ජෝෂුවා

– 1 වන පරිච්ඡේදය –

කානාන් දේශය අත්කර ගැනීමට සූදානම

1 සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස්ගේ මරණයෙන් පසු, ඔහුගේ සහකාර වූ නූන්ගේ පුත් ජෝෂුවාට උන් වහන්සේ කතා කොට, මෙසේ වදාළ සේක: 2 ”මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න. 3 මා මෝසෙස්ට දැන්වූ පරිදි නුඹලා පා තබන සෑම ස්ථානයක් ම මම නුඹලාට දෙමි. 4 පාළුකරය හා මේ ලෙබනොන් දේශය පටන් මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ඇති, හිත්තීවරුන්ගේ මුළු රට ද අපරදිග මහ මුහුද දක්වා ද නුඹලාගේ දේශ සීමා වනු ඇත. 5 දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත. 6 ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය. 7 මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න. 8 මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත. 9 ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.” 
10 එවිට ජෝෂුවා සෙනඟගේ නිලධාරීන් අමතා, 11 ”ඔබ කඳවුර මැදින් ගොස් සෙනඟට කතා කොට, ‘දෙවි සමිඳාණන් වහන්සේ උරුමය වශයෙන් ඔබට දෙන දේශය හිමි කරගැනීමට තව දවස් තුනකින් ඔබ හැම මේ ජොර්දාන් ගඟින් එතෙර යන හෙයින් ඒ සඳහා කෑම සූදානම් කරගන්න’ කියා අණ කරන්නැ”යි කීවේ ය. 
12 ඉන්පසු ජෝෂුවා රූබන්වරුන්ට ද ගාද්වරුන්ට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ද කතා කොට, 13 ”සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ඔබ හැමට අණ කරමින් කී දේ, එනම්, ‘දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැමට විවේක ස්ථානයක් සඳහා මේ දේශය දෙන සේක’ යන්න සිහිකරන්න. 14 මෝසෙස් ජොර්දාන් ගඟින් මෙගොඩ ඔබට දී තිබෙන දේශයෙහි ඔබේ භාර්යාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද පදිංචි වනු ඇත. එහෙත්, ඔබ අතර සියලු බලසම්පන්න පුරුෂයන් සන්නාහ සන්නද්ධ ව ඔබේ සහෝදරයන්ට පෙරටුව යමින් ඔවුන්ට උපකාර කරනු ඇත. 15 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ඔබේ සහෝදරයන්ට විවේකය දෙන තෙක් ද උන් වහන්සේ ඔවුන්ට දෙන දේශය අයිති කරගන්න තෙක් ද ඔබ එලෙස ඔවුන්ට උපකාර කළ යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ජොර්දාන් ගඟින් එහා පෙරදිග දිශාවෙහි ඔබ හැමට දුන්, ඔබට අයිති වන දේශයට හැරී අවුත් එය භුක්ති විඳීමට පටන්ගන්නෝ ය”යි කීවේ ය. 
16 එවිට ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, ”ඔබ අපට අණ කළ සියල්ල ම අපි කරන්නෙමු; ඔබ අප යවන කොතැනට වුව ද අපි යන්නෙමු. 17 සියල්ලේ දී අප මෝසෙස්ට කීකරු වූ ලෙස ඔබටත් කීකරු වන්නෙමු. දෙවි සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් ඔබ සමඟ ද වැඩ සිටින සේක් වා! 18 යමෙක් ඔබේ අණපණත්වලට විරුද්ධ ව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන සියල්ලේ දී ඔබට අකීකරු වුවොත්, ඔහු මරණයට පත් කළ යුතු වන්නේ ය. ඔබ ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්නැ”යි කීවෝ ය.

– 2 වන පරිච්ඡේදය –

ජෙරිකෝවට ඔත්තුකාරයන් යැවීම

1 නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, ”ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ. 2 එවිට, ”දේශයෙහි ඔත්තු බලන පිණිස ඉශ්රායෙල් ජනයාගෙන් කීප දෙනෙක් අද රෑ මෙහි ඇවිත් සිටිති”යි ජෙරිකෝවේ රජුට සැළ විය. 3 මේ දේ ඇසූ ජෙරිකෝවේ රජ, රාහාබ් වෙත පණිවුඩයක් යවමින්, ”ඔබ වෙත පැමිණ ඔබේ ගෙට ඇතුළු වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න. මන්ද, ඔවුන් පැමිණ සිටින්නේ මුළු දේශයේ ඔත්තු බලන පිණිස ය”යි දැන්වී ය. 
4 ස්ත්‍රිය ද ඒ මිනිසුන් දෙදෙනා කැඳවාගෙන ගොස් ඔවුන් සඟවා තැබුවා ය. ඈ පණිවුඩකාරයන්ට කතා කොට, ”මිනිසුන් මා වෙත පැමිණි බව ඇත්තකි. එහෙත්, ඔවුන් ආවේ කොහෙන් ද කියා මම නොදනිමි. 5 ඇරත්, කළුවර වැටී වාසල් දොරටුව වසන වේලාව පැමිණෙද්දී ඒ මිනිස්සු පිටත් ව ගියෝ ය. ඔවුන් කොහේ ගියා දැ යි මම නොදනිමි. ඉක්මනින් ඔවුන් ලුහුබැඳ යන්න. තවම ඔවුන් අල්ලාගන්නට හැකි වන්නේ ය”යි පැවසුවා ය. 6 රාහාබ් ඒ මිනිසුන් දෙදෙනා ගෙයි පියස්ස උඩට ගෙන ගොස්, එහි අහුරා තිබුණ හණ දඬු යට ඔවුන් සඟවා තැබුවා ය. 7 රාජ සේවකයෝ ජොර්දාන් ගඟට යන පාර දිගේ තොටුපළවල් දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. ඔවුන් නගරයෙන් පිට වූ වහා ම වාසල් දොරටුව වසන ලද්දේ ය.

රාහාබ් සහ ඔත්තුකාරයන් අතර ගිවිසුම

8 ඒ මිනිසුන් දෙදෙනා නිදාගන්නට පෙර ඈ පියස්සේ සිටි ඔවුන් වෙත අවුත්, 9 ඔවුන්ට මෙසේ කීවා ය: ”සමිඳාණන් වහන්සේ මේ දේශය ඔබට දී තිබෙන බව ද ඔබ නිසා අප අතර භීතිය පැතිරී ගොස් තිබෙන බව ද සියලු දේශ වාසීන් ඔබේ පැමිණීම හේතුකොටගෙන මහත් සේ තැතිගෙන සිටින බව ද මම දනිමි. 10 ඔබ මිසර දේශයෙන් පිටතට එන කල, සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි රතු මුහුද වේළී යන්නට සැලැසූ හැටි ද ජොර්දාන් ගඟින් එතෙර සිටි අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ට සහ ඕග්ට ඔබ කළ දෙය, එනම්, ඔවුන් සහමුලින් විනාශ කළ හැටි ද අප අසා ඇත 11 මේ කරුණු ඇසූ කෙණෙහි ම අපි අධෛර්ය වී අතිශයෙන් කලකිරුණෙමු. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට අප කිසිවෙකුට ධෛර්යයක් නො වී ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉහළ අහසෙහිත්, පහළ පොළොවෙහිත් දෙවියන් වහන්සේ වන බැවිනි. 12 ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න. 13 මාගේ පියා ද මව ද සහෝදර සහෝදරියන් ද ඔවුන්ගේ සියලු පවුල් ද ආරක්ෂා කොට, අපේ ජීවිත මරණින් බේරාගන්න.” 
14 එවිට ඒ මිනිස්සු ඈට පිළිතුරු දෙමින්, ”අපේ මේ රහස ඔබ එළිදරව් නොකළොත්, ඔබ වෙනුවෙන් දිවි පුදන්නට අපි සූදානම් ය. සමිඳාණන් වහන්සේ මේ දේශය අපට දුන් කල, අපි ඔබ කෙරෙහි කරුණාවෙන් ද හිතවත්කමෙන් ද ක්‍රියා කරන්නෙමු”යි කීවෝ ය. 
15 රාහාබ්ගේ ගෙය නගරයේ පවුර පිට තිබුණේ ය; ඈ ද පවුර පිට වාසය කළා ය. එබැවින් ඈ කඹයකින් ඒ මිනිසුන් දෙදෙනා කවුළුවෙන් බැස්සුවා ය. 16 ඈ ඔවුන්ට කතා කොට, ”ලුහුබැඳ ගිය අයට ඔබ අසු නොවන පිණිස කඳුකරයට පලා යන්න. ඔවුන් ආපසු හැරී එන තුරු එහි තුන් දවසක් සැඟවී සිටින්න. ඉන්පසු ඔබේ ගමන යන්නැ”යි කීවා ය. 
17 ඒ මිනිස්සු ද ඈට පිළිතුරු දෙමින් මෙසේ කී හ: ”ඔබ අපෙන් ගත් දිවුරුම අපි ඉටු කරන්නෙමු. 18 එසේ කරන්නට නම්, අප මේ දේශයට ආ කල මේ රතු නූල් පටිය ඔබ අප බැස්සෙව් කවුළුවේ බැඳ තබා, ඔබේ පියා ද මව ද සහෝදරයන් ද පියාගේ ගෙයි වැසි සියල්ලන් ද ඔබ සමඟ නිවෙසට එක්රැස් කරගන්න. 19 කිසිවෙකු ඔබේ ගෙදරින් පිට වී වීදියට ගොස් මරණයට පත් වුවහොත් වරද ඔහුගේ ම ය; ඒ ගැන අපි නිදොස් ය. ඔබ සමඟ ගෙදර සිටින යමෙකුට අනතුරක් සිදු වුවහොත් ඔහුගේ මරණය ගැන අප වගකිවයුතු වන්නේ ය. 20 එහෙත්, ඔබ අපේ මේ රහස් එළිදරව් කළොත්, ඔබ අප ලවා දිවුරුම් ගත් දිවුරුමෙන් අපි නිදහස් වන්නෙමු.” 21 රාහාබ් පිළිතුරු දෙමින්, ”ඔබ කී ලෙස ම වේ වා”යි ඔවුන් පිටත් කර යැව්වා ය. ඔව්හු ද පිටත් ව ගියෝ ය. එවිට ඈ රතු පටිය කවුළුවේ බැන්දා ය. 
22 ඒ මිනිසුන් දෙදෙනා පිටත් වී ගොස් කඳුකරයට පැමිණ, ඔවුන් ලුහුබැඳ ගිය අය ආපසු හැරී එන තුරු තුන් දවසක් එහි නැවතී සිටියෝ ය. ලුහුබැඳ ගිය අය ඒ මිනිසුන් සෑම තැන ම සෙවූ නමුත් ඔවුන් සම්බවුණේ නැත. 23 එවිට ඒ මිනිසුන් දෙදෙනා ආපසු හැරී, කඳුකරයෙන් බැස, ගඟෙන් එතෙර වී, නූන්ගේ පුත් ජෝෂුවා වෙත පැමිණ තමන්ට සිදු වූ සියල්ල ඔහුට දැන්වූ හ. 24 ඔව්හු ජෝෂුවාට කතා කොට, ”සැබැවින් ම සමිඳාණන් වහන්සේ මේ මුළු දේශය අප අතට පාවා දී තිබේ. දේශයේ වැසියන් සියල්ලෝ ම අප කෙරෙහි භීතියෙන් සිටිති”යි කීවෝ ය.

 

– 3 වන පරිච්ඡේදය –

ජොර්දාන් ගඟින් එතෙර වීම

1 ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය. 2 තුන් දවසකට පසු නිලධාරීහු කඳවුරු මැදින් ගොස්, 3 සෙනඟට කතා කොට, ”දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ලෙවී පූජකයන් එය උසුලාගෙන යනවා ද ඔබ දකින කල, ඔබ සිටින ස්ථානවලින් පිටත් ව ඒ පසුපස්සේ යන්න. 4 ඔබ මේ මාර්ගයෙන් කවදාවත් නොගිය බැවින්, යා යුතු මාර්ගය එවිට ඔබ දැනගන්නහු ය. එහෙත්, ඔබ ගිවිසුම් කරඬුවට ළං වී නොයා යුතු ය. එය හා ඔබ අතරේ කිලෝමීටරයක් පමණ දුර තිබිය යුතු ය”යි කීවේ ය. 
5 ජෝෂුවා සෙනඟට කතා කොට, ”සමිඳාණන් වහන්සේ හෙට ඔබ අතරේ පුදුම දේ කරන්නට යන බැවින් පවිත්‍ර වන්නැ”යි කී ය. 6 ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, ”ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ. 
7 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: ”මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි. 8 නුඹ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන්ට කතා කොට, ‘ඔබ හැම ජොර්දාන් ගඟේ දිය අද්දරට පැමිණි විට එහි නැවතී සිටින්න’ කියා අණ කරන්න.” 
9 එවිට ජෝෂුවා ඉශ්රායෙල් ජනයා අමතමින්, ”මෙහි පැමිණ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වදාළ දේට සවන් දෙන්නැ”යි කීවේ ය. 10 ඔහු තවදුරටත් මෙසේ කීවේ ය: ”ජීවමාන දෙවියන් වහන්සේ ඔබ අතර සිටින බවත්, උන් වහන්සේ නොඅනුමානව ම ඔබ ඉදිරියෙන් කානානිවරුන් සහ හිත්තීවරුන් ද හිවීවරුන් සහ පෙරිස්සිවරුන් ද ගිර්ගාෂිවරුන් සහ අමෝරිවරුන් ද ජෙබුසිවරුන් ද පන්නා දමන බවත් ඔබ මෙයින් දැනගන්නහු ය. 11 බලන්න, මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔබ පෙරටුවෙන් ජොර්දාන් ගඟට වැඩම කරනු ඇත. 12 එබැවින් දැන් එක එක ගෝත්‍රයෙන් එක්කෙනා බැගින් ඉශ්රායෙල් ගෝත්‍රවලින් පිරිමින් දොළොස්දෙනෙකු තො‍්රාගන්න. 13 මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන් ජොර්දාන් ගඟේ දියෙහි පා තැබූ කෙණෙහි ම ඉහළින් ගලා බසින ජලය නතර වී ගොඩගැහී සිටිනු ඇත.” 
14 සෙනඟ ජොර්දාන් ගඟින් එතෙරට යන්නට තමන්ගේ කූඩාරම්වලින් නික්ම ගිය විට, ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය. 15 ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟට පැමිණ දියෙහි පා තැබූ හ. අස්වැන්න නෙළන මුළු කාලය තුළ දී ජොර්දාන් ගඟේ දිය ඉවුරු තළා උතුරා යයි. 16 ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ. 17 ජොර්දාන් ගඟෙන් එතෙර වනතෙක්, ඉශ්රායෙල්වරුන් සියලු දෙනා වියළි බිම පිට ගමන් කළ අතර සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද වියළි බිම පිට සිටගෙන සිටියෝ ය.

 

– 4 වන පරිච්ඡේදය –

සිහිවටන ගල් දොළොස

1 මුළු ඉශ්රායෙල් ජාතිය ජොර්දාන් ගඟින් එතෙර වී නිම වූ කල සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, 2 ”නුඹ එක එක ගෝත්‍රයෙන් එක් කෙනෙකු බැගින් සෙනඟ අතරෙන් දොළොස්දෙනෙකු තො‍්රාගෙන, ඔවුන් අමතා, 3 ‘ඔබ හැම ජොර්දාන් ගඟේ මැද පූජකවරුන් පා තබා සිටි තැනින් ගල් දොළොසක් රැගෙන, එතෙර ගෙන ගොස්, ඒවා ඔබ හැම අද රෑ නවාතැන් ගන්නා ස්ථානයෙහි තබන්න’ කියා අණ කරන්නැ”යි වදාළ සේක. 
4 එවිට ජෝෂුවා ඉශ්රායෙල්වරුන් අතරෙන් එක එක ගෝත්‍රයෙන් එක් කෙනෙකු බැගින් තො‍්රාගත් දොළොස්දෙනා කැඳවා, 5 ඔවුන් අමතා, ”දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් ඔබ ජොර්දාන් ගඟට ගොස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර අනුව එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ ගෙන යන්න. 6 මෙසේ කරන්නේ, ඒවා ඔබ අතරේ සිහිවටනයක් වන පිණිස ය. ‘මේ ගල් තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයේ දී ඔබේ දරුවන් අසන විට, 7 ඔබ ඔවුන්ට කතා කොට, ‘සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ජොර්දාන් ගඟෙහි දිය බෙදී ගියේ ය; ඒ කරඬුව ගඟ හරහා වැඩමවාගෙන යන විට, ගඟේ දිය බෙදී ගිය නිසා, මේ ගල් ඉශ්රායෙල් ජනතාවට සදාකාල සිහිවටනයක් වන්නේ ය’යි කිව යුතු ය”යි දැන්වී ය. 
8 ඉශ්රායෙල් ජනතාව ජෝෂුවාගේ අණ පරිදි කළහ. සමිඳාණන් වහන්සේ ජෝෂුවාට වදාළ ලෙස ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල ගණන හැටියට, ජොර්දාන් ගඟ මැදින් ගල් දොළොසක් රැගෙන, තමන් සමඟ මෙතෙරට ගෙනැවිත් ඔවුන් නැවතුන ස්ථානයේ තැන්පත් කළහ. 9 ජොර්දාන් ගඟ මැද ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් පය ගැසූ ස්ථානයෙහි ද ජෝෂුවා ගල් දොළොසක් තැබී ය. ඒවා අද දක්වා එහි තිබේ. 10 මෝසෙස් ජෝෂුවාට අණ කළ පරිදි සෙනඟට දැන්වීම සඳහා සමිඳාණන් වහන්සේ ජෝෂුවාට නියම කළ සියලු දේ කියා නිම වන තෙක්, ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද නැවතී සිටියෝ ය. සෙනඟ ඉක්මන් කර එතෙරට ගියෝ ය.

ගිල්ගාලයට පැමිණීම

11 මුළු සෙනඟ ඉක්මන් ව එතෙර වී නිම වූ කල, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සහ පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය. 12 රූබන්ගේ පෙළපත ද ගාද්ගේ පෙළපත ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද සන්නාහ සන්නද්ධ ව, මෝසෙස් ඔවුන්ට කී ප්‍රකාර, ඉශ්රායෙල්වරුන්ට පෙරටුව එතෙර වූ හ. 13 යුද්ධයට සැරසුණු සතළිස්දහසක් පමණ අය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මෙතෙර පිහිටි ජෙරිකෝවේ මිටියාවත්වලට යුද්ධය සඳහා පැමිණියෝ ය. 14 ඒ දවසේ දී සකල ඉශ්රායෙල් ජනතාවගේ ඇස් හමුයෙහි සමිඳාණන් වහන්සේ ජෝෂුවා උසස් කළ සේක. ඔව්හු මෝසෙස්ට ගෞරව කළාක් මෙන් ජෝෂුවාට ද ඔහුගේ මුළු ජීවිත කාලයෙහි ගෞරව දැක්වූවෝ ය. 
15 එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, 16 ”ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන්ට ජොර්දාන් ගඟින් නැඟී පිටතට එන ලෙස කියන්නැ”යි වදාළ සේක. 17 එබැවින් ඔහු පූජකවරුන්ට අණ කරමින්, ”ජොර්දාන් ගඟින් නැඟී පිටතට එන්නැ”යි කීවේ ය. 18 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, තමන්ගේ පාද ගොඩබිම තැබූ කෙණෙහි ම ගඟේ දිය ආපසු ගලා ඇවිත් පෙර ලෙස ගං ඉවුරු තළා ගලා ගියේ ය. 
19 මෙලෙස සෙනඟ පළමු වන මාසයේ දස වන දින ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, ජෙරිකෝවට නැගෙනහිර දිශාවෙහි ගිල්ගාල් නම් ස්ථානයෙහි කඳවුරු බැඳගත්තො‍් ය. 20 ඔවුන් ජොර්දාන් ගඟින් ගත් ඒ ගල් දොළොස ජෝෂුවා ගිල්ගාල්හි එක උඩ එක තබා 21 ඉශ්රායෙල් ජනයා අමතමින්, ” ‘මේ ගල් පිළිවෙළට තබා තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයෙහි දී ඔබේ දරු පරපුර ඔවුන්ගේ පියවරුන්ගෙන් අසන විට 22 ඔබ ඔවුන්ට පිළිතුරු දෙමින් මෙසේ කියන්න, ‘ඉශ්රායෙල්වරු වියළි බිම දිගේ මේ ජොර්දාන් ගඟෙන් එතෙර වී ආවෝ ය. 23 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අප රතු මුහුදෙන් එතෙර වන තුරු එහි දිය, අප බලාගෙන සිටිය දී ම, හින්දවා දැමුවාක් මෙන්, උන් වහන්සේ ජොර්දාන් ගඟේ දිය ද අප බලාගෙන සිටිය දී හින්දවා දැමූ සේක. 24 උන් වහන්සේ එසේ කෙළේ, මිහි පිට සියල්ලන් සමිඳාණන් වහන්සේගේ හස්තය බලවත් බව දැනගනු පිණිසත්, ඔවුන් දෙවි සමිඳාණන් වහන්සේට සදහට ම ගරුබිය දක්වනු පිණිසත් ය’ කියා දැන්විය යුතු ය”යි කීවේ ය.

