එසකියෙල්

– 1 වන පරිච්ඡේදය –

දේව දර්ශනය

1 තිස් වන අවුරුද්දේ සතර වන මාසයේ පස් වන දින කෙබාර් ගං තෙර විප්‍රවාසයට ගෙනයනු ලැබූ අය අතරේ එසකියෙල් නම් මා සිටින කල්හි අහස විවෘත වී දේව දර්ශන මට පෙනුණේ ය. 2 ජෙහෝයාකින් රජු විප්‍රවාසයට ගෙනයනු ලැබූ පසු, පස් වන අවුරුද්දේ මාසයේ පස් වන දින 3 බබිලෝනියේ කෙබාර් ගං තෙර බුසීගේ පුත් එසකියෙල් නම් පූජකයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමිණියේ ය. සමිඳාණන් වහන්සේගේ ආනුභාවය ද එහි දී ඔහු පිට විය.
4 මා බැලූ විට චණ්ඩ මාරුතයක් උතුරෙන් එනු මම දිටිමි. ඒ සමඟ දීප්තියෙන් වට වූ මහා වලාපටලයක් ද දිළිහෙන ලෝකඩ මෙන් ගින්න මැදින් බැබළීමක් ද ගිනි දලු විහිදෙන ගින්නක් ද වූයේ ය. 5 සතුන්ගේ පෙනුම ඇති සතරදෙනෙක් ඒ මැද සිටියහ. 6 ඔවුන්ගේ පෙනුම මෙසේ ය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූප තිබුණේ ය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක් ද පියාපත් සතරක් ද තිබිණි. ඔවුන්ට ඇද නැති පාද තිබිණි. 7 ඔවුන්ගේ පාදවල පතුල් වස්සෙකුගේ පාද පතුල් වැනි ය; ඒවා දීප්තිමත් ලෝකඩ මෙන් දිළිසුණේ ය. 8 ඔවුන්ගේ පියාපත් යට සතර පැත්තේ ඔවුන්ට මනුෂ්‍ය අත් තිබිණි. ඒ සතරදෙනාගේ මුහුණු හා පියාපත් මෙයාකාර ය: 9 ඔවුන්ගේ පියාපත් එකට එක් වී තිබුණේ ය. ගමන් කරන විට ඔව්හු නොහැරී කෙළින් ඉදිරියට ගියහ.
10 ඔවුන්ගේ මුහුණුවල පෙනීම මෙසේ ය: ඔවුන් සතරදෙනාට ඉදිරියෙන් මිනිස් මුහුණක් ද දකුණු පැත්තෙන් සිංහ මුහුණක් ද වම් පැත්තෙන් ගව මුහුණක් ද රාජාලියෙකුගේ මුහුණක් ද තිබිණි. 11 ඔවුන්ගේ පියාපත් ඉහළට විහිදී තිබිණි. එකිනෙකාගේ පියාපත් දෙකක් තවත් එකෙකුගේ පියාපත් සමඟ එක් වී තිබිණි. දෙකකින් ඔවුන්ගේ ශරීර වැසී තිබිණි. 12 ඔව්හු එක එකා කෙළින් ඉදිරියට ගියෝ ය. ආත්මානුභාවය පෙන්වූ මඟ ඔස්සේ ඒ මේ අත නොහැරී ඔව්හු ගමන් කළහ.
13 ඒ ජීවමාන සත්ත්වයන් මධ්‍යයෙහි ඇවිලෙන ගිනි අඟුරු වැනි වූ නැතහොත් ඔබමොබ යන පන්දම් වැනි වූ පෙනුමක් ඇති යම් කිසිවක් විය. ඒ ගින්න දීප්තිමත් ය; එයින් විදුලිය නික්මිණි. 14 විදුලිය දහරක් සේ ඒ ජීවමාන සත්ත්වයෝ ඔබමොබ දිව්වෝ ය.
15 මා ජීවමාන සත්ත්වයන් දෙස බලා සිටිය දී පොළොව මත ඒ සත්ත්වයන් සතරදෙනා ළඟ එකෙකුට එක බැගින් රන් චක්‍ර තිබෙනු මම දිටිමි. 16 ඒ චක්‍ර රන් කාන්ති මෙන් බැබළුණේ ය. ඒ සතර ම එක හා සමාන ය. හැඩයෙන් ද ක්‍රියාකාරිත්වයෙන් ද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ ඇතුවාක් මෙන් පෙනුණේ ය. 17 ඒවා ගමන් ගත්විට කිනම් අතකට වත් නොහැරී ඒවායේ පැති සතරෙන් එක දිශාවකට ගමන් ගත්තේ ය. 18 චක්‍රවල වළලු තිබිණි. ඒ වළලු සතර පුරා ඇස් තිබුණේ ය. 19 ඒ සත්ත්වයන් ගමන් ගත් විට චක්‍රත් ඔවුන් කැටුව ගියේ ය. ඒ ජීවමාන සත්ත්වයන් පොළොවෙන් නැඟුණු විට චක්‍රත් නැඟුණේ ය. 20 ආත්මානුභාවය පෙන්වූ මඟ ඔස්සේ ඒ සත්ත්වයෝ ගමන් කළහ. ඔවුන් කළ දේ ම චක්‍රයෝ ද කළහ. මන්ද, සත්ත්වයන්ගේ සිත චක්‍රවලත් තිබුණේ ය. 21 ඔවුන් යන විට ඒවාත් ගියේ ය. ඔවුන් නැවතුණ විට ඒවාත් නැවතුණේ ය. ඔවුන් පොළොවෙන් නැඟිටි විට ඔවුන් කැටුව චක්‍රත් නැඟිට්ටේ ය. මන්ද, ජීවමාන සත්ත්වයන්ගේ සිත චක්‍රවල තිබුණේ ය.
22 තවද, සත්ත්වයන්ගේ හිසට උඩින් පළිඟු මෙන් බබළන ආකාශයක් තිබුණේ ය. එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේ ය. 23 ආකාශයට යටින් ඔවුන්ගේ පියාපත් එකට එක කෙළින් ව විහිදී තිබුණේ ය. සිය සිරුර ආවරණය කරන පියාපත් දෙකක් එක එක සත්ත්වයාට තිබුණේ ය. 24 ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන් ද සර්ව පරාක්‍රමයාණන්ගේ හඬ මෙන් ද මට ඇසිණි. එයින් නැඟුණු ඝෝෂාව යුද කඳවුරක ඝෝෂාව මෙන් විය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය. 25 ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු අහස් ගැබට ඉහළින් හඬක් පැමිණියේ ය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය.
26 ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණ ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේ ය. සිංහාසනය මත මිනිස් පෙනීමක් වැනි ස්වරූපයක් තිබිණි. 27 ඒ ස්වරූපයේ ඉඟටියේ සිට ඉහළට ගිනි උදුනක බැබළෙන ලෝකඩ වැනි පෙනුමක් මම දිටිමි; ඉඟටියේ සිට පහළට හාත්පසින් දීප්තියක් ඇති ගින්නක පෙනුමක් දිටිමි. 28 හාත්පසින් තිබුණු දීප්තියේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නක පෙනීම මෙන් විය. මේ වනාහි සමිඳාණන් වහන්සේගේ තේජාන්විත ස්වරූපයේ පෙනීම ය. එය දුටු කල මම මුණින්තළා වී වැටුණෙමි. එවිට කතා කරන කෙනෙකුගේ හඬ මට ඇසිණි.

– 2 වන පරිච්ඡේදය –

එසකියෙල් කැඳවනු ලැබීම

1 උන් වහන්සේ මට කතා කොට,”මනුෂ්‍ය පුත්‍රය, නැඟිට සිටින්න; මම නුඹ සමඟ කතා කරන්නෙමි”යි වදාළ සේක. 2 උන් වහන්සේ මට කතා කළ විට, දේවාත්මානුභාවය මා තුළට ඇතුල් වී මා නැඟිටුවා සිටෙව්වේ ය. මට කතා කළ තැනැන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. 3 උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධ ව කැරලි ගැසූ, කැරලිකාර ජාතියක් වන ඉශ්රායෙල්වරුන් වෙත මම නුඹ යවමි. ඔව්හු ද ඔවුන්ගේ පියවරු ද අද දවස දක්වා ම මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහ. 4 ඒ සෙනඟ මුරණ්ඩු දැඩි සිත් ඇත්තෝ වෙති. මම ඔවුන් වෙත නුඹ යවමි. නුඹ ද, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. 5 ඔවුන් කැරලිකාර මනුෂ්‍යයන් වන බැවින් සවන් දුන්නත්, නුදුන්නත් ඔවුන් අතරෙහි දිවැසිවරයෙකු සිටින බව ඔවුන් දැනගනු ඇත.
6 ”මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා හා කටු ගස් මෙන් වුවත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසය කරන්නේ වී නමුත්, ඔවුන්ට වත්, ඔවුන්ගේ වචනවලට වත් බිය නොවන්න. ඔවුන්ගේ මුහුණේ පෙනුමට නොකැළඹෙන්න. 7 ඔවුන් ඉතා කැරලිකාර බැවින් ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් මාගේ වචනය ඔවුන්ට ප්‍රකාශ කරන්න.
8 ”එහෙත් මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට කියන දේට නුඹ සවන් දෙන්න. ඒ කැරලිකාර වංශය මෙන් නුඹ ද කැරලිකාරයෙක් නොවන්න. නුඹ කට ඇර මා නුඹට දෙන දේ අනුභව කරන්න.” 9 මා බැලූ කල මා දෙසට අතක් දිගු කර තිබෙනු දිටිමි. ඒ අතෙහි අකුළන පොතක් තිබුණේ ය. 10 උන් වහන්සේ එය මා ඉදිරියෙහි දිග හැරිය සේක. එහි ඇතුළත හා පිටත ලියා තිබුණි. එහි ලියා තිබුණේ විලාප, වැලපීම් හා ලතෝනි ය.

– 3 වන පරිච්ඡේදය –

1 උන් වහන්සේ කතා කරමින්, ”මනුෂ්‍ය පුත්‍රය, නුඹට දෙන ලද දේ අනුභව කරන්න. මේ පොත අනුභව කර ගොස් ඉශ්රායෙල් වංශයට කතා කරන්නැ”යි වදාළ සේක.
2 එවිට මම මාගේ කට ඇරියෙමි; උන් වහන්සේ ද ඒ පොත අනුභව කරන්න මට දුන් සේක. 3 තවද, උන් වහන්සේ කතා කරමින්, ”මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත අනුභව කර නුඹේ කුස පුරවා ගන්නැ”යි මට වදාළ සේක. මම එය අනුභව කෙළෙමි; එය මාගේ කටට මී පැණි මෙන් මිහිරි ව තිබිණි.
4 උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස් මා කියන දේ ඔවුන්ට කියන්න. 5 නුඹ යවනු ලබන්නේ දුෂ්කර, අන් භාෂාවක් කතා කරන සෙනඟක් වෙත නොව, ඉශ්රායෙල් සෙනඟ වෙත ය. 6 නුඹ යවනු ලබන්නේ නුඹට තේරුම්ගත නොහැකි, දුෂ්කර අන් භාෂාවක් කතා කරන උසස් ජාතීන් වෙත නොවේ. සැබැවින් ම ඔවුන් වෙත මම නුඹ යැවීම් නම්, ඔවුන් නුඹට සවන් දෙනු ඇත. 7 එහෙත්, ඉශ්රායෙල් සෙනඟ මට සවන් දෙන්නට අකමැති බැවින් ඔව්හු නුඹට සවන් දෙන්නට කැමැති නොවෙති. මන්ද, මුළු ඉශ්රායෙල් සෙනඟ මුරණ්ඩු ය. දැඩි සිත් ද ඇත්තෝ ය. 8 බලන්න, මම ඔවුන් මෙන් නුඹ ද මුරණ්ඩු කර, දැඩි සිත් ඇත්තෙකු කරන්නෙමි. 9 මම නුඹේ අධිෂ්ඨානය ගිනිගලට වඩා තද වූ වෛදූර්ය මෙන් ශක්තිමත් කරන්නෙමි. ඔවුන් කැරලිකාර සෙනඟක් වන නමුත් ඔවුන්ට බිය නොවන්න. ඔවුන්ගේ රවා බැලීමට නොකැළඹෙන්න.”
10 තවද, උන් වහන්සේ මට කතා කොට, ”මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලු ම වචනවලට හොඳින් සවන් දී, නුඹේ සිතේ ඒවා නිදන් කරගන්න. 11 විප්‍රවාසගත ව සිටින නුඹේ සෙනඟ වෙත ගොස්, ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් ඔවුන්ට කතා කොට, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.
12 එවිට ආත්මයාණෝ මා ඔසවාගත්හ. ”ස්වකීය වාසස්ථානයේ සිටින සමිඳාණන් වහන්සේගේ මහිමයට ප්‍රශංසා වේ වා!”යි කියන භූමි කම්පාවක් වැනි ඝෝෂාවක් මා පිටුපසින් මට ඇසුණේ ය. 13 මේ වනාහි එකිනෙකට වැදුණු සත්ත්වයන්ගේ පියාපත්වල ශබ්දය ද ඒ ළඟ තිබූ රෝදවල භූමි කම්පාවක ශබ්දය වැනි ශබ්දය ද විය. 14 මෙලෙස ආත්මානුභාවයාණෝ මා ඔසවාගෙන ගියහ. දුකින් හා උදහසින් පිරුණු සිතකින් මම පිටත් ව ගියෙමි. සමිඳාණන් වහන්සේගේ බලය මා කෙරෙහි බලවත් ලෙස පැමිණියේ ය. 15 එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබිබ් යන ස්ථානයෙහි විසූ විප්‍රවාසගතවූවන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් සමඟ බිරාන්ත ව නැවතී සිටියෙමි.

එසකියෙල් මුරකාරයෙකු වශයෙන් පත් කරනු ලැබීම
(එසකි: 33:1-9)

16 තවද, සත් දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක: 17 ”මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය කෙරෙහි මම නුඹ මුරකාරයෙකු වශයෙන් පත් කෙළෙමි. මාගෙන් යම් වචනයක් ඇසෙන සෑම විට ම ඔවුන්ට අවවාද කරන්න. 18 ‘නුඹ සැබැවින් ම නසින්නෙහි ය’යි මා දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත් වන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කරන පිණිස ඔහුට කතා නොකරන්නෙහි නම්, ඒ දුෂ්ටයා සිය පාපය නිසා මැරෙනු ඇත. එවිට ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි. 19 එහෙත්, නුඹ දුෂ්ටයාට අවවාද කළ විට, ඔහු සිය පාපය හා දුෂ්ට මාර්ගය අත් නොහරින්නේ නම්, ඔහු සිය පාපය නිසා නසිනු ඇත. එහෙත්, නුඹ නුඹේ ජීවය රැකගනු ඇත.
20 ”තවද, ධර්මිෂ්ඨ මිනිසෙකු තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර පාපය කළ විට, එය ඔහුගේ වැටීමට හේතුවක් වන්නට මා ඉඩ හැරියොත්, නුඹ ඔහුට අවවාද නොකළ නිසා ඔහු සිය පාපයෙහි නසිනු ඇත. ඔහු කළ ඔහුගේ දැහැමි ක්‍රියා සිහිකරනු නොලබන්නේ ය. ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි. 21 එහෙත්, ධර්මිෂ්ඨයා පව් නොකරන ලෙස නුඹ ඔහුට අවවාද කළ විට, ඔහු පව් නොකර සිටියොත්, අවවාද පිළිගත් බැවින් ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. නුඹ ද නුඹේ පණ ගළවා ගන්නෙහි ය.”

එසකියෙල් ගොළු වීම

22 එවිට, සමිඳාණන් වහන්සේගේ බලය එහි දී මා පිට පැමිණියේ ය. උන් වහන්සේ කතා කොට, ”නැඟිට මිටියාවතට යන්න. එහි දී නුඹ සමඟ කතා කරන්නෙමි”යි මට වදාළ සේක.
23 මම ද නැඟිට සමභූමියට ගියෙමි. එවිට, කෙබාර් ගඟ ළඟ දී මා දුටු තේජස මෙන් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය එහි තිබෙනු දිටිමි. මම මුණින්තළා වී වැටුණෙමි. 24 එහෙත්, දේවාත්මයාණෝ මට ඇතුළු වී, මා නැඟිට සිටුවා, මා සමඟ කතා කොට මෙසේ වදාළ සේක: ”නුඹේ ගෙට වැද දොර වසාගෙන සිටින්න. 25 මනුෂ්‍ය පුත්‍රය, නුඹ කඹවලින් වෙළා බඳිනු ලැබේ. සෙනඟ අතරට නුඹට යන්නට නොහැකිවනු ඇත. 26 මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්න සලස්වන්නෙමි. එවිට නුඹ ගොළු වී, ඔවුන් කැරලිකාර සෙනඟක් වන බැවින් ඔවුන්ට තරවටු කරන්න නුඹට නොහැකි වන්නේ ය. 27 එහෙත්, මා නුඹ සමඟ කතා කරන කල නුඹට කතා ශක්තිය දෙන්නෙමි. නුඹ ද කතා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නෙහි ය, සවන් දෙන්නෝ සවන් දෙත්වා; සවන් නොදෙන්නෝ සවන් නොදෙත්වා. මන්ද, ඔව්හු කැරලිකාර සෙනඟකි.”

 

– 4 වන පරිච්ඡේදය –

ජෙරුසලම වැටලීම ගැන පෙර නිමිති

1 දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, ගඩොලක් ගෙන එය නුඹ ඉදිරියෙහි තබාගෙන නුවරක් එනම්, ජෙරුසලම් නුවර සටහනක් අඳින්න. 2 ඉන්පසු ඊට විරුද්ධ ව බලකොටු ගොඩනඟා, ගොඩැල්ලක් ඉදිකොට, කඳවුර තබා, එය සිසාරා යුද්ධ යන්ත්‍ර තබා එය වටලාගන්න. 3 තවද, යකඩ තහඩුවක් ගෙන එය යකඩ පවුරක් මෙන් නුඹටත්, නුවරටත්, අතර තබන්න. ඉන්පසු ඒ දෙසට නුඹේ මුහුණ හරවන්න. නගරය වටලනු ලැබේ. එය වටලන්නේ නුඹ ය. ඉශ්රායෙල් ජාතියට මෙය ලකුණක් ය.
4 ”දැන් නුඹ වම් අතට හැරී දිගා වන්න. ඉශ්රායෙල් ජාතියේ වරද මම නුඹ පිට තබන්නෙමි. නුඹ යම් තාක් කල් දිගා වී සිටින්නෙහි ද ඒ තාක් කල් නුඹ ඔවුන්ගේ වරදේ විපාකය විඳින්නෙහි ය. 5 මම නුඹට දවස් ගණනක් නියම කරන්නෙමි. එනම්, දවස් තුන්සිය අනූවකි. එක එක දවස ඉශ්රායෙල් ජාතියේ එක එක අවුරුද්ද වශයෙන් ගණන් ගනු ලැබේ. 6 නුඹ මෙසේ කළ පසු නුඹ යළිත් දිගා වන්නෙහි ය. එහෙත්, දැන් දකුණු අතට ය. මෙසේ නුඹ ඉශ්රායෙල් ජාතියේ වරද දරා ගන්නෙහි ය. මම නුඹට දවස් සතළිසක් නියම කරන්නෙමි; එක එක දවස එක එක අවුරුද්ද වශයෙන් ගණන්ගනු ලැබේ.
7 ”නුඹේ මුහුණ ද ජෙරුසලම වැටලීම දෙසට හරවා හිඳගෙන නුඹේ නොවැසූ අත ඊට විරුද්ධ ව ඔසවා දිවැස් වැකි කියන්න. 8 බලන්න, වටලෑමේ දවස් අවසාන වන තුරු නුඹ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ කඹවලින් බැඳ තබමි.
9 ”තවද, නුඹ තිරිඟු, යව, මෑ, කොල්ලු, කුරක්කන් හා තණහාල් රැගෙන, ඒවා භාජනයක තබා එයින් රො‍ටි සාදාගන්න. නුඹ එක අංශයකට දිගා වී සිටින දවස් ගණන වන දවස් තුන්සිය අනූව තුළ ඒවා අනුභව කරන්න. 10 නුඹ දවසකට කන කෑම ද ග්‍රෑම් දෙසිය තිහක් පමණ විය යුතු ය. වරින් වර ඒවා කන්න. 11 වතුරත් දවසකට කෝප්ප දෙකක් මැන වරින් වර බීමට ගත යුතු ය. 12 යව රො‍ටි මෙන් ඒ කෑම කන්න. මනුෂ්‍යයා පහකරන අශුචිවලින් ඔවුන්ගේ ඇස් හමුයෙහි ඒවා පිසන්න.
13 ”මා ඉශ්රායෙල්වරුන් ජාතීන් අතරට පන්නා දැමූ කල්හි ඔවුන් එසේ එහි දී තමන්ගේ අපවිත්‍ර වූ කෑම කනු ඇත.”
14 එවිට මම පිළිතුරු දෙමින්, ”අහෝ දෙවි ස්වාමීන් වහන්ස! මම කවදාවත් මාව ම අපවිත්‍ර කර නොගතිමි. මාගේ බාල වයසේ පටන් මේ දක්වා කුණප වත්, මෘගයන් විසින් ඉරාදැමුණු සතෙකු වත් නොකෑවෙමි. පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නො වේ වා”යි කීමි. 15 එවිට උන් වහන්සේ කතා කොට, ”මෙන්න, මනුෂ්‍ය අශුචි වෙනුවට ගවයින්ගේ ගොම නුඹට නියම කෙළෙමි. ඒවා මත නුඹේ රො‍ටි පිසන්නැ”යි මට වදාළ සේක.
16 තවදුරටත් කතා කරමින්, ”මනුෂ්‍ය පුත්‍රය, මම ජෙරුසලමේ කෑම ප්‍රමාණය අඩු කරන්නෙමි. එවිට භීතියෙන් ඔව්හු කෑම කිරා කන්නෝ ය. කනස්සලුකමින් වතුර මැන බොන්නෝ ය. 17 ඔවුන්ට කෑම ද වතුර ද නැති ව ගොස් එකිනෙකා දෙස බැලීමෙන් තැතිගෙන තමන්ගේ වරද නිසා වැහැරී යන ලෙස මම සලසන්නෙමි”යි වදාළ සේක.

 

– 5 වන පරිච්ඡේදය –

එසකියෙල්ගේ හිස මුඩු කිරීම

1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ගන්න. එය කරණවෑමියන්ගේ දැළිපිහියක් මෙන් පාවිච්චි කර නුඹේ හිසකෙස් ද රැවුල ද එයින් බූගා, තරාදියක් රැගෙන එය කිරා ඒ කේශ බෙදන්න. වටලෑමේ දවස් සම්පූර්ණ වූ කල්හි 2 එයින් තුනෙන් පංගුවක් නුවර මැද ගින්නෙන් දවාලන්න; තුනෙන් පංගුවක් රැගෙන නගරය වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් සුළඟට විසුරුවා දමන්න. මම ද ඒවා පසුපස්සෙන් කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති ව ලුහුබැඳ එන්නෙමි. 3 එයින් ස්වල්පයක් රැගෙන ඒවා නුඹේ වස්ත්‍රයේ වාටිවල කොන්වල බැඳගන්න. 4 නැවත එයින් ස්වල්පයක් රැගෙන, ඒවා ගින්න මැදට හෙළා, ඒවා ගින්නෙන් දවාලන්න. එයින් මුළු ඉශ්රායෙල් ජාතියට විරුද්ධ ව ගින්නක් නික්මෙන්නේ ය.”

උපමාව විස්තර කිරීම

5 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ජෙරුසලම දෙස බලන්න. මම ඈ ජාතීන් මැද පිහිටුවීමි. ඈ අවටින් විදෙස් රටවල් තිබේ. 6 දුෂ්ටකම් කොට ජාතීන්ට වඩා මාගේ නියෝගයන්ටත් ඈ වටකර තිබෙන රටවලට වඩා මාගේ පණත්වලටත් විරුද්ධ ව ඈ කැරලි ගැසුවා ය. මන්ද, ජෙරුසලම් වැසියෝ මාගේ විනිශ්චය එපා කළෝ ය. මාගේ අණපණත් ප්‍රකාරයට නොහැසුරුණෝ ය. 7 එබැවින් මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය. නුඹලා අවට සිටින විජාතීන්ට වඩා නුඹලා කෝලාහල කර, මාගේ අණපණත් ප්‍රකාරයට නොහැසිර, මාගේ නියෝගයන් රක්ෂා නොකර, නුඹලා අවට සිටින විජාතීන්ගේ නියෝගයන් අනුව ක්‍රියා කළ බැවින් 8 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න ජෙරුසලම, මම-මම වුව ද, නුඹට විරුද්ධ වෙමි. විජාතීන්ගේ ඇස් හමුයෙහි නුඹ පිට දඬුවම් පමුණුවන්නෙමි. 9 නුඹේ සියලු පිළිකුල් ක්‍රියා නිසා, මා පෙර නොකළ, මතු නොකරන විධියේ දේවල් නුඹට කරන්නෙමි. 10 අහෝ ජෙරුසලම! නුඹ තුළ පියවරු පුත්‍රයන් ද පුත්‍රයෝ තමන්ගේ පියවරුන් ද කන්නාහ; මම නුඹට දඬුවම් කොට ජෙරුසලමෙහි ඉතිරි වන සියල්ලන් දස දෙස විසුරුවා දමන්නෙමි.
11 ”එබැවින් ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ දිවුරා කියමි. නුඹේ සියලු අශික්ෂිතකම්වලින් ද නුඹේ සියලු පිළිකුල්කම්වලින් ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා සැබැවින් ම මමත් නුඹ නිර්දය ලෙස වනසාලන්නෙමි. මම ද නුඹට කරුණා නොකරන්නෙමි; අනුකම්පාව නොපෙන්වන්නෙමි. 12 නුඹේ සෙනඟගෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මිය යන්නෝ ය; ඔව්හු සාගතයෙන් නුඹ අතරෙන් නැති වන්නෝ ය. තුනෙන් කොටසක් නුඹ අවටින් කඩු පහරින් වැටෙනු ඇත; මම තුනෙන් කොටසක් ද දස දෙස විසුරුවාදමා, කඩුවක් රැගෙන ඔවුන් පස්සෙන් ලුහුබැඳ යන්නෙමි.
13 ”මෙසේ මාගේ උදහස සෑහීමට පත්වනු ඇත. ඔවුන් කෙරෙහි මාගේ කෝපය දල්වා තෘප්තියට පැමිණෙන්නෙමි. මා මාගේ කෝපාග්නිය ඔවුන් කෙරෙහි දැල් වූ විට, ප්‍රතිවාදීන් නොඉවසන ස්වාමීන් වන මා නුඹේ ද්‍රෝහිකමට විරුද්ධ ව තද උදහසින් කතා කළ බව නුඹ දැනගනු ඇත. 14 නුඹ අවට සිටින ජාතීන්ට මම නුඹ නින්දාවක් ද අවමානයක් ද වන්නට සලසන්නෙමි. නුඹ අවටින් ගමන් කරන සියල්ලන් එය දකිනු ඇත. 15 මා උදහසින් ද කෝපයෙන් ද රුදුරු දඬුවම්වලින් ද මාගේ නියෝගයන් නුඹ වෙත ඉෂ්ට කරන කල්හි නුඹ අවට සිටින සියලු විජාතීන් භීතියෙන් ඇලළී යනු ඇත. නුඹලා අවට සිටින විජාතීන්ට එය නින්දාවක් සහ සරදමක් ද යස පාඩමක් හා භීතියක් ද වන්නේ ය. මෙසේ පවසන්නේ, සමිඳාණන් වහන්සේ වන මම ය. 16 නුඹට විරුද්ධ ව මා විදින සාගතය නමැති මාරක ඊගස්, එනම් විනාශ කරන සුලු ඊගස් නුඹ විනාශ කරන්නට මම විදින්නෙමි. මම නුඹලා කෙරෙහි වඩා දරුණු සාගතයක් පමුණුවා නුඹලාට ආහාර ලැබීමේ මාර්ග කපා හරින්නෙමි. 17 මම නුඹලාට විරුද්ධව සාගතයක් ද වන මෘගයන් ද එවන්නෙමි. එයින් නුඹලාගේ දරුදැරියන් නැති වී යනු ඇත. වසංගතය ද සාගතය ද ජෙරුසලමේ සෑම තැන ම පැතිරී යනු ඇත. නුඹලාට විරුද්ධ ව යුද්ධයක් ඇති කරන්නෙමි. ස්වාමීන් වන මා මෙසේ පවසා ඇත.”

 

– 6 වන පරිච්ඡේදය –

රූප වන්දනාව හෙළා දැකීම

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්රායෙල්හි කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධ ව මේ දිවැස් වැකිය කියන්න. 3 ‘එම්බා ඉශ්රායෙල්හි කඳු, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ පණිවුඩය අසන්නැ’යි කියන්න. කඳුවලටත්, මිටියාවත්වලටත්, නිම්නවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මෙන්න, මම, මම ම, නුඹලා පිට කඩුවක් පමුණුවා, නුඹලාගේ කඳු මත පූජාස්ථාන නැති කරන්නෙමි. 4 නුඹලාගේ පූජාසන පාළු වන්නේ ය. නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලබන්නේ ය. නුඹලා අතරෙන් මරුමුවට පත් වූ අය නුඹලාගේ දේව රූප ඉදිරිපිට බිම හෙළන්නෙමි. 5 ඉශ්රායෙල්වරුන්ගේ මළකඳන් ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට කටු නුඹලාගේ පූජාසන අවටින් විසුරුවන්නෙමි. 6 නුඹලාගේ පූජාසන පාළු වී, නාස්ති වී, නුඹලාගේ දේව රූප කඩා දමනු ලැබ, ඒවා විනාශ වී නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත නැති වී යන පිණිස නුඹලාගේ සියලු වාසස්ථානවල නගර නටබුන් ගොඩක් වන්නේ ය. කඳු මත පූජාස්ථාන ද පාළු වන්නේ ය. 7 මරුමුවට පත් වූ අය නුඹලා අවට වැටී සිටින විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
8 ”එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත. 9 නුඹලා අතරෙන් ගැළවෙන අය විප්‍රවාසයට ගෙනයනු ලැබූ විට ඒ ඒ ජාතීන් අතර මා සිහි කරනු ඇත. එසේ වන්නේ, මා වෙතින් වෙන් වී ගිය ඔවුන්ගේ අවිශ්වාසී සිත මා බිඳදැමූ විට ද මා තුළ විශ්වාසය නොතබා දේව රූප දෙසට හැරුණු ඔවුන්ගේ ඇස් අන්ධ කළ විට ද වේ. ඔවුන් කළ නපුරුකම් නිසා ද ඔවුන්ගේ ද්වේෂ සහගත ක්‍රියා නිසා ද ඔව්හු ඔවුන්ගේ ඇස් හමුයෙහි ම පිළිකුලක් වන්නෝ ය. 10 මා සමිඳාණන් වහන්සේ බවත්, මේ විපත්ති ඔවුන් පිට පමුණුවන්නෙමි යි මා වදාළ වචන නිකරුණේ නොවදාළ බවත් ඔවුන් දැනගනු ඇත.”

ඉශ්රායෙල්වරුන්ගේ පාපය

11 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නුඹේ දෑත මිරිකමින්, පොළොවේ අඩි හප්පමින්, ‘අහෝ! ඉශ්රායෙල් සෙනඟගේ සියලු නපුරු පිළිකුල් ක්‍රියා නිසා කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ඔව්හු වැටෙති’යි කියන්න. 12 ඈත සිටින අය වසංගතයෙන් මැරෙනු ඇත; ළඟ සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; ඉතුරු වී සිට වටලනු ලබන අය සාගතයෙන් නසිනු ඇත. මෙසේ මාගේ කෝපයේ උග්‍රකම ඔවුන්ට දැනෙනු ඇත. 13 උස් වූ සියලු හෙල්වලත්, සියලු කඳු මුදුන්වලත්, සියලු අතු පතර ඇති ගස් යටත්, අතු ඇති සියලු ආලෝන ගස් යටත් තමන්ගේ සියලු දේව රූපවලට මිහිරි සුවඳ ඔප්පු කළ සෑම පූජාසන වටකර මළකඳන් වැටී තිබෙන කල, මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත. 14 මම ඔවුන්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට පාළුකරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන ඇති මුළු දේශය පාළු ජරාවාස පෙදෙසක් කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”

 

– 7 වන පරිච්ඡේදය –

සම්පූර්ණ විනාශය ආසන්න ය

1 තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඉශ්රායෙල් දේශය ගැන මෙසේ වදාරන සේක. තීන්දුවක් එනම්, දේශයේ හතර කොණේ ම අවසානය, පැමිණ තිබේ.
3 ඉශ්රායෙල් දේශය, නුඹේ අවසානය දැන් පැමිණ තිබේ. මාගේ උදහස නුඹලාට විරුද්ධ ව එවා, නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල්කම් අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි. 4 මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරමි; පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
5 ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, විපත පිට විපත නුඹලා පිට පැමිණෙයි. 6 අවසානය පැමිණෙයි, ඇත්තෙන් ම පැමිණෙයි. එය නුඹලාට විරුද්ධ ව උදා වී ඇත. බලන්න, එය පැමිණෙන්නේ ය. 7 එම්බා රට වැසියෙනි, නුඹලාගේ දඬුවම් වාරය පැමිණියේ ය. කාලය පැමිණ තිබේ. දවස ආසන්න ය; එය වනාහි ප්‍රීති ඝෝෂා ඇති දවසක් නොව, කඳු මත කැළඹීමේ ඝෝෂා දවසක් ය.
8 ”දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹලා පිට වගුරුවා, මාගේ උදහස නුඹලා කෙරෙහි පමුණුවන්නෙමි. නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි. 9 මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරන්නෙමි. පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. පහර දෙන්නේ ස්වාමීන් වන මා බව මෙසේ නුඹලා දැනගන්නහු ය.
10 ”මෙන්න, ඒ දවස! බලන්න, ඒ දවස පැමිණෙයි. නුඹලාගේ දඬුවම් කාලය පැමිණ ඇත; අයුක්තිය වැජඹෙනු ඇත. උඩඟුකම උපරිම තත්ත්වයට පැමිණ ඇත. 11 බලහත්කාරකම් දරුණු දුෂ්ටකම්වලට හැරී ඇත. ඔවුන්ගෙන් හෝ ඔවුන්ගේ සමූහයන්ගෙන් හෝ කිසිවෙක් වත්, ඔවුන්ගේ වස්තුවෙන් හෝ තේජසින් හා අලංකාරයෙන් හෝ කිසිවක් වත් ඉතිරි නොවන්නෝ ය.
12 ”කාලය පැමිණ තිබේ. දවස ළඟා වී තිබේ; මිලයට ගන්නා ප්‍රීති නො වේ වා; විකුණන්නා නොවැලපේවා. මන්ද, උදහස එහි මුළු සමූහයා පිට පැමිණ තිබේ. 13 වෙළෙන්දා තමා විකුණන දේ දිවි ඇති තාක් නැවත නොලබන්නේ ය. මන්ද, දේව උදහස සකල සමූහයට විරුද්ධ ව තිබේ. නපුර කළ අයට නපුර නිසා ජීවත් ව සිටිය නොහැකි ය. 14 ඔවුන් යුද්ධ හොරණෑව පිඹ සියල්ල සූදානම් කර තිබේ. එහෙත්, කිසිවෙක් සටනට නොයති. මන්ද, මාගේ කෝපය එහි මුළු සමූහයා කෙරෙහි ඇත්තේ ය.”

