– 1 වන පරිච්ඡේදය –
ජුදෙව්වරුන් බබිලෝනියේ විසීම
1 ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ රාජ්‍ය කාලයෙහි තුන් වන අවුරුද්දේ දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ ජෙරුසලම ආක්‍රමණය කොට එය වටලාගත්තේ ය. 2 සමිඳාණන් වහන්සේ ඔහුගේ අතට ජුදාවේ රජ වූ ජෙහෝයාකිම් පාවා දුන් සේක; ඔහු සමඟ දෙවියන් වහන්සේගේ මාලිගාවේ බඩු බාහිරාදිය සමහරක් ද පාවා දුන් සේක. නෙබුකද්නෙශර් ඒ බඩු බාහිරාදිය ශීනාර් දේශයේ තමාගේ ම දෙවියන්ගේ දේවාලයට ගෙන ගොස් දේවාල භාණ්ඩාගාරයේ ඒවා තැන්පත් කෙළේ ය.
3 රජතුමා අශ්පෙනස් නම් තමාගේ ප්‍රධාන නපුංසකයා අමතා, ඉශ්රායෙල් සෙනඟ අතරෙන් රාජ වංශයට හා රදළ පෙළපතට අයත් තරුණයන් ස්වල්ප දෙනෙකු ගෙනෙන්නට ඔහුට නියම කෙළේ ය. 4 ඔවුන් ශරීරාබාධ නැති, ශෝභා සම්පන්න, සිප්සතරෙහි සමත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, විචක්ෂණ, රාජ මාලිගාවේ සේවා කරන්නට සුදුසුකම් ඇති, අය විය යුතු යයි ද ඔවුන් ගෙනා පසු, කල්දිවරුන්ගේ භාෂාවත් සාහිත්‍යයත් ඔවුන්ට ඉගැන්විය යුතු යයි ද රජතුමා අශ්පෙනස්ට නියම කෙළේ ය. 5 රජ තෙමේ තමා වළඳන භෝජනවලින් ද තමා පානය කරන මිදියුසින් ද කොටසක් දවස් පතා ඔවුන්ට දෙන්නටත් නියම කෙළේ ය. ඔවුන් තුන් අවුරුද්දක් පුහුණුව ලැබූ පසු රාජ සේවයට ඇතුළත් කළ යුතු ව තිබිණි.
තරුණයන් සිව් දෙන රජ බොජුන් ප්‍රතික්ෂේප කිරීම
6 තෝරාගනු ලැබූ අය දානියෙල් ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද යන නම් ඇති ජුදා ජාතික තරුණයෝ වූ හ. 7 එහෙත්, ප්‍රධාන නපුංසකයා ඔවුන්ට වෙනත් නම් දුන්නේ ය; දානියෙල්ට බෙල්ටෙෂෙසර් කියා ද හනනියාට ෂද්‍රක් කියා ද මිෂායෙල්ට මේෂක් කියා ද අසරියාට අබෙද්නෙගෝ කියා ද නම් තැබුවේ ය.
8 දානියෙල් තෙමේ රජුගේ භෝජනයෙන් වත්, ඔහු බොන මිදියුසෙන් වත් තමා අපවිත්‍ර නොවී සිටින පිණිස අධිෂ්ඨාන කරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටීමට ප්‍රධාන නපුංසකයාගෙන් අවසර අයැද සිටියේ ය. 9 දෙවියන් වහන්සේ දානියෙල්ට ප්‍රධාන නපුංසකයාගෙන් කරුණාවත්, අනුකම්පාවත් ලැබෙන්නට සැලැස්සූ සේක. 10 ප්‍රධාන නපුංසකයා දානියෙල්ට මෙසේ කී ය: ”ඔබේ කෑම ද බීම ද නියම කළ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මම බිය වෙමි. යම් හෙයකින් ඔබේ වයසේ තරුණයන්ට වඩා ඔබේ මුහුණ මැලවී ඇති බව එතුමාට පෙනී ගියොත්, මාගේ හිස ගසාදැමීමෙන් මා අනතුරට භාජනය විය හැකි ය.”
11 එවිට දානියෙල් තමා ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද භාර ව සිටීමට ප්‍රධාන නපුංසකයා පත් කළ භාරකාරයාට කතා කොට, 12 ”ඔබේ මෙහෙකරුවන් වන අපට කෑමට එළවළු ද බීමට වතුර ද දී දස දිනක් ඇතුළත දී කුමක් වන්නේ දැ යි සෝදිසි කර බලන්න; 13 ඉන්පසු අපේ පෙනීම ද රජතුමාගේ භෝජන අනුභව කරන තරුණයන්ගේ පෙනීම ද සසඳා බලා, ඔබට පෙනී යන හැටියට ඔබේ මෙහෙකරුවන්ට සුදුස්සක් කළ මැනවැ”යි කී ය.
14 ඔහු ඒ යෝජනාවට එකඟ වී දස දිනක් තුළ ඔවුන් සෝදිසි කර බැලුවේ ය. 15 දස දිනකට පසු ඒ සතරදෙනා රජතුමා නියම කළ භෝජන අනුභව කළ තරුණයන්ට වඩා හොඳ පෙනීමෙන් හා සනීප ශක්තියෙන් සිටින බව පෙනී ගියේ ය. 16 එබැවින් භාරකාරයා ඉන්පසු, ඔවුන්ට කන්න නියම ව තිබූ ආහාර ද බොන්න නියම ව තිබූ මිදියුස ද නතර කර එළවළු පමණක් ඔවුන්ට දුන්නේ ය.
සතරදෙනා රජ්ජුරුවන් වෙත ඉදිරිපත් කිරීම
17 ඒ තරුණයන් සතරදෙනාට දෙවියන් වහන්සේ සාහිත්‍ය විෂයය හා ශිල්ප ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් හා අවබෝධයක් දුන් සේක. සියලු ආකාර දර්ශන හා ස්වප්න තේරුම් කර දීමේ වරම ද දානියෙල්ට තිබිණි.
18 තරුණයන් පුහුණු කිරීමට නියම ව තිබූ කාලය හමාර වූ විට, ඔව්හු සියලු දෙන ප්‍රධාන නපුංසකයා විසින් නෙබුකද්නෙශර් රජු ඉදිරියට ගෙනෙන ලදී. 19 රජතුමා ඔවුන් සමඟ කතා කෙළේ ය. ඔවුන් සියලු දෙනා අතුරෙන් දානියෙල්ටත්, හනනියාටත්, මිෂායෙල්ටත්, අසරියාටත් සමාන කළ හැකි අන් කිසිවෙක් නොවූ හ. 20 එබැවින් ඔව්හු රාජ සේවයට ඇතුළත් කරන ලද හ. තේරුම් පැහැදුම් ඇති ව විමසිය යුතු යම් යම් කරුණු සම්බන්ධයෙන් රජතුමා ඔවුන්ගෙන් විමසූ විට, මුළු රාජ්‍යයේ සිටි සියලු මන්ත්‍රකාරයන්ටත්, අනවිනකාරයන්ටත් වඩා දස ගුණයකින් ඔවුන් සමත් බව එතුමාට පෙනී ගියේ ය. 21 දානියෙල්, සයිරස් රජුගේ පළමු වන අවුරුද්ද දක්වා එහි සිටියේ ය.
– 2 වන පරිච්ඡේදය –
නෙබුකද්නෙශර් රජ දුටු ස්වප්නය
1 නෙබුකද්නෙශර් රජකම් කරන දෙ වන අවුරුද්දේ දී ඔහු ස්වප්න දුටුවේ ය. එයින් ඔහුගේ සිත බොහෝ සේ කැළඹුණේ ය; නිදාගන්න වත් ඔහුට නොහැකි විය. 2 එවිට රජු දුටු ස්වප්නය ඔහුට දන්වන පිණිස මන්ත්‍රකාරයන් ද අනවිනකාරයන් ද මායාකාරයන් ද කල්දිවරුන් ද කැඳවන්න රජතුමා අණ කෙළේ ය. 3 ඔව්හු අවුත් රජතුමා ඉදිරියේ පෙනී සිටියෝ ය. රජතුමා ඔවුන් අමතා, ”මම ස්වප්නයක් දිටිමි. ඒ ස්වප්නය කුමක් දැ යි දැනගැනීමට මාගේ සිත කැළඹී ඇතැ”යි ඔවුන්ට කී ය.
4 එවිට කල්දිවරු අරමීය භාෂාවෙන් කතා කරමින්, ”රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! ඔබේ මෙහෙකරුවන් වන අපට ඔබ දුටු ස්වප්නය කුමක් දැ යි කිව මැනව, එවිට එහි තේරුම අපි පහදා දෙන්නෙමු”යි කී හ.
5 රජ තෙමේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”මාගේ අධිෂ්ඨානය මෙය වේ. ස්වප්නයත්, එහි තේරුමත් දෙක ම ඔබ මට දැන්විය යුතු යි; නොදැන්නුවොත් ඔබ කැබෙලි කොටදමා ඔබේ ගෙවල් කසළ ගොඩවල් කරන්නෙමි. 6 එහෙත්, ස්වප්නය ද එහි තේරුම ද ඔබ මට පෙන්වා දුන්නොත්, ඔබට තෑගිබෝග ද ගරු-නම්බු ද ලැබෙනු ඇත. ඒ නිසා ස්වප්නය ද එහි තේරුම ද මට පෙන්වන්නැ”යි කී ය.
7 ඔව්හු දෙ වන වර උත්තර දෙමින්, ”රජතුමා තමාගේ මෙහෙකරුවන්ට ස්වප්නය කුමක් දැ යි කියාවා; එවිට අපි එහි තේරුම දන්වන්නෙමු”යි කී හ.
8 රජතුමා පිළිතුරු දෙමින්, ”මාගේ අධිෂ්ඨානය ඔබට ප්‍රකාශ කර තිබෙන බැවින්, ඔබ කල් ගන්න හදන බව මට හොඳට ම පැහැදිලි යි. 9 ඔබ මා දුටු ස්වප්නය කුමක් දැ යි නොකීවොත්, ඔබට ඇත්තේ එක ම එක ඉරණම යයි නැවත මතක් කරමි. ඔබ මට අමූලික බොරු කියා මෙය කල් දමන්න එකඟ වී ඇති බව මට පෙනේ. එබැවින් ස්වප්නය කුමක් දැ යි මට කියන්න. එවිට එහි තේරුම පහදා දෙන්න ඔබට පුළුවන් දැ යි මට දැනගත හැකි ය”යි කී ය.
10 ඔව්හු පිළිතුරු දෙමින්, ”රජුගේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට හැකි සමතෙක් මේ මුළු පොළෝ තලයෙහි ඇත්තේ නැත. ඇරත්, කිසි ම රජෙක් හෝ අධිපතියෙක් හෝ ආණ්ඩුකාරයෙක් හෝ මෙවැනි ඉල්ලීමක් මන්ත්‍රකාරයෙකුගෙන් වත් අනවිනකාරයෙකුගෙන් වත්, දෛවඥයෙකුගෙන් වත් කර නැත. 11 රජතුමා අපෙන් ඉල්ලන්නේ නොකළ හැකි දෙයකි. මිනිස් ලොවින් එපිට සිටින දෙවිවරුන්ට මිස අන් කිසිවෙකුට රජතුමාට එය පෙන්වා දිය නොහැකි ය”යි කී හ.
12 එවිට රජතුමා අතිශයෙන් කෝපාවිෂ්ඨ වී බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මරාදමන්න නියම කෙළේ . 13 ශාස්ත්‍රවන්තයන් මරන ලෙස නියෝගයක් ද නිකුත් කරන ලදී. ඒ නියමයේ පරිදි ඔව්හු දානියෙල් සහ ඔහුගේ සහායකයන් ද මරන්නට සෙවුවෝ ය.
දානියෙල් රජ්ජුරුවන් ඉදිරියේ සිටීම
14 බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් මරන පිණිස පිටත් ව ගිය අරියොක් නම් රජුගේ වධකයාගේ ප්‍රධානියාට දානියෙල් ස්ථානෝචිත සිහි නුවණින් කතා කර, 15 ”මෙතරම් තද නියෝගයක් රජතුමා පනවා ඇත්තේ මන්දැ”යි ඇසී ය. අරියොක් ඒ කාරණය දානියෙල්ට විස්තර කර දුන්නේ ය.
16 එවිට දානියෙල් රජු වෙත ගොස්, ස්වප්නයේ තේරුම පහදා දෙන පිණිස තමාට කල් දෙන හැටියට ඉල්ලුවේ ය. 17 එකල දානියෙල් ගෙදර ගොස් තමාගේ සහායකයන් වන හනනියාටත්, මිෂායෙල්ටත්, අසරියාටත් කරුණු සැළ කොට, 18 ඔවුන් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් සමග විනාශ නො වන පිණිස, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට, ඒ අබිරහස දන්වන ලෙස අයැදින්නට කීවේ ය. 19 එදා රාත්‍රියේ දර්ශනයකින් ඒ අබිරහස දානියෙල්ට එළිදරව් විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් 20 මෙසේ කීවේ ය: ”දෙවිඳුන්ගේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මන්ද, ප්‍රඥාවත්, බලයත් එතුමන් සතු ය. 21 කාලයන් ද අවස්ථාවන් ද වෙනස් කරන්නේත්, රජවරුන් පහ කරන්නේත්, පත් කරන්නේත්, පැණවතුන්ට දැනුම හා නැණවතුන්ට නුවණ දෙන්නේත් එතුමාණෝ ය. 22 ගැඹුරු වූ අබිරහස් වූ දේ එළි කරන්නේත්, අඳුරේ ඇති දේ දන්නේත් එතුමාණෝ ය. ආලෝකය උන් වහන්සේ සිසාරා ඇත. 23 මාගේ පියවරුන්ගේ දෙවිඳුනි, මා හට ඥාන ශක්තිය දුන් බැවින් ද අපේ යැදුමට සවන් දී රජුගේ පැනය ඔබ අපට පහදා දුන් බැවින් ද ඔබට මම තුති පැසසුම් කරමි.”
24 එවිට දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැසීමට රජතුමා පත් කළ අරියොක් වෙත ගොස්, ”බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් විනාශ නොකරන්න; රජ්ජුරුවන් ඉදිරියට මා පමුණුවන්න; ස්වප්නයේ තේරුම මම රජතුමාට පෙන්වන්නෙමි”යි කී ය. 25 එකල අරියොක් තෙමේ රජු ඉදිරියට දානියෙල් හනික කැඳවාගෙන ගොස්, ”ජුදා රටෙන් අල්ලාගෙන ආ අය අතරෙහි, රජතුමාගේ සිහිනයේ තේරුම කියන්න පුළුවන් කෙනෙකු මට සම්බ වී ය”යි කී ය.
දෙවියන් වහන්සේ දානියෙල්ට ස්වප්නය හෙළි කිරීම
26 රජතුමා බෙල්ටෙෂෙසර් නම් දානියෙල් අමතා, ”මා දුටු ස්වප්නයත්, එහි තේරුමත් මට කියා දෙන්න ඔබට පුළුවන් දැ”යි ඇසී ය.
