– 1 වන පරිච්ඡේදය –
ජුදා ගැන සමිඳාණන් වහන්සේගේ පැමිණිල්ල
1 ජුදාහි රජවරුන් වූ උශ්ශියාගේ ද ජෝතාම්ගේ ද ආහාස්ගේ ද හෙසකියාගේ ද කාලයන්හි දී ජුදා දේශය හා ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ එළිදරව් කළ පණිවුඩ මේ පොතේ සටහන් කර ඇත.
2 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න;
පොළොව කන් දෙන්න.
මා විසින් හදාවඩා, ඇතිදැඩි කරගන්නා ලද දරුවෝ ම මට විරුද්ධ ව කැරලි ගැසූ හ.
3 ගවයාට උගේ අයිතිකාරයා ගැන දැනුමක් ඇත;
කොටළුවාට උගේ ස්වාමියාගේ පට්ටිය ගැන තේරුමක් ඇත.
එහෙත්, මාගේ ඉශ්රායෙල් සෙනඟට එවැනි දැනුමක් නැත.
මාගේ සෙනඟට තේරුම්ගැන්මක් කොහෙත්ම නැත.”
4 අනේ!
පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර,
ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.
5 ඔබ වඩ වඩා කැරලි ගසන්නේ වැඩි වැඩියෙන් දඬුවම් ලබන පිණිස ද?
ඉශ්රායෙල් ජාතිය, ඔබේ හිස වණ වී ඇත.
ඔබේ සිත මුළුමනින් ම දුර්වල ය.
6 හිස් මුදුන සිට යටි පතුල දක්වා කිසිම නිරෝගී තැනක් ඔබට නැත.
තුවාළවලින් ද තැළීම්වලින් ද පැසවන වණවලින් ද ඔබේ සිරුර පිරී ඇත.
ඔබේ තුවාළ සෝදා බැඳ නැත;
ඒවාට බෙහෙත් තෙල් දමා නැත.
7 ඔබේ දේශය පාළු වී ඇත;
නගර ගිනිබත් වී ඇත.
ඔබ බලා සිටිය දී විදේශිකයෝ ඔබේ දේශය නැතිනාස්ති කරති.
එය සොදොම් මෙන් පාළු වී ඇත.
8 ජෙරුසලම වනාහි මිදි වත්තක මඩුවක් මෙන් ද කැකිරි වත්තක පැල්පතක් මෙන් ද ආරක්ෂා රහිත වූ වටලනු ලැබූ නගරයක් මෙන් ද යන්තමින් ඉතිරි වී ඇත.
9 සව් බලැති සමිඳාණෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරි වන්න ඉඩ නුදුන් සේක් නම්,
ජෙරුසලම ද සොදොම් හා ගොමොරා මෙන් සහමුලින් ම විනාශ වන්න ඉඩ තිබිණි.
වැදගැම්මක් නැති පුද පූජා
10 එම්බා ජෙරුසලම!
ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය.
සමිඳුන් වදාරන දේට සවන් දෙන්න.
දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.
11 එතුමාණෝ මෙසේ වදාරන සේක:
”නුඹලාගේ නිමක් නැති පූජාවලින් මට වැඩක් ඇද් ද?
බැටළුවන් දවන පූජා ද තර සතුන්ගේ තෙල් ද මට තිත්ත වී ඇත.
එළු, බැටළු, ගව ලේ මට රුස්සන්නේ නැත.
12 නුඹලා මා නමදින්න පැමිණෙන විට මේවා ගෙනෙන්න කීවේ කවරෙක් ද?
එසේ මාගේ මළුවෙහි පා තබන්න නුඹලාට කීවේ කවරෙක් ද?
13 ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න;
දුම් පූජා මට ඉවසිය නොහැකි ය.
අමාවක් උත්සව ද සබත් දවස් ද ආගමික රැස්වීම් ද මට රිසි නැත.
නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත.
14 නුඹලාගේ අමාවක් උත්සව හා වන්දනා ගමන් මාගේ හද පත්ලෙන් මම හෙළා දකිමි.
තවත් උසුලන්න බැරි තරමට ඒවා මට මහා බරකි.
15 මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි.
නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි.
නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.
16 ස්නානය කොට පිරිසිදු වන්න;
මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න.
නපුරුකම් තවත් නොකරන්න.
17 යහපත කරන්න ඉගෙන ගන්න;
පීඩා විඳින්නන්ට පිහිට වන්න;
අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න;
වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න.
මෙසේ යුක්තිය ඉටු කරන්න.
18 ‘එන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු’යි සමිඳාණෝ වදාරන සේක.
”නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය;
තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.
19 නුඹලා සිය කැමැත්තෙන් කීකරු වන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහු ය.
20 අකීකරු වී කැරලි ගසන්නහු නම් කඩුවෙන් මැරුම් කන්නහු ය.”
සමිඳාණෝ සිය සිරි මුවෙන් මෙය වදාළ සේක.
දූෂිත නුවර පිළිබඳ තීන්දුව
21 අහෝ, විශ්වාසවන්ත ව සිටි නුවර දැන් වෙසඟනක වී සිටින හැටි!
එදා එහි සිටියෝ යුක්තිය ඉටුකළ දැහැමියෝ ය;
අද සිටින්නෝ මිනීමරුවෝ ය.
22 එම්බා ජෙරුසලම!
එක් කලක ඔබ රිදී මෙන් වූ නමුත්,
දැන් ඔබේ වටිනාකමක් නැත.
එක කලක ඔබ හොඳ මිදියුස මෙන් වූ නමුත්,
දැන් වතුර සමඟ මිශ්‍ර වී ඇත.
23 ඔබේ මූලිකයෝ කැරලිකාරයෝ ය,
සොරුන්ගේ මිතුරෝ ය.
සියලු දෙන ම අල්ලසට ඇලුම් කරති.
තම වාසිය සොයා යති;
අනාථයන්ට යුක්තිය ඉටුකර නොදෙති;
වැන්දඹුවන්ගේ නඩුවලට සවන් නොදෙති.
24 එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති සමිඳාණන් වදාරන මේ දේට සවන් දෙන්න;
”මම මාගේ එදිරිකාරයන් අබිබවා මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි;
25 මම නුඹලාට විරුද්ධ ව ක්‍රියාකර, ගිනි උදුනෙහි ලෝහ පිරිසිදු කරන්නාක් මෙන් නුඹලා පිරිසිදු කරන්නෙමි;
නුඹලාගේ සියලු බොර රොඩු ආදිය ඉවත් කරන්නෙමි;
26 පෙර සිටියාක් මෙන් විනිශ්චයකාරයන් ද අනුශාසකයන් ද මම නුඹලාට නැවත දෙන්නෙමි.
එවිට, ‘ජෙරුසලම ධර්මිෂ්ඨ නුවර ය, විශ්වාසවන්ත නුවර ය’යි කියනු ලැබේ.”
27 සමිඳුන් දමිටු වන බැවින් එතුමාණෝ ජෙරුසලම ද එහි සිටින එතුමන් වෙත හැරෙන සියල්ලන් ද ගළවන සේක.
28 එහෙත්, ද්‍රෝහිකම් කරන්නෝ ද පව්කාරයෝ ද එකට විනාශ කරනු ලබන්නෝ ය;
සමිඳුන් අත්හරින්නෝ ද විනාශ වෙති.
29 නුඹලා කලින් රුක් වන්දනාවේ යෙදුණු බැවින් ද ශුද්ධ වූ උද්‍යාන පිහිටෙවූ බැවින් ද ඒවා ගැන ලජ්ජා වන්නහු ය.
30 නුඹලා කොළ මැලවී යන ආලෝන ගසක් මෙන් ද වතුර නැති උයනක් මෙන් ද වන්නහු ය.
31 ගින්නෙන් පිදුරු දැවී යන්නාක් මෙන් බලවත් අය තමන්ගේ ම පවිටු ක්‍රියාවලින් විනාශවන්නෝ ය.
එය නැවැත්වීම කිසිවෙකුට වත් නොහැකි වේ.
– 2 වන පරිච්ඡේදය –
සදාකාලික සාමය
1 ජුදා සහ ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය:
2 මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය.
සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.
3 බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත:
‘එන්න, අපි යමු;
සමිඳුන්ගේ කන්දට නඟිමු;
ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු;
එතුමාණන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’
මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සියොන් කන්දෙන් ය;
එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය.
4 මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක;
එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක.
තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය.
ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත.
ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.
5 අහෝ!
ජාකොබ්ගේ වංශය එන්න, සමිඳුන්ගේ ආලෝකයෙහි අපි ඇවිදිමු.
සමිඳාණන් වහන්සේගේ ආගමන දවස
6 සමිඳුනි, ඔබ තුමාණෝ ජාකොබ්ගේ වංශය වන තමන් සෙනඟ අත්හළ සේක.
මන්ද, පෙරදිගින් පැමිණි යන්ත්‍ර මන්ත්‍රකාරයන්ගෙන් ද පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන් ද දේශය පිරී ඇත.
සෙනඟ විදේශීන් සමඟ අත්වැල් බැඳගෙන සිටිති.
7 ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත.
වස්තුවට නිමක් නැත.
ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත.
ඒ රථවාහනවල නිමක් නැත.
8 ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත.
ඔව්හු සිය අත්වලින් තැනූ දේ නමදිති.
9 මේ නිසා සියලුදෙනා නින්දාවටත්, ලජ්ජාවටත් පත් වනු ඇත.
සමිඳුනි, ඔවුන්ට කමා නොවුව මැනව.
10 සමිඳුන් උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස ඔව්හු ගල්ගුහාවල, නැතහොත්,
බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.
11 මිනිසාගේ අහංකාරය බිඳී යන, අභිමානය සිඳී යන දවසක් පැමිණෙන්නේ ය.
ඒ දවසේ දී සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.
12 ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ,
උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක;
13 ලෙබනොන්හි ඇති උස් කිහිරි ගස් සියල්ල ද විනාශ කරන සේක;
බාෂාන්හි ඇති ආලෝන ගස් ද
14-15 උස් කඳු හෙල් සියල්ල ද උස් කොත් හා සුරැකි පවුරු ද සමතලා කරන සේක;
16 තර්ෂිෂ්හි සියලු නෞකාවලට විරුද්ධ ව සහ සියලු අලංකාර නෞකාවලට විරුද්ධ වන සේක.
17 ඒ දවස පැමිණි විට මිනිසාගේ අහංකාරය බිඳී යන්නේ ය;
අභිමානය සිඳී යන්නේ ය;
සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.
18 සියලු පිළිම සහමුලින් ම පහකරනු ලබන්නේ ය.
19 සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස සෙනඟ ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල්
සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.
20 ඒ දවස පැමිණි විට, රන් රිදීවලින් සාදාගත් පිළිම ඔව්හු මීයන්ට හා වවුලන්ට අත්හැරදමති.
21 සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද බේරෙන පිණිස සෙනඟ ගල්ගුහා, නැතහොත්, බිංගෙවල්
සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.
22 හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න.
ඔහුගේ වටිනාකම කුමක් ද?
– 3 වන පරිච්ඡේදය –
ජෙරුසලමේ අවුල් වියවුල්
1 සමිඳාණෝ එනම්, සව් බලැති සමිඳාණෝ ජෙරුසලමේ හා ජුදාවේ සෙනඟගේ පිහිටාධාරය වන සියලු දේ ඔවුන්ගේ ආහාර පාන ද ඉවත් කරන සේක.
2 වීරවරයන් ද හේවායන් ද විනිශ්චයකාරයන් හා දිවැසිවරයන් ද පේන කියන්නන් හා ප්‍රජා මූලිකයන් ද
3 හමුදාවේ හා රටවැසියන්ගේ නායකයන් ද මන්ත්‍රීවරුන් හා දක්ෂ යන්ත්‍ර මන්ත්රකරුවන් ද එතුමාණෝ පහකරන සේක.
4 සෙනඟගේ අධිපතීන් වශයෙන් ළා බාල අය සමිඳාණෝ පත් කරන සේක.
5 සෙනඟ එකිනෙකාට හා තම අසල්වැසියාට හිරිහැර කරන්නෝ ය.
ගැටවරයෝ වැඩිහිටියන්ටත්, පහත් අය උසස් අයටත් ගෞරව නොකරති.
6 එක් වංශයකට අයිති අය තමන් අතරෙන් කෙනෙකු තෝරාගෙන,
”ඔබට අඳින්න අඩු තරමින් වස්ත්‍රයක් ඇත;
ඒ නිසා මේ අවුල් වියවුල් ඇති අවදියේ අපේ නායකයා වන්නැ”යි කියන කාලයක් පැමිණෙන්නේ ය.
7 එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, ”ඔබ හැමට උදව් කරන්න මට නොහැකි ය.
කෑම වත්, ඇඳුම් වත් මට නැත;
ඔබේ නායකයා වශයෙන් මා පත් නොකරන්නැ”යි කියනු ඇත.
8 සැබැවින් ම ජෙරුසලම නැති නාස්ති වී ඇත.
ජුදා වැටී ඇත.
කුමක් නිසා ද ඔවුන් කරන කියන හැම දේ සමිඳුන්ට විරුද්ධ වේ.
ඔව්හු දෙවිඳුන්ගේ මහිමය හෙළා දකිති.
9 ඔවුන්ගේ අහංකාර පෙනීම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙයි;
සොදොම් වැසියන් මෙන් ඔව්හු එළිපිට ම පව් කරති;
ඔවුන්ට වන විපතක මහත!
එය ඔවුන් තමන් විසින් තමන් පිට ම පමුණුවාගෙන ඇත.
10 ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ ය;
ඔව්හු තමන්ගේ ක්‍රියාවල ඵල භුක්ති විඳින්නෝ ය.
11 එහෙත්, දුෂ්ටයන්ට වන විපතක මහත!
ඔවුන්ගේ ක්‍රියාවල ඵල විපාක ඔවුන් පිට ම වැටෙනු ඇත.
12 aමුදල් ණයට දෙන්නෝ මාගේ සෙනඟට හිරිහැර කරති;
අයුතු පොළී ගන්නෝ ඔවුන් රවටති;
දරුවෝ වැඩිහිටියන්ට හිරිහැර කරති;
ස්ත්‍රීහු පාලනය තම අතට ගනිති.
මාගේ ජනයෙනි, ඔබේ නායකයෝ ඔබ මුළා කරති;
යා යුතු මඟ අවුල් කරති.
ජුදාවේ විනාශය
13 කරුණු ප්‍රකාශ කරන්නත්, ජාතීන් විනිශ්චය කරන්නත් සමිඳාණෝ අසුන් අරා සිටින සේක.
14 සමිඳාණෝ ප්‍රජා මූලිකයන් ද නායකයන් ද විනිශ්චය කරන්න පැමිණෙන සේක.
එතුමාණෝ මෙසේ පැමිණිලි කරන සේක:
”නුඹලා මිදි වතු සූරා කා දුප්පතුන්ගෙන් කොල්ලකාගත් දෙයින් නුඹලාගේ ගෙවල් පුරවාගන්නහු ය.
15 මාගේ සෙනඟ පාගාදමන්නත්, දුප්පතුන්ට අසාධාරණ දේ කරන්නත් නුඹලාට යුතු නැත.
මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.”
ජෙරුසලමේ ස්ත්රීන්ගේ ඉරණම
16 සමිඳාණෝ මෙසේ වදාරන සේක;
”ජෙරුසලම් ස්ත්‍රීහු කෙතරම් ආඩම්බර ද කියා බලන්න.
ඔව්හු අහංකාරකමින් හිස ඔසවාගෙන, නුවන’ඟ බැලුම් හෙළමින්, පා සළඹ හඬ නංවමින් ඇවිදිති.
17 මම ඔවුන්ගේ හිස මුඩුකර, ඔවුන්ගේ රහස’ඟ නග්න කරන්නෙමි.”
18 සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ ස්ත්‍රීන් කෙරෙන්, ඔවුන්ගේ උඩඟුකමට හේතු වන දේවල් එනම්, පාදවලත්, බෙල්ලේත්, හිසේත් පළඳින ආභරණ ද; 19 අත් වළලු ද මුවවස්නා ද; 20 මකුට ද පාදදාම ද ඉඟපටි ද සුවඳ හෙප්පු ද සුර ද; 21 මුදු ද නාසාභරණ ද; 22 මංගල වස්ත්‍ර ද සළු ද උතුරු සළු ද පසුම්බි ද; 23 අත් කැටපත් ද සිහින් හණ රෙදි ද ලේන්සු ද ඇඟ වැසුම් ද පහකර දමන සේක.
24 එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳ ද බඳ පටි වෙනුවට ලණුවක් ද මනා ලෙස ගෙතූ වරලස වෙනුවට හිස් මුඩුකම ද ශෝභමාන ඇඳුම් වෙනුවට දළ රෙදි ද රූපශ්‍රීය වෙනුවට විළිලජ්ජාව ද ඔවුන්ට ඇති වන්නේ ය.
25 නගරයේ සිටින පුරුෂයෝ ඉතා ශක්තිමත් අය වුව ද යුද්ධයේ දී මැරුම් කන්නෝ ය. 26 නගරයේ දොරටු අසලින් හැඬීමත්, වැළපීමත් නික්මෙනු ඇත. නගරය ද නග්න ව බිම වැතිර සිටින ස්ත්‍රියක මෙන් වන්නී ය.
– 4 වන පරිච්ඡේදය –
1 ඒ කාලයේ දී, ස්ත්‍රීන් හත්දෙනෙක් එක මිනිසෙකු අල්ලාගෙන, ”තනිව සිටීමේ නින්දාව පහ කරගන්න පිණිස නුඹ අපේ ස්වාමි පුරුෂයා යයි කියන්න අපට ඉඩ දුන මැනව; අපේ කෑම බීම හා ඇඳුම්පැළඳුම් අපට ම සපයාගත හැකි යැ”යි කියන්නෝ ය.
අනාගත සෞභාග්‍යය
2 සමිඳාණන් වහන්සේගේ අංකුරය අලංකාර ව හා සරුසාර ව වැඩෙන කාලයක් පැමිණෙන්නේ ය. ඉශ්රායෙල්හි ඉතිරි ව සිටින සෙනඟ භූමියෙන් හටගන්න අස්වැන්න ගැන ආඩම්බර වෙති. ප්‍රීති වෙති. 3 ජෙරුසලමේ ඉතිරි ව සිටින අය එනම්, විනාශ නොවී ජීවත් ව සිටින පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අය, ‘ශුද්ධවන්තයෝ යැ’යි කියනු ලබන්නෝ ය. 4 සමිඳාණන් වහන්සේ ස්වකීය බලයෙන් සියොන්හි ස්ත්‍රීන් විනිශ්චයකර, පිරිසිදුකර ජෙරුසලමේ අපරාධය ද එහි වගුරුවනු ලැබූ ලේ ද සෝදා හරින සේක. 5 එවිට උන් වහන්සේ සියොන් කන්දට හා එහි සිටින සියල්ලන්ට ඉහළින් දවාලේ වලාකුළක් ද රාත්‍රියේ දුමාරයක් හා දීප්තිමත් ගින්නක් ද මවා එවන සේක. දෙවියන් වහන්සේගේ තේජාලංකාරය මුළු නගරය වසා ගෙන එය ආරක්ෂා කරන ආවරණයක් මෙන් වන්නේ ය. 6 එය දාවල් ග්‍රීෂ්මයෙන් මුවා වීමට සෙවණක් පිණිසත්, රක්ෂා ස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා වීමට ස්ථානයක් පිණිසත් වන්නේ ය.
– 5 වන පරිච්ඡේදය –
මිදි වත්ත පිළිබඳ ගීය
1 මාගේ පෙම්වතාට ඔහුගේ මිදි වත්ත ගැන මම ගී ගයමි.
මා පෙම්වතාට මිදි වත්තක් සරුසාරවත් කඳු බෑවුමක තිබිණි.
2 ඔහු බිම හාරා ගල් ඉවත්කර, ඉතා හොඳ මිදි වැල් පැළකර, ඒ මැද මුරකොටුවක් ගොඩ නඟා, මිදියුසට තටාකයක් සාදා, හොඳ මිදි පල ලබන්න බලා සිටියේ ය.
අහෝ! එහෙත්, එහි හටගත්තේ වල් මිදි පමණකි.
3 ඒ නිසා මාගේ පෙම්වතා මෙසේ කියයි; ”ජෙරුසලමේ හා ජුදාවේ වැසියෙනි,
මා හා මාගේ මිදි වත්ත අතරේ විනිශ්චය කරන්න.
4 මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද?
එසේ නම්, හොඳ මිදි පල මා බලාපොරොත්තු වන නමුත්, එහි වල් මිදි පල හට ගන්නේ මන් ද?
5 මෙන්න, මාගේ මිදි වත්තට කරන්න යන දේ මම නුඹලාට කියමි.
මම එහි වටේට ඇති වැට ඉවත්කර, ආරක්ෂා පිණිස ඇති තාප්පය බිඳදමා, වන මෘගයන්ට මිදි වත්ත පාගා කා දමන්න ඉඩ හරින්නෙමි.
6 එය පාළු වන්න හරින්නෙමි.
මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත.
එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි.
එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”
7 සව් බලැති සමිඳුන්ගේ මිදි වත්ත නම්, ඉශ්රායෙල් වංශය ය.
එතුමාණන් ප්‍රිය කළ මිදි වැල් නම්, ජුදාහි සෙනඟ ය.
ඔවුන් යුක්තිය ඉටු කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඔවුන් කෙළේ මිනී මැරීම ය;
ඔවුන් දැහැමිකම් කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඇති වූයේ විලාප නැඟීම ය.
සෙනඟට ඇතිවන සාප
8 තමන් පමණක් දේශයේ වාසය කරන පිණිස, අනුන්ට ඉඩකඩ නැති වන තරමට ගෙයකට ගෙයක් එකතු කරගන්න,
කෙතකට කෙතක් යා කරගන්න අයට වන විපතක මහත!
9 සව් බලැති සමිඳුන් මෙසේ වදාරනු මා අසා ඇත.
”මේ විශාල අලංකාර ගෙවල් සියල්ල පාළු නටබුන් වන්නේ ය.
10 හෙක්ටාර් දහයක මිදි වත්තකින් ලැබෙන්නේ මිදියුස ලීටර් අටක් පමණකි.
බිත්තර වී ලීටර් එකසිය අසූවකින් ලැබෙන්නේ ධාන්‍ය ලීටර් දහඅටකි.”
11 මත්පැන් බීමට පාන්දරින් ම නැඟිටින, වෙරිමත්කමින් රෑ වන තුරු පමා වන ඔබට වන විපතක මහත!
12 ඔබේ උත්සවවල වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද මත්පැන් ද ඇත;
එහෙත්, සමිඳුන් කරන දේ ඔබ ගණන් ගන්නේ නැත;
එතුමන්ගේ ක්‍රියා ගැන කල්පනා කරන්නේ වත් නැත.
13 ඔබ අනුවණයන් වන නිසා සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය.
ඔබේ නායකයෝ බඩගින්නේ මැරෙති;
පොදු ජනයා පිපාසයෙන් පෙළෙති.
14 පාතාල ලෝකය ඔවුන් ගිලින්න කට අයාගෙන සිටියි.
එය ජෙරුසලමේ ප්‍රභූවරුන් ද කෑ කෝ ගසන කලබලකාරී පොදු සමූහයා ද ගිලගනියි.
15 මෙසේ සියලු දෙන නින්දාවට පමුණුවනු ලබති;
උඩඟු සියලු දෙන පහත් කරනු ලබති.
16 එහෙත්, සව් බලැති සමිඳාණෝ යුක්තිය ඉටු කරමින් තමන්ගේ ශ්‍රේෂ්ඨකම ද විනිශ්චයයේ සාධාරණත්වයෙන් තමන්ගේ ශුද්ධවන්තකම ද එළිදරව් කරන සේක.
17 නගරවල නටබුන් අතරේ බැටළු පැටව් තණ කන්නෝ ය;
එළු පැටව් ද ගොදුරු සොයන්නෝ ය.
18 වංචාවේ රැහැනින් වෙළී, අපරාධයට වැටෙමින්,
පාප දිවියට පා තබන ඔබට වන විපතක මහත!
19 එය සිදු වූ විට, සමිඳාණෝ, ”තමන් වහන්සේ කරන සේකැ”යි කියන දේ ඉක්මනින් කරන සේක් වා!
එවිට එය අපට බැලිය හැකි ය.
ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ තමන්ගේ අදහස් ඉටු කරන සේක් වා!
”එය සිදු වූ විට, එතුමන්ගේ අදහස් කවරේ ද කියා අපි දැනගනිමු”යි ඔබ කියන්නහු ය.
20 නපුරට යහපත කියා ද යහපතට නපුර කියා ද කියන, එළිය අඳුරු බවටත් අඳුර එළිය බවටත් හරවන මිහිර තිත්ත බවටත් තිත්ත මිහිර බවටත් හරවන ඔබට වන විපතක මහත!
21 ‘අපි ඥානවන්තයෝ ය’යි සිතාගෙන ‘අපි නුවණැත්තෝ ය’යි කල්පනා කරන ඔබට වන විපතක මහත!
22 සුරාපානයට ශූර වූ, සුරා මිශ්‍ර කිරීමට සමත් වූ,
23 අල්ලස් ගෙන දුෂ්ටයා නිදොස් කර, ධර්මිෂ්ඨයන්ගේ අයිතිවාසිකම් පැහැරගත් ඔබට වන විපතක මහත!
24 ශුද්ධ දෙවිඳුන්ගේ වචනය හෙළා දුටු නිසාත්, සව් බලැති සමිඳුන්ගේ අණපණත් ප්‍රතික්ෂේප කළ නිසාත්, ගිනි දැල්ලට ඉපනැලි හා පිදුරු දැවී යන්නාක් මෙන් ඔබට සමාන ඒ ගස්වල
මුල් දිරාපත් වී, මල් වියළී පහ වී යන්නේ ය.
25 සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත.
ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක.
එවිට කඳු කම්පා වනු ඇත;
මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත.
මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත.
ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.
26 සමිඳාණෝ දුර සිටින ජාතීන් පොළොවේ සීමාන්තයේ සිට පැමිණෙන පිණිස සංඥාවකින් කැඳවන සේක.
ඔව්හු ඉක්මනින්, වේගයෙන් පැමිණෙන්නෝ ය.
27 ඔවුන්ගෙන් කිසිවෙකු විඩාවට පත් වන්නේ වත්, පැකිළෙන්නේ වත් නැත;
නිදි කිරා වැටෙන්නේ වත්, නිදාගන්නේ වත් නැත;
ඔවුන්ගේ ඉඟපටි බුරුල්වන්නේ වත්, පා වහන්වල පටි කැඩෙන්නේ වත් නැත.
28 ඔවුන්ගේ ඊතල තියුණු කර තිබේ;
දුනු සියල්ල තැත් කවා තිබේ.
ඔවුන්ගේ අශ්වයන්ගේ කුර ගිනිගල් මෙන් ශක්තිමත් ය;
රථවල රෝද සුළි සුළඟ මෙන් වේගවත් ව කැරකෙයි.
29 ඔවුන්ගේ හේවායෝ ගොදුර අල්ලා සුරැකි ව ගෙන යන සිංහයන් මෙන් ගර්ජනා කරන්නෝ ය.
ඔවුන්ගෙන් ඒවා ගළවාගන්න හැකි කිසිවෙක් නොමැත.
30 ඒ දවස පැමිණි විට ඔව්හු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව, මුහුද ගිගුරුම් දෙන්නාක් මෙන් ගිගුරුම් දෙන්නෝ ය.
දේශය දෙස බැලූ විට දක්නට ලැබෙන්නේ අන්ධකාරය හා විපත්තිය ය.
වලාකුළුවලින් එළිය අඳුරු වී ඇත.
– 6 වන පරිච්ඡේදය –
දිවැසිවර යෙසායා කැඳවනු ලැබීම
1 උශ්ශියා රජු මරණයට පත් වූ අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උස් වූ උදාර වූ සිංහාසනයක් මත වැඩ හිඳිනු මම දිටිමි. උන් වහන්සේගේ සළුවෙන් දේව මාලිගාව පිරී තිබුණේ ය. 2 සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය. 3 එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය:
”සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය.
සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය.
උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.”
4 ඔවුන්ගේ මොරගැසීමේ හඬට දේව මාලිගාවේ අත්තිවාරම සෙලවුණේ ය; දේව මාලිගාව ද දුමෙන් පිරුණේ ය.
5 එවිට මම මෙසේ කීමි: ”අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”
6 එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්, 7 එය මාගේ මුඛයෙහි තවරා, ”මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය. 8 එවිට, ”මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, ”මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි.
9 උන් වහන්සේ මට යන්න කියා සෙනඟට මේ පණිවුඩය දෙන්න යයි මට වදාළ සේක:
”නුඹලා කොතෙක් සවන් දුන්නත් තේරුම් නොගන්නහු ය;
කොතෙක් දුටුවත් වටහා නොගන්නහු ය.
10 මේ සෙනඟගේ සිත් අඳුරු වනු ඇත;
කන් බිහිරි වනු ඇත, ඇස් අන්ධ වනු ඇත.
ඒ නිසා ඔවුන්ට සුවය නොලැබෙන ලෙස ඔවුන්ගේ ඇස්වලින් ඔවුන්ට නොපෙනේ;
කන්වලින් ඔවුන්ට නො ඇසේ;
සිත්වලින් ඔවුන්ට නොවැටහේ.”
11 එවිට මම, ”සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි.
එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක:
”වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.
12 මම ජනයා ඈතට පහකර දමා මුළු දේශය පාළු කරන්නෙමි.
13 දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ.
ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.”
මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ.
– 7 වන පරිච්ඡේදය –
ආහාස් රජුට පණිවුඩය
1 උශ්ශියාගේ මුණුබුරා වූ ද ජෝතාම්ගේ පුත්‍රයා වූ ද ආහාස් ජුදාහි රජකම් කරන කාලයේ දී යුද්ධයක් හටගත්තේ ය. සිරියාවේ රජ වූ රෙශීන් ද රෙමලියාගේ පුත්‍ර වූ ඉශ්රායෙල්හි රජ වූ පෙකා ද ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කළ නමුත් ජයගන්න නොහැකි විය.
2 සිරියාවේ හමුදා ඉශ්රායෙල් දේශයට පිවිස සිටින බව ජුදාවේ රජුට දන්වන ලදී. එවිට රජ ද සෙනඟ ද සුළඟට සැලෙන ගස් මෙන් චංචල වූ හ.
3 එකල සමිඳාණන් වහන්සේ යෙසායාට මෙසේ වදාළ සේක: ”නුඹේ පුත්‍ර ෂෙයාර්-යාෂුබ් සමඟ ආහාස් රජු හමු වන්න යන්න. ඉහළ පොකුණෙන් වතුර ගෙනෙන කාණුවේ කෙළවර ඇති අපුල්ලන්නන්ගේ පිටියේ පිහිටි මාවතේ දී ඔහු නුඹට හමුවනු ඇත.
4 පරීක්ෂාකාරී ව, සන්සුන් ව, නිර්භය ව, නොකැළඹී සිටින්න ඔහුට කියන්න. රෙශීන් සහ සිරියන්වරුන්ගේත්, රෙමලියාගේ පුත්රයාගේත් කෝපාග්නිය දුම් නඟින ගිනිපෙනෙලි දෙකක් වැනි ය. එහි භය වන්න කිසි දෙයක් නැත. 5 සිරියන්වරුන් ඉශ්රායෙල් හා එහි රජු සමඟ ඔබට විරුද්ධ ව කුමන්ත්‍රණය කර ඇත. 6 ඔව්හු ජුදාට විරුද්ධ ව ආක්‍රමණය කොට, සෙනඟ බියගන්වා ඔවුන්ගේ පක්ෂයට බඳවාගෙන, ටාබෙයෙල්ගේ පුත්‍රයා රජකමට පත් කරන්න අදහස් කරති. 7 එහෙත්, එය කිසි කලෙක සිදු නොවන බව ස්වාමීන් වන මම කියමි. 8 මන්ද, සිරියාව දමස්කයට වඩා බලවත් නොවේ; දමස්කය රෙශීන් රජුට වඩා බලවත් නොවේ. ඉශ්රායෙල් සම්බන්ධයෙන් කිව යුත්තේ, හැටපස් වසරකින් ජාතියක් වශයෙන් එයට පවතින්නට නොහැකි වන ලෙස සුණු විසුණු කරනු ලබන බව ය. 9 ඉශ්රායෙල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ; සමාරිය පෙකා රජුට වඩා බලවත් නොවේ. නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම්, නුඹේ පැවැත්ම ස්ථිර වන්නේ නැත.”
එම්මානුවෙල් නම් ලකුණ
10 සමිඳාණන් වහන්සේ ආහාස්ට තවත් පණිවුඩයක් යවමින්, 11 ”නුඹට ලකුණක් දෙන ලෙස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලන්න; ගැඹුරු පාතාලයෙන් හෝ ඉහළ අහසෙන් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැ”යි වදාළ සේක.
12 එහෙත්, ආහාස් උත්තර දෙමින්, ”මම නොඉල්ලමි; සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරමි”යි කී ය.
13 එයට යෙසායා මෙසේ පිළිතුරු දුන්නේ ය: ”එම්බා දාවිත්ගේ වංශය, දැන් සවන් දෙන්න; නුඹලා මාගේ දෙවියන් වහන්සේගේ ඉවසීම වෙහෙසන්නේ, නුඹලා මනුෂ්‍යයන්ගේ ඉවසීම වෙහෙසනවා මදිවාට ද? 14 සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය. 15 නපුර එපාකර යහපත තෝරාගැනීමට තරම් ඔහුට තේරුම් පැහැදුම් ඇති වූ කල ඔහු දීකිරිත් මී පැණිත් වළඳන්නේ ය. 16 ඒ කාලය පැමිණෙන්න පෙර නුඹව තැති ගන්වන ඒ රජවරුන් දෙදෙනාගේ දේශයෝ පාළු වන්නෝ ය.
17 ”ඉශ්රායෙල් රාජ්‍යය ජුදාවෙන් වෙන් වූ කාලයේ පටන් නුවූ විරූ අන්දමේ දුක් කරදර සමිඳාණන් වහන්සේ නුඹ පිටත්, නුඹේ සෙනඟ පිටත්, මුළු රජ පවුල පිටත් පමුණුවන සේක. උන් වහන්සේ අසිරියාවේ රජු නුඹට විරුද්ධ ව එවන සේක.”
අසිරියාව විසින් වටලනු ලැබීම
18 ”ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ නයිල් ගඟ අසබඩ සිටින මිසර වාසීන්ට මැස්සන් සේ පැමිණීමටත්, අසිරියන්වරුන්ට තමන්ගේ දේශයෙන් මීමැස්සන් සේ පැමිණීමටත් සංඥාකර හඬගසනවා ඇත. 19 ඔව්හු සියල්ලෝ ම අවුත්, පාළු මිටියාවත්වල ද පර්වත විවරවල ද සියලු කටු ගස්වල ද සෑම තණ බිම්වල ද රැඳෙන්නෝ ය.
20 ”ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ විසින් යුප්‍රටීස් ගඟට එගොඩින් කරණවෑමියෙකු එනම්, අසිරියාවේ රජු කුලියට ගෙන්වා ගෙන, ඔහු ලවා නුඹේ හිසේ ද සිරුරේ ද කේශ හා රැවුල් බූගාවනු ලබන්නේ ය.
21 ”ඒ කාලය පැමිණි විට ගොවියෙක් එළ නෑම්බියකුත්, බැටළුවන් දෙදෙනෙකුත් පමණක් තබාගෙන 22 උන් දෙන කිරි බොහෝ නිසා දීකිරි කන්නේ ය. දේශයේ ඉතිරි ව සිටින සියල්ලෝ ද දීකිරි සහ මී පැණි කන්නෝ ය.
23 ”ඒ කාලය පැමිණි විට රිදී මිළ දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම මිදි වතුවල කටු ගස් ද ගොකටු ද හටගැනෙනු ඇත. 24 ඊගස් හා දුනු ඇති ව මිස එහි යන්නට කිසිවෙකුට ධෛර්යය ඇති නොවේ. මන්ද, දේශය මුළුල්ලේ කටු ගස් ද ගොකටු ද ඇති වන්නේ ය. 25 කලින් වගා කරන ලද කඳු වුවත් කටු ගස් සහ ඉබාගාතේ යන ගොකටුවලින් වැසී යන්නේ ය. ඒවාට බිය නිසා කිසිවෙක් එහි නොයති. එය ඉබාගාතේ යන ගවයන් හා බැටළුවන් ගොදුරු කන ස්ථානයක් වන්නේ ය.”
– 8 වන පරිච්ඡේදය –
සිරියාවේ විනාශය දැන්වීම
1 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක; ”නුඹ මහත් පුවරුවක් ගෙන එහි ලොකු අකුරෙන් ‘කොල්ලය ශීඝ්‍රයෙන් සිදුවේ’ යන අරුත ඇති ‘මහෙර්-ෂාලාල්-හාෂ්-බශ්’ යන වචන ලියන්න. 2 විශ්වාසවන්ත සාක්ෂිකාරයන් වන උරියා නමැති පූජකයාත් ජෙබෙරෙකියාගේ පුත්‍ර වූ සෙකරියාත් සාක්ෂි පිණිස ගන්න.”
3 ටික දිනකට පසු මම මාගේ භාර්යාව සමඟ සහවාසයේ යෙදුණෙමි. ඈ පිළිසිඳගෙන දරුවෙකු බිහි කළා ය. සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”ඔහුට, ‘මහෙර්-ෂාලාල්-හාෂ්-බශ්’ කියා නම් තබන්න. 4 මන්ද, ‘අම්මේ, තාත්තේ’ කියා කියන්න දරුවාට හැකි වන්න පෙර දමස්කයේ සකල වස්තුවත්, සමාරියේ මුළු කොල්ලයත් අසිරියාවේ රජු විසින් ගෙනයනු ලබන්නේ ය.”
අසිරියා රජුගේ පැමිණීම
5 සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක: 6 ”මේ සෙනඟ හෙමින් ගලා බැස යන ෂිලොවාහි දිය ඇල එපා කොට, රෙශීන් ද පෙකා රජු ද ඉදිරියේ වෙවුළන බැවින්, 7 ස්වාමීන් වන මම අසිරියාවේ රජු ද ඔහුගේ මුළු සේනාව ද ජුදා රටට පහර දෙන පිණිස ගෙනෙන්නෙමි. යුප්‍රටීස් ගඟේ ඉවුරු තලා යන ජලගැලීම සේ ඔවුන් ඉදිරියට එනු ඇත. 8 ඔව්හු ගෙල දක්වා ඉහළට නැඟ සෑම තැනම පැතිරී යන ජල ගැල්මක් සේ ජුදා පුරා පැතිරී යන්නෝ ය.”
දෙවියන් වහන්සේ අප සමඟ ය. විහිදී ඇති පියාපත්වලින් උන් වහන්සේ රට ආරක්ෂා කරන සේක.
9 ජාතීනි, බියෙන් ඇලළී යන්න; පොළොවේ දුර බැහැර ප්‍රදේශවල ජනයෙනි, සවන් දෙන්න; සටනට සැරසෙන්න; එහෙත්, භයපත් වන්න. එසේ ය, සැරසෙන්න. එහෙත්, භයපත් වන්න. 10 එක් ව මන්ත්‍රණය කරන්න; එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. ඇති තරම් කතා කරන්න. එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. මන්ද, දෙවියන් වහන්සේ අප සමඟ ය.
දිවැසිවරයාට අනතුරු ඇඟවීම
11 සෙනඟ යන මාර්ගයෙහි නොයන ලෙස සමිඳාණන් වහන්සේ තමන් මහත් බලයෙන් මට දැනුමැතිකම් දෙමින් මෙසේ වදාළ සේක: 12 ”සෙනඟ කුමන්ත්‍රණය යි කියන සියල්ලට නුඹ කුමන්ත්‍රණය යි නොකියන්න. ඔවුන් භය වන දේට භය නොවන්න. 13 සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ තැනැන් වහන්සේ බව මතක තබාගන්න. නුඹ භය විය යුත්තේ මට පමණකි. 14 මම ශුද්ධස්ථානයකට ද මිනිසුන්ගේ පැකිළීමට හේතු වන ගලකට ද සමාන වෙමි; ජුදා හා ඉශ්රායෙල් රාජ්‍යවල සෙනඟ ද ජෙරුසලමේ වැසියන් ද අසු කරගන්න මලපතක් හා සමාන වෙමි. 15 බොහෝ දෙනෙක් පැකිළී වැටෙති. ඔව්හු වැටී පොඩි වී යති. ඔවුන් මලපතට අසු වනු ඇත.”
දිවැසිවර යෙසායා ගෝලයන් ඇමතීම
16 මාගේ ගෝලයන් දෙවියන් වහන්සේ මට දුන් පණිවුඩය ආරක්ෂා කොට සිතේ තැන්පත් කරගත යුතු ය. 17 සමිඳාණන් වහන්සේ සිය සෙනඟ වෙතින් සැඟවී සිටින නමුත්, මම උන් වහන්සේ අදහා මාගේ බලාපොරොත්තුව උන් වහන්සේ කෙරෙහි තබමි.
18 සමිඳාණන් වහන්සේ මට දුන් දරුවන් සමඟ මම මෙහි සිටිමි. සියොන් කන්දේ සිය සිහසුන ඇති සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා හට ජීවමාන පණිවුඩ ලෙස අප එවා ඇත.
19 පල්හෑලි දොඩන, තොල් මතුරන අනවිනකාරයන්ගෙන් ද දෛවඥායන්ගෙන් ද ශාස්ත්‍ර අසන්න කියා සෙනඟ නුඹලාට කියනු ඇත. ”ජීවතුන් උදෙසා මළවුන්ගෙන් ද දෙවි දේවතාවන්ගෙන් ද විචාරන්න යුතු ය”යි ඔවුන් කියනු ඇත.
20 එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: ”සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”
කරදර සහිත කාලයක්
21 සෙනඟ අමාරුවට වැටී සාගින්න නිසා රටෙහි ඔබමොබ ඉබාගාතේ යනු ඇත. ඔව්හු සාගින්නෙන් හා කෝපයෙන් තමන්ගේ රජුට හා තමන්ගේ දෙවියන්ට දෙස් කියති. ඔව්හු අහස දෙස බැලුවත්, 22 පොළොව දෙස බැලුවත් විපත හා අන්ධකාරය මිස වෙන කිසිවක් නොදකිති. ඒ භයානක අන්ධකාරයට ඔව්හු පන්නා දමනු ලබන්නෝ ය. මේ කරදර සහිත කාලයෙන් බේරෙන්නට මඟක් ඔවුන්ට කිසිසේත් ඇති නොවේ.
– 9 වන පරිච්ඡේදය –
අනාගත සාම රාජයාණෝ
1 එක් කාලයක දී සාබුලොන් රට ද නප්තලී රට ද අපකීර්තියට පත් වූ නමුත්, අනාගතයේ දී, මධ්‍යධරණි මුහුදේ සිට නැගෙනහිර දෙසට ජොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි පළාතට එනම්, විදේශීන් වාසය කරන ගලීලය දේශයට ගෞරව පැමිණෙන්නේ ය.
2 අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය.
3 ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක;
ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක.
අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.
4 මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක.
පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය.
5 ආක්‍රමණය කරන හමුදාවේ පාවහන් ද ලෙයින් තැවරුණු ඔවුන්ගේ ඇඳුම් සියල්ල ද ගින්නෙන් දවාලනු ලැබේ.
6 අපට ළදරුවෙක් උපන්නේ ය;
අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය;
එතුමාණෝ අපේ රජු වන සේක.
‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය;
ප්රතාපවත් දෙව් තුමාණෝ ය;
සදාතන පියාණෝ ය;
සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.
7 එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය;
එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය;
මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක.
සව් බලැති සමිඳුන්ගේ උද්යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”
ඉශ්රායෙල්වරුන්ට දඬුවම් කිරීම
8 සමිඳුන් ඉශ්රායෙල් රාජ්‍යයේ ජාකොබ් වංශය කෙරෙහි විනිශ්චය ප්‍රකාශ කර ඇත.
