– 1 වන පරිච්ඡේදය –
ජීවිතයේ නිස්සාරකම
1 ජෙරුසලමෙහි දාවිත් නිරිඳාණන් පුත් ධර්මදේශකයාගේ අනුශාසනාව මේ ය: 2 ”සියල්ල නිස්සාර ය; සියල්ල නිස්සාර ය. හැම දෙය ම නිස්සාර ය”යි ධර්මදේශකයා පවසයි. 3 මිනිසාගේ ශ්‍රමයෙන්, මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද් ද? 4 එක පරපුරක් පහ ව යයි; තව පරපුරක් මතු වෙයි; එහෙත්, මහ පොළොව සදහට ම පවතියි. 5 හිරු උදා වෙයි, හිරු බැස යයි; එය උදා වූ තැනට ම යළිදු වහා පැමිණෙයි. 6 සුළඟ දකුණ බලා හමයි, සුළඟ උතුර බලා හමයි; එය කැරකි කැරකී හමයි. වටරවුමෙහි හමා ගොස් නැවත මුල් තැනට ම පැමිණෙයි. 7 සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්, මුහුද පිරෙන්නේ නැත; ගංගා නික්ම ආ තැනට ම නැවත වතුර යයි. 8 හැම දෙය ම වෙහෙස ගෙන දෙන සුළු ය. එය කියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තියට නොපැමිණෙයි; ඇසීමෙන් කන තෘප්තියට නොපැමිණෙයි. 9 මතු ඇති වන්නේ පෙර තිබුණු දේ ම ය; මතු කරන්න තිබෙන්නේත් පෙර කළ දේ ම ය. මේ මුළු මිනිස් ලොවෙහි කිසි ම අමුතු දෙයක් නැත. 10 ”මෙන්න, මෙය අමුතු දෙයකැ”යි මිනිස්සු කියති. එහෙත්, එය අප උපදින්නටත් පෙර සිදු වූවකි. 11 යටගිය දවස සිදු වූ දෙය ගැන මතකයක් නැත; මෙතැන් සිට සිදු වන දෙය ගැන ද මතු දවසේ දී මතකයක් නොවනු ඇත.
ධර්මදේශකයාගේ අත්දැකීම
12 ධර්මදේශකයා වන මම ජෙරුසලමෙහි සිහසුන් අරා ඉශ්රායෙල් ජනතාව පාලනය කෙළෙමි. 13 මේ මිනිස් ලොවෙහි සිදු වන හැම දෙය ම ප්‍රඥා ඇසින් විමසා බැලීමට මාගේ සිත යොමු කෙළෙමි.
දෙවියන් වහන්සේ මිනිසාට පවරා ඇති ඒ කටයුත්ත කෙතරම් කරදර සහිත ද? 14 මේ මුළු මිනිස් ලොවේ කෙරෙන හැම දෙය මම දිටිමි; ඒ හැම දෙය ම නිස්සාර ය; සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් වැන්න. 15 ඇද දේවල ඇද අරින්නට නොහැකි ය; නැති දේ ගණින්නට නොහැකි ය.
16 ”මට පළමු ව ජෙරුසලමෙහි රජ කළ සියල්ලන්ට වඩා ගාම්භීර ප්‍රඥාව මට ඇත. එසේ ය, ප්‍රඥාව හා අවබෝධය හොඳට හුරු පුරුදු යැ”යි මම මට ම කියාගතිමි. 17 මෙසේ එක අතකින් ප්‍රඥාව හා අවබෝධය ද අනික් අතින් මෝහය හා අඥානකම ද තේරුම් ගැනීමට අවධානය යෙදුවෙමි. එය ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් විය. 18 මන්ද, ප්‍රඥාව වැඩි වෙත්ම කරදර ද වැඩි වේ; දැනුම වැඩි වෙත්ම ශෝකය වැඩි වේ.
– 2 වන පරිච්ඡේදය –
සැප සම්පත්වල නිස්සාර බව
1 මම විනෝදය සොයා, එයින් ප්‍රමුදිත වීමට සිතා ගතිමි. එය ද නිස්සාර දෙයක් විය. 2 සිනාව පිස්සුවක් බව ද විනෝදයෙන් සෙතක් නොවන බව ද මට පෙනිණි. 3 ප්‍රඥාව සෙවීමේ අදහස තිබිය දී ම මුළු මිනිස් ලොවෙහි මනුෂ්‍යයා යා යුතු යහ මඟ කුමක් ද කියාත්, මිනිස් වර්ගයාට ප්‍රීතිය දෙන්නේ කුමක් ද කියාත් දැනගන්න පිණිස මාගේ සිත ගත පිනවීමට මම තීරණය කර ගතිමි.
4 මම උදාර දේ කෙළෙමි; මම මන්දිර ගොඩනඟා, මිදිවතු වවාගත්තෙමි; 5 මම ගෙවුයන් තනා නානාප්‍රකාර පලතුරු ඒවායෙහි වගා කෙළෙමි. 6 ගස් වැවෙන ගෙවතුවලට වතුර සපයන පිණිස මම දිය පොකුණු සාදා ගතිමි. 7 මම දාසදාසීන් මිලේට ගතිමි. මාගේ ගෙයි ම උපන් වැඩකරුවෝත් සිටියෝ ය. මින් පෙර ජෙරුසලමෙහි විසූ අන් කිසිවෙකුට වඩා ගව පට්ටි හා එළු බැටළු පට්ටි මට වූ හ. 8 මාගේ විජිතයෙහි වූ රාජකීය භාණ්ඩාගාරවලින් රන් රිදී ද වෙන සම්පත් ද රැස් කරගතිමි. ගායක ගායිකාවෝ මට ගී ගැයූ හ. මිනිසෙකුගේ ප්‍රීතිය සපුරාලීමට ඇති පමණ වනිතාවන් මම සපයාගතිමි.
9 මෙසේ ජෙරුසලමෙහි මට පළමුවෙන් සිටි අන් හැමට වඩා ඉහළින් මම වැජඹුණෙමි. ප්‍රඥා මහිමය මා තුළ අඩු නො වී ය. 10 මා සිතූපැතූ කවර දෙයක් වුව ද මම ලබාගතිමි. මට රිසි වූ කිසි දෙයකින් මට අඩුවක් නො වී ය. ම සිත යොදා මා සාදාගත් හැම දෙය ගැන ම මම ආඩම්බර වීමි. ඒ හැම දෙය මාගේ සැපත විය. 11 එහෙත්, මා කළ හැම කාර්යයක් ම, වෙහෙස දරා කළ මාගේ හැම කටයුත්තක් ම දෙස මා බැලූ විට, ඒ සියල්ල නිස්සාර, හිස් ප්‍රයත්න බව ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් බව ද දුටුවෙමි.