27 දානියෙල් රජුට පිළිතුරු දෙමින් මෙසේ කී ය: ”රජතුමා විමසා ඇති අබිරහස පහදාදීමට ශාස්ත්‍රවන්තයන්ට ත් , අනවිනකාරයන්ට වත්, මන්ත්‍රකාරයන්ට වත්, පේන කියන්නන්ට වත් නොහැකි ය. 28 එහෙත්, රහස් එළිදරව් කරන දෙවි කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක. උන් වහන්සේ අනාගතයේ දී සිදු වන්න යන දේ නෙබුකද්නෙශර් රජුට හෙළි කර තිබේ. ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබේ හිසට නැඟුණු ස්වප්නය හා දර්ශනය මෙසේ ය:
29 ”රජතුමනි, ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබට ඇති වූයේ, අනාගතයේ දී සිදු වන්න යන දේ පිළිබඳ සිතුවිලි ය. රහස් එළිදරව් කරන තැනැන් වහන්සේ සිදු වන්න යන දේ ඔබට දන්වා තිබේ. 30 මේ අබිරහස මටත් එළිදරව් වී ඇත්තේ ජීවත් වී සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, ඔබේ ස්වප්නයේ තේරුම ඔබට දන්වන පිණිසත්, ඔබේ සිතේ ඇති සිතිවිලි ඔබ තේරුම්ගන්න පිණිසත් ය.”
31 ”රජතුමනි, ඔබ අතිවිශාල රූපයක් දුටුවෙහි ය. ඒ විශාල දීප්තිමත් රූපය ඔබ ඉදිරියෙහි තිබුණේ ය. එහි පෙනීම භයංකාර ය. 32 ඒ රූපයේ හිස දඹ රනින් ද ළය සහ අත් රිදීයෙන් ද බඩ සහ කලවා ලෝකඩවලින් ද 33 කෙණ්ඩා යකඩෙන් ද පාදවල කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද කරන ලදී. 34 ඔබ බලා සිටිය දී මිනිස් අතින් නොකපන ලද ගලක් කන්දෙන් ගැලවී අවුත් රූපයේ යකඩ සහ මැටි පාදවල වැදී ඒවා පොඩි කරදැමී ය. 35 එවිට යකඩ ද මැටි ද ලෝකඩ ද රිදී ද රත්රන් ද එකට පොඩි වී ගිම්හාන කාලයේ කමතේ බොල් මෙන් සුළඟට ගසාගෙන ගියේ ය. ඒවායේ ශේෂමාත්‍රයක් වත් ඉතුරු නො වී ය. රූපයට වැදුණු ගල විශාල පර්වතයක් විය. එයින් පොළොව පිරී ගියේ ය.
36 ”එය ය, ඔබ දුටු ස්වප්න ය. දැන් එහි තේරුම රජ්ජුරුවන්ට මම කියා දෙන්නෙමි. 37 රජවරුන්ගේ රජ වූ රජතුමනි, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබට රාජ්‍යය ද බලය ද පරාක්‍රමය ද තේජස ද දී තිබේ. 38 සෑම තැන ම වසන මිනිසුන් ද මෘගයන් ද ආකාශ පක්ෂීන් ද ඔබ අතට භාර දී ඔව්හු සියල්ලෝ ඔබේ පාලනයට යටත් කරන ලද හ. රත්රන් හිස නම් ඔබ ය. 39 ඔබට පසු ඔබේ රාජ්‍යයට වඩා පහත් රාජ්‍යයක් ද ඉන්පසු ලෝකඩවලින් අදහස් කෙරෙන, ලොවපුරා පාලනය පැතිර පවත්නා තුන් වන රාජ්‍යයක් ද නැඟී එන්නේ ය. 40 යකඩ මෙන් සවි ශක්තිය ඇති රාජ්‍යයක් සතර වන වර ඇති වන්නේ ය. යකඩ සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නාක් මෙන් ඒ රාජ්‍යය අන් සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නේ ය. 41 ඔබ දුටු පාද හා පා ඇඟිලිවලින් දැක්වෙන්නේ, කොටසක් කුම්භකාරයාගේ මැටියෙන් ද කොටසක් යකඩෙන් ද යුක්ත ව ඒ රාජ්‍යය බෙදී යන බව ය. එහෙත්, යකඩ මැටි හා මිශ්‍ර ව තිබෙනු ඔබ දුටු පරිදි ඒ රාජ්‍යයේ අයෝමය ශක්තියත් තරමක් දුරට පවතින්නේ ය. 42 පා ඇඟිලිවලින් කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද තිබුණාක් මෙන් ඒ රාජ්‍යයෙන් කොටසක් ශක්තිමත් වන්නේ ය; කොටසක් බිඳෙනසුලු වන්නේ ය. 43 යකඩ මැටි මිශ්‍ර ව තිබෙනු ඔබ දුටු ලෙස මනුෂ්‍යයෝ විවාහයෙන් මිශ්‍ර වන්නෝ ය. එහෙත්, යකඩ හා මැටි මිශ්‍ර නොවන සේ ඔව්හු එකට බැඳී නොසිටිති. 44 ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණු විසුණු කරදමනු ඇත. එය ද සදාකාලයට ම පවතින්නේ ය. 45 අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැලවී අවුත් යකඩ ද ලෝකඩ ද මැටි ද රිදී ද රත්රන් ද පොඩි කරදමනු ඔබ දුටු ලෙස, එය ඒ සියලු රාජ්‍යයන් පොඩි කර නැති කරන්නේ ය. ඔබ දුටු දර්ශනයේ තේරුම එය වේ. මහෝත්තම දෙවියන් වහන්සේ මතු සිද්ධ වන්නට යන දේ රජුට දන්වා තිබේ. ස්වප්නය සැබෑ ය. එහි තේරුම නොඅනුමාන ය.”
රජ දානියෙල්ට ත්‍යාග දීම
46 එකල නෙබුකද්නෙශර් මුණින් වැටී, දානියෙල්ට වැඳ, ඔහුට පූජාවක් ඔප්පු කරන්නට ද සුවඳ දුම් අල්ලන්නට ද අණ කෙළේ ය. 47 රජතුමා දානියෙල්ට කතා කොට, ”නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය. 48 රජ තෙමේ දානියෙල් උසස් නිලයකට පත්කොට, අනේක විධ අගනා තෑගිබෝග ඔහුට දී, මුළු බබිලෝනි පළාතේ ආණ්ඩුකාරයා ද බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියා ද වශයෙන් පත් කෙළේ ය. 49 දානියෙල්ගේ ඉල්ලීම පිට රජතුමා ෂද්‍රක් ද මේෂක් ද අබෙද්නෙගෝ ද බබිලෝනියේ පළාත් පරිපාලන කටයුතු සඳහා පත් කෙළේ ය. දානියෙල් තෙමේ රජ වාසලේ ම විසී ය.
– 3 වන පරිච්ඡේදය –
රන් රූපය
1 නෙබුකද්නෙශර් රජ මීටර් විසිහතක් උස මීටර් තුනක් පළල රන් රූපයක් සාදවා, බබිලෝනි පළාතේ දූරා නම් සමභූමියේ එය පිහිටෙව්වේ ය. 2 තමා පිහිටෙවූ ඒ රූපය කැප කරන පිණිස, දිශාධිපතීන්ට ද අධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද විනිශ්චයකාරයන්ට ද භාණ්ඩාගාරිකයන්ට ද මන්ත්‍රීවරුන්ට ද නීතිඥයන්ට ද පළාත්වල සියලු මුලාදෑනීන්ට ද රැස් වන ලෙස රජතුමා නියෝග කෙළේ ය. 3 ඔවුන් සියලු දෙනා පැමිණ රන් රූපය ඉදිරියෙහි සිටියෝ ය. 4 එවිට, රාජ ප්‍රකාශකයා මහ හඬින්, ”විවිධ භාෂා කතා කරන, සියලු ජාතීන්ගෙන් යුත් ජනයෙනි, මේ රාජාඥවට සවන් දෙන්න. 5 හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඔබට ඇසෙන විට, දණින් වැටී නෙබුකද්නෙශර් රජතුමා පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්න රජතුමා අණ කොට ඇත. 6 බිම වැටී නමස්කාර නොකරන කවුරු නමුත්, එවේලෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන්නේ ය”යි කීවේ ය. 7 ඒ අණ පරිදි, හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසුණු වහා ම, විවිධ භාෂා කතා කරන, සියලු ජාතීන්ගෙන් යුත් ජනයා බිම වැටී නෙබුකද්නෙශර් රජු පිහිටෙවූ රන් රූපයට නමස්කාර කළහ.
නමස්කාර නොකළ ජුදෙව්වරුන් තිදෙනා
8 ඒ අවස්ථාවේ දී කල්දිවරු සමහර දෙනෙක් ඉදිරිපත් වී ජුදෙව්වරුන්ට විරුද්ධ ව චෝදනාවක් කළහ. 9 ඔව්හු නෙබුකද්නෙශර් රජුට මෙසේ කී හ: 10 ”රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන සියල්ලන් බිම වැටී රන් රූපයට නමස්කාර කළ යුතු ය කියා ද 11 එසේ බිම වැටී නමස්කාර නොකරන කවරෙකු නමුත්, ඇවිලෙන ගිනි උදුනක් මැදට හෙළිය යුතු ය කියා ද ඔබතුමා ආඥාවක් පණවා ඇත. 12 එහෙත්, බබිලෝනි පළාත පාලනය කිරීමට ඔබ පත් කළ ජුදෙව්වරුන් වන ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ යන තිදෙනා ඔබේ අණට කීකරු නොවෙති. ඔවුන් ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැත.”
13 ඒ ඇසූ නෙබුකද්නෙශර් රජ ක්‍රෝධයෙන් දැවෙමින්, ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ගෙන එන්න අණ කෙළේ ය. එවිට ඔව්හු ඒ තිදෙනා රජු ඉදිරියට ගෙනාහ. 14 නෙබුකද්නෙශර් ඔවුන් අමතා මෙසේ කී ය: ”ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ, ඔබ මාගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, මා පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැතැ යි කියන්නේ ඇත්ත ද? 15 හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන විට බිම වැටී මා සාදා තිබෙන රූපයට නමස්කාර කරන්නට ඔබ සූදානම් ද? එසේ නම් යහපති; නැත්නම්, රන් රූපයට ඔබ නමස්කාර නොකළොත්, එකෙණෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට ඔබ හෙළනු ලබනු ඇත. එවිට මාගේ අත්වලින් ඔබ ගළවන දෙවියෝ කවුරු ද කියා බලමු.”
16 ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කී හ: ”රජතුමනි, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට වුවමනා නැත. 17 රජතුමනි, ඇවිලෙන ගිනි උදුනෙන් අප ගළවාගන්නට පුළුවන් දෙවි කෙනෙක් සිටිත් නම්, ඒ අප වැඳුම්පිදුම් කරන දෙවියන් වහන්සේ ම ය. ඔබේ අතින් උන් වහන්සේ අප ගළවන සේක. 18 රජතුමනි, උන් වහන්සේ එසේ නොකළත්, අප ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා ඇති රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැති බව ඔබට දන්වන්නට කැමැත්තෙමු.”
ගිනි උදුනෙන් ගළවාගනු ලැබීම
19 ඒ ඇසූ නෙබුකද්නෙශර් අතිශයෙන් කෝපාවිෂ්ට විය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ දෙස ඔහුගේ මුහුණේ බැල්ම වෙනස් වී ගිනි උදුන සාමාන්‍ය ප්‍රමාණයට වඩා සත් ගුණයක් රත් කරන්නට නියම කෙළේ ය. 20 ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ බැඳ, ඇවිලෙන ගිනි උදුනට හෙළන්නට ඔහු තමාගේ සේනාවේ ශක්ති සම්පන්න අයට අණ කෙළේ ය. 21 ඔව්හු ඒ තිදෙනා ඔවුන් ඇඳ සිටි සළුව, කබාය, හිස වැස්ම යනාදී සියලු ඇඳුම් පිටින් ම බැඳ ඇවිලෙන ගිනි උදුන මැදට හෙළූ හ. 22 රජ්ජුරුවන්ගේ නියමය වහා ඉටු කළ යුතු ව තිබුණු බැවින් ද ගිනි උදුන ඉතා රත් ව තිබුණු බැවින් ද ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ ගෙන ගිය අය පිටතට විහිදී ආ ගිනි දලුවලින් දැවී මළෝ ය. 23 ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ යන තිදෙනා බැමි පිටින් ම ගිනි උදුන මැදට වැටුණෝ ය.
24 නෙබුකද්නෙශර් රජ පුදුමයට පත් වී, වහා නැඟිට මන්ත්‍රීවරුන් අමතා, ”අප බැඳ ගින්නට හෙළුවේ මිනිස්සු තුන්දෙනෙක් නොවෙත් දැ”යි ඇසී ය. ”එසේ ය, රජතුමනි” කියා ඔව්හු පිළිතුරු දුන්හ.
25 එවිට රජතුමා, ”අන්න, මිනිසුන් සතරදෙනෙකු සිටිනු මට පෙනේ, කිසි පීඩාවක් නැති ව ඔව්හු ගින්න මැද ඇවිදිති. සතරවැනියා පෙනුමෙන් දේව පුත්‍රයෙකු වැනි ය”යි කී ය.
26 එසේ කියා ඔහු ඇවිලෙන ගිනි උදුනේ දොරකඩට ළං වී, ”මහෝත්තම දෙවියන් වහන්සේගේ සේවකයන් වන ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ පිටතට එන්න, මෙහි එන්නැ”යි කී ය. එවිට ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ගින්න මැද සිට පිටතට ආහ. 27 දිශාධිපතීහු ද අධිපතියෝ ද ආණ්ඩුකාරයෝ ද රජුගේ මන්ත්‍රීවරු ද ඔවුන් වටේ රැස් ව, ඒ තිදෙනාගේ ශරීරවලට ගින්නෙන් කිසි පීඩාවක් නුවූ බවත්, ඔවුන්ගේ කෙස්ගහක් වත්, පිළිස්සී නැති බවත්, ඇඳුම්වලට ගින්න වැදී නැති බවත්, ඔවුන්ගේ ඇඟපතේ ගිනි ගඳක් වත් නොවූ බවත් දුටුවෝ ය.
නෙබුකද්නෙශර් රජුගේ දේව ප්‍රශංසාව
28 එවිට, නෙබුකද්නෙශර් මෙසේ කීවේ ය: ”ෂද්‍රක්ගේත්, මේෂක්ගේ හා අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ සිය දූතයා එවා තමන්ගේ මේ සේවකයන් තිදෙනා ගළවාගත් සේක. ඔව්හු රජුගේ නියමයට පිටුපා තමන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ හ. තමන්ගේ දෙවියන් වහන්සේ හැර අන් දෙවියෙකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා ගින්නට ගොදුරුවන්නට ඔව්හු සතුටු වූ හ.
