ගේ දේවාලයේ ශිලාස්තම්භය පිටතට ගෙනවුත් පුළුස්සාදමා, 27 බාල්ගේ පූජාසනයත් බාල්ගේ දේවාලයත් බිඳ දමා අද දක්වා තිබෙන හැටියට එය වැසිකිළියක් කළහ.
ජේහු රජුගේ පාලනය
28 මෙසේ ජේහු ඉශ්රායෙල්වරුන් අතරෙන් බාල් නැති කරදැමී ය. 29 එසේ නමුත්, බෙතෙල්හි ද දාන්හි ද තිබූ රන් වස්සන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ජේහු ඉවත් නො වී ය. 30 සමිඳාණන් වහන්සේ ජේහුට කතා කොට, ”නුඹ මාගේ ඇස් හමුයෙහි හරි දේ කිරීමෙන් යුතු ලෙස ක්‍රියා කොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳ ගන්නෝ ය”යි වදාළ සේක. 31 එහෙත්, ජේහු තමාගේ මුළු සිතින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්නට ප්‍රවේසම් නො වී ය. ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.
32 එකල්හි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් දේශයේ ප්‍රමාණය කුඩා කරන්නට පටන්ගත් සේක. 33 හසායෙල් ජොර්දාන්ට නැගෙනහිරින් තිබෙන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත් වූ අර්ණොන් මිටියාවත ළඟ වූ අරෝයෙර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත්, රූබන්වරුන්ටත්, මනස්සේවරුන්ටත් පහර දුන්නේ ය.
34 ජේහුගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ සියලු බලවත්කම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 35 ජේහු මියගිය පසු සමාරියෙහි තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෙහෝවාහාස් ඔහු වෙනුවට රජ විය. 36 ජේහු සමාරියෙහි ඉශ්රායෙල්වරුන් පාලනය කළ කාලය විසිඅට අවුරුද්දකි.
– 11 වන පරිච්ඡේදය –
අතලියා රැජිනගේ පාලනය
(2 වංශා: 22:10-23:15)
1 අහසියාගේ මව වූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැඟිට මුළු රාජ වංශය විනාශ කළා ය. 2 එහෙත්, ජෝරාම් රජුගේ දූ වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් රැගෙන ඔහුගේ කිරි මව සමඟ යහන් ගෙයි රහසිගත ව තැබුවා ය. ඔහු මරනු නොලබන ලෙස අතලියාගෙන් ඔහු සඟවන ලදී. 3 ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඈ සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.
4 සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා පණිවුඩ යවා ආරක්ෂක භටයන්ගේ ද රජ මාලිගාවේ මුරකාරයන්ගේ ද ශතාධිපතීන් ගෙන්වා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී තමා ළඟට පමුණුවාගෙන ඔවුන් සමඟ ගිවිසුමක් කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඔවුන්ගෙන් දිවුරුම් ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කතා කොට, 5 ”ඔබ කරන්නට ඕනෑ දේ මේ ය: සබත් දවසේ දී ඇතුළු වන ඔබෙන් තුනෙන් කොටසක් රජ ගෙදර මුරට සිට, 6 තුනෙන් කොටසක් සූර් දොරටුවේ ද, තුනෙන් කොටසක් මුරකාරයන්ට එපිටින් තිබෙන දොරටුවේ ද සිටින්න. මෙසේ මාලිගාව මුරකර ආරක්ෂා කරන්න. 7 ඔබෙන් කොටස් දෙකක් වන සබත් දවසේ දී පිටත යන සියල්ලන් ම රජු ළඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මුරකරන්න. 8 ඔබ එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිට පෙළ කඩාගෙන ඒමට වෑයම් කරන තැනැත්තා මරන්න ආ යුතු ය. රජු යන එන විට ඔබ ඔහු සමඟ සිටින්නැ”යි ඔවුන්ට අණ කෙළේ ය.
9 ශතාධිපතියෝ ජෙහෝයාදා පූජකයා අණ කළ සියල්ල ලෙස කරමින්, එකිනෙකා තම තමාගේ මිනිසුන් එනම්, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් සබත් දවසේ දී පිටත යන තැනැත්තන් ද සමඟ කැඳවාගෙන ජෙහෝයාදා පූජකයා ළඟට ආවෝ ය. 10 පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේ ය. 11 මුරකාරයෝ එක් එක්කෙනා තම තමාගේ අතින් ආයුධ රැගෙන මාලිගාවේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත්, මාලිගාවත් ළඟ රජු වටකර සිටියහ. 12 එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔහුගේ හිස පිට ඔටුන්න තබා ව්‍යවස්ථාව ඔහුට දුන්නේ ය. ඔව්හු රජකමට ඔහු අභිෂේක කොට අත්පොළසන් දී, ”රජතුමා සැරදේ වා”යි කීවෝ ය.
13 අතලියා තොමෝ මුරකාරයන්ගේත්, සෙනඟගේත් ඝෝෂාව අසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටි සෙනඟ ළඟට ආවා ය. 14 ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටින බව ද රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටින බව ද දේශයේ මුළු සෙනඟ ප්‍රීතියෙන් හොරණෑ පිඹින බව ද දැක හිත් වේදනාවෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, ”ද්‍රෝහිකමකි, ද්‍රෝහිකමකි” කියා මොරගැසුවා ය.
15 එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන්ට කතා කොට, ”ඇය මුර භටයන් අතරෙන් පිටතට ගෙන යන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. මන්ද, ”සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඈ මරනු නොලැබේ වා”යි පූජකයා කී ය. 16 මෙසේ ඔව්හු ඈට යන්නට ඉඩ හැරියෝ ය. ඈ රජ ගෙදරට අශ්වයන් ඇතුළු වන මාර්ගයෙන් ගෙන ගිය විට එහි දී මරනු ලැබුවා ය.
ජෙහෝයාදාගේ ප්‍රතිසංස්කරණ
(2 වංශා: 23:16-21)
17 සමිඳාණන් වහන්සේගේ සෙනඟ ව සිටින හැටියට සමිඳාණන් වහන්සේ සහ රජු ද සෙනඟ ද අතර ජෙහෝයාදා තෙමේ ගිවිසුමක් කෙළේ ය; එසේ ම රජු ද සෙනඟ ද අතරේත් ගිවිසුමක් කෙළේ ය; 18 දේශයේ මුළු සෙනඟ බාල්ගේ දේවාලයට ගොස් එය කඩා ඔහුගේ පූජාසනය ද රූප ද මුළුමනින් බිඳදමා, පූජාසනය ඉදිරියෙහි දී බාල්ගේ පූජකයා වූ මත්තාන් මැරුවෝ ය.
පූජක තෙමේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට මුලාදෑනීන් පත් කෙළේ ය. 19 තවද, ඔහු ශතාධිපතීන් ද ආරක්ෂක භටයන් ද මුරකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද පිරිවරා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජ ගෙදරට පැමිණියේ ය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි වාඩි විය. 20 මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ. නුවර ද සාමකාමී ව තිබිණි. 21 ඔව්හු අතලියා රජ ගෙදර දී කඩුවෙන් මැරූ හ.
– 12 වන පරිච්ඡේදය –
ජෙහෝවාෂ් රජුගේ රාජ්‍ය කාලය
(2 වංශා: 24:1-16)
1 ජෙහෝවාෂ් රජ වන විට අවුරුදු සතක් වයස් ව සිටියේ ය. ජේහුගේ සත් වන අවුරුද්දේ දී ජෙහෝවාෂ් රජ වී ජෙරුසලමේ සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි කෙනෙකි. 2 ජෙහෝවාෂ් වනාහි ජෙහෝයාදා පූජකයා විසින් තමාට දැනුමැතිකම් දෙන ලද කාලය මුළුල්ලෙහි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. 3 එහෙත්, කඳු මත පූජාස්ථාන පහ නොකරන ලදී. ඒ කාලයේත් සෙනඟ කඳු මත පූජාස්ථානවල පූජා ඔප්පු කොට සුවඳ දුම් පිදූ හ.
4 ජෙහෝවාෂ් පූජකයන්ට කතා කොට, ”සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද කැප කළ දේවල මිල සියල්ල ද එනම්, එක් එක්කෙනා ගෙවිය යුතු මුදල් ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන යාග පූජා මුදල් ද, 5 පූජකයෝ තම තමන් සේවය කළ අයගෙන් ද අඳුනන්නවුන්ගෙන් ද ගනිත් වා, ඔව්හු ද මාලිගාවේ වුවමනා පරිදි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරත් වා”යි කී ය.
6 එහෙත්, පූජකයන් විසින් ජෙහෝවාෂ් රජුගේ විසිතුන් වන අවුරුද්ද දක්වා මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන ලදී. 7 එවිට ජෙහෝවාෂ් රජ, පූජක වූ ජෙහෝයාදාටත්, අනික් පූජකයන්ටත් හඬගසා, ”ඔබ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන්නේ මන් ද? ඉතින් ඔබ සේවය කරන අයගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරන්න භාර දෙන්නැ”යි කී ය. 8 පූජකයෝ සෙනඟගෙන් තවත් මුදල් නොගන්නටත්, මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන්නටත් එකඟ වූ හ.
9 එහෙත්, පූජක වූ ජෙහෝයාදා පෙට්ටියක් ගෙන පියනේ සිදුරක් සාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන මාර්ගයේ දකුණු පැත්තේ පූජාසනය ළඟ එය තැබී ය. තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනා මුදල් සියල්ල ම දොරටු පාලකයන් වන පූජකයෝ එහි දැමූ හ. 10 පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම් ද නායක පූජකයා ද අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ඒ මුදල් ගණන් කරමින් පසුම්බිවල දමා බැන්දෝ ය. 11 ගණන් කළ ඒ මුදල් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ කළාවූ ද කෙරෙවූවා වූ ද තැනැත්තන් අතට දුන්නෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ කළ වඩුවන්ටත්, ගොඩනඟන්නන්ටත්, 12 පෙදරේරුවන්ටත්, ගල් කපන්නන්ටත් ඒ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමට ලී සහ කැපූ ගල් මිලයට ගන්න පිණිසත්, මාලිගාව අලුත්වැඩියා කිරීමට ඕනෑ කළ සියල්ල පිණිසත් ඒ මුදල් දුන්නෝ ය. 13 එයින්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා රිදී කුසලාන් ද පහන් කතුරු ද තළි ද හොරණෑ ද යම් යම් රන් භාජන හෝ රිදී භාජන ද නොසාදා, 14 ඒ මුදල් වැඩ කළ තැනැත්තන්ට දී එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත් වැඩියා කරවූ හ. 15 තවද, වැඩ කරන්නන්ට දෙන්න මිල භාර දෙනු ලැබූ මිනිසුන් විශ්වාස ලෙස කටයුතු කළ බැවින් ඔවුන්ගෙන් ගණන් තැබීමක් නොගන්න ලදී. 16 අපරාධ පූජා සහ පාප පූජා උදෙසා දුන් මිල සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලදී. ඒ මිල පූජකයන්ට අයිති විය.
17 එකල සිරියාවේ රජ වන හසායෙල් අවුත් ගාත් නගරයට විරුද්ධ ව යුද්ධ කොට එය අල්ලාගෙන, ජෙරුසලමටත් විරුද්ධ ව පහර දෙන්නට තීරණය කරගත්තේ ය. 18 එවිට ජුදාහි රජ වන ජෙහෝවාෂ් තමාගේ පියවරුන් ද ජෙහෝෂාපාට් ද ජෙහෝරාම් ද අහසියා ද යන ජුදාහි රජවරුන් විසින් කැප කරන ලද සියලු ම පඬුරු ද තමාගේ ම පඬුරු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, රජ මැදුරේත් තිබූ සියලු රන් ද රැගෙන සිරියාවේ රජු වන හසායෙල්ට යැවී ය. එවිට ඔහු ජෙරුසලමෙන් ඉවත් ව යන්නට ගියේ ය.
19 ජෝවාෂ්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
20 ඔහුගේ සේවකයෝ නැඟිට කුමන්ත්‍රණය කොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි නිවාසයේ දී ජෙහෝවාෂ් මරාදැමූ හ. 21 ඔහුගේ සේවකයන් වන ෂිමෙයාත්ගේ පුත් ජෝශාකාර් ද ෂොමෙර්ගේ පුත් ජෙහෝශාබාද් ද ඔහුට පහර දී මැරුවෝ ය. ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝ ය. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.
