එස්තර්

– 1 වන පරිච්ඡේදය –

වස්තී රැජිනගේ අකීකරුකම

1 ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා රටවල් එකසිය විසිහතක රජකම් කළ අහෂ්වේරොෂ්ගේ දවස්වල දී සිදු වූ සිදුවීම් මෙහි විස්තර කර ඇත. ඒ කාලයේ දී ඔහු සූසා නම් අගනුවර සිංහාසනාරූඪ ව සිටියේ ය. 2 අහෂ්වේරොෂ් රජුගේ රාජ්‍ය සමයේ තුන් වන අවුරුද්දේ දී ඔහු තමාගේ සියලු අධිපතීන්ට ද විධායකයින්ට ද මංගල භෝජනයකින් සංග්‍රහ කෙළේ ය.
3 පර්සියාවේ හා මේදියාවේ හමුදාවල අධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයෝ හා ප්‍රභූවරයෝ ද ඒ අවස්ථාවේ දී පැමිණ සිටියහ. 4 එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ යස ඉසුර ද තමාගේ මහිමශ්‍රීයේ තේජස හා අලංකාරය ද බොහෝ දවස් එනම්, දවස් එකසිය අසූවක් මුළුල්ලේ ප්‍රදර්ශනය කෙළේ ය.
5 මේ කාලය අවසන් වූ විට රජ තෙමේ සූසා නම් අගනුවර සිටි ලොකු කුඩා සියලු දෙනාට රාජ මාලිගා උයනේ වූ මළුවෙහි සත් දවසක් මුළුල්ලේ මංගල්‍ය භෝජනයක් දුන්නේ ය. 6 එහි සුදු හා දම් පාට තිර, සිහින් හණ ලණුවලිනුත්, රත්නිල් ලණුවලිනුත්, රිදී මුදුවලට සවි කර, කිරිගරුඬ කුළුණුවලට බැඳ තිබිණි. එහි රතු, සුදු, කහ, කළු යන පාට ඇති මැණික් ගල් අල්ලන ලද බිමක් මත රන් රිදී යහන් විය. 7 ඔවුන්ට බොන්න දුන්නේ රන් කුසලාන්වලින් ය. කුසලාන් ද එකිනෙකට වෙනස් විය. රජුගේ ත්‍යාගවන්තකමට සරිලන ලෙස රාජකීය මුද්‍රික පානය බොහෝ සෙයින් තිබිණි. 8 කිසිවෙකුට බල නොකළ යුතු ය යනු බීම සම්බන්ධයෙන් වූ නියෝගය වේ. එකිනෙකාගේ කැමැත්ත පරිදි කරන ලෙස රජු තමාගේ මාලිගාවේ සියලු මුලාදෑනීන්ට නියම කර තිබුණේ ය.
9 ඒ අතරතුර, වස්තී බිසව ද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේ දී ස්ත්‍රීන්ට මංගල්‍ය භෝජනයක් දුන්නා ය.
10 සත් වන දා රජුගේ සිත මුද්‍රික පානයෙන් පිනාගිය විට, අහෂ්වේරොෂ් රජ තමාට සේවය කළ මෙහුමාන් ද බිශ්තා ද හර්බො‍්නා ද බිග්තා ද අබගතා ද සේතර් ද කර්කස් ද යන නපුංසකයන් සත් දෙනා කැඳවී ය. 11 වස්තී බිසව ඉතා සුරූපී නිසා ඇගේ අලංකාරය සිය සෙනඟටත්, අධිපතීන්ටත් පෙන්වන පිණිස ඇගේ රාජකීය කිරීටය ද පළඳවාගෙන ඈ තමා ඉදිරිපිටට කැඳවාගෙන එන්නට රජ ඔවුන්ට අණ කෙළේ ය. 12 එහෙත්, නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු ව රජු වෙත එන්නට වස්තී බිසව අකමැති වූවා ය. එබැවින් රජ තෙමේ තදින් කිපිණි. ඔහු කෝපාග්නියෙන් දැවිණි.
13 එවිට රජ තෙමේ නීතිය හොඳින් දත් නැණවතුන්ට කතා කෙළේ ය. එසේ කෙළේ, නීතියත්, ආගමත් පිළිබඳ කටයුතු මනා ලෙස දත් සියලු දෙනාගෙන් කරුණු විමසීම රජුගේ පුරුද්ද වී තිබුණ බැවිනි. 14 මොවුන් අතරෙන් රජුට ඉතා හිතවත් වූ ද රජු ඉදිරියට නිදහසේ පැමිණීමේ වරය ලද්දා වූ ද අය නම්, පර්සියාවේ ද මේදියාවේ ද අධිපතීන් සත් දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සේනා සහ මෙමුකාන් ය. 15 රජ ඔවුන් අමතා, ”නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු නොවූ වස්තී බිසවට නීත්‍යනුකූල ව කුමක් කළ යුතු දැ”යි ඇසී ය.
16 රජු ද අධිපතීන් ද ඉදිරියෙහි මෙමුකාන් පිළිතුරු දෙමින්, ”වස්තී බිසව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත්, අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල සිටින සියලු ම ජාතීන්ටත් වරදක් කර ඇත. 17 මන්ද, බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්‍රීන්ට සැළ වුණ විට, ‘අහෂ්වේරොෂ් රජතුමා ඉදිරියට වස්තී බිසව කැඳවාගෙන එන්නට අණ කළ නමුත් ඈ නොපැමිණියා ය’යි ඔවුන් කියා තමන්ගේ පුරුෂයන් සුළු කොට සිතනු ඇත. 18 පර්සියාවේ ද මේදියාවේ ද වංශවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැළ වුණු විට, රජුගේ සියලු අධිපතීන්ට එපවත් අද දවසේ දී ම කියනු ඇත. ඒ හේතුවෙන් අපහාස ද උදහස ද බොහෝ සෙයින් හට ගනු ඇත. 19 රජතුමෙනි, ඔබ සතුටු නම්, වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ කළ මැනව. එය වෙනස් නොවන පිණිස පර්සිවරුන්ගේ ද මේදවරුන්ගේ ද නීති ග්‍රන්ථවල ලියා තබන්නට සැලැසුව මැනව. ඇගේ අගබිසෝකම ද ඈට වඩා සුදුසු තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේ වා! 20 විශාල වූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි රජතුමා පණවන නියෝගය ඇසූ කල්හි සියලු ම භාර්යාවන් තම තමන්ගේ පුරුෂයෝ උසස් හෝ පහත් හෝ වෙත්වා, ඔවුන්ට ගෞරව දෙනු ඇතැ”යි කීවේ ය.
21 ඒ කීමට රජ ද අධිපතීහු ද ප්‍රසන්න වූ හ. රජතුමා මෙමුකාන්ගේ කීම ලෙස කරමින්, 22 හැම පුරුෂයෙකු ම තමාගේ ගෙදර ප්‍රධානියා විය යුතු ය කියා තමාගේ සෙනඟගේ භාෂාවෙන් ද එක එක රටේ අකුරුවලින් ද ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ප්‍රකාශ කරන හැටියට ලියුම් ලියා යැවී ය.

