ද්විතීය නීති සංග්‍රහය

– 1 වන පරිච්ඡේදය –

හැඳින්වීම

1 ජොර්දාන් ගඟින් මෙගොඩ පාළුකරයේ දී මෝසෙස් සියලු ඉශ්රායෙල් ජනයා අමතා කී වචන මේ ය. මොවුන් සිටියේ සූප් නම් ස්ථානය ඉදිරිපිට, පාරාන් ද තොපෙල් ද ලාබාආන් ද හශේරොත් සහ දී-සාහාබ් ද යන නගරවලට මැදි වූ මිටියාවතෙහි ය. 2 හොරෙබ් සිට කාදෙෂ්-බර්නේයට සේයිර් කඳුකර මාර්ගය ඔස්සේ ගමන් කිරීමට එකොළොස් දවසක් ගත වේ. 3 සෙනඟට දැන්වීමට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල, ඔහු හතළිස් වන අවුරුද්දේ එකොළොස් වන මාසයේ පළමු වන දින ඉශ්රායෙල් ජනයාට කීවේ ය. 4 මෙය වූයේ ඔහු හෙශ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද එද්රෙය අසල අෂ්තාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග් ද පරාජය කළ පසු ය. 5 ජොර්දාන් ගඟෙන් මෙගොඩ මෝවබ් දේශයේ දී මෝසෙස් දේව ආඥා පහදා දීම මෙසේ ඇරඹී ය. 
6 ”අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත. 7 කඳවුර ගලවා, ගමන අරඹා අමෝරිවරුන්ගේ කඳුකරයට ද ඊට යාබද ව අසල්වැසියන් වසන මිටියාවතට සහ කඳුකරයට ද තැනිතලාවට සහ දකුණු දිශාවට ද මුහුදුබඩට හා කානානිවරුන්ගේ දේශයට ද ලෙබනොන් රටට සහ මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ද යන්න. 8 බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ ”

ප්‍රධානීන් පත් කිරීම 
(නික්ම: 18:13-27)

9 ”එකල මම ඔබට කතා කොට, ‘ඔබ පිළිබඳ වගකීම මට තනි ව දැරිය නොහැකි ය. 10 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම වැඩි වර්ධනය කළ සේක. පුදුමයකි! අද දින ඔබ හැම ගණනින් අහසේ තරු හා සමාන ය. 11 ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම තවත් දහස් ගුණයකින් වැඩි වෙන්නට සලසා, උන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන සේක. 12 ඔබ හැම පිළිබඳ වගකීම, කරදර හිරිහැර, වාද විවාද මා තනි ව කෙසේ දරන්නට ද? 13 එබැවින් නැණවත්, කාරණා කාරණා දන්න, අත්දැකීම් ඇති අය ඔබගේ ගෝත්‍රවලින් තෝරාගන්න; ඔබ පාලනය කරන පිණිස මම ඔවුන් පත් කරන්නෙමි’යි කීවෙමි. 14 ඔබ හැම ද මට පිළිතුරු දෙමින්, ‘ඔබ කී දේ අපට වැඩදායක යැ’යි පැවසූ හ. 15 එවිට මම ඔබේ ගෝත්‍ර නායකයන් අතර නැණවත්, කාරණා කාරණා දන්න අයවලුන් ඔබ හැමගේ ප්‍රධානීන් වශයෙන් පත් කෙළෙමි; සමහරෙක් සහශ්‍රාධිපතීහු ද සමහරෙක් ශතාධිපතීහු ද සමහරෙක් පණසාධිපතීහු ද තවත් සමහරෙක් දශාධිපතීහු ද වූ හ. තවද, ගෝත්‍රයක් පාසා නිලධාරීන් ද පත් කෙළෙමි. 
16 ”මම එකල ඔබේ විනිසකරුවන් අමතමින්, ‘ඔබේ සෙනඟ අතර නඩු අසන ලෙස ද යමෙකු සහ ඔහුගේ අසල්වැසියා අතරත්, ඔහු සමඟ වසන විදේශිකයා අතරත් යුක්තිය අනුව තීන්දුව දෙන්නට ද 17 විනිශ්චය කරද්දී, මිනිසුන්ගේ තරාතිරම් නොබලා, ලොකු කුඩා අයට එක සේ කන් දී, තීන්දුව දෙවියන් වහන්සේගෙන් එන බැවින් මිනිසුන්ට බිය නොවිය යුතු යයි ද දුෂ්කර නඩුවක් ඇත්නම් මා එය අසන පිණිස මා වෙත එය ගෙනෙන්නට ඕනෑ බව ද කීවෙමි. 18 මම ඔබ කළ යුතු සියල්ල ගැන ඔබට උපදෙස් දුනිමි.’ ”

ඔත්තුකාරයන් යැවීම 
(ගණන් 13:1-33)

19 ”සමිඳාණන් වහන්සේ අපට වදාළ ලෙස අපි ඉටු කෙළෙමු. අපි හොරෙබ් කන්දෙන් නික්ම අමෝරිවරුන්ගේ කඳුකරයට යන මඟ ඔබ දුටු මහා, රුදුරු පාළුකරය ඔස්සේ ගොස් කාදෙෂ්-බර්නේය නම් ස්ථානයට පැමිණියෙමු. 20 මම ද ඔබ අමතා, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන අමෝරිවරුන්ගේ කඳුකරයට ඔබ ආවහු ය. 21 මෙන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශය ඔබ ඉදිරිපිට ඇත. ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කී පරිදි බිය නොවී, අධෛර්ය නොවී ගොස් එය උරුම කරගන්නැ’යි ද කීවෙමි. 
22 ”එවිට ඔබ සියල්ලෝ ම මා සමීපයට විත්, ‘අප කුමන මඟකින් යා යුතු ද අප පැමිණිය යුත්තේ කුමන නගරවලට ද කියා වාර්තා කිරීමට, රට පිළිබඳ ඔත්තු සොයා බලාගනු පිණිස අපට කලින් මිනිසුන් යැවිය යුතු ය’යි කීවහු ය. 23 මම ද ඊට මුළු හිතින් එකඟ වූයෙමි. එක එක ගෝත්‍රයෙන් එක්කෙනා බැගින් මිනිසුන් දොළොස්දෙනෙකු තෝරාගතිමි. 24 ඔව්හු ද හැරී කඳුකරයට නැඟී, එෂ්කොල් මිටියාවත දක්වා ගොස් එහි ඔත්තු බැලූ හ. 25 ඒ රටේ පලතුරුවලින් ද සමහරක් අප වෙත ගෙනවුත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන දේශය සාරවත් රටක් බව ද අපට සැළ කළ හ. 
26 ”එහෙත් ඔබ, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් එහි යාමට කැමැත්ත නොදැක්වූ හ. 27 ඔබ ද කූඩාරම්වලට වී කොඳුරමින්, ‘සමිඳාණන් වහන්සේ අපට ද්වේෂ කරන බැවින්, අමෝරිවරුන්ගේ බලයට අප පාවා දී අප මරනු පිණිස මිසර දේශයෙන් අප පිටතට ගෙනා සේක. 28 අප එහි යා යුත්තේ මන් ද? එහි ගිය අය, ඒ සෙනඟ අපට වඩා උස මහත සෙනඟක් බව ද, ඔවුන්ගේ විශාල නගරවල ප්‍රාකාර අහස දක්වා විහිදෙන බව ද, එහි දී අනාක්වරුන්ගේ පුතුන් වන යෝධයන් දුටු බව ද කියමින් අපේ සිත් අධෛර්යයට පත් කළ හ’යි කීවහු ය. 
29 ”මම එවිට ඔබ අමතමින්, ‘තැති නොගන්න, ඔවුන්ට බිය නොවන්න; 30 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි යන සේක. මිසරයේ දී ඔබ ඇස් ඉදිරියෙහි උන් වහන්සේ ඔබ වෙනුවෙන් ඉෂ්ට කළ සියල්ල අනුව, උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. 31 තවද, පියෙකු තම පුතුන් උසුලාගෙන යන්නාක් මෙන්, මේ ස්ථානය දක්වා එන මුළු මාර්ගය ඔස්සේ ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පාළුකරයේ දී ඔබ උසුලාගෙන පැමිණි අයුරු ඔබ දුටුවහු ය’යි කීවෙමි. 32 එහෙත් මා කී දේ ගණන් නොගෙන, ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ විශ්වාස නොකළහු ය. 33 කඳවුරු බැඳීම සඳහා ස්ථානයක් ඔබට සොයනු පිණිස ඔබ ගිය මඟ උන් වහන්සේ ඔබට පෙරටුවෙන් ගමන් කළ සේක. මෙලෙස උන් වහන්සේ ඔබ යා යුතු මඟපෙන්වීම සඳහා රාත්‍රි කාලයේ දී ගින්නක් මෙන් ද, දිවා කාලයේ දී වලාකුළක් මෙන් ද ගමන් කළ සේක.”

ඉශ්රායෙල්වරුන්ට දඬුවම් දීම 
(ගණන් 14:20-45)

34 ”සමිඳාණන් වහන්සේ ඔබේ මැසිවිලි අසා, උදහස් වී දිවුරමින්, 35 ‘මා ඔවුන්ගේ පියවරුන්ට දෙන්නට දිවුරා පොරොන්දු වූ ඒ සාරවත් රටට මේ දුෂ්ට පෙළපතට අයිති කිසි ම කෙනෙක් ඇතුළු නොවන්නෝ ය. 36 එහෙත්, ජෙපුන්නේගේ පුත් කාලෙබ් පමණක් ඊට ඇතුළු වන්නේ ය; ස්වාමීන් වන මට ඔහු සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඒ රටේ පස් පෑගූ ඔහුටත්, ඔහුගේ දරුවන්ටත් මම එය දෙන්නෙමි’යි වදාළ සේක. 37 ඔබ හැම නිසා සමිඳාණන් වහන්සේ මා සමඟ ද කිපී, ‘ඔබත් එහි ඇතුළු නොවන්නෙහි ය; 38 එහෙත් ඔබ සමඟ සිටින නූන්ගේ පුත් ජෝෂුවා එහි ඇතුළුවන්නේ ය; ඔහු දිරි ගන්වන්න; ඉශ්රායෙල්වරුන්ට එම දේශය උරුම කරගන්නට ඔහු සලසනු ඇතැ’යි වදාළ සේක. 
39 ”තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ‘මොවුන් සතුරන්ට ගොදුරු වනු ඇතැ යි ඔබ සිතූ සිඟිති දරුවන් ද, එකල හොඳ නරක නොදත් ඔබේ දරුදැරියන් ද එහි ඇතුළු වනු ඇත. මා ඒ දේශය ඔවුන්ට දුන් පසු එය ඔව්හු අයිති කරගන්නෝ ය. 40 එහෙත්, ඔබ හැම නැවත හැරී, රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරයට ගමන් කරන්නැ’යි වදාළ සේක.”

ඉශ්රායෙල්වරුන් පරාජය කිරීම

41 ”ඔබ පිළිතුරු දෙමින්, ‘ඔව්, අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි ගොස් සටන් කරන්නෙමු’යි කීවහු ය. ඉන්පසු ඔබ සියල්ලෝ යුද්ධායුධ ගෙන සන්නාහ සන්නද්ධ වූ පසු කඳුකරයට යෑමට පහසු ය කියා සිතුවහු ය. 
42 ”එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘ඔවුන්ට නොයන්නටත්, සටන් නොකරන්නටත් කියන්න. මන්ද, මා ඔබ සමඟ වැඩ නොසිටින බැවින් ඔබේ සතුරන් ඔබ පරාජය කරනු ඇතැ’යි වදාළ සේක. 43 මම ද ඔබට එය සැළ කෙළෙමි. එහෙත්, ඔබ ඊට කන් නොදී සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් හිතුවක්කාරකමින් කඳුකරයට ගමන් කළහු ය. 44 එවිට කඳුකරයේ විසූ අමෝරිවරු මීමැසි රැළක් සේ ඔබට විරුද්ධ ව පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් සේයිර් දේශයේ හොර්මා නම් ස්ථානයේ දී ඔබ පරාජය කළෝ ය. 45 ඉන්පසු ඔබ ආපසු හැරී අවුත් සමිඳාණන් වහන්සේ අබිමුව හැඬු නමුත්, උන් වහන්සේ ඔබේ ඉල්ලීම නොසලකා, ඔබට සවන් නුදුන් සේක. 46 මෙලෙස ඔබ සිතූ හැටියට ම බොහො‍් කාලයක් කාදෙෂ්හි වාසය කළහු ය.”

– 2 වන පරිච්ඡේදය –

පාළුකරයේ ගත කළ කාලය

1 ”ඉන්පසු සමිඳාණන් වහන්සේ මට කී පරිදි, අපි හැරී රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරය ඔස්සේ ගමන් කෙළෙමු. සේයිර් කඳුකරයෙහි අප බොහෝ කලක් සංචාරය කළ පසු 2 සමිඳාණන් වහන්සේ මට කතා කොට, 3 ‘නුඹලා බොහෝ කලක් මේ කඳුකරයෙහි සංචාරය කළහු ය. දැන් උතුරු දිශාවට හැරෙන්න. 4 නුඹ ද සෙනඟට අණ කරමින් මෙසේ කියන්න: ඔබේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි වී සිටින සේයිර් නම් දේශය ඔස්සේ ඔබ යා යුතු ය. ඔවුන් ඔබට බිය වනු ඇත. එබැවින් ප්‍රවේසම් වන්න. 5 ඔවුන් කුපිත නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් අඟලක්වත් මම ඔබට නොදෙන්නෙමි. මන්ද, සේයිර් කඳුකරය මා ඒසව් සන්තක කොට දුන් බැවිනි. 6 ඔබට කෑම පිණිස මුදල් ගෙවා ආහාර ද බීම පිණිස මුදල් ගෙවා වතුර ද ඔවුන්ගෙන් ගත හැකි ය’යි වදාළ සේක. 7 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කළ සියල්ලෙහි දී ඔබට ආශීර්වාද කළ සේක. මේ මහා පාළුකරය මැදින් ඔබ ගිය ගමන උන් වහන්සේ දන්නා සේක. මේ අවුරුදු හතළිහ ම උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටිය බැවින් ඔබට කිසි ම අග හිඟයක් නො වී ය. 
8 ”අපි ද අපගේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි සේයිර් කඳුකරය පසු කොට, ඒලත් සහ එශියොන්-ගෙබෙර් නම් ස්ථානවලින් මිටියාවත ඔස්සේ ගොස්, යළි හැරී මෝවබ්හි පාළුකරය මැදින් ගියෙමු. 
9 ”සමිඳාණන් වහන්සේ මා අමතා, ‘මෝවබ්වරුන්ට හිරිහැර නොකරන්න, සටනට ඔවුන් නොපොළඹවන්න. මා ආර් නම් දේශය ලොත්ගේ පෙළපතට සතු කොට දෙන බැවින්, ඔවුන්ගේ රටින් කිසිවක් මම නුඹට අයිති කොට නොදෙන්නෙමි’යි වදාළ සේක. 
10 ”අනාක්වරුන් හා සමාන, බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වන ඒමිවරු පෙර කාලයේ දී එහි විසූ හ. 11 අනාක්වරුන් මෙන් ඔව්හු ද රෙපායිම් යෝධයෝ යයි හඳුන්වනු ලැබූ හ. එහෙත් මෝවබ්වරුන් ඔවුන්ට කීවේ ඒමිවරු කියා ය. 12 සේයිර්හි පෙර කල හෝරිවරු පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අයිති කොට දුන් දේශයට, ඉශ්රායෙල්වරුන් කළ පරිදි, ඒසව්ගේ පෙළපත ද හෝරිවරුන් පන්නා දමා, ඔවුන් වනසා, එහි පදිංචි වූ හ. 
13 ”උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘දැන් නැඟිට, ශෙරෙද් නම් නදියෙන් එතෙර වන්නැ’යි වදාළ සේක. අපි ද එම නදියෙන් එගොඩ වූයෙමු. 14 කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය. 15 ඔවුන් නැත්තට ම නැති වන තෙක් හමුදාවෙන් ඔවුන් වනසාලීම පිණිස සමිඳාණන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව නැඟී සිටිය සේක.
16 ”මෙලෙස සෙනඟ අතරෙන් මුළු භට හමුදාවේ සියල්ලන් නැති නාස්ති වී වැනසී ගිය පසු, 17 සමිඳාණන් වහන්සේ මට කතා කොට, 18 ‘අද නුඹ ආර් නම් පෙදෙස ඔස්සේ මෝවබ් දේශය මැදින් යා යුතු ය. 19 නුඹ අම්මොන්ගේ පරපුරට අයිති අයගේ දේශය සමීපයට පැමිණි කල ඔවුන්ට හිරිහැර නොකරන්න, ඔවුන් කුපිත නොකරන්න. මා ඔවුන්ගේ රට ලොත්ගේ පෙළපතට අයිති කොට දී තිබෙන බැවින් මම ඔවුන්ගේ රටින් අඟලක්වත් නුඹට නොදෙන්නෙමි’යි වදාළ සේක. 
20 ”එය ද රෙපායිම්වරුන්ගේ රට මෙන් ගණන් ගැණිනි. පෙර කාලවල දී රෙපායිම් යෝධයෝ එහි විසූ හ. අම්මොන්වරු ඔවුන්ට සම්සුම්මිවරු යයි නම් කළහ. 21 අනාක්වරුන් මෙන් ඔව්හු ද බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් වනසා ලූ නිසා, අම්මොන්වරු එම රට අල්ලාගෙන එහි පදිංචි වූ හ. 22 සමිඳාණන් වහන්සේ හෝරිවරුන් වනසා, සේයිර්හි පදිංචි වූ ඒසව්ගේ පෙළපතට කළ පරිදි, මොවුන්ටත් කළ සේක. ඔවුන් රට අල්ලාගත් බැවින් අද දක්වා එහි පදිංචි වී ඇත. 23 ක්‍රීට් දූපතේ සිට පැමිණි වාසීහු ද, දකුණු දිග පිහිටි ගාසා දක්වා විසූ අව්විවරුන් වනසා, එම රටේ පදිංචි වූ හ. 
24 ”සමිඳාණන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘නැඟිට, ගමන අරඹා, අර්ණොන් නදියෙන් එතෙර වන්න. මෙන්න, හෙෂ්බොන්හි රජ වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම නුඹේ බලයට දුනිමි. එය සතු කරගනු පිණිස සටන් අරඹා පහර දෙන්න. 25 මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.”

සීහොන් රජුගේ පරාජය 
(ගණන් 21:21-30)

26 ”මම ද කෙදෙමොත් පාළුකරයේ සිට හෙෂ්බොන්හි රජ වූ සීහොන් වෙත සාමකාමී වචන සහිත ව පණිවුඩකාරයන් යවමින්, 27 ‘ඔබේ දේශය මැදින් මට යන්නට අවසර දුන මැනව. මම මහ මාවත ඔස්සේ යමින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්නෙමි. 28 කන්නට ආහාර ද බොන්නට වතුර ද මුදලට දුන මැනව. මම දේශය මැදින් පයින් ම යමින්, 29 අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන රටට, ජොර්දාන් ගඟෙන් එතෙර වන්නෙමි. සේයිර්හි පදිංචි ඒසව්ගේ පෙළපත ද ආර්හි පදිංචි මෝවබ්වරු ද අපට එසේ යන්නට අවසර දුන්නෝ ය’යි කීවෙමි. 
30 ”එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක. 
31 ”එවිට සමිඳාණන් වහන්සේ මා අමතා ‘මෙන්න, සීහොන් රජු සහ ඔහුගේ දේශය මම නුඹට දෙන්නට පටන්ගතිමි. එම දේශය අල්ලාගෙන, උරුම කරගන්නැ’යි වදාළ සේක. 32 සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය. 33 දෙවි සමිඳාණන් වහන්සේ ඔහු අපට පාවා දුන් සේක. අපි ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත්, සියලු සෙනඟටත් පහර දුන්නෙමු. 34 ඒ දවස්හි අපි ඔහුගේ සියලු නගර අල්ලාගෙන, ඒවා සියල්ලෙහි ම විසූ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ද සිඟිති දරුවන් ද සම්පූර්ණයෙන් ම වනසා දැම්මෙමු. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකෙළෙමු. 35 අපගේ ම ප්‍රයෝජනයට අපි ගවමහිෂයන් පැහැරගෙන, අල්ලාගත් නගරවලින් වස්තුව කොල්ලකෑවෙමු. 36 අර්ණොන් ගං තෙර පිහිටි අරො‍්යෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය. 37 එහෙත්, අම්මොන්ගේ පෙළපත පදිංචි දේශයට වත්, ජබ්බොක් ගඟ අසබඩ කිසි ම ස්ථානයකට වත්, කඳුකරයේ කිසි ම නුවරකට වත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ තහනම් කළ කිසි ම තැනකට වත් අපි නොගියෙමු.”

 

– 3 වන පරිච්ඡේදය –

බාෂාන්හි රජුගේ පරාජය 
(ගණන් 21:31-35)

1 ”ඉන්පසු අපි එතැනින් හැරී බාෂාන් දක්වා වැටී තිබූ මාර්ගය ඔස්සේ ගියෙමු. එවිට බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ මුළු සෙනඟ ද එද්රෙයි නම් ස්ථානයේ දී අප සමඟ සටනට පැමිණියහ. 2 සමිඳාණන් වහන්සේ මා අමතා, ‘ඔහුට බිය නොවන්න. ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් නුඹේ බලයට මම පාවා දෙන්නෙමි. හෙෂ්බොන්හි පදිංචි වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ට නුඹ කළ පරිදි, මොහුටත් කළ යුතු ය’යි වදාළ සේක. 
3 ”මෙලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේ බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ සියලු සෙනඟ ද අපේ බලයට පාවා දුන් සේක. අපි ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහර දුනිමු. 4 තවද, එකල අපි ඔවුන්ගේ නගරවලින් එකක් වත් නෑර, නගර සියල්ල ම අල්ලා ගතිමු. එනම්, නගර හැටක් සහිත බාෂාන්හි රජකම් කළ ඕග් රජුගේ රාජධානිය වූ, මුළු අර්ගොබ් පළාත ම අල්ලා ගතිමු. 5 මේ නගර සියල්ල ම අගුල් දැමූ වාසල් දොරටු සහිත උස් වූ ප්‍රාකාරවලින් සුරක්ෂිත වී තිබිණි. තවද, ප්‍රාකාරවලින් වට නොවූ නගර ගණනාවක් ද අල්ලා ගතිමු. 6 හෙෂ්බොන්හි රජු වූ සීහොන්ට කළ ලෙස අපි මේ නගර සෑම එකක ම විසූ ස්ත්‍රී පුරුෂයන් ද සිඟිති දරුවන් ද නැත්තට ම වනසා දැමීමු. 7 එහෙත්, ගවමහිෂයන් සියල්ලන් හා නගරවලින් කොල්ලකෑ සම්පත අපේ ම ප්‍රයෝජනයට තබාගත්තෙමු. 
8 ”තවද, අපි එකල අර්ණොන් ගංගාවේ සිට හෙර්මොන් කන්ද දක්වා ජොර්දාන් ගඟින් මෙගොඩ දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාගෙන් පැහැර ගත්තෙමු. 9 හෙර්මොන් කන්දට සීදොන්වරු සිරියොන් කියා ද අමෝරිවරු සෙනීර් කියා ද කියති. 10 අපි බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජධානියට අයත් මිටියාවතේ වූ සියලු නගර ද, සලෙකා සහ එද්රෙයි යන නගර දක්වා මුළු ගිලියද් ප්‍රදේශය හා බාෂාන් ප්‍රදේශය ද අල්ලා ගතිමු. 
11 ”ඉතුරු වූ රෙපායිම් යෝධයන්ගෙන් එතෙක් පණපිටින් සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණකි. ඔහුගේ මිනිය තැබූ ඇඳ යකඩවලින් සෑදූ එකකි. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් නගරයක් වූ රබ්බාහි එය අද දක්වා ඇත. සම්මත මිනුම අනුව එහි දිග මීටර් හතරකි, පළල මීටර් දෙකකි.”

ජොර්දානෙන් මෙගොඩ පදිංචි වූ ගෝත්‍ර 
(ගණන් 32:1-42)

12 ”අපි දේශය අයිති කරගත් විට, අර්ණොන් නදී ගං තෙර වූ අරෝයෙර් සිට විහිදී ගිය කොටස ද ගිලියද් කඳුකරයේ බාගයක් ද එහි නගර ද රූබන්ගේ සහ ගාද්ගේ පෙළපත්වල අයට දුනිමු. 13 ගිලියද් දේශයෙන් ඉතිරි කොටස ද ඕග් රජුගේ රාජධානිය වන මුළු බාෂාන් ප්‍රදේශය, එනම්, මුළු අර්ගොබ් ප්‍රදේශය, මම මනස්සේගේ අර්ධ ගෝත්‍රයට දුනිමි. මුළු බාෂාන් ප්‍රදේශය රෙපායිම් යෝධයන්ගේ දේශය යයි කියනු ලැබේ. 14 මනස්සේගේ පුත් ජයිර් නමැත්තා, ගෙෂුර්වරුන්ගේ ද මාකාත්වරුන්ගේ ද සීමා දක්වා සම්පූර්ණ අර්ගොබ් පළාත, එනම්, බාෂාන් පළාත අල්ලාගෙන, ඊට තමාගේ ම නම දෙමින් හව්වොත්-ජායිර් කියා නම් තැබී ය. අද දක්වා ඒ නම පවතී. 
15 ”ගිලියද් දේශය මම මාකීර්ට දුනිමි. 16 රූබන්ගේ සහ ගාද්ගේ පෙළපත්වලට මම ගිලියද් සිට අර්ණොන් නදිය දක්වා වූ ප්‍රදේශය දුනිමි. ගංගාවේ මැද එක සීමාවක් විය. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් දේශ සීමාව අසලින් ගලා ගිය ජබ්බොක් ගඟ එක සීමාවක් විය. 17 කින්නෙරෙත් නම් ස්ථානයේ සිට පෙරදිගින් වූ පිස්ගා නම් කඳු පාමුල පිහිටි මළ මුහුදේ වෙරළ අසබඩ වූ මිටියාවත සහ ජොර්දාන් ගඟ තවත් සීමාවක් විය. 
18 ”මම එකල ඔබට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැන්මට මෙරට දුන් සේක. එබැවින් සටනට යන භටයන් සන්නාහ සන්නද්ධ වී, සෙසු ඉශ්රායෙල් ජනයාට පෙරටුවෙන් යා යුතු ය. 19 එහෙත්, ඔබේ භාර්යාවන් ද සිඟිති දරුවන් ද මා දන්නා පරිදි ඔබ සතු බහුල ව සිටින ගවමහිෂයන් ද මා ඔබට දුන් නගරවල නැවතී සිටිය යුතු ය. 20 සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ම, ඔබේ සෙසු ජනතාවට ද විවේකය දෙන තෙක්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ජොර්දානෙන් එතෙර ඔබට දුන් දේශය ඔබ භටයන් අයිති කරගන්නා තෙක් ඔබ එලෙස නැවතී සිටිය යුතු ය. ඉන්පසු මා ඔබට දුන් දේශයට සියල්ලන් ම හැරී ආ යුතු ය’යි කීවෙමි. 
21 ”එකල මම ජෝෂුවාට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අන් රජුන් දෙදෙනාට කළ දේ දෑසින් ම ඔබ දුටුවෙහි ය. ඔබ ආක්‍රමණය කරන සියලු රාජධානිවලට උන් වහන්සේ එලෙස කරන සේක. 22 ඔබ ඔවුන්ට බිය නොවිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේකැ’යි කීවෙමි.”

පොරොන්දු දේශයට යන්නට මෝසෙස්ට අවසර නොදීම

23 ”එවිට මම සමිඳාණන් වහන්සේට බැගෑපත් ව යාච්ඤා කරමින්, 24 ‘මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය ද බාහු බලය ද ඔබේ සේවකයා හට පෙන්වීමට ඔබ පටන්ගෙන තිබේ. ඔබ සේ දස්කම් හා විස්කම් අනුව ක්‍රියා පෑමට සමත් අන් කවර දෙවි කෙනෙක් සගලොව හෝ නරලොව හෝ සිටිත් ද? 25 එබැවින් ජොර්දාන් ගඟින් එගොඩ වී, එතෙර ඇති සරුසාර රට ද දැකුම්කලු කඳුකරය ද ලෙබනොන් දේශය ද දැකගැනීමට මට කරුණාකර අවසර දෙනු මැනව’යි ඉල්ලීමි. 
26 ”එහෙත්, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී, මා කී දේට සවන් නුදුන් සේක. උන් වහන්සේ මට කතා කොට, ‘දැන් නුඹ කතා කළා ඇති, මේ කරුණ මින්පසු මට සඳහන් නොකරන්න. 27 පිස්ගා කඳු ශිඛරයට නැඟ, පෙර අපර දෙදිග ද උතුර හා දකුණ ද හිස ඔසවා බලා මැනවින් නරඹන්න. ජොර්දාන් ගඟින් ඔබ එතෙර නොවනු ඇත. 28 ජෝෂුවාට වගකීම පවරා ඔහු ධෛර්යවත් කර ශක්ති සම්පන්න කරන්න. ඔහු මේ සෙනඟට පෙරටුවෙන් ගොස්, ඔබ දකින දේශය ඔවුන්ට උරුම කරගැනීමට සලසනු ඇතැ’යි වදාළ සේක. 
29 ”එවිට අපි බෙත්-පෙයොර් නම් නගරය ඉදිරිපිට වූ මිටියාවතෙහි පදිංචි වී සිටියෙමු.”

 

– 4 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල්වරුන්ට උපදෙස් දීම

1 මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: ”ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න. 2 මා ඔබට අණ කළ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර, ඒවායින් කිසිවක් අඩු නොකර, ඔබ ඒවා පිළිපැදිය යුතු ය. 3 බාල්-පෙයොර්හි සිද්ධියට අදාළ ව සමිඳාණන් වහන්සේ කළ දේ ඔබේ දෑසින් ම ඔබ දුටුවහු ය. පෙයොර්හී දී බාල් නම් දෙවියා අනුගාමී වූ සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් වනසා ලූ සේක. 4 එහෙත්, ඔබගේ දෙවි සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව සිටි ඔබ සියල්ලෝ අද පණපිටින් සිටින්නහු ය. 
5 ”මාගේ දෙවි සමිඳාණන් වහන්සේ මට අණ කළ පරිදි මම ඔබ හට නීති හා නියෝග ඉගැන්වීමි. ඔබ අයිති කරගන්නට යන රටට ඔබ ගිය පසු ඒවා පිළිපැදිය යුතු ය. 6 ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත. 
7 ”අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද? 8 මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද? 9 පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න. 10 එසේ ඉගැන්විය යුතු කරුණු නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අබිමුව හොරෙබ් කඳු මුදුනේ ඔබ සිටි දින ගැන ය. එදින උන් වහන්සේ මට කතා කොට, ‘සෙනඟ රැස් කරන්න. මාගේ වචන මම ඔවුන් හට ඇසෙන්නට සලස්වමි. එවිට ඔවුන් මිහි පිට දිවි ඇති තාක් මට ගරුබිය දැක්වීමට ඉගෙන ගනු ඇත. එසේ කිරීමට ඔවුන්ගේ දරුවන්ට ද උගන්වනු ඇතැ’යි වදාළ සේක. 
11 ”ඔබ කඳු පාමුලට විත් සිටගත්තහු ය. කන්ද ගිනිගෙන ඇවිලෙමින්, ඒ ගින්න අහස් කුසට බුර බුරා නැංගේ ය. අඳුරු වලා පටල නිසා කන්ද ඝනාන්ධකාරයෙන් වැසිණි. 12 සමිඳාණන් වහන්සේ ගින්න මැද වැඩ සිට ඔබට කතා කළ සේක. ඔබ කටහඬක් ඇසූ නමුත් රූපයක් නුදුටුවහු ය. ඔබට ඇසුණේ කටහඬ පමණ ය. 13 ඔබට පිළිපැදීමට උන් වහන්සේ නියම කළ උන් වහන්සේගේ ගිවිසුම වන දස පණත ඔබ හට ප්‍රකාශ කළ සේක; ගල් පුවරු දෙකක ඒවා ලියා දුන් සේක. 14 තවද, ඔබ අයිති කරගැනීමට යන දේශයේ දී ඔබ පිළිපැදිය යුතු නීති හා නියෝග මා ඔබට උගන්වන පිණිස සමිඳාණන් වහන්සේ මට අණ කළ සේක.”

