– 1 වන පරිච්ඡේදය –
සයිරස් රජුගේ ප්‍රකාශනය
1 පර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියා මඟින් ප්‍රකාශ කළ වචනය ඉටු වන පිණිස, උන් වහන්සේ පර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත උද්‍යෝගවත් කළ සේක. ඔහු තමාගේ රාජ්‍යයේ සතර දිග් භාගයෙහි ප්‍රසිද්ධියේ කියවන පිණිස ප්‍රකාශනයක් නිකුත් කෙළේ ය. 2 එය මෙසේ ය: ”පර්සියාවේ රජු වන සයිරස් තෙමේ මෙසේ කියයි: ‘ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළෝ තලයෙහි සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද, උන් වහන්සේ ජුදාහි ඇති ජෙරුසලම් නගරයෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණ කර තිබේ. 3 උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින කවර මිනිසකේ හෝ වේවා, දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටින සේක් වා! ඔහු ජුදාහි ඇති ජෙරුසලමෙහි සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට ජෙරුසලමට යා යුතු ය. උන් වහන්සේ වූ කලී, ජෙරුසලමේ වැඩ සිටින දෙවියන් වහන්සේ ය. 4 යම් ජුදෙව්වෙක් ඉතිරි ව යම් තැනක සිටී ද, ඒ ස්ථානයේ සිටින මනුෂ්‍යයෝ ජෙරුසලමේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර, රන් රිදී ද බඩුබාහිරාදිය හා ගවමහිෂයන් ද දෙමින් ඔහුට උපකාර කරත් වා!’ ”
5 ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්‍යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ. 6 ඔවුන් අවට සිටි සියල්ලෝ ද සිය කැමැත්තෙන් දුන් නා නා විධ පඬුරුවලට අමතර ව රිදී භාණ්ඩ ද රන් ද බඩුබාහිරාදිය ද ගවමහිෂයන් ද අනර්ඝ දේවල් ද යන මේවායින් ඔවුන්ට උපකාර කළහ.
7 තවද, සයිරස් රජු නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙන් ගෙනවුත්, තමාගේ දේවාලයේ තැබූ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ පිටතට ගෙනාවේ ය. 8 පර්සියාවේ රජ වූ සයිරස් ඒවා භාණ්ඩාගාරික වූ මිත්රෙදාත්ට භාර දුන්නේ ය. ඔහු ද ඒවා ජුදාහි අධිපති ෂෙෂ්බශර්ට ගණන් කර දුන්නේ ය. 9 බඩු ලැයිස්තුව මෙසේ ය: රන් තලි තිහකි, රිදී තලි දහසකි, විවිධ බඳුන් විසිනවයකි; 10 රන් ධූම පාත්‍ර තිහකි, දෙ වන තරමේ රිදී පාත්‍ර හාරසිය දහයකි, වෙනත් භාණ්ඩ දහසකි;
11 රන් රිදී සියලු භාණ්ඩවල ගණන පන්දාස් හාරසියයකි. විප්‍රවාසගත ව සිටි අය බබිලෝනියෙන් ජෙරුසලමට ආපසු පැමිණි විට ෂෙෂ්බශර් විසින් මේ සියල්ල ගෙනෙන ලද්දේ ය.
– 2 වන පරිච්ඡේදය –
බබිලෝනියෙන් ආපසු පැමිණි අය
(නෙහෙ: 7:4-73)
1 බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගනු ලැබ, බබිලෝනියට ගෙන යන ලද්දවුන්ගෙන් විප්‍රවාසයෙන් මිදී, ආපසු පැමිණි දේශවාසීහු ජෙරුසලමේ හා ජුදාවේ තම තමන්ගේ නගරවලට පෙරළා පැමිණියහ. ඔවුන්ගේ නම් මෙසේ ය: 2 ඔවුන් පැමිණියේ, සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද නෙහෙමියා ද සෙරායා ද රේලායා ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිශ්පාර් ද බිග්වායි ද රෙහුම් ද බානා ද සමඟ ය.
ඉශ්රායෙල් ජනයා අතර වූ පිරිමින්ගේ ගණන මෙසේ ය: 3 පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය. 4 ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑදෙදෙනෙක් ය. 5 ආරාන්ගේ පුත්‍රයෝ හත්සිය හැත්තෑපස්දෙනෙක් ය. 6 පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස්දෙනෙක් ය. 7 ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය. 8 ශට්ටුගේ පුත්‍රයෝ නවසිය හතළිස්පස්දෙනෙක් ය. 9 ශක්කායිගේ පුත්‍රයෝ හත්සිය හැටදෙනෙක් ය. 10 බානීගේ පුත්‍රයෝ හයසිය හතළිස්දෙදෙනෙක් ය. 11 බෙබායිගේ පුත්‍රයෝ හයසිය විසිතුන්දෙනෙක් ය. 12 අශ්ගාද්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය විසිදෙදෙනෙක් ය. 13 අදොනිකාම්ගේ පුත්‍රයෝ හයසිය හැටහයදෙනෙක් ය. 14 බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් පණස්හයදෙනෙක් ය. 15 ආදීන්ගේ පුත්‍රයෝ හාරසිය පණස්හතරදෙනෙක් ය. 16 හෙසකියාගෙන් වූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅටදෙනෙක් ය. 17 බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිතුන්දෙනෙක් ය. 18 ජෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය. 19 හාෂුම්ගේ පුත්‍රයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය. 20 ගිබ්බාර්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.
21 බෙත්ලෙහෙමේ පුත්‍රයෝ එකසිය විසිතුන්දෙනෙක් ය. 22 නෙටොපාහි මනුෂ්‍යයෝ පණස්හයදෙනෙක් ය. 23 අනාතෝත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය. 24 අශ්මාවෙත්හි පුත්‍රයෝ හතළිස්දෙදෙනෙක් ය. 25 කිරියත්-ආරිමෙත්, කෙපිරායෙත් බෙයේරොතෙත් පුත්‍රයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය. 26 රාමාහිත්, ගෙබාහිත් පුත්‍රයෝ හයසිය විසිඑක්දෙනෙක් ය. 27 මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසිදෙදෙනෙක් ය. 28 බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය. 29 නෙබෝහි පුත්‍රයෝ පණස්දෙදෙනෙක් ය. 30 මග්බිෂ්හි පුත්‍රයෝ එකසිය පණස්හයදෙනෙක් ය. 31 අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය. 32 හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය. 33 ලොද්හි ද හාදීද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිපස්දෙනෙක් ය. 34 ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය. 35 සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් හයසිය තිස්දෙනෙක් ය.
36 පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය. 37 ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පණස්දෙදෙනෙක් ය. 38 පෂ්හුර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත්දෙනෙක් ය. 39 හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත්දෙනෙක් ය.
40 ලෙවීවරු නම්: හෝදවියාගේ පුත්‍රයන්ගෙන් වූ ජේෂුවාගේ ද කද්මියෙල්ගේ ද පුත්‍රයෝ හැත්තෑහතරදෙනෙක් ය. 41 ගීතිකාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅටදෙනෙක් ය. 42 දොරටු පාලකයන්ගේ පුත්‍රයෝ එනම්: ෂල්ලුම්ගේ පුත්‍රයෝ ද ආටෙර්ගේ පුත්‍රයෝ ද ටල්මොන්ගේ පුත්‍රයෝ ද අක්කුබ්ගේ පුත්‍රයෝ ද හටිටාගේ පුත්‍රයෝ ද ෂෝබයිගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ එකසිය තිස්නවදෙනෙක් ය.
43 දේව මාලිගාවේ සේවකයන් වන නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය; 44 කේරොස්ගේ පුත්‍රයෝ ය; සියාගේ පුත්‍රයෝ ය; පාදොන්ගේ පුත්‍රයෝ ය; 45 ලෙබානාගේ පුත්‍රයෝ ය; හගාබාගේ පුත්‍රයෝ ය; අක්කුබ්ගේ පුත්‍රයෝ ය; 46 හාගාබ්ගේ පුත්‍රයෝ ය; ෂම්ලායිගේ පුත්‍රයෝ ය; හානාන්ගේ පුත්‍රයෝ ය; 47 ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; ගහර්ගේ පුත්‍රයෝ ය; රෙයායාගේ පුත්‍රයෝ ය; 48 රෙශීන්ගේ පුත්‍රයෝ ය; නෙකෝදාගේ පුත්‍රයෝ ය; ගස්සාම්ගේ පුත්‍රයෝ ය; 49 උශ්ශාගේ පුත්‍රයෝ ය; පාසේයාගේ පුත්‍රයෝ ය; බේසයිගේ පුත්‍රයෝ ය; 50 අස්නාගේ පුත්‍රයෝ ය; මෙයුනීම්ගේ පුත්‍රයෝ ය; නෙපීසිම්ගේ පුත්‍රයෝ ය; 51 බක්බුක්ගේ පුත්‍රයෝ ය; හකුපාගේ පුත්‍රයෝ ය; හර්හුර්ගේ පුත්‍රයෝ ය; 52 බශ්ලුත්ගේ පුත්‍රයෝ ය; මෙහිදාගේ පුත්‍රයෝ ය; හර්ෂාගේ පුත්‍රයෝ ය; 53 බර්කොස්ගේ පුත්‍රයෝ ය; සීසෙරාගේ පුත්‍රයෝ ය; තෙමාගේ පුත්‍රයෝ ය; 54 නෙශියාගේ පුත්‍රයෝ ය; හටිපාගේ පුත්‍රයෝ ය;
55 සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝ ය; හස්සොපෙරෙත්ගේ පුත්‍රයෝ ය; පෙරුදාගේ පුත්‍රයෝ ය; 56 ජයලාගේ පුත්‍රයෝ ය; දර්කොන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; 57 ෂෙපටියාගේ පුත්‍රයෝ ය; හට්ටිල්ගේ පුත්‍රයෝ ය; පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝ ය; ආමීගේ පුත්‍රයෝ ය.