ඉශ්රායෙල්වරුන්ගේ පාපයට දඬුවම්

15 ”පිටත යුද්ධ, ඇතුළත වංසගතය හා සාගත තිබේ. එළිමහන් තැන්හි සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; නගරයේ සිටින අය සාගතයෙන් ද වසංගතයෙන් ද විනාශ වන්නෝ ය. 16 එහෙත්, ඔවුන්, අතරෙන් ඉතිරි අය බියපත් ව මිටියාවත්වල පරෙවියන් මෙන් කඳුවලට පලා යනු ඇත. ඔවුන් තමන්ගේ පව් ගැන වැලපෙනු ඇත. 17 සියලු අත් බලහීන වනු ඇත. සියලු දණහිස් ද වෙවුළනු ඇත. 18 ඔව්හු ගෝණි රෙදි ඇඳගන්නෝ ය. භීතියෙන් ඇලළී යන්නෝ ය. හිස් මුඩු කරනු ලැබූ ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය. 19 ඔවුන් තමන්ගේ රිදී වීදිවලට විසි කරනු ඇත. ඔවුන්ගේ රන් ද අපවිත්‍ර දෙයක් මෙන් වන්නේ ය. සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණෙන දවසේ දී ඔවුන්ගේ රන් රිදී කරණකොටගෙන ගැළවෙන්න ඔව්හු අපොහොසත් වන්නෝ ය. එයින් ඔවුන්ගේ ආශාව තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔවුන්ගේ කුස පිරෙන්නේ වත් නැත. මන්ද, මේවා ඔවුන්ගේ අපරාධයට හේතු වන්නේ ය. 20 ඔව්හු තමන්ගේ අලංකාර ආභරණ අහංකාර වීමට කරුණක් කරගත්හ. එයින් පිළිකුල් රූප වන අශික්ෂිත දේ සාදාගත්හ. එබැවින් මම ඔවුන්ගේ වස්තුව ඔවුන්ට ම පිළිකුලක් කෙළෙමි.
21 මම එය විදේශීන්ට කොල්ලයක් ද පොළොවේ දුෂ්ටයන්ට කොල්ලකෑමක් ද පිණිස දෙමි; ඔවුන් එය කෙලෙසනු ඇත. 22 මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගනිමි. ඔවුන් මාගේ දේව මාලිගාව කෙලෙසනු ඇත. කොල්ලකාරයන් ද ඊට ඇතුල් වී එය කෙලෙසනු ඇත.
23 ”සියල්ල වියවුල් ය. මන්ද, දේශය මිනීමැරීමේ අපරාධයෙන් පිරී තිබේ. නුවරත් බලහත්කාරකම්වලින් පිරී තිබේ. 24 එබැවින් මම ඉතා ම කෲරතර ජාතීන් ගෙන්වන්නෙමි. ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුම කරගන්නෝ ය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථාන ද කෙලෙසනු ලබන්නේ ය. 25 විනාශය පැමිණෙන්නේ ය. ඔව්හු සාමදානය සොයන්නෝ ය. එහෙත්, එය ලැබෙන්නේ නැත. 26 විපත පිට විපත ද අසුබ ආරංචියක් පිට අසුබ ආරංචියක් ද පැමිණෙන්නේ ය; ඔවුන් දිවැසිවරුන්ගේ දර්ශනයක් සොයනු ඇත; එහෙත්, පූජකයන්ගෙන් ව්‍යවස්ථාව ද ප්‍රජා මූලිකයන්ගෙන් අවවාද ද පහවන්නේ ය. 27 රජතුමා වැලපෙන්නේ ය. අධිපතියා ශෝකයෙන් කලකිරෙන්නේ ය. දේශයේ සෙනඟගේ අත් පණ නැති වන්නේ ය. මම ඔවුන්ගේ කල්ක්‍රියාව අනුව ඔවුන්ට දඬුවම් කරන්නෙමි. ඔවුන්ගේ ම විනිශ්චයයන් අනුව ඔවුන් විනිශ්චය කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”

 

– 8 වන පරිච්ඡේදය –

ජෙරුසලම පිළිබඳ දර්ශනය

1 තවද, හය වන අවුරුද්දේ හය වන මාසයේ පස් වන දින මා මාගේ ගෙදර ද ජුදාහි ප්‍රජා මූලිකයන් මා ඉදිරියෙහි හිඳගෙන ද සිටින කල මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ බලය එහි දී මා කෙරෙහි පැමිණියේ ය. 2 මා බැලූ විට ගිනිගත් මනුෂ්‍ය රූපයක් වැනි යමක් දිටිමි. එහි ඉඟටිය මෙන් පෙනුණ කොටස ගින්නෙන් වෙළී තිබිණි. එයින් ඉහළ කොටස කාන්තියෙන් දිළිසෙන ලෝකඩ මෙන් බැබළෙන පෙනීමක් ද තිබිණි. 3 එතුමා අතක් වැන්නක් දිගු කොට මාගේ හිසේ කෙස් රො‍දකින් මා අල්ලාගත්තේ ය. දේවාත්මානුභාවය ද දෙවියන් වහන්සේගෙන් වූ දර්ශනය මඟින් පොළොවටත්, අහසටත් අතරේ මා උසුලාගෙන ගොස්, ජෙරුසලමේ උතුරු දෙස තිබෙන, දේව උදහස උපදවන ද්වේෂ සහගත රූපයක් ඇති ඇතුළු දොරටුවට මා පැමිණෙවුවේ ය.
4 එවිට සමභූමියෙහි දුටු පෙනීම වැනි ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස එහි තිබෙනු මම දිටිමි. 5 උන් වහන්සේ ද කතා කරමින්, ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස් දැන් උතුරු දෙසට ඔසවන්නැ”යි මට වදාළ සේක. උතුරු දෙසට මාගේ ඇස් එසෙවූ කල පූජාසනයේ දොරටුවට උතුරෙන්, ඇතුළු වන තැන, ද්වේෂය උපදවන ඒ නින්දිත රූපය තිබෙනු මම දිටිමි. 6 උන් වහන්සේ ද කතා කරමින්, ”මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම්, මාගේ ශුද්ධස්ථානයෙන් මා පලවා හරින පිණිස ඉශ්රායෙල් සෙනඟ මෙහි කරන මහා පිළිකුල්කම් නුඹට පෙනෙන්නේ නැද් ද? මීටත් වඩා පිළිකුල් දෙයක් නැවතත් නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක.
7 උන් වහන්සේ මළුවේ දොරකඩට මා ගෙනා සේක; මම බැලූ විට බිත්තියේ සිදුරක් තිබෙනු දිටිමි. 8 එකල උන් වහන්සේ කතා කරමින්, ”මනුෂ්‍ය පුත්‍රය, බිත්තිය හාරන්නැ”යි මට වදාළ සේක, මම බිත්තිය හෑරූ කල දොරටුවක් දිටිමි. 9 උන් වහන්සේ කතා කරමින්, ”ඇතුළට ගොස් ඔවුන් මෙහි කරන නපුරු පිළිකුල්කම් බලන්නැ”යි මට වදාළ සේක. 10 මම ඇතුළු වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගේත්, පිළිකුල් තිරිසනුන්ගේත් රූප ද ඉශ්රායෙල් වංශයේ සියලු දේව රූප ද බිත්තියේ වටේට සිතියම් කර තිබෙනු දිටිමි. 11 ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන්ගෙන් සැත්තෑදෙනෙකු ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත් ජාසනීයා ද සිටිනු දිටිමි. ඔව්හු තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇති ව සිටියෝ ය. සුවඳ දුම් ඉහළට නැංඟේ ය. 12 එවිට උන් වහන්සේ කතා කොට, ”මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන් අන්ධකාරයෙහි එක එකා තම තමාගේ රූප ඇති ගබඩාවල දී කරන දේ දුටුවෙහි ද? කුමක් නිසා ද ‘සමිඳාණන් වහන්සේ අප දකින්නේ නැත; සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේකැ’යි ඔව්හු කියති”යි මට වදාළ සේක.
13 ”ඔවුන් කරන තවත් මහා පිළිකුල්කම් නුඹ නැවත දකින්නෙහි ය”යි උන් වහන්සේ මට වදාළ සේක. 14 එකල උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උතුරට තිබෙන දොරටුවේ දොරකඩට මා ගෙනා සේක. එවිට ස්ත්‍රීන් තම්මුස් දෙවියා ගැන අඬමින් එහි ඉඳගෙන සිටිනු දිටිමි.
15 උන් වහන්සේ මට කතා කරමින්, ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? මීටත් වඩා තවත් පිළිකුල්කම් නැවත නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක. 16 උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවට මා ගෙනා සේක. බලන්න, එහි මනුෂ්‍යයන් විසිපස්දෙනෙක් පමණ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිටුපා, නැගෙනහිරට තමන්ගේ මුහුණ හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාර කළෝ ය.
17 එවිට උන් වහන්සේ කතා කොට, ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? ජුදා සෙනඟ දේශය පුරා සැහැසිකම් කරමින් ඔවුන් මෙහි කරන නීච පිළිකුල් ක්‍රියා සුළු දෙයකැ යි ඔව්හු සිතත් ද? ඔව්හු මාගේ කෝපය සංසිඳුවන්න උත්සාහ කරන නමුත්, මා වඩ වඩා ප්‍රකෝප කරති. 18 එබැවින් මමත් කෝපයෙන් ක්‍රියා කරන්නෙමි. මම දයාව නොදක්වන්නෙමි. මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහ හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි”යි වදාළ සේක.

 

– 9 වන පරිච්ඡේදය –

ජෙරුසලමේ විනාශය

1 ඉන්පසු උන් වහන්සේ ”මේ නගරයට දඬුවම් කිරීමට පත් කර සිටින සියල්ලෙනි, නුඹලා එකිනෙකාගේ අතේ මාරක අවි ආයුධ ඇති ව ළං වන්නැ”යි මහ හඬින් මොරගසනවා මට ඇසිණි. 2 එවිට උතුරු දෙස තිබෙන ඉහළ දොරටුවේ මාර්ගයෙන් මිනිස්සු හයදෙනෙක් එකිනෙකා තම තමාගේ මාරක ආයුධ අතේ ඇති ව ආහ. ඔවුන් අතරේ ඉඟ පටියේ ලිපි උපකරණ මල්ල එල්ලාගත්, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසෙක් සිටියේ ය. ඔව්හු ඇතුළු වී ලෝකඩ පූජාසනය ළඟ සිට ගත්හ.
3 එවිට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ තේජෝ මහිමය එය නැවතී තිබුණු ස්ථානය වන කෙරුබ්වරුන් කෙරෙන් නැඟී දේව මාලිගාවේ එළිපත්ත ළඟට ගොස් ලිපි උපකරණ මල්ල ඇති ව, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසාට මොරගැසී ය. 4 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ”නගරය මුළුල්ලෙහි එනම්, ජෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලමින්, කෙඳිරිගාන මිනිසුන්ගේ නළල්වල ලකුණක් තබන්නැ”යි වදාළ සේක.
5 මා අසා සිටිය දී උන් වහන්සේ සෙසු අයට කතා කොට, ”නුඹලා ඔහු පසුපස නගරය තුළට ගොස් එයට පහර දෙන්න. ඔවුන් දෙස දයාවෙන් නොබලන්න; ඔවුන්ට කරුණා නොකරන්න. 6 මාගේ ශුද්ධස්ථානයෙන් පටන්ගෙන මහල්ලන් ද තරුණයන් ද තරුණියන් ද බාලයන් ද ස්ත්‍රීන් ද මරා විනාශ කර දමන්න. එහෙත්, නළලේ ලකුණ ඇති කිසිවෙකුට අත නොගසන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු දේව මාලිගාවේ සිටි මහලු අයගෙන් එසේ විනාශ කිරීමට පටන්ගත්තෝ ය.
7 උන් වහන්සේ කතා කරමින්, ”නුඹලා දේව මාලිගාව අපවිත්‍ර කරමින්, එය මළකඳන්වලින් පුරවා පිටත යන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඔව්හු පිටතට ගොස්, නුවර ඇතුළෙහි සෙනඟට පහර දුන්නෝ ය.
8 ඔවුන් පහර දෙද්දී මම පමණක් නැවතී සිටියෙමි. මම ද මුණින්තළා වී, ”අහෝ, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබේ කෝපය ජෙරුසලම පිට වගුරුවන අතර, ඉශ්රායෙල්වරුන්ගේ ඉතිරි ව සිටින සියල්ලන් ම ඔබ නාස්ති කරන සේක් දැ”යි මොරගසා ඇසුවෙමි.
9 එවිට උන් වහන්සේ උත්තර දෙමින්, ”ඉශ්රායෙල් සහ ජුදා සෙනඟගේ අපරාධ ඉමහත් ය; දේශය ලෙයින් පිරී තිබේ. නුවර ද අයුක්තියෙන් පිරී තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේක’ කියා ද ‘උන් වහන්සේ නොදක්නා සේක’ කියා ද ඔව්හු කියති. 10 එබැවින් මම දයාව දක්වන්නේ වත්, කරුණා කරන්නේ වත් නැති ව, ඔවුන්ගේ කල්ක්‍රියාවට විපාකය ඔවුන්ගේ හිස් පිට පමුණුවන්නෙමි”යි මට වදාළ සේක.
11 එවිට හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තේ ලිපි උපකරණ මල්ල ඇති ව සිටි මනුෂ්‍යයා හැරී අවුත්, ”ඔබ වහන්සේ අණ කළ ලෙස කෙළෙමි”යි වාර්තා කෙළේ ය.

 

– 10 වන පරිච්ඡේදය –

දේව තේජස පහ වී යාම

1 මම බැලූ විට, කෙරුබ්වරුන්ගේ හිස්වලට ඉහළින් නීලමාණික්‍යයන් වැනි සිංහාසනයක රූපයක් දිටිමි. 2 උන් වහන්සේ හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට කතා කොට, ”නුඹ කෙරුබ්වරුන්ට යටින් කරකැවෙන චක්‍ර අතරට ඇතුළු වී, කෙරුබ්වරුන් අතරේ තිබෙන ගිනි අඟුරුවලින් නුඹේ දෑත පුරවාගෙන නුවර පිට විසුරුවා හරින්නැ”යි වදාළ සේක.
3 ඔහු මා බලා සිටිය දී ඇතුළු විය. ඒ මනුෂ්‍යයා ඇතුළු වන විට කෙරුබ්වරු මාලිගාවේ දකුණු පැත්තෙහි සිටියෝ ය. ඇතුළු මළුව ද වලාකුළෙන් පිරුණේ ය. 4 එවිට සමිඳාණන් වහන්සේගේ තේජස කෙරුබ්වරුන් කෙරෙන් නැඟී එළිපත්ත මතුයෙහි නැවතුණේ ය. මාලිගාව වලාකුළෙන් පිරුණේ ය. මළුව ද සමිඳාණන් වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේ ය. 5 කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දය ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ කතා කරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේ ය.
6 කරකැවෙන චක්‍ර අතරෙන් ද කෙරුබ්වරුන් අතරෙන් ද ගිනි අරගන්න කියා හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට උන් වහන්සේ අණ කළ විට, ඔහු ඇතුළු වී චක්‍රයක් ළඟ සිටගත්තේ ය. 7 කෙරුබ්වරයෙක් කෙරුබ්වරුන් අතරේ තිබුණ ගින්නට කෙරුබ්වරුන් අතරෙන් තමාගේ අත දිගු කොට, එයින් ගිනි රැගෙන හණ වස්ත්‍ර හැඳගෙන සිටි තැනැත්තාගේ දෑතට දුන්නේ ය. ඔහු ද එය රැගෙන පිටතට ගියේ ය.
8 කෙරුබ්වරුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අතක ස්වරූපයක් පෙනුණේ ය. 9 මම බැලූ විට මෙසේ දිටිමි. කෙරුබ්වරුන් ළඟ රෝද සතරක් එනම්, එක කෙරුබ්වරයෙකු ළඟ එක රෝදයක් බැගින් තිබිණි. රෝදවල පෙනීම ද රන් කාන්තියක දිස්නය වැනි ය. 10 ඒ සතරට ම තිබුණේ එකාකාර ස්වරූපයකි. ඒවායේ පෙනීම වනාහි රෝදයක් තුළ රෝදයක් තිබෙන්නාක් මෙන් ය. 11 කෙරුබ්වරුන් සතර දිශාවෙන් එක දිශාවකට ගමන් ගත් විට ඔව්හු යන මාර්ගයෙන් අන් අතකට නොහැරුණෝ ය. මාර්ගයෙන් පිට නොපැන ඔවුන්ගේ හිස් හැරී තිබුණ දෙසට ඔව්හු කෙළින් ම ගමන් කළහ. 12 ඔවුන්ගේ මුළු ශරීරවල ද ඔවුන්ගේ පිටවල ද අත්වල ද පියාපත්වල ද රෝදවල ද වටකර පුරා ම ඇස් තිබුණේ ය. ඒ සතර දෙනාටත්, ඔවුන්ගේ රෝදවලටත් එසේ ම ඇස් තිබුණේ ය. 13 ඒ රෝදවලට ‘භ්‍රමණ චක්‍ර’යි නම් තබනු මට ඇසුණේ ය.
14 එක් එක් කෙරුබ්වරයාට මුහුණු සතරක් විය. පළමු වන මුහුණ කෙරුබ්වරයෙකුගේ මුහුණකි, දෙ වන මුහුණ මනුෂ්‍ය මුහුණකි, තුන් වන එක සිංහ මුහුණකි, සතර වන එක රාජාලි මුහුණකි. 15 කෙරුබ්වරු ද ඉහළට නැංඟෝ ය. ඔව්හු වනාහි කෙබාර් ගඟ ළඟ දී මා දුටු ජීවමාන සත්ත්වයෝ ය. 16 තවද, කෙරුබ්වරුන් යන විට රෝද ද ඔවුන් කැටුව ගියේ ය. පොළොව මතුපිටින් නඟින්න කෙරුබ්වරුන් තමන්ගේ පියාපත් විදහාගත් විට රෝද ඔවුන් වෙතින් ඉවත් නො වී ය. 17 ඔවුන් නැවතුණු කල ඒවාත් නැවතුණේ ය. ඔවුන් නඟින කල ඒවාත් ඔවුන් සමඟ නැංඟේ ය. මන්ද, සත්ත්වයෝ ඒවා පාලනය කළහ.
18 එවිට සමිඳාණන් වහන්සේගේ තේජස මාලිගාවේ එළිපත්ත මතුපිටින් පිටතට ගොස් කෙරුබ්වරුන්ට ඉහළින් පිහිටියේ ය. 19 කෙරුබ්වරු ඉදිරියට යමින් සිය පියාපත් විදහා පා මා බලා සිටිය දී පොළොවෙන් ඉහළට නැංඟෝ ය. රෝදත් ඔවුන් සමඟ ම නැංඟේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නැගෙනහිර දොරකඩ සිටියෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ද ඔවුන්ට උඩින් තිබුණේ ය. 20 මොවුහු වනාහි කෙබාර් ගංගාව ළඟ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යටින් සිටිනු මා දුටු සත්ත්වයෝ ය. ඔවුන් කෙරුබ්වරුන් බව මම දැනගතිමි.
21 එක එකාට මුහුණු සතරක් බැගින් ද එක එකාට පියාපත් සතරක් බැගින් ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක් ද තිබුණේ ය. 22 ඔවුන්ගේ මුහුණුවල පෙනීමත් හරියට ම මා කෙබාර් ගඟ ළඟ දී දුටු මුහුණුවල පෙනීමට සමාන ය. ඔව්හු එකිනෙකා කෙළින් ම ඉස්සරහට ගියහ.

 

– 11 වන පරිච්ඡේදය –

දුෂ්ට මූලිකයන්ගේ විනාශය

1 දේවාත්මානුභාවය මා ඔසවාගෙන ගොස් නැගෙනහිර දෙසට තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙව්වේ ය. බලන්න, මනුෂ්‍යයෝ විසිපස්දෙනෙක් දොරකඩ සිටියෝ ය. ඔවුන් අතරේ සෙනඟගේ අධිපතීන් වන අස්සුර්ගේ පුත් ජාසිනියා ද බෙනායාගේ පුත් පෙලතියා ද සිටිනු දිටිමි.
2 උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, මේ නුවර පුරා දුෂ්ටකම් යෝජනා කරන, නපුරු මන්ත්‍රණ යොදන මනුෂ්‍යයෝ මොවුහු ය. 3 මොවුහු කතා කොට, ‘ගෙවල් ගොඩනඟන්න කාලය ළං වී නැද් ද? මේ නුවර කල්දේරමක් වැනි ය; අපි එහි පිසෙන මාංසය වැනි ය; එනම් අපට නුවර තුළ තරමක ආරක්ෂාව ඇතැ’යි කියති. 4 එබැවින් ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න, මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන්න.”
5 එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය මා කෙරෙහි පැමිණ, මට කතා කරමින් මෙසේ වදාළ සේක: ”සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: ‘අනේ ඉශ්රායෙල් වංශය, නුඹලා මෙසේ සිතන්නහු ය; නුඹලාගේ සිත්වල හටගන්න අදහස් දනිමි. 6 නුඹලා මේ නුවර තුළ බොහෝ සේ මිනී මරා එහි වීදි මළකඳන්වලින් පුරවා තිබේ.
7 ” ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාංසය වශයෙන් හැඳින්වෙන්නේ නගරයෙහි නුඹලා විසින් බාවනු ලැබ ඇති, නුඹලා අතින් මැරුම්කනු ලැබූ අය ය; කල්දේරම වශයෙන් හැඳින්වෙන්නේ නගරය ය. එහෙත්, නුඹලා මෙයින් පිටත ගෙනෙනු ලබන්නහු ය. 8 නුඹලා කඩුවට බිය ව සිටියහු ය. මම ද නුඹලා පිට කඩුව පමුණුවන්නෙමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 9 මම නුඹලා පිටතට ගෙනවුත් විදේශීන් අතට නුඹලා පාවා දී, මාගේ විනිශ්චයයන් නුඹලාට විරුද්ධ ව ඉෂ්ට කරන්නෙමි. 10 නුඹලා කඩුවෙන් නසින්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි; එසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. 11 මේ නුවර නුඹලාගේ කල්දේරම නොවන්නේ ය. නුඹලා එය තුළ මාංසය ද නොවන්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි. එවිට මා ස්වාමීන් බව නුඹලා දැනගන්නහු ය. 12 එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ පණත් ඉෂ්ට නොකොට, නුඹලා අවට සිටින ජාතීන්ගේ පණත් ප්‍රකාරයට ක්‍රියා කළහු ය.’ ”
13 මා විසින් එසේ දිවැස් වැකි කියද්දී බෙනායාගේ පුත් පෙලතියා මැරී වැටුණේ ය. එවිට මම මුණින් වැටී, ”අනේ! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් ඔබ නැත්තට ම නැතිකරන සේක් දැ”යි මහා හඬින් මොරගසා ඇසීමි.

විප්‍රවාසගත වූ අයට පොරොන්දුව

14 තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 15 ”මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමේ සිටින අය නුඹ ගැනත්, විප්‍රවාසගත ව සිටින නුඹේ ඥාති ඉශ්රායෙල් සහෝදරයන් ගැනත් කතා කරමින්, ‘දෙවියන් වහන්සේ කෙරෙන් නුඹලා පිටුවහල් කර ඇත; උරුමයක් වශයෙන් දේශය දෙන ලද්දේ අපට යැ’යි කියති.
16 ”එබැවින්, ‘දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: මා විජාතීන් අතරට ඔවුන් පලවා හැර, දුර දේශවල ඔවුන් විසිර වූ නමුත්, ඔවුන් පැමිණ සිටින ඒ දේශයන්හි මම ස්වල්ප කලකට ඔවුන් සමඟ වැඩ සිටින්නෙමි.’ 17 එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ජාතීන් අතරෙන් නුඹලා එකතු කර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස් කොට ඉශ්රායෙල් රට නුඹලාට දෙන්නෙමි. 18 ඔවුන් එහි පැමිණ එහි සියලු අශික්ෂිත දේ ද එහි සියලු පිළිකුල්කම් ද එතැනින් පහකරනු ඇත. 19 මම ඔවුන්ට ඒකමතික සිතක් දෙන්නෙමි, අලුත් ආධ්‍යාත්මික බලයක් ද නුඹලා තුළ තබන්නෙමි. 20 ඔවුන් මාගේ පණත් ප්‍රකාර හැසිර, මාගේ නියෝග රක්ෂා කොට පවත්වන පිණිස, ඔවුන්ගේ ගල් සිත පහකොට මුදු මොළොක් සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. 21 එහෙත්, තමන්ගේ අශික්ෂිතකම් ද තමන්ගේ පිළිකුල්කම් ද කෙරෙහි සිත ඇදී ගොස් ඇති අයට ඔවුන්ගේ ක්‍රියාවල විපාක විඳින්නට සලස්වන්නෙමි’ මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”

තේජෝ මහිමය අතුරුදහන් වීම

22 එකල කෙරුබ්වරු තමන්ගේ පියාපත් එසෙවුවෝ ය. රෝදත් ඔවුන් එක් ව ම තිබුණේ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ඔවුන්ට ඉහළින් තිබුණේ ය. 23 සමිඳාණන් වහන්සේගේ තේජස ඉහළට නැඟී නගරයෙන් පිට වී ගොස් නැගෙනහිරින් තිබෙන කන්ද උඩ පිහිටියේ ය. 24 එවිට ආත්මානුභාවය මා ඔසවා කල්දියාවෙහි විප්‍රවාසගත ව සිටින අය වෙත පැමිණෙව්වේ ය. මේ සියල්ල සිදු වූයේ දේවාත්මානුභාවය විසින් එවන ලද දර්ශනයක් මඟිනි. මෙසේ මා දුටු දර්ශනය මා වෙතින් පහ ව ගියේ ය. 25 මම ද සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සියලු දේ විප්‍රවාසගත ව සිටි අයට කීවෙමි.

 

– 12 වන පරිච්ඡේදය –

පලා යාම හා සාගතය ගැන උපමා ලකුණු

1 සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මා වෙත පැමිණ මෙසේ කී ය: 2 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහි ය. දැකීමට ඇස් තිබෙන නමුත්, ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්, ඇසෙන්නේ නැත. මක්නිසා ද ඔව්හු කැරලිකාර වංශයක් ය.
3 ”ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, විප්‍රවාසයට යන්නෙකු මෙන් මාර්ගෝපකරණ සූදානම් කරගෙන, දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටත් වන්න; ඔවුන් බලා සිටිය දී නුඹ සිටින ස්ථානයේ සිට අන් ස්ථානයකට පිටත් ව යන්න. ඔවුන් කැරලිකාර වංශයක් වන නමුත්, සමහර විට ඔවුන් එහි තේරුම සිතට ගනු ඇත. 4 නුඹේ බඩු විප්‍රවාසිකයෙකුගේ මාර්ගෝපකරණ මෙන් දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටතට ගෙන, මිනිසුන් විප්‍රවාසයට පිටත් ව යන්නාක් මෙන් සවස ඔවුන් බලා සිටිය දී පිටත් වන්න. 5 නුඹ ඔවුන් බලා සිටිය දී බිත්තිය හාරා, ඒ තුළින් බඩු පිටතට ගෙන යන්න. 6 නුඹ ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන, අඳුරු වේලේ පිටතට ගෙන යන්න. යන මඟ නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසාගන්න. මක්නිසා ද මම ඉශ්රායෙල් වංශයට නුඹ සංකේතයක් කර ඇත්තෙමි.”
7 මම ද මට අණ කළ ලෙස කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතට ගෙන, සවස මාගේ අතින් බිත්තිය හාරා, අඳුරු වූ කල්හි ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.
8 පසු දා උදේ සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 9 ”මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර වංශය වන ඉශ්රායෙල් වංශය ‘නුඹ කුමක් කරන්නෙහි දැ’යි නුඹට කීවා නොවේ ද? 10 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මේ දිව්‍ය ප්‍රකාශනය ජෙරුසලමේ අධිපතියා සහ එහි තුළ සිටින මුළු ඉශ්රායෙල් වංශය ගැන ය.’ 11 මෙසේ කියන්න: ‘මම නුඹලාට සංකේතයක් වෙමි. මා කළ ලෙස ඔවුන්ට ද සිද්ධ වන්නේ ය. ඔව්හු ද පිටත් ව අන් රටක විප්‍රවාසයට යන්නෝ ය.’ 12 ඔවුන් අතරේ සිටින අධිපතියා ද බඩු කරට ගෙන, අඳුරු වේලේ පිටතට එනු ඇත. ඔවුන් පවුරු හාරා එමඟින් පිටත යනු අසා ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසාගනු ඇත. 13 මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියට ඔහු ගෙන යන්නෙමි. එහෙත්, ඔහු එය නොදකින්නේ ය. ඔහු එහි දී මැරෙනු ඇත. 14 ඔහුට උපකාර කරන පිණිස ඔහු වටකර සිටින සියල්ලන් ද ඔහුගේ හමුදා ද මම දස දෙස සුළඟෙහි විසුරුවා, කඩුව ගෙන ඔවුන් ලුහුබැඳ යන්නෙමි.
15 ”මා ඔවුන් ජාතීන් අතරට පන්නාදමා විදේශවල විසුරුවාදැමූ කල්හි, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. 16 එහෙත්, මම ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ගළවා ඉතිරි කරන්නෙමි. මෙසේ කරන්නේ, ඔවුන් පැමිණෙන දේශවල සෙනඟට ඔවුන්ගේ සියලු පිළිකුල්කම් ඔවුන් ප්‍රකාශ කරන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”

‘වෙවුළන දිවැසිවරයා’ යන ලකුණ

17 තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 18 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ කෑම වෙවුළමින් කා, චංචලකම ද භීතිය ද ඇති ව වතුර බී, 19 දේශයේ සෙනඟට මෙසේ කියන්න: ‘ඉශ්රායෙල් රටෙහි සිටින ජෙරුසලමේ වැසියන් ගැන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔව්හු තමන්ගේ කෑම භීතියෙන් කා, තමන්ගේ වතුර කනස්සල්ලෙන් බොන්නෝ ය. මෙසේ වන්නේ, ඔවුන්ගේ දේශයේ වාසය කරන සියල්ලන්ගේ සැහැසිකම නිසා ඒ දේශය සහමුලින් ම පාළු වන පිණිස ය. 20 වැසියන්ගෙන් ගහණ වූ නගර නාස්ති වී දේශය පාළු වන්නේ ය. මෙසේ මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය.’ ”

වැරදි මත නිවැරැදි කිරීම

21 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 22 ”මනුෂ්‍ය පුත්‍රය, ‘කාලය ගෙවී යන්නේ ය; දර්ශන ව්‍යර්ථ වන්නේ ය’ කියා ඉශ්රායෙල් රටෙහි නුඹලා අතරේ ව්‍යවහාර වන මේ ප්‍රස්තාව පිරුළේ තේරුම කුමක් ද? 23 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මම මේ ප්‍රස්තාව පිරුළ කීම නවත්වන්නෙමි; එය ප්‍රස්තාව පිරුළක් වශයෙන් ඉශ්රායෙල්හි තවත් ව්‍යවහාර නොවන්නේ ය.’ එසේ ය, ඒ දවස ළං වී ඇති බව ද සියලු දර්ශන ඉටු වන බව ද ඔවුන්ට කියන්න.
24 ”මන්ද, තවත් කිසි ව්‍යාජ දර්ශනයක් වත්, ඉච්චාකාර දිවැස් කීමක් වත් ඉශ්රායෙල් සෙනඟ අතරෙහි නොවන්නේ ය. 25 කුමක් නිසා ද, මම සමිඳාණන් වහන්සේ ය; මා කී දේ කීවා ම ය. එය තවත් පමා නොවී ඉෂ්ට වනු ඇත. එසේ ය, ‘එම්බා කැරලිකාර වංශය! මම නුඹලාගේ ජීවිත කාලයේ දී ම මා පැවසූ දේ ඉටු කරන්නෙමි’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
26 නැවත සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 27 ”මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් සෙනඟ කතා කොට, ‘නුඹ දකින දර්ශන ඉෂ්ටවන්න බොහෝ දවස් ගත වන්නේ ය’ කියා ද ‘නුඹ දිවැස් වැකි කියන්නේ දුර අනාගත කාල ගැන ය’ කියා ද කියති. 28 එබැවින් ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවේ; මා කී දේ කීවා ම ය; එය ඉටු වන්නේ ම යැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”

 

– 13 වන පරිච්ඡේදය –

බොරු දිවැසිවරුන් හෙළා දැකීම

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන ඉශ්රායෙල්හි දිවැසිවරුන්ට විරුද්ධ ව නුඹ දිවැස් වැකි කියමින්, සිය සිතින් දිවැස් වැකි මවා කියන්නන්ට මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න.
3 ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. කිසිවක් නොදැක, තමන්ගේ ම හැඟීම් අනුව දිවැස් කියන මෝඩ දිවැසිවරුන්ට වන විපතක මහත! 4 අහෝ ඉශ්රායෙල්වරුනි! නුඹලාගේ දිවැසිවරු පාළු තැන්වල සිටින සිවලුන් හා සමාන වූ හ. 5 නුඹලා කපොලු මුර කෙළේ වත්, සමිඳාණන් වහන්සේගේ දවසේ දී ඇති වන සටනේ දී සවි සම්පන්න ව සිටීමට නුඹලා ඉශ්රායෙල් ජාතිය වටකර පවුරක් ගොඩනැඟුවේ වත් නැත. 6 සමිඳාණන් වහන්සේ ඔවුන් නොඑවූ නමුත්, ඔව්හු,’සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියති. ඔවුන්ගේ දර්ශන බොරු ය; ඔවුන්ගේ පේන කීම් මුසාවෝ ය. එහෙත්, ඒවා ඉටු වේ යයි ඔව්හු බලාපොරොත්තු වෙති. 7 මා කතා නොකළ නමුත්, සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි නුඹලා කියන විට නුඹලා දුටුවේ නිෂ්ඵල දර්ශනයක් නොවේ ද? පැවසුවේ බොරු පේන කීමක් නොවේ ද?
8 ”එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා නිෂ්ඵල දේ කියන්නටත්, බොරු දර්ශන දකින්නටත් යෙදුණ නිසා, මෙන්න, මම නුඹලාට විරුද්ධ ව සිටිමි. 9 මාගේ බලවත් හස්තය නිෂ්ඵල දර්ශන දකින බොරු දිවැස් කියන දිවැසිවරුන්ට විරුද්ධ ව ඔසවමි. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝ ය; ඉශ්රායෙල්වරුන්ගේ වංශාවලියේ ලියනු නොලබන්නෝ ය. ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
10 ”මක්නිසා ද සාමය නැති කල්හි ‘සාමය’යි ඔව්හු මාගේ සෙනඟ මුළා කරවූවෝ ය; සෙනඟ තාප්පයක් ගොඩනඟන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති. 11 පදම් නොකළ බදාම දැමූ අයට මෙය කියන්න. ධාරානිපාත වැස්සක් එන්නේ ය; මහා ගල් වර්ෂාවක් කඩා වැටෙනු ඇත; චණ්ඩ කුණාටුවක් කඩා බිඳ එන්නේ ය; එය වැටෙන්නේ ය. 12 බලන්න, තාප්පය වැටුණු කල, ‘නුඹලා ගෑවා වූ බදාම කොයි දැ’යි මනුෂ්‍යයෝ නුඹලාට නොකියත් ද?
13 ”එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එය විනාශ කරන පිණිස, මම උරණ වී චණ්ඩ කුණාටුවක් ද කෝප වී ධාරානිපාත වැස්සක් ද උදහස් වී ගල් වර්ෂා ද එවන්නෙමි. 14 මෙසේ නුඹලා පදම් නොකළ බදාම ගෑවා වූ තාප්පය කඩාදමා, මම එහි අත්තිවාරම මතු වන හැටියට එය බිම හෙළන්නෙමි. එය වැටෙනු ඇත. නුඹලා ද ඊට යට වී විනාශ වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
15 ”මෙසේ මාගේ කෝපය තාප්පය පිටත්, එහි පදම් නොකළ බදාම ගෑ අය පිටත් වගුරුවා, ‘තාප්පය නැත, එහි බදාම ගෑවා වූ අයත් නැතැ’යි නුඹලාට කියන්නෙමි. 16 ඔව්හු නම්, ජෙරුසලම ගැන දිවැස් වැකි කියමින් ‘සාමය නැති කල්හි අප උදෙසා සාම දර්ශන දකින ඉශ්රායෙල් දිවැසිවරුය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”

බොරු දිවැසිවරියන් හෙළා දැකීම

17 තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, සිය සිතින් දිවැස් වැකි මවා කියන සෙනඟගේ දූවරුන්ට විරුද්ධ ව නුඹේ මුහුණ යොමා, ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියමින්, 18 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක: මිනිසුන් තමන් බලයට යටත් කරගැනීම සඳහා අතේ බඳින පිණිස සියලු දෙනාට යන්ත්‍ර මන්ත්‍ර ජප කරන, හිසේ දමාගන්න පිණිස නන්වැදෑරුම් හිස් වැසුම් මිනිසුන්ට සාදා දෙන ස්ත්‍රීන්ට වන විපතක මහත! නුඹලා මාගේ සෙනඟගේ ප්‍රාණ නාස්ති කරමින්, නුඹලාගේ ම ප්‍රාණ බේරාගන්නට නුඹලාට පුළුවන් ද? 19 බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා බොරු කීමෙන් ද මරණය විඳින්න සුදුසු නැති අය මරමින් ද ජීවත් වීමට සුදුසු නැති අයට ජීවත් වීමට ඉඩ දෙමින් ද නුඹලා යව අහුරු හා රොටි කෑලි ලබාගැනීමට මාගේ සෙනඟ අතරේ මා කෙලෙසුවහු ය.
20 ” ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනිසුන්ගේ ජීවිතයත්, මරණයත් කෙරේ බලය පාන පිණිස නුඹලා භාවිත කරන මන්ත්‍ර නූල්වලට මම ද්වේෂ කරමි. මම ඒවා නුඹලාගේ අත්වලින් උදුරාදමා, නුඹලා දමනය කරගෙන සිටින අය නිදහස් කර හරින්නෙමි. 21 නුඹලාගේ හිස් වැසුම් මම ඉරාදමා, මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. ඔවුන් යටත් කර ගැනීමට නුඹලාගේ අතට අසුවන්නට ඉඩ නොදෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
22 ” ‘ධර්මිෂ්ඨයන් මා අධෛර්ය නොකළ නමුත්, නුඹලා බොරු කියා ඔවුන් අධෛර්ය කළහු ය. දිවි ගළවාගන්න පිණිස නපුරු මිනිසුන්ට ඔවුන්ගේ නපුරුකම් අත්හරින්නට ඉඩ නොදී ඔවුන්ට දිරි දුන්නහු ය. 23 නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහු ය. පේන නොකියන්නහු ය. මම ද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය’යි කියන්න.”