රූප වන්දනාව ගැන අනතුරු ඇඟවීම

15 ”එබැවින් ඔබ හැම සුපරීක්ෂාකාරී ව සිටිය යුතු ය. සමිඳාණන් වහන්සේ ගිනි මැද සිට හොරෙබ් කන්ද මුදුනේ දී ඔබ හැම ඇමතූ විට ඔබ කිසි රූපාකාරයක් නුදුටුවහු ය. 16 එබැවින් ඔබ පවට නොවැටෙන පිණිස කිසි ම නෙළූ පිළිමයක් වත්, ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සමාන කිසි ම රූපයක් වත්, 17 මිහි පිට සිටින සතෙකුට හෝ අහස් කුස පියාඹන පක්ෂියෙකුට හෝ සමාන රූපයක් වත්, 18 පොළොවේ බඩගා යන උරගයෙකුට හෝ ජලයෙහි හැසිරෙන මත්ස්‍යයෙකුට හෝ සමාන රූපයක් වත් නොසෑදිය යුතු ය. 19 ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර, හඳ, තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහා ය. 20 එහෙත්, ඔබ ගැන කිව යුතු දේ නම්, යකඩ ගිනි උදුනක් වැනි මිසරයෙන් සමිඳාණන් වහන්සේ ඔබ පිටතට ගෙනාවේ, ඔබ හැම අද දින සිටින්නාක් මෙන් උන් වහන්සේගේ ම උරුමය වූ සෙනඟක් වනු පිණිස ය. 
21 ”තවද, උන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී ජොර්දාන් ගඟෙන් මට එතෙර වීමටත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන්නට යන සරුසාර දේශයට මට ඇතුළු වීමටත් ඉඩ නොදෙන බවට දිවුළ සේක. 22 මට ජොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉඩ නොලැබෙන්නේ ය, මෙරට මැරෙන්නට මට සිදු වේ. එහෙත්, ඔබ නම් ගඟෙන් එතෙර වී ඒ සරුසාර රට අයිති කරගන්නහු ය. 23 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ කරගත් ගිවිසුම අමතක නොකරන ලෙසටත්, උන් වහන්සේ ඔබට තහනම් කළ නෙළූ පිළිමයක් හෝ වෙන කිසිවකට සමාන රූපයක් හෝ නොසාදන ලෙසටත් ප්‍රවේසම් වන්න. 24 මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගින්නකි, ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. 
25 ”ඔබ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලබා, බොහෝ කාලයක් එම රටෙහි විසූ පසු, නෙළූ පිළිම හෝ යම්කිසි රූපයක් හෝ සාදා පවට වැටෙමින් ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුර කොට උන් වහන්සේ කුපිත කළහොත් 26 මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත. 27 සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය. 28 එහි දී ඔබ හැම ලීයෙන් සහ ගලින් නෙළූ මිනිස් අත්කම්වල ප්‍රතිඵල වන, කිසිත් නොදකින, නොවළඳන, ගඳ සුවඳ නොදැනෙන, දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය. 29 එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. 30 දුක් කරදර ඔබට පැමිණෙන විට, අවසානයේ දී වත් ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී, උන් වහන්සේගේ හඬට අවනත වන්නහු නම්, 31 උන් වහන්සේ දයාවන්ත දෙවි කෙනෙකු බැවින්, ඔබ අත් නොහරින සේක; ඔබ නොවනසන සේක; උන් වහන්සේ ඔබේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ ගිවිසුම අමතක නොකරන සේක. 
32 ”තවද, දෙවියන් වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා සිට මේ දක්වා ගෙවීගිය දීර්ඝ කාලය තුළ වේවා, අහසේ එක් කොණක සිට අනික් කොණ දක්වා වේවා, මෙයාකාර මහා දෙයක් සිදු වූ බවක් හෝ එවැන්නක් ගැන ඇසූ බවක් හෝ දැනගන්නට තිබේ ද? 33 ගින්න මැද සිට කතා කළ දෙවියන් වහන්සේට ඔබ සවන් දුන්නාක් මෙන් කිසියම් සෙනඟක් උන් වහන්සේගේ හඬට සවන් දී ජීවත් ව සිටිත් ද? 34 ඔබ බලා සිටිය දී ම මිසරයේ දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක්, අභියෝග දක්වා, හාස්කම් සහ අරුමපුදුම දේ පා, යුද්ධයෙන් ද, බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් ද මහා බියජනක දේ කර, එක් ජාතියක් තවත් ජාතියක් මධ්‍යයෙන් තෝරාගන්නට වැඩිය සේක් ද? 35 මේ දේ පමණක් පෙන්වන ලද්දේ සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් ඔබ දැනගන්නා පිණිස ය. 36 උන් වහන්සේ ඔබට උපදෙස් දෙනු සඳහා සිය හඬ ස්වර්ගයෙන් ඇසෙන්නට සැලැසූ සේක; මිහි පිට තම මහා ගින්න ඔබට දැක්වූ සේක. ගින්න මැද සිට උන් වහන්සේගේ කට හඬ ඔබට ඇසිණි. 37 ඔබේ පියවරුන්ට උන් වහන්සේ ප්‍රේම කළ නිසා, ඔවුන්ගෙන් පැවත ආ පෙළපත තෝරාගෙන මහා බලය පා මිසර දේශයෙන් උන් වහන්සේ ම ඔවුන් ගෙනා සේක. 38 අද ඔබට අයිති වී තිබෙන හැටියට ඔබ ගෙනැවිත් ඔබට උරුම කොට, ඒ රට දෙන පිණිස ඔබට වඩා ගණනින් විශාල බලවත් ජාතීන්, ඔබට පෙරටුවෙන් පන්නාදැමූ සේක. 39 එබැවින් සමිඳාණන් වහන්සේ ඉහළ ස්වර්ගයෙහිත්, පහළ මිහි පිටත් වැඩ වසන දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් මෙදින වටහාගෙන තරයේ සිතින් මෙනෙහි කරන්න. 40 ඔබට ද ඔබෙන් පසු ඔබේ පෙළපතට ද ශුභසිද්ධිය සැලසෙනු පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හට සදහට ම දානය කරන දේශයෙහි ඔබ දිගායු වළඳන පිණිසත් මා ඔබට අද දින අණ කරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතු ය.”

අභය භූමි

41 ඉන්පසු මෝසෙස් ජොර්දාන් ගඟෙන් මෙගොඩ, නැගෙනහිර දිශාවට නගර තුනක් වෙන් කෙළේ ය. 42 යමෙකු, කලින් වෛරයක් නොදැක්වූ කෙනෙකු අදහස් නොකර මැරුවොත්, එවිට මේ මිනීමරුවා හට මෙකී නගරවලින් එකකට පලා ගොස් ජීවත් විය හැකි ය. 43 මෙලෙස රූබන්ගේ ගෝත්‍රය සඳහා පාළුකරයෙහි තැනිතලා භූමියෙහි පිහිටි බෙශෙර් නගරය ද ගාද්ගේ ගෝත්‍රය සඳහා ගිලියද් දේශයේ රාමොත් නගරය ද මනස්සේගේ ගෝත්‍රය සඳහා බාෂාන් ප්‍රදේශයේ ගෝලාන් නගරය ද ඇති විය.

දේව නීතිය හැඳින්වීම

44 මෝසෙස් ඉශ්රායෙල් ජනයාට දුන් නීතිය මෙය වේ. 45 ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ආ පසු මෝසෙස් දුන් ශික්ෂා පද ද, නීති හා නියෝග ද, අණපණත් ද මේවා ය. 46 මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා එකල සිටියේ ඔවුන් හශේබොන්හි පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ගේ දේශයේ, බෙත්-පෙයොර් නම් ස්ථානය ඉදිරිපිට වූ මිටියාවතෙහි, ජොර්දාන් ගඟෙන් මෙගොඩ ය. 47 ඔව්හු බාෂාන්හි රජු වූ ඕග්ගේ දේශය ද අයිති කරගත්හ. මේ දෙදෙනා ජොර්දාන් ගඟෙන් මෙගොඩ නැගෙනහිර දෙස පදිංචි වූ අමෝරිවරුන්ගේ රජවරු ය. 48 ඔවුන් අයිති කරගත් දේශය අර්ණොන් ගං තෙර පිහිටි අරො‍්යෙර් සිට හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා විහිදිණි. 49 තවද, එම දේශයට ජොර්දාන් ගඟින් නැගෙනහිර මෙගොඩ පිහිටි තැනිතලාවේ සිට මළ මුහුද දක්වා ද, පිස්ගා කන්ද පාමුල දක්වා ද ප්‍රදේශය අයිති විය.

– 5 වන පරිච්ඡේදය –

දස පණත 
(නික්ම: 20:1-17)

1 මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනයා කැඳවා ඔවුන්ට මෙසේ කී ය: ”ඉශ්රායෙල්වරුනි, මෙදින මා ඔබට කියන්නට යන නීති හා නියෝගවලට සවන් දෙන්න. ඔබ ඒවා ඉගෙනගෙන, ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය. 2 අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අප සමඟ ගිවිසුමක් කළ සේක. 3 උන් වහන්සේ මේ ගිවිසුම කෙළේ, අපේ පියවරුන් සමඟ නොව අද දින ජීවත් ව සිටින අප සියල්ලන් ද සමඟ ය. 4 සමිඳාණන් වහන්සේ ගින්න මැද සිට කන්දේ දී මුහුණට මුහුණ ලා ඔබ සමඟ කතා කළ සේක. 5 උන් වහන්සේ වදාළ දේ ඔබට දැන්වීමට මම එකල සමිඳාණන් වහන්සේටත්, ඔබටත් අතර සිටියෙමි. ගින්න නිසා බිය වූයෙන් ඔබ කන්දට නොනැංගහු ය. 
”උන් වහන්සේ මෙසේ වදාළ සේක: 6 ‘මම වනාහි, වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ වෙමි. 
7 ‘මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොවිය යුතු ය. 
8 ‘නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ නුඹ සාදා නොගන්න. 9 නුඹ ඒවාට නමස්කාර නොකරන්න; වැඳුම්පිදුම් නොකරන්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකුන් වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. 10 එහෙත්, මට ප්‍රේම කරමින්, මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි. 
11 ‘නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිත නොකරන්න. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිත කරන්නේ ද ඔහුට උන් වහන්සේ දඬුවම් කරන සේක. 
12 ‘දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ පරිදි සබත් දවස ශුද්ධ ලෙස පැවැත්විය යුතු ය. 
13 ‘දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කරන්න. 14 එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතා වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ ගවයා වත්, කොටළුවා වත්, ගවමහිෂයන් වත්, නුඹේ වාසල් දොරටු සීමා තුළ සිටින ආගන්තුකයා වත් කිසි වැඩක් නොකළ යුතු ය. එවිට නුඹට මෙන් ම නුඹේ සේවක සේවිකාවන්ට ද නිවාඩු ගත හැකි ය. 15 නුඹ මිසර දේශයේ දී වහලෙකු මෙන් සිටි බවත්, දෙවි සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් නුඹ පිටතට ගෙනා බවත් සිහි කළ යුතු ය. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට දෙවි සමිඳාණන් වහන්සේ අණ කෙළේ එබැවින් ය. 
16 ‘දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ පරිදි නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න. එවිට දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹ චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය; නුඹට සෙත සැලසෙනු ඇත. 
17 ‘මිනී නොමරන්න. 
18 ‘කාමමිථ්‍යාචාරය නොකරන්න. 
19 ‘සොරකම් නොකරන්න. 
20 ‘නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියන්න. 
21 ‘නුඹේ අසල්වැසියාගේ භාර්යාවට ඇලුම් නොකරන්න. නුඹේ අසල්වැසියාගේ ගෘහයට හෝ ඔහුගේ කෙතට හෝ ඔහුගේ සේවක සේවිකාවන්ට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ අසල්වැසියා සතු කිසිවකට හෝ තණ්හා නොකරන්න.’ 
22 ”කන්දේ දී ගින්න ද වලා පටලය ද ඝනාන්ධකාරය ද මැද වැඩ සිට මුළු ජනතාව අමතා, මහා හඬකින් සමිඳාණන් වහන්සේ වදාළ වචන මේවා ය. ඒවාට අමතර ව කිසිවක් එකතු නොකොට, ගල් පුවරු දෙකක උන් වහන්සේ ඒවා ලියා මට භාර දුන් සේක.”

කීකරු වීමට සෙනඟ පොරොන්දු වීම 
(නික්ම: 20:18-21)

23 ”කන්ද ගින්නෙන් දැවෙමින් තිබිය දී, අඳුර මැදින් ඔබට කටහඬ ඇසුණු විට, ඔබේ ගෝත්‍රවල ප්‍රධානීන් සියල්ලෝ ද ප්‍රජා මූලිකයෝ ද මා සමීපයට පැමිණ, 24 ‘පුදුමයකි! අපේ දෙවි සමිඳාණන් වහන්සේ සිය තේජශ්‍රීය සහ ශ්‍රේෂ්ඨත්වය අපට පෙන්වා වදාළ සේක. ගින්න මැදින් අපි උන් වහන්සේගේ කටහඬට සවන් දුනිමු. දෙවියන් වහන්සේ මිනිසා සමඟ කතා කළ පසු පවා ඔහුට ජීවත් විය හැකි බව අද අපි දුටිමු. 25 එහෙත්, අප යළි මරණයට මුහුණ දිය යුත්තේ මන් ද? මේ මහා ගින්න අප දවාලන්නට පුළුවන. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අප තවදුරටත් සවන් දුන්නොත් අපට මරණය නියත ය. 26 ගින්න මැදින් කතා කළ ජීවමාන දෙවියන් වහන්සේගේ කඩහඬට අප සවන් දුන්නාක් මෙන් සවන් දී, ජීවත් ව සිටින මිනිසෙක් තවත් සිටී ද? 27 එබැවින් ඔබ ළං වී අප දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සියල්ලට සවන් දෙන්න. ඉන්පසු උන් වහන්සේ ඔබට වදාළ සියල්ල අපට දන්වන්න, අපි ඒවා අසා, ඉටු කරන්නෙමු’යි කී හ. 
28 ”ඔබ මට කතා කළ විට, ඔබේ කටහඬ සමිඳාණන් වහන්සේට ඇසිණි. එවිට උන් වහන්සේ මා අමතා මට මෙසේ වදාළ සේක: ‘මේ සෙනඟ ඔබට කී දේ මට ඇසිණි. ඔවුන් කී සියල්ල හොඳින් කියා ඇත, 29 මට ගරුබිය දැක්වීමටත්, ඔවුන්ටත්, ඔවුන්ගේ පෙළපත්වලටත් සදහට ම ශුභසිද්ධිය සලසන පිණිස මාගේ අණපණත් නිරතුරුව පිළිපැදීමටත් තුඩු දෙන සිතක් ඔවුන් තුළ මෙලෙස ඇත්නම් කෙතරම් වාසනාවක් ද! 30 ඔවුන් වෙත ගොස් ඔවුන්ගේ කූඩාරම් තුළට යන්නට කියන්න. 31 එහෙත්, නුඹ මෙහි මා ළඟ සිටින්න. මා ඔවුන්ට අයිති කොට දෙන්නට යන දේශයෙහි ඔවුන් පිළිපදින පිණිස ඔවුන්ට ඔබ උගැන්විය යුතු සියලු අණපණත් ද, නීති හා නියෝගයන් ද මම ඔබට දන්වන්නෙමි.’ 
32 ”එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබ හැම පිළිපැදිය යුතු ය. ඒ කිසිවකට ඔබ අකීකරු නොවිය යුතු ය. 33 ඔබට දිවි ඇති තාක් ශුභසිද්ධිය වන පිණිසත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි චිරාත් කාලයක් ජීවත් වන පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කරන සියල්ලට කීකරු ව ජීවත් විය යුතු ය.”

– 6 වන පරිච්ඡේදය –

ශ්‍රේෂ්ඨතම ආඥාව

1 ”ඔබ අයිති කරගන්නට යන දේශයෙහි පිළිපැදිය යුතු, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඉගැන්වීමට අණ කළ, අණපණත් ද නීති හා නියෝග ද මේවා ය. 2 ඔබට දිවි ඇති තාක්, ඔබත්, ඔබේ පුත්‍රයාත්, පුත්‍රයාගේ පුත්‍රයාත්, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පාමින්, මා ඔබට අණ කළ උන් වහන්සේගේ සියලු ම නියෝග සහ අණපණත් රක්ෂා කළ යුතු ය. එසේ කළොත්, ඔබ චිරාත් කාලයක් ජීවත් වනු ඇත. 3 එබැවින් ඉශ්රායෙල්වරුනි, සවන් දී ඒවා පිළිපදින්න. එසේ කළොත්, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයෙහි ඔබට ශුභසිද්ධිය සැලසෙනු ඇත; ගණනින් ඔබ බහුල ව වර්ධනය වනු ඇත. 
4 ”ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න, අපේ සමිඳාණන් වහන්සේ ම පමණක් දෙවියන් වහන්සේ වන සේක. 5 දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද ඔබේ මුළු වීර්යයෙන් ද ප්‍රේම කළ යුතු ය. 6 අද දින මා ඔබට දෙන මේ අණපණත් සිතේ ධාරණය කරගත යුතු ය. 7 ඔබේ දරුදැරියන්ට ඒවා ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාරේ යන එන විට ද, සැතපෙන විට ද, අවදි වන විට ද ඒවා ගැන ඔවුන්ට කතා කළ යුතු ය. 8 අතේ ලකුණක් වනු පිණිස ද, නළල මත පටියක් වන පිණිස ද ඒවා බැඳ ගන්න. 9 ගෙදර උළුවහුවල සහ දොරටුවේ ඒවා ලියා තබන්න.”

අකීකරු නොවීමට උපදෙස්

10 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්නට දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ගෙනා පසු උන් වහන්සේ ඔබ ඉදි නොකළ, විශාල දියුණු නගර ඔබට දානය කරන සේක. 11 ඔබ නොපිරෙවූ, හොඳ හොඳ දේවලින් පිරුණු ගෙවල් ද, ඔබ නොකැණූ ළිං ද, ඔබ නොවැවූ මිදි උයන් සහ ඔලීව ගස් ද එහි වනු ඇත. ඔබ ඒවා භුක්ති විඳ තෘප්තිමත් වූ පසු 12 වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ අමතක නොකරන්නට වගබලාගන්න. 13 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ගරුබිය පෑ යුතු ය. උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය. 14 ඔබ අවට සිටින සෙනඟගේ අනිකුත් දෙවි දේවතාවන්ට ඔබ නමස්කාර නොකළ යුතු ය. 15 ඔබ එලෙස කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු බැවින්, උන් වහන්සේගේ කො‍්පය ඔබට විරුද්ධ ව ඇවිළී උන් වහන්සේ ඔබ මිහිතලයෙන් වනසාලන්නට පුළුවන. 
16 ”මස්සා නම් ස්ථානයේ දී ඔබ දෙවි සමිඳාණන් වහන්සේ පරීක්ෂා කළාක් මෙන් උන් වහන්සේ පරීක්ෂා නොකරන්න. 17 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ අණපණත් ද ශික්ෂා පද ද නීති හා නියෝග ද උනන්දුවෙන් පිළිපැදිය යුතු ය. 18 ඔබට සෙත සැලසෙන ලෙස සමිඳාණන් වහන්සේ කියන පරිදි සාධාරණ වූ ද, යහපත් වූ ද දේ කරන්න. එවිට උන් වහන්සේ ඔබේ පියවරුන්ට පොරොන්දු වූ සරුසාර රටට ඔබ ඇතුල් වී එය අයිති කරගැනීමට ද, 19 උන් වහන්සේ වදාළ පරිදි සතුරන් පන්නා දැමීමට ද ඔබට හැකි වනු ඇත. 
20 ”මතු කාලයක දී ඔබේ පුතු ඔබ අමතමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ශික්ෂා පදවල ද නීති හා නියෝගවල ද තේරුම කුමක් දැ’යි ඇසුවොත්, 21 ඔබ ඔහුට පිළිතුරු දෙමින් මෙසේ කිව යුතු ය: ‘මිසරයේ දී අපි පාරාවෝ රජුගේ වහලුන් මෙන් සිටියෙමු. එහෙත්, සමිඳාණන් වහන්සේ තම බාහු බලය පාමින් මිසරයෙන් අප ගෙනා සේක. 22 තවද, උන් වහන්සේ අප බලා සිටිය දී ම මිසර දේශයට, එනම් පාරාවෝ රජු හා ඔහුගේ ගෙවැසියන් හට අති බියජනක හාස්කම් සහ අරුමපුදුම දේ පමුණුවා 23 උන් වහන්සේ අපේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ රට අපට දීම සඳහා එහි අප ඇතුල් කිරීමට, මිසරයෙන් පිටතට අප ගෙනා සේක. 24 තවද, අපට නිරතුරු සෙත සලසන පිණිස මේ නියෝග සියල්ල පිළිපැදීමටත්, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමටත් අපට අණ කළ සේක. එසේ කළොත්, අද දවසේ මෙන් උන් වහන්සේ අප පණපිටින් රකින සේක. 25 අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි මේ අණපණත් සියල්ල අප ඉටු කළොත් එය අපට යුතු මාර්ගය වනු ඇතැ’යි කිව යුතු ය.”

– 7 වන පරිච්ඡේදය –

සමිඳුන්ගේ විශේෂ ජනතාව 
(නික්ම: 34:11-16)

1 ඔබ අයිති කරගන්නට යන දේශයට ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබ පැමිණෙවූ කල, ඔබ ඉදිරියට යන විට ඔබට වඩා ගණනින් විශාල, බලවත් ජාතීන් හතක් වන හිත්තීවරුන් සහ ගිර්ගාෂිවරුන් ද, අමෝරිවරුන් සහ කානානිවරුන් ද, පෙරෙස්සිවරුන් සහ හිවීවරුන් ද, ජෙබුසිවරුන් ද උන් වහන්සේ පලවා හරින සේක. 2 උන් වහන්සේ ඔබට ඔවුන් පාවා දුන් පසු ඔබ ඔවුන්ට පහර දී සහමුලින් ම ඔවුන් වැනසිය යුතු ය. ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර නොගත යුතු ය. ඔවුන්ට දයාවක් නොපෙන්විය යුතු ය. 3 ඔවුන් සමඟ සරණබන්ධන ඇති කර නොගත යුතු ය. ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන් හට විවාහ කර නොදිය යුතු ය. ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන් හට ආවාහ කර නොගත යුතු ය. 4 එසේ කළොත්, අන් දෙවි දේවතාවන් හට වැඳුම්පිදුම් කරනු පිණිස, මා අනුගමනය කිරීමෙන් ඔව්හු ඔබේ පුත්‍රයන් වළක්වන්නො‍් ය. එවිට සමිඳාණන් වහන්සේගේ කෝපය ඔබට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ විගස ඔබ වනසාලනු ඇත. 5 ඔබ ඔවුන්ට මෙලෙස කළ යුතු ය. ඔවුන්ගේ පූජාසන කඩාදමා, රූපස්තම්භ බිඳදමා, අෂේරා කප් කණු කපාදමා, නෙළූ දේව රූප ගින්නේ දැවිය යුතු ය. 6 මෙසේ කළ යුත්තේ, ඔබ වනාහි දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ ශුද්ධ සෙනඟක් වන බැවිනි. පොළො‍් තලයෙහි සිටින සියලු සෙනඟ අතරෙන් තමන් වහන්සේට ම විශේෂ වූ සෙනඟක් මෙන් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක. 
7 ”සමිඳාණන් වහන්සේ ඔබට ප්‍රේම කෙළේත්, ඔබ තෝරාගත්තේත්, අන් සෙනඟකට වඩා ඔබ ගණනින් බහුල වූ නිසා නොවේ. ඔබ වනාහි සියලු සෙනඟ අතරෙන් ඉතා ම කුඩා ජනතාවකි. 8 එහෙත්, සමිඳාණන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවිනුත්, ඔබේ පියවරුන්ට උන් වහන්සේ දිවුළ පොරොන්දුව ඉටු කිරීමට කැමැති වූ බැවිනුත්, උන් වහන්සේ සිය බාහු බලය පෙන්වා, ඔබ මුදාගෙන අවුත්, මිසර රජ වූ පාරාවෝ ඔබ බැඳ සිටි වහල්කමේ බැමිවලින් ඔබ ගළවා ලූ සේක. 9 එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ විශ්වාසවන්ත දෙවි කෙනෙකු බවත් දැනගන්න. උන් වහන්සේට කරුණාව පාමින්, උන් වහන්සේගේ අණපණත් පිළිපදින අයට පරම්පරා දහසක් දක්වා උන් වහන්සේත් ගිවිසුම ඉටු කරමින් ස්ථීර ප්‍රේමය දක්වන සේක. 10 උන් වහන්සේට වෛර කරන්නන් වනසාලමින්, ඔවුන්ගේ මුහුණ ඉදිරිපිට ම ඔවුන්ට විපාක දෙන සේක. උන් වහන්සේට වෛර කරන්නන්ට මුහුණ ඉදිරිපිට දී ම විපාක දීමට උන් වහන්සේ ප්‍රමාද නො වන සේක. 11 එබැවින් මා ඔබට අද දින නියම කරන අණපණත් ද, නීති හා නියෝග ද ආරක්ෂා කරමින් ඔබ ඒවා පිළිපැදිය යුතු ය.”

කීකරු වීමේ ආශීර්වාද 
(ද්වි: නී: ස: 28:1-14)

12 ”ඔබ මේ නියෝගයන්ට සවන් දී, ඒවා ආරක්ෂා කොට, පිළිපදින්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ගිවිසුම ඉටු කරන සේක. ඔවුන්ට පෙන්වූ කරුණාව ඔබටත් පෙන්වන සේක. 13 තවද උන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයේ දී, ඔබට ප්‍රේම කොට, ආසිරි දී, වැඩි වර්ධනය කරන සේක. ඔබට ලැබෙන දරු පරපුරට ද රටේ පලදාවට ද ධාන්‍යවලට ද මිදියුසට හා තෙල්වලට ද ආසිරි දෙන සේක. ඔබේ ගවමහිෂයන් ද බැටළු පට්ටි ද ගණනින් බහුල කරන සේක. 14 සියලු මනුෂ්‍යයන්ට වඩා ඔබ ආසිරි ලබනු ඇත. ඔබ අතර ස්ත්‍රී පුරුෂයන් හෝ ගවමහිෂයන් හෝ වඳ නොවනු ඇත. 15 සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් සියලු ලෙඩ දුක් දුරු කරනු ඇත. ඔබ දන්නා වූ, මිසරයේ තිබුණ, කිසි භයානක රො‍්ගයක් ඔබ වෙත නොපැමිණෙනු ඇත. ඔබට වෛර කරන්නන් මත ඒවා උන් වහන්සේ එවන සේක. 16 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පාවා දෙන සියලු සෙනඟ වනසා දැමිය යුතු ය. ඔබ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොදැක්විය යුතු ය. ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් නොකළ යුතු ය. එසේ කළොත්, එය ඔබට මලපතක් වනු ඇත. 
17 ” ‘මේ ජාතීහු අපට වඩා බහුල ය. අප ඔවුන් පන්නා දමන්නේ කෙසේ දැ’යි ඔබට සිතෙන විට 18 ඔවුන්ට බිය නොවන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පාරාවෝ රජුට හා මුළු මිසරයට කළ දේවල් ද, 19 ඔබේ ම ඇසින් ඔබ දුටු භයානක වසංගත ද, හාස්කම් හා අරුමපුදුම දේ ද හොඳින් සිහි කරන්න. දෙවි සමිඳාණන් වහන්සේ ඔබ මුදාලීමට යෙදු බාහු බලය ද, දිගු කළ හස්තය ද සිහි කරන්න. ඔබ බිය වන්නේ යම් සෙනඟකට ද ඔවුන් සියල්ලන්ට ම උන් වහන්සේ පෙර සේ ම කරන සේක. 20 ඔබෙන් ගැළවී, සැඟවුණු අය වනසාලන තෙක්, දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් වෙත දෙබරුන් එවන සේක. 21 ඔබ ඔවුන්ට බිය නොවිය යුතු ය. ඔබ අතර වැඩ සිටින ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බලවත්, බිය උපදවන දෙවි කෙනෙකු වන සේක. 22 ඔබ ඉදිරියට යන විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ටිකින් ටික, ඒ ජාතීන් නෙරපා දමනු ඇත. ඔබ ඔවුන් එක වර ම වනසාලිය යුතු නොවේ. මන්ද, එසේ කළොත් වන මෘගයෝ ඔබට විරුද්ධ ව වැඩි වන්නො‍් ය. 23 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඔවුන් පාවා දෙනු ඇත. ඔවුන් නැත්තට ම නැති වන තෙක් මහා විපත්ති පමුණුවා ඔවුන් වනසාලන සේක. 24 උන් වහන්සේ ඔවුන්ගේ රජවරුන් ඔබේ බලයට පාවා දෙනු ඇත. ඔබ ද ඔවුන්ගේ නම මිහි පිටින් මකා දැමිය යුතු ය. ඔබ ඔවුන් වනසාලන විට කිසිවෙකුට ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට නොහැකි වනු ඇත. 25 ඔබ ඔවුන්ගේ දෙවි දේවතාවන්ගේ නෙළූ පිළිම ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය. ඒ පිළිම මත ඇති රිදීවලට හෝ රන්වලට හෝ ආසා නොකළ යුතු ය. ඔබේ ප්‍රයෝජනයට ඒවා නොගත යුතු ය. එසේ කළොත් ඒවා ඔබට මලපතක් විය හැකි ය. මේ සියල්ල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුල් ය. 26 මෙවැනි පිළිකුල් දේ ඔබේ ගෙදරට ද නොගත යුතු ය. එසේ කළොත්, ඔබත් ඒවා හා සමාන සාප ලත් දෙයක් වනු ඇත. ඒ පිළිම සාප ලත් ඒවා බැවින් ඔබ ඒවා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කොට හෙළා දැකිය යුතු ය.”

