නාහුම්

– 1 වන පරිච්ඡේදය –

1 මෙය නිනිවය පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයකි; එල්කොෂ් වැසියෙකු වූ නාහුම්ගේ දර්ශන පොත ය.

නිනිවය ගැන සමිඳුන්ගේ උදහස

2 සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි; උන් වහන්සේට විරුද්ධ වන්නන්ට උන් වහන්සේ දඬුවම් කරන සේක; උදහසින් ඔවුන්ට දඬුවම් දෙන සේක. උන් වහන්සේ තම එදිරිකාරයන්ට දඬුවම් කරන සේක; උන් වහන්සේ තම සතුරන් කෙරෙහි උදහසින් සිටින සේක. 3 සමිඳාණන් වහන්සේ වහා නොකිපෙන සුලු ය; ඉතා බලවන්ත ය; වරදකාරයන් කිසි කලක නිදොස් නොකරන සේක. සමිඳාණන් වහන්සේ ගමන් කරන මාර්ගයෙහි සුළි සුළං කුණාටු ඇති වන්නේ ය. වලාකුළු වනාහි උන් වහන්සේගේ පාදවලින් ඇවිස්සුණු ධූලි ය. 4 උන් වහන්සේ මුහුදට තරවටු කළ විට එය වියළී යයි; උන් වහන්සේ සියලු ගංගා සින්දවන සේක. බාෂාන්හි ද කර්මෙල්හි ද කෙත්වතු මැලවී යයි; ලෙබනොන් කන්දේ මල් පර වී යයි. 5 උන් වහන්සේ ඉදිරියෙහි කඳු දෙදරා යයි; හෙල් දිය වී යයි; උන් වහන්සේ ඉදිරියෙහි පොළොව ද ලොව ද එහි වැසි සියල්ලෝ ද වෙවුලති. 6 උන් වහන්සේගේ කෝපයට මුහුණ පෑ හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ ඇවිලෙන උදහසේ දී නොනැසී සිටිය හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ කෝපාග්නිය දැල්වෙන විට පර්වත පවා ධූලි මෙන් උන් වහන්සේ ඉදිරියෙහි ඇද හැළෙන්නේ ය.
7 සමිඳාණන් වහන්සේ යහපත් ය. දුක් විපත් ඇති විට උන් වහන්සේ බලකොටුවක් වන සේක. උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් උන් වහන්සේ දන්න සේක. 8 එහෙත්, තමන්ගේ සතුරන් ගලා යන ජල ගැල්මකින් සහමුලින් ම විනාශ කරන සේක; එදිරිකාරයන් ලුහුබැඳ ගො‍ස් අන්ධකාරයට නෙරපාදමන සේක. 9 ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කුමන කුමන්ත්‍රණයක් කරන්නහු ද? උන් වහන්සේ එක පහරකින් ඔබ විනාශ කරන සේක. දෙවරක් උන් වහන්සේට විරුද්ධවන්න කිසිවෙකුට නොහැකි ය. 10 උන් වහන්සේගේ සතුරෝ කටු ගස් මෙන් පැටලී සුරා පානයෙන් මත් වී සිටිය ද වියළී ගිය පිදුරු මෙන් ගිනිබත් වන්නෝ ය.
11 සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කූට උපායයන් සිතාමතාගත්, දුෂ්ට කුමන්ත්‍රණ යොදාගත් කෙනෙක් නිනිවයෙන් නික්ම ආයේ ය. 12 සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: ”අසිරියානුවරුන් බලවත් විශාල සංබ්‍යාවක් වන නමුත්, ඔව්හු විනාශ කරනු ලැබ නැත්තට ම නැති වී යන්නෝ ය. මාගේ සෙනඟෙනි, නුඹලාට, මා පීඩා කළ නමුත්, මම තවත් පීඩා නොකරන්නෙමි. 13 අසිරියන්වරුන් නුඹලා කෙරෙහි පෑ බලය නැති කර, ඔවුන් නුඹලා බැඳ තැබූ දම්වැල් මම සිඳ දමන්නෙමි.”
14 අසිරියන්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේගේ නියෝගය මෙය වේ: ”ඔවුන්ගේ නාමය තවත් ඉතිරි නොවන්නේ ය. ඔවුන්ගේ දේවාලවල ඇති කැපූ රූප හා වාත්තු පිළිම මම විනාශ කර දමන්නෙමි. ඔවුන් නීච නිසා ඔවුන්ගේ මිනී වළ මම පිළියෙළ කරන්නෙමි.”
15 අන්න, ශුභාරංචියක් රැගත් පණිවුඩකාරයෙක් කඳු උඩින් එයි. ඔහු එන්නේ සාමය ප්‍රකාශ කරන්න ය. ජුදා ජනයෙනි, ඔබේ මංගල්‍යය පවත්වන්න; බාරහාර ඉටු කරන්න; නපුරු අය තවත් ඔබේ රට ආක්‍රමණය නොකරන්නෝ ය. ඔව්හු සහමුලින් ම සිඳදමනු ලැබූ හ.

