නික්මයාම

– 1 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල් ජනයාගේ වහල් සේවය

1 ජාකොබ් සමඟ මිසරයට තම තමන්ගේ පවුල් කැටුව පැමිණි ඉශ්රායෙල් ජනයාගේ නාම මෙසේ ය: 2 රූබන්, සිමියොන්, ලෙවී සහ ජුදා; 3 ඉස්සාකර්, සාබුලොන් සහ බෙන්ජමින්; 4 දාන් සහ නප්තලී, ගාද් සහ ආෂෙර් ය. 5 ජාකොබ්ගේ පෙළපතින් පැවත ආ සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ. ජෝසෙප් එවකට මිසරයෙහි සිටියේ ය. 6 කලකට පසු ජෝසෙප් ද, ඔහුගේ සහෝදරයෝ සියලු දෙන ද, ඒ මුළු පරපුර ද මළහ. 7 එහෙත් ඉශ්රායෙල් ජනයා සමෘද්ධ වී, බොහෝ සේ වර්ධනය වී, ගණනින් ද වැඩි වී, අතිශයින් බලවත් වූයෙන්, ඔවුන්ගෙන් රට පිරී ගියේ ය.
8 එකල ජෝසෙප් ගැන කිසිවක් නොදත් අලුත් රජෙක් සිංහාසනාරූඪ විය. 9 ඔහු තම සෙනඟට කතා කොට, ”බලන්න, ඉශ්රායෙල් ජනතාවගේ සෙනඟ අපට වඩා ගණනින් වැඩි වී, බලවත් ව, අපට තර්ජනයක් වී ඇත. 10 දැන් ඉතින් කන් දෙන්න, ඔවුන්ගේ සංබ්‍යාව වැඩි වීම වළකන පිණිස අපි ඔවුන් සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරමු. යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත්, ඔවුන් ද අපේ සතුරන් සමඟ පෙරමුණු බැඳගෙන, අපට විරුද්ධ ව සටන් කොට රට පාලනය කරන්න පුළුවනැ”යි කී ය. 11 එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා-නගර ගොඩනැඟුවහු ය. 12 එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී, 13 ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්හ. 14 මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔව්හු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද, ඔව්හු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ.
15 මිසර දේශයේ රජතුමා හෙබ්‍රෙව් වින්නඹුවන් වන ෂිප්රා හා පුවාට කතා කොට, 16 ”නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට බිහිවන්නට යන්නේ පුතෙක් ද දුවක් ද කියා හොඳින් බලන්න; පුතෙක් නම් මරන්න. දුවක් නම් ඈ ජීවත් වුණා වේ” කියා පැවසී ය. 17 එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ. 18 එවිට රජතුමා වින්නඹුවන් කැඳවා, ඔවුන්ට කතා කොට, ”නුඹලා මේ දේ කෙළේ මන් ද? පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ දුන්නේ ඇයි දැ”යි විචාළේ ය. 19 ඔව්හු පිළිතුරු දෙමින්, ”හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර දේශීය ස්ත්‍රීන් මෙන් නොවෙති. ඔව්හු ශක්ති සම්පන්න ය. වින්නඹුවන් ඔවුන් වෙත එන්නට පෙර ඔව්හු ප්‍රසූත කරති”යි කී හ. 20 දෙවියන් වහන්සේ වින්නඹුවන්ට මහා කරුණාව පෑ සේක. සෙනඟ ද සංබ්‍යාවෙන් වැඩි වී ඉතා බලසම්පන්න වූ හ. 21 තවද, වින්නඹුවන් දේව භය ඇති අය වූ නිසා උන් වහන්සේ ඔවුන්ට දරුසම්පත් දුන් සේක. 22 එවිට පාරාවෝ මුළු සෙනඟ අමතා, ”හෙබ්‍රෙව්වරුන්ට උපදින හැම පිරිමි ළමයෙකු ම නයිල් ගඟට විසි කළ යුතු ය; සෑම දුවකට ජීවත් වන්න ඉඩ දිය යුතු ය”යි අණ කෙළේ ය.

– 2 වන පරිච්ඡේදය –

මෝසෙස්ගේ උපත

1 එකල ලෙවී ගෝත්‍රයේ මිනිසෙක්, එම ගෝත්‍රයේ කාන්තාවක සරණ පාවාගත්තේ ය. 2 ඒ ස්ත්‍රිය ගැබ්ගෙන, දරුවෙකු ලැබූ පසු දරුවා රුවැති බව දුටු ඈ, තෙමසක් ඔහු සඟවා තැබුවා ය. 3 ඔහු තවත් සඟවා තබාගැන්මට නොහැකි වූ කල, ඈ පන් පෙට්ටියක් ගෙන, එය පිට කීල් හා මැලියම් තවරා, දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවා ය. 4 තවද, දරුවා හට කුමක් වේ දෝ කියා දැනගැන්මට ඔහුගේ සහෝදරිය ඈතින් බලා සිටියා ය.
5 එවිට ගඟේ ස්නානය කරනු පිණිස පාරාවෝගේ දූ කුමරිය පැමිණියා ය. ඇගේ සේවිකාවෝ ගං ඉවුර දිගේ ඇවිදිමින් සිටියා හ. ඈ බට ගස් අතර වූ පෙට්ටිය දැක, සේවිකාවක යවා, එය ගෙන්වාගෙන, 6 ඇරිය විට එහි දරුවෙකු දුටුවා ය. බලන්න, දරුවා ද අඬමින් සිටියේ ය. එවිට ඈ ඔහු කෙරෙහි අනුකම්පා උපදවා, ”මේ හෙබ්‍රෙව් ජාතික දරුවෙකැ”යි කීවා ය. 7 එවිට ඔහුගේ සොහොයුරිය පාරාවෝගේ දූ කුමරියට කතා කොට, ”ඔබ උදෙසා දරුවාට කිරි දෙන්නට මා ගොස් හෙබ්‍රෙව් ජාතික කිරි මවක කැඳවාගෙන එන්න දැ”යි විචාළා ය. 8 පාරාවෝගේ දියණිය ඈට, ”යන්නැ”යි කීවෙන්, ඈ ගොස් දරුවාගේ මව කැඳවාගෙන ආවා ය. 9 එවිට කුමරිය ඈ අමතා, ”මේ දරුවා රැගෙන ගොස්, මා වෙනුවෙන් ඔහුට කිරි දෙන්න, මම ද ඔබට කුලිය දෙමි”යි කී විට ඈ දරුවා රැගෙන ගොස් ඔහුට කිරි දී හැදුවා ය. 10 දරුවා වැඩුණු පසු ඈ ඔහු පාරාවෝගේ දියණිය වෙත ගෙනාවෙන්, ඔහු ඈට පුතෙකු සේ විය. තවද ඈ, ”මම ඔහු වතුරෙන් ගොඩ ගතිමි”යි කියා ඔහුට මෝසෙස් යන නම තැබුවා ය.

මෝසෙස් මිදියන් දේශයට පලා යෑම

11 එකල මෝසෙස් වයසින් වැඩුණු පසු ඔහු තමාගේ සෙනඟ බලන්නට ගිය විට, ඔවුන් කළ බර වැඩ දිටී ය. තවද, ඔහු තමාගේ ම හෙබ්‍රෙව් ජාතිකයෙකුට මිසර වැසියෙකු පහර දෙනවා දිටී ය.‍ 12 එවිට ඔහු වට පිට බලා, කිසිවෙකු නොසිටි බව දැක මිසර වැසියා මරා මළකඳ වැල්ලෙහි සැඟවී ය. 13 පසු දින ඔහු නික්ම යන විට හෙබ්‍රෙව් ජාතික දෙදෙනෙකු ගහගනිමින් සිටිනු දිටී ය. වැරැද්ද කළ තැනැත්තාට ඔහු කතා කොට, ”ඔබේ සහෝදරයාට ඔබ පහර දෙන්නේ මන්දැ”යි විචාළේ ය. 14 ඔහු පිළිතුරු දෙමින්, ”අපට අධිපතියෙකු හා විනිසකරුවෙකු ලෙස ඔබ පත් කෙළේ කවරෙක් ද? ඔබ මිසර වැසියා මැරුවා සේ ම මාත් මරන්න හදන්නෙහි දැ”යි ඇසී ය. එවිට මෝසෙස් බිය වී, ”ඇත්තට ම කාරණය එළි වී තිබේ ය”යි කියාගත්තේ ය. 15 එපවත් සැළ වූ විට පාරාවෝ මෝසෙස් මරාදැමීමට සෙවී ය. එහෙත්, මෝසෙස් පාරාවෝ වෙතින් පලා ගොස් මිදියන් දේශයෙහි පදිංචි විය. ඔහු එහි ළිඳක් ළඟ වාඩි වී සිටියේ ය.
16 මිදියන්හි පූජකවරයාට දූවරු සත්දෙනෙක් වූ හ. ඔව්හු පැමිණ ළිඳෙන් වතුර ඇද, තම පියාගේ බැටළුවන්ට පොවන පිණිස, දිය ඔරු පිරෙව්වෝ ය. 17 එහෙත්, එඬේරු පැමිණ ඔවුන් පන්නාදැමූ හ. එවිට මෝසෙස් නැඟිට, ඔවුන්ට ආධාර කරමින් බැටළුවන්ට වතුර පෙවී ය. 18 තවද, ඒ දූවරුන් තම පියා වන රූවෙල් වෙත පැමිණි විට, ඔහු කතා කරමින්, ”අද නුඹලා මෙතරම් ඉක්මනින් ආපසු ආවේ කෙසේ දැ”යි ඇසී ය. 19 ඔව්හු උත්තර දෙමින්, ”මිසර වැසියෙක් එඬේරුන් අතින් අප බේරාගත්තේ ය. එපමණක් නොව, අපට වතුර ඇද දී, බැටළුවන්ටත් පෙවී ය”යි කී හ. 20 එවිට ඔහු තම දූවරුන් අමතමින්, ”ඒ මිනිසා කොහේ ද? නුඹලා ඔහු හැරදමා ආවේ මන් ද? කෑම කන පිණිස ඔහු කැඳවන්නැ”යි කීවේ ය.
21 මෝසෙස් මිදියන්හි පූජකවරයා සමඟ පදිංචි වීමට සතුටු විය. ඔහු මෝසෙස්ට තම දුව වන ශිප්පොරා සරණ පාවාදුන්නේ ය. 22 ඇය ඔහුට දාව පුතෙකු ලැබුවෙන්, මෝසෙස් ”මම අමුතු රටක අමුත්තෙකු මෙන් සිටියෙමි” කියා ඔහුට ගේර්ෂොම් යන නාමය තැබී ය.
23 බොහෝ කලක් ගත වූ පසු, මිසරයේ රජතුමා මියගියේ ය. ඉශ්රායෙල් ජනයා වහල් සේවය නිසා සුසුම්ලමින්, මොරගැසූ හ. ඔවුන්ගේ වහල් සේවය නිසා ම ඔවුන්ගේ කන්නලවුව දෙවියන් වහන්සේ වෙත පැමිණියේ ය. 24 දෙවියන් වහන්සේ ඔවුන්ගේ කන්නලවුවලට සවන් දී, තමන් වහන්සේ ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් සමඟ කළ තම ගිවිසුම සිහි කළ සේක.‍ 25 උන් වහන්සේ ඉශ්රායෙල් ජනයාගේ දුක බලා ඔවුන්ට කරුණාව පෙන්වූ සේක.

– 3 වන පරිච්ඡේදය –

දෙවියන් වහන්සේ මෝසෙස් කැඳවීම

1 මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන්හි පූජක තැන වන ජෙත්රො‍්ගේ එළු බැටළු පට්ටි රැකබලාගනිමින් සිටියේ ය. ඔහු ඒ පට්ටි පාළුකරය හරහා දක්කාගෙන ගොස්, හොරෙබ් නම්, දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල, 2 සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය. 3 මෝසෙස්, ”මෙය පුදුමයකි. මම දැන් ඊට ළං වී, පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි”යි තමාට ම කියාගත්තේ ය. 4 ඔහු එය බලන පිණිස ඊට ළං වන බව සමිඳාණන් වහන්සේ දුටු විට, දෙවියන් වහන්සේ පඳුර මැදින්, ”මෝසෙස්, මෝසෙස්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, ”මම මෙහි ය”යි කීවේ ය. 5 එවිට දෙවියන් වහන්සේ කතා කොට, ”මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ”යි වදාළ සේක. 6 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ”නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.

මෝසෙස්ගේ දූතික සේවාව

7 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: ”මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි. 8 මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි. 9 දැන් ඉතින්, මෙන්න, ඉශ්රායෙල් ජනතාවගේ මොරගැසීම මා වෙත නැඟී ඇත. තවද, මිසර වාසීන් දෙන දරුණු පීඩාවන් ද මා දැක ඇත. 10 එබැවින් දැන් ඉතින් එන්න, මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ජනතාව මිසරයෙන් පිටතට ගෙන යන පිණිස, මම නුඹ පාරාවෝ වෙත යවමි.”
11 එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, ”පාරාවෝ වෙත යාමටත්, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් පිටතට ගෙන ඒමටත් මම කවරෙක් දැ”යි ඇසී ය. 12 දෙවියන් වහන්සේ උත්තර දෙමින්, ”මම නුඹ සමඟ සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ: එනම්, නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට, මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මා හට වැඳුම්පිදුම් කරන්නහු ය”යි වදාළ සේක.

දේව නාමය අනාවරණය කිරීම

13 එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, ”එසේ නම් මා, ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස්, ‘නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේකැ’යි කී විට, ඔවුන් ද, ‘උන් වහන්සේගේ නම කුමක් දැ’යි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කියම් දැ”යි ඇසී ය. 14 උන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, ”මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි. ‘ස්වයම්භූ තැනැන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි නුඹ ඉශ්රායෙල් ජනයාට කිව යුතු ය”යි වදාළ සේක. 15 තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: ” ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”

මෝසෙස්ගේ සේවාව ගැන උවදෙස්

16 ”නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි. 17 එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත්කොට කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශය වන, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට ඔබ ගෙන එන්ට මම ඉටාගෙන සිටිමි’යි කියන්න. 18 ඔව්හු ද නුඹේ හඬට සවන් දෙනු ඇත. නුඹ ද ඉශ්රායෙල්ගේ ප්‍රජා මූලිකයන් ද මිසරයේ රජු වෙත ගොස් ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට හමු වූ සේක. එබැවින් අපගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස, තුන් දවසක ගමනක්, පාළුකරයට යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත් ව ඉල්ලමු’යි කියන්න. 19 එහෙත් මිසරයේ රජ, තදින් බල කරනු ලැබුවොත් මිස නුඹලාට යන්නට අවසර නොදෙන බව මට සහතික ය. 20 මම ද මාගේ බාහු බලය පා, මා එහි කරන්ට යන හාස්කම් සියල්ලෙන් මිසරයට පහර දෙන්නෙමි. ඉන්පසු ඔහු නුඹලාට යන්ට අවසර දෙනු ඇත.
21 තවද, මම මිසර දේශ වාසීන් ඉදිරියෙහි මේ සෙනඟට අනුග්‍රහය පාන්නෙමි. එබැවින් නුඹලා පිටත් වී යන විට හිස් අතින් නොයන්නහු ය. 22 සෑම කාන්තාවක ම තම අසල්වැසියාගෙන් ද ඇගේ ගෘහයේ නැවතී සිටින තැනැත්තියගෙන් ද රිදී හා රන් ආභරණ ද වස්ත්‍ර ද ඉල්ලා ගන්නී ය. නුඹලා ඒවා නුඹලාගේ පුත්‍රයන්ට ද දූවරුන්ට ද පැළඳවිය යුතු ය. මෙලෙස නුඹලා මිසර වාසීන්ගේ වස්තුව කොල්ල කෑ යුතු ය.”

– 4 වන පරිච්ඡේදය –

මෝසෙස්ට හාස්කම් පෑමේ බලය දීම

1 එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, ”හොඳයි, ඔව්හු මා විශ්වාස නොකොට, මාගේ හඬට සවන් නො දී, සමිඳාණන් වහන්සේ ඔබට දර්ශනය නො වූ සේකැ’යි කීවොත් කුමක් කරන්න දැ”යි ඇසී ය. 2 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ”නුඹේ අතේ තිබෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. ඔහු, ”සැරයටියකැ”යි කී ය. 3 උන් වහන්සේ කතා කොට, ”එය බිම දමන්නැ”යි වදාළ සේක. ඔහු එය බිම දැමී ය, එය සර්පයෙක් විය. එවිට මෝසෙස් ඌ ඉදිරියෙන් අහකට පැන්නේ ය. 4 සමිඳාණන් වහන්සේ ඔහු අමතමින්, ”නුඹේ අත දිගු කොට උගේ වල්ගයෙන් අල්ලාගන්නැ”යි වදාළ සේක. මෝසෙස් ද අත දිගු කොට, ඌ වල්ගයෙන් අල්ලා ගත් විට, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් බවට හැරිණි. 5 උන් වහන්සේ ද, ”ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නුඹට දර්ශනය වූ බව ඔවුන් විශ්වාස කරන පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.
6 තවදුරටත් උන් වහන්සේ ඔහුට කතා කරමින්, ”දැන් නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ සේක. ඔහු තම අත ළයෙහි තැබී ය. ඔහු එය අහකට ගත් විට, පුදුමයකි, ඔහුගේ අත හිම මෙන් සුදු කුෂ්ඨයකින් වැසී තිබිණි. 7 යළිත් උන් වහන්සේ කතා කොට, ”නැවත නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ විට ඔහු තම අත ළයෙහි තැබී ය. එය ළයෙන් ඉවතට ගත් විට, පුදුමයකි, එය තම මාංසය මෙන් ප්‍රකෘති ස්වභාවයට හැරී තිබිණි. 8 එවිට උන් වහන්සේ ඔහු අමතමින්, ”පළමු වන හාස්කමින් ඔව්හු නුඹ විශ්වාස නොකරත් නම්, නුඹේ හඬට සවන් නොදෙත් නම්, දෙ වන හාස්කමින් ඔවුන් නුඹේ කීම විශ්වාස කරනු ඇත. 9 ඔව්හු මේ හාස්කම් දෙක ම විශ්වාස නොකරත් නම්, නුඹ ගංගාවෙන් වතුර රැගෙන වියළි පොළොවට වත් කරන්න; එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර වියළි පොළොව මත ලේවලට හැරෙන්නේ ය”යි වදාළ සේක.
10 ඉන්පසු මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, ”මාගේ ස්වාමීනි, ඔබ වහන්සේ ඔබේ දාසයා හා සමඟ කතා කළ පසු වේ වා, ඊට පෙර වේ වා, මම ව්‍යක්ත කථිකයෙක් නො වීමි. කීමෙහි බිණීමෙහි දුබල ය, දිව ගොතගහන සුලු ය”යි කී ය. 11 සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, ”මිනිසාගේ මුඛය නිර්මාණය කෙළේ කවරෙක් ද? යමෙකු ගොළු කරන්නේ හෝ බිහිරි කරන්නේ හෝ යමෙකුට පෙනීම දෙන්නේ හෝ යමෙකු අන්ධයෙකු කරන්නේ හෝ කවරෙක් ද? එසේ කරනුයේ සමිඳාණන් වහන්සේ වන මම නොවෙම් ද? 12 එබැවින් දැන් ඉතින් යන්න, නුඹට කතා කිරීමට මම උදව් වෙමි, නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි”යි වදාළ සේක. 13 එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, ”අනේ මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබ කැමැති අන් කෙනෙකු යැව්ව මැනවැ”යි කී ය.
14 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ උදහසින් ඇවිළී, ”නුඹේ සහෝදරයා වන ලෙවීයකු වූ ආරොන් ඉන්නවා නොවේ ද? ඔහු කතාවට දක්ෂයෙකු බව මම දනිමි. මෙන්න, නුඹ හමු වීමට ඔහු එනු ඇත; ඔහු ද නුඹ දකින විට තම හද පත්ලෙන් සතුටු වනු ඇත. 15 නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතු දැ යි කියා දෙන්න. මම නුඹට හා ඔහුට ද කතා කිරීමට උදව් වන්නෙමි. තවද, නුඹ කුමක් කළ යුතු දැ යි උගන්වන්නෙමි. 16 ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය. 17 ඇරත්, නුඹ මේ සැරයටිය අතේ ගෙන ගොස් එයින් හාස්කම් පෑ යුතු ය”යි වදාළ සේක.

මෝසෙස් මිසරයට ආපසු යාම

18 මෝසෙස් තම මාමණ්ඩි වන ජෙත්රෝ වෙත ආපසු ගොස්, ඔහුට කතා කොට, ”මිසරයේ සිටින මාගේ ඥාතීන් වෙත ආපසු ගොස් ඔව්හු ජීවත් ව සිටිත් දැ’යි බලනු පිණිස මට යන්න, කරුණාකර, අවසර දෙන්නැ,”යි ඉල්ලී ය. ජෙත්රෝ ද, ”සුව සේ යන්නැ”යි මෝසෙස්ට කීවේ ය. 19 සමිඳාණන් වහන්සේ මිදියන්හි දී මෝසෙස් අමතමින්, ”මිසරයට ආපසු යන්න, නුඹව මරන්නට සෙවූ සියල්ලෝ ම මළ හ”යි වදාළ සේක. 20 මෝසෙස් ද තම බිරිඳ හා පුතුන් රැගෙන, ඔවුන් කොටළුවෙකු පිට නංවාගෙන යළි මිසර දේශයට ගියේ ය. දෙවියන් වහන්සේ දුන් සැරයටියත් ඔහු අතට ගත්තේ ය. 21 උන් වහන්සේ ඔහුට කතා කොට, ”නුඹ මිසරයට ආපසු ගිය විට, මා නුඹට ඉටු කරන්න බලය දුන් ඒ සියලු හාස්කම් පාරාවෝ ඉදිරියෙහි පෑ යුතු ය. එහෙත්, මම ඔහුගේ හිත දැඩි කරමි. සෙනඟට පිට වී යාමට ඔහු ඉඩ නොදෙනු ඇත. 22 නුඹ ද පාරාවෝට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න: ‘ඉශ්රායෙල් ජනතාව මාගේ කුලුඳුල් පුත්‍ර රත්නය ය. 23 එබැවින් මට පුද පූජා ඔප්පු කරන පිණිස මාගේ පුතුට යන්න අවසර දෙන්නට මම ඔබට කියමි. එහෙත්, ඔබ ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි නම් මෙන්න, මම ඔබේ කුලුඳුල් පුත්‍රයා මරාදමන්නට යමි’යි කියන්නැ”යි වදාළ සේක.

මෝසෙස්ගේ පුත්‍රයා චර්මඡේදනය කිරීම

24 මෝසෙස් මෙසේ යන විට, එක්තරා නවාතැනක දී සමිඳාණන් වහන්සේ ඔහුට හමු වී, ඔහු මරාදැමීමට සෙවූ සේක. 25 එවිට ශිප්පොරා මුවහත් ගලක් ගෙන ඇගේ පුතුගේ චර්මාග්‍රය කපා මෝසෙස්ගේ පාද එයින් ස්පර්ශ කොට, ”දැන් ඉතින් ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි”යි කීවා ය. 26 උන් වහන්සේ එවිට මෝසෙස්ට ජීවත් වෙන්න ඉඩ හැරිය සේක. චර්මඡේදනය නිසා, ‘ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි’ යි ඈ කීවේ එවිට ය.

මෝසෙස් ආරොන් හමු වීම

27 සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට, ”මෝසෙස් හමු වීමට පාළුකරයට යන්නැ”යි වදාළ සේක. ඔහු එහි ගොස් දෙවියන් වහන්සේගේ කන්දෙහි දී මෝසෙස් හමු වී, ඔහු සිපගත්තේ ය. 28 එවිට දෙවියන් වහන්සේ තමා එවූ විට වදාළ සියලු දේ ද තමාට උන් වහන්සේ අණ කළ සියලු හාස්කම් ද ආරොන්ට දැන්වී ය. 29 පසුව මෝසෙස් සහ ආරොන් ගොස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් සියලු දෙන රැස් කරවූ හ. 30 ඉන්පසු ආරොන්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල කියා දී, සෙනඟ ඉදිරිපිට හාස්කම් පෑවේ ය. 31 සෙනඟ ද ඔවුන් විශ්වාස කළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව බලන්නට පැමිණ, ඔවුන් විඳින දුක බලා එය තේරුම්ගත් නිසා, ඔව්හු හිස නමා නමස්කාර කළහ.

– 5 වන පරිච්ඡේදය –

මෝසෙස් පාරාවෝ බැහැදැකීම

1 ඉන්පසු මෝසෙස් ද ආරොන් ද පාරාවෝ වෙත පැමිණ, ” ‘පාළුකරයෙහි මාගේ නාමයෙන් මංගල්‍යයක් පවත්වනු පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න’ කියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, වදාරන සේකැ”යි කී හ. 2 පාරාවෝ පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්සේ නම් කවරෙක් ද? ඉශ්රායෙල් ජනයාට යන්න අවසර දීමට මා ඒ හඬට අවනත විය යුත්තේ මන් ද? මම සමිඳාණන් වහන්සේ නාඳුනමි. ඉශ්රායෙල් ජනයාට යන්න මා අවසර දෙන්නේ නැතැ”යි කී ය. 3 ඔව්හු යළි කතා කොට, ”හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ අපට හමු වූ සේක. අපේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරනු පිණිස පාළුකරයට, තුන් දිනක ගමන් දුර යෑමට, කරුණාකර, අපට අවසර දෙන්න, එලෙස නුදුන්නොත් උන් වහන්සේ අපට වසංගතයෙන් හෝ කඩුවෙන් හෝ පහර දෙන සේකැ”යි කී හ. 4 එවිට මිසරයේ රජ ඔවුන් අමතමින්, ”මෝසෙස් සහ ආරොන්, සෙනඟ ඔවුන්ගේ වැඩවලින් ඉවත් කරන්න නුඹලා අදහස් කරන්නේ මක්නිසා ද? බර වැඩට ආපසු යන්නැ”යි කී ය. 5 පාරාවෝ වැඩිදුරටත් කතා කරමින්, ”දැන් මොව්හු දේශීය ජනතාවට වඩා බහුල ව සිටිති. නුඹලා අදහස් කරන්නේ ඔවුන්ගේ බර වැඩ නවත්වා දැමීමට දැ”යි ඇසී ය.

විධායකයන්ට හා නිලධාරීන්ට උවදෙස්

6 ඒ දවසේ ම, පාරාවෝ ජනතාවගේ විධායකයන්ට හා නිලධාරීන්ට අණ කරමින්, 7 ”නුඹලා මෙතෙක් කළ පරිදි ගඩොල් සෑදීම සඳහා මිනිසුන්ට පිදුරු නොදිය යුතුයි. ඔවුන් ම ගොස් පිදුරු සොයාගත යුතුයි. 8 එහෙත්, මේ දක්වා ඔවුන් සෑදූ ගඩොල් ගණන ම තැනිය යුතුයි. ඉන් කිසිවක් අඩු නොකරන්න, ඔව්හු දැන් අලස ය. එබැවින්, ‘අපගේ දෙවියන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්න අපට යන්න දෙන්න’ කියා මොරගසති. 9 තවද, නොනවත්වා ම වැඩ කරන පිණිසත්, වැඩකට නැති කතාවලට කන් නොදෙන පිණිසත් ඔවුන් පිට බර වැඩ පැවරිය යුතු ය”යි කී ය.
10 ජනතාවගේ විධායකයෝ ද නිලධාරීහු ද පිටත් ව ගොස් සෙනඟට කතා කොට, ”පාරාවෝ මෙසේ අණ කොට ඇත. එනම්, ‘මම නුඹලාට පිදුරු නොදෙමි, 11 නුඹලා ම ගොස් පුළුවන් තැන්වලින් පිදුරු සොයාගන්න, හැබැයි, නුඹලාගේ වැඩ කිසිවක් අඩු නොවිය යුතු ය’ කියා කීවේ යැ”යි කී හ. 12 එවිට සෙනඟ පිදුරු නැති නිසා ඉපනැලි එකතු කිරීමට මුළු මිසර දේශයෙහි ම විසිර ගියහ. 13 විධායකයෝ කතා කරමින්, ”පිදුරු තිබුණු කල්හි මෙන් ම නුඹලාට නියමිත දිනපතා වැඩ කොටස සම්පූර්ණ කළ යුතු ය”යි ඔවුන් ඉක්මන් කරවූ හ. 14 තවද, ඔව්හු පාරාවෝගේ විධායකයන් විසින් පත් කරන ලද ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීන්ට පහර දී, ”මෙතෙක් කළ පරිදි ඊයෙත්, අදත් නියමිත ගඩොල් ගණන සාදා නිම නොකළේ මන්දැ”යි ඇසූ හ.

හෙබ්‍රෙව් නිලධාරීන්ගේ පැමිණිලි

15 එවිට ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු පාරාවෝ වෙත ගොස් පැමිණිලි කරමින්, ”ඔබේ දාසයන්ට ඔබ මෙසේ කරන්නේ මන් ද? 16 ඔබ ඔවුන්ට පිදුරු සපයන්නේත් නැත; එහෙත්, ‘පිදුරු නැති ව ගඩොල් සාදන්නැ’යි අපට කීම හරි පුදුම කීමකි. ඔව්හු ඔබේ දාසයන්ට පහර දෙති. එහෙත්, වරද ඇත්තේ ඔබේ ම සෙනඟ අතේ නොවේ දැ”යි ඇසූ හ. 17 එවිට පාරාවෝ කතා කොට, ”නුඹලා අලස ය, කම්මැලි ය, ‘අපි ගොස් සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරමු’යි නුඹලා කියන්නේ ඒ නිසා ය. 18 දැන් ඉතින් වැඩට ආපසු පලයව්; නුඹලාට කොහෙත් ම පිදුරු සපයනු නොලැබේ. එහෙත්, නියමිත ගඩොල් ගණන බාර දිය යුතු ම ය”යි කී ය.
19 ‘නුඹලා දිනපතා සෑදිය යුතු ගඩොල් ගණනින් කිසිවක් අඩු නොකළ යුතු ය’යි පාරාවෝ කී පසු, ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු තමන්ට අපල කාලයක් උදා වී තිබෙන බව දුටහ. 20 ඔවුන් පාරාවෝ වෙතින් ආපසු එන විට, ඔවුන් එන තෙක් අතර මඟ බලා සිටි මෝසෙස් සහ ආරොන් හමු වී, 21 ”සමිඳාණන් වහන්සේ ඔබ වෙත බැල්ම හෙළා, ඔබට දඬුවම් කරන සේක් වා! මන්ද ඔබ, පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි අප පිළිකුලක් කොට මරාදමනු පිණිස ඔබ ඔවුන්ගේ අත්වලට කඩුවක් දුන්නහු ය”යි ඔව්හු කීවෝ ය.

මෝසෙස්ගේ යැදුම

22 මෝසෙස් සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, ”ස්වාමීනි, ඔබ වහන්සේ මේ සෙනඟට මෙතරම් දරුණු ලෙස ක්‍රියා කරන්නේ මන් ද? ඔබ වහන්සේ මා යැව්වේ කුමක්නිසා ද? 23 මා පාරාවෝ වෙත ගොස් ඔබේ නාමයෙන් කතා කළ දවසේ පටන් ඔහු මේ සෙනඟට පීඩා කරයි. ඔබ වහන්සේ ද ඔබ සෙනඟ මුදාලීමට කිසි ම දෙයක් කර නැතැ”යි කීවේ ය.

– 6 වන පරිච්ඡේදය –

1 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ”මා පාරාවෝ හට කරන්න යන දේ නුඹට දැන් පෙනෙනු ඇත. බාහු බලයෙන් ඔවුන්ට පිට වී යන්න ඉඩ හරින ලෙසත් බාහු බලයෙන් සිය රටින් පිටමං කරන ලෙසත් ඔහුට බල කරමි”යි වදාළ සේක.

මෝසෙස් යළි කැඳවනු ලැබීම

2 දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: ”මම සමිඳාණන් වහන්සේ ය. 3 මම ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ මෙන් ප්‍රකාශ වූයෙමි. එහෙත් මම, සමිඳාණන් වහන්සේ යන නාමයෙන් ඔවුන් හට ප්‍රකාශ නොවූයෙමි. 4 මම ද ඔවුන් කලක් විදේශීන් ව විසූ කානාන් දේශය ඔවුන්ට දීමට ඔවුන් සමඟ ගිවිසුමක් පිහිටුවා ගතිමි. 5 තවද, මිසර වාසීන් විසින් වහල් බැම්මෙන් බැඳගන්නා ලද ඉශ්රායෙල් ජනතාවගේ සුසුම්ලෑමට සවන් දී, මාගේ ගිවිසුම සිහි කෙළෙමි. 6 එබැවින් නුඹ ඉශ්රායෙල් ජනතාවට කතා කොට, ‘මම වනාහි සමිඳාණන් වහන්සේ ය. මිසර වාසීන් නුඹලා පිට පටවා ඇති බරපතල වැඩවලින් නුඹලා මුදා, ඔවුන්ගේ වහල් සේවයෙන් නිදහස් කොට, මාගේ හස්තය දිගු කොට දරුණු ලෙස ඔවුන්ට දඬුවම් දෙමින් මම නුඹලා ගළවාගන්නෙමි. 7 තවද, මාගේ ම සෙනඟ මෙන් නුඹලා භාරගෙන, මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මිසර වාසීන්ගේ බර වැඩවලින් නුඹලා මුදන, නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව නුඹලා එවිට දැනගන්නහු ය. 8 පසුව ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද දෙන ලෙස මා දිවුළ දේශයට මම නුඹලා ගෙනෙන්නෙමි. මම එය නුඹලාට උරුම කොට දෙන්නෙමි. සමිඳාණන් වහන්සේ මම වෙමි’යි කියන්න.” 9 මෝසෙස් මෙසේ ඉශ්රායෙල් ජනතාවට කී නමුත් ඔවුන්ගේ දැඩි සිත් වේදනාව හා දරුණු වහල්කම නිසා ඔව්හු ඔහුට සවන් නුදුන්හ.
10 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, 11 ”නුඹ මිසරයේ රජු වන පාරාවෝ වෙත ගොස්, ‘ඔහුගේ රටින් පිට වී යන්න ඉශ්රායෙල් ජනතාවට අවසර දෙන්න’ කියා කියන්නැ”යි වදාළ සේක. 12 එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, ”බලන්න, ඉශ්රායෙල් ජනයා මට සවන් දෙන්නේ නැත්නම්, කතාවෙහි චතුරත්වයක් නැති මට පාරාවෝ කෙසේ සවන් දෙන්නේ දැ”යි විචාළේ ය. 13 එවිට ඉශ්රායෙල් ජනතාව මිසර දේශයෙන් පිටතට ගෙන යන ලෙස සමිඳාණන් වහන්සේ තමන්ට නියම කළ බව ඉශ්රායෙල් ජනයාට හා මිසරයේ රජු වන පාරාවෝට දන්වන ලෙස උන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ කළ සේක.

