– 1 වන පරිච්ඡේදය –
ප්‍රස්තාවනාව
1 යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි. 2 ඔහුට පුත්‍රයෝ සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ. 3 සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.
4 ඔහුගේ පුත්‍රයෝ එකිනෙකා තම තමාට නියමිත දවසෙහි තම තමාගේ ගෙදර මංගල භෝජනයක් පිළියෙළ කිරීම ද ඊට සහභාගි වන ලෙස තම සහෝදරියන් තිදෙනාට ආරාධනා කිරීම ද ඔවුනොවුන්ගේ සිරිතක් ලෙස කළහ. 5 මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.
දිව්‍ය රාජ සභාව
6 තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය. 7 ”නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ”යි සමිඳාණන් වහන්සේ සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, ”මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.
8 එවිට සමිඳාණන් වහන්සේ, ”මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසි අයෙක් මුළු මහ පොළොවෙහි නැතැ”යි වදාළ සේක.
9 සාතන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, ”ජෝබ් දේව ගරුබිය ඇති කෙනෙකු ව කල් යවන්නේ යම් හේතුවක් ඇති නිසා නොවේ ද? 10 ඔබ ඔහු ද ඔහුගේ පවුල ද සතු සකල සම්පත් වටා පවුරු බැඳ රැකවරණය දී නැද් ද? ඔහුගේ හැම වැඩ කටයුතුවලට ඔබ ආශිර්වාද කොට ඇත. එබැවින් දේශය මුළුල්ලෙහි ඔහුගේ සම්පත් අති විශාල ය. 11 හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහු සතු සියල්ලට පහර දී බලන්න. එසේ කළොත්, ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇත. එය මට සිකුරු ය”යි පැවසී ය.
12 එවිට සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”හොඳයි, ජෝබ් සහ ඔහු සතු සියල්ල දැන් ඉතින් නුඹේ බලයට යට ය. හැබැයි, එකක් කියමි; ඔහුගේ ඇඟට පමණක් අත තබන්නට නුඹට අවසර නැතැ”යි සාතන්ට වදාළ සේක. එවිට සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් ඉවත් ව ගියේ ය.
ජෝබ්ට පැමිණි විපත්ති
13 එක් දිනක් ජෝබ්ගේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටිය දී මෙසේ සිදු විය: 14 පණිවුඩකාරයෙක් ජෝබ් වෙත වහා දිව අවුත්, ”ගවමහිෂයන් සී සාමින් ද කොටළු දෙනුන් තණ කමින් ද සිටියදී 15 ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
16 ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, ”අහසින් අකුණක් වැදී බැටළුවන් සහ එඬේරුන් පිට ඇවිළී ඔවුන් දවා දැමී ය. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
17 ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, ”කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
18 ඔහු කතා කරමින් සිටියදී ම සතර වැනි කෙනෙක් ද අවුත්, ”ඔබේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටියදී, 19 කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
20 මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්‍ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය:
21 ”මම කිසිත් නැති ව මව් කුසින් ආවෙමි;
කිසිත් නැති ව පෙරළා යන්නෙමි.
සමිඳාණෝ දුන් සේක;
සමිඳාණෝ ගත් සේක;
සමිඳුන් නමට ගරු පැසසුම් වේ වා.”
22 මේ සියල්ලේ දී ජෝබ් පව් කෙළේත් නැත, දෙවියන් වහන්සේ පිට දොස් තැබුවේත් නැත.
– 2 වන පරිච්ඡේදය –
සාතන් යළිත් ජෝබ් පෙළඹවීම
1 නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය. 2 සමිඳාණන් වහන්සේ කතා කරමින්, ”නුඹ දැන් මෙහි පැමිණියේ කොතැන සිට දැ”යි සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, ”මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.
3 එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, ”මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසිවෙක් මුළු මහ පොළොවෙහි නැත. නිරපරාදේ ඔහු වනසාලීමට නුඹ මා පෙළඹෙවූ නමුත්, ඔහුගේ දේව භක්තිය කිසි සේත් තව ම අඩු වී නැතැ”යි සාතන්ට වදාළ සේක.
4 සාතන් ද උත්තර දෙමින්, ”ඇඟ බේරාගෙන, පණ රැක ගැනුම පිණිස මිනිහෙකු නොදෙන දෙයක් ඇද් ද? 5 හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහුගේ ඇටකටු හා මාංසයට පහර දී බලන්න. එවිට ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇතැ”යි කී ය.
6 එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, ”හොඳයි, මම ඔහු නුඹ අතට බාර දෙමි. හැබැයි, ඔහුගේ ප්‍රාණයට නම් අත නොතියන්නැ”යි සාතන්ට වදාළ සේක.
7 සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් නික්ම ගොස්, ජෝබ්ගේ යටිපතුල පටන් හිස් මුදුන දක්වා ඇඟ හැම තැන ම දරුණු කුෂ්ඨයක් හටගන්වා ඔහුට වද දුන්නේ ය. 8 ජෝබ් අළු ගොඩේ වාඩි වී ඇඟ කසා ගැනීමට වළං කැබිලිත්තක් ගත්තේ ය. 9 එවිට ඔහුගේ භාර්යාව කතා කරමින්, ”ඔය දේව භක්තිය පැවැත්තුවා මදි ද? දෙවියන්ට සාප කොට මැරෙණ එක වඩා හොඳ නැද්දැ”යි කීවා ය.
10 එහෙත්, ජෝබ් පිළිතුරු දෙමින්, ”මෝඩ ගෑණියක වාගේ ඔබ කතා කරයි. අපි දෙවියන් වහන්සේ අතින් සැපත පිළිගනිමු නම්, විපතත් පිළිගත යුතු නොවේ දැ”යි ඇසී ය. මේ සියල්ලේ දී ම ජෝබ් වචන මාත්‍රයකින් වත් පව් කෙළේ නැත.
මිතුරන්ගෙන් අස්වැසුම්
11 ජෝබ්ට මිතුරෝ තුන්දෙනෙක් වූ හ. තේමාන් නුවර එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමා නුවර ශෝපර් ද ජෝබ්ට පැමිණි දරුණු විපත්ති ගැන දැන ගත්හ. ඔහු දැක, ශෝකය ප්‍රකාශ කොට ඔහු සනසනු වස්, සිය ගම්රටවලින් ඔහු වෙත යාමට ඔව්හු නියම කරගත්හ. 12 ඔවුන් දුර තියා ජෝබ් දුටු විට ඔවුන්ට ඔහු හඳුනා ගත නොහැකි විය. එහෙත්, ඔහු හඳුනාගත් කෙණෙහි ම ඔව්හු මහ හඬින් හඬන්නට වූ හ. ශෝකයෙන් තමන්ගේ සළු ඉරා ගෙන තම හිස් පිට දූවිලි දමාගත්හ. 13 මෙසේ ඔව්හු රෑ සතකුත්, දවල් සතකුත් ඔහු සමඟ බිම වාඩි වී උන්හ. කිසිවෙක් ඔහුට වචන මාත්‍රයකුදු නොකී හ. මන්ද, ඔහුගේ ශෝකය ඉතා බලවත් බව ඔවුන් තේරුම්ගත් බැවිනි.
– 3 වන පරිච්ඡේදය –
ජෝබ් සිය උපන් දිනයට සාප කිරීම
1 ඉන්පසු මේ තාක් නිහඬ ව සිටි ජෝබ් තමා උපන් දිනයට සාප කරගනිමින්
2 මෙසේ කී ය:
3 ”මා උපන් දිනයට සාප වේ වා!
මා වැනි පිරිමි දරුවෙකු පිළිසිඳ ගත් රාත්‍රියට සාප වේ වා!
4 ඒ දවස අඳුරෙන් වැසේ වා!
සගලොව දෙවිඳාණෝ එය නොතකා හරිත් වා!
අරුණලු එහි නොදිළේ වා!
5 ඒ දවස, ගන’ඳුරින් හා තද කළු වැහි පටලින් වැසීයේ වා!
හිරු මඬල ද මැකීයේ වා!
6 ඒ රාත්‍රිය, ගන’ඳුරින් වැසීයේ වා!
අවුරුද්දේ දවස්වලත්, මාසයේ දවස්වලත් එය මකා දමනු ලැබේ වා!
7 එවන් රැයක, වෙන දරු උපතක් සිදු නො වේ වා!
සතොස වඩන කිසි හඬකුත් නො වේ වා!
8 මුහුදු සතුන්, දිය රකුසන්, මන්ත්‍ර බලයෙන් මැඬලන අය එදිනට සාප කරත් වා!
9 ඒ දවස හිරු බැස යන කල අහසෙහි තරු නොදිළේ වා!
එළිය ලැබෙන පැතුම සුන් වේ වා!
අරුණලු උදා නො වේ වා!
10 මේ සියල්ල, මෙසේ සිදු විය යුත්තේ, මවු කුසෙන් මා බිහි වී දුක දැක්මෙන් මා නොවැළැක් වූ බැවිනි.
11 මවු කුසේ දී ම මා නොමළේ මන් ද?
කුසෙන් නික්ම ආ විගස ම මාගේ පණ නොගියේ මන් ද?
12 මවු තුරුල්ලට මා පිළිගත්තේ කුමට ද?
මවගේ ළයෙහි මව් කිරි මට පෙව්වේ කුමට ද?
13 මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි;
කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.
14 එසේ වී නම්, නැති වී යන රාජ මාලිගා ඉදි කළ නිරිඳුන් සහ ඇමතිවරුන් සමඟ මටත් සැතපෙන්නට තිබිණි.
15 සිය මැදුරු රන් රිදීයෙන් පුරවාගත් කුමරුන් සමඟ ද මට සැතපෙන්නට තිබිණි.
16 මෙලොව එළිය නුදුටු දරුවන් මෙන් ගබ්සා වී මා මිය නොගියේ මන් ද?
17 සොහොනෙහි පවිටු දනන් තම පව්කම් නිම කර ඇත;
වෙහෙසට පත් කම්කරු දනන් සිය වෙහෙසින් තොර වී ඇත.
18 සිරකරුවන් හට සොහොනෙහි සාමය ඇත;
අණ දෙන නිලධාරීන්ගේ කට හඬ දැන් ඇසෙන්නේ නැත.
19 සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමාන ය;
වහලා තම ස්වාමියාගෙන් නිදහස් ය.
20 ”එතුමා දුකින් සිටින අයට එළිය දෙන්නේ මන් ද?
සොවින් පෙළෙන අයට දිවි දෙන්නේ මන් ද?
21 ඔව්හු මරු එන තුරු බලා සිටිති; එහෙත්, මරු එන්නේ නැත.
අන් සැම සම්පතට වඩා ඔව්හු සොහොන අගේ කරති.
22 සොහොනට යෑම ඔවුන්ට සතුටකි;
මිනීවළට යන විට ඔව්හු ප්‍රිය හඬ දෙති.
23 දෙවි තුමන් හැම අතින් ම හිර කර සිටින, තමා යා යුතු මඟ නොපෙනෙන මිනිසා උපත ලැබුවේ මන් ද?
24 මාගේ ආහාරය සුසුම් කඳුළු පමණකි;
මාගේ කෙඳිරිගෑම, ගලා බසින දිය දහරකි.
25 මා බියජනක දේ මට පැමිණ ඇත.
මා තැති ගන්වන හැම දේ මා පිට වැටී ඇත.
26 මාගේ සිතට ශාන්තියක්, සැනසිල්ලක් කොහෙත් ම නැත;
මාගේ දුකට අවසානයක් ඇත්තේ ම නැත.”
– 4 වන පරිච්ඡේදය –
එලිපස්ගේ පළමු වන කතාව
1 එවිට තේමානීය එලිපස් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
2 ”මා ඔබට වචනයක් කීවොත්, එය ඔබට කරදරයක් වේ ද?
අනේ!
මා තවත් දුරට නිහඬ ව සිටින්නේ කෙසේ ද?
3 ඔබ, බොහෝ අයට දිරිය දුන් හැටිත්, දුබල අයට සවිය දුන් හැටිත් සිතා බලන්න.
4 පැකිළෙන අය ඔවා බසින් තිර කොට වැනෙන, සැලෙන දෙදණ සවි කළ හැටි සිතා බලන්න.
5 එහෙත්, දැන් ඔබ විපතට පත් වී ඇත;
ඔබට ඉවසිල්ලක් නැත.
විපත ඔබ වෙත පැමිණ ඇත;
ඔබ කැළඹී ඇත.
6 ඔබේ ආගමෙන් ඔබට සැනසුමක් නැද් ද?
දැහැමි ජීවිතයෙන් ඔබට බලාපොරොත්තුවක් නැද් ද?
7 නිදොස් කෙනෙකු විපතට පත් වූ බව ඔබ අසා ඇද් ද?
දැහැමි අය විනාශයට පත් වූ දවසක් ඔබට මතක ඇද් ද?
8 මා දැක ඇති ලෙස නම්, අදමිටුකම සී සාමින් අයුක්තිය වපුරන අය, ඒවා ම නෙළා ගනිති.
9 දෙවිඳුන්ගේ එක හුස්මෙන් පවිටු දනෝ වැනසී යති.
එතුමන්ගේ උදහස් මාරුතයෙන් ඔව්හු සැම ම පහ වී යති.
10 සිංහයාගේ ගර්ජනය ද රුදුරු සිංහ රජුගේ ගෙරවීම ද පහ වී ඇත;
සිංහ පෝතකයාගේ දත් ඇදී බිඳී ඇත.
11 සිහ රද ගොදුරක් නොලැබ මිය යයි.
සිහදෙනගේ පෝතකයෝ හිස් ලූ ලූ අත විසිර දුවති.
12 මට එක් කරුණක් රහසින් හෙළි වී ඇත;
එහි සියුම් නාදය මා සවනෙහි රැව් දෙයි.
13 මිනිසා රෑ යාමයෙහි බර නින්දට පත් ව, ස්වප්න දකින විට, ගැඹුරු සිතුවිලි උදා වන විට,
14 මා සිරුරෙහි ඇටකටු සැලෙන්නට විය.
භීතිය හා කැළඹීම ද මට ඇති විය.
15 මඳ පවනක් මා මුහුණට වැදිණි.
එයින් මා සිරුරෙහි හිරිගඩු පිපිණි.
16 යමෙක් අවුත් මා ළඟ නැවතුණේ ය.
එහෙත්, ඔහුගේ මුහුණුවර මට හඳුනාගත නොහැකි විය.
ඒ රූපය මා අබිමුව විය;
අවට නිහඬතාව බිඳ දමමින් මෙවන් හඬක් ඉන් නිකුත් විය.
17 දෙවිඳුන් අබිමුව කිසිවෙකුට තමා නිදොස් යැයි සිතිය හැකි ද?
සිය මැවුම්කරු අබිමුව පිවිතුරු කෙනෙක් සිටිත් ද?
18 එතුමාණෝ සිය මෙහෙකරුවන් කෙරේ වත් විශ්වාසය නොතබන සේක;
දේව දූතයන් හට වුව ද දොස් නඟන සේක.
19 එසේ නම්, පොළොවේ දූවිල්ලෙහි තනන ලද මැටි ගෙවල වසන අය ගැන කියනුම කවරේ ද?
ඔව්හු කාවුන් මෙන් පොඩි කරනු ලබති.
20 උදය සිට සවස වන තුරු ඔව්හු වැනසී යති;
කිසිවෙකුගෙන් සැලකිලි නොලැබ ඔව්හු සදහට ම වැනසී යති.
21 ඔවුන් සතු සියලු දේ පැහැරගෙන ඇත.
කිසි දා ප්‍රඥාව වත් නොලබා ඔව්හු මියයති.
– 5 වන පරිච්ඡේදය –
1 ”දැන් ඉතින් හඬගා බලන්න.
පිළිතුරු දෙන කෙනෙක් ඇද් ද?
සගලොව කවර දේව දූතයෙකු වෙත ඔබ හැරෙන්නෙහි ද?
2 දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය.
කෝපය නිසා මෝඩයා මියයන්නේ ය.
3 අඥානයා මුල දී සාර්ථක වන සැටි මා දැක ඇත;
එහෙත් සැණෙකින් ඔහුගේ නිවෙසට සාපය පැමිණෙයි.
4 ඔහුගේ දරුවන්ට සුරැකියාවක් නැත;
නඩුහබවල දී පිහිට වන්න කිසිවෙක් නැත.
උසාවියේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නැත.
5 අනුවණයන් රැස් කරන අස්වැන්න සාගිනි ඇති අය කාදමති;
කටු අතර වැඩුණු ධාන්‍ය වුව ද ඔව්හු කපා ගනිති;
තණ්හා ඇති අය ඔවුන්ගේ වස්තුව පැහැරගන්නට බලා සිටිති.
6 විපත පොළොවේ පසින් හට නොගනියි;
දුක භූමියෙන් මතු නොවෙයි.
7 ගිනි පුපුර ගිනි මැලයෙන් ම ඉහළ නඟින්නාක් මෙන් මිනිසාගේ දුක මිනිසාගෙන් ම පැමිණෙයි.
8 එහෙත්, මම නම්, දෙවි තුමන් වෙත හැරී මාගේ නඩුව එතුමන්ට බාර කරමි.
9 එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය;
අරුමපුදුම දේ අසංබ්‍ය ය.
10 දෙවි තුමාණෝ මහ පොළොවට වැසි වස්වන සේක;
කෙත්වතු පිට දිය වගුරුවන සේක;
11 එතුමාණෝ පහත් අය උසස් කරන සේක.
ශෝක වන්නන්ට ප්‍රීතිය ගෙන දෙන සේක.
12 එතුමාණෝ කපටින්ගේ උපා වළකන සේක;
ඔවුන්ගේ හැම ප්‍රයෝග ව්‍යර්ථ කරන සේක.
13 කපටින් ඔවුන්ගේ ම උපාවලින් අසුකරගන්න සේක;
ශූරයින්ගේ කුමන්ත්‍රණ සැණෙකින් බිඳ දමන සේක.
14 මහ දවාල ඔවුන්ට තිත්ත කළුවරක් වේ;
මද්දහනේ දී රෑ කාලයේ දී මෙන් ඔව්හු අතපත ගාමින් ගමන් කරති.
15 එතුමාණෝ දිළිඳුන් කඩුපතින් ද දුබලුන් බලවතුන්ගෙන් ද ගළවාගන්න සේක.
16 මෙසේ දිළිඳුන් හට පැතුමක් ඇත;
අදමිටු දන නිහඬ වනු ඇත.
17 දෙවි තුමන්ගෙන් දඬුවම් ලබන මිනිසා වාසනාවන්ත ය.
සව් බලැති දෙවි තුමන්ගේ තරවටුවට පිටුපා නොයන්න.
18 තුවාළ කරන්නේත් එතුමාණෝ ය;
තුවාළ බඳින්නේත් එතුමාණෝ ය;
වේදනාව ඇති වන්නේත් එතුමන්ගේ අතින් ය;
සුවය ලැබෙන්නේත් එතුමන්ගේ ම අතින් ය.
19 පිට පිට විපත් පැමිණියත් එතුමාණෝ ඔබ ගළවන සේක;
පිට පිට විපත් පැමිණියත් ඔබට අනතුරක් නොවනු ඇත;
20 සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක;
සටන් සමයෙහි කඩු මුවහතින් ඔබ ගළවාගන්න සේක.
21 බොරුවෙන් හා වැරදි චෝදනාවෙන් ඔබ රැක ගනු ඇත;
විනාශයෙන් සිතට භීතියක් නොවනු ඇත;
22 විපත ද සාගතය ද දැක ඔබ සිනාසෙනු ඇත;
වග වලසුන්ගෙන් බියක් ඔබට නැත;
23 ඔබේ කෙත් යායෙහි ගල් මුල් නැත;
වන සිවුපාවුන්ගෙන් පීඩාවක් නැත;
24 ඔබේ කූඩාරමෙහි සාමය වැජඹෙන බව ඔබ දන්නෙහි ය;
බැටළු ගාලෙන් කිසිදු සතෙකු නැති නොවන බව ඔබ දන්නෙහි ය.
25 ඔබේ දරු පරපුර වැඩි වනු ඇත;
මහා පොළොව මත තණ පත් මෙන් වැඩි වනු ඇත;
26 නියම කන්නයේ පැසුණු ගොයම් මිටියක් මෙන් ඔබ දිගායු වළඳා මිය යනු ඇත;
27 කිරි ගසට ඇන්නාක් මෙන් මේවා සැබෑ බව අත්දැකීමෙන් අපි දනිමු.
ඔබත් විමසා බලා මේවා ඔබේ යහපතට බව ඔබ ම දැනගන්න.”
– 6 වන පරිච්ඡේදය –
ජෝබ්ගේ පිළිතුර
1-2 ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
”අනේ!
මාගේ සෝදුක් මනින්නටත්, මාගේ විපත් තරාදියේ කිරා බලන්නටත් ඇත්නම්, කොතරම් හොඳ ද?
3 කිරා බැලුවොත්, ඒවා මුහුදේ වැලිවලට වඩා බර ය;
මා සැර පරුෂ වචන පැවසීම පුදුමයක් ද?
4 සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත;
ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත.
දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත.
5 තණ කොළ තිබේ නම්, වල් කොටළුවාගේ රාවයක් ඇද් ද?
පිදුරු තිබේ නම්, ගොනා තප්පුලයි ද?
6 ලුණු නැති නීරස අහර වළඳන්නේ කවරෙක් ද?
බිත්තර සුදු මදයේ කවර රසක් ඇද් ද?
7 එවන් කෑම කන්නට මට ප්‍රිය නැත;
මා කන හැම දේ ම මට අප්‍රිය වේ.
8 මාගේ යැදුම ඉටු වුවහොත්, මාගේ පැතුම දෙවි තුමන් ඉටු කළහොත් කොතරම් හොඳ ද?
9 දෙවි තුමාණෝ මාගේ ඇට කටු බිඳ, සිය අත දිගු කොට මා වනසන සේක් වා!
10 එසේ කළොත්, මට සැනසිල්ලක් ඇත;
මාගේ දැඩි දුක මැද මම සතුටින් නටන්නෙමි.
මන්ද, කිසි දාක මම ශුද්ධ දෙවිඳුන්ගේ වචනය ප්‍රතික්ෂේප නොකෙළෙමි.
11 මාගේ දිවි ගෙන යාමට කුමන ශක්තියක් මට ඇද් ද?
මරණය මට නියත නම්, ජීවත් වීමෙන් වැඩක් මට ඇද් ද?
12 ගල් බඳු සවියක් මට ඇද් ද?
මාගේ සිරුර ලෝකඩයෙන් තනා ඇද් ද?
13 විපතින් මිදෙන්නට මා තුළ ම ශක්තියක් නැත;
පිහිටක් සොයමින් කොයි අත යම් ද?
14 මා දෙවිඳුන් අත්හැරියත්, නැතත්, මෙවන් දුකේ දී හිත මිතුරෝ අවශ්‍ය වෙත්.
15 එහෙත්, මා මිතුරන් වන ඔබ ඔයක් මෙන් ද
ඉඩෝරයේ දී වේළී යන දිය කඩක් මෙන් ද මා රැවටුවහු ය.
16 ඔයවල් හිමෙන් බොර පාට වී හිම කැටිවලින් වැසී යනු ඇත.
17 ගංවතුර ගැලිය යුතු කාලයේ දී ඒවා අතුරුදහන් වී, ගිම්හානයේ දී දිය පතුලට ම හිඳී යයි.
18 තවලම්කරුවෝ වතුර සොයමින් වෙන පාරක යති.
එසේ ගොස් මරුකතරෙහි විනාශ වෙති.
19 තේමාහි තවලම්කරුවෝ වතුර සෙවුවෝ ය;
ෂෙබාහි මඟියෝ වතුර බලාපොරොත්තු වූ හ.
20 ඔවුන්ගේ පැතුම් බිඳ වැටිණි;
එතැනට පැමිණි විට ඔව්හු වියවුල් වූ හ.
21 විපතක් දැක බිය වන මා මිතුරන් වන ඔබ මට එවන් ඔයවල් වැන්න.
22 මට යමක් දෙන්න කියා වත් මා වෙනුවෙන් අල්ලසක් දෙන්න කියා වත්,
23 රුපුන් අතින් මා මුදන්න කියා වත්, දාමරිකයන්ගේ අතින් මා ගළවන්න කියා වත් මම කිසි දා ඔබට කීවෙම් ද?
24 හොඳයි! ඔබ මට ඔවදන් දෙන්න;
මාගේ වැරදි පෙන්වා දෙන්න;
මම නිහඬ ව සිට ඔබට සවන් දෙන්නෙමි.
25 නැණවත් අවවාදය කොතරම් වැඩදායක ද?