 

– 14 වන පරිච්ඡේදය –

රූප වන්දනාව හෙළා දැකීම

1 එකල්හි ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් සමහරු මා ළඟට අවුත් මා ඉදිරියෙහි හිඳ ගත්තෝ ය. 2 එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 3 ”මනුෂ්‍ය පුත්‍රය, මේ මනුෂ්‍යයන් තමන්ගේ දේව රූපවලට සිය සිත් යොමු කර ඇත; ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දේ දෙසට නෙත් යොමා ඇත. මාගෙන් විමසන්න ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද?
4 ”එබැවින් ඔවුන් සමඟ කතා කර ඔවුන්ට කියන්න, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව රූපවලට සිය සිත් යොමු කරගත්, ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දෙයට නෙත් යොමු කරගත් යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිවැසිවරයා වෙත පැමිණියහොත්, ඔහුගේ දේව රූප බහුල වීම නිසා ස්වාමීන් වන මම ම ඔහුට පිළිතුරු දෙන්නෙමි. 5 මෙසේ කරන්නේ, මුළු ඉශ්රායෙල් වංශය තමන්ගේ දේව රූප කරණකොටගෙන මාගෙන් වෙන් ව ගිය බැවින් ඔවුන් ආපසු මා වෙත දිනාගන්න පිණිස ය.’
6 ”එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හැරී එන්න; නුඹලාගේ දේව රූප ප්‍රතික්ෂේප කරන්න; නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අත් හරින්න.
7 ”කුමක් නිසා ද, ඉශ්රායෙල් වංශයෙන් හෝ ඉශ්රායෙල්වරුන් අතරෙහි වාසය කරන විදේශීන්ගෙන් හෝ මාගෙන් වෙන් වී තමාගේ දේව රූපවලට නමස්කාර කරමින්, තමාගේ වැටීමට හේතු වන දේ කෙරෙහි සිත් යොමු කරමින් සිටින යම් කිසිවෙකු දිවැසිවරයෙකු මඟින් මාගෙන් කරුණු විමසන්න පැමිණි කල්හි සමිඳාණන් වහන්සේ වන මම ම ඔහුට පෞද්ගලික වශයෙන් පිළිතුරු දෙන්නෙමි. 8 මම ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ආදර්ශයක් හා පාඩමක් වශයෙන් මම ඔහු මාගේ සෙනඟ අතරෙන් නෙරපා දමන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
9 ”දිවැසිවරයා රැවටී කතා කරයි නම්, ඒ දිවැසිවරයා රවටා ඇත්තේ සමිඳාණෝ වන මම ය. මම ඔහුට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙන් ඔහු නෙරපාදමමි. 10 ඔවුන් තමන්ගේ අයුතුකමේ විපාකය විඳිනු ඇත. දිවැසිවරයාගේ වරදත්, ඔහුගෙන් විමසන්නාගේ වරදත්, එක හා සමාන ව බරපතල වන්නේ ය. 11 මෙසේ වන්නේ, ඉශ්රායෙල් වංශය මා වෙතින් තවත් මුළා ව නොගොස්, තමන්ගේ සියලු අපරාධවලින් තවත් නොකෙලෙසී ඔවුන් මාගේ සෙනඟ වන පිණිසත්, මා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිසත් ය. මෙසේ පවසන්නේ දෙවියන් වහන්සේ ය.”

ධර්මිෂ්ඨයා පමණක් ජීවත් වීම

12 සමිඳාණන් වහන්සේ තවදුරටත් මට කතා කොට මෙසේ වදාළ සේක: 13 ”මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම් කරමින් මට විරුද්ධ ව පව් කරන්නේ නම්, මම ඊට විරුද්ධ ව මාගේ අත දිගු කොට එහි කෑම තොග නැති කරදමා, ඊට විරුද්ධ ව සාගතය යවා, මනුෂ්‍යයන් සහ මෘගයන් විනාශ කරදමන්නෙමි. 14 එකල්හි නෝවා ද දානියෙල් ද ජෝබ් ද යන මේ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, ඔවුන්ට තමන්ගේ ධර්මිෂ්ඨකමින් ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ප්‍රාණ පමණකි. 15 චණ්ඩ මෘගයන්ට භීතියෙන් කිසිවෙකුට දේශයෙහි ගමන් කළ නොහැකි වන පරිදි එය පාළුවක් වනතෙක් නාස්ති කරන පිණිස මා විසින් මෘගයන් එහි යවනු ලබන විට, 16 ඒ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය. ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකි. දේශය ද පාළුවක් වනු ඇත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
17 ”නොහොත් මා යුද්ධ කඩුවක් ඒ දේශයට විරුද්ධ ව පමුණුවා, ‘කඩුව, දේශය මුළුල්ලෙහි යව’ කියා එතැනින් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන විට, 18 ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත් මගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය; ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
19 ”මා ඒ දේශයට වසංගතය එවා එතැනින් මනුෂ්‍යයන් ද මෘගයන් ද විනාශ කරදමන පිණිස මාගේ කෝපය ඒ කෙරෙහි වගුරුවා බොහෝ දෙනා විනාශ කරදමන විට, 20 නෝවා ද දානියෙල් ද ජෝබ් ද එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි, ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය; ඔවුන් තමන්ගේ ධර්මිෂ්ඨකමින් සිය ප්‍රාණය පමණක් ගළවාගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
21 ”තවද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් ද සිඳදමන පිණිස මා විසින් ඊට මාගේ තද දඬුවම් සතර වන කඩුව ද සාගතය ද චණ්ඩ මෘගයන් ද වසංගතය ද යැවූ කල්හි තව කොපමණ වැඩියෙන් බලාපොරොත්තු හීන වන්නේ ද? 22 එහෙත්, එහි පුත්‍රයෝ ද දූවරු ද ස්වල්ප දෙනෙකු ඉතිරි වුණොත් ඔව්හු පිටතට පමුණුවනු ලබන්නෝ ය. ඔවුන් නුඹලා වෙත පැමිණෙන විට ඔවුන් දෙස බලන්න. නුඹලා ඔවුන්ගේ හැසිරීම ද ඔවුන්ගේ ක්‍රියා ද සලකා බලන්න. එවිට මා ජෙරුසලමට කළ සියලු හානි ද ඒ පිට පැමිණෙවූ සියලු විපත්ති ද යුක්ති සහගත බව නුඹලාට පෙනෙනු ඇත. 23 නුඹලා ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා ද දුටු විට නුඹලා සැනසෙනු ඇත. කුමක් නිසා ද, මා එහි කළ සියල්ල නිකරුණේ නොකළ බව නුඹලා දැනගනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ ”

 

– 15 වන පරිච්ඡේදය –

මිදි වැලේ උපමාව

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, වනයේ ගසක අත්තක ලීයට වඩා මිදි වැලේ ලීවල අගයක් තිබේ ද? 3 මිදි වැලේ ලීයෙන් කිසිවක් තැනිය හැකි ද? නොහොත් යම් භාජනයක් එල්ලා තබන්න ඇබයක් වත් සාදාගත හැකි ද? 4 බලන්න, එය දර පිණිස ගින්නට දැමෙයි. එහි කොන් දෙක ගින්නෙන් දැවී ගොස් මැදත් අඟුරු වී ඇත. එය යම් වැඩකට සුදුසු ද? 5 එය හොඳින් තිබිය දී වත් කිසි වැඩකට සුදුසු නො වී ය. එසේ නම්, එය ගින්නෙහි දැවී අඟුරු වී තිබිය දී කිසිවකට සුදුසු වන්නේ කෙසේ ද? යම් වැඩකට යොදාගත හැකි ද?
6 ”එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම වනයෙන් මිදි වැලේ ලීය ගෙන පුළුස්සාදැමුවාක් මෙන් ජෙරුසලම් වැසියන්ට දඬුවම් කරන්නෙමි. 7 මම ඔවුන්ට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ඔවුන් ගින්නෙන් බේරී ගිය නමුත්, දැන් ගින්නෙන් ඔවුන් දැවී යනු ඇත. මා ඔවුන්ට විරුද්ධ ව මාගේ මුහුණ අහකට හරවාගත් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. 8 ඔවුන් ද්‍රෝහිකම් කළ නිසා මම දේශය මරුකතරක් කරන්නෙමි.’ ”

 

– 16 වන පරිච්ඡේදය –

අවිශ්වාසී ජෙරුසලම

1 නැවතත් සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමට ඇගේ පිළිකුල් ක්‍රියා දන්වමින් මෙසේ කියන්න: 3 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ජෙරුසලමට මෙසේ වදාරන සේක. ”
” ‘ආරම්භය හා උපත අනුව නුඹ කානානිවරුන්ගේ දේශයට අයිති ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙකි. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියකි. 4 නුඹ උපන් දවසේ දී, නුඹ උපන් කල කිසිවෙකු නුඹේ පෙකනිවැළ කැපුවේ වත්, පිරිසිදු කිරීමට නුඹ වතුරෙන් නෑවුවේ වත්, නුඹේ ඇඟේ ලුණු කොහෙත් ම ගෑවේ වත්, නුඹ හාන් රෙදිවලින් එතුවේ වත් නැත. 5 නුඹට අනුකම්පා කොට මේවායින් එකක් වත් නුඹට කරන පිණිස කිසිවෙක් නුඹ දෙස දයාවෙන් නොබැලුවේ ය. නුඹ උපන් දවසේ දී නුඹ පිළිකුල් කරනු ලැබ නුඹ එළිමහනේ පිටතට විසි කරදමනු ලැබුවෙහි ය.
6 ” ‘මා නුඹ ළඟින් යන විට නුඹ ලේවල වැතිර සිටිනු දැක, ‘නුඹ ලේවල වැතිර සිටිය දී ජීවත් වී 7 කෙතේ පැළයක් මෙන් වැඩෙන්නැ’යි මම කීවෙමි. නුඹ ද වැඩී, උස් වී පූර්ණ වියට පැමිණියෙහි ය. නුඹේ පියයුරු සෑදුණේ ය. නුඹේ ඉසකේ ද වැඩුණේ ය. එහෙත්, නුඹ නිර්වස්ත්‍ර ව නග්න ව සිටියෙහි ය.
8 ” ‘යළිත් මම නුඹ ළඟින් යන විට නුඹ පෙම් බැඳීමේ වයසට පැමිණ සිටි බව දිටිමි. මම මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම් දී, නුඹ සමඟ ගිවිසුමක් කර, ‘නුඹ ද මට අයිති වූවෙහි ය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සේක.
9 ” ‘එවිට මම නුඹ වතුරෙන් නාවා, නුඹේ සිරුරෙන් ලේ සෝදා හැර නුඹ තෙලින් ආලේප කෙළෙමි. 10 විසිතුරු වැඩදැමූ වස්ත්‍ර මම නුඹට පළඳවා, කදිම හම් පාවහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් වසා පට රෙදිවලින් නුඹ සැරසුවෙමි. 11 මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලු ද නුඹේ ගෙල වටා මාලයක් ද දැමුවෙමි. 12 නුඹේ නාසයේ ආභරණයක් ද නුඹේ කන්වල කුණ්ඩලාභරණ ද නුඹේ හිසේ අලංකාර ඔටුන්නක් ද තැබුවෙමි. 13 මෙසේ නුඹ රන් රිදීවලින් සැරසී සිටියෙහි ය; නුඹේ වස්ත්‍ර සිහින් හණ රෙදිවලින් හා විසිතුරු දුහුල් රෙදිවලින් විය. නුඹ සිහින් පිටි ද මී පැණි ද තෙල් ද කෑවෙහි ය. නුඹ අතිශයින් ම ශෝභමාන වී රැජිනක බවට පත් වූයෙහි ය. 14 නුඹේ ශෝභනකම නිසා නුඹේ යසගොස දස දෙස පැතිර ගියේ ය. මක්නිසා ද, මා නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා නුඹේ ශෝභමානකම පරිපූර්ණ වී ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
15 ” ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එහෙත්, නුඹේ ශෝභමානකම පිට නුඹ විශ්වාසය තබා, නුඹේ කීර්තිය වේශ්‍යාකම් කිරීමට වාසියක් කරගෙන, ළඟින් යන එකිනෙකා නුඹේ වේශ්‍යාකමට පොළඹවා ගත්තෙහි ය. 16 නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් ගිරිකුළු දේවාල සාදාගෙන එහි වේශ්‍යාකම් කෙළෙහි ය. එවැන්නක් පෙර සිදු වුණේ වත්, මතු සිදු වන්නේ වත් නැත. 17 මා නුඹට දුන් මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන, නුඹ පුරුෂයන්ගේ රූප සාදාගෙන ඒවා සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. 18 නුඹේ විසිතුරු වස්ත්‍රවලින් නුඹ ඒවා වසා, මාගේ තෙල් ද මාගේ සුගන්ධ ද්‍රව්‍ය ද ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය. 19 මා විසින් නුඹට දෙන ලද මාගේ කෑම වන සිහින් පිටි ද තෙල් ද මී පැණි ද නුඹ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය.
20 ” ‘තවද, මා උදෙසා නුඹ වැදූ නුඹේ දරුදැරියන් ද රැගෙන නුඹ ඒ පිළිමවලට ආහාර මෙන් පූජා කෙළෙහි ය. 21 නුඹ වේශ්‍යාකම් කළා පමණක් නොව, නුඹ මාගේ දරුවන් ඝාතනය කර ගිනි පූජාවක් ලෙස ඔප්පු කෙළෙහි ය. 22 නුඹේ සියලු පිළිකුල් ක්‍රියාවල දී ද වේශ්‍යාකම්වල දී ද නුඹ නිර්වස්ත්‍ර ව, නග්න ව, නුඹේ ලේවල වැතිර සිටි නුඹේ බාල කාලය නුඹ කවදාවත් සිහි නො කෙළෙහි ය.’ ”

වේශ්‍යාකම් කළ ජෙරුසලම

23 ” ‘එම්බා ජෙරුසලම! නුඹට වන දරුණු විපතක මහතැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. මන්ද, නුඹේ සියලු දුෂ්ටකම්වලට පසු, 24 නුඹ සෑම වීදියක ප්‍රසිද්ධ තැන්වල වේශ්‍යාකම් කිරීම සඳහා ද දේව රූපවලට නැමදීම සඳහා ද ස්ථාන සාදාගත්තෙහි ය. 25 නුඹ සියලු මංසන්ධිවල නුඹේ ගිරිකුළු දේවාල ගොඩනඟාගෙන, නුඹේ ශෝභමානකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට කම් සැප සඳහා සිරුර භාර දී වේශ්‍යාකම් පිට වේශ්‍යාකම් කරගත්තෙහි ය. 26 තවද කම් සැපට සුපුරුදු, ශරීරයෙන් තර ව සිටින නුඹේ අසල්වාසීන් වන මිසර වැසියන් සමඟ නුඹ වේශ්‍යාකම් කොට මා කො‍්ප කරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය.
27 ” ‘එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කොට, නුඹේ කෑම කොටස අඩු කර, නුඹට වෛර වන, නුඹේ සල්ලාල ජීවිතය ගැන ලජ්ජාවට පත් ව සිටින, පිලිස්තිවරුන්ගේ කාන්තාවන්ගේ ආශාවට නුඹ භාර දිනිමි.
28 ” ‘එයින් ද නුඹ සෑහීමට පත් නොවී, නුඹ අසිරියන්වරුන් සමඟ ද වේශ්‍යාකම් කෙළෙහි ය. 29 නුඹ කානාන් දේශයෙහි දී කල්දියාව දක්වාත් නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය. එහෙත්, නුඹ එයිනුත් සෑහීමට නොපැමිණියෙහි ය.
30 ” ‘අසංවර වේශ්‍යා ස්ත්‍රියකගේ ක්‍රියා වන මේ සියල්ල කරන නුඹ දොළදුකින් සිටිනු නොවේ දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසන සේක. 31 එසේ ය, නුඹේ සියලු මාර්ගවල නුඹ යහන් තනාගෙන සියලු වීදිවල නුඹේ කඳු මත පූජාස්ථාන සාදාගත්තෙහි ය. එහෙත්, සාමාන්‍ය වෙසඟනක සේ නුඹට මුදල් ලබාගැනීමේ ආශාවක් නැත. 32 නුඹ නම්, සිය ස්වාමි පුරුෂයාට ප්‍රේම කරනු වෙනුවට අමුත්තන් සමඟ කම් සැප විඳින ස්ත්‍රියක වැනි ය. 33 සියලු වේශ්‍යාවන්ට යම් මුදලක් ගෙවනු ලැබේ. එහෙත්, නුඹ නුඹේ සියලු පෙම්වතුන්ට නුඹේ මුදල් දී, නුඹ සමඟ වේශ්‍යාකම් කිරීමට, හැම අතින් ම නුඹ සමඟ කම් සැපෙහි යෙදෙන්න නුඹ ඔවුන්ට තෑගි බෝග දුන්නෙහි ය. 34 එබැවින් නුඹේ වේශ්‍යාකම්වල දී නුඹේ හැසිරීම අන් ස්ත්‍රීන්ට වඩා වෙනස් ය. කුමක් නිසා ද, වේශ්‍යාකමට කිසිවෙක් නුඹ පස්සේ එන්නේ නැත. නුඹ මුදල් දෙනවා මිස කිසිවෙක් නුඹට මුදල් දෙන්නේ නැත. මේ නිසා නුඹ අන් වෙසඟනන්ට වඩා වෙනස් ය.’ ”

ජෙරුසලම කෙරෙහි දේව විනිශ්චය

35 ” ‘එබැවින්, එම්බා වෙසඟනක වන ජෙරුසලම! සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:
36 ” ‘නුඹ විළිබිය නොතකා, නග්න වී, නුඹේ පෙම්වතුන් හා පිළිකුල් රූප සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. ඒ රූපවලට පූජාවන් මෙන් දරුවන් මැරුවෙහි ය. 37 එබැවින් නුඹ කම් සැපට වසඟකරගත් නුඹේ සියලු ප්‍රේමවන්තයන් ද නුඹ ප්‍රේම කළ සියල්ලන් ද නුඹ වෛර කළ සියල්ලන් ද මම රැස් කරමි. මම ඔවුන් නුඹට විරුද්ධ ව නුඹ වටේට රැස් කොට, ඔවුන් නුඹේ නග්න භාවය දකින පිණිස නුඹ නිරුවත් කොට දක්වාලමි . 38 පර පුරුෂ සේවනයෙහි යෙදෙන මිනීමරු කාන්තාවන්ට ම දිය යුතු නිසි විනිශ්චය දී, නුඹට දඬුවම් කොට නුඹ උදහසට හා කෝපයට ලක් කිරීමට මම සලසන්නෙමි. 39 මම නුඹ ඔවුන්ට පාවා දෙන්නෙමි. ඔවුන් නුඹේ උස් තැන් සමතලා කර, ගිරිකුළු දේවාල කඩාදමා, නුඹේ වස්ත්‍ර ඉරාදමා, නුඹේ අලංකාර ආභරණ ගලවා නුඹ සහමුලින් ම නිර්වස්ත්‍ර කරනු ඇත.
40 ” ‘ඔවුන් නුඹට විරුද්ධ ව සෙනඟක් පොළඹවා, නුඹට ගල් ගසා, ඔවුන් තමන්ගේ කඩුවලින් නුඹ කපා කැබලි කරනු ඇත. 41 ඔවුන් නුඹේ ගෙවල් ගිනි ලා, බොහෝ ස්ත්‍රීන් බලා සිටිය දී නුඹ කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරනු ඇත. වේශ්‍යාකම් කිරීමෙන් මම නුඹ නවත්වන්නෙමි; පෙම්වතුන්ට මුදල් දීම ද නවත්වන්නෙමි. 42 මෙසේ නුඹට විරුද්ධ ව ඇති මාගේ උදහස ද මාගේ ඊර්ෂ්‍යාව ද නුඹ කෙරෙන් පහ ව යනු ඇත. මම සන්සුන් ව තවත් උදහස් නොවී සිටින්නෙමි. 43 නුඹ නුඹේ බාල කාලය අමතක කොට, නුඹ කළ සියල්ලෙන් මා උදහස් කළ බැවින් එහි දුර්විපාක මම නුඹ පිට පැමිණෙව්වෙමි. නුඹ ද නුඹේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට, මේ නපුරු දූෂ්‍යකම් කෙළේ මන්දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේක.’ ”

මව යම් සේ ද දුවත් එසේ ම ය

44 ”උපමා කියන අය, ‘මව යම් සේ ද දුවත් එසේ ම ය’ යන මේ ප්‍රස්තාව පිරුළ නුඹ ගැන කියනු ඇත. 45 ඇත්තට ම නුඹ පුරුෂයාටත්, දරුවාටත් ද්වේෂ කළ මවගේ දුව ය; නුඹ පුරුෂයන්ට ද දරුවන්ට ද ද්වේෂ කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරී ය. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියක් ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙක් ය.
46 ”නුඹේ වැඩිමහල් සහෝදරී වූකලී නුඹට උතුරු පැත්තෙන් සිය දූවරුන් සමඟ වාසය කරන සමාරිය දේශය වේ. නුඹේ බාල සහෝදරී නුඹට දකුණු පසින් සිය දූවරුන් සමඟ වාසය කරන සොදොම් පෙදෙස වේ. 47 එහෙත්, නුඹ ඔවුන් ගිය මාර්ගයෙන් යෑමෙන් වත්, ඔවුන් කළ පිළිකුල් ක්‍රියා කිරීමෙන් වත් සෑහීමට නොපැමිණ නොබෝ කලකින් ඔවුන්ටත් වඩා නුඹේ කල්ක්‍රියාවෙන් දුෂ්ටකම් කෙළෙහි ය.
48 ”මාගේ ජීවමාන නාමයෙන් මෙසේ දිවුරා කියමි; නුඹ සහ නුඹේ දූවරුන් කළ ලෙස නුඹේ සහෝදරී වූ සොදොම සහ ඇගේ දූවරුන් කෙළේ නැත් මැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 49 නුඹේ සහෝදරී වූ සොදොම්ගේ අපරාධ මෙසේ ය: ඈ සහ ඇගේ දූවරු අහංකාරී ව සිටියහ; අධික ආහාර ද සැප පහසුකම් ද ඇති ව සිටියහ. එහෙත්, ඔවුන් අසරණයන් ද දිළිඳුන් ද සැලකුවේ නැත. 50 ඔවුන් උඩඟු ව සිට මා ඉදිරියෙහි පිළිකුල් ක්‍රියා කළ බැවින්, එය දුටු විට මම ඔවුන් ඉවත් කෙළෙමි.
51 ”සමාරිය නුඹ කළ පව්වලින් අර්ධයක් වත් නොකළා ය. නුඹ ඔවුන්ට වඩා අධික ලෙස පිළිකුල් ක්‍රියා කෙළෙහි ය. ඒ සමඟ සැසඳූ විට නුඹේ සහෝදරියන් පෙනෙන්නේ ධර්මිෂ්ඨයන් වශයෙනි. 52 නුඹේ සහෝදරියන්ට යුතු ය යි නුඹ සිතූ ලජ්ජාව දැන් නුඹ දරාගත යුතු ය. ඔවුන්ගේ පාපවලට වඩා නුඹේ පාප කොතරම් පිළිකුල් සහිත දැ යි කීවොත්, නුඹ හා සසඳා බැලූ විට ඔවුන් නුඹට වඩා ධර්මිෂ්ඨයන් සේ පෙනේ. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨ ලෙස පෙනෙන්නට සැලැසූ බැවින් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න.”

සොදොම් හා සමාරියේ පුනරුත්ථාපනය

53 ”සමිඳාණන් වහන්සේ ජෙරුසලම අමතා මෙසේ වදාළ සේක: ‘සොදොම් සහ එහි ගම් ද සමාරිය සහ එහි ගම් ද මම යළි සමෘද්ධිමත් කරන්නෙමි. එසේ ම ජෙරුසලම, මම නුඹ ද ඔවුන් මැද සමෘද්ධිමත් කරන්නෙමි. 54 නුඹ ගැන ම නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහි ය. නුඹේ නින්දාවට සම කළ විට නුඹේ සහෝදරියන් කොතරම් සමෘද්ධිමත් දැ යි පෙනී යනු ඇත. 55 නුඹේ සහෝදරියන් වන සොදොම් සහ එහි ගම් ද තමන්ගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත; සමාරිය සහ එහි ගම් ද තමන්ගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත; නුඹ සහ නුඹේ ගම් ද නුඹලාගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත. 56-57 නුඹේ දූෂණ හෙළි කරනු ලබන්න පෙර, නුඹ අහංකාරී ව සිටි කාලයේ දී නුඹ සොදොම්ට උසුළු-විසුළු කළා නොවේ ද? දැන් නුඹ සොදොම් මෙන් ඒදොම්වරුන්ට ද පිලිස්තිවරුන්ට ද විහිළුවක් වී ඇත. නුඹට ද්වේෂ කළ නුඹේ අසල්වාසීන්ට ද නුඹ විහිළුවක් වී ඇත. 58 නුඹ කළ අශික්ෂිත පිළිකුල් කටයුතු ක්‍රියාවල විපාකය නුඹ දැරිය යුතු ය.’ මෙසේ පැවසුවේ සමිඳාණන් වහන්සේ ය.”

සදහට ම පවතින ගිවිසුමක්

59 ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ගිවිසුම කඩ කරමින්, දිවුරුම සුළු කළ නුඹේ ක්‍රියාවලට සුදුසු ලෙස මම නුඹ ගැන ක්‍රියා කරන්නෙමි. 60 එහෙත්, මා නුඹේ බාල කාලයේ දී නුඹ සමඟ කළ මාගේ ගිවිසුම සිහි කොට, සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි. 61 නුඹේ වැඩිමහල් වූ ද බාල වූ ද සහෝදරියන් ආපසු පිළිගත් විට නුඹ නුඹේ කල්ක්‍රියාව සිහි කොට ලජ්ජාවන්නෙහි ය. නුඹ සමඟ මා කළ ගිවිසුමේ කොටසක් නොවූවත්, මම ඔවුන් දූවරුන් කොට නුඹට දෙන්නෙමි. 62 මාගේ ගිවිසුම නුඹ සමඟ යළි පිහිටුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය. 63 නුඹ කළ සියලු වරදට මම නුඹට කමා වන්නෙමි. එහෙත්, නුඹ ඒවා සිහි කොට ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින්නෙහි ය. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

 

– 17 වන පරිච්ඡේදය –

රාජාලීන් හා මිදිවැල ගැන උපමාව

1 සමිඳාණන් වහන්සේ මට කතාකොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් වංශයට ප්‍රහේලිකාවක් ද උපමාවක් ද කියමින්, 3 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි පවසන්න. ‘විශාල පියාපත් ද දිග පිහාටු ද නා නා පැහැ ඇති පිහාටු රැසකින් ද විසිතුරු වූ යෝධ රාජාලියෙක් ලෙබනොන්ට අවුත් කිහිරි ගහේ මුදුන කඩා ගත්තේ ය. 4 ඔහු එහි මුදුන් රිකිලි කඩා, වෙළහෙළඳාම් කරන දේශයකට එය ගෙනවුත් වෙළෙඳුන්ගේ නුවරක එය සිටෙව්වේ ය. 5 ඔහු දේශයෙන් පැළෑටියක් රැගෙන සාරවත් බිමක සිටෙව්වේ ය. ඔහු එය බොහෝ දිය ඇති ගඟක් ළඟ පැළෑටියක් මෙන් සිටෙව්වේ ය. 6 එය වැඩී පැතිරී යන විට මිදි වැලක් වී ය. එහි අතු රාජාලියා දෙසට වැඩී ගියේ ය. එහි මුල් ගැඹුරට ඇදී ගියේ ය. මෙසේ එහි අතු රිකිලි විහිදී මිදි වැලක් විය.
7 ” ‘තවද, මහා පියාපත් සහ බොහෝ පිහාටු ඇති තවත් යෝධ රාජාලියෙක් විය. එවිට අර මිදි වැල සිය මුල් ඔහු දෙසට හරවා, ඔහු එයට වතුර වත් කරනු ඇතැ යි යන බලාපොරොත්තුවෙන් එහි පිහිටුවා තිබුණු පාත්තිවලින් එහි අතු ඔහු දෙසට හැරෙව්වේ ය. 8 සරු සාර මිදි වැලක් වනු වස්, අතු ලියලා පල දෙන පිණිස එය සාරවත් බිමක බොහෝ දිය ඇති ගඟක් ළඟ හිටවා තිබුණේ ය.
9 ” ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ අසන සේකැ යි කියන්න. ඒ මිදි වැල සඵල වේ ද? එය වියළී යන පිණිස පළමු රාජාලියා එහි මුල් උදුරා, පල කඩාදමා සියලු ළා දලු වියළී යන්නට හරින්නේ නැද් ද? මුල් පිටින් එය උදුරාදමන්නට ශක්තිසම්පන්න හස්තයක් වත්, බලවත් සෙනඟ වත් ඕනෑ නොවන්නේ ය. 10 එය අන් තැනක සිටුවා තිබෙන නමුත්, එය සශ්‍රීක වේ ද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහමුලින් ම වියළී නොයන්නේ ද? එය වැඩෙන පාත්තිවල ම එය වියළී යන්නේ නැද් ද?’ ”

උපමාවේ තේරුම

11 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 12 ”මේ කරුණු කවරේ ද කියා නුඹලා දන්නේ නැද්දැ”යි කැරලිකාර වංශයට කියන්න. බබිලෝනියේ රජ ජෙරුසලමට අවුත් එහි රජු සහ එහි අධිපතීන් ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙන ගියේ ය.
13 ”ඔහු රාජ වංශයේ කෙනෙකු ගෙන, ඔහු සමඟ ගිවිසුමක් කොට, ඔහු විශ්වාස ව සිටින බවට දිවුරුම් ගත්තේ ය. ඉක්බිති ඔහු දේශයේ ප්‍රධානීන් ගෙන ගියේ ය. 14 මෙසේ කෙළේ, රාජ්‍යය පහත් තත්ත්වයේ ම සිට උසස් නොවන පිණිසත්, ගිවිසුම පවත්වන බවට සහතික වන ලෙසත් ය. 15 එහෙත්, ජුදාවේ රජ කැරලිගසා අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්න පිණිස තමාගේ තානාපතියන් මිසරයට යැව්වේ ය. ඔහු ජය ගනීවි ද? මෙබඳු දේ කරන්නාට ගැළවෙන්න පුළුවන් ද? ගිවිසුම කඩ කළායින් පසුත් ඔහුට ගැළවෙන්න හැකි වේ ද?
16 ”මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘ඔහු රජකමට පත් කළ රජුගේ දිවුරුම් ඔහු සුළු කොට ඔහුගේ ගිවිසුම කඩ කළ නිසා, ඔහු ඒ රජු වාසය කරන බබිලෝනියේ දී ම ඒ රජු ළඟ ම නසින්නේ ය. 17 ඔහු බොහෝ දෙනෙකු සිඳදමන පිණිස පස් කඳු සාදා බලකොටු ගොඩනඟන කල, යුද්ධයෙහි දී පාරාවෝ තමාගේ බලවත් සේනාව ද මහා සමූහය ද ඇති ව ඔහු උදෙසා කිසි උදව්වක් කරන්නේ නැත. 18 මන්ද, ඔහු ගිවිසුම කඩ කර දිවුරුම සුළු කෙළේ ය. ඔහු අත හිත දී තිබුණ නමුත්, මේ සියල්ල කෙළේ ය. ඔහු නොගැළවෙන්නේ ය.’ ”
19 එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ඔහු සුළු කෙළේ මාගේ දිවුරුම ය; ඔහු කඩ කෙළේත් මාගේ ගිවිසුම ය; මම ද ඔහුට දුර්විපාක දෙන්නෙමි. 20 මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධ ව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහි දී ඔහු විනිශ්චයයට පමුණුවන්නෙමි. 21 ඔහුගේ සියලු හමුදාවලින් පලා යන සියල්ලන් කඩු පහරින් වැටෙනු ඇත. ඉතිරි වන අය සියලු දිශාවලට විසුරුවනු ලබනු ඇත. නුඹලා ද සමිඳාණන් වහන්සේ වන මා එසේ කී බව දැනගන්නහු ය.”

දෙවියන් වහන්සේගේ පොරොන්දුව

22 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:
”උස් වූ කිහිරි ගස් මුදුනෙන් මම ම රිකිල්ලක් ගෙන එය සිටුවන්නෙමි.
එහි මුදුන් රිකිලිවලින් ළපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි.
23 මම එය උස් වූ ඉශ්රායෙල් කන්ද උඩ සිටුවන්නෙමි.
එයින් අතු ලියලන්නේ ය;
එහි පලදාව හටගන්නේ ය;
එය උතුම් කිහිරි ගසක් වන්නේ ය.
පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු යට ලගින්නෝ ය.
ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත.
24 එවිට, ස්වාමීන් වන මා උස් ගහ පහත් කළ බවත්, මිටි ගහ උස් කළ බවත්, සරු ගහ වියළි කළ බවත්, වියළි ගහ සරුකර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත.
ස්වාමීන් වන මම මෙසේ වදාළෙමි;
වදාළ ලෙස ම කරමි.”