මෝසෙස්ගේ සහ ආරොන්ගේ පෙළපත්

14 පහත දැක්වෙනුයේ ඔවුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය. ජාකොබ්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම් හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය. මොවුහු රූබන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.
15 සිමියොන්ගේ පුත්‍රයෝ නම් ජෙමුවෙල්, ජාමීන්, ඕහද්, ජාකීන්, ශොහර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර වූ ෂාවුල් ය. මොවුහු සිමියොන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.
16 තමන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පුත්‍රයන්ගේ නාම මෙසේ ය: ගෙර්ෂොන්, කොහාත් සහ මෙරාරී ය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
17 ඔවුන්ගේ පෙළපත් අනුව ගෙර්ෂොන්ගේ පුත්‍රයෝ නම් ලිබ්නි සහ ෂිමෙයි ය.
18 කොහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්රොන් සහ උශ්ශියෙල් ය. කොහාත් අවුරුදු එකසිය තිස්තුනක් ජීවත් විය.
19 මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. ඔවුන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පෙළපත් මේවා ය.
20 තවද, අම්රාම් තම පියාගේ සොහොයුරිය වූ ජොකෙබෙද් බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඇය ඔහුට දාව ආරොන් සහ මෝසෙස් ලැබුවා ය. අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
21 ඉශ්හාර්ගේ පුත්‍රයෝ නම් කො‍්රා, නෙපෙග් සහ ශික්රී ය.
22 උශ්ශියෙල්ගේ පුත්‍රයෝ නම් මිෂායෙල්, එල්ෂාපාන් සහ සිත්රී ය.
23 ආරොන් අම්මිනාදබ්ගේ දුව වූ නාෂොන්ගේ සහෝදරී වූ එලිෂෙබා බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ලැබුවා ය.
24 කෝරාගේ පුත්‍රයෝ නම් අස්සීර්, එල්කානා සහ අබියාසාප් ය. මොව්හු කෝරා ජාතිකයන්ගේ පෙළපත් ය.
25 ආරොන්ගේ පුත් එලෙයාසර් පුතියෙල්ගේ දුවක බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව පිනෙහාස් ලැබුවා ය. මොවුහු තමන්ගේ පෙළපත් අනුව ලෙවී ජාතිකයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය.
26 ”ඉශ්රායෙල් ජනතාව කණ්ඩායම් වශයෙන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්න” කියා සමිඳාණන් වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ට ය. 27 ඉශ්රායෙල් ජනතාව මිසර දේශයෙන් පිටතට ගෙනෙනු පිණිස මිසරයේ රජ වූ පාරාවෝට කතා කෙළේත් එම මෝසෙස් සහ ආරොන් ය.

මෝසෙස් නැවත කැඳවනු ලැබීම

28 සමිඳාණන් වහන්සේ මිසර දේශයේ දී මෝසෙස්ට කතා කළ දවසේ 29 උන් වහන්සේ ඔහුට වදාළේ, ”මම සමිඳාණන් වහන්සේ ය. මා නුඹට වදාළ සියල්ල මිසරයේ රජු වන පාරාවෝට දන්වන්න” කියා ය. 30 එහෙත් මෝසෙස් සමිඳාණන් වහන්සේට කීවේ, ”බලන්න, මම කතාවෙහි දක්ෂයෙක් නොවෙමි, එසේ නම් පාරාවෝ මට සවන් දෙන්නේ කුමට දැ”යි කියා ය.

– 7 වන පරිච්ඡේදය –

1 තවද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: ”බලන්න, මම නුඹ පාරාවෝ ඉදිරියෙහි දෙවි කෙනෙකු මෙන් කරමි. නුඹේ සහෝදර වූ ආරොන් නුඹේ දිවැසිවරයා වන්නේ ය. 2 මා නුඹට අණ කරන සියල්ල නුඹ ඔහුට කිව යුතු ය. නුඹේ සහෝදර වන ආරොන් ද පාරාවෝට කතා කොට, ඔහු ඉශ්රායෙල් ජනයා ඔහුගේ දේශයෙන් පිටත් කර යැවිය යුතු ය යි කියන්න. 3 මම ද පාරාවෝගේ සිත දැඩි කොට, මිසර දේශයෙහි මාගේ ලකුණු හා හාස්කම් බහුල ව සිදු කරමි. 4 එහෙත්, පාරාවෝ නුඹට සවන් නොදෙන්නේ ය. එවිට මම මිසරයෙහි මාගේ බාහු බලය පා, එහි වාසීන්ට දරුණු දඬුවම් දී, මාගේ සේනාවන් ද මාගේ සෙනඟ ද වන ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි. 5 මිසරයට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට ඔවුන් අතුරින් ඉශ්රායෙල් ජනයා පිටත ගෙනෙන විට මා සමිඳාණන් වහන්සේ බව මිසර දේශ වාසීහු දැන ගන්නො‍් ය.”
6 මෝසෙස් හා ආරොන් උන් වහන්සේ තමන්ට අණ කළ පරිදි ඉටු කළහ. 7 ඔවුන් පාරාවෝ සමඟ කතා කරන කාලයේ දී මෝසෙස්ගේ වයස අවුරුදු අසූවකි; ආරොන්ට අවුරුදු අසූතුනකි.

ආරොන්ගේ සැරයටියෙන් කළ හාස්කම්

8 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, 9 ”පාරාවෝ නුඹ අමතා, සාක්ෂි වශයෙන් හාස්කම් පෑමට කීවොත්, නුඹ ආරොන්ට කතා කොට, ‘ඔබේ සැරයටිය ගෙන එය සර්පයෙකු වෙන ලෙස පාරාවෝ ඉදිරියෙහි බිම දමන්න,’ කියා කිව යුතු ය”යි වදාළ සේක. 10 ඉන්පසු මෝසෙස් සහ ආරොන් ද පාරාවෝ වෙත ගොස් සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස ඉටු කළහ. ආරොන් තම සැරයටිය පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි දැමූ විට එය සර්පයකේ විය. 11 එවිට පාරාවෝ, ශාස්ත්‍රවන්තයන් හා අනවිනකාරයන් කැඳවී ය. මිසරයේ ඒ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස ම කළහ. 12 ඔවුන් සැම දෙනෙකු ම තම තමන්ගේ සැරයටි බිම දැමූ විට ඒවා සර්පයෝ වූ හ. එහෙත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිලදැමී ය. 13 සමිඳාණන් වහන්සේ වදාළ ලෙස පාරාවෝගේ හිත දැඩි වූයෙන්, ඔහු මෝසෙස් සහ ආරොන් කී දේ සැලකුවේ නැත.

පළමු වන වසංගතය: වතුර ලේ වීම

14 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”පාරාවෝගේ සිත දැඩි වී ඇත. ඔහු සෙනඟට පිට වී යන්න අවසර නොදෙන්නේ ය. 15 උදය කාලයේ පාරාවෝ ගඟට යන විට, නුඹ ද ගං ඉවුරේ ඔහු පැමිණෙන තෙක් බලා සිටින්න. තවද, සර්පයෙකු වූ සැරයටිය අතින් රැගෙන යන්න. 16 නුඹ ඔහුට කතා කොට, හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ කීමට ඔබ වෙත මා එවූ සේක. එනම්, ‘මට පාළුකරයෙහි වැඳුම්පිදුම් කරන පිණිස යන්න මාගේ සෙනඟට අවසර දෙන්න. එහෙත් පුදුමයකි, මේ වන තෙක් ඔබ ඊට සවන් නුදුන්නෙහි ය. 17 එබැවින් මෙන්න, සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මා සමිඳාණන් වහන්සේ බව ඔබ මේ ලකුණින් දැන ගන්නෙහි ය. එනම්, බලන්න, ගඟේ දියට මා අතේ ඇති සැරයටියෙන් ගසමි. එවිට එහි වතුර ලේ වන්නේ ය. 18 ගඟේ සිටින මසුන් මැරී ගඟෙන් දුගඳ හමනු ඇත. එබැවින් එහි වතුර බීමට මිසර වාසීහු ඉතා අප්‍රිය කරන්නෝ ය’ ”යි වදාළ සේක.
19 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, ”ආරොන්ට මෙසේ කියන්න: ‘මිසරයේ ගංගා, ඇල දොළ, වැව් පොකුණු සියල්ල ම ලේවලට හැරෙන පිණිස ඔබේ සැරයටිය අතට ගෙන ජලය මත එය දිගු කරන්න.’ එවිට, මුළු මිසර දේශය පුරා ඇති ලී බඳුන්වල මෙන් ම ගල් බඳුන්වල ද ලේ ඇති වන්නේ ය”යි වදාළ සේක.
20 මෝසෙස් සහ ආරොන් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කළහ. පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරිපිට ඔහු සැරයටියෙන් ගඟේ ජලයට ගැසී ය. ගඟේ ජලය සියල්ල ද ලේවලට හැරිණි. 21 ගඟේ මාළු ද මැරිණි; ගඟෙන් දුගඳ හමන්නට විය. මිසර දේශ වාසීන්ට එහි ජලය බීමට නොහැකි විය. තවද, මුළු මිසර දේශයේ පුරා ම ලේ ඇති විය. 22 මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස කළහ. පාරාවෝගේ හිත දැඩි වූයෙන්, සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත. 23 පාරාවෝ ද සිදු වූ දේ ගණනකට නොගත්තෙන්, හැරී ආපසු තම මාලිගාවට ගියේ ය. 24 ගංගාවේ ජලය බීමට ඔවුන්ට නොහැකි වූ නිසා මිසර දේශ වාසීහු සෑම දෙන ම වතුර බීම සඳහා ගඟ අසල වළවල් කැණූ හ.
25 තවද, සමිඳාණන් වහන්සේ මෙලෙස ගඟේ දියට ගැසූ පසු දවස් හතක් ගත විය.

– 8 වන පරිච්ඡේදය –

දෙ වන වසංගතය: මැඩි උවදුර

1 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”පාරාවෝ වෙත ගොස්, ඔහු අමතා, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මට වැඳුම්පිදුම් කරන පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න. 2 ඔබ ඔවුන්ට යන්න අවසර නුදුන්නොත් මෙන්න, මම ඔබේ මුළු රටට ම මැඩි වසංගතයකින් පහර දෙමි. 3 එවිට නයිල් ගඟ මැඩියන්ගෙන් පිරී ඉතිරී යන්නේ ය. මැඩියෝ එයින් පිට වී ඔබේ මාලිගාවට ද ඔබේ යහන් ගබඩාවට ද ඔබේ යහනට ද ඔබේ නිලධාරීන්ගේ නිවාසවලට ද ඔබේ සෙනඟ වෙතට ද ඔබේ උදුන්වලට හා පිටි බඳුන්වලට ද පනින්නෝ ය. 4 තවද, උන් ඔබේ ඇඟටත්, ඔබේ ජනතාවගේ හා සියලු නිලධාරීන්ගේ ඇඟටත් පනිනු ඇත’ කියා කියන්නැ”යි වදාළ සේක.
5 උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ” ‘මිසර දේශයෙහි මැඩියන් හටගන්න පිණිස එහි ගංගා, ඇල දොළ, පොකුණු මත ඔබේ සැරයටිය ගෙන අත දිගු කරන්න’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක. 6 ආරොන් මිසරයේ ජලය මත තම අත දිගු කළ විට මැඩියෝ මතු වී මිසර දේශය වසාගත්හ. 7 ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම් මඟින් එලෙස කර මිසර දේශයෙහි මැඩියන් හටගන්නට සැලැස්වූ හ. 8 එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් කැඳවා, ”මාගෙන් ද මාගේ සෙනඟගෙන් ද මැඩියන් පහ කරන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස මම සෙනඟට යන්න අවසර දෙමි”යි කී ය. 9 එවිට මෝසෙස් පාරාවෝට කතා කොට,”ඔබෙන් හා ඔබේ නිවසේවලින් මැඩියන් පහකොට උන් ගංගාවේ පමණක් රඳවාලන පිණිස ඔබ ද ඔබේ නිලධාරීන් හා සෙනඟ ද වෙනුවෙන් මා කවදා යාච්ඤා කළ යුතු ද කියා මම ගෞරවපූර්වක ව අයැදිමි”යි කීවේ ය. 10 ඔහු පිළිතුරු දෙමින්, ”හෙට ය”යි කී විට, ”ඔබ කී ලෙස එසේ වනු ඇත. එවිට අපේ දෙවියන් වහන්සේ හා සමාන වෙන කිසි සමිඳාණන් වහන්සේ කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය. 11 මැඩියෝ ඔබෙන් හා ඔබේ නිවාසවලින් ද, ඔබේ නිලධාරීන්ගෙන් හා සෙනඟගෙන් ද ඉවත ගොස් ගංගාවෙහි පමණක් සිටිනු ඇතැ”යි කී ය. 12 ඉන්පසු මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතින් නික්ම ගියහ. මෝසෙස්, පාරාවෝට පීඩා කිරීමට සැලැසූ මැඩියන් ගැන සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. 13 මෝසෙස් ඉල්ලූ පරිදි උන් වහන්සේ ඉටු කළ සේක. ගෙවල ද ගෙමිදුල්වල ද කෙත්වල ද සිටි මැඩියෝ මැරුණාහ. 14 උන් එකතු කොට ගොඩගැසූ කල මුළු රට ම දුගඳ විය. 15 එහෙත් සහනයක් ලැබුණු බව පාරාවෝ දුටු විට, සමිඳාණන් වහන්සේ කලින් කී ලෙස ම ඔහු තම සිත දැඩි කොට, මෝසෙස් හා ආරොන් කී දේ සැලකුවේ නැත.

තුන් වන වසංගතය: කිනිතුලු උවදුර

16 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ” ‘නුඹේ සැරයටිය දිගු කොට පොළොවේ දූවිල්ලට ගසන්න, එවිට මුළු මිසර දේශය පුරා ඇති දූවිල්ල කිනිතුල්ලන් බවට හැරෙනු ඇත’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක. 17 ඔව්හු එසේ කළහ. ආරොන් සැරයටිය ගෙන අත දිගු කොට එයින් පොළොවේ දූවිල්ලට ගැසූ විට ඒවා මිනිසාගේ සහ මෘගයාගේ ඇඟේ වසන කිනිතුල්ලන් බවට පත් විය. මුළු මිසර දේශය පුරා පොළොවේ සියලු දූවිල්ල කිනිතුල්ලන් බවට පත් විය. 18 එවිට ඉන්ද්‍රජාලිකයන් ද තමන්ගේ ඇස්බැන්දුම් මඟින් කිනිතුල්ලන් හටගැන්වීමට වැර දැරූ නමුත් ඔව්හු ඊට අපොහොසත් වූ හ. මෙලෙස මිනිසා පිට හා මෘගයන් පිටත් කිනිතුල්ලෝ බෝ වූ හ. 19 ඉන්ද්‍රජාලිකයන් පාරාවෝට කතා කොට, ”මෙය දෙවියන් වහන්සේගේ ක්‍රියාවකි”යි කී නමුත් සමිඳාණන් වහන්සේ වදාළ පරිදි ඔහු තම සිත දැඩි කරගෙන ඔවුන් කී දේ සැලකුවේ නැත.

හතර වන වසංගතය: මැසි උවදුර

20 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතාකොට, ”අලුයම නැඟිට, පාරාවෝ ගංගාව බලා එන වේලාවේ දී ඔහු හමු වීමට ගොස්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මට වැඳුම්පිදුම් කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න. 21 මාගේ සෙනඟට යන්න ඔබ අවසර නොදෙන්නෙහි නම් බලන්න, මම මැසි රංචු රංචු ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා ජනයා පිට ද ගෙවලට ද එවන්නෙමි. එවිට මිසර වාසීන්ගේ ගෙවල් ද ඔවුන් සිටින භූමිය ද මැසි රංචුවලින් පිරී යනු ඇත. 22 එහෙත් එදින, මාගේ සෙනඟ පදිංචි වී සිටින ගො‍්ෂෙන් ප්‍රදේශය වෙන් කරමි. එහි නම් මැසි රංචු නොසිටිනු ඇත. මා එසේ කරන්නේ, මිහි පිට වැඩ සිටින සමිඳාණන් වහන්සේ මා බව ඔබ දැනගන්නා පිණිස ය. 23 තවද, මාගේ සෙනඟ හා ඔබේ සෙනඟ අතර වෙනසක් කරමි. මේ හාස්කම හෙට සිදු වන්නේ ය’ ”යි වදාළ සේක. 24 සමිඳාණන් වහන්සේ එලෙස ම කළ සේක. පාරාවෝගේ මාලිගාවට ද ඔහුගේ නිලධාරීන්ගේ ගෙවලට ද මුළු මිසර දේශය හැම තැනට ද මැස්සෝ විශාල රංචු රංචු පිටින් පැමිණියහ. රට ද මැසි රංචු නිසා නාස්ති විය.
25 එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් කැඳවා, ”යන්න, නුඹලා මේ දේශයෙහි ම නුඹලාගේ දෙවියන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්නැ”යි කී ය. 26 මෝසෙස් පිළිතුරු දෙමින්, ”එසේ කිරීම හරි නැත. මන්ද, අපේ දෙවි සමිඳාණන් වහන්සේට අප පූජා කරන සතුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි. හොඳයි, ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි ම ඔවුන් පිළිකුලක් මෙන් සලකන පූජා අප ඔප්පු කළොත් ඔවුන් අපට ගල් ගසන්නේ නැද් ද? 27 අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි, තුන් දවසක දුර පාළුකරයට ගොස්, උන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්නෙමු”යි කී ය. 28 එවිට පාරාවෝ කතා කොට, ”පාළුකරයේ දී නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස නුඹලා බොහෝ දුර නොයන්නහු නම් මම නුඹලාට යන්න අවසර දෙමි. මා වෙනුවෙන් ද යාච්ඤා කරන්නැ”යි කීවේ ය. 29 මෝසෙස් ඊට උත්තර දෙමින්, ”මෙන්න, මා ඔබ වෙතින් ගිය කෙණෙහි ම, හෙට පාරාවෝගෙන් ද නිලධාරීන්ගෙන් ද සෙනඟගෙන් ද මැසි රංචු පලා යන ලෙස, මම සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරනු පිණිස සෙනඟට යන්න අවසර නොදෙන ලෙස පාරාවෝ කපටිකමින් තවදුරටත් ක්‍රියා නොකළ යුතු ය”යි කීවේ ය. 30 මෝසෙස් පාරාවෝ වෙතින් ඉවතට ගොස් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. 31 උන් වහන්සේ ඔහු ඉල්ලූ ලෙස ඉටු කරමින් පාරාවෝගෙන් ද ඔහුගේ නිලධාරීන්ගෙන් ද ඔහුගේ සෙනඟගෙන් ද මැසි රංචු පහකළ සේක. එවිට එකෙක් වත් ඉතිරි නො වී ය. 32 එහෙත්, පාරාවෝ මේ වතාවේ ද තම සිත දැඩි කරගනිමින් සෙනඟට යන්න අවසර නුදුන්නේ ය.

– 9 වන පරිච්ඡේදය –

පස් වන වසංගතය: ගවසම්පත් වැනසීම

1 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”පාරාවෝ වෙත ගොස් ඔහු අමතා, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න. 2 ඔබ ඔවුන්ට යන්න අවසර නො දී, තවදුරටත් ඔවුන් වැළැකුවහොත් 3 මෙන්න, කෙතෙහි සිටින ඔබේ ගවසම්පත් වන, අසුන්ට හා කොටළුවන්ට ද, ඔටුවන්ට හා ගොනුන්ට ද, බැටළුවන්ට ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඉතා බිහිසුණු වසංගතයකින් පහර දෙන්නේ ය. 4 එහෙත් සමිඳාණන් වහන්සේ වන මම ඉශ්රායෙල් ජනයාගේ ගවයන් හා මිසර වාසීන්ගේ ගවයන් අතර වෙනසක් දක්වන්නෙමි. ඉශ්රායෙල් ජනයා සතු මුළු ගවසම්පතින් එක සතෙක් වත් නොමැරෙන්නේ ය.
5 තවද, උන් වහන්සේ වේලාවක් ද නියම කරමින්, ‘හෙට සමිඳාණන් වහන්සේ මේ දේ මේ රටේ ඉටු කරනු ඇතැ’ ”යි වදාළ සේක. 6 පසුදින උන් වහන්සේ එලෙස කළ සේක. එවිට මිසරයේ ගවසම්පත මුළුමනින් ම වැනසිණි. එහෙත්, ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙක් වත් නොමළේ ය. 7 පාරාවෝ පණිවුඩකාරයන් යැවූ විට ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙකු වත් නොමළ බව දිටී ය. එහෙත්, ඔහුගේ සිත දැඩි වූයෙන් ඔහු සෙනඟට යන්න අවසර නුදුන්නේ ය.

සය වන වසංගතය: ගඩු උවදුර

8 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, ”උදුනින් අළු අහුරක් ගන්න. පාරාවෝ බලා සිටිය දී මෝසෙස් ඒවා අහසට විසි කළ යුතු ය. 9 එවිට ඒවා මුළු මිසර දේශය පුරා සිහින් ධූලි වී, මුළු මිසර දේශයේ සිටින මිනිසුන් හා මෘගයන් මත වණ සහිත ගඩු ඇති කරන්නේ ය”යි වදාළ සේක. 10 ඔව්හු උදුනින් අළු ගෙන පාරාවෝ ඉදිරිපිට සිට ගත්හ. එවිට මෝසෙස් අහස දෙසට එය විසි කළ විට, එය මිනිසුන් හා මෘගයන් මත වණ සහිත ගඩු ඇති කෙළේ ය. 11 එවිට ගඩු නිසා ඉන්ද්‍රජාලිකයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්න නොහැකි විය. මන්ද, ඉන්ද්‍රජාලිකයන් හා මිසර වාසීන් සියල්ලන් මත ගඩු හට ගැනිණි. 12 එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත.

සත් වන වසංගතය: ගල් වර්ෂා උවදුර

13 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”අලුයම නැඟිට පාරාවෝ ඉදිරියට ගොස් ඔහු අමතා, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න. එනම්, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න. 14 ඒ මන්ද, මම මේ වතාවේ ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා සෙනඟ පිට ද වසංගත සියල්ල ම එවන්නෙමි. එවිට මුළු මිහි පිට මා වැනි අන් කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය. 15 මම අත දිගු කොට ඔබට ද ඔබේ සෙනඟට ද ලෙඩ රෝගවලින් පහර දුනිම් නම් ඔබ පොළොවෙන් තුරන් වී යන්නට ඉඩ තිබිණි. 16 එහෙත්, ඔබට මාගේ බලපරාක්‍රමය පෙන්වන පිණිසත්, මාගේ නාමය මුළු ලෝකය පුරා ප්‍රකාශ වන පිණිසත් ඔබට ජීවත් වන්නට ඉඩ හැරියෙමි. 17 එහෙත්, ඔබ තවමත් මාගේ සෙනඟට විරුද්ධ ව අහංකාරකම් පාමින්, ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි ය. 18 බලන්න, හෙට මේ වේලාවට පමණ, මිසරයේ ආරම්භයේ සිට අද දක්වා, එහි නුවූ විරූ, ඉතා දරුණු ගල් වර්ෂාවක් මම වස්වන්නෙමි. 19 එබැවින් දැන් ඉතින් පණිවුඩ යවා කෙත්වල සිටින ගවසම්පතට හා නුඹ සතු සියල්ලට ආරක්ෂා සලසන්න. ගෙට නොගෙන්වාගෙන, කෙත්වල සිටින සියලු මිනිසුන් හා සතුන් පිට ගල් වැස්ස වැටේ. ඔව්හු නසින්නො‍් ය’ ”යි වදාළ සේක. 20 පාරාවෝගේ නිලධාරීන් අතර සමිඳාණන් වහන්සේගේ වචනයට බිය වූ සමහරෙක් තමන්ගේ වහලුන් හා ගවසම්පත ගෙවලට ගත්හ. 21 එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය නොතැකූ අය තම වහලුන් හා ගවසම්පත කෙත්වල ම සිටින්නට හැරියෝ ය.
22 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”මුළු මිසර දේශය පුරා ගල් වර්ෂාව වැස, මුළු මිසර දේශයෙහි සිටින මිනිසුන් හා මෘගයන් ද කෙතෙහි සෑම පැළෑටි ද මත එය වැටෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ”යි වදාළ සේක. 23 ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක. 24 මෙලෙස ඉතා වේගවත් ලෙස ගල් වර්ෂා ද ගල් වර්ෂා සමඟ විදුලි කෙටීම් ද විය. මෙවැන්නක් මුළු මිසර දේශය පුරා එම රට ජාතියක් වූ දින සිට කවදා වත් සිදු නොවිණි. 25 ගල් වර්ෂාව මුළු මිසර දේශය පුරා කෙතේ සිටි සියලු මිනිසුන්ට හා මෘගයන්ට පහර දුනි. තවද එය, කෙතෙහි වූ පැළෑටි සියල්ලට ද පහර දෙමින් එහි වූ ගස් සියල්ල ද බිඳදැමී ය. 26 එහෙත්, ඉශ්රායෙල් ජනයා විසූ ගෝෂෙන් දේශයෙහි පමණක් ගල් වර්ෂාව නො වී ය.
27 එවිට පාරාවෝ පණිවුඩ යවා මෝසෙස් හා ආරොන් කැඳවා, ඔවුන්ට කතා කොට, ”මෙවර මම පව් කෙළෙමි; සමිඳාණන් වහන්සේ කළ දේ හරි ය; මාගේ සෙනඟත්, මාත් කළ දේ වැරදි ය. 28 අහස් ගිගුරුම සහ ගල් වර්ෂාව නවත්වන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මම ද නුඹලාට යන්න අවසර දෙමි. නුඹලා තවත් මෙහි නැවතීම උවමනා නැතැ”යි කී ය. 29 මෝසෙස් ඔහුට උත්තර දෙමින්, ”මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ. 30 එහෙත්, ඔබත් ඔබේ නිලධාරීනුත් තව ම දෙවි සමිඳාණන් වහන්සේට බිය නොවන බව මම දනිමි”යි කීවේ ය.
31 එවකට යව පැසෙමින් තිබුණු නිසාත්, හණ පීදෙමින් තිබුණු නිසාත් හණ සහ යව වැනසිණි. 32 එහෙත් තිරිඟු හා තණහාල් පමා වී පීදෙන බැවින් ඒවා නොවැනසිණි.
33 මෝසෙස්, පාරාවෝ වෙතින් අහක් වී නුවරින් පිටත ගොස් සමිඳාණන් වහන්සේ වෙත අත් එසවී ය. මේඝ ගර්ජනා හා ගල් වර්ෂා නැවතිණි. වැස්ස ද පොළොව මත නොවැටිණි. 34 වැස්සත්, ගල් වර්ෂාවත්, මේඝ ගර්ජනාවත් නැවතුණු බව පාරාවෝ දුටු කල ඔහු නැවත පව් කෙළෙන්, ඔහු ද නිලධාරීහු ද තම සිත් දැඩි කොටගත්හ. 35 පාරාවෝගේ සිත දැඩි විය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි ඔහු ඉශ්රායෙල් ජනයාට යන්න අවසර නුදුන්නේ ය.

– 10 වන පරිච්ඡේදය –

අට වන වසංගතය: පළඟැටි උවදුර

1 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”පාරාවෝ වෙත යන්න, මා ඔහුගේ සිත ද ඔහුගේ නිලධාරීන්ගේ සිත් ද දැඩි කෙළේ ඔවුන් මැද මාගේ මේ හාස්කම් පාන පිණිස ය. ‍ 2 ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.
3 මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙත පැමිණ ඔහුට කතා කොට, ”හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය; එනම්, ‘ඔබ කොපමණ කාලයක් මට යටත්වීම ප්‍රතික්ෂේප කරන්නෙහි ද? මා හට වැඳුම්පිදුම් කරනු පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න. 4 මාගේ සෙනඟට යන්න අවසර නුදුන්නොත්, මම හෙට ඔබේ රටට පළඟැටියන් ගෙනෙන්නෙමි. 5 පොළොව නොපෙනී යන තරමට ම උන් පොළෝ තලය වසාගනු ඇත. ගල් වර්ෂාවෙන් බේරී ඔබට ඉතිරි වූ සෙස්ස ද කෙතෙහි ඔබේ ප්‍රයෝජනය සඳහා වැඩෙන සැම ගහක් ද උන් කා දමනු ඇත. 6 ඔබේ මාලිගා ද ඔබේ නිලධාරීන්ගේ ගෙවල් ද මිසර වැසි සියල්ලන්ගේ ගෙවල් ද උන්ගෙන් පිරී යන්නේ ය. ඔබේ පියවරුන් වත්, පියවරුන්ගේ පියවරුන් වත් ඔවුන් මෙරට පදිංචි වූ දින පටන් අද දක්වා මෙවැන්නක් දකින්නට නැතැ’ ”යි කී හ. ඉන්පසු ඔව්හු පාරාවෝ වෙතින් හැරී යන්න ගියෝ ය.
7 එවිට පාරාවෝගේ නිලධාරීහු ඔහු අමතමින්, ”මේ මිනිසා කෙතරම් කාලයක් අපට හිරිහැර කරන්න යන්නේ ද? ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන පිණිස සෙනඟට යන්න හරින්න, මිසරය වැනසී යන බව ඔබ නොදන්නෙහි දැ”යි ඇසූ හ. 8 මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතට නැවත ගෙනෙනු ලැබූ හ. පාරාවෝ ඔවුන්ට කතා කොට, ”නුඹලාට යන්න පුළුවන, ගොස් නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. එහෙත්, යන අය කවුරු දැ”යි ඇසුවේ ය. 9 මෝසෙස් උත්තර දෙමින්, ”අප විසින් සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු නිසා, අපේ බාලයන් සහ මහල්ලන් ද අපේ පුතුන් සහ දූවරුන් ද අපේ එළු බැටළු සහ ගව පට්ටි ද සමඟ අපි යන්නෙමු”යි කීවේ ය. 10 එවිට ඔහු ඔවුන් අමතා, ”නුඹලාට දෙවි පිහිට යි! එහෙත්, දරුදැරියන් හා ස්ත්‍රීන් සමඟ යන්නට මම අවසර නො දෙමි. නුඹලා නපුරක් කරන්න යන බව පෙනේ. 11 ඊට ඉඩ නොදෙනු ඇත. දැන් ඉතින් නුඹලා පිරිමි පක්ෂය ගොස් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. නුඹලාට උවමනා කෙළේ එය නොවේ ද” කියා තමා වෙතින් ඔවුන් පන්නාදැමී ය.
12 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”පළඟැටියන් එන පිණිස මිසර දේශය දෙස ඔබේ අත දිගු කරන්න. උන් මිසර දේශයට වැදී රටේ ඇති සැම පැළෑටියක් ද ගල් වර්ෂාවෙන් බේරී ඉතිරි වූ සියල්ල ද කාදමනු ඇතැ”යි වදාළ සේක. 13 මෝසෙස් ද මිසර දේශය දෙස තම සැරයටිය එසවී ය. එවිට සමිඳාණන් වහන්සේ එදින මුළු දිවා රෑ දෙක්හි මිසර දේශය පුරා පෙරදිගින් සුළඟක් හමන්නට සැලැසූ සේක. පහන් වූ විට පෙරදිගින් හැමූ සුළඟ පළඟැටියන් ගෙනාවේ ය. 14 උන් මුළු මිසර දේශයට වැදී මුළු රට පුරා පැතිර ගියහ. එවැනි විශාල පළඟැටි රංචුවක් ඊට කලින් නම් නො වී ය; මතු ද නොවනු ඇත. 15 උන් මුළු පොළෝ තලය ම වසාගත් බැවින් රට අඳුරු විය. උන් මිහි පිට වූ පැළෑටි සියල්ල ද ගල් වර්ෂාවෙන් බේරුණු ගස්වල ගෙඩි සියල්ල ද කාදැමූ හ. මෙලෙස මිසර දේශය පුරා ගසක අමු කොළයක් වත්, කෙතක පැළෑටියක් වත් ඉතිරි නො වී ය.
16 එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් වහා කැඳවා, ”නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට ද, නුඹලාට ද විරුද්ධ ව මම පව් කෙළෙමි. 17 දැන් ඉතින් කරුණාකර, මේ අන්තිම වතාවට මාගේ පාපයට කමා වී, මේ මාරක වසංගතය මගෙන් ඉවත් කරන ලෙස නුඹලාගේ දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය. 18 මෝසෙස් ද පාරාවෝ වෙතින් ගොස් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. 19 සමිඳාණන් වහන්සේ අපරදිගින් වේගවත් සුළඟක් හමන්නට සැලැසූ සේක. එය පළඟැටියන් ගසාගෙන ගොස් උන් රතු මුහුදට දැමී ය. ඉන්පසු මිසර දේශය පුරා එක පළඟැටියෙක් වත් ඉතිරි නො වී ය. 20 එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. පාරාවෝ ඉශ්රායෙල් ජනයාට යන්නට අවසර නුදුන්නේ ය.

නව වන වසංගතය: ගන’ඳුරු උවදුර

21 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”අහස දෙසට අත දිගු කරන්න. එවිට අන්ධකාරයක් – අතගා බලන්න හැකි තරම් ඝනාන්ධකාරයක්, මිසර දේශය වසාගන්නේ ය”යි වදාළ සේක. 22 මෝසෙස් ද අහස දෙසට තම අත දිගු කළ විට තුන් දිනක් පුරා මුළු මිසර දේශයෙහි ඝනාන්ධකාරයක් ඇති විය. 23 එවිට තුන් දිනක් පුරා ඔවුන්ට එකිනෙකා නොපෙනී ගොස් ඔව්හු සිටි තැන ම නොසෙල්වී සිටියහ. එහෙත්, මුළු ඉශ්රායෙල් ජනතාවට තමන් විසූ තැන්වල ආලෝකය ඇති විය.
24 එවිට පාරාවෝ මෝසෙස් කැඳවා, ”යන්න, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ දරුදැරියන්ට හා ස්ත්‍රීන්ට පවා යෑමට අවසර දෙමි. එළු බැටළු හා ගව පට්ටි පමණක් මෙහි නවතාලන්නැ”යි කීවේ ය. 25 මෝසෙස් එවිට ඔහුට උත්තර දෙමින්, ”අප දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා කරන පිණිස ඔබ අපට යාග හා දවන පඬුරු ද දිය යුතු ය. 26 එබැවින් අපගේ ගවසම්පත ද අප සමඟ යා යුතු ය. එක සතෙකු වත් මෙහි ඉතුරු නොකරනු ඇත. අප එහි යන තෙක් සමිඳාණන් වහන්සේට කුමකින් වැඳුම්පිදුම් කළ යුතු ද කියා අපි නොදනිමු”යි කී ය.
27 එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. පාරාවෝ ඔවුන්ට යන්න අවසර නුදුන්නේ ය. 28 ඔහු මෝසෙස්ට කතා කොට, ”මෙතැනින් පලා යන්න; මින්පසු නම් මා ඉදිරියට නොඑන්නට බලාගන්න, මා නුඹ දකින්නේ කවර දිනක ද එදින නුඹ නසිනු ඇතැ”යි කී ය. 29 ”ඔබ කියන ලෙස ම වේ වා! මින්පසු මම නම් ඔබේ මුහුණ නොදකින්නෙමි”යි මෝසෙස් උත්තර දුන්නේ ය.