– 5 වන පරිච්ඡේදය –

1 ඉශ්රායෙල් ජනයා එතෙර වන තුරු සමිඳාණන් වහන්සේ ඔවුන් පැමිණෙන්නට කලින් ජොර්දාන් ගඟේ දිය හිඳී යන්නට සැලැසූ බව, ජොර්දාන් ගඟින් එතෙර බස්නාහිර සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන් ද මධ්‍යධරණි මුහුදුබඩ විසූ කානානිවරුන්ගේ සියලු රජවරුන් ද ඇසූ කල, ඔව්හු ඉශ්රායෙල් ජනයා නිසා තැති ගෙන අධෛර්යයට පත් වූහ.

චර්මඡේදනය සහ පාස්කුව පැවැත්වීම

2 එකල සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, ”ගිනි ගලින් පිහියා සාදා, ඉශ්රායෙල් ජනයා තවත් වරක් චර්මඡේදනය කරන්නැ”යි වදාළ සේක. 3 එවිට ජෝෂුවා ගිනි ගලින් පිහියා සාදා, චර්මඡේදන-කන්ද නම් ස්ථානයේ දී ඉශ්රායෙල්වරුන් චර්මඡේදනය කෙළේ ය. 4 ජෝෂුවා චර්මඡේදනය කෙළේ මේ කරුණ නිසා ය: මිසර දේශයෙන් පිටත් ව පැමිණි සියලු භට සෙනඟ වූ පිරිමි, මිසරයෙන් නික්ම ආ පසු, මඟ දී පාළුකරයේ මියගියහ. 5 නික්ම ආ සියලු සෙනඟ චර්මඡේදනය ලබා සිටිය නමුත්, මිසරයෙන් එන කල, මඟ දී පාළුකරයෙහි උපන් සෙනඟ චර්මඡේදනය නොලැබූ හ. 6 ඉශ්රායෙල් ජනයා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයෙහි ගමන් කළෝ ය. ඒ කාලය තුළ දී මිසරයෙන් පිටත් ව ආ සියලු භට සෙනඟ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් මියගියහ. මෙසේ වූයේ, අපට දෙන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශය දකින්නට ඔවුන්ට ඉඩ නාරින ලෙස උන් වහන්සේ දිවුළ නිසා ය. 7 උන් වහන්සේ ඒ පියවරුන් වෙනුවට ඔවුන්ගෙන් පැවත ආ දරු පරපුරක් ඇති කළ සේක. පාළුකරය මැදින් ගමන් කරද්දී චර්මඡේදනය නොකරනු ලැබූ බැවින් ඔව්හු අචර්මඡේදිතයෝ වූ හ. ජෝෂුවා මොවුන් චර්මඡේදනය කෙළේ ය. 
8 මුළු සෙනඟ චර්මඡේදනය කර නිම වූ කල, ඔව්හු සුව වන තුරු කඳවුරේ නැවතී සිටියෝ ය. 9 එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, ”මම අද නුඹලා කෙරෙන් මිසරයේ වහල්කමෙන් ලත් අපකීර්තිය ඉවත් කෙළෙමි”යි වදාළ සේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි කියනු ලැබී ය. 
10 ඉශ්රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු බැඳ, මාසයේ දස සතර වන දින සවස ජෙරිකෝවේ මිටියාවතේ දී පාස්කු මංගල්‍යය පැවැත්වූ හ. 11 පාස්කුවට පසු දින ඔව්හු දේශයේ ධාන්‍යවලින් සෑදූ නුමුහුන් රොටි හා විළඳ අනුභව කළෝ ය. 12 ඔවුන් දේශයේ ධාන්‍යයෙන් අනුභව කළ දාට පසු දින, මන්නා ආහාරය වැටීම නැවතිණි. ඉශ්රායෙල් ජනයාට ඊට පසු මන්නා නොලැබුණ හෙයින් ඔව්හු ඒ අවුරුද්දේ පටන් කානාන් දේශයේ භවභෝග අනුභව කළෝ ය.

ජෝෂුවා සහ ස්වර්ගික අධිපතියා

13 ජෝෂුවා ජෙරිකෝ නුවර ළඟ සිටිය දී, තම හිස ඔසවා බැලූ විට, තමා ඉදිරිපිට කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති මිනිසෙකු සිටිනු දුටුවේ ය. ජෝෂුවා ඔහු සමීපයට ගොස්, ”ඔබ අපේ පැත්තට ද නැතහොත් අපේ විරුද්ධ කාරයන්ගේ පැත්තට දැ”යි විචාළේ ය. 
14 ඔහු පිළිතුරු දෙමින්, ‘එසේ නොවේ; සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ව මම දැන් ආවෙමි”යි කීවේ ය. එවිට ජෝෂුවා මුණින්තළා වී ඔහුට නමස්කාර කරමින්, ”ස්වාමීන් වහන්ස ඔබේ මෙහෙකරුවාට කුමක් වදාරන සේක් දැ”යි ඇසී ය. 
15 සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ජෝෂුවාට කතා කොට, ”නුඹ සිටින තැන ශුද්ධ භූමියක් නිසා නුඹේ පාවහන් ගලවන්නැ”යි කීවේ ය. ජෝෂුවා ද එසේ කෙළේ ය.

 

– 6 වන පරිච්ඡේදය –

ජෙරිකෝව අත්පත් කරගැනීම

1 ජෙරිකෝව ඉශ්රායෙල් ජනයාගෙන් ආරක්ෂා කරගනු පිණිස එය අගුල් දමා වසා තිබුණේ ය. කිසිවෙකු පිටතට ගියේ වත්, ඇතුළතට ආවේ වත් නැත. 2 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, ”සවන් දෙන්න, ජෙරිකෝව ද එහි රජු ද බලවත් යුද්ධ භටයන් ද නුඹේ අතට මම පාවා දෙන්නෙමි. 3 යුද්ධ භටයන් වන නුඹලා සියල්ලන් දවසකට එක වරක් බැගින් හය දවසක් මුළුල්ලේ නුවර වටේට යා යුතු ය. 4 පූජකවරුන් සත්දෙනෙකු බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් යා යුතු ය. සත් වන දවසේ දී සත්වරක් නුවර වටේට ගමන් කරන්න; පූජකවරු ද හොරණෑ පිඹිත් වා! 5 තවද, ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත්වන විට, ඒ හොරණෑ ශබ්දය නුඹලාට ඇසුණු කල, සකල ජනයා මහත් ඔල්වර හඬක් නඟත් වා! එවිට නුවර පවුර ඇද වැටෙන්නේ ය. සෙනඟ ද එකිනෙකා කෙළින් ම නුවර ඉදිරියට යන්නො‍් යැ”යි වදාළ සේක. 6 එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, ”ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය. 7 ඔහු සෙනඟටත් කතා කොට, ”ඉදිරිපත් වී නුවර වටේට යන්න, ආයුධ ගත් පුරුෂයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ඉදිරියෙන් යත් වා!”යි කීවේ ය. 
8 ජෝෂුවා සෙනඟට කතා කොට නිම වූ කල, පූජකවරු සත්දෙනා බැටළු අං හොරණෑ සතක් ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝ ය. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පස්සෙන් ගෙනයනු ලැබී ය. 9 සන්නාහ සන්නද්ධ වූ භටයෝ හොරණෑ පිඹින පූජකවරුන්ට පෙරටුවෙන් ගියෝ ය. පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී සෙසු අය ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය. 10 ජෝෂුවා සෙනඟට අණ කරමින්, ”ඔල්වර හඬ නඟන්නට මා ඔබ හැමට කියන දවස දක්වා ඔබ හැම ඔල්වර හඬ නොනැඟිය යුතු ය. ඔබ හැමගේ කට හඬ ඇසෙන්නට වත්, ඔබේ කටින් කිසිවක් නික්මෙන්නට වත් නොදිය යුතු ය. මා අණ කළ විට ඔල්වර හඬ නැඟිය යුතු ය”යි කීවේ ය. 11 මෙසේ ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නුවර වටේට එක වරක් කර උඩ තබාගෙන යනු ලැබීමට සැලැස්වී ය. එය ගෙන ගිය ඔව්හු කඳවුරට ආපසු අවුත් රාත්‍රිය එහි ගත කළෝ ය. 
12 පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තො‍් ය. 13 පූජකවරු සත්දෙනා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් බැටළු අං හොරණෑ සත රැගෙන නොනැවතී හොරණෑ පිඹිමින් ගියෝ ය. සන්නාහ සන්නද්ධ ව සිටි අය ඔවුන්ට පෙරටුවෙන් ගියෝ ය; පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී, සෙසු අය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය. 14 මෙසේ දෙ වන දවසේ දී නුවර වටේට එක වරක් ගොස් ඔව්හු ආපසු කඳවුරට ආවෝ ය. හය දවසක් ඔව්හු එසේ කළෝ ය. 
15 සත් වන දින අලුයම් වේලේ ඔව්හු නැඟිට එම ආකාරයෙන් ම සත්වරක් නුවර වටේට ගියෝ ය. ඔව්හු එදින පමණක් සත්වරක් නුවර වටේ ගමන් කළෝ ය. 16 සත් වන වර පූජකවරුන් හොරණෑ පිම්බ කල ජෝෂුවා, ”ඔල්වර හඬ නඟන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ හැමට නුවර දී තිබේ. 17 නුවර හා එහි ඇති සියල්ල සමිඳාණන් වහන්සේ උදෙසා සහමුලින් ම විනාශයට නියම වන්නේ ය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය, අප යැවූ පණිවුඩකාරයන් සඟවා තැබූ බැවින් ඈ ද ඈ සමඟ ගෙදර සිටින සියල්ලෝ ද පමණක් විනාශ නොවන්නෝ ය. 18 විනාශයට වෙන් කළ දෙයින් ඔබ වැළකී සිටිය යුතු ය: නැතහොත් වෙන් කළ පසු කැප වූ දෙයින් යමක් ඔබ ගත්තොත්, ඔබ ඉශ්රායෙල් කඳවුර පිට විනාශයක් පැමිණෙන්නට සලස්වා එය කලඹනු ඇත. 19 රන් රිදී සියල්ල ද ලෝකඩ සහ යකඩ බඩු ද සමිඳාණන් වහන්සේට කැප ය. ඒවා සමිඳාණන් වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතු ය”යි කීවේ ය. 
20 එසේ පූජකවරු හොරණෑ පිම්බෝ ය; සෙනඟ ඔල්වර හඬ නැඟුවෝ ය: සෙනඟ හොරණෑ ශබ්දය අසා, මහා හඬකින් ඔල්වර හඬ පැවැත්වූවෝ ය. පවුර ඇද වැටිණි; සෙනඟ ද එකිනෙකා කෙළින් ම ඉදිරියට ගොස් නුවර අල්ලාගත්තො‍් ය. 21 ඔව්හු පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා මහල්ලන් ද ගවයන් ද බැටළුවන් ද කොටළුවන් ද යන නුවර සිටි සියල්ලන් කඩු පහරින් සහමුලින් ම විනාශ කරදැම්මෝ ය. 
22 ඔත්තු බලන පිණිස දේශයට ගිය මිනිසුන් දෙදෙනාට ජෝෂුවා කතා කොට, ”වේශ්‍යා ස්ත්‍රියගේ ගෙදරට ගොස්, ඔබ ඈට දිවුළ ලෙස ඒ ස්ත්‍රිය සහ ඈට අයිති සියල්ලන් පිටතට ගෙනෙන්නැ”යි කීවේ ය. 23 ඔත්තුකාරයන් වූ ඒ තරුණයෝ ඇතුළට ගොස් රාහාබ් ද ඇගේ පියා ද මව් ද සහො‍්දරයන් ද ඈට අයිති සියල්ලන් ද ඇගේ සියලු නෑයන් ද පිටතට ගෙනවුත් ඉශ්රායෙල්වරුන්ගේ කඳවුරෙන් පිටත නතර කළෝ ය. 24 ඉන්පසු ඔව්හු නුවර හා එහි තිබුණ සියල්ල ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. රන් රිදී ද ලෝකඩ හා යකඩ බඩු ද ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගෘහයෙහි ගබඩාවෙහි තැන්පත් කළෝ ය. 25 ජෙරිකෝව සෝදිසි කරන්නට ජෝෂුවා යැවූ ඔත්තුකාරයන්, රාහාබ් නම් වෙසඟන විසින් සඟවනු ලැබූ බැවින් ජෝෂුවා ඈට සහ ඇගේ පියාගේ පවුලට ද ඈට අයිති සියල්ලන්ට ද ජීවත් වන්නට ඉඩ හැරියේ ය. ඈ ඉශ්රායෙල්වරුන් අතරෙහි අද දක්වා වාසය කරන්නී ය. 
26 එවිට ජෝෂුවා දිවුරමින්, ”යමෙක් මේ ජෙරිකෝ නුවර ගොඩනඟන්නට උත්සාහ කරන්නේ නම්, ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාප ලද්දෙක් වේ වා! ඔහු අත්තිවාරම් තබන විට ඔහුගේ කුලුඳුලා ද, එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයා ද නැති වනු ඇතැ”යි ඔවුන්ට කීවේ ය. 
27 මෙසේ සමිඳාණන් වහන්සේ ජෝෂුවා සමඟ වැඩ සිටි සේක; ඔහුගේ කීර්තිය දේශය මුළුල්ලෙහි පතළ විය.

 

– 7 වන පරිච්ඡේදය –

ආකාන්ගේ පාපය

1 විනාශයට වෙන් කළ දෙයින් කිසිවක් නොගන්න ලෙස සමිඳාණන් වහන්සේ දුන් ආඥාව ඉශ්රායෙල් සෙනඟ කඩ කළෝ ය. මන්ද, ආකාන් කැප වූ දෙයින් කොටසක් ගත්තේ ය. ඔහු වනාහි ජුදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත් ශබ්දිගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රයා ය. ඒ නිසා සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය. 
2 ජෝෂුවා ජෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන්ට ආසන්න වූ ආයි නගරයට මිනිසුන් යවමින්, ”ඔබ පිටත් ව ගොස් දේශය සෝදිසි කරගෙන එන්නැ”යි ඔවුන්ට කීවේ ය. ඒ මිනිස්සු පිටත් ව ගොස් ආයි නගරය ගැන ඔත්තු බැලුවෝ ය. 3 ඉන්පසු ඔව්හු ජෝෂුවා වෙත පෙරළා පැමිණ ඔහුට කතා කොට, ”සෙනඟ සියලු දෙනා නොයත්වා, දෙතුන් දහසක් පමණ සෙනඟ ගොස් ආයි නගරයට පහර දෙත්වා. ඒ නගරයේ සිටින්නේ ස්වල්ප දෙනෙකු නිසා, සකල ජනයා එහි යැවීමෙන් ඔවුන් වෙහෙසට පත් කරන්නට වුවමනාවක් නැතැ”යි කී හ. 4 එකී ලෙස සෙනඟගෙන් තුන්දහසක් පමණ එහි ගියෝ ය. එහෙත්, ඔව්හු ආයි නුවර මිනිසුන්ට බියෙන් පලා ගියෝ ය. 5 ආයි නුවර වැසියෝ ඔවුන්ගෙන් තිස්දෙනෙකු පමණ මැරුවෝ ය. ඔව්හු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් ලුහුබඳවා ගොස් කඳු බෑවුමේ දී ඔවුන්ට පහර දුන්නෝ ය. එවිට ඉශ්රායෙල්වරු අධෛර්යයට පත් වී භීතියෙන් ඇලළී ගියෝ ය. 
6 ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තො‍් ය. 7 ජෝෂුවා කතා කොට, ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, අප විනාශ කරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට ඔබ මේ සෙනඟ ජොර්දානෙන් මෙගොඩට පැමිණෙව්වේ කුමක් නිසා ද? අනේ! අපි ජොර්දාන් ගඟින් එගොඩ වාසය කරන්නට සතුටු වුණෙමු නම් කොපමණ හොඳ ද? 8 අහෝ සමිඳාණන් වහන්ස! ඉශ්රායෙල්වරුන් සිය සතුරන්ට පිටුපා පලා ගිය පසු මම කුමක් කියම් ද? 9 කානානිවරුන් ද දේශයේ සියලු වැසියන් ද ඒ අසා අප වටලා අපේ නාමය පොළොවෙන් මකාදමනු ඇත. එවිට ඔබේ ගරු නාමය රැකීමට ඔබ කුමක් කරන සේක් දැ”යි ඇසී ය. 
10 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ පිළිතුරු දුන් සේක: ”නැඟිටින්න; නුඹ කුමක් නිසා මෙසේ මුණින් වැතිරී සිටින්නෙහි ද? 11 ඉශ්රායෙල්වරුන් පව් කර ඇත; එසේ ය, මා ඔවුන්ට අණ කළ මාගේ ගිවිසුම ඔවුන් කඩ කර තිබේ. ඔවුන් මට කැප කරන ලද දෙයින් රැගෙන සොරකම් කර, ඒවා සඟවා, ඒවා තමන්ගේ ම බඩු අතරේ තබා තිබේ. 12 ඉශ්රායෙල් සෙනඟට තමන්ගේ සතුරන්ට මූණපෑමට නොහැකි වූයේ ඒ නිසා ය. සාපයට අසු වූ බැවින් ඔව්හු තමන්ගේ සතුරන්ට පිටුපාති. ඒ කැප කරන ලද දේ නුඹලා කෙරෙන් විනාශ කර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි. 13 නුඹ නැඟිට සෙනඟ පවිත්‍ර කරන්න; ඔවුන්ට කතා කොට, ‘ඔබ හෙට පවිත්‍ර වන්න. මන්ද, ඉශ්රායෙල්වරුනි, ඔබ අතරේ කැප කරන ලද දෙයක් ඇත; කැප කරන ලද ඒ දේ ඔබ අතරෙන් පහකරන තුරු ඔබේ සතුරන්ට මූණ දෙන්නට ඔබට නොහැකි වන්නේ යයි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සේක. 14 ඒ නිසා හෙට ඔබ හැම ඒ ඒ ගෝත්‍ර වශයෙන් පැමිණෙන්න. සමිඳාණන් වහන්සේ තො‍්රාගන්න ගෝත්‍රය පෙළපත් වශයෙන් ඉදිරියට පැමිණෙන්නෝ ය. සමිඳාණන් වහන්සේ තො‍්රාගන්න පෙළපත ද පවුල් වශයෙන් පැමිණෙන්නෝ ය. සමිඳාණන් වහන්සේ තො‍්රාගන්න පවුල එකිනෙකා වශයෙන් පැමිණෙන්නේ ය. 15 කැප කරන ලද දෙය ගත් තැනැත්තා මෙසේ අසු වූ කල්හි ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම කඩ කළ නිසාත්, ඉශ්රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත් ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය’යි ඔවුන්ට කියන්න.” 
16 ජෝෂුවා අලුයම නැඟිට ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර වශයෙන් ඉදිරියට ගෙන්වාගත්තේ ය. ජුදා ගෝත්‍රය අසු විය. 17 ඔහු ජුදා ගෝත්‍රය ඉදිරියට ගෙන්වූ විට ශෙරාවරුන්ගේ පවුල අසු විය. ශෙරාගේ පවුල එක එක පෙළපත වශයෙන් ඉදිරියට ගෙන්වූ විට ශබ්දිගේ පෙළපත අසු විය. 18 ඔහුගේ පෙළපත එකිනෙකා වශයෙන් ඉදිරියට ගෙන්වූ විට ජුදා ගෝත්‍රයට අයිති ශෙරාගේ පුත් ශබ්දිගේ පුත්‍රයා වන කර්මීගේ පුත් වූ ආකාන් අසු විය. 19 ජෝෂුවා ආකාන්ට කතා කොට, ”මාගේ පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගෞරවය දී උන් වහන්සේට ඇත්ත කියා, ඔබ කළ වරද මාගෙන් නොසඟවා, මට දන්වන්නැ”යි කීවේ ය. 
20 ආකාන් පිළිතුරු දෙමින්, ”සැබැවින් මම ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි. මා කළ දෙය මෙය යි: 21 කොල්ලය අතරේ ශෝභන බබිලෝනීය සළුවක් ද රිදී කාසි දෙසියයක් ද රිදී කාසි පණසක් බර ඇති රන් පොල්ලක් ද දැක, මම ඒවාට ආසා වී ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ. ඊට යටින් රිදී තිබේ ය”යි කීවේ ය. 
22 එවිට ජෝෂුවා පණිවුඩකාරයන් යැව්වේ ය. ඔව්හු කූඩාරමට දිව ගොස් ඒවා ද ඒවා යට රිදී ද ආකාන්ගේ කූඩාරමේ සඟවා තිබුණු බව සොයාගත්තො‍් ය. 23 ඔව්හු කූඩාරම මැදින් ඒවා ගෙන ගොස් ජෝෂුවා වෙත ද මුළු ඉශ්රායෙල් සෙනඟ වෙත ද ගෙනවුත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තැබූ හ. 24 එවිට ජෝෂුවා සහ ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ශෙරාගේ පුත් ආකාන් ද රිදී ද සළුව ද රන් පොල්ල ද ඔහුගේ දරුදැරියන් ද ඔහුගේ ගවයන් ද කොටළුවන් ද බැටළුවන් ද ඔහුගේ කූඩාරම ද ඔහු සන්තක සියල්ල ද රැගෙන ආකොර් මිටියාවතට ගෙන ගියෝ ය. 25 ජෝෂුවා කතා කොට, ”ඔබ අප පිට මේ විපත්තිය පැමිණෙව්වේ මන් ද? සමිඳාණන් වහන්සේ අද ඔබ පිට විපත්තිය පමුණුවන සේකැ”යි කීවේ ය. එවිට සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගැසූ හ. ඔව්හු ඔවුන්ට ගල් ගසා ගින්නෙන් පුළුස්සාදැමුවෝ ය. 26 තවද, ඔව්හු මහ ගල් ගොඩක් ඔහු පිට ගොඩ ගැසූ හ. එය අද දක්වා තිබේ. ඒ ස්ථානයට ආකොර් මිටියාවත යයි අද දක්වා කියන්නේ ඒ නිසා ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ උදහස සංසිඳුණේ ය.