ඥානය පවා නිෂ්ඵල ය
12 එවිට මම ප්‍රඥාව, මෝහය හා අඥානකම කවරේ දැ යි සිතන්නට පටන් ගතිමි. මන්ද, එක රජෙකු කරන්නේ පෙර රජවරුන් කළ දේ ම ය. 13 අන්ධකාරයට වඩා ආලෝකය උතුම් සේ අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දැන් මට පෙනේ. 14 නුවණැති අය නුවණැසින් බලා ගමන් කරති. අනුවණ අය අඳුරෙහි ඇවිදිති. එහෙත්, ඒ දෙගොල්ලගේ ම ඉරණම එක ය. 15 එකල, ”අනුවණයාට සිදු වූ දේ ම මටත් සිදු වන්නේ ය; ඉතින් මාගේ නුවණින් කුමන වැඩක් සිදු වී දැ”යි මම කල්පනා කෙළෙමි. එවිට, ”මාගේ ප්‍රඥාවත් නිස්සාර දෙයකැ”යි මට පෙනිණි. 16 මන්ද, මතු පැමිණෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින් ම අමතක වී යන බැවින්, අඥානයා ගැන මෙන් ම ප්‍රඥාවන්තයා ගැනත් මතකයක් නොතිබෙනු ඇත. අඥානයා මෙන් ම ප්‍රඥාවන්තයාත් නසිනු නියත ය. 17 මෙසේ මුළු මිනිස් ලොවෙහි හැම කටයුත්තක් ම අයහපත් බව මට පෙනිණි. මම ජීවිතයට අප්‍රිය කෙළෙමි. හැම දෙය ම සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් නිසරු බව දිටිමි.
18 මුළු මිනිස් ලොවෙහි මා ගත් සියලු ප්‍රයත්නයන්, මාගේ ඇවෑමෙන් පහළ වන කෙනෙකුට තබා යා යුතු බැවින්, හැම දෙයක් ගැන ම මම කලකිරුණෙමි. 19 ඔහු ප්‍රඥාවන්තයෙක් වේ ද අඥානයෙක් වේ දැ යි කියන්නට දන්නේ කවරෙක් ද? මුළු මිනිස් ලොවෙහි වීර්යයෙන් හා ප්‍රඥාවෙන් මා ඉටු කළ හැම දෙය ම ඔහු සන්තක වනු ඇත. මෙය ද නිස්සාර දෙයකි. 20 එබැවින් මා මුළු මිනිස් ලොවෙහි කළ මාගේ මුළු කාර්යය ගැන මාගේ සිත කලකිරෙන්නට වන. 21 මනුෂ්‍යයෙක් ප්‍රඥාව, අවබෝධය හා දක්ෂතාව ඇති ව සිය කාර්ය ඉටු කරයි. එහෙත්, කිසි වෙහෙසක් නොදැරූ වෙන කෙනෙකුට ඒවායේ ප්‍රතිඵල තබා යන්නට ඔහුට සිදු වෙයි. මෙය ද නිෂ්ඵල, අසාධාරණ දෙයකි. 22 මනුෂ්‍යයා මුළු මහත් පොළොවෙහි වෙහෙස දරා කරන කටයුතුවලින් හා මානසික ශ්‍රමයෙන් ඔහුට කුමන වැඩක් වේ ද? 23 ජීවිතය මුළුල්ලේ ම ඔහුට ඇත්තේ කරදර හා සිත් වේදනාව පමණ ය. රාත්‍රියේ දී පවා ඔහුගේ සිතට නිස්කලංකයක් නැත. මෙය ද නිෂ්ඵල දෙයකි.
24 මිනිසෙකුට ඇති හොඳ ම දෙය නම්, තමා උපයාගත් දෙයින් සෑහීමට පත් ව, කා බී සැප සෙල්ලම් කිරීම ය. එහෙත්, එය ද දෙවියන් වහන්සේගෙන් එන වරමක් බව දිටිමි. 25 මන්ද, උන් වහන්සේගෙන් වෙන් ව කෑම අනුභව කරන්නටත්, සැප භුක්ති විඳින්නටත් පුළුවන් කෙනෙක් සිටිත් ද? 26 දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින මනුෂ්‍යයාට උන් වහන්සේ ප්‍රඥාවත්, අවබෝධයත්, ප්‍රීතියත් දෙන සේක. එහෙත්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින අයට හිමි වන පිණිස, උන් වහන්සේ පව්කාරයාට වෙහෙස දරා වස්තු රැස්කර තැබීමට සලස්වන සේක. මෙය ද නිෂ්ඵල දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.
– 3 වන පරිච්ඡේදය –
හැම දෙයට ම නියම කාලයක් හා වේලාවක් ඇත
1 හැම දෙයට ම ප්‍රස්තාවක් ද මේ මහ පොළොවෙහි හැම කාරණයට ම නිසි කාලයක් ද ඇත.
2 උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක් ඇත; සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත;
3 මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත;
4 අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත;
5 පෙම්වතුන්ට එක් වීමට කාලයක් සහ එයින් වැළකීමට කාලයක් ඇත. වැළඳගන්නට කාලයක් සහ වැළඳගැනීමෙන් වළකින්නට කාලයක් ඇත;
6 සොයාගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත; තබාගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයක් ඇත;
7 ඉරාදමන්නට කාලයක් සහ එලලන්නට කාලයක් ඇත; නිශ්ශබ්ද ව සිටින්නට කාලයක් සහ කතා කරන්නට කාලයක් ඇත;
8 ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක් ඇත; යුද්ධයට කාලයක් සහ සාමයට කාලයක් ඇත.
9 අපේ සියලු වැඩකටයුතුවලින් කවර ප්‍රයෝජනයක් ඇද් ද? 10 දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා පිට තබා ඇති කාර්යය මම දනිමි. 11 උන් වහන්සේ සියලු දේ ම ඒ ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන් වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිත්හි තබා ඇත. එසේ වුවත්, දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයාට බැරි ය. 12 එබැවින් සිය ජීවිත කාලයේ දී ප්‍රීති වී හරි දෙය කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම්ගතිමි. 13 අප කළ යුත්තේ, අප උපයාගත් දෙයින් කා බී ප්‍රීති වීම ය; එය දෙවියන් වහන්සේගේ දීමනාවකි.
14 දෙවියන් වහන්සේ කරන සියල්ල සදහට ම පවතින බව දනිමි. ඊට එක් කළ හැකි කිසිවක් නැත; ඉන් අඩු කළ හැකි කිසිවක් ද නැත. දෙවියන් වහන්සේ එය කර ඇත්තේ, මනුෂ්‍යයන් තමන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය දක්වන පිණිස ය. 15 දැන් තිබෙන දේ මින් පෙර ද තිබුණේ ය. මතු සිදු වන්නට යන දෙය මින් පෙර ද සිදු විය. දෙවියන් වහන්සේ එම දේ ම නැවත නැවත සිදු කරන සේක.
