– 1 වන පරිච්ඡේදය –
1 ඉශ්රායෙල්වරුන්ට දන්වන පිණිස සමිඳාණන් වහන්සේ මලාකිට දිව්‍ය ප්‍රකාශනයකින් දුන් පණිවුඩය මෙය වේ:
ඉශ්රායෙල්වරුන් කෙරෙහි සමිඳාණන් වහන්සේගේ ප්‍රේමය
2 ”මම නුඹලාට ප්‍රේම කෙළෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. ”එහෙත්, ඔබ වහන්සේ අපට කෙසේ ප්‍රේම කළ සේක් දැ”යි නුඹලා අසන්නහු ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒසව් හා ජාකොබ් සහෝදරයෝ නොවෙත් ද? එහෙත්, මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි. 3 ඒසව්ට ද්වේෂ කෙළෙමි. මම ඒසව්ගේ කඳුකර පළාත විනාශ කොට, ඔහුගේ උරුමය, වන මෘගයන්ගේ වාසස්ථානයක් කෙළෙමි”යි වදාළ සේක.
4 ඒසව්ගේ පරම්පරාවෙන් පැවත එන ඒදොම්වරුන්, ”අපේ නගර විනාශ වී ඇතත් අපි නැවත ඒවා ගොඩනඟන්නෙමු”යි කීවොත්, සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: ”ඔවුන් ගොඩනඟන නමුත් මම නැවත ඒවා කඩාදමන්නෙමි. ඒදොම් වනාහි ‘දුෂ්ට පළාත’ කියා ද ‘සදහට ම සමිඳාණන් වහන්සේගේ උදහසට ලක් වී ඇති ජාතියක්’ කියා ද සෙනඟ කියනු ඇත. 5 මේ දේ නුඹලාගේ දෑසින් නුඹලා දකිනු ඇත. එවිට, ‘ඉශ්රායෙල් දේශයෙන් එපිටත් සමිඳාණන් වහන්සේ බලවත් ය’යි නුඹලා කියනු ඇත.”
පූජකයන්ට තරවටු කිරීම
6 ”පුත්‍රයා තමාගේ පියාටත්, මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. මා නුඹලාගේ පියා නම්, නුඹලා මට ගෞරව නොකරන්නේ මන් ද? මා නුඹලාගේ ස්වාමියා නම් මට ගරුබුහුමන් නොදෙන්නේ මන්ද කියා අවමන් කරන පූජකවරුන්ගෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක. ‘අප ඔබට අවමන් කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය. 7 නුඹලා මට අවමන් කර ඇත්තේ පූජාසන පිට අපවිත්‍ර ආහාර ඔප්පු කිරීමෙන් ය. එවිට ‘අප ආහාර අපවිත්‍ර කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය. ‘සමිඳාණන් වහන්සේගේ පූජාසනය සුළු යයි නුඹලා කීමෙන් ය.’ 8 ‘මට පූජා කරන පිණිස නුඹලා අන්ධ සතෙකු ගෙන ඒම හරි ද? කොර සතෙකු හෝ ලෙඩ සතෙකු හෝ ඔප්පු කිරීම හරි ද? එවැනි සතෙකු නුඹලාගේ ආණ්ඩුකාරයාට දී බලන්න. ඔහු ඒ ගැන ප්‍රසන්න වෙයි ද? නුඹලාට උදව් උපකාර දෙයි දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
9 ”අපට කරුණා කරන මෙන් දෙවියන් වහන්සේගෙන් අයැදින්න. එවැනි පූජාවක් ඔබේ අතින් පිළිගෙන සමිඳාණන් වහන්සේ ඔබට කරුණා කරන සේක් දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. 10 ‘අහෝ! මාගේ පූජාසනය පිට නිෂ්ඵල ලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසා තබන එක් කෙනෙකු නුඹලා අතරේ ඇත්නම් කොපමණ හොඳ ද? නුඹලා ගැන මට සතුටක් නැත; නුඹලා ගෙනෙන පූජාවක් මම භාර නොගනිමි. 11 ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. 