– 11 වන පරිච්ඡේදය –

කුලුඳුලන් මැරීම

1 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, ”පාරාවෝ සහ මිසරය පිට මම තව එක වසංගතයක් පමුණුවමි. ඉන්පසු ඔහු මෙතැනින් නුඹලාට යන්න අවසර දෙනු ඇත. තවද, ඔහු නුඹලාට යන්න අවසර දෙන විට ‘ඇත්තට ම මෙතැනින් නුඹලා සහමුලින් ම පන්නාදමනු ඇත. ‍ 2 සෑම පිරිමියෙකු ම තම අසල්වැසියාගෙන් ද, සෑම ස්ත්‍රියක ම තම අසල්වැසියාගෙන් ද රන් රිදී ආභරණ ඉල්ලාගන්න ලෙස දැන් සෙනඟට දන්වන්නැ”යි වදාළ සේක. 3 සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට ප්‍රසාදය ලබා දුන් සේක. මෝසෙස් මිසර දේශයෙහි පාරාවෝගේ නිලධාරීන් හා සෙනඟ ඉදිරියෙහි අතිශ්‍රේෂ්ඨයෙක් විය.
4 එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, ”සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: ‘මධ්‍යම රාත්‍රිය පමණේ දී මම මිසර දේශය මැදින් යන්නෙමි. 5 සිහසුන් අරා සිටින පාරාවෝගේ කුලුඳුල් පුත්‍රයා පටන් ඇඹරුම් ගල පිටුපස සිටින සේවිකාවගේ කුලුඳුලා දක්වා, මිසර දේශයේ සිටින සියලු කුලුඳුලන් මැරෙනු ඇත. මෘගයන්ගේ කුලුඳුලෝ ද මැරෙන්නෝ ය. 6 මිසර දේශය පුරා මෙතෙක් නො වූ විරූ මතු ද නො වන මහා අඳෝනාවක් ඇති වන්නේ ය. 7 එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය. 8 එවිට ඔබේ මේ නිලධාරීහු සියලු දෙනා මා වෙත අවුත් මා හමුවෙහි වැඳ වැටී, ‘නුඹ, නුඹේ පිරිවර සමඟ පලා යනු’යි කියනු ඇත. ඉන්පසු මම නික්ම යන්නෙමි”යි කී ය. මෙසේ කී පසු මෝසෙස් උදහසින් දිළිහෙමින් පාරාවෝ වෙතින් නික්ම ගියේ ය.
9 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ”මිසර දේශයේ මාගේ හාස්කම් වැඩි වනු පිණිස පාරාවෝ නුඹට සවන් නොදෙනු ඇතැ”යි වදාළ සේක. 10 මෝසෙස් හා ආරොන් පාරාවෝ ඉදිරියෙහි මේ සියලු හාස්කම් පෑ හ. සමිඳාණන් වහන්සේ ද පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ඉශ්රායෙල් ජනතාවට තම රටින් නික්ම යෑමට අවසර නුදුන්නේ ය.

– 12 වන පරිච්ඡේදය –

පාස්කු මංගල්‍යය

1 සමිඳාණන් වහන්සේ මිසර දේශයේ දී මෝසෙස් සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මේ මාසය, හැම මාසවලට ම මුල් මාසය විය යුතු ය; අවුරුද්දේ පළමු වන මාසය ද විය යුතු ය. 3 නුඹලා මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, මෙසේ නිවේදනය කළ යුතු ය. ‘මේ මාසයේ දස වන දින, හැම මිනිසෙක් ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයාගත යුතු ය. 4 යම් ගෙදරක වැසියන්ට එක බැටළු පැටවෙකු වැඩි නම් ඔවුන්, අසල්වැසි ගෙදර අයගේ සංබ්‍යාව අනුව, ඊට හවුල් කරගත යුතු ය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන, ගිණිය යුත්තේ එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය. 5 නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය. 6 එම මාසයේ ම දහහතර වන දින දක්වා ඌ තබාගෙන, එදින හවස රැස් වන මුළු ඉශ්රායෙල් ජනතාව ඌ මැරිය යුතු ය.
7 ”ඉන්පසු උගේ ලෙයින් ටිකක් රැගෙන බැටළු පැටවා අනුභව කරන අයගේ ගෙදර දොරේ උළුවහු කණු දෙකේ ද උළුවස්සේ උඩ ලීයේ ද තැවරිය යුතු ය. 8 එම රාත්‍රියේ දී උගේ මාංස අනුභව කළ යුතු ය. එය අනුභව කළ යුත්තේ මඳ ගින්නේ පුළුස්සා, නුමුහුන් රොටි හා තිත්ත පලා සමඟ ය. 9 ඉන් කිසිවක් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑ යුතු ය. උගේ හිස, කකුල්, බොකු හා මාංසය මඳ ගින්නේ බදින්නට උවමනා ය. 10 උදය කාලය දක්වා ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. උදය කාලය දක්වා යමක් ඉතිරි වී නම්, එය ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය.
11 ”තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි. 12 එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය. 13 නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේ ය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට, ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත. 14 මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”

නුමුහුන් රොටි මංගල්‍යය

15 ”සත් දිනක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් රොටි අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ. 16 පළමු වන දිනයෙහි ද, හත් වන දිනයෙහි ද ආගමික රැස්වීමක් පැවැත්විය යුතු ය. එම දිනවල හැම දෙනා ම කෑම පිළියෙළ කිරීම හැර අන් කිසි වැඩක් නොකළ යුතු ය. 17 තවද නුඹලා මේ නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුත්තේ මා නුඹලාගේ කණ්ඩායම් මිසර දේශයෙන් පිටතට ගෙනාවේ මෙවැනි දිනයක බැවිනි. එබැවින් නුඹලාගේ හැම පරම්පරාවක් තුළ ම මේ දිනය මංගල්‍යයක් මෙන් පැවැත්වීමට සදහට ම නියෝගයක් පැනවිය යුතු ය. 18 පළමු වන මාසයේ දහහතර වන දින හවස පටන්, විසිඑක් වන දින හවස දක්වා නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. 19 නුඹලාගේ ගෙවල දින හතක් ම මුහුන් නොතිබිය යුතු ය. යමෙකු මුහුන් මුසු යමක් අනුභව කළොත්, ඔහු විදේශිකයෙක් වේ වා, ස්වදේශිකයෙක් වේ වා, ඔහු ඉශ්රායෙල් ජනතාව කෙරෙන් නෙරපාදමනු ලැබේ. 20 මුහුන් මුසු කිසිවක් නුඹලා අනුභව නොකළ යුතු බැවින්, ගෙවල් සියල්ලෙහි ම නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.”

පාස්කු මංගල්‍යය පිළිබඳ විධිවිධාන

21 එවිට මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැඳවා, ඔවුන්ට කතා කොට, ”ඔබ ගොස් ඔබේ පවුල්වලට ප්‍රමාණ වන බැටළු පැටවෙකු බැගින් තෝරාගෙන, ඒ පාස්කු බැටළුවා මරන්න. 22 ඉන්පසු හිසොප් කිනිත්තක් ගෙන තලියේ ඇති ලේවල එය ගල්වා, උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණු දෙකෙහි තලියේ ඇති ලේ තවරන්න. උදය වන තෙක් ඔබගෙන් කිසිවකු තම ගෙයි දොරින් පිටතට නො යා යුතු ය. 23 මන්ද, සමිඳාණන් වහන්සේ මිසරයට පහර දීමට දේශය මැදින් යන සේක. මෙසේ යද්දී උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණුවල ලේ උන් වහන්සේ දකින විට, එම දොර පසු කොට ගොස් ඔබ මැරීමට, මාරක දූතයාට ඔබගේ ගෙවලට ඇතුළු වීමට ඉඩ නොදෙන සේක. 24 තවද ඔබ, මේ පිළිවෙත, ඔබටත්, ඔබ දරුවන්ටත් සදහට ම දුන් නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය. 25 සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ පරිදි, උන් වහන්සේ ඔබට දෙන්න යන දේශයට ඔබ පැමිණි විට, එහිදීත් මේ පිළිවෙත පැවැත්විය යුතු ය. 26 මේ පිළිවෙතේ තේරුම කුමක් ද කියා ඔබේ දරුවන් ඔබෙන් අසන විට 27 ‘මෙය නම්, සමිඳාණන් වහන්සේගේ පාස්කු පූජාව ය. උන් වහන්සේ මිසරයට පහර දෙන විට, උන් වහන්සේ මිසර දේශයේ ඉශ්රායෙල් ජනයාගේ ගෙවල් පසු කොට ගොස් අපගේ ගෙවල් මිදූ සේකැ’යි කිව යුතු ය”යි පැවසී ය. එවිට සෙනඟ ද හිස නමා වැන්දෝ ය. 28 ඉශ්රායෙල් ජනයා ද පිටත් ව ගොස් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට වදාළ පරිදි කළහ.

දස වන වසංගතය: කුලුඳුලන් මැරීම

29 ඉන්පසු මධ්‍යම රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේ, සිහසුන් අරා සිටි පාරාවෝගේ කුලුඳුලා පටන් සිරගෙයි සිටි සිරකරුවාගේ කුලුඳුලා දක්වා, මිසර දේශයෙහි වසන කුලුඳුලන් සියල්ලන්ට සහ මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දුන් සේක. 30 පාරාවෝ ද ඔහුගේ නිලධාරීහු ද මිසර වාසී සියල්ලෝ ද රාත්‍රියෙහි අවදි වූ හ. මිසරයේ මහා අඳෝනාවකි, මළ අයෙකු නැති ගෙයක් නො වී ය. 31 එවිට පාරාවෝ රාත්‍රියේ දී ම මෝසෙස් හා ආරොන් කැඳවා, ”නුඹලා සහ ඉශ්රායෙල් ජනයා නැඟිට, මාගේ සෙනඟ කෙරෙන් පලා ගොස්, නුඹලා කී පරිදි සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න. 32 තවද, නුඹලා කිවූ පරිදි නුඹේ එළු බැටළු ගව පට්ටි ද රැගෙන යන්න. මට ද ආශීර්වාද කරන්නැ”යි කී ය. 33 ”නැතහොත් අප හැම දෙන ම මැරෙන්නට පුළුවනැ”යි කියමින්, මිසර වැසියෝ ඉශ්රායෙල් ජනයාට වහා රටින් පිට වන ලෙස බල කළහ. 34 එවිට සෙනඟ ඇනූ පිටි පිපෙන්න කලින් ගෙන, තමන්ගේ පිටි අනන හට්ටි ද තම ඇඳුම්වල ඔතාගෙන කරේ තබාගත්හ.
35 ඉශ්රායෙල් ජනයා මෝසෙස් කී ලෙස කරමින්, මිසර වැසියන්ගෙන් රන් රිදී ආභරණ හා ඇඳුම් ඉල්ලාගත්හ. 36 සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට අනුග්‍රහය ලබා දුන් හෙයින් ඔව්හු ඉල්ලූ දේ දුන්හ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මිසර වැසියන්ගේ වස්තුව කොල්ලකාගත්හ.

ඉශ්රායෙල් ජනයා නික්මයාම

37 ඉන්පසු ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවර සිට සුක්කොත් දක්වා ගමන් කළහ. දරුවන් හා ස්ත්‍රීන් හැර, පයින් ගිය පුරුෂයෝ ම හයලක්ෂයක් පමණ වූ හ. 38 තවද, නා නා විධ විශාල සෙනඟක් ද ඔවුන්ට එකතු වී ගමන්ගත්හ. එළු බැටළු හා ගව පට්ටි ද සත්තු සිව්පාවෝ ද විශාල ගණනක් රංචු රංචු පිටින් ගියහ. 39 ඔව්හු මිසර දේශයෙන් පිටතට ගෙනා, ඇනූ නුමුහුන් පිටිවලින් රොටි පිළිස්සූ හ. මිසරයෙන් ඔවුන් නෙරපාදැමූ විට පමා වීමට ඉඩක් නොතිබුණු බැවින් මුහුන් දමා ඇනූ පිටි ඔවුන් සතු නො වී ය. තවද, කිසි ආහාරයක් පිළියෙළ කරගැනීමට ද ඔවුන්ට නොහැකි විය.
40 ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙහි පදිංචි ව සිටි මුළු කාලය අවුරුදු හාරසිය තිහක් විය. 41 මෙසේ අවුරුදු හාරසිය තිහක් අවසාන වූ දිනයෙහි ම සමිඳාණන් වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් නික්ම ගියෝ ය. 42 ඒ රාත්‍රියෙහි ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙනු පිණිස සමිඳාණන් වහන්සේ අවදි ව සිටි බැවින් සෑම පරම්පරාවක ම මුළු ඉශ්රායෙල් ජනයා, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස අවදි ව සිට අනුස්මරණය කළ යුතු රාත්‍රිය මෙය වේ.

පාස්කු මංගල්‍යය පිළිබඳ නියෝග

43 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”පාස්කුව පිළිබඳ නියෝග මේ ය. කිසි ම විදේශිකයෙකු එයින් අනුභව නොකළ යුතු ය. 44 එහෙත්, නුඹ මිල දී ගත් වහලෙක් සිටී නම්, නුඹ ඔහු චර්මඡේදනය කළ පසු ඔහුට එය අනුභව කළ හැක. 45 එහෙත්, විදේශිකයෙකු හෝ කුලියට ගත් වහලෙකු හෝ එය අනුභව නොකළ යුතු ය. 46 තවද, මස්වලින් කිසිවක් ගෙයින් පිටතට ගෙන නොගොස් එක ගෙදරක දී ම එය අනුභව කළ යුතු ය. ඇරත් බැටළුවාගේ එක ඇටයක් වත් නොකැඩිය යුතු ය. 47 තවද, මුළු ඉශ්රායෙල් ජනතාව ම පාස්කුව පැවැත්විය යුතු ය. 48 එහෙත්, නුඹ සමඟ වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ නමින් පාස්කුව සිදු කිරීමට කැමැත්තේ නම් ඔහු සතු සියලු පිරිමි චර්මඡේදනය ලැබිය යුත්තෝ ය. එවිට නුඹ සමඟ එකතු වී ඔහුට පාස්කුව පැවැත්විය හැකි ය. තවද, එවැන්නෙකු ස්වදේශිකයෙකු මෙන් සැලකිය යුතු ය. එහෙත්, අචර්මඡේදිත කෙනෙක් නම් පාස්කුව අනුභව නොකළ යුතු ය. 49 ස්වදේශිකයාටත් නුඹ සමඟ වසන විදේශිකයාටත් එක ම නීතියක් බලපාන්නේ ය.” 50 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ දුන් පරිදි මුළු ඉශ්රායෙල් ජනයා එලෙස ඉටු කළහ. 51 තවද, ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව ඔවුන්ගේ සේනා අනුව මිසර දේශයෙන් පිටතට ගෙන ආ සේක.

– 13 වන පරිච්ඡේදය –

කුලුඳුලන් කැප කිරීම

1 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ‍ 2 ”ඉශ්රායෙල් ජනයා අතර මවු කුසෙන් බිහි වන සියලු කුලුඳුලන් මට කැප කරන්න; මනුෂ්‍යයන් අතර වේ වා, මෘගයන් අතර වේ වා, එවැන්නන් මට අයිති ය”යි වදාළ සේක.

නුමුහුන් රොටි මංගල්‍යය

3 මෝසෙස් සෙනඟට කතා කොට මෙසේ කී ය: ”ඔබ, වහල්කමේ නිවාසය වූ මිසරයෙන් පිටතට පැමිණි මේ දවස සිහි කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් ඔබ එතැනින් පිටතට ගෙනා හෙයිනි. එබැවින් ඔබ මුහුන් රොටි නො කෑ යුතු ය. 4 ඔබ ආබිබ් නම් මාසයේ මේ දවසෙහි මිසරයෙන් නික්ම ආවහු ය. 5 තවද, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ සහ අමෝරිවරුන්ගේ ද හිවීවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේ ද දේශයට උන් වහන්සේ ඔබ පැමිණෙවූ කල මේ මාසයේ දී මේ පිළිවෙත පවත්වන්න. 6 දවස් හතක් තුළ ඔබ නුමුහුන් රොටි අනුභව කළ පසු හත් වන දින සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු ය. 7 දවස් හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. ඔබ ළඟ මුහුන් රොටි නොතිබිය යුතු ය. තවද, මුළු දේශයෙහි ම පවා මුහුන් නොතිබිය යුතු ය. 8 ඇරත්, ‘මා මෙසේ කරන්නේ, මා මිසර දේශයෙන් පිටතට පැමිණි විට සමිඳාණන් වහන්සේ මට ඉටු කර දුන් දේ නිසා යැ’යි ඔබ ඒ දවසේ දී ඔබේ පුතු හට විස්තර කළ යුතු ය. 9 තවද, සමිඳාණන් වහන්සේගේ මේ නීතිය ගැන නිතර ම කතා කරන පිණිස, මේ පිළිවෙත ඔබට, ඔබ අත ලකුණක් මෙන් ද, නළල මත සිහි වීමේ ලකුණක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් ඔබ මිසරයෙන් පිටත ගෙනා සේක. 10 එබැවින් මේ නියෝගය වසරින් වසර නියමිත කාලයෙහි ඔබ පැවැත්විය යුතු ය.”

කුලුඳුලන් කැප කිරීම පිළිබඳ විධිවිධාන

11 ”සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් දිවුරුම් දුන් පරිදි කානානිවරුන්ගේ දේශයට ඔබ පමුණුවා, එය ඔබට දුන් කල, 12 සියලු කුලුඳුල් පිරිමින් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. ඔබේ මෘගයන්ගේ කුලුඳුල් පිරිමි පැටියන් සියල්ලන් ම උන් වහන්සේට අයිති ය. 13 තවද, කොටළුවන්ගේ සියලු කුලුඳුලන් බැටළු පැටවෙකු බැගින් දී මුදාගත යුතු ය. ඔබ ඌ මුදා නොගන්නෙහි නම් උගේ බෙල්ල කැඩිය යුතු ය. ඔබ ජනයා අතර සියලු කුලුඳුලන් ද මුදාගත යුතු ය. 14 ‘මේ කුමක් ද’ කියා මතු දවස ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට ඔබ ද ඔහුට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් වහල්කමේ නිවාසය වන මිසරයෙන් අප පිටතට ගෙනා සේක. 15 පාරාවෝ මුරණ්ඩු ලෙස අපට නික්ම යෑමට අවසර නුදුන් විට, සමිඳාණන් වහන්සේ මිසර දේශයේ මිනිසුන්ගේ කුලුඳුලන් සියල්ලන් හා මෘගයන්ගේ සියලු කුලුඳුලන් ද මරාදැමූ සේක. එබැවින් මම, මවු කුසෙන් පළමුවෙන් බිහි වෙන සියලු පිරිමි සතුන් උන් වහන්සේට පූජා කරමි. එහෙත්, සියලු පිරිමි කුලුඳුල් දරුවන් මම මුදාගන්නෙමි. 16 මේ පිළිවෙත ඔබේ අතෙහි ලකුණක් මෙන් ද ලලාටයෙහි පටියක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් මිසරයෙන් අප පිටතට ගෙනා හෙයිනැ’යි කිව යුතු ය.”

ඉශ්රායෙල් ජනයා නික්ම යාම

17 පාරාවෝ සෙනඟට යන්න අවසර දුන් විට, පිලිස්තිවරුන්ගේ දේශය මැදින් වූ මාර්ගය ඉතා කිට්ටු වූ නමුත් එය දිගේ දෙවියන් වහන්සේ ඔවුන් ගෙන නොගිය සේක. මන්ද, ‘සටන් කිරීමට වන බව ඔවුන් දකින කල ඇතැම් විට ඔවුන් සිත වෙනස් කරගෙන මිසරයට ආපසු යත හැකි ය’ කියා උන් වහන්සේ සිතූ බැවිනි. 18 එහෙයින් උන් වහන්සේ පාළුකරය ඔස්සේ වටවංගු මාර්ගයකින් රතු මුහුද දෙසට ඔවුන් ගෙන ගිය සේක. ඉශ්රායෙල් සෙනඟ ද සන්නාහ සන්නද්ධ ව මිසර දේශයෙන් නික්ම ගියහ. 19 තවද, ජෝසෙප් ඉශ්රායෙල් ජනයා ප්‍රසිද්ධියේ දිවුරවා තිබුණ ප්‍රකාර මෝසෙස් තමා සමඟ ජෝසෙප්ගේ ඇටකටු ගෙන ගියේ ය. මන්ද, ”දෙවියන් වහන්සේ ඔබට සැබැවින් ම ආධාර කරන සේක. එවිට ඔබ මෙතැනින් මාගේ ඇටකටු රැගෙන යා යුතු ය”යි ජෝසෙප් කියා තිබුණු බැවිනි.
20 ඔව්හු සුක්කොත් නම් ස්ථානයෙන් නික්ම පාළුකරයේ මායිමේ ඒතාම්හි කඳවුරු බැඳගත්හ.

වලා ටැඹ හා ගිනි ටැඹ

21 සමිඳාණන් වහන්සේ දිවා කාලයේ දී ඔවුන්ට මඟපෙන්වීමට වලා ටැඹකින් ද රාත්‍රි කාලයේ දී ආලෝකය දීමට ගිනි ටැඹකින් ද ඔවුන්ට පෙරටුව ගිය සේක. මෙලෙස ඔවුන්ට දිවා රෑ දෙක්හි ම ගමන් කරන්නට හැකි විය. 22 තවද, දවල් කාලයේ දී වලා ටැඹ ද රාත්‍රි කාලයේ දී ගිනි ටැඹ ද සෙනඟ ඉදිරියෙන් පහ නො වී ය.

– 14 වන පරිච්ඡේදය –

රතු මුහුද තරණය

1 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, 2 ”ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘නුඹලා ආපසු හැරී බාල්-ශෙපොන් ඉදිරිපස පිහිටි මිග්දෝල් සහ මුහුදත් අතර, පී-හාහිරොත් නම් ස්ථානයට මූණ ලා කඳවුරු බඳින්න; මුහුදට කිට්ටු ව එය ඉදිරිපිට කඳවුරු බඳින්නැ’යි කියන්න. 3 ‘ඉශ්රායෙල් ජනයා රටේ ඔබමොබ යමින් ද පාළුකරයට මැදි ව සිටිමින් ද ඇතැ’යි පාරාවෝ සිතනු ඇත. 4 මම පාරාවෝගේ සිත දැඩි කරමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත්, පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය”යි වදාළ සේක. ඉශ්රායෙල් ජනතාව එලෙස ම කළහ.

ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යාම

5 සෙනඟ පලා ගිය බව මිසරයේ රජුට දන්වන ලදී. එවිට ඔහු ද ඔහුගේ නිලධාරීහු ද ඔවුන් ගැන තම සිත් වෙනස් කොට, ”ඉශ්රායෙල් ජනයා වහල් සේවයෙන් මුදා හැරීමෙන් අප කෙළේ කුමන ක්‍රියාවක් දැ”යි කියාගත්හ. 6 පාරාවෝ ඉන්පසු තම යුද්ධ රථය සූදානම් කොට තම සෙනඟ ද එක්රැස් කොට ගත්තේ ය. 7 තවද, ඔහුගේ විශේෂ යුද්ධ රථ හයසියයක් ද, මිසරයේ සියලු ම යුද්ධ රථ ද ඔහු සමඟ ගමන් ගත්තේ ය. ඒ සෑම රථයක ම යුද සෙනෙවියෝ සිටියහ. 8 සමිඳාණන් වහන්සේ මිසරයේ රජු වන පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ජයාන්විත ව රටින් පලා යන ඉශ්රායෙල් ජනයා ලුහුබැඳ ගියේ ය. 9 මිසර වාසීහු ඔවුන් ලුහුබැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන් ද යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද හමුදාව ද සමඟ ඔවුන් ලුහුබැඳ ගොස්, බාල්-ශෙපොන් නම් ස්ථානයට මූණ ලා පී-හාහිරොත් නම් ස්ථානය අසල මුහුදුබඩ කඳවුරු බැඳ සිටි ඔවුන්ට ළඟා වූ හ.
10 පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ. 11 ඔව්හු මෝසෙස්ට කතා කොට, ”මේ පාළුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනීවළවල් නැති නිසා ද? මිසරයෙන් අප පිටත ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන් ද? 12 ‘මිසර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපට ඉඩ දුන මැනවැ’යි ඔබට මිසරයේ දී කීවේ මේ නිසා නො වේ ද? පාළුකරයේ මියයනවාට වඩා මිසර වාසීන්ට වහල් මෙහෙවර කළා නම් හොඳ නො වේ දැ”යි ඇසූ හ. 13 මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, ”බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය. 14 උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චල ව සිටිය යුතු ය”යි කී ය.

මුහුදු තරණය

15 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: ”නුඹ මට මොරගසන්නේ මන් ද? ඉශ්රායෙල් ජනයාට ‘ඉදිරියට යන්නැ’යි කියන්න. 16 තවද, ඔවුන්ට මුහුද මැදින් වියළි බිම දිගේ යන්න හැකි වන පරිදි ඔබ ද ඔබේ සැරයටිය ඔසවා, අත මුහුද දෙසට දිගු කොට මුහුද දෙබෑ කරවන්න. 17 බලන්න, මම ද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. ඔව්හු ද ඉශ්රායෙල් ජනයා පසුපස යන්නෝ ය. එවිට පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද ඔහුගේ යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි. 18 මෙසේ මා පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ ද අසරුවන් ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය.”
19 ඉන්පසු ඉශ්රායෙල් හමුදාවට පෙරටුවෙන් ගිය දේව දූතයා ද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේ ය. ඔවුන් ඉදිරියේ තිබූ වලා ටැඹ ඔවුන් පිටුපසට වී, 20 මිසර වාසීන්ගේ හමුදාව හා ඉශ්රායෙල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේ ය. වලාකුළක් හා අඳුරක් ඇති විය, රාත්‍රිය aගෙවිණි, එහෙත් මුළු රාත්‍රියේ ම හමුදා දෙක එකිනෙකට ළඟා නො වූ හ.
21 මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ ඒ මුළු රාත්‍රියේ ම පෙරදිගින් හැමූ සැඬ සුළඟක් මඟින් මුහුදු ජලය පසුබැස යාමට සලසා, මුහුද වියළි බිමකට හැරෙවු සේක. මුහුදු ජලය ද දෙබෑ විය. 22 ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය. 23 මිසර වැසියෝ ලුහුබැඳ ගියහ; පාරාවෝගේ සියලු අසුන් ද රථ ද අසරුවන් ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ. 24 එවිට උදය යාමයෙහි, සමිඳාණන් වහන්සේ ගිනි හා වලා ටැඹින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත් කරවූ සේක. 25 උන් වහන්සේ ද ඔවුන්ගේ රථ රෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු, ‘අපි ඉශ්රායෙල්වරුන් වෙතින් පලා යමු, මන්ද, සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ඔවුන් උදෙසා සටන් කරන සේකැ”යි කී හ. 26 උන් වහන්සේ මෝසෙස් අමතමින්, ”මිසර වාසීන් පිට ද ඔවුන්ගේ රථ හා අසරුවන් පිට ද ජලය ආපසු ගලන ලෙස මුහුද දෙසට නුඹේ අත දිගු කරන්නැ”යි වදාළ සේක. 27 ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක. 28 ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය. 29 එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.
30 මෙසේ එදින සමිඳාණන් වහන්සේ මිසර වාසීන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවාගත් සේක. ඉශ්රායෙල්වරු ද මිසර වාසීන් මුහුදු වෙරළේ මැරී සිටිනු දුටහ. 31 ඔව්හු සමිඳාණන් වහන්සේ මිසර වාසීන්ට කළ ප්‍රබල ක්‍රියාව දුටහ. සෙනඟ සමිඳාණන් වහන්සේට ගරුබිය පා, උන් වහන්සේ ද උන් වහන්සේගේ සේවකයා වන මෝසෙස් ද කෙරෙහි විශ්වාසය තැබූ හ.

– 15 වන පරිච්ඡේදය –

මෝසෙස්ගේ ජය ගීතය

1 එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට මේ ගීතය ගැයූ හ.
සමිඳුන් හට මම ගී ගයමි, එතුමාණෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක. ‍
2 සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති;
එතුමාණෝ මා විමුක්තිය වෙති;
මාගේ දෙවිඳාණෝ ය.
මා දෙවිතුමන් මම පසසමි.
මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි.
3 සමිඳාණෝ, රණ ශූර ය, එතුමන්ගේ නම හිමිසඳ වේ.
4 එතුමාණෝ, පාරාවෝගේ රිය සෙන් හා බළ ඇණි මූද මැද හෙළූ සේක.
උසස් ම සෙන්පතීහු ද රතු මූදට බිලි වූ හ.
5 ගැඹුරු සමුදුර ඔවුන් වසාගති;
ගලක් විලස මූදු පත්ලට ඔව්හු කිඳා ගියහ.
6 සමිඳුනි, ඔබ දකුණත බල මහිමෙන් උදාර ය.
සමිඳුනි, ඔබ දකුණත හතුරන් කැබලි කරලී ය.
7 ඔබේ මහත් තේජෝමහිමයෙන් ඔබ ඔබේ හතුරන් සුණු විසුණු කරන සේක.
ඔබේ උදහස විගසින් දැල් වී ඉපනැලි මෙන් ඔවුන් දවාලයි.
8 ඔබේ නැහැයේ හුස්මෙන් ජලය ගොඩ ගැසෙයි.
දිය දහර වේල්ලක් මෙන් කෙළින් සිටියි.
මුහුදු ගැබේ ජල කඳ මිදිණි.
9 සතුරා මෙසේ උදන් අනයි:
”මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”
10 ඔබ හුස්ම පිඹලූ සේක, මුහුද ඔවුන් වසාගති.
ඔව්හු රුදුරු ජල කඳ තුළ ඊයම් මෙන් කිඳා ගියහ.
11 සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද?
ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?
12 ඔබ දකුණත දිගු කළ සේක, මිහිතලය ඔවුන් ගිලගති.
13 ඔබ මිදු ජනතාව කුළුණු බරින් ගෙන ගිය සේක;
බලය පාමින් ඔබ ශුද්ධ නිවසට ඔවුන්ට මඟ පෙන්වූ සේක.
14 මේ ඇසූ ජනතාවෝ වෙව්ලති;
පිලිස්ති වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති;
15 ඒදොම්හි අධිපතීහු බියපත් වෙති;
මෝවබ් බලවත්හු වෙව්ලති;
සියලු කානානිය වැසියෝ දිරිය නැති කරගනිති.
16 භීතිය හා ත්‍රාසය ඔවුන් පිට ය;
ඔබේ සෙනඟ එතෙර වන තෙක්, සමිඳුනි, ඔබ මිල දී ගත් සෙනඟ එතෙර යන තෙක්, ඔබ තෙද බල විකුම් පෑ සේක.
ඔව්හු ගස් ගල් මෙන් නිසල ව සිටියහ.
17 සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක.
18 සමිඳාණෝ, සදහට ම රජකම් කරන සේක.
19 පාරාවෝගේ අශ්වයෝ ද ඔහුගේ යුද්ධ රථ හා අසරුවන් සමඟ මුහුදට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ ජලය ආපසු ඔවුන් පිට හැරෙවූ සේක. එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් කළහ. 20 ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ. 21 මීරියම් ඔවුන්ට පිළිතුරු වශයෙන් මෙසේ ගායනා කළා ය:
”සමිඳුන් හට ගී ගයන්න, එතුමාණෝ තෙද මහිමයෙන් ජයගත් සේක;
අසරුවන් හා අස් සෙන් මූදට හෙළූ සේක.”

කරදිය උල්පත

22 මෙසේ මෝසෙස් රතු මුහුදින් ඉශ්රායෙල් ජනයා ගෙන ගිය පසු ඔව්හු ෂූර් නම් පාළුකරයට ඇතුළු වූ හ. තෙදිනක් පාළුකරයේ ගමන් කළ නමුත් ඔවුන්ට ජලය නොලැබිණි. 23 ඔවුන් මාරා නම් ස්ථානයට පැමිණි නමුත් එහි ජලය කරදිය වූ බැවින් එය බීමට නුපුළුවන් විය. ඒ ස්ථානයට මාරා යන නම දෙන ලද්දේ එබැවිනි. 24 එවිට සෙනඟ මෝසෙස්ට විරුද්ධ ව කොඳුරමින්, ”අප බොන්නේ මොනවා දැ”යි ඇසූ හ. 25 මෝසෙස් සමිඳාණන් වහන්සේට අයැදුම් කළ විට, උන් වහන්සේ ඔහුට ගසක් පෙන්නූ සේක. ඔහු එය ජලයට දැම්මේ ය; ජලය මිහිරි විය.
තවද, උන් වහන්සේ එහි දී ඔවුන්ට නියෝගයක් හා පණතක් දුන් සේක; එහි දී ඔවුන් පරීක්ෂා කළ සේක. 26 උන් වහන්සේ ඔවුන් අමතමින්, ”නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.
27 ඉන්පසු ඔව්හු දිය උල්පත් දොළොසක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබූ ඒලීම් නම් ස්ථානයට පැමිණ, එහි දිය අසල කඳවුරු බැඳගත්හ.