 

– 2 වන පරිච්ඡේදය –

නිනිවයේ වැටීම

1 නිනිවය, ඔබ දැන් ආක්‍රමණයකට භාජන වී ඇත. ඔබ සුණු විසුණු කරන බලය දැන් පැමිණ ඇත. බලකොටු රැකවල් කර, මාර්ග මුර කර, සැරසී යුද්ධය සඳහා සූදානම් වන්න. 2 සතුරා කොල්ලකන්න පෙර ඉශ්රායෙල් දැරූ තේජස හා ජාකොබ්ගේ තේජස සමිඳාණන් වහන්සේ නැවත පිහිටුවන සේක. 3 ඔබ හැමට පහර දෙන හේවායෝ රතු පලිහ දරති; රතු ඇඳුම් හැඳ සිටිති. ඔව්හු ආක්‍රමණය කිරීමට සූදානම් ය. පැන පැන යන අශ්වයන් ඇද යන රථ ගිනි දැල් මෙන් විහිදෙයි. අසරුවෝ සටනට එළඹෙනු බලා සිටිති. 4 රථ වීථිවල වේගයෙන් යයි; පළල් මාර්ගවල එහා මෙහා දුවයි; පන්දම් මෙන් දිළිසෙයි; විදුලිය මෙන් ඔබමොබ යයි. 5 නිලධාරීන්ට පැමිණෙන්න අණ කරනු ලැබේ. ඔව්හු එන විට පැකිළෙති. පවුරට වේගයෙන් දුව ගො‍ස් මුවාවක් තනා ගනිති. 6 ගංගාවල දිය සොරොව් බිඳී ගො‍ස් ඇත; මාලිගාව බියෙන් ඇලළී යයි. 7 රැජින අල්ලාගෙන වහල්කමට ගෙනයනු ලැබේ. ඇගේ සේවිකාවෝ මහා දුකින් පපුවට ගසාගනිමින් පරෙවියන් මෙන් සුසුම්ලති. 8 කැඩී ගිය අමුණකින් වතුර ගලා යන්නාක් මෙන් නිනිවයේ සෙනඟ පලා යති. ”නවතින්න, නවතින්න” කියා කෑගසන නමුත්, කිසිවෙකු වත් ආපසු හැරෙන්නේ නැත. 9 රිදී කොල්ලකාගන්න, රත්රන් කොල්ලකාගන්න, නිමක් නැති වස්තු ද අනර්ඝ සියලු ආකාර බඩු රාශියක් ද එහි ඇත; 10 නිනිවය භේද වී, භින්න වී, භංග වී ඇත; සිත දෙදරා යයි; දණහිස් වෙවුලයි; තුනටිය කකියයි; ඔවුන් සියල්ලන්ගේ මුහුණු සුදුමැළි වෙයි. 11 සිංහ ගුහාවත්, තරුණ සිංහයා ගො‍දුරු කෑ ස්ථානයත් දැන් කොයි ද? එහි මීට පෙර සිංහයාත්, සිංහ ධේනුවත්, සිංහ පැටවුනුත් අනතුරක් නැති ව හැසුරුණෝ ය. 12 සිංහයා උගේ ධේනුව හා පැටවුන් සඳහා ගො‍දුරු අල්ලා, උන් කෑලිවලට ඉරා දුන්නේ ය; සිංහ ගුහාව ගො‍දුරුවලින් ද සිංහ ලෙන ඉරන ලද මස්වලින් ද පුරවා ගත්තේ ය.
13 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම නුඹට විරුද්ධ ය; නුඹේ රථවාහන පුළුස්සා දමමි; නුඹේ තරුණ සිංහයෝ කඩුවෙන් විනාශ වෙති. නුඹ අනුන්ගෙන් පැහැරගත් සියල්ල මම නුඹෙන් පැහැරගනිමි. ලෝකයේ නුඹේ දූතයාගේ හඬ නිහඬ වන්නේ ය.”

 