– 8 වන පරිච්ඡේදය –

ආයි නගරය අල්ලාගැනීම

1 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, ”බිය නොවන්න, නොකැළඹෙන්න. මුළු යුද්ධ සේනාව නුඹ සමඟ රැගෙන ආයි නගරයට යන්න. මම ආයි රජු හා ඔහුගේ සෙනඟත්, ඔහුගේ නගරයත්, ඔහුගේ රටත් නුඹ අතට පාවා දෙන්නෙමි. 2 නුඹ ජෙරිකෝවටත් එහි රජුටත් කළාක් මෙන් ආයි නගරයටත්, එහි රජුටත් කරන්න. එහි වස්තුව හා ගවයන් නුඹලාට කොල්ලයක් වශයෙන් ගන්න. නගරයට එහායින් රහසේ රැක සිටින සේනාවක් සූදානම් කර තබන්නැ”යි වදාළ සේක. 
3 මෙසේ ජෝෂුවා සහ මුළු යුද්ධ සේනාව ආයි නගරයට යන පිණිස සැරසුණෝ ය. ජෝෂුවා බලසම්පන්න හේවායන් තිස්දහසක් තො‍්රාගෙන රාත්‍රියේ ඔවුන් යැව්වේ ය. 4 ඔවුන්ට ඔහු මෙසේ අණ කෙළේ ය: ”බලන්න, ඔබ හැම නගරයට එහායින් සැඟවී සිටින්න; නගරයෙන් වැඩි දුර නොගොස්, සියල්ලන් ම සූදානම් වී සිටිය යුතු ය. 5 මා සමඟ සිටින සියලු සෙනඟ ද මම ද නගරය දෙසට ගමන් කරන්නෙමු. එවිට ඔවුන් පළමු වතාවේ මෙන් අපට විරුද්ධ ව පහර දීමට ආ කල්හි අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු. 6 ‘පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලා යන්නෝ ය’යි කියමින්, අප ඔවුන් නගරයෙන් ඈත් කරගන්න තුරු ඔවුන් අප ලුහුබැඳ එනු ඇත. මෙසේ අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු. 7 එවිට ඔබ හැම සැඟවී සිටින තැනින් පිටතට අවුත් නගරය අල්ලාගන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබ අතට පාවා දෙන සේක. 8 ඔබ හැම නගරය අල්ලාගත් විට එයට ගිනි තබන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ම කරන්න. මා ඔබ හැමට දෙන අණ මෙසේ වේ.” 9 මෙසේ ජෝෂුවා ඔවුන් යැව්වේ ය; ඔව්හු ගොස් ආයි නගරයට බස්නාහිරෙන් බෙතෙල්ටත් ආයිටත් අතර සැඟවී සිටියෝ ය. ජෝෂුවා සෙනඟ සමඟ ඒ රාත්‍රිය ගත කෙළේ ය. 
10 ජෝෂුවා අලුයම නැඟිට, සෙනඟ රැස්කර ඔවුන් ගණන් කොට, ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ සෙනඟට පෙරටුවෙන් ආයි නගරයට ගියේ ය. 11 මුළු සෙනඟ, එනම්, ඔහු සමඟ සිටි හේවායෝ නගරය ඉදිරිපිටට ගමන් කර ආයි නගරයට උතුරෙන් කඳවුරු බැඳගත්තො‍් ය. ඔවුන්ටත්, ආයි නගරයටත් අතරේ මිටියාවතක් තිබුණේ ය. 12 ජෝෂුවා පන්දහසක් පමණ මිනිසුන් රැගෙන ඔවුන් ආයිට බස්නාහිරෙන් බෙතෙල්ටත්, ආයිටත් අතරේ රහසේ සඟවා තැබුවේ ය. 13 එසේ නගරයට උතුරෙන් සිටි මහ හමුදාව ද නගරයට බස්නාහිරෙන් රහසේ සඟවා සිටි අය ද යන සෙනඟ, මෙසේ නතර කළ පසු ජෝෂුවා ඒ රාත්‍රියේ මිටියාවතට ගියේ ය. 14 ආයි රජු එය දුටු කල ඔහු සහ නගර වැසියන් වන ඔහුගේ මුළු සෙනඟත් කඩිනමින් අලුයම නැඟිට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස බෑවුමට ඉදිරියේ පිහිටි අරබා සමභූමියට පිටත් ව ගියෝ ය. එහෙත්, නගරයට එහායින් තමාට විරුද්ධ ව සමූහයක් සැඟවී සිටින බව ඔහු නොදැන සිටියේ ය. 15 ජෝෂුවා ද සියලු ඉශ්රායෙල්වරු ද තමන් පැරදුණාක් මෙන් පෙන්වා පාළුකරයට යන මාර්ගයෙහි පලා ගියෝ ය. 16 ඔවුන් පස්සේ ලුහුබැඳ යන පිණිස ආයි නගරයේ සිටි මුළු සෙනඟ රැස් කරගන්නා ලදහ. ඔව්හු ජෝෂුවා පස්සේ එළවාගෙන ගොස් නගරයෙන් ඈත් වූවෝ ය. 17 ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යන පිණිස පිටතට නොගිය එක මිනිසෙක් වත් ආයි නගරයේ වත්, බෙතෙල් නගරයේ වත් ඉතිරි ව නොසිටියේ ය. නගරය නොවසා සියල්ල අත්හැර ඔව්හු ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ ගියෝ ය.

ආයි නගරයේ විනාශය

18 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, ”නුඹේ අතේ තිබෙන හෙල්ලය ආයි දෙසට එල්ල කරන්න. මන්ද, මම ඒ නගරය නුඹ අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක. ජෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නගරය දෙසට එල්ල කෙළේ ය. 19 එවිට සැඟවී සිටි හමුදාව තමන් සිටි තැනින් වහාම නැඟිට, ජෝෂුවා අත දිගු කළ කෙණෙහි ම දිව අවුත්, නගරයට වැද, එය අල්ලාගෙන ඉක්මනින් එයට ගිනිලෑවෝ ය. 20 ආයි නගරයේ මිනිසුන් ආපසු හැරී බැලූ කල, නගරයේ දුම අහසට නඟින බව ඔව්හු දුටුවෝ ය. එවිට ඒ අතට වත්, මේ අතට වත් පලා යාමට ඔවුන්ට පුළුවන්කමක් නොතිබුණේ ය. පාළුකරය දෙසට පලා ගිය සෙනඟ තමන් ලුහුබැඳ ආ අය දෙසට හැරුණෝ ය. 21 ජෝෂුවා සහ සියලු ඉශ්රායෙල්වරු, සැඟවී සිටි හමුදාව නගරය අල්ලාගත් බවත්, නගරයේ දුම නැඟෙන බවත් දැක, හැරී අවුත් ආයි නගරයේ මිනිසුන් මැරුවෝ ය. 22 සෙසු අය ද ඔවුන්ට විරුද්ධ ව නගරයෙන් නික්ම ආවෝ ය. මෙසේ ඒ පැත්තෙනුත්, මේ පැත්තෙනුත් ඉශ්රායෙල්වරුන්ට මැදි වූ ආයි සෙනඟගෙන් එක් කෙනෙකු වත් ගැළවී ඉතුරුවන්නට නොහැර ඉශ්රායෙල්වරු ඔවුන්ට පහර දුන්නෝ ය. 23 ඔව්හු ආයි රජු පණපිටින් අල්ලා ජෝෂුවා වෙත ගෙනාවෝ ය. 
24 ඉශ්රායෙල්වරුන් තමන් ලුහුබැඳ ආ සියලු වැසියන් පාළුකරයේ දී වනසා නිම කළ පසු ද මෙසේ ආයි වැසියන් සියල්ලන් ම එකෙකු වත් ඉතුරු නොවන සේ කඩුවෙන් විනාශ කරනු ලැබූ පසු ද සියලු ඉශ්රායෙල්වරු ආයි නගරයට හැරී ගොස් එහි සිටි අය ද කඩුවෙන් මරා දැමුවෝ ය. 25 ඒ දවසේ දී මරුමුවට පත් වූ ආයි නගර වැසි සියලු ස්ත්‍රී පුරුෂයන්ගේ ගණන දොළොස්දහසක් විය. 26 මන්ද, ජෝෂුවා හෙල්ලය එල්ල කර ආයි නගරයෙහි සියලු වැසියන් මුළුමනින් ම විනාශ කරදමන තුරු, තමාගේ අත පහතට නොදැම්මේ ය. 27 එහෙත්, ගවයන් ද ඒ නගරයේ වස්තුව ද සමිඳාණන් වහන්සේ ජෝෂුවාට අණ කළ පරිදි, ඉශ්රායෙල්වරු තමන්ට කොල්ලයක් කොට ගත්තො‍් ය. 28 මෙසේ ජෝෂුවා ආයි නගරයට ගිනි ලා, එය සදහට ම පවතින නටබුන් ගොඩක් කෙළේ ය. එය අද දක්වා පවතී. 29 ඔව්හු ආයි රජු සවස දක්වා ගසක එල්ලා තැබුවෝ ය; ඉර බසින වේලාවේ ජෝෂුවාගේ අණ පිට ඔහුගේ මළකඳ ගසින් බා, නගරයට පිවිසෙන දොරකඩ ළඟ හෙළා, ඒ පිට මහ ගල් ගොඩක් ගැසුවෝ ය. එය අද දවස දක්වා තිබේ.

ව්‍යවස්ථාව කියවනු ලැබීම

30 එවිට ජෝෂුවා ඒබාල් කන්දෙහි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය. 31 ඔහු මෙසේ කෙළේ, සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ඉශ්රායෙල් සෙනඟට අණ කළ ලෙස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිදි, ‘කිසිවෙකු විසින් යකඩ ආයුධයකින් නොකපන ලද පියවි ගල්වලින් ය.’ ඔව්හු ඒ පූජාසනය පිට සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කළෝ ය. 32 ජෝෂුවා එහි දී ඒ ගල් පිට මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ පිටපතක් ලිව්වේ ය. ඔහු එය ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි ඉටු කෙළේ ය. 33 සියලු ඉශ්රායෙල්වරු ද ඔවුන්ගේ ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද විනිශ්චයකාරයෝ ද ස්වදේශිකයෝ ද එසේ ම විදේශිකයෝ ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ ලෙවී පූජකවරුන් ඉදිරියෙහි ගිවිසුම් කරඬුව දෙපසෙහි සිටියෝ ය. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් ගෙරසීම් කන්ද ඉදිරිපිට ද සෙසු දෙකෙන් කොටස ඒබාල් කන්ද ඉදිරියෙහි ද සිටියෝ ය. මෙසේ කෙළේ, පළමු කොට ඉශ්රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතු ය කියා සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් අණ කළ පරිදි ය. 34 ඉන්පසු ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිදි ආශීර්වාදයත්, සාපයත් යන ව්‍යවස්ථාවේ සියලු වචන ඔහු කියෙව්වේ ය. 35 ජෝෂුවා, ස්ත්‍රීන් ද බාලයන් ද ඔවුන් අතරේ හැසුරුණ විදේශීන් ද ඇතුළු වූ ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි මෝසෙස් අණ කළ සියල්ලෙන් නොකියවූ එක ද වචනයක් වත් නො වී ය.

 

– 9 වන පරිච්ඡේදය –

ගිබියොන්වරුන් සමඟ ගිවිසුම

1 ජොර්දානෙන් මෙගොඩ කඳු රටෙහි ද පහත රටෙහි ද මධ්‍යධරණි මුහුද අසබඩ මුළුල්ලෙහි ලෙබනොන් දක්වා ද විසූ හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද කානානිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද සියලු රජවරුන් ඒ ගැන ඇසූ කල, 2 ඔව්හු එක් සිත් ව ජෝෂුවා හා ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස එක්රැස් වූවෝ ය. 
3 එහෙත්, ගිබියොන් වැසියන් ජෝෂුවා ජෙරිකෝවටත්, ආයි නගරයටත් කළ දේ ඇසූ විට, 4 ඔව්හු ජෝෂුවා රැවටීමට උපායක් යොදාගත්තො‍් ය. ඔව්හු සූදානම් කරගත් ආහාර ද පරණ ගෝණි ද පැළී පිළියම් කළ පරණ හම් මුද්‍රික පාන භාජන ද තමන්ගේ කොටළුවන් පිට පටවා ගත්තො‍් ය. 5 අණ්ඩ දැමූ, ගෙවී ගිය පාවහන් පය ලාගෙන, පරණ වස්ත්‍ර ඇඳගත්තො‍් ය; ඔවුන් කෑමට ගත් රොටි සියල්ල ද වේළී, පුස් බැඳී තිබුණේ ය. 6 මෙසේ ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවා වෙත ගොස්, ඔහුටත්, ඉශ්රායෙල් සෙනඟටත් කතා කොට, ”අපි දුර රටකින් ආවෙමු; එබැවින් අප සමඟ ගිවිසුමක් කළ මැනවැ”යි කීවෝ ය. 
7 එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”ඔබ අප අසල වාසය කරනු වන්නට පුළුවන. එසේ නම් අප ඔබ සමඟ ගිවිසුමක් කරගන්නේ කෙසේ දැ”යි හිවීවරුන්ගෙන් ඇසූ හ. 
8 ඔව්හු ජෝෂුවාට කතා කරමින්, ”අපි ඔබ වහන්සේගේ දාසයෝ වමු”යි ඔහුට කී හ. ජෝෂුවා ද, ”ඔබ කවරහු ද? කොතැනින් ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය. 
9 ඔව්හු පිළිතුරු දෙමින් මෙසේ කී හ: ”ඔබේ දාසයන් වන අපි ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගැන අසා බොහෝ දුර රටකින් ආවෙමු. උන් වහන්සේගේ කීර්තිය ද උන් වහන්සේ මිසරයේ කළ සියල්ල ද 10 ජොර්දාන් ගඟින් එගොඩ විසූ අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වන හෙෂ්බොන්හි රජ වූ සීහොන්ටත්, අෂ්ටාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග්ටත් කළ සියල්ල ද අපි ඇසීමු. 11 එබැවින් අපේ ප්‍රජා මූලිකයෝ ද අපේ රට වැසි සියල්ලෝ ද අපට කතා කොට, ‘ඔබේ ගමනට ආහාර රැගෙන, ඔවුන් හමු වන්නට ගොස් ඔවුන්ට කතා කොට, අපි ඔබ හැමගේ දාසයෝ වමු. අප සමඟ ගිවිසුමක් කළ මැනව යි ඔවුන්ට කියන්නැ’යි අපට කී හ. 12 ඔබ හැම වෙත එන්නට අප පිටත් වූ දවසේ දී අපේ ආහාර පිණිස ගත් මේ රොටි අපේ ගෙවලින් අප ගත්තේ උණු උණු ව තිබෙද්දී ය; එහෙත්, දැන් ඒවා වියළී, පුස් බැඳී තිබේ. 13 මේ මුද්‍රික පාන හම් භාජන අප පුරවාගත් විට ඒවා අලුත් ව තිබිණි; දැන් ඒවා පැළී තිබේ. මේ අපේ වස්ත්‍ර ද පාවහන් ද ගමන ඉතා දීර්ඝ නිසා පරණ වී තිබේ.” 
14 ඉශ්රායෙල් සෙනඟගේ ප්‍රධානීහු සමිඳාණන් වහන්සේගේ අවවාද නොවිචාරා ඔවුන්ගේ ආහාර කෑවෝ ය. 15 ජෝෂුවා ඔවුන් සමඟ සාමය ඇති කරගෙන, ඔවුන්ට ජීවත් වන්නට ඉඩ දෙන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඉශ්රායෙල් ජනයන්ගේ ප්‍රජා මූලිකයෝ ද ඔවුන්ට දිවුරුම් දුන්නෝ ය. 
16 ඉශ්රායෙල්වරුන් ඔවුන් සමඟ ගිවිසුමක් කර තුන් දවසකට පසු ඔවුන් තමන්ගේ අසල්වාසීන් බවත්, තමන් අතරෙහි වාසය කරන බවත් ඔවුන්ට ආරංචි වුණේ ය. 17 ඉශ්රායෙල් සෙනඟ ගමන් කොට තුන් දවසකට පසු ඔවුන්ගේ නගරවලට පැමිණියෝ ය. ඒ නගර නම්: ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-ජෙයාරීම් යන මේවා ය. 18 ප්‍රජා මූලිකයෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නමින් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නිසා ඔවුන්ට පහර නොදුන්නෝ ය. සියලු සෙනඟ ප්‍රජා මූලිකයන්ට විරුද්ධ ව දොස් පැවරුවෝ ය. 
19 එහෙත්, සියලු ප්‍රජා මූලිකයෝ කතා කොට, ”අපි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට දිවුරුම් දුනිමු; එබැවින් ඔවුන්ට අත ගසන්නට අපට නොහැකි ය. 20 අප ඔවුන්ට මෙසේ කළ යුතු ය: ඔවුන්ට ජීවත් වීමට අපි ඉඩ හරිමු. එසේ නොකළොත්, අප ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට පැමිණෙනු ඇත. 21 ඔවුන් ජීවත් වුණා වේ. ඔවුන්ගේ අධිපතීන් කී පරිදි ඔව්හු අපට දර කපන්නෝ ද දිය අදින්නෝ ද වන්නෝ ය”යි කීවෝ ය. 
22 ජෝෂුවා ගිබියොන්වරුන් කැඳවා, ”ඔබ අප අතරේ වාසය කරද්දී, ‘අපි ඔබට බොහෝ දුරින් සිටිමු’ කියා ඔබ අප රැවටුවේ මන් ද? 23 මෙසේ කළ නිසා ඔබ සාප ලද්දහු ය. ඔබ අතරෙන් සමහරෙකු මාගේ දෙවියන් වහන්සේගේ ගෘහයට දර කපන්නන් ද දිය අදින්නන් ද වශයෙන් සෑම කල්හි ම ඔබ සපයනු ඇතැ”යි කීවේ ය. 
24 ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, ”මුළු දේශය ඔබ හැමට දෙන්නටත්, ඔබ හැම ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශ කරදමන්නටත්, ඔබ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු මෝසෙස්ට අණ කළ බව අපට දැනගන්නට ලැබුණ බැවින්, ඔබ විසින් මරනු ලබනු ඇත යන බියෙන් අපි මෙසේ කෙළෙමු. 25 අහෝ! අපි දැන් ඔබ අතේ ය: ඔබට හරි යයි ද සාධාරණ යයි ද දැනෙන හැටියට අපට කළ මැනවැ”යි කී හ. 26 ජෝෂුවා ඔවුන්ට එලෙස කර, ඉශ්රායෙල් සෙනඟ විසින් ඔවුන් මරා නොදමන ලෙස ඔවුන්ගේ අතින් ඔවුන් ගළවාගත්තේ ය. 27 ජෝෂුවා ඒ දවසේ, ඔවුන් තම සෙනඟටත්, සමිඳාණන් වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන් ද දිය අදින්නන් ද කෙළේ ය. සමිඳාණන් වහන්සේ සිය පූජාසනය සඳහා තො‍්රාගන්න ස්ථානයේ දී ඔව්හු අද දක්වා ම එසේ කරති.