– 2 වන පරිච්ඡේදය –

එස්තර් බිසව වශයෙන් තෝරාගැනීම

1 මේ සිද්ධියට පසු, අහෂ්වේරොෂ්ගේ කෝපය සංසිඳුණු කල්හි, ඔහු වස්තී සහ ඈ කළ දේ ද ඈට විරුද්ධ ව කළ නියමය ද සිහිපත් කෙළේ ය. 2 එවිට රජුට සේවය කළ ඔහුගේ මෙහෙකරුවෝ කතා කොට, ”රූපසම්පන්න කන්‍යාවන් රජුට සොයනු මැනව. 3 එබඳු රූපසම්පන්න සියලු කන්‍යාවන් සූසා අගනුවර ඇති අන්තඃපුරයට ගෙනෙනු ලබන පිණිස රාජ්‍යයේ සියලු ප්‍රදේශවල නිලධාරීන්ට රජු විසින් නියම කරනු ලැබේවා. ස්ත්‍රීන් භාර ව සිටින්නා ද රජවරුන්ගේ නපුංසකයා ද වන හෙගයිගේ රැකවරණයට ඔවුන් භාර කරනු මැනව. ඒ කාන්තාවන්ට ඔවුන්ගේ රූපලාවණ්‍යය සඳහා අවශ්‍ය දේ සපයා දෙනු මැනව. 4 එවිට රජ්ජුරුවන්ට ප්‍රිය ව පෙනෙන තරුණිය වස්තී වෙනුවට බිසෝ වේවා”යි කී හ. රජ මෙයට ප්‍රසන්න වී එලෙස කෙළේ ය.
5 බෙන්ජමින් ගෝත්‍රයේ කිෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත් ජායීර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම් ජුදෙව්වෙක් සූසා නම් අගනුවර සිටියේ ය. 6 ඔහු වනාහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් අල්ලාගනු ලැබ, ජුදාහි රජ වූ ජෙකොනියා සමඟ ගෙනෙනු ලැබූ අය අතර වූවෙකි. 7 ඔහු තමාගේ බාප්පාගේ දුව වන හදස්සා එනම්, එස්තර් දරුකමට හදාගත්තේ ය. මන්ද, ඇගේ පියා වත්, මවු වත් ජීවත් ව සිටියේ නැත. ඈ වනාහි ශෝභන, රූපසම්පන්න තැනැත්තියක් වූවා ය. ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාගේ දුවක වශයෙන් හදාගත්තේ ය.
8 රජුගේ ආඥාවත්, නියෝගයත් පළ කරනු ලැබූ කල්හි, බොහෝ කාන්තාවන් හෙගයිගේ රැකවරණය යටතේ තබන්නට සූසා අගනුවරට ගෙනෙනු ලැබූ විට, එස්තර් ද රජ මාලිගාවේ ස්ත්‍රීන්ගේ රැකවලා වන හෙගයිගේ රැකවරණයට ගෙනෙන ලද්දී ය. 9 ඒ තරුණිය ද හෙගයිට ප්‍රිය වී ඔහුගෙන් කරුණාව ලැබුවා ය. ඔහු විගස සුවඳ විලවුන් ද ඇගේ ආහාර කොටස ද රජ මාලිගාවෙත් විශේෂයෙන් තෝරාගත් තරුණයන් සත්දෙනෙකු ද ඈට දී ඈට සහ ඇගේ මෙහෙකාරියන්ට අන්තඃපුරයේ ඉතා ම හොඳ කොටෙසහි ලැගුම් දුන්නේ ය.
10 එස්තර් තොමෝ ඇගේ ජාතිය කුමක් ද කියාවත්, ඇගේ සෙනඟ කවුරු ද කියාවත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණ කර තිබුණේ ය. 11 එස්තර්ගේ සැපසනීප කෙසේ ද කියාත්, ඈට කුමක් සිදු වේ ද කියාත් දැනගන්න පිණිස මොර්දෙකයි අන්තඃපුරයේ මළුව ඉදිරියේ දිනපතා ඔබමොබ ­සක්මන් කෙළේ ය.

බිසව වශයෙන් එස්තර් පත් කිරීම

12 ස්ත්‍රීන්ට සූදානම් වීමට නියමිත මුළු කාලය දොළොස් මාසයක් විය. ඒ කාලයේ දී සුවඳලාටු තෙල් හය මාසයක් ද සුගන්ධ ද්‍රව්‍ය සහ ස්ත්‍රීන්ගේ රූපලාවණ්‍යය සඳහා තෛලය හය මාසයක් ද පාවිච්චි කරන ලදී. මේ කාලය සම්පූර්ණ වූ පසු ඔවුන්ට අහෂ්වේරොෂ් රජු ළඟට යන්නට වාරය පැමිණියේ ය. 13 තරුණියක රජු ළඟට යන විට, අන්තඃපුරයෙන් තමා කැමැති දෙයක් ගෙන යන පිණිස ඈට අවසර තිබිණි. 14 ඈ සවස ගොස් පසු දා උදේ රජුගේ නපුංසකයා වන, උපභාර්යාවන්ගේ රැකවලා වූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට භාර වන පිණිස දෙ වන අන්තඃපුරයට යන්නී ය. රජ ඈට ප්‍රිය වී නම්, ඇගේ නම කියා ඈට අඬගැසුවොත් මිස ඈ රජු ළඟට තවත් පැමිණියේ නැත.
15 මොර්දෙකයි දුව වශයෙන් හදාගත්, ඔහුගේ බාප්පා වන අබිහයිල්ගේ දූ වූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමිණි විට, රජුගේ නපුංසකයා වන, ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි නියම කළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවා ය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රිය වූ හ. 16 මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම් කිරීමේ සත් වන අවුරුද්දේ තේබෙත් නම් දස වන මාසයේ දී රජ මැදුරට රජු වෙත ගෙනයනු ලැබුවා ය. 17 රජ ද සියලු ම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට පෙම් කොට, සියලු කන්‍යාවන්ට වඩා ඈට කරුණාව ද ආදරය ද පෙන්වා, ඇගේ හිසේ රාජ කිරීටය තබා, වස්තී බිසව වෙනුවට ඇය බිසව කරගත්තේ ය. 18 රජ තමාගේ සියලු අධිපතීන්ට හා සේවකයන්ට මහා මංගල්‍ය භෝජනයක් පිළියෙළ කර දුන්නේ ය. එය එස්තර්ට උපහාර දැක්වීමේ මංගල්‍යයකි. රජ සියලු ප්‍රදේශවල නිවාඩු දිනයක් පළ කර, රජ කෙනෙකුට ඔබින ලෙස තෑගි බෙදා දුන්නේ ය.