– 13 වන පරිච්ඡේදය –
ජෙහෝවාහාස් රජුගේ රාජ්‍ය කාලය
1 අහසියාගේ පුත් ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ විසිතුන් වන අවුරුද්දේ ජේහුගේ පුත් ජෙහෝවාහාස් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. 2 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින් ඉශ්රායෙල්වරුන්ට පව් කිරීමට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඉවත් නොවී සිටියේ ය. 3 සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඇවිළී ඒ කාලය මුළුල්ලෙහි උන් වහන්සේ සිරියාවේ රජු වන හසායෙල් අතටත්, හසායෙල්ගේ පුත් බෙන්-හදද් අතටත් ඔවුන් පාවා දුන් සේක. 4 එහෙත්, ජෙහෝවාහාස් සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට, සමිඳාණන් වහන්සේ ඔහුට ඇහුම්කන් දුන් සේක. මන්ද, සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට පීඩා කරන විට ඔවුන්ට පැමිණි පීඩාව සමිඳාණන් වහන්සේ දුටු සේක. 5 තවද, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සිරියන්වරුන්ගේ පාලන බලයෙන් නිදහස් වන ලෙස ඔවුන්ට ගැළවුම්කාරයෙකු දුන් සේක. ඉශ්රායෙල් ජනයා පෙර ලෙස තමන්ගේ කූඩාරම්වල වාසය කළෝ ය. 6 එසේ වී නමුත්, ඔව්හු ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ ජෙරොබෝවම්ගේ වංශයේ පාපවලින් ඉවත් නොවී ඒවායෙහි හැසුරුණෝ ය. අෂේරා කප් කණු ද ඒ වන තෙක් සමාරියෙහි තිබිණි.
7 සිරියාවේ රජු ජෙහෝවාහාස්ගේ සේනාවෙන් ඔහුට ඉතිරි කෙළේ, අසරුවන් පණසක් ද රථ දසයක් ද පාබල සෙනඟ දසදහසක් ද පමණකි. මන්ද, ඔහු ඔවුන් විනාශ කොට, ඔවුන් පයින් පාගාදමා දූවිලි මෙන් කෙළේ ය.
8 ජෙහෝවාහාස්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ වික්‍රම ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 9 ජෙහෝවාහාස් ද මියගිය පසු සමාරියෙහි තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෝවාෂ් ඔහු වෙනුවට රජ විය.
ජෝවාෂ් රජුගේ රාජ්‍ය කාලය
10 ජුදාහි රජ ජෝවාෂ්ගේ තිස්හත් වන අවුරුද්දේ දී ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී අවුරුදු දහසයක් රජකම් කෙළේ ය. 11 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹෙවු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු පාපවලින් ඉවත් නොවී ඒවායේ හැසුරුණේ ය. 12 ජෝවාෂ්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ බලවන්තකම් වන ජුදාහි රජ වූ අමශියාට විරුද්ධ ව යුද්ධ කළ හැටි ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 13 ජෝවාෂ් ද මියගියේ ය. ජෙරොබෝවම් ඔහු වෙනුවට රජ විය. ජෝවාෂ් සමාරියෙහි ඉශ්රායෙල් රජුන් සමඟ තැන්පත් කරනු ලැබී ය.
එලිෂාගේ මරණය
14 තමා මරණයට පත් කරන රෝගය එලිෂාට වැළඳුණ විට, ඉශ්රායෙල් රජු වන ජෝවාෂ් ඔහු වෙත ගොස් ඔහු ළඟ සිටගෙන අඬා, ”මාගේ පියාණෙනි, ඉශ්රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවන් මෙන් බලවත් මාගේ පියාණෙනි”යි කී ය.
15 එලිෂා ද, ”දුන්නක් හා ඊගස් ගන්නැ”යි ඔහුට කී ය. ඔහු දුන්න සහ ඊගස් ගත්තේ ය. 16 එලිෂා ”ඔබේ අත දුන්න පිට තබන්නැ”යි ඉශ්රායෙල් රජුට කී ය. ඔහු තම අත තැබී ය. එවිට එලිෂා තමාගේ අත් රජුගේ අත් පිට තබා, 17 ”නැගෙනහිර කවුළුව අරින්නැ”යි කී ය. ඔහු එය ඇරිය පසු, ”දුන්නෙන් විදින්නැ”යි එලිෂා කී ය. ඔහු ද විද්දේ ය. එවිට එලිෂා, ”ඒ සමිඳාණන් වහන්සේගේ ජය ඊගස ය, එනම්, සිරියන්වරුන්ගෙන් ජය ගැනීමේ ඊගස ය. ඔබ සිරියන්වරුන් නැති කරන තුරු, අපෙක්හි දී ඔවුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය.
18 ඔහු ද, ”ඊගස් ගන්නැ”යි කී ය. ඔහු ඒවා ගත් විට, ”ඒවා බිම ගසන්නැ”යි ඔහු ඉශ්රායෙල් රජුට කී ය. ඔහු තුන් වරක් ඒවා බිම ගසා නැවතුණේ ය. 19 එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු කෙරෙහි උදහස් වී, ”ඔබ ඒවා පස් වරක් හෝ හය වරක් හෝ ගසන්නට යුතු ව තිබිණි. එසේ කෙළේ වී නම්, ඔබ සිරියන්වරුන් විනාශ වන තුරු ඔවුන්ට පහර දෙනු ඇත. එහෙත්, දැන් ඔබ තුන් වරක් පමණක් සිරියන්වරුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය.
20 එලිෂා මියගොස් තැන්පත් කරනු ලැබී ය. ඊළඟ අවුරුද්දේ මෝවබ්වරුන්ගේ හමුදා දේශයට ඇතුළු වූ හ. 21 මිනිසුන් මිනියක් වළලන්නට යන විට හමුදාවක් දැක එලිෂාගේ සොහොන් ගෙයි ඒ මිනිය දැමූ හ. ඒ මිනිය එලිෂාගේ ඇටවල තැවරුණු හැටියේ ම පණ ලැබ නැඟිට සිටියේ ය.
සිරියන්වරුන්ගේ පරාජය
22 සිරියාවේ රජ වූ හසායෙල් ජෙහෝවාහාස්ගේ මුළු කාලයෙහි ඉශ්රායෙල්වරුන්ට පීඩා කෙළේ ය. 23 එහෙත්, සමිඳාණන් වහන්සේ ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණා කොට ඔවුන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන් සැලකූ සේක. උන් වහන්සේ ඔවුන් නැති කරන්නට අකමැති ව ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් ඉවත නොදමා සිටි සේක.
24 සිරියාවේ රජ වූ හසායෙල් මළේ ය. ඔහුගේ පුත් බෙන්-හදද් ඔහු වෙනුවට රජ විය. 25 ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් තමාගේ පිය වූ ජෙහෝවාහාස් අතින්, හසායෙල් විසින් යුද්ධ කොට අල්ලා ගනු ලැබූ නගර ඔහුගේ පුත්‍රයා වූ බෙන්-හදද් අතින් නැවත අල්ලාගත්තේ ය. ජෝවාෂ් තුන් වරක් ඔහුට පහර දී ඉශ්රායෙල් නගර ආපසු අල්ලාගත්තේ ය.
– 14 වන පරිච්ඡේදය –
අමශියාගේ රාජ්‍ය පාලනය
(2 වංශා: 25:1-24)
1 ඉශ්රායෙල් රජු වන ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ්ගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෙහෝවාෂ්ගේ පුත් අමශියා රජ විය. 2 විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙහෝයද්දින් ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි. 3 අමශියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, ඔහු තමාගේ පිය වූ දාවිත් මෙන් නො වී ය. තම පිය වූ ජෝවාෂ් කළ සියල්ල ලෙස ඔහු කෙළේ ය. 4 එසේ වී නමුත්, ගිරිකුළු දේවාල ඉවත් නොකරන ලදී. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල පූජා කොට සුවඳ ද්‍රව්‍ය පිදූ හ.
5 තවද, රජකම ඔහු අතේ ස්ථිර වූ කෙණෙහි ම ඔහු තමාගේ පිය රජු මැරූ තමාගේ නිලධාරීන් මැරී ය. 6 එහෙත්, ‘දරුවන් නිසා පියවරු වත්, පියවරුන් නිසා දරුවෝ වත් මරනු නොලබත් වා, එක් එක්කෙනා තම තමාගේ ම පාපය නිසා මරනු ලැබේ වා’යි සමිඳාණන් වහන්සේ අණ කර වදාළ පරිදි, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන ලෙස, ඔහු ඒ මිනීමරුවන්ගේ දරුවන් නොමැරී ය.
7 ඔහු ‘ලුණු’ මිටියාවතේ දී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධ කොට සේලා අල්ලාගෙන, අද දක්වා තිබෙන හැටියට ඊට ජොක්තෙයෙල් යන නම තැබී ය.
8 එකල අමශියා දූතයන් යවමින්, ”එන්න, අපි දෙදෙන මුණගැසෙමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාහාස්ගේ පුත්‍ර ඉශ්රායෙල් රජු වන ජෙහෝවාෂ්ට කියා යැවී ය. 9 ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් උත්තර දෙමින්, ” ‘ඔබේ දුව මාගේ පුතාට භාර්යාව කොට දෙන්න’ කියා ලෙබනොන්හි වූ කටු පඳුර වැනි සුළු තැනැත්තා ලෙබනොන්හි වූ කිහිරි ගස වැනි උතුම් තැනැත්තාට කියා යැවී ය. එහෙත්, ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු පඳුර පාගාදැමුවේ ය. 10 ඔබ හිස උදුම්වාගෙන ඒදොම්වරුන්ට පහර දුන් බව සැබෑ ය. ඔබේ සිත ද උඩඟු වී තිබේ. ඒ ගෞරවය ඔබට සෑහේ. දැන් ඉතින් ගෙදර නවතින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජු වන අමශියාට කියා යැවී ය.
11 එහෙත්, අමශියා ඇහුම්කන් දුන්නේ නැත. ඒ නිසා ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් පහර දෙන්න ගියේ ය. ඔහු ද ජුදාහි රජ වන අමශියා ද ජුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හි දී එකිනෙකාට මුණගැසුණෝ ය. 12 ජුදාවරු ඉශ්රායෙල්වරුන්ට පරාජය වී සියල්ලෝ ම තම තමන්ගේ කූඩාරම්වලට පලා ගියහ. 13 ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් අහසියාගේ පුත් ජෙහෝවාෂ්ගේ පුත්‍රයා වන ජුදාහි රජ වන අමශියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන ජෙරුසලමට අවුත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා ජෙරුසලමේ පවුරෙන් මීටර් දෙසියයක් බිඳදමා, 14 සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරේ ගබඩාවලත් තිබූ රන් රිදී සියල්ල ද භාජන සියල්ල ද ඇපකාරයන් ද රැගෙන ආපසු හැරී සමාරියට ගියේ ය.
15 ජෙහෝවාෂ් කළ අනික් ක්‍රියා ද ඔහුගේ වික්‍රම ද ඔහු ජුදාහි රජ වූ අමශියාට විරුද්ධ ව යුද්ධ කළ හැටි ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 16 ජෙහෝවාෂ් ද මියගිය පසු සමාරියෙහි ඉශ්රායෙල් රජුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෙරොබෝවම් ඔහු වෙනුවට රජ විය.
අමශියාගේ අවසානය
(2 වංශා: 25:25-28)
17 ජෙහෝවාහාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝවාෂ්ගේ මරණයෙන් පසු ජෝවාෂ්ගේ පුත් ජුදයේ රජ වන අමශියා අවුරුදු පහළොවක් ජීවත් විය. 18 අමශියාගේ අනෙක් ක්‍රියා ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
19 මිනිසුන් ඔහුට විරුද්ධ ව ජෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළහ. ඔහු ලාකීෂ් නම් ස්ථානයට පලා ගියේ ය. එහෙත්, ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහි දී ඔහු මරා 20 අශ්වයන් පිට තබා ගෙනවුත්, ජෙරුසලමෙහි දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ තැන්පත් කළෝ ය. 21 එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් ව සිටි උශ්ශියා කැඳවාගෙන ඔහුගේ පියා වූ අමශියා වෙනුවට රජකමට පත් කළෝ ය. 22 රජු මියගිය පසු ඔහු ඒලත් ගොඩනඟා එය ජුදා රටට නැවත අයිති කරගත්තේ ය.
දෙ වන ජෙරොබෝවම්ගේ රාජ්‍ය කාලය
23 ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ පුත් අමශියාගේ පසළොස් වන අවුරුද්දේ දී ඉශ්රායෙල් රජ වූ ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් සමාරියෙහි රජ වී සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය. 24 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹෙවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු පාපවලින් ඔහු අහක් නො වී ය. 25 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ, ගාත්-හෙපෙර්හි දිවැසිවර අමිත්තයිගේ පුත් ජෝනා ලවා කියෙවූ වචනය ලෙස හමාත් දුර්ගයට ඇතුල් වන තැන පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්රායෙල්වරුන්ගේ දේශ සීමාව ඔහු නැවත ලබාගත්තේ ය.
26 මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතල බවත්, දාසයන් ද නිර්දාසයන් ද නැති වී ගිය බවත්, ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන්නට කෙනෙකු නැති බවත් සමිඳාණන් වහන්සේ දුටු සේක. 27 තවද, ඉශ්රායෙල් යන නාමය මිහි පිටින් මකා දමන බව සමිඳාණන් වහන්සේ නොවදාළ සේක. එබැවින් උන් වහන්සේ ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ලවා ඔවුන් මුදාගත් සේක.