– 16 වන පරිච්ඡේදය –

පාළුකරයේ දී ආහාර සැපයීම

1 මුළු ඉශ්රායෙල් ජනතාව ඒලීම් නම් ස්ථානයෙන් ගමන් ඇරඹුවහු ය. ඔව්හු මිසර දේශයෙන් පිටත් වූ පසු දෙ වන මාසයේ පසළොස් වන දින ඒලීම් සහ සීනයි අතරෙහි වූ සීන් නම් පාළුකරයට පැමිණියෝ ය. 2 ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව පාළුකරයේ දී මැසිවිලි කියන්නට වූ හ. 3 ඔව්හු ඔවුන්ට කතා කොට, ”මිසර දේශයේ දී සමිඳාණන් වහන්සේගේ අතින් අපි මැරුණෙමු නම් කෙතරම් යහපත් ද? එහි දී අපට, මස් පිරුණු බඳුන් ළඟ වාඩි වී, ඇති තරම් කෑම කන්න පුළුවන්කම තිබිණි. එහෙත්, ඔබ මේ මුළු ජනතාව සාගින්නෙන් මරාදැමීමට මේ පාළුකරයට ගෙනාවහු ය”යි කී හ.
4 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”මම නුඹලාට අහසින් ආහාර වස්වමි. දිනපතා මිනිසුන් නික්ම ගොස් එදිනට අවශ්‍ය කොටස එකතු කරගත යුතු ය. මෙසේ ඔව්හු මාගේ නීතිය පිළිපදින්නෝ ද නැද්ද කියා මට ඔවුන් පරීක්ෂා කළ හැක. 5 එහෙත්, හය වන දවසේ දී, ඔවුන් දිනපතා එකතු කර ගන්නාක් මෙන් දෙගුණයක් ගෙන, එය පිළියෙළ කළ යුතු ය”යි වදාළ සේක. 6 මෝසෙස් හා ආරොන් මුළු ඉශ්රායෙල් ජනයාට කතා කොට, ”ඔබ හැම මිසර දේශයෙන් පිටත ගෙනාවේ සමිඳාණන් වහන්සේ බව අද සවස ඔබ දැනගන්නහු ය. 7 උදය කාලයේ දී ඔබ සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දකින්නහු ය. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ ඇසූ සේක. ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොවේ, අපි එතරම් වැදගත් නොවෙමු”යි කී හ. 8 මෝසෙස් යළිත් කතා කරමින්, ”සමිඳාණන් වහන්සේ ඔබට සවස් කාලයේ කෑමට මාංස ද, උදය කාලයේ ඇති තරම් රොටි ද දෙන සේක. එසේ වන්නේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ අසා ඇති බැවිනි. සැබෑවට ම අපි කවුරු ද? ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොව සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ය”යි කී ය.
9 ඉක්බිති මෝසෙස් ආරොන්ට කතා කොට, ”මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, ‘සමිඳාණන් වහන්සේ වෙත පැමිණෙන්න; උන් වහන්සේ නුඹලාගේ මැසිවිලි ඇසූ සේක’ කියා කියන්නැ”යි පැවසී ය. 10 ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව අමතා කතා කරන විට, ඔව්හු පාළුකරය දෙස බැලූ හ. පුදුමයකි, වලාකුළක් මෙන් සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දිස්විණි. 11 සමිඳාණන් වහන්සේ ද මෝසෙස්ට කතා කොට, 12 ”ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මට ඇසිණි, නුඹ ඔවුන් අමතමින්, ‘සවස ඔබ මාංස කන්නහු ය. උදය ඔබට ඇති තරම් රොටි ලැබෙන්නේ ය. මෙසේ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගන්නහු ය’යි කියන්නැ”යි පැවසූ සේක.
13 ඉන්පසු සවස් කාලයේ දී වටුවන් වර්ගයක් අවුත් කඳවුර වසාගති. උදය කාලයේ දී කඳවුර සිසාරා පිනි තට්ටුවක් විය. 14 පිනි වාෂ්ප වී ගිය පසු පාළුකරයේ භූමිය මතුපිට සිහින් වූ, කුඩා වටකුරු හිම වැනි දෙයක් තිබෙනු ඔව්හු දුටහ. 15 මෙය දුටු ඉශ්රායෙල් ජනයා එකිනෙකාට කතා කරමින්, ”මෙය කුමක් දැ”යි විචාළාහ. මන්ද, ඒ කුමක් ද කියා ඔවුන් නොදත් බැවිනි. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, ”මෙය වනාහි සමිඳාණන් වහන්සේ ඔබට අනුභව කිරීමට දුන් ආහාරය වේ. 16 සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, සෑම කෙනෙකු ම තම තමාට අවශ්‍ය ප්‍රමාණයට ඉන් එකතු කරගත යුතු ය. ගෙයි වැසියන්ගේ ගණන අනුව එකිනෙකා ලීටර් දෙක බැගින් ගත යුතු ය. තවද, ඔබ සැම කෙනෙකු ම තම කූඩාරමේ සිටින අයටත් ගෙන යා යුතු ය”යි කීවේ ය.
17 ඉශ්රායෙල් ජනයා එලෙස කරද්දී, සමහරෙක් අඩුවෙන් ද සමහරෙක් වැඩියෙන් ද රැස් කරගත්හ. 18 ඔවුන් එය මැන්න විට වැඩියෙන් රැස් කරගත් අයට වැඩියක් නො වී ය, අඬුවෙන් රැස් කරගත් අයට අඩුවක් ද නො වී ය. එකිනෙකා තම තමා කන ප්‍රමාණයට රැස් කරගෙන තිබිණි. 19 මෝසෙස් ඔවුන්ට කතා කොට, ”උදය වන තෙක් ඉන් කිසිත් ඉතිරි නොකළ යුතු ය”යි කීවේ ය. 20 එහෙත්, ඔව්හු මෝසෙස්ට සවන් නොදුන්හ. ඔවුන්ගෙන් සමහරෙක් පසු දින උදය වන තෙක් ඉන් කොටසක් ඉතුරු කළහ. එවිට එහි පණුවන් හටගෙන එයින් දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය. 21 ඔව්හු එකිනෙකා තම තමා කන ප්‍රමාණය අනුව උදයෙන් උදය එය රැස් කරගත්හ. අව්ව තද වූ විට එය දිය වී ගියේ ය.
22 තවද, හය වන දවසේ දී ඔව්හු එකිනෙකාට ලීටර් හතර බැගින් ආහාර දෙගුණයක් රැස් කරගත්හ. ඉන්පසු ප්‍රජා මූලිකයෝ සියලු දෙන මෝසෙස් වෙත පැමිණ මෙය සැළ කළහ. 23 ඔහු ඔවුන් අමතමින්, ”සමිඳාණන් වහන්සේ අණ කරන දේ මේ ය. එනම්, ‘හෙට වනාහි නිවාඩු දිනයකි, සමිඳාණන් වහන්සේට කැප කරන ලද සබත් දිනයකි. එබැවින් පිළිස්සීමට අවශ්‍ය නම්, පුළුස්සන්න, තැම්බීමට උවමනා යමක් නම්, තම්බන්න. ඉතිරි වන දේ ඔබේ ප්‍රයෝජනයට ගන්නා පිණිස හෙට වෙන තෙක් පැත්තකට කර තබාගන්නැ”යි කී ය. 24 ඔව්හු මෝසෙස් කී පරිදි පසු දා වන තෙක් එය පැත්තකට කළ නමුත් එයින් දුගඳ නොහැමී ය. එහි එක පණුවෙක් වත් නො වී ය. 25 මෝසෙස් කතා කොට, ”ඒවා අද දින අනුභව කරන්න, මන්ද, අද සමිඳාණන් වහන්සේට කැප කළ නිවාඩු දිනය යි. අද ඒවා ඔබට කෙතෙහි සම්බ නොවන්නේ ය. 26 දින හයක් ඔබ එය රැස් කරගත යුතු ය. එහෙත්, සබත් දින වන හත් වන දින ඒ කිසිවක් නොතිබේ ය”යි කීවේ ය. 27 එහෙත්, ජනයා අතරින් සමහරෙකු හත් වන දින ද ඒවා රැස් කිරීමට ගිය නමුත් ඒවායින් කිසිවක් සම්බ නො වී ය. 28 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”නුඹලා කොපමණ කාලයක් මාගේ ආඥා සහ නීති පිළිපැදීම ප්‍රතික්ෂේප කරන්නහු ද? 29 බලන්න, මම නුඹට සබත් දිනය දුන් බැවින් හය වන දවසේ දී මම නුඹට දෙදවසක ආහාර දෙමි. සබත් දින නුඹලා සැම කෙනෙක් ම තම තමා සිටින තැන ම නැවතී සිටිය යුතු ය. කිසිවෙකු තම නිවසින් පිටත නොයා යුතු ය”යි වදාළ සේක. 30 එබැවින් සෙනඟ හත් වන දින නිවාඩු ගත්හ.
31 ඉශ්රායෙල් ජනයා ඒ ආහාරයට ‘මන්නා’ යන නාමය තැබූ හ. එය කොත්තමල්ලි ඇට තරම් ය, සුදු පාට ය, මී පැණි මිශ්‍ර තුනී රොටි වර්ගයක් මෙන් රසවත් ය. 32 මෝසෙස් කතා කොට, ”සමිඳාණන් වහන්සේගේ ආඥාව මෙය වේ: ‘මා මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනෙන විට පාළුකරයේ දී නුඹලා පෝෂ්‍ය කළ ආහාරය නුඹලාගේ මතු පරම්පරාවල අය දකින පිණිස, ඔවුන් සඳහා එයින් ලීටර් දෙකක් පුරවා තබාගන්නැ’ ”යි කීවේ ය. 33 ඉන්පසු මෝසෙස් ආරොන්ට කතා කොට, ”බඳුනක් රැගෙන මන්නාවලින් ලීටර් දෙකක් එහි පුරවා ඔබේ මතු පරම්පරාවන් සඳහා එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තබන්නැ”යි කී ය. 34 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් ප්‍රකාර, ආරොන් එය ආරක්ෂා කරනු පිණිස ගිවිසුම් කරඬුව ඉදිරිපිට තැබී ය. 35 ඉශ්රායෙල් ජනයා මනුෂ්‍ය පථයකට පැමිණෙන තෙක් අවුරුදු හතළිහක් මන්නා කෑ හ; එනම්, කානාන් දේශයේ සීමාවලට පැමිණෙන තෙක් ම ඔව්හු මන්නා කෑ හ. 36 ඒ කාලයේ භාවිත කළ මිම්ම ලීටර් විස්සකට සමාන ය.

– 17 වන පරිච්ඡේදය –

 පර්වතයෙන් නික්මුණු ජලය
(ගණන් 20:1-13)

1 තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය. ‍ 2 එවිට ඔව්හු මෝසෙස්ට අවලාද කියමින්, ”අපට බොන්න වතුර දෙන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, ”ඔබ මට අවලාද කියන්නේ ඇයි? ඔබ කුමක් නිසා සමිඳාණන් වහන්සේ පරීක්ෂා කරන්නහු දැ”යි ඇසී ය. 3 සෙනඟ ද පිපාසයෙන් පෙළෙමින් මෝසෙස්ට විරුද්ධ ව කොඳුර කොඳුරා, ”ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අප ද අපේ දරුවන් ද අපේ ගවමහිෂයන් ද පිපාසයෙන් මරාදමන්නට දැ”යි විචාළහ. 4 මෝසෙස් එවිට සමිඳාණන් වහන්සේට මොරගසමින්, ”මේ සෙනඟට මා කුමක් කරන්න ද? ඔව්හු මට ගල් ගසන්නට සැරෙසති”යි කීවේ ය. 5 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ”ඔබ ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමහරෙකු ද කැටුව සෙනඟට ඉදිරියෙන් යන්න. තවද, ඔබ ගංගාවේ දියට පහර දුන් සැරයටිය ද ඔබ අත රැගෙන යා යුතු ය. 6 බලන්න, මම ද හොරෙබ්හි පර්වතය මත ඔබ ඉදිරිපිට සිටිමි. ඔබ පර්වතයට ගැසිය යුතු ය. එවිට සෙනඟට බීමට ජලය එයින් ගලා එනු ඇතැ”යි වදාළ සේක. මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් බලාගෙන සිටිය දී එලෙස කෙළේ ය. 7 ඉශ්රායෙල් ජනයා අවලාද කී නිසාත්, ‘සමිඳාණන් වහන්සේ අප අතර ඇද් ද? නැද් ද?’ කියමින් ඔවුන් උන් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඒ ස්ථානයට ඔහු මස්සා සහ මෙරිබා කියා නම් කෙළේ ය.

අමලෙක්වරුන් සමඟ සටන

8 එවිට අමලෙක්වරු පැමිණ රෙපිඩීම් නම් ස්ථානයේ දී ඉශ්රායෙල් ජනයා සමඟ සටන් කළහ. 9 මෝසෙස් ජෝෂුවාට කතා කොට, ”අප උදෙසා ඔබ මිනිසුන් තෝරාගෙන, නික්ම ගොස් හෙට අමලෙක්වරුන් සමඟ සටන් කරන්න. මම දෙවියන් වහන්සේ දුන් සැරයටිය මා අතට ගෙන කඳු මුදුනේ සිටිමි”යි කීවේ ය. 10 ජෝෂුවා මෝසෙස් තමාට කී පරිදි අමලෙක්වරුන් සමඟ සටන් කෙළේ ය. මෝසෙස් සමඟ ආරොන් සහ හූර් යන දෙදෙනා කඳු මුදුනට නැඟී ගියහ. 11 මෝසෙස් තමාගේ අත් ඔසවාගෙන සිටි තෙක් ඉශ්රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහතට හෙළූ විට අමලෙක්වරු ජයගත්හ. 12 එහෙත්, මෝසෙස්ගේ අත් විඩාවට පත් වූ විට, ඔව්හු ගලක් ගෙන ඔහු පිටුපස තැබූයෙන් ඔහු ද එය මත වාඩි විය. එවිට ආරොන් සහ හූර් දෙපැත්තේ සිටගෙන ඔහුගේ අත් උසුලාගෙන සිටියහ. මෙසේ ඔහුගේ අත්, හිරු බැස යන තෙක් ම පහතට නොවැටී තිබිණි. 13 ජෝෂුවා, අමලෙක් සහ ඔහුගේ සෙනඟ කඩු පහරින් වනසාදැමී ය. 14 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, ”මෙය සිහි වන පිණිස, ”මම අමලෙක්වරුන් ගැන මතකයක් නැති වන සේ මිහි පිටින් ඔවුන් සම්පූර්ණයෙන් ම මකාදමමි’යි පොතක ලියා, එය ජෝෂුවාට ඇසෙන පරිදි කියන්නැ”යි වදාළ සේක. 15 මෝසෙස් පූජාසනයක් තනා ඊට සමිඳා-නිස්සී හෙවත් සමිඳාණන් වහන්සේ මාගේ ධජය කියා නම් තැබී ය. 16 මන්ද, ‘ඔබ සමිඳාණන් වහන්සේගේ ධජයට අත ගසන්න, උන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට අමලෙක්වරුන් සමඟ සටන් කරන සේකැ’යි උන් වහන්සේ වදාළ බැවිනි.

– 18 වන පරිච්ඡේදය –

ජෙත්රෝට මෝසෙස් හමු වීම

1 මෝසෙස්ගේ මාමණ්ඩි වන මිදියන්හි පූජකවර ජෙත්රෝ, දෙවියන් වහන්සේ මෝසෙස්ට හා ඔහුගේ ඉශ්රායෙල් සෙනඟට කළ සියල්ල ද උන් වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා අයුරු ද අසා තිබිණි. ‍‍ 2 එබැවින් ඔහු මෝසෙස් පිටත්කර හැර සිටි ශිප්පොරා නම් ඔහුගේ බිරිඳ ද 3 ඇගේ පුතුන් දෙදෙනා ද කැඳවාගෙන ආවේ ය. මොවුන් එක් කෙනෙකුගේ නම ගේර්ෂොම් ය. එහි අර්ථය, මෝසෙස් කී ලෙස ‘මම අමුතු රටක ආගන්තුකයෙකු මෙන්, සිටියෙමි’ යනුයි. 4 අනික් පුත්‍රයාගේ නම එලියේසර් ය. එහි අර්ථය, ඔහු කී ලෙස, ‘මාගේ පියාගේ දෙවියන් වහන්සේ මාගේ ආධාරය වී පාරාවෝගේ කඩුවෙන් මා මිදූ සේක’ යනුයි. 5 මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ මෝසෙස්ගේ බිරිඳ සහ පුතුන් ද රැගෙන, දෙවියන් වහන්සේගේ කන්ද ළඟ පාළුකරයේ කඳවුරු බැඳ සිටි මෝසෙස් වෙත පැමිණියේ ය. 6 ඔහු මෝසෙස් වෙත පණිවුඩයක් යවමින්, ”ඔබේ මාමණ්ඩි වන ජෙත්රෝ නම් මම, ඔබේ බිරිඳ හා පුතුන් දෙදෙන ද සමඟ ඔබ හමු වීමට පැමිණ සිටිමි”යි සැළ කෙළේ ය. 7 මෝසෙස් තම මාමණ්ඩි හමු වීමට නික්ම ගොස් ආචාර සමාචාර කොට ඔහු සිප ගත්තේ ය. තවද, ඔවුන් එකිනෙකාගේ සුව දුක් විචාළ පසු, ඔව්හු කූඩාරමට ඇතුළු වූ හ. 8 මෝසෙස් තම මාමණ්ඩිට කතා කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා උදෙසා පාරාවෝට සහ මිසර වැසියන්ට කළ දේවල් ද මඟ දී ඔවුන්ට මූණ පාන්නට වූ සියලු අමාරුකම් ද සමිඳාණන් වහන්සේ ඔවුන් ගැළවූ අයුරු ද දැන්වී ය. 9 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් මිසර වාසීන්ගේ අතින් මුදා, ඔවුන්ට උන් වහන්සේ කර දුන් සියලු යහපත්කම් ගැන ජෙත්රෝ ප්‍රීති ප්‍රමෝද විය. 10 ජෙත්රෝ කතා කොට, ”මිසර වාසීන්ගේ අතින් ද පාරාවෝගේ අතින් ද ඔබ මුදාලූ, මිසර වාසීන්ගේ වහල් මෙහෙවරින් සෙනඟ මුදාලූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! 11 තවද, සමිඳාණන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උත්තරීතර බව මම දැන් දනිමි. මන්ද, මිසර වාසීන් ඉතා අහංකාර ලෙස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ක්‍රියා කළ විට උන් වහන්සේ මෙය කළ සේකැ”යි කී ය. 12 ඉන්පසු මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාවක් හා පුද පඬුරු ගෙනාවේ ය. ආරොන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සියල්ලෝ ද මෝසෙස්ගේ මාමණ්ඩි සමඟ දෙවියන් වහන්සේ ඉදිරියෙහි භෝජනයට සහභාගි වූ හ.

 විනිසකරුවන් පත් කිරීම
(ද්වි: නී: ස: 1:9-18)

13 පසු දින මෝසෙස් සෙනඟ විනිශ්චය කරනු සඳහා අසුන් ගත්තේ ය. සෙනඟ උදය සිට සවස දක්වා ඔහු අවට සිටියහ. 14 තවද, සෙනඟ සම්බන්ධයෙන් මෝසෙස් කරන්නට වූ සියල්ල දුටු මෝසෙස්ගේ මාමණ්ඩි ඔහුට කතා කරමින්, ”ඔබ සෙනඟට මේ කරන්නේ කුමක් ද? ඔබ තනියම අසුන් ගෙන සිටින්නෙත්, මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා ඔබ ළඟ සිටින්නෙත් මන්දැ”යි විචාළේ ය. 15 එවිට මෝසෙස් තම මාමණ්ඩිට පිළිතුරු දෙමින්, ”මා මෙසේ කරන්නේ, සෙනඟ දෙවියන් වහන්සේගෙන් උපදෙස් ලබාගැනීම සඳහා මා වෙත එන නිසා ය. 16 ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපණත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය. 17 එවිට මෝසෙස්ගේ මාමා ඔහුට කතා කොට, ”ඔබ කරන දේ හරි නැත. 18 ඔබත්, ඔබ ළඟ සිටින මේ සෙනඟත් අතිශයින් විඩාවට පත්වනු ඇත. මේ කටයුත්ත ඔබට බර වැඩි ය. ඔබට එය තනියම ඉටු කිරීම නොහැක. 19 එබැවින් දැන් මා කියන දේට සවන් දෙන්න. මම ඔබට දැනමුතුකමක් දෙමි. දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නියෝජිතයෙකු වී, නඩුහබ උන් වහන්සේ ඉදිරියට පමුණුවන්න. 20 ඔබ ඔවුන්ට ආඥා සහ අණපණත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය. 21 තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න. 22 ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්‍රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත. 23 දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය.
24 මෝසෙස් තම මාමණ්ඩි කී දේට සවන් දී ඔහු කී සියල්ල ඉටු කෙළේ ය. 25 ඔහු ඉශ්රායෙල්වරුන් සියලු දෙනා අතුරින් දක්ෂ මිනිසුන් තෝරා සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් සෙනඟගේ නායකයන් ලෙස පත් කෙළේ ය. 26 ඔව්හු සියලු අවස්ථාවල දී සෙනඟ විනිශ්චය කළහ. දුෂ්කර ප්‍රශ්න ඔවුන් මෝසෙස් වෙත ගෙනා නමුත්, සෑම සුළු කරුණක් ම ඔව්හු ම විනිශ්චය කළහ. 27 ඉන්පසු මෝසෙස් තම මාමණ්ඩිට යන්නට හැරියේ ය. ඔහු ද සිය රට බලා ගියේ ය.

– 19 වන පරිච්ඡේදය –

සීනයි කන්ද මත දේව ආඥා

1 ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ගොස් තෙ වන මස පළමු වන දින සීනයි නම් පාළුකරයට පැමිණියහ. ‍ 2 ඔව්හු රෙපිඩීම් නම් ස්ථානයෙන් පිටත් ව සීනයි පාළුකරයට පැමිණ එහි කඳවුරු බැඳගත්හ. එහි ඔවුන්ගේ කඳවුර පිහිටියේ කන්ද ඉදිරිපිට ය. ‍
3 මෝසෙස් දෙවියන් වහන්සේ හමු වීමට කන්දට නැංගේ ය. එවිට සමිඳාණන් වහන්සේ කන්දේ සිට ඔහුට හඬගසා, ”නුඹ ජාකොබ්ගේ පෙළපත වන ඉශ්රායෙල් ජනයාට මෙසේ කිව යුතු ය: 4 ‘මා මිසර වැසියන්ට කළ දේ ද, මා නුඹලා රාජාලියෙකුගේ පියාපත් උඩ ගෙනෙන මෙන් මා වෙත නුඹලා උසුලාගෙන පැමිණි අයුරු ද නුඹලා දුටුවහු ය. 5 එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය. 6 නුඹලා මට පූජක රාජ්‍යයක් ද කැප වූ ජාතියක් ද වන්නහු ය’ ”යි වදාළ සේක. 7 ඉන්පසු මෝසෙස් පැමිණ, සෙනඟගේ ප්‍රජා මූලිකයන් කැඳවා සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ මේ සියලු දේ ඔවුන්ට දැන්වී ය. 8 එවිට මුළු සෙනඟ ද එක්සත් ව පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. ඉන්පසු මෝසෙස් සෙනඟ කී දේ සමිඳාණන් වහන්සේට සැළ කෙළේ ය.
9 නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.
10 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා, 11 තුන් වන දවසට සූදානම් ව සිටිය යුතුයි. තුන් වන දවසේ දී මුළු සෙනඟ බලාගෙන සිටින විට සමිඳාණන් වහන්සේ වන මම සීනයි කන්ද මත බැස එන්නෙමි. 12 නුඹ කන්ද වට කර සෙනඟ මායිමේ සිටුවා, ‘කන්දට නොනඟින හැටියටත්, කන්ද පාමුල ස්පර්ශ නොකරන හැටියටත් පරෙස්සම් වන්නැ’යි ඔවුන්ට කියන්න. යමෙකු කන්ද ස්පර්ශ කළොත් ඔහු ඇත්තෙන් ම මරනු ලැබේ. 13 එහෙත්, ඒ තැනැත්තාට අත නොතබා, ඔහුට ගල් ගසනු ලැබිය යුතුයි. නැත්නම් ඔහු ඊගසින් විදදැමිය යුතුයි. මෘගයකු වුවත්, මනුෂ්‍යයෙකු වුවත් ජීවත් නොවිය යුතු ය. හොරණෑව දීර්ඝ ස්වරයක් නංවන විට ඔවුන් කන්ද වෙත පැමිණිය යුතු ය”යි වදාළ සේක.
14 මෝසෙස් කන්දෙන් බැස සෙනඟ වෙත පැමිණ නමස්කාරය සඳහා ඔවුන් සූදානම් කෙළේ ය. ඔව්හු ද තමන් වස්ත්‍ර සෝදාගත්හ. 15 ඔහු සෙනඟට කතා කරමින්, ”තුන් වන දවසට සූදානම් වී සිටින්න; ස්ත්‍රී සේවනයෙන් වළකින්නැ”යි කීවේ ය.
16 තුන් වන දවස උදා වූ විට කන්ද මත මේඝ ගර්ජනා හා විදුලි කෙටීම් ද, ඝන වලාකුළක් ද, තද හොරණෑ හඬක් ද විය. කඳවුරේ සිටි සියලු සෙනඟ වෙව්ලන්නට වූ හ. 17 එවිට මෝසෙස් දෙවියන් වහන්සේ හමු වන පිණිස සෙනඟ කඳවුරින් පිටතට ගෙනාවේ ය. ඔව්හු කන්ද පාමුල සිටගත්හ. 18 සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය. 19 හොරණෑ හඬ ද දිගට ම නද දෙමින් එන්න එන්න වැඩි විය. මෝසෙස් කතා කළ විට දෙවියන් වහන්සේ ගිගුරුම් හඬකින් උත්තර දුන් සේක. 20 සමිඳාණන් වහන්සේ එවිට සීනයි කඳු මුදුනට බැස වදාළ සේක. උන් වහන්සේ මෝසෙස් කඳු මුදුනට කැඳවූ බැවින්, ඔහු ද එහි නැඟී ගියේ ය. 21 උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”නුඹ බැස ගොස් සමිඳාණන් වහන්සේ වන මා බැලීමට මායිම් බිඳගෙන නොඑන පිණිස සෙනඟට අණ කරන්න. නැත්නම් බොහෝ දෙනෙකු නසින්න පුළුවන. 22 සමිඳාණන් වහන්සේ වන මා සමීපයට එන පූජකවරුන් ද පවිත්‍ර වීමේ වත්පිළිවෙත් ඉටු කළ යුතු ය. නැත්නම් මම ඔවුන්ට පහර දෙමි”යි වදාළ සේක. 23 එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, ”සෙනඟට සීනයි කන්දට නැඟිය නොහැකි ය. මන්ද, ‘කන්ද වට කර මායිම් සිටුවා එය ශුද්ධ භූමියක් ලෙස කැප කරන්නැ’යි කියා ඔබ අපට අණ කළ බැවිනැ”යි කීවේ ය. 24 උන් වහන්සේ ඔහු අමතමින්, ”යන්න, බැස ගොස්, නුඹ ද නුඹ සමඟ ආරොන් ද කැඳවා ගෙන නැඟී එන්න. එහෙත් පූජකවරුන් ද සෙනඟ ද සමිඳාණන් වහන්සේ වන මා වෙත නැඟී ඒමට මායිම් නොබිඳිය යුතු ය. එසේ වුණොත් මම ඔවුන්ට පහර දෙමි”යි වදාළ සේක. 25 පසුව මෝසෙස් ද සෙනඟ වෙත බැස ගොස් ඔවුන්ට එලෙස දැන්වී ය.

– 20 වන පරිච්ඡේදය –

 දස පණත
(ද්වි: නී: ස: 5:1-21)

1 දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: 2 ”වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය.
3 ”මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.”
4 ”නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. 5 නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. 6 එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.
7 ”නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.”
8 ”සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. 9 දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය. 10 එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය. 11 මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.
12 ”නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.
13 ”මිනී නොමරව.
14 ”කාමමිථ්‍යාචාරය නොකරව.
15 ”සොරකම් නොකරව.
16 ”නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.
17 ”නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.”

 සෙනඟ බිය වීම
(ද්වි: නී: ස: 5:22-23)

18 මුළු සෙනඟ මේඝ ගර්ජනා හඬ සහ හොරණෑ ශබ්දය අසා, විදුලි කෙටීම් සහ දුම් දමන කන්ද දැක බියෙන් වෙව්ලමින්, බොහෝ ඈතින් සිටගත්හ. 19 එවිට ඔව්හු මෝසෙස් අමතමින්, ”ඔබ අප සමඟ කතා කරන්න; අපි ඇහුම්කන් දෙන්නෙමු. එහෙත්, දෙවියන් වහන්සේ අප සමඟ කතා නොකරන සේක් වා! මන්ද, එසේ කළොත් අප මියයන්නට පුළුවනැ”යි කී හ. 20 ඔහු සෙනඟට උත්තර දෙමින්, ”බිය නොවන්න; දෙවියන් වහන්සේ ඔබ පරීක්ෂා කරන පිණිසත්, ඔබ පව් නොකරන ලෙස උන් වහන්සේ කෙරෙහි බිය උපදවන පිණිසත් පැමිණි සේකැ”යි කී ය. 21 එහෙත්, සෙනඟ ඈතින් ම සිටගත් කල මෝසෙස් දෙවියන් වහන්සේ වැඩසිටි අඳුරු වලාකුළට සමීප විය.

පූජාසනය පිළිබඳ නීති

22 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින් මෙසේ වදාළ සේක: ”ඉශ්රායෙල් ජනයාට නුඹ මෙසේ කියන්න, ‘මා ස්වර්ගයේ සිට නුඹලා සමඟ කතා කළ බව නුඹලා දුටුවහු ය. 23 මා සමඟ නමස්කාරය ලැබීමට නුඹලා රිදීයෙන් හෝ රනින් හෝ දෙවිවරුන් නොසාදන්න.’ 24 පස්වලින් පූජාසනයක් මට තනා, එය මත නුඹලාගේ දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද නුඹලාගේ බැටළුවන් ද ගවයන් ද පූජා කළ යුතු ය. තවද, මාගේ නාමය සිහි කරනු ලබන සෑම ස්ථානයක දී ම මම නුඹලා වෙත පැමිණ නුඹලාට ආශීර්වාද කරමි. 25 එහෙත්, මා සඳහා නුඹලා ගලින් පූජාසනයක් සාදන්නහු නම් නුඹලා එය කැපූ ගලින් ඉදි නොකරන්න. මන්ද, මෙවලමකින් නෙළන විට එය දූෂ්‍ය වන හෙයිනි. 26 තවද, නුඹලා මාගේ පූජාසනය වෙත යන විට නුඹලාගේ නග්න භාවය නොපෙනෙන පිණිස පඩිවලින් ඊට නොනැඟිය යුතු ය.”

– 21 වන පරිච්ඡේදය –

වහලුන් පිළිබඳ නීති

1 ”තවද, නුඹ පහත දක්වන නියෝග ද සෙනඟ ඉදිරියෙහි තැබිය යුතු ය. 2 නුඹ හෙබ්‍රෙව් ජාතික දාසයෙකු මිලයට ගත් විට, ඔහු අවුරුදු හයක් සේවය කොට, හත් වන අවුරුද්දේ දී කිසි වන්දි ගෙවීමක් නොමැති ව ඔහුට නිදහස් ව යන්නට ඉඩ දිය යුතු ය. 3 ඔහු තනියම පැමිණියේ නම්, ඔහු තනියම පිට වී යා යුතු ය. ඔහු විවාහ වී පැමිණියේ නම් ඔහුගේ බිරිඳ ද ඔහු සමඟ පිට වී යා යුතු ය. 4 ඔහුගේ ස්වාමියා ඔහුට භාර්යාවක පාවා දුන්නේ නම්, තවද ඈ ඔහුගෙන් දරුදැරියන් ලැබුවා නම්, භාර්යාවත්, ඇගේ දරුවනුත් ස්වාමියාට අයිති වනු ඇත. එබැවින් ඔහු තනියම පිට වී යා යුතු ය. 5 එහෙත්, දාසයා, ‘මම මාගේ ස්වාමියාට ද මාගේ භාර්යාවට ද මාගේ දරුවන්ට ද ප්‍රේම කරමි. මට නිදහස උවමනා නැතැ’යි කියා ප්‍රකාශ කරන්නේ නම්, 6 ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන් වහන්සේ වෙතට ගෙන යා යුතු ය. දොර හෝ උළුවහු කණුව හෝ ළඟට ඔහු ගෙන ගොස්, ස්වාමියා ඔහුගේ කන උල් කටුවකින් විද්ද යුතුයි. ඉන්පසු ඔහු සදහට ම ස්වාමියාට සේවය කළ යුතු වේ.
7 ”යම් මිනිසෙකු දාසියක ලෙස තම දුව විකුණුවහොත් ඈ දාසයෙකු නිදහස ලබන පරිදි තම නිදහස නොලබන්නී ය. 8 භාර්යාවක වශයෙන් තමා පාවාගත් ස්වාමියාට ඈ ප්‍රිය මනාප නොවන්නී නම්, ඈ ආපසු මිල දී ගැනීමට අවසර දිය යුතු ය. එහෙත්, ඔහුට ඇය විදේශිකයෙකුට විකිණීමට බලයක් නොමැත. මන්ද, එසේ කිරීම ඇයට කරන අසාධාරණයක් බැවිනි. 9 ස්වාමියා ඇය තම පුතුට දෙන්න අදහස් කරන්නේ නම්, ඔහු තම දූවරුන්ට මෙන් ඇයට ද සංග්‍රහ කළ යුතු ය. 10 එහෙත්, ඔහු අන් භාර්යාවක පාවාගන්නේ නම්, පළමු භාර්යාවට දෙන ආහාර, වස්ත්‍ර, භාර්යාවක වශයෙන් ඈ කෙරෙහි ඇති යුතුකම්, අඩු නොකළ යුතුයි. 11 එහෙත්, ඔහු ඇයට මේ තුන් වැදෑරුම් යුතුකම් අඩු කරන්නේ නම් ඇයට නොමිලයේ පිට වී යාමට අවසර දිය යුතු ය.”

සාහසික ක්‍රියා පිළිබඳ නීති

12 ”යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම් ඒ තැනැත්තා මරනු ලැබිය යුතු ම ය. 13 එහෙත්, මැරීමේ අදහසක් නැති ව හදිසි අනතුරකින් මරණය සිදු වී නම් ඒ තැනැත්තා පලා යා යුතු ස්ථානයක් මම නුඹට නියම කරමි. 14 එහෙත් යම් මිනිසෙක් ඕනෑකමින් තම අසල්වැසියා වෙත පැමිණ ඔහු ප්‍රයෝගයෙන් මරන්නේ නම්, ඒ තැනැත්තා මරාදමන පිණිස මාගේ පූජාසනය වෙතින් පවා ඔහු ගෙන යා හැකි ය.
15 ”තම පියාට හෝ මවට හෝ පහර දෙන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය. 16 මිනිසෙකු බලයෙන් පැහැරගෙන, විකුණන හෝ තමා ළඟ තබාගන්න හෝ තැනැත්තා මරනු ලැබිය යුතුම ය. 17 තම පියාට හෝ මවට හෝ සාප කරන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය. 18 මිනිසුන් දබර කොට ඔවුන්ගෙන් එකෙකු අනෙකාට ගලකින් හෝ අත මිට මොලවා හෝ පහර දුන් නමුත් ඔහු නොමැරී, ඇඳට වී සිට, 19 යළි නැඟිට, සැරයටියක වාරුවෙන් ගෙයින් පිටත ඇවිදින්නේ නම්, එවිට පහර දුන් තැනැත්තාට දඬුවම් නොදිය යුතු ය. එහෙත්, ඔහු අනිත් තැනැත්තාගේ වැඩ නැති කාලය සඳහා වන්දියක් ගෙවිය යුතු අතර, ඔහු සම්පූර්ණයෙන් ම සුව වන තුරු බලාගත යුතු ය.
20 ”යමෙකු තම දාසයාට හෝ දාසියට හෝ කෝටුවකින් පහර දී එවැන්නෙක් එතැන ම මළේ නම්, ඒ තැනැත්තා දඬුවම් ලැබිය යුතු ම ය. 21 එහෙත්, එවැන්නෙක් ජීවත් වන්නේ දවසක් දෙකක් නම් එවිට ඔහුගේ ස්වාමියාට දඬුවම් කරනු නොලැබේ. මන්ද, ඔහු ඒ තැනැත්තා මිල දී ගත් හෙයිනි. 22 මිනිසුන් දබර කොට, ගැබ්ගත් ස්ත්‍රියකට පහර දී, ඈ ගබ්සා වූ නමුත් ඇයට අනතුරක් නුවූවත් ස්ත්‍රියගේ සැමියා ඉල්ලන ප්‍රකාර ඒ තැනැත්තාට දඬුවම් දිය යුතු ම ය. තවද, විනිසකරුවන්ගේ තීරණය පරිදි ඔහු වන්දි ද ගෙවිය යුතුයි. 23 එහෙත්, අනතුරක් වුවහොත් පණට පණ ද, 24 ඇසට ඇස ද, දතට දත ද, අතට අත ද, පයට පය ද, 25 දැවීමට දැවීම ද, තුවාළයට තුවාළය ද, පහරට පහර ද දිය යුතු ය.
26 ”යමෙක් තම දාසයාගේ හෝ දාසියගේ හෝ ඇසට පහර දී එය අන්ධ කරන්නේ නම් නැති වූ ඇසට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය. 27 යමෙකු තම දාසයාගේ හෝ දාසියගේ හෝ දත් ගැලවී යන්න ගැසුවහොත්, දතට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය.”

