ගීතාවලිය

– 1 වන පරිච්ඡේදය –

පළමු වන කාණ්ඩය
( ගීතිකා 1-41)
සැබෑ වාසනාව

1 දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන,
2 සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.
3 ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය;
ඔහු කරන සැම දේ සරු සාර වේ.
4 පවිටු දනෝ එසේ නොවෙති;
ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.
5 විනිසය එන දා දුදනන්ට නම් වරද පැවරේ;
දමිටුන් සමඟ ඔවුන්ට ගැවසුම් නැත්තේ ය.
6 දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක.
පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.

– 2 වන පරිච්ඡේදය –

මෞලි මංගල ගීයක්

1 ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද?
ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද?
2 සමිඳාණන්ට ද එතුමන්ගෙන් අබිසෙස් ලත් නිරිඳාණන්ට ද මහීපාලයෝ විරෝධී ව නැඟිට සිටින්නෝ ය;
අධිපතිවරු එක් රැස් වී උපා යොදන්නෝ ය.
3 අප හිර කර ඇති විලංගු බිඳදමමින්, යදම් කඩාදමමින් ‘අපි නිදහස ලබමු’යි ඔව්හු පවසන්නෝ ය.
4 සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක.
5 සමිඳාණෝ ඔවුන් හට පරිහාස කරන සේක;
එකල උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක;
උදහසින් ඔවුන්ට තර්ජන කරන සේක.
6 මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.
7 මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි;
එතුමාණෝ මට කතා කොට, ”නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.
8 නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න.
සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය;
මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය.
9 නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක.
10 රජවරුනි!
ඒ නිසා සිහි පරීක්ෂාකාරී ව සිටින්න.
භූපතිවරුනි!
මෙයින් ගුරුකම් සිතට ගන්න.
11 සමිඳුන් හට ගරුබියෙන් සේවය කරන්න;
12 බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න.
නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත.
මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය.
සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.

– 3 වන පරිච්ඡේදය –

පිහිට පතා අලුයම යැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, මට සතුරෝ ගණනින් බොහෝ වන්නෝ ය;
මට විරුද්ධ වන්නෝ එන්න එන්න වැඩි වන්නෝ ය.
2 ”දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය.
3 සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න.
මා මහිමය ඔබ ය;
ඔබ මා දිරි ගන්වන සේක.
4 මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි;
එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක.
5 මම වැදහෙව නිදාගනිමි;
යළි අවදි වෙමි.
මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක.
6 දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.
7 සමිඳුනි, වැඩිය මැනව;
දෙවිඳුනි, මා මුදාලුව මැනව.
මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක;
දුදනන්ගේ දළ බිඳලන සේක.
8 ජය සිරි එන්නේ සමිඳුන්ගෙන් ය.
ආසිරි ඔබ සෙනඟ කෙරෙහි වේ වා!

– 4 වන පරිච්ඡේදය –

පිහිට පතා සවස යැදුම

දාවිත්ගේ ගීතයකි.
1 මා රක්නා මාගේ දෙවිඳුනි, මේ යාදින්නට පිළිතුරු දුන මැනව.
විපතේ දී ඔබ මා මිදූ සේක,
මට කරුණාකර මේ යැදුමට සවන් දුන මැනව.
2 මිනිසුනි, ඔබ මට කොපමණ කල් හරසර වෙනුවට ගැරහුම් දෙන්නහු ද?
නිෂ්ඵල දෙයට නැමී, මුසාවාදයට ඇදී යන්නහු ද?
3 සමිඳාණන් දැහැමි අය තමන්ට ම තෝරාගත් බව සිතට ගන්න.
එතුමාණෝ මාගේ යැදුමට සවන් දෙන සේක.
4 බියෙන් ඇලළී ගියත් පාපයෙන් දුරු වන්න;
සංසුන් සිතින් යහනට වී භාවනා කරන්න.
5 නියමිත පූජා සමිඳුන්ට පුදන්න;
එතුමන් කෙරේ විශ්වාසය තබන්න.
6 ”අපට ප්‍රීතිය පෙන්වන්නේ කවරෙක් දැ”යි බොහෝ දෙන කියති.
සමිඳුනි, අප වෙත ඔබ කුළුණැස යොමු කළ මැනව.
7 ධන ධාන්‍ය, මිදිපැන් බහුල ව ඇති අයට වඩා, ඔබ මසිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත.
8 මම ශාන්ත සිතින් සැතපී, වහා නින්දට යමි.
මන්ද, සමිඳුනි, ඔබ පමණක් මට සුරැකි ව විසීමට වර දෙන සේක.

– 5 වන පරිච්ඡේදය –

ආරක්ෂාව සඳහා යැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, මා යැදුමට සවන් දෙනු මැනව;
මාගේ භාවනාව සැලකුව මැනව.
2 රජිඳුනි, මාගේ දෙවිඳුනි, ඔබ සරණ පතා මම එන්නෙමි.
කරුණාවෙන් මා යැදුමට සවන් දෙනු මැනව.
3 සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව;
අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.
4 ඔබ දුෂ්ටකමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නොවන සේක;
ඔබ අබිමුව නපුරට ඉඩ නොතබන සේක.
5 අහංකාර අයට ඔබ අබිමුවෙහි තැනක් නැත්තේ ය.
අපරාධකරුවන්ට ඔබ ද්වේෂ කරන සේක.
6 සමිඳාණෝ බොරු තෙපලන දන වනසන සේක;
මිනීමරු කපටි අය පිළිකුල් කරන සේක.
7 මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි;
ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි.
8 සමිඳුනි, මට සතුරන් බොහෝ සිටින බැවින්, දැහැමි මඟ මා ගෙන ගිය මැනව;
ගත යුතු මඟ මට පෙන්නුව මැනව.
9 මා සතුරන් පවසන දේ විශ්වාස කළ නොහැකි ය.
ඔවුන්ගේ සිත දැඩි දුෂ්ටකමින් පිරී ඇත්තේ ය.
ඔවුන්ගේ උගුර අමු සොහොනක් වැනි ය.
ඔව්හු දිවෙන් ඉච්ඡා බස් දොඩන්නෝ ය.
10 දෙවිඳුනි, ඔවුන් නසා වනසා ලුව මැනව;
ඔවුන්ගේ කූට උපායවලට ඔවුන් ම අසු කළ මැනව;
ඔවුන්ගේ බොහෝ අපරාධ නිසා ඔවුන් දුරින් දුරු කළ මැනව.
මන්ද, ඔව්හු ඔබට එරෙහි ව කැරලි ගැසුවෝ ය.
11 ඔබ සරණ යන්නෝ ප්‍රීතියෙන් පිනා යත් වා!
ඔබ ඔවුන් රක්නා බැවින් ඔව්හු විපුල සතුටින්
උදම් වෙත් වා!
ඔබ නම ප්‍රිය කරන්නෝ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!
12 මන්ද ඔබ දමිටුන්ට ආසිරි දෙන සේක;
සමිඳුනි, ඔබ පෙම පලිහක් මෙන් ඔවුන් වට කරන සේක.

– 6 වන පරිච්ඡේදය –

සුවය පතා යැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව;
දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව.
2 සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව;
මාගේ ඇටකටු පොඩි වී ඇත;
මා සුව කළ මැනව.
3 මම මුළුමනින් ම කැළඹී සිටිමි;
සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද?
4 සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න;
ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න.
5 මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය;
පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය.
6 මම සෝදුකින් වෑරී සිටිමි.
හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත;
කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත;
7 වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත;
සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත.
8 සියලු පවිටුනි, මා වෙතින් යන්න;
මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක.
9 සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක;
එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක.
10 මාගේ සියලු සතුරෝ පරාජය වී ලජ්ජාවට පැමිණෙත් වා!
හදිසියෙන් ම වියවුල් වී ආපසු හැරී යත් වා!

– 7 වන පරිච්ඡේදය –

යුක්තිය සඳහා යැදුම

බෙන්ජමීය කුෂ්ගේ වචන නිසා දාවිත් විසින් සමිඳුන්ට ගායනා කරන ලද කාව්‍යයකි.
1 සමිඳුනි, මාගේ දෙවියෙනි, මා රැකවරණය ඔබ වෙත ම ය.
ලුහුබැඳ එන රුපු කැලෙන් නිදහස් කොට මා මුදාලන්න.
2 නැතහොත්, ගළවන්නට බැරි තැනකට සිංහයෙකු මෙන්, ඔවුන් මා ඩැහැගෙන යනු ඇත;
එහිදී මා කැබලි කොට මරා දමනු ඇත.
3 සමිඳුනි, මාගේ දෙවියෙනි, කෙනෙකුට යම් අයුක්තියක් මා කර ඇත්නම්,
4 මිතුරෙකු හට හොඳක් වෙනුවට නපුරක් කර ඇත්නම්, මට වරදක් කළ සතුරෙකු නිදහස් කර ඇරියෙම් නම්;
5 සතුරෝ මා ලුහුබැඳ අවුත් මා අල්ලාගනිත් වා!
ඔව්හු මා කපා, කොටා මරත් වා!
මාගේ මළකඳ දූවිල්ලෙහි දමත් වා!
6 සමිඳුනි, ඔබේ උදහසින් නැඟුටුණු මැනව;
මාගේ එදිරිකාරයන්ගේ කෝපාග්නියට විරුද්ධ ව සිටිය මැනව;
අවදි ව මට පිහිට වුව මැනව.
ඔබේ නියමය යුක්තිය ඉටු කිරීම ය.
7 සව් ලෝ සත එක් රැස් ව ඔබ වට කර සිටිත් වා!
ඉහළ අහසේ ඔවුන් මැද ඔබ සිහසුන් අරා වැඩ සිටින්න.
8 සමිඳාණෝ සව් සත හට යුක්තිය සලසා දෙන සේක.
සමිඳුනි, මාගේ දැහැමිකමත්, අහිංසකකමත් අනුව මා විනිශ්චය කළ මැනව.
9 මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න;
දහම් රජය පිහිටුවන්න.
10 දෙවිඳාණෝ මට රැකවරණය දෙන පලිහ වන සේක;
අවංක සිත් ඇතියන් හට පිළිසරණ වන සේක.
11 දෙවිඳාණෝ දැහැමි විනිසකරුවෙක් වන සේක;
එහෙත් නිරතුරු ව උදහස් ව නොසිටින සේක.
12 පවිටු දනන් වැරදි මඟින් නොහැරෙන විට, දෙවිඳාණෝ සිය අසිපත තියුණු කරන සේක;
දුනු දිය තැත්කවා සූදානම් කරන සේක.
13 මාරක අවි සකස් කරන සේක;
ඊතල, ගිනි ඊතල කරන සේක.
14 එසේ වුව ද, නපුරු දනෝ නපුරුකම පිළිසිඳගනිති, අයුතුකම ගැබ් ගෙන සිටිති, මුසාවාදය ප්‍රසූත කරති.
15 ඔව්හු බිම තැනක ගැඹුරු වළක් හාරා තබති, කැපූ වළෙහි ඔව්හු ම වැටෙති.
16 ඔවුන් කළ නපුර ඔවුන් පිට ම ආපසු එයි, ඔවුන්ගේ ඒ දුෂ්ටකම ද ඔවුන්ට ම යළි පටිසන් දෙයි.
17 සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි.
අති උත්තම හිමි තුමන් හට තුති ගී පවසමි.

– 8 වන පරිච්ඡේදය –

දේව මහිමය හා මිනිසාගේ උදාරත්වය

1 සමිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?
ඔබේ තේජෝ මහිමය සගලොවින් එපිට පිළිරැව් දෙන්නේ ය.
2 කිරි දරු බිළිඳු සිඟිති මුවින් ඔබ සතුරා ද පළිගන්නා ද නිහඬ කළ සේක.
රුපු ඔද බිඳිමින් බලකොටුවක් ද ඉදි කළ සේක.
3 සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි,
4 මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද?
මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය.
5 එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය.
තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය.
6 ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක.
ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක.
7 ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.
8 ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක.
9 දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?

– 9 වන පරිච්ඡේදය –

දැහැමි විනිශ්චය ගැන පැසසුම්

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි;
ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි;
2 ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි;
මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි.
3 ඔබේ ආගමනය නරඹා සතුරෝ පසු බැස යති; පැකිළ වැටෙති, වැනසෙති.
4 සාධාරණ විනිසකරුනි, සිහසුන් අරා ඔබ වැඩ හිඳින සේක;
මා ගැන නඩුව අසා මට යුක්තිය ඉටු කළ සේක.
5 ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක.
6 සතුරන්ගේ නගර සුණු විසුණු කර ඇත. ඒවායේ නම්ගම් මතකයෙන් පහකර ඇත. ඔවුන් සදාකල් විනාශයට පැමිණෙවු සේක.
7 සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක;
විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක.
8 එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක;
ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක.
9 සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි;
විපත්ති සමයෙහි මහ බලකොටුවකි.
10 ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති.
ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.
11 සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න;
මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න.
12 දුක්ගැනවිලි ඇති කවරෙකු වත් එතුමාණෝ අමතක නොකරන සේක.
වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ.
13 සමිඳුනි, මට කරුණා කළ මැනව.
සතුරන්ගෙන් වූ මාගේ දැඩි දුක සලකාලුව මැනව.
මරු මුවෙන් මා වෙන් කරගත මැනව.
14 එවිට ඔබ මට දුන් සෙත් සිරි ගැන ජෙරුසලමේ සව් සත හට ජය තුති ගී පවසන්නෙමි.
15 විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති.
එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.
16 සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක.
කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.
17 දුදනන්ගේ ඉරණම පාතාලය වේ;
දෙවිඳුන් අමතක කරන ජාතීන්ටත් එසේ ම වේ.
18 දිළිඳා හැම දා අමතක නොවනු ඇත.
පීඩිත අයගේ පැතුමත් සදහට ම යටපත් නොවනු ඇත.
19 වඩිනු මැනව සමිඳුනි, ඔබට එරෙහි ව නැඟිටින්නට මිනිසාට ඉඩ නුදුන මැනව.
ජාතීහු ඔබ අබිමුව විනිශ්චය කරනු ලබත් වා!
20 සමිඳුනි, ඔවුන් භීතියෙන් ඇලළී යන්නට සැලසුව මැනව.
ජාතීන් මැරෙන සුලු අය පමණක් බව දැනගන්නට සැලසුව මැනව.

– 10 වන පරිච්ඡේදය –

පිහිට සඳහා යැදුම

1 සමිඳුනි, ඔබ ඈත් වී සිටින්නේ මන් ද?
විපත් සමයේ කුමට සැඟවී සිටින සේක් ද?
2 අහංකාර පවිටු දනෝ දිළිඳුන් හට පීඩා කරති;
එබැවින් තමන් අටවන උගුල්වල තුමූ ම අසුවෙති.
3 දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි.
මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමන් හෙළා දකිති.
4 දුදනා උඩඟුකම නිසා දෙවිඳුන් සොයා නොයයි.
‘දෙවි කෙනෙක් ලොවේ නැත’ යනු ඔහුගේ නිගමනය යි.
5 ඒ මිනිසා සැම විට ම සව් ඉසුරෙන් වැජඹෙනු ඇත.
ඉහළින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත.
සිය සතුරන්ට ඔහු නිගා කරයි.
6 ඔහු තමා හට මෙසේ කියාගනියි:
”නොවැටෙමි මම කවදාවත්;
කිසි විපතක් නැත මා හට.”
7 සාපයෙන්, රැවටිල්ලෙන්, සැහැසිකමෙන් ඔහුගේ මුව පිරී තිබේ.
නපුර සමඟ අයුක්තිය ඔහුගේ දිවග ලෙල දෙයි.
8 ගම්මානයේ සැඟවී සිට ඔහු නිදොස් අය කපා කොටයි;
පිහිටක් නැති අසරණයින් එන තුරු ඔහු මාන බලයි.
9 ගුහාවේ නිදන සිහ රදකු මෙන් ඔහු ගොදුරු සොයා රහස් තැනක ලැග ඇත;
දිළිඳු දනන් ඩැහැගනු ඇත;
මරු දැල දා ඇදගනු ඇත.
10 සුදනා පහර ලබා, බිම වැටී, ගුළි ගැසී සිටියි;
ඒ අසරණ අය දුදනන්ගේ අතට අසු වී සිටිති.
11 ”දෙවිඳුන් මෙතන නැත;
එතුමාණන් මුහුණ වසාගෙන ඇත.
කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි.
12 සමිඳුනි, අවදි වන්න;
ඔබ අත ඔසවා මුදාගන්න;
දිළිඳු අය සිහි කරන්න.
13 දුෂ්ටයා දෙවිඳුන් හට නිගා කරන්නේ මන් ද?
”ඔබ දඬුවම් නොදෙන සේකැ”යි ඔහු සිතින් කියාගන්නේ මන් ද?
14 ඔබ දුක් කරදර ගැන සලකන සේක;
ඔබ උපකාර කරන්නට නිතර සූදානම් ය.
අසරණයා සිය ජීවිතය ඔබට භාර දෙයි.
ඔබ අනාථයාගේ ආධාරකරු වන සේක.
15 නපුරන්ගේ හා දුදනන්ගේ බලය සිඳ බිඳලන්න;
කිසි නපුරක් ඉතිරි නොවන ලෙස ඔවුන්ට දඬුවම් කරන්න.
16 සදහට ම සමිඳාණෝ රජිඳාණෝ ය, එතුමන්ගේ විජිතයෙන් විජාතීන් වැනසෙනු ඇත.
17 සමිඳුනි, පීඩිතයන්ගේ විලාපයන්ට ඔබ සවන් දෙන සේක;
ඔවුන්ට ඔබ දිරිය දෙන සේක.
18 මිහි පිට වසන මිනිසාගෙන් තවත් බියක් ඇති නොවන පරිදි, අනාථයා හා පීඩිතයා සාධාරණ ලෙස විනිශ්චය කළ මැනව.

– 11 වන පරිච්ඡේදය –

සමිඳුන් කෙරේ තිරසර බැති පෙම

දාවිත්ගේ ගීතයකි.
1 හිමි තුමන් වෙත රැකවරණය මට ඇත.
එබැවින්, ”පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?
2 අන්න බලන්න, නපුරු දනෝ දුන්න තැත්කවති; අඳුරේ සිට සුදනන් හට විදින පිණිස ඊතල දුනු දියෙහි යොදති.
3 පදනම් දෙදරා බිඳ වැටුණොත් දැහැමි අයට කර ගත හැකි දෙයක් වේ ද?
4 හිමි තුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක.
එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය.
හිමි තුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක.
5 සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක;
එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක;
6 දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක;
ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.
7 හිමි තුමාණෝ දැහැමි ය, ගුණ දහමට ප්‍රිය ඇත්තෙකි.
දැහැමි අය එතුමන්ගේ මුහුණ දකින්නෝ ය.

– 12 වන පරිච්ඡේදය –

අභක්තිය පැවති කලක කළ අයැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, පිහිට වුණ මැනව.
සැදැහැවතුන් ඉතිරි ව නැත.
විශ්වාසවන්තකම ලොවින් තුරන් වී ඇත.
2 මිනිසා මිනිසාට බොරු පවසයි;
චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.
3 සමිඳුනි, ඔවුන්ගේ චාටු බස් නවත්වන්න;
පුරසාරම් නැති කරන්න.
4 ඔව්හු මෙසේ උදන් අනති:
”අප රිසි දෙය අපි කියමු;
කුමට ද අප නිහඬ වන්නේ?
කවුරු ද එය නවතන්නේ?”
5 අප සමිඳාණෝ මෙසේ වදාරති:
”පිහිටක් නැති දිළිඳා තළාපෙළා දමන නිසා,
ඒ දුක මට ඇසෙන නිසා, මම දැන් එහි වැඩම කරමි;
ඔවුන් පතන රැකවරණය සලසා දෙමි.”
6 කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය.
7 සමිඳුනි, අප රැකගත මැනව;
කුදිටු අනාචාරික පරපුරකින් අප නිරතුරු රැකගත මැනව.
8 පවිටු දනෝ ඔබමොබ යති.
රට සැම දෙස දුසිරිත වැජඹෙයි.

– 13 වන පරිච්ඡේදය –

සමිඳුන් වෙත යැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක් ද?
සදහට ම ද?
ඔබ මා හැර දමා අහක බලාගෙන සිටින සේක් ද?
2 සිත් වේදනාවෙන් තැවිතැවී කොපමණ කල් සිටින්න ද?
දිවා රෑ සෝදුකින් පෙළිපෙළී කොපමණ කල් සිටින්න ද?
මා සතුරෝ මට ඉහළින් කොපමණ කල් වැජඹෙන්නෝ ද?
3 දෙවි සමිඳුනි, මා සලකා මට පිළිතුරු දුන මැනව;
මරණ නින්ද වළක්වන පිණිස මා දෙනෙතට එළිය දෙන්න.
4 එවිට නොහැක, මාගේ සතුරාට, ”ඔහු පැරදුවෙමි”යි මා ගැන, කියන්නට;
නොහැකි ය, මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට.
5 ඔබේ තිර පෙමෙහි මම රඳා සිටිමි.
ඔබ මා ගැළෙවු බැවින් මම ප්‍රීති වන්නෙමි.
6 සමිඳුන් දයා කරුණා පෑ බැවින් එතුමන් හට මම ගී ගයන්නෙමි.

– 14 වන පරිච්ඡේදය –

අදේවදෘෂ්ටිකයන්ගේ ඉරණම

දාවිත්ගේ ගීතයකි.
1 ”දෙවි කෙනෙක් නැතැ”යි අනුවණයෝ සිතින් සිතති.
එවැනි අය අධම කුදිටු දේ ම කරති;
යහපත කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත.
2 සමිඳාණෝ සුරලොව සිට බලන සේක;
මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක.
3 ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත;
සව් සත කෙලෙස් මලින් පිරී ඇත.
හොඳක් කරන කිසිවෙක් නැත;
ඇත්තට ම නැත.
4 කෑම කන්නාක් මෙන් මාගේ සෙනඟ කා දමන, මා හට අයැදුම් නොකරන,
අදමිටු මේ අයට සිහි නුවණ නැද් ද?
5 දෙවි තුමන් තමන් කීකරු අයට ළං ව වැඩ වසන බැවින්, පවිටු දනෝ මහත් බියෙන් ඇලළී යති.
6 පවිටු දනෝ දිළිඳුන්ගේ සිතුම්පැතුම් ව්‍යර්ථ කරති.
එහෙත්, සමිඳාණෝ ඔවුන්ගේ සරණ වන සේක.
7 සියොන් කන්දෙන් විමුක්තිය පැමිණියොත් කෙතරම් හොඳ ද?
හිමි තුමන් සිය සෙනඟට සැප සම්පත දුන් විට, ජාකොබ් පෙළපතට කොපමණ ප්‍රීතියක් ද?
ඉශ්රායෙල් සෙනඟට කොපමණ සතුටක් ද?

– 15 වන පරිච්ඡේදය –

බැතිමතුන්ගේ චරිත ලක්ෂණ

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද?
ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද?
2 නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය.
3 ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය.
4 ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය.
සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.
5 ඔහු මුදල් පොළියට නොදෙයි;
නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය.
මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.

– 16 වන පරිච්ඡේදය –

හිමි තුම පරම සැපත ය.

දාවිත්ගේ මික්තාම් නම් කාව්‍යයකි.
1 දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි.
එබැවින් මා රැකගත මැනව.
2 මම මෙසේ කීමි:
”සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය.
ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.”
3 මිහි මත වසන බැතිමත්හු උතුම් වන්නෝ ය;
ඔවුන් පිළිබඳ විපුල සතුටක් මට ඇත්තේ ය.
4 අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේ ය.
පානීය ලේ පූජා මම ඔවුන්ට නොපුදන්නෙමි;
ඔවුන්ගේ නාම මා මුවින් නොපවසන්නෙමි.
5 සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය.
ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.
6 මාගේ වතු පිටිවල සීමා රම්‍ය තැන්වල පිහිටා ඇත්තේ ය.
මා සතු උරුමය ප්‍රියංකර ය.
7 මට උවදෙස් දෙන හිමි තුමන් හට තුති කරන්නෙමි.
රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය.
8 හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි.
මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි.
9 එබැවින් මසිත උදන් අනයි;
මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය;
මා ගත සුරැකි ව ඇත්තේ ය.
10 මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක;
ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක.
11 ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක.
ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය.
ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.

– 17 වන පරිච්ඡේදය –

නිදොස් කෙනෙකුගේ ආයාචනය

දාවිත්ගේ යාච්ඤාවකි.
1 සමිඳුනි, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.
2 මා ගැන නඩු තීන්දුව ඔබෙන් ම පැමිණේ වා!
ඔබේ දෙනෙතට යුක්තිය පෙනේ වා!
3 ඔබ මසිත උරගා බැලූ සේක;
රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක;
ඔබ මා විමසා බැලූ සේක;
එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක.
4 අන් අය මෙන් මම නපුර කතා නොකෙළෙමි.
ඔබේ නීති පිළිපැද්දෙමි;
සැහැසි ක්‍රියා මාර්ගයෙන් වැළකී සිටියෙමි.
5 ඔබ පැවසූ දහම් මඟෙහි ගමන් කෙළෙමි.
ඉන් ඉවත් ව මා ඉක්ම ගියේ නැත.
6 දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි.
මා අයැදුමට කන් යොමු කළ මැනව;
මාගේ බස් ඇසුව මැනව.
7 මිදුම්කරුනි, ඔබේ දකුණු අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව;
ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව.
8 ඔබේ ම දෙනෙත රක්නා සේ මා රැකගන්න;
ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න.
9 වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න.
10 මා සතුරන්ට දයාව නැත;
ඔව්හු උඩඟුකමින් බස් තෙපලති.
11 මා වටකර සැම දෙසින් බලා සිටිති;
මා බිම හෙළීමට මාන බලති.
12 ඔව්හු ගිජු ලෙස ගොදුර බලා යන සිංහයෙකුට සමාන ය;
රහසිගත ව රැක සිටින තරුණ සිංහයෙකුට සමාන ය.
13 සමිඳුනි, නැඟිටිනු මැනව;
මාගේ සතුරන්ට මූණ දී ඔවුන් පරාජය කළ මැනව;
ඔබේ කඩුපත ලෙලවා දුදනන්ගෙන් මා මිදුව මැනව;
14 ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව.
දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත.
ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව;
ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.
15 මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.

– 18 වන පරිච්ඡේදය –

ජය තුති ගීතය

සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු, දාවිත්ගේ ගීතයකි. ඔහුගේ සියලු සතුරන්ගෙන් ද සාවුල් අතින් ද සමිඳාණන් වහන්සේ ඔහු මිදූ කල ඔහු මේ ගීතිකාවේ වචන සමිඳාණන් වහන්සේට කීවේ ය.
1 මාගේ සවි ශක්තිය වන සමිඳුනි, මම ඔබට ප්‍රේම කරමි;
2 සමිඳාණෝ මාගේ පර්වතය ය; බලකොටුව ය;
මිදුම්කාරයාණෝ ය.
ඔබ මා දෙවිඳාණෝ ය;
පර්වතය ය.
මම ඔබ සරණකොට ගනිමි.
ඔබ මට පලිහ ය;
ගැළවීමේ බලය ය;
උස් කොටු පවුර ය.
3 සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුනි, මම ඔබට අයැද සිටිමි.
මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.
4 මරහුගේ රැහැන් මා වෙළාගත්තේ ය;
වනසන ජලධාරා මා ගිලගත්තේ ය;
5 පාතාල රැහැන් මා වෙළාගති;
මරණයේ මලපත් මට අටවා තිබිණි.
6 මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි.
එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක.
මා යාදිනි එතුමන් වෙත නැඟිණි.
7 එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය;
කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය;
මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
8 එතුමාණන්ගේ නාස්පුඩුවලින් දුම් වලා නැඟිණි;
මුවින් අග්නි ජාලා නික්ම සියල්ල දවා දැමී ය.
9 එතුමාණෝ අහස නමාගෙන පහළ වූ සේක.
එතුමන්ගේ පා යට ගන’ඳුර පැවතිණි.
10 එතුමාණෝ දිව්‍ය රථය අරා යාත්‍රා කළ සේක;
මාරුතය නමැති පියාපත් විදහා වේගයෙන් වැඩිය සේක.
11 එතුමාණෝ අඳුර තමන්ට පොරෝනාවක් කරගත් සේක;
වැහි වලා පටල තමන්ට මණ්ඩපයක් කරගත් සේක.
12 එතුමාණන් වෙත වූ උද්දීප්තියෙන් ඝන වලාකුළු ද ගල් වැසි හා ගිනි අඟුරු ද නික්මිණි.
13 සමිඳාණෝ අහස් කුසෙහි ගිගුරුම් දුන් සේක.
මහෝත්තමයාණෝ සිය හඬ නික්මවූ සේක.
එවිට ගල් වැසි හා ගිනි අඟුරු නික්මිණි.
14 එතුමාණෝ සිය ඊතල විද සතුරන් දස දෙස යැවූ සේක;
විදුලි සැර එවා ඔවුන් පරාජය කළ සේක.
15 සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය.
16 එතුමාණෝ ඉහළින් අත පොවා, මා අල්ලාගත් සේක;
ගැඹුරු ජලධාරාවලින් මා ඇදගත් සේක.
17 එතුමාණෝ මාගේ බලවත් සතුරන්ගෙන් ද එදිරිකාරයන්ගෙන් ද මා මුදාගත් සේක.
එසේ කෙළේ, ඔවුන් මට වඩා බලසම්පන්න බැවිනි.
18 මාගේ විපත්ති කාලයේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ;
එහෙත්, සමිඳාණෝ මට සරණ වූ සේක.
19 එතුමාණෝ ඉඩකඩ ඇති තැනකට මා ගෙනා සේක;
මා කෙරේ ප්‍රිය මනාප වූයෙන් මා මිදූ සේක.
20 මාගේ දැහැමි ජීවිතය අනුව ද මාගේ ක්‍රියා සුපිරිසිදු වූයෙන් ද සමිඳාණෝ මට ප්‍රතිඵල දුන් සේක.
21 මම සමිඳාණන්ගේ මාර්ගවල ගමන් කෙළෙමි.
මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස වෙන් නොවීමි.
22 එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි තබාගතිමි.
එතුමන්ගේ ආඥා අත් නොහළෙමි.
23 මම එතුමන් අබිමුවෙහි නිදොස් ව සිටියෙමි;
පවින් වැළකී සිටියෙමි.
24 එබැවින්, සමිඳාණෝ මාගේ දැහැමි ක්‍රියා අනුව,
මාගේ පිරිසිදු පැවැත්ම අනුව මට ප්‍රතිඵල දුන් සේක.
25 පක්ෂපාත අයට ඔබ පක්ෂපාතකම ද නිදොස් අයට නිදොස් බව ද දක්වන සේක.
26 පිවිතුරු අයට පිවිතුරු බව ද හිතුවක්කාර අයට විරෝධය ද දක්වන සේක.
27 ඔබ පීඩිතයන් මුදන සේක; එහෙත්, ඔබ උඩඟු වූවන් පහතට හෙළන සේක.
28 සමිඳුනි, ඔබ මාගේ පහන දල්වන සේක;
මාගේ දෙවි සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.
29 ඔබේ පිහිටෙන් මම යුද හමුදා අබිබවමි:
දෙවි සරණින් මම පවුරු උඩින් පැන යමි.
30 දෙවි මඟ සර්ව සම්පූර්ණ ය;
සමිඳුන්ගේ වචනය තිරසර ය.
සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි.
31 හිමි තුමන් හැර වෙන දෙවි කෙනෙක් ඇද් ද?
අපේ දෙවිඳුන් හැර පර්වතයක් තවත් ඇද් ද?
32 මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය.
මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය.
33 මාගේ දෙපා මුව පාද මෙන් ශීඝ්‍ර කරන්නෝත්,
උස් ගිරි මුදුන්වල මා පිහිටුවන්නෝත් එතුමාණෝ ය.
34 මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය.
35 ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක.
ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය.
36 ඔබ මා යන මඟ පළල් කළ සේක;
මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි.
37 මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගනිමි;
ඔවුන් වනසා මිස ආපසු නොහැරෙමි.
38 යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි.
ඔව්හු මා පා සෙවණෙහි වැටෙති.
39 සටනට ඔබ මාගේ ඉඟටිය බලයෙන් පළඳවන සේක;
මට විරුද්ධ ව නැඟුණු අය ඔබ මා යටතෙහි මැඩලන සේක.
40 මාගේ වෛරක්කාරය‍න් මා විසින් සිඳලනු ලබන පිණිස,
මාගේ සතුරන් මට පිටු පාන්නට සලසන සේක.
41 ඔව්හු පිහිට සොයා මොරගසති.
එහෙත්, ඔවුන්ට ගැළවුම්කාරයෙක් නැත.
සමිඳුන්ට මොරගසති;
එහෙත්, එතුමාණන්ගෙන් පිළිතුරක් නැත.
42 එවිට මම සුළඟෙහි පාවෙන දූවිල්ල මෙන් ඔවුන් සුණු විසුණු කරමි;
වීදිවල මඩ මෙන් ඔවුන් පයින් පාගාදමමි.
43 ඔබ ජනතාවගේ උද්ඝෝෂණවලින් මා මුදාගන්න සේක;
මා ජාතීන්ගේ නායකයා කරන සේක. මා පෙර දැන නොසිටි සෙනඟක් මට සේවය කරති.
44 මා ගැන ඇසූ කෙණෙහි ම ඔව්හු මට කීකරු වන්නෝ ය;
විදේශීහු බැගෑපත් ලීලාවෙන් මා සොයා එන්නාහ.
45 විදේශීහු මට අවනත වන්නෝ ය;
සිය බලකොටුවලින් වෙවුල වෙවුලා පිටතට එන්නෝ ය.
46 සමිඳාණෝ සැරදෙත් වා!
මාගේ ප්‍රාකාරය වන එතුමන්ට පැසසුම් වේ වා!
මාගේ විමුක්තිදායකයාණෝ අන් හැමට පරමෝත්තම වන සේක.
47 එතුමාණෝ වනාහි මා වෙනුවෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන දෙවිඳාණෝ ය.
48 එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක;
මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක.
ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක.
49 එබැවින් සමිඳුනි, මම විජාතීන් අතර ඔබට පැසසුම් පුදමි;
ඔබේ නමට තුති ගී ගයන්නෙමි.
50 එතුමාණෝ සිය රජුට ජය සිරි දෙන සේක;
තමන් අතින් අබිසෙස් ලත් දාවිත් රජුට ද ඔහුගේ වංශයට ද සදහට ම කරුණා කරන සේක.

– 19 වන පරිච්ඡේදය –

මැවිල්ලෙන් පළ වන දේව මහිමය

දාවිත්ගේ ගීතයකි.
1 අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ ය;
ගුවන් තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේ ය.
2 එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය;
එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය.
3 කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.
4 එය දියත දසත විහිදී යයි, දෙවි තුමාණෝ හිරුට එහි මණ්ඩපයක් සාදා දුන් සේක.
5 මඟුල් පෝරුවකින් බැස එන මනාලයෙකු ලෙසින්, ප්‍රීතියෙන් තරඟයට අරඅඳින වීර ධාවකයෙකු විලසින්,
6 හිරු රජිඳාණෝ අහසේ කොණකින් උදා වී අනික් කොණින් චාරිකාව නිම කරති.
එහි රස්නය නොවදින තැනක් නැත්තේ ය.

සමිඳුන්ගේ ව්‍යවස්ථාව

7 සමිඳුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය;
ජීවිතය පණ ගන්වන්නේ ය.
සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය;
අනුවණයන්ට නුවණ දෙන්නේ ය.
8 සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය;
සිතට සතොස වඩන්නේ ය.
සමිඳුන්ගේ අණසක පැහැදිලි ය;
දෙනෙතට එළිය දෙන්නේ ය,
9 සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය;
එය සදහට ම පවතින්නේ ය.
සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය;
මුළුමනින් දැහැමි වේ ම ය.
10 රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය;
පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.
11 එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය;
එය පිළිපැදීමෙන් විපුල විපාක අත්වන්නේ ය.
12 මාගේ රහස් වැරදි දන්නෝ කවුරු ද?
නොදැන මා කළ පව් සෝදා හළ මැනව.
13 උඩඟුකමේ පාපයෙන් මා වැළැක්වුව මැනව.
එහි බලපෑමට මම යටත් නොවෙම්වා.
එවිට මම දරුණු පවින් නිදහස් වී, නිදොස් කෙනෙක් වන්නෙමි.
14 මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!

– 20 වන පරිච්ඡේදය –

රජුගේ විජයශ්‍රීය

දාවිත්ගේ ගීතයකි.
1 විපත්ති දවසේ දී හිමි තුමාණෝ ඔබට පිළිතුරු දෙන සේක් වා!
ජාකොබ්ගේ දෙවිඳාණෝ ඔබට බලකොටුවක් වන සේක් වා!
2 එතුමාණෝ ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවා, සියොන් කන්දේ සිට ඔබ බලවත් කරන සේක් වා!
3 ඔබේ පුද පූජා සියල්ල සිහි කරන සේක් වා!
ඔබේ දවන යාග පූජා පිළිගන්න සේක් වා!
4 ඔබේ මන දොළ ඉටු කරන සේක් වා!
ඔබේ පැතුම් සාර්ථක කරන සේක් වා!
5 ඔබේ ජය සිරි ගැන අපි තුති පසස් නඟමු;
අපේ දෙවිඳුන් නමින් ජය කෙහෙලි නංවමු.
සමිඳාණෝ නුඹේ සියලු අයැදුම් ඉටු කරන සේක් වා!
6 හිමි සඳ සිය අබිසෙස් ලත් අය මුදන බව දනිමි.
සමිඳාණෝ, සිය සුපිරිසිදු සගලොව සිට සිය දකුණතේ විමුක්ති ශක්තියෙන් ඔහුට පිළිතුරු දෙන සේක.
7 සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති.
එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු.
8 ඔව්හු වකුටු වී වැටෙන්නෝ ය.
එහෙත්, අපි නැඟිට කෙළින් සිටිමු.
9 සමිඳුනි, රජතුමා මිදුව මැනව;
අප යදින විට පිළිතුරු දුන මැනව.

– 21 වන පරිච්ඡේදය –

විජයශ්‍රීය ගැන ප්‍රශංසා

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, ඔබේ බල පැරකුම් ගැන රජ තෙමේ උදන් අනයි;
ඔබ දුන් විමුක්තිය ගැන ඔහු කොතරම් ප්‍රමෝද වන්නේ ද!
2 ඔබ ඔහුගේ මන දොළ පුරවා ලූ සේක;
ඔහුගේ යාදිනි නොපිරිහෙළා ඉටු කළ සේක.
3 ඔබ සැප සම්පත් රැගෙන ඔහු වෙත එන සේක;
ඔහුට පිවිතුරු රන් කිරුළක් පළඳවන සේක.
4 ඔහු ඔබෙන් දිවි සම්පත අයැදී ය, ඔබ ඔහුට එය දුන් සේක;
දිගායු ද ප්‍රදානය කළ සේක.
5 ඔබෙන් ලත් විමුක්තිය රජුට යස ඉසුරු ගෙන දෙයි.
කීර්තිය හා ප්‍රතාපය ඔබ ඔහුට දෙන සේක.
6 ඔබ ඔහුට සදහට ම ඉමහත් ආසිරි දානය කරන සේක;
ඔබ ඔහු සමඟ සිටීමෙන් ඇති වන ප්‍රීතියෙන් ඔහු පිනවන සේක.
7 මන්ද, සමිඳුන් කෙරේ රජ තෙමේ විශ්වාසය තබයි;
මහෝත්තමයාණන්ගේ කරුණා මහිමය නිසා ඔහු නොසැලී රජකම් කරයි.
8 රජුගේ වමතට සියලු සතුරෝ ද දකුණතට වෛර බඳින්නෝ ද අසු වන්නෝ ය.
9 ඔබේ කෝපය ඔවුන්ට බුර බුරා නඟින ගිනි උදුනක් වනු ඇත, හිමි තුමාණෝ සිය උදහසින් ඔවුන් වනසාලන සේක.
ගින්නකින් මෙන් ඔවුන් දවා ලන සේක.
10 ඔබ ඔවුන්ගේ දූ දරුවන් සිඳ දමන සේක;
ඔවුන්ගේ මුණුබුරන් මිනිස් ලොවින් සහමුලින් වනසන සේක.
11 මන්ද, ඔබට විරුද්ධ ව ඔවුන් කුමන්ත්‍රණය කළත්, උපා මාර්ග යෙදුවත් ඒවා සාර්ථක නොවනු ඇත.
12 ඔබේ ඊගස් ඔවුන්ගේ මුහුණට එල්ල කරනු ඇත;
එවිට ඔවුන් පිටුපා යනු ඇත.
13 සමිඳුනි, ඔබේ වික්‍රම පාමින් උසස් වනු මැනව.
එවිට අපි ඔබේ තෙද බල විකුම් ගැන ප්‍රශස්ති ගීත ගයන්නෙමු.

– 22 වන පරිච්ඡේදය –

සන්තාපය හා ප්‍රශස්ති

දාවිත්ගේ ගීතයකි.
1 මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද?
මට පිහිට නොවී මාගේ යාදිනිවලින් ඈත් ව සිටින්නේ මන් ද?
2 මාගේ දෙවියෙනි, දවාලෙහි මම ඔබට හඬගසමි;
පිළිතුරක් නැත;
රාත්‍රියේදීත් හඬගසමි;
ඉස්පාසුවක් නැත.
3 ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රශස්ති ගීත මැද වැඩ වසන සුවිශුද්ධවරයාණෝ ඔබ ම ය.
4 අපේ මුතුන්මිත්තෝ ඔබ අදහා, ඔබ සරණ සොයා ගියෝ ය.
ඔබ ඔවුන්ට මිදුම දුන් සේක.
5 ඔව්හු ඔබට යැදුම් කළහ;
මුදනු ලැබුවෝ ය.
ඔබ මත විශ්වාසය තැබූ හ;
ලජ්ජා නොවූවෝ ය.
6 අනේ!
මම මිනිසෙක් නොව නර පණුවෙකි;
මිනිසුන් අතර නීචයෙකි.
ඔව්හු මෙමා හෙළා දකිති.
7 සියල්ලෝ මා දෙස බලා, කවටකම් කරති;
දත නියවා, හිස වනා මෙසේ කියති:
8 ”සමිඳුන්ට ඔහු බාර විණි, එතුමන් ඔහු ගළවා නොගන්නේ මන් ද?
සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමන් ඔහු මුදා නොගන්නේ මන් ද?”
9 මව් කුසයෙන් මා බිහි කළ, මවගේ ළයෙහි මා සැතපූ උතුමාණෝ ඔබ නොවන සේක් ද?
10 මව් කුස හොත් අවදියේ සිට, උපත ලැබූ දිනයේ සිට මා රැකගත් දෙවිඳාණෝ ඔබ ය.
11 දුක් කරදර ළඟ ළඟ ඇත.
ම වෙතින් ඈත් ව නොගිය මැනව.
අන් සරණක් මට නැත.
12 මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති.
බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති.
13 ගොදුරු කකා ගොරවන සිංහයන් මෙන් කට අයා,
ඔව්හු මා දෙස බලා සිටිති.
14 මම බිම ඉහිරුණ වතුර වැනි ය.
මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත.
මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය.
15 මාගේ උගුර කැබිලිත්තක් මෙන් වියළී තිබේ.
මාගේ දිව ද උඩුතල්ලේ ඇලී ඇත.
ඔබ මා මළ කෙනෙකු මෙන් පසට භාර දී ඇත.
16 මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය.
මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය.
ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය.
17 මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත.
සතුරෝ මා දෙස රවා ඔරවා බලති.
18 මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති;
මාගේ සළුව ගැනීමට දාදු දමති.
19 හිමි තුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව;
මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව.
20 කඩුවෙන් මා මිදුව මැනව;
ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව.
21 සිංහ කටෙන් මා ගැළෙවුව මැනව;
කුළු හරකුන්ගේ අංවලට මැදි වූ මා මිදුව මැනව.
22 ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි;
බැතිමතුන්ගේ සභාවේ දී ඔබට ප්‍රශංසා කරන්නෙමි.
23 හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමන් පසසන්න;
ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමන්ට ගෞරවය දෙන්න;
ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමන් ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න;
24 එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක;
එය පිළිකුල් කොට නොසිතූ සේක;
ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක;
ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක.
25 මහා සභාවේ මාගේ ප්‍රශංසාවේ තේමාව ඔබ ය.
එතුමන්ට ගරුබිය ඇති අය අබිමුව මාගේ භාර ඉටු කරන්නෙමි.
26 දුගී දුප්පත් අය කා බී තෘප්තිමත් වන්නෝ ය;
හිමි තුමන් සොයන්නෝ එතුමන්ට ගී පසස් නඟන්නෝ ය.
ඔව්හු සදහට ම සෞභාග්‍යය ලබත් වා!
27 මහ පොළොවේ සතර දිගින් ජනයෝ සමිඳුන් සමරමින් එතුමන් වෙත හැරී එති.
සකල ලෝක වාසීහු ඔබ අබිමුව වැඳ වැටෙති.
28 මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය.
29 පොළොවෙහි උඩඟු අය එතුමන්ට වැඳ වැටෙනු ඇත;
පොළොවේ මැරෙන සුලු අය එතුමන් නමදිනු ඇත.
30 මාගේ වංශය එතුමන්ට මෙහෙ කරනු ඇත;
මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත.
31 ”එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත.

– 23 වන පරිච්ඡේදය –

දිව්‍ය එඬේරාණෝ

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳාණෝ මා එඬේරාණෝ ය;
අග හිඟ මට නොවන්නේ ය.
2 එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා,
3 මා පණගන්වන සේක.
සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.
4 මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය.
ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
5 ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක.
මාගේ කුසලාන උතුරා යන්නේ ය.
6 ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය.
සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.

– 24 වන පරිච්ඡේදය –

මහිමාන්විත රාජයාණෝ

දාවිත්ගේ ගීතයකි.
1 පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති.
2 මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය.
3 හිමි තුමන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද?
එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද?
4 ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය.
5 එවැනි අයට සමිඳාණෝ ආසිරි දෙති;
මිදුම්කාර දෙවිඳාණෝ මොක් සුව දෙති.
6 දෙවිඳුන් සොයා යන්නෝ ද ජාකොබ්ගේ දෙවිඳුන්ගේ සරණ පතා යන්නෝ ද එවැනි අය ය.
7 ද්වාරයෙනි, විවෘත ව සිටින්න;
පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න;
ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
8 ඒ මහා ප්‍රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද?
තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය.
9 වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න;
පැරණි දොරටු විවෘත කොට තබන්න.
ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
10 මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද?
ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමි තුමාණෝ වෙති.

– 25 වන පරිච්ඡේදය –

මඟපෙන්වීම පතා යැදුම

දාවිත්ගේ ගීතයකි.
1 ඔබ වෙත සමිඳුනි මා හදවත ඔසවමි.
2 මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි.
මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව;
මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව.
3 ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත.
හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය.
4 සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව;
ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව.
5 ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව;
මට එය ඉගැන්නුව මැනව;
මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය.
දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.
6 සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව.
මේවා ඔබේ චිරාගත ගුණාංගයෝ ය.
7 සමිඳුනි, මාගේ යොවුන් වියේ පාප ද අපරාධ ද සිහි නොකළ මැනව.
සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව.
8 සමිඳාණෝ යහපත් ය; අවංක ය.
එතුමාණෝ පවිටුන් හට යා යුතු මාර්ගය උගන්වන සේක.
9 එතුමාණෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක.
එතුමාණෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක.
10 හිමි තුමන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.
11 හිමි සමිඳුනි, මාගේ අයුතුකම් මහත් බැවින්, ඔබේ නාමය නිසා, මට කමාවුව මැනව.
12 සමිඳුන් කෙරේ ගරුබිය ඇති අය හට ඔහු යා යුතු මඟ එතුමාණෝ පහදා දෙන සේක.
13 ඔහු සුව සේ වාසය කරයි;
ඔහුගේ වංශයට දේශය හිමි වෙයි.
14 හිමි තුමන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත;
එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත.
15 මාගේ දෙනෙත නිරතුරු හිමි සමිඳාණන් දෙසට යොමුව ඇත;
මන්ද, එතුමාණෝ මාගේ දෙපා සතුරාගේ දැලෙන් මුදාගන්න සේක.
16 මා දෙස බලා මට කරුණා කළ මැනව.
මන්ද, මම අසරණවෙමි; පීඩිතවෙමි.
17 මසිත දුකින් පිරී ඇත;
මාගේ විපත්වලින් මා මිදුව මැනව.
18 මාගේ දුක්ගැනවිලි හා වේදනා කල්පනාවට ගත මැනව;
මාගේ සියලු පව් කමා කළ මැනව.
19 බලන්න, මාගේ සතුරෝ බොහෝ ය.
කෲර වෛරයෙන් ඔව්හු මට වෙර බඳිති.
20 මා රැකවල් කොට මා මිදුව මැනව.
ඔබ කෙරේ විශ්වාසය තැබූ මම පරාජය නොවෙම් වා!
21 සත්‍යය හා අවංකකම මාගේ රැකවරණ වේ වා!
මාගේ බලාපොරොත්තුව ඔබ ය.
22 දෙවිඳුනි, ඉශ්රායෙල් ජනතාව සියලු ආපදාවලින් මිදුව මැනව.