එහෙත්, ඔබ නඟන තර්කයෙන් මට කුමන වැඩක් ද?
26 මා කියන්නේ, පුහු වචනය කියා ඔබ සිතන්නහු ද?
එසේ නම්, පැතුම් සුන් වූ කෙනෙක් කුමන පිළිතුරු බලාපොරොත්තු වන්නේ ද?
27 ඔබ බලන්නේ, කාත් කවුරුත් නැති කෙනෙකු දාදු දමා අයිති කරගන්නට ද?
සිය මිතුරා වෙළෙඳ බඩුවක් ලෙස තක්සේරු කරන්නහු ද?
28 ඉතින් කරුණාකර මා දෙස බලන්න.
ඔබේ මුහුණට ම මම බොරු නොකියමි.
29 ඔය කිව්වා හොඳට ම ඇති!
මා ගැන අයුතු කතා නවත්වන්න;
මාගේ පැමිණිල්ල යුක්ති සහගත ය;
මට වරද නොතබන්න.
30 මා බොරු කියති යි ඔබ තවමත් සිතන්නහු ද?
ඇත්ත නැත්ත තීරණයට මට පුළුවන්කමක් නැද් ද?
– 7 වන පරිච්ඡේදය –
1 ”මිහි මත මිනිස් ජීවිතය සටනක් නොවන්නේ ද?
එය දවසේ කුලියට වැඩ කරන කුලීකරුවෙකුගේ දිවිය මෙන් නොවේ ද?
2 තුරු සෙවණෙහි විවේකය සොයන වහලෙකු මෙන් ද වැටුප ගෙවන තුරු බලා හිඳින කුලීකරුවෙකු මෙන් ද
3 මසින් මසට පාළු සිතින් කල්යැවීමට මට නියම ව ඇත;
රැයින් රැය මම දුකින් දුකට පත්වන්නෙමි.
4 මම නින්දට යන කල, ‘රැය ගෙවී කොයි වේලේ නැඟිටිම් දැ’යි කියා ගනිමි.
පහන් වන තුරු ඒ මේ අත පෙරළෙමින් සිටින්නෙමි.
5 මා සිරුරෙහි සෑම තැන ම පණුවෝ ඇත;
මාගේ ඇඟ හැම තැන හොරිවලින් වැසී ඇත;
මාගේ වණවලින් සැරව ගලා යනු ඇත.
6 බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි;
ඒවා නූල් කටින නඩාව මෙන් යුහුව දුව යයි.
7 ”දෙවි සමිඳුනි, මාගේ දිවිය සුළං රොදක් පමණක් බව සිහි කරන්න;
වාසනාව මින් මතු මා නොදකිනු ඇත.
8 දැන් ඔබ මා දකින දෙනෙත් යළි කිසි දා මා නොදකිනු ඇත;
ඔබේ දෙනෙත් මා සොයතත්, මින්පසු මා දක්නට නැත.
9 නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි.
10 සිය නිවෙසට ඔහු හැරී නොඑයි;
ගෙදර උදවිය තවත් ඔහු නොදකිති.
11 ”මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය;
දැඩි සිත් තැවුළින් මම කතා කරමි.
මා හද තුළ ඇවිලෙන සෝගින්නෙන් විලාප කියමි.
12 ඇයි මා වටකර මුර කරගෙන ඉන්නේ?
මම දිය රකුසෙක් ද?
මහ මුහුදේ නාගයෙක් ද?
13 ‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි.
මාගේ යහනෙහි සෝදුක නැති කරගනිමි’යි මම සිතන්නෙමි.
14 එවිට, ඔබ ස්වප්නවලින් මා බිය ගන්වන සේක;
දර්ශනවලින් මා තැති ගන්වන සේක.
15 මෙසේ ජීවත් වීමට වැඩියෙන් ගෙල මිරිකා මරණු ලැබීම මට හොඳ ය;
මෙවන් දුක් රාශියට වඩා මරණය යෙහෙකි.
16 මට කිසි පැතුමක් නැත;
මට ජීවිතය තිත්ත වී ඇත;
මට හුදකලා ව ඉන්නට ඉඩ දුන මැනව.
මාගේ දිවිය සුළං රොදක් පමණකි.
17 ඔබ මිනිසා ගැන මෙතරම් ඉහළින් සලකන්නටත්, ඔහු වෙත ඔබ සිත යොමුකරන්නටත්,
18 උදයෙන් උදය, මොහොතින් මොහොත ඔහු සෝදිසි කරන්නටත් මිනිසා කවරෙක් ද?
19 මොහොතකට වත් ඔබ මා කෙරෙන් ඔබේ බැල්ම ඉවතට නොගන්න සේක් ද?
කෙළ පිඬ ගිලින තෙක් වත්, ඔබ මට ඉන්නට ඉඩ නොදෙන සේක් ද?
20 මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද?
ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද?
ඔබ හට මා එතරම් බරක් වී ද?
21 ඔබ මාගේ වරදට කමා වී, මාගේ අයුතුකම පහනොකරන්නේ මන් ද?
යුහුව මා දූවිල්ලට හැරෙනු ඇත.
ඔබ මා සෙව්වත් මා දක්නට නැත.”
– 8 වන පරිච්ඡේදය –
බිල්දද්ගේ මුල් කතාව
1 එවිට ෂුහිය බිල්දද් මෙසේ කී ය:
”හමන සුළඟක් වැනි
2 ඔබේ ප්‍රලාප දෙඩීම දැන් වත් ඉවරයක් නැද් ද?
3 දෙවි තුමාණෝ යුක්තිය අයුක්තියට පෙරළන සේක් ද?
සව් බලැති දෙවිඳුන් නඩුව අවනඩුව කරනු ඇද් ද?
4 ඔබේ දූ දරුවන් දෙවිඳුන්ට විරුද්ධ ව පව් කළ බැවින්, ඔවුන්ට දෙවිඳාණෝ නිසි දඬුවම දුන් සේක.
5 දැන් ඉතින්, ඔබ උනන්දුවෙන් දෙවිඳුන් සොයා, සව් බලැති එතුමන්ට කන්නලව් කරන්නෙහි නම්,
6 ඔබ නිදොස් ව, අවංක ව සිටින්නෙහි නම්, සැබැවින් එතුමාණන් ඔබ වෙනුවෙන් පිබිද, ඔබේ දැහැමි නිවෙසට ආසිරි වස්වනු ඇත.
7 ”ඔබේ පටන්ගැන්ම සුළු වුව ද අවසානය උසස් වනු ඇත.
8 ඔබේ පැරණියන් විමසා, මුතුන්මිත්තන් අත්දුටු දෙයට සිත යොදන්න.
9 අද ඊයේ උදවිය වන අපි කුමක් දනිමු ද?
මිහි මත අප දිවිය පහ ව යන සෙවණැල්ලක් මෙන් ය.
10 එහෙත්, ඒ පැරණියෝ තමන් රැස් කර දැනගත් ප්‍රඥාවෙන් අපට කතා කරති;
ඔවුන්ට සවන් දෙන්න.
11 ”මඩ වගුරු නැති තැන තුන්හිරියා මනා ව වැවෙනු ඇද් ද?
ගොහොරු බිමක් නැති තැන වැටකෙයියා වැවෙනු ඇද් ද?
12 අමු අමුවේ තිබිය දී ම කැපුවත්, අන් පලා ජාතීන්ට කලින් ඒවා වියළී යනු ඇත.
13 දෙවිඳුන් අමතක කරන කොයි මිනිසාගේත් ඉරණම එසේ ම වේ.
දෙවිඳුන් නොහඳුනන්නාගේ පැතීම ද එසේ ම වැනසී යන්නේ ය.
14 ඔවුන්ගේ විශ්වාසය නූල් පොටක් මෙන් කැඩී යයි;
ඔවුන් අදහන දෙය මකුළු දැලක් හා සමාන ය.
15 මකුළු දැලට ඔවුන් හේත්තු වුණොත්, එයට ඔවුන් වාවා ගත හැකි ද?
නූල් පොටේ එල්ලුණොත් එයට ඔවුන් දරා ගත හැකි ද?
16 නපුරු දනෝ හිරු එළියේ සශ්‍රීක වන, වත්ත පුරා විහිදී යන වල් පැළෑටි වැන්න.
17 ඒවායේ මුල්, ගල් ගොඩේ එතෙනු ඇත;
ගල් ඉඩමේ දුව යනු ඇත.
18 යම් කිසිවෙකු ඒවා එතැනින් උදුරා දැමුවොත්, ඒවා එතැන තිබූ බව වත් කිසිවෙක් නොදනිති.
19 ඉන් ඇති වන ප්‍රීතිය නම්, එම බිමෙන් අන් පැළෑටි මතු වීම ය.
20 දෙවි තුමන් නිදොස් කෙනෙකු ඉවත ලන්නේ වත්, නපුරෙකු සමඟ සමගි වන්නේ වත් නැත.
21 එතුමාණෝ ඔබ මුව සිනා රැල්ලෙන් ද ඔබ දෙතොල සතුටු ගීතයෙන් ද සරසන සේක.
22 ඔබේ සතුරන්ට අපකීර්තිය අත් වේ;
දුදනන්ගේ නිවහන අතුරුදහන් වේ.”
– 9 වන පරිච්ඡේදය –
ජෝබ්ගේ පිළිතුර
1 එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ”ඔය සියල්ල ඇත්ත ම බව මම හොඳින් දනිමි.
එතුමන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර මිනිසෙකුට ජයගත හැකි ද?
3 පැමිණිලිකරු මෙන් මිනිසාට දෙවිඳුන් සමඟ වාද කළ හැකි ද?
එතුමන් අසන ප්‍රශ්න දහසකින් එකකට වත් මිනිසාට පිළිතුරු දිය හැකි ද?
4 දෙවිඳාණෝ ප්‍රඥාසම්පන්න ය;
සර්ව බලධාරී ය.
එතුමන්ට එරෙහි ව කිසිවෙකුට ජයගත හැකි වේ ද?
5 එතුමාණෝ හිටි හැටියේ ගිරිකුළු දෙදරවා හරින සේක;
සිය උදහසින් ඒවා පෙරළා දමන සේක;
6 මහ පොළොවේ පදනම් කම්පා කරවන සේක;
එහි කණු සොලවන සේක;
7 එතුමාණන් අණ කළහොත්, හිරු උදා නොවන්නේ ය;
තරු සඟවා වසා ලීමට එතුමාණන්ට හැකි වන්නේ ය.
8 ඒ උතුමාණෝ පමණක් ම අහස් තලය දිග හරින සේක;
මහ සයුර පිට ඇවිදින සේක.
9 මහ වලසා ද මුව සිරස ද හත්දින්න ද දකුණු දිග තාරකා ද මැවූ සේක.
10 මිනිස් මනසින් සොයාගත නොහැකි මහත් දේ ද ගණනාවක් නොමැති අසිරිමත් දේ ද කරන සේක.
11 මා ළඟින් ම වැඩියත්, එතුමන් මට පෙනෙන්නේ නැත;
මා පසු කොට ගියත් මට දකින්න නොහැකි ය,
12 දෙවි තුමන් යමක් ගන්න කල එය වැළැක්විය හැකි සමතා කවරෙක් ද?
‘ඔබ ඔය කරන්නේ කුමක් දැ’යි පවසන්නට කාට හැකි ද?
13 දෙවි තුමන්ගේ උදහස නිරතුරු ව ම පවතිනු ඇත;
රාහබ් නම් දියරකුසාගේ සහචරයෝ එතුමන් හට අවනත වෙති.
14 එසේ නම්, එතුමන් සමඟ සුදුසු වචනින් වාද විවාද කිරීමට හැකියාවක් මට ඇද් ද?
15 මා නිදොස් වුව ද එතුමන්ට උත්තර දීමට මම අපොහොසත් වෙමි.
මම විනිසකරුගෙන් දයාව පතමි.
16 මා එතුමන් ඇමතූ විට එතුමන්ගෙන් පිළිතුරක් ලැබුණේ ය.
එතුමාණෝ මට සවන් දෙන සේකැ යි විශ්වාස කළ හැකි ද?
17 එතුමාණෝ සැඬ සුළඟින් මට පහර දී තව තවත් මට නිකරුණේ තුවාළ කරන සේක.
18 එතුමාණෝ මට හුස්ම ගන්නට වත් ඉඩ නොදී සිත් තැවුළින් මා පුරවන සේක.
19 ශක්තිය ගැන සිතමු නම්, එය ඇත්තේ එතුමන්ට ය.
මා ගැන යුක්තිය විසඳීම උදෙසා එතුමන් කැඳවීමට සමතා කවරෙක් ද?
20 ‘මම නිදොස් වෙමි’යි මා කටින් කීවත්, මාගේ ම වචනය මා වරදට පත් කරයි.
මාගේ හැම උත්තරයක් ම මා වරදකරුවෙකු කරයි.
21 මා නිදොස් වුවත්, ජීවිතයෙන් මට කමක් නැත;
ජීවිතයෙන් මට වැඩක් නැත.
22 මට කොයි එකත් එක ය.
වැරදි වුවත්, නිවැරැදි වුවත් දෙවි තුමන් අප විනාශ කරන බව මට පෙනේ.
23 විපතින් හදිසි මරණය එන විට නිදොස් අයගේ විපත්තිය ගැන එතුමාණෝ සිනාසෙන සේක.
24 ලෝකය කුදිටු අය අතට බාර දී තිබේ;
විනිසකරුවන්ගේ ඇස් අන්ධ කර ඇත.
එසේ නොවේ නම්, මෙසේ වන්නේ කෙසේ ද?
25 මාගේ කල දවස, දුවන පණිවුඩකාරයෙකුට වඩා වේගයෙන් ගෙවෙයි.
එය හොඳක් නොදැක පලා යයි.
26 මාගේ දිවිය වේගයෙන් යන නැවක් මෙන් ද ගොදුර පිට කඩා වදින රාජාලියෙකු මෙන් ද පහ ව යයි.
27 මාගේ විලාපය අමතක කොට, ‘මම මාගේ දොම්නස් පෙනුම සොම්නසට වෙනස් කරමි’යි කීවත්,
28 මම මාගේ සියලු දුක්ගැනවිලිවලට බියෙන් සිටිමි.
මා නිදොස් ලෙස ඔබ ගණන් නොගන්න බව මම දනිමි.
29 ‘නුඹ වරදකරුවෙකැ’යි ඔබ වදාරන සේක් නම්, මාගේ වෙහෙස වීමෙන් වැඩක් ඇද් ද?
30 සුදු හිම දියෙන් නා ගෙන මාගේ දෑත කොතරම් සුදෝ සුදු කරගත්තත්,
31 ඔබ මා මඩ වළට හෙළන සේක.
මාගේ ම ඇඳුම් මට ම පිළිකුලකි.
32 එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත.
එතුමාණෝ මා වැනි මිනිසෙක් නොවන සේක.
33 අප දෙපසට මැදින් අප අතර සමගිය ඇති කිරීමට මැදහත්කරුවෙක් නැත.
34 ඔබේ දඬුවම මා කෙරෙන් පහකළ මැනව.
ඔබේ භීතියෙන් මා ත්‍රස්ත නොකළ මැනව.
35 එවිට මම නොබිය ව කරුණු කියමි.
එසේ නම්, බියට හේතුවක් මට නැත.
– 10 වන පරිච්ඡේදය –
1 ”මට ජීවිතය තිත්ත වී ඇත;
මාගේ දුක් ගැනවිලි නොවළහා කියා පාමින් සොවින් පිරුණු හදවතකින් මම කතා කරමි.
2 මම දෙවිඳුන්ට මෙසේ කියමි:
‘මා වරදට පත් නොකළ මැනව;
මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
3 මෙසේ මා පෙළීමත්, ඔබේ ම මැවිල්ල වන මා හෙළා දැකීමත්, දුදනන්ගේ ක්‍රියා කලාපය ගැන සතුට පහළ කිරීමත් ඔබට සුදුසු යැයි වැටහේ ද?
4 ඔබට ඇත්තේ මිනිස් දෙනෙතක් නොවේ.
ඔබ අප වාගේ මිනිස් ඇසින් බලන්නේ නැත.
5 ඔබේ දවස් මිනිසාගේ දවස් මෙන් නොවේ.
ඔබේ අවුරුදු මිනිසාගේ අවුරුදුවලට සමාන නැත.
6-7 ඔබ මා දුදනෙකු නොවන බව දැන දැනත්, ඔබ අතින් මා මුදාගැනීමට අන් කිසිවකු නැති බව ඔබට පෙනි පෙනිත්,
මාගේ අපරාධ ගැන සොයා බලන්නේ මන් ද?
මාගේ පව් විමසන්නේ මන් ද?
8 ඔබේ දෑතින් මට රූපය දී ඔබ මා මැවූ සේක.
ඒ දෑතින් ම දැන් ඔබ මා නසන සේක් ද?
9 ඔබ මා මැටි අඹන ලෙස සෑදූ බව සිහි කරන්න.
දැන් ඔබ මා යළි දූවිල්ලට හරවන සේක් ද?
10 කිරි බිඳක් කැටි වන ලෙස ඔබ මාගේ කළල රූපය මවු කුසෙහි සවි වන්නට සැලැසූ සේක;
11 ඇට හා නහර මට දී හම හා මස්වලින් ඔබ මා පැළඳවූ සේක.
12 ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක.
දයාන්විත බැල්මෙන් මාගේ පණ නළ රැක දුන් සේක.
13 එහෙත්, ඔබ හදවතෙහි මේ සියලු දේ සඟවා ගත් සේක.
ඔබේ අරමුණ කුමක් දැ යි මම දනිමි.
14 මා පව් කරන විට ඔබ සටහන් කර ගන්න සේක;
මාගේ අපරාධයෙන් නිදොස් වීමට ඔබ මට ඉඩ නොදෙන සේක.
15 මම දුෂ්ටයෙක් වීම් නම්, මට වන විපතක මහත!
මම දැහැමි කෙනෙක් වීම් නම්, ලජ්ජාවෙන් මිරිකී කාලකණ්ණි ව සිටිනු මිස හිස එසවීමක් මට නැත.
16 මා හිස එසෙව්වත්, සිංහයෙකු මෙන් ඔබ මා ලුහුබැඳ අරුමපුදුම ලෙස ඔබ තවත් ජයග්‍රහණයක් ලබන සේක.
17 මට විරුද්ධ ව අලුත් සාක්ෂි ඔබ ඉදිරිපත් කරන සේක.
මා කෙරේ ඔබේ උදහස තව තවත් වැඩි කරන සේක.
පහර පිට පහර මට එල්ල කරන සේක.
18 ‘ඉතින් ඔබ මවු කුසින් මා ගෙනායේ කුමට ද?
කවුරුත් නොදැක මා එහි ම මළා නම් හොඳ ය.
19 උපත වෙනුවට මවු ගැබෙන් කෙළින් ම සොහොන් ගැබට ගියා නම්, එය මට යෙහෙකැ’යි සිතමි.
20 මාගේ ජීවිතය ලුහුඬු ය, මා සිතූ හැටියට නිදහසේ සිටින්නට මට ඉඩ දී අල්ප මාත්‍ර ප්‍රීතියක් මට දුන මැනව.
21 මම විගසින් තුරන් වී යමි;
ගොස් කිසි දා ආපසු නොඑමි.
අඳුරු, කළුවර දේශයට යමි.
22 ඒ දේශය වියවුලින් පිරී ඇත;
දැඩි අන්ධකාරයෙන් ද කළු සෙවණැල්ලෙන් ද වියවුලෙන් ද පිරී ඇත.
එහි ආලෝකය පවා අන්ධකාරයකි.”
– 11 වන පරිච්ඡේදය –
ශෝපර්ගේ පළමු වන කතාව
1 එවිට නයමාතීය ශෝපර් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
2 ”මේ වාග් ප්‍රවාහයට පිළිතුරක් දිය යුතු නොවේ ද?
කෙනෙකු බොහෝ කතා කරන පළියට ඔහු වරදින් නිදහස් ද?
3 සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද?
ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද?
4 ඔබ පවසන දෙය ඇත්ත යයි ඔබ සිතන්නෙහි ය.
‘දෙවිඳුනි, ඔබ අබිමුව මම නිදොස් යැ’යි ඔබ කියන්නෙහි ය.
5 දෙවියන් වහන්සේ සිය මුව විදහා ඔබට කතා කරන සේක් නම්,
මම කොතරම් කැමැති ද?
6 එවිට එතුමාණන් තමන් ප්‍රඥාව නන් වැදෑරුම් බවත්, මිනිස් මනසින් දත නොහැකි ගැඹුරු දේ තිබෙන බවත් ඔබට පෙන්වනු ඇත.
දෙවියන් වහන්සේ ඔබට දී ඇත්තේ දිය යුතු දඬුවමට අඩුවෙන් බව දැනගන්න.
7 ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර දැකිය හැකි ද?
සව් බලැති එතුමන්ගේ සම්පූර්ණත්වය දැක ගත හැකි ද?
8 එය අහසටත් වඩා උස ය;
ඔබට කළ හැකි කිසිවක් ඇද් ද?
එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය;
ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද?
9 එය මහ පොළොවට වඩා විශාල ය.
මුහුදට වඩා පළල ය.
10 එතුමාණන් අවුත් ඔබ හිරබාරයට ගෙන නඩු ආසනය වෙත ගෙන ගියොත්, එය වැළැක්විය හැකි කාට ද?
11 එතුමාණෝ හොර බොරු කරන අය මැනවින් දන්න සේක.
ඔවුන්ගේ නපුරු ක්‍රියා දුටු විට එතුමන්ට නොසලකා සිටිය හැකි ද?
12 මොළේ නැති කෙනෙකුට නැණවත් විය හැකි ද?
වල් බූරු පැටියෙකු හීලෑ කළ හැකි ද?
13 ඔබේ සිත හරි මඟ යවන්න;
දොහොත් මුදුන් දී දෙවිඳුන් වෙත හැරෙන්න.
14 ඔබ අත වරද තිබේ නම්, එය ඉවත ලන්න;
ඔබේ නිවෙසෙහි අයුක්තියට ඉඩ නොදෙන්න.
15 එවිට ඔබට නිදොස් ව, හිස ඔසවා සිටිය හැකි ය.
බිය සැක නැති ව සුරක්ෂිත ව විසිය හැකි ය.
16 ඔබේ දුක් ගැනවිලි, බැස ගිය ගංවතුරක් මෙන් ඔබට අමතක වනු ඇත.
17 ඔබේ ජීවිතය මද්දහනේ හිරුට වඩා දීප්තිමත් වනු ඇත.
ඔබේ ගන’ඳුර හිරු උදාවට හැරෙනු ඇත.
18 බලාපොරොත්තු ඇති බැවින් ඔබට ආත්ම විශ්වාසය ඇත;
ඔබ සිත් සතොසින් සුරක්ෂිත ව සැතපෙනු ඇත.
19 ඔබ කිසිවෙකුගෙන් බියක් නැති ව සුව සේ නිදනු ඇත.
බොහෝ දෙනෙකු ඔබෙන් කරුණාව සොයා එනු ඇත.
20 එහෙත්, දුදනන්ගේ ඇස් නොපෙනී යයි;
ගැළවීමේ මඟක් ඔවුන්ට නැත.
ඔවුන්ට ඇති එක ම පැතුම මරණය වේ.”
– 12 වන පරිච්ඡේදය –
ජෝබ්ගේ පිළිතුර
1 ඊට පිළිතුරු වශයෙන් ජෝබ් මෙසේ කී ය:
2 ”ඔබයි, පණ්ඩිතවරු!
ඔබ මියයන දා ප්‍රඥාවත් මිය යනු ඇත!
3 මටත් ඔබට මෙන් ම මොළේ නැද් ද?
මම ඔබට දෙ වැනි නොවෙමි.
ඔය කී දේවල් නොදන්නෝ කවුරු ද?
4 මම දෙවිඳුන් අයැද උත්තර ලත් මිනිසෙක්මි;
එහෙත්, මාගේ මිතුරන් හට දැන් මම විහිළුවක් වී සිටිමි.
අනේ!
දැහැමි, අවංක මිනිසා විහිළුවක් වන හැටි!
5 සැප ඇති අය අසරණයන් සුළු කර සිතති;
වැටෙන්න යන අයට පහර දී බිම හෙළති.
6 කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි;
දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති.
ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.
7 එහෙත්, පොළොවේ සතුන්ගෙන් අසන්න;
උන් ඔබට උගන්වනු ඇත.
අහසේ සියොතුන්ගෙන් අසන්න;
උන් ඔබට දන්වනු ඇත.
8 පොළොවේ බඩ ගා යන සතුන් ඔබට කරුණු පහදා දෙනු ඇත.