9 සමිඳුන් මෙසේ කර ඇති බව ඉශ්රායෙල්හි සකල ජනයා ද සමාරියේ සිටින සියලු දෙනා ද දැන ගන්නෝ ය.
ඔව්හු එඩිතරකමෙන් ද අහංකාරයෙන් ද මෙසේ කියති:
10 ”ගඩොල්වලින් තැනූ ගොඩනැඟිලි ගරාවැටී ඇතත්, ඒ වෙනුවට කැපූ ගලින් අපි ගොඩනැඟිලි තනන්නෙමු.
අත්තික්කා ලී බාල්ක කපාදමා ඇතත්, ඒ වෙනුවට අපි ඉස්තරම් කිහිරි ලී බාල්ක යොදන්නෙමු.”
11 සමිඳුන් රෙශීන්ගේ සතුරන් ඔවුන්ට පහර දෙන පිණිස පොළඹවා ඇත.
12 නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි.
එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත.
ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.
13 ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට දඬුවම් කළ සමිඳුන් වෙත හැරී නැත.
ඔවුන් සව් බලැති සමිඳුන් සෙව්වේ නැත.
14 එබැවින් එක දවසක දී සමිඳාණෝ ඉශ්රායෙල්හි ඔලීව අතු වැනි නායකයන්ට ද බට ගස් වැනි සෙනඟට ද පහර දී එහි හිසත් වල්ගයත් ගසාදමන සේක.
15 හිස යන්නෙන් අදහස් කරන්නේ වයස්ගත ගරුකටයුතු අය ය;
වල්ගය යන්නෙන් අදහස් කරන්නේ මුසාවාදී දිවැසිවරු ය.
16 සෙනඟට මඟපෙන්වන්නන් ඔවුන් නොමඟ යවා වියවුල් කර ඇත.
17 එබැවින් සමිඳාණෝ තරුණයන් කිසිවෙකුට ගැළවී යන්න ඉඩ නොදෙන සේක;
වැන්දඹුවන්ටත්, අනාථයන්ටත් අනුකම්පා නොකරන සේක.
මන්ද, ඔව්හු සියල්ලෝ අභක්තිකයෝ ද නපුර කරන්නෝ ද වෙති.
ඔවුන් කියන සියලු දේ බොරු ය.
මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත.
ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.
සමාජයේ අසාධාරණකම
18 සෙනඟගේ දුෂ්ටකම කටු පඳුරු හා ගොකටු දවාලන ගින්නක් වැනි ය;
දුම් කඳ ඉහළට නංවන ලැව් ගින්නක් වැනි ය.
19 සව් බලැති සමිඳුන්ගේ උදහසින් දේශය දැවී යන්නේ ය;
සෙනඟ ද ගින්දරට දර මෙන් වන්නෝ ය.
කිසිවෙකු තමා හැර තම සහෝදරයා ගැන සලකන්නේ නැත.
20 දේශයේ සෑම තැනම සෙනඟට සොයාගත හැකි කෑම සියල්ලක්ම ඔවුන් කන නමුත්,
ඒවා පැහැරගෙන කන නමුත්, ඔවුන්ගේ කුසගින්න නොනිවෙන්නේ ය.
ඔවුහු තම දරුවන්ගේ මාංසය වුව ද කන්නෝ ය.
21 මනස්සේ රටේ සෙනඟ ද එප්‍රායිම් රටේ සෙනඟ ද එකිනෙකාට විරුද්ධ ව සටන් කරති.
දෙගොල්ලෝ ම එකතු වී ජුදාවට පහර දෙති.
මේ සියල්ල සිදු වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත.
දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තව ම දිගු කර ඇත.
– 10 වන පරිච්ඡේදය –
1 මාගේ සෙනඟ පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත!
2 එසේ කිරීමෙන් නුඹලා දුප්පතුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ද යුක්තිය ද ලබාගැනීමට ඉඩ නොදෙන්නහු ය.
වැන්දඹුවන්ගේත්, අනාථයන්ගේත් දේපළ පැහැරගන්නහු ය.
3 දෙවිඳුන් නුඹලාට දඬුවම් කරන විට නුඹලා කුමක් කරන්නහු ද?
දුර බැහැර රටකින් නුඹලා පිට විනාශය පැමුණුණ විට නුඹලා කුමක් කරන්නහු ද?
උපකාර ලබාගන්න පිණිස කා වෙත යන්නහු ද?
නුඹලාගේ වස්තුව කොතැන සඟවන්නහු ද?
4 නුඹලා යුද්ධයේ දී මැරුම් කන්නහු ය.
නැත්නම්, සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය.
මේ සියල්ල ම සිදු වුවත් සමිඳුන්ගේ උදහස සංසිඳී නැත.
දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.
අසිරියාව ලවා ඉශ්‍රායෙලයට දඬුවම්
5 මාගේ උදහසට ලක් වූ ජාතියට දඬුවම් කරන පිණිස මම අසිරියාව මුගුරක් හෙවත් සැරයටියක් සේ පාවිච්චි කරමි.
6 මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.
7 එහෙත්, අසිරියාවේ රජුගේ සිතේ වෙන ම සාහසික අදහසක් ඇත.
බොහෝ ජාතීන් විනාශ කිරීමට ඔහු අධිෂ්ඨාන කර ඇත.
8 ඔහු පාරට්ටු කරගනිමින් මෙසේ කියයි:
”මාගේ හැම සෙන්පතියෙක් ම රජ කෙනෙකි.
9 කල්නෝ හා කර්කෙමිෂ් නගර, හමාත් හා අර්පත් නගර මම ජය ගතිමි.
සමාරිය හා දමස්කය මම ජය ගතිමි.
10 ජෙරුසලමේ හා සමාරියේ පිළිමවලට වඩා පිළිමවලින් ගහණ,
පිළිම නමස්කාරයේ යෙදෙන රාජ්‍යයන්ට පහර දෙන්න මම අත දිගු කෙළෙමි.
11 සමාරිය හා එහි ඇති පිළිම මම විනාශ කෙළෙමි.
එසේ ම ජෙරුසලම ද එහි ඇති පිළිම ද මම විනාශ කරමි.”
අසිරියාව වෙත මතු එළඹෙන විනිශ්චය
12 එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”
13 ඔහු මෙසේ කියයි:
”මා මේ සියල්ල කෙළේ, මාගේ ම බලයෙනුත්, ප්‍රඥාවෙනුත්, දක්ෂකමෙනුත් ය.
මම ජාතීන් වෙන් කරන සීමා මකා හැරියෙමි.
ඔවුන්ගේ සම්පත් ද පැහැරගෙන බලවතෙකු මෙන් මම ඒවායේ වැසියන් පාගාදැමීමි.
14 ජනයන්ගේ වස්තුව, පක්ෂි කැදැල්ලක් මෙන් මාගේ අතට අසු විය.
අත්හැර දැමූ බිජු එකතු කරන්නාක් මෙන් ලොවේ ජාතීන් එකතු කරගත්තෙමි.
මා බිය ගන්වන පිණිස තටු ගැසීමක් වත්, හොට ඇරීමක් වත්, කෑගැසීමක් වත් නො වී ය.”
15 එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”පොරොව පාවිච්චි කරන්නාට වඩා පොරොව උතුම් ය යි එයට කිය හැකි ද?
කියත පාවිච්චි කරන්නාට වඩා කියත උතුම් ය යි එයට කිය හැකි ද?
මුගුරකට හෙවත් සැරයටියකට මිනිසෙකු එසවිය නොහැකි ය.
මුගුර හෙවත් සැරයටිය ඔසවන්නේ මිනිසා ය.
16 සව් බලැති සමිඳුන් බලසම්පන්න සෙබළුන්ට දඬුවම් කරන පිණිස රෝග එවන්න අදහස් කර ඇත.
ඔවුන්ගේ සිරුර තුළ නොනිවී ඇවිලෙන ගින්නක් හටගන්නේ ය.
17 ඉශ්‍රායෙල්ගේ ආලෝකය වන දෙවිඳාණෝ ගින්නක් වන සේක.
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ දෙවිඳාණෝ ගිනි දැල්ලක් මෙන් වී කටු ගස් ද ගොකටු ද එක දවසක දී ම විනාශ කර දමන සේක.
18 මාරක රෝගයක් මිනිසෙකු විනාශ කරදමන්නා සේ වන ලැහැබ ද පල බර වූ වතු ද සහමුලින් ම විනාශ කරදමනු ලබන්නේ ය.
19 ඉතිරි වන්නේ, ළමයෙකුට වුව ද ගණන් කළ හැකි ගස් ස්වල්පයක් පමණකි.”
ස්වල්ප දෙනෙකු ඉතිරි වීම
20 ඉශ්රායෙල්හි ගැළවී ඉතිරි වූ කුඩා පිරිස තමන් විනාශ කරන්න උත්සාහ කළ ජාතිය කෙරෙහි තවත් විශ්වාසය නොතබන කාලයක් පැමිණෙන්නේ ය. ඔව්හු ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ විශ්වාසය සැබෑ ලෙස තබන්නෝ ය. 21 ඉශ්රායෙල්හි ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ පරාක්‍රමවත් දෙවියන් වහන්සේ වෙත හැරී එනු ඇත. 22 දැනට ඉශ්රායෙල්හි සෙනඟ මුහුදේ වැලි මෙන් වන නමුත්, ආපසු එන්නේ ඉතිරි කුඩා පිරිසක් පමණකි. සාධාරණ විනිශ්චය ලෙස සෙනඟට විනාශය නියම වී ඇත. 23 සැබැවින් ම සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාළ පරිදි දේශය මුළුල්ලේ උන් වහන්සේ විනාශයක් ඇති කරන සේක.
සමිඳාණන් වහන්සේ අසිරියාවට කරන දඬුවම
24 සියොන්හි ජීවත් වන තමන් සෙනඟට සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මිසර වැසියන් නුඹලාට පීඩා කළාක් මෙන් අසිරියන්වරුන් පොලු මුගුරුවලින් තැළුවත් ඔවුන්ට භය නොවන්න. 25 තව ටික කලකින් මම නුඹලාට දඬුවම් කර නිම කරමි. ඉන්පසු මාගේ උදහස අසිරියන්වරුන්ගේ විනාශයට එල්ල කරන්නෙමි. 26 සියලු බලැති ස්වාමීන් වන මම ඕරෙබ් පර්වතය ළඟ දී මිදියන්වරුන්ට පහර දුන්නාක් මෙන් කසයකින් අසිරියන්වරුන්ට තළන්නෙමි. මිසර වැසියන්ට මා පහර දුන්නාක් මෙන් මම අසිරියාවට ද පහර දෙමි. 27 ඒ කාලය පැමිණි විට අසිරියාවේ බලයෙන් මම නුඹලා නිදහස් කරන්නෙමි. නුඹලාගේ කාය බලය නිසා අසිරියාවේ වියගහ ඉන්පසු නුඹලාගේ කරට බරක් නොවන්නේ ය.”
සතුරා පහර දෙයි
28 ”සතුරෝ අයාත් නගරයට පැමිණ මිග්‍රෝන් මැදින් ගියෝ ය.
ඔවුහු තමන්ගේ බඩුමුට්ටු මික්මාෂ්හි තැබුවෝ ය.
29 ඔව්හු කඳු මාවත පසුකර, රෑ ගෙබාහි නවාතැන් ගෙන සිටිති.
රාමා නගරයේ සෙනඟ කම්පා වී ඇත.
සාවුල් රජුගේ නගරය වන ගිබියාවේ සෙනඟ පලා ගොස් ඇත.
30 ගල්ලිම් වැසියෙනි, හඬ නඟා මොරගසන්න.
ලයිෂා වැසියෙනි, සවන් දෙන්න.
අනාතොත් වැසියෙනි, පිළිතුරු දෙන්න.
31 මද්මේනාහි සෙනඟ ද ගේබිම් වැසියෝ ද පණ බේරාගන්න පිණිස පලා යන්නෝ ය.
32 සතුරෝ අද නොබ් නගරයට පැමිණ සිටිති.
එහි සිටිමින් ඔව්හු සියොන් කන්දටත්, ජෙරුසලම් නුවරටත් විරුද්ධ ව අත් අමෝරාගෙන සිටිති.
33 ගස්වලින් කපාදමන අතු සේ සව් බලැති සමිඳාණෝ ඔවුන් බිඳදමන සේක.
ඔවුන් අතරෙන් ඉතා අසහනකාරී අය සිඳදමනු ලබන්නෝ ය.
උසස් අය පහත් කරනු ලබන්නෝ ය.
34 වනය මැද ඇති ගස් පොරොවකින් කපාදමනු ලබන සේ සමිඳාණෝ ඔවුන් සිඳදමන සේක.
ලෙබනොන්හි අනගි ගස් ඇද වැටෙන්නා සේ ඔව්හු ඇද වැටෙති.”
– 11 වන පරිච්ඡේදය –
සාම රාජ්‍යය
1 ”දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ ය.
එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය.
2 සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හා බලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය.
3 එතුමන්ට ගරුබිය පෑම එතුමාණන්ගේ ප්‍රීතිය වන්නේ ය.
එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේ වත්,
කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේ වත් නැත.
4 එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට,
යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක.
එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක.
වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.
5 යුක්තිය එතුමාණන්ගේ ඉඟපටිය ද විශ්වාසවන්තකම බඳපටිය ද වනු ඇත.
6 වෘකයා බැටළුවා සමඟ වාසය කරන්නේ ය;
දිවියා එළු පැටවා සමඟ ලගින්නේ ය.
සිංහ පැටියා ද වහු පැටියා ද එකට කෑම කන්නෝ ය;
කුඩා දරුවෙක් උන් ගෙන යන්නේ ය.
7 එළදෙන හා වළසා එක්ව තණ කන්නෝ ය;
උන්ගේ පැටව් එකට ලගින්නෝ ය.
සිංහයා හරකා මෙන් පිදුරු කන්නේ ය.
8 කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේ ය.
සිඟිති දරුවා පොළඟාගේ ගුල පිට අත තබන්නේ ය.
9 සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේ ය.
මුහුද, ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.”
වහල්කමට ගෙන ගිය අය ආපසු පැමිණීම
10 දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය. 11 ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
12 සමිඳාණෝ, විසිරී ගොස් සිටින ඉශ්රායෙල් හා ජුදා සෙනඟ පොළොවේ සතර කොනින් ආපසු එක් රැස් කරන බවට ජාතීන් ඉදිරියෙහි සංඥාවක් ඔසවන සේක.
13 ඉශ්රායෙල් ජුදාට ඊර්ෂ්‍යා කරන්නේ වත්, ජුදා ඉශ්රායෙල්ට සතුරුකම් කරන්නේ වත් නැත.
ඉශ්රායෙල්හි ඊර්ෂ්‍යාව පහ ව යන්නේ ය.
ජුදාට පීඩා කරන්නෝ විනාශ කරනු ලබන්නෝ ය.
14 ඔව්හු එකතු වී බටහිර වසන පිලිස්තිවරුන්ට පහර දෙන්නෝ ය;
නැගෙනහිර වසන සෙනඟ කොල්ල කන්නෝ ය.
ඔව්හු ඒදොම් සහ මෝවබ් ජාතීන් ජයගන්නෝ ය.
අම්මොන් වැසියොත් ඔවුන්ට කීකරු වන්නෝ ය.
15 සමිඳාණෝ නයිල් ගඟේ වරාය සහමුලින් ම වියළී යන්න සලස්වන සේක.
එතුමාණෝ යුප්‍රටීස් ගඟ හරහා සිය අත ඔසවා, වියළි සුළඟක් එවා, එය කුඩා දිය පාරවල් හතකට බෙදන සේක.
එවිට සෙනඟ ගොඩබිම යන්නාක් මෙන් එයින් එගොඩ වන්නෝ ය.
16 ඉශ්රායෙල් සෙනඟට මිසරයෙන් පිට වන්න මඟ සැලසුණාක් මෙන් අසිරියාවේ ඉතිරි පිරිසටත් ඒ රටෙන් පිට වන්න මහා මාවත් ඇති වන්නේ ය.
– 12 වන පරිච්ඡේදය –
සමිඳාණන් වහන්සේට පැසසුම් ගීය
1 ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය:
”සමිඳුනි, ඔබට මම ප්‍රශංසා කරමි.
මා කෙරෙහි ඔබ උදහස් ව සිටි නමුත්, දැන් ඒ උදහස නිවී ගොස් ඇත.
ඔබ මට සැනසීම දී ඇත.
2 බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය.
මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි;
එතුමන් කෙරෙහි මට බියක් නැත.
මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය.
එතුමාණෝ මාගේ ගැළවීම ය.”
3 ඔබ ගැළවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නහු ය.
4 ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී යන්නෝ ය:
”සමිඳුන්ට තුති පුදන්න;
එතුමන්ගේ නම පවසා අයැදින්න.
එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න.
එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න.
5 ”සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න;
මුළු ලොවට ම ඒ ගැන දන්වන්න.
6 සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න;
ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
– 13 වන පරිච්ඡේදය –
බබිලෝනියේ විනාශය
1 මේ වනාහි ආමොස්ගේ පුත් යෙසායාට බබිලෝනිය ගැන එළිදරව් වූ දෙවියන් වහන්සේගේ පණිවුඩය ය:
2 ”පාළු කඳු මුදුනක කොඩියක් ඔසවන්න;
රණ හොරණෑව පිඹින්න;
ලකුණක් දෙන්න;
ප්‍රභූවරුන්ගේ දොරටුවට පැමිණෙන ලෙස හේවායින්ට අණ දෙන්න.
3 සමිඳුන්ගේ උදහසට ලක් ව සිටින අයට විරුද්ධ ව සටන් කරන පිණිස එතුමන්ට කැප වූ හේවායින්ට ද බලධාරීන්ට ද පැමිණෙන ලෙස අණ කර ඇත.
4 ”සවන් දෙන්න;
කඳු මුදුනෙහි මහා ඝෝෂාවක් ඇසේ.
එය වනාහි ජාතීන්ගෙනුත්, රට රාජ්‍යවලිනුත් එක් රැස් වන මහා ජනකායකගේ ඝෝෂාව ය.
මම යුද්ධ සඳහා මාගේ හමුදා සූදානම් කරන්නෙමි.
5 පොළොවේ සීමාන්තවල ඇති දුර බැහැර රටවලින් ඔව්හු පැමිණෙති.
මුළු දේශය වනසන පිණිස තමන් වහන්සේගේ උදහසේ ආයුධ වන ඔවුන් සමඟ මම පැමිණෙන්නෙමි.
6 ”මොරගසා වැලපෙන්න.
සමිඳුන්ගේ දවස එනම්,
සර්වපරාක්‍රමයාණන් විනාශය පමුණුවන දවස ආසන්න ය.
7 සෑම අතක්ම බෙලහීන වනු ඇත.
සෑම සිතක්ම අධෛර්ය වනු ඇත.
8 ඔව්හු භීතියට පත් වී ස්ත්‍රියක විඳින ප්‍රසව වේදනාව මෙන් මහා වේදනාවෙන් පෙළෙන්නෝ ය.
ඔව්හු එකිනෙකා දෙස භීතියෙන් බලන්නෝ ය. ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නේ ය.
9 දේශය පාළු කරදමා, එහි වසන පව්කාරයන් එයින් මුලිනුපුටා දමන පිණිස සමිඳුන්ගේ ඒ දවස රෞද්‍ර ව, කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේ ය.
10 අහසේ තාරකා ද ග්‍රහ මණ්ඩලය ද නො බැබළෙන්නේ ය.
ඉර උදාවන විට ම අඳුරු වන්නේ ය.
සඳ ද එළිය නොදෙන්නේ ය.
11 මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත්,
දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත් දඬුවම් කරමි.
උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලහත්කාරකම් කරන්නන්ගේ ආඩම්බරය පහකරන්නෙමි.
12 මිනිසුන් අගනා රනටත් වඩා දුර්ලභ වන්නෝ ය.
ඔව්හු ඕපීර් රනට වඩා දුර්ලභ වන්නෝ ය.
13 සව් බලැති සමිඳුන් වන මම, මාගේ උදහස දක්වන දවසේ දී අහස චංචල කරන්නෙමි;
පොළොව ද නියම තැනින් විසි වී යන්නේ ය.
14 එවිට, ලුහුබඳනා ලද මුවන් මෙන් ද එඬේරෙකු නැති ව විසිරී යන බැටළුවන් මෙන් ද බබිලෝනියේ සිටින විදේශිකයෝ සිය මව් බිම කරා තම තමාගේ සෙනඟ වෙත පලා යන්නෝ ය.
15 හමු වන හැම කෙනෙක් ම ඇනුම් කන්නෝ ය;
අසු වන හැම කෙනෙක් ම කඩුවෙන් මැරුම් කන්නෝ ය.
16 ඔවුන් බලා සිටිය දී ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය.
ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේ ය.
ඔවුන්ගේ භාර්යාවෝ දූෂණය කරනු ලබන්නෝ ය.
17 බබිලෝනියට පහර දෙන පිණිස මම මේදවරුන් පොළඹවන්නෙමි.
ඔවුන් රිදී අගය කරන්නේ වත්, රනට ප්‍රිය වන්නේ වත් නැත.
18 ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලි කරන්නෝ ය;
දරුවන්ට අනුකම්පා නොකරන්නෝ ය;
ළමුන්ට කරුණාව නොදක්වන්නෝ ය.
19 මෙසේ සියලු රාජ්‍යවලට වඩා අලංකාර, ජනයාගේ ආඩම්බරයට තුඩු දෙන බබිලෝනිය මම සොදොම් හා ගොමොරා විනාශ කළාක් මෙන් විනාශ කරන්නෙමි.
20 මින් මතු කවදාවත් එහි කිසිවෙක් නොවසන්නෝ ය.
කිසිම අරාබි ජාතිකයෙකු තමාගේ කූඩාරම එහි ගසන්නේ වත්,
කිසිම එඬේරෙකු තමාගේ බැටළුවන් එහි ලග්ගවන්නේ වත් නැත.
21 වන මෘගයන් එහි ලගිනු ඇත;
බකමූණන් උන්ගේ කැදලි එහි සාදනු ඇත;
පැස්බරුන් එහි වසනු ඇත;
වල් එළුවන් ද එහි නටනු ඇත.
22 එහි ඇති කොත්වලත්, මාලිගාවලත් නරියන් හා සිවලුන් කෑගසනු ඇත.
බබිලෝනියේ විනාශයේ දවස දැන් පැමිණ ඇත. එය වැඩි කල් පවතින්නේ නැත.”
– 14 වන පරිච්ඡේදය –
ඉශ්රායෙල් ජාතියේ පුනරුත්ථාපනය
1 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට නැවත වරක් අනුකම්පා කොට, ඔවුන් තමන්ගේ ම සෙනඟ වශයෙන් තෝරාගෙන ඔවුන්ගේ ම දේශයෙහි ඔවුන් පිහිටුවන සේක. විදේශිකයෝ එහි පැමිණ ඔවුන් සමඟ වාසය කරන්නෝ ය. 2 සමිඳාණන් වහන්සේ ඔවුන්ට දුන් දේශයට ආපසු පැමිණෙන පිණිස බොහෝ ජාතීන් ඉශ්රායෙල්වරුන්ට උදව් දෙනු ඇත. ඒ ජාතීන් වහලුන් වශයෙන් ඉශ්රායෙල්වරුන්ට සේවය කරනු ඇත. වරක් ඉශ්රායෙල්වරුන් යටත් කරගෙන සිටි ජාතීහු දැන් ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලබති. දැන් ඉශ්රායෙල්වරු වරක් තමන්ට පීඩා කළ ජාතීන් පාලනය කරති.
බබිලෝනියේ රජුගේ වැටීම
3 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ දුක් වේදනාවලින් ද ඔවුන් පිට බලයෙන් පමුණුවන ලද බර වැඩවලින් ද නිදහස දෙන සේක. 4 උන් වහන්සේ එසේ කළ විට ඉශ්රායෙල් සෙනඟ බබිලෝනියේ රජුට මෙසේ සරදම් කරනු ඇත:
”කුරිරු නිරිඳු වැටී ඇත;
අනුන්ට පීඩා කිරීමේ ශක්තිය ඔහුට තවත් නැත.
5 සමිඳුන් දුෂ්ටයන්ගේ යෂ්ටියත්, නපුරු පාලකයන්ගේ බලයත් කෙළවර කර ඇත.
6 මන්ද, ඔව්හු යටත් කරගත් ජාතීන්ට ඉමහත් කෝපයෙන් නොනැවතී තළා පෙළා පීඩා කළෝ ය.
7 මුළු පොළොව නිස්කලංක ව, නිශ්චල ව ඇත.
මනුෂ්‍යයෝ ප්‍රීතියෙන් ගී ගයති.
8 ලෙබනොන්හි දේවදාර හා කිහිරි ගස් රජුගේ වැටීම ගැන ප්‍රීති ප්‍රමෝද වෙයි.
මන්ද, රජුගේ ඇවෑමෙන් පසු ඒවා කපා දැමීමට කිසිවෙක් නැත.
9 බබිලෝනියේ රජු පිළිගැනීමට පාතාල ලෝකය කට අයා සිටියි.
පොළොවේ සිටි බලවතුන්ගේ අවතාර ඔහු හමු වීමට අවදි වෙති.
රජවරුන්ගේ අවතාර සිහසුන්වලින් නැඟිටිති.
10 ඔව්හු ඔහුට කතා කොට, ‘දැන් ඔබත් අප මෙන් බෙලහීන ය;
අප හා සමාන ය’යි කියති.
11 වීණාවල වාදනයෙන් එක් කලක් ඔබ ගරු කරනු ලැබුවෙහි ය.
එහෙත් දැන්, ඔබ සිටින්නේ පාතාල ලෝකයේ ය.
ඔබ වැතිර සිටින යහන ඉහඳ පණුවන්ගෙන් පිරී ඇත;
ඔබේ පොරෝණය ද පණුවන්ගෙන් ගහණ ය.
12 ”දීප්තිමත් පහන් තාරකාවෙනි, අරුණෝදයේ පුත්‍රයාණෙනි, ඔබ ස්වර්ගයෙන් වැටී සිටින හැටි!
පෙර ඔබ ජාති ජාතීන් පරාජය කෙළෙහි ය.
දැන් ඔබ බිමට හෙළා වැටී සිටින හැටි!
13 ඔබ මෙසේ සිතා ගත්තෙහි ය:
‘මම ස්වර්ගයට නැඟී, මාගේ සිංහාසනය අහසේ තාරකාවලට ඉහළින් පිහිටුවා උතුරේ ඇති, දෙවිවරුන් රැස් වන කන්ද මුදුනේ රජෙකු මෙන් අසුන් ගන්නෙමි.
14 වලාකුළු පසු කොට ඉහළට නැඟී සර්ව පරාක්‍රමයාණන්ට සමාන වන්නෙමි.
15 අනේ! එහෙත්, ඔබ පාතාල ලෝකයේ පතුලට ම වැටී සිටින හැටි!
16 එහි සිටින අය ඔබ දෙස රවා බලා, ‘පොළොව කම්පා කොට රාජ්‍යයන් බියෙන් ඇලළී යන්න සැලැස්සූ බලවතා ඔබ ද?
17 නගර නැති නාස්ති කොට, ලෝකය පාළුකරයක් බවට පත් කළ තැනැත්තා මොහු ද?
සිරකරුවන්ට කිසි කලෙක නිදහස නුදුන් ඔවුන්ට ආපසු ගෙදර යන්න ඉඩ නුදුන් තැනැත්තා මොහු දැ’යි අසති.
18 ලෝකයේ සියලු රජවරුන්ගේ මළසිරුරු අනර්ඝ සොහොන්වල තබා ඇත;
19 එහෙත්, දුගඳ හමන ඔබේ මළසිරුර පිටතට ඇදදමා ඇත.
එය යුද්ධයේ දී මළ හේවායන්ගේ මළකඳන්වලට යට වී ඇත.
ඒවා සමඟ ඔබේ මළකඳත් ගල් වළකට විසිකරදමනු ලැබ පාගාදමා ඇත.
20 ඔබ ඔබේ දේශය නාස්ති කොට,
ඔබේ සෙනඟ මරාදැමූ බැවින්,
අන් රජවරුන් භූමදාන කරනු ලබන්නාක් මෙන් ඔබ භූමදාන කරනු නොලබන්නෙහි ය.
ඔබේ දුෂ්ට පවුලේ කිසිවෙකුත් සිහියට පවා නොගැනෙති!
21 ඝාතනය ආරම්භ වේ වා!
මේ රජ්ජුරුවන්ගේ දරුවෝ සිය මුතුන්මිත්තන්ගේ පව් නිසා මරනු ලබන්නෝ ය.
ඔවුන්ගෙන් කිසිවෙකුත් ලෝකය පාලනය කරන්නේ වත්,
ලොව පුරා නගර පිහිටුවන්නේ වත් නැත.”
බබිලෝනියේ විනාශය
22 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම බබිලෝනියට පහර දී එය විනාශ කරන්නෙමි. බබිලෝනිය යන නාම මාත්‍රය ද එහි ඉතිරි ව සිටින අය සහ දරු මුණුබුරන් ද මම නැත්තට ම නැති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 23 මම බබිලෝනිය ගොහොරු බිමක් කරන්නෙමි. ඉත්තෑවුන් එහි වාසය කරනු ඇත. විනාශය නමැති කොස්සෙන් මම බබිලෝනිය සහමුලින් ම අතුගාදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
අසිරියාවේ විනාශය
24 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ දිවුරා ඇත:
”මා අදහස් කළ ලෙස සිදු වන්නේ ය.
මා කරන්න අධිෂ්ඨාන කළ දේ කරනු ලබන්නේ ම ය.
25 මාගේ ඉශ්රායෙල් දේශයේ මම අසිරියන්වරුන් විනාශ කොට මාගේ කඳු පිට ඔවුන් පයින් පාගාදමන්නෙමි.
මාගේ සෙනඟ අසිරියාවේ වහල්කමෙන් ද ඔවුන් පිට පටවන ලද බරෙන් ද නිදහස් කරන්නෙමි.
26 මුළු පොළොව පිළිබඳ මාගේ තීරණය මෙය වේ.
ජාතීන්ට දඬුවම් කරන පිණිස මම මාගේ අත ඔසවාගෙන යමි.”
27 සව් බලැති සමිඳුන් මෙසේ කිරීමට අධිෂ්ඨාන කර ඇත.
එය නිෂ්ප්රභා කරන්නේ කවරෙක් ද?
දඬුවම් කිරීමට එතුමන් ස්වකීය හස්තය ඔසවා ඇත.
එය නැවැත්විය හැක්කේ කාට ද?
පිලිස්තිවරුන්ගේ විනාශය
28 ආහාස් රජු මරණයට පත් වූ අවුරුද්දේ දී ප්‍රකාශ කරන ලද පණිවුඩය මෙය ය:
29 ”අහෝ පිලිස්තියේ ජනයෙනි,
නුඹලාට පහර දුන් යෂ්ටිය දැන් කැඩී ඇත.
එහෙත්,
ප්‍රීති නොවන්න.
මන්ද,
එක සර්පයෙකු මළ විට ඊට වඩා විසිකුරු සර්පයෙක් එන්නේ ය.
උගේ බිජුවෙන් ඉගිලෙන ගිනි සර්පයෙක් ඇති වන්නේ ය.
30 සමිඳුන් තමන් සෙනඟ අතරෙන් දුප්පත් අය පෝෂණය කොට,
ඔවුන්ට සුරැකි ව ජීවත් වීමට සලසන සේක.
එහෙත්, පිලිස්තිවරුන් වන නුඹලාගෙන් එකෙකු වත් ඉතිරි නොවන සේ එතුමාණෝ නුඹලා පිට භයානක සාගතයක් එවන සේක.
31 පිලිස්ති ජනයෙනි,
උදව් උපකාර ඉල්ලා කෑමොර ගසන්න;
භීතියෙන් ඇලළී යන්න.
උතුරෙන් දූවිලි වලාකුළක් මෙන් හමුදාවක් පැමිණෙන්නේ ය.
එය වනාහි බිය සුලු ව ආ අය කිසිවෙකු නැති යුද හමුදාවකි.
32 පිලිස්තියෙන් අප වෙත පැමිණෙන පණිවුඩකාරයන්ට අප කුමන පිළිතුරක් දිය යුතු ද?
‘සමිඳුන් සියොන් පිහිටුවා ඇත.
එතුමන්ගේ දුක් විඳින සෙනඟට එහි සුරැකි ව විසිය හැකි යැ’යි කියන්නෙමු.”
– 15 වන පරිච්ඡේදය –
මෝවබ් රටේ විනාශය
1 මෝවබ් රට පිළිබඳ පණිවුඩය මෙය ය:
”එක රාත්‍රියක දී මෝවබ් දේශයෙහි ආර් හා තීර් පාළු කොට වනසන ලදී;
මෝවබ් දේශය පුරා විනාශය ඇත.
2 දීබොන් දේශයේ සෙනඟ ගිරිකුළු දේවාලවලට ගොස් හඬා වැලපෙන්නෝ ය.
නෙබෝ සහ මේදෙබා ගැන මෝවබ් වැලපෙන්නේ ය.
දුක් බරින් ඔවුන් තමන්ගේ හිස් මුඩු කර රැවුල් කපා ඇත.
3 වීථිවල සිටින සෙනඟ ගෝණි රෙදි ඇඳ සිටිති;
ඔව්හු සැම දෙන ම තමන්ගේ පියසි උඩ ද එළිමහන් ඉඩම්වල ද කඳුළු හළමින්, කෑමොරගසා විලාප කියති.
4 හෙෂ්බොන් හා එලෙයාලේ නගරවල සෙනඟ කෑගසති;
ඔවුන්ගේ හඬ ජහශ් දක්වා ඇසෙයි.
හේවායෝ පවා වෙවුලති.
ඔවුන්ගේ ධෛර්යය පහ වී ගොස් ඇත.
5 මාගේ සිත මෝවබ් නිසා කම්පා වෙයි.
එහි සෙනඟ ශෝවාර් හෙවත් එග්ලත්-ෂෙලිෂිය නගරයට පලා යති.
ඇතැමෙක් හඬ හඬා ලුහිත්හි ගොඩැල්ලේ නැඟී යති.
හොරොනායිම් මාර්ගයෙහි දී සමහරු මරහඬ දෙමින් කෑගසති.
6 නිම්රිම්හි ඔය සිඳී ගොස් පාළුකරයක් වී ඇත.
ඒ අසල තණ මැලවී ගොස් ඇත.
අමු කොළයක් දකින්න වත් නැත.
7 තමන් රැස් කරගත් දේපළ රැගෙන බට පඳුරු ඇති ඔය හරහා පලා යන්න සෙනඟ උත්සාහ කරති.
8 මුළු මෝවබ් දේශය පුරා කෑගැසීමේ හඬ ඇසේ;
එහි විලාප හඬ එග්ලයිම් හා බෙයෙර්-එලීම් නගර දක්වා ඇසේ.
9 දීමොන් නගරයේ ගඟ ලෙයින් පිරී ඇත.
ඊටත් වඩා භයානක දෙයක් එහි සෙනඟට කරන්න දෙවිඳුන් අදහස් කර ඇත.
මෝවබ් දේශයෙන් පලා යන අයත්, ඉතිරි ව සිටින සියලු දෙනාත් සිංහයන්ට ගොදුරු වෙති.”
– 16 වන පරිච්ඡේදය –
මෝවබ්වරුන් ජුදාවේ පිහිට සොයා යෑම
1 මෝවබ්හි සෙනඟ කාන්තාරයේ පිහිටි සේලා නගරයේ සිට ජෙරුසලමේ ආණ්ඩුකාරයා වෙත තෑග්ගක් ලෙස බැටළු පැටවුන් යවන්නෝ ය.
2 ඔව්හු කැදැල්ලෙන් පලවා හරින ලද කුරුල්ලන් මෙන් අර්ණොන්හි තොටුපළවල ඉවක් බවක් නැති ව ඒ මේ අත යති.
3 ජුදාවේ සෙනඟට ඔව්හු මෙසේ කියති:
”අපට උපදෙස් දෙන්න;
යුක්තිය ඉටු කරන්න;
ඉර මුදුන් වේලේ ගසකින් වැටෙන සිසිල් සෙවණ යට මෙන් අප ආරක්ෂා කරන්න;
ඔබේ පිහිට අපට දෙන්න;
ගෙයක් දොරක් නැති අප සඟවාගන්න; පලා එන අය පාවා නොදෙන්න.
4 නුඹලාගේ දේශයේ වාසය කරන්න අපට ඉඩ දෙන්න.
අප විනාශ කරන්න මාන බලන අයගෙන් අප ආරක්ෂා කරගන්න.
පීඩාව ද විනාශය ද කෙළවර වන්නේ ය.
දේශය නැති නාස්ති කරන අය පහ වී යන්නෝ ය.
5 එවිට දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු රජ වී අවංක ලෙස ද ප්‍රේමයෙන් ද ආණ්ඩු කරනු ඇත;
හරි දේ කිරීමටත්, යුක්තිය ඉටු කිරීමටත් යුහුසුලු වනු ඇත.”
6 ජුදාවේ සෙනඟ කතා කරමින්, ”මෝවබ් සෙනඟගේ උඩඟුව ද දර්පය ද අහංකාරය ද ගැන අසා ඇත.
එහෙත්, ඔවුන්ගේ පාරට්ටුව හිස් ය”යි කියති.
7 එක් කෙනෙකු වත් නෑර, මෝවබ්වරු තමන්ට ඇති දුක් විපත් නිසා වැලපෙති.
ඔව්හු කීර්-හරෙසෙත් කෙරෙහි බලාපොරොත්තු සුන් වී වැලපෙති.
8 හෙෂ්බොන්හි කෙත් ද සිබ්මාහි මිදි වැල් ද මැලවී ගොස් ඇත.
ජාතීන්ගේ පාලකයන් මත් වූයේ ඒ මිදි වැල්වලින් ලබාගත් මිදියුස බීමෙන් ය.
එක් කාලයක දී ඒ මිදි වතු නැගෙනහිර ජාශර් නගරය හා කාන්තාරය දක්වා ද බස්නාහිර මළ මුහුදෙන් එහා පැත්ත දක්වා ද විහිදී ගොස් තිබිණි.
9 දැන් මම ජාශර්හි වූ මිදි වැල් ගැන වැලපෙන්නාක් මෙන්, සිබ්මාහි මිදි වැල් ගැන ද වැලපෙන්නෙමි.
හෙෂ්බොන් හා එලෙයාලේ ගැන මම කඳුළු වගුරුවන්නෙමි.
යුද හඬ නුඹේ කෙත් වතු පවා විනාශ කිරීමට එන්නේ ය.
10 සාරවත් කෙත්වල කිසිවෙකුට ප්‍රීතියක් නැත.
මිදි වතුවල කිසිවෙකු ගී ගයන්නේ නැත.
මිදියුස ලැබීමට කිසිවෙකු මිදි වලු පාගා මිරිකන්නේ නැත.
ප්‍රීති නාදය දැන් ඇසෙන්නේ නැත.
11 මෝවබ් ගැන දුකෙන් ද කීර්-හෙරෙස් ගැන දොම්නසින් ද මම කෙඳිරිගාන්නෙමි.
12 මෝවබ්හි සෙනඟ යාච්ඤා කරන පිණිස කඳු මුදුන්හි ඇති ශුද්ධස්ථානවලටත්, ගිරිකුළු දේවාලවලටත් යමින් වෙහෙසෙති. එයින් ඔවුන්ට කිසි වැඩක් වන්නේ නැත.
13 මෝවබ් ගැන සමිඳාණන් වහන්සේ මුලින් ප්‍රකාශ කළ පණිවුඩය එය වේ. 14 එහෙත්, දැන් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”කුලීකරුවාගේ සේවා කාලය අවසාන වන්නා සේ අවුරුදු තුනක් ඇතුළත දී මෝවබ්හි සියලු යසඉසුරු නැති වී යන්නේ ය. විශාල සමූහයක් අතරෙන් ඉතිරි වන්නේ ස්වල්ප දෙනෙක් පමණ ය. ඔව්හු ද දුර්වල අය වෙති.”
– 17 වන පරිච්ඡේදය –
සිරියාව හා ඉශ්රායෙල් දඬුවම් කරනු ලැබීම
1 දමස්කය පිළිබඳ දේව ප්රකාශනය මෙය ය:
සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”දමස්කය මින් මතු නුවරක් ව නොපවතින්නේ ය.
එය නටබුන් ගොඩක් වන්නේ ය.
2 සිරියාවේ නගර සදහට ම පාළු වන්නේ ය.
ඒවා බැටළුවන්ට හා ගවයන්ට ලැගුම් බිම් වන්නේ ය.
උන් එලවාදමන්න කිසිවෙක් එහි නොවන්නෝ ය.
3 ඉශ්රායෙල් බලකොටු බිඳ වැටෙන්නේ ය;
දමස්ක ආධිපත්‍යය නැති වන්නේ ය.
ඉශ්රායෙල් සෙනඟට වූවාක් මෙන් ඉතිරි වන සිරියන්වරුන්ගේත් යසඉසුරු පහ වී යන්නේ ය.
4 ”ඉශ්රායෙල්හි තේජස හීන වන එහි වස්තුව පහවන කාලයක් පැමිණෙන්නේ ය.
5 ඉශ්රායෙල් ගොයම් කපන ලද කෙතක් මෙන් වන්නේ ය.
එය රෙපාවරුන්ගේ මිටියාවතේ අන්තිම කරල පවා අහුලාගත් පසු පාළු වී ඇති කෙතක් මෙන් වන්නේ ය.
6 ඔලීව ගසක් සෙලවූ කල මුදුන් අත්තේ ගෙඩි දෙක තුනක් ද අන් අතුවල ගෙඩි හතරක් පහක් ද ඉතිරි වන්නාක් මෙන් ඉශ්රායෙල්හි සෙනඟ ස්වල්ප දෙනෙක් පමණක් ඉතිරි වන්නෝ ය.
මෙසේ පවසන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මම ය.”
7 ඒ දවස පැමිණි විට සෙනඟ තමන්ගේ මැවුම්කාරයාණන් වන ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවියන් වහන්සේ වෙත පිහිට සොයා හැරෙන්නෝ ය. 8 ඔවුන් තමන්ගේ අත්වලින් තනාගත් පූජාසන සලකන්නේ වත්, අෂේරා දේවිය නැමදීමට සිය’තින් සාදාගත් කප් කණු හා දුම් පූජාසන කෙරෙහි විශ්වාසය තබන්නේ වත් නැත.
9 ඒ දවස පැමිණි විට මනා සේ ආරක්ෂා කරන ලද ඒ නගර පාළු වී ඉශ්රායෙල්වරුන් කෙරෙන් හිවීවරුන් ද අමෝරිවරුන් ද පාළුවට හැර පලා ගිය නගර මෙන් නටබුන් වන්නේ ය.
10 ඉශ්රායෙල්වරුනි, ඔබේ විමුක්තිය හා රැකවරණය වන, පර්වතය මෙන් වැඩ සිටින දෙවිඳුන් අමතක කර, ඔබ අඩොනිස් දෙවියාට ද අන්‍ය දෙවිවරුන්ට ද වෘක්ෂාරාම කැප කළහු ය.
11 එහෙත්, ඒවා පැළ කළ දවසේ දී ම ඒවායේ දලු ලා මල් ද හටගන්න නමුත්,
පල නෙළාගැනීමට හැකි වන්නේ නැත.
ශෝකය හා තද දුක පමණක් ඇති වන්නේ ය.
සතුරු ජාතීන් පරාජය කරනු ලැබීම
12 අන්න, බොහෝ ජන සමූහයන්ගේ ඝෝෂාවක්!
මුහුදු ඝෝෂාවක් මෙන් ද මහා රළ පතර ගර්ජනාවක් මෙන් ද ඔව්හු ගිගුරුම් දෙති.
13 වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක.
එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.
14 සවස ඔවුන් අන් අය බිය ගන්වන නමුත්, උදේ වන විට ඔවුන් දකින්න වත් නැත.
අපේ දේශය කොල්ල කන අයගේ ඉරණම එය ය.