ලොවේ ඇති අයුක්තිය
16 මේ මිනිස් ලොවෙහි යුක්තිය තිබිය යුතු තැන අයුක්තිය ද සාධාරණකම තිබිය යුතු තැන අසාධාරණකම ද තිබෙන බව මම දිටිමි. 17 එවිට, ”දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයාත්, දුෂ්ටයාත් එක සේ විනිශ්චය කරනු ඇත; සියලු කාරණාවලටත්, සියලු වැඩවලටත් නියමිත කාලයක් පැමිණේ යැ”යි මම සිතාගත්තෙමි. 18 ”මනුෂ්‍යයන් මෙසේ ක්‍රියා කරන්නේ, දෙවියන් වහන්සේ ඔවුන් සෝදිසි කොට ඔවුන් තිරිසනුන්ට වඩා උසස් නොවන බව ඔවුන්ට දන්වන පිණිස ය”යි මම සිතින් සිතාගත්තෙමි. 19 ඉතින්, මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට ඇත්තේ එක ම ඉරණමකි. තිරිසනා මෙන් ම මිනිසාත් මරණයට පත් වෙයි. මේ දෙගොල්ල ම මවා ඇත්තේ එක අයුරිනි. මෙසේ තිරිසනාට වඩා විශේෂ වාසියක් මිනිසාට නැත. හැම දෙය ම නිස්සාර ය. 20 සියල්ලෝ ම එක තැනකට යන්නෝ ය; සියල්ලෝ ම පස්වලින් වූ හ; සියල්ලෝ ම නැවත පස්වලට හැරී යන්නෝ ය. 21 මනුෂ්‍යයන්ගේ පණ ඉහළට නැඟී යනු ඇද්ද කියාත්, තිරිසනාගේ පණ පොළොවේ පස යටට බසිනු ඇද්ද කියාත් දන්නේ කවරෙක් ද? 22 මෙසේ මනුෂ්‍යයා තම කටයුතුවලින් ප්‍රීතිය ලබනවාට වඩා සැපතක් නැති බව දිටිමි; එය ඔහුගේ ඉරණම ය. මන්ද, මරණින් පසු තමාට සිදු වන දේ දකින්න ඔහු ආපසු ගෙනෙන්නේ කවරෙක් ද?
– 4 වන පරිච්ඡේදය –
දුක් පීඩාවලට සමහර හේතු
1 මේ මහ පොළොවෙහි කෙරෙන සියලු අයුක්තිය දෙස බැලූ විට පීඩා ලබන්නන්ගේ කඳුළු මම දිටිමි; ඔවුන්ට සනසන්නෙක් ද නො වී ය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේ ය. එහෙත්, සනසන්නෙක් නො වී ය. 2 එබැවින්, ”තව ම ජීවත් ව සිටින්නන්ට වඩා මළගිය ඇත්තන්ගේ තත්ත්වය යෙහෙකැ”යි මම කීයෙමි. 3 තවද, ”ඒ දෙගොල්ලට ම වඩා මිහි පිට කෙරෙන නපුරු ක්‍රියා නොදුටු, තව ම නූපන් මිනිසා වාසනාවන්ත යැ”යි කල්පනා කෙළෙමි.
4 තවද, මිනිසෙකු අධික වීර්යයෙන් දක්ෂ ලෙස කටයුතු කරන්නේ, සිය අසල්වැසියා කෙරේ ඇති ඊර්ෂ්‍යාව නිසා බව මම දිටිමි. මෙය ද නිසරු කාර්යයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි. 5 ”තමාගේ අත් දෙක අකුළාගෙන, වැඩක් නොකොට සාගින්නෙන් මැරෙන්නේ මෝඩයෙකැ”යි මිනිස්සු කියති. 6 එහෙත්, නිෂ්ඵල උත්සාහයෙන් දෑත පුරවා ගැනීමට වඩා, හිතේ කරදරයක් නැති ව එක මිටක් පුරවාගැනීම හොඳ ය.
7 එකල මම තවත් නිසරු දෙයක් මිහි පිට ඇති බව දිටිමි. 8 කාත් කවුරුත් නැති ව, හුදකලා ව වසන කෙනෙක් ඇත. ඔහුට පුත්‍රයෙක් වත්, සහෝදරයෙක් වත් නැත; එහෙත්, ඔහුගේ සියලු ම වැඩකටයුතුවල නිමාවක් නැත; ඔහු තමා උපයන වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. ”මම මෙසේ පණ නොතකා, වෙහෙස වී, සැපක් නැති ව වැඩ කරන්නේ කා උදෙසා දැ”යි ඔහු නොඅසයි. මෙය ද නිසරු දෙයකි, කාලකණ්ණි ජීවිතයකි.
9 එක් කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳ ය; දෙදෙනෙකු එක් ව වැඩ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගනු ඇත. 10 ඔවුන්ගෙන් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා සිය යහළුවා නැඟුටුවනු ඇත. එහෙත්, තමා නැඟුටුවන්න එවැනි කෙනෙකු නැති ව තනි ව සිට වැටෙන්නාට වන විපතක මහත! 11 තව ද, ශීත කාලයේ දී දෙදෙනෙකු එක් ව සැතපුණොත් ඔවුන්ට උණුසුම ලැබෙන්නේ ය. එහෙත්, කෙනෙකු තනියම උණුසුම් වන්නේ කොහොම ද? 12 තනි ව සිටින කෙනෙකු පරාජය විය හැකි ය. එහෙත්, සතුරාට විරුද්ධ ව සිටින්නට දෙදෙනෙකුට හැකි වෙයි. තුන් පොටේ ලණුවක් පහසුවෙන් නොකැඩෙන්නේ ය.
13 අවවාදයක් පිළිගන්න අකමැති අඥාන මහලු රජෙකුට වඩා දිළිඳු, නැණවත් යෞවනයෙක් හොඳ ය. 14 ඔහු හිරගෙදරින් රජ ගෙදරට ගිය, දිළිඳුකමින් රජකමට ගිය කෙනෙකු වුවත් එය සැබෑ ය. 15 ”මිහි පිට ඇවිදින ජීවමාන මිනිසුන් අතර රජකමට සුදුසු එවැනි යෞවනයෝ ඇතැ”යි මට කල්පනා වේ. 16 ඔහු ගණන් කළ නොහැකි තරම් සෙනඟකට අධිපති ව රජකම් කරනු ඇත. එහෙත්, ඔහුගේ ඇවෑමෙන් පසු, ඔහු කළ දේ ගැන කෘතඥතාව දක්වන කිසිවෙක් නැත. මෙය ද නිසරු දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.