– 26 වන පරිච්ඡේදය –

සුදනෙකුගේ අයැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, මා ගැන යුක්තිය ඉටු කළ මැනව.
මන්ද, මාගේ හැසිරීම නිදොස් ය.
සමිඳුන් කෙරේ අචල විශ්වාසයක් මට ඇත.
2 සමිඳුනි, මා සෝදිසි කොට, පරීක්ෂා කර බැලුව මැනව;
මාගේ සිත හා මනස විමසා බැලුව මැනව.
3 ඔබේ මහා කරුණාව මාගේ දෙනෙතින් දිටිමි.
ඔබට විශ්වාසී ව දවස් යැවීමි.
4 මම වැදගැම්මකට නැති මිනිසුන් සමඟ නොහැසිරෙමි;
කෛරාටිකයන් ඇසුරු නොකරමි.
5 දුදනන්ගේ සමාගමට මම තදින් ම විරුද්ධ ය.
ඔවුන් සමඟ පයිරුපාසනයක් මාගේ නැත.
6 නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි.
7 සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි.
8 සමිඳුනි, ඔබේ වාසභවනයටත්, ඔබ තේජසින් වැජඹෙන මන්දිරයටත් මම ප්‍රේම කරමි.
9 පවිටුන් හා සමඟ මා විනාශ නොකළ මැනව;
මිනීමරුවන් සමඟ මා පහ නොකළ මැනව.
10 ඔවුන්ගේ අත්වල නපුරු උපායන් වේ;
ඔවුන්ගේ දකුණත් අල්ලසින් දූෂණය වී ඇත.
11 මම මේ නිදොස්කමින් දවස් යවමි;
මා මුදා, මට කරුණා කළ මැනව.
12 මාගේ පාද යහ මඟ පිහිටා ඇත.
ප්‍රසිද්ධ නමස්කාරයේ දී සමිඳුන් හට පැසසුම් ගී ගයන්නෙමි.

– 27 වන පරිච්ඡේදය –

විශ්වාසය හා ධෛර්යය

දාවිත්ගේ ගීතයකි.
1 හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය;
මම කිසිවෙකුට බිය නොවෙමි.
හිමිසඳ මාගේ ජීව ශක්තිය ය;
මට භීතියක් නැත.
2 දුදනන් වන මාගේ විරුද්ධකාරයෝ සහ සතුරෝ මා කා දමන පිණිස ආ කල ඔව්හු පැකිළී වැටුණෝ ය.
3 බළ ඇණියක් මට විරුද්ධ ව කඳවුරු බැන්දත්, මසිතට බියක් නැත.
මට විරුද්ධ ව යුද ගිනි ඇවිළුණත්, මම සුරක්ෂිත ව සිටිමි.
4 හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි;
එය තරයේ සොයන්නෙමි.
එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.
5 විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක;
සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක.
එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.
6 දැනුදු මා සිසාරා සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවමි;
එතුමන්ගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි;
හිමි සඳුට ගී ගයා වාදනය කරන්නෙමි.
7 හිමි තුමාණෙනි, මා හඬ නඟා කියන දෙයට සවන් දුන මැනව;
මට කරුණා කොට උත්තර දුන මැනව.
8 ”මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, ”ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි.
9 මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව;
උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව.
ඔබ මාගේ සරණ වන සේක.
මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව;
මා අත් නොහළ මැනව.
10 මාගේ මවුපිය දෙදෙනා මා අත්හැරියෝ ය;
එහෙත්, හිමි තුමාණෝ මා පිළිගන්න සේක.
11 සමිඳුනි, ඔබේ දහම් මඟ මට ඉගැන්නුව මැනව;
මාගේ සතුරන් නිසා උවදුරු රහිත මඟක මා ගෙන ගිය මැනව.
12 මාගේ එදිරිකරුවන්ගේ අභිප්‍රායවලට මා පාවා නුදුන මැනව.
බොරු සාක්ෂිකාරයෝ ද කෲර ලෙස තර්ජන කරන්නෝ ද මට විරුද්ධ ව නැඟී සිටිති.
13 ”ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි.
14 සමිඳුන් කෙරේ බලා සිටින්න;
ශක්තිමත් වන්න;
ධෛර්යවත් වන්න;
සමිඳුන් කෙරේ බලා සිටින්න.

– 28 වන පරිච්ඡේදය –

දෙවි සරණ අයැදීම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, ඔබට හඬගසමි, මාගේ පර්වත රාජයාණෙනි, මට සවන් නො දී නොසිටිය මැනව.
ඔබ නිහඬ වුවහොත්, මාත් පාතාලයට බැස යන්නවුන්ගෙන් කෙනෙකු වනු ඇත.
2 මා ඔබට හඬ නඟන කල ද ඔබේ ශුද්ධස්ථානය දෙසට මාගේ දොහොත් මුදුන් තබන කල ද මාගේ යාදිනි හඬට කන් දුන මැනව.
3 සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපණත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව.
4 ඔවුන්ගේ ක්‍රියාවල හැටියට ද දුෂ්ට කල්ක්‍රියා අනුව ද ඔවුන්ට පල විපාක දුන මැනව;
ඔවුන් කළ දේ අනුව ඔවුන්ට පල විපාක දුන මැනව.
5 ඔවුන් සමිඳුන්ගේ ක්‍රියා හෝ එතුමන්ගේ නිර්මාණ හෝ නොසලකන බැවින්, එතුමාණෝ ඔවුන් සදහට ම සුණු විසුණු කරන සේක;
යළි නොපිහිටුවන සේක.
6 සමිඳුන් හට ප්‍රශංසා වේ වා!
මන්ද, එතුමාණෝ මාගේ යාදිනි හඬට සවන් දුන් සේක.
7 සමිඳාණෝ මාගේ ශක්තිය ය;
මාගේ පලිහ ය.
මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි;
මම පිහිට ලදිමි.
එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි;
මම එතුමන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.
8 සමිඳාණෝ සිය සෙනඟගේ ශක්තිය ය.
එතුමාණෝ සිය රාජාභිෂේකය දුන් අයට විමුක්තියේ බලකොටුව වන සේක.
9 ඔබේ සෙනඟ මුදා, ඔබේ ආවේණික සෙනඟට ආසිරි දුන මැනව;
ඔවුන් පෝෂණය කොට සදහට ම රැකබලාගත මැනව.

– 29 වන පරිච්ඡේදය –

මාරුත මැදින් දේව හඬ

දාවිත්ගේ ගීතයකි.
1 දිව්‍ය පුත්‍රයෙනි, සමිඳුන්ට පැසසුම් දෙන්න;
එතුමන් තෙද බල පසසන්න.
2 හිමි තුමන් නමට දිය යුතු මහිමය දෙන්න;
පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමන් නමදින්න.
3 සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ.
ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක.
4 සමිඳාණන්ගේ හඬ බලවත් ය;
සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.
5 සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි;
ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි.
6 ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක.
7 සමිඳුන්ගේ කටහඬ ගිනි දලු බෙදාලයි;
8 සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි;
හිමි තුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති.
9 සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, ”ඔබට මහිමය වේවා”යි කියයි.
10 සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක;
රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.
11 සමිඳාණෝ සිය සෙනඟට ශක්තිය දෙන සේක;
සිය සෙනඟට සාමදානයෙන් ආසිරි දෙන සේක.

– 30 වන පරිච්ඡේදය –

සුවය ගැන ප්‍රශස්ති ගීයක්

දාවිත්ගේ ගීතයකි. දේව ගෘහය කැප කිරීමේ ගීතයකි.
1 ඔබ මා උසස් කළ බැවින් ද මාගේ දුක් ගැන මා සතුරන්ට ප්‍රීති වීමට නුදුන් බැවින් ද සමිඳුනි, ඔබට ප්‍රශස්ති ගී ගයමි.
2 මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක.
3 සමිඳුනි, ඔබ පාතාලයෙන් මා ගොඩ ගත් සේක;
මා වළ පල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක.
4 පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න;
ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.
5 මන්ද, එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය.
එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක් ය.
රැයේ හැඬීම පවතියි;
උදය ප්‍රීතිය උදා වෙයි.
6 ”සැප සම්පතේ දී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි”යි කියා ගතිමි.
7 සමිඳුනි, ඔබේ කරුණාවෙන් ඔබ මා නොසැලෙන පව්වක් මෙන් තහවුරු කළ සේක.
එහෙත්, ඔබ මා කෙරෙන් සැඟවුණ විට, මම කැළඹුණෙමි.
8 සමිඳුනි, ඔබට හඬගැසීමි;
සමිඳුන් හට කන්නලව් කෙළෙමි.
9 මා වළ පල්ලට ගිය විට මාගේ මරණයෙන් කුමක් වේ ද?
පොළොවේ පසට හැරුණු අයට ඔබේ සත්‍යය පැවසිය හැකි ද?
10 සමිඳුනි, සවන් දී මට කරුණා කළ මැනව.
සමිඳුනි, ඔබ මාගේ සරණ වුව මැනව.
11 ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක.
ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක.
12 දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි.
ඔබට ගී පසස් ගයන්නෙමි.
මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි.

– 31 වන පරිච්ඡේදය –

දේවාරක්ෂාවට භාර වීම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, ඔබේ රැකවරණය සොයා එමි.
කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා.
ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව.
2 මා දෙස ඔබේ දෙසවන යොමා,
නොපමා ව මා මිදුව මැනව,
මට බලගතු විමුක්ති පර්වතයක් ද ආරක්ෂක බලකොටුවක් ද වුව මැනව.
3 ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය.
එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව.
4 මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව.
ඔබ මාගේ රක්ෂස්ථානය ය.
5 ඔබ අතට මාගේ ජීවිතය භාර කරමි.
සත්‍යවාදී දෙවි සමිඳුනි, ඔබ මා මිදූ සේක.
6 බොරු දෙවි දේවතාවන් නමදින අයට මම ද්වේෂ කරමි.
එහෙත්, මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි.
7 ඔබේ කරුණාව ගැන සතුටු වී උදන් අනමි.
ඔබ මාගේ දුක් පීඩා දුටු සේක;
ඔබ මාගේ සිත් වේදනා තේරුම් ගත් සේක.
8 සතුරා අතේ මා සිර කොට නොතබා, නිදහසේ යන්න එන්න ඔබ මට ඉඩ දුන් සේක.
9 සමිඳුනි, මට කරුණා කළ මැනව.
මම දුකින් මිරිකී සිටිමි.
මාගේ දෑස ද ගතසිත ද සෝදුකින් වෑරී ඇත.
10 මාගේ ජීවිතය දුකින් ගත වෙයි;
මා කල දවස සුසුම්ලෑමෙන් ගෙවී යයි;
මාගේ ශක්තිය කනස්සල්ලෙන් පිරිහෙයි;
මාගේ ඇට මිදුළු ක්ෂය වී යයි.
11 මාගේ එදිරිකරුවන් නිසා මම අසල්වැසියන් අතර නව නින්දාවක් වී සිටිමි;
මා දන්නා අඳුනන අයට මම භීතියක් වී සිටිමි;
වීදියේ මා දක්නා අය මා වෙතින් පලා යන්නෝ ය.
12 මා මතකයෙන් ඉවත ගිය, මියගිය කෙනෙකු මෙන් අමතක වී ඇත;
බිඳුණු බඳුනක් මෙන් ඉවත දා ඇත.
13 බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ;
මා අවට භීතිය ඇත.
මිනිස්සු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති.
14 එහෙත් සමිඳුනි, මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහි ම ය. ”මාගේ දෙවියෝ ඔබ ය”යි කියමි.
15 මාගේ ජීවිත ගමන ඔබ අතෙහි ය, මාගේ සතුරන් හා මට පීඩා කරන්නවුන් අතින් මා මුදා හැරිය මැනව.
16 ඔබ මෙහෙකරු වන මා දෙස කරුණාවෙන් බැලුව මැනව;
ඔබේ තිර පෙමින් මා ගැළෙවුව මැනව.
17 මම ඔබට හඬගසමි;
මම නින්දාවට පත් නොවෙම් වා!
දුදනෝ නින්දාවට පත් වෙත් වා!
ඔව්හු නිහඬ ව පාතාලයට යත් වා!
18 අභිමානයෙන් හා උඩඟුකමින් සුදනන් හෙළාදක්නා, බොරු කියන දිව නිහඬ කළ මැනව.
19 දේව ගරුබිය ඇත්තන් උදෙසා තබා ඇති ඔබේ ගුණවත්කම කොතරම් ද?
ඔබ කෙරේ විශ්වාසය තැබූ අය වෙත එය කොතරම් මහත් ලෙස පෙනේ ද?
20 මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක;
කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක.
21 සමිඳුන් හට ප්‍රශංසා වේ වා!
මන්ද, එතුමාණෝ බලකොටු නුවරක දී එතරම් පුදුම ලෙස මට කරුණාව දැක්වූ සේක.
22 ”ඔබ වෙතින් මා ඉවත දැමූ සේකැ”යි මාගේ ඉක්මන්කාරකමින් කීවෙමි.
එහෙත්, මා ඔබේ පිහිට සෙවූ කල මාගේ කන්නලව්වට ඔබ සවන් දුන් සේක.
23 සමිඳුන්ගේ සියලු සැදැහැවතුනි, එතුමන්ට ප්‍රේම කරන්න;
හිමි තුමාණෝ සැදැහැවතුන් රක්නා සේක;
උඩඟුකම් කරන්නවුන්ට විපුල ප්‍රතිවිපාක දෙන සේක.
24 සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙනි, ශක්තිමත් වන්න;
සිතින් ධෛර්යවත් වන්න.

– 32 වන පරිච්ඡේදය –

කමාව ලැබීමේ වාසනාව

දාවිත්ගේ අනුශාසනා ගීතයකි.
1 අපරාධයට සමාව ද පාපයට සමාව ද ලත් මිනිසා ආසිරි ලද්දෙකි.
2 වරදක් ගැන සමිඳුන්ගෙන් චෝදනාවක් නොලබන, වංක සිතක් නොමැති මිනිසා ආසිරි ලද්දෙකි.
3 මාගේ වරද ගැන නිහඬ ව සිටිමින්, දවස පුරා කඳුළු හෙළා සුසුම් ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේ ය.
4 දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක;
මාගේ ශක්තිය පහ ව ගියේ ය.
ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය.
5 මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි.
”හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි.
ඔබ ද මාගේ පාප දො‍්ෂ කමා කළ සේක.
6 එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා!
ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.
7 මා රැකවරණය ඔබ ය;
දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක.
විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.
8 ”නුඹට උගන්වන්නෙමි;
යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි;
මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.
9 අශ්වයෙකු හෝ කොටළුවෙකු හෝ මෙන් මෝඩ නොවන්න;
උන් දමනය කිරීමට කටකලියාව හා පටිය අවශ්‍ය ය.
නැතහොත් නුඹට උන් පාලනය කළ නොහැකි ය.”
10 දුදනන් හට බොහෝ දුක් දොම්නස් ඇත.
එහෙත්, හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නා දිව්‍ය කරුණාවෙන් වට වී සිටියි.
11 දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න.
අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා පවත්වන්න.

– 33 වන පරිච්ඡේදය –

විමුක්ති ඉතිහාසය ගැන ප්‍රශංසා

1 දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති සන්තෝෂ වන්න.
ප්‍රශංසාව අවංක අයට හොබනා දෙයකි.
2 වීණාව වයා හිමි තුමන් පසසන්න;
තත් දසයේ වීණාව ගෙන එතුමන්ට පැසසුම් ගීත ගයන්න.
3 එතුමන්ට නව ගීතයක් නඟන්න;
මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න.
4 සමිඳුන්ගේ වචනය අවංක ය;
එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය.
5 දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය ය.
මහ පොළොව හිමි තුමන්ගේ කරුණාවෙන් පිරී ඇත.
6 හිමි තුමන්ගේ වචනයෙන් ආකාශය ද එතුමන්ගේ හුස්මෙන් සියලු ආකාශ වස්තූහු ද මවනු ලැබූ හ.
7 එතුමාණෝ මුහුදු දිය දහර එක් ගොඩකට රැස් කරන සේක;
ගැඹුරු දිය ගබඩාවල නිදන් කරන සේක.
8 මුළු මහ පොළොව හිමි තුමන්ට බිය වේවා.
සියලු ලෝ වැසියෝත් එතුමන්ට බියෙන් සිටිත් වා!
9 මන්ද, එතුමාණෝ වචනයෙන් සියල්ල මවන සේක;
ආඥාවකින් සියල්ල තහවුරු කරන සේක.
10 හිමි තුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක;
මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක.
11 එහෙත්, සමිඳුන්ගේ සැලසුම් සදහට ම ද එතුමන්ගේ සිතිවිලි පරපුරෙන් පරපුරට ද පවත්නේ ය.
12 සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය.
13 හිමි තුමාණෝ සගලොව සිට නරඹන සේක;
මුළු මිනිස් සංහතිය දක්නා සේක.
14 එතුමාණෝ සිය මන්දිරයෙහි සිට ලෝවැසි සියල්ලන් දෙස බලන සේක.
15 ඔවුන්ගේ සිතුවිලි හැඩ ගස්වන්නේත්, ඔවුන්ගේ ක්‍රියා කල්පනාවට ගන්නේත් එතුමාණෝ ය.
16 චතුරංගනි සේනා බලය නිසා ගැළවුණු රජෙක් නැත; තම වීර වික්‍රමයෙන් ගැළවීම සලසා ගත් රණ ශූරයෙක් නැත.
17 ස්වාරක්ෂාව පිණිස යුද්ධ අශ්වයෙකුගෙන් වැඩක් නැත;
උගේ මහත් බලයෙන් ඌ කිසිවෙකු නොගළවයි.
18 සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය;
මරණයෙන් ගළවන පිණිස ද
19 දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.
20 අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු.
අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය.
21 අපි එතුමන්ගේ සුවිශුද්ධනාමය කෙරේ විශ්වාසය තැබුවෙමු.
එබැවින් අපේ සිත් ප්‍රීතියෙන් පිනා යයි.
22 සමිඳුනි, ඔබ කෙරේ අපේ බලාපොරොත්තු පිහිටෙවු ලෙස ම ඔබේ කරුණාව අප කෙරෙහි වේ වා!

– 34 වන පරිච්ඡේදය –

දෙවිඳුන්ගේ යහපත් බවට ප්‍රශංසාව

අබිමෙලෙක් වෙතින් නෙරපනු ලැබූ පසු දාවිත් ගැයූ ගීතයකි.
1 හැම වේලේ ම හිමි තුමන්ට මම ප්‍රශස්ති ගී ගයමි.
එතුමන්ගේ ගුණ වැණුම් මා මුවින් තොර නොවෙයි.
2 මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි.
නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා;
3 මා සමඟ හිමි තුමන් වර්ණනා කරන්න;
අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු.
4 මම හිමි තුමන් සොයා ගියෙමි;
එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක.
5 එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය.
ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය.
6 හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය;
එතුමාණෝ ඔහුගේ බස් අසා,
සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.
7 හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර,
කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.
8 හිමි තුමන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න;
එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.
9 එතුමන්ගේ සැදැහැවතුනි, එතුමන්ට ගරුබිය දක්වන්න;
මන්ද, දේව ගරුබිය ඇති අයට අගහිඟයක් නැත.
10 aධනපතීහු පවා කෑම නැති ව සාගින්නෙන් පෙළෙති;
එහෙත්, හිමි තුමන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත.
11 දරුවෙනි, මට සවන් දෙන්න.
සමිඳුන්ට ගරු කිරීමට මම ඔබට උගන්වන්නෙමි.
12 සැප ජීවිතය භුක්ති විඳීමට යම් කෙනෙක් කැමැති ද?
දිගායු වළඳා සුව සම්පත් රස විඳීමට කැමැති ද?
13 එසේ නම්, ඔහු නපුරු කතාවෙන් ද මුසාවාදයෙන් ද වැළකී සිටිය යුතු ය.
14 නපුර හැර දමා යහපත කරන්න;
සාමය සොයා ඒ අනුව යන්න.
15 හිමි තුමන්ගේ දෙනෙත දමිටුන් දෙසට ද එතුමන්ගේ දෙසවන ඔවුන්ගේ කන්නලව්වට ද යොමා ඇත.
16 පව්කම් කරන අය පොළොවෙන් අමතක වී යන ලෙස හිමි තුමාණෝ ඔවුන්ට විරෝධය දක්වන සේක.
17 දැහැමි අය අයැදුම් කළහ;
හිමි තුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක.
18 හිමි තුමාණෝ බිඳුණු සිත් ඇත්තන්ට ළං ව සිටින සේක;
තැළුණු හදවත් ඇත්තන්ට පිහිට වන සේක.
19 දමිටුන්ට බොහෝ ආපදා ඇතත්, හිමි තුමාණෝ ඒ සියල්ලෙන් ඔවුන් මුදා හරින සේක.
20 එතුමාණෝ ඔවුන්ගේ ඇඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක;
ඉන් එකක් වත් බිඳෙන්න නොහරින සේක;
21 දුෂ්ටයා නපුරෙන් වැනසෙයි.
දැහැමි අයට දෙස් තබන්නෝ දඬුවම් ලබන්නෝ ය.
22 හිමි තුමාණෝ සිය මෙහෙකරුවන් මුදන සේක.
එතුමන්ගේ රැකවරණය සොයන කිසිවෙක් දඬුවම් නොලබන්නෝ ය.

– 35 වන පරිච්ඡේදය –

පිළිසරණ සඳහා යැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, මාගේ විවාදකරුවන් සමඟ විවාද කළ මැනව;
මා හා සටනට එන අය සමඟ සටන් කළ මැනව.
2 පලිහත්, මහා පලිහත් ගෙන මට පිහිට වුව මැනව.
3 හෙල්ලය ඇද, මා ලුහුබැඳ එන අය වළකා ලුව මැනව;
ඔබ මාගේ පිළිසරණ බව මට පැවසුව මැනව.
4 මා වැනසීමට සොයන්නෝ ලජ්ජාවට හා නින්දාවට පැමිණෙත් වා!
මා නැසුමට උපා යොදන්නෝ වියවුල් වී ආපසු යත් වා!
5 ඔව්හු පවනෙහි පා වන බොල් මෙන් වෙත් වා!
සමිඳුන්ගේ දූතයා ඔවුන් පලවා හරී වා!
6 ඔවුන්ගේ මාවත අඳුරු, ලිස්සන පාරක් වේ වා!
සමිඳුන්ගේ දූතයා ඔවුන් ලුහුබැඳ යේ වා!
7 කරුණක් නැතිව ම මා ඇල්ලීමට ඔව්හු මලපත් දැමූ හ;
මා බැඳගැන්මට ගැඹුරු වළක් තැනූ හ.
8 නොදැනුවත්ව ම ඔව්හු විපතට යත් වා!
තමන් දැමූ දැලෙහි තුමූ ම අසු වෙත් වා!
තමන් කැපූ වළෙහි තුමූ ම වැටෙත් වා!
9 මම හිමි තුමන් ගැන ප්‍රීති ප්‍රමෝද වන්නෙමි;
මා ගැළෙව්වේ හිමි තුමන් බැවින් තුටු පහටු වන්නෙමි.
10 මාගේ මුළු සිතින් මෙපවත් මම පවසන්නෙමි:
”ඔබ වැනි උතුමෙක් මුළු ලොව ඇද් ද?
ප්‍රබලයන්ගෙන් දුබලයන් රක්නා,
පීඩාකරුන්ගෙන් දිළිඳුන් රැකගන්න වෙන උතුමෙක් තවත් ඇද් ද?”
11 අදමිටු දන නැඟී ඉදිරිපත් ව මා කිසිවක් නොදන්න අපරාධ ගැන වරද තබා සාක්කි කියති.
12 යහපත කළ මට ඇත්තේ නපුර පමණි;
මට කිසි බලාපොරොත්තුවක් දැන් නැත.
13 ඔවුන් රෝගාතුර වූ දවසේ දී මම ගෝණි රෙදි ඇන්දෙමි;
උපවාසයේ සිටියෙමි;
සිරස නමා යාදිනි පිදුවෙමි.
14 මිතුරෙකු හෝ සොහොයුරෙකු හෝ ගැන මෙන් ක්‍රියා කෙළෙමි;
සිය මව ගැන දුක් වන සේ දුකින් වැතිර සිටියෙමි.
15 එහෙත්, මා විපතට වැටුණු දිනේ ඔව්හු මා අවටින් රැස් කකා ප්‍රීති වූ හ.
මා නොදත් දුදනෝ නොනැවතී මට නිගා කළහ.
16 මට දුක් දී සමච්චල් කොට, මා කෙරේ වෙර බැඳ දත්මිටි කෑ හ.
17 සමිඳුනි, මෙය දැක දැක කොපමණ කල් ඔබ බලා සිටින සේක් ද?
ඔවුන්ගේ පහරවලින් මා මිදුව මැනව;
මේ රුදුරු සිංහයන්ගෙන් මා දිවි රැක දුන මැනව.
18 එවිට මම මහා සභාවේ දී ඔබට තුති පුදන්නෙමි;
විසල් ජනකායක් අබිමුව ඔබට පැසසුම් කරන්නෙමි.
19 මාගේ සතුරෝ අයුක්ති සහගත ව මාගේ දුක ගැන ප්‍රීතිමත් නොවෙත් වා!
මාගේ දුක් ගැනවිලි ගැන බැල්මෙන් සෙනඟ කුල්මත් නොවෙත් වා!
20 සුහද කතා ඔවුන් වෙත නැත;
රටේ සාමකාමී අයට එරෙහි ව ඔව්හු බොරු බේගල් ගොතති.
21 ඔව්හු මට විරුද්ධ ව කට අයා, ”අනේ හොඳ යි!
ඔබ කළ දේ අප දුටුවා”යි කියති.
22 සමිඳුනි, ඔබ එය දුටු සේක.
නිහඬ ව නොසිටිය මැනව.
මා වෙතින් ඈත් ව නොගිය මැනව.
23 මාගේ දෙවිඳුනි, මාගේ සමිඳුනි, මා වෙනුවෙන් ඉදිරිපත් වුව මැනව;
මාගේ නඩුව අසා, යුක්තිය ඉටු කළ මැනව.
24 මාගේ දෙවි සමිඳුනි, ඔබ සාධාරණකම අනුව මා විනිශ්චය කළ මැනව;
සතුරෝ මා ගැන කුරිරු සිතින් ප්‍රීති නොවෙත් වා!
25 ”අපේ වැඩේ හරි”යි ඔව්හු නොකියත් වා!
”අප ඔහු කා දැම්මා” කියා ඔව්හු නොකියත් වා!
26 මාගේ දුක ගැන හිත පුරා ප්‍රීති වන අය ලජ්ජාවට හා වියවුලට පැමිණෙත් වා!
මට අපහාස කරන අය ලජ්ජාවට හා අපකීර්තියට ලක් වෙත් වා!
27 මා නිදහස්වීම ගැන සන්තෝෂ වන අය ප්‍රීති ඝෝෂා පවත්වමින්, යළි යළිත් මෙසේ කියත් වා!
”සමිඳාණෝ උසස් වන සේක;
තම මෙහෙකරුගේ ජය ගැන එතුමාණෝ ප්‍රීති වන සේක.”
28 එවිට මා මුවින් ඔබේ දැහැමිකම වර්ණනා කරමි;
දවස පුරා ඔබ ගැන ප්‍රශස්ති ගීත ගයන්නෙමි.

– 36 වන පරිච්ඡේදය –

මිනිසාගේ දුෂ්ටකම

සමිඳාණන් වහන්සේගේ සේවක දාවිත්ගේ ගීතයකි.
1 දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත;
ඔහු තුළ දේව ගරුබිය නැත.
2 සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි.
3 ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත;
ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.
4 ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි;
අයහපත් මඟක ම හැසිරෙයි;
නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.

දෙවිඳුන්ගේ යහපත්කම

5 සමිඳුනි, ඔබේ නොනස්නා පෙම්කඳ අහස දක්වා නඟියි;
ඔබේ විශ්වාසවන්තකම වලාකුළු ඉක්මවා යයි.
6 ඔබේ දැහැමිකම උස් කඳුවැටි හා සමාන ය;
ඔබේ විනිශ්චයයෝ මහ සයුර මෙන් ගැඹුරු ය.
සමිඳුනි, ඔබ මිනිසා ද මෘගයා ද රක්නා සේක.
7 ඔබේ නොනස්නා පෙම්කඳ කොතරම් අනගි ද?
නර සුර දෙගොල්ල ම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය ලබති.
8 ඔව්හු ඔබේ මැදුරෙහි සව්සිරි සැපතින් මොනවට සතුටු වෙති;
ගලා යන ඔබේ ප්‍රීති ගංගාවෙන් ඔබ ඔවුන්ට බොන්න දෙන සේක.
9 ජීවන උල්පත ඔබ වෙත ඇත;
ඔබේ එළියෙන් අපි එළිය දකිමු.
10 ඔබ හඳුනන අයට ඔබේ තිර පෙම්කඳ ද අවංක සිත් ඇති අයට ඔබේ දැහැමිකම ද නොනවත්වා පෙන්නුව මැනව.
11 උඩඟු අය මට පහර නොදෙත් වා!
නපුරු අය මා පලවා නොහරිත් වා!
12 දුදනෝ බිමට වැටී පෙරළී සිටිති.
ඔවුන්ට තවත් නැඟිටීමක් නැත.

– 37 වන පරිච්ඡේදය –

තලතුනා කෙනෙකුගේ අවවාද

දාවිත්ගේ ගීතයකි.
1 නපුර කරන අය ගැන නොකලකිරෙන්න;
අදමිටුකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න.
2 ඔව්හු තණ පත් මෙන් වියළී යති;
නිල් පලා මෙන් මැලවී යති.
3 සමිඳුන් කෙරේ විශ්වාසය තබා යහපත කරන්න;
දේශයෙහි සුව සේ වෙසෙන්න.
4 සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න;
එතුමන් ඔබේ මන දොළ ඉටු කරනු ඇත.
5 ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න;
එතුමන් කෙරේ විශ්වාසය තබන්න;
හිමි තුමන් හැම දෙය ඉටු කර දෙනු ඇත.
6 හිමි තුමන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක.
7 සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමන්ගේ පැමිණීම බලා ඉන්න;
සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න.
8 කෝපයෙන් වැළකෙන්න;
උදහසින් ඈත් වන්න;
නොකලකිරෙන්න;
මේවායින් ඇති වන්නේ නපුර පමණ ය.
9 නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය.
හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය.
10 දුදනා මඳ කලකින් නැති වී යයි;
ඔබ ඔහු සෙව්වත් ඔහු නැත.
11 මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති;
ඔව්හු සව්සිරි වින්දනය කරති.
12 දුදනා සුදනාට එරෙහි ව උපා යොදයි;
ඔහුට විරුද්ධ ව දත්මිටි කයි.
13 සමිඳාණෝ ඔහු ගැන සිනාසෙන සේක;
ඔහුගේ අවසානය ළඟ බව දන්න සේක.
14 දුගී දුප්පතුන් හෙළා දමන පිණිස ද අවංක අය වනසන පිණිස ද දුදනෝ කඩුව ඇද, දුන්න තැත් කවාගෙන සිටිති.
15 එහෙත්, ඔවුන්ගේ කඩුපත ඔවුන්ගේ ම හදවත තුවාළ කරයි;
ඔවුන්ගේ දුන්න බිඳ දමනු ලැබේ.
16 දුදනන් සතු වස්තු රැසකට වඩා සුදනා සතු වස්තු බිඳක් යහපත.
17 දුදනන්ගේ බාහු බලය බිඳ දමනු ඇත. එහෙත්
හිමි තුමන් සුදනන් හට පිහිට වනු ඇත.
18 හිමි තුමාණෝ සැදැහැවතුන් දිනෙන් දින රැකගනිති;
ඔවුන්ගේ උරුමය සදහට ම පවතියි.
19 විපත් සමයේ දී ඔවුන්ට විපතක් නැත;
සාගත සමයේ දී ඔවුන්ට හිඟයක් නැත.
20 එහෙත්, දුදනෝ වැනසෙති;
හිමි තුමන්ගේ සතුරෝ වන මල් මෙන් මිය යති;
දුම මෙන් පහවෙති.
21 දුදනෝ ණය ගෙන යළි නොගෙවති;
සුදනෝ කාරුණික ය, ත්‍යාගශීලී ය.
22 හිමි තුමන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති;
දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති.
23 සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක;
ඔහුගේ ක්‍රියා කලාපය ගැන සතුටු වන සේක.
24 ඔහු වැටුණත් වැටී ම නොසිටියි;
සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක.
25 මම දැන් යොවුන් විය ගෙවා මහලු ව සිටිමි;
සමිඳුන් සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි.
26 දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි;
ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි.
27 නපුර දුරු කොට යහපත කරන්න.
තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත.
28 හිමි තුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය;
සිය සැදැහැවතුන් අත් නොහරිති.
ඔව්හු සදහට ම රැකවරණය ලබති.
එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.
29 දැහැමියෝ දේශය හිමි කරගන්නෝ ය.
එහි සදහට ම යෙහෙන් වසන්නෝ ය.
30 දැහැමියන්ගේ මුවින් නැණ නුවණ නික්මෙයි;
ඔව්හු යුක්ති සහගත දෙය ම පවසති.
31 ඔව්හු දේව අණසක හදවතෙහි නිදන් කරති;
ඒවා නොපිරිහෙළා රැකගනිති.
32 දුදනා සුදනාගේ වගතුග සොයා, බලා හිඳ, ඔහු මැරීමට සොයයි.
33 එහෙත්, සමිඳාණෝ දුදනාගේ අතට ඔහු අත් නාරින සේක;
ඔහු උසාවියට ගෙන ගියත්, වරදට පත් නොකරන සේක.
34 සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමන්ගේ අණපණත් රක්ෂා කරන්න;
දේශය ඔබට හිමි වන පිණිස එතුමන් ඔබ උසස් කරනු ඇත;
දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත.
35 දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි.
36 එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි;
ඔහු සිටියේ නැත.
ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත.
37 නිදොස් තැනැත්තෙකු සොයන්න;
අවංක කෙනෙකු දෙස බලන්න;
ඔහුට නම්, සාමකාමී අනාගතයක් ඇත.
38 අපරාධකරුවෝ එක ගොඩේ විනාශ කරනු ලබති;
දුදනන්ගේ පරපුර වැනසී නිම වෙයි.
39 හිමි තුමාණෝ දැහැමියන් ගළවන සේක.
විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක.
40 හිමි තුමාණෝ ඔවුන්ට පිහිට වී ඔවුන් මුදන සේක.
සිය සරණ සොයා එන ඔවුන් එතුමාණෝ දුදනන්ගෙන් මුදා ලන සේක.

– 38 වන පරිච්ඡේදය –

දහ දුක් විඳින්නෙකුගේ යාදින්න

දාවිත්ගේ ගීතයකි. සිහි කරවීමටයි.
1 සමිඳුනි, උදහස් වී මට තරවටු නොකළ මැනව;
කෝපයෙන් ඇවිළී මට දඬුවම් නුදුන මැනව.
2 ඔබ ඊගසින් විද මට තුවාළ කොට ඇත;
බලවත් ලෙස මා තළා පෙළා ඇත.
3 ඔබේ උදහස නිසා මම දහ දුක් විඳිමි;
මාගේ පව් නිසා සර්වාංගය රෝගී වී ඇත.
4 මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත;
ඒවා දැරිය නොහැකි බරක් වී ඇත.
5 මාගේ මෝඩකම් හේතුකොටගෙන මාගේ තුවාළ දුර්ගන්ධ ව, පිළිකුල් ව ඇත.
6 වේදනා විඳිමින්, කුදුගැසී වැතිර සිටිමි.
දවස පුරා වැලපෙමින් කල් යවමි.
7 උණෙන් මාගේ තුනටිය දැවෙයි.
මාගේ ඇඟපතට කිසි සුවයක් නැත.
8 මම තෙහෙට්ටු වී දැඩි ලෙස තැළී පෙළී සිටිමි;
සිතේ කරදර නිසා මම කෙඳිරිගාමි.
9 සමිඳුනි, මාගේ මුළු ආශාව ඔබ දන්න සේක;
මාගේ සුසුම්ලෑම ඔබට ඇසේ.
10 මාගේ පපුව ගැහෙයි;
කාය ශක්තිය හීන වේගන යයි;
ඇස් ද ඇඳිරි වේගන යයි.
11 අසල්වැසියෝ ද හිත මිතුරෝ ද මාගේ තුවාළවල දුගඳ නිසා ඈත් වී සිටිති;
මාගේ පවුලේ උදවිය ද මා ළඟට එන්නේ නැත.
12 මා මැරීමට සොයන අය මට උගුල් අටවා ඇත;
මට අනතුරු කරන්න සොයන අය නපුරු දේ කිය කියා දවස පුරා කූට උපා යොදති.
13 බිහිරෙකුට මෙන් මට ඇසෙන්නේ නැත;
ගොළුවෙකුට මෙන් මට කතා ශක්තිය නැත.
14 මට කන් නොඇසෙන නිසා මම පිළිතුරු දිය නොහැකි මිනිසෙකු හා සමාන ය.
15 සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය.
මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය.
16 මාගේ දුක ගැන ප්‍රීති වන්නට සතුරන්ට ඉඩ නුදුන මැනව;
මාගේ වැටීම ගැන උදන් ඇනීමට ද ඉඩ නුදුන මැනව.
17 මාගේ වැටීම ඉතා ළඟ ය;
මාගේ වේදනාවට කෙළවරක් නැත.
18 මම පාපය ගැන උච්චාරණය කරමි;
ඒ ගැන ළතැවෙමි.
19 මාගේ සතුරෝ සනීප ශක්තියෙන් සිටිති;
නිකරුණේ මට වෙර බඳින අය වැඩි වේගන එති.
20 යහපතට නපුර කරන අය, මා හරි දේ කරන බැවින් මට සතුරු වී සිටිති.
21 සමිඳුනි, මා අත්නෑරිය මැනව. මාගේ දෙවියෙනි, මා කෙරෙන් ඈත් නොවුව මැනව.
22 මාගේ ගැළවුම්කාර සමිඳුනි, මට පිහිට වන පිණිස වහා වැඩිය මැනව.

– 39 වන පරිච්ඡේදය –

කෙටි ජීවිතය ගැන භාවනාව

දාවිත්ගේ ගීතයකි.
1 මම මෙසේ පැවසීමි:
”වචනයෙන් පව් නොකරන පිණිස හැසිරීම ගැන ප්‍රවේසම් වෙමි;
දුදනන් මා අබිමුව සිටිය දී කට රැකගනිමි.”
2 මම වචනයක් වත් නොකීමි;
හොඳ දෙයක් කීමෙන් පවා වැළකුණෙමි.
එහෙත්, මාගේ ශෝකය තවත් උග්‍ර විය;
3 මාගේ සිත කාංසාවෙන් දෙදරා ගියේ ය;
සිතන්න සිතන්න, වැඩි වැඩියෙන් මම කැළඹුණෙමි.
තවත් නිහඬ ව සිටීමට බැරි විට, මෙසේ ප්‍රශ්න නොකිරීමට මට බැරි විය:
4 ”සමිඳුනි, මාගේ අවසානය කවදා එයි ද?
මාගේ ආයු ප්‍රමාණය කොතරම් ද?
මා කොතරම් බෙලහීන දැ යි දැනගැනීමට මට සැලසුව මැනව.”
5 අනේ, ඔබ මාගේ වයස කෙටි කර තිබෙන හැටි!
ඔබ අබිමුව මාගේ ජීවිතයෙන් වැඩක් ඇද් ද?
දිවි ඇති හැම දෙන සුළං රොදක් වැනි ය.
6 හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය;
ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය.
ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි.
7 සමිඳුනි, මට කවර බලාපොරොත්තුවක් ඇද් ද?
මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය.
8 මාගේ සියලු පවින් මා මිදුව මැනව.
අනුවණයෝ මට සමච්චල් නොකරත් වා.
9 ඔබ මට මෙසේ දුක් දුන් නිසා මම නිහඬ වීමි;
කට පියාගෙන සිටියෙමි.
10 ඔබ මට තවත් දඬුවම් නොකළ මැනව.
ඔබ දුන් පහරවලින් මා මැරෙන්න ආසන්න ය.
11 ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක;
කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක.
මිනිසා නම්, සුළං රොදක් පමණ ය.
12 සමිඳුනි, මාගේ අයැදුම ඇසුව මැනව;
මාගේ මොරගෑමට සවන් දුන මැනව;
මාගේ කඳුළු දැක නිහඬ ව නොසිටිය මැනව.
මන්ද, ඔබ සමඟ ආගන්තුකයෙක් ද මාගේ පියවරුන් මෙන් කලක් නේවාසිකයෙක් ද වෙමි.
13 මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.

– 40 වන පරිච්ඡේදය –

තුති පැසසුම් ගීතයක්

දාවිත්ගේ ගීතයකි.
1 මම ඉවසිල්ලෙන් හිමි තුමන් ගැන බලාපොරොත්තුවෙන් සිටියෙමි, හිමි තුමාණෝ මාගේ දුක් ගැනවිලිවලට සවන් දුන් සේක.
2 හිමි තුමාණෝ මා බියකරු වළකින්, මඩ වළකින් ගොඩට ගෙන, පර්වතයක් මත පිහිටුවා, මා සුරක්ෂිත කළ සේක.
3 දෙවිඳුන් හට තුති පවසන, නව ගීයක් මා මුවේ තැබූ සේක.
මෙය දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලළී, සමිඳුන් කෙරේ අදහනු ඇත.
4 පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි.
5 දෙවි සමිඳුනි, ඔබ අප උදෙසා කර ඇති හාස්කම් කොපමණ ද?
ඔබ අප උදෙසා අදහස් කළ දේ කොපමණ ද? ඔබට සම අන් කෙනෙක් සිටී ද? ඒ සියල්ල පවසා නිම කරන්නට කිසි දා මට බැරි ය.
ඒවායේ ගණන ඉමහත් ය.
6 ඔබ පුද පඬුරට ප්‍රසන්න නැත;
දවන යාග පූජා හා පාප පූජාවලින් ඔබට වැඩක් නැත.
ඒ වෙනුවට ඔබ වදන් අසන පිණිස මාගේ දෙසවන දුන් සේක.
7 එවිට මම, ”මෙන්න, මම මෙහි ය”යි කීවෙමි.
”මා පිළිබඳ අණපණත් ඔබේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත.
8 මාගේ දෙවියෙනි, ඔබේ කැමැත්තට ප්‍රිය වෙමි, ඔබේ නීති මසිතෙහි නිදන් කරගතිමි.”
9 සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද, ඔබේ ගැළවීමේ ක්‍රියා වර්ණනා කෙළෙමි.
නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්න සේක.
10 ඔබ දෙන ගැළවීම සිතෙහි රඳවා නිකම් නොසිටියෙමි;
ඔබේ ගැළවීම හා විශ්වාසවන්තකම ප්‍රකාශ කෙළෙමි;
මහ පිරිස් මැද ඔබේ කරුණාව ද විශ්වාසවන්තකම ද නොවළහා දන්වා සිටියෙමි.
11 සමිඳුනි, ඔබේ දයානුකම්පාව මා කෙරෙන් නොවැළැක්වුව මැනව.
ඔබේ කරුණාව හා විශ්වාසවන්තකම නිරතුරු මා රකීවා.

පිහිට පතා යැදීම
(70 වන ගීතය)

12 මම දහස් ගණන් උවදුරින් වට වී සිටිමි.
හිස එසවීමට බැරි තරම් මාගේ පව් මා පිට පැමිණ ඇත.
ඒවා මාගේ හිසකේවලට වඩා වැඩි ය.
මාගේ සිතට දිරියක් නැත.
13 සමිඳුනි, මා මුදාගත මැනව.
අහෝ සමිඳුනි, මට සහාය වීමට කඩිනම් කළ මැනව.
14 මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී, වියවුල් වෙත්වා.
මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා!
15 හහා! හහා! කියමින් මට සමච්චල් කරන්නෝ මෙවන් නින්දාව නිසා පසු බසිත් වා!
16 ඔබ සොයා එන්නෝ ප්‍රීති ප්‍රමෝද වී සතුටු වෙත් වා!
ඔබේ විමුක්තියට ප්‍රේම කරන්නෝ ”හිමි තුමෝ ශ්‍රේෂ්ඨ ය”යි නිරතුරු කියත් වා!
17 මම දුගියෙක්මි, දිළිඳෙක්මි, එහෙත්, හිමි තුමාණෝ මා සිහි කරන සේක.
ඔබ මාගේ පිළිසරණ ය;
ඔබ මාගේ මිදුම්කරු ය.
මාගේ දෙවියෙනි, පමා නොවී වැඩිය මැනව.

– 41 වන පරිච්ඡේදය –

රෝගියෙකුගේ අයැදුම
දාවිත්ගේ ගීතයකි.

1 දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක.
2 සමිඳාණෝ ඔහු රක්නා සේක;
ඔහුට රැකවරණය දෙන සේක;
මිහි මත ඔහුට ආසිරි දෙන සේක;
සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.
3 ලෙඩ ඇඳේ සිටින විට සමිඳාණෝ ඔහුට පිහිට වන සේක;
රෝගාතුර ව සිටින විට සුවය දෙන සේක.
4 ”සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි,
මෙමා සුව කළ මැනව”යි මම පවසමි.
5 ”ඔය මිනිසා කවදා මැරේ ද?
කවදා ඔහුගේ නාමය මැකී යන්නේ දැ”යි මාගේ සතුරෝ මා ගැන අවලාද කියති.
6 මා බලන්න එන අය අවංක නැත.
ඔවුහු මා ගැන කිව හැකි නපුරු දේ රැස් කරගනිති;
පිටත ගොස් හැම තැන ම ඒවා පළ කරති.
7 මට වෛර කරන්නෝ මට විරුද්ධ ව රහස් කියති;
මා වැනසීමට රහසින් උපා යොදති.
8 ”අසාධ්‍ය ලෙඩක් ඔහුට වැළඳී ඇත.
කවදාවත් ඇඳෙන් නොබසිනු ඇතැ”යි ඔවුහු පවසති.
9 මාගේ හොඳ ම විශ්වාසය දිනාගත් යහළුවා, එක පිඟානෙන් බත් කෑ කල්‍යාණ මිත්‍රයා පවා මට එරෙහි ව සතුරුකම් කෙළේ ය.
10 මාගේ සතුරන්ට යස පාඩමක් උගන්වන පිණිස සමිඳුනි, මට කරුණා කළ මැනව;
ලෙඩ ඇඳෙන් මා නැඟිටවුව මැනව.
11 ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්‍රිය බව මම දනිමි.
12 මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක;
සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක.
13 ඉශ්රායෙල් ජනතාවගේ දෙවි සමිඳුන් හට ප්‍රශංසා වේ වා!
සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා!
ආමෙන්, ආමෙන්.

– 42 වන පරිච්ඡේදය –

දෙ වන කාණ්ඩය
(ගීතිකා 42-72)
මවු බිමෙන් ඈත් වූවෙකුගේ පැතුම

කෝරාගේ පුත්‍රයන්ටයි.
1 දෙවියෙනි, මුවා සිසිල් දිය දහරට ලොල් වන සේ ඔබ කෙරෙහි මට තද පිපාසයක් ඇත.
2 දෙවිඳුන් කෙරෙහි, ජීවමාන දෙවිඳුන් කෙරෙහි, මාගේ සිත පිපාසා වන්නේ ය.
මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටිම් ද?
3 ‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි.
4 බැති පෙමින් කුල්මත් වූ වන්දනාකරුවන් සමඟ පැසසුම් ගී ගයමින්,
මහ පිරිස් මැද දෙව් මැදුරට මා ගිය හැටි සිහි වන විට මා හද දෙදරා යයි.
5 ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ?
ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ?
දෙවි තුමන් ගැන බලා සිටිමි.
මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.
6 මාගේ දෙවියෙනි, මාගේ හදවත දෙදරා යන්න ළඟ ය, එබැවින් මවු බිමෙන් ඈත, ජොර්දාන් ගංතෙර ද හෙර්මොන් කඳුකරයෙහි ද මිශාර් කන්දෙහි ද සිට මම ඔබ සිහි කරමි.
7 ඔබේ දිය ඇලිවල ඝෝෂාවෙන් කැළඹී, මම ගැඹුරෙන් ගැඹුරට කිඳා බසිමි.
ඔබේ රළ පතර මා වසාගෙන ඇත.
8 එබැවින් හිමි තුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා!
රෑ යාමවල දී එතුමන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා!
9 මා රක්නා දෙවිඳුන් හට මම මෙසේ කියමි:
”ඔබ මා අමතක කෙළේ මන් ද?
සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?”
10 මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්,
කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති.
11 ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ?
ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ?
දෙවි තුමන් ගැන බලා සිටිමි.
මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.

– 43 වන පරිච්ඡේදය –

මවු බිමෙන් ඈත් වූවෙකුගේ පැතුම
(42 වන ගීතය තවදුරටත්)

1 දෙවිඳුනි, අභක්තික සෙනඟට එරෙහි ව, මා වෙනුවෙන් කරුණු කියා මා නිදහස් කළ මැනව.
කපටි, අසාධාරණ මිනිසුන්ගෙන් මා මුදාගත මැනව.
2 මාගේ ආරක්ෂාකරු ඔබ ය;
මා අත් හැරියේ මන් ද?
සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?
3 ඔබේ ආලෝකය හා සත්‍යය මට දුන මැනව;
ඒවායින් මට මඟපෙන්වීම ලැබී, ඔබේ ශුද්ධ සියොන් පව්වට ආපසු ගොස්, ඔබේ වාසභවනය වන දෙව් මැදුරට පිවිසීමට මට ලැබේවා.
4 දෙවියෙනි, මාගේ දෙවියෙනි, එවිට මම දිව්‍ය පූජාසනය වෙත, මාගේ පස්වණක් ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදනයෙන් ඔබ පසසන්නෙමි.
5 ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ?
ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ?
දෙවි තුමන් ගැන බලා සිටිමි.
මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට යළිත් මෙ මම් පැසසුම් දෙමි.