– 18 වන පරිච්ඡේදය –
එතියෝපියාව දඬුවම් කරනු ලැබීම
1 එතියෝපියාවේ ගංගාවලට එගොඩින් පියාපත් ගසන හඬක් ඇසෙන රටක් ඇත.
2 ඒ රටින් බට පතුරුවලින් සාදාගත් නැව්වල නයිල් ගඟ දිගේ තානාපතීහු පැමිණෙති.
ශීඝ්‍ර පණිවුඩකාරයන් වන ඔබ ආපසු ගෙදර යන්න.
නයිල් ගඟේ අතුවලින් බෙදී ගිය රටේ වසන ඔබේ ශක්තිමත් බලසම්පන්න ජාතියට,
සියලු දෙනා භීතියට පත් කර ඇති සෙනඟ වෙත පණිවුඩයක් රැගෙන යන්න.
3 ලෝ වැසි සියල්ලෙනි, දෙරණ වැසි සියල්ලෙනි, සවන් දෙන්න.
කඳු පිට සංඥාව ඔසවන විට බලන්න;
හොරණෑව පිඹින විට සවන් දෙන්න.
4 සමිඳුන් මට කතා කොට මෙසේ වදාළ සේක:
”දාවල් ග්‍රීෂ්ම වේලාවේ පායන හිරු මෙන් සන්සුන් ව ද ගොයම් කපන කාලයේ උණුසුම් රැයේ පිනි වලාකුළක් මෙන් නිශ්චල ව ද මම ස්වර්ගයේ සිට බලන්නෙමි.
5 මල් වැටී, ඉදීගෙන එන මිදි පල නෙළාගන්න පෙර මිදි වැලක විසිරී ගිය මිදි රිකිලි කැතිවලින් පාහින්නා සේ ඉතා පහසුවෙන් සතුරෝ එතියෝපියන්වරුන් විනාශ කරති.
6 ඔවුන්ගේ හේවායන්ගේ මළකඳන් පක්ෂීන්ටත්, මෘගයන්ටත් ගොදුරු වන පිණිස අත්හැරදමනු ලබන්නේ ය.
ග්‍රීෂ්ම කාලයෙහි පක්ෂීහු ද ශීත කාලයෙහි මෘගයෝ ද ඒවා කාදමන්නෝ ය.
7 නයිල් ගඟේ අතුවලින් බෙදී ගිය රටේ පිහිටි උස් වූ සිනිඳු වූ හමක් ඇති,
ලෝකයේ සියලු දෙනා භීතියට පත් කර ඇති මේ ශක්තිමත් බලසම්පන්න ජාතියෙන් සව් බලැති සමිඳුන් පුද පූජා ලබන කාලයක් පැමිණෙන්නේ ය.
සව් බලැති දෙවිඳුන් නමස්කාර කරනු ලබන සියොන් කන්ද වෙත ඔව්හු පැමිණෙන්නෝ ය.
– 19 වන පරිච්ඡේදය –
මිසරය දඬුවම් කරනු ලැබීම
1 මිසරය පිළිබඳ දේව ප්රකාශනය මෙසේ ය:
සමිඳාණෝ ශීඝ්‍ර වලාකුළක් පිට නැඟී මිසර දේශයට වඩින සේක.
මිසරයේ දේවතා රූප එතුමන් ඉදිරියෙහි චංචල වන්නේ ය.
එහි සෙනඟ අධෛර්යයට පත් වන්නෝ ය.
2 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මම මිසර දේශය තුළම රටවැසියන් අතර ම යුද්ධයක් හටගන්වන්නෙමි.
එකිනෙකා තම තමාගේ සහෝදරයාටත්, තම තමාගේ අසල්වැසියාටත් විරුද්ධ ව පොළඹවන්නෙමි.
නුවරක් නුවරකටත්, රජෙකු රජෙකුටත් විරුද්ධ ව සටන් කරනු ඇත.
3 මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි;
ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි.
ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත;
මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.
4 මම
මිසරවරුන් කෲර පාලකයෙකුගේ අතට පාවා දෙන්නෙමි;
නපුරු රජෙකු ඔවුන් කෙරෙහි රජකම් කරනු ඇත.
මෙසේ වදාරන්නේ සව් බලැති සමිඳුන් වන මම ය.”
5 නයිල් ගඟේ ජලය සිඳී, ක්‍රමයෙන් වියළී යන්නේ ය.
6 ඒ ගංගාවේ අතු ගංගා සිඳී වියළී යන අතර දුගඳ හමනු ඇත;
බට ගස් ද පන් ගස් ද මැලවී යයි.
7 නයිල් ගං තෙරේ තිබෙන පැළෑටි ද ගඟ අසබඩ වපුරන සියල්ල ද වේළී වැනසී යන්නේ ය.
8 නයිල් ගඟේ මසුන් අල්ලන්නෝ සුසුම් ලන්නෝ ය;
එහි බිළී බාන්නෝ වැලපෙන්නෝ ය; දැල් හෙළන්නෝ විලාප කියන්නෝ ය.
9 හණ පීරන්නෝ ද හෙළ පුළුන් ගෙන රෙදි වියන්නෝ ද කලකිරෙන්නෝ ය;
10 රෙදි වියන්නෝ ද වියවුල් වන්නෝ ය;
දක්ෂ ශිල්පීහු ද ඉමහත් ශෝකයට පත් වන්නෝ ය.
11 ශොවන් නගරයේ අධිපතීහු අන්ත මෝඩයෝ ය.
මිසරයේ නැණවත් උපදේශකයෝ අමන උපදෙස් දෙති.
පුරාණ පණ්ඩිතයන්ගෙන් ද රජවරුන්ගෙන් ද තමන් පැවත එති යි ඔවුන් රජතුමාට කියන්නේ කෙසේ ද?
12 මිසරයේ රජතුමෙනි, ඔබේ දක්ෂ උපදේශකයෝ කොහේ ද?
සමහර විට සව් බලැති සමිඳුන් මිසරයට විරුද්ධ ව අදහස් කර ඇති දේ ඔබට දන්වන්නට ඔවුන්ට හැකි වනු ඇත.
13 ශොවන් හා මෙම්පිස් නගරවල අධිපතියෝ අඥානයෝ ය.
තමන් ජාතියට මඟ පෙන්වනු ඇතැ යි සිතූ ඔවුන් ජාතිය නොමඟ යවා ඇත.
14 සමිඳුන් ඔවුන් වියවුල් කරවන ව්‍යාකූලත්වයක් නගරය තුළ බිහිකර ඇත.
ඒ හේතුවෙන් මිසරය හැම වැරදි දෙයක් ම කරයි.
සුරා සොඬෙකු තමාගේ ම වමනය මත ලිස්සා යන්නාක් මෙන් මිසරය ඒ මේ අත වැනි වැනී යයි,
15 මිසරයේ සිටින දුප්පත් පොහොසත්, උසස් පහත් කිසිවෙකුට උපකාර දීමට එයට නොහැකි ය.
මිසරය දෙවිඳුන් වෙත හැරීම
16 සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය. 17 සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කර ඇති නියමය ඔවුන්ට සිහිකර දෙන හැම වේලේ ම ජුදා දේශය ඔවුන්ට භීතියක් වන්නේ ය.
18 ඒ දවස පැමිණි විට හෙබ්‍රේව් භාෂාව මිසරයේ නගර පහක ව්‍යවහාර කරනු ලැබේ. එහි සිටින සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙනු ඇත. එක නගරයක් ‘සූර්ය නගරය’ යයි කියනු ලබන්නේ ය.
19 ඒ දවස පැමිණි විට සමිඳාණන් වහන්සේට මිසරයේ පූජාසනයක් ද එහි සීමාව ළඟ ගල් කණුවක් ද පිහිටුවනු ලබන්නේ ය. 20 සියලු බලැති සමිඳාණන් වහන්සේ මිසරයේ වැඩ සිටින බවට ඒවා සලකුණු වන්නේ ය. එහි සිටින සෙනඟ පීඩා කරනු ලබන කල, ඔවුන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කළ විට, උන් වහන්සේ ඔවුන් ගළවන පිණිස කෙනෙකු ඔවුන් වෙත එවන සේක. 21 සමිඳාණන් වහන්සේ මිසරයේ සෙනඟට ප්‍රකාශ වන සේක. එසේ කළ විට ඔව්හු උන් වහන්සේ පිළිගෙන පුද පූජා උන් වහන්සේ වෙත ගෙන අවුත් නමස්කාර කරන්නෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේට පොරොන්දු දී ඒවා ඉෂ්ට කරන්නෝ ය. 22 සමිඳාණන් වහන්සේ මිසරයේ සෙනඟට දඬුවම් දෙන සේක; දඬුවම් කර සුව කරන සේක. ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හැරෙනු ඇත. උන් වහන්සේ ද ඔවුන්ගේ කන්නලවු පිළිගෙන ඔවුන් සුවපත් කරනු ඇත.
23 ඒ දවස පැමිණි විට මිසරයේ සිට අසිරියාව දක්වා මහා මාවතක් වන්නේ ය. එහි සිටින සෙනඟ මේ දෙරට අතරේ ඔබමොබ ගමන් කරනු ඇත. මිසරවරුන් ද අසිරියන්වරුන් ද එකට නමස්කාර කරනු ඇත. 24 ඒ දවස පැමිණි විට ඉශ්රායෙල් දේශය මිසරය හා අසිරියාව සමඟ උරෙන් උර ගැටෙන්නේ ය. ඒ ජාති තුන ම මුළු ලොවට ආශීර්වාදයක් වන්නෝය. 25 සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට ආශීර්වාද කොට, ”මාගේ සෙනඟ වන මිසරයටත්, මාගේ මැවිල්ල වන අසිරියාවටත්, මාගේ තෝරාගත් සෙනඟ වන ඉශ්රායෙල්ටත් මම ආශීර්වාද කරන්නෙමි”යි කියන සේක.
– 20 වන පරිච්ඡේදය –
මිසරයේ විනාශය පිළිබඳ ලකුණ
1 අසිරියාවේ රජ වූ සර්ගොන්ගේ අණ පරිදි අසිරියන් හමුදාවේ අණ දෙන නිලධාරියා වන තර්තාන් අෂ්දොද් නම් පිලිස්තියේ නගරයට පහර දී එය අත්පත් කරගත්තේ ය. 2 එයට තුන් අවුරුද්දකට පෙර සමිඳාණන් වහන්සේ ආමොස්ගේ පුත්‍ර වූ යෙසායාට කතා කොට, ඔහු ඉඟ වටා ඇඳ සිටි ගෝණි රෙද්ද හා ලා ගෙන සිටි පාවහන් ඉවත දමන්න අණකළ සේක. ඔහු එසේ කොට වස්ත්‍ර ද පාවහන් ද නැති ව ඇවිද්දේ ය. 3 අෂ්දොද් නගරය අල්ලා ගනු ලැබූ කල සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මාගේ මෙහෙකරු වන යෙසායා තුන් අවුරුද්දක් මුළුල්ලේ වස්ත්‍ර ද පාවහන් ද නැති ව තැන් තැන්වල ඇවිද්දේ ය. මේ වනාහී මිසරයටත්, එතියෝපියාවටත්, සිදු වන්න යන දේ පිළිබඳ පෙර නිමිත්තකි. 4 අසිරියාවේ රජ මේ දෙරටින් අල්ලාගත් සිරකරුවන් නග්නකර, වහල්කමට ගෙන යන්නේ ය. මිසරයට නින්දාවක් පමුණුවමින් බාල මහලු සියලු දෙනා පාවහන් නැති ව නග්න ව, ඉණ ඉහ නැති ව ගමන් ගන්නෝ ය. 5 එතියෝපියාව කෙරෙහි තමන්ගේ විශ්වාසය තැබූ මිසරය ගැන පාරට්ටු කළ අය වියවුල් වී ලජ්ජාවට පැමිණෙන්නෝ ය. 6 ඒ කාලය පැමිණි විට පිලිස්තියේ මුහුදුබඩ වැසියෝ කතා කොට, අසිරියාවේ රජුගෙන් අප ආරක්ෂා කරනු ඇතැ යි මහත් අපේක්ෂාවෙන් විශ්වාස කළ සෙනඟට සිදුවී තිබෙන දේ බලන්න. අපේ අපේක්ෂාවට මෙසේ සිදු වූයේ නම්, අප ගැළවෙන්නේ කෙසේ දැ යි කියනු ඇත.”
– 21 වන පරිච්ඡේදය –
බබිලෝනියේ වැටීම
1 බබිලෝනිය පිළිබඳ දේව ප්රකාශනය මෙසේ ය:
කාන්තාරය හරහා හමන සුළි සුළඟක් සේ භයානක දේශයකින් විනාශය පැමිණෙන්නේ ය.
2 කෲරතර සිද්ධීන් පිළිබඳ දර්ශනයක් මට ප්‍රකාශ කරන ලද්දේ ය.
එය කොල්ලයත්, විනාශයත් පිළිබඳ දර්ශනයකි.
ඒලාම් හමුදාවෙනි, පහර දෙව්!
මේදිය හමුදාවෙනි, නගර වටලාගනිව්!
බබිලෝනිය විසින් ඇති කරන ලද දුක් වේදනා දෙවිඳාණෝ කෙළවර කරන සේක.
3 මා දුටු සිහිනය මාගේ සිතෙහි ඉමහත් භීතියක් ද ස්ත්‍රියකට ඇතිවන ප්‍රසව වේදනාව වැනි වේදනාවක් ද ඇති කර තිබේ.
මම කන් නෑසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි;
ඇස් නොපෙනෙන තරම් කැළඹී සිටිමි.
4 මාගේ හිස කරකැවේ;
භීතියෙන් මම වෙවුළමි;
සවස් වන තුරු මම බලාපොරොත්තුවෙන් බලා සිටිමි.
එහෙත්, සවස් වූ විට ඇති වූයේ භීතිය පමණකි.
5 භෝජන උත්සවයක් පිළියෙළ කරනු ලබන බවත්, අමුත්තන්ට අසුන් ගැනීමට බුමුතුරුණු තබන බවත්, ඔවුන් කමින් බොමින් සිටින බවත් ඒ දර්ශනයෙන් පෙනේ.
එවිට හදිසියේ ම, ”නිලධාරියෙනි නැඟිටින්න, නුඹලාගේ පලිස් සූදානම් කරන්නැ”යි ආඥාවක් නික්මේ.
6 එවිට සමිඳාණෝ මට මෙසේ වදාළ සේක:
”නුඹ ගොස් මුරකාරයෙකු තබා, ඔහු දකින දේ දන්වන්න කියා ඔහුට කියන්න.
7 අසරුවන් දෙදෙන දෙදෙන බැගින් ද කොටළුවන් හා ඔටුවන් පිට යන මිනිසුන් ද ඔහු දුටුවොත්,
එය සුපරීක්ෂාකාරීව නරඹන්න කියා ඔහුට කියන්න.”
8 මුරකරුවා ද, ”ස්වාමීනි, මම රෑ දාවල් දෙක්හි මුර පළේ සිටියෙමි”යි කෑ ගසා කියන්නේ ය.
9 හදිසියේම අසරුවන් දෙදෙන දෙදෙන පිට සෙනඟ පැමිණෙති;
මුරකරුවා ඒ පුවත පළ කරමින්, ”බබිලෝනිය වැටිණි!
බබිලෝනිය වැටිණි!
ඇගේ දෙවිවරුන් වන කැපූ රූප සියල්ල ම කඩා බිඳදමන ලද්දේ ය”යි
කියන්නේ ය.
10 මාගේ ඉශ්රායෙල් සෙනඟෙනි, නුඹලා කමතේ ගොයම් මෙන් මඩිනු ලැබුවහු ය. එහෙත් දැන්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සව් බලැති සමිඳුන්ගෙන් මා ඇසූ ශුභ අස්න මම නුඹලාට දැනුම් දෙන්නෙමි.
ඒදොම් ගැන දේව ප්රකාශනය
11 ඒදොම් ගැන දේව ප්රකාශනය මෙසේ ය:
සේයිර් සිට කෙනෙක් මට හඬගසා, ”මුරකරුව, රාත්‍රිය ගෙවී යන්න තව කොතෙක් වේලා ඇද් ද?
එය ඉක්මනින් ගෙවී යනු ඇද්දැ”යි අසන්නේ ය.
12 ”පහන් වේලාව එන්නේ ය;
රාත්‍රිය ද එන්නේ ය;
ඔබ අසන්න කැමැති නම්, යළි අවුත් අසන්නැ”යි ඔහු පිළිතුරු දෙන්නේ ය.
අරාබිය ගැන දේව ප්රකාශනය
13 අරාබිය ගැන දේව ප්රකාශනය මෙසේ ය:
තවලම් කණ්ඩායම් වශයෙන් ගමන් කරන දෙදාන්වරුනි, අරාබියේ පාළු ප්‍රදේශයේ නුඹලා කඳවුරු බැඳගෙන සිටින්නහු ය.
14 නුඹලා වෙත පැමිණෙන පිපාසිත සෙනඟට බොන්න වතුර දෙන්න;
තේමා රටේ වැසියෙනි, නුඹලාගේ පිහිට සොයා පලා එන්නන්ට කන්න දෙන්න.
15 ඔව්හු කොපුවෙන් ඇදගත් කඩුවලින් ද තැත් කැවූ දුන්නෙන් ද යුද්ධයෙන් ඇති වන විනාශයෙන් ද ගැළවෙන පිණිස පලා යති.
16 එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”හරියට තව අවුරුද්දකින් කේදාර්හි ගෝත්‍රවල බලය නැතිවී යන්නේ ය. 17 දුනුවායෝ කේදාර්හි සිටින සෙනඟ අතරෙන් ඉතා නිර්භීත අය වෙති. එහෙත්, ඔවුන්ගෙන් ඉතිරි වන්නෝ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ පවසන්නෙමි.”
– 22 වන පරිච්ඡේදය –
ජෙරුසලම පිළිබඳ දේව ප්රකාශනය
1 දර්ශන මිටියාවත පිළිබඳ දේව ප්රකාශනය මෙසේ ය:
වැරදී ඇත්තේ කුමක් ද?
නගරයේ සියලු සෙනඟ පියසි උඩට නැඟී උත්සව පවත්වන්නේ මන් ද?
2 මුළු නගරය ඔල්වර හඬින් ද ඝෝෂාවෙන් ද කලබලයෙන් ද පිරී ඇත.
මේ යුද්ධයේ දී මැරුම් කෑ අය මැරුණේ කඩුවෙන් හෝ සටනේ දී හෝ නොවේ.
3 නුඹලාගේ නායකයෝ සියල්ලෝ ම පලා ගියහ.
ඔව්හු එක ඊතලයක් වත් විදින්න පෙර අල්ලාගනු ලැබූ හ.
එඩිතර ම අය දුර පලා ගිය නමුත්, සියල්ලෝ ම සිරකරුවන් මෙන් අල්ලාගන්නා ලදහ.
4 මාගේ සෙනඟ මෙපමණ ගණනක් විනාශ වී ඇති බැවින් දැන් මට තනි ව ම හඬා වැලපෙන්න ඉඩ හරින්න.
මා සනසන්න උත්සාහ නොකරන්න.
5 මේ වනාහි සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීන් විසින් අප පිට පමුණුවන ලද දර්ශන මිටියාවතෙහි කැළඹීම් ද පරාජය ද වියවුල් ද
ඇති වන කාලයක් ය.
නගරයේ පවුරු බිඳදමා ඇත. පිහිට පතා මොරගැසීම් දෝංකාරය කඳු අතරින් ඇසේ.
6 ඒලාම් රටේ හේවායෝ දුනු හී ඇති ව, රථ හා අසුන් පිට නැඟී ආහ.
කීර් රටේ හේවායෝ තමන්ගේ පලිස් සූදානම් කරගත්හ.
7 ජුදාවේ ඉතා සාරවත් මිටියාවත් යුද්ධ රථවලින් පිරී තිබිණි. අසරුවෝ
ජෙරුසලමේ දොරටුව ඉදිරියෙහි සිටියහ.
8 ජුදාවේ බලකොටු සියල්ල වැටිණි. එසේ වූ විට නුඹලා ‘ආරණ්‍ය ගෘහය’ නම් ගබඩාවෙන් අවි ආයුධ ගෙනාවහු ය. 9 ජෙරුසලමේ පවුරු කැඩී බිඳී තිබූ තැන් නුඹලා සටහන් කරගත්තහු ය. පහළ පොකුණෙන් වතුර රැස් කරගත්තහු ය. 10 නුඹලා ජෙරුසලමේ තිබූ සියලු ගෙවල් ගණන් කොට නගරයේ පවුරු අලුත් වැඩියා කිරීමට ඒ ගෙවල් සමහරකින් ගල් ලබාගන්න පිණිස ඒවා බිඳදැමුවහු ය. 11 පරණ පොකුණෙන් ගලා එන වතුර රඳවා ගැනීමට නුඹලා බිත්ති දෙක අතර ජලාශයක් තනාගත්තහු ය. එහෙත්, නුඹලා මේ සියල්ල මීට බොහෝ කලකට පෙර සකස්කර, ඒ අයුරින් සිදු වන්න සැලැස්වූ දෙවියන් වහන්සේ සැලකුවේ නැත.
12 ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.
13 ඒ වෙනුවට නුඹලා ප්‍රීති සන්තෝෂ වූවහු ය.
කෑම සඳහා ගව බැටළු සතුන් මරා, මිදියුස පානය කළහු ය.
”අපි කමු, බොමු.
මන්ද, හෙට අපි මැරෙන්නෙමු”යි නුඹලා කීවහු ය.
14 සව් බලැති දෙවි සමිඳාණෝ මට කතා කොට, ”ජීවිතාන්තය දක්වා නුඹේ මේ අපරාධ කමා නොකරන බව සව් බලැති දෙවි සමිඳාණන් වන මම නුඹලාට කියමි”යි වදාළ සේක.
ෂෙබ්නාට අනතුරු ඇඟවීමක්
15 සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, ”රාජගෘහාධිකාරී ෂෙබ්නා වෙත ගොස් මෙසේ කියන්න මට නියම කළ සේකැ”යි දන්වන්න. 16 ”නුඹ කවරෙක් දැ යි සිතාගන්නෙහි ද? මෙහි නුඹට ගල් පර්වත බෑවුමක සොහොනක් කපා ගැනීමට ද නුඹට ම තැනක් සූදානම් කර ගැනීමට ද නුඹට ඇති අයිතිය කුමක් ද? 17 නුඹ වැදගත් කෙනෙකු වුවත් සමිඳාණන් වහන්සේ නුඹ තදින් අල්ලාගෙන එක වර ම පහතට හෙළන සේක. 18 උන් වහන්සේ නුඹ ගුලිකර බෝලයක් මෙන් විශාල දේශයකට විසිකර දමන සේක. එහි දී නුඹ මහා ආඩම්බරයෙන් තැකූ යුද්ධ රථ අසල නසින්නෙහි ය. නුඹේ ස්වාමියාගේ වංශයට නුඹ නින්දාවකි. 19 සමිඳාණන් වහන්සේ නුඹේ නිලයෙන් නුඹ පහකර නුඹේ උසස් තත්ත්වයෙන් නුඹ පහතට හෙළාදමන සේක.”
20 සමිඳාණන් වහන්සේ ෂෙබ්නාට මෙසේ වදාළ සේක: ”එසේ සිදු වූ විට හිල්කියාගේ පුත්‍ර වූ මාගේ මෙහෙකරු වන එලියාකිම්ට මම අඬගසන්නෙමි. 21 නුඹේ නිල සළුව ඔහුට හඳවා, නුඹේ පටිය ඔහුගේ ඉඟටියේ බැඳ නුඹේ ආධිපත්‍යය මම ඔහුට පවරා දෙමි. ඔහු ජෙරුසලමේ සෙනඟටත්, ජුදාවේ වංශයටත් පියකු මෙන් වනු ඇත. 22 දාවිත්ගේ වංශයේ නිල යතුරු ඔහුට දෙනු ලබන්නේ ය. ඔහු අරින දේ කිසිවෙක් නොවසන්නේ ය. ඔහු වසන දේ කිසිවෙක් නාරින්නේ ය. 23 මම සවිකළ ඇණයක් මෙන් ඔහු සිය තනතුරෙහි තිරසර ලෙස පිහිටුවන්නෙමි. ඔහුගේ මුළු වංශයට ඔහු ගෞරවයක් වන්නේ ය.
24 ”ඔහුගේ ඥාතීහු ද ඔහුගේ භාරය යටතේ සිටින සියලු දෙනා ද ඔහුට බරක් වන්නෝ ය. ඇණයක එල්ලා ඇති හැලි වළං මෙන් ඔවුන් ඔහුගේ ඇඟේ එල්ලෙනු ඇත. 25 එසේ වූ විට ස්ථිර ව සවිකළ ඇණය බුරුල් වී වැටෙන්නේ ය. එහි එල්ලා තිබුණු සියල්ල ගැළවී වැටී යන්නේ ය. එහි අවසානයත් එය ම වන්නේ ය. මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.”
– 23 වන පරිච්ඡේදය –
පිනීසියට දඬුවම් දීම
1 තීර් පිළිබඳ දේව ප්රකාශනය මෙසේ ය:
අහෝ! තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න.
මන්ද, තීර් නම් තොටුපළ විනාශකර ඇත.
එහි ගෙවල් හා වරාය සුන්බුන් වී ඇත.
සයිප්‍රසයෙන් නුඹලාගේ නැව් ආපසු පැමිණෙන විට නුඹලාට ආරංචි වනු ඇත.
2 සීදොන්හි වෙළෙඳුනි, මුහුදුබඩ වැසියෙනි, නිහඬ වන්න.
ඔබේ දූතයෝ මුහුද තරණය කළහ.
3 මිසර වැසියෝ නයිල් ගඟ අසල අස්වැන්නෙන් ද ධාන්‍යයෙන් ද ජාතීන් අතර වෙළඳාම් කිරීමෙන් ආදායම උපයාගත්තෝ ය.
මුහුදෙන් එතෙර සියලු රටවලට නුඹලාගේ භාණ්ඩ යවන ලදී.
4 එම්බා සීදොන් නගරය, නුඹ ලජ්ජා වන්න. මන්ද, සත් සමුදුරු පත්ලත් නුඹ ප්‍රතික්ෂේප කර, ”මම ප්‍රසව වේදනා නොවින්දෙමි; දරුවන් උත්පාද නොකෙළෙමි; තරුණ තරුණියන් ඇතිදැඩි නොකෙළෙමි”යි කියන්නේ ය.
5 තීර් විනාශ කරනු ලැබූ බව මිසර වාසීන්ට ආරංචි වූ විට ඔව්හු තිගැස්සී ශෝක වන්නෝ ය.
6 පිනීසියේ සෙනඟෙනි, ශෝකයෙන් කෑමොරගසන්න.
නුඹලා තර්ෂිෂ් වරායට පලා යන්න උත්සාහ කරන්නහු ද?
7 මෙය මීට බොහෝ ඈත කාලයක දී පිහිටුවන ලද ප්‍රීතිමත් නගරය විය හැකි ද?
යටත් විජිත පිහිටුවන පිණිස මුහුදින් එතෙර පදිංචිකාරයන් යවන ලද්දේ මේ නගරයෙන් ද?
8 ලෝ වැසි සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාජකීය වෙළෙඳුන් විසූ, අධිරාජ නගරයක් වූ තීර්ට විරුද්ධ ව මෙය යෝජනා කෙළේ කවරෙක් ද?
9 ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය.
10 තර්ෂිෂ්හි වැසියෙනි, ගොස් දේශය වගා කරන්න, නුඹලා ආරක්ෂා කරන්න දැන් කිසිවෙක් නැත.
11 සමිඳුන් ස්වකීය හස්තය මුහුද හරහා දිගු කොට රට රාජ්‍යයන් බිඳ හෙළා ඇත.
කානාන්හි සවිමත් පවුරු විනාශ කරන ලෙස එතුමන් අණකර ඇත.
12 ”සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්‍රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්‍රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක.
13 තීර් දේශය වන සතුන් විසින් වනසනු ලබන පිණිස මඟ පෑදුවෝ අසිරියන්වරු නොවෙති; වැටලීමේ කොත් ගොඩනඟා තීර්හි බලකොටු බිඳදමා නගරය සුන්බුන් කළෝ බබිලෝනිවරු ය.
14 තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න.
මන්ද, නුඹලා විශ්වාසය තැබූ නගරය විනාශකර ඇත.
15 රජ කෙනෙකුගේ ආයු කාලය වන අවුරුදු හැත්තෑවක් තුළ තීර් අමතක කරනු ලැබේ. ඒ කාලය අවසන් වූ විට තීර් මෙසේ ගයන වෙසඟනක මෙන් වන්නී ය:
16 ”අමතක වී ගිය කාලකණ්ණි වෙසඟන,
නුඹේ වීණාව රැගෙන නගරය තුළ සැරිසරන්න.
නුඹේ පෙම්වතුන් ආපසු ඇදගන්න පිණිස බොහෝ මිහිරි ගී ගයන්න.”
17 අවුරුදු හැත්තෑව ගත වූ පසු සමිඳාණන් වහන්සේ තීර් වැසියන්ට සිය පරණ වෙළෙඳාමට යන්න ඉඩ හරින සේක. ඈ ලෝකයේ රට රාජ්‍යයන් සමඟ ගනුදෙනු කරනු ඇත. 18 ඈ වෙළෙඳාමෙන් උපයන මුදල සමිඳාණන් වහන්සේට කැප කරනු ඇත. ඈ ඒ මුදල් රැස්කර තබා ගන්නේ නැත. සමිඳාණන් වහන්සේ නමදින අය කෑම හා තමන්ට වුවමනා ඇඳුම් මිලයට ගැනීමට ඒ මුදල වැය කරනු ඇත.
– 24 වන පරිච්ඡේදය –
ලෝකය කෙරෙහි දේව විනිශ්චයය
1 සමිඳාණෝ පොළොව විනාශ කොට, එය මරුකතරක් කරන සේක.
පොළොව පෙරළාදමා, එහි වැසියන් විසුරුවා හරින සේක.
2 සෙනඟට මෙන් පූජකයාටත්, වැඩකාරයාට මෙන් ඔහුගේ ස්වාමියාටත්, වැඩකාරිට මෙන් ඇගේ ස්වාමි දූටත් මිලයට ගන්නාට මෙන් විකුණන්නාටත්, ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත්, පොළියට දෙන්නාට මෙන් පොළියට ගන්නාටත් එසේ සිදු වන්නේ ය.
3 පොළොව සුණු විසුණු වී සහමුලින් ම පාළු වන්නේ ය.
මෙසේ වදාළේ සමිඳාණෝ ය.
4 මුළු පොළොව මැලවී, වියළී යන්නේ ය;
මුළු ලෝකය අබල දුබල වන්නේ ය;
අහසත්, පොළොවත් ජරාවාසයක් වන්නේ ය.
5 සෙනඟ විසින් දෙවිඳුන්ගේ නීති නියෝග හා අණපණත් ද ගිවිසුම ද කඩ කරන ලද බැවින් පොළොව දූෂණය වී ඇත.
6 එබැවින් දෙවිඳුන් පොළොව විනාශ කිරීමට සාපයක් එවා ඇත.
ඔව්හු තමන් කළ දේට දැන් වන්දි ගෙවති.
ජීවත් වී සිටින සෙනඟගේ ගණන එන්න එන්න අඩුවේගෙන යයි.
ඉතිරි වන්නේ ටික දෙනෙකි.
7 මිදිවැල වියළී යයි;
මිදියුස එන්න එන්න හීන වේ;
කලින් ප්‍රීතියෙන් සිටි අය දැන් දුකින් කල් යවති.
8 ඔවුන්ගේ ද වීණා හා බට නළාවල ද ප්‍රීති නාදය දැන් නැවතී ඇත.
9 ගී ගයමින් මිදිරස බීමක් තවත් නැත.
මද්‍යපානය බොන්නන්ට එය දැන් තිත්ත වී ඇත.
10 නගරයේ සියලු දේ අවුල් ජාලාවකි.
කිසිවකු ඇතුළු නොවන පිණිස සියලු ගෙවල් වසාදමා තිබේ.
11 මිනිස්සු වීථිවල මුද්‍රික පානය ඉල්ලා කෑගසති.
ප්‍රීතිය සදහට ම අතුරුදහන් වී ඇත.
දේශයෙන් සන්තෝෂය පහ වී ගොස් ඇත.
12 නගරයේ ඉතිරි ව ඇත්තේ නටබුන් පමණකි.
එහි දොරටු කඩා වැටී ඇත.
13 මුළු ලොවේ සෑම ජාතීන් අතර මෙසේ සිදු වන්නේ ය.
එය හරියට ඔලීව ගස්වල ද මිදි වැල්වල ද පල කඩා නිමකළ පසු අවසාන වූ කාලය වැනි ය.
14 ඉතිරි වන අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය.
බටහිර සිටින අය සමිඳුන්ගේ මහිමතාව ප්‍රකාශ කරති.
15 මුහුදු දිවයින්වල වෙසෙන සෙනඟ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන්ට ප්‍රශංසා කරති.
16 පොළොවේ සීමාන්තවලින් ධර්මිෂ්ඨ දේශය වන ඉශ්රායෙල් සම්බන්ධයෙන් නඟන ප්‍රශංසා ගී අපට ඇසෙන්නේ ය.
එහෙත්, මම කතා කොට, ”මට බලාපොරොත්තුවක් නැත;
මම ක්ෂය වෙමි;
ද්‍රෝහියෝ මා පාවා දෙති.
ඔවුන්ගේ ද්‍රෝහිකම දෙගුණ තෙගුණ වේ ය”යි කියමි.
17 මිහි පිට ජනයෙනි, භයානක දේ ද බොරුවළවල් ද මලපත් ද නුඹලා අසුකරගන්න බලා සිටියි.
18 භයානක දෙයින් බේරෙන්න සොයන තැනැත්තා බොරු වළක වැටෙන්නේ ය.
බොරු වළෙන් ගොඩවන්නා මලපතට අසුවන්නේ ය.
මන්ද අහසේ කවුළු විවෘත ව ඇත.
පොළොවේ අත්තිවාරම කම්පා වන්නේ ය.
19 පොළොව දෙදරා, සිඳී, බිඳී යන්නේ ය;
පොළොව පැළී යන්නේ ය;
පොළොව කම්පා වෙමින් චලනය වන්නේ ය;
20 පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින්,
කුණාටුවකට අසු වූ පැල්පතක් මෙන් සැලෙමින් පවතින්නේ ය.
පොළොව පාපයෙන් බර වී ඇත.
එය කිසි කලක ගොඩගන්නට බැරි වන ලෙස බිඳී වැටෙන්නේ ය.
21 උඩ සිටින, ඉහළ අහසේ බල මණ්ඩලවලටත්,
පොළොවේ සිටින පාලකයන්ටත්, සමිඳුන් දඬුවම් කරන කාලයක් පැමිණෙන්නේ ය.
22 හිරකාරයන් වළක හිරකොට තබන්නාක් මෙන් දෙවිඳාණෝ රජවරුන් සිරගත ව තබන සේක.
දීර්ඝ කාලයකට පසු ඔවුන්ට දඬුවම් කරන්න එන සේක.
23 එවිට, හඳ අඳුරු වන්නේ ය;
ඉර නොබැබළෙන්නේ ය.
මන්ද, සව් බලැති සමිඳුන් රජ වන බැවිනි.
එතුමාණෝ ජෙරුසලමේ සියොන් කන්ද මුදුනේ, රජකම් කරන සේක.
එතුමන්ගේ තේජාලංකාරය ප්‍රජා මූලිකයන් අබිමුව ප්‍රකාශ වන්නේ ය.
– 25 වන පරිච්ඡේදය –
ප්රශස්ති ගීයක්
1 සමිඳුනි, ඔබ මා දෙවිඳාණෝ ය.
ඔබේ නම ගෞරවයෙන් උසස් කොට පසසන්නෙමි.
ඔබ පුදුම දේ කර ඇත.
පෙර ඔබ අදහස් කළ දේ විශ්වාස ලෙස ද සැබෑ ලෙස ද ඔබ ඉටු කරන සේක.
2 ඔබ නගරය සුණු විසුණු කර බලකොටු නටබුන් ගොඩක් කළ සේක.
අපේ සතුරන් ගොඩනැඟුවා වූ මාලිගා සදහට ම විනාශ වී ගොස් ඇත.
ඒවා කවදාවත් යළි ඉදි නොකරනු ලැබේ.
3 බලවත් ජාතීන්ගේ සෙනඟ ඔබට ගෞරව කරති.
කුරිරු ජාතීන්ගේ නගර ඔබට බිය වෙයි.
4 දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක;
කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක;
කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක.
5 නපුරු අය ශීත සෘතුවේ කුණාටුවක් මෙන් ද වියළි දේශයක නියඟයක් මෙන් ද ඔවුන්ට පහර දෙති.
එහෙත් සමිඳුනි, වලාකුළක් තද අවු රශ්මිය පහ කරන්නාක් මෙන් ඔබ අපේ සතුරන් ද නපුරු සෙනඟගේ කෑමොරගැසීම් ද නිහඬ කළ සේක.
ජාතීන්ට මංගල භෝජනයක්
6 සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක. 7 මෙහි දී උන් වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නමැති වලාකුළ පහකරන සේක. 8 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදහට ම විනාශ කරදමන සේක. සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහකරන සේක. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ම ය.
9 එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. ”බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු”
මෝවබ් දේශය දඬුවම් කරනු ලැබීම
10 සමිඳාණන් වහන්සේ සියොන් කන්ද ආරක්ෂා කරන සේක. එහෙත්, මෝවබ් සෙනඟ කසළ ගොඩේ පිදුරු මෙන් මඩිනු ලබන්නෝ ය. 11 පීනන්නෙකු පිනන්නට අත් විදහන්නාක් මෙන් ඔව්හු තමන්ගේ අත් විදහා පාන්නෝ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔවුන්ගේ උඩඟුකම නිසා දක්ෂතාව පහත් කරන සේක. එබැවින් ඔවුන්ගේ ප්රයත්න නිෂ්ඵල වනු ඇත. 12 සමිඳාණන් වහන්සේ උස් පවුරු සමඟ මෝවබ්හි බලකොටු සිඳ බිඳදමන සේක. ඒවා දූවිල්ලෙහි හෙළාදමන සේක.
– 26 වන පරිච්ඡේදය –
දෙවියන් වහන්සේගේ සෙනඟට ජය
1 ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය.
අපට බලවත් නුවරක් ඇත.
කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය.
2 හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව.
3 තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක.
4 සදහට ම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න.
එතුමාණෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක.
5 එතුමාණෝ උඩඟු අය පහත් කළ සේක;
ඔවුන් විසූ බලවත් නගර බිඳ හෙළූ සේක.
එහි පවුරු පොඩිපට්ටම් කොට දූවිල්ලට ඇද දැමූ සේක.
6 පීඩිත වූවෝ ඒ මත දැන් ඇවිදිති.
ඔවුන්ගේ පාදවලින් ඔව්හු ඒවා පාගාදමති.
දෙවිඳුන්ගේ යුක්තිය ගැන පැසසුම්
7 සමිඳුනි, ඔබ දමිටුන්ගේ මාර්ගය සූදානම් කර ඇත;
ඔවුන් යන මඟ සමතලා කර ඇත.
8 අපි ඔබ කැමැත්ත අනුව යමු;
අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය.
අපේ මුළු ආසාව ඔබේ නම පැසසුම ය.
9 රාත්‍රියේ දී මාගේ මුළු සිතින් මම ඔබට ආසා කරමි.
ඉතා ආශාවෙන් අලුයම් වේලේ මම ඔබ සොයන්නෙමි.
ඔබ පොළොව සහ එහි සෙනඟ විනිශ්චය කරන කල යුක්තිය කුමක් දැ යි ඔව්හු දැනගන්නෝ ය.
10 දුෂ්ටයන්ට ඔබ කරුණාව පෑවත්, යුක්තිය කුමක් දැ යි ඔව්හු කිසි කලෙක ඉගෙන නොගනිති.
දමිටු අය සිටින මේ දේශයෙහි වුව ද තවමත් ඔව්හු වැරදි කරන්නෝ ය.
ඔබේ මහිමතාව ඔව්හු නොපිළිගන්නෝ ය.
11 ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත.
එහෙත්, ඔව්හු ඒ බව නොදනිති.
සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව.
ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා!
ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.
12 සමිඳුනි, ඔබ අපට සෞභාග්‍යය දෙන සේක.
අප ඉෂ්ට කරන හැම දේ ඔබේ ක්රියාවේ ප්රතිඵලයකි.
13 අපේ දේව ස්වාමීනි, ඔබ හැර අන් ස්වාමිවරු ද අප පාලනය කළෝ ය.
එහෙත්, ඔබ පමණක් ස්වාමීහු ය.
ඔබේ නාමය පමණක් අපි පිළිගනිමු.
14 දැන් ඔවුන් මිය ගොස් ඇත;
නැවත ජීවත් වන්නේ නැත.
ඔවුන්ගේ අවතාර වත් නැඟිට එන්නේ නැත.
ඔවුන්ගේ නාමය සිතින් මැකී ගොස් ඇත.
15 සමිඳුනි, ඔබ අපේ ජාතිය වර්ධනය කළ සේක;
දේශයේ සීමා විශාල කළ සේක.
මේ නිසා ඔබට ගෞරවය ලැබී ඇත.
16 සමිඳුනි, ඔබ සිය සෙනඟට දඬුවම් කළ විට, ඔව්හු දුක් බරින් ඔබ සොයමින් ඔබට යාච්ඤා කළහ.
17 එසේ ය සමිඳුනි, වේලාව පැමිණි විට, ගර්භණියක ප්‍රසව වේදනාවෙන් කෑගසන්නාක් මෙන් කෑගැසීමට ඔබ අපට සැලැසූ සේක.
18 ගර්භණියක මෙන් කටුක වේදනා වින්ද නමුත්, අපි කිසිවක් බිහි නොකෙළෙමු;
අපේ මවුබිම උදෙසා කිසිදු ජයක් නොලදිමු.
කිසි ම දෙයක් ඉෂ්ට නොකෙළෙමු.
19 අපේ මළ ගිය අය නැවත ජීවත් වනු ඇත;
ඔවුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත.
සොහොන්වල සැතපී සිටින සියලු දෙන පිබිද ප්‍රීතියෙන් ගී ගයත් වා!
බැබළෙන පිනි පොළොව ප්‍රාණවත් කරන සේ බොහෝ කලක් මැරී සිටින අය සමිඳාණෝ නැවත පණ ගන්වන සේක.
විනිශ්චයය හා පුනරුත්ථාපනය
20 මාගේ සෙනඟෙනි, නුඹලාගේ ගෙවලට ඇතුළු වී, දොරවල් වසාගෙන, දෙවිඳුන්ගේ කෝපය සංසිඳෙන තුරු ස්වල්ප කලක් සැඟවී සිටින්න!
21 ලෝ වැසි සියලු දෙනාට ඔවුන්ගේ පව් නිසා දඬුවම් කරන පිණිස සමිඳාණෝ වඩින සේක;
රහසින් කරන ලද මිනීමැරුම් එළි කරනු ලබන්නේ ය.
පොළොව, මැරුම් කෑ අය තවත් නොසඟවන්නේ ය.
– 27 වන පරිච්ඡේදය –
දේව විනිශ්චයය පිළිබඳ උපමා
1 ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ තමන්ගේ දැඩි, බලවත්, භයානක කඩුවෙන් ශීඝ්‍රයෙන් වක් වෙමින් යන ලෙවියාතන් නම් මුහුදු සර්පයාට දඬුවම් කර, මුහුදේ සිටින දිය රකුසා මරාදමන සේක.
2 ඒ දවසේ දී සමිඳුන්ගේ පියකරු මිදි වත්ත ගැන මෙසේ කියනු ඇත:
3 ”එහි රැකවරණයාණෝ සමිඳාණන් වන මම ය.
මම එය ජලයෙන් නිතර සාරවත් කරන්නෙමි.
කිසිවෙකු එයට හානි නොකරන පිණිස මම එය මුර කරන්නෙමි.
4 කෝප වීමට ඉඩක් නැත;
කටු ගොකටු පිරිණි නම්, ඒවා උගුලා, ගිනි තබා විනාශ කරන්න තිබිණි.