 

– 8 වන පරිච්ඡේදය –

ඔබට හිමි වන සාර භූමිය

1 ”සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ඇතුළු වී එහි ඔබ ජීවත් වී, ගණනින් වැඩි වී, එය අයිති කරගනු පිණිස මා අද දින ඔබට නියම කරන සියලු අණපණත් ඔබ රක්ෂා කරමින් පිළිපැදිය යුතු ය. 2 තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න. 3 උන් වහන්සේ ඔබ යටහත් බවට පමුණුවා සාගින්නෙන් යන්නට හැරිය සේක. ඉන්පසු ඔබ වත්, ඔබේ පියවරුන් වත් නොදත් ‘මන්නා’ නමැති කෑමෙන් ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ මෙසේ කෙළේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව සමිඳාණන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචනවලින් බව ඔබට උගන්වනු පිණිස ය. 4 ඒ අවුරුදු සතළිස තුළ ඔබ ඇඳ සිටි ඇඳුම් පරණ නො වී ය, ඔබේ පාද ඉදිමුණේ නැත. 5 පියෙකු තම පුතා හික්මවන්නා සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ද ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතු ය. 6 එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් පිළිපදිමින් උන් වහන්සේගේ මාර්ගයෙහි යමින් ගරුබිය පෑ යුතු ය. 7 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන සේක. ඒ වනාහි දිය ඇළවලින් ද, මිටියාවතින් සහ කඳුකරයෙන් පැන නඟින දිය උල්පතින් සහ පොකුණුවලින් ද ගහණ වූ රටකි. 8 එය තිරිඟු සහ යව ද, මිදි ද අත්තික්කා හා දෙළුම් ද, ඔලීව ද, තෙල් හා මී පැණි ද ඇති රටකි. 9 හිඟයක් නැතිව කෑමට ආහාර ද, ඔබට අවශ්‍ය සියල්ල ද ඇති රටකි. එහි පර්වතවල යබොර ඇත, එහි කඳුවැටියෙන් තඹ කැණගන්නට පුළුවන. 10 ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් සරුසාර රට උදෙසා උන් වහන්සේට ස්තුති පිදිය යුතු ය.”

සමිඳාණන් වහන්සේ අමතක නොකිරීම

11 ”මම අද දින ඔබට අණ කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ද නීති හා නියෝග ද නොපිළිපැදීමෙන් උන් වහන්සේ අමතක නොකරන ලෙස වගබලාගන්න. 12 ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වී, හොඳ ගෙවල් තනා, ඒවායේ පදිංචි වූ පසු ද, 13 ඔබේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි ගණනින් බහුල වී, රන් රිදී වැඩි වී, ඔබ සතු සියල්ල වර්ධනය වු පසු ද 14 ඔබ හිස උදුම්මා නොගෙන, වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක නොකරන්න. 15 විසකුරු සර්පයන්ගෙන් හා ගෝනුස්සන්ගෙන් ගහණ වූ මහා භයානක පාළුකරය ඔස්සේ උන් වහන්සේ ඔබ ගෙන ගිය සේක. නියඟය පැවති, වතුර නැති ස්ථානවල දී කළුගල් පර්වතයෙන් ඔබට වතුර ලබා දුන් සේක. 16 පාළුකරයේ දී ඔබේ පියවරුන් පවා නොදත්, ‘මන්නා’ නමැති ආහාරයකින් උන් වහන්සේ ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ එසේ කෙළේ ඔබ යටහත් බවට පමුණුවා, ඔබ සෝදිසි කොට, අන්තිමේ දී ඔබට සෙත සලසනු සඳහා ය. 17 ‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න. 18 ඔබට ධන සම්පත උපයාගැනීමට බල පුළුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතු ය. උන් වහන්සේ එසේ කරන්නේ, අද පවතින පරිදි උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ගිවිසුම ඉටු කරන පිණිස ය. 19 ඔබ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කොට, අන් දෙවි දේවතාවන් පසුපස යමින් ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කළොත්, ඔබ ඇත්තට ම නැසීවැනසී යන බව මම අද සහතික කොට කියමි. 20 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු නො වූ වොත්, සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට දී ම ජාතීන් විනාශ කළාක් මෙන්, ඔබ ද විනාශ කරන සේක.”

 

– 9 වන පරිච්ඡේදය –

සමිඳුන්ගේ පොරොන්දුව

1 ”ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න. ඔබ අද දින ජොර්දාන් ගඟින් එතෙර වී යා යුතු ය. ඔබ යා යුත්තේ, ගණනින් ඔබට වඩා විශාල වූ ද බලසම්පන්න වූ ද ජාතීන්ගේ රටවල් හා අහස් කුස දක්වා නඟින පවුරුවලින් වට වූ විශාල නගර ආක්‍රමණය කරනු පිණිස ය. 2 ඒවායේ ඇත්තේ, අනාක්වරුන්ගේ පෙළපතට අයිති ගණනින් විශාල සෙනඟකි. ඔව්හු ඉතා උස මහත මිනිස්සු ය. ඔවුන් ගැන ඔබ දන්නහු ය. ‘අනාක්ගේ සෙනඟට විරුද්ධ ව නැඟිට සිටින්නට හැක්කේ කාට දැ’යි යන කීම ද ඔබ අසා ඇත. 3 එබැවින් අද දින ඔබ මෙය වටහාගත යුතු ය. ඔබට පෙරටුවෙන් වඩින තැනැන් වහන්සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. බුර බුරා නඟින ගින්නකින් මෙන් උන් වහන්සේ ඔවුන් වනසාලනු ඇත. ඔබ බලා සිටිය දී ම උන් වහන්සේ ඔවුන්ගේ බලය බිඳිනු ඇත. එවිට උන් වහන්සේ වදාළ පරිදි ඔබ ඔවුන් පන්නාදමා, විගස වනසාදමනු ඇත. 
4 ”ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් නෙරපා දැමූ පසු, ‘සමිඳාණන් වහන්සේ මේ රට මට අයිති කර දීමට මා ගෙනාවේ මාගේ දැහැමිකම නිසා ය’යි නොසිතන්න. එසේ නොව ඔබ ඉදිරියට යන විට උන් වහන්සේ ඔවුන් පන්නා දැමුවේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය. 5 ඔවුන්ගේ රට ඔබ අයිති කරගන්නට යනුයේ ඔබේ දැහැමිකම නිසා වත්, ඔබේ සිත්හි අවංකකම නිසා වත්, නො වේ. එසේ නොව, ඔබ යන විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් පන්නා දමනුයේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය. මෙසේ කිරීමෙන් ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට සමිඳාණන් වහන්සේ දිවුළ වචනය ඉටු කරන සේක. 6 එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සාර භූමිය ඔබට අයිති කර දෙනුයේ ඔබේ දැහැමිකම නිසා නොවන බව තේරුම්ගන්න. මන්ද, ඔබ වනාහි මුරණ්ඩු සෙනඟකි.”

සෙනඟ කැරලි ගැසීම

7 ”පාළුකරයේ දී ඔබ දෙවි සමිඳාණන් වහන්සේ කුපිත කළ අන්දම අමතක නොකොට සිතේ තබාගන්න. මිසර දේශයෙන් පිටත් වූ දා සිට මෙතැනට එන තෙක් ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය. 8 හොරෙබ් කන්දේ දී පවා ඔබ උන් වහන්සේ කුපිත කළහු ය. එවිට ඔබ වනසාලන තරමට පවා උන් වහන්සේ ඔබ සමඟ කිපුණ සේක. 9 සමිඳාණන් වහන්සේ ඔබ සමඟ පිහිටෙවූ ගිවිසුම සටහන් කළ ගල් පුවරු ලබාගැනීම සඳහා මම කන්දට නැඟ එහි දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් නැවතී සිටියෙමි. එකල මම කිසිත් නොකා නොබී සිටියෙමි. 10 එවිට දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු දෙක සමිඳාණන් වහන්සේ මට භාර දුන් සේක. ජනතාව රැස් කළ දිනයෙහි ගින්න මැද සිට සමිඳාණන් වහන්සේ කන්දේ දී ඔබ සමඟ කතා කළ සියල්ල ම එහි සටහන් කර තිබිණි. 11 තවද, දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් ගෙවී ගිය පසු සමිඳාණන් වහන්සේ ගිවිසුම ලියා තිබූ ගල් පුවරු දෙක මට දුන් සේක. 
12 ”එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට, ඉක්මනට කන්දෙන් බැස යන්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන ඇත. මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔවුන් විගස අන් අතකට හැරී ගොස්, තමන්ට ම වාත්තු කළ පිළිමයක් සාදාගෙන ඇතැ’යි වදාළ සේක. 
13 ”උන් වහන්සේ තවදුරටත් මට කතා කොට, ‘මම මේ සෙනඟ දැන අඳුනමි. ඔවුන් මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ. 14 මිහි පිටින් ඔවුන්ගේ නම මකා දමා, ඔවුන් වනසාලනු පිණිස මට ඉඩ හරින්න. එහෙත්, මම නුඹගෙන්, ඔවුන්ට වඩා බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් පිහිටුවමි’යි වදාළ සේක. 
15 ”මම ද ආපසු හැරී කන්දෙන් බැස ආවෙමි. කන්ද ගින්නෙන් දැවි දැවී තිබිණි. ගිවිසුමේ ගල් පුවරු දෙක ද මා දෑතෙහි විය. 16 මම ද බලන විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ පව් කර තිබෙන බවත්, ඔබට ම වාත්තු කළ පිළිමයක් තනාගෙන තිබෙන බවත් දිටිමි. සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ විගස අන් අතකට හැරී තිබිණි. 17 ඔබේ ඇස් ඉදිරියෙහි ම, මම ගල් පුවරු දෙක ගෙන, දෑතින් ම විසිකොට බිඳ දැම්මෙමි. 18 එවිට මම කලින් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තළා වැඳ වැටී කිසිත් නොකා නොබී සිටියෙමි. මා එසේ කෙළේ ඔබ බොහෝ සේ පව් කොට, උන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ලෙස හැසිරෙමින්, උන් වහන්සේ කුපිත කළ බැවිනි. 19 ඔබ වනසාලනු පිණිස උන් වහන්සේ උදහස් වීම ගැනත්, ඔබ කෙරෙහි වූ තද අප්‍රසන්න ගතිය සහ කෝප වීම ගැනත් මම බිය වුණෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ අවස්ථාවේ දී පවා මට සවන්දුන් සේක. 20 සමිඳාණන් වහන්සේ ආරොන් ද විනාශ කරන පිණිස ඔහුට විරුද්ධ ව ඉතා උදහස් ව සිටි සේක. මම ඒ අවස්ථාවේ දී ඔහු උදෙසාත් යාච්ඤා කෙළෙමි. 21 මම ද ඔබේ පාපිෂ්ට දේ වන ඔබ සැදූ වස්සා ගෙන, ගින්නෙන් දවා පුළුස්සා, කොටා, දූවිලි හා සමාන කුඩක් වන තෙක් ඌ හොඳට අඹරා, ඒ දූවිලි කන්දෙන් ගලා ගිය දිය පාරට දැමීමි. 
22 ”තවද, ඔබ තාබෙරා, මස්සා සහ කිබ්‍රොත්-හත්තාවා යන ස්ථානවල දී සමිඳාණන් වහන්සේ කුපිත කළහු ය. 23 සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් ඔබ යවමින්, ‘මා නුඹට දුන් දේශයට ඇතුල් වී, එය අයිති කරගත යුතු ය’ කියා කී විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව ඔබ කැරලි ගසා, උන් වහන්සේ අවිශ්වාස කොට, උන් වහන්සේගේ හඬට සවන් නුදුන්නහු ය. 24 මා ඔබ දැනගත් දා සිට ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය. 
25 ” ‘සමිඳාණන් වහන්සේ වන මම ඔබ වනසමි’යි වදාළ බැවින් මම උන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තලා වැටී සිටියෙමි. 26 මම ද සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඔබ බාහු බලය පාමින් මිසරයෙන් පිටතට ගෙනා, ඔබේ බලසම්පන්න භාවය පෙන්වා ඔබ මුදාගත්, ඔබේ උරුමයත්, සෙනඟත් විනාශ නොකළ මැනව. 27 ඔබේ දාසයන් වන ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සිහි කළ මැනව. මේ සෙනඟගේ මුරණ්ඩුකම හෝ ඔවුන්ගේ දුෂ්ටකම හෝ පාප හෝ ඔබ නොසැලකුව මැනව. 28 එසේ නැත්නම්, සමිඳාණන් වහන්සේ වන ඔබ ඔවුන්ට පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන ඊමට ඔබට නොහැකි වූ නිසාත්, ඔබ ඔවුන්ට වෛර කළ නිසාත්, ඔවුන් මරා දමනු පිණිස මේ පාළුකරයට ගෙනා සේකැ යි, මිසර වාසීන් කියනු ඇත. 29 මේ සෙනඟ වනාහි, ඔබ මහා බලය පාමින් ඔබේ දිගු කළ හස්තයෙන් ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ උරුමය සහ ඔබේ ම සෙනඟ ය’යි කීවෙමි.”

 

– 10 වන පරිච්ඡේදය –

‍‍මෝසෙස් යළි ආඥා ලබාගැනීම 
(නික්ම: 34:1-10)

1 ”එකල සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘කලින් තිබුණු ගල් පුවරු මෙන් ගල් පුවරු දෙකක් කපාගෙන මා වෙත කන්ද මුදුනට අවුත් ලීයෙන් කරඬුවක් සාදන්න, 2 නුඹ බිඳ දැමූ පළමු පුවරුවල තිබූ වචන මේ පුවරුවල නැවත මම ලියන්නෙමි. නුඹ ඒවා කරඬුව තුළ දැමිය යුතු ය’යි වදාළ සේක. 
3 ”මම ද ෂිටිම් ලීයෙන් කරඬුවක් සාදා, කලින් තිබූ පුවරු හා සමාන ගල් පුවරු දෙකක් කපාගෙන ඒ පුවරු දෙක අතට ගෙන කන්දට නැංගෙමි. 4 එවිට උන් වහන්සේ රැස්වීම පැවැත්වූ දින ගින්න මැද සිට කන්දේ දී ඔබට සමිඳාණන් වහන්සේ වදාළ දස පණත කලින් ලියූ පරිදි ගල් පුවරු මත ලියූ සේක. මෙසේ ලියා මට දුන් පසු 5 මම ආපසු හැරී, කන්දෙන් බැස අවුත් මා සැදූ කරඬුව තුළ ඒවා දැමුවෙමි. උන් වහන්සේ මට අණ කළ පරිදි ඒවා අද දක්වා එහි ඇත. 
6 ”ඉශ්රායෙල් ජනයා බෙනේ-ජාකන් නම් ස්ථානයේ සෙනඟට අයිති ළිං තිබූ තැනින් නික්ම මොසේරා දක්වා ගමන් ගත්හ. එහි දී ආරොන් මරණයට පත් වූයෙන් එහිම භූමදාන කරන ලදී. ඔහු වෙනුවට ඔහුගේ පුත් එලෙයාසර් පූජක නිලයේ සේවය කෙළේ ය. 7 එතැනින් ඔව්හු ගුද්ගොදා නම් ස්ථානයට ද මෙතැනින් ජලය බහුල ව තිබූ ජොත්බාතා නම් රටට ද පිටත් ව ගියහ. 8 එකල සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යනු සඳහා ද උන් වහන්සේ ඉදිරියෙහි සේවය කිරීමට ද සිය නාමයෙන් ආශීර්වාදය පැවසීමට ද අද දක්වා ම පැවත එන පරිදි ලෙවීගේ ගෝත්‍රයේ ජනයා පත් කළ සේක. 9 එබැවින් ලෙවීගේ ගෝත්‍රයේ ජනයාට ඔහුගේ සොහොයුරන්ගේ ගෝත්‍රවල අයට මෙන් රටින් කොටසක් උරුම වී නැත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔවුන්ගේ උරුම කොටස සමිඳාණන් වහන්සේ ම වන සේක. 
10 ”මම පළමුවෙන් කළාක් මෙන් දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් කන්ද මත නැවතී සිටියෙමි. එවිට පවා උන් වහන්සේ මට සවන් දී ඔබ විනාශ නොකිරීමට එකඟ වූ සේක. 11 උන් වහන්සේ මා අමතා, ‘නුඹේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයට ඇතුළු වී එය අයිති කරගනු පිණිස, නැඟිට සෙනඟට පෙරටුවෙන් යන්නැ’යි වදාළ සේක.”

කීකරු වීමට දේව අණ

12 ”දැන් ඉතින් ඉශ්රායෙල් ජනයෙනි, දෙවි සමිඳාණන් වහන්සේට ඔබෙන් උවමනා වී ඇත්තේ කුමක් ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමත්, උන් වහන්සේගේ සියලු මාර්ගවල යෑමත්, උන් වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමත්, 13 මා අද දින ඔබේ ශුභසිද්ධිය තකා ඔබට අණ කරන උන් වහන්සේගේ අණපණත්, නීති හා නියෝග පිළිපැදීමත් ය. 14 බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය. 15 එහෙත්, උන් වහන්සේ ඔබේ පියවරුන්ට ඉමහත් ප්‍රේමයක් දක්වමින් ඔවුන්ගෙන් පසු, අද පවතින පරිදි, ඔවුන්ගේ පෙළපත වන ඔබ ද අන් සියලු ජාතීන් අතරින් තෝරාගත් සේක. 16 එබැවින් ඔබේ සිත් සතන්හි පාප මල කපා හැර, මින්පසු මුරණ්ඩු නොවන්න. 17 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දේවාතිදේව ය. ස්වාමිවරුන්ගේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ මහා බලසම්පන්න, බිය උපදවන සුලු, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, අල්ලස් නොගන්න දෙවියන් වහන්සේ ය. 18 උන් වහන්සේ අනාථ වූවන්ට සහ වැන්දඹුවන්ට යුක්තිය ඉටු කරන සේක. ආගන්තුකයන් හට කෑම, ඇඳීම දෙමින් ප්‍රේමය දක්වන සේක. 19 බැවින්, ඔබ ද මිසර දේශයෙහි ආගන්තුකයන් ව සිටි බැවින්, මොවුන්ට ප්‍රේමය දක්වන්න. 20 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ඔබ ගරුබිය දක්වමින් උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේට පමණක් ඇළුම් ව සිටිය යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය. 21 ඔබ ප්‍රශංසා කළ යුත්තේ, බල බලා සිටිය දී ම මේ මහා භයානක දේවල් ඔබ උදෙසා ඉටු කළ, ඔබේ දෙවියන් වහන්සේට ය. 22 ඔබේ පියවරුන් මිසර දේශයට යන විට සිටියේ හැත්තෑදෙනෙකි. එහෙත්, දැන් නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අහසේ තරු මෙන් ගණනින් ඔබ වැඩි වර්ධනය කර ඇත.”

 

– 11 වන පරිච්ඡේදය –

සමිඳාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය

1 ”ඔබ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, නිතර ම උන් වහන්සේගේ අනුශාසනා ද නීති නියෝග සහ අණපණත් ද පිළිපැදිය යුතු ය. 2 අද දින මෙය දැනගන්න. මා කතා කරන්නේ ඒවා නොදත් ඔබේ දරුවන් සමඟ නොව ඔබ සමඟ ය. ඔබේ දරුවෝ වනාහි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවූ දඬුවම් ද, උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ බාහු බලය ද, දිගු කළ හස්තය ද, 3 මිසරයේ රජ වූ පාරාවෝට සහ ඔහුගේ මුළු රටටත්, මිසරය මැද කළ හාස්කම් සහ ප්‍රබල ක්‍රියා ද, 4 මිසරයේ හමුදාවටත් ඔවුන්ගේ අශ්වයන්ට සහ රථවලටත් උන් වහන්සේ කළ දේ ද, ඔවුන් ඔබ ලුහුබැඳ යද්දී රතු මුහුදේ වතුර ඔවුන් මත ගලා යෑමට සලස්වා ඔවුන් සහමුලින් ම වැනසූ අන්දම ද, 5 ඔබ මේ ස්ථානයට එන තෙක් පාළුකරයේ දී උන් වහන්සේ ඔබට කළ දේ ද, 6 රෑබන්ගේ පුත් එලියාබ්ගේ පුත්‍රයා වන දාතාන්ට සහ අබිරාම්ට කළ දේ ද, මුළු ඉශ්රායෙල් ජනයා මැද පොළොව විවර වී ඔවුන් ද ඔවුන්ගේ ගෙවැසියන් ද කූඩාරම් ද ඔවුන් සතු සියලු සම්පත ද ගිලගත් ආකාරය ද නුදුටුවහු ය. 7 එහෙත්, සමිඳාණන් වහන්සේ කළ සියලු ප්‍රබල ක්‍රියා ඔබේ දෙනෙතින් ඔබ දුටුවහු ය.”

පොරොන්දු දේශයේ ආශීර්වාද

8 ”එබැවින් මා ඔබට අද දින නියම කරන සියලු අණපණත් ඔබ පිළිපැදිය යුතු ය. එසේ කළොත්, ඔබ ශක්තිමත් වී, හිමි කරගන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගනු ඇත. 9 සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ටත්, ඔවුන්ගේ පෙළපතටත් දෙන්නට පොරොන්දු වූ කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඒ දේශයෙහි ඔබට චිරාත් කාලයක් ජීවත් වීමට හැකි වනු ඇත. 10 ඔබ අයිති කරගන්නට යන දේශය ඔබ නික්ම පැමිණි මිසර දේශය මෙන් නොවේ. මිසරයේ නම් වැපුරුවායින් පසු, එළවළු වත්තකට මෙන් ජල රො‍්දයක් පෑගීමෙන් ජලය සැපයීම කළ යුතුව තිබුණි. 11 එහෙත්, ඔබ අයිති කරගන්නට යන රට, අහසින් වහින වැහි වතුර උරා බොන කඳුවැටිවලින් හා නිම්නවලින් යුත් එකකි. 12 එය ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සලකන රටකි, අවුරුද්දේ මුල සිට අග දක්වා උන් වහන්සේගේ බැල්ම නිතර ම ඒ රට කෙරෙහි යොමු ව පවතී. 
13 ”අද දින මා ඔබට නියම කරන අණපණත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්, 14 ඔබේ දේශයට නියම කාලය වන සරත් කාලයේ දී සහ වසන්තයේ දී වැසි වස්වනු ඇත. එවිට ඔබට ඔබේ ධනධාන්‍ය ද මිදිපල ද තෙල් ද එකතු කරගත හැකි ය. 15 ඔබේ ගවමහිෂයන් සඳහා කෙත්වල තණ වැවෙන්නට ද සලස්වනු ඇත. ඔබට කෑම කා තෘප්තිමත් වීමට හැකි වනු ඇත. 16 එහෙත්, අන් මඟක ගොස්, අන් දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරන සේ නොරැවටෙන්නට වගබලාගන්න. 17 ඔබ එසේ නොකළොත්, ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිලෙනු ඇත. වැසි නොවස්නා පිණිස ද, පොළොවෙන් පලදාව ඇති නොවන පිණිස ද උන් වහන්සේ අහසේ වැහි කවුළු වසා දමන සේක. එවිට උන් වහන්සේ ඔබට දෙන සාර භූමියෙහි ඔබ විගස මියයනු ඇත. 
18 ”එබැවින් ඔබ හැම මාගේ මේ වචන ඔබේ හදවතෙහි ද සිතෙහි ද තැන්පත් කරගත යුතු ය. ඔබේ අත්වල ලකුණක් මෙන් ද ඔබගේ නළල මත පටි මෙන් ද ඒවා බැඳගත යුතු ය. 19 ඒවා ඔබේ දරුදැරියන්ට ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාරේ යන එන විට ද, සැතපෙන විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කළ යුතු ය. 20 ඒවා ඔබේ ගෙදර උළුවහුවල ද දොරටුවේ ද සටහන් කළ යුතු ය. 21 එසේ කළොත්, සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට පොරොන්දු වූ දේශයෙහි ඔබේ ආයු කාලයත් ඔබේ දරුදැරියන්ගේ ආයු කාලයත් මිහි පිට ඉර හඳ පවතින තාක් දික් වන්නේ ය. 
22 ”මා ඔබට නියම කරන මේ සියලු අණපණත් ඔබ උනන්දුවෙන් ආරක්ෂා කොට, ඒවා පිළිපදිමින්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේමය දක්වා උන් වහන්සේගේ සියලු මාර්ගවල යමින්, උන් වහන්සේට ඇලුම් ව සිටින්නහු නම්, 23 උන් වහන්සේ ඔබට පෙරටුවෙන් මේ සියලු ජාතීන් පන්නාදමන සේක. ඔබ ද ඔබට වඩා ගණනින් විශාල, බලසම්පන්න ජාතීන්ට අයත් රටවල් අයිති කරගන්නහු ය. 24 ඔබ පස් පාගන හැම තැනක් ම ඔබට අයිති වනු ඇත. පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වා ද, යුප්‍රටීස් ගංගාවේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද දේශය ඔබේ වන්නේ ය. 25 ඔබට විරුද්ධ ව කිසිවෙකුට නැඟිට සිටීමට හැකි නොවනු ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට වදාළ ලෙස ඔබ පස් පාගන සෑම රටක් පිට ම ඔබ ගැන භීතිය සහ සන්ත්‍රාසය එවනු ඇත. 
26 ”මෙන්න, මම අද දින ඔබට තෝරා ගැනීමට ආශීර්වාදයක් ද සාපයක් ද ඔබ ඉදිරියෙහි තබමි. 27 මම අද දින ඔබට නියම කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට ඔබ කීකරු වන්නහු නම්, එය ආශීර්වාදයක් වන්නේ ය. 28 දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය. 29 ඔබ අයිති කරගන්නට යන දේශයට දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගෙනා කල, ගෙරිසිම් කන්ද මත ආශීර්වාදය ද ඒබාල් කන්ද මත සාපය ද ප්‍රකාශ කළ යුතු ය. 30 මේ කඳු දෙක, ජොර්දාන් ගඟින් එතෙර, බටහිරට පිහිටි කානානිවරුන් වසන මිටියාවතෙහි ගිල්ගාල් නගරය අසල මොරේගේ ආලෝන අරඹ ළඟ පිහිටා තිබේ. 31 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයට ඔබ ඇතුළු වී එය අයිති කරගන්නා පිණිස ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වන්නහු ය. ඔබ ද එය අයිති කරගෙන එහි පදිංචි වන්නහු ය. 32 මා අද දින ඔබ ඉදිරියෙහි තබන සියලු නීති හා නියෝග ඔබ ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.”

 

– 12 වන පරිච්ඡේදය –

වන්දනාව සඳහා එක ස්ථානයක්

1 ”ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැනීමට දෙන දේශයෙහි දී දිවි ඇති තාක් ඔබ ආරක්ෂා කළ යුතු නීති හා නියෝග මේවා ය. 2 ඔබ යටත් කරගන්න ජාතීන් තමන්ගේ දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කළ උස් කඳු මත ද, කඳු හෙල් මත ද, සෑම අතුපතර ඇති ගසක් යට ද වූ සියලු වන්දනා ස්ථාන සහමුලින් ම වනසා 3 ඔවුන්ගේ පූජාසන කඩාදමා, රූපස්තම්භ බිඳදමා, අෂේරා කප් කණු ගින්නෙන් පිළිස්සිය යුතු ය. ඔවුන්ගේ දෙවිදේවතාවන්ගේ නෙළූ පිළිම ද සිඳදමා, එම ස්ථානවලින් ඔවුන්ගේ නාම මකාදැමිය යුතු ය.” 
4 ”එහෙත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ එලෙස වැඳුම්පිදුම් කළ යුතු නොවේ. 5 ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය. 6 එම ස්ථානයට ඔබේ දවන යාග පූජා ද විශේෂ පඬුරු ද දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පූජා ද බාර ද ස්වේච්ඡා පූජා ද ගව පට්ටිවල හා එළු පට්ටිවල කුලුඳුල් සතුන් ද ඔබ ගෙනා යුතු ය. 7 එහි දී ඔබ ද ඔබේ ගෙවැසියන් ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආහාර අනුභව කොට ඔබ හැම උන් වහන්සේගේ ආශීර්වාදයට පාත්‍ර වී ඔබ කළ සියල්ල ගැන ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. 
8 ”අද දක්වා අපේ සෑම කෙනෙකු ම නමස්කාර කර ඇත්තේ තම තමාට කැමැති අයුරින් ය. එහෙත්, මින්පසු එලෙස නොකළ යුතු ය. 9 මන්ද, ඔබ තව ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දෙන්නට යන උරුමයටත්, වාසස්ථානයටත් නොපැමිණියහු ය. 10 ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි පදිංචි වී, ඔබට එහි සුරැකි ව වසන සේ ඔබ වටකර සිටින සියලු සතුරන්ගෙන් රැකවරණය ඔබ ලබාගත් පසු 11 තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය. 12 එවිට ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ දරුදැරියන් ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. ලෙවීවරුන්ට වනාහි ඔබ සමඟ උරුමයක් හෝ රටින් කොටසක් හෝ අයිති නොවනු ඇත. 13 ඔබ කැමැති කැමැති තැන්වල දවන යාග පූජා නොපිදීමට වගබලාගන්න. 14 සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර අතරෙන් එක ගෝත්‍රයක් වසන පෙදෙසක යම් ස්ථානයක් තෝරාගන්න සේක් ද, එහි දී ඔබේ දවන යාග පූජා පිදිය යුතු ය. මා ඔබට අණ කරන සියල්ල එහි දී පමණක් කළ යුතු ය. 
15 ”එහෙත් ඔබේ වාසල් දොරටු ඇතුළත, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ආසිරි වශයෙන් ඔබට දෙන පරිදි, ඔබ කැමැති ලෙස සතුන් මරා ඔබට මස් අනුභව කළ හැකි ය. ඔබ මුව මස් සහ ගෝන මස් අනුභව කරන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර අයට මෙන් අපවිත්‍ර අයටත් ඒවා අනුභව කළ හැකි ය. 16 එහෙත්, ඔබ සතුන්ගේ ලේ කෑමට ගත යුතු නොවේ. බිම වතුර වත් කරන්නාක් මෙන් එය බිමට වත් කළ යුතු ය. 17 වාසල් දොරටු තුළ ධනධාන්‍යවලින් හෝ මිදියුසවලින් හෝ තෙල්වලින් හෝ දසයෙන් කොටස නොකෑ යුතු ය. තවද, එහි දී ගව පට්ටිවල වත්, එළු බැටළු පට්ටිවල වත් කුලුඳුල් සතුන් හෝ ඔබ පොරොන්දු වූ බාරවලින් යමක් හෝ ස්වේච්ඡා පූජා හෝ දෑතින් පුදන විශේෂ පඬුරු හෝ නොකෑ යුතු ය. 18 ඔබ ද ඔබේ දරුදැරියන් ද දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඒවා වැළඳිය යුත්තේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරා, නියම කරන ස්ථානයෙහි උන් වහන්සේ ඉදිරියෙහි ය. තවද, ඔබ අතින් පුදන සියල්ල ගැන ද උන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. 19 ඔබේ දේශයෙහි ඔබට දිවි ඇති තාක්, ලෙවීවරුන් අත් නොහැරීමට වගබලාගන්න. 
20 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, උන් වහන්සේ ඔබේ දේශ සීමා විශාල කළ කල්හි, ඔබට මස් කෑමට දැඩි ආශාවක් ඇති වුවහොත්, ඔබ කැමැති පරිදි ඔබට මස් කෑ හැකි ය. 21 දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීම සඳහා තෝරාගත් ස්ථානය දුර නම්, මා ඔබට අණ කළ පරිදි උන් වහන්සේ දුන් ගව පට්ටිවලින් සහ එළු බැටළු පට්ටිවලින් ඔබ කැමැති පරිදි සතුන් මරා, වාසල් දොරටු ඇතුළත ඔබට අනුභව කළ හැකි ය. 22 මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර වූ හෝ අපවිත්‍ර වූ හෝ ඕනෑ ම කෙනෙකුට ඒ මස් කෑ හැකි ය. 23 එහෙත් ලේ කෑමෙන් නම් පරෙස්සම් විය යුතු ය. මන්ද, ලේ ප්‍රාණය වන බැවින්, මස් සමඟ ලේ අනුභව නොකළ යුතු ය. 24 එය අනුභව නොකර වතුර මෙන් බිම වත් කළ යුතු ය. 25 ඔබ ලේ කෑමට නොගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යුතු දේ කරන බැවින් ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සෙත සැලසෙනු ඇත. 26 ඔබ සතු ශුද්ධ දේවල් සහ බාර පමණක් රැගෙන සමිඳාණන් වහන්සේ තෝරා නියම කරන ස්ථානයට යා යුතු ය. 27 තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත දවන යාග පූජා ද එනම්, දේව පූජාසනය මත ලේ වගුරුවා මාංස අනුභව කළ යුතු අනිකුත් පූජා ද ඔප්පු කළ යුතු ය. ඔබේ යාග පූජාවල ලේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට වත් කළ යුතු ය. මාංසය ඔබට අනුභව කරන්නට පුළුවන. 28 මා ඔබට අණ කරන මේ සියල්ලට සවන් දී ඒවා පිළිපදින්න. මෙලෙස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ දැහැමි දේ හා කළ යුතු දේ කරන බැවින් ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සඳහට ම සෙත සැලසෙනු ඇත.”