– 44 වන පරිච්ඡේදය –

රැකවරණය සඳහා අයැදීම

කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවකි.
1 දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත;
අපේ පියවරුන් ඒවා අපට කියා ඇත.
2 ඔබේ බාහු බලයෙන් මිසදිටු ජාතීන් පලවා හැර, ඔබේ සෙනඟ ඔබ එහි වාසය කරවූ සේක;
විජාතීන්ට පහර දී ඔබේ ම සෙනඟට සව්සිරි සැපත දුන් සේක.
3 ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ;
එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි;
ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.
4 ඔබ මාගේ රජිඳාණෝ ය;
ඔබ මාගේ දෙවිඳාණෝ ය.
ඔබේ අණ පරිදි ඔබ සෙනඟට ජය සිරි අත් කර දෙන සේක.
5 ඔබේ බලයෙන් අපි අපේ සතුරන් පරදාලමු;
ඔබේ නාමයේ අනුහසින් අපේ රුපුන් පාගා දමමු.
6 මාගේ දුන්න කෙරෙහි විශ්වාසය නොතබමි.
මට විමුක්තිය එන්නේ මාගේ කඩුපතින් නොවේ.
7 ඔබ අපේ එදිරිකරුවන්ගෙන් අප ගැළෙවු සේක;
අපට වෙර බඳින අය පලවා හැරිය සේක.
8 දවස පුරා අපි ඔබ පසසමු;
සදහට ම අපි ඔබට තුති දෙමු.
9 එහෙත් දෙවියෙනි, දැන් ඔබ අප හැර දමා පරාජයට පමුණුවා ඇත.
අපේ යුද හමුදා සමඟ ඔබ තවත් නොවඩින සේක.
10 සතුරන්ට බිය වී පලා යාමට ඔබ අපට සැලැසූ සේක.
සතුරෝ අපේ රට කොල්ලකාගත්හ.
11 මරණයට නියම වූ බැටළුවන් මෙන් ඔබ අප මරණයට නියම කළ සේක;
විජාතීන් අතරට අප විසුරුවා හැරිය සේක;
12 ඔබ අප තඹ දොයිතුවට විකුණු සේක;
ඒ වෙළඳාමෙන් කිසි ලාභයක් නොගත් සේක.
13 ඔබ අප, අසල්වැසියන්ට සරදමක් ද අප අවට සිටින කොයි කාටත් අපහාසයක් හා අවමානයක් ද වන්නට සලසා ඇත.
14 ඔබ අප විජාතීන් අතර නින්දාවක් ද මිනිසුන් අතර සමච්චලයක් ද වන්නට සලසා ඇත.
15 මම හැම විට ම අපකීර්තියට පත් වී සිටිමි;
මම ලජ්ජාවෙන් මුහුණ වසාගෙන සිටිමි.
16 එසේ වන්නේ, සතුරන්ගෙන් ද නින්දාකරුවන්ගෙන් ද මට අගෞරවය ලැබෙන බැවිනි.
17 මේ සියල්ල අපට පැමිණි බව ඇත්ත ය;
එහෙත් අපි, ඔබ අමතක නොකෙළෙමු; ඔබ සමඟ කළ අපේ ගිවිසුම කඩ නොකෙළෙමු.
18 අපි ඔබට අපක්ෂපාත නොවීමු;
ඔබේ ආඥා කඩ නොකෙළෙමු.
19 එහෙත්, ඔබ අප වන සතුන් අතර අනාථ කළ සේක;
තිත්ත කළුවරෙහි අප අත්හළ සේක.
20 ඉතින් අපි, අපේ දෙවිඳුන් අමතක කෙළෙමු නම්, අන් දෙවියෙකුට යාච්ඤා කෙළෙමු නම්,
21 ඔබ එය දැනගන්නේ නැද් ද?
මන්ද, මිනිස් සිතේ සියලු රහස් ඔබ දන්න සේක.
22 දවස පුරා අපි ඔබ නිසා මරනු ලබමු;
මැරීමට නියම බැටළුවන් මෙන් ගණන්ගනු ලබමු.
23 සමිඳුනි, පිබිදුණ මැනව!
ඔබ නිදා ඉන්නේ මන් ද?
නැඟුටුණු මැනව;
සදහට ම අප ඉවත නොදැමුව මැනව.
24 ඔබ අප කෙරෙන් සැඟවී ඉන්නේ මන් ද?
අපේ විපත හා පීඩාව අමතක කරන්නේ මන් ද?
25 අප පොළොවේ ධූලිවලට යට වී ඇත.
සිරුර පොළොවේ ඇද වැටී ඇත.
26 නැඟිට, අපට පිහිට දුන මැනව.
ඔබේ තිර පෙම්කඳ නිසා අප මිදුව මැනව.

– 45 වන පරිච්ඡේදය –

රාජකීය මංගල ගීතයක්

කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවක් වන, ප්‍රේමවන්තියන් ගැන සෑදූ ගීතිකාවකි.
1 රජිඳුන් උදෙසා මේ කාව්‍යය රචනා කරමි.
එවිට මාගේ සිත විසිතුරු තේමාවකින් පිබිදෙයි.
මාගේ දිව දක්ෂ ලේඛකයෙකුගේ පන්හිඳ වැනි ය.
2 රජිඳුනි, ඔබ මෙන් රූපසම්පන්න කෙනෙක් මිනිසුන් අතර තවත් නැත.
ඔබ ව්‍යක්ත කථිකයෙකි, දෙවි තුමාණෝ ඔබට සැම දා ආසිරි දුන් සේක.
3 ප්‍රතාපවත් නිරිඳුනි, ඔබේ මඟුල් කඩුව ඉඟටියෙහි බැඳගන්න;
ඔබ වික්‍රමාන්විත ය; තේජාන්විත ය.
4 සත්‍යය හා යුක්තිය රක්නා පිණිස මංගල රථයෙන් තේජසින් ජය බිම් බලා වැඩිය මැනව;
ඔබේ බාහු බලයෙන් ඔබ උදුල ජය කෙහෙලි නංවනු ඇත.
5 ඔබේ ඊගස් තියුණු ය;
ඒවා ඔබේ රුපුන් හදවත් විදගෙන යයි.
විජාතීහු පැරදී ඔබ පාමුල වැටෙති.
6 ඔබේ සිහසුන දෙවි සිහසුන මෙන් සදා වැජඹෙනු ඇත.
ඔබේ රජයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයකි.
7 ඔබ යුක්තියට ප්‍රේම කොට, අයුක්තියට ද්වේෂ කරයි.
එබැවින් දෙවිඳුන්, ඔබේ දෙවිඳුන්, ඔබ තෝරාගෙන අන් හැමට වඩා ඔබට සව්සිරි දී ඇත.
8 ඔබේ රාජකීය වස්ත්‍රවලින් සඳුන්, කපුරු, කස්තුරි සුවඳ විහිදෙයි.
ඇත්දත් මාලිගාවල සංගීතකරුවෝ ඔබ මන පිනවති.
9 ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත.
ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.
10 දියණියනි, මා වදනට සවන් දෙන්න;
ඒවා සිතට ගන්න.
ඔබේ ජාතිය, ඔබේ ගම රට සිතින් අමතක කරන්න.
11 එවිට නිරිඳු ඔබේ රූ සපුවට ප්‍රිය වනු ඇත;
ඔහු ඔබේ ස්වාමියා ය, ඔහුට අවනත වන්න.
12 තීර්හි වැසියන් පඬුරු රැගෙන ඔබ වෙත එනු ඇත.
13 මාලිගයෙහි රාජ දියණිය, රාජ තේජසින් වැජඹෙන්නී ය.
ඇගේ සළුව රන්කමින් විසිතුරු කොට ඇත.
14 මල්කම් හා ලියකම් කළ සළුවෙන් සැරසී, ඈ රජු වෙත එන්නී ය.
ඇගේ යෙහෙළියෝ ද රජු වෙත ගෙනෙනු ලබන්නෝ ය.
15 සිත් සතොසින් ඇලළී ඔව්හු රජ මැදුරට පිවිසෙති.
16 නිරිඳුනි, ඔබේ පිය රජුන් වෙනුවට, ඔබට පුත් කුමරුවෝ රැසක් ඇති වන්නෝ ය.
ඔබ ඔවුන් මුළු පොළොවෙහි මහීපාලයන් කරන්නෙහි ය.
17 මම ඔබේ යසස, සියලු පරපුරට සිහි කරවන්නෙමි.
සව් සත සදා ඔබට පසස් ගී ගයන්නෝ ය.

– 46 වන පරිච්ඡේදය –

දෙවිඳාණෝ අප සමඟ ය

කෝරාගේ පුත්‍රයන්ට යි.
1 දෙවිඳාණෝ අපේ ශක්තිය හා සරණ වන සේක;
හැම දා විපතේ දී අප හට පිළිසරණක් වන සේක.
2 මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්,
3 සත් සමුදුර ගුගුරා කැළඹෙතත්, එයින් නැඟෙන රැළ වේගයෙන් කඳු වැටි සැලෙතත් අපට කිසි විටක බියක් නැත.
4 එක් ගංගාවක් ඇත.
එහි දිය පාරවල් ගලා ගොස්, අපේ උතුම් දෙවිඳුන්ගේ ශුද්ධ මණ්ඩපය වන දෙව් නුවරට සතොස ගෙන දෙයි.
5 දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක.
ඊට කිසි දා විපතක් නොවනු ඇත.
දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක.
6 ජාතීහු කෝලහල කළහ;
රාජධානි බිඳ වැටිණි.
දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක.
මහ පොළොව දිය විණි.
7 සව් බලැති සමිඳාණෝ අප සමඟ ය.
ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.
8 එන්න, සමිඳුන්ගේ වික්‍රම ක්‍රියා බලන්න;
මිහි මත කර ඇති පුදුම ක්‍රියා නරඹන්න.
9 එතුමාණෝ මිහි මත දස දෙස යුද බිය නවත්වන සේක;
දුන්න බිඳ, හෙල්ලය කපා, පලිහ ගින්නෙන් දවන සේක.
10 නිශ්චල වන්න;
මා දෙවිඳුන් බව සිතට ගන්න;
මුළු දෙරණට අග රජ බව, සව් සත හට අග රජ බව වටහාගන්න;
11 සව් බලැති සමිඳාණෝ අප සමඟ ය;
ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.

– 47 වන පරිච්ඡේදය –

මහීපාල දෙවිඳාණෝ

කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි.
1 සව් සතුනි, අත්පොළසන් දෙන්න;
ජය ගොස නංවා දෙවිඳුන්ට තුති දෙන්න.
2 අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය.
3 එතුමාණෝ ජාතීන් පරදා අපට ජය දුන් සේක;
සව් සත කෙරේ අග රජ වන සේක.
4 තම හට ප්‍රිය ජාකොබ්ගේ සෙනඟ වන අප හට මවු බිමක් ලබා දුන් සේක.
5 ජය ගොස නංවා, කාහල හඬ පතුරා, එතුමාණෝ සිහසුන මත නැඟුණ සේක.
6 දෙවි තුමන් හට ගී පසස් නඟන්න.
ගී පසස් නඟන්න.
අපේ නිරිඳු හට ගී පසස් නඟන්න;
ගී පසස් නඟන්න.
7 දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය.
එතුමන් හට ගී පැසසුම් ගයන්න.
8 දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය;
එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක.
9 ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය.
පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය;
එතුමාණෝ උන් හැම කෙරේ රජකම් කරන සේක.

– 48 වන පරිච්ඡේදය –

දෙව් නුවර තේජස

ගීතයකි. කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි.
1 අප දෙව් නුවර වන එතුමන්ගේ ශුද්ධ කන්දෙහි හිමි තුමාණෝ උදාර ය.
විපුල පැසසුම් ලද යුතු ය.
2 උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය;
මුළු පොළොවට පියකරු ය.
3 නුවර බලකොටු ඇතුළෙහි සුරැකි ව විසිය හැකි බව, දෙවි තුමන් පෙන්වා දී ඇත.
4 රජවරුන් රාශිභූත ව, නුවරට එරෙහි ව සටනට යන හැටි නරඹන්න;
5 ඔව්හු එනුවර නරඹා විස්මිත වූ හ;
බියෙන් තැති ගෙන පලා ගියහ;
6 ඔව්හු බියෙන් හා සන්තාපයෙන් ඇලළී, ප්‍රසූතියට ළං වූ කතුන් මෙන් වූ හ;
7 තද කුණාටුවට අසු වී, සැලෙන, පෙරළෙන මහ නැව් මෙන් වූ හ.
8 අප පෙර කල ඇසූ විලස, සව් බලැති සමිඳාණන් සිය නුවරෙහි සිදු කළ දෙය
අපේ ම දෙනෙතින් දුටිමු.
එතුමාණෝ එනුවර සදහට ම රක්නා සේක.
9 දෙවිඳුනි, ඔබ මැදුරෙහි ඔබේ තිර පෙම්කඳ අපි සිහි කෙළෙමු.
10 දෙවිඳුනි, ඔබට හිමි ගරු පැසසුම් දස දෙසින් ඔබ වෙත නැඟී එයි.
ඔබේ කිතු ගොස පොළොව පුරා පැතිර ඇත.
ඔබ සාධාරණ ලෙස රජ කරන සේක.
11 ඔබේ සාධාරණ විනිසයන් නිසා සියොන් කන්දේ වැසියෝ සතුටින් පිනා යත් වා!
ජුදාහි නුවරවල ප්‍රීති ගීත ඇසේ වා!
12 මතු පරම්පරාවලට කරුණු කියන පිණිස සියොන් පව්ව වටේ ඇවිද බලන්න;
13 එහි කොටු පවුරු හොඳින් බලා ගණන් කරන්න;
මාලිගා සො‍්දිසි කරන්න.
14 මේ දෙවිඳාණෝ සදහට ම අපේ දෙවිඳාණෝ ය;
”ඉර හඳ පවතින තුරු එතුමාණෝ අපට මඟපෙන්වන සේකැ”යි කියන්න.

– 49 වන පරිච්ඡේදය –

වස්තු තණ්හාවේ දුර්විපාක

කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි.
1 සියලු ජාතීනි, මෙය අසන්න;
සියලු ලෝ වැසියෙනි, එක් ව සවන් දෙන්න.
2 ලොකු කුඩා සියල්ලෙනි, දුප්පත් පොහොසත් සියල්ලෙනි, සවන් දෙන්න.
3 මම නැණවත් සිතුවිලි සිතමි;
මම පැණවත් වදන් පවසමි.
4 මම හිතෝපදේශවලට අවධානය යොමු කරමි;
වීණාව වයමින් ඒවායේ විසඳුම පහදා දෙන්නෙමි.
5 අන්තරා කාලවල දී, නපුරු සතුරන් මා සිසාරා සිටින විට,
6 සිය ධන සම්පත් කෙරේ විශ්වාසය තැබූ, සිය වස්තු සම්භාරය නිසා අහංකාර වූ අය මා අවටින් සිටින විට, මම කිසිසේත් බිය නොවන්නෙමි.
7 තම විමුක්තිය තමාට ම සාදා ගත නොහැකි ය;
ජීවිතය සඳහා මිදීමේ මිලය දෙවිඳුන්ට ගෙවීමට ඔහුට නුපුළුවන.
8 මිනිසෙකුගේ ජීවිතය සඳහා ගෙවිය යුතු මිදීමේ මිලය ඉතා විශාල ය;
මිනී වළට යාමෙන් වැළකෙන පිණිසත්,
9 සදා ජීවත් වීමට වරයක් ලබන පිණිසත්, තමා විසින් ගෙවනු ලැබිය හැකි මිලය කිසිසේත් නොසෑහේ.
10 පැණවතුන් මියයන බව ද නූගතුන් හා අනුවණයන් යන දෙගොල්ල ම වැනසෙන බව ද ඔවුන්ගේ ධනය අනුන්ට තබා යන බව ද නොදන්න කෙනෙක් නැත.
11 වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත.
ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත.
12 කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය.
ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.
13 තමා කෙරෙහි ම විශ්වාසය තබන, තම වස්තුවෙන් සෑහීමට පැමිණ සිටින අයගේ ඉරණම එය වේ.
14 ඔවුන් බැටළු රැළක් මෙන් මරණයට නියම වී ඇත;
ඔවුන්ගේ එඬේරා මරණය වී ඇත.
ඔවුන් කෙළින් ම යන්නේ මිනී වළට ය,
ඔවුන්ගේ සිරුරු දිරා යන්නේ ය.
ඔවුන්ගේ නිවාසය පාතාලය වන්නේ ය.
15 එහෙත්, දෙවිඳාණෝ මා මුදාගෙන මරණයේ බලයෙන් මා ගළවන සේක.
16 යමෙකු පොහොසත් වන විට, ඔහුගේ යස ඉසුරු වැඩි වන විට බිය නොවන්න.
17 මියයන විට, ඔහු ඉන් කිසිවක් ගෙනයන්නේ නැත; ඔහුගේ යස ඉසුරු ඔහු කැටුව මිනී වළට නොයනු ඇත.
18 මිනිසෙක් සිය ජීවිත කාලයේ දී තෘප්තියට පත් වී සිටියත්,
තමන් ගැන පුරසාරම් දෙඩුවත්, ඔහුගේ දියුණුව ප්‍රශංසාවට ලක් වූවත්,
19 ඔහු තම මුතුන්මිත්තන් මෙන් මිය යන්නේ ය;
එහි සදහට ම අඳුර පවතින්නේ ය.
20 කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය.
ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.

– 50 වන පරිච්ඡේදය –

සැබෑ නමස්කාරය

ආසප්ගේ ගීතයකි.
1 සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක.
2 අලංකාරයෙන් අගතැන් පත් සියොන්හි සිට, දෙවිඳාණෝ වැජඹෙන සේක.
3 අපේ දෙවිඳාණෝ වඩින සේක;
නිහඬ ව නොසිටින සේක.
එතුමන් අබිමුව විනාශකාරී ගින්නක් ඇත;
එතුමන් සිසාරා චණ්ඩ මාරුතයක් හමයි.
4 සිය සෙනඟ හට නඩු තීන්දුව දෙන විට ඉහළ අහසටත්, පහළ පොළොවටත් සාක්ෂිකරුවන් වීමට එතුමාණෝ හඬ ගසන සේක.
5 ”පුද පූජා ඇති ව මා සමඟ ගිවිසුමක් කළ මාගේ සැදැහැවතුන් මා වෙත රැස් කරන්නැ”යි එතුමාණෝ වදාළ සේක.
6 දෙවිඳාණන් දැහැමි බව ද දෙවිඳාණන් විනිසකරුවන් බව ද අහස් මඬල ලොවට දන්වයි.
7 ”එම්බා මාගේ සෙනඟෙනි, සවන් දෙන්න. මම මෙය වදාරන්නෙමි.
එම්බා ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම සාක්ෂි දෙමි.
මම දෙවිඳාණෝ ය; නුඹලාගේ දෙවිඳාණෝ ය.”
8 නුඹලාගේ පූජා ගැන වත්, නිරතුරු මා වෙත ගෙනෙන දවන යාග පූජාවන් ගැන වත් මම දොස් නොපවරමි.
9 එහෙත්, නුඹේ පට්ටිවලින් ගොනුන් වත්, නුඹේ ගාල්වලින් එළුවන් වත් මට වුවමනා නැත.
10 වනයේ වසන සියලු සත්තු මාගේ ය;
දහසක් කඳුවල වසන ගවයෝත් මාගේ ය;
11 අහසේ සියලු කුරුල්ලෝ මාගේ ය;
කෙත්වතුවල සියලු සත්තු මාගේ ය.
12 ”මට කුසගිනි නම්, නුඹට දන්වන්නට වුවමනාවක් නැත;
ලොවත්, එහි ඇති සියලු දේත් මා සතු නොවේ ද?
13 ගවමස් බුදීමට හෝ එළු ලේ පානය කිරීමට හෝ මට වුවමනාවක් ඇද් ද?
14 දෙවියන්ට තුති දීම නුඹේ යාගය වේවා.
සව් බලැති දෙවිඳුන්ට නුඹේ භාර ඉටු කරන්න.
15 විපත්තියේ දී මට යාච්ඤා කරන්න;
මම නුඹ මුදන්නෙමි.
නුඹ මට ගෞරව කරනු ඇත.”
16 එහෙත්, දුදනා හට දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක:
”නුඹ මාගේ ආඥා කටපාඩමින් කියන්නේත්,
මාගේ ගිවිසුම ගැන කතා කරන්නේත් කුමකට ද?
17 මන්ද, නුඹ මාගේ අවවාදය නුරුස්සන්නෙහි ය;
මාගේ වචනවලට පිටුපා යන්නෙහි ය.
18 නුඹ සොරෙකු දුටු විට ඔහුගේ මිතුරා වන්නෙහි ය;
කාමමිථ්‍යාචාරීන් ඇසුරු කරන්නෙහි ය.
19 නුඹේ කට නපුරට පාවා දී ඇත;
නුඹ කට ඇරියොත් කියන්නේ බොරු ම ය.
20 එක් කුසේ උපන් නුඹේ සොහොයුරන්ට විරුද්ධ ව කතා කිරීමට ද ඔවුන්ට දොස් පැවරීමට ද නුඹ සූදානම් ය.
21 මේ සියල්ල නුඹ කෙළෙහි ය;
මම කිසිවක් නොකීවෙමි.
ඒ නිසා ‘මාත් නුඹ වාගේ ම ය’යි
නුඹ සිතුවෙහි ය.
එහෙත්, දැන් මම නුඹට දොස් පවරන්නෙමි; නුඹට කරුණු පහදා දෙන්නෙමි.
22 මට පිටුපා යන්නෙනි, මෙය කල්පනාවට ගන්න;
නැතහොත්, මම නුඹලා වනසන්නෙමි.
නුඹලා ගළවන්නට කිසිවෙකු නොසිටිනු ඇත.
23 ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි;
මට කීකරු වන හැම දෙන ම මම සැබැවින් ගළවාගන්නෙමි.”

– 51 වන පරිච්ඡේදය –

පව් කමාව සඳහා අයැදීම

බැත්-ෂෙබා සමඟ පරදාර සේවනයෙහි යෙදුණු දාවිත් වෙත නාතාන් ගිය පසු දාවිත් තැනූ ගීතයකි.
1 දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව;
ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව.
2 මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව;
මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව.
3 මාගේ අපරාධ මම මැනැවින් දනිමි.
දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ.
4 ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි;
ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි.
එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය;
ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.
5 පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ;
කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ.
6 සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක.
එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව.
7 ආසිරි පැන් මට ඉසිනු මැනව;
එවිට මම පිවිතුරු වන්නෙමි.
මා ධෝවනය කළ මැනව;
එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.
8 මා සිතට සතුට හා සොම්නස දුන මැනව;
ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව.
9 මාගේ පවින් ඔබේ බැල්ම හරවා ගත මැනව;
මාගේ සියලු අපරාධ මකා හැරිය මැනව.
10 දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව;
තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව.
11 ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මැනව;
ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව.
12 විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව;
අවනත සිතක් දී මා දැරුව මැනව.
13 එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි;
පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි.
14 දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව.
එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි.
15 සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව.
එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි.
16 ඔබ පුද පඬුරුවලට රිසි නැත;
ඔබ ඒවාට රිසි නම්, මම ඒවා ඔබට පුදන්නෙමි.
දවන යාග පූජාවලට ද ඔබ රිසි නොවන සේක.
17 දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි.
දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක.
18 සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව;
ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.
19 එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක.
එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.

– 52 වන පරිච්ඡේදය –

දුෂ්ටකමේ දුර්විපාක

දාවිත්ගේ සංගීතයකි. ඒදොමිය ජාතික දොවෙග් නමැත්තා පැමිණ, ”දාවිත් අබිමෙලෙක්ගේ ගෙදරට ඇතුළු වී ය”යි සාවුල්ට දැන් වූ පසු දාවිත් විසින් ලියන ලද්දකි.
1 එම්බා බලවන්තය!
ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද?
දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.
2 දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද?
ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය;
ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය.
3 යහපතට වඩා අයහපතට ඔබ ආලය කරන්නෙහි ය.
ඇත්තට වඩා බොරුවට ඔබ ප්‍රිය වන්නෙහි ය.
4 එම්බා කපටි දිව!
විනාශකාරී සෑම වචනයකට ම ඔබ ප්‍රිය වන්නෙහි ය.
5 දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක;
එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක.
6 එවිට දැහැමියෝ බියෙන් මේ දේ නරඹන්නෝ ය;
ඔහුගේ විපත ගැන සිනාසෙමින් මෙසේ පවසන්නෝ ය:
7 ”දෙවි තුමන් සරණ කොට නොගන්න මිනිසා මොහු ය;
තම සම්පත කෙරෙහි විශ්වාසය තබමින් දුෂ්ටකම සරණ කොටගත් තැනැත්තා මොහු ය.”
8 මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි.
දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි.
9 ඔබ එසේ කළ බැවින් මම සදහට ම ඔබ පසසන්නෙමි.
ඔබේ සැදැහැවතුන් අබිමුව ඔබේ නම යහපත් ය.
එබැවින් මම එය පතුරා හරින්නෙමි.

– 53 වන පරිච්ඡේදය –

අභක්තික මිනිසා

දාවිත් ලියූ සංගීතයකි.
1 අඥානයා, ”දෙවි කෙනෙක් නැතැ”යි සිතින් සිතන්නේ ය.
එසේ සිතන්නෝ, දූෂිත, පිළිකුල්, අපරාධ කරන්නෝ ය.
යහපත කරන කිසිවෙක් නැත.
2 සුරලොව සිට දෙවිඳාණෝ නරලොව නරඹන සේක.
එසේ ය, දෙවිඳුන් සොයා යන නුවණැති අය ඇද්දැ යි එතුමාණෝ විමසන සේක.
3 සියලු දෙනා නපුරට වැටී ඇත;
එක ලෙස දූෂණය වී ඇත.
යහපත කරන්නෙක් නැත;
ඇත්තේ ම නැත.
4 අහරක් බුදින ලෙස මාගේ සෙනඟ කාදමන, දෙවිඳුන් නොඅයදින, අපරාධ කරන අයට කිසි ම දැනුමක් නැද් ද?
5 පෙර නොවූ විරූ බියකින් ඔව්හු බියට පත් වූ හ.
ඔබ වැටලූ සතුරන්ගේ ඇටකටු දෙවිඳාණෝ විසුරුවා හැරිය සේක.
එතුමාණන් ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින් ඔව්හු අවමන් ලැබූ හ.
6 සියොන් කන්දෙන් ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය පැමිණියොත් කොතරම් යහපත් ද?
දෙවිඳුන් සිය සෙනඟට සැප සම්පත් සලසා දුන් විට,
ජාකොබ්ගේ සෙනඟ ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය;
ඉශ්රායෙල් ජනතාව ප්‍රීති සන්තෝෂ වන්නෝ ය.

– 54 වන පරිච්ඡේදය –

අන්තරායෙන් මිදීමට යැදුමක්

දාවිත්ගේ සංගීතයකි. සිප්වරුන් පැමිණ, ”බලන්න, දාවිත් අප අතර සැඟවී සිටින්නේ ය”යි සාවුල්ට කී පසු දාවිත් විසින් ලියන ලද අනුශාසනාවකි.
1 අහෝ දෙවිඳුනි, ඔබ නාමයේ අනුහසින් මා මුදාලුව මැනව;
ඔබ බල මහිමයෙන් මා නිදහස් කළ මැනව;
2 දෙවිඳුනි, මාගේ යැදුමට සවන් දුන මැනව;
මා පවසන වදනට ද සවන් දුන මැනව.
3 විදේශිකයෝ මට විරුද්ධ ව නැඟිට්ටෝ ය;
සාහසිකයෝ මා මරන්නට සෙවුවෝ ය.
මාගේ අධිපතියාණන් දෙවිඳුන් බව ඔව්හු නොපිළිගත්තෝ ය.
4 දෙවිඳාණෝ මාගේ සහායට වඩින සේක;
සමිඳාණෝ මාගේ දිවියට රැකවරණය දෙන සේක.
5 මාගේ සතුරන් මට කළ නපුර ඔවුන්ට ම පල දේ වා!
තම විශ්වාසවන්තකම නිසා එතුමාණෝ ඔවුන් සහමුලින් ම වනසාලන සේක් වා!
6 තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි.
සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.
7 එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක.
මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.

– 55 වන පරිච්ඡේදය –

පීඩනයේ දී යැදුම

දාවිත්ගේ සංගීතයකි.
1 අහෝ දෙවිඳුනි!
මාගේ යැදුමට සවන් දුන මැනව;
මාගේ ඉල්ලීම පැහැර නොහැරිය මැනව.
2 මා කියන දේ සලකා පිළිතුරු දුන මැනව.
මම කරදරයෙහි ගිලී සිටිමි.
3 සතුරාගේ ගෝරනාඩුවෙන් ද දුදනාගේ පීඩනයෙන් ද මම තැතිගනිමි.
ඔව්හු මා පිට කරදර පටවා මට සතුරුකම් කරන්නෝ ය.
4 මාගේ හදවත ගැහි ගැහී ඇත්තේ ය;
මරණ බිය මා ලුහුබැඳ එන්නේ ය.
5 භීතිය ද ත්‍රාසය ද මට තදින් පීඩා කරන්නේ ය;
බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය.
6 අනේ!
මටත් පරෙවියෙකුට මෙන් පියාපත් ඇත්නම්!
එවිට මම පියාඹා ගොස් විවේකය ලබන්නෙමි.
7 මම බොහෝ ඈතට ම පියාඹා යන්නෙමි;
පාළුකරයට ගොස් පදිංචි වන්නෙමි.
8 සැඬ සුළඟින් සහ චණ්ඩ මාරුතයෙන් මම අහක් ව යන්නෙමි.
මාගේ අභය භූමියට වහා ඉගිල යන්නෙමි.
9 සමිඳුනි, ඔවුන්ගේ කතාව වියවුල් කළ මැනව.
මන්ද, නුවර තුළ සැහැසිකම ද ආරාවුල ද මට පෙනේ.
10 දිවා රෑ දෙක්හි ඒවා පවුරු මත සැරිසරන්නේ ය;
එහි අපරාධය ද මැරවරකම ද ඇත්තේ ය.
11 නුවර මැද දුෂ්ටකම් බහුල ව ඇත්තේ ය.
එහි වෙළෙඳ පොළෙහි ඇති අපරාධයට හා වංචාවට කෙළවරක් නැත්තේ ය.
12 මට අපවාද කළෝ සතුරෝ නම්, එය මට ඉවසා ගන්නට තිබුණේ ය;
මට සතුරු ව නැඟිට සිටියෝ එදිරිකාරයෝ නම්, මට ඔවුන්ගෙන් සැඟවෙන්නට තිබුණේ ය.
13 එසේ කෙළේ, මා හා සමාන කෙනෙකු වන ඔබ ය;
මාගේ හිත මිතුරා ද සහකාරයා ද ඔබ ය.
14 අපි එකට සතුටු සාමීචි කතාවේ යෙදුණෙමු;
එකට දෙව් මැදුරෙහි නමස්කාර කෙළෙමු.
15 අකාල මරණය සතුරන් පිට පැමිණේ වා!
ඔව්හු පණපිටින් පාතාලයට යත් වා!
මන්ද, ඔවුන්ගේ සිත්හි හා නිවෙස්හි දුෂ්ටකම ඇත්තේ ය.
16 මම දෙවිඳාණන්ට හඬගසන්නෙමි;
සමිඳාණෝ මා ගළවන සේක.
17 උදය, මද්දහන හා සවස මාගේ මැසිවිලි කිය කියා මම වැලපෙන්නෙමි.
එතුමාණෝ මා හඬට සවන් දෙන සේක.
18 මට විරුද්ධ ව කරන ලද සටනින් එතුමාණෝ මා මුදා මට සාමදානය දුන් සේක.
මන්ද, බොහෝ දෙනා මට විරුද්ධ ව සිටියෝ ය.
19 අතීතයේ සිට සිහසුන් අරා සිටින දෙවිඳාණෝ මට සවන් දී පිළිතුරු දුන් සේක.
මන්ද, මාගේ සතුරෝ නීතිය නොරකිති;
දෙවිඳුන් හට ගරුබිය නොදක්වති.
20 සතුරා තම මිතුරා හට විරුද්ධ ව තම අත දිගු කෙළේ ය;
එසේ කොට, ඔහු ගිවිසුම කඩ කෙළේ ය.
21 බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්,
ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය;
ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය.
එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.
22 ඔබේ දුක් බර සමිඳුන් පාමුල තබන්න;
එතුමාණෝ ඔබ ආරක්ෂා කරන සේක;
සැදැහැවතුන්ගේ වැටීමට කිසි දා ඉඩ නොදෙන සේක.
23 දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක.
මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත.
එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.

– 56 වන පරිච්ඡේදය –

අනතුරේ දී දෙවිඳුන් කෙරෙහි විශ්වාසය

පිලිස්තිවරුන් ගාත් නම් ස්ථානයේ දී දාවිත් අල්ලාගත් පසු ඔහු ලියූ සෙල් ලිපියකි.
1 දෙවිඳුනි, මට දයා වුව මැනව.
මිනිස්සු මා ලුහුබැඳ එන්නෝ ය;
දවස පුරා ඔව්හු මට පීඩා කරන්නෝ ය.
2 සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය.
මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද?
3 අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද?
එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.
4 මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි;
මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි.
සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?
5 ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය;
ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය.
6 ඔව්හු කුමන්ත්‍රණය කරමින් සැඟවී සිට,
මා යන එන විට බලා සිටින්නෝ ය;
මා වැනසීමට නිරතුරු බලා සිටින්නෝ ය.
7 ඔවුන්ගේ අපරාධයට විපාක දුන මැනව;
අහෝ දෙවිඳුනි!
උදහස් වී ඔබ ඒ ජනයා පරාජය කළ මැනව.
8 මාගේ කන්නලව්ව ඔබ ම සටහන් කළ මැනව;
ඔබේ බඳුනෙහි මාගේ කඳුළු එකතු කළ මැනව;
ඒවා ඔබේ පොතේ සටහන් වී නැද් ද?
9 මා ඔබ අයැදින දවසෙහි මාගේ සතුරෝ පසු බැස යන්නෝ ය.
දෙවිඳුන් මට පක්ෂ බව එවිට මම දැනගන්නෙමි.
10 මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි;
දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි.
11 දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි;
මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද?
12 දෙවිඳුනි, ඔබට පොරොන්දු වූ බාරහාර මම ඉටු කරන්නෙමි;
ඔබට තුති පූජා පුදන්නෙමි.
13 මන්ද, ඔබ, මා මරණින් මිදූ සේක.
මාගේ පාද පැකිළීමෙන් වැළැක්වූ සේක.
එසේ කෙළේ, ජීවනාලෝකයෙහි දෙවිඳුන් අබියස මා හැසිරෙන පිණිස ය.

– 57 වන පරිච්ඡේදය –

කුරිරු රුපුන් මැද විශ්වාසය

දාවිත් සාවුල් ඉදිරියෙන් ගුහාවට පලා ගිය පසු දාවිත් ගැයූ ගීතයකි.
1 මට අනුකම්පා කළ මැනව; අහෝ දෙවිඳුනි! මට අනුකම්පා කළ මැනව.
මම ඔබ සරණ පතමි;
විපත් කුණාටුව පහ වී යන තෙක්, ඔබ පියාපත් සෙවණෙහි මම රැකවරණය පතමි.
2 අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි;
මට සියල්ල සලසා දෙන අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි.
3 මා පෙළන අයගෙන් මා මුදාලීමට එතුමාණෝ සගලොවින් පිහිට එවන සේක.
දෙවිඳාණෝ තමන් කරුණාවත්, සත්‍යතාවත් එවන සේක.
4 මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි.
උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න;
උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.
5 දෙවිඳුනි, ඉහළින් වැඩ සිට ඔබේ ශ්‍රේෂ්ඨත්වය දැක්වුව මැනව.
ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිර ඇත්තේ ය.
6 මා දුක් බරින් යට වූ විට මාගේ සතුරෝ මා පයට දැලක් එළූ හ;
මා වැටෙන පිණිස කැණූ වළෙහි ඔව්හු ම වැටුණෝ ය.
7 දෙවිඳුනි!
මට අචල විශ්වාසයක් ඇත්තේ ය.
මම ගී ගයා ඔබ පසසමි.
8 මාගේ හදවත, අවදි වන්න!
එම්බා!
කුඩා වීණාව, මහා වීණාව, පිබිදෙන්න!
එවිට මම උදාහිරු අවදි කරන්නෙමි.
9 සමිඳුනි!
මම ජනතාව අතර ඔබ පසසමි;
විජාතීන් අතර මම ඔබට ගී ගයමි.
10 ඔබේ කරුණාව සගලොව දක්වා නඟින්නේ ය.
ඔබේ සත්‍යවාදිකම අහස උසට නැඟී ඇත්තේ ය.
11 දෙවිඳුනි, අහසට වඩා ඔබේ ශ්‍රේෂ්ඨත්වය උසස් බව දැක්වුව මැනව.
ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිරේ වා!

– 58 වන පරිච්ඡේදය –

විනිසකරුවන්ගේ විනිසකරුවාණෝ

දාවිත් ලියූ සෙල් ලිපියකි.
1 බලවතුනි, ඔබ සාධාරණ තීන්දු දෙන්නහු ද?
නායකයෙනි, ඔබ යුතු ලෙස සෙනඟ පාලනය කරන්නහු ද?
2 එහෙත්, ඔබ එසේ නොකර දුෂ්ට අදහස් සිත්හි මවාගන්නහු ය;
නීතියට පිටුපා සැහැසිකම් කරන්නහු ය.
3 දුදනෝ මවු කුස පටන් නොමඟ යන්නෝ ය;
උපන් දා සිට ම ඔව්හු බොරු කියන්නෝ ය.
4 ඔවුන්ගේ වස විස සර්ප විස මෙන් වන්නේ ය.
ඔව්හු කන් බිහිරි කරගත් පොළඟුන් වැනි ය.
5 එවැන්නෝ නයි නටවන්නන්ගේ හඬට කන් නොදෙති;
මතුරන්නන්ගේ මැතිරීමට සවන් නොදෙති.
6 අහෝ දෙවිඳුනි!
ඔවුන්ගේ මුඛයේ දත් පොඩි කළ මැනව;
මේ සිංහ පෝතකයන්ගේ දළ බිඳ දැමුව මැනව.
7 ඔව්හු වේගයෙන් ගලා යන වතුර මෙන් පහ ව යත් වා!
පයට පෑගුණ තණ මෙන් වියළී යත් වා!
8 සෙවලෙහි ම දිරා යන ගොළුබෙල්ලන් මෙන් ඔව්හු දිරා යත් වා!
මියගිය කළල රූප මෙන් ඔව්හු ඉරු එළිය නොදකිත් වා!
9 ඔව්හු මුලිනුපුටා දැමූ කටු පඳුරු මෙන් වෙත් වා!
කෝපයෙන් උදලුගා දැමූ වල් පැළෑටි මෙන් වෙත් වා!
10 පවිටුන්ට දඬුවම් ලැබෙන විට දැහැමියා ප්‍රීති ප්‍රමෝද වන්නේ ය.
දුදන ලෙයින් ඔහු තම පා සෝදා ගන්නේ ය.
11 එවිට සෙනඟ මෙසේ කියති:
”දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය;
මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.”

– 59 වන පරිච්ඡේදය –

පිහිට පතා යැදුම

දාවිත් මරණ පිණිස ගෙය රැක සිටීමට සාවුල් මිනිසුන් යැවූ පසු දාවිත් ලියූ ගීතයකි.
1 අහෝ මාගේ දෙවිඳුනි!
මාගේ සතුරන්ගෙන් මා මුදාගත මැනව;
මට පහර දෙන අයගෙන් මා රැකගත මැනව.
2 නපුර කරන්නන්ගෙන් මා මුදාගත මැනව;
මිනී මරුවන්ගෙන් මා ගළවාගත මැනව.
3 මාගේ ජීවිතය නැසීමට මාන බලා සිටින්නන් හා මට සතුරු ව සැරසී සිටින්නන් දෙස බැලුව මැනව.
මා අත පාපයක් හා වරදක් නොවූවත්,
4 මා අපරාධයක් නොකළත්, ඔව්හු මට චෝදනා කොට සටනට සැරසෙන්නෝ ය.
සමිඳුනි, මාගේ සහායට පිබිද, මා දෙස බැලුව මැනව!
5 සමිඳුනි, සව් බලැති දෙවිඳුනි, ඉශ්රායෙල් දෙවිඳුනි, සියලු විජාතීන් හට දඬුවම් දීමට නැඟී සිටින සේක් වා!
දුෂ්ට ද්‍රෝහින් කිසිවෙකුට වත් දයාව නොදක්වන සේක් වා!
6 ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය;
ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය.
7 ඔව්හු බෙරිහන් දෙමින් තියුණු කඩුපත් වැනි කටුක වචන කියති;
”ඒවා ඇසෙන කිසිවෙක් නැතැ”යි ඔව්හු සිතති.
8 එහෙත් සමිඳුනි, ඔබ ඔවුන් ගැන සිනාසෙන සේක;
ඔබ සියලු විජාතීන් සමච්චලයට පාත්‍ර කරන සේක.
9 මාගේ සවිය වන ඔබ මම පසසමි.
මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක.
10 මට ප්‍රේම කරන දෙවිඳාණෝ වඩින සේක;
මාගේ සතුරන්ගේ පරාජය මට දැකගන්නට සලසන සේක.
11 අහෝ දෙවිඳුනි!
මා සෙනඟ නොපැකිළෙන පිණිස සතුරන් නොනැසුව මැනව;
ඔබේ බලයෙන් ඔවුන් සලිත කොට පහතට හෙළුව මැනව.
සමිඳාණෝ අපේ පලිහ වන සේක.
12 ඔවුන්ගේ මුවින් පිට වන පාපී බස් හා තොල්වලින් පවසන පුරසාරම් නිසා ඔව්හු වරදට අසු වෙත් වා!
උඩඟුවෙන් වැනසෙත් වා!
13 ඔබ කෝපාග්නියෙන් ඔවුන් වනසත් වා!
සහමුලින් ම ඔවුන් වනසත් වා!
එවිට ඉශ්රායෙල් දේශයේ සිට පොළොවේ සීමාන්තය දක්වා දෙවිඳුන් පාලනය කරන බව ඔව්හු දැනගන්නෝ ය.
14 ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය;
ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය;
15 ඔව්හු ගොදුරු සොය සොයා සැරිසරන්නෝ ය;
ඔව්හු සෑහීමට පත් නොවුවොත් ගොරවන්නෝ ය.
16 ඔබේ බල මහිමය ගැන මම ගී ගයන්නෙමි;
ඔබේ තිර පෙම ගැන හැම උදය ම මම හඬ නඟා ගයන්නෙමි.
මන්ද, ඔබ මාගේ බලකොටුව වූ සේක;
මාගේ විපතේ දී ඔබ මාගේ සරණය වූ සේක.
17 මාගේ සවිය වන ඔබ මම පසසමි;
මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක.
ඔබ මට ප්‍රේම කරන සේක.

– 60 වන පරිච්ඡේදය –

පරාජයේ දී ජාතික යැදුමක්

මෙය ප්‍රසිද්ධ ආඥාවක් වශයෙන් ඉගැන්වීමට ය. මෙය ඉගැන්විය යුතු දාවිත්ගේ සංගීතයකි. දාවිත් ආරම්-නහරයිම් සහ ආරම්-ශෝබා නමැති අය සමඟ සටන් කරන විට, ජෝවාබ් හැරී අවුත් ලවණ නම් මිටියාවතේ දී ඒදොමිය ජාතිකයන්ගෙන් දොළොස් දහසකට පහර දුන් පසු මෙය ලියන ලදී.
1 අහෝ දෙවිඳුනි!
ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක;
ඔබ උදහස් වූ සේක.
අප වෙත යළි වැඩිය මැනව.
2 ඔබ දේශය කම්පා කරමින් එය දෙපළු කළ සේක;
කඩා වැටී යන එහි කැඩුම්බිඳුම් අලුත්වැඩියා කළ මැනව.
3 ඔබ ජනතාවට දුක් විඳින්නට සැලැසූ සේක;
වෙරිමත් කරවන මිදියුස ඔබ අපට පෙවූ සේක.
4 ඔබට ගරුබිය පාන අයට ඔබ අනතුරු ඇඟවීමක් කළ සේක; එසේ කෙළේ,
පැමිණෙන්නට යන විපතෙන් පලා යන පිණිස ය.
5 ඔබට ප්‍රේම කරන්නන් මිදෙනු පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව;
අපේ යැදුමට පිළිතුරු දුන මැනව.
6 දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක:
”විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි;
සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කර දෙන්නෙමි.
7 ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය;
එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය;
ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;
8 මෝවබ් පෙදෙස මාගේ පා දෝවන බඳුන වන්නේ ය;
මාගේ පාවහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි;
පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”
9 කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද?
ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙනයන්නේ කවරෙක් ද?
10 අහෝ දෙවිඳුනි!
ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද?
අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?
11 එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව.
මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.
12 දෙවිඳුන්ගේ සහාය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු;
එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.

– 61 වන පරිච්ඡේදය –

විප්‍රවාසගත වූවෙකුගේ යැදුම

දාවිත්ගේ ගීතයකි.
1 අහෝ දෙවිඳුනි!
මාගේ මොරගැසීම ඇසුව මැනව;
මාගේ යැදුමට සවන් දුන මැනව.
2 මාගේ සිතෙහි දිරිය සුන් වන කල පාතාල ලොව ගැටියේ සිට මම ඔබට හඬගසමි.
මට නැඟිය නොහැකි පර්වතයකට මා ගෙන ගිය මැනව.
3 මන්ද, ඔබ තුමාණෝ මාගේ සරණය වූ සේක;
සතුරාට එරෙහි ව සවි බලකොටුවක් වූ සේක.
4 මම ඔබේ නිවෙසෙහි සදහට ම වාසය කරන්නෙමි;
ඔබේ පියාපත් සෙවණෙහි සරණ ලබන්නෙමි.
5 අහෝ දෙවිඳුනි!
ඔබ මාගේ බාර හාරවලට සවන් දුන් සේක.
ඔබේ නාමයට ගරුබිය පාන අයගේ උරුමය මට දුන් සේක.
6 රජතුමන්ගේ ආයු වැඩි කළ මැනව!
එතුමන්ගේ ජීවිත කාලය චිරාත් කාලයක් පවතී වා!
7 ඒ රජ දෙවිඳුන් අබියස සදහට සිහසුන අරා වැඩ සිටී වා!
එතුමා ආරක්ෂා කරනු වස් ඔබ තිර පෙමින් සත්‍යතාව එතුමාට ප්‍රදානය කරන සේක් වා!
8 එවිට මම නිතර ම ඔබේ නාමයට පැසසුම් ගී ගයන්නෙමි;
දිනෙන් දින පොරොන්දු ඉටු කරන්නෙමි.

– 62 වන පරිච්ඡේදය –

මිනිසාගේ එක ම බලාපොරොත්තුව

දාවිත්ගේ ගීතයකි.
1 මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි;
මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.
2 මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි;
එබැවින් මම නොසැලී සිටින්නෙමි.
3 මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි;
ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද?
4 උසස්කමෙන් ඔහු නෙරපාදැමීමට ඔව්හු උපා යොදති;
බොරු කීමට ප්‍රිය වෙති;
මුවින් ආසිරි පතන නමුත්, සිතින් සාප කරති.
5 මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි;
මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.
6 මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි;
එබැවින් මම නොසැලී සිටින්නෙමි.
7 මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය;
මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය.
8 ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න;
එතුමාණෝ අප සරණය වන සේක.
එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න.
9 පහළ පෙළේ අය සුළං රොදකි;
ඉහළ පෙළේ අය මායාවකි;
කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය.
සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.
10 බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න;
කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න;
වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න.
11 දෙවිඳුන් මෙසේ පැවසූ බව මා බොහෝ වර අසා ඇත.
එනම්, ‘බලය දෙවිඳුන් සතු ය;
12 සමිඳුනි, තිර පෙම ඔබ සතු ය.
මන්ද, මිනිසා කළ කළ දේ අනුව ඔබ විපාක දෙන සේක’ යනු යි.

– 63 වන පරිච්ඡේදය –

දෙවියන් වහන්සේට ආශා වීම

ජුදා දේශයේ පාළුකරයේ දී දාවිත් ලියූ ගීතයකි.
1 දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි.
මා හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ ය.
වියළි බිම ජලයට පිපාසා වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි.
2 ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි.
ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි.
3 ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය;
මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය.
4 මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි;
ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි.
5 රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි;
මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.
6 යහනේදීත් මම ඔබ ගැන සිතන්නෙමි;
රෑ යාමවල දී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි.
7 මන්ද, ඔබ වහන්සේ මාගේ ආධාරය වූ සේක.
ඔබේ පියාපත් සෙවණෙහි මම ප්‍රීති වන්නෙමි.
8 ම සිතෙහි ඔබ කෙරෙහි තද ඇල්මක් ඇත;
ඔබ දකුණතින් මා උසුලන සේක.
9 මා වනසනු වස්, මා සොය සොයා සිටින අය ඇත;
ඔව්හු පාතාල ලෝකයේ පත්ලට ම යත් වා!
10 ඔව්හු කඩු මුවහතින් පහර කත් වා!
ඔවුහු සිවලුන්ට ගොදුරු වෙත් වා!
11 එහෙත්, රජ තෙම දෙවිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වන්නේ ය.
මුසා දොඩන්නවුන්ගේ මුව පියවෙන විට සමිඳුන් නමින් දිවුරන්නෝ ප්‍රීතිමත් වන්නෝ ය.