මොර්දෙකයි රජුගේ ජීවිතය බේරාගැනීම

19 දෙ වන වතාවේ කන්‍යාවන් රැස් කරන කල මොර්දෙකයි රජ වාසල් දොරටුවේ හිඳගෙන උන්නේ ය. 20 මොර්දෙකයි එස්තර්ට අණ කළ ලෙස, ඇය තමාගේ සෙනඟ කවුරු ද කියා වත්, ඇගේ ජාතිය කුමක් ද කියා වත් නොදන්වා සිටියා ය. මොර්දෙකයි ළඟ එස්තර් ඇති දැඩි වන විට කළ ලෙස ඈ ඔහුගේ කීම ඉෂ්ට කළා ය.
21 දිනක් මොර්දෙකයි රජ වාසල් දොරටුවේ හිඳගෙන සිටිය දී වාසල් රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙකු වන බිග්තාන් සහ තෙරෙෂ් කෝප වී අහෂ්වේරොෂ් රජු මරන්නට කුමන්ත්‍රණය කළෝ ය. 22 මොර්දෙකයිට ඒ බව සැළ වී ය. ඔහු එස්තර් බිසවට එපවත් දැන්වී ය. මොර්දෙකයිගේ නම සඳහන් කරමින් එස්තර් එපවත් රජුට කීවා ය. 23 ඒ කාරණය විභාග කළ කල්හි එය සැබෑ බව පෙනී ගිය නිසා, ඒ දෙදෙනා ගසක එල්ලා මරනු ලැබූ හ. මේ සිද්ධිය රජුගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ රජු ඉදිරියේ දී සටහන් කරන ලදී.

 

– 3 වන පරිච්ඡේදය –

ජුදෙව්වරුන්ට විරුද්ධ ව හාමාන්ගේ උපාය

1 මේ සිදුවීම්වලට පසු අහෂ්වේරොෂ් රජ, ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට බුහුමන් දක්වමින්, ඔහු උසස් තත්ත්වයකට පමුණුවා, තමා වෙත සිටි සියලු අධිපතීන්ට වඩා උත්තම නිලයක් ඔහුට දුන්නේ ය. 2 රජ වාසල සිටි රජුගේ සියලු සේවකයෝ ද හාමාන්ට හිස නමා ආචාර කළෝ ය. මන්ද, එසේ කරන ලෙස රජු අණ කර තිබුණේ ය. එහෙත්, මොර්දෙකයි ඔහුට හිස නැමුවේ වත්, ආචාර කෙළේ වත්, නැත. 3 එවිට රජ වාසල සිටි රජුගේ සේවකයෝ කතා කොට, ”ඔබ රජුගේ අණ කඩ කරන්නේ මන්දැ”යි මොර්දෙකයිගෙන් ඇසූ හ. 4 ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නමුත්, ඔහු සවන් නුදුන් බැවින්, මොර්දෙකයිගේ මේ හැසිරීම ඉවසනු ලැබේ ද කියා බලන පිණිස ඔව්හු හාමාන්ට ඒ බව දැන්නූ හ. මන්ද, තමා ජුදෙව්වෙකු බව මොර්දෙකයි ඔවුන්ට කියා තිබුණේ ය. 5 මොර්දෙකයි තමාට හිස නමා ආචාර නොකරන බව දැක හාමාන් කෝපාවිෂ්ට විය. 6 එහෙත්, මොර්දෙකයිගේ ජාතිය කුමක් දැ යි ඔහු දැනගත් විට, ඔහු පමණක් මැරීම නොසෑහේ යයි ඔහු සිතී ය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟ වන සියලු ජුදෙව්වරුන් විනාශ කරන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.

ජුදෙව්වරුන් ඝාතනය කිරීමේ නියෝගය

7 අහෂ්වේරොෂ් රජුගේ දොළොස් වන අවුරුද්දේ නිසාන් මාසය නම් පළමු වන මාසයේ පටන්, හාමාන් ඉදිරියෙහි දවසින් දවස, මාසයෙන් මාසය අදාර් මාසය නම් දොළොස් වන මාසය දක්වා ඔව්හු පූර් නම් පස ඇට දැමූ හ.
8 එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කතා කොට, ”ඔබේ රාජ්‍යයේ සියලු ප්‍රදේශවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර ගොස් වෙන් ව සිටිති. ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස් ය. ඔවුන් රාජකීය ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින්, ඔවුන්ට සිටින්නට ඉඩ දීම රජ්ජුරුවන්ට වටින්නේ නැත. 9 රජතුමා සතුටු නම්, ඔවුන් නැති කර දමන හැටියට නියෝගයක් පැණවිය යුතු ය. එසේ කළොත් මම රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී කිලෝග්‍රෑම් තුන්ලක්ෂ හතළිස්දාහක් කිරා දෙන්නෙමි”යි කීවේ ය.
10 රජ තමාගේ අතින් මුදුව ගලවා ජුදෙව්වරුන්ගේ සතුරා වූ ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට දී ඔහුට කතා කොට, 11 ”රිදී ඔබට දී ඇත; සෙනඟත් දී ඇත; ඔබ කැමැති දෙයක් ඔවුන්ට කරන්නැ”යි කීවේ ය.
12 එවිට පළමු වන මාසයේ දහතුන් වන දා රජුගේ ලේකම්වරුන් කැඳවන ලදුව හාමාන් අණ කළ සියල්ල ලෙස රජුගේ දිශාධිපතීන්ට ද, සියලු රටවල ආණ්ඩුකාරයන්ට ද, ඒ ඒ සෙනඟගේ අධිපතීන්ට ද, ඒ ඒ රටේ අකුරුවලින්, ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් රාජාඥාවක් ලියවා රාජ මුද්‍රාවෙන් යවනු ලැබී ය. අහෂ්වේරොෂ් රජුගේ නමින් එය ලියා රාජ මුද්‍රාව තබන ලදී. 13 අදාර් මාසය නම් දොළොස් වන මාසයේ දහතුන් වන දා තරුණයන් ද මහල්ලන් ද බාලයන් ද ස්ත්‍රීන් ද යන සියලු ජුදෙව්වරුන් එක දවසේ ම නැති කර දමන්නත්, මරන්නත්, සමූලඝාතනය කරන්නත්, ඔවුන්ගේ දේපළ පැහැර ගන්නත් කියා රජුගේ සියලු රටවලට දූතයන් අත ලියුම් යවන ලදී. 14 ඒ දවසට සූදානම් ව සිටින ලෙස එක එක පළාතට නියෝගයක් දෙන පිණිස ඒ ලියවිල්ලේ පිටපතක් සියලු රටවැසියන් අතර ප්‍රසිද්ධ කරන ලදී.
15 දූතයෝ රජුගේ අණ පරිදි විගසින් පිටත් ව ගියහ. ඒ රාජාඥාව සූසා අගනුවර ද පළ කරන ලදී. රජ ද හාමාන් ද විනෝද වන පිණිස හිඳගත්තෝ ය. එහෙත්, සූසා නගරයේ මහා කැළඹීමක් ඇති විය.