29 ”එබැවින්, සියලු ජනයෙනි, ෂද්‍රක්ගේත්, මේෂක්ගේත්, අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට විරුද්ධ ව දොස් කියන යම් කෙනෙකුට හෝ ජාතියකට හෝ භාෂාවකට හෝ අයත් යමෙක් වේ නම්, ඔහු කැබලි කොට ඔහුගේ ගේ-දොර කසළ ගොඩක් කරන හැටියට මම නියමයක් කරමි. මන්ද, මේ ආකාරයෙන් ගළවාගන්නට පුළුවන් අන් දෙවි කෙනෙක් නැත.”
30 ඉන්පසු රජතුමා, ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ යන තිදෙනා බබිලෝනි පළාතේ වඩාත් උසස් නතුරුවලට පත් කෙළේ ය.
– 4 වන පරිච්ඡේදය –
නෙබුකද්නෙශර් රජුගේ දෙ වන ස්වප්නය
1 නෙබුකද්නෙශර් රජ මුළු ලොවේ වාසය කරන සකල ජනයන් හටත්, ජාතීන් හටත්, ඒ ඒ භාෂාවන් කතා කරන සියල්ලන් හටත් මෙසේ නිවේදනය කෙළේ ය: ”ඔබට සාමදානය වේ වා! 2 මහෝත්තම දෙවියන් වහන්සේ මා උදෙසා කළ හාස්කම් ද අරුමපුදුම දේ ද ඔබට දැන්වීම මැනව යි මට පෙනිණි. 3 උන් වහන්සේ දැක් වූ හාස්කම් කොපමණ මහත් ද? උන් වහන්සේ කළ අරුමපුදුම දේ කොපමණ බලවත් ද? උන් වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක් ය. උන් වහන්සේගේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේ ය.
4 ”නෙබුකද්නෙශර් වන මම මාගේ මාලිගාවේ සැපසම්පත් භුක්ති විඳිමින් සුව සේ සිටියෙමි. 5 එසේ සිටිය දී මා තැති ගැන්වූ ස්වප්නයක් දුටුවෙමි. මා යහනේ සිටිය දී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුණු දර්ශන මා බිය ගැන්වී ය. 6 ස්වප්නයේ තේරුම මට දන්වන පිණිස බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මා ඉදිරියට පමුණුවන හැටියට මම අණ කෙළෙමි. 7 එවිට මන්ත්‍රකාරයෝ ද අනවිනකාරයෝ ද දෛවඥයෝ ද පේන කියන්නෝ ද මා වෙත ආවෝ ය. මම ඔවුන් ඉදිරියේ මා දුටු ස්වප්නය කීවෙමි. එහෙත්, ඔවුන්ට එහි තේරුම මට කියා දෙන්නට නොහැකි විය. 8 අන්තිමේ දී මාගේ දෙවියන්ගේ නාමය අනුව ‘බෙල්ටෙෂෙසර්’ කියා නම් කරන ලද දේවාත්මානුභාවය ඇති දානියෙල් මා ඉදිරියට ආවේ ය. දුටු ස්වප්නය මම ඔහුට කීවෙමි: 9 මන්ත්‍රකාරයන්ගේ ප්‍රධානියා වන බෙල්ටෙෂෙසර්, ඔබට දේවාත්මානුභාවය ඇති බවත් කිසි අබිරහසක් විසඳීම ඔබට දුෂ්කර කාර්යයක් නොවන බවත් මම දනිමි. මා දුටු ස්වප්නය මෙය වේ. එහි තේරුම මට පහදා දෙන්න.
10 ”මා යහනේ සිටිය දී මාගේ හිසට නැඟුණු දර්ශනය මෙය වේ. ඉතා උස ගහක් පොළොව මැද තිබෙනු මම දිටිමි. 11 ඒ ගස වැවී ශක්තිමත් වී, කරටිය අහසේ උසට යන තෙක් වැඩුණේ ය. පොළොවේ සතර දිග් භාගයට ඒ ගස පෙනුණේ ය. 12 එහි අතු සහ කොළ ශෝභන ය. පල බහුල ය. සියල්ලන්ට සෑහෙන පමණ කෑම එහි තිබුණේ ය. වන මෘගයෝ ගස යට සෙවණ ලැබුවෝ ය. අහසේ කුරුල්ලෝ අතුවල ලැගුම් ගත්තෝ ය. සියලු සත්ත්වයන්ට එයින් කෑම ලැබුණේ ය.
13 ”මා එසේ දර්ශනය දකිමින් යහනේ සිටිය දී තවදුරටත් මෙසේ දිටිමි. ස්වර්ගයෙන් ශුද්ධ මුරකාරයෙක් බැස ආයේ ය. 14 ඔහු මහ හඬින් මොරගසා මෙසේ කී ය: ‘ගස සිඳ දමන්න, අතු කපා දමන්න, කොළ සූරා දමන්න, පල විසුරුවා දමන්න, වන මෘගයන් ගසේ සෙවණ යටින් ද කුරුල්ලන් අතුවලින් ද පලවා හරින්න. 15 එහෙත්, ගසේ මුලේ කඳ කෑල්ල ඉතුරු කර, එයට යකඩ හා ලෝකඩ වළල්ලක් දමා පොළොවේ ලා තණ අතරේ එය තිබෙන්නට අරින්න. මේ මිනිහා අහසේ පිනිවලින් තෙමේ වා; මෘගයන් සමඟ තණ කොළ කෑවා වේ. 16 ඔහුගේ සිත මිනිස් සිතක් නොවන ලෙස වෙනස් වී මෘග සිතක් ඔහුට ලැබී, ඒ අයුරින් අවුරුදු සතක් ගතවුණා වේ. 17 මේ තීරණය මුරකාරයන්ගේ නියමයක් වන්නකි; මේ තීන්දුව ශුද්ධ තැනැත්තන්ගෙන් වන ප්‍රකාශනයකි. මෙසේ වන්නේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත්, මිනිසුන්ගෙන් ඉතා පහත් කෙනෙකුට වුව ද එහි පාලනය භාර දෙන බවත් ජීවත් ව සිටින අය දැනගන්න පිණිස ය.
18 ”මේ ස්වප්නය, නෙබුකද්නෙශර් රජු වන මම දිටිමි. එම්බා බෙල්ටෙෂෙසර්, එහි තේරුම මට දන්වන්න. මන්ද, මාගේ රාජ්‍යයේ සිටින සියලු ශාස්ත්‍රවන්තයන්ගෙන් එක් කෙනෙකුට වත් එය නොකළ හැකි විය. එහෙත්,දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය.”
දානියෙල් ස්වප්නය තේරුම් කර දීම
19 එකල බෙල්ටෙෂෙසර් නම් ලත් දානියෙල් දර්ශනය ගැන ඇති වූ සිතුවිලිවලින් කැළඹී, මොහොතකට තුෂ්ණීම්භූත ව සිටියේ ය. රජතුමා ඔහු අමතා, ”බෙල්ටෙෂෙසර් ස්වප්නය ගැන වත්, එහි තේරුම ගැන වත් නොකැළඹෙන්නැ”යි කී ය. බෙල්ටෙෂෙසර් මෙසේ පිළිතුරු දුන්නේ ය: ”මාගේ රජතුමනි, ස්වප්නය ඔබට ද්වේෂ කරන්නන්ටත්, එහි තේරුම ඔබේ සතුරන්ටත් අදාළ වේ වා! 20 රජතුමනි, ඔබ දුටු, වැවී ශක්තිමත් වී කරටිය අහස උසට යනතෙක් වැඩුණු, පොළොවේ සතර දිග් භාගයක පෙනුණු, 21 ශෝභන කොළ ද බොහෝ පල ද සියල්ලන්ට කෑම ද තිබුණු, වන මෘගයන්ට සෙවණක් වූ, අහසේ පක්ෂීන් ලැගුම් ගත්, අතු තිබුණු ගස නම් ඔබ ම ය.
22 ”ඔබ වර්ධනය වී බලවත් ව සිටින්නෙහි ය. ඔබේ උතුම්කම වැවී, අහස දක්වා නැඟී ඇත. ඔබේ පාලනය පොළොවේ සීමාන්තයන් දක්වා පැතිර ගොස් ඇත. 23 තවද, ශුද්ධ මුරකාරයෙකු ස්වර්ගයෙන් බැස එනු ඔබ දුටුවෙහි ය. ඔහු මෙසේ කී ය: ‘ගහ සිඳදමා විනාශකරන්න, එහෙත්, එහි මුල් හා කඳ යකඩ හා ලෝකඩ වළල්ලක් දමා පොළොවේ ළා තණ අතරේ තිබෙන්නට අරින්න. ඒ මිනිසා අහසේ පිනිවලින් තෙමේ වා. අවුරුදු සතක් ගතවන තුරු ඔහු මෘගයන් සමඟ තණ කොළ කෑවා වේ.’
24 ”රජතුමනි, එහි තේරුම මෙය වේ. එය මාගේ ස්වාමීන් වන රජතුමාට පැමිණ තිබෙන මහෝත්තමයාණන්ගේ නියමය ය. 25 ඔබ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. ඔබේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේ ය. ගවයන්ට මෙන් ඔබට තණ කොළ කවනු ලබන්නෙහි ය. ඔබ අහසේ පින්නෙන් තෙමනු ලබන්නෙහි ය. මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් ඔබ දැනගන්න තුරු, අවුරුදු සතක් ඔබ ගත කරන්නෙහි ය. 26 කෙසේ වෙතත්, අර මුරකාරයා ගසේ මුලේ කඳ කොටස ඉතිරි කරන්නට අණ කෙළේ ය. එහි තේරුම මෙය යි. මහෝත්තමයාණන් මනුෂ්‍ය රාජ්‍යයන් පාලනය කරන බව ඔබ දැනගත් පසු ඔබේ රාජ්‍යය ඔබට ස්ථිර වන්නේ ය. 27 එබැවින් රජතුමනි, මාගේ දැනමුතුකම පිළිගැනීමට සතුටු වුව මැනව. දැහැමිකම් කිරීමෙන් ඔබේ පාප ද දිළිඳුන්ට කරුණා කිරීමෙන් ඔබේ අපරාධ ද පහකළ මැනව. එසේ කිරීමෙන් සමහර විට දීර්ඝ කාලයක් ඔබට සාමදානයෙන් සිටින්නට පුළුවන් වනු ඇත.”
ස්වප්නය සැබෑ වීම
28 මේ සියල්ල නෙබුකද්නෙශර් රජුට සිදු විය. 29 දොළොස් මසක් ගත වූ පසු ඔහු බබිලෝනියේ රාජ මාලිගාව උඩ සක්මන් කරමින් සිටියේ ය. 30 සක්මන් කරමින් සිටිය දී ඔහු මෙසේ කීවේ ය: ”එම්බා ශ්‍රේෂ්ඨ බබිලෝනිය, මාගේ රජවාසල වශයෙන් ද මාගේ රාජශ්‍රීයේ ගෞරවය උදෙසා ද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනඟන ලද නගරය තී නොවේ ද?”
31 ඔහු මේ වචන පවසද්දී ම ස්වර්ගයෙන් එන හඬක් ඇසුණේ ය. ඒ මෙසේ ය: ”එම්බා නෙබුකද්නෙශර් රජ, නුඹේ රාජ්‍යය නුඹෙන් පහ විය; 32 නුඹ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. නුඹේ වාසය මෘගයන් සමඟ වන්නේ ය; නුඹට ගවයන්ට මෙන් තණ කොළ කවනු ලබන්නෙහි ය. මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් නුඹ දැනගන්න තුරු අවුරුදු සතක් නුඹ එසේ ගත කරන්නෙහි ය.”
33 ඒ කියන ලද දේ එකෙණෙහි ම සම්පූර්ණයෙන් ම ඉෂ්ට විය. ඔහු මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලැබ, ගොනුන්ට මෙන් ඔහුට තණ කොළ කවන ලදී. ඔහුගේ හිසකේ රාජාලියන්ගේ පිහාටු මෙන් ද ඔහුගේ නියපොතු පක්ෂීන්ගේ නියපොතු මෙන් ද වැඩෙන තුරු ඔහුගේ ශරීරය අහසේ පින්නෙන් තෙමුණේ ය.
රජුගේ සිත වෙනස් වීම
34 අවුරුදු සත ගත වූ පසු, නෙබුකද්නෙශර් රජු වන මම මාගේ ඇස් ස්වර්ගය දෙස එසවීමි. මාගේ සිහිය මට නැවත ලැබුණේ ය. මම සදහට ම ජීවත් වන මහෝත්තමයාණන්ට ප්‍රශංසා කෙළෙමි; ගෞරව කෙළෙමි. මන්ද, එතුමාණන්ගේ පාලනය සදාතනික ය; එතුමාණන්ගේ රාජ්‍යය පරපුරෙන් පරපුරට පවත්නේ ය.
35 ලොවේ සියලු වැසියන් කිසි වටිනාකමක් නැති අය සේ එතුමාණෝ සලකන සේක. උන් වහන්සේ ස්වර්ගික සේනාවන් හා පොළොවේ වැසියන් අතර තමන් රිසි දේ කරන සේක. උන් වහන්සේගේ ක්‍රියාවන් නවත්වන්නට වත්, ‘ඔබ කුමක් කරන සේක් ද’ කියා උන් වහන්සේට අභියෝග කරන්නට වත් පුළුවන් කිසිවෙක් නැත. 36 ඒ වේලාවේ දී ම මාගේ සිහිය මට නැවත ලැබුණු විට මාගේ රාජ්‍යයේ ගෞරවය උදෙසා මාගේ රාජශ්‍රීයත්, ඓශ්චර්යයත් මා වෙත නැවත පැමිණියේ ය. මාගේ මන්ත්‍රීවරු ද මාගේ උත්තමයෝ ද මා සාදරයෙන් පිළිගත්හ. මාගේ රාජ්‍යයේ මම යළි පිහිටුවනු ලැබීමි. මාගේ උතුම්කම පෙරට වඩා වැඩි විය.
37 දැන් නෙබුකද්නෙශර් රජු වන මම ස්වර්ගයේ රජ්ජුරුවන් වහන්සේට ප්‍රශංසා කරමි, තුති පුදමි, ගරු කරමි, මන්ද, උන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ට වන්නේ ය. උන් වහන්සේගේ ක්‍රියා මාර්ග සාධාරණ ය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන් වහන්සේට පුළුවන.