 

– 10 වන පරිච්ඡේදය –

ගිබියොන්හි දී ලත් ජය

1 ජෝෂුවා ජෙරිකෝවටත්, එහි රජුටත් කළාක් මෙන් ආයිටත් එහි රජුටත් කර, ආයි නගරය අල්ලාගෙන එය සහමුලින් ම විනාශ කළ බවත්, ගිබියොන් වැසියන් ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන වී ඔවුන් අතරේ සිටින බවත්, ජෙරුසලමේ රජ වූ අදෝනි-ශෙදෙක්ට ආරංචි විය. 2 ගිබියොන් රාජකීය නගරයක් මෙන් විශාල නගරයක් ව තිබුණ නිසා ද එය ආයි නගරයටත් වඩා විශාල නිසා ද එහි වැසියන් සියලු දෙනා බලසම්පන්න නිසා ද ජෙරුසලම් වැසියෝ බියපත් වූවෝ ය. 3 එබැවින් ජෙරුසලමේ රජ වූ අදෝනි-ශෙදෙක්, හෙබ්‍රොන්හි රජ වූ හෝහාම්ට ද ජර්මුත්හි රජ වූ පීරාම්ට ද ලාකීෂ්හි රජ වූ ජපියාට ද එග්ලොන්හි රජ වූ දෙබීර්ට ද පණිවුඩ යවමින්, 4 ”ගිබියොන්වරුන් ජෝෂුවා ද ඉශ්රායෙල් සෙනඟ ද සමඟ සාමදාන වී ඇති නිසා ගිබියොන්ට පහර දෙන පිණිස මට හවුල් වී උපකාර කරන්නැ”යි කී ය. 5 එබැවින් අමෝරිවරුන්ගේ රජවරුන් පස්දෙන, එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන් රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද එකතු වී, ඔව්හු ද ඔවුන්ගේ සියලු සේනාවෝ ද ගොස්, ගිබියොන් ඉදිරියෙහි කඳවුරු බැඳ, ඊට විරුද්ධ ව යුද්ධ කළෝ ය. 
6 එවිට ගිබියොන්හි සෙනඟ කතා කොට, ”ඔබේ දාසයන් අත් නොහළ මැනව; අප වෙත ඉක්මනින් අවුත්, අප ගළවා අපට උපකාර කළ මැනව. මන්ද, කඳුකරයේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධ ව එකතු වී සිටිති”යි ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවාට දන්වා යැවූ හ: 
7 එවිට ජෝෂුවා මුළු යුද්ධ හමුදාව ද බලසම්පන්න වීරයන් ද සමඟ ගිල්ගාල් කෙරෙන් නැඟී ගියේ ය. 8 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, ”ඔවුන්ට බිය නොවන්න; මන්ද, මා ඔවුන් නුඹ අතට පාවා දී ඇත; ඔවුන්ගෙන් කිසිවෙකුට වත් නුඹට විරුද්ධ ව නැඟිට නොසිටිය හැකි ය”යි වදාළ සේක. 9 ජෝෂුවා ගිල්ගාල් සිට රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට හදිස්සියෙන් ඔවුන් කරා පැමිණියේ ය. 10 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය. 11 තවද, ඔවුන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පලා යද්දී, අශේකා දක්වා බෙත්-හෝරොන් පල්ලමේ දී සමිඳාණන් වහන්සේ අහසෙන් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක; එයින් ඔව්හු මැරුණෝ ය. ගල් වර්ෂාවෙන් නැසුණු අය, ඉශ්රායෙල්වරුන් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූ හ. 
12 සමිඳාණන් වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් සෙනඟට පාවා දුන් ඒ දවසේ දී ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේ ය: 
”එම්බා සූර්යය! 
ගිබියොන්ට ඉහළින් නොසෙල් වී සිටින්න; 
එම්බා චන්ද්‍රය! 
අයාලෝන් මිටියාවත ඉහළින් එසේ ම සිටින්න.” 
13 එවිට සෙනඟ තමන්ගේ සතුරන්ගෙන් පළිගන්න තුරු සූර්යයා නැවතී සිටියේ ය; චන්ද්‍රයා ද නැවතුණේ ය. මෙපවත් ජාෂාර්ගේ පොතේ ලියා තිබෙනු නොවේ ද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැස යාමට ඉක්මන් නොවී අහස මැද සිටියේ ය. 14 සමිඳාණන් වහන්සේ මිනිසෙකුගේ හඬට සවන් දුන් එබඳු දවසක් මීට පෙර වත්, ඊට පසු වත් නො වී ය; මන්ද, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ උදෙසා සටන් කළ සේක. 
15 ඉන්පසු ජෝෂුවා ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද ගිල්ගාල්හි කඳවුරට පෙරළා ගියෝ ය.

මක්කේදාහි ගුහාවේ සිටි රජවරුන් පස්දෙනා

16 රජවරු පස්දෙනා පලා ගොස් මක්කේදාහි ගුහාවේ සැඟවුණා හ. 17 ”රජවරු පස්දෙනා මක්කේදාහි ගුහාවේ සැඟවී සිටිනු සම්බ වූ හ”යි ජෝෂුවාට දන්වන ලද්දේ ය. 18 එවිට ජෝෂුවා කතා කරමින්, ”ඔබ ගුහාවේ කටට ලොකු ගල් පෙරළා තබා ඔවුන් මුර කරන්නට මිනිසුන් තබන්න. 19 එහෙත්, ඔබ නැවතී නොසිටින්න; ඔබේ සතුරන් ලුහුබැඳ ගොස් පිටුපසින් සිටින්නන්ට පහර දෙන්න; ඔවුන්ගේ නගරවලට ඇතුළු වීමට ඔවුන්ට ඉඩ නොදෙන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය. 20 ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ ඔවුන් සමූලඝාතනය කර නිම කළෝ ය. ඔවුන්ගෙන් ඉතිරි අය පවුරු ඇති නගරවලට ඇතුළු වූ හ. 21 ඉන්පසු ජෝෂුවාගේ සෙනඟ මක්කේදාහි කඳවුරට ජෝෂුවා වෙත සුව සේ හැරී ආවෝ ය. ඉශ්රායෙල් සෙනඟගෙන් කිසිවෙකුට විරුද්ධ ව කවරෙක් වත් කිසිවක් නොකීවෝ ය. 
22 එවිට ජෝෂුවා කතා කොට, ”ගුහාවේ කට ඇර ඒ රජුන් පස්දෙනා ගුහාවෙන් මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. 23 ඔව්හු එසේ කොට, ඒ රජවරුන් පස්දෙනා එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන්හි රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද ගුහාවෙන් ඔහු වෙත ගෙනාවෝ ය. 24 ඔවුන් ඒ රජුන් ජෝෂුවා වෙත ගෙනා කල, ජෝෂුවා සියලු ඉශ්රායෙල් මිනිසුන් කැඳවා, තමා සමඟ ගිය යුද්ධ භටයන්ගේ අධිපතීන්ට කතා කොට, ”ළං වී ඔබේ පාද මේ රජුන්ගේ ගෙල මත තබන්නැ”යි කීවේ ය. ඔව්හු ළං ව තමන්ගේ පාද ඔවුන්ගේ ගෙල මත තැබුවෝ ය. 25 ජෝෂුවා ඔවුන්ට කතා කොට, ”බිය නොවී නොකැළඹී සිටින්න; ශක්තිමත් ව ධෛර්යවත් ව සිටින්න; මන්ද, ඔබට විරුද්ධ ව යුද්ධ කරන ඔබේ සියලු සතුරන්ට සමිඳාණන් වහන්සේ මෙසේ කරන සේකැ”යි කීවේ ය. 26 ඉන්පසු ජෝෂුවා ඔවුන්ට පහර දී ඔවුන් මරා ගස් පහක එල්ලුවේ ය. ඔව්හු ඔවුන් සවස දක්වා ගස්වල එල්ලා තැබුවෝ ය. 27 ඉර බසින විට ජෝෂුවාගේ අණ පිට ඔව්හු ඔවුන් ගස්වලින් බා ඔවුන් සැඟවී සිටි ගුහාවේ දමා, මහ ගල් ඒ ගුහා කටෙහි තැබුවෝ ය. ඒ ගල් අද දක්වා ම පවතී.

මක්කේදා යනාදී තැන් අල්ලාගැනීම

28 ඒ දවසේ ජෝෂුවා මක්කේදා නගරය අල්ලාගෙන, එයටත්, එහි රජුටත් කඩුවෙන් පහර දී, එක ද කෙනෙකු වත් ඉතිරි නොකර, එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදමා, ජෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේ ය. 
29 ඉක්බිති ජෝෂුවා මක්කේදා සිට සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නා නගරයට ගොස් ඒ නගරයට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. 30 සමිඳාණන් වහන්සේ ඒ නගරයත්, එහි රජුත් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දුන් සේක. ජෝෂුවා එහි සිටි එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඒ නගරයටත්, ඒ නගරයේ විසූ සියලු දෙනාටත් කඩුවෙන් පහර දී ජෙරිකෝවේ රජුට කළාක් මෙන් ලිබ්නාහි රජුටත් කෙළේ ය. 
31 ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නාහි සිට ලාකීෂ් නගරයට ගොස්, එය ඉදිරිපිට කඳවුරු බැඳ ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. 32 සමිඳාණන් වහන්සේ ලාකීෂ් නගරය ද ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දුන් සේක. ජෝෂුවා දෙ වන දවසේ දී එය අල්ලාගෙන ලිබ්නාට කළාක් මෙන් එහි සිටි සියලු දෙනාටත් කඩුවෙන් පහර දුන්නේ ය. 33 එවිට ගෙශෙර්හි රජ වූ හොරාම් ලාකීෂ් නගරයට උපකාර කරන පිණිස පැමිණියේ ය. ජෝෂුවා, එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔහුටත්, ඔහුගේ සෙනඟටත් පහර දුන්නේ ය. 
34 ජෝෂුවා ඉශ්රායෙල්වරුන් සමඟ ලාකීෂ්හි සිට එග්ලොන් නගරයට ගොස් එය වටලා කඳවුරු බැඳ එයට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. 35 ඔව්හු ඒ දවසේ දී ම එය අල්ලාගෙන, එයට කඩුවෙන් පහර දී ලාකීෂ් නගරයට කළාක් මෙන් එහි සිටි සියලු දෙනා ඒ දවසේ දී මුළුමනින් විනාශ කරදැමුවෝ ය. 
36 ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ එග්ලොන් සිට හෙබ්‍රොන් නගරයට ගොස් ඊට විරුද්ධ ව යුද්ධ කොට, 37 එය අල්ලාගෙන එයටත්, එහි රජුටත්, ඊට අයිති සියලු නගරවලටත්, එහි විසූ සියලු දෙනාටත් කඩුවෙන් පහර දී, එග්ලොන් නගරයට කළාක් මෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොකර, එය ද එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදැමුවේ ය. 
38 ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ දෙබීර් නගරයට හැරී අවුත්, එයට විරුද්ධ ව යුද්ධ කොට, 39 එය සහ එහි රජු ද එයට අයිති සියලු නගර ද අල්ලාගෙන, කඩුවෙන් පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකර එහි සිටි සියලු දෙනාත් මුළුමනින් විනාශ කරදැමුවේ ය. ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන් ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන් ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේ ය. 
40 මෙසේ ජෝෂුවා මුළු දේශයට, එනම් කඳු රටට හා දකුණු දේශයට ද පහත රටට හා කඳු බෑවුම්වලට ද එහි සියලු රජුන්ට ද පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස පණ ඇති සියල්ලන් ම මුළුමනින් ම සිඳදැමුවේ ය. 41 කාදෙෂ්-බර්නේය පටන් ගාසා දක්වා ද මුළු ගෝෂෙන් ඇතුළු ව ගිබියොන් දක්වා ද ජෝෂුවා සියල්ලන්ට පහර දුන්නේ ය. 42 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා සටන් කළ බැවින්, ජෝෂුවා ඒ සියලු රජවරුන් ද ඔවුන්ගේ දේශයන් ද එක විට ම අල්ලාගත්තේ ය. 43 ඉක්බිති ජෝෂුවා ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද ගිල්ගාල්හි කඳවුරට පෙරළා ආවෝ ය.

 

– 11 වන පරිච්ඡේදය –

උතුරු දේශය අත්කරගැනීම

1 හාශොර්හි රජ වූ ජාබින් මේ සියලු දේ ඇසූ විට, මාදොන්හි රජ වූ ජෝබාබ්ට ද ෂිම්රොන්හි රජුට ද ආක්ෂාප්හි රජුට ද 2 උතුරු දිශාවේ කඳු රටේ සහ කින්නෙරොත්ට දකුණෙන් තිබෙන අරබා සමභූමියෙහි පහත රටේත්, බස්නාහිරෙන් තිබෙන දෝර් කඳුකරයෙහිත් සිටි රජවරුන්ට ද පණිවුඩයක් යැව්වේ ය. 3 තවද, නැගෙනහිරෙන් සහ බස්නාහිරෙනුත් විසූ කානානිවරුන්ට ද අමෝරිවරුන්ට ද හිත්තීවරුන්ට ද පෙරිස්සිවරුන්ට ද කඳු රටේ විසූ ජෙබුසිවරුන්ට ද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් විසූ හිවීවරුන්ට ද පණිවුඩ යැව්වේ ය. 4 එවිට ඔව්හු මුහුදු වෙරළේ වැලි මෙන් ඉතා විශාල ජන සංබ්‍යාවක් වන තමන්ගේ සියලු සේනාවන් සමඟ පැමිණියෝ ය. ඔව්හු අශ්වයන් සහ රථ වාහන ඉතා මහත් ගණනාවක් ඇති ව පිටත් ව ආවෝ ය. 5 මෙකී සියලු රජවරුන් තම බලඇණි එක්රැස් කොට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ එක් ව කඳවුරු බැඳගත්තො‍් ය. 
6 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, ”ඔවුන් ගැන බිය නොවන්න: මන්ද, ඔවුන් මැරුම් කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දෙන්නෙමි; ඔවුන්ට අයත් අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදමන්නැ”යි වදාළ සේක. 7 එවිට ජෝෂුවා මුළු යුද්ධ සේනාව සමඟ මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ සිටි ඔවුන්ට විරුද්ධ ව හදිස්සියේ අවුත් ඔවුන් මැදට කඩා පැන්නේ ය. 8 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් මහ සීදොන් දක්වා ද මිස්රෙපොත්-මායිම් දක්වා ද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වා ද එළවාගෙන ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔවුන්ට පහර දුන්නෝ ය. 9 ජෝෂුවා, සමිඳාණන් වහන්සේ තමාට වදාළ ලෙස ඔවුන්ට කර, ඔවුන්ගේ අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදැමුවේ ය. 
10 ඒ අවස්ථාවේ දී ජෝෂුවා පෙරළා අවුත් හාශොර් නගරය අල්ලාගෙන එහි රජුට කඩුවෙන් පහර දුන්නේ ය. හාශොර් වනාහි ඉහත දී ඒ සියලු රාජ්‍යවල ප්‍රධාන නගරය ව තිබුණේ ය. 11 ඉශ්රායෙල්වරු එහි විසූ සියලු දෙනාට කඩුවෙන් පහර දී ඔවුන් මුළුමනින් ම විනාශ කරදැමුවෝ ය. පණ ඇති කිසිවෙක් එහි ඉතිරි නොවූ හ. ජෝෂුවා හාශොර් නගරය ගින්නෙන් පුළුස්සාදැමුවේ ය. 
12 ජෝෂුවා මේ සියලු රජවරුන්ගේ නගර ද එහි සියලු රජවරුන් ද අල්ලාගෙන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අණ කළ ලෙස කඩුවෙන් ඔවුන්ට පහර දී, ඔවුන් මරා දැමුවේ ය. 13 හෙල් පිට පිහිටා තිබුණු සියලු නගරවලින්, හාශොර් හැර, අන් එකක් වත් ඉශ්රායෙල්වරු පුළුස්සා නොදැමුවෝ ය. ජෝෂුවා හාශොර් පමණක් පුළුස්සාදැමුවේ ය. 14 ඒ නගරවල වටිනා වස්තුව ද ගවයන් ද ඉශ්රායෙල් ජනයා කොල්ලකාගෙන තබාගත්තො‍් ය. සියලු මිනිසුන් විනාශ වන තුරු ඔව්හු ඔවුන්ට කඩුවෙන් පහර දුන්නෝ ය; කිසිවෙකු පණපිටින් ඉතුරු නොකළෝ ය. 15 සමිඳාණන් වහන්සේ තමන්ගේ සේවක මෝසෙස්ට අණ කළ ලෙස, මෝසෙස් ජෝෂුවාට අණ කෙළේ ය. ජෝෂුවා ඒ අනුව ක්‍රියා කෙළේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ලෙන් කිසිවක් වත් ජෝෂුවා ඉටු නොකර නොහැරියේ ය.

ජෝෂුවා මුළු දේශය ම අත්කරගැනීම

16 ජෝෂුවා ඒ මුළු දේශය අත්කරගත්තේ ය. එනම්, කඳු රට ද මුළු දකුණු දිශාව ද මුළු ගෝෂෙන් රට ද අරබා සමභූමිය ද ඉශ්රායෙල් කඳු රට ද ඒ අසල පහත රට ද 17 සේයිර්ට යන මාර්ගයෙහි හලක් කන්ද පටන් හෙර්මොන් කන්දට පහළ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් දක්වා මුළු දේශය ද අත්කරගෙන, එහි රජවරුන් ද අල්ලාගෙන ඔවුන්ට පහර දී මැරුවේ ය. 18 එහි සියලු රජවරුන් සමඟ ජෝෂුවා බොහෝ කල් යුද්ධ කෙළේ ය. 19 හිවීවරුන් විසූ ගිබියොන් නගරය හැර අන් කිසි නගරයක් ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන නො වී ය. සෙසු නගර සියල්ල ම ඔව්හු යුද්ධයෙන් අල්ලාගත්තො‍් ය. 20 ඉශ්රායෙල්වරුන් සමඟ සටනට එළඹීමට ඔවුන්ගේ සිත් දැඩි කිරීම සමිඳාණන් වහන්සේ ම අදහස් කළ දෙයකි. මෙසේ කෙළේ, ඔවුන් කිසි දයාවක් නොලබා සහමුලින් ම විනාශකර දමනු ලබන පිණිස ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ දේ ය. 
21 ඒ කාලයෙහි ජෝෂුවා අවුත් කඳු රටින් ද හෙබ්‍රොන් කෙරෙන් ද දෙබීර් කෙරෙන් ද අනාබ් කෙරෙන් ද මුළු ජුදා කඳු රටෙන් ද මුළු ඉශ්රායෙල් කඳු රටෙන් ද ආනාක් නම් යෝධයන් නැතිකර දැමුවේ ය. ජෝෂුවා ඔවුන්ගේ නගර සමඟ ඔවුන් මුළුමනින් ම විනාශ කරදැමුවේ ය. 22 ඉශ්රායෙල් ජනයාගේ දේශයෙහි අනාක්වරු එක් කෙනෙක් වත් ඉතිරි නො වූ හ. ගාසාහි ද ගාත්හි ද අෂ්දොද්හි ද පමණක් ඔව්හු ඉතිරි ව සිටියෝ ය. 
23 මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල ලෙස ජෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව එය කොටස්වලට බෙදා, ඔවුන්ට උරුම කොට දුන්නේ ය. ඉන්පසු යුද්ධයෙන් තොර ව සාමය ඇති විය.