– 4 වන පරිච්ඡේදය –

මොර්දෙකයි එස්තර්ගෙන් උදව් ඉල්ලීම

1 සිදු වූ සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු ශෝකයෙන් සිය වස්ත්‍ර ඉරාගෙන, ඇඟේ අලු තවරාගෙන, ගෝණි රෙදි හැඳගෙන, ඉමහත් දුකින් හඬා වැලපෙමින් නගරය මැදින් ගියේ ය. 2 මෙසේ ඔහු රජ වාසල ඉදිරිපිටට ම පැමිණියේ ය. ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට රජ වාසලට පිවිසීමට අවසර නොතිබිණි. 3 රාජාඥාව ප්‍රකාශ කරනු ලැබූ සියලු රටවල ජුදෙව්වරුන් අතරේ මහා වැලපීම ද නිරාහාර ව සිටීම ද හැඬීම ද විලාප කීම ද ඇති විය. බොහෝ දෙනෙක් ගෝණි රෙදි හැඳගෙන අලු පිට වැතිර සිටියහ.
4 එවිට එස්තර්ගේ මෙහෙකාරියෝ ද නපුංසකයෝ ද අවුත් එපවත් ඈට දැන්වූ හ. එකල බිසව ශෝකයෙන් ඇලළී ගියා ය. ඈ මොර්දෙකයිට ගෝණි රෙදි ඉවත ලා ඇඳගැනීමට ඇඳුම් යැවූවා ය. එහෙත්, ඔහු ඒවා පිළිගත්තේ නැත. 5 එවිට එස්තර්, ඈට මෙහෙකරන පිණිස රජු විසින් පත් කරන ලද නපුංසකයන්ගෙන් එක් කෙනෙකු වන හාතාක් කැඳවා, කාරණාව කුමක් ද කියාත්, ඔහු මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ මන්ද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්නට අණ කළා ය. 6 හාතාක් ද අගනුවර රජ වාසල ඉදිරිපිට තිබුණු වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේ ය. 7 එවිට මොර්දෙකයි තමාට සිදු වූ සියල්ලත්, ජුදෙව්වරුන් නැති කරන පිණිස හාමාන් රාජ භාණ්ඩාගාරයට ගෙවන්නට පොරොන්දු වූ මුළු මුදල් ගණනත් ඔහුට දැන්වී ය. 8 තවද, ඔවුන් විනාශ කරන්නට සූසාහි දී දුන් නියෝග පත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණ කරන බව ද ඔහුට කීයේ ය. 9 හාතාක් අවුත් මොර්දෙකයි කී දේ එස්තර්ට දැන්වී ය. 10 එකල එස්තර් හාතාක්ට කතා කොට, මොර්දෙකයි වෙත ගෙන යන පිණිස පණිවුඩයක් දෙමින් මෙසේ කීවා ය: 11 ”කැඳවනු නොලැබ ඇතුළු මළුවේ රජු වෙත පැමිණෙන ස්ත්‍රී-පුරුෂ කවරෙක් හෝ වේවා නීතිය අනුව මරණයට පත් කළ යුතු බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සෙනඟ ද දනිති. ඒ නීතිය බල නොපාන්නේ, යමෙකු දෙසට රජු රන් ජයකොන්තය දිගු කළොත් ඒ අයට පමණකි. එහෙත්, රජු වෙත පැමිණෙන්නට කැඳවීමක් දැනට තිස් දවසකින් මට ලැබී නැත.”
12 එස්තර්ගේ මේ පණිවුඩය මොර්දෙකයිට දන්වන ලදී. 13 එවිට මොර්දෙකයි එස්තර්ට පිළිතුරු යවමින්, ”ඔබ රජ ගෙදර සිටින නිසා සියලු ජුදෙව්වරුන් අතරෙන් ඔබ පමණක් ගැළවෙන්නෙහි ය කියා නොසිතන්න. 14 මන්ද, මේ අවස්ථාවේ දී ඔබ නිශ්ශබ්ද ව ම සිටියොත් වෙනතකින් ජුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනු ඇත. එහෙත්, ඔබ සහ ඔබේ පිය වංශය නැති වනු ඇත. ඔබ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි අවස්ථාවක් නිසා ම නොවේ ද කියා දන්නේ කවුරු දැ”යි කියන්නට අණ කෙළේ ය.
15 එවිට එස්තර් මොර්දෙකයිට උත්තර යවමින්, 16 ”ගොස් සූසාහි සිටින සියලු ජුදෙව්වරුන් රැස් කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දවල් නොකා නොබී නිරාහාර ව සිටින්න. මාගේ සේවිකාවෝත්, මමත්, එසේ ම නිරාහාර ව සිටින්නෙමු. එවිට නීති විරො‍්ධි වුවත් මම රජු ළඟට යන්නෙමි. මා මැරුණොත් මැරුණාවේ” කියා කියන්නට කීවා ය.
17 එවිට මොර්දෙකයි ගොස් තමාට එස්තර් අණ කළ ලෙස සියල්ල කෙළේ ය.

 

– 5 වන පරිච්ඡේදය –

එස්තර් බිසව රජුට කළ ආයාචනය

1 තුන් වන දා එස්තර් රාජ වස්ත්‍ර පැළඳගෙන රජ මැදුර ඉදිරිපිට වූ රජුගේ ශාලාවේ ඇතුළු මිදුලට ගොස් සිටියා ය. රජතුමා රජ මැදුරේ දොරටුවට මුහුණ දී සිහසුන් අරා හුන්නේ ය. 2 එවිට රජතුමා එස්තර් බිසව මිදුලේ සිටිනු දැක ඈට කරුණාව පා, තමාගේ අතේ තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේ ය. එස්තර් ළං ව ජයකොන්තයේ මුදුන් කෙළවරේ අත තැබුවා ය. 3 එකල රජතුමා ඈට කතා කොට, ”එස්තර් රැජිනියනි, ඔබේ වුවමනාව කුමක් ද? ඔබේ අයැදීම කුමක් ද? ඔබ ඉල්ලන කුමන දෙයක් වුව ද, රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබට දෙන්නෙමි”යි කීයේ ය.
4 එස්තර් පිළිතුරු දෙමින්, ”රජ්ජුරුවන් වහන්සේට යහපතැ යි පෙනේ නම්, මා රජතුමාට පිළියෙළ කර තිබෙන මංගල භෝජනයට රජතුමා ද හාමාන් ද අද එනු මැනව”යි කීවා ය.
5 එවිට රජ කතා කරමින්, ”එස්තර්ගේ කැමැත්ත කරන පිණිස හාමාන් ඉක්මනින් කැඳවාගෙන එන්නැ”යි කීවේ ය. මෙසේ රජ ද හාමාන් ද එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට පැමිණියෝ ය. 6 රජතුමා මිදියුස පානය කරමින් සිටිය දී එස්තර්ට කතා කොට, ”ඔබේ ඉල්ලීම කුමක් ද? ඔබට එය දෙනු ලබන්නේ ය. ඔබේ අයැදුම කුමක් ද? රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබ ඉල්ලුවොත් එය ඔබට දෙන්නෙමි”යි කීවේ ය.
7 එවිට එස්තර් පිළිතුරු දෙමින්, ”රජ්ජුරුවන් වහන්සේගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, 8 එසේ ම මා ඉල්ලන දේ දෙන්නත්, මාගේ අයැදුම ඉෂ්ට කරන්නත් රජතුමා ප්‍රසන්න වේ නම්, ඔබ තුමාටත්, හාමාන්ටත් මා හෙට පිළියෙළ කරන මංගල භෝජනයට ඔබ සහ හාමාන් පැමිණෙත්වා. එවිට රජුගේ කීම ලෙස හෙට මම කරන්නෙමි”යි කීවා ය.

