ජෙරමියා

– 1 වන පරිච්ඡේදය –

ජෙරමියා කැඳවනු ලැබීම

1 මේ වනාහි බෙන්ජමින් වංශයට අයිති අනාතොත්හි විසූ පූජකයන්ගෙන් එක් කෙනෙකු වූ හිල්කියාගේ පුත් ජෙරමියාගේ පණිවුඩය ය. 2 ආමොන්ගේ පුත් ජුදාහි රජ වූ ජොෂියාගේ රාජ්‍ය කාලයේ දහතුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය. 3 ජොෂියාගේ පුත් ජෙහෝයාකිම් ජුදාහි රජ ව සිටි කාලයේ දී ද ජොෂියාගේ පුත්, ජුදාහි රජ වූ ශෙදෙකියාගේ එකොළොස් වන අවුරුද්දේ පස් වන මාසයේ ජෙරුසලමේ වැසියන් විප්‍රවාසයට ගෙනයනු ලැබූ දවස දක්වා ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය. ‍
4 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:
5 ”මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි.
නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි;
ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙළෙමි.”
6 එවිට මම, ”මහෝත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස, මා ළා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි”යි කීවෙමි. 7 එහෙත්,
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:
”නුඹ බාලයෙක් යයි නොකියන්න.
මා නුඹ යවන සියල්ලන් වෙත යන්න.
මා නුඹට අණ කරන සියල්ල පවසන්න.
8 ඔවුන්ට බිය නොවන්න.
මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
9 එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක:
”මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි.
10 උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නට හා හෙළාදමන්නටත්, ගොඩනඟන්නට හා සිටුවන්නටත් ජාතීන් හා රාජ්‍යයන් කෙරෙහි නුඹට බලය දී අද මම නුඹ පත් කෙළෙමි.”

 

දර්ශන දෙකක්

11 එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ”ජෙරමියා, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. ”කලින් පිබිදෙන කොට්ටම්බා ගසක් මට පෙනේ ය”යි මම පිළිතුරු දිනිමි.
12 සමිඳාණන් වහන්සේ කතා කරමින්, ”නුඹ දුටු දේ හරි ය. මන්ද, මාගේ වචනය ඉටු කරන පිණිස මම කලින් බලා සිටිමි”යි වදාළ සේක.
13 එවිට සමිඳාණන් වහන්සේ දෙ වන වරටත් මට කතා කොට, ”නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. ”උතුරු දෙසින් මේ දෙසට කට හැරී ඇති උතුරන හැළියක් මට පෙනේ”යයි මම පිළිතුරු දිනිමි.
14 එවිට සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක: ”මේ දේශයේ සියලු වැසියන් පිට උතුරු දෙසින් විපාක කඩා වැටෙන්නේ ය. 15 මා කියන දේට සවන් දෙන්න. උතුරු දිග රට රාජ්‍යවල සියලු වංශවලට මම අඬගසන්නෙමි. ඔවුන්ගේ රජවරු පැමිණ ජෙරුසලමේ දොරටු අසල ද නගරය වට කළ පවුර අවට ද ජුදාහි සෙසු නගර තුළ ද සිහසුන් පිහිටුවා ගන්නෝ ය. 16 ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර, සිය අත්වලින් සාදාගත් දේව රූපවලට නමස්කාර කළ බැවින්, ඔවුන්ගේ සියලු පාපවලට විරුද්ධ ව මාගේ විනිශ්චයයන් ප්‍රකාශ කරන්නෙමි. 17 ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න. 18 මෙන්න, මුළු දේශයට විරුද්ධ ව ද ජුදාහි රජවරුන්ටත්, අධිපතීන්ටත්, පූජකයන්ටත්, දේශයෙහි සෙනඟටත් විරුද්ධ ව ද අද නුඹ සුරක්ෂිත නගරයක් ද යකඩ කුළුණක් ද ලෝකඩ පවුරක් ද මෙන් ශක්තිමත් කෙළෙමි. මන්ද, මම නුඹ සමඟ සිටින්නේමි. 19 නුඹට විරුද්ධ ව ඔව්හු සටන් කරන්නෝ ය. එහෙත්, නුඹ පරාජය කරන්නට ඔවුන්ට නොහැකි ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”

– 2 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල්වරුන්ගේ අවිශ්වාසවන්තකම

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට, මෙසේ වදාළ සේක: 2 ”ගොස්, ජෙරුසලමේ වැසියන්ට ඇසෙන ලෙස සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය ප්‍රකාශ කරන්න. යොවුන් වියෙහි නුඹ විශ්වාසවන්ත ව සිටි හැටිත්, භාර්යාවකට මෙන් මා නුඹට ප්‍රේම කළ හැටිත්, නොවපුළ දේශයක් වූ පාළුකරයෙහි නුඹ මා පසුපස්සේ ආ හැටිත් මම සිහි කරමි. 3 එම්බා ඉශ්රායෙලය! නුඹ මට පමණක් අයිති ව සිටියෙහි ය. නුඹ මට අස්වැන්නේ නාඹුල් ඵලය මෙන් විය. එයින් කෑ සියල්ලෝ වරදකරුවෝ වූ හ. ඒ නිසා ඔව්හු විපතට පත් වූ හ. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”

ඉශ්රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ගේ පාප

4 ”ජාකොබ්ගේ වංශයේ හා ඉශ්රායෙල් වංශයේ හැම පවුලක් ම සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. 5 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරුන් මා වෙතින් ඈත් වී, නිවට දේව රූපවලට ඇදී ගොස්, නිවට බවට පත් වූයේ, මා කළ කුමන වරදක් නිසා ද? 6 ‘මිසරයේ වහල්කමින් අප මුදා, වළවල් ගහණ වූ, නියඟ හා ගන’ඳුර ඇති, කිසිවෙකු ගමන්බිමන් නොයන, මිනිසුන් නොගැවසෙන දේශයක් වන, පාළුකරය මැදින් ගෙන ගිය සමිඳාණන් වහන්සේ කොහි දැ’යි ඔව්හු නොඇසූ හ. 7 පල අනුභව කිරීම පිණිස ද යහපත් දේ භුක්ති විඳීම පිණිස ද මා නුඹලා සාරවත් දේශයකට පැමිණෙවූ නමුත්, නුඹලා ඒ දේශයට ඇතුළු වී, එය කෙලෙසා මාගේ උරුමය පිළිකුලක් කළහු ය. 8 පූජකයෝ, ‘සමිඳාණන් වහන්සේ කොහි දැ’යි කිසි විටක නොඇසූ හ. ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතුවල යෙදී සිටින්නෝ මා නොහැඳින සිටියෝ ය. පාලකයෝ ද මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. දිවැසිවරු බාල්ගේ නමින් කතා කරමින් වැඩක් නැති දේව රූපවලට නමස්කාර කළහ.”

සිය සෙනඟට විරුද්ධ ව පැමිණිල්ල

9 ”එබැවින් මාගේ සෙනඟට හා ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ටත් විරුද්ධ ව මම නැවතත් පැමිණිල්ලක් කරමි. 10 බස්නාහිරින් පිහිටි සයිප්‍රසයට ගොස් බලා, නැත්නම්, නැගෙනහිරින් පිහිටි කේදාර්ට කෙනෙකු යවා, හොඳට සෝදිසි කර මෙවැන්නක් මීට පෙර වී තිබේ දැ යි කියා බලන්න. 11 කිසි ජාතියක් සිය දෙවිවරුන්, ඇත්තට ම දෙවිවරුන් නොවෙතත් ඒ දෙවිවරුන් වෙනස් කරගෙන ඇද් ද? එහෙත්, මාගේ සෙනඟ ඔවුන්ගේ මහිමාන්විතයාණන් නිසරු දේවලට මාරු කරගෙන ඇත. 12 අහෝ අහස! මේ ගැන බියට පත් වී, ත්‍රස්ත වී මවිත වන්න. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. 13 මාගේ සෙනඟ දෙවිධියක පව් කර ඇත. ඔව්හු ජීවන වතුර උල්පත වන මා අත්හැර දමා, තමන්ට ම කටාරම්, වතුර නාල්ලන බිඳුණු කටාරම් කපාගත්හ.”

ඉශ්රායෙල්වරුන්ගේ පාපයේ විපාකය

14 ”ඉශ්රායෙල් දාසයෙක් ද? නොහොත් ගෙයි උපන් වහලෙක් ද? සිය සතුරන්ට ඉශ්රායෙල් ගොදුරු වී සිටින්නේ මන් ද? 15 ඔවුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සිංහයන් මෙන් ගොරවා ඇත; මහා හඬින් ගොරවා ඇත. ඔවුන් දේශය පාළු කර ඇත. එහි නගර දැන් නටබුන් ය. කිසිවෙක් එහි ජීවත් නොවෙති. 16 මෙම්පිස් හා තාපන්හේස්හි සෙනඟ ඉශ්රායෙල්වරුන්ගේ බලය බිඳදමා ඇත. 17 එම්බා ඉශ්රායෙලය! නුඹේ දෙවි ස්වාමීන් වන මා නුඹ මාර්ගයෙහි ගෙන යන විට පවා නුඹ මා අත්හළ නිසා මේ දේ නුඹ පිට, නුඹ පිට ම, පමුණුවාගත්තා නොවේ ද? 18 ඉදින්, මිසරයට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ එහි නයිල් ගඟෙන් වතුර බොන්නට ද? අසිරියාවට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ යුප්‍රටීස් ගඟෙන් වතුර බොන්නට ද? 19 නුඹේ නපුරුකම නුඹට පඩිසන් දෙයි; මට ද්‍රෝහි වීම නුඹට දොස් පවරයි. නුඹේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අත්හැරදමා යාමත්, මා කෙරෙහි තවත් ගරුබිය නොදැක්වීමත් කොතරම් නපුරු අප්‍රිය දෙයක් දැ යි හොඳින් සලකා බලන්න. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.”

සමිඳුන් නැමදීම ප්‍රතික්ෂේප කිරීම

20 සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”එම්බා ඉශ්රායෙලය, අතීතයේ දී නුඹ මාගේ වියගහ නමැති පාලනයත් මට කීකරුවීමත් ප්‍රතික්ෂේප කර, ‘මම සේවය නොකරන්නෙමි’යි කීවෙහි ය. එහෙත්, උස් වූ හැම හෙලක් පිට ද අතුපතර ඇති හැම ගසක් යට ද නුඹ වැතිර වෙසඟනක මෙන් අන් දෙවිවරුන්ට නමස්කාර කෙළෙහි ය. 21 මම නුඹ හොඳ වර්ගයේ මිදි වැලක් ද ඉතා ම හොඳ බීජයක් ද මෙන් සිටෙව්වෙමි. එහෙත්, නුඹ නරක් වූ වල් මිදි වැලක් බවට පත් වූයේ කෙසේ ද? 22 නුඹ ලුණු මුසු දියෙන් නුඹ ම සෝදා ගත්තත්, බොහෝ සේ සබන් ගාගත්තත්, නුඹේ පාප මා ඉදිරියෙහි නොමැකී පෙනේ. මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ය. 23 ‘මම අපවිත්‍ර නොවෙමි’යි ද, ‘බාල් දෙවියන්ට නමස්කාර නොකෙළෙමි’යි ද නුඹ කියන්නේ කෙසේ ද? මිටියාවතේ නුඹ පව් කළ අන්දමත්, එහි නුඹ කළ දේත් දෙස බලන්න. නුඹ ඒ මේ අත දුවන ඔටු දෙනක හා සමාන ය. 24 නුඹ තෘෂ්ණාවෙන් දැවෙමින් ඉව අල්ලන කාන්තාරයේ වල් කොටළු දෙනක හා සමාන ය. ඈ කුල්මත් වී සිටින විට ඈ දමනය කළ හැක්කේ කාට ද? ඈ සොයන පිරිමි සතාට වෙහෙස වීමට වුවමනාවක් නැත. පට්ටිගසන කාලයේ දී ඈ පහසුවෙන් සොයාගත හැකි ය. 25 එම්බා ඉශ්රායෙලය! නුඹේ පාදවල වහන් නැති වෙන්නට වත්, නුඹේ උගුර පිපාසයෙන් වේළෙන්නට වත්, ඉඩ නොදෙන්න. එහෙත්, නුඹ, ‘එය නිෂ්ඵල ය, එසේ නොව මම අමුත්තන්ට ආලය කෙළෙමි, ඔවුන් පසුපස්සේ යමි’යි කියන්නෙහි ය.”

ඉශ්රායෙල්ට දඬුවම් දීම යුතු ය

26 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”සොරෙකු අසු වූ විට ලජ්ජාවට පැමිණෙන්නාක් මෙන්, ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාගේ රජවරු ද අධිපතියෝ ද පූජකවරු ද දිවැසිවරු ද ඇතුළු සියලු දෙනා ලජ්ජාවට පැමිණෙති. 27 ගසකට, ‘නුඹ මාගේ පියා ය’ කියා ද ගලකට ‘නුඹ මාගේ මව ය’ කියා ද කියන නුඹලා සියලු දෙනා ලජ්ජාවට පත් වනු ඇත. මෙසේ වන්නේ, නුඹලා මා වෙත නොහැරී මට පිටු පෑ බැවිනි. එහෙත්, නුඹලා විපතට පත් වූ විට ‘නැඟිට අප ගැළෙවුව මැනවැ’යි මට කන්නලව් කරන්නහු ය.
28 ”නුඹලා උදෙසා සාදාගත් දෙවිවරු කොයි ද? නුඹලා විපතට පත් වී සිටින විට ඔවුන්ට හැකි නම්, ඔව්හු නුඹලා ගළවා ගනිත් වා! එම්බා ජුදාව! නුඹට නගර ඇති පමණට නුඹට දෙවිවරු ද සිටිති. 29 මට විරුද්ධ ව ඇති නුඹලාගේ පැමිණිල්ල කුමක් ද? මට විරුද්ධ ව නුඹලා කැරලි ගසන්නේ මන්දැ යි ස්වාමීන් වන මම අසමි. 30 මා නුඹලාගේ දරුවන්ට දඬුවම් කළ නමුත්, එයින් යහපතක් නො වී ය. නුඹලා දැනුමැතිකම් පිළිගන්නේත් නැත. වනසාදමන සිංහයෙකු සේ ඔව්හු කඩුවෙන් දිවැසිවරුන් මරාදැමූ හ. 31 මුළු ඉශ්රායෙල් ජනයෙනි, මා නුඹලාට කියන මේ දේට සවන් දෙන්න. මම ඉශ්රායෙල්වරුන්ට කාන්තාරයක් නොහොත් අන්ධකාර දේශයක් මෙන් වූයෙම් ද? එසේ නොවේ නම්, ‘අප නිදහස් ව ඇත; අපි ඔබ වෙත නොපැමිණෙන්නෙමු’යි මාගේ සෙනඟ කියන්නේ මන් ද? 32 තරුණ කාන්තාවක ඇගේ ආභරණ ද මනමාලියක ඇගේ මඟුල් ඇඳුම ද අමතක කරනු ඇද් ද? එහෙත්, මාගේ සෙනඟ ගණන් කළ නොහැකි තරම් දවස් ගණනාවක් මා අමතක කළහ. 33 පෙම්වතුන් ලුහුබැඳ යන්නට නුඹලා හොඳ හැටි දන්නහු ය. නුඹලා නපුරු ස්ත්‍රීන්ට පවා නුඹලාගේ මාර්ග උගන්වා ඇත. 34 අසරණයන්ගේ නිදොස් ලෙය නුඹලාගේ ඇඳුම්වල තැවරී ඇත. ඔවුන් නුඹලාගේ ගෙවල් බින්දේ නැත. 35 එසේ වුව ද, නුඹලා, ‘මම නිදොස් ය; ඇත්තෙන් ම අප සමිඳාණන් වහන්සේ මා සමඟ උදහස් වී නැතැ’යි කියන්නහු ය. ‘අප පව් කර නැතැ’යි නුඹලා කියන නිසා ස්වාමීන් වන මම නුඹලාට දඬුවම් කරන්නෙමි. 36 නුඹලා මාර්ග වෙනස් කරගනිමින් වගකීමෙන් තොර ව තැනින් තැන යන එන රඟ! අසිරියාව මඟින් නුඹලා ලජ්ජාවට පත් වූවාක් මෙන් මිසරය මඟින් ද නුඹලා ලජ්ජාවට පත් වන්නහු ය. 37 නුඹලා ලජ්ජාවෙන් ඔලුව බදාගෙන මිසරයෙන් ද පිටතට යන්නහු ය. ස්වාමීන් වන මම නුඹලා විශ්වාස කළ අය ප්‍රතික්ෂේප කෙළෙමි. ඔවුන් නුඹලාට සව් සැප අත්කර දෙන්නේ නැත.”

– 3 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල්ගේ අවිශ්වාසකම

1 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළසේක: ”මිනිසෙකු සිය භාර්යාව දික්කසාද කළ පසු, ඈ ඔහුගෙන් වෙන් වී ගොස් වෙන මිනිසෙකුගේ භාර්යාව වූවොත්, පළමු පුරුෂයා නැවත ඈ වෙත හැරී යනු ඇද් ද? එසේ කිරීමෙන් සහමුලින් ම දේශය අපවිත්‍ර නොවන්නේ ද? එහෙත්, ඉශ්රායෙලය, නුඹ පෙම්වතුන් බොහෝ දෙනෙකු සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. එහෙයින් මා වෙත හැරී එන්නට නුඹට පුළුවන් ද? මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ ය. 2 පාළු කඳු දෙසට ඇස් ඔසවා බලා, නුඹ වේශ්‍යාකම් නොකළ තැනක් ඇද්දැ යි බලන්න. කාන්තාරයේ බලා සිටින අරාබියෙකු සේ පෙම්වතුන් එන තෙක් නුඹ පාර අයිනේ බලා සිටියෙහි ය. නුඹේ දූෂිත වේශ්‍යාකම් නිසා නුඹ දේශය අපවිත්‍ර කෙළෙහි ය. 3 වැහිවලා වළක්වනු ලැබුවේත්, වසන්ත කාලයේ වැසි නොවැස්සේත් ඒ නිසා ය. වේශ්‍යාවකගේ පෙනුම නුඹට ඇත; එහෙත්, නුඹට කිසි ලජ්ජාවක් නැත.
4 ”දැන් පවා නුඹ මට මෙසේ හඬ නොගැසුවෙහි ද? ‘පියාණෙනි, මාගේ තරුණ වියෙහි දී ඔබ වහන්සේ මට ප්‍රේම කළ සේක. 5 ඔබ වහන්සේ මා සමඟ කෝප වන්නේ නැත; සදහට ම මා සමඟ උරණවන සේක් ද?’ ඉශ්රායෙලය, නුඹ එසේ කී නමුත් නුඹට හැකි නපුරුකම් සියල්ල ම නුඹ කර ඇත.”

පසුතැවී සිත හරවා ගැනීමේ අවශ්‍යතාව

6 ජොෂියා රජු දවස සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”අර ඉශ්රායෙල් අඟන, මට ද්‍රෝහි ව කළ දේ නුඹ දුටුවෙහි ද? ඈ උස් වූ සියලු කඳු උඩටත්, සියලු අතුපතර ඇති ගස් යටටත් ගොස් එහි දී වේශ්‍යාකම් කළා ය. 7 ‘ඈ ඒ සියල්ල කළ පසු මා වෙත හැරී එනු ඇතැ’යි ස්වාමීන් වන මම සිතුවෙමි. එහෙත්, ඈ හැරී ආවේ නැත. ඇගේ ද්‍රෝහිකාර සොහොයුරී වන ජුදා අඟන එය දුටුවා ය. 8 ඉශ්රායෙලය මට පක්ෂපාතකම අත්හැර වේශ්‍යාවක වූ බැවින් මා ඈ දික්කසාද කර පලවා හැරිය බව ජුදා අඟන දුටුවා ය. එහෙත්, ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා බිය නොවී ගොස් වේශ්‍යාකම් කළා ය. 9 වේශ්‍යාකම සුළු දෙයක් කොට සලකා ගල් හා ගස්වලට නමස්කාර කිරීමේ වේශ්‍යාකමින් ඈ දේශය පිළිකුල් කළා ය. 10 මේ සියල්ල කළ පසු ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා සැබෑ සිතින් නොව ව්‍යාජ සිතින් මා වෙත හැරී ආවා ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
11 එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ”ඉශ්රායෙල් උන් වහන්සේට ඇති පක්ෂපාතකමින් ඉවත් ව ගිය නමුත්, ද්‍රෝහිකාර ජුදාව තරම් වරදකාරියක් නොවූවා යැ”යි වදාළ සේක. 12 උතුරු දෙසට ගොස් ඉශ්රායෙල්ට මෙසේ පවසන්නට යයි උන් වහන්සේ මට වදාළ සේක: ”ඉවත් ව ගිය ඉශ්රායෙල් ආපසු හැරී එන්න. ස්වාමීන් වන දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක. මම කරුණාවන්ත බැවින් නුඹ දෙස කො‍්පයෙන් නොබලන්නෙමි; සදහට ම උදහස තබා නොගන්නෙමි. 13 වරද කළ නුඹ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසූ බව පිළිගන්න. මාගේ හඬට කීකරු නොවී, හැම අතුපතර ඇති ගස් යට විදේශීය දෙවිවරුන්ට නුඹේ ආදරය දුන් බව පිළිගන්න. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.
14 ”මා කෙරෙන් වෙන් ව ගිය දරුවෙනි, මා නුඹලාගේ ස්වාමීන් වන බැවින් මා වෙත හැරී එන්න. මම නගරයකින් එක් කෙනෙකු ද වංශයකින් දෙදෙනෙකු ද නුඹලා අතරෙන් පිළිගෙන සියොන් කන්දට පමුණුවන්නෙමි. 15 මට හිතවත් පාලකයන් නුඹලාට දෙන්නෙමි. ඔවුන් ප්‍රඥාවෙන් ද සිහි නුවණින් ද නුඹලා පො‍්ෂණය කරනු ඇත. 16 මෙසේ නුඹලා දේශයේ වැඩි වී බහුල වූ විට, ගිවිසුම් කරඬුව ගැන සෙනඟ තවත් කතා කරන්නේ වත්, ඒ ගැන සිහි කරන්නේ වත් නැත; තවත් ගිවිසුම් කරඬුවක් ඔවුන් සාදාගන්නේ වත් නැත. 17 ඒ කාලය පැමිණි විට ජෙරුසලම සමිඳාණන් වහන්සේගේ සිංහාසනය යයි කියනු ලබන්නේ ය. සියලු ජාතීන් සමිඳාණන් වහන්සේ වැඩ සිටින ජෙරුසලමේ රැස් වනු ඇත. ඔව්හු තමන්ගේ නපුරු සිතිවිලි අනුව මුරණ්ඩුකමින් තවත් නොහැසිරෙන්නෝ ය. 18 ඒ කාලයේ දී ජුදා වංශය ඉශ්රායෙල් වංශය සමඟ එක් වී උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුම කර දෙන ලද දේශයට එක් ව එනු ඇත.”

දේව රූප නමස්කාරය

19 ”ඉශ්රායෙලය, නුඹ මාගේ දරුවා වශයෙන් පිළිගෙන, ලොවේ ඇති ඉතා ම අලංකාර, ප්‍රියංකර දේශය නුඹට උරුම කොට දෙන්නෙමි. නුඹ මට ‘පියාණෙනි’යි අමතමින් මා වෙතින් ඉවත් ව නොයනු ඇතැ යි මම සිතුවෙමි. 20 එහෙත්, ඉශ්රායෙල් වංශය, භාර්යාවක ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම් කර වෙන් වී යන ලෙස නුඹලා මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහු ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.
21 ”පාළු කඳු මුදුනෙහි හඬක් ඇසෙයි. ඒ වනාහි, ඉශ්රායෙල් සෙනඟ පවිටු මඟ ගිය නිසාත්, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කළ නිසාත් නැඟෙන ඔවුන්ගේ විලාපයේ හා කන්නලව්වේ හඬ ය. 22 සමිඳාණන් වහන්සේට විපක්ෂ ව ගිය දරුවෙනි, ආපසු හැරී එන්න. මම නුඹලාගේ ද්‍රෝහිකම නවත්වා නුඹලා සුව කරන්නෙමි. එවිට නුඹලා මෙසේ පිළිතුරු දෙන්නහු ය: ‘මෙන්න අපි ඔබ වහන්සේ වෙත පැමිණ සිටිමු; මන්ද, ඔබ වහන්සේ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය. 23 සැබැවින් ම හෙල් මුදුන්හි මායාව ද කඳු මුදුන්හි මධුපානෝත්සවය ද කරන සෙනඟගෙන් වත් අපට පිහිටක් නැත. ඉශ්රායෙල්ට සැබැවින් ම ගැළවීම ලැබෙන්නේ ස්වාමීන් වන දෙවියන් වහන්සේගෙන් ය. 24 බාල් නම් නින්දිතකමේ දෙවියා අපේ බාල වයසේ පටන් අපේ පියවරුන්ගේ වස්තු ද ඔවුන්ගේ බැටළුවන් සහ ගවයන් ද ඔවුන්ගේ පුත්‍රයන් සහ දූවරුන් ද කාදැමුවේ ය. 25 අපි ලජ්ජාවෙන් වැතිර සිටියෙමු. අපේ නින්දාව අප වසාගනී වා. මන්ද, අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපි ද අපේ පියවරු ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු.’ ”

 

– 4 වන පරිච්ඡේදය –

පසුතැවී සිත හරවා ගැනීමට කැඳවීම

1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඉතින් ඉශ්රායෙල්, නුඹ හැරී ආ යුත්තේ මා වෙත ය. මා පිළිකුල් කරන දේවරූප ස්ථීර ව පහකර දමා නුඹ මට පක්ෂපාත වන්නෙහි නම්, 2 සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”
3 සමිඳාණන් වහන්සේ ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට මෙසේ වදාරන සේක: ”කටු අතරේ නොවපුරා පුරන් බිම් කොටා ගන්න. 4 ජුදාහි වැසියෙනි, ජෙරුසලමේ වැසියෙනි, නුඹලාගේ සිතෙන් පාප මල කපා හරින්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්නට බැරි ලෙස ඇවිලෙනු ඇත.”

ආක්‍රමණය ගැන තර්ජනයක්

5 ”දේශය මුළුල්ලේ හොරණෑව පිඹ මොරගසා, ‘අපි එක්රැස් වී බලකොටු සහිත නගරවලට යමු’ කියා ජුදාව පුරා පතුරුවන්න; ජෙරුසලමේ ප්‍රකාශ කරන්න. 6 සියොන් දෙසට සංඥාවක් දෙන සංකේතයක් නඟන්න; ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ උතුරෙන් විපත්තියක් ද මහා විනාශයක් ද පමුණුවන සේක; 7 සිංහයෙක් සිය වනයෙන් නික්මුණේ ය. ජාතීන් වනසන්නෙක් නික්ම ගියේ ය. නුඹේ දේශය පාළු කරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත් වී ගමන් කරන්නේ ය; වැසියෙකු ඉතිරි නොවන හැටියට නුඹේ නගර විනාශ වන්නේ ය. 8 එබැවින් ගෝණි රෙදි ඇඳගෙන, විලාප කියමින්, කෑමොරගසන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ බලවත් උදහස ජුදාවෙන් පහ ව නොගියේ ය.”
9 සමිඳාණන් වහන්සේ කතා කොට, ”ඒ දවසේ දී රජුගේ සිත ද අධිපතීන්ගේ සිත් ද අධෛර්ය වන්නේ ය; පූජකයෝ බියපත් වන්නෝ ය. දිවැසිවරු ත්‍රස්ත වන්නෝ ය”යි වදාළ සේක.
10 එවිට මම කතා කොට, ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේ ජෙරුසලම් ජනයා සහමුලින් ම රැවටූ සේක: මන්ද, ‘සාමය ඇති වන්නේ ය’යි ඔබ වදාළ නමුත්, දැන් ඔවුන්ගේ ගෙලට කඩුව එල්ල වී ඇතැ”යි කීවෙමි.
11 සමිඳාණන් වහන්සේගෙන් මාගේ සෙනඟ දෙසට කඳු මුදුන්වලින් හමන සුළඟ පොළනු ලබන්නට වත්, ශුද්ධ කරනු ලබන්නට වත් හමන සුළඟක් නොව, ඊට වඩා දවාලන සුළඟක් බව ජෙරුසලමට සහ එහි වැසියන්ට කියන කාලය පැමිණෙන්නේ ය. එය පෙළීමට වත් ශුද්ධ කිරීමට වත් නොවන්නේ ය. 12 සමිඳාණන් වහන්සේගේ නියමයෙන් ඇති වන ඒ සුළඟ එයට වඩා දරුණු ය. දැන් සමිඳාණන් වහන්සේ ම සිය සෙනඟට විරුද්ධ ව විනිශ්චය ප්‍රකාශ කරන සේක.

ජුදා වටලනු ලැබීම

13 ”බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!
14 ”එම්බා ජෙරුසලම! නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදාගෙන එහි ඇති නපුරුකම් පහ කරන්න. නුඹේ නපුරු සිතිවිලි නුඹ තුළ කොපමණ කල් පවතිනු ඇද් ද?
15 ”දාන් සිට ද එප්‍රායිම් කන්ද කෙරෙන් ද නුඹට වන විපත ගැන කතාව පැතිරී යන්නේය. 16 ජුදා නගරවලට විරුද්ධ ව ද හඬ නඟමින් දුර රටක සිට ඒවා වටකරින් එන බවට අනතුරු අඟවන්න; ජෙරුසලමේ එය ප්‍රකාශ කරන්න. 17 ජුදා මට විරුද්ධ ව කැරලි ගසා ඇති බැවින්, මුරකරුවන් කෙතක් වටකර සිටින්නාක් මෙන් සතුරන් ජෙරුසලම වටලනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.
18 ”නුඹේ කල්ක්‍රියාවෙන් හා නුඹ කළ කී දෙයින් නුඹ ම මේ විපත නුඹ පිට පමුණුවාගෙන ඇත. මෙය නුඹේ ඉරණම වේ. එය ඉතා දරුණු ය, එය නුඹේ හදවත සිදුරු කර ඇත.”

සිය සෙනඟ ගැන ජෙරමියාගේ ශෝකය

19 අනේ! මාගේ දරුණු වේදනාව, මාගේ දරුණු වේදනාව. ඒ වේදනාවෙන් මම ඇඹරෙන්නෙමි. අහෝ මාගේ පපුව! මාගේ පපුව තදින් ගැහෙයි. මට නිශ්ශබ්ද ව සිටින්නට බැරි ය. මන්ද, හොරණෑ හඬත්, රණ හඬත් මට ඇසුණේ ය. 20 විපත පිට විපත පැමිණ ඇත; මුළු රට ම නාස්ති වී ඇත. හදිසියේ ම මාගේ කූඩාරම විනාශ විය; එහි තිර වැසුම් ඉරී ගියේ ය. 21 කොපමණ කල් මම ධජ සංකේතය දෙස බලා සිටිම් ද? කොපමණ කල් යුද්ධ හොරණෑ හඬ අසම් ද? 22 සමිඳාණන් වහන්සේ කතා කොට, ”මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.

පැමිණෙන විනාශය ගැන දර්ශනය

23 පොළොව දෙස බැලූ විට එය පාළු ව, හිස් ව තිබෙන බවත්, අහස දෙස බැලූ විට එහි එළිය නැති බවත් මම දිටිමි. 24 කඳු දෙස බැලූ විට ඒවා කම්පා වන බවත්, සියලු හෙල් වැනෙන බවත් දිටිමි. 25 මා බැලූ විට, කිසි ම මිනිසෙකු නොසිටි බවත්, අහසේ සියලු පක්ෂීන් පලා ගොස් ඇති බවත් දිටිමි. 26 මා බැලූ විට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි උන් වහන්සේගේ බලවත් උදහස නිසා සාරවත් දේශය කාන්තාරයක් වූ බවත්, එහි සියලු නගර නටබුන් වී තිබෙන බවත් දිටිමි. 27 මුළු පොළොව ම පාළු වන බවත්, ඒ නමුත් තීන්දුවට ම උන් වහන්සේ එය විනාශ නොකරන බවත් සමිඳාණන් වහන්සේ වදාරා ඇත. 28 මිහි කත වැලපෙන්නී ය; අහස අඳුරු වන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ එය අදහස් කර ඇත; උන් වහන්සේ ආපසු බලන්නේ වත්, සිය අදහස වෙනස් කරන්නේ වත් නැත. 29 සියලු නගරවල වැසියෝ අසරුවන්ගේ ද දුනුවායින්ගේ ද ඝෝෂාවට පලා ගොස් බැදිවලට ඇතුළු වෙති; පර්වතවලට නඟිති. සියලු ම නගර අත්හරිනු ලැබ ඇත. කිසිවෙක් එහි වාසය නොකරති. 30 පාළුවට ගිය ජෙරුසලම, නුඹ රතු වස්ත්‍ර පැළඳගත්තත්, ස්වර්ණාභරණවලින් සැරසුණත්, නුඹේ ඇස්වල අඳුන් ගාගත්තත්, නුඹේ අලංකාර වීම නිෂ්ඵල වන්නේ ය. නුඹේ ප්‍රේම වන්තයෝ නුඹ ප්‍රතික්ෂේප කරති; ඔව්හු නුඹේ ප්‍රාණය හානි කරන්නට සොයති. 31 විළිරුජා ඇති ස්ත්‍රියකගේ හැඬීම මෙන් ද කුලුඳුලා බිහි කරන ස්ත්‍රියකගේ ප්‍රසව වේදනාව මෙන් ද සියොන් දුවගේ හඬ මට ඇසුණේ ය. ඈ හතිදමමින් කෙඳිරිගාමින්, ඇගේ අත් විදහාගෙන, ”අහෝ! මට විපත ය; මා මරන්නට එන අය ඉදිරියේ මම ක්ලාන්ත වෙමි”යි කියන්නී ය.

– 5 වන පරිච්ඡේදය –

ජෙරුසලමේ පාපය

1 ජෙරුසලම් ජනයෙනි, වීදිවල ඔබමොබ දුව ගොස් බලන්න; ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. යුක්තිය කරන, සත්‍යය සොයන එක ද මිනිසෙක් වත් ඇද්දැ යි සොයා බලන්න. එවැන්නෙක් ඇත්නම්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමට කමා වනු ඇත. 2 ඔවුන්, ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන නමුත්, ඇත්තෙන් ම ඔවුන් දිවුරන්නේ බොරුවට ය. 3 අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය. 4 එවිට මම මෙසේ කීවෙමි: ”සැබැවින් ම මොවුහු අඥානයෝ ය. සමිඳාණන් වහන්සේගේ මාර්ගය ද තමන්ගේ දෙවියන් වහන්සේගේ ආඥා ද නොදන්න බැවින් මොවුහු මෝඩ ලෙස හැසිරෙති. 5 මම උත්තමයන් වෙත ගොස් ඔවුන්ට කතා කරන්නෙමි. මන්ද, ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාර්ගය ද තමන්ගේ දෙවියන් වහන්සේගේ ආඥා ද දනිති.” එහෙත්, ඔව්හු සියල්ලෝ ම සමිඳාණන් වහන්සේගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කර උන් වහන්සේට කීකරු වීමට අකමැති වූ හ. 6 මේ නිසා කැළෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේ ය; සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්ති කරන්නේ ය; දිවියෙක් ඔවුන්ගේ නගර ළඟ රැක ඉන්නේ ය; එයින් පිටත යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝ ය. මන්ද, ඔවුන්ගේ වැරදි බහුල වී ඇත; ඔවුන්ගේ මිසදිටුකම වැඩි වී ඇත. 7 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මා නුඹට කමා වන්නේ කෙසේ ද? නුඹේ දරුවෝ මා අත්හැර, බොරු දෙවිවරුන්ගේ නමින් දිවුළෝ ය. මා ඔවුන්ට කන්නට දී තෘප්තියට පැමිණෙවූ පසුත් ඔව්හු කාමමිථ්‍යාචාරය කළෝ ය. ඔව්හු රංචු ගැසී වේශ්‍යාවන්ගේ ගෙවලට ඇතුළු වුණෝ ය. 8 ඔව්හු හොඳට පො‍්ෂ්‍ය වී සිටින අශ්වයන් මෙන් එකිනෙකා තම තමාගේ අසල්වැසියාගේ භාර්යාවට හේෂාරව කළහ. 9 මේ කාරණා නිසා මම ඔවුන්ට දඬුවම් නොකර සිටිම් ද? මෙවැනි ජාතියකින් මම පළි නොගෙන සිටිම් ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය. 10 දේශය සහමුලින් ම විනාශ නොකර මිදි අතු කපා දමන්නට කියා ද අතු සමිඳාණන් වහන්සේට අයිති නැති නිසා ඒවා කපා දමන්නට කියා ද මම නියම කරමි. 11 ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මට විරුද්ධ ව බොහෝ සේ ද්‍රෝහිකම් කර ඇත. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”

ඉශ්රායෙල් ප්‍රතික්ෂේප කරනු ලැබීම

12 සෙනඟ සමිඳාණන් වහන්සේ ගැන බොරු කියා, ”උන් වහන්සේ ක්‍රියා නොකර සිටින සේක; අප පිට කිසි විපතක් නොපැමිණෙයි; කඩුව වත්, සාගතය වත් දකින්නට අපට සිදු නොවෙයි; 13 දිවැසිවරු සුළඟ හා සමාන ය; දේව වචනය ඔවුන් තුළ නැතැ”යි පවසති. 14 ඔවුන්ට මෙසේ සිදු වනු ඇත. නුඹලා මෙසේ කියන බැවින් සියලු බලැති දෙවියන් වහන්සේ මට වදාරන වචන මෙසේ ය: ”මාගේ වචන නුඹේ මුඛයෙහි ගින්නක් මෙන් ද සෙනඟ දර මෙන් ද කරන්නෙමි. එයින් ඔවුන් දැවී යනු ඇත.”
15 ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව දුර සිට ජාතියක් ගෙනෙන සේක. ඔව්හු බලවත් පැරණි ජාතියක් ය. ඔව්හු ඔබ නොදන්න භාෂාවක් කතා කරති. ඔවුන් කියන දේ ඔබට තේරෙන්නේ නැත. 16 ඔවුන්ගේ ඊ කොපු ඇරී තිබෙන මිනීවළක් වැනි ය; ඔව්හු සියල්ලෝ ම වීරයෝ ය. 17 ඔවුන් ඔබේ පුත්‍රයන් ද දූවරුන් ද ඔබේ අස්වැන්න ද ඔබේ ආහාර ද කාදමනු ඇත; ඔබේ බැටළුවන් ද ගවයන් ද කාදමනු ඇත; ඔබේ මිදි වැල් ද අත්තික්කා ගස් ද කාදමනු ඇත. ඔබේ විශ්වාසය තබා ඇති ඔබේ බලකොටු නගර ඔවුන් කඩුවෙන් නටබුන් කරනු ඇත.
18 ”එසේ වී නමුත් ඒ දවස්වල දී වුව ද සහමුලින් ම නුඹලා නැති කරන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. 19 තවද, ”අපේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සියල්ල අපට කෙළේ මන්දැ”යි සෙනඟ අසන කල, ” ‘නුඹලා මා අත්හැර නුඹලාගේ දේශයේ දී විජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කළ ලෙස ම, නුඹලාට අයිති නැති දේශයක දී විජාතීන්ට නුඹලා සේවය කරන්නහු යැ’යි ඔවුන්ට කියන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.

සෙනඟට අනතුරු ඇඟවීම

20 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ජාකොබ්ගේ වංශයටත්, ජුදාහි සෙනඟටත් මෙසේ කියන්න: 21 මෝඩ, තේරුම් නැති, ඇස් තිබෙන නමුත් නොදකින, කන් තිබෙන නමුත් නොඅසන ජනයෙනි, 22 ස්වාමීන් වන මම මෙසේ අසමි: නුඹලා මට බිය වන්නේ නැද් ද? මා ඉදිරියේ වෙවුළන්නේ නැද් ද? මුහුදේ මායිමක් වශයෙන් මම වෙරළ තැබුවෙමි. එය වනාහි පසු කර නොයා හැකි ස්ථිර මායිමකි. රැළ ගසන නමුත්, ඒ මායිම ඉක්මවා යන්නට එයට නොහැකි ය. රැළ ඝෝෂා කරන නමුත්, එය පසු කර යන්නට එයට බැරි ය. 23 එහෙත් ජනයෙනි, මේ සෙනඟට මුරණ්ඩු කැරලිකාර සිතක් ඇත. සෙනඟ ඉවතට හැරී මා අත්හැර ගොස් ඇත. 24 ‘සරත් කාලයේ දී ද වසන්ත කාලයේ දී ද නියම කලට වැසි දෙන, ගොයම් කැපීමට නියම සති අපට සලසා දෙන අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය ඇති ව සිටිමු’යි මේ සෙනඟ වන නුඹලා තමන් සිත් තුළ නොකීවහු ය. 25 නුඹලාගේ අපරාධ නිසා ඒවා පහ ව ගියේ ය; නුඹලාගේ පාපය නිසා ශුභසිද්ධිය නුඹලාට නොලැබී ගියේ ය.
26 ”මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. එබී, නැමී බලා සිටින පක්ෂි වැද්දන් මෙන් ඔව්හු රැක සිටිති. ඔව්හු මලපතක් තබා මිනිසුන් අසු කරගනිති. 27 පක්ෂීන්ගෙන් පිරී තිබෙන කූඩුවක් මෙන් ඔවුන්ගේ ගෙවල් කොල්ලකෑ දෙයින් පිරී තිබේ. ඒ නිසා ඔව්හු බලවත් වී, පොහොසත් වී සිටිති. 28 තරබාරු සතුන් මෙන් වී වසති. ඔවුන්ගේ දුෂ්ටකම්වලට ඉමක්කොනක් නැත. ඔව්හු අනාථයන්ගේ අයිතිවාසිකම් සාධාරණ ලෙස නොවිසඳා ඔවුන්ගේ සැහැසිකම් නොසලකා හරිති. දිළිඳුන්ට යුක්තිය ඉටු කර නොදෙති. 29 එහෙයින්, මේ කාරණා නිසා මම ඔවුන්ට දඬුවම් කරමි; මේ ජාතියෙන් මම පළිගන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 30 පුදුම, භයංකර සිද්ධියක් දේශයෙහි සිදු වී ඇත. 31 දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”

 

– 6 වන පරිච්ඡේදය –

ජෙරුසලම වටලනු ලැබීම

1 ”බෙන්ජමින් වංශයේ ජනයෙනි, ආරක්ෂාව පිණිස ජෙරුසලමෙන් පලා යන්න. තෙකෝවාහි හොරණෑ පිඹින්න; බෙත්හක්කෙරෙම් මත සලකුණක් නඟන්න. මන්ද, විපත්තියක් ද මහා විනාශයක් ද උතුරෙන් ළඟා වන ලකුණු ඇත. 2 ශෝභන, සිව්මැලි තැනැත්තියක වන සියොන් පුරඟන වනසනු ලබන්නී ය. 3 එඬේරු සිය පට්ටි රැගෙන ඈට විරුද්ධ ව පැමිණෙති. ඔව්හු ඈ වටලා, සිය කූඩාරම් පිහිටුවා, තමන් රිසි සේ නිල් තණ කවන්නො‍් ය. 4 තවද, ඔවුන් කතා කොට, ‘ජෙරුසලමට විරුද්ධ ව සටනට සැරසෙන්න; නැඟිටින්න, ඉර මුදුන් වේලාවේ දී අපි පහර දෙමු’යි කියනු ඇත. එසේ වුව ද, ‘දැන් කල් වේලා ගත වී ඇත; දවාල පහ වී සවස සෙවණැලි වැටීගෙන එයි; 5 සැරසෙන්න, අද රෑ අපි පහර දී ජෙරුසලම් වාසල් බිඳලමු’යි ඔව්හු කියති.
6 ”සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලම වටලන පිණිස ගස් කපාගෙන බලකොටු සාදාගන්න. දඬුවම ලැබිය යුතු නගරය මෙය වේ. තාඩන පීඩන හැර අන් කිසිවක් එහි නැත. 7 ළිඳකින් වතුර උනන සේ ජෙරුසලමෙන් නපුරුකම උනන්නේ ය. තාඩන පීඩන ගැන ආරංචි ඇසෙන්නේ ය; රෝගත්, තුවාළත් මට නිතර ම දක්නට ලැබේ. 8 එම්බා ජෙරුසලම! මා නුඹෙන් වෙන් වී නොයන පිණිසත්, මා විසින් නුඹ පාළු, වැසියන් නැති දේශයක් කරනු නොලබන පිණිසත් මේ අනතුරු ඇඟවීම සිතට ගන්න.”

කැරලිකාර ඉශ්රායෙලය

9 සියලු බලැති සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාරන සේක: ”කිසිත් ඉතිරි නොවන ලෙස ගොවියෙකු අතු සූරා මිදි පල එකතු කරන සේ, ඉශ්රායෙල්හි කිසිවක් ඉතිරි නොවන පරිදි ඔව්හු රැස් කරගනිති.”
10 මම මෙසේ පිළිතුරු දිනිමි: ”සවන් දෙන හැටියට මම කාට කතා කර අවවාද කරම් ද? ඔවුන් මුරණ්ඩු වී ඔවුන්ගේ කන් වසාගෙන ඇති බැවින් සවන් දෙන්නට ඔවුන්ට බැරි ය. සමිඳාණන් වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී ඇත. ඔව්හු එයට ප්‍රිය නොවෙති. 11 ඒ නිසා සමිඳුනි, මම ඔබේ කෝපයෙන් පිරී සිටිමි. එයින් මම වෙහෙසට පත් වී සිටිමි.” එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”වීදිවල සිටින ළමයින් පිටත්, තරුණයන්ගේ රැස්වීම් පිටත් මාගේ කෝපය වගුරන්න. පුරුෂයා භාර්යාව සමඟ ද මහලු අය ඉතා වයස්ගත අය සමඟ ද ගෙනයනු ලබන්නෝ ය. 12 ඔවුන්ගේ ගෙවල් ද වතුපිටි ද භාර්යාවන් ද අන්‍යයන්ට අයිති වනු ඇත. මේ දේශයේ සිටින සෙනඟට මම දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 13 ඔවුන්ගෙන් කුඩා අය සිට ලොකු අය දක්වා සියල්ලෝ ම අයුතු ලාභ උපයා ගනිති: දිවැසිවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝ ම වංචාකම් කරති. 14 තුවාළයකට මතුපිටින් පිළියම් කරන සේ සාමය නැති විට පවා ඔව්හු, ‘සාමය, සාමය’ කියමින් මාගේ සෙනඟ සනසති. 15 ඔවුන් කළ පිළිකුල් දේ ගැන ඔව්හු ලජ්ජා වූවෝ ද? නැත. ඔවුන්ට කොහෙත් ම ලජ්ජාවක් හෝ නින්දාවක් හෝ දැනුණේ වත් නැත. එබැවින්, වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනු ඇත. මා ඔවුන්ට දඬුවම් කරන කාලයෙහි ඔව්හු නැත්තට ම නැති වන්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”

සිය සෙනඟ ප්‍රතික්ෂේප කරනු ලැබීම

16 සමිඳාණන් වහන්සේ සිය සෙනඟට මෙසේ වදාරන සේක: ”මං සන්ධිවල සිට බලා, පුරාණ මාර්ග මොනවා දැ යි ද යහපත් මාර්ගය කුමක් දැ යි ද අසා ඒ මඟ ඇවිදින්න; එවිට නුඹලාට සහනය ලැබෙන්නේ ය.” 17 මම ඔවුන් වෙත මුරකරුවන් සිටුවා, ”හොරණෑ ශබ්දයට සවන් දෙන්නැ”යි කීවෙමි. එහෙත්, ඔව්හු, ”අපි සවන් නොදෙන්නෙමු”යි කී හ.
18 එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ජාතීනි, සවන් දී මාගේ සෙනඟට සිදු වන්නට යන දේ ගැන දැනගන්න. 19 එම්බා පොළොව! සවන් දෙන්න. මේ සෙනඟ මාගේ වචනවලට කීකරු නොවී, මාගේ ආඥා ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ගේ උපායවලට නියම විපාකය වන විපත්තිය ඔවුන් පිට පමුණුවන්නෙමි. 20 ෂෙබායෙන් කට්ටකුමංජල් ද දුර දේශයකින් හඳුන්කූරු ද මට ගෙනෙන්නේ කුමට ද? නුඹලාගේ දවන යාග පූජා මට ප්‍රසන්න නැත. නුඹලාගේ යාග ද මට ප්‍රිය නැත. 21 එබැවින් නුඹලාගේ ස්වාමීන් වන මම, මේ සෙනඟ පැකිළී වැටෙන්නට සලස්වන බාධා පමුණුවන්නෙමි. පියවරුන් ද පුත්‍රයන් ද අසල්වැසියන් හා ඔවුන්ගේ මිතුරන් ද විනාශ වී යනු ඇත.”

උතුරෙන් ආක්‍රමණයක්

22 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහා බලවත් ජාතියක් ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැඟිට එනු ඇත. 23 ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲර ය, නිර්දය වෙති. ඔවුන්ගේ හඬ සමුද්‍ර ඝෝෂාව වැනි ය. එම්බා සියොන් පුරඟන, නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔව්හු සියලුදෙන එක් කෙනෙකු මෙන් පේළි ගැසී අශ්වයන් පිට නැඟී එති.”
24 ජෙරුසලම් වැසියෝ මෙසේ කියති: ”ඒ පුවත අප අසා ඇත; අපේ අත් දුර්වල වී තිබේ; ස්ත්‍රියට ඇති වන විළිරුජාව සේ දුක් වේදනාව අප පිට පැමිණ ඇත. 25 එළිමහනට නොයන්න; වීදිවල නොඇවිදින්න; කඩු ගත් සතුරන් හැම අතින් ම යන එන බැවින් භයානක ය.”
26 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි හැඳගෙන, අළුවල පෙරළි පෙරළී, මියගිය එක ම පුතෙකු උදෙසා මෙන් ඉතා දුක් බර ව වැලපෙන්න. මන්ද, විනාශ කරන්නා හදිසියෙන් නුඹට පහර දෙන්නේ ය. 27 ජෙරමියා, නුඹ මාගේ සෙනඟගේ මාර්ගය දැනගන්න පිණිසත්, ඔවුන් අතරේ ඔවුන් පරීක්ෂා කර බලන පිණිසත් පරීක්ෂකයෙකු කොට මම නුඹ පත් කෙළෙමි. 28 ඔව්හු සියල්ලෝ ම මුරණ්ඩු කැරලිකාරයෝ ය. කේළාම් කියමින් ඇවිදින්නෝ ය. ඔව්හු ලෝකඩ හා යකඩ මෙන් දැඩි ව සිටිති; ඔව්හු දූෂ්‍යකම් කරති. 29 උදුන තද ගින්නෙන් ඇවිලීමෙන් වානේ උණු වේ. එහෙත්, ගින්නෙන් කොතරම් පිරිසිදු කළත් දුෂ්ටයෝ පිරිසිදු නොවෙති. 30 ස්වාමීන් වන මා එපා කළ නිසා, ‘වෙට්ට රිදී ය’යි ඔව්හු කියනු ලබන්නෝ ය.”