– 5 වන පරිච්ඡේදය –
බෙල්ෂෙසර් රජුගේ මංගල්‍ය උත්සවය
1 බෙල්ෂෙසර් රජු සිය උත්තමයන් දහසකට මහා මංගල උත්සවයක් පිළියෙළ කර ඔවුන් සමඟ මත්පැන් බීවේ ය. 2 ඔහු බොමින් සිටිය දී, ඔහුගේ පියා වූ නෙබුකද්නෙශර් ජෙරුසලමේ දේව මාලිගාවෙන් කොල්ලකාගත් රන් රිදී භාජනවලින් තමා ද තමාගේ උත්තමයන් ද සිය භාර්යාවන් ද උපභාර්යාවන් ද බොන පිණිස ඒවා ගෙනෙන්නට අණ කෙළේ ය. 3 එවිට ඔව්හු ජෙරුසලමේ දේව මාලිගාවේ සිද්ධස්ථානයෙන් පැහැරගෙන එන ලද රන් රිදී භාජන ගෙනාහ. රජ ද ඔහුගේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය. 4 ඔව්හු මත්පැන් බී, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී හා ගල්වලින් තනන ලද දෙවිවරුන්ට ප්‍රශංසා කළහ.
බිත්තියෙහි සඳහන් වූ ලියවිල්ල
5 එකල හදිසියෙන් පහන් රුක ඉදිරිපිට රාජ මාලිගාවේ බිත්තියේ බදාම පිට ලියන මිනිස් අතක ඇඟිලි පෙනිණි. රජ තෙම ඒ අත දුටුවේ ය. 6 එකල රජුගේ මුහුණ මැලවී සිත කැළඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැති ව දණහිස් එකට එක වැදුණේ ය. 7 එකල රජ තෙම අනවිනකාරයන් ද කල්දිවරුන් ද පේන කියන්නන් ද කැඳවාගෙන එන ලෙස කෑ ගසා කී ය. රජ තෙම බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් අමතා, ”මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වා දෙන කවුරු හෝ වේවා, ඔහුට රත්නිල් වස්ත්‍රයක් අඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කරනු ලබන්නේ ය”යි කී ය. 8 එවිට රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ පැමිණියෝ ය. එහෙත්, ඒ ලියවිල්ල කියවන්නට වත්, එහි අර්ථය රජුට පහදා දෙන්නට වත් ඔවුන්ට නොහැකි විය. 9 එවිට බෙල්ෂෙසර් රජ අතිශයින් කැළඹී, මුහුණ මැලවී සිටියේ ය. ඔහුගේ උත්තමයෝ ද වියවුල් ව සිටියෝ ය.
10 රජු සහ උත්තමයන් කතා කරමින් සිටිය දී බිසොව භෝජන ශාලාවට පැමිණ මෙසේ කීවා ය: ”රජතුමා සදාකාලේට ම ජීවත් වේ වා! සිතුවිලිවලින් නොකැළඹී මුහුණ මැලවී නොසිටින්න. 11 දේවාත්මානුභාවය ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටියි. ඔබේ පියාණන්ගේ කාලයේ දී මොහු පැහැදිලි කල්පනාව ද නුවණ ද දෙවියන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ද ඇති කෙනෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටියේ ය. ඔබේ පියා වූ නෙබුකද්නෙශර්ගේ කාලයේ දී, ඔහු මන්ත්‍රකාරයන්ගේ ද අනවිනකාරයන්ගේ ද දෛවඥයන්ගේ ද පේන කියන්නන්ගේ ද ප්‍රධානියා වශයෙන් පත් කරන ලදී. 12 රජු විසින් බෙල්ටෙෂෙසර් යන නම තබන ලද ඒ දානියෙල් උසස් කුශලතා ඇති, ස්වප්න තේරුම් කර දීමේත්, තේරවිලි විසඳීමේත්, ගැටපද පහදා දීමේත් ඥානය ඇති කෙනෙකු විය. දැන් ඔබ මේ දානියෙල් කැඳෙව්වොත්, ඔහු ඔය ලියවිල්ලේ අර්ථය පහදා දෙනු ඇතැ”යි කීවා ය.
දානියෙල් බිත්තියේ ලියවිල්ල පහදා දීම
13 එකල දානියෙල් තෙමේ රජු ඉදිරියට ගෙන්වන ලද්දේ ය. රජ තෙමේ දානියෙල් අමතා, ”මාගේ පිය රජ්ජුරුවන් ජුදා රටින් අල්ලාගෙන ආ ජුදෙව්වන්ගෙන් එක් කෙනෙකු වන දානියෙල් ඔබ ද? 14 දේවාත්මානුභාවය ඔබ තුළ තිබෙන බව ද පැහැදිලි කල්පනාවත්, නුවණත්, උතුම් ප්‍රඥාවත් ඔබ තුළ තිබෙන බව ද මා ඔබ ගැන අසා ඇත. 15 මේ ලියවිල්ල කියවා එහි අර්ථය දන්වන පිණිස ශාස්ත්‍රවන්තයන් ද අනවිනකාරයන් ද මා ඉදිරියට ගෙනෙනු ලැබූ නමුත්, එහි අර්ථය පහදා දෙන්න ඔවුන්ට නොහැකි විය. 16 ඔබට අර්ථකථනය කිරීමටත් ගැටපද විවරණය කිරීමටත් හැකි බව මම අසා ඇත්තෙමි. මෙම ලියවිල්ල කියවා එහි අර්ථය පහදා දීමට හැකි නම්, ඔබට රත්නිල් වස්ත්‍ර හඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් මම ඔබ පත් කරමි”යි කී ය.
17 එවිට දානියෙල්, රජු ඉදිරියේ මෙසේ කී ය: ”ඔබේ දීමනා ඔබ ම තබාගනු මැනවි. ඔබේ තෑගි අන් කෙනෙකුට දෙනු මැනවි. කෙසේ වෙතත් මෙම ලියවිල්ල කියවා එය රජ්ජුරුවන්ට පහදා දෙන්නෙමි.
18 ”රජතුමනි, මහෝත්තම දෙවියන් වහන්සේ රජකම ද මහන්තත්ත්වය ද ගෞරවය ද මහිමය ද ඔබේ පිය වූ නෙබුකද්නෙශර්ට දුන් සේක. 19 උන් වහන්සේ ඔහුට දුන් මහන්තත්ත්වය නිසා සියලු ජනයෝ ද ජාතීහු ද භාෂාවෝ ද ඔහු ඉදිරියේ වෙවුලා බිය වූවෝ ය. ඔහු කැමැති කෙනෙකු මැරී ය; කැමැති කෙනෙකු ඉතුරු කෙළේ ය. ඔහු කැමැති කෙනෙකු උසස් කෙළේ ය. කැමැති කෙනෙකු පහත් කෙළේ ය. 20 එහෙත්, ඔහුගේ සිත අහංකාරයෙන් ද අභිමානයෙන් ද දැඩි වූ විට ඔහු රාජ්‍යාසනයෙන් පහ කරනු ලැබී ය. ඔහුගේ මහිමය ද ඔහුගෙන් පහ කරනු ලැබී ය. 21 මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තම දෙවියන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකු උන් වහන්සේ ඒවායේ පාලනය කිරීමට පත් කරන බවත් දැනගන්නා තුරු ඔහු ජන සමාජයෙන් පිටමං කරනු ලැබී ය. ඔහුගේ සිත මෘගයෙකුගේ සිත මෙන් විය. වල් කොටළුවන් සමඟ ජීවත් වී, ගොනුන් මෙන් තණ කොළ කන්නට ඔහුට සිදු විය. ඔහුගේ සිරුර අහසේ පින්නෙන් තෙමුණේ ය.
22 ”ඔහුගේ පුත්‍රයා වන බෙල්ෂෙසර් නම් ඔබ මේ සියල්ල දැන ගෙන සිටි නමුත්, ඔබේ සිත යටත් කර නොගෙන, ස්වර්ගයේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව උසස් වී, උන් වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගෙන, ඔබ ද ඔබේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය. 23 තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත. 24 උන් වහන්සේ වෙතින් අතක් එවනු ලැබ මේ ලියවිල්ල ලියන ලද්දේ ඒ බැවිනි.
25 ”ලියන ලද ලියවිල්ල නම්: ‘මෙනේ, මෙනේ, තෙකේල් උ-පාර්සීන්’ යනු යි. 26 එහි අර්ථය මෙසේ ය: ‘මෙනේ’ යන්නෙන් දෙවියන් වහන්සේ ඔබේ රජකමේ කාලය ගණන් කර එය කෙළවර කළ සේකැ යි අදහස් කර ඇත. 27 ‘තෙකේල්’ යන්නෙන් ඔබ තරාදියේ දමා කිරනු ලැබ, බරෙන් අඩු බව අදහස් කෙරේ. 28 ‘උ-පාර්සීන්’ යන්නෙන් ඔබේ රාජ්‍ය බෙදා, මේදවරුන්ටත්, පර්සිවරුන්ටත් දෙන ලදැ යි අදහස් කෙරේ.”
29 එකල බෙල්ෂෙසර්ගේ අණ පිට දානියෙල් රක්ත-නීල වස්ත්‍රයක් හඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා ය, කියා ඔහු ගැන ප්‍රසිද්ධ කරන ලද්දේ ය. 30 එම රාත්‍රියේ ම කල්දිවරුන්ගේ රජ වූ බෙල්ෂෙසර් මරන ලද්දේ ය. 31 අවුරුදු හැටදෙකක් පමණ වයස් ව සිටි මේදීය ජාතික දාරියුස් තෙමේ රාජ්‍යය භාරගත්තේ ය.
– 6 වන පරිච්ඡේදය –
දානියෙල් මැරීමට උපාය
1 දාරියුස් රජතුමා තමාගේ මුළු රාජ්‍යය භාර ව සිටින පිණිස දිශාධිපතීන් එකසිය විසිදෙනෙකු පත් කිරීමට සතුටු විය. 2 ඔහු ඔවුන්ට ඉහළින් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙකු ද පත් කෙළේ ය. මේ තිදෙනාට වගකීම පැවරී තිබුණේ ය. දාරියුස් මෙසේ කෙළේ ඔහුට කිසි හානියක් නොවන පිණිස ය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් දානියෙල් විය. 3 දානියෙල්ට ඇති පුදුම කුශලතා නිසා, ඔහු ඇමතිවරුන්ටත්, දිශාධිපතීන්ටත් වඩා උත්කෘෂ්ට බව පෙනී ගියේ ය. එබැවින් රජතුමා මුළු රාජ්‍යය පාලනය කිරීම පිණිස දානියෙල් පත් කරන්නට අදහස් කෙළේ ය. 4 මෙයට අසතුටු වූ ඇමතිවරු හා දිශාධිපතිවරු දානියෙල්ගේ පාලනයේ යම් වරදක් සොයන්නට මාන බැලුවෝ ය. එහෙත්, එවැනි කිසි ම වරදක් ඔවුන්ට සොයාගත නොහැකි විය. මන්ද, ඔහු විශ්වාසවන්ත ව කටයුතු කෙළේ ය. ඔහුගේ කිසි වරදක් වත්, දෝෂයක් වත් නො වී ය. 5 එවිට ඔව්හු, ”දානියෙල්ට විරුද්ධ ව පැමිණිලි කරන පිණිස ඔහුගේ ආගම සම්බන්ධයෙන් යම් කරුණක් සොයා ගත්තොත් මිස, අන් කිසි කරුණක් අපට කිසි කලෙක සොයාගත නොහැකි ය”යි කී හ.
6 එබැවින් ඇමතිවරු ද දිශාධිපතිවරු ද මෙසේ කී හ: ”රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! 7 ඔබේ රාජ්‍යයේ සියලු අමාත්‍යයෝ ද අධිපතිවරු ද මන්ත්‍රීවරු ද ආණ්ඩුකාරයෝ ද වන අපි ඉදිරිපත් කරන රාජඥාව පනවා එය ක්‍රියාත්මක කරන ලෙස ඔබෙන් ඉල්ලීමට ඒකමතික ව තීරණය කරගනිමු. එනම්, ‘තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු රජතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ හෙළනු ලැබේ ය’ කියා ය. 8 ඉතින් රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද වෙනස් නොකළ හැකි ව්‍යවස්ථාවේ ප්‍රකාරයට මේ ආඥා පත්‍රය ද වෙනස් නොකළ හැකි වන ලෙස එය ස්ථිර කර අත්සන් කළ මැනව.” 9 දාරියුස් රජ ඒ ආඥා පත්‍රය අත්සන් කෙළේ ය.
දානියෙල් සිංහ ගුහාවට හෙළනු ලැබීම
10 රාජාඥාව පනවා ඇති බව දානියෙල්ට ආරංචි වූ විට, ඔහු ගෙදර ගොස්, උඩුමහල් මැදුරේ කවුළු ජෙරුසලම දෙසට ඇරී තිබිය දී, පුරුදු පරිදි දිනකට තුන් වරක් දණින් වැටී, තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කොට ස්තූති පුද කෙළේ ය.
11 දානියෙල් වරදකට අසු කිරීමට බලා සිටි විරුද්ධකාරයෝ පැමිණ, දානියෙල් තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා හා කන්නලව් කරනු දුටුවෝ ය. 12 එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියට පැමිණ රාජාඥාව මතක් කර, ”රජතුමනි, තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු ඔබතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවට හෙළිය යුතු ය කියා ඔබතුමා ආඥා පත්‍රයක් අත්සන් කළා නොවේ දැ”යි ඇසූ හ. ”එය එසේ ම යි; වෙනස් නොකළ හැකි මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද ව්‍යවස්ථාව අනුව එය ස්ථිර ය”යි රජතුමා පිළිතුරු දුන්නේ ය.
13 එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියෙහි පිළිතුරු දෙමින්, ”රජතුමා ජුදා රටින් අල්ලගනු ලැබූ අයගෙන් එක් කෙනෙකු වන දානියෙල්, ඔබ හා ඔබතුමා අත්සන් කළ ආඥාව නොසලකා, දවසකට තුන් වරක් තමාගේ දෙවියන්ට අයැදුම් කරයි” යයි කී හ.
14 රජතුමා මේ වචන ඇසූ විට, ඉමහත් සංවේගයට පත් වී, දානියෙල් ගළවාගන්නට ඉටාගෙන, ඉර බසින තුරු ඒ ගැන මොළය වෙහෙසා කල්පනා කෙළේ ය. 15 එකල ඒ පිරිස රජු වෙත පැමිණ, ”රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද නීතිය අනුව රජු විසින් පනවන ලද නියෝගයක් වෙනස් කළ නොහැකි බව ඔබතුමාට මතක් කරනු කැමැත්තෙමු”යි කී හ.
16 එවිට රජතුමා දානියෙල් ගෙනවුත් සිංහ ගුහාවේ දැමීමට නියමයක් කෙළේ ය. එහෙත්, ඔහු දානියෙල්ට කතා කොට, ”ඔබ නිරන්තරයෙන් ම නමස්කාර කරන, ඔබේ දෙවියන් වහන්සේ ඔබ ගළවන සේක් වා!”යි කී ය. 17 තවද, දානියෙල් සම්බන්ධයෙන් කරන ලද නියමය වෙනස් නොකළ හැකි වන ලෙස, ගලකින් සිංහ ගුහාවේ කට වසා, එය රාජ මුද්‍රාවෙන් ද උත්තමයන්ගේ මුද්‍රාවලින් ද මුද්‍රා කරනු ලැබී ය.