රූප වන්දනාවට විරුද්ධ ව අවවාද

29 ”ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ජාතීන් වනසාදැමූ කල්හි ඔබ ඔවුන් පන්නාදමා, ඔවුන්ගේ දේශයෙහි පදිංචි වූ කල 30 ඔබට කලින් විනාශ වී ගිය ඔවුන් පසුපස යෑමට නොරැවටෙන ලෙස හොඳින් වගබලාගන්න. තවද, මේ ජාතීන් ඔවුන්ගේ දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කෙළේ කෙසේ ද ‘මමත් එසේ කරමි’ කියා ඔවුන්ගේ දෙවිදේවතාවන් ගැන විස්තර නොසොයන්න. ඔබ එසේ කළොත්, ඔබත් ඔවුන් මෙන් වනු ඇත. 31 ඔබ නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට එලෙස නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේ වෛර කරන සෑම පිළිකුල් දෙයක් ම ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් සම්බන්ධයෙන් කර ඇත. ඔව්හු තමන්ගේ දෙවිදේවතාවන් සඳහා ඔවුන්ගේ දරුදැරියන් පවා ගින්නේ පිළිස්සූ හ. 
32 ”මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.

 

– 13 වන පරිච්ඡේදය –

1 ”ඔබ අතර දිවැසිවරයෙකු හෝ ස්වප්න තෝරන්නෙකු හෝ පහළ වී, ඔබට හාස්කමක් හෝ අරුමපුදුම දෙයක් හෝ පාන්නට යෝජනා කොට, 2 ඔහු කී අයුරින් ඒ හාස්කම් හෝ අරුමපුදුම දේ හෝ සිදු වී ඔබ නොහඳුනන අන් දෙවිදේවතාවන් පසුපස ගොස්, ‘අපි ඔවුන්ට වැඳුම්පිදුම් කරමු’යි කීවොත්, 3 එවැනි දිවැසිවරයෙකුගේ හෝ ස්වප්න තෝරන්නෙකුගේ හෝ කීම්වලට ඔබ සවන් නොදිය යුතු ය. මෙවැනි දේවලින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් ප්‍රේම කරන්නහු දැ යි උන් වහන්සේ ඔබ පරීක්ෂා කරන සේක. 4 ඔබ හැම, දෙවි සමිඳාණන් වහන්සේ අනුව ගොස්, ගරුබිය දක්වා, උන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට, හඬට කීකරු වී උන් වහන්සේට වැඳුම්පිදුම් කොට, ඇළුම් ව සිටිය යුතු ය. 5 ඒ දිවැසිවරයා හෝ ස්වප්න තෝරන්නා හෝ මරණයට පත් කළ යුතු ය. මන්ද, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා, වහල්කමේ නිවාසයෙන් ඔබ මුදාගත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඈත් කිරීමට ඔහු වැරවෑයම් කළ බැවිනි. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත් කිරීමට ඔහු වෑයම් කළ බැවින් ඔබ අතරෙන් එවැනි නපුරක් පහකොට දැමිය යුතු ය. 
6-7 ”එක මවකගෙන් උපන් ඔබේ සොහොයුරා හෝ ඔබේ පුතා හෝ දුව හෝ ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ හෝ ඔබට පණ මෙන් සිටින ඔබේ මිතුරා හෝ රහසින් ඔබ පොළඹවමින් ඔබ වත් ඔබේ පියවරුන් වත් නොදත්, ඔබ අවට ඉතා කිට්ටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොණක සිට අනික් කොණ දක්වා හෝ සිටි ජනතාවන්ගේ ‘දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කීවොත්, 8 ඔබ එවැන්නෙකුට සවන් දී, එකඟ නොවිය යුතු ය. ඔහුට කිසි අනුකම්පාවක් නොදක්වා, ඔහු ඉතුරු නොකර, ඔහුගේ වරද නොසඟවා, 9 මරාදැමිය යුතු ම ය. ඔහු මරාදමනු පිණිස පළමුවෙන් ඔබ ද ඉන්පසු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ගල් ගැසිය යුතු ය. 10 වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඉවත් කිරීමට එවැන්නෙකු වෑයම් කළ බැවින් ඔහුට ගල් ගසා මරාදැමිය යුතු ය. 11 මුළු ඉශ්රායෙල් ජනයා මේ දේ ගැන ඇසූ කල, ඔවුන් බිය වී ඔබ අතර මෙවැනි දුෂ්ටකමක් මින්පසු නොකරනු ඇත. 
12 ”ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පදිංචි වීමට දුන් යම්කිසි නගරයක 13 ඔබ අතර වසන, අධම මිනිසුන් කීප දෙනෙක් පිටත් ව ගොස් ඒ නගරවාසීන් අමතා, ‘ඔබ නොදත් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කියා ඔවුන් නොමඟ හැරිය බව ඔබට අසන්නට ලැබුණොත්, 14 ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්, 15 ඒ නගර වැසි සියල්ලන්ට ම කඩුවෙන් පහර දී සහමුලින් ම වනසාලිය යුතු ය. තවද, එහි ඇති සියල්ලන්ට ද ගවමහිෂයන්ට ද කඩුවෙන් පහර දී සහමුලින් වනසාදැමිය යුතු ය. 16 ඉන්පසු එහි ධන සම්පත වීදිය මැදට රැස්කොට, ඒ නගරය ද ඒ ධන සම්පත් සියල්ල ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. ඒ නුවර නැවත ඉදි නොකළ යුතු අතර එය නටබුන් ගොඩක් ලෙස ම, සදහට ම තිබෙන්නට හැරිය යුතු ය. 17 විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. එවිට සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ ලෙස සිය දැඩි කෝපය සන්සිඳුවාගෙන ඔබ වෙත දයානුකම්පාව දක්වා උන් වහන්සේ ඔබ ගණනින් වර්ධනය කරන සේක. 18 එසේ කරන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට සවන් දී, මා ඔබට අද නියම කරන උන් වහන්සේගේ ආඥා සියල්ල ආරක්ෂා කොට, උන් වහන්සේ අබිමුව දැහැමි දේ කළහොත් පමණක් ය.”

– 14 වන පරිච්ඡේදය –

තහනම් අවමඟුල් වත්පිළිවෙත්

1 ”ඔබ දෙවි සමිඳාණන් වහන්සේගේ දරුවෝ ය. මළවුන් නිසා ඔබ ශරීරය කපා නොගත යුතු ය. ඔබේ නළලට ඉහළින් කෙස් රොද කපා නොගත යුතු ය. 2 ඔබ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සෙනඟකි. මිහි පිට සියලු ජාතීන් අතරෙන් සමිඳාණන් වහන්සේ සතු විශේෂ සෙනඟක් වන පිණිස උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.”

පවිත්‍ර සහ අපවිත්‍ර සතුන් 
(ලෙවී 11:1-47)

3 ”ඔබ කිසි පිළිකුල් දෙයක් නොකෑ යුතු ය. 4 ඔබට කන්නට අවසර ඇති සත්තු නම් ගවයා, බැටළුවා, එළුවා, 5 ගෝනා, තිත්මුවා, වැලිමුවා, වල් එළුවා, ඕලුමුවා, කුරංගයා සහ වාතමෘගයා යන මොවුහු ය. 6 සතුන් අතර කුරය බෙදී වෙන් ව තිබෙන වමාරා කන සෑම සතෙකු ම කෑමට ඔබට අවසර ඇත. 7 එහෙත්, වමාරා කන සතුන් අතරෙන් හෝ කුර බෙදී වෙන් වී ඇති සතුන් අතරෙන් හෝ කෑමට අවසර නැති සත්තු නම් ඔටුවා, හාවා සහ බෙන් හාවා ය. මොවුන් වමාරා කන නමුත් උන්ගේ කුර බෙදී නැත. එබැවින් මොවුන් අපවිත්‍ර සතුන් මෙන් සැලකිය යුතු ය. 8 ඌරා, කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතු ය. උන්ගේ මස් නොකෑ යුතු අතර, උන්ගේ මළකුණු ද ස්පර්ශ නොකළ යුතු ය. 
9 ”සියලු ජලජ සතුන් අතරෙන් වරල් සහ කොරපොතු ඇති සතුන් කන්නට පුළුවන. 10 වරල් සහ කොරපොතු නැති සතුන් නොකෑ යුතු ය. ඔවුන් අපවිත්‍ර සේ සැලකිය යුතු ය. 
11 ”සියලු පවිත්‍ර පක්ෂීන් ඔබට කන්නට අවසර ඇත. 12 කෑමට අවසර නැති පක්ෂීහු නම් රාජාලියා, මහ ගිජුලිහිණියා, 13 ගුරුළා, කුරුළුගොයා, ඒ ඒ වර්ගයේ උකුස්සො‍් 14 ඒ ඒ වර්ගයේ සියලු කපුටෝ 15 පැස්බරා, මුහුදු ලිහිණියා, 16 බස්සා, බකමූණා, උලමා, 17 දිය කාවා, 18 ඒ ඒ වර්ගයේ කොක්කු, හුපුවා සහ වවුලා යන මොවුහු ය. 
19 ”පියාඹන කුඩා සත්තු අපවිත්‍ර ය. උන් කෑමට අවසර නැත. 20 එහෙත් සියලු ම පවිත්‍ර පක්ෂීන් කන්නට අවසර ඇත. 
21 ”ඉබේ ම මැරුණ සතෙකුගේ මස් කිසිවෙකු නොකෑ යුතු ය. ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ආගන්තුකයෙකුට ඒ සතා දිය යුතු ය. නැත්නම් විදේශිකයෙකුට ඌ විකිණිය යුතු ය. ඔබ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කරන ලද සෙනඟකි. 
”එළු පැටියෙකු උගේ මවගේ කිරෙන් නොතැම්බිය යුතු ය.”

දසයෙන් කොටස පිළිබඳ නීති

22 ”අවුරුදුපතා ඔබේ කෙතෙන් ලැබෙන පලදාවෙන් දසයෙන් කොටස ඔබ දිය යුතු ය. 23 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවනු සඳහා තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි ඔබේ ධනධාන්‍යයෙන්, මිදියුසින් සහ තෙල්වලින් දසයෙන් කොටස ද, ගව පට්ටිවල සහ එළු බැටළු පට්ටිවල කුලුඳුල් සතුන් ද අනුභව කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ඔබ ඉගෙනගනු ඇත. 24 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කළ පසු සිය නාමය පිහිටුවනු සඳහා උන් වහන්සේ තෝරාගත් ස්ථානය ඔබෙන් බොහෝ දුර නම්, දසයෙන් කොටස ඔබට උසුලාගෙන යෑමට නොහැකි වන තරමට දුර වැඩි නම්, 25 ඔබ එය විකුණා මුදල් කොට, ඒ මුදල අතේ රැගෙන උන් වහන්සේ තෝරාගත් ස්ථානයට යා යුතු ය. 26 ඉන්පසු ඒ මුදල වැය කොට ඔබ කැමැති පරිදි ඕනෑ ම දෙයක් එනම්, ගවයන් හෝ බැටළුවන් හෝ මිදියුස හෝ මත්පැන් හෝ ඔබ කැමැති දෙයක් ගෙන දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ ගෙවැසියන් ද ඒවා අනුභව කර ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. 27 තවද, ඔබ ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් අමතක නොකළ යුතු ය. ඔබට මෙන් ඔවුන්ට රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැත. 
28 ”සෑම තුන් අවුරුද්දක් අවසානයේ දී ඔබ ඒ තෙ වන අවුරුද්දේ ලැබූ අස්වැන්නෙන් දසයෙන් කොටස ගෙනැවිත් වාසල් දොරටු ඇතුළත තැබිය යුතු ය. 29 එවිට වාසල් දොරටු ඇතුළත සිටින ඔබට මෙන් රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද ආගන්තුකයන් ද අනාථ වූවන් ද වැන්දඹුවන් ද විත් ඒවා අනුභව කොට තෘප්තිමත් වනු ඇත. මෙසේ කළොත්, ඔබේ සියලු වැඩ කටයුතුවල දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”

 

– 15 වන පරිච්ඡේදය –

ණය බරින් මිදීමේ වර්ෂය 
(ලෙවී 25:1-7)

1 ”සෑම සත් අවුරුද්දක් අවසානයේ දී ඔබ ණය බරින් නිදහසක් දිය යුතු ය. 2 ණයෙන් නිදහස දීම මෙලෙස විය යුතු ය. තම අසල්වැසියාට ණයට දෙන සෑම කෙනෙකු ම, ඒ තැනැත්තාට ණයෙන් නිදහස දිය යුතු වේ. තම අසල්වැසියාගෙන් හෝ මොහුගේ සොහොයුරාගෙන් හෝ ඔහු එය බලෙන් නොගත යුතු ය. මන්ද, මෙය වනාහි සමිඳාණන් වහන්සේ දානය කරන නිදහසකි. 3 විදේශිකයෙකුගෙන් නම්, එය එකතු කරගත හැකි ය. එහෙත්, ඔබේ ම සහෝදරයෙකුට නම්, ණයෙන් නිදහස දිය යුතු ය. 
4 ”කෙසේ වුවත් ඔබ අතර දිළිඳුන් නොසිටිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට හිමි කරදෙන දේශයෙහි උන් වහන්සේ ඔබ හට ඉමහත් ලෙස ආශීර්වාද කරන සේක. 5 උන් වහන්සේ එසේ කරන්නේ මා ඔබට අද දින නියම කරන උන් වහන්සේගේ හඬට සාවධානයෙන් සවන් දී, මේ සියලු අණපණත් ඔබ ආරක්ෂා කොට ඒවා පිළිපැද්දොත් පමණක් ය. 6 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා ඔබ බොහෝ ජාතීන්ට මුදල් ණයට දෙන්නහු ය. එහෙත්, ඔබ නම් මුදල් ණයට ඉල්ලා නොගත යුතු ය. ඔබ බොහෝ ජාතීන් පාලනය කරන්නහු ය. එහෙත්, ඔව්හු ඔබ පාලනය නොකරන්නො‍් ය. 
7 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි, ඔබේ වාසල් දොරටු ඇතුළත ඔබේ සහෝදරයන් අතර යම් දිළින්දෙක් සිටී නම්, ඔබේ සිත දැඩි කර නොගෙන, ඒ දිළින්දාට උදව් උපකාර කිරීම ප්‍රතික්ෂේප නොකළ යුතු ය. 8 ඔහු කෙරෙහි ත්‍යාගශීලී ව ඔහුගේ අගහිඟකමට සෑහෙන පමණ අවශ්‍ය දේ සැපයිය යුතු ය. 9 ‘ණයෙන් මිදෙන අවුරුද්ද වන හත් වන අවුරුද්ද ආසන්න ය’යි යන දුෂ්ට හිතකට ඉඩ නොදෙන්න. ඔබේ දිළිඳු සහෝදරයා දෙස නපුරු ඇසකින් බලා, ඔහුට කිසිත් නුදුන් පසු ඔහු ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට මොරගැසුවොත්, එය ඔබට පාපයක් වනු ඇත. 10 සිතේ කණගාටුවක් නැතිව, දෙන දේ ඔබ ඔහුට දිය යුතු ය; ඔබ එලෙස කරන්නහු නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සියලු වැඩ කටයුතුවලදීත්, ඔබ අත තබන සියල්ලෙහිදීත් ඔබට ආශීර්වාද කරන සේක. 11 දිළින්දෝ කවරදාත් දේශයෙහි සිටින්නො‍් ය. එබැවින් රටෙහි සිටින දිළින්දා සහ අගහිඟකම් ඇති ඔබේ සහෝදරයන් කෙරෙහි ත්‍යාගශීලී වන ලෙස මම ඔබට අණ කරමි.”

වහලුන් පිළිබඳ නීති හා නියෝග 
(නික්ම: 21:1-11)

12 ”ඔබේ සහෝදර හෙබ්‍රෙව් මිනිසෙකු හෝ හෙබ්‍රෙව් ස්ත්‍රියක හෝ ඔබට විකුණනු ලැබ, එවැන්නෙකු සාවුරුද්දක් ඔබට සේවය කළ පසු හත් වන අවුරුද්දේ දී ඔහුට නිදහස ලබා යන්නට ඉඩ දිය යුතු ය. 13 එවැන්නෙකු නිදහස් කර හරින විට, හිස් අතින් යන්නට ඉඩ නොදෙන්න. 14 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ශුභසිද්ධිය සලසා දුන් පරිදි ඔබේ එළු බැටළුවන්ගෙන් ද කමතින් ද මිදි පැසෙන් ද නොමසුරු ලෙස එවැන්නෙකුට දිය යුතු ය. 15 මිසර දේශයේ ඔබ වහලුන් ව සිටි බව ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගැළෙවු බව ද සිහි කළ යුතු ය. මෙවැන්නක් අද දින මා ඔබට අණ කරනුයේ එබැවින් ය. 
16 ”එහෙත් එවැන්නෙකු ඔබ සමඟ යෙහෙන් සිටි බැවින්, ඔබට කතා කොට, ‘මා ඔබටත්, ඔබේ ගෘහයටත් කැමැති බැවින් ඔබෙන් වෙන් ව යාමට කැමැති නැත’ කියා කීවොත් 17 විදින කටුවක් ගෙන, ඔහුගේ කන දොරට තද කර එය විදිය යුතු ය. ඉන්පසු ඔහු සදහට ම ඔබේ සේවකයා වනු ඇත. ඔබේ දාසියට ද එලෙස කළ යුතු ය. 18 දාසයෙකු නිදහස් කර යන්නට හරින විට ඔහු කෙරෙහි අමනාපයක් නොදක්වන්න. මන්ද, ඔහු සාවුරුද්දක් ඔබට සේවය කිරීම නිසා ඔහුගේ අගය කුලීකරුවෙකුගේ අගය මෙන් දෙගුණයක් වන බැවිනි. මෙලෙස ඔබ ඉටු කළොත් ඔබේ වැඩ කටයුතු සියල්ලෙහි දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”

කුලුඳුල් ගවයන් සහ බැටළුවන්

19 ”ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ කුලුඳුල් පිරිමි සතුන් සියල්ලන් ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. කුලුඳුල් ගොන් වස්සෙකුගෙන් වැඩ නොගත යුතු ය, කුලුඳුල් බැටළුවන්ගේ ලොම් නොකැපිය යුතු ය. 20 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානයේ දී අවුරුද්දක් පාසා ඔබත්, ඔබේ ගෙවැසියනුත් උන් වහන්සේ අබිමුව උගේ මස් කෑ යුතු ය. 21 සතාගේ කැළලක් තිබේ නම්, ඌ කොර නම්, අන්ධ නම්, අන්කිසි නරක කැළලක් තිබේ නම්, ඒ සතා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. 22 මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් ඔබේ වාසල් දොරටු ඇතුළත දී පවිත්‍ර වූ ද අපවිත්‍ර වූ ද සෑම කෙනෙකුට ම උගේ මස් කෑ හැකි ය. 23 එහෙත් උගේ ලේ නොගත යුතු ය. වතුර වත් කරන්නාක් මෙන් උගේ ලේ බිමට වත් කළ යුතු ය.”

– 16 වන පරිච්ඡේදය –

පාස්කු මංගල්‍යය 
(නික්ම: 12:1-20)

1 ”ආබිබ් මාසය අනුස්මරණය කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කු මංගල්‍යය පවත්වන්න. මන්ද, ආබිබ් මාසයේ දී එක් රාත්‍රියක උන් වහන්සේ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා බැවිනි. 2 එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවන්නට තෝරාගන්න ස්ථානයේ දී එළු බැටළුවන්ගෙන් සහ ගවයන්ගෙන් පාස්කු යාගය පිදිය යුතු ය. 3 ඔබ එය සමඟ මුහුන් මිශ්‍ර රොටි නොකෑ යුතු ය. දින හතක් ම ඔබ දුක්ගැහැට සිහිපත් වන රොටි එනම්, නුමුහුන් රොටි කෑ යුතු ය. මන්ද, ඔබ මිසර දේශයෙන් පිටතට ලහි ලහියේ පැමිණි දින කෑවේ නුමුහුන් රොටි ය. ඔබ මිසර දේශයෙන් පිටතට පැමිණි දින ඔබට දිවි ඇති තාක් සිහිපත් වනු පිණිස එලෙස කළ යුතු ය. 4 දින හතක් ඔබේ මුළු දේශය තුළ ම කිසිවෙකු ළඟ මුහුන් රොටි තබා නොගත යුතු ය. පළමු වන දින හවස ඔබ පූජා කළ මස්වලින් කිසිවක් උදය දක්වා තබා නොගත යුතු ය. 
5 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන හැම නගරයක දී ම ඔබ පාස්කු යාගය පූජා නොකළ යුතු ය. 6 මිසර දේශයෙන් ඔබ නික්ම ආ කාලයේ දී, සවස ඉර බැස යන විට ඔබ පාස්කු යාගය පිදිය යුත්තේ, උන් වහන්සේ සිය නාමය පිහිටුවනු සඳහා තෝරාගත් ස්ථානයෙහි ය. 7 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී ඔබ එය පුළුස්සා අනුභව කර, උදය කාලයේ ආපසු හැරී ඔබේ කූඩාරම්වලට යා යුතු ය. 8 දින හයක් ඔබ නුමුහුන් රොටි කෑ යුතු ය. හත් වන දින දෙවි සමිඳාණන් වහන්සේගේ මහිමය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා එදින වැඩ නොකළ යුතු ය.”

අස්වැන්න මංගල්‍යය 
(නික්ම: 34:22; ලෙවී 23:15-21)

9 ”සති හතක් ගණන් කරගන්න. ධාන්‍ය නෙළීමට දෑකැත්ත යොදන දින පටන් ඒ සති හත ගණන් කරන්න පටන්ගන්න. 10 ඉන්පසු දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන සැටියට, ඔබ උන් වහන්සේට ස්වේච්ඡා පූජා පඬුරක් පුදා උන් වහන්සේගේ ගෞරවය පිණිස අස්වැන්න මංගල්‍යය පැවැත්විය යුතු ය. 11 මෙසේ කළ පසු දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීමට තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි, ඔබ ද ඔබේ පුතා සහ දුව ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඔබ සමඟ සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. 12 මිසරයේ ඔබ වහලෙකු මෙන් සිටි බව සිහි කොට, මේ නීති නොකඩා පිළිපැදිය යුතු ය.”

කූඩාරම් මංගල්‍යය 
(ලෙවී 23:33-43)

13 ”ඔබේ ධනධාන්‍ය සහ මිදි ඔබ එකතු කළායින් පසු, දින හතක් ඔබ කූඩාරම් මංගල්‍යය පැවැත්විය යුතු ය. 14 මෙසේ පවත්වන ඒ මංගල්‍යයේ දී ඔබ ද ඔබේ පුතා ද දුව ද ඔබේ දැසිදසුන් ද ලෙවීවරුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. 15 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේගේ ගෞරවය පිණිස ඔබ ඒ මංගල්‍යය දින හතක් පැවැත්විය යුතු ය. සරු අස්වැන්නක් දීමෙන් ද ඔබේ සියලු වැඩ කටයුතු සඵල කිරීමෙන් ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කළ බැවින් ඔබ ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. 
16 ”දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් රොටි මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය. 17 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන පරිදි තම තමාගේ පුළුවන්කමේ හැටියට පඬුරක් පිදිය යුතු ය.”

නඩු විසඳීම

18 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන සෑම නගරයක් තුළ ම, ගෝත්‍රයක් ගෝත්‍රයක් පාසා විනිශ්චයකාරයන් සහ නිලධාරීන් පත් කළ යුතු ය. ඔවුන් ද සාධාරණ ලෙස සෙනඟ විනිශ්චය කළ යුතු ය. 19 ඔවුන් අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතු ය. ඔවුන් මිනිසුන්ගේ තරාතිරම් නොබැලිය යුතු ය. අල්ලස් නොගත යුතු ය. අල්ලස් ගැනීමෙන් පැණවතුන්ගේ නෙත් අඳුරු වේ; දමිටුන්ගේ වචන පවා නොපිටට පෙරළේ. 20 යුක්තිය, යුක්තිය පමණක් ම, අනුගමනය කළ යුතු ය. මෙසේ කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශය උරුම කරගෙන ඔබට එහි ජීවත් විය හැකි ය. 
21 ”දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කරන කල, ඒ අසල ලීයෙන් කළ රූපස්තම්භයක් සිටුවිය යුතු නොවේ. 22 අෂේරා කප් කණුවක් ද එහි ඉදි නොකළ යුතු ය. මෙසේ කිරීම දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.

– 17 වන පරිච්ඡේදය –

1 ”කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි. 2 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන නගරයක ඔබ අතරෙන් යම්කිසි පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ උන් වහන්සේගේ ගිවිසුම කඩකොට, උන් වහන්සේ අබිමුව දුෂ්ටකම් කරමින්, 3 උන් වහන්සේ තහනම් කළ දෙවිදේවතාවන්ට හෝ ඉරට හෝ හඳට හෝ අන්කිසි ආකාශ වස්තුවකට හෝ වැඳුම්පිදුම් හා නමස්කාර කරන්නට පුළුවන. 4 එවැන්නක් දැනගන්නට ලැබුණොත්, ඔබ ඒ ගැන හොඳාකාර විභාග කළ යුතු ය. ඉශ්රායෙල් ජනයා අතර එවැනි පිළිකුලක් සිදුවූ බව නිසැක ව සත්‍ය ලෙස පෙනී ගියොත් 5 ඒ දුෂ්ටකම කළ පුරුෂයා හෝ ස්ත්‍රිය හෝ වාසල් දොරකඩට රැගෙන විත්, ඔහුට හෝ ඈට හෝ ගල් ගසා මරාදැමිය යුතු ය. 6 සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ කීම පිට මරණයට සුදුසු තැනැත්තා මරනු ලැබිය යුතු ය. එහෙත් එක සාක්ෂිකරුවෙකුගේ කීම පිට එවැන්නෙකු මරනු නොලැබිය යුතු ය. 7 ඔහු මරනු සඳහා පළමුවෙන් සාක්ෂිකරුවන් ද ඉන්පසු සියලු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ඔහුට ගල් ගැසිය යුතු ය. මේ අයුරින් ඔබ ඒ දුෂ්ටකම ඔබ අතරෙන් පහකළ යුතු ය. 
8 ”ඔබේ නගරය තුළ විවාදයට භාජනය වූ නොයෙක් විදියේ මිනීමැරීම් ද පැමිණිලි ද පහර දීම් ද පිළිබඳ ව තීරණයක් දීම ඉතා දුෂ්කර නම්, දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයට ඔබ ගොස් 9 ලෙවී පූජකයන් සහ එකල පත් ව සිටින විනිසකරු වෙත පැමිණ එය විසඳාගත යුතු ය. ඔව්හු ඔබට නඩු තීන්දුව දෙන්නො‍් ය. 10 සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයෙහි ඔවුන් දෙන තීන්දුව අනුව ඔබ ක්‍රියා කළ යුතු ය. ඔවුන් ඔබට දන්වන පරිදි ඔබ සියල්ල පිළිපැදිය යුතු ය. 11 ඔවුන් ඔබට දෙන උපදෙස් සහ ඔබට දන්වන නඩු තීන්දුව අනුව ක්‍රියා කළ යුතු ය. ඔවුන් ඔබට දෙන තීන්දුව අකුරට ම පිළිපැදිය යුතු ය. 12 දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවා කරන පූජක තැනට වත් විනිසකරුට වත් කීකරු නොවී හිතුවක්කාර ලෙස හැසිරෙන්නා මරනු ලැබිය යුතු ය. මේ අයුරින් ඉශ්රායෙල් ජනයා අතරෙන් දුෂ්ටකම පහකළ යුතු වේ. 13 එවිට සියලු සෙනඟ මේ ගැන අසා, බිය වී තවත් හිතුවක්කාරකම් නොකරනු ඇත.”

රාජ පදවිය පිළිබඳ උපදෙස්

14 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පැමිණ, එය අයිති කොට, එහි පදිංචි වූවායින් පසු, ‘මා අවට සිටින සියලු ජාතීන් මෙන්, මා කෙරෙහි රජෙකු පත් කරගනිමි’යි ඔබ කියන්නට පුළුවන. 15 දෙවි සමිඳාණන් වහන්සේ තෝරන තැනැත්තා ඔබේ රජු වශයෙන් පත් කිරීමට ඔබ තරයේ සිතට ගත යුතු ය. ඔබේ ජාතියෙන් කෙනෙකු රජු වශයෙන් පත්කළ යුතු ය. ඔබේ ජාතියට අයිති නැති විදේශිකයෙකු ඔබේ රජු වශයෙන් පත් නොකළ යුතු ය. 16 රජු සිය ප්‍රයෝජනයට බොහෝ අශ්වයන් සපයා නොගත යුතු ය. බොහෝ අශ්වයන් සපයාගැනීම සඳහා සෙනඟ ද මිසරයට නොයැවිය යුතු ය. මන්ද, ‘ඔබ හැම ඒ මාර්ගයෙන් ආපසු නොයා යුතු ය’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. 17 තවද, ඔහු තම සිත මුළා ව නොයන පිණිස බොහෝ භාර්යාවන් ද පාවා නොගත යුතු ය. තම වාසියට බොහෝ රන් රිදී ද සපයා නොගත යුතු ය. 18 ඔහු රාජකීය සිංහාසනය අරා හිඳින කල, ලෙවීවරුන් වන පූජකවරුන්ගේ පොතේ හැටියට මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියාගෙන තමා ළඟ තබාගත යුතු ය. 19 මෙසේ ඔහු එය තමා ළඟ තබාගෙන, මුළු ජීවිත කාලය තුළ ම එය කියවිය යුතු ය. එසේ කියවීමෙන් ඔහු තම දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ද නීති හා නියෝගවල අඩංගු සියල්ල ආරක්ෂා කරමින් ඒවා පිළිපැදීමට ද ඉගෙන ගන්නේ ය; 20 මෙලෙස සිය සහෝදරයන්ට ඉහළින් තමා ගැන උඩඟු නොවන්නේ ය. ඉශ්රායෙල් ජනයා මැද සිහසුන අරා ඔහුත්, ඔහුගේ දරුපරපුරත් චිරාත් කාලයක් ජීවත් වන පරිදි අණපණත්වලට කීකරු ව ඒවා අකුරට ම ඉටු කරන්නේ ය.”