දේපළ හිමිකරුවන්ගේ වගකීම

28 ”ගොනෙක් පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හෝ ඇන මරන්නේ නම්, ඒ ගොනාට ගල් ගසා මැරිය යුතු ය. උගේ මස් ද නොකෑ යුතු ය. එහෙත්, ගොනා අයිතිකරුට දඬුවම් කරනු නොලැබේ. 29 එහෙත්, ගොනා කලින් පවා අනින්ට පුරුදු එකෙක් නම්, තවද ඒ බව උගේ අයිතිකරුට දන්වා තිබුණ නමුත් ඔහු ඌ කොටු කර නොතැබීම නිසා යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ මැරුවේ නම් ගොනාට ගල් ගසා මැරිය යුතු ය. උගේ අයිතිකරු ද මරනු ලැබිය යුතු ය. 30 එහෙත්, ඔහු විසින් ගෙවිය යුතු වන්දිය නියම කර තිබේ නම් තම පණ බේරාගැන්ම සඳහා ඔහුට නියම කරන සියල්ල ඔහු ගෙවිය යුතු ය. 31 ගොනා පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට හෝ ඇන මැරුවහොත් මේ නියමය අනුව ම එය ද විසඳනු ලැබිය යුතු ය. 32 ගොනා දාසයෙකුට හෝ දාසියකට හෝ ඇන මැරුවහොත්, ඌ අයිතිකරු ඔවුන්ගේ ස්වාමියාට රිදී කාසි තිහක් දිය යුතු අතර ගොනාට ද ගල් ගසා මරාදැමිය යුතු ය.
33 ”යමෙක් වළක වැස්ම හැර තබන්නේ නම්, නොහොත් වළක් කැණ එය නොවසා තබන්නේ නම්, ගවයෙකු හෝ කොටළුවෙකු හෝ ඊට වැටුණොත්, 34 වළ අයිතිකරු අලාභය ගෙවමින් උන්ගේ අයිතිකරුට මුදල් දිය යුතු ය. එහෙත් මළ සතා ඔහුට අයිති වෙත්. 35 යමෙකුගේ ගොනෙකු වෙන අයෙකුගේ ගොනෙකුට ඇන මැරුවහොත්, පණ පිටින් සිටින ගොනා විකුණා ඒ මුදල ඔවුන් තමන් අතර බෙදාගත යුතු ය. මළ සතාගේ මස් ද බෙදාගත යුතු ය. 36 එහෙත්, කලින් පවා ඒ ගොනා අනින්න පුරුදු එකෙක් නම්, ඌ අයිතිකරු ගොනා කොටු නොකර තැබුවේ නම්, ඔහු වන්දි වශයෙන් ගොනා වෙනුවට ගොනෙකු දිය යුතුයි. එහෙත්, මළ සතා ඔහුට අයිති වේ.”

– 22 වන පරිච්ඡේදය –

වන්දි ගෙවීම පිළිබඳ නීති

1 ”යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය. 2-4 සොරාගත් සතා ඔහු ළඟ පණපිටින් ම සිට සම්බ වුණොත් ඌ ගොනෙක් වේ වා, කොටළුවෙක් වේ වා, බැටළුවෙක් වේ වා, ඔහු දෙගුණයක් ගෙවිය යුතු ය. ඔහු සම්පූර්ණ වන්දිය ම ගෙවිය යුතු වේ. එහෙත්, ඔහුට වත්කමක් නැත්නම් සොරකමේ වටිනාකම ගෙවීමට ඔහු විකුණනු ලැබිය යුතු ය. ගෙයක් බිඳින සොරෙකුට පහර දී ඔහු මළොත්, පහර දුන් තැනැත්තා වරදකරුවෙක් නොවේ. එහෙත්, ඉර උදා වූ පසු එය, කෙළේ නම් පහර දුන් තැනැත්තා වරදකරුවෙකි.
5 ”යමෙක් කුඹුරක හෝ මිදි වත්තක හෝ තමාගේ මෘගයාට කන්න ඉඩ හරින්නේ නම්, එසේ නැත්නම් ඌ ලිහා දමා තිබිය දී ඌ වෙන අයෙකුගේ කෙතක කන්නේ නම්, ඔහු තමාගේ කුඹුරින් හා මිදි වත්තෙන් ඉස්තරම් කොටසින් අලාභය ගෙවිය යුතු ය.
6 ”ගින්නක් හටගෙන, කටු පඳුරුවලට ඇවිළී ගොයම් කොළ හෝ නොකැපු ගොයම හෝ කුඹුර හෝ එයින් දැවී ගියහොත් ගින්න ගැන වගකිවයුතු තැනැත්තා සම්පූර්ණ අලාභය ගෙවිය යුතු ය.
7 ”යමෙකු මුදල් හෝ බඩු හෝ ප්‍රවේසම පිණිස වෙන කෙනෙකුට බාර දී, ඔහුගේ ගෙයින් ඒවා සොරකම් කරනු ලැබ සොරා අසු වුවහොත් ඔහු දෙගුණයක් අලාභය ගෙවිය යුතුයි. 8 සොරා අසු නුවුවහොත්, ගෙහිමියා තම අසල්වැසියාගේ බඩුවලට අත නොගැසූ බවට දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවුරුම් දිය යුතු ය.
9 ”විශ්වාසය කඩ කිරීමක දී එය ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍ර ගැන හෝ නැති වූ වෙනත් යමක් ගැන හෝ වේ වා, වෙන අයෙක් එය ‘මගේ ය’යි කියා ගනී නම් දෙපක්ෂයේ නඩුව දෙවියන් වහන්සේ වෙත ගෙන යා යුතු ය. උන් වහන්සේ වරදකරු කියා තීරණය කරන තැනැත්තා අනිත් පක්ෂයට දෙගුණයක් ගෙවිය යුතු ය.
10 ”යමෙකු අන් කෙනෙකුට කොටළුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙනත් මෘගයෙකු හෝ ප්‍රවේසම පිණිස බාර දුන් පසු, ඌ මැරුණොත්, නැත්නම් ඌට තුවාළයක් වුණොත්, එසේත් නැත්නම් කිසිවෙකුට නොපෙනී ඌ සොරා ගනු ලැබුවහොත්, 11 ඔහු තම අසල්වැසියාගේ දේපළ සොරා නොගත් බවට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන දිවුරුමකින් දෙදෙනා අතර එය තීරණය කරගත යුතුයි. දේපළ හිමිකරු පාඩුව විඳදරාගත යුතු අතර අසල්වැසියා ඊට අලාභය නොගෙවිය යුතු ය. 12 එහෙත්, ඔහුගේ මෘගයා සොරකම් කරනු ලැබුවේ නම් ඔහු අසල්වැසියාට අලාභය ගෙවිය යුතුයි. 13 ඌ වන මෘගයන් විසින් කැබලි කොට ඉරාදමනු ලැබුවේ නම් සාක්ෂි පිණිස මළ සතාගේ ඉතිරි කොටස් ගෙනා යුතුයි. එවිට කැබලි කළ මෘගයාගේ අලාභය ඔහු නොගෙවන්නේ ය.
14 ”යමෙකු අන් කෙනෙකුගෙන් මෘගයකු ඉල්ලාගෙන අයිතිකාරයා ඌ ළඟ නොසිටිය දී ඌට තුවාළ වුණොත් නැත්නම් ඌ මැරුණොත් ඔහු අලාභය ගෙවිය යුතු ම ය. 15 එහෙත්, මෘගයාගේ අයිතිකරු ළඟ සිටියේ නම් ඔහු අලාභය නොගෙවිය යුතු ය. ඌ කුලියට ගත් මෘගයෙකු නම් ඔහු කුලී මිල ගෙවිය යුතු ය.

සදාචාර හා ආගමික නීති

16 ”යමෙකු විවාහ ගිවිසුමක් කර නැති කන්‍යාවක පොළඹවා ඈ සමඟ සයනය කළොත් ඔහු දෑවැද්ද දී ඈ සමඟ විවාහ විය යුතු ය. 17 එහෙත්, ඇයගේ පියා ඔහුට ඇය විවාහ කර දීමට කොහෙත් ම කැමැති නැත්නම් ඔහු කන්‍යාවකට දිය යුතු මුදලට සම මුදලක් ගෙවිය යුතුයි.
18 ”කොඩිවිනකාර ස්ත්‍රියකට ජීවත් වීමට ඉඩ නොදිය යුතු ය.
19 ”මෘගයෙකු සමඟ මෛථූනයෙහි යෙදෙන්නා මරණයට පත් කළ යුතු ම ය.
20 ”සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය.
21 ”නුඹලා විදේශිකයෙකුට අයුත්තක් වත් හිරිහැරයක් වත් නොකළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශිකයන් ව සිටි හෙයිනි. 22 නුඹලා කණවැන්දුම් ස්ත්‍රියකට වත්, අනාථ දරුවෙකුට වත් හිරිහැර නොකළ යුතු ය. 23 නුඹලා ඔවුන්ට හිරිහැර කොට ඔවුන් මට මොරගැසුවොත් මම සැබැවින් ම ඔවුන්ගේ මොරගැසීමට සවන් දෙමි. 24 එවිට මගේ උදහස ඇවිළී, මම කඩුවෙන් නුඹලා නසන්නෙමි. නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුම් ස්ත්‍රීහු ද, නුඹලාගේ දරුවෝ අනාථ දරුවෝ ද වන්නෝ ය.
25 ”නුඹලා මගේ සෙනඟ අතර සිටින දිළින්දෙකුට මුදල් ණයට දුන්නොත්, පොළියට මුදල් දෙන අය මෙන් නොහැසිරිය යුතු ය. නුඹලා බලයෙන් පොළියක් ද නොගත යුතු ය. 26 නුඹ උගසක් මෙන් යමෙකුගේ වස්ත්‍රය ගන්නෙහි නම් ඉර බැස යාමට පෙර එය ඔහුට ආපසු දිය යුතු ය. 27 මන්ද, ඔහුට ඇත්තේ ඒ පොරෝණය පමණක් බැවිනි. ඔහු තමාගේ ඇඟට පොරොවාගන්නේ ඒ වස්ත්‍රය වේ. නැත්නම් ඔහුට නිදාගන්න ඇත්තේ කුමක් ද? ඔහු මට මොරගසන විට මා අනුකම්පා සහගත බැවින් ඔහුට සවන් දෙමි.
28 ”නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.
29 ”නුඹ, ධාන්‍යවලින් ද මිදිරසින් ද මට දිය යුතු පඬුරු පුද කිරීමට පමා නොවිය යුතු ය. නුඹලාගේ පුතුන් අතර කුලුඳුලා මට දිය යුතු වේ. 30 නුඹලාගේ ගවයන් හා බැටළුවන් සම්බන්ධයෙන් ද එලෙස ම කළ යුතුයි. වහු පැටියා දින හතක් මවු ළඟ සිටි පසු අට වන දින නුඹලා ඌ මට දිය යුතු ය.
31 ”නුඹලා මට ම කැපවූ මනුෂ්‍යයන් විය යුතුයි. තවද, කෙතේ වන මෘගයන් විසින් මරනු ලැබූ සතුන්ගේ මස් නුඹලා නොකෑ යුතු ය. ඒවා බල්ලන්ට දැමිය යුතු ය.”

– 23 වන පරිච්ඡේදය –

යුක්තිය ඉටු කිරීම

1 ”නුඹලා අසත්‍ය ප්‍රකාශයක් නොකළ යුතු ය. බොරු සාක්ෂි දෙමින් වරදකරුවෙකුට උදව් නොකළ යුතු ය. 2 නපුරක් කිරීමට වැඩි දෙනාගේ පැත්ත නොගත යුතු ය. නඩුවක දී යුක්තියට පිටුපා වැඩි දෙනාගේ පැත්ත ගෙන සාක්ෂි නොදිය යුතු ය. 3 නඩුවක දී යමෙකු දිළින්දෙකු වන නිසා ම ඔහුගේ පැත්ත ගෙන ක්‍රියා නොකළ යුතු ය.
4 ”නුඹේ සතුරාගේ ගවයා හෝ කොටළුවා හෝ මංමුළා වී ඇවිදිනු දුටුවොත්, නුඹ ඔහු වෙතට ඌ ආපසු ගෙන යා යුතු ය. 5 නුඹට වෛර කරන්නාගේ කොටළුවා උගේ බඩු තොගය යට වැටී සිටිනු නුඹ දුටුවොත්, ඌ සිටින මාර්ගයෙන් අහක් වී නොගොස්, ඌට උපකාර කළ යුතු ම ය.
6 ”නුඹලා අතර වසන දිළින්දෙකුගේ නඩුවක දී ඔහුට අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතුයි. 7 බොරු පැමිණිලි කිරීමෙන් වැළකිය යුතු ය. නිදොස්, දැහැමි තැනැත්තා මරණයට පත් නොකළ යුතු ය. මන්ද, මම වරදකරුවන් නිදොස් නොකරන්නෙමි. 8 අල්ලස් නොගත යුතු ය. අල්ලස් වනාහි සාධාරණ ලෙස සිතීමේ බුද්ධිය අඳුරු කොට නිවැරදිකරුවන්ගේ නඩු අවනඩු කිරීමට පොළොඹවන දෙයකි.
9 ”විදේශිකයෙකුට පීඩා නොකරන්න. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශී ව සිටි හෙයින් විදේශිකයන් විඳින දේ දන්නහු ය.”

සත් වන අවුරුදු විශ්‍රාමය සහ සබත් නිවාඩුව

10 ”අවුරුදු හයක් නුඹේ ඉඩම් වගාකොට ඒවායේ අස්වැන්න නෙළාගත යුතු ය. 11 එහෙත් සත් වන අවුරුද්දේ දී ඒවා පුරන් ව තිබෙන්නට හැර, ඒවායේ ඇති වන පලදාව නොගත යුතු ය. එවිට නුඹේ සෙනඟ අතර සිටින දිළිඳුන්ට ඒවා කන්න පුළුවන. ඔවුන් ඉතිරි කරන දේ වන මෘගයන්ට කන්න පුළුවන. නුඹේ මිදි වතු හා ඔලීව වතු සම්බන්ධයෙන් ද එලෙස කළ යුතු ය. 12 දින හයක් නුඹ වැඩ කොට, හත් වන දින නුඹේ ගවයාට සහ කොටළුවාට විවේකය ලැබෙන පිණිසත්, නුඹේ දාසියගේ පුතුට හා විදේශිකයාට ශරීර ශක්තිය ලැබෙන පිණිසත් නුඹ විවේක ගත යුතු ය. 13 මා නුඹට කී සියල්ලට නුඹේ අවධානය යොමු කළ යුතු ය. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න. ඒවා කටින් වත් පිට නොකළ යුතු ය.”

මහා මංගල්‍ය තුන
(නික්ම: 34:18-26; ද්වි: නී: ස: 16:1-17)

14 ”අවුරුද්දකට තුන් වරක් මා උදෙසා මංගල්‍යක් පැවැත්විය යුතු ය. 15 නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා අණ කළ පරිදි ආබිබ් මාසයේ නියමිත කාලයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙන් නික්ම ආයේ ඒ මාසයේ ය. එහෙත්, කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නොපැමිණිය යුතු ය. 16 තවද, නුඹ කෙතේ වගා කළ ධාන්‍යවල නාඹුල් පල නෙළන විට අගස් පල මංගල්‍යය පැවැත්විය යුතුයි. අවුරුද්ද අවසානයේ දී වතුපිටිවලින් නුඹේ පලතුරු රැස් කරන විට අස්වැන්නේ මංගල්‍යය සිදු කළ යුතු ය. 17 අවුරුද්දකට තුන් වරක් නුඹේ පිරිමින් සියලු දෙන සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු යි.
18 ”නුඹ මට පූජා කරන යාග පූජාවේ ලේ, මුහුන් රොටි සමඟ ඔප්පු නොකළ යුතුයි. තවද, මට පූජා කරන යාග පූජාවේ තෙල ද උදය දක්වා ඉතිරි නොකළ යුතු ය.
19 ”නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට නුඹේ ඉඩම්වලින් හොඳ ම නාඹුල් පල ගෙනා යුතු ය.
”එළු පැටවෙකු උගේ මවගේ කිරෙන් නොපිසිය යුතු ය.”

පොරොන්දු සහ උපදෙස්

20 ”බලන්න, මාර්ගයේ දී නුඹලා ආරක්ෂා කිරීමටත්, මා සූදානම් කළ ස්ථානයට නුඹලා ගෙන ඊමටත් නුඹලාට පෙරටුවෙන් මම දූතයෙකු යවන්නෙමි. 21 ඔහුට ගෞරව කරන්න, ඔහුගේ හඬට කීකරු වන්න. ඔහුට විරුද්ධ ව කැරලි නොගසන්න. මාගේ නාමයෙන් ඔහු ක්‍රියා කරන බැවින් ඔහු නුඹලාගේ වැරදි කමා නොකරන්නේ ය. 22 එහෙත්, නුඹලා ඔහුගේ හඬට කීකරු වී මා කියන සියල්ල කරන්නහු නම් මම නුඹලාගේ සතුරන්ට සතුරෙක් ද නුඹේ විරුද්ධවාදීන්ට විරුද්ධවාදියෙක් ද වන්නෙමි. 23 මාගේ දූතයා නුඹලාට පෙරටුව ගොස් අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් වෙතට නුඹලා පමුණුවන්නේ ය. මම ද ඔවුන් වනසාලමි. 24 නුඹලා ඔවුන්ගේ දෙවිවරුන්ට හිස නමා වැඳුම්පිදුම් නොකළ යුතු ය. ඔවුන් ක්‍රියා කරන ලෙස ක්‍රියා නොකළ යුතු ය. තවද, නුඹලා ඔවුන්ගේ රූප සහමුලින් ම වනසා, ඔවුන්ගේ ශිලාස්තම්භ කඩා බිඳදැමිය යුතු ය. 25 නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට නුඹලා වැඳුම්පිදුම් කළ යුතු ය. මම ආහාර පාන දී නුඹලාට ආශීර්වාද කරමින්, නුඹලා අතරින් ලෙඩ රෝග දුරු කරමි. 26 නුඹලාගේ දේශයේ කිසි ම ස්ත්‍රියක ගබ්සා නොවනු ඇත; වඳ ස්ත්‍රියක නොවනු ඇත. මම නුඹලාට දිගු කලක් ජීවත් වීමට ඉඩ දෙමි.
27 ”මම නුඹලාට පෙරටුව භීතිය හට ගන්වා, නුඹලාට මුණගැසෙන සියලු සෙනඟ වියවුල් කරවන්නෙමි, නුඹලාගේ සියලු සතුරන් නුඹලාට පිටුපා දුවන්නට සලසමි. 28 නුඹලා වෙතින් හිවීවරුන්, කානානිවරුන් හා හිත්තීවරුන් පන්නා දමන පිණිස නුඹලාට පෙරටුව මම දෙබරුන් යවන්නෙමි. 29 එක අවුරුද්දකින් මම ඔවුන් නුඹ වෙතින් පන්නා නොදමන්නෙමි. මන්ද, එසේ කළොත් රට පාළු වනු ඇත; වන මෘගයන් ද වැඩි වීමෙන් නුඹලාට අවාසි වනු ඇත. 30 නුඹලා වර්ධනය වී දේශය අයිති කරගන්නා තෙක් මම ටිකින් ටික නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නෙමි. 31 නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය. 32 නුඹලා ද ඔවුන් සමඟ හෝ ඔවුන්ගේ දෙවිවරුන් සමඟ හෝ කිසි ගිවිසුමක් නොකළ යුතු ය. 33 මට විරුද්ධ ව පව් කිරීමට ඔවුන් නුඹලා නොපොළඹවන පිණිස නුඹලාගේ දේශයෙහි ඔවුන් පදිංචි නොවිය යුතු ය. නුඹලා ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළොත් එය නුඹලාට මලපතක් වන්නේ ම ය.”

– 24 වන පරිච්ඡේදය –

ගිවිසුම ස්ථිර කිරීම

1 තවද, උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”නුඹ ද ආරොන් ද නාදාබ් ද අබිහු ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු ද සමිඳාණන් වහන්සේ වන මා වෙත කන්දට නැග, දුරින් සිට නමස්කාර කරන්න. 2 මෝසෙස් පමණක් මට ළං විය යුතු ය. සෙස්සෝ ළං නොවිය යුත්තාහ. සෙනඟ ද කන්දට නොනැංග යුතු ය”යි වදාළ සේක.
3 මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, ”සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ. 4 ඉන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ල ම ලියා තැබී ය. පසු දින අලුයම ඔහු නැඟිට, කන්ද පාමුල පූජාසනයක් ද ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස අනුව ශිලාස්තම්භ දොළහක් ද ඉදි කෙළේ ය. 5 පසුව ඔහු ඉශ්රායෙල් ජනයා අතරෙන් තරුණයන් යැවී ය. ඔව්හු දවන යාග පූජා හා ගවයන් මරා, සහභාගිකමේ පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළහ. 6 මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය. 7 පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. 8 එවිට මෝසෙස් ලේ රැගෙන, සෙනඟ මත ඉසිමින්, ”මෙය වනාහි සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමඟ කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය”යි පැවසී ය.
9 මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු ද ඉශ්රායෙල්වරුන් අතර මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙක් ද කන්දට නැඟ, 10 ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය. 11 එහෙත්, උන් වහන්සේ ඉශ්රායෙල් ජනයා අතර මේ නායකයන්ට අනතුරක් නොකළ සේක. ඔව්හු උන් වහන්සේ දුටු පසු ආහාර පාන අනුභව කළහ.

මෝසෙස් සීනයි කන්දට නැඟීම

12 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”කන්දට නැඟ මා වෙත පැමිණ මෙහි නැවතී සිටින්න. නුඹ සෙනඟට උගන්වන පිණිස මා ලියූ ආඥා හා අණපණත් අඩංගු ගල් පුවරු මම නුඹට දෙමි”යි වදාළ සේක. 13 මෝසෙස් නැඟිට තම සේවක ජෝෂුවා සමඟ ශුද්ධ කන්දට නැංගේ ය. 14 තවද, ඔහු ප්‍රජා මූලිකයන් අමතමින්, ”අප යළි ඔබ වෙත පැමිණෙන තෙක් මෙහි බලා සිටින්න. මෙන්න, ආරොන් ද හූර් ද ඔබ සමඟ සිටිති. විසඳීමට ප්‍රශ්නයක් යමෙකුට ඇත්නම් ඔහු ඔවුන් වෙත යා යුතු ය”යි කීවේ ය.
15 මෝසෙස් ඉන්පසු කන්දට නැංගේ ය. වලාකුළ කන්ද වසාගත්තේ ය. 16 සීනයි කන්ද මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය රැඳී පැවතිණි. වලාකුළ ද දින හයක් එය වසාගති. හත් වන දින උන් වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූ සේක. 17 ඉශ්රායෙල් ජනයාගේ ඇස් හමුවෙහි සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඇවිලෙමින් නඟින ගිනි ජාලාවක් මෙන් දිස් විය. 18 මෝසෙස් ද වලාකුළ මැදට ගොස් කන්දට නැංගේ ය. ඔහු දවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කන්දෙහි සිටියේ ය.

– 25 වන පරිච්ඡේදය –

ශුද්ධස්ථානය සඳහා පඬුරු
(නික්ම: 35:4-9)

1 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, මෙසේ වදාළ සේක: 2 ”මට පඬුරක් ගෙනෙන ලෙස ඉශ්රායෙල් ජනයාට කියන්න. සිය කැමැත්තෙන් ම දෙන සෑම දෙනාගෙන් ම නුඹ ඒ පඬුරු ගත යුතු ය. 3 ඔවුන්ගෙන් ගත යුතු පඬුරු නම් රන්, රිදී සහ ලෝකඩ ද, 4 නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල් ද, සිහින් හණ රෙදි හා එළු ලොම් ද, 5 රතු සායම් පෙවූ බැටළු හම්, පදම් කළ හම් සහ ෂිටිම් යන ලී ද, 6 පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් පූජාව සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද, 7 ඒපොද් නම් ශුද්ධ වස්ත්‍රය සහ ළය වැස්ම සඳහා නබමාණික්‍ය හා වෙනත් මැණික් ද යන මේවා ය. 8 තවද, නුඹලා අතර වාසය කිරීම පිණිස මට ඔවුන් ශුද්ධස්ථානයක් සෑදිය යුතු ය. 9 මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.”

ගිවිසුම් කරඬුව
(නික්ම: 37:1-9)

10 ”තවද, ඔවුන් ෂිටිම් ලීයෙන් සෙන්ටිමීටර් එකසිය දහයක් දිග, සෙන්ටිමීටර් හැටහයක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස කරඬුව සෑදිය යුතු ය. 11 එහි ඇතුළත ද පිටත ද තනි රත්රනින් ආලේප කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතුයි. 12 තවද, එය සඳහා රන් වළලු හතරක් වාත්තු කොට, එක පැත්තකට වළලු දෙකක් ද අනික් පැත්තට වළලු දෙකක් ද බැගින් එහි කකුල් හතරේ ඒවා දැමිය යුතු ය. 13 ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා රනින් ආලේප කොට 14 කරඬුව උසුලාගෙන යන පිණිස එහි දෙපැත්තේ ඇති වළලු තුළට ඒ පොලු දැමිය යුතු ය. 15 කරඬුවේ වළලු තුළ ම පොලු තිබෙන්නට හැරිය යුතු ය. ඒවා එයින් ඉවත් නොකළ යුතු ය. 16 පසුව මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක එම කරඬුවේ තැන්පත් කළ යුතු ය.
17 ”තවද, නුඹ සෙන්ටිමීටර් එකසිය දහයක් දිග, සෙන්ටිමීටර් හැටහයක් පළල කරුණාසනයක් තනි රත්රනින් සෑදිය යුතු ය. 18 කරුණාසනයේ දෙකෙළවරෙහි රනින් තළා සෑදු කෙරුබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතු ය. 19 එක කෙළවරක එක කෙරුබ්වරයෙක් ද අනික් කෙළවරේ අනික් කෙරුබ්වරයා ද සිටින සේ කරුණාසනය සමඟ එකක් වන සේ ඔවුන් සවිකර එහි දෙකෙළවරෙහි තැබිය යුතු ය. 20 කෙරුබ්වරුන්ගේ පියාපත් ද උඩට විහිදී කරුණාසනයට ඉහළින් එය වසා සිටින සේ තිබිය යුතු ය. ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා බලා සිටින්නාක් මෙන්, කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු ද හරවා තිබිය යුතු ය. 21 තවද, නුඹ කරඬුව මත කරුණාසනය තබා, කරඬුව තුළ, මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක තැන්පත් කළ යුතු ය. 22 මම ද එහි දී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඉශ්රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි.”

පිදූ රොටි තබන මේසය
(නික්ම: 37:10-16)

23 ”තවද, ෂිටිම් ලීයෙන්, සෙන්ටිමීටර් අසූඅටක් දිග, සෙන්ටිමීටර් හතළිස්හතරක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස මේසයක් සෑදිය යුතු ය. 24 එය තනි රත්රනින් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදිය යුතු ය. 25 තවද, එය වටේට මිලිමීටර් හැත්තෑපහක් පළල ඇති පටියක් සවි කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතු වේ. 26 රන් වළලු සතරක් ද සාදා මේසයේ කකුල් සතරේ කොන් සතරෙහි ඒවා දැමිය යුතු ය. 27 මේසය උසුලාගෙන යෑම සඳහා පොලු දමන වළලු, පටිය ළඟ ම තිබිය යුතු යි. 28 පොලු ද ෂිටිම් ලීයෙන් සාදා, රනින් ආලේප කළ යුතු ය. මේසය මේවායේ ආධාරයෙන් උසුලාගෙන යා යුතු ය. 29 එහි තබන තැටි ද කුසලාන ද කෙණ්ඩි ද පානීය පූජා දැමීමට ගන්න පාත්‍ර ද තනි රත්රනින් සෑදිය යුතු ය. 30 තවද, නුඹ නිතර ම පිදුම් රොටි මා ඉදිරියෙහි මේසය උඩ තැබිය යුතු වේ.”

පහන් රුක
(නික්ම: 37:17-24)

31 ”තවද, නුඹ තනි රත්රන් පහන් රුකක් සෑදිය යුතු ය. එහි අඩිය ද කඳ ද තැළූ රනින් තැනිය යුතු වේ. එහි මල් ද මල් කැකුළු ද මල් පෙති ද ඊට පෑස්සු එක වස්තුවක් විය යුතු ය. 32 පහන් රුකේ එක පැත්තක අතු තුනක් ද අනික් පැත්තේ අතු තුනක් ද බැගින් එහි පැතිවලින් අතු හයක් විහිදී යා යුතු ය. 33 එක් අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද අනික් පැත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස ම විය යුතු ය. 34 පහන් රුකෙහි ද කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මල් කැකුළු හා මල් පෙති ද විය යුතු ය. 35 පහන් රුකෙහි අතු දෙකක් යට එක මල් කැකුළක් ද තවත් අතු දෙකක් යට එක මල් කැකුළක් ද අනික් අතු දෙක යට මල් කැකුළක් ද බැගින් ඉන් විහිදී යන අතු හයේ ම එසේ විය යුතු ය. 36 මල් කැකුළු සහ අතු පහන් රුක සමඟ ඒකාබද්ධ ව තිබිය යුතු යි. සියල්ල ම තැළූ තනි රනින් කළ කර්මාන්තයක් විය යුතු ය.
37 ”නුඹ ද පහන් රුක සඳහා පහන් හතක් සාදා, ඒවායේ එළිය ඉදිරියට වැටෙන සේ පහන්වල ආලෝකය සකස් කළ යුතු ය. 38 පහන් කතුරු ද ඒවායේ තැටි ද රනින් විය යුතු ය. 39 පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්‍රෑම් තිස්පහක් පාවිච්චි කළ යුතු ය. 40 කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මේවා සෑදීමට වග බලාගත යුතු ය.”

– 26 වන පරිච්ඡේදය –

දේව මණ්ඩපය
(නික්ම: 36:8-38)

1 ”තවද, නුඹ නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණ පිළියෙන් ද කළ තිර දහයකින් මණ්ඩපය සෑදිය යුතු වේ. ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ. 2 එක තිරයක දිග මීටර් දොළහක් ද පළල මීටර් දෙකක් ද විය යුතු යි. ඒ තිර සියල්ල ම එක ප්‍රමාණයට තිබිය යුතු වේ. 3 තිර පහක්, එකටෙක සම්බන්ධ කළ යුතු ය. අනිත් තිර පහ ද එසේ ම ය. 4 මෙසේ සම්බන්ධ කළ තිරවල අන්තිම තිරයේ එක වාටියක නිල් පාට පිළියෙන් ගාංචු සෑදිය යුතු ය. අනික් තිරවල අන්තිම තිරයේ ද එලෙස කළ යුතු වේ. 5 පළමු තිරයේ ගාංචු පණහක් සෑදිය යුතු අතර, දෙවනුව යා කළ තිරවල වාටියේ ද පළමු වැන්නේ ගාංචු හා එකිනෙකට මුහුණ ලා තිබෙන අයුරින් ගාංචු පණහක් සෑදිය යුතු යි. 6 තවද නුඹ රන් කොකු පණහක් සාදා, එක මණ්ඩපයක් වන පරිදි ඒ කොකුවලින් තිර එකටෙක සම්බන්ධ කළ යුතු වේ.
7 ”මණ්ඩපයට උඩින් කූඩාරමක් වන පිණිස එළු ලොම්වලින් තිර එකොළහක් සෑදිය යුතු ය. 8 එක තිරයක දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය යුතු අතර, තිර එකොළහ ම එක ප්‍රමාණ විය යුතු වේ. 9 තිර පහක් හා තිර හයක් වෙන වෙන ම එකටෙක සම්බන්ධ කොට, හය වන තිරය දෙකට නමා මණ්ඩපයේ ඉස්සරහ කොටසේ එල්ලා වැටෙන්නට සැලැස්විය යුතු ය. 10 සම්බන්ධ කළ තිර පහේ අන්තිම තිරයේ වාටියේ ගාංචු පණහක් ද අනික් තිරවල අන්තිම තිරයේ වාටියේ ගාංචු පණහක් ද සෑදිය යුතු ය. 11 පසුව ලෝකඩ කොකු පණහක් සාදා ඒ කොකු ගාංචුවලට අමුණා, මණ්ඩපය එකක් වන සේ එකට සම්බන්ධ කළ යුතු යි. 12 මණ්ඩපයේ තිරවලින් වැඩි මනත් ව ඉතිරි වන තිර බාගය, මණ්ඩපයේ පිටුපසින් එල්ලී තිබිය යුතු ය. 13 මණ්ඩපයේ තිරවල දිගින් දෙපැත්තේ ඉතිරි වන සෙස්සෙන්, එක පැත්තකින් සෙන්ටිමීටර් පණහක් ද අනික් පැත්තෙන් සෙන්ටිමීටර් පණහක් ද මණ්ඩපය වැසෙන පිණිස එල්ලෙන්නට හැරිය යුතු ය. 14 තවද, මණ්ඩපයට රතු සායම් පෙවූ බැටළු හම්වලින් ආවරණයක් ද එය උඩ අතුරන පිණිස සියුම් හම්වලින් ආවරණයක් ද සෑදිය යුතු වේ.
15 ”තවද, මණ්ඩපය සඳහා ෂිටිම් ලීවලින් ලෑලි ඉරා, ඒවා කෙළින් සිටුවිය යුතු ය. 16 එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය යුතු වේ. 17 එක ලෑල්ලකට ඒවා එකටෙක යා කිරීම පිණිස, කුඩිම්බි දෙකක් තිබිය යුතු ය. මණ්ඩපයේ සෑම ලෑල්ලක් ම මෙසේ සකස් කළ යුතු වේ. 18 මණ්ඩපයට ලෑලි ඉරා සාදන විට, දකුණු දිශාවට මූණ ලා එහි දකුණු පැත්තට ලෑලි විස්සක් සෑදිය යුතු ය. 19 පළමු වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද, දෙ වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද බැගින් ලෑලි විස්ස යට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ. 20 මණ්ඩපයේ උතුරු දිශාවට ඇති අනික් පැත්තට ද ලෑලි විස්සක් සෑදිය යුතු අතර, 21 එක එක ලෑල්ල යට තවු දෙක බැගින් ඒවාට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ. 22 බටහිර දිශාවට ඇති මණ්ඩපයේ පිටුපසට ලෑලි හයක් සෑදිය යුතු ය. 23 මණ්ඩපයේ පිටුපස කොන්වලට ලෑලි දෙකක් ද සෑදිය යුතු අතර, 24 මේ ලෑලි ඒවායේ පහත කොටස්වල සිට මුදුනේ පළමු වන වළල්ල දක්වා යා කළ යුතු ය. කොන් දෙකේ තබන ලෑලි දෙකට ද එලෙස කළ යුතු ය. 25 මෙසේ එක එක ලෑල්ලට තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ලෑලි අටක් ඇති වේ.
26 ”තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් පොලු පහක් ද සෑදිය යුතු යි. 27 මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ පිටුපස, එනම්, බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු යි. 28 ලෑලිවල මැදින් හරස් ලීය එක කොනක සිට අනික් කොන දක්වා දිගට ම තිබිය යුතු වේ. 29 තවද, ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු සාදා හරස් ලී ද රනින් ආලේප කළ යුතු ය. 30 මෙසේ කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මණ්ඩපය ඉදි කළ යුතු වේ.”

මණ්ඩපයේ තිරය

31 ”නුඹ නිල් පාට, දම් පාට හා තද රතු පාට ලොම්වලින් හා සිහින් ව කටින ලද හණ පිළියෙන් තිරයක් සෑදිය යුතු ය. එහි ද කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ. 32 පසුව එය, රිදී තවු හතරක් සවි කළ රන් කොකු සතරක් ඇති, රන් ආලේප කළ, ෂිටිම් කණු සතරක එල්ලිය යුතු ය. 33 තිරය කොකුවලට යටින් එල්ලා, තිරයට පිටුපස ගිවිසුම් කරඬුව තැබිය යුතු වේ. මෙලෙස තිරය, ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානයෙන් වෙන් කරනු ඇත. 34 තවද, අතිශුද්ධස්ථානයේ ඇති ගිවිසුම් කරඬුව උඩ කරුණාසනය තැබිය යුතු යි. 35 තිරයට පිටතින් මේසය ද උතුරු පැත්තට තබා ඇති මේ මේසයට මූණ ලා මණ්ඩපයේ දකුණු පැත්තට පහන් රුක ද තැබිය යුතු ය. 36 මණ්ඩපයේ දොරටුවට නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල්වැඩ දැමූ කඩතුරාවක් සෑදිය යුතු යි. 37 මේ කඩතුරාව සඳහා ෂිටිම් ලීවලින් කණු පහක් ගෙන ඒවා රනින් ආලේප කළ යුතු යි. ඒවාට රන් කොකු තිබිය යුතු අතර ඒවා සවි කිරීමට ලෝකඩයෙන් තවු පහක් ද වාත්තු කළ යුතු වේ.”