– 64 වන පරිච්ඡේදය –

ගරහන්නන්ට ලැබෙන දඬුවම

දාවිත්ගේ ගීතයකි.
1 දෙවිඳුනි, මා පැමිණිලි කරන විට මා හඬට කන් දුන මැනව;
මේ භයානක සතුරන්ගෙන් මාගේ ජීවිතය ආරක්ෂා කළ මැනව.
2 දුෂ්ටයන්ගේ උපායවලින් මා රැකගත මැනව;
කලහකාරී සෙනඟගෙන් මා ආරක්ෂා කළ මැනව.
3 ඔව්හු අසිපත් මෙන් තමන්ගේ දිව් මුවහත් කරගනිති;
ඔව්හු ඊගස් මෙන් පරුෂ වචන විදිති.
4 ඔව්හු සැඟවී සිට නිදොස් අයට විදින්නෝ ය;
අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් විදින්නෝ ය.
5 දුෂ්ට අරමුණු සඳහා ඔව්හු එකිනෙකාට අනුබල දෙන්නෝ ය;
ඔවුන්ගේ උගුල කොතැන සඟවා අටවන්න දැ යි සාකච්ඡා කරන්නෝ ය.
”අප දකින කෙනෙක් නැතැ”යි ඔව්හු සිතන්නෝ ය.
6 ”අපේ අපරාධ සොයා ගත හැක්කේ කවරෙකුට ද?
අපි කෛරාටික ලෙස උගුලක් ඇටවීමු.”
මන්ද මනුෂ්‍යයාගේ සිතුවිලි හා අභ්‍යන්තරය ඉතා ගැඹුරු බැවිනි.
7 දෙවිඳාණෝ ඔවුන්ට ඊගසින් විදින සේක;
අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් ඔවුන්ට තුවාළ කරන සේක.
8 අති උත්තමයාණෝ මුසා දොඩන්නන් වනසන සේක.
ඔවුන් දකින සියල්ලෝ හිස් වනන්නෝ ය.
9 මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය.
”එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි
ඔව්හු සිතන්නෝ ය.
10 දැහැමියා, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වී එතුමාණන් සරණ සොයා යන්නේ ය;
අවංක සිතැති තැනැත්තා ප්‍රීතියෙන් පිරී යන්නේ ය.

– 65 වන පරිච්ඡේදය –

විමුක්ති යැදීම හා වැණීම

දාවිත්ගේ ගීතයකි.
1 සියොන්හි දෙවිඳුනි, ඔබට පැසසුම් හිමි ය.
අපි ඔබට බාරහාර ඔප්පු කරන්නෙමු.
2 මන්ද, ඔබ අපේ යැදුමට සවන් දෙන සේක.
සියල්ලෝ තම තමන්ගේ පව් නිසා ඔබ වෙත ආ යුත්තෝ ය.
3 අපේ පව්කම් අපට ඉසිලිය නොහැකි ය;
ඔබ තුමාණන් ඒවාට කමා වුව මැනව.
4 ඔබේ රජ මැදුරෙහි වසන පිණිස ඔබ තෝරාගත් තැනැත්තා කොපමණ වාසනාවන්ත ද?
ඔබේ දෙව් මැදුර වන ඔබේ නිවෙසෙහි යහපත් දෙයින් අප සෑහීමට පත් කළ මැනව.
5 ගැළවුම්කාර දෙවිඳුනි, ඔබේ ප්‍රබල ක්‍රියා මඟින් අප ගළවාගත මැනව;
මුළු පොළොවේ ද ඈත සමුදුරේ ද බලාපොරොත්තුව ඔබ වන සේක.
6 ඔබ තුමාණෝ සවිය යොදා කඳු හෙල් පිහිටෙවු සේක;
ඔබ බලපරාක්‍රමය නමැති ඉඟ පටියෙන් සැරසුණු සේක.
7 සමුදුරු ගිගුරුම් ද රළ ගොස ද ඔබ නිසල කළ සේක;
සෙනඟගේ ආරාවුල් සමථයට පත් කළ සේක.
8 මිහි පිට සියල්ලෝ ඔබ පෑ ලකුණු දැක බියෙන් තැතිගෙන සිටින්නෝ ය;
නැඟී එන උදයට ද බැස යන සවසට ද ප්‍රීතියෙන් මොරගසන්නට ඔබ සැලැසූ සේක.
9 ඔබ පොළොව දෙස බලා, එයට වැහි වස්වා, එය සරුසාර කරන සේක.
අහස් ගඟ දිය දහරින් පිරී ඇත.
ඔබ පොළොව මෙසේ පිළියෙළ කොට ධාන්‍ය සපයා දෙන සේක.
10 එහි හීවිටි බොහෝ සේ දියෙන් පොඟවා පස් පිඬලි සමතලා කරන සේක.
ඒ පිට බහුල ව වැසි වස්වා, පොළොව බුරුල් කර එහි වගාවට ආසිරි දෙන සේක.
11 ඔබ වැසි වස්වා රට සරුසාර කරවන සේක;
ඔබ සැරිසරන තැන සාරත්වය උතුරා යන්නේ ය.
12 පාළුකරයේ තණ බිම සරුසාර වනු ඇත;
කඳු හෙල් ප්‍රීතියෙන් උදම් අනනු ඇත.
13 තණ බිම එළු බැටළු පට්ටිවලින් පිරී ඇත.
මිටියාවත් ධන ධාන්‍යයෙන් සපුරාලන සේක.
ඒවා ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයයි.

– 66 වන පරිච්ඡේදය –

ජනතාව දෙවිඳුන් පැසසීම

ගීතයකි.
1 ලෝ වැසි සියල්ලෙනි, දෙවිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2 එතුමන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න.
3 දෙවි තුමන්ට මෙලෙස කියන්න:
”ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද?
ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය.
එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.
4 ලෝ වැසි සියල්ලෝ ඔබ නමදින්නෝ ය;
ඔබට ගී ගයා ඔබේ නම පසසන්නෝ ය.
5 එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න.
එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය.
6 එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක.
සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය.
එබැවින් එතුමන් තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.
7 එතුමාණෝ බලපරාක්‍රමයෙන් සදහට ම ලොව පාලනය කරන සේක;
එතුමාණෝ විජාතීන් දෙස නෙත් යොමා බලන සේක.
කිසි ම කැරලිකරුවෙක් එතුමන්ට එරෙහි ව නොනැඟිටී වා!
8 ජනතාවෙනි, අපේ දෙවිඳුන් හට ආසිරි පතන්න;
එතුමන් වෙත නඟන පැසසුම පතුරුවා හරින්න.
9 එතුමාණෝ ජීවතුන් අතර අප රැක ගත් සේක;
අපේ පාද නොපැකිළෙන්නට සැලැසූ සේක.
10 අහෝ දෙවිඳුනි!
ඔබ අප පරීක්ෂා කළ සේක;
රිදී සෝදිසි කරන පරිදි ඔබ අප සෝදිසි කළ සේක.
11 ඔබ අප දැලට අසු කරගත් සේක;
අපේ කර පිට තද බර පැටවූ සේක.
12 අප පාගා දැමීමට අප සතුරන් හට ඔබ ඉඩ දුන් සේක;
අපි ගිනි මැදින් ද ජලය මැදින් ද ගියෙමු.
එහෙත්, ඔබ අප සුරැකි බිමට ගෙනා සේක.
13 දවන යාග පූජා රැගෙන මම ඔබේ නිවාසයට ඇතුල් වන්නෙමි;
මාගේ බාරහාර මම ඔබට ඔප්පු කරන්නෙමි.
14 මාගේ තොල්වලින් මම ඒ බාරහාර ප්‍රකාශ කෙළෙමි;
මම මාගේ විපතේ දී මා මුවින්
ඒවා උච්චාරණය කෙළෙමි.
15 දැවෙන බැටළු පැටවුන්ගේ සුවඳ දුම් සමඟ තරබාරු සතුන්ගෙන් දවන යාග පූජා පුදන්නෙමි.
මම ගවයන් ද එළුවන් ද පුදන්නෙමි.
16 දෙවිඳුන් නමදින සියල්ලෙනි!
එන්න, සවන් දෙන්න.
එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි.
17 මා මුවින් මම එතුමන්ට මොරගැසුවෙමි;
මාගේ දිවෙන් එතුමන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි.
18 වරදට මා හද තුළ ආශාවක් තිබේ නම්, මා සමිඳාණෝ මට කවදාවත් සවන් නොදෙන සේක.
19 එහෙත්, දෙවිඳාණෝ මට සවන් දුන් සේක;
මාගේ අයැදුම් හඬ ද සලකා බැලූ සේක.
20 දෙවිඳුන්ට ප්‍රශංසා වේ වා!
මාගේ අයැදුම එතුමාණෝ ඉවත නොදැමූ සේක;
සිය පෙමින් මා ඈත් නොකළ සේක.

– 67 වන පරිච්ඡේදය –

අස්වැන්න ගීයක්

කාව්‍යයකි; ගීතයකි.
1 දෙවිඳාණෝ අප වෙත දයාව පෙන්වමින් අපට ආශීර්වාද කරන සේක් වා!
ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවන සේක් වා!
2 එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේ ය;
සියලු විජාතීහු ඔබේ ගැළවීමේ බලය දැනගන්නෝ ය.
3 අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා!
සියලු ජාතීහු ඔබ පසසත් වා!
4 ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක;
මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක;
එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා!
5 අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා!
සියලු ජාතීහු ඔබ පසසත් වා!
6 පොළොව පලදාව බහුල ව නිපදවිය;
දෙවිඳාණෝ, අපේ දෙවිඳාණෝ, අපට ආසිරි දුන් සේක.
7 අපේ දෙවිඳාණෝ අපට ආසිරි වස්වන සේක් වා!
පොළො‍් වැසි සියල්ලෝ එතුමන්ට ගරු කරත් වා!

– 68 වන පරිච්ඡේදය –

ජයග්‍රාහී ජාතික ගීයක්

දාවිත්ගේ ගීතයකි, කාව්‍යයකි.
1 දෙවිඳාණෝ නැඟිට සතුරන් විසුරුවා හරින සේක.
එතුමන්ට වෛර කරන්නෝ එතුමන් ඉදිරියෙන් පලා යන්නෝ ය.
2 සුළඟට ගසාගෙන යන දුමක් මෙන් එතුමාණෝ ඔවුන් පහකරන සේක;
ගිනි ළඟ දිය වන ඉටි මෙන් දෙවිඳුන් අබිමුව දුදනෝ වැනසී යෙත් වා!
3 එහෙත්, දැහැමියෝ දෙවිඳුන් අබිමුව ප්‍රීති ප්‍රමෝද වෙත් වා!
ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයත් වා!
4 දෙවිඳුන්ට ගී ගයන්න;
එතුමන්ගේ නම කියා එතුමන් පසසන්න.
වලාකුළු අරා වඩින සමිඳුන් හට මාවතක් පිළියෙළ කරන්න;
එතුමන්ගේ නාමය සමිඳාණෝ ය, එතුමන් අබිමුව ප්‍රීතියෙන් සිටින්න.
5 එතුමාණෝ, අනාථයන්ගේ පියාණෝ ද වැන්දඹුවන්ගේ ආරක්ෂකයාණෝ ද වන සේක.
සිය ශුද්ධ නිවාසයෙහි වසන එතුමාණෝ දෙවිඳාණෝ ය.
6 දෙවිඳාණෝ අනාථ වූවන්ට නිවෙස් තනා දෙන සේක;
හිරකරුවන්ට නිදහස දෙන සේක;
එහෙත්, කැරලිකරුවන් මරුකතරේ විසීමට හරින සේක.
7 අහෝ දෙවිඳුනි!
සෙනඟට පෙරටුවෙන් ඔබ ගමන් කළ සේක;
කාන්තාරය ඔස්සේ යුද පෙරහරින් ඔබ වැඩිය සේක.
8 පොළොව කම්පා විය, අහසින් වැසි වැස්සේ ය;
ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් අබිමුව සීනයි කන්ද පවා කම්පනය විය.
9 අහෝ දෙවිඳුනි!
ඔබ බහුල ව වැසි වස්වන සේක;
ඔබේ උරුමය මැලවී යන විට ඔබ එය යළි සාරවත් කළ සේක.
10 ඔබේ සෙනඟ එහි පදිංචි වූ හ;
අහෝ දෙවිඳුනි!
එහි දිළිඳුන් හට උවමනා දේ ඔබ සපයා දුන් සේක.
11 සමිඳාණෝ අණ දුන් සේක.
බොහෝ දූතයෝ ආරංචිය පතුරුවා හළහ.
12 රජවරු ද ඔවුන්ගේ සේනාවෝ ද පලා යන්නෝ ය;
13 බැටළු රැළ රකිමින් ගෙදර සිටින බවලත්හු කොල්ලය බෙදා ගන්නෝ ය.
ඒ කොල්ලයේ රිදී කොබෙයි රූප විය.
අත්තටු පච්ච පාට රනින් ද ඔප දමා තිබුණේ ය.
14 සව් බලැති දෙවිඳාණෝ සල්මොන් කන්ද පිට රජුන් විසුරුවා හැරිය සේක;
එවිට ඔබ එහි හිම වැටෙන්නට සැලැසූ සේක.
15 බාෂාන් කන්ද අති උස් කන්දකි;
එය බොහෝ ශිඛර ඇති කන්දකි.
16 එම්බා ශිඛර බහුල කන්ද!
දෙවිඳාණන් තමන් නිවෙස ලෙස තෝරාගත් කන්ද දෙස ඔබ ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මන් ද?
සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.
17 යුද්ධ රථ දසදහස් ගණන් සමඟ සමිඳාණෝ සීනයි කන්දෙන් ශුද්ධස්ථානයට වඩින සේක.
18 එතුමාණෝ අල්ලාගත් සිරකරුවන් උස් කන්දට ගෙන ගිය සේක.
කැරලිකරුවන්ගෙන් පඬුරු ලැබූ සේක.
දෙවි සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.
19 දවසින් දවස අපේ බර උසුලන සමිඳුන් හට පැසසුම් වේ වා!
එතුමාණෝ අප ගළවන දෙවිඳාණෝ වන සේක.
20 අපේ දෙවිඳාණෝ, අප ගැළවුම්කාර දෙවිඳාණෝ වන සේක;
අප මරණින් මුදන දෙවි සමිඳාණෝ වන සේක.
21 දෙවිඳාණෝ සතුරන්ගේ හිස් පොඩි කරදමන සේක;
පවිටු මඟෙහි ඇලී ගැලී සිටින අයගේ හිස් ගසාදමන සේක.
22 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”මම බාෂාන් දේශයෙන් ඔබේ සතුරන් ආපසු ගෙනෙන්නෙමි;
සමුදුර පත්ලෙන් ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.
23 එවිට ඔබේ පාද ඔවුන්ගේ ලෙයින් සෝදාගත හැකි වන්නේ ය;
ඔබේ බල්ලෝ සතුරන්ගේ ලේ ඕනෑ පමණ ලෙව කන්නෝ ය.”
24 දෙවිඳුනි, සියල්ලෝ ඔබේ ජය පෙරහර දකින්නෝ ය;
සිය ශුද්ධස්ථානයට යන මඟ මාගේ දෙවි රජිඳුන්ගේ ගමන නරඹන්නෝ ය.
25 ගායකයෝ පෙරටුවෙන් ද සංගීතකරුවෝ පසුපසින් ද යන්නෝ ය;
ලලනාවෝ සිඟිති රබන් පොඩි ගසමින් මැදින් ගමන් කරන්නෝ ය.
26 සභාව තුළ දෙවිඳාණන් පසසන්න.
ඉශ්රායෙල් ජනතාවෙනි, සමිඳාණන් පසසන්න.
27 කුඩා ම පෙළපත වන බෙන්ජමින්ගේ පෙළපත මුලින් ම ගමන් කරන්නෝ ය.
ඉන්පසු ජුදාගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද කුමරුවෝ ගමන් කරන්නෝ ය.
28 දෙවිඳුනි!
ඔබේ ශක්තිය දැක්වුව මැනව.
දෙවිඳුනි, ඔබ අප උදෙසා දැක්වූ බලය පෑව මැනව.
29 ජෙරුසලමෙහි ඇති ඔබේ මන්දිරය නමින් රජවරු පඬුරු ගෙනවුත් ඔබට පුදන්නෝ ය.
30 රජවරුන් යටහත් වී රිදී පඬුරු ගෙනෙන තෙක්,
බට ගස් අතර සිටින වන සතා වන මිසරයට ද ඔහුගේ පැටවුන් සහිත වන ගව රැළ වන විජාතීන්ට ද තරවටු කළ මැනව.
සටනට ලැදි වන සියලු සෙනඟ විසුරුවා හැරිය මැනව.
31 මිසරයෙන් තානාපතීහු නික්ම එන්නෝ ය;
එතියෝපියාව දෙවිඳුන් වෙත අයැදිමින් අත් දිගු කරන්නේ ය.
32 මුළු ලොවෙහි රාජ්‍යයෙනි, දෙවිඳුන් හට ගායනා කරන්න;
සමිඳුන් හට පසස් ගී ගයන්න.
33 ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමි තුමන්ට ගායනා කරන්න; එතුමන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න.
34 දෙවිඳුන්ගේ බලය ප්‍රකාශ කරන්න.
එතුමන්ගේ මහිමය ඉශ්රායෙල් කෙරෙහි ය;
එතුමන්ගේ බලය අහස් කුස ඇත්තේ ය.
35 සිය ශුද්ධස්ථානයෙහි වසන දෙවිඳාණෝ බියජනක ය;
එතුමාණෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ ය.
එතුමාණෝ සෙනඟට බලය ද ශක්තිය ද දෙන සේක.
දෙවිඳුන්ට පැසසුම් වේ වා!

– 69 වන පරිච්ඡේදය –

විලාප ගීයක්

දාවිත්ගේ ගීතයකි.
1 අනේ දෙවිඳුනි!
මා මුදාලුව මැනව.
කුමක් නිසා ද, දිය කඳ මාගේ ගෙල දක්වා නැඟී ඇත්තේ ය.
2 මම පය තැබීමට තැනක් නොමැති මඩ ගොහොරුවේ කිඳා සිටිමි;
මම ගැඹුරු දියට පැමිණ සිටිමි.
රළපතර මා යට කර උඩින් ගලා යයි.
3 මොරගැසීමෙන් මා විඩාපත් ව මාගේ උගුර වියළී ඇත්තේ ය.
මාගේ දෙවිඳුන් ගැන බලා සිටීමෙන් දෙනෙත අඳුරු වී ඇත්තේ ය.
4 නිකරුණේ මට වෛර කරන්නන්ගේ ගණන මාගේ ඉසකෙස්වලටත් වඩා වැඩි ය.
මුසා දොඩමින් මා වනසන්නට බලන අය බලවත් ය.
එබැවින් මා සොරා නොගත් දේ ආපසු දෙන්න ඔව්හු මට බල කරන්නෝ ය.
5 අනේ දෙවිඳුනි!
ඔබ මාගේ මෝඩකම දන්න සේක.
මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය.
6 සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නෝ මා නිසා ලජ්ජාවට පත් නොවෙත් වා!
ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුනි, ඔබ සොයන්නෝ මා නිසා නින්දාවට නොපැමිණෙත් වා!
7 ඔබ තුමන් උදෙසා මම අපවාදයට ලක් වුණෙමි.
මාගේ මුහුණ ඒ ලජ්ජාවෙන් වැසී ඇත්තේ ය.
8 මාගේ සොහොයුරන්ට මම නාඳුනන්නෙක් වීමි;
මාගේ මවගේ පුත්‍රයන් හට මම විදේශිකයෙක් වීමි.
9 ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය.
ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.
10 එබැවින් මා කඳුළු සලමින් උපවාස කරන විට සෙනඟ මට නින්දා කරන්නෝ ය.
11 ගෝණි රෙද්දෙන් මාගේ වස්ත්‍ර මම සාදාගතිමි.
එවිට මම ඔවුන්ගේ සමච්චලයට ලක් වුණෙමි.
12 මඟ තොටේ කට කතාව මා ගැන ය;
බේබද්දෝ මා ගැන අවමන් කවි කියන්නෝ ය.
13 එහෙත් සමිඳුනි, මාගේ අයැදුම ඔබට ය.
අනේ දෙවිඳුනි!
ඔබ රිසි වේලාවක මට පිළිතුරු දුන මැනව!
ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ දුන් ගැළවීමේ පොරොන්දුව ඉටු කරන නිසා,
මට උත්තර දුන මැනව!
14 මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව!
මාගේ සතුරාගෙන් ද ගැඹුරු ජලයෙන් ද මා මුදාගත මැනව!
15 රළ පතරට මම යට නොවෙම් වා!
ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම් වා!
පාතාලය මුව අයා මා ගිල නොගනී වා!
16 සමිඳුනි, ඔබේ තිර පෙම යහපත් බැවින් මට පිළිතුර දුන මැනව!
ඔබේ ඉමහත් දයාව අනුව ඔබේ මුහුණ මා වෙත හැරෙව්ව මැනව!
17 ඔබේ දාසයා වෙතින් ඔබ මුහුණ ඉවතට නොගත මැනව!
මා විපතට පත් ව සිටින බැවින් යුහු ව මට පිළිතුරු දුන මැනව!
18 මා වෙත ළඟා වී මා ගළවාගත මැනව;
සතුරන්ගෙන් මා මුදාගත මැනව!
19 මාගේ නින්දාව ද ලජ්ජාව ද අපකීර්තිය ද ඔබ දන්න සේක;
ඔබ මාගේ සියලු සතුරන් දන්න සේක.
20 නින්දාව නිසා මාගේ සිත බිඳී ගොස් මම ශෝකයෙන් පිරී සිටිමි.
සනසන්නෙකු සෙවුවෙමි;
එවැන්නෙක් නො වී ය.
අස්වසන්නෙකු සෙවුවෙමි;
කිසිවෙක් සම්බ නො වී ය.
21 සාගින්නේ දී ඔව්හු මට වහ දුන්නෝ ය;
පිපාසයේ දී ඔව්හු මට තිත්ත කාඩි
බොන්න දුන්නෝ ය.
22 ඔවුන්ගේ කෑම මේසය ඔවුන්ට ම මලපතක් වේ වා!
ඔවුන්ගේ මංගල උත්සව ඔවුන්ට මර උගුලක් වේ වා!
23 නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරු වේ වා!
ඔවුන්ගේ ඉඟටිය නිබඳ සැලේ වා!
24 ඔබේ කෝපය ඔවුන් පිට වැගිරෙව්ව මැනව!
ඔබේ කෝපාග්නියට ඔව්හු යටපත් වෙත් වා!
25 ඔවුන්ගේ කඳවුරු පාළු වන්නට සැලසුව මැනව!
ඔවුන්ගේ කූඩාරම් තුළ කිසිවෙක් නොවෙසෙත් වා!
26 මන්ද, ඔබ පහර දුන් තැනැත්තාට ඔව්හු පීඩා කළෝ ය.
ඔබ තුවාළ කළ තැනැත්තාගේ වේදනාව ඔව්හු තව තවත් වැඩි කළෝ ය.
27 එබැවින් අපරාධ පිට අපරාධ ඔවුන් පිට පැවරුව මැනව!
ඔබේ ධර්මිෂ්ඨකමට ඔවුන්ට හවුල් වන්නට ඉඩ නුදුන මැනව!
28 ජීවතුන්ගේ පොතෙන් ඔවුන්ගේ නාම මකාදැමුව මැනව!
දැහැමියන්ගේ නාම අතරෙන් ඔවුන්ගේ නාම කපාදැමුව මැනව!
29 එහෙත්, මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටිමි.
අනේ දෙවිඳුනි!
මා සනසා, මා ගළවා ගත මැනව!
30 එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි;
තුති ගී ගයමින් මම එතුමන් බොහෝ සේ පසසන්නෙමි.
31 ගවයෙකු පිදීමට වඩා මෙවැන්නක් සමිඳුන්ට ප්‍රසන්න වන්නේ ය.
අං සහ කුර සහිත ගොනෙකු පිදීමට වඩා එය ප්‍රසන්න වන්නේ ය.
32 පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය;
දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝ ය.
33 මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක;
හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.
34 අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා!
මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා!
35 දෙවිඳාණෝ සියොන් කන්ද මුදාගෙන ජුදාගේ නගර ගොඩනඟන සේක.
එතුමන් සෙනඟ එහි වසමින් එය භුක්ති විඳින්නෝ ය.
36 එතුමන්ගේ සේවක පෙළපත එය උරුම කරගන්නෝ ය.
දෙව් නමට පෙම් කරන්නෝ එහි වාසය කරන්නෝ ය.

– 70 වන පරිච්ඡේදය –

විපතේ දී මොරගැසීම

දාවිත්ගේ ගීයකි; සැමරීම පිණිස ය.
1 අනේ දෙවිඳුනි!
මා මුදාගත මැනව!
අනේ සමිඳුනි!
මට සහාය වීමට ඉක්මන් වුව මැනව!
2 මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී වියවුල් වෙත් වා!
මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා!
3 ”හහා, හහා” කියමින් මට සමච්චල් කරන්නෝ තමන්ට වන නින්දාව නිසා පසු බසිත් වා!
4 ඔබ සොයා එන්නෝ ප්‍රීති ප්‍රමෝදයෙන් සතුටු වෙත් වා!
ඔබ දෙන විමුක්තියට ප්‍රේම කරන්නෝ ‘දෙවිඳාණෝ ශ්‍රේෂ්ඨ ය’යි නිතර ම කියත් වා!
5 එහෙත්, මම දිළිඳු ය;
අසරණ ය.
අනේ දෙවිඳුනි!
මා වෙත කඩිනමින් වඩිනු මැනව!
අනේ සමිඳුනි!
ඔබ මාගේ පිහිට ද ගැළවුම්කරු ද වන බැවින් පමා නොවුව මැනව!

– 71 වන පරිච්ඡේදය –

මහල්ලෙකුගේ අයැදුම

1 අහෝ සමිඳුනි!
සරණ පතා මම ඔබ වෙත පැමිණියෙමි.
කිසි කලක මා ලජ්ජාවට පත් නොකළ මැනව!
2 ඔබේ සාධාරණකම නිසා මට පිහිට වී මා මුදාලුව මැනව!
මට සවන් දී මා ගැළෙවුව මැනව!
3 ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව!
මා මුදාලන බලකොටුවක් වුව මැනව!
4 මාගේ දෙවිඳුනි!
දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව;
අපරාධකරුගේ ද දුදනාගේ ද ග්‍රහණයෙන් මා මිදුව මැනව!
5 මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක.
සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි.
6 උපන් දා සිට ඔබ මට පිහිට වූ සේක;
මවු කුසේ සිට ඔබ මා රැකගත් සේක.
මම ඔබ ගැන නිරතුරු ප්‍රශංසා කරන්නෙමි.
7 මම වනාහි බොහෝ දෙනෙකුට ගැටළුවක් මෙන් වූයෙමි.
මන්ද, ඔබ මාගේ බලවත් රක්ෂස්ථානය වූ සේක.
8 මාගේ මුඛය ඔබ පැසසීමෙන් පිරී ඇත්තේ ය.
මම දවස පුරා ඔබ මහිමය ප්‍රකාශ කරන්නෙමි.
9 මහලු වියේ දී මා ඉවත් නොකළ මැනව;
මාගේ ශක්තිය පිරිහෙන කල මා අත් නොහැරිය මැනව!
10 මාගේ සතුරෝ මට විරුද්ධ ව කතා කරන්නෝ ය.
මගේ පණ නැසීමට බලා සිටින්නෝ එකට කුමන්ත්‍රණය කරන්නෝ ය.
11 ”දෙවිඳාණෝ ඔහු අත්හැරිය සේක.
ඔහු ගැළවීමට කිසිවෙකු නැති බැවින් අපි ඔහු ලුහුබැඳ අල්ලාගනිමු”යි ඔව්හු කියන්නෝ ය.
12 මාගේ දෙවිඳුනි!
මාගෙන් ඈත් නුවුව මැනව!
අනේ මාගේ දෙවිඳුනි!
මට සහාය වීමට කඩිනමින් වැඩිය මැනව!
13 මට පහර දෙන්නෝ පරාජය වී වැනසෙත් වා!
මට හානි කරන්නට සොයන්නෝ ලජ්ජාවටත්, අපකීර්තියටත් පැමිණෙත් වා!
14 එහෙත්, මම නිරතුරු ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නෙමි;
නිතර ම වැඩි වැඩියෙන් ඔබට ප්‍රශංසා කරන්නෙමි.
15 දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියා ද ඔබේ විමුක්තිදායක ක්‍රියා ද මා මුවින් ප්‍රකාශ කරමි.
මන්ද, මම ඒවායේ ප්‍රමාණය නොදන්නෙමි.
16 දෙවි සමිඳුනි, ඔබේ බල මහිමය මම පසසන්නෙමි, ඔබේ ම, එසේ ය ඔබේ ම යහපත්කම මම ප්‍රකාශ කරන්නෙමි.
17 අනේ දෙවිඳුනි!
මාගේ තරුණ වියේ සිට ඔබ මට උගන්වා වදාළ සේක.
මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කෙළෙමි.
18 අනේ දෙවිඳුනි!
පැසුණු කෙස් සහිත ව මහලු වියේ සිටින මා අත්නෑරිය මැනව.
ඔබේ මහිමය සහ ශක්තිය මතු පරම්පරාවලට කියා පාන තෙක් මා සමඟ සිටිය මැනව.
19 අනේ දෙවිඳුනි!
ඔබේ දැහැමිකම අහස දක්වා උසස් ය.
ඔබ ප්‍රබල ක්‍රියා කළ සේක.
ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය.
20 ඔබ මට බොහෝ කරදර සහ වේදනා පැමිණෙවු නමුත්,
මා යළි ප්‍රාණවත් කරන සේක.
පාතාලයේ පත්ලෙන් ඔබ මා යළි ගොඩගන්න සේක.
21 ඔබ මා උසස් කරන සේක.
ඔබ මා නැවත සනසන සේක.
22 මාගේ දෙවිඳුනි!
මම කුඩා වීණාවෙන් ඔබ ද ඔබේ විශ්වාසවන්තකම ද පසසන්නෙමි.
ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්ස,
මහා වීණාවෙන් මම ඔබට ගී ගයන්නෙමි.
23 මම ඔබට ගී ගයමින් ප්‍රශංසා කරන්නෙමි;
ඔබ මා මිදූ බැවින් මම ඔබට හද පත්ලෙන් ගී ගයන්නෙමි.
24 දවස පුරා මම ඔබේ දැහැමි ක්‍රියා ගැන කතා කරන්නෙමි.
මන්ද, මාගේ විනාශය සොයන්නන් ලජ්ජාවටත්, වියවුලටත් පත් කර ඇත.

– 72 වන පරිච්ඡේදය –

රාජකීය ස්තෝත්‍රයක්

සලමොන් රජුගේ ගීතයකි.
1 දෙවිඳුනි, රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව!
රජ කුමරු හට යුක්තිගරුක ව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුන මැනව!
2 එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේ ය.
ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේ ය.
3 කඳු වැටි ඔබේ ජනතාවට සමෘද්ධිය ගෙනේ වා!
කඳුහෙල් ඔබේ ජනතාවට යුක්තිය ඉටු කෙරේ වා!
4 රජ තෙම ජනතාව අතර දිළිඳුන්ගේ නඩු විසඳා වා!
අසරණයන් මුදාගනී වා!
පීඩාකරුවන් වනසා වා!
5 ඉර හඳ පවතින තාක් ඔබේ ජනතාව ඔබට නමදිත් වා!
පරපුරෙන් පරපුරට ම එලෙස කරත් වා!
6 කැපූ තණ කෙත් මත වර්ෂාව මෙන් රජ තෙම වැජඹේ වා!
වියළි බිම මත වැසි මෙන් නිරිඳු වඩී වා!
7 එතුමන් සමයෙහි දමිටු බව දියුණු වේ වා!
ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා!
8 මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේ වා!
යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේ වා!
9 එතුමන් අබිමුව මරුකතර වැසියෝ වැඳ වැටෙන්නෝ ය;
එතුමාගේ සතුරෝ මුණින්තළා වී වැඳ වැටෙන්නෝ ය;
10 තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය;
ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;
11 එතුමන් අබිමුව රජවරු වැඳ වැටෙන්නෝ ය;
සියලු ජාතීහු එතුමාට මෙහෙ කරන්නෝ ය.
12 එතුමා සහන පතා මොරගසන අසරණයන් මුදාගත්තේ ය;
පිහිට නැති පීඩිතයන් ද නිදහස් කරගත්තේ ය.
13 එතුමා, දුගී දුප්පතුන්ට හා දුබලුන්ට අනුකම්පා කරන්නේ ය;
දිළිඳුන්ගේ ජීවිත මුදාගත්තේ ය.
14 එතුමා, අයුතු පීඩනයෙන් හා සැහැසිකමෙන් ඔවුන් ගළවන්නේ ය;
ඔවුන්ගේ ජීවිත අගය කොට සලකන්නේ ය.
15 එතුමා චිරාත් කාලයක් ජීවත් වේ වා!
ෂෙබාහි රත්රන් එතුමාට පුදනු ලැබේ වා!
නිරතුරු එතුමා උදෙසා අයැදුම් කරනු ලැබේ වා!
දවස පුරා ආසිරි පතනු ලැබේ වා!
16 කඳු මත ගොයම් ලෙළ දේ වා!
ධාන්‍ය බහුල ව ඉතිරේ වා!
ලෙබනොන්හි මෙන් පලදාව සරුසාර වේ වා!
කෙතේ තණ මෙන් වැසියන්ගෙන් නගර සපිරේ වා!
17 එතුමාගේ නාමය සදහට ම පවතී වා!
ඉර හඳ පවතින තෙක් එතුමාට කීර්තිය අත් වේ වා!
එතුමා අතින් සව් සත ආසිරි ලබත් වා!
සියලු ජාතීහු එතුමාට සව්සිරි පතත් වා!
18 ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් හට,
දෙවි සමිඳුන් හට, පැසසුම් වේ වා!
අරුමපුදුම දේ කරන්නේ එතුමාණෝ පමණක් ය.
19 එතුමන්ගේ ශ්‍රී නාමයට සදා පැසසුම් වේ වා!
එතුමන්ගේ මහිමය ලොව පුරා පැතිරේ වා!
එසේ ම වේ වා! එසේ ම වේ වා!
20 ජෙස්සේගේ පුත් දාවිත්ගේ යැදුම මෙසේ අවසන් වේ.

– 73 වන පරිච්ඡේදය –

තුන් වන කාණ්ඩය
(ගීතිකා 73-89)
යුක්තියේ ජයග්‍රහණය

ආසාප්ගේ ගීතයකි.
1 අහෝ ඉශ්රායෙල්වරුනි!
නිර්මල සිත් ඇත්තන් හට දෙවිඳාණෝ කොපමණ යහපත් ද?
2 මා මොහොතකින් ලිස්සා යන්න තිබිණි.
මාගේ පය ලිස්සන්නට විය.
3 එසේ වූයේ, දුදනන්ගේ අභිවෘද්ධිය මා දැක ඔවුන්ගේ පාරට්ටු නිසා මා ඔවුන්ට ඊර්ෂ්‍යා කළ විට ය.
4 ඔවුන් හට දුක් ගැහැට නැත්තේ ය.
ඔවුන්ගේ කය නිදුක් නිරෝගී ව ඇත්තේ ය.
5 අන් අයට මෙන් ඔවුන්ට කම්කටොලු කිසිත් නැත්තේ ය.
අන් අය මෙන් ඔව්හු තාඩන පීඩන නොලබන්නෝ ය.
6 එබැවින්, ඔව්හු අහංකාරකම ගෙල පළඳනාවක් මෙන් ද බලහත්කාරය වස්ත්‍රයක් මෙන් ද පැළඳ සිටින්නෝ ය.
7 ඔවුන්ගේ නෙත් අහංකාරයෙන් ඉදිමී ඇත්තේ ය.
ඔවුන්ගේ සිත් නිෂ්ඵල සිතුවිලිවලින් පිරී ඇත්තේ ය.
8 ඔව්හු අන් අයට සිනාසෙන්නෝ ය;
නපුරු දේ ගැන කතා කරන්නෝ ය;
අහංකාරයෙන් ඉදිමී අන් අයට පීඩා කිරීමට සිතන්නෝ ය.
9 ඔව්හු සුරලොව දෙවිඳුන්ට විරුද්ධ ව නපුර කතා කරන්නෝ ය.
ඔව්හු නරලොව මිනිසුන්ට අහංකාර ලෙස අණ දෙන්නෝ ය.
10 එබැවින්, දේව සෙනඟ පවා ඔවුන් වෙත හැරෙන්නෝ ය.
ඔවුන් කියන සෑම දෙයක් ම මහා ආශාවෙන් විශ්වාස කරන්නෝ ය.
11 ඔව්හු කතා කොට, ”දෙවිඳාණෝ කෙසේ දන්න සේක් ද?
මහෝත්තමයාණන්ට දැනුමක් ඇත්තේ දැ”යි විමසන්නෝ ය.
12 දුදනන් දෙස බලන්න;
ඔවුන්ට විපුල සම්පත් ඇත.
ඒවා තවතවත් ඔව්හු වැඩි කරගන්නෝ ය.
13 මා සිත නිර්මල ව තබාගත්තේත්, පවින් මා දුරු ව සිටියේත් නිකරුණේ ය.
14 දෙවිඳුනි, ඔබ මට දවස පුරා පීඩා විඳීමට සැලැසූ සේක;
ඔබ මට උදයක් උදයක් පාසා දඬුවම් කළ සේක;
15 ”මම මෙසේ කතා කරන්නෙමි”යි ඔවුන් මෙන් කියන්නට මට තිබුණේ ය.
එසේ කෙළෙම් නම්, ඔබේ ජනතාවට ද්‍රෝහියෙකු වන්නට මට ඉඩ තිබිණි.
16 මම මේ ගැටළුව තේරුම්ගන්නට තැත් කෙළෙමි.
එහෙත්, මට එය ඉතා දුෂ්කර විය.
17 ශුද්ධස්ථානයට ඇතුළු වන තෙක් එය මට දුෂ්කර ගැටළුවක් විය.
එහි ඇතුළු වූ පසු දුදනන්ගේ අවසන් ඉරණම මම තේරුම්ගතිමි.
18 ඇත්තට ම ඔබ ඔවුන් විනාශයට පත් කරන සේක.
පාතාල ලෝකයට ඔවුන් හෙළාදමන සේක.
19 ඔව්හු සැණෙකින් වැනසී යන්නෝ ය.
තැතිගෙන අන්ත විනාශයට ම වැටී යන්නෝ ය.
20 ඔව්හු, අවදි වූ විට අමතක වී යන සිහිනයක් බඳු ය.
අහෝ සමිඳුනි!
ඔබ පිබිදෙන කල ඔව්හු මායා මෙන් මැකී යන්නෝ ය.
21 මාගේ සිත කලකිරුණේ ය;
මට වේදනා දැනෙන්නට විය.
22 එවිට මම වැටහීමක් නැති මෝඩයෙකු මෙන් වූයෙමි.
ඔබ අබිමුව තිරිසනෙකු බවට පත් වුණෙමි.
23 එහෙත්, නිරතුරු මම ඔබ සමඟ සිටියෙමි.
ඔබ මා දකුණතින් අල්ලාගත් සේක.
24 ඔබේ උවදෙසින් ඔබ මට මඟපෙන්වන සේක.
පසු ව ඔබ මට ගරු සම්මාන දී මා පිළිගන්න සේක.
25 ඔබ හැර සුරලොව මට සිටින්නේ කවරෙක් ද?
ඔබ ඇති විට නරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි.
26 මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි;
එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක.
27 ඔබ අත්හැර දමන්නෝ සැබැවින් ම වැනසී යන්නෝ ය;
ඔබට ද්‍රෝහි වූවන් ඔබ වනසන සේක.
28 මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීප ව සිටීම ය.
ඔබේ ක්‍රියා සියල්ල ප්‍රකාශ කරන පිණිස මම මහෝත්තම දෙවි ස්වාමීන් සරණ කොටගතිමි.

– 74 වන පරිච්ඡේදය –

ජාතියේ විලාපයක්

ආසාප්ගේ ගීතයකි.
1 අහෝ දෙවිඳුනි!
ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද?
ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?
2 පෙර කල ඔබට ම තෝරාගත්, උරුම වංශය කරගන්න පිණිස වහල්කමින් මුදාගත්,
ඔබේ සෙනඟ සිහි කළ මැනව.
ඔබේ නිවාසය වූ සියොන් කන්ද සිහි කළ මැනව.
3 නිමක් නැති මේ නටබුන් ගොඩ මතු පිටින් දෙ පා නැඟුව මැනව.
අපේ සතුරා ඔබේ ශුද්ධස්ථානයේ සියල්ල වනසා ඇත්තේ ය.
4 ඔබේ සෙනඟ මැද එදිරිකාරයෝ බෙරිහන් දුන්නෝ ය.
ඔව්හු තම ජය කෙහෙලි එහි නැංවූ හ.
5 ඔව්හු ඉහළ දොරටුවේ කැටයම් වැඩ පොරෝවලින් කපා සුණු විසුණු කළහ.
6 එහි පනේල සියල්ල ම ඔව්හු බිඳදැමූ හ.
කැත්තෙන් සහ මිටියෙන් ඒවාට පහර දුන්නෝ ය.
7 ඔව්හු ඔබේ ශුද්ධස්ථානය ගිනිබත් කළෝ ය.
ඔව්හු ඔබේ නාමයට කැප වූ වාසභවනය කෙලෙසා බිමට සමතලා කළෝ ය.
8 ”අපි ඔවුන් සියල්ලන් සම්පූර්ණයෙන් විනාශ කරමු”යි ඔවුන් සිතාගෙන මුළු රටෙහි දහම් හල් ගිනිබත් කළහ.
9 අපට අනාගතයක් නැත;
දිවැසිවරයෙක් ද අපට නැත;
මේ තත්ත්වය කොපමණ කල් පවතී දැ යි දන්න කෙනෙක් ද නැත.
10 දෙවිඳුනි, එදිරිකාරයා කොපමණ කලක් ඔබට නින්දා කරන්නේ ද?
ඔහු ඔබේ නාමයට සදහට ම ගරහන්නේ ද?
11 ඔබ අපට අත නො දී ඉන්නේ මන් ද?
ඔබ දෑත අකුළාගෙන ඉන්නේ මන් ද?
12 දෙවිඳුනි, පුරාතනයේ සිට ම ඔබ අපේ රජතුමාණෝ ය;
ලෝ පුරා ගැළවීමේ ක්‍රියාවල කතුවරයාණෝ ඔබ වහන්සේ ය.
13 ඔබ සිය සවියෙන් සමුදුර දෙබෑ කළ සේක;
මුහුදු සපුන්ගේ හිස් ද පොඩිකළ සේක.
14 ඔබ ලෙවියාතන් නම් සර්පයාගේ හිස පොඩිකර දැමූ සේක;
උගේ මස් කාන්තාර සතුන්ට ආහාරයක් කොට දුන් සේක.
15 උල්පත් සහ ජල ධාරා මුදා හැරියේ ඔබ වහන්සේ ය;
ගලන ගංගා වියළී යෑමට සැලසුවේත් ඔබ වහන්සේ ය.
16 දිවා රෑ දෙක ම අයිති ඔබ වහන්සේට ය;
ඉර හඳ මැව්වේත් ඔබ වහන්සේ ය.
17 පොළොවේ සීමාවන් පිහිටුවා වදාළේ ඔබ වහන්සේ ය;
ග්‍රීෂ්මය සහ සිසිරය ඇති කෙළේ ඔබ වහන්සේ ය.
18 සමිඳුනි, ඔබට නිගා කළ සතුරන්ගේ අපහාස සිහිකළ මැනව.
ඔබේ නාමය ගැරහු අදමිටුන් සිහිකළ මැනව.
19 ඔබේ නිදොස් සෙනඟ කුරිරු සතුන්ට බිලිකර නුදුන මැනව;
ඔබේ අසරණයන් සදහට ම අමතක නොකළ මැනව.
20 ඔබ අප සමඟ කළ ගිවිසුම සිහිකළ මැනව.
මන්ද, රටේ සෑම අඳුරු මුල්ලක් ම සැහැසිකමින් පිරී ඇත.
21 පීඩිත වූවන්ට ලජ්ජාවෙන් පසු බැසීමට ඉඩ නුදුන මැනව.
දුගීන් හට සහ දිළිඳුන් හට ඔබේ නාමය පැසසීමට ඉඩ සැලසුව මැනව.
22 දෙවිඳුනි, නැඟිට විසඳුව මැනව.
යුක්තිය රැක ගැනීමට සටන් කළ මැනව.
නොදැහැමියන් දවස පුරා ඔබට නිගා කරන බව සිහි කළ මැනව.
23 ඔබේ එදිරිකාරයන්ගේ හඬ ද නොකඩවා නඟින ඔබේ සතුරන්ගේ කොලහල ගොස ද අමතක නොකළ මැනව.

– 75 වන පරිච්ඡේදය –

ප්‍රශංසාවේ සහ විනිශ්චයයේ ගීතය

ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි.
1 දෙවිඳුනි, අපි ඔබට තුති කරමු;
ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු;
ඔබේ නාමයට අයැද තුති කරමු.
2 දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක:
”විනිශ්චය කරන කාලය මා නියමකර ඇත.
එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි.
3 පොළොවත්, එහි සියලු වැසියෝත් කම්පා වන්නෝ ය.
එසේ වුවත්, පොළොවේ කණු සවිමත් ව තබන්නේ මම ය.”
4 මම මෙසේ කියමි:
”පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න;
දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න;
5 මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න;
මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න.
6 පෙර අපර දෙදිගින් හෝ උතුරු දකුණු දෙදිගින් හෝ විනිශ්චය නොවන්නේ ය,
එය නොඑන්නේ ය.
7 එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය.
කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද
උන් වහන්සේ ම ය.
8 සමිඳුන් අතෙහි කුසලානකි;
කෝපයෙන් පැසුණු මිදි රසින් එය පිරී ඇත.
එතුමාණෝ එයින් බිඳක් වත්කරන සේක.
මිහි පිට දුදනෝ එහි අන්තිම බිඳ දක්වා ම බොන්නෝ ය.
9 මම සදහට ම ජාකොබ්ගේ දෙවිඳුන් පසසන්නෙමි;
එතුමන් හට සදහට ම ගී ගයන්නෙමි.
10 දුදනන්ගේ ඔද මම බිඳ ලන්නෙමි.
එහෙත්, සුදනන්ගේ බලය ඔසවනු ලබන්නේ ය.”

– 76 වන පරිච්ඡේදය –

ජයග්‍රාහී දෙවියන් වහන්සේ

ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි.
1 දෙවිඳාණෝ ජුදාහි ප්‍රකාශ වූ සේක.
ඉශ්රායෙල්වරුන් අතර එතුමන්ගේ නාමය ශ්‍රේෂ්ඨ ය.
2 එතුමන්ගේ මණ්ඩපය ජෙරුසලමෙහි වූයේ ය.
එතුමන්ගේ නිවාසය සියොන් කන්දෙහි වූයේ ය.
3 එහි දී එතුමාණෝ සතුරන්ගේ ඊ සැරය බිඳ දැමූ සේක.
ඔවුන්ගේ කඩුවට, පලිහට හා යුද අවියට එලෙස ම කළ සේක.
4 අහෝ දෙවිඳුනි!
ඔබ කොපමණ මහිමාන්විත ද?
සදා පවතින කඳු වැටියට වඩා කොපමණ තේජාන්විත ද?
5 ඔවුන්ගේ එඩිතර සෙබළුන් සතු දේ කොල්ලකනු ලැබී ය.
දැන් ඒ වීරයෝ අවසාන නින්දට වැටී ඇත්තෝ ය.
ඔවුන්ගේ බල විකුම් නිෂ්ඵල වී ඇත්තේ ය.
6 ජාකොබ්ගේ පරපුරේ දෙවිඳුනි, ඔවුන්ට ඔබ තර්ජනය කළ සේක.
අශ්වයෝ හා අසරුවෝ මැරී වැටුණෝ ය.
7 සමිඳුනි, සියලු දෙන ඔබට ගරුබිය පෑ යුතු ය.
ඔබේ දැවෙන උදහසට මූණ දීමට කවරෙක් සමත් වන්නේ ද?
8 ඔබ සුරපුර සිට තීන්දුව දීමට සැලැසූ සේක.
ලොව තැති ගෙන නිහඬ වූයේ ය.
9 දෙවිඳුනි, ඔබ වහන්සේ විනිශ්චය සඳහා නැඟිටින සේක;
මිහි පිට පීඩිත වූවන් ගළවනු පිණිස වඩින සේක.
10 මිනිසාගේ උදහසින් පවා ඔබේ මහිමය වැඩි වන්නේ ය.
ඒ උදහසින් මිදෙන අය ඔබේ මංගල්‍යය පවත්වන්නෝ ය.
11 ඔබේ දෙවි සමිඳුන් හට බාරහාර වී ඒවා ඉටු කරන්න.
එතුමන් වටා සිටින්නෝ ගරුබිය පෑ යුතු තැනැන් වහන්සේට පඬුරු ගෙනෙත් වා!
12 එතුමාණෝ රජ දරුවන් මඬින සේක.
ශ්‍රේෂ්ඨ භූපතීන් තුළ බිය ඇති කරවන සේක.