28 ජෙරොබෝවම්ගේ අනික් ක්‍රියාත්, ඔහු කළ සියල්ලත්, ඔහුගේ වික්‍රම එනම්, ඔහු යුද්ධ කළ හැටිත්, ජුදාට අයිති ව තිබූ දමස්කය ද හමාත් ද ඔහු නැවත ඉශ්රායෙල්වරුන්ට ලබාගත් හැටිත් ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 29 ජෙරොබෝවම් ද මියගියේ ය. ඔහුගේ පුත් සෙකරියා ඔහු වෙනුවට රජ විය.
– 15 වන පරිච්ඡේදය –
උශ්ශියාගේ රාජ්‍ය කාලය
(2 වංශා: 26:1-23)
1 ඉශ්රායෙල් රජු වන ජෙරොබෝවම්ගේ විසිහත් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන අමශියාගේ පුත් උශ්ශියා රජ විය. 2 දහසය අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමේ පණස්දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙකොලියා ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි. 3 තමාගේ පිය වූ අමශියා කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. 4 එසේ වුවත්, දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ දේවාලවල පූජා කොට සුවඳ ද්‍රව්‍ය පිදූ හ.
5 සමිඳාණන් වහන්සේ රජුට පහර දුන් සේක. ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨ රෝගියෙකු ව, වෙන ම ගෙයක වාසය කෙළේ ය. රජුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.
6 උශ්ශියාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 7 ඔහු මියගිය පසු දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය.
ශෙකරියාගේ රාජ්‍ය කාලය
8 ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්අට වන අවුරුද්දේ දී ජෙරොබෝවම්ගේ පුත් ශෙකරියා සමාරියේ ඉශ්රායෙල්හි හය මාසයක් රජකම් කෙළේ ය. 9 ඔහු තමාගේ පියවරුන් කළ පරිදි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඉවත් නො වී ය. 10 ජාබෙශ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට සෙනඟ ඉදිරියේ ඔහුට පහර දී මරා, ඔහු වෙනුවට රජ විය.
11 ශෙකරියාගේ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ. 12 මෙය වනාහි ‘නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නෝ ය”යි සමිඳාණන් වහන්සේ ජේහුට වදාළ වචනය වේ. එය එලෙස ම සිදු විය.
ෂල්ලුම්ගේ රාජ්‍ය කාලය
13 ජාබෙෂ්ගේ පුත් ෂල්ලුම් ජුදාහි රජ වන උශ්ශියාගේ තිස්නව වන අවුරුද්දේ දී රජ වී මාසයක් සමාරියෙහි රජකම් කෙළේ ය.
14 එවිට ගාදීගේ පුත් මෙනහෙම් තිර්ශා සිට පිටත් වී සමාරියට අවුත් ජාබෙශ්ගේ පුත් ෂල්ලුම්ට සමාරියේ දී පහර දී ඔහු මරා, ඔහු වෙනුවට රජ විය. 15 ෂල්ලුම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ කුමන්ත්‍රණය ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ. 16 එකල මෙනහෙම් තිප්සාටත්, එහි සිටි සියල්ලන්ටත්, තිර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේ ය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහර දී එහි සිටි සියලු ගර්භණීන් දෙපළු කරදැමී ය.
මෙනහෙම්ගේ රාජ්‍ය කාලය
17 ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්නව වන අවුරුද්දේ දී ගාදීගේ පුත් මෙනහෙම් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ දස අවුරුද්දක් රජකම් කෙළේ ය. 18 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු තමාගේ සියලු දවස්වල ඉවත් නොවී සිටියේ ය. 19 අසිරියාවේ රජ වූ පූල් දේශය ආක්‍රමණය කෙළේ ය. මෙනහෙම් ද රාජ බලය තමා අතේ තහවුරු කරගැනීමට, පූල් තමාට උදව් වන පිණිස රිදී කිලෝග්‍රෑම් තිස්හතරදහසක් ඔහුට දුන්නේ ය. 20 මෙනහෙම් තෙමේ අසිරියාවේ රජුට දෙන පිණිස එක් එක්කෙනාගෙන් රිදී කාසි පණහක් බැගින් ඉශ්රායෙල්හි සියලු පොහොසත් බලවතුන්ගෙන් අය කෙළේ ය. එවිට අසිරියාවේ රජ දේශයේ නොනැවතී හැරී ගියේ ය.
21 මෙනහෙම් අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 22 මෙනහෙම් ද මියගිය පසු ඔහුගේ පුත් පෙකහියා ඔහු වෙනුවට රජ විය.
පෙකහියාගේ රාජ්‍ය කාලය
23 ජුදාහි රජ වූ උශ්ශියාගේ පණස් වන අවුරුද්දේ දී මෙනහෙම්ගේ පුත් පෙකහියා සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දෑවුරුද්දක් රජකම් කෙළේ ය. 24 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය. 25 ඔහුගේ අශ්ව රථාධිපතියා වන රෙමලියාගේ පුත් පෙකා, ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මිනිසුන් පණස්දෙනෙකුත් කැඳවාගෙන අවුත්, සමාරියෙහි රජවාසලේ බලකොටුවේ දී ඔහු මරා ඔහු වෙනුවට රජ විය.
26 පෙකහියාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
පෙකාගේ රාජ්‍ය කාලය
27 ජුදාහි රජු වන උශ්ශියාගේ පණස් දෙ වන අවුරුද්දේ දී රෙමලියාගේ පුත් පෙකා සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී විසි අවුරුද්දක් රජකම් කෙළේ ය. 28 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.
29 ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.
30 උශ්ශියාගේ පුත් ජෝතාම්ගේ විසි වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා රෙමලියාගේ පුත් පෙකාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට, ඔහුට පහර දී මරා ඔහු වෙනුවට රජ විය. 31 පෙකාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
ජෝතාම්ගේ රාජ්‍ය කාලය
(2 වංශා: 27:1-9)
32 රෙමලියාගේ පුත් ඉශ්රායෙල්හි රජු වන පෙකාගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ උශ්ශියාගේ පුත් ජෝතාම් රජ විය. 33 විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි. 34 ජෝතාම් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කරමින් තමාගේ පියා වූ උශ්ශියා කළ සියල්ල ලෙස කෙළේ ය. 35 එහෙත්, ගිරිකුළු දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල සුවඳ ද්‍රව්‍ය පිදූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහු ය.
36 ජෝතාම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 37 ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේ සිරියාවේ රජ වූ රෙශින් ද රෙමලියාගේ පුත් පෙකා ද ජුදාට විරුද්ධ ව සටනට යවන්න පටන්ගත් සේක. 38 ජෝතාම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජ විය.
– 16 වන පරිච්ඡේදය –
ආහාස්ගේ රාජ්‍ය කාලය
(2 වංශා: 28:1-27)
1 රෙමලියාගේ පුත් පෙකාගේ දහහත් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෝතාම්ගේ පුත් ආහාස් රජ විය. 2 ආහාස් විසි අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු තමාගේ පිය වූ දාවිත් මෙන් නොව තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ නොකර, 3 ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි ගමන්කර සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ විජාතීන්ගේ පිළිකුල් සිරිත් ලෙස තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය. 4 ඔහු ගිරිකුළු දේවාලවලත්, හෙල් පිටත්, සියලු අතු පතර ඇති ගස් යටත් පූජා ඔප්පු කොට සුවඳ ද්‍රව්‍ය පිදී ය.
5 එකල සිරියාවේ රජ වන රෙශින් ද රෙමලියාගේ පුත් ඉශ්රායෙල් රජ වන පෙකා ද යුද්ධ කරන පිණිස ජෙරුසලමට අවුත් ආහාස් වැටලූ නමුත්, ඔහු පරදවන්නට අපොහොසත් වූ හ. 6 ඒ කාලයේ දී සිරියාවේ රජ වන රෙශින්, ඒලත් දේශය නැවත සිරියාවට ලබාගෙන ජුදාවරුන් ඒලත් කෙරෙන් පහකරදැමී ය. සිරියන්වරු ඒලත්ට අවුත් අද වන තුරු එහි වසති. 7 එකල ආහාස් අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් වෙත දූතයන් යවා, ”මම ඔබේ මෙහෙකරුවා ය; ඔබේ පුත්‍රයා ය. ඔබ අවුත් මට විරුද්ධ ව නැඟිට සිටින සිරියාවේ රජුන්ගේ අතිනුත්, ඉශ්රායෙල් රජුන්ගේ අතිනුත් මා ගැළවුව මැනව”යි කියා යැවී ය. 8 තවද, ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අසිරියාවේ රජුට තෑග්ගක් වශයෙන් යැවී ය. 9 අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.
10 ආහාස් රජ අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් සම්බ වන්න දමස්කයට ගොස් දමස්කයේ තිබුණු පූජාසනය දැක, පූජාසනයේ සියලු වැඩවල හරි සැලැස්මක් ද එහි දිග පළල ආදිය ද උරියා පූජකයාට එවී ය. 11 උරියා පූජක තෙමේ පූජාසනය ගොඩනැඟුවේ ය. ආහාස් රජ දමස්කයෙන් එවූ සියල්ලේ හැටියට උරියා පූජක තෙමේ ආහාස් රජ දමස්කයෙන් එන්නට පෙර එය සෑදුවේ ය. 12 රජ දමස්කයෙන් අවුත්, ඒ පූජාසනය දැක, ඊට ළං ව ඒ මත පූජා කෙළේ ය. 13 ඔහු තමාගේ දවන යාග පූජාවත්, ආහාර පූජාවත් පුදා, තමාගේ පානීය පූජාව වත් කොට තමාගේ සහභාගිකමේ පූජාවල ලේ පූජාසනය මත ඉස්සේ ය. 14 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ ලෝකඩ පූජාසනය වූ කලී මාලිගාව ඉදිරියෙන් එනම්, තමාගේ පූජාසනයටත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ එය තැබිණි. 15 ආහාස් රජ පූජකයා වූ උරියාට අණ කරමින්, ”උදේ දවන යාග පූජාවත්, සවස ආහාර පූජාවත්, රජුගේ යාග පූජාවත්, ඔහුගේ ආහාර පූජාවත්, දේශයේ මුළු සෙනඟගේ දවන යාග පුජාවත්, සවස ඔවුන්ගේ ආහාර පූජාවත්, ඔවුන්ගේ පානීය පූජාවලුත් මහා පූජාසනය මත දවා, දවන යාග පූජාවේ සියලු ලේත්, පූජාවේ සියලු ලේත් එය මත ඉසින්න. ලෝකඩ පූජාසනය වනාහි මාගේ පේන කීම පිණිස වන්නේ ය”යි කී ය. 16 ආහාස් රජු අණ කළ සියල්ල පූජක වන උරියා ඉටු කෙළේ ය.
17 තවද, ආහාස් රජ අසිරියාවේ රජු නිසා මැසිවල පනේල කපාදමා ඒවා උඩ තිබූ භාජනය අහක් කෙළේ ය. ලෝකඩ බඳුන යට තිබූ ගව රූප අටෙන් ලෝකඩ බඳුන බස්වා ගල් ඇල්ලූ බිමක තැබී ය. 18 සබත් දවසේ යාම පිණිස මාලිගාවෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගය ද රජුට ඇතුළු වීමට තිබුණ බාහිර ස්ථානය ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව දෙසට හරවා තැබී ය.
19 ආහාස් කළ අනෙක් ක්‍රියා ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 20 ආහාස් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය.
– 17 වන පරිච්ඡේදය –
හෝෂෙයාගේ රාජ්‍ය පාලනය
1 ජුදාහි රජ වූ ආහාස්ගේ දොළොස් වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී නව අවුරුද්දක් රජකම් කෙළේ ය. 2 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. එහෙත්, තමාට පළමුවෙන් සිටි ඉශ්රායෙල් රජවරුන් මෙන් නො වී ය. 3 අසිරියාවේ රජ වූ ෂල්මනෙසර් ඔහුට විරුද්ධ ව ආයේ ය. හෝෂෙයා ඔහුට මෙහෙකරු වී කප්පම් දුන්නේ ය. 4 එහෙත්, හෝෂෙයා මිසරයේ සෝ නම් රජු ළඟට දූතයන් යැවූ නිසාත්, අවුරුදුපතා කළ සැටියට අසිරියාවේ රජුට කප්පම් ගෙනවුත් නුදුන් නිසාත් ඔහු කුමන්ත්‍රණය කළ බව අසිරියාවේ රජ දැන ගෙන ඔහුට විළංගු ලා හිර අඩස්සි කෙළේ ය.
සමාරියේ වැටීම
5 එවිට අසිරියාවේ රජ දේශය මුළුල්ලෙහි ගොස් සමාරියට පැමිණ, තුන් අවුරුද්දක් එය වටලාගෙන සිටියේ ය. 6 තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය.
