– 1 වන පරිච්ඡේදය –
ජෝනා දේව අණට අකීකරු වීම
1 සමිඳාණන් වහන්සේගෙන් අමිත්තයිගේ පුත් ජෝනාට පැමිණි පණිවුඩය මෙසේ ය: 2 ”නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් ඊට විරුද්ධ ව මොරගසන්න; මන්ද, එහි වැසියන්ගේ දුෂ්ටකම මට ඉතා හොඳින් පෙනේ.” 3 එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය.
4 එහෙත්, සමිඳාණන් වහන්සේ මුහුද පිට තද සුළඟක් හමන්න සැලැසූ සේක. එයින් මුහුදේ මහා කුණාටුවක් ඇති වී නැව බිඳෙන්නට විය. 5 එවිට නාවිකයෝ බිය වී, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගැසුවෝ ය. ඔව්හු නැව සැහැල්ලු කරගන්න පිණිස එහි තිබුණු බඩු මුහුදට වීසි කළෝ ය. එහෙත්, ජෝනා නැවේ පහත තට්ටුවට බැස ගොස් බර නින්දකට වැටී හුන්නේ ය.
6 එවිට නැව්පතියා ඔහු ළඟට අවුත්, ”ඔබ හොඳට ම නිදාගෙන සිටීමේ තේරුම කුමක් ද? නැඟිට ඔබේ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. සමහර විට උන් වහන්සේ අප විනාශ නොවන ලෙස අප ගැන සලකනු ඇතැ”යි කී ය.
ජෝනා මුහුදට බිලි දෙනු ලැබීම
7 එකල නාවික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින්, ”මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දැ යි දැනගන්න පිණිස පස ඇට දමමු”යි කී හ. ඒ අනුව ඔව්හු පස ඇට දැමූ හ. පස ඇටය ජෝනාට වැටිණි. 8 එවිට ඔව්හු ජෝනාගෙන් ප්‍රශ්න කරමින්, ”අපට පැමිණි මේ වින්නැහියට වගකිව යුත්තේ කවරෙක් ද? ඔබේ රැකියාව කුමක් ද? ඔබ කොහේ සිට ආවෙහි ද? ඔබේ රට කුමක් ද? ඔබේ ජාතිය කුමක් දැ”යි ඇසූ හ.
9 ඔහු පිළිතුරු දෙමින්, ”මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය. 10 ඔහු සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන බව ඔවුන් දැනගෙන සිටි නිසා ඔව්හු ඉතා බියපත් වී, ”ඔබ කළ මේ හදිය කුමක් දැ”යි ඇසූ හ.
11 කුණාටුව වඩ වඩාත් වේගවත් වූ බැවින්, ”මුහුද නිශ්චල වන පිණිස අප ඔබට කුමක් කළ යුතු දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.
12 ”මා රැගෙන මුහුදට බිලි දෙන්න. එවිට මුහුද නිශ්චල වනු ඇත. මේ මහ කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි”යි ඔහු ඔවුන්ට කීවේ ය.
13 කෙසේ වෙතත්, නාවික පිරිස වෙරළට පැමිණෙන පිණිස වඩාත් වීර්යයෙන් නැව පැදවූ හ. එහෙත්, මුහුද වඩ වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධ ව නැඟී ආ බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය.
14 එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට හඬ ගසා, ”අහෝ සමිඳුනි, මේ මිනිසාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නො වේ වා! නිදොස් කෙනෙකුගේ මරණයට අපි වගකිව යුත්තෝ නොවෙම් වා! මන්ද, සමිඳුනි, ඔබේ කැමැත්ත පරිදි ඔබ ක්‍රියා කළ සේකැ”යි කී හ.
15 ඉන්පසු ඔව්හු ජෝනා මුහුදට බිලි දුන්හ. එවිට මුහුදේ කැළඹීම නැවතිණි. 16 මේ හේතුවෙන් නාවික පිරිස සමිඳාණන් වහන්සේ කෙරෙහි අතිශයින් බියපත් වී, උන් වහන්සේට පූජාවක් ඔප්පු කර බාරහාර පිදූ හ.
17 සමිඳාණන් වහන්සේ ද ජෝනා ගිලගන්න පිණිස මහා මත්ස්‍යයෙකු සූදානම් කළ සේක. ඒ මත්ස්‍යයාගේ කුස තුළ ජෝනා දාවල් තුනක් ද රෑ තුනක් ද සිටියේ ය.
– 2 වන පරිච්ඡේදය –
ජෝනාගේ ස්තූති ප්‍රශංසා යාච්ඤාව
1 ජෝනා මත්ස්‍යයාගේ කුසයේ සිට තම දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය.
2 ”මාගේ පීඩාවේ දී සමිඳුන්ට හඬගැසීමි, එතුමාණෝ මට පිළිතුරු දුන් සේක.
පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූ සේක.
3 ඔබ මුහුද මැද ගැඹුරට මා හෙළූ සේක.
ජලධාරාවෝ මා සිසාරා සිටගත්හ.
තරංග හා ජලකඳ සියල්ල මට උඩින් ගලා ගියේ ය.
4 එවිට මම මෙසේ කීමි:
‘ඔබ ඇස් හමුයෙන් මම පහකරනු ලැබීමි.
එබැවින් ඔබේ ශුද්ධ මාලිගාව දෙස නැවත බලන්නේ කෙසේ ද?’
5 ජලය මා ගෙල දක්වා නැඟ ආවේ ය.
මුහුද මා වට කරගත්තේ ය.
මුහුදු පැළෑටි මාගේ හිස වටේ එතුණේ ය.