– 27 වන පරිච්ඡේදය –

පූජාසනය
(නික්ම: 38:1-7)

1 ”ෂිටිම් ලීවලින් මීටර් දෙකයි දශම දෙකක් දිග, මීටර් දෙකයි දශම දෙකක් පළල, මීටර් එකයි දශම තුනක් උස, හතරැස් පූජාසනයක් සෑදිය යුතු යි. 2 එය සමඟ ඒකාබද්ධ ව සිටින සේ එහි කොන් හතරේ අං හතරක් සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු යි. 3 තවද, එහි තෙල් සහිත අළු දැමීමට බඳුන් හා හැඳි ද තලි ද අඬු ද ගිනිකබල් ද සෑදිය යුතු වේ. මේ උපකරණ සියල්ල ම ලෝකඩයෙන් නිර්මාණය කළ යුතු ය. 4 ඊට දැලක අයුරින් ලෝකඩ මැස්සක් සාදා, එහි හතර කොන්හි ලෝකඩ වළලු හතරක් දැමිය යුතු ය. 5 එය ද පූජාසනයේ පහළ සිට පූජාසනයේ මැද හරියට වෙන තෙක්, පූජාසනයේ ගැටිය යට තැබිය යුතු යි. 6 පූජාසනයට ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු අතර, 7 පූජාසනය උසුලාගෙන යන විට එහි දෙපැත්තේ තිබෙන පිණිස ඒවා වළලු තුළින් දැමිය යුතු වේ. 8 පූජාසනය තුළ කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදිය යුතු යි. නුඹට කන්දේ දී පෙන්නූ ප්‍රකාර නුඹ ඒවා තැනිය යුතු වේ.”

මණ්ඩපයේ මළුව
(නික්ම: 38:9-20)

9 ”නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි. 10 ඒවායේ කුළුණු සහ තවු විස්සක් ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය. 11 එලෙස ම මණ්ඩපයේ උතුරු පැත්තට මීටර් හතළිස්හතරක් දිග තිර සකස් කළ යුතු ය. ඒවායේ කණු විස්ස හා තවු විස්ස ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය. 12 මණ්ඩපයේ බටහිර පැත්තට මීටර් විසිදෙකක් පළල තිර ද ඒවාට කණු දහයක් හා තවු දහයක් ද සෑදිය යුතු ය. 13 නැගෙනහිර දෙසටත් මළුවේ පළල මීටර් විසිදෙකක් විය යුතු ය. 14 දොරටුව සඳහා එක පැත්තකට මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු වේ. 15 අනික් පැත්තටත් මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු ය. 16 තවද, දොරටුව සඳහා නිල් පාට, දම් පාට, ලා රතු සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද වැඩදමා ගෙතූ, මීටර් නවයක් දිග තිරයක් විය යුතු ය. ඊට කණු හතරක් හා තවු හතරක් ද තිබිය යුතු ය. 17 මළුව වටේට ඇති කණු සියල්ල ම රිදී පොලුවලින් යා කළ යුතු ය. ඒවායේ වළලු රිදීයෙන් ද තවු ලෝකඩයෙන් ද තැනිය යුතු ය. 18 මළුවේ දිග මීටර් හතළිස්හතරක් ද පළල මීටර් විසිදෙකක් ද උස මීටර් දෙකයි දශම දෙකක් ද විය යුතු ය. එහි තිර සිහින් ව කටින ලද හණවලින් ද ඒවායේ තවු ලෝකඩයෙන් ද සෑදිය යුතු වේ. 19 මණ්ඩපයේ සියලු සේවාවලට භාවිතා කරන සියලු උපකරණ ද මණ්ඩපයේත්, මළුවේත් ඇති කූඤ්ඤ සියල්ල ද ලෝකඩයෙන් විය යුතු ය.”

පහන් දල්වන තෙල්
(ලෙවී 24:1-4)

20 ”පහන නිතර ම දැල්වෙමින් පවතින පිණිස, පහනට පිරිසිදු ඔලීව තෙල් ගෙනෙන්නට නුඹ ඉශ්රායෙල් ජනයාට අණ කළ යුතු ය. 21 තිරයට පිටතින් ගිවිසුම් කරඬුව ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයෙහි, උදය පටන් සවස දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දැල්වෙන පිණිස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්, මේ පහන තැබිය යුතු වේ. මෙය ඉශ්රායෙල් ජනයා හා ඔවුන්ගේ පෙළපත් සදහට ම පිළිපැදිය යුතු නියෝගයක් වන්නේ ය.”

– 28 වන පරිච්ඡේදය –

පූජක ඇඳුම්
(නික්ම: 39:1-21)

1 ”මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න. 2 නුඹේ සහෝදරයා වන ආරොන් සඳහා ගරුත්වය හා අලංකාරය ගෙන දෙන ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු ය. 3 ආරොන් මට පූජක සේවය කරන පිණිස ඔහු කැප කිරීමට අවශ්‍ය වස්ත්‍ර සෑදීමට මා විසින් විශේෂ හැකියාවකින් පූර්ණ කොට තිබෙන, සියලු දක්ෂ ශිල්පීන් හට නුඹ අණ කළ යුතු ය. 4 ඔවුන් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්ම, ඒපොද් නම් සැට්ටය, ලෝගුව, මල් වැඩ දැමූ කබාය, මකුටය සහ බඳපටිය වේ. නුඹේ සහෝදර ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මට පූජක සේවය කරන පිණිස ඔවුන්ට ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු යි. 5 මේ සඳහා රත්රන් ද, නිල්, දම් සහ තද රතු පාට නූල් ද සිහින් හණ ද ශිල්පීන් පාවිච්චි කළ යුතු ය.”
6 ”ඒපොද් නම් සැට්ටය, රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් ද වැඩ දමා විසිතුරු කර සිහින් ව කටින ලද හණවලින් සෑදිය යුතු ය. 7 එහි දෙකෙළවරේ සම්බන්ධ කරන උර පටි දෙක සවි කළ යුතු ය. 8 එහි මනා සේ ගොතන ලද බඳපටිය ද සැට්ටය සමඟ එකට සම්බන්ධ ව, එය මෙන් ම රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද සෑදූ එකක් විය යුතු ය. 9 තවද, නුඹ නඛමාණික්‍ය දෙකක් ගෙන ඉශ්රායෙල් ජනයාගේ නාම ඒවායේ කැටයම් කළ යුතු වේ. 10 ඔවුන් උපන් පිළිවෙළ අනුව නම් හයක් එක ගලක ද අනික් නම් හය අනිත් ගලේ ද විය යුතු යි. 11 මැණික්කරුවෙකුගේ දස්කම් පාමින්, මුද්‍රා කෙටීම මෙන් ඉශ්රායෙල් ජනයාගේ නාම ගල් දෙකේ කැටයම් කොට, ඒවා රන් කෙවෙණිවල බැඳිය යුතු ය. 12 ඉශ්රායෙල් ජනයා සිහි කිරීමේ ගල් මෙන්, ඒ ගල් දෙක ඒපොද් නම් සැට්ටයේ උර පටියේ ඔබ්බා තැබිය යුතු ය. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියට තම උරහිස් දෙක මත සිහිවීමක් මෙන් ඔවුන්ගේ නාම උසුලාගෙන යනු ඇත. 13 නුඹ රන් කෙවෙණි දෙකක් ද 14 ගෙතූ රන් මාල දෙකක් ද සාදා කෙවෙණි දෙකට ගෙතූ මාල සම්බන්ධ කළ යුතු ය.
15 ”තවද, ඒපොද් නම් සැට්ටයේ කලාවට සම වන පරිදි විනිශ්චයේ ළය වැස්ම ද ගෙත්තම් කොට සෑදිය යුතු ය. එය රනින් ද නිල්, දම් සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද සෑදිය යුතු ය. 16 එය හතරැස් ව දෙපටක් විය යුතු අතර, එහි දිග සෙන්ටිමීටර් විසිදෙකක් ද පළල සෙන්ටිමීටර් විසිදෙකක් ද විය යුතු ය. 17 එය පිට මැණික් ගල් පේළි හතරක් බැඳිය යුතු ය. පළමු වන පේළිය ලෝහිතංකයක් ද පුෂ්පරාගයක් ද මරකතයක් ද 18 දෙ වන පේළිය පච්ච මාණික්‍යයක් ද නීල මාණික්‍යයක් ද වජ්‍රයක් ද 19 තෙ වන පේළිය පද්මරාගයක් ද වර්ණකාන්තියක් ද අඹතෙස් ගලක් ද 20 සතර වන පේළිය රන් කාන්තියක් ද නබමාණික්‍ය ද සූර්යකාන්තියක් ද විය යුතු ය. ඒවා ද රන් කෙවෙණි වල බහා තිබිය යුතු ය. 21 ඒ ගල්වල ඉශ්රායෙල් ජනයාගේ නම් තිබිය යුතු වේ. මෙලෙස නම් ඇති ගල් දොළහේ, මුද්‍රා කැටයම් මෙන්, එක් එක් ගලක ගෝත්‍ර දොළහේ නම් එක එක බැගින් තිබිය යුතු ය. 22 ළය වැස්ම සඳහා ද තනි රනින් එකට ගෙතූ මාල සෑදිය යුතු යි. 23 ළය වැස්මට රන් මුදු දෙකක් සාදා ඒ රන් මුදු දෙක ළය වැස්මේ දෙකෙළවරේ දැමිය යුතු යි. 24 ගෙතූ රන් මාල දෙක ළය වැස්මේ දෙකෙළවරේ ඇති මුදු දෙකේ ඇමිණිය යුතු වේ. 25 ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවර ද රන් කෙවෙණි දෙකට අමුණා, ඒවා ඒපොද් සැට්ටයේ උර පටි පිට ඉස්සරහින් තැබිය යුතු යි. 26 රන් වළලු දෙකක් ද සාදා, ළය වැස්මේ පහත වාටියේ දෙකෙළවරේ ඒපොද් සැට්ටය දෙසට වන පරිදි ඒවා ඇතුළු පැත්තෙන් සවි කළ යුතු ය. 27 තවත් රන් වළලු දෙකක් සාදා, ඒපොද් සැට්ටයට යටින් දෙපැත්තේ උර පටි දෙක පිට, මූට්ටුව ළඟ ගෙත්තම් කළ බඳපටියට උඩින් දැමිය යුතු ය. 28 ළය වැස්ම ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද පිණිසත්, එය ඒපොද් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි වළලු ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද යුතු ය. 29 ආරොන් ද ශුද්ධස්ථානයට ඇතුළු වන විට, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර පවතින සිහි වීමක් වන පිණිස තම ළය මත ඇති විනිශ්චයේ ළය වැස්මෙහි ඉශ්රායෙල් ජනයාගේ නාම දැරිය යුතු ය. 30 විනිශ්චයේ ළය වැස්මෙහි උරිම් සහ තුම්මිම් යන පස ඇට දැමිය යුතු වේ. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියට පැමිණෙන විට ඒවා ඔහුගේ ළය මත තිබෙනු ඇත. ඔහු ද සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර ම ඉශ්රායෙල් ජනයා විනිශ්චය කිරීමේ උපකරණ තම ළය මත දැරිය යුතු වේ.”

සළුව
(නික්ම: 39:22-31)

31 ”ඒපොද් සැට්ටයේ සළුව සම්පූර්ණයෙන් ම නිල් පාටින් සෑදිය යුතු ය. 32 එහි මැද හිස දැමීමට සිදුරක් තිබිය යුතු අතර මේ සිදුර නොඉරෙන පිණිස, හම් කබායක සිදුර මෙන් එය වට වියන ලද වාටියක් තිබිය යුතු යි. 33 එහි පහළ මුළු වාටිය දිගේ ම, නිල්, දම් සහ තද රතු පැහැති දෙළුම් ගෙඩි ද ඒවා අතරතුර වටේට ම රනින් කළ මිණි ගෙඩි ද සෑදිය යුතු ය. 34 මෙසේ සළුවේ වාටිය දිගේ ම රන් මිණි ගෙඩියක් හා දෙළුම් ගෙඩියක් ද බැගින් මාරුවෙන් මාරුවට ඇති වේ. 35 ආරොන් පූජක සේවය ඉටු කරන කල එය පැළඳිය යුතු ය. මෙලෙස ඔහු ශුද්ධස්ථානයෙහි සමිඳුන් වන මා ඉදිරියට පැමිණෙන විට ද එයින් පිටත එන විට ද කිංකිණි නාදය ඇසෙනු ඇත; ඔහු ද නොමැරෙන්නේ ය.”
36 ”නුඹ තනි රනින් තහඩුවක් සාදා, එය මත මුද්‍රා කැටයමක් මෙන් ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන කැටයම් කළ යුතු අතර 37 නිල් පටියකින් එය මකුටයේ ඉදිරිපසට වෙළිය යුතු යි. 38 එය ආරොන්ගේ නළල මත විය යුතු වේ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මට කැප කරන ශුද්ධ පඬුරුවල යම් අඩුපාඩුවක් තිබේ නම්, ඒවා ගැන ඔහු වග කියනු ඇත. පුද පඬුරු සමිඳාණන් වහන්සේ වන මට ප්‍රසන්න වන පිණිස, ආරොන් නිතර ම එය තම නළල මත පැළඳිය යුතු යි.”
39 ”සිහින් හණ නූලින් සැදි කබාය ගෙත්තම් කොට, මකුටය ද සිහින් හණ නූලින් සාදා, බඳපටිය ද ගෙත්තම් කොට සෑදිය යුතු ය.
40 ”ආරොන්ගේ පුත්‍රයන්ට ද ගරුත්වය හා අලංකාරය ගෙන දෙන කබා ද බඳපටි ද ශිරස්ක ද සෑදිය යුතු ය. 41 මේ ඇඳුම් නුඹේ සහෝදර ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට පළඳවා, ඔවුන් පූජක පදවියේ මට ආවතේව කරන පිණිස, ඔවුන් ආලේප කොට, ඔවුන්ට පූජකවරය දී ඔවුන් කැප කළ යුතු ය. 42 ඔවුන්ගේ නග්නභාවය වසන පිණිස හණ නූලින් ඉඟ සිට කලවය දක්වා කලිසම් සෑදිය යුතු යි. 43 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මරණයට හේතු වන අපරාධයකට පත් නොවන පිණිස, සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ශුද්ධස්ථානයේ පූජාසනයට පූජක සේවා කිරීමට ළඟා වන විට හෝ ඒවා ඇඳගෙන සිටිය යුතු ය. මෙය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් සදහට ම වලංගු නියෝගයකි.”

– 29 වන පරිච්ඡේදය –

ආරොන් සහ ඔහුගේ පුතුන් කැප කිරීම
(ලෙවී 8:1-36)

1 ”ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක පදවියෙහි මට සේවා කිරීමට කැප කිරීමේ දී නුඹ පිළිපැදිය යුතු පිළිවෙත මෙය වේ. කැළලක් නැති ගව නාම්බෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද ගන්න. 2 නුමුහුන් රොටි ද තෙලින් බදින ලද හා තෙල් ගාන ලද නුමුහුන් රොටි ද ගන්න. මේවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතු වේ. 3 නුඹ ඒවා එක පැසක දමා, ඒ පැස ද ගව නාම්බා සහ බැටළුවන් දෙන්නා ද ගෙනා යුතු ය.
4 ”ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟට ගෙනවුත්, ඔවුන්ට ස්නානය කිරීමට සලසන්න. 5 ඉන්පසු නුඹ වස්ත්‍ර ගෙන, ආරොන්ට කබාය ද ඒපොද් සැට්ටයේ සළුව ද ඒපොද් සැට්ටය ද ළය වැස්ම ද පළඳවා, ඒපොද් සැට්ටයේ ගෙත්තම් කළ බඳපටිය ඔහුගේ ඉණ වටා දැමිය යුතු ය. 6 ඔහුගේ සිරස මත මකුටය ද එය මත ශුද්ධ කිරීටය ද පැළඳවිය යුතු ය. 7 පසුව ආලේප තෛලය ගෙන ඔහුගේ සිරස මත වත් කරමින්, ඔහු ආලේප කළ යුතු වේ.
8 ”ඉන්පසු ඔහුගේ පුත්‍රයන් ද කැඳවා ඔවුන්ට කබා හඳවා, 9 බඳපටි ඉණ වටා සවි කොට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මත හිස් වැසුම් සවි කරන්න. මෙසේ කිරීමෙන් සදහට ම වලංගු නියෝගයක් ලෙස පූජක නිල පදවිය ඔවුන්ගේ වන්නේ ය. මේ අයුරින් නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට පූජකවරය දිය යුතු ය.”

පඬුරු පුද කිරීම

10 ”නුඹ සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට ගව නාම්බා ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය. 11 සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නුඹ ඌ මැරිය යුතු ය. 12 පසුව, උගේ ලේ ගෙන, නුඹ ඇඟිල්ලෙන් එය පූජාසනයේ අං මත තවරා, ඉතුරු ලේ සියල්ල පූජාසනයේ පාමුල ළඟ වත් කළ යුතු යි. 13 අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය. 14 එහෙත්, ගව නාම්බාගේ මස් ද උගේ හම හා ගොම ද කඳවුරින් පිටත ගින්නෙන් පිළිස්සිය යුතු ය. එය පාප නසන පූජාවකි.
15 ”නුඹ එක බැටළුවෙකු ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය. 16 පසුව ඌ මරා, උගේ ලේ ගෙන පූජාසනයේ සෑම පැත්තට ම ඉසිය යුතු ය. 17 ඉන්පසු ඌ කැබලි කොට, උගේ අතුණු සහ කකුල් සෝදා, ඒවා උගේ මස් කැබලි ද හිස ද සමඟ තැබිය යුතු ය. 18 මෙසේ කළ පසු බැටළුවා මුළුමනින් ම පූජාසනය මත පිළිස්සිය යුතු වේ. එය මට පුද කරන දවන යාග පූජාවකි. ගින්නෙන් දැවූ, එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින සුමිහිරි පූජාවකි.
19 ”නුඹ අනික් බැටළුවා ද ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය. 20 ඉන්පසු ඌ මරා උගේ ලේ ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් පෙතිවල ද ඔවුන්ගේ දකුණත්වල මාපට ඇඟිලිවල ද දකුණු පාදවල මාපට ඇඟිලිවල ද තවරා, ඉතිරි ලේ පූජාසනයේ හැම පැත්තට ම ඉසිය යුතු ය. 21 පසුව පූජාසනය මත ඇති ලෙයින් ටිකක් ද ආලේප තෛලයෙන් ටිකක් ද ගෙන ආරොන් මත ද ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් මත ද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර මත ද ඉසිය යුතු ය. මෙලෙස ඔහු ද ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද ඔහු සමඟ කැප වනු ඇත.
22 ”තවද, බැටළුවාගේ තෙල් ද එනම්, තෙල් සහිත වල්ගය ද අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක ද ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත යුතු ය. මන්ද, ඒ බැටළුවා කැප කරන ලද්දෙකි. 23 තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් රොටි ඇති පැසෙන් රොටියක් ද තෙලින් බැදි රොටියක් ද තුනී රොටි පෙත්තක් ද ගෙන, 24 මේ ආහාර සියල්ල ආරොන් හා ඔහුගේ පුතුන්ගේ අත්වල තබා, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරවා, ඒවා පුද කිරීමට සැලැස්විය යුතු ය. 25 ඉන්පසු නුඹ ඔවුන්ගේ අත්වලින් ඒවා ගෙන පූජාසනයේ දවන යාග පූජාවක් මත සමිඳාණන් වහන්සේ වන මට සුවඳැති පූජාවක් මෙන් එය පිළිස්සිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින ගින්නෙන් දැවූ පූජාවකි. 26 නුඹ ද ආරොන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරමින් එය පුද කළ යුතු වේ. එය ඔබට හිමි කොටස වන්නේ ය. 27 ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ද පුදන ලද උගේ ගාතය ද ගෙන, පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් නුඹ ඒවා කැප කළ යුතු ය. 28 සදහට ම වලංගු නියෝගයක් ලෙස, ඉශ්රායෙල් ජනයාගෙන් ගත යුතු, ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට හිමි කොටස එය වනු ඇත. එය වෙන් කරන ලද කොටසකි: ඉශ්රායෙල් ජනයා තමන්ගේ සහභාගි වීමේ පූජාවල දී වෙන් කළ කොටසකි. එය ඔවුන් සමිඳාණන් වහන්සේ වන මට පුද කරන විශේෂ පූජාව වනු ඇත.
29 ”ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර, ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයන්ට හිමි වනු ඇත. ඔවුන් ඒවා පැළඳ ආලේපනය හා පූජකවරය ලැබිය යුතු යි. 30 ආරොන්ගේ පුත්‍රයන් අතරින්, ඔහුගේ පූජක පදවියට පත් වන තැනැත්තා ශුද්ධස්ථානයේ සේවා කිරීම සඳහා සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට සත් දවසක් මේ වස්ත්‍ර පැළඳිය යුතු ය.”

ශුද්ධ භෝජනය

31 ”පූජකවරය දීම සඳහා පුද කළ බැටළුවා ගෙන, පවිත්‍ර ස්ථානයක උගේ මාංසය පිසිය යුතු ය. 32 සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද බැටළුවාගේ මස් සහ පැසේ ඇති රොටි වැළඳිය යුතු ය. 33 ඔවුන් පූජකවරය ලැබීමේ දී හා ඔවුන් කැප කිරීමේ දී, ඔවුන්ගේ පාපවලට කමාව ලබාගැනීම සඳහා ගත් දේවල් ද ඔවුන් වැළඳිය යුතු ය. එහෙත්, ඒවා ශුද්ධ බැවින්, ඔවුන් හැර වෙන කිසිවෙකු ඒවා නොවැළඳිය යුතු ය. 34 පූජකවරය දීමේ දී ගත් මස්වලින් හා රොටිවලින් කිසිවක් උදය දක්වා ඉතිරි වුවහොත්, එය ගින්නෙන් පිළිස්සිය යුතු වේ. ඒවා ශුද්ධ බැවින් නොවැළඳිය යුතු වේ.
35 ”මා නුඹට අණ කළ සියල්ල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට ඉටු කළ යුතු ය. දවස් හතක් තුළ නුඹ ඔවුන්ට පූජකවරය දීමේ පිළිවෙත ඉටු කළ යුතු යි. 36 නුඹ දිනපතා ම පාප සඳහා ඒවාට සමාව ලබාගැනීම පිණිස ගව නාම්බෙකු බැගින් පූජා කළ යුතු ය. පව් කමාව සඳහා යාගයක් ඔප්පු කිරීමෙන් නුඹ පූජාසනයේ පාප දුරු කරන්නෙහි ය. ඉන්පසු එය විශුද්ධ කිරීම සඳහා ආලේප කළ යුතු ය. 37 දවස් හතක් ම නුඹ පූජාසනයේ පව් දුරලීමේ වත්පිළිවෙත් කොට එය විශුද්ධ කළ යුතු යි. එවිට එය අතිශුද්ධ පූජාසනය වනු ඇත. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”

දෛනික යාග
(ගණන්: 28:1-8)

38 ”පූජාසනය මත නුඹ දිනපතා ම, නොකඩවා පූජා කළ යුතු පඬුරු නම්, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකි. 39 උදයට එකෙකු ද අනිකා සවසට ද පූජා කළ යුතු ය. 40 එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය. 41 තවද, සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින, ගින්නෙන් දැවූ සුමිහිරි පූජාවක් වනු පිණිස, අනික් බැටළුවා ද සවස් කාලයේ දී, උදය ඔප්පු කළ පරිදි ධාන්‍ය පූජාවක් හා පානීය පූජාවක් සමඟ ඔප්පු කළ යුතු ය. 42 මෙය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපයේ දොරටුව අසල, නුඹේ සෑම පෙළපතක් මඟින් ම නොකඩවා ඔප්පු කළ යුතු දවන යාග පූජාවක් විය යුතු ය. එහි දී මම නුඹලා හමු වෙමි; නුඹලා සමඟ කතා කරමි. 43 එහි දී මම ඉශ්රායෙල් ජනයා හමු වෙමි. එම ස්ථානය ද මාගේ මහිමයෙන් විශුද්ධ කරනු ලැබේ. 44 මම සම්මුඛ මණ්ඩපය හා පූජාසනය විශුද්ධ කරමි. ආරොන් සහ ඔහුගේ පුතුන් මට පූජක පදවියෙහි සේවය කරනු පිණිස විශුද්ධ කරමි. 45 මම ඉශ්රායෙල් ජනයා අතර වාසය කරමින් ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි. 46 ඔව්හු ද තමන් අතර වාසය කරන පිණිස මිසර දේශයෙන් පිටතට ගෙනා ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව දැනගන්නෝ ය. මම ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”

– 30 වන පරිච්ඡේදය –

දුම් පුදන පූජාසනය
(නික්ම: 37:25-28)

1 ”නුඹ සුවඳ දුම් ඔප්පු කිරීමට ෂිටිම් ලීයෙන් පූජාසනයක් තනන්න. 2 එහි දිග සෙන්ටිමීටර් හතළිස්පහක් ද පළල සෙන්ටිමීටර් හතළිස්පහක් ද උස සෙන්ටිමීටර් අනූවක් ද ඇති ව, හතරැස් ව එය සෑදිය යුතු යි. එහි අං එය සමඟ ඒකකයක් විය යුතු ය. 3 එහි මුදුන ද හතර පැත්ත ද අං ද රනින් ආලේප කළ යුතු අතර එය වටේට රන් ලීස්තරයක් ද සෑදිය යුතු ය. 4 එහි ලීස්තරය යට, දෙපැත්තේ කොන් දෙකට කිට්ටු ව රන් වළලු දෙකක් ද සවි කළ යුතු ය. පූජාසනය උසුලාගෙන යෑම පිණිස ගන්න පොලුවල ඒවා දමනු ඇත. 5 ඒ පොලු ද ෂිටිම් ලීයෙන් සාදා රනින් ආලේප කළ යුතු ය. 6 ගිවිසුම් කරඬුව වසා තිබෙන කරුණාසනයට ඉස්සරහින්, එනම්, ගිවිසුම් කරඬුව ඉදිරියට ඇති තිරය ඉස්සරහින්, එය තැබිය යුතු ය. මා නුඹ හමු වන්නේ එම ස්ථානයේ ය. 7 දිනපතා උදය ආරොන් පහන් පිළියෙළ කොට, ඔහු එහි සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය. 8 සවස ඔහු පහන් දල්වන විට ද සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය. නුඹේ සෑම පෙළපතක් මඟින් ම එය නොකඩවා ඉටු කළ යුතු සුවඳ දුම් පූජාවක් විය යුතු ය. 9 තවද, එය මත තහනම් වූ සුවඳ ද්‍රව්‍යයන් හෝ දවන යාග පූජාවක් වත්, ධාන්‍ය පූජාවක් හෝ පානීය පූජාවක් වත් ඔප්පු නොකළ යුතු ය. 10 අවුරුද්දකට වරක් ආරොන් එහි අං පිට පව් කමාව ලබාගැනීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. අවුරුද්දකට වරක් පාප කමාව ලබන පූජාවේ ලේ ගෙන, පූජාසනය මත පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එය නුඹේ සෑම පෙළපතක් මඟින් ම ඉටු කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ අතිශුද්ධ පූජාසනයකි.”

දේව මාලිගාව සඳහා බද්ද

11 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, මෙසේ වදාළ සේක: 12 ”නුඹ ජන ලේඛනයක් සඳහා ඉශ්රායෙල් ජනයා සංගණනය කරන විට, සංගණනය කරන අවස්ථාවේ දී ඔවුන් අතර වංසගතයක් නොපැමිණෙන පිණිස සෑම කෙනෙකු ම තම තමා වෙනුවෙන් මට මිදීමේ මුදලක් ගෙවිය යුතු ය. 13 සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය. 14 සංගණනයට ඇතුළත් වන සෑම කෙනෙක් ම එනම් අවුරුදු විස්සක් හා ඊට වැඩි වයසැති අය, මට පඬුරක් දිය යුතු වේ. 15 නුඹ ඔවුන් වෙනුවට මිදීම ලබාගැනීමේ මුදලක් වශයෙන් තම පඬුර සමිඳාණන් වහන්සේ වන මට පුදන කල ධනවතා නියම මිලට වැඩියෙන් හෝ දුප්පතා ඊට අඩුවෙන් හෝ නොදිය යුතු ය. 16 නුඹ ද ඉශ්රායෙල් ජනයා උදෙසා මිදීම ලබාගැනීමේ මුදල් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා එය වැය කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි ඉශ්රායෙල් ජනයා සිහිවීමක් ද නුඹලා වෙනුවට පව් කමාවේ මුදලක් ද වනු ඇත.”

ලෝකඩ භාජන

17 සමිඳාණන් වහන්සේ නැවතත් මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: 18 ”පවිත්‍ර වීම පිණිස නුඹ ලෝකඩයෙන් භාජනයක් ද, ලෝකඩයෙන් එහි අඩිය ද සාදන්න. එය සම්මුඛ මණ්ඩපය සහ පූජාසනය අතර තබා ඊට වතුර දැමිය යුතු යි. 19 ආරොන් සහ ඔහුගේ පුතුන් තමන්ගේ අත් පා එයින් සේදිය යුතු ය. 20 ඔවුන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ගින්නෙන් දැවූ දවන පඬුර සමිඳාණන් වහන්සේට ඔප්පු කරමින්, සේවා කිරීම සඳහා පූජාසනය ළඟට කිට්ටු වන විට හෝ ඔව්හු වතුරින් තමන් සෝදාගන්නො‍් නම් මරණයට පත් නො වන්නො‍් ය. 21 මෙලෙස ඔවුන් නොමැරෙන පිණිස තමන්ගේ අත් පා සෝදාගත යුතු ය. මෙය ඔහු කෙරෙහි ද, ඔහුගේ පෙළපතින් පැවතෙන සියල්ලන් කෙරෙහි ද සදහට ම වලංගු නියෝගයකි.”

ආලේප තෙල් හා සුවඳ ද්‍රව්‍ය

22 සමිඳාණන් වහන්සේ යළි මෝසෙස් අමතා මෙසේ වදාළ සේක: 23 ”කිලෝග්‍රෑම් හයක දියාරු ගන්ධ රස ද ඉන් බාගයක් වන කිලෝග්‍රෑම් තුනක සුවඳ කුරුඳු ද කිලෝග්‍රෑම් තුනක සුවඳ උක්ගස් ද 24 ශුද්ධස්ථානයේ මිල අනුව කිලෝග්‍රෑම් හයක තලිස් පතුරු ද යන අගනා සුවඳ ද්‍රව්‍ය ද ඔලීව තෙල් ලීටර් හතරක් ද ඔබ ගත යුතු ය. 25 ඉන්පසු සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවායින් ආලේපනය සඳහා ශුද්ධ තෛලයක් වන තෙල් සංයෝගයක් සෑදිය යුතු ය. එය ආලේප කරනු පිණිස ශුද්ධ තෛලයක් වනු ඇත. 26 එයින් සම්මුඛ මණ්ඩපය හා ගිවිසුම් කරඬුව ද 27 මේසය හා එහි උපකරණ ද පහන් රුක හා එහි උපකරණ ද සුවඳ දුම් පූජාසනය ද 28 දවන යාග පිදීමේ පූජාසනය හා එහි උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද ආලේප කළ යුතු ය. 29 මෙසේ ඒවා ශුද්ධ වන පිණිස කැප කළ යුතු ය. ඒවා ස්පර්ශ වන සෑම දෙයක් ද ශුද්ධ වනු ඇත. 30 ඉන්පසු නුඹ ආරොන් සහ ඔහුගේ පුතුන් ආලේප කොට ඔවුන් මට පූජක පදවියේ සේවා කරන පිණිස ඔවුන්ට පූජකවරය ප්‍රදානය කළ යුතු ය. 31 ඉන්පසු නුඹ ඉශ්රායෙල් ජනයා අමතා, ‘ඔබේ පෙළපත් මේ ආලේප තෛලය ශුද්ධ දෙයක් හැටියට සැලකිය යුතු ය. 32 මනුෂ්‍ය ශරීරය පිට එය වත් නොකළ යුතු ය. එකී සංයෝගය මෙන් අන් කිසිවක් ද නොසෑදිය යුතු ය. එය ශුද්ධ ය. එය ඔබට ශුද්ධ දෙයක් විය යුතු ය. 33 යමෙක් ඊට සමාන අන් සංයෝගයක් සාදන්නේ ද යමෙක් ඉන් මඳක් පූජකයෙකු නොවන්නකු මත දමන්නේ ද ඔහු තම සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය’ කියා අණ කරන්න.”
34 නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: ”නුඹ සුවඳ ද්‍රව්‍ය වන නාතාප් සහ ෂෙබෙලෙක් ද බෙල්බෙනා සහ පිරිසිදු තුවරලා ද සම බරට ගෙන, 35 සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවා ලුණෙන් පදම් කොට ශුද්ධ සුගන්ධයක් සෑදිය යුතු ය. 36 තවද, නුඹ එයින් කොටසක් සුණු කොට, ඉනුත්, කොටසක් මා නුඹ හමු වන සම්මුඛ මණ්ඩපයේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඉසිය යුතු ය. නුඹ මෙය අතිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුතු ය. 37 නුඹේ ප්‍රයෝජනය සඳහා මේ සුගන්ධ සංයෝගයට සමාන අනෙකක් නොසෑදිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ දෙයක් හැටියට නුඹ සැලකිය යුතු ය. 38 යමෙක් ඊට සමාන සුවඳැති අනෙකක් සාදන්නේ ද ඔහු සිය සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය.”

 

– 31 වන පරිච්ඡේදය –

ශුද්ධස්ථානය ඉදි කිරීමට ශිල්පීන්
(නික්ම: 35:30-36:1)

1 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”බලන්න, මම ජුදාගේ ගෝත්‍රයේ හුර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරා ගතිමි. 3 තවද, මම ඔහු දේවාත්මානුභාවයෙන් ද නන්වැදෑරුම් නිර්මාණ ශිල්පය පිළිබඳ දක්ෂතාවෙන් ද හැකියාවෙන් ද අවබෝධයෙන් ද පූර්ණ කෙළෙමි. 4 මා එසේ කෙළේ ඔහුට කලාත්මක සැලසුම් පිළියෙළ කිරීමටත්, රන් රිදී හා ලෝකඩයෙන් වැඩ කිරීමටත් 5 මැණික් ගල් කැපීමටත්, ඒවා එබ්බවීමටත්, ලීයෙන් කැටයම් වැඩ කිරීමටත්, නන්වැදෑරුම් නිර්මාණ ශිල්ප කිරීමටත් හැකි වනු පිණිස ය. 6 තවද, මම ඔහුගේ සහායට දාන්ගේ ගෝත්‍රයේ අභිසාමක්ගේ පුත්, ඔහොලියාබ් පත් කෙළෙමි. ඇරත් මා නුඹට අණ කළ සියල්ල ඔවුන් සාදන ලෙස දක්ෂ සියල්ලන්ට විශිෂ්ට හැකියාව දුන්නෙමි. 7 නුඹට සෑදීමට අණ කළ ඒවා නම් සම්මුඛ මණ්ඩපය, ගිවිසුම් කරඬුව, එය මත ඇති කරුණාසනය, මණ්ඩපයේ සියලු බඩු බාහිරාදිය, 8 මේසය සහ එහි බඩු බාහිරාදිය, ඝන රන් පහන් රුක හා එහි සියලු උපකරණ, දුම් පූජාසනය, 9 දවන යාග පූජාසනය හා එහි සියලු බඩු බාහිරාදිය, වතුර භාජනය සහ එහි අඩිය, 10 විචිත්‍ර වස්ත්‍ර වන පූජක නිලයේ සේවා කිරීම සඳහා පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර, 11 ආලේප තෛලය සහ ශුද්ධස්ථානය සඳහා සුවඳ දුම් වේ. මා නුඹට අණ කළ සියල්ල අනුව ඒවා ඉටු කළ යුතු ය.”