 

– 7 වන පරිච්ඡේදය –

ජෙරමියා දේව මාලිගාවේ දේශනා කිරීම

1 සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියා වෙත පැමිණි පණිවුඩය මෙය ය: 2 ”නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටුව ළඟ සිට, මෙසේ ප්‍රකාශ කරන්න: සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්නට මේ දොරටුවලින් ඇතුළු වන ජුදාහි සියල්ලෙනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. 3 ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ තවදුරටත් මෙසේ වදාරන සේක: නුඹලාගේ කල්ක්‍රියාව සහ නුඹලා කරන දේ හරිගස්සාගන්න. එවිට මම නුඹලාට මේ ස්ථානයෙහි වාසය කරන්නට ඉඩ සලසන්නෙමි. 4 ‘මෙය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය’යි කියන රැවටිලි වචන විශ්වාස නොකරන්න.
5 ”නුඹලාගේ ම කල්ක්‍රියා ද නුඹලා කරන කියන දේ ද සැබැවින් ම හරිගස්සාගන්න. එකිනෙකා සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක්‍රියා කරන්න. 6 විදේශිකයාට ද අනාථයාට ද වැන්දඹුවට ද පීඩා නොකරන්න. මේ ශුද්ධස්ථානයේ නිදොස් ලේ නොවගුරන්න. අන් දෙවිවරුන්ට නමස්කාර කිරීම නුඹලාට අන්තරායදායක බැවින් එසේ නොකරන්න. 7 එවිට නුඹලාගේ පියවරුන්ට ආදියේ සිට සදාකාලයට ම මා දුන් මේ දේශයේ, මේ ස්ථානයේ, වාසය කිරීමට මම නුඹලාට ඉඩ දෙමි.
8 ”බලන්න, නුඹලා වැඩකට නැති රැවටිලි වචන විශ්වාස කර ඇත. 9 නුඹලා සොරකම් කර, මිනීමරා, කාමමිථ්‍යාචාරය කර, බොරුවට දිවුරා, බාල් දෙවියන්ට සුවඳ දුම් ඔප්පු කර, නුඹලා නොදන්න අන්‍ය දෙවිවරුන් පස්සේ ගියහු ය. 10 ඉන්පසු නුඹලා අවුත්, මාගේ නාමය දරන මේ මාලිගාවේ දී මා ඉදිරියේ සිට, ‘අපි ගැළවී සිටිමු’යි කියන්නේ, මේ සියලු පිළිකුල්කම් කරගෙන යන පිණිස ද? 11 මාගේ නාමය දරන මේ මාලිගාව සොරුන්ගේ ගුහාවකැ යි නුඹලා සිතන්නහු ද? නුඹලා කරන දේ සැබැවින් ම මට පෙනේ. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය. 12 මා නමස්කාරය ලබන පිණිස මා මුලින් ම තෝරාගත් ස්ථානය වන ෂිලෝවට ගොස්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න. 13 මා සඳහන් කළ සියලු පව් නුඹලා කර ඇත. මා නුඹලාට නැවත නැවත ඕනෑකමින් කතා කළ නමුත්, නුඹලා මට සවන් නොදුන්නහු ය. මා නුඹලාට අඬගැසූ නමුත්, නුඹලා මට පිළිතුරු නුදුන්නහු ය. 14 ඒ නිසා මාගේ නාමය දරන, නුඹලාගේ විශ්වාසය තබා ඇති මේ මාලිගාවටත්, මා නුඹලාට හා නුඹලාගේ පියවරුන්ට දුන් මේ ස්ථානයටත් ෂිලෝවට කළ දේ මම කරන්නෙමි. 15 මා නුඹලාගේ සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය නෙරපාදැමූ පරිදි නුඹලාත් මා ඉදිරියෙන් මම නෙරපා දමන්නෙමි.”

සෙනඟගේ අකීකරුකම

16 ”ජෙරමියා, නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න. ඔවුන් උදෙසා මොරනොගසන්න. යාච්ඤා නොකරන්න. මා නුඹේ බසට සවන් නොදෙන බැවින් මට කන්නලව් නොකරන්න. 17 ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් ඔවුන් කරන දේ නුඹට පෙනෙනවා නොවේ ද? 18 මා කෝප කරවන ලෙස අහස් දේවියට රස කැවිලි සෑදීමටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා පුද කිරීමටත්, දරුවෝ දර එකතු කරති; පියවරු ගිනි මොළවති; ස්ත්‍රීහු පිටි අනති. 19 එහෙත්, සැබෑවට ම ඔවුන් කෝප කරවන්නේ මා ද? නැත; ඔවුන් එසේ කරගන්නේ ඔවුන්ට ම ය. තමන් පිට ම ඔව්හු ලජ්ජාව පමුණුවාගන්නෝ ය. 20 ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මේ ස්ථානය පිට මාගේ කෝපය හා උදහස වගුරුවන්නෙමි. මිනිසුන් පිට මෙන් ම, මෘගයන්, කෙතේ ගස් සහ භූමියේ පල කෙරෙහි ද මම එය වගුරුවමි. මාගේ කෝපය නොනිවෙන ගින්නක් වැනි ය.
21 ”මාගේ සෙනඟෙනි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන සියලු බලැති ස්වාමීන් වන මම නුඹලාට මෙසේ වදාරමි: නුඹලාගේ පූජාවලට නුඹලාගේ දවන යාග පූජාත් එක් කොට ඒවායේ මස් මාංස අනුභව කරන්න. 22 මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා කාලයේ දී දවන යාග පූජා ගැන වත්, යාග ගැන වත් මම ඔවුන්ට කතා නොකෙළෙමි; අණ නොකෙළෙමි. 23 එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය. 24 එහෙත්, ඔව්හු සවන් දෙන්නේ වත්, කීකරු වන්නේ වත් නැති ව, හිතුමතේ ද මුරණ්ඩු සිත්වල දුෂ්ට අදහස් අනුව ද හැසිරෙමින් ඉදිරියට යෑම වෙනුවට පසුබැස ගියහ. 25 නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටත් ව පැමිණි දා සිට අද දක්වා, නොකඩවා මම මාගේ සේවකයන් වූ දිවැසිවරුන් ඔවුන් වෙත එවීමි. 26 එහෙත්, ඔවුන් සවන් දුන්නේ වත්, කන් යොමු කෙළේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු මුරණ්ඩු වී ඔවුන්ගේ පියවරුන්ටත් වඩා නපුරුකම් කළෝ ය.
27 ‘ජෙරමියා, නුඹ මේ සියලු වචන ඔවුන්ට කතා කර කියන නමුත්, ඔව්හු නුඹලාට සවන් නොදෙන්නෝ ය. නුඹ ඔවුන්ට අඬගසන නමුත්, ඔව්හු නුඹට උත්තර නොදෙන්නෝ ය. 28 එබැවින් ඔව්හු තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කන් නුදුන්, දැනුමැතිකම නොපිළිගත් ජාතියකි; සත්‍යය ඔවුන් තුළ නැත. ඒ සියල්ල ම ඔවුන්ගේ මුඛයෙන් අතුරුදහන් වී ඇතැ’යි කියන්න.”

හින්නොම් මිටියාවතේ පාපී ක්‍රියා

29 ”ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ හිසකෙස් කපා ඉවත දමා, පාළු කඳු උඩ විලාපයක් නඟන්න. මන්ද, ස්වාමීන් වන මම, මාගේ කෝපයට ලක් වූ මේ පරම්පරාව ප්‍රතික්ෂේප කර අත්හළෙමි. 30 ජුදාවේ සෙනඟ මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර ඇත. ඔවුන් මාගේ නාමය දරන මාලිගාවේ මා පිළිකුල් කරන ඔවුන්ගේ දේව රූප තබා එය දූෂ්‍ය කර ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය. 31 ඔවුන් තමන්ගේ දරුදැරියන් හින්නොම් දෙවියාට පූජා කරන පිණිස, බෙන්-හින්නොම් මිටියාවතේ තෝපෙත්හි ගිරිකුළු දේවාලයක් ගොඩනඟා ඇත. එසේ කරන්නට මා ඔවුන්ට අණ කෙළේ නැත; ඒ ගැන මා සිතුවේ වත් නැත. 32 ඒ නිසා, එයට තෝපෙත් කියා වත්, බෙන්-හින්නොම් මිටියාවත කියා වත් නොකියන කාලය පැමිණෙන්නේ ය. එයට ‘ඝාතනයේ මිටියාවත ය’යි කියනු ලැබේ. මන්ද, වළලන්නට ඉඩ නැති වන තරම් තෝපෙත්හි මිනී වළලනු ලබන බැවිනි. 33 මේ සෙනඟගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය. උන් එළවාදමන්නට කිසිවෙක් නොසිටිති. 34 එවිට මම ජුදා නගරවලිනුත්, ජෙරුසලමේ වීදිවලිනුත් ප්‍රීති ප්‍රමෝද හඬ ද මනාල මනාලියන්ගේ කටහඬ ද නතර කරන්නෙමි. දේශය පාළුකරයක් වන්නේ ය.

 

– 8 වන පරිච්ඡේදය –

1 ”ඒ කාලයේ දී ජුදා රජවරුන්ගේත්, අධිපතීන්ගේත්, පූජකයන්ගේත්, දිවැසිවරුන්ගේත්, ජෙරුසලම් වැසියන්ගේත් ඇටකටු සොහොන් ගෙවලින් එළියට ගෙනෙනු ලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 2 ඒ ඇටකටු, ඒ අය ප්‍රේම කොට සේවය කළ, පසුපස ගොස් පේන අසා නමස්කාර කළ, ඉරත් සඳත් අහසේ සෙසු ආකාශ වස්තුත් ඉදිරියේ අතුරා තබනු ඇත. ඒවා එකතු කොට වළලනු වෙනුවට, පොළොව මතුපිට කසළ වන්නේ ය. 3 මේ නපුරු පරම්පරාවෙන් ඉතිරි වන මා විසින් විසුරුවා හරින ලද තැන්වල ඉතිරි ව සිටින අය, ජීවත් වීමට වඩා මැරෙන්නට කැමැති වනු ඇත. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.”

පාපය හා ඊට දඬුවම

4 සෙනඟට කියන ලෙස සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”වැටෙන අය නැඟිටින්නේ නැද් ද? නොමඟ ගිය අය හැරී එන්නේ නැද් ද? 5 එසේ නම් ජෙරුසලම් ජනයෙනි, නුඹලා මා කෙරෙන් ඉවත් ව ගියේ මන් ද? නිරන්තරයෙන් ම ඉවත් ව යන්නේ මන් ද? මායාවට වසඟ වී; ‘අප ආපසු හැරී එන්නේ නැතැ’යි නුඹලා කියන්නහු ය. 6 මම සාවධාන ව සවන් දිනිමි. එහෙත්, නුඹලා සැබෑව කතා නොකළහු ය. ‘මා කෙළේ කුමක් ද’ කියා අසමින්, තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලි වන කිසිවෙක් මෙහි නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන සේ ඔව්හු සියල්ලෝ ම තමන් රිසි මඟට හැරී දුවති. 7 අහසේ ඉගිලෙන මානකොකා ඔබමොබ යනෙන කාලය දනියි; කොබෙයියා ද වැහිලිහිණියා ද කොකා ද ආපසු පැමිණීමේ කාලය දැන සිටිති. එහෙත් මාගේ සෙනඟ, නුඹලා මාගේ අණපණත් නොදන්නහු ය. 8 ‘අපි ප්‍රඥාවන්තයෝ ය; සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේ ය’යි නුඹලා කියන්නේ කොහොම ද? බලන්න, වංක විනයධරයන් ව්‍යවස්ථාව බොරු කර ඇත. 9 නුඹලාගේ ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ අසු වී කැළඹී සිටිති. ඔව්හු මාගේ වචන එපා කළෝ ය. ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක් ද? 10 එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ට ද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්න අයට ද දෙන්නෙමි. මන්ද, ලොකු කුඩා අය සැවොම අයුතු ලාභ ගැනීමට කෑදර වෙති; දිවැසිවරුන් පටන් පූජකයන් දක්වා සියල්ලෝ ම වංචාකම් කරති. 11 සාමය නැති විටත්, ‘සාමය, සාමය’ කියමින් ඔව්හු මාගේ සෙනඟගේ තුවාළයට මතුපිටින් පිළියම් කරති. 12 මාගේ සෙනඟෙනි, මා පිළිකුල් කරන දේ නුඹලා කළ නිසා ලජ්ජා වූවහු ද? නැත. නුඹලා කොහෙත් ම ලජ්ජා වුණේ වත්, නුඹලාට නින්දාව දැනුණේ වත් නැත. ඒ නිසා, නුඹලා වැටෙන්නන් අතරෙහි වැටෙනු ඇත; නුඹලාට දඬුවම් පැමිණෙන කාලයේ දී නුඹලා පැකිළ වැටෙනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
13 ”මිදි වැලේ මිදි පල නැති, අත්තික්කා ගසේ ගෙඩි නැති, කොළ පවා වියළී ඇති, ඔවුන්ට දුන් දේ පහ ව ගොස් ඇති සමයේ මම ඔවුන් රැස් කරන්නෙමි.”
14 සෙනඟ මෙසේ අසති. ”අපි කුමට නිකම් හිඳිමු ද? අපි එක්රැස් වී, පවුරු ඇති නගරවලට වැද එහි මැරෙමු. අප සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා, අපේ දෙවි ස්වාමීන් වහන්සේ අප විනාශයට පත් කොට, අපට බීමට වස දිය දී ඇත. 15 අපි සාමය පැතුවෙමු; එහෙත්, එයින් කිසි වැඩක් නො වී ය. සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත්, පැමිණ ඇත්තේ භීතිය පමණි. 16 දාන්හි සිට අප සතුරන්ගේ අශ්වයන්ගේ හූංකාරය අපට ඇසුණේ ය; උන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුළයි. ඔවුන් ඇවිත් සිටින්නේ දේශය සහ එහි තිබෙන සියල්ල ද නගර සහ එහි වසන වැසියන් ද විනාශ කරන පිණිස ය.”
17 සමිඳාණන් වහන්සේ කතා කොට, ”මෙන්න, මම කිසි මන්ත්‍රයකට වශී නොවන සර්පයන් ද පොළඟුන් ද නුඹලා අතරට එවන්නෙමි, උන් නුඹලාට දෂ්ට කරනු ඇතැ”යි වදාළ සේක.

සෙනඟ ගැන ජෙරමියා තැවීම

18 අහෝ! මාගේ දුක සංසිඳුවන්නට බැරි තරම් ය; මාගේ සිත කම්පා වී ඇත. 19 සවන් දෙන්න, දේශය මුළුල්ලේ මාගේ සෙනඟ මොරගසමින්, ”සමිඳාණන් වහන්සේ සියොන්හි නැද් ද? සියොන්හි රජතුමා එහි නැද්දැ”යි අසන හඬ දස දෙසින් මට ඇසේ. ඔවුන්ගේ රජ්ජුරුවන් වන සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”නුඹලා තමන් කැපූ පිළිමවලින් ද විදේශිකයන්ගේ නිෂ්ඵල රූපවලින් ද කුමට මා කෝප කළහු දැ”යි අසන සේක. 20 සෙනඟ පිළිතුරු දෙමින්, ”අස්වැන්න නෙළන කාලය පසු විය; ග්‍රීෂ්ම කාලය කෙළවර විය; එහෙත්, අපට ගැළවීම ලැබී නැතැ”යි කියන්නෝ ය.
21 ”මාගේ සෙනඟගේ තුවාළය නිසා මම තුවාළ ලැබ ශෝකයට පත් ව සිටිමි. මම අන්ත වියවුල්කමට ලක් වී සිටිමි. 22 ගිලියද්හි ගුගුල් නැද් ද? එහි වෙදෙක් නැද් ද? මාගේ සෙනඟ සුවය ලබා නැත්තේ මන්දැ”යි සමිඳාණන් වහන්සේ අසන සේක.

 

– 9 වන පරිච්ඡේදය –

වංචාව හා ද්‍රෝහිකම

1 අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය. 2 අහෝ! මාගේ සෙනඟ අත්හැර මා ඔවුන්ගෙන් ඈත් වී සිටින්නට මට පාළුකරයෙහි වාසස්ථානයක් ඇත්නම්! මාගේ සෙනඟ කාමමිථ්‍යාචාරිකයෝ ය; ද්‍රෝහිකාර පිරිසක් ය. 3 සත්‍යය වෙනුවට, දේශය පුරා වේගයෙන් පැතිර යන බොරුවට ඔවුන්ගේ දිව් දුන්නක් මෙන් නැමී යයි. සමිඳාණන් වහන්සේ කතා කොට, ”ඔව්හු නපුර පිට නපුර කර මා නොහඳුනති”යි වදාරන සේක. 4 ඔබ එකිනෙකා තම තමාගේ අසල්වැසියාගෙන් ප්‍රවේසම් වන්න; කිසි සහෝදරයෙකු ද විශ්වාස නොකරන්න. මන්ද, හැම සහෝදරයෙක් ම ප්‍රයෝගකාරයෙකි; හැම අසල්වැසියෙකු ම කේළාම් කියමින් ඇවිදිනු ඇත. 5 ඔවුන් එකිනෙකා තම තමාගේ අසල්වැසියා රවටනු ඇත. කිසිවෙක් ඇත්ත කතා නොකරති. බොරු කීමට ඔව්හු පුරුදු වී සිටිති; ඔව්හු අපරාධ කරති. එහෙත්, පසුතැවී සිත් හරවා ගැනීමට නොවෙහෙසෙති. 6 ඔව්හු අපරාධය පිට අපරාධය ද වංචාව පිට වංචාව ද කරති. ”මාගේ සෙනඟ මා නොපිළිගනිති”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
7 මේ නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම ඔවුන් ලෝහ මෙන් උණු කර, පිරිසිදු කර පරීක්ෂා කර බලන්නෙමි. මාගේ සෙනඟ සම්බන්ධයෙන් මම වෙන කුමක් කරම් ද? 8 ඔවුන්ගේ දිව් මාරක ඊගස් වැනි ය. ඒවා කියන්නේ බොරු ම ය. ඔවුන්ගේ මුව අසල්වැසියාට සාමයෙන් කතා කරන නමුත්, තමන්ගේ සිත් තුළ සතුරු උපායයන් යොදයි. 9 මේ කරුණු නිසා ඔවුන්ට දඬුවම් නොකර මට සිටිය හැකි ද? මෙවැනි ජාතියකින් පළි නොගෙන මට, සිටිය හැකි ද? මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
10 ජෙරමියා මෙසේ කී ය: ”කඳු ගැන ඇඬීමක් ද විලාපයක් ද පාළුකරයේ තණ බිම් ගැන ළතෝනියක් ද ගයන්නෙමි. කිසිවෙකුට එහි ගමන් කළ නොහැකි වන ලෙස ඒවා වියළී ගොස් ඇත. එහි සිවුපාවුන්ගේ හඬ නෑසෙන්නේ ය. අහසේ පක්ෂීන් ද මෘගයන් ද පලා ගොස් ඇත.” 11 සමිඳාණන් වහන්සේ කතා කොට, ”මම ජෙරුසලම නටබුන් ගොඩක් ද සිවලුන්ගේ වාසයක් ද කරන්නෙමි; කිසිවෙකුට වාසය නොකළ හැකි ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි”යි වදාළ සේක.
12 ජෙරමියා කතා කරමින්, ”ස්වාමීනි, දේශය නටබුන් ගොඩක් වී තිබෙන්නේත්, කිසිවෙකුට ඒ මැදින් ගමන් නොකළ හැකි ලෙස කාන්තාරයක් මෙන් පාළු වී ගොස් ඇත්තේත් මන් ද? මෙය තේරුම්ගන්නට පුළුවන් ප්‍රඥාවන්තයා කවරෙක් ද? අනුන්ට එය කියන්නට පුළුවන් වන පිණිස ඔබ වහන්සේ එය ප්‍රකාශ කෙළේ කාට දැ”යි ඇසුවේ ය.
13 සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: ”මෙය සිදු වූයේ, මා ඔවුන්ට දුන් මාගේ ආඥාව ඔවුන් ප්‍රතික්ෂේප කර මාගේ හඬට කීකරු නොවූ නිසාත්, 14 ඒ අනුව නොහැසිර මුරණ්ඩුකමින් තමන්ගේ හිතුමතය අනුව ගමන් කළ නිසාත්, ඔවුන්ගේ පියවරුන් ඔවුන්ට ඉගැන්වූ ලෙස බාල් දෙවියන් පසුපස්සේ ගිය නිසාත් ය. 15 එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මම මෙසේ පවසමි. මම මේ සෙනඟට කොසඹ පල කවන්නෙමි; විස දිය පොවන්නෙමි.
16 ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත් දැන නොගත් ජාතීන් අතරට ඔවුන් විසුරුවා හැර, ඔවුන් සහමුලින් ම නැති කරදමන තුරු මම ඔවුන් පසුපස්සේ යුද්ධ සේනා යවමි.”

සෙනඟ පිහිට ඉල්ලා මොරගැසීම

17 ”නුඹලා කල්පනා කොට අවමඟුල් ගී ගයන්න දක්ෂ, විලාප කියන ස්ත්‍රීන්ට එන්න කියා යවන්නැ”යි සියලු බලැති දෙවියන් වහන්සේ වදාරන සේක. 18 සෙනඟ පිළිතුරු දෙමින්, ”අපේ ඇස්වලින් කඳුළු වැගිරෙන පිණිසත්, ඇසිපියවලින් වතුර ගලන පිණිසත් අප ගැන ළතෝනියක් පවත්වන ලෙස ඔවුන්ට කියන්නැ”යි කියති. 19 මන්ද, ”අපි විනාශ වුණෙමු; අප දේශය අත්හැර ගිය නිසා ද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසා ද අපි නින්දාවට පත් ව සිටිමු” යන ළතෝනිය සියොන් කෙරෙන් ඇසුණේ ය. 20 ජෙරමියා මෙසේ කී ය: ”ස්ත්‍රීවරුනි, සමිඳාණන් වහන්සේගේ බසට සවන් දී උන් වහන්සේගේ වචන සිතට ගෙන, නුඹලාගේ දූවරුන්ට ළතෝනි කීමත්, එකිනෙකාට තම තමාගේ අසල්වැසි ස්ත්‍රියට විලාප කීමත් උගන්වන්න. 21 මන්ද, වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත. 22 මළසිරුරු පොහොර ගොඩවල් මෙන් ද ගොයම් කපන්නන් ඉතිරි කර ගිය ගොයම් මිටි මෙන් ද විසුරුවනු ලබන විට කිසිවෙකු ඒවා එකතු කරන්නේ නැත. සමිඳාණන් වහන්සේ මට ප්‍රකාශ කරන්නට කී දේ මේ ය.”
23 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා!
24 පාරට්ටු කරගන්නට යමෙක් කැමැති නම්,
ඔහු, මා දැනහැඳිනීම ගැන පාරට්ටු කරගනී වා.
මන්ද, පොළොව කරුණාවෙන් ද යුක්තියෙන් ද දමිටුකමෙන් ද පාලනය කරන සමිඳාණන් වහන්සේ මා බව ඔව්හු දැනගනිත් වා!
මන්ද, මා ප්‍රිය කරන දේ මේ ය.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
25 ”ගතෙහි චර්මඡේදනය කරනු ලැබූ නමුත්, සිතෙහි පාප මල ඡේදනය නොකර සිටින සියලු දෙනාට මා දඬුවම් කරන කාලය පැමිණෙන්නේ ය. 26 ඒ අය නම්: මිසරය, ජුදාව, ඒදොම්, අම්මොන්, මෝවබ් යන රටවල සිටින අය ද කාන්තාරයේ වාසය කරන හිසකේ කොටට කැපූ අය ද වෙති. මේ සියලු දෙනා ද ඉශ්රායෙල් වැසියන් සියලු දෙනා ද සිතෙහි පාප මල ඡේදනය නොකළ අය ය.”

– 10 වන පරිච්ඡේදය –

රූප වන්දනාව හා සැබෑ නමස්කාරය

1 එම්බා ඉශ්රායෙල් වංශය, සමිඳාණන් වහන්සේ ඔබ හැමට වදාරන වචන අසන්න. 2 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”විජාතීන්ගේ මාර්ගය අනුගමනය නොකරන්න; අහසේ ලකුණුවලට ජාතීන් කැළඹෙන නමුත්, නුඹලා ඒවාට නොකැළඹෙන්න. 3 ජාතීන්ගේ චාරිත්‍ර නිෂ්ඵල ය. විජාතීන්ගේ කැපූ රූප පුහු දේවල් ය. ඒවා වනයේ ගසකින් කපාගත් ලී පමණකි. ලී කැටයම් කරුවෙක් ඒවා සිය ආයුධවලින් නෙළයි. 4 ඔහු ඒවා රන් රිදීයෙන් සරසා මිටියෙන් ඇණ ගසා, නොසෙල්වෙන ලෙස සවි කරයි. 5 ඒවා වනාහි කැකිරි වත්තක සිටුවා ඇති, කතා කරන්නට බැරි පඹයන් වැනි ය. ඒවාට ඇවිදින්නට බැරි නිසා ඔසවාගෙන යා යුතු ය. ඒවාට බිය නොවන්න; මන්ද, නුඹලාට අනතුරක් කරන්න වත් යහපතක් කරන්න වත් ඒවාට බැරි ය.”
6 සමිඳුනි, ඔබට සම කිසිවෙක් නැත.
ඔබ පරාක්‍රමවත් ය.
ප්‍රබලතාවෙන් ඔබේ නම උතුම් ය.
7 ජාතීන්ගේ නිරිඳාණෙනි, ඔබට බිය නොවන්නේ කවරේ ද?
බිය විය යුත්තේ ඔබට පමණ ය.
ජාතීන් අතර ද සියලු රාජ්‍යයන්හි ද සියලු පැණවතුන් අතර ද ඔබට සම කිසිවෙක් නැත.
8 ඔව්හු හැම දෙන අඥාන ය, මෝඩ ය.
ඒ ලී පිළිමවලින් උගත හැකි දෙයක් ඇද් ද?
9 තර්ෂිෂ් රටෙන් ගෙනා රිදී තහඩුවලින් ද ඕපීර් රටෙන් ගෙනා රත්රන්වලින් ද ඒ රූප සාදා ඇත.
ඒවා සාදා ඇත්තේ, කැටයම්කරුවන්ගේ හා රන්කරුවන්ගේ අතින් ය.
ඒවා දක්ෂ කම්කරුවන් විසින් නිල් හා දම් පැහැති රාජකීය ඇඳුමෙන් පළඳවනු ලැබ ඇත.
10 එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය;
ජීවමාන දෙවි තුමාණෝ ය;
සදාකාල රජ තුමාණෝ ය.
එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි.
එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.
11 අහසත්, පොළොවත් නොමැවූ මේ දෙවිවරු මිහි පිටින් ද අහස යටින් ද විනාශ කරනු ලබති යි මාගේ සෙනඟ වන ඔබ ජාතීන්ට කිව යුතු ය.
12 සමිඳාණෝ සිය බලයෙන් පොළොව මැවූ සේක;
සිය ඥානයෙන් ලෝකය පිහිටෙව් සේක;
සිය නුවණින් අහස පැතිරෙව් සේක.
13 සමිඳුන්ගේ අණින් අහස් ජලය ගිගුරුම් දෙයි;
පොළෝ සීමාවලින් මීදුම සෑදී නැඟී එයි;
එතුමාණෝ, වර්ෂාව සඳහා විදිලි කෙටීම් ඇති කරන සේක;
එතුමාණෝ සිය ගබඩාවලින් සුළඟ ගෙනෙන සේක.
14 මේ නිසා සියලු මනුෂ්‍යයෝ අනුවණ මෝඩයෝ වෙති.
සියලු රන්කරුවෝ තමන් නෙළූ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති.
ඒවා පණ නැති හිස් පිළිම වන බැවිනි.
15 ඒවා නොවටින නිසරු වැඩ වෙයි.
දඬුවම් කිරීමට සමිඳුන් පැමිණි විට ඒවා විනාශ කරදමනු ඇත.
16 ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නැත;
සියලු දේ මවා ඇත්තේ එතුමාණෝ ය;
ඉශ්රායෙල් සෙනඟ එතුමාණන් තෝරාගත් සෙනඟ ය.
සව් බලැති සමිඳාණෝ යනු එතුමාණන්ගේ නාමය වේ.

පැමිණෙන විප්‍රවාසය

17 ”වටලනු ලැබ සිටින ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ බඩු පොදි බැඳගන්න. 18 මන්ද, සමිඳාණන් වහන්සේ මේ දේශයෙන් වැසියන් පිටමං කරන්න යන සේක. නුඹලාට දැනෙන ලෙස උන් වහන්සේ නුඹලා විනාශ කරන්න යන සේක. මෙසේ පැවසුවේ සමිඳාණන් වහන්සේ ය.” 19 ජෙරුසලම් සෙනඟ කෑගසමින් මෙසේ කියති: ”අහෝ! අපේ පීඩාව කොපමණ බරපතල ද? අපේ තුවාළ සුව කළ නොහැකි ලෙස දරුණු ය. එහෙත්, ‘අප ඒවා ඉවසිය යුතු යැ’යි අපි කීවෙමු. 20 අපේ කූඩාරම් නාස්ති විය: ඒවායේ ලණු සියල්ල ද කඩාදමනු ලැබී ය. අපේ දරුවන් අප අත්හැර, අප කෙරෙන් වෙන් වී ගොස් ඇත. දැන් අපේ කූඩාරම් දිගහැර තිර එල්ලන්න කිසිවෙක් නැත.”
21 ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කී ය: ”ඔබේ නායකයෝ මෝඩයෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් කරුණු නොවිමසති. ඔවුන් දියුණු නොවුණේ එබැවිනි. ඔවුන්ගේ බාරයේ සිටි සෙනඟ ද විසිර ගොස් ඇත. 22 සවන් දෙන්න, අන්න, ජුදා නගර පාළුවක් ද සිවලුන්ගේ වාසයක් ද කිරීමට යන බවට දූසමාන කතාවක හඬක් ද මහා ඝෝෂාවක් ද උතුරු දේශයෙන් ඇසෙන්නේ ය. 23 සමිඳුනි, මිනිසාගේ සරණ මිනිසා ම නොවන බවත්, ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට ම අයිති නැති බවත් ඔබ දන්න සේක. 24 සමිඳුනි අප විනාශ නොවන පිණිස, ඔබේ උදහසින් නොව, නිසි ප්‍රමාණයෙන් අපට දඬුවම් කළ මැනව. 25 ඔබ නොපිළිගන්න ජාතීන් කෙරෙහි ද ඔබට යාච්ඤා නොකරන මිනිසුන් කෙරෙහි ද ඔබේ කෝපය වැගිරෙවුව මැනව. මන්ද, ඔව්හු ජාකොබ්ගේ වංශය මරාදැමූ හ; ඔවුන් සහමුලින් ම විනාශ කළහ. ඔවුන්ගේ දේශය නැතිනාස්ති කළහ.”

 

– 11 වන පරිච්ඡේදය –

කඩන ලද ගිවිසුම

1 සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියා වෙත පැමිණි පණිවුඩය මෙසේ ය: 2 ”මේ ගිවිසුමේ නියමයන්ට සවන් දෙන්න. ජුදාහි මිනිසුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කතා කරන්න. ‘මේ ගිවිසුමේ නියමයන්ට කීකරු නොවන අයට 3 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ සාප කර ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. 4 මා ඔවුන්ගේ පියවරුන්, යකඩ ගිනි උදුනක් වැනි මිසර දේශයෙන් පිටත ගෙනා කල, ඔවුන් සමඟ කළ ගිවිසුම මෙය වේ. ‘මාගේ වචනයට කීකරු වී මා අණ කරන සියල්ල ඉටු කරන්න; එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහු ය. මම නුඹලාගේ දෙවියන් වහන්සේ ද වන්නෙමි’යි මම ඔවුන්ට කීවෙමි. 5 එවිට ඔවුන්ගේ පියවරුන්ට කිරි හා පැණි ගලා යන දේශය දැන් තිබෙන පරිදි දීමට මා දිවුරා කළ පොරොන්දුව ඉටු කරන්නෙමි.” ජෙරමියා, ”එසේ ය, ස්වාමීනි”යි පිළිතුරු දුන්නේ ය.
6 එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”ජුදා නගරවලටත්, ජෙරුසලමේ වීදිවලටත් ගොස් මාගේ පණිවුඩය එහි ප්‍රකාශ කරන්න. එනම්, මාගේ ගිවිසුමේ නියමයන්ට සවන් දී ඒවාට කීකරු වන්න සෙනඟට කියන්න. 7 මා ඔවුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා දින පටන් අද දක්වා නොකඩවා මම ඔවුන්ට අවවාද කර, මාගේ හඬට කීකරු වන්නැ යි සැබැවින් ම වදාළෙමි. 8 එහෙත්, ඔවුන් කීකරු වුණේ වත්, සවන් දුන්නේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු තමන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝ ය. ‘මාගේ ගිවිසුමට කීකරු වන්නැ’යි මා ඔවුන්ට අණ කළ නමුත්, ඔවුන් ඊට කීකරු වුණේ නැත. ඒ නිසා ගිවිසුමේ විස්තර කොට ඇති දඬුවම් මම ඔවුන් පිට පැමිණෙව්වෙමි.”
9 තවද, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”ජුදෙව් සෙනඟ හා ජෙරුසලමේ වැසියෝ මට විරුද්ධ ව කැරලි ගසති. 10 මාගේ වචනවලට කීකරු නොවූ ඔවුන්ගේ පියවරුන්ගේ පාපවලට ඔව්හු ද වැටී සිටිති. ඔවුන් අන් දෙවිවරුන් අනුගමනය කර, ඔවුන්ට නමස්කාර කර ඇත. ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මා ඔවුන්ගේ පියවරුන් හා සමඟ කළ ගිවිසුම කඩ කර ඇත. 11 එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම ඔවුන්ට ගැළවෙන්න බැරි විපතක් ඔවුන් පිට පමුණුවන්නෙමි. ඔවුන් මට මොරගැසුවත්, මම ඔවුන්ට සවන් නොදෙමි. 12 එවිට ජුදා සෙනඟ ද ජෙරුසලමේ වැසියන් ද ඔවුන් සුගන්ධ ද්‍රව්‍ය ඔප්පු කරන දෙවිවරුන් වෙත ගොස් මොරගසනු ඇත. එහෙත්, මේ විපත පැමිණිවිට ඒ දෙවිවරුන්ට ඔවුන් ගළවන්නට කොහෙත් ම නොහැකි ය. 13 ජුදාවේ සෙනඟට, නගර ඇති තරමට දෙවිවරුත් සිටිති; නින්දිතයා නම් වූ බාල් දෙවියාට නමස්කාරය සඳහා ජෙරුසලමේ වැසියන් ඔවුන්ට ඇති වීදි තරමට, පූජාසන ද පිහිටුවා ඇත. 14 ඒ නිසා ජෙරමියා, නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න; ඔවුන් වෙනුවෙන් කන්නලව් ද යැදුම් ද ඔප්පු නොකරන්න. ඔවුන් විපත්ති කාලයේ දී මට යාච්ඤා කරන විට මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.
15 ”මා ප්‍රේම කරන සෙනඟ නපුරු ක්‍රියා කරති. මාගේ මාලිගාවේ සිටීමට ඔවුන්ට ඇති අයිතිය කුමක් ද? බාරහාර ඔප්පු කිරීමෙන් හා සතුන් පූජා කිරීමෙන් විපතෙන් බේරෙන්න පුළුවනැ යි ඔව්හු සිතත් ද? ඒ මඟින් තමන්ට පවිත්‍ර විය හැකි යැ යි ඔව්හු සිතත් ද? 16 කදිම පල ඇති, අලංකාර, සරු ඔලීව ගසක් යයි මම ඔවුන් නම් කෙළෙමි. එහෙත්, දැන් මම මේඝ ගර්ජනාවක් සේ ගොරවා ඒ ගසේ කොළවලට ගිනි ලා දවාලමි. 17 ඉශ්රායෙල් හා ජුදාව ඉදි කෙළේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. එහෙත්, මා දැන් ඔවුන්ට විපත්තිය නියම කර ඇත. ඔවුන් බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් වැරදි දේ කර තිබෙන නිසා, ඔවුන් මා කෝප කරවා ඇත.”

ජෙරමියා මැරීමට කුමන්ත්‍රණයක්

18 මාගේ සතුරන් මට විරුද්ධ ව කරන්න අදහස් කළ නපුරු දේ ගැන සමිඳාණන් වහන්සේ මට දැන්වූ බැවින් මම එය දැනගත්තෙමි. 19 මම, මරණයට ගෙනයන හීලෑ බැටළු පැටවෙකු මෙන් සිටියෙමි; ‘අපි පල සමඟ ගස සිඳදමන ලෙස ඔහුගේ නම තවත් ඉතිරි නොවන පිණිස ජීවත් ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු නැති කර දමමු’යි ඔවුන් මට විරුද්ධ ව උපා යෙදූ බව මම නොදැන සිටියෙමි.
20 ජෙරමියා යාච්ඤා කරමින්, ”යුක්ති සහගත ලෙස විනිශ්චය කරන, හෘදයත්, සිතත් විමසන සියලු බලැති සමිඳුනි, මාගේ නඩුව මා ඔබ ඉදිරියේ තබා ඇති බැවින් ඔවුන්ගෙන් ඔබ පළි ගනු දැකීමට මට ඉඩ ලැබේ වා!”යි කී ය.
21 ”ඔබ අප අතින් මරුමුවට පත් නොවන පිණිස නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපට දිවැස් වැකි නොකියන්නැ”යි කියමින් ජෙරමියාගේ ප්‍රාණය හානිකරන්නට සොයන අනාතොත්හි මිනිසුන් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: 22 ”මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම් කන්නෝ ය; ඔවුන්ගේ පුත්‍රයෝ ද දූවරු ද සාගතයෙන් මැරෙන්නෝ ය. 23 ඔවුන්ගෙන් කිසිවෙක් ද ඉතිරි නොවන්නේ ය. මන්ද, මම අනාතොත්හි වසන මිනිසුන් පිට විපත්තිය එනම්, ඔවුන් පිට දඬුවම් කිරීමේ අවුරුද්ද පමුණුවන්නෙමි.”

– 12 වන පරිච්ඡේදය –

දුදනන්ගේ සමෘද්ධිය ගැන ප්‍රශ්නය

1 ඔබට මාගේ නඩුව ඉදිරිපත් කරන විට, සමිඳුනි, ඔබ සාධාරණය, යුක්තිය පිළිබඳ කරුණු ගැන ඔබෙන් ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි.
දුදනන්ට සැප සම්පත් අත්වන්නේ මන් ද?
ද්‍රෝහීන් සඵල වන්නේ මන් ද?
2 ගසක් මෙන් ඔබ ඔවුන් හිටවූ සේක;
ඔව්හු මුල් ඇද, වැඩී, සඵල වන්නෝ ය.
මුවින් ඔව්හු ඔබ පසසති;
සිතින් නම් ඔබෙන්, දුරු ව සිටිති.
3 එහෙත් සමිඳුනි, ඔබ මා දන්න සේක;
ඔබ මා දකින සේක.
ඔබට ඇති මාගේ ලැදිකම ද ඔබ විමසන සේක.
මරණයට නියමිත බැටළුවන් මෙන් මේ සෙනඟ වෙන් කර, ඝාතන දවසට ඔවුන් සූදානම් කළ මැනව.
4 දේශය වේළී තිබෙන්නේත්, මුළු රටේ තණ කොළ මැලවී යන්නේත් කොපමණ කාලයකට ද?
එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝ ද පක්ෂීහු ද මිය යති.
”ඔබ අපේ අවසානය නොදකින සේකැ”යි ඔව්හු කියති.
5 සමිඳාණෝ මෙසේ පිළිතුරු දුන් සේක:
”නුඹ පයින් යන මිනිසුන් සමඟ තරඟයට දුවන කල, ඔව්හු නුඹ වෙහෙසට පත් කළෝ නම්, නුඹ අශ්වයන් සමඟ දුවන්නේ කෙසේ ද?
අකුල් නැති දේශයක නුඹ වැටෙන්නෙහි නම්, ජොර්දාන් වන ලැහැබෙහි නුඹට කුමක් සිදු වේ ද?
6 නුඹේ සහෝදරයෝ, නුඹේ ම පවුලේ අය, නුඹට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය.
ඔව්හු නුඹ ප්‍රසිද්ධියේ විවේචනය කළෝ ය.
ඔවුන් නුඹ සමඟ හොඳින් කතා කළත් ඔවුන් විශ්වාස නොකරන්න.”

සෙනඟ ගැන සමිඳුන්ගේ ශෝකය

7 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”මම මාගේ සෙනඟ අත්හැරියෙමි;
මා තෝරාගත් දේශය මම ප්‍රතික්ෂේප කෙළෙමි;
මා ප්‍රේම කරන සෙනඟ මම සතුරන් අතට පාවා දුන්නෙමි;
8 මා තෝරාගත් සෙනඟ වනගත සිංහයෙකු මෙන් මට විරුද්ධ ව හැරී ඇත;
කුරිරු ලෙස මට ගොරවා ඇත.
එබැවින් මම ඔවුන්ට ද්වේෂ කෙළෙමි.
9 මා තෝරාගත් සෙනඟ වනාහි සතුරු ගිජු පක්ෂීන්ගෙන් වට වූ උකුස්සෙකු වැන්න.
වනයේ සියලු සතුනි, ගොදුරට රැස් වන්න.
10 එඬේරු බොහෝ දෙනෙක් මාගේ මිදි වත්ත නාස්ති කළෝ ය;
මාගේ කෙත් පාගාදැමුවෝ ය;
මාගේ ප්‍රියංකර දේශය පාළුකරයක් කළෝ ය.
11 එය පාළුකරයක් වී ඇත.
එය පාළු වී මට මොරගසයි;
එය කාන්තාරයක් වී ඇත.
එහෙත්, කිසිවෙකු එය ගණන්ගන්නේ නැත.
12 නාස්තිකාරයෝ පාළුකරයේ ගස්කොළන් නැති සියලු ම කඳුවලට පැමිණ සිටිති.
සමිඳුන්ගේ කඩුවෙන් දේශය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා විනාශ කරනු ලබන්නේ ය.
එහි කිසිවෙක් සාමය නොදකිති;
එහි ජීවත් විය නොහැකි ය.
13 මාගේ සෙනඟ තිරිඟු වපුළ නමුත්, කටු ගස් කපාගත්හ;
බොහෝ වෙහෙස වූ නමුත්, ඔව්හු ප්‍රතිඵල නොලැබූ හ.
සමිඳුන්ගේ බලවත් උදහස නිසා ඔවුන්ගේ අස්වැන්න නිෂ්ඵල වී ඇත.”

අසල්වාසීන්ට සමිඳුන්ගේ පොරොන්දු

14 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට මා හිමි කර දුන් දේශය නැතිනාස්ති කළ සියලු ම නපුරු අසල්වැසියන්ට විරුද්ධ ව මට කරුණක් කියන්න ඇත. මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි. ඔවුන්ගේ අතින් ජුදා දේශය බේරාගන්නෙමි. 15 තවද, මා ඔවුන් බේරාගත් පසු, මම යළිත් ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන් එකිනෙකා තමතමාගේ උරුමයටත්, තමතමාගේ දේශයටත් පමුණුවන්නෙමි. 16 ඔව්හු මාගේ සෙනඟට බාල් දෙවියා ගැන දිවුරන්නට ඉගැන්වූ පරිදි, මාගේ සෙනඟගේ දහම් මඟ මුළු සිතින් පිළිගෙන, ‘ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ය’ කියා මාගේ නමින් දිවුරන්නට ඉගෙනගන්නෝ නම්, ඔව්හු ද මාගේ සෙනඟගේ කොටසක් වී සමෘද්ධිමත් වන්නෝ ය. 17 එහෙත්, යම් ජාතියක් කීකරු නොවන්නේ නම්, මම ඒ ජාතිය උදුරාදමා විනාශ කරදමමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

– 13 වන පරිච්ඡේදය –

හණ රෙද්ද ගැන උපමාව

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට, ”නුඹ ගොස් හණ රෙද්දක් මිලේට ගෙන නුඹේ ඉඟටිය වටා එය ඇඳගන්න; එය වතුරේ නොදමන්නැ”යි වදාළ සේක. 2 මම ද සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි හණ රෙද්දක් මිලේට ගෙන එය ඉඟටිය වටා ඇඳගත්තෙමි. 3 එවිට සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කරමින්, 4 ”නුඹ මිලේට ගත්, නුඹේ ඉඟටිය වටා ඇඳගෙන සිටින හණ රෙද්ද රැගෙන යුප්‍රටීස් ගඟ ළඟට ගොස් එහි පර්වත විවරයක එය සඟවා තබන්නැ”යි වදාළ සේක.
5 මම ද සමිඳාණන් වහන්සේ මට අණ කළ ලෙස ගොස් යුප්‍රටීස් ගඟ ළඟ එය සඟවා තැබීමි.
6 කීප දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කොට, ”යුප්‍රටීස් ගඟ ළඟට යළිත් ගොස්, එහි සඟවා තබන්නට මා නුඹට අණ කළ හණ රෙද්ද එතැනින් ගන්නැ”යි වදාළ සේක. 7 මම ද යුප්‍රටීස් ගඟ ළඟට ගොස් හණ රෙද්ද සඟවා තැබූ තැනින් එය සොයාගතිමි. එය නාස්ති වී වැදගැම්මකට නැති වී තිබිණි.
8 එවිට සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක: 9 ”මා ජුදා රටේ උඩඟුකම ද ජෙරුසලමේ මහා උඩඟුකම ද විනාශ කරන්නේ මේ අයුරින් ය. 10 මාගේ වචනයට සවන් නොදෙන, තමන්ගේ සිතුමතේට මුරණ්ඩුකමින් හැසිරෙන, අන් දෙවිවරුන්ට සේවය කරමින් නමස්කාර කරන පිණිස ඔවුන් පසුපස දුවන, මේ දුෂ්ට සෙනඟ වැදගැම්මකට නැති මේ හණ රෙද්ද හා සමාන වනු ඇත. 11 හණ රෙද්ද ඉඟටිය වටා බැඳ ඇත්තෙකු මෙන් ඉශ්රායෙල්හි සියලු සෙනඟ ද ජුදාහි සියලු සෙනඟ ද මට බැඳී සිටින්න මම කරුණු සැලසීමි. මා එසේ කෙළේ, ඔවුන් මාගේ සෙනඟ වී, මාගේ නාමයට ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන පිණිස ය. එහෙත්, ඔව්හු මට කීකරු නො වූ හ.”

මිදියුස භාජනය ගැන උපමාව

12 ”තවද ජෙරමියා, ඉශ්රායෙල් සෙනඟට කතා කොට, ‘සියලු භාජන මුද්‍රික පානයෙන් පිරවිය යුතු යයි නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. ඔවුන් නුඹට කතා කොට, ‘හැම භාජනයක් ම මුද්‍රික පානයෙන් පුරවා තැබිය යුතු බව අපි දනිමු’යි කියනු ඇත. 13 එවිට ස්වාමීන් වන මා මේ දේශයේ සියලු ජනයාට එනම්, පූජකයන්ට ද දිවැසිවරුන්ට ද දාවිත්ගේ පරපුරෙහි සියලු රජවරුන්ට ද ජෙරුසලම්හි සියලු වැසියන්ට ද වෙරි වන තුරු මුද්‍රික පානය පොවන බව ඔවුන්ට කියන්න. 14 ඉන්පසු මම ඔවුන්ගේ පියවරුන් ද පුත්‍රයන් ද සියලු සෙනඟ ද එකිනෙකා ඝට්ටනය කොට විනාශ කරන්නෙමි. ඔවුන් විනාශ නොවන හැටියට මා ඔවුන්ට දයා වන්නේ වත්, කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත.”

අහංකාරයට විරුද්ධ ව අවවාද

15 ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණෝ කතා කළ සේක.
අහංකාර නොවී එතුමාණන්ට සවන් දෙන්න.
16 ඔබ හැමගේ දෙවි සමිඳුන් අන්ධකාරය පමුණුවන්න පෙර,
ඔබ හැමගේ පාද අඳුරු කඳුවල පැකිළෙන්න පෙර,
ඔබ බලා සිටින ආලෝකය එතුමාණන් ඝනාන්ධකාරය කරන්න පෙර,
එතුමාණන්ට ගෞරව කරන්න.
17 ඔබ සවන් නොදෙන්නහු නම්, ඔබේ අහංකාරය නිසා මම රහසිගත ව හඬමි.
සමිඳුන්ගේ සෙනඟ වහල්කමට ගෙනයනු ලැබූ නිසා මම හඬා වැලපෙමි.
බොහෝ සෙයින් කඳුළු වගුරන්නෙමි.
18 රජුට හා මවු බිසවට කතා කරමින්,
”කිරුළු හිසින් ගිලිහී වැටී ඇති නිසා සිහසුනින් බැස පහතට එන්නැ”යි සමිඳාණෝ වදාළ සේක.
19 දකුණු දිශාවේ නගර වටලා ඇත;
ඒවාට පිවිසෙන්නට කිසිවෙකුට නොහැකි ය.
මුළු ජුදා රට වහල්කමට ගෙන ගොස් ඇත;
සහමුලින් ම එසේ ගෙන ගොස් ඇත.
20 ජෙරුසලම් ජනයෙනි, ඇස් ඔසවා බලන්න;
උතුරු දෙසින් එන්නේ කවරෙක් ද කියා බලන්න.
ඔබට භාර දුන් කදිම රැළක් වැනි වූ ඔබේ සෙනඟ කොහේ ද?
21 ඔබේ මිතුරෝ යයි ඔබ සිතූ සෙනඟ, ඔබේ නායකයන් වශයෙන් පත් කරනු ලැබූ විට ඔබ කුමක් කියන්නහු ද?
විළිරුජාවෙන් පෙළෙන ස්ත්‍රියක සේ වේදනාවෙන් ඔබ පෙළෙන්නේ නැද් ද?
22 ඔබට මෙසේ සිදු වන්නේ මන්දැ යි, ඔබේ ඇඳුම් ගලවාදැමූ විට ඔබට නින්දාවක් නැත්තේ මන්දැ යි ඔබ මෙනෙහි කර බැලූ විට ඔබේ අපරාධ ඉමහත් නිසා යයි ඔබට පෙනී යනු ඇත.
23 එතියෝපිය මිනිසෙකුට සිය හමේ පාට වත්, කොටියෙකුට උගේ ඇඟේ ලප වත් කොයි ලෙසින් වත් වෙනස් කළ හැකි ද?
එසේ කළ හැකි නම්, නපුර කරන්න හුරුපුරුදු ඔබ හැමටත් යහපත කරන්න හැකි වෙයි.
24 ”මරුකතරේ සුළඟට ගසා යන පිදුරු මෙන් සමිඳුන් වන මා ඔබ හැම විසුරුවාදමනු ඇත.
25 ඔබ සමිඳුන් අමතක කළ බැවින්, අන් දෙවිවරුන් විශ්වාස කළ හෙයින් ඔබ හැමට මැන තිබෙන උරුමයත්, ඉරණමත් මෙසේ වන්නේ යයි සමිඳාණෝ වදාරන සේක.
26 සමිඳාණෝ ම ඔබේ ඇඳුම් ගලවාදමා ඔබේ ලජ්ජාව හෙළි කරන සේක.
27 හෙල් පිටත්, එළිමහනේත් ඔබේ පරදාරකම් ද වෙළඹකගේ මෙන් හේෂාරවය කිරීම් ද ඔබේ දුරාචාර ද සල්ලාලකම් ද සමිඳාණන් දැක ඇති බැවින් ඉශ්රායෙල් ජනයෙනි, ඔබට වන විපතක මහත!
කවදා ඔබ පිරිසිදු වන්නහු ද?”