58 දේව මාලිගාවේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.
59 තේල්-මෙලා, තේල්-හර්ෂා, කෙරුබ්, අද්දාන්, ඉම්මෙර් යන ස්ථානවල සිට ආවා වූ, තමන් ඉශ්රායෙල්වරුන් බවට තම තමන්ගේ පෙළපතත්, වංශයත් පෙන්වන්නට බැරි වුණා වූ අය නම්: 60 දෙලායාගේ පුත්‍රයෝ ද ටෝබියාගේ පුත්‍රයෝ ද නොකෝදාගේ පුත්‍රයෝ ද යන මොවුහු හයසිය පණස්දෙදෙනෙක් ය.
61 පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය. 62 පෙළපත් වශයෙන් ගණන් ගන්නා ලද ලේඛනයෙහි ඔවුන්ගේ නම් සෙවූ නමුත්, හමුනොවූ බැවින්, මොවුහු අපවිත්‍ර යයි සලකනු ලැබ, පූජක තනතුරෙන් ඉවත් කරනු ලැබුවෝ ය. 63 ඌරීම් සහ තුම්මිම් දරන පූජකයෙකු නැඟිටින තුරු, අතිශුද්ධ දේවලින් නොකන හැටියට ආණ්ඩුකාරයා ඔවුන්ට අණ කෙළේ ය.
64 මුළු සභාවේ ගණන හතළිස් දෙදාස් තුන්සිය හැටක් ය. 65 ඒ හැර ඔවුන්ගේ දාසදාසීහු හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසියයක් සිටියෝ ය. 66 ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස්හයදෙනෙක් ය; ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස්දෙනෙක් ය; 67 ඔවුන්ගේ ඔටුවෝ හාරසිය තිස්පස්දෙනෙක් ය; කොටළුවෝ හයදාස් හත්සිය විසිදෙනෙක් ය.
68 තවද, ඒ ඒ වංශවල ප්‍රධානීන්ගෙන් සමහරු ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණි කල්හි, දෙවියන් වහන්සේගේ මාලිගාව ස්වකීය ස්ථානයෙහි ගොඩනඟන පිණිස සිය කැමැත්තෙන් දුන් පඬුරු ඔප්පු කළහ. 69 ඔව්හු තමන්ගේ පුළුවන්කමේ හැටියට රන් කිලෝග්‍රෑම් පන්සියයක් ද රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් ද පූජකවස්ත්‍ර සියයක් ද කර්මාන්ත සඳහා ගබඩාවට දුන්නෝ ය.
70 මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද සෙනඟගෙන් සමහරු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද මාලිගාවේ සේවකයෝ ද ස්වකීය නගරවල විසූ හ. සියලු ඉශ්රායෙල්වරු ද ස්වකීය නගරවල විසූ හ.
– 3 වන පරිච්ඡේදය –
නමස්කාරය යළි ඇරඹීම
1 හත් වන මාසය වන විට, ඉශ්රායෙල් සෙනඟ තම තමන්ගේ නගරවල පදිංචි වී සිටියහ. එකල ඔව්හු එක් කෙනෙකු මෙන් ජෙරුසලමට රැස් වූ හ. 2 ඒ අවස්ථාවේ දී ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද පූජකයන් වූ ඔහුගේ සහෝදරයෝ ද ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ඔහුගේ සහෝදරයෝ ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස, දවන යාග පූජා ඔප්පු කරන පිණිස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ පූජාසනය ගොඩනැඟීමට පටන්ගත්හ. 3 ඔව්හු විදෙස්වල ජනයාට බියෙන් සිටි නමුත්, පූජාසනය කලින් තිබුණ ස්ථානයෙහි පිහිටෙව්වෝ ය. ඔව්හු ඒ පූජාසනය මත උදය සවස සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කළෝ ය. 4 ලියා තිබෙන නියමයන් ලෙස ඔව්හු කූඩාරම් මංගල්‍යයන් පවත්වමින්, එක එක දවසට නියම ගණන අනුව දවස් පතා දවන යාග පූජා ඔප්පු කළහ. 5 ඒවාට අමතර ව ඔව්හු නිරන්තර දවන යාග පූජා ද අමාවක්වලත්, සමිඳාණන් වහන්සේගේ සියලු නියමිත ශුද්ධ මංගල්‍යවලත් පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කරන සියල්ලන්ගේ ස්වේච්ඡා පූජා ද ඔප්පු කළහ. 6 ඔව්හු හත් වන මාසයේ පළමු වන දා පටන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කරන්නට පටන්ගත්හ. එහෙත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් ඒ වන තෙක් නොදමන ලද්දේ ය. 7 පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.
දේව මාලිගාවේ අත්තිවාරම් දැමීම
8 ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවට ඔවුන්ගේ පැමිණීමෙන් පසු, දෙ වන අවුරුද්දේ දෙ වන මාසයේ දී ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද එහි වැඩ පටන්ගත්හ. ඔවුන්ගේ සෙසු සහෝදරයෝ ද පූජකයෝ ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී ජෙරුසලමට පැමිණි සියල්ලෝ ද ඔවුන්ට සහාය වූ හ. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලාගැනීමට විසි අවුරුදු හා ඊට වැඩි වයසැති ලෙවීවරුන් පත් කළෝ ය. 9 එවිට ජේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද කද්මියෙල් සහ ඔහුගේ පුත්‍රයන් වූ ජුදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ලෙවීවරු එකමුතු ව දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ කරන්නන් පිළිබඳ වගකීම තමන් අතරේ බෙදාගත්හ.
10 ගොඩනඟන අය සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දැමූ කල, ඉශ්රායෙල්හි රජ වූ දාවිත් නියම කළ අන්දමට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇති ව ද ආසාප්ගේ පුත්‍රයන් වන ලෙවීවරු අත්තල් ඇති ව ද ඉදිරියට ආහ. 11 ඔව්හු සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්, ”උන් වහන්සේ යහපත් ය; මන්ද, ඉශ්රායෙල් කෙරෙහි උන් වහන්සේගේ කරුණාව සදහට ම පවතින්නේ ය”යි කියමින් ගී ගැයූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමූ නිසා ඔවුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ විට, මුළු සෙනඟ දෙවියන් වහන්සේට මහා ප්‍රශංසා ඝෝෂාවක් නැඟුවෝ ය. 12 එහෙත්, පළමු මාලිගාව දුටු මහලු අය වන බොහෝ පූජකයෝ ද ලෙවීවරු ද පිය වංශවල ප්‍රධානියෝ ද මාලිගාවේ අත්තිවාරම් දැමූ බව දුටු විට මහා හඬින් හැඬුවෝ ය. තවත් බොහෝ දෙනෙක් ප්‍රීති ඝෝෂා ද පැවැත්වූ හ. 13 ඒ නිසා ප්‍රීති ඝෝෂාවේ හඬ කුමක් ද කියා වත්, සෙනඟගේ හැඬීමේ හඬ කුමක් ද කියා වත් කිසිවෙකුට වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි විය. මන්ද, සෙනඟ මහා හඬින් ඝෝෂා කළෝ ය. ඒ ඝෝෂාව බොහෝ දුරට ඇසිණි.
– 4 වන පරිච්ඡේදය –
සමාරියයන්ගේ විරෝධය
1 විප්‍රවාසයෙන් මිදී පැමිණි අය ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන බව ජුදාවරුන්ගේ ද බෙන්ජමින්වරුන්ගේ ද එදිරිකාරයෝ අසා, 2 සෙරුබ්බාබෙල් ද පිය වංශවල ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන්ට කතා කොට, ”ඔබ හා සමඟ මාලිගාව ගොඩනඟන්නට අපටත් ඉඩ දෙන්න; මන්ද, ඔබ සේ ම අපිත් ඔබේ දෙවියන් වහන්සේ අදහමු; මෙතැනට අප ගෙනාවා වූ අසිරියාවේ රජු වන ඒසර්-හද්දොන්ගේ කාලයේ පටන් අපි උන් වහන්සේට පූජා කරමින් සිටියෙමු”යි කී හ.
3 එහෙත්, සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද ඉශ්රායෙල් පිය වංශවල සෙසු ප්‍රධානීහු ද ඔවුන්ට කතා කොට, ”අපේ දෙවියන් වහන්සේට මාලිගාවක් ගොඩනැඟීමේ දී ඔබ අප සමඟ එක් වීමෙන් අපට කිසි වැඩක් නැත. පර්සියාවේ සයිරස් රජ අපට අණ කර තිබෙන පරිදි, අපි පමණක් ම ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේට එය ගොඩනඟන්නෙමු”යි කී හ.