7 එසේ වූයේ, ඉශ්රායෙල් ජනයා පාරාවෝ රජුගේ බලයෙන් නිදහස් කොට මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරමින් වෙන දෙවිවරුන්ට බිය ව, 8 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව ද හැසුරුණු නිසා ය. 9 තවද, ඉශ්රායෙල් ජනයා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අයුතු දේවල් රහසින් කරමින්, මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නගර දක්වා තමන්ගේ හැම නගරයක ගිරිකුළු දේවාල සාදාගෙන, 10 උස් වූ සියලු හෙල් පිට ද සියලු අතු පතර ඇති විශාල ගස් යට ද රූපස්තම්භ සහ අෂේරා කප් කණු පිහිටුවාගෙන, 11 ඔවුන් ඉදිරියෙන් සමිඳාණන් වහන්සේ ගෙන ගිය විජාතීන් කළ පරිදි ඒ සියලු ගිරිකුළු දේවාලවල සුවඳ දුම් ඔප්පු කළෝ ය. සමිඳාණන් වහන්සේ උදහස් කරන අන්දමේ නපුරු දේවල් ද කළෝ ය. 12 ‘රූපවලට වැඳුම්පිදුම් නොකරන්නැ’යි සමිඳාණන් වහන්සේ ඔවුන්ට වදාළ නමුත් ඔව්හු ඒ දේ කළෝ ය.
13 එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, ”නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක. 14 එහෙත්, ඔව්හු සවන් නො දී, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොඇදහු ඔවුන්ගේ පියවරුන් මුරණ්ඩු වූ ලෙස තමන්ගේ මුරණ්ඩුකම් වැඩිකරගෙන, 15 උන් වහන්සේගේ පණත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය. 16 ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තු කළ පිළිම වන වස්සන් දෙදෙනෙකු ද අෂේරා කප් කණු ද සාදා ගෙන ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින්, බාල් දෙවියාට සේවය කළෝ ය. 17 ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ. 18 ඒ නිසා සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස් වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළ සේක. ඉතිරි වූයේ ජුදා ගෝත්‍රය පමණකි.
19 ජුදාවරුත් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා රක්ෂා නොකොට, ඉශ්රායෙල්වරුන් සාදාගත් පණත් ලෙස හැසුරුණෝ ය. 20 සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල් වංශය අත්හැර ඔවුන්ට පීඩා කොට ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් ඉවත්කර දමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. 21 එසේ වූයේ, උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් දාවිත්ගේ වංශයෙන් වෙන් කළ බැවින් ඔව්හු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජ කොට පත් කරගත්තෝ ය. ජෙරොබෝවම් සමිඳාණන් වහන්සේ වෙතින් ඉශ්රායෙල්වරුන් බැහැර කොට ඔවුන් බරපතල පාපයන්ට පෙළඹී ය. 22 මෙසේ සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු මෙහෙකරුවන් දිවැසිවරුන් ලවා කියෙවූ ලෙස ඉශ්රායෙල් ජනයා තමන්ගේ ඇස් හමුයෙන් පහකරන තෙක්, ඔව්හු ජෙරොබෝවම් කළ සියලු ම පාපවලින් ඉවත් නොවී, ඒවායෙහි හැසුරුණෝ ය. 23 මෙසේ ඉශ්රායෙල්වරු තමන්ගේ දේශයෙන් අසිරියාවට ගෙනයන ලදුව අද දක්වා එහි සිටිති.
සමාරීය ජාතියේ පටන්ගැන්ම
24 අසිරියාවේ රජ බබිලෝනියෙන් ද කුතාවෙන් ද අව්වායෙන් ද හමාතෙන් ද සෙපර්වයිමෙන් ද මිනිසුන් ගෙනවුත්, ඉශ්රායෙල් ජනයා වෙනුවට සමාරියේ නගරවල පදිංචි කරවී ය. ඔව්හු සමාරිය හිමි කරගෙන එහි නගරවල වාසය කළෝ ය. 25 ඔව්හු එහි වාසය කරන්න පටන්ගන්න කල සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව නොසිටියෝ ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ සේක. ඒ සත්තු ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරූ හ. 26 එබැවින් ඔව්හු අසිරියාවේ රජුට කතා කොට, ”ඔබ ගෙනවුත් සමාරියේ නුවරවල පදිංචි කරවූ ජාතීහු ඒ දේශයේ දෙවියන් නමදින අන්දම නොදනිති. ඒ නිසා උන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් එවූ සේක. ඔවුන් දේශයේ දෙවියන් නමදින අන්දම නොදන්න නිසා සිංහයෝ ඔවුන් මරති”යි කී හ. 27 එවිට අසිරියාවේ රජ අණ කරමින්, ”ඔබ එතැනින් ගෙනා පූජකයන්ගෙන් එක් කෙනෙකු එහි කැඳවාගෙන යන්න. ඔහු ගොස් එහි වාසය කරමින් ඒ දේශයේ දෙවියන් නමදින අන්දම ඔවුන්ට උගන්වා දේ වා”යි කී ය. 28 මෙසේ ඔවුන් සමාරියෙන් ගෙන ගිය පූජකයන්ගෙන් එක් කෙනෙක් අවුත් බෙතෙල්හි වාසය කොට, සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පෑ යුතු අන්දම ඔවුන්ට ඉගැන්වී ය.
29 එසේ වුවත්, ඒ ඒ ජාතීහු තම තමන්ගේ දෙවිවරුන් සාදාගෙන, ඒ ඒ ජාතීන් විසූ නගරවල තිබූ ගිරිකුළු දේවාලවල ඒවා තැබූ හ. 30 එසේ බබිලෝනියේ මිනිස්සු සුක්කොත්-බෙනොත් ද කුත්හි මිනිස්සු නේර්ගල් ද හමාත්හි මිනිස්සු අෂිමා ද 31 අව්විවරු නිබ්හාස් ද තර්තාක් ද යන දෙවිවරුන් සෑදුවෝ ය. සෙපර්වීවරු ද සෙපර්වයිමේ දෙවිවරුන් වන අද්‍රම්මෙලෙක්ට සහ අනම්මෙලෙක්ට පූජා කරනු සඳහා තමන්ගේ දරුවන් ගින්නෙන් දැවූ හ. 32 ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් ගිරිකුළු දේවාලවල ඔවුන් උදෙසා පූජා කරන පිණිස තමන් අතරෙන් ගිරිකුළු දේවාලවල පූජකයන් පත් කරගත්හ. 33 ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව තමන් අත්හැර පැමිණි ඒ විජාතීන්ගේ වත්පිළිවෙත් අනුව තමන්ගේ දෙවිවරුන්ට සේවය කළෝ ය.
34 අද දක්වා ඔව්හු පැරණි විධිවිධාන ලෙස කරති. ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව නොසිටියහ, උන් වහන්සේගේ නියෝග ද පණත් ද ලෙස නොකළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් යන නම තැබූ ජාකොබ්ගේ දරු පරපුරට අණ කළ උන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ද ආඥාවේ ද හැටියට නොකළහ. 35 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා සමඟ ගිවිසුමක් කරමින්, ”අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොදක්වා ඔවුන්ට නමස්කාර නොකොට, සේවය නොකොට, පූජා නොකොට, 36 මහා බාහු බලයෙන් මිසර දේශයෙන් නුඹලා ගෙනා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වා, උන් වහන්සේට ම නමස්කාර කොට උන් වහන්සේට ම පූජා කරන්න. 37 අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා, උන් වහන්සේ ලියා දුන් නියෝග ද පණත් ද ව්‍යවස්ථා ද ආඥා ද සෑම කල්හි ම පවත්වන්නට බලාගන්න. 38 මා නුඹලා සමඟ කළ ගිවිසුම මතක නැති නොකරන්න. වෙන දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා, 39 නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටින්න. උන් වහන්සේ නුඹලාගේ සියලු සතුරන් අතින් නුඹලා ගළවනු ඇතැ”යි වදාළ සේක. 40 එසේ වී නමුත්, ඔව්හු සවන් නො දී තමන්ගේ පැරණි විධිවිධාන ලෙස කළහ.
41 මෙසේ මේ විජාතීහු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් තමන්ගේ රූපවලට සේවය කළහ. එලෙසම ඔවුන්ගේ දරුවෝ ද දරුවන්ගේ දරුවෝ ද තමන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කරති.
– 18 වන පරිච්ඡේදය –
හෙසකියාගේ රාජ්‍ය පාලනයේ පටන්ගැන්ම
(2 වංශා: 29:1-2; 31:1)
1 ඒලාගේ පුත් ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ තුන් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ආහාස්ගේ පුත් හෙසකියා රජ විය. 2 විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී විසිනව අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අබි ය. ඈ සෙකරියාගේ දුවකි.
3 ඔහුගේ පිය වූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. 4 ඔහු ගිරිකුළු දේවාල පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කප් කණු කපාදමා, මෝසෙස් විසින් සාදන ලද ලෝකඩ සර්පයා ද කැබැලි කොට දැමී ය. ඒ දවස් දක්වා ඉශ්රායෙල් ජනයා ඊට සුවඳ දුම් ඔප්පු කළහ. ඔහු ඊට නෙහුෂ්තාන් යයි නම තැබී ය. 5 ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේ ය. ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසු වත්, ඔහුට පෙර වත් ජුදාහි සියලු රජුන් අතරේ නොසිටියේ ය. 6 ඔහු සමිඳාණන් වහන්සේට ඇළුම් ව සිට උන් වහන්සේ අනුව යාම අත් නොහැර, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ උන් වහන්සේගේ ආඥා රක්ෂා කෙළේ ය. 7 සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය. 8 ගාසා සහ එහි සීමාවන් දක්වා ද මුරකොටුව පටන් පවුරු සහිත නගරය දක්වා ද පිලිස්තිවරුන්ට පහර දුන්නේ ඔහු ය.
සමාරියේ වැටීම සිහි කිරීමක්
9 ඒලාගේ පුත් ඉශ්රායෙල් රජ වූ හෝෂෙයාගේ සත් වන අවුරුද්ද වන හෙසකියා රජුගේ සතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ ෂල්මනෙසෙර් සමාරියට විරුද්ධ ව අවුත් එය වටලාගෙන, 10 තුන් අවුරුද්දකට පසු එය අල්ලාගත්තේ ය. ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ නව වන අවුරුද්ද වන හෙසකියාගේ හය වන අවුරුද්දේ දී සමාරිය අල්ලාගන්න ලද්දේ ය. 11 අසිරියාවේ රජ ද ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන්හි ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නගරවල ද පදිංචි කරවී ය.
12 මෙසේ සිද්ධ වූයේ, ඔවුන් තම දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේගේ ගිවිසුම වන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් අණ කළ සියල්ල කඩ කළ නිසා ය. ඔව්හු ඒවා අසන්නට වත්, කරන්නට වත් නොකැමැති වූ හ.
සෙනකෙරිබ් රජුගේ ආක්‍රමණය
(2 වංශා: 32:1-19; යෙසා: 36:1-22)
13 හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ සෙනකෙරිබ් ජුදාහි රජවරුන්ගේ නගරවලට විරුද්ධ ව අවුත් ඒවා අල්ලාගත්තේ ය. 14 එවිට ජුදාහි රජු වන හෙසකියා, ”මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගිය මැනව. ඔබ මට පවරන හැම දෙයක් ම භාර ගනිමි”යි ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා යැවී ය. අසිරියාවේ රජ ද රිදී කිලෝග්‍රෑම් දසදහසක් ද රන් කිලෝග්‍රෑම් දහසක් ද දෙන්නට ජුදාහි රජ වූ හෙසකියාට නියම කෙළේ ය. 15 හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබූ රිදී සියල්ල ඔහුට දුන්නේ ය. 16 ඒ කාලයෙහි හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටුවලින් ද ජුදාහි රජ වූ හෙසකියා රනින් වැසූ කුළුණුවලින් ද රන් ඉවත් කරගෙන ඒවා අසිරියාවේ රජුට දුන්නේ ය.
තානාපති සේවයක්
17 එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ. 18 එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය. 19 එවිට රබ්-ෂාකේ ඔවුන්ට කතා කොට, ”අසිරියාවේ රජු වන මහා රජතුමාණෝ මෙසේ කියන්නාහ: ‘ඔබ කුමක් කෙරෙහි විශ්වාසය තබන්නහු ද? 20 යුද බලය හා ශූරතාව වෙනුවට හිස් දඬුවම් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? එහෙත්, ඒවා හිස් වචන වේ. ඉතින් ඔබ මට විරුද්ධ ව කැරලි ගැසුවේ කවරෙකු කෙරෙහි විශ්වාස කරගෙන ද? 21 මෙන්න, ඔබ විශ්වාස කරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහි ය. යමෙකු ඊට බර වුණොත් එය ඔහුගේ අතට ඇනී හිල් වෙයි. මිසරයේ රජු වන පාරාවෝ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට ඔහු එලෙස කරන්නේ ය.
22 ‘එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු යයි ඔබ හැම සමහර විට මට කියනු ඇත. එහෙත්, ඔබ හැම ජෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාර කළ යුතු යයි ජුදාවරුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කියා හෙසකියා උන් වහන්සේගේ කඳු මත පූජාස්ථාන ද පූජාසන ද පහකර දැමුවා නොවේ ද? 23 ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. 24 එසේ ඔබට බැරි නම්, ඔබ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එලවාදමන්නේ කෙසේ ද? අශ්ව රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාසය තබා සිටින්නහු ද? 25 මා දැන් මේ ස්ථානය විනාශ කරන්නට ඊට විරුද්ධ ව ආවේ සමිඳාණන් වහන්සේ නැතිව ද? මේ දේශයට විරුද්ධ ව ගොස් එය විනාශ කරන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක’ කියා ඔබ හැම හෙසකියාට කියන්නැ”යි කී ය.