– 77 වන පරිච්ඡේදය –

විපතේ දී මඟපෙන්වීම

ආසාප්ගේ ගීතයකි.
1 මම දෙවිඳුන් හට මොරගසමි;
එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි.
එතුමාණෝ මට සවන් දෙන සේක.
2 විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි.
මුළු රැය ම එතුමන් වෙත දෑත ඔසවා යැදුම් යදිමි.
එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය.
3 දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි;
මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.
4 එතුමාණෝ මුළු රැය ම මා අවදිව තබන සේක.
කතා කරන්නට බැරි තරමට මම කැළඹී සිටින්නෙමි.
5 යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි;
ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි.
6 මුළු රෑ පුරා මම භාවනා කරන්නෙමි.
මම මෙනෙහි කරමින් මාගෙන් ම මෙලෙස අසන්නෙමි.
7 ”සමිඳාණෝ සදහට ම අප අත් හරින සේක් ද?
එතුමාණෝ යළි අපට කරුණාව නොපෙන්වන සේක් ද?
8 එතුමන්ගේ තිර පෙම සහමුලින් ම පහ ව ගොස් තිබේ ද?
එතුමන් දුන් පොරොන්දුව සදහට ම ඉටු නොකරන සේක් ද?
9 දෙවිඳාණෝ කරුණාව පෑමට අමතක කර ඇද් ද?
නැතහොත් උදහස නිසා දයාව අත්හළ සේක් ද?”
10 එවිට මම කතා කොට, ”මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ;
මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි.
11 සමිඳුනි, ඔබේ තේජාන්විත ක්‍රියා මම සිහි කරන්නෙමි.
ඔබ පෙර කළ අරුමපුදුම දේ මම කියා පාන්නෙමි.
12 ඔබේ ක්‍රියා සියල්ල මම සිහි කරන්නෙමි,
ඔබේ ප්‍රබල ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි.
13 අහෝ දෙවිඳුනි!
ඔබේ ක්‍රියා මාර්ගය විශුද්ධ ය;
අපේ දෙවිඳුන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඇද් ද?
14 හාස්කම් පාන දෙවිඳාණෝ ඔබ වහන්සේ ය.
ජාතීන් අතර ඔබේ බල මහිමය ඔබ පෙන්වා ඇත්තේ ය.
15 ඔබේ බලවත් හස්තයෙන් ඔබ තුමන් සෙනඟ මුදා ලූ සේක.
ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ පෙළපත් ඔබ ගළවා ලූ සේක.
16 අහෝ දෙවිඳුනි!
ජලධාරාවෝ ඔබ දුටු විට භය වූ හ.
සාගර පත්ල පවා බියෙන් ඇලළී ගියේ ය.
17 වලාකුළුවලින් වැසි වැස්සේ ය;
අහස ගිගුරුම් හඬ දුන්නේ ය;
විදුලි සැර දසත විහිදී ගියේ ය.
18 ඔබේ හෙණ හඬ අහස් කුසේ ගිගුම් දිනි.
විදුලි කෙටීම් ලොව එළි කෙළේ ය.
පොළොව කම්පා වී දෙදරා ගියේ ය.
19 මුහුද මැදින් ඔබේ මාවත විය.
ගැඹුරු සමුදුර මැදින් ඔබ ගමන් කළ සේක.
එහෙත්, ඔබේ පා සටහන් පෙනෙන්නට නො වී ය.
20 මෝසෙස්ගේ සහ ආරොන්ගේ මඟපෙන්වීම ඇති ව,
ඔබ ඔබේ ජනතාව බැටළුවන් මෙන් ගෙන ගිය සේක.

– 78 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල් ඉතිහාසයෙන් උපදෙස්

ආසාප්ගේ ගීතයකි.
1 මාගේ ජනයෙනි, මාගේ ඉගැන්වීමට කන් දුන මැනව.
මා පවසන වදන්වලට සවන් දුන මැනව.
2 උපමාවක් මඟින් මම කතා කරන්නෙමි.
පුරාතනයේ අබිරහස් පවසන්නෙමි.
3 අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු.
4 දරු මුණුබුරන් කෙරෙන් නොසඟවා ඊළඟ පරපුරට දන්වන්නෙමු.
සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා හා බල මහිමය ද එතුමන් කළ හාස්කම් ද කියාපාන්නෙමු.
5 එතුමාණෝ, ඉශ්රායෙල් ජනතාවට නීති නියෝග ද ජාකොබ්ගේ පරපුරට අණපණත් ද දුන් සේක.
ඔවුන්ගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට ඔවුන්ගේ පියවරුන්ට අණ දුන් සේක.
6 මෙලෙස ඊළඟ පරපුර ඒවා දැනගන්නෝ ය;
ඉපදෙන්නට සිටින දරු පරපුර ඒවා දැනගන්නෝ ය.
ඔව්හු නැඟිට ඔවුන්ගේ පරපුරට ඒවා දන්වන්නෝ ය.
7 මෙසේ ඔව්හු දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්නෝ ය.
එතුමන්ගේ අණපණත් සදහට ම පිළිපදින්නෝ ය.
8 මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය.
මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ.
ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.
9 එප්‍රායිම්ගේ පරපුර දුනුවායෝ වූ හ.
ඔව්හු සටන් දිනේ දී පසුපස හැරී පලා ගියෝ ය.
10 ඔව්හු දෙවිඳුන් සමඟ වූ ගිවිසුම ඉටු නොකළෝ ය.
එතුමන්ගේ නීතිය අනුව හැසිරීමට
එකඟ නොවූවෝ ය.
11 එතුමන්ගේ ක්‍රියා ඔව්හු අමතක කළෝ ය.
ඔවුන්ට දැක්වූ අරුමපුදුම දේ සිහි නොකළෝ ය.
12 ඔවුන්ගේ පියවරුන් අබියස එතුමාණෝ හාස්කම් පෑ සේක.
මිසර දේශයෙහි ද ශොවන් මිටියාවතෙහි ද එලෙස කළ සේක.
13 මුහුද දෙබෑ කොට එය මැදින් එතුමාණෝ ඔවුන් ගෙන ගිය සේක.
ජලකඳ වේල්ලක් මෙන් සිටීමට සැලැසූ සේක.
14 දිවා කාලයේ වලාකුළක් මඟින් එතුමාණෝ ඔවුන් ගෙන ගිය සේක.
රෑ කාලයේ ආලෝකයක් මඟින් ඔවුන්ට මඟපෙන්වූ සේක.
15 පාළුකරයේ දී එතුමාණෝ පර්වතය දෙදරවා හැරිය සේක;
ගැඹුරු ජලාශයකින් මෙන් ඔවුන්ට බොන්නට ජලය දුන් සේක.
16 පර්වතයෙන් දිය දහර ගලා එන්න සැලැසූ සේක.
ජලය ගංගා මෙන් ගලා යන්න සැලැසූ සේක.
17 එහෙත්, ඔව්හු පෙරටත් වඩා එතුමන්ට විරුද්ධ ව නිතර පව් කළෝ ය.
වියළි පාළුකරයේ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.
18 ඕනෑකමින් ම ඔව්හු දෙවිඳුන්ට අභියෝග කළෝ ය;
තමන් රිසි ආහාර ඉල්ලා ඔව්හු එසේ කළෝ ය.
19 දෙවිඳුන්ට විරුද්ධ ව ඔව්හු කතා කරමින්, ”පාළුකරයේ දී ආහාර සැපයීමට එතුමන්ට හැකි දැ”යි ඇසුවෝ ය.
20 තවද, ”ගංගාවක් මෙන් වේගයෙන් වතුර ගලා බසින පිණිස එතුමන් පර්වතයට පහර දුන් නමුත්,
ජනතාවට රොටි දිය හැකි ද?
ඔවුන්ට මාංස දිය හැකි ද?”
කියා ඔව්හු ඇසුවෝ ය.
21 සමිඳාණෝ මේවා ඇසූ කල උදහසින් පිරී ගිය සේක.
ජාකොබ් පරපුරට විරුද්ධ ව එතුමන්ගේ කෝපාග්නිය ඇවිළී,
ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව උදහස නැංගේ ය.
22 එසේ වූයේ, ඔවුන් දෙවිඳුන් විශ්වාස නොකළ බැවිනි;
එතුමන්ගේ විමුක්තිදායක බලය කෙරෙහි ඔවුන් විශ්වාසය නොතැබූ බැවිනි.
23 එහෙත්, එතුමාණෝ ඉහළ අහසට කතා කළ සේක;
සුරලොව දොරටු විවෘත කළ සේක.
24 ඔවුන්ට කෑමට මන්නා වැසි වැස්වූ සේක.
සගලොවින් ධාන්‍ය ප්‍රදානය කළ සේක.
25 දෙව් දූතුන්ගේ ආහාර පොදු ජනතාව අනුභව කළහ.
එතුමාණෝ පමණටත් වඩා ආහාර පාන එවූ සේක.
26 අහසෙහි පෙරදිග සුළඟක් හමන්නට සැලැසූ සේක;
සිය බලයෙන් දකුණු දිග සුළඟ කළඹා හැරිය සේක.
27 ඔවුන් පිට දූවිලි මෙන් මස් මාංස වස්වා වදාළ සේක;
පියාඹන පක්ෂීන් මුහුදු වැලි මෙන් එවූ සේක.
28 ඔවුන්ගේ කඳවුරු මැදට ඒවා හෙළූ සේක;
ඔවුන් වසන තැන් සිසාරා ඒවා වැටෙන්නට සැලැසූ සේක.
29 මෙසේ ඔව්හු කා බී සෑහීමට පත් වූවෝ ය.
ඔවුන් ආශා කළ දේ එතුමාණෝ ප්‍රදානය කළ සේක.
30 එහෙත්,
ඔවුන්ගේ ආශාව සංසිඳෙන්නත් ප්‍රථම,
ඔවුන්ගේ කටේ ආහාර තිබිය දී පවා මැසිවිලි දෙඩීම ඔව්හු නොනැවැත්වූවෝ ය.
31 දේව උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවුළුණේ ය.
එතුමාණෝ ඔවුන’තර සිටි සවිමත් දනන් නසා ඉශ්රායෙල් වංශයේ හොඳ ම තරුණ පෙළ වනසාදැමූ සේක.
32 මේ සියල්ල තිබිය දී ම ඔවුහු දිගින් දිගට ම පව් කළෝ ය;
එතුමාණන්ගේ විස්මිත ක්‍රියා විශ්වාස නොකළෝ ය.
33 එබැවින් එතුමාණෝ ඔවුන්ගේ ජීවිත කාලය හුමාලයක් මෙන් නැතිවන්න සැලැසූ සේක.
ඔවුන්ගේ ආයු කාලය බියෙන් ගෙවී යන්න සැලැසූ සේක.
34 එතුමාණන් ඔවුන්ගෙන් සමහරුන් වැනසූ කල, සෙසු අය එතුමාණන් සෙවුවෝ ය. ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන දෙවිඳාණන් සොයා ගියෝ ය.
35 ඔවුන්ගේ පර්වතය දෙවිඳාණන් බව ඔව්හු සිහිපත් කළෝ ය.
ඔවුන්ගේ මිදුම්කරුන් උත්තම දෙවිඳාණන් බව ඔව්හු සිහි කළෝ ය.
36 එහෙත්, ඔව්හු එතුමන්ට තම මුවින් චාටු බස් කීවෝ ය;
දිවෙන් මුසා බස් දෙඩුවෝ ය.
37 ඔවුන්ගේ සිත් එතුමන් කෙරෙහි නිතර ම එකඟ නො වී ය.
එතුමන්ගේ ගිවිසුමට විශ්වාසවන්ත ව නොසිටියෝ ය.
38 එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක;
ඔවුන් නොවැනසූ සේක;
විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.
39 ඔවුන් හුදෙක් මියයන සුලු මිනිසුන් බව එතුමාණෝ සිහිපත් කළ සේක;
ඔවුන් ආපසු නොඑන හමා යන හුස්මක් බව සිහි කළ සේක.
40 පාළුකරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමන්ට විරුද්ධ වූවෝ ද?
කාන්තාරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමන්ට දුක් දුන්නෝ ද?
41 ඔව්හු නැවත නැවතත් දෙවිඳුන් පිරික්සූ හ.
ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් කුපිත කළෝ ය.
42 එතුමන්ගේ බල මහිමය වත්, සතුරන්ගෙන් ගළවාගත් දිනය වත් ඔව්හු සිහි නොකළෝ ය.
43 එතුමාණන් මිසරයේ දී කළ හාස්කම් වත්,
ශෝවන් මිටියාවතේ දී කළ අසිරිමත් ක්‍රියාවන්වත්
ඔව්හු සිහි නොකළෝ ය.
44 එතුමාණෝ ඔවුන්ගේ ගංගා ජලය ලේ බවට හැරෙවු සේක;
පානය කිරීමට නොහැකි වන ලෙස දියකඳ ලේ බවට හැරෙවු සේක.
45 ඔවුන්ට හිරිහැර කිරීමට එතුමාණෝ මැසි කැල එවූ සේක;
ඔවුන්ගේ රට වනසාලීමට මැඩියන් එවූ සේක.
46 එතුමාණෝ ඔවුන්ගේ අස්වැන්න දළඹුවන්ට දුන් සේක;
ඔවුන්ගේ ශ්‍රමයේ පලදාව පළඟැටියන්ට දුන් සේක.
47 එතුමාණෝ ගල් වර්ෂාවෙන් ඔවුන්ගේ මිදි වැල් නසා ලූ සේක;
තුෂාරයෙන් ඔවුන්ගේ අත්තික්කා ගස් විනාශ කළ සේක.
48 ඔවුන්ගේ ගවමහිෂයන් ගල් වැස්සෙන් යට කළ සේක;
එළු බැටළු පට්ටි හෙණ අකුණුවලට පාවා දුන් සේක;
49 ඔවුන්ට විරුද්ධ ව තමන්ගේ දැවෙන කෝපයත්, රෝෂයත්, විනාශයත් එවූ සේක;
මේවා මාර දූත පිරිසක් මෙන් එවූ සේක.
50 එතුමාණෝ තම කෝපයට ඉඩ දී ඔවුන් මරණයෙන් බේරා නොගත් සේක;
වසංගතයෙන් ඔවුන් වනසා ලූ සේක.
51 මිසරයේ සියලු කුලුඳුලන් මරාදැමූ සේක.
හාම්ගේ කූඩාරම්හි සිටි ඔවුන්ගේ කුලුඳුලන් විනාශ කළ සේක.
52 ඉන්පසු එතුමාණෝ තමන් සෙනඟ බැටළුවන් මෙන් ගෙන ගිය සේක.
පාළුකරය මැදින් යන බැටළු රැළකට මෙන් ඔවුන්ට මඟපෙන්වූ සේක.
53 නොබිය ව, සුරැකි ව යාමට එතුමාණෝ ඔවුන්ට මඟපෙන්වූ සේක.
එහෙත්, මුහුද ඔවුන්ගේ සතුරන් බිලිගත්තේ ය.
54 එතුමාණෝ තම ශුද්ධ දේශයට ඔවුන් ගෙනා සේක;
තම බලයෙන් දිනාගත් කන්දට ඔවුන් ගෙනා සේක.
55 එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක;
ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.
56 එහෙත්, ඔව්හු දෙවිඳුන් පිරික්සමින් එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.
මහෝත්තමයාණන්ගේ අණපණත් නොතකා හැරියෝ ය.
57 ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් ආපසු හැරී යමින් විශ්වාසය කඩ කළෝ ය.
ඇද වුණු දුන්නක් මෙන් ඔවුන්ගේ විශ්වාසය වක් විය.
58 මිසදිටු ගිරිකුළු දේවාලවලින් ඔව්හු එතුමාණන් කුපිත කළෝ ය.
ඔවුන්ගේ පිළිම රූපවලින් එතුමාණන්ගේ කෝපය ඇවිස්සුවෝ ය.
59 දෙවිඳුන්ට මෙය ඇසුණු විට එතුමාණෝ බලවත් ලෙස උදහස් වූ සේක;
එතුමාණෝ ඉශ්රායෙල්වරුන් ප්‍රතික්ෂේප කළ සේක.
60 එතුමාණෝ ෂිලෝහි වාසභවනය අත්හළ සේක;
මිනිසුන් අතර පිහිටෙවු කූඩාරම හැර ගිය සේක.
61 එතුමාණන්ගේ බල මහිමය සහ තේජාලංකාර සලකුණ වන ගිවිසුම් කරඬුව සතුරන් අතට පත් වීමට එතුමාණෝ ඉඩ හැරිය සේක.
62 එතුමාණෝ සිය සෙනඟ කඩු පහරට භාර දුන් සේක.
සිය උරුමය වන සෙනඟ කෙරෙහි උදහස් වූ සේක.
63 ගින්න ඔවුන්ගේ තරුණයන් ගිලගත්තේ ය;
ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීතයක් නො වී ය.
64 ඔවුන්ගේ පූජකවරු කඩුවෙන් නැසුණෝ ය.
ඔවුන්ගේ වැන්දඹුවෝ ශෝක ගීත ගායනා නොකළෝ ය.
65 සමිඳාණෝ නින්දෙන් අවදි වන කෙනෙකුන් මෙන් පිබිදුණ සේක;
මිදිපැන් මතින් කෑමෝරගසන වීර භටයෙකු මෙන් වූ සේක.
66 එතුමාණෝ සිය සතුරන්ට පහර දී ඔවුන් පලවා හැරිය සේක;
සදා ලජ්ජාවට ඔවුන් පත් කළ සේක.
67 එතුමාණෝ ජෝසෙප්ගේ පරපුර අත්හළ සේක;
එප්‍රායිම්ගේ වංශය තෝරා නොගත් සේක.
68 එහෙත්, එතුමාණෝ ජුදාගේ ගෝත්‍රය තෝරාගත් සේක;
සියොන් කන්දට ප්‍රේම කළ සේක.
69 එතුමාණෝ සදහට ම පිහිටෙවු පොළොව මෙන් ස්ථිර ව ද අහස් තලය මෙන් උසස් ව ද සිය ශුද්ධස්ථානය ඉදි කළ සේක.
70 එතුමාණෝ තම සේවක දාවිත් තෝරා ගත් සේක;
බැටළු රැළ රැකබලාගැනීමෙන් ඔහු ඉවතට ගත් සේක.
71 සිය උරුමය ද ජාකොබ්ගේ පරපුර ද වන ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා එතුමාණෝ බැටළුවන් රැකබලාගැනීමෙන් දාවිත් කැඳවාගත් සේක.
72 දාවිත් අවංක සිත් ඇති ව සෙනඟ රැකබලාගත්තේ ය.
මහ දස්කම් දක්වා ඔහු ඔවුන්ට මඟපෙන්වූ සේක.

– 79 වන පරිච්ඡේදය –

ජෙරුසලම ගැන විලාපය

ආසාප්ගේ ගීතයකි.
1 අහෝ දෙවිඳුනි,
මිසදිටුවෝ ඔබේ උරුමය ආක්‍රමණය කළෝ ය.
ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසුවෝ ය.
ජෙරුසලම් නගරය නටබුන් ගොඩක් කළෝ ය.
2 ඔබේ සේවකයන්ගේ මළකඳන් ඔව්හු ආකාශ පක්ෂීන්ට කෑමට දුන්නෝ ය.
ඔබේ දැහැමියන්ගේ මාංසය මිහි පිට තිරිසනුන්ට කෑමට දුන්නෝ ය.
3 ඔව්හු ඔවුන්ගේ ලේ ජෙරුසලම වටා ජලය මෙන් වැගිරෙවුවෝ ය.
ඔවුන් වැළලීමට කිසිවෙක් නොසිටියෝ ය.
4 අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු;
අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.
5 අහෝ සමිඳුනි!
ඔබ කොපමණ කල් කෝප වී සිටින සේක් ද?
සදහට ම ද?
ඔබේ උදහස කොපමණ කල් ගින්න මෙන් දැවෙන්නේ ද?
6 ඔබ නාඳුනන ජාතීන් පිට ඔබේ උදහස වැගිරෙවුව මැනව.
ඔබේ නාමය කියා නොඅයදින රාජධානි පිට ද එසේ ම කළ මැනව.
7 මන්ද, ඔව්හු ජාකොබ්ගේ පරපුර බිඳදැම්මෝ ය;
ඔවුන්ගේ ගම්බිම් පාළු කොට දැම්මෝ ය.
8 අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව.
ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව.
අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත.
9 අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව;
ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව.
10 ”ඔවුන්ගේ දෙවිඳාණෝ කොහේ දැ”යි මිසදිටු ජාතීන් අසන්නේ කුමට ද?
ඔබේ සේවකයන්ගේ ලෙයට පළිගන්න බව මිසදිටු ජාතීන් අතර අපේ ඇස් ඉදිරියෙහි ම ප්‍රකාශ වේ වා!
11 ඔබේ සිරකරුවන්ගේ කන්කෙඳිරිය ඔබ ඉදිරියට පැමිණේ වා!
මරණයට නියම වූ අය ඔබේ මහිමයෙන් ආරක්ෂා වෙත් වා!
12 අහෝ සමිඳුනි, අපේ අසල්වාසීන් ඔබට සමච්චල් කර ඇත.
එය හත් ගුණයකින් ඔවුන් වෙත ම හැරෙවුව මැනව.
13 එවිට ඔබේ තණ බිමේ බැටළුවෝ ද ඔබේ සෙනඟ ද වන අපි සදහට ම ඔබට ස්තුති කරන්නෙමු.
පරපුරෙන් පරපුරට අපි ඔබට පැසසුම් කරන්නෙමු.

– 80 වන පරිච්ඡේදය –

ජාතියේ ශෝක ගීය

ප්‍රසිද්ධ ආඥාවකි. ආසාප්ගේ ගීතයකි.
1 ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන
ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.
2 කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව.
එප්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ යන අයගේ පෙළපත් අබිමුව තෙදින් වැජඹෙනු මැනව.
අප මුදාගැනීමට වැඩිය මැනව.
3 අහෝ දෙවිඳුනි!
අප ආපසු ගෙන ගිය මැනව.
අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
4 අහෝ සමිඳුනි!
සව් බලැති දෙවිඳුනි, ඔබේ සෙනඟගේ අයැදීම ගැන කොපමණ කල් ඔබ උදහස් ව සිටින සේක් ද?
5 දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක;
අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක.
6 අපේ අසල්වැසියන්ගේ පරිහාසයට ඔබ අප ලක් කළ සේක.
අපේ සතුරෝ අපට උසුළු-විසුළු පෑවෝ ය.
7 සව් බලැති දෙවිඳුනි, අප ආපසු ගෙන ගිය මැනව.
අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
8 ඔබ මිදි වැලක් වන අප මිසරයෙන් ගෙනා සේක;
විජාතීන් පන්නාදමා ඔබ එය රෝපණය කළ සේක.
9 එය වැඩෙන පිණිස ඔබ තැනක් සූදානම් කළ සේක;
එය ගැඹුරට මුල් ඇද්දේ ය. එය දේශය පුරා පැතිර ගියේ ය.
10 එහි සෙවණින් කඳුකර පෙදෙස ද එහි අතු රිකිලිවලින් මහ සීඩර් ගස් ද පවා වැසී ගියේ ය.
11 එහි අතු මුහුද දක්වා ද එහි රිකිලි යුප්‍රටීස් දක්වා ද විහිදී ගියේ ය.
12 මඟ යන එන සියල්ලන් එහි පල නෙළනු පිණිස එහි වැට කඩුලු වනසාලූයේ කුමක් නිසා ද?
13 වල් ඌරෝ එය පාගා දැම්මෝ ය;
නිදැල්ලේ සැරිසරන වල් සත්තු එය කා දැම්මෝ ය.
14 අහෝ සව් බලැති දෙවිඳුනි!
අප වෙත හැරුණ මැනව.
සගලොව සිට නෙත් යොමා බලා මේ මිදිවැල වන අප රැකගත මැනව.
15 ඔබේ දකුණතින් රෝපණය කළ දේ සැලකුව මැනව;
ඔබට ම සවිමත් කරගත් දේ බැලුව මැනව.
16 අපේ සතුරෝ එය කපා ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය.
ඔබේ බැල්මේ තර්ජනයෙන් ඔව්හු වැනසී යති.
17 ඔබේ හස්තය ඔබේ දකුණු පස සිටින මිනිසා කෙරෙහි පතිත වේ වා!
ඔබේ යහපතට ඔබ ම සවි ශක්තිමත් කළ ජාතිය කෙරෙහි එය පහළ වේ වා!
18 එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු.
අපට ජීවත් වීමට ඉඩ දුන මැනව.
අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු.
19 අහෝ සමිඳුනි!
සව් බලැති දෙවිඳුනි!
අප ආපසු ගෙන ගිය මැනව.
අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

– 81 වන පරිච්ඡේදය –

මංගල ගීයක්

ආසාප්ගේ ගීතයකි.
1 අපේ ශක්තිය වන දෙවිඳුන්ට ඉමහත් ප්‍රීති හඬ නඟන්න;
ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න.
2 ගී ගයා කිකිණි රබන් ගසන්න;
මිහිරි වීණාව සහ කුඩා වීණාව වයන්න.
3 අමාවක දවසේ දී ද පසළොස්වක දවසේ දී ද අපේ මහා මංගල දවසේ දී ද හොරණෑව පිඹින්න.
4 එය ඉශ්රායෙල් ජනයාට නීතියක් වන්නේ ය;
ජාකොබ්ගේ දෙවිඳුන් පැනවූ නියෝගයක් වන්නේ ය.
5 ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක.
නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි:
6 ”මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි;
ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි.
7 විපතේ දී ඔබ අඬගැසුවහු ය;
මම ඔබ නිදහස් කෙළෙමි.
මම අහස් ගිගුරුමේ සිට ඔබට පිළිතුරු දුන්නෙමි.
මෙරිබා දිය උල්පත ළඟ දී මම ඔබ සෝදිසි කෙළෙමි.
8 අහෝ මාගේ සෙනඟෙනි!
මා ඔබට විරුද්ධ ව අනතුරු අඟවන විට මට සවන් දෙන්න;
අහෝ ඉශ්රායෙල්වරුනි!
ඔබ මට සවන් දෙන්නහු නම්, කොපමණ යහපත් ද?
9 ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය;
විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය.
10 මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි.
ඔබේ මුව හොඳින් විවර කරන්න;
එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි.
11 එහෙත්, මාගේ සෙනඟ මාගේ හඬට සවන් නුදුන්නෝ ය.
ඉශ්රායෙල්වරු මට කීකරු නො වූ හ.
12 ඔවුන්ගේ ගල් සිත නිසා, මම ඔවුන් ප්‍රතික්ෂේප කෙළෙමි.
එවිට ඔව්හු ඔවුන්ගේ ම මතිමතාන්තර අනුව ගමන් කළෝ ය.
13 මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද?
14 එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි;
ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි.
15 සමිඳුන් හට වෛර කරන්නෝ එතුමන් අබිමුව බියෙන් පැකිළෙන්නෝ ය.
ඔවුන්ගේ විපත සදහට ම තිර වන්නේ ය.
16 එතුමාණෝ ඉස්තරම් ධාන්‍යයෙන් ඔබ පෝෂණය කරන සේක.
වන මී පැණියෙන් මම ඔබ සෑහීමට පත් කරන්නෙමි.”

– 82 වන පරිච්ඡේදය –

අදමිටු විනිසකරුවන්ට තරවටුවක්

ආසාප්ගේ ගීතයකි.
1 දෙවිඳාණෝ දේව සභාවෙහි මුල’සුන ගන්න සේක.
දෙවිවරුන් මැද විනිශ්චය කරන සේක.
2 ඔබ කොපමණ කලක් අයුතු ලෙස විනිශ්චය කරන්නහු ද?
දුදනන්ගේ පැත්ත ගෙන ක්‍රියා කරන්නහු ද?
3 දුබලුන්ට හා අනාථයන්ට යුක්තිය පසිඳලන්න;
පීඩිතයන්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න;
4 දුබලුන් හා දිළිඳුන් මුදාලන්න;
දුදනන්ගේ ග්‍රහණයෙන් ඔවුන් බේරාගන්න.
5 නියම දැනීමක් හා තේරුමක් නැති ව ඔව්හු අඳුරෙහි සැරිසරන්නෝ ය.
පොළො‍් පදනම් සියල්ල කම්පා වන්නේ ය.
6 ”ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි;
ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය.
7 එහෙත්, ඔබ අන් මිනිසුන් මෙන් මරණයට බිලි වන්නහු ය.
රජ දරුවන් මෙන් ඔබ සියලු දෙන වැටී යන්නහු ය.
8 අහෝ දෙවිඳුනි!
ඔබ නැඟිට මිහිතලය විනිශ්චය කරන සේක් වා!
සියලු ජාතීහු ඔබ වහන්සේට අයිති ය.

– 83 වන පරිච්ඡේදය –

සතුරන්ගේ පරාජය සඳහා යැදුම

ආසාප්ගේ ගීතයකි.
1 මාගේ දෙවිඳුනි, නිහඬ ව නොසිටිනු මැනව.
දෙවිඳුනි, නිසංසල ව නොසිටිනු මැනව.
පිළිතුරු නො දී නොසිටිනු මැනව.
2 බලනු මැනව, ඔබේ විරුද්ධකරුවෝ කලබල කරන්නෝ ය.
ඔබේ සතුරෝ කැරලි ගසන්නෝ ය.
ඔබට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය.
3 ඔව්හු ඔබේ සෙනඟට විරුද්ධ ව කූට උපා යොදන්නෝ ය.
ඔබ රැකවරණය දෙන අයට එරෙහි ව කුමන්ත්‍රණ කරන්නෝ ය.
4 ඔව්හු කතා කොට, ”එන්න, ඉශ්රායෙල් නාමය මින් මතු සිහි නොවන පිණිස ඒ මුළු ජාතිය ම වනසාලමු”යි කියන්නෝ ය.
5 සත්තට ම ඒකමතික ව ඔව්හු කුමන්ත්‍රණය කරන්නෝ ය;
ඔබට විරුද්ධ ව පෙරමුණු බඳින්නෝ ය.
6 ඔව්හු ඒදොම්ගේ සහ ඉෂ්මායෙල්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය.
මෝවබ්ගේ සහ හගරීනයන්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය.
7 මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය.
තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.
8 අසිරියාව ද ඔවුන් සමඟ අත්වැල් බැඳගත්තේ ය.
එය ලොත්ගේ පරපුරට අයත් බලවත් මිතුරා වී ඇත්තේ ය.
9 මිදියන්වරුන්ට සහ සිසෙරාට කළ පරිදි ද කිෂොන් නදිය අසල ජාබීන්ට කළ පරිදි ද ඔවුන්ට කළ මැනව.
10 ඔබ ඔවුන් එන්දෝර්හි දී විනාශ කළ සේක.
ඔව්හු පොළොවට පොහොර මෙන් වූ හ.
11 ඔබ ඕරෙබ්ට සහ ශිබ්ට කළ පරිදි ඔවුන්ගේ නායකයන්ටත් කළ මැනව.
ඔබ සෙබා සහ ශල්මුන්නා පරාජය කළ පරිදි ඔවුන්ගේ පාලකයන් ද පරාජය කළ මැනව.
12 ඔව්හු කතා කොට, ”දෙවිඳුන්ට අයිති සාර භූමිය අපේ අයිතිය පිණිස පැහැර ගනිමු”යි කීවෝ ය.
13 මාගේ දෙවිඳුනි, ඔවුන් සුළඟට ගසාගෙන යන ධූලි මෙන් ද බොල් වී මෙන් ද කළ මැනව.
14 ගින්න වනාන්තරය දවන සේ ද ගිනිදැල්ල කඳුකරය දවන සේ ද
15 ඔබේ චණ්ඩ මාරුතයෙන් ඔවුන් ලුහුබැඳ යනු මැනව.
ඔබේ සැඬ සුළඟින් ඔවුන් බිය ගැන්වුව මැනව.
16 සමිඳුනි, ඔවුන්ගේ මුහුණු විළි ලජ්ජාවෙන් පිරෙවුව මැනව. ඔබේ නාමය පිළිගන්න තෙක් එලෙස කළ මැනව.
17 ඔව්හු සදහට ම පරාජය වී භීතියෙන් පෙළෙත් වා!
අපකීර්තියෙන් ඔව්හු වැනසී යත් වා!
18 ඔබ වහන්සේගේ නාමය පමණක් ‘සමිඳාණෝ’ බව ද මිහි පිට ඔබ පමණක් ‘අති උත්තමයාණෝ’ බව ද ඔව්හු දැනගනිත් වා!

– 84 වන පරිච්ඡේදය –

වන්දනා ගීතයක්

1 සව් බලැති දෙවිඳුනි, ඔබේ වාසභවනය කොතරම් මනහර ද?
2 මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි.
මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්‍රීතියෙන් ගී ගයයි.
3 සව් බලැති දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලිය ගෙයක් ද වැහිලිහිණිය ඇගේ පැටවුන් දැමීමට කැදැල්ලක් ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන ඇත.
4 ඔබේ ගෘහයෙහි වසන්නෝ කොපමණ වාසනාවන්ත ද?
ඔව්හු නිරතුරු ඔබට පසස් ගී ගයන්නෝ ය.
5 වන්දනාවේ යන පිණිස සිත යොමු කරගත්, ඔබ සරණ කොටගත් අය කොපමණ වාසනාවන්ත ද?
6 ඔව්හු වැලපීමේ මිටියාවත මැදින් යන කල එය උල්පත් සහිත ස්ථානයක් කරගනිති.
පළමු වන වැහි වලාව එය දිය කඩිතිවලින් පුරවන්නේ ය.
7 ඔව්හු වැඩි වැඩියෙන් ශක්තිමත් වන්නෝ ය;
සියොන් කන්දෙහි වැඩ සිටින දේවාතිදෙවිඳුන් දකින්නෝ ය.
8 සමිඳුනි, සව් බලැති දෙවිඳුනි, මා අයැදුම ඇසුව මැනව.
අහෝ ජාකොබ්ගේ දෙවිඳුනි!
මට සවන් දුන මැනව.
9 අපේ පලිහ වන දෙවිඳුනි, බලනු මැනව.
ඔබේ අභිෂේක ලත් තැනැත්තා දෙස කරුණා බැල්ම හෙළනු මැනව.
10 ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද?
දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.
11 සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක;
අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක;
නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.
12 අහෝ සව් බලැති සමිඳුනි!
ඔබ අදහන මිනිසා කොපමණ වාසනාවන්ත ද?

– 85 වන පරිච්ඡේදය –

ජාතික අභිවෘද්ධිය සඳහා යාච්ඤාවක්

කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි.
1 සමිඳුනි,
ඔබ දේශයට කරුණා කළ සේක;
ජාකොබ්ගේ සම්පත ආපසු දුන් සේක.
2 ඔබ ඔබේ සෙනඟගේ වරදට කමා කළ සේක;
ඔවුන්ගේ සියලු ම පාපවලට ද සමාව දුන් සේක.
3 ඔබ ඔබේ සියලු කෝපාග්නිය නිවාදැමූ සේක;
ඔබේ ඇවිලෙන උදහස පහකළ සේක.
4 අපේ ගැළවුම්කාර දෙවිඳුනි, අප ආපසු ගෙන අව මැනව.
ඔබේ කෝපය අප වෙතින් ඉවත් කළ මැනව.
5 සදහට ම ඔබ අප සමඟ උදහස් ව සිටින සේක් ද?
ඔබේ කෝපය පරපුරෙන් පරපුරට ඇවිළි ඇවිළී යන්න ඉඩ දෙන සේක් ද?
6 ඔබේ සෙනඟ ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස ඔබ යළි අපට ජීවනය දුන මැනව.
7 සමිඳුනි, ඔබේ තිර පෙම අපට පෙන්නුව මැනව.
ගැළවීමේ පිහිට අපට ද දානය කළ මැනව.
8 දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි,
මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක.
9 එතුමන් හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය.
සත්තට ම එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
10 තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය.
දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.
11 විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය.
දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය.
12 සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක.
අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය.
13 දැහැමි බව එතුමන්ට පෙරටු ව යන්නේ ය.
එතුමන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.

– 86 වන පරිච්ඡේදය –

විශ්වාස මෙහෙකරුවාගේ යැදුම

දාවිත්ගේ යාච්ඤාවකි.
1 සමිඳුනි, ඔබ කන් යොමා මට පිළිතුරු දුන මැනව.
මන්ද, මම අසරණ ය;
මම දුබල ය.
2 මා භක්තිවන්ත බැවින් මා මරණින් මුදනු මැනව;
ඔබ කෙරෙහි විශ්වාස කරන ඔබේ දාසයා මුදාලුව මැනව.
3 මාගේ සමිඳුනි, මට අනුකම්පා කළ මැනව. මුළු දවස පුරා මම ඔබට අයැදිමි.
4 ඔබේ දාසයාගේ සිත ප්‍රීතිමත් කළ මැනව.
මන්ද, මාගේ සමිඳුනි, මම ඔබට යාච්ඤා කරමි.
5 මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක;
ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.
6 සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව.
පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව.
7 විපත් කාලයේ දී මම ඔබට හඬගසන්නෙමි.
ඔබ මට පිළිතුරු දෙන සේක.
8 අහෝ සමිඳුනි!
දෙවිවරුන් අතර ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය.
ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි අන් ක්‍රියා ද නැත්තේ ය.
9 මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය.
ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය.
10 ඔබ බලසම්පන්න ය, අරුමපුදුම දේ කරන සේක.
ඔබ පමණක් දෙවිඳාණෝ ය.
11 සමිඳුනි, ඔබේ සත්‍යයෙහි පමණක් ගමන් කරන පිණිස ඔබේ මාර්ගය මට පෙන්නුව මැනව.
ඔබේ නාමයට ගරු කරන පිණිස හිතවත්කමින් ම හද එක් කළ මැනව.
12 මාගේ දෙවි සමිඳුනි, හද පත්ලෙන් මම ඔබට තුති කරමි.
ඔබේ නාමය සදහට ම වර්ණනා කරමි.
13 මා වෙත ඇති ඔබේ තිර පෙම කොපමණ මහත් ද?
ගැඹුරු පාතාලයෙන් ඔබ මා මිදූ සේක.
14 දෙවිඳුනි, අහංකාර අය මට එරෙහි ව නැඟිටින්නෝ ය.
ඔබට ගරු නොකරන කුරිරු මිනිස් පිරිසක් මා මරන්නට සොයන්නෝ ය.
15 මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.
16 මා වෙත හැරී මට අනුකම්පා කළ මැනව;
මා ශක්තිමත් කොට මා ගැළෙවුව මැනව.
මන්ද, මාගේ මව ඔබට සේවය කළ පරිදි මම ද ඔබට සේවය කරමි.
17 ඔබ මට ආධාරය සහ සැනසීම දුන් බව මාගේ සතුරන් දැන ලජ්ජා වන පිණිස,
ඔබේ දයා කරුණාවට සාක්ෂියක් දුන මැනව.

– 87 වන පරිච්ඡේදය –

සියොන් කන්දේ තේජස

කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍යමය ගීතයකි.
1 ශුද්ධ කන්ද මත සමිඳාණෝ
සිය නගරය ගොඩනැඟුව සේක.
2 ඉශ්රායෙල්හි අන්කිසි තැනකට වඩා සමිඳාණෝ ජෙරුසලමට ප්‍රේම කරන සේක.
3 එම්බා දෙවි නුවර!
ඔබ ගැන අසිරිමත් දෙය පවසනු ලබන්නේ ය.
4 ”මා පිළිගන්න ජාතීන් අතර මිසරය සහ බබිලෝනිය සඳහන් කරන්නෙමි.
ජෙරුසලමේ වැසියන් සමඟ පිලිස්තිය, තීර් සහ එතියෝපියාව යන දේශවල ජනයා ද ගණන් කරන්නෙමි.
‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී යැ’යි මිනිස්සු කියන්නෝ ය.
5 සියොන් කන්ද ගැන මෙසේ කියනු ලබන්නේ ය;
‘සියලු ජාතීහු එහි උපත ලද්දෝ ය;
මහෝත්තමයාණෝ ඇය ශක්තිමත් කරන සේක.’
6 ජනතාවන්ගේ ලේඛනයක් සකස් කරන විට,
සියලු දෙන ජෙරුසලම් වැසියන් ලෙස,
‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී ය’යි
සමිඳාණෝ ගණන්ගන්න සේක.
7 ‘අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’යි කියමින්,
ඔව්හු ගී ගයමින් නටන්නෝ ය.

– 88 වන පරිච්ඡේදය –

දුගියාගේ මොරගැසීම

කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍යමය ගීතයකි. නිජ බිම හේමාන් යන තැනැත්තාගේ ගීතයකි.
1 මාගේ දෙවි සමිඳුනි, මාගේ ගැළවුම්කාරයාණෙනි, දිවා කාලයේ මම ඔබට යදිමි;
රෑ කාලයේ මම ඔබට හඬගසමි.
2 මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා!
මාගේ හඬට සවන් දුන මැනව.
3 මාගේ සිත කරදරවලින් ගහණ වී ඇත්තේ ය.
මාගේ ජීවිතය මිනී වළට ආසන්න ය,
4 මරණාසන්න කෙනෙකු මෙන් මම ගණන්ගනු ලැබුවෙමි.
මම දුබලයෙකු මෙන් වී ඇත්තෙමි.
5 මළවුන් අතර ම උන් කෙනෙකු මෙන් මම අත්හරිනු ලැබුවෙමි;
සොහොනේ තැන්පත් කරනු ලැබූ කෙනෙකු මෙන් මම වැටී සිටියෙමි;
ඔබ විසින් සදහට ම අමතක කරන ලද ඔබේ සරණින් ඈත් වූවෙකු මෙන් වී සිටිමි.
6 ඔබ මා පාතාලයේ පතුලට හෙළූ සේක.
අඳුරු ගැඹුරු පෙදෙසට මා දැමූ සේක.
7 ඔබේ උදහස මට මහ බරකි;
ඔබේ කෝපාග්නිය මට පීඩා කරන්නේ ය.
8 ඔබ මාගේ මිතුරන් මා වෙතින් ඈත් කළ සේක.
මා ඔවුන්ට පිළිකුලක් මෙන් වන්නට හළ සේක.
සිරගත වී සිටි බැවින් මට මිදී යා නොහැකි ය.
9 කරදර නිසා මාගේ නෙත් අඳුරු වී ඇත්තේ ය.
සමිඳුනි, මම දිනපතා ඔබ අයැදිමි;
ඔබ වෙත මාගේ අත් ඔසවන්නෙමි.
10 ඔබ වහන්සේ මළවුන් උදෙසා අසිරිමත් දේ කරන සේක් ද?
ඔව්හු නැඟිට ඔබ පසසන්නෝ ද?
11 සොහොන් වළෙහි දී ඔබේ තිර පෙම ගැන ද පාතාලයෙහි දී ඔබේ විශ්වාසවන්තකම ගැන ද කතා කරනු ලැබේ ද?
12 ඔබේ අසිරිමත් ක්‍රියා අඳුරෙහි දී පෙන්වනු ලැබේ ද?
ඔබේ යහපත්කම මළවුන්ගේ දේශයෙහි දී සිහි කරනු ලැබේ ද?
13 සමිඳුනි, මම ඔබට හඬගසන්නෙමි;
අලුයම මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා!
14 සමිඳුනි!
ඔබ මා ප්‍රතික්ෂේප කරන්නේ මන් ද?
මා වෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නේ මන් ද?
15 යොවුන් වියේ පටන් පීඩිත ව කෙඳිරි ගාමින් මම මැරෙන්නට ආසන්න ව සිටියෙමි;
ඔබෙන් පැමිණෙන දඬුවම්වල බරින් මම තැළී පොඩි වී සිටියෙමි.
16 ඔබේ කෝපාග්නිය මා ඉහවහ ගොස් ඇත්තේ ය.
ඔබේ බියකරු පහර මා විනාශ කර ඇත්තේ ය.
17 ගංවතුරක් මෙන් ඒවා දවස පුරා මා වටලා සිටින්නේ ය.
හාත්පසින් ඒවා ළං වී මා වසා ගන්නේ ය.
18 මාගේ හිත මිතුරු අසල්වාසීන් පවා ඔබ මා වෙතින් දුරු කළ සේක.
මාගේ එක ම හිත මිතුරා නම් අඳුර වේ.

– 89 වන පරිච්ඡේදය –

විශ්වාසී දෙවිඳුන්ට තුති ගීයක්

එස්රාහි උපන් ඒතාන් නමැත්තාගේ කාව්‍යයකි.
1 සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි.
ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි.
2 ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි;
ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි.
3 ඔබ මෙසේ වදාළ සේක:
”මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි;
මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි:
4 ‘මම ඔබේ පෙළපත සදහට ම පිහිටුවන්නෙමි.
පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩනඟන්නෙමි.’ ”
5 අහෝ සමිඳුනි!
ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය.
සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය.
6 සමිඳුන්ට සම කළ හැකි කිසිවෙක් අහස් තලයෙහි ඇද් ද?
දෙවිවරුන් අතර සමිඳුන්ට සමාන වනුයේ කවරෙක් ද?
7 සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය.
සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය.
8 සව් බලැති දෙවි සමිඳුනි, ඔබ හා සම, බලසම්පන්න අන් කවරෙක් ද?
සමිඳුනි, සියල්ලෙහි දී ඔබ විශ්වාසවන්ත ය.
9 ඔබ චණ්ඩ සමුද්‍රය පාලනය කරන සේක;
එහි රළපතර නඟින කල ඔබ ඒවා දමනය කරන සේක.
10 ඔබ රාහබ් නම් දිය රකුසා කැබලි කොට සුණු විසුණු කරදැමූ සේක;
සිය බාහු බලය පා සතුරන් පලවා හළ සේක.
11 අහස් තලය ඔබේ ය, මිහි තලය ද ඔබේ ය, පොළොවත්, එහි ඇති සියල්ලත් ඔබ මැවූ සේක.
12 උතුරත්, දකුණත් ඔබ මැවූ සේක;
තාබෝර් සහ හර්මොන් යන කඳු
ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය.
13 ඔබේ බාහුව ප්‍රබල ය;
ඔබේ අත බලවත් ය.
ඔබේ දකුණත ජයෙන් ඔසවා ඇත්තේ ය.
14 සාධාරණකම සහ යුක්තිය ඔබ සිහසුනේ පදනම් ය;
තිර පෙම හා සත්‍යය ඔබ කරන සියල්ලෙහි වේ.
15 සමිඳුනි, ගී ගයමින් ඔබ නමදින්නෝ ද ඔබේ කරුණා ආලෝකය තුළ හැසිරෙන්නෝ ද භාග්‍යවන්තයො‍් ය.
16 දවස පුරා ඔව්හු ඔබ අබියස ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය;
ඔබේ දැහැමිකම ගැන වෙසෙසින් පසසන්නෝ ය.
17 ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙන සේක.
ඔබේ කරුණාවෙන් ඔබ අපට ජය අත්කර දෙන සේක.
18 සමිඳුනි, ඔබ අපේ ආරක්ෂාකරු අපට තෝරා දුන් සේක.
ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳුන් වන ඔබ අපේ රජු අපට දුන් සේක.

දාවිත්ට දේව පොරොන්දුව

19 කලකට පෙර ඔබ දර්ශනය වී, බැතිමතුන් හට කතා කොට මෙසේ වදාළ සේක:
”මම වීරයෙකු හිස මත කිරුළ තැබුවෙමි;
මාගේ සෙනඟ අතරෙන් තෝරාගත් තැනැත්තෙකුට සිහසුන දිනිමි.
20 මා සේවක දාවිත් මම සොයාගත්තෙමි;
ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කෙළෙමි.
21 මාගේ ශක්තිය නිරතුරු ඔහු සමඟ වන්නේ ය;
මාගේ බලය ඔහු සවිමත් කරන්නේ ය.
22 කිසි ම සතුරෙක් ඔහුට විරුද්ධ ව නැඟිට ජය ගන්නේ නැත;
කිසි ම දුදනෙක් ඔහු පරාජය කරන්නේ නැත.
23 මම ඔහුගේ එදිරිකරුවන්ට පහර දෙන්නෙමි;
ඔහුට වෛර කරන සියල්ලන් වනසාලන්නෙමි.
24 මාගේ විශ්වාසවන්තකම සහ තිර පෙම ඔහු සමඟ වන්නේ ය;
මාගේ නාමයෙන් ඔහු ජයග්‍රාහී වන්නේ ය.
25 මම ඔහුගේ බලය මහ මුහුදේ පිහිටුවන්නෙමි;
එය ගංගාව දක්වා පතුරුවා හරින්නෙමි.
26 ඔහු මට මොරගසමින්, ‘ඔබ මාගේ දෙවිඳාණෝ ය, මාගේ පියාණෝ ය, මාගේ ආරක්ෂක පර්වතයාණෝ ය’ කියන්නේ ය.
27 ඔහු මාගේ කුලුඳුල් පුතණුවන් කොට ද මිහි පිට රජුන් අතර අග රජු කොට ද මම ඔහු පත් කරන්නෙමි.
28 මම ඔහුට සදහට ම ප්‍රේම කරන්නෙමි;
ඔහු උදෙසා මාගේ ගිවිසුම ස්ථිර ව පවත්නේ ය.
29 ඔහුගේ රාජ වංශය අහස මෙන් තිරසර ව පවතින්නේ ය;
ඔහුගේ පෙළපතෙන් ම කෙනෙක් නිරතුරු රජකමට පත් වන්නේ ය.
30 ඔහුගේ දරුදැරියෝ මාගේ නීතියට අකීකරු වන්නෝ නම්, මාගේ නියමයන්ට අනුව ජීවත් නොවන්නෝ නම්,
31 ඔව්හු මාගේ නියෝග නොසලකා හරින්නෝ නම්, මාගේ අණපණත් නොපිළිපදින්නෝ නම්,
32 එවිට, ඔවුන්ගේ කැරලිගැසීමට දණ්ඩෙන් ද ඔවුන්ගේ අපරාධවලට කස පහරින් ද මම දඬුවම් දෙන්නෙමි.
33 එහෙත්, මම මාගේ ප්‍රේමය කවදාවත් දාවිත්ගෙන් ඉවත් නොකරන්නෙමි.
ඔහු කෙරෙහි මාගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ නොකරන්නෙමි.
34 මම මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි;
පොරොන්දු කිසිවක් වෙනස් නොකරන්නෙමි.
35 මම මාගේ ශුද්ධවන්තකම පිට සදහට ම දිවුළෙමි;
එබැවින් දාවිත්ට මම බොරුවක් නොකියන්නෙමි.
36 ඔහුගේ පෙළපත සදහට ම පවතින්නේ ය;
ඔහුගේ සිහසුන මා අබියස හිරු මෙන් බබළන්නේ ය.
37 ඔහුගේ පෙළපත සඳ මෙන් දිගට ම ජීවත් වන්නේ ය;
අහස පවත්නා තෙක් එය තිරසර ව පවතින්නේ ය.”