හාමාන් මොර්දෙකයි මරන්නට උපා යෙදීම

9 ඒ දවසේ දී හාමාන් ප්‍රීතිමත් සතුටු සිතකින් පිටත් ව ගියේ ය. එහෙත්, හාමාන් තෙම රජ වාසලේ දොරටුව ළඟ සිටි මොර්දෙකයි තමා එන විට නැඟිට්ටේ වත්, තමාට සැලකිල්ල දැක්වූයේ වත් නැති බව දැක ඔහු කෙරෙහි ඉතා කෝපාවිෂ්ට විය. 10 එසේ වුවත්, ඔහු කෝපය සංසිඳුවාගෙන, ගෙට අවුත් තමාගේ මිත්‍රයන් ද තමාගේ බිරිඳ වන සෙරෙෂ් ද කැඳවාගෙන, 11 තමාගේ වස්තුවේ යස ඉසුරු ගැන ද, දරුවන් සමූහය ගැන ද, රජු විසින් තමා උසස් කරනු ලැබූ හැටි ද රජුගේ සෙසු අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා උසස් කරනු ලැබූ හැටි ද යනාදී සියල්ල ගැන පුරසාරම් දෙඩුවේ ය. 12 හාමාන් තවදුරටත් කතා කොට, ”එස්තර් බිසව පිළියෙළ කළ මංගල භෝජනයට රජුටත්, මටත් මිස වෙන කිසිවෙකුට ඈ ආරාධනා කෙළේ නැත. හෙටත් රජු සමඟ එන්න ඈ මට ආරාධනා කර ඇත. 13 එහෙත්, ජුදෙව් ජාතික මොර්දෙකයි රජ වාසල දොරටුව ළඟ හිඳගෙන සිටිනු යම් තාක් කල් මට පෙනේ ද, ඒ තාක් කල් මේ සියල්ලෙන් මට වැඩක් නැතැ”යි කීවේ ය.
14 එකල ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, ”මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි එහි එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කතා කර, ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් යන්නැ”යි කීවෝ ය. ඒ කීමට හාමාන් ප්‍රසන්න ව එල්ලුම් ගහ ඉදි කරවී ය.

– 6 වන පරිච්ඡේදය –

මොර්දෙකයිට ගරු සම්මාන දීම

1 එදා රාත්‍රියේ රජුට නින්ද නොගියේ ය. එබැවින් ඔහු සිහි කටයුතු සිදුවීම් පිළිබඳ වාර්තා පොත ගෙනෙන්නට අණ කෙළේ ය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේ ය. 2 අහෂ්වේරොෂ් රජු මරන්න සෙවූ වාසල රැකවලුන්ගෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙකු වන බිග්තාන් ද තෙරෙෂ් ද ගැන මොර්දෙකයි සැළ කළ වග එහි සටහන් කර තිබිණි. 3 ”මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරන ලද්දේ දැ”යි රජු ඇසී ය. ”ඔහුට කිසි දෙයක් කෙළේ නැතැ”යි රජුට සේවය කරන මෙහෙකරුවෝ කී හ.
4 රජතුමා කතා කරමින්, ”රාජාංගණයේ සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. ඒ අවස්ථාවේ දී හාමාන් තමා සෑදූ එල්ලුම්ගහේ මොර්දෙකයි එල්ලා දමන්න රජුට කියන පිණිස මැදුරේ පිටත රාජාංගණයට පැමිණ සිටියේ ය.
5 ”හාමාන් මිදුලේ සිටින්නේ ය”යි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කී හ. ”ඔහු ඇතුළට ඒවා”යි රජතුමා කී ය.
6 හාමාන් ඇතුල් වූ විට රජතුමා ඔහුට කතා කොට, ”රජු ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය. එවිට හාමාන්, ”මා මිස රජු ගෞරව කරන්නට කැමැති වෙන කෙනෙක් නැතැ”යි සිතාගෙන, රජුට මෙසේ පිළිතුරු දෙමින්,
7 ”රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කළ යුතු ය: 8 රජ්ජුරුවන් පළඳින රාජ වස්ත්‍රයක් ද රජ්ජුරුවන් නැඟයන, රාජකීය ඔටුන්නක් හිසේ දරන අශ්වයා ද ගෙනවුත්, 9 වස්ත්‍රය ද අශ්වයා ද රජුගේ ඉතා උතුම් අධිපතීන්ගෙන් එක් කෙනෙකු අතට භාර දෙන්නත්, රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එය පළඳවා ඔහු අශ්වයා පිට නංවා නුවර වීදිය දිගේ ගෙන යමින්, ‘රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේ ය’යි ඔහුට පෙරටුවෙන් ප්‍රකාශ කරමින් යන්නත් යෙදේ වා”යි කී ය.
10 එවිට රජ හාමාන්ට කතා කොට, ”ඉක්මන් කර ඔබ කී වස්ත්‍රය ද අශ්වයා ද රැගෙන, රජ වාසල් දොරටුව ළඟ හිඳින ජුදෙව් ජාතික මොර්දෙකයිට එසේ කරන්න. ඔබ කී සියල්ලෙන් අඩුවක් නැතිව කරන්නැ”යි කීවේ ය.
11 එවිට හාමාන් වස්ත්‍රය ද අශ්වයා ද රැගෙන ගොස්, මොර්දෙකයි සරසා, ඔහු නුවර වීදිය දිගේ අසුපිටින් ගෙන යමින්, ”රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එතුමා විසින් මෙසේ කරනු ලැබේ ය”යි ඔහුට පෙරටුව ප්‍රකාශ කරමින් ගියේ ය.
12 ඉන්පසු මොර්දෙකයි රජ වාසල් දොරටුව ළඟට හැරී ආවේ ය. එහෙත්, හාමාන් වැලපෙමින්, මුහුණ වසාගෙන තමාගේ ගෙදරට ඉක්මනින් ගොස් 13 තමාට සිදු වූ සියල්ල තම බිරිඳ වන සෙරෙෂ්ට ද තමාගේ සියලු මිත්‍රයන්ට ද කීවේ ය. එවිට ඔහුගේ උපදේශකයෝ ද ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුට කතා කොට, ”ඔබ මොර්දෙකයි ඉදිරියෙහි පිරිහීයන්නට පටන්ගත්තෙහි ය. ඔහු ජුදෙව් වංශයේ කෙනෙක් නම්, ඔහුට විරුද්ධ ව සිටින්න ඔබට නොහැකි ය. ඔහු ඉදිරියෙහි ඔබ නිසැක ව පිරිහී වැටී ඇතැ”යි කී හ.
14 ඔවුන් ඔහු සමඟ කතා කරද්දී ම රජුගේ නපුංසකයෝ අවුත් එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට හාමාන් ඉක්මනින් කැඳවාගෙන ගියෝ ය.