4 එවිට දේශයේ සෙනඟ, ජුදා සෙනඟ අධෛර්යවත් කරවන්නටත්, තවදුරටත් ගොඩනැඟීමේ වැඩ නොකරන ලෙස ඔවුන් බියගන්වන්නත් පටන්ගත්හ. 5 තවද, ඔවුන්ගේ වැඩ ව්‍යර්ථ කරන පිණිස ඔව්හු රජයේ නිලධාරීන්ට අල්ලස් දුන්හ. මේ තත්ත්වය පර්සියාවේ රජු වූ සයිරස්ගේ මුල් කාලයේ සිට පර්සියාවේ රජු වූ දාරියුස් රජකමට පැමිණෙන තුරු ම පැවතිණි.
6 අහස්වේරොෂ් රජකමට පත් වූ මුල් කාලයේ දී ඔව්හු ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට විරුද්ධ ව චෝදනාවක් ලියා ඉදිරිපත් කළහ.
7 තවද, අර්තක්ෂස්තා රජු දවස, බිෂ්ලාම් ද මිතේදාත් ද ටබෙයෙල් ද ඔවුන්ගේ සෙසු සහකාරයෝ ද පර්සියාවේ රජු වූ අර්තක්ෂස්තාට ලියුමක් ලියා යැවූ හ. ඒ ලියුම අරමීය භාෂාවෙන් අරමීය අකුරුවලින් ලියන ලද්දේ ය.
8 ආණ්ඩුකාරයා වූ රෙහුම් ද ලේකම් වූ ෂිම්ෂයි ද ජෙරුසලමට විරුද්ධ ව මතු දැක්වෙන ලියුම අර්තක්ෂස්තා රජුට ලියා යැවූ හ.
9 ආණ්ඩුකාර වූ රෙහුම් ද ලේකම් වූ ෂිම්ෂයි ද ඔවුන්ගේ සෙසු සහකාරයෝ ද විනිශ්චයකරුවෝ ද තානාපතියෝ ද පර්සියානු නිලධාරීහු ද උරුක් හා බබිලෝනි වැසියෝ ද සූසාහි ඒලාම්වරු ද 10 උතුම් වූ, ගරුතර වූ අසුර්බනිපාල් විසින් ගෙනෙන ලදුව, සමාරියේ නගරවල හා යුප්‍රටීස් ගඟෙන් එතෙර පළාතේ පදිංචි කරවන ලද සෙසු සෙනඟ ද එයට පංගුකාර වූ හ.
11 ඔව්හු අර්තක්ෂස්තා රජු වෙත මෙසේ ලියා යැවූ හ: ”ගඟින් එතෙර වාසය කරන සෙනඟ වන අපි, රජතුමා වෙත මෙසේ ලියා එවමු: 12 ඔබ කෙරෙන් අප වෙත ආ ජුදෙව්වන් ජෙරුසලමට පැමිණ ඒ කැරලිකාර නපුරු නගරය ගොඩනඟන බව ඔබ තුමාට දැන්විය යුතු ය. පවුරුවල වැඩ නිම කරන්නට ළඟ ය. ඔව්හු අත්තිවාරම අලුත්වැඩියා කරගෙන යති. 13 ඉතින් මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත් මොවුන් තීරු බද්ද වත්, ආදායම් බද්ද වත්, සුංගම් වත් නොදෙන බව ද මෙසේ අන්තිමේ දී රජුට එයින් අලාභ හානි සිද්ධ වන බව ද ඔබ තුමාට දැන්විය යුතු ය. 14 ඉතින් අපි ඔබ තුමාට ණයගැති ව සිටිය දී ඔබට අලාභ හානි පැමිණෙනු බලා සිටීම අපට නුසුදුසු බැවින්, 15 ඔබේ පියවරුන්ගේ ලේඛනාගාරයේ වාර්තා පොත විභාග කරන පිණිස ඔබ තුමාට දන්වා එවමු. මෙසේ ඔබ වාර්තා පොතෙහි සොයා බැලුවොත්, මේ නගරය කැරලිකාර, රජුටත් රටවලටත් අලාභ හානි කරන නගරයක් බවත්, පෙර සිට ම එහි ද්‍රෝහිකම්වලට තුඩු දීම් සිදු වූ බවත්, එම කාරණය නිසා ඒ නගරය වනසනු ලැබූ බවත් ඔබට දැනගන්නට ලැබෙනු ඇත. 16 මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත්, යුප්‍රටීස් ගඟින් මෙගොඩ ඔබට කිසි පෙදෙසක් අයිති නොවන බව අපි ඔබ තුමාට දන්වා සිටිමු.”
රජතුමාගේ පිළිතුර
17 එවිට රජතුමා මේ පිළිතුර යැවී ය: ”රෙහුම් ආණ්ඩුකාරයාටත්, ෂිම්ෂයි ලේකම්ටත්, සමාරියේ වාසය කරන ඔවුන්ගේ සෙසු සහකාරයන්ටත්, යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සෙසු අයටත් සෙත් වේ වා! 18 ඔබ අප වෙත එවූ ලිපිය පරිවර්තනය කර මා ඉදිරියෙහි පැහැදිලි ලෙස කියවන ලද්දේ ය. 19 මා අණ දුන් පරිදි විභාගයක් ද කරන ලද්දේ ය. ඒ අනුව, මේ නගරය පුරාණ කාලයේ සිට රජවරුන්ට එදිරිවාදිකම් කර ඇති බවත්, එහි කැරලිගැසීම් ද ද්‍රෝහිකම් ද සිදු වී ඇති බවත් පෙනී ගොස් තිබේ. 20 තවද, යුප්‍රටීස් ගඟින් එගොඩ තිබෙන මුළු රට ආණ්ඩු කළ රජුන් ජෙරුසලමෙහි සිටි බවත්, තීරු බද්ද ද ආදායම් බද්ද ද සුංගම් ද ඔවුන්ට දෙන ලද බවත් දැනගන්නට ලැබී ඇත. 21 එබැවින් මා විසින් නියෝගයක් පමුණුවන තුරු ඒ නගරය ගොඩනොනඟන පිණිස ඒ මිනිසුන්ගේ වැඩ නවත්වන හැටියට නියෝගයක් කරන්න. 22 රජුට අලාභ හානි වන විධියේ අනතුරු වැඩි වන්නට ඉඩ නොහරින පිණිස අප්‍රමාද ව මෙය කරන ලෙස වගබලාගන්න.”
23 අර්තක්ෂස්තා රජුගේ මේ ලිපියේ පිටපත රෙහුම් ද ෂිම්ෂයි ලේකම් ද ඔවුන්ගේ සහකාරයන් ද ඉදිරියෙහි කියෙවූ විගස ම, ඔව්හු ජෙරුසලමෙහි සිටි ජුදෙව්වරුන් වෙත සැණෙකින් ගොස් බලහත්කාරයෙන් ඔවුන්ගේ වැඩ නතර කළහ. 24 එකල ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ නැවතුණේ ය; පර්සියාවේ රජ වූ දාරියුස්ගේ රාජ පාලනයේ දෙ වන අවුරුද්ද දක්වා එය නැවතී තිබිණි.
– 5 වන පරිච්ඡේදය –
දේව මාලිගාවේ වැඩ යළි ඇරඹීම
1 එකල හග්ගයි සහ ඉද්දෝගේ පුත් ශෙකරියා යන දිවැසිවරු ජුදාහි ද ජෙරුසලමෙහි ද සිටි ජුදෙව්වරුන්ට, ඔවුන් සමඟ වැඩ විසූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූ හ. 2 එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්හ; ඔවුන් සමඟ දෙවියන් වහන්සේගේ දිවැසිවරු ද ඔවුන්ට උපකාර කරමින් සිටියෝ ය.
3 ඒ කාලයේ දී යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියා ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද ඔවුන් වෙත අවුත්, කතා කොට, ”මේ මාලිගාව ගොඩනැඟීමට, ප්‍රතිසංස්කරණය කිරීමට ඔබට නියෝග කෙළේ කවරෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසූ හ. 4 තවදුරටත් ඔව්හු ප්‍රශ්න කරමින්, ”මේ මාලිගාව ගොඩනඟන මිනිසුන්ගේ නම් කවරේ දැ”යි ඇසූ හ. 5 එහෙත්, ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේගේ ආරක්ෂා බැල්ම ඔවුන්ගේ ප්‍රජා මූලිකයන් කෙරෙහි වූ බැවින් දාරියුස්ට මේ සම්බන්ධයෙන් දන්වා යවා, ලියුමකින් පිළිතුරු ලැබෙන තුරු ඔව්හු ඔවුන්ගේ වැඩ නතර නොකළහ.