දානියෙල් ගළවනු ලැබීම
18 රජතුමා මාලිගාවට ගොස් නිරාහාරයෙන් රාත්‍රිය ගත කෙළේ ය; පුරුදු විනෝද ආස්වාද ද ප්‍රතික්ෂේප කෙළේ ය. ඔහුට කිසි නින්දක් නො වී ය. 19 උදේ පාන්දරින් එළිය වැටීගෙන එද්දී ම ඔහු නැඟිට සිංහ ගුහාව ළඟට යුහු යුහු ව ගියේ ය. 20 දානියෙල් සිටි සිංහ ගුහාවට ඔහු ළං වෙත් ම, ඔහු සංවේගජනක හඬකින් මොරගසා, ”ජීවමාන දෙවියන් වහන්සේගේ මෙහෙකරු වන දානියෙල්, ඔබ නොකඩවා ම නමස්කාර කරන ඔබේ දෙවියන් වහන්සේට සිංහයන්ගෙන් ඔබ ගළවාගන්නට පුළුවන් වී දැ”යි ඇසුවේ ය.
21 එවිට දානියෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය: ”රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! 22 මාගේ දෙවියන් වහන්සේ තමන්ගේ දූතයන් එවා සිංහයන්ගේ කටවල් පියෙ වූ සේක. එබැවින් උන්ගෙන් මට කිසි අනතුරක් නො වී ය. මාගේ දෙවියන් වහන්සේ එසේ කෙළේ, උන් වහන්සේ ඉදිරියේ මා නිදොස් කෙනෙකු වන බැවිනි. ඇරත් රජතුමනි, ඔබ ඉදිරියේ ද මා කිසි වරදක් කර නැත.”
23 එවිට රජතුමා ඉතා සන්තෝෂ වී, දානියෙල් ගුහාවෙන් ගොඩට ගන්නට අණ කෙළේ ය. එසේ දානියෙල් ගුහාවෙන් ගොඩගන්නා ලදී. ඔහුට සුළු තුවාළයක් වත් සිදු වී තිබුණේ නැත. එසේ වන්නට හේතුව ඔහු තමාගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමයි. 24 ඉන්පසු රජතුමා දානියෙල්ට විරුද්ධ ව පැමිණිලි කළ අය, ඔවුන්ගේ භාර්යාවන් හා දරුවන් සමඟ සිංහ ගුහාවට දමන්නට අණ කෙළේ ය. ඔවුන් ගුහාවේ පතුළට පැමිණෙන්නටත් පෙර සිංහයෝ ඔවුන් පිට කඩා පැන ඇටකටු පිටින් ඔවුන් කැබලිකොට දැමූ හ.
දාරියුස් රජ රාජාඥාවක් නිකුත් කිරීම
25 දාරියුස් රජ ලොව පුරා සිටි සකල ජනයාටත්, ජාතීන්ටත්, හැම භාෂාවක් කතා කරන අයටත් මෙසේ ලියා යැව්වේ ය: ”ඔබ හැමට සාමදානය වේ වා! 26 මාගේ අධිරාජ්‍යයේ සකල විජිතයන්හි සිටින සියලු දෙනා දානියෙල්ගේ දෙවියන් වහන්සේට ගරුබිය දක්වා නමස්කාර කළ යුතු යයි මම අණ කරමි. මන්ද,
එතුමාණෝ
ජීවමාන සදාතනික
දෙවිඳාණෝ ය.
එතුමාණන්ගේ රාජ්‍යය
පහ නොවන්නේ ය;
එතුමාණන්ගේ පාලනය ද
අවසන් නොවන්නේ ය.
27 ගළවන්නේත්, නිදහස් කරන්නේත්,
අහසේ ද පොළොවේ ද
හාස්කම් ද අරුමපුදුම දේ ද
කරන්නේත්
එතුමාණෝ ය.
සිංහයන්ගේ බලයෙන්
දානියෙල් මුදාගත්තේත්
එතුමාණෝ ය”
28 මේ නිසා දාරියුස්ගේ රාජ්‍ය කාලයේ දී ද පර්සියානු ජාතික සයිරස්ගේ රාජ්‍ය කාලයේ දී ද දානියෙල් තෙමේ සෞභාග්‍යයෙන් වැජඹුණේ ය.
– 7 වන පරිච්ඡේදය –
මෘගයන් සතරදෙනෙකු පිළිබඳ දර්ශනය
1 බබිලෝනියේ රජ වූ බෙල්ෂෙසර්ගේ පළමු වන අවුරුද්දේ දී දානියෙල් සිය යහනේ සිටිය දී ස්වප්නයක් ද හිසට නැඟුණු දර්ශනයක් ද දුටුවේ ය. ඔහු ස්වප්නය ලිව්වේ ය; එහි වාර්තාව මේ ය: 2 රාත්‍රියේ මාගේ දර්ශනයේ දී ස්වර්ගයෙන් හමා ආ මාරුත සතරක් මහ මුහුද කළඹනවාත්,
3 එකිනෙකාට වෙනස් වූ දැවැන්ත මෘගයන් සතරදෙනෙකු මුහුදෙන් නැඟී එනවාත් මම දිටිමි. 4 පළමු වන මෘගයා සිංහයෙකු වැනි ය; ඌට රාජාලි පියාපත් තිබුණේ ය. මා බලා සිටිය දී උගේ පියාපත් උදුරාදමා, පොළොවෙන් ඔසවා මනුෂ්‍යයෙකු මෙන් පාද දෙකකින් ඌ සිටවනු ලැබී ය; මනුෂ්‍ය සිතක් ද ඌට දෙන ලද්දේ ය.
5 මා දුටු දෙ වන මෘගයා වලසෙකු හා සමාන ය. ඌ එක ඇළයකින් කෙළින් වී සිටියේ ය. උගේ කටේ දත් අතරේ ඉළ ඇට තුනක් තිබුණේ ය. ‘නැඟිට බොහෝ මස් කන්නැ’යි ඌට කියන ලද්දේ ය.
6 ඉන්පසු තවත් මෘගයෙකු දිටිමි. ඌ දිවියෙකු වැනි ය. පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේ ය. ඌට හිස් සතරක් ද තිබුණේ ය. ඌට බලය දෙන ලද්දේ ය.
7 මාගේ රාත්‍රි දර්ශනවලින් මා දුටු සතර වන මෘගයා භයානක, රෞද්‍ර, ඉතා ශක්තිමත් එකෙකි. ඌට විශාල යකඩ දත් තිබුණේ ය. ඌ ගොදුර පොඩි කර කා ගිලදැම්මේ ය; ඉතිරි දේ උගේ පාදවලින් පෑගුවේ ය. කලින් කී මෘගයන්ට වඩා ඌ වෙනස් ය. ඌට අං දසයක් තිබුණේ ය. 8 ඒ අං දෙස මා බලා සිටිය දී, ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේ ය. එයට ඉඩ දෙන පිණිස පළමු වන අං තුනක් උදුරාදමනු ලැබී ය. මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස් ද පුරසාරම් දොඩන කටක් ද තිබුණේ ය.
සදාතන පාලකයාණන් පිළිබඳ මහිමාන්විත දර්ශනය
9 මා බලා සිටිය දී, සිංහාසන පිහිටුවනු ලදුව පෞරාණිකයාණෝ අසුන් ගත්හ. උන් වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය; හිසකේ පිරිසිදු ලොම් මෙන් සුදු ය. උන් වහන්සේගේ සිංහාසනය ගිනි ජාලාවකි. එහි රෝද ඇවිලෙන ගිනි ය. 10 ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේ ය. ලක්ෂ සංබ්‍යාත පිරිසක් උන් වහන්සේට උපස්ථාන කළහ. කෝටි ප්‍රකෝටි සංබ්‍යාත පිරිසක් උන් වහන්සේ ඉදිරියේ සිටියහ. අධිකරණ සභාව අසුන් ගත්තා ය. පොත් දිගඅරින ලද්දේ ය.
11 එවිට අර අඟ කතා කරන ආඩම්බර වචන නිසා මම බලා සිටියෙමි. මා බලා සිටිය දී සතර වන මෘගයා මරා, උගේ ශරීරය විනාශ කර ඇවිලෙන ගින්නට දමනු ලැබී ය. 12 සෙසු මෘගයන්ගෙන් උන්ගේ ආණ්ඩු බලය පහ කරනු ලැබූ නමුත්, සීමාසහිත කාලයක් උන්ට ජීවත් වන්නට ඉඩ දෙන ලදී.
13 තවදුරටත් බලා සිටිය දී මම රාත්‍රි දර්ශනවල දී මෙසේ දිටිමි. මනුෂ්‍ය-පුත්‍රයා වැනි කෙනෙක් අහසේ වලාකුළු පිරිවරා අවුත් පෞරාණිකයාණන් වෙත එළඹුණේ ය. උන් වහන්සේ පෞරාණිකයාණන් වෙත පමුණුවනු ලැබූ සේක. 14 සියලු ජනයන් ද ජාතීන් ද භාෂාවන් ද උන් වහන්සේට සේවය කරන පිණිස පාලන බලය ද ගෞරවය ද රාජ්‍යය ද උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේගේ පාලනය පහ නොවන සදාකාලික පාලනයක් ය. උන් වහන්සේගේ රාජ්‍යය කිසි කලෙක නැති නොවන්නේ ය.”
දර්ශනවල තේරුම්
15 දානියෙල් වන මාගේ සිත ශෝකාකූල විය; මාගේ හිසට නැඟුණ දර්ශනවලින් මම කැළඹුණෙමි. 16 මම එහි සිටි අයගෙන් එක් කෙනෙකු ළඟට එළඹ ඒ සියල්ලේ තේරුම මට කියන ලෙස ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු කතා කොට, ඒ සියල්ලේ තේරුම මෙසේ පහදා දුන්නේ ය: 17 ”දැවැන්ත මෘගයන් සතරදෙනා නම්, රජවරු සතරදෙනෙකි. ඔව්හු පොළොවෙන් නැඟී එන්නාහ. 18 එසේ වුව ද, මහෝත්තමයාණන්ගේ ශුද්ධවරයෝ රාජ්‍යය ලැබ සදාකාලයෙන් සදාකාලයට එය භුක්ති විඳින්නෝ ය.
19 ඊළඟට සතර වන මෘගයා ගැන තතු දැනගන්නට මම කැමැති වීමි. ඒ මෘගයා නම්, සෙසු සියලු මෘගයන්ට වඩා වෙනස් වූ, ඉතාමත් භයානක වූ, යකඩ දත් සහ ලෝකඩ නිය ඇති, ගොදුර පොඩිකර කාදමා ඉතිරි දේ පයින් පාගාදැමූ මෘගයා ය. 20 එපමණක් නොව, මෘගයාගේ හිසේ තිබුණු අං දසය ගැන ද සියල්ලට වඩා මහත් ලෙස පෙනුණ අඟ, එනම්, හටගත් පසු අං තුනක් හෙළාදැමූ, ඇස් සහ උඩඟු ලෙස කතා කරන කටක් ඇති අඟ ගැන ද දැනගන්නට කැමැති වීමි.
21 මා බලා සිටිය දී මේ අඟ සැදැහැවතුන්ට විරුද්ධ ව යුද්ධ කර ජයගත් බව මම දිටිමි. 22 එසේ වූයේ, පෞරාණිකයාණන් පැමිණ මහෝත්තමයාණන්ගේ ශුද්ධවරයන්ට යුක්තිය ඉටු කර දී ශුද්ධවරයන් රාජ්‍යය භුක්ති විඳින කාලය පැමිණෙන තුරු ය.
23 මනුෂ්‍ය-පුත්‍රයාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: ”සතර වන මෘගයා නම්, සියලු රාජ්‍යවලට වෙනස් වූ, මුළු පොළොව නාස්ති කර පාගාදමා පොඩි කරන හතර වන රාජ්‍යයක් ය. 24 අං දසය නම්, මේ රාජ්‍යයෙන් පැන නඟින රජවරු දසදෙනෙකි. ඔවුන්ට පසු ව තවත් රජ කෙනෙක් නැඟිටින්නේ ය. ඔහු පළමු කී රජවරුන්ට වඩා වෙනස් වන්නේ ය. ඔහු රජවරුන් තුන්දෙනෙකු පහතට හෙළාදමන්නේ ය. 25 ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ය; මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට පීඩා කරන්නේ ය. ඔහු කාලයන් ද ව්‍යවස්ථාව ද වෙනස් කරන්නට සිතන්නේ ය; සැදැහැවත්හු අවුරුදු තුනහමාරකට ඔහුගේ අතට භාරදෙනු ලබන්නෝ ය. 26 එහෙත්, අධිකරණ සභාව රැස් වී, ඔහු නැත්තට ම නැති වී යන පිණිස ඔහුගේ පාලනය ඔහු අතින් පැහැරගන්නී ය. 27 ඉන්පසු, අහස යට තිබෙන සියලු රාජ්‍යවල රජකම ද පාලනය ද මහන්තත්ත්වය ද මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට දෙනු ඇත. ඔවුන්ගේ රාජ්‍යය සදාකාලික ය. සියලු පාලකයන් ඔවුන්ට සේවය කර කීකරු වනු ඇත.”
28 මාගේ ස්වප්නයේ අවසානය එය වේ. මාගේ සිතිවිලිවලින් මම බොහෝ සේ කැළඹුණෙමි. මාගේ මුහුණ මලානික විය. ඒ කරුණු සියල්ල මාගේ සිතේ මම තබාගතිමි.
– 8 වන පරිච්ඡේදය –
බැටළුවා හා එළුවා පිළිබඳ දර්ශනය
1 බෙල්ෂෙසර් රජුගේ පාලනයේ තුන් වන අවුරුද්දේ දී දානියෙල් වන මට ඉහත කී දර්ශනයට සමාන තවත් දර්ශනයක් පෙනුණේ ය. 2 ඒ දර්ශනය මා දකින විට, මා ඒලාම් පළාතෙහි පිහිටි සූසා නම් අග නුවර ඇති ඌලයි නම් ගඟ ළඟ සිටින බව දුටුවෙමි. 3 මා ඇස් ඔසවා බැලූ විට අං දෙකක් ඇති බැටළුවෙකු ගං ඉවුරෙහි සිටිනු දිටිමි. උගේ අං දිග ය. එහෙත්, එකක් අනිකට වඩා දිග ය. වඩා දිග එක හටගත්තේ පසු ව ය. 4 ඒ බැටළුවා බස්නාහිර, උතුර හා දකුණ යන දිශාවන්ට අනිනු මම දිටිමි. ඌට විරුද්ධ ව සිටින්නට කිසි මෘගයෙකුට නොහැකි විය. උගේ බලයෙන් බේරෙන්න පුළුවන් කිසිවෙක් නොසිටියේ ය. ඌ හිතුමතේ ක්‍රියා කර බලසම්පන්න විය.