 

– 18 වන පරිච්ඡේදය –

පෞද්ගලික වගකීම

1 සමිඳාණන් වහන්සේ මට යළිත් මෙසේ වදාළ සේක:
2 ” ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඉශ්රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද?
3 ”ඉශ්රායෙල්හි මේ ප්‍රස්තාව පිරුළ මින්පසු කියනු නොලැබේ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ නාමයෙන් දිවුරා කියමි. 4 බලන්න, හැම ජීවිතයක් ම මට අයිති ය; පියාගේ ජීවිතය මෙන් පුත්‍රයාගේ ජීවිතයත් මට අයිති ය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයා ම ය.
5 ”දැහැමි මිනිසා නීති ගරුක, අහිංසක පුද්ගලයෙකි, 6 ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත; ඔසප් වී සිටින ස්ත්‍රියක වෙත ළඟා වන්නේ නැත; 7 කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් නොකරන්නේ ය; සාගින්නේ පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය; 8 ඔහු පොලියට මුදල් නොදෙයි; අයුතු ලාභ නොගනියි; නපුරෙන් වැළකෙයි. එකිනෙකා අතරේ සාධාරණ ලෙස යුක්තිය ඉටු කරයි; 9 මාගේ පණත් ප්‍රකාර හැසිරෙයි. මාගේ නියමයන් අවංක ව පවත්වයි. එවැනි මිනිසෙක් ධර්මිෂ්ඨ ය. ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
10 ”මේ මිනිසාට සැහැසිකම් කරන, මිනීමරුවකු වන, මේ නියමයන්ට පිටුපාන පුත්‍රයෙකු සිටින්නට පුළුවන. පියා කිසි අයුතුකමක් නොකළ නමුත්, 11 මේ පුත්‍රයා කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ ය; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ ය. 12 අසරණයාට ද දිළින්දාට ද පීඩා කොට කොල්ලකන්නේ ය; ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු නොදෙන්නේ ය; දේව රූප දෙසට නෙත් යොමා, 13 පිළිකුල් ක්‍රියා කරන්නේ ය; පොලියට දී අයුතු ලාභ ද ගන්නේ ය. ඒ පුත්‍රයා ජීවත් වන්නේ ද? නැත. ඔහු ජීවත් වන්නේ නැත. ඔහු මේ සියලු පිළිකුල් ක්‍රියා කළ බැවින් ඔහු සැබැවින් ම නසින්නේ ය. ඔහුගේ විනාශයට ඔහු ම වගකිව යුතු වේ.
14 ”එහෙත්, ඒ මිනිසාගේ මේ පුත්‍රයාට, තමාගේ පියා කළ සියලු පාප දැක, බිය වී, එලෙස නොකරන පුතෙකු සිටින්නට පුළුවන. 15 ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත. අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත. 16 කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් කරන්නේ නැත; සාගින්නෙන් පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය; වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය; 17 ඔහු නපුරෙන් වැළකී සිටියි. පොලියට මුදල් නොදෙයි. අයුතු ලාභ නොගනියි. මාගේ නියෝග පිළිපැද මාගේ පණත් අනුව හැසිරෙන්නේ ය. මේ මිනිසා තමාගේ පියාගේ අයුතුකම නිසා නොනැසී සැබැවින් ම ජීවත් වන්නේ ය.
18 ”අනිත් අතට ඔහුගේ පියා කෲර ලෙස පීඩා කොට, තමාගේ සහෝදරයාගෙන් කොල්ලකා, තමාගේ සෙනඟ අතරේ නපුරු දේ කළ හෙයින් තමාගේ ම අපරාධ නිසා නැසුණේ ය.
19 ”එහෙත්, පියාගේ අපරාධ නිසා පුත්‍රයා දඬුවම් නොලබන්නේ මන්දැ යි නුඹලා අසනු ඇත. පුත්‍රයා නීති ගරුක ව අවංක ව සිට මාගේ සියලු පණත් පිළිපැද, ඒවා ඉටු කර තිබේ නම්, ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. 20 පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේ ය.
21 ”එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පණත් පවත්වමින් නීති ගරුක ව ද අවංක ව ද සිටියොත්, ඔහු සැබැවින් ම නොනැසී ජීවත් වන්නේ ය. 22 ඔහු කළ ඔහුගේ සියලු වරද ඔහුට විරුද්ධ ව සිහි නොකරනු ලැබේ. ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහු ජීවත්වන්නේ ය. 23 දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වීම මිස ඔහු නැසී යාම කිසි ලෙසකින් වත් මට සතුටක් වනු ඇද්දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසන සේක.
24 ”එහෙත්, ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කොට, දුෂ්ටයා කරන සියලු ම පිළිකුල් ක්‍රියා කළොත්, ඔහු ජීවත් වේ ද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි කරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම් නිසාත්, ඔහු කළ ඔහුගේ පාප නිසාත් ඔහු නසින්නේ ය.
25 ”එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ ය”යි නුඹලා කියන්නහු ය. අහෝ ඉශ්රායෙල්වරුනි! අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද? 26 ධර්මිෂ්ඨයෙකු තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කරමින් සිට නසින කල ඔහු නසින්නේ, තමා කළ තමාගේ අධර්මිෂ්ඨකම් නිසා ය. 27 යළිත්, දුෂ්ටයා තමා කළ දුෂ්ටකමෙන් හැරී, නීති ගරුක ව ද අවංක ව ද සිටින කල ඔහු තමාගේ ජීවිතය රැකගන්නේ ය. 28 ඔහු වරද තේරුම්ගෙන තමාගේ සියලු ම වැරදිවලින් හැරෙන නිසා, ඔහු නොනැසී ජීවත් වන්නේ ම ය. 29 එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා සාධාරණ නැතැ යි ඉශ්රායෙල් වංශය කියති. අහෝ ඉශ්රායෙල් වංශය! මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?
30 ”එබැවින්, අහෝ ඉශ්රායෙල්වරුනි, මම නුඹලා එකින් එකා පෞද්ගලික වශයෙන් තම තමාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. පසුතැවී සිත් හරවා ගෙන නුඹලා කළ සියලු වරද හැර දමන්න; එවිට අයුතුකම නුඹලාගේ විනාශයට කාරණයක් නොවන්නේ ය. 31 නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද? 32 කිසිවෙකු මැරෙනවාට මාගේ කැමැත්තක් නැත. එබැවින්, පාපයෙන් හැරී ජීවත් වන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

 

– 19 වන පරිච්ඡේදය –

විලාප ගීයක්

1 ඉශ්රායෙල් අධිපතීන් ගැන විලාපයක් පවත්වමින් මෙසේ කියන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක: 2 ”නුඹේ මවු කවරෙක් ද? ඈ සිංහයන් මැද ලැගුම්ගත් සිංහ ධේනුවක් ය. තරුණ සිංහයන් අතරෙහි ද ඈ තම පැටවුන් ඇති කළා ය. 3 ඈ ඇති කළ ඇගේ පැටවුන්ගෙන් එකෙක් තරුණ සිංහයෙක් වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය. 4 ඌ ගැන ජාතීන්ට ද සැළ විය. ඌ ඔවුන්ගේ බොරු වළෙහි අසු විය. ඔව්හු උගුලට කොකු දමා ඌ මිසර දේශයට ගෙන ගියෝ ය. 5 ඈ බලා සිට කලකිරී, ඇගේ බලාපොරොත්තුව සුන් ව තිබෙන බව දැක, සිය පැටවුන්ගෙන් තවත් එකෙකු ගෙන ඌ තරුණ සිංහයෙකු වන තෙක් ඇතිදැඩි කළා ය. 6 ඌ ද සිංහයන් අතරේ ගැවසී, තරුණ සිංහයෙකු වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය. 7 ඌ ඔවුන්ගේ මාලිගා කඩාදමා, ඔවුන්ගේ නගර නාස්ති කෙළේ ය. දේශය ද එහි වැසියෝ ද උගේ ගර්ජනා හඬට භීතියෙන් ත්‍රස්ත වූ හ. 8 එවිට ජාතීහු ඔහුට විරුද්ධ ව තමන්ගේ දැල ඌ පිට හෙළුවෝ ය. ඌ ද ඔවුන්ගේ උගුලට අසු විය. 9 ඔව්හු ඌට කොකු දමා, කූඩුවක ලා, බබිලෝනියේ රජු ළඟට ගෙනාවෝ ය. උගේ නාදය ඉශ්රායෙල් කඳුවල තවත් නෑසෙන පිණිස ඔව්හු ඌ බලකොටුවලට ගෙනාවෝ ය.”

වියළි මිදි වැල

10 ”නුඹේ මව දිය දහර අසල සිටු වන ලද මිදි වැලක් මෙන් වූවා ය. එහි බොහෝ වතුර තිබූ නිසා මිදි වැල බොහෝ පල දරා සරුසාර විය. 11 ආණ්ඩුකාරයන්ගේ ජයකොන්ත සෑදීමට සුදුසු සවි ඇති දඬු මිදි වැලට තිබිණි. එය වලාකුළුවල ගෑවෙන තරමට උස් විය. එය කොතරම් උස ද කියාත්, කොතරම් කොළ අතු බහුල ව ඇත් ද කියාත් සියල්ලන්ට ම පෙනුණේ ය. 12 එහෙත්, එය කෝපයෙන් උදුරනු ලැබ, බිමට හෙළනු ලැබුවේ ය. එහි පල පෙරදිග සුළඟට වියළී ගොස් වැටී ගියේ ය. එහි සවි ඇති දඬු කඩනු ලැබී ය. ඒවා වියළී ගොස් ගින්නෙහි දවනු ලැබී ය. 13 දැන් ඒ මිදි වැල කාන්තාරයෙහි දිය සීරා නැති වියළි භූමියක සිටුවා තිබේ. 14 එහි කඳ ගිනිගත්තේ ය. අතු හා පල ගින්නෙන් දැවී ගියේ ය. ආණ්ඩුකාරයන්ගේ ජයකොන්ත සෑදීම පිණිස සවිය ඇති දඬු තවත් එහි නො වී ය. මේ වනාහි විලාප ගීයකි. එය යළි යළිත් ගයනු ලැබී ය.”

 

– 20 වන පරිච්ඡේදය –

දේව කැමැත්ත හා මිනිසාගේ විරුද්ධත්වය

1 සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන්ගෙන් සමහරෙක් සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ගැන විමසන පිණිස අවුත් මා ඉදිරියෙහි හිඳගත්තෝ ය. 2 එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 3 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන්ට කතා කොට ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. නුඹලා පැමිණියේ, මාගේ කැමැත්ත ගැන මාගෙන් විමසන්න ද? මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි: මාගෙන් කිසිවක් ප්‍රශ්න කරන්න නුඹලාට ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
4 මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔවුන් විනිශ්චය කරන්න සූදානම් ද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වමින්, 5 ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මා ඉශ්රායෙල් තෝරාගත් විට, ජාකොබ්ගේ වංශයට මම පොරොන්දුවක් වීමි. 6 මිසර දේශයේ දී මා ඔවුන්ට ප්‍රකාශ වූ දවසේ දී, මම මෙසේ වදාළෙමි: මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ යැයි මිසර දේශයේ දී ඔවුන්ට දිවුරා කීවෙමි. මා ඔවුන් උදෙසා තෝරාගත්, කිරෙන් ද මී පැණියෙන් ද ඉතිරෙන, අන් සියලු දේශවලට වඩා උතුම් දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවන්නෙමි කියා ඒ දවසෙහි මම ඔවුන්ට පොරොන්දු වුණෙමි. 7 ”නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියාව පහකරදමා, මිසරයේ දේව රූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය’යි ඔවුන්ට වදාළෙමි. 8 එහෙත් ඔව්හු මට සවන් දෙන්න කැමැති නොවී මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. ඔවුන් තම තමන්ගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියා පහකරදැමුවේ වත්, මිසරයේ දේව රූප අත්හැරියේ වත් නැත. ඒ නිසා මම මිසර දේශයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි. 9 එහෙත් ඔවුන් වටකර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි. මක්නිසා ද, ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන බවට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට මා ප්‍රකාශනයක් කළ බැවිනි.
10 ” ‘එබැවින්, මම ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනවුත් පාළුකරයට පැමිණෙවුවෙමි. 11 මාගේ ආඥා ඔවුන්ට දී මාගේ පණත් ඔවුන්ට දැන්වීමි. එසේ කෙළේ, ඒවා අනුගමනය කිරීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙන පිණිස ය. 12 තවද, මම ඔවුන් විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක් ව තිබෙන්න මාගේ සබත් දවස පැවැත්වීමට සැලැස්වීමි. 13 එහෙත්, ඉශ්රායෙල් වංශය කාන්තාරයේ දී මට විරුද්ධ ව කැරලිගසා, මාගේ ආඥා අනුව නොහැසිර, මාගේ පණත් ප්‍රතික්ෂේප කළෝ ය. ඒවා ප්‍රතික්ෂේප නොකර, ඒවා පිළිපැදීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙනු ඇත. ඔව්හු මාගේ සබත් දවස් ද බොහෝ සෙයින් කෙලෙසුවෝ ය. එවිට ඔවුන් නැති කර දැමීමට කාන්තාරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවන්නට සිතුවෙමි. 14 එහෙත්, ජාතීන්ට පෙනෙන ලෙස මා ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි. 15 තවද, මා ඔවුන්ට දුන් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන සියලු දේශවලට වඩා උතුම් දේශයට ඔවුන් නොපමුණුවමි යි කාන්තාරයේ දී ඔවුන්ට විරුද්ධ ව අත ඔසවමි යි දිවුරා කීවෙමි. 16 මෙසේ කෙළේ, ඔවුන් මාගේ පණත් එපා කොට, මාගේ ආඥා ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසා ය. මක්නිසා ද, ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේව රූප දෙසට ඇදී ගියේ ය.
17 ” ‘එසේ වූ නමුත්, ඔවුන් විනාශ කර කාන්තාරයේ දී ඔවුන් තීන්දුවට ම නැති කර නොදමන ලෙස මම දයාවෙන් ඔවුන් දෙස බැලුවෙමි. 18 මම කාන්තාරයේ දී ඔවුන්ගේ දරුවන්ට කතා කොට: ‘නුඹලාගේ පියවරුන්ගේ පණත් ප්‍රකාර නොහැසිර, ඔවුන්ගේ නියෝගයන් නොපවත්වා, ඔවුන්ගේ දේව රූපවලින් අපවිත්‍ර නොවී සිටින්න. 19 මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය; මාගේ ආඥා ප්‍රකාර හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා පිළිපදින්න; 20 මාගේ සබත් දින ශුද්ධ ලෙස පවත්වන්න; එවිට මා නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස ඒවා මා සහ නුඹලා අතරේ සලකුණක් වන්නේ ය’යි වදාළෙමි.
21 ” ‘එහෙත් ඒ පරම්පරාව මට විරුද්ධ ව කැරලි ගසා, මාගේ ආඥා අනුගමනය නොකර, මිනිසුන්ට ජීවනය ගෙන දෙන ආඥාවන් අනුව නොහැසිර මාගේ සබත් දින කෙලෙසුවෝ ය. එවිට මම පාළුකරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි. 22 එහෙත්, මා එසේ කිරීමෙන් වැළකී, ජාතීන්ට පෙනෙන ලෙස මා ඔවුන්, මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම එය ක්‍රියාත්මක නොකෙළෙමි. 23 තවද, මම ඔවුන් ජාතීන් අතරට පන්නා දේශවල විසුරුවමි යි කියා පාළුකරයේ දී මාගේ අත ඔසවා දිවුරා ඔවුන්ට කීවෙමි. 24 මා එසේ කෙළේ ඔවුන් මාගේ පණත් නොපිළිපැද, මාගේ ආඥා ප්‍රතික්ෂේප කොට, මාගේ සබත් දවස කෙලෙසූ නිසාත්, ඔවුන්ගේ ඇස් ද තමන්ගේ පියවරුන්ගේ දේව රූප දෙස යොමු වී තිබුණ නිසාත් ය.
25 ” ‘එබැවින් මමත් යහපත් නුවූ ආඥා ද ජීවනය දීමට හැකි නොවන පණත් ද ඔවුන්ට දිනිමි. 26 තවද දේවරූපවලට පුදන ලද ඔවුන්ගේ ම පඬුරුවලින් ඔවුන් දූෂණය වන්නට මම ඉඩ හැරියෙමි. ඔවුන් භීතියෙන් තැති ගන්වන පිණිස ඔවුන්ගේ කුලුඳුල් පුත්‍රයන් ගිනි පූජා කරන්න ඉඩ හැරියෙමි. එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස ය.
27 ” ‘එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරු මට විරුද්ධ ව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාස කළෝ ය. 28 ඔවුන්ට දෙන ලෙස මා අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා ඔවුන් පැමිණෙවූ කල, ඔවුන් දුටු සියලු උස් හෙල් ද අතු පතර ඇති සියලු ගස් ද ඉදිරියෙහි ඔව්හු තමන්ගේ පූජා ඔප්පු කළහ; එසේ පඬුරු පිදීමෙන් ඔව්හු මා උදහසට පත් කළහ. එහි ඔව්හු තමන්ගේ සුගන්ධ ද්‍රව්‍ය පතුරුවා එහි ම තමන්ගේ පාන පූජා වැගිරෙවුවෝ ය. 29 මම ඔවුන්ගෙන් මෙසේ ඇසුවෙමි: නුඹලා යන ගිරිකුළු දේවාල මොනවා ද? ඊට උස් වූ ස්ථානය යන අරුත ඇති ‘බාමා’ යන නම අද දවස දක්වා කියති. 30 එබැවින් ඉශ්රායෙල් සෙනඟට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරුන් කළාක් මෙන් දෙවි දේවතා වැඳීමෙන් හා වේශ්‍යාකම් කිරීමෙන් නුඹලා තමන් ම අපවිත්‍ර කරගන්නහු ද? 31 නුඹලාගේ පුත්‍රයන් ගින්නෙහි පූජා කරමින් නුඹලාගේ පඬුරු ඔප්පු කරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේව රූප කරණකොටගෙන කිළුටු වන්නහු ද? කරුණු මෙසේ ව තිබිය දී ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා තවමත් මාගේ කැමැත්ත විමසන පිණිස පැමිණෙන්නහු ය. මාගේ ජීවමාන නාමයෙන් දිවුරා නුඹලාට මාගෙන් විමසන්න ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 32 ‘අපි විජාතීන් මෙන් ද රටවල ගෝත්‍ර මෙන් ද ලීවලටත්, ගල්වලටත් නමස්කාර කරමු’යි නුඹලාගේ සිත්හි ඇති අදහස කිසි කලක ඉටු වන්නේ ම නැත.” ‘

දේව දඬුවම හා කමාව

33 ”මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරමින්, ප්‍රබල බාහුවෙන් ද මාගේ මුළු බලයෙන් ද මාගේ උදහස වැගිරීමෙන් ද නුඹලා කෙරෙහි රජකම් කරන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 34 ”මම ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, ප්‍රබල බාහුවෙන් ද දිගු කළ හස්තයෙන් ද උදහස වැගිරීමෙන් ද නුඹලා විසිරී සිටින දේශවලින් නුඹලා රැස් කරන්නෙමි. 35 ‘ජන හීන මරුකතරකට’ නුඹලා ගෙනවුත්, එහි දී මුහුණට මුහුණ ලා නුඹලා විනිශ්චයට පමුණුවන්නෙමි. 36 මිසර දේශයේ පාළුකරයේ දී මම නුඹලාගේ පියවරුන් විනිශ්චය කළාක් මෙන් නුඹලා ද විනිශ්චයට පමුණුවන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
37 ”මම නුඹලා දමනය කර මාගේ ගිවිසුමට කීකරු වන්න සලස්වන්නෙමි. 38 තවද, මට විරුද්ධ ව කැරලි ගසන්නන් ද ද්‍රෝහිකම් කරන්නන් ද මම නුඹලාගෙන් වෙන් කොට ඔවුන් පදිංචි වී සිටින දේශයෙන් පිට කරන්නෙමි. එහෙත්, ඔව්හු ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
39 එම්බා ඉශ්රායෙල් වංශය! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා මට සවන් දෙන්නේ නැත්නම්, ගොස් එකිනෙකා තම තමන්ගේ දේව රූපවලට දැනුත් මතුත් සේවය කරන්න. එහෙත්, මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින් ද නුඹලාගේ දේව රූපවලින් ද තවත් නොකෙලෙසන්න. 40 මක්නිසා ද, උස් වූ ඉශ්රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේ දී මුළු ඉශ්රායෙල් වංශය වසන දේශයෙහි සිටින ඔවුන් සියල්ලන් මට සේවය කරනු ඇතැ”යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. ”එහි දී මම ඔවුන් පිළිගන්නෙමි. එහි දී මම නුඹලාගේ පඬුරු ද නුඹලා ඔප්පු කරන ඉස්තරම් දීමනා ද නුඹලාගේ ශුද්ධ පූජා සමඟ මට පුදන්න නියම කරන්නෙමි. 41 මා ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, නුඹලා විසිරී සිටින දේශවලින් රැස් කළ කල්හි, මිහිරි සුවඳක් කොට නුඹලා පිළිගෙන, නුඹලා මඟින් විජාතීන් ඉදිරියෙහි මා ශුද්ධවන්ත බව පෙන්වන්නෙමි.” 42 ”නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මාගේ අත ඔසවා දිවුළ දේශය වන ඉශ්රායෙල් රටට මා නුඹලා පැමිණෙවු කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත. 43 එහි දී නුඹලාගේ සියලු කල්ක්‍රියාවන් ද නුඹලා ම අපවිත්‍ර කරගත් නුඹලාගේ සියලු ක්‍රියා ද නුඹලා සිහි කොට, නුඹලා කළ නුඹලාගේ සියලු ම නපුරු ක්‍රියා නිසා නුඹලාට ම නුඹලා පිළිකුලක් වනු ඇත. 44 ඉශ්රායෙල් වංශය, නුඹලාගේ නපුරු කල්ක්‍රියාවල හැටියට වත්, නුඹලාගේ දූෂ්‍ය ක්‍රියාවල හැටියට වත් නොව, මාගේ නාමය නිසා නුඹලා ගැන මා ක්‍රියා කළ කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.” මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.

දකුණු දිශාවේ ගින්න

45 සමිඳාණන් වහන්සේ මට නැවත කතා කොට මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ දකුණු දෙසට හරවා තබාගෙන, එයට විරුද්ධ ව දේශනය කර, දකුණු පළාතේ වනයට විරුද්ධ ව දිවැස් වැකි කියා, 46 දකුණු දිශාවේ වනයට මෙසේ කියන්න: 47 ‘සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම නුඹ තුළ ගින්නක් දල්වන්නෙමි. එයින් නුඹ තුළ තිබෙන සියලු අමු ගස් ද සියලු වියළි ගස් ද දැවී යන්නේ ය. ඒ ඇවිලෙන ගිනි මැලය නොනිවී, එයින් දකුණේ සිට උතුර දක්වා ඇති සියලු මුහුණු දැවෙන්නේ ය. 48 සමිඳාණන් වහන්සේ වන මා එය දැල් වූ බවත්, කිසිවෙකුට එය නොනිවිය හැකි බවත් සියලු දෙනා දකිනු ඇත.’ ”
49 එහෙත්, මම කතා කොට, ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එසේ කරන්න මට නොසැලැස්සුව මැනව; මා ප්‍රහේලිකා මඟින් කතා කරති යි සියලු දෙනා දැනට ම පැමිණිලි කරති”යි කීවෙමි.

 

– 21 වන පරිච්ඡේදය –

සමිඳාණන් වහන්සේගේ විනාශකාරී කඩුව

1 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ජෙරුසලම දෙසට හරවාගෙන, ශුද්ධස්ථානවලට විරුද්ධ ව දේශනා කර, ඉශ්රායෙල් දේශයට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. 3 ඉශ්රායෙල් දේශයට මෙසේ කියන්න: ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මෙන්න, මම නුඹට විරුද්ධ ය, මම මාගේ කඩුව කොපුවෙන් ඇද ගන්නෙමි; ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් සියලු දෙනා විනාශ කරදමන්නෙමි. 4 මා ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් සියලු දෙනා විනාශ කරදමන බැවින් දකුණේ සිට උතුර දක්වා සිටින සියල්ලන්ට විරුද්ධ ව මාගේ කඩුව කොපුවෙන් ඇදගන්නෙමි. 5 සමිඳාණන් වහන්සේ වන මා මාගේ කඩුව කොපුවෙන් ඇදගත් බව මනුෂ්‍ය වර්ගයා දැනගනු ඇත. නැවත එය කොපුවට දමනු නොලැබේ.’
6 ”එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ සුසුම්ලන්න, හද දෙදරන තරමට ශෝකයෙන් ඔවුන් ඉදිරියෙහි කෙඳිරිගාන්න. 7 ‘නුඹ කෙඳිරිගාන්නේ මන්දැ’යි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ‘අපට ලැබුණ ඒ ආරංචිය නිසා ය; මන්ද, එය පැමිණි විට සියලු සිත් තැවුලට පත් වනු ඇත. සියලු අත් පණ නැති වනු ඇත; සියලු සිත් කැළඹෙනු ඇත. සියලු දණහිස් බියෙන් නැමෙනු ඇත. එය පැමිණෙන්නේ ම ය; එය සිදුවන්නේ ම ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ ”
8 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 9 ”මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින්, ‘සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි පවසන්න. ‘කඩුවක්, සැබැවින් ම කඩුවක්, මුවහත් කොට දිළිසෙමින් තිබේ. 10 එය මුවහත් කර තිබෙන්නේ ඝාතනය පිණිස ය. එය දිළිසෙන්නේ විදුලිය දහරක් මෙන් ය. එසේ නම්, අපට ප්‍රීති වීමට ඉඩක් නැත. මන්ද, මාගේ සෙනඟ හැම අවවාදයක් හා දඬුවමක් නොසලකා හැර ඇත. 11 ඒ කඩුව අතට ගන්න පිණිස මුවහත් කිරීමට දී තිබේ. මරාදමන අයගේ අතට දෙන පිණිස මේ කඩුව දිළිසෙන පරිදි මුවහත් කර තිබේ. 12 මනුෂ්‍ය පුත්‍රය, හඬ නඟා මොරගසන්න. මන්ද, එය මාගේ සෙනඟ පිටත්, සියලු ඉශ්රායෙල් අධිපතීන් පිටත් පැමිණියේ ය. ඔව්හු මාගේ සෙනඟ සමඟ කඩු පහරට පාවා දෙනු ලැබූ හ. එබැවින් ශෝකයෙන් පපුවට ගසාගන්න. 13 මන්ද, මම මාගේ සෙනඟ පරීක්ෂා කර බලන්නෙමි. ඔවුන් වරද පිළිගෙන පසුතැවිලි නොවූවොත්, මේ සියලු දේ ඔවුන් පිට පැමිණෙනු ඇත’ කියා දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
14 ”එබැවින් මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින්, අත් දෙක එකට තට්ටු කරන්න. එවිට කඩුව නැවත නැවත පහර දෙන්නේ ය. එය මාරක කඩුවකි; බිය ගන්වන කඩුවකි; විනාශ කරන කඩුවකි. 15 එය මිනිසුන් අධෛර්යයටත්, දොරටු ළඟ පැකිළී වැටීමටත් සලස්වයි. විදුලිය මෙන් කාන්තිය විහිදුවන, මරාදැමීමට සුදුසු කඩුවකින් මම නගරයේ සිට තර්ජනය කරමි. 16 එම්බා තියුණු කඩුව! දකුණට පහර දෙන්න; වමටත් පහර දෙන්න; හැරෙන හැරෙන අතට පහර දෙන්න. 17 මමත් මාගේ අත් දෙක එකට ගසා, මාගේ කෝපය සංසිඳුවාගන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”

බබිලෝනියේ රජුගේ කඩුව

18 සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක: 19 ”මනුෂ්‍ය පුත්‍රය, කඩු ගත් බබිලෝනියේ රජුගේ පැමිණීම සඳහා මාර්ග දෙකක් නියම කරගන්න; ඒ දෙක ම එක දේශයකින් ආරම්භ වන්නේ ය. මඟ සලකුණක් තබන්න; නුවරට පැමිණෙන මංසන්ධියෙහි ඒක පිහිටුවන්න. 20 කඩුව අම්මොන්වරුන්ගේ නුවර වූ රබ්බාටත්, ජුදාට සහ පවුරෙන් වට වූ ජෙරුසලමටත් පැමිණෙන පිණිස මාර්ගයක් නියම කරන්න. 21 බබිලෝනියේ රජ පේන අසන පිණිස මාර්ග දෙක බෙදී යන තැන දෙමංසන්ධියේ සිටිමින් ඊගස් සොලවා, තෙරාපිම් රූපවලින් විමසා, පූජා කරන ලද සතුන්ගේ අක්මාව සෝදිසි කර බැලුවේ ය. 22 ‘ජෙරුසලම’ යන නම සටහන් කර ඇති ඊගස ඔහුගේ දකුණතට අසු වුණේ ය. යුද්ධ යන්ත්‍ර තබන්නටත් ඝාතනය කරන්න අණ කරන්නටත්, රණ හඬ නගන්නටත්, දොරටුවලට විරුද්ධ ව යුද්ධ යන්ත්‍ර තබන්නටත්, පස් කඳු ඉදි කරන්නටත්, කොටු පවුරු ගොඩනඟන්නටත් ඊගස මඟින් ඔහුට දන්වනු ලැබී ය. 23 ඔවුන් කරගෙන තිබුණ ගිවිසුම් නිසා, මේ පේන කීම බොරුවකැ යි ජෙරුසලම් වැසියෝ සිතති. එහෙත්, ඔවුන් සතුරන්ට අසු වන පිණිස උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිපත් කරන සේක. 24 එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා නුඹලාගේ වැරදි සිහි කර නැත. නුඹලාගේ පාප හෙළි කර ඇත. නුඹලාගේ හැම ක්‍රියාවකින් ම නුඹලාගේ දුෂ්ටකම එළිදරව් වන බැවින් නුඹලා කවුරු දැ යි අමතක වී නැත. එබැවින් මම නුඹලාගේ සතුරන්ට නුඹලා පාවා දෙමි.’
25 ”නපුරු ද දුෂ්ට ද වන ඉශ්රායෙල් අධිපතිය, නුඹට අවසන් දඬුවම් දීමේ කාලය පැමිණ ඇත. 26 ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘කිරීටය ගලවා දමන්න; ඔටුන්න ඉවත් කරන්න; මෙය තිබුණ අන්දමට ම නොවන්නේ ය. පහත් දේ උසස් කරන්න; උසස් දේ පහත් කරන්න. 27 මම නගරය නටබුන් ගොඩක් කරන්නෙමි; එසේ ය, නටබුන් ගොඩක් කරන්නෙමි. නටබුන් ගොඩක් ම කරන්නෙමි. එහෙත්, නගරයට දඬුවම් කරන්න මා තෝරාගෙන තිබෙන තැනැත්තා එන තෙක් මෙය සිදු වන්නේ නැත. ඔහු පැමිණි විට එය ඔහුගේ විනිශ්චයට පාවා දෙන්නෙමි.’

අම්මොන්වරුන්ට අනතුරු ඇඟවීමක්

28 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ දිවැසි වදන් පවසමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට නින්දා කරන අම්මොන්වරුන්ට මෙසේ කියන සේකැ’යි කියන්න. ඔවුන්ට මෙසේ කියන්න: ‘කඩුවක්, සැබැවින් ම ඝාතනය පිණිස වන කඩුවක් කොපුවෙන් ඇද තිබේ. මරාදමන පිණිස එය විදුලිය මෙන් දිළිසෙයි. 29 නුඹලා දකින දර්ශන බොරු ය; නුඹලා පවසන දිවැස් වැකි මුසාවකි; නුඹලා නපුරු ය; දුෂ්ට ය. නුඹලාට නියම දිනය පැමිණෙන්නේ ය. එනම්, අන්තිම දඬුවම් දීමේ දවස පැමිණෙන්නේ ය.
30 ” ‘නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි, නුඹේ උත්පත්තිය ලැබූ දේශයේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි. 31 මාගේ උදහස නුඹලා පිට වගුරුවා, මාගේ කෝපාග්නිය නුඹලා පිට පිඹ, රෞද්‍ර විනාශ කිරීමට දක්ෂ මනුෂ්‍යයන් අතට නුඹලා පාවා දෙන්නෙමි. 32 නුඹලා ගින්නට දර පිණිස වන්නහු ය. නුඹේ ලේ දේශය මැද වැගිරෙන්නේ ය. නුඹලා තවත් සිහි කරනු නොලබන්නහු ය. කුමක් නිසා ද, මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.’ ”

 

– 22 වන පරිච්ඡේදය –

ජෙරුසලමේ අපරාධ

1 තවද, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්න සූදානම් ද? ලෙයින් පිරි නගරය විනිශ්චය කරන්න, නුඹ සූදානම් ද? එසේ නම් ඇගේ සෑම පිළිකුල් ක්‍රියා ඈට දන්වමින් මෙසේ කියන්න: 3 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹ ලේ වගුරුවන, නුඹ ම අපවිත්‍ර වන පිණිස දේව රූපවලට නමදින, නුවරක් නිසා නුඹට අවසාන දවස පැමිණෙන්නේ ය. 4 නුඹ වැගිරෙවූ ලේවලින් නුඹ වරදකාරියක වී, නුඹ නමස්කාර කළ නුඹේ රූපවලින් නුඹ අපවිත්‍ර වී සිටින බැවින්, ඒ අවසාන දවස ළං කරගෙන ඇත. එබැවින්, මම නුඹ ජාතීන්ට නින්දාවක් ද සියලු ම දේශවලට සරදමක් ද කෙළෙමි. 5 නුඹට ළඟ පාත සිටින ජාතීහු ද දුර බැහැර සිටින ජාතීහු ද නුඹේ අවුල් වියවුල් හා අපකීර්තිය නිසා නුඹට උසුළු-විසුළු කරති. 6 නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ. 7 නුඹ සමඟ වසන අය දෙමව්පියන්ට අවමන් කර ඇත. නුඹ සමඟ සිටින විදේශිකයාට බලහත්කාරයෙන් ක්‍රියා කර ඇත. නුඹ තුළ පියා නැත්තාටත්, වැන්දඹුවටත් පීඩා කර ඇත. 8 නුඹ මාගේ ශුද්ධ දේ හෙළා දැක මාගේ සබත් දවස් කෙලෙසුවෙහි ය. 9 ලේ වගුරුවන පිණිස කේළාම් කියන මනුෂ්‍යයෝ නුඹ තුළ සිටියෝ ය. සමහරු දේව රූපවලට පිදූ කෑම කෑහ; සමහරු සල්ලාලකම් කළහ; 10 සමහරු සිය පියාගේ බිරිඳගේ නිරුවත අනාවරණය කළහ; ඔසප් ව සිටි ස්ත්‍රීන්ට බලහත්කාරකම් කළහ. 11 ඇතැමෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ දුරාචාරයෙහි යෙදුණාහ. අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍ර කළහ. තවත් කෙනෙක් තම පියාගේ දුව වූ තමාගේ සහෝදරියට අතවර කළහ. 12 සමහරු ලේ වගුරු වන පිණිස අල්ලස් ගත්හ. නුඹ පොලී සහ ලාභ ගෙන, නුඹේ අසල්වැසියාගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන මා අමතක කෙළෙහි ය. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
13 ” ‘එබැවින් නුඹ ලබාගත් අයුතු ලාභ නිසාත්, නුඹ ඇතුළෙහි වූ නුඹේ ලේ වැගිරීම් නිසාත් මාගේ මිට මොළවා පහර දෙන්නෙමි. 14 නුඹට විරුද්ධ ව ක්‍රියා කරන දවස්වල දී නුඹට ධෛර්යය ද අත ඔසවන්න ශක්තිය ද ඇති වේ ද? සමිඳාණන් වහන්සේ වන මම ඒ දේ කීමි. එලෙස ම කරන්නෙමි. 15 මම නුඹ විජාතීන් අතරට පන්නාදමා, නුඹ විදේශවලට විසුරුවා හැර නුඹේ අපවිත්‍රකම නුඹෙන් පහකර දමන්නෙමි. 16 අන්‍ය ජාතීන් නුඹට නින්දා අපහාස කරනු ඇත. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.’ ”

දෙවිඳුන්ගේ සුපිරිසිදු කිරීමේ ගිනි උදුන

17 තවද, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 18 ”මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය ලෝහවල බොර හා සමාන ය. උදුනක රිදී පිරිසිදු කළ පසු ඉතිරි වන තඹ, බෙලෙක්, යකඩ සහ ඊයම් බොර හා සමාන ය. 19 එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, නුඹලා සියල්ලන් ම ලෝහවල බොර මෙන් වී සිටින නිසා නුඹලා ජෙරුසලම තුළට එකතු කරන්නෙමි. 20 රිදී ද තඹ ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගිනි පිඹ උණු කරන පිණිස උදුන තුළට එකතු කරන්නාක් මෙන් මම නුඹලා එකතු කර මාගේ උදහසින් ද කෝපාග්නියෙන් ද උණු කරන්නෙමි. 21 මම නුඹලා රැස් කර මාගේ කෝපාග්නිය නුඹලා පිට පිඹින්නෙමි. නුඹලා එය තුළ උණු වන්නහු ය. 22 උදුන තුළ රිදී උණු වෙන්නාක් මෙන් නුඹලා නගරය තුළ උණු වන්නහු ය. එවිට සමිඳාණන් වහන්සේ වන මා, මාගේ කෝපය නුඹලා කෙරෙහි වැගිරවූ බව නුඹලා දැනගනු ඇත.”