– 5 වන පරිච්ඡේදය –
බාරහාර ගැන උපදේශ
1 ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට යන විට ප්‍රවේසම් වන්න; අඥානයන් මෙන් පූජා ඔප්පු කිරීමට වඩා කීකරු වෙමින් ළං වීම හොඳ ය. මන්ද, තමන් නපුර කරන බව ඔව්හු නොදනිති. 2 කතා කිරීමට පෙර හොඳින් සිතා බලන්න; දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉක්මන්කාරකමින් බාරහාර නොවන්න. මන්ද, දෙවියන් වහන්සේ ස්වර්ගයෙහි ය. ඔබ පොළොවෙහි ය. ඒ නිසා ඔබේ වචන ස්වල්ප වේ වා! 3 කටයුතු බහුල වීමෙන් කරදර වූ සිතට සිහින පෙනේ. වචන රාශියක් කියන විට අඥානයාගේ අනුවණකම මතු වෙයි. 4 ඔබ දෙවියන් වහන්සේට බාරහාර වන විට එය ගෙවන්නට පමා නොවන්න. මන්ද, උන් වහන්සේ අඥානයන්ට කැමැති නැත. 5 ඔබේ බාරහාර ගෙවන්න. බාරයක් වී නොගෙවා සිටීමට වඩා බාරයක් නොවී සිටීම හොඳ ය. 6 ඔබේ වචනවලින් පව් කිරීමට ඉඩ නොතබන්න. ‘මා අදහස් නොකළ දෙයකැ’යි පූජකයාට නොකියන්න. දෙවියන් වහන්සේ ඔබ කෙරේ උදහස් වී ඔබේ ව්‍යාපාර නාස්ති කරදමන්න උන් වහන්සේට ඉඩ තබන්නේ මන් ද? 7 හිස් වූ ස්වප්න රාශියකින් මෙන් ම, වචන රාශියකින් ද වැඩක් නැත. එබැවින් ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන්න.
දිළින්දාගේ පීඩාව
8 දිළිඳුන්ට පීඩා කිරීම ද යුක්තිය හා සාධාරණකම පෙරළීම ද රටේ ඇති වන බව ඔබ දකින විට ඒ ගැන පුදුම නොවන්න. හැම නිලධාරියාට ම ඉහළින් ඊට වඩා උසස්, වෙන නිලධාරියෙක් ඇත.
9 මහ රජුගේ පවා ජීවිතය රඳා ඇත්තේ, කෙතේ අස්වනු පිට ය.
ලෞකික සම්පත්වල නිෂ්ප්‍රයෝජනකම
10 ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි. 11 වස්තුව වැඩි වන්න, වැඩි වන්න එයින් නඩත්තු කළ යුතු අය ද වැඩි වෙති. ධනවතාට ඇති එක ම ප්‍රයෝජනය නම්, තමා ධනවතෙකු බව දැකීම ය. 12 කම්කරුවා ටිකක් කෑවත්, හුඟක් කෑවත් ඔහුට සුව සේ සැතපිය හැකි ය; එහෙත්, පොහොසතාට තමාගේ වස්තු සම්භාරය නිසා නින්දක් නැත.
13 මේ මිනිස් ලොවෙහි මහා අසාධාරණ දෙයක් ඇත. 14 එනම්, දුෂ්කර කාලයක දී ප්‍රයෝජනයට ගැනීමට මිනිසෙකු රැස්කර තබන වස්තුව යම් අභාග්‍යයකින් නැති වී, ඔහුගේ දූදරුවන්ට කිසිවක් නැති වී යාම ය. 15 ඔහු මවු කුසෙන් මෙලොවට නික්ම ආ ලෙස ම කිසිත් නැති ව ලොවින් තුරන් වන්නේ ය. තමාගේ අතින් උපයාගත් කිසිවක් ඔහු ගෙනයන්නේ නැත. 16 මෙය ද අයුක්තියකි; ඔහු ආ ලෙස ම ඔහු යන්නේ ය. සුළං රොදක් ඇල්ලීමට ඔහු ගන්න වෙහෙසින් ඔහුට ඇති ප්‍රයෝජනය කවරේ ද? 17 ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට අන්ධකාරය හා දුක ඇත. දැඩි සිත් වේදනාව හා කෝපය ඇත.
18 මට අවබෝධ වූ එක දෙයක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ මිනිසෙකුට දෙන ජීවිතයේ සියලු දවස්වල මිහි පිට ඔහුගේ සියලු වැඩකටයුතුවලින් උපයාගත් දෙයින් ඔහු සෑහීමට පැමිණ, කා බී විනෝද වීම ය. ඔහුගේ ඉරණම එය වේ. 19 තවද, දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකුට සැප සම්පත් දී, ඒවා භුක්ති විඳින්නටත්, තමාගේ කොටස රැගෙන එයින් ප්‍රීතිවන්නටත් සලසා තිබේ නම්, ඔහු ඒ ගැන කෘතඥා විය යුතු ය. එය දෙවියන් වහන්සේගෙන් එන දීමනාවකි. 20 මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ප්‍රීතිය දී ඇති බැවින්, කෙටි ජීවිතයක් ගැන ඔහුට කරදරයක් නැත.
– 6 වන පරිච්ඡේදය –
ලද දෙයින් සතුටු වීම
1 මිනිස් ලොවෙහි මා දුටු අයුක්තියක් ඇත. එය ඉතා බරපතල ය. 2 මිනිසෙකු ආසා වන හැම දෙයක් ම, වස්තුව, ධනසම්පත, ගෞරවය යන සියල්ල ම දෙවියන් වහන්සේ ඔහුට දුන්නත්, ඒවා භුක්ති විඳීමට ඔහුට ඉඩ නොදෙන බැවින් ඒවා අන්‍යයෙකු සතු වෙයි. මෙය නිසරු දෙයකි; තදබල වරදකි. 3 මනුෂ්‍යයෙකුට දාව දූදරුවන් සියයක් උපන්නත්, ඔහු දිගායු වැළඳුවත්, ඔහු සැපසම්පතින් තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔහුට සුදුසු භූමදානයක් ලැබෙන්නේ වත් නැත්නම්, උපන් ගෙයි දී මළ දරුවෙක් ඔහුට වඩා හොඳ යයි කීමි. 4 ඒ දරුවාගේ ඉපදීම නිෂ්ඵල ය. ඔහු අන්ධකාරයට පහ ව යයි. ඔහුගේ නම ද අමතක වනු ඇත. 5 ඔහු හිරු එළිය දුටුවේ වත්, කිසිවක් දැනගත්තේ වත් නැත. 6 එහෙත්, ඔහුට සහනයක් ඇත. අන්තිමේ දී ඒ දෙගොල්ල ම යන්නේ එක ම තැනට නොවේ ද?
7 මිනිසෙකු කොයි දෙය කරන්නේත් බඩවියත පුරවාගැනීමට ය. එහෙත්, ඔහුගේ සාගින්න කවදාවත් නොනිවෙයි. 8 ප්‍රඥාවන්තයෙක් අඥානයෙකුට වඩා හොඳ යයි කියන්නේ කොහොම ද? ජීවිතයට මුහුණ පා දැනුම ලැබීමෙන් දුප්පතාට ඇති වාසිය කුමක් ද? 9 එයින් කිසි වැඩක් නැත. එය සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් නිෂ්ඵල ය. තව තවත් අමුතු දේ ලබන්න ආසා වීමට වඩා ලද දෙයින් සතුටු වී ජීවත් වීම හොඳ ය.