5 මේ ගැන මා කල්පනා කරමින් සිටිය දී, එළුවෙක් බිම අඩි නො තබා, මුළු පොළොව හරහා බස්නාහිරින් ආවේ ය. උගේ ඇස් අතරේ විශාල අඟක් තිබුණේ ය. 6 ගං ඉවුරේ සිටිනු මා දුටු, අං දෙකක් ඇති බැටළුවා දෙසට ඌ යමින්, අධික කෝපයෙන් බැටළුවා දෙසට දිව්වේ ය. 7 ඌ බැටළුවා ළඟට එනු මම දිටිමි. මහත් ක්‍රෝධයෙන් ඌ බැටළුවාට ඇන උගේ අං දෙක බිඳදැමී ය. ඌට විරුද්ධ ව සිටින්නට බැටළුවාට කිසි බලයක් නොතිබුණේ ය. ඌ බැටළුවා බිම දමා පෑගුවේ ය. උගේ බලයෙන් බැටළුවා බේරාගන්නට කිසිවෙක් නොවූ හ.
8 එළුවා මහා ආඩම්බරයෙන් සිය දස්කම් පෑවේ ය. එහෙත්, ඌ බලයෙන් අගතැන් පත් ව සිටිය දී උගේ මහ අඟ බිඳී ගියේ ය. ඒ වෙනුවට මහ අං සතරක් අහසේ සතර දෙසට නෙරා හටගත්තේ ය. 9 එයින් එකකින් කුඩා අඟක් නික්මී දකුණටත්, නැගෙනහිරටත්, පලස්තීනය දෙසටත් ඉමහත් බලය පෑවේ ය. 10 එය අහස් සේනාව කෙරෙහි ද බලය පා, ඒ සේනාවන් සමහරක් ද තාරකාවලින් සමහරක් ද පොළොවට හෙළා පාගාදැමුවේ ය. 11 එය සේනාධිපතීන්ටත් විරුද්ධ ව බලය පා, උන් වහන්සේට පුදන දිනපතා පූජා යටපත්කර ඔහුගේ ශුද්ධස්ථානය බිඳදැම්මේ ය. 12 අහස් සේනාව වනසාදැමී ය; දවස්පතා පූජාව කෙලෙසනු ලැබී ය; ඒ අඟ සත්‍යය බිම හෙළුවේ ය. එය කළ හැම දෙයක් සඵලවත් විය.
13 එවිට ශුද්ධස්ථානයෙන් සැදැහැවතෙක් කතා කොට, ‘මේ දර්ශනයෙන් පෙනුණු අන්දමට, පූජාවන් කොපමණ කල් යටපත් කරනු ඇද් ද? විනාශකාරී අපරාධ කොතෙක් කල් පවතී ද? ශුද්ධස්ථානය හා අහස් සේනාව පාගාදැමීම කොතෙක් කල් පවතී දැ’යි ඇසී ය.
14 ඔහු පිළිතුරු දෙමින්, ‘රෑ දාවල් දෙදහස් තුන්සියයක් පසු වන තුරු ය, ඉන්පසු ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේ ය’යි කීවේ ය.
ස්වප්නයේ තේරුම
15 දානියෙල් වන මම මේ දර්ශනය දුටු විට එහි තේරුම සෙවීමි. එවිට මනුෂ්‍ය පෙනුමක් ඇති කෙනෙක් මා ඉදිරියේ සිටියේ ය. 16 ”ගාබ්‍රියෙල්, මොහුට දර්ශනය තේරුම් කර දෙන්නැ”යි මොරගසන මනුෂ්‍ය හඬක් ඌලයි ගං ඉවුරු අතරින් මට ඇසුණේ ය. 17 එවිට ගාබ්‍රියෙල් නම් ඔහු මා සිටි තැනට ආවේ ය. ඔහු ආ විට මම බියපත් වී මුණින් වැටුණෙමි. එහෙත් ඔහු, ”මනුෂ්‍ය පුත්‍රය, දර්ශනය අදාළ වන්නේ අන්තිම කාලයට බව තේරුම්ගන්නැ”යි මට කීවේ ය. 18 ඔහු මා සමඟ කතා කරද්දී මම සිහිසන් නැති ව මුණින් වැටී සිටියෙමි. එහෙත්, ඔහු මාගේ ඇඟට තට්ටු කර මා කෙළින් සිටුවා මෙසේ කීවේ ය: 19 ”දේව උදහස අවසානයේ දී සිදුවන්නට යන දේ නුඹට දන්වමි. මන්ද, දර්ශනය අදාළ වන්නේ අන්තිම කාලයට ය.
20 ”නුඹ දුටු අං දෙක ඇති බැටළුවා නම්, මේදියාවේ ද පර්සියාවේ ද රජවරු ය. 21 එළුවා නම් ග්‍රීසියේ රජ ය. උගේ ඇස් අතරේ තිබුණ ලොකු අඟ පළමු වන රජු ය. 22 ඒ අඟ බිඳී ගිය විට ඒ වෙනුවට තවත් අං සතරක් හටගත්තාක් මෙන් ග්‍රීසිය බිඳී ගොස් රාජ්‍යයන් සතරක් හටගන්නේ ය. එහෙත්, මේ එකක් වත් පළමු රාජ්‍යය තරම් බලවත් නොවන්නේ ය. 23 ඒ රාජ්‍යවල පාලනය අවසානයේ දී අපරාධකාරයන්ගේ පාප ඉහළට ම නැඟුණු කල, රෞද්‍ර පෙනුමක් ඇති, කපටි නුවණක් ඇති රජ කෙනෙක් පැම්ණෙන්නේ ය. 24 ඔහු බලසම්පන්න වන්නේ ය. ඔහු භයානක ලෙස නැති නාස්ති කරන්නේ ය. ඔහු කරන හැම දෙයකින් ම ඔහු ජය ගන්නේ ය. ඔහු බලවතුන් ද සැදැහැවතුන් ද වර්ණනා කරන්නේ ය. 25 ඔහු කපටි නුවණින් තමාගේ උපායයන් සාර්ථක කරගන්නේ ය. ඔහු තම උපායයන් හිතා මතා බොහෝ දෙනෙකු ඔවුන් නොදැනුවත් ව සිටිය දී විනාශ කරන්නේ ය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. එහෙත්, ඔහු කිසි පිහිටක් නැති ව බිඳ හෙළනු ලබයි. 26 උදේ හා හවස දුටු දර්ශනයේ තේරුම සැබෑ ය. එහෙත්, ඒ දර්ශනය රහසක් ව තබාගන්න. මන්ද, එය සිදුවන්නට පෙර බොහෝ දවස් ගත විය යුතු ය.”
27 එවිට දානියෙල් නම් මම ක්ලාන්ත වී, දවස් ගණනක් අසනීප ව සිටියෙමි. ඉන්පසු මම නැඟිට රාජ සේවය කෙළෙමි. මම දර්ශනය ගැන පුදුමයෙන් පුදුමයට පත් ව සිටියෙමි. කිසිවෙකුට එය තේරුම් ගත නොහැකි විය.
– 9 වන පරිච්ඡේදය –
දානියෙල්ගේ යැදුම
1 මේ වනාහි කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත් කරනු ලැබූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරොෂ්ගේ පුත්‍ර වූ දාරියුස් රජුගේ පළමු වන අවුරුද්දේ සිදු වූවකි. 2 ඔහුගේ රජ දවස පළමු වන අවුරුද්දේ දී දානියෙල් නම් මම ශුද්ධ ලියවිලි කියවමින් සමිඳාණන් වහන්සේ දිවැසිවර ජෙරමියාට එළිදරව් කර තිබුණු පරිදි, ‘ජෙරුසලම අවුරුදු සැත්තෑවක් ගත වන තුරු ජරාවාස ව තිබෙන්නේ යැ’යි තේරුම්ගතිමි. 3 එවිට මම, නිරාහාර ව, ගෝණි රෙදි හැඳ, අළු තවරාගෙන, යාච්ඤාවෙනුත්, කන්නලව්වෙනුත් දෙවි ස්වාමීන් වහන්සේ යදින පිණිස මාගේ මුහුණ උන් වහන්සේ දෙසට හැරෙව්වෙමි. 4 මාගේ දෙවි ස්වාමීන් වහන්සේට මම පාපොච්චාරණයක් කරමින් මෙසේ යාච්ඤා කෙළෙමි:
”අහෝ සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ උත්තමතම වූ බියකරු වූ දෙවියන් වහන්සේ ය. ඔබට ප්‍රේම කොට ඔබේ ආඥා රක්ෂා කරන්නන්ට ඔබ කරුණා කරන සේක; ගිවිසුම රක්ෂා කරන සේක. 5 දෙවියන් වහන්ස, අපි පව් කෙළෙමු. අයුතුකම් කෙළෙමු; දුෂ්ටකම් කෙළෙමු; කැරලි ගැසීමු. ඔබේ ශික්ෂාවලින් ද විනිශ්චයවලින් ද ඉවත් ව ගියෙමු. 6 ඔබ වහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, රට වැසියන් සියල්ලන්ටත් කතා කළ ඔබේ සේවක දිවැසිවරුන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමු. 7 අහෝ ස්වාමීනි! ධර්මිෂ්ඨකම ඇත්තේ ඔබට ය; එහෙත්, අප හැමට ඇත්තේ, මුහුණ පෙන්නන්නට බැරි තරම් ලජ්ජාව ය. ඒ ලජ්ජාවට පත් වී සිටින්නේ, ජුදාවේ ජනයා හා ජෙරුසලමේ පුරවැසියන් වන අපි හැම ය; ඔබට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ නිසා ඔබ විසින් පන්නා දමනු ලැබ, අහලපහල හා දුරබැහැර සියලු රටවල සිටින සකල ඉශ්රායෙල්වරුන් වන අපි හැම ය. 8 සමිඳාණන් වහන්ස, අප ඔබට විරුද්ධ ව පව් කර ඇති නිසා, අපට එනම්, අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, ඇත්තේ, මුහුණ පෙන්වන්නට බැරි ලජ්ජාව ය. 9 උන් වහන්සේට විරුද්ධ ව අප කැරලි ගසා ඇති නමුත්, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දයාන්විත ය, ක්ෂමාගුණයෙන් යුක්ත ය. 10 අපේ සමිඳාණන් වහන්සේට අපි කීකරු නොවීමු. උන් වහන්සේ සිය දිවැසිවරුන් ලවා අප ඉදිරියේ තැබූ උන් වහන්සේගේ උපදෙස් අනුව අපි නොහැසිරුණෙමු. 11 මුළු ඉශ්රායෙල් ජනයා ඔබේ ව්‍යවස්ථාව කඩ කොට ඔබේ බසට කීකරු නොවී ඔබ වෙතින් හැරී ගොස් ඇත. මේ අන්දමින් අප පව් කර ඇති බැවින්, දෙවියන් වහන්සේගේ සේවක මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති සාපය ද දඬුවම ද අප පිට පැමිණ ඇත. 12 මෙවැනි මහා විපතක් අප පිට පමුණුවමින්, උන් වහන්සේ අපටත්, අප පාලනය කළ පාලකයන්ටත් විරුද්ධ ව වදාළ දේ ඉෂ්ට කළ සේක. ජෙරුසලම පිට පැමිණි මේ විපත්තිවලට සමාන විපත්ති මුළු අහස යට කිසි ම තැනක සිදු වී නැත. 13 මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස මේ සියලු විපත්ති අප පිට පැමිණි නමුත්, අපේ අයුතුකම්වලින් හැරී ඔබේ සැබෑකම තේරුම්ගන්න පිණිස අපේ සමිඳාණන් වහන්සේට අපි කන්නලව් නොකෙළෙමු. 14 එබැවින් සමිඳාණන් වහන්සේ බලා සිට මේ විපත්ති අපට පැමිණෙවූ සේක. මන්ද, අපේ සමිඳාණන් වහන්සේ කරන හැම ක්‍රියාවක් ම යුක්ති සහගත ය. අපි උන් වහන්සේගේ බසට කීකරු නොවීමු.
15 ”දැන් ඉතින් අපේ දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ බලය පා මිසරයෙන් ඔබේ සෙනඟ පිටතට ගෙනවුත්, අද කීර්තිමත් නාමයක් දරන අපේ දෙවි ස්වාමීන් වහන්ස, අපි පව් කෙළෙමු, දුෂ්ටකම් කෙළෙමු. 16 අනේ ස්වාමීනි, ඔබේ සාධාරණකම අනුව, ඔබේ උදහසත් කෝපයත්, ඔබේ ශුද්ධ කන්ද වන, ශුද්ධ නුවර වන ජෙරුසලමෙන් පහ වේවා. මන්ද, අපේ පාප සහ අපේ පියවරුන්ගේ අපරාධ නිසා, මුළු ජෙරුසලම සහ ඔබේ සෙනඟ අප අවට සිටින සියල්ලන්ට නින්දාවක් වී ඇත. 17 එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද ඔහුගේ කන්නලව්ව ද අසා, ඔබේ ම ගෞරවය සඳහා පාළු වී ගිය ශුද්ධස්ථානය කෙරෙහි ඔබේ මුහුණ බැබළෙවුව මැනව. 18 මාගේ දෙවියන් වහන්ස, ඔබේ කන් යොමු කර ඇසු ව මැනව; ඔබේ ඇස් ඇර අපේ අසරණකම ද ඔබේ නාමය දරන නුවර ද බැලුව මැනව. මන්ද, අපේ කන්නලව් අප ඔබ ඉදිරියේ ඔප්පු කරන්නේ, අපේ ම ධර්මිෂ්ඨකමක් නිසා නොව, ඔබේ ම මහත් දයාව නිසා ය. 19 සමිඳාණන් වහන්ස, ඇසුව මැනව, සමිඳාණන් වහන්ස, කමා වුව මැනව; සමිඳාණන් වහන්ස, සවන් දී ක්‍රියා කළ මැනව. මාගේ දෙවියන් වහන්ස, ඔබේ ගෞරවය උදෙසා ප්‍රමාද නුවුව මැනව. මන්ද, ඔබේ නුවරත්, ඔබේ සෙනඟත් ඔබේ නාමය දරන බැවිනි.”
ගාබ්‍රියෙල්ගේ පණිවුඩය පහදා දීම
20 මම මෙසේ කතා කරමින් ද යාච්ඤා කරමින් ද මාගේ පාපයත්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපයත් ගැන පාපොච්චාරණය කරමින් ද මාගේ සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්ද උදෙසා උන් වහන්සේ ඉදිරියේ මාගේ කන්නලව්ව ඔප්පු කරමින් ද සිටියෙමි. 21 එසේ මා යාච්ඤා පවසමින් සිටිය දී ම, කලින් දර්ශනයෙන් මා දුටු මනුෂ්‍යයා වූ ගාබ්‍රියෙල් ශීඝ්‍රයෙන් පියාසර කර සවස පූජා වේලාවට පමණ මා ළඟට පැමිණියේ ය. 22 ඔහු පැහැදිලි ලෙස මට කතා කොට මෙසේ කී ය: ”එම්බා දානියෙල්, මා පිටතට ආවේ, නුඹට තේරුම්ගැනීමේ තියුණු නුවණ දෙන පිණිස ය. 23 නුඹ කන්නලව් කරන්නට පටන්ගත් විට ආඥාවක් දෙන ලද්දේ ය. එය නුඹට දන්වන්නට මම පැමිණියෙමි. මන්ද, නුඹ විශේෂයෙන් තෝරා ගනු ලැබූ කෙනෙකි. ඒ නිසා කාරණය සලකා බලා දර්ශනය තේරුම්ගන්න.