 

– 12 වන පරිච්ඡේදය –

මෝසෙස් පරාජය කළ රජවරුන්

1 නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තො‍් ය. ඒ දේශයේ රජවරු මොවුහු ය. 2 හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද අම්මොන් වැසියන්ගේ සීමාව වන ජබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහි ද 3 නැගෙනහිරට කින්නෙරෙත් මුහුද දක්වාත්, බෙත්-ජෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාමුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියෙහි මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහි ද ආණ්ඩු කෙළේ ය. 
4 රෙපායිම් යන යෝධයන්ගෙන් ඉතිරි ව සිටි බාෂාන්හි රජ වූ ඕග්ගේ පළාතටත් ඔව්හු පහර දී එය හිමි කරගත්තො‍් ය. ඕග් වූකලී අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් වාසය කෙළේ ය. 5 ඔහු හෙර්මොන් කන්ද ද සලෙකා ද ගෙෂුර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමා දක්වා මුළු බාෂාන් ද හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ සීමාව දක්වා ද ගිලියද් අර්ධයක් ද කෙරෙහි ආණ්ඩු කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ද ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන්ට පහර දුන්නෝ ය. 
6 සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඒ රට රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුම කොට දුන්නේ ය.

ජෝෂුවා පරාජය කළ රජවරුන්

7 බස්නාහිරට ජොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නඟින මාර්ගයෙහි හලක් කන්ද දක්වා වූ දේශයට ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ පහර දුන්නෝ ය. ජෝෂුවා ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව ඒ දේශය කොටස් කර බෙදා ඔවුන්ට හිමිකර දුන්නේ ය. 8 මේ දේශය කඳු රටෙහි ද පහත රටෙහි ද අරබා සමභූමියෙහි ද කඳු බෑවුම් ළඟ ද කාන්තාරයෙහි ද දකුණු දිශාවෙහි ද වාසය කළ හිත්තීවරුන්ටත්, අමෝරිවරුන්ටත්, කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත්, හිවීවරුන්ටත්, ජෙබුසිවරුන්ටත් අයිති ව තිබිණි. 9 පරාජය කරන ලද රජවරු මොවුහු ය. ජෙරිකෝවේ රජ; බෙතෙල් අසල ආයිහි රජ; 10 ජෙරුසලමේ රජ; හෙබ්‍රොන්හි රජ; 11 ජර්මුත්හි රජ; ලාකීෂ්හි රජ; 12 එග්ලොන්හි රජ; ගෙශෙර්හි රජ; 13 දෙබීර්හි රජ; ගෙඩෙර්හි රජ; 14 හොර්මාහි රජ; අරාද්හි රජ; 15 ලිබ්නාහි රජ; අදුල්ලහි රජ; 16 මක්කේදාහි රජ; බෙතෙල්හි රජ; 17 තප්පුවාහි රජ; හේපෙර්හි රජ; 18 අපෙක්හි රජ; ලෂ්-ෂාරොන්හි රජ; 19 මාදොන්හි රජ; හාශොර්හි රජ; 20 ෂිම්රොන්-මෙරොන්හි රජ; අක්ෂාප්හි රජ; 21 තයනාක්හි රජ; මෙගිද්දෝහි රජ; 22 කෙදෙෂ්හි රජ; කර්මෙල්ට අයිති ජොක්නෙයාම්හි රජ; 23 දෝර් කඳුකරේ දෝර්හි රජ; ගිල්ගාල්හි විසූ ගොයිම්හි රජ හා 24 තිර්ශාහි රජ ය. සියලු රජවරු තිස්එක්දෙනෙක් වූ හ.

– 13 වන පරිච්ඡේදය –

යටත් කරගැනීමට ඇති තවත් ප්‍රදේශ

1 ජෝෂුවා මහලු ව, වයෝවෘද්ධ ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: ”නුඹ මහලු ව, වයෝවෘද්ධ ව සිටින්නෙහි ය; හිමි කරගැනීමට දේශයෙන් විශාල කොටසක් තව ම ඉතිරි ව තිබේ. 2 ඉතිරි ව තිබෙන ප්‍රදේශ නම් මේවා ය. පිලිස්තිවරුන්ගේ සියලු ප්‍රදේශ හා ගෙෂුර්වරුන්ගේ සියලු ප්‍රදේශ වේ. එනම්, මිසරයට නැගෙනහිරෙන් තිබෙන ෂිහොර් සිට උතුරේ එක්‍රොන් දක්වා කානානිවරුන්ගේ පළාත් වශයෙන් ගැණෙන ප්‍රදේශ ය. 
3 ”ඒ ප්‍රදේශයේ ගාසාවේ ද අෂ්දොද්හි ද අෂ්කෙලොන්හි ද ගාත්හි ද එක්‍රොන්හි ද පිලිස්තිවරුන්ගේ අධිපතීහු පස්දෙනා විසූ හ. තවද, අවිම් පළාත ද එයට අයිති ය. 4 දකුණු දිශාවේ ද සීදොන්වරුන්ට අයිති වූ මෙයාරාහි පටන් අපෙක් දක්වා අමෝරිවරුන්ගේ සීමාව තෙක් කානානිවරුන්ගේ මුළු දේශයත්, 5 ගෙබල්වරුන්ගේ දේශයත්, නැගෙනහිරට හෙර්මොන් කන්ද පහළින් තිබෙන බාල්-ගාද් පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා මුළු ලෙබනොන් ප්‍රදේශයත් ය. 6 ලෙබනොන් පටන් මිස්රෙපොත්-මායිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු සීදොන්වරුන් මම ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදමන්නෙමි. මා නුඹට අණ කළ හැටියට පස ඇට දමා ඒ ප්‍රදේශය ඉශ්රායෙල්වරුන්ට උරුමයක් වශයෙන් බෙදා දෙන්න. 7 එබැවින් දැන් මේ දේශය ද ගෝත්‍ර නවයටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් බෙදා දෙන්න.”

ජොර්දානෙන් නැගෙනහිර ගෝත්‍රවල උරුමය

8 මනස්සේගේ සෙසු අර්ධ ගෝත්‍රයටත්, රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ජොර්දානෙන් නැගෙනහිර ප්‍රදේශය උරුම කොට දුන්නේ ය. 9 ඒ ප්‍රදේශය අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද දීබොන් දක්වා තිබෙන මෙදිබාහි මුළු සමභූමිය දක්වා පැතිර තිබිණි. 10 ඒ ප්‍රදේශයට හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට, අම්මොන්වරුන්ගේ සීමාව දක්වා අයිති ව තිබුණු සියලු නගර ද 11 ගිලියද් ද ගෙෂුර්වරුන්ගේත්, මයකාත්වරුන්ගේත් පළාත ද මුළු හෙර්මොන් කඳුකරය ද 12 තවද, අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් රජකම් කළ බාෂාන්හි ඕග් රජුගේ රාජ්‍යය ද සලෙකා දක්වා ඇතුළත් ය. ඕග් රෙපායිම් යෝධයන්ගෙන් ඉතිරි ව සිටි කෙනෙකි. මෝසෙස් ඔවුන්ට පහර දී ඔවුන් පන්නාදැමුවේ ය. 13 එසේ වී නමුත්, ඉශ්රායෙල් සෙනඟ ගෙෂුර්වරුන් ද මයකාත්වරුන් ද පන්නා නොදැමුවෝ ය. ගෙෂුර්වරු ද මයකාත්වරු ද අද දක්වා ඉශ්රායෙල්වරුන් අතරෙහි වාසය කරති. 
14 මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් කිසි උරුමයක් නුදුන්නේ ය. ඔහු ඔවුන්ට කී පරිදි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජා ඔවුන්ගේ උරුමය විය.

රූබන් ගෝත්‍රයට දුන් ප්‍රදේශ

15 මෝසෙස් රූබන්වරුන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දී තිබුණේ ය. 16 ඔවුන්ගේ පළාත නම්, අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද මෙදිබා ළඟ තිබෙන මුළු තැනිතලා ද 17 හෙෂ්බොන් හා ඊට අයිති තැනිතලාවේ තිබෙන සියලු නගර වන දීබොන් ද බමොත්-බාල් ද බෙත්-බාල්මෙයොන් ද 18 ජාහශ් ද කෙදේමොත් ද මෙපාත් ද 19 කිරියාතයිම් ද සිබ්මා ද මිටියාවතේ කන්දෙහි තිබෙන ශෙරෙත්-ෂහර් ද 20 බෙත්-පෙයොර් ද පිස්ගාහි කඳු බෑවුම් ද බෙත්-ජෙසිමොත් ද 21 තැනිතලාවේ සියලු නගර ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ මුළු රාජ්‍යය ද යන මේවා ය. සීහොන් රජුට සහ දේශයේ වාසය කළ ඔහුගේ අමාත්‍යයන් ව සිටි මිදියන්හි අධිපතීන් වන එවීටත්, රෙකෙම්ටත්, ශුර්ටත්, හුර්ටත්, රෙබාටත් මෝසෙස් පහර දුන්නේ ය. 22 ඉශ්රායෙල් සෙනඟ විසින් කඩුවෙන් මරන ලද්දවුන් අතරේ බෙයෝර්ගේ පුත් බාලාම් නම් පේන කියන්නා ද විය. 23 රූබන් ගෝත්‍රයේ දේශ සීමාවේ මායිම ජොර්දාන් ගඟ විය. මේවා වනාහි රූබන් ගෝත්‍රයේ පවුල්වලට උරුම කර දුන් නගර හා ගම් ය.

ගාද්වරුන්ගේ ගෝත්‍රයට දුන් ප්‍රදේශ

24 මෝසෙස් ගාද්වරුන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දී තිබුණේ ය. 25 ඔවුන්ගේ පළාත ජාශෙර් ද ගිලියද්හි සියලු නගර ද රබ්බා ඉදිරිපිට තිබෙන අරෝයෙර් දක්වා අම්මොන්වරුන්ගේ රටෙන් දෙකෙන් කොටස ද 26 හෙෂ්බොන් පටන් රාමත්-මිශ්පේ සහ බෙතොනිම් දක්වාත් මහනයිම් පටන් දෙබීර් සීමාව දක්වාත් තිබෙන පළාත් ද 27 හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතිරි කොට්ඨාශය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම් ද බෙත්-නිම්රා ද සුක්කොත් ද ශාපොන් ද නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වාත් ජොර්දාන් සහ සීමාව ද යන මේ ය. 28 මේවා වනාහි ගාද් ගෝත්‍රයේ පවුල්වලට උරුම කර දෙන ලද නගර හා ගම් ය.

මනස්සේ අර්ධ ගෝත්‍රයට දුන් ප්‍රදේශ

29 මෝසෙස් මනස්සේ අර්ධ ගෝත්‍රයටත් ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දුන්නේ ය. 30 ඔවුන්ගේ පළාත නම්, මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජ වූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන ජායිර්ගේ සියලු නගර එනම්, නගර හැටකුත් ය. 31 ගිලියද් දේශයෙන් අර්ධයක් ද බාෂාන්හි තිබෙන ඕග් රජුගේ රාජ්‍යයේ නගර වන අෂ්ටාරොත් ද එද්‍රෙයි ද මනස්සේගේ පුත් මාකීර්ගේ පුත්‍රයන්ට එනම්, මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමන්ගේ පවුල්වල හැටියට උරුම ලැබුණේ ය. 
32 මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ, ජෙරිකෝවට නැගෙනහිරෙන් තිබූ මෝවබ් තැනිතලාවල දී උරුම වශයෙන් බෙදා දෙන ලද කොටස් ඉහත කී ඒවා ය. 33 මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් කිසි උරුමයක් නුදුන්නේ ය. ඔහු ඔවුන්ට කී පරිදි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ උරුමය වූ සේක.

– 14 වන පරිච්ඡේදය –

කානාන් දේශය දාදු දා බෙදීම

1 ඉශ්රායෙල් සෙනඟට කානාන් දේශයෙන් ලැබූ උරුම කොටස් මේවා ය. පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පවුල් ප්‍රධානීහු ද ඒවා ඔවුන්ට බෙදා දුන්නෝ ය. 2 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගෝත්‍ර නවයටත්, අර්ධ ගෝත්‍රයටත් දාදු දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේ ය. 3 ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් ජොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුමය දී තිබිණි. එහෙත්, ලෙවීවරුන්ට ඔවුන් අතරේ උරුමයක් නොදුන්නේ ය. 4 ජො‍්සෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකට බෙදන ලද්දේ ය. ලෙවීවරුන්ට දේශයෙන් කිසි කොටසක් නොලැබුණේ ය. ඒ වෙනුවට ජීවත් වන පිණිස නගර ද ඔවුන්ගේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි සඳහා තණ බිම් ද දෙන ලද්දේ ය. 5 ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි කරමින් දේශය බෙදුවෝ ය.

කාලෙබ් වංශයට හෙබ්‍රොන් දීම

6 එවිට ජුදා ගෝත්‍රය ගිල්ගාල්හි සිටි ජෝෂුවා වෙත ආවෝ ය. කෙනිස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් ජෝෂුවා අමතා මෙසේ කීවේ ය: ”දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු වූ මෝසෙස්ට සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේයේ දී මා ගැනත්, ඔබ ගැනත් වදාළ කාරණය ඔබ දන්නෙහි ය. 7 දේශයේ ඔත්තු බලන පිණිස සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් කාදෙෂ්-බර්නේයේ සිට මා එවූ කල මම සතළිස් අවුරුද්දක් වයස් ව සිටියෙමි. මම ද පෙරළා අවුත් සත්‍ය වාර්තාවක් ඔහුට දුන්නෙමි. 8 එහෙත්, මා සමඟ ගිය සහෝදරයෝ සෙනඟ තැති ගැන්නුවෝ ය. එසේ වුව ද, මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වුණෙමි. 9 මෝසෙස් ඒ දවසේ දී දිවුරුම් දෙමින්, ‘ඔබ සම්පූර්ණ ලෙස මාගේ සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා සැබැවින් ම ඔබ පය තැබූ දේශය ඔබටත්, ඔබේ දරුවන්ටත් සදාකාල උරුමයක් වන පිණිස වන්නේ ය’යි කීවේ ය. 10 දැන් බලන්න, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මේ දේ වදාළ දවස සිට අද දක්වා සතළිස්පස් අවුරුද්දක් ගත වී ඇත. ඒ වූකලී ඉශ්රායෙල් සෙනඟ පාළුකරය මැදින් ගමන් කළ කාලය ය. අද වන තුරු සමිඳාණන් වහන්සේ මා ජීවත් කොට රක්ෂා කළ සේක. අද මම අසූපස් අවුරුද්දක් වයස් ව සිටිමි. 11 මෝසෙස් මා පිටත් කර යැවූ දවසේ මෙන් ම අදත් මම ශක්තිමත් ව සිටිමි. යුද්ධ කරන්නටත් කොයි දේ කරන්නටත් ඒ කාලයේ තිබුණාක් මෙන් ම දැනුත් මට ශක්තිය තිබේ. 12 සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී සඳහන් කළ මේ කඳුකර පළාත මට දුන මැනවි. එහි අනාක්වරුන් සිටින බව ද පවුරු ඇති මහ නගර තිබෙන බව ද ඔබට ඒ දවසේ දී අපි කීවෙමු. සමිඳාණන් වහන්සේ වදාළ පරිදි සමහර විට උන් වහන්සේ මා සමඟ සිටිනු ඇත. එවිට මම ඔවුන් පන්නාදමමි. 
13 ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කොට, ඔහුට හෙබ්‍රොන් නුවර උරුම කොට දුන්නේ ය. 14 එබැවින් කෙනෙස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් සම්පූර්ණ ලෙස ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා හෙබ්‍රොන් අද දවස දක්වා ඔහුගේ උරුමය ව තිබේ. 15 මීට පළමුවෙන් හෙබ්‍රොන් නගරයේ නම කිරියත්-අර්බා ය. අර්බා වනාහි අනාක්වරුන් අතර සිටි ඉතා ශ්‍රේෂ්ඨ තැනැත්තා ය. යුද්ධයෙන් තොර ව රටේ සාමදානය ඇති විය.

– 15 වන පරිච්ඡේදය –

ජුදා ගෝත්‍රයට දුන් ප්‍රදේශ

1 ජුදා ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණු කොටස, දකුණෙහි ඒදොම් සීමාව වන ශීන් පාළුකරයේ දකුණු සීමාන්තය දක්වා ම පිහිටා තිබිණි. 2 ඔවුන්ගේ දකුණු සීමාන්තය මළ මුහුදේ කෙළවර වන, දකුණට හැරී තිබෙන වරාය පටන්, 3 අක්‍රාබිම්හි නැඟුමට දකුණෙන් වැටී ශීන් දක්වා ගොස්, කාදෙෂ්-බර්නේයට දකුණෙන් නැඟී හෙෂ්රොන්ට ගොස්, අද්දාර්ට නැඟී කර්කා දෙසට හැරී ගොස්, 4 අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් තිබිණි. ඒ සීමාව මුහුද ළඟ කෙළවර විය. මෙය ජුදා ගෝත්‍රයේ දකුණු සීමාව විය. 
5 නැගෙනහිර සීමාව ජොර්දාන් ගඟේ මෝය දක්වා වන මළ මුහුද ය. උතුරු පැත්තේ සීමාව ජොර්දාන් ගඟේ කෙළවරෙහි වන මුහුදේ වරාය සිට ය. 6 මේ සීමාව බෙත්-හොග්ලාට නැඟී, බෙත්-අරබාට උතුරෙන් ගොස් රූබන්ගේ පුත් බොහන්ගේ ගල ළඟට නැඟී, 7 ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැඟී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරී ගොස්, එතැනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවර වුණේ ය. 8 එතැනින් සීමාව ජෙබුසිවරුන් වාසය කළ ජෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයන්ගේ මිටියාවත මැදින් නැඟී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන් ද රෙපායිම්වරුන්ගේ මිටියාවතට උතුරෙන් තිබෙන කන්ද මුදුන දක්වා වැටී තිබිණි. 9 සීමාව කන්ද මුදුනේ සිට නෙප්තොවාහි දිය උල්පතට එතැනින් එප්‍රොන් කන්දේ නගර දක්වා වැටී ගියේ ය. එතැනින් කිරියත්-ජෙයාරීම් වන බාලාට ගොස්, 10 බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දට ද එතැනින් කෙසාලොන් වන ජෙයාරීම් කන්දට උතුරු පැත්තෙන් ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස තිම්නා දක්වා විය. 11 එතැනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂික්-කෙරොන්ට වැටී එතැනින් බාලා කන්දට ගොස් ජබ්නෙයෙල්ට වැටී, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය. 12 බස්නාහිර සීමාව මධ්‍යධරණි මුහුදත් එහි වෙරළත් ය. ජුදා ගෝත්‍රයේ පවුල්වලට දී තිබුණ ප්‍රදේශය වටේට වූ සීමාව මෙය විය.

කාලෙබ් හෙබ්‍රොන් අල්ලාගැනීම 
(වීරා: 1:11-15)

13 සමිඳාණන් වහන්සේ තමාට අණ කළ පරිදි ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ජුදා ජනයා අතර කොටසක් දුන්නේ ය. එය හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ය. අර්බා අනාක්වරුන්ගේ පියා ය. 14 කාලෙබ්, අනාක්ගෙන් පැවත ආ ෂේෂයි ද අහීමාන් ද තල්මයි ද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතැනින් පන්නා දැමුවේ ය. 15 එතැනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියේ ය. කලින් දෙබීර්ට කිරියත්-සේපෙර් යන නම තිබුණේ ය. 16 කාලෙබ් කතා කොට, ”කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා භාර්යාව වශයෙන් පාවා දෙන්නෙමි”යි කීවේ ය. 17 කාලෙබ්ගේ සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලාගත්තේ ය. කාලෙබ් තමාගේ දුව වන අක්සා ඔහුට භාර්යාව වශයෙන් පාවා දුන්නේ ය. 18 ඈ ඔත්නියෙල් වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කාලෙබ් වෙත ගොස් කොටළුවා පිටින් බැස්ස විට, ”ඔබට ඕනෑ කුමක් දැ”යි කාලෙබ් ඇසී ය. 19 ඈ පිළිතුරු දෙමින්, ”මට වරයක් දුන මැනවි; ඔබ වියළි රටක් වන නෙගෙබ් රට මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනව”යි කීවා ය. එවිට ඔහු ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.