ජීවිතයේ අබිරහස
10 කොයි කවර දෙයක් වුව ද සිදු වන්නේ පූර්ව නියමයක් අනුව ය. තමාට වඩා බලවත් උතුමෙකු සමඟ විවාද කරන්න මනුෂ්‍යයෙකුට බැරි ය. 11 ඒ විවාදය වැඩිවන්න වැඩිවන්න එය තව තවත් නිෂ්ඵල වේ. එයින් ඔහුට කිසි වාසියක් නැත. 12 මනුෂ්‍යයාගේ ජීවිතයේ එනම්, සෙවණැල්ලක් මෙන් ඔහු ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිත කාලයේ පරම සම්පත කිමෙක් දැ යි දන්නේ කවරෙක් ද? නොහොත් මිහි පිට වසන මනුෂ්‍යයෙකුට මරණින් පසු කුමක් ඇද්දැ යි දන්නෝ කවුරු ද?
– 7 වන පරිච්ඡේදය –
ජීවිතය පිළිබඳ ගැඹුරු අදහස්
1 හොඳ නාමය සුවඳ විලවුන්වලට වඩා මිහිරි ය. උපත ලබන දවසට වඩා මියයන දවස හොඳ ය.
2 අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳ ය. මන්ද, මරණය හැම මිනිසාගේ ඉරණම වේ. ජීවත් ව සිටින කවුරුනුත් එය සිතට ගත යුතු ය.
3 සිනාවට වඩා ශෝකය හොඳ ය. මන්ද, එයින් මුහුණ මැලවී ගියත් නුවණ තියුණු වෙයි.
4 පැණවතාගේ සිත යොමු වන්නේ මරණය දෙසට ය; අඥානයන්ගේ සිත යොමුවන්නේ විනෝදය දෙසට ය.
5 අඥානයන්ගේ පැසසුමට සවන් දීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුවට සවන් දීම හොඳ ය.
6 මන්ද, සැළිය යට උදුනෙහි දරකෝටු පුපුරන ශබ්දය යම්සේ ද අඥානයාගේ සිනාවත් එසේ ම ය. එහි කිසි ම තේරුමක් නැත.
7 බලහත්කාරකම් කිරීමෙන් නුවණැත්තා අනුවණයෙක් වෙයි. අල්ලස් ගැනීමෙන් චරිතය දූෂණය වෙයි.
8 යම් දෙයක අවසානය එහි ආරම්භයට වඩා හොඳ ය. අහංකාරයට වඩා ඉවසීම උතුම් ය.
9 කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි.
10 ”අතීතය වර්තමානයට වඩා හොඳ ව තිබුණේ මන්දැ”යි ප්‍රශ්න නොකරන්න. එය බුද්ධිමත් ප්‍රශ්නයක් නොවේ.
11 ජීවත් ව සිටින කවරෙකු වුව ද ප්‍රඥාවන්ත විය යුතු ය. 12 ධනසම්පතින් ඇති වන ආරක්ෂාව හා සම ආරක්ෂාවක් ප්‍රඥාවෙන් ලැබෙනු ඇත. ප්‍රඥාව ඔබේ ජීවිතය සුරක්ෂිත ව තබයි. දැනුමෙන් ඇති වන වාසිය එය වේ.
13 දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය මෙනෙහි කරන්න; උන් වහන්සේ ඇද කළ දේ ඇද අරින්න පුළුවන් කාට ද?
14 සැප සම්පත් ඇති කල ප්‍රීති වන්න; විපත ඇති කල මෙය කල්පනාවට ගන්න; සැපත හා විපත යන දෙක ම එවන්නේ දෙවියන් වහන්සේ ය. ඉන්පසු කුමක් වේ දැ යි කිසිවෙක් නොදනිති.
15 නිස්සාර ව ගෙවී ගිය මාගේ ජීවිතයේ දී මම හැම දෙය ම දැනගතිමි. සමහර විට දැහැමි කෙනෙක් මරණයට පත් වේ. දුෂ්ටයෙක් නපුරුකම් කළත්, දිගුකල් ජීවත් වේ. 16 පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවන්න. පමණට වඩා ඥානවන්තයෙක් නොවන්න. එසේ වීමෙන් ඔබ නැසී යන්නේ කුමට ද? 17 අධික ලෙස දුෂ්ට ව නො සිටින්න. අධික ලෙස අඥානයෙක් ද නොවන්න. අකාලයේ දී නැසී යන්නේ කුමට ද? 18 මෙහි දී මැද පිළිවෙත අනුගමනය කරන්න. කෙසේ වෙතත්, දේව ගරුබිය ඇති තැනැත්තේ සඵලවනු ඇත.
19 ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි.
20 කිසි ම වරදක් නොකොට, නිරතුරු යහපත ම කරන දැහැමි මිනිසෙක් ලොව කිසි තැනක නැත.
21 මිනිසුන් කරන හැම දෙයට ම ඔබේ සිත යොමු නොකරන්න. එසේ කළොත් සමහර විට ඔබේ වැඩකරුවා ඔබට දොස් තබන බව ඔබ අසනු ඇත. 22 මන්ද, ඔබත් නොයෙක් වර අනුන්ට එසේ ම දොස් තැබූ බව ඔබේ සිත දැනගනු ඇත.
23 මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කර බැලීමි. ”මම ප්‍රඥාවන්ත වන්නෙමි”යි කීමි; එහෙත්, එය මා ඉක්මවා තිබුණේ ය. 24 ජීවිතයේ තේරුම දත හැකි කාට ද? එය අපට තේරුම්ගත නොහැකි තරම් ගැඹුරු ය; අචින්ත්‍යය ද වේ. 25 මම ප්‍රඥාව ද කාරණාවලට හේතුව ද දැනගැනීමටත්, සෙවීමටත් ගවේෂණය කිරීමටත් සිත යොමු කෙළෙමි. එවිට නපුරුකම අඥානකම බව ද මෝහය උතුම්කම බව ද සනිටුහන් කර ගතිමි.
26 ස්ත්‍රිය මරණයටත් වඩා භයංකර ය. ඈ මලපතක් වැන්න; ඇගේ සිත දැලක් වැන්න; ඇගේ අත විලංගුවක් වැන්න. දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් වන තැනැත්තේ ඇගෙන් මිදෙයි; එහෙත්, පවිටු අය ඈට අසුවෙති. 27 කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, ”මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය. 28 මට තවමත් සොයාගත නොහැකි වූ, මාගේ බුද්ධිය තවමත් විමසමින් සිටින කාරණයක් ඇත. දහසක් අතර ගරු කටයුතු එක මිනිසෙකු මට සම්බ වූ නමුත්, දහසක් අතර එවැනි ස්ත්‍රියක් නම්, මට සම්බ නොවූවා ය. 29 මම එක දෙයක් තේරුම් ගතිමි: එනම්, දෙවියන් වහන්සේ මනුෂ්‍යයා චාම්, අවංක කෙනෙකු ලෙස මැවූ සේක; එහෙත්, ඔහු ම තමා අවුල් වියවුල් කෙනෙකු බවට පත් කරගෙන ඇත.