24 ”නුඹේ ජාතිය හා නුඹේ ශුද්ධ නුවර සම්බන්ධයෙන් සති සැත්තෑවක් නියමකර ඇත. එවිට කැරලි ගැසීම නතර කරනු ලබන්නේ ය; පාපය කෙළවර කරනු ලබන්නේ ය; අපරාධය සමා කරනු ලබන්නේ ය; සදාතන යුක්තිය පිහිටුවනු ලබන්නේ ය; දර්ශන හා දිවැස් වැකි ස්ථිර කරනු ලබන්නේ ය; අතිශුද්ධස්ථානය සංස්කාර කරනු ලබන්නේ ය. 25 එබැවින් මෙය දැනගෙන තේරුම්ගන්න. ජෙරුසලම නැවත පිහිටුවා ගොඩනඟන්නට කියා ආඥාව නිකුත් වූ තැන් පටන්, අභිෂේක ලත් අධිපතියාගේ පැමිණීම දක්වා සති හතක් ගත වන්නේ ය. ඉන්පසු කරදර සහිත සති හැටදෙකක කාලය තුළ වුව ද එහි වීථි ද ප්‍රාකාර ද නැවත ගොඩනඟනු ලැබේ. 26 සති හැටදෙකකට පසු අභිෂේක ලත් අධිපතියා සිඳදමනු ලබන්නේ ය. ඔහුගේ තැන ගන්නට කිසිවෙක් නොවන්නේ ය. ආක්‍රමණය කරන අධිපතියා සහ ඔහුගේ පිරිස නුවර සහ ශුද්ධස්ථානය විනාශ කරදමන්නෝ ය. එය ජල ගැල්මකින් මෙන් කෙළවර වන්නේ ය. අවසානය දක්වා ම යුද්ධ පවතින්නේ ය. දරුණු දුක නියම වී ඇත. 27 ඒ අධිපතියා බොහෝ දෙනෙකු සමඟ සතියකට වලංගු ගිවිසුමක් කරගන්නේ ය. සතියේ භාගයක් තුළ යාග ද ආහාර පූජා ද නවත්වනු ලැබේ. මේ සියල්ලේ උග්‍රාවස්ථාවේ දී බිහිසුණු දූෂිතය දේව මාලිගාව මත පැමිණෙන්නේ ය. මෙසේ වන්නේ, අන්තිමේ දී බිහිසුණු දූෂිතයට නියම කර ඇති විනාශය පැමිණෙන තුරු ය.”
– 10 වන පරිච්ඡේදය –
දීප්තිමත් මිනිසෙකු පිළිබඳ දර්ශනය
1 පර්සියා රජු වූ සයිරස්ගේ තුන් වන අවුරුද්දේ දී බෙල්ටෙෂෙසර් නම් දානියෙල්ට දර්ශනයක් එළිදරව් කරන ලදී. එය සත්‍ය වූ දර්ශනයකි. එය මහා යුද්ධයක් පිළිබඳ ව ය. ඔහු එහි අර්ථය ගැන මෙනෙහි කර දර්ශනය තේරුම්ගත්තේ ය.
2 ”ඒ කාලයේ දී දානියෙල් නම් මම සති තුනක් මුළුල්ලේ ම වැලපෙමින් සිටියෙමි. 3 ඒ සති තුන ම පසු වන තුරු මා රස ආහාර කෑවේ වත්, මස් හෝ මුද්‍රික පානය හෝ මාගේ කටට ගත්තේ වත්, තෙල් ගාගත්තේ වත් නැත.
4 ”පළමු වන මාසයේ විසිහතර වන දා මම ටයිග්‍රීස් නම් මහා ගංගාව අසබඩ සිටියෙමි. 5 එසේ සිටිය දී මා ඇස් ඔසවා බැලූ විට, සිනිඳු හණ රෙදි හැඳගත්, දඹ රන් බඳ පටියකින් ඉඟටිය බැඳගත් මිනිසෙකු දිටිමි. 6 ඔහුගේ ශරීරය වෛදූර්ය කාන්තිය මෙන් ය; මුහුණ විදුලියේ පෙනීම වැනි ය. ඇස් ගිනි පහන් මෙන් ය; අත් පා ඔප් නැඟුවා වූ ලෝකඩ මෙන් ය; කටහඬ සමූහයක කටහඬ වැනි ය.
7 ”ඒ දර්ශනය දුටුවේ දානියෙල් නම් මම පමණෙකි. මා සමඟ සිටි අය ඒ දර්ශනය දුටුවේ නැත. එහෙත්, ඔව්හු මහා භීතියකින් කම්පා වී සැඟවෙන පිණිස පලා ගියහ. 8 ඉතිරි ව සිටියේ මම පමණෙකි. මම ඒ දර්ශනය දිටිමි. මාගේ ශක්තිය පහ ව ගියේ ය. මාගේ කාන්තිමත් පෙනුම මලානික විය; කිසි ශක්තියක් මට නො වී ය. 9 එවිට ඔහුගේ කටහඬ මට ඇසුණේ ය. ඒ කටහඬ මට ඇසුණු විට මම සිහිසන් නැති ව මුණින්තළා වී බිම වැටුණෙමි. 10 එවිට, කෙනෙක් මා අතින් අල්ලා මට දණින් ද අත් දෙකෙන් ද සිටින්නට සැලැස්සුවේ ය.
11 ”ඔහු මට කතා කොට, ‘විශේෂයෙන් තෝරාගනු ලැබූ මනුෂ්‍යයෙකු වන දානියෙල්, මා නුඹට කියන්නට යන වචනවලට සවන් දී, නැඟිට කෙළින් සිටින්න. මන්ද, නුඹ වෙත මම එවන ලද්දෙමි’යි කී ය. ඔහු ඒ වචන මට කී විට මම වෙවුලමින් සිටගත්තෙමි.
12 ”ඔහු මට කතා කොට, මෙසේ කී ය: ‘දානියෙල්, බිය නොවන්න. නුඹ කරුණු තේරුම්ගැනීමට සැදී පැහැදී සිටින්නෙහි ය. නුඹේ දෙවියන් වහන්සේට නුඹ යටහත් වූ පළමු වන දා පටන් නුඹේ වචන අසනු ලැබී ය. මා පැමිණියේ නුඹේ වචන නිසා ය. 13 පර්සියා රාජ්‍යයේ අධිපතියා විසිඑක් දවසක් මට විරුද්ධ ව සිටියේ ය. එසේ වුව ද, ප්‍රධාන අධිපතීන්ගෙන් එක් කෙනෙකු වන මිකායෙල් තෙමේ, මා එහි තනි ව’ සිටින බව දැක, මට උපකාර කරන්නට ආයේ ය. 14 දැන් මා මෙහි පැමිණ සිටින්නේ, මතු දවස නුඹේ සෙනඟට සිදු වන්නට යන දේ තේරුම් කර දෙන පිණිස ය. මේ දර්ශනය අනාගතය පිළිබඳ ව ය.’ ”
දර්ශනය තේරුම් කර දීම
15 ඔහු මෙලෙස මට කතා කරද්දී මම නිහඬ ව හිස නමාගෙන සිටියෙමි. 16 එවිට මිනිස් පෙනීමක් ඇති කෙනෙක් මාගේ තොල් ස්පර්ශ කෙළේ ය. මම ද මාගේ කට ඇර මා ඉදිරියේ සිටි තැනැත්තාට කතා කරමින්, ”මාගේ ස්වාමීනි, මේ දර්ශනය දැකීමෙන් මම වේදනාවට පත් ව සිටිමි. ශක්තියක් ද මා තුළ නැත. 17 කිසි ශක්තියක් මා තුළ නැති නිසාත්, හුස්ම ටික වත් නැති නිසාත්, මාගේ ස්වාමීන් වන ඔබ සමඟ කතා කරන්නට ඔබේ මෙහෙකරු වන මට හැක්කේ කෙසේ දැ”යි ඇසීමි.
18 එවිට මිනිස් පෙනීමක් ඇති කෙනෙක් මා ස්පර්ශ කර මා ශක්තිමත් කෙළේ ය. 19 ඔහු මට කතා කර, ”විශේෂයෙන් තෝරාගනු ලැබූ මනුෂ්‍යය, බිය නොවන්න; නුඹට සාමදානය වේවා; ශක්තිමත් වන්න, ධෛර්යවත් වන්නැ”යි කී ය. ඔහු කතා කළ විට, මම ශක්තිමත් වී, ”ස්වාමීනි කතා කළ මැනව; ඔබ මා ශක්තිමත් කෙළෙහි ය”යි කීමි.
20 එවිට ඔහු මෙසේ කී ය: ”මම නුඹ වෙත කුමන කරුණක් නිසා ආවෙම් දැ යි නුඹ දන්නෙහි ද? පළමු කොට මම පර්සියාවේ අධිපතියා සමඟ සටන් කරන්නට ආපසු යන්නෙමි. ඉන්පසු ග්‍රීසියේ අධිපතියා එන්නේ ය. 21 කෙසේ වුව ද, සත්‍යතා පොතේ ලියා ඇති දේ නුඹට දන්වන්නෙමි. ඉහත කී අයට විරුද්ධ ව සටන් කිරීමට නුඹලාගේ අධිපතියා වන මිකායෙල් මිස මට උපකාර කරන වෙන කිසිවෙක් නැත.
– 11 වන පරිච්ඡේදය –
1 මම මේදීය ජාතික දාරියුස්ගේ පළමු වන අවුරුද්දේ දී ඔහුට උපකාරයක් ද ආරක්ෂාවක් ද පිණිස සිටියෙමි. 2 දැන් මම මේවා පිළිබඳ සත්‍යය නුඹට දන්වන්නෙමි.
මිසරය හා සිරියා රාජ්‍යයන්
”පර්සියාව තුළ තව රජවරු තුන්දෙනෙක් පහළ වන්නාහ. සතරවැන්නා සියල්ලන්ට වඩා ධනවත් වන්නේ ය. ඔහුගේ වස්තුව කරණකොටගෙන ඔහු බලවත් වූ පසු ග්‍රීක් රාජ්‍යයට විරුද්ධ ව සියල්ලන් පොළඹවන්නේ ය.
3 ”එවිට බලසම්පන්න රජෙක් නැඟිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩු කරමින් තමාගේ හිතුමතේ ක්‍රියා කරන්නේ ය. 4 ඔහු බලයට පත් වූ වහා ම ඔහුගේ රාජ්‍යය බිඳී කොටස් සතරකට බෙදී යන්නේ ය. ඔහුගේ දරු පරම්පරාවට කිසි උරුමයක් නොවන්නේ ය. ඔහුගෙන් පසු එන්නන්ට ඔහුගේ රාජ්‍යය වැනි රාජ්‍යයක් ඇති නොවන්නේ ය. ඔහුගේ රාජ්‍යය උදුරා දමනු ලැබ ඔවුන්ට නොව, අන්‍යයන්ට දෙනු ලබන්නේ ය.
5 ”එකල මිසරයේ රජ බලවත් වන්නේ ය. ඔහුගේ අධිපතීන්ගෙන් එක් කෙනෙක් ඔහුට වඩා බලවත් වී ආණ්ඩු කරන්නේ ය. ඔහුගේ රාජ්‍යය බලසම්පන්න රාජ්‍යයක් වන්නේ ය. 6 අවුරුදු ගණනක් ගත වූ පසු ඒ රජවරු දෙදෙන සුහද ගිවිසුමක් කරගන්නෝ ය. ඒ සාම ගිවිසුම ස්ථිර කරන පිණිස මිසරයේ රජුගේ දුව උතුරු සිරියාවේ රජු සමඟ විවාහ වන්නී ය. එහෙත්, ඇගේ බලය පෑමට ඈට නොහැකි වන්නේ ය. රජු ද ඒ දෙපොළගේ දරුවන් ද පවතින්නේ නැත. ඈ ද ඇගේ සපිරිවර ද දරුවා ද ස්වාමි පුරුෂයා ද පාවා දෙනු ලබන්නෝ ය. 7 එහෙත්, ඇගේ ඥාතියෙක් මිසරයේ රජකමට පත් වූ විට, ඔහු සිරියාවේ රජුට විරුද්ධ ව සේනාවක් ගෙන ගොස්, ඔහුගේ බලකොටුවට ඇතුල් වී සටන් කොට ඔහු පරාජය කරන්නේ ය. 8 ඔහු සිරියන්වරුන්ගේ දෙවිවරුන් ද වාත්තු රූප ද ඒ දෙවිවරුන්ට කැප කරන ලද අනර්ඝ රිදී රත්රන් බඩු ද පැහැරගෙන මිසරයට යන්නේ ය. ඉන්පසු ඔහු අවුරුදු ගණනකට සිරියාවේ රජුට පහර දීමෙන් වැළකී සිටින්නේ ය. 9 ඒ අතර, සිරියාවේ රජු ටික කලකට මිසරය ආක්‍රමණය කර ආපසු සිය රටට පසු බසින්නේ ය.
10 කෙසේ වෙතත් සිරියා රජුගේ පුත්‍රයන් සටන් කොට, සේනාවන් මහ රාශියක් රැස්කර, ගලා යන ගංවතුර සේ කඩා බිඳ ඉදිරියට ගොස් සතුරු රජුගේ බලකොටුව දක්වා ආක්‍රමණය කරනු ඇත. 11 එවිට රජු ඉමහත් කෝපයෙන් ඉදිරියට අවුත් සිරියාවේ රජුට පහර දෙන්නේ ය. සිරියාවේ රජු මහා සේනාවක් සූදානම් කරගෙන ප්‍රතිප්‍රහාර දෙන නමුත්, ඒ සේනාව පරාජයට පත්වන්නේ ය. 12 මේ ජයග්‍රහණයෙන් රජ උද්දාම වී, සතුරු සේනාවල දසදහස් දෙනා මරාදමන්නේ ය. එහෙත්, ඔහුගේ ජයග්‍රහණය වැඩි කල් පවත්වාගැනීමට ඔහුට නොහැකි වන්නේ ය.