පරාජය ගැන විලාපය

38 එහෙත්, ඔබ ඒ රජ කෝපයෙන් පහකළ සේක.
ඔබේ අබිසෙස් ලත් තැනැත්තා කෙරෙහි උදහසින් රොස් වූ සේක;
39 ඔබේ සේවකයා සමඟ ඔබ කළ ගිවිසුම ඔබ කඩකළ සේක.
ඔහුගේ කිරුළ බිම හෙළා කෙලෙසා දැමූ සේක.
40 ඔබ ඔහුගේ පවුරු සියල්ල බිඳදැමූ සේක;
ඔහුගේ බලකොටු නටබුන් කළ සේක.
41 මඟ යන එන සියල්ලෝ ඔහුගෙන් කොල්ල කන්නෝ ය;
ඔහුගේ අසල්වැසියෝ ඔහුට සමච්චල් කරන්නෝ ය.
42 ඔබ ඔහුගේ එදිරිකරුවන්ට ජය අත්කර දුන් සේක;
ඔබ ඔහුගේ සියලු සතුරන්ට ප්‍රීතිය ගෙන දුන් සේක.
43 ඔබ උදහසින් ඔහුගේ කඩු මුවහත නමාදැමූ සේක;
සටනේ දී ඔහුගේ කඩුව එසවීමට ඉඩ නොහැරිය සේක.
44 ඔබ ඔහුගේ ජයකොන්තය පැහැර ගත් සේක;
ඔහුගේ සිහසුන බිම හෙළූ සේක.
45 ඔබ ඔහුගේ යොවුන් විය කෙටි කළ සේක.
ඔහු අපකීර්තියට පත් කළ සේක.

විමුක්තිය සඳහා යැදුම

46 සමිඳුනි, ඔබ සදහට ම අපෙන් ඈත් වී සිටින සේක් ද?
කොපමණ කලක් ඔබේ උදහස් ගින්න ඇවිලෙන්නේ ද?
47 මාගේ කාලය කොපමණ කෙටි දැ යි සිහි කරනු මැනව.
මන්ද, මැරෙන සුලු අය මෙන් ඔබ සියලු මිනිසුන් මැවූ සේක.
48 ජීවමාන කවරෙක් නම්, මරණයට ගොදුරු නොවන්නේ ද?
පාතාල ලෝකයේ බලයෙන් කවරෙක් තමා ම මුදාගන්නේ ද?
49 අහෝ සමිඳුනි!
ඔබ කලින් පෑ තිර පෙම දැන් කොතැන්හි ද?
දාවිත්ට දුන් විශ්වාසවන්ත පොරොන්දු දැන් කොහි ද?
50 සමිඳුනි, ඔබේ සේවකයා ලබන නින්දාව සිහි කරනු මැනව.
විජාතීන්ගේ නින්දාව මා විඳින රඟ සිහි කරනු මැනව.
51 සමිඳුනි, ඔබේ සතුරෝ ඔබේ ආලේප ලත් රජුට අපහාස කරන්නෝ ය;
ඔහු යන යන තැන ඔහුට ගරහන්නෝ ය.
52 සමිඳුන්ට සදහට ම ආසිරි වේ වා!

– 90 වන පරිච්ඡේදය –

සතර වන කාණ්ඩය
(ගීතිකා 90-106)
අපේ සදාතන සරණ

දේව භක්තික මෝසෙස්ගේ යාච්ඤාවකි.
1 සමිඳුනි, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.
2 කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සක්වළ ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක.
3 ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක,
”මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ වදාරන සේක.
4 ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය,
රැයේ එක යාමයක් වැනි ය.
5 සැඬ පහරකින් මෙන් ඔබ මිනිසුන් ගෙන යන සේක;
ඔව්හු සිහිනයක් මෙන් පහ වී යති;
උදේ දලු දැමූ තණ පත හා සමාන වන්නෝ ය.
6 උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය,
සවස් කල පර වී වියළී යන්නේ ය.
7 ඔබේ කෝපය අප දවාලන්නේ ය;
ඔබේ උදහස අප කළඹාලන්නේ ය.
8 අප අයුතුකම් ඔබට පෙනෙන්නේ ය.
අපේ රහස් පව් ඔබේ මුහුණේ එළියට ලක් වන්නේ ය.
9 අප දිවි පෙවෙත ඔබේ උදහස මැද ගෙවී යන්නේ ය;
අප ආයු සුසුමක් සේ කෙළවර වන්නේ ය.
10 අප ආයු හැත්තෑ අවුරුද්දකි, සවි ශක්තිය ඇත්නම්, අසූවක් විය හැකි ය.
එහෙත්, ඒ කාලය කම්කටොළු හා දුක ම ය.
අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේ ය.
11 ඔබේ කෝපයේ බලවත්කම දන්නේ කවරෙක් ද?
ඔබේ උදහසින් වන භීතිය කාට තේරුම්ගත හැක්කේ ද?
12 දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව.
මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.
13 සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව.
ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.
14 උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු.
දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු.
15 අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව.
16 ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව.
17 අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා!
අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා!
අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!

– 91 වන පරිච්ඡේදය –

දෙවිඳුන් කෙරේ අචල විශ්වාසය

1 පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය.
2 ඔහු සමිඳුන්ට මෙසේ පවසයි:
”එතුමාණෝ මාගේ රැකවරණය ය;
මාගේ බලකොටුව ය;
මාගේ දෙවිඳාණෝ ය.
මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.”
3 එතුමාණෝ, කපටින්ගේ මලපත්වලින් ද බියකරු ලෙඩරෝගවලින් ද අප රැකගන්න සේක.
4 සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක;
ඒවා ඔබේ රැකවරණ වන්නේ ය.
එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය.
5 රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය.
6 අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය.
7 දහසක් ඔබේ වම් පසින් ද දස දහසක් ඔබේ දකුණු පසින් ද වැටෙන්නෝ ය.
එහෙත්, පීඩාවක් ඔබට නම් ඇති නොවන්නේ ය.
8 ඔබේ ම දෙනෙතින් මේ සියල්ල ඔබ දකින්නෙහි ය.
දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නෙහි ය.
9 ඔබ, සමිඳාණන් තුළ ඔබේ රැකවරණය තැබුවෙහි ය.
පරමෝත්තමයාණන් ඔබේ වාසභවනය කරගත්තෙහි ය.
10 එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේ ය;
ඔබේ නිවෙසට කිසියම් වසංගතයක් ළං නොවන්නේ ය.
11 ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට අණ දෙන සේක.
12 ඔබ දෙපා, ගල්වල නොහැප්පෙන පිණිස, ඔව්හු සිය’තින් ඔබ උසුලාගන්නෝ ය.
13 ඔබ,
සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය;
ඔබ
කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය.
14 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
”ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි.
ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි.
15 ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි.
දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.
16 දිගායු දී ඔහු සතුටු කරන්නෙමි.
මාගේ ගැළවීම මම ඔහුට සපුරා දක්වන්නෙමි.”

– 92 වන පරිච්ඡේදය –

ප්‍රශස්ති ගීතයක්

සබත් දින ගායනය සඳහා ය.
1 සමිඳුනි, ඔබට තුති පිදීම හොබනේ ය;
මහෝත්තමයාණෙනි, ඔබේ නාමය වර්ණනා කිරීම යහපත් ය.
2 උදෑසන ඔබේ පෙම පැවසීම හොබනේ ය.
රෑ යාමයේ දී ඔබේ විශ්වාසවන්තකම පැවසීම යහපත් ය.
3 තත් දසයේ වීණාවේ හා කුඩා වීණාවේ වාදන මඟින් ද මහ වීණාවේ තනුවට ද ඔබේ ගුණ වැණීම හොබනේ ය.
4 සමිඳුනි, ඔබේ වීර ක්‍රියාවෝ මා සතුටට පත් කරන්නෝ ය.
ඔබේ දෑතෙහි ක්‍රියා ගැන මම තුති ගී පවසමි.
5 ඔබේ ක්‍රියා කොපමණ උත්තරීතර ද?
ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද?
6 මෝඩ මිනිසා මේ ගැන නොදන්නේ ය;
අනුවණයන්ට මෙය තේරුම්ගත නොහැකි ය.
7 දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.
8 එහෙත් සමිඳුනි, සදාකාලයට ම ඔබ මහෝත්තමයාණෝ ය.
9 අහෝ සමිඳුනි!
ඔබේ සතුරෝ එසේ ය, ඔබේ සතුරෝ වනසනු ලබන්නෝ ය.
සියලු නපුරුකම් කරන්නෝ විසුරුවනු ලබන්නෝ ය.
10 ඔබ මා කුළු හරකෙකු මෙන් ශක්තිමත් කළ සේක;
ඔබ නව තෙලින් මා ආලේප කළ සේක.
11 මාගේ සතුරන්ගේ පරාජය මම දෑසින් දුටුවෙමි.
දුදනන්ගේ දුක් විලාපයට සවන් දිනිමි.
12 දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය;
ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝ ය.
13 සමිඳුන්ගේ නිවෙසෙහි ඔබ ඒවා රෝපණය කළ සේක.
දේව මණ්ඩපයෙහි ඒවා සරු ලෙස වැඩෙන්නේ ය.
14 වයස ගිය පසු පවා ඒවා පලදාව දෙන්නේ ය;
සාරවත් ව නිල් පැහැ ව ඒවා පවතින්නේ ය.
15 එසේ වන්නේ, සමිඳාණන් සාධාරණ බව ද මාගේ ආරක්ෂකයාණන් තුළ වරදක් නොමැති බව ද දක්වනු පිණිස ය.

– 93 වන පරිච්ඡේදය –

සමිඳුන්ගේ රාජශ්‍රීය

1 සමිඳාණෝ රජකම් කරන සේක;
ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක.
සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක.
2 ඔබේ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේ ය.
ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක.
3 සමිඳුනි, සමුදුර රළපතර, එසේ ය, සමුදුර රළපතර, මහ හඬින් ගර්ජනා කරන්නේ ය;
ඒවා මහ හඬින් ගිගුම් දෙන්නේ ය.
4 සමිඳාණෝ අහස් තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක;
එතුමාණෝ ගිගුරුම් හඬ නඟන මුහුදු ජලයට වඩා බලසම්පන්න ය, රළපතරට වඩා බලවත් ය.
5 සමිඳුනි, ඔබේ අණපණත් සදාතනික ය.
ඔබේ දේව මාලිගාව සැබැවින් ම සදහට ම සුවිශුද්ධ ය.

– 94 වන පරිච්ඡේදය –

දේව විනිශ්චය

1 සමිඳුනි, ඔබ වරදට දඬුවම් දෙන දෙවි කෙනෙකි;
ඔබේ උදහස පෙන්නුව මැනව.
2 ලෝකයේ විනිසකරුවාණෙනි, නැඟිටිනු මැනව;
අහංකාර අය හට නියම විපාකය දුන මැනව.
3 සමිඳුනි, දුදනෝ කොපමණ කල් ජයශ්‍රීයෙන් උදන් අනන්නෝ ද?
තව කොපමණ කල් ජය ගොස කරන්නෝ ද?
4 අපරාධකාරයෝ තව කොපමණ කල් අහංකාර වන්නෝ ද?
ඔව්හු තමන්ගේ අපරාධ ගැන තව කොපමණ කල් වහසි බස් දොඩන්නෝ ද?
5 සමිඳුනි, ඔව්හු ඔබේ ජනතාව මැඬලන්නෝ ය, ඔබ තෝරාගත් සෙනඟට පීඩා කරන්නෝ ය.
6 ඔව්හු වැන්දඹුවන් ද අනාථයන් ද නසාදමන්නෝ ය;
අප රටේ වසන විදේශීන් මරාදමන්නෝ ය.
7 ”සමිඳුන් හට අප පෙනෙන්නේ නැත;
ජාකොබ්ගේ දෙවිඳාණෝ අප ගැන නොසලකන සේකැ”යි ඔව්හු කියන්නෝ ය.
8 මෝඩයෙනි, තියුණු නැණනුවණ ලබාගැන්මට ඉගෙනගන්න:
ආඥානයෙනි, ඔබ කවර දා නැණවත්හු වන්නහු ද?
9 අපේ කන් මැවූ දෙවිඳුන්ට නෑසෙන්නේ ද?
අපට ඇස් දුන් දෙවිඳුන්ට නොපෙනෙන්නේ ද?
10 විජාතීන්ට දඬුවම් දෙන දෙවිඳාණෝ දඬුවම් නොදෙන සේක් ද?
මිනිසාට නැණනුවණ දෙන සමිඳාණෝ මිනිස් සිතුවිලි නොදන්න සේක් ද?
11 මිනිසුන්ගේ සිතුවිලි කවරේ ද කියාත්, ඒවා කොපමණ නිරර්ථක ද කියාත් සමිඳාණෝ දන්න සේක.
12 සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය;
ඔබේ අණපණත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය.
13 ඔහුගේ විපත්ති දිනවලට පසු ඔහුට ඔබ නිදහස දෙන සේක;
එසේ වන්නේ, දුදනන් හට වළක් කණින තුරු ය.
14 සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක;
තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක.
15 අධිකරණයෙන් සාධාරණ ලෙස නැවත තීන්දුව එන්නේ ය;
එවිට දැහැමි සිත් ඇති සියල්ලෝ එය අනුගමනය කරන්නෝ ය.
16 දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද?
නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද?
17 සමිඳාණෝ මට පිහිට නො වූ සේක් නම්, මළවුන්ගේ ලෝකයට විගස යෑමට මට සිදු වන්නට තිබිණි.
18 ”මාගේ පාද ලිස්සන්නේ ය”යි මා කී කල සමිඳුනි, එවිට ඔබේ තිර පෙම මාගේ ආධාරය වූයේ ය.
19 මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක;
ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක.
20 යුක්තිය අයුක්තිය කරවන විනිසකරුවන් සමඟ ඔබේ සබැඳියාවක් නැත.
ඔව්හු අයුතු නීතියෙන් නපුරට මඟ පාදන්නෝ ය.
21 ඔව්හු දැහැමියාගේ ජීවිතයට විරුද්ධ ව කුමන්ත්‍රණය කරන්නෝ ය;
නිදොස් තැනැත්තා රහසිගත ව වරදට පත් කරන්නෝ ය.
22 එහෙත් සමිඳාණෝ, මා උදෙසා බලකොටුවක් වන සේක;
මාගේ දෙවිඳාණෝ මට රැකවරණ පර්වතය වන සේක.
23 එතුමාණෝ ඔවුන්ගේ අදමිටුකමට දඬුවම් කරන සේක.
ඔවුන්ගේ නපුරුකම නිසා ඔවුන් නසා වනසාලන සේක.
අපේ දෙවි සමිඳාණෝ ඔවුන් විනාශ කරන සේක.

– 95 වන පරිච්ඡේදය –

දෙවිඳුන් නැමදීමේ ගීයක්

1 එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු;
අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු.
2 තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු;
එතුමන් හට ජය මංගල ගී ගයමු.
3 මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක;
උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක.
4 මිහිතල ගැඹුරු තැන් එතුමන් අතෙහි ය;
කඳු ශිඛර එතුමන්ගේ ය.
5 එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය;
එතුමන් වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමන්ගේ ය.
6 එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු;
අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.
7 එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය.
අපි එතුමන්ගේ සෙනඟ ය;
එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය.
එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!
8 ”පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
9 එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය.
මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.
10 සතළිස් වසරක් මම ඒ පරපුර පිළිකුල් කෙළෙමි:
‘ඔව්හු වනාහි සිත් නොමඟට හරවා ගෙන යන මාගේ මාර්ගය නොදත් ජනතාවකි.
11 කවදාවත් ඔව්හු මා දෙන රටට ඇතුළු නොවන්නෝ ය’යි මම උදහසින් කිපී දිවුරුම් දුන්නෙමි.”

– 96 වන පරිච්ඡේදය –

සව් බලැති දෙවිඳුන් නැමදීමේ ගීයක්
(1 වංශා: 16:23-33)

1 සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළො‍් වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.
2 සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න;
එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.
3 විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න;
ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.
4 සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය;
සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.
5 ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි;
සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක.
6 ගෞරවය ද තේජස ද එතුමන් අබිමුව පවත්නේ ය;
ශක්තිය ද ශෝභාව ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.
7 සකල ජනයෙනි, සමිඳුන් පසසන්න;
ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.
8 සමිඳුන් නමට හිමි ගෞරවය එතුමන් හට පිරිනමන්න;
පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න.
9 සමිඳුන් අබිමුව පාරිශුද්ධත්වයෙන් සැරසී වැඳ වැටෙන්න;
ලෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න.
10 විජාතීන් අතර මෙසේ පවසන්න:
”සමිඳාණෝ රජකම් කරන සේක;
නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත; එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක.
11 සගලොව ප්‍රීති ප්‍රමෝද වේ වා!
නරලොව තුටු පහටු වේ වා!
සමුදුරත් එහි ඇති සියල්ලත් ගිගුරුම් දේ වා!
12 කෙත්වතු සහ එහි ඇති සියල්ලත් ප්‍රීතිමත් වේ වා!
එවිට වන රොදෙහි ගස්කොළන් ප්‍රීති නාද දෙන්නේ ය.
13 සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය;
එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”

– 97 වන පරිච්ඡේදය –

සමිඳුන්ගේ රාජ බලය

1 සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා!
දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා!
2 වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.
3 එතුමාණන් පෙරටුවෙන් ගින්නක් යන්නේ ය;
එය එතුමන් සිසාරා සිටින සතුරන් දවාලන්නේ ය.
4 එතුමන්ගේ විදුලිසැර කෙටීම ලෝකයට ආලෝකය දෙයි;
පොළොව එය දැක කම්පා වෙයි.
5 කඳු හෙල් සමිඳාණන් දැක ඉටි මෙන් උණු වන්නේ ය;
මුළු මිහිතලය ද සමිඳුන් දැක එසේ වන්නේ ය.
6 දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය;
සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය.
7 රූප වඳින්නෝ ද පිළිම ගැන පාරට්ටු කරන්නෝ ද ලජ්ජා වෙත් වා!
සියලු දෙවි දේවතාවෝ දෙවිඳුන්ට හිස නමත් වා!
8 සියොන් කන්ද ඊට සවන් දී තුටින් ඉපිලේ වා!
සමිඳුනි, ඔබේ දේව පරිපාලනය නිසා ජුදාහි නගර සතුටු වේ වා!
9 සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළො‍් තලයට ශ්‍රේෂ්ඨ වන සේක;
සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක.
10 සමිඳුනි, ඔබ නපුරට වෛර කරන්නන්ට ප්‍රේම කරන සේක;
ඔබට ගැති වූවන්ගේ ජීවිත ඔබ ආරක්ෂා කරන සේක;
දුෂ්ටයාගේ බලයෙන් ඔබ ඔවුන් මුදාලන සේක.
11 දැහැමියන් මත එළිය බබළයි;
යහපත් අය මත සතුට දිළිසෙයි.
12 සැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!
එතුමන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමන්ට ප්‍රශංසා කරත් වා!

– 98 වන පරිච්ඡේදය –

සමිඳුන්ගේ රාජශ්‍රීය වර්ණනා කිරීම

1 සමිඳුන්ට නව ගීයක් ගයන්න;
මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක.
සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.
2 සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක;
විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.
3 එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්,
විශ්වාසවන්තකමත් සිහි කළ සේක.
මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
4 එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න;
ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
5 වීණාව වයමින් සමිඳුන්ට ගී ගයන්න;
වීණාවෙන් ද ගී නාදයෙන් ද ප්‍රශංසා කරන්න.
6 හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.
7 මුහුද ද එහි ඇති සියල්ල ද ගර්ජනා කෙරේ වා!
ලෝකය ද එහි වැසියෝ ද ගී ගයත් වා!
8 ගංගා අත් පොළසන් දේ වා!
කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා!
9 මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක;
එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.

– 99 වන පරිච්ඡේදය –

ශ්‍රේෂ්ඨ දෙවි රජාණෝ

1 සමිඳාණෝ රජකම් කරන සේක.
විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය.
එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක.
මිහිතලය කම්පා වන්නේ ය.
2 සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක;
සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක.
3 අති උතුම් තෙද බලැති එතුමන්ගේ නාමය සියල්ලෝ පසසන්නෝ ය.
එතුමාණෝ සුවිශුද්ධ වන සේක.
4 අති බලසම්පන්න රජාණන් වහන්ස, ඔබ යුක්තියට ප්‍රේම කරන සේක,
ඔබ ඉශ්රායෙල්හි සාධාරණකම පිහිටෙවු සේක;
ඔබ දැහැමිකම සහ යුක්තිය ඉටු කළ සේක.
5 අපේ දෙවි සමිඳුන් උසස් කොට පසසන්න;
එතුමන්ගේ පාපුටුව ළඟ වැඳ වැටෙන්න;
එතුමාණෝ සුවිශුද්ධ වන සේක.
6 එතුමන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ.
එතුමන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය.
ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.
7 වලා ටැඹෙන් එතුමාණෝ ඔවුන්ට කතා කළ සේක.
එතුමන් ඔවුන්ට දුන් අණපණත් ද නීති ද ඔව්හු ඉටු කළෝ ය.
8 අපේ දෙවි සමිඳුනි, ඔබ ම ඔවුන්ට පිළිතුරු දෙන සේක.
ඔබ ඔවුන්ට දැඩි ලෙස දඬුවම් දුන් නමුත්, කමා කරන දෙවිඳුන් ඔබ බව ඔවුන්ට පෙන්වූ සේක.
9 අපේ දෙවි සමිඳුන් පසසන්න, එතුමන්ගේ ශුද්ධ කන්ද ළඟ වැඳ වැටෙන්න.
අපේ දෙවි සමිඳාණෝ සුවිශුද්ධ ය.

– 100 වන පරිච්ඡේදය –

තුති දීමේ ගීතයකි

1 මුළු පොළො‍් වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2 සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න.
3 සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න.
අප මැව්වේ එතුමාණෝ ය;
අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය.
එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
4 තුති පුදා, එතුමන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා,
එතුමන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
5 මන්ද, සමිඳාණෝ යහපත් ය;
එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය;
සදහට ම පවත්නේ ය.
පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.

– 101 වන පරිච්ඡේදය –

යහපත් රජ කෙනෙකුගේ ගුණ දහම්

දාවිත්ගේ ගීතයකි.
1 කරුණාව හා යුක්තිය ගැන මම ගී ගයන්නෙමි;
සමිඳුනි, ඔබ හට පැසසුම් ගී ගයන්නෙමි.
2 නිදොස් මඟෙහි සිහි නුවණින් ගමන් කරන්නෙමි.
ඔබ කවදා මා වෙත වඩින සේක් ද?
පිරිසිදු සිතින් මාගේ නිවෙසහි මම වාසය කරන්නෙමි.
3 මාගේ ඇස් කිසි නීච දෙයක් කෙරෙහි නොරඳවන්නෙමි.
දෙවිඳුන් කෙරෙන් ඈත් වන්නන්ගේ ක්‍රියා මම නුරුස්සන්නෙමි.
ඒවාට මම ඇලුම් නොවන්නෙමි.
4 සියලු වංක සිතුවිලි මම ප්‍රතික්ෂේප කරන්නෙමි;
නපුරට මම කිසි විටෙක හවුල් නොවන්නෙමි.
5 සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි;
උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.
6 මා සමඟ වසන පිණිස මම දේශයෙහි සැදැහැවතුන් තෝරාගතිමි.
නිදොස් ලෙස දිවි ගෙවන්නෝ මාගේ සේවකයෝ වන්නෝ ය.
7 වංචනික කිසිවෙක් මාගේ නිවෙසෙහි නොවසන්නේ ය.
මුසාවාදී කිසිවෙක් මා ඉදිරියෙහි නොසිටින්නේ ය.
8 දිනෙන් දින දේශයේ සියලු දුදනන් මම වනසන්නෙමි.
අයුතුකම් කරන සියල්ලන් මම සමිඳුන්ගේ නුවරින් නෙරපාදමන්නෙමි.

– 102 වන පරිච්ඡේදය –

විපතේ දී යැදුමක්

තද විපතින් ක්ලාන්ත භාවයට පත් ව තමාගේ දුක්ගැනවිලි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වැගිරෙව් කෙනෙකුගේ යැදුමකි.
1 සමිඳුනි, මාගේ යැදුම ඇසුව මැනව.
මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා!
2 මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව;
යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව.
3 මන්ද, මාගේ දවස් දුම් මෙන් පහ වී යයි, මාගේ ඇටකටු ගිනි උදුනක් මෙන් දැවෙයි.
4 මාගේ සිත තණ කොළ මෙන් තැළී වියළී ඇත.
ආහාර ගැනීමට වත් මට රුචියක් නැත.
5 මම මහා හඬින් සුසුම්ලමින් සිටිමි.
මාගේ ඇටකටු හමට ම ඇළී ඇත.
6 මම මරු කතරේ වසන කරවැල් කොකෙකුට සමාන වෙමි;
මම පාළු තැන්හි වසන බකමූණෙකු මෙන් වෙමි.
7 මම නොනිදා සිටිමි;
වහල උඩ තනි ව වැලපෙන කුරුල්ලෙකුට සමාන වෙමි.
8 දවස මුළුල්ලේ මාගේ සතුරෝ මට නින්දා කරති;
මට අපහාස කරන්නෝ සාප කිරීමට මාගේ නාමය යොදා ගනිති.
9 මාගේ කෑම අළු ය;
මාගේ බීම කඳුළින් මුසු ය.
10 එසේ වී ඇත්තේ, ඔබේ කෝපය හා උදහස නිසා ය;
ඔබ මා උසස් කොට පහතට හෙළා ඇති නිසා ය.
11 මාගේ ජීවිත කාලය සැඳෑ සෙවණැලි වැනි ය,
මම තණ පත් මෙන් වියළී සිටිමි.
12 එහෙත් සමිඳුනි, ඔබ සදහට සිහසුන් අරා වැඩ සිටින සේක;
හැම පරපුරක් ම ඔබ සිහි කරනු ඇත.
13 ඔබ පිබිද සියොන්ට කරුණා කරන සේක.
ඊට අනුකම්පා කළ යුතු කාලය දැන් ය;
නියම කාලය පැමිණ තිබේ.
14 සියොන්හි ගල්වලට සේවකයෝ ප්‍රිය කරන්නෝ ය.
ඔව්හු එහි දූවිල්ලට පවා අනුකම්පා කරන්නෝ ය.
15 එහෙයින් විජාතීහු සමිඳුන්ගේ නාමයටත් බිය වන්නෝ ය;
පොළොවේ සියලු රජවරු ඔබේ මහිමයට බිය වන්නෝ ය.
16 සමිඳාණෝ සියොන් යළි ගොඩනඟන සේක;
සිය මහිමාලංකාරයෙන් ප්‍රකාශ වන සේක.
17 එතුමාණෝ අසරණයන්ගේ යැදුමට සවන් දෙන සේක;
ඔවුන්ගේ යැදුම හෙළා නොදකින සේක.
18 මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස,
මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා!
19 සමිඳාණෝ සිය ශුද්ධස්ථානයේ සිට පහත බැලූ සේක;
එතුමාණෝ ස්වර්ගයේ සිට පොළොව දෙස බැලූ සේක.
20 එසේ කෙළේ, සිරකරුවන්ගේ දුක් සුසුම් අසන්න ය;
මරණයට නියම වූවන් මුදන්න ය.
21 ජනයෝ සියොන්හි දී සමිඳුන්ගේ නාමයත් ජෙරුසලමේ දී එතුමන්ගේ ප්‍රශංසාවත් පළ කරන්නෝ ය.
22 රාජ්‍යයෝ ද මිනිස් සංහතිය ද සමිඳුන්ට මෙහෙ කිරීමට එක් රැස් වන සෑම විට එසේ කරන්නෝ ය.
23 එතුමාණෝ තරුණ වියේ දී මාගේ ශක්තිය හීන කළ සේක;
මාගේ ජීවිත කාලය කෙටි කළ සේක.
24 මම ද කතා කොට මෙසේ කීවෙමි:
”අහෝ මාගේ දෙවිඳුනි!
මා වයස්ගත වන්න පෙර මා පහ නොකළ මැනව.
සමිඳුනි, ඔබ සදහට ම ජීවත් වන සේක.”
25 ආදියේ දී ඔබ පොළොවේ පදනම ලූ සේක.
අහස් ගැබ ඔබේ දෑතින් සාදන ලද්දේ ය.
26 ඒවා විනාශ වන්නේ ය;
එහෙත්, ඔබ ජීවත් වන සේක.
එසේ ය, ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පැරණි වන්නේ ය.
උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරු කරන සේක.
ඒවා ද පහ වී යන්නේ ය.
27 එහෙත්, ඔබ ඒකාකාර ම ය, ඔබේ ජීවිතය නිම නොවන්නේ ය.
28 ඔබේ මෙහෙකරුවන්ගේ දරුවෝ සුරැකි ව සිටින්නෝ ය.
ඔවුන්ගේ පරපුර ද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේ ය.

– 103 වන පරිච්ඡේදය –

දේව ප්‍රේමය

1 මාගේ සිත, සමිඳුන් පසසන්න;
හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න.
2 මාගේ සිත, සමිඳුන් පසසන්න;
එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.
3 එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක;
මාගේ සියලු රෝග සුව කරන සේක.
4 මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක;
ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක.
5 රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස,
දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.
6 සමිඳාණෝ සාධාරණ ලෙස ක්‍රියා කරන සේක.
පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක.
7 සමිඳාණෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත්, තම බලවත් ක්‍රියා ඉශ්රායෙල් සෙනඟටත් දැක් වූ සේක.
8 සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය;
නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය.
9 එතුමාණෝ නිතර තරවටු නොකරන සේක;
සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක.
10 එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක;
අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.
11 මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
12 නැගෙනහිරෙන් බටහිර ඈත් ව තිබෙන්නාක් මෙන් එතුමාණෝ අපේ පාප අපෙන් දුරු කරන සේක.
13 පියෙකු දරුවන්ට අනුකම්පා කරන සේ සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට අනුකම්පා කරන සේක.
14 මන්ද, එතුමාණෝ අපේ ස්වරූපය දන්න සේක;
අප ධූලි බව සිහි කරන සේක.
15 මිනිසාගේ ජීවිත කාලය තණ පත් වැනි ය, ඔහු කෙතේ කුසුමක් මෙන් සරු ලෙස වැඩේ;
16 එහෙත්, සුළං පහර වැදී එය නැති වී යයි;
එය තිබුණ තැන වත් දක්නට නොලැබේ.
17 සමිඳුන්ගේ තිර පෙම, තමන්ට ගරුබිය පාන අය කෙරෙහි සදාකාලයෙන් සදාකාලයට වේ.
18 එතුමන්ගේ ගිවිසුම රක්ෂා කරන්නන්ටත්, එතුමන්ගේ ශික්ෂාවන් ඉටු කිරීමට ඒවා මෙනෙහි කරන්නන්ටත්,
එතුමන්ගේ දමිටුකම පරපුරෙන් පරපුරට පවත්නේ ය.
19 සමිඳාණෝ සිය සිහසුන සගලොවෙහි පිහිටෙවු සේක.
එතුමන්ගේ රාජ්‍යය ද සියල්ලන් කෙරෙහි බල පවත්වයි.
20 සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමන්ගේ වචනයට සවන් දෙන, එතුමන්ගේ බලවන්ත දූතයෙනි, එතුමන් පසසන්න.
21 සමිඳුන්ගේ සේනා සියල්ලෙනි, එතුමන්ගේ කැමැත්ත ඉටු කරන මෙහෙකරුවෙනි, සමිඳුන් පසසන්න.
22 සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමන් පසසන්න.
මාගේ සිත, සමිඳුන් පසසන්න.

– 104 වන පරිච්ඡේදය –

මැවුම්කරුට ප්‍රශංසාවක්

1 මාගේ සිත, සමිඳුන් පසසන්න.
මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.
2 ඔබ ආලෝකය නමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටින සේක;
වියනක් මෙන් අහස විහිදාලන සේක.
3 ඔබේ මාලිගාව ඉහළ දිය කඳ මත පිහිටුවන සේක;
වලාකුළු ඔබේ රිය කරගන්න සේක.
4 සුළඟ ඔබේ දූතයන් ද ගිනි දලු ඔබේ සේවකයන් ද කරගන්න සේක.
5 පොළොව කිසි කලෙක නොසැලෙන ලෙස එය තිර පදනමක් මත පිහිටෙවූ සේක.
6 උතුරු සළුවකින් මෙන් මහා සයුරෙන් ඔබ එය වැසූ සේක;
ජලයෙන් කඳු හෙල් වැසී ගියේ ය.
7 ඔබේ තරවටුවෙන් ජලය පලා ගියේ ය;
ඔබේ තර්ජනයෙන් එය යුහුව ගලා ගියේ ය.
8 ජලය කඳු උඩින් ගලා ගියේ ය.
ඔබ සූදානම් කළ ස්ථානය වන මිටියාවතට එය බැස ගියේ ය.
9 ජලයෙන් පොළොව යළිත් වැසී නොයන පිණිස ඉක්මවා ගිය නොහැකි සීමාවක් ඔබ එයට නියම කළ සේක.
10 සමිඳාණෝ මිටියාවත්වල උල්පත් හටගන්වන සේක.
ඒවා කඳු අතරේ ගලා යයි.
11 ඒවා සියලු වන සතුන්ට බීමට දිය දෙයි;
වල් කොටළුවෝ එයින් පිපාසා සංසිඳුවා ගනිති.
12 ඒවා අසල, අහසේ පක්ෂීහු කැදලි සාදති;
අතු අතරේ ගී නද දෙති.
13 එතුමාණෝ අහස් තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක.
එතුමන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේ ය,
14 එතුමාණෝ, සිවුපාවුන්ට තණ කොළත්, මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලසන සේක.
මිනිසාට ආහාර නිපදවන සේක.
15 තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.
16 සමිඳුන් ම පැළ කරවූ ලෙබනොන්හි කිහිරි ගස්,
සමිඳුන්ගේ ම ඒ ගස් බොහෝ වතුර ලබයි.
17 කුරුල්ලෝ ඒ ගස්වල කූඩු සාදාගනිති.
මාන කොක්කු දේවදාර ගස් මුදුන්හි කැදලි තනාගනිති.
18 වල් එළුවන්ගේ වාසය උස් කඳුවල වේ.
සාවුන්ගේ රැකවරණය පර්වත වේ.
19 මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක;
බැස යා යුතු වේලාව හිරු දනියි.
20 ඔබ අඳුර පමුණුවන සේක;
එවිට රැය වේ.
එකල සියලු වන මෘගයෝ බැහැරට එති.
21 සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති.
උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති.
22 හිරු උදා වන කල ඒ සත්තු ආපසු යති;
ගුහාවලට වැද ලැගුම් ගනිති.
23 එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි.
24 සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද?
ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක.
පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;
25 අර තිබෙන්නේ සුවිසල් සාගරය!
එහි ලොකු කුඩා සත්ත්වයෝ ගණන ඉක්මවා සැරිසරති.
26 එහි ඔබමොබ නැව් යාත්‍රා කරයි;
ඔබ මැවූ ලෙවියාතන් නම් මුහුදු සර්පයා එහි ක්‍රීඩා කරයි.
27 උන්ගේ කෑම නියම කලට ලබන පිණිස උන් සියලු දෙන ඔබ දෙස බලා සිටිති.
28 ඔබ උන්ට දෙන දේ උන් එකතු කර ගනිති.
ඔබේ අත විදහන විට උන් කුසගින්න නිවාගනිති.
29 ඔබේ මුහුණ ඔබ සඟවන කල උන් කැළඹෙති.
ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී, දූවිලි බවට හැරී යති.
30 එහෙත්, ඔබ උන්ට හුස්ම දෙන කල උන් යළිත් මවනු ලබති.
ඔබ පොළො‍් තලයට නව දිවියක් දෙන සේක.
31 සමිඳුන්ගේ මහිමය සදහට ම පවතී වා!
සමිඳාණෝ තමන් මැවූ සියල්ල ගැන සතුටු වෙත් වා!
32 එතුමාණන් පොළොව දෙස බලන කල එය කම්පා වේ;
කඳු ස්පර්ශ කරන කල ඒවායින් දුම් නඟියි.
33 මම දිවි ඇති තාක් සමිඳුන්ට ගී ගයන්නෙමි;
පණ ඇති තාක් දෙවිඳුන්ට පසස් ගී ගයන්නෙමි.
34 මාගේ භාවනාව සමිඳුන්ට ප්‍රසන්න වේ වා!
මන්ද, මගේ ප්‍රීතිය එන්නේ එතුමන්ගෙන් ය.
35 පව්කාරයෝ පොළො‍් තලයෙන් විනාශ වී යත් වා!
දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා!
මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා!
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

– 105 වන පරිච්ඡේදය –

ප්‍රශංසා ගීයක්

1 සමිඳුන්ට තුති පුදන්න, එතුමන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න.
2 එතුමන්ට ගී ගයන්න;
එතුමන්ට පසස් ගී ගයන්න;
එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.
3 එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න;
සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!
4 සමිඳාණන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න;
එතුමාණන් හමුව නිතර ම සොයන්න.
5-6 එතුමන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි,
එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
7 එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ විනිසය මුළු පොළොවෙහි ය.
8 එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.
9 ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක. ඊසාක්ට ද දිවුරුම් දුන් සේක.
10 එය, එතුමාණෝ ජාකොබ්ට පණතක් ද ඉශ්රායෙල්ට සදාකාල ගිවිසුමක් ද කොට ස්ථිර කරමින්,
11 ”නුඹලාගේ උරුමය වශයෙන් කානාන් දේශය නුඹලාට දෙන්නෙමි”යි වදාළ සේක.
12 ඔව්හු ගණනින් ස්වල්ප දෙනෙකු වී, ඉතා ස්වල්ප දෙනෙකු වී එහි ආගන්තුකයන් වී සිටියෝ ය.
13 ඔව්හු ජාතියකින් ජාතියකට ද රාජ්‍යයකින් රාජ්‍යයකට ද සැරිසරමින් ගියෝ ය.
14 එකල්හි, ඔවුන්ට තාඩන පීඩන කරන්න එතුමාණෝ කිසිවෙකුට ඉඩ නුදුන් සේක. එසේ ය,
එතුමාණෝ රජුන්ට පවා තරවටු කොට,
15 ”මාගේ අබිසෙස් ලත් අයට අත නොගසන්න.
මාගේ දිවැසිවරුන්ට, අනතුරු නොකරන්නැ”යි වදාළ සේක.
16 සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක;
කෑම අහේනියක් ඇති කරවූ සේක.
17 එහෙත්, එතුමාණෝ ඔවුන්ට පෙරටු ව මිනිසෙකු යැවූ සේක.
එනම්, වහල්කමට විකුණන ලද ජෝසෙප් ය.
18 ඔහුගේ පාදවලට විලංගු දමන ලදී;
ගෙල වටා යකඩ වළල්ලක් දමන ලදී.
19 ඔහු කී අනාගත කීම ඉටු වන තුරු සමිඳුන්ගේ අතින් ඔහු පරීක්ෂා කරන ලදී.
20 එවිට මිසරයේ රජ ඔහු මුදා හරින්නට අණ කෙළේ ය.
ජාතීන්ගේ පාලකයා ඔහු නිදහස් කෙළේ ය.
21 රජතුමා රාජකාරිය ඔහුට භාර දුන්නේ ය.
මුළු දේශයේ ආණ්ඩුකාරයා ලෙස ඔහු පත් කෙළේ ය.
22 රජතුමා නිලධාරීන්ට නිදහසේ උවදෙස් දීම ඔහුට පැවැරී ය.
මන්ත්‍රීවරුන්ට අනුශාසනා දීමේ අවසර ඔහුට ලැබුණේ ය.
23 ඉන්පසු ජාකොබ් මිසරයට ගියේ ය.
ඔහු ඒ රටේ පදිංචි විය.
24 සමිඳාණෝ ඔහුගේ සෙනඟට බොහෝ දරුවන් දුන් සේක;
ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන් බලවත් කළ සේක.
25 ඔහුගේ සෙනඟට ද්වේෂ කරන්නත්, ඔහුගේ සේවකයන් වංචාවෙන් රවටන්නත් සමිඳාණෝ මිසර වැසියන් පෙළඹවූ සේක.
26 එවිට සිය සේවක මෝසෙස් ද තමන් තෝරාගත් ආරොන් ද සමිඳාණෝ යැවූ සේක.
27 ඔව්හු දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා කළෝ ය;
මිසරයේ අසිරිමත් ක්‍රියා කළෝ ය.
28 සමිඳාණෝ දේශයට අන්ධකාරය එවා එය අඳුරු කළ සේක.
එහෙත්, මිසර වැසියෝ එතුමන්ගේ අණට කීකරු නො වූ හ.
29 එතුමාණෝ ඔවුන්ගේ ගංගා ලේ බවට හැරෙවු සේක;
එහි විසූ සියලු මසුන් මැරූ සේක.
30 ඔවුන්ගේ දේශය මැඩියන්ගෙන් වැසී ගියේ ය;
රජ මැදුර පවා උන්ගෙන් පිරී ගියේ ය.
31 එතුමන් අණ කළ විට මුළු දේශය මැස්සන්ගෙන් හා කිනිතුල්ලන්ගෙන් පිරී ගියේ ය.
32 එතුමාණෝ වැසි වෙනුවට ගල් වැසි ද විදුලි කෙටීම් ද ඔවුන්ගේ දේශයට එවූ සේක.
33 එතුමාණෝ ඔවුන්ගේ මිදිවැල් හා අත්තික්කා ගස්වලට පහර දී ඔවුන්ගේ දේශ සීමා තුළ සියලු ගස් බිඳ හෙළූ සේක.
34 එතුමාණන් අණ කළ විට පළඟැටියෝ ද අසංබ්‍ය ගණන් දළඹුවෝ ද ආවෝ ය.
35 උන් ඔවුන්ගේ දේශයෙහි සියලු පලා ජාති කෑහ;
ඔවුන්ගේ කෙත්හි ගොයම් කාදැමූ හ.
36 එතුමාණෝ ඔවුන්ගේ පුරුෂ ශක්තියේ නිධානයන් වූ ප්‍රථම ඵලයන් වූ මිසර දේශයේ සියලු කුලුඳුලන් මරාදැමූ සේක.
37 එවිට, එතුමාණෝ ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ රන් රිදී සමඟ පිටතට ගෙනා සේක.
ඔවුන්ගේ ගෝත්‍ර අතර එක දුබලෙයක් වත් නො වී ය.
38 ඔවුන් පිටත් ව ගිය කල මිසර වැසියෝ සතුටු වූ හ.
මන්ද, ඔව්හු ඉශ්රායෙල් සෙනඟට බියෙන් සිටියහ.
39 සමිඳාණෝ සිය සෙනඟට ආවරණයක් ලෙස වලාකුළක් විහිදා හැරිය සේක.
රෑ කාලයේ එළිය දෙන පිණිස ගින්නක් ද දුන් සේක.
40 ඔවුන් ඉල්ලූ කල එතුමාණෝ වටුවන් එවූ සේක.
එතුමාණෝ ඔවුන්ට සුරලොවින් බහුල ව අහර දුන් සේක.
41 එතුමාණෝ පර්වතය විවර කළ සේක;
එවිට ජලය වේගයෙන් පැන නැංගේ ය.
ගංගාවක් මෙන් මරුකතර මැදින් ජලය ගලා ගියේ ය.
42 එතුමාණෝ සිය මෙහෙකරු ආබ්‍රහම් ද ඔහුට දුන් ශුද්ධ ගිවිසුම ද සිහි කළ සේක.
43 මෙසේ එතුමාණෝ සිය සෙනඟ පිටත ගෙන ගිය සේක.
ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නඟා ගී ගැයූ හ.
44 එතුමාණෝ විජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන් සේක;
විජාතීන්ගේ කෙත් වතුවල අස්වැන්න ගන්නට ඔවුන්ට ඉඩ දුන් සේක.
45 එසේ කෙළේ, ඔවුන් එතුමන්ගේ අණපණත් රක්ෂා කරන පිණිස ය,
එතුමන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

– 106 වන පරිච්ඡේදය –

ජාතික පාපෝච්චාරණයක්

1 සමිඳුන් පසසන්න;
සමිඳුන්ට තුති පුදන්න;
මන්ද, එතුමාණෝ යහපත් ය;
එතුමන්ගේ තිර පෙම සදහට ම පවතින්නේ ය.
2 සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද?
3 යුක්තිය රක්නා අය ද හැම කල්හි දමිටුකම් කරන අය ද භාග්‍යවන්තයෝ ය.
4 සමිඳුනි, ඔබේ සෙනඟට කරුණාව දක්වන විට මා සිහි කළ මැනව;
ඔවුන් ගළවන විට මට උපකාර කළ මැනව.
5 ඔබේ තෝරාගත් සෙනඟගේ ශුභසිද්ධිය දකින්නත්, ඔබට අයිති අය සමඟ ජය ගී ගයන්නත්, ඔබේ උරුමයෙන් මහිමය ලබන්නත් මට ඉඩ දුන මැනව.
6 අපි අපේ පියවරුන් මෙන් පව් කෙළෙමු;
නපුරුකම් කෙළෙමු;
දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු.
7 අපේ පියවරු මිසරයේ දී ඔබේ පුදුම ක්‍රියා තේරුම් නොගත්තෝ ය.
ඔබේ අසීමිත ප්‍රේමය සිහි නොකළෝ ය.
රතු මුහුද ළඟ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.
8 එසේ වුව ද එතුමාණෝ සිය බල විකුම් දක්වන පිණිස තම නාමයේ අනුහසින් ඔවුන් ගැළවූ සේක.
9 එතුමාණෝ රතු මුහුදට තරවටු කළ සේක;
එය වියළුණේ ය.
වැලිකතරක් මැදින් මෙන් මුහුද මැදින් ඔවුන් ගෙන ගිය සේක.
10 ඔවුන්ට වෛර වූ අයගේ අතින් ඔවුන් ගැළවූ සේක;
සතුරන් අතින් ඔවුන් මිදූ සේක.
11 ජල කඳ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තේ ය;
එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.
12 එවිට, ඔව්හු එතුමන්ගේ පොරොන්දු විශ්වාස කළෝ ය;
එතුමන් හට පැසසුම් ගී ගැයූ හ.
13 එහෙත්, ඔව්හු එතුමන්ගේ ක්‍රියා වහා අමතක කළෝ ය;
එතුමන්ගේ අවවාද නොතකා ක්‍රියා කළෝ ය.
14 ඔව්හු පාළුකරයේ දී අධික ලෙස තෘෂ්ණාවෙන් පිරී දෙවිඳුන්ට අභියෝග කළෝ ය.
15 ඒ නිසා ඔවුන් ඉල්ලූ දේ එතුමාණෝ ඔවුන්ට දුන් සේක:
එහෙත්, ඔවුන් වනසන රෝගයක් ද එවූ සේක.
16 කඳවුරේ දී, ඔව්හු මෝසෙස්ටත්, සමිඳුන්ගේ ශුද්ධ තැනැත්තා වූ ආරොන්ටත් ඊර්ෂ්‍යා කළෝ ය.
17 එවිට පොළොව විවර වී දාතාන් ගිලගත්තා ය;
අබිරාම් සහ ඔහුගේ සෙනඟ පසට යට කළා ය.
18 ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේ ය.
ගිනිදැල් දුෂ්ටයන් දවාදැමී ය.
19 ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය.
20 මෙසේ ඔව්හු, දෙවිඳුන්ගේ මහිමය තණ බුදින ගවයෙකුගේ ස්වරූපයට වෙනස් කළෝ ය.
21 මිසරයේ දී බලවත් ක්‍රියා කර, ඔවුන් ගළවාගත් දෙවිඳුන් ඔව්හු අමතක කළෝ ය.
22 එතුමාණෝ, ඒ දේශයේ දී අරුමපුදුම ක්‍රියා ද රතු මුහුද ළඟ බියකරු ක්‍රියා ද කළ තැනැන් වහන්සේ නොවන සේක් ද?
23 එබැවින් එතුමාණෝ ඔවුන් විනාශ කරන බව වදාළ සේක.
එහෙත්, එතුමාණන් ඔවුන් විනාශ නොකරන ලෙස, දේව උදහස පහකරන පිණිස, එතුමාණන් තෝරාගත් මෝසෙස් එතුමාණන් ඉදිරියේ මැදහත් වූයේ ය.
දේව කෝපයෙන් ඔවුන් විනාශ කිරීම වැළැක්විය.
24 එවිට ඔව්හු සුන්දර දේශය හෙළා දැක්කෝ ය, මන්ද, එතුමන්ගේ පොරොන්දුව ඔව්හු විශ්වාස නොකළෝ ය.
25 ඔව්හු තමන්ගේ කූඩාරම්වල දී මැසිවිලි දෙඩුවෝ ය;
සමිඳුන්ගේ හඬට සවන් නුදුන්නෝ ය.
26-27 එබැවින්, ඔවුන් පාළුකරයේ දී මරා දමන බවත්, ඔවුන්ගේ සෙනඟ විජාතීන් අතරේ මිය යාමට සලසන බවත්, දේශවල ඔවුන් විසුරුවා හරින බවත් වදාරා එතුමාණෝ අත ඔසවා
දිවුළ සේක.
28 එවිට ඔව්හු පෙයොර්හි බාල් නමස්කාරයට රැස් වූවෝ ය;
මළවුන්ට පිදූ දේ කෑවෝ ය.
29 මෙසේ ඔව්හු තමන්ගේ ක්‍රියාවලින් එතුමාණන් කුපිත කළහ.
ඒ නිසා වසංගතයක් ඔවුන් අතරට පැමිණියේ ය.
30 එවිට, පිනෙහාස් නැඟිට ඔවුන් අතරෙන් වරදකරුවන්ට නිසි දඬුවම් දුන්නේ ය.
මෙසේ වසංගතය නතර විය.
31 පරපුරෙන් පරපුරට සදහට ම ඔහුගේ දැහැමි ගුණයක් වශයෙන් මෙය සිහිකරනු ඇත.
32 සෙනඟ මෙරිබාහි දිය උල්පත ළඟදීත් එතුමාණන් කෝප කළහ.
එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට දුක් කරදර ඇති විය.
33 එසේ වූයේ, ඔවුන් ඔහුගේ සිත අතිශයෙන් රිදවූ නිසා, ඔහු සිය මුවින් අනුවණ ලෙස කතා කළ බැවිනි.
34 සමිඳුන් ඔවුන්ට අණ කළ ලෙස ඔව්හු විජාතීන් විනාශ නොකළෝ ය.
35 ඔවුන් සමඟ මිශ්‍ර විවාහ කරගෙන විජාතීන්ගේ ක්‍රියා කරන්න ඔව්හු ඉගෙනගත්තෝ ය.
36 ඔව්හු ඔවුන්ගේ රූපවලට නමස්කාර කළෝ ය.
ඒවා ඔවුන්ට මලපතක් විය.
37 ඔව්හු තමන්ගේ දරුදැරියන් යක්ෂයන්ට පූජා කළෝ ය.
38 ඔව්හු තම දූ පුතුන්ගේ නිදොස් ලේ වැගිරෙව්වෝ ය;
ඒ දූ දරුවෝ කානානි රූපවලට යාගකරනු ලැබුවෝ ය;
දේශය ද ඒ ලෙයින් දූෂණය විය.
39 මෙසේ ඔව්හු මෙවැනි ක්‍රියාවලින් අපිරිසිදු වූ හ.
ඔව්හු දෙවිඳුන් හට විශ්වාසී ව නොසිට වෙසඟනන් මෙන් හැසුරුණෝ ය.
40 එබැවින් සමිඳුන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධ ව ඇවුළුණේ ය.
එතුමාණෝ තමන් උරුම කරගත් දේශය පිළිකුල් කළ සේක.
41 එතුමාණෝ විජාතීන් අතට ඔවුන් පාවා දුන් සේක.
ඔවුන්ට වෛර කළ අය ඔවුන් පාලනය කළෝ ය.
42 ඔවුන්ගේ සතුරෝ ද ඔවුන්ට පීඩා කළෝ ය;
ඔව්හු සතුරන්ගේ බලයට යටත් කරනු ලැබුවෝ ය.
43 එතුමාණෝ බොහෝ වර සිය සෙනඟ මිදූ සේක.
එහෙත්, ඔව්හු ඉන් පසුත් අකීකරු ව කැරලි ගැසූ බැවින්,
සිය අයුතුකම නිසා නින්දා කරනු ලැබුවෝ ය.
44 එසේ වී නමුත්, එතුමාණෝ ඔවුන්ගේ විලාපය ඇසූ සේක;
ඔවුන්ගේ විපත්තිය සලකා බැලූ සේක.
45 ඔවුන් සමඟ කළ ගිවිසුම සිහි කළ සේක;
තමන්ගේ මහා කරුණාව නිසා ඔවුන්ට අනුකම්පා කළ සේක.
46 ඔවුන් වහල්කමට ගෙන ගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැසූ සේක.
47 අපේ දෙවි සමිඳුනි, අප ගළවාගත මැනව;
විජාතීන් අතරෙන් අප එක් රැස් කරගත මැනව.
එවිට ඔබේ ශුද්ධ නාමයට තුති පුදන්නෙමු;
ඔබ පසසමින් ප්‍රීති වන්නෙමු.
48 ඉශ්රායෙල් දෙවි සමිඳුන්ට සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා!
මුළු සෙනඟ ආමෙන් කියත් වා!
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