ඉශ්රායෙල් ප්‍රධානීන්ගේ පාප

23 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 24 ”මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ට මෙසේ කියන්න: නුඹලාගේ දේශය අපිරිසිදු ය. ඒ නිසා මම උදහසින් එයට දඬුවම් කරන්නෙමි. 25 එහි වෙසෙන ප්‍රධානීහු වූකලී, ගොදුරු කොටගත් සතුන් ඉරමින් ගොරවන සිංහයන් වැනි ය. ඔව්හු මිනිසුන් කාදමා ඔවුන්ගේ වස්තු ද මැණික් ද පැහැරගෙන ඒ තුළ වැන්දඹුවන්ගේ ගණන වැඩි කර ඇත. 26 ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩ කොට මාගේ ශුද්ධ දේ කෙලෙසූ හ. ඔවුන් කැප දේ ද අකැප දේ ද අතරේ වෙනසක් කෙළේ වත්, අපවිත්‍ර දේ ද පවිත්‍ර දේ ද අතරේ තිබෙන වෙනස දැන්නුවේ වත් නැත; මාගේ සබත් දවස් ඔව්හු නොසලකා හැරියෝ ය. මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමිණියේ ය. 27 ඒ නගරය තුළ අධිපතීහු අයුතු ලාභ ලබාගන්න පිණිස ලේ වැගිරීමටත්, ප්‍රාණ නැති කිරීමටත් සිටින, ගොදුර ඉරාදමන වෘකයන්ට සමාන ය. 28 එහි දිවැසිවරු ද මායම්කාර දර්ශන දැක, බොරු පේන පවසා, සමිඳාණන් වහන්සේ කතා නොකළ නමුත්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක’ කියා බිත්තියක හුණු ගාන්නාක් මෙන් සිය පාප වසන් කරගත්හ. 29 දේශයේ සෙනඟ බලහත්කාරකම් කොට කොල්ලකෑහ; අසරණයාට ද දිළින්දාට ද පීඩා කළහ; අයුතු ලෙස විදේශිකයාට බලහත්කාරකම් කළහ. 30 දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනඟා දේශය ආරක්ෂා කරන පිණිස කපොලුවල සිටිය හැකි මිනිසෙකු මම ඔවුන් අතරේ සෙවීමි. එහෙත්, කිසිවෙක් මට සම්බ නො වී ය. 31 එබැවින්, මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ කෝපාග්නියෙන් ඔවුන් විනාශ කරදමා ඔවුන්ට යුතු දඬුවම ඔවුන් පිට පැමිණෙව්වෙමි. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”

 

– 23 වන පරිච්ඡේදය –

අනාචාරී සමාරිය හා ජෙරුසලම

1 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, එක කුසේ උපන් දූවරු දෙදෙනෙක් සිටියහ. 3 ඔවුන්ගේ යොවුන් වියේ දී ම ඔව්හු මිසරයේ දී වේශ්‍යාකම් කළහ. ඔවුන්ගේ පියයුරු එහි දී මිරිකනු ලැබී ය; එහි දී ඔවුන්ගේ කුමරි වියෙහි තනපුඩු පිරිමදිනු ලැබී ය. 4 වැඩිමල් තැනැත්තිගේ නම ඔහොලා ය; ඇගේ සහෝදරීගේ නම ඔහොලීබා ය. මම ඔවුන් සරණකොටගතිමි; ඔව්හු මාගෙන් දරුදැරියන් ලැබූ හ. ඔහොලා යන නමින් සමාරිය ද ඔහොලීබා නමින් ජෙරුසලම ද අදහස් කෙරේ. 5 ඔහොලා මට අයිති ව සිටිය දී වේශ්‍යාකම් කළා ය. ඇගේ පෙම්වතුන් වන අසිරියන්වරුන්ට ඈ ආලය කළා ය. 6 ඈ, සිත්ගන්න සුලු තරුණ අශ්වාරෝහකයන් වූ රාජකීය වස්ත්‍ර හැඳගත් අසිරියන් ජාතික ප්‍රභූවරුන්ට ද නිලධාරීන්ට ද අධිපතීන්ට ද අධික ආලයෙන් බැඳුණා ය. 7 ඔහොලා අසිරියාවේ උත්තමයන් වූ ඔවුන් සියල්ලන් සමඟ වේශ්‍යාකම් කළා ය. ඈ ආලය කළ සියල්ලන්ගේ සියලු දේව රූපවලින් ද ඈ අපවිත්‍ර වූවා ය. 8 ඈ මිසරයේ දී පටන්ගත් ඇගේ වේශ්‍යාකම අත්හැරියේ නැත; කුමක්නිසා ද, ඇගේ යෞවන වියෙහි දී ඔව්හු ඇය සමඟ සේවනයෙහි යෙදුණාහ. මොවුහු ද ඇගේ කුමරි වියෙහි තනපුඩු පිරිමැද ඔවුන්ගේ කාමාශාවට තෘප්තිය ඇගෙන් ලබාගත්තෝ ය. 9 එබැවින් ඇගේ පෙම්වතුන් වන ඈ ආලය කළ අසිරියන්වරුන් අතට මම ඇය පාවා දිනිමි. 10 මොවුහු ඇය නග්නකර, ඇගේ දූ පුතුන් රැගෙන ගොස් ඈ කඩුවෙන් මැරූ හ. ඇය ලත් නිසි විනිශ්චය ගැන සෑම තැන ම ස්ත්‍රීහු ඕපාදූප කී හ.
11 ”ඇගේ සහෝදරී, ඔහොලීබා මෙය දුටු නමුත්, ඔහොලාට වඩා ඇගේ කාමරාගයත්, වේශ්‍යාකමත් අතිශයෙන් නින්දිත විය. 12 ඈ ද අලංකාර වස්ත්‍ර හැඳගත් අසිරියන් ජාතික ප්‍රභූවරුන්ට ද නිලධාරීන්ට ද යුද ඇඳුමෙන් සැරසුණ අධිපතීන්ට ද එමෙන් ම අශ්වාරෝහකයන්ට ද අධික ආලයෙන් බැඳුණා ය. ඔව්හු සියල්ලෝ සිත්ගන්න සුලු තරුණයෝ වූ හ. 13 ඇගේ අනාචාරය මම දිටිමි. සහෝදරියෝ දෙදෙනා ම එක ම අවකල්ක්‍රියාවේ යෙදුණාහ.
14 ”ඈ මිනිසුන්ගේ රූප එනම්, ස්වරූප, තද රතු පාටින් බිත්තිවල සිතියම් කර තිබෙනු දුටු විට ඔහොලීබා ඇගේ වේශ්‍යාකමෙහි කිඳා බැස සිටියා ය. 15 ඔවුන්ගේ ඉඟටිවල ඉඟපටි බැඳ, අලංකාරවත් තලප්පා ඔවුන්ගේ හිස්වල දවටා තිබුණේ ය. ඔව්හු සියල්ලෝ ම පෙනීමේ හැටියට බබිලෝනියේ උපන් වංශාධිපති බබිලෝනිවරු වූ හ. 16 ඈ ඔවුන් දුටු වහා ම කාමරාගයෙන් පිරී, ඔවුන් වෙත බබිලෝනියට පණිවුඩකාරයන් යැව්වා ය. 17 බබිලෝනිවරු ද ඇගේ යහනේ ඈ සමඟ කම්සැපතෙහි යෙදී කාමරාගයෙන් ඈ දූෂණය කළහ. ඈ ඔවුන් කරණකොටගෙන දූෂණය වූ පසු ඈ ඔවුන් පිළිකුල් කරමින් ඔවුන්ගෙන් ඈත් වූවා ය. 18 ඈ මෙසේ ඇගේ වේශ්‍යාකම් ප්‍රසිද්ධියේ කරමින් තම නිරුවත්කම දැක්වූ විට, මම ඇගේ සහෝදරිය වෙතින් පිළිකුල් සිතින් හැරුණාක් මෙන් ඈ කෙරෙන් ද හැරුණෙමි. 19 එහෙත්, ඈ මිසර දේශයේ දී තරුණ වියේ දී කළ වේශ්‍යාකම් සිහි කරමින් තවතවත් ඇගේ වේශ්‍යාකම් වැඩි කළා ය. 20 ඈ පෙම්වතුන් සමඟ ආලයෙන් බැඳී ඇගේ කාමරාගය කොටළුවන්ගේ ලිංගේන්ද්‍රිය මෙන් ද අසුන්ගේ ධාතු වැගිරීම මෙන් ද වැගිරීමෙන් වේගවත් කරගත්තා ය. 21 මෙසේ ඔහොලීබා, නුඹ තරුණ වියේ මිසර දේශයේ මිනිසුන් නුඹේ පියයුරු අතගාමින්, පිරි මදිමින් සිටි කාලයේ දී නුඹ කළ අනාචාරය යළිත් කරන්න ආශා කෙළෙහි ය.”

බාල සහෝදරී කෙරේ දේව විනිශ්චය

22 එබැවින් එම්බා ඔහොලීබා! මහෝත්තම ස්වාමීන් වූ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මෙන්න, නුඹේ සිතෙන් නුඹ පිළිකුල් කළ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධ ව පොළඹවා, ඔවුන් නුඹට විරුද්ධ ව හාත්පසින් පමුණුවන්නෙමි. 23 ඔව්හු නම්, බබිලෝනිවරු සහ සියලු ම කල්දිවරු ද පෙකොඩ් ද ෂෝවා ද කෝවා ද ඔවුන් සමඟ අෂූර්වරු ද යන අය ය. ඔව්හු වනාහි මනා පෙනුමක් ඇති තරුණයෝ ය; ආණ්ඩුකාරයෝත් මුලාදෑනියෝත් ය; ඔව්හු සියල්ලෝ ම අධිපතියෝ ය; අසුන් පිට නැඟීයන කීර්තිමත් අශ්වාරෝහකයෝ ය. 24 ඔවුන් නුඹට විරුද්ධ ව උතුරු දේශයෙන් ආයුධ සහ රථ ද ගැල් ද ජන සමූහයක් ද ඇති ව අවුත්, පලිහ සහ කුඩා පලිහ ද යුද හිස් වැසුම් ද ඇති ව නුඹට විරුද්ධ ව හාත්පසින් සිටිනු ඇත. ඔවුන්ගේ නීති අනුව නුඹ විනිශ්චය කරන පිණිස මම ඔවුන්ට නුඹ භාර දෙන්නෙමි. 25 මාගේ කෝපය නුඹට විරුද්ධ ව යොමු කරමි. ඔව්හු ද නුඹ සමඟ උදහසින් ක්‍රියා කොට, නුඹේ නාස් හා කන් කපාදමති. නුඹේ පවුලේ ඉතිරි අය ද කඩු පහරින් හෙළාදමනු ඇත. ඔවුන් නුඹේ පුත්‍රයන් ද නුඹේ දූවරුන් ද පැහැරගෙන යනු ඇත. නුඹේ ඉතිරි දේ ගින්නෙන් නාස්ති වන්නේ ය. 26 ඔවුන් නුඹේ වස්ත්‍ර නුඹෙන් ගලවාගෙන, නුඹේ අලංකාර ආභරණත් පැහැරගනු ඇත. 27 මෙසේ නුඹේ සල්ලාලකම ද නුඹ මිසර දේශයේ දී පටන්ගත් නුඹේ වේශ්‍යාකම ද නුඹෙන් නවත්වන්නෙමි. නුඹ ඔවුන් දෙස තවත් නොබලන්නෙහි ය. මිසරය තවත් සිහි නොකරන්නෙහි ය.
28 ”කුමක් නිසා ද මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹ ද්වේෂ කරන, නුඹේ සිතෙන් පහකළ අයගේ අතට මම නුඹ පාවා දෙමි. 29 ඔවුන් නුඹ ද්වේෂ සහගත ව සලකා, නුඹ වෙහෙස මහන්සියෙන් ලත් ප්‍රතිඵල සියල්ල පැහැරගෙන, නුඹ නග්න කොට, වෙසඟනක සේ පෙනෙන්න තබා යනු ඇත. නුඹේ වේශ්‍යාකම ද නුඹේ සල්ලාලකම ද නිසා මේ දේ නුඹ පිට පැමිණ ඇත. 30 එසේ වන්නේ, නුඹ ජාතීන් සමඟ වේශ්‍යාකම් කොට ඔවුන්ගේ රූපවලින් අපවිත්‍ර වූ නිසා ය. 31 නුඹේ සහෝදරීගේ මාර්ගයෙහි නුඹ ගිය බැවින් ඇගේ දඬුවම් නමැති කුසලාන නුඹේ අතට දෙමි.
32 ” ‘මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය. ගැඹුරු ව පළල් ව තිබෙන නුඹේ සහෝදරීගේ කුසලානෙන් නුඹ බොන්නෙහි ය. එය පිරී තිබෙන බැවින් සියලු දෙනා නුඹට උසුළු-විසුළු කරනු ඇත. 33 නුඹ වෙරිමතින් හා සෝදුකින් පිරෙන්නෙහි ය. එය බියජනක වනසන සුලු කුසලානකි. ඒ වනාහි සමාරිය නම් නුඹේ සහෝදරීගේ කුසලාන ය. 34 නුඹ ඒවා අවසන් පොද දක්වා උරා බී හිස් කරනු ඇත. ඒ බඳුන කැබලිවලට කඩා ඒ කැබලිවලින් නුඹේ පියයුරු ඉරාගෙන ඇත. කුමක් නිසා ද, එය වදාළේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම ය. 35 නුඹ මා අමතක කර මට පිටුපා ගිය බැවින් නුඹේ සල්ලාලකමේ සහ වේශ්‍යාකමේ දුර්විපාකය නුඹ ම දරන්නෙහි ය’ කියා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”

සොහොයුරියන් දෙදෙනා කෙරෙහි දේව විනිශ්චය

36 සමිඳාණන් වහන්සේ මට තවදුරට කතා කොට මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔහොලා සහ ඔහොලීබා විනිශ්චය කරන්නෙහි ද? එසේ නම්, ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වන්න. 37 ඔවුන් කාමමිථ්‍යාචාරය කර ඇත; මිනී මරා ඇත; ඔවුන් තමන්ගේ පිළිම සමඟ කාමමිථ්‍යාචාරය කර ඇත; ඔවුන් මා උදෙසා ලැබූ පුත්‍රයන් වුව ද ආහාර පිණිස ඒ පිළිමවලට පූජා කර ඇත. 38 ඔව්හු තවදුරටත් මට මෙසේ කළහ. එම දවසේ ඔව්හු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කොට, මාගේ සබත් දවස කෙලෙසූ හ. 39 ඔව්හු තමන්ගේ පිළිමවලට තමන්ගේ පුත්‍රයන් මරා පිදූ පසු මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ ලෙස එම දවසේ ම ඊට ඇතුළු වූ හ. එසේ ය, මාගේ මාලිගාව මැද ඔව්හු මෙසේ කළහ.
40 ”තවද ඔව්හු දුර බැහැර සිටින මිනිසුන් කැඳවා ඔවුන් වෙත පණිවුඩකාරයෙකු යැවූ හ. ඔව්හු ද පැමිණියෝ ය. නුඹ ඔවුන් නිසා ස්නානය කර, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන අලංකාර යහනක ඉඳගත්තෙහි ය. 41 එය ඉදිරිපිට පිළියෙළ කරන ලද මේසයක් උඩ නුඹ මාගේ සුවඳ ද්‍රව්‍ය ද මාගේ තෙල් ද තැබුවෙහි ය. 42 එවිට නිදැල්ලේ සිටින සමූහයන්ගේ ප්‍රීති ප්‍රමෝද හඬ ඇසිණි. සාමාන්‍ය ජනයා හැරුණ විට පාළුකරයෙන් ගෙනෙන ලද නිදැල්ලේ වෙසෙන අය ද සිටියෝ ය. ඔව්හු කාන්තාවන්ගේ අත්වල වළලු දමා, ඔවුන්ගේ හිස් පිට අලංකාර ඔටුනු තැබූ හ. 43 එවිට ‘කම්සැපෙහි යෙදීමෙන් විඩා වී සිටින ඇය වැනි තැනැත්තියක සමඟ ඔවුන් දැන් වේශ්‍යාකම් කරනු ඇද්දැ’යි ඈ ගැන මම ඇසීමි. 44 වේශ්‍යාවක වෙත මෙන් ඔව්හු ඈ වෙත ගියහ. එසේ ඒ සල්ලාල ස්ත්‍රීන් වන ඔහොලා සහ ඔහොලීබා වෙත ඔව්හු පැමිණියෝ ය. 45 එබැවින් කාමමිථ්‍යාචාරික ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත්, ලේ වගුරුවන ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ඔවුන් විනිශ්චය කරන්නෝ ය. කුමක්නිසා ද, ඔව්හු කාමමිථ්‍යාචාරික ස්ත්‍රීහු ය; ඔවුන්ගේ අත්වල ලේ තැවරී ඇත.
46 ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන්ට විරුද්ධ ව කලහකාරී සෙනඟක් පමුණුවා, පීඩා විඳීමටත්, කොල්ලකනු ලැබීමටත් ඔවුන් පාවා දෙන්නෙමි. 47 ඒ සෙනඟ ඔවුන්ට ගල් ගසා, තමන්ගේ කඩුවලින් ඔවුන් කපාදමා, ඔවුන්ගේ දූ දරුවන් මරාදමා, ඔවුන්ගේ ගෙවල් ගින්නෙන් දවාලන්නෝ ය. 48 මෙසේ මම දේශයෙන් සල්ලාලකම පහ කරන්නෙමි; ඔවුන්ට මෙන් සෙසු ස්ත්‍රීන්ට සල්ලාලකම් නොකරන්න උගන්වනු ලැබේ. 49 නුඹලාගේ සල්ලාලකමේ දුර්විපාකය නුඹලා පිට පමුණුවනු ඇත; පිළිම නැමදීමේ පාපයට දඬුවම් ලැබෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.’ ”

– 24 වන පරිච්ඡේදය –

ජෙරුසලම වටලෑම

1 නව වන අවුරුද්දේ දස වන මාසයේ දස වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, මේ දවස එනම්, මේ අද දවස සටහන් කර තබන්න. බබිලෝනියේ රජ මේ දින ම ජෙරුසලම වටලා ඇත. 3 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘කැරලිකාර වංශයට උපමාවක් කියන්න. හැළිය ලිපේ තබාගන්න; ඊට වතුර වත්කරන්න. 4 එයට මස් කෑලි දමන්න. ඉතා හොඳ කෑලි වන පස්සා ගාතය ද ඉස්සරහ ගාතය ද ඉතා හොඳ කටු ද එයට පුරවන්න. 5 ඒක යට දර ගොඩ ගසන්න. වතුර උතුරුවන්න. එළු බැටළු රැළෙන් ඉතා හොඳ එකෙකුගෙන් ගත් කටු හා මස් තම්බන්න.
6 ” ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනීමරු නුවරට වන විපතක මහත! එය කිසි කලක ශුද්ධ නොකළ මලකඩ කෑ හැළියක් වැනි ය. එයින් එක එක කෑල්ල නොතෝරා එළියට ගන්න. 7 කුමක් නිසා ද, වගුළ ලේ තවමත් නගරයෙහි ම ඇත. ඈ ඒ ලේ පස්වලින් වැසී යන්න පොළොව පිට නොවගුරුවා පස් නැති පර්වත උඩ වැගිරෙව්වා ය. 8 මාගේ කො‍්පය උතුරා යන පිණිසත්, පළිගන්න පිණිසත් ඈ වගුළ ලේ සැඟවිය නොහැකි ලෙස මම පර්වතය උඩ තැබීමි.
9 ” ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනීමරු නුවරට වන විපතක මහත! මම මහා දර සෑයක් ගොඩ ගසන්නෙමි. 10 බොහෝ දර දමා, ගිනි දල්වා, මස් තම්බා, වතුර හිස් කර රසකාරක මිශ්‍ර කර කටු පුළුස්සාදමන්න. 11 ඉන්පසු හිස් ලෝකඩ හැළිය රත් වී ගිනියම් වී, එහි අපවිත්‍රකම ඒ තුළ උණු වී, එහි මලකඩ නැති වී යන පිණිස ඒක ගිනි අඟුරු මත තබන්න. 12 මම නිකරුණේ වෙහෙස වීමි. කුමක් නිසා ද, ජෙරුසලම, නුඹේ මලකඩ නමැති නුඹේ දූෂිත ක්‍රියා නුඹෙන් පහ ව නොයයි; ඒවා ගින්නෙන් වුව ද පහ ව නොයයි. 13 ජෙරුසලම, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ දූෂණය වී ඇත. මා නුඹ පිරිසිදු කරමින් සිටි නමුත්, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදු වූයේ නැත; මාගේ කෝපය සම්පූර්ණයෙන් පහ වන තුරු මම තවත් නුඹ පිරිසිදු නොකරන්නෙමි; 14 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම එය කීවෙමි; එය සිදු වන්නේ ම ය. මම එය කරන්නෙමි. මා පසුබට වන්නේ වත්, දයාව දක්වන්නේ වත් නැත; නුඹේ කල්ක්‍රියාවේ හැටියට නුඹ විනිශ්චය කරනු ලබනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙය වදාරන සේක.’ ”

එසකියෙල්ගේ බිරිඳගේ මරණය

15 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 16 ”මනුෂ්‍ය පුත්‍රය, මෙන්න, නුඹ ඉතා ප්‍රේම කරන තැනැත්තිය හදිසියේ ම නුඹෙන් ඉවත් කරගනිමි. එහෙත්, නුඹ විලාප නොකිය යුතු ය; නොහැඬිය යුතු ය; නුඹේ කඳුළු නොවැගිරිය යුතු ය. 17 නිහඬ ව සුසුම්ලන්න; මළවුන් ගැන නොවැලපෙන්න; නුඹ නුඹේ ජටාව හිසේ බැඳ ගන්න; නුඹේ වහන් පාදවල දමාගන්න. මුහුණ වසා නොගන්න; මළගෙදර දානය නොකා සිටින්න.”
18 මම උදයේ සෙනඟට කතා කෙළෙමි; සවස මාගේ භාර්යාව මළා ය. මට අණ කළ ලෙස පසු දින උදයේ දී මම කෙළෙමි. 19 සෙනඟ ද කතා කරමින්, ”නුඹ කරන මේ දේ අපට තේරුම්ගන්න පුළුවන් හැටියට නුඹ අපට නොකියන්නෙහි දැ”යි මාගෙන් ඇසූ හ.
20 එවිට මම ඔවුන්ට කතා කෝට මෙසේ කීමි; ”සමිඳාණන් වහන්සේ මට කතාකොට මෙසේ වදාළ සේක. ‘දෙවි ස්වාමීන් වහන්සේ, ඉශ්රායෙල් වංශයට මෙසේ වදාරන සේක. 21 බලන්න, මම නුඹලාගේ උදාර අභිමානය ද නුඹලාගේ නෙත් පිනවන සම්පත ද නුඹලාගේ මන පිනවන අලංකාරය ද වන ශුද්ධස්ථානය කෙලෙසන්නෙමි; නුඹලා අත්හැර ආ නුඹලාගේ දරුදැරියෝ කඩු පහරින් වැටෙන්නෝ ය. 22 මා කළාක් මෙන් නුඹලාත් කරනු ඇත. නුඹලා මුහුණ වසා නොගෙන, මළ ගෙදර දානය නොකා සිටිනු ඇත. 23 නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වල ද නුඹලාගේ පා වහන් නුඹලාගේ පාදවල ද වන්නේ ය. නුඹලා විලාප කියන්නේ වත්, අඬන්නේ වත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂය වී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත. 24 මෙසේ එසකියෙල් නුඹලාට සලකුණක් වන්නේ ය; ඔහු කළ සියල්ල ලෙස නුඹලා ද කරනු ඇත. මෙය පැමිණි කළ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
25 ” ‘ඉතින් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ගේ බලය ද සොම්නස හා කීර්තිය ද ඔවුන්ගේ නෙත් සිත් පිනවන දෑ හා දරුදැරියන් මා ඔවුන්ගෙන් පැහැරගන්න දවසේ දී, 26 විනාශයෙන් මිදී පලා යන්නෙකු ඒ පුවත දන්වන්න නුඹ වෙත එනු ඇත. 27 ඒ දවසේ දී නැති වී ගිය නුඹේ කතා ශක්තිය නුඹට ලැබී, තවත් ගොළු ව නොසිට නුඹ ඒ තැනැත්තා සමඟ කතා කරනු ඇත. මෙසේ නුඹ ඔවුන්ට සලකුණක් වන්නෙහි ය; ඔවුන් මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.’ ”

 

– 25 වන පරිච්ඡේදය –

අම්මොන්ට විරුද්ධ දිවැස් වැකි

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ අම්මොන්වරුන් දෙසට හරවාගෙන, ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: 3 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න; දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ ශුද්ධස්ථානය කෙලෙසනු ලැබූ විට, ඊට විරුද්ධ ව ද ඉශ්රායෙල් රට පාළු වී තිබෙන නිසා, ඊට විරුද්ධ ව ද ජුදා වංශය වහල්කමට ගිය නිසා, ඔවුන්ට විරුද්ධ ව ද නුඹ ඉතා ප්‍රීති ප්‍රමෝද වූ බැවින්, 4 මම නැගෙනහිර දිශාවේ වැසියන්ට අයිති කරගන්න නුඹ පාවා දෙන්නෙමි. ඔවුන් නුඹ තුළ තමන්ගේ කඳවුරු බැඳ, තමන්ගේ වාසස්ථාන නුඹ තුළ පිහිටුවාගනු ඇත. ඔවුන් නුඹේ පලදාව කා, නුඹේ කිරි බොනු ඇත. 5 රබ්බා ඔටුවන්ට තණ බිමක් ද අම්මොන් වැසියන්ගේ රට බැටළුවන් ලගින තැනක් ද කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
6 ” ‘මක්නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹ අත්පොළසන් දී, ප්‍රීතියෙන් නටමින් නුඹේ මුළු උඩඟුකමින් ඉශ්රායෙල් දේශයට විරුද්ධ ව සිතෙන් ප්‍රීති වූ බැවින්, 7 මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවා දී, ජනයන් අතරෙන් නුඹ වනසාදමා, දේශවලින් නුඹ නැති කොට විනාශ කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹ එවිට දැනගන්නෙහි ය.’ ”

මෝවබ්ට විරුද්ධ දිවැස් වැකි

8 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ජුදා දේශය සෙසු සියලු ජාතීන් හා සමාන යයි මෝවබ් සහ සේයිර් ද කියන නිසා, 9 මෙන්න, මම මෝවබ් දේශයේ සීමාව ආරක්ෂා කරන සියලු නගරවලට පහර ලැබීමට ඉඩහරින්නෙමි. දේශයේ ඇති අලංකාරවත් නගර වන බෙත්-ජෙෂිමොත් ද බාල්-මොයොන් ද කිරියාතයිම් ද වනසාදමමි. 10 අම්මොන්වරුන්ගේ රටත් සමඟ නැගෙනහිර දිශාවේ වැසියන්ට මෝවබ් යටත් කරන්න ඉඩහරින්නෙමි. මෙසේ කරන්නේ ජාතීන් අතරෙහි අම්මොන්වරුන් තවත් සිහි නොකරන පිණිස ය. 11 මම මෝවබ්වරුන් විනිශ්චයයට පමුණුවන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”

ඒදොම්ට විරුද්ධ දිවැස් වැකි

12 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඒදොම් ජුදා සෙනඟගෙන් පළිගන්න ලෙස ක්‍රියා කොට බොහෝ සෙයින් වරදකාරයන් වූ නිසාත්, ඔවුන්ගෙන් පළිගත් නිසාත් 13 දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මම ඒදොම්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට, ඒ රටේ මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසාදමා, තේමාන් පටන් දෙදාන් දක්වා එය පාළුකරයක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් මැරුම් කනු ඇත. 14 මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ලවා ඒදොම් වැසියන්ගෙන් මම පළිගන්නෙමි. ඔවුන් මාගේ උදහසේ ද මාගේ කෝපයේ ද ප්‍රකාරයට ඒදොම්ට කරනු ඇත. ඔවුන් මාගේ පළිගැනීම දැනගනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

පිලිස්තියට විරුද්ධ දිවැස් වැකි

15 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”පිලිස්තිවරුන් පළිගැනීමේ චේතනාව පුරාණ සතුරුකම් අනුව විනාශ කිරීමට උඩඟු සිතින් පළිගත් බැවින් 16 මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධ ව දිගු කොට, කෙරෙතිවරුන් වනසාදමා, මුහුදුබඩ ඉතිරි ව සිටින්නන් නැති කරන්නෙමි. 17 කෝප සහිත තර්ජනවලින් ඔවුන්ගෙන් බොහෝ සෙයින් පළිගන්නෙමි. එසේ ඔවුන්ගෙන් පළිගන්න කල මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.’ ”

 

– 26 වන පරිච්ඡේදය –

තීර්හි විනාශය ගැන දිවැස් වැකි

1 එකොළොස් වන අවුරුද්දේ මාසේ පළමු වන දවසේ දී සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, තීර් ජෙරුසලමට විරුද්ධ ව කතා කොට, ‘ඔහෝ! ජනයන්ගේ දොරටුව වන ඈ කඩාදමනු ලැබුවා ය. එය මා දෙසට ඇරී තිබේ. ඈ පාළු කරනු ලැබ සිටින නිසා මට පූර්ණකම සෑහීමට ඇති වන්නේ ය’යි සරදම් කරමින් කීවා ය.
3 ”එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: එම්බා තීර්! මම නුඹට විරුද්ධ ව සිටිමි. මුහුදේ රැළ නැඟී එන්නාක් මෙන් බොහෝ ජාතීන් නුඹට විරුද්ධ ව පමුණුවන්නෙමි. 4 ඔව්හු තීර්හි පවුරු විනාශ කොට, එහි කොත් බිඳදමන්නෝ ය. මම එහි ධූලි එතැනින් අතුගාදමා, එය මුඩු පර්වතයක් කරන්නෙමි. 5 එය මුහුද මැද දැල් අතුරන ස්ථානයක් වන්නේ ය; කුමක් නිසා ද, මම ම ඒක කියමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. එය ජාතීන්ට කොල්ලයක් වන්නේ ය. 6 මුල් බිමේ සිටින ඇගේ දූවරු කඩුවෙන් මැරුම් කන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව සියල්ලන් දැනගනු ඇත.”
7 කුමක් නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ”මෙන්න, මම රාජාතිරාජ වන බබිලෝනියේ රජ වන නෙබුකද්නෙශර් අසුන් සහ රථ ද අසරුවන් සහ සමූහයන් ද බොහෝ සෙනඟ ද ඇති ව උතුරෙන් තීර්ට විරුද්ධ ව පමුණුවන්නෙමි. 8 මුල් බිමේ සිටින නුඹේ දූවරුන් ඔහු කඩුවෙන් මරා, නුඹට විරුද්ධ ව පවුරු බැඳ නුඹට විරුද්ධ ව පස් කඳු සාදා, නුඹට විරුද්ධ ව පලිස්වලින් සැදුම්ලත් ආවරණ ඉදිකරනු ඇත. 9 නුඹේ පවුරුවලට විරුද්ධ ව තමාගේ යුද්ධ යන්ත්‍ර තබා, තමාගේ පොරෝවලින් නුඹේ කොත් කඩාදමනු ඇත. 10 ඔහුගේ අශ්වයන්ගේ වැඩිකම් නිසා උන්ගේ දූවිල්ලට නුඹ වැසී යනු ඇත. කපොල්ලක් හාරා ඇති නුවරකට මිනිසුන් ඇතුළුවන්නාක් මෙන් ඔහු නුඹේ දොරටුවලින් ඇතුළු වන කල, අසරුවන්ගේත්, ගැල්වලත්, රථවලත් ශබ්දයට පවුරු සෙලවෙන්නේ ය. 11 ඔව්හු තමාගේ අශ්වයන්ගේ කුරවලින් නුඹේ වීදි පාගවා, නුඹේ සෙනඟ කඩුවෙන් මරනු ඇත. නුඹේ විශාල කුළුණු බිමට වැටෙනු ඇත. 12 ඔවුන් නුඹේ වස්තු කොල්ලකා, නුඹේ වෙළෙඳාම් බඩු උදුරාගනු ඇත. නුඹේ පවුරු බිඳදමා, විශාල මන්දිර හෙළාදමා නුඹේ ගල් ද ලී ද පස් ද මුහුදට දමනු ඇත. 13 නුඹේ ගීතිකාවල ඝෝෂාව නවත්වන්නෙමි; නුඹේ වීණාවල ශබ්දය ද තවත් නොඇසෙන්නේ ය. 14 මම නුඹ මුඩු පර්වතයක් කරන්නෙමි. නුඹ වනාහි දැල් ඇතිරීම පිණිස ස්ථානයක් වන්නෙහි ය; නුඹ යළිත් ගොඩනඟනු නොලබන්නෙහි ය. මක්නිසා ද, සමිඳාණන් වහන්සේ වන මම එය පැවසුවෙමි.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
15 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ තීර්ට මෙසේ වදාරන සේක. ”නුඹේ වැටීමේ ශබ්දයටත්, නුඹ තුළෙහි තුවාළවූවන්ගේ කෙඳිරිගෑමටත්, මිනිසුන් මරාදමනු ලබන අන්දමටත් මුහුදුබඩ වාසීහු භීතියෙන් කම්පා නොවන්නෝ ද? 16 එකල මුහුදේ සියලු ම අධිපතීහු ද තමන්ගේ සිංහාසනවලින් බැස, තමන්ගේ සළු ඉවත තබා, තමන්ගේ විසිතුරු වස්ත්‍ර ගලවා දමා, භීතියෙන් ඇලළී ගොස් හිඳගෙන මොහොතින් මොහොත වෙවුළමින්, නුඹේ ඉරණම ගැන බියට පත්වන්නෝ ය. 17 ඔවුන් නුඹ ගැන විලාපයක් කියමින්, මෙසේ කියනු ඇත. අහෝ, ‘කීර්තිමත් නුවර මුහුදෙන් අතුරුදහන් වී ඇත. එහි නාවික බලය මුහුදෙන් පහ වී ඇත. නුඹ සහ නුඹේ සෙනඟ මුහුදු පාලනය කළහු ය; වෙරළෙහි විසූ අය බිය ගැන්වූවහු ය. 18 දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.”
19 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ”වැසියන් නැති නගර මෙන් මා නුඹ පාළු නුවරක් කර, මහ ජලස්කන්ධයකින් නුඹ වැසී යන ලෙස සයුර නුඹ පිට පමුණුවන්නෙමි. 20 පාතාල ලෝකයට බැස ගිය, පෙර විසූ සෙනඟ ළඟට ගලා බසින්නට මම නුඹට සලස්වන්නෙමි. නුඹ තුළ වැසියන් නොසිටින පිණිස ද ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි තැනක් නො ලබන පිණිස ද පාතාල ලෝකයට බසින අය සමඟ පොළොවේ පාතාලයෙහි එනම්, පෙර සිට පාළු වූ තැන්හි නුඹ වාසය කරවන්නෙමි. 21 මම නුඹ භයානක අවසානයට පත් කරන්නෙමි. නුඹ තවත් ජීවත් ව නොසිටින්නෙහි ය. නුඹව සොයා ආවත් කිසි කලක නුඹ සම්බ වෙන්නේ නැත.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.