– 14 වන පරිච්ඡේදය –

බියකරු නියඟය

1 නියඟය ගැන සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:
2 ”ජුදාව වැලපෙයි;
එහි නගර මලානික වෙයි;
එහි සෙනඟ පොළොව මත දුකින් වැතිර ළතෝනි කියති.
ජෙරුසලමේ විලාප ද නැඟී යයි.
3 ඔවුන්ගේ උත්තමයෝ වතුර ගෙනෙන පිණිස සිය සේවකයන් යවති.
ඔව්හු ළිං ළඟට ගොස් වතුර නොලැබ, හිස් භාජන ඇති ව ආපසු හැරී එති.
ඔව්හු වියවුලටත්, ලජ්ජාවටත් පැමිණ තමන්ගේ මුහුණු වසා සඟවාගනිති.
4 දේශයට වැසි නොලැබුණ නිසා බිම වියළී තිබෙන බැවින් ගොවියෝ කැළඹී දුකින් තමන්ගේ මුහුණු සඟවාගනිති.
5 ඒ පිට්ටනියේ සිටින මුව දෙන පවා තණ කොළ නැති නිසා අලුත උපන් ඇගේ පැටවා අත්හැර යන්නී ය.
6 වල් කොටළුවෝ ද ගස්කොළන් නැති කඳු මත සිට සිවලුන් මෙන් සුළඟට ඉව අල්ලති.
තණ කොළ නැති නිසා උන්ගේ ඇස් ද නොපෙනී යයි.
7 මාගේ සෙනඟ මොරගසමින් මෙසේ යාච්ඤා කරති:
‘සමිඳුනි, අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
අපේ අයුතුකම්, අපේ අපරාධ, අපට විරුද්ධ ව සාක්ෂි දෙන නමුත්, ඔබේ නාමය වෙනුවෙන් අපට පිහිට වුව මැනව.
අපි බොහෝ වර ඔබ වෙතින් හැරී ගියෙමු.
ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
8 සමිඳුනි, ඔබ ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව ද විපත් සමයේ ගැළවුම්කාරයාණෝ ද වන සේක.
එසේ වුව ද, එක රැයකට නවාතැන් ගත් මඟියෙකු මෙන් අපේ දේශයේ ආගන්තුක ව සිටින්නේ මන් ද?
9 ඔබ සිත් වියවුල් වූ මිනිසෙකු මෙන් ද යමෙකු ගළවන්නට බැරි බලවතෙකු මෙන් ද වී සිටින්නේ මන් ද?
එහෙත් සමිඳුනි, ඔබ අප මධ්‍යයෙහි සිටින සේක. ඔබේ නාමයෙන් හැඳින්වෙන අපි ඔබේ සෙනඟ වමු;
අප අත් නොහළ මැනව.’ ”
10 මේ සෙනඟ ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඔවුන් තමන්ගේ පාද හසුරුවා නොගෙන මුළා වී යන්න මෙපමණ ප්‍රිය වූ බැවින් මම ඔවුන් කෙරෙහි අප්‍රසන්න ව සිටිමි. මම ඔවුන්ගේ අපරාධ සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් කරන්නෙමි.”
11 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”මේ සෙනඟගේ යහපත උදෙසා මට යාච්ඤා නොකරන්න. ඔවුන් උපවාසයේ යෙදුණත්, ඔවුන්ගේ කන්නලව්වලට මම සවන් නොදෙන්නෙමි; ඔවුන් දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද ඔප්පු කරතත්, මම ඒවා නොපිළිගනිමි. 12 ඒ වෙනුවට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මම ඔවුන් විනාශ කරන්නෙමි.”
13 එවිට මම මෙසේ කීවෙමි: ”අහෝ දෙවි ස්වාමීන් වහන්ස, දිවැසිවරු සෙනඟ අමතා, ඔබ වහන්සේ ඔවුන්ට මේ ස්ථානයේ දී තිර සාමදානය දෙන බැවින්, ඔවුන් කඩුව දකින්නේ වත්, සාගතයෙන් පෙළෙන්නේ වත් නැතැ යි කියති.”
14 සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: ”දිවැසිවරු මාගේ නාමයෙන් බොරු දිවැස් වැකි කියති. මා ඔවුන් එව්වේ වත්, ඔවුන්ට අණ කෙළේ වත්, ඔවුන්ට කතා කෙළේ වත් නැත. ඔවුන් ප්‍රකාශ කරන්නේ බොරු දර්ශන ය. වැඩකට නැති පේන කීම් ය; සිතින් මවාගත් වංචනික දේ ය. 15 මා නොඑවූ නමුත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කියන, ‘කඩුව වත්, සාගතය වත්, මේ දේශයට නොපැමිණෙන්නේ ය’යි කියන මේ දිවැසිවරුන් ගැන ස්වාමීන් වන මා කියන දේ මෙය වේ: ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නො‍් ය. 16 ඔවුන්ගේ දිවැස් වැකි අසන සෙනඟ ද සාගතයට හා කඩුවට ගොදුරු වී ජෙරුසලමේ වීදිවල හෙළා දමනු ලබන්නෝ ය; ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වළලන්නට කිසිවෙක් නොවන්නාහ. ඔවුන්ගේ දුෂ්ටකමේ පල විපාකය ඔවුන්ට ම විඳගන්නට මම සලස්වන්නෙමි.
17 ”ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති. 18 මා පිටතට ගිය විට කඩුවෙන් මැරුම් කෑ අය මට පෙනේ; මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවැසිවරු ද පූජකයෝ ද කිසිවක් නොදැන දේශයේ ඔබමොබ යති.’ ”

සෙනඟ සමිඳුන්ට කන්නලව් කිරීම

19 ”සමිඳුනි, ඔබ මුළුමනින් ම ජුදා ප්‍රතික්ෂේප කළ සේක් ද? සියොන් වැසියෝ ඔබට පිළිකුල් වී සිටිත් ද? අපට සුවයක් ලැබීමට නොහැකි වන පරිදි ඔබ අපට පහර දුන්නේ මන් ද? අපි ද සාමදානය ගැන බලා සිටියෙමු; එහෙත්, කිසි හොඳක් නො වී ය; සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත් මෙන්න, භීතිය පමණක් ඇති වී තිබේ. 20 සමිඳුනි, අපේ දුෂ්ටකමත්, අපේ පියවරුන්ගේ අපරාධයත් අපි පිළිගනිමු. අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. 21 ඔබේ නාමය නිසා අප ඉවත නොදැමුව මැනව. ඔබේ තේජසේ සිංහාසනය පිහිටි ජෙරුසලමට අගෞරව නොකළ මැනව. අප සමඟ තිබෙන ඔබේ ගිවිසුම සිහි කර එය කඩ නොකළ මැනව. 22 වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”

 

– 15 වන පරිච්ඡේදය –

ජුදා සෙනඟගේ විනාශය

1 එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න. 2 ‘අප කොතැනට යා යුතු දැ’යි නුඹෙන් ඇසූ විට, ඔවුන්ට මා මෙසේ වදාළ බව කියන්න. ‘වසංගතයට නියම වූ අය වසංගතයටත්, කඩුවට නියම වූ අය කඩුවටත්, සාගතයට නියම වූ අය සාගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත් යා යුතු ය.’ 3 ඔවුන් විනාශ කිරීමට මාරක සතරක් ස්වාමීන් වන මා නියම කර ඇත. එනම්, මරාදමන පිණිස කඩුව ද ඉරාදමන පිණිස බල්ලෝ ද කාදමා නැති කරන පිණිස අහසේ පක්ෂීහු හා පොළොවේ මෘගයෝ ද යන සතර ය. 4 ජුදාහි රජ වූ හෙසකියාගේ පුත් මනස්සේ ජෙරුසලමේ කළ දේ නිසා, ලොවේ සියලු ජාතීන්ගේ පිළිකුලට ඔවුන් භාජන කරන්නෙමි. 5 එම්බා ජෙරුසලම! නුඹට අනුකම්පා කරන්නේ කවරෙක් ද? නුඹ ගැන වැලපෙන්නේ කවරෙක් ද? නුඹේ සුව දුක් අහන්නට නුඹ ළඟට එන්නේ කවරෙක් ද? 6 නුඹලා මා ප්‍රතික්ෂේප කර මට පිටුපා ගොස් ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය. ලතැවීමෙන් මා වෙහෙසට පත් වී සිටින බැවින් මම මාගේ අත නුඹලාට විරුද්ධ ව ඔසවා නුඹලා විනාශ කෙළෙමි. 7 මම කුල්ලකින් පොළන්නාක් මෙන් දේශයේ හැම නගරයක දී ඔවුන් පොළාදැමුවෙමි. ඔවුන් කෙරේ වියෝ දුක පැමිණෙව්වෙමි. මාගේ සෙනඟ වන නුඹලා නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරී නොපැමිණි බැවින් මම නුඹලා අත්හැර විනාශ කෙළෙමි. 8 මම වැන්දඹුවන්ගේ ගණන මුහුදේ වැලිවලටත් වඩා වැඩි කෙළෙමි. ජීවිතයේ ඉර මුදුන් වේලාවේ මම නුඹලාගේ තරුණයන්ගේ මවුවරුන්ට සිත් වේදනාව ද භීතිය ද හදිසියේ ඇති වන්නට සැලසුවෙමි. 9 දරුවන් හත්දෙනෙකු වැදූ මව දුර්වල වී ක්ලාන්ත වූවා ය. ඇගේ එළිය දවාලෙහි ම අඳුරට හැරී ඇත. ඈ ලජ්ජාවටත්, නින්දාවටත් පත් වූවා ය. ඔවුන්ගෙන් ඉතිරි අය ඔවුන්ගේ සතුරන් ඉදිරියේ දී කඩුවට භාර දෙන්නෙමි. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”

දුක් ගැන ළතෝනි කීම

10 අහෝ මාගේ මෑණියෙනි! මුළු දේශය සමඟ තරඟ ද විවාද ද කරන මිනිසෙකු වීමට ඔබ මා වැදූ නිසා මට සිදු වී ඇති විපතක මහත! මා කිසිවෙකුට ණයට දුන්නේ වත්, කිසිවෙකුගෙන් ණයට ගත්තේ වත් නැත. එහෙත්, සියල්ලෝ ම මට සාප කරති. 11 සමිඳුනි! ඔවුන්ගේ යහපත පිණිස මම යාච්ඤා නොකෙළෙම් නම්, කරදර කාලයෙහිත්, විපත් කාලයෙහිත් සතුරා උදෙසා ඔබ වහන්සේට කන්නලව් නොකෙළෙම් නම්, මේ සාප මා පිට පැමිණේ වා! 12 යකඩ කඩන්නට පුළුවන් කවරෙකුට ද? විශේෂයෙන් ම උතුරු දිශාවේ ලෝකඩ මිශ්‍ර යකඩ කඩන්නට පුළුවන් කවරෙකුට ද?
13 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”දේශයේ හැම තැන ම ඔවුන් කර ඇති ඔවුන්ගේ පව් නිසා, මාගේ සෙනඟගේ සම්පත හා වස්තුව කොල්ලයක් මෙන් පැහැරගෙන යන්නට මම සලස්වන්නෙමි. 14 මාගේ උදහසින් සදහට ම ඇවිලෙන ගින්නක් දැල්වී තිබෙන බැවින් මම ඔවුන් තමන් නොදන්න දේශයක සතුරන්ට සේවය කරන්නට සලස්වන්නෙමි.”
15 එවිට ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: ”සමිඳුනි, ඔබ සියල්ල දන්න සේක, මා සිහි කොට, මා දෙස බලා මට පීඩා කරන්නන්ගෙන් මා වෙනුවෙන් පළිගත මැනව. ඔවුන් කෙරේ ඇති ඔබේ ඉවසිලිවන්තකම නිසා මා තුරන් නොකළ මැනව. ඔබ නිසා මා නින්දාව ඉසිලූ බව සිහි කළ මැනව. 16 ඔබ මට කතා කළ විට, මම ඒවාට සවන් දුන්නෙමි. ඒවා මට ප්‍රීතියක් ද මාගේ සිතට සතුටක් ද වේ. මන්ද, සියලු බලැති දෙවි ස්වාමීන් වහන්ස, මම ඔබේ නාමය දරමි. 17 විනෝදකාමීන්ගේ සමාගමෙහි හිඳගෙන මම ප්‍රීති නොවීමි. මට විරුද්ධ ව අත එසෙවූ බැවින් ඔවුන්ගෙන් වෙන් වී මම කෝපයෙන් පිරී සිටියෙමි. 18 මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”
19 මෙයට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: ”නුඹ ආපසු ආවොත් මම නුඹ නැවත පිළිගන්නෙමි. නුඹ ද මා ඉදිරියේ සිටින්නෙහි ය. නුඹ නොවටින දේ නොව, අගනා දේ කතා කරන්නෙහි නම්, නුඹ මාගේ මුඛය මෙන් වන්නෙහි ය. එවිට සෙනඟ නුඹ වෙත හැරී එනු ඇත. ඔවුන් වෙත යන්න නුඹට වුවමනාවක් නොවනු ඇත. 20 මම මේ සෙනඟට විරුද්ධ ව නුඹ බලවත් ලෝකඩ පවුරක් මෙන් කරන්නෙමි. ඔව්හු නුඹට විරුද්ධ ව යුද්ධ කරතත් නුඹෙන් ජය නොගනිති. මන්ද, නුඹ ගළවන්නත්, නිදහස් කරන්නත් මම නුඹ සමඟ සිටිමි. 21 මම නපුරන්ගේ අතින් නුඹ නිදහස් කරන්නෙමි. බලහත්කාරකම් කරන්නන්ගේ බලයෙන් නුඹ මුදන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

 

– 16 වන පරිච්ඡේදය –

ජුදාට පැමිණෙන විපත්ති

1 සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මේ ස්ථානයෙහි නුඹ ස්ත්‍රියක සරණ පාවා නොගන්න. දරුදැරියෝ ද නුඹට නොසිටිත් වා! 3 මෙහි උපදින දරුදැරියන්ටත්, ඔවුන් දැරූ මවුවරුන්ටත්, ඔවුන් ජනිත කළ පියවරුන්ටත් සිදු වන්න යන දේ මම නුඹට කීවෙමි. 4 ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝ ය; කිසිවෙක් ඔවුන් ගැන නොවැලපෙන්නෝ ය; ඔව්හු වළලනු නොලබති; බිම ඇති කසළ මෙන් වන්නෝ ය. ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය; ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය.
5 ”වැලපීම ඇති නිවෙසට ඇතුළු නොවන්න; ළතෝනි කියන්නට නොයන්න; ඔවුන් ගැන ශෝක නොවන්න. මාගේ සාමදානයත්, ස්ථිර ප්‍රේමයත්, අනුකම්පාවත් මේ සෙනඟගෙන් ඉවත් කරගතිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 6 මේ දේශයේ ලොකු කුඩා අය මැරෙනු ඇත. ඔවුන් වළලනු ලබන්නේ වත්, කිසිවෙකු ඔවුන් ගැන විලාපයක් කියන්නේ වත් නැත. කිසිවෙකු ශෝකයෙන් සිය ශරීරය කපාගන්නේ වත්, හිස මුඩු කරගන්නේ වත් නැත. 7 මළවුන් නිසා වියෝ දුක ඇති අයෙකුගේ සැනසීම සඳහා ඔහු සමඟ දානයක් වළඳන කෙනෙක් නොවන්නෝ ය; දෙමවුපියන් නිසා ඔහුට සැනසීමේ කුසලාන දෙන කෙනෙක් ද නොවන්නෝ ය.
8 ”මංගල භෝජනයක් පවත්වන ගෙදරකට ඇතුළු නොවන්න. එහි සිටින්නන් සමඟ කන බොන පිණිස වාඩි නොවන්න. 9 ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. ඔවුන්ගේ ඇස් හමුයෙහි ම, ඔවුන් ජීවත් ව සිටින කාලයේ දී ම ප්‍රීති ප්‍රමෝද නාදය ද මනාලයා සහ මනාලියගේ හඬ ද මේ ස්ථානයෙන් මම තුරන් කරන්නෙමි.
10 ”නුඹ මේ කරුණු මේ සෙනඟට දැන්වූ විට ඔවුන් නුඹෙන් මෙසේ අසනු ඇත: ‘මේ සියලු බරපතල විපත්ති සමිඳාණන් වහන්සේ අප පිට පැමිණෙව්වේ මන් ද? අපේ අපරාධය කුමක් ද? අපේ දෙවි ස්වාමීන් වහන්සේට විරුද්ධ ව අප කළ පාපය කුමක් ද?’ ” 11 එවිට සමිඳාණන් වහන්සේ මෙසේ කියනු ඇතැ යි ඔවුන්ට කියන්න. ‘නුඹලාගේ පියවරු මා අත්හැර අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කර, නමස්කාර කර, මා අත්හැර දමා මාගේ ව්‍යවස්ථාව ද නොපැවැත්වූ හ. 12 නුඹලා නුඹලාගේ පියවරුන්ටත් වඩා නපුරු ලෙස ක්‍රියා කර ඇත. නුඹලා මට සවන් නො දී, නුඹලාගේ මුරණ්ඩු නපුරු සිතුවිලි අනුව හැසිරෙන්නහු ය. 13 එබැවින්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් දැන නොගත් දේශයකට මම නුඹලා නෙරපාදමන්නෙමි. එහි නුඹලා රෑ දහවල් අන් දෙවිවරුන්ට සේවය කරනු ඇත. මම නුඹලාට කිසි අනුකම්පාවක් නොදක්වමි.’
14 ” ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා තවත් දිවුරන්නට නොහැකි කාලය පැමිණෙන්නේ ය. 15 ඒ වෙනුවට, ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් විසුරුවා හැරි දේශවලින් ද ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා දිවුරන කාලය පැමිණෙන්නේ ය. මා ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
16 ”මේ සෙනඟ අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝ දෙනෙකු එවන්නෙමි. ඉන්පසු සියලු කඳුවල ද සියලු හෙල්වල ද පර්වත විවරවල ද දඩයමින් මෙන් ඔවුන් ගෙනෙන පිණිස දඩයම්කාරයන් මම එවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 17 ඔවුන් කරන සියලු දේ මට පෙනේ; කිසිවක් මාගෙන් සැඟවී නැත; ඔවුන්ගේ අයුතුකම් මාගේ ඇස් ඉදිරියෙන් සැඟවී නැත. 18 මළකඳන් වැනි අශික්ෂිත පිළිමවලින් ඔවුන් මාගේ දේශය දූෂණය කර, දේශය පිළිකුල් කටයුතු දෙවිවරුන්ගෙන් පුරවා ඇති නිසා මම ඔවුන්ගේ අයුතුකමටත්, පාපයටත් දෙගුණයක් ප්‍රතිවිපාක ගෙන දෙන්නෙමි.”

ජෙරමියාගේ යැදීම

19 සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, ”අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ. 20 මිනිසෙකුට තමා උදෙසා ම දෙවිවරුන් සාදාගත හැකි ද? නැත. ඒවා ඇත්තට ම දෙවිවරු නොවෙති”යි කියති.
21 ”එබැවින් මාගේ බලයත්, මාගේ පරාක්‍රමයත් මේ වතාවේ නිශ්චය වශයෙන් ඔවුන්ට දැනගන්නට සලස්වන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

 

– 17 වන පරිච්ඡේදය –

ජුදා දේශයේ පාපය හා ඊට දඬුවම

1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ජුදා වැසියෙනි, නුඹලාගේ පාපය යකඩ පෑනකින් ලියා තිබේ. වජ්‍ර තුඩකින් එය නුඹලාගේ සිත නමැති පුවරුවේ ද පූජාසනයේ නෙරා ඇති අං වැනි කොන්වල ද කොටා තිබේ. 2 නුඹලාගේ දරුවෝ අතුපතර ඇති ගස් ළඟ ද උස් හෙල් උඩ ද 3 ගම්බද පළාත්වල ගිරිකුළු මත ද අෂේරා දේවතාවිය උදෙසා තනාගත් ඔවුන්ගේ පූජාසන සිහි කරති. දේශයේ සෑම තැන ම නුඹලා කර ඇති පාප නිසා නුඹලාගේ සම්පත ද සකල වස්තුව ද සතුරන් විසින් පැහැරගෙන යනු ලබන්නට සලස්වන්නෙමි. 4 මා නුඹලාට දුන් දේශය අත්හරින්නට නුඹලාට සිදුවන්නේ ය; නුඹලා නොදන්න දේශයක දී නුඹලාගේ සතුරන්ට සේවය කරන්නට නුඹලාට සලස්වන්නෙමි. මන්ද, මාගේ කෝපය කරණකොටගෙන සදහට ම ඇවිලෙන ගින්නක් දැල්වී තිබේ.”

ආප්තෝපදේශ

5 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන, මියයන සුලු සිරුර ශක්තිය කරගෙන, සමිඳුන් කෙරෙන් හැරී ඉවත් ව යන මිනිසා සාප ලද්දෙකි.
6 ඔහු පාළුකරයෙහි ඇති පඳුරකට සමාන වේ.
යහපත පැමිණි විට එය ඔහුට නොපෙනේ.
පාළුකරයෙහි වියළි තැන්හි, මිනිසුන් නොවසන ලුණු බිම්හි ඔහු වාසය කරයි.
7 සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන, සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයෙකි.
8 ඔහු, ගං ඉවුරේ සිටුවා ඇති, ගඟට ම මුල් ඇද ඇති;
ගිම්හානයට කිසි බියක් නැති;
කොළ පර වී යාමක් නැති;
නියඟ කාලය ගැන කරදර නැති;
නොනැවතී දිගට ම පලදාවක් ඇති ගසක් හා සමාන වේ.
9 අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇත;
එය තේරුම්ගත හැක්කේ කාට ද?
10 සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි;
මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි.
එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.”
11 වංචාවෙන් මුදල් උපයන මිනිසා, ඈ නොදැමූ බිජු රකින කපුටියක වැනි ය;
පසු ව පැටවුන් ඇගෙන් ඉගිලී යන ලෙස ජීවිතයේ ඉර මුදුන් වේලේ ඒ සම්පත ඔහුගෙන් නැති වී යයි.
මෙසේ ඔහු අන්තිමයේ දී මෝඩයෙකු බවට පත් වෙයි.
12 කන්දක් මත මුල සිට ම පිහිටා ඇති අපේ දේව මාලිගය තේජාන්විත සිහසුනකි.
13 ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව වන සමිඳුනි, ඔබ අත්හරින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති.
ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන් ධූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහ වී යනු ඇත.

ජෙරමියා දේව පිහිට යැදීම

14 සමිඳුනි, මා සුව කළ මැනව.
එවිට මම සුවපත් වන්නෙමි.
මා ගළවාගත මැනව.
එවිට මම ගැළවෙන්නෙමි.
මම ඔබ පමණක් පසසන්නෙමි.
15 ”සමිඳුන් කළ ප්‍රකාශනය කොහේ ද?
ඒවා ඉටු නොවන්නෙ මන් දැ”යි සෙනඟ මට කියති.
16 එහෙත් සමිඳුනි, ඔබ දන්න පරිදි ඔවුන් පිට විනාශය පමුණුවන්නට වත්, නපුරු කාලයක් ඔවුන්ට ගෙනදෙන්නට වත් මම ඔබෙන් නොඉල්ලුවෙමි.
මා මුවින් නික්මුණු වචන ඔබ දන්න සේක.
17 ඔබ මට බියට කරුණක් නොවන සේක.
විපත්ති දවසේ දී ඔබ මාගේ රැකවරණය වන සේක.
18 මට පීඩා කරන්නෝ ලජ්ජාවට පැමිණෙත් වා!
මම ලජ්ජාවට නොපැමිණෙම් වා!
ඔව්හු භීතියට පැමිණෙත් වා!
මම භීතියට නොපැමිණෙම් වා!
විපත් දවස ඔවුන් පිට පමුණුවා ඔවුන් සහමුලින් ම වනසාලුව මැනව.

සබත් දවස පැවැත්වීම

19 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”නුඹ ගොස් ජුදාහි රජවරුන් යන එන බෙන්ජමින්ගේ දොරටුවේ ද ජෙරුසලමේ සියලු දොරටුවල ද සිට මෙසේ කියන්න. 20 ජුදාහි රජවරුන්ටත්, ජුදා ජනයාටත්, මේ දොරටුවලින් ඇතුළු වන ජෙරුසලමේ සියලු වැසියන්ටත් සමිඳාණන් වහන්සේගේ වචනයට සවන් දෙන ලෙස දන්වා සිටින්න. 21 නුඹලාගේ ප්‍රාණයට නුඹලා ආදරේ නම්, සබත් දවසේ දී නුඹලා කිසි බරක් උසුලාගෙන නොයා යුතු ය. ජෙරුසලමේ දොරටුවලින් නුඹලා කිසි බරක් උසුලාගෙන නොගෙනා යුතු ය. 22 සබත් දවසේ දී නුඹලාගේ ගෙවලින් බරක් ගෙන නොගිය යුතු ය. කිසි ම බර වැඩක් නොකළ යුතු ය. නුඹලාගේ පියවරුන්ට මා අණ කළ ප්‍රකාරයට නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පැවැත්විය යුතු ය. 23 නුඹලාගේ පියවරු මා දෙසට කන් යොමු කර මට සවන් නුදුන්නෝ ය. ඒ වෙනුවට නුඹලා සිත් දැඩි කරගෙන, මට කීකරු වුණේ වත්, මාගේ අවවාද පිළිගත්තේ වත් නැත. 24 මේ සෙනඟ මට සහමුලින් ම කීකරු විය යුතු ය. සබත් දවසේ දී නුඹලා කිසි බරක් උසුලාගෙන දොරටුවලින් නොයා යුතු ය. නුඹලා සබත් දවස ශුද්ධ දවසක් ලෙස පවත්වා, එදින කිසි බර වැඩක් නොකළ යුතු ය. 25 නුඹලා මෙසේ කළොත්, දාවිත්ගේ සිංහාසනයේ වැඩ හිඳින, රථවල හා අශ්වයන් පිට නැඟී යන රජවරුන් සහ ඔවුන්ගේ අධිපතීහු ද ජුදාහි ජනයා ද ජෙරුසලමේ වැසියෝ ද මේ නගරයේ දොරටුවලින් ඇතුළු වන්නෝ ය. මේ නගරය සදහට ම පවතිනු ඇත. 26 තවද, ජුදා නගරවලින් ද ජෙරුසලම අවට පෙදෙස්වලින් ද බෙන්ජමින්ගේ දේශයෙන් ද පාත රටින් ද කඳුකරයෙන් ද දකුණු දෙසින් ද මනුෂ්‍යයෝ දවන පූජා ද යාග පූජා ද ආහාර පූජා ද කට්ටකුමංජල් ද ස්තුති පූජා ද රැගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණෙන්නෝ ය. 27 එහෙත්, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන හැටියටත්, සබත් දවසේ දී බරක් උසුලාගෙන ජෙරුසලමේ දොරටුවලින් ඇතුළු නොවන හැටියටත් මා කී දේට ඔවුන් සවන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළුවන්නෙමි; ඒ ගින්න ජෙරුසලමේ මාලිගා දවාලන්නේ ය. එය කිසි සේත් නොනිවිය හැකි ය.”

 

– 18 වන පරිච්ඡේදය –

ජෙරමියා හා කුම්භකාරයා

1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: 2 ”නුඹ නැඟී කුම්භකාරයාගේ ගෙට යන්න; එහි දී මාගේ පණිවුඩය නුඹට ප්‍රකාශ කරන්නෙමි.” 3 එකල මම කුම්භකාරයාගේ ගෙදරට ගියෙමි; ඔහු සකපෝරුවෙන් වැඩ කරමින් සිටියේ ය. 4 යම්කිසි විටක ඔහු අඹමින් සිටි මැටි බඳුනක් නරක් වූ කල, ඔහු යළිත් ඒ මැටි ගෙන එයින් වෙන බඳුනක් තමා රිසි සේ සෑදුවේ ය.
5 එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 6 ”එම්බා ඉශ්රායෙල් ජනයෙනි, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්නට මටත් බැරි ද? මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය. ඉශ්රායෙල් ජනයෙනි, කුම්භකාරයාගේ අතේ තිබෙන මැටි පිඬක් මෙන් නුඹලා මාගේ අතේ සිටින්නහු ය. 7 යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන, ‘මම එය උදුරා කඩාදමා නැති කරන්නෙමි’යි කී කල, 8 ඒ ජාතිය තමන්ගේ අදමිටුකමින් හැරුණොත්, මා එයට කරන්නට අදහස් කළ විපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි. 9 එමෙන් ම, යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන ‘මම එය ගොඩනඟා වර්ධනය කරන්නෙමි’යි කී කල, 10 ඒ ජාතිය මාගේ හඬට කීකරු නොවී, මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කළහොත්, මා එයට කරන්න අදහස් කළ යහපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි. 11 එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න. 12 එහෙත් ඔවුන්, ‘එයින් වැඩක් නැත; අපේ ම අභිප්‍රායයන් ලෙස අපි හැසිරෙමු, අපි එකිනෙකා අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස ක්‍රියා කරන්නෙමු’යි පිළිතුරු දෙනු ඇත.

ඉශ්රායෙල් ජනතාව සමිඳාණන් ප්‍රතික්ෂේප කිරීම

13 ”එබැවින් ස්වාමීන් වන මම මෙසේ වදාරමි.
‘මෙවැන්නක් මීට පෙර සිදු වුණ බව අසා ඇද්දැ’යි සියලු විජාතීන්ගෙන් අසන්න.
ඉශ්රායෙල් සෙනඟ භයානක දේ කර ඇත.
14 ලෙබනොන්හි උස් කඳුවල හිම නැති වන කලක් ඇද් ද?
කඳුකරේ ගලා එන සිසිල් දිය දහර සිඳී යන කලක් ඇද් ද?
15 එහෙත්, මාගේ සෙනඟ මා අමතක කර ඇත.
ඔව්හු දේව රූපවලට සුවඳ දුම් අල්ලති;
ඔවුන්ගේ පැරණි ගමන් මාර්ගයෙහි ඔව්හු පැකිළී වැටෙති;
මහ මඟ නොව, අතු පාරවල ගමන් කරති.
16 මෙසේ ඔවුන් මේ දේශය මහා භීතියට කරුණක් ද සදහට ම පිළිකුලක් ද කර ඇත.
ඒ ළඟින් යන අය බියෙන් බියට පත් ව විස්මයෙන් හිස වන වනා යති.
17 පෙරදිග සුළඟකින් මෙන් සතුරන් ඉදිරියෙහි මම ඔවුන් විසුරුවා හරින්නෙමි.
මාගේ මුහුණ හරවාගෙන ඔවුන්ගේ විපත් සමයෙහි ඔවුන්ට පිටුපා යන්නෙමි.”

ජනතාව ජෙරමියාට එරෙහි වීම

18 එකල සෙනඟ පිළිතුරු දෙමින්, ”එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.
19 එවිට ජෙරමියා සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: ”සමිඳුනි, මාගේ සතුරන්ට විරුද්ධ ව කියන දේට සවන් දෙන්න. මාගේ පැමිණිල්ල අසන්න; 20 යහපතට පල විපාකය අයහපත ද? මාගේ සතුරන් මා නසන්නට බොරු වළක් හාරා ඇත. ඔවුන් වෙනුවෙන් ඔබේ කෝපය පහකරන පිණිස ඔවුන්ගේ යහපත උදෙසා කතා කරන්නට මා ඔබ ඉදිරියෙහි සිටි බව සිහි කළ මැනව. 21 එහෙත්, දැන් ඔවුන්ගේ දරුවන් හාමතේ මැරෙන්නට හැරිය මැනව. යුද්ධයෙන් මැරෙන්නට සැලසුව මැනව; ඔවුන්ගේ භාර්යාවන්ගේ දරුවෝ ද පුරුෂයෝ ද නැති වෙත් වා! ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත් වා! ඔවුන්ගේ තරුණයෝ යුද්ධයේ දී කඩුවෙන් මැරුම්කත් වා! 22 ඔබ හදිසියෙන් සතුරු සේනාවක් ඔවුන්ට විරුද්ධ ව පමුණුවන කල ඔවුන්ගේ නිවෙස්වලින් කෑගැසීමක් ඇසේ වා! මන්ද, ඔවුන් මා අසුකරන්නට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තබා ඇත. 23 එහෙත්, සමිඳුනි, මා මරන පිණිස මට විරුද්ධ ව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබ ම දන්න සේක. ඔවුන්ගේ දුෂ්ටකම් කමා නොකළ මැනව. ඔවුන්ගේ පාපය ද ඔබේ දර්ශනයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිළ වැටෙත් වා! ඔබේ උදහසේ කාලයේ දී ඔවුන්ට ප්‍රතිවිපාක දුන මැනව.”

 

– 19 වන පරිච්ඡේදය –

මැටි බඳුන බිඳීම ගැන ලකුණ

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට, ”නුඹ ගොස් කුම්භකාරයාගෙන් මැටි බඳුනක් මිලේට ගන්න. ප්‍රජා මූලිකයන්ගෙන් ද ශ්‍රේෂ්ඨ පූජකයන්ගෙන් ද සමහරදෙනෙකු කැටුව, 2 කුඹල් දොරටුව ළඟ තිබෙන බෙන්-හින්නොම් මිටියාවතට පැමිණ, මා නුඹට කියන වචන එහි දී ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක. 3 ”නුඹ මෙසේ කියන්න: ජුදාහි රජවරුනි, ජෙරුසලමේ වැසියෙනි, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. අසන සියල්ලන්ගේ කන් දෙදරන තරමට මේ ස්ථානය පිට මම විපත්ති පමුණුවන්නෙමි. 4 මා මෙසේ කරන්නේ, සෙනඟ මා අත්හැර, මේ ස්ථානය දූෂණය කර, ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත්, ජුදාහි රජවරුන් වත් දැනහැඳින නොසිටි දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පු කරන නිසාත්, නිදොස් ලෙයින් මේ ස්ථානය පුරවා තිබෙන නිසාත් ය. 5 තවද, ඔවුන් තමන්ගේ පුත්‍රයන් ගින්නෙන් දවා, බාල් දෙවියාට දවන යාග පූජා කරන පිණිස, බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනඟා තිබේ. එසේ කරන්නට කියා මා අණ කෙළේ වත්, කීවේ වත් නැත. එවැන්නක් මාගේ සිතට නැඟුණේ වත් නැත. 6 ඒ නිසා, මේ ස්ථානයට තෝපෙත් කියා වත්, බෙන්-හින්නොම් මිටියාවත කියා වත් නොකියා, ඝාතන මිටියාවත කියා කියන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි. 7 මේ ස්ථානයේ දී මම ජුදාහි හා ජෙරුසලමේ වැසියන්ගේ යෝජනා කඩාකප්පල් කර දමා, ඔවුන්ගේ සතුරන් ඉදිරියෙහි කඩුවෙන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන්ගේ අත්වලින් ද ඔවුන් විනාශ වන්නට සලස්වා, ඔවුන්ගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි. 8 මේ දේශය මහා භීතියකට කරුණක් ද පිළිකුලක් ද කරන්නෙමි. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් වී ඔවුන්ට සිදු වූ විපත ගැන සරදම් කරන්නෝ ය. 9 එහි සිටින සෙනඟට ඔවුන්ගේ ම දරුදැරියන්ගේ මාංස කන්නට මම සලස්වන්නෙමි. ඔවුන්ගේ සතුරන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන් ද ඔවුන්ට පීඩා කරන විට වටලනු ලැබූ ඔවුන් තම අසල්වැසියන්ගේ මාංස කනු ඇත.”
10 එවිට සමිඳාණන් වහන්සේ මා සමඟ ගිය අය ඉදිරියේ මැටි බඳුන බිඳදමා, 11 ”සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්නැ”යි මට වදාළ සේක. ”මේ කුම්භකාරයාට මැටි බඳුන පිළියම් කරන්නට බැරි විදියට නුඹ එය බිඳින පරිදි මම මේ නගරයෙහි සිටින සෙනඟ සිඳබිඳ දමමි. වළලන්නට ඉඩක් නැති නිසා ඔවුන් තෝපෙත්හි මළමිනී වළලනු ඇත. 12 මම මේ ස්ථානයටත්, මෙහි වැසියන්ටත් එසේ කර, මේ නගරය තෝපෙත් මෙන් කරන්නෙමි. 13 යම් යම් ගෙවල්වල පියසි උඩ ග්‍රහ තාරකාවන්ට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරන්නටත් යෙදුණේ ද, අපවිත්‍ර වූ ඒ සියලු ගෙවල් එනම්, ජෙරුසලමේ ගෙවල් ද ජුදාහි රජවරුන්ගේ ගෙවල් ද තෝපෙත් මෙන් අපිරිසිදු වන්නේ ය.”
14 ඉක්බිති ජෙරමියා දිවැස් වැකි කියන පිණිස සමිඳාණන් වහන්සේ විසින් යවනු ලැබූ තෝපෙත් සිට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ සිටිමින්, මුළු සෙනඟට කතා කොට, 15 ”ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. ”ඔවුන් මාගේ වචනය නොඅසන පිණිස මුරණ්ඩු ව සිටින බැවින් මම මේ නගරයටත්, ඊට යාබද උපනගරවලටත් විරුද්ධ ව මා කී සියලු විපත් පමුණුවන්නෙමි.”

 

– 20 වන පරිච්ඡේදය –

පෂ්හුර් නම් පූජකයා හා ගැටුම

1 ඉම්මෙර්ගේ පුත් පෂ්හුර් නම් පූජකයෙක් දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා විය. දිවැසිවර ජෙරමියා ප්‍රකාශ කළ මේ දේ ඔහුට ඇසිණි. 2 එබැවින් පෂ්හුර් ජෙරමියාට තළා, දේව මාලිගාවේ බෙන්ජමින් නමැති ඉහළ දොරටුවේ තිබෙන දඬු කඳේ ඔහු දැම්මේ ය. 3 පසු දින පෂ්හුර් ජෙරමියා දඬු කඳෙන් නිදහස් කළ විට ජෙරමියා ඔහුට මෙසේ කී ය: ”සමිඳාණන් වහන්සේ ඔබට, ‘අවට සැපත’ යන අරුත ඇති පෂ්හුර් නොව, ‘අවට භීතිය’ යන අරුත ඇති මාගොර්-මිස්සාබිබ් කියා නම් තබා ඇත. 4 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරා ඇත: මම නුඹත්, නුඹේ මිත්‍රයනුත් අධික භීතියකට පත්වන්නට සලස්වන්නෙමි. ඔව්හු තමන්ගේ සතුරන්ගේ කඩුවෙන් මැරුම් කන්නෝ ය. නුඹ එය නුඹේ ම ඇස්වලින් දකින්නෙහි ය. මම මුළු ජුදා දේශය බබිලෝනි රජුගේ අතට පාවා දෙන්නෙමි. ඔහු ඔවුන් බබිලෝනියට ගෙන ගොස් කඩුවෙන් මරන්නේ ය. 5 තවද, මම මේ මුළු නගරයේ සම්පත ද එහි ධනය ද එහි ඇති සියලු වටිනා දේ ද ජුදා රජවරුන්ගේ සකල වස්තුව ද ඔවුන්ගේ සතුරන් අතට දෙන්නෙමි; ඔවුන් ඒවා කොල්ලකා බබිලෝනියට ගෙනයනු ඇත. 6 එම්බා පෂ්හුර්! නුඹේ ගෙවැසි සියල්ලෝ ද නුඹ ද වහල්කමට ගෙනයනු ලබන්නහු ය. නුඹේ බොරු දිවැස් වැකි ඇසූ නුඹේ සියලු මිත්‍රයෝත්, නුඹත් වහල්කමට බබිලෝනියට ගෙනයනු ලබන්නහු ය. එහි දී නුඹලා මැරී වළලනු ලබන්නහු ය.”

ජෙරමියාගේ පැමිණිල්ල

7 අහෝ සමිඳුනි!
ඔබ තුමාණෝ මා මුළා කළ සේක.
මම ද මුළා වීමි.
ඔබ තුමාණෝ මට වඩා බලවන්ත ය.
ඔබ තුමාණෝ මා පරාජයට පත් කළ සේක.
දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති.
ඔව්හු මට උසුළු-විසුළු කරති.
8 මා කතා කරන සෑම විට ම මොරගසමින්, ‘සැහැසිකම’, ‘විනාශය’ කියා මම කියමි.
ඔබ තුමාණන්ගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත්, සරදමටත් හේතුව වී තිබේ.
9 ‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි.
එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත.
එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි.
එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.
10 කසුකුසුව මට ඇසේ, අවට ඇත්තේ භීතියකි;
‘අපි ඔහු ප්‍රතික්ෂේප කරමු.
ප්‍රතික්ෂේප කරමු’ කියා මාගේ හිත මිතුරෝ පවා කියති.
මාගේ වැටීම ද ඔව්හු බලා සිටිති.
‘සමහර විට ඔහු රැවටෙනු ඇත;
එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැ’යි ඔව්හු කියති.
11 එහෙත් සමිඳුනි, ඔබ තුමාණෝ මහා යුද වීරයෙකු සේ මා සමඟ සිටින සේක.
එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිළෙන්නෝ ය;
ඔව්හු ජය නොගන්නෝ ය;
ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය.
එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේ ය.
12 සව් බලැති සමිඳුනි, සැදැහැවතුන් පිරික්සන, මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබ තුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන මැනව.
මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි.
13 සමිඳුන්ට ගී ගයන්න;
එතුමාණන් පසසන්න.
මන්ද, එතුමාණෝ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලන සේක.
14 මා උපන් දවසට සාප වේ වා!
මාගේ මවු මා වැදූ දවසට ද ආසිරි නො වේ වා!
15 ”ඔබට පිරිමි දරුවෙක් උපන්නේ ය” කියා මාගේ පියාට දන්වා ඔහු ප්‍රීතිමත් කළ මිනිසාට සාප වේ වා!
16 ඒ මිනිසා, සමිඳුන් නිර්දය ලෙස විනාශ කළ නගර මෙන් වේ වා!
උදෑසන අනතුරු ඇඟවීම ද මද්දහනේ යුද ගොස ද ඔහුට ඇසේ වා!
17 එසේ සිදු වන්නේ, එතුමාණන් මා මවු කුසේ නොමැරූ නිසා ය.
මට මවු ගැබ සොහොන් ගැබ විණි නම්, එය සදහට ම උතුම් වන්නට තිබිණි.
18 දුකත්, ශෝකයත් දැකීමට ද මාගේ දවස් ලජ්ජාවෙන් පසු කරන්නට ද මවු කුසෙන් මා නික්ම ආවේ මන් ද?

 

– 21 වන පරිච්ඡේදය –

ජෙරුසලමේ පරාජය දැන්වීම

1 ශෙදෙකියා රජු මල්කියාගේ පුත් පෂ්හුර් සහ පූජකයා වන මයසේයාගේ පුත් පූජක ශෙපනියා ද ජෙරමියා වෙත යවා මෙසේ ඇසුවේ ය. එවිට සමිඳාණන් වහන්සේගෙන් ඔහුට මේ පණිවුඩය ලැබුණේ ය. 2 ඔව්හු ජෙරමියා අමතා, ”අනේ! අප උදෙසා සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අපට විරුද්ධ ව යුද්ධ කරන්නේ ය; සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා කළ පුදුම ක්‍රියා අනුව අප ගැන ක්‍රියා කරමින් නෙබුකද්නෙශර් අප කෙරෙන් ඉවත් වී යාමට සලස්වනු ඇතැ”යි කී හ.
3 එවිට ජෙරමියා ඔවුන් අමතා, ”ඔබ ශෙදෙකියාට මෙසේ කියන්න: 4 ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පවුරට පිටතින් ඔබ හැම වටලාගෙන සිටින බබිලෝනියේ රජුටත්, කල්දිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කිරීමට ගෙන ඇති, ඔබේ අත්වල තිබෙන, යුද්ධායුධ මම ඔබට ම විරුද්ධ ව හරවන්නෙමි. මේ නගරය මැදට මම ඔවුන් රැස් කරන්නෙමි. 5 මම ද, මාගේ මහ බලය මෙහෙයවමින් කෝපයෙන් ද උදහසින් ද තද අමනාපයෙන් ද ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නෙමි. 6 මේ නගරයේ ජීවත් වන මිනිසුන් හා මෘගයන් සියලු දෙනාට මම පහර දෙන්නෙමි. 7 ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ සේවකයෝ ද මහා වසංගතයකින් මරනු ලබති. මහා වසංගතයෙන් ද කඩුවෙන් ද සාගතයෙන් ද ගැළවෙන සෙනඟත්, නගරයේ ඉතිරි වන සෙනඟත්, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත්, ඔවුන්ගේ සතුරන් අතටත්, ඔවුන් ඝාතනය කරන්නට සොයන අය අතටත් පාවා දෙන්නෙමි. නෙබුකද්නෙශර් ඔවුන් මරාදමනු ඇත; ඔවුන් එකෙකු වත් ඉතිරි කරන්නේ නැත. ඔවුන්ට කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’ ”
8 එවිට සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කර, සෙනඟට මෙසේ කියන්නැ යි වදාළ සේක: ”සවන් දෙන්න; ජීවත්වීමේ මාර්ගයත්, මරණයේ මාර්ගයත් මම නුඹලා ඉදිරියේ තබමි. 9 මේ නගරයේ සිටින අය කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නෝ ය. එහෙත්, ඔබ වටලාගෙන සිටින බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට යටත් වන්නෝ ජීවත් වන්නෝ ය. ඔව්හු පණ ගළවාගෙන බේරී යන්නෝ ය. 10 මේ නගරයේ ශුභසිද්ධිය පිණිස නොව, විපත්තිය පිණිස මාගේ මුහුණ ඒ දෙසට යොමා ඇත. එය බබිලෝනියේ රජු අතට පාවා දෙනු ලබන්නේ ය. ඔහු එය ගින්නෙන් දවාදමන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

ජුදා රාජ වංශය විනිශ්චය කිරීම

11 ජූදා රජුගේ වංශයට ජෙරමියා කතා කොට මෙසේ කීවේ ය: ”සමිඳාණන් වහන්සේ වදාළ මේ දේට සවන් දෙන්න. 12 දාවිත්ගේ පෙළපතේ වැසියෙනි, සෑමදා ම යුක්තිය ඉටු කරන්නට වග බලාගන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල දුෂ්ටකම නිසා මාගේ කෝපය කිසිවෙකුට නිවන්නට බැරි ගින්නක් මෙන් ඇවිලෙනු ඇත. 13 තැනිතලාවට ඉහළින් නැඟෙන පර්වතයේ වාසය කරන්නන්ට විරුද්ධ ව මම සටන් කරමි. ‘නුඹලාට විරුද්ධ ව කිසිවෙකු බැස එන්නේ වත්, නුඹලාගේ වාසස්ථානවලට ඇතුළු වන්නේ වත් නැතැ’යි නුඹලා කියන්නහු ය. 14 එහෙත්, මම නුඹලාගේ ක්‍රියාවල විපාකය හැටියට නුඹලාට දඬුවම් කරන්නෙමි. මම එහි ඇති කැළෑ රොදට ගිනිලන්නෙමි. ඊට හාත්පසින් ඇති සියලු තැන් එයින් දැවී යන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

– 22 වන පරිච්ඡේදය –

ජුදාහි රජවරුන් ගැන දිවැස් වැකි

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට, ”ජුදා රජුගේ මාලිගාවට ගොස් මේ වචන පවසන්න. 2 දාවිත්ගේ සිංහාසනයේ හිඳින ජුදාවේ රජුටත්, ඔහුගේ සේවකයන්ටත්, මේ දොරටුවලින් ඇතුළු වන වැසියන්ටත් සමිඳාණන් වහන්සේගේ වචනයට සවන් දෙන්න කියන්නැ”යි වදාළ සේක. 3 ”සාධාරණ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කරන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. විදේශිකයාටත්, අනාථයාටත්, වැන්දඹුවටත් අයුක්තියක් හෝ සැහැසිකමක් හෝ නොකරන්න. මේ ස්ථානයේ අහිංසක ලේ නොහළන්න. 4 නුඹලා මාගේ වචනයට කීකරු වන්නහු නම්, දාවිත්ගේ පරපුරෙන් පැවත එන රජ පරපුර නොකැඩී පවතියි; ඔව්හු ද ඔවුන්ගේ සේවකයෝ ද සෙනඟ ද රථවල හා අශ්වයන් පිට නැඟී, මේ මාලිගාවේ දොරටුවලින් ඇතුළු වන්නෝ ය. 5 එහෙත්, නුඹලා මේ වචන සිතට නොගත්තොත්, මේ මාලිගාව නටබුන් ගොඩක් වන්නේ යයි මම ම නුඹලාට දිවුරා කියමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
6 ”ජුදා රජ මැදුර ගැන සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: ගිලියද් දේශය මෙන් ද ලෙබනොන් කඳු මුදුන මෙන් ද එය මට පියකරු ය. එහෙත්, මම එය කාන්තාරයක් ද වැසියන් නැති නගරයක් ද කරන්නෙමි. 7 එය විනාශ කිරීමට මම අවිගත් සෙනඟක් සූදානම් කරමි. ඔව්හු අනර්ඝ කිහිරි ගස් කපා ගින්නෙහි දමන්නෝ ය.
8 ”බොහෝ විජාතීන් මේ නගරය ළඟින් යමින්, ස්වාමීන් වන මා මේ උදාර නගරයට මෙසේ කෙළේ මන්දැ යි එකිනෙකාගෙන් අසනු ඇත. 9 එවිට ඔවුන් පිළිතුරු දෙමින්, ‘ඔවුන් තමන්ගේ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාර කොට, ඔවුන්ට සේවය කළ නිසා ය’යි කියනු ඇත.”