 

– 7 වන පරිච්ඡේදය –

හාමාන් එල්ලා දමනු ලැබීම

1 රජතුමා හා හාමාන් එස්තර් බිසව සමඟ මංගල භෝජන උත්සවයට පැමිණියහ. 2 දෙ වන දවසේත් මුද්‍රික පානය කරන විට රජතුමා එස්තර්ට කතා කොට, ”එස්තර් රැජිනියනි, ඔබේ ඉල්ලීම කුමක් ද? එය ඔබට දෙනු ලැබේ. ඔබේ අයැදුම කුමක් ද? එය මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද දෙන්නෙමි”යි කී ය.
3 එවිට එස්තර් රැජින උත්තර දෙමින්, ”රජතුමෙනි, ඔබෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේ ම ඔබ කැමැති නම්, මාගේ ඉල්ලීම අනුව මාගේ ජීවිතය බේරා දුන මැනව, මාගේ පැතීම අනුව මාගේ සෙනඟගේ ද ජීවිත බේරා දුන මැනව. 4 මන්ද, මාගේ ජාතියත්, මාත් සමූලඝාතනයට ද මරණයට ද විනාශයට ද පාවා දී ඇත. අප පාවා දෙනු ලැබුවේ දාස දාසීන් වශයෙන් පමණක් නම්, මම නිශ්ශබ්ද වෙමි. එහෙත්, දැන් තිබෙන තත්ත්වය අනුව රජතුමාට වන අලාභ හානිය එදිරිකාරයාට වන හානිය හා සම කිරීමට නුපුළුවනැ”යි කීවා ය.
5 එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් රැජිනට කතා කොට, ”මෙසේ කරන්න සිතාගෙන සිටින තැනැත්තා කවරෙක් ද? ඔහු සිටින්නේ කොහේ දැ”යි ඇසී ය.
6 එස්තර් පිළිතුරු දෙමින්, ”ඒ තැනැත්තා නම්, එදිරිකාරයෙකු ද සතුරෙකු ද වන මේ දුෂ්ට හාමාන් ය”යි කීවා ය. එවිට රජු ද රැජින ද අබිමුවෙහි හාමාන් භීතියට පත් විය. 7 රජතුමා කිපී මංගල භෝජනයෙන් නැඟිට රජ උයනට ගියේ ය. රජතුමා තමාට විරුද්ධ ව නපුරක් කිරීමට ඉටාගත් බව හාමාන් දැක තමාගේ ප්‍රාණය ගැන එස්තර් රැජිනියට කන්නලව් කරන්නට නැවතිණි.
8 රාජකීය උයනෙන් භෝජන ශාලාවට රජු හැරී ආ විට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේ ය. එවිට රජතුමා කතා කරමින්, ”මාලිගාවේ මා ඉදිරිපිට දී මොහු රැජිනටත් බලහත්කාරකම් කරන්නට යන්නේ දැ”යි කීවේ ය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම නපුංසකයෝ හාමාන්ගේ මුහුණ වැසූ හ.
9 නපුංසකයන්ගෙන් එක් කෙනෙකු වන හර්බෝනා රජු ඉදිරියෙහි කතා කොට, ”එපමණක් නොව, රජුගේ ජීවිතය බේරාගත් මොර්දෙකයි එල්ලීමට හාමාන් මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් ඔහුගේ ගෙදර ම ඉදි කරවා තිබේ ය”යි කී ය. ”මොහු එසේ එල්ලා දමන්නැ”යි රජතුමා කීවේ ය.
10 එසේ හාමාන් විසින් මොර්දෙකයිට සාදන ලද එල්ලුම් ගහේ ම හාමාන් එල්ලා දමනු ලැබී ය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳිණි.

 

– 8 වන පරිච්ඡේදය –

ජුදෙව්වරුන්ගේ යහපත සඳහා රාජ අණ දීම

1 ඒ දවසේ දී අහෂ්වේරොෂ් රජ ජුදෙව්වරුන්ගේ සතුරා වූ හාමාන්ගේ ගේදොර එස්තර් රැජිනට දුන්නේ ය. තවද, මොර්දෙකයි රජතුමා ඉදිරිපිටට පැමිණියේ ය. මන්ද, එස්තර් හා මොර්දෙකයි අතර ඇති නෑකම රජුට දන්වා තිබිණි. 2 රජතුමා හාමාන්ගෙන් ආපසු ගත්, තමාගේ පේරැස් මුද්ද ගලවා මොර්දෙකයිට දුන්නේ ය. එස්තර් තොමො‍් හාමාන්ගේ ගේදොර කෙරෙහි මොර්දෙකයි පරිපාලකයා වශයෙන් පත් කළා ය.
3 එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කතා කොට, රජුගේ පාමුල වැටී, ආගග් ජාතික හාමාන් අදහස් කළ නපුර ද ජුදෙව්වරුන්ට විරුද්ධ ව ඔහු යෝජනා කළ උපාය ද ව්‍යර්ථ කරන ලෙස අඬා කන්නලව් කළා ය. 4 රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගු කෙළේ ය. එවිට එස්තර් නැඟිට රජු ඉදිරියෙහි සිට කතා කොට, 5 ”රජතුමා කැමැති නම්, මට කරුණාව ද ලැබී තිබේ නම්, එසේ ම මාගේ යෝජනාව රජ්ජුරුවන්ට හරි යයි පෙනේ නම්, මා රජුගේ ඇස් හමුයෙහි ප්‍රිය මනාප නම්, රජුගේ සියලු ප්‍රදේශවල සිටින ජුදෙව්වරුන් විනාශ කරන්නට ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් උපක්‍රමයකින් ලියා යැවූ ලියුම් අවලංගු කරන පිණිස නිවේදනයක් යවනු මැනව. 6 මන්ද, මාගේ සෙනඟට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගෙන සිටින්නේ කොහොම ද? මාගේ ඥාතීන්ගේ විනාශය දැක ඉවසාගෙන සිටින්නේ කොහොම දැ”යි කීවා ය.
7 එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් රැජිනටත්, ජුදෙව් ජාතික මොර්දෙකයිටත් කතා කොට, ”හාමාන්ගේ ගෙය එස්තර්ට දිනිමි. ඔහු ජුදෙව්වරුන්ට විරුද්ධ ව කළ කුමන්ත්‍රණය නිසා ඔහු එල්ලුම් ගහේ එල්ලා දැමීමට සැලැස්සුවෙමි. 8 ඉතින් ඔබට සුදුසු යයි පෙනෙන හැටියට ඔබ ජුදෙව්වරුන් උදෙසා රජුගේ නාමයෙන් ලියුම් ලියා, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කර යවන්න. රජුගේ නාමයෙන් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කළ නිවේදනයක් කිසිවෙකුට අවලංගු කළ නොහැකි ය”යි කීවේ ය.
9 එකල සිවාන් මාසය වන තුන් වන මාසයේ විසිතුන් වන දා රජුගේ ලේකම්වරු ගෙන්වනු ලැබූ හ. මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස ජුදෙව්වරුන්ට ද රටවල් එකසිය විසිහතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද පළාත්වල අධිපතීන්ට ද ඒ ඒ රටේ අකුරුවලින් සහ ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යවන ලදී. 10 ඔහු අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, රජුගේ අස් හලේ උපන්, රාජ සේවයෙහි යෙදූ, ශීඝ්‍රයෙන් ගමන් කළ සෛන්ධවයන් පිට නැඟී යන පණිවුඩකාරයන් අත ලියුම් යැවී ය.
11 මේ ලියුම්වලින් රජතුමා සෑම නගරයක ම සිටි ජුදෙව්වරුන්ට සිය දිවි රැකගැනීම පිණිස සංවිධාන වීමටත්, ඔවුන්ට පහර දෙන්නට තැත් කළ කිනම් ජාතියක හෝ ප්‍රදේශයක හෝ සන්නද්ධ සේවාවන් ඔවුන්ගේ බාලයන් ද ස්ත්‍රීන් ද ඇතුළු සියලු දෙනා සමූලඝාතනය කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත්, ඔවුන්ගේ දේපළ පැහැර ගන්නත් අවසර දෙන ලදී. 12 මේ නියමය අහෂ්වේරොෂ් රජුගේ සියලු ම රටවල ජුදෙව්වරුන් ඝාතනය කරන්නට නියම ව තිබුණ අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දා ක්‍රියාත්මක වන්නට නියම ව තිබිණි. 13 එක එක පළාතට නියෝගය දෙන පිණිසත්, ජුදෙව්වරුන් තමන්ගේ සතුරන්ගෙන් පළිගැනීමට ඒ දවසට සූදානම් ව සිටින පිණිසත් ඒ ලියවිල්ලේ පිටපතක් සියලු ම ජනයන් වෙත ප්‍රසිද්ධ කර යවන ලදී. 14 පණිවුඩකාරයෝ රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍රයෙන් ගමන් කරන සෛන්ධවයන් පිට නැඟී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත් ව ගියෝ ය. ඒ නියෝගය සූසා නම් අගනුවර ද ප්‍රසිද්ධ කරන ලදී.
15 මොර්දෙකයි නිල් හා සුදු පාට රාජ වස්ත්‍ර ද ලොකු රන් ඔටුන්නක් ද රත්නිල් සිහින් හණ සළුවක් ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේ ය. සූසා නගරයේ වැසියෝ ප්‍රීති ඝෝෂා කළහ. 16 ජුදෙව්වරුන්ට සිත් සැහැල්ලු ගතියක් ද ප්‍රීති සන්තෝෂය ද ගෞරවය ද ඇති විය. 17 රජුගේ අණ හා නියෝගය ප්‍රකාශ කරන ලද සියලු නගරවලත්, ප්‍රදේශවලත් ජුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂය ද මංගල්‍ය ලීලාවක් ද නිවාඩු දවසක් ද විය. ජුදෙව්වරුන් නිසා භීතියට පත් ව සිටි දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක්, ‘තුමූ ජුදෙව්වෝ ය’යි කියාගත්හ.