– 8 වන පරිච්ඡේදය –
රාජාඥා සැලකීම
1 ප්‍රඥාවන්තයාට සම කළ හැකි කෙනෙක් ඇද් ද? කාරණයක අර්ථය දන්නේ කවරෙක් ද? මිනිසෙකුගේ මුහුණ ඔහුගේ ප්‍රඥාවෙන් පැහැපත් වෙයි; එහි රළුකම පහවී යයි.
2 රජුගේ ආඥා රක්ෂා කරන්න; ඔබ දෙවියන් වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්න. 3 රජු ඉදිරියෙහි රැඳී නොසිටින්න; නපුරු දෙයක නොපවතින්න; මන්ද රජු කැමැති ඕනෑම දෙයක් ඔහුට කළ හැකි ය. 4 රජු සිය ආධිපත්‍යය ඇති ව ක්‍රියා කරයි. ඔහු කුමක් කරන්නේ දැ යි ප්‍රශ්න කිරීමට කෙනෙක් නැත. 5 රජුගේ ආඥා රක්ෂා කරන්නාට අනතුරක් නැත. එසේ කළ යුතු කාල වේලාව හා අවස්ථාව ප්‍රඥාවන්තයා දනියි. 6 මන්ද, හැම කාරණයට ම වේලාවක් හා පිළිවෙළක් ඇත. එහෙත්, අපේ දැනුම ඉතා ස්වල්ප ය. 7 මතු දවස කුමක් සිදු වනු ඇද්දැ යි අපි නොදනිමු. එය අපට දැන්වීමට හැකි කෙනෙක් ද නැත. 8 මරණයෙන් වැළකීමට වත්, මරණය කල් දැමීමට වත් කෙනෙකුට නොහැකි ය. සටනෙන් මිදීමකුත් නැත; දුෂ්ටයාට, දුෂ්ටකම නිසා නිදහස්වීමක් නැත.
9 මෙකී සියල්ල ම දැක මම මිහි මත කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමු කෙළෙමි. වෙන අයට වද දීමේ බලය මනුෂ්‍යයෙකුට ලබාගත හැකි ය. 10 දුෂ්ටයන් සිය සොහොන්වල තැන්පත් කරනු ලබන හැටි ද එය බලා ආපසු එන විට, ඔවුන් දුෂ්ටකම් කළ නුවරෙහි වැසියන් ඔවුන්ට ප්‍රශංසා කළ හැටි ද මම දිටිමි. මෙය ද නිසරු දෙයකි.
දුදනා සහ සුදනා
11 නපුරු ක්‍රියාවකට විරුද්ධ ව නඩු තීන්දුව ඉක්මනින් ඉටු නොවන නිසා මිනිසුන්ගේ සිත් නපුර කිරීමට ඇදී යන්නේ ය. 12 පව්කාරයෙකු සිය වරක් නපුර කර බොහෝ කල් ජීවත් වුවත්, දෙවියන් වහන්සේට ගරුබිය පාන අයට එනම්, උන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය පාන අයට යහපත සිදුවන බව මම සැබැවින් ම දනිමි. 13 එහෙත්, දුෂ්ටයා දෙවියන් වහන්සේට ගරුබිය නොපාන බැවින් ඔහුට යහපත සිදු වන්නේ වත්, සෙවණැල්ලක් වැනි ඔහුගේ දවස දීර්ඝ වන්නේ වත් නැත. 14 මිහි මත දක්නට ඇති නිසරු දෙයක් වේ. එනම්, පවිටුන්ට සිදු විය යුතු දෙය දමිටුන්ට ද දමිටුන්ට සිදු විය යුතු දෙය පවිටුන්ට ද සිදු වීම ය. මෙය ද නිසරු දෙයකි.
15 දෙවිඳාණන් මිහි පිට මිනිසෙකුට දෙන ලුහුඬු ජීවිතයේ දී, කා බී විනෝද වීමට වැඩි අන් කිසි සැපතක් ඔහුගේ ජීවන සටනේ දී ඔහුට ඇද් ද? දෙවියන් වහන්සේ ඔහුට මිහි පිට දෙන ජීවිත කාලයේ දී ඔහුගේ ශ්‍රමයෙන් ඔහුට ඉතිරි වන්නේ මෙපමණ ය.
16 දිවා රෑ දෙක්හි මිහි මත සිදු වන දේ බලා, ප්‍රඥාව රැස්කර ගැනීමට මාගේ සිත යොමු කෙළෙමි. 17 එහෙත්, මිනිස් ලොවෙහි දෙවිඳාණන් සිදු කරන දෙය තේරුම්ගැනීමට පුළුවන් කමක් නැත; කොතරම් උත්සාහ කළත් තේරුම්ගත නොහැකි ය. ප්‍රඥාවන්තයා එය දැනගත්තේ යයි කියතත්, ඔහු පවා මුළු සත්‍යය නොදනියි.
– 9 වන පරිච්ඡේදය –
මිනිසාගේ පොදු ඉරණම
1 මෙකී සියල්ල ම සිතෙහි තබාගෙන, ඒ සියල්ල විමසා බැලීමි. ධර්මිෂ්ඨයන් හා ප්‍රඥාවන්තයන් ද ඔවුන්ගේ ප්‍රේමය හා වෛරය ද දෙවියන් වහන්සේ පාලනය කරන බව දිටිමි. යමෙකුට අනාගතයේ දී සිදු වන්නේ කුමක් ද කියා කිසිවෙක් නොදනිති. 2 සියලු දේ සියල්ලන්ට එක සේ සිදු වන්නේ ය. ධර්මිෂ්ඨයාට හා දුෂ්ටයාටත්, යහපත් අයට සහ අයහපත් අයටත්, පවිත්‍ර අයට හා අපවිත්‍ර අයටත්, පූජා කරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධ වන්නේ එක ම දෙයක් වේ. පව්කාරයා හා යහපත් මනුෂ්‍යයා අතර වෙනසක් නැත. දිවුරුම් දෙන්නා සහ දිවුරුම් නොදෙන්නා අතර වෙනසක් නැත. 3 මිනිස් ලොවෙහි කෙරෙන සියල්ල අතර ඇති එක් වරදක් නම්, සියල්ලන්ට ම එක ඉරණමක් ඇති වීම ය. එනම්, මනුෂ්‍යයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන්ගේ මුළු ජීවිත කාලයෙහි මෝහය ඔවුන්ගේ සිත්වල තිබීම ය, ඉන්පසු ඔව්හු මියයන්නෝ ය. 4 ජීවත් වන සියල්ලන්ට යම්කිසි බලාපොරොත්තුවක් ඇත. මළ සිංහයෙකුට වඩා පණ ඇති බල්ලෙක් හොඳ ය. 5 මන්ද, ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත. 6 ප්‍රේමය ද වෛරය ද ඊර්ෂ්‍යාව ද යන කිසිවක් ඉතිරි වී නැත. මින්පසු මිනිස් ලොවෙහි සිදු වන කිසි දෙයකට ඔවුන් සහභාගි නොවනු ඇත.