 

– 27 වන පරිච්ඡේදය –

තීර් වැටීම ගැන විලාප

1 සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ තීර් ගැන විලාප ගීයක් නඟමින්, 3 තීර් නගරයට මෙසේ කියන්න: ‘මුහුදට ඇතුළු වන තැන්හි වාසය කරන, බොහෝ ද්වීපවල ජනයන්ගේ වෙළෙන්දියක මෙන් වන තැනැත්ති ය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා තීර්! මම අකලංක අලංකාරයෙන් සිටිමි යි නුඹ කීයෙහි ය.
4 නුඹේ දේශ සීමා මුහුද මැද ඇත්තේ ය. නුඹව ගොඩනැඟුව අය නුඹේ අලංකාරකම සම්පූර්ණ කර තිබේ. 5 ඔව්හු නුඹේ නැවේ ලෑලි සියල්ල සෙනීර්හි දේවදාර ලීවලින් සෑදූ හ. නුඹට කුඹ ගසක් සාදන්න ඔව්හු ලෙබනොන්හි කිහිරි ගස් ගත්හ, 6 බාෂාන්හි ආලෝන ලීවලින් නුඹේ හබල් සෑදූ හ. නුඹේ නැවේ තට්ටුව කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත් දත් ගිල්වූ හ. 7 නුඹේ රුවල් කොඩිය මිසරයේ සිහින් විසිතුරු රෙදිවලින් සෑදී තිබේ. නුඹේ වියන එලිෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදි ය. 8 සීදොන්හි සහ අර්වද්හි වැසියෝ නුඹේ හබල්කාරයන් ව සිටියෝ ය. එම්බා තීර්! නුඹ තුළ සිටි නුඹේ ප්‍රඥාවන්තයෝ නුඹේ නාවිකයෝ වූ හ. 9 ගෙබල්හි ප්‍රජා මූලිකයෝ ද එහි ශිල්පීහු ද නුඹ තුළ නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නෝ වූ හ. නුඹ සමඟ වෙළෙඳාමේ යෙදී සිටීමට මුහුදේ සියලු නැව් ද ඒවා යාත්‍රා කරන්නෝ ද නුඹ තුළ සිටියෝ ය. 10 පාර්සිවරු ද ලුද්වරු ද පූට්වරු ද යුද සෙබළුන් මෙන් නුඹේ සේනාවෙහි සිටියෝ ය. ඔව්හු නුඹේ යුද්ධකාරයෝ ය. ඔව්හු පලිස් ද යුද්ධ තොප්පි ද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දැක්වූ හ. 11 අර්වද්හි පුත්‍රයෝ ද නුඹේ සේනාව ද නුඹේ පවුරු පිට වටේට සිටියෝ ය. ගම්මද්හි මනුෂ්‍යයෝ නුඹේ කොත්වල සිටියෝ ය. ඔව්හු තමන්ගේ පලිස් නුඹේ පවුරුවල වටේට එල්ලා තැබුවෝ ය; ඔව්හු නුඹේ ශෝභාව පරිපූර්ණ කළෝ ය. 12 සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂිෂ් නුඹ සමඟ වෙළෙඳාම් කළහ. ඔව්හු රිදී ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගනුදෙනු කළහ. 13 ජාවාන් ද තුබල් ද මෙෂෙක් ද නුඹේ වෙළෙඳුන් ව සිට නුඹ සමඟ වහලුන් ද ලෝකඩ භාණ්ඩ ද වෙළෙඳ බඩු මෙන් හුවමාරු කරගත්හ. 14 බෙත්-තොගර්මා වංශයේ වෙළෙන්දො‍් නුඹ සමඟ අශ්වයන් ද සෛන්ධවයන් ද කොටළුවන් ද නුඹේ වෙළෙඳ බඩු සමඟ හුවමාරු කරගත්හ. 15 දෙදාන්හි මනුෂ්‍යයෝ නුඹේ වෙළෙන්දන් ව සිටියෝ ය. බොහෝ මුහුදුබඩ වැසියෝ නුඹ යටතේ වෙළෙඳාම් කළෝ ය. ඔව්හු ඇත් දළ සහ කළුවර ලී බඩු හුවමාරුවට නුඹ කරා ගෙනාවෝ ය. 16 නුඹේ බොහෝ වෙළෙඳ බඩු නිසා සිරිය නුඹේ වෙළෙන්දො‍් වූ හ. ලෝහිතංකවලින් ද රත්නිල් රෙදිවලින් ද ඔව්හු වැඩදැමූ රෙදිවලින් ද සිහින් රෙදිවලින් ද පබළුවලින් ද රතුකැටවලින් ද නුඹ සමඟ ගනුදෙනු කළෝ ය. 17 ජුදාවරු ද ඉශ්රායෙල් දේශයේ මනුෂ්‍යයෝ ද නුඹේ වෙළෙන්දන් ව සිට නුඹ සමඟ මින්නිත් ප්‍රදේශයේ තිරිඟු ද ඉටි ද මී පැණි ද ගුගුල් ද යන මේවායින් ගනුදෙනු කළෝ ය. 18 නුඹේ බොහෝ වෙළෙඳාම් නිසාත්, නුඹේ සියලු සම්පත්වල අධිකකම නිසාත් දමස්කය නුඹ සමඟ හෙල්බොන්හි මුද්‍රික පානය ද සහර්හි සුදු ලොම් ද වෙළෙඳාම් කළෝ ය. 19 වෙදාන් ද ජාවාන් ද නුඹ සමඟ නූල් ගනුදෙනු කළෝ ය. තැළූ යකඩ සහ ගන්ධරස ද දඬු ද නුඹේ වෙළෙඳ බඩු අතරේ හුවමාරු විය. 20 දෙදාන් නුඹ සමඟ වටිනා සෑදල පිළී හුවමාරු කළහ. 21 අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹේ හොඳ ම වෙළෙන්දන් මෙන් සිට නුඹ සමඟ බැටළු පැටවුන් ද බැටළුවන් ද එළුවන් ද වෙළෙඳාම් කළෝ ය. 22 ෂෙබා සහ රාමාහි වෙළෙන්දො‍් නුඹේ වෙළෙන්දන් ව සිට නුඹ සමඟ සියලු ආකාර වටිනා සුවඳ ද්‍රව්‍ය ද සියලු ආකාර මැණික් ගල් ද රන් ද ගනුදෙනු කළෝ ය. 23 හාරාන්හි ද කන්නෙහි ද එදෙන්හි ද වැසියන් වන ෂෙබාහිත්, අෂූර්හිත්, කිල්මද්හිත් වෙළෙන්දො‍් නුඹ සමඟ ගනුදෙනු කළෝ ය. 24 ඔව්හු නුඹ සමඟ ඉතා අලංකාර වස්ත්‍ර ද නිල් සහ විසිතුරු සළු ද නොයෙක් පාට ඇති බුමුතුරුණු ද ලණුවලින් වෙළූ කිහිරි ලී පෙට්ටි ද නුඹේ වෙළෙඳාම් පොළෙහි වෙළෙඳාම් කළෝ ය. 25 නුඹේ වෙළෙඳ බඩු ගෙන ගියේ තර්ෂිෂ්හි නැව්වලින් ය. මුහුද මැද නුඹ බඩුබාහිරාදියෙන් පිරී සිටියෙහි ය. 26 ” ‘නුඹේ හබල්කාරයෝ මුහුදේ ගැඹුරට නුඹ පැමිණෙවුවෝ ය. නුඹ මුහුද මැද දී පෙරදිග සුළඟට අසු වීමෙන් නුඹේ නැව් මුහුදුබත් වුණා ය. 27 නුඹේ සම්පත් ද නුඹේ බඩු ද නුඹේ වෙළෙඳාම් ද නුඹේ යාන්ත්‍රිකයන් ද නුඹේ නාවිකයන් ද නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නන් ද නුඹේ වෙළෙඳාමේ යෙදී සිටින්නන් ද නුඹ තුළ සිටින නුඹේ සියලු යුද්ධකාරයන් ද නුඹ සමඟ සිටින නුඹේ මුළු සමූහයා සමඟ නුඹ නුඹේ වැටීමේ දවසේ දී මුහුද මැද ගිලෙන්නෙහි ය. 28 නුඹේ නාවිකයන්ගේ කෑගැසීමේ ශබ්දයට අසබඩ පළාත් සෙලවෙන්නේ ය. 29 හබල් අල්ලන සියල්ලෝ ද යාන්ත්‍රිකයෝ ද මුහුදේ සියලු ම නාවිකයෝ ද තමන්ගේ නැව්වලින් බැස ගොඩ සිටගෙන, 30 නුඹ ගැන හඬා වැලපී, ශෝකයෙන් මොරගසා, තමන්ගේ හිස් පිට ධූලි තවරාගෙන අළුවල පෙරළී සිටින්නෝ ය. 31 ඔව්හු නුඹ නිසා හිස් මුඩු කරගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිතේ ශෝකයෙන් මහා විලාප කියමින් නුඹ ගැන අඬන්නෝ ය. 32 ඔවුන්ගේ ලතෝනියේ දී ඔවුන් නුඹ ගැන මෙසේ විලාප ගීයක් නඟා නුඹ ගැන මෙසේ විලාප කියනු ඇත: ‘මුහුද මැද තීර් මෙන් විපතට පත් වූ තවත් කවරෙක් ඇද් ද? 33 නුඹේ බඩු මුහුද මඟින් ගෙනයනු ලැබූ කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහි ය; නුඹේ බහුල සම්පතින් ද සාර්ථක වෙළෙඳාමෙන් ද නුඹ පොළොවේ රජුන් පොහොසත් කෙළෙහි ය. 34 දැන් නුඹ මුහුදින් වට වී රැළ පහරින් බිඳී ගොස් ඇත. නුඹේ වෙළෙඳාම් බඩු ද නුඹ සමඟ සිටි නුඹේ මුළු සමූහය ද වැටී ඇත.
35 ද්වීපවල සියලු ම වැසියෝ නුඹේ ඉරණම ගැන විස්ම පත් වෙති; ඔවුන්ගේ රජවරු ද අතිශයින් බිය ව කැළඹුණ මුහුණු ඇති ව සිටිති. 36 ජනයන් අතරේ සිටින වෙළෙන්දො‍් නුඹට වටකම් කරති; නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.’ ”

 

– 28 වන පරිච්ඡේදය –

තීර්හි රජුගේ වැටීම

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය. 3 නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවන්ත ය යි ද නුඹෙන් කිසි රහසක් සඟවන්නට බැරි ය යි ද නුඹ සිතන්නෙහි ය. 4 නුඹේ ප්‍රඥාවෙන් ද නුඹේ නුවණින් ද නුඹ සම්පත් උපදවාගෙන, රන් රිදී ද ලබා නුඹේ ගබඩාවල තබා ගත්තෙහි ය. 5 නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ.
6 ”එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹ දෙවි කෙනෙකු මෙන් ඥානවන්ත යයි සිතන බැවින්, 7 බලන්න, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශිකයන් නුඹට විරුද්ධ ව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ අපූරු ප්‍රඥාවට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද නුඹේ දීප්තිය කිළුටු කරනු ඇත. 8 ඔවුන් නුඹ මිනීවළට පමුණුවනු ඇත. මැරුම්කන අය මරනු ලබන ලෙස නුඹ මුහුද මැද දී මැරෙනු ඇත. 9 නුඹ දෙවි කෙනෙකු නොව, නුඹ සතුරන් අතට අසු වී හුදෙක් මිනිසෙකු ව සිටින නමුත්, නුඹව මරාදමන්නන් ඉදිරියෙහි, ‘මම දෙවි කෙනෙක්මි’යි එවිටත් නුඹ කියා සිටින්නෙහි ද? 10 අචර්මඡේදිතයන් මෙන් නුඹ විදේශිකයන් අතින් මැරුම්කන්නෙහි ය. මන්ද, මම එසේ කීයෙමි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”

තීර්හි රජුගේ වැටීම

11 තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාරන සේක: 12 ”මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාප ගීයක් ගයමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. නුඹ වරක් ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් පූර්ණ වී පරිපූර්ණතාවේ ආදර්ශයක් වූයෙහි ය. 13 නුඹ දෙවියන් වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහි ය; සියලු මැණික් ගල් වන ලෝහිතංක ද පුෂ්පරාග ද දියමන්ති ද රන්කාන්ති ද නඛමාණික්‍ය ද සූර්යකාන්ති ද නීලමාණික්‍ය ද රතුකැට ද මරකත ද ඔබ්බන ලද රනින් සෑදූ පළඳනාවෙන් සැරසී සිටියෙහි ය. නුඹ මවනු ලැබූ දවසේ දී ඒවා නුඹට සූදානම් කරන ලද්දේ ය. 14 නුඹ ආරක්ෂා කරන පිණිස බියකරු කෙරුබ්වරයෙකු මම එහි තැබීමි. නුඹ දෙවියන් වහන්සේගේ ශුද්ධ කන්දෙහි සිටියෙහි ය. නුඹ ගිනි අඟුරු අතරෙහි ඇවිද්දෙහි ය. 15 නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම හෙළි වනතුරු නුඹේ හැසිරීමෙන් නුඹ නිදොස් ව සිටියෙහි ය. 16 නුඹේ වෙළෙඳාම වැඩි වීම හේතුකොටගෙන අදමිටුකමින් නුඹේ සිත පිරී නුඹ පව් කෙළෙහි ය. එබැවින් නුඹ කෙලෙසූ දෙයක් මෙන් දෙවියන් වහන්සේගේ කන්දෙන් මම නුඹ නෙරපාදැමුවෙමි; නුඹ ආරක්ෂක කෙරුබ්වරයා ද ගිනි අඟුරු අතරෙන් පන්නාදැමුවෙහි ය. 17 නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු ව තිබේ. නුඹේ කීර්තිය නිසා නුඹේ ප්‍රඥාව කෙලෙසා ගත්තෙහි ය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් නුඹ දැක ප්‍රීති වන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි හෙළි කෙළෙමි. 18 නුඹේ වෙළෙඳාමේ අසාධාරණකමෙන් කළ නුඹේ අපරාධ රාශියෙන් නුඹ නුඹේ ශුද්ධස්ථාන කෙලෙසුවෙහි ය; එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මවීමි; එය නුඹ නාස්ති කෙළේ ය; නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අළු කෙළෙමි. 19 ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”

සීදොන්ට විරුද්ධ දිවැස් වැකි

20 සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක: 21 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සීදොන් දෙසට හරවා, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින් මෙසේ කියන්න: 22 දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා සීදොන්, මම නුඹට විරුද්ධ වෙමි; නුඹ මැද මාගේ තේජස ප්‍රකාශ කරමි. මා ඈ කෙරෙහි විනිශ්චයයන් ඉෂ්ට කොට, මා පිරිසිදු බව ඒ කරණකොටගෙන දැක්වූ කල, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. 23 එසේ ය, මම ඈ තුළ වසංගතයත්, ඇගේ වීදිවල ලේ වැගිරීමත් ඇති කරන්නෙමි. හාත්පසින් ඈ පිට පැමිණෙන කඩුවෙන් ඈ තුළ මනුෂ්‍යයෝ මැරුම් කා වැටෙන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”

ඉශ්රායෙල් වංශය ආශීර්වාද කරනු ලැබීම

24 ”එවිට ඉශ්රායෙල් සෙනඟට ඇනෙන කඩුවක් වත්, රිද්දවන උලක් වත් ඔවුන් අපවාදයට පත් කළ ඔවුන් අවට සිටින සියල්ලන්ගෙන් තවත් නොපැමිණෙන්නේ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”
25 දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ”මා විජාතීන් අතර විසිරී සිටින ඉශ්රායෙල් සෙනඟ රැස් කර, මා ශුද්ධවන්ත බව ඔවුන් මඟින් ජාතීන්ගේ ඇස් හමුයෙහි පෙන්නූ කල්හි, මාගේ මෙහෙකරු ජාකොබ්ට මා දුන් දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත. 26 ඔව්හු එහි සුව සේ වාසය කොට, ගෙවල් ගොඩනඟා මිදි වතු වවන්නෝ ය; ඔවුන් අවට සිටින, ඔවුන් අපවාදයට පත් කළ, සියල්ලන් කෙරෙහි මා විනිශ්චයයන් ඉෂ්ට කළ කල්හි ඔවුන් එසේ සුව සේ වාසය කරනු ඇත. මෙසේ මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”

 

– 29 වන පරිච්ඡේදය –

මිසරයට විරුද්ධ දිවැස් වැකි කීම

1 දස වන අවුරුද්දේ දස වන මාසයේ දොළොස් වන දින සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ දෙස බලා ඔහුටත් මුළු මිසරයටත් විරුද්ධ ව දිවැස් වැකි කියන්න. 3 නුඹ කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නයිල් ගඟ මැද ලගින, නයිල් ගඟ මාගේ ම ය කියාත්, මම ම ඒක සාදාගත්තෙමි කියාත් කියන මහ කිඹුලා වන මිසරයේ පාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි. 4 මම නුඹේ හකුවල කොකු දමා, නුඹේ ගංගාවේ මත්ස්‍යයන් නුඹේ කොරපොතුවල වද්දවා, එසේ නුඹේ කොරපොතුවල ම වැදී සිටිය දී නුඹේ ගංගාවේ සියලු මත්ස්‍යයන් ඇතුළු ව නුඹ නයිල් ගඟෙන් ගොඩට අදින්නෙමි. 5 මම නුඹ සහ නුඹේ ගංගාවේ සියලු මත්ස්‍යයන් ද කාන්තාරයෙහි හෙළාදමන්නෙමි. නුඹ වළලනු නොලැබ පොළොව මතුපිට සිටින්නෙහි ය. මම නුඹ පොළොවේ මෘගයන්ට ද ආකාශ පක්ෂීන්ට ද කෑම පිණිස දෙන්නෙමි. 6 එවිට මිසරයේ සියලු වැසියෝ මා සමිඳාණන් වහන්සේ බව දැනගන්නෝ ය.
7 ”ඉශ්රායෙල්වරු මිසර වැසියන්ගේ ආධාරය කෙරෙහි විශ්වාසය තබා සිටියහ. එහෙත්, නුඹ ඉශ්රායෙල් සෙනඟට බට දණ්ඩක් වැනි විය. ඔවුන් හේත්තු වූ විට නුඹ කැඩී ගියෙහි ය. ඔවුන්ගේ කිහිලි සිදුරු විය; ඔවුන්ගේ කොන්ද පණ නැති විය. 8 එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම නුඹට විරුද්ධ ව කඩුවක් පමුණුවා, නුඹෙන් මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසා දමන්නෙමි. 9 මිසර දේශය නාස්ති වී, පාළු වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය. මක්නිසා ද, නයිල් ගඟ මාගේ ය; මම එය සදාගතිමි යි නුඹ කී බැවිනි. 10 බලන්න, මම නුඹටත්, නුඹේ නයිල් ගඟටත් විරුද්ධ වෙමි. මම මිග්දොල් පටන් සෙව්නේ කොටුව දක්වාත්, එතියෝපියාවේ දේශ සීමාව දක්වාත්, මිසර දේශය මුළුමනින් ම පාළු කරන්නෙමි. 11 මිනිසෙකු වත්, මෘගයෙකු වත් එහි සැරිසරන්නේ නැත. එය සතළිස් අවුරුද්දක් වැසියන් නැති ව තිබෙන්නේ ය. 12 පාළු වී තිබෙන රටවලට වඩා මම මිසර දේශය පාළු කරන්නෙමි. එහි නගර නටබුන් ගොඩක් මෙන් තිබෙන නගරවලට වඩා සතළිස් අවුරුද්දක් එය පාළු දේශයක් ව තිබෙනු ඇත. මම මිසරවරුන් ජාතීන් අතරට පලවා හැර දේශවල ඔවුන් විසුරුවන්නෙමි.
13 ”එහෙත් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. සතළිස් අවුරුද්දකට පසු, විජාතීන් අතර විසිර ගිය මිසරවරුන් අතරෙන් මම ඔවුන් රැස් කරන්නෙමි. 14 මම මිසරවරුන්ගේ වහල්කම පහකර ඔවුන්ගේ ජන්ම දේශය වන පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. ඔවුන් එහි දුර්වල රාජ්‍යයක් ව සිටිනු ඇත. 15 මිසරය සියලු රාජ්‍යයන් අතර පහත් රාජ්‍යයක් වන්නේ ය. එය සෙසු ජාතීන්ට වඩා ඉස්මතු නොවන්නේ ය; ඔව්හු තවත් පාලනය නොකරන්නෝ ය. එය සෙසු ජාතීන් තවත් පාලනය නොකරන පිණිස මම මිසරය කුඩා රාජ්‍යයක් කරන්නෙමි. 16 ඉශ්රායෙල්වරු ආධාර පිණිස මිසරය කෙරෙහි තවත් විශ්වාසය නොතබන්නෝ ය. මිසරයට වන දුර්භාග්‍යය, එය කෙරේ විශ්වාසය තැබීමේ වරද ඉශ්රායෙල්වරුන්ට මතක් කර දෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”

නෙබුකද්නෙශර් රජ මිසරය පරාජය කිරීම

17 තවද, විසිහත් වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: 18 ”මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තීර්ට විරුද්ධ ව දරුණු සටනක් ඇරඹුවේ ය. ඔහුගේ හේවායන් පිට මහා බර උසුලාගෙන යන්න ඔහු සැලැසූ නිසා ඔවුන්ගේ හිස් මුඩු විය. උරහිස්වල හම ගියේ ය. එහෙත්, ඔහු තීර්ට විරුද්ධ ව කළ සටනින් ඔහුට වත්, ඔහුගේ සේනාවට වත් තීර්ගෙන් කිසි වාසියක් ලැබුණේ නැත. 19 එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට මිසර දේශය පාවා දෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගෙන යනු ඇත. ඒවා ඔහුගේ සේනාවට කුලී වශයෙන් ගෙවනු ඇත. 20 තීර්ට විරුද්ධ ව ඔහු කළ උත්සාහයට විපාකයක් වශයෙන් මම මිසර දේශය ඔහුට පාවා දෙන්නෙමි. එසේ කරන්නේ, ඔහු මා උදෙසා ක්‍රියා කළ බැවිනි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
21 ”ඒ දවසේ දී මම ඉශ්රායෙල් සෙනඟ අඟක් මෙන් ශක්තිමත් කරන්නෙමි. තවද එසකියෙල්, සියල්ලන්ට ඇසෙන සේ කතා කරන්න මම නුඹට ඉඩ සලසාදෙන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”

 

– 30 වන පරිච්ඡේදය –

මිසරයට දඬුවම් දීම

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. වැලපෙන්න, අහෝ කාලයක හැටි! 3 මක්නිසා ද, දවස ළඟ ය, සමිඳාණන් වහන්සේගේ දවස ළඟ ය, එය වලාකුළු සහිත දවසක් වන්නේ ය; ජාතීන්ගේ විනාශයේ දවසක් වන්නේ ය. 4 යුද්ධයක් මිසරයට පැමිණෙන්නේ ය. මිසරයෙහි මිනිසුන් ම මැරුම් කා වැටෙන විට ද එහි සමූහයා අල්ලාගන්න විට ද එහි අත්තිවාරම් පෙරළාදමන විට ද එතියෝපියාවේ භීතියක් හටගන්නේ ය.”
5 ”එතියෝපිවරු ද පූට්වරු ද ලූද්වරු ද සියලු අරාබිවරු ද කුබ්වරු ද ගිවිසුමට බැඳුණු දේශයේ වාසීහු ද ඔවුන් සමඟ කඩු පහරින් වැටෙන්නෝ ය.”
6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මිසරයට ආධාර කරන අය වැටෙන්නෝ ය. ඇගේ බලයේ උඩඟුකම බිඳ වැටෙන්නේ ය. උතුරේ මිග්දොල් පටන් දකුණේ සෙව්නේ දක්වා මනුෂ්‍යයෝ කඩු පහරින් නසින්නෝ ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය. 7 ඔවුන්ගේ දේශ පාළු ව තිබෙන දේශ අතරෙත් ඔව්හු ඉතාමත් පාළු වෙති. ඔවුන්ගේ නගර නටබුන් වී තිබෙන නගර අතරෙහි වන්නේ ය. 8 මා මිසරයෙහි ගින්නක් දල්වා ඇගේ සියලු ආධාරකරුවන් විනාශ වී ගිය කල, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
9 ”ඒ දවසේ දී සැකයෙන් තොර ව දිවි ගෙවන එතියෝපියන්වරුන් බිය ගන්වන පිණිස මා ඉදිරියෙන් පණිවුඩකාරයන් නැව්වලින් පිටත් කර යවන්නෙමි. එවිට මිසරයේ විනාශයේ දවසේ දී භීතිය ඔවුන් පිට පැමිණෙනු ඇත; එය පැමිණෙන්නේ ම ය.”
10 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතින් මිසරයේ ජනයා නැති කරවන්නෙමි. 11 ජාතීන්ගෙන් ඉතා භයානක අය වන ඔහුත්, ඔහු සමඟ ඔහුගේ සෙනඟත් දේශය නාස්ති කරන පිණිස ගෙන්වනු ලබන්නෝ ය. ඔව්හු මිසරයට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද මැරුම් කන අයගේ මළකඳන්වලින් දේශය පුරවන්නෝ ය. 12 මම නයිල් ගඟ වියළවා දේශය දුෂ්ටයන්ගේ අතට විකුණා දේශය ද එහි ඇති සියල්ල ද විදේශිකයන් ලවා පාළු කරවන්නෙමි. ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි.”
13 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම දේව රූප නැති කොට, මෙම්පීස් දේශයේ පිළිම පහකරන්නෙමි. අධිපතියෙකු මිසර දේශයෙන් තවත් නොවනු ඇත. තවද, මම මිසර දේශයෙහි භීතිය හටගන්වන්නෙමි. 14 මම පෙත්‍රාස් පාළු කොට ශොවන්හි ගින්නක් අවුළුවා, තීබ්ස් නගරයට දඬුවම් කරන්නෙමි. 15 මම මිසරයේ සවිමත් බලකොටුව වන ශීන් පිට මාගේ කෝපය වගුරුවා තීබ්ස් නගරයෙහි සමූහයා කඩුවෙන් වනසාදමන්නෙමි. 16 ගින්නක් ද මිසරයෙහි දල්වන්නෙමි. ශීන් මහ වේදනා විඳින්නටත්, පවුරු හෙළාදමා තීබ්ස් බිඳදමනු ලබන්නටත්, ජලගැල්මෙන් විනාශ වී යන්නටත් සලස්වන්නෙමි. 17 ආවෙන්හි ද පී-බෙසෙත්හි ද යෞවනයෝ කඩුවෙන් නසින්නෝ ය; එහි වැසියෝ වහල්කමට ගෙනයනු ලබන්නෝ ය. 18 මා මිසරයේ වියගස් තෙහප්නෙහේස්හි දී බිඳින කල ද ඇගේ බලයේ උඩඟුකම ඇගෙන් පහවන කල ද එහි දවාල අඳුරු වන්නේ ය. ඈ වලාපටලයකින් වැසෙන්නී ය. ඇගේ දූවරු වහල්කමට ගෙනයනු ලබන්නෝ ය. 19 මෙසේ මම මිසරයට දඬුවම් පමුණුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”

මිසරයේ රජුගේ බලය බිඳදැමීම

20 තවද, එකොළොස් වන අවුරුද්දේ පළමු වන මාසයේ සත් වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 21 ”මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝගේ හස්තය මම බිඳදැමුවෙමි. කඩුව අල්ලන්න එය ශක්තිමත් වන සේ කිසිවෙකු එය පටිවලින් බැඳ එයට පිළියම් කර නැත. 22 එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බලන්න, මම මිසරයේ රජු වන පාරාවෝට විරුද්ධ ව සිටිමි. මම ඔහුගේ කැඩුණු අතත්, නොකැඩුණු අතත් දෙක ම කඩන්නෙමි. එවිට ඔහුගේ අතින් කඩුව වැටෙන්නේ ය. 23 මිසරවරුන් ජාතීන් අතරට එළවා ඔවුන් දේශවල විසුරුවන්නෙමි. 24 මම බබිලෝනියේ රජුගේ බාහුව බලවත් කොට මාගේ කඩුව ඔහු අතට දෙන්නෙමි. පාරාවෝගේ බාහුව කඩන්නෙමි, ඔහු මරණීය තුවාළ ලත් කෙනෙකුගේ කෙඳිරිගෑම්වලින් ඒ අය ඉදිරියෙහි කෙඳිරිගානු ඇත. 25 මම බබිලෝනියේ රජුගේ බාහු ශක්තිමත් කරන්නෙමි. එහෙත්, පාරාවෝගේ බාහු දුර්වල කරන්නෙමි. මෙසේ මා බබිලෝනියේ රජුගේ අතට මාගේ කඩුව දී, ඔහු එය මිසර දේශයට විරුද්ධ ව දිගු කරන කල්හි, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. 26 මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, ඔවුන් දේශවල විසුරුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.’ ”

 

– 31 වන පරිච්ඡේදය –

මහා කිහිරි රුක වන මිසර දේශය

1 තවද, එකොළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝටත්, ඔහුගේ සෙනඟටත් මෙසේ කියන්න: නුඹ උසස්කමෙන් කවරෙකුට සමාන ද?
3 ”නුඹ වනාහි සෙවණ ගෙන දෙන, ශෝභන අතු ඇති, වලාකුළුවල ගෑවෙන තරම් උසැති ලෙබනොන්හි කිහිරි ගසකට සමාන ය.
4 ”එය වැඩෙන පිණිස වතුර ද පො‍්ෂණය කරන පිණිස පොළොව යට උල්පත් ද තිබුණේ ය. ඒවායින් ගස වැඩෙන තැනට ජල ධාරා ගලා එන්නේ ය. එය වනයේ ඇති ගස්වලට ද දිය දහරා යැව්වේ ය.
5 ”ඒ නිසා ඒ ගස වනයේ සියලු ගස්වලට වඩා උස ය. බොහෝ වතුර ලැබුණු නිසා, එහි අතු වැඩි වී දිගට ගියේ ය.
6 ”ආකාශයේ සියලු පක්ෂීහු එහි අතුවල කූඩු සාදාගත්හ. එහි අතු යට වනයේ සියලු මෘගයෝ පැටවුන් ගැසූ හ. එහි සෙවණෙහි සියලු මහා ජාතීහු ද වාසය කළහ.
7 ”එය විහිදී ගිය දිග අතු ඇති, ඉතා අලංකාර, මහා ගසක් විය. මක්නිසා ද, එහි මුල් බොහෝ ජලය ඇති තැන්වල ගැඹුරට ඇදී ගියේ ය.
8 ”දෙවියන් වහන්සේගේ උයනේ ඇති කිසි ම කිහිරි ගසක් එයට සම කළ නොහැකි විය. දේවදාර ගස් එහි අතුවලට සමාන නො වී ය. අර්මොන් ගස් එහි රිකිලිවලට සැසඳුව විට ගණනට ගත නොහැකි විය. දෙවියන් වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නො වී ය.
9 ”එහි අතු රාශියෙන් මම එය අලංකාර කෙළෙමි. එබැවින් දෙවියන් වහන්සේගේ උයනෙහි, ඒදන්හි සියලු ම ගස්, ඊට ඊර්ෂ්‍යා කෙළේ ය.
10 ”එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩුණ ඒ ගසට සිදු වන දේ මම නුඹට කියමි. එය උසට වැඩෙන්න වැඩෙන්න උඩඟු විය. 11 ඒ නිසා ජාතීන් අතරේ බලවන්තයා කැමැති හැටියට එයට කරන පිණිස ඔහු අතට ඒ ගස පාවා දෙන්නෙමි. ඔහු ඒ ගසේ දුෂ්ටකමට සරිලන සේ එයට කළ යුතු දේ කරන්නේ ය. 12 ජාතීන්ගෙන් ඉතා භයානක විදේශිකයෝ එය කපාදමා යන්නෝ ය. එහි අතු කඳු පිටත්, සියලු මිටියාවත්වලත් වැටෙන්නේ ය. එහි අතු කැඩී දේශයේ සියලු දිය පාරවල තිබෙන්නේ ය. පොළොවේ සියලු ජනයෝ ද එහි සෙවණෙන් ඉවත් වී එය අත්හැර යන්නෝ ය. 13 වැටී ඇති ගස් මත ආකාශයේ සියලු පක්ෂීහු ලගින්නෝ ය. එහි අතු උඩ වනයේ සියලු මෘගයෝ ඇවිදින්නෝ ය. 14 මෙතැන් සිට කිසි ම ගසකට කොපමණ හොඳට වතුර ලැබුණත් ඒ ගස මෙන් උසට වැඩෙන්නේ නැත; වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩෙන්නේත් නැත. ඒ සියල්ල පාතාලයේ සිටින අය සමඟ එක් වන පිණිස මැරෙන්නට නියම ව සිටින සුළු මිනිසුන් මෙන් මැරී යන්නට නියම වී ඇත.
15 ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඒ ගස පාතාලයට බැස යන දවසේ දී වැලපීමේ ලකුණක් වශයෙන් පොළොව යට වතුර ඊට නොලැබෙන්නට සලස්වන්නෙමි. මම ගංගාවන් නවත්වා එහි බොහෝ ජල ධාරාවන්ට ගලා යන්න ඉඩ නොදෙන්නෙමි. ලෙබනොන් අන්ධකාරයෙන් ආවරණය කරන්නෙමි; ගොඩබිම සියලු ගස් ද එයින් මැලවී යන්නේ ය. 16 මිනී වළට බසින්නන් සමඟ මා ඒ ගස පාතාලයට හෙළාදැමූ කල එහි වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුළවන්නෙමි. එවිට ඒදන්හි සියලු ගස් ද ලෙබනොන්හි ඉතා වටිනා ගස් ද එනම්, වතුර බොන සියල්ලන් ම, පාතාලයේ දී සැනසෙනු ඇත. 17 ඒ ගස සමඟ එහි සෙවණ යට ජීවත් වූ සියලු ජාතීන් ද කඩුවෙන් මැරුම් කෑ අය ද පාතාලයේ දී එක්වනු ඇත.
18 ”ඒ ගස නම්, මිසර දේශයේ රජු හා ඔහුගේ සියලු සෙනඟ ය. ඒදන්හි තිබුණු ගස් උසින් ද තේජසින් ද ඒ ගසට සමාන නො වී ය. එහෙත් දැන් ඒදන්හි ගස් මෙන් එය අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය සමඟ එක් වන පිණිස පාතාල ලොවට යන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

 

– 32 වන පරිච්ඡේදය –

පාරාවෝ කිඹුලාට සමාන කිරීම

1 තවද, දොළොස් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ ගැන විලාපයක් නඟමින් ඔහුට මෙසේ කියන්න: නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමාන කරනු ලැබුවෙහි ය. නුඹ ජලයෙහි සිටින කිඹුලෙකු වැනි ය. නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කළඹා ගංගා කිළුටු කෙළෙහි ය. 3 දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. රැස්ව සිටින බොහෝ ජනයන් ඇතුළු ව නුඹ පිට මාගේ දැල හෙළන්නෙමි. ඔවුන් මාගේ දැලෙන් නුඹ ගොඩට අදිනු ඇත. 4 එවිට මම නුඹ බිම දමා, පොළො‍් තලය මතු පිට හෙළා ආකාශයේ සියලු පක්ෂීන් නුඹ පිට වහන්නටත්, මුළු පොළොවේ සත්ත්වයන් නුඹේ මාංසය කා තෘප්තියට පැමිණෙන්නටත් සලස්වන්නෙමි. 5 මම නුඹේ මාංස කඳු පිට විසුරුවා මිටියාවත් මළකඳන්වලින් පුරවන්නෙමි. 6 නුඹේ ලේ කඳු දක්වා ගලා ගොස් දිය ඇලවල් එයින් පිරෙනු ඇත. 7 නුඹ විනාශ වන කල, මම අහස මුවා කොට, එහි තාරකා අඳුරු කර, වලාකුළකින් ඉර වසන්නෙමි; සඳත් එහි එළිය නොදෙන්නේ ය. 8 අහසේ බබළන සියලු ආලෝකයන් නුඹ නිසා මම අඳුරු කොට, නුඹේ දේශය මත අන්ධකාරය පමුණුවන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
9 ”නුඹ නොදත් රටවලට, ජාතීන් අතරට, නුඹ වහල්කමට ගෙන යන කල, මම බොහෝ ජනයන්ගේ සිත් ශෝක කරවන්නෙමි. 10 එසේ ය, මම නුඹට කරන දේ ගැන බොහෝ ජනයන් විස්මයට පමුණුවන්නෙමි. ඔවුන් ඉදිරිපිට මාගේ කඩුව ලෙළවන කල ඔවුන්ගේ රජවරු නුඹ නිසා භීතියෙන් තැතිගන්නෝ ය. නුඹේ වැටීමේ දවසේ දී ඔව්හු එක එකා තම තමාගේ ප්‍රාණ ගැන මොහොතෙන් මොහොත වෙවුළන්නෝ ය.
11 ”මක්නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බබිලෝනියේ රජුගේ කඩුව නුඹ පිට පතිත වන්නේ ය. 12 ජාතීන්ගෙන් ඉතා දරුණු අය වන මාගේ බලවතුන්ගේ කඩු පහරින් නුඹේ සෙනඟ විනාශ කරන්නට මම සලස්වන්නෙමි. ඔවුන් මිසරයේ අභිමානය බිඳදමනු ඇත. එහි මුළු ජනගහනය විනාශ වනු ඇත. 13 මම එහි සියලු මෘගයන් ජලය පිරී ඇති තැන්වලින් විනාශ කරන්නෙමි. මිනිසුන්ගේ පාදවලට ඒවා තවත් බොරවන්නේ නැත. මෘගයන්ගේ කුරවලටත් ඒවා බොරවන්නේ නැත. 14 නුඹේ ජලය පෑදෙන්නටත්, නුඹේ ගංගා තෙල් මෙන් ගලා යන්නටත් සලස්වන්නෙමි. 15 මා මිසර දේශය නිර්ජන කර, එහි ඇති සියලු දේශ නැති කර, එහි සියලු වැසියන්ට මා පහර දෙන කල ද මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය. 16 මිනිසුන් අතර නඟන විලාපය මේ ය: ‘ජාතීන්ගේ කාන්තාවන් ඒ ගැන විලාප කියනු ඇත. මිසරය ගැනත්, එහි මුළු සමූහය ගැනත් ඔවුන් විලාප කියනු ඇත.’ මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”