– 18 වන පරිච්ඡේදය –

පූජකවරුන්ට හිමි කොටස

1 ”ලෙවීවරුන් වන පූජකවරුන්ට සහ ලෙවීගේ ගෝත්‍රයට අයිති සියල්ලන්ට ම ඉශ්රායෙල්වරුන් සමඟ රටින් කොටසක් හෝ උරුමයක් හෝ නොලැබේ. සමිඳාණන් වහන්සේට පුදන පඬුරු සහ උන් වහන්සේට හිමි කොටස ඔවුන් වැළඳිය යුතු ය. 2 එබැවින් ඔවුන්ගේ සහෝදර ජනතාව සමඟ ඔවුන්ට උරුමයක් නොවනු ඇත. සමිඳාණන් වහන්සේ ඔවුන්ට වදාළ පරිදි උන් වහන්සේ ම ඔවුන්ගේ උරුමය වනු ඇත. 
3 ”සෙනඟ, ගොනෙකු හෝ බැටළුවෙකු හෝ පූජා වශයෙන් පුද කළ විට, පූජකවරයාට ඒ අයගෙන් හිමි වන කොටස මෙය වේ. එනම්, ඔවුන් පූජකවරයාට සතාගේ ඉස්සරහ ගාතය ද හකු දෙක ද ආමාශය ද දිය යුතු ය. 4 තවද ඔබ ධාන්‍ය අස්වැන්නෙත්, මිදියුස සහ තෙල්වලත්, මුල් කොටස ද බැටළුවන්ගෙන් මුලින් ම කපාගන්න ලෝම ද ඔහුට දිය යුතු ය. 5 ඔබේ සියලු ම ගෝත්‍රවලින්, දෙවි සමිඳාණන් වහන්සේට සදහට ම සේවය කරනු පිණිස පූජකවරුන් සහ ඔවුන්ගේ පරපුර තෝරාගත් සේක. 
6 ”මුළු ඉශ්රායෙල් ජනතාව වසන නගරවලින්, යම් ලෙවීවරයෙකු, තමා පදිංචි ව සිටි ස්ථානයෙන් නික්ම, ඉතා දැඩි ආශාවකින් සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණියොත්, 7 සමිඳාණන් වහන්සේ අබිමුව සෙසු සහෝදර ලෙවීවරුන් කරන්නාක් මෙන් ඔහු ද තම දෙවි සමිඳාණන් වහන්සේට සේවය කළ යුතු ය. 8 තම පිය උරුමය විකිණීමෙන් ලැබෙන ආදායමට අමතර ව සෙසු පූජකවරුන්ට මෙන් ඔහුටත් වැළඳීමට සම කොටසක් දිය යුතු ය.”

මිසදිටු චාරිත්‍රවලින් වැළකීම

9 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන රටට ඔබ පැමිණිවිට, ඒ ජාතීන්ගේ පිළිකුල් චාරිත්‍ර අනුගමනය නොකිරීමට පරෙස්සම් විය යුතු ය. 10 තම පුත්‍රයා හෝ දුව හෝ ගින්නෙන් දවා පූජා කරන්නෙකු වත්, පේන කියන්නෙකු වත්, නැකත් බලන්නෙකු වත්, ශාස්ත්‍රකාරයෙකු වත්, කොඩිවිනකාරයෙකු වත්, 11 හූනියම් කරන්නෙකු වත්, ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම්ගන්නෙකු වත්, මන්ත්‍රකාරයෙකු වත්, යක්බැන්දුම්කාරයෙකු වත් ඔබ අතර නොසිටිය යුතු ය. 12 මෙවැනි දේවල් කරන සියල්ලෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි. ඔවුන්ගේ මේ පිළිකුල් ක්‍රියා නිසා දෙවි සමිඳාණන් වහන්සේ ඔබ යන්නට කලින් ඔවුන් පන්නා හරින සේක. 13 දෙවි සමිඳාණන් වහන්සේට ඔබ සම්පූර්ණයෙන් ම විශ්වාසවන්ත ව සිටිය යුතු ය.”

දිවැසිවරයන් එවීමේ පොරොන්දුව

14 එවිට මෝසෙස් මෙසේ කීවේ ය: ”ඔබ පලවා හරින්න යන මේ ජාතීහු නැකත් බලන්නන්ට ද පේන කියන්නන්ට ද සවන් දුන්හ. එහෙත් ඔබට නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවැනි දේවලට ඉඩ නොදෙන සේක. 15 දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් ද ඔබේ සහෝදර ජනතාව අතරෙන් ද මා හා සමාන දිවැසිවරයෙකු පත් කරන සේක. ඔබ ඔහුට සවන් දිය යුතු ය. 16 හොරෙබ් කන්ද ළඟ ජනතාව රැස් වූ දින, දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ කටහඬ අපට යළි ඇසෙන්න ඉඩ නොතබනු මැනවි; අප මිය නොයන ලෙස මේ මහා ගින්න ද අපට තවත් පෙනෙන්න ඉඩ නොදෙනු මැනව’යි ඉල්ලුවහු ය. 17 සමිඳාණන් වහන්සේ මට කතා කොට ‘ඔවුන් කී දේ නැණවත් ය. 18 නුඹේ සහෝදර ජනතාව අතරෙන් නුඹ හා සමාන දිවැසිවරයෙකු තෝරා පත් කොට, ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අණ කරන සියල්ල, ඔවුන්ට ඔහු දන්වනු ඇත. 19 යමෙක් මාගේ නාමයෙන් ඔහු කියන දේට සවන් නොදෙන්නේ නම්, මම එවැන්නෙකුට දඬුවම් කරමි. 20 එහෙත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කීමට ඉදිරිපත් වන දිවැසිවරයා, මා අණ නොකළ දෙයක් කීමට හිතට ගතහොත් හෝ අන් දේවතාවන්ගේ නාමයෙන් කතා කළොත් හෝ ඒ තැනැත්තා මරනු ලැබේ.’ 
21 ” ‘සමිඳාණන් වහන්සේ නොවදාළ දිවැස් වැකියක් තිබේ නම්, අපි ඒ ගැන කෙසේ දැනගන්නෙමු දැ’යි ඔබ සිතන්න පුළුවන. 22 දිවැසිවරයෙකු සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කිරීමට ඉදිරිපත් වූ නමුත්, ඔහු කී දේ සිදු නොවේ නම්, ඉටු නොවේ නම්, ඒ කරුණ සමිඳාණන් වහන්සේ නොවදාළ එකකි. එය දිවැසිවරයා තම හිතුවක්කාරකමින් කී කරුණකි. එවැන්නෙකුට ඔබ බිය නොවිය යුතු ය.”

 

– 19 වන පරිච්ඡේදය –

අභය භූමි නගර 
(ගණන් 35:9-28; ජෝෂු: 20:1-5)

1 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි උන් වහන්සේ ජනතාව වනසාදැමූ විට, ඔබ ඒවා අයිති කොටගෙන, ඒවායේ නගර සහ ගෙවල පදිංචි වූ පසු, 2 ඔබ උරුම කොටගත් ඒ දේශයේ නගර තුනක් වෙන් කළ යුතු ය. 3 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන එම දේශය කොටස් තුනකට බෙදා, ඕනෑ ම මිනීමරුවෙකුට ඒවාට පලා යනු සඳහා මඟක් පිළියෙළ කළ යුතු ය. 4 ඒවාට පලා ගොස් පණ බේරාගත හැක්කේ පහත දක්වන අන්දමට කෙනෙකු අතින් මරණයක් වූ විට ය. කලින් වෛරයක් නොමැති ව, අදහස් නොකර යමෙකු මැරුවොත් ඔහුට එලෙස පලා යත හැකි ය. 5 නිදසුනක් නම් මෙය වේ: යමෙකු තව කෙනෙකු සමඟ ලී කැපීමට වනයට ගොස්, ගසක් කපනු පිණිස අත ඔසවා පොරොවෙන් පහර දෙන විට, පොරො‍් තලය මිටෙන් ගැලවී අනිත් තැනැත්තාගේ ඇඟට වැදී ඔහු මළොත්, ගස කැපූ තැනැත්තාට ඒ නගරවලින් එකකට පලා ගොස් පණ බේරා ගත හැකි ය. 6 පලා යාමට ඇත්තේ එක නගරයක් නම්, එය බොහෝ දුර වී නම්, පළිගැනීමේ අයිතිය හිමි, මරන ලද තැනැත්තාගේ ලේ නෑයෙකුට, තමා දැඩි කෝපයෙන් සිටිය දී මැරූ තැනැත්තා ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන, මරා දමන්නට හැකි වේ. එහෙත්, එවැන්නෙකු කලින් වෛර බැඳ නොසිටි බැවින්, ඒ තැනැත්තා මරාදැමීම යුතු නොවේ. 7 එබැවින් ඔබේ ප්‍රයෝජනයට නගර තුනක් වෙන් කළ යුතු යයි මම අණ කරමි. 
8 ”උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ප්‍රකාර ඔබේ දේශ සීමා පළල් කොට, උන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ පරිදි මේ මුළු රට ම ඔබට දානය කරන සේක. 9 එසේ කරන්නේ, මා ඔබට අද දින දෙන අණපණත් සියල්ලට ඔබ අවනත වී ඒවා පිළිපැද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරමින්, උන් වහන්සේට සදහට ම කීකරු වන්නහු නම් පමණකි. ඉන්පසු පෙර කී අභය භූමි නගර තුනට අමතර ව තව තුනක් එකතු කළ යුතු ය. 10 එවිට දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන ඒ ඔබේ දේශයෙහි ඔබ නිදොස් ලේ නොවගුරන්නහු ය. 
11 ”එහෙත් යමෙකු අනෙකකුට වෛර බැඳ, ඔහු එන තෙක් රැක සිට, ඔහුට විරුද්ධ ව නැඟිට, මැරෙන්නට පහර දී, ඒ නගරවලින් එකකට පලා ගියොත්, 12 නගරයේ ප්‍රජා මූලිකයන්, මිනිසුන් යවා ඔහු ගෙන්වාගෙන, ඔහු මරාදමන පිණිස, මිනීමැරීම ගැන පළිගන්න තැනැත්තාට ඔහු පාවා දිය යුතු ය. 13 ඔබ ඔහුට අනුකම්පා නොදක්වා, ඉශ්රායෙල් ජනයා අතරෙන් නිදොස් ලේ හැළීම පිළිබඳ වරදකරු නෙරපාදැමිය යුතු ය. එවිට ඔබට ශුභසිද්ධිය සැලසෙන්නේ ය.”

පුරාණ වතු මායිම්

14 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට හිමි කරගන්නට දෙන දේශයෙහි ඔබට උරුම වන වතුපිටිවල, පුරාණයේ පටන් පිහිටුවා ඇති, ඔබේ අසල්වැසියාගේ වතු මායිම් ඉවත් නොකළ යුතු ය.”

සාක්ෂිකරුවන් පිළිබඳ නීතිය

15 ”යමෙකු කළ අපරාධයක් හෝ වරදක් හෝ ගැන තීන්දු කිරීමට එක සාක්ෂිකරුවෙක් ප්‍රමාණ නොවේ. සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ වචනය පිට යම් කරුණක් තීරණය කළ යුතු වේ. 16 යමෙකුට විරුද්ධ ව බොරු වරද තැබීමට බොරු සාක්ෂිකරුවෙකු ඉදිරිපත් වුවහොත්, 17 ඒ නඩුවට සම්බන්ධ දෙදෙනා ම සමිඳාණන් වහන්සේ ඉදිරියට, එනම්, එකල නිල දරන පූජකවරුන් සහ විනිශ්චයකරුවන් ඉදිරියට, පැමිණිය යුතු ය. 18 විනිශ්චයකරුවන් නඩුව හොඳින් විභාග කළ පසු, සාක්ෂිකරු බොරු සාක්ෂිකරුවෙකු බවත්, තම සොහොයුරාට විරුද්ධ ව ඔහු බොරු සාක්කි දුන් බවත් පෙනී යන්නේ නම්, 19 සාක්ෂිකරු විත්තිකරුට කරන්නට අදහස් කළ දෙය, සාක්ෂිකරු හට ම දිය යුතු ය. මෙලෙස ඔබ, ඔබ අතරෙන් මෙවැනි නපුරුකම් පහකළ යුතු ය. 20 සෙසු අය ද මේ ගැන අසා, බිය වී, මෙවැනි නපුරුකම් ඔබ අතර තවදුරටත් නොකරන්නො‍් ය. 21 කිසි ම අනුකම්පාවක් නොදක්වන්න; හිලව් වශයෙන් පණට පණ ද ඇසට ඇස ද දතට දත ද අතට අත ද පයට පය ද දිය යුතු ය.”

 

– 20 වන පරිච්ඡේදය –

යුද්ධ නීති

1 ”ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගොස්, අශ්වයන් සහ රථ ද ඔබට වඩා ගණනින් විශාල සේනාවක් ද දකින විට, ඔවුන්ට බිය නොවන්න. ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. 2 ඔබ සටනට ළං වන කල පූජකවරයා සේනාව වෙත පැමිණ, 3 ඔවුන් අමතමින්, ‘ඉශ්රායෙල් ජනයෙනි, සවන් දෙන්න; අද දින ඔබේ සතුරන්ට විරුද්ධ ව ඔබ සටනට යන්නහු ය. සිත් අධෛර්ය කර නොගන්න; බිය නොවන්න, කලබල නොවන්න; සතුරන් නිසා තැති නොගන්න. 4 ඔබ ගළවාගැනීමට ඔබ වෙනුවෙන් සතුරන්ට විරුද්ධ ව සටන් කරන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වඩින සේකැ’යි කිව යුතු ය. 
5 ”එවිට නිලධාරීන් සේනාව අමතා මෙසේ කිව යුතු ය: ‘අලුත් ගෙයක් තැනූ නමුත්, එහි ගෙවදීමේ උත්සවය නොකළ යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත්, අන් කෙනෙකු ඒ උත්සවය සිදු කරනු ඇත. 6 මිදි වත්තක් වවා එහි පලදාව භුක්ති නොවින්ද යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත් අන් කෙනෙක් එහි පලදාව භුක්ති විඳින්නට පුළුවන. 7 කාන්තාවක හා විවාහ ගිවිසගත් නමුත් ඈ සරණ පාවා නොගත් යමෙක් සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත් අන් කෙනෙකු ඇය සරණ පාවාගන්නට පුළුවන. 
8 ”නිලධාරීන් තවදුරටත් සේනාව අමතමින්, ‘බිය වන, අධෛර්ය වන යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. එවිට ඔහුගේ සිත මෙන් සෙසු සහෝදර ජනතාවගේ සිත් ද අධෛර්යට පත් නොවනු ඇතැ’යි කිව යුතු ය. 9 නිලධාරීන් සෙනඟට කතා කොට නිම වූ පසු, සේනාවන් මෙහෙය වනු සඳහා සේනාධිපතීන් පත් කරනු ලැබිය යුතු ය. 
10 ”යම් නුවරකට විරුද්ධ ව සටන් කිරීම ළඟා වන විට, ඊට සාම යෝජනාවක් ඉදිරිපත් කරන්න. 11 ඒ නුවර වාසීහු ද සාමදානයට කැමැති ව, එහි දොරටු විවෘත කරත් නම්, එහි සිටින සියල්ලන් ම වහලුන් මෙන් ඔබට වහල් සේවය ඉටු කළ යුතු ය. 12 එහෙත්, ඔව්හු සාමදානයට කැමැති නොවී, ඔබට විරුද්ධ ව සටන් කරත් නම් ඔබ ඒ නුවර වටලෑ යුතු ය. 13 දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබේ බලයට පාවා දුන් පසු, ඔබ එහි සිටින සියලු පිරිමින් කඩුවෙන් මරාදැමිය යුතු ය. 14 එහෙත්, කාන්තාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද ඒ නුවරින් කොල්ලකාගත් මුළු වස්තුව ද ඔබේ ප්‍රයෝජනයට තබාගත හැකි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් ඔබේ සතුරන්ගේ කොල්ලකාගත් වස්තුව ඔබට භුක්ති විඳිය හැකි ය. 15 ඔබට යාබද ව වසන ජාතීන්ට අයිති නො වූ, ඔබෙන් බොහෝ දුරස්තර ව පිහිටි නගර සියල්ලට ම ඔබ මෙලෙස කළ යුතු ය. 
16 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන නගරවල සෙනඟගෙන් කිසිවෙකුට පණපිටින් සිටින්නට ඉඩ නොහැරිය යුතු ය. 17 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ප්‍රකාර හිත්තීවරුන් ද අමෝරිවරුන් ද කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද යන සියල්ලන් සහමුලින් ම වනසාලිය යුතු ය. 18 ඔබ එසේ කළ යුත්තේ, ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් ඉදිරියෙහි කරන පිළිකුල් ක්‍රියාවන් ඔබට නූගන්වන පිණිසත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකරන පිණිසත් ය. 
19 ”යම් නුවරක් අල්ලාගැනීම සඳහා සටනක යෙදී, බොහෝ කාලයක් එය වටලාගෙන සිටින විට, එහි ඇති ගස් කොළන් පොරොවකින් වැනසිය යුතු නොවේ. ඒවායින් ඔබට කන්නට පුළුවන. ඒවා නොකැපිය යුතු ය; නගරයක් වැටලීමේ දී එහි ඇති ගස් කොළන්, ඔබේ සතුරන් නොවන බව සැලකිය යුතු ය. 20 පල නොදරන යම් ගසක් වේ නම්, ඔබට එය කපා වනසාදැමිය හැකි ය. ඒවා පාවිච්චි කරමින්, ඔබට විරුද්ධ ව සටන් කරන නගරය යටත් වන තුරු එය වැටලීම සඳහා පවුරු පදනම් සෑදිය හැකි ය.”

 

– 21 වන පරිච්ඡේදය –

නොවිසඳූ මිනීමැරුම්

1 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැනීමට දෙන දේශයෙහි යම් එළිමහන් තැනක මරාදමනු ලැබූ යමෙකු සම්බ වුණොත්, ඔහු මැරූ තැනැත්තා නොදන්නේ නම්, 2 එවිට ප්‍රජා මූලිකයන් සහ විනිශ්චයකරුවන් පැමිණ, මළසිරුර ඇති තැන සිට අවට තිබෙන නගරවලට ඇති දුර මැනිය යුතු ය. 3 ඉන්පසු මළසිරුරට කිට්ටු ම නගරයේ ප්‍රජා මූලිකයන් වැඩ කිරීමට නොගත්, වියගස නොදැරූ එළ නෑම්බියක ගෙන, 4 කිසිවක් නොවපුළ, රො‍්පණය නොකළ, දිය ගලා යන මිටියාවතකට ගොස්, එම ස්ථානයේ දී ඇගේ ගෙල සිඳදැමිය යුතු ය. 5 එවිට ලෙවීගේ පුත්‍රයන් වන පූජකවරුන් එහි ආ යුතු ය. දෙවි සමිඳාණන් වහන්සේට සේවය කිරීමටත්, උන් වහන්සේගේ නාමයෙන් ආසිරි දීමටත් උන් වහන්සේ තෝරාගත්තෝ ඔව්හු ය. සෑම වාද විවාද සහ අඬදබර ඔවුන්ගේ තීන්දුවෙන් තේරුම් බේරුම් කරගත යුතු වේ. 6 ඉන්පසු, මරන ලද තැනැත්තාට ඉතා කිට්ටු නගරයේ ප්‍රජා මූලිකයන්, දිය ගලා යන ස්ථානයේ ගෙල සිඳින ලද එළ නෑම්බියගේ හිස මත තමන්ගේ අත් සෝදාගත යුතු ය. 7 තවද, ඔවුන් මෙසේ කිව යුතු ය: ‘අපි මේ ලේ නොවැගුරුවෙමු. අපි එය නුදුටිමු. 8 ස්වාමීනි, ඔබ මුදාගත් ඔබේ ඉශ්රායෙල් සෙනඟට අනුකම්පාව දක්වන සේක් වා! මේ නිදොස් ලේ ඔවුන්ගේ වගකීමට නොපවරන සේක් වා!’ එවිට එම මිනීමැරීම පිළිබඳ වරද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජනතාවට කමා කරනු ලැබේ. 9 මෙලෙස ඔබ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යුතු දේ කිරීමෙන්, නිදොස් ලේ වැගිරීම පිළිබඳ වරද ඔබ අතරෙන් පහකළ යුතු ය.”

යුද්ධයෙන් අල්ලාගත් කාන්තාවන්

10 ”ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගිය විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පාවා දී, ඔවුන් වහල්කමට අල්ලාගත් පසු, 11 ඔවුන් අතර ඔබ කැමැති, රුවැති කාන්තාවක දැක, ඇය ඔබේ බිරිඳ කරගන්නට කැමැති නම්, 12 ඇය ගෙදර ගෙනැවිත්, ඇගේ හිස බූගෑ යුතු ය. ඇගේ නියපොතු කැපිය යුතු ය. 13 ඇය ද වහල්කමේ ඇඳුම් මාරු කොට, ඔබේ ගෙදර නැවතී, ඇගේ දෙමාපියන් සඳහා සම්පූර්ණ මාසයක් වැලපිය යුතු ය. ඉන්පසු ඔබ ඇය සමඟ හැසිර, ඇගේ ස්වාමි පුරුෂයා විය හැකි ය. ඇය ද ඔබේ බිරිඳ වන්නී ය. 14 එහෙත්, කාලයක් ගිය පසු ඔබ ඇයට කැමැති නැත්නම්, ඈට කැමැති තැනකට යන්න ඉඩ හැරිය යුතු වේ. එහෙත් ඔබ ඇය බිරිඳ කොට තබාගත් බැවින් වහලියක මෙන් සලකා, මුදලට විකිණිය යුතු නොවේ.”

කුලුඳුලාගේ උරුමය

15 ”යම් පුරුෂයෙකුට භාර්යාවෝ දෙදෙනෙක් සිටිත් නම්, ඔහු එක් කෙනෙකුට ප්‍රේම කරන්නටත්, අනෙක් තැනැත්තීට ප්‍රේම නොකරන්නටත් පුළුවන. එහෙත්, ප්‍රේමය ලැබූ හා නොලැබූ භාර්යාවන් දෙදෙනා ඔහුගෙන් දරුවන් ලබන විට, ප්‍රේමය නොලැබූ තැනැත්තියගේ දරුවා කුලුඳුලා වේ නම්, 16 එවැනි අවස්ථාවක දී, ඒ පුරුෂයා තමා සන්තක වස්තුව තම දරුවන්ට උරුම කොට දෙන කල, කුලුඳුලා සිටින, තමා ප්‍රේම නොකළ භාර්යාවගේ පුත්‍රයා වෙනුවට තමා ප්‍රේම කළ භාර්යාවගේ පුත්‍රයා කුලුඳුලා මෙන් නියම නොකළ යුතු ය. 17 තමා ප්‍රේම නොකළ තැනැත්තීගේ පුත්‍රයාට තමා සතු වස්තුවෙන් කොටස් දෙකක් දී, ඔහු කුලුඳුලා මෙන් පිළිගත යුතු වේ. මන්ද, ඒ කුලුඳුලා ඔහුගේ පුරුෂ ශක්තියේ නාඹුල් පලය වේ. එබැවින් කුලුඳුල් බවේ අයිතිය ඔහුගේ ය.”

අකීකරු දරුවා

18 ”දෙමාපියන් හට කීකරු නොවන, දඬුවම් දුන් කල පවා ඔවුන්ට ඇහුම්කන් නොදෙන, හිතුවක්කාර, කැරලිකාර පුතෙක් යමෙකුට සිටී නම්, 19 ඔවුන් ඔහු අල්ලාගෙන වාසල් දොරකඩ සිටින තම නගරයේ ප්‍රජා මූලිකයන් වෙත ඔහු ගෙනා යුතු ය. 20 මෙසේ ගෙනැවිත්, ඔවුන් නගර ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මොහු හිතුවක්කාර, කැරලිකාර දරුවෙකි. මොහු අපට කීකරු වන්නේ නැත. මොහු බේබද්දෙකි, නාස්තිකාරයෙකි’යි කිය යුතු ය. 21 එවිට නගරයේ සියලු ම මිනිස්සු ඔහුට ගල් ගසා මරණයට පත් කරන්නො‍් ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. මුළු ඉශ්රායෙල් ජනතාව මෙය ගැන ඇසූ විට බිය වනු ඇත.”

විවිධ නීති හා නියෝග

22 ”යමෙකු මරණ දඬුවමට සුදුසු අපරාධයක් කොට ගසක එල්ලා මරනු ලැබුවහොත් 23 මුළු රැය ම ඔහුගේ මළකඳ ගසේ තිබෙන්නට නෑර, කෙසේ නමුත් එදින ම එය භූමදාන කළ යුතු ය. එල්ලා මරන ලද තැනැත්තා, දේව සාපයට පාත්‍ර වූ කෙනෙකි. මෙසේ කිරීමෙන් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශය දූෂ්‍ය නොවන්නේ ය.

 

– 22 වන පරිච්ඡේදය –

1 ”ඔබේ සහෝදරයාට අයිති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ මංමුළා ව ගොස් සිටිනු දැක, ඌ ගැන සලකා බලා, ඔබේ සහෝදරයා වෙත ඌ ආපසු ගෙනා යුතු ය. 2 එහෙත්, ඔබේ සහෝදරයා අසලක නොසිටී නම්, නොහොත් ඔබ ඔහු නොදන්නෙහි නම්, ඔහු ඌ සොයා එන තුරු ඔබ ඌ ගෙදර ගෙන යා යුතු ය. ඔහු ඌ සොයා ආ විට ඒ සතා ඔහුට ආපසු භාර දිය යුතු ය. 3 ඔබේ සහෝදරයාට අයිති ව තිබී, නැති වූ, පසුව ඔබ සොයාගත් ඔහුගේ කොටළුවෙකු හෝ ඔහුගේ වස්ත්‍ර හෝ අන් හැම දෙයක් හෝ සම්බන්ධයෙන් ද ඔබ මගනෑර එලෙස ම සලකා බලා ක්‍රියා කළ යුතු ය. 
4 ”ඔබේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා හෝ පාරේ වැටී සිටිනු ඔබ දුටුවහොත්, අහක බලාගෙන නොගොස් ඌ නැගිටුවාලීමට ආධාර කළ යුතු ය. 
5 ”කාන්තාවක පුරුෂයෙකුගේ ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය. පුරුෂයෙකු ස්ත්‍රියකගේ ඇඳුම ඇඟ ලා නොගත යුතු ය. එලෙස කරන සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි. 
6 ”ඔබ පාරේ යන විට, ගසක හෝ බිම හෝ ඇති, පැටවුන් හෝ බිත්තර හෝ සහිත, කුරුලු කූඩුවක් දුටහොත්, තවද කිරිල්ලී පැටවුන් හෝ බිත්තර හෝ මත සිටින්නී නම්, ඔබ පැටවුන් සමඟ කිරිල්ලී නොගත යුතු ය. 7 කිරිල්ලී ගිය පසු පැටවුන් ඔබට ගත හැකි ය. මෙලෙස කළොත් ඔබට සෙත සැලසේ; ඔබේ ආයු දික් වන්නේ ය. 
8 ”ඔබ අලුත් ගෙයක් ඉදි කරන විට, වහලෙන් යමෙකු ලිස්සා නොවැටෙන සේ වහල වෙට්ට ම බිත්තියක් තැනිය යුතු ය. යමෙකු එයින් ලිස්සා වැටී මැරුණොත්, ඒ මරණය පිළිබඳ වගකීම ඔබේ ගෘහයේ අය පිට නොපැවරේ. 
9 ”ඔබේ මිදි වත්තේ බීජ දෙවර්ගයක් වැපිරිය යුතු නොවේ. එසේ කළොත් ඔබ වපුළ බීජවල පලදාවත්, මිදි පලදාවත් ශුද්ධස්ථානයට අයිතිවන්නේ ය. 
10 ”කෙතක් හෑම සඳහා ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳිය යුතු නොවේ. 
11 ”ලෝම සහ හණ වැනි දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍ර ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය. 
12 ”ඔබ ඇඟ ලා ගන්න ඇඳුම්වල කොන් සතරේ දාවලු සාදාගත යුතු ය.”

කන්‍යාභාවය නැති වීම පිළිබඳ වගකීම

13 ”යම් පුරුෂයෙකු බිරිඳක පාවාගෙන ඈ සමඟ සේවනයෙහි යෙදී, කලකට පසු ඈට අකමැති වී, 14 ඈට විරුද්ධ ව බොරු චෝදනා ඉදිරිපත් කොට, ඇගේ නමට නිගා කරමින්, ‘මම මේ කාන්තාව සරණ පාවා ගතිමි; ඈ වෙත පිවිසුණු කල්හි ඈ කන්‍යාවක් නොවූයේ ය’යි කිවහොත්, 15 තරුණියගේ දෙමාපියන් ඈ ගෙන නගර වාසල් දොරටුවේ සිටින ප්‍රජා මූලිකයන් වෙත තරුණියගේ කන්‍යාභාවය දක්වන සලකුණු රැගෙන යා යුතු ය. 16 තරුණියගේ පියා ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මම මගේ දුව මේ පුරුෂයාට බිරිඳ කොට පාවා දුනිමි. එහෙත්, ඔහු ඇයට අකමැති වී, 17 බොරු චෝදනා ඉදිරිපත් කරමින්, මගේ දුව කන්‍යාවක් නො වූවා යයි කියයි. එහෙත් මෙන්න, මාගේ දුවගේ කන්‍යාභාවයේ සලකුණු’යි කියා, ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි, රෙදි කඩ දිග ඇරිය යුතු වේ. 18 එවිට නගරයේ ප්‍රජා මූලිකයන් ඒ පුරුෂයා ගෙන ඔහුට පහර දිය යුතු ය. 19 තවද, ඔහුට රිදී කාසි සියයක් දඩ ගසා ඒවා ඒ තරුණියගේ පියාට දිය යුතු ය. මෙසේ කළ යුත්තේ ඉශ්රායෙල් ජාතික කන්‍යාවක පිට ඔහු නරක නාමය පැවරූ බැවිනි. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. දිවි ඇති තාක් ඔහුට ඇය පන්නාදැමිය නොහැකි ය. 
20 ”එහෙත්, තරුණියගේ කන්‍යාභාවයේ සලකුණ නැති බවට ඉදිරිපත් කළ චෝදනාව ඇත්තක් නම්, 21 ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. 
22 ”යම් පුරුෂයෙකු අන් විවාහක කාන්තාවක සමඟ සයනය කළහොත්, එම පුරුෂයාත් කාන්තාවත් දෙදෙන ම මරණයට පත් කළ යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. 
23 ”යම් මිනිසෙකු, අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් කන්‍යාවක සමඟ නගරය තුළ දී හමු වී ඇය සමඟ සයනය කළහොත්, 24 ඔබ ඔවුන් දෙදෙනා ඒ නගරයේ වාසල් දොරකඩට ගෙනවුත් ගල් ගසා මරණයට පත් කළ යුතු ය. තරුණිය මැරිය යුත්තේ නගරය තුළ දී ඈට එය වූ බැවින්, කෑ ගසා බේරෙන්නට ඇයට ඉඩ ප්‍රස්තාව තිබූ නිසා ය. පුරුෂයා මැරිය යුත්තේ, ඔහු තම අසල්වැසියාගේ බිරිඳට අගෞරව කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. 
25 ”යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් තරුණියක එළිමහනේ දී මුණගැසී, ඔහු බලහත්කාරකමින් ඇය දූෂණය කළහොත්, ඒ පුරුෂයා පමණක් මරණයට පත් කළ යුතු ය. 26 තරුණියට නම්, කිසිවක් නොකළ යුතු ය. ඈ මරණයට සුදුසු අපරාධයක් නොකළ බැවිනි. මේ කාරණය, යමෙකු තම අසල්වැසියාට විරුද්ධ ව නැඟිට, ඔහු මරා දැමීමට සමාන වේ. 27 මන්ද, විවාහ ගිවිසුම් බස් දුන් තරුණිය ඔහුට මුණගැසුණේ කෙතක දී ය. ඈ කෑගැසූ නමුත් ඇය මුදාගැනීමට කිසිවෙකු නොසිටි බැවිනි. 
28 ”යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් නුදුන් තරුණ කන්‍යාවක බලහත්කාරකමින් දූෂණය කොට හසුවුවහොත්, 29 ඔහු ඒ තරුණියගේ පියාට රිදී කාසි පණහක් දිය යුතු ය. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. ඔහු ඇයට අගෞරව කළ බැවින් දිවි ඇති තාක් ඇය නෙරපා නොදැමිය යුතු ය. 
30 ”යම් පුරුෂයෙකු තම පියාගේ බිරිඳ සරණ පාවාගෙන ඒ පියාට නින්දා කළ යුතු නොවේ.”