ජෝවාහාස් ගැන ජෙරමියාගේ පණිවුඩය

10 එම්බා ජුදා ජනයෙනි, මියගිය ජොෂියා රජු ගැන ශෝක නොවන්න; ඔහුගේ මරණය ගැන නොවැලපෙන්න. එහෙත්, ඔහුගේ පුත් ජෝවාහාස් ගැන කෑගසා අඬන්න. මන්ද, ඔවුන් ඔහු ගෙන යන බැවිනි. ඔහු හැරී එන්නේ නැත. තමන් උපන් දේශය ඔහු තවත් නොදකින්නේ ය.
11 ජොෂියා රජුගේ ඇවෑමෙන් ජුදාහි රජකමට පත් වූ එතැනින් පලා ගිය ඔහුගේ පුත් ජෝවාහාස් ගැන සමිඳාණන් වහන්සේ කතා කොට, 12 ”ඔහු වහල්කමට ගෙනයනු ලැබූ තැන ම නසින්නේ ය. ඔහුගේ මේ දේශය කවදාවත් ඔහු නැවත නොදකින්නේ යැ”යි වදාළ සේක.

ජෙහෝයාකීම් රජ ගැන ජෙරමියාගේ පණිවුඩය

13 ”අසාධාරණ ලෙස තමාගේ නිවෙස තනාගන්නා වූ වංචාවෙන් උඩුමහල සාදාගන්නා වූ කුලී නොදී මිනිසුන්ගෙන් නිකමට වැඩ ගන්නා වූ මිනිසාට වන විපතක මහත!
14 ‘විශාල උඩුමහල් මැදුරු ඇති මහා වලව්වක් මම ම සාදාගනිමි’යි කියමින්, කිහිරි ලීවලින් පනේල අල්ලා කවුළු දමා රතු සායම් ගාන මිනිසාට වන විපතක මහත!
15 කිසිවකට දෙ වන නොවන කිහිරි ලීයෙන් නිවාසයක් තනා ගැනීමෙන් නුඹ රජ කෙනෙකු කියා සිතන්නෙහි ද?
නුඹේ පියා සැපට කා බී යුතු දේත්, සාධාරණ දේත් කර හැම අතින් ම සමෘද්ධ වුණා නොවේ ද?
16 ඔහු දිළිඳු අසරණයන්ට යුක්තිය ඉටු කෙළේ ය.
ඒ නිසා ඔහු කළ හැම දේ සඵලවත් විය.
සමිඳුන් අදහාගැන්ම යන්නෙන් අදහස් කරන්නේ එය යි.
17 එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත.
නුඹ අහිංසකයන් මරන්නෙහි ය;
සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය.
මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”
18 එබැවින් ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ” ‘අනේ! මාගේ සහෝදරය, අනේ! මාගේ සහෝදරිය’ කියා ඔහු ගැන කිසිවෙක් නොවැලපෙති. ‘අනේ! ස්වාමීනි, අනේ රජිඳුනි,’ කියා ද කිසිවෙක් නොවැලපෙති. 19 කොටළුවෙකු වළලන පරිදි ඔහු ජෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් වළට විසි කොට වළලනු ලබනු ඇත.”

ජෙරුසලමේ ඉරණම

20 ජෙරුසලමේ ජනයෙනි, ඔබේ සියලු ම පෙම්වතුන් පරාජය වී සිටින නිසා ලෙබනොන් කන්දට නැඟී ගොස් මොරගසන්න. බාෂාන් දේශයට ගොස් හඬන්න; අබාරිම් කඳු වැටියෙන් මොරහඬ දෙන්න. 21 ඔබ යෙහෙන් සුවෙන් සිටිය දී සමිඳාණන් වහන්සේ ඔබට කතා කළ සේක. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. උන් වහන්සේගේ හඬට කීකරු නොවීම යොවුන් වියේ සිට ම ඔබේ පුරුද්දකි. 22 ඔබේ මූලිකයෝ සුළඟට ගසාගෙන යන්නෝ ය. ඔබේ පෙම්වත්හු හිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නෝ ය. එවිට ඔබේ සියලු නපුරුකම් ගැන ඔබ ලජ්ජාවටත්, නින්දාවටත් පැමිණෙන්නෙහි ය. 23 අහෝ! ලෙබනොන් වැසියෙනි, කිහිරි ගස් අතර සුරක්ෂිත ව සිටින ඔබට විළිරුදාවෙන් පෙළෙන ස්ත්‍රියක මෙන් දුක් වේදනාව ඇති වූ විට ඔබ කෙඳිරි ගාන්නෙහි ය.

ජෙකොනියා රජ කෙරේ දේව විනිශ්චය

24 ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජ වූ ජෙකොනියාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”නුඹ මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටි නමුත්, මම නුඹ උදුරාදමන්නෙමි යි සහතික කොට කියමි. 25 නුඹේ ප්‍රාණය හානි කරන්නට සොයන්නන් අතටත්, නුඹ බියෙන් සිටි අයගේ අතටත් එනම්, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත්, ඔවුන්ගේ හේවායින් අතටත් මම නුඹ පාවා දෙමි. 26 නුඹත්, නුඹ වැදූ නුඹේ මවුත් නුඹලා නූපන් අන් දේශයකට හෙළාදමන්නෙමි. එහි දී නුඹලා මැරෙනු ඇත. 27 නුඹලා ආපසු එන්නට ආශා කරන දේශයට නුඹලා පෙරළා නොඑන්නහු ය.”
28 ජෙරමියා මෙසේ කී ය: ”ජෙකොනියා කමකට නැති, බිඳුණු බඳුනක් ද? ඔහු කිසිවෙකුට පලක් නැති බඳුනක් ද? ඔහු සහ ඔහුගේ වංශය ප්‍රතික්ෂේප කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට නෙරපා දමනු ලබන්නේ කුමක්නිසා ද? 29 එම්බා දේශය, දේශය, දේශය, සමිඳාණන් වහන්සේ කියන මේ වචනයට සවන් දෙන්න. 30 ‘මේ මිනිසා දරුවන් නැති, තම ජීවිත කාලයේ දී කිසි සඵලයක් නොලැබූ මිනිසෙකැ’යි කියන්න. මන්ද, ඔහුගේ වංශයේ කිසිවෙකුට තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ ජුදා දේශයෙහි රජකම් කිරීමට නොලැබෙන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

 

– 23 වන පරිච්ඡේදය –

අනාගත බලාපොරොත්තුව

1 ”මාගේ තණ බිමේ පෝෂණය වන බැටළුවන් වනසා විසුරුවා හරින එඬේරුන් පිට සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන විපතක මහත! 2 මාගේ සෙනඟ පෝෂණය කළ යුතු මේ එඬේරුන් ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න, ‘නුඹලා මාගේ බැටළුවන් රැක බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහු ය. දැන් මම නුඹලාගේ නපුරු ක්‍රියා නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 3 එහෙත්, මාගේ රැළෙන් ඉතිරි වන්නන් මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් මම ම රැස් කර නැවත ඔවුන්ගේ ගාලට ගෙනෙන්නෙමි; ඔව්හු බො‍් වී වැඩි වන්නෝ ය. 4 ඔවුන් පෝෂණය කරන පිණිස මම එඬේරුන් පත් කරන්නෙමි. ඔව්හු තවත් බිය නොවන්නෝ ය; නොකැළඹෙන්නෝ ය. ඔවුන්ගෙන් එකෙක් වත් නැති නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
5 ”ස්වාමීන් වන මම මෙසේ වදාරමි: දාවිත්ගේ පෙළපතින් දැහැමි රජ කෙනෙකු නැඟී එන කාලය පැමිණෙන්නේ ය. එතුමාණන් නැණනුවණින් රජකම් කරමින්, දැහැමිකමත් යුක්තියත් දේශය මුළුල්ලේ ඉටු කරනු ඇත. 6 එතුමන්ගේ රජ දවස, ජුදා ගළවනු ලබන්නෝ ය. ඉශ්රායෙල්වරු සුරැකි ව වසන්නෝ ය. ‘අපේ දැහැමිතාව’ යන්නෙන් එතුමාණෝ නම් කරනු ලබන්නාහ.
7 ”ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි: ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේ නමින් අපි දිවුරමු’යි නොකියන කාලය පැමිණෙන්නේ ය. 8 ඒ වෙනුවට ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් ද ගෙනා සමිඳාණන් වහන්සේගේ නමින් අපි දිවුරමු’යි කියන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු තමන්ගේ ම දේශයේ වාසය කරන්නෝ ය.”

දිවැසිවරුන් ගැන ජෙරමියාගේ පණිවුඩය

9 මේ දිවැසිවරුන් පිළිබඳ ව මාගේ සිත බිඳී මාගේ ඇටකටු සැලෙනු ඇත. සමිඳාණන් වහන්සේ නිසාත්, උන් වහන්සේගේ ශුද්ධ වචනය නිසාත් මම මත් වී සිටින්නෙකු වැනි ය; මුද්‍රික පානයෙන් වෙරිමත් වී සිටින්නෙකු වැනි ය. 10 මන්ද, දේශය කාමමිථ්‍යාචාරිකයන්ගෙන් පිරී ඇත; සාපයක් නිසා දේශය වැලපෙයි; පාළුකරයේ තණ බිම් වියළී ඇත; ඔවුන්ගේ හැසිරීම නපුරු ය. ඔව්හු සිය බලය වැරදි ලෙස භාවිත කරති.
11 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”දිවැසිවරයා හා පූජකයා දූෂ්‍ය වී සිටිති. මාගේ මැදුරෙහි ඔවුන්ගේ නපුරුකම මට දක්නට ලැබී ඇත. 12 ඔවුන්ගේ මාර්ග අඳුරේ දී ලිස්සන සුළු ඒවා මෙන් වේ. ඔව්හු ඒවාට පන්නාදමනු ලැබ එහි වැටෙන්නෝ ය. ඔවුන්ට දඬුවම් කිරීමේ කාලය පැමිණි විට මම ඔවුන් පිට විපත් පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 13 සමාරියේ දිවැසිවරුන් අතරේ පිළිකුල් කටයුතු දේ මා දැක ඇත. ඔව්හු බාල් දෙවියාගේ නාමයෙන් දිවැස් වැකි කියා මාගේ ම ඉශ්රායෙල් සෙනඟ මුළා කළහ. 14 ජෙරුසලමේ දිවැසිවරුන් අතරේ ඉතා භයානක දේ මා දැක ඇත. ඔව්හු කාමමිථ්‍යාචාරය කරති; බොරු කියති; නපුර කිරීමෙන් වැළකෙන්නට බැරි පමණට වැරදි කරන්නට සෙනඟ පොළඹවති. ඔවුන් සියල්ලන් ම මට පෙනෙන්නේ සොදොම් හා ගොමොරා වැසියන් මෙනි.
15 ”එබැවින් සියලු බලැති ස්වාමීන් වන මම, ජෙරුසලමේ දිවැසිවරුන් ගැන මෙසේ කියමි: මම ඔවුන්ට තිත්ත කදුරු කවන්නෙමි. වස දිය පොවන්නෙමි. මන්ද, දේශය මුළුල්ලේ ම ජෙරුසලමේ දිවැසිවරුන්ගෙන් දූෂණ පැතිර ගොස් ඇත.
16 ”සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ සෙනඟට මෙසේ වදාරන සේක: දිවැසිවරුන් බොරු බලාපොරොත්තුවලින් නුඹලා පුරවා ඇති නිසා ඔවුන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන්නේ, තමන්ගේ සිතෙන් මවාගත් දේ මිස මා ඔවුන්ට කී දේ නොවේ. 17 මාගේ වචනය හෙළා දකින අයට ඔව්හු, ‘නුඹලාට ශුභසිද්ධ වේ වා!’යි කියති. මුරණ්ඩු සිතින් සිය කැමැත්ත අනුව යන අයට ඔව්හු, ‘නුඹලාට කිසි විපතක් නොවේ ය’යි කියති.
18 ”මේ දිවැසිවරුන් අතරේ සමිඳාණන් වහන්සේගේ අභ්‍යන්තර අදහස් දැනගත්, උන් වහන්සේගේ පණිවුඩය තේරුම්ගත්, උන් වහන්සේගේ වචනයට සවන් දී එය සිතට ගත් කිසිවෙක් සිටිත් දැ”යි ජෙරමියා ඇසී ය. 19 ”බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස දරුණු සුළි සුළඟක් මෙන් හමමින්, දුෂ්ටයන්ගේ හිස මත කඩා වැටෙයි. 20 සමිඳාණන් වහන්සේ සිය අභිප්‍රායයන් ඉටු කර සම්පූර්ණ කරන තුරු උන් වහන්සේගේ කෝපය නොනිවෙන්නේ ය. මතු කාලයේ දී උන් වහන්සේගේ සෙනඟ එය මැනවින් තේරුම්ගනු ඇතැ”යි ඔහු කීවේ ය.
21 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මා මේ දිවැසිවරුන් නොයැවූ නමුත්, ඔව්හු සැණෙන් පලා ගියහ. මා ඔවුන්ට කතා නොකළ නමුත්, ඔව්හු දිවැස් දෙසූ හ. 22 ඔව්හු මාගේ උවදෙස් දැන සිටියෝ නම්, මාගේ පණිවුඩය මාගේ සෙනඟට ප්‍රකාශ කර, ඔවුන්ගේ නපුරු ගතිපැවතුම්වලින් ඔවුන් හරවන්නට ඔවුන්ට ඉඩ තිබිණි.
23 ”මම දුර සිටින දෙවි කෙනෙකු මෙන් ම, ළඟ සිටින දෙවි කෙනෙක් ද වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 24 මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකි ය. මා ස්වර්ගයේත්, පොළොවේත් සෑම තැන ම වැඩ සිටින බව නුඹලා නොදන්නහු ද? 25 ‘මම සිහිනයක් දිටිමි, සිහිනයක් දිටිමි’ කියමින් මාගේ නාමයෙන් බොරුවට දිවැස් වැකි කියන දිවැසිවරුන්ගේ කියුම් මා අසා ඇත. 26 බොරුවට දිවැස් වැකි කියන, තමන්ගේ සිත්හි මවාගත් දේ දිවැස් වැකි වශයෙන් පවසන, දිවැසිවරුන්ගේ සිත්වල මුසාව කොතෙක් කල් පවතී ද? 27 මේ සෙනඟගේ පියවරුන් මා අමතක කර බාල් දෙවියා වෙත හැරුණාක් මෙන්, දිවැසිවරු තමන් එකිනෙකාට කියන සිහින කරණකොටගෙන මාගේ සෙනඟට මා අමතක කරන්න සැලැස්වීමට අභිප්‍රාය කරති. 28 සිහිනයක් දුටු දිවැසිවරයා එය තමාගේ ස්වප්නයක් බව කිව යුතු ය. මාගේ පණිවුඩයක් ලත් තැනැත්තා එය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ යුතු ය. පිදුරුත්, ධාන්‍යත් අතර ඇති සමානකම කුමක් ද? 29 මාගේ පණිවුඩය වූකලී ගින්නක් වැනි ය; පර්වත පොඩි කරන කුළුගෙඩියක් වැනි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 30 මාගෙන් ලැබූ වචනය යයි කියමින් එකිනෙකාගෙන් හොරා ගත් වචන ප්‍රකාශ කරන මේ දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි. 31 තවද, ‘සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කියමින් තමන්ගේ ම වචන පවසන දිවැසිවරුන්ටත් මම විරුද්ධ වෙමි. 32 ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න. බොරු සිහින දිවැස් කීම් වශයෙන් ප්‍රකාශ කරමින්, තමන්ගේ බොරුවලින් ද හිස් පාරට්ටුවෙන් ද මාගේ සෙනඟ මුළා කරන දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි. මම ඔවුන් නොයැව්වෙමි. ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

සමිඳාණන් වහන්සේගේ පණිවුඩය

33 ”ජෙරමියා, මාගේ සෙනඟගෙන් කෙනෙකු වත්, දිවැසිවරයෙකු වත්, පූජකයෙකු වත් නුඹ අමතා, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය කුමක් දැ’යි නුඹෙන් ඇසුවොත්, ‘නුඹලා උන් වහන්සේට බරක් වී ඇතැ’යි ද ‘උන් වහන්සේ නුඹලා ඉවතදමන සේකැ’යි ද ඔවුන්ට කියන්න. 34 එහෙත්, දිවැසිවරයෙකු හෝ පූජකයෙකු හෝ සෙනඟගෙන් කෙනෙකු හෝ, ‘සමිඳාණන් වහන්සේගේ වචනය සිතට බරක් ය’යි කීවොත්, මම ඔහුටත්, ඔහුගේ පවුලටත් දඬුවම් කරමි. 35 ඒ වෙනුවට, නුඹලා එකිනෙකා, ‘සමිඳාණන් වහන්සේ දී ඇති පිළිතුර කුමක් ද, සමිඳාණන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා තමන්ගේ අසල්වැසියන්ගෙන් හා ඥාතීන්ගෙන් ඇසිය යුතු ය. 36 ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සිතට බරක් ය’යි ඔවුන් තවත් නොකිය යුතු ය. ‘සිතට බරක්’ වන්නේ නුඹලා එකිනෙකාගේ වචන ය. නුඹලා ජීවමාන දෙවියන් වන, සියලු බලැති ස්වාමීන් වන තමන්ගේ දෙවියන් වහන්සේගේ වචන දූෂණ කළහු ය. 37 ජෙරමියා, දිවැසිවරුන් අමතා, ‘සමිඳාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද, උන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා අසන්න. 38 ඔවුන් පිළිතුරු දෙමින්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බරක් යැ’යි කීවොත්, ‘එසේ නොකියන්නැ’යි මා ඔවුන්ට කී නමුත්, ඔවුන් එසේ කී බැවින්, 39 ‘මම ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් නගරය ද ඔවුන් ද සහමුලින් ම උදුරාදමා මා කෙරෙන් ඉවතට විසි කරන්නෙමි’යි ඔවුන්ට කියන්න. 40 කවදාවත් අමතක නොවන සදාකාල නින්දාවක් ද නිරන්තර අපකීර්තියක් ද ඔවුන් පිට මම පමුණුවන්නෙමි.”

– 24 වන පරිච්ඡේදය –

අත්තික්කා කූඩ දෙක

1 දේව මාලිගාව ඉදිරිපිට තබා තිබෙන අත්තික්කා ගෙඩි පුරවන ලද කූඩ දෙකක් සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සේක. මේ දර්ශනය සමිඳාණන් වහන්සේ පෙන්වූයේ, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි අධිපතීන් ද කම්හල්කරුවන් ද ලෝහකරුවන් ද ජෙරුසලමෙන් අල්ලාගෙන බබිලෝනියට ගෙනයනු ලැබුවාට පසුව ය. 2 එක කූඩයක කලින් ඉදෙන, හොඳ අත්තික්කා පල තිබුණේ ය. අනික් කූඩයේ කන්නට බැරි තරම් ඉතා නරක අත්තික්කා තිබුණේ ය. 3 එවිට සමිඳාණන් වහන්සේ ”ජෙරමියා, නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසූ සේක. මම පිළිතුරු දෙමින්, ”අත්තික්කා ය; හොඳ අත්තික්කා ඉතා හොඳ ය; නරක ඒවා කන්න බැරි තරම් ඉතා නරක ය”යි කීවෙමි.
4 සමිඳාණන් වහන්සේ මා අමතා මෙසේ වදාළ සේක: 5 ”ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වන මම බබිලෝනියට යවනු ලැබූ යහපත් ජුදෙව්වරුන් මේ හොඳ අත්තික්කා මෙන් වන්නට සලසමි. 6 මම ඔවුන් මැනවින් රැකබලාගෙන ආපසු මේ දේශයට ගෙනෙන්නෙමි; ඔවුන් හෙළා නොදමා වර්ධනය කරන්නෙමි. ඔවුන් උදුරා නොදමා පිහිටුවන්නෙමි. 7 මා සමිඳාණන් වහන්සේ බව දැනගන්න පිණිස ඔවුන්ගේ සිත් පහදන්නෙමි. එවිට ඔවුන් මුළු සිතින් ම මා වෙත හැරෙන බැවින් ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ වන්නෙමි.
8 ”එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද මේ දේශයේ ඉතිරි ව සිටින ජෙරුසලමේ සෙසු අය ද මිසර දේශයේ වාසය කරන්නන් ද ස්වාමීන් වන මම, කන්නට බැරි අර නරක අත්තික්කා මෙන් වන්නට සලසමි. 9 ලොවේ සියලු ජාතීන් තැති ගන්වන සුලු විනාශයක් මම ඔවුන් පිට පමුණුවන්නෙමි. විජාතීන් ඉදිරියෙහි ඔවුන්ට නින්දාව ද සමච්චලය ද සරදම ද ඇත; මා ඔවුන් විසුරුවා හරින සෑම තැන්හි ම ඔවුන් සාපයක් වනු ඇත. 10 මා ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශයේ කිසිවෙකු ඉතිරි නොවන ලෙස යුද්ධයත්, සාගතයත්, වසංගතයත් ඔවුන් කෙරෙහි පමුණුවන්නෙමි.”

 

– 25 වන පරිච්ඡේදය –

බබිලෝනිය දඬුවම් දීමේ ආයුධයක්

1 ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ ජුදාහි සෙනඟ සම්බන්ධයෙන් ජෙරමියා වෙත සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩය මෙය වේ. එය බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ගේ පළමු වන අවුරුද්ද විය. 2 දිවැසිවර ජෙරමියා ඒ පණිවුඩය ජුදාහි මුළු සෙනඟටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් මෙසේ ප්‍රකාශ කෙළේ ය: 3 ”ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. 4 තවද, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු සේවකයන් වූ දිවැසිවරුන් නිරන්තරයෙන් ඔබ වෙත එවූ නමුත්, ඔබ ඔවුන්ට සවන් දුන්නේ වත්, ඔවුන් කී දේ සිතට ගත්තේ වත් නැත. 5 ඔව්හු ඔබ අමතා, ‘සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයට ම දුන් දේශයෙහි ඔබ වාසය කරන පිණිස ඔබ හැම දෙනා ම ඔබේ අධම ජීවිතයෙන් ද නපුරු ක්‍රියාවලින් ද හැරී ආ යුතු ය’යි ද 6 ‘අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් නොකරන්න. ඔවුන්ට නමස්කාර නොකරන්න; ඔබේ අත්වලින් සාදාගත් දේව රූප නැමදීමෙන් දෙවියන් වහන්සේ ප්‍රකෝප නොකරන්න. එවිට මම නුඹලාට අනතුරක් නොකරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි ද කී හ. 7 ‘එහෙත්, නුඹලා මට සවන් නොදී, ඒ වෙනුවට නුඹලාගේ අත්වලින් තනාගත් රූප කරණකොටගෙන මා කෝප කරවා, නුඹලා ම තමන් පිට මේ දඬුවම පමුණුවා ගත්තහු ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
8 ”ඔබ සමිඳාණන් වහන්සේගේ වචනයට සවන් නොදෙන නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: 9 මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය. 10 ඇරත් මම ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදයේ හඬ ද මනාලයා හා මනාලියගේ හඬ ද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළිය ද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි. 11 මේ මුළු දේශය විනාශ වී නටබුන් ගොඩක් වන්නේ ය. මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවය කරන්නෝ ය. 12 තවද, සැත්තෑ අවුරුද්දක් ගත වූ පසු, බබිලෝනියේ රජුටත්, ඒ ජාතියටත් ඔවුන්ගේ අයුතුකම් නිසා මම දඬුවම් කරන්නෙමි. ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි. 13 මා ඒ දේශයට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු දේ එනම්, මේ පොතේ සඳහන් කර ඇති, ජෙරමියා කී සියලු දේ ඒ දේශය පිට පමුණුවන්නෙමි. 14 බොහෝ ජාතීහු ද බලසම්පන්න රජවරු ද ඔවුන් වහල්කමට ගන්නෝ ය. මම ද ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියා අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන්නෙමි.”

ජාතීන් කෙරෙහි දේව විනිශ්චයය

15 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, ”කෝපය නමැති මිදියුස කුසලාන නුඹ මාගේ අතින් රැගෙන මා නුඹ පිටත් කර යවන සියලු ජාතීන්ට එයින් පොවන්න. 16 ඔව්හු එයින් බී වැනි වැනී ගමන් කරන්නෝ ය. මා ඔවුන් පිට පමුණුවන යුද්ධය නිසා, ඔව්හු උමතු වන්නෝ ය”යි වදාළ සේක.
17 එවිට මම සමිඳාණන් වහන්සේගේ අතින් කුසලාන රැගෙන සමිඳාණන් වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට එයින් පෙව්වෙමි. 18 එයින් ජෙරුසලමේ සහ ජුදා නගරවල රජවරුන් ද අධිපතීන් ද අද පවා දකින්නට ලැබෙන ලෙස පාළුවට හා විනාශයට ද සාපයට හා සරදමට ද භාජන වනු ඇත. සිදු වී ඇති දේ අද දක්වා දක්නට ඇත.
19 මිසරයේ රජු වන පාරාවෝටත්, ඔහුගේ සේවකයන්ටත්, අධිපතීන්ටත්, ඔහුගේ මුළු සෙනඟටත්, 20 අන්‍ය ජාතික මුළු සේනාවටත්, ඌස් දේශයේ සියලු රජවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත්, අෂ්කෙලෝන්, ගාසා සහ එක්‍රෝ‍්න් යන නගරවලටත්, අෂ්දොද්හි ඉතිරි අයටත්, 21 ඒදොම් සහ මෝවබ්ටත්, අම්මොන් පුත්‍රයන්ටත්, 22 තීර්හි හා සීදොන්හි සියලු රජුන්ටත්, මුහුදුබඩ පළාත්වල රජවරුන්ටත්, 23 දෙදාන්, තෙමාන් හා බුස් යන නගරවලටත්, තමන්ගේ ඉසකේ කොටට කපන සියල්ලන්ටත්, 24 අරාබියේ සියලු රජවරුන්ටත්, කාන්තාරයෙහි වාසය කරන අන් ජාතික සියලු රජවරුන්ටත්, 25 සිම්රිහි, ඒලාම්හි සහ මේදියාවේ සියලු රජුන්ටත්, 26 එකිනෙකාට සමීප ව සිටින්නන් සහ දුර ව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත්, මේ කුසලානෙන් පෙව්වෙමි; මොවුන්ට පසු ව බබිලෝනියේ රජු එයින් පානය කරනු ඇත.
27 එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”නුඹ ඔවුන්ට කතා කොට, ‘නුඹලා බීමත් වී වමනය කොට, මා විසින් නුඹලා අතරට එවනු ලබන යුද්ධය නිසා වැටී නොනැඟිට සිටින්නැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. 28 එවිට ඔව්හු බොන පිණිස නුඹේ අතින් කුසලාන ගන්නට අකමැති වන්නෝ නම්, ‘ඔවුන් බොන්නට ම ඕනෑ යයි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. 29 ‘මෙන්න මාගේ නාමය තබා තිබෙන නගරයට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම්, නුඹලා දඬුවම් නොලැබ සිටිනු ඇතැ යි නුඹ සිතන්නෙහි ද? නැත. පොළොවේ සියලු වැසියන්ට විරුද්ධ ව මා යුද්ධයක් හටගන්වන නිසා නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නෝ ය. මෙසේ පවසන්නේ, සියලු බලැති ස්වාමීන් වන මම ය.
30 ”ජෙරමියා, මා නුඹට කී සියලු දේ නුඹ ඔවුන්ට ප්‍රකාශ කළ යුතු ය. ඔවුන්ට මෙසේ දිවැස් වැකි කියන්න: ‘සමිඳාණන් වහන්සේ උසස් ස්ථානයේ සිට ගර්ජනා කොට, තමන්ගේ ශුද්ධ වාසස්ථානයේ සිට හඬ නඟන සේක. උන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව බලවත් ලෙස ගර්ජනා කරන සේක. මුද්‍රික පල මඬින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධ ව ඝෝෂාවක් කරන සේක; 31 මහා ශබ්දයක් පොළොවේ සීමාන්තයන් දක්වා පැමිණෙන්නේ ය; උන් වහන්සේ ජාතීන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර ඇත. ජීවත් ව සිටින සියල්ලන් උන් වහන්සේ විනිශ්චයයට පමුණුවන සේක. දුෂ්ටයන් මරණයට පාවා දෙන සේක. මෙසේ පවසන්නේ, ස්වාමීන් වන මම ය.’
32 ” ‘ජාතියක් ජාතියක් පාසා විපතට පැමිණෙන්නේ ය’යි ද ‘ඉමහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නඟින්නේ ය’යි ද සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. 33 සමිඳාණන් වහන්සේ විසින් මරනු ලබන අය ඒ දවසේ දී පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත. ඔවුන් ගැන වැලපෙන්නට කිසිවෙක් නොවෙති; වළලනු පිණිස ඔවුන්ගේ මළ සිරුරු රැගෙන යාමට කිසිවෙක් නොසිටිති. ඒවා භූමිය මතු පිට කසළ මෙන් විසිරී තිබෙනු ඇත.
34 ”නායකයෙනි, කෑ මොරගසන්න; සෙනඟගේ ප්‍රධානියෙනි, අළුවල පෙරළී හඬන්න. මාරක විපත් කාලය ද විසිර යෑමේ කාලය ද ළඟා වී ඇත. තෝරාගත් බැටළුවන් මෙන් නුඹලා ඝාතනය කරනු ලබන්නහු ය. 35 නායකයන්ට රැකවරණය සොයන්නට වත්, පලා යන්නට වත්, ප්‍රධානීන්ට ගැළවී යන්නට වත් නොලැබෙන්නේ ය. 36 නායකයන්ගේ කෑ මොරගැසීම ද සෙනඟගේ ප්‍රධානීන්ගේ හැඬීම ද ඇසෙන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ දේශය විනාශ කර ඇත. 37 සාමයෙන් පැවති ඔවුන්ගේ දේශය සමිඳාණන් වහන්සේගේ කෝපය කරණකොටගෙන විනාශයට පත් වී ඇත. 38 සිංහයා සිය ගුහාව අත්හැර යන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ සිය දේශය අත්හැරදමන සේක. භයානක යුද්ධය නිසා ද සමිඳාණන් වහන්සේගේ දැඩි කෝපය නිසා ද ඔවුන්ගේ දේශය පාළුකරයක් වී ඇත.”

 

– 26 වන පරිච්ඡේදය –

ජෙරමියාගේ දේශනාව

1 ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ රජ සමය මුල දී, සමිඳාණන් වහන්සේගේ වචනය ජෙරමියා වෙත පැමිණියේ ය. 2 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ සිට, ජුදාහි නගරවලින් නමස්කාර කරන්නට එන සියලු දෙනාට මා නුඹට අණ කළ සියලු වචන කියන්න; වචන මාත්‍රයක් වත් අඩු නොකර කියන්න. 3 සමහර විට ඔවුන් එය අසා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. එවිට මම ඔවුන්ගේ නපුරු ක්‍රියා නිසා ඔවුන්ට පමුණුවන්නට අදහස් කළ විපත්ති ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.
4 ”සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක කියා ඔවුන්ට කියන්න. ‘මාගේ වචනයට සවන් නොදී, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන ව්‍යවස්ථාවට අනුකූල ව නුඹලා නොහැසිරෙන්නහු නම්, 5 නිරන්තරයෙන් ම මා නුඹලා වෙත එවූ මාගේ සේවකයන් වන දිවැසිවරුන්ගේ පණිවුඩය නොසලකන්නහු නම්, 6 එවිට, මම ෂිලෝවට කළ දේ මේ දේව මාලිගාවටත් කරන්නෙමි. ලොවේ සියලු ජාතීන් මේ නගරයේ නම සාපවචනයක් වශයෙන් ව්‍යවහාර කිරීමට සලසන්නෙමි.’ ”
7 ජෙරමියා දේව මාලිගාවේ දී කී මේ වචන පූජකයෝ ද දිවැසිවරු ද සියලු සෙනඟ ද ඇසුවෝ ය. 8 මුළු සෙනඟට කියන්නට සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ජෙරමියා කියා නිම කළ විට, පූජකයෝ ද දිවැසිවරු ද මුළු සෙනඟ ද ඔහු අල්ලාගෙන, ”ඔබ මරණයට පත් කළ යුතු ය. 9 ‘මේ දේව මාලිගාව ෂිලෝ මෙන් වන්නේ ය’ කියාත්, ‘මේ නුවර වැසියන් නොසිටින හැටියට පාළු වන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ දිවැස් වැකි කීවේ මන්දැ”යි ඇසූ හ. එවිට මුළු සෙනඟ ජෙරමියාට විරුද්ධ ව ඔහු වටකරගෙන දේව මාලිගාවේ රොක් වූ හ.
10 ජුදාහි අධිපතීහු ඒ කාරණය අසා, රජ ගෙදර සිට සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුවෙහි ඇතුළු වන තැන අසුන්ගත්හ. 11 එවිට පූජකයෝ ද දිවැසිවරු ද අධිපතීන්ටත්, මුළු සෙනඟටත් කතා කොට, ”මේ මිනිසා මරණීය තීන්දුව ලැබිය යුතු ය. මන්ද, ඔබ හැමගේ කන්වලින් ඔබ ඇසූ පරිදි මොහු මේ නගරයට විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය”යි කී හ.
12 එවිට ජෙරමියා සියලු ම අධිපතීන් හා මුළු සෙනඟ අමතා මෙසේ කී ය: ”ඔබ ඇසූ සියලු වචන දිවැස් වැකි වශයෙන් මේ දේව මාලිගාවටත්, නගරයටත්, ඔබ හැමටත් විරුද්ධ ව කියන්නට සමිඳාණන් වහන්සේ මා එවූ සේක. 13 එබැවින් දැන් ඔබ හැමගේ හැසිරීම හා ක්‍රියා කලාපය හැඩගස්වාගෙන ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වන්න. එවිට සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව ප්‍රකාශ කර තිබෙන විපත්ති ගැන සිය උදහස වෙනස් කරගන්න සේක. 14 මම දැන් ඔබේ අතෙහි ය. ඔබට සුදුසු යැ යි පෙනෙන හැටි මට කරන්න. 15 මේ දේ නම් සහතික ය. ඔබ මා මැරුවොත්, ඔබ හැම ද මේ නුවර සියලු ජනයා ද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝ ය. මක්නිසා ද, සැබැවින් ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳාණන් වහන්සේ මා එවූ බැවිනි.”
16 එවිට අධිපතීහු ද සෙනඟ ද පූජකයන් හා දිවැසිවරුන් අමතා, ”මේ මිනිසාට මරණීය තීන්දුව දිය යුතු නැත. මන්ද, ඔහු අපට කතා කෙළේ, අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ය”යි කී හ.
17 එකල දේශයේ ප්‍රජා මූලිකයෝ නැඟිට රැස්ව සිටි සෙනඟ අමතා මෙසේ කී හ: 18 ”ජුදාහි රජු වූ හෙසකියාගේ කාලයේ දී මොරෂ්තියේ දිවැසිවර මීකා ජුදාහි මුළු සෙනඟට කතා කොට, ‘සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාව ඇති කන්ද කැළෑවක් වන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කී ය. 19 එහෙත්, ජුදාවේ රජු වූ හෙසකියා සහ සියලු ජුදාවරු ඔහු මැරුවෝ ද? ඒ වෙනුවට හෙසකියා සමිඳාණන් වහන්සේට බිය වී උන් වහන්සේට කන්නලව් කෙළේ නැද් ද? සමිඳාණන් වහන්සේ ද ඔවුන්ට විරුද්ධ ව ප්‍රකාශ කළ විපත ගැන සිය අදහස් වෙනස් කළ සේක. දැන් අප, අප පිට ම දරුණු විපතක් පමුණුවාගන්නට ළඟ ය.
20 ”තවද, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූ කිරියත්-ජෙයාරිම්හි ෂෙමායාගේ පුත් උරියා නම් මිනිසෙක් විය. ඔහු ජෙරමියාගේ සියලු වචනවලට අනුකූල ව මේ නගරයටත්, මේ දේශයටත් විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය. 21 ජෙහෝයාකිම් රජු සහ ඔහුගේ සියලු බලවන්තයන් ද සියලු අධිපතීන් ද ඔහුගේ වචනය ඇසූ විට, රජ තෙමේ ඔහු මරන්නට සෙවී ය. උරියා ඒ අසා බිය ව පලා ගොස් මිසරයට පැමිණියේ ය. 22 එහෙත්, ජෙහෝයාකිම් රජ අක්බොර්ගේ පුත් එල්නාතාන් ද ඔහු සමඟ තවත් මිනිසුන් ද මිසරයට යැවී ය. 23 ඔව්හු උරියා මිසරයෙන් ආපසු ගෙනවුත් ජෙහෝයාකිම් රජු ළඟට පැමිණෙවුවෝ ය. රජ ද ඔහු කඩුවෙන් ගසා මරා, ඔහුගේ මළකඳ පොදු ජනයන්ගේ සොහොනක දැමුවේ ය.”
24 ජෙරමියා මරන පිණිස සෙනඟගේ අතට පාවා දෙනු නොලැබුවේ, ෂාපාන්ගේ පුත් අහිකාම්ගේ සහය ඔහුට තිබුණු බැවිනි.

 

– 27 වන පරිච්ඡේදය –

බබිලෝනියේ වියගහ

1 ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ශෙදෙකියා රජකම් කරන්නට පටන්ගත් කාලයේ ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය. 2 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ”වියබාන් හා වියගස් සාදාගෙන ඔහුගේ ගෙල වටේ දමාගන්නැ”යි වදාළ සේක. 3 තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා බැහැදැකීම පිණිස ජෙරුසලමට පැමිණි තානාපතිවරුන් අත ඒදොම්, මෝවබ්, අම්මොන්, තීර්, සීදොන් යන රටවල රජවරුන් වෙත පණිවුඩයක් යවන්නට සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක. 4 ”ඉශ්රායෙල්හි සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ඒ රජවරුන්ට මෙසේ වදාරන සේකැ”යි ඒ තානාපතිවරුන්ට කියන ලෙස සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක. 5 ඒ කෙසේ ද යත්: ”මම මාගේ ඉමහත් බලයෙන් ද පරාක්‍රමවත් බාහුවෙන් ද පොළොව සහ පොළොව මතුපිට සිටින මිනිසුන් ද තිරිසනුන් ද මැවීමි. මා කැමැති කෙනෙකුට මට ඒවා දිය හැකි ය. 6 මම මේ සියලු රටවල් මාගේ සේවක වන නෙබුකද්නෙශර්ගේ අතට පාවා දිනිමි. ඔහුට සේවය කරන පිණිස ගවමහිෂයන් පවා ඔහුට දිනිමි. 7 ඔහුගේ රටේ වැටීම ඇති වන තෙක්, සියලු ජාතීන් ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත්, පුත්‍රයන්ගේ පුත්‍රයන්ටත් සේවය කරනු ඇත. ඉන්පසු ඔහුගේ රාජ්‍යය, බලවත් අන් රාජ්‍යයන්ටත්, උසස් රජවරුන්ටත් සේවය කරනු ඇත.
8 ”යම් ජාතියක් හෝ රාජ්‍යයක් හෝ බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, ඔහුගේ පාලනය නමැති වියගහට කර තබන්නේ නැත්නම්, මා ඒ ජාතිය හෝ රාජ්‍යය හෝ නෙබුකද්නෙශර් ලවා වනසාදම්මන තුරු, මම එයට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 9 එබැවින්, ‘නුඹලා බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ’යි කියන නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද සිහින දකින්නන්ට ද මායම්කාරයන්ට ද අනවිනකාරයන්ට ද සවන් නොදෙන්න. 10 එයින් සිදු වන්නේ, මුසාවෙන් ඔවුන් නුඹලා මුළා කිරීම වේ. නුඹලා මා විසින් නුඹලාගේ දේශයෙන් නෙරපා, පන්නා දමනු ලැබ විනාශයට පත් වන්නහු ය. 11 එහෙත්, බබිලෝනියේ රජුගේ පාලනය නමැති වියගහ කර තබාගෙන ඔහුට සේවය කරන ඕනෑ ම ජාතියකට සිය රටෙහි නැවතී, එය වගා කර, එහි වාසය කරන්නට මම ඉඩ හරින්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
12 ජුදාහි රජු වූ ශෙදෙකියාට ද ජෙරමියා එම දේ කීවේ ය. කෙසේ ද යත්, ”බබිලෝනියේ රජුගේ පාලනය නමැති වියගහ ඔබේ කරට ගෙන ඔහුට සහ ඔහුගේ සෙනඟට සේවය කරන්න. එවිට ඔබ ජීවත් වන්නෙහි ය. 13 බබිලෝනියේ රජුට සේවය නොකරන ඕනෑ ම ජාතියක් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ කියා ඇති පරිදි ඔබ සහ ඔබේ සෙනඟ කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ කුමට ද? 14 බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ යි කියන දිවැසිවරුන්ට සවන් නොදෙන්න. ඔව්හු ඔබට බොරු දිවැස් වැකි කියති. 15 සමිඳාණන් වහන්සේ ඒ දිවැසිවරුන් නොඑවූ බවත්, උන් වහන්සේගේ නමින් ඔවුන් බොරු කියන බවත් සමිඳාණන් වහන්සේ ම වදාළ සේක. ඒ නිසා, උන් වහන්සේ ඔබ ද ඔබට දිවැස් වැකි පවසන දිවැසිවරුන් ද පලවා හරින සේක. ඔබ සියල්ලන් ම මරු මුවට පත් වනු ඇත.”
16 එවිට ජෙරමියා, පූජකවරුන්ටත්, දිවැසිවරුන්ටත් කතා කරමින් මෙසේ කී ය: ”සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව මාලිගාවේ භාණ්ඩ ඉක්මනින් ම බබිලෝනියෙන් නැවත ගෙනෙනු ලැබේ යයි නුඹලාට දිවැස් වැකි කියන නුඹලාගේ දිවැසිවරුන්ගේ වචනවලට සවන් නොදෙන්න. ඔව්හු නුඹලාට බොරු දිවැස් වැකි පවසති. 17 ඔවුන්ට සවන් නොදෙන්න. බබිලෝනියේ රජුට සේවය කර ජීවත් වන්න. මේ නගරය පාළුකරයක් කරන්නට ඉඩ තබන්නේ කුමට ද? 18 ඔව්හු සැබෑවට ම මාගේ වචනය පවසන දිවැසිවරු නම්, දේව මාලිගාවේත්, ජුදා රජුගේ මාලිගාවේත්, ජෙරුසලමේත් ඉතිරි ව ඇති භාණ්ඩ බබිලෝනියට ගෙන නොයන ලෙස සියලු බලැති ස්වාමීන් වන මට කන්නලව් කරත් වා.
19-20 ”බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්, ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි හා ජෙරුසලමේ ප්‍රධානීන් ද අල්ලාගෙන බබිලෝනියට යද්දී, ඔහු කුළුණු, ලෝකඩ තටාකය, මැසි හා දේව මාලිගාවේ අනික් භාණ්ඩ ගෙන ගියේ නැත.
21 ”ඉන්පසු ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ද ජුදාහි රජ මැදුරෙහි ද ඉතිරි ව ඇති ඒ භාණ්ඩ ගැන ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න. 22 ඒවා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය; මා ඒවා සලකා බලන දවස දක්වා ඒවා එහි තිබෙන්නේ ය. එවිට මම ඒවා ගෙනවුත් නැවත මේ ස්ථානයට පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

 

– 28 වන පරිච්ඡේදය –

ජෙරමියා හා හනනියා

1 එම අවුරුද්දේ ම එනම්, ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රාජ්‍ය කාලයේ සතර වන අවුරුද්දේ පස් වන මාසයේ දී, අස්සුර්ගේ පුත් ගිබියොන්හි පදිංචි දිවැසිවර හනනියා දේව මාලිගාවේ දී පූජකයන් සහ මුළු සෙනඟ ඉදිරියේ ජෙරමියාට කතා කෙළේ ය. 2 ”ඉශ්රායෙල්හි සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි ඔහු කී ය: ”බබිලෝනියේ රජුගේ බලය මම බිඳදැමීමි. 3 බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් මේ ස්ථානයෙන් රැගෙන බබිලෝනියට ගෙන ගිය දේව මාලිගාවේ සියලු ම භාණ්ඩ අවුරුදු දෙකක් ඇතුළත දී නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. 4 ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද බබිලෝනියට ගෙනයනු ලැබූ සියලු ම ජුදෙව්වරුන් ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. බබිලෝනියේ රජුගේ බලය මම සිඳදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
5 එවිට දිවැසිවර ජෙරමියා පූජකයන් ද දේව මාලිගාවේ සිටි සියලු සෙනඟ ද ඉදිරියෙහි සිට දිවැසිවර හනනියාට කතා කොට මෙසේ කී ය: 6 ”එසේ ම වේ වා! සමිඳාණන් වහන්සේ එසේ කරන සේක් වා! ‘දේව මාලිගාවේ භාණ්ඩ ද අල්ලාගෙන යනු ලැබූ සියල්ලන් ද නැවත බබිලෝනියෙන් මේ ස්ථානයට ගෙනෙත් වා!’යි ඔබ කී දිවැස් වැකි සමිඳාණන් වහන්සේ ඉටු කරන සේක් වා! 7 එසේ වුවත්, ඔබ ඉදිරියේත්, මේ සෙනඟ ඉදිරියේත් සියල්ලන්ට ඇසෙන පරිදි මා කියන මේ වචනය අසන්න. 8 මටත්, ඔබටත් පෙර, පුරාණයේ පටන් සිටි දිවැසිවරුත්, ‘බොහෝ රටවලට සහ බලවත් රාජ්‍යවලට විරුද්ධ ව යුද්ධය ද විපත්තිය ද වසංගතය ද ඇති වේ’ යයි දිවැස් වැකි පැවසූ හ. 9 ‘සාමය ඇති වේ’ යයි දිවැස් වැකි පවසන ලද දිවැසිවරයා, සැබැවින් ම සමිඳාණන් වහන්සේ විසින් එවන ලද දිවැසිවරයෙක් යයි හඳුනාගත හැක්කේ ඔහුගේ වචන ඉෂ්ට වූ විට ය.”
10 එවිට හනනියා, ජෙරමියාගේ බෙල්ලෙන් වියගහ හැරගෙන එය කැඩුවේ ය. 11 මුළු සෙනඟ ඉදිරියේ හනනියා කතා කොට, ”බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ජාතීන්ගේ ගෙල මත තබා ඇති වියගහ අවුරුදු දෙකක් ඇතුළත දී සමිඳාණන් වහන්සේ කඩාදමන්නේ මෙසේ ය”යි කී ය. ජෙරමියා එතැනින් යන්නට ගියේ ය.
12 තවද, ජෙරමියාගේ ගෙල මත තිබූ වියගහ හනනියා කඩාදැමූ පසු, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, 13 හනනියාට මෙසේ කියන්න යයි වදාළ සේක: ”නුඹ ලී වියගහක් කඩාදැමුවෙහි ය. එහෙත්, ඒ වෙනුවට යකඩ වියගහක් සාදන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. 14 බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය කරන පිණිස යකඩ වියගහක් සියලු ජාතීන්ගේ ගෙල මත තබන්නෙමි යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරා ඇත. ගවමහිෂයන් පවා නෙබුකද්නෙශර්ට සේවය කරන්නට සලස්වන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරා ඇත.”
15 තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: ”හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය. 16 ‘නුඹ පොළොව මතුපිටින් මම පහකරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ ම වදාරන සේක. ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිකාර වචන ප්‍රකාශ කළ නිසා ඔබ මේ අවුරුද්දේ මැරෙන්නෙහි ය.”
17 ඒ කී ලෙස හනනියා එම අවුරුද්දේ සත් වන මාසයේ දී මළේ ය.