පාතාල ලෝකය

17 තවද, දොළොස් වන අවුරුද්දේ පළමු වන මාසයේ පහළොස් වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 18 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ මුළු ජනගහණය ගැන විලාප ගීයක් ගයන්න. ඔවුන් සහ බලවත් ජාතීන්ගේ කාන්තාවන් ද වළ පල්ලට යන අය සමඟ පොළොවේ යට ඇති පාතාලයට හෙළන්න. 19 නුඹ කවරෙකුට වඩා රූපසම්පන්න වන්නෙහි ද? නුඹ බැස ගොස් අචර්මඡේදිතයන් සමඟ වැටී හිඳින්න.
20 ”කඩුවෙන් මැරුම් කන අය අතරෙහි ඔවුන් වැටෙනු ඇත. ඈ සහ ඇගේ සියලු සමූහයන් මැරී සිටිනු ඇත. 21 බලවතුන්ගේ උත්තමයෝ ඔහුගේ සහකාරයන් සමඟ පාතාලය මැද සිට ඔහුට කතා කරති. අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය බැස ගොස් වැටී සිටිති.
22 ”අසිරියාව සහ ඇගේ මුළු හමුදාව එහි ය. ඔවුන්ගේ මිනී වළවල් ඔහු අවටින් ඇත්තේ ය. ඔව්හු සියල්ලෝ ම කඩුපහරින් වැටී මැරුම් කෑහ. 23 ඔවුන්ගේ මිනී වළවල් පාතාලයේ ඉතා ගැඹුරු තැන්වල සාදා තිබේ. ඇගේ හමුදාව ඇගේ මිනී වළ වටකර සිටිති. ජීවත් වෙන්නවුන්ගේ දේශයෙහි භීතිය ඉපදවූ ඔව්හු සියල්ලෝ ම කඩු පහරින් වැටී මැරුම් කෑහ.
24 ”එහි ඒලාම් සහ ඇගේ මිනී වළ වටකර ඇගේ මුළු හමුදාව සිටිති. ඔව්හු සියල්ලෝ ම කඩු පහරින් වැටී මැරුම් කෑහ. ජීවත්වූවන්ගේ දේශයෙහි භීතිය ඉපදවූ ඔව්හු අචර්මඡේදිත ව පොළොවේ පාතාල තැන්වලට බැස ගියෝ ය. ඔව්හු ද වළ පල්ලට යන අය සමඟ තමන්ගේ නින්දාව දරා සිටිති. 25 මැරුම්කෑ අය කෙරෙහි ඇගේ මුළු හමුදාව මධ්‍යයෙහි ඈට යහනක් තබා තිබේ. ඔවුන්ගේ මිනී වළවල් ඈ වටකර ඇත. ඔව්හු සියල්ලෝ ම අචර්මඡේදිත වූ, කඩුපහරින් මැරුම්කෑ අය ය. ජීවත් ව සිටිය දී ඔව්හු භීතිය පතුරුවා හැරියෝ ය. එහෙත්, දැන් ඔව්හු මරණයට ගොදුරු වී පාතාල ලෝකයට බැස යන්නන් සමඟ නින්දාවට පත් වෙති.
26 ”එහි මෙෂෙක් ද තුබල් ද ඇගේ මුළු හමුදාව සමඟ සිටිති. ඔවුන්ගේ මිනී වළවල් ඈ වටකර ඇත්තේ ය. ඔව්හු සියල්ලෝ ම අචර්මඡේදිත වූ, කඩු පහරින් මැරුම්කෑ අය වෙති. එහෙත් වරක් ඔව්හු ජීවත් ව සිටින්නන් භීතියට පත් කළහ. 27 වැටී තමන්ගේ යුද්ධායුධ පිටින් පාතාලයට බැස ගියාවූ, තමන්ගේ කඩු තමන්ගේ හිස යට තබාගත්, තමන්ගේ පලිස් තමන්ගේ ඇටකටු මත තබාගත්, අචර්මඡේදිත බලවතුන් සමඟ ඔව්හු වැටී නොසිටින්නෝ ය. කුමක්නිසා ද, ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු බලවතුන්ට භීතියක් ව සිටියෝ ය.
28 ”එහෙත්, අචර්මඡේදිතයන් අතරෙහි නුඹ පොඩි වී නැසුණු අය සමඟ වැටී සිටින්නෙහි ය.
29 ”එහි ඒදොම් සහ ඇගේ රජවරු ද ඇගේ සියලු ම අධිපතීහු ද සිටිති. ඔව්හු බලවන්තයන් ව සිටි නමුත්, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ තැන්පත් කරනු ලැබුවෝ ය. ඔවුන් අචර්මඡේදිතයන් ද වළ පල්ලට යන්නන් ද සමඟ වැටී සිටිනු ඇත.
30 ”එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති.
31 ”පාරාවෝ සහ ඔහුගේ මුළු සේනාව කඩුවෙන් මැරුම්කෑ අය දැක සතුටුවන්නෝ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
32 ”වරක් ජීවත් ව සිටින අයගේ දේශය මුළුල්ලේ භීතිය පැතිරෙව්වේ ය. එහෙත්, පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී සිටිති. දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

 

– 33 වන පරිච්ඡේදය –

මුර සෙබළෙකු වැනි දිවැසිවරයා
(එසකි: 3:16-21)

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ රටවැසි සෙනඟට කතා කොට මෙසේ කියන්න: මා යම් දේශයකට යුද්ධය පමුණුවන විට ඒ දේශයේ සෙනඟ තමන් අතරෙන් මනුෂ්‍යයෙකු තෝරාගෙන තමන්ට මුර සෙබළා කොට පත් කරනු ඇත. 3 ඔහු සතුරු සේනා එනු දැක හොරණෑව පිඹ, ඒ ගැන සෙනඟට දන්වනු ඇත. 4 හොරණෑ ශබ්දය අසා එය නොසලකා සිටින යම් කෙනෙකු කඩුවෙන් මරනු ලැබුවොත්, ඔහුගේ මරණයට ඔහු ම වගකිව යුතු වේ. 5 ඔහු හොරණෑ ශබ්දය අසා නොසලකා සිටි බැවින් ඔහුගේ මරණය ඔහුගේ ම වරදින් සිදු වූවකි. එහෙත්, ඔහු අනතුරු ඇඟවීම සැලකුවේ නම්, තමාගේ ප්‍රාණය ගළවාගන්න ඔහුට ඉඩ තිබිණි. 6 එහෙත්, මුර සෙබළා සතුරු සේනා පැමිණෙනු දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, අනතුර නොදත් සෙනඟ අතරෙන් පවිටු ව සිටින ඕනෑ ම කෙනෙකු සතුරන් අතින් මරණයට ගොදුරු වුවහොත් ඒ මරණයට මුර සෙබළා වගකිවයුත්තා වශයෙන් මම සලකමි.
7 ” ‘එසේ ම මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඉශ්රායෙල් සෙනඟට මුර සෙබළෙකු කෙළෙමි. නුඹ ද මාගේ මුවින් වචනය අසා මාගේ නාමයෙන් ඔවුන්ට අවවාද කරන්න. 8 එම්බා දුෂ්ටය, නුඹ නසිනවා ම ඇතැ යි මා දුෂ්ටයාට කී කල්හි තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාද කිරීමට නුඹ කතා නොකර සිටියොත්, දුෂ්ට වූ ඔහු තමාගේ පාපයෙහි ම නසිනු ඇත. එහෙත්, නුඹ ඔහුගේ මරණය ගැන වගකිවයුත්තා වශයෙන් මම සලකමි. 9 එසේ වී නමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාද කළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනු ඇත. එසේ වූවොත්, නුඹේ ප්‍රාණය නුඹ ගළවාගනු ඇත.’ ”

පෞද්ගලික වගකීම

10 සමිඳාණන් වහන්සේ තවදුරටත් මෙසේ වදාළ සේක: ”තවද, මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: ‘අපේ වරද සහ අපේ පාප ද අප කෙරෙහි තිබී, අප එයින් ක්ෂය වී යද්දී, අප ජීවත් වන්නේ කොහොම දැ’යි නුඹලා කියන්නහු ය. 11 මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වනවාට මිස, ඔහු නසිනවාට මම ප්‍රසන්න නොවෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. ඉශ්රායෙල් ජනයෙනි, හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ කුමට දැ’යි ඔවුන්ට කියන්න.
12 ”දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ පෙර දැහැමි ක්‍රියා ඔහුට ගැළවීම අත්කර නොදෙයි. දුෂ්ට මිනිසෙකු සිය දුෂ්ටකමෙන් හැරුණොත්, ඔහුගේ පසුගිය දුෂ්ටකම් නිසා ඔහු නසින්නේ නැත. දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ දැහැමිකම නිසා ගැළවීම ලබන්න ඔහුට පුළුවන් වන්නේ නැත. 13 නුඹ සැබැවින් ජීවත් වන්නෙහි යයි මා දැහැමි මිනිසාට කී නමුත්, ඔහු තමාගේ දැහැමිකම කෙරෙහි විශ්වාසය තබමින් අපරාධ කළොත්, ඔහුගේ දැහැමි ක්‍රියා කිසිවක් සිහි කරනු නොලබන්නේ ය; ඔහු කළ අපරාධ නිසා ඔහු නසිනු ඇත. 14 නුඹ නසිනු ඇතැ යි මා දුෂ්ටයාට කී නමුත්, ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තිය ද දැහැමි ක්‍රියා ද කළොත්, 15 ඔහු උකසට ගත් දේ නැවත දී, කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අදමිටුකම් නොකර පණත් අනුව ජීවත් වුවහොත් ඔහු නොමැරී ජීවත් වන්නේ ය; 16 ඔහුගේ කිසි ම පාපයක් ඔහුට විරුද්ධ ව සිහිකරනු නොලබන්නේ ය. ඔහු යුක්ති සහගත හරි දේ කෙළේ ය; ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය.
17 ” ‘එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹේ රටවැසි සෙනඟ කියති. එහෙත්, අසාධාරණ වන්නේ ඔවුන්ගේ ක්‍රියා ය. 18 දැහැමි මිනිසා තමාගේ දැහැමි ක්‍රියා අත්හැර අයුතුකම් කළොත්, ඔහු ඒ නිසා නසිනු ඇත. 19 දුෂ්ටයා ද තමාගේ දුෂ්ටකමෙන් හැරී යුක්ති සහගත හරි දේ කළොත්, ඔහු ඒ නිසා ජීවත් වනු ඇත. 20 එහෙත්, ‘සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹලා කියන්නහු ය. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා එකිනෙකා තම තමාගේ ම ක්‍රියා ලෙස විනිශ්චය කරන්නෙමි.”

ජනතාවගේ පාපය හා දේව විනිශ්චය

21 අපේ වහල්කමේ දොළොස් වන අවුරුද්දේ දස වන මාසයේ පස් වන දින ජෙරුසලමෙන් ගැළවී ආ කෙනෙක් මා ළඟට අවුත්, ”නුවර සතුරන්ට අත්පත් වී ය”යි කී ය. 22 ගැළවී ආ තැනැත්තා එන්නට පෙර දා සවස සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණ තිබුණේ ය. ඒ මිනිසා පසු දින උදේ මා වෙත එන විට උන් වහන්සේ කතා ශක්තිය මට දී තිබුණේ ය. මාගේ මුඛය ඇරී, මම තවත් ගොළු ව නොසිටියෙමි.
23 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 24 ”මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් දේශයෙහි තිබෙන ඒ පාළු ඉඩම්වල වසන්නෝ කතා කොට, ‘ආබ්‍රහම් එක් කෙනෙකු ව සිටි නමුත්, ඔහුට දේශය උරුම විය. අපි වනාහි බොහෝ දෙනෙක් ය; දේශය ද උරුමයක් කොට අපට දී තිබේ ය’යි කියති.
25 ”එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: ‘ලේ පිටින් මස් කන, රූපවලට නමස්කාර කරන, ලේ වගුරුවන, නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද? 26 නුඹලාගේ කඩුව කෙරෙහි විශ්වාසය තබා සිටින, පිළිකුල් ක්‍රියා කරන, තම තමාගේ අසල්වැසියාගේ භාර්යාව දූෂණය කරන නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද?’
27 ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි, පාළු ඉඩම්වල සිටින්නෝ කඩු පහරින් වැටෙන්නෝ ය; කෙතේ සිටින අය, වනමෘගයන්ට ගොදුරු පිණිස දෙන්නෙමි; බලකොටුවල ද ගුහාවල ද සිටින්නෝ වසංගතයෙන් නසින්නෝ ය. 28 මම දේශය පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි. ඇගේ ශක්තිය කෙරෙහි අභිමානය අවසාන වන්නේ ය; ඉශ්රායෙල් කඳුවලට කිසිවෙකු යාමට වුවමනා නොවන ලෙස ඒවා පාළු වන්නේ ය. 29 ඔවුන් කළ සියලු පිළිකුල් ක්‍රියා නිසා මා දේශය පාළුවක් ද නාස්තියක් ද කළ විට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
30 ”තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹේ රටවැසි සෙනඟගේ පවුරු ළඟ දී ද ගෙවල්වල දොරකඩවල දී ද නුඹ ගැන කතා කොට, ‘එන්න, සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන වචනය කුමක් ද කියා අසන්නැ’යි එකිනකො තම තමාගේ සහෝදරයාට කියති. 31 එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති. 32 නුඹ වනාහි මිහිරි කටහඬක් ඇති, හොඳින් වාදනය කරන පෙම් ගී ගයන්නෙකු වැනි ය. මක්නිසා ද ඔව්හු නුඹේ වචන අසති; එහෙත් ඒවා නොපිළිපදිති. 33 නුඹ කියන දේ සිදු වන්නේ ම ය. එය සිදු වන කල තමන් අතරෙහි දිවැසිවරයෙකු සිටින බව ඔවුන් දැනගනු ඇත.”

 

– 34 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල්වරුන්ගේ එඬේරු

1 තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට එනම්, එඬේරුන්ට කියන්න. තමන් ම පො‍්ෂණය කරගන්න ඉශ්රායෙල් එඬේරුනි, නුඹලාට වන විපතක මහත! නුඹලා බැටළුවන් පො‍්ෂණය කළ යුතු නොවන්නහු ද? 3 නුඹලා කිරි බොන්නහු ය; ලෝම ඇඳුම් ඇඳගන්නහු ය; තර සතුන් මරා කන්නහු ය. එහෙත්, නුඹලා බැටළුවන් පො‍්ෂණය නොකරන්නහු ය; 4 දුර්වල බැටළුවන් නුඹලා ශක්තිමත් කෙළේ වත්, ලෙඩ වූ බැටළුවන් සුව කෙළේ වත්, තුවාළ වූ බැටළුවන්ගේ තුවාළ බැන්දේ වත් නැත; මුළා ව ගිය බැටළුවන් නැවත ගෙනාවේ වත්, නැති වූ බැටළුවන් සෙව්වේ වත් නැත. බලයෙන් ද කුරිරු ලෙස ද නුඹලා උන් පාලනය කළහු ය. 5 එඬේරෙකු නැති ව බැටළුවෝ විසිරී ගොස් සියලු වන මෘගයන්ට ගොදුරු වූ හ. 6 මාගේ බැටළුවෝ සියලු කඳුවල ද උස් වූ සියලු හෙල් පිට ද මුළා ව ගියහ. එසේ ය, මුළු පොළො‍් තලයෙහි මාගේ බැටළුවෝ විසිරී ගියහ. උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හ.
7 ”එබැවින් එඬේරුනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. 8 දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ ජීවමාන නාමයෙන් මෙසේ දිවුරා කියමි: එඬේරෙකු නැති බැවින් මාගේ බැටළුවන් වන මෘගයන් විසින් ඩැහැගෙන යනු ලැබ උන්ට ගොදුරු වී ඇත; මාගේ එඬේරු මාගේ බැටළුවන් සොයන්න උත්සාහ නොකර, මාගේ බැටළුවන් පො‍්ෂණය නොකර, තමන් ම පො‍්ෂණය කරගත්හ. 9 එබැවින්, එඬේරුනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. 10 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම එඬේරුන්ට විරුද්ධ ව සිට මාගේ බැටළුවන් ඔවුන් අතින් ආපසු ගන්නෙමි. ඒ එඬේරුන් බැටළුවන් රැකබලාගැනීමෙන් මම අස් කරන්නෙමි. තවත් තමන් ම පො‍්ෂණය කරගන්න එඬේරුන්ට ඉඩ නොදෙමි. මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවා ගන්නෙමි.”

යහපත් බැටළු එඬේරා

11 ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම ම මාගේ බැටළුවන් ගැන සොයා බලා, උන් රැකබලාගන්නෙමි. 12 එඬේරෙකු තමාගේ බැටළු රැළෙන් විසිර ගිය සමහරෙකු සොයා යන්නාක් මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, මීදුම සහ අන්ධකාරය ඇති දවසේ දී උන් විසිරී ගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි. 13 මම ජාතීන් අතරෙන් උන් පිටතට පමුණුවා, ඒ විදේශවලින් උන් රැස් කර, උන්ගේ ම රටට උන් ගෙනවුත්, ඉශ්රායෙල් කඳුවල ද දෙණිවල ද දේශයේ සියලු වාසස්ථානවල ද උන් පො‍්ෂණය කරන්නෙමි. 14 හොඳ තෘණවලින් උන් පො‍්ෂණය කරන්නෙමි. ඉශ්රායෙල් කඳුවල උස් තැන්හි උන්ගේ තණ බිම් වන්නේ ය. එහි හොඳ තණ බිම්වල උන් ලගිනු ඇත. ඉශ්රායෙල් කඳුවල උන් සාරවත් තණ කනු ඇත. 15 මම ම මාගේ බැටළුවන්ට එඬේරා වන්නෙමි; මම ම උන්ට ලගින්න තැනක් සොයා දෙන්නෙමි. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.
16 ”මම නැති වූ බැටළුවා සොයන්නෙමි; මුළා ව ගිය බැටළුවා ආපසු ගෙනෙන්නෙමි; තුවාළ වූ බැටළුවාගේ තුවාළ බඳින්නෙමි; ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි; ශක්තිමත් වූ බැටළුවන් රැකබලාගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි.
17 ”මාගේ බැටළුවෙනි, නුඹලාට දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හොඳ බැටළුවන්ගෙන් නරක බැටළුවන් මම වෙන්කරන්නෙමි. 18 නුඹලාගෙන් සමහරු හොඳ තණ කෑමෙන් සෑහීමට පත් නොවනු පමණක් නොව, ඉතිරි හොඳ තණ පවා පාගාදමන්නෝ ය; නුඹලා පිරිසිදු වතුර බොනවා පමණක් නොව හොඳ වතුර පාගා මඩ කරන්නහු ය. 19 මාගේ සෙසු බැටළුවන්ට නුඹලා පාගාදැමූ තණ කන්නට ද නුඹලා මඩ කළ වතුර බොන්නට ද සිදු වී ඇත.”

අලුත් එඬේරා සහ අලුත් ගිවිසුම

20 ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ එඬේරුන්ට මෙසේ වදාරන සේක: බලන්න, මම ම තර බැටළුවන් කෙට්ටු බැටළුවන්ගෙන් වෙන්කරන්නෙමි. 21 දුර්වල වූ සියල්ලන් විසුරුවාදමන තුරු නුඹලා ඇලපෙතන් ද උරහිසෙන් ද තල්ලු කර, නුඹලාගේ අංවලින් උන්ට අනින බැවින්, 22 මාගේ බැටළුවන් තවත් ගොදුරු නොවන ලෙස මම උන් ගළවා, බැටළුවන් විනිශ්චය කර හොඳ උන් නරක උන්ගෙන් වෙන්කරන්නෙමි. 23 ඔවුන් පො‍්ෂණය කිරීමට එක ම එඬේරෙකු වන මාගේ සේවක දාවිත් වැනි රජ කෙනෙකු ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. හෙතෙම ඔවුන් පො‍්ෂණය කොට ඔවුන්ගේ එඬේරා වන්නේ ය. 24 සමිඳාණන් වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මාගේ සේවක දාවිත් ඔවුන් අතරේ අධිපතියා වන්නේ ය; සමිඳාණන් වහන්සේ වන මම එසේ කීමි.
25 ”මම ඔවුන් සමඟ සාමදාන ගිවිසුමක් කරන්නෙමි, ඔවුන්ට සුව සේ පාළුකරයේ වසන්නටත්, කැලෑවල නිදා ගන්නටත් පුළුවන් වන ලෙස මම චණ්ඩ මෘගයන් දේශයෙන් පහකරන්නෙමි.
26 ”මම ඔවුන්ට ආශීර්වාද කර, මාගේ ශුද්ධ කන්ද අවට විසීමට සලසාදෙන්නෙමි. වැස්ස නියම කාලයට වස්වන්නෙමි. ඒවා ආසිරි වැසි වන්නේ ය. 27 කෙතේ ගස්වල පල හටගන්නේ ය. දේශයෙන් අස්වැන්න උපදින්නේ ය. සියලු දෙන සිය දේශයෙහි නිරුපද්‍ර ව වසන්නෝ ය. මා ඔවුන්ගේ වියගස් කඩා, ඔවුන් වහල්කරගත් අයගේ අත්වලින් ඔවුන් මුදාගත් විට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. 28 විජාතීන්ට තවත් ඔව්හු කොල්ලයක් නොවන්නෝ ය. මේ රටේ වන මෘගයන් උන් කන්නේ නැත; කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත; ඔවුන් සුව සේ වාසය කරනු ඇත. 29 මම ඔවුන්ට සශ්‍රීක වතු පිටි උපදවන්නෙමි. ඔව්හු තවත් දේශයේ සාගතයෙන් විනාශ නොවන්නෝ ය. විජාතීන්ගේ නින්දාවට ලක් නොවන්නෝ ය. 30 මෙසේ ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මා ඔවුන් සමඟ වැඩසිටින බව ද ඉශ්රායෙල් ජාතිය වන ඔවුන් මාගේ සෙනඟ බව ද ඔව්හු දැනගන්නෝ ය. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.
31 ” ‘මාගේ බැටළුවන් වන, මා විසින් පො‍්ෂණය කරනු ලබන නුඹලා වනාහි මනුෂ්‍යයෝ ය; මම නුඹලාගේ දෙවියන් වහන්සේ ය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”

 

– 35 වන පරිච්ඡේදය –

ඒදොම්ට දඬුවම් දීම

1 තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
2 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සේයිර් කන්ද දෙසට හරවාගෙන, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්, 3 මෙසේ කියන්න. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා සේයිර් කන්ද, බලන්න, මම නුඹට විරුද්ධ ව, මාගේ අත නුඹට දිගු කොට, නුඹ පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි. 4 මම නුඹේ නගර නටබුන් ගොඩක් කරන්නෙමි; නුඹ පිරිහෙන්නට සැලැසූ විට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.
5 එ”නුඹ නිරන්තරයෙන් සතුරුකම් කරමින් සිට, අන්තිම දඬුවමට මූණ පා සිටි ඉශ්රායෙල් සෙනඟගේ විපත්ති කාලයේ දී ඔවුන් කඩුවේ බලයට පාවා දුන් බැවින්, 6 මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ වදාරන්නෙමි: මම නුඹ මරණයට සූදානම් කරන්නෙමි; මරණය නුඹ ලුහුබැඳ එන්නේ ය. නුඹ මිනී මැරීමට විරුද්ධ නොවූ බැවින් මරණය නුඹ ලුහුබැඳ එන්නේ ය. 7 මම සේයිර් කන්ද පාළුවක් ද නාස්තියක් ද කොට, එහි යන එන කෙනෙකු නැති ව තිබෙන්න සලස්වන්නෙමි. 8 මැරුම් කන අයගේ මළකඳන්වලින් නුඹේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වල ද නුඹේ මිටියාවත්වල ද නුඹේ සියලු දෙණිවල ද කඩුවෙන් මැරුම් කන අය වැටෙනු ඇත. 9 මම නුඹ සදහට ම පාළුවක් කරන්නෙමි. නුඹේ නගරවල ද වැසියෝ නොසිටින්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
10 ”සමිඳාණන් වහන්සේ මෙහි සිටියදීත් නුඹලා, මේ ජාති දෙක ද රටවල් දෙක ද මට අයිති වන්නේ ය කියාත්, අපි එය හිමි කර ගන්නෙමු කියාත් කී බැවින්, 11 මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ වදාරන්නෙමි: ඔවුන් කෙරෙහි තිබෙන නුඹේ වෛරයෙන් නුඹ මවා පෑවා වූ නුඹේ උදහසේ හැටියටත්, නුඹේ ඊර්ෂ්‍යාවේ හැටියටත් මම නුඹට දඬුවම් කරන්නෙමි. මා නුඹ විනිශ්චය කරන කල නුඹලා අතරෙහි මම ප්‍රකාශ වන්නෙමි. 12 ඒවා පාළු වී විනාශ කිරීමට අපට පැවරී ඇතැ යි කියමින්, නුඹ ඉශ්රායෙල් කඳුවලට විරුද්ධ ව කී නුඹේ සියලු ම අපහාස කතා සමිඳාණන් වහන්සේ වන මා ඇසූ බව නුඹ දැනගන්නෙහි ය. 13 නුඹලා මට විරුද්ධ ව නැඟී සිට මට ගරහන විධියට බොහෝ සේ කතා කර ඇත. එය මම මාගේ ම කනින් ඇසීමි.”
14 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මුළු පොළොවට ප්‍රීතියක් වන ලෙස මම නුඹ පාළුවක් කරවන්නෙමි. 15 මාගේ ම උරුමය වන ඉශ්රායෙල් දේශය පාළුවක් වූ විට නුඹ ඊට ප්‍රීති වුණාක් මෙන් මම නුඹට ද එසේ වීමට සලසන්නෙමි; එම්බා සේයිර් කන්ද! නුඹ සහ මුළු ඒදොම් මුළුමනින් ම පාළුවක් වන්නහු ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”

 

– 36 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල්ට දේව ආශීර්වාදය

1 ”තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් කඳුවලට දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. 2 දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඉශ්රායෙල්ගේ සතුරෝ නුඹලා ගැන කතා කොට, ඔහෝ! පුරාණ උස් ස්ථාන අපට උරුමයක් වී තිබේ යයි කියති.
3 ”එබැවින් නුඹ දිවැස් වැකි කියමින්, දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක කියා කියන්න. අවට ඉතිරි ව සිටින ජාතීන්ට නුඹලා උරුමයක් වන පිණිස ද විජාතීන්ගේ ඕපාදූප හා ගැරහීමට ලක් වන පිණිස ද ඔව්හු නුඹලා පාළු කර හැම අතින් ම නුඹලා සුණු විසුණු කර නුඹලාට නින්දා කළහ. 4 එබැවින් එම්බා ඉශ්රායෙල් කඳු! දෙවි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න. කඳුවලටත්, හෙල්වලටත්, දෙණිවලටත්, මිටියාවත්වලටත්, අවට ඉතිරි ව සිටින ජාතීන්ට කොල්ලයක් ව කවටකමක් ව තිබෙන පාළු වූ නාස්ති වූ ඉඩම්වලටත්, ජනහීන ව තිබෙන නුවරවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
5 ”එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ දේශය කොල්ලයක් කොට උදුරාගන්න පිණිස සිතේ මහා සතුටකින් ද ඉමහත් අහංකාරයකින් ද මාගේ දේශය තමන්ට උරුමයක් කොට නියම කරගත් ඉතිරි ව සිටින ජාතීන්ටත්, විශේෂයෙන් මුළු ඒදොම් රටටත් විරුද්ධ ව සැබෑවට ම මාගේ කෝපාග්නියෙන් මම දිවුරා කියමි.
6 ”එබැවින් ඉශ්රායෙල් රට ගැන දිවැස් වැකි කියමින්, කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, නුඹලා ජාතීන්ගෙන් වූ නින්දාව දැරූ නිසා මාගේ කෝපාග්නියෙන් ද මාගේ උදහසින් ද මම කතා කෙළෙමි. 7 එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලා අවට සිටින ජාතීන් ම එම නින්දාව දරනු ඇත කියා දිවිරීමට මම ම මාගේ අත එසෙව්වෙමි.
8 ”එහෙත් එම්බා ඉශ්රායෙල් කඳු! නුඹලා මත ඇති ගස්වල දලු ලියලා මාගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා පල දරා දෙනු ඇත; ඔවුන් ආපසු එන්න ළඟ ය. 9 මම නුඹලා උදෙසා ය, නුඹලා වෙත හැරෙන්නෙමි. නුඹලා ද අස්වද්දා වපුරන්නහු ය. 10 මම නුඹලා පිට මනුෂ්‍යයන් එනම්, මුළු ඉශ්රායෙල් වංශය ම වැඩි වර්ධනය කරන්නෙමි. නගර ජනාකීර්ණ වනු ඇත. පාළු තැන් ද ගොඩනඟනු ලැබේ. 11 නුඹලාගෙන් රැකෙන මිනිසුන් ද තිරිසනුන් ද වැඩි වර්ධනය කරන්නෙමි. ඔව්හු වැඩි වී බො‍්වෙති. අතීතයේ දී මෙන් නුඹලාගේ නගර ජනාකීර්ණ කර පෙර කාලවලට වඩා මම නුඹලා සමෘද්ධිමත් කරන්නෙමි. එවිට නුඹලා ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත. 12 එම්බා මාගේ ඉශ්රායෙල් දේශය! නුඹ තුළ මිනිසුන්, එනම් ඉශ්රායෙල් සෙනඟ සැරිසරන්නට සලස්වන්නෙමි. ඔවුන් නුඹ අයිති කරගනු ඇත. නුඹ ඔවුන්ගේ භූමිය වන්නෙහි ය. නුඹ තවත් මිනිස් දරුවන්ගෙන් හිස් වී නොසිටින්නෙහි ය.
13 ”දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දේශය, නුඹ මිනිසුන් කාදමා, නුඹේ සෙනඟ නැති කෙළෙහි ය කියා නුඹට කියන බැවින්, 14 නුඹ තවත් මිනිසුන් කාදමන්නේ වත්, නුඹේ සෙනඟ තවත් නැතිකරන්නේ වත් නැතැ යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 15 නුඹට විරුද්ධ ව විජාතීන්ගේ අපහාස කතා අසන්න මම තවත් ඉඩ නොදෙන්නෙමි. ජනයන්ගේ නින්දාව නුඹ තවත් විඳින්නේ වත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිළෙන්න සලස්වන්නේ වත් නැතැ යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”

ඉශ්රායෙල්වරුන්ගේ නව ජීවනය

16 තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාරන සේක: 17 ”මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය තමන්ගේ රටෙහි වාසය කරද්දී ඔව්හු තමන්ගේ කල්ක්‍රියාවෙන් ද තමන්ගේ හැසිරීමෙන් ද ඒ රට අපවිත්‍ර කළෝ ය. ඔවුන්ගේ කල්ක්‍රියාව කිලි වූ ස්ත්‍රියකගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරියෙහි විය. 18 ඔවුන් දේශයෙහි මිනී මැරූ නිසාත්, ඔවුන් තමන්ගේ රූපවලින් එය අපවිත්‍ර කළ නිසාත් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, 19 විජාතීන් අතරට මම ඔවුන් පන්නාදැමීමි. ඇරත් ඔව්හු දේශවල විසුරුවනු ලැබූ හ. ඔවුන්ගේ කල්ක්‍රියාවේ හැටියට ද ඔවුන්ගේ හැසිරීමේ ප්‍රකාරයට ද ඔවුන් විනිශ්චය කෙළෙමි. 20 ඔවුන් පැමිණි කොතැන වුවත්, ජාතීන් ළඟට ඔවුන් ගිය කල, ‘මොවුහු සමිඳාණන්ගේ සෙනඟ ය, උන් වහන්සේගේ දේශයෙන් ඔවුන්ට පිට වීමට සිදු වී ය’යි මිනිසුන් ඔවුන් ගැන කී නිසා ඔව්හු මාගේ ශුද්ධ නාමය කෙලෙසූ හ. 21 එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ගිය තැන්වල ජාතීන් අතරෙහි මාගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසා, මාගේ නාමය ගැන මම සැලකිලිමත් වීමි.
22 ”එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඉශ්රායෙල් සෙනඟට කියන්න: එම්බා ඉශ්රායෙල් ජනයෙනි! නුඹලා උදෙසා නොව, නුඹලා ගිය ගිය සෑම තැන්වල ජාතීන් අතරෙහි නුඹලා මාගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසා ඒ නාමය උදෙසා මම ක්‍රියා කරමි. 23 ජාතීන් අතරෙහි කෙලෙසී ඇති නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසනු ලැබූ මාගේ උදාර නාමය විශුද්ධ කරන්නෙමි. මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන විජාතීන්ගේ ඇස් හමුයෙහි ප්‍රකාශ වන කල මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 24 එසේ ය, විජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ ම රටට ගෙනෙන්නෙමි. 25 නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”
26 ”මම අලුත් හදක් නුඹලාට දී, අලුත් සිතක් නුඹලා තුළ මවා, නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහකොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි. 27 මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට, නුඹලා මාගේ පණත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි. 28 මා විසින් නුඹලාගේ පියවරුන්ට දෙන ලද දේශයෙහි නුඹලා වාසය කොට මාගේ ම සෙනඟ ව සිටිනු ඇත. මම ද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. 29 මම නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් නුඹලා ගළවන්නෙමි. නුඹලා පිට සාගතය නොපමුණුවා, බහුල ව ධාන්‍ය උපදවා දී ඒවා වැඩි කරන්නෙමි. 30 නුඹලා විජාතීන් අතරෙහි සාගතයේ නින්දාව තවත් නොලබන පිණිස මම ගස්වල පල ද කෙත්වල අස්වැන්න ද වැඩි කරන්නෙමි. 31 නුඹලා ද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට, නුඹලාගේ පව් ද නුඹලාගේ පිළිකුල් ක්‍රියා ද නිසා නුඹලා ම පිළිකුල් කරගන්නහු ය. 32 මා මෙසේ ක්‍රියා කරන්නේ නුඹලා නිසා නොවන බව දැනගන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! නුඹලාගේ කල්ක්‍රියාව නිසා ලජ්ජා වී කැළෙඹන්න.”
33 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නුඹලාගේ සියලු අපරාධවලින් මා නුඹලා පිරිසිදු කරන දවසේ දී මම නගරවල මිනිසුන් ජනාකීර්ණ කරන්නෙමි. නටබුන් නගර ද ගොඩනඟනු ලබන්නේ ය. 34 මඟ යන සියල්ලන්ගේ ඇස් හමුයෙහි පාළුවක් ව තිබුණ දේශය අස්වද්දනු ලබන්නී ය. 35 මිනිසුන් ද කතා කොට, ‘පාළු වී තිබුණ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්ති ව, පාළු ව, ජරාවාස ව තිබුණු නගර බලකොටු වී වැසියන්ගෙන් ගහණ ව තිබේ ය’යි කියන්නෝ ය. 36 නුඹලා වටකර ඉතිරි වී ඇති ජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා විසින් ජරාවාස වූ තැන් ගොඩනඟන්නටත්, පාළු වූ ඉඩම් වවන්නටත් සලසන ලද බව දැනගනු ඇත. සමිඳාණන් වහන්සේ වන මම එය කීවෙමි, එය ඉටු කරන්නෙමි.”
37 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මාගෙන් උපකාර ඉල්ලීමට යළිත් වරක් මම ඉශ්රායෙල් සෙනඟට ඉඩ දෙන්නෙමි. බැටළු රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි. 38 පූජා කිරීමට කැප කළ බැටළු රැළ මෙන්, ජෙරුසලමේ නියමිත මංගල්‍යවල දී එහි සිටින බැටළු රැළ මෙන්, පාළු නගර ජන සමූහයෙන් පිරෙනු ඇත. ඔවුන් ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.”

– 37 වන පරිච්ඡේදය –

වියළි ඇටකටු ඇති මිටියාවත

1 සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට පැමිණියේ ය. උන් වහන්සේ සිය ආත්මානුභාවයෙන් මා පිටතට පමුණුවා ඇටකටුවලින් පිරී තිබුණ මිටියාවතක් මැද මා සිටෙවු සේක. 2 උන් වහන්සේ මට ඒවා අතරේ ඔබමොබ යන්න සැලැසූ සේක. එවිට මිටියාවතේ ඇටකටු බහුල ව තිබෙනු මම දිටිමි. ඒවා හොඳට ම වියළී තිබුණේ ය. 3 උන් වහන්සේ මට කතා කොට, ”මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ”යි මාගෙන් ඇසූ සේක. මම ද ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එය දන්නේ ඔබ ය”යි උත්තර දිනිමි.
4 උන් වහන්සේ යළිත් මට කතා කොට, ”නුඹ මේ ඇටකටුවලට දිවැස් වැකි පවසා, මෙසේ කියන්න: අහෝ වියළි ඇටකටු! සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. 5 මේ ඇටකටුවලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මෙන්න, නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුළට ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. 6 මම නුඹලාට නහර දෙමි; නුඹලා පිට මාංසය හටගන්වා, නුඹලා සමින් වසා, ජීවත් වන පිණිස නුඹලා තුළ ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා ද දැනගනු ඇත.”
7 එවිට මට අණ කළ ලෙස මම දිවැස් වැකි පැවසීමි. මා දිවැස් වැකි පවසද්දී ශබ්දයක් ද සට සට ගාන හඬක් ද ඇති වී එක එක ඇටය එකට එක එකතු විය. 8 මම බැලූ විට ඒවාට නහර තිබෙන බව දිටිමි. මාංසය හටගැනී ඒවා සමින් වැසුණේ ය. එහෙත්, ඒවා තුළ ජීවන හුස්ම නො වී ය.
9 එවිට උන් වහන්සේ මට කතා කොට, ”නුඹ ජීවන හුස්මට දිවැස් වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් ජීවන හුස්මට කතා කොට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම! සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙළන්න කියා කියන්නැ යි මට වදාළ සේක.”
10 මම ද උන් වහන්සේ මට අණ කළ පරිදි දිවැස් වැකි පැවසීමි. එවිට ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණ, ඔව්හු ජීවය ලැබ, නැඟිට, ඉතා මහත් සේනාවක් ව සිටගත්තෝ ය.
11 එවිට උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටු වනාහි මුළු ඉශ්රායෙල් වංශය ය. ‘අපේ ඇටකටු වියළී අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහමුලින් ම සිඳ දමනු ලැබීමු’යි ඔව්හු කියති. 12 එබැවින් නුඹ දිවැස් වැකි පවසමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. ‘මාගේ ජනයෙනි, මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟුටුවා, නුඹලා ඉශ්රායෙල් රටට පමුණුවන්නෙමි. 13 එම්බා මාගේ සෙනඟෙනි! මා නුඹලාගේ සොහොන් විවර කොට, නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟිටෙව් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත. 14 නුඹලා ජීවත් වන පිණිස මම නුඹලා තුළ මාගේ ආත්මානුභාවය නිදන් කර නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි.’ මෙසේ, ස්වාමීන් වන මා එසේ වදාළ බව ද එය ඉටු කළ බව ද නුඹලා දැනගන්නහු ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.”