6 මම කඳු පත්ලට බැස ගියෙමි;
සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි.
අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්‍රාණය පාතාලයෙන් ගොඩගත් සේක.
7 මාගේ පණ කෙන්ද මැලවී යද්දී, මම සමිඳුන් සිහි කෙළෙමි.
මාගේ අයැදුම ඔබ වෙත නැඟුණේ ය;
ඔබේ ශුද්ධ මාලිගාවට පැමිණියේ ය.
8 බොරු දෙවිවරුන් නමදින්නෝ ඔබට ඇති පක්ෂපාතකම පැහැර හරිති.
9 එහෙත්, මම තුති මුවින් පූජා ඔප්පු කරන්නෙමි.
බාර වූ දේ ගෙවන්නෙමි.
ගැළවීම සමිඳුන්ගෙන් ය.”
10 සමිඳාණෝ මත්ස්‍යයාට කතා කළ සේක. එවිට ඌ ජෝනා ගොඩබිමට වැමෑරී ය.
– 3 වන පරිච්ඡේදය –
නිනිවයේ සෙනඟ පසුතැවී සිත්හරවා ගැනීම
1 සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරට ජෝනා වෙත පැමිණියේ ය. 2 ”නුඹ නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කියන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. 3 එවිට ජෝනා නැඟිට සමිඳාණන් වහන්සේ නියම කළ පරිදි නිනිවයට ගියේ ය. නිනිවය ඉතා විශාල නගරයකි. එය හරහා යාමට දවස් තුනක් ගත වේ. 4 ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර, ”තව දින සතළිසකින් නිනිවය වැනසෙනු ඇතැ”යි මොරගසා ප්‍රකාශ කෙළේ ය.
5 නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය.
6 ඒ ආරංචිය නිනිවයේ රජු වෙත පැමිණි විට, ඔහු සිංහාසනයෙන් බැස, තම සළුව ඉවත ලා දළ රෙදි පොරවාගෙන අළු පිට හිඳගත්තේ ය. 7 එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පළ කෙළේ ය. ඒ මෙසේ ය:
”මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි, මිනිසෙක් වත්, මෘගයෙක් වත්, ගවයෙක් වත්, බැටළුවෙක් වත් කිසි ම දෙයක රස නොබලා වා! කිසි කෑමක් නොකා වා! වතුර නොබෝ වා! 8 මනුෂ්‍යයෝ ද මෘගයෝ ද දළ රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් සේ මොරගසත් වා! ඔව්හු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් ද තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින් ද හැරෙත් වා! 9 අප විනාශ නොවන පිණිස සමහර විට දෙවියන් වහන්සේ හැරී තමන් සිත වෙනස් කරගෙන, තමන්ගේ බලවත් උදහසින් දුරුවන්න බැරි නැත.”
10 දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක.
– 4 වන පරිච්ඡේදය –
දෙවියන් වහන්සේගේ අනුකම්පාව
1 ජෝනා ඊට අතිශයින් අප්‍රසන්න ව කෝප විය. 2 ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: ”අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි. 3 ඉතින් සමිඳුනි, මාගේ ප්‍රාණය මාගෙන් තුරන් කළ මැනව. ජීවිතයට වඩා මරණය මට හොඳ ය.”
4 සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, ”කෝප වීම නුඹට යුතු දැ”යි ඇසූ සේක.
5 එවිට ජෝනා නගරනේ පිටතට ගොස් නගරයට නැගෙනහිරෙන් හිඳගත්තේ ය. ඔහු එහි පැලක් සාදාගෙන නගරයට කුමක් සිදු වේ ද කියා බලන පිණිස එහි සෙවණ යට හිඳගත්තේ ය. 6 දෙවි සමිඳාණන් වහන්සේ, ජෝනා ඔහුගේ දුකින් මුදන පිණිස ලබු වැලක් වැඩෙන්නට නියම කර, ඔහුගේ හිසට උඩින් එය සෙවණක් සේ යන්නට සැලැසූ සේක. ජෝනා ලබු වැල ගැන ඉතා ප්‍රීති විය.
7 එහෙත්, පසු දා පහන් වූ විට ලබු වැල කන පිණිස පණුවෙකු ඇති වන්න දෙවියන් වහන්සේ සැලැසූ සේක. ඌ ලබු වැල කෑ විට එය වියළී ගියේ ය. 8 තවද, ඉර උදා වූ කල, ඉතා උෂ්ණ සුළඟක් පෙරදිගින් හමන්න උන් වහන්සේ නියම කළ සේක. අවුරශ්මිය ජෝනාගේ හිසට වැදී ඔහු ක්ලාන්ත වී, ”ජීවිතයට වඩා මරණය හොඳ ය” කියා සිය ප්‍රාණය හානි කරන ලෙස යාච්ඤා කෙළේ ය.
9 එවිට දෙවියන් වහන්සේ, ”ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. ”මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.
10 එවිට සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, ”නුඹේ ශ්‍රමය වත්, වගාව වත් නැති ව එක රැයකින් ඇති වී, එක රැයකින් නැති වී ගිය ලබු වැල ගැන නුඹ අනුකම්පා කෙළෙහි නම්, 11 තමන්ගේ දකුණතත් වමතත් අතරේ වෙනස නොදන්න එක් ලක්ෂ විසි දහසකට වඩා මනුෂ්‍යයන් ද ගවයන් ද සිටින නිනිවය නම් ඒ ශ්‍රේෂ්ඨ නගරය කෙරෙහි මාත් අනුකම්පා කළ යුතු නොවේ දැ”යි වදාළ සේක.