6 යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි පර්සියානු නිලධාරීන් වූ ඔහුගේ සහකාරයන් ද විසින් දාරියුස් රජුට යැවුණු ලිපියේ පිටපත මතු දැක්වේ. 7 ඔවුන් යැවූ රපෝර්තුවේ මෙසේ ලියා තිබිණි: ”දාරියුස් රජු හට සව් සෙත් වේ වා! 8 අප ජුදා රටේ තිබෙන, උතුම් දෙවියන් වහන්සේගේ මාලිගාවට ගිය බව රජතුමාට දැන්විය යුතු ව තිබේ. එය ලොකු ගල්වලින් ගොඩනඟාගෙන යනු ලැබේ. බිත්තිවලට ලී බාල්ක යොදා තිබේ. ඒ වැඩකටයුතු උනන්දුවෙන් හොඳින් කෙරීගෙන යයි. 9 අපි ද එහි ප්‍රජා මූලිකයන්ගෙන් ප්‍රශ්න කරමින්, ‘මේ මාලිගාව ගොඩනඟන්නත්, එයට ගෘහ භාණ්ඩ සැපයීමටත් ඔබට නියෝගයක් කෙළේ කවරෙක් දැ’යි ඔවුන්ගෙන් ඇසීමු. 10 තවද, ඔවුන්ට මූලික ව ක්‍රියා කරන මිනිසුන්ගේ නම් ලියාගෙන ඔබට දන්වනු පිණිස, ‘ඔවුන්ගේ නම් කවරේ දැ’යි ඔවුන්ගෙන් ඇසීමු. 11 ඔව්හු පිළිතුරු දෙමින්, ‘අපි ස්වර්ගයේත්, පොළොවේත් දෙවියන් වහන්සේගේ මෙහෙකරුවෝ වම්හ. මීට බොහෝ අවුරුදු ගණනකට පෙර ගොඩනඟන ලද, ඉශ්රායෙල්හි උතුම් රජෙකු විසින් ගොඩනඟා නිම කරන ලද මාලිගාව අපි නැවත ගොඩනඟමු. 12 එහෙත්, අපේ පියවරුන් විසින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ උදහස් කරනු ලැබූ බැවින් උන් වහන්සේ කල්දිය වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහු ද මේ මාලිගාව විනාශ කොට සෙනඟ බබිලෝනියට ගෙන ගියේ ය. 13 එහෙත්, බබිලෝනියේ රජු වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනඟන්නට සයිරස් රජ නියෝගයක් කෙළේ ය. 14 තවද, නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙහි තිබුණු මාලිගාවෙන් ගෙන ගොස්, බබිලෝනියේ දේවාලයේ තැබූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ, සයිරස් රජ බබිලෝනියේ දේවාලයෙන් රැගෙන, තමා දිශාධිපතියා වශයෙන් පත් කළ ෂෙෂ්බශර් යන නාමය ඇති තැනැත්තාට භාර දුන්නේ ය. 15 ඔහු කතා කොට, ‘මේ භාණ්ඩ ගෙන ගොස් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ තබන්න; දෙවියන් වහන්සේගේ මාලිගාව ද කලින් තිබූ ස්ථානයෙහි ගොඩනඟනු ලබාවා’යි ද කීවේ ය. 16 එවිට එම ෂෙෂ්බශර් අවුත් ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමුවේ ය. එතැන් පටන් මේ දක්වා එය ගොඩනඟාගෙන යන නමුත් තව ම එය නිමකර නැතැ’යි අපට කීවෝ ය. 17 ඒ නිසා රජුට යහපතැ යි පෙනේ නම්, ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනඟන්නට සයිරස් රජු විසින් නියෝගයක් කරන ලද්දේ දැ යි බබිලෝනියේ තිබෙන රජුන්ගේ භාණ්ඩාගාරයෙහි සොයා බලන්න සලස්වා, මේ කාරණය ගැන රජතුමාගේ කැමැත්ත අපට දන්වා එවුව මැනව.”
– 6 වන පරිච්ඡේදය –
දාරියුස් රජුගේ පිළිතුර
1 එකල දාරියුස් රජු කළ නියෝගයක් අනුව බබිලෝනියෙහි ලේඛනාගාරයේ ගබඩාවල තැන්පත් කරන ලද පොත් සොයා බලන ලදී. 2 එවිට මේදියා ජනපදයේ තිබෙන එක්බතානා බලකොටුවෙහි වාර්තා පොතක් සම්භ විය. එහි මෙසේ කියා තිබිණි:
3 ”සයිරස් රජුගේ පළමු වන අවුරුද්දේ දී සයිරස් රජ ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන මෙසේ නියෝගයක් කෙළේ ය: ‘ඒ මාලිගාව පූජා ඔප්පු කරන ස්ථානයක් වශයෙන් ගොඩනඟනු ලැබේවා. එහි අත්තිවාරම් සවි කොට පිහිටුවනු ලැබේවා. එහි උස මීටර් විසිහතක් ද පළල මීටර් විසිහතක් ද විය යුතු ය. 4 මහා ගල් පේළි තුනකුත්, අලුත් ලී පේළියකුත් ඇති ව එය සාදනු ලැබේවා. වියදම ද රාජ භාණ්ඩාගාරයෙන් ගෙවනු ලැබේවා. 5 තවද, නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවෙන් රැගෙන, බබිලෝනියට ගෙනෙන ලද දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ ආපසු දෙනු ලැබ, ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ නියම තැන්වල තැබීමට ගෙනයනු ලබාවා. ඒවා දෙවියන් වහන්සේගේ මාලිගාවේ තැබිය යුතු ය.’ ”
6 දාරියුස් රජ මේ නියෝගය නිකුත් කෙළේ ය: ”මේ නිසා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින පර්සියාවේ නිලධාරීන් ද ඔබේ සහකාරයන් ද යන ඔබ හැම දෙන ම එතැනින් ඈත් ව සිටින්න.
7 ”දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ වැඩ කරගෙන යන පිණිස ජුදෙව්වරුන්ගේ දිශාධිපතියාට ද ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ට ද ඉඩ හරින්න. දෙවියන් වහන්සේගේ මේ මාලිගාව කලින් තිබුණු ස්ථානයෙහි ඔව්හු ගොඩනඟත් වා. 8 ඇරත් දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනැඟීම පිණිස ඔබ ජුදෙව්වරුන්ගේ ඒ ප්‍රජා මූලිකයන්ට කළ යුතු දේ ගැන මම මෙසේ නියෝගයක් කරමි: වැඩට අවහිරයක් නොවන පිණිස රාජ භාණ්ඩාගාරයේ දෙයින් එනම්, යුප්‍රටීස් ගඟින් එගොඩ පෙදෙසින් ලැබෙන බදු ආදායමෙන් නොපමා ව මුළු වියදම දිය යුතු ය. 9 ඔවුන්ට ඕනෑ කරන දේ එනම්, ජෙරුසලමෙහි සිටින පූජකයන්ගේ නියමය ප්‍රකාර ස්වර්ගයේ දෙවියන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කිරීමට ගොන් වස්සන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද තිරිඟු ද ලුණු ද මුද්‍රික පානය ද තෙල් ද දවස් පතා නොවරදවා ඔවුන්ට සැපයිය යුතු ය. 10 එසේ කළ යුත්තේ, ඔවුන් ස්වර්ගයේ දෙවියන් වහන්සේට මිහිරි සුවඳ ඔප්පු කර රජුගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ශුභසිද්ධිය උදෙසා යාච්ඤා කරන පිණිස ය. 11 තවද, යමෙකු මේ ආඥාව කඩ කළොත්, ඔහුගේ ගෙයින් බාල්කයක් ගලවාගෙන, ඔහු එහි මත උල තැබිය යුතු ය. ඒ හැර මේ අපරාධය නිසා ඔහුගේ ගෙය ද කසළ ගොඩක් කළ යුතු ය. 12 මෙය වෙනස් කර ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මේ මාලිගාව විනාශ කරන්නට තමන්ගේ අත පොවන සියලු රජුන් හෝ ජාතීන් හෝ ස්වකීය නාමය එහි පිහිටෙවුවා වූ දෙවියන් වහන්සේ විනාශ කරන සේක් වා!”
දේව මාලිගාව කැප කිරීම
13 එවිට යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද දාරියුස් රජු විසින් කරන ලද නියමයන් අකුරට ම ඉටු කළෝ ය. 14 ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත් ශෙකරියාගේත් දිවැස් වැකියෙන් උනන්දු වී දේව මාලිගාව ගොඩනැඟීම සාර්ථක ලෙස කරගෙන ගියහ. ඔව්හු ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ආඥාවේ හැටියටත්, සයිරස්ගේ ද දාරියුස්ගේ ද පර්සියාවේ රජ වූ අර්තක්ෂස්තාගේ ද නියෝගයේ හැටියටත් මාලිගාව ගොඩනඟා නිම කළෝ ය. 15 දාරියුස් රජුගේ රාජ්‍ය කාලයේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දින මේ මාලිගාව සාදා නිම කරන ලදී. 16 ඉශ්රායෙල් සෙනඟ වන පූජකවරු ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී පැමිණි සෙසු අය ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ උත්සවය මහා හරසරින් පැවැත්වූ හ. 17 තවද, ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ දී ගොනුන් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් වශයෙන් එළුවන් දොළොස් දෙනෙකු ද ඔප්පු කළෝ ය. 18 මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ නියම කර තිබෙන ප්‍රකාරයට ඔව්හු තමන්ගේ පූජකයන් ඔවුන්ගේ කොට්ඨාශවල හැටියටත්, ලෙවීවරුන් ඔවුන්ගේ පංතිවල හැටියටත් ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස පත් කළෝ ය.