12 ”එහෙත් නුඹලා සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිළිකුල් යයි කියමින් එහි ඔප්පු කරන ආහාරවලට නිගා කරන බැවින් නුඹලා මාගේ නාමයට අගෞරව කරන්නහු ය. 13 ‘මේ මොන කරදරයක් දැ’යි කියමින් නුඹලා මට අවමන් කරන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. ”සොරාගත්තා වූ නොහොත් කොර වූ හෝ ලෙඩ වූ හෝ සතුන් පූජාවන් වශයෙන් නුඹලා ගෙනෙන්නහු ය. නුඹලාගේ අතින් මා ඒවා පිළිගන්නවා ඇතැ යි නුඹලා සිතන්නහු ද? 14 මා හට පූජා කරන්න පොරොන්දු වූ හොඳ සතුන් රැළේ සිටිය දී, වැදගැම්මක් නැති සතෙකු මට පූජා කරන ප්‍රයෝගකාරයාට වන විපතක මහත! මන්ද, මම ශ්‍රේෂ්ඨ රජෙක්මි. සියලු රටවල සෙනඟ මාගේ නාමයට ගරුබිය දක්වති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
– 2 වන පරිච්ඡේදය –
පූජකයන්ගේ නොමනා ඉගැන්වීම
1 ”පූජකවරුනි, මේ ආඥාව නුඹලාට ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. 2 ”නුඹලාගේ ක්‍රියාවලින් මට ගෞරව නොකරන්නහු නම්, මා වදාරන දේට නුඹලා සවන් නොදෙන්නහු නම්, එය හොඳින් සිතට නොගන්නහු නම්, නුඹලා පිට මම සාපයක් පමුණුවන්නෙමි. නුඹලා ලබන ආශීර්වාදය සාපයට හරවමි. ඇත්ත වශයෙන් නුඹලා මාගේ ආඥා තදින් සිතට නොගත් නිසා දැනටමත් මා ඒවාට සාප කර ඇත. 3 මම නුඹලාගේ දරු සම්පත වළක්වන්නෙමි. නුඹලාගේ මුහුණු පිට කසළ එනම්, මංගල්‍ය පූජා පිණිස ගෙනෙන සතුන්ගේ කසළ තවරා, ඒ සමඟ නුඹලා ඉවතට හෙළන්නෙමි. 4 එවිට ලෙවීගේ පරම්පරාවේ පූජකයන් සමඟ මා කළ ගිවිසුම ස්ථිර ව පවතින පිණිස මා මේ ආඥාව නුඹලාට දුන් බව නුඹලා දැනගන්නහු ය.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.
5 ”මාගේ ගිවිසුමක් මඟින් ඔවුන්ට ජීවිතයත්, සෞභාග්‍යයත් දෙන්නට මම පොරොන්දු වීමි. ඔවුන් මට ගෞරව කරන පිණිස මේ සියල්ල මම ඔවුන්ට දිනිමි. එසේ ඔව්හු බිය ඇති ව මාගේ නාමයට ගරුබිය දැක්වූ හ. 6 ඔව්හු අසත්‍යය නොව සත්‍යය ඉගැන්වූ හ. ඔව්හු සමගිකමෙන් හා අවංකකමෙන් මා සමඟ ජීවත් වී බොහෝ දෙනෙකු අපරාධයෙන් වළක්වාලූ හ. 7 දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය.
8 ”එහෙත්, පූජකයන් වන නුඹලා හරි මාර්ගයෙන් පිට ගොස් ඇත. නුඹලාගේ ඉගැන්වීම් නිසා බොහෝ දෙනෙකු වරදට වැටී ඇත. ලෙවී සමඟ මා කළ ගිවිසුම නුඹලා කඩ කර ඇත. 9 නුඹලා මාගේ ඉගැන්වීම් නොපිළිපැද, මාගේ කැමැත්ත ගැන උගන්වන විට සියලු දෙනා එක සේ නොසලකන බැවින් මම ද ඉශ්රායෙල් සෙනඟ විසින් නුඹලා හෙළාදකිනු ලබන්න සලස්වන්නෙමි.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.
මිශ්‍ර විවාහය හා දික්කසාදය
10 අප සියල්ලන්ට ඇත්තේ එක ම පියාණන් වහන්සේ නොවේ ද? අප මැව්වේ එක ම දෙවියන් වහන්සේ නොවේ ද? එසේ නම්, එකිනෙකාට දෝහිකම් කරමින්, අපේ මුතුන්මිත්තන් සමඟ දෙවියන් වහන්සේ කළ ගිවිසුම අප කෙලසන්නේ මන් ද? 11 ජුදාහි සෙනඟ දෙවියන් වහන්සේට ඔවුන් දුන් පොරොන්දුව කඩ කර, ඉශ්රායෙල්හි ද ජෙරුසලමේ ද භයානක පිළිකුල් ක්‍රියා කර ඇත. දෙවියන් වහන්සේ ප්‍රේම කරන ශුද්ධස්ථාන පූජා කෙලෙසා ඇත. ඔව්හු විදේශීය දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන් සරණ පාවාගෙන සිටිති. 12 මෙසේ කරන යමෙක් සිටිත් නම්, සමිඳාණන් වහන්සේ ඔහු විනාශ කරන සේක් වා. ඔහු මින්පසු කවදා වත් සියලු බලැති සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරන අපේ ජාතියේ සෙනඟට අයිති නො වේ වා!