මුහුදේ මසුන් ඔබට තේරුම් කර දෙනු ඇත.
9 සමිඳුන්ගේ හස්තය මේ සියල්ල කළ බව තේරුම්ගන්නෝ ඔවුන්ගෙන් කවුරු ද?
10 දිවි ඇති සියලු සතුන්ගේ පණ නළ ද මුළු මිනිස් සංහතියේ ජීවිතය ද එතුමන් අතෙහි ඇත.
11 දිවෙන් කෑම රස බලන්නාක් මෙන් කනින් අසන වචන මනස විමසනවා නොවේ ද?
12 වයස්ගත අය හට ප්‍රඥාව ඇත.
වයස්ගත වීම සමඟ නැණ නුවණ උදා වේ.
13 දෙවිඳුන් වෙත ප්‍රඥාව හා බලය යන දෙක ම ඇත.
විනිශ්චය හා නුවණ එතුමන් අතෙහි ය.
14 එතුමාණන් කඩාදමන තැන පුනරුත්ථානයක් නැත.
එතුමාණන් සිරගත කරන මිනිසාට විමුක්තියක් නැත.
15 එතුමාණන් වැස්ස දුන් විට එය නැවතුවහොත් ඉඩෝරය පැමිණේ.
යළි වැස්ස දුන් විට රට යට කරන මහ ගංවතුරු ගලයි.
16 බලය හා දක්ෂකම එතුමන් වෙත ඇත.
රැවටෙන්නාත්, රවටන්නාත් දෙදෙනා ම එතුමන්ගේ බලය යටතේ ය.
17 එතුමාණෝ අනුශාසකයන් මන්ද බුද්ධිකයන් කරන සේක;
විනිශ්චයකාරයන් මෝඩයන් කරන සේක.
18 එතුමාණෝ රාජ බලය බිඳදමා, රජවරුන් දාසයන් කරන සේක;
19 එතුමාණෝ පූජකවරුන් බලයෙන් ඉවත් කරන සේක.
බලවතුන් පහළට හෙළන සේක;
20 එතුමාණෝ චතුර කථිකයන් නිහඬ කරන සේක;
මහලු අයගේ තැන්පත් බුද්ධිය ඉවත් කරවන සේක.
21 එතුමාණෝ රජ කුමරුන් අවමානයට ලක් කරන සේක;
වංශාධිපතීන්ගේ අභිමානය බිඳ හෙළන සේක.
22 කළුවර තැන්වලට ආලෝකය එවන සේක;
තිත්ත කළුවර ආලෝක කරන සේක,
23 එතුමාණෝ ජාතියක් උසස් කොට එය විනාශ කරන සේක;
ජනතාවක් වර්ධනය කොට ඔවුන් නසා ලන සේක.
24 එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක;
හසරක් නැති වැලි කතරෙහි ඔවුන් මුළා කරන සේක;
25 ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති;
වෙරි මතින් වැනි වැනි ගමන් කරන බේබද්දන් මෙන් යති.
– 13 වන පරිච්ඡේදය –
1 ”බලන්න, ඔබ කී සියල්ල මාගේ ඇසින් දැක, කනින් අසා තේරුම් ගතිමි.
2 ඔබ දන්න දේ මමත් දනිමි.
මාගේ දැනුම ඔබේ දැනුමට දෙ වැනි නොවේ.
3 එහෙත්, මාගේ කතාව සව් බලැති දෙවිඳුන් සමඟ ය.
එතුමන් සමඟ තර්ක කරන්නට සැරසී සිටිමි.
4 ඔබ වනාහි ඇත්ත සඟවා නැත්ත කියන අය වන්නහු ය.
ඔබ කවුරුත් කූට වෙද්දු ය.
5 ඔබ නිහඬ ව ඉන්නහු නම්, ඔබ පැණවත්හු යයි සලකනු ලබන්නහු ය.
6 කරුණාකර, මාගේ තර්කවලට සවන් දෙන්න.
මාගේ විවාදවලට කන් දෙන්න.
7 ඔබ ඇත්ත සඟවන්නේ දෙවිඳුන් වෙනුවෙන් ද?
ඔබ නැත්ත කියන්නේ එතුමන් උදෙසා ද?
8 ඔබ දෙවිඳුන්ට පක්ෂ ව වාද ඉදිරිපත් කරන්නහු ද?
උසාවියෙහි එතුමන්ගේ නඩුව තර්ක කරන්නහු ද?
9 එතුමන් ඔබ හොඳින් විමසා බැලුවොත් යහපත් දෙයක් සම්බ වනු ඇද් ද?
මිනිසුන් රවටන්නාක් මෙන් එතුමන් රවටන්නට ඔබට හැකි වේ ද?
10 ඔබ, නිකරුණේ මට වරද තබන්නහු නම්, එතුමන් නොවරදවා ම ඔබට දඬුවම් දෙන බව සත්තක ය.
11 එතුමන්ගේ ශ්‍රී මහිමය ඔබ බිය ගන්වන්නේ නැද් ද?
එතුමන්ගේ භයංකරකම ඔබ යටපත් කරන්නේ නැද් ද?
12 ඔබේ උපදේශ පරණ හණ මිටි වැනි ය.
ඔබේ තර්ක කඩා හැලෙන මැටි තාප්ප වැනි ය.
13 නිශ්ශබ්ද වන්න;
මට කතා කරන්න ඉඩ දෙන්න:
වන දෙයක් වුණා වේ.
14 මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි;
දිවි නසාගන්නට පවා සූදානම් ය.
15 එතුමාණන් මා මැරුවත් මට කමක් නැත.
මට බලාපොරොත්තුවක් නැත.
එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි.
16 මෙසේ මුහුණ පෑම ම මාගේ ගැළවීම විය හැක.
මන්ද යත්, අභක්තික කිසිවෙකු එතුමාණන්ට මුහුණ නොපාන බව මම දනිමි.
17 මට සවන් දෙන්න;
මාගේ මේ කතාව හොඳ හැටි අසන්න.
18 මෙන්න, මාගේ විත්තිය පිළියෙළ කොට ඇත,
මා නිදොස් වන බව සිකුරු ය.
19 නඩුවේ දී මා සමඟ තර්ක කරන සමතෙක් ඇද් ද?
එවැන්නෙක් ඇත්නම්, මම නිහඬ වී මරණයට යමි.
20 මේ කරුණු දෙක පමණක් ඉල්ලා සිටිමි.
එවිට මම ඔබ අබිමුවින් සැඟවී නොයමි.
21 ඔබේ හස්තය මා කෙරෙන් ඉවතට ගත මැනව.
ඔබේ භයංකරකමින් මා යටත් නොකළ මැනව.
22 ඉන්පසු ඔබ මට විරුද්ධ ව චෝදනා කළොත් මම උත්තර දෙමි.
නැතහොත් මම සිතාසිය නිකුත් කරමි;
ඔබ විත්තිය කියන්න.
23 අපරාධ හා පව් කීයක් ගැන මම වරදකරු වෙම් ද?
මාගේ වරද හා පාපය මට දැන්නුව මැනව.
24 ඔබ මාගෙන් මුහුණ සඟවාගෙන මා ඔබේ සතුරෙකු කොට ගණන් ගන්නේ මන් ද?
25 සුළඟේ ගසාගෙන යන පරඬලාපතකට ඔබ හිරිහැර කරන සේක් ද?
වියළි පිදුරු ගසක් පසුපස එළවාගෙන යන සේක් ද?
26 ඔබ මට විරුද්ධ ව දරුණු චෝදනා ගෙනෙන සේක:
මා තරුණ වියේ දී කළ අයුතුකම් පවා ඔබ දැන් මා පිට පවරන සේක.
27 මාගේ දෙපා දඬුකඳෙහි දමන සේක.
ඔබ මා යන යන තැන විමසන සේක.
මාගේ ගමනට සීමා තබන සේක.
28 ඒ නිසා මාගේ දිවිය දිරා ගිය ලීයක් මෙන් ද කාවුන් කෑ කබායක් මෙන් ද දුබල වී ඇත.
– 14 වන පරිච්ඡේදය –
1 ”මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත.
2 ඔහු මලක් මෙන් පිපී, පර වී යන්නේ ය.
නොපවතින සෙවණැල්ලක් මෙන් පහ ව යන්නේ ය.
3 එවැන්නෙකු දෙස ඔබ නෙත් යොමා බලන සේක් ද?
උසාවියෙහි ඔබ වෙත ඔහු කැඳවන සේක් ද?
4 අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න කාට හැකි ද?
කිසිවෙකුට බැරි ය!
5 මිනිසාගේ ආයු මිම්මක් ඇත.
ඔහුගේ අවුරුදු ඔබ අතේ ය.
ඔහුගේ කාල සීමා ඉක්මවා නොයන පරිදි ඒවා පිහිටුවා ඇත.
6 පැයවල් ගණන් බලමින් කුලීකරුවෙකු මෙන් සිටින ඔහුගෙන් ඔබේ ඇස් ඉවතට ගෙන ඔහුට විවේකය දුන මැනව.
7 ගසක් කපා දැමුවොත්, එය යළිත් ලියලා එහි රිකිලි හටගනු ඇතැ යි බලාපොරොත්තුවක් ඇත.
8 ඒ ගසේ මුල් බොහෝ කල් පොළොවේ දිරා ගියත් එහි කඳ බිම වියළී ගියත්,
9 වතුර උරා ගත්තොත් දලු ලා පැළෑටියක් මෙන් යළිත් අතු ලියලනු ඇත.
10 එහෙත්, මනුෂ්‍යයා මැරුණොත් මැරුණා ම යි.
ඔහු මියගිය විට යන්නේ කොතැනට ද?
11 වැවේ වතුර සිඳී යන්නේ ය;
ගඟ හිඳී වියළී යන්නේ ය;
12 එසේ ම, මිනිසා මියගිය කල යළි නොනැඟිටියි;
ඉර හඳ පහවන තුරු ඔහු නොපිබිදෙයි.
සිය නින්දෙන් නැඟිට නොඑයි.
13 අනේ!
ඔබ මා පාතාල ලෝකයේ වසා දමා ඔබේ උදහස පහවන තුරු මට රැකවරණය දී,
මට කාලාන්තරයක් නියම කොට මා සිහි කරන සේක් නම්,
මම කැමැත්තෙමි.
14 මියගිය පසු, මිනිසෙක් යළිත් ජීවත් වෙයි ද?
මම නම්, මාගේ නිදහස පැමිණෙන තෙක් ජීවිත සටනේ සියලු දවස්වල බලාපොරොත්තුවෙන් පසු වෙමි.
15 ඔබ හඬගසන සේක:
මම උත්තර දෙන්නෙමි;
ඔබ මැවූ මැවිල්ල ගැන ඔබ සතුටු වන සේක.
16 එහෙත් දැන් ඔබ මාගේ පියවර ගණන් කරන සේක;
මාගේ පව් ගණන් කර බලන සේක.
17 ඔබ මාගේ පව් මල්ලක දමා මුද්‍රා තබා ඇත.
මාගේ අපරාධ වසා සඟවා ඇත.
18 ”කන්දක් ගරා වැටී සුණු විසුණු වන්නාක් මෙන්, පර්වතයක් එය පිහිටි තැනින් පහ ව යන්නාක් මෙන්,
19 වතුරෙන් ගල් ගෙවී යන්නාක් මෙන්, ජලප්‍රවාහයෙන් පොළොව සේදී යන්නාක් මෙන් ඔබ මිනිසාගේ පැතුම් සුන් කරන සේක.
20 ඔබ අවසානය දක්වා ඔහු පරාජය කරන සේක.
ඔහු අතුරුදහන් වී යයි;
ඔහුගේ මුහුණේ රූප විලාශය වෙනස් කොට ඔබ ඔහු පහකරන සේක.
21 ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පැමිණෙන විට, එපවත් ඔහු නොදනියි.
ඔවුන් අවමානයට පැමිණෙන විට ද ඔහුට දැනුමක් නැත.
22 එහෙත්, ඔහුට දැනෙන්නේ ඔහුගේ සිරුරේ වේදනාව පමණකි.
ඔහු වැලපෙන්නේ තමා ගැන පමණකි.”
– 15 වන පරිච්ඡේදය –
එලිපස්ගේ දෙ වන කතාව
1 ඊට පිළිතුරු වශයෙන් තේමානීය එලිපස් මෙසේ කී ය:
2 ”සිහි නුවණ ඇති කිසිවෙක් සුළඟක් වැනි පුහු ප්‍රලාප දොඩයි ද?
වැදගැම්මකට නැති වචනවලින් සිය සිත් පුරවා ගනු ඇද් ද?
3 ඔහු නිෂ්ඵල වචන හා වැඩක් නැති කතාවලින් තර්ක කරනු ඇද් ද?
4 ඔබ දේව භක්තිය ඉවත ලා දෙවිඳුන් ඉදිරියෙහි භාවනා නවත්වා ඇත.
5 ඔබේ ම වචනවලින් ඔබ වරදකරු බව පෙනෙයි.
චාටු කතාවලින් ඔබ නිවැරැදි වන්න සොයයි.
6 ඔබ වරදට පත් කරන්නේ ඔබේ ම වචනය වේ;
මම නොවෙමි.
ඔබේ ම මුඛය ඔබට විරුද්ධ ව සාක්ෂි දරයි.
7 ”මෙලොව උපන් පළමු වන මිනිසා ඔබ යයි ඔබ සිතන්නෙහි ද?
ඔබ කඳු හෙල්වලට පෙර බිහි වුණෙහි ද?
8 දෙවිඳුන්ගේ රහස් මන්ත්‍රණවලට ඔබ සවන් දී ඇද් ද?
මිනිස් ප්‍රඥාව ඇත්තේ ඔබට පමණකැ යි සිතන්නෙහි ද?
9 අපට නොමැති දැනුමක් ඔබට ඇත්තේ ද?
අපට නැති තීක්ෂණ බුද්ධියක් ඔබ සතු ව ඇත්තේ ද?
10 ඔබේ පියාට වඩා වයෝවෘද්ධ, කෙස් පැසුණු පැරැන්නෝ අප අතර සිටිත්.
11 දෙවිඳාණන් ඔබ සවනතට මෘදු ලෙස කොඳුරා කියන අස්වැසිලි වදන් ඔබ අගේ නොකරන්නෙහි ද?
12 ඔබේ සිත දමනය කිරීමට ඔබ අසමත් ද?
ඔබේ දෙනෙත ගිනි පුපුරු මෙන් දිළිසෙන්නේ මන් ද?
13 දෙවිඳුන්ට විරුද්ධ ව නැඟී සිට මෙවැනි වචන ඔබ දොඩන්නේ මන් ද?
14 පවට නැමුණු මිනිසාට සුපිරිසිදු කෙනෙකු විය හැකි ද?
මව් කුසින් උපන් කවරෙකු කොතෙක් දැහැමි වනු ඇද් ද?
15 දෙවිඳාණෝ සැදැහැවතුන් වුව ද විශ්වාස නොකරන සේක;
සගලොව වුව ද එතුමන් ඉදිරියෙහි පිරිසිදු නැත.
16 එසේ නම්, දිය මෙන් අපරාධ බොන, පිළිකුල්, පවිටු මිනිසා ගැන කියනුම කවරේ ද?
17 ”මට සවන් දෙන්න.
මම කරුණු පහදා දෙමි.
අත්දැකීමෙන් ලත් මාගේ දැනුම විස්තර කරමි.
18 ප්‍රාඥයෝ සිය මුතුන්මිත්තන්ගෙන් අසා දැනගත් දෙය නොවළහා පවසති.
19 දේශය ඔවුන්ට ම හිමි ව තිබිණි;
පිටරැටියෝ ඔවුන් අතර නොවූ හ.
20 දුෂ්ටයා ජීවිතයේ සියලු දවස්වල ද සාහසිකයා දිවි ඇති තාක් ද දුක් වේදනාවෙන් පෙළෙනු ඇත.
21 බියකරු හඬ ඔහුගේ සවනත රැව් දෙයි.
සුව සේ සිටින විට පවා සොර සතුරෝ ඔහුට පහර දෙති.
22 අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත.
කඩු පහර තමාගේ ඉරණම බව ඔහුට සහතික ය.
23 ගිජු ලිහිණියන්ට ගොදුරු වීම ඔහුට නියම වී ඇත.
තමාගේ විනාශය ළඟ බව ඔහුට සහතික ය.
24 අඳුරු දවස ඔහු බිය ගන්වයි.
සටනට සැරසුණු බලවත් නිරිඳෙකු මෙන් විපත්තිය හා වේදනාව ඔහුට පහර දෙයි.
25 මන්ද, ඔහු දෙවිඳුන්ට විරුද්ධ ව අත අමෝරා ගත්තේ ය;
සව් බලැති දෙවිඳුන්ට එරෙහි ව අභියෝග කෙළේ ය.
26 සිය දැවැන්ත පලිහ ඔසවාගෙන හිතුවක්කාරකමින් එතුමන්ට විරුද්ධ ව දිව ගියේ ය.
27 ඔහුට තරබාරුකමින් පිපුණ මුහුණක් ද තරකමින් නෙරා ගිය තුනටියක් ද ඇත.
28 ඔහු නටබුන් නගර හිමි කරගත්තේ ය;
ගරා වැටුණු ගෙවල වාසය කෙළේ ය;
ඒවා ගල් ගොඩවල් බවට පත් වන්නේ ය.
29 එහෙත්, ඔහු සමෘද්ධ නොවන්නේ ය;
ඔහුගේ වස්තුව නොපවතින්නේ ය, මෙලොව ඔහුට ස්ථිර ජීවිතයක් නැත.
30 ඔහු දුක ‘ඳුරෙන් එළියට එන්නේ නැත.
ඔහු ගිනි දලුවෙන් වියළී ගිය අතු ඇති,
මල් සුළඟට ගසාගෙන ගිය ගසක් මෙන් වනු ඇත.
31 දුෂ්ටකමෙහි විශ්වාසය තැබීමෙන් ඔහු තමා ම රවටා ගනියි.
මෙසේ දුෂ්ටකම ඔහුගේ දුර්විපාකය වනු ඇත.
32 ඔහු, අකලට වියළී යන අතු ඇති, කිසි දා අතු විහිදී නොයන තාල වර්ග ගසක් මෙන් වනු ඇත.
33 ඔහු, පැසෙන්නට පෙර ගෙඩි වැටී යන මිදි වැලක් ද මල් පර වී වැටෙන ඔලීව ගසක් ද වැනි ය.
34 මන්ද, අභක්තිකයන්ට දරු පරපුරක් නොලැබෙනු ඇත.
අල්ලෙසන් පොහොසත් වූ ඔවුන්ගේ ගේදොර ගින්නෙන් දැවී යනු ඇත.
35 අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහි කරන අය මොවුහු ය.
මොවුන්ගේ සිත් වංචාවෙන් පිරී ඇත.”
– 16 වන පරිච්ඡේදය –
ජෝබ්ගේ පිළිතුර
1 ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ”මීට පෙරත් මෙවැනි බොහෝ දේ මා අසා ඇත;
ඔබ දෙන සහනය මට අසහනයක් පමණි.
3 සුළං හමන්නාක් මෙන් වදින මේ වචන රැල්ලෙහි කෙළවරක් නැද් ද?
මෙබඳු පිළිතුරු දීමට කුමක් ඔබ පොළඹවන්නේ ද?
4 මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය;
ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.
5 එහෙත්, මම එසේ නොකරමි;
මම දිරිය වඩන වචන ම කියමි;
එවිට මාගේ අස්වැසිල්ල දිය පාරක් මෙන් ගලා යනු ඇත.
6 මා කතා කළත් මාගේ දුක තුනී වන්නේ නැත.
මා නිහඬ ව සිටියත් මට ඇති සහනය කුමක් ද?
7 සැබැවින් ම දෙවිඳුනි, ඔබ මා දුබල කොට ඇත;
ඔබ මාගේ දූ පුතුන් මැරෙන්නට සලස්වා ඇත;
8 ඔබ මා කය පොඩි කර ඇත;
මම ඇටකටු ගොඩක් පමණි.
එය මා වැරදිකරු බවට සාක්ෂි දෙයි.
9 එතුමාණන් කෝපයෙන් මා කැබලි කොට, ඉරා දමනු ඇත.
එතුමාණන් දත්මිටි කා, තියුණු ලෙස මා දෙස රවා බලනු ඇත.
10 මාගේ සතුරෝ මට විරුද්ධ ව නින්දා කොට මට කම්මුල් පහර දුන්හ.
ඔව්හු මට එරෙහි ව රැස් වී සිටියහ.
11 දෙවිඳුන් මා අභක්තිකයන් අතට පාවා දී ඇත;
දුදනන් වෙත මා පලවා හැර ඇත.
12 එතුමාණන් මා මැඩ ලන තුරු මම යෙහෙන් කල් යැවීමි.
එතුමාණෝ මාගේ ගෙල අල්ලා, මා බිම ගසා සුණු විසුණු කළ සේක.
එතුමාණන්ගේ දුනුවායෝ මා වට කරගත්හ.
එතුමාණෝ මා ඉලක්කයක් කරගත්හ.
13 එතුමාණන්ගේ ඊතල හැම දෙසින් ම පිට පතිත වේ;
එතුමාණෝ කරුණා විරහිත ව මාගේ වකුගඩු පළාදමන සේක;
පිත බිම වගුරුවන සේක;
14 පහර පිට පහර දී මාගේ ආරක්ෂා පවුර බිඳ දමන සේක.
නිර්භීත සෙබළෙකු මෙන් එතුමාණෝ මට විරුද්ධ ව දුව එන සේක.
15 මම ගෝණි රෙදි මසා, මාගේ හම වසාගෙන, දුකින් දුබල ව දූවිල්ලෙහි හිඳගතිමි.
16 හැඬීමෙන් මාගේ මුහුණ රතු වී ඇත;
මාගේ ඇස් වටා කළු වී ඇත.
17 මා සැහැසිකමින් තොර ව සිටියදීත් මාගේ යාච්ඤා අවංක ව තිබියදීත් මේ දේ මට සිදු වී ඇත.
18 එම්බා මිහිකත!
මට කර ඇති අපරාධ පස් යට නොසඟවන්න.
මාගේ අඳෝනාව අවසන් නො වේ වා!
19 මා වෙනුවෙන් සාක්ෂිකරුවෙක් සගලොව ඇත.
මට පක්ෂ ව කතා කරන කෙනෙක් උසස් ස්ථානයෙහි වසයි.
20 මාගේ ආයාචනය දෙවිඳුන් වෙත නඟියි.
මාගේ දෙනෙතෙහි කඳුළු එතුමන් දෙස ගලා යයි.
21 මිනිසා දෙවිඳුන් සමඟ ද මිනිසා මිනිසා සමඟ ද ඉටු කළ යුතු යුක්තිය එතුමාණෝ ආරක්ෂා කරන සේක් වා!
22 ආපසු ඊමක් නැති අවසන් ගමනෙහි මම යමි.
මට ඉතිරි ව ඇත්තේ තව අවුරුදු ස්වල්පයකි.
– 17 වන පරිච්ඡේදය –
1 ”මට හුස්ම ගන්න පවා බැරි ය;
මාගේ අවසානය හොඳට ම ළඟ ය.
දැන් මට ඉතිරි ව ඇත්තේ සොහොන පමණ ය.
2 කොයි අතට හැරුණත්, මිනිස්සු මට සරදම් කරති.
ඔවුන්ගේ ඇණුම්බැණුම්වලට මට මූණ පාන්නට වී ඇත.
3 ”ඔබ ඉදිරියෙහි ඔබ ම මාගේ ඇපකරු වුව මැනව.
මා වෙනුවට ඇප දීමට වෙන කිසිවෙක් ඇද් ද?
4 තේරුම් නොගන්න පිණිස චින්තන බුද්ධිය ඔබ අඳුරු කර ඇත.
මා පරදා ජය ගැන්මට ඔබ ඔවුන්ට ඉඩ නුදුන මැනව.
5 සිය වාසිය පිණිස මිතුරන් පාවා දෙන මිනිසාගේ දරුවන් දුක් විඳිනු ඇත.
6 සමිඳුන් මිනිසුන් අතර මා නින්දා පාඨයක් කර ඇත.
ඔව්හු මාගේ මුහුණට කෙළ ගසති.
7 මාගේ ඇස් සෝදුකින් අඳුරු වී ඇත.
මාගේ අවයව සියල්ල සෙවණැල්ලක් වැනි ය.
8 දැහැමි අය මා දැක මවිත වෙති.
සුදනෝ මාගේ විපත දැක කෝප වෙති.
9 දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි;
සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි.