 

– 29 වන පරිච්ඡේදය –

බබිලෝනියේ ජුදෙව්වරුන්ට ජෙරමියාගේ හසුන

1 අල්ලාගෙන යනු ලැබූ සෙසු නායකයන්ට ද පූජකයන්ට ද දිවැසිවරුන්ට ද නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් බබිලෝනියට හිරකරුවන් වශයෙන් ගෙනයනු ලැබූ සෙනඟට ද දිවැසිවර ජෙරමියා විසින් ලියා යවන ලද හසුන මෙය වේ. 2 ඔහු එය ලියුවේ ජෙකොනියා රජු ද මවු බිසව ද නපුංසකයන් ද ජුදා හා ජෙරුසලමේ අධිපතීන් ද කම්මල්කාරයන් ද ලෝහකරුවන් ද ජෙරුසලමෙන් පිටත් ව ගිය පසු ය. 3 මේ හසුන ජුදාහි රජු වූ ශෙදෙකියා, ෂාපාන්ගේ පුත් එලාසා සහ හිල්කියාගේ පුත් ගෙමරියා අතින් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් වෙත යවන ලදී. එහි මෙසේ ලියා තිබිණි: 4 ”ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ හිරකරුවන් වශයෙන් ජෙරුසලමෙන් බබිලෝනියට ගෙන යන්නට ඉඩ හැරිය සියල්ලන්ට උන් වහන්සේ මෙසේ වදාරන සේක: 5 ‘නුඹලා ගෙවල් ගොඩනඟා, එහි වාසය කරන්න; වතු වවා ඒවායින් ලැබෙන පල කන්න; 6 විවාහ වී දරුදැරියන් ලබාගන්න; නුඹලාගේ පුත්‍රයන්ට භාර්යාවන් ද දූවරුන්ට පුරුෂයන් ද ලබා දී දරුදැරියන් ලැබීමට ඔවුන්ට ඉඩ සලසා දෙන්න. මෙසේ නුඹලාගේ සංබ්‍යාව අඩුවන්නට ඉඩ නොදී වැඩි කරන්න. 7 මම නුඹලා හිරකරුවන් වශයෙන් යම් නගරයකට පැමිණෙවුවෙම් ද එහි යහපත පිණිස වැඩ කරන්න. ඒ උදෙසා මට යාච්ඤා කරන්න. ඒ නගරයේ සෞභාග්‍යය ඇති වුවහොත්, නුඹලාගේ සෞභාග්‍යයත් ඇති වන්නේ ය.’ 8 ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා අතරෙහි සිටින නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද නොරැවටෙන්න; ඔවුන් දකින සිහින ගණනකට නොගන්න. 9 මන්ද, ඔව්හු මාගේ නාමයෙන් නුඹලාට බොරු දිවැස් වැකි පවසති. මම ඔවුන් නොඑව්වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’
10 ”තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි. 11 නුඹලාගේ සෞභාග්‍යය පිණිස මිස විපත්තිය පිණිස නොවන, නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන මාගේ යෝජනා මම හොඳින් දනිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 12 එවිට නුඹලා මට කන්නලව් කරන්නහු ය; අවුත් මට යාච්ඤා කරන්නහු ය; මම ද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි. 13 නුඹලා මා සොයන්නහු ය. නුඹලා මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වනු ඇත. 14 සැබැවින් ම මා නුඹලාට සම්බ වනු ඇත. නුඹලාගේ මවුබිමට මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මා විසින් නුඹලා විසුරුවා හරිනු ලැබූ සෑම රටකින් ම, සෑම තැන්වලින් ම නුඹලා එක්රැස් කරන්නෙමි; නුඹලා හිරකරුවන් වශයෙන් මා විසින් ගෙනයනු ලැබූ රටින් මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’
15 ”බබිලෝනියේ දී සමිඳාණන් වහන්සේ ඔබට දිවැසිවරුන් දුන් සේකැ යි ඔබ කියන්නහු ය. 16 දාවිත්ගේ සිංහාසනයේ වැඩ හිඳින රජු ගැන ද ඔබ සමඟ හිරකරුවන් වශයෙන් ගෙනයනු නොලැබූ ඔබේ සහෝදරයන් වන මේ නගරයේ වාසය කරන මුළු සෙනඟ ගැන ද සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න. 17 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් අතරට යුද්ධය ද සාගතය ද වංසගතය ද පමුණුවා ඔවුන් කන්නට බැරි තරම් නරක් වී තිබෙන පිළිකුල් අත්තික්කා මෙන් කරන්නෙමි. 18 මම යුද්ධය ද සාගතය ද වසංගතය ද උපකරණ කරගෙන ඔවුන් ලුහුබැඳ ගොස්, පොළොවේ සියලු රාජ්‍යයන්ට ද භීතියක් වන සේ සලසා, මා විසින් ඔවුන් පන්නාදමන ලද සියලු ජාතීන් අතර ඔවුන් සාපයක් ද සියල්ලන්ට භීතියක් ද සරදමක් ද නින්දාවක් ද වන්නට සලස්වන්නෙමි. 19 මෙසේ කරන්නේ, මා නිරන්තරයෙන් මාගේ සේවකයන් වූ දිවැසිවරුන් ඔවුන් වෙත යැවූ නමුත්, ඔවුන් මාගේ වචනය නොඇසූ නිසා ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
20 එබැවින්, මා විසින් ජෙරුසලමෙන් බබිලෝනියට පලවා හරිනු ලැබූ විප්‍රවාසීන් සියල්ලෙනි, නුඹලාගේ සමිඳාණන් වහන්සේ වන මාගේ වචනයට සවන් දෙන්න.’
21 ”සියලු බලැති සමිඳාණන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් බොරු දිවැස් වැකි ඔබ හැමට කියන කෝලායාගේ පුත් ආහබ් ද මයසේයාගේ පුත් ශෙදෙකියා ද ගැන උන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතට පාවා දෙන්නෙමි; ඔහු නුඹලාගේ ඇස් හමුයෙහි ම ඔවුන් මරන්නේ ය. 22 බබිලෝනියේ විප්‍රවාසීන් ව සිටින සියලු ම ජුදෙව්වරුන්ට සාප වචනයක් මෙන් භාවිත කරන්නට වුවමනා වූ විට, බබිලෝනියේ රජු විසින් ගින්නෙන් දවනු ලැබූ ශෙදෙකියාටත්, ආහබ්ටත් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ නුඹලාටත් කරන සේක් වා යි කියනු ඇත. 23 මන්ද, ඔව්හු ඉශ්රායෙල්හි දුෂ්ටකම් කොට තමන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරය කළෝ ය. මාගේ නාමයෙන් බොරු කියන්න මම ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන් කළ දේ මම දනිමි. ඒ ගැන මම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දරන්නෙමි. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.’ ”

ෂෙමායාගේ හසුන

24-25 ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ජෙරමියාට කතා කොට නෙහෙලාමියේ ෂෙමායාට මෙසේ කියන්නට වදාළ සේක: ”නුඹ නුඹේ නාමයෙන් ජෙරුසලමෙහි සිටින මුළු සෙනඟටත්, මයසේයාගේ පූජක තනතුර දැරූ ශෙපනියාටත්, සියලු පූජකයන්ටත් ලියුම් ලියා මෙසේ දැන්වූයෙහි ය. 26 ‘සමිඳාණන් වහන්සේ ජෙහෝයාදා පූජකයා වෙනුවට පූජකවරයා වශයෙන් ඔබ පත් කළ සේක. දැන් ඔබ දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා වන්නෙහි ය. දිවැස් වැකි කියන හැම පිස්සෙකු ම දඬුකඳේ ද විලංගුවල ද දැමීම ඔබේ යුතුකම ය.’ 27 එසේ නම්, දිවැස් වැකි කියන අනාතොත්හි ජෙරමියාට නුඹ තරවටු නොකෙළේ මන් ද? 28 කුමක් නිසා ද, ඔහු බබිලෝනියේ සිටින සෙනඟ දීර්ඝ කාලයක් වහල්කමේ සිටින බවත්, ඔවුන් ගෙවල් ගොඩනඟා එහි වාසය කළ යුතු බවත්, වතු වවා ඒවායේ පල අනුභව කළ යුතු බවත් අපට ලියා එවූ නිසා ය.”
29 දිවැසිවර ජෙරමියාට ඇසෙන ලෙස පූජක ශෙපනියා මේ ලියුම් කියෙව්වේ ය. 30 එවිට සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, 31 ”බබිලෝනියේ සිටින සියලු හිරකරුවන්ට පණිවුඩයක් යවමින්, ෂෙමායා පිළිබඳ ව සමිඳාණන් වහන්සේ වදාළ මේ දේ ද දන්වන්නැ”යි වදාළ සේක. 32 කෙසේ ද යත්: ”ස්වාමීන් වන මම නෙහෙලාමියේ ෂෙමායාටත්, ඔහුගේ වංශයටත් දඬුවම් කරන්නෙමි. මන්ද ඔහු දිවැසිවරයෙකු මෙන් ඔබට කතා කරමින්, ඔහු පැවසූ අසත්‍ය දේ විශ්වාස කිරීමට ඔබට සැලැස්සුවේ ය. එහෙත් මම ඔහු නොඑව්වෙමි. ඔහු මට විරුද්ධ ව කැරලිකාර වචන කතා කළ නිසා මේ සෙනඟ අතර වාසය කරන කිසිවෙකු ඔහුගේ පරම්පරාවේ ඉතිරි වන්නේ නැත. මා විසින් මාගේ සෙනඟට කරනු ලබන යහපත ඔහුට දකින්නට නොලැබේ. ඔහුගේ වංශයේ කිසිවෙක් මේ සෙනඟ අතර ජීවත් වන්නේත් නැත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය” යනු යි.

 

– 30 වන පරිච්ඡේදය –

සමිඳුන්ගේ පොරොන්දු

1 සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියාට පණිවුඩයක් පැමිණියේ ය. 2 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මා නුඹට කී සියලු වචන පොතක ලියන්න. 3 මන්ද, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේත්, ජුදාවරුන්ගේත් සෞභාග්‍යය ප්‍රදානය කරන දින ළඟා වන්නේ ය. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි. ඔව්හු එය භුක්ති විඳින්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
4 ඉශ්රායෙල්වරුන් සහ ජුදාවරුන් ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචන මෙසේ ය: 5 ”තැතිගන්වන හඬක් මට ඇසුණේ ය. එය සාමයේ නොව, භීතියේ හඬක් ය. 6 පුරුෂයෙකුට ප්‍රසව වේදනාව ඇති විය හැකි ද කියා සිතා බලන්න. එසේ නොවේ නම්, ප්‍රසව වේදනාව ඇති ස්ත්‍රියක මෙන් හැම පුරුෂයෙකු ම ඉඟටියේ අත් තබාගෙන සිටිනවාත්, මුහුණ සුදුමැලි වී තිබෙනවාත් මට පෙනෙන්නේ කුමක් නිසා ද? 7 අහෝ! භයානක දවසක් පැමිණෙන්නේ ය; ඊට සම කළ හැකි අන් දවසක් නොවන්නේ ය. එය ජාකොබ්ගේ පරපුරට විපත් දවසක් වන්නේ ය. එහෙත්, ඔවුන් එයින් ද ගළවනු ලබනු ඇත.”
8 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඒ දවස පැමිණි විට මම ඔවුන්ගේ ගෙල මත ඇති වියගහ කඩාදමමි. ඔවුන්ගේ විලංගු බිඳදමන්නෙමි. ඔව්හු තවත් විදේශීන්ට වහල් නොවන්නෝ ය. 9 ඒ වෙනුවට ඔවුන් තමන්ගේ දෙවි ස්වාමීන් වන මට ද ඔවුන්ගේ රජු වශයෙන් මා ඔවුන්ට දෙන දාවිත්ට ද සේවය කරනු ඇත.
10 ”ඒ නිසා, මාගේ මෙහෙකරු වූ ජාකොබ්ගෙන් පැවත එන සියල්ලෙනි, බිය නොවන්න. ඉශ්රායෙල් ජනයෙනි, නොකැළඹෙන්න. නුඹලා විප්‍රවාසී වී සිටින ඒ දුර රටින් මම නුඹලා ගළවාගන්නෙමි. ජාකොබ්ගේ පරපුර වහල්කමෙන් හැරී අවුත්, කිසිවෙකුට බිය නොවී, නිසංසල ව, සුව සේ සිටිනු ඇත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය. 11 නුඹලා ගළවන පිණිස මම නුඹලා සමඟ සිටිමි. මම නුඹලා යම් යම් දේශවලට විසුරුවා හැරියෙම් ද, ඒ සියලු දේශ මම සහමුලින් ම විනාශ කරදමමි. එහෙත්, මම නුඹලා විනාශ නොකරතත්, නුඹලාට දඬුවම් නොකර නොසිටින්නෙමි. නිසි ප්‍රමාණයට මම නුඹලාට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
12 සමිඳාණන් වහන්සේ සිය සෙනඟට මෙසේ වදාරන සේක: ”නුඹලාගේ තුවාළ අසාධ්‍ය ය; නුඹලා විඳින වේදනාව ඉතා දරුණු ය.
13 ”ඔබ වෙනුවෙන් ඉදිරිපත් වීමට කිසිවෙකු නැත. නුඹලාට සාත්තු කිරීමට කිසිවෙකු නැත.
14 ”නුඹලාගේ සියලු ප්‍රේමවන්තයෝ නුඹලා අමතක කළහ. ඔව්හු තවත් නුඹලා ගැන නොසලකති. නුඹලාගේ අයුතුකම් බරපතල නිසා ද පාප ක්‍රියා බහුල නිසා ද කිසි දයාවක් නැති ව සතුරකුට පහර දෙන පරිදි මම කෲර ලෙස නුඹලාට පහර දිනිමි.
15 ”නුඹලාගේ තුවාළ ගැන කොඳුරන්නේ කුමට ද? නුඹලාගේ වේදනාව සුව කළ නොහැකි ය. මා නුඹලාට මෙසේ දඬුවම් කෙළේ, නුඹලාගේ අපරාධයේ බරපතලකම නිසාත්, පාප ක්‍රියා බහුල නිසාත් ය.
16 ”නුඹලා වනසන සියල්ලෝ ම වැනසෙති. නුඹලාගේ එදිරිකාර සියල්ලෝ ම හිරකරුවන් වශයෙන් ගෙනයනු ලබන්නෝ ය. නුඹලාගෙන් කොල්ලකන්නෝ කොල්ලකනු ලබන්නෝ ය. නුඹලා සතු දේ පැහැරගන්නන්ගෙන් ඔවුන් සතු දේ ද පැහැරගනු ලබන්නේ ය.
17 ”සියොන පිටුවහල් කරනු ලැබුවා ය; ඈ ගැන සලකන කිසිවෙක් නැතැ යි නුඹලාගේ සතුරන් කියන නමුත්, මම නුඹලාගේ තුවාළ සුව කර නුඹලාට සුව සෙත යළිත් ගෙන දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
18 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම ජාකොබ්ගේ පරපුර සිය දේශයට ආපසු පමුණුවා හැම පවුලකට ම වාසස්ථානයක් ලැබීමේ භාග්‍යය නැවත දෙන්නෙමි. නගරය ද එහි කන්ද පිට ගොඩනඟනු ලැබ, මාලිගාව තිබුණු හැටියට ම පිහිටුවනු ලබන්නේ ය. 19 එහි වසන සෙනඟ ප්‍රීති ගී ගයන්නෝ ය. ඔව්හු ප්‍රීතියෙන් හඬ නඟන්නෝ ය. ඔවුන්ගේ සංබ්‍යාව අඩු නොකර වැඩි වන්නට සලස්වා, ඔවුන්ගේ අගෞරවය පහකර මම ඔවුන් උසස් කරන්නෙමි. 20 ඔවුන්ගේ දරුවෝ කලින් සිටි ලෙස වන්නෝ ය; ඔවුන්ගේ සභාව මා ඉදිරියෙහි ස්ථීර ව පවතිනු ඇත. ඔවුන්ට පීඩා කරන සියල්ලන්ට මම දඬුවම් කරන්නෙමි. 21 ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගේ ම කෙනෙක් වන්නේ ය; ඔවුන්ගේ ආණ්ඩුකාරයා ද ඔවුන් අතරෙන් ම නැඟී එන්නේ ය. මා වෙත එන්නට මම ඔහුට අවසර දෙන්නෙමි. එවිට ඔහු මා වෙත ළඟා වන්නේ ය. කැඳවීමක් නැති ව ම මා වෙත පැමිණෙන්නට බිය නොවන්නේ කවරෙක් ද? මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය. 22 නුඹලා මාගේ සෙනඟ වන්නහු ය. මම ද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
23 සමිඳාණන් වහන්සේගේ කෝපය ගසාගෙන එන කුණාටුවක් මෙන් ළඟා වෙයි; එය දුෂ්ටයන්ගේ හිස පිට සුළි සුළඟක් මෙන් කඩා වැටෙයි. 24 සමිඳාණන් වහන්සේ තමන්ගේ සිතේ අදහස් ඉෂ්ට කරන තෙක් ද සම්පූර්ණ කරන තෙක් ද උන් වහන්සේගේ බලවත් උදහස පහ ව යන්නේ නැත. මතු දවස්වල දී සෙනඟ එය තේරුම්ගනු ඇත.

 

– 31 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල් සෙනඟ ආපසු පැමිණීම

1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඉශ්රායෙල්හි හැම ගෝත්‍රයකම මා දෙවියන් වහන්සේ ද ඔවුන් මාගේ සෙනඟ ද වන කාලය පැමිණෙන්නේ ය. 2 කඩු පහරින් ගැළවුණු සෙනඟට පාළුකරයේ දී මම කරුණාව දැක්වීමි. ඉශ්රායෙල් සෙනඟ විවේක සුවය පැතූවිට, 3 ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි. 4 එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය. 5 නැවත නුඹලා සමාරියේ කඳුවල මිදි වැල් වවනු ඇත. වවන්නෝ ඒවා හිටවා ඒවායේ පල භුක්ති විඳින්නෝ ය. 6 මන්ද, ‘නැඟිටින්න, සියොන් කන්දට අපේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත නැඟී යමු’යි එප්‍රායිම් කඳුවල රැකවලුන් හඬ නඟන දවසක් පැමිණෙන්නේ ය.”
7 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”ජාතීන් අතර අගතැන්පත් ඉශ්රායෙල් ගැන ප්‍රීතියෙන් ගී ගයන්න.
‘සමිඳාණෝ සිය සෙනඟ ගැළවූ සේක;
ඉතිරි ව සිටින සෙනඟ මුදාගත් සේක’ කියමින් හඬ නඟා පැසසුම් ගී ගයමින් ප්‍රශංසා කරන්න.
8 බලන්න, උතුරු දේශයෙන් මම ඔවුන් ගෙනෙන්නෙමි;
පොළොවේ ඉතා දුර තැන්වලින් ඔවුන් රැස් කරන්නෙමි;
අන්ධයන් හා කොරුන් ද ගර්භණීන් හා ප්‍රසව වේදනාව විඳින කාන්තාවන් ද ඔවුන් සමඟ පැමිණෙනු ඇත.
ඔවුන් මහත් සමූහයක් ව හැරී එනු ඇත.
9 ඔවුන් අඬමින් ද කන්නලව් කරමින් ද ගිය නමුත්, මම ඔවුන් සනසමින් ආපසු ගෙනෙන්නෙමි.
දිය ඔයවල් අසලින්, නොපැකිළෙන, ඇද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි.
මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි;
එප්‍රායිම් මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේ ය.
10 එම්බා ජාතීනි, සමිඳුන්ගේ වචනයට සවන් දී දුර බැහැර දිවයින්වල එය ප්‍රකාශ කරන්න.
‘ඉශ්රායෙල් සෙනඟ විසිරවූ මම ඔවුන් රැස් කරන්නෙමි;
එඬේරා තම රැළ රැකගන්න පරිදි මම ඔවුන් රැකගන්නෙමි’යි කියන්න.
11 ඉශ්රායෙල් සෙනඟට නිදහස දී, බලවත් ජාතීන්ගේ හස්තයෙන් මම ඔවුන් ගළවාගනිමි.
12 ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති,
මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය.
ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය.
ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය.
13 එවිට තරුණියෝ ප්‍රීතියෙන් නටන්නෝ ය.
තරුණයෝ ද මහල්ලෝ ද එක් ව ප්‍රීති වන්නෝ ය.
මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි.
ඔවුන් සනසා ඔවුන්ගේ දොම්නස සොම්නසට හරවන්නෙමි.
14 පූජකයන්ගේ සිත ද හද ද පිරියෙන් පුරවන්නෙමි.
සමිඳුන්ගේ යහපත්කමින් සෙනඟ තෘප්තියට පමුණුවන්නෙමි.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

ඉශ්රායෙල් කෙරෙහි සමිඳුන්ගේ දයාව

15 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි.
රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් නැති ව සිටියා ය.
16 නුඹේ හැඬීම නවත්වා, නෙත්වලින් කඳුළු පිසදමන්න.
නුඹේ ක්‍රියාවලට විපාකය නුඹට ලැබෙන්නේ ය;
ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරී එනු ඇත.
මෙසේ පවසන්නේ සමිඳාණෝ ය.
17 නුඹේ මතු කාලය ගැන බලාපොරොත්තුවක් ඇත.
නුඹේ දරුවන් සිය මවුබිමට ආපසු එනු ඇත.
18 ඉශ්රායෙල් සෙනඟගේ කන්නලව්ව මම ඇසීමි;
‘සමිඳුනි, අපි කුළෑටි ගොන්වස්සෙකු මෙන් සිටියෙමු.
ඔබ අපට දඬුවම් කළ සේක;
එයින් අපි හැඩගැසුණෙමු.
ඔබ අපට ඉගැන්වූ සේක.
අප හැරී එන පිණිස ආපසු අප ගෙනෙනු මැනව.
ඔබ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය.
19 අපි ඔබ වෙතින් හැරී ගියෙමු, එහෙත්, අපි පසුතැවිලි වූයෙමු.
ඒ වරද තේරුම්ගත් පසු අපි දුක ප්‍රකාශ කෙළෙමු.
තරුණ කාලයේ දී අප පව් කළ බැවින් ලජ්ජාවටත්, නින්දාවටත් අපි පත් වූයෙමු.’
20 ඉශ්රායෙලය, නුඹ මාගේ පුත්‍රයා ය;
මා ඉතා ප්‍රේම කරන දරුවා ය.
නුඹේ නම මා සඳහන් කරන සෑම විට ම ප්‍රේමයෙන් මම නුඹ සිහි කරමි.
නුඹ ගැන මාගේ සිත කකියනු ඇත.
මම නුඹට නිසැක ව අනුකම්පා කරමි.
මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය.
21 මං සලකුණු වන මාර්ග කණු සිටුවාගන්න.
එසේ නුඹේ මාර්ගය නැවත සොයාගෙන, ඉශ්රායෙල් ජනයෙනි, ආපසු හැරී එන්න.
නුඹලාගේ නගරවලට හැරී එන්න.
22 අහෝ! අකීකරු ජනයෙනි, නුඹලා කොතෙක් කල් සැකෙන් සැලෙන්නහු ද?
සමිඳුන් වන මා පොළොවේ අලුත් දෙයක් මවා ඇත.
කාන්තාවක් ඇගේ පුරුෂයා යළි සොයමින් යන්නී ය.”

ඉශ්රායෙල් සෙනඟගේ අනාගත සෞභාග්‍යය

23 ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”සෙනඟගේ උරුමය මා ඔවුන්ට යළි ලබා දුන් විට, ‘එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය! එම්බා ශුද්ධ කන්ද! සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!’ යන කීම ඔවුන් ජුදා දේශයෙහි ද එහි නගරවල ද නැවත භාවිතා කරනු ඇත. 24 ජුදාවේ ද එහි සියලු නගරවල ද සෙනඟ ජීවත් වන්නෝ ය. එහි ගොවියෝ ද ගව රැළ කැටුව යන්නෝ ද එක් ව වාසය කරන්නෝ ය. 25 එවිට මම පීඩාවට පත් වූවන් ප්‍රාණවත් කරන්නෙමි; සාගින්නෙන් පෙළෙනවුන් තෘප්තියට පමුණුවන්නෙමි. 26 එවිට මම අවදි ව වටපිට බැලුවෙමි. මගේ නින්ද සතුටුදායක විය.
27 ”ඉශ්රායෙල් දේශය හා ජුදා දේශය සෙනඟගෙන් ද ගවයන්ගෙන් ද පුරවන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි. 28 උදුරන්නටත්, කඩා දමන්නටත්, හෙළාදමන්නටත්, නැති කරන්නටත්, විපත්ති පමුණුවන්නටත් මා සැලැසූ පරිදි, ගොඩනඟන්නටත් හිටවන්නටත් මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 29 ඒ කාලය පැමිණි විට, ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය. දරුවන්ගේ දත් හිරිවැටුණේ ය’යි තවත් කියනු නොලබන්නේ ය. 30 එහෙත්, එකිනෙකා නසින්නේ තමන්ගේ පව් නිසා ය. දත් හිරි වැටෙන්නේ ඇඹුල් මිදි පල කෑ තැනැත්තාගේ ම ය.”

සමිඳුන්ගේ අලුත් ගිවිසුම

31 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඉශ්රායෙල් සෙනඟ හා ජුදා සෙනඟ සමඟ ද මා අලුත් ගිවිසුමක් කරන කාලය පැමිණෙන්නේ ය. 32 ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිසර දේශයෙන් පිටතට ගෙන එන්නට පියවර ගත් කාලයේ දී ඔවුන් සමඟ මා කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 33 එහෙත්, ඒ කාලය පැමිණි විට, ඉශ්රායෙල් සෙනඟ සමඟ මා කරන ගිවිසුම මෙය වේ. මම මාගේ අණපණත් ඔවුන් තුළ පිහිටුවා එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 34 ‘සමිඳාණන් වහන්සේ හඳුනාගන්න’කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත. මම ඔවුන්ගේ අපරාධ කමා කරන්නෙමි; ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
35 දිවා කල එළිය පිණිස ඉර ද රෑ කල එළිය පිණිස සඳ හා තරු ද සමිඳාණෝ දෙන සේක;
රළ ගොස ඇති වන සේ මුහුද කළඹන සේක;
එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.
36 සොබා දහම පහ ව ගියොත් මිස, ඉශ්රායෙල් සෙනඟ ජාතියක් ව නොපවතින බවට එතුමාණෝ පොරොන්දු වන සේක.
37 ඉහළ අහස මනින්නටත්, පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්නටත් යමෙකුට පුළුවන් නම් පමණක්,
ඉශ්රායෙල් සෙනඟ කළ සියල්ල නිසා එතුමාණෝ ඔවුන් පහකරන සේක.
මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය.
38 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා සමිඳාණන් වහන්සේ උදෙසා නගරයක් ගොඩනඟනු ලබන දවස් පැමිණෙන්නේ ය. 39 එතැන් සිට මායිම, බටහිර ගාරෙබ් හෙල දක්වා ද ගොවාය වටේට ද පැමිණෙයි. 40 මළකඳන් හා අළු දමන මුළු මිටියාවත ද කිද්‍රොන් මිටියාවත දක්වා ද නැගෙනහිර තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වා ද සියලු පිට්ටනි ස්වාමීන් වන මට ශුද්ධ වන්නේ ය. නගරය කිසි කලෙක උදුරනු නොලබන්නේ ය. හෙළාදමනු නොලබන්නේ ය.”

– 32 වන පරිච්ඡේදය –

ජෙරමියා කෙතක් මිලේට ගැනීම

1 ජුදාහි රජු වූ ශෙදෙකියාගේ දස වන අවුරුද්දේ දී එනම්, නෙබුකද්නෙශර්ගේ දසඅට වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක. 2 ඒ කාලයේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම වටලාගෙන සිටියේ ය. දිවැසිවර ජෙරමියා ජුදා රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඬස්සි වී සිටියේ ය. 3 ශෙදෙකියා රජු ඔහු හිරඅඬස්සි කෙළේ, ඔහු ‘සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි මෙසේ කී බැවිනි. ”බලන්න, මම මේ නුවර බබිලෝනියේ රජුගේ අතට පාවා දෙන්නෙමි. ඔහු එය අල්ලාගන්නේ ය. 4 ජුදාහි රජු වන ශෙදෙකියා බබිලෝනිවරුන්ගේ අතින් නොගැළවෙන්නේ ය. සැබැවින් ම ඔහු බබිලෝනියේ රජුගේ අතට පාවා දෙනු ලැබ ඔහු ඉදිරියේ මුහුණට මුහුණ ලා කතා කරන්නේ ය. 5 ශෙදෙකියා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය. ඔහු ගැන මා කරුණු විමසන තුරු ඔහු එහි සිටිනු ඇත. බබිලෝනිවරුන්ට විරුද්ධ ව ඔහු යුද්ධ කළත් ඔහු ජය නොලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
6 තවද, ජෙරමියා කතා කොට, ”සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි කී ය. 7 ”නුඹේ පියාගේ සොහොයුරු වන ෂල්ලුම්ගේ පුත් හනමෙල් නුඹ ළඟට අවුත්, ‘අනාතොත්හි තිබෙන කෙත මිලේට ගන්න; මන්ද, එය මිලේට ගැනීමට අයිතිය ඇති කිට්ටු ම ඥාතිවරයා නුඹ ය’යි කියනු ඇත.” 8 සමිඳාණන් වහන්සේ වදාළ පරිදි, මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් හිරගෙයි මළුවට මා ළඟට අවුත්, ”අනේ! බෙන්ජමින් දේශයෙහි අනාතොත්හි තිබෙන මාගේ කෙත මිලේට ගන්න; මන්ද, එහි උරුමයේ අයිතිය ඇත්තේ ඔබට ය; එය මිල දී ගන්නැ”යි කී ය. එවිට මෙය සමිඳාණන් වහන්සේගේ වචනය බව මම දැනගතිමි. 9 එබැවින් මම, අනාතොත්හි තිබෙන කෙත මාගේ පියාගේ සහෝදරයාගෙන් මිලේට ගෙන, එහි මිල වන රිදී කාසි දහහතක් ඔහුට කිරා දිනිමි. 10 මම ඔප්පුව අත්සන් කර, මුද්‍රාකොට, සාක්ෂිකාරයන් කැඳවාගෙන තරාදියෙන් කිරා ඔහුට මිල දිනිමි. 11 මම නියමයන් හා කොන්දේසි සටහන් කර තිබුණු මුද්‍රාව තැබූ ඔප්පුව ද විවෘත පිටපත ද රැගෙන, 12 මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් ඉදිරියේ දී ද ඔප්පුවට අත්සන් තැබූ සාක්ෂිකරුවන් ඉදිරියේ දී ද හිරගෙයි මළුවේ හිඳගෙන උන් සියලු ජුදෙව්වරුන් ඉදිරියේ දී ද මිලේට ගැනීමේ ඔප්පුව මයසේයාගේ පුත් වන නේරියාගේ පුත් බාරුක්ට මම දිනිමි. 13 ඔවුන් සියල්ලන් ඉදිරියේ මම බාරුක්ට අණ කරමින්, 14 ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මේ ඔප්පු එනම්, මුද්‍රාව තැබූ මිලේට ගැනීමේ ඔප්පුවත්, විවෘත ඔප්පුවත් රැගෙන, බොහෝ කල් පවතින පිණිස මැටි භාජනයක තබන්නට නියම කර ඇත. 15 මන්ද, ගෙවල් ද කෙත් ද මිදි වතු ද නැවත මේ දේශයෙහි මිලේට ගනු ඇතැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේකැ’යි කීවෙමි.

ජෙරමියාගේ යාච්ඤාව

16 මිලේට ගැනීමේ මේ ඔප්පුව නේරියාගේ පුත් බාරුක්ට මා භාර දුන් පසු, මම සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළෙමි: 17 ”මහෝත්තම දෙවි ස්වාමීනි! ඔබේ මහත් බලයෙන් ද පරාක්‍රමයෙන් ද ඔබ අහසත් පොළොවත් මැවූ සේක. ඔබට බැරි කිසි දෙයක් නැත්තේ ය. 18 ඔබ වහන්සේ දහස් ගණන් මිනිසුන්ට කරුණාව පෙන්වන සේක; පියවරුන්ගේ දුෂ්ටකම නිසා ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ට ප්‍රතිවිපාක දෙන සේක. ඔබ වහන්සේ මහෝත්තම පරාක්‍රමවත් දෙවියන් වහන්සේ ය, ඔබ වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය. 19 ඔබේ අදහස් උදාර ය; ඔබේ ක්‍රියා බලසම්පන්න ය; මිනිසුන් කරන සියලු දේ ඔබට පෙනෙන්නේ ය; ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන සේක. 20 මිසර දේශයේ දී, ඔබ වහන්සේ හාස්කම් ද අරුමපුදුම දේ ද කළ සේක. එදින මෙන් මේ දවස දක්වා ද ඔබ ඉශ්රායෙල්හිත්, අන් සියලු ජාතීන් අතරේත් එසේ ම කරන සේක. ඒ නිසා ඔබේ නාමය ඔවුන් අතර මහිමාන්විත ය. 21 අපේ සතුරන් බිය ගැන්වූ හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔබේ බලයත්, පරාක්‍රමයත් මෙහෙයවා ඔබේ සෙනඟ මිසර දේශයෙන් පිටතට ගෙනා සේක. 22 ඔවුන්ගේ පියවරුන්ට ඔබ දිවුරුම් දී පොරොන්දු වූ ලෙස කිරි ද මී පැණි ද උතුරා යන දේශයක් වන මේ දේශය ඔබ ඔවුන්ට දුන් සේක. 23 ඔව්හු ද ඇතුළු වී ඒ දේශය හිමි කරගත්හ. එහෙත්, ඔවුන් ඔබේ හඬට කීකරු වුණේ වත්, අණපණත් අනුව හැසුරුණේ වත්, ඔවුන්ට කරන්නට ඔබ අණ කල සියල්ල කෙළේ වත් නැත. ඒ නිසා ඔබ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේක.
24 ”මෙන්න, නගරය අල්ලාගන්න පිණිස ඒ වටා පස් කඳු සාදා ඇත. බබිලෝනිවරු නගරයට පහර දෙන්නෝ ය. යුද්ධයත්, සාගතයත්, වසංගතයත් කරණකොටගෙන නගරය ඔවුන්ට අත්පත් වන්නේ ය. ස්වාමීනි, ඔබ වදාළ දේ සිද්ධ වී තිබෙන බව ඔබට පෙනෙන්නේ ය. 25 අහෝ! දෙවි ස්වාමීනි, නගරය බබිලෝනිවරුන්ගේ අතට භාර දී තිබෙන නමුත්, ‘සාක්ෂිකාරයන් ඉදිරියෙහි කෙත මිලේට ගන්නැ’යි මට වදාළේ ඔබ ම ය.”
26 එවිට සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක: 27 ”මම සකල මිනිසුන්ගේ දෙවියන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ ය. මට කිරීමට දුෂ්කර කිසි දෙයක් ඇද් ද? 28 එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. බලව, මම මේ නගරය බබිලෝනිවරුන්ගේ අතටත්, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත් පවරා දෙමි. ඔහු මේ නගරය අල්ලාගන්නේ ය. 29 මේ නගරයට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරු අවුත් එය ගිනි ලන්නෝ ය. ඒ සමඟ ම මා කෝප කරන පිණිස යම් ගෙවල පියසි උඩ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරුවන්නටත් යෙදුණේ ද, ඒ ගෙවලුත් දවා දමන්නෝ ය. 30 ඉශ්රායෙල් සෙනඟ ද ජුදාවේ සෙනඟ ද ඔවුන්ගේ ඉතිහාසයේ පටන්ගැන්මේ සිට ම කෙළේ, මා ඇස් හමුයෙහි නපුරු දේ පමණකි. එසේ ය, ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් කෙළේ, මා ප්‍රකෝප කරවන දේ පමණක් ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 31 මේ නගරය ගොඩනැඟුව දා පටන් අද දක්වා මාගේ උදහසත්, මාගේ කෝපයත් ඉපදවීමට එය හේතුවක් විය. ඒ නිසා මා ඉදිරියෙන් එය නැති කිරීමට මම තීරණය කෙළෙමි. 32 එසේ වන්නේ, මා කෝප කරවන හැටියට ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද ඔවුන්ගේ රජවරුන් ද ඔවුන්ගේ අධිපතීන් ද ඔවුන්ගේ පූජකයන් ද ඔවුන්ගේ දිවැසිවරුන් ද ජුදාහි මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද කළ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසා ය. 33 ඔව්හු මට මූණ නො දී පිටු පා ගියෝ ය. මා නොකඩවා ම ඔවුන්ට ඉගැන්වූ නමුත්, ඔව්හු මාගේ දැනුමැතිකම නොපිළිගත්තෝ ය. 34 මාගේ නාමයෙන් හැඳින්වෙන මාලිගාව කෙලෙසන පිණිස ඔව්හු පිළිකුල් ලෙස හැසුරුණෝ ය. 35 ඔව්හු තමන්ගේ දූ පුතුන් මොලෙක් දෙවියා ඉදිරියෙහි දවා කැප කරන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනැඟුවෝ ය. ඔවුන් ඒ දේ කෙළේ, මාගේ අණට විරුද්ධ ව ය. එබඳු පිළිකුල් මඟින් ඔවුන් පාපයට පෙළඹවීමට මට අදහසක් පහළ වුණේ වත් මා ඔවුන්ට අණ කළේ වත් නැත.

බලාපොරොත්තුවේ දේව පොරොන්දුව

36 ”එහෙත් දැන්, කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද බබිලෝනියේ රජු අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ නගරය ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: 37 ‘බලන්න, මාගේ උදහසින් ද මාගේ කෝපයෙන් ද තද අමනාපයෙන් ද මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන නැවත මේ ස්ථානයට පමුණුවා, සුව සේ වාසය කරන්නට සලස්වන්නෙමි. 38 ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. 39 ඔවුන්ටත්, ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධ වන පිණිස හැම කල්හි ම මා කෙරෙහි ගරුබිය දැක්වීමට එක ම හිතක් හා එක ම මඟක් ඔවුන්ට දෙන්නෙමි. 40 මම ඔවුන් වෙතින් ඉවතට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් ඉවත් ව නොයන ලෙස මා කෙරෙහි ගරුබිය දැක්වීම ඔවුන්ගේ සිත්හි උපද වන්නෙමි. 41 එසේ ය, ඔවුන්ට යහපත කිරීම මට ඉමහත් ප්‍රීතියක් වනු ඇත. සැබැවින් මාගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මේ දේශයෙහි ඔවුන් ස්ථීර ලෙස පදිංචි කරවන්නෙමි.
42 ” ‘මක්නිසා ද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මා විසින් මේ සෙනඟ පිට මේ මුළු මහත් විපත පමුණුවනු ලැබ තිබෙන ලෙස මම ඔවුන්ට පොරොන්දු වූ සියලු යහපතත් ඔවුන් පිට පමුණුවන්නෙමි. 43 මනුෂ්‍යයෙකු වත්, මෘගයෙකු වත් නැති ව එය පාළුවක් වී බබිලෝනිවරුන්ගේ අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ දේශයෙහි යළිත් කෙත් මිලේට ගනු ලබන්නේ ය. 44 බෙන්ජමින්ගේ දේශයෙහිත්, ජෙරුසලම අසල ස්ථානවලත්, ජුදාහි නගරවලත් කඳු රටේ නගරවලත්, පහත රටේ නගරවලත්, දකුණු දිශාවේ නගරවලත් කෙත් මිලේට ගෙන, සාක්ෂිකාරයන් ඉදිරියෙහි ඔප්පු අත්සන් කොට මුද්‍රා කරනු ලබන්නේ ය. මක්නිසා ද, මම ඔවුන්ගේ සෞභාග්‍යය යළි උදා කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.”

 

– 33 වන පරිච්ඡේදය –

තවත් පොරොන්දුවක්

1 ජෙරමියා හිර ගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරටත් ඔහු වෙත පැමිණියේ ය. 2 පොළොව මවා, එය පිහිටුවන පිණිස එය සකස් කළ ස්වාමීන් යන නාමය ඇති තැනැන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක: 3 ”මට යාච්ඤා කරන්න; එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න, සැඟවී ඇති, වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි. 4-5 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මම ජෙරුසලමේ ඇති ගෙවල් ද ජුදාවේ රාජ මාලිගාව ද බිඳ හෙළා ගොඩනඟන ලද පස් කඳුවලට විරුද්ධ ව බබිලෝනිවරුන් සමඟ සටන් කරන්නට ගියොත්, මාගේ උදහසින් ද කෝපයෙන් ද ගසා දමන අයගේ මළකඳන්වලින් නගරය පිරී යනු ඇත. සෙනඟ කර ඇති දුෂ්ට ක්‍රියා නිසා මම මේ නගරයෙන් ඉවතට හැරී සිටිමි. 6 එහෙත්, මේ නගරයට මම සුව සෙත ගෙන දෙන්නෙමි. මම සෙනඟ සුවපත් කොට, සාමයෙන්, සුරක්ෂිතතාවෙන් ඔවුන්ට ප්‍රීතිය පෙන්වන්නෙමි. 7 ජුදාව ද ඉශ්රායෙලය ද මම මුල දී මෙන් යළිත් ගොඩනඟා, ඒ දෙරටට සෞභාග්‍යය දෙන්නෙමි. 8 ඔවුන් මට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු පාපයෙන් මම ඔවුන් පිරිසිදු කරන්නෙමි; මට විරුද්ධ ව පව් කිරීමෙන් ද මට විරුද්ධ ව ද්‍රෝහිකම් කිරීමෙන් ද කළ ඔවුන්ගේ සියලු ම අයුතුකම් ඔවුන්ට කමා කරන්නෙමි. 9 මා විසින් ඔවුන්ට කරනු ලබන සියලු යහපත ගැන අසන පොළොවේ සියලු ජාතීන් අතරේ, මේ නගරය මට ප්‍රීතියක් ද ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන්නේ ය; මා ඊට කර දෙන සියලු යහපත හා සමගිය නිසා ඔව්හු බිය වී වෙවුළන්නෝ ය.”
10 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”එය සෙනඟ වත්, මෘගයන් වත් වාසය නොකරන කාන්තාරයක් වන්නේ යයි සෙනඟ කියති. ජුදාවේ නගර ද ජෙරුසලමේ වීදි ද හිස් බව සැබෑ ය; එහි සෙනඟ වත්, මෘගයෝ වත් නැත. එහෙත්, මේ තැන්වල යළිත්, 11 ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත;
‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න;
එතුමාණෝ යහපත් ය;
එතුමන්ගේ පෙම සදාකාලික ය.’
කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
12 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මිනිහෙකු වත්, මෘගයෙකු වත් නැති ව පාළු වී ගිය මේ ස්ථානයෙහි ද මෙහි සියලු නගරවල ද තමන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේ ය. 13 කඳු රටේ නගරවල ද පහත රටේ නගරවල ද දකුණු දිශාවේ නගරවල ද බෙන්ජමින්ගේ දේශයෙහි ද ජෙරුසලම අසල ස්ථානවල ද ජුදාහි නගරවල ද එඬේරු රැළවල සිටින බැටළුවන් ගණන් කරන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
14 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඉශ්රායෙල් සෙනඟටත් ජුදා සෙනඟටත් මා කළ පොරොන්දුව ඉෂ්ට කරන කාලය පැමිණෙන්නේ ය. 15 ඒ දවස, ඒ අවදිය පැමිණි විට සැබෑ ලෙස දාවිත්ගේ පරපුරෙන් පැවත එන දැහැමි උතුමෙකු මම නැඟුටුවන්නෙමි. එතුමාණෝ දේශය මුළුල්ලේ සාධාරණ ව, යුක්තිසහගත ව කටයුතු කරන සේක. 16 ඒ කාලය පැමිණි විට ජුදාහි වැසියෝ ගළවනු ලබන්නෝ ය; ජෙරුසලමේ වැසියෝ ද සුව සේ වාසය කරන්නෝ ය. ඔවුන් සිය දේශයට දෙන නාමය, ‘සමිඳාණන් වහන්සේ අපේ මිදුම්කාරයාණෝ ය’ යනුයි. 17 ඉශ්රායෙල්හි රජ වන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනකු නැඟී එන බවට මම පොරොන්දු වෙමි. 18 එසේ ම, මා ඉදිරියෙහි දවන යාග පූජා, ධාන්‍ය පූජා හා නිරතුරු යාග පූජා ඔප්පු කිරීමටත් ලෙවී පූජක වංශයේ පූජකයන්ගේ අඩුවක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
19 සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක: 20 ”දවාලත්, රාත්‍රියත් නියම වේලාවට නොපැමිණෙන ලෙස දවාලත්, රාත්‍රියත් සමඟ මා කර ඇති ගිවිසුම අවලංගු කිරීමට නුඹලාට පුළුවන්කමක් නැත. 21 එලෙස ම ඉශ්රායෙල්හි රජකම් කරන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු නැඟී එන බවට මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟ මා කළ ගිවිසුමත්, මාගේ සේවක පූජකයන් වන ලෙවීවරුන් සමඟ මා කළ ගිවිසුමත් අවලංගු කිරීමට පුළුවන්කමක් නැත. 22 ගණන් නොකළ හැකි තරම් අහසේ තරු ද මුහුදේ වැලි ද මෙන් මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශය ද මට සේවය කරන ලෙවීවරුන් ද මම වැඩි කරන්නෙමි.”
23 සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක: 24 ”සමිඳාණන් වහන්සේ තෝරාගත් වංශ දෙක උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේකැ”යි මේ සෙනඟ කියනු නුඹ නොදන්නෙහි ද? එබැවින් ඔව්හු මාගේ සෙනඟ හෙළා දකිමින් ඔවුන් ජාතියක් වශයෙන් නොසලකති. 25 එහෙත්, ස්වාමීන් වන මම දවාලත්, රාත්‍රියත් සමඟ ද අහසත්, පොළොවත් මෙහෙයවන නීති රීති සමඟ ද ගිවිසුමක් පිහිටෙව්වෙමි.
26 ”මා එය ස්ථිර ලෙස කළාක් මෙන් ජාකොබ්ගේ පරපුර සමඟත්, මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟත් මා කළ ගිවිසුම මම නොකඩවා ස්ථිරව ම පවත්වන්නෙමි. ආබ්‍රහම්ගෙන් ද ඊසාක්ගෙන් ද ජාකොබ්ගෙන් ද පැවත එන්නන් කෙරෙහි රජකම් කරන පිණිස දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු මම තෝරාගතිමි. මාගේ සෙනඟ මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මම ඔවුන්ට අනුකම්පා කරන්නෙමි.”

 

– 34 වන පරිච්ඡේදය –

ශෙදෙකියා රජුට පණිවුඩයක්

1 බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද ඔහුගේ මුළු සේනාව ද ඔහුගේ පාලනය යටතේ තිබුණු සියලු රට රාජ්‍යයන් ද සියලු ජනයන් ද ජෙරුසලමටත්, ඊට අයිති සියලු නගරවලටත් විරුද්ධ ව යුද්ධ කරද්දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක. 2 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ ජෙරමියා අමතා ජුදාහි රජු වූ ශෙදෙකියා වෙත ගොස් ඔහුට මෙසේ කියන්නැ යි වදාළ සේක: ”ස්වාමින් වන මම මෙසේ වදාරමි. බලන්න, මම මේ නගරය බබිලෝනියේ රජු අතට, පාවා දෙමි. ඔහු එය ගින්නෙන් දවාලන්නේ ය. 3 නුඹ ද ඔහුගේ අතින් නො ගැළවී, සැබැවින් අසු වී, ඔහු අතට පාවා දෙනු ලබන්නෙහි ය. නුඹ බබිලෝනියේ රජු සමඟ මුහුණට මුහුණ ලා සිට ඔහු සමඟ පෞද්ගලික වශයෙන් කතා කරන්නෙහි ය. ඉන්පසු නුඹ බබිලෝනියට යනු ඇත. 4 එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා, ස්වාමීන් වන මම නුඹ ගැන කියන දේට සවන් දෙන්න. නුඹ යුද්ධයේ දී නොමැරෙන්නෙහි ය. 5 නුඹ සාමදානයෙන් මැරෙන්නෙහි ය; නුඹට කලින් සිටි නුඹේ මුතුන්මිත්තන් වූ රජවරුන් භූමදාන කොට, සෙනඟ සුවඳ දුම් ඇල්ලුවාක් මෙන් නුඹටත් එසේ ම කර, ‘අහෝ ස්වාමීනි’ කියා විලාප කියනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”
6 දිවැසිවර ජෙරමියා මේ සියලු දේ ජෙරුසලමේ දී ජුදාවේ රජු වූ ශෙදෙකියාට කීවේ ය. 7 ඒ අවස්ථාවේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම් නගරයට පහර දෙමින් සිටියෝ ය. ජුදාවේ බලකොටු අතරෙන් අල්ලා නොගෙන තිබූ නගරවලින් ඉතිරි වූ ලාකීෂ්ට හා අසේකාට ද ඔව්හු පහර දෙමින් සිටියෝ ය.