13 ”මන්ද, අවස්ථාව පැමිණි විට සිරියාවේ රජු පළමු සේනාවට වඩා විශාල සේනාවක් රැස් කරගෙන, ඇති තරම් යුද්ධෝපකරණ සහිත ව මහ සේනාවක් සමඟ ආපසු එන්නේ ය. 14 ඒ කාලවල දී බොහෝ දෙනෙක් මිසරයේ රජුට විරුද්ධ ව සටනට එළඹෙන්නෝ ය. දර්ශනයේ දැක්වෙන පරිදි නුඹේ සෙනඟ වන ජුදෙව්වරුන් අතරෙන් ත්‍රස්තවාදීහු ද ඉදිරිපත් වන්නෝ ය. එහෙත්, ඔවුන්ගේ අදහස ඉෂ්ට නොවන්නේ ය. 15 එවිට සිරියාවේ රජ පැමිණ, තරයේ බලකොටු බැඳ ඇති නගරය වටලා එය අල්ලාගන්නේ ය. මිසරයේ රජුගේ සේනාවන්ටත්, ඔහුගේ තෝරාගත් හමුදාවන්ටත් විරුද්ධ ව නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. එසේ කිරීමට ඔවුන්ට ශක්තියක් නොවන්නේ ය. 16 සිරියාවේ රජ තමන් රිසි පරිදි කරන්නේ ය. ඔහුට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට පුළුවන්කමක් නැත. ඔහු පලස්තීනයේ සිය බලය පිහිටුවා එය සහමුලින් ම තම බලයට යටත් කරගන්නේ ය.
17 ”මිසරයේ රජුගේ රාජ්‍යයන් යටපත් කිරීමට සිරියාවේ රජ අධිෂ්ඨාන කරගන්නේ ය. ඒ සඳහා ඔහු සමඟ සාම ගිවිසුමක් කරගෙන, රාජ්‍යය පෙරළාදැමීමට කාන්තාවක ඔහුට සරණකොට දෙන්නේ ය. එහෙත්, ඒ උපාය හරියන්නේ වත්, ඔහුගේ අදහස ඉෂ්ටවන්නේ වත් නැත. 18 ඉන්පසු ඔහු සිය අවධානය මුහුදුබඩ පළාත් දෙසට යොමුකර ඒවා බොහොමයක් අල්ලාගන්නේ ය. එහෙත්, විදේශීය අධිපතියෙක් ඔහුගේ නින්දිත ක්‍රියා නතර කොට ඔහු පිටට නින්දාව පමුණුවන්නේ ය. 19 එවිට ඔහු සිය රටේ බලකොටුවලට හැරී එන්නේ ය. එහෙත් ඔහු එහි දී විපතට පත් වී වැනසී යන්නේ ය.
20 ”ඒ පුරප්පාඩුව පිරවීමට බලහත්කාරයෙන් කප්පම් අය කරන පිණිස රාජකීය පිරිවරක් සමඟ ම නිලධාරියෙකු එවන රජ කෙනෙක් එන්නේ ය. එහෙත්, ඔහු ස්වල්ප දිනකින් කෝලාහලයකින් වත්, යුද්ධයකින් වත් නොව අප්‍රසිද්ධියෙන් විනාශයට පත්වන්නේ ය.”
සිරියාවේ දුෂ්ට රජ
21 ඒ මිනිසා තවදුරටත් මෙසේ විස්තර කෙළේ ය: ”ඔහුගේ තැන රජයේ ගෞරවය නොදෙන ලද නීච කෙනෙක් ගන්නේ ය. ඔහු හදිසියෙන් පැමිණ කූටෝපක්‍රමයකින් රාජ්‍යය ගන්නේ ය. 22 ඔහු ඉදිරියෙන් සේනාවක් සහමුලින් ම පන්නාදමනු ලබයි; ගිවිසුමක් කරගත් අධිපතියා ද බිඳ හෙළනු ලබයි. 23 ඔහු වංචනික ගිවිසුම් කරගෙන, ඔහුට පක්ෂ ව ස්වල්ප දෙනෙකු සිටියත්, බලයට පත්වන්නේ ය. 24 ඔහු දේශයේ ඉසුරුමත් තැන්වලට කඩාවැදී හත්මුතු පරම්පරාවේ වත් නොකරන ලද දේ කරන්නේ ය. ඔහු උදුරාගත් බඩු ද පැහැරගත් බඩු ද වස්තුව ද සිය අනුගාමිකයන්ට බෙදා දෙන්නේ ය. ඔහු බලකොටුවලට විරුද්ධ ව උපායයන් යොදාගන්නේ ය. එහෙත්, එය ස්වල්ප කලකට පමණි.
25 ”ඔහු ධෛර්යයත්, බලයත් උපදවාගෙන මිසරයේ රජුට විරුද්ධ ව මහා සේනාවක් ගෙන යන්නේ ය. මිසරයේ රජ ද අති විශාල බලසම්පන්න සේනාවක් සමඟ යුද්ධයට එළඹෙන්නේ ය. එහෙත්, ද්‍රෝ‍්හීන් විසින් ඔහුට විරුද්ධ ව යොදනු ලබන උපායයන් නිසා ඔහුගේ සටන සාර්ථක නොවන්නේ ය. 26 ඔහුගේ භෝජනයෙන් වළඳන අය ම ඔහුගේ වැටීමට හේතු වන්නෝ ය. ඔහුගේ සේනාව විසුරුවනු ලැබ බොහෝ දෙනෙකු මරණයට පත් වනු ඇත. 27 මේ රජවරු දෙදෙනා ම වංචා සහගත සිත් ඇති ව එක මේසයේ හිඳගෙන ඔවුනොවුන්ට බොරු කියන්නෝ ය. එහෙත්, එයින් කිසි වැඩක් වන්නේ නැත. මන්ද, නියමිත කාලයක් පැමිණෙන්නට තිබෙන බැවිනි. 28 එවිට සිරියාවේ රජ බොහෝ වස්තු ඇති ව සිය දේශයට ආපසු එන්නේ ය. ඔහු එසේ කරන්නේ, ශුද්ධ ගිවිසුමට විරුද්ධ ව සිතේ බලවත් කෝපයෙන් තමා කැමැති දේ කරමින් ය.
29 ”නියමිත කාලයේ දී ඔහු නැවත මිසරයට විරුද්ධ ව සටනට යන්නේ ය. එහෙත්, මේ ගමන පළමු ගමන මෙන් නොවන්නේ ය. 30 මන්ද, ඔහුට විරුද්ධ ව රෝමවරු නැව්වලින් එන්නෝ ය. ඔහු බිය වී පසුබසින්නේ ය. ඔහු කලකිරී, කෝප වී, ශුද්ධ ගිවිසුමට විරුද්ධ ව තමා කැමැති දේ කර ශුද්ධ ගිවිසුම අත් හළ අයට සැලකිලි දක්වන්නේ ය. 31 ඔහු විසින් යවනු ලබන සේනාවන් පැමිණ බලකොටුව ද ශුද්ධස්ථානය ද කෙලෙසා දමා දෛනික පූජා නතර කොට බිහිසුණු දූෂිතය පිහිටුවන්නේ ය. 32 ගිවිසුමට ද්‍රෝ‍්හිවන්නන් ඔහු ඉච්ඡා බසින් දිනාගන්නේ ය. එහෙත්, තමන්ගේ දෙවියන් වහන්සේ හඳුනන අය ස්ථිර ව සිට ඔහුට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය. 33 ජාතියේ ඥානවන්ත නායකයෝ පොදු ජනයාට නිසි මඟපෙන්වීම දෙන්නෝ ය. එහෙත්, ටික කලකට ඔව්හු ද ගින්නටත් කඩුවටත්, දාසකමටත්, කොල්ලකෑම්වලටත් ගොදුරු වන්නෝ ය. 34 කෙසේ වෙතත් ඔවුන්ට ස්වල්ප පිහිටක් වුව ද ලැබෙන්නේ ය. බොහෝ දෙනෙක් චාටුවෙන් ඔවුන්ට බැඳෙන්නෝ ය. 35 ඥානවන්ත නායකයන්ගෙන් සමහර දෙනෙක් පරීක්ෂා කරනු ලබන පිණිසත්, පිරිසිදු කරනු ලැබ දීප්තිමත් කරනු ලබන පිණිසත් උවදුරට ගොදුරු වන්නෝ ය. එසේ වන්නේ, නියමිත අවසාන කාලය එන තෙක් පමණි.
36 ”රජ ද තමන් රිසි පරිදි ක්‍රියා කර, සියලු දෙවිවරුන්ට වඩා තමා උසස් කරගෙන, දේවාතිදෙවියන්ට විරුද්ධ ව භයානක අපහාසික වචන පවසන්නේ ය. දේව උදහස ඉෂ්ට වන තුරු ඔහු සඵලවත් වන්නේ ය. මන්ද, නියම කර ඇති දේ ඉෂ්ට වන්නේ ය. 37 ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවරුන් වත්, ස්ත්‍රීන් ප්‍රිය කරන දෙවියා වත්, අන් කිසි දෙවියෙකු වත් නොසලකා, සියල්ලන්ට වඩා තමා උසස් කොට සලකන්නේ ය. 38 එහෙත්, තමාගේ පියවරුන් නොදත්, බලකොටුවල දෙවියාට ඔහු ගරු කොට රන් රිදීවලින් ද මැණික්වලින් ද අනර්ඝ දෙයින් ද ඔහු පුදනු ඇත. 39 තමාගේ බලවත් ම බලකොටු ආරක්ෂා කරගන්න පිණිස ඔහු විදේශීය දෙවියෙකු අදහන සෙනඟක් යොදාගන්නේ ය. ඔහු පිළිගන්න අයට ඔහු ගරුනම්බු දෙන්නේ ය. ඔවුන් සාමාන්‍ය ජනයා කෙරෙහි ආණ්ඩුකාරයන් කොට පත් කරන්නේ ය. සිය වාසිය තකා රටේ ඉඩකඩම් විකුණන්නේ ය.
පීඩා කරන්නාගේ අවසානය
40 ”නියමිත අවසාන කාලයේ දී, මිසරයේ රජ ඔහුට විරුද්ධ ව පැමිණෙන්නේ ය. එහෙත්, සිරියාවේ රජු සුළි සුළඟක් සේ රථවාහන ද අසරුවන් ද බොහෝ නැව් ද සමඟ ඔහුට විරුද්ධ ව සටනට එළඹෙන්නේ ය. ඔහු ගලා යන ජලගැල්මක් සේ රටවල් උඩින් කඩා බිඳගෙන යන්නේ ය. 41 පලස්තීන දේශයටත් ඔහු කඩා වදින්නේ ය. රටවල් බොහොමයක් වැටෙන්නේ ය. එහෙත්, ඒදොම්, මෝවබ් හා අම්මොන්වරුන්ගේ ප්‍රධාන කොටස් ඔහුගේ අතින් බේරෙන්නේ ය. 42 ඔහු රටවලට පහර දෙන්නේ ය. මිසරය ද ඔහුගෙන් බේරෙන්නේ නැත. 43 මිසරයේ නිදන් කොට ඇති රන් රිදී හා සකල අනර්ඝ දේ ඔහු සිය බලයට පවරාගන්නේ ය. ලිබියන්වරු ද එතියෝපියන්වරු ද ඔහුට බැඳෙන්නෝ ය. 44 එහෙත්, නැගෙනහිරෙන් ද උතුරෙන් ද පැමිණෙන ආරංචිවලට ඔහු කලබල වී බොහෝ දෙනෙකු සිඳබිඳදමා සමූලඝාතනය කිරීමට ක්‍රෝධයෙන් පිටත් වන්නේ ය. 45 ඔහු මාලිගාවක් වැනි ඔහුගේ මණ්ඩපය මුහුදටත්, අලංකාර කන්දටත් අතරේ පිහිටුවන්නේ ය. එහෙත්, ඔහුගේ අවසානය පැමිණෙන්නේ ය. ඔහුට උපකාර කරන්නට කිසිවෙක් නොවන්නේ ය.”
– 12 වන පරිච්ඡේදය –
දුක්පීඩාවල අවසානය
1 ඒ මිනිසා තවදුරටත් මෙසේ කීවේ ය: ඒ කාලයේ දී, නුඹේ සෙනඟ භාර ව සිටින උතුම් අධිපතියා වන මිකායෙල් නැඟී සිටින්නේ ය. ඒ කාලය වනාහි, මනුෂ්‍ය ජාතිය ඇති වූ කාලය පටන් මේ දක්වා කිසි කලක නුවූ විරූ විපත්ති කාලයක් වන්නේ ය. එහෙත්, නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා ඇති සියල්ලන් ගැළවෙන්නේ ඒ කාලයේ දී ය. 2 පොළොවේ ධූලියට සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත්, සමහරෙක් නින්දාව හා සදාකාල පිළිකුලටත් පිබිද එන්නෝ ය. 3 නුවණැති ජාතියේ නායකයෝ ආකාශයේ දීප්තිය මෙන් ද සෙනඟ හරි මඟ ගෙන ගිය අය තාරකාවන් මෙන් ද සදාකාලයට ම බැබළෙන්නෝ ය.
4 ”එහෙත් දානියෙල්, නුඹ මේ වචන රහසේ තබාගෙන අන්තිම කාලය දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝ දෙනෙකු කිසිවක් කර කියාගත නොහැකි ව ඒ මේ අත දුවනු ඇත. දඬුවම බරපතල වන්නේ ය.”
අවසානය
5 එවිට දානියෙල් වන මම බැලූ විට, තවත් දෙදෙනෙකු සිටිනු දිටිමි. එක් කෙනෙකු ගඟෙන් මෙගොඩ ද එක් කෙනෙකු ගඟෙන් එගොඩ ද සිටිනු දිටිමි. 6 එවිට සිහින් හණ රෙදි හැඳගෙන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට මම කතා කොට, ”මේ අරුමපුදුම දේවල් තීන්දු වීමට කොපමණ කල් ගතවනු ඇද්දැ”යි ඇසුවෙමි. 7 එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, ”අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි.
8 මේ වචන මා ඇසූ නමුත්, තේරුම් නොගතිමි. එවිට මම කතා කරමින්, ”මාගේ ස්වාමීනි, මේ සියල්ලේ ප්‍රතිඵල කුමක් වන්නේ දැ”යි ඇසීමි.
9 ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: ”දානියෙල්, නුඹ යන දිහාවට යන්න. මන්ද, මේ වචන රහසක් ව තබා අන්තිම කාලය දක්වා මුද්‍රා කොට තබා ඇත. 10 බොහෝ දෙනෙක් තමන් ම ශුද්ධ පවිත්‍ර කරගෙන ධවල දීප්තියෙන් පිරිසිදු වන්නෝ ය. දුෂ්ටයෝ දුෂ්ටකමෙහි ම නියැලී සිටින්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝ ය. එහෙත්, නුවණැති නායකයෝ පමණක් තේරුම්ගනිති.
11 ”දෛනික පූජා නතර කරනු ලැබ, බිහිසුණු දූෂිතය පිහිටුවනු ලබන කාලය පටන් එක්දාස් දෙසියඅනූ දවසක් ගත වන්නේ ය. 12 එක්දාස් තුන්සිය තිස්පස් වන දවස දක්වා ජීවත් වන්නෝ වාසනාවන්තයෝ ය.
13 ”දානියෙල්, නුඹ දැන් ගොස් අන්තිමය වන තුරු විශ්වාසවන්ත ව සිටින්න. නුඹ සැතපී, දවස්වල අන්තිමයේ දී නුඹේ කොටස භුක්ති විඳීමට නැඟිටින්නෙහි ය”යි කීවේ ය.