 

– 23 වන පරිච්ඡේදය –

සමිඳුන්ගේ සභාවට නොයා යුතු අය

1 ”අණ්ඩය තුවාළ වූ හෝ රහසඟ කපන ලද හෝ කෙනෙකු සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. 2 අවජාතක යමෙකු ද සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. එවැන්නෙකුගෙන් පැවතෙන අය දස වන පරම්පරාව දක්වා ම සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. 
3 ”අම්මොනිය ජාතිකයෙකු වත්, මෝවබ් ජාතිකයෙකු වත්, මොවුන්ගෙන් පැවත එන අය වත්, දස වන පරම්පරාවේ දී වත් සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. 4 ඔවුන් නොයා යුත්තේ, ඔබ මිසර දේශයෙන් නික්ම එන විට, මාර්ගයේ දී ඔබට ඔවුන් ආහාර පාන නුදුන් නිසාත්, ඔවුන් ඔබට විරුද්ධ ව සාප කරනු සඳහා මෙසොපොතාමියේ පෙතෝර් නගරයේ බෙයෝර්ගේ පුත් බාලාම් කුලියට ගත් නිසාත් ය. 5 එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ බාලාම්ට ඇහුම්කන් නුදුන් සේක. උන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවින්, ඒ සාපය ආශීර්වාදයකට හැරෙවූ සේක. 6 ඔබ දිවි ඇති තාක් ඔවුන්ගේ සෞභාග්‍යය සහ ශුභසිද්ධිය සඳහා කිසිවක් නොකළ යුතු ය. 
7 ”ඒදොම් ජාතිකයෙකු, ඔබේ සහෝදරයෙකු බැවින්, ඒදොම් ජාතිකයෙකු හෙළා නොදැකිය යුතු ය. මිසර දේශයේ විදේශිකයෙකු මෙන් ඔබ විසූ බැවින් මිසර ජාතිකයෙකු හෙළා නොදැකිය යුතු ය. 8 තුන් වන පරම්පරාවේ දී ඔවුන්ට ලැබෙන දරුවන් හට සමිඳාණන් වහන්සේගේ සභාවට යා හැකි ය.”

කඳවුරු පවිත්‍ර ව තබාගැනීම

9 ”ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට එළඹෙන විට, කඳවුරු තුළ හැම නපුරු ක්‍රියාවකින් වැළකී සිටිය යුතු ය. 10 රාත්‍රියේ ධාතු මෝචනයෙන් අපවිත්‍ර වුණ යමෙකු කඳවුරෙන් පිටතට ගොස් ඊට නොපැමිණිය යුතු ය. 11 සවස් කාලයේ දී ඔහු ජලයෙන් තමා සෝදාගත් පසු, ඉර බැස ගිය විට කඳවුර තුළට ඔහු ආපසු පැමිණිය යුතු ය. 
12 ”මලපහ කිරීම සඳහා කඳවුරෙන් පිටත ස්ථානයක් තිබිය යුතු ය. 13 ඔබේ බඩු භාණ්ඩ අතරේ හාරන හැන්දක් විය යුතු ය. මලපහ කිරීමට උවමනා වූ විට හාරන හැන්දෙන් වළක් හාරා, ඊට මලපහ කර, ආපසු හැරී, එය වසාදැමිය යුතු ය. 14 ඔබ ගළවාගැනීමටත්, ඔබේ සතුරන් පරාජය කිරීමටත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කඳවුර මැද වැඩ සිටින සේක. එබැවින් කඳවුර පවිත්‍ර ව තබාගත යුතු ය. එහි අපවිත්‍ර යමක් උන් වහන්සේ දුටුවොත් උන් වහන්සේ ඔබෙන් අහක් ව යන සේක.”

වෙනත් විවිධ නීති හා නියෝග

15 ”තම ස්වාමියාගෙන් ගැළවී ඔබ වෙත පැමිණි වහලෙකු ඔබ යළි ස්වාමියා හට පාවා නොදිය යුතු ය. 16 නගරය තුළ ඔහු කැමැති පරිදි, තෝරාගන්න ස්ථානයක ඔබ සමඟ වාසය කරනු ඇත. ඔබ ඔහුට පීඩා නොකළ යුතු ය. 
17 ”ඉශ්රායෙල්වරුන්ගේ දූවරුන් අතර දේවාල වෙසඟනක හෝ ඉශ්රායෙල් පුත්‍රයන් අතර දේවාල සල්ලාලයෙකු හෝ නොසිටිය යුතු ය. 18 එවැනි අයගේ කුලිය වශයෙන් ගත් මිලමුදල් ද ඔබේ බාර ඔප්පු කිරීම සඳහා දෙවි සමිඳාණන් වහන්සේගේ ගෘහයට නොගෙනා යුතු ය. මේ දෙවර්ගයේ ම මුදල් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි. 
19 ”ඔබේ සහෝදරයාට පොළියට කිසිවක් ණයට දිය යුතු නොවේ. පොළී ගැනීම සඳහා මුදල් හෝ කෑම බීම හෝ අන් කිසිවක් හෝ දීම නොකළ යුතු ය. 20 විදේශිකයෙකුට පොළියට යමක් ණයට දිය හැක. එහෙත්, ඔබේ සහෝදර ජනතාවට එලෙස දිය යුතු නොවේ. මේවා ඔබ පිළිපැද්දොත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබේ සියලු වැඩ කටයුතුවල දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආසිරි දෙන සේක. 
21 ”ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ බාරයක් පොරොන්දු වූ විට, එය ඉටු කිරීමට පමා නොවිය යුතු ය. උන් වහන්සේ එය ඔබෙන් බලාපොරොත්තු වීම සහතික ය. එසේ නොකළොත් එය ඔබට පාපයකි. 22 බාරයක් නොවීම ඔබට පාපයක් නොවේ. 23 ඔබ වචනයෙන් පොරොන්දු වූ දේ ඉටු කළ යුතු ය. ඔබ වචනයෙන් පොරොන්දු වූ ස්වේච්ඡා පූජාව, දෙවි සමිඳාණන් වහන්සේට පොරොන්දු වූ ලෙසට ඉටු කළ යුතු ය. 
24 ”ඔබේ අසල්වැසියාගේ මිදි වත්තට ඔබ ඇතුළු වුවහොත් ඔබට කැමැති පරිදි ඇති තරමට එහි මිදිපල කත හැකි ය. එහෙත්, ඒවා මල්ලක දමා නොගත යුතු ය. 25 ඔබේ අසල්වැසියාගේ ධාන්‍ය කෙතකට ඇතුළු වූ කල්හි ද එහි කරල් ඔබට අතින් කඩාගත හැකි ය. එහෙත්, ඒ ගොයමට දෑකැත්තක් නොපෙවිය යුතු ය.”

– 24 වන පරිච්ඡේදය –

දික්කසාද වීම සහ යළි විවාහ වීම

1 ”යම් පුරුෂයෙකු කාන්තාවක පාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් නිසා ඈට අකමැති වුවහොත්, දික්කසාද පත්‍රයක් ලියා, ඇය අතට දී, තම ගෙදරින් ඇය පිට කළ යුතු ය. 2 එම ගෙදරින් පිටතට ගිය පසු, ඈට වෙන පුරුෂයෙකුගේ බිරිඳක විය හැකි ය. 3 මේ සැමියා ද ඇයට අකමැති වුවහොත් දික්කසාද පත්‍රයක් ලියා, ඇය අතට දී, සිය ගෙදරින් ඇය පිට කළ යුතු ය. ඇය සරණ පාවාගත් මේ සැමියා මියගියොත්, 4 ඇය දූෂ්‍ය වී සිටින හෙයින්, ඇය පිට කළ පළමු ස්වාමි පුරුෂයාට තම බිරිඳ කොට ඇය පාවාගත නොහැකි ය. මෙසේ කිරීම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි. මෙසේ කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි ජනතාව පිට වරද නොපැවරිය යුතු ය.

විවිධ නීති හා නියෝග

5 ”යම් පුරුෂයෙකු අලුතෙන් බිරිඳක පාවාගත් පසු, ඔහු යුද්ධයට පිටත් ව නොයා යුතු ය. වෙනත් රාජකාරි සම්බන්ධ වගකීමක් ඔහුට නොපැවරිය යුතු ය. අවුරුද්දක් ඔහු ගෙදර නැවතී සිට තමා පාවාගත් බිරිඳ සතුටු කළ යුතු ය.” 
6 ”කිසිවෙකු සෙක්කුවක් හෝ ඇඹරුම් ගලක් හෝ උකස වශයෙන් නොගත යුතු ය. එසේ කිරීම යමෙකුගේ ජීවිතය උකසට ගන්නාක් මෙනි. 
7 ”යමෙකු ඉශ්රායෙල් ජනයා අතර කෙනෙකු පැහැරගෙන ඔහු වහලෙකු කළොත් හෝ ඔහු විකුණුවොත් හෝ එවැනි සොරෙකු මරාදැමිය යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු ය. 
8 ”බො‍්වෙන චර්ම රො‍්ගයක් සම්බන්ධයෙන් ලෙවී ජාතික පූජකවරුන් ඔබට උගන්වන සියල්ල හරියාකාර ඉටු කිරීමට සැලකිල්ල දැක්විය යුතු ය. මා ඔවුන්ට අණ දුන් ප්‍රකාර ඔබ ඒවා පිළිපැදීමට වගබලාගත යුතු ය. 9 ඔබ මිසර දේශයෙන් නික්ම ආ පසු අතරමඟ දී දෙවි සමිඳාණන් වහන්සේ මීරියම් නම් කාන්තාවට කළ දේ සිහි කරන්න. 
10 ”ඔබේ සහෝදරයාට යමක් ණයට දුන් පසු, ඒ වෙනුවට උකසක් ගැනීම සඳහා ඔහුගේ ගෙදරට ඇතුළු නොවිය යුතු ය. 11 ඔබ පිටත සිටින විට ඔබ යමක් ණයට දුන් තැනැත්තා උකස රැගෙන විත් ඔබට දෙනු ඇත. 12 යමෙක් දිළිඳු නම්, ඔහු ඔබට උකසට දුන් වස්ත්‍රය රෑ කාලයේ තබා නොගත යුතු ය. 13 කෙසේ හෝ වේවා, ඔහුට එම වස්ත්‍රය පොරවාගෙන නිදාගැනීමට හැකි වනු පිණිස ඉර බැස යන විට එම උකස් වස්ත්‍රය ඔහුට භාර දිය යුතු ය. එවිට ඔහු ඔබට ආසිරි දෙනු ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය ධර්මිෂ්ඨ ක්‍රියාවක් වන්නේ ය. 
14 ”ඔබේ සහෝදර ජනතාවගෙන් හෝ ඔබේ දේශයේ නගරවල විදේශීන්ගෙන් හෝ දිළිඳු, අසරණ කුලීකරුවෙකුට පීඩා නොකළ යුතු ය. 15 ඉර බැස යාමට පෙර ඔහුගේ දවසේ කුලිය ඔහුට ගෙවිය යුතු ය. ඔහු දිළිඳු නිසා, ඔහු ඒ කුලිය බලාපොරොත්තුවෙන් සිටියි. එසේ නොගෙව්වහොත් ඔහු සමිඳාණන් වහන්සේට මොරගසනු ඇත, එය ඔබට පාපයක් වන්නේ ය. 
16 ”දරුවන්ගේ වැරදිවලට ඔවුන්ගේ පියවරුන් ද පියවරුන්ගේ වැරදිවලට ඔවුන්ගේ දරුවන් ද මරණයට පත් නොකළ යුතු ය. හැම කෙනෙක් ම තම තමාගේ ම අපරාධවලට මරණයට පත් කරනු ලැබේ. 
17 ”විදේශිකයන්ගේ ද අනාථයන්ගේ ද අයිතිවාසිකම් පැහැර නොගත යුතු ය. වැන්දඹුවකගේ වස්ත්‍ර ද උකසට නොගත යුතු ය. 
18 ”ඔබ මිසර දේශයේ වහලෙකු ව සිටි බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ මුදාගත් බවත් සිහි කළ යුතු ය. මා ඔබට මේ දේවල් අණ කරන්නේ එබැවින් ය. 
19 ”ඔබ කෙතේ අස්වැන්න නෙළාගත් පසු, ගොයම් මිටියක් අමතක වුණොත් එය ගැනීමට ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. ඔබ මෙසේ කළොත්, ඔබේ සියලු වැඩපලවල දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක. 20 ඔලීව ගස්වලින් පල නෙළන විට ද ඉතුරු වන ගෙඩි සොයාගෙන ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. 21 මිදි වත්තේ මිදි එකතු කරගන්න විට ද ඉතිරි වන ඒවා නැවත කපා නොගන්න. ඒවා විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. 22 මිසර දේශයේ දී ඔබ වහලුන් ව සිටි බව සිහි කරන්න. මේ දේවල් මා ඔබට අණ කරන්නේ එබැවින් ය.

– 25 වන පරිච්ඡේදය –

1 ”මිනිසුන් අතර ආරාවුලක් හටගෙන, උසාවියට ගිය විට, විනිශ්චයකරුවන් ආරාවුල් විසඳමින්, නිවැරදිකරු නිදොස් කොට, වරදකරුට දඬුවම් දිය යුතු ය. 2 වරදකරු පහර ලැබීමට සුදුසු නම්, විනිශ්චයකරු ඔහු බිම බාවා, වරදේ බරපතලකම හැටියට, තමා ඉදිරිපිට දී නියමිත පහර ගණන ඔහුට දෙන්නට සැලැස්විය යුතු ය. 3 ඔහුට කස පහර සතළිසක් දෙත හැක. ඊට වඩා නොදිය යුතු ය. ඊට වැඩි ගණනක් දුන්නොත්, ඔබ ඔබේ සහෝදරයාට ප්‍රසිද්ධියේ අවමානයක් කරන්නෙහි ය. 
4 ”ගොයම් පාගන ගවයාගේ කට නොබැඳිය යුතු ය.”

මියගිය සහෝදරයා කෙරෙහි යුතුකම

5 ”එකට වාසය කරන සහෝදරයන් අතරෙන් එක් කෙනෙකු පුතෙකු නැතුව මළොත්, මියගිය තැනැත්තාගේ බිරිඳ, පිට පවුලක කෙනෙකු සමඟ විවාහ නොවිය යුතු ය. ඇගේ සැමියාගේ සහෝදරයා ඇය සරණ පාවාගෙන, ඇය වෙත පිවිස, සැමියාගේ සහෝදරයෙකු විසින් ඈ කෙරෙහි කළ යුතු යුතුකම ඔහු ඉටු කළ යුතු ය. 6 තවද, මියගිය සහෝදරයාගේ නම ඉශ්රායෙල් ජනයා අතර නොමැකී පවතින පිණිස ඈට උපදින කුලුඳුලා මියගිය සහෝදරයාගේ නම ගත යුතු ය. 7 එහෙත්, ඒ තැනැත්තා මියගිය තම සහෝදරයාගේ බිරිඳ පාවා ගන්නට අකමැති නම්, ඈ වාසල් දොරකඩ සිටින ප්‍රජා මූලිකයන් වෙත ගොස්, ‘මාගේ සැමියාගේ සහෝදරයා, ඔහුගේ මියගිය සහෝදරයාට ඉශ්රායෙල් ජනයා අතර නාමයක් රඳවාගැනීම ප්‍රතික්ෂේප කරයි. මාගේ සැමියාගේ සහෝදරයාට පැවරෙන යුතුකම් ඔහු ඉටු කරන්නේ නැතැ’යි කිව යුතු ය. 8 එවිට නුවර ප්‍රජා මූලිකයන් ඔහු කැඳවා, ඔහුට කතා කළ යුතු ය. ‘මම ඇය සරණ පාවාගන්නට අකමැත්තෙමි’යි ඔහු තදින් කියා සිටින්නේ නම්, 9 ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ප්‍රජා මූලිකයන් බලා සිටිය දී ම ඔහු වෙත පැමිණ ඔහුගේ පාදයෙන් සෙරෙප්පුවක් ගලවා, ඔහුගේ මුහුණට කෙළ ගසා, ‘තම සහෝදරයාට පෙළපතක් ඇති නොකරන මිනිසාට මෙසේ කළ යුතු ය’යි කිව යුතු ය. 10 ‘සෙරෙප්පුව ගලවන ලද තැනැත්තාගේ පවුල’ කියා ඉශ්රායෙල් ජනතාව අතර ඔහුගේ පවුල නම් කළ යුතු වේ.”

නීති හා නියෝග

11 ”මිනිසුන් දෙදෙනෙකු තමන් අතර දබර කරන කල එක් කෙනෙකුගේ බිරිඳ, තම සැමියාට පහර දෙන අනික් තැනැත්තාගෙන් ඔහු බේරාගැනීමට ළං වී අත දිගු කොට ඒ තැනැත්තාගේ රහසඟ ඇල්ලුවොත්, 12 ඇගේ අත කපාදැමිය යුතු ය. ඔබ ඇයට අනුකම්පා නොකළ යුතු ය. 
13 ”බර එකක් සහ සැහැල්ලු එකක් වශයෙන් විවිධ හොර කිරුම් පඩි ඔබේ මල්ලේ තබා නොගත යුතු ය. 14 ලොකු එකක් සහ කුඩා එකක් වශයෙන් විවිධ හොර මිමි ඔබේ ගෙදර තබා නොගත යුතු ය. 15 හරි කිරුම් පඩි ද හරි මනින මිමි ද ඔබ ළඟ තබාගත යුතු ය. මෙසේ කළහොත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයේ දී ඔබට දීර්ඝායුෂ ලැබෙන්නේ ය. 16 මෙවැනි වංචනික දේවල් සහ අසාධාරණ දේවල් කරන්නො‍් සමිඳාණන් වහන්සේට පිළිකුලකි.”

අමලෙක්වරුන් ඝාතනය කිරීම

17 ”මිසර දේශයෙන් ඔබ නික්ම එන විට මාර්ගයේ දී අමලෙක්වරුන් ඔබට කළ දේ සිහි කරන්න. 18 ඔවුන් දෙවියන් වහන්සේට ගරුබිය නොපෙන්වූ බැවින්, මාර්ගයේ දී ඔවුන් ඔබට හමු වී, ඔබ ක්ලාන්ත ව වෙහෙස මහන්සි වී සිටිය දී, ඔබට පිටුපසින් පැමිණ දුබල අයට ඔවුන් පහර දුන් හැටි සිහි කරන්න. 19 එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.”

 

– 26 වන පරිච්ඡේදය –

නාඹුල් පල

1 ”ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උරුමයක් වශයෙන් ඔබට අයිති කර දෙන්නට යන දේශයට ඔබ පැමිණ, එහි පදිංචි වූ පසු, 2 උන් වහන්සේ දුන් දේශයෙහි පොළොවේ සෑම පලදාවකින් නාඹුල් පල ගෙන, ඒවා පැසක දමා උන් වහන්සේ සිය නාමය පිහිටුවීමට තෝරාගන්න ස්ථානයට යා යුතු ය. 3 ඔබ එකල සිටින පූජකවරයා වෙත ගොස් මෙසේ කිව යුතු ය: ‘අපට දෙනු සඳහා සමිඳාණන් වහන්සේ අපේ පියවරුන්ට පොරොන්දු වූ රටට මා පැමිණි බව මම අද දින දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ කරමි.’ 4 පූජකවරයා ද පැස ඔබේ අතින් ගෙන දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට එය තැබිය යුතු ය. 
5 ”ඉන්පසු ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරිපිට මෙසේ කිව යුතු ය: ‘මාගේ ආදි පියා තැනින් තැන සංචාරය කළ අරමීය ජාතිකයෙකි. ඔහු කුඩා පිරිසක් කැටුව මිසරයට ගොස්, එහි කලකට පදිංචි වී මහත් බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් විය. 6 මිසරවාසීහු ද නපුරු ලෙස ක්‍රියා කරමින්, අපට හිංසා පීඩා කොට අප දැඩි වහල්කමට පත් කළහ. 7 අපේ ආදි පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට අප මොරගැසූ විට සමිඳාණන් වහන්සේ අපට සවන් දී අපේ දුක් කරදර ද හිංසා පීඩා ද වෙහෙස මහන්සි ද දෙස බැලූ සේක. 8 සමිඳාණන් වහන්සේ සිය හස්තය දිගු කොට, බාහු බලය පා, බියජනක අරුමපුදුම දේවලින් සහ හාස්කම්වලින් මිසර දේශයෙන් අප පිටතට ගෙනා සේක. 9 උන් වහන්සේ අප මෙහි ගෙනවුත්, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන මේ දේශය අපට දුන් සේක. 10 සමිඳුනි, දැන් බලනු මැනව; ඔබ මට දුන් දේශයේ නාඹුල් පල මම ගෙනැවිත් සිටිමි.’ මෙසේ කියා දෙවි සමිඳාණන් ඉදිරියෙහි එය තබා උන් වහන්සේට නමස්කාර කළ යුතු ය. 11 දෙවි සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පවුලටත් දානය කළ සියලු යහපත් දේවල් ගැන ඔබත්, ලෙවීවරුත්, ඔබ සමඟ වසන විදේශිකයනුත් ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
12 ”දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තෙ වන අවුරුද්දේ දී, ඔබේ අස්වනු සියල්ලෙන් දසයෙන් කොටස වෙන් කොට, ලෙවීවරයා ද විදේශිකයා ද අනාථයා ද වැන්දඹුව ද ඔබේ නගරය තුළ එය අනුභව කොට තෘප්තිමත් වූ පසු 13 දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ කිව යුතු ය: ‘ඔබ මට දුන් සියලු ආඥා ප්‍රකාර, කැප කළ දේ සියල්ල මම ගෙදරින් ගෙනවුත්, ලෙවීවරයාට ද විදේශිකයාට ද අනාථයාට ද වැන්දඹුවට ද දුනිමි. ඔබේ ආඥා මම කඩ නොකෙළෙමි. ඒවා අමතක නොකෙළෙමි. 14 මා වැලපෙන සමයේ ද මම එයින් කිසිවක් නොකෑවෙමි. අපවිත්‍ර ව සිටි විට එයින් කිසිවක් ඉවත් නොකෙළෙමි. එයින් කිසිවක් මළවුන්ට ඔප්පු නොකෙළෙමි. මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වී, ඔබ වහන්සේ මට අණ කළ සියල්ල ප්‍රකාර කෙළෙමි. 15 ඔබේ ශුද්ධස්ථානය වන ස්වර්ගයේ සිට බලා, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජනතාවට ද ඔබ අපේ පියවරුන්ට දිවුළ ප්‍රකාර, අපට දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන මේ දේශයට ද ආශීර්වාද කරනු මැනව.’ ”

සමිඳුන්ගේ ම සෙනඟ

16 ”මෙදින දෙවි සමිඳාණන් වහන්සේ මේ නීති හා නියෝග පිළිපැදීමට ඔබට අණ කරන සේක. එබැවින් ඔබ, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඒවාට අවනත වී පිළිපැදිය යුතු ය. 17 ඔබ, සමිඳාණන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ බව අද පිළිගෙන, දෙවි මඟ යාමටත්, උන් වහන්සේගේ නීති, නියෝග සහ අණපණත් පිළිපැදීමටත්, උන් වහන්සේට කිකරුවීමටත් පොරොන්දු විය යුතු ය. 18 ඔබ උන් වහන්සේගේ අණපණත් සියල්ල පිළිපදින්නහු නම්, උන් වහන්සේ පොරොන්දු වූ ප්‍රකාර, ඔබ තමන් වහන්සේගේ විශේෂ සෙනඟක් මෙන් අද දින පිළිගන්න බව ප්‍රකාශ කරන සේක. 19 තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”

 

– 27 වන පරිච්ඡේදය –

දේව ආඥා ගල් කණුවල කෙටීම

1 මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැටුව සෙනඟට මෙසේ කී ය: ”අද දින මා ඔබට නියම කළ සියලු අණපණත් පිළිපදින්න. 2 ජොර්දාන් ගඟෙන් එතෙර වී, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්න යන දේශයට ඔබ ගිය පසු, විශාල ගල් කණු සිටුවා, ඒවාට හුණු බදාමක් ගෑ යුතු ය. 3 මෙසේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට පොරොන්දු වූ ප්‍රකාර, උන් වහන්සේ ඔබට දෙන්න යන, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට එතෙර වී, ඇතුළු වූ පසු මේ ආඥාව මුළුමනින් ම ඒ ගල්වල කෙටිය යුතු ය. 4 ජොර්දාන් ගඟින් එතෙර වූ පසු මා ඔබට අණ කරන, හුණු බදාම යෙදු ඒ ගල් කණු සිටුවිය යුත්තේ ඒබාල් කන්දේ ය. 5 එහි දී දෙවි සමිඳාණන් වහන්සේට, ගලින් පූජාසනයක් ගොඩනැගිය යුතු ය. එහෙත්, කිසි ම යකඩ ආයුධයක් ඒ ගල්වලට නොතැබිය යුතු ය. 6 දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය නොකැපූ ගලින් ඉදි කළ යුතු ය. උන් වහන්සේගේ මහිමයට ඒ පූජාසනය මත දවන යාග පූජා ඔප්පු කළ යුතු ය. 7 සහභාගිකමේ පූජා ද එහි ඔප්පු කොට, ඒවා එහි අනුභව කොට, දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. 8 තවද, ඒ ගල් කණු මත මේ ආඥාව සම්පූර්ණයෙන් ම පැහැදිලි ව කෙටිය යුතු ය.” 
9 නැවතත් මෝසෙස් සහ ලෙවී පූජකවරු ඉශ්රායෙල් ජනතාව අමතමින්, ”ඉශ්රායෙල් ජනයෙනි, සාවධානයෙන් සවන් දෙන්න. අද දින ඔබ හැම දෙවි සමිඳාණන් වහන්සේගේ සෙනඟ වූවහු ය. 10 එබැවින් ඔබ හැම දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වී මා මෙදින නියම කරන උන් වහන්සේගේ ආඥා ද නීති නියෝග ද ඉටු කළ යුතු ය”යි කී හ.

අකීකරුකමේ පල විපාක

11 එදින ම මෝසෙස් සෙනඟට අණ කරමින් මෙසේ කී ය: 12 ”ජොර්දාන් ගඟෙන් එතෙර වූ පසු, ගෙරිසීම් කන්ද මත, සෙනඟට ආශීර්වාද කරන පිණිස සිමියොන් ද ලෙවී ද ජුදා ද ඉස්සාකර් ද ජෝසෙප් සහ බෙන්ජමින් ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය. 13 ඒබාල් කන්ද මත සෙනඟට සාප කරන පිණිස, රූබන් සහ ගාද් ද ආෂෙර් සහ සාබුලොන් ද දාන් සහ නප්තලී ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය. 14 ඉන්පසු ලෙවීවරු, මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින්, හඬ නඟා මෙසේ කිව යුතු ය: 
15 ‘සමිඳාණන් වහන්සේට පිළිකුලක් වන ශිල්පියෙකුගේ හස්ත කර්මාන්තයක් ද වන නෙළූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මිනිසාට සාප වේ වා!’ මුළු සෙනඟ පිළිතුරු දෙමින්, ‘ආමෙන්’ කිව යුතු ය. 
16 ‘තම මවට හෝ පියාට හෝ අගෞරව කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. 
17 ‘තම අසල්වැසියාගේ ඉඩමේ මායිම් ඉවත් කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. 
18 ‘අන්ධයා මංමුළා කරවන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. 
19 ‘විදේශිකයාගේ ද අනාථයාගේ ද වැන්දඹුවන්ගේ ද අයිතිවාසිකම් හෙළා දමන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. 
20 ‘තම පියාගේ බිරිඳ සමඟ සයනය කොට, පියාට නින්දා කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. 
21 ‘යම්කිසි මෘගයෙකු සමඟ ලිංගික සම්බන්ධකම් ඇති කරගන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. 
22 ‘තම සොහොයුරිය හෝ තම පියාගේ දුව හෝ තම මවගේ දුව හෝ සමඟ සයනය කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. 
23 ‘තම නැන්දම්මා සමඟ සයනය කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. 
24 ‘තම අසල්වැසියා රහසින් මරා දමන්නාට සාප වේවා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. 
25 ‘නිර්දෝෂී යමෙකු මරනු පිණිස අල්ලස් ගන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. 
26 ‘මේ නීතිය පිණිස එය සම්පූර්ණයෙන් අනුමත නොකරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.

 

– 28 වන පරිච්ඡේදය –

කීකරුකමේ ආශීර්වාද 
(ලෙවී 26:3-13; ද්වි: නී: ස: 7:12-24)

1 ”මා අද දින ඔබට නියම කරන අණපණත් සියල්ල පිළිපදින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු වන්නහු නම්, උන් වහන්සේ මිහි පිට සියලු ජාතීන්ට වඩා ඔබ උසස් කරන සේක. 2 උන් වහන්සේගේ හඬට කීකරු වන්නහු නම්, පහත දැක්වෙන ආශීර්වාද සියල්ල ඔබ පිට පැමිණ ඔබ සමඟ වන්නේ ය. 
3 ”ඔබේ නගරයේ දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය. ඔබේ කෙත්වතුවල දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය. 
4 ”ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ බො‍් වීමට ද ආශීර්වාද ලැබෙන්නේ ය. 
5 ”ඔබේ පැසට ද පිටි අනන බඳුනට ද ආශීර්වාද ලැබෙන්නේ ය. 
6 ”ඔබ ඇතුළට එන විට ද පිටතට යන විට ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක. 
7 ”ඔබට විරුද්ධ ව නැඟිටින ඔබේ සතුරන්, ඔබ ඉදිරියෙහි පරාජය වීමට සමිඳාණන් වහන්සේ සලසන සේක. ඔව්හු ඔබට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් ඔබෙන් පලා යන්නො‍් ය. 
8 ”ඔබේ ගබඩාවලට ද ඔබේ සියලු වැඩකටයුතුවලට ද සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබට ආශීර්වාද කරන සේක. 
9 ”ඔබ උන් වහන්සේගේ ආඥා පිළිපැද දෙවි මඟ යන්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ දිවුළ ප්‍රකාර ඔබ උන් වහන්සේට කැප වූ සෙනඟක් කරගන්නා සේක. 10 උන් වහන්සේගේ නාමය ඔබ දරන බව දුටු විට, මිහි පිට සියලු ජාතීහු ඔබට බිය වන්නො‍් ය. 11 සමිඳාණන් වහන්සේ ඔබට දෙනු පිණිස ඔබේ පියවරුන්ට දිවුළ දේශයේ දී උන් වහන්සේ ඔබට දරුසම්පත ද ගවසම්පත ද භවහෝගසම්පත ද බහුල ව දානය කරන සේක. 12 උන් වහන්සේ තම ඉසුරු බර අහස් ගබඩා විවෘත කොට, නිසි කලට කෙත්වතුවලට වැසි වස්වන සේක. ඔබ කරන වැඩකටයුතු සියල්ලට ආශීර්වාද කරන සේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන්නහු ය; ණයට ඉල්ලා නොගන්නහු ය. 13 මා අද දින ඔබට අණ කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු වී, ඔබ ඒවා පිළිපදින්නහු නම්, සමිඳාණන් වහන්සේ ඔබ අන්තිමයන් නොකොට, ප්‍රධානීන් කරන සේක; පහත් නොකොට උසස් කරන සේක. 14 මා ඔබට මෙදින නියම කරන දේවල් ඔබ අකුරට ම පිළිපැදිය යුතු ය. අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් නොකළ යුතු ය.”