සබත් දිනය

12 නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, 13 ”නුඹ ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: ”මාගේ සබත් දවස් නුඹලා හොඳින් පිළිපැදිය යුතු යි. මන්ද, ඒවා වනාහි නුඹලා ශුද්ධවන්ත කරවන, සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගනු පිණිස නුඹලාත්, මාත් අතර, නුඹලාගේ පෙළපත් තුළ පිහිටුවන ලද ලකුණකි. 14 එබැවින් නුඹලා සබත් දිනය පිළිපැදිය යුතු ය. එය නුඹලාට ශුද්ධ දිනයක් විය යුතු ය. එය කෙලෙසන සෑම කෙනෙක් මරණයට පත් කරනු ලැබිය යුතු වේ. තවද, එම දවසේ වැඩ කරන සෑම කෙනෙක් ම, සිය සෙනඟ අතරින් නෙරපාදමනු ලැබිය යුතු ය. 15 දවස් හයක් තුළ වැඩ කළ හැක, එහෙත් හත් වන දින, සමිඳාණන් වහන්සේ වන මට වෙන් කළ නිවාඩුවේ සබත් දිනය යි. සබත් දින වැඩ කරන සෑම කෙනෙක් ම මරණයට පත් කරනු ලැබිය යුතු වේ. 16 එබැවින් ඉශ්රායෙල් ජනයා තමන්ගේ පෙළපත් තුළ සදාතන ගිවිසුමක් හැටියට, සබත පවත්වමින් එය පිළිපැදිය යුතු ය. 17 එය මාත්, ඉශ්රායෙල් ජනයාත් අතර සදා පවතින ලකුණකි. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද සාදා, හත් වන දින වැඩ නවතා, නිවාඩු ගත්තෙමි’ කියා කියන්න.” 18 උන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කොට නිම කළ පසු, දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක.

– 32 වන පරිච්ඡේදය –

රන් වහු රූපය
(ද්වි: නී: ස: 9:6-29)

1 මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, ”එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ. 2 ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, ”ඔබේ භාර්යාවන්ගේ ද දරුදැරියන්ගේ ද රන් කුණ්ඩලාභරණ ගලවා මා වෙත ගෙනෙන්නැ”යි කී ය. 3 සෙනඟ සියල්ලෝ තම තමන්ගේ කන්වල තිබූ රන් කුණ්ඩලාභරණ ගලවා ආරොන් වෙත ගෙනාහ. 4 ඔහු ඔවුන්ගේ අතින් ඒවා ගෙන, උණු කොට, අච්චුවක වත් කර, වස්සෙකුගේ රූපයක් වාත්තු කෙළේ ය. මේ දුටු සෙනඟ, ”ඉශ්රායෙල් මේ අප මිසරයෙන් ගෙනාවා වූ අපගේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය. 5 ආරොන් එය ඉදිරියේ පූජාසනයක් ඉදි කොට, ”හෙට, සමිඳාණන් වහන්සේගේ ගෞරවයට පවත්වන මංගල්‍යයකි” කියා ප්‍රසිද්ධ කෙළේ ය. 6 සෙනඟ ද පසු දින අලුයම නැඟිට, දවන යාග පූජා පුදා, සහභාගිකමේ පූජා ගෙනාහ. පසුව ඔව්හු කන්න බොන්න වාඩි වී විනෝදයට ලකලෑස්ති වූ හ.

මෝසෙස්ට උපදෙස් දීම

7 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති. 8 මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔව්හු ඉක්මනින් බැහැර ගියහ. ඔව්හු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින් ද පුද පූජා කරමින් ද, ‘ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න’ කිය කියා සිටිති”යි වදාළ සේක. 9 තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින්, ”මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ. 10 දැන් ඉතින්, මාගේ කෝපාග්නිය ඔවුන්ට විරුද්ධ ව වේගවත් ව ඇවිලෙයි. මම ඔවුන් වනසාලන්නෙමි. එහෙත්, මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි”යි වදාළ සේක.
11 එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, ”ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද? 12 ‘දෙවියන් වහන්සේ ඔවුන් පිටතට ගෙනාවේ දුෂ්ට අදහසකින්, කඳුකරයේ ඔවුන් මරාදමා, මිහි පිටින් ඔවුන් තුරන් කිරීමට ය’යි කීමට මිසර වාසීන්ට ඔබ ඉඩ තබන්නේ මන් ද? ඔබ මේ ඇවිලෙන කෝපාග්නිය නිවාගෙන ඔබේ සෙනඟට විරුද්ධ ව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව. 13 ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළුමනින් ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සදහට ම උරුම කරගන්නෝ ය’යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විචාළේ ය. 14 එවිට සමිඳාණන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්න අදහස් කළ නපුර අත් හළ සේක.

නීතිය කෙටූ ගල් පුවරු කැඩීම

15 මෝසෙස් හැරී කන්දෙන් බැස එන විට සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ විය. ගල් පුවරු දෙකේ, එක පැත්තක මෙන් ම අනික් පැත්තේ ද ලියා තිබිණි. 16 ඒ ගල් පුවරු දෙවියන් වහන්සේගේ නිර්මාණයක් විය. ඒවායේ කෙටූ ලියවිල්ල ද දෙවියන් වහන්සේගේ ම ලියවිල්ල විය.
17 සෙනඟගේ ඝෝෂාව ජෝෂුවාට ඇසුණු විට, ඔහු මෝසෙස් අමතා, ”කඳවුරේ යුද්ධ ඝෝෂාවකි”යි කීවේ ය. 18 එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය:
”මට ඇසෙන ඒ හඬ, ජය ගොසක් නො ම වේ;
පැරදුම් හඬක් ද නො ම වේ, එය ගී ගැයුමක් පමණක් වේ.”
19 ඔහු ද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සා ද සෙනඟගේ නැටුම් ද දිටී ය. ඔහුගේ කෝපාග්නිය ද එවිට වේගවත් ව ඇවිළී ගියෙන් ඔහු තම අත වූ ගල් පුවරු වීසි කොට, ඒවා කන්ද පාමුල බිඳ දැමී ය. 20 පසුව ඔහු ඔවුන් සෑදු වස්සා ගෙන, ගින්නෙන් පුළුස්සා, කුඩු කුඩු කොට, එය ජලය මත ඉස, ඒ ජලය ඉශ්රායෙල් ජනයාට බොන්නට සැලැස්විය. 21 මෝසෙස් ද ආරොන් අමතමින්, ”මේ සෙනඟ ලවා මේ සා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කෙළේ දැ”යි විචාළේ ය. 22 ආරොන් පිළිතුරු දෙමින්, ”මාගේ ස්වාමීන්ගේ උදහස වේගවත් ව නොඇවිළේ වා! මේ සෙනඟ නපුරට කෙතරම් බර වී සිටින්නෝ දැ යි ඔබ දන්නෙහි ය. 23 ඔව්හු මට කතා කොට, ‘අපට පෙරටුව යෑමට දෙවියෙකු අපට සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා ඒ මෝසෙස් නම් මිනිසාට කුමක් වූයේ දැ යි අපි නොදනිමු’යි කී හ. 24 මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘රන් බඩු යමක් ඇත්තේ දැ’යි ඇසූ විට ඔව්හු ද ඒවා ගලවා මට දුන්හ. මම ඒවා ගින්නට වීසි කෙළෙමි. එවිට මේ වස්සා නික්ම ආයේ ය”යි කී ය.
25 තවද, සෙනඟ වියරු වැටී දඟලන බව මෝසෙස් දිටී ය. මන්ද, සෙනඟ සතුරන් හමුවේ අවඥාවට පත් වන පිණිස ආරොන් ඔවුන්ට රූප වන්දනා කිරීමට ඉඩ හැර තිබිණි. 26 එවිට මෝසෙස් කඳවුරේ දොරටුව ළඟ සිටගෙන, ”සමිඳාණන් වහන්සේගේ පැත්ත ගන්නෝ මා වෙතට පැමිණෙත් වා!”යි හඬගෑවේ ය. ලෙවිගේ සියලු පුත්‍රයෝ ඔහු වෙතට රැස් වූ හ. 27 මෝසෙස් ඔවුන් අමතමින්, ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ‘සෑම කෙනෙකු ම තම කඩුව ගෙන දොරටුවෙන් දොරටුවට කඳවුර හරහා යමින්, තම සොහොයුරන් ද මිතුරන් ද අසල්වැසියන් ද මරාදමන්න’ කියා වදාරන සේකැ”යි පැවසී ය. 28 ලෙවීගේ පුත්‍රයෝ මෝසෙස් දුන් අණ පරිදි එය ඉටු කෙළෙන්, එදින සෙනඟ අතරින් තුන්දාහක් පමණ වැනසුණා හ. 29 මෝසෙස් ද කතා කොට, ”ඔබෙන් එකිනෙකා තම තමාගේ පුත්‍රයා ද තම තමාගේ සහෝදරයා ද මරාදමමින් පූජකවරුන් මෙන් සමිඳාණන් වහන්සේට අද ඔබ ම කැප කරගත්තහු ය. එබැවින් අද දින සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාදයක් දානය කළ සේකැ”යි කී ය.
30 පසු දින මෝසෙස් සෙනඟ අමතමින්, ”ඔබ දරුණු පාප අපරාධයක් කළහු ය. දැන් මම සමිඳාණන් වහන්සේ වෙත කන්දට නගිමි. ඇතැම් විට ඔබට පව් කමාව ලබා දෙන්න මට හැකි වන්නේ ය”යි කී ය. 31 ඔහු ද සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, ”අහෝ, මේ සෙනඟ දරුණු අපරාධයක් කළෝ ය. ඔව්හු ඔවුන්ට ම රනින් දෙවියෙකු සාදගත්හ. 32 දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය. 33 සමිඳාණන් වහන්සේ ද මෝසෙස් අමතමින්, ”මට විරුද්ධ ව යමෙක් පව් කෙළේ ද ඔහුගේ නම මාගේ පොතින් මම මකාදමමි. 34 එබැවින් දැන් යන්න, මා නුඹට කී ස්ථානයට සෙනඟ ගෙන යන්න. බලන්න, මාගේ දූතයා ද නුඹට පෙරටුව යනු ඇත. එහෙත්, මම, දඬුවම් දෙන දවසේ දී, ඔවුන්ගේ පාපයට දඬුවම් දෙමි”යි වදාළ සේක.
35 වස්සා සෑදීමට සෙනඟ ආරොන්ට බල කළ බැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් වෙත වසංගතයක් එවූ සේක.

– 33 වන පරිච්ඡේදය –

නික්ම යාමට අණ දීම

1 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”නුඹත්, නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා සෙනඟත් මෙම ස්ථානයෙන් නික්ම, ‘මම නුඹලාගේ පෙළපතට දෙමි’යි කියා ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ දේශයට යන්න. 2 ඔබට පෙරටුව මම දූතයෙකු යවමි. තවද, මම කානානිවරුන්, අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් සහ ජෙබුසිවරුන් පන්නාදමමි. 3 කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට යන්න. එහෙත්, නුඹ සමඟ මම නොයමි. මන්ද, නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟක් බැවින් මා අතරමඟ දී නුඹලා වනසාලන්නට පිළිවනැ”යි වදාළ සේක. 4 සෙනඟ ද මේ අසුබ ආරංචිය ඇසූ විට වැලපෙන්නට වූ හ. කිසිවෙක් තම කනකර පැළඳ නොගත්හ. 5 උන් වහන්සේ මෝසෙස් අමතා, ”නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟකි. මම මොහොතකට වත් නුඹලා අතරට පැමිණියොත් නුඹලා වනසාලමි. එබැවින් දැන් නුඹලාගේ කනකර ආභරණ ගලවා දමන්න. එවිට නුඹලාට කුමක් කළ යුතු ද කියා මම දන්නෙමි’යි ඉශ්රායෙල් ජනයාට කියන්නැ”යි වදාරා තිබිණි. 6 ඉශ්රායෙල් ජනයා ද හොරෙබ් කන්දේ සිට ඉදිරියට තම කනකර ආභරණ ගලවාගෙන ගියහ. 7 මෝසෙස් මණ්ඩපය රැගෙන කඳවුරෙන් පිටත, ඊට ඈතින් එය පිහිටුවීමට පුරුදු ව සිටියේ ය. ඔහු එයට සම්මුඛ මණ්ඩපය කියා නම් කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ උපදෙස් ලබාගැනීමට ඕනෑ වූ සෑම කෙනෙකු ම කඳවුරින් පිටත වූ සම්මුඛ මණ්ඩපයට යා යුතු විය. 8 තවද, මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන පිණිස පිටතට ගිය කල, සියල්ලෝ ම නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු ළඟ සිටගෙන ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන තෙක් ඔහු දෙස බලා සිටියහ. 9 මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට ම වලා ටැඹ බැස, එහි දොරටුව ළඟ සිටගති. සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක. 10 සියලු සෙනඟ සම්මුඛ මණ්ඩපයේ දොර ළඟ වූ වලා ටැඹ දුටු විට ඔව්හු නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු අසල සිටගෙන නමස්කාර කළහ. 11 යමෙකු තම මිතුරා හා සමඟ කතා කරනු මෙන් සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු ඔහු කඳවුරට එන්නට ආපසු හැරුණ නමුත් ඔහුගේ තරුණ සේවක නූන්ගේ පුත්, ජෝෂුවා සම්මුඛ මණ්ඩපයෙන් නික්ම නොගියේ ය.

මෝසෙස්ගේ ආයාචනය

12 මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, ”බැලුව මැනව, ‘මේ සෙනඟ ගෙන යන්නැ’යි ඔබ මට කියන නමුත් මා සමඟ යවන්නේ කවරෙක් ද කියා ඔබ මට නොදැන්වූ සේක. තවද, ‘මම නුඹ හොඳින් හඳුනමි. මා ඉදිරියෙහි නුඹ ද අනුග්‍රහය ලැබුවෙහි ය’යි කියා ඇත. 13 දැන් ඉතින් කරුණාකර, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලැබුවෙම් නම්, මා ඔබ හොඳින් දැනහැඳිනගෙන, ඔබේ අනුග්‍රහය නොකඩවා ලබන පරිදි ඔබේ සැලසුම් දැන් මට පෙන්වුව මැනව. මේ ජාතිය ද ඔබේ ම සෙනඟ බව සිහි කළ මැනව”යි කී ය. 14 උන් වහන්සේ කතා කොට, ”මම නුඹ සමඟ ගොස්, නුඹට යෙහෙන් විසීමට ඉඩ දෙන්නෙමි”යි වදාළ සේක. 15 එවිට ඔහු උන් වහන්සේ අමතමින්, ”ඔබ අප සමඟ නොඑන සේක් නම්, මෙතැනින් නික්ම යාමට අපට ඉඩ නොහැරිය මැනව. 16 ඔබේ සෙනඟත්, මමත් ඔබ ඉදිරියෙහි අනුග්‍රහය ලැබූ බව අපි කෙසේ දැනගනිමු ද? එය අප දැනගන්නේ ඔබ අප සමඟ යෑමෙන් නො වේ ද? එවිට ඔබේ සෙනඟත්, මමත් මිහි පිට සිටින සියලු සෙනඟට වඩා වරප්‍රසාද ලත් අය වන්නෙමු”යි කීවේ ය. 17 උන් වහන්සේ ද මෝසෙස්ට පිළිතුරු දෙමින්, ”නුඹ ඉල්ලන මේ දේ ද මම ඉටු කරමි. මන්ද, මා ඉදිරියෙහි නුඹ අනුග්‍රහය ලැබුවෙහි ය. මම නුඹ හොඳින් හඳුනමි”යි වදාළ සේක.

මෝසෙස් කන්ද මත සිටීම

18 මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, ”ඔබේ මහිමාලංකාරය කරුණාකර මට පෙන්නුව මැනව”යි ඉල්ලී ය. 19 උන් වහන්සේ එවිට පිළිතුරු දෙමින්, ”මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියෙහි ‘සමිඳාණන් වහන්සේ’ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමැති තැනැත්තාට මම කරුණාව පාමි, දයාව පෑමට කැමැති තැනැත්තාට මම දයාව පාමි”යි වදාළ සේක. 20 නැවතත් උන් වහන්සේ කතා කොට, ”මාගේ මුහුණ දකින්න නුඹට නුපුළුවන, මනුෂ්‍යයකුට මා දැක ජීවත්විය නොහැකි ය”යි වදාළ සේක. 21 උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ”මා සමීපයෙහි පර්වතයක් ඇත. නුඹට එය මත සිටගත හැකි ය. 22 මාගේ මහිමාලංකාරය නුඹ පසු කර යන විට මම නුඹ කඳු විවරයක පිහිටුවා, නුඹ පසු කර යන තෙක්, මම නුඹ අතින් වසාලන්නෙමි. 23 මා අත ඉවතට ගත් විට, නුඹ මාගේ පිටුපස දකින්නෙහි ය. එහෙත්, මාගේ මුහුණ නුඹ නොදකිනු ඇතැ”යි වදාළ සේක.

 

 

– 34 වන පරිච්ඡේදය –

දෙ වන වරටත් ගල් පුවරු සෑදීම
(ද්වි: නී: ස: 10:1-5)

1 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපන්න. නුඹ බිඳ දැමූ පළමු ගල් පුවරුවල තිබූ වචන මම ඒවායේ ලියන්නෙමි. 2 හෙට අලුයම් වේලෙහි සූදානම් ව, සීනයි කන්දට නැඟ, කන්ද මුදුනෙහි මා ඉදිරියෙහි පෙනී සිටින්න. 3 කිසි මනුෂ්‍යයෙකු නුඹ සමඟ උඩට නො ආ යුතු ය. කන්දේ කිසි තැනක කිසි මනුෂ්‍යයෙකු දක්නා නොලැබිය යුතුයි. එළු බැටළු පට්ටි හෝ ගව පට්ටි කිසිවක් හෝ කන්ද ඉදිරියෙහි තණ නො කෑ යුතු ය”යි වදාළ සේක. 4 සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ පරිදි මෝසෙස් පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපා අලුයමින් නැඟිට සීනයි කන්දට නැංගේ ය; ගල් පුවරු දෙක ද තම අතේ ගෙන ගියේ ය. 5 සමිඳාණන් වහන්සේ ද වලාකුළක ආකාරයෙන් බැස, එහි ඔහු සමඟ සිටගෙන, ‘සමිඳාණන් වහන්සේ’ යන ස්වකීය නාමය ප්‍රකාශ කළ සේක.
6 උන් වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින්, ”මම සමිඳාණන් වහන්සේ ය. මම දයානුකම්පාවෙන් පූර්ණ, වහා නොකිපෙන සුලු, මහා කාරුණික සහ විශ්වාසදායී දෙවියන් වහන්සේ ය; 7 මම දහස් ගණනකට කරුණාව පාමින්, දුෂ්ටකමට ද නපුරට හා පාපයට ද කමාව දෙන්නෙමි. එහෙත් වරදකරුවන් නිදහස් නොකර, පියවරුන්ගේ පව් නිසා තුන් වන, හතර වන දරු පරපුර දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ට දඬුවම් කරන දෙවියන් වහන්සේ මම යැ”යි වදාළ සේක. 8 මෝසෙස් ද වහා බිමට හිස නමා නමස්කාර කෙළේ ය. 9 ඉන්පසු ඔහු කතා කොට, ”සමිඳුනි, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම්, මාගේ සමිඳුන් වන ඔබ අප සමඟ වඩින ලෙස මම අයැද සිටිමි. මේ සෙනඟ නම් මුරණ්ඩු ය. අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේ ම උරුමය වශයෙන් ගත මැනව”යි කී ය.

ගිවිසුම අලුත් කිරීම
(නික්ම: 23:14-19; ද්වි: නී: ස: 7:1-5; 16:1-17)

10 එවිට උන් වහන්සේ ඔහු අමතමින් මෙසේ වදාළ සේක: ”බලන්න, මම නුඹ සමඟ ගිවිසුමක් පිහිටුවන්නෙමි. මුළු මිහි පිට වේවා, කිසි ම ජාතියක් අතර වේවා, කවදා වත් නොකළ අරුමපුදුම දේ මම නුඹේ සෙනඟ ඉදිරියෙහි සිදු කරමි. එවිට සමිඳාණන් වහන්සේ වන මට කරන්නට හැකි දේ නුඹ සමඟ සිටින සියලු සෙනඟ දැනගනු ඇත. මන්ද, නුඹ මඟින් මා කරන්න යන්නේ භයානක දෙයකි. 11 අද දින මා නුඹට අණ කරන පණත් පිළිපදින්න. බලන්න, නුඹ යන්න කලින් අමෝරිවරුන්, කානානිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් මම පන්නාදමමි. 12 නුඹ යන දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකිරීමට බලාගන්න. මන්ද, එය නුඹට මර උගුලක් වන්නට පුළුවන. 13 තවද, නුඹ ඔවුන්ගේ පූජාසන වනසා ශිලාස්තම්භ කුඩු කොට, අෂේරා නම් ශුද්ධස්ථාන සිඳ හෙළිය යුතු යි.
14 ”නුඹ අන් දෙවියෙකුට නමස්කාර නොකළ යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ වන මාගේ නාමය, ‘ප්‍රතිවාදීන් නොඉවසන උතුමාණෝ’ යනු බැවින් මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. 15 එබැවින් නුඹ දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකළ යුතු ය. මන්ද, ඔවුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන පුද පූජා ඔප්පු කරන බැවින්, නුඹ ද කැඳවූ කල, නුඹත් ඒ පිදේනිවලින් කන්න පුළුවන. 16 ඇරත් නුඹේ පුතුන්ට ඔවුන්ගේ දූවරුන් පාවා දී, ඔවුන්ගේ දූවරුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න කල නුඹලාගේ පුතුන් ද මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න පුළුවන.
17 ”වාත්තු කළ දෙව් පිළිම සාදා නොගත යුතු ය.
18 ”නුඹ නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා නුඹට අණ කළ පරිදි ආබිබ් නම් මාසයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹ මිසර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේ ය. 19 සියලු කුලුඳුලෝ මට අයිති වෙති. නුඹේ ගොවිපළේ ගවයන්ගේ හෝ බැටළුවන්ගේ හෝ සෑම කුලුඳුල් පිරිමි සතෙක් ම මට අයිති වේ. 20 කුලුඳුල් කොටළුවෙකු වෙනුවට බැටළු පැටවෙකු දී ඌ මුදාගත යුතු ය. නුඹ ඌ මුදා නොගන්නෙහි නම්, උගේ බෙල්ල කැඩිය යුතු ය. තවද, සියලු ම කුලුඳුල් පිරිමි දරුවන් නුඹ මුදාගත යුතු ය. කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නො ආ යුතු ය.
21 ”දවස් හයක් නුඹ වැඩ කර, හත් වන දවසේ නිවාඩු ගත යුතු ය. සීසාන කාලයේ හෝ අස්වැන්න නෙළන කාලයේ හෝ වුවද එදින නිවාඩු ගත යුතු ය.
22 ”තවද නුඹ සති මංගල්‍යය ද තිරිඟු අස්වැන්නේ නාඹුල් පල මංගල්‍යය ද අවුරුද්ද අවසානයේ දී පලතුරු රැස් කිරීමේ මංගල්‍යය ද පැවැත්විය යුතු ය.
23 ”අවුරුද්දකට තුන් වරක් නුඹේ සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. 24 නුඹේ රටට නුඹ ඇතුළු වන්නට කල් තියා, මම ජාතීන් නෙරපාදැමූ පසු නුඹේ දේශ සීමා විශාල කරන්නෙමි. අවුරුද්දකට තෙවරක් නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටින්න යන විට කිසිවෙක් නුඹේ දේශය යටත් කරගන්න උත්සාහ නොකරන්නෝ ය.
25 ”නුඹ මට පුද කරන යාගයේ ලෙය මුහුන් සමඟ ඔප්පු නොකළ යුතු ය. තවද පාස්කු මංගල්‍යයේ යාගය ද උදය දක්වා නොතැබිය යුතු ය.
26 ”නුඹේ කෙත්වලින් ඉස්තරම් නාඹුල් පල නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට ගෙනා යුතු ය.
”තවද එළු පැටියෙකු උගේ මවගේ කිරෙහි නොපිසිය යුතු ය.”
27 නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
”නුඹ මේ වචන ලියාගන්න. මන්ද, මේ වචන අනුව මා නුඹ සමඟ ද ඉශ්රායෙල්වරුන් සමඟ ද ගිවිසුමක් පිහිටුවන හෙයිනි”යි වදාළ සේක. 28 මෝසෙස් ද කන්ද මත සමිඳාණන් වහන්සේ සමඟ දාවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කිසිවක් නොකා නොබී සිටියේ ය. ඔහු ගිවිසුමේ වචන වන දස පණත ගල් පුවරුවල සටහන් කෙළේ ය.

මෝසෙස් කන්දෙන් බැස ඒම

29 මෝසෙස් සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ තබාගෙන කන්දෙන් බැස්සේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීම නිසා තම මුහුණ බැබළෙමින් තිබුණ බව ඔහු කන්දෙන් බැස එන කල නොදැන සිටියේ ය. 30 ආරොන් සහ සියලු ඉශ්රායෙල් ජනයා මෝසෙස් දුටු විට, පුදුමයකි! ඔහුගේ මුහුණ බැබළෙමින් තිබිණි. ඔව්හු ඔහු ළඟට එන්නට බිය වූ හ. 31 එහෙත්, මෝසෙස් ඔවුන් කැඳවූ කල ආරොන් සහ ප්‍රජා මූලිකයන් සියලු දෙන, ඔහු වෙත හැරී ආ විට ඔහු ඔවුන් සමඟ කතා කෙළේ ය. 32 ඉන්පසු මුළු ඉශ්රායෙල් සෙනඟ ම ඔහු වෙත ළඟා වූයෙන් ඔහු සමිඳාණන් වහන්සේ ඔහුට සීනයි කන්දේ දී වදාළ ආඥා සියල්ල ඔවුන්ට දුන්නේ ය. 33 මෝසෙස් ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු තම මුහුණ වැස්මකින් වසාගත්තේ ය. 34 එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට උන් වහන්සේගේ අභිමුඛයට ප්‍රවේශ වූ විට, ඉන් පිටත එන තෙක් ඒ වැස්ම ඉවත් කොට තැබී ය. ඔහු පිටතට පැමිණ තමාට අණ කළ සියල්ල ඉශ්රායෙල් සෙනඟට දැන්විය. 35 ඉශ්රායෙල් සෙනඟ මෝසෙස්ගේ මුහුණ දෙස බැලූ කල ඔහුගේ මුහුණ බැබළෙමින් තිබුණ බව දුටහ. ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කරන්න ආපසු යන තෙක් තම මුහුණ වැස්මෙන් වසාගත්තේ ය.

– 35 වන පරිච්ඡේදය –

සබත් දින පිළිබඳ නියෝග

1 මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව කැඳවා, ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: ”ඔබ විසින් කළ යුතු සමිඳාණන් වහන්සේ අණ කළ කරුණු මේවා ය: 2 ‘දවස් හයක් තුළ ඔබ වැඩ කළ යුතු ය. එහෙත්, හත් වන දින ඔබට ශුද්ධ දිනයක් ද සමිඳාණන් වහන්සේට කැප කළ සබත් නිවාඩුවක් ද විය යුතු ය. එදින වැඩ කරන කවරෙකු නමුත් මරනු ලැබිය යුතු ය. 3 සබත් දවසේ දී ඔබේ කිසි ම නිවාසයක ගින්නක් පවා නො දැල්විය යුතු ය.’ ”

ශුද්ධස්ථානයට පුදන පඬුරු
(නික්ම: 25:1-9)

4 නැවතත් මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින් මෙසේ කීවේ ය: ”සමිඳාණන් වහන්සේ අණ කළ දේ මේ ය: 5 ඔබ සතු දෙයින් සමිඳාණන් වහන්සේට පඬුරක් වෙන් කළ යුතු ය. එසේ කිරීමට කැමැති සෑම කෙනෙකු ම තම පඬුර සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය. එය රන්, රිදී, ලෝකඩ ද 6 නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ සහ එළු ලොම් ද 7 රතු සායම් පෙවූ බැටළු හම් හා පදම් කළ හම් ද ෂිටිම් ලී ද 8 පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද 9 ඒපොද් නම් සැට්ටයේ සහ ළය වැස්මේ එබ්බවීමට නඛමාණික්‍ය හා වෙනත් මැණික් ද විය හැක.”

මණ්ඩපය සඳහා උපකරණ
(නික්ම: 39:32-43)

10 ”ඔබ අතර සිටින සියලු දක්ෂ ශිල්පීන් පැමිණ, සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල සෑදිය යුතු ය. 11 එනම් මණ්ඩපය සහ එහි කූඩාරම, ඊට ආවරණය, කොකු සහ ලෑලි, හරස් පොලු සහ කණු, කෙවෙණි; 12 ගිවිසුම් කරඬුව සහ එය උසුලාගෙන යෑමට පොලු, කරුණාසනය, එය වසන තිරය; 13 මේසය සහ එහි කකුල්, එහි උපකරණ සහ පුදන රොටි 14 ආලෝකය දීමට පහන් රුක, එහි උපකරණ, එහි පහන් හා ඒවා දැල්වීමට තෙල්; 15 දුම් පූජාසනය හා එහි පොලු, ආලේප තෛලය, සුවඳ දුම්, මණ්ඩපයට ඇතුළු වන දොරටුවේ කඩතුරාව; 16 දවන යාග පූජාව පුදන පූජාසනය, ඊට සම්බන්ධ ලෝකඩ මේසය, එහි පොලු හා සියලු උපකරණ, සේදීමට වතුර දමන භාජනය හා එහි අඩිය; 17 මළුවට තිර, එහි කණු, කෙවෙණි, මළුවේ දොරටුවට කඩතුරාව; 18 මණ්ඩපයට හා මළුවට කූඤ්ඤ හා ඒවායේ ලණු; 19 ශුද්ධස්ථානයේ සේවය පිණිස නිල් වස්ත්‍ර, පූජක නිලයේ සේවාවට පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුතුන් හට වස්ත්‍ර යන ඒවා සෑදිය යුතු ය.”

සෙනඟ පඬුරු ගෙන ඒම

20 ඉන්පසු මුළු ඉශ්රායෙල් ජනතාව මෝසෙස් වෙතින් නික්ම ගියහ. 21 තවද, එසේ දීමට සිය කැමැත්තෙන් එකඟ වූ සැම කෙනෙක් ම සම්මුඛ මණ්ඩපය සෑදීමට ද එහි සියලු සේවාවන් සඳහා ද ශුද්ධ වස්ත්‍ර සඳහා ද සමිඳාණන් වහන්සේ වෙත පඬුරු රැගෙන ආහ. 22 ස්ත්‍රීහු හා පුරුෂයෝ පැමිණියහ. දීමට කැමැති සෑම දෙනා ම, හාරිච්චි, කුණ්ඩලාභරණ, මුදු, මාල සහ නන්වැදෑරුම් රත්රන් බඩු ගෙනාහ. මෙලෙස සියල්ලෝ ම සමිඳාණන් වහන්සේට කැප කළ රත්රන් බඩු රැගෙන පැමිණියහ. 23 නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද එළු ලොම් ද රතු සායම් පෙවූ බැටළු ලොම් ද පදම් කළ හම් ද ඇති සියලු දෙන ඒවා ගෙනාහ. 24 රිදී හෝ ලෝකඩ හෝ දෙන්නට හැකි වූ සියල්ලෝ ම ඒවා සමිඳාණන් වහන්සේ වෙත පඬුරු වශයෙන් ගෙනාහ. යම් වැඩකට ගත හැකි ෂිටිම් ලී තිබූ සියල්ලෝ ද ඒවා ගෙනාහ. 25 දක්ෂකම් ඇති කාන්තාවන් සියල්ලෝ ද සිය අත්වලින් නූල් කටින්න පටන්ගෙන, ඔවුන් විසින් කටින ලද නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් හණපිළි ද ගෙනාහ. 26 දක්ෂ කාන්තාවන් සියල්ලෝ ද තම හැකියාවන් අනුව එළු ලොම් කටින්නට පටන්ගත්හ. 27 ඒපොද් නම් සැට්ටයේ හා ළය වැස්මේ ඔබ්බනු සඳහා ප්‍රජා මූලිකයෝ නඛමාණික්‍ය හා වෙනත් මාණික්‍ය ද 28 පහනට තෙල් ද ආලේප තෛලය හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය හා තෙල් ද ගෙනාහ. 29 සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සෑදීමට අණ කළ නන්වැදෑරුම් සේවාවන් සඳහා බඩු දීමට එකඟ වූ ඉශ්රායෙල් ජනයා අතර සිටි සෑම ස්ත්‍රියක් හා පුරුෂයෙක් ම සිය කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේ වෙත තම පඬුරු ගෙනාහ.

ශුද්ධස්ථානය සඳහා ශිල්පීහු
(නික්ම: 31:1-11)

30 මෝසෙස් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කීවේ ය: ”බලන්න, සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරාගත් සේක. 31 උන් වහන්සේ ඔහු දේවාත්මානුභාවයෙන් පුරවා, කෞශල්‍යය, හැකියාව සහ අවබෝධය ඔහුට දානය කළ සේක. එසේ කෙළේ නන්වැදෑරුම් කලාත්මක කෘතීන් සඳහාත්, 32 දක්ෂ කලාවන් නිපැයීමටත් ඒවායේ රනින් හා රිදීයෙන් හා ලෝකඩයෙන් කැටයම් කිරීමටත්, 33 මැණික් ගල් කපා ඒවායේ එබ්බවීමටත්, ලීයෙන් කැටයම් වැඩ කිරීමටත්, වෙනත් නා නා විධ කලාත්මක කෘතීන් සෑදීමටත් ය. 34 උන් වහන්සේ ඔහුට ද දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත් ඔහොලියාබ්ට ද කලා ශිල්පීන්ට ඉගැන්වීමේ වරය දුන් සේක. 35 තවද, උන් වහන්සේ කැටයම් ශිල්පීන්ගේ ද කලා ශිල්පීන්ගේ ද නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූලින් සහ සිහින් ව කටින ලද හණවලින් මල් වැඩ දමන්නන්ගේ ද වියන්නන්ගේ ද නන්වැදෑරුම් කෘතීන් කිරීමට හැකියාව ඔවුන්ට දානය කළ සේක. ඔවුන්ට සියලු ආකාර කලා වැඩ කිරීමටත්, දක්ෂ ලෙස සැලැස්ම පිළියෙළ කිරීමටත් පුළුවන් විය.

– 36 වන පරිච්ඡේදය –

1 ”තවද, සමිඳාණන් වහන්සේ බෙශලෙල්ට සහ ඔහොලියාබ්ට ද අනිකුත් කලා ශිල්පීන්ට ද ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා වැඩ සියල්ල පිළිබඳ අවබෝධය හා දක්ෂතාව දී ඇති බැවින් ඔවුන් උන් වහන්සේ අණ කළ ලෙස සියල්ල ඉටු කළ යුතු ය.”