26 එකල හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, ”පවුර පිට සිටින සෙනඟට ඇසෙන්නට ජුදෙව් භාෂාවෙන් අපට කතා නොකොට, ඔබේ මෙහෙකරුවන් වන අපට සිරියන් භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කතා කළ මැනවැ”යි කී හ.
27 එහෙත්, රබ්-ෂාකේ ඔවුන්ට උත්තර දෙමින්, ”මාගේ ස්වාමියා මේ වචන කියන්නට මා එවුවේ, ඔබේ ස්වාමියා හා ඔබ ළඟට ද? නොහොත් පවුර පිට සිටින මනුෂ්‍යයන් ඔබ සමඟ තමන්ගේ අශූචි කන පිණිසත්, තමන්ගේ මුත්‍රා බොන පිණිසත් ඔවුන් ළඟට නොවේ දැ”යි කී ය.
28 එවිට රබ්-ෂාකේ සිටගෙන ජුදෙව් භාෂාවෙන් මහා ශබ්දයකින් මොරගසා මෙසේ කීවේ ය: ”අසිරියාවේ රජු වන මහා රජතුමාගේ වචන අසන්න. 29 ඔබ රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. මාගේ අතින් ඔබ ගළවන්නට ඔහුට බැරි ය. 30 සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවන සේක කියා ද මේ නුවර අසිරියාවෙහි රජු අතට අසුවන්නේ නැත කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරවන්නටත් ඉඩ නාරින්න. 31 හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින් ද අසිරියාවේ රජ මෙසේ කියයි: ‘මා හා සමඟ සාමදානයකට පැමිණ මා වෙත එන්න. එවිට මම අවුත් ඔබේ දේශයට සමාන වන ධාන්‍ය හා මුද්‍රික පානය ඇති, කෑම ද මිදි වතු ද ඇති, ඔලීව තෙල් ද මී පැණි ද ඇති දේශයකට ඔබ ගෙනයන තුරු, 32 ඔබ එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන් ද තම තමාගේ අත්තික්කා ගසෙන් ද කන්නටත්, තම තමාගේ ළිඳේ වතුර බොන්නටත් පුළුවන. මෙසේ ඔබ නොනැසී ජීවත් වන්නහු ය. සමිඳාණන් වහන්සේ අප ගළවාගන්න සේක කියා හෙසකියා ඔබ පොළඹවන කල ඔහුට සවන් නොදෙන්න. 33 විජාතීන්ගේ දෙවිවරු තම තමන්ගේ දේශ අසිරියාවේ රජුගේ අතින් කිසි සේත් ගළවාගත්තෝ ද? 34 හමාත්හි ද අර්පාද්හි ද දෙවිවරු කොයි ද? සෙපර්වයිම්හි ද හේනාහි ද ඉව්වාහි ද දෙවිවරු කොහි ද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝ ද? 35 සමිඳාණන් වහන්සේ ජෙරුසලම මාගේ අතින් ගළවාගන්න සේක කියා සිතන්නට පුළුවන් වන ලෙස, දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමන්ගේ දේශ මාගේ අතින් ගළවා ගත්තේ කොයි දෙවිවරු දැ’යි අසන්නේ ය.”
36 එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් නො දී නිශ්ශබ්ද ව සිටියෝ ය. මන්ද, ”ඔහුට උත්තර දෙන්න එපා ය”යි රජුගේ ආඥාවක් පනවා තිබිණි. 37 එවිට රජ ගෙදර ප්‍රධානියන් වන හිල්කියාගේ පුත් එලියාකිම් නම් ගෘහාධිපතියා ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරු වන ආසාප්ගේ පුත් ජෝවා ද දුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට අවුත් රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්වූ හ.
– 19 වන පරිච්ඡේදය –
යෙසායාට කළ අයැදුම
(යෙසා: 37:1-7)
1 හෙසකියා රජ ඒ අසා දුකින් තම ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු විය. 2 තවද, ඔහු රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම්ට ද ෂෙබ්නා ලේකම්ට ද පූජකයන්ගේ මූලිකයන්ට ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ළඟට යැවී ය. 3 ඔව්හු ඔහුට කතා කොට, ”හෙසකියා මෙසේ කියන්නේ ය: ‘අද දවස දුක ද තරවටුව ද අපහාසය ද ඇති දවසකි. මන්ද, ළදරුවන් බිහි වන්නට ළං ව සිටින නමුත්, ප්‍රසූත කරන්නට ශක්තිය නැත. 4 ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ.
5 මෙසේ කියා හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමිණිය හ. 6 යෙසායා ඔවුන්ට කතා කොට, ”සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබට ඇසුණු අසිරියාවේ රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කියන ලද වචනවලට බිය නොවන්න. 7 ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරී යන ලෙස මම ඔහුගේ සිතට අදහසක් දමා, ඔහුගේ දේශයේ දී ඔහු කඩුවෙන් මැරී වැටෙන්නට සලස්වන්නෙමි’යි කියා ඔබේ ස්වාමියාට දන්වන්නැ”යි කී ය.
අසිරියන්වරු යළි තර්ජනය කිරීම
(යෙසා: 37:8-20)
8 අසිරියාවේ රජු ලාකීෂ්හි සිට පිටත් ව ගිය බව රබ්-ෂාකේ අසා, ඔහු හැරී ගිය විට, රජු ලිබ්නාට විරුද්ධ ව යුද්ධ කරන බව දැනගත්තේ ය. 9 ”කුෂ්හි රජු වන තිර්හාකා රජ ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නට එන්නේ යැ”යි ඔහුට සැළ විය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත දූතයන් එවා, 10 ”ඔබ ජුදාහි රජු වන හෙසකියාට මෙසේ කියන්න: අසිරියාවේ රජු අතට ජෙරුසලම අසු නොවන්නේ ය කියා ඔබ විශ්වාස කරන ඔබේ දෙවියන් වහන්සේට නොරැවටෙන්න. 11 මෙන්න, අසිරියාවේ රජවරුන් සියලු දේශවලට කළ දේ එනම්, ඒවා විනාශ කරදැමූ බව ඔබ අසා තිබේ. එසේ නම්, ඔබ ගැළවෙනු ඇද් ද? 12 මාගේ පියවරුන් නැති කළ ගෝශාන් ද හාරාන් ද රෙශෙප් ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් ජාතිකයන් ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවා ගත්තෝ ද? 13 හමාත්හි රජ ද අර්පාද්හි රජ ද සෙපර්වයිම් නුවරත්, හේනාහිත්, ඉව්වාහිත් රජ ද කොතැන දැ”යි ඇසී ය.
14 හෙසකියා පණිවුඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය විදහා පා, 15 උන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කරමින්, ”කෙරුබ්වරුන් අතර වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ ම, ඔබ පමණක් ම, දෙවියන් වහන්සේ ය; ඔබ අහසත්, පොළොවත් මැවූ සේක. 16 සමිඳාණන් වහන්ස, ඔබේ කන යොමු කොට ඇසුව මැනව; සමිඳාණන් වහන්ස, ඔබේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව; 17 සමිඳාණන් වහන්ස, අසිරියාවේ රජවරුන් ජාතීන් ද ඔවුන්ගේ දේශ ද පාළු කොට, 18 ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑ ය. මන්ද, ඒවා දෙවිවරුන් නොව මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්ත වන ලී සහ ගල් ය. ඒ නිසා ඔව්හු ඒවා විනාශ කළහ. 19 එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබ ම, ඔබ පමණක් ම, ස්වාමීන් වන දෙවියන් වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍ය දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැළෙව්ව මැනව”යි කී ය.
යෙසායා මැදහත්වීම
(යෙසා: 37:21-38)
20 එවිට ආමොස්ගේ පුත් යෙසායා හෙසකියාට මෙසේ කියා යැවී ය: ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: අසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ මට කළ යාච්ඤාව මම ඇසීමි. 21 ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය. 22 නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද? නුඹ මොරගැසුවේත්, නුඹ රවා බැලුවේත් කවරෙකුට විරුද්ධ ව ද? ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේට විරුද්ධ ව ය. 23 නුඹේ දූතයන් ලවා නුඹ සමිඳාණන් වහන්සේට නින්දා කරවා කතා කොට, මාගේ රථ සමූහය හා සමඟ මම කඳු මුදුනට එනම්, ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැඟුණෙමි. එහි උස් වූ කිහිරි ගස් ද අනර්ඝ දේවදාර ගස් ද කපාදමා, එහි දුරස්තර නිවාසවලටත්, උයනක් වැනි එහි වනයටත් ඇතුළු වන්නෙමි. 24 මම ළිං හාරා අන්‍ය දේශවල වතුර බීවෙමි, මම මිසරයේ සියලු ගංගා පිට ඇවිද ඒවා හින්දවන්නෙමි යි කීවෙහි ය.
25 ”මම බොහෝ කාලයක සිට එය අභිප්‍රාය කර පෙර සිට ම එය නියම කළ බව නුඹ ඇසුවේ නැද් ද? දැන් නුඹ පවුරු ඇති නගර නාස්ති කොට, ජරාවාස ගොඩවල් කරන හැටියට එය ඉෂ්ට කෙළෙමි. 26 එබැවින් ඒවායේ වැසියෝ බෙලහීන ව සිටියහ. ඔව්හු කැළඹී වියවුලට පත් වූ හ. ඔව්හු කෙතේ තෘණ ද අමු පල ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළුණු ගොයම් ද මෙන් වූ හ.
27 ”එහෙත්, මම නුඹේ හිඳීම ද නුඹේ යාම ඊම ද මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම ද දනිමි. 28 මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාරය මාගේ කන්වලට පැමිණි නිසා ද නුඹේ නාසයේ මාගේ වළල්ලත්, නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි.
29 ”මෙය නුඹට ලකුණක් වන්නේ ය. එනම්, මේ අවුරුද්දේ ඉබේ ම හටගන්න ධාන්‍ය සහ දෙ වන අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනු ඇත. තුන් වන අවුරුද්දේ නුඹලා අස්වැන්න වපුරා කපාගන්න. මිදි වතුත් වවා ඒවායේ පල කන්න. 30 ජුදා වංශයෙන් ගැළවී ඉතිරි කුඩා පිරිස නැවත ගසක් මෙන් යටට මුල් ඇද ඉහළින් පල දරනු ඇත. 31 මන්ද, ඉතිරි කුඩා පිරිස ජෙරුසලමෙන් ද මිදුණු පිරිස සියොන් කන්දෙන් ද නික්මෙනු ඇත. සමිඳාණන් වහන්සේ මෙය කිරීමට අධිෂ්ඨාන කළ සේක.
32 ”එබැවින් සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජු ගැන මෙසේ කියන සේක: ‘අසිරියාවේ රජ මේ නගරයට ඇතුළුවන්නේ වත්, ඊගහක් ඊට විදින්නේ වත්, ඉදිරි පිටට පලිහක් රැගෙන එන්නේ වත්, ඊට විරුද්ධ ව ගොඩැල්ලක් නඟන්නේ වත්, නැත. 33 ඔහු මේ නුවර තුළට නෑවිත් තමා ආ මඟින් හැරී යන්නේ ය. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ වදාරමි. 34 මක්නිසා ද, මා නිසාත්, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්න මම එය රැකගන්නෙමි.’ ”
අසිරියන්වරුන්ගේ විනාශය
35 ඒ රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහසකට පහර දුන්නේ ය. මිනිසුන් අලුයම නැඟිට බලන විට, ඒ සියල්ලෝ මැරී සිටියහ. 36 එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිටත් ව ගොස් නිනිවෙහි වාසය කෙළේ ය. 37 තවද, ඔහු තමාගේ දෙවි නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාර කරද්දී ඔහුගේ පුත්‍රයන් වන අද්‍රම්මෙලෙක් ද ෂරෙශෙර් ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට පලා ගියහ. ඔහුගේ පුත් ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ විය.
– 20 වන පරිච්ඡේදය –
හෙසකියා රජුගේ රෝගය සහ සුවය
(යෙසා: 38:1-8, 21-22; 2 වංශා: 32:24-26)
1 ඒ කාලයේ දී හෙසකියා රෝගී ව මරණාසන්න විය. ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, ”නුඹේ කටයුතු පිළියෙළ කර තබන්න. මන්ද, නුඹ මැරෙන්නෙහි ය. ජීවත් නොවන්නෙහි ය කියා සමිඳාණන් වහන්සේ කියන සේකැ”යි ඔහුට කී ය.
2 එවිට ඔහු තමාගේ මුහුණ බිත්තිය දෙසට හරවාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, 3 ”අහෝ, සමිඳුනි, මා සැබෑකමිනුත්, සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබේ ඇස් හමුයෙහි හරි දේ කළ බව සිහි කළ මැනව”යි අතිශයින් හැඬුවේ ය.