 

– 9 වන පරිච්ඡේදය –

ජුදෙව්වරු සතුරන් මරාදැමීම

1 රජුගේ ආඥාවේ නියෝගය ක්‍රියාත්මක වන දිනය වන අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දිනය පැමිණියේ ය. ජුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් සිය බලයට යටත් කරගැනීමට බලාපොරොත්තු වූ දිනය එය වූ නමුත්, එය ජුදෙව්වරුන් විසින් සිය සතුරන් යටත් කරගැනීමේ දිනයකට හරවාගන්නා ලදී. 2 තමන්ට අනතුරු කරන්නට උපා යෙදූ අයට පහර දෙන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල ජුදෙව්වරු තම තමන්ගේ නගරවල රැස් වූ හ. සියලු ජනයා ඔවුන් කෙරෙහි බියපත් ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට නුපුළුවන් විය. 3 ඒ ඒ ප්‍රදේශවල සියලු අධිපතියෝ ද දිශාධිපතියෝ ද ආණ්ඩුකාරයෝ ද රාජකාරිය කරන්නෝ ද ජුදෙව්වරුන්ට උපකාර කළෝ ය. මන්ද, මොර්දෙකයිට බියෙන් ඔව්හු මිරිකී සිටියෝ ය. 4 මොර්දෙකයි වූකලී රජ මැදුරේ බලසම්පන්න ව සිටියේ ය. ඔහුගේ කීර්තිය ද සියලු ප්‍රදේශවල පතළ වී ගියේ ය. මොර්දෙකයි වඩ වඩාත් බලසම්පන්න විය. 5 එබැවින් ජුදෙව්වරු තමන්ගේ සියලු සතුරන්ට කඩුවෙන් පහර දී මරා විනාශ කළෝ ය. ඔව්හු සිය සතුරන්ට තමන්ගේ කැමැත්තේ හැටියට කළෝ ය.
6 සූසා අගනුවර ජුදෙව්වරු මිනිසුන් පන්සියයක් මරා විනාශ කර දැමූ හ. 7 ජුදෙව්වරුන්ගේ එදිරිකාරයා වූ හම්මෙදාතාගේ පුත් හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා වූ පර්ෂාන්දාතා ද දල්පොන් ද අස්පාතා ද 8 පො‍්රාතා ද අදලියා ද අරීදාතා ද 9 පර්මෂ්තා ද අරිසයි ද අරීදයි ද වයිසාතා ද ඔවුන් විසින් මරා දමනු ලැබුවෝ ය. 10 එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය.
11 එදා සූසා අගනුවර මැරුම් කෑ අයගේ ගණන රජුට දන්වන ලද්දේ ය. 12 එවිට රජු එස්තර් රැජිනට කතා කොට, ”සූසා අගනුවර පමණක් ජුදෙව්වරු මිනිසුන් පන්සියයක් ද හාමාන්ගේ පුත්‍රයන් දස දෙනා ද මරා දැමූ හ. රජුගේ සෙසු ප්‍රදේශවල ඔවුන් කුමක් කර ඇද් ද? ඉතින් ඔබේ ඉල්ලීම කුමක් ද? එය ඔබට දෙනු ලැබේ. ඔබ තවත් අයැදින්නේ කුමක් ද? එය ඉල්ලූ පමණින් ඉෂ්ට කරනු ලැබේ ය”යි කීවේ ය.
13 එවිට එස්තර් කතා කොට, ”රජතුමා කැමැති නම්, සූසාහි සිටින ජුදෙව්වරුන්ට අද දවසේ නියෝගය ලෙස හෙටත් කරන්නට අවසර ලැබේ වා! හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලුම් ගහේ එල්ලා තබත්වා”යි කීවා ය. රජතුමා එසේ කරන්නට අණ කෙළේ ය. 14 එවිට රාජ නියෝගය ප්‍රසිද්ධ කරන ලදී. ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලා තැබුවෝ ය. 15 සූසාහි සිටි ජුදෙව්වරු ද අදාර් මස දහහතර වන දවසේත් රැස් වී සූසාහි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය.
16 රජුගේ ප්‍රදේශවල සිටි සෙසු ජුදෙව්වරු ස්වකීය ජීවිතාරක්ෂාව සඳහා ද සතුරන්ගෙන් නිදහස් වන පිණිස ද සංවිධාන වූ හ. ඔව්හු සිය සතුරන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය. 17 අදාර් මස දහතුන් වන දා ඔව්හු එසේ කර, දහහතර වන දා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත් මංගල්‍ය දවසක් කරගත්හ. 18 එහෙත්, ඒ මාසයේ දහතුන් වන දාත්, දහහතර වන දාත් සංවිධාන ව සූසාහි විසූ ජුදෙව්වරු පහළොස් වන දා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත් මංගල්‍ය දවසක් කරගත්තෝ ය. 19 කුඩා නුවරවල වාසය කරන පිටිසර ජුදෙව්වරුන් අදාර් මාසයේ දහහතර වන දවස ප්‍රීතිමත්, ආනන්දජනක, එකිනෙකාට කෑම හා තෑගි යවන මංගල්‍ය දවසක් කරගෙන තිබෙන්නේ ඒ නිසා ය.