ජුදා රටේ නගර

20 ජුදා ජනයාගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ උරුමය මේ ය. 21 දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා ජුදා ජනයාගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුර වූ නගර නම්: කබ්ශෙයෙල් ද ඒදෙර් ද ජාගුර් ද 22 කීනා ද දිමෝනා ද අදාදා ද 23 කෙදෙෂ් ද හාශෝර් ද ඉත්නාන් ද 24 ශීප් ද තෙලෙම් ද බෙයාලොත් ද 25 හාශෝර්-හදත්තා ද කෙරියොත්-හෙෂ්රොන් වන හාශෝර් ද 26 ආමාම් ද ෂෙමා ද මෝලාදා ද 27 හශර්ගද්දා ද හෙෂ්මොන් ද බෙත්-පෙලෙත් ද 28 හෂර්-ෂුවාල් ද බෙයර්-ෂෙබා ද බිස්යෝතියා ද 29 බාලා ද ඉයිම් ද එශෙම් ද 30 එල්තො‍්ලද් ද කෙසීල් ද හොර්මා ද 31 ශික්ලග් ද මද්මන්නා ද සන්සන්නා ද 32 ලෙබායොත් ද ෂිල්හිම් ද ආයින් ද රිම්මොන් ද යන මේවා ය. ගම් සහිත ව සියලු නගර විසිනවයක් ය. 
33 තැනිතලා රටෙහි තිබුණු ඒවා නම්: එෂ්තායොල් ද ශොරා ද අෂ්නා ද 34 ශානොවා ද ඒන්-ගන්නීම් ද තප්පුවා ද ඒනාම් ද 35 ජර්මූත් ද අදුල්ලාම් ද සෝකෝ ද අශේකා ද 36 ෂයරයිම් ද අදීතයිම් ද ගෙදේරා ද ගෙදේරෝතයිම් ද යන නගර දහසතර සහ ඒවායේ ගම් ද යන මේවා ය. 
37 ශෙනාන් ද හදාෂා ද මිග්දල්-ගාද් ද 38 දිල්යාන් ද මිශ්පේ ද ජොක්තෙයෙල් ද 39 ලාකීෂ් ද බොශ්කාත් ද එග්ලොන් ද 40 කබ්බොන් ද ලාමාම් ද කිත්ලීෂ් ද 41 ගෙදේරොත් ද බෙත්-දාගොන් ද නාමා ද මක්කේදා ද යන නගර දහසය සහ ඒවායේ ගම් ද යන මේවා ය. 
42 ලිබ්නා ද ඒතෙර් ද ආෂාන් ද 43 ඉප්තා ද අෂ්නා ද නේශීබ් ද 44 කෙයිලා ද අක්ශීබ් ද මරේෂා ද යන නගර නවය සහ ඒවායේ ගම් ද යන මේවා ය. 
45 එක්‍රොන් ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය. 46 එක්‍රොන් පටන් බස්නාහිරට මධ්‍යධරණි මුහුද දක්වා අෂ්දොද් ළඟ තිබෙන සියලු නගර සහ ඒවායේ ගම් ය. 
47 අෂ්දොද් ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය. මිසරයේ ඔය සහ මධ්‍යධරණි මුහුදත් එහි අසබඩත් දක්වා ගාසා ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය. 
48 කඳු රටේ තිබුණු ඒවා නම්: ෂාමිර් ද ජත්තීර් ද සෝකෝ ද 49 දන්නා ද දෙබීර් වන කිරියත්-සන්නා ද 50 අනාබ් ද එෂ්තෙමෝ ද ආනිම් ද 51 ගෝෂෙන් ද හෝලොන් ද ගිලෝ ද යන නගර එකොළහ සහ ඒවායේ ගම් ද යන මේවා ය. 
52 අරාබ් ද දූමා ද එෂාන් ද 53 ජානීම් ද බෙත්-තප්පුවා ද අපේකා ද 54 හුම්තා ද හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ද ශීයෝර් ද යන නගර නවය ද ඒවායේ ගම් ද යන මේවා ය. 
55 මායොන් ද කර්මෙල් ද ශිප් ද ජුතා ද 56 ජෙශ්‍රෙරයෙල් ද ජොක්දෙයාම් ද ශානොවා ද 57 කායින් ද ගිබෙයා ද තිම්නා ද යන නගර දසය සහ ඒවායේ ගම් ද යන මේවා ය. 
58 හල්හුල් ද බෙත්-ශුර් ද ගෙදෝර් ද 59 මාරාත් ද බෙත්-අනොත් ද එල්තෙකොන් ද යන නගර හය සහ ඒවායේ ගම් ද යන මේවා ය. 
60 කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල් ද රබ්බා ද යන නගර දෙක සහ ඒවායේ ගම් ය. 
61 පාළුකරයේ තිබුණ ඒවා නම්: බෙත්-අරබා ද මිද්දීන් ද සෙකාකා ද 62 නිබ්ෂාන් ද ලුණු නුවර ද ඒන්-ගෙදී ද යන නගර හය සහ ඒවායේ ගම් ය. 
63 එහෙත්, ජෙරුසලමේ වාසය කළ ජෙබුසිවරුන් පන්නාදමන්නට ජුදා ජනයාට නොහැකි විය. අද දවස දක්වා ජෙබුසිවරු ජුදා ජනයා සමඟ ජෙරුසලමෙහි වාසය කරති.

 

– 16 වන පරිච්ඡේදය –

එප්‍රායිම් ගෝත්‍රයට දුන් ප්‍රදේශය

1 ජො‍්සෙප්ගේ පරපුරට පැවරුණු කොටසේ සීමාව නැගෙනහිර පාළුකරය ළඟ තිබෙන ජෙරිකෝවේ ගඟ ළඟ ජෙරිකෝව ඉදිරිපිට තිබෙන ජොර්දානේ පටන් ජෙරිකෝවෙන් කඳු රට මැදින් බෙතෙල්ට නැඟී ගොස් 2 බෙතෙල් සිට ලූස්ට ගොස්, අර්කිවරුන්ගේ සීමාවේ අතාරෝත්ට පැමිණ 3 එතැනින් බස්නාහිරට ජප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත්, ගෙශෙර්ටත් බැස ගොස්, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය. 
4 මනස්සේ සහ එප්‍රායිම් යන ජෝසෙප්ගේ පුත්‍රයෝ මෙසේ තමන්ගේ උරුමය ලැබූ හ. 
5 එප්‍රායිම් පෙළපතේ සීමාව ඔවුන්ගේ පවුල් ගණන අනුව මෙසේ විය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අතාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වා ය; 6 උතුරු සීමාව මික්මෙතාත් සිට මධ්‍යධරණි මුහුදට විය. එතැනින් සීමාව නැගෙනහිරට හැරී තානත්-ෂීලෝ ළඟට ගොස්, ජනෝවාට නැගෙනහිරින් එය පසු කර වැටී තිබිණි. 7 ජනෝවාවෙන් අතාරෝත්ටත්, නාරාටත් බැස ජෙරිකෝවට පැමිණ ජොර්දාන දක්වා වැටී තිබිණි. 
8 තප්පුවා සිට සීමාව බස්නාහිර දෙස කානා ඔයට ගොස් මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය. එප්‍රායිම් ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව තිබුණු උරුමය වනාහි 9 එය සහ මනස්සේගේ ගෝත්‍රයේ උරුමය තුළ එප්‍රායිම් ගෝත්‍රයට වෙන් කරන්නට යෙදුණු ඒවායේ සියලු නගර හා ගම් ද වේ. 10 ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.

 

– 17 වන පරිච්ඡේදය –

මනස්සේගේ ගෝත්‍රයට දුන් ප්‍රදේශය

1 ජෝසෙප්ගේ කුලුඳුලා වූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේ ය. මනස්සේගේ කුලුඳුලා වූ ගිලියද්ගේ පිය වූ මාකීර් යුද්ධ භටයෙකු බැවින් ඔහුට ගිලියද් ද බාෂාන් ද ලැබුණේ ය. 2 මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබීයෙසෙර්ගේ පරපුරට ද හේලෙක්ගේ පරපුරට ද අශ්‍රීයෙල්ගේ පරපුරට ද ෂෙකෙම්ගේ පරපුරට ද හේපෙර්ගේ පරපුරට ද ෂෙමිදාගේ පරපුරට ද ඔවුන්ගේ පවුල් ගණන අනුව කොටස් ලැබුණේ ය. තමන්ගේ පවුල් ගණන අනුව ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පිරිමි දරුවෝ මොවුහු ය. 3 එහෙත්, මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍ර වූ ගිලියද්ගේ පුත් වන හෙපෙර්ගේ පුත්‍ර වූ ශෙලෝපෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නුවූ හ. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නො‍්වා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය. 4 ඔව්හු පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ප්‍රජා මූලිකයන් ද ඉදිරියට අවුත්, ”සමිඳාණන් වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් බෙදා දෙන්නට මෝසෙස්ට අණ කළ සේකැ”යි කීවෝ ය. එබැවින් ඔහු සමිඳාණන් වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේ ය. 5 ජොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද් ද බාෂාන් ද හැර, මනස්සේට කොටස් දසයක් පැවරුණේ ය. 6 මන්ද, මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණු හෙයිනි. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේ ය. 
7 මනස්සේගේ දේශ සීමාව ආෂෙර් පටන් ෂෙකෙම් ඉදිරියෙහි තිබෙන මික්මෙතාත් දක්වා විය; එතැනින් සීමාව දකුණට ඒන්-තප්පුවාහි වාසීන්ගේ දේශය දක්වා විය. 8 තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත්, මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් ගෝත්‍රයට අයිති වුණේ ය. 9 එතැනින් සීමාව කානා ඔයට දකුණෙන් ඔය ළඟට බැස්සේ ය. මේ නගර මනස්සේගේ නගර අතරේ එප්‍රායිම්ට හිමි විය. මනස්සේගේ සීමාව ඔයට උතුරෙන් වැටී මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය. 10 දකුණු පැත්ත එප්‍රායිම්ට ද උතුරු පැත්ත මනස්සේට ද අයිති ය; ඔහුගේ තවත් සීමාවක් මධ්‍යධරණි මුහුද ය; ඒවාට උතුරෙන් ආෂෙර්ගේ දේශයත්, නැගෙනහිරෙන් ඉස්සාකර්ගේ දේශයත් යාව තිබේ. 11 තවද, ඉස්සාකර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නගර ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නගර ද දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද ඒන්-දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද තයනාක් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද මෙගිද්දෝ වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේ ය. 12 එහෙත්, මනස්සේගේ පුත්‍රයන්ට ඒ නගර වැසියන් පන්නාදමන්නට නොහැකි විය; එබැවින් කානානිවරු ඒ රටේ තමන්ගේ විසීම තහවුරු කරගත්තො‍් ය. 13 ඉශ්රායෙල් ජනයා ශක්තිමත් වූ කල ඔව්හු කානානිවරුන් වහල් වැඩට පත් කළෝ ය; එහෙත්, ඔවුන් සහමුලින් පන්නා නොදැමූ හ. 
14 ජෝසෙප්ගේ පරපුරේ අය ජෝෂුවාට කතා කොට, ”සමිඳාණන් වහන්සේ මේ දක්වා අපට ආශීර්වාද කළ බැවින් අප විශාල සෙනඟක් ව සිටිය දී ඔබ එක කොටසක් ද එක පංගුවක් ද පමණක් අපට උරුම කොට දුන්නේ මන්දැ”යි ඇසූ හ. 
15 ජෝෂුවා පිළිතුරු දෙමින්, ”ඔබ හැම මහා සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට ඔබට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේ ද රෙපායිම්වරුන්ගේ ද රටෙන් කොටසක් එළි කරගන්නැ”යි ඔවුන්ට කීවේ ය. 
16 ජෝසෙප්ගේ පරපුරේ අය කතා කොට, ”කඳු රට අපට මදි ය. මිටියාවත් රටෙහි, එනම්, බෙත්-ෂෙයාන්හි ද ඊට අයිති නගරවල ද ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි ද වාසය කරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේ ය”යි කීවෝ ය. 
17 ජෝෂුවා එප්‍රායිම් ද මනස්සේ ද යන ජෝසෙප්ගේ පරපුරට කතා කොට, ”ඔබ හැම මහා සෙනඟක් ය; ඔබට බොහෝ බලය ඇත්තේ ය. ඔබ හැමට ලැබෙන්නේ එක කොටසක් පමණක් නොවේ ය. 18 කඳු රටත් ඔබට අයිති වන්නේ ය. එය වනාන්තරයක් වුවත් ඔබ එය කපා එළි කරගන්න. එවිට අන්තිම සීමාව දක්වා ම එය ඔබට වන්නේ ය. කානානිවරුන්ට යකඩ රථ තිබෙන නුමුත්, ඔවුන් ශක්තිමත් ව සිටින නුමුත්, ඔබ ඔවුන් පන්නාදමනු ඇතැ”යි කීවේ ය.

 

– 18 වන පරිච්ඡේදය –

ඉතිරි කොටස බෙදීම

1 ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය. 2 තමන්ගේ උරුමය නොලැබූ ගෝත්‍ර සතක් ඉශ්රායෙල් ජනයන් අතරේ ඉතිරි ව සිටියෝ ය. 3 ජෝෂුවා ඔවුන්ට කතා කොට, ”ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්‍රමාද වන්නහු ද? 4 ඔබ උදෙසා එක එක ගෝත්‍රයෙන් මනුෂ්‍යයන් තුන්දෙනෙකු බැගින් පත් කරන්න. මම ඔවුන් යවන්නෙමි; ඔව්හු පිටත් ව දේශයෙහි ඔබමොබ ගමන් කොට තමන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒවා සටහන් කරගෙන මා වෙත එන්නෝ ය. 5 ඔව්හු ඒක සත් කොටසකට බෙදන්නෝ ය. ජුදා දකුණු දිග තමාගේ සීමාව තුළ සිටී වා; ජෝසෙප්ගේ පරපුර උතුරු දිග තිබෙන තමන්ගේ සීමාව තුළ සිටී වා. 6 ඔබ හැම දේශය සත් කොටසකට බෙදා, එහි භූමි සටහනක් මා ළඟට ගෙනෙන්න. මම අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ හැම වෙනුවට මෙහි දී පස ඇට දමන්නෙමි. 7 මන්ද, ලෙවීවරුන්ට ඔබ අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි සමිඳාණන් වහන්සේගේ පූජක තනතුර ය. ගාද්ටත්, රූබන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකාර මෝසෙස් ඔවුන්ට දුන් ඔවුන්ගේ උරුමය නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ ලැබී තිබේ ය”යි කීවේ ය. 
8 ඒ මනුෂ්‍යයෝ පිටත් ව ගියෝ ය. ජෝෂුවා දේශයේ භූමි සටහනක් ගැනීමට පිටත් ව යන අයට අණ කරමින්, ”ඔබ ගොස් ඒ දේශයෙහි ඇවිද එහි භූමි සටහන් කරගෙන මා ළඟට හැරී එන්න; මම මෙහි ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ උදෙසා පස ඇට දමන්නෙමි”යි කීවේ ය. 9 ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් හතකට බෙදා, නගරයෙන් නගරයට පොතක සටහන් කරගෙන ෂිලෝහි කඳවුරේ සිටි ජෝෂුවා ළඟට ආවෝ ය. 10 ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.

බෙන්ජමින් ගෝත්‍රයට දුන් ප්‍රදේශය

11 බෙන්ජමින් පරපුරේ කොටස ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ කොටසේ පළාත ජුදාගේ පරපුරටත්, ජෝසෙප්ගේ පරපුරටත් අතරේ නියම වුණේ ය. 12 උතුරු පැත්තෙහි ඔවුන්ගේ සීමාව ජොර්දානෙන් පටන්ගෙන ජෙරිකෝවට උතුරු පැත්තෙන් නැඟී, කඳු රට මැදින් බස්නාහිරට ගොස්, බෙතාවන්හි පාළුකරය ළඟ දී කෙළවර වුණේ ය. 13 එතැනින් සීමාව බෙතෙල් නම් වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසු කර, පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර් දක්වා වැටී තිබුණේ ය. 14 එතැනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තට හැරී ගොස්, ජුදාගේ පරපුරට අයිති නගරයක් වූ කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවර වුණේ ය. බස්නාහිර පැත්ත මේ ය. 15 දකුණු පැත්ත කිරියත්-ජෙයාරීම්හි කෙළවර සිට පටන්ගෙන ඒ සීමාව බස්නාහිර දෙස නෙප්තො‍්වාහි දිය උල්පත දක්වා විය. 16 එතැනින් සීමාව හින්නොම්ගේ පරපුරට අයිති මිටියාවත ඉදිරිපිට රෙපායිම්වරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතැනින් ජෙබුසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතැනින් ඒන්-රෝගෙල් දක්වා විය. 17 එය උතුරෙන් ගොස් ඒන්-ෂෙමෙෂ්ටත්, එතැනින් අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගෙලීලොත්ටත් පැමිණ, එතැනින් රූබන්ගේ පුත් බොහන්ගේ ගල දක්වා විය. 18 එතැනින් අරබා සමභූමිය ඉදිරිපිට උතුරු පැත්තෙන් ගොස් අරබා සමභූමියට බැස, 19 එතැනින් සීමාව උතුරු පැත්තෙන් බෙත්-හොග්ලාට ගොස්, ජොර්දානේ දකුණු කෙළවරේ තිබෙන මළ මුහුදේ උතුරු වරායෙහි කෙළවර වුණේ ය. දකුණු සීමාව මේ ය. 20 එහි නැගෙනහිර පැත්තෙන් සීමාව නම් ජොර්දාන ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන් වටකර සීමා හැටියට, ඔවුන්ගේ උරුමය මේ ය. 
21 බෙන්ජමින් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ නගර නම්: ජෙරිකෝව ද බෙත්-හොග්ලා ද ඒමෙක්-කෙශිශ් ද 22 බෙත්-අරබා ද ශෙමාරයිම් ද බෙතෙල් ද 23 අව්විම් ද පාරා ද ඔප්‍රා ද 24 කෙපර්-අම්මෝනී ද ඔප්නී ද ගෙබා ද යන නගර දොළොස සහ ඒවායේ ගම් ය. 25 ගිබියොන් ද රාමා ද බෙයේරොත් ද 26 මිශ්පේ ද කෙපීරා ද මෝශා ද 27 රෙකෙම් ද ඉර්පෙයෙල් ද තරලා ද 28 ශේලා ද එලෙප් ද ජෙරුසලම වන ජෙබුසීය ද ගිබෙයා ද කිරියත් ද යන නගර දසසතර සහ ඒවා යාබද ගම් ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මේ ය.

 

– 19 වන පරිච්ඡේදය –

සිමියොන් ගෝත්‍රයට දුන් ප්‍රදේශ

1 දෙ වන කොටස සිමියොන්ට, එනම්, සිමියොන්ගේ පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමය ජුදා පරපුරේ උරුමය ඇතුළත තිබුණේ ය. 2 ඔවුන්ගේ උරුමය නම්: බෙයර්-ෂෙබා හෙවත් ෂෙබා ද මෝලාදා ද 3 හශර්-ෂුවාල් ද බාලා ද එශෙම් ද 4 එල්තො‍්ලද් ද බෙතුල් ද හොර්මා ද 5 ශික්ලග් ද බෙත්-මර්කාබොත් ද හශර්-සුසා ද 6 බෙත්-ලෙබායොත් ද ෂාරුහෙන් ද යන නගර දහතුන සහ ඒවා යාබද ගම් ය. 
7 අයින් ද රිම්මොන් ද ඒතෙර් ද ආෂාන් ද යන මේ නගර සතර සහ ඒවායේ ගම් ය. 8 දකුණේ පිහිටි රාමා වන බාලත්-බෙයෙර් දක්වා ඒ නගර වටකර තිබෙන ගම් සියල්ලත් ය. සිමියොන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේ ය. 9 සිමියොන් පරපුරේ උරුමය ජුදාගේ පරපුරේ කොට්ඨාශයෙන් ගන්නට යෙදුණේ ය. මන්ද, ජුදා පරපුරේ කොටස ඔවුන්ට පමණට වඩා විශාල ව තිබුණේ ය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පරපුරට උරුමයක් තිබුණේ ය.