4 යෙසායා මළුව දක්වා යන්නට පළමුවෙන් සමිඳාණන් වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණ කියනුයේ, 5 ”නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පියා වූ දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දිටිමි. බලන්න, මම නුඹ සුවපත් කරන්නෙමි. තුන් වන දින නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන්නෙහි ය. 6 නුඹේ වයසට පහළොස් අවුරුද්දක් එකතු කරන්නෙමි. මම අසිරියාවේ රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා මා නිසාත්, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මේ නුවර රැකගන්නෙමි’ කියා කියන්නැ”යි පැවසී ය.
7 එවිට යෙසායා, ”අත්තික්කා පැලැස්තරයක් ගෙනෙන්නැ”යි කී ය. ඔව්හු එය ගෙනවුත් එය වණය පිට තැබුවෝ ය. එවිට රජ සුවපත් විය. 8 හෙසකියා යෙසායාට කතා කොට, ”සමිඳාණන් වහන්සේ මා සුවපත් කරන බවටත්, තුන් වන දා මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවටත් ලකුණ කිමෙක් දැ”යි ඇසී ය.
9 යෙසායා කතා කොට, ”සමිඳාණන් වහන්සේ වදාළ දේ කරන බවට සමිඳාණන් වහන්සේගෙන් ඔබට ලැබෙන ලකුණ මේ ය: එනම්, පඩි පෙළේ ඡායාව අංශක දසයක් ඉස්සරහට යනවාට හෝ පස්සට හැරී එනවාට හෝ කැමැති දැ”යි ඇසී ය.
10 හෙසකියා ද, ”ඡායාව අංශක දසයක් ඉස්සරහට යන එක සුළු දෙයකි, එසේ නොව ඡායාව අංශක දසයක් පස්සට හැරී ඒ වා”යි කී ය.
11 එවිට දිවැසිවර යෙසායා සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ආහාස්ගේ පඩි පෙළේ ඡායාව බැස ගිය තැනින් අංශක දසයක් පස්සට පැමිණෙවු සේක.
තානාපතීන් පැමිණීම
(යෙසා: 39:1-8)
12 ඒ කාලයේ දී බලදාන්ගේ පුත් බබිලෝනියේ රජු වන මෙරොදක්-බලදාන් හෙසකියා රෝගී ව සිටි බවත්, ඔහු සුවය ලැබූ බවත් අසා ලියුම් ද තෑග්ගක් ද ඔහු වෙත යැවී ය. 13 හෙසකියා ඔවුන්ට ඇහුම්කන් දී තමාගේ මුළු සම්පත් ගබඩාව ද එහි තිබූ රන් රිදී ද සුවඳ ද්‍රව්‍ය ද අනර්ඝ තෙල් ද තමාගේ මුළු යුද්ධායුධ ගබඩා ද තමාගේ ගබඩාවල තිබුණු සියල්ල ද ඔවුන්ට පෙන්වී ය. තමාගේ ගෙදර වත්, මුළු රාජ්‍යයෙහි වත් හෙසකියා ඔවුන්ට නොපෙන්නූ කිසිවක් නො වී ය. 14 එවිට දිවැසිවර යෙසායා හෙසකියා රජු ළඟට අවුත්, ”ඒ මනුෂ්‍යයෝ කුමක් කීවෝ ද? ඔව්හු කොතැනින් ඔබ වෙත ආවෝ දැ”යි ඔහුගෙන් ඇසී ය.
හෙසකියා උත්තර දෙමින්, ”ඔව්හු දුර රටක් වන බබිලෝනියේ සිට ආවෝ ය”යි කී ය.
15 එවිට ඔහු, ”ඔව්හු ඔබේ ගෙයි කුමක් දුටුවෝ දැ”යි ඇසී ය. ”මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝ ය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්වන ලද කිසිවක් නැතැ”යි හෙසකියා කී ය.
16 එවිට යෙසායා හෙසකියාට කතා කොට, ”සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න: 17 ‘බලන්න, නුඹේ ගෙයි තිබෙන සියල්ලත්, නුඹේ පියවරුන් අද දක්වා රැස් කර තිබූ දේවලුත් කිසිවක් ඉතිරි නොකොට බබිලෝනියට ගෙන යන දවස් පැමිණෙන්නේ ය. 18 නුඹ තුළින් නික්මෙන නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් බබිලෝනියේ රජුගේ මාලිගාවෙහි නපුංසකයන් වන පිණිස ගනු ලබන්නෝ ය’ කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.
19 එවිට හෙසකියා, ”ඔබ කී සමිඳාණන්ගේ වචනය යහපත් ය”යි යෙසායාට කී ය. තවද, ඔහු ”සාමදානයත්, ආරක්ෂාවත් මාගේ ජීවිත කාලයේ දී ඇත්නම් හොඳ නොවේ දැ”යි යෙසායාට කී ය.
හෙසකියා රජුගේ අවසානය
(2 වංශා: 32:32-33)
20 හෙසකියාගේ අනෙක් ක්‍රියා ද ඔහුගේ සියලු බලවන්තකම් ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටි ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 21 හෙසකියා මියගියේ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.
– 21 වන පරිච්ඡේදය –
මනස්සේගේ රාජ්‍ය පාලනය
(2 වංශා: 33:1-20)
1 මනස්සේ දොළොස් අවුරුදු වයසේ දී රජ වී පණස්පස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හෙප්ශිබා ය. 2 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නා දැමූ විජාතීන්ගේ පිළිකුල් ක්‍රියා ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. 3 තමාගේ පිය වූ හෙසකියා නැති කළ ගිරිකුළු දේවාල ඔහු නැවත ගොඩනඟා, බාල් දෙවියාට පූජාසන තනා, ඉශ්රායෙල්හි රජ වූ ආහාබ් සෑදූ පරිදි අෂේරා කප් කණු ද සෑදුවේ ය. ඔහු ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින් ඒවාට සේවය කෙළේ ය. 4 තවද, ‘මාගේ නාමය ජෙරුසලමෙහි තබන්නෙමි’යි සමිඳාණන් වහන්සේ යම් මාලිගාවක් ගැන වදාළ සේක් ද ඒ මාලිගාවෙහි ඔහු පූජාසන ගොඩනැඟුවේ ය. 5 සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මළු දෙකෙහි මුළු ආකාශ වස්තූන්ටත් පූජාසන ගොඩනැඟුවේ ය. 6 ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය. මායම් හා ශාස්ත්‍ර බැලීම් ද භාවිතා කරමින් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද පත් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි බොහෝ නපුරු දේ කෙළේ ය. 7 තමා සෑදූ අෂේරා කප් කණු හා රූප ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තැබී ය. ඒ මාලිගාව ගැන සමිඳාණන් වහන්සේ දාවිත්ටත්, ඔහුගේ පුත් සලමොන්ටත් කතා කොට, ”මේ මාලිගාවෙහි ද මා විසින් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගනු ලැබූ ජෙරුසලමේ ද මාගේ නාමය සදහට ම තබන්නෙමි. 8 මා විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද සියල්ල ප්‍රකාරයට ද මාගේ සේවක මෝසෙස් ඔවුන්ට අණ කළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ද කරන්නට ඔවුන් බලාගත්තොත්, ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දෙන ලද දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුළා ව යන්නට නොසලස්වන්නෙමි”යි වදාළ සේක. 9 එහෙත්, ඔව්හු ඇහුම්කන් නුදුන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් විනාශ කළා වූ විජාතීන්ට වඩා නපුරුකම් කරන ලෙස මනස්සේ ඔවුන් මුළා කෙළේ ය.
10 සමිඳාණන් වහන්සේ තමන් මෙහෙකරු වන දිවැසිවරුන් ලවා කතා කරවා, 11 ”ජුදාහි රජ වන මනස්සේ මේ පිළිකුල්කම් කරමින්, ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට ජුදාවරුන් ද තමාගේ දේව රූපවලින් පාපයට පෙළඹවූ නිසා, 12 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බලන්න, අසන සියල්ලන්ගේ කන් දෙක රත් වන තරම් මම ජෙරුසලම සහ ජුදාවරුන් පිට විපත්ති පමුණුවන්නෙමි. 13 තවද, සමාරිය මැන්න ලණුව ද ආහාබ්ගේ වංශයේ ලඹකැටය ද ජෙරුසලම් නුවර පිට අල්ලා, මනුෂ්‍යයෙකු තැටියක් පිසදමා, පිසදැමූ පසු එය මුණින් පෙරළා තබන පරිදි ජෙරුසලම පිසදමා, 14 මම මාගේ උරුමයෙන් ඉතිරි කුඩා පිරිස අත්හැරදමා ඔවුන් තමන්ගේ සියලු සතුරන්ට ගොදුරක් ද කොල්ලයක් ද වන පිණිස ඔවුන්ගේ සතුරන් අතට පාවා දෙන්නෙමි. 15 මන්ද, ඔවුන්ගේ පියවරුන් මිසරයෙන් පිටත් ව ආ දවස පටන් අද දවස දක්වා ම ඔව්හු මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට මා කෝප කළෝ ය’ කියා වදාරන සේකැ”යි කියෙවූ සේක.
16 තවද, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන ලෙස, එසේ, ජුදා ගෝත්‍රය පාපයට පෙළඹවීමෙන් ඔහු විසින් කරන ලද පාපය හැර, ඔහු ජෙරුසලමෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝ කොට වැගිර වී ය. 17 මනස්සේගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහු කළ පාපය ද ගැන ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 18 මනස්සේ මියගිය පසු තමාගේ ගෙට අයිති උයන වන උශ්ශාගේ උයනෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ආමොන් ඔහු වෙනුවට රජ විය.
ආමොන්ගේ රාජ්‍ය කාලය
(2 වංශා: 33:21-25)
19 ආමොන් විසි අවුරුදු වයසේ දී රජ වී දෑවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මෙෂුල්ලෙමෙත් ය. ඈ ජොත්බාහි හාරුශ්ගේ දුවකි. 20 ආමොන් තමාගේ පියා වූ මනස්සේ කළ ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, 21 තම පියාගේ අඩි පාරේ යමින්, තමාගේ පියා වැඳුම්පිදුම් කළ දේව රූපවලට වැඳුම්පිදුම් කරමින් ඒවාට නමස්කාර කෙළේ ය. 22 ඔහු සමිඳාණන් වහන්සේගේ මාර්ගයෙහි නොහැසිර තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත් හැරියේ ය.
23 ආමොන් රජුගේ සේවකයෝ ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ඔහුගේ ගෙදර දී ඔහු මැරූ හ. 24 එහෙත්, දේශයේ සෙනඟ, ආමොන් රජුට විරුද්ධ ව කුමන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජකමට පත් කළහ.
25 ආමොන් කළ අනෙක් ක්‍රියා ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 26 උශ්ශාගේ උයනේ තිබූ ඔහුගේ පියාගේ සොහොන්ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජ විය.
– 22 වන පරිච්ඡේදය –
ජොෂියාගේ රාජ්‍ය කාලය
(2 වංශා: 34:1-2)
1 ජොෂියා අට අවුරුදු වයසේ දී රජ වී තිස්එක් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙදිදා ය. ඈ බෝශ්කාත්හි අදායාගේ දුවකි. 2 ජොෂියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කොට, ආඥා අකුරට ම පිළිපැද තම පිය වූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි ගමන් කෙළේ ය.
ව්‍යවස්ථා ග්‍රන්ථය සොයාගැනීම
(2 වංශා: 34:8-28)
3 ජොෂියා රජ තමාගේ දහඅට වන අවුරුද්දේ දී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශ්ලියාගේ පුත් ෂාපාන් ලේකම් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යවමින් කතා කොට, 4 ”ඔබ නායක පූජකයා වන හිල්කියා වෙත ගොස්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද, දොරටු පාලකයන් සෙනඟගෙන් එකතු කරගත් මුදල් භාර දෙන ලෙස ඔහුට දන්වන්න. 5 ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වැඩ කරවීමට පත් ව සිටින තැනැත්තන් අතට දිය යුතු ය. ඔව්හු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි කැඩුම්-බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමට කර්මාන්තකාරයන් වන 6 වඩුවන්ටත්, ගොඩනඟන්නන්ටත්, පෙදරේරුවන්ටත් මාලිගාව අලුත්වැඩියා කිරීමට ලී සහ කැපූ ගල් ද මිලයට ගැනීම පිණිස ඒවා දිය යුතු ය”යි කී හ. 7 එසේ වී නමුත්, ඔවුන් විශ්වාස ලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල ගැන ඔවුන්ගෙන් අය වැය වාර්තාවක් නොගන්න ලදී.
8 නායක පූජක වන හිල්කියා ලේකම් වන ෂාපාන්ට කතා කොට, ”ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මට සම්බ විය” කියා පොත ෂාපාන්ට දුන්නේ ය; ඔහු එය කියවී ය. 9 ලේකම් වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්, ”මාලිගාවෙහි තිබූ මුදල් ඔබේ සේවකයෝ රැගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වැඩ කරවීමට පත් ව සිටින්නන් අතට දුන්නෝ ය”යි රජුට කී ය. 10 ලේකම් වන ෂාපාන් කතා කොට, ”පූජක වන හිල්කියා පොතක් මට දුන්නේ ය”යි රජුට දන්වා එය රජු ඉදිරියෙහි කියවී ය.