13 මෙන්න, ඔබ කරන තව වරදක්! සමිඳාණන් වහන්සේ ඔබේ පූජාවන් හා දීමනාවන් නොපිළිගන්න බැවින්, ඔබ හඬා වැලපී උන් වහන්සේගේ පූජාසනය පිට කඳුළු වගුරුවන්නහු ය. 14 උන් වහන්සේ ඔබේ පූජාවන් නොපිළිගන්නේ මන්දැ යි ඔබ අසන්නහු ය. එයට හේතුව, ඔබ තරුණ කාලයෙහි විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දුව කඩ කර තිබෙන බව උන් වහන්සේ දැනගෙන සිටීම ය. ඔබේ සහකාරී වූ ඈට පක්ෂපාත ව සිටින බවට දෙවියන් වහන්සේට ඔබ පොරොන්දු වූ නමුත් ඈට දුන් පොරොන්දුව ඔබ කඩ කර ඇත. 15 එක ම දෙවියන් වහන්සේ ඔබ, ඔබේ භාර්යාව හා ඒකාබද්ධ නොකළ සේක් ද? එසේ කෙළේ, දෙවියන් වහන්සේගේ සැබෑ සෙනඟ වන දරුවන් අපට ඇති කරන පිණිස ය. ඒ නිසා ප්‍රවේසම් වන්න. කිසිවෙක් තමා තරුණ වියේ විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දු කඩ නොකෙරේ වා! 16 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ”මම දික්කසාදයට දැඩි ලෙස විරුද්ධ වෙමි. නුඹලාගෙන් කෙනෙකු තම භාර්යාවට කරන එවැනි නපුරු ක්‍රියා ගැන මම දැඩි ලෙස විරුද්ධ වෙමි. එබැවින් ඔබේ ආත්මය රැකගන්න. නුඹේ භාර්යාවට පක්ෂපාත ව සිටීමට දුන් පොරොන්දුව කඩ නොකරන්න.”
දේව විනිශ්චය දවස
17 ඔබේ වචනවලින් ඔබ සමිඳාණන් වහන්සේ වෙහෙසන්නහු ය. එහෙත්, ‘අපි කෙසේ උන් වහන්සේ වෙහෙසන්නෙමු දැ’යි ඔබ අසන්නහු ය. ඔබ උන් වහන්සේ වෙහෙසන්නේ, ‘නපුර කරන සියල්ලෝ ම උන් වහන්සේ ඉදිරියේ යහපත් ය; උන් වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්න ය’යි කීමෙන්, හා ‘සර්ව සාධාරණ උන් වහන්සේ කොතැන දැ’යි ප්‍රශ්න කිරීමෙන් ය.
– 3 වන පරිච්ඡේදය –
1 මෙයට සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: ”මට පෙරටු ව ගොස් මාගේ මාර්ගය පිළියෙළ කරන්නාවූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳාණන් වහන්සේ හදිසියෙන් තමන් දේව මාලිගාවට වඩින සේක. නුඹලා පුල පුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්‍රකාශ කරනු ඇත.”
2 එහෙත්, උන් වහන්සේගේ පැමිණීමේ දවස උහුලන්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ ප්‍රකාශ වන විට ගැළවී සිටින්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ රන්කරුවෙකුගේ ගින්න මෙන් ද අපුල්ලන්නෙකුගේ සබන් මෙන් ද වන සේක. 3 උන් වහන්සේ රිදී උණු කර පිරිසිදු කරන කෙනෙකු මෙන් ලෙවී පුත්‍රයන් පවිත්‍ර කරන සේක. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ වෙත නියම පූජාවක් ගෙනෙන්නෝ ය. 4 ජුදාවේ හා ජෙරුසලමේ සෙනඟ සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන පූජා පෙර කාලයේ දී මෙන් උන් වහන්සේට ප්‍රියමනාප වන්නේ ය.