– 107 වන පරිච්ඡේදය –

පස් වන කාණ්ඩය
(ගීතිකා 107-150)
සමිඳුන්ගේ කරුණාව පැසසීම

1 සමිඳුන් හට තුති පුදන්න.
එතුමාණෝ යහපත් ය;
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
2 සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා!
මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක.
3 එතුමාණෝ විදෙස් රටවලින් ද නැගෙනහිරෙන් හා බස්නාහිරෙන් ද උතුරෙන් හා දකුණෙන් ද ඔවුන් එක් රැස් කළ සේක.
4 සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ.
විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය.
5 සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ.
6 එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ.
එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක.
7 වාසය කිරීමට සුදුසු නුවරකට පැමිණෙන තුරු එතුමාණෝ හරි මඟකින් ඔවුන් ගෙන ගිය සේක.
8 සමිඳුන්ගේ තිර පෙම ගැන ද මිනිසුන්ට කළ පුදුම දේ ගැන ද ඔව්හු එතුමන්ට පැසසුම් කරත් වා!
9 මන්ද, එතුමාණෝ පිපාසිත වූවන් තෘප්තියට පමුණුවන සේක;
සාගිනි වූවන් යහපත් දෙයින් පිනවන සේක.
10 සමහරු තිත්ත කළුවරෙහි ලැගුම් ගත්හ;
පීඩනයට භාජන වී සිරගත වූ හ.
11 මන්ද, ඔව්හු දෙවිඳුන්ගේ ආඥාවට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය;
මහෝත්තමයාණන්ගේ උපදෙස් හෙළා දුටුවෝ ය.
12 බර වැඩ නිසා ඔව්හු අධික වෙහෙසට පත් වූ හ.
ඔව්හු ඇද වැටුණෝ ය, පිහිට වන්න කිසිවෙක් නො වූ හ.
13 එවිට ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසුවෝ ය.
එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් ගළවාගත් සේක.
14 එතුමාණෝ තිත්ත කළුවරින් ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ යදම් බිඳදැමූ සේක.
15 සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!
16 මන්ද, එතුමාණෝ ලෝකඩ දොරටු බිඳදැමූ සේක;
යකඩ පොලු කපාදැමූ සේක.
17 ඇතැම් අනුවණයෝ තමන්ගේ අපරාධ නිසාත්,
අයුතුකම් නිසාත් පීඩා විඳිති.
18 ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රිය වේ;
ඔව්හු මරුමුවට ළං ව සිටියෝ ය.
19 එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ.
එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් ගළවාගත් සේක.
20 එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක.
ඔවුන් මරණින් ගොඩගත් සේක.
21 සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!
22 ඔව්හු තුති පූජා පුදත් වා!
ප්‍රීති ගී ගයා එතුමන්ගේ ක්‍රියා ප්‍රකාශ කරත් වා!
23 සමහරු නැව්වලින් සමුදුර තරණය කරති;
මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති.
24 ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමන් කළ අරුමපුදුම දේ ද දකිති.
25 මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක.
26 නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය.
ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ.
27 ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ.
ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය.
28 එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ.
එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක.
29 එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක.
එවිට මුහුදේ රැළ නිසල විය.
30 නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ.
එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක.
31 සමිඳුන්ගේ තිර පෙම හා මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ගැන
මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!
32 ඔව්හු මහා සභාව මැද එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා!
ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමන්ට ප්‍රශංසා කරත් වා!
33 එතුමාණෝ ගංගා වැලි කතරට හරවන සේක;
දිය උල්පතක් වියළි බිමක් කරන සේක.
34 එතුමාණෝ සරු බිම ලුණු කතරක් කරන සේක.
ඊට හේතුව වැසියන්ගේ අපරාධ වන්නේ ය.
35 එතුමාණෝ කාන්තාරය දිය පොකුණක් කරන සේක;
වියළි බිමක් දිය උල්පතක් ද කරන සේක;
36 සාගිනි වූවන් එහි වාසය කරවූ සේක;
ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය.
37 ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය;
එයින් සරු අස්වැන්න ලබාගත්හ.
38 ඔවුන්ට බොහෝ දරුපල ලැබෙන ලෙස එතුමාණෝ ඔවුන්ට ආසිරි දුන් සේක;
ඔවුන්ගේ සිවුපාවුන්ගේ ගණන අඩු වන්න ඉඩ නුදුන් සේක.
39 ඉන්පසු දුක් පීඩා හා විපත්ති නිසා ඔවුන්ගේ ගණන අඩු වී ඔව්හු දුබල වූ හ.
40 එතුමාණෝ අධිපතීන් නින්දාවට පත් කොට, මං නැති පාළු තැන්වල මුළා වී යන්න සැලැසූ සේක.
41 එහෙත්, එතුමාණෝ දිළිඳුන් පීඩාවෙන් මුදා උසස් කොට බැටළු රැළක් මෙන් ඔවුන්ගේ පවුල් වැඩි කළ සේක.
42 සුදනෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය;
දුදනෝ කලකිරීමට පත්වන්නෝ ය.
43 නුවණැත්තෝ මේ දේ සිතට ගනිත් වා!
ඔව්හු සමිඳුන්ගේ තිර පෙම පිළිගනිත් වා!

– 108 වන පරිච්ඡේදය –

උදෑසන ගීතයක්

දාවිත්ගේ ගීතයකි.
1 අහෝ දෙවිඳුනි!
මට අචල විශ්වාසයක් ඇත්තේ ය.
මම ගී ගයා ඔබ පසසමි.
මාගේ හදවත, අවදි වන්න!
2 එම්බා කුඩා වීණාව!
මහා වීණාව, පිබිදෙන්න!
එවිට මම උදා හිරු අවදි කරන්නෙමි.
3 අහෝ සමිඳුනි!
මම ජනතාව අතර ඔබ පසසමි;
විජාතීන් අතර මම ඔබට ගී ගයමි.
4 ඔබේ තිර පෙම සගලොව දක්වා නඟින්නේ ය;
ඔබේ සත්‍යවාදීකම අහස උසට නැඟී ඇත්තේ ය.
5 දෙවිඳුනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය අහසට වඩා උසස් බව දැක්වුව මැනව;
ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිරේ වා!
6 ඔබ ප්‍රේම කරන්නන් මිදෙන පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව.
අපේ අයැදුමට පිළිතුරු දුන මැනව.
7 දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක:
”විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි;
සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කරන්නෙමි.
8 ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය;
එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය;
ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;
9 මෝවබ් පෙදෙස මාගේ පා දොවන බඳුන වන්නේ ය;
මාගේ පා වහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි.
පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”
10 කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද?
ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙන යන්නේ කවරෙක් ද?
11 අහෝ සමිඳුනි!
ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද?
අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?
12 එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව.
මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.
13 දෙවිඳුන්ගේ සහය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු;
එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.

– 109 වන පරිච්ඡේදය –

විපතට පත්වූවෙකුගේ විලාපය

දාවිත්ගේ ගීතයකි.
1 මාගේ පැසසුම වන හිමි දෙවිඳුනි, නිහඬ ව නොසිටිය මැනව.
2 මන්ද, දුෂ්ටයන් ද රැවටිලිකාරයන් ද මට බැණ වැදී ඇත;
ඔව්හු මට විරුද්ධ ව බොරු චෝදනා නඟති.
3 ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති;
මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති.
4 මා ඔවුන්ට ප්‍රේම කළත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළත් ඔව්හු මට විරුද්ධ ව චෝදනා නඟති.
5 තවද, ඔව්හු මා කළ යහපතට අයහපත කරති;
ප්‍රේමයට වෛරය දක්වති.
6 මාගේ සතුරාට විරුද්ධ ව කුරිරු විනිශ්චයකරුවෙකු පත් කළ මැනව.
ඔහුගේ ම සතුරෙකු පැමිණිලිකරුවෙකු මෙන් ඉදිරිපත් කළ මැනව.
7 විනිශ්චයයේ දී ඔහු වරදකරු වේ වා!
ඔහුගේ යාච්ඤාව ද පාපයක් මෙන් ගණන් ගැනේ වා!
8 ඔහු වැඩිකල් ජීවත් නො වේ වා!
ඔහුගේ තනතුර අනිකෙක් ගනී වා!
9 ඔහුගේ දරුවෝ අනාථයෝ වෙත් වා!
ඔහුගේ බිරිඳ ද වැන්දඹුවක් වේ වා!
10 ඔහුගේ දරුවෝ ඉබාගාතේ යමින් සිඟා කත් වා!
ඔවුන් වාසය කරන පැල්පත්වලින් ඔව්හු පලවා හරිනු ලබත් වා!
11 ණය හිමියා ඔහු සන්තක සියල්ල ම පැහැර ගනී වා!
ඔහු වෙහෙස වී සපයා ගත් සියල්ල විදේශිකයෝ කොල්ලකත් වා!
12 ඔහුට කරුණා කරන්න කිසිවෙක් නො වේ වා!
ඔහුගේ අනාථ දරුවන්ට අනුකම්පා කරන්න කිසිවෙක් නොසිටී වා!
13 ඔහුගෙන් පැවත එන්නෝ වැනසී යත් වා!
මීළඟ පරම්පරාවේ දී ඔවුන්ගේ නම මැකී යේ වා!
14 ඔහුගේ පියවරුන්ගේ අයුතුකම සමිඳුන් ඉදිරියෙහි සිහිකරනු ලැබේ වා!
ඔහුගේ මවගේ පාප නොමැකේ වා!
15 සමිඳාණෝ ඔවුන්ගේ පව් නිතර ම සිහි කරන සේක් වා!
මිහි මත කිසිවෙක් ඔහු සිහි නොකෙරේ වා!
16 මේ මිනිසා, දයාව දැක්වීම අමතක කර දුප්පතා හා දිළිඳා ද බිඳුණු සිත් ඇත්තා ද මරුමුවට යන තෙක් පීඩා කෙළේ ය.
17 එසේ ය, සාප කිරීමට ඔහු ප්‍රිය විය;
ඒ සාපය ඔහු පිට ම පැමිණේ වා!
ඔහු ආශීර්වාද කිරීමට ප්‍රිය නො වී ය, ඒ ආශීර්වාදය ඔහුගෙන් දුරු වේ වා!
18 ඔහු තමාගේ වස්ත්‍රය ඇඳගන්නාක් මෙන් පහසුවෙන් සාප කෙළේ ය.
ඒ සාපය ඔහු තුළට දිය මෙන් ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන් ද උරාගනු ලැබේ වා!
19 ඇඟ දවටන සළුව මෙන් ද නිතර බඳින ඉඟ පටිය මෙන් ද ඒ සාපය ඔහු සමඟ නවතී වා!
20 මාගේ එදිරිකාරයන්ටත්, මට විරුද්ධ ව නපුරු දේ කියන්නන්ටත් සමිඳුන්ගෙන් ලැබෙන විපාකය ඒ සාපය වේ වා!
21 එහෙත්, මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ පොරොන්දු වූ පරිදි මට පිහිට වුව මැනව;
ඔබේ තිර පෙම යහපත් බැවින් මා මුදාගත මැනව.
22 මන්ද, මම දුප්පත් ය;
අසරණ ය;
මා සිත සන්තාපයෙන් පෙළෙයි.
23 මම සවස සෙවණැල්ලක් මෙන් පහ වී යමි;
මම පළඟැටියෙකු මෙන් සුළඟට ගසාගෙන යනු ලබමි.
24 නිරාහාර ව සිටීමෙන් මාගේ මාංසය වැහැරී යෑම නිසා මා කෙසඟ වී ඇත.
25 මම ඔවුන්ගේ නින්දාවට ලක් වී සිටිමි;
ඔව්හු මා දකින විට සරදම් කරමින් හිස් වනති.
26 මාගේ දෙවි සමිඳුනි, මට පිහිට වුව මැනව;
ඔබේ තිර පෙම ප්‍රකාරයට මා ගැළෙවුව මැනව.
27 එවිට මෙය, ඔබේ ක්‍රියාවක් බවත්, සමිඳුනි, ඔබ මෙය කළ බවත් ඔව්හු දැනගනිත් වා!
28 ඔවුන් මට සාප කරතත් ඔබ මට ආශීර්වාද කළ මැනව.
මට පීඩා කරන්නෝ ලජ්ජාවට පත් වෙත් වා!
ඔබේ මෙහෙකරුවා වන මම ප්‍රීතියට පත් වෙම් වා!
29 මාගේ එදිරිකාරයෝ අගෞරවයෙන් වැසී යෙත් වා!
උතුරු සළුවකින් මෙන් ඔවුන්ගේ ලජ්ජාව ඔව්හු වසාගනිත්වා.
30 මාගේ මුවින් සමිඳුන්ට බොහෝ සෙයින් තුති කරන්නෙමි;
එසේ ය, මහා සභාවේ දී එතුමන්ට ප්‍රශංසා කරන්නෙමි.
31 දිළිඳා මරණයට තීන්දු කරන්නන්ගෙන් ඔහු ගළවන පිණිස එතුමාණෝ ඔහුට ආරක්ෂාව වී සිටින සේක.

– 110 වන පරිච්ඡේදය –

සමිඳාණෝ තෝරාගත් පූජක රජ

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, ”මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
2 සමිඳාණන් සියොන්හි සිට ජයකොන්තය ඔබ අතට දුන් විට ඔබේ සතුරන් මැද රජකම් කළ මැනව.
3 ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය.
අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.
4 ”නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක;
එය වෙනස් නොකරන සේක.
5 සමිඳාණෝ ඔබ දකුණු පස වැඩ සිටින සේක.
උදහස් දිනයේ දී එතුමාණෝ රජුන්ගේ ඔද බිඳදමන සේක.
6 එතුමාණෝ ජාතීන් අතරෙහි විනිශ්චය කරන සේක;
මළකඳන්වලින් රණ බිම පුරවන සේක.
ලොව පුරා සිටින රජවරුන් පරාජය කරන සේක.
7 රජතුමා යන මඟ අසල ඇති දොළ පහරින් දිය පානය කරනු ඇත;
එයින් ශක්තිමත් කරනු ලැබ සටනින් ජයග්‍රාහී වනු ඇත.

– 111 වන පරිච්ඡේදය –

සමිඳුන් පැසසුමෙහි යුතු බව

1 සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.
2 සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද?
ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති.
3 එතුමන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය;
එතුමන්ගේ දැහැමිකම සදාතන ය.
4 සිය පුදුම ක්‍රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක.
සමිඳාණෝ, දයාවන්ත ය; සානුකම්පිත ය.
5 එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක.
එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක.
6 එතුමාණෝ විජාතීන්ගේ දේශයන් තමන් සෙනඟට දීමෙන් තමන් බලය ඔවුන්ට පෙන්වූ සේක.
7 එතුමන්ගේ ක්‍රියා සත්‍යය හා යුක්තිය ප්‍රකාශ කරයි;
එතුමන්ගේ පණත් සියල්ල විශ්වාසී ය.
8 ඒවා සදහට ම පවතිනු ඇත.
සත්‍යයෙන් හා අවංකකමෙන් ඒවා සිදු කරන ලද්දේ ය.
9 එතුමාණෝ සිය සෙනඟ මුදා ලූ සේක;
සිය ගිවිසුම සදහට ම පිහිටෙවු සේක.
එතුමන්ගේ නාමය සුවිශුද්ධ ය; ගරු ගම්භීර ය.
10 දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ;
එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය.
එතුමන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.

– 112 වන පරිච්ඡේදය –

දැහැමියන්ගේ වාසනාව

1 සමිඳුන් පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය.
2 ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය.
දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය.
3 සම්පත ද වස්තුව ද ඔහුගේ නිවෙසෙහි ඇත්තේ ය.
ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය.
4 සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය;
ඔහු දයාවන්ත ය;
සානුකම්පිත ය;
දැහැමි ය.
5 දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ;
ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.
6 මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය.
ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.
7 ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය.
ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය.
ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය.
8 ඔහුගේ සිත සවිමත් ය;
ඔහු බිය නොවන්නේ ය.
සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය.
9 ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය;
ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය;
ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.
10 දුෂ්ටයා ඒ දැන කෝප වන්නේ ය;
ඔහු දත්මිටි කා වැහැරී යන්නේ ය;
දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේ ය.

– 113 වන පරිච්ඡේදය –

සමිඳුන්ගේ යහපත්කම වැණීම

1 සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.
2 මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා!
3 සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතු ය.
4 සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක.
එතුමන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි.
5 අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත;
එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක.
6 එහෙත්, අහසත්, පොළොවත් බලන පිණිස එතුමාණෝ පහතට නැමෙන සේක.
7 එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක;
දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක.
8 එසේ කරන්නේ, ඔවුන් අධිපතීන් සමඟ, තම සෙනඟගේ අධිපතීන් සමඟ හිඳුවන පිණිස ය.
9 එතුමාණෝ වඳ ස්ත්‍රිය දරුවන් ඇති ප්‍රීතිමත් මවක කරන සේක;
ඈට නිවෙසක් දෙන සේක.
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

– 114 වන පරිච්ඡේදය –

පාස්කු ගීයක්

1 ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ද
ජාකොබ්ගේ පරපුර විදේශයකින් ද නික්ම ගියෝ ය.
2 එවිට ජුදා දේශය සමිඳුන්ගේ ශුද්ධස්ථානය විය, ඉශ්රායෙල් දේශය එතුමන්ගේ රාජ්‍යය විය.
3 රතු මුහුද එය දැක පලා ගියා ය;
ජොර්දාන් ගඟ ආපසු ගලා යෑම නැවතුණේ ය.
4 කඳු, බැටළුවන් මෙන් ද කුඩා හෙල්, බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කෙළේ ය.
5 එම්බා රතු මුහුද!
නුඹ පලා යන්නේත්, ජොර්දාන් ගඟ, නුඹේ ගැලීම නැවතුණේත් නුඹලාට කුමක් සිදු වූ නිසා ද?
6 එම්බා කඳු!
නුඹලා බැටළුවන් මෙන් ද කුඩා හෙල්, නුඹලා බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කරන්නේ කුමක් නිසා ද?
7 එම්බා මිහිකත!
පර්වත දිය පොකුණක් බවට ද ගිනි ගල දිය උල්පතක් බවට ද හරවන දෙවිඳුන්,
8 එනම්, ජාකොබ්ගේ දෙවිඳුන් වඩින විට එතුමන් අබියස බියෙන් ඇලළෙමින් වෙවුලන්න.

– 115 වන පරිච්ඡේදය –

එක ම සැබෑ දෙවියන් වහන්සේ

1 සමිඳුනි, අප නිසා නොව, අප නිසා නොව, ඔබේ තිර පෙම නිසාත්, සත්‍යවාදිකම නිසාත්, ඔබේ නාමය නිසාත් ඔබේ මහිමාලංකාරය ප්‍රකාශ කළ මැනව.
2 ”ඔවුන්ගේ දෙවිඳාණෝ දැන් කොතැන්හි දැ”යි ජාතීන්ට අසන්න ඉඩ දෙන්නේ කුමට ද?
3 අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය;
තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක.
4 ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය;
මිනිසුන්ගේ දෑතේ වැඩ ය.
5 ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි;
ඇස් ඇත, එහෙත්, නොදකියි;
6 කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි;
7 ඒවාට දෑත ඇත, එහෙත්, ස්පර්ශ නොකරයි;
පාද ඇත, එහෙත්, නොඇවිදියි;
උගුරෙන් ශබ්ද නොකරයි.
8 ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය;
ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය.
9 එම්බා ඉශ්රායෙල් ජනයෙනි!
සමිඳුන් විශ්වාස කරන්න.
ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.
10 එම්බා ආරොන්ගේ වංශය!
සමිඳුන් විශ්වාස කරන්න.
ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.
11 සමිඳුන් නමදින සියල්ලෙනි!
සමිඳුන් විශ්වාස කරන්න.
ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.
12 සමිඳාණෝ අප සිහිකරන සේක;
අපට ආශීර්වාද කරන සේක;
එතුමාණෝ ඉශ්රායෙල් වංශයට ආශීර්වාද කරන සේක;
එතුමාණෝ ආරොන්ගේ වංශයට ආශීර්වාද කරන සේක.
13 සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති ලොකු කුඩා සියල්ලන්ට එතුමාණෝ ආශීර්වාද කරන සේක.
14 සමිඳාණෝ ඔබ හා ඔබේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක් වා!
15 අහසත්, පොළොවත් මැවූ සමිඳාණෝ ඔබට ආශීර්වාද කරන සේක් වා!
16 ස්වර්ගය වනාහි සමිඳුන්ට පමණක් අයිති ය.
එහෙත්, පොළොව එතුමාණෝ මිනිසුන්ට දුන් සේක.
17 මියගිය අය වත්, පාතාල ලෝකයේ අය වත් සමිඳුන්ට ප්‍රශංසා නොකරති.
18 එහෙත් අපි, ජීවත් ව සිටින අපි, මෙතැන් පටන් සදහට ම සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමු.
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

– 116 වන පරිච්ඡේදය –

මරණින් මිදීම ගැන ස්තුති දීම

1 සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක.
2 එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි.
3 මාරක රැහැනෙන් මම වෙළුණෙමි.
පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය;
විපත හා දුක මා වෙළාගත්තේ ය.
4 එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි;
”සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි.
5 සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය.
6 සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක.
මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක.
7 මාගේ සිත, යළි සන්සුන් වන්න.
මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක.
8 එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක.
9 එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
10 ”මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.
11 මා භීතියට පත් ව සිටිය දී, ”මිනිසෙකු තුළ බලාපොරොත්තුව තැබීම නිෂ්ඵල ය”යි කීවෙමි.
12 සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද?
13 මම ගැළවීමේ කුසලාන ගන්නෙමි;
සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.
14 එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර මම ඉටු කරන්නෙමි.
15 සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය.
16 සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි;
සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි;
ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි.
ඔබ මාගේ බැඳුම් මිදූ සේක.
17 මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි;
සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.
18 එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,
19 සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම!
තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි.

– 117 වන පරිච්ඡේදය –

සමිඳුන් පැසසුමට ඇරයුම්

1 සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.
2 මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය,
එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය.
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

– 118 වන පරිච්ඡේදය –

ගැළවුම්කරුට තුති ගීයක්

1 සමිඳුන්ට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය.
එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය.
2 ”එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා!
3 ”එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ආරොන්ගේ වංශය දැන් කියත් වා!
4 ”සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමන් කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා!
5 මාගේ විපතේ දී සමිඳුන්ට යාච්ඤා කෙළෙමි.
සමිඳාණෝ මට පිළිතුරු දෙමින් මා නිදහස් කළ සේක.
6 සමිඳුන් මාගේ පැත්තට සිටින බැවින් මම බිය නොවන්නෙමි.
මට හානි කිරීමට කිසිවෙකුට හැකි ද?
7 සමිඳාණෝ මාගේ පැත්තෙහි ය;
මාගේ උපකාරකයාණෝ ය.
එබැවින්, වෛර කරන්නන්ගේ පරාජය මම දකින්නෙමි.
8 මිනිසා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත.
9 අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත.
10 බොහෝ සතුරෝ මා වට කරගත්හ.
සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.
11 ඔව්හු මා වට කරගත්හ;
එසේ ය, මා වට කරගත්හ.
සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.
12 ඔව්හු මී මැස්සන් මෙන් මා වට කරගත්හ;
ගිනිගත් කටු පඳුරක් මෙන් ඔව්හු ඇවිළී ගියහ.
සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.
13 වැටෙන පිණිස මම තදින් තල්ලු කරන ලදිමි;
එහෙත්, සමිඳාණෝ මට පිහිට වූ සේක.
14 සමිඳාණෝ මාගේ සවිය ද ගීය ද වෙති;
එතුමාණෝ මාගේ ගැළවුම්කාරයාණෝ ය.
15 ප්‍රීතිවීමේ හා ගැළවීමේ හඬට සවන් දෙන්න.
දමිටුන්ගේ කූඩාරම්වල ජය නාදය ඇසේ.
සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.
16 සමිඳුන්ගේ බාහු බලය උදාර ය.
සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.
17 මම නොනැසී, ජීවත් ව සිටින්නෙමි;
සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි.
18 සමිඳාණෝ දැඩි ලෙස මට දඬුවම් දුන් සේක.
එහෙත්, මරුවාට මා පාවා නුදුන් සේක.
19 දමිටුකමේ දොරටු මට හැර දෙන්න;
එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි.
20 මෙන්න, සමිඳුන්ගේ දොරටුව!
දැහැමියෝ එයින් ඇතුල් වන්නෝ ය.
21 මම ඔබට ස්තුති කරන්නෙමි, මන්ද, ඔබ මට පිළිතුරු දී මාගේ ගැළවීම වූ සේක.
22 ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත.
23 මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි;
එය අපේ දෙනෙතට අසිරිමත් ය.
24 මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය!
මෙදින අපි ප්‍රීති වමු;
සන්තෝෂ වමු.
25 සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව.
සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව.
26 සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි.
සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු.
27 සමිඳාණෝ දෙවිඳාණෝ ය;
එතුමාණෝ අපට එළිය දුන් සේක;
අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න.
28 ඔබ මාගේ දෙවිඳාණෝ ය;
මම ඔබට ස්තුති කරන්නෙමි.
ඔබ මාගේ දෙවිඳාණෝ ය;
මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි.
29 සමිඳුන්ට ස්තුති කරන්න;
මන්ද, එතුමාණෝ යහපත් ය;
එතුමන්ගේ තිර පෙම සදා පවත්නේ ය.

– 119 වන පරිච්ඡේදය –

දේව පණතේ මාහැඟිකම

1 නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය.
2 එතුමන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමන් සොයන අය භාග්‍යවන්ත ය.
3 එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති;
ඔව්හු එතුමන්ගේ මාර්ගවල හැසිරෙති.
4 අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක.
5 ඔබේ පණත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා!
6 ඔබේ ආඥා සියල්ලට ඇලුම් ව සිටින විට මම ලජ්ජා නොවන්නෙමි.
7 ඔබේ දැහැමි අණපණත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි.
8 ඔබේ පණත් පිළිපදින්නෙමි;
මා කිසි දා අත් නොහැරිය මැනව.

දේව ආඥාවට කීකරු වීම

9 තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද?
ඔබේ ආඥාවට කීකරු වීමෙනි.
10 මාගේ මුළු සිතින් ඔබ සෙවීමි;
ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව.
11 ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි.
12 සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
13 ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි.
14 සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි.
15 ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි;
ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි.
16 ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි;
ඔබේ වචනය අමතක නොකරන්නෙමි.

ශික්ෂා මාර්ගයෙහි ප්‍රීති වීම

17 ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව.
එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි.
18 ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.
19 මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි.
ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.
20 සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය.
21 ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක.
22 ඔවුන්ගේ නින්දාවත්, අවමානයත් මා කෙරෙන් පහ කළ මැනව.
මන්ද, මම ඔබේ ශික්ෂා පද රක්ෂා කෙළෙමි.
23 අධිපතියෝ එක් රැස් ව මට විරුද්ධ ව කුමන්ත්‍රණ කළෝ ය.
එහෙත්, ඔබේ මෙහෙකරුවා ඔබේ පණත් භාවනා කරන්නේ ය.
24 ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය.

ව්‍යවස්ථාව පැවැත්වීමේ අධිෂ්ඨානය

25 මම දූවිල්ලෙහි වැතිර සිටිමි.
ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
26 මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි.
එවිට ඔබ පිළිතුරු දුන් සේක.
දැන් ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
27 ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව.
එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි.
28 මහද සොවින් උණු වී යයි.
ඔබේ පොරොන්දුව ලෙස මා ශක්තිමත් කළ මැනව.
29 වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව.
ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව.
30 සත්‍ය මාර්ගය මම තෝරාගතිමි.
ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි.
31 අහෝ සමිඳුනි!
ඔබේ ශික්ෂා පදවලට ඇලුම් වෙමි.
මා ලජ්ජාවට නොපැමිණෙවුව මැනව.
32 ඔබ මාගේ දැනුම පුළුල් කරන විට ඔබේ ශික්ෂා මාර්ගයෙහි යුහු ව ගමන් කරන්නෙමි.

තේරුම්ගැනීම සඳහා යැදුමක්

33 සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව.
එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි.
34 මට මනා අවබෝධය දුන මැනව.
එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි;
එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි.
35 ඔබේ ශික්ෂා මාර්ගයෙහි මා කැඳවාගෙන යනු මැනව.
මන්ද, එය මාගේ ප්‍රීතිය වේ.
36 අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව.
37 නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව;
ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව.
38 ඔබ කෙරෙහි ගරුබිය ඇත්තන් හට ඔබ දෙන පොරොන්දුව ඔබේ මෙහෙකරුවාට ඉටුකර දුන මැනව.
39 මා තුළ බිය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව.
මන්ද, ඔබේ විශ්වාසවන්තකම යහපත් ය.
40 ඔබේ නියෝගයන්ට ආශා වීමි.
ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව.

ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තැබීම

41 සමිඳුනි, ඔබේ පොරොන්දුව පරිදි ඔබේ තිර පෙම පෙන්වා වදාළ මැනව.
එනම්, ඔබේ ගැළවීම මා වෙත එවා වදාළ මැනව.
42 එවිට මට නින්දා කරන්නාට දිය යුතු පිළිතුරක් මට ඇති වන්නේ ය.
මන්ද, මම ඔබේ වචනය විශ්වාස කරමි.
43 සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව.
මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි.
44 මෙසේ ඔබේ ව්‍යවස්ථාව සදහට ම නොකඩවා පිළිපදින්නෙමි.
45 මම නිදහස් ලෙස හැසිරෙන්නෙමි. මන්ද, ඔබේ නියෝග අනුව මම ජීවත් වීමි.
46 රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි;
ලජ්ජාවට පත් නොවන්නෙමි.
47 මා සිත් ගත් ඔබේ ආඥාවන් කෙරෙහි ප්‍රීති වන්නෙමි.
48 මා සිත් ගත් ඔබේ ආඥාවලට ගරුසරු දක්වා ඔබේ පණත් ගැන භාවනා කරන්නෙමි.

ව්‍යවස්ථාව කෙරෙහි අචල භක්තිය

49 ඔබේ මෙහෙකරුවා වන මට ඔබ දුන් පොරොන්දුව සිහිකළ මැනව.
ඔබ එය ගැන බලාපොරොත්තුව මා තුළ ඇතිකළ සේක.
50 ඔබේ පොරොන්දුව මා ප්‍රාණවත් කළ බැවින් මාගේ දුකේ දී එය මාගේ සැනසීම විය.
51 උඩඟු අය මට අතිශයින් අපහාස කළෝ ය.
එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාවෙන් ඉවත් ව නොයන්නෙමි.
52 සමිඳුනි, ආදියේ සිට පැවති ඔබේ විනිසුම් සිහි කොට සැනසීම ලබා ගතිමි.
53 ඔබේ ව්‍යවස්ථාව අත්හරින අදමිටුවන් දකින විට මා තුළ කෝපාග්නිය ඇවිළී යයි.
54 මාගේ මේ ලුහුඬු ජීවිත ගමනේ දී ඔබේ පණත් ගැන ගී ගයමි.
55 සමිඳුනි, රාත්‍රියේ දී ඔබේ නාමය සිහි කරන්නෙමි;
ඔබේ ව්‍යවස්ථාව පිළිපදින්නෙමි.
56 මේ ආසිරි මට ලැබුණේ, මා ඔබේ නියෝග රක්ෂා කළ නිසා ය.

ව්‍යවස්ථාවට බැති පෙම

57 සමිඳුනි, මාගේ එක ම සම්පත ඔබ ය.
ඔබේ නියෝග පවත්වන්නට පොරොන්දු වෙමි.
58 මාගේ මුළු සිතින් ඔබේ කරුණාව ඉල්ලමි.
ඔබේ පොරොන්දුව පරිදි මට කරුණා කළ මැනව.
59 මම මාගේ හැසිරීම ගැන සිහිකර ඔබේ ශික්ෂා පද දෙසට යළි හැරෙන්නෙමි.
60 මම ඔබේ ආඥා පිළිපැදීමට පමා නොවී ඉක්මන් වීමි.
61 දුදනන් මට උගුලක් අටවා ඇත.
එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි.
62 ඔබේ දැහැමි නියෝග නිසා මැදියම් රැයේ ඔබට ස්තුති කරන්න මම අවදි වන්නෙමි.
63 මම ඔබ කෙරෙහි ගරුබිය ඇති සියල්ලන්ගේ ද ඔබේ නියෝග පවත්වන්නන්ගේ ද මිතුරෙක් වෙමි.
64 සමිඳුනි, පොළොව ඔබේ තිර පෙමින් පිරී තිබේ. ඔබේ පණත් මට ඉගැන්වුව මැනව.

ව්‍යවස්ථාවේ වටිනාකම

65 සමිඳුනි, ඔබේ පොරොන්දුව ප්‍රකාර ඔබේ මෙහෙකරුවාට ඔබ යහපත කළ සේක.
66 මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව.
මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි.
67 පීඩා විඳින්නට පෙර මම මුළා ව ගියෙමි.
එහෙත් දැන්, ඔබේ වචනයට කීකරු වෙමි.
68 ඔබ යහපත් ය;
යහපත කරන සේක. ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
69 උඩඟු අය මට විරුද්ධ ව බොරු ගොතා ඇත.
එහෙත්, මාගේ මුළු සිතින් ඔබේ නියෝගවලට කීකරු වන්නෙමි.
70 ඔවුන්ට දැඩි සිතක් ඇත;
එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි.
71 පීඩා විඳීම මට යහපතක් විය; එයින් ඔබේ පණත් ඉගෙනගතිමි.
72 ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය.

ව්‍යවස්ථාවේ සාධාරණකම

73 සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව.
74 ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය.
මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.
75 සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි.
76 ඔබේ මෙහෙකරුවාට ඔබ පොරොන්දු වූ පරිදි ඔබේ මහ කුළුණු ගුණය මාගේ සැනසීම පිණිස වේ වා!
77 මා ජීවත් වන පිණිස මට අනුකම්පා කළ මැනව.
ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.
78 උඩඟු අය අයුතු ලෙස මා හෙළා දැමූ බැවින්,
ඔව්හු ලජ්ජාවට පැමිණෙත් වා!
එහෙත්, මම ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි.
79 ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා වෙත හැරී එත් වා!
එවිට ඔව්හු ඔබේ ශික්ෂා පද තේරුම්ගන්නෝ ය.
80 මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පණත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව.

මිදීම සඳහා යැදුමක්

81 මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි.
මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි.
82 ‘ඔබ කවදා මා සනසන සේක් දැ’යි මම යදින්නෙමි.
ඔබේ පොරොන්දු ගැන බලා සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත.
83 ඇකිළී ගිය ලබු කැටයක් මෙන් මම නිසල් වීමි.
එහෙත්, ඔබේ පණත් අමතක නොකරමි.
84 ඔබේ මෙහෙකරුවා තව කොතෙක් කල් බලා සිටින්න ද?
මට පීඩා කරන්නන්ට ඔබ කවදා යුක්තිය ඉටු කරන සේක් ද?
85 ඔබේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන උඩඟු අය මට බොරු වළවල් හෑරුවෝ ය.
86 ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය.
මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති.
මට පිහිට වුව මැනව.
87 ඔවුන් සහමුලින් ම මෙන් මා මිහි පිටින් වනසාදමා ඇත.
එහෙත්, මම ඔබේ නියෝග අත් නොහරිමි.
88 ඔබේ මහා කරුණාව ලෙස මා පණ ගැන්වුව මැනව.
එවිට මම, ඔබ වදාළ ශික්ෂා පද පිළිපදින්නෙමි.

ව්‍යවස්ථාව කෙරෙහි ඇදහිල්ල

89 සමිඳුනි, ඔබේ වචනය සදාතනික ය;
එය තිර ලෙස සගලොව ඇත.
90 ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය.
ඔබ පොළොව පිහිටෙවු සේක.
එය ස්ථිර ව පවතී.
91 ඔබේ නියමයන් ලෙස ඒ මැවිලි අද දක්වා පවතී.
මන්ද, සියල්ල ඔබට මෙහෙ කරයි.
92 ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්,
මාගේ විපතේ දී මා වැනසෙන්නට ඉඩ තිබුණේ ය.
93 ඔබේ නියෝග කිසි කලෙක අමතක නොකරන්නෙමි.
මන්ද, ඔබ ඒවායින් මා පණ ගැන්වූ සේක.
94 මම ඔබේ ය;
මා මුදාලුව මැනව.
ඔබේ නියෝග මම මෙනෙහි කෙළෙමි.
95 දුෂ්ටයෝ මා විනාශ කරන්නට බලා සිටියෝ ය.
එහෙත්, මම ඔබේ ශික්ෂා පද සාවධානයෙන් මෙනෙහි කරන්නෙමි.
96 හැම යහපතකට ම සීමාවක් ඇති බව මා දැක ඇත.
එහෙත්, ඔබේ ආඥාවට නම් සීමාවක් නැත.

ව්‍යවස්ථාවට ඇති ඇල්ම

97 ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද?
එය මාගේ දෛනික භාවනාව වේ.
98 ඔබේ ආඥා නිතර ම මා සමඟ ය.
එයින් මාගේ සතුරන්ට වඩා මම පැණවත් වෙමි.
99 මාගේ සියලු ඇදුරන්ට වඩා මට නැණනුවණ ඇත්තේ ය.
මාගේ භාවනාව ඔබේ ශික්ෂා ගැන ම ය.
100 මා ඔබේ නියෝග රක්ෂා කළ බැවින් වැඩිහිටියන්ට වඩා තේරුම් පැහැදුම් මට ඇත්තේ ය.
101 ඔබේ වචනය පිළිපදින පිණිස සියලු වැරදි මාර්ගවලින් මාගේ පාද වළක්වාගතිමි.
102 ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි.
ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක.
103 ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද?
එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය.
104 ඔබේ නියෝග මඟින් මට නැණනුවණ ලැබේ.
එබැවින් සියලු වංක මාර්ග මම නුරුස්සන්නෙමි.

ව්‍යවස්ථාවෙන් එළිය

105 ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය;
මාගේ මාවතට එළියක් ය.
106 ‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි.
මම ඒවා ඉටු කෙළෙමි.
107 මම බොහෝ සේ පීඩිත වීමි.
සමිඳුනි, ඔබේ පොරොන්දු ප්‍රකාර මා ප්‍රාණවත් කළ මැනව.
108 සමිඳුනි, මාගේ මුවින් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබේ නියමයන් මට ඉගැන්නුව මැනව.
109 ඔබ උදෙසා මාගේ දිවි පිදීමට මම නිතර ම සූදානම් ය.
එහෙත්, ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකරමි.
110 දුදනෝ මට මලපතක් තැබුවෝ ය.
එහෙත් මම, ඔබේ නියෝගවලින් ඉවත් ව නොගියෙමි.
111 ඔබේ ශික්ෂා පද සදහට ම උරුම කොටගතිමි.
ඒවා මසිතට ප්‍රීතිය ගෙන දෙයි.
112 සදහට ම, මරණය දක්වා ඔබේ පණත් ඉටු කරන්න මාගේ සිත යොමු කෙළෙමි.

ව්‍යවස්ථාවේ සුරක්ෂිතතාව

113 චපල සිත් ඇත්තවුන්ට ද්වේෂ කරමි;
එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.
114 ඔබ මාගේ රක්ෂාස්ථානය වේ, මාගේ පලිහ වේ.
ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.
115 දුදනෙනි, මා වෙතින් පලා යන්න.
මම මාගේ දෙවිඳුන්ගේ ආඥාවන් පිළිපදිමි.
116 මා ජීවත් වන පිණිස ඔබේ පොරොන්දු ප්‍රකාර මට ශක්තිය දුන මැනව.
මාගේ බලාපොරොත්තුව කඩ වීමෙන් ලජ්ජා වන්නට ඉඩ නෑරිය මැනව.
117 මට අනුබල දුන මැනව;
එවිට මම සුරැකි ව සිටින්නෙමි.
ඔබේ පණත් නිතර ම සලකන්නෙමි.
118 ඔබේ පණත්වලින් ඉවත් ව යන සියල්ලන් ඔබ පිළිකෙව් කළ සේක.
ඔවුන්ගේ කපටිකම නිෂ්ඵල ය.
119 ඔබ පොළොවේ සියලු දුෂ්ටයන් කුණු කසළ මෙන් පහකරන සේක.
එබැවින් මම ඔබේ ශික්ෂා පදවලට ප්‍රේම කරමි.
120 ඔබට බියෙන් මාගේ ගත සිත වෙවුලයි.
ඔබේ විනිශ්චයයන්ට මම බිය වෙමි.

ව්‍යවස්ථාවට කීකරු වීම

121 යුතු දේ ද දැහැමි දේ ද මම කෙළෙමි;
මට පීඩා කරන්නන් අතට මා භාර නොකළ මැනව.
122 ඔබේ මෙහෙකරුවාට යහපත කරන බවට පොරොන්දු වන්න.
මට පීඩා කිරීමට උඩඟු අයට ඉඩ නුදුන මැනව.
123 ඔබ දෙන ගැළවීම හා ඔබේ දැහැමි පොරොන්දුව ගැන අවදි ව සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත.
124 ඔබේ ප්‍රේමය අනුව ඔබේ මෙහෙකරුවාට නිසි ලෙස සලකන්න.
ඔබේ පණත් මට උගන්වන්න.
125 මම ඔබේ මෙහෙකරුවා වෙමි.
ඔබේ ශික්ෂා පද දැනගන්න පිණිස මට නැණනුවණ දුන මැනව.
126 සමිඳුනි, ඔබට ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන් පැමිණ ඇත.
සෙනඟ ඔබේ ව්‍යවස්ථාව කඩකර ඇත.
127 එබැවින් රනට වඩා, එසේ ය, පෙරූ රනට වඩා ඔබේ ආඥාවලට මම ප්‍රේම කරමි.
128 එබැවින් ඔබේ නියමය අනුව මම හැසිරෙන්නෙමි;
සියලු වංක මාර්ග නුරුස්සමි.

ව්‍යවස්ථාව පිළිපැදීමට ආශාව

129 ඔබේ අණපණත් විස්මයජනක ය.
එබැවින් මාගේ මුළු සිතින් මම ඒවා පිළිපදින්නෙමි.
130 ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ.
එයින් අනුවණයන්ට නුවණ ලැබේ.
131 ඔබේ ආඥාවලට පිපාසයෙන් සිටිමි.
මම මුව අයා හතිලන්නෙමි.
132 ඔබේ නාමයට ප්‍රේම කරන අයට ඔබ කරුණා කරන්නාක් මෙන් මා දෙසට හැරී මට කරුණා කළ මැනව.
133 ඔබ පොරොන්දු වූ ලෙස මා දෙපා තර කළ මැනව;
කිසි අයුක්තියකට මා කෙරෙහි බල පෑමට ඉඩ නුදුන මැනව.
134 මිනිසුන්ගේ හිරිහැරවලින් මා මුදාලුව මැනව;
එවිට ඔබේ නියෝග මම පිළිපදින්නෙමි.
135 දයාවෙන් මා දෙස බැලුව මැනව;
ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
136 මිනිසුන් ඔබේ ව්‍යවස්ථාව නොපිළිපදින බැවින් මාගේ දෑසින් කඳුළු ධාරා ගලා යයි.

ව්‍යවස්ථාවේ සාධාරණකම

137 සමිඳුනි, ඔබ දැහැමි ය;
ඔබේ විනිසුම් සාධාරණ ය.
138 ඔබ දැහැමිකමින් ද තිර විශ්වාසකමින් ද ඔබේ ශික්ෂා පද නියම කළ සේක.
139 මාගේ එදිරිකරුවන් ඔබේ වචනය නොසලකන නිසා මම කෝපාග්නියෙන් දැවෙමි.
140 ඔබේ පොරොන්දු සහතික ය.
එබැවින් ඔබේ මෙහෙකරුවා ඒවාට ප්‍රේම කරයි.
141 මම සුළු කෙනෙක්මි;
හීන දීන කෙනෙක්මි.
එහෙත්, ඔබේ නියෝග අමතක නොකරමි.
142 ඔබේ දැහැමිතාව සදාකාලික දැහැමිතාවක් වේ;
ඔබේ ව්‍යවස්ථාව ද සත්‍ය වේ.
143 විපත හා සිත් තැවුල් මා වෙළාගෙන තිබේ.
එහෙත්, ඔබේ ආඥා මාගේ ප්‍රීතිය වේ.
144 ඔබේ ශික්ෂා පද සදහට ම දැහැමි ය.
මා ජීවත් වන පිණිස මට නැණනුවණ දුන මැනව.

මිදීම සඳහා යැදුමක්

145 මම මුළු හදවතින් යාච්ඤා කෙළෙමි.
සමිඳුනි, මට පිළිතුරු දුන මැනව.
ඔබේ අණපණත් මම පිළිපදින්නෙමි.
146 මම ඔබට අඬගැසීමි;
මා මුදාලුව මැනව.
එවිට ඔබේ ශික්ෂා පද මම පිළිපදින්නෙමි.
147 මම අලුයමට පෙර නැඟිට මොරගැසීමි;
ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තු වීමි.
148 ඔබේ පොරොන්දුව ගැන භාවනා කරන පිණිස රෑ යාමය මුළුල්ලේ මම අවදි ව සිටිමි.
149 ඔබේ ප්‍රේමය ස්ථිර නිසා මාගේ හඬ ඇසුව මැනව.
සමිඳුනි, ඔබේ යුක්තිය ලෙස මා දිවි රැකගත මැනව.
150 නපුරු අරමුණු ඇති ව මට පීඩා කරන දුදනෝ මට ළඟා වෙති.
ඔව්හු ඔබේ ව්‍යවස්ථාවෙන් ඈත් ව සිටිති.
151 සමිඳුනි, ඔබ ළඟා වී සිටින සේක.
ඔබේ සියලු ආඥා සත්‍ය ය.
152 ඔබේ ශික්ෂා පද කලක සිට දැන සිටියෙමි.
ඔබ ඒවා සදහට ම පැණවූ සේක.

උපකාර ඉල්ලා යැදීම

153 මාගේ දුක බලා මා ගැළෙවුව මැනව.
ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකෙළෙමි.
154 මාගේ නඩුව අසා මා මිදුව මැනව;
ඔබේ පොරොන්දුව ලෙස මට නව දිවියක් දුන මැනව.
155 දුදනන් හට ගැළවීමක් නැත;
ඔව්හු ඔබේ පණත් නොසලකති.
156 සමිඳුනි, ඔබේ අනුකම්පාව ඉමහත් ය.
ඔබේ නියමයන් ලෙස මට නව දිවියක් දුන මැනව.
157 මට පීඩා කරන්නෝ ද මාගේ එදිරිකාරයෝ ද බොහෝ ය.
එහෙත් මම, ඔබේ ශික්ෂා පදවලින් ඉවත් ව නොගියෙමි.
158 ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි.
ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති.
159 ඔබේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි සිතා බැලුව මැනව.
සමිඳුනි, ඔබේ පෙම තිර නිසා මට නව දිවියක් දුන මැනව.
160 ඔබේ ව්‍යවස්ථාවේ හරය සත්‍යය වේ.
ඔබේ සියලු දැහැමි විනිසුම් සදහට පවත්නේ ය.