10 එහෙත්, ඔබ සියලු දෙන ම මා වෙත යළි පැමිණියත්, ඔබ අතර පැණවතෙක් මට හමු වනු ඇද් ද?
11 මාගේ දවස් ගෙවී ගොස් ඇත;
මාගේ පැතුම් බිඳී ගොස් ඇත;
මාගේ අරමුණු ව්‍යර්ථ වී ඇත.
12 එහෙත්, මාගේ මිතුරෝ මාගේ රැය දවාලට හරවති;
ආලෝකය ළඟ යයි කියති;
එහෙත්, මා අවට තවමත් අඳුර ය.
13 මාගේ බලාපොරොත්තුව මළවුන්ගේ ලොව ගැන පමණ ය.
අන්ධකාරයෙහි මම සැතපෙන්නෙමි.
14 මිනීවළට මම, ‘පියා ය’යි කියමි;
පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි.
15 එසේ නම්, මාගේ පැතුම කොතැන ද?
‘ප්‍රීතියක් ඇතැ’යි කා හට වත් පෙනේ ද?
16 දූවිල්ලට හැරෙන විට, මළවුන්ගේ ලොවට බැස යන විට පැතුම හා ප්‍රීතිය මට ගෙන යා නොහැකි ද?”
– 18 වන පරිච්ඡේදය –
බිල්දද්ගේ දෙ වන කතාව
1 එවිට ෂුහිය බිල්දද් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ”ඔබේ කතාවට ඉවරයක් නැද් ද?
ටිකක් කල්පනා කරන්න;
ඉන්පසු ව කතාවට බසිමු.
3 අප ගොන් රැළකැ යි ඔබ සිතන්නෙහි ද?
තිරිසන් ගණයට අප දමන්නේ මන් ද?
4 ඔබ කෝපයෙන් ඔබ ම කැබලිවලට ඉරාගන්නේ මන් ද?
ඉරාගත්තත් පොළෝ තලය පාළුකරයක් නොවනු ඇත.
ගිරිකුළු නොසෙල්වෙනු ඇත.
5 එසේ ය, දුදනාගේ පහන නිවී යයි;
ඔහුගේ පහන් දැල්ල තවත් නොබැබළෙයි.
6 ඔහුගේ කූඩාරමෙහි පහන අඳුරු වෙයි.
ඔහුට ඉහළින් ඇති පහන නිවී යයි.
7 ස්ථිර ව තිබූ ඔහුගේ පාද දැන් වැනෙන සුලු ය.
තමාගේ ම කූට උපාවලින් ඔහු වැටෙයි.
8 ඔහු වහා දුව ගොස් දැලකට අසු වෙයි;
ඔහු මලපත් මත ඇවිදියි.
9 ඔහුගේ විලුඹ උගුලක අසු වෙයි.
උගුල ගැස්සී ඔහු තදින් පැටලෙයි.
10 පොළොවෙහි ඔහුට මරුවැලක් ද ඔහු යන පාරෙහි බොරු වළක් ද ඇත.
11 භීතිය සැම’ තින් ඔහු බිය ගන්වයි;
ඔහුගේ පාද ළඟින් ම එය ඔහු ලුහුබැඳ එයි.
12 සාගින්නෙන් ඔහුගේ වෙර වීරිය හීන වෙයි;
වැටි වැටී යන ඔහුට විපත සමීප ව ඇත.
13 දරුණු රෝගයක් ඔහුගේ හමට කා වැදී ඇත;
ඒ මාරක රෝගය ඔහුගේ අවයව කාදමයි.
14 ඔහුගේ නිවාසයේ සුරැකුම් බවින් ඔහු පැහැර ගනු හැක,
මරු මුවට ඔහු ඇදගෙන යනු ඇත.
15 ගෙන්දගම් දුම් අල්ලා පිරිසිදු කළ පසු ඔහුගේ නිවාසයේ අන් කෙනෙකු වසනු ඇත.
16 ඔහු වනාහි, යටින් මුල් වියළී ගිය, උඩින් අතු කපාදමනු ලැබූ ගසක් වැනි ය.
17 මිහි මත කිසි රටක ඔහු සිහිපත් නොවනු ඇත.
සිය රටෙහි පවා ඔහුගේ නම නොකියවෙනු ඇත.
18 එළියෙන් අඳුරට ඔහු නෙරපාදමනු ලැබේ.
ජීවතුන්ගේ ලෝකයෙන් ඔහු පලවා හරිනු ලැබේ.
19 ඔහුගේ සෙනඟ අතර ඔහුට දරු මුණුබුරෝ නැත;
ඔහුගෙන් පැවත එන කිසිවෙක් ඔහුගේ නිවෙසෙහි ඉතිරි ව නැත.
20 අපරදිග දනෝ ඔහුගේ විනාශය ගැන අසා බියෙන් තිගැස්සෙති;
පෙරදිග දනෝ භීතියෙන් වෙවුලති.
21 අදමිටු අයගේ ඉරණම එය වේ;
දෙවිඳුන් නොසලකන අයගේ ඉරණම ද එය වේ.”
– 19 වන පරිච්ඡේදය –
ජෝබ්ගේ පිළිතුර
1 ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ”ඔබ කොපමණ කල් මා වෙහෙස කොට වාග් ප්‍රහාරයෙන් මා සුණු විසුණු කරන්නහු ද?
3 දිගින් දිගට ම ඔබ මට අපහාස කළහු ය;
විළි බිය නැති ව මට අයුක්තිය කළහු ය.
4 මම ඇත්තට ම වරදක් කෙළෙම් නම්, එහි පල විපාක මට මිස ඔබට නොවේ.
5 එහෙත් ඔබ, මහේශාක්‍ය ගතියක් පෙන්වමින් මා වෙත එල්ල කළ නින්දාපහාස යුක්ති සහගත යයි කියන්නහු නම්,
6 මම එකක් කියමි:
මා වරදට පත් කෙළේ, දෙවිඳුන් බවත්, දැලක් දමා මා වටකර ඇත්තේ, එතුමන් බවත් දැනගන්න.
7 මෙන්න, මට දෙන දැඩි පහර ගැන මා මොරගසන නමුත්, උත්තර දෙන කෙනෙක් නැත.
පිහිට ඉල්ලා කෑ ගසන නමුත්, යුක්තිය ඉටු කරන කෙනෙක් නැත.
8 මා පිටත නොඑන ලෙස එතුමන් මා අවට වැට කොටු බැඳ, පාර අහුරා, මාගේ මාවත අඳුරු පටලයකින් වසා ඇත.
9 එතුමන් මාගේ යසඉසුරු පැහැරගෙන මාගේ හිසෙන් කිරුළ පහකර ඇත.
10 මා නැති වන ලෙස එතුමන් හතර වටින් මට පහර දී, උදුරා දමන ලද ගසක් මෙන් මාගේ බලාපොරොත්තුව බිඳ දමා ඇත.
11 එතුමන් සිය කෝපාග්නිය දල්වා මා සතුරෙකු ලෙස ගණන් ගනු ඇත.
12 මට පහර දීමට සිය යුද හමුදා එවා ඇත.
ඔවුන් මාගේ කූඩාරම වටලාගෙන ඇත.
13 එතුමන් මාගේ සහෝදරයන් මා වෙතින් ඈත් කර ඇත.
මාගේ මිතුරෝ මට අමුත්තන් වී සිටිති.
14 මාගේ ඥාතීහු අහක් ව ගියහ.
මාගේ කලණ මිතුරෝ මා අමතක කළහ.
15 අමුත්තෝ හා මාගේ සේවිකාවෝ මා පිට කෙනෙකු ලෙස ගණන් ගනිති.
මා ඔවුන්ට විදේශිකයෙකු වී ඇත.
16 සේවකයාට මා හඬගැසුවත්, ඔහු මට උත්තර නොදෙයි;
ඔහුට ආයාචනා කිරීමට මට සිදු වී ඇත.
17 මාගේ බිරිඳට මාගේ හුස්ම පවා දරන්නට බැරි ය;
එක කුසේ උපන් අයටත් මම පිළිකුලක් වී සිටිමි.
18 බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති;
මා නැඟිටින්නට හදන විට පිටුපස හරවා යති.
19 මාගේ සියලු හිත මිතුරෝ මා තදින් පිළිකුල් කරති;
මා පෙම්වත් අය මට එරෙහි ව නැඟී සිටිති.
20 මාගේ ඇටකටු හමට ඇලී ඇත;
මම මාගේ යටි තොල විකාගෙන සිටිමි.
21 මාගේ මිතුරෙනි, අනේ! මට අනුකම්පා කරන්න;
මට අනුකම්පා කරන්න.
දෙවිඳාණෝ මට පහර දුන් සේක.
22 දෙවිඳුන් මෙන් ඔබත් මා ලුහුබැඳ එන්නේ මන් ද?
මාගේ කයට සිදු වී ඇති විපත ගැන ඔබ සෑහීමට පත් වී නැද් ද?
23 ”අනේ!
මාගේ වචන ලියා තැබුවොත් කොපමණ හොඳ ද?
ඒවා ග්‍රන්ථාරූඪ කරන්නට ඇත්නම්!
24 යකඩ පන්හිඳකින් ගලේ කොටා, ඊයම් යොදා, සදහට ම තබන්නට ඇත්නම්,
කොපමණ හොඳ ද?
මට එක දෙයක් සහතික ය:
25 එනම්, මාගේ මිදුම්කාරයාණන් ජීවත් ව සිටින බව ද අන්තිමේ දී, මා වෙනුවෙන් කතා කරන බව ද මම දනිමි.
26 කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි.
27 මම ම එතුමාණන් දකිමි;
අන්‍යයෙකු නොව මම, මාගේ දෙනෙතින් ම එතුමාණන් දකිමි.
28 මේ ගැටළුවේ මුල මා බැවින්, අප ඔහුට පහර දෙන්නේ කෙසේ දැ යි ඔබ කියන්නහු නම්,
29 කඩුපතට බිය වන්න;
මන්ද, කඩුපත කෝපයේ ප්‍රතිඵලයකි.
එවිට විනිශ්චයයක් ඇති බව ඔබ දැනගන්නහු ය.”
– 20 වන පරිච්ඡේදය –
ශෝපර්ගේ දෙ වන කතාව
1 ඊට පිළිතුරු වශයෙන් නයමාතීය ශෝපර් මෙසේ කී ය:
2 ”ඇවිස්සුණු මාගේ චිත්තය ඔබට පිළිතුරු දීමට නොඉවසිල්ලෙන් බලා සිටියි.
3 ඔබ ඉදිරිපත් කළ චෝදනා මට අපහාසයකි.
එහෙත්, මාගේ බුද්ධිය ඉක්මවා යන ආත්මානුභාවය ඊට පිළිතුරු සපයනු ඇත.
4 කාලයාගේ උපත සිදු වූ දා සිට, මිනිසා මිහි පිට පහළ වූ දා පටන්,
5 දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
6 ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්,
7 කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි.
ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති.
8 ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි;
රෑ යාමේ දර්ශනයක් මෙන් පහ ව යයි.
9 ඔහු දැක ඇති අය තවත් ඔහු නොදකිති.
ඔහුගේ ඉඩමෙහි තවත් ඔහු දක්නට නොලැබේ.
10 ඔහුගේ දරුවෝ දිළිඳුන්ගෙන් කරුණාව සොයන්නෝ ය.
ඔහු පැහැර ගත් සම්පත් ඔහුගේ අතින් ම ආපසු දෙනු ඇත.
11 යොවුන් වියේ ශක්තියෙන් පිරුණු ඔහුගේ සිරුර, දැන් ඔහු සමඟ දූවිල්ලට හැරෙනු ඇත.
12 දුෂ්ටකම ඔහුගේ කටට මිහිරි ව දැනෙතත්, ඔහු එය සිය දිව යට සඟවාගනියි.
13 ඉවතට යන්න නොදී හෙමිහිට එය රස බැලුවත්, උඩුතල්ලේ තබා ගනිතත්,
14 පසු ව ඒ ආහාර සර්ප විෂට හැරී බඩ දැඟලීම ඇති කරයි.
15 තමා ගිලගත් ධන සම්පත් ඔහු වමාරන්නේ ය;
දෙවිඳාණෝ ඒවා ඔහුගේ උදරයෙන් පිට කරන සේක.
16 ඔහු සපුන්ගේ විස උරා බොන්නේ ය;
පොළඟාගේ දළයෙන් ඔහු මැරුම් කන්නේ ය.
17 ඔහු, ගිතෙල් ගලන ඔයවල් ද කිරි පැණි ගලා යන ගංගා ද නොදකින්නේ ය.
18 ඔහු වැර වීරියෙන් ලබාගත් දේ භුක්ති නොවිඳ ඒවා ආපසු දෙන්නේ ය.
ඔහු තම වැඩ කටයුතුවලින් ලබා ගත් ප්‍රතිඵලවල රස නොවිඳින්නේ ය.
19 මන්ද, ඔහු දිළිඳුන් තළා පෙළා අත්හැරදැම්මේ ය;
අනුන් තැනූ ගේදොර බලහත්කාරයෙන් ගත්තේ ය.
20 ඔහුගේ මසුරුකමට සීමාවක් නැති බැවින්, සිය වස්තුවෙන් සෙතක් ඔහු ලබා නොගනියි.
21 ඔහුගේ තණ්හාවට ගොදුරු නොවූ දෙයක් තවත් ඇද් ද?
ඔහුගේ සැප සම්පත චිරස්ථායික නොවේ.
22 විපුල සමෘද්ධත්වයෙන් සිටියත් ඔහුට අගහිඟකම් ඇත;
දුඃඛිතයන්ට පැමිණෙන හැම දුක ම ඔහු කරාත් පැමිණෙන්නේ ය.
23 ඔහු බඩ පුරා කෑම කෑවත්, දෙවිඳාණෝ බලවත් උදහසින් හා සිය කෝපයෙන් ඔහුට දඬුවම් දෙන සේක.
24 ඔහු යකඩ අවියෙන් පහර ලැබ, ගැළවෙන්නට වෑයම් කරන විට ලෝකඩ දුන්නෙන් බිම හෙළනු ලබන්නේ ය.
25 ඊතලය ඔහුගේ සිරුර පසා කර, එහි දිළිසෙන තුඩ ඔහුගේ පිත්තාශයෙන් පිට කරන්නේ ය.
භීතිය ඔහුගේ හදවත විනිවිද යයි.
26 ඔහු රැස් කර තිබූ සම්පත් සියල්ල නාස්ති වී යයි.
මිනිසා නොදැල්වූ ගින්නක් ඔහු ද ඔහුගේ නිවෙසෙහි වසන අනික් අය ද දවාදමයි.
27 අහස් තලය ඔහුගේ පාප දෝස අනාවරණය කරයි;
මිහි තලය ඔහු වරදට පත් කරයි.
28 ඔහුගේ ගෙදර ධන සම්පත් ගංවතුරේ ගසාගෙන යයි;
දේව උදහසේ දවසේ දී ඒවා නැති වී යයි.
29 දුදනා හට දෙවිඳුන්ගේ නියමය එය වේ.
එතුමාණන්ගෙන් ඔහුට නියමිත ප්‍රතිවිපාකය එය වේ.”
– 21 වන පරිච්ඡේදය –
ජෝබ්ගේ පිළිතුර
1 එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ”මාගේ මේ කතාව සාවධාන ව අසන්න.
ඔබ මට දෙන සැනසිල්ල එය වේ.
3 මට වචනයක් කීමට ඉඩ දෙන්න.
කැමැති නම්, ඉන්පසු අපහාස කරන්න.
4 මාගේ පැමිණිල්ල මනුෂ්‍යයාට විරුද්ධ ව යයි ඔබ සිතන්නහු ද?
මාගේ අසහනයට වෙන හේතුවක් තිබෙන්නට බැරි ද?
5 මට සවන් දෙන්න;
එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය.
6 මේ ගැන මෙනෙහි කරන විට පවා මම අන්දුන්කුන්දුන් වෙමි.
මාගේ ඇඟ ගැහෙන්නට පටන්ගනියි.
7 දුෂ්ටයන් දිගින් දිගට ජීවත් වී, දිගායු වළඳා, බලවත් වන්නේ කෙසේ ද?
8 ඔවුන්ට දරු මුණුබුරෝ ඇති වන්නෝ ය.
ඔවුන් වැඩෙනු දකින්නට ඔව්හු ද ජීවත් වන්නෝ ය.
9 ඔවුන්ගේ නිවාස බියෙන් තොර ව සුරක්ෂිත ව ඇත;
දෙවිඳුන්ගේ දඬුවම ඔවුන් පිට නැත.
10 ඔවුන්ගේ ගවයෝ නොවරදවා පැටව් ගසති;
ඔවුන්ගේ එළදෙනුන්ට ගබ්සා වීමක් නැත.
11 ඔව්හු තමන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති.
ඔවුන්ගේ දරුවෝ නටන්නෝ ය.
12 ඔව්හු රබාන ද වීණාව ද වයමින් ගී ගයති;
නළා හඬ අසා ප්‍රීති වෙති.
13 ඔව්හු සැපතින් දවස් යවති;
දුක් නොවිඳ, සාමදානයෙන් පාතාල ලෝකයට යති.
14 ඔව්හු දෙවිඳුන්ට මෙසේ කියති:
‘අප වෙතින් යනු මැනව;
ඔබේ දහම් මඟ ඉගෙනීමට අපට ආශාවක් නැත.
15 සව් බලැති දෙවිඳුන්ට වැඳ නමස්කාර කිරීමට එතුමාණෝ කවරෙක් ද?
එතුමන්ට අයැදුම් කිරීමෙන් කුමන වැඩක් සිදු වේ ද?’
16 ඔවුන්ගේ ම සවි ශක්තියෙන් ඔව්හු සමෘද්ධිමත් නොවන්නෝ ද?
එහෙත්, එයාකාර සිතුවිල්ලක් මට පිළිගත නොහැකි ය.
17 කොපමණ වරක් දුදනන්ගේ පහන නිවී ගියේ ද?
කොපමණ වරක් ඔවුන් පිට විපත පැමිණියේ ද?
කොපමණ වරක් දෙවිඳාණෝ සිය උදහසින් ඔවුන් වෙත දුක් දොම්නස් එවූ සේක් ද?
18 කොපමණ වරක් සුළඟේ ගසාගෙන යන පිදුරු හා බොල් මෙන් ඔව්හු පහ ව ගියෝ ද?
19 ‘දෙවිඳුන් ඔවුන්ගේ අපරාධ ඔවුන්ගේ දරුවන් පිට පමුණුවනු ඇතැ’යි ඔබ කියන්නහු ය.
එය එසේ නොවේ;
තම පව් තමන්ට ම දුක් දෙන බව ඔවුන් දැනගන්න පිණිස,
එතුමාණෝ ඔවුන් පිට ම විපත් පමුණුවන සේක.
20 ඔවුන්ගේ විනාශය ඔව්හු ම සිය දෑසින් දකිත් වා! සව් බලැති දෙවිඳුන්ගේ උදහස ඔව්හු ම පානය කරත් වා!
21 ඔවුන්ගේ ආයු ගෙවී ගිය කල්හි, ඔවුන්ගේ දරු මුණුබුරන්ගේ සැපත ගැන ඔව්හු ම සලකත් ද?
22 සගලොව වසන අය පවා විනිශ්චය කරන දෙවිඳුන් හට උපදෙස් දීමට කවර නම් මිනිසෙකුට හැකි වේ ද?
23 එහෙත්, එක් අයෙක් සව් සැපතින් පිරී, සුවයෙන් යෙහෙන් ජීවත් ව සිට මිය යයි.
24 ඇඟ පත ආහාරයෙන් පුෂ්ටිමත් ව තිබිණි;
ඇට මිදුළු තෙත් ව තිබිණි.
25 වෙන අයෙක් කිසිදු සැපතක් නොවිඳ, සෝදුකින් යුතු ව මිය යයි.
26 එහෙත්, ඒ දෙදෙනා ම එක සේ දූවිල්ලෙහි වැද හෙව සිටිති.
පණුවෝ එක සේ ඔවුන් වසා ගනිති.
27 මට එරෙහි ව ඇති ඔබේ කල්පනා ද ඔබ ගෙනෙන යෝජනා ද මම දනිමි.
28 ප්‍රභූවරයාගේ මන්දිරය කොතැන්හි ද?
දුෂ්ටයා විසූ නිවෙස කොහේ ද කියා ඔබ ප්‍රශ්න කරන්නහු ද?
29 සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද?
ඔවුන් ගෙනෙන සාක්ෂි ඔබ පිළිගන්නේ නැද් ද?
30 විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද?
දෙවිඳුන් කෝප වන දවසේ දී දුදනා හැම විට ම ගැළවෙනු නොවේ ද?
31 ඔහුගේ වරද ඔහුගේ මුහුණට ම කියන කිසිවෙක් නැත.
ඔහු කළ නපුරු දේ ගැන ඔහුට විපාක දෙන කිසිවෙක් නැත.
32 ඔහු සොහොන් බිම වෙත ගෙන ගිය විට සොහොන මුර කරනු ලැබේ.
33 ඔහු පෙරටුවෙන් හා පිටුපසින් ඔහුගේ අවමඟුල් පෙරහැරේ දහස් ගණන් සෙනඟ ගමන් කරති.
පොළොවේ පස පවා ඔහු පිට මෘදු ලෙස වැටෙයි.
34 එසේ නම්, ඔබ මට දෙන සැනසිල්ලෙන් වැඩක් නැත.
ඔබේ පිළිතුරුවල ඇත්තක් නැත.”
– 22 වන පරිච්ඡේදය –
එලිපස්ගේ තුන් වන කතාව
1 ඉන්පසු එලිපස් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ”මිනිසාගෙන් දෙවි තුමන් හට කුමන ප්‍රයෝජනයක් ඇද් ද?
පැණවතෙකුගෙන් වුවත් කවර ප්‍රයෝජනයක් ඇද් ද?
3 ඔබ දැහැමි ව සිටියත්, සව් බලැති දෙවිඳුන්ට එය සතුටක් වේ ද?
ඔබ නිදොස් ව හැසුරුණත් ඉන් එතුමන්ට ලාභයක් ඇද් ද?
4 එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය.
5 එසේ වන්නේ, ඔබ ඉතා නපුරු මිනිසෙකු බැවිනි.
ඔබේ දුෂ්ටකම නිම් හිම් නැති බැවිනි.
6 ඔබ අසාධාරණ ලෙස සොහොයුරන්ගෙන් උකස් ගත්තෙහි ය;
ඇඳුම් නැති අයගෙන් රෙදිපිළි උදුරා ගත්තෙහි ය.
7 පිපාසයෙන් පෙළුණු අයට ඔබ වතුර දුන්නේ නැත;
බඩගිනි අයට කෑම දුන්නේ නැත.
8 මුළු දේශය අයිති කරගන්නට නිල බලය හා සමාජ තත්ත්වය ඔබ පාවිච්චි කෙළෙහි ය.
9 ඔබ කණවැන්දුමියන් හිස් අතින් යන්නට හැරියෙහි ය.
අනාථ දරුවන් හට කුරිරුකම් කෙළෙහි ය.
10 ඉතින්, ඔබ වටකර මලපත් ඇත.
හදිසි භීතිය ඔබ කළඹන්නේ ය.
11 ඔබේ දෑස නොපෙනෙන ලෙස එළිය අඳුරට හැරෙයි.
ජලධාරා ගලා විත් ඔබ වසාගන්නේ ය.
12 සැබැවින් ම, දෙවි තුමන් සගයේ ඉහළ ම තැන වැඩ වසන්නේ නැද් ද?
බබළන තරු කොතරම් දුර දැ යි බලන්න.
13 එහෙත් ඔබ, මෙසේ කියන්නෙහි ය:
‘දෙවිඳාණෝ කුමක් දන්න සේක් ද?
විනිශ්චයක් කිරීමට ගන’ඳුර බිඳ බලනු ඇද් ද?’
14 මිහිතල නිම් වළල්ල මත ඔබමොබ සැරිසරන විට,
ඝන වලාකුළු නිසා එතුමාණන්ට දෑස විදහා බැලිය හැකි ද?
15 දුෂ්ටයන් කවර දාත් ගමන් කළ ඒ පැරණි මාවතෙහි ඇවිදින්නට ඔබත් තීරණය කරගත්තෙහි ද?
16 ඔවුන් නියම කාලයට කලින් ඉදිරී වැටෙනු ඇත.
ඔවුන්ගේ අත්තිවාරම් ද මහ ගංවතුරකින් මෙන් ගහගෙන යනු ඇත.
17 එසේ වන්නේ, ‘අපට ඉන්න ඉඩ දී අහක් ව ගිය මැනව.