– 3 වන පරිච්ඡේදය –

නිනිවයට තවත් තර්ජනයක්

1 ලේ වගුරුවන නිනිවය, තිට වන විපතක මහත! මුළු නගරය වංචාවෙන් ද බලහත්කාරයෙන් ද පිරී ඇත. එහි කොල්ලකෑම නිමක් නැත. 2 කසවල සට සට යන ශබ්දයටත්, රෝදවල කට කට යන ශබ්දයටත් සවන් දෙන්න. අශ්වයෝ පැන පැන යති; රථ ද හැලහැප්පෙමින් යයි. 3 අසරුවෝ පහර දෙති. කඩු ලෙල දෙයි. හෙල්ල බැබළෙයි. සමූහයක් මැරුම් කා ඇත. මළකඳන් ගො‍ඩගැසී ඇත. මළමිනීවල නිමක් නැත. මිනිස්සු මළකඳන්වල හැපී වැටෙති. 4 නිනිවය නම් වෙසඟන ඇගේ දඬුවම් ලබන්නී ය. මායාකාරී ඈ ඉතා සුරූපී ය. ඈ ඇගේ වේශ්‍යාකමින් ජාතීන් ද මායම්වලින් ගෝත්‍ර ද වසඟ කරගත්තා ය.
5 සියලු බලැති දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නිනිවය, මම නුඹට දඬුවම් කරමි. මම නුඹ නිර්වස්ත්‍ර කර, නුඹේ නග්න භාවය ජාතීන්ට ද විලිලජ්ජාව රාජ්‍යයන්ට ද දක්වන්නෙමි. 6 පිළිකුල් දේ නුඹ පිට හෙළා නුඹට නින්දා කොට අනුන් ඉදිරියේ නුඹ කෝලමක් කරන්නෙමි. 7 නුඹ දකින සියල්ලෝ නුඹ වෙතින් පලා ගො‍ස්, ‘නිනිවය නාස්ති විය; ඈට අනුකම්පාව දක්වන්නේ කවරෙක් ද? ඈ සනසන්න යමෙකු මා කොතනින් සොයන්න දැ’යි කියන්නෝ ය.
8 ”එම්බා නිනිවය, තී තීබ්ස් නගරයට වඩා හොඳ ද? ආරක්ෂාව ගෙන දෙන ගංගාවක් ඈ වටේටත් තිබිණ. නයිල් ගඟ ඇගේ දිය අගල ද ප්‍රාකාරය ද විය. 9 එතියෝපියාව හා මිසරය ඇගේ බලය විය. ඇගේ බලය අසීමිත ය. පූට් සහ ලිබියන්වරු ඇගේ සහකාරයෝ වූ හ. 10 එහෙත්, තීබ්ස් රටේ ජනයා විප්‍රවාසගත කරනු ලැබ, වහල්කමට ගෙනයනු ලැබූ හ. ඇගේ බිළිඳු දරුවෝ හැම මංසන්ධියක ම බිම ගසා මරනු ලැබුවෝ ය. ඇගේ වැදගත් සෙනඟ උදෙසා දාදු දමන ලදී. බලවත් අය දම්වැල්වලින් බැඳගෙන යනු ලැබූ හ.
11 ”නිනිවය, තී මත් සුරාසොඬෙකු මෙන් සිහිසන් නැති වී යනු ඇත. සතුරාගෙන් ගැළවෙන පිණිස තී රක්ෂස්ථානයක් සොයන්නෙහි ය. 12 නුඹේ සියලු බලකොටු, සහමුලින් ම ඉදුණු පල ඇති අත්තික්කා ගසක් වැනි ය. ගස සෙලවූ විට එහි පල කන්නාගේ කටට වැටෙන්නේ ය. 13 නුඹේ හේවායෝ ගැහැණුන් වැනි ය. සතුරන් ඉදිරියෙහි වාසල් දොරටු සම්පූර්ණයෙන් ම ඇරී ඇත. නුඹේ දොරටුවල අගුල් ගිනිබත් වී ඇත. 14 වටලෑමකට පාත්‍රවීමේ සූදානමක් වශයෙන් වතුර ඇද රැස් කර තබන්න. බලකොටු ශක්තිමත් කරගන්න. මැටි පාගන්න. ගඩොල් සාදන්න. 15 එසේ කළත් ගින්නෙන් නුඹ දැවී යන්නෙහි ය. නැතහොත් යුද්ධයේ දී මරනු ලබන්නෙහි ය. පළඟැටියන් ගො‍යම් කාදමන්නාක් මෙන් නුඹ විනාශ වී යන්නෙහි ය.
”නුඹ පළඟැටියන් මෙන් ද පනින පළඟැටියන් මෙන් ද ගණනින් වැඩි වන්න. 16 අහසේ තාරකාවලට වඩා නුඹේ වෙළඳුන්ගේ ගණන වැඩි වී ඇත. එහෙත්, ඔවුන් සියල්ලන් තටු විහිදා ඉගිළී යන පනින පළඟැටියන් මෙන් අතුරුදහන් වී ගො‍ස් ඇත. 17 අධිපතීහු පළඟැටියන් වැනි ය. සෙන්පතීහු පනින පළඟැටියන් වැනි ය. එහෙත් ශීත දවසක බිත්තිවල සිටින උන් ඉර උදා වූ විට ඉගිළී යති; ඔවුන් ආගිය අතක් කිසිවෙක් නොදනිති.
18 ”අසිරියාවේ රජ්ජුරුවෙනි, නුඹේ පාලකයෝ නිදාගනිති; නුඹේ අධිපතීහු සැතපෙති; නුඹේ සෙනඟ කඳුවලට විසිරී ගො‍ස් ඇත. ඔවුන් නැවත එක්රැස් කරන්න කිසිවෙක් නැත. 19 නුඹේ තුවාළවලට පිළියමක් නැත; නුඹේ තුවාළ අසාධ්‍ය ය. නුඹේ මේ පුවත අසන සියල්ලෝ නුඹේ වැටීම ගැන අත්පොළසන් දෙති. මන්ද, නුඹේ දරුණු දුෂ්ටකමෙන් බේරුණ කෙනෙක් ඇද් ද?”

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s