අකීකරුකමේ දුර්විපාක 
(ලෙවී 26:14-46)

15 ”මා අද දින ඔබට නියම කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝගයන් ද පිළිපදිනු සඳහා උන් වහන්සේගේ හඬට කීකරු නොවන්නහු නම්, පහත දක්වන සාප සියල්ල ද ඔබ වෙත පැමිණ, ඔබ සමඟ පවතින්නේ ය. 
16 ”ඔබේ නගරවල දී ඔබ සාප ලද්දෝ වන්නහු ය. ඔබේ ග්‍රාමයේ දී සාප ලද්දෝ වන්නහු ය. 
17 ”ඔබේ පැසට ද පිටි අනන බඳුනට ද සාප ලැබෙන්නේ ය. 
18 ”ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවසම්පතට හා එළු බැටළු පැටවුන්ට ද සාප ලැබෙන්නේ ය. 
19 ”ඔබ එන විට ද යන විට ද සාප ලද්දෝ වන්නහු ය. 
20 ”ඔබේ නපුරු ක්‍රියාවලින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හළ නිසා උන් වහන්සේ ඔබ නාස්ති වී, විගස වැනසී යන තෙක් ඔබටත් ඔබේ වැඩකටයුතු සියල්ලටත් සාපය ද වියවුල් ද තර්ජන ද පමුණුවන සේක. 21 ඔබ අයිති කරගන්නට යන දේශයෙන් ඔබ නැති කරදමන තෙක් උන් වහන්සේ වංසගත පිට වසංගත ඔබට පමුණුවන සේක. 22 සමිඳාණන් වහන්සේ ක්ෂය රො‍්ගය සහ උණ ද ඉදිමුම සහ උණසන්නිපාතය ද ඔබට වැළඳෙන්න සලස්වා පීඩා කරන සේක. ඔබේ පලදාවන් නියඟයෙන් ද කොළ රො‍්ගයෙන් සහ හතු රො‍්ගයෙන් ද වනසාලන සේක. ඔබ නාස්ති වී යන තෙක් ඒවා ඔබ ලුහුබැඳ එනු ඇත. 23 ඉහළින් ඇති අහස පිත්තල මෙන් වියළී ගොස් වැසි නොවසිනු ඇත. පහළින් ඇති පොළොව යකඩ මෙන් දැඩි වෙනු ඇත. 24 ඔබ වැනසී යන තෙක් උන් වහන්සේ දේශය පුරා වැසි, වැලි කුණාටු හා දූවිලි බවට පත් කර අහසින් හමන්නට සලසන සේක. 
25 ”සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජය වන්නට සලසන සේක. ඔබ ඔවුන්ට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් පලා යන්නහු ය. මිහි පිට සියලු රාජධානීන්හි වැසියන්ට ඔබ ගොරතර භීතියක් වන්නහු ය. 26 ඔබේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය. උන් බියගන්වා එලවාදැමීමට කිසිවෙකු නොවනු ඇත. 27 සුව විය නොහැකි ලෙස සමිඳාණන් වහන්සේ ඔබට මිසරයේ වූ ගඩු රො‍්ග ද පිළිකා ද වණ ද කුෂ්ඨ සහ හොරි ද වැළඳෙන්නට සලසන සේක. 28 උන් වහන්සේ ඔබ උමතු බවට පමුණුවා, ඔබේ ඇස් අන්ධ කොට, ඔබ අවුල් වියවුල් කරන සේක. 29 අන්ධයා අඳුරේ අතපතගාමින් යන්නාක් මෙන් ඔබ ද ඉර මුදුන් වේලාවෙහි අතපතගාමින් යන්නහු ය. ඔබ ගන්න පියවර සාර්ථක නොවන්නේ ය. ඔබ නිතර ම පීඩාවටත්, කොල්ලයටත් පාත්‍ර වන නමුත්, කිසිවෙක් ඔබ ගළවානොගන්නේ ය. 
30 ”ඔබ බිරිඳකට විවාහ ගිවිසුම් බස් දෙන නමුත්, වෙනත් මිනිසෙකු ඇය සමඟ සයනය කරනු ඇත. ඔබ ගෙයක් ගොඩනඟන නමුත්, එහි ඔබ පදිංචි නොවනු ඇත. ඔබ මිදි වත්තක් වවන නමුත්, එහි පල එකතු නොකරනු ඇත. 31 ඔබ බලා සිටිය දී ඔබේ ගොනා මරනු ලබන නමුත්, ඔබ උගේ මස් නොකන්නහු ය. ඔබ බලා සිටිය දී ඔබේ කොටළුවා බලහත්කාරයෙන් පැහැරගනු ලබන්නේ ය; ඔබට ආපසු ඌ නොලැබෙනු ඇත. ඔබේ බැටළුවෝ සතුරන් විසින් පැහැරගනු ලබන්නො‍් ය. ඔබට උදව් දීමට කිසිවෙක් නොවන්නේ ය. 32 ඔබේ දරුදැරියෝ අන් ජනතාවකට පාවා දෙනු ලබන්නො‍් ය, ඔවුන්ගේ පැමිණීම ගැන දවස පුරා ඔබ ආසාවෙන් බල බලා සිටීමෙන් ඔබේ ඇස් අඳුරු වනු ඇත, ඒ ගැන ඔබට කිසිවක් කළ නොහැකි වන්නේ ය. 33 ඔබේ ශ්‍රමය සහ වතුපිටිවල පලදාව ඔබ නොහඳුනන ජාතියක් භුක්ති විඳින්නේ ය. ඔබ නිතර ම පීඩා කරනු ලැබ, තැළී පොඩි වී යන්නහු ය. 34 ඔබ දකින මේ දේවල් නිසා ඔබ උමතු වන්නහු ය. 35 සමිඳාණන් වහන්සේ ඔබේ යටි පතුල සිට හිස් මුදුන දක්වා සුව විය නොහැකි වණ ද දණහිස්වලත්, පාදවලත් දරුණු ගඩු ද හටගන්නට සලසන සේක. 
36 ”සමිඳාණන් වහන්සේ ඔබත්, ඔබ පත් කරගන්න රජුත් ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත් ජාතියක් වෙත ගෙන යන සේක. එහි දී ඔබ ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය. 37 උන් වහන්සේ ඔබ පමුණුවන සියලු ජාතීන් අතර ඔබ ඔවුන්ගේ මවිතයට හේතු වනු ඇත. ඔව්හු ඔබ සමච්චලයට ද උපහාසයට ද ලක් කරන්නො‍් ය. 
38 ”ඔබ කෙතට බොහෝ බීජ ගෙන යන නමුත්, අස්වැන්න ස්වල්ප වනු ඇත. මන්ද, පළඟැටියෝ ඒවා කාදමන්නෝ ය. 39 ඔබ මිදිවතු වවා සශ්‍රීක කරන නමුත්, මිදි පල නෙළාගෙන මිදියුස පානය නොකරන්නහු ය. පණුවෝ ඒවා කාදමන්නො‍් ය. 40 ඔබේ දේශය පුරා ඔලීව ගස් තිබෙන නමුත්, ආලේප කරගැනීමට ඔලීව තෙල් බිඳක් වත් ඔබට ගත හැකි නොවන්නේ ය. එසේ වන්නේ ඔලීව ගෙඩි වැටී යන බැවිනි. 41 ඔබට දරුදැරියන් ලැබෙන නමුත්, ඔවුන් වහල්කමට යන බැවින් ඔව්හු ඔබට අයිති නොවන්නො‍් ය. 42 ඔබේ රටේ ගස්කොළන් සහ පලදාව සියල්ල පළඟැටියෝ කාදමන්නො‍් ය. 
43 ”ඔබ අතර සිටින විදේශිකයෝ වැඩිවැඩියෙන් උසස් වන්නො‍් ය. ඔබ වැඩිවැඩියෙන් පහත් වන්නහු ය. 44 ඔහු ඔබට ණයට දෙනවා මිස ඔබ ඔහුට ණයට නොදෙන්නහු ය. ඔහු ප්‍රධානියා වනු ඇත. ඔබ අන්තිමයා වන්නහු ය. 
45 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ ආඥා නීති හා නියෝගවලට, ඔබ අකීකරු වී ඒවා නොපිළිපැදි බැවින් ඔබ වැනසී යන තෙක් මේ සාප සියල්ල ම ඔබ පිට පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් ඔබ අසු කරගන්නේ ය. 46 ඒවා ඔබටත්, ඔබේ පරපුරටත් සදහට ම ලකුණක් සහ අරුමපුදුම දෙයක් වනු ඇත. 47 සියලු සම්පතින් සමෘද්ධ ව සිටිය දී දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රීතියෙන් ද සතුටු සිතින් ද සේවය නොකළ බැවින් 48 උන් වහන්සේ ඔබට විරුද්ධ ව එවන සතුරන්ට සාපිපාසයෙන් ද කයට වතක් නැති ව ද අගහිඟකමින් ද ඔබ සේවය කරන්නහු ය. ඔබ වැනසී යන තෙක් ඔව්හු ඔබේ කරපිට දරුණු වියගසක් තබන්නො‍් ය. 49 ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක. 50 ඒ ජාතියට අයත් වූවෝ, රුදුරු මුහුණකින් යුක්ත වූ ද මහල්ලන්ට ගරුසරු නොකරන්නා වූ ද තරුණයන්ට අනුකම්පා නොදක්වන්නා වූ ද ඇත්තෝ වෙති. 51 ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නො‍් ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නො‍් ය. 52 ඔබ විශ්වාස තැබූ, උස, ශක්ති සම්පන්න රට පුරා ඇති ප්‍රාකාර බිඳ වැටෙන තුරු සතුරො‍් ඔබේ නගර වටලන්නො‍් ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් රට පුරා තිබෙන ඔබේ නගර සියල්ල ම ඔව්හු වටලන්නො‍් ය. 
53 ”මෙසේ සතුරන් ඔබේ නගර සියල්ල වටලා, ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන්, ඔබ ජනිත කළ ඔබේ දරුදැරියන්ගේ මාංසය ඔබ කන්නහු ය. 54 ඔබ අතර සිටින ශිෂ්ට සම්පන්න, විනීත ගතිපැවතුම් ඇති මිනිසා පවා, තම සොහොයුරා දෙස ද තම ප්‍රේමවන්ත බිරිඳ දෙස ද ඉතිරි ව සිටින අනෙක් දරුදැරියන් දෙස ද අකාරුණික ලෙස බැල්ම හෙළන්නේ ය. 55 ඔහු තමා කන තම දරුදැරියන්ගේ මාංසයෙන් කොටසක් කිසිවෙකුට දීමට අකමැති වන්නේ ය. ඔහු එසේ කරන්නේ සතුරන් ඔබේ නගර සියල්ල වටලා, ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී ඔබට කන්න දෙයක් ඉතිරි නොවන බැවිනි. 56 ඔබ අතර සිටින ශිෂ්ට සම්පන්න, විනීත ගතිපැවතුම් ඇති, සුමුදු සිව්මැලි ගතිය නිසා තම පය බිම තැබීමටවත් වුවමනාවක් නොතිබුණු ස්ත්‍රිය පවා, තම ප්‍රේමවන්ත සැමියා දෙස ද දරුදැරියන් දෙස ද අකාරුණික බැල්ම හෙළන්නී ය. 57 සතුරන් ඔබේ නගර සියල්ල වටලා ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී ඇයට කන්න යමක් නැති ව, ඇය අලුත ලැබූ දරුවා වැදෑමහත් සමඟ ම රහසින් කන්නී ය. 
58 ”මේ පොතේ ලියා ඇති නීති සියල්ලට අවනත වී නොපිළිපදින්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ යන බියජනක, ශ්‍රී නාමයට ගරුබිය දක්වන පිණිස, 59 සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පෙළපතටත් පුදුමාකාර, භයානක, කල් පවතින වසංගත හා කල් පවතින දරුණු ලෙඩරො‍්ග පමුණුවන සේක. 60 තවද, උන් වහන්සේ මිසර දේශයේ වූ බියකරු ලෙඩරො‍්ග සියල්ල ඔබ පිට යළි පමුණුවන සේක. ඒවා ඔබෙන් තුරන් නොවන්නේ ය. 61 මේ නීති සංග්‍රහයේ ලියා නැති ලෙඩරො‍්ග සහ වසංගත සියල්ල ම උන් වහන්සේ ඔබ වනසාලන තෙක් ඔබ පිට පමුණුවන සේක. 62 ඔබ ගණනින් අහසේ තරු මෙන් වැඩි වුවත්, දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අකීකරු වූ බැවින් ගණනින් ස්වල්පයක් මෙන් ඉතිරි වන්නහු ය. 63 ඔබට ශුභසිද්ධිය සැලසීමටත්, ඔබ වැඩි වර්ධනය කිරීමටත් සමිඳාණන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වූවාක් සේ, ඔබ වනසාලීමටත්, නැත්තටම නැතිකිරීමටත් උන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වන සේක. ඔබ අයිති කරගන්නට යන රටින් උන් වහන්සේ ඔබ සම්පූර්ණයෙන් පිටමං කරදමන සේක. 
64 ”පොළොවේ එක් කොණක සිට අනික් කොණ දක්වා ජාති ජාතීන් අතරෙහි උන් වහන්සේ ඔබ විසුරුවා හරින සේක. එවිට ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත්, ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට ඔබ වැඳුම්පිදුම් කරන්නහු ය. 65 මෙකී ජාතීන් අතර ඔබට කිසි පහසුවක් නොවන්නේ ය. ඔබේ පයට විවේකයක් නොවනු ඇත. එහි දී සමිඳාණන් වහන්සේ ඔබේ හද කම්පා කරන සේක; නෙත අඳුරු කරන සේක; සිත දුක් ගන්වන සේක. 66 ඔබේ ජීවිතය ගැන ඔබට සැක පහළ වනු ඇත. දිවා රෑ බියට පත් වෙමින් ජීවිතය ගැන අවිශ්වාසයක් වනු ඇත. 67 ඔබේ හදවත බියෙන් ගැහි ගැහී පුදුමාකාර දේවල් දකින විට, උදය කාලයේ, ‘අනේ! හවස් වුණා නම් කෙතරම් හොඳ ද’ කියාත්, හවස් කාලයේ දී ‘අනේ! උදය වුණා නම් කෙතරම් හොඳ ද’ කියාත් ඔබ කියන්නහු ය. 68 ඔබ මිසර දේශය නැවත නොදකින්නෙහි යයි මා කී නමුත් සමිඳාණන් වහන්සේ ගොඩින් සහ මුහුදින් ඔබ මිසර දේශයට නැවත යවන සේක. එහි දී ඔබ වහල් දැසිදසුන් මෙන් ඔබේ සතුරන්ට විකුණනු ලබන්නහු ය. එහෙත් කිසිවෙකු ඔබ මිලට නොගනු ඇත.”

– 29 වන පරිච්ඡේදය –

මෝවබ්හි දී කළ ගිවිසුම සිහි කිරීම

1 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා සමඟ හොරෙබ් කන්දේ දී කළ ගිවිසුමට අමතර ව, උන් වහන්සේ මෝවබ් දේශයෙහි දී ඔවුන් සමඟ කරන ලෙස මෝසෙස්ට අණ කළ ගිවිසුමේ වචන මේවා ය. 
2 මෝසෙස් මුළු ඉශ්රායෙල් සෙනඟ කැඳවා ඔවුන් අමතා මෙසේ කී ය: ”සමිඳාණන් වහන්සේ මිසර දේශයෙහි ඔබේ ඇස් ඉදිරියෙහි දී පාරාවෝ රජුටත්, ඔහුගේ සියලු නිලධාරීන්ටත්, මුළු රටටත් කළ 3 බිහිසුණු පීඩා ද හාස්කම් සහ ප්‍රබල ක්‍රියා ද ඔබ දුටුවහු ය. 4 එහෙත්, ඒවා තේරුම්ගැනීමට සිත් ද දැකීමට නෙත් ද ඇසීමට කන් ද සමිඳාණන් වහන්සේ අද දක්වා ඔබට නුදුන් සේක. 5 සමිඳාණන් වහන්සේ ඔබට පාළුකරයේ දී හතළිස් අවුරුද්දක් මඟ පෙන්වූ සේක. ඔබ ඇඟ ලා ගත් ඇඳුම් පරණ නො වී ය. පය ලා ගත් වහන් පරණ නො වී ය. 6 සමිදාණන් වහන්සේ වන මා ඔබේ දෙවියන් වහන්සේ බව දැනගන්නා පිණිස ඔබ රොටි කෑවේ වත් මිදිරස හෝ මත්පැන් පානය කළේ වත් නැත. 7 ඔබ මෙතැනට පැමිණි විට හෙෂ්බොන්හි රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද අපට විරුද්ධ ව සටනට පැමිණි නමුත්, අපි ඔවුන්ට පහර දුනිමු. 8 අපි ඔවුන්ගේ රට අල්ලාගෙන රූබන්ගේ පෙළපතටත්, ගාද්ගේ පෙළපතටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ඒ රට උරුම කොට දුනිමු. 9 එබැවින් ඔබ කරන සියල්ල සඵල වන පිණිස මේ ගිවිසුමේ වචන ආරක්ෂා කොට ඒවා පිළිපදින්න. 
10 ”අද දින ඔබේ ගෝත්‍රවල නායකයෝ ද ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද වන ඉශ්රායෙල්වරුන්ගේ මුළු පිරිමි පක්ෂය ද 11 ඔබේ කුඩා දරුවෝ ද භාර්යාවෝ ද දර පළන්නා පටන් වතුර අදින්නා දක්වා ඔබේ කඳවුරේ සිටින විදේශිකයෝ ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නො‍් ය. 12 ඔබ එසේ සිටින්නේ, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අද ඔබ සමඟ කරන දිවුරුම් ගිවිසුමට ඔබ ඇතුළු වන පිණිස ය. 13 එවිට උන් වහන්සේ ඔබට වදාළ පරිදි, ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දිවුළ පරිදි අද දින උන් වහන්සේ ඔබ තමන්ට ම වෙන් කොටගත් සෙනඟක් කර, ඔබේ දෙවියන් වහන්සේ වන සේක. 14 උන් වහන්සේ මේ දිවුරුම් ගිවිසුම කරන්නේ ඔබ සමඟ පමණක් නොවේ. 15 අද දින දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මෙහි සිටින ඔබ සමඟත්, අද දින මෙහි නැති අය සමඟත් උන් වහන්සේ ගිවිසුම කරන සේක. 
16 ”මිසර දේශයේ අප වාසය කළ සැටිත්, අප පසු කර ආ ජාතීන් මැදින් අපි කෙසේ ආවෙමු ද කියාත් ඔබ දන්නහු ය. 17 ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ද ඔවුන් අතර වූ ලීයෙන්, ගලින්, රිදී සහ රත්රනින් නෙළූ පිළිම ද ඔබ දුටුවහු ය. 18 මෙදින අප දෙවියන් වහන්සේ අත්හැර දමා මේ ජාතීන්ගේ දෙවිදේවතාවන් වෙත ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් කරනු සඳහා සිත වෙනස් කරගත් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ද පවුලක් හෝ ගෝත්‍රයක් ද ඔබ අතර නොසිටින හැටියටත්, තිත්ත වහ ගෙඩි හටගන්වන ගහක මුලක් ඔබ අතර නොවන හැටියටත් ප්‍රවේසම් විය යුතු ය. 19 එබඳු කෙනෙකු මේ දිවුරුමේ වචන අසන විට, ‘මා සිත මුරණ්ඩුකමින් හැසිරෙන නමුත්, මට සකල ශුභසිද්ධිය සැලසේ වා’යි කියාගනිමින් තමන් සිත සනසා ගත්තත්, හොඳ නරක දෙපක්ෂය ම විනාශය කරා යනු ඇත. 20 සමිඳාණන් වහන්සේ ඔහුට කමා නොකරන සේක, උන් වහන්සේගේ උදහස ද කො‍්පය ද ඔහුට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. මේ පොතේ ලියන ලද සාප සියල්ල ඔහු පිට වැටෙන්නේ ය. තවද, උන් වහන්සේ ඔහුගේ නම මිහි පිටින් මකාදමන සේක. 21 මේ නීති සංග්‍රහය ලියන ලද ගිවිසුමට සම්බන්ධ සාප සියල්ල අනුව සමිඳාණන් වහන්සේ ඔහු විපතට හෙළනු පිණිස සියලු ම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඔහු වනසාලන සේක. 
22 ”මෙසේ ඔබට පසු එන ඔබේ දරු පරම්පරා සහ දුර රටකින් පැමිණෙන විදේශිකයා, සමිඳාණන් වහන්සේ ඒ රටට එවූ වසංගත සහ ලෙඩරො‍්ග ද දකින්නො‍් ය. 23 උන් වහන්සේ වනසා දැමූ සොදොම් සහ ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන නගරවල මෙන්, ඒ මුළු රටෙහි කිසි වැපිරීමක් වත්, පලා ජාතියක් වත්, තණකොළ ගහක් පවා හටගැනීමක් වත් නැති ව, ගෙන්දගම් සහ ලුණුවලින් ඒ රට පිරී දැවෙමින් තිබෙනු ඇත. 24 සියලු ජාතීහු මේවා දැක, ‘සමිඳාණන් වහන්සේ මේ රටට මෙසේ කෙළේ මන් ද? මෙතරම් දරුණු උදහසකට හේතුව කුමක් දැ’යි අසන්නො‍් ය. 25 එවිට මිනිස්සු පිළිතුරු දෙමින් මෙසේ කියන්නො‍් ය: ‘මොවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට ඔවුන් සමඟ කළ ගිවිසුම ඔව්හු අත්හැර ගොස්, 26 ඔවුන් නොදත්, උන් වහන්සේ ඔවුන්ට නුදුන්, අන් දෙවිදේවතාවන්ට වන්දනා නමස්කාර කළෝ ය. 27 එබැවින් මේ පොතේ ලියා ඇති සාප සියල්ල ඒ රටට පමුණුවන තරම් ඊට විරුද්ධ ව උන් වහන්සේගේ කෝපය ඇවිළිණි. 28 සමිඳාණන් වහන්සේ කෝපයෙන් සහ උදහසින් ද දැඩි ක්‍රෝධයෙන් ද ඇවිළී ඔවුන්ගේ මවු බිමින් ඔවුන් මුලින් උදුරා, අද සිටින පරිදි වෙනත් රටකට ඔවුන් පලවා දැමූ සේක.’ 
29 ”අබිරහස් දේ අපේ දෙවි සමිඳාණන් වහන්සේට අයිති ය. එහෙත්, මේ නීතියේ කරුණු අපටත්, අපේ දරුවන්ටත්, ප්‍රකාශ කර ඇත්තේ අප ඒවා සදහට ම පිළිපදින පිණිස ය.” 

 

– 30 වන පරිච්ඡේදය –

කීකරුකමේ ආශීර්වාදය

1 ”මා ඔබට තෝරාගන්නට දුන් ආශීර්වාද සහ සාප යන මේ සියල්ල ඔබ වෙත පැමිණි විට, දෙවි සමිඳාණන් වහන්සේ විසින් ඔබ පන්නාදමනු ලැබූ සියලු ජාතීන් අතර ඒවා සිහි කොට 2 ඔබත්, ඔබේ දරුමුණුබුරොත් තම තමන්ගේ මුළු හෘදයෙන් සහ මුළු සිතින් සමිඳාණන් වහන්සේ වෙත ආපසු හැරී, මා ඔබට අද නියම කරන සියල්ල අනුව ඔබ උන් වහන්සේගේ හඬට කීකරු වන්නහු නම්, 3 උන් වහන්සේ ඔබට අනුකම්පාව දක්වා ඔබේ වහල්කම පහකොට, උන් වහන්සේ පැමිණ, විසුරුවනු ලැබූ සියලු ජාතීන් අතරෙන් ඔබ හැම එක්රැස් කරගන්නා සේක. 4 පොළොවේ බොහෝ දුර පෙදෙසට ඔබ පන්නාදමනු ලැබ සිටියත්, උන් වහන්සේ ඔබ සොයා එතැනට පැමිණ ඔබ ගෙන එන සේක. 5 තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට හිමි වූ දේශයට ඔබ ගෙනා පසු ඔබ එය අයිති කරගන්නහු ය. උන් වහන්සේ ඔබේ ආදි පියවරුන්ට වඩා ඔබට සෙත සලසා, ඔබේ ජන සංබ්‍යාව ගණනින් වර්ධනය කරන සේක. 6 ඔබ ඒ රට පදිංචි ව ජීවත් වෙමින් ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන පිණිස උන් වහන්සේ ඔබේ සිතෙන් ද ඔබේ දරුමුණුබුරන්ගේ සිත්වලින් ද පාප මල කපා හරින සේක. 7 තවද, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පීඩා කළ ඔබේ සතුරන් පිට ද ඔබට වෛර කළ අය පිට ද මේ සාප සියල්ල වැටෙන්නට සලසන සේක. 8 ඔබ යළි පැමිණ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු ව, මා ඔබට අද පණවන උන් වහන්සේගේ ආඥා සියල්ල පිළිපදින්නහු ය. 9 දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කරන සියලු වැඩකටයුතු ද බහුල ව සඵලවත් කරන සේක. ඔබට සෙත සලසමින්, ඔබේ දරුසම්පත ද ගවසම්පත ද භවභෝග ද වර්ධනය කරන සේක. උන් වහන්සේ ඔබේ පියවරුන් ගැන ප්‍රීති ප්‍රමෝද වූවාක් මෙන් ම ඔබට සෙත සලසන පිණිස ඔබ ගැන ද නැවත ප්‍රීති ප්‍රමෝද වන සේක. 10 එසේ වන්නේ, මේ නීති සංග්‍රහයේ ලියා ඇති දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝග ද පිළිපදින පිණිස, ඔබ උන් වහන්සේගේ හඬට කීකරු වුණොත්, ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් උන් වහන්සේ වෙත හැරී ආවොත් පමණකි. 
11 ”මා ඔබට අද නියම කරන මේ පණත දුෂ්කර එකක් වත්, ඉටු කරන්නට අපහසු එකක් වත් නොවේ. 12 එය ඇත්තේ අහසෙහි නොවේ; එබැවින් එය අසා, ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් අහසට නඟින්නේ ද කියා කිසිවෙකුට කිව නොහැකි ය. 13 එය ඇත්තේ මුහුදින් එතෙර ද නොවේ; එබැවින් එය අසා ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් මුහුද තරණය කරන්නේ ද කියා කිසිවෙකුට කිව නොහැකි ය. 14 එහෙත්, ඒ වචනය ඔබ ඉටු කරන පිණිස එය ඔබට ඉතා ළං ව, ඔබේ තොල් මත ද ඔබේ සිතෙහි ද ඇත්තේ ය.”

ජීවනය හා මරණය

15 ”බලන්න, මම අද ඔබ ඉදිරියෙහි ජීවනය සහ සැපත ද මරණය සහ විපත ද තැබීමි. 16 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙදින දෙන පණත් ඔබ අනුගමනය කරන්නහු නම්, ඔබ ඒ රටේ පදිංචි වෙමින්, වැඩි වර්ධනය වී ජීවත් වන්නහු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රේම කරමින් දෙවි මඟ හැසිරෙමින්, උන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝග ද ව්‍යවස්ථා ද පිළිපදින්නහු නම්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක. 17 එහෙත්, ඔබ අකීකරු වී ඔබේ සිත අන් අතකට හැරී ගොස් අනිකුත් දෙවිදේවතාවන්ට වන්දනා නමස්කාර කිරීමට ඔබේ සිත ඇදී ගියොත්, 18 ඔබ නැත්තට ම විනාශ වන බවත්, ජොර්දාන් ගඟෙන් එතෙර වී ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබ බොහෝ කල් ජීවත් නොවන බවත් මම අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි. 19 මා ඔබ ඉදිරියෙහි ජීවනය හෝ මරණය ද ආශීර්වාදය හෝ සාපය ද අද තැබූ බවට, ඔබට විරුද්ධ ව සාක්ෂි දරන පිණිස අහසත්, පොළොවත් කැඳවමි. එබැවින් ඔබත්, ඔබේ පරපුරත් ජීවත් වන පිණිස ජීවනය තෝරාගන්න. 20 දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්න දිවුළ දේශයෙහි ඔබ පදිංචි වන පිණිස උන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ හඬට කීකරු වී උන් වහන්සේට ඇලුම් ව සිටිය යුතු ය. එසේ කිරීමෙන් චිරාත් කාලයක් ඔබ ඒ රටේ ජීවත් වන්නහු ය.”

 

– 31 වන පරිච්ඡේදය –

ජෝෂුවා පත් කිරීම

1 මෝසෙස් ගොස් ඉශ්රායෙල්වරුන් සියලු දෙනාට මේ පුවත කීවේ ය. 2 ඔහු ඔවුන් අමතමින් මෙසේ පැවසී ය: ”මට අද වයස අවුරුදු එකසිය විස්සකි. මට තවත් රිසි පරිදි යන්න එන්න බැරි ය. ‘ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර නොවනු ඇතැ’යි සමිඳාණන් වහන්සේ ද මට වදාළ සේක. 3 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුවෙන් එතෙර වී, ඔබට ඉදිරියෙන් සිටින ජාතීන් වනසාලන සේක. ඔබ ඔවුන්ගේ දේශ අයිති කරගන්නහු ය. සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබට පෙරටුවෙන් ජෝෂුවා යනු ඇත. 4 සමිඳාණන් වහන්සේ වනසා ලූ අමෝරිවරුන්ගේ රජුන් වන සීහොන්ට සහ ඕග්ට ද ඔවුන්ගේ දේශයට ද කළ ලෙස, උන් වහන්සේ ඔවුන්ටත් කරන සේක. 5 සමිඳාණන් වහන්සේ මොවුන් ඔබට පාවා දුන් කල, මා නියම කළ සියලු අණපණත් අනුව ඔබ ඔවුන්ට කළ යුතු ය. 6 ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න; බිය නොවී, තැති නොගෙන ඉන්න; ඔබ සමඟ යන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක.” 
7 ඉන්පසු මෝසෙස් ජෝෂුවා කැඳවා මුළු ඉශ්රායෙල් ජනතාව බලා සිටිය දී ඔහුට කතා කොට, ”ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයට මේ සෙනඟ සමඟ ඔබ යා යුතු ය. ඔබ ඔවුන්ට එරට උරුම කර දිය යුතු ය. 8 ඔබට පෙරටුවෙන් යන්නේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක. බිය නොවන්න; නොකැළඹෙන්නැ”යි කීවේ ය.