සව් බලැති දෙවිඳුන් විසින් අපට කරනු ලැබිය හැකි කිසිවක් ඇද්දැ’යි ඔවුන් දෙවිඳුන්ට කී නිසා ය.
18 ඔවුන්ගේ අදහස් එතුමන්ට විරෝධී ව තිබියදීත්, ඔවුන්ගේ ගෙවල් සැප සම්පතින් සමෘද්ධ කෙළේ එතුමාණෝ ය.
19 දැහැමියෝ ඒ දැක සන්තෝෂ වෙති;
නිදොස් අය ඔවුන්ට අපහාස කොට සරදමින් මෙසේ කියති:
20 ‘අපට විරුද්ධ ව නැඟී ආ අය සැබැවින් ම සිඳිනු ලැබූ හ.
ඔවුන්ගේ ඉතිරි වස්තුව ගින්නෙන් දැවී ගියේ ය.’
21 ජෝබ් තුමෙනි, එතුමාණන් සමඟ සමඟි වන්න.
එයින් ඔබට ආසිරි ලැබෙනු ඇත.
22 එතුමාණන්ගේ මුවින් ඔවදන් ගෙන, එතුමන් වදන් ඔබේ සිතෙහි නිදන් කරගන්න.
23 ඔබ සව් බලැති දෙවිඳුන් වෙත බැගෑපත් ව හැරී, ඔබේ නිවෙසින් අසාධාරණකම් පහකළොත්,
24 ඔබේ රන් දූවිල්ල මෙන් ද ඔබේ තනි රන් දොළ පතුලේ ගල් කැට මෙන් ද සැලකුවොත්,
25 සව් බලැති දෙවිඳාණෝ ම ඔබට මුතු මැණික් හා රන් රිදී වන සේක.
26 එවිට ඔබ සව් බලැති දෙවිඳුන් කෙරෙහි ප්‍රීතිමත් ව, ඔබේ මුහුණ එතුමාණන් වෙත ඔසවනු ඇත.
27 ඔබ එතුමාණන්ට යැදුම් පුදන විට එතුමාණෝ සවන් දෙන සේක.
ඔබ ද ඔබේ බාරහාර ඉටු කරනු ඇත.
28 ඔබ ගන්න තීරණය සඵල වනු ඇත.
ඔබේ මාවත පිට එළිය බැබළෙනු ඇත.
29 එතුමාණෝ උඩඟු සිත් ඇති අය පහත හෙළන සේක.
යටහත් සිත් ඇති අය රැකගන්න සේක.
30 ඔබ නිදොස් ව සිටියොත්, ඔබේ අතින් හරි දේ කළොත්, ඔබට මිදීම ඇත.”
– 23 වන පරිච්ඡේදය –
ජෝබ්ගේ පිළිතුර
1 එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ”අද මාගේ විලාපය කටුක ය.
දෙවිඳුන්ගෙන් මා ලත් පහර බරපතල නිසා කෙඳිරිගාමි.
3 අහෝ!
එතුමන්ගේ නඩු ආසනය ළඟට පැමිණෙන්නත්, එතුමන් හමුවන්නත් මට පුළුවන්කමක් ඇත්නම්.
4 එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළින් කියා සිටිමි.
කථිකයෙකු මෙන් හැම තර්කයක් ම ඉදිරිපත් කරමි.
5 එවිට එතුමන් පවසන දෙය තේරුම් ගෙන,
මට දෙන උත්තරය දැනගන්නෙමි.
6 එතුමන් සිය බල මහිමය පා මා සමඟ වාද කරනු ඇද් ද?
නැත.
එතුමාණෝ මා කියන දෙයට සවන් දෙන සේක.
7 එහි දී, මා වැනි දැහැමි කෙනෙකු සමඟ වාද කළ බව එතුමන්ට පෙනෙනු ඇත.
විනිසකරුවන් විසින් මම නිදහස් කරනු ලබන්නෙමි.
8 මම පෙරදිග බලා ගියෙමි;
දෙවිඳාණෝ එහි නැත.
අපරදිග බලා ගියෙමි;
එතුමෝ එහිත් නැත.
9 මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි.
ඒ කිසි තැනක එතුමෝ දකින්නට නැත.
10 එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක;
මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.
11 මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි.
එතුමන්ගේ නියෝගවලින් ඉවත් ව නොයමි.
12 එතුමන්ගේ ආඥා මම නිරතුරු පිළිපදිමි.
එතුමන්ගේ වදන් මා හද තුළ නිදන් කර ගනිමි.
13 එතුමාණන් යමක් තීරණය කළොත් එය වෙනස් නොවන්නේ ය;
ඒවා වෙනස් කළ හැක්කේ කාට ද?
එතුමාණෝ තමන් සිතූ දේ ඉටු කරන සේක.
14 මා පිළිබඳ සිය අදහස එතුමන් සපුරාලනු ඇත;
එවැනි අදහස් එතුමන්ගේ සිතෙහි තව බොහෝ ඇත.
15 ඒ නිසා එතුමාණන් හමු වීමට මම බිය වෙමි.
එතුමන් ගැන සිතන විට මම බිය පත් වෙමි.
16 සව් බලැති දෙවි තුමාණෝ මහද දුබල කළ සේක;
එතුමාණෝ මාගේ සිතෙන් දිරිය පහකළ සේක.
17 අඳුරින් මම වට වී සිටිමි;
එතුමන් නොපෙනෙන ලෙස ගන’ඳුරින් මාගේ මුහුණ ආවරණය වී තිබේ.
– 24 වන පරිච්ඡේදය –
1 ”සව් බලැති දෙවිඳාණන්ගේ විනිශ්චය දවස නියම නොකරන්නේ මන් ද?
එතුමන් නමදින දනන් ඒ දිනය නොදන්නේ මන් ද?
2 දුෂ්ට දනෝ, ඉඩම් ලෝභීහු මායිම් ගල් වෙනස් කරති;
ඔව්හු බැටළුවන් සොරාගෙන උන්ට කවා පොවා හදාගනිති.
3 සමහරු අනාථයන්ගේ කොටළුවන් සොරා ගනිති;
වැන්දඹුවක ණය ගෙවන තුරු ඇගේ ගොනා තබා ගනිති.
4 දිළිඳුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම ඔව්හු වළක්වති.
දුව ගොස් සැඟවෙන ලෙස දිළිඳුන් හට ඔව්හු බල කරති.
5 දිළින්ඳෝ වල් කොටළුවන් විලසින් මරුකතරෙහි කෑම සොයා ඔබමොබ යති.
අන් කිසි තැනකින් දුප්පතුන්ට කෑම සොයාගන්නට බැරිය.
6 ඔව්හු අන් අය සතු කෙත් වතුවලින් අස්වැන්න රැස් කරගනිති;
දුදනන්ගේ මිදිවතුවලින් මිදි පල නෙළාගනිති.
7 රාත්‍රියේ දී පොරවාගන්නට වස්ත්‍ර නැති ව, ශීතලයට වැස්ම නැති ව ඔව්හු නින්දට යති.
8 කඳුකරයෙන් එන වැස්සට දියබත් වී මුවා වන පිණිස පර්වතය අසල ඔව්හු රොක් වී සිටිති.
9 දුදනෝ මවු ළයෙන් අනාථ දරුවන් උදුරාගනිති.
දිළිඳුන්ගේ දූ දරුවන් ඇප වෙනුවට තබාගනිති.
10 කය වැසුමට වත්කමක් නැති ව, නග්න ව ඒ අසරණයෝ ගමන් කරති.
ඔව්හු අස්වැන්න නෙළුවත් සාගින්නෙන් පෙළෙති.
11 දුදනන් ඔලීව තෙල් හිඳිතත්, මිදි පල පාගා මිදියුස පෙරතත්, ඔව්හු පිපාසයෙන් පෙළෙති.
12 නගරයේ මරණාසන්න වූවෝ කෙඳිරි ගැසුවත්,
තුවාළ වූවෝ උදව් ඉල්ලා මොරගසතත්, දෙවිඳුන් හට නො ඇසේ.
13 ආලෝකයට එරෙහි ව කැරලි ගසන මිනිස්සු ඇත.
ආලෝකය ගැන ඔවුන්ට තේරුමක් නැත.
ඒ මාවතෙහි ගමනක් නැත.
14 මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි;
රාත්‍රියේ දී සොරකමට යයි.
15 පරදාර සේවනය කරන්නා ඇඳිරි වන තුරු බලා සිට,
කිසිවෙකුට නොපෙනෙන පරිදි තම මුහුණට වැස්මක් දමා ගනියි.
16 සොරු රෑ අඳුරෙහි ගෙවල් බිඳිති;
දවාලෙහි සැඟවී සිට එළිය මඟ හරිති.
17 ඔවුන්ට එළිය දරුණු ලෙස බියකරු ය;
රෑ අඳුරට ඔව්හු ප්‍රිය කරති.”
ශෝපර්ගේ කතාව
ශෝපර් මෙසේ පිළිතුරු දුන්නේ ය:
18 ”දුදනෝ ජලය මත පාවෙන කුණු රොඩු වැන්න;
ඔවුන් සතු වතුපිටිවල දේව සාපය ඇත.
ඔව්හු තවත් මිදි වත්තේ වැඩට නොයති.
19 නියඟය හා ශ්‍රීෂ්මය නිසා හිම දිය වී යන්නේ ය;
පාපිෂ්ඨයා එලෙස ම ජීවතුන් අතරෙන් පහ ව යයි.
20 වැදූ මව පවා ඔහු සිහි නොකරයි;
පණුවෝ ඔහු කා දමති;
බිඳ වැටුණු ගසක් මෙන් දුෂ්ටකම අවසන් වෙයි.
21 මෙසේ වන්නේ, ඔහු දරුවන් නැති ස්ත්‍රියට පීඩා කොට,
වැන්දඹුවට කරුණාව නොදැක්වූ හෙයිනි.
22 දෙවි තුමන් සිය බලයෙන් බලවතුන් ඉවතට ඇද දමනු ඇත;
ඔවුන් නැඟිට සිටියත්, ස්ථිර ජීවිතයක් ගැන ඔවුන්ට විශ්වාසයක් නැත.
23 දෙවි තුමාණෝ යහතින් විසුමට ඔවුන්ට රැකවරණය දෙන සේක;
හැම මොහොතෙහි ම එතුමන්ගේ දෙනෙත ඔවුන් යන මඟ වෙත යොමු වේ.
24 මොහොතකට ඔව්හු උසස් වෙති;
එහෙත්, වල් පැළෑටි මෙන් ඔව්හු වහා මැලවී යති.
කපා දැමූ ගොයම් මෙන් ඔව්හු තුරන් ව යති.
25 මේ මාගේ කියමන් බොරු නම්, මාගේ ඒ තර්කය බිඳලිය හැකි යම්කිසි සමතෙක් මෙලොව ඇද් ද?”
– 25 වන පරිච්ඡේදය –
බිල්දද්ගේ තුන් වන කතාව
1 එවිට ෂුහිය බිල්දද් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
2 ”ආධිපත්‍යය හා ගරුත්වය දෙවිඳුන් වෙත ඇත;
එතුමන් සග ලොව විජිතයෙහි සාමය පවත්වනු ඇත.
3 එතුමන්ගේ දෙව් බළ සෙන් අති විශාල ය;
එතුමන්ගේ එළිය උදා නොවන තැනක් ලොවෙහි ඇද් ද?
4 එවන් දෙවිඳුන් අබිමුවෙහි දමිටු කෙනෙකු සිටිය හැකි ද?
මෙලෝ උපන් දනන් අතර නිමල කෙනෙකු සිටිය හැකි ද?
5 එතුමන් අබිමුව සඳ මඬලෙහි දීප්තියක් නැත;
තරු පෙළ මැද කාන්තිය නැත;
6 එසේ නම්, කුරා කුහුඹුවෙකු වැනි, නර පණුවෙකු වැනි මිනිසා ගැන කියනුම කිම?”
– 26 වන පරිච්ඡේදය –
ජෝබ්ගේ පිළිතුර
1 එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ”අසරණ මෙමා හට ඔබ දිරිය දුන් හැටි හරි කදිම යි!
මාගේ දුබල අතට වීරිය දුන් හැටි හරි අගෙයි!
3 අනුවණ කෙනෙකුට ඔවා වදන් දී, හරි අවබෝධය ගෙන දුන් හැටි අනේ යස යි!
4 ඔබ ඔය දිග හෑල්ල කීවේ කාට ද?
එය පැවසීමට වරම් ලැබුවේ කාගෙන් ද?”
බිල්දද්ගේ කතාව
5 බිල්දද් මෙසේ කී ය:
”පාතාල ලෝකය වෙවුළා යයි;
එහි වැසියෝ බියෙන් කම්පිත වෙති.
6 පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත;
දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත.
7 දෙවි තුමාණෝ උතුරු දිග අහස විහිදුවා හළ සේක.
හිස් අවකාශයෙහි පොළොව එල්ලා තබන සේක.
8 එතුමාණෝ වලාකුළුවල වතුර පුරවා තබන සේක;
එහි බරෙන් වලාකුළු පුපුරන්නට ඉඩ නොදෙන සේක.
9 එතුමාණෝ සඳ මඬල ආවරණය කරන සේක;
එය මත වලාකුළු විහිදුවන සේක.
10 එළිය අඳුරෙන් වෙන් කරන සීමාවෙහි සමුදුර මත නිම් වළල්ල අඳින සේක.
11 එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි.
12 එතුමාණෝ සිය බලවත් බාහුවෙන් දස්කම් පා දිය රකුසා දෙබෑ කළ සේක;
සත් සමුදුර නිසල කළ සේක.
13 එතුමන්ගේ හුස්මෙන් අහස පිවිතුරු වෙයි.
එතුමන්ගේ බාහුව පලා යන දිය රකුසා දෙබෑ කරයි.
14 මේ එතුමන්ගේ තෙද විකුමෙන් බිඳක් පමණි;
එතුමන් ගැන අපට ඇසෙන්නේ සිහින් රාවයක් පමණි;
එතුමන්ගේ වීර වික්‍රම ගිගුරුම් හඬ තේරුම්ගත හැකි කාට ද?”
– 27 වන පරිච්ඡේදය –
ජෝබ්ගේ පිළිතුර
1 ඉක්බිති ජෝබ් යළිත් මෙසේ පැවසී ය:
2 ”මා කෙරෙන් යුක්තිය වළක්වා, සෝදුකින් මා පිරෙවූ, සව් බලැති දෙවිඳුන් නමින් මම මෙය දිවුරා කියමි:
3 මාගේ පණ නළ තිබෙන තුරු, දෙවිඳුන් දුන් හුස්ම ටික මා තුළ පවතින තුරු,
4 මා මුවින් අසත්‍යයක් වත්, කිසි මුසාවක් වත් නොකියමි.
5 ඔබ පවසන දේ සැබෑ යයි මම කිසි සේත් නොකියමි.
දිවි ඇති තාක් මා නිවැරදි බව ම කියා සිටිමි.
6 මා නිවැරදි බව මම තරයේ කියා සිටිමි.
දිවි ඇති තාක් මාගේ හෘදය සාක්ෂිය මට වරද නොතබයි.
7 ‘මාගේ සතුරාට දුදනෙකුට මෙන් අවැඩක් වේවා’යි ද ‘මාගේ විරුද්ධකාරයාට නපුරක් ම වේවා’යි ද පතමි.
8 අභක්තිකයාගේ අවසන් හුස්ම පහ කොට, දෙවිඳුන් මරණය එවන විට ඔහුට කවර බලාපොරොත්තුවක් ඇද් ද?
9 විපත පැමිණෙන විට දෙවි තුමාණන් ඔහුගේ යැදුම් අසනු ඇද් ද?
10 ඔහු සව් බලැති දෙවි තුමන් කෙරෙහි ප්‍රීති වන්නේ ද?
එතුමන්ට නිරතුරු යැදුම් පුදනු ඇද් ද?
11 නැත.
දෙවි තුමන්ගේ බලය ක්‍රියා කරන හැටි මම ඔබට පවසන්නෙමි.
සව් බලැති දෙවි තුමන්ගේ අදහස් මම ඔබට කියා දෙමි.
12 මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.”
ශෝපර්ගේ කතාව
13 ශෝපර් මෙසේ පැවසී ය:
”සැහැසි ලෙස ජීවත් වන දුදනන් හට සව් බලැති දෙවිඳුන්ගේ දඬුවම මෙසේ ය:
14 ඔවුන්ට දූ දරුවන් බොහෝ ඇතත්, ඔව්හු රණ බිම්හි මැරී වැටෙති.
මුළු පරපුර සාගින්නෙන් පෙළෙති.
15 ඔවුන්ගෙන් ඉතුරු වන අය වසංගතයෙන් නැසෙති;
ඔවුන් ගැන වැන්දඹුවෝ පවා නොවැලපෙති.
16 ඔවුන්ට පොළොවේ වැලි මෙන් රන් රිදී තිබුණත්, අපමණ රෙදිපිළි ගොඩගැහුණත්,
17 ඒවා පැළඳගන්නේ ඔවුන් නොව, දැහැමි අය ය; ඔවුන්ගේ රන් රිදී ද බෙදාගන්නේ නිදොස් අය ය.
18 දුදනා සාදන ගෙය මකුළු දැල මෙන් ද කෙත රක්නා ගොවියාගේ පැල්පත මෙන් ද වැඩි කල් නොපවතියි.
19 එක් දිනක් ඔහු පොහොසතෙකු ලෙස සැතපෙයි;
නැවත එසේ නොකරයි.
පසු දා අවදි වන විට ඔහු අතේ සතයක් නැත.
20 බියකරු විපත ගංවතුර මෙන් ඔහු පලවා හරියි;
රෑ හමන කුණාටුව ඔහු පැහැරගෙන යයි.
21 පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි;
සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි.
22 ඔහු එක පිම්මෙන් පලා යන්න හැදුවත්, මාරුතය දයාව නොපෙන්වයි;
ඔහුට පහර පිට පහර දෙනු ඇත.
23 ඔහු පලා යන විට මාරුතය ලුහුබැඳ ගිගුරුම් දෙයි.
විනාශකාරී බලයකින් ඔවුන් බිය ගන්වයි.”
– 28 වන පරිච්ඡේදය –
ප්‍රඥාවට ප්‍රශංසා
1 රිදී කණින ආකර ඇත;
රන් පවිත්‍ර කරන කෝව ඇත.
2 මිනිස්සු පොළොවෙන් යකඩ හාරාගනිති;
ගල් උණු කර තඹ ලබාගනිති.
3 මිනිස්සු ගන ‘ඳුර ඉක්මවා බලති;
පොළෝ ගැබෙහි යට තැන් සොයති.
අඳුරෙන් වැසුණු පර්වත සොයා හාරති.
4 මිනිස් වාසයෙන් ඈත, මිනිසෙකු කිසි දා පා නොතැබූ තැන්වල මිනිස්සු පතල් හාරති.
කඹවල එල්ලී ඒවාට බැස තනියම වැඩ කරති.
5 මහ පොළොවෙන් ආහාර හට ගනියි;
එහි යට පෙදෙස්වල පස ගින්නෙන් මෙන් දැවෙනු ඇත.
6 එහි ගල් අතර නිල්මිණි ද එහි දූවිල්ලෙහි රන් කුඩු ද ඇත.
7 පතල්වලට යන මාවත උකුස්සාට නොපෙනෙයි;
ඊට උඩින් පියාඹා යන්නට ගිජු ලිහිණියාට එය නොපෙනෙයි.
8 සිංහයෙක් වත්, අන් කිසි චණ්ඩ මෘගයෙක් වත් ඒ හුදකලා මාවත්වල කිසි දා නොයයි.
9 මිනිස්සු කළුගල් පර්වත හාරති;
කඳු හෙල් මුලින් ම උදුරා දමති.
10 ඔව්හු පර්වතවල බිංගෙවල් හාරා නන් වැදෑරුම් මැණික් සොයාගනිති.
11 ඔව්හු ගංගා නොගලන ලෙස අමුණු බැඳ, සැඟවී ඇති ධන සම්පත් හාරා පාදා ගනිති.
12 එහෙත්,
ප්‍රඥාව සම්බ වන්නේ කොතැන්හි ද?
නැණ නුවණ ඇත්තේ කොතැන ද?
13 ප්‍රඥාව මිනිසුන් අතර සම්බ වන්නේ නැත;
කිසිවෙක් එහි අගය නොදනිති.
14 ‘එය මා තුළ නැතැ’යි ගැඹුරු මහ සයුර කියයි;
‘එය මා වෙත නොවේ ය’යි මහ මුහුද පවසයි.
15 රත්රන් දී, එය මිලට ගත නොහැකි ය;
එහි වටිනාකම රිදීයෙන් මිල කළ නොහැකි ය.
16 එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.
17 රන් වත්, වෛදූර්ය වත් ඊට සම කළ නොහැකි ය;
පිවිතුරු රන් ආභරණවලට එය මාරු කළ නොහැකි ය.
18 රතු කැට හෝ පළිඟු හෝ සඳහන් කරන්නට වත් උවමනාවක් නැත.
ප්‍රඥාව මුතුවලට වඩා අගනේ ය.
19 එතියෝපියාවේ පුෂ්පරාග ඊට සම කළ නොහැකි ය;
දඹ රනින් වත් එහි අගය නියම කළ නොහැකි ය.
20 එසේ නම්, ප්‍රඥාව උදා වන්නේ කොතැනින් ද?
නැණ නුවණ ඇත්තේ කොහේ ද?
21 මෙලෝ වැසි කිසිවෙකුගේ ඇසට ප්‍රඥාව නොපෙනේ.
අහසේ පියාඹන පක්ෂියෙකුට වත් එය නොපෙනේ.
22 ‘අප අසා ඇත්තේ ඒ ගැන කට කතා පමණකැ’යි විනාශයත්,
මරණයත් කියති.
23 ප්‍රඥා මාර්ගය දන්නේ දෙවිඳාණෝ ය;
එය තිබෙන තැන දන්නේත් එතුමාණෝ ය.
24 මන්ද, එතුමාණෝ පොළොවේ සීමාන්ත දන්න සේක;
අහස යට සියල්ල දකින සේක.
25 එතුමාණන් සුළඟට බලවේගය දුන් විටත්, මුහුදේ ප්‍රමාණය නියම කළ විටත්,
26 වැසි වසින තැන් නියම කළ විටත්, මේඝගර්ජනා යා යුතු මඟ සලකුණු කළ විටත්,
27 එතුමාණෝ ප්‍රඥාව දැක එහි වටිනාකම ප්‍රකාශ කළ සේක.
එය සොයා බලා සම්මත කළ සේක.
28 එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක:
‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ.
නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”
– 29 වන පරිච්ඡේදය –
ජෝබ්ගේ අවසන් කතාව
1 ජෝබ් යළිදු සිය කතාව ඇරඹී ය:
2 ”අනේ!
දෙවිඳාණන් මා රැක බලා ගත් පෙර කාලයට ආපසු යා ගත හැකි නම්!
3 එකල එතුමාණන්ගේ පහන මාගේ හිසට උඩින් බැබළිණි.
ඒ එළියෙන් මම අඳුර මැදින් ගමන් කෙළෙමි.
4 එකල මම සමෘද්ධිමත් ව සිටියෙමි;
එතුමාණන්ගේ මිතුරුකම මාගේ නිවෙස රැකවල් කෙළේ ය.
5 එකල සව් බලැති දෙවි තුමාණෝ මා සමඟ සිටි සේක;
මාගේ දූ දරුවෝ මා අවට වූ හ.
6 මාගේ ගව සම්පතෙන් කිරි ද පර්වතයේ ඔලීව ගස්වලින් තෙල් ගංගා ද ගලා ආවේ ය.
7 නගරයේ වාසල් දොරටු ළඟ උතුමන් සමඟ මා අසුන් ගත් කල,
8 තරුණයෝ මා දැක පසකට වූ හ;
වයසක උදවිය සිය අසුන්වලින් නැඟී හරසර දැක්වූ හ.
9 ජන නායකයෝ අතින් මුව වසාගෙන කතාව නැවැත්වූ හ.
10 මැති ඇමතිවරු කට වසාගත් හ;
සියල්ලෝ ම නිහඬ වූ හ.
11 මා ගැන ඇසූ දුටු කවුරු කවුරුත් මාගේ ගුණ වර්ණනා කළහ.
12 එසේ කෙළේ, මා දිළිඳාගේ දුක් අසා ඔවුන් මුදා ගත් බැවිනි;
සරණක් නැති අනාථයන්ට මා ආධාර කළ බැවිනි.
13 දැඩි විපතට පත් අය මට ආසිරි පැතූ හ;
මම වැන්දඹුවන්ගේ සිත ප්‍රීතියෙන් පිනා යාමට සැලැසීමි.