පූරීම් මංගල්‍යය පිහිටුවීම

20 මොර්දෙකයි ද මේ සිද්ධීන් වාර්තාගත කර අහෂ්වේරොෂ් රජුගේ සියලු ම රටවල ළඟ හා දුර සිටි සියලු ජුදෙව්වරුන්ට ලියුම් යවමින්, 21 වසරක් පාසා වසරක් අදාර් මාසයේ දහහතර වන දාත් පහළොස් වන දාත් උත්සව දිනයක් ලෙස පවත්වන්නට නියම කෙළේ ය. 22 එසේ කෙළේ, ඒ දෙදවසේ දී, ජුදෙව්වරුන් නිදහස ලැබූ නිසාත්, ඒ මාසයේ දී ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ දොම්නස සොම්නසටත් හැරුණ නිසාත් ය. ඒවා ප්‍රීතිමත්, එකිනෙකාට කෑම හා තෑගි යවන දිළිඳුන්ට දන් දෙන මංගල්‍ය දවස් ලෙස පවත්වන්නට යැයි ඔවුන්ට නියම කරන ලදී. 23 එබැවින් ඔවුන් කරන්නට පටන්ගත් එම චාරිත්‍රය මොර්දෙකයි ඔවුන්ට ලියා එවූ අන්දමට ජුදෙව්වරු ඉන් පසුවත් කරන්නට එකඟ වූ හ.
24 ජුදෙව්වරුන්ගේ එදිරිකාරයා වූ ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් ජුදෙව්වරුන් නැති කිරීමට ඔවුන්ට විරුද්ධ ව යෝජනා කර විනාශ කරන්නට පූර් නම් පස ඇට දැමුවේ ය. 25 එහෙත්, ඒ බව රජුට සැළ වූ කල, එස්තර්ගේ ඉල්ලීම පරිදි රජතුමා හාමාන් විසින් ජුදෙව්වරුන්ට විරුද්ධ ව කරන ලද නපුරු යෝජනාව ඔහුට ම විරුද්ධ ව හැරෙන හැටියටත්, ඔහු සහ ඔහුගේ පුත්‍රයන් එල්ලුම් ගසේ එල්ලා තබන හැටියටත් අණ කර ලියා යැව්වේ ය. 26 එබැවින් පූර් යන නාමය අනුව ඒ දවස්වලට පූරීම් යන නම තබන ලදී. එබැවින්, මේ හසුනේ ලියා තිබුණ දේ නිසා ද තමන් දුටු දේ නිසා ද තමන්ට සිද්ධ වූ දේ නිසා ද 27 ජුදෙව්වරු නියමිත විධියටත්, නියම කාලයටත් වසරක් පාසා වසරක් නොවරදවා ඒ දවස් දෙක උත්සව දවස් ලෙස පැවැත්වීමේ වගකීම තමන් උදෙසා ද මතු පරම්පරාවන් උදෙසා ද තමන්ට එකතු වන අය උදෙසා ද භාරගන්නට තීරණය කරගත්හ. 28 පරපුරෙන් පරපුරට හැම පවුලකට ම, හැම ප්‍රදේශයකට ම, හැම නගරයකට ම ජුදෙව්වරුන් විසින් පූරීම් දවස් පැවැත්විය යුතු බවත්, මතු පරම්පරාවල දී එය අමතක නොකළ යුතු බවත් තීරණය කරගන්නා ලදී.
29 අබිහයිල්ගේ දුව වූ එස්තර් රැජින මොර්දෙකයි නම් ජුදෙව් ජාතිකයා සමඟ පූරීම් උත්සවය සම්බන්ධයෙන් ලියා දුන් පූර්ණ බලය මෙම දෙ වන ලියුමෙන් ස්ථීර කළා ය. 30 අහෂ්වේරොෂ්ගේ රාජ්‍යයේ ප්‍රදේශ එකසිය විසි හතේ සිටි සියලු ජුදෙව්වරුන්ට සාමයත්, ආරක්ෂාවත් පතමින් ලියුම් යවන ලදී. 31 ඒ ලියුම් මඟින්, ජුදෙව් ජාතික මොර්දෙකයි නියම කළ පරිදි මේ පූරීම් උත්සව දවස් නියමිත කාලයට පැවැත්වීම අනිවාර්ය කටයුත්තක් කරන ලදී. ඔවුන්ටත්, ඔවුන්ගේ පරපුරටත් උපවාස හා ශෝකවීම් පිළිබඳ නියමිත නීති රීති තිබුණ ලෙස ම මෙම නියෝග ද පණවන ලදී. 32 පූරීම් උත්සව දවස් පිළිබඳ නීති රීති එස්තර්ගේ මේ ආඥාවෙන් ස්ථිර කරන ලදී. එය වාර්තාගත කර ඇත.

 

– 10 වන පරිච්ඡේදය –

මොර්දෙකයි පිළිබඳ තවත් වාර්තා

1 අහෂ්වේරොෂ් රජ දේශයටත්, මුහුදු දිවයින්වලටත් තමාට කප්පම් ගෙවන ලෙස නියම කෙළේ ය. 2 ඔහු කළ සියලු බලවත් තෙදවත් ක්‍රියා ද රජු විසින් උසස් කරන ලද මොර්දෙකයිගේ ගරු බුහුමන් පිළිබඳ විස්තර ද මේදියාවේත්, පර්සියාවේත් රජවරුන්ගේ වාර්තා පොතෙහි ලියා තිබෙනු නොවේ ද? 3 ජුදෙව් ජාතික මොර්දෙකයි නිලයෙන් දෙ වන වූයේ, අහෂ්වේරොෂ් රජුට පමණකි. ජුදෙව්වරුන් අතරේ ඔහු උත්තමයෙක් විය. සිය සහෝදර සමූහයාට ප්‍රිය මනාප කෙනෙක් ද විය. ඔහු සිය සෙනඟගේ ශුභසිද්ධිය සොයමින්, තමාගේ මුළු වංශයේ සාමදානය උදෙසා ක්‍රියා කෙළේ ය.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s