5 එයට දෙන ආරක්ෂාවට ගරුකර, මා සමඟ සාමය ඇති කරගනිත් වා!
මා සමඟ සාමය ඇති කරගනිත් වා!”
6 ඒ දවසේ දී ජාකොබ්ගේ පරම්පරාව වන ඉශ්රායෙල් සෙනඟ දලු ලා මල් හටගන්න ගසක් මෙන් මුල් ඇදගන්නේ ය.
පොළොව පලදාවෙන් පිරී යන්නේ ය.
7 ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට සමිඳුන් දැඩි ලෙස දඬුවම් කළාක් මෙන් ඉශ්රායෙල්ටත් දඬුවම් කර ඇද් ද?
ඔවුන් මරණයට පත් කළ සතුරන් විනාශ කළාක් මෙන් ඔවුනුත් විනාශ කර ඇද් ද?
8 සමිඳාණෝ සිය සෙනඟ වහල්කමට යවමින් ඔවුන්ට දඬුවම් කළ සේක;
නැගෙනහිරින් හැමූ අකුණු සුළඟකින් ඔවුන් පහකර දැමූ සේක.
9 විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්‍රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.
10 බලකොටුවලින් ආරක්ෂා කරන ලද නුවර නටබුන් වී ඇත;
පාළු කාන්තාරයක් මෙන් එය ජනහීන වී ඇත.
වස්සා එහි තණ කනු ඇත; එහි ලැග අතු බුදිනු ඇත.
11 ගස්වල අතු වියළී කැඩී ගොස් ඇත.
ස්ත්‍රීහු ඒවා දරට එකතු කරති.
සෙනඟ කිසිවක් තේරුම්ගෙන නැති නිසා,
ඔවුන්ගේ මැවුම්කාර දෙවිඳුන් ඔවුන්ට අනුකම්පා කරන්නේ වත්,
දයාවපාන්නේ වත් නැත.
12 ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ම රටේ එක කොණක සිට අනික් කොණ දක්වා, යුප්‍රටීස් සිට නයිල් ගඟ දක්වා උන් වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ රැස් කොට විනිශ්චයය කරන සේක. උන් වහන්සේ හොඳ ධාන්‍ය බොල්වලින් වෙන් කරන්නාක් මෙන් සුදනන් දුදනන්ගෙන් වෙන් කරන සේක.
13 ඒ දවස පැමිණි විට අසිරියාවේ හා මිසරයේ වහල්කමට ගෙන යන ලද සියලු ඉශ්රායෙල් සෙනඟ ආපසු ගෙනෙනු ලබන පිණිස හොරණෑවක් පිඹිනු ලබන්නේ ය. ඔවුන් ජෙරුසලමට අවුත් උන් වහන්සේගේ මේ ශුද්ධ කන්දේ දී උන් වහන්සේට නමස්කාර කරනු ඇත.
– 28 වන පරිච්ඡේදය –
උතුරේ පිහිටි රාජ්‍යයට තර්ජනයක්
1 ඉශ්රායෙල් රාජ්‍යයට වන විපතක මහත!
ඔවුන්ගේ උඩඟු හිස්වල තේජාලංකාරය මල් කිරුළු මෙන් පරවී යන්නේ ය.
එහෙත්, ඔව්හු හොඳට ම වෙරි වී වැතිර සිටිති.
2 ඔවුන්ට පහර දෙන පිණිස සමිඳුන් ශක්තිමත්, බලවත් කෙනෙකු සූදානම් කර ඇත.
ඔහු, ගල් වැස්සක් මෙන් ද වැහි කුණාටුවක් මෙන් ද ගසාගෙන යන මහා ජල ගැලීමක් මෙන් ද මුළු දේශය සම්පූර්ණයෙන් යටත් කරන්නේ ය.
3 බේබදු නායකයන්ගේ අහංකාරය පයින් පාගනු ලබන්නේ ය.
4 ඒ අහංකාර නායකයන්ගේ තේජස පරවී යන මලක් මෙන් මැලවී යන්නේ ය;
අත්තික්කා වාරයේ පළමුවෙන් හටගෙන ඉදුණු පල නෙළාගත් වහා ම කාදමනු ලබන්නාක් මෙන් පහ ව යන්නේ ය.
5 සව් බලැති සමිඳුන් ඉතිරි ව සිටින තමන්ගේ සෙනඟට තේජාලංකාර මල් කිරුළක් ද දීප්තිමත් කිරීටයක් ද මෙන් වන කාලයක් පැමිණෙන්නේ ය.
6 එතුමාණෝ විනිශ්චයකාරයන්ට යුක්තිය පිළිබඳ හැඟීමක් ද නගරයේ දොරටුවලට පහර දෙන සතුරන් පලවා හරින අයට ධෛර්යය ද දෙන සේක.
ජුදාවේ බොරු දිවැසිවරයන් හා පූජකයන්
7 දිවැසිවරුන් හා පූජකයෝ පවා කෙළින් සිටින්න බැරි තරම් වෙරිමත් වී වැනෙති.
ඔවුන් මුද්‍රික පානය හා සුරා පානය කොතරම් බී ඇද්දැ යි කීවොත්, ඔව්හු වියවුල් වී පැකිළෙන්නෝ ය.
දෙවිඳුන් එවන දර්ශන තේරුම්ගන්න නොහැකි තරමට දිවැසිවරු වෙරි වී සිටිති.
පූජකයන් වෙත ගෙනෙන නඩු විභාග කිරීමට නොහැකි තරමට පූජකයෝ වෙරි වී සිටිති.
8 ඔවුන් වාඩි වී සිටින මේස වමනයෙන් පිරී ඇත;
පිරිසිදු එක ම තැනක් වත් නැත.
9 ඔව්හු මට චෝදනා කරමින් මෙසේ කියති:
”ඔහු දහම උගන්වන්න එන්නේ කාට ද?
ඔහුගේ පණිවුඩය වුවමනා කාට ද?
එය සුදුසු වන්නේ කිරි වැරූ දරුවන්ට පමණ යි.
10 ඔහු උත්සාහ කරන්නේ දරුවන්ට මෙන් අපට පේළියෙන් පේළියට පාඩමෙන් පාඩම උගන්වන්න යි.”
11 මේ සෙනඟ මට සවන් දෙන්නේ නැත්නම්, ඔවුන්ට පාඩමක් උගන්වන පිණිස අමුතු භාෂාවක් කතා කරන විදේශිකයන් දෙවිඳුන් පාවිච්චි කරනු ඇත.
12 වෙහෙස වූ ඔබට විවේකයත්, සැප පහසුවත් දෙන්න එතුමන් පොරොන්දු වූ නමුත්,
එතුමන්ට සවන් දෙන්න ඔබ කැමැති නොවූවහු ය.
13 ඒ නිසා සමිඳාණෝ, ඔබට අකුරෙන් අකුර, පේළියෙන් පේළිය, පාඩමෙන් පාඩම, උගන්වන්න යන සේක.
එවිට ඔබ ගන්න පියවරෙන් පියවර පැකිළෙන්නහු ය.
ඔබ තුවාළ ලබන්නහු ය;
මලපතකට අසු වී හිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය.
සියොන් නගරයට අත්තිවාරම් ගලක්
14 ජෙරුසලමේ සිටින, එහි සෙනඟ පාලනය කරන අහංකාර මනුෂ්‍යයෙනි, සමිඳුන් වදාරන වචනයට සවන් දෙන්න.
15 ඔබ මරණය සමඟ ගිවිසුමක් කර ඇතැ යි ද පාතාල ලෝකය සමඟ එකඟත්වයකට පත්වී ඇතැ යි ද පාරට්ටු කරගන්නහු ය.
ඔබේ ආරක්ෂාව සඳහා ඔබ බොරුවත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් විපත්ති පැමිණෙන විට එයින් ඔබ බේරෙනු ඇතැ යි ඔබ සිතන්නහු ය.
16 ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ
වදාරන සේක:
”තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි.
එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි.
එහි මේ වචන කොටා ඇත:
‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’
17 අත්තිවාරම මනින ලණුව යුක්තිය නම් වේ.
ලඹ ලණුව අවංකකම නම් වේ.
නුඹලා විශ්වාසය තබා ඇති බොරු සියල්ල ගල් වර්ෂාවට ගසාගෙන යන්නේ ය; නුඹලාගේ ආරක්ෂාව ජල ගැල්මෙන් විනාශ වන්නේ ය.”
18 එවිට ඔබ මරණය සමඟ කරගත් ගිවිසුම කඩ කරන්නහු ය;
පාතාල ලෝකය සමඟ කරගත් එකඟත්වය අවලංගු කරන්නහු ය.
කඩාගෙන, බිඳගෙන එන විපත්තිය පැමිණි විට ඔබ එයින් ගසාගෙන යනු ලබන්නහු ය.
19 එයින් ඔබට නැවත නැවත, උදයක් උදයක් පාසා පහර වදින්නේ ය.
රෑ දාවල් දෙක්හි එය විඳින්න ඔබට සිදු වන්නේ ය.
මේ ගැන දෙවිඳුන්ගෙන් පණිවුඩයක් ලැබෙන සැම විට ම ඔබ භීතියෙන් ඇලළී යන්නහු ය.
20 ඔබ වනාහි දිගා වන්න බැරි ඇඳේ දිගා වීමට හදන,
පටු ඇතිරිල්ල පොරවා ගන්න යන මිනිසා හා සමාන ය.
21 සමිඳාණෝ තමන් කරන්න අදහස් කළ පුදුම ක්‍රියා මෙන් පෙනෙන දේ ඉෂ්ට කරන පිණිස,
පෙරාශිම් කන්දේ දී හා ගිබියොන් මිටියාවතේ දී සටන් කළාක් මෙන් සටන් කරන සේක.
එය අබිරහස් ක්‍රියාවකි.
22 මා ඔබට දෙන අනතුරු ඇඟවීම් ගැන ඉතින් සරදම් නොකරන්න.
ඔබේ අත්අඩංගු තවත් තද වනු ඇත.
මුළු දේශය විනාශ කිරීමට සව් බලැති සමිඳුන් කර ඇති තීරණය මා අසා ඇත.
දෙවියන් වහන්සේගේ ප්‍රඥාව
23 ඔබ කන් යොමුකර මා කියන දේට සවන් දෙන්න;
මාගේ පණිවුඩය අසන්න.
24 කිසි ම ගොවියෙක් වපුරන පිණිස සෑම දා ම කෙත හාමින්,
සූදානම් කරමින් කල් නොයවන්නේ ය.
25 කෙත සූදානම් කරගත් විට, ඔහු කොල්ලු හා දුරු එහි වපුරන්නේ ය.
තිරිඟු හා බාර්ලි පේළි වශයෙන් එහි සිටුවන්නේ ය.
කෙතේ මායිම්හි සෙසු වර්ගවල බීජ පැළ කරන්නේ ය.
26 දෙවිඳුන් ඔහුට උගන්වා ඇති බැවින් තමාගේ වැඩය කිරීමට ඔහු දනියි.
27 උළුහාල් සුද්ද කරන පිණිස බර මුගුරක් වත්, කරත්ත රෝදයක් වත් පාවිච්චි කරන්නේ නැත.
ඒ වෙනුවට සුදුසු ප්‍රමාණයේ සැහැල්ලු කෝටු පාවිච්චි කරයි.
28 ඔහු තිරිඟු පමණට වඩා පාගා ඒවා නාස්ති කරන්නේ නැත.
ධාන්‍ය කුඩු නොවන ලෙස රථයකින් ඒවා පාගන්න ඔහු දනියි.
29 මේ සියලු ප්‍රඥාව පැමිණෙන්නේ සව් බලැති දෙවිඳුන්ගෙන් ය.
එතුමන්ගේ සැලසුම් ප්‍රඥාවන්ත ය.
ඒවා නිරතුරු සාර්ථක වනු ඇත.
– 29 වන පරිච්ඡේදය –
ජෙරුසලමේ ඉරණම
1 දෙවිඳුන්ගේ පූජාසනය වන ජෙරුසලම, ඔබට වන විපතක මහත!
දාවිත් රජු කඳවුරු බැඳගෙන සිටි නගරයට වන විපතක මහත!
මංගල්‍යයන් හා පූජා උත්සවයන් සමඟ තවත් අවුරුද්දක් දෙකක් ගත වුණාවේ.
2 ඉන්පසු දෙවිඳුන්ගේ පූජාසනය ලෙස හැඳින්වෙන ජෙරුසලම පිට එතුමාණෝ විපත්තිය පමුණුවන සේක.
එකල හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය.
නගරය වුව ද, පූජාසනයක් බවට හරවනු ලැබ එය ගල්වලින් වැසී යන්නේ ය.
3 දෙවිඳාණෝ නගරයට පහර දී බලකොටු සමඟ එය වටලන සේක.
4 ජෙරුසලම, පොළොව යට සිට කතා කරන්න දඟලන අවතාරයක් මෙන් ද දූවිල්ලෙන් නැඟී එන මුකවාඩමක් දමන ලද හඬක් මෙන් ද වන්නේ ය.
ගැඹුරු පොළෝ තලයෙන් ඔබේ හඬ ඇසෙන්නේ ය;
දූවිල්ල යටින් ඔබේ වචන නික්මෙන්නේ ය.
5 එහෙත්, එම්බා ජෙරුසලම!
ඔබට පහර දෙන විදේශීන් සියලු දෙන දූවිල්ල මෙන් ගසාගෙන යනු ඇත;
ඔවුන්ගේ භයානක හමුදා පිදුරු මෙන් පහ වී යනු ඇත.
6 සව් බලැති සමිඳාණෝ ගර්ජනාවෙන් ද මහත් ශබ්දයකින් ද සුළි සුළඟකින් ද කුණාටුවකින් ද විනාශකාරී ගින්නකින් ද ප්‍රකාශ වන සේක.
7 එවිට දෙවිඳුන්ගේ පූජාසනය වන නුවරට පහර දෙන ජාතීන්ගේ සියලු හමුදා ද ඔවුන්ගේ අවි ආයුධ හා උපකරණ සියල්ල ද සිහිනයක් මෙන්, රාත්‍රියේ මවාගත් සිතිවිලි මාත්‍රයක් මෙන්, පහ වී යනු ඇත.
8 ජෙරුසලමට පහර දෙන්න රැස්වන සියලු ජාතීහු සිහිනෙන් කෑම කා,
බඩගින්නෙන් ඇවිදින, සාගින්නෙන් පෙළෙන, මිනිසෙකු හා සමාන වෙති.
නැතහොත්, සිහිනෙන් වතුර බී, වියළි උගුරක් ඇති ව ඇවිදින, පිපාසයෙන් මිය ඇදෙන, මිනිසෙකු හා සමාන වෙති.
අනතුරු හැඟවීම නොතැකීම
9 ඉබාගාතේ ඇවිද ක්ලාන්ත වන්න;
සැප විඳ අන්ධ වන්න;
මඳක් වත් මිදියුස නොබී මත් වන්න;
බිඳක් වත් නොබී වැනි වැනී යන්න.
10 සමිඳුන් ඔබ තද නින්දට වැටෙන ලෙස ඔබ කෙරෙහි නිදිබර ගතිය ඇතිකර තිබේ.
දිවැසිවරුන් සෙනඟගේ දෙනෙත් මෙන්, විය යුතු නමුත්, දෙවිඳුන් ඔවුන්ගේ ඇස් බැඳ ඇත.
බොරු දිවැසිවරුන්ගේ මොළය අවුල්කර ඇත.
11 හැම දිවැස් දර්ශනයක ම තේරුම ඔබෙන් සඟවා ඇත. එය බැඳ මුද්‍රා කරන ලද පොතක් හා සමාන ය. එය අකුරු දන්න කෙනෙකු වෙත ගෙන ගොස්, එය කියවන ලෙස ඔහුගෙන් ඉල්ලූ විට, එය මුද්‍රාකර ඇති නිසා කියවිය නොහැකි යයි ඔහු කියනු ඇත. 12 අකුරු නොදන්න කෙනෙකු වෙත ගෙන ගොස් එය කියවන ලෙස ඔහුගෙන් ඉල්ලූ විට එය කියවන්න ඔහු නොදනිති යි ඔහු කියනු ඇත.
13 සමිඳාණෝ මෙසේ වදාළ සේක:
”මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි.
ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත.
ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.
14 එබැවින් ඔවුන් නොපැතූ අරුමපුදුම දේ මම කරන්නෙමි;
ඔවුන්ගේ ඥානවන්තයන්ගේ තේරුම්ගැනීමේ ශක්තිය නැති වී යන්නේ ය;
ඔවුන්ගේ උගත්තු නූගත්තු වන්නෝ ය.”
ව්‍යාජ උපදේශකයෝ
15 තමන්ගේ අදහස් සඟවාගන්න උත්සාහ කරන අයට වන විපතක මහත!
ඔව්හු රහසේ තමන්ගේ උපායයන් යොදමින්, කිසිවෙකු ඔවුන් දකින්නේ වත්,
ඔවුන් කරන දේ දැන ගන්නේ වත් නැතැ යි සිතති.
16 ඔව්හු කාරණා නොපිට පෙරළති.
වඩා වැදගත් වන්නේ කුම්භකාරයා ද මැටි ද?
මිනිසෙකු සෑදූ දෙයකට, ‘නුඹ මා සෑදුවේ නැත’ කියා හෝ ‘නුඹ කරන දේ නුඹ නොදන්නෙහි ය’ කියා හෝ මිනිසා අමතමින් කිව හැකි ද?
17 එසේ කීම, ‘වනයක් උයනක් බවට ද උයනක් වනයක් බවට ද පත්වීම වැනි ය’ යන කියමනට සමාන ය.
18 ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙනු ඇත.
අඳුරෙහි ජීවත් වූ අන්ධයින්ට ඇස් පෙනීම ලැබෙනු ඇත.
19 දුප්පත් සහ යටහත් පහත් අය ඉශ්රායෙල්හි ස්වාමීන් වන ශුද්ධ තැනැන් වහන්සේ දෙන ප්‍රීතිය නැවත ලබන්නෝ ය.
20 ඒ දවස වනාහි බලහත්කාරකම් කරන, දෙවිඳුන්ට අපහාස කරන අයගේ
අවසානය වේ.
හැම පව්කාරයෙක් ම විනාශ කරනු ලබයි.
21 අනුන්ට වචනයෙන් නින්දා කරන අය ද අපරාධකාරයන් ලැබිය යුතු දඬුවමින් ඔවුන් වළක්වන අය ද අවංක අයට යුක්තිය නොලැබෙන සේ බොරු කියන අය ද දෙවිඳාණෝ විනාශ කරන සේක.
22 ආබ්‍රහම් විපතින් මුදාගත් ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන සමිඳාණෝ දැන් මෙසේ වදාරන සේක:
”මාගේ සෙනඟෙනි, තවත් නුඹලා ලජ්ජාවට පත් කරනු නොලබන්නහු ය.
නුඹලාගේ මුහුණ ලජ්ජාවෙන් සුදුමැළි නොවන්නේ ය.
23 මා නුඹලාට දෙන දරුවන් නුඹලා දකින්නහු ය.
එවිට මා, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
නුඹලා මට ගෞරව කොට මා කෙරෙහි ගරුබියෙන් සිටින්නහු ය.
24 වියවුල් ව සිටින අයට තේරුම්පැහැදුම් ඇති වන්නේ ය.
මැසිවිලි කියන අය ඉගෙනගන්න සතුටු වන්නෝ ය.”
– 30 වන පරිච්ඡේදය –
මිසරය සමඟ කළ, වැඩකට නැති ගිවිසුම
1 සමිඳාණෝ මෙසේ වදාළ සේක: ”ජුදා දේශය පාලනය කරන අය මට විරුද්ධ ව කැරලි ගසන බැවින් ඔවුන්ට වන විපතක මහත!
ඔව්හු පව් පිට පව් කරමින් මා නොකළ සැලසුම අනුගමනය කරති.
මාගේ කැමැත්තට විරුද්ධ ව ගිවිසුම්වලට අත්සන් කරති.
2 මාගෙන් උපදෙස් නොගෙන ඔව්හු උපකාර ලබන පිණිස මිසරයට යති.
ඔවුන් මිසරයේ ආරක්ෂාව පතන නිසා එහි රජවරුන්ගේ රැකවරණය කෙරෙහි ඔව්හු විශ්වාසය තබති.
3 එහෙත්, ඔවුන් උදව් පතන රජු ද රැකවරණය පතන මිසරය ද ඔවුන් නින්දාවට හා විපතට පත් කරනු ඇත.
4 ඔවුන්ගේ තානාපතීන් දැනටමත් ශොවන් හා හානේස් නම් මිසරයේ නගරවලට පැමිණ ඇත.
5 එහෙත්, ජුදාවේ සෙනඟ විශ්වාස කළ නොහැකි පිහිට උපකාර බලාපොරොත්තු වූ නමුත්,
එය දීමට නොහැකි ජාතියක් කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔව්හු ශෝකයට හා විපතට පත් වන්නෝ ය.”
6 දකුණු දිග පාළුකරයේ මෘගයන් ගැන දෙවිඳුන්ගේ පණිවුඩය මෙසේ ය:
”සිංහයන් ද විසකුරු සර්පයන් ද ඉගිලෙන ගිනි සර්පයන් ද සිටින භයානක දේශයක් මැදින් තානාපතීහු ගමන් කරති. ඔව්හු කොටළුවන් ද ඔටුවන් ද පිට අනර්ඝ වටිනා තෑගි බෝග පටවාගෙන ඔවුන්ට පිහිට උපකාර දිය නොහැකි ජාතියක් වෙත යති.
7 මිසරය දෙන උපකාරයෙන් වැඩක් නැත.
ඒ නිසා මා මිසරයට, ‘පඹ මකරා ය’යි කවට නමක් දී ඇත.”
අකීකරු සෙනඟ
8 සෙනඟගේ ස්වභාවය සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධ ව ගල් පුවරුවක සටහන් කරන්න.
ඔවුන් ගැන විස්තරයක් අනාගතයට සදා සාක්ෂියක් මෙන් පවතින ලෙස පොතක ලියා තබන්න කියා දෙවිඳාණෝ මට වදාළ සේක.
9 ඔව්හු හැම වේලේ ම දෙවිඳුන්ට විරුද්ධ ව කැරලි ගසති;
හැම වේලේ ම බොරු කියති;
හැම වේලේ ම සමිඳුන්ගේ ඉගැන්වීම්වලට සවන් දෙන්න අකමැති වෙති.
10 ඔව්හු දිවැසිවරුන්ට නිහඬ වන්න කියමින් මෙසේ කියති:
”හරි දේ ගැන අපට කතා නොකරන්න;
අපට අසන්න ආසා දේ ගැන පමණක් කතා කරන්න;
අපේ සිහින සිතුම්පැතුම් තබාගන්න අපට ඉඩ දෙන්න.
11 අපේ මාර්ගයෙන් ඉවත් ව අපේ ගමනට බාධා නොකරන්න.
ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන්, ගැන ඇසීමට අපට වුවමනාවක් නැත.”
12 එහෙත්, ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් වදාරන දේ මෙසේ ය:
”නුඹලා මා කියන දේ නොසලකා බලහත්කාරයත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබන්නහු ය.
13 නුඹලා වරදකාරයෝ ය;
නුඹලා උඩ සිට පහළට පුපුරා, ඉදිරියට නෙරා ඇති, හදිසියේ බිඳ වැටීමට ළඟා වූ බිත්තියක් හා සමාන ය.
14 නුඹලා ලිපකින් ගිනි අඟුරු ගන්න වත්, පොකුණකින් වතුර බිඳක් ගන්න වත් සෑහෙන තරමට කැබැල්ලක් ඉතිරි නොවන ලෙස පොඩිකරන ලද මැටි භාජනයක් හා සමාන ය.”
15 ඉශ්රායෙල්හි සුවිශුද්ධ මහෝත්තම දෙවි ස්වාමීන් සිය සෙනඟට කතා කොට,
”ආපසු හැරී අවුත් සන්සුන් ව මා කෙරෙහි අදහාගන්න.
එවිට නුඹලා ගැළවී, සුරක්ෂිත ව සිටින්නහු ය”යි වදාරන සේක. එහෙත්, නුඹලා එය ප්‍රතික්ෂේප කළහු ය.
16 ඒ වෙනුවට ශීඝ්‍රයෙන් දුවන අශ්වයන් පිට නැඟී,
සතුරන්ගෙන් බේරී යමු යි කියමින්, නුඹලා ගැළවෙන්න උත්සාහ කරන්නහු ය.
නුඹලා බේරී පලා යා යුතු බව නම් සැබෑ ය.
නුඹලාගේ අශ්වයන් වේගයෙන් දුවති යි නුඹලා සිතන නමුත්,
නුඹලා ලුහුබැඳ එන්නෝ ඊට වඩා වේගයෙන් එන්නෝ ය.
17 එක සතුරෙකු දුටු විට නුඹලාගෙන් දහසක්දෙනා පලා යන්නෝ ය.
කන්දක් උඩ හුදකලා ව තිබෙන ධජ සංකේතයක් හැර නුඹලාගේ හමුදාවෙන් කිසිවක් ඉතිරි වන්නේ නැත.
18 සමිඳාණෝ නුඹලාට කරුණාව පාන්නට බලා සිටින සේක.
එතුමාණෝ සෑම වේලේ ම හරි දේ කරන බැවින් නුඹලාට දයාව දක්වන්න සූදානම් ව සිටින සේක.
එතුමන් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය.
දෙවියන් වහන්සේ සිය සෙනඟට ආශීර්වාද කිරීම
19 ජෙරුසලමේ සිටින සෙනඟෙනි, ඔබ තවත් අඬන්නේ නැත. සමිඳාණන් වහන්සේ දයාන්විත ය. ඔබේ මොරගැසීමට උන් වහන්සේ සවන් දී ඔබට පිළිතුරු දෙන සේක. 20 සමිඳාණන් වහන්සේ විපත නමැති කෑම ද, පීඩා නමැති වතුර ද ඔබට දෙන නමුත්, ඔබට උගන්වන පිණිස උන් වහන්සේ ම ඔබ සමඟ වැඩ සිටින සේක. උන් වහන්සේ සොයා යාමට ඔබට වුවමනාවක් ඇති නොවේ. 21 ඔබ මාර්ගයෙන් දකුණට හෝ වමට හෝ හැරී නොමඟ යන විට, ”මෙන්න හරි මාර්ගය, මෙහි ඇවිදින්නැ”යි කියන හඬක් ඔබට පිටුපසින් ඇසෙනු ඇත. 22 රිදීයෙන් ද රනින් ද ඔප දමන ලද දේව රූප ගෙන, ”නුඹලා අපෙන් ඉවත් වෙත්වා”යි කියමින් ඔබ ඒවා කුණු කසළ මෙන් විසිකර දමන්නහු ය. 23 ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය. 24 බිම් හාන ගවයෝ ද කොටළුවෝ ද ඉතාමත් පෝෂ්‍යදායක ආහාර කන්නෝ ය. 25 ඔබේ සතුරන්ගේ බලකොටු වැටී, සතුරන් මරාදමන දවසේ දී, පර්වත හා කඳු මුදුන්වලින් ජලධාරා ගලා එන්නේ ය. 26 සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට පහර දීමෙන් ඇතිකළ තුවාළ බැඳ සුව කරන දවසේ දී හඳ එළිය ඉර එළිය මෙන් ද, ඉර එළිය සත් ගුණයකින් වැඩි වී සත් දවසක එළිය එක් වූවාක් මෙන් ද බැබළෙන්නේ ය.
සමිඳාණන් වහන්සේ අසිරියාවට දඬුවම් කිරීම
27 සමිඳුන්ගේ බලය හා තේජස දුර තියා ම පෙනෙන්නේ ය.
ගින්න හා ඉන් නඟින දුම් එතුමන්ගේ උදහස දක්වන්නේ ය.
කතා කළ විට එතුමන්ගේ වචන දැවෙන ගින්නක් හා සමාන වන්නේ ය.
28 සියල්ල ගසාගෙන යන ජලගැල්මක් මෙන් එතුමාණෝ තමන්ට පෙරටුවෙන් සුළඟක් එවන සේක.
ඒ සුළඟින් ජාතීන් විනාශ වී ඔවුන්ගේ නපුරු උපායයෝ කෙළවර වන්නෝ ය.
29 එහෙත්, දෙවිඳුන්ගේ සෙනඟ වන ඔබ, ප්‍රීතියෙන් පිනා යන්නහු ය;
ශුද්ධ මංගල්‍ය පවත්වන රාත්‍රියේ දී මෙන් ගී ගයන්නහු ය;
ඉශ්රායෙල්හි ආරක්ෂකයාණන් වන සමිඳුන්ගේ මාලිගාවට යන මාර්ගයේ නළා තාලයට පියවර නඟන අය මෙන් ප්‍රීති වන්නහු ය.
30 සමිඳාණන් වහන්සේ තමන්ගේ මහිමාන්විත හඬ සියල්ලන්ට ඇසෙන්නට සලස්වා තමන්ගේ උදහසේ තද පරුෂකම සියල්ලන්ට දැනෙන්නට සලස්වන සේක. එවිට ගිනි දලු ද ධාරානිපාත වර්ෂාව ද වැහි කුණාටු ද ගල් වර්ෂා ද ඇති වන්නේ ය. 31 දෙවියන් වහන්සේගේ හඬ අසා, උන් වහන්සේගේ දඬුවමේ පහරට ගොදුරු වන විට අසිරියන්වරු භීතියෙන් ඇලළී යන්නෝ ය. 32 සමිඳාණන් වහන්සේ නැවත නැවත අසිරියන්වරුන්ට පහර දෙන අතර, උන් වහන්සේගේ සෙනඟ රබන් හා වීණා නාදය අනුව ප්‍රීති වන්නෝ ය. දෙවියන් වහන්සේ සිය බලය මෙහෙයවමින් අසිරියන්වරුන්ට විරුද්ධ ව සටන් කරන සේක. 33 මීට කලකට පෙර අසිරියාවේ රජ්ජුරුවන් පුළුස්සාදමන මහා ගින්නක් ඇති තැනක් සූදානම්කර තිබුණේ ය. එය ඉතා ගැඹුරු ය, පළල් ය. එහි උසට දර ගොඩ ගසා ඇත. එහි ගිනි දල්වන පිණිස සමිඳාණන් වහන්සේ ගිනි වැනි හුස්මක් ඒ පිට හෙළන සේක.
– 31 වන පරිච්ඡේදය –
දෙවියන් වහන්සේ ජෙරුසලම ආරක්ෂා කිරීම
1 උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත!
ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති.
එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති;
සමිඳුන්ගේ උපදෙස් නොසොයති.
2 එතුමාණන් කරන දේ, එතුමාණෝ හොඳින් දන්න සේක.
එතුමාණෝ විනාශය එවන සේක.
දුෂ්ටයන්ට ද ඔවුන් ආරක්ෂා කරන අයට ද දඬුවම් කරන බවට එතුමන් කරන තර්ජන ඉටුකරන සේක.
3 මිසරවාසීහු දෙවිවරු නොවෙති.
ඔව්හු මනුෂ්‍යයෝ ය.
ඔවුන්ගේ අශ්වයන්ට අලෞකික බලයක් නැත;
ඔව්හු ඇට මස්වලින් යුක්ත ය.
සමිඳුන් ක්‍රියා කරන විට බලවත් ජාතිය විනාශ වන්නේ ය.
එයින් උදව් ලැබූ බෙලහීන ජාතිය ද වැටෙන්නේ ය.
ඒ ජාති දෙක ම විනාශ කරනු ලබන්නෝ ය.
4 සමිඳාණෝ මට මෙසේ වදාළ සේක:
”සතෙකු ගොදුරු කරගත් සිංහයෙකු හෝ සිංහ පොව්වෙකු හෝ එඬේරුන් කොතරම් කෑමොරගැසුවත් බියගන්වා එළවාදමන්නට ඔවුන්ට නොහැකි ය.
එමෙන් ම සියොන් කන්ද ආරක්ෂා කිරීමෙන් සව් බලැති සමිඳුන් වන මා වැළැක්විය හැකි කිසිවෙක් නැත.
5 කුරුලු පැටවුන් ආරක්ෂා කරන පිණිස කුරුල්ලෙකු ඉහළින් පියාසර කරන්නාක් මෙන් සව් බලැති සමිඳාණන් වන මම ජෙරුසලමට රැකවරණය දී,
එය රැක බලා, ආරක්ෂාකර මුදාගන්නෙමි.
6 ”ඉශ්රායෙල් වැසියෙනි, නුඹලා මට විරුද්ධ ව පව් කොට මා ප්‍රතික්ෂේප කළහු ය. දැන් ඉතින් මා වෙත හැරී එන්න. 7 පාපයට පෙළඹී, රන් රිදීයෙන් සාදාගත් දේව රූප නුඹලා ඉවත ලන කාලය පැමිණෙන්නේ ය.
8 ”එකල අසිරියන්වරු යුද්ධයේ දී මනුෂ්‍ය බලයකින් නොව, ඊට වඩා අධික බලයකින් විනාශ වන්නෝ ය.
ඔව්හු යුද්ධයෙන් පලා යන්නෝ ය.
ඔවුන්ගේ තරුණයෝ වහල්ලු වන්නෝ ය.
9 ඔවුන්ගේ රජ භීතියෙන් පලා යන්නේ ය.
නිලධාරීහු තැතිගෙන ඔවුන්ගේ ධජ සංකේතය ඉවත දමන්නෝ ය.
මෙසේ පවසන්නේ ඉශ්රායෙල්හි නමස්කාරය ලබන,
එහි දවන යාග පූජා ලබන සමිඳාණෝ ය.”
– 32 වන පරිච්ඡේදය –
අවංක රජ කෙනෙක්
1 අවංක රජ කෙනෙකු ද යුක්තියෙන් පාලනය කරන අධිපතීන් ද ඇති වන කාලයක් පැමිණෙන්නේ ය.
2 ඔව්හු, සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද වන්නෝ ය.
3 පෙනීම ඇති අයගේ ඇස් අඳුරු නොවෙයි;
කන් ඇසෙන අයගේ කන් ඇහුම්කන් දෙයි.
4 ඔව්හු ඉක්මන්කාර ගතියෙන් තොර ව, ඥානවන්ත ලෙස ක්‍රියා කරමින්, තේරුම්පැහැදුම් ඇති ව කතා කරන්නෝ ය.
5 ‘අධමයා උත්තමයෙක් ය’ කියාවත්, කපටියා ගුණවන්තයෙක් ය’ කියාවත් තවත් කියනු නොලබන්නේ ය.
6 අඥානයා මෝඩ ලෙස කතා කරමින් නපුරු දේ කරන්න සිතයි;
ඔහු කරන දේත්, සිතන දේත් දෙවිඳුන්ට අපහාසයකි.
ඔහු කිසි කලක බඩගිනි අයට කන්න දෙන්නේ වත්, පිපාසිත අයට බොන්න දෙන්නේ වත් නැත.
7 ඔහු දුෂ්ට උපා යොදයි;
බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.
8 එහෙත්,
යුක්ති ගරුක මිනිසා යුක්තිය අනුව ක්‍රියාකර යුක්තිය වෙනුවෙන් ස්ථිර ව සිටින්නේ ය.
විනිශ්චයය හා පුනරුත්ථාපනය
9 සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, මා කියන දේට සවන් දෙන්න, වගකීමක් නැති තරුණියනි, මා කියන දේ අසන්න.
10 ඔබ දැන් තෘප්තිමත් ව සිටින නමුත්, තව අවුරුද්දකින් පමණ නෙළාගැනීමට මුද්‍රික පල කිසිවක් නොවන නිසා ඔබේ බලාපොරොත්තු ශුන්‍ය වන්නේ ය.
11 කරදරවලින් නිදහස් ව සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි,
දැන් භීතියෙන් වෙවුළන්න;
ඔබේ වස්ත්‍ර ගලවාදමන්න;
ඉඟ වටා ගෝණි රෙදි ඇඳගන්න.
12 සාරවත් කෙත් හා මිදි වතු විනාශ වී ඇති නිසා ශෝකයෙන් ඔබේ පපුවට ගසාගන්න.
13 මාගේ සෙනඟගේ ඉඩම්වල කටු පඳුරු ද ගොකටු ද හටගන්නේ ය.
සොම්නසින් පිනා ගිය සියලු ම ප්‍රීතිය ඇති නගරයේ ගෙවල එසේ වන්නේ ය.
14 රජමැදුර පවා හිස් වන්නේ ය, අගනුවර ද සම්පූර්ණයෙන් පාළු වන්නේ ය;
ගෙවල් ද මුරකොටු ද සදහට ම නටබුන් වන්නේ ය;
වල් කොටළුවන් එහි ලගිනු ඇත;
ඒවා බැටළුවන්ට තණ බිම් වන්නේ ය.
15 එහෙත්, දෙවිඳාණෝ සිය ආත්මානුභාවය අප වෙත නැවත වරක් එවන සේක;
එවිට පාළු ඉඩම් සාරවත් වන්නේ ය.
සාරවත් ඉඩම් පාළු වන්නේ ය.
16 දේශයේ සෑම තැන ම පාළුකරයේ යුක්තියත්,
සාරවත් භූමියේ ධර්මිෂ්ඨකමත් පවතින්නේ ය.
17 සියලු දෙනා ම හරි දේ කරන බැවින් සාමයත්, ආරක්ෂාවත්,
සදහට ම පවතින්නේ ය.
18 දෙවිඳුන්ගේ සෙනඟගේ ගෙවල සාමයත්, ආරක්ෂාවත්,
කරදරවලින් නිදහස්කමත් ඇති වන්නේ ය.
19 ගල් වර්ෂාවෙන් වනය ඇද වැටී නගරය ද සමතලා වූවත්;
20 වැපිරීම සඳහා බොහෝ සේ වතුර ද ගවයන්ට හා කොටළුවන්ට නිදහසේ කෑමට සෑම තැන ම තණ බිම් ද ඇති වන නිසා නුඹලා වාසනාවන්තයෝ ය.
– 33 වන පරිච්ඡේදය –
උපකාර සඳහා යැදීමක්
1 කිසිවකු විසින් කොල්ලකනු නොලැබූ නමුත්, කොල්ලකන, ද්‍රෝහිකම් කරනු නොලැබූ නමුත්, ද්‍රෝහිකම් කරන අපේ සතුරන්ට වන විපතක මහත! ඔවුන්ගේ කොල්ලකෑම හා
ද්‍රෝහිකම් කිරීමේ කාලය අවසාන වේ.
එවිට ඔවුන් ම කොල්ලකෑමටත්, ද්‍රෝහිකමටත් භාජනය වනු ඇත.
2 සමිඳුනි, අපට දයා වුව මැනව.
අප අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි තබා ඇත.
දිනෙන් දින අප ආරක්ෂාකර ඔබේ බාහු බලයෙන් අප රැකගත මැනව.
කරදර ඇති කාලවල දී අප මුදාගත මැනව.
3 ඔබ අප වෙනුවෙන් සටන් කරන විට යුද්ධ ඝෝෂාව නිසා ජාතීහු පලා යන්නෝ ය.
4 දළඹුවා රැස් කරන්නාක් මෙන් ඔවුන් කොල්ලකෑ වස්තුව රැස් කෙරේ.
පළඟැටියන් මෙන් මිනිසුන් එය පිට කඩා වදිනු ඇත.
5 සමිඳාණෝ මහෝත්තම වන සේක.
සියල්ල කෙරෙහි එතුමාණෝ ආණ්ඩු කරන සේක.
එතුමාණෝ ජෙරුසලම පුරා යුක්තියත්, ධර්මිෂ්ඨකමත් පිහිටුවන සේක.
6 එතුමාණෝ ජාතීන්ට ස්ථාවරතාව දෙන සේක.
එතුමාණෝ නිරන්තරයෙන් සිය සෙනඟ ආරක්ෂා කොට ප්‍රඥාවත්, දැනගැන්මත් ඔවුන්ට දෙන සේක.
සමිඳුන්ට ගරුබිය දැක්වීම ඔව්හු උසස් වස්තුවක් සේ අගය කරති.
7 නිර්භීත සෙනඟ පිහිට ඉල්ලා මොරගසති;
සාමයේ තානාපතීහු මහා දුකින් හඬති.
8 මහා මාවත් අන්තරායදායක බැවින් කිසිවෙක් එහි ගමන් නොකරති.
ඔවුන් ගිවිසුම අවලංගුකර ඇත;
පොරොන්දු කඩකර ඇත;
කිසිවෙකුට තවත් ගරු නොකරනු ඇත.
9 දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියළී ගොස් ඇත.
ශාරොන් කාන්තාරයක් වී ඇත.
බාෂාන් හා කර්මෙල් ගස්වලින් කොළ හැළේ.
සතුරන්ට තරවටු කිරීම
10 සමිඳාණෝ ජාතීන් හට මෙසේ වදාරන සේක:
”දැන් මම ක්‍රියා කරන්නෙමි;
මා කොතරම් බලවත් ද කියා පෙන්වන්නෙමි.
11 නුඹලා කිසිම තේරුමක් නැති යෝජනා කරන්නහු ය.
නුඹලා කරන සියලු දේ නිෂ්ඵල ය.
ගින්නක් වැනි හුස්මක් නුඹලා දවාලන්නේ ය.
12 නුඹලා පුළුස්සනු ලබන හුණු ගල් මෙන් ද කපා ගින්නෙහි දවාලනු ලබන කටු පඳුරු මෙන් ද වන්නහු ය.
13 දුර සිටින නුඹලා මා කළ දේ බලන්න;
ළඟ සිටින නුඹලා මාගේ බලපරාක්‍රමය තේරුම්ගන්න.”
14 සියොන්හි පව්කාරයෝ බියෙන් වෙවුළති;
අභක්තිකයෝ භීතියෙන් ඇලළී යති.
මේ දැවෙන ගින්නෙහි අප අතරෙන් කවරෙකුට ජීවත් විය හැකි ද?
මේ සදා ගින්නෙන් කෙසේ ගැළවෙන්න ද?
15 නුඹලා අවංක ව කතා කරන්නහු නම්, හරි දේ කරන්නහු නම්, දුප්පතුන් රවටන්න නුඹලාගේ බලය පාවිච්චි නොකරන්නහු නම්,
අල්ලස් නොගන්නහු නම්, මිනී මරන්න හා අනිකුත් අපරාධ කරන්න උපා යොදන අය සමඟ හවුල් නොවන්නහු නම්,
16 නුඹලාට ජය අත් වී ශක්තිමත් බලකොටුවක සිටින්නන් සේ සුරක්ෂිත වන්නහු ය.
කෑමට ආහාර ද බීමට වතුර ද නුඹලාට ඇති වන්නේ ය.
තේජාන්විත අනාගතයක්
17 සියලු දිශාවල පැතිර ඇති දේශයක් කෙරෙහි තේජසින් පාලනය කරන රජ කෙනෙක් නුඹලාට නැවත දකින්න ලැබෙන්නේ ය.
18 විදේශීය බදු අය කරන්නා ද කප්පම් ගන්නා ද වස්තු රැස් කරන්නා ද ගැන පෙර තිබූ නුඹේ බිය මතක මාත්‍රයක් පමණක් වන්නේ ය.
19 නුඹලාට නොතේරෙන විදේශීය භාෂාවකින් කතා කරන විදේශිකයන් තවත් නුඹලාගේ ඇස්වලින් දකින්න ලැබෙන්නේ නැත.
20 අපේ ආගමික මංගල්‍යයන් පවත්වන ස්ථානයක් වන සියොන් දෙස බලන්න;
ජෙරුසලම දෙස බලන්න.
ජීවත් වීමට එය කොතරම් සුරක්ෂිත වාසභවනයක් වන්නේ ද?
එය, කිසි කලක නොසෙල්වන, ඇබ ගලවනු නොලබන, ලණු නොකැඩෙන, කූඩාරමක් හා සමාන වන්නේ ය.
21 සමිඳාණෝ සිය තේජාලංකාරය අපට පෙන්වන සේක.
එතුමාණෝ ගංගා හා දිය ඇලවල් අසල වැඩ සිටින සේක.
සතුරු නැව් එහි යාත්‍රා නොකරන්නේ ය.
22 ඒ නැව්වල ආම්පන්නවලින් වැඩක් නැත.