පාස්කු මංගල්‍යය පැවැත්වීම
19 විප්‍රවාසයෙන් මිදී ආ අය පළමු වන මාසයේ දහහතර වන දින පාස්කු මංගල්‍යය පැවැත්වූ හ. 20 පූජකවරු ද ලෙවීවරු ද එක් කෙනෙකු වත් නෑර සියලු දෙන ම පිරිසිදු වී සිටියෝ ය. ඔව්හු සියල්ලෝ පිරිසිදු ව සිට විප්‍රවාසයෙන් මිදී ආ සියල්ලන් උදෙසා ද, පූජකයන් වූ තමන්ගේ සහෝදරයන් උදෙසා ද තමන් ම උදෙසා ද පාස්කු මංගල්‍යය සඳහා බැටළු පැටවුන් මැරූ හ. 21 එසේ විප්‍රවාසයෙන් හැරී ආ ඉශ්රායෙල් සෙනඟත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන පිණිස අවට ජාතීන්ගේ අපිරිසිදුකමෙන් වෙන් වී ඉශ්රායෙල්වරුන්ට එකතු වූ සියල්ලෝත් පාස්කුව වැළඳූ හ. 22 ඔව්හු මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් හරසරින් පැවැත්වූ හ. මන්ද, දෙවියන් වහන්සේගේ එනම්, ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩට ඔවුන් දිරි ගන්වන අසිරියාවේ රජුගේ සිත ඔවුන්ට ප්‍රියමනාප වන ලෙස වෙනස් කිරීමෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් ප්‍රීතියෙන් පිනවූ සේක.
– 7 වන පරිච්ඡේදය –
එස්රා ජෙරුසලමට පැමිණීම
1 මේ සිද්ධිවලින් පසු, පර්සියාවේ අර්තක්ෂස්තාගේ රාජ්‍ය කාලයේ දී එස්රා නම් මිනිසෙක් සිටියේ ය. එස්රා සොරායාගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය. 2 ඔහු ෂල්ලුම්ගේ පුත්‍රයා ය; ඔහු ශාදොක්ගේ පුත්‍රයා ය; ඔහු අහිටුබ්ගේ පුත්‍රයා ය. 3 ඔහු අමරියාගේ පුත්‍රයා ය; ඔහු අසරියාගේ පුත්‍රයා ය; ඔහු මෙරායොත්ගේ පුත්‍රයා ය. 4 ඔහු සෙරහියාගේ පුත්‍රයා ය; ඔහු උශ්ශීගේ පුත්‍රයා ය; ඔහු බුක්කීගේ පුත්‍රයා ය. 5 ඔහු අබිෂුවාගේ පුත්‍රයා ය; ඔහු පිනෙහාස්ගේ පුත්‍රයා ය; ඔහු එලෙයාසර්ගේ පුත්‍රයා ය; ඔහු උත්තම පූජක ආරොන්ගේ පුත්‍රයා ය.
6 මේ එස්රා බබිලෝනියේ සිට පැමිණි කෙනෙකි. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන මනා දැනීමක් ඇති නීතිවේදියෙකි. ඔහු කෙරෙහි ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අනුග්‍රහය තිබුණු බැවින් ඔහු ඉල්ලූ සියල්ල රජතුමා ඔහුට දුන්නේ ය. 7 තවද, අර්තක්ෂස්තා රජුගේ සත් වන අවුරුද්දේ දී ඉශ්රායෙල් සෙනඟගෙන් ද පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද ගායනාකාරයන්ගෙන් ද දොරටු පාලකයන්ගෙන් ද දේව මාලිගාවේ සේවකයන්ගෙන් ද සමහර දෙනෙක් ජෙරුසලමට පැමිණියෝ ය. 8 එස්රා, රජුගේ සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දී ජෙරුසලමට ආවේ ය. 9 ඔහු පළමු වන මාසයේ පළමු වන දා බබිලෝනියෙන් පිටත් වන්න තීරණය කරගෙන තිබුණේ ය. ඔහුගේ දෙවියන් වහන්සේගේ කරුණානුග්‍රහය ඔහු සමඟ සැබැවින් ම තිබුණේ ය. පස් වන මාසයේ පළමු වන දා ඔහු ජෙරුසලමට පැමිණියේ ය. 10 එස්රා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව හදාරන්නත් එය පිළිපදින්නත්, එහි ඇති අණපණත් ඉශ්රායෙල් සෙනඟට උගන්වන්නත් ඇප කැප වී සිටියේ ය.
අර්තක්ෂස්තා රජු එස්රාට ලියූ හසුන
11 ඉශ්රායෙල්වරුන් සම්බන්ධයෙන් පනවන ලද සමිඳාණන් වහන්සේගේ අණපණත් පිළිබඳ ව විශේෂ දැනුමක් තිබුණු පූජකයෙකු ද නීතිවේදියෙකු ද වූ එස්රාට අර්තක්ෂස්තා රජු විසින් දෙන ලද හසුනේ පිටපත මෙසේ ය: 12 ”රාජාධිරාජ අර්තක්ෂස්තා වන මම ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ නීතිවේදියෙකු ව සිටින පූජක එස්රා වෙත ලියා එවමි. 13 මාගේ රාජ්‍යයේ සිටින ඉශ්රායෙල් සෙනඟගෙන් ද ඔවුන්ගේ පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සිය කැමැත්තෙන් ජෙරුසලමට යන්න කැමැති සියල්ලන්ට ඔබ සමඟ යන්න අවසර ඇත කියා මම නියෝගයක් කරමි. 14 ඔබේ භාරයේ ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව ජුදා හා ජෙරුසලම ගැන කරුණු විභාග කරන පිණිස, රජු සහ ඔහුගේ මන්ත්‍රීන් සත්දෙනා විසින් ඔබ යවනු ලැබ ඇත. 15 රජු සහ ඔහුගේ මන්ත්‍රීන් විසින් ජෙරුසලමෙහි වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට සිය කැමැත්තෙන් පුදන ලද රන් රිදී ඔබ ගෙන යා යුතු ය. 16 ඒ සමඟ මුළු බබිලෝනි ප්‍රදේශයේ ඔබට සොයා ගත හැකි රන් රිදී සියල්ල ද ජෙරුසලමෙහි ඇති, තමන්ගේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සෙනඟ සහ පූජකයන් සිය කැමැත්තෙන් දෙන පඬුරු ද ඔබ ගෙන යා යුතු ය. 17 එබැවින් මේ මුදල වැය කළ යුත්තේ, ගොනුන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද ඒ සමඟ ඕනෑ කරන ආහාර පූජා සහ පානීය පූජා ද ගැනීමට පමණකි. ජෙරුසලමෙහි තිබෙන, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ පූජාසනය පිට ඒවා ඔප්පු කරන්න. 18 ඉතිරි වන රන් රිදීවලින් ඔබටත්, ඔබේ සහෝදරයන්ටත් කරන්න සුදුසු යයි පෙනෙන දෙයක් ඔබේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න. 19 තවද, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස ඔබට දෙන ලද භාණ්ඩ ජෙරුසලමේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි බාර දෙන්න. 20 ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන්නට ඔබට වුවමනා තවත් දේවල් රජුගේ භාණ්ඩාගාරයෙන් රැගෙන දෙන්න.
21 ”තවද, අර්තක්ෂස්තා රජු වන මම, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව පිළිබඳ නීතිවේදියා වන පූජක එස්රා විසින් ඔබෙන් ඉල්ලනු ලබන සියල්ල සැණෙකින් දෙන්න යුප්‍රටීස් ගඟෙන් එගොඩ සිටින සියලු භාණ්ඩාගාරිකයන්ට නියෝග කරමි. 22 රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් වන තෙක් ද තිරිඟු කිලෝග්‍රෑම් දහතුන්දහස් පන්සියයක් වන තෙක් ද මුද්‍රික පාන ලීටර් දෙදහසක් වන තෙක් ද තෙල් ලීටර් දෙදහසක් වන තෙක් ද ලුණු ඇති තරම් ද දිය යුතු ය. 23 ස්වර්ගයේ දෙවියන් වහන්සේ විසින් අණ කරනු ලැබ තිබෙන සියල්ල, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා හරියාකාර කරනු ලැබේවා. එසේ නොකළොත් රජුගේත්, ඔහුගේ පුත්‍රයන්ගේත් රාජ්‍යය කෙරෙහි උදහස පැමිණෙන්නට ඉඩ තිබේ. 24 තවද, පූජකයන්, ලෙවීවරුන්, ගායනාකාරයන්, දොරටු පාලකයන්, දේව මාලිගාවේ සේවකයන් හා දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ සෙසු සේවකයන් යන කිසිවෙකුගෙන් තීරු බද්ද ද ආදායම් ද සුංගම් ද අය කරන්න තහනම් බව අපි ඔබට දැනුම් දෙමු.
25 ”එස්රා, ඔබ යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චය කරන පිණිස, ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දන්න විනිශ්චයකාරයන් ද නඩුකාරයන් ද ඔබට ප්‍රදානය කොට ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෙස පත් කරගන්න; නොදන්න අයට එය උගන්වන්න. 26 ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ද රාජ ආඥාව ද නොපවත්වන සියල්ලන්ට මරණයෙන් හෝ රටින් පිටමං කිරීමෙන් හෝ දේපළ රාජසන්තක කිරීමෙන් හෝ හිර අඩස්සි කිරීමෙන් හෝ වහාම යුක්තිය ඉටු කරනු ලැබේ වා!”