වහලුන් නිදහස් කිරීමේ ගිවිසුම කඩ කිරීම

8 ඔවුන්ගේ වහලුන් නිදහස් කර හැරීමට ජෙරුසලමේ සියලු සෙනඟ සමඟ ශෙදෙකියා රජ ගිවිසුමක් කළ පසු සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක. 9 කිසිවෙකු තමාගේ සහෝදර ජුදෙව්වෙකු තමාට යටත් කර නොගන්න පිණිස, හැම කෙනෙකු ම තමාගේ ගැහැණු හෝ පිරිමි හෝ ජුදෙව් වහලුන් නිදහස් කර හැරිය යුතු යයි ඔව්හු ගිවිසුමක් කරගත්හ. 10 තම තමන්ගේ ගැහැණු-පිරිමි වහලුන් යටත් කර තබා නොගෙන ඔවුන් නිදහස් කර හරින හැටියට කරගත් ගිවිසුමට සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද එකඟ වී ඔවුන් නිදහස් කොට යන්නට හැරියෝ ය. 11 එහෙත්, පසු ව ඔව්හු සිත වෙනස් කරගෙන නිදහස් කර හැරිය ගැහැණු-පිරිමි වහලුන් නැවත ගෙනවුත් වහලුන් වශයෙන් බලහත්කාරයෙන් යටත් කරගත්තෝ ය.
12 එබැවින් සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක. 13 ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹේ ආදි පියවරුන් වහල්කමින් නිදහස් කර, මිසර දේශයෙන් ගෙනා විට මම ඔවුන් සමඟ ගිවිසුමක් කෙළෙමි. 14 නුඹලාට විකුණනු ලැබ, හය වසක් නුඹලාට සේවය කළ පසු නුඹලාගේ සහෝදර හෙබ්‍රේවරුන් එකිනෙකා නිදහස් කර හැරිය යුතු යයි මම කීවෙමි. එහෙත්, නුඹලාගේ ආදි පියවරුන් මට සවන් දුන්නේ වත්, මා කී දේ සිතට ගත්තේ වත් නැත. 15 මෑතක දී නුඹලා නුඹලාගේ සිත් වෙනස් කරගෙන මා ප්‍රසන්න දේ කළහු ය. නුඹලාගේ සහෝදර හෙබ්‍රේවරුන්ට නිදහස ප්‍රකාශ කිරීමට මාගේ නමින් සාදන ලද දේව මාලිගාවේ දී මා ඉදිරියෙහි නුඹලා ගිවිසුමක් කළහු ය. 16 එහෙත්, නුඹලා ඒ අදහස වෙනස් කරගෙන මාගේ නාමයට අගෞරව කළහු ය. ඔවුන්ගේ කැමැත්ත පරිදි නුඹලා නිදහස් කර යැවූ ස්ත්‍රී-පුරුෂ වහලුන් නුඹලා එකිනෙකා නැවත ගෙනවුත් නුඹලාගේ වහල් සේවයට බල කළහු ය. 17 එබැවින් ස්වාමීන් වන මම මෙසේ කියමි. නුඹලා මට අකීකරු වී, නුඹලාගේ සහෝදර අසල්වැසි හෙබ්‍රේවරුන්ට නිදහස ප්‍රකාශ නොකළහු ය. ඒ නිසා කඩුවට ද වසංගතයට ද සාගතයට ද මම නුඹලා පාවා දෙන්නෙමි. මා නුඹලාට කරන දේ ගැන පොළොවේ සියලු ජාතීන් තැති ගැනීමට මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 18-19 ජුදාහි අධිපතීහු ද ජෙරුසලමේ අධිපතීහු ද නපුංසකයෝ ද පූජකයෝ ද දේශයේ සියලු සෙනඟ ද ඔවුන් විසින් දෙපළු කරන ලද වස්සෙකුගේ පළු දෙක මැදින් ගමන් කර මා සමඟ ගිවිසුමක් කළෝ ය. එහෙත්, ඔව්හු මා ඉදිරියේ කළ ගිවිසුම කඩ කර එහි කොන්දේසි ඉටු නොකළෝ ය. ඒ නිසා ඔවුන් වස්සාට කළ දේ මම ඔවුන්ට කරමි. 20 මම ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දෙන්නෙමි, ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතට මම ඔවුන් පාවා දෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරුවන්නේ ය. 21 මම ජුදා රජු වූ ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද ඔවුන්ගේ සතුරන් අතටත්, ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතටත්, නුඹලා වෙතින් ඈත් ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවා දෙන්නෙමි. 22 මම අණ කොට මේ නගරය කරා ඔවුන් නැවත ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධ ව යුද්ධ කොට, ඒක අල්ලා ගින්නෙන් දවාදමන්නෝ ය. එහි වැසියෙකු නොසිටින ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

 

– 35 වන පරිච්ඡේදය –

ජෙරමියා හා රේකාබ්වරු

1 ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් රජුගේ දවසේ සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, 2 ”නුඹ රේකාබ්වරුන්ගේ වංශය වෙත ගොස්, ඔවුන් සමඟ කතා කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු කාමරයට ඔවුන් කැඳවාගෙන අවුත් ඔවුන්ට මුද්‍රික පානය බොන්නට දෙන්නැ”යි වදාළ සේක. 3 එකල මම හබශ්ශිනියාගේ පුත්‍රයා වන ජෙරමියාගේ පුත් ජාශනියා ද ඔහුගේ සහෝදරයන් ද ඔහුගේ සියලු පුත්‍රයන් ද රේකාබ්වරුන්ගේ මුළු වංශය ද අඬගසාගෙන, 4 සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ෂල්ලුම්ගේ පුත් දොරටු පාලකයා වන මයසේයාගේ ඇතුළු ගෙට ඉහළින් තිබූ අධිපතීන්ගේ ඇතුළු ගෙට යාව තිබුණු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත් හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුළු ගෙට පැමිණියෙමි. 5 මම මුද්‍රික පානය පුරවා තිබුණු භාජන සහ කුසලාන් රේකාබ් වංශයේ පුත්‍රයන් ඉදිරියෙහි තබා, ”මුද්‍රික පානය බොන්නැ”යි කීමි.
6 එහෙත්, ඔව්හු මෙසේ කීවෝ ය: ”අපි මුද්‍රික පානය නොබොම්හ. මක්නිසා ද, අපේ පිය වූ රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් අපට අණ කරමින්, ‘නුඹලා වත්, නුඹලාගේ පුත්‍රයන් වත් සදහට ම මුද්‍රික පානය නොබී සිටින්න: 7 ගෙයක් ගොඩනැඟීම වත්, බීජ වැපිරීම වත්, මිදි වත්තක් වැවීම වත්, යමක් අයිති කරගැනීම වත් නොකළ යුතු ය. නුඹලා තාවකාලික ව සිටින දේශයෙහි බොහෝ දවස් ජීවත් වන පිණිස නුඹලාගේ මුළු ජීවිත කාලය කූඩාරම්වල වාසය කරන්නැ’යි කීවේ ය. 8 අපි වනාහි අපේ පිය වූ රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් අපට අණ කළ සියල්ල නොපිරිහෙළා පිළිපදිමින් ඔහුගේ හඬට කීකරු වීමු; කිසි කලක අපි වත්, අපේ භාර්යාවෝ වත්, අපේ පුත්‍රයෝ වත්, අපේ දූවරු වත් මුද්‍රික පානය නොබීවෙමු. 9 අපට වාසය කිරීමට ගෙවල් අපි නොතැනුවෙමු. අපට මිදි වත්තක් වත්, කෙතක් වත්, බීජ වත් නැත. 10 අපි කූඩාරම්වල වාසය කොට, අපේ පිය වූ ජෝනාදාබ්ට කීකරු ව, ඔහු අපට අණ කළ සියල්ල ඉටු කෙළෙමු. 11 එහෙත්, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් අප දේශයට විරුද්ධ ව ආ කල අපි කතා කොට, ‘එන්න, අපි බබිලෝනිවරුන්ගේ සේනාව ද සිරියන්වරුන්ගේ සේනාව ද නිසා ජෙරුසලමට ඇතුළු වෙමු’යි කීවෙමු. මෙසේ අපි ජෙරුසලමෙහි වාසය කරමු.”
12 එකල සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය. 13 ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නුඹ ගොස් ජුදාහි මිනිසුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් මෙසේ කියන්න: ‘මාගේ වචනවලට නුඹලා කීකරු වන්නේ වත්, මාගේ අනුශාසනා නුඹලා පිළිගන්නේ වත් නැද්දැ යි ස්වාමීන් වන මම අසමි. 14 රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් මුද්‍රික පානය බොන්නට එපා ය කියා තමාගේ පුත්‍රයන්ට දුන් අණ ඔවුන් විසින් පිළිපදින ලද්දේ ය. ඔව්හු අද දක්වා ඒවා නොබී තමන්ගේ පියාගේ අණට කීකරු වෙති. එහෙත්, මුල සිට ම මා නුඹලාට කතා කළ නමුත්, නුඹලා මට ඇහුම්කන් නුදුන්නහු ය. 15 මාගේ සියලු සේවක දිවැසිවරුන් නොකඩවා නුඹලා ළඟට ගොස් මෙසේ ප්‍රකාශ කිරීමට නැවත නැවත එවීමි. ‘නුඹලා එකිනෙකා තම තමාගේ පාප මාර්ගයෙන් හැරී එන්න; නුඹලාගේ ක්‍රියා මාර්ගය හැඩගස්වා ගන්න; අන් දෙවිවරුන්ට සේවය කරන්නට ඔවුන් පස්සේ නොයන්න; එවිට නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දෙන ලද දේශයෙහි නුඹලා වාසය කරන්නහු ය’යි කීවෙමි. එහෙත්, නුඹලා කන්යොමු කර සවන් නුදුන්නහු ය; කී දේ සිතට ගත්තේ නැත. 16 රේකාබ්ගේ පුත් ජෝනාදාබ්ගේ පුත්‍රයෝ ඔවුන්ගේ පියා ඔවුන්ට දුන් අණ ඉෂ්ට කළෝ ය. එහෙත්, මේ සෙනඟ මට සවන් නුදුන්නෝ ය. 17 එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මම ජුදාවරුන්ටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධ ව මා කී සියලු විපත් ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා ඔවුන්ට කතා කළ නමුත්, ඔව්හු සවන් නුදුන්නෝ ය. මා ඔවුන්ට අඬගැසූ නමුත්, ඔව්හු උත්තර නුදුන්නෝ ය.’ ”
18 එවිට ජෙරමියා රේකාබ්වරුන්ගේ වංශයට කතා කොට, මෙසේ කීවේ ය: ”ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ පිය වූ ජෝනාදාබ්ගේ අණට නුඹලා කීකරු ව, ඔහුගේ සෑම ශික්ෂා රක්ෂා කර, ඔහු නුඹලාට අණ කළ සියල්ල ඉටු කළහු ය. 19 සෑම කල්හි ම මා ඉදිරියෙහි සිටින්නට රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ්ගෙන් පැවත එන කෙනෙක් නැති ව නොයන්නේ ය. ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

 

– 36 වන පරිච්ඡේදය –

බාරුක් දේව මාලිගාවේ දී පොත කියවීම

1 ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක: 2 ”නුඹ අකුළන පොතක් රැගෙන, ජොෂියාගේ දවස්වල දී මා නුඹට වදාළ දින පටන් අද දවස දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද සියලු ජාතීන් ද ගැන මා නුඹට කී සියලු ම වචන එහි ලියන්න. 3 මා ජුදා වංශයට කරන්නට අදහස් කරන සියලු විපත්ති ගැන සමහර විට ඔවුන් අසා, ඔවුන්ගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. එවිට මම ඔවුන්ගේ අපරාධයත්, පාපයත් කමා කරන්නෙමි.”
4 එවිට ජෙරමියා නේරියාගේ පුත් බාරුක් කැඳවාගත්තේ ය; බාරුක් ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට කියා තිබුණ, උන් වහන්සේගේ සියලු ම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේ ය. 5 ජෙරමියා බාරුක්ට අණ කරමින් මෙසේ කීවේ ය: ”මා හිරඅඩස්සි වී සිටින බැවින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමට මට නොහැකි ය. 6 එබැවින් ඔබ ඇතුළු වී, ඔබ මාගේ මුඛයෙන් අසා ලියා තිබෙන පොතෙන්, සමිඳාණන් වහන්සේගේ වචන, උපවාස දවසේ දී සෙනඟ අසන පිණිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි දී කියවන්න. තම තමන්ගේ නගරවලින් එන සියලු ජුදා මිනිසුන්ට ඇසෙන පිණිස ඒවා ඔවුන්ට කියවන්න. 7 සමහර විට ඔවුන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්නලව් කොට, යාච්ඤා කොට, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. මන්ද, සමිඳාණන් වහන්සේ මේ සෙනඟට විරුද්ධ ව ප්‍රකාශ කර තිබෙන උදහස සහ කෝපය ඉමහත් ය.” 8 නේරියාගේ පුත් බාරුක් ද දිවැසිවරයා වූ ජෙරමියා තමාට අණ කළ සියල්ල ලෙස කරමින්, සමිඳාණන් වහන්සේගේ වචන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පොතෙන් කියෙව්වේ ය.
9 තවද, ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ පස් වන අවුරුද්දේ නව වන මාසයේ දී ජෙරුසලමේ මුළු සෙනඟ ද ජුදාහි නගරවලින් ජෙරුසලමට ආ මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි උපවාසයක් පැවැත්වූ හ. 10 එවිට බාරුක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඉහළ මළුවේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුව ළඟ තිබුණ, ලේකම් වන ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ ඇතුළු ගෙයි සිට ජෙරමියාගේ වචන සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙව්වේ ය.

නිලධාරීන්ට ඇසෙන පරිදි පොත කියවීම

11 ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ පුත් මීකායා සමිඳාණන් වහන්සේගේ සියලු වචන පොතෙන් කියවනු ඇසූ කල, 12 ඔහු ලේකම්ගේ ඇතුළු ගෙට බැස රජ ගෙදරට ගියේ ය. එහි සියලු අධිපතියන් වන එලිෂාමා ලේකම් ද ෂෙමායාගේ පුත් දෙලායා ද අක්බො‍්ර්ගේ පුත් එල්නාතාන් ද ෂාපාන්ගේ පුත් ගෙමරියා ද හනනියාගේ පුත් ශෙදෙකියා ද අනික් සියලු අධිපතියෝ ද වාඩි වී සිටියහ. 13 එවිට සෙනඟට ඇසෙන පිණිස බාරුක් පොත කියවන විට තමා ඇසූ සියලු වචන මීකායා ඔවුන්ට දැන්වී ය. 14 එවිට සියලු අධිපතීහු ද කුෂීගේ පුත් ෂෙලෙමියාගේ පුත් නෙතනියාගේ පුත් ජෙහුදී, බාරුක් ළඟට යවමින්, සෙනඟට ඇසෙන පිණිස ඔහු කියෙවූ පොත රැගෙන එන ලෙස කියා යැව්වෝ ය. නේරියාගේ පුත් බාරුක් පොත අතින් ගෙන ඔවුන් වෙත පැමිණියේ ය. 15 ඔව්හු බාරුක් අමතා, ”කරුණාකර වාඩි වී අපට ඇසෙන පිණිස ඔය පොත කියවන්නැ”යි කී හ. බාරුක් ඔවුන්ට ඇසෙන පරිදි එය කියෙවුවේ ය. 16 තවද, ඔව්හු ඒ සියලු වචන අසා, බියපත් වී, එකිනෙකා දෙසට හැරී, ”අප ඇසූ මේ සියලු වචන අපි සැබැවින් රජුට දන්වන්නෙමු”යි බාරුක්ට කීවෝ ය. 17 තවද, ඔව්හු බාරුක් අමතා, ”ඔබ මේ සියලු වචන ලියුවේ කෙසේ දැ යි අපට කියන්න; ඒවා ජෙරමියාගේ මුවින් ම ඔබ ඇසුවෙහි දැ”යි විමසූ හ.
18 බාරුක් පිළිතුරු දෙමින්, ”ජෙරමියා මේ සියලු වචන සිය මුවින් මට කියන විට මම ඒවා පොතෙහි තීන්තෙන් ලිවීමි”යි කීවේ ය.
19 එවිට අධිපතීහු කතා කරමින්, ”ඔබ දෙදෙනා කොතැන සිටිත් ද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස ඔබත්, ජෙරමියාත් ගොස් සැඟවී සිටින්නැ”යි බාරුක්ට කීවෝ ය.

රජතුමා පොත පිළිස්සීම

20 එවිට නිලධාරීහු එලිෂාමා ලේකම්ගේ ඇතුළු ගෙයි පොත තබා රජු ළඟට මළුවට ගොස් රජු අසා සිටිය දී ඒ සියලු වචන කීවෝ ය. 21 රජතුමා පොත ගෙනෙන්නට ජෙහුදී යැවී ය. ඔහු එලිෂාමා ලේකම්ගේ ඇතුළු ගෙයින් එය ගෙනවුත් රජුටත්, රජු ළඟ සිටි සියලු අධිපතීන්ටත් ඇසෙන ලෙස එය කියෙව්වේ ය. 22 එය නව වන මාසය විය; රජ සිසිර විමානයේ සිටියේ ය. ඔහු ඉදිරියේ ගිනි භාජනයෙහි ගිනි දැල්වෙමින් තිබිණි. 23 ජෙහුදී පොතෙන් තීරු තුන හතරක් කියෙවූ කල රජ තෙමේ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේ ය. එවිට භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දැවී ගියේ ය. 24 එහෙත්, රජ වත්, මේ සියලු වචන ඇසූ ඔහුගේ සියලු සේවකයෝ වත් බියපත් නො වූ හ; දුකින් තමන්ගේ වස්ත්‍ර ඉරා නොගත්තෝ ය. 25 තවද, එල්නාතන් ද දෙලායා ද ගෙමරියා ද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝ ය. එහෙත්, ඔහු ඔවුන්ට සවන් නුදුන්නේ ය. 26 රජ වනාහි ලේකම් තැන වන බාරුක් සහ දිවැසිවරයා වන ජෙරමියා අල්ලාගෙන එන ලෙස රාජ පුත් ජෙරාමෙයෙල්ටත්, අශ්‍රීයෙල්ගේ පුත් සෙරායාටත්, අබ්දෙයෙල්ගේ පුත් ෂෙලෙමියාටත් අණ කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් සඟවා ලූ සේක.

ජෙරමියා තවත් පොතක් ලිවීම

27 බාරුක් ජෙරමියාගේ මුවින් ඇසූ වචන සටහන් කළ පොත රජතුමා පුළුස්සාදැමූ පසු, සමිඳාණන් වහන්සේ යළිත් ජෙරමියාට කතා කොට, 28 ”තවත් පොතක් ගෙන, ජුදාහි රජු වූ ජෙහෝයාකිම් දවා ලූ පළමු පොතේ තිබූ සියලු වචන එහි ලියන්නැ”යි වදාළ සේක. 29 ”ජුදාහි ජෙහෝයාකිම් රජු ගැන මෙසේ කියන්නැ”යි ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක. ”බබිලෝනියේ රජ අවුත් මේ දේශය විනාශ කර, මෙතැනින් මනුෂ්‍යයන් ද මෘගයන් ද පහ කරදමන්නේ ය කියා නුඹ මේ පොතෙහි ලියුවේ කුමක් නිසා දැ යි අසමින් නුඹ ඒ පොත පුළුස්සා දැමුවෙහි ය. 30 එබැවින් ස්වාමීන් වන මම ජුදාහි රජු වන ජෙහෝයාකිම් වන නුඹට මෙසේ කියමි. දාවිත්ගේ සිංහාසනයෙහි හිඳගැනීමට කිසි ම කෙනෙක් නුඹේ මතුපරම්පරාවෙන් නොපැමිණෙන්නේ ය. නුඹේ මළකඳ දවාලේ ග්‍රීෂ්මයටත්, රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළාදමනු ලබන්නේ ය. 31 මම නුඹටත්, නුඹේ වංශයටත්, නුඹේ සේවකයන්ටත් නුඹලා සියලු දෙනාගේ අපරාධ නිසා දඬුවම් කරන්නෙමි. නුඹ වත්, ජෙරුසලමේ හා ජුදාවේ වැසියන් වත් මට සවන් නුදුන් නිසා මම නුඹලාට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු විපත්ති නුඹලා පිට පමුණුවන්නෙමි.”
32 එවිට ජෙරමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත් බාරුක් නම් ඔහුගේ ලේකම්ට දුන්නේ ය. ඔහු ද ජුදාහි රජු වූ ජෙහෝයාකිම් ගින්නෙන් දවාදැමූ පොතේ සියලු වචන ජෙරමියාගේ මුවින් අසාගෙන එහි ලිව්වේ ය. ඒ පොතට තවත් බොහෝ වචන ද එකතු කරන ලද්දේ ය.

 

– 37 වන පරිච්ඡේදය –

ජෙරුසලමේ විනාශය දැන්වීම

1 ජෙහෝයාකිම්ගේ පුත් කෝනියා වෙනුවට බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජුදා දේශයෙහි ජොෂියාගේ පුත් ශෙදෙකියා රජකමට පත් කරනු ලැබ ඔහු රජකම් කෙළේ ය. 2 එහෙත්, ඔහු වත්, ඔහුගේ සේවකයෝ වත්, දේශයේ සෙනඟ වත් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයා වන ජෙරමියා මඟින් ප්‍රකාශ කරන ලද උන් වහන්සේගේ වචනවලට සවන් නුදුන්නෝ ය.
3 එහෙත්, ශෙදෙකියා රජු ෂෙලෙමියාගේ පුත් ජෙහුකල් ද පූජක වූ මයසේයාගේ පුත් ශෙපනියා ද අත, ”අනේ! අප උදෙසා අපේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි දිවැසිවරයා වන ජෙරමියාට කියා යැවී ය. 4 සෙනඟ අතරේ නිදහසේ යමින් එමින් ජෙරමියා සිටියේ ය. මන්ද, ඒතාක් කල් ඔවුන් ඔහු හිරගෙයි දමා තිබුණේ නැත. 5 ඒ අතරතුරේ දී පාරාවෝගේ සේනාව මිසරයෙන් පිටත් ව ආවෝ ය. ජෙරුසලම වටලාගෙන සිටි බබිලෝනිවරු ඒ ආරංචිය අසා ජෙරුසලමෙන් ඉවත් ව ගියෝ ය.
6 එවිට ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වහන්සේ දිවැසිවර ජෙරමියාට මෙසේ වදාළ සේක: 7 ”මාගෙන් විමසන පිණිස නුඹලා මා වෙත එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘මෙන්න, නුඹලාට සහායට පැමිණි පාරාවෝගේ සේනාව තමන්ගේ දේශය වන මිසරයට හැරී යනු ඇත. 8 බබිලෝනිවරුන් හැරී අවුත් මේ නුවරට විරුද්ධ ව යුද්ධ කොට, මේක අල්ලා ගින්නෙන් දවාදමනු ඇත. 9 බබිලෝනිවරුන් ආපසු නොඑති යි සිතමින් නොරැවටෙන ලෙස ස්වාමීන් වන මම නුඹලාට අවවාද කරමි. ඔවුන් ආපසු එනු ඇත. 10 නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ ”

ජෙරමියා අත්අඩංගුවට ගනු ලැබීම

11 තවද, පාරාවෝගේ සේනාවට බියෙන් බබිලෝනිවරුන්ගේ සේනාව ජෙරුසලම කෙරෙන් ගිය කල, 12 ජෙරමියා බෙන්ජමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්න පිණිස ජෙරුසලමෙන් පිටත් ව ගියේ ය. 13 ඔහු බෙන්ජමින් දේශයේ දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් වන ඉරියා නම් මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේ ය. ඔහු දිවැසිවර ජෙරමියා අල්ලාගෙන, ”ඔබ බබිලෝනිවරුන්ට එකතු වන්නට යන්නෙහි ය”යි කී ය.
14 ”එය බොරුවක් ය; මම බබිලෝනිවරුන්ට එකතු වන්නට නොයමි”යි ජෙරමියා කී ය. එහෙත්, ඉරියා ජෙරමියාට සවන් නො දී, ඔහු අල්ලාගෙන, අධිපතීන් ළඟට ගෙන ගියේ ය. 15 එවිට අධිපතීහු ජෙරමියාට විරුද්ධ ව කිපී, ඔහුට තළා හිර නිවසක් මෙන් සැලකුණ ජොනතන් ලේකම්ගේ ගෙයි ඔහු හිර අඩස්සි කළෝ ය. 16 ජෙරමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ එහි බොහෝ දවස් නැවතී සිටි පසු, ශෙදෙකියා රජු ඔහු කැඳවා ඔහු පිළිගෙන,
17 ”සමිඳාණන් වහන්සේගෙන් පණිවුඩයක් තිබේ දැ”යි තමාගේ මාලිගාවේ දී රහසින් ඔහුගෙන් ඇසුවේ ය. ජෙරමියා ද, ”පණිවුඩයක් තිබේ. ඔබ බබිලෝනියේ රජුගේ අතට අසු වන්නෙහි ය”යි කීවේ ය. 18 තවද, ජෙරමියා ශෙදෙකියා රජුට කතා කොට, ”මා හිරගෙයි දැමීමට ඔබට වත්, ඔබේ සේවකයන්ට වත්, මේ සෙනඟට වත් විරුද්ධ ව මා කළ වරද කුමක් ද? 19 ‘බබිලෝනියේ රජ ඔබට වත්, මේ දේශයට වත් විරුද්ධ ව නොඑන්නේ යැ’යි ඔබට දිවැස් වැකි කීවාවූ ඔබේ දිවැසිවරයා ඉතින් කොයි ද? 20 එබැවින් මාගේ ස්වාමීන් වන රජතුමනි, අනේ! මාගේ බස් අසා, මාගේ කන්නලව්ව පිළිගෙන, මා එහි නොනසින පිණිස ජොනතන් ලේකම්ගේ ගෙට මා නැවත නොහැරිය මැනව”යි කීවේ ය.
21 ශෙදෙකියා රජ ද ජෙරමියා හිරගෙයි රැකවල් මළුවට යවන්නටත්, රොටි සියල්ල ම නගරයෙන් ඉවර වී යන තුරු දවස්පතා රොටියක් බැගින් රොටි සාදන්නන්ගේ වීදියෙන් ඔහුට ගෙන දෙන්නටත් අණ දුන්නේ ය. මෙසේ ජෙරමියා රැකවල් මළුවෙහි නැවතී සිටියේ ය.

– 38 වන පරිච්ඡේදය –

ජෙරමියා ළිඳකට දමනු ලැබීම

1 එකල මත්තාන්ගේ පුත් ෂෙපතියා ද පෂ්හුර්ගේ පුත් ගෙදලියා ද ෂෙලෙමියාගේ පුත් ජුකල් ද මල්කියාගේ පුත් පෂ්හුර් ද ජෙරමියා සියලු සෙනඟට කී වචන ඇසූ හ. 2 ”සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි ජෙරමියා කීවේ ය: ”මේ නගරයේ නවතින යමෙක් වේ ද, ඔහු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ ය. එහෙත්, බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට භාර වන තැනැත්තා ජීවත් වන්නේ ය. ඔහුට අභය ලැබෙන්නේ ය. 3 සැබැවින් මේ නගරය බබිලෝනියේ රජුගේ සේනා අතට අසු වී ඔහු ඒක අල්ලාගන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
4 එවිට අධිපතීහු කතා කොට, ”මේ මනුෂ්‍යයා මරනු ලැබේ වා! මන්ද, මෙසේ මෙබඳු වචන කීමෙන්, මොහු නගරයේ ඉතුරු ව සිටින යුද්ධ භටයන් ද සියලු සෙනඟ ද අධෛර්ය කරන්නේ ය. මේ මිනිසා සෙනඟගේ යහපත නොව ඔවුන්ගේ විනාශය පතන්නේ යැ”යි කී හ.
5 ශෙදෙකියා රජ ද, ”මෙන්න, ඔහු ඔබේ අතෙහි ය. ඔබට විරුද්ධ ව කිසිවක් කරන්නට රජුට බැරි ය”යි කීවේ ය. 6 එකල ඔව්හු ජෙරමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු මල්කියා රජ කුමරුගේ ළිඳට ඔහු ලණුවලින් බැස්සෙවුවෝ ය. ඒ ළිඳේ වතුර නොව මඩ තිබිණි. ජෙරමියා එහි මඩේ එරුණේ ය.
7 ජෙරමියා ළිඳේ දැමූ බව ඇසූ රජ ගෙදර සිටි නපුංසකයෙකු වූ කුෂිය ජාතික එබෙද්-මෙලෙක් රජ ගෙදරින් නික්ම, බෙන්ජමින් දොරටුවේ ඉඳගෙන හුන් රජු වෙත ගොස්, 8-9 රජුට කතා කොට, ”මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ මනුෂ්‍යයන් විසින් ළිඳේ දමන ලද දිවැසිවර ජෙරමියාට ඔවුන් කළ සියල්ල කෲරතර ය. ඔහු එහි බඩගින්නෙන් මැරෙනු ඇත. මන්ද, නගරයෙහි තවත් කෑමට රොටි නැතැ”යි කී ය. 10 එවිට රජ කුෂිය ජාතික එබෙද්-මෙලෙක්ට අණ කරමින්, ”ඔබ, සමඟ මෙතැනින් මනුෂ්‍යයන් තුන්දෙනෙකු කැඳවාගෙන ගොස්, දිවැසිවර ජෙරමියා මැරෙන්නට පෙර ඔහු ළිඳෙන් ගොඩට ගන්නැ”යි කීවේ ය. 11 එබෙද්-මෙලෙක් ද ඒ මිනිසුන් තමා සමඟ කැඳවාගෙන රජ ගෙදර ගබඩාවට වැද, අල්මාරියකින් පරණ රෙදි කෑලි ද පරණ වැරහැලි ද ගෙන, ඒවා ළිඳ ඇතුළට ජෙරමියා ළඟට ලණුවලින් බෑවේ ය. 12 කුෂිය ජාතික එබෙද්-මෙලෙක්, ”මේ පරණ රෙදි කෑලි සහ වැරහැලි ඔබේ කිහිලිවල ලණු යට තබාගන්නැ”යි ජෙරමියාට කීවේ ය. ජෙරමියා එසේ කෙළේ ය. 13 එවිට ඔව්හු ජෙරමියා ලණුවලින් ඇද ළිඳෙන් ගොඩට ගත්හ. ජෙරමියා රැකවල් මළුවේ සිටියේ ය.

ශෙදෙකියා රජ ජෙරමියාගේ අවවාද පැතීම

14 එවිට ශෙදෙකියා රජ දිවැසිවර ජෙරමියා කැඳවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තුන් වන දොරටුවට පිළිගෙන, ඔහුට කතා කොට, ”මම ඔබෙන් කාරණයක් අසමි. කිසිවක් මාගෙන් නොසඟවන්නැ”යි කී ය.
15 ජෙරමියා පිළිතුරු දෙමින්, ”මම ඔබට දැන්නුවොත් සැබැවින් ඔබ මා නොමරන්නෙහි ද? මා ඔබට දැනුමැතිකම් දුන්නත් ඔබ මට සවන් දෙන්නේ නැතැ”යි ශෙදෙකියාට කීවේ ය.
16 එවිට ශෙදෙකියා රජ, ”මා ඔබ මරන්නේ වත්, ඔබේ ප්‍රාණය හානි කරන්නට සොයන ඒ මනුෂ්‍යයන් අතට ඔබ පාවා දෙන්නේ වත් නැතැ යි අපට දිවි දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි ජෙරමියාට රහසින් දිවුරුම් දුන්නේ ය.
17 එකල ජෙරමියා ශෙදෙකියා අමතමින්, ”සියලු බලැති දෙවියන් වහන්සේ වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය. ”නුඹ ඇත්තට ම බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර වූවොත්, නුඹේ පණ බේරා ගන්නෙහි ය. මේ නගරය ද ගින්නෙන් දවනු නොලබන්නේ ය. නුඹත්, නුඹේ වංශයත් ජීවත්වන්නෝ ය. 18 එහෙත්, නුඹ බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර නුවූවොත්, මේ නුවර බබිලෝනිවරුන් අතට පාවා දෙනු ලබන්නේ ය. ඔවුන් එය ගිනිබත් කරනු ඇත. නුඹ ද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැ”යි කී ය.
19 එවිට ශෙදෙකියා කතා කරමින්, ”බබිලෝනිවරුන්ට එකතු වූ ජුදෙව්වරුන් ගැන මම බිය වෙමි. මට වද වේදනා කරන පිණිස ඔවුන් අතට මා පාවා දෙනු ලැබේ දැ යි මට සැක ය”යි කී ය.
20 ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: ”ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන හැටියට සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු වුව මැනව. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබ ජීවත් වන්නෙහි ය. 21 එහෙත්, ඔබ ඔවුන්ගේ අතට භාර වන්නේ නැතැ යි කියන්නෙහි නම්, ඔබට වන මේ දේ සමිඳාණන් වහන්සේ මට දර්ශනයකින් පෙන් වූ සේක. 22 බලන්න, ජුදාහි රජුගේ ගෙදර ඉතිරි ව සිටින සියලු ස්ත්‍රීහු බබිලෝනියේ රජුගේ අධිපතීන් වෙත ගෙනයනු ලබති. ඔව්හු කතා කරමින්, ‘ඔබේ හිතමිතුරෝ ඔබ රවටා ඔබෙන් ජය ගත්තෝ ය. ඔබේ පාද දැන් මඩෙහි එරී ඇති බැවින් ඔබේ මිතුරන් ඔබ කෙරෙන් වෙන් ව ගොස් ඇතැ’යි ද කියති.”
23 තවදුරටත් ජෙරමියා කතා කරමින්, ”ඔබේ සියලු භාර්යාවෝ ද දරුවෝ ද බබිලෝනිවරුන් වෙත ගෙනයනු ලබන්නෝ ය. ඔබත් ඔවුන්ගේ අතින් බේරෙන්නේ නැත. බබිලෝනියේ රජු විසින් ඔබ හිර අඩස්සි කරනු ලබන්නෙහි ය. මේ නගරයත් ගින්නෙන් දවාලනු ලබන්නේ ය”යි කී ය.
24 ශෙදෙකියා පිළිතුරු දෙමින්, ”මේ වචන කිසිවෙක් දැන නොගනිත් වා! එවිට ඔබ මරණයට පත් වන්නේ නැත. 25 එහෙත්, මා ඔබ සමඟ කතා කළ බව අධිපතීන් අසා, ඔබ ළඟට අවුත්, ‘ඔබ රජුට කීවේ කුමක් ද’ කියාත්, ‘අපෙන් නොසඟවා අපට දන්වන්න. එවිට අපි ඔබ නොමරන්නෙමු’යි කියාත් ඔබට කීවොත්, 26 ‘මා ජොනතන්ගේ ගෙයි නසින්නට එහි මා නැවත නොඅරින ලෙස මාගේ බැගෑපත් කන්නලව්ව රජු ඉදිරියෙහි ඔප්පු කෙළෙමි’යි කියන්නැ”යි ජෙරමියාට කීවේ ය. 27 එවිට සියලු අධිපතීහු ජෙරමියා ළඟට අවුත් ඔහුගෙන් ඒ ගැන විචාළෝ ය. රජු ඔහුට අණ කළ ලෙස ජෙරමියා ඔවුන්ට පිළිතුරු දුන්නේ ය. ඔව්හු නිශ්ශබ්ද වී යන්නට ගියෝ ය. මන්ද, රජු සමඟ කෙරුණු කතාව කිසිවෙකුට නොඇසුණේ ය. 28 මෙසේ ජෙරුසලම සතුරන්ගේ අතට අසු වූ දවස දක්වා ජෙරමියා රැකවල් මළුවේ තබන ලදී.

 

– 39 වන පරිච්ඡේදය –

ජෙරුසලමේ වැටීම

1 ජුදාහි රජ වූ ශෙදෙකියාගේ රජකමේ නව වන අවුරුද්දේ දස වන මාසයේ දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් තෙමේ තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් එය වටලාගත්තේ ය. 2 ශෙදෙකියාගේ එකළොස් වන අවුරුද්දේ සතර වන මාසයේ නව වන දින නගර පවුර බිඳින ලද්දේ ය.
3 ජෙරුසලම අල්ලාගනු ලැබූ පසු, බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු එනම්, නේර්ගල්-ෂරෙශෙර් ද සම්ගර්-නෙබෝ ද සර්සෙකිම් ද රබ්-සාරිස් ද තවත් නේර්ගල්-ෂරෙශෙර් නමැත්තෙක් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ අනික් සියලු අධිපතීහු ද අවුත් මැද දොරටුවේ හිඳගත්තෝ ය.
4 තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා ද සියලු හේවායෝ ද ඔවුන් දුටු විට, පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රජ උයන මැදින් යන පාරෙන් නගරයෙන් පිටත් ව රාත්‍රියේ පලා ගියෝ ය. ඔව්හු අරබා සමභූමියේ මාර්ගය බලා නික්ම ගියෝ ය. 5 එහෙත්, බබිලෝනිවරුන්ගේ සේනාව ඔවුන් ලුහුබැඳ ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ශෙදෙකියාට ළං වී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් වෙත ඔහු ගෙන ගියෝ ය. ඔහු ද ඔහු ගැන තීන්දුව දුන්නේ ය. 6 බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් රිබ්ලාහි දී ඔහුගේ ඇස් ඉදිරිපිට මැරී ය. බබිලෝනියේ රජ ජුදාහි සියලු උත්තමයන් ද මැරවී ය. 7 තවද, ඔහු ශෙදෙකියාගේ ඇස් උගුලාදමා, ඔහු බබිලෝනියට ගෙන යන පිණිස විලංගු දැමවී ය. 8 බබිලෝනිවරු රජ මැදුර සහ සෙනඟගේ ගෙවල් ගිනි ලා, ජෙරුසලමේ පවුරු කඩාදැමුවෝ ය. 9 තවද, රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්, නුවර ඉතිරි ව සිටි සෙනඟ ද පලා අවුත් තමාගේ සෙනඟට එකතු වූ අය ද සෙනඟගෙන් ඉතිරි වූ අනෙක් අය ද අල්ලා බබිලෝනියට ගෙන ගියේ ය. 10 එහෙත්, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් කිසිත් නැති දිළිඳු සෙනඟගෙන් සමහරෙකු ජුදා දේශයෙහි ඉතිරි කර තබා, ඔවුන්ට මිදි වතු සහ ඉඩම් ද දුන්නේ ය.

ජෙරමියා නිදහස් වීම

11 ඉන්පසු බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ තෙමේ ජෙරමියා ගැන රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්ට අණ කරමින්, 12 ”ඔබ ඔහු රැගෙන, ඔහු හොඳට රැක බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු ඔබට කියන හැටියට ම ඔහුට කටයුතු කරන්නැ”යි කීවේ ය. 13 මෙසේ රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ද නෙබුෂශ්බාන් ද රබ්-සාරිස් ද නේර්ගල්-ෂරෙශෙර් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු ද 14 ජෙරමියා රැකවල් මළුවෙන් ගෙන්වාගෙන ඔහු ගෙදරට ගෙන යන පිණිස ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර කළෝ ය. ජෙරමියා සෙනඟ අතරේ වාසය කෙළේ ය.

එතියෝපීය එබෙද්-මෙලෙක්ට සමිඳුන්ගේ පොරොන්දුව

15 ජෙරමියා රැකවල් මළුවේ හිර අඩස්සියේ සිටිද්දී, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කරමින්, එතියෝපීය එබෙද්-මෙලෙක්ට මෙසේ කියන්නට වදාළ සේක: 16 ”බලන්න, මා කී පරිදි මම මේ නගරය පිට සැපත නොව විපත පමුණුවන්නෙමි. ඒ දවසේ දී මේවා නුඹ ඉදිරියෙහි ම සිදු වනු ඇත. 17 එහෙත්, ස්වාමීන් වන මම ඒ දවසේ දී නුඹ ගළවන්නෙමි. නුඹ බිය ව සිටින මිනිසුන්ගේ අතට නුඹ පාවා නොදෙනු ලැබේ. 18 සැබැවින් ම මම නුඹ මුදාගන්නෙමි. නුඹ කඩුවෙන් මරනු නොලබන්නෙහි ය. නුඹ මා කෙරෙහි විශ්වාස කළ බැවින් නුඹ පණ බේරාගෙන ගැළවෙන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

 

– 40 වන පරිච්ඡේදය –

ජෙරමියා ගෙදලියා හමු වීමට යෑම

1 රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන් ජෙරමියා අල්ලා රාමායෙන් නිදහස් කර හරිනු ලැබූ පසු සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක. බබිලෝනියට ගෙන යන පිණිස ජෙරුසලමෙන් ද ජුදා රටෙන් ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ජෙරමියා ද දම්වැල්වලින් බැඳ තබන ලදී.
2 රැකවල් සේනාවේ අධිපතියා ජෙරමියා තමා වෙත ගෙන්වාගෙන ඔහුට මෙසේ කීවේ ය: ”ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ මේ දේශයට විරුද්ධ ව මේ විපත්තිය ප්‍රකාශ කළ සේක. 3 සමිඳාණන් වහන්සේ ඒ ප්‍රකාශය ඉටු කරමින් උන් වහන්සේ වදාළ ලෙස කළ සේක; නුඹලා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කොට, උන් වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය නුඹලා වෙත පැමිණියේ ය. 4 ඉතින් ඔබේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් මම අද ඔබ මුදමි. මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති නම් එන්න. මම ඔබ හොඳට බලාගන්නෙමි. එහෙත්, මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති තැන්නම්, නවතින්න. මුළු දේශය ඔබ ඉදිරියෙහි ය. ඔබ යන්න කැමැති ලෙස හොඳ යයි පෙනෙන ඕනෑ තැනකට යන්න.”
5 ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටිය දී, නෙබුසරදාන් ඔහු අමතා ”බබිලෝනියේ රජු ජුදා නගරයේ ආණ්ඩුකාරකමට පත් කළ, ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට හැරී ගොස්, ඔබ ඔහු සමඟ සෙනඟ අතරෙහි වාසය කරන්න. නැත්නම් ඔබට යන්න පහසු යයි පෙනෙන කොතැනට නමුත් යන්නැ”යි කීවේ ය. තවද, රැකවලුන්ගේ අධිපතියා ඔහුට සෑහෙන ආහාරත්, තෑග්ගකුත් දී ඔහු යන්නට හැරියේ ය. 6 ජෙරමියා මිශ්පා නගරයේ සිටි අහිකාම්ගේ පුත් ගෙදලියා ළගට ගොස්, දේශයේ ඉතිරි ව සිටි සෙනඟ අතරේ ඔහු සමඟ වාසය කෙළේ ය.

ගෙදලියා මැරීමට කුමන්ත්‍රණයක්
(2 රාජා: 25:22-26)

7 පිටිසර සිටි සේනාවල අධිපතීහු ද ඔවුන්ගේ සෙනඟ ද බබිලෝනියේ රජ අහිකාම්ගේ පුත් ගෙදලියා දේශයේ ආණ්ඩුකාරයා කොට පත් කළ බවත්, බබිලෝනියට ගෙන නොගිය දේශයේ ඉතා දිළිඳු වූවන්ගෙන් පුරුෂයන් ද ස්ත්‍රීන් ද දරුවන් ද ඔහුට භාර කළ බවත් ඇසූ විට 8 නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරේයාගේ පුත් ජොහානාන් හා ජොනතන් ද තන්හුමෙත්ගේ පුත් සෙරායා ද නෙටොපාතියා ඒපයිගේ පුත්‍රයෝ ද මයකාතියයාගේ පුත් ජෙසනියා ද ඔවුන්ගේ සෙනඟ ද මිශ්පා නගරයේ සිටි ගෙදලියා වෙත ආහ. 9 එවිට ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියා ඔවුන්ටත්, ඔවුන්ගේ සෙනඟටත් දිවුරුම් දෙමින් කතා කොට, ”බබිලෝනිවරුන්ට සේවය කරන්නට බිය නොවන්න. දේශයෙහි වසමින් බබිලෝනියේ රජුට සේවය කරන්න. එවිට ඔබට ශුභසිද්ධ වන්නේ ය. 10 මම, අප ළඟට එන බබිලෝනිවරුන් ඉදිරිපිට ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට මිශ්පාහි වාසය කරමි. ඔබ මුද්‍රික පානය ද ඉදුණු පල ද තෙල් ද එකතු කොට ඔබේ භාජනවල තබා ඔබ ලබාගත් නගරවල වාසය කරන්නැ”යි කීවේ ය. 11 එසේ ම මෝවබ්හි ද අම්මොන් පුත්‍රයන් අතරේ ද ඒදොම්හි ද අනිකුත් සෑම රටවල ද සිටි සියලු ජුදෙව්වරුන්ට බබිලෝනියේ රජු ජුදෙව්වරුන්ගෙන් සමහරෙකු ඉතිරිකර ගිය බව ද ඔවුන් කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කළ බව ද ආරංචි විය. 12 එවිට ඒ සියලු ජුදෙව්වරු තමන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී ජුදා දේශයේ මිශ්පාහි සිටි ගෙදලියා ළඟට අවුත්, මුද්‍රික පානය ද ඉදුණු පල ද බොහොමයක් එකතු කර ගත්තෝ ය.
13 ඉන්පසු කාරේයාගේ පුත් ජොහානාන් ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහු ද මිශ්පාහි ගෙදලියා ළඟට අවුත්, 14 ”අම්මොන් පුත්‍රයන්ගේ රජ වූ බයලිස් ඔබ මරන්නට නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් එවූ බව ඔබ දන්නෙහි දැ”යි ඇසූ හ. එහෙත්, අහිකාම්ගේ පුත් ගෙදලියා ඔවුන් විශ්වාස කෙළේ නැත. 15 එකල කාරේයාගේ පුත් ජොහානාන් මිශ්පාහි දී ගෙදලියාට රහසින් කතා කොට, ”මා ගොස් කිසිවෙකු නොදැනුවත් ව නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේ වා. ඔබව මරන්නට ඉඩ දෙන්නේ කුමට ද? එසේ වුවහොත්, ඔබ වෙත රැස් ව සිටින සියලු ජුදෙව්වරුන් විසිර යනු ඇත. ජුදාහි ඉතිරි ව සිටින සියලු දෙනා විනාශ වනු ඇතැ”යි කීවේ ය. 16 එහෙත්, අහිකාම්ගේ පුත් ගෙදලියා කාරේයාගේ පුත් ජොහානාන් අමතා, ”ඔබ මේ දේ නොකළ යුතු ය. ඉෂ්මායෙල් ගැන ඔබ කියන දේ සැබෑවක් නොවේ ය”යි කී ය.

 

– 41 වන පරිච්ඡේදය –

ගෙදලියා මරනු ලැබීම

1 සත් වන මාසයේ දී රාජ වංශයට අයිති වූ, රජුගේ අධිපතියන්ගෙන් කෙනෙකු වන එලිෂාමාගේ පුත් නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද ඔහු සමඟ මිනිසුන් දසදෙනෙක් ද මිශ්පාහි සිටි අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත පැමිණියෝ ය. එහි ඔව්හු මිශ්පාහි දී එක් ව කෑම කෑවෝ ය. 2 එවිට නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත් කළා වූ ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියාට කඩුවෙන් පහර දී ඔහු මැරුවෝ ය. 3 තවද, ඉෂ්මායෙල් තෙමේ ගෙදලියා සමඟ මිශ්පාහි සිටි සියලු ජුදෙව්වරුන් ද එහි ඒ අවස්ථාවේ සිටි බබිලෝනීය යුද්ධ භටයන් ද මැරුවේ ය.
4 ගෙදලියා මරනු ලැබූ දිනට පසු දින කිසිවෙකු ඒ ගැන දැනගන්නට පෙර, 5 ෂෙකෙම්හි ද ෂිලෝහි ද සමාරියේ ද සිටි මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාගෙන, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පුද කරන පිණිස ආහාර පූජා ද ගන්ධරස ද රැගෙන ආහ. 6 නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිශ්පා සිට පිටත් වී අඬ අඬා ඔවුන් පෙරමඟට ගියේ ය. ඔවුන් මුණගැසුණු විට, ”අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට පැමිණෙන්නැ”යි ඔහු ඔවුන්ට කීවේ ය. 7 ඔවුන් නගරය මැදට පැමිණි විට, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිස්සු ඔවුන් මරා වළකට හෙළූ හ.
8 එහෙත්, ඔවුන් අතරෙහි සිටි මිනිසුන් දසදෙනෙක් ඉෂ්මායෙල්ට කතා කොට, ”අප නොමරන්න. මන්ද, කෙතෙහි සඟවා තිබෙන තිරිඟු ද යව ද මී පැණි ද තෙල් ද අප ළඟ තිබේ ය”යි කී හ. එවිට ඔහු ඔවුන් ද ඔවුන්ගේ සහකාරයන් ද නොමරා ඉතුරු කෙළේ ය. 9 ඉෂ්මායෙල් තමා විසින් මරන ලද මිනිසුන් හෙළාදැමූ වළ විශාල එකකි. එය ආසා රජු විසින් ඉශ්රායෙල්වරුන්ගේ රජු වූ බයෙෂාගෙන් ආරක්ෂා වන පිණිස සාදන ලද වළ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් තමා මැරූ අයගේ මළකඳන්වලින් ඒ වළ පිරෙව්වේ ය. 10 තවද ඉෂ්මායෙල්, සෙනඟගෙන් ඉතිරි වී මිශ්පාහි සිටි සියල්ලන් එනම්, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර දෙන ලද රාජ කුමරිකාවන් ද මිශ්පාහි ඉතිරි ව සිටි මුළු සෙනඟ ද සිරබාරයට ගත්තේ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ඔවුන් ගෙන අම්මොන්වරුන්ගේ දේශයට යන්නට පිටත් විය.
11 එහෙත්, කාරේයාගේ පුත් ජොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීහු ද නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් කළ සියලු අපරාධ ගැන අසා, 12 සියලු මිනිසුන් රැස් කරගෙන නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්ට විරුද්ධ ව යුද්ධ කරන්න පිටත් වූ හ. ඔහු ගිබියොන්හි තිබෙන මහා ජලාශය ළඟ දී ඔවුන්ට මුණගැසුණේ ය. 13 එවිට ඉෂ්මායෙල් සමඟ සිටි මුළු සෙනඟ කාරේයාගේ පුත් ජොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන් ද දුටු විට සන්තෝෂ වූ හ. 14 මිශ්පාහි සිට ඉෂ්මායෙල් අල්ලාගෙන ගිය මුළු සෙනඟ නැවත හැරී කාරේයාගේ පුත් ජොහානාන්ට එකතු වූ හ. 15 එහෙත්, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිනිසුන් අටදෙනෙකු සමඟ ජොහානාන්ගෙන් ගැළවී අම්මොන්වරුන්ගේ දේශයට පලා ගියේ ය.
16 කාරේයාගේ පුත් ජොහානාන් ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතියෝ ද නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියා මරනු ලැබූ පසු, මිශ්පාහි ඉතිරි ව සිටි, ඔහු කෙරෙන් ආපසු ගෙන යන ලද ඉතිරි ව සිටි මුළු සෙනඟ වන යුද්ධ භටයන් ද ස්ත්‍රින් ද දරුවන් ද නපුංසකයන් ද ගිබියොන් නගරයෙන් කැඳවාගෙන ගොස්, 17 බබිලෝනිවරුන්ගෙන් ඈත් වී මිසරයට ඇතුළු වන්නට යන පිණිස බෙත්ලෙහෙම අසල තිබෙන ගෙරුත් කිම්හාම්ගේ නවාතැනෙහි නවාතැන් ගත්හ. 18 එසේ කෙළේ, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත් කරන ලද අහිකාම්ගේ පුත් ගෙදලියාව මැරූ බැවින් ඔවුන්ට බිය වූ නිසා ය.

 

– 42 වන පරිච්ඡේදය –

සෙනඟ ජෙරමියාට කන්නලව් කිරීම

1 එවිට සේනාවල සියලු අධිපතියෝ ද කාරේයාගේ පුත් ජොහානාන් ද හෝෂායාගේ පුත් ජෙසනියා ද ලොකු කුඩා සියල්ලෝ ද 2 දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, ”අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි. 3 අප යා යුතු මාර්ගයත්, කළ යුතු දේත් පෙන්වන ලෙස ඔබේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී හ.
4 එවිට දිවැසිවර ජෙරමියා, ”ඔබ හැම කී දේ ඇසීමි; ඔබේ ඉල්ලීම අනුව ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කොට, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිළිතුර කිසිවක් නොසඟවා ඔබට දන්වන්නෙමි”යි ඔවුන්ට කීවේ ය.
5 එවිට ඔව්හු ජෙරමියා අමතා, ”ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ මඟින් අපට අණ කරන සියල්ල අප නොපිළිපැද්දොත් සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව සැබෑ විශ්වාසී සාක්ෂිකාරයෙක් වන සේක් වා! 6 අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වීමෙන් අපට යහපත සිද්ධ වන පිණිස උන් වහන්සේ වෙත අපි ඔබ යවම්හ. හොඳක් වුවත්, නොහොඳක් වුවත් අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට අපි කීකරු වන්නෙමු”යි ජෙරමියාට කී හ.