11 රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල පුදුම වී, තමාගේ ඇඳුම් ඉරාගෙන, 12 පූජක හිල්කියාටත්, ෂාපාන්ගේ පුත් අහිකාම්ටත්, මීකායාගේ පුත් අක්බොර්ටත්, ලේකම් වන ෂාපාන්ටත්, රජුගේ සේවකයා වන අසායාටත් අණ කොට, 13 ”ඔබ ගොස් මේ සම්බ වූ පොතේ වචන මා උදෙසාත්, සෙනඟ උදෙසාත්, සියලු ජුදාවරුන් උදෙසාත් සමිඳාණන් වහන්සේගෙන් විචාරන්න. මන්ද, අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරෙහි ඇවිළ තිබෙන සමිඳාණන් වහන්සේගේ උදහස ඉමහත් ය”යි කී ය.
දිවැසිවරියකගෙන් විමසීම
14 එවිට පූජක හිල්කියා ද අහිකාම් ද අක්බොර් ද ෂාපාන් ද අසායා ද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත් වස්ත්‍ර භාරකාරයා වන ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් දිවැසිවරිය ළඟට ගොස් ඈට කතා කෙළේ ය. ඈ ජෙරුසලමේ තම නගරයෙහි වාසය කළා ය. 15 ඈ ඔවුන් අමතා, ”ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබ මා වෙත එවූ මනුෂ්‍යයාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. 16 මම මේ ස්ථානය පිටත්, මෙහි වැසියන් පිටත් ජුදාහි රජු විසින් කියවුණු පොතේ සියලු වචනවල හැටියට විපත් පමුණුවන්නෙමි. 17 ඔවුන් මා අත්හැර ඔවුන් කළ සියලු ක්‍රියාවලින් මා කෝප කරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ ස්ථානයට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. එය නිවෙන්නේ නැත. 18 එහෙත්, සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස නුඹලා එවූ ජුදාහි රජුට මෙසේ කියන්න, නුඹ ඇසූ වචන ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: 19 මේ ස්ථානය පාළු වී ඊට සාප වේ වා! කියා මා මේ ස්ථානයටත්, මෙහි වැසියන්ටත් විරුද්ධ ව කියා තිබෙන කාරණා නුඹ ඇසූ විට නුඹේ සිත මෘදු වී, නුඹ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් වී, දුකින් නුඹේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි හැඬූ නිසා, මමත් නුඹට ඇහුම්කන් දුන්නෙමි. 20 එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි. මා විසින් මේ ස්ථානයට පමුණුවනු ලබන සියලු ම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය’යි කියා වදාරන සේකැ”යි කීවා ය. ඔව්හු හැරී අවුත් රජුට එය සැළ කළෝ ය.
– 23 වන පරිච්ඡේදය –
ගිවිසුම ප්‍රතිස්ථාපනය කිරීම
(2 වංශා: 34:3-7, 29-33)
1 එවිට රජ තෙම ජුදාහි ද ජෙරුසලමෙහි ද සියලු ප්‍රජා මූලිකයන් තමා ළඟට රැස් කරවාගෙන, 2 ජුදාහි සියලු වැසියන් ද ජෙරුසලමේ සියලු වැසියන් ද පූජකයන් ද දිවැසිවරයන් ද ලොකු කුඩා සියලු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගෙන සිටිද්දී කියවී ය. 3 තවද, රජ කුළුණ ළඟ සිට, ඒ පොතේ ලියා තිබූ ඒ ගිවිසුමේ වචන ඉෂ්ට කරන පිණිස සමිඳාණන් වහන්සේ අනුව යන ලෙසත්, උන් වහන්සේගේ ආඥා ද ශික්ෂා ද පණත් ද මුළු හෘදයෙන් හා මුළු සිතින් පිළිපදින ලෙසත් උන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේ ය. මුළු සෙනඟ ද ගිවිසුමට එකඟ වූ හ.
ජුදාහි නවෝදය
4 එවිට බාල් දෙවියාත්, අෂේරා දේවතාවියත්, ආකාශ වස්තූන් සියල්ලත් නමදින පිණිස සාදා තිබුණ සියලු භාජන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙන යන පිණිස නායක පූජක හිල්කියාටත්, දෙ වන පංතියේ පූජකයන්ටත්, දොරටු පාලකයන්ටත් රජ අණ කෙළේ ය. ඔහු ජෙරුසලමෙන් පිටත කිද්‍රොන් මිටියාවතේ ඒවා පුළුස්සාදමා, ඒවායේ අළු බෙතෙල් නගරයට ගෙනාවේ ය. 5 ජුදාහි නගරවල ද ජෙරුසලම වටකර ද තිබූ කඳු මත පූජාස්ථානවල සුවඳ දුම් ඔප්පු කරන පිණිස ජුදාහි රජුන් විසින් පත් කරන ලද කපුවන් ද බාල්ට සහ ඉර සඳටත්, ග්‍රහ තාරකාවලට සහ ආකාශ වස්තූන් සියල්ලටත් සුවඳ දුම් ඔප්පු කළ කපුවන් ද ඔහු පහකෙළේ ය. 6 ඔහු අෂේරා කප් කණුව සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් ඉවත් කොට ජෙරුසලමෙන් පිට කිද්‍රොන් ඔයට ගෙන ගොස්, කිද්‍රොන් ඔය ළඟ පුළුස්සාදමා කුඩු කර, ඒ කුඩු පොදු සෙනඟගේ සොහොන් බිමෙහි විසුරුවා දැමී ය. 7 සමිඳාණන් වහන්සේගේ මාලිගාව ළඟ තිබූ අෂේරා කප් කණුවලට තිර වියූ ස්ත්‍රීන් විසූ සල්ලාලයන්ගේ ගෙවලුත් ඔහු බිඳ දැමී ය.
8 තවද, ඔහු ජුදාහි නගරවලින් සියලු පූජකයන් කැඳවාගෙන, ගෙබා පටන් බෙයර්-ෂෙබා දක්වා පූජකයන් විසින් සුවඳ දුම් ඔප්පු කරන ලද කඳු මත පූජාස්ථාන දූෂ්‍ය කෙළේ ය. දොරටු ළඟ තිබූ කඳු මත පූජාස්ථාන ද නුවර අධිපතියා වූ ජෝෂුවාගේ දොරටුව වන නුවර දොරටුවට වම් පැත්තෙහි තිබුණ කඳු මත පූජාස්ථාන ද කඩා දැමී ය. 9 එසේ වී නමුත්, කඳු මත පූජාස්ථානවල පූජකයෝ තමන්ගේ සහෝදරයන් සමඟ මුහුන් නොදැමූ රොටි කෑ හ. එහෙත්, ඔව්හු ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ළඟට නාවෝ ය.
10 කිසිවෙකු තමාගේ පුත්‍රයෙකු වත්, දුවක වත් මොලෙක් දෙවියාට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයන්ගේ මිටියාවතෙහි තිබුණ තොපෙත් නම් ගිනි උදුන දූෂ්‍ය කෙළේ ය. 11 ජුදාහි රජුන් හිරු දෙවියාට කැප කළ අශ්වයන් ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වන තැනින් ඉවත් කෙළේ ය. ඒවා උප නගරයෙහි සිටි ඇමතියා වන නාතාන්-මෙලෙක්ගේ කාමරය අසල මළුවේ තබා තිබුණි. ඔහු හිරු දෙවියාගේ රථය ද ගින්නෙන් පුළුස්සා දැමී ය. 12 ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබූ ජුදාහි රජවරුන් සෑදූ පූජාසන ද සමිඳාණන් වහන්සේගේ මිදුල් දෙකෙහි මනස්සේ විසින් සාදන ලද පූජාසනය ද කඩා, එතනින් හෙළාදමා ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසි කෙළේ ය. 13 තවද, රජ තෙම ජෙරුසලම ඉදිරිපිට ඔලීව කන්දට දකුණෙන් තිබූ සීදොන්වරුන්ගේ පිළිකුල වූ අෂ්ටාරොත්ටත්, මෝවබ්වරුන්ගේ පිළිකුල වූ කෙමොෂ්ටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල වූ මිල්කොම්ටත් ඉශ්රායෙල් රජ වූ සලමොන් විසින් ගොඩනැඟුණු ගිරිකුළු දේවාල දූෂ්‍ය කෙළේ ය. 14 ඔහු රූප හා කුළුණු බිඳ, අෂේරා කප් කණු කපාදමා, ඒවා තිබූ තැන් මිනීඇටවලින් පිරෙව්වේ ය.
15 තවද, බෙතෙල්හි තිබූ පූජාසනය ද ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් සෑදූ ගිරිකුළු දේවාල ද වන එහි පූජාසනයත්, ගිරි මුදුනත් ඔහු කඩාදමා, ඒ දේවාලය පුළුස්සාදමා කුඩු කර, අෂේරා කප් කණුව ද පුළුස්සාදැමී ය. 16 ජොෂියා එහි කන්දේ තිබූ සොහොන් ගෙවල් දැක, මේ කාරණා ප්‍රකාශකළ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාර ඒවා පූජාසනය පිට පුළුස්සා එය දූෂ්‍ය කෙළේ ය. 17 තවද, ඔහු කතා කොට, ”මට පෙනෙන අර සොහොන් කොත, කුමක් දැ”යි ඇසී ය.
නගර වාසීහු උත්තර දෙමින්, ”එය ජුදා සිට අවුත් බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ඔබ කළ මේ දේවල් කලින් ප්‍රකාශ කළ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ සොහොන් කොත ය”යි කී හ.
18 රජ ද කතා කරමින්, ”සොහොනට කිසිවක් නොකරන්න. කිසිවෙක් ඔහුගේ ඇටකටුවලට අත නොගසන්නැ”යි කී ය.
මෙසේ ඔව්හු ඔහුගේ ඇටකටු ද සමාරියෙන් පැමිණි දිවැසිවරයාගේ ඇටකටු ද එලෙස ම තිබෙන්නට හැරියෝ ය.
19 සමාරියේ නගරවල තිබූ සමිඳාණන් වහන්සේ කෝප කරවන ලෙස ඉශ්රායෙල් රජුන් විසින් සාදන ලද ගිරිකුළු දේවාල ජොෂියා පහකොට, බෙතෙල්හි දී කළ සියලු ක්‍රියා ප්‍රකාර ඒවාටත් කෙළේ ය. 20 එහි සිටි ගිරිකුළු දේවාලවල සියලු පූජකයන් ද පූජාසන පිට මරා, ඒවා පිට මිනීඇට පුළුස්සා ඔහු ජෙරුසලමට හැරී ආවේ ය.
පාස්කු මංගල්‍යය පැවැත්වීම
(2 වංශා: 35:1-19)
21 තවද, ජොෂියා රජ කතා කොට, ”මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කුව පවත්වන්නැ”යි මුළු සෙනඟට අණ කෙළේ ය. 22 ඉශ්රායෙල්වරුන් පාලනය කළ වීර පුරුෂයන්ගේ දවස්වල පටන් ඉශ්රායෙල් රජුන්ගේ ද ජුදා රජුන්ගේ ද මුළු කාලයෙහි සැබැවින් ම එබඳු පාස්කුවක් නොපවත්වන ලදී. 23 ඒ පාස්කුව සමිඳාණන් වහන්සේ උදෙසා ජෙරුසලමේ පවත්වන ලද්දේ ජොෂියා රජුගේ දහඅට වන අවුරුද්දේ දී ය.
24 තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පූජක වන හිල්කියාට සම්බ වූ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ට කරන පිණිස ජොෂියා ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේවතා රූප ද පිළිම ද ජුදා දේශයෙහිත්, ජෙරුසලමෙහිත් දක්නා ලද අනෙක් සියලු පිළිකුල් දේවල් ද පහකරදැමී ය. 25 මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු සිතින් ද තමාගේ මුළු වීර්යයෙන් ද සමිඳාණන් වහන්සේ වෙත හැරුණු ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන් වත්, ඔහුට පසු ව වත් නොසිටියේ ය.
26 එසේ වී නමුත්, මනස්සේ විසින් සමිඳාණන් වහන්සේ කෝප කරවන ලද සියලු කාරණා නිසා ජුදාට විරුද්ධ ව ඇවිළී තිබූ උන් වහන්සේගේ ඉමහත් උදහසේ බලවත්කම උන් වහන්සේ පහකර නොගත් සේක. 27 සමිඳාණන් වහන්සේ කතා කොට, ”මා ඉශ්රායෙල් පහකරදැමූ ලෙස ජුදාත් මාගේ ඇස් හමුයෙන් පහ කරදමා, මා තෝරාගත් මේ නුවර වන ජෙරුසලම ද මාගේ නාමය එහි පවතින්නේ යයි මා කී මාලිගාව ද අත්හැරදමන්නෙමි”යි වදාළ සේක.