27-28 එවිට එස්රා මෙසේ කීවේ ය: ”ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලංකාර කරන්නට රජුගේ සිතෙහි කැමැත්තක් ඇති කළා වූ ද රජු ද උපදේශකයන් ද රජුගේ සියලු බලවත් අධිපතීන් ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලසුවා වූ ද අපේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එබැවින් මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට තිබෙන බව දැනගෙන, මා ධෛර්යවත් වී මා සමඟ යන පිණිස, ඉශ්රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් මම රැස් කරගතිමි.”
– 8 වන පරිච්ඡේදය –
විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ නාම ලේඛනය
1 ”අර්තක්ෂස්තා රජුගේ රාජ්‍යය කාලයේ දී මා සමඟ බබිලෝනියේ සිට පැමිණි අයගේ පවුල්වල ප්‍රධානීහු මොවුහු ය. ඔවුන්ගේ පෙළපත් ලේඛන මෙසේ ය: 2 පිනෙහාස්ගේ පුත්‍රයන්ගෙන් ගේර්ෂොම් ය; ඊතාමාර්ගේ පුත්‍රයන්ගෙන් දානියෙල් ය; දාවිත්ගේ පුත්‍රයන්ගෙන් හට්ටුෂ් ය; 3 පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ය; ඔහු සමඟ පෙළපත් වශයෙන් පිරිමි එකසිය පණසක් ලියාපදිංචි කරනු ලැබූ හ. 4 පාහත්-මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් ශෙරහියාගේ පුත් එලියෙහෝනයි සහ ඔහු සමඟ පිරිමි දෙසියයක් ය; 5 ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ජහසීයෙල්ගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි තුන්සියයක් ය; 6 ආදින්ගේ පුත්‍රයන්ගෙන් ජොනතන්ගේ පුත් ඒබෙද් සහ ඔහු සමඟ පිරිමි පණසක් ය; 7 ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් අතලියාගේ පුත් ජෙෂායා සහ ඔහු සමඟ පිරිමි හැත්තෑවක් ය; 8 ෂෙපටියාගේ පුත්‍රයන්ගෙන් මිකායෙල්ගේ පුත් සෙබදියා සහ ඔහු සමඟ පිරිමි අසූවක් ය; 9 ජෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් ජෙහියෙල්ගේ පුත් ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅටදෙනෙක් ය; 10 ෂෙලොමීත්ගේ පුත්‍රයන්ගෙන් ජෝසිපියාගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි එකසිය හැටක් ය. 11 බේබයිගේ පුත්‍රයන්ගෙන් බේබයිගේ පුත් ශෙකරියා සහ ඔහු සමඟ පිරිමි විසිඅටදෙනෙක් ය. 12 අස්ගාද්ගේ පුත්‍රයන්ගෙන් හක්කාටාන්ගේ පුත් ජෝහානාන් සහ ඔහු සමඟ පිරිමි එකසිය දහදෙනෙක් ය. 13 අදොනිකාම්ගේ පුත්‍රයන්ගෙන් අන්තිමයන් වූ එලිපෙලෙත් ද ජෙවූයෙල් ද ෂෙමායා ද යන නම් සඳහන් අය සහ ඔවුන් සමඟ පිරිමි හැටක් ය. 14 බිග්වායිගේ පුත්‍රයන්ගෙන් ඌතයි සහ සබ්බුද් ය; ඔවුන් සමඟ පිරිමි හැත්තෑවක් ය.”
එස්රා ලෙවීවරුන් පත් කිරීම
15 ”අහවා නගරයට ගලා යන ගංගාව ළඟ මම ඔවුන් රැස් කෙළෙමි. අපි එහි තුන් දවසක් කූඩාරම් ගසාගෙන සිටියෙමු. සෙනඟ ද පූජකයන් ද දෙස බැලූ විට ඔවුන් අතර ලෙවීවරුන්ගෙන් කිසිවෙකු නැති බව මම දිටිමි. 16 එවිට මම එලියේසර් ද අරියෙල් ද ෂෙමායා ද එල්නාතාන් ද ජාරිබ් ද එල්නාතාන් ද නාතාන් ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද යන ප්‍රධානීන් සහ ජෝයාරිබ් ද එල්නාතාන් ද යන බුද්ධිමතුන් ද කැඳවාගෙන, 17 කාසිපියා යන ස්ථානයේ සිටි ප්‍රධානියා වූ ඉද්දෝ වෙත ඔවුන් යැවීමි. දෙවියන් වහන්සේගේ මාලිගාවට සේවකයන් අප වෙත සපයා දෙන ලෙස ඉද්දෝටත්, කාසිපියා යන ස්ථානයෙහි සිටි ඔහුගේ ඥාතීන් වන දේව මාලිගාවේ සේවකයන්ටත් කිය යුතු දේ මම ඔවුන්ට කීමි. 18 ඔව්හු ද අප කෙරෙහි පිහිටි දේව වරප්‍රසාදය හේතුකොටගෙන ඉශ්රායෙල්ගේ පුත්‍රයා වන ලෙවීගේ පුත් මාලීගේ පුත්‍රයන්ගෙන් බුද්ධිමත් මිනිසෙකු වූ ෂේරෙබියා ද ඔහුගේ පුත්‍රයින් හා ඥාතීන් දහඅටදෙනෙකු ද අප වෙත එවූ හ.
19 ඒ හැර හෂබියා ද ඔහු සමඟ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ජෙෂායා ද ඔහුගේ සහෝදරයෝ ද ඔවුන්ගේ පුත්‍රයන් විසිදෙනෙක් ද එවන ලදහ. 20 තවද, ලෙවීවරුන්ගේ මෙහෙයට ද දාවිත් සහ අධිපතීන් විසින් නියම කරන ලද දේව මාලිගාවේ සේවකයන්ගෙන් දෙසිය විසි දෙනෙක් අප වෙත එවන ලදහ. ඔවුන් සියල්ලෝ ලියාපදිංචි කරන ලදහ.”
එස්රා උපවාසයක් ප්‍රසිද්ධ කිරීම
21 ”එවිට අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි අප යටහත් පහත් වී, අපට සුබ ගමනක් සලසා දී, අප ද අපේ දරුදැරියන් ද අපේ සම්පත ද ආරක්ෂා කරන හැටියට උන් වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟ දී මම උපවාසයක් ප්‍රසිද්ධ කෙළෙමි. 22 මා එසේ කෙළේ, ‘අපේ දෙවියන් වහන්සේගේ ආශීර්වාද දායක හස්තය උන් වහන්සේ සොයන සියල්ලන් කෙරෙහි පවතින්නේ ය’ කියා ද ‘උන් වහන්සේගේ බලවත් උදහස උන් වහන්සේ අත්හරින සියල්ලන්ට විරුද්ධ ව පවතින්නේ ය’ කියා ද අප රජුට කියා තිබූ නිසා, ගමන් මාර්ගයේ දී අප සතුරන්ගෙන් ආරක්ෂා කරන පිණිස හේවා හමුදාවක් ද අසරුවන් ද රජුගෙන් ඉල්ලන්නට ලජ්ජා වූ බැවිනි. 23 ඒ නිසා අපි නිරාහාර ව සිට මේ ගැන අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කෙළෙමු. උන් වහන්සේ ද අපේ අයැදීමට පිළිතුරු දුන් සේක.”
දේව මාලිගාවට පඬුරු
24 ”ඉන්පසු ප්‍රධාන පූජකයන්ගෙන් දොළොස්දෙනෙකු එනම්, ෂෙරෙබියා ද හෂබියා ද ඔවුන් සමඟ ඔවුන්ගේ ඥාතීන්ගෙන් දසදෙනෙකු ද තෝරා ගෙන, 25 රජු ද ඔහුගේ උපදේශකයන් ද අධිපතීන් ද එහි සිටි සියලු ඉශ්රායෙල්වරුන් ද විසින් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන ලද පඬුරු වන රිදී ද රන් ද භාණ්ඩ ද කිරා ඔවුන්ට භාර දිනිමි. 26 රිදී මෙට්රික් ටොන් විසිදෙකකුත්, කිලෝග්‍රෑම් හැත්තෑවක් බර ඇති රිදී භාණ්ඩ සියයකුත්, රන් කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකුත්, 27 කිලෝග්‍රෑම් අටයි දශම හතරක් බර ඇති රන් තලි විස්සකුත්, රන් මෙන් අනර්ඝ වූ හොඳ දීප්තිමත් ලෝකඩ භාජන දෙකකුත් කිරා ඔවුන් අතට දිනිමි.
28 මම ඔවුන්ට කතා කොට, ‘ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වූ අය ය; භාණ්ඩ ද කැප ය; මේ රන් රිදී ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔප්පු කරන ලද ස්වේච්ඡා පූජා ය. 29 ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ ගෘහයේ ඇතුළු ගෙවල්වල දී ප්‍රධාන පූජකයන් සහ ලෙවීවරුන් ද ඉශ්රායෙල් පිය වංශවල අධිපතීන් ද ඉදිරිපිට දී ඒවා කිරන තුරු, ඒවා මුර කරමින් ප්‍රවේසම් කරගන්නැ’යි කීමි. 30 මෙසේ පූජකයෝත්, ලෙවීවරුත් කිරන ලද ඒ රිදී ද රන් ද භාණ්ඩ ද ජෙරුසලමේ අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන පිණිස භාරගත්හ.”