14 මම දැහැමිකම නමැති වස්ත්‍රයෙන් සැරසී, රන් සළුවක් ද මකුටයක් ද මෙන් යුක්තිය පැළඳගත්තෙමි.
15-16 මම, අන්ධයාට දෙනෙත් මෙන් ද කොරාට දෙපා මෙන් ද දිළිඳාට පියා මෙන් ද වූයෙමි.
මම, නොහඳුනන අය වෙනුවෙන් මැදිහත් වූයෙමි.
17 මම අදමිටුවාගේ හක්ක බිඳ, විපතට පත් වූ අය ඔහුගේ කටින් මුදා හැරියෙමි.
18 එදා මා සිතුවේ මෙසේ ය:
‘මම දිගායු වළඳා දරු කැල මැද මාගේ නිවෙසෙහි යෙහෙන් මිය යෑමට නිරතුරු බලාපොරොත්තු වීමි.
19 පොළොවේ දිය දහර තෙක් මුල් බැස ගිය, රෑ පින්නෙන් තෙමී ගිය, අතුපතර ඇති ගසකට මම සමාන වීමි.
20 එවිට සියලු දෙන නිරතුරු මට පැසසුම් කළහ.
මාගේ ශක්තිය ද කිසි දා හීන නො වී ය.’
21 මා උවදෙස් දුන් විට සෙනඟ නිහඬ ව මට සවන් දුන්හ.
22 මාගේ කතාව නිම කළ විට ඔව්හු වෙන කිසිවක් ඊට එකතු නොකළහ.
මාගේ වචන ඔවුන්ගේ සිතට වැහි බිංදු මෙන් කාන්දු වී ගියේ ය.
23 වැසි එන තුරු බලා සිටින, පොසොන් වැසි වලා එන විට ප්‍රීති වන ගොවීන් මෙන් ඔව්හු මුව අයාගෙන මට සවන් දුන්හ.
24 මා මඳහසින් ඔවුන් දෙස බැලූ විට ඔව්හු දිරිගත්හ.
මාගේ සොම්නස් මුහුණ දුටු විට ඔවුන්ගේ දොම්නස් බැල්ම පහවිය.
25 මම රැස්වීමේ මූලාසනය ගෙන ඔවුන් ගත යුතු පියවර සකස් කෙළෙමි.
සිවුරඟ සෙනඟ පිරිවරා කඳවුරු බැඳගත් රජෙකු මෙන් මම වැජඹෙමින් අසරණයන් සැනසුවෙමි.”
– 30 වන පරිච්ඡේදය –
තමාට දැන් පැමිණ ඇති විපත
1 ”එහෙත් දැන්, වයසින් බාල උදවිය මට සරදම් කරති.
ඔවුන්ගේ පියවරු මාගේ ගව රැළ රකින බල්ලන් සමඟ නවතින්න වත් වටිත් යයි මම නොසිතුවෙමි.
2 ඔව්හු, වැඩපල කිරීමට දෑතේ ශක්තිය නැති, කාය බලය පිරිහී ගිය මනුෂ්‍යයෝ ය.
3 හිඟකම ද සාගතය ද නිසා දිවි රැක ගන්න පිණිස ඔව්හු පාළුකරයේ වියළි මුල් විකා කෑහ.
4 ඔව්හු, වල් පැළෑටි පඳුරු පිටින් උදුරාගත්හ;
කටු ගස්වල මුල් ඔවුන්ගේ කෑම විය.
5 මිනිසුන් අතරෙහි ඔව්හු පලවා හරිනු ලැබූ හ.
සොරුන්ට මෙන් ඔවුන්ට විරුද්ධ ව කෑගසමින් මිනිස්සු ඔවුන් ලුහුබැඳ ගියහ.
6 අඳුරු මිටියාවතේ අගල් හා කාණුවල ද පොළොවේ වළවල් හා ගුහාවල ද ඔව්හු වාසය කළහ.
7 කටු ගස් යට එක් රොක් වී පඳුරු අතර වන සතුන් මෙන් ඔව්හු බෙරිහන් දී කෑගැසූ හ.
8 ඔව්හු කමකට නැති, තකතීරුවන්ගේ පුතුන් මෙන් වූ හ.
ඔව්හු රටෙන් නෙරපාදමනු ලැබූ හ.
9 එහෙත් දැන්, ඔවුන්ගේ සිනාවට ලක් වී විහිළුවක් වී සිටිමි.
10 ඔව්හු මා පිළිකුල් කොට මාගෙන් ඈත් වෙති;
මාගේ මූණට කෙළ ගැසීමට වුවත් ඔවුන්ට බියක් නැත.
11 දෙවිඳුන් මා දුබලයෙකු, අසරණයෙකු කළ බැවින් ඔව්හු මා අබිමුව කිසි බියක් නැති ව හැසිරෙති.
12 මේ කලහකාරී පිරිස දකුණු පසින් මට පහර දෙති;
මා තල්ලු කර දමති;
මට විරුද්ධ ව අවසාන ප්‍රහාරයට සැරසී සිටිති.
13 ඔව්හු මාගේ මාර්ග අවහිර කරති;
කිසි පිහිටක් නැති මට විපත්ති වැඩි කරති.
14 මාගේ කොටු පවුරු බිඳුණු තැන්වලින් ඇතුළට වැදී ඔව්හු මා පිට කඩා පනිති.
15 භීතියෙන් මම මිරිකී සිටිමි.
මාගේ ගරුත්වය සුළං රැල්ලක් මෙන් ද මාගේ යස ඉසුරු වලාකුළක් මෙන් ද පහ ව ගියේ ය.
16 මාගේ අවසානය ඉතා ආසන්න ය.
මාගේ විපතේ දී මට සහනයක් නැත.
17 රාත්‍රියේ දී මාගේ ඇටකටුවල වේදනාව ඇත.
මා විකා කන, වේදනාවල අඩු වීමක් නැත.
18 එතුමාණෝ ප්‍රචණ්ඩ ලෙසින් මාගේ වස්ත්‍රය ග්‍රහණය කළහ.
මාගේ කබායේ කරපටියෙන් දැඩි ලෙස අල්ලා ගත්හ.
19 එතුමාණන් මා මඩේ හෙළා ඇත;
මම කුණු කසළ මෙන් වී සිටිමි.
20 මා ඔබට හඬ නැඟුවත් ඔබ පිළිතුරු නොදෙන සේක;
මා නැඟිට අයැදුම් කළත් මට පිහිටක් නැත;
21 ඔබ මට කෲරතර ලෙස ක්‍රියා කරන සේක;
ඔබේ මුළු බලය යොදා මට පීඩා කරන සේක.
22 ඔබ මා මාරුතයෙන් ගසාගෙන යන්නට හරින සේක.
කුණාටුවෙන් ඒ මේ අත පෙරළෙන්නට සලස්වන සේක.
23 මරණ මංචකයට ද කාටත් නියම වූ තැනට ද ඔබ මා පමුණුවන බව මම දනිමි.
24 නටඹුන් ගොඩක් වැනි මට විරුද්ධ ව ඔබ පහර දෙන්නේ මන් ද?
මට කළ හැකි එක ම දෙය නම්, දයාව ඉල්ලා කන්නලව් කිරීම ය.
25 දුකට පත් වූවන් ගැන මා වැළපුණේ නැද් ද?
දිළිඳුන් ගැන මාගේ හදවතෙහි කැක්කුමක් නොවී ද?
26 සැපත පැතූ මා වෙත පැමිණියේ විපත ය;
එළිය පැතූ මා වෙත පැමිණියේ අඳුර ය.
27 දහදුකින් මම පීඩිත වී සිටිමි;
විපත හැර අන් කිසිවක් මා ඉදිරියෙහි නැත.
28 මම අව්රශ්මියෙන් නොව ශෝකයෙන් කළු ව ඇවිදිමි;
සභාව මැද නැඟිට පිහිට සොයා මොරහඬ දෙමි.
29 මම සිවලුන්ගේ සොහොයුරෙකු ද පැස්බරුන්ගේ සහචරයෙකු ද වී සිටිමි.
30 මාගේ හම කළු වී, එහි පොතු ගැලවී වැටෙයි;
මාගේ ඇටකටු උණෙන් දැවී යයි.
31 මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.”
– 31 වන පරිච්ඡේදය –
ජෝබ් නිදොස් බව කියා සිටීම
1 ”දැරියක දෙස අනුරාගී බැල්මක් නොහෙළන්නට මම මාගේ දෙනෙත් සමඟ ගිවිසුමක් කෙළෙමි.
2 ඉහළ වසන දෙවිඳුන්ගෙන් වන ප්‍රතිවිපාක ද සගලොව සව් බලැති එතුමාණන් නියම කළ ඉරණම ද කාට නම් කිව හැකි ද?
3 අදමිටු දනට විනාශයත්, අයුතුකම් කරන අයට විපතත් එතුමාණන් නියම කර ඇත.
4 එතුමාණෝ මා යන එන තැන් බලා මාගේ හැම පියවරක් ම ගණන් නොකරන සේක් ද?
5 මම කපටිකමේ හැසුරුණෙම් නම්, බොරුකාරකමින් නොවැළකුණෙම් නම්,
6 දැහැමි බව නමැති තරාදියෙහි දමා එතුමාණෝ මා කිරා බලන සේක් නම්, මා අවංක බව දැන ගනු ඇත.
7 මම යහ මඟින් ඉවත් ව ගියෙම් නම්, මා සිත මාගේ බැල්මෙන් නොමඟ ගියේ නම්, මාගේ ක්‍රියා පවින් කිළිටි වී නම්,
8 මා වවන දෙයෙහි පලදාව අනිකෙක් අනුභව කරා වා!
මාගේ කෙතේ අස්වැන්න නැති නාස්ති වේ වා!
9 අන් ස්ත්‍රියකට මාගේ සිත වසඟ වී නම්, මාගේ අසල්වැසියාගේ බිරිඳ ගැන සිතා, ඇගේ දොරකඩ ළඟ සැඟවී රැක සිටියෙම් නම්,
10 මාගේ ම බිරිඳ අන් කෙනෙකුට බැල මෙහෙවර කරා වා!
අන් පුරුෂයෝ ඇය සමඟ සයනය කරත් වා!
11 මන්ද, එය දූෂිත අපරාධයකි, නීතියෙන් දඬුවම් දිය යුතු දරුණු ක්‍රියාවකි.
12 එය විනාශය දක්වා දවාගෙන යන ගින්නකි;
එයින් මාගේ මුළු සම්පත විනාශ වී යනු ඇත.
13 මාගේ මෙහෙකරුවා හෝ මෙහෙකාරිය හෝ මට විරුද්ධ ව පැමිණිල්ලක් ගෙනා විට මම ඔවුන්ට යුක්තිය ඉටු නොකර හැරියෙම් නම්,
14 දෙවිඳුන් විනිසුමට පැමිණෙන විට, මම කුමක් කරම් ද?
දෙවිඳුන්ගේ නඩු ආසනය ඉදිරියෙහි මම කවර උත්තරයක් දෙම් ද?
15 කුසෙහි මා මැවූ දෙවිඳාණෝ ඔවුනුත් නොමැවූ සේක් ද?
මවු ගැබෙහි අප මැව්වේ එක ම දෙවි තුමාණෝ නොවන සේක් ද?
16 මම කිසි දා දිළිඳුන්ට පිහිට නොවී නොසිටියෙමි.
වැන්දඹුවක දුක් බරින් පසු වන්නට ඉඩ නොහැරියෙමි.
17 පියා නැත්තා හට කෑම ටිකක් නොදී මම තනියම කෑම නොකෑවෙමි.
18 මම මාගේ බාල වියේ පටන් පියා නැත්තා හට පියෙක් වූයෙමි;
උපන් දා සිට මම ඔහුට මඟ පෙන්වූයෙමි.
19 වස්ත්‍ර නැති ව නසින්නට යන අය ද පොරෝනාව නැති දිළිඳු අය ද දුටු විට,
20 මම මාගේ ම බැටළු ලොම්වලින් ඔවුන්ගේ ඇඟ උණුසුම් කෙළෙමි.
එවිට ඔව්හු හද පත්ලෙන් මට ප්‍රශංසා කළෝ ය.
21 උසාවියේ දී මාගේ පැත්ත ගන්න අය සිටින බව මා දන්න නිසා, මම නිදොස් අයට විරුද්ධ ව අත එසවීම් නම්,
22 මාගේ උරහිස එහි හන්දියෙන් ගැලවී වැටේ වා!
මාගේ අත වැලමිටෙන් බිඳී යේ වා!
23 මන්ද දෙවිඳාණන්ගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය;
එතුමාණන්ගේ මහානුභාවයට මුහුණ දීමට මට ශක්තියක් නො වී ය.
24 මම කවදාවත් මාගේ ධනසම්පත් කෙරෙහි වත්, මාගේ රන් රිදී කෙරෙහි වත් විශ්වාසය නොතැබීමි.
25 මාගේ යසඉසුරු ගැන වත්, මා උපයා ගත් වස්තුව ගැන වත් අහංකාර නොවූයෙමි.
26 මම කවදාවත් ප්‍රතාපවත් හිරු දෙවියන්ට හෝ රුවින් යුත් සඳ දෙවියන්ට හෝ නමස්කාර නොකෙළෙමි.
27 හස්තමුද්‍රාවෙන් සිඹීමේ පෙම් ලකුණ දක්වා, ඔවුන් නමදින පිණිස මට පෙළඹීමක් නො වී ය.
28 එය සව් බලැති දෙවිඳුන්ට පිටුපා යාමකි.
එවන් පාප ක්‍රියාවකට යුතු දඬුවම මරණය වේ.
29 මට වෛර වූ අයට විනාශය පැමිණි විට මම සන්තෝෂ නොවූයෙමි.
ඔවුන් විපතට අසු වූ විට ප්‍රීති නොවූයෙමි.
30 ‘ඔවුන්ට මරණය පැමිණේ වා’යි සාප කිරීමෙන් හෝ දෙස් කීමෙන් හෝ මම පව් නොකෙළෙමි.
31 මා අමුත්තන් සතුටින් පිළිගන්න බව මට සේවය කරන හැම දෙන ම දනිති.
32 අමුත්තන්ට පිටත වීදිවල රැය ගත කිරීමට නෑර මම ඔවුන් මාගේ නිවෙසට පිළිගතිමි.
33 වෙන අය සිය පව්කම් සිතේ සඟවා තබාගනිති;
එහෙත්, මම මාගේ අපරාධ කිසි කලක වසන් නොකෙළෙමි.
34 සෙනඟගේ කටකතාවලට බියෙන් වත්, මිනිසුන්ගේ අපරාධ නිසා කැළඹීමෙන් වත් මම නිහඬ වී, ගේ ඇතුළට වී නොසිටියෙමි.
35 අහෝ!
මට සවන් දෙන කෙනෙක් නැද් ද?
මා කියන හැම වචනයක් ම සත්‍ය බවට මෙන්න, මාගේ අත්සන තබමි.
සව් බලැති දෙවිඳාණෝ මට උත්තර දෙන සේක් වා!
මාගේ එදිරිකරු මට විරුද්ධ ව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!
36 සැබැවින් මම එය කරපින්නා ගන්නෙමි;
හිස මත කිරුළක් මෙන් පළඳින්නෙමි.
37 මා ගත් පියවර සියල්ල එතුමාණන්ට කියා සිටින්නෙමි;
රාජ කුමාරයෙකු මෙන් එතුමාණන් වෙත යන්නෙමි.
38 මාගේ කෙත් වතු මට විරුද්ධ ව කෑගැසී නම්, ඒවායේ සියලු හීවිටි හඬා පැමිණිලි කෙළේ නම්,
39 මම මිල නොගෙවා අස්වැන්න බුදිම් නම්, ඉඩම් හිමියන්ගේ ජීවිත හානි කෙළෙම් නම්,
40 මාගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගස් ද යව වෙනුවට වල්ගස් ද වැවේ වා!”
ජෝබ්ගේ කතාව නිමි.
– 32 වන පරිච්ඡේදය –
එලීහුගේ කතාව
1 තමා නිවැරදි යයි ජෝබ් සිතූ බැවින්, මේ මිනිස්සු තුන්දෙන ඔහුට පිළිතුරු දීම නැවැත්වූ හ. 2 එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් එලීහුගේ කෝපාග්නිය ඇවිළිණි. ජෝබ්ට විරුද්ධ ව ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ, ජෝබ් තමා නිවැරදි බවත්, දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි. 3 ඔහුගේ මිතුරන් තුන්දෙන ද ජෝබ් කෙරේ වරද තැබූ නමුත්, ඔහුට පිළිතුරු දීමට අසමත් වූ බැවින් ඔවුන්ට විරුද්ධ ව ද ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ ය. 4 එලීහු ඔහුගේ මිතුරන්ට වඩා වයසින් බාල වූයෙන්, ජෝබ්ට පිළිතුරු දීමට ඉදිරිපත් නො වී ය. 5 එහෙත්, ඒ තුන්දෙනා පිළිතුරක් නොදෙන බව ඔහු දුටු විට ඔහුගේ කෝපය ඇවිස්සුණේ ය.
6 එකල බූසීය බාරකෙල්ගේ පුත් එලීහු පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය:
”මම නම් වයසින් බාල ය;
ඔබ වනාහි වයසක උදවිය ය;
එබැවින් මා දන්න දේ ඔබ ඉදිරියේ පැවසීමට බිය ව මම පසෙකට වී සිටියෙමි.
7 ‘වයසක උදවිය කතා කළ යුතු යි;
දිගායු වැළඳු අය ප්‍රඥාව පැවසිය යුතු යි,’ යනු මාගේ වැටහීම යි.
8 එහෙත්, මිනිසාට ප්‍රඥාව දෙන්නේ, සව් බලැති දෙවිඳුන්ගේ ආනුභාවය බව දැන් මම දනිමි.
9 ප්‍රඥාව ඇති වන්නේ, වයස්ගත වීමෙන් පමණක් නොවේ.
හරි දේ දන්නෝ, වැඩිමහල් අය පමණක් නොවෙති.
10 එබැවින් මා වදන්වලට සවන් දෙන්න;
මමත් දන්න දේ කියන්නෙමි.
11 මෙන්න, ඔබේ නැණවත් කතාවට සතුටින් මම සවන් දිනිමි.
ඔබේ වාදයට හොඳින් කන් දී සිටියෙමි.
12 ඔබ තිදෙනා කී දේට මාගේ අවධානය යෙදුවෙමි.
එහෙත්, ජෝබ්ගේ තර්ක බිඳීමට වත්, ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට වත් සමතෙක් ඔබ අතර නො වී ය.
13 එබැවින්, ‘අපට ප්‍රඥාව සම්බ වී ය’යි නොකියන්න වග බලාගන්න.
ඔහු පරාජය කළ හැකි දෙවිඳුන්ට ම පමණකි, මිනිසාට නම් නොහැකි ය.
14 ජෝබ්ගේ තර්ක එල්ල කෙළේ මට නොවේ, ඔබට ය;
එහෙත්, ඔබ පිළිතුරු දුන් ලෙස මම පිළිතුරු නොදෙමි.
15 ඔව්හු භිරාන්ත ව නිහඬ ව සිටිති;
පිළිතුරු දීමට ඔවුන්ට වචන නැත.
16 කිය හැකි දෙයක් නැති ව ඔව්හු බලාගෙන සිටිති;
ඔවුන් නිහඬ ව සිටිය දී මම කිසිත් නොකියා නිකම් හිඳිම් ද?
17 දැන් මටත් පිළිතුරු දීමට වාරයක් ඇත;
මා දන්න දෙයක් මමත් කියමි.
18 කට පුරා වචන ධාරා ගලා එද්දී, මට කතා නොකර සිටිය හැකි ද?
19 මට සුවය ලැබෙන ලෙස කතා කිරීමට ඉඩක් නොලැබුණොත් මාගේ හදවත රැස් නොගිය අලුත් මිදි පැන් දැමූ සම් භාජනයක් මෙන් පුපුරා යනු ඇත.
20 මෙය මට දරාගත නොහැකි ය.
නිහඬ ව නොසිට මා පිළිතුරු දිය යුතු ම ය.
21 මම කිසිවෙකුගේ පැත්ත නොගනිමි.
මම කිසිවෙකුට ඉච්ඡා බස් නොකියමි.
22 ඉච්ඡා බස් තෙපලීමට මම නොදනිමි.
මා එසේ කළොත් මාගේ මැවුම්කරුවාණන් වහා ම මා ලොවින් තුරන් කරනු ඇත.”
– 33 වන පරිච්ඡේදය –
ජෝබ්ගේ අහංකාරය
1 ”කෙසේ වුව ද, ජෝබ් තුමෙනි, මා කියන හැම දෙයට ම ඉතා හොඳින් සවන් දෙන්න.
2 මෙන්න, මම පිළිතුරු දීමට සැරසී සිටිමි.
මාගේ වචන දැන් දිව’ග ලෙල දෙයි.
3 මා කියන හැම දෙය ම අවංක ය, මා මුවින් නික්මෙන දෙය සත්‍ය ය.
4 දිව්‍ය ආත්මයාණෝ මා මැවූ සේක;
සව් බලැති එතුමන්ගේ හුස්ම මට දිවිය දී ඇත.
5 ඔබට හැකි නම්, මට උත්තර දෙන්න;
හොඳින් සූදානම් වී මට විරුද්ධ ව තර්ක ඉදිරිපත් කරන්න.
6 දෙවි තුමන් අබිමුව ඔබත්, මමත් එක වාගේ ම ය.
අපි දෙදෙනා ම පොළොවේ පසින් සාදනු ලැබුවෙමු.
7 මා ගැන බියෙන් තැති ගත යුතු නොවේ.
මාගේ බලපෑම ඔබට වෙහෙසක් නො වේ වා!
8 ඔබේ කීම්වලට මමත් සවන් දිනිමි;
මෙන්න, ඔබ මෙසේ කියනු මම අසාගෙන සිටියෙමි;
9 ‘මම නිදොස් ය;
අයුතුකමක් මා තුළ නැත.
මම නිර්මල ය;
මා තුළ පවක් නැත.
10 එහෙත්, දෙවිඳාණෝ මට එරෙහි ව කරුණු සොයා,
මා සතුරෙකු ලෙස ගණන් ගන්න සේක.
11 මාගේ පාද දඬුකඳේ දමන සේක;
මා කරන හැම දෙය ම මුර කරන සේක.’
මේ වදන් ඔබ කීවෙහි ය.
12 ජෝබ් තුමෙනි, මෙන්න, ඊට මාගේ පිළිතුර;
ඔබ කීවා වැරදි ය.
දෙවිඳාණෝ මිනිසාට වඩා උතුම් ය.
13 එතුමන්ට එරෙහි ව වාද විවාද කරන්නේ මන් ද?
එතුමන්ගේ තර්කවලට කාට මූණ දිය හැකි ද?
14 දෙවි තුමාණෝ නැවත නැවත කතා කරන සේක;
එහෙත්, මිනිසා සලකන්නේ නැත.
15 එතුමාණෝ සිහිනයකින් හෝ රැයේ දර්ශනයකින් හෝ මිනිසා බර නින්දට පැමිණි විට යහන මත නින්දේ දී හෝ ඔහුට කතා කරන සේක.
16 දෙවිඳාණෝ මිනිසුන්ගේ කනට කොඳුරා එතුමන්ගේ තර්ජනවලින් ඔවුන් බිය ගන්වන සේක.
17 එකල මිනිසා ඔහුගේ පාපයෙන් වළක්වන පිණිස, ඔහුගේ උඩඟුකම පහකරන පිණිස,
18 ඔහුගේ ජීවිතය මිනීවළෙන් ද ඔහුගේ පණ කෙන්ද කඩුපතින් ද රැක ගන්න පිණිස දෙවිඳාණෝ එසේ කරන සේක.
19 දෙවිඳාණෝ, මිනිසාට ලෙඩ රෝග එවීමෙන් ද ඔහුගේ ඇඟපතට වේදනා ඇති කිරීමෙන් ද ඔහු යහ මඟ යවන සේක.
20 එවිට රෝගියාට කෑම ප්‍රිය නැත;
රස බොජුන් වුව ද, ඔහු අප්‍රිය කරයි.
21 ඔහුගේ සිරුර ක්ෂය වී ගොස්, හමින් වැසුණු ඇටකටු පෑදී පෙනෙයි.
22 ඔහුගේ ප්‍රාණය මිනීවළට ද ජීවිතය මළවුන්ගේ ලොවට ද ළං වේ ගෙන යයි.
23 මිනිසා හට තම හරි වැරදි පහදන පිණිස, ඔහුගේ සහයට දූතයන් දහසකගෙන් එක් කෙනෙකු වත් සමහර විට එනු ඇත.