ජොෂියා රජුගේ මරණය
(2 වංශා: 35:20-36:1)
28 ජොෂියාගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 29 ඔහුගේ දවස්වල දී මිසරයේ රජ වූ පාරාවෝ – නෙකො අසිරියාවේ රජුගේ සහායට යුප්‍රටීස් ගංගාව ළඟට ගියේ ය. එවිට ජොෂියා රජ ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. මිසරයේ රජ ද මෙගිද්දෝහි දී ජොෂියා දුටු විට ඔහු මැරී ය. 30 ඔහුගේ සේවකයෝ මළාවූ ජොෂියා රජ රථයකින් මෙගිද්දෝ සිට ජෙරුසලමට ගෙනවුත් ඔහුගේ ම සොහොන්ගෙයි ඔහු තැන්පත් කළෝ ය. එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන අභිෂේක කොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කළහ.
ජෙහෝවාහාස්ගේ රාජ්‍ය කාලය
(2 වංශා: 36:2-4)
31 ජෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේ දී රජ වී, තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවකි. 32 ඔහුගේ පියවරුන් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. 33 එවිට ඔහු ජෙරුසලමෙහි රජකම් නොකරන පිණිස පාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු සිර අඩස්සි කොට, රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත් දේශයට දඩ ගැසී ය. 34 තවද, පාරාවෝ-නෙකො තෙමේ ජොෂියා රජුගේ පුත් එලියාකිම් ඔහුගේ පිය වූ ජොෂියා වෙනුවට රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. එහෙත්, ඔහු ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය. එහි දී ඔහු මළේ ය.
ජෙහෝයාකිම්ගේ රාජ්‍ය පාලනය
(2 වංශා: 36:5-8)
35 ජෙහෝයාකිම් ඒ රිදී ද රන් ද පාරාවෝට දුන්නේ ය. එහෙත්, පාරාවෝගේ නීතිය ප්‍රකාර ඒ මුදල් දෙන පිණිස ඔහු දේශයට ගණන නියම කොට, පාරාවෝ-නෙකොට දීමට එකිනෙකාට නියම කළ හැටියට ඒ රිදී ද රන් ද දේශයේ සෙනඟගෙන් අය කෙළේ ය.
36 ජෙහෝයාකිම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ශෙබ්දා ය. ඈ රුමාහි පෙදායාගේ දුවකි. 37 ඔහු තමාගේ පියවරුන් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
– 24 වන පරිච්ඡේදය –
1 ඔහුගේ දවස්වල දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් පැමිණ, ජුදා දේශය ආක්‍රමණය කළ පසු, ජෙහෝයාකිම් තුන් අවුරුද්දක් ඔහුට සේවය කොට පසු ව ඔහුට විරුද්ධ ව කැරලි ගැසී ය. 2 සමිඳාණන් වහන්සේ කල්දිවරුන්ගේ හමුදාවන් ද සිරියන්වරුන්ගේ හමුදාවන් ද මෝවබ්වරුන්ගේ හමුදාවන් ද අම්මොන්වරුන්ගේ හමුදාවන් ද ඔහුට විරුද්ධ ව එවූ සේක. තමන්ගේ මෙහෙකරු වූ දිවැසිවරුන් ලවා සමිඳාණන් වහන්සේ කියෙවූ වචනයේ හැටියට ජුදා නැති කරන පිණිස ඊට විරුද්ධ ව උන් වහන්සේ ඔවුන් එවූ සේක. 3 ජුදාවරුන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන පිණිස සමිඳාණන් වහන්සේගේ ආඥාවෙන් මෙය ඔවුන් පිට පැමිණියේ ය. මෙය සිදු වූයේ, මනස්සේගේ පාප වන ඔහු කළ සියල්ල නිසාත්, 4 ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත් ය. මන්ද, ඔහු වැගිරෙවූ නිදොස් අයගේ ලේ ජෙරුසලම පුරා ගලා ගියේ ය. ඔහුට කමා වන්නට සමිඳාණන් වහන්සේට නොහැකි විය.
5 ජෙහෝයාකිම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 6 ජෙහෝයාකිම් මියගියේ ය. ඔහුගේ පුත් ජෙහෝයාකින් ඔහු වෙනුවට රජ විය. 7 බබිලෝනියේ රජ නයිල් ගංගාව පටන් යුප්‍රටීස් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා, මිසරයේ රජ තවත් තම දේශයෙන් පිටතට ආවේ නැත.
ජෙහෝයාකින්ගේ රාජ්‍ය කාලය
(2 වංශා: 36:9-10)
8 ජෙහෝයාකින් දහඅට අවුරුදු වයසේ දී රජ වී තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම නෙහෂ්තා ය. ඈ ජෙරුසලමේ එල්නාතාන්ගේ දුවකි. 9 ඔහු තමාගේ පියා කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
පළමු වන වරට විප්‍රවාසයට ගෙන යෑම
10 ඒ කාලයෙහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර්ගේ හමුදා ජෙරුසලමට විරුද්ධ ව පැමිණ නුවර වැටලූ හ. 11 ස්වකීය හමුදා නුවර වටලා සිටිය දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද එතැනට පැමිණියේ ය. 12 එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය.
13 ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය. 14 ඔහු ජෙරුසලම් වැසියන් ද සියලු අධිපතීන් ද සියලු යුද්ධ භටයන් ද වන දසදහස්දෙනෙකු සහ සියලු ශිල්පීන් ද ආචාරීන් ද විප්‍රවාසයට ගෙන ගියේ ය. දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතිරි නො වූ හ.
15 ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය. 16 සත්දහසක් වූ සියලු යුද්ධ භටයන් ද ශිල්පීන් සහ ආචාරීන් දහසක් ද වන යුද්ධ කරන සියලු බලවන්තයෝ බබිලෝනියේ රජු විසින් විප්‍රවාසයට බබිලෝනියට ගෙන යන ලදහ.
17 බබිලෝනියේ රජ ද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත් කොට ඔහුගේ නම ශෙදෙකියා යයි වෙනස් කෙළේ ය.
ශෙදෙකියාගේ රාජ්‍ය කාලය
(2 වංශා: 36:11-12; ජෙර: 52:1-3 ‘අ’)
18 ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවක් ය. 19 ඔහු ජෙහෝයාකිම් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. 20 මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන් වහන්සේගේ උදහස නිසා ජෙරුසලමටත්, ජුදාටත් මෙසේ සිද්ධ විය.
– 25 වන පරිච්ඡේදය –
ජෙරුසලමේ වැටීම
(2 වංශා: 36:13-21; ජෙර: 52:3 ‘ආ’-11)
1 ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය. 2 මෙසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නුවර වටලා තිබිණි. 3 සතර වන මාසයේ නව වන දා දේශයේ සෙනඟට කෑම නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය. 4 එකල නුවර සතුරන්ට අසු වී කල්දිවරුන් වටකර සිටිය දී, සියලු යුද්ධ භටයෝ රජ උයන ළඟ පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලා ගියහ. රජ අරබා සමභූමි පාරෙන් පලා ගියේ ය. 5 එහෙත්, කල්දිවරුන්ගේ සේනාව රජු පසුපස්සේ එලවාගෙන ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු කිට්ටු කර ආවෝ ය. ඔහුගේ මුළු සේනාව ද ඔහු වෙතින් විසිර ගියහ. 6 ඔව්හු රජු අල්ලාගෙන රිබ්ලා නුවර සිටි බබිලෝනියේ රජු ළඟට ගෙන ගියහ. එවිට රජ ඔහු ගැන තීන්දුව දුන්නේ ය. 7 ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුයෙහි මරා, ඔහුගේ ඇස් අන්ධ කොට, ඔහුට විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝ ය.
ජෙරුසලම විනාශ කිරීම
(ජෙර: 52:12-33)
8 බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මාසයේ සත් වන දා බබිලෝනියේ රජුගේ සේවකයෙකු වූ රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් ජෙරුසලමට අවුත්, 9 සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජගෙය ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ගිනිබත් කෙළේ ය. ලොකු ගෙවල් සියල්ල ම ඔහු ගින්නෙන් දවාදැමී ය. 10 රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලමේ පවුරු හාත්පසින් ම බිඳ දැමූ හ. 11 සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය. 12 එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙකු ඉතිරි කොට ගියේ ය.
13 තවද, කල්දිවරු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ලෝකඩ කණු ද මැසි ද එහි තිබූ ලෝකඩ බඳුන් ද කඩාගෙන ඒවායේ ලෝකඩ බබිලෝනියට ගෙන ගියහ. 14 ඇතිලි ද හැඳි ද පහන් කතුරු ද පාත්‍ර ද මෙහෙයට පාවිච්චි කළ ලෝකඩ බඩු සියල්ල ද ඔව්හු ගත්හ. 15 ගිනි කබල් ද තාලි ද රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නා ලදී. 16 සලමොන් විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සාදන ලද කුළුණු දෙකත්, ලෝකඩ බඳුනේ මැසිත් යන සියලු බඩුවල ලෝකඩවල බර මනින්නට බැරි තරමට තිබිණි. 17 එක එක කුළුණේ උස මීටර් අටකි. එහි පිට ලෝකඩ පේකඩයක් විය. පේකඩයේ උස මීටර් එකයි දශම තුනකි. පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබිණි. ඒ සියල්ල ලෝකඩින් විය. දෙ වන කුළුණ පිටත් එයාකාර ව දැල් වැඩ තිබිණි.
ජුදාහි වැසියන් විප්‍රවාසගත වීම
(ජෙර: 52:24-27)
18 රැකවලුන්ගේ අධිපතියා නායක පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපතියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය. 19 ඔහු යුද්ධ භටයන්ගේ අධිපතියෙකු වූ ඇමතියෙකු ද රජු ඉදිරියෙහි සිටි මනුෂ්‍යයන්ගෙන් නුවර සිටි පස්දෙනෙකු ද දේශයේ සෙනඟ යුද්ධයට රැස්කළ සේනාපතියාගේ ලේකම් ද නුවර සිටි සම්භාවනීය අය හැටදෙනෙකු ද අල්ලාගත්තේ ය. 20 එවිට රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ඔවුන් බබිලෝනියේ රජු වෙත රිබ්ලා නගරයට ගෙන ගියේ ය. 21 බබිලෝනියේ රජ හමාත් රටේ රිබ්ලාහි දී ඔවුන්ට පහර දී ඔවුන් මරාදැමී ය.
මෙසේ ජුදාවරු තමන්ගේ ප්‍රවේණි භූමියෙන් විප්‍රවාසයට ගෙන යන ලදහ.
අධිපතියෙකු පත් කිරීම
(ජෙර: 40:7-9; 41:1-3)
22 ඔහු ජුදා දේශයෙහි ඉතිරි ව සිටි, බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඉතිරි කර ගිය සෙනඟගේ අධිපතියා කොට ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කෙළේ ය. 23 බබිලෝනියේ රජු ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත් කළ බව සේනාවල සියලු අධිපතීන් ද ඔවුන්ගේ මිනිසුන් ද ඇසූ විට ඔව්හු එනම්, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරියාගේ පුත් ජෝහානාන් ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත් සෙරායා ද මයකාති-යයාගේ පුත් ජාශනියා ද ඔවුන්ගේ මිනිසුන් ද මිශ්පා නගරයෙහි සිටි ගෙදලියා වෙත ආ හ. 24 ගෙදලියා ඔවුන්ටත්, ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම් දී කතා කොට, ”කල්දිවරුන්ගේ සේවකයන්ට බිය නොවී දේශයෙහි වාසය කොට බබිලෝනියේ රජුට සේවය කරන්න. එවිට ඔබට ශුභසිද්ධ වන්නේ ය”යි කී ය.
25 එහෙත්, සත් වන මාසයේ දී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුත් සමඟ අවුත් ගෙදලියාටත්, මිශ්පාහි ඔහු සමඟ සිටි ජුදෙව්වරුන්ටත්, කල්දිවරුන්ටත් පහර දී මරාදැමී ය. 26 එවිට ලොකු කුඩා සියලු දෙනා ද සේනාවන්ගේ අධිපතීහු ද කල්දිවරුන්ට බිය වී මිසරයට පලා ගියෝ ය.
ජෙහෝයාකින් රජ සිරගෙයින් මිදීම
(ජෙර: 52:31-34)
27 ජුදාහි රජ වූ ජෙහෝයාකින් බබිලෝනියට ගෙනයනු ලැබ, තිස්හත් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ විසිහත් වන දා බබිලෝනියේ රජ වූ එවිල්මෙරොදක් තමා රජකමට පත් වූ අවුරුද්දේ දී ජුදාහි ජෙහෝයාකින්ට සමාව දී, හිරගෙයින් ඔහු නිදහස් කර, 28 ඔහුට කරුණාව පෙන්වා, බබිලෝනියෙහි ඔහු සමඟ සිටි රජුන්ගේ රාජ බලයට වඩා උසස් රාජ බලයක් ඔහුට දුන්නේ ය. 29 ඔහුගේ හිරඇඳුම් ද මාරු කෙළේ ය. තවද, ඔහු තමාගේ ජීවිතයේ ඉතිරි කාලයේ නිතර ම රජු ඉදිරියෙහි ආහාර වැළඳුවේ ය. 30 ඔහුගේ ආහාර කොටස ද නියම ලෙස දවස්පතා ම ඔහුගේ මුළු ජීවිත කාලය තුළ ම රජු වෙතින් ඔහුට දෙන ලද්දේ ය.