ජෙරුසලමට ආපසු පැමිණීම
31 ”ඉක්බිති අපි පළමු වන මාසයේ දොළොස් වන දා ජෙරුසලමට යන පිණිස අහවා ගඟ ළඟ සිට පිටත් වුණෙමු. අපේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අප කෙරෙහි විය. උන් වහන්සේ සතුරන්ගේ අතිනුත්, මංකොල්ලකාරයන්ගෙනුත් අප ගැළවූ සේක. 32 අපි ජෙරුසලමට පැමිණ තුන් දිනක් එහි නැවතී සිටියෙමු. 33 සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය. 34 ඒ සියල්ල ගණන් කරනු ලැබී ය. ඒවායේ මුළු බර ලියා සටහන් කරන ලදී. ඔහු සමඟ පිනෙහාස්ගේ පුත් එලෙයාසර් සිටියේ ය. ඔවුන් සමඟ ජේෂුවාගේ පුත් ජෝසාබාද් ද බින්නුයිගේ පුත් නොවදියා ද යන ලෙවීවරුත් සිටියෝ ය.
35 ඒ අවස්ථාවේ දී, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අය ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට දවන යාග පූජා පිණිස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා ගොනුන් දොළොස්දෙනෙකු ද බැටළුවන් අනූහයදෙනෙකු ද බැටළු පැටවුන් හැත්තෑහත්දෙනෙකු ද පාප පූජාවක් පිණිස එළුවන් දොළොස්දෙනෙකු ද ඔප්පු කළෝ ය. ඒ සියල්ල සමිඳාණන් වහන්සේට ඔප්පු කළ මහා දවන පූජාවක් විය. 36 තවද, ඔව්හු රජුගේ ආඥා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි රජුගේ දිශාධිපතීන්ටත්, ආණ්ඩුකාරයන්ටත් භාර දුන්නෝ ය. එවිට ඔව්හු සෙනඟටත්, දෙවියන් වහන්සේගේ මාලිගාවටත් සහාය දුන්නෝ ය.”
– 9 වන පරිච්ඡේදය –
මිශ්‍ර විවාහ ගැන ප්‍රශ්නය
1 ”මේ කටයුතු නිම වූ කල, අධිපතීහු මා ළඟට අවුත් කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ ද පූජකයන් හා ලෙවීවරුන් ද විදේශ වැසියන් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද මෝවබ්වරුන්ගේ ද මිසරවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පිළිකුල් ක්‍රියාවලින් වැළකී සිටියේ නැත. 2 ඔවුන් තමන්ටත්, තම පුත්‍රයන්ටත් මේ විදේශීය කාන්තාවන් සරණ පාවාගෙන ඇත. මෙසේ ශුද්ධ ජාතිය විදේශිකයන් සමඟ මිශ්‍ර වී ඇත. එසේ ය, මේ ද්‍රෝ‍්හිකමට මූලික වූවෝ අධිපතීහු හා නිලධාරීහු ය’යි කීවෝ ය. 3 මේ පුවත මා ඇසූ විට, මම බලාපොරොත්තු රහිත ව මාගේ වස්ත්‍රයත්, සළුවත් ඉරාගෙන, මාගේ හිසකෙස් ද රැවුල ද උදුරාගෙන, තුෂ්ණීම්භූත ව හිඳගතිමි. 4 එවිට විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ ද්‍රෝ‍්හිකම ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ කී දෙයින් කම්පා වූ හැම දෙන ම මා ළඟට රැස් වූ හ. මම වනාහි සවස පූජාව ඔප්පු කරන තෙක් තුෂ්ණීම්භූත ව එහි ම උන්නෙමි.”
එස්රා කරුණාව ඉල්ලා යැදීම
5 ”සවස පූජාව පවත්වන වේලාව පැමිණි විට, මම මාගේ සිහි නැති භාවයෙන් නැඟිට, ඉරාගත් මාගේ වස්ත්‍රය ද මාගේ සළුව ද ඇති ව දණින් වැටී, මාගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙසට මාගේ අත් විදහාගෙන කතා කොට, 6 ‘මාගේ දෙවියන් වහන්ස, මම ලජ්ජාවට පත් වී, මාගේ දෙවි වන ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්නට බියෙන් සිටිමි. මන්ද, අපේ ද්‍රෝහිකම අපේ හිස්වලටත් ඉහළින් නැඟී ගොස් ඇත. අපේ පාප ස්වර්ගය දක්වා නැඟී තිබේ. 7 අපේ පියවරුන්ගේ කාලයේ පටන් අද දක්වා අප අතිශයින් වරදකාරයන් ව සිට, අපේ අපරාධ නිසා, අපි ද අපේ රජවරු ද අපේ පූජකයෝ ද අද දවසේ තිබෙන හැටියට විදේශවල රජවරුන් අතටත්, කඩුවටත්, වහල් කමටත්, කොල්ලකෑමටත්, විළිලජ්ජාවටත් පාවා දෙනු ලැබීමු. අද අපේ දුඃඛිත තත්ත්වය එය යි. 8 එහෙත්, දැන් ස්වල්ප වේලාවකට අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට කරුණා කොට, අපෙන් ස්වල්ප දෙනෙකුට ඉතිරි ව සිටින්නත්, මේ ශුද්ධස්ථානයේ සුරැකි ව විසීමටත් ඉඩ දී තිබේ. අපේ දෙවියන් වහන්සේ අපට නව ජීවිතයක් ද අපේ වහල්කමේ දී අපට තරමක සහනයක් ද දී ඇත්තේ මේ අන්දමට ය. 9 මන්ද, අපි වහල්ලු ය; එහෙත්, අපේ වහල්කමේ දී අපේ දෙවියන් වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමටත්, එහි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ජුදාහි ද ජෙරුසලමෙහි ද අපට සුරැකි ව විසීමටත් පර්සියාවේ රජවරුන් අභිමුවෙහි අපට කරුණාව පෙන්නූ සේක.
10 ” ‘එබැවින් අපේ දෙවියන් වහන්ස, මේ සියල්ලට පසු අපි කුමක් කියමු ද? මන්ද, ඔබේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මඟින් ඔබ අණ කරවන ලද ඔබේ ආඥාවන් අපි කඩ කෙළෙමු. 11 ඔවුන් කී දේ මෙසේ ය: ඔබ හිමි කරගන්නට යන දේශය, එහි ජනයන්ගේ පිළිකුල් ක්‍රියාවලින් ද කිලුටුකම්වලින් ද එක් කොණක සිට අනික් කොණ දක්වා පිරී තිබේ. ඔවුන්ගේ අපවිත්‍රකම නිසා එය අපවිත්‍ර දේශයක් ව තිබේ. 12 ඒ නිසා, ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට පෙළවහට දීම වත්, ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන්ට පෙළවහට ගැනීම වත්, ඔවුන්ගේ සාමය හා ශුභසිද්ධිය සෙවීම වත් නොකළ යුතු ය. මෙසේ ඔබ බලවත් ව සිට, දේශයේ සරු පලදාව භුක්ති විඳ, එය සදහට ම ඔබේ දරුවන්ට උරුම කර දෙන්නහු ය. 13 ඉතින් අපේ නපුරු ක්‍රියා හා අපරාධකාරකම ද නිසා අපට පැමිණි සියල්ලට පසුව, අපේ දෙවි වන ඔබ, අපේ අයුතුකම්වල තරමට අපට දඬුවම් නොකර, මෙලෙස ගැළවී සිටින්නට අපට ඉඩ සලසා දී තිබිය දී, 14 අපි නැවතත් ඔබේ ආඥා කඩ කර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ ආවාහ විවාහ කර ගනිමු ද? එසේ කළොත්, එක් කෙනෙකු වත් ගැළවී ඉතුරු නොවන ලෙස අප නැති කර දමන තුරු, ඔබ අප කෙරෙහි උදහස් නොවන සේක් ද? 15 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ය. මන්ද, අද තිබෙන ලෙස අපි කුඩා පිරිසක් ඉතිරි ව සිටිමු. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමු. මන්ද, මේ කාරණය නිසා ඔබට මූණ දී සිටින්නට අපට නොහැකි ය.’ ”
– 10 වන පරිච්ඡේදය –
සෙනඟ පසුතැවී සිත් හරවා ගැනීම
1 මෙසේ එස්රා අඬමින් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියේ මුණින්තළා වී යාච්ඤා කර පාපෝච්චාරණය කරමින් සිටිය දී, පුරුෂයන්ගෙන් ද ස්ත්‍රීන්ගෙන් ද ළමයින්ගෙන් ද යුත් ඉශ්රායෙල්වරු ඉතා විශාල සමූහයක් ඔහු වෙත රැස්වුණෝ ය. ඔව්හු මහා දුකින් හැඬූ හ. 2 එවිට ඒලාම්ගේ පුත්‍රයෙකු වූ ජෙහියෙල්ගේ පුත් ෂෙකනියා එස්රාට කතා කරමින්, ”අපි විදේශවලින් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීම හේතුකොටගෙන, අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. එසේ වුවත්, ඉශ්රායෙල්වරුන්ට තවමත් බලාපොරොත්තු තිබේ. 3 ඒ නිසා, ඒ සියලු භාර්යාවන් ද ඔවුන්ගෙන් උපන් දරුවන් ද ඉවත් කරන ලෙස, මාගේ ස්වාමීන්ගේ ද අපේ දෙවියන් වහන්සේගේ ආඥාවට බිය වන්නන්ගේ ද දැනුමැතිකමේ හැටියට අපේ දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමක් කරමු. අපි ව්‍යවස්ථානුකූල ව ක්‍රියා කරමු. 4 නැඟිටින්න, මේ ගැන වගකීම ඔබට අයිති ය; අපිත් ඔබට සහාය දෙමු. නිර්භීත ව ක්‍රියා කරන්නැ”යි එස්රාට කීවේ ය.