24 දූතයා ඔහුට දයා වී, ‘මෙන්න, ඔහුගේ මිදීමේ මිලය!
එය රැගෙන ඔහු මිනීවළට යන්නට නොදී, ඔහු මුදාහරින්නැ’යි කියනු ඇත.
25 එවිට ඔහුගේ මාංසය තරුණයෙකුගේ මාංසය මෙන් සවිමත් වනු ඇත;
ඔහු යළි සිය නව යොවුන් වියට පැමිණෙනු ඇත.
26 ඔහු දෙවිඳුන්ට අයැදින විට එතුමාණෝ ඔහුට පිළිතුරු දෙන සේක.
එවිට ඔහු ප්‍රීතියෙන් එතුමාණන් නමදින්නේ ය.
දෙවි තුමාණෝ යළි ඔහු දැහැමිකමට පමුණුවන සේක.
27 ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි;
දූෂණය කෙළෙමි.
එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.
28 මිනීවළට යාමෙන් එතුමාණෝ මා මිදූ සේක;
දැන් මාගේ ජීවිතයට එළිය දැක්ක හැකි ය’යි කියනු ඇත.
29 මිනිසා මරණින් මුදන පිණිසත්
30 ජීවත් වීමේ ප්‍රීතිය ඔහුට දෙන පිණිසත් දෙවි උතුමාණෝ නැවත නැවත මේ සියල්ල ඔහු උදෙසා කරන සේක.
31 එම්බා, ජෝබ් තුමෙනි, හොඳට සවන් දෙන්න.
මා කතා කරන විට නිහඬ ව ඉන්න.
32 කියන්න යමක් ඔබට ඇත්නම්, මට පිළිතුරු දී කතා කරන්න.
මාගේ කැමැත්ත නම්, ඔබ නිවැරදි බව පිළිගැනීම ය.
33 නැති නම්, මට සවන් දී නිහඬ ව ඉන්න.
මම ඔබට ප්‍රඥාව පහදා දෙමි.”
– 34 වන පරිච්ඡේදය –
එලීහු ජෝබ්ගේ මිතුරන් අමතයි
1 තවදුරටත් එලීහු පිළිතුරු දෙමින්
2 ”ප්‍රඥාවන්තයෙනි, මට කන් දෙන්න;
හසළ බුද්ධිමතුනි, ම බසට සවන් දෙන්න.
3 දිව කෑමෙහි රස බලන්නාක් මෙන් කන කතාවක අගය දනියි.
4 යුක්තිය කොහේ දැ යි අපි සෝදිසි කර බලමු;
යහපත කවරේ දැ යි අපි තීරණය කරමු.
5 ජෝබ් කතා කොට මෙසේ කී ය:
‘මා තුළ වරදක් නැත;
එහෙත්, දෙවිඳාණෝ මාගේ අයිතිය පහකළ සේක;
6 මා යුක්ති සහගත වුව ද, මා බොරුකාරයෙකැ යි ගණන් ගනු ලැබේ.
මා අත වරදක් නැතත් මම තුවාළවලින් අසාධ්‍ය ව සිටිමි.’
7 දෙවිඳුන්ට ගෞරව නොකරන ජෝබ් වැනි මිනිසෙක් තවත් ඇද් ද?
8 ඔහු දුදනන් හා සමාගම් පවත්වමින් පවිටුන් සමඟ ගමන් කරන්නේ ය.
9 ‘දෙවිඳුන්ගේ ප්‍රසාදය දිනාගැනීමෙන් මිනිසෙකුට කවර ප්‍රයෝජනයක් වේ දැ’යි ඔහු කියයි.
10 දැනුම් තේරුම් ඇති භවතුනි, මෙය අසන්න.
දෙවිඳාණෝ කිසිදාක වරදක් කරන සේක් ද?
සව් බලැති උතුමාණෝ අයුත්තක් කරන සේක් ද?
11 මන්ද, එතුමාණෝ මිනිසෙකුගේ ක්‍රියාවල හැටියට ඔහුට ප්‍රතිඵල දෙන සේක.
එකිනෙකාගේ හැසිරීම අනුව විපාක දෙන සේක.
12 එසේ ය, සැබැවින් ම දෙවි තුමාණෝ වරදක් නොකරන සේක.
සව් බලැති දෙවිඳාණෝ යුක්තිය නොපෙරළන සේක.
13 මහ පොළොව එතුමාණන්ට භාර දුන් කෙනෙක් ඇද් ද?
මුළු සක්වළ ආධිපත්‍යය එතුමාණන් අන් කෙනෙකුගෙන් ලත් දෙයක් ද?
14 දෙවි තුමාණන් මිනිසාගේ ජීවිතය පැහැර ගතහොත්, ඔහුගේ හුස්ම ඔහුගෙන් ඇදගතහොත්
15 මුළු මිනිස් සංහතිය ම නසිනු ඇත;
පෙරළා දූවිල්ලට යනු ඇත.”
එලීහු ජෝබ් අමතයි
16 ”ඉතින් ජෝබ්, ඔබ නුවණ ඇති කෙනෙක් නම්, මේ මාගේ වචනයට සවන් දෙන්න.
17 යුක්තිය නුරුස්නා කෙනෙකුට ලොවක් ආණ්ඩු කළ හැකි ද?
සව් බලැති, ධර්මිෂ්ඨ තැනැන් වහන්සේ පිට ඔබ වරද තබන්නෙහි ද?
18 රජෙකුට, ‘නපුරා ය’යි ද උතුමෙකුට, ‘දුෂ්ටයා ය’යි ද කියන,
19 අධිපතීන්ගේ තරාතිරම් නොබලන, දිළිඳාට වඩා ධනවතාට කරුණාව නොදක්වන දෙවිඳුන් පිට ඔබ වරද තබන්නෙහි ද?
ඒ හැම දෙන ම මැවූයේ දෙවි තුමාණෝ ය.
20 ඔව්හු මොහොතකින් නසිති;
ඔවුන් හැම, මැදියම් රෑ එක් ඇසිල්ලකින් නැසී යනු හැක;
බලවතෙකු වුව ද පහසුවෙන් පහ ව යනු ඇත.
21 එතුමාණන්ගේ දෑස මිනිසුන්ගේ ක්‍රියා මාර්ගය දෙස ඇත.
ඔවුන්ගේ හැම පියවරක් ම එතුමාණෝ දන්න සේක.
22 දුදනන් හට එතුමාණන් කෙරෙන් සැඟවී සිටිය හැකි තරම් ගන’ඳුරක් වත්, තද කළුවරක් වත් නැත.
23 නඩු විනිශ්චය සඳහා මිනිසෙකු දෙවි තුමන් වෙත පමුණුවනු වස් නියමිත දිනයක් නැත.
24 විභාගයක් නොපවත්වා එතුමාණෝ බලවතුන් පහකොට ඒ වෙනුවට වෙන අය පත් කරන සේක.
25 එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා දන්න බැවින්, ඔවුන් සුන් වන ලෙස රැයේ දී ඔවුන් පෙරළාදමන සේක.
26 එබැවින් දෙවි තුමාණෝ ප්‍රසිද්ධියේ ම ඔවුන් දුදනන් ලෙස සලකා පහර දෙන සේක.
27 එසේ වූයේ:
ඔවුන් එතුමාණන්ට කීකරු වීම අත්හැරදැමූ නිසා ය;
එතුමාණන්ගේ සියලු මාර්ග නොසලකා හැරිය නිසා ය.
28 ඔව්හු දිළිඳුන්ගේ මොරගැසීම එතුමාණන් වෙත නැඟී එන්නට සැලැස්වූ හ, දුගී ජනයාගේ අයැදුමට එතුමාණෝ සවන් දුන් සේක.
29 නිහඬ ව සිටියත්, එතුමාණන්ට වරද තබන්නෝ කවරහු ද?
කිසිත් නොකර සිටියත්, එතුමාණන්ට දොස් තැබිය හැකි ද?
30 හිතුවක්කාර සෙනඟක් කෙරේ හෝ ජාතියක් කෙරේ හෝ එතුමාණන් අභක්තිකයෙකු රජකමට පත් කළත් කුමක් කළ හැකි ද?
31 යම් කෙනෙකු දෙවිඳුන්ට මෙසේ කීවොත්, එනම්, ‘මම දඬුවම් වින්දෙමි;
මින්පසු තවදුරටත් වැරදි නොකරමි;
32 අනේ!
මා වැනි නීච කාලකණ්ණියෙක්, මට හරි මඟ පෙන්වනු මැනව.
මම මීට පෙර කුමන වරදක් කළත්, මින්මතු පව් නොකරමි.’
33 මේ කියමන නිසා, දෙවිඳුන් ප්‍රතික්ෂේප කිරීමේ ඔබේ වරද දෙවි තුමන් ගණන් නොගෙන හරිනු ඇද් ද?
තීරණය ඔබ අතේ ය, මා අත නොවේ.
ඔබ දත් පමණින් පිළිතුර අපට කියන්න.
34 සිහි නුවණ ඇති උදවිය, නැණ නුවණ ඇති හැම දෙන, මට මෙසේ කියනු නිසැක ය;
35 ‘ජෝබ් අඥාන ලෙස කතා කරයි;
ඔහු කියන දෙයෙහි තේරුමක් නැත.
36 ජෝබ් දුෂ්ට මිනිසෙකු මෙන් උත්තර දෙන බැවින්, ඔහු අවසාන තීන්දුවට ම ඉදිරිපත් කළොත් යෙහෙකි.
37 ඔහු පව්කරුවෙකු පමණක් නොව, කැරලිකරුවෙකු ද වී ඇත;
ඔහු ප්‍රලාප දොඩමින් දෙවිඳුන් හට අවමන් කරයි.’ ”
– 35 වන පරිච්ඡේදය –
1 එලීහු තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය:
2 ”ජෝබ්, ඔබ කියන දේ යුක්ති සහගත යයි ඔබ සිතන්නෙහි ද?
දෙවිඳුන් ඉදිරියෙහි ඔබ නිවැරදි යයි සිතන්නෙහි ද?
3 ‘මාගේ පව්වලින් ඔබට කුමන පලක් ද?
පව් නොකර සිටීමෙන් මට ලැබුණු වාසිය කුමක් දැ යි අසන එක හරි ද?
4 ඔබටත්, ඔබේ මිතුරන්ටත් මම මේ පිළිතුර දෙමි.
5 අහස දෙස නෙත් යොමා බලන්න;
ඈත ඉහළ අහසෙහි පාවෙන වැහි වලාකුළු දෙස බලන්න;
ඒවා කොපමණ ඉහළින් ඇද්දැ යි කල්පනා කරන්න.
6 ඔබ පව් කළත්, දෙවිඳුන්ට එයින් විපතක් ඇද් ද?
ඔබ කොතරම් වැරදි කළත්, දෙවිඳුන්ට එයින් පීඩාවක් ඇද් ද?
7 ඔබ දැහැමි ව සිටීමෙන් දෙවිඳුන්ට කුමන ආධාරයක් දෙන්නෙහි ද?
එයින් දෙවි තුමන්ට ලැබෙන වාසිය කුමක් ද?
8 ඔබේ දුෂ්ටකමින් අවැඩක් වන්නේ ඔබ වැනි මිනිසුන්ට පමණකි.
ඔබේ දැහැමිකමින් මුළු මිනිස් වර්ගයාට වැඩක් වනු ඇත.
9 තාඩන පීඩන නිසා මිනිස්සු විලාප කියති;
බලවතුන්ගේ පීඩාව නිසා ඔව්හු පිහිට සොයා කෑගසති.
10-11 එහෙත්, වනයේ මෘගයන්ට වඩා අපට දැනුම දෙන, අහසේ පක්ෂීන්ට වඩා අපට නැණ නුවණ දෙන, අඳුරේ දී අපට සවිය දෙන මැවුම්කාර දෙවි උතුමාණෝ කොතැන්හි දැ යි අසන කිසිවෙක් නැත.
12 ඔවුන් පිහිට ඉල්ලා මොරගසන නමුත්, ඔවුන්ගේ අහංකාරය හා දුෂ්ටකම නිසා, දෙවිඳුගෙන් ඔවුන්ට පිළිතුරක් නැත.
13 ඒ මොරගැසීමෙන් වැඩක් නැත;
දෙවිඳාණෝ සවන් නොදෙන සේක.
සව් බලැති උතුමාණෝ එය නොසලකන සේක.
14 ජෝබ්, ‘මට දෙවිඳුන් නොපෙනේ ය.
එහෙත්, නඩුව එතුමාණන් අතේ ය;
මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි’යි ඔබ කියන්නෙහි ය,
15 ‘දැන්, එතුමාණෝ උදහස් ව දඬුවම් නොකරන සේකැ’යි ද ‘ඒ අපරාධය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන සේකැ’යි ද ඔබ සිතන්නෙහි ද?
16 එබැවින් ජෝබ්, ඔබ මුව අයා කතා කරන්නට යාමෙන් වැඩක් නැත;
ඔබ පවසන දෙය ඔබට ම තේරෙන්නේ නැත.”
– 36 වන පරිච්ඡේදය –
1 එලීහු මෙසේ ද කීවේ ය:
2 ”දෙවිඳුන් ගැන කිය යුතු තවත් දේ ඇත;
ඒවා ඔබට පෙන්වා දෙන තුරු මඳක් ඉවසන්න.
3 මා දන්න දෙයින්, මාගේ පුළුල් අවබෝධයෙන් මාගේ මැවුම්කාර උතුමාණන්ගේ දැහැමි බව පෙන්වා දෙමි.
4 මන්ද, මාගේ තර්කවල බොරුවක් නැත.
විශිෂ්ට පැණවතෙකු ඔබ ඉදිරියෙහි සිටින බව ඔබට පෙනෙනු ඇත.
5 දෙවිඳාණෝ බලවත් ය, එහෙත්, කිසිවෙකු, සුළු නොකරන සේක.
එතුමාණන්ගේ ප්‍රඥා මහිමය උදාර ය.
6 දෙවි තුමාණෝ අදමිටුවන්ට ඉසුරුමත් වන්නට ඉඩ නොදෙන සේක.
එහෙත්, දිළිඳුන්ගේ හා පීඩිතයන්ගේ අයිතිවාසිකම් සලසා දෙන සේක.
7 එතුමාණෝ, දැහැමියන්ට රැකවරණය දෙන සේක;
සිහසුන් අරා, නිරිඳුන් මෙන් ගෞරවයෙන් සැම දා රට පාලනය කරන්නට ඔවුන්ට ඉඩ දෙන සේක.
8 එහෙත්, සෙනඟ විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති යදම්වලට අසු වී සිටිත් නම්,
9 දෙවිඳාණෝ ඔවුන්ගේ පාපය හා අහංකාරය ඔවුන්ට පෙන්වා දෙන සේක.
10 ඔවුන්ට දැනුමැතිකම් දී, අයුක්තියෙන් ඉවත් වන ලෙස අණ කරන සේක.
11 ඔවුන් කීකරු වී එතුමාණන්ට මෙහෙ කළොත්, ඔව්හු දිවි ඇති තාක් යස ඉසුරෙන්, සව් සැපතින් දවස් යවති.
12 එහෙත්, අකීකරු වුවහොත්, කඩු පහරින් වැනසී, මළවුන්ගේ ලොවට එතෙර වී යති.
13 එහෙත්, අභක්තිකයන් උදහස් ව ම සිටිනු ඇත.
ඔවුන්ට දඬුවම ආවත් ඔව්හු පිහිට පතා අයැදුම් නොකරති.
14 යොවුන් වියෙහි සිටිය දී ම ඔව්හු අපකීර්තියට ලක් වී විනාශ වෙති.
15 දෙවිඳාණෝ, දුක් විඳීම මඟින් දුක් විඳින්නන්ට ගැළවීම දෙන සේක.
පීඩාව කරණකොටගෙන ඔවුන්ගේ ඇස් පහදන සේක.
16 දෙවිඳාණෝ ඔබ විපතින් මුදා, සුරැකෙන තැනක පිහිටුවා ඔබේ කෑම මේසය මංගල භෝජනයෙන් පිරෙවූ සේක.
17 එහෙත් දැන්, ඔබ දුදනන් සාධාරණ ලෙස විනිශ්චය නොකරන්නෙහි ය.
විනිශ්චයයට හා සාධාරණකමට ගරු නොකරන්නෙහි ය.
18 අල්ලසින් මුළා නොවීමට ද ධන සම්පතින් නොරැවටෙන්නට ද වග බලාගන්න.
19 ඔබේ මොරගැසීම වත්, ශක්තියේ බලය වත් ඔබට පීඩාවෙන් ගැළවීමට ආධාරයක් නොවනු ඇත.
20 ජාතීන්ගේ විනාශය පමුණුවන අඳුරු රැයට ආසා නොවන්න.
21 අදමිටු මඟෙහි නොයාමට බලාගන්න;
දුක් පීඩා පැමිණියේ, ඔබ ඒ මඟින් වළක්වන පිණිස ය.
22 දෙවිඳුන්ගේ බල මහිමය කොතරම් විශාල ද?
දෙවිඳුන් සම ගුරුවරයෙක් තවත් ඇද් ද?
23 දෙවිඳුන් යා යුතු මඟ නියම කරන්නට සමතා කවරේ ද?
‘ඔබ වරද කර ඇතැ’යි එතුමාණන්ට කීමට කාට හැකි ද?
24 මිනිසුන් කවදාත් එතුමාණන්ට පැසසුම් දී ඇත;
ඔබත් එතුමාණන්ට පැසසුම් දීමට සිතට ගන්න.
25 එතුමාණන් කර ඇති සියල්ල සැම දෙන දැක ඇත.
එහෙත්, එතුමාණන් යථා පරිදි තේරුම්ගත හැකි කිසිවෙක් නැත.
26 දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය;
අපි එතුමාණන් නොදනිමු.
එතුමාණන්ගේ ආයු ප්‍රමාණය දන්නෝ කවුරු ද?
27 දිය බිංදු පොළොවෙන් ඉහළට ඇදගෙන, වාෂ්ප මඟින් වැසි වස්වන්නේ දෙවිඳාණෝ ය.
28 වලාකුළුවලින් වැස්ස මවා, සව් සත වෙත එය එවන්නේ එතුමාණෝ ය.
29 වලාපටල විහිදී යන්නේ කෙසේ ද කියාවත්, එතුමාණන්ගේ මණ්ඩපවලින් ගිගුරුම් නඟින්නේ කෙසේ ද කියාවත් දන්නෝ කවුරු ද?
30 දෙවි තුමාණෝ විදුලි එළිය අහස පුරා විහිදුවන සේක;
එහෙත්, මුහුදේ පතුල අඳුරෙහි තබන සේක.
31 වැසි වස්වා, ජනතාවට ආහාර සපයා, එතුමාණෝ විපුල ලෙසින් කෑම බීම උපයා දෙන සේක.
32 දෙවි තුමාණෝ විදුලිය අතින් ගෙන, නියම ඉලක්කය බලා යන්නට එයට අණ දෙන සේක,
33 අහස් ගිගුරුම, කුණාටුව එන බව කලින් දන්වන සේක.
එය එන බව ගව රැළ දනිති.”
– 37 වන පරිච්ඡේදය –
1 ”චණ්ඩ මාරුත නිසා මහද සැලී දැඩි ලෙස වෙවුළයි.
2 ඔබ හැම එතුමාණන්ගේ ගිගුරුම් හඬටත්, එතුමාණන් මුවින් නික්මෙන ගර්ජනාවටත් හොඳින් සවන් දෙන්න.
3 එතුමාණෝ ඒ හඬ අහස පුරා විහිදුවන සේක;
විදුලිය පොළොවේ සීමාන්ත දක්වා පතුරුවන සේක.
4 එවිට එතුමාණන්ගේ ගිගුරුම් හඬ ද ප්‍රතාපවත් ගර්ජනා හඬ ද දිගට ම ඇසේ.
විදුලිය නොනැවතී දිගට යයි.
5 දෙවිඳුන්ගේ හඬ පුදුම ලෙස ගිගුරුම් දෙයි;
අපට තේරුම් ගත නොහැකි අරුමපුදුම දේ සිදු වෙයි.
6 මිහි මත හිම පතනය වන ලෙස ද මොරසූරන වැස්ස වහින ලෙස ද එතුමාණෝ අණ දෙන සේක.
7 සියල්ල එතුමාණන්ගේ ක්‍රියා බව සියලු මිනිසුන් දැනගන්න පිණිස සෑම ක්‍රියාවකට ම එතුමාණෝ මුද්‍රාව තබන සේක.
8 එකල මෘගයෝ ගුහාවලට වදිති.
එහි සුරක්ෂිත ව ලගිති.
9 දකුණු දිශාවෙන් සුළි සුළඟ ද උතුරු දිශාවෙන් තද ශීත ද හමා එයි.
10 දෙවිඳුන්ගේ හුස්මෙන් වතුර මිදෙයි;
ඒවා තද අයිස් කැටිවලට හැරෙයි.
11 එතුමාණෝ දියෙන් බර වැහි වලාකුළු එවන සේක.
වලාකුළු මැදින් විදුලිය පැතිර යයි.
12 දේව ආඥා අනුව විදුලිය කොටනු ඇත.
දේව අදහස අනුව ලොව පුරා විදුලිය දුවයි.
13 දඬුවමක් වශයෙන් හෝ පොළොව සරුසාර වන පිණිස හෝ දිව්‍ය කරුණාවේ ලකුණක් වශයෙන් හෝ මේ සියල්ල සිදු වෙයි.
14 ජෝබ්, මඳක් නවතින්න, මේ අසන්න.
දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කරන්න.
15 දෙවිඳාණන් අණ දී වලාකුළු අතරින් විදුලිය බැබළෙන්නට සලස්වන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?
16 සර්ව ප්‍රඥාවෙන් යුත් දෙවිඳුන්ගේ විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි ඔබ දන්නෙහි ද?
17 දකුණු දෙසින් හමන සුළඟ නැවතුණ කල, ඔබේ ඇඟට රස්නය එන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?
18 අහස ලෝහමය තලයක් මෙන් සවි ඇති දෙයක් කිරීමට දෙවිඳුන්ට මෙන් ඔබටත් හැකි ද?
19 අප දෙවිඳුන්ට කිය යුතු දෙය ඔබ අපට උගන්වන්න;
අපේ බුද්ධිය අඳුරු ය;
එතුමන්ට කියන්නට අපට කිසි දෙයක් නැත.
20 ‘කතා කරන්නට මට ඉඩ දෙන්නැ’යි මා කියන්නේ කොහොම ද?
මිනිසෙකු වන මා නාස්ති කිරීමට එතුමාණන්ට මා ඉඩ දෙන්නේ මන් ද?
21 සුළඟ හමා අහස පිවිතුරු වී ඇත.
ඇස් නිලංකාර කරන ආලෝකය විහිදී බැබළෙයි.
මේ දෙනෙතින් එය බැලිය නොහැකි ය.
22 උතුරුදිග රන්වන් කාන්තිය විහිදී ඇත.
දෙවිඳුන්ගේ මහිමය අප තුළ බිය දනවයි.
23 දෙවිඳුන්ගේ මහානුභාවය අචින්ත්‍ය ය, බලපරාක්‍රමයෙන් ද යුක්තියෙන් ද දැහැමිකමෙන් ද එතුමාණෝ උත්තරීතර ය.
එතුමාණන්ට ළඟා වීමට අපට නොහැකි ය.
24 එබැවින් මනුෂ්‍යයෝ එතුමාණන්ට බිය වෙති.
‘අපි පැණවත්හු ය’යි සිතන්නවුන් එතුමාණෝ නොසලකන සේක.”
– 38 වන පරිච්ඡේදය –
දෙවිඳාණන් ජෝබ් ඇමතීම
1 එවිට දෙවිඳාණෝ කුණාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන් සේක;
2 ”අනුවණ බස් තෙපලා මාගේ පැණවත් අරමුණු අඳුරු කරන, මොහු කවරෙක් ද?
3 එඩිතර ව මිනිසෙකු මෙන් නැඟිට සිට මාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙව.
4 මා මහ පොළොවේ පදනම් දමන විට නුඹ කොතැන සිටියෙහි ද?
5 එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද?
ඒ මත රේඛා ලණුව ඇද්දේ කවරෙක් ද?
දන්නෙහි නම් කියව.
6 එය දරා සිටින මහ කුළුණු රඳා ඇත්තේ කුමක් පිට ද?
එහි මුල් ගල තැබුවේ කවරෙක් ද?
7 ඒ අරුණෝදයෙහි පහන්තරු ගී ගැයී ය.
සියලු දෙවි පුත්හු තුති ගොස නැඟුවා හ.