සත් වසරකට වරක් කිව යුතු නීතිය

9 මෝසෙස් මේ නීතිය ලියා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය ලෙවීගේ වංශයේ පූජකයන්ට ද ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන්ට ද භාර දුන්නේ ය. 10 තවද, මෝසෙස් ඔවුන්ට මෙසේ අණ කරමින්, ”සෑම සත් අවුරුද්දක් කෙළවර දී, මිදීමේ අවුරුද්ද පැමිණි විට, 11 කූඩාරම් මංගල්‍යයේ දී දෙවි සමිඳාණන් වහන්සේ තෝරා නියම කරන ස්ථානයට, උන් වහන්සේ අබිමුවට මුළු ඉශ්රායෙල් ජනතාව ආ විට, ඔවුන් සියල්ලන්ට ඇසෙන පරිදි ඔබ මේ නීතිය කියවිය යුතු ය. 12 ස්ත්‍රීන් සහ පුරුෂයන් ද දරුදැරියන් ද ඔබේ නගරවල සිටින විදේශිකයන් ද එක්රැස් කොට, ඔවුන් මේ නීතිය අසා දැනගෙන දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමටත්, මේ නීතියේ අඩංගු කරුණු සියල්ල පිළිපැදීමටත් ඔවුන්ට එය කියවිය යුතු ය. 13 එවිට ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වී අයිති කරගන්නට යන දේශයෙහි ඔබට දිවි ඇති තාක්, ඔබෙන් පැවත එන කිසිවක් නොදත් අය එය අසා, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ඉගෙන ගන්නො‍් ය”යි කී ය.

මෝසෙස්ට දුන් අවසාන උපදෙස්

14 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”බලන්න, නුඹ මැරෙන කාලය දැන් ආසන්න ය. ජෝෂුවා කැඳවා, මා ඔහුට වගකීම භාර දෙන පිණිස නුඹලා දෙදෙන සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක. මෝසෙස් සහ ජෝෂුවා ගොස් සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටියෝ ය. 15 සමිඳාණන් වහන්සේ ද මණ්ඩපයෙහි වලා ටැඹක් මඟින් දර්ශනය වූ සේක. එහි දොරටුවට ඉහළින් වලා ටැඹ පිහිටා තිබිණි. 
16 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: ”බලන්න, නුඹේ පියවරුන් කළුරිය කළ පරිදි නුඹත් කළුරිය කරන්නට දැන් ආසන්න ව සිටින්නෙහි ය. නුඹේ මරණින් පසු මේ සෙනඟ මට අවිශ්වාසවන්ත ව ඔවුන් පදිංචි වන රටෙහි විදේශිකයන්ගේ දෙවිදේවතාවන් වැළඳගෙන, මා අත්හැර, ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩ කරන්නො‍් ය. 17 එදින මාගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළී, මා ඔවුන් අත්හැර, මම ඔවුන්ගෙන් මාගේ මුහුණ සඟවා ගන්නෙමි. ඔවුන් පිට පැමිණෙන මහා විපත්ති සහ දුක් කරදරවලින් ඔව්හු වැනසී යන්නො‍් ය. එවිට එදින ඔව්හු කතා කොට, ‘මේ විපත්ති අප පිට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන් වහන්සේ අප අතරේ නැති නිසා නොවේ දැ’යි කියන්නො‍් ය. 18 ඔවුන් අන් දෙවිදේවතාවන් වෙත හැරී ගොස්, කළ සියලු නපුරුකම් නිසා මම එදින සත්තකට ම මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නෙමි. 19 එබැවින් දැන් මේ ගීතය ලියා ඉශ්රායෙල් ජනයාට ඉගැන්විය යුතු ය. මේ ගීතය ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව මා වෙනුවෙන් සාක්ෂියක් වනු පිණිස එය ඔවුන්ට කටපාඩම් කරවන්න. 20 මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයට ඔවුන් ගෙනා පසු, ඔවුන් කා බී, තෘප්තිමත් වී, තර වූ පසු, ඔව්හු අන් දෙවිදේවතාවන් වෙත හැරී ගොස්, ඔවුන්ට වැඳ පුදා, මා කුපිත කොට මාගේ ගිවිසුම් කඩ කරන්නො‍් ය. 21 ඔවුන් පිට බොහෝ විපත්ති හා දුක්කරදර පැමිණෙන විට, ඔවුන්ගේ දරුමුණුබුරන්ට එම ගීතය අමතක නොවන බැවින් එය සාක්ෂිකරුවෙකු මෙන් ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙනු ඇත. මන්ද, මා දිවුළ දේශයට ඔවුන් ගෙනෙන්නට කලින්, දැනට ම මම ඔවුන්ගේ සිතුම් පැතුම් දනිමි.” 
22 එබැවින් මෝසෙස් එදින ඒ ගීතය ලියා ඉශ්රායෙල් ජනයාට ඉගැන්වී ය. 23 සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවාට කතා කරමින්, ”ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න වන්න. මා ඔවුන්ට දිවුළ දේශයට ඔබ ඉශ්රායෙල් ජනතාව ගෙන යන්නෙහි ය. මම ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක. 
24 එවිට මෝසෙස් මේ නීතියේ අඩංගු කරුණු සියල්ල ම කෙළවර වන තෙක් පොතක ලීවේ ය. 25 ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන ලෙවීවරුන්ට අණ කරමින් මෙසේ කීවේ ය: 26 ”මේ නීති සංග්‍රහය රැගෙන, ඔබට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, එය දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ තබන්න. 27 මම ඔබේ කැරලිකාරකමත්, මුරණ්ඩුකමත් දනිමි. මා අද ජීවත් ව සිටිය දී ම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ කැරලිගසන්නහු නම්, මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහු ද? 28 ඔබේ ගෝත්‍රවල ප්‍රජා මූලිකයන් ද නිලධාරීන් ද අසාගෙන සිටින විට මේ කරුණු කියා, ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දීමට අහසත් පොළොවත් කැඳවනු පිණිස, ඔවුන් සියල්ලන් මා වෙතට රැස් කරන්න. 29 මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.” 30 ඉන්පසු මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාවට ඇසෙන පරිදි මේ ගීතයේ වචන, නිමවන තෙක් පැවසී ය.

 

– 32 වන පරිච්ඡේදය –

මෝසෙස්ගේ ගීතය

1 ”එම්බා, අහස් තලය! මා කියන දේට සවන් දෙන්න. 
එම්බා, මිහිතලය! 
මා වදනට ඇහුම්කන් දෙන්න. 
2 මා සික පද වැහි බිඳු මෙන්, මා කථනය පිනි බිඳු මෙන්, ළා පැළ මත වැසි පොද මෙන්, ළා තණ මත මල් වැසි මෙන් වැටේ. 
3 හිමි සඳ නම මම පවසමි. 
එතුමන්ගේ මහිමය ඔබ ගයන්න. 
4 එතුමාණො‍් පර්වතයාණො‍් ය. 
එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; 
එතුමන්ගේ මාර්ග සාධාරණ ය. 
එතුමාණො‍් අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. 
දැහැමි ව හා අවංක ව ද සිටින සේක. 
5 එහෙත් එතුමන්ගේ සෙනඟ, දූෂ්‍ය වී ඇත; 
දෙවි දරුකම ඔවුන්ට නැත; 
වංක, අදමිටු පරපුරක් වී ඇත. 
6 අහෝ, මෝඩ අනුවණ ජනයෙනි! 
සමිඳුන්ට සලකන්නේ මෙලෙස ද? 
නුඹලා මවා, උපදවා ජාතියක් සේ පිහිටෙව් පියාණො‍්, 
එතුමණො‍් නොවෙත් ද? 
7 පැරණි යුග සිහි කරන්න. 
පෙර පරපුර සලකා බලන්න. 
පියාගෙන් අසන්න; 
ඔහු නුඹලාට කියා දෙනු ඇත. 
ප්‍රජා මූලිකයන්ගෙන් විමසන්න; 
ඔවුන් නුඹලාට දන්වනු ඇත. 
8 මහෝත්තමයාණො‍් ජාති ජාතීන් හට රට රාජ්‍ය බෙදා දුන් විට, 
මිනිසුන් ජාතීන් වශයෙන් බෙදා වෙන් කරන විට, 
මුර දේවතාවන්ගේ ගණනේ හැටියට, ඔවුන්ගේ සීමා නියම කළ සේක. 
9 සමිඳුන්ගේ කොටස එතුමන් සෙනඟ ය, 
සිය උරුමය ජාකොබ් පෙළපත ය. 
10 කාන්තාර රටක දී, 
බියකරු පාළුකරයේ දී, 
ඔවුන් හමු වී, 
එතුමාණො‍්, තම දෙනෙත මෙන් ඔවුන් රැකබලා ඔවුන්ට උපදෙස් දී, 
මඟපෙන්වූ සේක. 
11 එසේ කෙළේ, 
රාජාලියා සිය කැදැල්ල අවුස්සා, 
පැටවුන්ට පහළින් පියාඹා, 
පියාපත් විහිදුවා, 
ඒ මත උන් දරා, 
උන් ගෙන යන්නාක් මෙනි. 
12 ඔවුන්ට මඟපෙන්වූයේ සමිඳාණන් පමණෙකි; 
අන් දෙවියෙක් එතුමන් සමඟ නො වී ය. 
13 එතුමාණො‍් මිහි පිට ගිරිකුළු මත ඔවුන් ගෙන ගිය සේක. 
ගොඩ මඬ අස්වැන්නෙන් ඔවුන් පෝෂණය කළ සේක. 
පර්වතයෙන් මී පැණි ද ගිනිගලෙන් තෙල් ද ඔවුන්ට පෙවූ සේක. 
14 දී කිරෙන් හා බැටළු කිරෙන්, 
බාෂාන්හි එළු බැටළු තෙලින්, 
හොඳ ම තිරිඟු පිටිවලින්, 
පැසුණු ඉස්තරම් මිදියුසින්, 
ඔවුන් පෝෂණය කළ සේක. 
15 ජාකොබ්ගේ පෙළපත කා බී සෑහීමට පත් වූ හ. 
ඉශ්රායෙල් සෙනඟ තර වී කැරලි ගැසූ හ. 
තර වී, තරබාරු වී, ස්ථුල වූ හ. 
තමන් මැවූ දෙවිඳුන් අතහැර, 
විමුක්ති පර්වතයාණන් වන එතුමන් සුළු කොට සැලකූ හ. 
16 අන් දෙවිදේවතාවන්ට වැඳ පුදා, 
නුරුස්සන ලෙස උන් වහන්සේ පෙළඹවූහ. 
පිළිකුල් ක්‍රියා කොට, 
එතුමන් උදහස් කළහ. 
17 දෙවිඳුන් නොවන, 
ඔවුන් නොහඳුනන, 
අලුතින් පැමිණි නව දෙවිවරුන් වන 
ඔවුන්ගේ පියවරුන් 
ගරුබිය නොපෑ යකුන් හට 
ඔව්හු පූජා කළහ. 
18 ඔබට දිවි දුන් පර්වතයාණන්, ඔබ නොසැලකුවහු ය. 
ඔබ මැවූ දෙවි තුමාණන්, ඔබ අමතක කළහු ය. 
19 සමිඳාණො‍් එය දැක, ඔවුන්ගේ දූ පුතුන් එතුමන් කුපිත කළ නිසා, ඔවුන් පිළිකුල් කළ සේක. 
20 එතුමාණො‍් මෙසේ වදාළ සේක: 
මම ඔවුන්ගෙන් මුහුණ සඟවාගනිමි. 
ඔවුන්ගේ ඉරණම කුමක් දැ යි බලමි. 
ඔව්හු කපටි පෙළපතකි; 
අවිශ්වාසී පරපුරකි. 
21 බොරු දෙවිවරුන් නිසා ඔව්හු මා කුපිත කළහ. 
එවැනි නිසරු දෙයින් මා උදහස් කළහ. 
එබැවින් වැදගැම්මක් නැති ජාතියක් ලවා මම ඔවුන් කුපිත කරවමි. 
අනුවණ සෙනඟක් ලවා මම ඔවුන් උදහස් කරවමි. 
22 මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. 
කඳුවල පදනම් ද දැවෙනු ඇත. 
23 මම ඔවුන් පිට විපත් ගොඩ ගසමි. 
ඊ සැරයෙන් ඔවුන් විද දමමි. 
24 ඔවුන් සාගින්නෙන් දැවෙනු ඇත. 
දැඩි උණකට, 
දරුණු වංසගතයට බිලි වනු ඇත. 
ඔවුන් ඉරාදැමීමට වන සතුන් එවමි. 
සර්ප විසෙන් ඔවුන් වනසාදමමි. 
25 වීදිවල යුද්ධය ඇති වෙයි; 
ගෙවල භීතිය ඇති වෙයි. 
තරුණ තරුණියෝ නැසී යති; 
කිරි දරුවෝ ද මහල්ලෝ ද වැනසී යති. 
26 ඔවුන් දස දෙස විසුරුවා හැර, ඔවුන්ගේ නම මිනිසුන් අතරෙන් මකාදමමි. 
මෙය මාගේ තීරණය වේ. 
27 ‘අපි ජයගත්තේ අපේ අතිනි. 
මෙය කෙළේ සමිඳාණන් නොව, අපි ම ය’යි සතුරන් වරදවා කියා මා උදහසට පත් නොකරනු වස්, මම එසේ නොකෙළෙමි. 
28 ඉශ්රායෙල්වරු නැණනුවණ මදි ජාතියකි; 
ප්‍රඥා හීන සෙනඟකි. 
29 ඔවුන්ට නැණනුවණ තිබිණි නම්, ඔව්හු නැණවත් වූවෝ නම්, අනාගතය ගැන මෙනෙහි කළෝ නම්, කෙතරම් හොඳ ද? 
30 ඔවුන්ගේ පර්වතයාණො‍්, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණො‍්, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද? 
31 අප සතුරන්ගේ දෙවිවරු, 
අපේ දෙවිඳුන් හා සම නොවෙති යි සතුරො‍් දනිත්. 
32 සතුරන්ගේ මිදි වැල සොදොම්හි මිදි වැලෙන් ය; 
ගොමොරාහි වතුපිටිවල මිදි වැලෙන් ය. 
ඒවායේ මිදි පල විස ය; 
ඒවායේ මිදි වලු තිත්ත ය. 
33 ඔවුන්ගේ මිදියුස සර්ප විස වැනි ය, පොළඟාගේ සැර විස වැනි ය. 
34 ඉශ්රායෙල් ජනයා මට අනගි නොවේ ද? 
මාගේ ගබඩාවල සම්පත් මෙන් ඔවුන් තැන්පත් කොට නැද් ද? 
35 ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය. 
ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; 
ඔවුන්ගේ ඉරණම වහා පැමිණේ. 
36 තම ජනයාගේ බලය නැති වූ බව, දාසයා ද නිර්දාසයා ද නැති බව, සමිඳාණො‍් දැක; 
සිය සෙනඟට යුක්තිය ඉටු කරන සේක; 
ඔවුන්ට අනුකම්පා කරන සේක. 
37 එතුමාණො‍් මෙසේ අසන සේක: 
‘ඔවුන් විශ්වාසය තැබූ පර්වතය වන දෙවිදේවතාවෝ කොහේ ද? 
38 යාග පඬුරුවල තෙල වැළඳූ, පානීය පූජාවල මිදියුස පානය කළ, ඔවුන්ගේ දෙවිදේවතාවෝ කොතැන ද?’ 
ඔව්හු නැඟිට සිට උපකාර කරත් වා! 
රැකවරණය සලසත් වා! 
39 බලන්න, මම, මම පමණක්, දෙවියන් වහන්සේ වෙමි. 
මා හැර අන් දෙවි කෙනෙක් නැත. 
දිවි දෙන්නෙත්, දිවි නසන්නෙත් මම ය. 
තුවාළ කරන්නෙත්, සුව කරන්නෙත් මම ය, මා අතින් යමෙකු ගළවන්නට හැකි කිසිවෙක් නැත. 
40 අහසට මා අත ඔසවා දිවුරා කියමි, මා සදහට ම ජීවත් ව සිටින්නාක් මෙන්, 
41 මා දිළිසෙන කඩුව මුවහත් කොට, මම යුක්තිය ඉටු කරමි. 
සතුරන්ට දඬුවම් දෙමි; 
මට වෛර කරන අයට දුර්විපාක දෙමි. 
42 මැරුම් කෑ අයගේ ද අල්ලාගත් අයගේ ද ලෙයින්, 
මාගේ ඊගස් පොඟවමි; 
දිගු කෙස් ඇති නායකයන්ගේ මාංසය මාගේ කඩුවට ගොදුරු වන්නේ ය. 
43 එම්බා ජනයෙනි! 
දේව සෙනඟ ගැන ප්‍රීති වන්න. 
එතුමාණො‍් සිය සෙනඟගේ මරණයට පළිගන්න සේක; 
සතුරන්ට දඬුවම් දෙන සේක; 
එහෙත්, සිය සෙනඟගේ දේශයට අනුකම්පා කරන සේක.” 
44 මෝසෙස් ද නූන්ගේ පුත් ජෝෂුවා සමඟ අවුත් මේ ගීතයේ වචන සියල්ල ම සෙනඟට ඇසෙන පරිදි හඬ නගා කී ය. 

මෝසෙස්ගේ අවසාන උපදෙස්

45 මෝසෙස් මේ කරුණු සියල්ල ඉශ්රායෙල්වරුන්ට කියා නිම කළ පසු, 46 ඔහු ඔවුන්ට කතා කොට, ”අද දින මා ඔබ අතර සාක්ෂි දුන් මේ කරුණු සියල්ල කෙරෙහි සිත් යොමු කරන්න. මේ ව්‍යවස්ථාවේ කරුණු සියල්ල ම පිළිපදින ලෙස ඔබේ දරුදැරියන්ට නියම කරන්න. 47 මෙය ඔබේ ජීවය වන හෙයින් එය වටිනා දෙයකි. ජොර්දාන් ගඟෙන් එතෙර වී අයිති කරගන්නට යන දේශයෙහි මේ දේ පිළිපදින්නහු නම් ඔබ චිරාත් කාලයක් ජීවත් වන්නහු ය”යි කීවේ ය. 
48 ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, 49 ”ජෙරිකෝ නුවරට ඉදිරියෙන් මෝවබ් දේශයෙහි ඇති අබාරීම් කඳු වැටියේ පිහිටි නෙබො‍් නම් කන්දට නැඟී මා ඉශ්රායෙල් ජනයාට අයිති කර දෙන්නට යන කානාන් දේශය නරඹන්න. 50 නුඹේ සොහොයුරු ආරොන් හෝර් කන්දේ දී මරණයට පත් වී, පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබුවාක් මෙන්, නුඹ ද නඟින්නට යන කන්දේ දී මරණයට පත් වී පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබිය යුතු ය. 51 මන්ද, ශීන් නම් පාළුකරයේ කාදෙෂ්හි මෙරිබා නම් උල්පත ළඟ දී ඉශ්රායෙල් ජනයා අතර නුඹලා මට විරුද්ධ ව පව් කොට, මට හිමි ගෞරවය නුදුන් නිසා ය. 52 නුඹ දුර තියා දේශය නරඹන්න. එහෙත්, මා ඉශ්රායෙල් ජනයාට දෙන දේශයට නුඹ ඇතුළු නොවන්නෙහි ය”යි වදාළ සේක.

– 33 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල් ගෝත්‍රවලට ආශීර්වාද කිරීම

1 දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය: 
2 ”සමිඳාණො‍් සීනයි කන්දේ සිට වැඩිය සේක. සේයිර් පෙදෙසේ සිට ඔවුන්ට උදා වූ සේක. 
පාරාන් කන්දේ සිට බැබළුණු සේක. 
දස දහසක් දේව දූතයන් ඇති ව පැමිණි සේක. 
දකුණත ගිනි දැල්ලක් සමඟ වැඩිය සේක. 
3 එතුමාණො‍් සිය සෙනඟට සැබැවින් ම ප්‍රේම කරන සේක, සියලු සැදැහැවත්හු එතුමන් අතෙහි ය;
ඔව්හු, ඔබේ පාමුල හිඳ ඔබේ වචන පිළිගන්නො‍් ය; 
4 ජාකොබ්ගේ පෙළපතට උරුම කොට දුන් මෝසෙස් පැනවූ ව්‍යවස්ථා පිළිගන්නො‍් ය. 
5 ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර ද ජන නායකයන් ද එක්රැස් වූ විට දෙවිඳාණො‍් ඔවුන්ගේ රජ වූ සේක. 
6 ”රූබන්ගේ පෙළපත කුඩා වුවත්, එය නොනැසී පවතී වා!” 
7 ජුදාගේ පෙළපත ගැන මෙසේ කී ය: 
”සමිඳුනි, ජුදාගේ හඬට සවන් දුන මැනව. 
සෙසු සෙනඟ වෙත ඔවුන් ගෙන ගිය මැනව. 
ඔවුන් වෙනුවට සටන් කළ මැනව. 
සතුරන්ට විරුද්ධ ව ඔවුන්ට සහාය වුව මැනව.” 
8 ලෙවීගේ පෙළපත ගැන මෙසේ කී ය: 
”මස්සා, නම් ස්ථානයේ දී ඔබ පරීක්ෂා කළ, මෙරිබාහි උල්පත් ළඟ ඔබ සමඟ විවාද කළ සැදැහැවතුන්ට,
ඌරිම් සහ තුම්මීම් දානය කළ මැනව. 
9 ඔව්හු සිය දෙමාපියන් අමතා, ‘අපි ඔබ නුදුටිමු’යි කී හ; 
සිය සෝයුරන් නොපිළිගත්හ; 
සිය දරුදැරියන් නොදත්හ; 
ඔව්හු ඔබ වදන් රැක ඔබ ගිවිසුම ඉටු කළහ.
10 ඔව්හු ජාකොබ්ගේ පෙළපතට නියෝග ද, ඉශ්රායෙල් ජනතාවට ව්‍යවස්ථාව ද උගන්වති;
ඔබ අබියස සුවඳ දුම් අල්ලති; 
පුදසුන් මත දවන යාග පුදති. 
11 සමිඳුනි, ඔවුන්ගේ ශක්තියට ආසිරි දුන මැනව.
ඔවුන්ගේ අත්කම් පිළිගත මැනව. 
ඔවුන්ට එරෙහි ව නැඟිටින්නන් ඔවුන්ගේ විරුද්ධවාදීන් යළිත් නොනැඟිටින ලෙස ඔවුන්ගේ තුනටියට පහර දුන මැනව.”
12 බෙන්ජමින්ගේ පෙළපත ගැන මෙසේ කී ය: 
”එම්බා සමිඳුන්ගේ පෙම්වත! 
එතුමන් කෙරෙහි ඔවුන් සුරැකි ව වසනු ඇත. 
දවස පුරා සමිඳාණන් ඔහුට රැකවරණය දෙනු ඇත. 
එතුමන්ගේ රැකවරණය තුළ ඔහු වසනු ඇත.” 
13 ජෝසෙප්ගේ පෙළපත ගැන මෙසේ කී ය: 
”සමිඳාණො‍් ඔවුන්ගේ රටට ආසිරි වස්වනු සේක් වා! 
අහසින් වැටෙන පිනි බිඳු සම්පත ද පොළොව යට ඇති අගනා සම්පත ද 
14 හිරු රැසින් උපදින ප්‍රණීත පල ද සඳ සමඟ උපදින වටිනා අස්වැන්න ද 
15 පැරණි උස කඳුකරයේ අගනා දේ ද සදාතන හෙල්වල වටිනා වස්තු ද 
16 ගොඩ මඩ සරුසාර අස්වැන්න ද පඳුරේ සිට කතා කළ තැනැන් වහන්සේගේ ප්‍රසාදය ද යන සියලු ආසිරි ජෝසෙප්ගේ පෙළපත පිට පහළ වේ වා!
සිය සොහොයුරන් අතර රජ කුමරු ඔහුගේ පරපුර පිට පහළ වේ වා! 
17 ඔවුන්ගේ මහිමය, ගව කුලුඳුලාගේ මහිමය මෙන් ය; 
ඒ බලය, කුළු හරකාගේ අං මෙන් ය. 
ඒ බලයෙන් පොළොවේ කෙළවරට ඔහු, ජනයා නෙරපාදමයි.
එප්‍රායිම්ගේ පරපුරෙහි දස දහස ද මනස්සේගේ පරපුරෙහි දහස් ගණන ද මේ ජනයා වෙති.”
18 සාබුලොන්ගේ පෙළපත ගැන මෙසේ කී ය: 
”එම්බා සාබුලොන්! 
ඔබ පිටත යන විට ප්‍රීති වන්න. 
එම්බා ඉස්සාකර්! 
ඔබේ කූඩාරම් තුළ සිටින විට ප්‍රීති වන්න.
19 ඔව්හු කන්දට සෙනඟ කැඳවති, දැහැමි පූජා එහි පුදති. 
සමුදුරේ ඇති සම්පත ද වෙරළෙහි සැඟවුණු නිධානය ද ඔව්හු ඇදගනිති.” 
20 ගාද්ගේ පෙළපත ගැන මෙසේ කී ය: 
”ගාද් දේශය පුළුල් කරන හිමි හට ආසිරි වේ වා! 
ගාද් සිහදෙනක මෙන් නිදා සිටියි. 
සතුරන්ගේ බාහුව හා හිස් මුදුන ඉරාදමයි. 
21 දේශයේ හොඳ ම කොටස ගාද් තමාට ම ගත්තේ ය. 
නායකයාට හිමි පංගුව ඔහුට ම හිමි විය. 
සෙනඟගේ ප්‍රධානීන් වෙතට පැමිණ ඉශ්රායෙල් ජනයා සමඟ සමිඳාණන්ගේ යුක්තිය ද එතුමන්ගේ අණපණත් ද ඔව්හු ඉටු කළෝ ය.” 
22 දාන්ගේ පෙළපත ගැන මෙසේ කී ය: 
”දාන්, බාෂාන් සිට පැන එන්නෙකි; 
සිංහ පොව්වෙකි.” 
23 නප්තලීගේ පෙළපත ගැන මෙසේ කී ය:
”එම්බා නප්තලී! 
ප්‍රසාදයෙන් සෑහීමට පත්, සමිඳුන්ගේ ආසිරියෙන් පිරිපුන් ඔබ, අපර දිග ද දකුණු දිග ද හිමි කරගන්න.”
24 ආෂෙර්ගේ පෙළපත ගැන මෙසේ කී ය: 
”හැමට වඩා ආෂෙර්ට ආසිරි වේ වා! 
තම සෝයුරන් අතර ප්‍රියමනාප වේ වා! 
සිය පා, තෙලෙහි ගල්වා ගනී වා! 
25 ඔබ දොරටු අගුල් යකඩ සහ ලෝකඩින් වේ වා! 
දිවි ඇති තාක් බලයෙන් වෙසේ වා! 
26 ඉශ්රායෙල් දෙවිඳුන්ට සම අන් කෙනෙක් නැත. 
එතුමාණො‍් ඔබට සහාය වනු වස් අහස පීරා වලාකුළු අරා තෙද මහිමයෙන් වඩිනා සේක.
27 සදාතන දෙවිඳාණො‍් ඔබේ සරණය වේ! 
එතුමන් සදාතන බාහු බලය ඔබ ආධාරය වේ. 
එතුමාණො‍් ඔබ ඉදිරියෙන් සතුරන් පලවා හරින සේක. 
‘ඔව්හු වැනසෙත් වා!’යි අණ දෙන සේක. 
28 ඉශ්රායෙල් ජනයා සුරැකි ව වසනු ඇත. 
ජාකොබ්ගේ පෙළපත ධාන්‍ය ද කෙත් හා මිදියුස ද ඇති සරුසාර රටක වසනු ඇත.
අහස් තලය පිනි බිඳු වස්වනු ඇත. 
29 එම්බා ඉශ්රායෙල් ජනයෙනි, 
ඔබේ වාසනාවක මහත! 
සමිඳු මිදූ සෙනඟකි, ඔබ. ඔබ හා සමාන කිසිවෙක් නැත.
ඔබට ආධාර වන පලිහ, ඔබට ජයසිරි දෙන කඩුව, සමිඳාණො‍් ය. 
ඔබේ සතුරො‍් වැටී කමාව ඉල්ලා එන්නො‍් ය. 
ඔබ ඔවුන්ගේ ගිරිකුළු දේවාල පයින් පාගා පොඩි කරදමන්නහු ය.”

– 34 වන පරිච්ඡේදය –

මෝසෙස්ගේ මරණය

1 ඉක්බිති මෝසෙස් මෝවබ් නම් මිටියාවතින්, නෙබො‍් නම් කඳුකරයට ගොස්, ජෙරිකෝ නගරයට ඉදිරියෙන් පිහිටි පිස්ගා කඳු මුදුනට නැංගේ ය. එහි දී සමිඳාණන් වහන්සේ ඔහුට දාන් නගරය දක්වා විහිදුණු මුළු ගිලියද් දේශය ද 2 නප්තලීගේ මුළු දේශය ද එප්‍රායිම්ගේ සහ මනස්සේගේ දේශයෙන් ද මධ්‍යධරණි මුහුද දක්වා පිහිටි ජුදාගේ මුළු දේශය ද 3 දකුණු දිග ද ඉඳි ගස් නගරය යන අර්ථය ඇති ජෙරිකෝව පිහිටි මිටියාවතේ සිට ශෝවර් දක්වා තිබෙන තැනිතලාව ද පෙන්වූ සේක. 4 ඉන්පසු සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ” ‘නුඹේ ගෝත්‍රයට දෙන්නෙමි’යි කියා ආබ්‍රහම් ද ඊසාක් සහ ජාකොබ්ට ද දිවුළ දේශය මේ ය. දේශය නුඹේ දෙනෙතින් දකින්නට සැලැස්වීමි. එහෙත්, නුඹ ඊට ඇතුළු නො වන්නෙහි ය”යි වදාළ සේක. 
5 මෙසේ සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස්, උන් වහන්සේ වදාළ පරිදි මෝවබ් දේශයේ දී මියගියේ ය. 6 උන් වහන්සේ බෙත්-පෙයො‍්ර් නම් නගරයට ඉදිරියෙන් වූ මෝවබ් දේශයෙහි තැනිතලාවක ඔහු භූමදාන කළ සේක. කිසිවෙක් අද දක්වා ඔහුගේ සොහොන් පළ නොදනිති. 7 මෝසෙස් මියයන විට ඔහුට වයස අවුරුදු එකසිය විස්සකි. ඔහුගේ ඇස් පෙනීම හොඳට තිබිණි. ශරීර ශක්තිය ද අඩු නො වී ය. 8 ඉශ්රායෙල් ජනතාව මෝවබ් මිටියාවතේ මෝසෙස් ගැන දවස් තිහක් හඬා වැලපුණො‍් ය. හඬා වැලපෙන කාලය ද අවමංගල්‍යයේ වත්පිළිවෙත් කාලය ද නිම විය. 
9 මෝසෙස්, නූන්ගේ පුත් ජෝෂුවා පිට තම අත් තැබූ බැවින්, ඔහු ප්‍රඥානුභාවයෙන් පූර්ණ වූයේ ය. ඉශ්රායෙල් ජනතාව ද ඔහුට කීකරු වී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝ ය. 
10 සමිඳාණන් වහන්සේ මුහුණට මුහුණ ලා ඇඳිනගත් මෝසෙස්ට සමාන දිවැසිවරයෙක් ඉන්පසු ඉශ්රායෙල්වරුන් අතර තවත් නො වී ය. 11 සමිඳාණන් වහන්සේ විසින් යවනු ලැබ, මිසර දේශයෙහි පාරාවෝ ද ඔහුගේ සියලු නිලධාරීන් ද මුළු සෙනඟ ද ඉදිරියෙහි හාස්කම් සහ අරුමපුදුම දේ කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නො වී ය. 12 මුළු ඉශ්රායෙල් ජනතාව බලා සිටිය දී සිය බාහු බලයෙන් මහත් ත්‍රාසජනක දේවල් ද කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නො වී ය.

 

Leave a comment