සාබුලොන් ගෝත්‍රයට දුන් ප්‍රදේශ

10 තුන් වන කොටස සාබුලොන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය. 11 ඔවුන්ගේ සීමාව බස්නාහිර දෙස මරාලාට නැඟී, දබ්බෙෂෙත්ට ද ජොක්නෙයාම් ඉදිරියෙහි තිබෙන ඔය ළඟට ද පැමිණියේ ය. 12 සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතැනින් දාබෙරත්ට ද ජාපීයාට ද නැඟී ගියේ ය; 13 එතැනින් නැගෙනහිර දෙස ගත්-හේපෙර්ට ද එත්-කාශීන්ට ද පැමිණ, නෙයා දෙසට පිහිටා තිබෙන රිම්මොන් දක්වා විය. 14 සීමාව ඊට වටකරින් උතුරට හැරී හන්නාතොන්ට ගොස්, ඉප්තා-යෙල් මිටියාවත ළඟ කෙළවර වුණේ ය. 15 කට්ටාත් ද නහලාල් ද ෂිම්රොන් ද ඉදලා ද බෙත්ලෙහෙම් ද යනාදී නගර දොළොසක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය. 16 සාබුලොන්ගේ පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.

ඉස්සාකර් ගෝත්‍රයට දුන් ප්‍රදේශ

17 සතර වන කොටස ඉස්සාකර්ට එනම්, ඉස්සාකර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. 18 ඔවුන්ගේ පළාතට ජෙශ්‍රෙයෙල් ද කෙසුල්ලොත් ද ෂුනෙම් ද 19 හපාරයිම් ද ෂියොන් ද අනාහරාත් ද 20 රබ්බිත් ද කිෂියොන් ද එබෙශ් ද 21 රෙමෙත් ද ඒන්-ගන්නීම් ද ඒන්-හද්දා ද බෙත්-පශේශ් ද දක්වා විය. 22 සීමාව තාබොර් ද ෂහශුමා ද බෙත්-ෂෙමෙෂ් ද දක්වා විය. ඔවුන්ගේ සීමාව ජොර්දාන ළඟ කෙළවර වුණේ ය. නගර දහසයක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය. 23 ඉස්සාකර් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.

ආෂෙර් ගෝත්‍රයට දුන් ප්‍රදේශ

24 පස් වන කොටස ආෂෙර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. 25 ඔවුන්ගේ සීමාව හෙල්කත් ද හලී ද බෙටෙන් ද අක්ෂාප් ද 26 අල්ලම්මෙලෙක් ද අමාද් ද මිෂාල් ද යන මේවා ය. බස්නාහිරට සීමාව කර්මෙල්ටත් ෂිහොර්-ලිබ්නාත්ටත් පැමිණියේ ය. 27 එතැනින් නැගෙනහිරට හැරී බෙත්-දාගොන්ට ගොස්, සාබුලොන්ටත් බෙත්-ඒමෙක්ට සහ නෙයියෙල්ට උතුරෙන් තිබෙන ඉප්තා-යෙල් මිටියාවතටත් පැමිණ, වමතට තිබෙන කාබුල් ද 28 ඒබ්‍රොන් ද රෙහොබ් ද හම්මොන් ද කානා ද මහ සීදොන් ද දක්වා විය. 29 එතැනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නගර වූ තීර්ට පැමිණ, හෝස් දෙසට හැරී අක්ශිබ් පළාතේ පටන් ගොස් මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය. 30 උම්මා ද අපෙක් ද රෙහොබ් ද අඩංගු ය: නගර විසිදෙකක් සහ ඒවා යාබද ගම් ද තිබුණේ ය. 31 ආෂෙර් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.

නප්තලී ගෝත්‍රයට දුන් ප්‍රදේශ

32 සය වන කොටස නප්තලී පරපුරට එසේ ය, නප්තලීගේ පරපුරට, ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. 33 ඔවුන්ගේ සීමාව හෙලෙප්හි සිට ශානන්නිම්හි තිබුණ ආලෝන වෘක්ෂය පටන් අදාමි-නෙගෙබ් ද ජබ්නෙයෙල් ද ලක්කුම් ද දක්වා ගොස්, ජොර්දාන ළඟ කෙළවර වුණේ ය. 34 එතැනින් සීමාව බස්නාහිරට හැරී අස්නොත්-තාබෝර් දෙසට ගොස්, එතැනින් හුකොක්ට පැමිණ, දකුණෙන් සාබුලොන් ද බස්නාහිරෙන් ආෂෙර් ද නැගෙනහිරෙන් ජොර්දානේ ජුදා ද දක්වා විය. 35 පවුරු සහිත නගර නම්: ශිද්දීම් ද ශේර් ද හම්මත් ද රක්කත් ද කින්නෙරොත් ද 36 අදාමා ද රාමා ද හාශොර් ද 37 කෙදෙෂ් ද එද්‍රෙයි ද ඒන්-හාශොර් ද 38 ඉරොන් ද මිග්දල්-යෙල් ද හොරෙම් ද බෙත්-අනාත් ද බෙත්-ෂෙමෙෂ් ද යන මේවා ය. නගර දහ නවයක් සහ ඒවායේ ගම් ද තිබුණේ ය. 39 නප්තලීගේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.

දාන් ගෝත්‍රයට දුන් ප්‍රදේශ

40 සත් වන කොටස දාන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. 41 ඔවුන්ගේ උරුමයේ පළාත නම්, ශොරා ද එෂ්තායොල් ද ඊර්-ෂෙමෙෂ් ද 42 ෂාලබ්බින් ද ආයාලොන් ද ඉත්ලා ද 43 ඒලොන් ද තිම්නා ද එක්‍රොන් ද 44 එල්තෙකේ ද ගිබ්බෙතොන් ද බාලාත් ද ජෙහුද් ද 45 බෙනේ-බෙරක් ද ගත්-රිම්මොන් ද 46 මේ-ජර්කොන් ද ජොප්පාව ඉදිරිපිට තිබෙන පළාත ඇතුළු ව රක්කොන් ද යන මේවා ය. 47 දාන් පරපුරේ පළාත ඔවුන්ට අහිමි වූ නිසා, ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධ ව යුද්ධ කොට ඒවා අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී එය හිමි කරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පිය වූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝ ය. 48 දාන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය. 
49 මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදා දී නිම කොට ඉශ්රායෙල් ජනයා නූන්ගේ පුත් ජෝෂුවාට තමන් අතරෙහි උරුමයක් දුන්නෝ ය. 50 ඔහු ඉල්ලූ නුවර වන එප්‍රායිම් කඳු රටෙහි තිබෙන තිම්නාත්-සෙරා ඔව්හු සමිඳාණන් වහන්සේගේ ආඥාව ප්‍රකාර ඔහුට දුන්නෝ ය. ඔහු ඒ නුවර ගොඩනඟා එහි වාසය කෙළේ ය. 
51 පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිය පෙළපත් ප්‍රජා මූලිකයන් ද ෂිලෝහි දී සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බෙදා දුන් උරුම මේවා ය. මෙසේ ඔව්හු දේශය බෙදා නිම කළෝ ය.

 

– 20 වන පරිච්ඡේදය –

අභය භූමි නගර

1 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, 2 ”ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. ”මෝසෙස් ලවා මා නුඹලාට ප්‍රකාශ කළ පරිදි අභය භූමි නගර තො‍්රාගන්න. 3 යම් මිනිසෙකු අදහස් නොකර හෝ වැරදීමකින් හෝ යමෙකු මැරුවොත් ඔහුට ඒ අභය භූමියට ගොස් පළිගන්නට සොයන්නාගෙන් ආරක්ෂා විය හැකි ය. 4 ඔහු ඒ නගරවලින් එකකට පලා ගොස් නගර දොරකඩ සිට ඒ නගරයේ ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි සිදු වූ කාරණය කියා සිටින්නේ ය. ඔවුන් ඔහු නගරයට පිළිගෙන තමන් සමඟ වාසය කරන පිණිස ඔහුට ස්ථානයක් දිය යුතු ය. 5 මැරීම ගැන පළිගන්නට සොයන මිනිසා ඔහු ලුහුබැඳ ආවොත්, ඔහු අතට මිනී මැරූ තැනැත්තා පාවා නොදිය යුතු ය. මන්ද, ඔහු තමාගේ අසල්වැසියා මැරුවේ පෙර තිබූ වෛරයක් නිසා නොව අත්වැරැද්දක් නිසා ය. 6 ඔහු විනිශ්චය පිණිස සභාව ඉදිරියෙහි සිටින තුරු ද එවකට සිටින උත්තම පූජකයා නසින තුරු ද ඒ නගරයේ වසන්නේ ය. ඉන්පසු මිනී මැරූ තැනැත්තාට තමා අත්හැර ගිය තමාගේ නගරයටත්, තමාගේ ම ගෙදරටත් හැරී යා හැකි ය. 
7 මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද ජුදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බා ද වෙන් කොට තැබුවෝ ය. 8 ජෙරිකෝවට නැගෙනහිරෙන් ජොර්දානෙන් එගොඩ රූබන් ගෝත්‍රයෙන් උස් සමභූමියේ පාළුකරයේ තිබෙන බෙශෙර් ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත් ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන් ද ඔව්හු වෙන් කොට තැබුවෝ ය. 9 වැරදීමකින් මිනී මරන කවුරු නමුත්, සභාව ඉදිරියෙහි පෙනී සිටින්නට ප්‍රථම මිනී මැරීම ගැන පළිගන්නට සොයන්නාගේ අතින් මැරුම් නොකනු පිණිස පලා ගොස් සිටීමට සියලු ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන් අතරේ සිටින විදේශිකයන් ද උදෙසා නියම කරන ලද අභය භූමි නගර මේවා ය.

 

– 21 වන පරිච්ඡේදය –

ලෙවීවරුන්ගේ නගර

1 එවිට ලෙවීවරුන්ගේ පවුල්වල ප්‍රධානීහු එලෙයාසර් නම් පූජකයා ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ගෝත්‍රයන්ගේ පවුල්වල ප්‍රධානීන් ද වෙත පැමිණ, 2 කානාන් දේශයෙහි ෂිලෝහි දී ඔවුන්ට කතා කොට, ”වාසය කිරීමට නගර ද අපේ සිවුපාවුන්ට ඒ නගර අවට තණ බිම් ද දෙන්නට කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ආඥා කෙරෙවූ සේකැ”යි කීවෝ ය. 3 ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේගේ ආඥා ලෙස තමන්ගේ උරුමයෙන් මෙකී නගර ද ඒවා අවට තණ බිම් ද ලෙවීවරුන්ට දුන්නෝ ය. 
4 පස ඇට දැමීමෙන් කොහාත්වරුන්ගේ ගෝත්‍රවලට නගර නියම කරන ලදී. පූජක ආරොන්ගෙන් පැවත ආ ලෙවීවරුන්ට ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද බෙන්ජමින් ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය. 5 කොහාත්වරුන්ගේ සෙසු ගෝත්‍රවලට එප්‍රායිම් ගෝත්‍රයෙන් ද දාන් ගෝත්‍රයෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය. 
6 ගේර්ෂොන්වරුන්ගේ ගෝත්‍රවලට ඉස්සාකර් ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද නප්තලී ගෝත්‍රයෙන් ද බාෂාන්හි මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය. 
7 මෙරාරීවරුන්ගේ ගෝත්‍රවලට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් ලැබුණේ ය. 
8 ඒ නගර සහ ඒවා අවට තණ බිම් ඉශ්රායෙල් ජනයා, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ ලෙස, පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝ ය. 
9 ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද මෙහි නම් සඳහන් කරන නගර දෙනු ලැබුවේ 10 ලෙවී ගෝත්‍රයේ වූ කොහාත්වරුන්ගේ පවුල්වලට අයිති ආරොන්ගේ පුත්‍රයන්ට ය. මන්ද, පළමු වන පස ඇට ලැබුණේ ඔවුන්ට ය. 11 ජුදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බා ද ඒ අවට තිබෙන තණ බිම් ද ඔවුන්ට දෙන ලදී. අර්බා වනාහි ආනාක්ගේ පියා ය. 12 එහෙත්, නගරයේ කෙත් ද එහි ගම් ද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට දී තිබුණේ ය. 
13 ඉශ්රායෙල්වරු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනී මරන අයට අභය භූමි නගරයක් වූ හෙබ්‍රොන් හා ඒ අවට තණ බිම් ද ලිබ්නා සහ ඒ අවට තණ බිම් ද 14 ජත්තීර් සහ ඒ අවට තණ බිම් ද එෂ්තෙමෝවා සහ ඒ අවට තණ බිම් ද 15 හෝලොන් සහ ඒ අවට තණ බිම් ද දෙබීර් සහ ඒ අවට තණ බිම් ද 16 අයින් සහ ඒ අවට තණ බිම් ද ජුතා සහ ඒ අවට තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ ඒ අවට තණ බිම් ද යන ඒ නගර නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝ ය. 17 බෙන්ජමින් ගෝත්‍රයෙන් ගිබියොන් සහ ඒ අවට තණ බිම් ද ගෙබා සහ ඒ අවට තණ බිම් ද 18 අනාතොත් සහ ඒ අවට තණ බිම් ද අල්මොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය. 19 පූජක ආරොන්ගේ පුත්‍රයන්ගේ සියලු නගර සහ ඒ අවට තණ බිම් ඇතුළු ව නගර දහතුනක් ය. 
20 ලෙවීවරුන් වන කොහාත්ගේ සෙසු ගෝත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නගර එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේ ය. 21 මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ෂෙකෙම් සහ ඒ අවට තණ බිම් ද ගෙශෙර් සහ ඒ අවට තණ බිම් ද 22 කිබ්ශයිම් සහ ඒ අවට තණ බිම් ද බෙත්-හෝරොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතර ඔවුන්ට දුන්නෝ ය. 23 දාන් ගෝත්‍රයෙන් එල්තෙකේ සහ ඒ අවට තණ බිම් ද ගිබ්බෙතොන් සහ ඒ අවට තණ බිම් ද 24 අයාලෝන් සහ ඒ අවට තණ බිම් ද ගැත්-රිම්මොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය. 25 මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් තයනාක් සහ ඒ අවට තණ බිම් ද ගැත්-රිම්මොන් සහ ඒ අවට තණ බිම් ද වන නගර දෙක දුන්නෝ ය. 26 කොහාත්ගේ අනික් ගෝත්‍රයන්ගේ පවුල්වලට ලැබුණ සියලු නගර වනාහි ඒ අවට තණ බිම් ද ඇතුළු ව නගර දහසයක් ය. 
27 ලෙවීවරුන්ගේ ගෝත්‍රයට අයිති ගේර්ෂොන්ගේ ගෝත්‍රයට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ, මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ ඒ අවට තණ බිම් ද බෙ-ජෙෂ්තෙරා සහ ඒ අවට තණ බිම් ද යන නගර දෙක ය. 28 ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් කිෂියොන් සහ ඒ අවට තණ බිම් ද දාබෙරත් සහ ඒ අවට තණ බිම් ද 29 ජර්මුත් සහ ඒ අවට තණ බිම් ද ඒන්-ගන්නීම් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය. 30 ආෂෙර්ගේ ගෝත්‍රයෙන් මිෂාල් සහ ඒ අවට තණ බිම් ද අබ්දොන් සහ ඒ අවට තණ බිම් ද 31 හෙල්කත් සහ ඒ අවට තණ බිම් ද රෙහොබ් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය. 32 නප්තලීගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නුවරක් වූ ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ ඒ අවට තණ බිම් ද හම්මොත්-දෝර් සහ ඒ අවට තණ බිම් ද කර්තාන් සහ ඒ අවට තණ බිම් ද යන නගර තුනත් දුන්නෝ ය. 33 ගේර්ෂොන්වරුන්ට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ සියලු නගර සහ ඒ අවට තණ බිම් ද ඇතුළු ව නගර දහතුනක් ය. 
34 අනික් ලෙවීවරුන් වන මෙරාරීගේ ගෝත්‍රයන්ගේ පවුල්වලට සාබුලොන් ගෝත්‍රයෙන් ජොක්නෙයාම් සහ ඒ අවට තණ බිම් ද 35 දීම්නා සහ ඒ අවට තණ බිම් ද නහලාල් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතර දුන්නෝ ය. 36 රූබන් ගෝත්‍රයෙන් බෙශෙර් සහ ඒ අවට තණ බිම් ද ජාහශ් සහ ඒ අවට තණ බිම් ද 37 කෙදෙමොත් සහ ඒ අවට තණ බිම් ද මේපාත් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය. 38 ගාද්ගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ ඒ අවට තණ බිම් ද මහනයිම් සහ ඒ අවට තණ බිම් ද 39 හෙෂ්බොන් සහ ඒ අවට තණ බිම් ද ජාශර් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය. 40 මේ සියල්ල ලෙවීවරුන්ගේ අනික් පවුල් වන මෙරාරීගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ නගර ය. ඔවුන්ගේ කොටස නගර දොළොසක් ය. 
41 ඉශ්රායෙල් වංශයේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නගර වනාහි ඒවායේ තණ බිම් ඇතුළු ව නගර සතළිස්අටක් ය. 42 මේ නගරවලින් එක එක නුවර වට කර තණ බිම් තිබුණේ ය. ඒ සියලු නගර එකාකාර ව තිබුණේ ය. 
43 මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස සමිඳාණන් වහන්සේ දිවුළ මුළු දේශය උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔව්හු එය හිමි කරගෙන එහි විසුවෝ ය. 44 සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන් වහන්සේ ඔවුන්ට රට පුරා සාමය දුන් සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධ ව සිටින්නට නොහැකි විය. සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවා දුන් සේක. 45 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් වංශයට දුන් යහපත් පොරොන්දු එකක් වත් කඩ නො වී ය; සියල්ල ම ඉෂ්ට වුණේ ය.