ව්‍යවස්ථාවට ඇප කැප වීම

161 අධිපතීහු නිකරුණේ මට පීඩා කළෝ ය.
එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ගරු කරමි.
162 මහා නිධානයක් ලබන කෙනෙකු මෙන් මම ඔබේ පොරොන්දුව ගැන ප්‍රීතිමත් වෙමි.
163 මුසාවට ද්වේෂ කරමි;
එය පිළිකුල් කරමි.
එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.
164 ඔබේ දැහැමි විනිශ්චයයන් නිසා දවසට සත් වරක් මම ඔබට ප්‍රශංසා කරමි.
165 ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට ඉමහත් සාමයක් ඇත.
කිසි අවහිරයක් ඔවුන්ට නැත.
166 සමිඳුනි, ඔබේ ගැළවීම ගැන උදක් ම බලා සිටිමි.
ඔබේ ආඥා ඉටු කෙළෙමි.
167 මම ඔබේ ශික්ෂා පද පිළිපැදීමි.
මම ඒවාට බොහෝ සෙයින් ප්‍රේම කරමි.
168 මම ඔබේ නියෝග හා ශික්ෂා පද පිළිපැදීමි.
මාගේ දිවි මඟ ඔබ ඉදිරියෙහි ය.

පිහිට පතා යැදීම

169 සමිඳුනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේ වා!
ඔබේ පොරොන්දුව අනුව මට නැණනුවණ දුන මැනව.
170 මාගේ අයැදීම ඔබ ඉදිරියට පැමිණේ වා!
ඔබේ පොරොන්දුව ලෙස මා මිදුව මැනව.
171 ඔබේ පණත් ඔබ මට උගන්වන බැවින් මා මුව ඔබට පැසසුම් ගී පිළිරැව් දේ වා!
172 ඔබේ සියලු ආඥා සාධාරණ ය;
මම ඔබේ ව්‍යවස්ථාව ගැන ගී ගයමි.
173 ඔබේ හස්තය මට උපකාර පිණිස සූදානම් වේ වා!
මම ඔබේ නියෝග අනුව යමි.
174 සමිඳුනි, මම ඔබ දෙන ගැළවීමට ආසා වෙමි.
ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.
175 ඔබට ප්‍රශංසා කරන පිණිස මට ජීවත් වන්නට ඉඩ දුන මැනව.
ඔබේ නියමයෝ මට උපකාරවත් වෙත් වා!
176 නැති වූ බැටළුවෙකු මෙන් මම මුළා ව ගියෙමි.
ඔබේ මෙහෙකරුවා වන මා සොයා එනු මැනව.
මම ඔබේ ආඥා අමතක නොකරමි.

– 120 වන පරිච්ඡේදය –

වන්දනා ගීයක්

1 මාගේ විපතේ දී මම සමිඳුන්ට මොරගැසීමි.
එතුමාණෝ මට උත්තර දුන් සේක.
2 සමිඳුනි, බොරුකාර තොල්වලින් ද වංචාකාර දිවෙන් ද මා ගැළෙවුව මැනව.
3 එම්බා වංචාකාරයෙනි!
දෙවිඳුන් ඔබට කුමක් කළ යුතු ද?
කුමන දඬුවමක් දිය යුතු ද?
4 දිළෙන ගිනි අඟුරු ද හේවායාගේ තියුණු ඊගස් ද ඔබ පිට පැමිණේ වා!
5 මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය.
6 සාමයට ද්වේෂ කරන්නා සමඟ මම බොහෝ කල් වාසය කෙළෙමි.
7 මම සාමය සොයන්නෙමි;
එහෙත්, ඒ ගැන කතා කරන විට ඔව්හු සටනට සැරසෙති.

– 121 වන පරිච්ඡේදය –

අපේ එක ම පිහිට

1 කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි.
මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද?
2 මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය.
අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය.
3 එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක.
අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක.
4 ඉශ්රායෙල් ජාතියේ රැකවරණයාණන් හට නිදි බරවීමක් වත්, නිදාගැනීමක් වත් නැත්තේ ය.
5 සමිඳාණෝ ඔබ රක්නා උත්තමයාණෝ ය.
සමිඳාණෝ ඔබ දකුණත සිට ඔබට රැකවරණය දෙන සේක.
6 දවාලේ හිරු ඔබට පීඩා නොකරන්නේ ය.
රාත්‍රියේ සඳ ඔබට පීඩා නොකරන්නේ ය.
7 සමිඳාණෝ සියලු නපුරෙන් ඔබ රැකගන්න සේක;
ඔබේ ජීවිතය රැකවල් කරන සේක.
8 මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ,
ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.

– 122 වන පරිච්ඡේදය –

ජෙරුසලම ගැන පැසසුම

දාවිත් විසිනි.
1 ”දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
2 එම්බා ජෙරුසලම!
අපේ දෙපා තිගේ වාසල ඇතුළේ තබා තිබේ.
3 එම්බා ජෙරුසලම!
මැනවින් සදා නිම කළ නුවරක් මෙන් තී ගොඩනඟන ලද්දී ය.
4 ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳුන්ගේ ගෝත්‍රයෝ, එතුමන් නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.
5 මන්ද, සිංහාසනය, එනම්, දාවිත්ගේ සිංහාසනය සෙනඟ විනිශ්චය කරන පිණිස එහි පිහිටා තිබේ.
6 ජෙරුසලමේ සාමය උදෙසා අයැදුම් පුදන්න;
තිට ප්‍රේම කරන්නෝ දියුණු වෙත් වා!
7 තිගේ පවුරු තුළ සාමය බැබළේ වා!
තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා!
8 මාගේ නෑ මිතුරන් නිසා මම මෙසේ කියමි:
”ජෙරුසලම තුළ සාමදානය වේ වා!”
9 අපේ දෙව් සමිඳුන්ගේ මාලිගාව නිසා මම තිගේ යහපත සොයන්නෙමි.

– 123 වන පරිච්ඡේදය –

දයාව සඳහා යැදීම

1 සගලොව වැඩ වසන සමිඳුනි ඔබ දෙස මාගේ ඇස් ඔසවමි.
2 බලව, දාසයෙකුගේ ඇස් සිය ස්වාමියාගේ අත දෙසත්, දාසියකගේ ඇස් සිය ස්වාමි දුවගේ අත දෙසත් යොමු වී තිබෙන්නාක් මෙන්, අපේ දෙවිඳාණන්ගේ කරුණාව අප වෙත පහළ
වන තෙක්, අපේ දෑස එතුමාණන් දෙස යොමා තිබේ.
3 සමිඳුනි, අපට කරුණා කළ මැනව;
අපට කරුණා කළ මැනව.
මන්ද, අපි අධික ලෙස නින්දාවට ලක් වී සිටියෙමු.
4 සුව පහසු ලබමින් සිටින අයගේ උපහාසයටත්, අහංකාරීන්ගේ නින්දාවටත් අපි බොහෝ කල් ලක් වී සිටියෙමු.

– 124 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල් සෙනඟගේ මිදුම්කාරයාණෝ

දාවිත් විසිනි.
1 ඉශ්රායෙල් මෙසේ කියත් වා!
”අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,
2 අපට විරුද්ධ ව සතුරන් නැඟිට ආ කල, අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,
3 ඔවුන්ගේ උදහස අපට විරුද්ධ ව ඇවුළුණු කල, අප පණපිටින් ගිල ගන්නට ඔවුන්ට ඉඩ තිබිණි.
4 එවිට ජලයෙන් අප වැසී යන්නට ඉඩ තිබිණි;
දිය දහරින් අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.
5 සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.
6 අපේ සතුරන්ට අප ගොදුරු වීමට ඉඩ නුදුන් සමිඳාණන්ට ප්‍රශංසා වේ වා!
7 පක්ෂි වැද්දාගේ උගුලෙන් ගැළවී යන පක්ෂියෙකු මෙන් අපි මිදුණෙමු;
උගුල බිඳී ගියේ ය.
අපි ගැළවුණෙමු.
8 අපේ පිහිටට ඇත්තේ, අහසත්, පොළොවත් මැවූ සමිඳුන්ගේ නාමය ය.”

– 125 වන පරිච්ඡේදය –

සැදැහැවතුන්ගේ ආරක්ෂාව

1 සමිඳුන් විශ්වාස කරන්නෝ සියොන් කන්ද මෙන් අචල ය, සදාකාලික ය.
2 ජෙරුසලම සිසාරා කඳු වැටි ඇත්තාක් මෙන් සමිඳාණෝ සිය සෙනඟ සිසාරා දැනටත්, සදහටත් වැඩ සිටින සේක.
3 අදමිටු අය දමිටු අයගේ දේශය සදා පාලනය නොකරති.
එසේ කළොත්, දමිටු අය වුව ද අදමිටු දේ කිරීමට පෙළඹෙන්නෝ ය.
4 සමිඳුනි, යහපත් අයට යහපත කළ මැනව;
අවංක සිත් ඇත්තන්ටත් එසේ ම කළ මැනව.
5 එහෙත්, වංක මාර්ගවලට හැරී යන්නන්ට ඔබ දඬුවම් කරන්නාක් මෙන් සමිඳුන්ට විරුද්ධ ව අයුතුකම් කරන්නන්ට ද දඬුවම් කළ මැනව.
ඉශ්රායෙල් ජනතාවට සාමය වේ වා!

 

– 126 වන පරිච්ඡේදය –

මුදනු ලැබූ අයගේ ස්තුති ගීය

1 සමිඳුන් අප මුදා සියොනට ගෙනා කල, අපට එය සිහිනයක් මෙන් විය.
2 එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු;
ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු.
එවිට, ”සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.
3 සමිඳාණෝ අප උදෙසා ඉමහත් දේ කළ සේක;
එබැවින් අපි සන්තෝෂ වමු.
4 සමිඳුනි, අපේ b සිරකරුවන් දකුණු දිශාවේ ගලා යන ඇල දොළ මෙන් අපට යළි ගෙන දුන මැනව.
5 දුකින් කෙත වපුරන්නෝ තුටින් අස්වැන්න නෙළාගන්නෝ ය.
6 ඔව්හු වී මලු රැගෙන කඳුළු සල සලා පිටත් ව ගිය නමුත්,
තම ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් පින පිනා ආපසු ආහ.

– 127 වන පරිච්ඡේදය –

දෙවිඳුන් පැසසීම

1 සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති.
සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.
2 උදයෙන් ම නැඟිට රෑ බෝ වී නින්දට යාම ද ආහාර සැපයීමට පමණ ඉක්මවා වෙහෙසවීම ද නිෂ්ඵල ය.
මන්ද, සමිඳුන්ට ප්‍රේම කරන අයට වුවමනා දේ එතුමාණෝ සපයා දෙන සේක.
3 දරු සම්පත සමිඳාණන්ගෙන් ලැබෙන දායාදයකි;
ඒ සම්පත එතුමන්ගෙන් ලැබෙන ඉමහත් ආශීර්වාදයකි.
4 හේවායෙකුගේ අතෙහි ඊගස යම් සේ ද තරුණ වියේ මවුපියන්ගේ දරුවෝ ද එසේ ම ය.
5 එවැනි ඊගසින් පිරුණු කොපුව ඇති මිනිසා වාසනාවන්තයෙකි.
ඔව්හු උසාවියේ දී සතුරන් සමඟ නඩු කියන විට පරාජයට පත් නොවන්නෝ ය.

 

– 128 වන පරිච්ඡේදය –

බැතිමතුන් හට ආසිරි

1 සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති, එතුමන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය.
2 මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහි ය.
ඔබ වාසනාවන්ත ය;
ඔබට ශුභසිද්ධ වන්නේ ය.
3 ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය.
ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය.
4 සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේ ය.
5 සමිඳාණෝ සියොන්හි සිට ඔබට ආශීර්වාද කරන සේක් වා!
ඔබේ මුළු ජීවිත කාලයේ දී ජෙරුසලමේ සුබ සෙත ඔබට දක්නට ලැබේ වා!
6 ඔබේ දරු මුණුබුරන් දකින්නට ලැබේ වා!
ඉශ්රායෙල් සෙනඟට සාමය වේ වා!

 

– 129 වන පරිච්ඡේදය –

සතුරන්ට විරුද්ධ ව යැදීමක්

1 ඉශ්රායෙල් දැන් මෙසේ කියත් වා:
”මාගේ තරුණ වයසේ පටන් සතුරෝ බොහෝ වර මට පීඩා කළෝ ය.
2 මාගේ තරුණ වයසේ පටන් සතුරෝ බොහෝ වර මට පීඩා කළෝ ය.
එහෙත්, මාගෙන් ජය නොගත්තෝ ය.
3 කුඹුරක් සීසාන්නාක් මෙන් ඔව්හු මාගේ පිට ගැඹුරට හාරා තුවාළ කළෝ ය.
4 එහෙත්, සමිඳාණෝ ධර්මිෂ්ඨ ය;
එතුමාණෝ දුෂ්ටයන්ගේ වහල් බැමිවලින් මා මුදා හරින සේක.”
5 සියොන්ට ද්වේෂ කරන සියල්ලෝ ලජ්ජා වී පලා යත් වා!
6 ඔව්හු වැඩෙන්නට පළමුවෙන් වියළී යන, පියස්ස පිට ඇති තෘණ මෙන් වෙත් වා!
7 කපන්නා එයින්, අත පිරෙන මිටියක් වත්, මිටි බඳින්නා ළය පුරවන මිටියක් වත් නොගන්නේ ය.
8 ”සමිඳුන්ගේ ආශීර්වාද ඔබට වේ වා!
සමිඳුන්ගේ නාමයෙන් අපි ඔබට ආශීර්වාද කරමු”යි මඟ යන කිසිවෙක් ඔවුන්ට නොකියන්නෝ ය.

 

– 130 වන පරිච්ඡේදය –

දුක් සයුරේ සිට යැදීම

1 සමිඳුනි, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි.
2 සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව.
3 සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද?
4 එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක.
5 මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි.
එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි.
6 පහන් වන තුරු බලා සිටින මුරකරුන්ට වඩා, එසේ ය, එළිය වැටෙන තුරු බලා සිටින මුරකරුන්ට වඩා මම සමිඳුන් එන තුරු බලා සිටිමි.
7 එම්බා ඉශ්රායෙල් ජනයෙනි!
සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න.
මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය.
ගැළවීම මුළුමනින් ම එතුමන් අතෙහි ය.
8 එතුමාණෝ ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පාප සියල්ලෙන් මුදා හරින සේක.

 

– 131 වන පරිච්ඡේදය –

ළදරුවෙකු මෙන් යටහත් වීම

1 සමිඳුනි, මාගේ සිත තුළ අහංකාරයක් නැත.
උදාරම් ලෙස මම ඇස් නොඔසවමි.
වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි.
2 ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානී ව සැනසී සිටිමි.
මවු තුරුල්ලේ සංසුන් ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත.
3 එම්බා ඉශ්රායෙල්වරුනි!
මෙතැන් පටන් සදහට ම සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න.

 

– 132 වන පරිච්ඡේදය –

දෙව් මැදුර ගැන ප්‍රශංසා ගීයක්

1 සමිඳුනි, දාවිත් වින්ද දුක් කරදර සියල්ල ඔහුගේ යහපත උදෙසා සිහිකළ මැනව.
2 ඔහු සමිඳුන්ට දිවුරමින්, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට පොරොන්දු වෙමින් කී මේ දේ සිහි කළ මැනව:
3 ”මාගේ නිවෙස තුළට වත්, මාගේ යහනට වත් මම නොයන්නෙමි;
4 මම විවේකය නොගනිමි;
දෑස පියා නොගනිමි.
5 සමිඳුන්ට වාසස්ථානයක් සොයන තුරු, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට මණ්ඩපයක් සපයන තුරු මම එසේ කරන්නෙමි.”
6 බෙත්ලෙහෙමේ දී ගිවිසුම් කරඬුව ගැන ඇසුවෙමු.
වන ලැහැබ් තුළ එය අපට සම්බ විය.
7 අපි එතුමන්ගේ මණ්ඩපවලට යන්නෙමු;
එතුමන්ගේ පාපුටුව ළඟ නමස්කාර කරන්නෙමු.
8 සමිඳුනි, නැඟිට ඔබේ බල මහිමයේ සංකේතය වන ගිවිසුම් කරඬුව ඇති ව,
ඔබේ විශ්‍රාම ස්ථානයට වැඩිය මැනව.
9 ඔබේ පූජකයෝ දැහැමිකමින් සැරසෙත් වා!
ඔබේ සැදැහැවත්හු තුති ගොස කරත් වා!
10 ඔබේ මෙහෙකරු වූ දාවිත්ට දුන් පොරොන්දුව පරිදි ඔබේ අභිෂේක ලත් තැනැත්තා පිළිකෙව් නොකළ මැනව.
11 සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක:
”නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි.
12 නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්,
ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”
13 සමිඳාණෝ සියොන් තෝරාගත් සේක.
සිය වාසභවනය ලෙස ඊට කැමැති වූ සේක.
14 මෙය සදාකල් ම මාගේ වාසස්ථානය වේ.
මම මෙහි වැඩ වසන්නෙමි;
මම ඊට කැමැති වෙමි.
15 සියොන්හි වැසියන්ට ආහාර බහුලත්වයෙන් මම ආසිරි දෙන්නෙමි;
එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි.
16 එහි පූජකයන් ගැළවීමේ සළුවෙන් සරසන්නෙමි.
එහි සැදැහැවත්හු තුති ගොස කරන්නෝ ය.
17 එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි.
මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි.
18 ඔහුගේ සතුරන් ලජ්ජාවට පත් කරන්නෙමි.
එහෙත්, ඔහු මත ඔහුගේ කිරුළ බබළන්නේ ය.

 

– 133 වන පරිච්ඡේදය –

සහෝදර ප්‍රේමයේ අලංකාරය

1 සහෝදරයන් මෙන් එක් ව විසීම කෙතරම් ප්‍රියංකර ද?
කෙතරම් යහපත් ද?
2 එය, ආරොන්ගේ හිස පිට වත් කරන ලද, ඔහුගේ රැවුල දිගේ කර පටිය දක්වා ගලා ගිය අනගි තෙලක් මෙන් පැතිර යන්නෙකි.
3 එය, සියොන් ගිර මත වැටෙන හෙර්මොන් කන්දේ පිනි හා සමාන ය.
මන්ද, සමිඳාණෝ ඊට ආශීර්වාද කරන සේක.
එනම්, සදාකාල ජීවනය ඊට දානය කළ සේක.

 

– 134 වන පරිච්ඡේදය –

සන්ධ්‍යා ගීයක්

1 රෑ කාලේ සමිඳුන්ගේ මාලිගාවේ සිටින සමිඳුන්ගේ සියලු මෙහෙකරුවෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
2 ශුද්ධස්ථානය දෙසට අත් ඔසවා, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
3 සමිඳාණෝ, එසේ ය, අහසත් පොළොවත් මැවූ තැනැන් වහන්සේ, සියොන් සිට ඔබට ආශීර්වාද කරන සේක් වා!

 

– 135 වන පරිච්ඡේදය –

මැවිල්ලෙන් ප්‍රකාශ වන සමිඳුන්ගේ ගුණ වැණුම

1 සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.
2 සමිඳුන්ගේ මාලිගාවෙහි, අපේ දෙවිඳුන්ගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටින්නෙනි, එතුමන්ට ප්‍රශංසා කරන්න.
3 සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
එතුමාණෝ යහපත් ය.
එතුමාණෝ කරුණාබර වන සේක.
එතුමන්ගේ නාමයට ගී ගයන්න;
4 සමිඳාණෝ තමන්ට ම ජාකොබ්ගේ පෙළපත ද තමන්ගේ විශේෂ උරුමය කොට ඉශ්රායෙල් සෙනඟ ද තෝරාගත් සේක.
5 සමිඳාණන් අති උතුම් බවත්, වෙනත් සියලු දෙවිවරුන්ට වඩා අපේ සමිඳාණන් උසස් බවත් දනිමි.
6 සමිඳාණෝ, යමක් කරන්නට කැමැති සේක් නම්, අහසෙහි ද පොළොවෙහි ද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්වල ද එය ඉටු කරන සේක.
7 එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක;
වර්ෂාව සඳහා විදුලිය හටගන්වන සේක;
සිය ගබඩාවලින් සුළඟ නික්මවන සේක;
8 එතුමාණෝ මිසර වැසියන්ගේත්, මෘගයන්ගේත් කුලුඳුලන්ට පහර දුන් සේක.
9 එම්බා මිසරය!
තී මැදට, පාරාවෝට සහ ඔහුගේ සියලු මෙහෙකරුවන්ට එරෙහි ව එතුමාණෝ අරුමපුදුම දේ හා හාස්කම් පැමිණෙවු සේක.
10 එතුමාණෝ බොහෝ විජාතීන්ට පහර දී, බලවත් රජුන් ඝාතනය කළ සේක.
11 අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද වැනසූ සේක.
12 ඔවුන්ගේ දේශය උරුම කොට, ස්වකීය සෙනඟ වූ ඉශ්රායෙල්ට උරුම කොට දුන් සේක.
13 සමිඳුනි, ඔබේ නාමය සදාකල් පවත්නේ ය.
සමිඳුනි, ඔබේ මහිමය සියලු පරම්පරාවන්ට පැතිර යන්නේ ය.
14 මන්ද, සමිඳාණෝ තමන් සෙනඟට යුක්තිය ඉටුකර දෙන සේක.
ස්වකීය මෙහෙකරුවන්ට අනුකම්පා කරන සේක.
15 විජාතීන්ගේ රූප රනින් හා රිදීයෙන් ය, ඒවා මිනිස් අතින් සෑදූ දේ ය.
16 ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි;
ඇස් ඇත, එහෙත්, නොදකියි;
17 කන් ඇත, එහෙත්, නොඇසෙයි;
නාස් පුඩු ඇත, එහෙත්, හුස්මක් නැත.
18 ඒවා සාදන්නෝත්, එමෙන් ම ඒවා විශ්වාස කරන සියල්ලෝත් ඒවාට සමාන වන්නෝ ය.
19 එම්බා ඉශ්රායෙල් වංශය!
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
එම්බා ආරොන්ගේ වංශය!
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
20 එම්බා ලෙවී වංශය!
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
සමිඳුන්ට ගරුබිය ඇත්තෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
21 සියොන්හි, ජෙරුසලමෙහි වැඩ වසන සමිඳාණෝ ප්‍රශංසා ලබන සේක් වා!
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

 

– 136 වන පරිච්ඡේදය –

ප්‍රේම හරිත සමිඳුන් වැණුම

1 සමිඳුන් හට තුති පුදන්න.
එතුමාණෝ යහපත් ය.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
2 දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
3 රාජාතිරජිඳුන්ට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
4 අසිරිමත් දේ කරන එක ම තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
5 ප්‍රඥාවෙන් අහස මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
6 ජල මතුයෙහි පොළොව මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
7 ඉර හඳ මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
8 දවාල පාලනය කීරීමට හිරු මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
9 රාත්‍රිය පාලනය කිරීමට සඳ හා තාරකා මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
10 මිසර වැසියන්ගේ කුලුඳුලන්ට පහර දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
11 ඔවුන් අතරෙන් ඉශ්රායෙල්වරුන් පිටතට ගෙන ආ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
12 ප්‍රබල බාහුවෙන් ද දිගු කළ හස්තයෙන් ද එසේ කළ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට ම පවත්නේ ය.
13 රතු මුහුද දෙපළු කළ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
14 ඉශ්රායෙල්වරුන් මුහුද මැදින් ගෙන ගිය තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
15 පාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ ගිල්වාදැමූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
16 සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
17 බලවත් රජුන්ට පහර දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
18 කීර්තිමත් රජුන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
19 අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
20 බාෂාන්හි රජ වූ ඕග් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
21 ඔවුන්ගේ දේශය උරුමකොට සිය සෙනඟට දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
22 සිය මෙහෙකරු ඉශ්රායෙල්ට එය උරුම කොට දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
23 අප පරාජයට පත් ව සිටිය දී අප සිහිකළ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
24 අපේ සතුරන්ගෙන් අප මිදූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
25 එතුමාණෝ සව් සත හට ආහාර සපයන සේක.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
26 සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

 

– 137 වන පරිච්ඡේදය –

විප්‍රවාසගත වූවන්ගේ පැතීම

1 බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු.
සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු.
2 එහි බට පඳුරුවල අපේ වීණා එල්ලා තැබීමු.
3 එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි.
අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි.
4 විදේශයක දී, සමිඳුන්ගේ ගීතය අපි කෙසේ ගයමු ද?
5 එම්බා ජෙරුසලම!
තී මට අමතක වී නම්, මාගේ දකුණත වියළී යේ වා!
6 මම තී සිහි නොකරම් නම්, මාගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මාගේ දිව ගොළු වේ වා!
7 සමිඳුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, ‘බිඳ හෙළව්, බිඳ හෙළව්’ කියමින් ඒදොම් වැසියන් කළ දේ ඔවුන්ට විරුද්ධ ව සිහිකළ මැනව.
8 අහෝ බබිලෝනිය!
විනාශකාරී බබිලෝනිය!
තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.
9 තිගේ ළදරුවන් රැගෙන ගලේ ගසන මිනිසා වාසනාවන්ත ය.

 

– 138 වන පරිච්ඡේදය –

සමිඳුන් කෙරෙහි විශ්වාසය

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි.
දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
2 ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි.
ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක.
3 මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක;
මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක.
4 සමිඳුනි, මෙලොව සියලු රජවරු ඔබේ පොරොන්දු ඇසූ බැවින් ඔබට තුති පුදන්නෝ ය.
5 එසේ ය, සමිඳුන්ගේ මහිමය උතුම් වන්නේ ය;
ඔව්හු සමිඳුන්ගේ මාර්ග ගැන ගී ගයන්නෝ ය.
6 සමිඳාණෝ උසස් නමුත්, පහත් අය සලකන සේක.
එහෙත්, උඩඟු අය දුර සිට ම හැඳිනගන්න සේක.
7 මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක.
ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක.
ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.
8 සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක.
සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය.
ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.

– 139 වන පරිච්ඡේදය –

සර්වඥ දෙවියන් වහන්සේ

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක.
2 මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක.
දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක.
3 මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක.
මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක.
4 මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි, එහි අග මුල ඔබ දන්න සේක.
5 පෙර පසු යන දෙපසින් ම ඔබ මා වට කර ඇත.
ඔබේ අත මා රැකගනු ඇත.
6 මෙම ඥානය මාගේ දැනුම ඉක්මවා යයි.
එය උසස් ය, මට ඊට ළඟාවිය නොහැකි ය.
7 ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද?
ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද?
8 මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය.
පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය.
9 මා නැගෙනහිරට ඉගිළී ගියත්, බටහිර මුහුදු සීමාන්තයේ විසුවත්
10 එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේ ය.
ඔබේ දකුණත මට පිහිට වන්නේ ය.
11 ”අඳුර මා වසාගනී වා! මා අවට පැතිරෙන එළිය
අඳුරක් වේවා”යි මා කීවත්,
12 අඳුර ඔබට අඳුරක් නොවේ;
අඳුරත්, එළියත් ඔබට එක හා සමාන ය.
13 ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක;
මාගේ මවු කුසෙහි මා තැනූ සේක.
14 මම ඔබට තුති පුදමි.
මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය.
ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය;
ඔබ තරයේ මා දන්න සේක.
15 මාගේ ඇටකටු සැදෙන විට, මවු කුසෙහි මා වැඩෙන විට, රහසිගත ව මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටි සේක.
16 මා බිහි වන්නට පෙර ඔබ මා දුටු සේක.
මාගේ දවස් පටන්ගන්නටත් පෙර මාගේ ආයු ඔබේ පොතෙහි සටහන් කර තිබිණි.
17 දෙවිඳුනි, ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද?
එහි අදහස් කොපමණ අසීමිත ද?
18 ගණනින් ඒවා වැලිවලටත් වැඩි ය.
ඒවා කෙසේ මට ගිණිය හැකි ද?
ඒවා ගැන නිම කිරීමට නම්, ඔබට මෙන් ආයුස මටත් තිබිය යුතු ය.
19 දෙවිඳුනි, ඔබ දුෂ්ටයන් මරන සේක් නම්, මම කොපමණ කැමැත්තෙම් ද? දුදනෝ මාගෙන් අහක් ව යන්නෝ නම්, මම කොපමණ ආසා වෙම් ද?
20 ඔබේ සතුරෝ ඔබට විරුද්ධ ව කතා කියති;
ඔව්හු ඔබේ වචන නොසලකා හරිති.
21 සමිඳුනි, ඔබට වෛර කරන්නන්ට මම වෛර නොකරම් ද?
ඔබට විරුද්ධ ව නැඟිටින්නන්ට මම විරුද්ධ නොවෙම් ද?
22 මම ඔවුන්ට සහමුලින් වෛර කරමි.
ඔවුන් මාගේ සතුරන් කොට ගණන්ගනිමි.
23 දෙවිඳුනි, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව.
මා පරීක්ෂාකර, මාගේ සිතිවිලි දැනගත මැනව.
24 මම පව් මඟ ගමන් කරම් දැ යි බැලුව මැනව.
සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව.

 

– 140 වන පරිච්ඡේදය –

දුදනන්ගෙන් ආරක්ෂාව පතා අයැදීම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, දුදනන්ගෙන් මා ගැළෙවුව මැනව.
සැහැසිකම් කරන අයගෙන්, මා ආරක්ෂා කළ මැනව.
2 ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති.
3 ඔවුන්ගේ දිව විසකුරු සපුන්ගේ දළ මෙන් තියුණු ය.
ඔවුන්ගේ වචන පොළොං විස වැන්න.
4 සමිඳුනි, දුදනන්ගේ අතින් මා මුදාගත මැනව.
සැහැසිකම් කරන අයගෙන් මා ආරක්ෂා කළ මැනව.
ඔව්හු මාගේ පැකිළීමට උපා යොදති.
5 උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය.
ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ.
6 ‘ඔබ මාගේ දෙවිඳාණෝ ය’යි මම සමිඳුන් ඇමතුවෙමි.
සමිඳුනි, මාගේ කන්නලව්වට සවන් දුන් මැනව.
7 මාගේ ගැළවීමේ ශක්තිය වන මහෝත්තම දෙවි ස්වාමීනි, සටනේ දී ඔබ මාගේ හිස වැස්මකින් ආරක්ෂා කළ සේක.
8 සමිඳුනි, දුදනන්ගේ ආසාව ඉටු නොකළ මැනව.
ඔවුන්ගේ නපුරු උපා සාර්ථක වන්නට ඉඩ නුදුන මැනව.
9 මා වට කරගෙන සිටින අයට ජය ගන්නට ඉඩ නොදෙන්න.
ඔවුන්ගේ තර්ජන ඔවුන් පිට ම වැටේ වා!
10 ඔවුන් පිට ගිනි අඟුරු වැටේ වා!
ඔව්හු ගොඩ ගන්නට නොහැකි ගැඹුරු වළක හෙළනු ලබත් වා!
11 නපුරු, කේළාම්කාර මිනිසාට දේශයෙහි සිටින්නට ඉඩ නුදුන මැනව.
සාහසිකයන් හෙළන පිණිස නපුරා වේගයෙන් ඔවුන් ලුහුබඳී වා!
12 සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.
13 සැබැවින් දැහැමියෝ ඔබේ නාමයට තුති පුදන්නෝ ය.
අවංක අය ඔබ අබිමුව යෙහෙන් වාසය කරන්නෝ ය.

 

– 141 වන පරිච්ඡේදය –

පරීක්ෂාවෙන් මිදීම පිණිස අයැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, මම ඔබෙන් අයැදින්නෙමි.
මා ළඟට විගසින් වැඩිය මැනව.
ඔබෙන් අයැදින කල මට සවන් දුන මැනව.
2 මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව.
3 සමිඳුනි, මාගේ කට රැක ගැන්මට පිහිට වුණ මැනව.
මාගේ දෙතොල රක්ෂා කළ මැනව.
4 මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.
දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.
5 සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි.
එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි.
මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි.
6 ඔවුන්ගේ විනිශ්චයකාරයන් ප්‍රපාතවලින් හෙළනු ලැබූ කල මාගේ වචන සැබෑ බව සෙනඟ පිළිගනු ඇත.
7 ලී කොට කැබලිකර දමන්නාක් මෙන් ඔවුන්ගේ ඇටකටු මිනී වළේ කට ළඟ විසිරී තිබේ.
8 එසේ ය, මහෝත්තම දෙවි ස්වාමීනි, මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ.
මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි.
මා අනාථ වන්නට ඉඩ නුදුන මැනව.
9 ඔවුන් මට තැබූ මලපතින් ද අයුතුකම් කරන්නන්ගේ උගුල්වලින් ද මා ආරක්ෂා කළ මැනව.
10 මා ගැළවී යන අතර, දුදනෝ තමන්ගේ ම දැල්වලට අසු වෙත් වා!

 

– 142 වන පරිච්ඡේදය –

දැඩි අනතුරක දී කන්නලව්ව

ගුහාවේ තමාගේ සිටීම ගැන දාවිත්ගේ අනුශාසනා යාච්ඤාවකි.
1 මම හඬ නඟා සමිඳුන්ට මොරගසමි.
මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි;
2 මාගේ දුක් ගැනවිලි එතුමන් ඉදිරියෙහි තබමි.
එතුමන් ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි.
3 මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක.
මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය.
4 මම ඇස් යොමා දකුණු දෙස බැලුවෙමි.
මා ළඟ මිතුරෙකු නැති බව මට පෙනිණි.
මා ආරක්ෂා කරන්න කිසිවෙක් නැත.
කිසිවෙක් මා ගැන සලකන්නේ නැත.
5 සමිඳුනි, මම ඔබට මොරගැසීමි:
ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක.
මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය.
6 මාගේ මොරගැසීමට කන් දුන මැනව.
මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි.
මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව.
මන්ද, ඔව්හු මට වඩා බලවත් ය.
7 දුක් නමැති දඟ ගෙයින් මා මිදුව මැනව.
ඔබ මට යහපත කළ නිසා මම ඔබේ සැදැහැවතුන්ගේ සභාවෙහි ඔබට තුති පුදන්නෙමි.

 

– 143 වන පරිච්ඡේදය –

බැගෑපත් යැදුමක්

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, මාගේ යැදුම ඇසුව මැනව.
මාගේ කන්නලව්වට සවන් දුන් මැනව.
ඔබේ සත්‍යවාදීකමින් ද ධර්මිෂ්ඨකමින් ද මට පිළිතුරු දුන මැනව.
2 ඔබේ දාසයා විනිශ්චයට ගෙන නොගිය මැනව.
ඔබ අබිමුව නිදොස් කෙනෙක් මෙදියත නැත.
3 සතුරා මට පීඩා කෙළේ ය.
ඔහු මට පහර දී මා බිම හෙළුවේ ය.
ඔහු මා අඳුරු තැනකට දැමුවේ ය.
මම බොහෝ කලකට පෙර මළ කෙනෙකු මෙන් වීමි.
4 එබැවින් ම සිත අඩපණ වී ඇත.
මාගේ හද තුළ කිසි සැනසුමක් නැත.
5 යටගිය දවස් මම සිහි කරමි;
ඔබේ සියලු ක්‍රියා ගැන භාවනා කරමි;
ඔබ කළ දේ ගැන මෙනෙහි කරමි.
6 මාගේ දොහොත් මුදුන් දී ඔබෙන් අයැදිමි;
මාගේ සිත වියළි බිමක් මෙන් ඔබ කෙරෙහි පිපාසිත වේ.
7 සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව.
මාගේ සිත අඩපණ වී ඇත.
පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
8 උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව.
මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි.
මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. ඔබ දෙස මාගේ සිත ඔසවමි.
9 සමිඳුනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙව්ව මැනව.
රැකවරණය පිණිස මම ඔබ වෙත දුවගෙන එමි.
10 ඔබේ කැමැත්ත කරන්න මට ඉගැන්නුව මැනව.
ඔබ මාගේ දෙවිඳාණෝ ය.
ඔබ යහපත් වන බැවින් පහසු මාවතක මා ගෙන ගිය මැනව.
11 සමිඳුනි, ඔබේ නාමයේ ගෞරවය උදෙසා මා ආරක්ෂා කළ මැනව.
ඔබේ ධර්මිෂ්ඨකම නිසා මා විපතින් මිදුව මැනව.
12 ඔබේ අධික ප්‍රේමයෙන් මා සතුරන් සිඳදැමුව මැනව.
මට පීඩා කරන සියල්ලන් විනාශ කළ මැනව.
මන්ද, මම ඔබේ මෙහෙකරු වෙමි.

 

– 144 වන පරිච්ඡේදය –

ජය දෙන සමිඳුන්ට පැසසුම්

දාවිත්ගේ ගීතයකි.
1 මාගේ පර්වතය වන සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.
2 එතුමාණෝ මට කරුණා නිධානය ය;
මාගේ බලකොටුව ය;
මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරු ය;
මාගේ පලිහ ය.
මා විශ්වාසය තබන තැනැන් වහන්සේ ය.
ජාතීන් මට යටත්කර දෙන්නේ එතුමාණෝ ය.
3 සමිඳුනි, ඔබ, මිනිසා ගැන කල්පනා කරන්න තරම් ඔහු කවරෙක් ද?
මිනිසා ගැන සලකන්න තරම් ඔහු කවරෙක් ද?
4 මිනිසා සුළං රොදකට සමාන ය;
ඔහුගේ කාලය පහ වී යන හෙවණැල්ලක් වැනි ය.
5 සමිඳුනි, ඔබ අහස විවර කොට බැස වැඩිය මැනව.
කඳුවලින් දුම් නඟින පිණිස ඒවා ස්පර්ශ කළ මැනව.
6 විදුලිය විහිදුවා රුපුන් විසුරුවා හැරිය මැනව.
ඔබේ ඊතල විද ඔවුන් පලවා හැරිය මැනව.
7 සගලොවින් ඔබේ හස්තය දිගු කළ මැනව.
මහා ජල ගැල්මෙන් ද විදේශීන්ගේ අතින් ද මා බේරා මුදාගත මැනව.
8 ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය;
දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය.
9 දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි.
තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි.
10 රජුන්ට ජය දෙන්නේත්, ඔබේ මෙහෙකරු දාවිත් රුදුරු කඩුවෙන් මුදාගන්නේත් ඔබ ය.
11 විදේශීන්ගේ අතින් මා බේරා මුදාගත මැනව.
ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය;
ඔවුන් දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය.
12 තරුණ වියේ සිටින අපේ පුත්‍රයෝ වැඩුණු පැළ මෙන් වෙත් වා!
අපේ දූවරු මාලිගාවල කැටයම් කරන ලද මනහර කණු මෙන් වෙත් වා!
13 අපේ ගබඩා සියලු ආකාර ධනයෙන් පිරේ වා!
අපේ කෙත්වල බැටළුවෝ දහස් ගණන්, දස දහස් ගණන් බිහි කරත් වා!
14 අපේ ගවදෙන්නු ගැබ් ගැනීමට ශක්ති සම්පන්න වෙත් වා!
ගබ්සා වීමක් වත්, අකලට ඉපදීමක් වත් නො වේ වා!
අපේ වීදිවල විලාප හැඬීම් නො වේ වා!
15 මෙයාකාර ආසිරි ලත් සෙනඟ වාසනාවන්ත ය.
සමිඳාණෝ තම දෙවිඳාණෝ යැයි පිළිගත් සෙනඟ වාසනාවන්ත ය.

 

– 145 වන පරිච්ඡේදය –

දෙවි රජිඳුන්ට ප්‍රශස්ති ගීතයක්

දාවිත්ගේ ගීතයකි.
1 මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි.
ඔබ නම සදාකල් ම පසසමි.
2 සැම දා ඔබට තුති පුදමි;
සදාකල් ඔබ නම පසසමි.
3 සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය.
එතුමන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.
4 පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති;
ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති.
5 මම ඔබේ රජ සිරි තෙද මහිමයත්, ඔබේ අරුමපුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි.
6 දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය;
මම ඔබේ උතුම්කම පවසන්නෙමි.
7 ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති;
ඔබේ දැහැමිකම ගැන ගී ගයති.
8 සමිඳාණෝ දයාවන්ත ය.
අනුකම්පාවෙන් පූර්ණ ය;
වහා නොකිපෙන සුලු ය;
තිරසර පෙමින් යුතු ය.
9 සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක;
එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.
10 සමිඳුනි, ඔබ මැවූ සියලු දේ ඔබට තුති පුදයි;
ඔබේ සැදැහැවත්තු ද ඔබට ප්‍රශංසා කරති.
11 ඔව්හු ඔබේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරති.
ඔබේ බල මහිමය ගැන ද කතා කරති.
12 එසේ කරන්නේ, දෙවිඳුන්ගේ ප්‍රබල ක්‍රියාත්, රාජ්‍යයේ තේජෝ මහිමයත් මිනිසුන් හට දන්වන පිණිස ය.
13 ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය
සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක.
තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.
14 වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක.
නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක.
15 සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ.
ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක.
16 ඔබ සිය හස්තය විදහා පාන සේක;
ජීවමාන සියල්ලන්ගේ ආසාවන් සපුරාලන සේක.
17 සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය.
18 අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක.
අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.
19 තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක.
ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.
20 සමිඳාණෝ තමන්ට ප්‍රේම කරන සියල්ලන් ආරක්ෂා කරන සේක.
එහෙත්, සියලු දුදනන් වනසාලන සේක.
21 මා මුවින් සමිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි.
සව් සත සදාකල් ම එතුමන්ගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරත් වා!

 

– 146 වන පරිච්ඡේදය –

එක ම ගැළවුම්කාර සමිඳුන්

1 සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
2 දිවි හිමියෙන් සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමි.
දිවි ඇති තාක් මා දෙවිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි.
3 රජ කුමරුන් කෙරෙහි වත්, පිහිට විය නොහැකි කිසි ම මිනිසෙකු කෙරෙහි වත් විශ්වාසය නොතබන්න.
4 මිනිසා අන්තිම හුස්ම හෙළයි;
පසට ආපසු හැරෙයි;
එදින ම ඔහුගේ යෝජනා සුන් වී යයි.
5 ජාකොබ්ගේ දෙවිඳුන් සරණ පතන, සිය දෙවි සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තේ වාසනාවන්ත ය.
6 එතුමාණෝ අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ සේක.
එතුමාණෝ සදාකල් ම විශ්වාසී ව සිටින සේක.
7 සමිඳාණෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක;
සාගිනි වූවන්ට ආහාර දෙන සේක;
8 එතුමාණෝ සිරකරුවන් මුදන සේක;
අන්ධයන්ගේ ඇස් පහදන සේක;
වැටී ගියවුන් නඟා සිටුවන සේක;
සමිඳාණෝ දමිටුන්ට ප්‍රේම කරන සේක.
9 විදේශීන් ආරක්ෂා කරන සේක;
අනාථයන්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක;
එහෙත්, දුදනාගේ යෝජනා සුන් කරන සේක.
10 සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක.
එම්බා සියොන් නගරය!
ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

 

– 147 වන පරිච්ඡේදය –

සව් බලැති දෙවිඳුන් පැසසීම

1 සමිඳුන්ට ප්‍රශංසා කරන්න;
අපේ දෙවිඳුන්ට පසස් ගී ගැයීම යහපත් ය.
එතුමන් පැසසීම පියකරු ය, හොබනේ ය.
2 සමිඳාණෝ ජෙරුසලම ගොඩනඟන සේක.
විප්‍රවාසී වූ ඉශ්රායෙල් සෙනඟ රැස් කරන සේක.
3 එතුමාණෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක;
ඔවුන්ගේ තුවාළ බඳින සේක.
4 එතුමාණෝ තාරකා ගණන නියම කළ සේක.
ඒ සියල්ලට නම් තබන සේක.
5 අප සමිඳාණෝ උතුම් ය:
ඉතා බලසම්පන්න ය;
එතුමන්ගේ ඥානය අසීමිත ය.
6 සමිඳාණෝ දීනයන් ඔසවන සේක;
දුදනන් පහතට හෙළන සේක.
7 තුති පුදා සමිඳුන්ට ගී ගයන්න;
වීණා වැයීමෙන් අපේ දෙවිඳුන් පසසන්න.
8 එතුමාණෝ වලාකුළුවලින් අහස ආවරණය කරන සේක;
පොළොවට වැසි වස්වන සේක.
කඳු මත තෘණ වැවෙන්නට සලසන සේක.
9 එතුමාණෝ මෘගයන්ටත්, හඬන කපුටු පැටවුන්ටත් කෑම දෙන සේක.
10 සවි බලැති අසුන්ගෙන් එතුමන්ට කම් නැත.
වේගයෙන් දුවන සෙබළුන්ගෙන් එතුමන්ට වැඩක් නැත.
11 එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට,
තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.
12 එම්බා ජෙරුසලම!
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න.
13 මන්ද, එතුමාණෝ තිගේ වාසල් දොරටුවල අගුල් සවිමත් කළ සේක;
තිගේ දරුවන්ට ආශීර්වාද කළ සේක.
14 තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක;
ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක.
15 එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක.
එතුමන්ගේ වචන යුහු ව පැතිර යයි.
16 එතුමාණෝ බැටළු ලොම් මෙන් හිම වස්වන සේක.
අළු මෙන් පිනි කැට විසුරුවන සේක.
17 සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක.
එතුමන් එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද?
18 එතුමාණෝ අණ දෙන සේක;
හිම කැට දිය වන්න සලස්වන සේක. එතුමාණෝ හුළඟ හමන්න සලස්වන සේක.
එවිට ජලය ගලා යන්නේ ය.
19 එතුමාණෝ ජාකොබ්ට සිය වචනය ද ඉශ්රායෙල්ට සිය පණත් සහ නියමයන් ද ප්‍රකාශ කරන සේක.
20 එතුමාණෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක.
ඔව්හු එතුමන්ගේ නියමයන් දැන නොගත්තෝ ය.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

 

– 148 වන පරිච්ඡේදය –

මුළු විශ්වයෙන් සමිඳුන්ට පැසසුම්

1 සමිඳුන් පසසන්න. සගලෝ සිට සමිඳුන් පසසන්න.
උස් තැන්හි දී ඔබ හැම එතුමන් පසසන්න.
2 එතුමන්ගේ සියලු දූතයෙනි, එතුමන් පසසන්න.
එතුමන්ගේ මුළු සේනාවෙනි, එතුමන් පසසන්න.
3 ඉර හඳ මඬලෙනි, එතුමන් පසසන්න.
දිළිහෙන තරු සියල්ලෙනි, එතුමන් පසසන්න.
4 උසස් ම ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, එතුමන් පසසන්න.
5 ඒ සියල්ලෝ සමිඳුන්ට ප්‍රශංසා කරත් වා!
මන්ද, එතුමාණෝ අණ කළ සේක.
එවිට ඒවා මවන ලද්දේ ය.
6 එතුමාණෝ සදහට ම ඒවා පිහිටෙවූ සේක.
ඒවාට ඉක්මවා ගිය නොහැකි සීමාවක් තැබූ සේක.
7 මහ මුහුද හා එහි වසන මසුනි,
8 ගිනි හා ගල් වැහි වලාවෙනි, හිම හා වාෂ්පයෙනි, එතුමන්ගේ අණ ඉටු කරන මාරුතයෙනි, පොළොවේ සිට සමිඳුන් පසසන්න.
9 කඳු හා හෙල් සියල්ලෙනි, පල දෙන ගස් හා කිහිරි රුක් සියල්ලෙනි,
10 වන සතුන්, උරගයින්, පක්ෂීන් හා සියලු සිව්පාවෙනි, සමිඳුන් පසසන්න.
11 මිහි පිට රජවරුන් හා සියලු මිනිස් වර්ගයෙනි, අධිපතිවරුනි, ලොවේ සියලු විනිසකරුවෙනි,
12 තරුණ තරුණියනි, මහල්ලන් හා බාලයෙනි, සමිඳුන් පසසන්න.
13 මොවුහු සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරත් වා!
එතුමන්ගේ නාමය පමණක් උදාරතර ය.
එතුමන්ගේ මහිමය අහසත්, පොළොවත් ඉක්මවා යන්නේ ය.
14 එතුමන්ගේ සියලු සෙනඟ ද එතුමන්ට ප්‍රිය ඉශ්රායෙල් සෙනඟ ද සියලු සැදැහැවතුන් ද පැසසුමට හා මහිමයට එතුමාණෝ එසෙවූ සේක.
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

 

– 149 වන පරිච්ඡේදය –

ජය මංගල ගීය

1 සමිඳුන් පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න.
2 තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා!
තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා!
3 එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා!
රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා!
4 සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
දීනයන් ජය සිරියෙන් සරසන සේක.
5 සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා!
මුළු රෑ එතුමන් නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා!
6 දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා!
සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!
7 එසේ කරන්නේ, ජාතීන් කෙරෙහි පළිගැනීම පිණිස ය;
මිනිස් වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිස ය;
8 ඔවුන්ගේ රජුන් යදමින් ද ඔවුන්ගේ අධිපතීන් විලංගුවලින් ද බඳින පිණිස ය;
9 ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස ය;
මේ ගෞරවය එතුමන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

 

– 150 වන පරිච්ඡේදය –

පැසසුම් ගීයක්

1 සමිඳුන් පසසන්න.
දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමන් පසසන්න.
එතුමන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමන් පසසන්න.
2 එතුමන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමන් පසසන්න.
එතුමන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න.
3 හොරණෑ නාදයෙන් එතුමන් පසසන්න.
කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමන් පසසන්න.
4 රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමන් පසසන්න.
වීණාවෙන් හා නළාවෙන් එතුමන් පසසන්න.
5 හඬැති අත්තලින් ද උස් නද දෙන අත්තලින් ද එතුමන් පසසන්න.
6 ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s