සමිඳුන්ගේ පිළිතුර

7 දස දිනකට පසු සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක. 8 එවිට ඔහු කාරේයාගේ පුත් ජොහානාන් ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන් ද ලොකු කුඩා සියලු දෙනා ද කැඳවා ඔවුන්ට කතා කොට මෙසේ කී ය: 9 ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේට ඔබේ කන්නලව්ව ඔප්පු කරන පිණිස ඔබ මා යැවුවහු ය. උන් වහන්සේ මෙසේ වදාරන සේක: 10 ‘නුඹලා මේ දේශයේ ම සිටින්නට කැමැත්තහු නම්, මම නුඹලා නොවනසා පිහිටුවන්නෙමි. නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මන්ද, මා නුඹලාට පැමිණෙවූ විපත්ති ගැන කණගාටු වෙමි. 11 නුඹලා බියෙන් සිටින බබිලෝනියේ රජුට බිය නොවන්න. නුඹලා ගළවා, ඔහුගේ අතින් මුදන්නට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට බිය නොවන්න. 12 ඔහු නුඹලාට අනුකම්පා කොට නුඹලාගේ දේශයෙහි වාසය කිරීමට ඉඩ දෙනු පිණිස නුඹලා කෙරෙහි දයාව පෑමට මම සලස්වන්නෙමි.
13 ”එහෙත් නුඹලා, අපි මේ දේශයේ නොසිටින්නෙමු යි කියමින් නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු නොවී, කතා කොට, 14 ‘නැත, අපි මිසර දේශයට යන්නෙමු; එහි දී යුද්ධයක් දකින්නට වත්, හොරණෑ ශබ්දය අසන්නට වත්, කෑම නැති ව බඩගින්නේ ඉන්නට වත් සිදු වන්නේ නැත; අපි එහි සිටින්නෙමු’යි කියන්නහු නම්, 15 එම්බා, ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස, සමිඳාණන් වහන්සේගේ වචනය අහන්න. මෙසේ වදාරන්නේ ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ය. නුඹලා මිසර දේශයට පා තබා එහි ගොස් ජීවත් වන්නට ඉටාගන්නහු නම්, 16 නුඹලා බියගන්වන කඩුව මිසර දේශයේ දී නුඹලා පිට පැමිණෙන්නේ ය. නුඹලා බියපත් කරවන සාගතය මිසර දේශයට ම නුඹලා ලුහුබැඳ යන්නේ ය. එහි දී නුඹලා මැරෙන්නහු ය. 17 මිසරයෙහි ජීවත් ව සිටින පිණිස එහි යන්නට අදිටන් කරගන්න සියලු ම මිනිස්සු කඩුවෙනුත්, සාගතයෙනුත්, වසංගතයෙනුත් නසින්නෝ ය. මා ඔවුන් පිට පමුණුවන විපත්තියෙන් ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතිරි නොවන්නෝ ය.
18 ” ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මාගේ උදහසත්, කෝපයත් ජෙරුසලමේ වැසියන් පිට වැගුරුණු ලෙස, නුඹලා මිසරයට පැමිණි විට නුඹලා පිට ද මාගේ කෝපය වැගිරෙනු ඇත. අනුන්ගේ පිළිකුලට හා සමච්චලයට ද භීතියට හා සාපයට ද භාජන වන්නහු ය. කිසි කලක මේ ස්ථානය නුඹලා නොදකින්නහු ය.’ ”
19 ජෙරමියා තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: ”ජුදාහි ඉතිරි ව සිටින ජනයෙනි මිසරයට නොයන්නැ යි සමිඳාණන් වහන්සේ ඔබ හැමට කියා ඇත. මා අද ඔබට අවවාද කළ බව හොඳට සිතට ගන්න. 20 ඔබේ ප්‍රාණවලට හානිවන විධියට ඔබ නොමඟ ගොස් ඇත. ‘අපේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සියල්ල ඒ හැටියට අපට දන්වන්න. අපි එය කරන්නෙමු’යි ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට කන්නලව් කිරීමට ඔබ මා යැවුවහු ය. 21 එය මම අද ඔබට දැන්වූයෙමි. එහෙත්, ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට වත්, උන් වහන්සේ මා ලවා ඔබට කියා එවූ කිසිවකට වත් ඔබ කීකරු වුණේ නැත. 22 ඉතින් ඔබ කලක් නවතින්නට යන්න ආශා වන ස්ථානයේ දී ඔබ සැම කඩුවෙනුත්, සාගතයෙනුත්, වසංගතයෙනුත් නසින බව සැබැවින් ම දැන ගන්නැ”යි කීවේ ය.

 

– 43 වන පරිච්ඡේදය –

ජෙරමියා මිසරයට ගෙනයනු ලැබීම

1 සෙනඟගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සියලු වචන උන් වහන්සේගේ සෙනඟට කියන පිණිස යවනු ලැබූ ජෙරමියා, ඒ සියලු වචන මුළු සෙනඟට ප්‍රකාශ කර නිම කෙළේ ය. 2 එකල හෝෂායාගේ පුත් අසරියා ද කාරේයාගේ පුත් ජොහානාන් ද උඩඟු වූ අනෙක් සියලු මනුෂ්‍යයෝ ද ජෙරමියාට කතා කොට, ”ඔබ බොරු කියන්නෙහි ය. මිසරයෙහි ජීවත් වන්නට එහි නොයන්නැ යි කියන පිණිස අපේ දෙවි ස්වාමීන් වහන්සේ අප වෙත ඔබ එව්වේ නැත. 3 බබිලෝනිවරුන් අප මරන්නට හෝ බබිලෝනියට අප අල්ලාගෙන යන්නට හෝ ඔවුන්ගේ අතට අප පාවා දෙන පිණිස නේරියාගේ පුත් බාරුක් අපට විරුද්ධ ව ඔබ පොළඹ වන්නේ ය”යි කී හ. 4 මෙසේ කාරේයාගේ පුත් ජොහානාන් ද සේනාවල සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද ජුදා දේශයෙහි නැවතී සිටින පිණිස සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නො වූ හ. 5 එහෙත්, කාරේයාගේ පුත් ජොහානාන් සහ සේනාවල අධිපතීහු ද විජාතීන් අතරට පන්නනු ලැබූ නමුත්, ජුදා දේශයෙහි සිටීමට ඒ සියලු ජාතීන් අතරෙන් හැරී ආ ඉතිරි ව සිටි සියලු ජුදෙව්වරුන් වන, 6 පුරුෂයෝ ද ස්ත්‍රීහු ද දරුවෝ ද රාජ කුමාරිකාවෝ ද රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් විසින් ෂාපාන්ගේ පුත් වූ අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත නවත්වනු ලැබූ සියලු දෙනා ද යන මොවුහු දිවැසිවර ජෙරමියා ද නේරියාගේ පුත් බාරුක් ද රැගෙන, 7 සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී මිසර දේශයට පැමිණියහ. තවද, ඔව්හු තාපන්හේස් දක්වා ගියහ.
8 එකල තාපන්හේස්හි දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක: 9 ”නුඹේ අතින් ලොකු ගල් රැගෙන ජුදෙව්වරුන් බලා සිටිය දී තාපන්හේස්හි පාරාවෝගේ මාලිගාවේ දොරටුවෙහි තිබෙන ගඩොල් වේදිකාවේ බදාම තුළ සඟවා තබන්න. 10 ඉන්පසු ඔවුන්ට කතා කොට ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න. ‘බලන්න, මම මිනිසුන් යවා මාගේ සේවක, බබිලෝනියේ රජු වන, නෙබුකද්නෙශර් ගෙන්වා, මා සඟවා තැබූ මේ ගල් මත ඔහුගේ සිංහාසනය පිහිටුවන්නෙමි. ඔහු ද තමාගේ රාජකීය සේසත එයට ඉහළින් තබනු ඇත. 11 ඔහු අවුත් මිසර දේශයට පහර දෙනු ඇත. වසංගතයට නියම වූ අය වසංගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත්, කඩුවට නියම වූ අය කඩුවටත් ගොදුරු වනු ඇත. 12 මම ද මිසරයේ දේවාල ගිනිබත් කරන්නෙමි. බබිලෝනියේ රජු ලවා ඒ දෙවිවරුන් පුළුස්සාදැමීමට හෝ ඔවුන් පැහැරගෙන යාමට හෝ සලස්වන්නෙමි. එඬේරෙකු තමාගේ ඇඳුමේ ඇති කිනිතුල්ලන් පිස දමා පවිත්‍ර කරන්නාක් මෙන් බබිලෝනියේ රජ මිසර දේශය පවිත්‍ර කර ජයාන්විත ව එතැනින් පිටත් ව යන්නේ ය. 13 ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුළුණු බිඳදමා, මිසරයේ දේවාල ගින්නෙන් දවාලන්නේ ය.’ ”

 

– 44 වන පරිච්ඡේදය –

මිසරයේ ජුදෙව්වරුන්ට පණිවුඩය

1 මිසර දේශයේ මිග්දොල්හි ද තාපන්හේස්හි ද නොප්හි ද පත්‍රෝස්හි ද වාසය කළ සියලු ජුදෙව්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක. 2 ”ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මා ජෙරුසලමටත්, ජුදාහි සියලු නගරවලටත් පැමිණෙවූ සියලු විපත්ති නුඹලා දුටුවහු ය. බලන්න, අද ඒවා නටබුන් වී තිබේ. කිසිවෙක් එහි නොවසති. 3 එසේ වූයේ, ඔවුන් වත්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් නොඇදහූ අන් දෙවිවරුන්ට සේවය කිරීමෙන් හා සුවඳ දුම් පිදීමට යාමෙන්, මා කෝප කරවන ලෙස නුඹලා කළ නුඹලාගේ අධර්මිෂ්ඨකම් නිසා ය. 4 මම ද, අහෝ, මා ද්වේෂ කරන ඔය පිළිකුල් දෙය නොකරන්නැ යි කියන්නට දිවැසිවරුන් වන මාගේ සියලු සේවකයන් වැළ නොකැඩී නුඹලා වෙත එවුවෙමි. 5 එහෙත්, නුඹලා සවන් දුන්නේ වත්, සිතට ගත්තේ වත් නැත. අන් දෙවිවරුන්ට පූජා කිරීමේ දුෂ්ට පිළිවෙත නුඹලා අත්හැරියේ නැත. 6 ඒ නිසා මාගේ උදහස ද කෝපය ද ජුදාහි නගර පිටත්, ජෙරුසලමේ වීදිවලත් වගුරුවා මම ඒවා ගිනි ලෑවෙමි. ඒවා නැතිනාස්ති වී තිබෙන අයුරු අද වුව ද දක්නට ලැබේ.
7 ”එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවියන් වහන්සේ වන මම නුඹලාගෙන් මෙසේ ප්‍රශ්න කරමි: නුඹලාගෙන් කිසිවෙකු ඉතුරු නොවන ලෙස, නුඹලාගේ පුරුෂයන් ද ස්ත්‍රීන් ද ළදරුවන් ද කිරි දරුවන් ද ජුදෙව්වරුන් අතරෙන් සිඳදැමීමට කාරණය වන මේ මහත් නපුර කෙළේ මන් ද? 8 නුඹලා පදිංචි වන පිණිස පැමිණි මිසර දේශයේ දී, නුඹලාගේ පිළිමවලට හා අන් දෙවිවරුන්ට කරන පූජා කරණකොටගෙන මා කෝප කරවන්නේ මන් ද? මේ හේතුවෙන් සියල්ලන් විසින් නුඹලා අත්හරිනු ලැබ, මිහි පිට හැම ජාතීන් ඉදිරියෙහි නුඹලා නින්දාවටත්, සාපයටත් ගොදුරු වන්නහු ය. 9 ජුදා දේශයෙහිත්, ජෙරුසලමේ වීදිවලත් කරන ලද නුඹලාගේ පියවරුන්ගේ දුෂ්ටකම් ද ජුදාහි රජවරුන්ගේ දුෂ්ටකම් ද ඔවුන්ගේ භාර්යාවන්ගේ දුෂ්ටකම් ද නුඹලාගේ ම දුෂ්ටකම් ද නුඹලාගේ භාර්යාවන්ගේ දුෂ්ටකම් ද නුඹලාට අමතක වී තිබේ ද? 10 නුඹලා අද දවස දක්වා ම යටත් වුණේ වත්, ගරුබිය පෑවේ වත්, මා නුඹලා සහ නුඹලාගේ පියවරුන් ඉදිරියෙහි තබන ලද මාගේ අණපණත් ද නියෝග ද ප්‍රකාරයට හැසුරුණේ වත් නැත.
11 ”එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ කියමි. ජුදා දේශය විනාශ වන ලෙස විපත් පැමිණවීමට මම තීරණය කරගතිමි. 12 මිසර දේශයෙහි පදිංචි වන පිණිස එහි පැමිණි ජුදාහි ඉතිරි ව සිටින සෙනඟ සියල්ලන් ම රැගෙන මම විනාශ කරන්නෙමි. ඔව්හු සියල්ලෝ ම මිසර දේශයේ දී කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය; ලොකු කුඩා සියල්ලෝ ම කඩුවෙන් ද සාගතයෙන් ද මැරෙන්නෝ ය. ඔව්හු සියල්ලන් ඉදිරියෙහි පිළිකුලක් ද සාපයක් ද භීතියක් ද සමච්චලයක් ද වන්නෝ ය. 13 මම ජෙරුසලමට දඬුවම් කළ පරිදි මිසර දේශයෙහි වාසය කරන්නන්ටත් කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි. 14 මිසර දේශයෙහි පදිංචි වන පිණිස පැමිණි ජුදාහි ඉතිරි වූ සෙනඟගෙන් කිසිවෙක් ගැළවෙන්නේ වත්, ඉතිරිවන්නේ වත් නැත. කෙතරම් ආශා වෙතත්, කිසිවෙකුට ආපසු ජුදා දේශයට පැමිණෙන්නට හැකි වන්නේ නැත. පලා යන සමහරුන් හැර අන් කිසිවෙක් හැරී නොඑන්නෝ ය.”
15 එවිට තමන්ගේ භාර්යාවන් අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන බව දත් සියලු පුරුෂයෝ ද මහා ජනකායක් ව ළඟ සිටි සියලු ස්ත්‍රීහු ද මිසර දේශයේ පත්‍රෝස්හි විසූ මුළු සෙනඟ ද ජෙරමියාට මෙසේ කී හ: 16 ”ඔබ සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපට කී වචනය ගැන අපි ඔබට කන් නොදෙන්නෙමු. 17 අප ගත් තීරණය ලෙස ම, අප ද අපේ පියවරුන් ද අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද ජුදා නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළාක් මෙන්, අපි ‘අහස් රැජින’ නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කොට, ඈට පානීය පූජාවන් පුද කරන්නෙමු. මන්ද, ඒ කාලයේ අපි ආහාර බහුල ව ලබාගත්තෙමු. කිසි විපතක් නැති ව සැපසේ සිටියෙමු. 18 එහෙත්, අප අහස් රැජින නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කිරීමත්, ඈට පානීය පූජා වැගිරවීමත් අත්හැරිය දින සිට සෑම දේ ම අපට හිඟ වී, අපි කඩුවෙන් ද සාගතයෙන් ද නැති වුණෙමු.”
19 ස්ත්‍රීවරු තවදුරටත් කතා කරමින්, ”අප අහස් රැජින නම් දේවතාවියගේ ස්වරූපය අනුව රසකැවිලි සාදා ඈට පූජා කර, සුවඳ දුම් ඔප්පු කර, පානීය පූජා වැගිරෙවූ විට, එසේ කිරීමට අපේ පුරුෂයන්ගේ අනුමතය අපට නොලැබිණි දැ”යි ප්‍රශ්න කළහ.
20 එවිට ජෙරමියා මුළු සෙනඟ වන පුරුෂයන්ටත්, ස්ත්‍රීන්ටත් එනම්, ඔහුට ඒ උත්තර දුන් මුළු ජනතාවට කතා කොට, 21 ”ඔබ ද ඔබේ පියවරුන් ද ඔබේ රජවරුන් ද ඔබේ අධිපතීන් ද දේශයෙහි සෙනඟ ද ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළ සුවඳ දුම් පූජා සමිඳාණන් වහන්සේ අමතක කළ සේක් ද? 22 එසේ ඔබේ දුෂ්ටකම් ද ඔබ කළ පිළිකුල් ක්‍රියා ද සමිඳාණන් වහන්සේට තවත් ඉවසන්නට නොහැකි විය. එබැවින් ඔබේ දේශය අද තිබෙන හැටියට වැසියෙකු නැති ව, පාළු වී, සාප ලද්දක් ව තිබේ; 23 ඔබ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී, උන් වහන්සේගේ අණපණත් ද නියෝග ද ශික්ෂා පද ද අනුව නොහැසිර, සුවඳ දුම් පුද කළ නිසාත්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසාත් අද දකින්නට ලැබෙන මේ මුළු විපත්තිය ඔබට පැමිණ තිබේ යැ”යි කීවේ ය.
24 තවද, ජෙරමියා මුළු සෙනඟටත්, සියලු ස්ත්‍රීන්ටත් කතා කොට, ”මිසර දේශයේ සිටින ජුදාවරුනි, සමිඳාණන් වහන්සේගේ වචන අසන්න. 25 ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. ” ‘අහස් රැජින නම් දේවතාවියට අප බාර හාර වූ ප්‍රකාර සුවඳ දුම් ඔප්පු කොට ඈට පානීය පූජා අපි පුද කරමු’යි කියමින් නුඹලා ද නුඹලාගේ භාර්යාවෝ ද පොරොන්දු වූ ලෙස ඒවා ඉෂ්ට කළහ. හොඳයි, ඒවා ස්ථිර කර ඉෂ්ට කරන්න. 26 එබැවින් මිසර දේශයෙහි වසන සියලු ජුදාවරුනි, ස්වාමීන් වන මා මාගේ පරාක්‍රමවත් නාමයෙන් මිසර දේශයේ වසන සියලු ජුදෙව්වරුන්ට කියන දේට සවන් දෙන්න. මින්පසු, කිසි කලක නුඹලාගෙන් කිසිවෙකුට ‘මම ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දිවුරමි’ යන දිවුරුම් පාඨය කියා දිවිරීමට මම ඉඩ නොදෙන්නෙමි. 27 නුඹලාට සැපත නොව, විපත පැමිණෙන ලෙස මම වගබලාගන්නෙමි. මිසර දේශයෙහි සිටින සියලු ම ජුදෙව්වරු නැත්තට ම නැති වන තුරු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය. 28 එහෙත්, නුඹලාගෙන් ස්වල්ප දෙනෙක් මරණයෙන් ගැළවී, මිසරයෙන් හැරී ආපසු ජුදාවට පැමිණෙති. එවිට ජුදාවෙන් මිසර දේශයට පැමිණි සෙනඟගෙන් ඉතිරි ව සිටින අය, ස්ථිර වූයේ ඔවුන් කී දේ ද මා කී දේ ද කියා දැනගනු ඇත. 29 නුඹලාගේ විපත ප්‍රකාශ කළ මාගේ වචනය සැබැවින් ම ස්ථීර වන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේ දී මා නුඹලාට දඬුවම් කරන බවට ලකුණ මෙය වේ. ස්වාමීන් වන මම නුඹලාට කියමි. 30 මා විසින් ජුදාහි රජු වූ ශෙදෙකියා ඔහුගේ ප්‍රාණය හානි කරන්නට සෙවූ ඔහුගේ සතුරා වූ බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් අතට පාවා දුන් ලෙස, මිසරයේ රජ වූ පාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතට ද ඔහුගේ ප්‍රාණය හානි කරන්නට සොයන්නන් අතට ද පාවා දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

 

– 45 වන පරිච්ඡේදය –

බාරුක්ට දෙවියන් වහන්සේගේ පොරොන්දුව

1 ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී නේරියාගේ පුත් බාරුක් දිවැසිවර ජෙරමියාගේ මුඛයෙන් අසා මේ වචන පොතක ලියුවේ ය. 2 ජෙරමියා බාරුක් අමතා, ”ඉශ්රායෙල්වරුන්ගේ, දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි කී ය. 3 ” ‘අහෝ මට වන විපතක මහත! සමිඳාණන් වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතු කළ සේක. මම මාගේ සුසුම්ලෑමෙන් වෙහෙස ව සිටිමි. සහනයක් මට ලැබී නැතැ’යි නුඹ කීයෙහි ය.”
4 සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, ”බාරුක්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. ”බලන්න, මම ගොඩනැඟුවා වූ දෙය කඩාදමමි. මම සිටෙවූ දෙය උදුරාදමමි. මුළු දේශයට ම මෙසේ වන්නේ ය. 5 නුඹ නුඹේ ම වාසිය තකා ලොකු දේවල් සොයන්නෙහි ද? එසේ නොසොයන්න. මන්ද, සකල මනුෂ්‍ය වර්ගයා පිට මම විපත්තිය පමුණුවන්නෙමි. එහෙත්, නුඹ පමණක් යන යන තැන පණ රැකගන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

 

– 46 වන පරිච්ඡේදය –

මිසරයේ පරාජය

1 ජාතීන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක. 2 මිසර දේශය ගැන උන් වහන්සේ වදාළ දේ මෙය යි. ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී යුප්‍රටීස් ගංගාව ළඟ කර්කෙමිෂ්හි සිටියා වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් පහර දෙන ලද මිසරයේ රජ වූ පාරාවෝ-නෙකෝගේ සේනාව ගැන මෙසේ වදාළ සේක:
3 ”කුඩා පලිහ සහ මහා පලිහ සූදානම් කරගෙන සටනට යන්න;
4 රථවල අසුන් බැඳගන්න;
අසරුවෙනි, යුද හිස් වැසුම් දමාගෙන පෙළ ගැසී සිටින්න;
හෙල්ල තියුණු කරගන්න;
යුද සැට්ට හැඳගන්න.
5 ඔවුන් කැළඹී ආපසු හැරෙනු ඇත.
එබන්දක් මට දකින්නට ලැබුණේ මන් ද?
ඔවුන්ගේ බලවන්තයෝ පැරදී ආපසු නොබලා, හදිසියේ පලා ගියෝ ය.
සතර දිගින් ම භීතිය ඇත.
සමිඳාණෝ මෙසේ වදාරන සේක.
6 ශීඝ්‍ර ලෙස දුවන්නන්ට බේරී යන්න බැරි ය;
හේවායන්ට ගැළවී යන්න බැරි ය;
ඔව්හු උතුරු දිශාවේ යුප්‍රටීස් ගංගාව ළඟ දී පැකිළී වැටුණෝ ය.
7 නයිල් ගංගාව මෙන් ද රැළ ගසන ගංගාවල් මෙන් ද නැඟී එන මොහු කවු ද?
8 මොහු වනාහි නයිල් ගඟ මෙන් ගලන, එහි ජලධාරාවන් මෙන් රැළ ගසන මිසරය ය.
‘මම නැඟිට ගොස් දේශය යට කර එහි නගරවලට ද වැසියන්ට ද පහර දෙමි’යි මිසරය කියන්නේ ය.
9 අශ්වයෙනි, නැඟිටින්න;
රථයෙනි, වේගයෙන් දුවන්න;
හේවායෙනි, ඉදිරියට යන්න.
පලිහ හුරු පුරුදු එතියෝපියවරුනි, පුට්වරුනි, දුනු තැත් කවන ලුද්වරුනි, ඉදිරියට එන්න.”
10 ඒ දවස වනාහි ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන්ගේ දවස ය.
එතුමන්ගේ සතුරන්ට දඬුවම් දීමේ දවස ය.
එතුමන්ගේ කඩුව ඔවුන් නසා වනසා සෑහීමට පැමිණෙන්නේ ය;
ඔවුන්ගේ ලේවලින් මත් වන්නේ ය.
මන්ද, එය වනාහි උතුරු දේශයේ යුප්‍රටීස් ගංගාව ළඟ ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන් වෙත කළ යාගයකි.
11 එම්බා, මිසර වැසියෙනි, ගිලියද්ට ගොස්, ගුගුල් නම් ඖෂධය ලබාගන්න.
නුඹ බොහෝ බෙහෙත් පාවිච්චි කිරීම නිෂ්ඵල ය.
නුඹට සුවයක් නැත.
12 විජාතීන් නුඹට පත් නින්දාව ගැන අසා තිබේ.
ඔබේ කෑගැසීමෙන් පොළොව පිරී තිබේ.
මන්ද, සෙබළු එකිනෙකා සමඟ ගැටී දෙදෙන ම එකට ඇද වැටෙන්නෝ ය.

නෙබුකද්නෙශර්ගේ පැමිණීම

13 මිසර දේශයට පහර දීමට බබිලෝනියේ රජු වූ නබුකද්නෙශර්ගේ පැමිණීම ගැන සමිඳාණන් වහන්සේ දිවැසිවරයාට මෙසේ වදාළ සේක:
14 ”මිසරයෙහි ආරංචි කරමින් ද මිග්දොල්හි ප්‍රකාශ කරමින් ද නොප්හි හා තාපන්හේස්හි ප්‍රසිද්ධ කරමින් ද මෙසේ කියන්න, ‘නුඹලා ආරක්ෂා වන පිණිස සූදානම් වන්න;
මන්ද, නුඹලාට ඇති සියලු දේ යුද්ධයෙන් විනාශ වී යන්නේ ය.’
15 නුඹලාගේ බලසම්පන්න ගව දෙවියා පලා ගියේ ය.
ඔහුට ස්ථිර ව සිටීමට නොහැකි වී ද?
සමිඳාණෝ ඔහුට පහර දුන් සේක.
16 නුඹලාගේ හේවායෝ පැකිළී වැටෙන්නෝ ය.
ඔව්හු එකිනෙකා අමතා ‘නැඟිටින්න, අපේ සතුරන්ගේ කඩුවෙන් මිදී, අපේ දේශයේ අපේ සෙනඟ වෙත යමු’යි කියන්නෝ ය.
17 මිසරයේ රජු වන පාරාවෝ ද, ‘අවස්ථාව පැහැර හැරිය ඝෝෂකයා ය’යි නම් කරන්න.
18 සව් බලැති සමිඳාණෝ යැයි නම් දරන රජතුමාණෝ දිවුරා මෙසේ පවසන්නාහ:
ජීවමාන දෙවිඳා මම වෙමි;
නුඹලාට පහර දෙන තැනැත්තාගේ ශක්තිය කඳු අතරේ තාබෝර් කන්ද මෙන් ද මුහුද ළඟ තිබෙන
කර්මෙල් කන්ද මෙන් ද වන්නේ ය.
19 අහෝ මිසර දේශ වැසියෙනි, වහල්කමට යාමට බඩු භාණ්ඩ සූදානම් කරගන්න.
මන්ද, මෙම්පිස් නගරය ජනහීන, පාළු, නටබුන් ගොඩක් වන්නේ ය.
20 මිසරය වූකලී, උතුරු දේශයෙන් පැමිණි ඇටමැස්සන් රොක් වන ශෝභමාන එළ නෑම්බියක වැනි ය.
21 මිසරයේ සිටින කුලී හේවායෝ තර කරන ලද වස්සන් වැනි ය.
ඔවුන්ගේ විපත්ති දවස, ඔවුන්ගේ විනිශ්චයයේ දවස, එනම්, ඔවුන්ට දඬුවම් කිරීමේ දවස ඔවුන් වෙත ළඟා වූ නිසා ඔවුන්ට කෙළින් සිටීමට නොහැකි ව, ඔව්හු පසු බැස හැරී එක් ව පලා ගියෝ ය.
22 පොරෝ අතට ගත් ගස් හෙළන්නන් මෙන් සතුරු සේනා එන බැවින්, මිසරය සර්පයකු මෙන් සූ, සූ, ගාමින් පලා යන්නේ ය.
23 ඇතුළු වී ගමන් කිරීමට දුෂ්කර වූ කැළෑ ඔව්හු කපා දමන්නෝ ය.
ඔවුන්ගේ හේවායන්ගේ සංබ්‍යාව පළඟැටියන්ට වැඩි ය;
සෙනඟ ගණන් නොකළ හැකි ය.
24 මිසර වැස්සෝ ලජ්ජාවට පත් කරන ලද්දො‍් ය.
ඔව්හු උතුරු දේශයේ සෙනඟට යටත් වන්නෝ ය.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
25 සියලු බලැති ස්වාමීන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක; ”මෙන්න, මම තීබ්ස්හි දෙවියා වන ආමොන්ටත්, පාරාවෝටත්, මිසරයටත්, එහි දෙවිවරුන්ටත්, එහි රජවරුන්ටත්, පාරාවෝ කෙරේ විශ්වාසය තබන්නන්ටත් දඬුවම් කරමින්, 26 ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතටත්, බබිලෝනියේ නෙබුකද්නෙශර් අතටත්, ඔහුගේ සේවකයන් අතටත් ඔවුන් පාවා දෙන්නෙමි. එහෙත්, ඉන්පසු පෙර කාලයේ මෙන් ජනයා මිසරයෙහි ජීවත් වනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

සමිඳුන් සිය සෙනඟ මුදාගැනීම

27 ”මාගේ සේවක ජාකොබ්ගෙන් පැවත එන ජනයෙනි, බිය නොවන්න; ඉශ්රායෙල් වැසියෙනි, නොකැළඹෙන්න. මන්ද, නුඹලා වහල් වී සිටින ඒ දුර බැහැර දේශයෙන් මම නුඹලා සහ නුඹලාගේ පරපුර මුදන්නෙමි. නුඹලා පෙරළා අවුත්, සුරැකි ව සුව සේ ජීවත් වන්නහු ය. කිසිවෙකුගෙන් නුඹලාට බියක් ඇති වන්නේ නැත. 28 මාගේ සේවක ජනයෙනි, මා නුඹලා සමඟ සිටින බැවින් බිය නොවන්න. මම නුඹලා යම් ජාතීන් අතරට විසුරුවා හැරියෙම් ද, ඒ ජාතීන් තීන්දුවට ම නැති කරන නමුත්, නුඹලා විනාශ නොකරමි. එහෙත්, නුඹලා දඬුවමින් නිදහස් නොකරමි. යුතු පමණට නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

 

– 47 වන පරිච්ඡේදය –

පිලිස්තිවරුන්ගේ විනාශය

1 පාරාවෝ රජු ගාසා නගරයට පහර දෙන්නට පෙර පිලිස්තිවරුන් ගැන දිවැසිවර ජෙරමියාට කතා කර සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක:
2 ”බලන්න, වතුර උතුරෙන් ගලා අවුත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි ඇති සෑම දෙයක් ද නගරය සහ එහි වැසියන් ද උඩින් ගලා යන්නේ ය. මනුෂ්‍යයෝ ද කෑගසන්නෝ ය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝ ය.
3 ”අශ්වයන්ගේ කුර ගැටීමේ ශබ්දයත්, රථවල සට සට යන ශබ්දයත්, රෝදවල ගිගුරුම් ශබ්දයත් ඔවුන්ට ඇසෙන්නේ ය. තමන්ගේ අත් දුබල වී ඇති බැවින් පියවරු තමන්ගේ දරුවන් දෙස ආපසු හැරී නොබලන්නෝ ය.
4 ”ඒ ඉතිරි වූ සියලු ආධාරකරුවන් තීර් සහ සීදොන් කෙරෙන් වනසාලීම පිණිස, සියලු පිලිස්තිවරුන් නාස්ති කිරීමට පැමිණෙන දවස නිසා ය. මන්ද, ස්වාමීන් වන මා ක්‍රීත් මුහුදුබඩ දේශයෙහි ඉතිරි ව සිටින පිලිස්තිවරුන් නාස්ති කරන නිසා ය.
5 ”ගාසාහි ජනයා පිට මහා පීඩනයක් පැමිණ ඇත. අෂ්කෙලෝන්හි සෙනඟ විපතට පත් වී සිටිති. පිලිස්තියේ ඉතිරි සෙනඟ තව කොපමණ කල් තමන්ගේ ශරීර කපා කොටාගන්නෝ ද?
6 ”එම්බා සමිඳාණන් වහන්සේගේ කඩුව! නුඹ නිසොල්මන් වන්නේ කවදා ද? ‘නුඹේ කොපුවට ඇතුළු වී නැවතී නිසල ව සිටින්න’ කියා නුඹලා කියන්නහු ය.
7 ”ස්වාමීන් වන මා එයට කාර්යයක් භාර කර තිබෙන නිසා එය නිසල ව සිටින්නේ කෙසේ ද? අෂ්කෙලෝන්ටත්, මුහුදුබඩ වෙසෙන සෙනඟටත් පහර දෙන ලෙස මා එයට අණ කර ඇත.”

 

– 48 වන පරිච්ඡේදය –

මෝවබ්වරුන්ගේ විනාශය

1 ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෝවබ් ගැන වදාළ දේ මෙසේ ය: ”අහෝ, නෙබෝ‍් වැසියන්ට වන විපතක මහත! මන්ද, එය පාළු වී ඇත. කිරියාතයිම් ලජ්ජාවට පත් වී ඇත. සතුරා එය අල්ලාගෙන ඇත. එහි බලකොටු නින්දිත ලෙස බිඳදමා ඇත. මිස්ගාබ් ලජ්ජාවටත්, කැළඹීමටත් පැමිණියේ ය. 2 මෝවබ්හි කීර්තිය පහ වී ගොස් ඇත. ‘අපි මෝවබ් ජාතිය නැත්තට ම විනාශ කරමු’යි කියමින් හෙෂ්බොන්හි දී සතුරෝ කුමන්ත්‍රණ කරති. මද්මේන් නගරය නිහඬ වන්නේ ය. සතුරු සේනා ඊට පහර දෙන්නෝ ය. 3 නාස්තියත්, මහා විනාශයත් නිසා කෑමොරගැසීමේ හඬක් හොරොතයිම් කෙරෙන් නික්මෙන්නේ ය.
4 ”මෝවබ් විනාශ කරනු ලැබී ය. එහි කුඩා දරුවන්ගේ බෙරිහන් දීම සෝයාර් දක්වා ඇසේ.
5 ”ලුහිත්ට යන උඩහ පාරේ හැඩුම් පිට හැඩුම් නඟින්නේ ය. එසේ ය, හොරොතයිම්ට බැස යන පාරේ විනාශයේ දුක්ඛිත අඳෝනාව ඇසෙන්නේ ය.
6 ” ‘හනික, පණ බේරාගන්න පිණිස කාන්තාරයේ වල් බූරුවන් මෙන් දුවන්නැ’යි ඔව්හු කියති. 7 ”එම්බා මෝවබ්! නුඹ නුඹේ බලකොටු හා සම්පත කෙරෙහි නුඹේ විශ්වාසය තැබූ බැවින් නුඹත් ගෙනයනු ලබන්නෙහි ය. කෙමොෂ් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එකට වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.
8 ”සියලු නගරවලට විනාශකයා පැමිණෙන්නේ ය. කිසි ම නගරයක් නොගැළවෙන්නේ ය. ස්වාමීන් වන මා කී ලෙස මිටියාවත ද තැනිතලාව ද නැතිනාස්ති වන්නේ ය.
9 ”මෝවබ්ට සොහොනක් සකස් කරන්න. එය විගසින් විනාශ වන්නේ ය. එහි නගර පාළුවට යන්නේ ය. කිසිවෙක් එහි වාසය නොකරති.”
10 සමිඳාණන් වහන්සේගේ කාර්යයන් මුළු ධෛර්යය යොදා නොකරන්නන්ට සාප වේ වා! කඩුවෙන් ගසා නොමරන්නාටත් සාප වේ වා!

මෝවබ් නගර විනාශ කරනු ලැබීම

11 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මෝවබ් ජාතිය මුල් කාලයේ සිට සුරක්ෂිත ව පැවතිණි. කිසි කලක ඒ ජාතිය වහල්කමට ගෙනයනු නොලැබී ය. මෝවබ් වනාහි, භාජනයෙන් භාජනයට වත් නොකරනු ලැබූ, යටට මණ්ඩි බසින තෙක් භාජනයක නිශ්චල ව ඇති මිදියුස වැනි ය. එහි රස අඩු නොවී ඒ තුළ ම පැවැතේ. එහි සුවඳ වෙනස් වී නැත.
12 ”එබැවින් මෝවබ් ජාතිය මිදියුස මෙන් වත් කර, හළාදමන පිණිස සෙනඟක් එවන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු මිදියුස බඳුන් හිස් කොට ඒවා කැබෙලි කොට දමන්නෝ ය. 13 ඉශ්රායෙල් වංශය තමන් විශ්වාස කළ බෙතෙල් නම් දෙවියා නිසා ලජ්ජාවට පත් වූවා සේ මෝවබ් ජනයා තමන් විශ්වාස කළ කෙමොෂ් දෙවියා නිසා ලජ්ජාවට පත් වෙති.
14 ”මෝවබ් ජනයෙනි, නුඹලා ‘වීරයෝ ය’යි ද ‘යුද්ධයෙහි දක්ෂ හේවායෝ ය’යි ද තමන් ගැන ම පුරසාරම් දොඩන්නේ මන් ද?
15 ”මෝවබ් සහ එහි නගරවල විනාශකයා පැමිණෙයි. එහි කදිම තරුණයෝ මැරුම් කෑමට බැස ගියෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ නම් රජ තුමාණන් වන මම ය.
16 ”මෝවබ් රටේ විනාශය ළඟ ය. එහි විපත්තිය විගස පැමිණෙන්නේ ය.
17 ”මෝවබ් වට කර සිටින සියල්ලෙනි, එහි නාමය දන්න සියල්ලෙනි, ඒ රට ගැන විලාප කියන්න. ‘අහෝ! බලවත් ජයකොන්තය, අලංකාර සැරයටිය කැඩුණු හැටි ය’යි කියන්න.
18 ”අහෝ; දීබොන්හි වැසියෙනි! නුඹලාගේ තේජසින් බැස අවුත් බිම දූවිල්ලෙහි හිඳ ගන්න. මන්ද, මෝවබ් විනාශ කළ සතුරා නුඹලාට විරුද්ධ ව පැමිණ නුඹලාගේ බලකොටු විනාශ කරනු ඇත.
19 ”අහෝ, අරෝයෙරේහි වැසියෙනි! මඟ රැක බලා සිට, කුමක් සිදු වුණා දැ යි ගැළවී පලා යන ස්ත්‍රී පුරුෂයන්ගෙන් අසන්න.
20 ”ඔවුන් පිළිතුරු දෙමින්, ‘මෝවබ් බිඳ හෙළනු ලැබූ බැවින් එය ලජ්ජාවට පත් වී ඇත; ඒ ගැන හඬා වැලපෙන්න. මෝවබ් විනාශ කරනු ලැබී යයි අර්ණොන් ගං ඉවුරු දිගේ ප්‍රකාශ කරන්නැ’යි කියනු ඇත.
21 ”තැනිතලාවේ පිහිටි, හොලොන් ද ජහශා ද මෙපායත් ද 22 දීබොන් ද නෙබෝ ද බෙත්-දිබ්ලාතයිම් ද 23 කිරියාතයිම් ද බෙත්-ගාමුල් ද බෙත්-මෙයෝන් ද 24 කෙරියෝත් ද බොශ්රා ද යන නගර පිටත්, ළඟපාත හා ඈත ඇති මෝවබ් දේශයේ සියලු ම නගර පිටත් විනිශ්චය පැමිණ තිබේ. 25 මෝවබ්හි තෙද බලය බිඳ දමා ඇත; එහි පරාක්‍රමය විනාශ කර ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

මෝවබ් නින්දාවට පත්වීම

26 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”ස්වාමීන් වන මට විරුද්ධ ව මෝවබ් තමන් උසස් ලෙස සිතූ නිසා, ඔහු වෙරිමත් වූ මිනිසෙකු මෙන් වේ වා! ඔහු සිය වමනයෙහි පෙරළෙමින් සරදමට ලක් වේ වා! 27 මෝවබ්, නුඹට ඉශ්රායෙල් සරදමක් වුණා නොවේ ද? ඉශ්රායෙල් සොරුන් අතරේ සම්බ වී ද? නුඹ ඉශ්රායෙල් ගැන කතා කරන සෑම විට ම අවඥාවෙන් හිස වැනුවෙහි ය.
28 අහෝ මෝවබ් වැසියෙනි!
නගර අත්හැර පර්වතවල වාසය කරන්න.
ගුහා විවර පැතිවල කැදලි සාදන පරෙවියා මෙන් වන්න.
29 මෝවබ් ඉතා අහංකාරී ය.
එහි වැසියන්ගේ උඩඟුකමත්, ආඩම්බරයත්, උදාරකමත්, අහංකාරයත් ගැන මා අසා ඇත.
30 ඔවුන්ගේ අභිමානය ගැන සමිඳුන් වන මම අසා ඇත්තෙමි.
ඔවුන්ගේ පාරට්ටුවත්, ඔවුන්ගේ ක්‍රියාවලියත් නිෂ්ඵල ය.
31 එබැවින් මෝවබ් ගැන මුළු මෝවබ් ගැන වැලපෙන්නෙමි.
කීර්-හෙරෙස්හි මිනිසුන් ගැන වැලපෙන්නෙමි.
32 ජාසෙර්හි සෙනඟ ගැන වැලපෙනවාට වඩා මිදි වැලක් වැනි සිබ්මාහි සෙනඟ ගැන වැලපෙන්නෙමි.
එහි අතු මළ මුහුදෙන් එපිට විහිදී ජාසෙර් දක්වා පැතිර ගොස් ඇත.
එහෙත්, දැන් එහි ග්‍රීෂ්ම කාලයේ පල හා මුද්‍රික වලු පිට විනාශය පැමිණ ඇත.
33 මෝවබ් දේශයේ සරු කෙත්වලින් ප්‍රීති සන්තෝෂය පහ වී ගොස් ඇත.
මිදි මිරිකන යන්ත්‍රවල මිදියුස සිඳී යන්නට මම සැලැස්වීමි.
මිදි පල මිරිකා, මිදියුස සාදන්නන් නඟන ඝෝෂාව ප්‍රීති නාදයක් නොවේ.
34 ”හෙෂ්බොන්හි හා එලෙයාලේහි සෙනඟ මොරගසති. ඔවුන්ගේ මොරහඬ ජහශ් දක්වා ඇසේ; ශෝවර්හි ජනයාට එය ඇසේ. හොරොනායිම් හා එග්ලත්-ෂෙලීෂිය ද දක්වාත් ඇසේ. නිම්රිම්හි ජලය පවා හිඳී ගොස් ඇත. 35 මෝවබ්හි ගිරිකුළු දේවාලයන්හි පූජා කරන්නා ද තමාගේ දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන්නා ද මම නැති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
36 ”ඒ නිසා මාගේ සිත මෝවබ් ගැන ද කීර්-හෙරෙස් ගැන ද නළාවක් මෙන් දුක් හඬ නඟයි. මන්ද, ඔවුන් උපදවාගත් සම්පත් නැති වී ගොස් ඇත. 37 සියලු දෙනා ම හිස් මුඩු කරගෙන රැවුල් කපා දමා ඇත. ඔවුන් සිය අත් කපාකොටාගෙන ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන ඇත. 38 මෝවබ්හි සියලු පියසි උඩ ද එහි සියලු චතුරශ්‍රවල ද ඇසෙන්නේ වැලපීම පමණකි. මන්ද, කිසිවෙකුට වුවමනා නැති භාජනයක් පොඩි කරන්නාක් මෙන් මා මෝවබ් පොඩි කරදමා ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 39 බලන්න, මෝවබ් සුණු විසුණු වී තිබෙන හැටි! අහෝ! එහි සෙනඟ වැලපෙන හැටි! මෝවබ් ලජ්ජාවෙන් පිටුපා සිටින හැටි! මෙසේ මෝවබ් එය වටකර සිටි සියල්ලන්ට සරදමට හා භීතියට කරුණක් වී ඇත.”

මෝවබ්ට ගැළවීමක් නැති වීම

40 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”යම් ජාතියක් රාජාලියෙකු මෙන් වේගයෙන් ඉගිලී අවුත් මෝවබ්ට විරුද්ධ ව පියාපත් විහිදුවනු ඇතැ යි ස්වාමීන් වන මම කීවෙමි. 41 නගර සතුරාට අසු වනු ඇත; බලකොටු අල්ලා ගනු ලැබේ; මෝවබ්හි හේවායන්ගේ සිත ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් වන්නේ ය. 42 මෝවබ් තමන් උසස් ලෙස සැලකූ බැවින්, මින්පසු ජාතියක් ව නොසිටින ලෙස විනාශ කරනු ලබන්නේ ය. 43 අහෝ, මෝවබ් වැසියෙනි! භීතියත්, බොරු වළත්, මලපතත් නුඹලා ඉදිරියේ ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 44 භීතිය කෙරෙන් පලා යන්නා බොරු වළේ වැටේ; බොරු වළෙන් ගොඩ වන්නා මලපතට අසු වේ. මන්ද, මෝවබ්ට දඬුවම් දෙන අවුරුද්ද තුළ මේ සියලු විපත් ඔවුන්ට පමුණුවනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 45 පලා ගිය අය ආරක්ෂාව සොයා හෙෂ්බොන්හි නතර වී දුබල ව සිටිති. මන්ද, හෙෂ්බොන් සිට ගින්නක් නැඟී ඇත. සිහොන් මාලිගාවෙන් ගිනි දලුවක් පිට වී ඇත. එයින් මෝවබ් රටේ හා ඝෝෂාකාරී පුත්‍රයන්ගේ පළාතේ දේශ සීමා දවාලනු ඇත. 46 අහෝ, මෝවබ්! නුඹට වන විපතක මහත! කෙමොෂ්හි සෙනඟ විනාශ වී ඇත. නුඹේ දරුදැරියෝ වහල්කමට ගෙනයනු ලැබූ හ. 47 එහෙත්, මතු දවස්වල දී මම මෝවබ්ට සමෘද්ධිය යළි ඇති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. මෝවබ් ගැන විනිශ්චය මෙය වේ.”

 

– 49 වන පරිච්ඡේදය –

අම්මොන් පිළිබඳ විනිශ්චය

1 අම්මොන්වරුන් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක:”ඉශ්රායෙල් දේශයේ වැසියෝ නැද් ද? එයට උරුමක්කාරයෝ නැද් ද? ඇත්නම්, මල්කාම් දෙවියාට නමස්කාර කරමින් සෙනඟ ගාද් රට හිමි කරගෙන නගරවල වාසය කරන්නේ මන් ද? 2 මෙසේ වී තිබෙන බැවින්, රබ්බා නගරයේ වෙසෙන සෙනඟට යුද්ධ ඝෝෂාව ඇසෙන කාලයක් පැමිණෙන්නේ ය. අම්මොන්වරුන් සිටින ඒ නගරය නටබුන් ගොඩක් වන්නේ ය. ඊට අයිති ගම් ද ගින්නෙන් දවාලනු ලබන්නේ ය. එවිට සිය දේශයෙන් පන්නාදමන ලද ඉශ්රායෙල් ජනතාව සිය දේශය හිමි තමන් පැන්නුවන් ඔවුන්ගේ දේශයෙන් පන්නාදමති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 3 අහෝ, හෙෂ්බොන් වැසියෙනි! කෑමොරගසන්න; මන්ද, හායි නටබුන් ගොඩක් විය. එම්බා, රබ්බා වනිතාවෙනි! කෑගසමින්, ගෝණි රෙදි හැඳගෙන, විලාප කියමින් වැටකොටු අතරේ ඔබමොබ දුවන්න. මන්ද, මල්කාම් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එක් ව වහල්කමට යන්නෝ ය. 4 අවිශ්වාසී ජනයෙනි, නුඹලා සාරවත් මිටියාවත් ගැන පාරට්ටු කරගන්නේ කුමට ද? අපට විරුද්ධ ව පැමිණෙන්නෝ කවුරු දැ යි කියමින්, නුඹලාගේ වස්තු කෙරෙහි නුඹලා විශ්වාසය තබන්නහු ය. 5 නුඹලා වටකර සිටින සියල්ලන්ගෙන් නුඹලා පිට භීතියක් මම පමුණුවන්නෙමි. නුඹලා එකිනෙකා පන්නනු ලබන්නහු ය. පලා යන අය පිළිගැනීමට ද කිසිවෙක් නොවන්නෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.
6 ”එහෙත්, පසු ව අම්මොන්වරුන්ගේ වහල්කම මම පහකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

ඒදොම් පිළිබඳ විනිශ්චය

7 ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද?
දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද?
ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?
8 දෙදාන් වැසියෙනි, දුවන්න;
හැරී දුර බැහැරට ම ගොස් වාසය කරන්න.
මන්ද, මා විසින් ඒසව්ගේ පරපුරට දඬුවම් කරනු ලබන කාලය පැමිණ තිබෙන බැවින් මම ඔවුන් විනාශ කරදමමි.
9 මිදි පල නෙළන්නන් මිදි පල නෙළන්නට ආ විට ඔවුන්ගෙන් හැළෙන ඉතිරි මිදි පල ඇහිඳගන්නට ඉඩ හැරියේ නැද් ද?
රාත්‍රියේ සොරුන් ආවොත් ඔව්හු ඇති පමණට වඩා සොරකම් කරන්නෝ ද?
10 එහෙත්, මම කිසිත් ඉතිරි නොකොට, ඒසව්ගේ පරපුර වනසන්නෙමි. ඔවුන්ට තවත් සැඟවෙන්නට බැරි වන ලෙස ඔවුන් සැඟවී සිටින තැන් එළිදරව් කරන්නෙමි.
ඒදොම්හි ජනයා ද ඔවුන්ගේ ඥාතීහු ද අසල්වාසීහු ද විනාශ කරන ලදහ.
කිසිවෙක් ඉතිරි වන්නේ නැත.
11 නුඹලාගේ අනාථ දරුවන් මා සමඟ තබා යන්න, මම ඔවුන් රැකබලාගන්නෙමි.
නුඹලාගේ වැන්දඹුවෝ ද මා කෙරෙහි විශ්වාස කරත් වා.”
12 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”දඬුවම නමැති කුසලානෙන් පානය කිරීමට නුසුදුසු අය පවා පානය කළෝ නම්, නුඹලා දඬුවම් නොලබන්නහු ද? නැත. නුඹලා එය පානය කළ යුතු ම ය. 13 බොශ්රා නගරය භීතියට ද සරදමට ද පාළුවට ද සාපයට ද ලක් වන බව මම දිවුරා කියමි. එහි අසල නගර සදහට ම පාළු වී යනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
14 ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: ”ඒදොම්ට විරුද්ධ ව පහර දෙන පිණිස සේනාවක් සූදානම් කරගන්නැ යි කියන පිණිස විජාතීන් අතරට තානාපතියෙක් යවන ලද්දේ ය යන ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් මම ලදිමි. 15 නුඹලා විජාතීන් අතර දුබල ජාතියක් ද මිනිසුන් ඉදිරියෙහි නිවටකමට පත් වූ ජාතියක් ද කිරීමට සමිඳාණන් වහන්සේ සූදානම් වන සේක. 16 පර්වත ගුහාවල හා හෙල් මුදුන්වල වාසය කරන නුඹලා අනුන් බියගන්වන සුලු නුඹලාගේ සිත්හි උඩඟුකමෙන් රැවටී සිටින්නහු ය. නුඹලාගේ වාසස්ථානය රාජාලියෙකුගේ කූඩුව මෙන් ඉතා ඉහළින් පිහිටා ඇතත්, සමිඳාණන් වහන්සේ නුඹලා පහළට හෙළන සේක. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.”
17 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඒදොම් භීතියට හේතුවක් වන්නේ ය. ඒ අසලින් යන සියල්ලෝ විස්මයට පත් වී ඊට පැමිණ තිබෙන විපත්ති ගැන දොඩන්නෝ ය. 18 සොදොම්හි සහ ගොමොරාවේ ද එහි අසල නගරවල ද ඇති වූ විනාශය ඒදොම්ටත් සිදු වන්නේ ය. කිසි මිනිසෙක් එහි වාසය නොකරන්නේ ය. කිසිවෙක් එහි පදිංචි නොවන්නේ ය. 19 ජොර්දානයේ වන ලැහැබින් නික්ම සරු ගොදුරු බිම් කරා පැමිණෙන සිංහයෙකු මෙන් මම අවුත් ඒදොම් වැසියන්ට සිය දේශයෙන් පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා සතුටු කෙනෙකු තෝරාගෙන රට පාලනය කිරීමට පත් කරනු ඇත. මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? කවර නම් නායකයෙක් මට එදිරි වන්නේ ද? 20 ඒ නිසා, ඒදොම් වැසියන්ට විරුද්ධ ව කර ඇති යෝජනා ද තේමාන් නගර වැසියන්ට විරුද්ධ ව මා සූදානම් කර ඇති සැලසුම් ද ගැන සවන් දෙන්න. ඔවුන් කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. සියල්ලෝ ඔවුන්ගේ ඉරණම ගැන බියට පත් වන්නෝ ය. 21 ඒදොම් වැටෙන විට, ඒ ශබ්දයෙන් පොළොව කම්පා වී යන්නේ ය. ඔවුන්ගේ කෑගැසීමේ හඬ රතු මුහුද දක්වා ඇසෙනු ඇත. 22 සතුරා රාජාලියෙකු මෙන් නැඟී ඉගිලී අවුත්, බොශ්රා පිට සිය පියාපත් විදහා පානු ඇත. ඒ දවසේ දී ඒදොම්හි හේවායන්ගේ සිත් ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් භීතියට පත් වන්නේ ය.”