23 රුවල් විදහන්න බැරි ය;
කුඹගහ කෙළින් තබන්න බැරි ය.
සතුරු සේනාවේ සකල වස්තුව අප විසින් පැහැරගෙන යනු ලබන්නේ ය.
කොරුන්ට පවා ගන්න පුළුවන් තරමට විශාල කොල්ලයක් ඇති වන්නේ ය.
සමිඳාණෝ ම අප පාලනය කරන රජාණන් වන සේක;
අප විනිශ්චයකරුවාණන් වන සේක;
එතුමාණෝ අප පාලනයකර අප ආරක්ෂා කරන සේක.
24 අපේ දේශයේ සිටින කිසිවෙකු මින්පසු ලෙඩක් දුකක් ගැන පැමිණිලි කරන්නේ නැත.
එහි වාසය කරන සියලු දෙනාගේ පව් කමා කරනු ලබන්නේ ය.
– 34 වන පරිච්ඡේදය –
සතුරන්ට දඬුවම් කිරීම
1 ජාතීනි, ළං වන්න;
ජනයෙනි, සවන් දෙන්න.
මුළු පොළොව ද එහි වැසි සියල්ලන් ද පැමිණ සවන් දෙන්න.
2 සමිඳුන් සෑම ජාතීන් කෙරෙහි උදහස් වී, ඔවුන්ගේ සියලු සේනාවන් කෙරෙහි කෝප වී විනාශයටත්, මැරුම්කෑමටත් ඔවුන් තීන්දුකර ඇත.
3 ඔවුන් අතරෙන් මැරුම් කෑ අය ඉවත දමනු ලබන්නෝ ය.
ඔවුන්ගේ මළකඳන් ගඳ ගසන්නේ ය.
කඳුවලින් ඔවුන්ගේ ලේ වෑස්සෙන්නේ ය.
4 ඉර, හඳ හා තාරකා මැලවී යන්නේ ය.
අහස, අකුළන පොතක් මෙන් ඇකිළී, එහි තාරකා, මිදි වැලකින් හෝ අත්තික්කා ගසකින් හෝ වැටෙන කොළ මෙන් වැටෙන්නේ ය.
5 සමිඳුන් සිය කඩුව සගයෙහි සූදානම්කර ඇත.
එයින් එතුමාණෝ, ඒදොම්හි සිටින, විනාශයට තීන්දු කරන ලද සෙනඟට පහර දෙන සේක.
6 පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත.
සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක.
මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.
7 වල් මීහරකුන් හා ගොන් නාම්බන් සමඟ ඔව්හු ඇද වැටෙන්නෝ ය.
ඔවුන්ගේ ලෙයින් දේශය රතු වන්නේ ය;
ඔවුන්ගේ තෙලින් භූමිය වැසී යන්නේ ය.
8 සමිඳාණන් සියොන් බේරාගෙන ඇගේ සතුරන්ගෙන් පළිගන්න කාලය මෙය වේ.
9 ඒදොම්හි ගංගා තාර බවටත්, එහි භූමිය ගෙන්දගම් බවටත් හැරෙන්නේ ය.
මුළු දේශය දැවෙන තාර බිමක් වන්නේ ය.
10 එහි ඇවිලෙන ගින්න රෑ දාවල් දෙක්හි නොනිවී තිබෙන්නේ ය.
එයින් නඟින දුම සදහට ම පවතින්නේ ය.
පරපුරෙන් පරපුරට එය පාළු වන්නේ ය.
කිසිවෙක් ඒ මැදින් ගමන් නොකරන්නෝ ය.
11 උකුස්සන්ටත්, ඉත්තෑවන්ටත් දේශය උරුම වන්නේ ය.
බකමූණෝ ද කපුටෝ ද එහි වාසය කරන්නෝ ය.
සමිඳාණෝ එය මැවීමට පෙර තිබුණාක් මෙන් පාළු, හිස් දේශයක් කරන සේක.
12 රට පාලනය කිරීමට රජ කෙනෙක් නොවන්නේ ය;
අධිපතියෝ කිසිවෙක් ද නොවන්නෝ ය.
13 එහි මාලිගාවල කටු පඳුරු ද බලකොටුවල කහඹිලියා හා ගොකටු ද හටගන්නේ ය.
ඒවා හිවලුන්ටත්, පැස්බරුන්ටත් වාසස්ථාන වන්නේ ය.
14 වනයේ වල් මෘගයෝ ද වෘකයෝ ද එකට හමු වන්නෝ ය.
වල් එළුවෝ ඔවුන් එකිනෙකාට කෑගසන්නෝ ය.
උලමාත් එහි ලගින්න නිශ්චල තැනක් ලබාගන්නේ ය.
15 එහි සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුලු කරගන්නී ය.
උකුස්සෝ එකෙක් පාසා එකෙක් එහි එකතු වන්නෝ ය.
16 සමිඳුන්ගේ පොත කියවා බලන්න;
එහි සඳහන් වී ඇති සතුන්ගෙන් එකෙක් වත් මෙහි අඩු නොවන්නේ ය.
හැම එකෙකුට ම ගෑණු සතෙක් ද වන්නේ ය.
එය නියම කළේ සමිඳාණෝ ම ය.
සමිඳාණෝ ම ඔවුන් එක් රැස් කරන සේක.
17 දාදු දමා, දේශය ඔවුන් අතරේ බෙදා එකිනෙකාට කොටසක් දෙන්නේ සමිඳාණෝ ය.
ඔවුන් එය සදාකාලයට ම උරුම කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසය කරනු ඇත.
– 35 වන පරිච්ඡේදය –
ගුණවත්කමේ මාර්ගය
1 වනය ද වියළි දේශය ද ප්‍රීති වන්නෝ ය;
කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේ ය.
2 එය ප්‍රීතියෙන් ගී හඬ නඟන්නේ ය.
ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේ ය;
කර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේ ය;
සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය.
3 බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න;
4 බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න;
”බිය නොවී දිරි ගන්න;
දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”
5 අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ ය. බිහිරන්ගේ කන් ඇරෙන්නේ ය.
6 කොර අය මුවන් මෙන් දුව පනින්නෝ ය.
ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය.
කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේ ය.
මරුකතරෙන් ඇල දොළවල් බිඳී එන්නේ ය.
7 මිරිඟුව ජල පොකුණක් වෙයි. වියළි බිම උල්පත්වලින් පිරෙයි.
සිවලුන් ලැගුම් ගත් පාළු පෙදෙස්වල බට පඳුරු හා පන්ගස් හටගන්නේ ය.
8 ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ.
පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය.
අනුවණයන් ද එහි මුළා නොවේ.
9 සිංහයෝ එහි නොවෙති, දරුණු මෘගයෝ එමඟෙහි හමු නොවෙති,
සමිඳුන් විසින් මුදාගනු ලැබූ අය පමණක් එහි ගමන් ගනිති.
10 ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති.
දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.
– 36 වන පරිච්ඡේදය –
අසිරියාවෙන් ජෙරුසලමට තර්ජනයක්
(2 රාජා: 18:13-27; 2 වංශා: 32:1-19)
1 හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ අධිරාජයා වූ සෙනකෙරිබ් පවුරුවලින් ආරක්ෂා කරන ලද ජුදාහි නගරවලට පහර දී ඒවා අල්ලාගත්තේ ය. 2 ඉන්පසු ඔහු තමාගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ් සිට ජෙරුසලමට යවා හෙසකියා රජුට යටත් වන ලෙස බලකරන්නට යයි නියම කෙළේ ය. ඔහු ගොස් අපුල්ලන්නාගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිටියේ ය. 3 එවිට රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ලේකම් වූ ෂෙබ්නා ද වාර්තාකරු වූ ආසප්ගේ පුත් ජෝවා ද ඔහු වෙත ගියහ. 4 එවිට අසිරියානු නිලධාරියා ඔවුන්ට මෙසේ කී ය: ”අසිරියාවේ අධිරාජයා මෙසේ ප්‍රශ්න කරන්නේ යයි හෙසකියා රජුට කියන්න. ඔබට ඔතරම් විශ්වාසයක් තිබෙන්නේ කොහොම ද? 5 යුද්ධයෙහි බලයත්, දක්ෂකමත්, උපායත් වෙනුවට කතාව පමණක් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? මට විරුද්ධ ව කැරලි ගසන්න ඔබට උපකාර වන්නේ කවුරු ද කියා ඔබ සිතන්නෙහි ද? 6 මිසරය ඔබට උපකාර කරනු ඇතැ යි ඔබ සිතන්නෙහි ය. එහෙත්, එය හැරමිටිය සඳහා තැළුණු බට දණ්ඩක් අතට ගැනීම හා සමාන ය. එයට බර වුවහොත් එය ඇනී එයින් අත සිදුරු වන්නේ ය. මිසරයේ පාරාවෝ රජු කෙරෙහි විශ්වාස කරන අය එවැනි බට දඬු හා සමාන ය.”
7 ඔහු තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: ”ඔබ සමහරවිට, ‘අපේ දෙවි වන සමිඳාණන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු’යි මට කියනවා ඇත. එහෙත්, එම දෙවි සමිඳාණන් වහන්සේගේ සිද්ධස්ථාන හා පූජාසන කඩා දැමුවේත්, එක ම පූජාසනයක් ඉදිරියේ නමස්කාර කරන්න ජුදාවේ හා ජෙරුසලමේ වැසියන්ට නියම කෙළේත් හෙසකියා රජු ම නොවේ ද? 8 මාගේ ස්වාමියා වන අසිරියාවේ රජුගේ නාමයෙන් මම ඔබ හැම සමඟ ඔට්ටුවක් අල්ලන්නෙමි. මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. උන් පිට නැඟී යන්න ඔබට අසරුවන් සොයා ගත හැකි ද? 9 එතරම් බැරි නම් රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාස කරගෙන ඔබ මාගේ ස්වාමියාගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුව ද පලවා හරින්නේ කෙසේ ද? 10 ඔබේ රටට මා පහර දී එය විනාශ කෙළේ සමිඳාණන් වහන්සේගේ උපකාරය නැති ව ය කියා ඔබ සිතන්නෙහි ද? ඔබේ රටට පහර දී එය විනාශ කරන්න කියා මට කීවේ සමිඳාණන් වහන්සේ ම ය.”
11 එවිට එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, ”අරමීය භාෂාවෙන් අපට කතා කරන්න, එය අපට තේරේ. පවුර පිට සෙනඟට ඇසෙන පිණිස හෙබ්‍රේව් භාෂාවෙන් කතා නොකරන්නැ”යි කී හ.
12 ඔහු පිළිතුරු දෙමින් මෙසේ කී ය: ”අධිරාජයා මා එව්වේ, ඔබටත්, ඔබේ රජ්ජුරුවන්ටත් මේ දේ කියන්න යැයි ඔබ සිතන්නහු ද? එසේ නොවේ, මා කතා කරන්නේ ඔබට මෙන් ම තමන්ගේ ම අශූචි කන්නත් තමන්ගේ ම මුත්‍රා බොන්නත් නියම වී පවුර පිට සිටින මේ සෙනඟට ය.”
13 ප්‍රධාන නිලධාරියා එසේ කියා නැඟිට සිට, ශබ්ද නඟා හෙබ්‍රේව් භාෂාවෙන් කතා කරමින් මෙසේ කී ය: ”අසිරියාවේ අධිරාජයා ඔබට කියන දේට සවන් දෙන්න. 14 ඔබ හැම රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්නැ යි එතුමා ඔබට අවවාද කරයි. මන්ද, ඔබ හැම ගළවාගන්න හෙසකියාට බැරි ය. 15 ‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවාගන්නා සේක’ කියා ද, ‘ඒ නිසා ඔබ හැමගේ නුවර අල්ලාගන්න උන් වහන්සේ අසිරියාවට නොදෙන සේක’ කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න ඔබ හැම කැමැති කරවා ගැනීමට හෙසකියා රජුට ඉඩ නොදෙන්න. 16 හෙසකියා රජුට සවන් නොදෙනු. අසිරියාවේ අධිරාජයා ඔබ හැමට මෙසේ අණ කරයි. 17 නුවරින් පිටත මා සමඟ සාමය පිහිටුවන්න. එවිට එතුමා ධාන්‍ය හා මුද්‍රික පානය ද කෑම හා මිදි වතු ද ඇති ඔබේ දේශයට සමාන වූ දේශයකට ගෙන ගොස් ඔබ පදිංචි කරවන තුරු ඔබ කාටත් තම තමාගේ මුද්‍රික වැලෙන් ද තම තමාගේ අත්තික්කා ගසෙන් ද කන්නත්, තම තමන්ගේ ළිඳෙන් බොන්නත් ඉඩ දෙන්නේ ය. 18 සමිඳාණන් වහන්සේ ඔබ හැම ගළවාගන්න සේකැ යි කියමින් ඔබ හැම රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. අන් ජාතීන්ගේ දෙවිවරු අසිරියාවේ අධිරාජයාගෙන් ඒ ජාතීන් බේරා ගත්තෝ ද? 19 හමාත්හි හා අර්පාද්හි දෙවිවරු දැන් කොහි ද? සෙපර්වායිම්හි දෙවිවරු කොහි ද? කිසි ම දෙවි කෙනෙක් සමාරිය බේරා ගත්තේ ද? කොහෙත් ම නැත. 20 අපේ අධිරාජයාගේ අතින් මේ ජාතීන් මුදාගැනීමට එහි දෙවිවරුන්ගෙන් සමත් වූයේ කවරෙක් ද? එසේ නුවූයේ නම්, ‘සමිඳාණන් වහන්සේ ජෙරුසලම ගළවාගන්න සේකැ’යි ඔබ සිතන්නේ කුමට ද?”
21 හෙසකියා රජු ‘පිළිතුරු නොදෙන්නැ’යි අණකළ පරිදි සෙනඟ නිශ්ශබ්ද ව සිට කිසි පිළිතුරක් නුදුන්නෝ ය. 22 එවිට හිල්කියාගේ පුත් එලියාකිම් ද ලේකම් ව සිටි ෂෙබ්නා ද ජෝවා ද තම තමන්ගේ ඇඳුම් ශෝකයෙන් ඉරාගෙන හෙසකියා රජු වෙත ගොස් රබ්-ෂාකේ කී දේ ඔහුට සැළ කළෝ ය.
– 37 වන පරිච්ඡේදය –
හෙසකියා රජ යෙසායාගේ අවවාද සෙවීම
(2 රාජා: 19:1-7)
1 හෙසකියා රජ ඒ අසා ශෝකයෙන් තමාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිවිසියේ ය. 2 ඔහු ගෝණි රෙදි ඇඳගෙන සිටි රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම් ද ලේකම් වන ෂෙබ්නා ද ජ්‍යෙෂ්ඨ පූජකයන් ද ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා වෙත යැව්වේ ය. 3 ඔවුන් අතේ රජතුමා යෙසායා වෙත යැවූ පණිවුඩය මෙසේ ය: ”අද දුක ද තර්ජනය ද අපහාසය ද ඇති දවසක් ය. අපි දරුවකු බිහි කරන්න සිටින නමුත්, එසේ කිරීමට නොහැකි තරමට දුර්වල වන ස්ත්‍රියක හා සමාන ය. 4 අසිරියාවේ අධිරාජයා ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස ඔහුගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ ලවා කියවූ වචන අපේ දෙවි වන සමිඳාණන් වහන්සේට ඇසෙන්න ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ අපහාසයන් අසා ඒවා කී අයට දඬුවම් කරන සේක්වා. එබැවින් ඉතිරි ව සිටින සෙනඟ උදෙසා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න.”
5 යෙසායා හෙසකියා රජුගේ පණිවුඩය ලැබූ විට 6 ඔහු වෙත මේ පිළිතුර යැවී ය: ”අසිරියාවේ රජුගේ සේවකයන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කිවූ මේ අපහාස වචන ඇසූ විට ඒ ගැන බිය නොවන්න. 7 මම, තම දේශයට හැරී යාමට ආරංචියක් ඇසෙන පිණිස අධිරාජයා පිට ආත්මයක් පමුණුවන්නෙමි. ඔහු තම දේශයේ දී කඩුවෙන් වැටී යාමට සලස්වන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
අසිරියාවෙන් තවත් තර්ජනයක්
(2 රාජා: 19:8-19)
8 අසිරියාවේ අධිරාජයා ලාකීෂ් හැර ගොස් ලිබ්නා නුවරට විරුද්ධ ව සටන් කරන බව අසා ඔහු හමුවන පිණිස ප්‍රධාන නිලධාරියා එතැනට ගියේ ය. 9 එතියෝපියාවේ රජ වූ තිර්හාකා මිසරයේ හමුදාවන් සමඟ අසිරියන්වරුන්ට පහර දෙන පිණිස එති යි ඔවුන්ට ආරංචියක් ලැබිණ. අධිරාජයා මෙය ඇසූ විට හෙසකියා රජු වෙත පණිවුඩකාරයන් යවමින්, 10 ජුදාවේ රජ වූ හෙසකියාට මෙසේ කියන්න කීවේ ය: ”මාගේ අතට ජෙරුසලම අසු නොවන්නේ යයි කියන, ඔබ විශ්වාසය තබන දෙවියන් වහන්සේගේ වචනයට නොරැවටෙන්න. 11 අසිරියාවේ රජවරුන් සියලු දේශයන් සහමුලින් ම විනාශ කළ හැටි ඔබ අසා ඇත. එසේනම්, ඔබට ගැළවෙන්න පුළුවන් යයි ඔබ සිතන්නෙහි ද? 12 මගේ මුතුන්මිත්තෝ ගෝෂාන්, හාරාන් හා රෙශෙප් යන නගර විනාශකර තෙලෙස්සාර්හි සිටි බෙතෙදාන් ජාතිකයන් මරා දැමුවෝ ය. ඒ ජාතීන්ගේ දෙවිවරුන්ගෙන් කිසිවෙකුට ඔවුන් ගළවාගත නොහැකි විය. 13 හමාත්, අර්පාද්, සෙපර්වායිම්, හේනා, ඉච්චා යන නුවරවල සිටි රජවරු දැන් කොහේ ද?”
14 හෙසකියා පණිවුඩකාරයන්ගේ අතින් ලියුම ගෙන එය කියවා දේව මාලිගාවට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියේ ලියුම තබමින්, 15 මෙසේ යාච්ඤා කෙළේ ය. 16 ”කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනාරූඪ ව සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳුනි, ඔබ පමණක් ලොවේ සියලු රාජ්‍යයන් පාලනය කරන දෙවියන් වහන්සේ ය. අහසත් පොළොවත් මැව්වේ ඔබ වහන්සේ ය. 17 දැන් සමිඳාණන් වහන්ස, කන් යොමා අපට සවන් දුන මැනව. නෙත් යොමා අප දෙස බැලුව මැනව. ජීවමාන දෙවියන් වන ඔබට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියන සියලු දේට සවන් දුන මැනව. 18 සමිඳාණන් වහන්ස, අසිරියාවේ අධිරාජවරුන් බොහෝ රාජ්‍යයන් විනාශකර, ඒ දේශයන් පාළුකර 19 ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි දවා ලූ බව අපි දනිමු. ඒ දෙවිවරුන් ඇත්ත වශයෙන් දෙවිවරුන් නොව, මිනිසුන්ගේ අත්වලින් සාදන ලද ලී හා ගල් පිළිම පමණකි. එබැවින් ඒවා විනාශ විය. 20 දැන් ඉතින් අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ පමණක් දෙවියන් වහන්සේ වන බව ලෝකයේ සියලු ජාතීන් දැනගන්න පිණිස අසිරියන්වරුන්ගේ අතින් අප ගැළෙව්ව මැනව!”
රජතුමාට යෙසායාගේ පණිවුඩය
(2 රාජා: 19:20-37)
21 එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිළිබඳ ව කළ යාච්ඤාවට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද පිළිතුර මේ යැයි ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා තෙමේ හෙසකියා රජ වෙත පණිවුඩයක් යැව්වේ ය. 22 ඔහු ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචනය මෙසේ ය;
”සියොන් කන්‍යා දියණිය,
නුඹට අවඥාවෙන් සරදම් කරන්නී ය.
ජෙරුසලම් දියණිය,
නුඹට සමච්චල් කරමින් සිනාසෙන්නී ය.
23 නුඹ නින්දා කෙළේත්,
අපහාස කෙළේත් කවරෙකුට ද කියා නුඹ සිතන්නෙහි ද?
නුඹ නින්දා අපහාස කෙළේ වෙන කිසිවෙකුට නොව,
ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් වන මට ය.
24 නුඹේ රථ වාහන මඟින් නුඹ උස් කඳු, ලෙබනොන් කන්ද,
ලෙබනොන් කන්දේ මුදුන පවා,
අල්ලාගත්තෙහි යයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙඩෙව්වෙහි ය.
එහි උස් වූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපාදැම්මෙහි යයි ද කඳු මුදුන්වලට හා වනාන්තරවල ඉතා දුර තැන්වලට නුඹ ගියෙහි යයි ද ආඩම්බරයෙන් කීවෙහි ය.
25 නුඹ විදේශීය රටවල ළිං හාරා, වතුර බීවෙහි ය කියා ද නුඹේ හේවායෝ නයිල් ගඟ වේළෙන තුරු එය පයින් පෑගුවෝ ය කියා ද කීවෙහි ය.
26 මේ සියල්ල කරන්න මා පුරාණයේ සිට ම අදහස් කර අධිෂ්ඨාන කළ බව නුඹ නොදන්නෙහි ද?
ඒවා දැන් මම ඉටු කෙළෙමි.
පවුරු ඇති නගර නාස්ති කොට ඒවා නටබුන් ගොඩවල් කරන්න නුඹට බලය දුන්නේ මම ය.
27 එහි සිටි සෙනඟ බෙලහීන ය;
ඔව්හු කැළඹී වියවුල් වූවෝ ය.
ඔව්හු කෙතේ තණ කොළ ද අමු පලා ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළී ගිය ගොයම් ද මෙන් වූ හ.
28 එහෙත්, නුඹේ ඉඳුම්හිටුම් ද නුඹේ යාම්ඊම් ද මට විරුද්ධ ව නුඹේ කැරලිකාරකම් ද දැන් මම දනිමි.
29 මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාර වචන මාගේ කන්වල වැකුණ නිසා ද නුඹේ නාසයේ කොක්කක් අමුණා,
කටේ කටකලියාවක් දමා නුඹ පැමිණි මාර්ගයේ ම
නුඹ ගෙන යන්නෙමි.”
30 එවිට යෙසායා හෙසකියා රජුට මෙසේ කී ය: ”සිදු වන්න යන දේ පිළිබඳ ව මෙන්න ඔබට ලකුණක්: මේ අවුරුද්දේ ඉබේ හටගත් දෙයින් ඔබ කන්නෙහි ය; දෙ වන අවුරුද්දේ ඔබට කන්න ලැබෙන්නේ එයින් ඇති වන දෙයයි. තුන් වන අවුරුද්දේ දී ඔබට ධාන්‍ය වපුරා අස්වැන්න කපාගන්නත්, මිදි වතු වවා මිදි පල කන්නත් හැකි වන්නේ ය. 31 ජුදා දේශයේ නොමැරී ඉතිරි වන අය ගැඹුරට මුල් ඇදගෙන පල දරන ගස් මෙන් සමෘද්ධිමත් වන්නෝ ය. 32 සියලු බලැති සමිඳාණන් වහන්සේ අධිෂ්ඨානකර ඇති පරිදි ජෙරුසලමේ හා සියොන් කන්දේ නොමැරී ඉතිරි වන කොටසක් වන්නෝ ය.
33 ”අසිරියාවේ අධිරාජයා ගැන සමිඳාණන් වහන්සේ වදාරා ඇති දේ මෙසේ ය: ‘ඔහු මේ නුවරට ඇතුළු වන්නේ වත්, ඊගසක් ඊට විදින්නේ වත්, ඒ ඉදිරිපිට පලිහක් රැගෙන එන්නේ වත්, එය වටලෑම සඳහා පවුරු බඳින්නේ වත් නැත. 34 ඔහු පැමිණි පාරෙන් ම ආපසු යනවා ඇත. ඔහු නුවරට ඇතුළු වන්නේ නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 35 මාගේ ගෞරවය සඳහාත්, මාගේ සේවක දාවිත්ට කළ පොරොන්දුව නිසාත් මේ නගරය රැක බලා ගළවාගන්නෙමි.”
36 ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ. 37 එවිට අසිරියාවේ අධිරාජයා වූ සෙනකෙරිබ් තෙමේ පසු බැස නිනිවයට ආපසු ගියේ ය. 38 දිනක් ඔහු තමාගේ දෙවි වූ නිස්රොක්ගේ දේවාලයේ නමස්කාර කරමින් සිටිය දී, ඔහුගේ පුත්‍රයන් වූ අදුම්මෙලෙක් හා ෂරෙශෙර් ඔහු කඩුවෙන් මරාදමා අරාරාත් රටට පලා ගියෝ ය. ඒසර්-හද්දොන් නම් ඔහුගේ තවත් පුත්‍රයෙක් ඔහු වෙනුවට අධිරාජයා වශයෙන් පත් විය.
– 38 වන පරිච්ඡේදය –
හෙසකියා රජුගේ රෝගය සහ සුවය
(2 රාජා: 20:1-11; 2 වංශා: 32:24-26)
1 ඒ කාලයේ දී හෙසකියා රජු මරණාසන්න වන තරම් රෝගාතුර විය. ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, ”ඔබ සනීප නොවී මැරෙන බැවින් සියලු දේ පිළියෙළ කොට තැබිය යුතු යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.
2 එවිට හෙසකියා සිය මුහුණ බිත්තිය දෙසට හරවාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, 3 ”අහෝ සමිඳාණන් වහන්ස! මා විශ්වාසී ලෙසත්, අවංක සිතකිනුත් ඔබට සේවයකර, ඔබේ ඇස් හමුවෙහි හරි ව තිබෙන දේ කළ බව සිහිකළ මැනව” කියා තදින් හැඬුවේ ය.
4 එවිට සමිඳාණන් වහන්සේ යෙසායාට අණ කරමින්, 5 හෙසකියා වෙත ආපසු ගොස් මෙසේ කියන ලෙස වදාළ සේක: ”නුඹේ ආදි පියා වූ දාවිත් රජුගේ දෙවි ස්වාමීන් වන මම නුඹේ යාච්ඤාව ඇසීමි; නුඹේ කඳුළු දිටිමි. තව අවුරුදු පහළොවක් ජීවත් වීමට මම නුඹට වරම් දෙමි. 6 මම අසිරියන් අධිරාජයාගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා තවදුරටත් ආරක්ෂා කරමි.” b
21 යෙසායා කතා කොට, ”අත්තික්කා පලවලින් සාදාගත් විලේපනයක් වණය පිට තබන්නැ”යි ද, ”එවිට සුවය ලැබෙන්නේ ය”යි ද රජුට කීවේ ය. 22 හෙසකියා කතා කොට, ”මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවට ඇති ලකුණ කුමක් දැ”යි ඇසී ය.
7 යෙසායා පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්සේ සිය පොරොන්දුව ඉටුකරන බවට ඔබට ලකුණක් දෙන සේක. 8 එනම්, ආහාස්ගේ සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටෙන බැස යන දිනිසුරුගේ සෙවණැල්ල අංශක දහයක් පස්සට යන්න උන් වහන්සේ සලස්වන සේකැ”යි කී ය. එකී පරිදි සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටුණු සෙවණැල්ල අංශක දහයක් පස්සට ගියේ ය.
9 ජුදාහි රජ වූ හෙසකියා රෝගී ව සිට සුවපත් වූ පසු හෙතෙම මේ ප්‍රශංසා ගීතය ලිව්වේ ය:
10 ”මාගේ ජීවිතයේ මේ උපරිම කාලයේ දී ජීවිතයේ ඉතිරි කොටස ගෙවන පිණිස පාතාල ලෝකයට යන්න මට සිදුවේ ය කියා මම සිතුවෙමි.
11 ජීවතුන් සිටින මේ ලෝකයේ සමිඳුන් වත්, අන්කිසි දිවි ඇත්තෙකු වත් කිසි කලක දකින්න මට නොලැබේ ය කියා මම සිතුවෙමි.
12 ගලවා, ඉවතදැමූ එඬේර කූඩාරමක් සේ මාගේ ජීවිතය අවසන් වේ යැයි මම සිතුවෙමි.
වියන්නා, යන්ත්‍රයේ වියන රෙද්ද අකුළා, කපාදමන සේ දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි.
13 සිංහයෙකු මාගේ ඇටකටු බිඳින සේ මට දැනී, මම මුළු රෑ ම වේදනාවෙන් හැඬුවෙමි.
දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි.
14 මාගේ කට හඬ සිහින් ය, දුර්වල ය;
වැහි ලිහිණියෙකු මෙන් මම කෙඳිරිගෑමි;
පරවියෙකු මෙන් වැලපුණෙමි.
උඩ බැලීමෙන් මාගේ ඇස් දුර්වල විය.
අහෝ, සමිඳුනි!
මේ සියලු දුකින් මා මිදුව මැනව.
15 මම කුමක් කියම් ද?
මා මැසිවිලි කියන්නේ කෙසේ ද?
මෙය කෙළේ සමිඳාණෝ ම ය.
ජීවිතය මට තිත්ත වී ඇත;
මට නිදාගත නොහැක.
16 අහෝ, සමිඳුනි!
මිනිසාගේ ජීවිතය මෙබඳු වන්නේ ය. මා සුවපත්කර, මා ජීවත් කළ මැනව.
17 එවිට මාගේ දොම්නස සොම්නසට හැරෙනු ඇත.
ඔබ තුමාණෝ, සියලු අනතුරෙන් මා මුදන සේක;
මාගේ සියලු පව් කමා කරන සේක.
18 ඔබට තුති පිදීමට පාතාලයට නොහැක; ඔබට ප්‍රශංසා කිරීමට මරණයට නොහැක.
ඔබ කෙරෙහි විශ්වාස කරන්න මළගියවුන්ට නොහැක.
19 මා ඔබට දැන් ප්‍රශංසා කරන්නාක් මෙන් ඔබට ප්‍රශංසා කරන්නේ ජීවතුන් අතර සිටින අය ම ය.
ඔබේ විශ්වාසවන්තකම ගැන පියවරු සිය දරුවන්ට කියති.
20 ”සමිඳාණෙනි, ඔබ මා සුවපත් කළ සේක.
එබැවින් අපි දිවි හිමියෙන් වීණා වාදනය කරමින්, ඔබට ප්‍රශංසා කරමු;
ඔබේ මාලිගාවේ දී ඔබට ප්‍රසංසා කරමු.”
– 39 වන පරිච්ඡේදය –
බබිලෝනියෙන් රාජ දූතයන් පැමිණීම
(2 රාජා: 20:12-19)
1 ඒ කාලයේ දී බලදාන්ගේ පුත්‍ර වූ බබිලෝනියේ රජ වූ මෙරොදක්බලදාන් තෙමේ හෙසකියා ලෙඩින් සිට සුවපත් වූ බව අසා ලියුමක් සහ තෑග්ගක් ඔහු වෙත එව්වේ ය. 2 හෙසකියා රාජ දූතයන් පිළිගෙන තමන් සතුරන් රිදී ද සුවඳ ද්‍රව්‍ය ද අනර්ඝ තෙල් ද තමාගේ මුළු යුද්ධායුධ ද තම ගබඩාවේ තිබුණු සියල්ල ද ඔවුන්ට පෙන්නුවේ ය. හෙසකියා තමාගේ මාලිගාවේ වත්, මුළු රාජ්‍යයෙහි වත් ඔවුන්ට නොපෙන්වූ කිසිවක් නොතිබුණේ ය. 3 එවිට දිවැසිවර යෙසායා, හෙසකියා වෙත ගොස්, ”ඒ අය ආවේ කොහෙන් ද? ඔබට ඔවුන් කීවේ කුමක් දැ”යි ඇසී ය. ”ඔව්හු දුර රටක් වන බබිලෝනියේ සිට ආවෝ ය”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.
4 ”ඔව්හු රජ මැදුරේ කුමක් දුටුවෝ දැ”යි යෙසායා ඇසී ය. ”ඔව්හු සියල්ල ම දුටුවෝ ය. මාගේ ගබඩාවල ඔවුන්ට නොපෙන්වූ දෙයක් නැතැ”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.
5 එවිට යෙසායාතුමා රජුට මෙසේ කී ය: සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මේ වචනය අසන්න. 6 ඔබේ රජ මැදුරේ ඇති සියල්ලත්, මේ දවස දක්වා ඇති ඔබේ මුතුන්මිත්තන් රැස් කළ සියලු දේත් කිසිවක් ඉතිරි නොකොට, බබිලෝනියට ගෙනයනු ලබන කාලයක් පැමිණෙන්නේ ය. 7 ඔබේ ම පෙළපතෙන් පැවත එන දරුවන්ගෙන් සමහරෙක් ද ගෙනයනු ලබන්නෝ ය. ඔවුන් නපුංසකයන් මෙන් බබිලෝනියේ රජුට සේවය කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
8 මේ කී දේ හෙසකියා තේරුම්ගත්තේ, තමාගේ ම ජීවිත කාලයේ දී සාමයත්, සුරක්ෂිතතාවත් ඇති වේ ය කියා ය. ඒ නිසා, ”සමිඳාණන් වහන්සේගේ පණිවුඩය යහපත් ය”යි ඔහු යෙසායාට කීවේ ය.
– 40 වන පරිච්ඡේදය –
බලාපොරොත්තුවේ වදන්
1 ” සනසන්න, මාගේ සෙනඟ සනසන්නැ”යි ඔබේ දෙවිඳාණෝ වදාරන සේක.
2 ”කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න;
හඬ නඟා ඔවුන්ට මෙසේ කියන්න: ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත;
පව් කමාව ඔවුන්ට ලැබී ඇත.
සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන් ම ඔවුන්ට ලැබී ඇත.”
3 මෙසේ කියන හඬට සවන් දෙන්න: ”වනාන්තරයේ සමිඳුන් හට මාවතක් එළි කරන්න;
පාළුකරයේ අපේ දෙවිඳුන් හට මහ පාරක් සාදන්න.
4 සියලු මිටියාවත් පුරවනු ලබන්නේ ය;
සියලු කඳු හෙල් කපා පහත් කරනු ලබන්නේ ය;
සියලු හෙල් සමතලා කරනු ලබන්නේ ය;
රළු තැන් සුමුදු කරනු ලබන්නේ ය;
5 සමිඳුන්ගේ තේජාලංකාරය එවිට එළිදරව් වන්නේ ය.
සකල මිනිස් වර්ගයා එය නරඹන්නෝ ය.
මෙසේ වදාළේ සමිඳාණෝ ම ය.”
6 ”පණිවුඩයක් ප්‍රකාශ කරන්නැ”යි හඬක් කී ය.
”කුමන පණිවුඩයක් ප්‍රකාශ කරම් දැ”යි මම ඇසීමි.
”සකල මිනිස් වර්ගයා තණ කොළ හා සමාන වෙති;
ඔහුගේ සුන්දරතාව වන මල් මෙන් පහ වී යයි.
7 සමිඳුන්ගේ හුස්ම වැදුණ විට තණ කොළ වියළී යයි;
මල් පර වෙයි.
මිනිස් වර්ගයා ඒ තණ කොළ හා සමාන ය.
8 තණ කොළ වියළෙයි;
මල් පර වෙයි.
එහෙත්, අපේ දෙවිඳුන්ගේ වචනය සදහට ම පවතියි.”
9 සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි,
උස් කන්දට නඟින්න;
සියොන්ට සුබ ආරංචිය දන්වන්න.
ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි,
හඬ නඟා ප්‍රකාශ කරන්න;
බිය නොවී උස් හඬින්, ”ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.
10 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බලපරාක්රමයෙන් වඩින සේක.
වික්‍රමයෙන් පාලනය කරන්න වඩින සේක.
ත්‍යාගයන් එතුමාණෝ තමන් සමඟ ගෙන එන සේක.
තම සෙනඟට විපාකයන් ප්රදානය කරන සේක.
11 එඬේරෙකු සේ එතුමාණෝ, තම රැළ පෝෂණය කරන සේක;
දෑතින් බැටළු පැටවුන් වඩාගෙන, ළයෙහි උන් හොවාගෙන යන සේක;
කිරි දෙන බැටළුදෙනුන්ට මඟපෙන්වන සේක.
අසමසම මැවුම්කාරයාණෝ
12 මුහුදේ ජලය අල්ලට ගන්නත්, අහසේ දිග වියතකින් මනින්නත් කිසිවෙකුට හැකි ද?
පොළොවේ පස් හුණ්ඩුවක දමන්නත්, කඳු හෙල්වල බර තරාදියකින් කිරන්නත් කිසිවෙකුට හැකි ද?
13 කළ යුතු දේ සමිඳුන්ට කියා දෙන්නත්, එතුමන්ට ගුරුකම් හා අවවාද දෙන්නත්, කිසිවෙකුට හැකි ද?
14 දැනගැන්මත්, අවබෝධයත් ලබාගැනුමටත්, යුතු අයුතු ක්‍රියා මාර්ගය වටහාගැනුමටත් එතුමාණන් සාකච්ඡා කරන්නේ කවරෙකු සමඟ ද?
15 ජාතීහු සමිඳුන් හට කළයෙන් හැළෙන දිය පොදක් ද තරාදියේ ඇති ධූලි බිඳක් ද හා සමාන ය.
දුර පිහිටි දිවයින් තරාදියේ කිරා බලන ධූලි පිඬක් හා සමාන ය.
16 සමිඳුන් හට දවන යාග පූජාවක් කරන පිණිස ලෙබනොන් වනයේ සියලු ගස් වත් දරට නොසෑහේ.
එහි සියලු සත්තු පූජාවට නොසෑහෙති.
17 සමිඳුන් ඉදිරියේ, සියලු ජාතීහු කිසි වටිනාකමක් නැත.
ඔව්හු හිස් ය;
ඔවුන්ගේ කිසි වැදගැම්මක් නැත.
18 දෙවිඳාණන් කවරෙකුට සමකළ හැකි ද?
එතුමන්ගේ හැඩ රුව කෙසේ විස්තර කළ හැකි ද?
19 කම්කරුවෙකු වාත්තු කළ, රන්කරුවෙකු රන් ආලේප කළ රිදී දාමයෙන් සරසන ලද පිළිමයකට එතුමන් සමාන නැත.
20 වත්කම් ඇති මිනිසෙකු නොදිරන ලීයක් සපයා ගෙන, නිපුණ කම්කරුවෙකු යොදවා ගෙන, තිරසර ලෙස තනාගත් පිළිමයට එතුමන් සමාන නැත.
21 ලෝකය ආරම්භ වූ අන්දම ගැන ඔබ දන්නේ නැද් ද?
අසා නැද් ද? මුල සිට ම ඔබට දන්වා නැද් ද?
22 ලෝකය මැවුයේ, පොළොවෙන් ඉහළ අහසින් එපිට සිංහාසනයේ වැඩ සිටින තැනැන් වහන්සේ ය.
එතුමන්ට ලෝ වැසියන් පෙනෙන්නේ කුරා කුහුඹුවන් සේ ය.
මිහිමත වාසය කරන පිණිස එතුමාණෝ අහස ඇතිරිල්ලක් මෙන් විහිදුවා, කූඩාරමක් මෙන් දිගහැර දුන් සේක.
23 අධිපතීන් නැති නාස්ති කරන්නේත්, ලොවේ පාලකයන් සුණු විසුණු කරන්නේත්, එතුමාණෝ ය.
24 ඔව්හු වනාහි සිටුවා වැඩි කල් නොගිය, පොළොවේ මුල් ඇද නොගත් ළා පැළෑටි හා සමාන ය.
සමිඳාණන් සුළඟක් එවූ විට පිදුරු මෙන් ඒවා වියළී යනු ඇත;
ඉපනැලි මෙන් ගසාගෙන යනු ඇත.
25 සුවිශුද්ධ දෙවිඳුන් සමාන කළ හැක්කේ කවරෙකුට ද?
එතුමන්ට සමාන අන් කිසිවෙක් සිටින්නේ ද?
26 අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද?
හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය.
එතුමන්ගේ බලයේ මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ.
27 අහෝ, ඉශ්රායෙල් සෙනඟෙනි!
අහෝ, ජාකොබ්ගේ සෙනඟෙනි!
සමිඳාණෝ ඔබේ දුක් නොදන්න සේක කියාත්,
ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන් ද?
28 සමිඳුන්,
සදාතන දෙවිඳුන් බවත්, සකල ලෝකය මැවූ බවත්, එතුමන්ට වෙහෙස මහන්සි නොදැනෙන බවත්, එතුමන්ගේ ප්‍රඥාව අචින්ත්‍ය බවත් ඔබ දන්නේ නැද් ද?
අසා නැද් ද?
29 එතුමාණෝ, ක්ලාන්ත වන අයට ශක්තියත්, බෙලහීනයන්ට සවියත් දෙන සේක.
30 තරුණයෝ පවා දුබල වෙති;
යෞවනයෝ පවා වෙහෙස වී වැටෙති.
31 එහෙත්, සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝ ය;
රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝ ය;
ඔව්හු දුවන්නෝ ය;
එහෙත්, වෙහෙස නොවන්නෝ ය;
ඇවිදින්නෝ ය;
එහෙත්, ක්ලාන්ත නොවන්නෝ ය.
– 41 වන පරිච්ඡේදය –
ඉශ්රායෙල්ට දෙවියන් වහන්සේගේ පොරොන්දුව
1 දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක:
”ද්වීපවල හා මුහුදුබඩ වැසියෙනි, මා ඉදිරියේ නිශ්ශබ්ද ව මට සවන් දෙන්න.
අධිකරණය ඉදිරියේ නුඹේ නඩුව තබන්න සූදානම් වන්න.
කතා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
නිවැරදිකරු කවරෙක් දැ යි විනිශ්චය කිරීමට අපි එක් රැස් වමු.
2 පෙරදිගින් ජයග්‍රාකයෙකු කැඳවා, දිරි ගන්වා, යන යන තැන ඔහුට ජය අත්පත් කර දුන්නේ කවරෙක් ද?
ඔහුට රට රාජ්‍යයන් පාවා දී රජවරුන් ඔහුට යටත් කර දුන්නේ කවරෙක් ද?
ඔහු සිය කඩුවෙන් ඔවුන් ධූලි බවටත්, සිය දුන්නෙන් ඔවුන් සුළඟට ගසා යන පිදුරු බවටත් පමුණුවන්නේ ය.
3 ඔහු, කිසිවකු පා නොතැබූ මාවත්වල ඔවුන් ලුහුබැඳ සුරැකි ව ඉදිරියට යන්නේ ය.
4 මුල සිට ම ඉතිහාසය යන මාර්ගය නියම කොට මේ සියල්ල සිදු වන්න සැලසුවේ කවරෙක් ද?
සමිඳාණන් වන මම ය.
ආරම්භයත්, අවසානයත් වන සමිඳාණෝ මම ය.
5 මා කර ඇති දේ දැක ද්වීප හා මුහුදුබඩ වාසීහු බියෙන් වෙවුළුවෝ ය.
ඒ නිසා ඔව්හු එක් රැස් වූ හ.
6 එක එකා තම තමාගේ අසල්වැසියාට උපකාර කොට, තම තමාගේ සහෝදරයන්ට ‘ධෛර්යවත් වන්නැ’යි කියති.
7 කම්කරුවා රන්කරුවාට ද මිටියෙන් පිළිමය මට්ටම් කරන්නා කිණිහිරය පිට තළන්නාට ද ධෛර්යය දෙන්නෝ ය.
‘පෑස්සීම හොඳ ය’යි කෙනෙක් කියති. ඔව්හු පිළිමය නොසෙල්වෙන සේ ඇණවලින් සවි කරති.
8 එහෙත්, මාගේ සේවකයා වන ඉශ්රායෙල් ජාතිය, මාගේ මිත්‍රයා වූ ආබ්‍රහම්ගෙන් පැවත එන නුඹ මා තෝරාගත් සෙනඟක් ය.
9 පොළොවේ කෙළවරින් මම නුඹ ගෙනාවෙමි.
එහි සීමාවලින් නුඹ කැඳවා, ‘නුඹ මාගේ සේවකයා ය’යි මම කීවෙමි.