5 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”
දසයෙන් කොටස ගෙවීම
6 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම සමිඳාණන් වහන්සේ ය; මාගේ වෙනස් වීමක් නැත. ජාකොබ්ගේ පරම්පරාවෙන් පැවත එන නුඹලා තවමත් සම්පූර්ණයෙන් විනාශ වී නැත්තේ ඒ නිසා ය. 7 පෙර සිටි නුඹලාගේ මුතුන්මිත්තන් සේ නුඹලා ද මාගේ ආඥාවලට පිටුපා ඒවා කඩ කළහු ය. එහෙත්, මා වෙත හැරී එන්න; එවිට මමත් නුඹලා වෙත හැරී එන්නෙමි. ‘අපි කෙසේ හැරී එන්නෙමු දැ’යි නුඹලා අසන්නහු ය. 8 දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය. 9 මුළු ජාතිය ම මා රවටන බැවින් නුඹලා සියල්ලන් පිට සාපයක් පැමිණ ඇත. 10 මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනෙන්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශීර්වාද නොදෙන්නෙම් දැ යි සෝදිසි කර බලන්න. 11 ගොයම් මැස්සන්ගෙන් නුඹලාගේ ගොයම් විනාශ වන්න මම ඉඩ නොදෙමි. නුඹලාගේ මිදි වැලේ පලදාවත් සාරවන්නේ ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. 12 එවිට නුඹලාගේ දේශය යහපත් දේශයක් වන බැවින් සියලු ජාතීන් නුඹලා වාසනාවන්තය යි කියනු ඇත.
දේව දයාවේ පොරොන්දුව
13 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නුඹලා මට විරුද්ධ ව නපුරු දේ කියා ඇත. එසේ වුවත් ‘ඔබට විරුද්ධ ව අපි කුමක් කීවෙමු දැ’යි නුඹලා අසන්නහු ය. 14 ‘දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵල ය. උන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත්, කණගාටුවෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැසිරීමෙන් වත් වැඩක් ඇද් ද? 15 අපට පෙනෙන හැටියට නම් වාසනාව ඇත්තේ උඩඟු අයට ය; දියුණු වන්නේ නපුරුකම් කරන අය ය. ඔව්හු දෙවියන් වහන්සේ පරීක්ෂා කරතත් නිදහස් ව සිටිති’යි නුඹලා කියන්නහු ය.”
16 එකල සමිඳාණන් වහන්සේට ගරුබිය දැක්වූ අය එකිනෙකා සමඟ කතා කරගත් විට සමිඳාණන් වහන්සේ ඔවුන් කී දේට සවන් දුන් සේක. සමිඳාණන් වහන්සේට බිය වන්නා වූ ද උන් වහන්සේට ගෞරව කරන්නා වූ ද අය සම්බන්ධයෙන් උන් වහන්සේ ඉදිරියේ පොතක සටහනක් ලියන ලද්දේ ය. 17 සියලු බලැති සමිඳාණන් වහන්සේ කී දේ ඒ පොතේ මෙසේ සටහන් කර ඇත. ”ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය, මා ක්‍රියා කරන දවසේ දී ඔව්හු මාගේ ම විශේෂ උරුමය වන්නෝ ය. පියෙකු තමාට සේවය කරන පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් මම ඔවුන්ට කරුණාව දක්වන්නෙමි. 18 එකල ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා අතරේ ද දෙවියන් වහන්සේට සේවය කරන්නා හා උන් වහන්සේට සේවය නොකරන්නා අතරේ ද ඇති වෙනස නුඹලා දකිනු ඇත.”
– 4 වන පරිච්ඡේදය –
ධර්මිෂ්ඨකමේ ජයග්‍රහණය
1 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය. 2 එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය. 3 මා ක්‍රියා කරන්න යන දවසේ දී නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහු ය. ඔව්හු නුඹලාගේ පාද යට ධූලි මෙන් වන්නෝ ය.
4 ”ඉශ්රායෙල්හි සියලු සෙනඟ විසින් පිළිපදිනු ලබන පිණිස හොරෙබ් කන්දේ දී මාගේ සේවක මෝසෙස්ට මා දුන් ආඥා හා නියෝග සිහි කරන්න.
5 ”සමිඳාණන් වහන්සේගේ මහා භයානක දවස පැමිණෙන්නට පෙර මම දිවැසිවර එලියා නුඹලා වෙත එවන්නෙමි. 6 මා පැමිණ නුඹලාගේ දේශය විනාශ නොකරන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතට ද දරුවන්ගේ සිත් පියවරුන් වෙතට ද හරවනු ලබනවා ඇත.”