5 එවිට එස්රා නැඟිට, ෂෙකනියා කී පරිදි කරන ලෙස පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද අධිපතීන්ගෙන් ද දිවුරුම් ගත්තේ ය. ඔව්හු ද දිවුරුම් දුන්හ. 6 එවිට එස්රා දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියෙන් නික්ම එලියාෂිබ්ගේ පුත් ජොහෝහානාන්ගේ කාමරයට ගියේ ය. ඔහු එහි ගොස් කෑම නොකා, වතුර නොබී සිටියේ ය. මන්ද, විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ අපරාධය ගැන ඔහු වැළපුණ බැවිනි.
7 එවිට විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි සියලු දෙන ම ජෙරුසලමට රැස් වන්නට කියා ප්‍රකාශනයක් ජුදා හා ජෙරුසලම මුළුල්ලේ පළ කරන ලදී. 8 තවද, අධිපතීන්ගේ ද ප්‍රජා මූලිකයන්ගේ ද නියමය අනුව තුන් දවසක් ඇතුළත දී යමෙකු නොපැමිණියොත්, ඔහුගේ සියලු දේපළ පවරා ගනු ලබන බවත්, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අයගේ සමාගමෙන් ඔහු නෙරපනු ලබන බවත් පළ කරන ලදී. 9 එවිට ජුදාහි ද බෙන්ජමින්හි ද සියලු මනුෂ්‍යයෝ තුන් දවසක් ඇතුළත ජෙරුසලමට රැස් වූ හ. ඒ දවස නව වන මාසයේ විසි වන දා ය. මුළු සෙනඟ මේ කාරණය නිසාත්, තද වර්ෂාව නිසාත් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන සිටියෝ ය.
10 පූජක එස්රා නැඟිට සිට, ඔවුන්ට කතා කොට, ”ඔබ හැම අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීමෙන් මහා ද්‍රෝහිකමක් කර ඉශ්රායෙල්වරුන්ගේ පාප තවත් වැඩි කර ඇත. 11 එබැවින් දැන් ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාපෝච්චාරණය කර, උන් වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ වැසියන්ගෙනුත්, අන්‍ය ජාතික ස්ත්‍රීන්ගෙනුත් වෙන් වන්නැ”යි කී ය.
12 එවිට මුළු සභාව මහා හඬකින් පිළිතුරු දෙමින්, ”එසේ ය, ඔබ කී ලෙස අප කළ යුතු ය. 13 එහෙත්, සෙනඟ බොහෝ ය. මෙය ඉතා තද වර්ෂා කාලයකි. අපට ද එළිමහනේ හිටගෙන සිටින්නට නුපුළුවන. තවද, අප මේ කාරණය සම්බන්ධයෙන් තදබල වරදක් කර ඇති බැවින්, මෙය දවසකින් වත්, දෙදවසකින් වත් නිම කළ හැකි කාර්යයක් නොවේ. 14 දැන් අපේ අධිපතියෝ මුළු සභාව වෙනුවෙන් ක්‍රියා කරත්වා. මේ කාරණය නිසා, අපේ දෙවියන් වහන්සේගේ බලවත් උදහස අප කෙරෙන් පහ ව යන තුරු, අපේ නගරවල අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගෙන සිටින සියල්ලෝ ද ඔවුන් සමඟ එක එක නුවර ප්‍රජා මූලිකයෝ ද විනිශ්චයකරුවෝ ද නියමිත කාලවල දී පැමිණෙත්වා”යි කීවෝ ය. 15 මීට විරුද්ධ වූයේ, අසාහෙල්ගේ පුත් ජොනතන් ද තික්වාගේ පුත් ජාසෙයා ද පමණක් ය. මෙෂුල්ලාම් ද ලෙවීය වූ ෂබ්බෙතයි ද ඔවුන්ට සහාය දුන්හ.
16 විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අය එසේ කළෝ ය. පූජක එස්රා ද තමන්ගේ පිය වංශවල හැටියට පිය වංශවල ප්‍රධානීන් එකිනෙකා නම් වශයෙන් පත් කෙළේ ය. ඔව්හු මේ කාරණය විභාග කරන්නට දස වන මාසයේ පළමු වන දා ආරම්භ කළෝ ය. 17 අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගෙන සිටි සියලු දෙනා සම්බන්ධ කරුණු ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා තීන්දු කළෝ ය.
වරදකරුවන්ගේ නාම ලේඛනය
18 පූජකයන්ගේ පුත්‍රයන් අතරෙන් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගත් සමහර දෙනෙක් සම්බ වූ හ. එනම්: ජෝශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයන්ගෙන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් ද මයසේයා, එලියෙසෙර්, ජාරීබ් සහ ගෙදලියා ය. 19 ඔව්හු තමන්ගේ භාර්යාවන් අත්හරින බවට පොරොන්දු දුන්හ. තවද, ඔව්හු පාප පූජාවක් වශයෙන් රැළෙන් බැටළුවෙකු බැගින් ඔප්පු කළෝ ය.
20 ඉම්මෙර්ගේ පුත්‍රයන්ගෙන් හනානි සහ සෙබදියා ය.
21 හාරීම්ගේ පුත්‍රයන්ගෙන් මයසේයා, එලියා, ෂෙමායා, ජෙහියෙල් සහ උශ්ශියා ය.
22 පෂ්හුර්ගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, මයසේයා, ඉෂ්මායෙල්, නෙතනෙල්, ජෝසාබාද් සහ එලාසා ය.
23 ලෙවීවරුන්ගෙන් ජෝසාබාද්, ෂිමෙයි, කේලායා එනම්, කෙලීටා, පෙතහියා, ජුදා සහ එලියෙසෙර් ය.
24 ගීතිකාකාරයන්ගෙන් එලියාෂිබ් ය. දොරටු පාලකයන්ගෙන් ෂල්ලුම්, ටෙලෙම් සහ උරී ය.
25 ඉශ්රායෙල්වරුන් අතරෙන් පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් රමියා, ඉස්සියා, මල්කියා, මියාමින්, එලෙයාසර්, මල්කියා සහ බෙනායා ය.
26 ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් මත්තනියා, ශෙකරියා, ජෙහියෙල්, අබ්දි, ජෙරේමොත් සහ එලියා ය.
27 සට්ටුගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, එලියාෂිබ්, මත්තනියා, ජෙරේමොත්, සාබාද් සහ අසීසා ය.
28 බේබයිගේ පුත්‍රයන්ගෙන් ජෙහෝහානාන්, හනනියා, සබ්බයි සහ අත්ලයි ය.
29 බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, ජාෂුබ්, ෂෙයාල් සහ ජෙරේමොත් ය.
30 පාහත්-මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් අද්නා, කෙලාල්, බෙනායා, මයසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නුයි සහ මනස්සේ ය.
31 හාරීම්ගේ පුත්‍රයන්ගෙන් එලියෙසෙර්, ඉෂ්ෂියා, මල්කියා, ෂෙමායා, ෂිමෙයොන්; 32 බෙන්ජමින්, මල්ලුක් සහ ෂෙමරියා ය.
33 හාෂුම්ගේ පුත්‍රයන්ගෙන් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලිපෙලෙත්, ජෙරේමයි, මනස්සේ සහ ෂිමෙයි ය.
34 බානීගේ පුත්‍රයන්ගෙන් මයදයි, අම්රාම් සහ ඌයෙල් ය; 35 බෙනායා, බේදෙයා, කෙලූහී; 36 වනියා, මෙරේමොත්, එලියාෂිබ්, 37 මත්තනියා, මත්තෙනයි සහ ජාසු ය;
38 බානී, බින්නුයි සහ ෂිමෙයි ය. 39 ෂෙලමියා, නාතාන් සහ අදායා ය; 40 මක්නදෙබයි, ෂාෂයි, ෂාරයි; 41 අසරේල්, ෂෙලෙමියා, ෂෙමරියා; 42 ෂල්ලුම්, අමරියා සහ ජෝසෙප් ය.
43 නෙබෝගේ පුත්‍රයන්ගෙන් ජෙයීයෙල්, මත්තිතියා, සාබාද්, සෙබීනා, ඉද්දෝ, ජෝවෙල් සහ බෙනායා ය.
44 මේ හැම දෙන ම අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගෙන සිටියෝ ය. ඒ භාර්යාවන්ගෙන් සමහරු දරුවන් ද ලැබ සිටියෝ ය.