මම නුඹ ප්‍රතික්ෂේප නොකෙළෙමි.
නුඹ තෝරාගත්තෙමි.
10 බිය නොවන්න;
මම නුඹ සමඟ ය.
මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න.
මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි.
මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
11 ”නුඹ සමඟ වෛර ව සිටි සියල්ලෝ ලජ්ජා වී වියවුල් වන්නෝ ය.
නුඹට විරුද්ධ වන්නෝ නැති නාස්ති වී විනාශ වන්නෝ ය.
12 නුඹ සමඟ විවාදයට එළඹෙන මනුෂ්‍යයෙකු නුඹ සොයන නමුත්, ඔවුන් හමු වන්නේ නැත.
නුඹ සමඟ යුද්ධ කරන්නෝ විනාශ වී පොළොවෙන් අතුරුදහන් වන්නෝ ය.
13 මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.”
14 සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක:
”ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න.
මම නුඹලාට පිහිට වන්නෙමි.
නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය.
15 මම නුඹලා මුවහත්, අලුත් දැති ඇති මඬින යන්ත්‍රයක් මෙන් කරන්නෙමි.
නුඹලා කඳු මැඬ, පොඩිකර, හෙල් බොල් වී මෙන් කරන්නහු ය.
16 නුඹලා ඒවා පොළන්නහු ය.
එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය.
සුළි සුළඟින් විසිරී යන්නේ ය.
එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය.
ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය.
17 අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි.
ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි.
18 මම මුඩු කඳු මුදුන්වල ගංගා ගලා යන්න ද මිටියාවත් මැද උල්පත් ඇති වන්න ද සලස්වන්නෙමි.
කාන්තාරය මැද දිය පොකුණක් ද වියළි දේශයෙන් උල්පත් ද ඇති කරන්නෙමි.
19 මම කාන්තාරයෙහි කිහිරි, ෂිටිම්, මරඳ හා ඔලීව හටගන්වන්නෙමි.
වනයෙහි දේවදාර, හල් හා සයිප්‍රස් එකට හටගන්වන්නෙමි.
20 සෙනඟ මෙය දැක, සමිඳුන් වන මා එය කළ බව දැනගන්නෝ ය.
ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් මේ දේ සිදු කළ බව ඔව්හු තේරුම් ගන්නෝ ය.”
බොරු දෙවිවරුන්ට අභියෝගයක්
21 ඉශ්රායෙල්හි නිරිඳාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”ජාතීන්ගේ දෙවිවරුනි, නුඹලාගේ නඩුව ඉදිරිපත් කරන්න.
නුඹලාගේ බලවත් තර්කයන් ගෙනහැර පාන්න.
22 මෙහි පැමිණ සිදුවන්න යන දේ ගැන අපට කියන්න.
ඒවා සිදු වූ විට අපට දැනගන්න පුළුවන.
සිතා බලන පිණිස පසු ගිය දේවල තේරුම අපට කියා දෙන්න.
23 මතු සිදු වන්න යන දේවල් අපට ප්‍රකාශ කරන්න.
එවිට නුඹලා දෙවිවරුන් බව අපට දැනගන්න ලැබෙනු ඇත.
අප බිය වී තැතිගන්න පිණිස හොඳක් හෝ නපුරක් හෝ අපට කරන්න.
24 එහෙත්, නුඹලා නිකම්මු ය;
නුඹලාගේ ක්‍රියා බොල් ය.
නුඹලා පිළිගන්නෝ පිළිකුලට පත්වෙති.
25 මම නැගෙනහිරෙන් කෙනෙකු තෝරාගතිමි.
පහර දෙන පිණිස උතුරේ සිට මම ඔහු ගෙන එන්නෙමි.
කුම්භකාරයා මැටි පාගන්නාක් මෙන් ඔහු මැටි මෙන් පාලකයන් මැඬදමනු ඇත.
26 අප දැනගන්නා පිණිසත්, ‘නුඹ හරි ය’යි කියන්න පුළුවන් වන පිණිසත්,
නුඹලා අතරෙන්, ‘මෙසේ සිදු වේ ය’ කියා කල් මත්තෙන් කීවේ කවරෙක් ද?
නුඹලාගෙන් කිසිවෙක් ඒ ගැන වචනයක් වත් නොකීවේ ය.
නුඹලා කී දෙයක් ඇසූ කෙනෙක් වත් නැත.
27 සියොන්ට සුබ ආරංචිය පළමු වරට ප්‍රකාශ කෙළේ මම ය.
‘නුඹලාගේ සෙනඟ එති, ඔව්හු ගෙදර එති’යි ප්‍රකාශ කරන පිණිස ජෙරුසලමට දූතයෙකු යැව්වේ මම ය.
28 දෙවිවරුන් අතරේ මා සෝදිසි කළ විට ඔවුන්ගෙන් කිසිවෙකුට කියන්න දෙයක් නුවූ බව මට පෙනුණේ ය.
මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔවුන්ගෙන් කිසිවෙකුට නොහැකි විය.
29 මේ දෙවිවරුන් සියලු දෙනාගෙන් වැඩක් නැත.
ඔවුන්ට කිසිවක් කළ නොහැකි ය.
ඔවුන්ගේ පිළිම හිස් රූකඩ ය.”
– 42 වන පරිච්ඡේදය –
සමිඳාණන් වහන්සේගේ සේවකයා
1 ”මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න.
මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න.
මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්රදානය කර ඇත.
සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.
2 එතුමා උස් හඬින් කතා කරන්නේ වත්, මොරගසන්නේ වත් නැත;
වීථිවල ඇසෙන පරිදි හඬ නඟන්නේ නැත;
3 තැළුණු බට දණ්ඩක් කඩාදමන්නේ නැත;
නිවී ගෙන යන පහන් තිරයක් නිවාදමන්නේ නැත.
4 සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය;
එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත;
මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”
5 අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක:
6 ”යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවාගතිමි.
මම නුඹ අතින් ගෙන නුඹ හැඩගැසීමි.
සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි.
7 මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්,
සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.
8 මම සමිඳාණෝ ය;
එය යි මාගේ නාමය.
මාගේ තෙද මහිමය අන් දෙවි කෙනෙකුට වත්, මාගේ ප්‍රශංසාව කිසි පිළිමයකට වත් මම නොදෙමි.
9 බලන්න, පෙර මා කී දේ දැන් සිදු වී ඇත;
මතු සිදුවන අලුත් දේ සිදුවන්නත් පෙර මම ඔබට ප්‍රකාශ කරමි.”
ප්‍රශංසා ගීයක්
10 සමිඳුන් හට නව ගීයක් ගයන්න.
මුළු ලොව පුරා පැසසුම් පතුරුවා හරින්න. මුහුදේ යාත්‍රා කරන, එහි ජීවත් ව සිටින, ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුම් කරන්න.
11 කාන්තාරය හා එහි නගර ද කේදාර්හි සිටින සෙනඟ ද සේලා නගර වැසි සියල්ලෝ ද කඳු මුදුන්වල සිට ප්‍රීති ඝෝෂා නඟත් වා!
12 ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුමත්, එතුමන් හට මහිමයත් පිරිනමත් වා!
13 සමිඳාණෝ බලවතෙකු සේ නික්ම එන සේක;
එතුමාණෝ, රණ වීරයෙකු සේ දිරිගන්වන සේක.
රණ හඬ පතුරා, සිහ නද නඟා, සතුරන් අබිබවා සිය බලය පෙන්වන සේක.
සෙනඟට පිහිට දීමට පොරොන්දුව
14 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”මම බොහෝ කල් නිශ්ශබ්ද ව මාගේ සෙනඟට පිළිතුරු නොදී සිටියෙමි.
ප්‍රසව වේදනා ඇති ස්ත්‍රියක මෙන් හතිදමමින්, සුසුම්ලමින් දැන් මහා හඬින් කෑගසමි.
15 මම කඳු හා හෙල් පාළු කර, එහි සියලු පලා ජාති වේළී යන්න සලස්වන්නෙමි.
ගංගා වැලිකතර කරන්නෙමි.
සියලු පොකුණු හිඳී යන්න සලස්වන්නෙමි.
16 අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි:
ඔවුන් නොදත් මාර්ගවලින් යන්න මම සලස්වන්නෙමි.
ඔවුන් ඉදිරියේ අන්ධකාරය ආලෝකයට හරවා,
ඇද තැන් ඇද හරින්නෙමි.
මම මේ දේවල් නොවරදවා ම කරන්නෙමි.
මම ඔවුන් අත් නොහරින්නෙමි.
17 රූප කෙරෙහි විශ්වාසය තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලජ්ජාවටත් පත් වන්නෝ ය.”
සේවක ඉශ්රායෙල්වරුන්ගේ අඩු ලුහුඬුකම්
18 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”බිහිරෙනි, අසන්න;
අන්ධයෙනි, හොඳින් බලන්න.
19 මාගේ සේවකයාට වඩා බිහිරි වූ වෙන කිසිවෙක් සිටිත් ද?
මට කැප වූ, සමිඳුන්ගේ මෙහෙකරුවා තරම් අන්ධ කිසිවෙක් ඇද් ද?
20 ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත.
නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”
21 සමිඳාණන් සාධාරණ බැවින් එතුමන්ගේ අණපණත් උසස් කොට ගෞරවයට පත් කිරීමට එතුමාණෝ ප්‍රසන්න වූ සේක.
22 එහෙත්, එතුමන්ගේ සෙනඟ කොල්ලකෑමට ගොදුරු වූ හ.
ඔවුන් ඇඳිරි ගෙවල්හි වසනු ලැබ, හිරගෙවල්හි සඟවා තබනු ඇත.
ඔව්හු ගළවන්න කිසිවෙකු නැති ව කොල්ලකෑමට ගොදුරු වී සිටිති.
ඔව්හු නිදහස් කරන්න කිසිවෙකු නැති ව සොරා කෑමට ගොදුරු වී සිටිති.
23 මේ දේ අසා, මින්මතු ඊට මැනවින් සවන් දෙන කිසිවෙක් නුඹලා අතරේ සිටිත් ද?
24 කොල්ලකාරයන් අතට ඉශ්රායෙල්වරුන් භාර දුන්නේ කවරෙක් ද?
සමිඳාණෝ නොවන සේක් ද?
අප පව් කෙළේ එතුමන්ට විරුද්ධ ව ය.
එතුමන්ගේ මාර්ගයෙහි අපි ගමන් නොකෙළෙමු.
එතුමන්ගේ අණපණත්වලට අපි කීකරු නොවීමු.
25 ඒ නිසා එතුමාණෝ සිය කෝපාග්නිය අපට දැනෙන්නත්,
යුද්ධයේ දරුණුකම විඳින්නත් සැලැසූ සේක.
ගින්නක් මෙන් එතුමන්ගේ උදහස ඉශ්රායෙල් පුරා ඇවිළී ගියේ ය.
එහෙත්, ඉශ්රායෙල් එයින් කිසිවක්
තේරුම් නොගත්තේ ය.
දැවුණු නමුත් එය සිතට නොගත්තේ ය.
– 43 වන පරිච්ඡේදය –
සමිඳුන් සිය සෙනඟ මුදාගැනීම
1 එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් වංශයෙනි, නුඹ නිර්මාණය කොට, මවා වදාළ සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”බිය නොවන්න;
මම නුඹලා මුදාගතිමි.
නුඹලාගේ නම කියා මම හඬගැසීමි.
නුඹලා මාගේ ය.
2 නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි.
නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය.
නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.
3 මන්ද, මම නුඹලාගේ දෙවිඳාණෝ ය.
නුඹලාගේ ගැළවුම්කාරයාණෝ ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ය.
නුඹලා මුදන පිණිස වන්දියක් වශයෙන් මිසරය ද එතියෝපියාව හා ශෙබා ද මම දුනිමි.
4 නුඹලා මාගේ ඇස් හමුයෙහි වටිනා වස්තුවක් වන බැවින් ද ගරු කටයුතු ව සිටින බැවින් ද මා නුඹලාට පෙම් කරන බැවින් ද නුඹලා මුදන පිණිස දේශයන් හා එහි වැසියන් මම වන්දියක් වශයෙන් දෙන්නෙමි.
5 බිය නොවන්න;
මම නුඹලා සමඟ සිටිමි.
දුර නැගෙනහිරෙන් ද ඈත බස්නාහිරෙන් ද නුඹලාගේ සෙනඟ මම රැස් කර ගෙනෙන්නෙමි.
6 ‘මාගේ සෙනඟට යන්න ඉඩ දෙන්නැ’යි උතුරටත්, ‘ඔවුන් නවත්වා නොගන්නැ’යි දකුණටත් මම කියන්නෙමි.
මාගේ දූ පුතුන් නමින් කැඳවා, පොළොවේ දුර බැහැර සිට සෑම දිශාවෙන් ඔවුන් ගෙන එන්නෙමි.
7 ඔව්හු මාගේ ම සෙනඟ ය;
මාගේ මහිමය සඳහා නිර්මාණය කොට, මවා වදාළෙමි.”
සමිඳුන්ගේ සාක්ෂිකාරයෝ
8 දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක:
”අධිකරණය ඉදිරියට මාගේ සෙනඟ කැඳවන්න.
ඔවුන්ට ඇස් ඇති නමුත් ඔව්හු අන්ධ ය;
ඔවුන්ට කන් ඇති නමුත් බිහිරි ය.
9 සියලු සෙනඟ එක් රැස් කරන්න.
ඔවුන් අතර අනාගතය ගැන කියන්න හැක්කේ කවරෙකුට ද?
ඔවුන්ගෙන් කවරෙක් දැන් සිදු වන දේ ගැන කලින් කීවෝ ද?
මේ අය තමන් නිවැරදි බවත්, ඔවුන් කියන දේ සත්‍ය බවත් ඔප්පු කරන පිණිස සාක්ෂිකාරයන් ඉදිරිපත් කරත් වා!
10 ඉශ්රායෙල් ජනයෙනි,
නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය.
නුඹලා මාගේ සේවක ජාතිය වශයෙන් මම තෝරාගතිමි.
එසේ කෙළේ, නුඹලා මා හඳුනා, අදහාගෙන, තේරුම්ගන්න පිණිසත්, එක ම දෙවියන් වහන්සේ මා බව දැනගන්න පිණිසත් ය.
මාගෙන් බැහැර අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත, සිටියේත් නැත, සිටින්නේත් නැත.
11 එසේ ය, මම පමණක් සමිඳාණන් වහන්සේ ය;
මා හැර අන් ගැළවුම්කාරයෙක් නැත.
12 සිදු වන්න යන දේ මම කලින් දැන්වීමි;
ඉන්පසු නුඹලාට පිහිට වන්න මම පැමිණියෙමි.
කිසිම විදේශීය දෙවියෙක් ඔබ සමඟ නොසිටියේ ය.
මේ බවට නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය.
13 මම දෙවියන් වහන්සේ ය;
සදහට ම එසේ වෙමි;
මාගේ බලයෙන් මිදී යන්න කිසිවෙකුට නොහැකි ය.
මා කරන දේ වෙනස් කරන්න කිසිවෙකුට නොහැකි ය.”
බබිලෝනියෙන් මිදී යාම
14 ඔබේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”නුඹලා ගළවන පිණිස මම බබිලෝනියට විරුද්ධ ව හමුදාවක් යවන්නෙමි.
ඔවුන්ගේ නගරයේ දොරටු මම බිඳ හෙළන්නෙමි.
බබිලෝනිවරුන්ගේ කෑගැසීම වැලපීමට හැරෙන්නේ ය.
15 මම සමිඳාණන් වහන්සේ ය;
නුඹලාගේ සුවිශුද්ධ දෙවිඳාණෝ ය;
ඉශ්රායෙල්වරුනි, නුඹලා මැව්වේ මම ය.
මම නුඹලාගේ රජාණෝ ය.”
16 බොහෝ ඉහත දී සමිඳාණෝ මුහුද මැදින්, මහා ජලය මැදින් පාරක් සෑදූ සේක.
17 එහි බලවත් හමුදාවක් ද රථවාහන හා අශ්වයන් ද එතුමාණෝ විනාශකළ සේක.
ඔව්හු නැඟිටිය නොහැකි සේ එහි වැටුණෝ ය.
පහන් තිරයක දැල්ල නිවී යන්නාක් මෙන් ඔව්හු නැතිවී ගියෝ ය.
18 එහෙත්, සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”පසුගිය දේ සිහි නොකරන්න;
පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න.
19 බලන්න, මම අලුත් දෙයක් කරන්නෙමි.
එය දැනුදු ඉටු වේ;
නුඹලාට එය නොපෙනේ ද?
මම කාන්තාරයෙහි පවා මාර්ගයක් සාදා,
එහි ජලධාරා ඇති වන්න සලස්වන්නෙමි.
20 මා විසින් තෝරාගනු ලැබූ මාගේ සෙනඟට වතුර දෙන පිණිස මා කාන්තාරයෙහි ගංගා ගලා යන්න සැලැසූ නිසා හිවලුන් ද පැස්බරුන් ද ඇතුළු වන සත්ත්වයෝ මට ගෞරව කරන්නෝ ය.
21 ඔව්හු, මා උදෙසා ම, මා විසින් මවන ලද සෙනඟ ය.
ඔවුන් මට ප්‍රශංසා කරනු ඇත.”
ඉශ්රායෙල්වරුන්ගේ පාපය
22 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”එහෙත්, ඉශ්රායෙල්වරුනි, ජාකොබ් වංශයෙනි, නුඹලා යාච්ඤා කෙළේ මට නොවේ.
නුඹලා මා ගැන කලකිරුණහු ය.
23 නුඹලා දවන යාග පූජා පිණිස බැටළුවන් මා වෙත ගෙනාවේ වත්,
නුඹලාගේ යාගවලින් මට ගෞරව කෙළේ වත් නැත.
මා ආහාර පූජා ඉල්ලා නුඹලා පිට බරක් තැබුවේ වත්, සුවඳ දුම් පූජා ඉල්ලා, නුඹලා වෙහෙසුවේ වත් නැත.
24 නුඹලා මා උදෙසා කට්ටකුමංජල් මිලේට ගත්තේ වත්,
සත්ත්ව පූජා තෙලෙන් මා තෘප්තිමත් කෙළේ වත් නැත.
ඒ වෙනුවට නුඹලාගේ පව්වලින් නුඹලා මට බරක් වී, නුඹලාගේ අයුතුකම්වලින් මා වෙහෙසට පත් කළහු ය.
25 එහෙත් නුඹලාගේ පව් සිහි නොකොට, නුඹලාගේ වරද කමා කරන දෙවිඳාණෝ මම ය.
එසේ කරන්නේ, මම දෙවිඳාණන් වන නිසා ය.
26 අපි අධිකරණය ඉදිරියට යමු. නුඹලාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න.
නුඹලා නිවැරදි බව ඔප්පු කරන්න නුඹලාගේ විත්තිය කියන්න.
27 නුඹලාගේ මුල් පියා පව් කෙළේ ය;
නුඹලාගේ නායකයෝ ද මට විරුද්ධ ව පව් කළෝ ය.
28 නුඹලාගේ පාලකයෝ මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ හ.
ඒ නිසා ඉශ්රායෙල් ජාතිය විනාශයටත්, ජාකොබ්ගේ වංශය නින්දාවටත් පාවා දුන්නෙමි.”
– 44 වන පරිච්ඡේදය –
සමිඳාණන් වහන්සේ එක ම දෙවියන් වහන්සේ ය
1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”මාගේ තෝරාගත් සෙනඟ වන, ජාකොබ්ගේ පරපුරෙන් පැවත එන, මාගේ සේවක ඉශ්රායෙල් ජනයෙනි, දැන් සවන් දෙන්න.
2 නුඹලා මැවූ සමිඳාණන් වහන්සේ මම ය.
උපන් දා සිට ම මම නුඹලාට උපකාර කෙළෙමි.
බිය නොවන්න.
නුඹලා මාගේ සේවකයෝ ය.
මා තෝරාගත්, මා ප්‍රේම කරන, මාගේ සෙනඟ ය.
3 වියළි දේශයට මම වතුර දෙන්නෙමි;
කාන්තාරයේ ඇල දොළවල් ගලා යන්න සලස්වන්නෙමි.
නුඹලාගේ දරුවන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ වංශය කෙරෙහි මාගේ ආශීර්වාදය ද මම වගුරුවන්නෙමි.
4 ඔව්හු වතුර අසල වැඩෙන තණ කොළ මෙන් ද දිය ඔයවල් ළඟ වැඩෙන බට ගස් මෙන් ද සඵල වන්නෝ ය.
5 සෙනඟ අතරෙන් එක් කෙනෙකු, ‘මා සමිඳාණන් ය’යි කියනු ඇත.
තව කෙනෙකු, ‘මා ඉශ්රායෙල් සෙනඟට සම්බන්ධ ය’යි කියනු ඇත.
තව කෙනෙකු, තමාගේ අතේ සමිඳුන්ගේ නම කොටාගෙන,
තමාත් ‘දෙවිඳුන්ගේ සෙනඟට අයිති ය’යි කියනු ඇත.
6 ඉශ්රායෙල් රජු ද එහි මිදුම්කාරයාණන් ද වන සව් බලැති සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මම ආරම්භයත්, අවසානයත් වන්නෙමි;
මා හැර අන් දෙවි කෙනෙක් නැත.
7 මා හා සමාන කෙනෙක් ඇත්නම්, මා හමුවේ එය කියත් වා!
පටන්ගැන්මේ සිට අග දක්වා සිදු වන දේ පැහැදිලි ලෙස කියන්න හැකි කිසිවෙක් සිටිත් ද?
8 මාගේ සෙනඟෙනි, බිය නොවන්න;
තැති නොගන්න.
පුරාණයේ සිට අද දක්වා සිදු වන්නට යන දේ කල්තියා මා ප්‍රකාශ කළ බව නුඹලා දන්නහු ය.
නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය;
වෙන දෙවි කෙනෙක් සිටිත් ද?
පර්වතයක් වන බලවත් අන් දෙවි කෙනෙකු ගැන අසා ඇද් ද? නැත.”
රූප වන්දනාවේ නිෂ්ඵල බව
9 පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය. 10 දෙවි කෙනෙකු වශයෙන් නැමදීමට ලෝහ පිළිමයක් වාත්තු කිරීම නිෂ්ඵල ය. 11 එයට නමස්කාර කරන සියල්ලෝ නින්දාවට පැමිණෙන්නෝ ය. පිළිම සාදන කම්කරුවෝ සාමාන්‍ය මනුෂ්‍යයෝ ය. ඊට වැඩි දෙයක් ඔවුන්ට නැත. ඔව්හු නඩු විනිශ්චයය සඳහා ඉදිරිපත් වෙත් වා. ඔව්හු බිය වී, නින්දා ලබති.
12 ආචාරියා ලෝහයක් ගෙන එය ගිනියම් කොට තමාගේ බලවත් අතින් මිටියක් ගෙන, එය තළා හැඩගසන්නේ ය. එසේ කිරීමෙන්, සාපිපාසයටත්, වෙහෙසටත් පත් වී ඔහු දුර්වල වන්නේ ය.
13 වඩුවා නූලක් ගසා, අඳින කටුවකින් ඒක සලකුණු කර, යතුවලින් යතුගා, කවකටුවෙන් සලකුණු කොට, ගෙදර වාසය කරන පිණිස මනුෂ්‍යයෙකුගේ රූපයේ හැටියටත්, මනුෂ්‍යයෙකුගේ ශෝභනකමේ ප්‍රකාරයටත් ඒක සාදන්නේ ය. 14 මේ රූපය නෙළීම සඳහා ඔහු කිහිරි ගසක් කපා ගන්නේ ය. එසේ නැත්නම්, වනයෙන් තීර්සා ගසක් හෝ ආලෝන ගසක් හෝ තෝරාගෙන එය වනයේ වැඩෙන්න ඉඩ හරින්නේ ය. එසේත් නැත්නම්, දේවදාර ගසක් සිටුවා එය ජලයෙන් පෝෂණය කරන්නේ ය. 15 එය වැඩුණු විට ගසෙන් කොටසක් ගිනි දැල්වීම පිණිස යොදාගන්නේ ය. ඒ කොටසෙන් ගිනි තපින්නේ ය; එය පත්තු කොට රොටි ද පුළුස්සන්නේ ය. ඉතිරි කොටසින් ඔහු දේව රූපයක් නෙළා ගෙන ඊට නමස්කාර කරන්නේ ය; ඊට වැඳ වැටෙන්නේ ය. 16 ලී කොටයකින් ඔහු ගින්නක් දල්වාගෙන, කෑම උයාගෙන වළඳා තෘප්තියට පැමිණෙන්නේ ය. ඔහු ගිනි තපිමින්, ”මට හරි සනීප යි, මේක කදිම ගින්නකැ”යි කියන්නේ ය. 17 ඉතිරි ලී කෑල්ලෙන් ඔහු දේව රූපයක් නෙළාගන්නේ ය. ඔහු වැඳ වැටී එයට නමස්කාර කරන්නේ ය. ඔහු එයට යාච්ඤා කරමින්, ”ඔබ මාගේ දෙවි තුමා ය. මා ගැළෙව්ව මැනව”යි කියන්නේ ය.
18 එවැනි අයට ඔවුන් කරන අමන ක්‍රියාව දැනගන්නට තරම් සිහි කල්පනාවක් නැත. සැබෑ දේ කුමක් දැ යි දැනගැනීමට වත්, තේරුම්ගැනීමට වත් නොහැකි වන පරිදි ඔවුන්ගේ ඇස් ද සිත් ද වැසී ඇත. 19 තමා එක ම ලීයක කොටසකින් දර ලබාගෙන, රොටි පුළුස්සා, මස් බැද කන බවත්, ඉතිරි කොටසින් පිළිකුල් දේව රූපයක් කපාගෙන ලී කඳකට නමස්කාර කරන බවත් දැනගන්නට ඔවුන්ට තේරුමක් නැත.
20 ඔහු කරන දේ ගඟට ඉණි කැපීමක් වැන්න. ඔහු රැවටී, මුළා වී සිටින බැවින්, ඔහු අතින් අල්ලාගෙන සිටි දේව රූපය කිසි සේත් දෙවි කෙනෙකු නොවන බව ඔහුට තේරුම්ගත නොහැකි ය.
මැවුම්කාර ගැළවුම්කාර සමිඳාණන් වහන්සේ
21 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”ජාකොබ් වංශයෙනි, ඉශ්රායෙල්වරුනි, මේ දේවල් සිහි කරන්න.
නුඹලා මාගේ සේවකයා බව මතක තබාගන්න.
මා නුඹලා මැව්වේ මාගේ සේවකයා වන පිණිස ය.
කිසි කලෙක මම නුඹලා අමතක නොකරන්නෙමි.
22 මම නුඹලාගේ වැරදි වලාකුළක් මෙන් ද, නුඹලාගේ පව් මීදුමක් මෙන් ද පහකර දැමුවෙමි.
නුඹලා ගළවන දෙවිඳුන් මා වන බැවින් මා වෙත හැරී එන්න.
23 ස්වර්ගයෙනි, ගී ගයන්න;
පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න.
කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න.
මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.
24 නුඹේ මැවුම්කාරයාත්, ගැළවුම්කාරයාත් වන සමිඳාණෝ මම ය.
සියල්ලේ මැවුම්කාරයාණන් වන සමිඳාණෝ මම ය.
අහස විදහා මැව්වේත්, මම ය.
මා පොළොව මැවූ විට කිසිවෙකුගේ උදව්වක් මට වුවමනා නො වී ය.
25 ශාස්ත්‍රකාරයන් මෝඩයන් කරවන්නේත්, පේන කියන්නන් උමතු කරවන්නේත් මම ය.
පණ්ඩිතයන්ගේ වදන් ප්‍රතික්ෂේප කරන්නේත්, ඔවුන්ගේ දැනුම මෝඩකම බව පෙන්වා දෙන්නේත් මම ය.
26 මාගේ සේවකයා ප්‍රකාශයක් කළ විට, මාගේ අදහස් දන්වන පිණිස දූතයෙකු එවූ විට ඒවා ඉෂ්ට වන්න සලස්වන්නේත් මම ය.
ජෙරුසලමට කතා කොට එහි සෙනඟ නැවතත් ප්‍රාණවත් කරන බවත්, ජුදා නගරවලට කතා කොට, නටබුන් වූ නගර නැවත ගොඩනඟන බවත් කියන්නේ මම ය.
27 මාගේ වචනයේ බලයෙන් මුහුද වියළී යන්නේ ය.
‘වියළී යව’යි මුහුදට අණ කරන්නේත් මම ය.
28 සයිරස්ට කතා කොට, ‘නුඹ මාගේ එඬේරා වන්නෙහි ය;
මාගේ අදහස් නුඹ ඉටු කරන්නෙහි ය.
ජෙරුසලම නැවත ගොඩනඟන්නත්, දේව මාලිගාවේ අත්තිවාරම් දමන්නත් නුඹ නියම කරන්නෙහි ය’යි කියන්නේත් මම ය.”
– 45 වන පරිච්ඡේදය –
සයිරස් රජකමට පත් කිරීම
1 සමිඳුන්ගේ අභිෂේක ලත් රජ්ජුරුවෝ සයිරස් ය.
ජාතීන් යටත් කිරීමටත්, රජවරුන්ගේ බලය බිඳලීමටත්, සමිඳාණෝ ඔහු සහායට ගත් සේක.
නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිඳාණෝ විවෘත ව තබන සේක.
එතුමාණෝ සයිරස්ට මෙසේ වදාරන සේක:
2 ”මම නුඹට පෙරටුවෙන් ගොස් කඳු සමතලා කොට, ලෝකඩ දොරටු බිඳදමා, යකඩ අගුල් කඩාදමන්නෙමි.
3 නුඹේ නම කියා කැඳවන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මා බව නුඹ දැනගන්න පිණිස සඟවා ඇති වස්තු ද රහස් තැන්වල නිධාන ද නුඹට දෙන්නෙමි.
4 මා තෝරාගත් සෙනඟක් වන මාගේ සේවක ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන පිණිස මම නුඹ පත් කෙළෙමි.
5 මම සමිඳාණන් වහන්සේ ය;
අන් කෙනෙක් නැත.
මා හැර අන් දෙවි කෙනෙක් නැත.
නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.
6 මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය.
මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත.
7 ආලෝකය දෙන්නේ මම ය;
අන්ධකාරය දෙන්නේත් මම ය;
සැපත දෙන්නේ මම ය;
විපත දෙන්නේත් මම ය.
මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.
8 එම්බා අහස් තලය!
වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න.
ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා!
විමුක්තියේ මල් ද එහි පිබිදේ වා! ස්වාමීන් වන මම මෙය සිදු වන්න සලස්වන්නෙමි.”
මැවීමේ හා ඉතිහාසයේ සමිඳාණන් වහන්සේ
9 මැවුම්කරුන් සමඟ වාද කරන්නාට වන විපතක මහත!
කුඹල්කරුවා සමඟ බඳුන වාද කරයි ද?
නුඹ කරන්නේ කුමක් ද කියමින්, මැටි පිඬ එය අඹන්නාගෙන් විමසමින් පොරට සිට ඔහුගේ දස්කම ගැන චෝදනා කරයි ද?
10 නුඹ ජනිත කරන්නේ කුමක් ද කියා පියාට කියන දරුවෙකුට ද නුඹ බිහි කරන්නේ කුමක් ද කියා මවට කියන බිළිඳෙකුට ද වන විපතක මහත!
11 ඉශ්රායෙල්වරුන්ගේ මැවුම්කාර සුවිශුද්ධ සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මාගේ දරුවන් ගැන මාගෙන් ප්‍රශ්න කරන්න වත්,
මා කළ යුතු දේ ගැන මට කියා දෙන්න වත් නුඹලාට අයිතියක් කොහෙන් ද?
12 පොළොව නිර්මාණය කෙළේ මම ය;
ඒ පිට මිනිසුන් මැව්වේ මම ය;
අහස විදහා පෑවේ මම ය;
ආකාශ වස්තූන් හසුරුවන්නේත් මම ය,
13 මාගේ අරමුණ ඉටු කරන පිණිසත්, සියල්ල මනා සේ සකස් කරන පිණිසත් මම සයිරස් උනන්දු කරවීමි.
ඔහු යන මාර්ගය සමතලා කරන්නෙමි;
මගේ නගරය ඔහු ගොඩනඟා වස්තුවක් හෝ අල්ලසක් හෝ නොගෙන වහල් වූවන් මුදාගෙන එනු ඇත.”
ජාතීහු සමිඳුන් පිළිගනිති
14 සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක:
”මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත.
උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය.
ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී,
‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක.
එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.
15 සිය සෙනඟ ගළවන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ සැබැවින් ම නොපෙනී සිටින දෙවි කෙනෙකැ’යි කියන්නෝ ය.
16 දේව රූප සාදන සියල්ලෝ ම ලජ්ජාවටත්, නින්දාවටත් පත් ව වියවුල් බවට පැමිණෙන්නෝ ය.
17 එහෙත්, ඉශ්රායෙල්වරු සමිඳුන් විසින් ගළවනු ලැබූ හ.
ඔවුන්ගේ ජයග්‍රහණය සදහට ම පවතින්නේ ය.
සෙනඟ ලජ්ජාවටත්, නින්දාවටත් කිසි කලක නොපැමිණෙති.
18 සගලෝ මැවූ, පොළොව සාදා එය නිම කළ, පාළු ඉඩමක් ලෙස නොව, විසුමට තැනක් ලෙස පොළොව මැවූ එක ම දෙවි වන සමිඳාණෝ මෙලෙස වදාරන සේක:
”මම සමිඳුන් වෙමි;
හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත.
19 මා කතා කෙළේ රහසින් නොවේ;
ලොවේ අඳුරු තැනක දී නොවේ.
අවුල් වියවුල් ඇති තැනක දී මා සොයන්න ඉශ්රායෙල්වරුන්ට නොකීවෙමි.
මම සමිඳු වෙමි;
මම සත්‍යය වදාරමි;
මම යුක්තිය ප්‍රකාශ කරමි.”
සමිඳාණන් වහන්සේ හා බබිලෝනියේ පිළිම
20 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”ජාතීන් අතරේ ගැළවී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා!
ලී රූප උසුලාගෙන යන, ගැළවීම ගෙන දෙන්න නොහැකි,
දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත.
21 ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා!
සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද?
එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද?
මා හැර අන් දෙවි කෙනෙක් නැත.
මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය;
වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,
22 ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න;
දැන් මාගේ ගැළවීම ලබාගන්න.
මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.
23 මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ;
එය සත්‍යයකි.
‘සියලු දණ හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි.’
24 මා තුළින් පමණක් ශක්තිය හා දැහැමිකම ඇති වේ යයි ඔවුන් කියනු ඇත.
මට විරුද්ධ ව නැඟිටින අය නින්දා දුක් විඳිනු ඇත.
25 ඉශ්රායෙල්වරුන්ගේ සකල පරපුර මා තුළින් දමිටු කරනු ලැබ මා හට පැසසුම් දෙනු ඇත.”
– 46 වන පරිච්ඡේදය –
පිළිමවල බලහීනකම
1 ”බේල් හා නෙබෝ යන දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. වෙහෙස වී සිටින ගවයන් පිට පටවා ඇති ඒවා බරක් ය.
2 මේ දෙවිවරුන් දැන් පහතට වැටී ඇත.
ගැළවීම ගෙන දෙන්න ඔවුන්ට නොහැකි ය.
ඔවුන් ම වහල්කමට ගොස් ඇත.
3 උපන් දා සිට මා විසින් උසුලාගෙන යන ලද ජාකොබ්ගේ වැසියෙනි!
ඉශ්රායෙල් පරපුරේ ඉතා කුඩා පිරිස ව සිටින ඉශ්රායෙල් ජනයෙනි!
මට සවන් දෙන්න.
4 නුඹලා මහලු වී හිස කෙස් පැසී යන තෙක් මම නුඹලා රැක බලාගන්නෙමි;
මම නුඹලා මැව්වෙමි;
මම නුඹලා රැක බලා උපකාර කොට නුඹලා ගළවන්නෙමි.
5 නුඹලා මා සමාන කරන්නේ කවරෙකුට ද සසඳා බලන්න:
මා හා සම කිසිවෙක් ඇද් ද?
6 වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති.
7 ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති.
ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ.
යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.
8 ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න.
9 පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න.
10 අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි.
සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි.
මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.
11 මම නැගෙනහිරෙන් මිනිසෙකු කැඳවන්නෙමි.
ඔහු ගිජු උකුස්සෙකු සේ කඩා වැදී මා අදහස් කළ දේ ඉටු කරන්නේ ය.
මා කියා ඇති දේ මා යෝජනා කළ දේ එසේ ම සිදු වන්නේ ය.
12 ගැළවීමෙන් ඉතා ඈත් ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මට සවන් දෙන්න.
13 ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි.
එය වැඩිදුර නොවේ;
මාගේ ජය ප්‍රමාද නොවේ.
මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”
– 47 වන පරිච්ඡේදය –
බබිලෝනිය කෙරේ විනිශ්චයය
1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න.
බබිලොන් අඟන!
සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න.
තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය.
2 ඇඹරුම් ගල් ගෙන පිටි අඹරන්න.
මුහුණු වැස්ම ඉවත දමන්න.
උඩ සළුව ගලවාදමා, කකුල් නග්න ව තබාගෙන, ගංගාවලින් එගොඩ වී යන්න.
3 නුඹේ නග්න භාවය පෙනෙන්නේ ය;
නුඹේ ලජ්ජාව එළි වන්නේ ය.
මම පළිගන්නෙමි.
කිසිවෙකුට මා නතර කළ නොහැකි ය.
4 ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ අප නිදහස් කරන සේක.
එතුමාණන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.
5 බබිලොන් අඟන නිශ්ශබ්ද ව අන්ධකාරයට ඇතුළු වන්න.
තවත් ‘නුඹ ජාතීන්ගේ රැජින ය’යි නොකියනු ලබන්නෙහි ය.
6 මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි.
නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා,
මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.
7 නුඹ සැම කල්හි ම රැජිනක ව සිටිනු ඇතැ යි සිතා,
මේ දේවල් සිතට ගත්තේ වත්, ඒවායේ ප්‍රතිඵල සිහි කෙළේ වත් නැත.
8 ‘සැප ජීවිකාවට ඇලුම් ව සුරක්ෂිත ව සිටිමි.
මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැත;
කිසි කලක දරුවන් නැති වී වියෝ දුකට පත් වූ කෙනෙක් හෝ වැන්දඹුවක් හෝ නොවන්නෙමි’යි තමන් තුළ සිතූ බබිලෝනිය,
මෙයට සවන් දෙන්න.
9 මේ කරුණු දෙක ම එනම්, දරුවන් නැති වීම ද වැන්දඹුවක වීම ද එක දවසේ හදිසියේ ම නුඹට පැමිණෙන්නේ ය.
එය වැළැක්වීමට නුඹේ යන්ත්‍ර මන්ත්‍රවලින් හා සිව් සැට මායම්වලින් වැඩක් වන්නේ නැත.
10 නුඹ දුෂ්ටකමෙහි නිරත වී සිට කිසිවෙකු නුඹ නොදකිති යි සිතුවෙහි ය.
නුඹේ ප්‍රඥාව හා දැනුම නිසා නුඹ මුළා වී, ‘මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැතැ’යි කියාගත්තෙහි ය.
11 ඒ නිසා විපත්ති නුඹ පිට පැමිණෙන්නේ ය.
එය මන්ත්‍රයකින් නවත්වන්න නොහැකි ය.
නුඹට වළක්වන්න බැරි නාස්තියක් නුඹ පිට පැමිණෙන්නේ ය. නුඹ නොසිතූ විරූ විනාශයක් හදිසියෙන් නුඹ පිට වැටෙන්නේ ය.
12 නුඹ තරුණ කාලයේ සිට ම වෙහෙස මහන්සි දරා, පුරුදුපුහුණු කළ නුඹේ මන්ත්‍ර හා මායම් භාවිත කරන්න.
සමහරවිට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත.
සමහරවිට ඒවායින් නුඹේ සතුරන් බිය ගැන්විය හැක.
13 ඉතින් නක්ෂත්රකාරයෝ ද නැකත් බලන්නෝ ද අමාවක් දවස්වල දී ශුභ අශුභ කියන්නෝ ද ඉදිරියට පැමිණ නුඹට සිදු වන්න යන දෙයින් නුඹ ගළවා ගනිත් වා!
ඔවුන්ගේ අවවාද නුඹ ලැබූ නමුත්, ඒවායින් නුඹ වෙහෙසට පත් වී ඇත.
14 ඔව්හු ඉපනැලි මෙන් වන්නෝ ය;
ගින්න ඔවුන් දවන්නේ ය.
ගිනි දැල්ලේ බලයෙන් තමන් ම ගළවාගන්න ඔවුන්ට නොහැකි ය.
ඒ ගින්න වනාහි තපින පිණිස අඟුරු ගොඩක් වත්, ළං වී සිට උණුසුම ලබන පිණිස ගින්නක් වත් නොවන්නේ ය.
15 තරුණ කාලයේ සිට නුඹ පුහුණු වීමට වෙහෙස ගනිමින් ඇසුරු කළ මේ දෛවඥයන්ගේ අවවාදවලින් නුඹට කිසි වැඩක් සිදු නොවේ.
ඔව්හු නුඹ අත්හැරදමා වෙන අතක් බලා යන්නෝ ය.
නුඹ ගළවන්න කිසිවෙක් නොවෙති.”
– 48 වන පරිච්ඡේදය –
අනාගතය අනාවරණය කිරීම
1 ජුදා වංශයෙන් පැවත එන, ඉශ්රායෙල් යන නම දරන ජාකොබ් පුත්‍රයෙනි, මෙයට සවන් දෙන්න.
නුඹලා සමිඳුන්ගේ නාමයෙන් දිවුරන නමුත්, එසේ කරන්නේ අවංක සිතින් වත්, දැහැමිකමින් වත් නොවේ.
2 එසේ වුවත්, නුඹලා ශුද්ධ නුවරට අයිති යයි ද ‘සව් බලැති සමිඳාණෝ’ යන නම දරන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් සරණ ගෙන ඇතැ යි ද කියමින්
පාරට්ටු කරගන්නහු ය.
3 සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක:
”අතීතයේ සිට සිදු වූ සෑම දෙයක් ම මා මුවින් නුඹලාට ප්‍රකාශ කෙළෙමි.
මා ක්‍රියා කළ විගස ම ඒවා සිදු විය.
4 යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි.
5 නුඹට සිදු වන්න යන දේ, සිදු වන්න බොහෝ කල් තියා, පුරාණයේ සිට ම මම නුඹට දැන්වීමි.
මා එසේ දැන්වූයේ, ‘නුඹලාගේ දේව රූප ඒවා සිදු කෙළේ ය’ කියා ද, ‘නුඹලාගේ කැටයම් රූප සහ වාත්තු කළ පිළිම ඒවා කෙළේ ය’ කියා ද නුඹට කියන්න බැරි වන පිණිස ය.
6 මා පෙර කී සියලු දේ දැන් සිදු වී ඇත.
මාගේ අනාවැකි සිදු වී ඇති බව නුඹ පිළිගත යුතු ය.
දැන්, මම කලින් නුඹට ප්‍රකාශ නොකළ මතු සිදු වන්න යන අලුත් දේවල් ප්‍රකාශ කරමි.
7 ඒවා සිදු වන්න මා සලස්වන්නේ දැන් ය.
පෙර එවැන්නක් සිදු නො වී ය.
සිදුවිණි නම්, නුඹලා ඒ ගැන දැන සිටියහු යයි කියනු ඇත.
8 මේ ගැන කිසිවක් නුඹ ඇසුවේ වත්,
ඒ ගැන දැනගත්තේ වත්, ඒ ගැන කිසිදු වචනයක් නුඹේ කනේ වැකුණේ වත් නැත්තේ,
නුඹ විශ්වාස කළ නොහැකි බවත්, උපන් දා සිට නුඹ ද්‍රෝහියෙකු ව සිටි බවත් මා දැන සිටි නිසා ය.