8 පොළෝ ගැබින් මහ මුහුද බිහි වූ විට දොරටු වසා මුහුදු ජලය නැවැත්වූයේ කවරෙක් ද?
9 මහ මුහුද වලාකුළුවලින් පළඳා, අඳුර නමැති සළුව පෙරවූයේ මම ය.
10 මුහුදේ මායිම් නියම කෙළේත්, එහි දොර අගුල් තැබුවේත් මම ය.
11 ‘මේ දක්වා එන්නෙහි ය;
මින් එහා නොයන්නෙහි ය;
නුඹේ එඩිතර රළ පතර මෙහි නවතින්නේ ය’ කියා කීවේත් මම ය.
12 ජෝබ්, නුඹ උපන් දින සිට කිසි ම දාක අලුත් දිනක් උදා වන්නට නුඹ අණ දුන්නෙහි ද?
13 පොළොව පුරා අරුණෝදය නැඟී එන්නටත්,
දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැණවූයෙහි ද?
14 හිරු උදාව, කඳු හා නිම්න මතු කරයි;
ඒවා මැටිවල තබන ලද මුද්‍රාව මෙන් ද ඇඳුමක රැළි මෙන් ද කැපී පෙනෙයි.
15 දවල් එළිය දුදනන්ට දැරිය නොහැකි තරම් දීප්තිමත් ය.
එය ඔවුන්ගේ සැහැසිකම් වළක්වාලයි.
16 නුඹ මුහුදේ උල්පත්වලට ළං වූයෙහි ද?
මුහුදු පත්ලේ යා ගත නොහැකි පෙදෙස්වල ඇවිද්දෙහි ද?
17 මරහුගේ ලොවට පිවිසෙන දොරටු නුඹට පෙන්වා ඇත්තේ ද?
අඳුරු ලොවේ මුර දොරටු කවදාවත් නුඹ දුටුවෙහි ද?
18 මහ පොළොව කොතරම් විසල් දැ යි නුඹ මඳක් වත් දන්නෙහි ද?
දන්නෙහි නම් මට කියව.
19 ආලෝකය එන්නේ කෙහෙන් දැ යි, අඳුර බිහි වන්නේ කොහේ දැ යි නුඹ දන්නෙහි ද?
20 නුඹට ඒවායේ නියම ස්ථානවලට මඟ පෙන්විය හැකි ද?
නුඹට ඒවායේ නිවෙස්වලට ඒවා ගෙන ගිය හැකි ද?
21 නුඹ මෙපමණ දිගායු වළඳා සිටින බැවින්, විශ්වය මැවෙන්නට පෙර නුඹ ජීවත් වී සිටි හෙයින් ඔය කොයි දේත් නුඹට කළ හැකි නොවේ ද?
22 ම විසින් හිම හා ගල් වැහි තැන්පත් කරනු ලැබ ඇති ගබඩාවලට නුඹ කවදාවත් ගොස් තිබේ ද?
23 ඒවා විපත හා යුද කෝලාහල ඇති වන කාලය සඳහා සූදානම් කොට තබා ඇත.
24 හිරු උදා වන ස්ථානයටත්, පෙරදිග සුළං පටන්ගන්න ස්ථානයටත් නුඹ ගොස් තිබේ ද?
25 කඩා වැටෙන වර්ෂාවට දිය අගලක් කැපුවේ කවරෙක් ද?
අකුණු කොටන අහස් තලයට මං පෑදුවේ කවරෙක් ද?
26 මිනිසුන් නැති දේශයකට, කිසිවෙකු නැති මරුකතරකට වැසි වස්වන්නේ කවරෙක් ද?
27 නිල් තණකොළ වැවෙන ලෙසට වියළි පොළොව නිලෙන් වසන්නට ජලය සපයන්නේ කවරෙක් ද?
28 වහින වලාවට, වැටෙන පින්නට පියෙක් නැද් ද?
29 වතුර ගල් කොට, මුහුදු ජලය මිදෙන්නට සලස්වන්නේ කවරෙක් ද?
30 හිම කැට හා අහසේ තුෂාර තම කුසින් ජනිත කරවන මාතාව කවරෙක් ද?
31 හත්දින්නේ තරු වැළ බැඳ තබන්නට හෝ මුව සිරසේ බඳ පටිය ලිහන්නට හෝ නුඹට හැකි ද?
32 නියම කලට ග්‍රහ රාශි චක්‍ර ලග්නවල පිහිටුවන්නට නුඹට හැකි ද?
මහ වලසා සහ කුඩා වලසා නම් තරු වැල් හසුරුවන්නට නුඹට හැකි ද?
33 අහසේ නක්ෂස්ත්‍ර නීති නුඹ දන්නෙහි ද?
පොළොව කෙරෙහි ඒවායේ බලපෑම නුඹට නියම කළ හැකි ද?
34 මහ වැසි දහරින් නුඹ තෙමාලන්නට වලාකුළුවලට අණ දීමට නුඹට හැකි ද?
35 විදුලි කොටන ලෙස එයට අණ දුන්නහොත් ‘හොඳ ම යි මම සූදානම් ය’යි එය නුඹට කියනු ඇද් ද?
36 නයිල් ගඟේ වතුර ගලන්නේ කවදා දැ යි කීමට, අයිබිස් පක්ෂියාට ඉගැන්නුවේත්, වැසි වස්නා දිනය කවදා දැ යි කීමට, කුකුළාට ඉගැන්නුවේත්, කවරෙක් ද?
37 ප්‍රඥාවෙන් වළාකුල් ගනින්ට කාට පුළුවන් ද?
අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන් ද?
38 වැසි වැස්වීමෙන් දූවිලි දැඩි කොට පස් පිඬලි සකස් කරන්නේ කවරෙක් ද?
39-40 නුඹ සිංහ ධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහි ද?
තරුණ සිංහ රාජයන් උන්ගේ ගුහාවල ලැග, වනයේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ සාගින්න නිවන්නෙහි ද?
41 කපුටුවන් සාගින්නෙන් ඔබමොබ පියාඹන විට, උන්ගේ පැටවුන් කෑම ඉල්ලා දෙවිඳුන්ට කෑ ගසන විට උන්ට කෑම සපයන්නේ කවරෙක් ද?
– 39 වන පරිච්ඡේදය –
1 ”පර්වතවල සිටින වල් එළුවන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද?
නොහොත් මුව දෙනුන්ගේ ප්‍රසූත වේලාව නුඹට දැනගත හැකි ද?
2 උන් ගැබ් ගෙන සිටින මාස ගණන් කරන්නට නුඹට පුළුවන් ද?
උන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද?
3 උන් නැඹුරු වී පැටවුන් බිහි කොට විළි රුදා පහ කරගන්න කාලය නුඹ දන්නෙහි ද?
4 උන්ගේ පැටව් වනයේ වැඩී, ලොකු වී, ශක්තිමත් වී පිට වී යති.
යළි ආපසු නොඑති.
5 වල් කොටළුවාට නිදහස දානය කෙළේත්, උගේ බැඳුම් ලිහා මුදා හැරියේත් කවරෙක් ද?
6 මම පාළුකරය ඌට ගෙයක් කොට, ලේවාය ඌට තිප්පලක් කොට නියම කෙළෙමි.
7 ඌ නගරයේ ඝෝෂාව ගණන් නොගනියි.
ඌ රියැදුරාගේ කෑගැසීම නොසලකයි.
8 කඳුකරය උගේ ගොදුරු බිම වේ;
කෑම පිණිස ඌ හැම පලා ජාති සොයා යයි.
9 කුළු හරකා නුඹට වැඩ කරන්නට කැමැති වේ ද?
ඌ රැයෙහි නුඹේ ගාලෙහි ලගිනු ඇද් ද?
10 කුළු හරකා ලණුවකින් හීවිටේ බඳින්නට නුඹට හැකි ද?
නොහොත් නුඹට පිටුපසින් ඌ කුඹුර පෝරු ගානු ඇද් ද?
11 උගේ ශක්තිය මහත් බැවින්, නුඹ ඌ විශ්වාස කර, නුඹේ බර වැඩ ඌට බාර දෙන්නෙහි ද?
12 නුඹේ අස්වැන්න කමතට රැස්කර ගෙනෙනු ඇතැ යි
නුඹ ඌ කෙරෙහි විශ්වාසයක් තබන්නෙහි ද?
13 පැස්බරාගේ පියාපත් වැනෙන වේගය කදිමයි.
එහෙත්, පැස්බරාට කණ කොකා මෙන් පියාඹන්නට නොහැකි ය.
14 ඌ පොළොවෙහි බිජු දමා, පසෙහි තාපයෙන් ඒවා උණුසුම් වීමට තබයි.
15 එහෙත්, ඒවා පයට පෑගෙන්නටත්, වන සතුන්ගේ පාදවලට පොඩි වන්නටත් පුළුවන් බව අමතක කරයි.
16 උගේ පැටවුන් ඌට අයිති නැතිවාක් මෙන් ඌ දැඩි සිතින් උන්ට සලකයි.
උගේ මහන්සිය නිෂ්ඵල වුව ද, එය ගණන් ගන්නේ නැත.
17 දෙවිඳාණෝ උගෙන් ප්‍රඥාව වළක්වා, ඌට නැණ නුවණ නො දී හැරිය සේක.
18 ඌ පියාපත් විදහා දුවන කල ඌ අසුටත්, අසරුවාටත් සිනාසෙයි.
19 ජෝබ්, අසුට වෙර වීරිය දුන්නේ නුඹ ද?
ලෙල දෙන කෙසරු උගේ ගෙලෙහි පැළඳෙව්වේ නුඹ ද?
20 උගේ හේෂාරවයෙන් මිනිසුන් බියගන්වා, පළඟැටියෙකු මෙන් පැන පැන යන්න ඌට සැලැස්සුවේ නුඹ ද?
21 ඌ මිටියාවතෙහි කුර ගසා, ශක්තියෙන් ඔද වැඩී දුවමින් යුද සේනාවලට මුහුණ දෙයි.
22 ඌ භීතියට සරදම් කොට තැති නොගෙන සිටියි.
කඩුපතට පිටුපා නොයයි.
23 හී කොපුව ද දිළිසෙන හෙල්ලය ද කුඩා හෙල්ලය ද උගේ ඇඟේ වැදී දෝංකාර දෙයි.
24 උද්‍යෝගයෙන් කම්පිත ව
25 ඌ වේගයෙන් දුවයි.
පැතිරී යන හොරණෑ හඬ ඇසෙන විට, ඌට නිසල ව සිටිය නොහැකි ය.
ඒ ඒ හොරණෑ හඬට ඌ සතුටු හඬ නඟයි.
සටන ද සෙනෙවියන් අණ දෙන හඬ ද ඌ ඉව අල්ලා දුර දී ම දැන ගනියි.
26 උකුස්සා අහසට නැගී දකුණු දෙසට පියාපත් විදහා යන්නේ නුඹේ නුවණින් ද?
27 රාජාලියා අහසට පියඹා උගේ කැදැල්ල උස් තැනක සාදන්නේ නුඹේ අණ පිට ද?
28 ඌ උස් පර්වත මත වසයි.
ගිරිකුළු මුදුන්වල කැදැල්ල සාදයි.
29 එහි සිට ඈත මෑත බලා, දුර දක්නා දෙනෙතින් ඌ ගොදුරු සොයා ගනියි.
30 මළසිරුර කොතන ද රාජාලියා එතැන ය.
උගේ පැටව් එහි ලේ උරා බොති.”
– 40 වන පරිච්ඡේදය –
1 තවද, දෙවිඳාණෝ ජෝබ්ට පිළිතුරු දෙමින්,
2 ”ජෝබ්, නුඹ සව් බලැති දෙවිඳුන්ට අභියෝග කෙළෙහි ය:
දැන්වත් නුඹ එය අත්හරින්නෙහි ද?
නැතහොත් එයට පිළිතුරු දෙන්නෙහි දැ”යි වදාළ සේක.
ජෝබ්ගේ පිළිතුර
3 එවිට ජෝබ් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
4 ”සමිඳුනි, මම අනුවණ ලෙස කතා කෙළෙමි.
ඔබට කුමන පිළිතුරක් දෙන්නෙම් ද?
මම කට පියා නිහඬ වන්නෙමි.
5 මම එක් වරක්, කතා කෙළෙමි;
පිළිතුරු නොදෙමි.
මම දෙවරක් කතා කෙළෙමි.
ඉන්පසු කතා නොකරමි.”
දෙවිඳාණන්ගේ කතාව
6 එවිට දෙවි තුමාණෝ සැඬ සුළඟෙහි වැඩ සිටිමින් මෙසේ පිළිතුරු දුන් සේක:
7 ”ජෝබ්, මිනිසෙකු මෙන් එඩිතර ව නැඟිට මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙව.
8 ‘මා අසාධාරණ ය’යි තර්ක කොට, ‘නුඹ නිවැරදි ය’යි කියාගෙන නුඹ මට වරද තබන්නට උත්සාහ කරන්නෙහි ද?
9 නුඹ මා වාගේ ම බලසම්පන්න ද?
මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද?
10 හැකි නම්, ගෞරවයෙන් හා උදාරත්වයෙන් සැරසී, විභූතිය හා ශෝභාව පැළඳගෙන නැඟිට එන්න.
11 උඩඟු අය දෙස බලා, උදහස වගුරුවා ඔවුන් පහත හෙළන්න.
12 දුදනන් දෙස නෙත් යොමා යටපත් කර, ඔවුන් වසන තැනෙහි ඔවුන් පොඩි කරදමන්න.
13 ඔවුන් හැම දෙන ධූලියෙහි වළලා, මළවුන්ගේ ලොවෙහි ඔවුන් බැඳ තබව.
14 මෙසේ කළොත්, නුඹේ බාහු බලයෙන් නුඹ ම ගැළවෙන්නට සමත් බැවින් මමත් නුඹ පසසන්නෙමි.
15 දැවැන්ත බෙහෙමොත් නම් සතා දෙස බලන්න.
ඌ මැව්වේත් මම ය;
නුඹ මැව්වේත් මම ය.
ඌ ගොනෙකු මෙන් තණ කොළ කයි.
16 එහෙත්, උගේ තුනටියේ ශක්තිය ද බඩේ මස් ගොබවල බලය ද කල්පනාවට ගන්න.
17 කිහිරි ගසක් මෙන් උගේ වල්ගය කෙළින් වී සිටියි.
උගේ ගාත්වල නහර ශක්තිමත් ය,
18 උගේ ඇටකටු ලෝකඩ වැනි ය;
ඉල ඇට යකඩ පොලු වැනි ය.
19 දෙවිඳුන් මැවූ සතුන් අතර ඉහළ ම තැන ඌ අතේ ය.
ඌ පරාජය කළ හැකි වනුයේ උගේ මැවුම්කාර දෙවි තුමන් හට පමණ ය.
20 සියලු වන සතුන්ගේ කෙළි මඬල වන කඳුවල ඌට අහර පිණිස තණ කොළ ඇත.
21 ඌ කටු පඳුරු යට බට පඳුරු හා වගුරු සෙවණෙහි ලගියි.
22 කටු පඳුරු ඌට සෙවණ දෙයි.
දොළ අසබඩ බට ගස්වලින් ඌ වට වී ඇත.
23 ගං ඉවුරු තළා වතුර නැඟුණත්, ඌට බියක් නැත.
කට දක්වා ගංවතුර ගැලුවත් ඌට කරදරයක් නැත.
24 කොක්කක් දමා ඌ අල්ලා ගන්නට වත් ඌට නාස් ලණුවක් දමන්නට වත් හැකි සමතෙක් ඇද් ද?
– 41 වන පරිච්ඡේදය –
1 ලෙවියාතන් නම් මුහුදු සර්පයා බිලී කටුවකින් අදින්නට වත්, උගේ දිව කඹයකින් බඳින්නට වත් නුඹට හැකි ද?
2 උගේ නාසයේ ලණු පටක් දමන්නට වත්, උගේ හක්ක උලකින් සිදුරු කරන්නට වත් නුඹට පුළුවන් ද?
3 ඌ නුඹට බොහෝ කන්නලව් කරනු ඇද් ද?
නුඹෙන් දයානුකම්පාව අයැදිනු ඇද් ද?
4 සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද?
5 සුරතල් පක්ෂියෙකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම් කරනු ඇද් ද?
නොහොත්, නුඹේ යුවතියන්ගේ විනෝදය පිණිස නුඹ ඌ බැඳ තබන්නෙහි ද?
6 වෙළෙඳ පොළේ ධීවරයන් ඌ ගැන කේවෙල් කරනු ඇද් ද?
වෙළෙඳුන් අතර කපා බෙදාගනු ඇද් ද?
7 උගේ හම මස් හෙල්ලවලින් වත්, උගේ ඔළුව ඇවුළුම් බිලියකින් වත් සිදුරු කරන්නට නුඹට හැකි ද?
8 නුඹ ඌ සමඟ පොරබැදුවොත් ඒ සටනේ තරම සිතා බලනු;
සිතා නිකම් සිටිනු.
9 අනේ!
ලෙවියාතන් නම් තල්මහ දෙස බැලීමෙන් වැඩක් නැත.
ඌ දුටු පමණින් මිනිසා ඇද වැටෙනු නියත ය.
10 ඌ ඇවිස්සීමට තරම් දිරිය ඇති කෙනෙක් නැත.
ඌ සමඟ සටන් කරන්නට සමත් කවරෙක් ද?
11 ඌට පහර දී බේරෙන මිනිසා කවරෙක් ද?
මේ මුළු දෙරණෙහි කවුරුත් නැත.
12 උගේ අවයව, ශූර භාවය හා අංග ලක්ෂණවල රම්‍යතාව ගැන නොකියා සිටින්නට මට නොහැකි ය.
13 උගේ පිට හම ගලවන්නට කාට හැකි වේ ද?
උගේ යකඩ වැනි වැස්ම පසා කරගෙන යන්නේ කවරෙක් ද?
14 ඒසා භයංකාර දත් දෙපෙළින් යුතු උගේ හකු පාඩා දිගහරින්නට හැකි කාට ද?
15 පලිස් පිට පලිස්වලින් වැසීගත් උගේ පිට කළු ගල් මෙන් සවිය ඇත.
16 ඒවා අස්සට සුළඟ පවා නොවදින ලෙස ඒවා එකිනෙකට දැඩි ලෙස යා වී ඇත.
17 ඒවා එකිනෙකට ඇලී, වෙන් කළ නොහැකි ලෙස එකිනෙකට බද්ධ වී ඇත.
18 ඌ කිඹිසින විට එළියක් බබළයි.
උදා වන හිරු මෙන් උගේ ඇස් බබළයි.
19 උගේ මුවින් ගිනි දලු නික්ම යයි.
ගිනි පුපුරු ධාරා ගලා යයි.
20 උදුනේ නටන කල්දේරමකින් මෙන් ද දැවෙන පරඬැල් මෙන් ද උගේ නාස් පුඩුවලින් දුම් නඟියි.
21 උගේ හුස්මෙන් ගිනි අඟුරු නඟියි.
ගිනි ජාලාවක් උගේ කටින් නික්මෙයි.
22 උගේ ගෙල අති බලසම්පන්න ය.
ඌට මුණගැසෙන කවුරුත් බියෙන් ඇලළී යති.
23 උගේ හමේ රැළි එකට ඇලී ඇත.
එය නොනැමෙන යකඩ මෙන් තද ව ඇත.
24 උගේ සිත ගලක් මෙන් ද යටි ඇඹරුම් ගල මෙන් ද තද ය.
25 ඌ නැඟිටින විට මහා වීරයෝ පවා බියට පත් වෙති.
ඌ කඩා පනින විට ඔව්හු බියෙන් ඇලළී යති.
26 කඩුවෙන් වත්, හෙල්ලයෙන් වත්, කුඩා හෙල්ලයෙන් වත්, ඊතලයෙන් වත් පහර දී ඌට තුවාළ කළ නොහැකි ය.
27 යකඩ වුව ද ඌට පිදුරු වැනි ය.
ලෝකඩ වුවත් දිරා ගිය ලීයක් වැනි ය.
28 ඊගස් පහරට ඌ පලා නොයයි.
පටියෙන් ගසන ගල් ඌට පිදුරු මිටක් වැනි ය.
29 පොල්ලක් වුව ද ඌ පිදුරු කැබැල්ලක් මෙන් සලකයි.
කුඩා හෙල්ලය ගසන විට ඌ සිනාසෙයි.
30 උගේ ඇඟේ කොරපොතු තියුණු පිඟන් කැබලි ගොඩක් වැනි ය.
මඬින යන්ත්‍රයක් මෙන් ඌ මඩෙහි ඇදී යයි.
31 ඌ මුහුදු දිය කල්දේරමක වතුර මෙන් නටන්නට සලස්වයි.
එය බුබුළු දම දමා නටන තෙල් බඳුනක් මෙන් කරයි.
32 ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි.
ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි.
33 ඌට සම කළ හැකි සතෙක් මේ මුළු දෙරණෙහි නැත;
ඌ භීතිය නොහඳුනන සත්ත්වයෙකි.
34 ඌ ඉතා ම අභිමානී සතුන් වුව ද හෙළා දකියි.
වන සතුන්ගේ ලොවෙහි අගරජ ලෙස වැජඹෙයි.”
– 42 වන පරිච්ඡේදය –
ජෝබ් පසුතැවී සිත හරවා ගැනීම
1 එවිට ජෝබ්, හිමි තුමන් හට පිළිතුරු දෙමින්, මෙසේ කී ය.
2 ”ඔබ සව් බලැති දෙවි තුමාණන් බවත්, ඔබට නොකළ හැකි කිසිත් නැති බවත්, මම දනිමි.
3 මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය.
මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය.
4 ඔබ කතා කරන විට සවන් දෙන්නටත්, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නටත් ඔබ මට අණ කළ සේක.
5 කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය.
එහෙත්, දැන් මාගේ ම දෙනෙතින් මම ඔබ දැක ගතිමි.
6 එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි;
දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.”
අවසානය
7 තවද, සමිඳාණන් වහන්සේ මේ වචන ජෝබ්ට වදාළ පසු උන් වහන්සේ තේමානීය එලිපස්ට කතා කොට, ”මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹ සහ නුඹේ මිතුරන් දෙදෙනා මා ගැන ඇත්ත නොකී බැවින්, මාගේ උදහස නුඹලා කෙරේ ඇවිළී ඇත. 8 එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක.
9 තේමානීය එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමාතීය ශෝපර් ද ගොස්, සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස කළහ. සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ ආයාචනය පිළිගත් සේක. 10 ජෝබ් සිය මිතුරන් උදෙසා යාච්ඤා කළ විට සමිඳාණන් වහන්සේ ඔහුගේ පෙර පැවති යස ඉසුරු දෙගුණ කොට යළි දුන් සේක. 11 ඔහුගේ සියලු සහෝදර සහෝදරියෝ ද පළමු ඔහු දැන හැඳින සිටි සියල්ලෝ ද ඔහු වෙත පැමිණ ඔහුගේ නිවසෙහි ඔහු සමඟ කෑම කා, සමිඳාණන් වහන්සේ ඔහුට පැමිණෙව් විපත්ති සමුදාය ගැන ශෝකය ප්‍රකාශ කොට ඔහු අස්වැසූ හ. ඔව්හු එකිනෙකා රිදී කාසියක් හා රන් මුද්දක් ඔහුට ත්‍යාගි කළහ. 12 මෙසේ සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ මුල් කාලයට වඩා අවසාන කාලයට ආශීර්වාද කළ සේක. බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගොන්බාන් දහසක් ද කොටළු දෙනුන් දහසක් ද ඔහුට සිටියෝ ය. 13 ඒ ඇර ඔහුට පුත්‍රයන් සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ. 14 ඔහු වැඩිමල් දුවට පාරාපතිනිය යන අර්ථය ඇති ජෙමිමා ද දෙ වැනි දුවට සුගන්ධනී යන අර්ථය ඇති කෙශියා ද තුන් වැනි දුවට සුලෝචනී යන අර්ථය ඇති කෙරෙන්-හප්පූක් ද කියා නම් තැබී ය. 15 ජෝබ්ගේ දූවරු තරම් සුරූපී කාන්තාවෝ ඒ මුළු රටෙහි ම නොසිටියහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සොහොයුරන් සමඟ ඔවුන්ට ද සම්පත් උරුම කොට දුන්නේ ය.
16 ඉන්පසු, කාලයාගේ ඇවෑමෙන් ජෝබ් එකසිය සතළිස් වසක් ජීවත් වී සතර වැනි පරපුර දක්වා දරු මුණුබුරන් දැක 17 දිගායු වළඳා මරණයට පත් වී ය.