කාලික සැප භුක්ති විඳීම
7 ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා, තෘප්තිමත් සිතින් ඔබේ මුද්‍රික පානය බොන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබේ කටයුතු ගැන සතුට ප්‍රකාශ කර ඇත. 8 නිතර ම සුදු වස්ත්‍ර හැඳ, හිසේ තෙල් ගා ප්‍රීතියෙන් ඉන්න. 9 උන් වහන්සේ මිහි පිට ඔබට දී තිබෙන ඔබේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල ඔබ ප්‍රේම කරන ඔබේ භාර්යාව සමඟ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්න. මන්ද, ජීවිතයෙන් ද මිහි පිට ඔබ ගන්න වෙහෙසෙන් ද ඔබට ලැබෙන එක ම කොටස එය වේ. 10 ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.
ශක්තියට වඩා ඥානය හොඳය
11 මිනිස් ලොවෙහි තව දෙයක් මම තේරුම්ගතිමි. ශීඝ්‍ර ධාවකයාට නිතර ම දිනුම නොලැබේ. යුද බිමෙහි විකුම් පාන අයට නිතර ම ජය නොලැබේ. ප්‍රඥාවන්තයාට නිතර ම තම ජීවිකාව කරගත නොහැකි ය. බුද්ධිමත් අය නිතර ම ධනවත් අය නොවෙති. දක්ෂ විචක්ෂණ අය නිතර ම ඉහළ තනතුරු නොලබති. ඔය කාටත් අවසානය එළඹිය හැකි ය. 12 තමාගේ විපත්ති කාලය කවදා එයි දැ යි මිනිසා නොදනියි. හදිසියේ දැලකට අසු වන මසුන් මෙන් ද මලපතකට අසු වන පක්ෂීන් මෙන් ද ඔහු බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු වේ.
13 මිහි පිට මෙවැනි ප්‍රඥාවක් ද දිටිමි. එය වැදගත් බව මට පෙනිණි. 14 මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සිටි කුඩා නුවරක් විය; බලවත් රජෙක් අවුත් එය වටලා, ඊට විරුද්ධ ව මහ බලකොටු ගොඩනැඟුවේ ය. 15 එහි දිළිඳු ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් විය. ඔහුට සිය ප්‍රඥාවෙන් ඒ නුවර ගැළවිය හැකි විය. එහෙත්, කිසිවෙකු ඒ දිළිඳු මනුෂ්‍යයා ගැන සිතුවේ නැත. 16 ”බලවන්තකමට වඩා ප්‍රඥාව හොඳ ය”යි මම කීවෙමි. එහෙත්, දිළිඳාගේ ප්‍රඥාව සුළු කරනු ලැබේ. ඔහුගේ වචනයට සවන් දීමක් නැත. 17 අඥානයන් අතර මොරහඬ දෙන ආණ්ඩුකාරයෙකුට සවන් දීමට වඩා නිශ්චලකමෙන් කතා කරන ප්‍රඥාවන්තයෙකුට සවන් දීම හොඳ ය. 18 යුද්ධායුධවලට වඩා ප්‍රඥාව අගනේ ය. එහෙත්, එක පව්කාරයෙකුට හොඳ දේවල් රැසක් බිඳදැමිය හැකි ය.
– 10 වන පරිච්ඡේදය –
අධිපතියන් හා යටත් වැසියෝ
1 මළ මැස්සෙකු නිසා සුගන්ධ විලේපනයක් නාස්ති වී යයි. එසේ ම ප්‍රඥා සම්භාරයක් එක මෝඩකමකින් වැනසී යයි.
2 ප්‍රඥාවන්තයාගේ සිත හරි දේට ද අඥානයාගේ සිත වැරදි දේට ද යොමු වෙයි. 3 එසේ ය, මෝඩයා මාර්ගයෙහි යන විට ඔහුගේ බුද්ධි හීනත්වයෙන් තමා මෝඩයෙකැ යි සියල්ලන්ට හෙළි කරයි.
4 ආණ්ඩුකාරයාගේ සිත ඔබට විරුද්ධ ව ඇවිළී ගියොත්, ඔබේ රක්ෂාවෙන් ඉවත් වී නොයන්න; මන්ද, සන්සුන්කමින් බරපතල වරදකට වුව ද සමාව ලැබිය හැකි ය, 5 අධිපතීන් අතින් සිදු වන වරදක් මේ මිහි පිට මා දැක ඇත. 6 එනම්, අඥානයන් බොහෝ උසස් තනතුරුවලට පත් ව සිටිද්දී, උත්තමයන් පහත් තැන්වල සිටින බව ය. 7 වහලුන් අසුන් පිට නැඟී යන අතර, අධිපතීන් වහලුන් මෙන් පයින් ගමන් කරනු දිටිමි.
ඥානය පිළිබඳ හිතෝපදේශ
8 වළක් හාරා තබන්නා එහි වැටෙන්නේ ය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ට කරයි. 9 ගල් වළක වැඩ කරන්නාට එයින් තුවාළ වෙයි; දර පළන්නාට එයින් අන්තරාය සිදු වෙයි. 10 පොරොව මොට්ට වූ විට එය මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදවන්න ඕනෑ වෙයි. ප්‍රඥාවන්තයාට සඵලය ළඟා වෙයි. 11 මතුරන්න පළමුවෙන් සර්පයා දෂ්ට කළොත් මතුරන්නාගෙන් පලක් නැත. 12 ප්‍රඥාවන්තයාගේ මුවින් නික්මෙන වචන ඔහුට ගෞරවය දෙයි; අඥානයාගේ වචන ඔහුට විනාශය ගෙනෙයි. 13 ඔහු කතාව අරඹන්නේ අනුවණකමිනි. ඔහු එය අවසන් කරන්නේ උමතු වූවකු ලෙසිනි.
14 අඥානයා දිගින් දිගට කතා කරයි; මතු සිදු වන දේ නොදනියි; ඔහුගේ ඇවෑමෙන් කුමක් සිදු වනු ඇද්දැ යි කාට කිව හැකි ද?
15 අඥානයා සිය වැඩ කටයුතුවලින් අධික වෙහෙසට පත්වනු ඇත; ඔහු ගෙදරට යන පාර වත් දන්නේ නැත.