9 මාගේ නමට සෙනඟ ප්‍රශංසා කරන පිණිස, මාගේ කෝපයට ඉඩ නො දී එය වළලවා මම නුඹ විනාශ නොකෙළෙමි.
10 ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි.
11 මා කරන දේ මා කරන්නේ මා උදෙසා ම ය.
මාගේ නාමය කෙලෙසන්නට වත්, මට ම අයිති, මට පමණක් හිමි, මාගේ ගෞරවය වෙන කිසිවෙකුට ගන්න වත් මම ඉඩ නොදෙමි.”
සමිඳාණන් වහන්සේ තෝරාගත් සයිරස් රජ
12 ”මා කැඳවාගත් ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් පුත්‍රයෙනි, මට සවන් දෙන්න.
පටන්ගැන්ම මම ය;
අවසානය ද මම ය;
දෙවිඳාණෝ මම ය.
13 පොළොවේ අත්තිවාරම් මාගේ අතින් ම මම දැමුවෙමි.
මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි.
මා ඒවාට අඬගැසූ විට ඒවා මා ඉදිරියට පැමිණේ.
14 නුඹලා සියලු දෙනා රැස් ව සවන් දෙන්න.
මා තෝරාගත් තැනැත්තා බබිලෝනියට පහර දී, මා කියන දේ කරන බවට නුඹලාගේ දෙවිවරුන්ගෙන් කිසිවෙක් වත් අනාවැකියක් කීවෝ ද?
15 ඔහුට කතා කොට, ඔහු කැඳවූ තැනැන් වහන්සේ මම ය.
ඔහුට මඟපෙන්වා ජය අත්කර දුන්නේ මම ය.
16 දැන් මා ළඟට පැමිණ මා කියන දේට සවන් දෙන්න.
මම කිසිවක් නොසඟවා මුල සිට ම ප්‍රකාශ කෙළෙමි, මුල සිට ම මැවීම සමඟ මම සිටියෙමි.” ‘දෙවි සමිඳාණෝ සිය බලය මට දී මා එවූ සේකැ’යි සයිරස් කීවේ ය.
17 නුඹලාගේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන, යා යුතු හරි මඟ නුඹලාට පෙන්වන, නුඹලාගේ දෙවි සමිඳාණෝ මම ය.
18 නුඹලා මාගේ ආඥාවලට සවන් දුන්නහු නම්, මාගේ ආශීර්වාද නොසිඳී ගලන ගඟක් සේ නුඹලා කරා ගලා එන්නේ ය.
මුහුදේ රළ පතර මෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේ ය.
19 නුඹලාගේ දරු පරම්පරාව වැලි ඇට මෙන් බහුල වන්නෝ ය.
ඔවුන්ගේ නම මැකී යන්නේ වත්, මා ඉදිරියෙන් ඔවුන් කිසි කලක විනාශ වන්නේ වත් නැත.”
20 නිදහස ලබා, බබිලෝනියෙන් පිට වී යන්න.
බබිලෝනිවරුන් වෙතින් බේරී යන්න.
”සමිඳාණෝ සිය සේවක ඉශ්රායෙල් මුදාගත් සේකැ”යි කියමින් ප්‍රීති ඝෝෂා පවත්වා ලොව පුරා පතුරුවන්න.
21 සමිඳාණන් වහන්සේ සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය විට ඔවුන්ට පිපාසයක් නො වී ය.
එතුමාණෝ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්න සැලැස්සූ සේක.
එතුමන් පර්වතය විවර කළ විට වතුර ගලා ආයේ ය.
22 ”අදමිටුවන්ට සාමය අහිමි වේ ය”යි සමිඳාණෝ වදාරන සේක.
– 49 වන පරිච්ඡේදය –
ඉශ්රායෙලය ජාතීන් හට ආලෝකයක් වීමේ දූතික මෙහෙවර
1 මුහුදුබඩ වැසියෙනි, මාගේ බස් අසන්න. ඈත සිටින ජනයෙනි, මට සවන් දෙන්න.
මා උපදින්නත් පෙර මවුකුසෙහි සිටිය දී සමිඳාණෝ මා තෝරාගෙන එතුමන්ගේ සේවකයා වන පිණිස මා පත්කළ සේක.
2 එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක.
සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක.
එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක.
සිය කොපුවේ මා සඟවා තැබූ සේක.
3 එතුමාණෝ කතා කොට, ”ඉශ්රායෙල්, නුඹ මාගේ සේවකයා ය, නුඹ මඟින් සෙනඟ මාගේ මහිමය ප්‍රකාශ කරනු ඇතැ”යි වදාළ සේක.
4 මම කතා කරමින්, ”මම නිකරුණේ වෙහෙසුණෙමි;
මාගේ මුළු ශක්තිය යෙදූ නමුත්, කිසිවක් අත්පත් කර නොගතිමි”යි කීවෙමි.
එසේ වුව ද, මාගේ විනිශ්චයය සමිඳුන් අතේ ඇති බවත්, මාගේ විපාකය දෙවිඳුන් අතේ ඇති බවත් මට සහතික ය.
5 මා උපදින්නටත් පෙර තමන්ගේ සෙනඟ ආපසු ගෙනෙන පිණිසත්, විසිර සිටින ඉශ්රායෙල් ජනයා, ජාකොබ්ගේ වංශය එක් රැස් කරන පිණිසත් සේවකයෙකු වශයෙන් සමිඳාණෝ මා පත් කළ සේක.
සමිඳාණෝ මට ගෞරවය දෙන සේක.
එතුමාණෝ මාගේ ශක්තිය වන සේක.
6 එතුමාණෝ මට මෙසේ වදාළ සේක:
”ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත.
එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.”
7 ඉශ්රායෙල්වරුන්ගේ මිදුම්කාරයා ද ඔවුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මිනිසුන් විසින් සුළු කරනු ලැබූ,
ජාතීන් විසින් පිළිකුල් කරනු ලැබූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙකු වූ තැනැත්තාට මෙසේ වදාළ සේක:
”ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවි සමිඳාණන් සිය සේවකයා වන නුඹ තෝරාගත් බව දකින රජවරුන් විශ්වාසවන්ත ඒ සමිඳාණන් නිසා නුඹට ගරු කරන්න නැඟිටිනු ඇත;
අධිපතීන් නුඹට නමදිනු ඇත.”
ජෙරුසලමේ පුනරුත්ථාපනය
8 සමිඳාණෝ මෙසේ වදාළ සේක: ”සුදුසු කාලයේ දී මම නුඹට පිළිතුරු දී, ගැළවීමේ දවසේ දී නුඹට උපකාර කරන්නෙමි. මම නුඹ ආරක්ෂාකර, නුඹ මඟින් සියලු මිනිසුන් සමඟ ගිවිසුමක් කරන්නෙමි.
දැනට පාළු වී ඇති නුඹේ දේශය නැවත උරුම කරගන්න මම නුඹට දෙන්නෙමි.
9 හිරකරුවන්ට, ‘නිදහස් ව යන්න’ කියා ද අඳුරේ සිටින්නන්ට, ‘ආලෝකයට එන්න’ කියා ද මම කියන්නෙමි.
හැම මාර්ගයක දී ම ඔවුන්ට කෑම ලැබෙයි.
ඔවුන් යන කවර මාවතක දී වුව ද පාළු වී ගිය කඳු මුදුන් පිට ඔවුන්ට ආහාර ඇති වේ.
10 ඔවුන්ට සාපිපාසා නොවන්නේ ය.
ගිනි අව්වෙන් වත්, මරුකතරෙන් වත් ඔවුන්ට පීඩාවක් නොවන්නේ ය.
මන්ද, ඔවුන්ට අනුකම්පා කරන තැනැන් වහන්සේ ඔවුන්ට මඟපෙන්වන සේක.
දිය උල්පත් අසලින් ඔවුන් කැඳවාගෙන යන සේක.
11 මම කඳු හරහා මහා මාවත් සාදා මාගේ සෙනඟ ගමන් කරන පිණිස මාර්ගයක් සූදානම් කරන්නෙමි.
12 මාගේ සෙනඟගෙන් සමහරෙක් දුර බැහැර සිට පැමිණෙති;
සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන් ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන් ද පැමිණෙති.”
13 සගලෝ ගී ගයා වා!
පොළොව ප්‍රීති වේ වා!
කඳු ප්‍රීතියෙන් පිනා යේ වා!
මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක;
දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක.
14 එහෙත්, ජෙරුසලම් වැසියෝ, ”සමිඳාණෝ අප අත්හළ සේක;
අප මතක නැති කළ සේකැ”යි කී හ.
15 සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක:
”මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න?
හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න?
මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි.
16 එම්බා ජෙරුසලම, නුඹේ නම මාගේ අත්වල අල්ලෙහි කොටා ගෙන ඇත.
නුඹේ පවුරු මා ඉදිරියෙහි නිතර ම ඇත.
17 නැවත නුඹ ගොඩනඟන අය කැඩූ අයට වඩා ඉක්මනින් ඉදි කරති.
නුඹව විනාශ කළ අය පලා යති.
18 නෙත් විදහා වට පිට බලන්න. මොවුහු සියල්ලෝ ම එකතු ව නුඹ ළඟට එති.
මම ජීවමාන දෙවිඳාණන්ගේ නාමයෙන් දිවුරා කියමි:
‘මනාලියක ඇගේ ආභරණ පළඳින්නාක් මෙන් නුඹේ සෙනඟ නුඹට අලංකාරයක් වන්නෝ ය.’
19 විනාශ කරන ලද නුඹේ දේශය නටබුන් වී පාළු වී ඇතත්, දැන් එහි පදිංචියට පැමිණෙන අයට එහි ඉඩ මදි වන්නේ ය.
නුඹ විනාශ කර දැමූ අය නුඹෙන් ඉවත් කරනු ලබන්නෝ ය.
20 පිටුවහල් ව සිටි කාලයේ දී උපන් අය ‘මේ දේශය අපට ජීවත් වීමට මදි ය.
අපට වාසය කිරීමට තව ඉඩකඩ වුවමනා ය’යි නුඹට යම් දවසක දී කියනු ඇත.
21 එවිට නුඹ නුඹට ම මෙසේ කියා ගනු ඇත:
‘මොවුන් මා හට ඉපදෙව්වේ කවරෙක් ද?
මම දරුවන් නැති ව වඳ ව, රටෙන් පිටිවහල් වී ඔබමොබ ගියෙමි.
මොවුන් ඇති කළේ කවරෙක් ද?
මම තනි ව සිටියෙමි.
මොවුන් ආවේ කොතැනින් ද?”
22 මහෝත්තම දෙවි සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක: ”මම මාගේ හස්තය ජාතීන් මත ඔසවා සලකුණකින් සෙනඟට සංඥා කරන්නෙමි. ඔව්හු නුඹේ පුත්‍රයන් වඩාගෙන එන්නෝ ය.
නුඹේ දූවරු ද ඔවුන්ගේ කරපිට ගෙනෙනු ලබන්නෝ ය.
23 රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති.
බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති.
ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය.
එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය.
මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”
24 බලවන්තයෙකුගෙන් කොල්ලය ගන්න නොහොත් කෲරතර රජෙකුගෙන් හිරකරුවන් මුදාගන්න කිසිවෙකුට හැකි ද?
25 සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක:
”සැබැවින් ම බලවන්තයාගේ අතින් වහල්ලු මුදාගනු ලබන්නෝ ය.
කෲරතර රජුගෙන් හිරකරුවෝ මුදාගනු ලබන්නෝ ය.
නුඹට එදිරිවාදිකම් කරන අයට විරුද්ධ ව නුඹේ දරුවන් මුදාගන්නෙමි.
26 නුඹට පීඩා කරන්නන්ට ඔවුන්ගේ ම මාංසය කන්න සලස්වන්නෙමි.
මත්පැන් බී මත් වන සේ, ඔව්හු තමන්ගේ ම ලේ බී, මත් වන්නෝ ය.
එවිට මා සමිඳාණන් වන බවත්, නුඹලා මුදා නිදහස් කරන තැනැන් වහන්සේ බවත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණන් බලවත් බවත් මුළු මිනිස් වර්ගයා දැනගනු ඇත.”
– 50 වන පරිච්ඡේදය –
සෙනඟ නොමඟ යාම
1 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද?
එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද?
නැත.
නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය.
නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.
2 ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද?
ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද?
ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද?
මෙය සිතට ගන්න.
මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය.
වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත.
3 මම අහස අඳුරු කරන්නෙමි.
එය ගෝණි රෙදි හැඳගත් ශෝක වන්නෙකු මෙන් කරන්නෙමි.”
සමිඳාණන් වහන්සේගේ සේවකයාගේ කීකරුකම
4 විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.
5 දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත.
මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.
6 මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි.
මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි.
මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි.
7 මහෝත්තම දෙවි සමිඳාණන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි.
මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි.
මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි.
8 මන්ද, දෙවිඳාණෝ මා ළඟ ය;
එතුමාණෝ මා නිදොස් බව පෙන්වන සේක.
මට විරුද්ධ ව චෝදනා කරන්නේ කවරෙක් ද?
අපි දෙදෙනා ම විනිශ්චයයට යමු;
ඔහු මට විරුද්ධ ව චෝදනාව ඉදිරිපත් කරා වා!
9 මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක.
‘මා වැරදිකරු ය’යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද?
කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.
10 ඔබ අතරෙන් සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති අය එතුමන්ගේ සේවකයා කියන දේට සවන් දෙන්න.
තමන්ට ආලෝකයක් නැති ව, අන්ධකාරයෙහි ඇවිදින අය සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන්න:
එතුමන් කෙරෙහි බලාපොරොත්තුව තබන්න!
11 ගින්නක් දල්වන, ගිනි අඟුරු මොළවන සියල්ලෙනි,
අනුන් විනාශ කරන්න උපා යොදන ඔබ ඔබේ ම උපායවලින් විනාශ වන්නහු ය.
සමිඳුන් අතින් ම එය සැලසෙනු ඇත.
ඔබ භයංකර විපතකට පත්වන්නහු ය.
– 51 වන පරිච්ඡේදය –
සමිඳුන්ගේ සැනසිලි වචන
1 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”දැහැමි ලෙස ජීවත්වෙමින් සමිඳුන් සොයා යන්නෙනි, නුඹලා නෙළාගනු ලැබුවේ කුමන පර්වතයකින් ද කියාත්, නුඹලා හාරා ගනු ලැබුවේ කුමන ගල්වළකින් ද කියාත් සිතා බලන්න.
2 නුඹලාගේ ආදි පිය වූ ආබ්‍රහම් ද නුඹලා ප්‍රසූත කළ සාරා ද ගැන සිතා බලන්න.
මා ආබ්‍රහම් කැඳෙවු විට ඔහුට දරු සම්පතක් නො වී ය.
එහෙත්, මම ඔහුට ආශීර්වාද කර දරු පරපුරක් දිනිමි.
3 සමිඳාණෝ සියොන්ටත්, එහි නටබුන්වලටත් අනුකම්පා කරන සේක.
ඇගේ වනාන්තරය, ඒදන් උයන මෙන් ද ඇගේ කාන්තාරය සමිඳුන්ගේ උයන මෙන් ද කරන සේක.
ප්‍රීතිය ද සන්තෝෂය ද ස්තුති දීම ද ගීතිකා හඬ ද එහි වන්නේ ය.
4 මාගේ සෙනඟෙනි, මට සවන් දෙන්න.
මාගේ ජනයෙනි, මා කෙරෙහි කන් යොමු කරන්න.
ව්‍යවස්ථාවක් මා වෙතින් නිකුත් වන්නේ ය.
මාගේ සාධාරණකම ජාතීන්ට එළියක් වන්නේ ය.
5 ඔවුන් ගැළවීමට මම ඉක්මනින් පැමිණෙන්නෙමි.
මාගේ ජයග්‍රහණය ආසන්න ය.
මම ම ජාතීන් පාලනය කරන්නෙමි.
ඈත රටවල් මා එන තෙක් බලා සිටියි.
මා ඔවුන්ට ගැළවීම ගෙන දීමේ බලාපොරොත්තුවෙන් ඔව්හු සිටිති.
6 නුඹලාගේ ඇස් ඔසවා ඉහළ අහස දෙස බලන්න.
පහළ පොළොව දෙස බලන්න.
අහස දුම මෙන් පහ වී යන්නේ ය;
පොළොව පරණ වස්ත්‍රයක් මෙන් දිරාපත් වන්නේ ය.
එහි සිටින සියලු දෙනා ම පණුවන් මෙන් විනාශ වන්නෝ ය.
එහෙත්, මා ගෙන දෙන ගැළවීම සදහට ම පවතින්නේ ය.
මාගේ යුක්තියට කෙළවරක් නොවන්නේ ය.
7 දැහැමිකම දන්න, සිය සිත්වල මාගේ අණපණත් නිදන් කර ඇති ජනයෙනි, මට සවන් දෙන්න.
මිනිසුන් නුඹලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළඹෙන්න.
8 කාවන් විසින් කාදමන ලද වස්ත්‍රයක් මෙන් ද පණුවන් විසින් කාදමන ලද ලොම් රොදක් මෙන් ද ඔව්හු විනාශ වන්නෝ ය.
එහෙත්, මාගේ ගැළවීම සදහටත්, මාගේ ජයග්‍රහණය සියලු පරම්පරාවලටත් පවතින්නේ ය.”
දේව පිහිට ඉල්ලා අයැදීම
9 සමිඳුනි, පිබිදෙන්න;
අපට පිහිට වන්න.
අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න.
පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න.
රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?
10 ඉතා ගැඹුරු මහ මුහුද හින්දවා, මිදීම ලත් සෙනඟට එතෙර වීමට ගැඹුරු මුහුදේ මාර්ගයක් සැදුවේත් ඔබ නොවන සේක් ද?
11 සමිඳුන් විසින් මුදන ලද්දෝ ගී කියමින් සියොනට පැමිණෙන්නෝ ය.
ඔවුන්ගේ ප්‍රීතිය සදහට ම පවතින්නේ ය.
ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නෝ ය.
දුක ද සුසුම්ලෑම ද ඔවුන්ගෙන් පහ ව යන්නේ ය.
12 සමිඳාණෝ මෙසේ වදාරන සේක.
”නුඹලා සනසන්නේ මම ය.
මැරී යන තණ මෙන් පහ ව යන මිහි පිට මිනිසාට නුඹ බිය විය යුත්තේ කුමකට ද?
13 අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද?
නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද?
පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය.
14 රටින් පිටුවහල් වී සිටින්නෝ ඉක්මනට මුදනු ලබන්නෝ ය.
ඔවුන් පාතාල ලෝකයට වැටෙන්නේ වත්, ඔවුන්ට ආහාර හිඟවන්නේ වත් නැත.
15 මම නුඹලාගේ දෙවි සමිඳාණෝ ය.
මුහුද කළඹා එහි රළ පතර ඝෝෂා කරන්න සලස්වන්නේ මම ය.
මාගේ නම සව් බලැති සමිඳාණෝ ය.
16 අහස විහිදුවා, පොළොවේ අත්තිවාරම් දැමුවේ මම ය.
මම සියොන් අමතා, ‘නුඹලා මාගේ සෙනඟ ය;
නුඹලාට මාගේ ඉගැන්වීම දිනිමි;
මාගේ හස්තයෙන් නුඹලා ආරක්ෂා කරන්නෙමි’යි කීමි.”
ජෙරුසලමේ දුක් විඳීමේ අවසානය
17 එම්බා ජෙරුසලම පිබිදෙන්න.
පිබිදෙන්න.
නැඟිට සිටින්න.
සමිඳුන් සිය උදහසින් නුඹලාට බොන්න දුන් කෝපය නමැති කුසලානේ අඩියට ම උරා බීමෙන් නුඹ වැනෙන්න වූයෙහි ය.
18 නුඹේ සෙනඟ අතරෙන්, නුඹ ඇතිදැඩි කළ නුඹේ ම පුත්‍රයන් අතරෙන් නුඹේ අත අල්ලාගෙන නුඹට මඟපෙන්වන්නට කිසිවෙක් නැත.
19 නුඹ පිට ආපදාවක් දෙකක් පැමිණ ඇත.
එනම්, පාළුව හා විනාශයත්, සාගතය හා යුද්ධයත් ය.
නුඹ සනසන්නේ කවරෙක් ද?
20 නුඹේ පුත්‍රයෝ සමිඳුන්ගේ කෝපයෙන්, නුඹේ දෙවිඳුන්ගේ තරවටුවෙන් මිරිකී, ක්ලාන්ත වී දැලක අසු වූ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.
21 එබැවින් මත්පැනින් මත් වූ අය මෙන් වැනෙන දුක් විඳින ජෙරුසලම් ජනයෙනි,
මෙය අසන්න.
22 නුඹලාගේ දෙවි සමිඳාණෝ නුඹලා ආරක්ෂා කරන සේක.
එතුමාණෝ මෙසේ වදාරන සේක:
”මාගේ උදහසින් නුඹලාට බොන්න දුන් මාගේ කුසලාන නුඹලා අතින් ඉවත් කරන්නෙමි.
මින්පසු නුඹලා වැනෙන පමණට මාගේ කෝපය නමැති කුසලානෙන් නොබොන්නහු ය.
23 ඒ කුසලාන නුඹලාට පීඩා කළ අයට එනම්, ‘අප විසින් නුඹලා පාගාගෙන යනු පිණිස බිම වැටී සිටින්නැ’යි කියමින් නුඹලාගේ පිටවල් පාරක් මෙන් සලකා ඒවා උඩින් ගිය අයට එය දෙන්නෙමි.”
– 52 වන පරිච්ඡේදය –
ජෙරුසලම මුදාගැනීම
1 එම්බා සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, ශක්තිමත් වන්න, ශුද්ධ නුවර වන ජෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මින්පසු අචර්මඡේදිතයෙක් වත්, අපවිත්‍ර වූවෙක් වත්, මේ නගරයට ඇතුළු නොවන්නේ ය.
2 ජෙරුසලම, ඔබ ධූලි ගසාදමා නැඟිට සිටින්න, වහලියක වූ සියොන් පුරඟන, ඔබේ ගෙල වටා ඇති විලංගු ගලවාදමන්න.
3 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නුඹලා වහල්කමට විකුණනු ලැබුවේ මුදල් වන්දියකින් නොවේ; එසේ ම නුඹලා මුදනු ලබන්නේත් මුදල් වන්දියකින් නොවේ. 4 මුල දී නුඹලා මිසරයේ විදේශී ව සිටින්න ගියහු ය. පසු ව අසිරියාව කිසි හේතුවක් නැති ව නුඹලාට පීඩා කෙළේ ය. 5 දැන් මෙහි බබිලෝනියෙහි මට කුමක් දක්නට ලැබේ ද? කිසි හේතුවක් නැති ව මාගේ සෙනඟ මෙහි වහල් ව සිටිති. ඔවුන්ගේ පාලකයෝ ජය හඬ නඟති; දවස දෙවේලේ මාගේ නාමයට අපහාස කරති. 6 එබැවින්, මාගේ සෙනඟ මාගේ නාමය දැනගනු ඇත. ඒ දවසේ දී කතා කරන්නේ මා බවත්, මා දෙවියන් වහන්සේ බවත් ඔවුන් දැනගනු ඇත.”
සියොන්ට සුබ ආරංචි
7 සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, ”නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?
8 නගරය මුර කරන්නන්, හඬ නඟා එක් ව ගී කියනු ඇත.
සියොනට සමිඳාණන් වඩින බව ඔවුන් සියැසින් දකිනු ඇත.
9 ජෙරුසලමේ නටබුන්, එක් ව ගී ගයන්න;
ඝෝෂා කරමින් හඬ නඟන්න.
සමිඳාණෝ සිය සෙනඟ සැනසූ සේක.
10 සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක.
අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.
11 යන්න, බබිලෝනියෙන් පිට වී යන්න, අපිරිසිදු දේකට අත නොපාන්න.
නොනැවතී පිට වී යන්න, සමිඳුන්ගේ භාණ්ඩ උසුලාගෙන යන නුඹලා පිරිසිදු වන්න.
12 හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ;
බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ;
සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක.
සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.
දුක් උසුලන සේවකයාණෝ
13 බලන්න, මාගේ සේවකයාණන්ට ජය අත් වේ.
එතුමාණෝ, උසස් වී, උතුම් වී, අත්‍යුත්කෘෂ්ට වෙති.
14 පෙනුමෙන් එතුමාණෝ බොහෝ සේ අවලක්ෂණ ය.
මිනිසෙකුට සමානකමක් නැත.
මිනිස් රූපය නැති වී යන පමණට විරූප වීමෙන් එය සියල්ලන්ට ම පුදුමයක් වී ඇත.
15 දැන් නම්, ජාතීහු එතුමාණන් දැක මවිතයට පත් වෙති.
රජවරු විස්මයෙන් විස්මයට පත් ව නිහඬ ව සිටිති.
ඉහත දී ඔවුන්ට නොදැන්වූ දෙයක් දැන් ඔව්හු දනිති.
කිසි කලක නොඇසූ දෙයක් දැන් ඔව්හු තේරුම්ගනිති.
– 53 වන පරිච්ඡේදය –
1 අප සැළ කළ දේ විශ්වාස කෙළේ කවරෙක් ද?
සමිඳුන්ගේ බලය එළිදරව් වී ඇත්තේ කවරෙකුට ද?
2 මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය.
එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත;
මන පිනවන ශෝභමානකමක් ද නැත;
3 මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ;
දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ.
එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ;
එතුමාණෝ නෙරපනු ලැබූ හ.
අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු.
4 එබැවින් එතුමාණන් ඉසුළුවේ අපේ දුක ය;
දරාගත්තේ අපේ පීඩා ය.
මේවා දඬුවම් යයි අපට සිතුණේ ය.
දෙවි තුමන් දුන් පහර යයි අපට හැඟුණේ ය.
5 එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය;
පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය.
එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත;
එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත.
6 අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු.
සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක.
7 සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටිය හ;
නිහතමානී ලෙස එය දැරූ හ.
මරන්න ගෙන යන බැටළු පොව්වකු සේ ද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬ ව සිටින සේ ද එතුමෝ මුඛය නෑර සිටිය හ.
8 බලහත්කාරකමින් ද යුක්ති විරෝධි ලෙස ද එතුමෝ ගෙනයනු ලැබූ හ;
මනු ලොවින් සිඳදමනු ලැබූ හ;
සෙනඟගේ පව් උදෙසා මරනු ලැබූ හ.
9 මේ කරුණු ගැන, එතුමන් උදෙසා පෙනී සිටින්නේ කවරෙක් ද?
එතුමන් කිසි වරදක් නොකළ නමුත්, කිසි බොරුවක් නොකී නමුත්, ඔවුන් එතුමන් මිහිදන් කෙළේ අදමිටුවන් සමඟ එක මිනී වළේ ය.
ධනවතුන් සමඟ එක සොහොන් බිමේ ය.
10 එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය.
මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ.
එබැවින් එතුමෝ සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නා හ.
එතුමන් මඟින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ.
11 එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක, තෘප්තියට පැමිණෙනු ඇත.
බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් දුක් වේදනාවෙන් ලත් දැනගැන්මෙන් දමිටු කමට ඔවුන් පත් කරනු ලබනු ඇත.
12 එබැවින් මම එතුමන්ට උදාරතර සම්පත් දෙන්නෙමි.
එතුමෝ එය බලවතුන් සමඟ බෙදාගන්නා හ.
මෙසේ වන්නේ, එතුමන්, වරදකරුවන් සමඟ ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලාගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි.
– 54 වන පරිච්ඡේදය –
ඉශ්රායෙල්වරුන්ට සමිඳුන්ගේ ප්‍රේමය
1 ”දරුවන් නොලැබූ වඳ ස්ත්‍රියක වැනි ජෙරුසලම, ගී ගයන්න.
ප්‍රසව වේදනාව නොවින්ද නුඹ ගී හඬ නඟා මොරගසන්න.
මන්ද, විවාහක ස්ත්‍රියගේ දරුවන්ට වඩා, අත්හරිනු ලැබූ ගැහැණියක වැනි නුඹට දරු සම්පත් බොහෝ වෙති”යි සමිඳාණෝ වදාරන සේක.
2 ”නුඹේ කූඩාරම පිහිටා ඇති ස්ථානය විශාල කරන්න.
එහි සීමා පළල් කරන්න;
පසු නොබසින්න;
ලණු දික් කරගෙන ඇබ සවි කරන්න.
3 මන්ද, නුඹේ සීමා වමටත් දකුණටත් පැතිරී යනු ඇත.
නුඹේ දරු පරපුර ජාතීන්ගේ දේශ හිමි කරගෙන පාළු වී ඇති නගර වැසියන්ගෙන් පුරවනු ඇත.
4 බිය නොවන්න;
නුඹ නැවත ලජ්ජාවට පැමිණෙන්නේ නැත.
නොකැළඹෙන්න, නුඹ නින්දාවට පත් වන්නේ නැත.
නුඹේ යොවුන් වියෙහි ලජ්ජාව නුඹ අමතක කරන්නෙහි ය.
නුඹේ වැන්දඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහි ය.
5 නුඹේ මැවුම්කාරයාණෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වන සේක.
එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.
ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේ නුඹේ මිදුම්කාරයාණෝ ය.
‘මුළු පොළොවේ දෙවිඳාණෝ ය’යි එතුමන්ට කියනු ලබන්නේ ය.
6 ඉශ්රායෙල්, නුඹ සිය පුරුෂයා විසින් අත්හරිනු ලැබූ අතිශයෙන් ශෝකයට පත් වී සිටින තරුණ භාර්යාවක වැන්න.
එහෙත්, සමිඳාණන් එතුමන් වෙත නුඹ කැඳවා ඇත.”
නුඹේ දෙවිඳාණෝ නුඹට මෙසේ වදාරන සේක:
7 ”මම ස්වල්ප කලකට නුඹ අත්හළෙමි.
එහෙත් මහා දයානුකම්පාවෙන් නැවත නුඹ කැඳවාගන්නෙමි.
8 ඉමහත් උදහසින් මොහොතකට මාගේ මුහුණ නුඹ කෙරෙන් සඟවාගතිමි.
එහෙත්, නොමියෙන සුලු ප්‍රේමයකින් මම නුඹට අනුකම්පා කරන්නෙමි.”
නුඹේ මිදුම්කාරයාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක:
9 ”නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ.
ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්,
නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි.
10 කඳු පහ ව ගියත්, හෙල් සෙලවුණත්, නුඹට ඇති මාගේ තිර පෙම පහ වෙන්නේ වත්, මාගේ ගිවිසුම සෙලවෙන්නේ වත් නැත.
මෙසේ වදාරන්නේ නුඹට අනුකම්පා කරන සමිඳාණන් වන මම ය.”
අලුත් ජෙරුසලම
11 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”අහෝ අසරණ කුණාටුවකින් මෙන් කැළඹී සිටින සැනසිල්ලක් නැති තැනැත්තියක වැනි ජෙරුසලම!
මම නුඹේ ගඩොල් මරකතවලින් සාදා, නුඹේ අත්තිවාරම් නිල් මාණික්‍යවලින් ඉදි කරන්නෙමි.
12 නුඹේ කොත් රතුකැටවලින් ද නුඹේ දොරටු පද්මරාගවලින් ද නුඹ වටේ ඇති තාප්පය මැණික්වලින් ද මම තනන්නෙමි.
13 නුඹේ දරුවන්ට ස්වාමීන් වන මම උගන්වන්නෙමි.
ඔවුන්ගේ සෞභාග්‍යය අධික වන්නේ ය.
14 නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටුවනු ලබන්නෙහි ය.
නුඹ පීඩාවෙන් දුරු ව බිය නැති ව සිටින්නෙහි ය.
භීතියක් නුඹට ළං වන්නේ නැත.
15 කිසිදාක නුඹට පහර දීමට කිසිවෙකුට මම අනුමැතිය නොදෙන්නෙමි.
නුඹට විරුද්ධ ව සටන් කරන අය වැටෙන්නෝ ය.
16 ගිනි අඟුරු පිඹ නියම වැඩට ආයුධයක් තළාගන්නා වූ කම්මල්කරුවා මැව්වේ මම ය.
ඒ ආයුධවලින් වනසාදැමීම සඳහා යුද්ධ භටයා මැව්වේත් මම ය.
17 නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ.
නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්රභා කරන්නෙහි ය.
මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය.
මම ඔවුන්ට ජය අත්කර දෙමි.”
– 55 වන පරිච්ඡේදය –
සාපිපාසා ඇත්තන් කැඳවීම
1 ”පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න;
මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න.
එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න.
2 කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද?
තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද?
මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.”
සෙනඟ සමඟ ගිවිසුම
3 ”මට සවන් දී,
මා වෙත එන්න;
අවුත් ජීවනය ලබාගන්න;
දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.
4 දාවිත්, ජාතීන්ගේ ප්‍රධානියෙකු ද ආඥාපතියෙකු ද කෙළෙමි.
මාගේ සෙනඟට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි.
5 නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින්,
නුඹ නොහැඳින සිටි ජාතීන් කැඳවා, නුඹ අණ කළ පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත.”
පසුතැවී සිත් හරවා ගැනීමට ආරාධනාව
6 හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න;
ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න.
7 දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා,
සමිඳුන් වෙත ඇදී ඒවා!
එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත.
දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා;
එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත.
8 සමිඳාණන් වන මම මෙසේ පවසමි.
”මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ; මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ.
9 අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය.
නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.”
දෙවිඳුන්ගේ නොවරදින වචනය
10 ”අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර,
පැළ නංවා, කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍ය ද මිනිසාට ආහාර ද ගෙන දෙයි.
11 එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස් ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට ම ඉටු කරයි.”
වහල්කමින් නික්ම යාම
12 ”නුඹලා ප්‍රීතියෙන් බබිලෝනියෙන් නික්ම යන්නහු ය.
සාමදානයෙන් නගරයෙන් ගෙනයනු ලබන්නහු ය.
කඳු හෙල් නුඹලා ඉදිරියේ බියෙන් ඉපිළෙයි.
වනයේ සියලු ගස් කොළන් අත් පොළසන් දෙයි.
13 කටු ගස් වෙනුවට දේවදාර ගස් ද ගොකටු වෙනුවට මරඳ ගස් ද හටගනියි.
මෙය සමිඳුන්ගේ නමට සදහට පවතින සලකුණක් වන්නේ ය.
එතුමන්ට මැකී නොයන සිහිවටනයක් වන්නේ ය.”
– 56 වන පරිච්ඡේදය –
සියලු ජාතීන්ට කැඳවීමක්
1 සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක.
”යුක්තිය ඉටු කර හරි දේ කරන්න.
මම නුඹලා නොපමා ව මුදන්නෙමි.
මාගේ විමුක්තිය එළිදරව් වනු ඇත.
2 මේ දේ කරන, එහි නිරත ව සිටින, සබත් දවස පවත්වන, එය නොකෙලසන, නපුර කිරීමෙන් වැළකී සිටින මිනිසා, මැරෙන සුලු මිනිසා, භාග්‍යවන්ත ය.”
3 සමිඳුන් සමඟ බැඳුණ විදේශිකයා, ‘සමිඳාණෝ සිය සෙනඟගෙන් මා වෙන් කරන සේකැ’යි නොකියා වා!
නපුංසකයෙක්, ‘මම වියළි ගසක් වැන්නැ’යි නොකියා වා!
4 සමිඳාණෝ මෙසේ පවසන සේක:
”මාගේ සබත් දවස රක්ෂා කර, මා ප්‍රිය කරන දේ තෝරාගෙන, මාගේ ගිවිසුමෙහි ස්ථිර ව පිහිටා සිටින නපුංසකයෝ
5 මාගේ මාලිගාවේ ප්‍රාකාරය ඇතුළේ දූදරුවන්ට වඩා උසස් නමක් ලබන්නෝ ය.
එය කිසි කලක නොමැකෙන, සදහට ම පවතින නමක් වන්නේ ය.
6 සමිඳුන්ට සේවය කර, එතුමන්ට ප්‍රේම කර, එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය, සබත් දවස පවත්වා එය නොකෙලසන මාගේ ගිවිසුම ස්ථිර ව පවත්වන විදේශිකයන් ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා, මාගේ යාච්ඤා ගෘහයෙහි ප්‍රීති කරවන්නෙමි.
7 ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය.
මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය.
8 පිට කරනු ලැබූ ඉශ්රායෙල්වරුන් එකතු කරන මහෝත්තම දෙවි සමිඳාණෝ, ‘ඔවුන් වෙත එකතු වී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙත එකතු කරන්නෙමි’යි වදාරන සේක.”
ඉශ්රායෙල්වරුන්ගේ මූලිකයන්ගේ විනාශය
9 වනයේ සියලු සත්ත්වයෙනි, කැළෑවේ සියලු සත්ත්වයෙනි, එන්න;
ඔබේ ගොදුරු කාදමන්න.
10 සෙනඟගේ මුරකාරයන් සියල්ලෝ ම අන්ධ ය.
කිසිවක් දන්නේ නැති ඔව්හු බුරන්න බැරි ගොළු බල්ලන් වැනි ය.
බල්ලන් මෙන් ලැග හිඳිමින් හීන දකිති.
නිදාගන්න ඉතා කැමැති ය.
11 ඔව්හු කිසිසේත් තෘප්තියට නොපැමිණෙන කෑදර බල්ලන් වැනි ය.
ඔව්හු තේරුම්පැහැදුම් කිසිත් නැති එඬේරු වෙති.
ඔව්හු එකිනෙකා තම තමාගේ වාසිය තකා හිතුමනාපයට ක්‍රියා කරති.
12 ඔව්හු කතා කොට, ”එන්න, අපි මිදියුස ලබාගෙන, සුරාපානය උගුරට ම එන තෙක් බී තෘප්තියට පැමිණෙමු.
හෙට දවස අදටත් වඩා හොඳ දවසක් වනු ඇතැ”යි කියති.
– 57 වන පරිච්ඡේදය –
පිළිම වන්දනාව හෙළා දැකීම
1 ධර්මිෂ්ඨයා මිය යන්නේ ය, එහෙත් කිසිවෙක් එය සිතට නොගන්නේ ය.
බැතිමත්හු අභාවයට යති.
එහෙත් කිසිවෙක් එය තේරුම් නොගනිති.
මන්ද, විපත පැමිණෙන්න පෙර ඔව්හු ගෙනයනු ලබති.
2 අවංකකමින් ජීවත් වන අය මරණයේ දී ශාන්තියට පිවිස විවේක සුවයෙන් පසු වෙති.
3 එහෙත්, මායාකාරියගේ පුත්‍රයන් වන, පාරදාරිකයන්ගේත්, වේශ්‍යාවන්ගේත් වංශය වන නුඹලා, මෙහි පැමිණෙන්න.
4 නුඹලා කට අයා, දිව දික්කර, කවටකම් කරන්නේ කාට විරුද්ධ ව ද?
නුඹලා කැරලිකාරකමේ දරුවන් ද වංචනික වංශයක් ද නොවන්නහු ද?
5 ආලෝන ගස් අතරේත්, සියලුම අතු පතර ඇති ගස් යටත් නුඹලා කම් සැපෙහි යෙදෙන්නහු ය.
මිටියාවත්හි හා පර්වත විවරයන්හි නුඹලා දරුවන් පූජා කරන්නහු ය.
6 නමස්කාර කරන පිණිස නුඹලා මිටියාවතේ ගල් ගෙන ඒවාට පාන පූජා වගුරුවා, ආහාර පූජා කරන්නහු ය.
නුඹලා මේ දේවල් කරද්දී මම සතුටු වන්නෙම් ද?
7 නුඹලා පූජා ඔප්පු කරනු පිණිස උස් කඳුවලට ගොස් එහි කම් සැපෙහි යෙදෙන පිණිස යහන් පිළියෙළ කරන්නහු ය.
8 දොරටත්, උළුවස්සටත් පිටුපසින් නුඹලාගේ දේව පිළිම නුඹලා තබාගන්නහු ය.
නුඹලා මා අත් හැර, නුඹලාගේ ඇඳුම් ගලවා, කුලියට ලබා ගත් පෙම්වත් අය සමඟ විශාල යහන්වලට වී කම් සැපෙහි යෙදෙන්නහු ය.
9 නුඹලා සුවඳ ද්‍රව්‍ය ගාගෙන මොලෙක් දෙවියාට නමස්කාර කරන පිණිස යන්නහු ය.
නමස්කාර කිරීමට දෙවිවරුන් සොයාගන්න පිණිස නුඹලා පණිවුඩකාරයන් දස දෙස, පාතාල ලෝකයට පවා යවන්නහු ය.
10 අන් දෙවිවරුන් සොයාගැනීමටත් නුඹලා වෙහෙස වන්නහු ය.
එහෙත්, නුඹලාගේ සෙවීම අත්නාරින්නහු ය.
නුඹලා නව පණක් ලබාගත් බැවින් නුඹලා දුර්වල නොවන්නහු යයි සිතන්නහු ය.
11 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”නුඹලා බොරු කීවේත්, මා සහමුලින් ම අමතක කළේත් කවරෙකුට බියෙන් ද?
නුඹලා මට බිය නොවන්නේ මා බොහෝ කලක් නිශ්ශබ්ද ව සිටි නිසා ද?
12 නුඹලාගේ ඔය දැහැමිකමත්, නුඹලාගේ ක්‍රියාත් මම හෙළි කරන්නෙමි.
නුඹලාගේ දේව රූපවලින් නුඹලාට පිහිටක් නොවේ.
13 නුඹලා මොරගසන විට නුඹලා රැස්කරගත් ඒ දේව රූප නුඹලාට පිහිට වේ වා!
ඔව්හු සුළඟට ගසාගෙන යනු ලබති.
හුස්මකින් පහ ව යන්නෝ ය.
එහෙත්, මා කෙරෙහි විශ්වාස කරන අය දේශය අත් කරගෙන, මාගේ ශුද්ධ කන්ද උරුම කරගන්නෝ ය.”
සුවසෙත දීමට දේව පොරොන්දුව
14 ”මහා මඟක් සාදන්න;
මාගේ සෙනඟගේ බාධා ඉවත් කොට, මාර්ගය පහදා, සමතලා කර සූදානම් කරන්නැ”යි කියන හඬක් ඇසෙන්නේ ය.
15 උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක:
”යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.
16 මා කෙරෙන් ජීවනදායක ආත්මය නික්මෙන බැවින්, මා ජීවන හුස්ම මවා ඇති බැවින් මා තවදුරටත් මාගේ සෙනඟ සමඟ විවාද කරන්නේ වත්, සෑම කල් ම උදහස් වී සිටින්නේ වත් නැත.
17 ඔවුන්ගේ තණ්හාව හා වරද නිසා මම උදහස් වීමි.
ඒ නිසා මාගේ කෝපයෙන් මම ඔවුන්ට දඬුවම් කොට, ඔවුන් අත්හළෙමි.
එහෙත්, ඔව්හු මුරණ්ඩු ව, හිතුමතේ ජීවත් වූ හ.
18 ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි.
එහෙත්, මම ඔවුන්ට සුවය දෙමි.
මම ඔවුන්ට මඟපෙන්වා, පිහිට වී, ශෝක වන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි.
19 ළඟ හෝ දුර හෝ වේ වා, සියලු දෙනාට, ‘ශාන්ති වේ වා! ශාන්ති වේ වා!
මම ඔවුන්ට සුවය දෙමි’යි සමිඳාණන් වන මම කියමි.
20 එහෙත්, දුෂ්ටයෝ වනාහි කැළඹී ඇති කුණු කසළ සෝදාගෙන,
ගොඩට නොනැවතී ගලා එන, රළ පතර ඇති මුහුද හා සමාන වෙති.
21 ‘දුෂ්ටයන්ට ශාන්තියක් නැතැ’යි මාගේ දෙවිඳාණෝ වදාරන සේක.”
– 58 වන පරිච්ඡේදය –
සැබෑ උපවාසය
1 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”නොනැවතී මහ හඬින් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නඟා, මාගේ ඉශ්රායෙල් සෙනඟට ද ජාකොබ්ගේ වංශයට ද ඔවුන්ගේ වැරදි හා පව් දන්වන්න.