පඬුර ගෙන ඊම නතර කිරීම

2 බෙශලෙල් හා ඔහොලියාබ් ද සමිඳාණන් වහන්සේ කෞශල්‍යය දානය කළ වැඩ කිරීමට කැමැත්ත පෑ දක්ෂ ශිල්පීන් සියල්ලන් ද වැඩට එන ලෙස මෝසෙස් ඔවුන් කැඳවී ය. 3 ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයේ වැඩ සඳහා, එය ඉදි කිරීමට ගෙනා පඬුරු සියල්ල ඔව්හු මෝසෙස්ගෙන් බාරගත්හ. ඉශ්රායෙල් ජනයා ද උදයක් උදයක් පාසා තම තමන්ගේ පඬුරු ඔහු වෙත ගෙනෙන්නට වූ හ. 4 එවිට ශුද්ධස්ථානයේ වැඩවල යෙදී සිටි ශිල්පීන් සියල්ලෝ ම තම තමන්ගේ වැඩ නවත්වා, මෝසෙස් වෙත පැමිණ 5 ඔහුට කතා කොට, ”සමිඳාණන් වහන්සේ සෑදීමට අණ කළ වැඩය සඳහා උවමනාවට වඩා දේවල් සෙනඟ ගෙනෙන්නාහ”යි කී හ. 6 මෝසෙස් ද එවිට අණක් දෙමින්, ”මින්පසු කිසි ම පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ ශුද්ධස්ථානයේ පඬුරු පිණිස යමක් නොකරත් වා”යි යන ප්‍රකාශනයක් මුළු කඳවුරු පුරා ප්‍රසිද්ධ කෙළේ ය. මෙලෙස සෙනඟ පඬුරු ගෙන ඊමෙන් වළක්වනු ලැබූ හ. 7 මන්ද, ගෙනෙන ලද බඩු බාහිරාදිය සියලු කර්මාන්ත සාදා නිම කිරීමට ප්‍රමාණ වූවා පමණක් නොව ඊට වැඩිමනක් ද විය.

මණ්ඩපය සෑදීම
(නික්ම: 26:1-37)

8 කම්කරුවන් අතර දක්ෂ ශිල්පීහු සියල්ලෝ ම ශුද්ධස්ථානය සෑදූ හ. සිහින් ව කටින ලද හණවලින් ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද තිර දහයක් සාදන ලදු ව ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කරන ලදී. 9 එක තිරයක දිග මීටර් දොළොසක් ද පළල මීටර් දෙකක් ද විය. සියල්ල ම එක ප්‍රමාණයට විය. 10 ඔහු තිර පහ බැගින් ගෙන ඒවා වෙන වෙන ම එකට යා කෙළේ ය. 11 ඔහු ඉන්පසු යා කළ තිරවල එක කොනක අන්තිම තිරයේ වාටියේ නිල් පාට රෙදිවලින් මුදු සෑදී ය. යා කළ අනිත් තිරවල, අන්තිම තිරයේ ද එලෙස ම කෙළේ ය. 12 පසුව ඔහු එක තිර වාටියක මුදු පණහක් ද ඒවා එකිනෙකට මුහුණ ලා සිටින ලෙස, අනිත් තිරවල අන්තිම තිර වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය. 13 මෙසේ කළ පසු ඔහු රන් කොකු පණහක් සාදා එක මණ්ඩපයක් වන පරිදි තිර එකටෙක කොකුවලින් සම්බන්ධ කෙළේ ය.
14 පසුව ඔහු මණ්ඩපය උඩින් කූඩාරම් ආවරණයක් මෙන් දැමීමට එළු ලොමින් තිර එකොළහක් සෑදී ය. 15 එක එක තිරයේ දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය. තිර එකොළහක් ම එක ප්‍රමාණයට ද විය. 16 එවිට ඔහු තිර පහක් ද තිර හයක් ද වෙන් වෙන් ව එකට යා කොට 17 පළමුවෙන් යා කළ තිර පහේ අන්තිම තිරයේ වාටියේ මුදු පණහක් ද අනිත් තිරවල අන්තිම තිරයේ වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය. 18 කූඩාරම් ආවරණය එකක් වන සේ ඔහු ලෝකඩ කොකු පණහක් ද සෑදී ය. 19 මෙසේ සාදා රතු සායම් පෙවූ බැටළු හම්වලින් කූඩාරමට ආවරණයක් ද එය උඩ අතුරන පිණිස පදම් කළ සම් ආවරණයක් ද සෑදී ය.
20 තවද, ඔහු මණ්ඩපයට ෂිටිම් ලීවලින් ලෑලි සාදා ඒවා කෙළින් සිටුවිය. 21 එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය. 22 එක එක ලෑල්ලක ඒවා එකටෙක යා කිරීම පිණිස කුඩිම්බි දෙකක් විය. මෙලෙස ඔහු මණ්ඩපයේ ලෑලි සියල්ල ම සෑදී ය. 23 දකුණු දිශාවට මූණ ලා මණ්ඩපයේ දකුණු පැත්තට ලෑලි විස්සක් සෑදී ය. 24 තවද, ඔහු එක ලෑල්ලක කුඩිම්බි දෙක යට තවු දෙකක් ද අනික් ලෑල්ලේ කුඩිම්බි දෙක යට තවු දෙකක් ද බැගින් ඔහු ලෑලි විස්සට රිදී තවු හතළිහක් සෑදී ය. 25 මණ්ඩපයේ උතුරු පැත්තට ඔහු ලෑලි විස්සක් ද 26 එක ලෑල්ලක් යට තවු දෙක බැගින් රිදී තවු හතළිහක් ද සෑදී ය. 27 මණ්ඩපයේ පිටුපස බටහිර දිශාවට ලෑලි හයක් ද 28 එහි පිටුපස කොන්වලට ලෑලි දෙකක් ද සෑදී ය. 29 මේ ලෑලි ඒවායේ පහළ කොටස්වල සිට ඉහළ කොටසේ පළමු වන වළල්ල දක්වා සම්බන්ධ කළ යුතු විය. කොන් දෙකේ තබන ලෑලි දෙකට ද එලෙස කළ යුතු වේ. 30 මෙලෙස එක එක ලෑල්ලක තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ව ලෑලි අටක් ඇති වේ.
31 තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් ලී පහක් සෑදිය යුතු විය. 32 මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු වේ. 33 ලෑලිවල මැදින් යන මැද හරස් ලීය එක කොනක සිට අනිත් කොන දක්වා විහිදෙන ලෙස ඔහු එය සෑදී ය. 34 ඔහු ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු ද සාදා, හරස් ලී ද රනින් ආලේප කෙළේ ය.
35 ඉන්පසු ඔහු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණපිළියෙන් තිරයක් සාදා එහි කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කෙළේ ය. 36 මෙසේ කොට එය එල්ලීම සඳහා රිදී තවු සතරක් සවි කළ රන් කොකු සතරක් ඇති රන් ගෑ ෂිටිම් ලීයෙන් කණු සතරක් සෑදී ය. 37 පසුව ඔහු මණ්ඩපයේ දොරටුවට, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල් වැඩ දැමූ කඩතුරාවක් ගෙතී ය. 38 මෙසේ ගොතා ඔහු කොකු සවි කළ කණු පහක් සාදා, ඒවායේ මුදුන් ද ඒවායේ පොලු ද රනින් ආලේප කෙළේ ය. එහෙත් එවායේ තවු පහ ලෝකඩයෙන් සාදන ලදී.

– 37 වන පරිච්ඡේදය –

ගිවිසුම් කරඬුව සෑදීම
(නික්ම: 25:10-22)

1 බෙශලෙල් ද ෂිටිම් ලීයෙන් ගිවිසුම් කරඬුව සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය. 2 එහි ඇතුළත ද පිටත ද රන් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදී ය. 3 එය උසුලාගෙන යනු පිණිස එහි කොන් සතරට රත්රන් වළලු සතරක් සාදා ඒවා එක පැත්තක දෙක බැගින් දෙපැත්තේ සවි කෙළේ ය. 4 පසුව ඔහු ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවායේ ද රන් ගා, 5 කරඬුව උසුලාගෙන යනු පිණිස කරඬුවේ දෙපැත්තේ මුදු තුළින් ඒවා දැමී ය. 6 කරුණාසනය ද තනි රනින් සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය. 7 තවද, ඔහු කරුණාසනයේ දෙකෙළවරේ එක්කෙනා බැගින් සවි කරනු පිණිස තළාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු නිර්මාණ කෙළේ ය. 8 කරුණාසනය සමඟ ඒකාබද්ධ ව පවතින ලෙස එක් කෙනෙකු එක් කොනක ද එක් කෙනෙකු අනිත් කොනේ ද ඔහු ඔවුන් සෑදී ය. 9 කෙරුබ්වරුන්ගේ ද පියාපත් උඩට විහිදී, කරුණාසනයට ඉහළින් එය වසා ගත්තාක් මෙන් තිබිණි. තවද, ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා සිටින පරිදි කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු හැරී තිබිණි.

මේසය සෑදීම
(නික්ම: 25:23-30)

10 ෂිටිම් ලීයෙන් ඔහු මේසය ද සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් අසූඅටක් ද පළල සෙන්ටිමීටර් හතළිස්හතරක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය. 11 එය ද රනින් ආලේප කොට එහි රනින් ලීස්තරයක් ද ඔහු සෑදී ය. 12 එය වටේට මිලිමීටර් හැත්තෑපහක් පළල පටියක් සවි කර, එය වටේ ද රන් ලීස්තරයක් සෑදී ය. 13 පසුව රන් වළලු සතරක් සාදා කකුල් සතරේ කොන් සතරේ ඒවා දැමී ය. 14 මේසය උසුලාගෙන යෑම සඳහා දමන පොලු රිංගවන වළලු, පටිය ළඟ ම තිබිණි. 15 මේසය උසුලාගෙන යෑම සඳහා පොලු ද ෂිටිම් ලීයෙන් සාදා ඒවායේ ද රන් ආලේප කෙළේ ය. 16 එහි තබන තැටි ද කුසලාන ද බුජම් ද පානීය පඬුරු දැමීමට ගන්නා පාත්‍ර ද ඔහු තනි රනින් සෑදී ය.

පහන් රුක සෑදීම
(නික්ම: 25:31-40)

17 තවද, ඔහු පහන් රුක ද තනි රනින් සෑදුවේ ය. එහි අඩිය ද කඳ ද තළාපු රනින් නිමවා, එහි මල් ද මොට්ටු ද මල් පෙති ද එක වස්තුවක් වන සේ සම්බන්ධ කෙළේ ය. 18 පහන් රුකේ එක පැත්තකින් අතු තුනක් ද අනික් පැත්තෙන් අතු තුනක් ද බැගින්, එහි පැතිවලින් අතු හයක් විහිදිණි. 19 එක අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද අනික් අත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස කෙළේ ය. 20 පහන් රුක් කඳේ කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මොට්ටු ද මල් පෙති ද තිබිණි. 21 පහන් රුකේ අතු දෙකක් යට එක මල් මොට්ටුවක් ද තවත් අතු දෙකක් යට තව මල් මොට්ටුවක් ද අනිත් අතු දෙක යට තව මල් මොට්ටුවක් ද බැගින් ඉන් විහිදී ගිය අතු හයෙහි එලෙස කෙළේ ය. 22 මොට්ටු සහ අතු, පහන් රුක සමඟ ඒකාබද්ධ ව තිබිණි. සියල්ල ම තැළූ තනි රනින් නිම කරන ලදී. 23 තවද, ඔහු ඊට පහන් හතක් ද, පහන් තිර හා තැටි ද තනි රනින් සෑදී ය. 24 පහන් රුක හා එහි සියලු උපකරණ තනි රත්රන් කිලෝග්‍රෑම් තිස්පහකින් සාදන ලදී.

දුම් පූජාසනය සෑදීම
(නික්ම: 30:1-5)

25 තවද, ඔහු ෂිටිම් ලීයෙන් දුම් පූජාසනයක් සෑදීය. එය දිගින් සෙන්ටිමීටර් හතළිස්පහක් ද පළලින් සෙන්ටිමීටර් හතළිස්පහක් ද උසින් සෙන්ටිමීටර් අනූවක් ද වූ හතරැස් එකක් විය. එහි කොන්වල වූ අං ද පූජාසනයට පාස්සා තිබිණි. 26 එහි මතුපිට ද හතර පැත්ත ද අං ද තනි රනින් ආලේප කොට, ඔහු එය වටේට රන් ලීස්තරයක් ද සෑදී ය. 27 තවද එය උසුලාගෙන යන පිණිස පොලු රිංගවනු සඳහා එහි දෙපැත්තේ දෙකෙළවරේ ලීස්තරය යට රන් වළලු දෙකක් ඔහු සවි කෙළේ ය. 28 පොලු ද ඔහු ෂිටිම් ලීයෙන් සාදා ඒවා රනින් ආලේප කෙළේ ය.

ආලේප තෛලය සහ සුවඳ ද්‍රව්‍ය සෑදීම
(නික්ම: 30:22-38)

29 තවද, සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකුගේ ශාස්ත්‍රය අනුව ඔහු සුගන්ධ ද්‍රව්‍ය ගෙන ශුද්ධ ආලේප තෛලය හා පිරිසිදු සුවඳ ද්‍රව්‍ය සංයෝගය කෙළේ ය.

– 38 වන පරිච්ඡේදය –

පූජාසනය සෑදීම
(නික්ම: 27:1-8)

1 ඔහු ෂිටිම් ලීයෙන් දවන යාග පුදන පූජාසනය සෑදී ය. එහි දිග මීටර් දෙකයි දශම දෙකක් ද පළල මීටර් දෙකයි දශම දෙකක් ද උස මීටර් එකයි දශම තුනක් ද වූ අතර එය චතුරස්‍රාකාර විය. 2 එහි කොන් හතරේ පිටතට නෙරා ගිය අං හතර සාදා, පූජාසනය සමඟ ඒකාබද්ධ වන සේ ඒවා පාස්සා ලෝකඩයෙන් ආලේප කෙළේ ය. 3 ඉන්පසු එහි උපකරණ වන බඳුන් හා ඉස්කො‍්ප්ප හැඳි ද පාත්‍ර හා අඬු ද ගිනි කබල් ද යන සියල්ල ලෝකඩයෙන් ම නිම කෙළේ ය. 4 තවද, ඊට දැලක අයුරින් ලෝකඩයෙන් මැස්සක් සාදා, පූජාසනයේ පහළ සිට එහි මැද හරියට වන තරම්, එහි ගැටිය යට එය තැබී ය. 5 පසුව පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර කොනේ වළලු හතරක් යෙදී ය. 6 ෂිටිම් ලීයෙන් පොලු ද සාදා ඒවා ලෝකඩයෙන් ආලේප කෙළේ ය. 7 ඉන්පසු පූජාසනය උසුලාගෙන යෑමට එහි පැතිවල තිබූ වළලු තුළින් පොලු දැමී ය. පූජාසනය තුළ ද කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදී ය.

වතුර භාජන සෑදීම
(නික්ම: 30:18)

8 ඉන්පසු ඔහු සම්මුඛ කූඩාරමට ඇතුළු වන දොරටුව ළඟ සේවා කළ කාන්තාවන්ගේ ලෝකඩ කැඩපත්වලින් වතුර භාජනය සහ එහි ලෝකඩ අඩිය සෑදී ය.

මණ්ඩපයේ මළුව සෑදීම
(නික්ම: 27:9-19)

9 ඔහු මළුව ද තනා එහි දකුණු පැත්තට මුහුණ දුන් දක්ෂිණ අංශයේ තිර සිහින් ව ගෙතූ හණවලින් සෑදී ය. ඒවායේ දිග මීටර් හතළිස්හතරක් විය. 10 ඊට ලෝකඩයෙන් නිම කළ කුළුණු විස්සක් හා තවු විස්සක් ද විය. කණුවල කොකු සහ පොලු රිදීයෙන් සෑදිණි. 11 මළුවේ උතුරු පැත්තට ද මීටර් හතළිස්හතරක් දිග තිර සාදන ලදී. ඒවාට කුළුණු විස්සක් ද ලෝකඩ තවු විස්සක් ද වූ අතර කුළුණුවල කොකු සහ පොලු රිදීයෙන් නිම විය. 12 එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුළුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුළුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය. 13 නැගෙනහිර පැත්තට මුහුණ දුන් නැගෙනහිර අංශයේ තිරයේ දිග ද මීටර් විසිදෙකක් විය. 14 දොරටුවේ එක පැත්තකට මීටර් හයයි දශම හයක් දිග තිර විය. ඒවාට කුළුණු තුනක් හා තවු තුනක් ද විය. 15 මළුවට ඇතුළු වන දොරටුවේ අනික් පැත්තටත්, එලෙස ම තව දෙපැත්තකටත් මීටර් හයයි දශම හයක් ද දිග තිර විය. ඒවාට කුළුණු තුනක් හා තවු තුනක් ද විය. 16 තවද, මළුව වටේට ම සෑදූ තිර සිහින් ව කටින ලද හණවලින් විය. 17 කුළුණුවල තවු ලෝකඩයෙනුත් ඒවායේ කොකු සහ පොලු ද ඒවායේ පේකඩ වැස්ම ද රිදීයෙනුත් විය. මළුවේ කුළුණු සියල්ල රිදී පොලුවලින් යා කරන ලදී. 18 මළුවට ඇතුළු වන දොරටුවේ තිර ගෙත්තම් කොට මල් වැඩ දැමූ, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද විය. ඒවායේ දිග මීටර් නවයකි, උස මීටර් දෙකකි. ඒවා මළුවේ තිර හා සමාන විය. 19 ඒවාට කුළුණු හතරකි, ලෝකඩයෙන් පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර සෑදූ තවු හතරකි. ඒවායේ කොකු ද පේකඩ වැස්ම සහ පොලු ද රිදීයෙන් විය. 20 තවද, මණ්ඩපයේ සහ මළුව වටේට ම වූ කූඤ්ඤ සියල්ල ලෝකඩයෙන් විය.

ශුද්ධස්ථානය සෑදීමට ගත් ලෝහ

21 සාක්ෂි ගිවිසුම් කරඬුව තැබූ මණ්ඩපය සෑදීමට ගත් ලෝහ වර්ගවල ප්‍රමාණය මෙසේ විය. මේ ලැයිස්තුව මෝසෙස් විසින් අණ කරන ලදු ව, ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ වැඩ කළ ලෙවීවරුන් විසින් පිළියෙළ කරන ලදී. 22 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සෑදීමට අණ කළ සියල්ල, ජුදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් විසින් සාදන ලදී. 23 තවද, ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍ර ඔහොලියාබ් ද විය. මොහු කැටයම් වැඩ කරන්නෙකි, ගෙත්තම්කරුවෙකි, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් සහ සිහින් ව කටින ලද හණ ගෙත්තම් කොට මල් වැඩ දමන්නෙකි.
24 සමිඳාණන් වහන්සේට කැප කළ, ශුද්ධස්ථානයේ කර්මාන්ත සියල්ලට භාවිතා කළ රත්රන්වල ප්‍රමාණය, කිලෝග්‍රෑම් දාහක් හා ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් ද විය. 25 ජන සංගණනය අනුව ලබාගත් රිදී ප්‍රමාණය ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් විය. 26 සංගණනයට ඇතුළත් වූ වයස අවුරුදු විස්සක් හා ඊට වැඩි වූ සෑම කෙනෙකුගෙන් ම ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව නියම මිල ගන්නා ලදී. මෙසේ සංගණනයට ඇතුළත් වූ පිරිමි හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් වූ හ. 27 ශුද්ධස්ථානයේ හා තිරවල තවු සඳහා, එනම් තවු එකකට කිලෝග්‍රෑම් තිස්හතර බැගින් තවු සියයකට රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් පාවිච්චි කරන ලදී. 28 ඉතිරි වූ රිදී කිලෝග්‍රෑම් තිහ කුළුණුවල කොකු සෑදීමටත්, කුළුණුවල පේකඩවල මුදුනේ ගෑමටත්, ඒවායේ පොලුවලටත් භාවිතා කරන ලදී. 29 සමිඳාණන් වහන්සේට පිදූ ලෝකඩවල ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙදාස් හාරසිය විසිපහක් විය. 30 එයින් ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරටුවට තවු ද ලෝකඩ පූජාසනය සහ ලෝකඩ මැස්ස ද පූජාසනයේ සියලු උපකරණ ද 31 මළුව වටේට තිබූ තවු ද මළු දොරටුවේ තවු ද මණ්ඩපයේ හා මළුව වටේ තිබූ කූඤ්ඤ සියල්ල ද සෑදී ය.

– 39 වන පරිච්ඡේදය –

පූජක වස්ත්‍ර සෑදීම
(නික්ම: 28:1-43)

1 තවද ඔව්හු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ගෙන ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා පූජක සේවා නිල ඇඳුම් සෑදූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ආරොන් සඳහා ශුද්ධ වස්ත්‍ර සාදන ලදී.
2 ඔහු රනින් ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද ඒපොද් නම් සැට්ටය සෑදී ය. 3 ඔව්හු රත්රන්, තුනී තහඩුවලට තළා, රන් කෙඳි කපා, ඒවායින් නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද ගෙත්තම් කොට මල් වැඩ දැමූ හ. 4 ඉන්පසු ඒපොද් නම් සැට්ටය සඳහා එය යා කිරීමට උර පටි ද සාදන ලදු ව, එහි දෙකෙළවරට ඒවා සම්බන්ධ කරන ලදී. 5 එය සමඟ ඒකාබද්ධ ව පවතින සේ, එය හා සමාන වූ ගොතන ලද බඳපටිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් සාදන ලදී. 6 ඔව්හු නඛමාණික්‍ය සාදා ඒවා රන් කෙවෙණිවලට එබ්බූ හ. මුද්‍රා කැටයම් කලාව අනුව, ඉශ්රායෙල් ජනතාවගේ නාම ඒවායේ කැටයම් කරන ලදී. 7 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඉශ්රායෙල් ජනයා පිළිබඳ සිහිවටනයක් වන පිණිස, ඔහු ඒවා ඒපොද් නම් සැට්ටයේ උර පටිවල දැමී ය.
8 ඒපොද් සැට්ටය මෙන් ම, ළය වැස්ම ද ගෙත්තම් කොට එහි මල් වැඩ දැමී ය. එය ද රනින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද සාදන ලදී. 9 එය චතුරස්‍රාකාර විය. දෙපටක් වන සේ එය සාදන ලදු ව එහි දිග සෙන්ටිමීටර් විසිදෙකක් ද පළල සෙන්ටිමීටර් විසිදෙකක් ද විය. 10 එය මතුපිට මැණික් ගල් පේළි හතරක් බඳිනු ලැබී ය. පළමු වන පේළිය ලෝහිතංකයක් ද පුෂ්පරාගයක් ද මරකතයක් ද, 11 දෙ වන පේළිය පච්ච මාණික්‍යයක් ද නීල මාණික්‍යයක් ද වජ්‍රයක් ද, 12 තෙ වන පේළිය පද්මරාගයක් ද වර්ණ කාන්තියක් ද අඹතෙස් ගලක් ද 13 සතර වන පේළිය රන් කාන්තියක් ද රතු කැටයක් ද සූර්ය කාන්තියක් ද විය. ඒවා රන් කෙවෙණිවල බහා තිබිණි. 14 මෙසේ ඉශ්රායෙල් ජනයාගේ නාම අනුව ගල් දොළොසක් තිබිණි. මුද්‍රා කැටයම් කලාව අනුව එක් එක් ගලක ගෝත්‍ර දොළොසේ නාම එක එක බැගින් තිබිණි. 15 ළය වැස්ම සඳහා තනි රනින් එකට ගෙතූ මාල සාදනු ලැබී ය. 16 ඔව්හු රන් කෙවෙණි දෙකක් හා රන් මුදු දෙකක් සාදා ළය වැස්මේ දෙකෙළවරේ ඒ මුදු දෙක දැමූ හ. 17 ඔව්හු ගෙතූ රන් මාල දෙක ළය වැස්මේ දෙකෙළවරේ වූ මුදු දෙකේ ඇමුණුවෝ ය. 18 ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවරේ රන් කෙවෙණි දෙකට අමුණා ඒවා ඒපොද් සැට්ටයේ උර පටි ඉස්සරහින් තැබූ හ. 19 තවද, ඔව්හු රන් මුදු දෙකක් ද සාදා, ළය වැස්මේ පහත වාටියේ දෙකෙළවරේ ඒපොද් සැට්ටය දෙසට ඇතුළු පැත්තේ ඒවා සවි කළහ. 20 ඔව්හු තවත් රන් මුදු දෙකක් සාදා ඒපොද් සැට්ටයට යටින්, දෙපැත්තේ, එහි උර පටි දෙක පිට, සන්ධිය ළඟ ගොතන ලද බඳපටියට උඩින් ඒවා දැමූ හ. 21 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ළය වැස්ම, ඒපොද් සැට්ටයේ ගොතන ලද බඳපටිය මත තිබෙන පිණිසත්, එය ඒපොද් නම් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි මුදු, ඒපොද් සැට්ටයේ මුදුවලට නිල් පැහැති පටියකින් බඳින ලදී.
22 ඉන්පසු ඔව්හු ඒපොද් සැට්ටයේ සළුව මුළුමණින් ම නිල් පැහැති ලෝමවලින් සෑදූ හ. 23 එහි මැද හිස දැමීමට සිදුරක් තිබූ අතර, මේ සිදුර නොඉරෙන පිණිස හම් කබායක සිදුර මෙන් එය වටේට වියන ලද වාටියක් විය. 24 තවද, ඔව්හු එහි පහළ වාටිය දිගේ ම නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද දෙළුම් ගෙඩි සෑදූ හ. 25 ඉන්පසු ඔව්හු තනි රනින් මිණිගෙඩි සාදා, ඒ මිණිගෙඩි, සළුවේ පහළ වාටිය දිගේ ම දෙළුම් ගෙඩි අතර දැමූ හ. 26 මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පූජක සළුවේ වාටිය දිගේ ම රන් මිණිගෙඩියක් හා දෙළුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි.
27 ඔව්හු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සඳහා සිහින් ව කටින ලද හණවලින් කබා ද 28 මකුටයක් සහ හිස් වැසුම් ද කලිසම් ද 29 සිහින් ව කටින ලද හණවලින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ගොතන ලද බඳපටියක් ද සෑදූ හ. මේ සියල්ල ම සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඉටු කළහ. 30 පසුව ඔව්හු තනි රනින් කිරීටයේ තහඩුවක් සාදා එය මත මුද්‍රා කැටයම් කලාව අනුව ”සමිඳාණන් වහන්සේට කැප ය” යන වචන කැටයම් කළහ. 31 ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඊට නිල් පටියක් බැඳ එයින් එය මකුටයට වෙළූහ.

කර්මාන්ත සියල්ල සම්පූර්ණ කිරීම
(නික්ම: 35:10-19)

32 මෙලෙස ජනතාවගේ සම්මුඛ මණ්ඩපයේ වැඩ සියල්ල නිම කරන ලදී. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල කළහ. 33 ඉන්පසු ඔව්හු මෝසෙස් වෙත මණ්ඩපය ද කූඩාරම හා එහි බඩු බාහිරාදිය සියල්ල ද කොකු හා ලෑලි ද හරස් ලී හා කුළුණු ද ඒවායේ තවු ද 34 රතු සායම් පෙවූ බැටළු හම් ද පදම් කළ හම් ද කඩතුරාවේ තිරය ද 35 ගිවිසුම් කරඬුව හා එහි පොලු ද කරුණාසනය ද 36 මේසය හා එහි උපකරණ සියල්ල ද පිදුම් රොටි ද 37 තනි රන් පහන් රුක හා එහි පහන් ද පිළිවෙළට තබන පහන් හා එහි උපකරණ සියල්ල ද පහන දැල්වීමට තෙල ද 38 රන් පූජාසනය ද ආලේප තෛලය හා සුවඳ ද්‍රව්‍ය ද මණ්ඩපයේ දොරටුවට කඩතුරාව ද 39 ලෝකඩ පූජාසනය ද එහි ලෝකඩ මැස්ස ද එහි පොලු හා එහි සියලු උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද 40 මළුවේ තිර හා කුළුණු ද ඒවායේ තවු ද මළුවේ දොරටුවට සැදූ කඩතුරාව ද එහි ලණු හා කූඤ්ඤ ද මණ්ඩපයේ හා සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා වූ උපකරණ සියල්ල ද 41 ශුද්ධස්ථානයේ සේවාව සඳහා සියුම් ව වියන ලද සේවා පිළි ද පූජක නිලයේ සේවා කිරීමට අවශ්‍ය වන පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර ද ගෙනාහ. 42 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල ඉටු කළහ. 43 මෝසෙස් කර්මාන්ත සියල්ල නැරඹුව විට සමිඳාණන් වහන්සේ අණ කළ ප්‍රකාර ම ඔවුන් සියල්ල ම ඉටු කර තිබෙන බව දැක ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.

– 40 වන පරිච්ඡේදය –

මණ්ඩපය ඉදි කොට කැප කිරීම

1 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”පළමු වන මාසයේ පළමු වන දින දී මණ්ඩපයේ සම්මුඛ මණ්ඩපය සාදා, 3 එහි ගිවිසුම් කරඬුව තබා තිරයකින් වැසිය යුතු ය. 4 මේසය ගෙනැවිත්, එය මත පිළිවෙළට තැබිය යුතු දේවල් එය මත තබා, පහන් රුක ද ගෙනැවිත්, එහි පහන් දැල්විය යුතු ය. 5 දුම් දවන රන් පූජාසනය ද ගිවිසුම් කරඬුව ඉදිරිපිට තබා කූඩාරම් දොරටුවට කඩතුරාව දැමිය යුතු ය. 6 ඉන්පසු සම්මුඛ මණ්ඩපයේ දොරටුව ඉදිරිපිට දවන යාග පූජාසනය තැබිය යුතු වේ. 7 සම්මුඛ මණ්ඩපයත්, පූජාසනයත් අතර වතුර භාජනය තබා ඊට වතුර පිරවිය යුතු ය. 8 වටේට මළුව ද සකස් කොට මළුවේ දොරකඩ කඩතුරාව එල්ලිය යුතු ය.
9 ”ඉන්පසු ආලේප තෛලය ගෙන මණ්ඩපයත්, එහි ඇති සියල්ලත් ආලේප කොට, එයත්, එහි උපකරණ සියල්ලත් කැප කළ යුතු ය. මෙලෙස එය ශුද්ධ එකක් වනු ඇත. 10 දවන යාග පූජාසනය ද එහි සියලු උපකරණ ද තෙලින් ආලේප කොට, පූජාසනය කැප කළ යුතු වේ. මෙලෙස එම පූජාසනය අතිශුද්ධ එකක් වනු ඇත. 11 වතුර භාජනයත්, එහි අඩියත් ආලේප කොට එය කැප කළ යුතු වේ.
12 ”ඉන්පසු ආරොන් ද ඔහුගේ පුත්‍රයන් ද සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගෙනැවිත් ඔවුන්ට ස්නානය කරන්ට සැලැස්විය යුතු ය. 13 පසුව ආරොන් පූජක නිලයේ මා හට සේවා කරනු පිණිස ඔහුට ශුද්ධ වස්ත්‍ර හඳවා, ආලේප කොට, කැප කළ යුතු වේ. 14 මෙසේ කළ පසු ඔහුගේ පුත්‍රයන් ගෙනැවිත් ඔවුන්ට කබා හඳවා 15 ඔවුන්ගේ පියා ආලේප කළ ලෙස, ඔවුන් ද මා හට පූජක නිලයේ සේවා කරනු පිණිස ආලේප කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ සෑම පරපුරක් තුළ ම ඔවුන් හට සදාතන පූජකවරය දෙනු ඇත.”
16 සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ ප්‍රකාරයට ම මෝසෙස් සියල්ල ඉටු කෙළේ ය. 17 මෙලෙස ඔවුන් මිසර දේශයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දවසේ දී මණ්ඩපය ඉදි කරන ලදී. 18 මෝසෙස් ද මණ්ඩපය ඉදි කොට, එහි තවු සවි කර, ලෑලි ගසා, හරස් ලී දමා, එහි කුළුණු කෙළින් කෙළේ ය. 19 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරම් ආවරණය තැබී ය. 20 පසුව ඔහු දස පණතේ ගල් පුවරු කරඬුවට දමා ගිවිසුම් කරඬුවට පොලු යොදා, එය මත කරුණාසනය තැබී ය. 21 ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගිවිසුම් කරඬුව මණ්ඩපය තුළට ගෙනැවිත්, තිරය එල්ලා ගිවිසුම් කරඬුව වසාදැමී ය.
22 මණ්ඩපයේ උතුරු පසට තිරයෙන් පිටත ඔහු සම්මුඛ මණ්ඩපය තුළ මේසය තැබී ය. 23 පසුව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මේසය මත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදුම් රොටි තැබී ය. 24 සම්මුඛ මණ්ඩපය තුළ මේසය කෙළින් ම මණ්ඩපයේ දකුණු පසට ඔහු පහන් රුක සිටුවා, 25 සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේ ඉදිරියෙහි පහන් දැල්විය. 26 සම්මුඛ මණ්ඩපය තුළ තිරය ඉදිරිපිට රන් පූජාසනය තබා 27 උන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු එය මත සුවඳ ද්‍රව්‍ය දැල්විය. 28 මණ්ඩපයේ දොරකඩ කඩතුරාව ද එල්ලී ය. 29 පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත උන් වහන්සේ අණ කළ පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදී ය. 30 සම්මුඛ මණ්ඩපයත්, පූජාසනයත් අතර ඔහු වතුර භාජනය තබා, පවිත්‍ර කරගන්නා පිණිස එහි වතුර වත් කෙළේ ය. 31 මෝසෙස් සහ ආරොන් ද ආරොන්ගේ පුත්‍රයෝ ද තම අත් පා එහි සෝදාගත්හ. 32 ඔව්හු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ පූජාසනයට ළඟා වන විට හෝ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තමන් සෝදාගත්හ. 33 ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය හා පූජාසනය වට කර මළුව තනා, මළුවේ දොරකඩ කඩතුරාව එල්ලී ය. මෙලෙස මෝසෙස් කර්මාන්ත සියල්ල නිම කෙළේ ය.

මණ්ඩපය වසාගත් වලාකුළ
(නික්ම: 9:15-23)

34 එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේ ය. මණ්ඩපය සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේ ය. 35 වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි බැවිනුත්, සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් එය පිරී ගිය බැවිනුත් මෝසෙස්ට ඊට ඇතුළු වීමට නොහැකි විය. 36 ඉශ්රායෙල් ජනයා කඳවුරින් කඳවුරට යන විට, ඔවුන් පිටත් ව ගියේ වලාකුළ මණ්ඩපයෙන් ඔසවනු ලැබූ විට පමණ ය. 37 එහෙත්, වලාකුළ ඔසවනු නොලැබූවේ නම් එය ඔසවනු ලබන දින තෙක් ඔව්හු නික්ම නොගියහ. 38 මුළු ඉශ්රායෙල් සෙනඟ කඳවුරින් කඳවුරට යන විට ඔවුන්ට පෙනෙන පරිදි සම්මුඛ මණ්ඩපය මත, දවල් කාලයේ දී සමිඳාණන් වහන්සේගේ වලාකුළ ද රාත්‍රි කාලයේ දී ගින්න ද දෘශ්‍යමාන විය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s