දමස්කය පිළිබඳ විනිශ්චය

23 දමස්කය ගැන සමිඳාණන් වහන්සේ වදාළ දේ මෙසේ ය:
”හමාත් හා අර්පාද් යන නගරවල වැසියන්ට නරක ආරංචියක් ලැබී ඇති බැවින් ඔව්හු කැළඹීමට පත් වී සිටිති.
චංචලය ඇති නිශ්චලයක් නැති මුහුද මෙන් ඔව්හු භීතියෙන් ඇලළී යති.
24 දමස්කයේ වැසියෝ බෙලහීන ව භීතියෙන් පලා යන්නට හැරී සිටිති.
ප්‍රසව වේදනාවෙන් සිටින ස්ත්‍රියක මෙන් ඔව්හු වේදනාවෙන් හා දුකෙන් මිරිකෙති.
25 කීර්තිමත්, ප්‍රීතිමත් නුවර දැන් පාළුවට ගොස් තිබෙන හැටි!
26 එබැවින් එහි තරුණයෝ චතුරශ්‍රයන්හි වැටෙන්නෝ ය.
ඒ දවසේ දී ඇගේ හේවායෝ විනාශයට පත් වන්නෝ ය.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
27 මම දමස්කයේ පවුරු ඇතුළත ගින්නක් දල්වා එයින් බෙන්-හදද්ගේ මාලිගා දවාදමන්නෙමි.”

කේදාර් හා හාශෝර් පිළිබඳ විනිශ්චය

28 බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් පහර දෙන ලද කේදාර් ගැනත්, හාශෝර්හි රාජ්‍යයන් ගැනත් සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක:
”නුඹලා නැඟිට කේදාර්ට විරුද්ධ ව ඉදිරියට ගමන් කරන්න;
පෙරදිග වසන ජනයා විනාශ කරදමන්න.
29 ඔවුන්ගේ කූඩාරම් ද බැටළු පට්ටි ද කූඩාරම්වල තිර ද සියලු භාණ්ඩ ද සතු කරගන්න.
ඔවුන්ගේ ඔටුවන් ද අයිති කරගන්න;
එවිට, ‘අවට භීතියෙන් පිරී ඇතැ’යි සෙනඟ මොරගසනු ඇත.
30 ‘හාශෝර් වැසියෙනි, පැන දුවන්න.
ඈතට පලා ගොස්, එපිට තැනක වාසය කරන්නැ’යි ස්වාමීන් වන මම කියමි.
මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් නුඹලාට විරුද්ධ ව උපක්‍රම යොදා ඇත;
31 දොරටු හෝ අගුල් හෝ නොමැති ව, සුරැකි ව සුව සේ වසන සෙනඟට පහර දීමට ඉදිරියට යන්න.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.
32 ඔවුන්ගේ ඔටුවන් ද ගව පට්ටි ද කොල්ලයට ගන්න.
හිස බූගාගන්න අය මම හැම අතට ම විසුරුවාදමන්නෙමි.
හැම දිශාවකින් ම ඔවුන් පිට විනාශය පමුණුවන්නෙමි.
මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.
33 හාශෝර්, හිවලුන්ගේ ගුහාවක් ද සදාකාල පාළුකරයක් ද වන්නේ ය.
කිසි ම මිනිසෙක් එහි වාසය කරන්නේ වත් එහි ජීවත් වන්නේ වත් නැත.”

ඒලාම් පිළිබඳ විනිශ්චය

34 ශෙදෙකියා රජු ජුදාහි රජකමට පත්වීමේ පටන්ගැන්මේ දී, ඒලාම් රට ගැන සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක: 35 ”ඒලාම් බලවත් රටක් කළ දුනුවායන් මම මරාදමමි. 36 මම ඒලාම්ට විරුද්ධ ව සතර කොනෙන් සුළං සතරක් හමන්න සලස්වා ඒ සුළඟින් එහි වැසියන් හැම අතට ම විසුරුවා දමන්නෙමි. ඒලාම් රටෙන් පන්නනු ලබන අය පලා නොයන රටක් නොවන්නේ ය. 37 එසේ ය, මම ඒලාම්වරුන්, ඔවුන්ගේ සතුරන් ද ඔවුන්ගේ ප්‍රාණය හානි කරන්න සොයන්නන් ද ඉදිරියෙහි බියගන්වා, මාගේ රුදුරු කෝපයෙන් ඔවුන් විනාශ කර, ඔවුන් සම්පූර්ණයෙන් වනසාලන තුරු මරණය ඔවුන් ලුහුබඳවා යන්න සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 38 ඒලාම්හි රජවරුන් ද අධිපතීන් ද විනාශ කරදමා මම මාගේ සිහසුන එහි පිහිටුවන්නෙමි. 39 එහෙත්, මතු දවස්වල දී ඒලාම් යළිත් සමෘද්ධිමත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

 

– 50 වන පරිච්ඡේදය –

බබිලෝනියේ වැටීම

1 කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනිය ගැන සමිඳාණන් වහන්සේ දිවැසිවර ජෙරමියාට දුන් පණිවුඩය මෙය වේ:
2 ” ‘බබිලෝනිය වැටී ඇත;
බේල් ලජ්ජාවට පත් වී ඇත;
මෙරොදක් කැළඹී සිටියි;
ඇගේ දේව රූප නින්දාවට ලක් වී ඇත.
ඇගේ රූප කැළඹීමට පත් වී ඇත’ යන ආරංචිය ජාතීන් අතරේ පතුරුවන්න.
එය ප්‍රකාශ කරන්න;
ධජ සංකේතයක් නංවා එය නොසඟවා ප්‍රසිද්ධ කරන්න.
3 මන්ද, බබිලෝනියට පහර දෙන පිණිස උතුරු දිගින් ජාතියක් පැමිණෙන්නේ ය.
ඔව්හු බබිලෝනිය පාළු කර දමන්නෝ ය.
කිසිවෙක් එහි නොවසන්නෝ ය.
මනුෂ්‍යයෝ ද මෘගයෝ ද පලා යන්නෝ ය.”

ඉශ්රායෙල් දරුවන් ආපසු පැමිණීම

4 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඒ දවස්වල දීත් ඒ කාලවල දීත් ඉශ්රායෙල්හි හා ජුදාවේ සෙනඟ එක් ව තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මා සොයමින් අඬ අඬා පැමිණෙන්නෝ ය. 5 ඔව්හු සියොන් කන්දට යන මාර්ගය කුමක් දැ යි අසමින් ඒ දෙසට ගමන් කරන්නෝ ය. ‘එන්න අපි සමිඳාණන් වහන්සේ සමඟ අමතක නොවන සදාතනික ගිවිසුමක් කරගනිමු’යි ඔව්හු කියන්නෝ ය.
6 ”මාගේ සෙනඟ නැති වූ බැටළුවන් මෙන් වෙති. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළා කර කඳුවල නැති වී යන්නට සැලැස්සුවෝ ය. ඔව්හු කන්දෙන් කන්දට ඇදී යමින් ඔවුන්ගේ ලැගුම් ගාල මතක නැති කළෝ ය. 7 ඔවුන්ට මුණගැසුණු සියල්ලෝ ම ඔවුන් ගොදුරු කොට ගත්තෝ ය. ඔවුන්ගේ එදිරිකාරයෝ කතා කොට, ‘ඔව්හු තමන්ගේ සරණය වන සමිඳාණන් වහන්සේට, එනම්, තමන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුව වූ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. අපි වැරදිකාරයෝ නොවමු’යි කීවෝ ය.
8 ”කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියේ සිටින ඉශ්රායෙල් ජනයෙනි, රැළට පෙරටුවෙන් යන එළුවන් මෙන් පලා යන්න. 9 මන්ද, මම උතුරු දේශයෙන් බලවත් ජාතීන් රැසක් බබිලෝනියට විරුද්ධ ව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් බබිලෝනියට විරුද්ධ ව සැරසී සිට එය අල්ලාගනු ඇත. ඔවුන් විදින ඊගස කවදාවත් හිස් අතින් ආපසු නොඑන දක්ෂ වීරයන් මෙන් ඒවායේ ඉලක්කය නොවරදවන්නේ ය. 10 බබිලෝනිය කොල්ලකනු ලැබේ. ඒ දේශයෙන් කොල්ලකන සියල්ලෝ ම තෘප්තියට පැමිණෙන්නෝ ය.”

බබිලෝනියේ විනාශය

11 ”බබිලෝනියේ වැසියෙනි, නුඹලා මාගේ දේශය කොල්ලකෑවහු ය.
ගොයම් මඩින එළ නෑම්බියක මෙන් නුඹලා පැන පැන සිටිමින්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරමින් ප්‍රීති වන්නහු ය.
12 නුඹලාගේ මවුබිම දැරිය නොහැකි නින්දාවටත්, අපවාදයටත් පාත්‍ර වී ඇත.
ජාතීන් අතරෙන් බබිලෝනිය ඉතා පහත් ජාතිය වන්නේ ය.
එය වතුර නැති වියළි බිමක් ද පාළුකරයක් ද මරුකතරක් ද වන්නේ ය.
13 මාගේ කෝපය නිසා කිසිවෙක් බබිලෝනියේ ජීවත් නොවෙති.
එය නටබුන් ගොඩක් වන්නේ ය.
බබිලෝනිය ළඟින් යන සියල්ලෝ ම එයට සිදු වී තිබෙන දේ ගැන විස්මයට පත් ව, ඊට වූ විපත්ති ගැන ඊට නින්දා කරන්නෝ ය.
14 දුනුවායෙනි, බබිලෝනියට විරුද්ධ ව එය වටකර යුද්ධයට සැරසී අන්තිම ඊගස දක්වා එයට විදින්න.
මන්ද, එය සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කර ඇත.
15 බබිලෝනියට විරුද්ධ ව එය වටකර රණ ඝෝෂා කරන්න. බබිලෝනිය දැන් යටත් වී ඇත. එහි ප්‍රාකාර වැටී ඇත; පවුරු කඩාදමා ඇත. මෙය සමිඳුන්ගෙන් ලත් දඬුවම ය.
බබිලෝනියෙන් පළිගැනීමට ඒ දේශය කළ ලෙස ම එයටත් කරන්න.
16 වපුරන්නන් ද දෑකැත්ත අතින් ගත් ගොයම් කපන්නන් ද බබිලෝනියෙන් වනසාලන්න.
පීඩා කරන කඩුවට බියෙන් සියලු දෙනා ම තම තමන්ගේ සෙනඟ වෙත හැරී සිය මවුබිම බලා පලා යන්නෝ ය.”

ඉශ්රායෙල් ආපසු පැමිණීම

17 ”ඉශ්රායෙල් වනාහි සිංහයන් විසින් ලුහුබඳිනු ලැබ පන්නාදමනු ලැබූ බැටළුවන් වැනි ය. පළමුකොට අසිරියාවේ රජ ඉශ්රායෙල් ගොදුරට ගත්තේ ය. අවසානයේ දී බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ඉශ්රායෙල්ගේ ඇටකටු පොඩිකරදැම්මේ ය. 18 එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම අසිරියාවේ රජුට දඬුවම් කළාක් මෙන් බබිලෝනියේ රජුටත්, ඔහුගේ දේශයටත් දඬුවම් කරන්නෙමි. 19 ඉශ්රායෙල් ජනයා යළිත් ඔවුන්ගේ දේශයට පමුණුවන්නෙමි. ඔව්හු කර්මෙල්හි ද බාෂාන්හි ද වැවෙන ආහාරයෙන් පෝෂණ වන්නෝ ය. එප්‍රායිම් හෙල් පිට ද ගිලියද්හි ද වැවෙන සියලු දේ අනුභව කොට තෘප්තියට පැමිණෙන්නෝ ය. 20 ඒ දවස්වල දී හා ඒ කාලවල දී ඉශ්රායෙල්වරුන්ගේ අපරාධ සොයන නමුත්, එහි කිසිවක් සම්බ නොවන්නේ ය. ජුදාගේ පාපයන් සොයන නමුත්, ඒ කිසිවක් ද සම්බ නොවන්නේ ය. කුමක් නිසා ද, මා ඉතිරි වන්නට හරින සෙනඟ කමාව ලබන බැවිනි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.
21 ”මෙරාතයිම් දේශයටත්, පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධ ව නැඟී ගොස් ඔවුන් ලුහුබැඳ, ඔවුන් සහමුලින් ම විනාශ කර දමන්න;
මා නුඹලාට අණ කළ සියල්ල කරන්න.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
22 යුද්ධ කිරීමේ ද මහත් විනාශයේ ද ඝෝෂාව දේශය පුරා ඇසෙයි.
23 බබිලෝනිය කුළුගෙඩියක් මෙන් මුළු ලොවට පහර දුන්නේ ය.
දැන් ඒ කුළුගෙඩිය කැඩී බිඳී ගොස් තිබෙන හැටි!
ජාතීන් අතර බබිලෝනිය භයානක දර්ශනයක් වී තිබෙන හැටි!
24 අහෝ බබිලෝනිය!
මම නුඹට මලපතක් තැබීමි, නුඹ ද නොදැනුවත් ව ම එයට අසුවුණෙහි ය.
නුඹ මට විරුද්ධ ව යුද්ධ කළ නිසා අසු වී අල්ලන ලද්දෙහි ය.
25 මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ම මාගේ ගබඩා හැර මාගේ කෝපය නමැති ආයුධ එළියට ගත්තෙමි.
මන්ද, සව් බලැති දෙවි ස්වාමීන් වන මට බබිලෝනිය සම්බන්ධයෙන් යම් කාර්යයක් කරන්නට තිබේ.
26 සෑම දෙසින් ම ඈට විරුද්ධ ව නැඟී එන්න;
ඇගේ ධාන්‍ය ගබඩා අරින්න;
ධාන්‍ය ගොඩක් මෙන් ඇය රැස්කොට වනසන්න;
කිසිවක් ඉතිරි නොකරන්න.
27 ඇගේ සියලු හේවායන් මරාදමන්න;
ඔවුන් ඝාතනය කරන්න;
ඔවුන්ට වන විපතක මහත!
ඔවුන්ට දඬුවම් දීමේ දවස දැන් ළඟා වී තිබේ.”
28 බබිලෝනියෙන් ගැළවී පලා ගිය සෙනඟ සියොන්ට පැමිණ, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දේව මාලිගාවට කළ විනාශය නිසා බබිලෝනිවරුන්ගෙන් පළිගත් අයුරු ප්‍රකාශ කළෝ ය.
29 ”බබිලෝනියට විරුද්ධ ව දුනු තැත් කවන දුනුවායන් සියල්ලන් කැඳවන්න; ඈට විරුද්ධ ව වටකරින් කඳවුරු බැඳ, කිසිවෙකුට ගැළවී යන්නට ඉඩ නෑර, ඇගේ ක්‍රියාවන්ට සරිලන සේ ඈට ප්‍රතිවිපාක දී ඈ අනුන්ට කළ ලෙස ම ඈටත් කරන්න. මන්ද ඈ ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවි ස්වාමීන් වහන්සේ වන මට විරුද්ධ ව නැඟී සිටියා ය. 30 එබැවින් ඒ දවසේ දී බබිලෝනියේ තරුණයන් වීදිවල වැටෙනු ඇත; එහි සියලු හේවායෝ විනාශ කරනු ලබති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
31 ”බබිලෝනිය, එම්බා අහංකාර ජාතිය! ඒ නිසා සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වන මම නුඹට විරුද්ධ ව සිටිමි. නුඹට දඬුවම් කිරීමේ කාලය දැන් පැමිණ තිබේ. 32 උඩඟු ජාතියක් වන නුඹ පැකිළ වැටෙන්නෙහි ය. නුඹ නඟා සිටුවන්න කිසිවෙක් නොවන්නේ ය. මම නුඹේ නගරවල ගින්නක් දල්වන්නෙමි; එයින් නුඹ අවට තිබෙන සියලු දේ දැවී යනු ඇත.”
33 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඉශ්රායෙල්හි සෙනඟ ද ජුදාහි සෙනඟ ද එකට පීඩා විඳින්නෝ ය. ඔවුන් වහල්කමට ගත් සියල්ලෝ ඔවුන්ට යන්නට ඉඩහරින්න අකමැති වී ඔවුන් අල්ලාගෙන ම සිටිති. 34 එහෙත්, ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න වන සේක, උන් වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ පැමිණිල්ල සාධාරණ ලෙස විසඳන සේක; ලොවට සාමය දෙන සේක; එහෙත්, බබිලෝනියේ වැසියන්ට කැළඹීම ඇති කරන සේක.
35 ”සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
කඩුව බබිලෝනියේ වැසියන් ද ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද පිට පැමිණෙන්නේ ය.
36 කඩුව පේන කියන්නන් පිටට පැමිණ ඔවුන් මෝඩයන් බවට පත් කරනු ඇත.
කඩුවක් ඇගේ හේවායන් පිට පැමිණ ඔවුන් විනාශ කරනු ඇත.
37 කඩුවක් ඔවුන්ගේ අශ්වයන් පිටත්, රථ පිටත්, එහි සිටින විදේශීය සේනාවන් පිටත් පැමිණ ඔවුන් ස්ත්‍රීන් මෙන් දුබල වී යනු ඇත.
කඩුවක් ඇගේ වස්තු පිට පැමිණ ඒවා කොල්ලයට යනු ඇත.
38 නියඟයක් පැමිණ එහි ජලය සිඳී යන්නට සලසනු ඇත.
මන්ද, බබිලෝනිය දේව පිළිමයන්ගෙන් පිරී ගිය දේශයකි;
ඒවා ගැන එහි සෙනඟ උමතු වී සිටිති.
39 ”එබැවින් වන සතුන් ද සිවලුන් ද බබිලෝනියේ වාසය කරනු ඇත. පැස්බරුන් ද එහි වාසය කරනු ඇත. මින්පසු කිසි කලෙක එහි මනුෂ්‍යයෝ වාසය නොකරති. පරම්පරාවන් ගණනාවක් ඉක්ම ගියත් එහි කිසිවෙක් නොවන්නෝ ය. 40 දෙවියන් වහන්සේ සොදොම් හා ගොමොරා ද ඒ අසල නගර ද විනාශ කළ කාලයේ දී මෙන්, කිසි ම මිනිසෙක් එහි වාසය නොකරන්නේ ය. කිසිවෙක් ජීවත් වන්නේ නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
41 ”අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති. බලවත් ජාතියක් ද බොහෝ රජවරු ද පොළොවේ ඉතා දුර සීමාවලින් නැඟී එති. 42 ඔව්හු දුනු ද හෙල්ල ද දරන්නෝ ය. ඔව්හු කෲර ය, නපුරු ය; ඔවුන්ගේ හඬ මුහුදු ඝෝෂාව හා සමාන ය. ඔව්හු අසුන් පිට නැඟී එති. එම්බා බබිලෝනිය! ඔව්හු එකෙකු මෙන් නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට පෙළගැසී සිටිති. 43 බබිලෝනියේ රජු ඔවුන්ගේ කීර්තිය ගැන ඇසූ විට ඔහුගේ අත් පණ නැති විය. දුක ද ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකට මෙන් පීඩනය ද වේදනාව ද ඔහුට ඇති වී තිබේ.
44 ”බලන්න, ජොර්දාන් වනයේ සිට ගොදුරු බිම් කරා නික්ම එන සිංහයෙකු මෙන් ස්වාමීන් වන මම ඔවුන්ට විරුද්ධ ව නැඟී එන්නෙමි. බබිලෝනිවරුන්ට ඔවුන්ගේ නගරයෙන් හදිසියේ ම පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා විසින් තෝරාගනු ලබන කෙනෙකු රට පාලනය කරන්නට පත් කරන්නෙමි. මන්ද, මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? මට විරුද්ධ ව නැඟී සිටින්නට පුළුවන් නායකයා කවරෙක් ද? 45 ඒ නිසා කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියට විරුද්ධ ව මා යොදාගත් උපක්‍රම ද අදහස් කරගත් අරමුණු ද ගැන සවන් දෙන්න. සැබැවින් ම එහි සිටින කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. ඔවුන්ගේ ඉරණම ගැන සියලු දෙනා ම බියට පත් වනු ඇත. 46 බබිලෝනියේ වැටීමේ ශබ්දයට පොළොව කම්පා වනු ඇත. ඔවුන්ගේ කෑගැසීමේ හඬ අවට ජාතීන් අතරේ ඇසෙන්නේ ය.”

– 51 වන පරිච්ඡේදය –

බබිලෝනිය පිළිබඳ තවත් විනිශ්චයයක්

1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”බලන්න! මම බබිලෝනියට ද එහි වැසියන් වන කල්දිවරුන්ට ද විරුද්ධ ව යාමට විනාශකාරයෙකු පොළඹවන්නෙමි.
2 මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි.
විපත් දවසේ දී ඔව්හු හැම පෙදෙස් ආක්‍රමණය කර,
එහි වැසියන් පොළාදමා දේශය හිස් කරති.
3 තමන්ගේ ඊතල විදින්නට වත්, යුද ඇඳුමෙන් සැරසී සිටින්නට වත් බබිලෝනියේ හේවායන්ට ඉඩ නොදෙන්න.
ඇගේ තරුණයන්ට අනුකම්පා නොකොට ඇගේ මුළු සේනාව වනසාලන්න.
4 කඩුවෙන් නැසුණු අය බබිලෝනියාවේ වීදිවල වැටී සිටින්නෝ ය.
තුවාළ වූවෝ ද වීදිවල වැටී සිටින්නෝ ය.
5 සව් බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් හා ජුදා සෙනඟ අත්හැරදමා නැත.
එහෙත්, බබිලෝනි දේශය ඉශ්රායෙල්හි සුවිශුද්ධ තැනැන් වහන්සේට විරුද්ධ ව වරදින් පිරී තිබේ.
ඔවුන් අත්හැරදමා ඇත.
6 ඇගේ දඬුවමට නුඹ ගොදුරු නොවී යන්න.
ඇයට නියම විපාකය දෙන සමිඳාණන්ගේ දඬුවම් දීමේ දවස දැන් පැමිණ තිබේ.
7 බබිලෝනිය වනාහි මාගේ අතේ තිබුණු, මුළු පොළොව වෙරිමත් කළ රන් කුසලානක් වැනි ය.
ඇගේ මිදියුසින් ජාතීහු බීවෝ ය.
එබැවින් ජාතීහු මත් වී සිටිති.
8 බබිලෝනිය හදිසියේ වැටී විනාශ වූවා ය.
ඈ ගැන වැලපෙන්න;
ඇයට සුව වේ දැ යි බලන පිණිස ඇගේ තුවාළ ගුගුල් ඖෂධයෙන් ආලේප කරන්න.
9 විදේශීහු කතා කරමින්, ‘අපි බබිලෝනිය සුව කරන්නට උත්සාහ කෙළෙමු;
එහෙත්, ඈට සුවය ලැබී නැත.
අපි ඇය අත්හැර ආපසු අපේ ම රටවලට යමු.
මන්ද, බබිලෝනියේ විනාශය අහස උසට, වලාකුළු දක්වා නැඟුණේ ය’යි කී හ.
10 අප නිවැරැදි බව සමිඳාණෝ එළිදරව් කළ සේක:
එන්න, අපි අපේ දෙවි සමිඳුන්ගේ ක්‍රියා සියොන්හි ප්‍රකාශ කරමු.
11 ”සමිඳාණෝ බබිලෝනිය විනාශ කරන්නට අදහස් කර තිබෙන නිසා, මේදිය රටේ රජවරුන්ගේ සිත් එයට පෙළඹවූ සේක.
මේ වනාහි එතුමන්ගේ මාලිගාවේ විනාශයට සමිඳුන්ගේ පළිගැනීමකි.
පහර දෙන නිලධාරීහු අණ දෙමින්, ‘නුඹලාගේ ඊතල මුවහත් කරගන්න;
පලිස් සූදානම් කරගන්න.
12 බබිලෝනියේ පවුරුවලට පහර දෙන පිණිස ධජ සංකේතයක් ඔසවා සංඥා කරන්න.
මුරපොළ සවි කර, මුරකාරයන් සිටුවා;
රහස් රැකවල් සේනා පිහිටුවන්නැ’යි කී හ.
සමිඳාණෝ බබිලෝනියේ වැසියන් ගැන වදාළ දේ එතුමන් යෝජනා කළ ලෙස ම කළ සේක.
13 ”එම්බා! බොහෝ ජලයෙන් සාරවත්, වස්තු සම්භාරයෙන් ධනවත් බබිලෝනි වැසිය, නුඹේ අවසානය දැන් ළඟා වී තිබේ.
නුඹේ පණ කෙන්ද කපනු ඇත.
14 බබිලෝනියට පහර දෙන පිණිස පළඟැටි සමූහයක් මෙන් විශාල සෙනඟක් ගෙනෙන බවට සව් බලැති සමිඳුන් සිය නාමයෙන් දිවුරා ඇත.
ඔවුන් ඝෝෂා නඟනු ඇත.”

දෙවියන් වහන්සේට ප්‍රශංසා ගීයක්

15 ”සමිඳාණෝ සිය බලයෙන් පොළොව සෑදූ සේක;
සිය ප්‍රඥාවෙන් ලෝකය මැවූ සේක.
සිය බුද්ධියෙන් අහස විදහා ලූ සේක.
16 එතුමන්ගේ අණින් අහසේ ජල ඝෝෂාවක් ඇති වන්නේ ය.
එතුමාණෝ පොළොවේ සීමාවලින් වලාකුළු නැඟී එන්නට සලසන සේක;
වර්ෂාව සඳහා විදිලි කෙටීම් ඇති කරන සේක;
සිය ගබඩාවලින් සුළඟ හමවන සේක.
17 මේ හේතුව නිසා, සියලු මනුෂ්‍යයෝ කිසි දැනගැන්මක් නැති අනුවණයන් මෙන් වෙති.
සියලු රන්කරුවෝ තමන්ගේ කැපූ රූප ගැන ලජ්ජාවට පැමිණ සිටිති.
මන්ද, ඔවුන් තැනූ රූප සත්‍යයක් පිළිබිඹු නොකරයි.
ඒවා ජීවමාන නොවෙයි.
18 ඒවා නිෂ්ඵල, රවටන සුලු කෘතීහු ය.
ඒවාට දඬුවම් කරන කාලය පැමිණි විට ඒවා විනාශ වී යනු ඇත.
19 ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නොවන සේක.
එතුමාණෝ වනාහි සියලු දේ මැවූ තැනැන් වහන්සේ ය.
ඉශ්රායෙල් වනාහි එතුමන් තෝරාගත් ගෝත්‍රය ය.
එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.”

සමිඳුන්ගෙන් වන විනාශය

20 ”සමිඳාණෝ මෙසේ වදාරන සේක:
‘එම්බා බබිලෝනිය!
නුඹ මාගේ කුළුගෙඩිය හා යුද්ධ ආයුධය වන්නෙහි ය.
මම නුඹ උපයෝගී කරගෙන ජාතීන් බිඳ හෙළන්නෙමි;
රාජ්‍යයන් විනාශ කරන්නෙමි.
21 අශ්වයාත්, අශ්වාරෝහකයාත් මම විනාශ කරන්නෙමි.
රිය සහ රිය සෙබළුන් විනාශ කරමි.
22 ස්ත්‍රීන් හා පුරුෂයන් ද බාල හා මහලු සියල්ලන් ද විනාශ කරමි.
තරුණ තරුණියන් ද නැති කරදමමි.
23 එඬේරා සහ ඔහුගේ රැළත් පොඩි කරදමමි.
ගොවියා සහ ඔහුගේ ගොන් බානත් පොඩි කරදමමි.
ආණ්ඩුකාරයන් සහ ඔවුන්ගේ ප්‍රධානීන් ද පොඩි කරදමමි.’ ”

බබිලෝනියට දඬුවම

24 ”සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනිය සහ එහි සෙනඟ සියොන්ට විරුද්ධ ව කළ සියලු අපරාධ නිසා ඔවුන්ට මා ප්‍රතිවිපාක දෙන බව නුඹලාට පෙනෙනු ඇත. 25 එම්බා බබිලෝනිය!
නුඹ මුළු පොළොව විනාශ කරන කන්දක් හා සමාන ය.
එහෙත්, ස්වාමීන් වන මම නුඹේ සතුරා වෙමි.
මාගේ බාහුව නුඹට විරුද්ධ ව ඔසවා පර්වතවලින් නුඹ පෙරළා දමා පිළිස්සී ගිය කන්දක් මෙන් කරන්නෙමි.
26 ගොඩනැඟිල්ලක කොණකට ගලක් වත්, අත්තිවාරම්වලට ගලක් වත් නුඹෙන් ගනු නොලැබේ.
නුඹ සදාකාලයට ම පාළුකරයක් වන්නෙහි ය.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
27 ”දේශයෙහි ධජ සංකේතයක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ බබිලෝනියට පහර දෙන පිණිස ජාතීන් සූදානම් කරන්න.
ආරාරත්, මින්නි, අස්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න.
ප්‍රහාර මෙහෙයවන්නට සේනාධිපතියෙකු පත් කරන්න.
කෙඳි පළඟැටියන් රැසක් මෙන් අශ්ව සේනාවක් නැඟී එන්නට සලස්වන්න.
28 බබිලෝනියට විරුද්ධ ව සටන් කරන පිණිස ජාතීන් ද මේදයේ රජවරුන් ද එහි ආණ්ඩුකාරයන් ද එහි නියෝජ්‍ය ප්‍රධානීන් ද ඔවුන් යටතේ ඇති සියලු දේශයන් ද සූදානම් කරන්න.
29 පොළොව කම්පා වෙයි;
වේදනාවෙන් මෙන් ඇඹරෙයි.
මන්ද, බබිලෝනිය වැසියන් විරහිත පාළුකරයක් කිරීමට සමිඳාණන් ගත් අරමුණ ඉටු වන්නේ ය.
30 බබිලෝනියේ හේවායෝ සටනින් පසු බැස තමන්ගේ බලකොටුවල රැඳී සිටිති.
ඔවුන්ගේ බලය හීන වී ඔව්හු ස්ත්‍රීන් මෙන් දුබල වී සිටිති.
බබිලෝනියේ වාසස්ථාන ගිනි ලා තිබේ.
නගරයේ දොරටු කඩාදමා තිබේ.
31 නගරය හැම පැත්තෙන් ම අසු වී තිබෙන බව බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවුඩකාරයන් පිට පණිවුඩකාරයන් යවනු ඇත.
32 එහි වරායයන් අල්ලාගනු ඇත;
පවුරු ගින්නෙන් දැවී ඇත;
හේවායෝ බියෙන් වෙවුළති.
33 බබිලෝනිය ගොයම් පාගන කාලයෙහි දී දකින්නට ලැබෙන කමතක් වැනි ය.
තව ස්වල්ප කාලයකින් ගොයම් කපන කාලය පැමිණෙනු ඇත.
ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක.
34 ”බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තෙමේ ජෙරුසලම විනාශ කර,
පාගා, පොඩි කරදමා එය හිස් භාජනයක් මෙන් කරනු ඇත.
ඔහු රකුසෙකු මෙන් ජෙරුසලම ගිලදමා, එහි ප්‍රිය වූ දේවලින් තමාගේ කුස පුරවාගෙන ඉතිරි හරිය ඉවතට විසි කෙළේ ය.
35 ‘අපටත් අපේ වංශයටත් කළ සැහැසිකම් බබිලෝනිය පිට වැටේ වා’යි සියොන්හි සෙනඟ කියත් වා!
ජෙරුසලමෙහි සිඳ හෙළුණු ලෙය කල්දිවරුන් පිට වැටේ වා’යි ජෙරුසලම් වැසියෝ කියත් වා.”

ඉශ්රායෙල්ට සමිඳුන්ගේ උපකාරය

36 එබැවින් සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ ජනයාට මෙසේ වදාළ සේක:
”මම නුඹලාට යුක්තිය ඉටු කරමි.
නුඹලා උදෙසා පළිගන්නෙමි.
මම බබිලෝනියේ මුහුද හිඳී යන්නට සලස්වා, ඇගේ උල්පත් වියළී යන්නට සලස්වන්නෙමි.
37 එවිට බබිලෝනිය කිසි වැසියෙකු නැති, ජරාවාසයක් වන්නී ය;
සිවලුන් වසන ගුහාවලට හැරෙන්නී ය;
භීතියට හා සරදමට කරුණක් වන්නී ය.
38 බබිලෝනි ජනයා එක් ව සිංහයන් මෙන් නාද කරනු ඇත;
සිංහ පැටියන් මෙන් ගොරවනු ඇත,
39 ඔවුන් කෑදර වූ විට මම ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කර දී, වෙරි මත් වන තෙක් බොන්නට දී ඔවුන් ක්ලාන්ත වූ විට, නොපිබිදෙන හැටියට ඔවුන් සදා නින්දට පත් කරවන්නෙමි.
40 බැටළු පැටවුන් ද බැටළුවන් සහ එළුවන් ද මෙන් ඝාතනය පිණිස මම ඔවුන් ගෙනෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

බබිලෝනියේ ඉරණම

41 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”බබිලෝනිය අල්ලාගනු ලැබූ හැටි!
මුළු පොළොවේ කීර්තිය දැරූ නගරය අසු වූ හැටි!
බබිලෝනිය ජාතීන් අතරේ ත්‍රාසයක් වූ හැටි!
42 මුහුද බබිලෝනිය පිට ගලා ආවේ ය.
එහි රැළ රාශියෙන් බබිලෝනිය යට වී ගියේ ය.
43 බබිලෝනියේ නගර බියකරු ඉඩමක් ද වියළි බිමක් ද මරුකතරක් ද කිසි මිනිසෙකු වාසය නොකරන,
කිසිවෙකු එහි ගමන් නොකරන දේශයක් ද වී තිබේ.
44 මම බබිලෝනියේ දෙවියා වන බේල්ට දඬුවම් කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට අදින්නෙමි.
ජාතීහු ඔහුට තවත් නමස්කාර නොකරන්නෝ ය.
එසේ ය, බබිලෝනියේ පවුරු ඇද වැටෙන්නේ ය.
45 ඉශ්රායෙල් ජනයෙනි, බබිලෝනියෙන් පිට වී ගොස් මාගේ බලවත් උදහසින් එකිනෙකා තම තමාගේ ප්‍රාණය ගළවාගන්න.
46 දේශයේ දී නුඹලා අසන ආරංචි නිසා නුඹලාගේ සිත් අධෛර්යයට හා බියට ඉඩ නොදෙන්න.
මන්ද, දේශයෙහි සැහැසිකම ගැන ද රජ කෙනෙකු රජ කෙනෙකුට විරුද්ධ ව සටන් කිරීම ගැන ද එක අවුරුද්දක එක ආරංචියක් ද ඊට පසු අවුරුද්දේ තවත් ආරංචියක් ද පැතිර යන්නේ ය.
47 එබැවින් බබිලෝනියේ තිබෙන කැපූ රූපවලට මා දඬුවම් කරන දවස් පැමිණෙන්නේ ය.
මුළු දේශය ලජ්ජාවට පමුණුවනු ලබන්නේ ය.
මරනු ලබන සියල්ලෝ එහි ම වැටී සිටින්නෝ ය.
48 එවිට ස්වර්ගය ද පොළොව ද එහි සිටින සියල්ලෝ ද බබිලෝනිය ගැන ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය.
මන්ද, බබිලෝනිය විනාශ කරන්නට උතුරෙන් සතුරා පැමිණෙයි.
ඈ අසුවන්නී ය.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
49 මරණයට පත් ඉශ්රායෙල් සෙනඟ නිසා බබිලෝනිය විපතට පත් වූවාක් මෙන්, මුළු පොළොවේ මරණයට පත් වූවන් බබිලෝනිය හමුවේ වැටෙනවා ඇත.”

බබිලෝනියේ ජුදෙව්වරුන්ට පණිවුඩය

50 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”කඩුවෙන් ගැළවුණු මාගේ සෙනඟෙනි, දැන් නැවතී නොසිට පලා යන්න.
දුර දේශයන්හි නුඹලාගේ සමිඳාණන් සිහිකර ජෙරුසලම අමතක නොකරන්න.
51 ‘අපි නින්දා බස් ඇසූ බැවින් ලජ්ජාවට පැමිණියෙමු.
විදේශීන් සමිඳුන්ගේ මාලිගාවේ ශුද්ධස්ථානයට ඇතුළු වූ බැවින් අපි වියවුලට පත් වී සිටිමු’යි නුඹලා කියන්නහු ය.
52 එබැවින් මා බබිලෝනියේ දේව රූපවලට දඬුවම් කරන දවස් පැමිණෙන්නේ ය.
‘දේශය මුළුල්ලෙහි තුවාළ ලැබූ අය කෙඳිරිගානු ඇතැ’යි මම කියමි.
53 බබිලෝනිය අහස උසට නැගුණත්, එහි ශක්තිමත් බලකොටු සාදාගත්තත් මා යවන විනාශකයන් ඈ කරා පැමිණෙනු ඇත.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

බබිලෝනිය තවදුරටත් විනාශ කරනු ලැබීම

54 ”සවන් දෙන්න.
බබිලෝනියෙන් මොරගැසීමේ ශබ්දයක්, කල්දිවරුන්ගේ ඒ දේශයෙන් මහත් විනාශයේ ශබ්දයක් ඇසෙයි.
55 සමිඳාණන් වහන්සේ බබිලෝනිය විනාශ කරන සේක. ඇගේ උස් කටහඬ නිශ්ශබ්ද කරන සේක. නඟින රළපතර මෙන් ඔවුන්ගේ ඝෝෂාව නැඟෙයි.
56 විනාශකාරයා බබිලෝනිය විනාශ කරන්නට පැමිණ සිටියි.
බබිලෝනියේ හේවායන් අසු වී ඇත.
ඔවුන්ගේ දුනු කඩා කැබලි කරනු ලැබී ය.
සමිඳාණන් වහන්සේ නපුරට විපාකය දෙන දෙවියන් වහන්සේ ය.
උන් වහන්සේ බබිලෝනියට යුතු ලෙස විපාක දෙන සේක.
57 මම ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද ඇගේ ආණ්ඩුකාරයන් ද ඇගේ සේනාධිපතීන් ද ඇගේ හේවායන් ද මත් කරන්නෙමි.
ඔව්හු ද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝ ය.
මෙසේ පවසන්නේ සව් බලැති සමිඳුන් වන රජාණන් වහන්සේ ය.
58 බබිලෝනියේ පළල් පවුරු සහමුලින් ම හෙළාදමනු ලබන්නේ ය.
ඇගේ උස් දොරටු ද ගින්නෙන් දවනු ලබයි.
සෙනඟගේ වෙහෙසීම් නිෂ්ඵල ය.
ජාතීන්ගේ වීර්යයන් ගින්නෙන් දැවී ගොස් ඇත.”

ජෙරමියාගේ පණිවුඩය බබිලෝනියට යවනු ලැබීම

59 මයසේයාගේ පුත් වූ නේරියාගේ පුත් වන සෙරායා ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රජ දවසේ සතර වන අවුරුද්දේ දී ඔහු සමඟ බබිලෝනියට යන විට දිවැසිවර ජෙරමියා සෙරායාට මේ ආඥාව දුන්නේ ය. සෙරායා වනාහි රජුගේ ගබඩා නිලමේ විය. 60 බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති ගැන ද බබිලෝනියට විරුද්ධ ව ලියා තිබෙන සියලු දේ ගැන ද ජෙරමියා පොතක ලිව්වේ ය. 61 ජෙරමියා සෙරායාට කතා කරමින්, ”ඔබ බබිලෝනියට පැමිණි විට මේ සියලු වචන සෙනඟට ඇසෙන ලෙස කියවන්න. 62 මෙසේ යාච්ඤා කරන්න, ‘අහෝ සමිඳුනි, මේ ස්ථානයෙහි මිනිසෙකු වත්, මෘගයෙකු වත් නැති වන ලෙස ඔබ වහන්සේ මේ ස්ථානය විනාශ කරන සේක. එවිට එය සදහට ම මරුකතරක් වනු ඇත,’ 63 තවද, ඔබ මේ පොත කියවා නිම වූ විට, එයට ගලක් බැඳ, යුප්‍රටීස් ගංගාව මැදට එය හෙළා, 64 ‘බබිලෝනිය මෙසේ ම කිඳා බැස මා ඈ පිට පමුණුවන විපත්තියෙන් ගොඩ නොඑන්නී යැ’යි කියන්න.”
ජෙරමියාගේ පණිවුඩය මෙතැනින් අවසන් වේ.

 

– 52 වන පරිච්ඡේදය –

ජෙරුසලමේ වැටීම
(2 රාජා: 24:18–25:7)

1 ශෙදෙකියා විසිඑක් වයසේ දී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම හමුවල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුව ය. 2 ශෙදෙකියා රජු, ජෙහෝයාකිම් රජු කළාක් මෙන් සමිඳාණන් වහන්සේ අබිමුවෙහි නපුරු දේ කෙළේ ය. 3 ජෙරුසලම හා ජුදාව සමිඳාණන් වහන්සේ බොහෝ සේ කෝප කළ බැවින් උන් වහන්සේ ඔවුන් තමන් අබිමුවෙන් පන්නා දැමූ සේක. ශෙදෙකියා ද බබිලෝනියාවේ රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ ය. 4 ඔහුගේ රාජ්‍ය කාලයේ නව වන අවුරුද්දේ දස වන මස දස වන දින බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත්, කඳවුරු බැඳ, එයට වටකරින් බලකොටු ද ගොඩනැඟුවේ ය. 5 එසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නගරය වටලන ලදුව තිබිණි. 6 හතර වන මස නව වන දින දේශයේ සෙනඟට කිසි ආහාරයක් නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය. 7 එවිට නගරයේ පවුරු බිඳිනු ලැබී ය. බබිලෝනිවරුන් නගරය වටලාගෙන සිටිය දී හේවායෝ සියලු දෙන රාත්‍රි කාලයේ ගැළවී යන්නට උත්සාහ කළෝ ය. ඔව්හු රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් පිටත් වී අරබා සමභූමි මාර්ගයෙන් ජොර්දාන් මිටියාවත දෙසට පලා ගියෝ ය. 8 එහෙත්, බබිලෝනිවරුන්ගේ සේනාව ශෙදෙකියා රජු ලුහුබැඳ ගොස් ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු අල්ලාගත්තේ ය. එවිට ඔහුගේ මුළු සේනාව ඔහු වෙතින් විසිර ගියෝ ය. 9 එකල ඔව්හු රජු අල්ලාගෙන හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වෙත ගෙන ගියෝ ය. ඔහු ද ශෙදෙකියා රජු පිළිබඳ නඩු තීන්දුව දුන්නේ ය. 10 බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ම ඇස් ඉදිරිපිට මැරෙව්වේ ය. ඔහු ජුදාහි සියලු අධිපතීන් ද රිබ්ලාහි දී මැරෙව්වේ ය. 11 තවද බබිලෝනියේ රජ ශෙදෙකියාගේ ඇස් උගුලා, අතට විලංගු ලා, බබිලෝනියට ගෙන ගොස්, ඔහුගේ මරණය දක්වා ඔහු හිර ගෙයි දමා තැබී ය.

දේව මාලිගාවේ විනාශය
(2 රාජා: 25:8-17)

12 තවද, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මස දස වන දින රජුගේ උපදේශකයා වූ ද රැකවලුන්ගේ අධිපතියා වූ ද නෙබුසරදාන් ජෙරුසලමට පිවිසියේ ය. 13 ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මාලිගාව ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ප්‍රභූවරුන්ගේ මන්දිර ද පුළුස්සාදැමුවේ ය. 14 හමුදාවේ සේනාධිපතියා සමඟ සිටි බබිලෝනිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලම හාත්පස තිබුණ පවුරු සියල්ල බිඳදැමුවෝ ය. 15 තවද, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ඉතා දිළිඳු සෙනඟගෙන් සමහරෙකු ද නගරයේ ඉතිරි ව සිටි සෙනඟ ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට බැඳුණු අය ද සෙසු දක්ෂ ශිල්පීන් ද අල්ලාගෙන ගියේ ය. 16 එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවල් සේනාධිපතියා වූ නෙබුසරදාන් දේශයේ දිළිඳුන් සමහරෙකු ඉතිරි කර ගියේ ය.
17 තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අයිති ලෝකඩ කුළුණු ද එහි තිබුණු මැසි ද මහ ලෝකඩ භාජනය ද කඩාදමා, බබිලෝනිවරු ඒවායේ ලෝකඩ සියල්ල ම බබිලෝනියට ගෙන ගියෝ ය. 18 ඇරත්, ඇතිළි ද හැඳි ද පහන් කතුරු ද තලි ද දුම් භාජන ද පූජාව සඳහා පාවිච්චි කළ ලෝකඩ බඩු සියල්ල ද ඔව්හු ගෙන ගියෝ ය. 19 තලි, ගිනි භාජන, කුසලාන, ඇතිළි, පහන් රුක්, දුම් භාජන සහ කෙණ්ඩි යන රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද හමුදාවේ සේනාධිපතියා ගෙන ගියේ ය. 20 සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සෑදූ කුළුණු දෙක ද ලෝකඩ තටාකය ද මැසි ද මැසි යට තිබුණු ලෝකඩ ගව රූප දොළොස ද යන භාණ්ඩ වල ලෝකඩ කිරන්නට බැරි තරම් බර ය. 21 ඒ එක් එක් කුළුණේ උස මීටර් අටකි. ඒ වටේට මීටර් පහයි දශම තුනක පටියක් තිබුණේ ය. එහි ඝනකම මිලි මීටර් හැත්තෑපහක් ය. එහි ඇතුළ කුහරයක් විය. 22 එය මත ලෝකඩ පේකඩයක් විය. එක එක පේකඩය මීටර් දෙකයි දශම දෙකක් උස විය. පේකඩය වටේට දෙළුම් ගෙඩිවලින් සරසන ලද කැටයම් රාමුවක් තිබුණේ ය. ඒ සියල්ල කරන ලද්දේ ලෝකඩින් ය. දෙ වන කුළුණත් ඒ අයුරින් ම දෙළුම් ගෙඩිවලින් සරසන ලදී. 23 දෙළුම් ගෙඩි අනූහයක් පැතිවල තිබිණි. කැටයම් පිට වටේට තිබුණු දෙළුම් ගෙඩි සියයක් විය.

ජුදාවරුන් බබිලෝනියට ගෙන යෑම
(2 රාජා: 25:18-21, 27-30)

24 තවද, රැකවල් සේනාවේ අධිපතියා, උත්තම පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපනියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය. 25 ඉක්බිති ඔහු යුද්ධ සේනාවේ සේනාධිපතියා ද නගරයෙහි සිටි රාජ සභාවෙහි සභිකයන් සත්දෙනෙකු ද දේශයෙහි සෙනඟ රැස් කළ සේනාධිපතියාගේ ලේකම් ද දේශවාසීන්ගෙන් නගරය තුළ සිටි හැටදෙනෙකු ද අල්ලාගෙන ගියේ ය. 26 රැකවලුන්ට අධිපතියා වූ නෙබුසරදාන් මොවුන් රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වෙත ගෙන ගියේ ය. 27 බබිලෝනියේ රජ හමාත් දේශයේ රිබ්ලාහි දී ඔවුන්ට පහර දී ඔවුන් මැරෙව්වේ ය. මෙසේ ජුදාවරු සිය දේශයෙන් වහල්කමට ගෙන යන ලදහ.
28 නෙබුකද්නෙශර් අල්ලාගෙන ගිය සෙනඟගේ ගණන මෙසේ ය: හත් වන අවුරුද්දේ දී ජුදෙව්වරු තුන්දහස් විසිතුන්දෙනෙකි. 29 නෙබුකද්නෙශර්ගේ දහඅට වන අවුරුද්දේ දී, ඔහු ජෙරුසලමේ සිටි අටසිය තිස්දෙදෙනෙකු අල්ලාගෙන ගියේ ය. 30 එනෙබුකද්නෙශර්ගේ විසිතුන් වන අවුරුද්දේ දී රැකවල් සේනාධිපතියා වූ නෙබුසරදාන් ජුදෙව්වරුන් හත්සිය හතළිස්පස්දෙනෙකු අල්ලාගෙන ගියේ ය. ඒ සියල්ලෝ ම හාරදහස් හයසියයක් වූ හ.

ජෙහෝයාකින් රජුගේ අන්තිම කාලය

31 තවද, එවිල්-මෙරොදක් බබිලෝනියේ රජකමට පත් වූ අවුරුද්දේ දී ඔහු ජුදාහි රජු වූ ජෙහෝයාකින්ට අනුකම්පා කොට හිරගෙයින් නිදහස් කෙළේ ය. මෙය සිදු වූයේ ජුදාහි රජු වූ ජෙහෝයාකින් ගෙනයනු ලැබූ තිස්හත් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ විසිපස් වන දා ය. 32 එවිල්-මෙරොදක් රජ ජෙහෝයාකින්ට කරුණාවෙන් කතා කොට, බබිලෝනියේ ඔහු සමඟ සිටි රජවරුන්ට වඩා උසස් ස්ථානයක් ඔහුට දුන්නේ ය. 33 එබැවින් ජෙහෝයාකින්ට ඔහුගේ හිරඇඳුම් මාරුකරගෙන, ඔහුගේ ජීවිතාන්තය දක්වා, එවිල්-මෙරොදක් රජු සමඟ නිතර ම මේසයේ එකට කන්නට අවසර ලැබුණේ ය. 34 ඔහුගේ කෑම කොටස බබිලෝනියේ රජු වෙතින් නියම ලෙස දවස් පතා ම ජීවිතයේ මුළු කාලය තුළ ඔහුගේ මරණය දක්වා ඔහුට දෙන ලද්දේ ය.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s