2 ඔව්හු දැහැමි ක්‍රියා කරන, දෙවිඳුන්ගේ නියෝග අත්නෑර සිටින ජාතියක් යයි සිතාගෙන, දවස් පතා මා සොයති;
මාගේ මාර්ගයන් දැනගන්න ප්‍රසන්න වෙති;
සාධාරණ විනිශ්චයයන් මාගෙන් ඉල්ලති;
දෙවිඳුන් වෙත ළඟා වීමට ප්‍රසන්න වෙති.”
3 ”සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද?
එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති.
සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක:
”නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.
4 නුඹලා උපවාසයේ යෙදී සිටින අතර, විවාදයටත්, තරඟයටත්, දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහු ය.
මෙලෙස මෙදින උපවාස කිරීමෙන් නුඹලාගේ යැදුම් සගයට නොනැඟේ.
5 නුඹලා උපවාස කරන දවසේ දී නුඹලාට ම වද වේදනා කරගෙන පන් ගසක් මෙන් හිස නමාගෙන,
ගෝණි රෙදි සහ අළු අතුරා ඒ පිට හිඳගන්නහු ය.
උපවාසයෙන් නුඹලා අදහස් කරන්නේ එය ද?
එවැනි උපවාස දවසක් සමිඳුන්ට ප්‍රසන්න යයි නුඹලා සිතන්නහු ද?
6 මට ප්‍රියමනාප උපවාසය මෙය වේ, දුෂ්ටකමේ විලංගු මුදා හැර, අයුක්තියේ බැඳුම් ලිහා හැර, පීඩිතයන් නිදහස් කර හැර, සියලු වියගස් බිඳදැමීම ය.
7 සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ.
8 එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි.
ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.
9 එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි.
මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි.
නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,
10 සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය;
ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.
11 මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි.
නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.
12 නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය.
පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය.
කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”
සබත් දවස පැවැත්වීමේ ප්‍රතිඵල
13 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වා, ඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකර, සමිඳුන්ගේ සබත ප්‍රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්, ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්, ගනුදෙනු නොකර, අල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්,
14 මට සේවය කිරීමෙන් ඇති වන ප්‍රීතිය නුඹලා භුක්ති විඳින්නහු ය.
ලොවෙහි උසස් ම ගෞරවය නුඹලාට අත් කර දෙන්නෙමි.
නුඹලාගේ පිය වූ ජාකොබ්ට උරුමයක් වශයෙන් දුන් දේශය නුඹලා භුක්ති විඳින්නහු ය.
මෙසේ වදාරන්නේ සමිඳුන් වන මම ය.”
– 59 වන පරිච්ඡේදය –
පාප ගැන චෝදනා
1 ගළවන්න බැරි වන ලෙස සමිඳුන්ගේ බලය දුබල වී නැත, නෑසෙන ලෙස එතුමන්ගේ කන බිහිරි වී නැත.
2 නුඹලා දෙවිඳුන්ගෙන් වෙන් ව සිටින්නේ නුඹලාගේ ම අපරාධ නිසා ය.
නුඹලා අයැදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසා ය.
3 නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත.
නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත;
තොල්වලින් නුඹලා බොරු කියා ඇත;
දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත.
4 යුක්ති සහගත නඩු කියන, අවංක සිතින් උසාවියට යන කෙනෙක් නැත.
ඔව්හු නිරර්ථක පැමිණිලි විශ්වාස කොට බොරු කියන්නෝ ය.
නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්නෝ ය.
පොළොං බිජු රකින සේ,
5 මකුළු දැල් වියන සේ උපායයන් යොදන්නෝ ය.
පොළොං බිජු අනුභව කරන්නෝ නසින්නෝ ය.
බිජුවක් බිඳින විට එයින් තවත් පොළඟෙක් නික්ම එයි.
6 එහෙත්, ඒ උපායයන් ඇඳුම් සඳහා මකුළු දැල් වියාගැනීමක් මෙන් නිෂ්ඵල ය.
නුඹලාගේ වැඩ අපරාධ වැඩ ය.
නුඹලාගේ අත්වලින් නිතර බලහත්කාරකම් කරන්නහු ය.
7 නපුරුකම් කිරීමට නුඹලා යුහුසුළු වන්නහු ය.
නිදොස් අයගේ ලේ වැගිරීමට ඉක්මන් වන්නහු ය.
නුඹලාගේ සිතුවිලි පාපතර සිතුවිලි ය.
නුඹලා යන යන තැන නාස්තිය හා විනාශය ඇති වේ.
8 සාම මාර්ගය නුඹලා නොදන්නහු ය.
නුඹලාගේ මාර්ගයේ යුක්තිය නැත.
නුඹලා ඇද මාවත් සාදාගෙන ඇත.
එහි ගමන් ගත් කිසිවෙක් සාමය නොදනිති.
සෙනඟගේ පාපෝච්චාරණය
9 සෙනඟ මෙසේ කියති:
”යුක්තියත් දැහැමිකමත් අපෙන් දුරු ව තිබෙන්නේ මන්දැ යි අපි දනිමු.
අප එළිය සොයන නමුත්, ඇත්තේ අන්ධකාරය ය;
දීප්තිය සොයන නමුත්, අප යන්නේ කළුවරෙහි ය.
10 අන්ධයන් මෙන් අපි බිත්ති අත පත ගාමින් මඟ සොයමු.
ඉර මුදුන් වේලාවේ අපි අඳුරේ මෙන් පැකිළී, ජීවතුන් මැද මළවුන් මෙන් සිටිමු.
11 අපි සියල්ලෝ ම වලසුන් මෙන් ගොරවමු;
කොබෙයියන් මෙන් කෙඳිරි ගාමු.
අප යුක්තිය සෙව්වත් එය දක්නට නැත;
ගැළවීම ගැන බලා සිටියත් එය අපෙන් ඈත් ව තිබේ.
12 සමිඳුනි, ඔබට විරුද්ධ ව අපේ අපරාධ බොහෝ ය;
අපේ අපරාධ අපට විරුද්ධ ව සාක්ෂි දෙයි.
ඒවා අප සමඟ ය, අපේ පව් අපි දනිමු.
13 අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු.
අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු.
අපේ සිතුවිලි වංක ය;
අපේ වචන බොරු ය.
14 යුක්තිය බැහැර කොට ඇත;
දැහැමිකම දුරින් දුරු වී ඇත.
සත්‍යය ප්‍රසිද්ධ තැන්වල වැටී බිඳී ඇත.
ඇත්තට තැනක් නැත.
15 සැබෑකම දක්නට නැත;
නපුර හෙළා දකින තැනැත්තා සොර මුළට ගොදුරක් වේ.
සමිඳාණෝ මේ දේ දැක, යුක්තිය නුවූ බැවින් අප්‍රසන්න වූ සේක.”
සමිඳුන්ගේ පිහිට
16 පීඩිතයන්ට උපකාර කිරීමට කිසිවෙකු නැති බව දැක එතුමාණෝ පුදුම වූ සේක.
එබැවින් එතුමාණෝ ඔවුන් ගැළවීමටත්, ඔවුන්ට ජය අත්පත් කර දීමටත් සිය බලය මෙහෙයවන සේක.
17 එතුමාණෝ, යුක්තිය සන්නාහයක් මෙන් ද ජයග්‍රහණය යුද්ධ තොප්පිය මෙන් ද පළඳින සේක.
පළිගැනීම නමැති වස්ත්‍රයෙන් ද උදහස නමැති සළුවෙන් ද සැරසෙන සේක.
18 එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක.
විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක.
මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක.
19 එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය.
එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය;
එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.
20 සමිඳාණෝ සෙනඟට මෙසේ වදාරන සේක:
”පාපයෙන් හැරෙන ජාකොබ්ගේ වංශයේ සියලු දෙනා ගළවන්නත්, ජෙරුසලමේ සිටින නුඹලා ආරක්ෂා කරන්නත් මම එන්නෙමි.
21 නුඹලා සමඟ මම ගිවිසුමක් කරන්නෙමි. එය මෙසේ ය. නුඹලා කෙරෙහි පවරා ඇති මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ මුවෙහි තබන ලද මාගේ වචන ද නුඹලාගේ මුඛයෙන් වත්, නුඹලාගේ දරුවන්ගේ මුඛයෙන් වත්, ඔවුන්ගේ දරුවන්ගේ මුඛයෙන් වත් මෙතැන් සිට සදාකාලයට ම පහ නොවන්නේ ය.”
– 60 වන පරිච්ඡේදය –
ජෙරුසලමේ නවෝදය
1 ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න.
ඔබේ ආලෝකය දැන් උදා වී ඇත.
සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.
2 පොළොව අඳුරෙන් ද ජාතීන් ගන’ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක.
එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය.
3 ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත.
4 ඔබේ ඇස් ඔසවා අවට බලන්න;
ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති.
ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත.
ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති.
5 මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය.
ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය.
මන්ද, මුහුදු මඟින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය.
ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය.
6 ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි.
ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත.
7 කේදාර් හා නෙබායොත්හි සියලු එළු බැටළු පට්ටි පූජා කරනු සඳහා නුඹ වෙත ගෙනෙනු ලබති;
උන් සමිඳුන්ගේ පූජාසනය පිට ඔප්පු කරනු ලබති.
සමිඳාණෝ සිය තේජාන්විත දේව මාලිගාව අලංකාරවත් කරන සේක.
8 වලාකුළු ගසාගෙන යන්නාක් මෙන් ද පරෙවියන් උන්ගේ කූඩුවලට ඉගිලෙන්නාක් මෙන් ද වේගයෙන් ගමන් කරන්නේ මොනවා ද?
9 මුහුදුබඩ වසන්නෝ මාගේ පැමිණීම බලා සිටිති.
නැව් තර්ෂිෂ්හි සිට පැමිණෙනු ඇත.
දුර සිට නුඹේ පුත්‍රයන් ද ඔවුන් සමඟ රන් රිදී ද ඒ නැව් ගෙනෙනු ඇත.
නුඹේ දෙවි සමිඳුන්ට එනම්, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේට ගරු කරන පිණිස ඒ නැව් පැමිණෙයි.
මන්ද, එතුමාණන් නුඹ මහිමයට පත් කර තිබෙන බැවිනි.
10 සමිඳාණෝ ජෙරුසලමට මෙසේ වදාරන සේක:
”විදේශීහු නුඹේ පවුරු ගොඩනඟන්නෝ ය.
ඔවුන්ගේ රජවරු ද නුඹට සේවය කරන්නෝ ය.
11 ජාතීන්ගේ සම්පත් ඔවුන්ගේ රජවරුන් පෙරටු කොටගෙන නුඹ වෙත ගෙනෙන පිණිස නුඹේ දොරටු රෑ දාවල් දෙක්හි නොවසා, නිතර ම ඇර තබනු ලැබේ.
12 ඔබ වහන්සේට සේවය නොකරන ජාතීන් ද රාජ්‍යය ද වැනසෙන්නේ ය. එසේ ම ඒ ජාතීහු සහමුලින් ම විනාශ වන්නෝ ය.
13 මාගේ ශුද්ධස්ථානය අලංකාර කිරීමටත්, මා වැඩවසන ශුද්ධ මන්දිරය තේජවන්ත කිරීමටත්, ලෙබනොන්හි අනර්ඝ දේවදාර ගස් ද හල් ගස් ද නුඹ වෙත ගෙනෙනු ඇත.
14 නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත.
නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත.
ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත.
15 එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි.
16 මුව දෙනක ඇගේ කිරි දරුවාට කිරි පොවා රැක බලන්නාක් මෙන් ජාතීහු ද රජවරු ද නුඹ රැක බලාගනිති.
ස්වාමීන් වන මම නුඹේ ගැළවුම්කාරයාණන් බවත්, ඉශ්රායෙල්වරුන්ගේ බලවන්තයාණන් නුඹේ මිදුම්කාරයාණන් බවත් නුඹ දැනගනු ඇත.
17 මම ලෝකඩ වෙනුවට රත්රන් ද යකඩ වෙනුවට රිදී ද ලී වෙනුවට ලෝකඩ ද ගල් වෙනුවට යකඩ ද ගෙනෙන්නෙමි.
නුඹේ නායකයන් විසින් යුක්තියෙන් හා සාමයෙන් නුඹ පාලනය කරනු ලැබීමට මම සලස්වන්නෙමි.
18 නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද
නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.
19 මින්පසු, දවල් කාලේ හිරු තවත් ඔබේ එළිය නොවන්නේ ය;
රෑ කාලේ සඳ, එළිය දෙන්න ඔබ කෙරේ නොබබළන්නේ ය;
සමිඳාණෝ ඔබේ සදාතන ආලෝකය වන සේක.
ඔබේ දෙවිඳාණෝ ඔබේ තේජාලංකාරය වන සේක.
20 ඔබේ හිරු තවත් බැස යන්නේ නැත;
ඔබේ සඳ බැස යන්නේත් නැත.
සමිඳාණෝ ඔබේ සදාතන එළිය වන සේක.
ඔබේ වැලපීමේ දවස් කෙළවර වන්නේ ය.
21 ඔබේ සෙනඟ සියල්ලෝ ම දැහැමි ව, සදහට ම දේශය උරුම කරගන්නෝ ය;
ඔව්හු මා විසින් පැළ කරන ලද මාගේ පැළෑටියක් හා සමාන ය;
මාගේ මහිමය ප්‍රකාශ කරන පිණිස මා විසින් මවන ලද්දෝ වෙති.
22 කුඩා තැනැත්තා වංශයක් ද සුළු තැනැත්තා බලවත් ජාතියක් ද වන්නේ ය.
නියම කාලය පැමිණි විට මෙය ඉක්මනින් සිදු වීමට මම සලස්වන්නෙමි.
මම සමිඳු වෙමි.”
– 61 වන පරිච්ඡේදය –
ගැළවීමේ ශුභ ආරංචිය
1 මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත.
දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.
2 සමිඳුන්ගේ කරුණාවේ දවස, සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරන පිණිස ද වැලපෙන සියල්ලන් සනසන පිණිස ද එතුමා මා ආලේප කළ සේක.
3 සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක.
ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ.
එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.
4 ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති;
නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති;
පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති.
5 විදේශිකයන් නුඹලාගේ බැටළු රැළවල් පෝෂණය කරනු ඇත.
ඔව්හු නුඹලාගේ ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද වන්නෝ ය.
6 එහෙත් නුඹලා, ‘සමිඳුන්ගේ පූජකයෝ ය’යි කියනු ලබන්නහු ය.
මිනිසුන් නුඹලාට, ‘අපේ දේව සේවකයෝ ය’යි කියනු ඇත.
නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්ති විඳ, ඔවුන්ගේ වස්තු හිමි කරගනු ඇත.
7 නුඹලාගේ ලජ්ජාව වෙනුවට නුඹලා දෙගුණයක් ගෞරවය ලබන්නහු ය.
නින්දාව වෙනුවට ලැබී ඇති කොටස ගැන ප්‍රීති වන්නහු ය.
නුඹලාගේ දේශයෙහි නුඹලා දෙපංගුවක් භුක්ති විඳින්නහු ය.
නුඹලාට සදා ප්‍රීතිය හිමි වන්නේ ය.
8 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මම යුක්තියට ප්‍රිය කරමි; අදමිටුකමටත්, කොල්ලකෑමටත් ද්වේෂ කරමි.
එබැවින් මම අවංක ලෙස ඔවුන්ට විපාක දෙමි.
සදාකාල ගිවිසුමක් ද ඔවුන් සමඟ කරගන්නෙමි.
9 ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ ද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතර ද ප්‍රසිද්ධ වන්නේ ය.
ඔවුන් හැඳිනගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආසිරි ලත් සෙනඟ බව දැනගන්නෝ ය.”
10 මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි;
මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි.
මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.
11 පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක.
– 62 වන පරිච්ඡේදය –
ජෙරුසලම උදෙසා යැදුමක්
1 මම සියොන් උදෙසාත්, ජෙරුසලම උදෙසාත් නිහඬ ව නොසිටින්නෙමි.
එහි දැහැමි බව දීපකයක් මෙන් ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන් ද බැබළෙන තෙක් නිශ්ශබ්ද ව නොසිටින්නෙමි.
2 එම්බා ජෙරුසලම!
ජාතීන් නුඹේ දැහැමි බවත්, සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනු ඇත.
සමිඳුන්ගේ ම මුඛයෙන් පැවසෙන අලුත් නමක් නුඹට දෙනු ලබන්නේ ය.
3 නුඹ සමිඳුන්ගේ අතෙහි අලංකාර ඔටුන්නක් ද නුඹේ දෙවිඳුන්ගේ අතෙහි රාජ කිරීටයක් ද මෙන් වන්නෙහි ය.
4 නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය.
‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය.
සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය.
එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.
5 තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය.
මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.
6 එම්බා ජෙරුසලම!
නුඹේ පවුරු පිට මම මුරකරුවන් සිටෙව්වෙමි.
ඔව්හු රෑ වත්, දාවල් වත් කිසිසේත් නිශ්ශබ්ද නොවන්නෝ ය.
සමිඳුන් අයැදින ඔබ විවේක නොගන්න.
7 එතුමන් ජෙරුසලම ප්‍රතිසංස්කරණය කොට එය මුළු ලොවෙහි වර්ණනාවට ලක් වන නගරයක් වන තුරු ඔව්හු එතුමන්ට විවේකයක් නොදෙති.
දෙවියන් වහන්සේගේ ප්රකාශනය
8 සමිඳාණෝ, සුරත තබා, බාහු බලය මෙහෙයවා, පොරොන්දුවක් දෙමින්,
”සැබැවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි.
නුඹ දහඩිය මහන්සියෙන් ලබාගත් මිදියුස විදේශීහු නොලබන්නෝ ය.
9 ධාන්‍ය එකතු කළ නුඹලා ඒවා වළඳා සමිඳුන්ට ප්‍රශංසා කරන්නහු ය.
මිදියුස රැස් කළ නුඹලා මාගේ මාලිගාවේ මළුවල දී ඒවා පානය කරන්නහු ය”යි වදාළ සේක.
10 ජෙරුසලම් ජනයෙනි, පිට වී යන්න;
දොරටුවලින් පිට වී ගොස් ආපසු එන සෙනඟට මාර්ගයක් පිළියෙළ කරන්න.
මහා මාවත් ඉදිකරන්න; ගල් ඉවත් කරන්න.
ජනයන්ට ධජ සංකේතය ඔසවන්න.
11 සමිඳුන් පොළොවේ සීමා දක්වා මෙසේ ප්‍රකාශ කර ඇත:
”අන්න, නුඹේ ගැළවුම්කාරයාණෝ, එතුමාණෝ විපාක දෙන සේක.
දිනාගත් දීමනාව ගෙනෙන සේකැ යි ජෙරුසලම් වැසියන්ට ප්‍රකාශ කරන්න.”
12 ඔව්හු ‘ශුද්ධ සෙනඟ’ කියාත්, ‘සමිඳුන්ගේ මුදාගත් ජනතාව’ කියාත් කියනු ලබන්නෝ ය.
‘දෙවිඳුන්ගේ තෝරාගත් නගරය’ කියාත් කියනු ලබන්නේ ය.
– 63 වන පරිච්ඡේදය –
සමිඳාණන් වහන්සේගේ ජයග්‍රහණය
1 ඒදොම්හි සිට රතු ලේ පැහැති ඇඳුම් ඇඳ, අලංකාර වස්ත්‍රවලින් සැරසී, මහා බලසම්පන්න ව ගමන් කරමින් බොශ්රාවෙන් එන මේ තැනැත්තා කවරෙක් ද?
ඒ වනාහි, ජයග්‍රහණය ප්‍රකාශ කරන පිණිස ගැළවීම ගෙන දෙන්න බලවත් වන සමිඳාණෝ ය.
2 ඔබේ ඇඳුම් රතු ව තිබෙන්නේ කුමක් නිසා ද?
ඔබේ වස්ත්‍ර මිදි පැසේ මිදි පාගන්නෙකුගේ ඇඳුම් මෙන් තිබෙන්නේ කුමක් නිසා ද?
3 සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: ”මම මිදි යන්ත්‍රයක මිදි පල මෙන්
ජාතීන් තනියම පෑගුවෙමි.
මාගේ උදව්වට සෙනඟගෙන් කිසිවෙක් නොසිටියේ ය.
එමෙන් මාගේ උදහසින් ඔවුන් පෑගුවෙමි.
මාගේ කෝපයෙන් ඔවුන් පොඩි කෙළෙමි.
ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසී තිබේ;
එයින් මාගේ සියලු ඇඳුම් කැළැල් වී ඇත.
4 මාගේ සෙනඟ ගළවාගත යුතු කාලය පැමිණ ඇති බවත්,
ඔවුන්ගේ සතුරන්ට දඬුවම් දිය යුතු දවස පැමිණ ඇති බවත් මම සිතට ගතිමි.
5 මා බැලූ කල මට උදව් වන්න කිසිවෙකු නොසිටි බව දුටු විට මම පුදුම වීමි.
එහෙත්, මාගේ කෝපයෙන් මම වේගවත් ව මාගේ ම ශක්තියෙන් ජය අත්කර ගතිමි.
6 මාගේ උදහසින් ජාතීන් පාගාදමා, මාගේ කෝපයෙන් ඔවුන් මත් කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙව්වෙමි.”
පසුගිය කරුණාවන් සිහි කිරීම
7 සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්,
සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.
8 ‘ඔව්හු මාගේ සෙනඟ ය, ඔව්හු වංචා නොකරති’යි සමිඳාණෝ වදාළ සේක.
ඒ නිසා එතුමාණෝ ඔවුන්ගේ ගැළවුම්කාරයාණෝ වූ සේක.
9 ඔවුන්ගේ සියලු දුක් කරදරවල දී දුක් වූ සේක.
ඔවුන් ගැළෙව්වේ දේව දූතයෙකු නොව සමිඳාණෝ ම ය.
එතුමාණෝ ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් ඔවුන් මුදාගත් සේක.
පසුගිය කාලයේ දී නොකඩවා ඔවුන් නැඟිටුවා, එතුමාණෝ ආරක්ෂා කළ සේක.
10 එහෙත්, ඔව්හු කැරලි ගසා, උන් වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දුන්නෝ ය. ඒ නිසා, එතුමාණෝ ඔවුන්ට සතුරු වී ඔවුන්ට විරුද්ධ ව සටන් කළ සේක.
11 එහෙත්, ඔව්හු සමිඳුන්ගේ සේවක මෝසෙස් සිටි අතීත කාලය සිහි කර මෙසේ ප්‍රශ්න කළහ.
එතුමන්ගේ සෙනඟගේ නායකයන් මුහුදෙන් ගළවාගත් සමිඳාණෝ දැන් කොහේ ද?
තමන්ගේ ශුද්ධ ආත්මානුභාවය ඔහුට දුන් තැනැන් වහන්සේ කොහේ ද?
12 සදාකාල කීර්තිය තමන්ට ලබාගන්න පිණිස ස්වකීය බලය මෙහෙයවා මෝසෙස් ලවා බලවත් දේ කළ,
13 කාන්තාරයේ යන අශ්වයන් මෙන් නොපැකිළෙන හැටියට ඔවුන් ගැඹුර මැදින් ගෙන ගිය තැනැන් වහන්සේ කොහේ ද?
14 ගව රැළ මිටියාවතට බසින්නාක් මෙන් සමිඳුන්ගේ ආත්මානුභාව ඔවුන් විශ්‍රාමයට ගෙන ගියේ ය.
ඔබට තෙදවත් නමක් දිනාගන්න පිණිස සමිඳාණෝ ඔබේ සෙනඟ කැඳවාගෙන ගිය සේක.
කරුණාව සහ උපකාරය සඳහා අයැදීමක්
15 සමිඳුනි, ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබේ ශුද්ධ තේජාන්විත භවනයේ සිට බැලුව මැනව.
අප කෙරේ සැලකිල්ල කොයි ද?
ඔබේ බලය කොහි ද?
ඔබේ ප්‍රේමයත්, අනුකම්පාවත් අපෙන් ඉවත් නොකළ මැනව.
16 ඔබ අපේ පියාණෝ ය;
ආබ්‍රහම් අප නොදන්න නමුත්, ඉශ්රායෙල් අප නාඳුනන නමුත්, සමිඳාණෙනි, ඔබ අපේ පියාණෝ ය, අපේ මිදුම්කාරයාණෝ ය.
එය අතීතයේ සිට ඔබේ නාමය වේ.
17 සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද?
ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව.
18 ටික කලකට ඔබ වහන්සේගේ ශුද්ධ සෙනඟ ශුද්ධස්ථානය අත්කර ගත්හ.
එහෙත් අපේ සතුරෝ එය පාගා දැමූහ.
19 අපි ඔබ විසින් කිසි කලක පාලනය නොකරන ලද්දවුන් මෙන් ද ඔබේ නාමය නොදරන ලද අය මෙන් ද වී සිටියෙමු.
– 64 වන පරිච්ඡේදය –
1 ඔබ අහස පළාගෙන නොබසින්නේ මන් ද?
එවිට කඳු ඔබ තුමාණන් දැක බියෙන් කම්පා වනු ඇත.
2 ලැව් ගින්න කැළෑව දල්වන්නාක් මෙන් ද ගින්න වතුර උතුරවන්නාක් මෙන් ද ඔබ ඉදිරියෙහි ජාතීන් කම්පා වන පිණිස ඔබේ බලය සතුරන්ට පෙන්වනු මැනව.
3 අප බලාපොරොත්තු නොවූ භයානක දේ එක් කලක ඔබ කළ විට කඳු ඔබ ඉදිරියේ බියෙන් කම්පා වුණේ ය.
4 තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්‍රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්,
ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය.
5 දැහැමි ක්‍රියාවන් ප්‍රිය කරන, ඔබේ මාර්ගය මෙනෙහි කරන අයට ඔබ මඟපෙන්වන සේක;
අප පව් කළ විට ඔබ අප සමඟ කෝප වී සිටි සේක;
ඔබ කෝප වූ බැවින් අපි පුරාණයේ සිට පාපයෙහි ඇලී ගැලී සිටියෙමු.
අපට ගැළවීම ලැබේ ද?
6 අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු;
අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය.
අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු.
අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි.
7 ඔබට යාච්ඤා කරන කිසිවෙක් නැත.
ඔබේ පිහිට සොයන කිසිවෙක් නැත;
මන්ද, ඔබේ වත සඟවාගෙන අපේ පව් නිසා අපට අපරාධයන්ට ගොදුරු වීමට ඔබ ඉඩ හැර ඇත.
8 එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය.
අපි මැටි ය;
ඔබ අපේ කුඹල්කාරයාණෝ ය.
ඔබ අප නිර්මාණය කළ සේක.
9 සමිඳුනි, අප කෙරේ අධික ලෙස උදහස් නුවුව මැනව.
අපේ අපරාධ සදහට ම අමතක කළ මැනව.
අනේ බැලුව මැනව!
අපි සියල්ලෝ ම ඔබේ සෙනඟ ය.
10 ඔබේ ශුද්ධ නගරය පාළුකරයක් මෙන් වී ඇත.
ජෙරුසලම පාළු නටබුන් නගරයක් වී ඇත.
11 අපේ මුතුන්මිත්තන් ඔබට පැසසුම් පැවැත්වූ ස්ථානය වන අපේ අලංකාර දේව මාලිගාව ගිනිබත් වී ඇත.
සියලු සුන්දර තැන් නටබුන් වී ඇත.
12 සමිඳුනි, මේ ගැන ඔබ කම්පා වන්නේ නැද් ද?
ඔබ නිශ්ශබ්ද ව සිට අප තද දුකට පමුණුවන සේක් ද?
– 65 වන පරිච්ඡේදය –
කැරලිකරුවන්ට දේව විනිශ්චය
1 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මාගේ සෙනඟට පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, ඔව්හු මට යාච්ඤා නොකළහ.
ඔවුන් හමුවීමට මා සූදානම් ව සිටි නමුත් ඔව්හු මා නොසෙවූ හ.
‘මම මෙහි ය, මම මෙහි ය’ කියා පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්,
මේ ජාතිය මට යාච්ඤා නොකළහ.
2 කැරලිකාරයන් වන, හිතු මනාපේ අයහපත් මාර්ගයක ගමන් කරන සෙනඟක් දෙසට දවස මුළුල්ලේ ම මාගේ අත් විදහාගෙන සිටියෙමි.
3 ඒ සෙනඟ මා ඉදිරියෙහි දී නිතරම මා කෝප කරති;
උයන්වල පූජා ඔප්පු කරති;
ගඩොල් පිට සුවඳ දුම් ඔප්පු කරති.
රහස් ස්ථානවල රාත්‍රිය ගත කරති;
4 ඔව්හු සොහොන්වල වාසය කරති;
ඔව්හු ඌරු මස් කති;
පිළිකුල් කෑම ඔවුන්ගේ භාජනවල තිබේ.
5 ‘මා ශුද්ධ බැවින් මට ළං නොවී ඈතින් සිටින්නැ’යි ඔව්හු කියති.
ඔවුන් කෙරෙහි මාගේ කෝපය නාසයට වැදෙන දුමක් ද නොනිවෙන ගින්නක් ද හා සමාන ය.
6 ඔවුන්ට දෙන දඬුවම් මා දැනට ම කෙටුම්පත් කර ඇත.
ඔවුන් කර ඇති දේ ගැන නිහඬ ව නොසිටියෙමි.
7 ඔවුන්ගේත්, ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේත් අයුතුකම්වලට මම ප්‍රතිවිපාක දෙන්නෙමි.
ඔවුන් කඳු උඩ සුවඳ දුම් පූජා ඔප්පු කර, මට අපහාස කර ඇත.
ඒ නිසා මම නිසි ලෙස මැන ඔවුන්ට දඬුවම් දෙන්නෙමි.”
8 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මිදි වල්ලෙහි යුස තිබෙන බව දැක, ‘එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය විනාශ නොකරන්නැ’යි යමෙකු කියන සේ,
මාගේ සෙනඟ මම විනාශ නොකරන්නෙමි:
මට සේවය කරන්නන් මම ගළවන්නෙමි.
9 ජුදාගේ වංශයට අයත් ඉශ්රායෙල්වරුන් මම කැඳවන්නෙමි.
ඔවුන්ගේ පරම්පරාව මාගේ දේශයත්, කඳුත් උරුම කරගන්නෝ ය.
මට සේවය කරන්නන් එහි වාසය කරනු ඇත.
10 මා නමදින මාගේ සෙනඟ උදෙසා ෂාරොන් පෙදෙස, එළු බැටළු රැළවලට තණ බිමක් ද ආකොර් මිටියාවත, ගව රැළවලට ලැගුම් පළක් ද වන්නේ ය.
11 එහෙත්,
සමිඳාණන් වන මා අත්හැර, මාගේ ශුද්ධ කන්ද අමතක කර, වාසනාවේ දේවතාවී වන ගාද්ට මේසයක් පිළියෙළ කර, දෛවයේ දේවතාවී වන මේනීට බඳුන් පුරවා, මිදියුස ඔප්පු කරන නුඹලා,
12 මම කඩුවෙන් මරණයට පත් වීමේ ඉරණමට නියම කරන්නෙමි.
නුඹලා සියල්ලෝ ම ඝාතනයට අවනත වන්නහු ය.
මන්ද, හඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහු ය.
මා කතා කළ විට නුඹලා සවන් නුදුන්නහු ය.
මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර, මා ප්‍රිය නොකරන දේ තෝරාගත්තහු ය.”
13 එබැවින් සමිඳාණන් වන දෙවිඳාණෝ මෙසේ වදාරන සේක:
”මට සේවය කරන්නන්ට කන්න තිබිය දී නුඹලාට බඩගිනි වන්නේ ය;
ඔවුන්ට බොන්න තිබිය දී නුඹලාට පිපාසා වන්නේ ය;
ඔවුන් ප්‍රීති ප්‍රමෝද වෙද්දී නුඹලාට ලජ්ජාව ඇති වන්නේ ය.
14 ඔවුන් සිතේ ප්‍රීතියෙන් ගී ගයද්දී නුඹලා වේදනාවෙන් හා අධික ශෝකයෙන් කෑමොරගසමින් ළතෝනි කියන්නහු ය.
15 මා තෝරා ගත්තවුන්ට නුඹලාගේ නාමය සාපයක් මෙන් වන්නේ ය.
එහෙත්, එතුමන්ගේ දාසයෝ නව නාමයකින් අමතනු ලබති.
මහෝත්තම ස්වාමීන් වන දෙවිඳාණෝ නුඹලා වනසන සේක.
16 දේශයේ යම් කිසිවෙක් තමාට ආශීර්වාදයක් අයැදින්නේ ද, සත්‍යතාවේ දෙවිඳුන්ගෙන් එය අයැදින්නේ ය.
දේශයේ යම් කිසිවෙක් දිවුරන්නේ ද, ඔහු සත්‍යතාවේ දෙවිඳුන්ගේ නමින් දිවුරන්නේ ය.
පසුගිය දුක් කරදර අමතක කරනු ලබන්නේ ය.
ඒවා මාගේ ඇස් ඉදිරියෙන් පහකරනු ලබන්නේ ය.”
අලුත් මැවිල්ලක්
17 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද මවමි;
පසුගිය දේ මතක් කරන්නේ වත්, සිහි කරනු ලබන්නේ වත් නැත.
18 මා මවන දේ ගැන සදහට ම ප්‍රීති සන්තෝෂ වන්න.
මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණ වන්නේ ය;
එහි වැසියෝ සොම්නසින් වෙසෙති.
19 මම ජෙරුසලම කෙරෙහිත්,
මාගේ සෙනඟ කෙරෙහිත් ප්‍රසන්න වෙමි.
ඇඬීමේ ශබ්දයක් වත්, පීඩිත වේදනාවේ ශබ්දයක් වත් එහි තවත් නොඇසෙන්නේ ය.
20 ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති;
පූර්ණ ආයු නොවළඳා මැරෙන මහල්ලෝ නොසිටිති.
සිය වසක් ජීවත් වන්නා ‘තරුණයෙකැ’යි ගණන් ගනු ලැබේ.
ඒ වයසට පෙර නැසී යන්නා ‘සාප ලද්දෙකැ’යි ගණන් ගනු ලැබේ.
21 ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය.
මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය.
22 ඔවුන් ගෙවල් ගොඩනඟා ගත් විට, අන් අය ඒවායේ වාසය කරන්නේ වත්, මිදි වතු වවා ගත් විට, අන් අය ඒවායේ පලදාව භුක්ති විඳින්නේ වත් නැත.
වෘක්ෂයන් බොහෝ කල් පවතින්නාක් මෙන් මාගේ සෙනඟ බොහෝ කල් ජීවත් වෙති.
මාගේ තෝරාගත් සෙනඟ තමන්ගේ අත්වලින් උපයාගත් දේ භුක්ති විඳින්නෝ ය.
23 ඔවුන්ගේ වැඩ නිරර්ථක නොවන්නේ ය.
ඔවුන්ගේ දරුවෝ විපත්තියට පත් නොවන්නෝ ය.
මන්ද, ඔව්හු සමිඳුන්ගෙන් ආශීර්වාද ලත් වංශය වෙති.
ඔවුන්ගේ දරුවෝ ද එසේ ම වෙති.
24 ඔවුන් අයැදින්න පෙර මම උත්තර දෙමි;
ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි.
25 වෘකයා ද බැටළු පැටවා ද එකට තණ බුදිති;
හරකා මෙන් සිංහයා පිදුරු කයි;
ධූලි සර්පයාට කෑම වෙයි.
මාගේ ශුද්ධ කන්දේ සීමා ඇතුළත කිසි අනතුරක් වත්, විනාශයක් වත් නොවන්නේ ය.”
– 66 වන පරිච්ඡේදය –
අප්රසන්නකර පූජා විධි
1 සමිඳාණෝ මෙසේ වදාරන සේක;
”අහස මාගේ සිංහාසනය ය;
පොළොව මාගේ පා පුටුව ය.
මා සඳහා නුඹලාට කෙබඳු ගෘහයක් සෑදිය හැකි ද?
මාගේ වාසස්ථානය කොතැන විය හැකි ද?
2 මුළු විශ්වය මැව්වේ මම ය.
එබැවින් සියලු දේ මාගේ ය.
යටහත්, තැළුණු සිත් ඇති මාගේ වචනයට කීකරු වන මිනිසා මට ප්‍රිය මනාප වේ.
3 සෙනඟ තමන් කැමැති සේ ක්‍රියා කරති.
පූජා කරන පිණිස ගොනෙකු මරන සේ ඔව්හු මිනිසුන් මරති. බැටළු පැටවෙකු
පූජා කරන්න මරන සේ බල්ලෙකුගේ බෙල්ල කඩති.
ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නා වැනි ය.
තුවරලා දවමින් සිහි කිරීමේ පූජාවක් පිදීම පිළිමයකට බුහුමන් කිරීමක් වැනි ය.
ඔව්හු හිතුමතේ කරන පිළිකුල් සහිත පූජාවලට ප්‍රිය වෙති.
4 එබැවින් මම ඔවුන්ට නිසි විපත්ති නියම කොට, ඔවුන් බිය වන දේ ඔවුන් පිට පමුණුවන්නෙමි.
මන්ද, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත.
මා කතා කළ විට කිසිවෙකු සවන් දුන්නේ නැත.
ඔව්හු මා ඇස් හමුයෙහි නපුරු දේ කර, මට අප්‍රසන්න දේ තෝරාගත්හ.”
5 සමිඳුන්ගේ වචනයට කීකරු වන අය එතුමන් කියන දේට සවන් දෙන්න:
”මා නිසා සමහර අය නුඹලාට වෛර කොට, නුඹලා කොන් කර ඇත.
‘සමිඳු සිය මහිමය ප්‍රකාශ කළා වේ.
එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දැක හැකි ය’යි ඔව්හු කියති.
එහෙත්, ලජ්ජාවට පමුණුවනු ලබන්නෝ ඔව්හු ම ය.
6 අන්න, සවන් දෙන්න;
ඝෝෂාව නුවරින් පැමිණෙන්නේ ය.
දේව මාලිගාවෙන් හඬක් නික්මෙන්නේ ය.
ඒ වනාහි, සමිඳුන් සතුරන්ට දඬුවම් දීමේ හඬ ය.”
ජෙරුසලම් මාතාව
7 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”මාගේ ශුද්ධ නගරය වනාහි, ප්‍රසව වේදනාව ඇති වන්න පෙර පිරිමි දරුවෙකු බිහි කළ මාතාවක වැනි ය.
8 මෙබඳු දෙයක් ඇසූ දුටු කෙනෙක් සිටිත් ද?
කිසි කලක එක දවසකින් රටක් බිහි වී ඇද් ද?
එක මොහොතකින් ජාතියක් බිහි වේ ද?
සියොන් අඟන, ප්‍රසව වේදනාව වින්ද ඇසිල්ලෙහි ම ඇගේ දරුවා බිහි කළා ය.
9 බිහි වීම ළං කරන මම ඉපදීම නොසලස්වන්නෙම් ද?
නොහොත් ඉපදීම සලස්වන මම ගර්භය පියවන්නෙම් ද?
මෙසේ පවසන්නේ සමිඳාණන් වන මම ය.”
10 ජෙරුසලමට ප්‍රේම කරන සියල්ලෙනි, ඈ උදෙසා ප්‍රීති සන්තෝෂ වන්න. ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීති වන්න.
11 මෙසේ නුඹලා ඇගේ සැනසිලි ගෙන දෙන පියයුරු උරා, තෘප්තියට පැමිණෙන්නහු ය.
ඇගේ බහුල ව ඇති කිරිවලින් ප්‍රීති වන්නහු ය.
ඇගේ මහිමය පූර්ණතාවෙන් නොමඳ සොම්නසින් පානය කරන්න.
12 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මම සෞභාග්‍යය ගංගාවක් මෙන් ද ජාතීන්ගේ යසඉසුරු දෙගොඩ තළා යන ඔයක් මෙන් ද ඈ වෙත හරවමි.
නුඹලා එයින් උරා බොන්නහු ය.
මවකගේ මෙන් ඇගේ උකුලේ නුඹලා ගෙනයනු ලබන්නහු ය.
ඇගේ දෙදණ පිට සුරතල් කරනු ලබන්නහු ය.
13 මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මම නුඹලා සනසන්නෙමි.
නුඹලා ජෙරුසලම තුළ සනසනු ලබන්නහු ය.
14 මෙය දුටු විට නුඹලාගේ සිත් ප්‍රීතියෙන් පිනා යන්නේ ය.
එසේ නුඹලා සනීප ශක්තිය ලබන්නහු ය.
එවිට සමිඳුන් වන මම මට කීකරු වන්නන්ට ආශීර්වාද කරන බවත්,
මාගේ සතුරන්ට උදහස දක්වන බවත් නුඹලා දැනගන්නහු ය.”
15 සමිඳාණෝ ගිනිදලු සහිත ව වඩින සේක.
එතුමන්ගේ රථ වාහන සුළිසුළඟ මෙන් වන්නේ ය.
සතුරන් වෙත එතුමන්ගේ ඉමහත් කෝපය විදහා පාන සේක.
ගිනිදැල් මෙන් චෝදනා නඟන සේක.
16 එසේ ය, එතුමාණෝ පොළෝ වැසි සියලු දෙන ගින්නෙන් ද කඩුවෙන් ද විනිශ්චය කරන සේක.
මරණු ලබන්නෝ බොහෝ වෙති.
17 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”උයන්වල පුද පූජා ඔප්පු කරන පිණිස තමන් ම පිරිසිදු කරගනිමින්, පෙළට ගමන් කරමින්, ඌරු මස් ද උරගයන් ද මීයන් ද කන අයගේ අවසානය ළඟ ය. 18 ඔවුන්ගේ ක්‍රියා හා සිතුවිලි මම දනිමි. විවිධ භාෂා කතා කරන සියලු ජාතීන් එක් රැස් කිරීමට මම පැමිණෙන්නෙමි. ඔවුන් රැස් වූ කල මාගේ තේජාලංකාරය කුමක් දැ යි ඔවුන්ට පෙනෙනු ඇත. 19 මම ඔවුන් අතරේ සලකුණක් තබන්නෙමි. ඔවුන් අතරෙන් ගැළවී සිටින අය, මාගේ කීර්තිය ගැන නොඇසූ, මාගේ තේජස නොදුටු දුර බැහැර ද්වීපයන් වන තර්ෂිෂ්හි ද පුල්හි ද දුනුවායන් සිටින ලුද්හි ද තුබල්හි ද ජාවාන්හි ද සිටින ජාතීන් වෙත යවන්නෙමි. ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස ප්‍රකාශ කරනු ඇත. 20 ඔව්හු ඉශ්රායෙල් පුත්‍රයන් සියලු දෙනා ජාතීන් අතරෙන් මට පඬුරක් මෙන් ගෙනෙන්නෝ ය. ඔව්හු, අශ්වයන් පිටින් ද රථවලින් දෝලාවලින් ද අශ්වතරයන් පිටින් ද ඔටුවන් පිටින් ද මාගේ ශුද්ධ කන්ද වන ජෙරුසලමට පිරිසිදු භාජනයක ධාන්‍ය පූජා ගෙනෙනු ලබන සේ ගෙනෙන්නෝ ය. 21 ඔවුන්ගෙන් සමහරු පූජකයන් ද ලෙවීවරුන් ද වශයෙන් මම පත් කරමි.
22 ”මා විසින් සාදනු ලබන අලුත් අහසත්, අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේ ය.
23 හැම අමාවක් දිනක් හා සබත් දිනක් පාසා ම මට නමස්කාර කරන්න සියලු මනුෂ්‍යයෝ පැමිණෙන්නෝ ය.
24 ඔවුන් පිට වී යන විට මට විරුද්ධ ව වරද කළ අයගේ මළකඳන් දකිනු ඇත. ඔවුන් කාදමන පණුවෝ කිසි කලක නොමැරෙති. ඔවුන් දවාලන ගින්න කිසි කලක නොනිවේ. ඔව්හු සියලු දෙනාට පිළිකුලක් වන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණන් වන මම ය.”