16 එම්බා දේශය, ඔබේ රජු කටින් කිරි සුවඳ හමන දරුවෙකු ව සිටින විට ද ඔබේ අධිපතීන් රෑ පුරා කා බී ප්‍රීති වන විට ද ඔබේ විපත ළඟ ය. 17 එම්බා දේශය, ඔබේ රජු වංශවත් උසස් කුලයක දරුවෙකු වන විට ද ඔබේ අධිපතීන් ගිජුකමින් නොකා සනීප ශක්තිය පිණිස නිසි වේලාවට පමණක් කෑම කන විට ද ඔබ වාසනාවන්ත ය!
18 කම්මැලිකම නිසා මිනිසෙකුගේ වහල දිරා වැටෙන්නේ ය; ඔහුගේ අලසකම නිසා ගෙය බිඳ වැටෙන්නේ ය.
19 මංගල භෝජනයෙන් සන්තුෂ්ටිය ඇත; මුද්‍රික පානය ජීවිතය ප්‍රීතිමත් කරයි. ඒ කොයි දෙයටත් මුදල් අවශ්‍ය ය.
20 ඔබේ සිතෙන් වත් රජුට දෙස් නොකියන්න; ඔබේ යහන් ගබඩාවේ දී වත් වස්තුකාරයන්ට දොස් නොකියන්න. අහසේ පියාඹන සක්වාලිහිණියෙකු ඒ දන්වනු ඇත.
– 11 වන පරිච්ඡේදය –
පැණවතාගේ ක්‍රියා කලාපය
1 නුඹේ ආහාර ජලය මතුපිට තබන්න. කුමක් හෙයින් ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි. 2 සත්දෙනෙකු හෝ අටදෙනෙකු හෝ සමඟ කොටස් බෙදාගන්න. මන්ද, ලොවෙහි කුමන විපත්ති කාලයක් උදා වනු ඇද්දැ යි කාට කිව හැකි ද?
3 වැහි වලාකුළු පිරී තිබෙන විට පොළොවට වැසි වසියි; ගසක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම තිබෙයි. 4 සුළඟ ගැන බලා සිටින්නා වපුරන්නේ නැත. වලාකුළු ගැන බලා සිටින්නා අස්වැන්න කපා ගන්නේ නැත. 5 ගර්භණියකගේ කුසෙහි නව ජීවයක් සෑදෙන්නේ කෙසේ ද කියා ඔබ නොදන්නෙහි ය; එමෙන් ම හැම දෙය පිළියෙළ කරන දෙවියන් වහන්සේගේ වැඩ කටයුතු ඔබ නොදන්නෙහි ය. 6 උදේ වරුවේ බීජ වපුරන්න, සවස් වරුවේත් වපුරන්න. ඉන් කොයි ඒවා සඵල වේ ද කියා වත්, දෙවගේ ම එක සේ සරු වේ ද කියා වත් ඔබ නොදන්නෙහි ය.
7 සැබැවින් එළිය මිහිරි දෙයකි, ඉරු එළිය දැකීම ඇසට ප්‍රසන්න දෙයකි. 8 එසේ ය, මනුෂ්‍යයෙක් චිරාත් කාලයක් ජීවත් ව සිට ඔහු ඒ සියල්ලෙහි ප්‍රීති වේ වා! එහෙත්, අඳුරු දවස් එන බව ද ඒවා බොහෝ බව ද සිදු වන හැම දෙය ම නිසරු බව ද ඔහු අමතක නොකරාවා.
තරුණයන්ට අවවාද
9 තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න.
10 ඔබේ සිතෙන් දුක් කරදර ඉවත ලා ජීවත්වන්න. මන්ද, යෞවන කාලයත්, වැඩි මහලු කාලයත් නිෂ්ඵල ය.
– 12 වන පරිච්ඡේදය –
1 විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය. 2 ඒ කාලයේ දී ඉර, හඳ, තාරකාවල එළිය අඳුරු වන්නේ ය. වැහි වලාකුළු නොනැවතී එන්නේ ය. 3 ඒ කාලයේ දී ගෙයි රැකවල්ලු වෙවුළන්නෝ ය; බලවන්තයෝ දුබල ව කුදු වන්නෝ ය; අඹරන්නෝ ස්වල්ප බැවින් ඇඹරීම නවතින්නේ ය; කවුළුවලින් බලන්නන්ගේ ඇස් අඳුරු වන්නේ ය. 4 වීදියේ දොරවල් වසනු ලබන්නේ ය. ඇඹරීමේ ශබ්දය හීන වන්නේ ය. කුරුල්ලාගේ හඬට ද ඔහු අවදි වන්නේ ය. ගායිකාවන්ගේ ගී හඬ දුබල වන්නේ ය. 5 ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.
6 එසේ වන්නේ, රිදී දාමය හා රන් බඳුන වැටී කැඩෙන්නටත්, දිය කඩිත්තේ කළය බිඳෙන්නටත්, ළිඳේ රෝදය කැඩෙන්නටත්, 7 අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.
8 සියල්ල නිසරු ය; සෑම දෙය නිසරු ය යි ධර්මදේශකයා පවසයි.
අවසානය
9 තවද, ධර්මදේශකයා ප්‍රඥාවත් ව සිටි නිසා ඔහු සෙනඟට වැඩි වැඩියෙන් දැනීම දුන්නේ ය. එසේ ය, ඔහු බොහෝ අවවාදානුශාසනා විමසා සොයාගෙන, ඒවා සම්පාදනය කෙළේ ය. 10 දේශනා කරන පිණිස සාරගර්භ වචන සොයන්නට උත්සාහ කෙළේ ය. මෙහි ග්‍රන්ථාරූඪ කොට ඇති සියල්ල හරි වූ සත්‍ය වූ කරුණු ය. 11 නැණවතුන්ගේ බස් එඬේරුන්ගේ තියුණු උල් සහිත කෙවිටිවලට ද ඔවුන්ගේ හිතෝපදේශ ලීයට තදින් ගැසූ ඇණවලට ද සමාන ය. එය එන්නේ, සකල ලෝක වාසීන්ගේ අසහාය නායකයාණන්ගෙනි.
12 තවද, මාගේ පුත්‍රය, මෙයින් දැනුමැතිකම් ලබන්න, පොත් ලිවීමෙහි නිමාවක් නැත. තවද, වැඩි උගත්කමෙන් වෙහෙසීම ඇති වේ.
13 මේ සියල්ල විමසා බැලීමෙන් පසු, අවසාන වචනයක් කිව යුතු ව ඇත: දෙවියන්ට ගරුබිය දක්වා, එතුමන්ගේ ආඥා පිළිපදින්න. මිනිසා මවන ලද්දේ ඒ සඳහා ය. 14 අපේ සියලු රහස් හොඳ හෝ නරක හෝ වේ වා දෙවියන් වහන්සේගේ විනිශ්චයයට භාජනය වනු ඇත.