 

– 22 වන පරිච්ඡේදය –

ජොර්දාන් ගඟ ළඟ පූජාසනය

1 ජෝෂුවා රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කැඳවා 2 ඔවුන්ට මෙසේ කීවේ ය: ”සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස් ඔබ හැමට අණ කළ සියල්ල ඔබ පිළිපැද්දහු ය; මා ඔබට අණ කළ සියල්ලට ඔබ කීකරු වූවහු ය. 3 ඔබ අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් තුළ ඔබේ සහෝදරයන් අත්නෑර සිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවේ බාරය රක්ෂා කළහු ය. 4 දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න. 5 සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඔබට අණ කළ අණපණත් හා ව්‍යවස්ථාව මැනවින් පවත්වන්නට ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ සියලු මාර්ගවල ගමන් කරන්නට ද උන් වහන්සේගේ ආඥා පවත්වන්නට ද උන් වහන්සේට ඇළුම් ව සිට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ද වගබලාගන්න.” 6 මෙසේ කියා ජෝෂුවා ඔවුන්ට ආශීර්වාද කොට ඔවුන්ට යන්නට අවසර දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ නිවාසවලට ගියෝ ය. 7 මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි ප්‍රදේශයක් දී තිබුණේ ය. අනික් අර්ධයට ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට ජොර්දාන් ගඟෙන් මෙගොඩ ප්‍රදේශයක් ජෝෂුවා දුන්නේ ය. තවද, ජෝෂුවා ඔවුන්ගේ, නිවාසවලට ඔවුන් යවන කල ඔවුන්ට ආශීර්වාද කරමින්, 8 ”ඔබ බොහෝ ධනය ද සිවුපාවුන් ඉතා මහා ගණනක් ද රිදී ද රන් ද ලෝකඩ ද යකඩ ද බොහෝ වස්ත්‍ර ද ඇති ව ඔබේ නිවාසවලට ගොස්, ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබේ සහෝදරයන් සමඟ බෙදා ගන්නැ”යි ඔවුන්ට කීවේ ය. 
9 එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා අණ කළ ලෙස තමන් ලබාගෙන සිටි තමන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන පිණිස කානාන් දේශයේ තිබෙන ෂිලෝහි සිට ඉශ්රායෙල් සෙනඟ කෙරෙන් වෙන් වී පිටත් ව ගියෝ ය. 
10 කානාන් දේශයේ තිබෙන ජොර්දාන් ගඟ අසබඩ පළාතට ඔවුන් පැමිණිවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද මනා පෙනුමක් ඇති විශාල පූජාසනයක් ගොඩනැඟුවහු ය. 11 එවිට, රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද කානාන් දේශයේ ඉදිරිපිට ඉශ්රායෙල් සෙනඟ වාසය කළ පැත්තෙහි ජොර්දාන් ගඟ අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනඟා තිබේ යයි ඉශ්රායෙල් සෙනඟට ආරංචි විය. 12 ඉශ්රායෙල් සෙනඟ ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යන පිණිස මුළු ඉශ්රායෙල් ජනතාව ෂිලෝහි රැස් වුණෝ ය. 
13 ඉශ්රායෙල් ජනයා ගිලියද් දේශයේ සිටි රූබන් ගෝත්‍රයේ සෙනඟ ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද වෙත එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද 14 ඔවුන් සමඟ සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් එක එක ගෝත්‍රයේ අධිපති ව සිටි අධිපතීන් දසදෙනෙකු ද යැවුවෝ ය. ඔව්හු එකිනෙකා ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි තම තමන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියන් ව සිටියෝ ය. 15 ඔව්හු අවුත් ගිලියද් දේශයෙහි රූබන්ගේ ගෝත්‍රයේ සෙනඟට ද ගාද් ගෝත්‍රයේ සෙනඟට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟට ද මෙසේ කී හ: 16 ”සමිඳාණන් වහන්සේගේ මුළු සෙනඟ මෙසේ කියති, ‘ඔබ අද දවසේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසමින් පූජාසනයක් ගොඩනඟා ගැනීමෙන් අද ඔබ සමිඳාණන් වහන්සේ වෙතින් වෙන් වී ගොස් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධ ව කළ මේ අපරාධය කුමක් ද? 17 පෙයොර්හි දී කරන ලද අපරාධය මතක නැද් ද? සමිඳාණන් වහන්සේගේ සෙනඟ පිටට වසංගතයක් පැමිණි හැටි සිහි කරන්න. ඒ අපරාධයෙන් අප තවමත් නිදහස් වී නැත. 18 එහෙත්, ඔබ අද සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව යන්නහු ද? මෙසේ ඔබ අද සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසන හෙයින් හෙට උන් වහන්සේ මුළු ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි උදහස් වනු ඇත. 19 ඔබේ උරුම දේශය අපවිත්‍ර නම්, සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය පිහිටා තිබෙන උන් වහන්සේගේ උරුම දේශයට එතෙර වී අවුත් අප අතරේ ප්‍රදේශයක් ලබාගන්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය හැර, ඔබට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේටත්, අපටත් විරුද්ධ ව කැරලි නොගසන්න. 20 ශෙරාගේ පුත් ආකාන් කැප වූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්රායෙල් සෙනඟ පිටට උදහස පැමිණියේ නැද් ද? ඒ මිනිසාගේ අපරාධය නිසා විනාශයට පත් වුණේ ඔහු පමණක් නොවේ.’ ” 
21 රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද ඉශ්රායෙල්වරුන්ගේ පවුල්වල පිය පෙළපත් ප්‍රධානීන්ට මෙසේ පිළිතුරු දුන්නෝ ය: 22 ”දේවාතිදේව සමිඳාණන් වහන්ස, දේවාතිදේව සමිඳාණන් වහන්ස, උන් වහන්සේ ම දන්නා සේක. ඉශ්රායෙල් ජනයා ද දැනගත යුතු ය. අපි කැරලි ගසා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළෙමු නම්, අද අප ඉතිරි නොකළ මැනව. 23 අප උන් වහන්සේට අකීකරු වී දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ සහභාගිකමේ පූජා හෝ ඔප්පු කරන පිණිස ඒ පූජාසනය තැනුවා නම්, සමිඳාණන් වහන්සේ ම අපට දඬුවම් කරන සේක් වා! 24 අප එසේ කෙළේ බියෙනි. එනම්, මතු කාලයක දී ඔබේ දරු පරපුර අපේ දරු පරපුරට කතා කොට, ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ ඇති සම්බන්ධකම කිමෙක් ද, කියාත්, 25 රූබන් දරුවෙනි! ගාද් දරුවෙනි! ඔබත් අපත් අතරේ සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගඟ සීමා කොට තබා තිබෙන නිසා සමිඳාණන් වහන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැ’යි කියාත්, උන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔබේ දරු පරපුර අපේ දරු පරපුර වළක්වනු ඇතැ යි යන බියෙනි. 26 එබැවින් අපට පූජාසනයක් ගොඩනැඟීමට, ‘අපි සූදානම් වෙමු’යි අප කියා ගත්තේ දවන යාග පූජා වත් යාග පඬුරු වත් ඔප්පු කිරීමට නොව, 27 අපේ දවන යාග පූජාවලිනුත්, අපේ යාග පඬුරුවලිනුත්, සහභාගිකමේ පූජාවලිනුත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් උන් වහන්සේ ඉදිරියෙහි ඉටු කිරීම යුතු බවට, අප සහ ඔබ ද අපට පසුව අපේ දරු පරපුර ද අතරේ එය සාක්ෂියක් වන පිණිසත්, සමිඳාණන් වහන්සේ සමඟ ඔබට සම්බන්ධකමක් නැතැ යි මතු කාලයේ ඔබේ දරු පරපුර විසින් අපේ දරු පරපුරට වත් කියනු නොලබන පිණිසත් ය. 28 එහෙයින් ඔවුන් අපට වත්, අපේ දරු පරපුරට වත් මතු කාලයේ එසේ කීවොත්, ‘දවන යාග පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට නොව අප සමඟ හා ඔබ සමඟ සාක්ෂියක් වන පිණිස අපේ පියවරුන් තැනූ සමිඳාණන් වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්න’ කියා අපට කියන්නට පුළුවන් යයි අපි සිතුවෙමු. 29 අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන් වහන්සේගේ පූජාසනය හැර, දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා අද උන් වහන්සේ වෙතින් අහක් ව යාම කිසිසේත් අපේ අදහස නො වී ය.” 
30 එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ ද විසින් කියන ලද වචන පූජක වූ පිනෙහාස් ද ඔහු සමඟ සිටි ඉශ්රායෙල් ගෝත්‍රවල පෙළපත් ප්‍රධානීන් ද ඇසූ කල ඔව්හු ඊට බොහෝ සේ සතුටු වූ හ. 31 පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේවරුන්ටත් කතා කොට, ”ඔබ හැම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් නොකළ නිසා සමිඳාණන් වහන්සේ අප සමඟ වැඩවසන බව අපි අද දැනගතිමු. මෙසේ ඔබ ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේගේ අතින් බේරාගත්තහු ය”යි කීවේ ය. 
32 එවිට පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද අධිපතීහු ද රූබන්වරුන් හා ගාද්වරුන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්රායෙල් සෙනඟ වෙත හැරී අවුත් ඔවුන්ට ඒ පුවත සැළ කළෝ ය. 33 ඒ පුවත ගැන ඉශ්රායෙල්වරු සතුටු වූ හ. එබැවින්, රූබන්වරුන් ද ගාද්වරුන් ද වාසය කළ දේශය විනාශ කරන පිණිස ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යාම ගැන ඉශ්රායෙල් සෙනඟ තවත් කතා නොකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය. 
34 රූබන්වරු ද ගාද්වරු ද ‘සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවට එය අප අතර සාක්ෂියක් වන්නේ ය’ කියා ඒ පූජාසනයට ඒද් හෙවත් සාක්ෂිය යන නාමය තැබූ හ.

– 23 වන පරිච්ඡේදය –

විශ්වාස ව සිටීමට අවවාද

1 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් වට කර සිටි ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට ආරක්ෂාව දී බොහෝ කලක් ගත වූ පසු, ජෝෂුවා මහලු ව, වයෝවෘද්ධ ව සිටියේ ය. 2 ඔහු සියලු ඉශ්රායෙල්වරුන් එනම්, ඔවුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවා, ඔවුන්ට මෙසේ කීවේ ය: ”මම මහලු ව, වයෝවෘද්ධ ව සිටිමි. 3 ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා මේ සියලු විජාතීන්ට කළ සියල්ල ඔබ දුටුවහු ය; ඔබ උදෙසා යුද්ධ කෙළේ, ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය. 4 ඉතිරි වී සිටින විජාතීන්ගේ ද මා විසින් සිඳ දමනු ලැබූ සියලු විජාතීන්ගේ ද දේශය, ජොර්දාන් ගඟ පටන් බස්නාහිර මධ්‍යධරණි මුහුද දක්වා ඔබේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා මම ඔබට බෙදා දුනිමි. 5 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ම ඔබ ඉදිරියෙන් ඔවුන් එළවාදමා ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නාදමනු ඇත. ඔබ හැම ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ හැටියට ඔවුන්ගේ දේශය හිමි කර ගනු ඇත. 6 එබැවින්, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන සියල්ල අකුරට ම පිළිපැදීමට තරයේ ම අධිෂ්ඨාන කරගන්න. 7 එසේ කර ඔබ අතරේ ඉතිරි ව සිටින මේ ජාතීන් සමඟ නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නම් සඳහන් නොකර, ඔවුන්ගේ නාමයෙන් නොදිවුරා, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර නොකරන්නට වග බලාගන්න. 8 ඔබ මේ දක්වා කර ඇති පරිදි ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ම විශ්වාසවන්ත ව සිටින්න. 9 මන්ද, සමිඳාණන් වහන්සේ ඉතා විශාල වූ විජාතීන් ඔබ ඉදිරියෙන් පන්නාදැමූ සේක. ඒ නිසා ඔබට විරුද්ධ ව සිටින්නට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන් වුණේ නැත. 10 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි ඔබ උදෙසා යුද්ධ කරන්නේ උන් වහන්සේ ය; එබැවින් ඔබෙන් එක් කෙනෙක් දහසක්දෙනා පන්නා දමන්නේ ය. 11 එහෙයින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන්නට තරයේ ම අධිෂ්ඨාන කරගන්න. 12 ඔබ යම් හෙයකින් ඒ අධිෂ්ඨානය නොසලකා, ඔබ සමඟ ඉතිරි ව සිටින මේ විජාතීන්ට ඇලුම් වී, ඔවුන් සමඟ විවාහ වෙමින්, ඔබ ඔවුන් අතරෙහි ද ඔවුන් ඔබ අතරෙහි ද ගැවසුණොත්, 13 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙන් මේ ජාතීන් මින්පසු පන්නා නොදමන බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ විනාශ වී යන තුරු, ඔවුන් ඔබට මලපතක් ද උගුලක් ද ඔබේ ඇළපත්වලට පහර දෙන කසයක් ද ඔබේ ඇස්වලට කටු ද මෙන් වන බවත් සහතික ලෙස දැනගන්න. 
14 ”බලන්න, දැන් මුළු ලොවේ හැම මිනිසෙකුට ම සිදු වන්නට යන දේ මටත් සිදු වනු ඇත. ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක දෙයක් වත් අතපසු නුවූ බව ඔබේ මුළු හෘදයෙන් ද ආත්මයෙන් ද දන්නහු ය. එක පොරොන්දුවක් වත් නොකැඩී සියල්ල ම ඔබට ඉෂ්ට වුණේ ය. 15 තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කළ සියලු පොරොන්දු ඔබට ඉෂ්ට කර දුන්නාක් මෙන් ම, ඔබට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ විනාශ වී යන තුරු සියලු නපුරු දේ ඔබ පිටට පමුණුවන්නට උන් වහන්සේට පුළුවන. 16 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ගිවිසුම ඔබ කඩ කළහොත්, අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කළහොත්, උන් වහන්සේගේ උදහස ඔබට විරුද්ධ ව ඇවිළී ඔබට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඔබ විගසින් නැති කරදමනු ඇත.”

 

– 24 වන පරිච්ඡේදය –

ජෝෂුවාගේ අවසාන අනුශාසනා

1 ඉන්පසු ජෝෂුවා සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස් කරවා, ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවී ය. ඔව්හු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියෝ ය. 2 ජෝෂුවා මුළු සෙනඟට මෙසේ කීවේ ය: ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘යටගිය දවස ආබ්‍රහම්ගේ ද නාහෝර්ගේ ද පිය වූ තේරා වැනි, නුඹලාගේ පියවරු යුප්‍රටීස් ගඟෙන් එතෙර වාසය කරමින් අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. 3 මම ඒ ගංගාව එතෙරින් නුඹලාගේ පිය වූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩි කෙළෙමි. මම ඔහුට ඊසාක් දුනිමි. 4 ඊසාක්ට ජාකොබ් ද ඒසව් ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරය උරුමයක් කොට දුනිමි. ජාකොබ් ද ඔහුගේ පුත්‍රයෝ ද මිසරයට ගියෝ ය. 5 මම මෝසෙස් සහ ආරොන් යවමින් මිසර දේශය පිට වසංගත පැමිණෙව්වෙමි. නුඹලා ඒ ගැන හොඳාකාර ව දන්නහු ය. ඉන්පසු නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවෙමි. 6 මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට නුඹලා රතු මුහුද දක්වා ආවහු ය. මිසරවරු රථ සහ අසරුවන් ඇති ව නුඹලාගේ පියවරුන් ලුහුබැඳ රතු මුහුද දක්වා ගියහ. 7 ඔවුන් මට මොරගැසූ කල මම නුඹලාටත්, මිසරවරුන්ටත් අතරේ අන්ධකාරයක් ඇති කර මුහුද ඔවුන් පිටට පමුණුවා ඔවුන් මුහුදුබත් කෙළෙමි. මා මිසරයේ දී කළ දේ නුඹලාගේ ඇස්වලින් ම නුඹලා දුටුවහු ය. නුඹලා කාන්තාරයේ බොහෝ කාලයක් වාසය කළහු ය. 
8 ‘තවද, මම නුඹලා ජොර්දානින් එතෙර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට ගෙනාවෙමි. ඔව්හු නුඹලාට විරුද්ධ ව යුද්ධ කළහ. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි. නුඹලා ඔවුන්ගේ දේශය හිමි කර ගත්තහු ය. මම ඔවුන් නුඹලා ඉදිරියෙන් විනාශ කරදැමීමි. 9 එකල ශිප්පො‍්ර්ගේ පුත් මෝවබ්හි රජ වූ බාලාක් ඉදිරිපත් වී ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කර, නුඹලාට සාප කරන පිණිස බෙයෝර්ගේ පුත් බාලාම්ට අඬගසා යැව්වේ ය. 10 එහෙත්, මා බාලාම්ට සවන් දීමට නොකැමැති වූ බැවින් ඔහු නුඹලාට ආශීර්වාද කෙළේ ය. මෙසේ මම ඔවුන්ගේ අතින් නුඹලා ගැළවීමි. 11 නුඹලා ජොර්දානින් එගොඩ වී ජෙරිකෝවට පැමිණියහු ය. ජෙරිකෝවේ වැසියෝ ද අමෝරිවරු ද පෙරිස්සිවරු ද කානානිවරු ද හිත්තීවරු ද ගිර්ගාෂිවරු ද හිවීවරු ද ජෙබුසිවරු ද නුඹලාට විරුද්ධ ව සටන් කළෝ ය. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි. 12 මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි. ඒ දෙබරු අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් පලවාදැමූ හ. එසේ වුණේ, නුඹලාගේ කඩුවෙන් වත්, දුන්නෙන් වත් නොවේ. 13 මෙසේ නුඹලා වෙහෙස නොවී ලබාගත් දේශයක් ද නුඹලා ම ගොඩ නොනැඟුව නගර ද නුඹලාට දුනිමි; නුඹලා එහි වාසය කරන්නහු ය. නුඹලා නොවැවූ මිදි වතුවලින් ද ඔලීව වතුවලින් ද පලදාව කන්නහු ය.’ 
14 ”එබැවින් ඔබ හැම දෙවියන් වහන්සේට ගරුබිය පා, අවංක ව ද විශ්වාසී ව ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ පියවරුන් ගංගාවෙන් එතෙර දීත්, මිසරයේ දීත් වැඳුම්පිදුම් කළ දෙවිවරුන් පහකර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. 15 සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.” 
16 සෙනඟ පිළිතුරු දෙමින්, ”අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන පිණිස කවරදාවත් අපි සමිඳාණන් වහන්සේ අත් නොහරින්නෙමු. 17 මන්ද, අප සහ අපේ පියවරුන් මිසර දේශය නමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කෙළේත්, අපේ මුළු මාර්ගයේ දී ද අප පසු කර ආ මුළු සෙනඟ අතරේ දී ද අප ආරක්ෂා කෙළේත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය. 18 සමිඳාණන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් ද දේශයේ සිටි අමෝරිවරුන් ද අප ඉදිරියෙන් එළවා දැමූ සේක. එබැවින් අපිත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු. මන්ද, උන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය. 
19 ජෝෂුවා සෙනඟට කතා කොට, ”සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ඔබට නොහැකි ය. මන්ද, උන් වහන්සේ ශුද්ධ දෙවි කෙනෙකි; ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. එබැවින් උන් වහන්සේ ඔබේ අපරාධ ද පාප ද කමා නොකරන සේක. 20 ඉතින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නහු නම්, උන් වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත්, දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකැ”යි කීවේ ය. 
21 සෙනඟ ද පිළිතුරු දෙමින්, ”නැත. අප වැඳුම්පිදුම් කරන්නේ සමිඳාණන් වහන්සේට ම ය”යි ජෝෂුවාට කීවෝ ය. 
22 ජෝෂුවා කතා කරමින්, ”සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ උන් වහන්සේ තො‍්රාගත් බවට ඔබට විරුද්ධ ව ඔබ ම සාක්ෂිකාරයෝ ය”යි සෙනඟට කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, ”අපි සාක්ෂිකාරයෝ වමු”යි කීවෝ ය. 
23 ”එසේ වී නම් ඔබ අතරෙහි ඇති අන් දෙවිවරුන් පහකර දමා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔබේ සිත් යොමු කරන්නැ”යි ජෝෂුවා ඔවුන්ට කීවේ ය. 24 ”අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳ පුදා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නෙමු”යි සෙනඟ ද, ජෝෂුවාට පිළිතුරු දුන්නො‍් ය. 
25 මෙසේ ජෝෂුවා ඒ දවසේ ෂෙකෙම්හි දී සෙනඟ සමඟ ගිවිසුමක් කර, ඔවුන්ට පණතක් ද නියෝගයක් ද නියම කෙළේ ය. 
26 ජෝෂුවා මේ වචන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොතේ ලියා, විශාල ගලක් රැගෙන එය සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයේ තිබුණ ආලෝන ගස යට පිහිටුවා, 27 මුළු සෙනඟ අමතා, ”මේ ගල අපට සාක්ෂියක් පිණිස තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ අපට වදාළ සියලු වචන ඒ ගලට ඇසුණේ ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන පිණිස ඒ ගල ඔබට සාක්ෂියක් වන්නේ ය”යි කීවේ ය. 28 ඉන්පසු ජෝෂුවා මුළු සෙනඟ තම තමන්ගේ උරුම ප්‍රදේශවලට යැව්වේ ය.

ජෝෂුවාගේ සහ එලෙයාසර්ගේ මරණ

29 මේ සිද්ධීන්ගෙන් පසු සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය. 30 ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-සෙරා නම් වූ ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත් කළහ. 31 ඉශ්රායෙල්වරු ජෝෂුවා සිටි මුළු කාලයේ දී ද ඔහුට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා කළ උන් වහන්සේගේ සියලු ක්‍රියා දැනගෙන සිටි ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි මුළු කාලයේ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. 
32 තවද, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් ගෙනා ජො‍්සෙප්ගේ ඇටකටු ෂෙකෙම්හි, ජාකොබ් විසින් ෂෙකෙම්ගේ පියා වූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී මිල සියයකට ගන්නා ලද බිම් කොටසෙහි තැන්පත් කළෝ ය. එය ජෝසෙප්ගේ පරපුරට උරුමයක් විය. 33 ආරොන්ගේ පුත් එලෙයාසර් ද මියගියේ ය. ඔව්හු, ඔහුගේ පුත් පිනෙහාස්ට එප්‍රායිම් කඳු රටෙහි දෙන ලද ගිබියා නගරයේ ඔහු තැන්පත් කළෝ ය.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s