ජුදා සහ ඉශ්රායෙල් එක රාජ්‍යයක් වීම

15 නැවත සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ ලීයක් රැගෙන 16 ජුදා රාජ්‍යය සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් දරුවන් ගැන ලියන්න. තව ලීයක් රැගෙන ජෝසෙප් සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් ගෝත්‍රය ගැන ඒ පිට ලියන්න. 17 ඉන්පසු ඒ ලී දෙක නුඹේ අතේ එක ලීයක් වන ලෙස ලී දෙක එකට සම්බන්ධ කරන්න. 18 නුඹේ සෙනඟ කතා කොට, ‘මෙයින් නුඹ හඟවන්නේ කිමෙක් ද කියා නුඹ අපට නොදන්වන්නෙහි දැ’යි නුඹෙන් ඇසූ විට, 19 නුඹ ඔවුන්ට කතා කොට, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. මෙන්න මම ඉශ්රායෙල් නමැති ලීය රැගෙන ජුදා නමැති ලීයට එක් කරන්නෙමි. ලී දෙකෙන් එක ලීයක් සාදා එය මාගේ අතෙන් අල්ලාගනිමි.
20 ”නුඹ විසින් ලියන ලද ඒ ලී කෑලි දෙක ඔවුන් ඉදිරියෙහි නුඹේ අතේ තිබිය දී කතා කොට මෙසේ කියන්න. 21 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් සෙනඟ ගොස් සිටින තැන්වල විජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන වටින් පිටින් ඔවුන් රැස් කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවන්නෙමි. 22 මම දේශයෙහි ඉශ්රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි. එක රජෙක් ද ඔවුන් සියල්ලන්ට ම රජ වන්නේ ය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝ ය. තවත් රාජ්‍යයන් දෙකකට නොබෙදෙන්නෝ ය. 23 ඔව්හු තමන්ගේ දේව රූපවලින් වත්, තමන්ගේ පිළිකුල් ක්‍රියාවලින් වත්, තමන්ගේ සියලු ම පාප ක්‍රියාවලින් වත් තමන් කිළුටු කර නොගනිති. ඔවුන් කළ පව්වලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදු කරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. 24 මාගේ සේවක දාවිත් වැනි රජෙක් ඔවුන් කෙරෙහි රජ වන්නේ ය; ඔවුන් සියල්ලන්ට ම එක එඬේරෙක් වන්නේ ය. ඔව්හු මාගේ නියෝග ලෙස හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා ඉටු කරන්නෝ ය. 25 මාගේ සේවක ජාකොබ්ට මා දුන්, නුඹලාගේ පියවරුන් වාසය කළ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත; එසේ ඔව්හු ද ඔවුන්ගේ දරුවෝ ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද සදාකාලයට ම එහි වාසය කරන්නෝ ය. මාගේ සේවක දාවිත් වැනි රජෙක් සදාකාලයට ම ඔවුන්ට අධිපතියා වන්නේ ය. 26 තවද, මම සාමදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් වන්නේ ය. මම ඔවුන්ට ආසිරි පතා, ඔවුන් වැඩි වර්ධනය කොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලයට ම පිහිටුවන්නෙමි. 27 මම ඔවුන් සමඟ වැඩවසන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. 28 මාගේ ශුද්ධස්ථානය හැම කල්හි ම ඔවුන් අතරෙහි තිබීමෙන් මා ඉශ්රායෙල් විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ බව විජාතීන් දැනගනු ඇත.”

 

– 38 වන පරිච්ඡේදය –

ගොග් රජු දෙවියන් වහන්සේගේ අතේ ආයුධයක් මෙන්

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන මාගොග් දේශයේ ගොග් රජුට විරුද්ධ ව නුඹේ මුහුණ යොමු කර, ඔහුට විරුද්ධ ව දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. 3 එම්බා රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග්, මම නුඹට විරුද්ධ වෙමි. 4 මම නුඹ ආපසු හරවා, නුඹේ හකුවල කොකු දමා, නුඹ සහ නුඹේ මුළු සේනාව ද අසුන් ද අසරුවන් ද පිටතට ගෙන යන්නෙමි. ඔව්හු සියල්ලෝ ම යුද ඇඳුමෙන් සැරසී, පලිස් ද කුඩා පලිස් ද ලෙළ දෙන කඩු ද අතට ගත් මහ සමූහයකි. 5 ඔවුන් සමඟ පාර්සිවරු ද එතියෝපිවරු ද පූට්වරු ද සිටිති. ඔවුන් සියල්ලන්ට පලිස් ද යුද්ධ තොප්පි ද තිබේ. 6 ගොමෙර් සහ එහි සියලු හමුදා ද උතුරේ දුර බැහැර සිටින තොගර්මා වංශය සහ එහි සියලු හමුදා ද යන බොහෝ ජනයෝ නුඹ සමඟ සිටිති. 7 නුඹ සූදානම් වී, එසේ ය, නුඹ වෙත රැස් ව සිටින නුඹේ සියලු සමූහයන් සමඟ සියල්ල සූදානම් කරගෙන, ඔවුන්ගේ ආරක්ෂකයා වන්න. 8 බොහෝ දවස් ගත වූ පසු, මතු අවුරුදුවල නුඹ යුද්ධයෙන් දිනාගත් මේ දේශයට විරුද්ධ ව සටන් කරනු ඇත. බොහෝ කාලයක් පාළු ව තිබුණ ඉශ්රායෙල් කඳුවලට ඔවුන් මරණයෙන් බේරී, නොයෙක් දේශවලින් එක්රැස් කරනු ලැබූ බැවින්, එහි වැසියෝ සෙසු සියලු සෙනඟගෙන් ඈත් වී හිරිහැරයක් නැති ව විසුවෝ වෙති. 9 එවිට නුඹ කුණාටුවක් මෙන් ඉදිරියට පැමිණෙනු ඇත. නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු හමුදාවන් ද බොහෝ ජනයන් ද වලාකුළකින් මෙන් දේශය වසාගනු ඇත.”
10 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ගොග් රජුට මෙසේ වදාරන සේක: ”ඒ කාලයෙහි නුඹේ සිතට පහළ වූ අදහසින් නුඹ නපුරු ක්‍රම යොදාගත්තෙහි ය. 11 නුඹ කතා කොට, මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධ ව නැඟී ගොස්, සාමකාමී ව කරදර රහිත ව වාසය කරන අයට විරුද්ධ ව පැමිණෙන්නෙමි. ඔව්හු සියල්ලෝ ම පවුරු නැති ව වාසය කරති. ඔවුන්ට අගුල් ද දොරවල් ද නැතැ යි කියනු ඇත. 12 නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත්, සම්පත් උදුරාගැනීමටත් මිනිසුන් වාසය කරන පාළු ව තිබුණු ස්ථානවලට ද විජාතීන් අතරෙන් අවුත් සිටින සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වාසය කරන සෙනඟට ද විරුද්ධ ව නුඹේ අත ඔසවනු පිණිස ය. 13 ෂෙබාවරු සහ දෙදාන්වරු ද තර්ෂිෂ්හි වෙළෙන්දො‍් ද එහි අධිපතියෝ ද නුඹට කතා කොට, ‘නුඹ කොල්ලකන්න පැමිණියෙහි ද? නුඹේ සේනාව නුඹ රැස් කරගන්නේ සම්පත් උදුරා ගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන් ද සම්පත් ද අල්ලා, බොහෝ කොල්ල ලබා යන පිණිස දැ’යි අසන්නෝ ය.
14 ”එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ගොග් රජුට කියන්න. ‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල් සෙනඟ සුරැකි ව වාසය කරන කාලයේ දී නුඹ ඉදිරියට යන්නෙහි ය. 15 ඈත උතුරේ නුඹලාගේ වාසස්ථාන අත්හැරදමා නුඹ සහ නුඹ සමඟ බොහෝ ජාතීන් සියල්ලක් ම අසුන් පිට නැඟී මහා සමූහයක් ව, බලවත් සේනාවක් ව එනු ඇත. 16 නුඹ, දේශය වසාගන්න වලාකුළක් මෙන් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට විරුද්ධ ව නැඟී එනු ඇත. එය මතු දවස්වල දී සිදු වන්නේ ය. එම්බා ගොග් රජ! මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන විජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ, මාගේ දේශයට විරුද්ධ ව පමුණුවන්නෙමි.’ 17 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නුඹ පමුණුවන්නෙමි යි පෙර කාලයේ දිවැස් වැකි කී මාගේ දාසයන් වූ ඉශ්රායෙල් දිවැසිවරුන් මඟින් මා ඒ දවස්වල කීවේ නුඹ ගැන නොවේ ද?’ ”

ගොග් රජුට දඬුවම

18 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ගොග් රජ ඉශ්රායෙල් රටට විරුද්ධ ව එන ඒ කාලයේ දී මාගේ උදහස දැල්වෙනු ඇත. 19 මන්ද, මාගේ උදහසින් ද මාගේ කෝපාග්නියෙන් ද මෙසේ කියමි. සැබැවින් ම ඒ කාලයේ දී ඉශ්රායෙල් රටෙහි මහා කම්පාවක් ඇති වන්නේ ය. 20 මුහුදේ මත්ස්‍යයෝ ද ආකාශයේ පක්ෂීහු ද වනයේ මෘගයෝ ද භූමියෙහි බඩගාන සියලු ම සත්ත්වයෝ ද භූමිය මතුපිට සිටින සියලු මනුෂ්‍යයෝ ද මා ඉදිරියෙහි වෙවුළන්නෝ ය. කඳු හෙළා දමනු ලබන්නටත්, උස් තැන් වැටෙන්නටත්, සියලු පවුරු බිම වැටෙන්නටත් යෙදෙනු ඇත. 21 නොයෙක් ආපදාවන් ඇති කර මම ගොග් රජු භීතියට පත් කරන්නෙමි. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එක එක මිනිසාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධ ව ලෙළ දෙනු ඇත. 22 මම වසංගතයෙන් ද ලේ වැගිරීමෙන් ද ඔහුට දඬුවම් කරන්නෙමි. ඔහු සහ ඔහුගේ හමුදාවන් ද ඔහු සමඟ සිටින බොහෝ ජාතීන් ද පිට මොරසූරන වැහි ද මහා ගල් වර්ෂාවක් ද ගිනි ද ගෙන්දගම් ද වස්වන්නෙමි. 23 මෙසේ මම ශ්‍රේෂ්ඨත්වය ද විශුද්ධත්වය ද පෙන්වා, මා සමිඳාණන් වහන්සේ බව බොහෝ විජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශ වන්නෙමි.”

 

– 39 වන පරිච්ඡේදය –

ගොග් රජුගේ පරාජය

1 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක: ”තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග් රජුට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. ‘බලන්න, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග් රජු වන නුඹට මම විරුද්ධ ව සිටිමි. 2 මම නුඹ අන් දෙසකට හරවා, නුඹ ඉදිරියට ගෙන ගොස් උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනවුත් ඉශ්රායෙල් කඳු පිටට නුඹ පමුණුවන්නෙමි. 3 නුඹේ දුන්න නුඹේ වමතින් ගසාදමා, නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්නට සලස්වන්නෙමි. 4 ඉශ්රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු හමුදා ද නුඹ සමඟ සිටින ජනයන් ද වැටෙනු ඇත. සියලු ආකාර ගොදුරුවලට ගිජු පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි. 5 නුඹ පොළොව මතුපිට වැටෙනු ඇත. මන්ද, මම එය කීයෙමි’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 6 මම මාගොග් පිටත්, මුහුදුබඩ සුරැකි ව වාසය කරන්නන් පිටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. 7 මාගේ ශුද්ධ නාමය තවත් කෙලෙසන්න ඉඩනෑර, මම මාගේ ශුද්ධ නාමය මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රකාශ කරන්නෙමි. විජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා ඉශ්රායෙල්වරුන් අතරෙහි ශුද්ධ ව සිටින බව දැනගනු ඇත.”
8 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ”බලන්න, මා කී දවස! එය පැමිණෙයි. එය සිදු වේ ම ය. 9 එවිට ඉශ්රායෙල් නගරවල වැසියෝ පිටතට ගොස්, ගිනි අවුළුවා, ආයුධ වන පලිස් ද මහ පලිස් ද දුනු ද ඊගස් ද මුගුරු ද හෙල්ල ද දවන්නෝ ය. සත් අවුරුද්දක් ඒවායින් ගිනි දැල්වෙනු ඇත. 10 ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේ වත්, මූකළාන්වලින් ඒවා කපාගන්නේ වත් නැත. මන්ද, ඔව්හු ආයුධවලින් ගිනි දල්වන්නෝ ය. තමන්ගෙන් කොල්ල කෑ අයගෙන් ඔව්හු කොල්ලකන්නෝ ය. තමන්ගේ සම්පත් උදුරාගත් අයගෙන් සම්පත් උදුරාගන්නෝ ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”

ගොග් රජු භූමදාන කරනු ලැබීම

11 ”තවද, ඒ කාලයේ දී මම මිනී වැළලීමට ඉශ්රායෙල් දේශයෙන් ඉඩමක් ගොග්ට දෙන්නෙමි. එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන සංචාරකයන්ගේ මිටියාවත ය. එය එහි ගමන් කරන්නන් වළක්වනු ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහය වළලනු ලැබ, ඊට ගොග්සමූහ-මිටියාවත යන අරුත ඇති හාමොන්ගොග් යයි නම් තබනු ලැබේ. 12 ඉශ්රායෙල් සෙනඟ සිය දේශය පිරිසිදු කරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝ ය. 13 එසේය, දේශයේ සියලු සෙනඟ ඔවුන් වළලන්නෝ ය. එය වූ කලී මාගේ මහිමය ප්‍රකාශ වන සමයේ දී ඔවුන්ට කීර්තියක් වන්නේ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 14 තවද, ඔව්හු දේශය පිරිසිදු කිරීමට එය මුළුල්ලෙහි ඇවිදිමින් දේශය මතුපිට ඉතුරු වන අය වැළලීමෙහි නිතර ම යෙදී සිටීමට මිනිසුන් තෝරාගනිති. ඔව්හු සත් මසකට පසු එසේ සොයා ඇවිදින්නෝ ය. 15 දේශයෙහි එසේ ඇවිදින්නන්ගෙන් යමෙක් මිනී ඇට දුටු විට, වළලන්නන් ඒක හාමොන්ගොග්හි වළලන තෙක් ඒ ළඟ ලකුණක් තබන්නෝ ය. 16 තවද, නුවරෙහි නමත් ‘සමූහයක්’ යන අරුත ඇති ‘හාමොනා’ වන්නේ ය. මෙසේ ඔවුන් දේශය පිරිසිදු කරනු ඇත.
17 ”මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹ සියලු ආකාර පක්ෂීන්ට ද වනයේ සියලු මෘගයන්ට ද කතා කොට, තෙපි රැස් වී වරෙන්න, මා ඉශ්රායෙල් කඳු පිට තොප උදෙසා සූදානම් කරන මහා පූජාවක් වන මාගේ පූජාව වටා හාත්පසින් එකතු වී, මස් කා ලේ බොන්න. 18 තෙපි බලවතුන්ගේ මාංස කන්නහු ය. පොළොවේ අධිපතීන්ගේ ද බැටළුවන්ගේ ද බැටළු පැටවුන්ගේ ද එළුවන්ගේ ද ගවයන්ගේ ද ලේ බොන්නහු ය. උන් සියල්ලෝ ම බාෂාන්හි තර සත්තු ය. 19 මා තොප උදෙසා සූදානම් කර තිබෙන මාගේ පූජාවෙන් තෙපි තෘප්තිමත් ලෙස තෙල කන්නහු ය. මත් වන තුරු ලේ ද බොන්නහු ය, 20 මාගේ මේසය ළඟ තෙපි අශ්වයන්ගේ ද අසරුවන්ගේ ද බලවතුන්ගේ ද සියලු යුද්ධ භටයන්ගේ ද මාංස අනුභව කොට තෘප්තියට පැමිණෙන්නහු ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”

ඉශ්රායෙල්වරුන්ගේ පුනරුත්ථාපනය

21 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මම ද මාගේ තේජස විජාතීන් අතරෙහි පෙන්වන්නෙමි. සියලු විජාතීහු මා ඉටු කළ මාගේ විනිශ්චය සහ මා ඔවුන් කෙරෙහි දිගු කළ මාගේ බලවත් හස්තය දකින්නෝ ය. 22 ඉශ්රායෙල් සෙනඟ ද මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඒ දවසේ පටන් සදහට ම දැනගන සිටිනු ඇත. 23 තවද, ඉශ්රායෙල් සෙනඟ විප්‍රවාසගත වූයේ, ඔවුන්ගේ පාප ක්‍රියා නිසා බව සෑම ජාතීන් දැනගනු ඇත. මන්ද, ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. මම ද මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන්නෙමි. ඔව්හු සියල්ලෝ කඩු පහරින් නැසුණෝ ය. 24 ඔවුන්ගේ අපවිත්‍රකමේ සහ ඔවුන්ගේ වරදේ හැටියට මම ඔවුන්ට දඬුවම් කර, මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගතිමි.
25 ”එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දැන් මම ජාකොබ්ගේ වංශයේ හිරකරුවන් ආපසු ගෙනෙන්න යන්නෙමි. මුළු ඉශ්රායෙල් සෙනඟට අනුකම්පා කරමි; මාගේ සුවිශුද්ධ නාමය ආරක්ෂා කරන්නෙමි. 26 මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනවුත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස් කොට, මා සුවිශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ විජාතීන් ඉදිරියෙහි ඔප්පු වූ විට, 27 ඔවුන් කිසිවෙකුට බිය නොවී, තමන්ගේ රටෙහි සුව සේ වාසය කරන විට, ඔවුන් තමන්ගේ ලජ්ජාවත්, ඔවුන් මට විරුද්ධ ව කළ තමන්ගේ සියලු ද්‍රෝහිකමත් අමතක කරනු ඇත. 28 ඔවුන් විප්‍රවාසීන් මෙන් විජාතීන් අතර විසුරුවා, මා ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත්නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස් කරන කල මා ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. 29 මා මාගේ ආත්මානුභාවය ඉශ්රායෙල් සෙනඟ මත වැගිරෙවූ විට මාගේ මුහුණ තවත් ඔවුන්ගෙන් සඟවා නොගන්නෙමි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”

 

– 40 වන පරිච්ඡේදය –

අනාගත දේව මාලිගාව පිළිබඳ දර්ශනය

1 නගරය සතුරන්ට අසු වීමෙන් පසු, දසසතර වන අවුරුද්දේ අප විප්‍රවාසයට ගෙන ගොස් විසිපස් වන වසර පටන්ගැන්මේ දී මාසයේ දස වන දින සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණියේ ය. 2 දෙවියන් වහන්සේගේ දර්ශන මඟින් ඉශ්රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස් වූ කන්දක් මත මා සිටෙවූ සේක. ඒ කන්ද පිට නුවරක් වැනි නිර්මාණයක් මා ඉදිරියෙහි තිබිණි. 3 උන් වහන්සේ මා එතැනට පැමිණෙවූ විට, ලෝකඩ නිර්මාණයක් වැනි පෙනීමක් ඇති මිනිසෙකු තමාගේ අතේ හණ ලණුවක් ද මනින දණ්ඩක් ද ඇති ව දොරටුව ළඟ සිටිනු දිටිමි.
4 ඒ මිනිසා මට කතා කොට, ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ නෙත්වලින් බලා, කන්වලින් අසා මා නුඹට පෙන්වන සියල්ල දෙස නුඹේ සිත යොමු කරන්න. මන්ද, නුඹ මේ ස්ථානයට පමුණුවනු ලැබුවේ ඒවා නුඹට පෙන්වන පිණිස ය. නුඹ දකින සියල්ල ඉශ්රායෙල් සෙනඟට දන්වන්නැ”යි කීවේ ය.

නැගෙනහිර දොරටුව

5 දේව මාලිගාව පිහිටි භූමියට පිටින් වටේට තාප්පයක් තිබුණේ ය. ඒ මිනිසාගේ අතේ මීටර් තුනක් දිග ඇති මිණුම් දණ්ඩක් විය. මීටර් භාගයක දිග රියනකුත් වියතකි. එවිට ඔහු තාප්පේ පළලත් දිගත් මැන්නේ ය. එහි පළල මීටර් තුනක් ය. උසත් මීටර් තුනකි. 6 ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට අවුත්, එහි පඩිවලින් නැඟී එළිපත්ත මැන්නේ ය. එය මීටර් තුනක් උස ය. 7 එහි එක එක මුර කාමරයේ දිග මීටර් තුනකි. පළලත් මීටර් තුනකි. මුර කාමර අතර පරතරය මීටර් දෙකහමාරකි. දොරටුවේ ඇතුළු පැත්තේ එළිපත්තේ සිට ප්‍රවේශ ශාලාවේ දිග මීටර් තුනකි. 8 ඉන්පසු ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් හතරකි. 9 එහි උළුවහු කණුවල උස මීටර් එකකි. ප්‍රවේශ ශාලාව දේව මාලිගාව දෙසට තිබුණේ ය. 10 නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර කාමර තුනක් ද අනෙක් පැත්තේ තුනක් ද තිබුණේ ය. ඒ කාමර එක ප්‍රමාණයට සාදා තිබිණි.
11 ඔහු දොරකඩ පළලත් මැන්නේ ය. එය මීටර් පහකි. දොරටුවේ දිග මීටර් හයහමාරකි. 12 මුර කාමරය ඉදිරිපිට මීටර් භාගයක ගරාදි වැටක් තිබුණේ ය. අනික් පැත්තේ ද මීටර් භාගයක් දිග ගරාදි වැටක් තිබුණේ ය. මුර කාමරයක එක පැත්තක් මීටර් තුනක් ද අනික් පැත්ත මීටර් තුනක් ද බැගින් විය. 13 ඔහු එක කාමරයක පියස්සේ සිට අනික් කාමරයේ පියස්ස දක්වා දොරටුව මැන්නේ ය. එක දොරකඩක සිට අනික් දොරකඩ දක්වා දුර මීටර් දෙකහමාරකි. 14 ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් දහයකි. ප්‍රවේශ ශාලාව වටේට මළුව තිබුණේ ය. 15 ඇතුළු වන දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුළු ප්‍රවේශ ශාලාවේ ඉස්සරහ පැත්ත දක්වා මීටර් විසිපහකි. 16 ඒ කුඩා මුර කාමරවලටත්, ඒවායේ කණුවලටත් ප්‍රවේශ ශාලාවේ ඇතුළු පැත්තේ වටේට පටු කවුළු තිබුණේ ය. කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.

පිට මළුව

17 එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය. 18 දොරටු පැත්තට තිබුණු කවුළුවල දිග ගල් බිමේ ප්‍රමාණයට තිබුණේ ය. එය පහළ ගල් වේදිකාව ය.
19 ඔහු ද පහළ දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුළු මළුවේ ඉස්සරහ පැත්ත දක්වා පිටතින් පළල මැන්නේ ය. නැගෙනහිරටත්, උතුරටත් මීටර් පණහක් තිබුණේ ය.

උතුරු දොරටුව

20 ඔහු මා ඉදිරියෙන් උතුරට ගමන් ගත්තේ ය. එහි උතුරු දෙසට හැරුණු දොරටුවක් තිබිණි. උතුරට තිබුණු පිට මළුවේ දොරටුවේ දිගත් පළලත් ඔහු මැන්නේ ය. 21 එහි එක පැත්තක මුර ගෙවල් තුනක් ද අනික් පැත්තෙහි තුනක් ද තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද පළමු වන දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය. එහි පළල මීටර් දොළහමාරක් ය. 22 එහි කවුළු ද එහි ශාලා ද තල් ගස් ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එයට නඟින්නට පඩි සතක් විය. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබුණේ ය. 23 නැගෙනහිරට මෙන් ම උතුරු දොරටුවට ඉදිරිපිටින් ඇතුළු මළුවට දොරටුවක් තිබුණේ ය. ඔහු දොරටුවෙන් දොරටුවට මැන්නේ ය. එය මීටර් පණහක් විය.

දකුණු දොරටුව

24 ඔහු දකුණු පැත්තටත් මා ගෙන ගියේ ය. දකුණු දෙසටත් දොරටුවක් තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. ඒවා පෙර ගොඩනැඟිලිවල මිම්මට සමාන ය. 25 ඒ කවුළු මෙන් ම වටකර මෙයටත්, මෙහි ශාලාවලටත් කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි. 26 එයට නඟින්නට පඩි සතක් තිබිණි. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබිණි. එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් එහි කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය. 27 ඇතුළු මළුවටත් දකුණු දෙසට දොරටුවක් තිබිණි. ඔහු දකුණු දෙසට දොරටුවෙන් දොරටුවට මැන්නේ ය. එය මීටර් පණහකි.

ඇතුළු මළුව: දකුණු දොරටුව

28 ඔහු දකුණු දොරටුවෙන් ඇතුළු මළුවට මා පැමිණවී ය. ඔහු දකුණු දොරටුව මැන්නේ ය. දකුණු දොරටුව පෙර දොරටුව ප්‍රමාණයට තිබිණි. 29 එහි මුරගෙවල් ද එහි කණු ද එහි ශාලා ද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේ ය. වටකර ම එයටත් එහි ශාලාවලටත් කවුළු තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි; 30 වටකර ම ශාලා තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි. 31 එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවලට තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද තිබිණි.

ඇතුළු මළුව: නැගෙනහිර දොරටුව

32 එවිට නැගෙනහිර මාර්ගයෙන් ඔහු ඇතුළු මළුවට මා පමුණුවා දොරටුව මැන්නේ ය. එය ද පෙර දොරටුවල ප්‍රමාණයට තිබිණි. 33 එහි මුර ගෙවල් ද එහි කණු ද ශාලා ද පෙර ගොඩනැඟිලි ප්‍රමාණයට තිබිණි. එයටත්, එහි ශාලාවලටත් වටකර කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය. පළල මීටර් දොළහමාරකි. 34 එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද විය.

ඇතුළු මළුව: උතුරු දොරටුව

35 ඔහු උතුරු දොරටුවට මා පමුණුවා එය මැන්නේ ය. එය ද පෙර දොරටුවල ප්‍රමාණයට තිබිණි. 36 එය සහ එහි මුර ගෙවල් ද එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. වටකර ඊට කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි. 37 එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද ඒකට නඟින්නට පඩි අටක් ද විය.

උතුරු දොරටුව ළඟ ගොඩනැඟිලි

38 ප්‍රවේශ ශාලාවේ කණු ළඟ කාමරයක් ද එහි දොරකඩක් ද තිබුණේ ය. එය තිබුණේ එහි දවන පූජාව සෝදන පිණිස ය. 39 දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තෙහි මේස දෙකක් ද තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද සඳහා සතුන් මරණ පිණිස ය. 40 උතුරු දොරකඩට නඟින තැන, මළුවෙහි එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තේ මේස දෙකක් ද තිබිණි. 41 දොරටුවේ එක පැත්තක මේස හතරක් ද අනික් පැත්තේ මේස හතරක් ද බැගින් මේස අටක් විය. මේ මේස යාග සතුන්ගේ මාංස තබන පිණිස ය. 42 සෙන්ටිමීටර් හැත්තෑපහක් දිග ද සෙන්ටිමීටර් හැත්තෑපහක් පළල ද සෙන්ටිමීටර් පණහක් උස ද ඇති කැපූ ගල් මේස හතරකුත් තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජා ද වෙනත් පූජා ද සඳහා යාග සතුන් මරන්න පාවිච්චි කරන ආයුධ තැබීමට ය. 43 ශාලාව ඇතුළේ වටේට අල්ලක පළල ඇති කොකු සවිකර තිබිණි. පූජා මාංස තබන පිණිස මේස තිබිණි.
44 ඉක්බිති ඔහු මා පිටතින් ඇතුළු මළුවට කැඳෙව්වේ ය; ඇතුළු දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුළු මළුවේ ගී ගයන්නන්ගේ කාමර දෙකක් තිබුණේ ය. ඒවා එකක් දකුණු දෙසට විය. අනික පෙරදිග දොර ළඟ උතුරු දිගට විය. 45 ඔහු ද, ”ඉස්සරහ පැත්ත දකුණු දෙසට තිබෙන මේ කාමරය ගෘහයේ සේවය පවත්වන පූජකයන්ටත් 46 ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන, කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට යන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන් වූ ශාදොක්ගේ පුත්‍රයෝ ය”යි මට කී ය.

ඇතුළු මළුව සහ දේව මාලිගාව

47 එවිට ඔහු මළුව මැන්නේ ය. දිග මීටර් පණහක් ය, පළල මීටර් පණහක් ය. එය හරි හතරැස් ව තිබුණේ ය. පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේ ය. 48 ඔහු දේව මාලිගාවේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේ ය. එක පැත්තක් මීටර් දෙකහමාරක් බැගින් විය. දොරටුවේ පළල මීටර් හතක් විය. දොරටුවේ පැති මීටර් එකහමාරක් බැගින් විය. 49 ශාලාවේ දිග මීටර් දහයකි. පළල මීටර් හයකි. ඊට නඟින්න පඩි දහයක් තිබිණි. කුළුණුවලට කණු එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් තිබුණේ ය.

 

– 41 වන පරිච්ඡේදය –

අතිශුද්ධස්ථානය

1 එවිට ඔහු දේව මාලිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේ ය. ඒවා එක පැත්තක් මීටර් තුනක් පළලට ද අනික් පැත්ත මීටර් තුනක් පළලට ද තිබුණේ ය. එය කූඩාරමේ පළල ය. 2 දොරකඩ පළල මීටර් පහක් විය. දොරකඩ එක පැත්තක කණු මීටර් දෙකහමාරක් පළල ය. ඔහු මාලිගාව මැන්නේ ය. එහි දිග මීටර් විස්සකි, පළල මීටර් දහයක් ය.
3 එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේ ය. එය මීටර් එකක් ය. දොරකඩ දිග මීටර් තුනක් ය, දොරකඩ පළල මීටර් තුනහමාරක් ය. 4 ඔහු මාලිගාවට ඉදිරිපිටින් එහි දිගට මීටර් දහයක් ද පළලට මීටර් දහයක් ද මැන, ‘මෙය අතිශුද්ධස්ථානය’යි මට කීවේ ය.

දේව මාලිගාවේ කාමර

5 ඔහු මාලිගාවේ බිත්තියත් මැන්නේ ය. එය මීටර් තුනක් ය, වටකර ම මාලිගාවට තිබුණු කාමරවල පළල මීටර් දෙකක් ය. 6 ඒ කාමර එක පිට එක උඩින් මහල් තුනක් ද එක එක පේළියේ කාමර තිහක් ද බැගින් තිබිණි. කාමර වනාහි මාලිගාවේ බිත්තියට වද්දන්නේ නැති ව ඒවා පිහිටුවීමට වටකර කුළුණු සිටුවා තිබිණි. 7 මහලෙන් මහලට නඟින විට ඒ ඒ පේළියේ කාමර වටකරින් වඩා පළල් ව තිබිණි. මන්ද මාලිගාව වටේට ම ඉහළින් ඉහළට කාමරවලින් වටවී තිබිණි. එබැවින් මාලිගාවේ පළල ඉහළින් වැඩි වී තිබිණි. එසේ යට තට්ටුවේ සිට මැද තට්ටුව මැදින් ඉහළ තට්ටුවට මාලිගාවේ පැත්තක පිහිටි පඩි පෙළින් නඟින්න හැකි විය.
8 මාලිගාව වටකර උස් වූ වේදිකාවක් දිටිමි. කාමරවල අත්තිවාරම සම්පූර්ණ මීටර් තුනකින් යුත් ලී දණ්ඩකි. 9 පිට පැත්ත දක්වා කාමරවලට තිබුණු බිත්තියේ පළල මීටර් දෙකහමාරක් ය. ගෘහයට තිබුණු කාමර පේළි ඇතුළේ හිස් බිමක් තිබිණි. 10 ඒවාටත්, මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින් ම මීටර් දහයක් පළල ඇති බිමක් තිබිණි. 11 කාමරවල දොරකඩ හිස් බිම දෙසට තිබුණේ ය. එක දොරකඩක් උතුරු දෙසටත්, එක දොරකඩක් දකුණු දෙසටත් තිබිණි. හිස් බිමේ පළල වටකර මීටර් දෙකහමාරක් ය.

බස්නාහිර ගොඩනැඟිල්ල

12 බස්නාහිර පැත්තෙහි වෙන් වූ මළුවෙහි මිදුල ඉදිරිපිට තිබුණු ගොඩනැඟිල්ලේ දිග මීටර් හතළිස්පහක් ය, පළල මීටර් තිස්පහක් ය. ඒ ගොඩනැඟිල්ලේ බිත්තියේ පළල වටකර මීටර් දෙකහමාරක් ය.

දේව මාලිගාවේ සැලැස්මේ විස්තර

13 ඔහු මාලිගාවත් මැන්නේ ය. එහි දිග මීටර් පණහක් ය, වෙන් වූ මළුවේ ද එහි තිබුණු ගොඩනැඟිල්ලේ ද එහි බිත්තිවල ද දිග මීටර් පණහක් ය. 14 නැගෙනහිරට තිබුණු ගෙයි ඉස්සරහ පැත්තේ ද වෙන් වූ මළුවේ ද පළල මීටර් පණහක් ය. 15 වෙන් වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටුපසින් තිබුණු ගොඩනැඟිල්ලේ දිග ද දෙපැත්තෙහි තිබුණු එහි පිට ශාලා ද මැන්නේ ය. ඒවා මීටර් පණහකි. 16 ඇතුළු මාලිගාව ද මළුවේ ශාලා ද එළිපත්ත ද පටු කවුළු ද මහල් තුනට ම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට ශාලා ද තුනී ලෑලිවලින් වසා තිබුණේ ය. බිම සිට කවුළු දක්වාත් එසේ ම තිබුණේ ය. කවුළුත් වසා තිබුණේ ය. 17 දොරකඩට ඉහළින් ද ඇතුළු මාලිගාව දක්වා ද පිටතින් වටකර ඇතුළත සහ පිටත මුළු බිත්තිය ද මැන්නේ ය. 18 එහි කෙරුබ්වරුන් ද තල් ගස් ද කැටයම් කර තිබිණි. කෙරුබ්වරුන් දෙදෙනෙකු අතරේ තල් ගසක් බැගින් තිබිණි. එක එක කෙරුබ්වරයෙකුට මුහුණු දෙකක් තිබිණි. 19 එනම්, එක පැත්තක තල් ගහ දෙසට මනුෂ්‍ය මුහුණක් ද අනික් පැත්තෙහි තල් ගහ දෙසට තරුණ සිංහ මුහුණක් ද තිබුණේ ය. වටකර මුළු ගෘහයෙහි එසේ සාදා තිබුණේ ය. 20 බිම සිට දොරකඩ ඉහළ දක්වා දේව මාලිගාවේ බිත්තියෙහි කෙරුබ්වරුන් සහ තල් ගස් ද සාදා තිබුණේ ය. 21 දේව මාලිගාවේ උළුවහු කණු සතරැස් ව තිබුණේ ය. ශුද්ධස්ථානය ඉදිරිපිට දිස් වූයේ; 22 ලී පූජාසනය මෙනි. එහි උස මීටර් එකහමාරක් ය, දිග මීටර් එකක් ය. එහි කොන් ද එහි ඇති අඩිය ද එහි පැති ද ලීවලින් ය. එවිට ඔහු කතා කරමින්, ‘මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසය ය’යි මට කී ය.
23 මාලිගාවටත්, ශුද්ධස්ථානයටත් දොරවල් දෙකක් තිබුණේ ය. 24 දොරටුවලට දෙපියන් එනම්, දෙපැත්තට ඇරෙන පියන් දෙකක් තිබිණි. එක දොරකට පියන් දෙකක් ද අනික් එකට පියන් දෙකක් ද තිබුණේ ය. 25 බිත්තිවල සාදා තිබුණාක් මෙන් දේව මාලිගාවේ දොරවල් පිටත් කෙරුබ්වරුන් සහ තල් ගස් සාදා තිබිණි. ශාලාව ඉස්සරහ පිටතින් ඝන ලීවලින් තැනූ උඩු වියනක් තිබිණි. 26 ශාලාවේ දෙපැත්තෙහි ද කාමරවල ද ඝන ලී උඩුවියනේ ද දෙපැත්තේ බිත්තිවල ද පටු කවුළු සහ තල් ගස් තිබිණි. ඝන ලී පඩි කඳන් ද තිබිණි.

 

– 42 වන පරිච්ඡේදය –

තේවා කුටි

1 තවද, ඔහු උතුරු දෙස පිට මළුවට මා ගෙන ගොස් වෙන් වූ මළුවටත්, උතුරු දෙසට තිබුණු ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙව්වේ ය. 2 උතුරු දොරකඩ මීටර් පණහක් දිග ඉස්සරහ පිට තිබුණේ ය. පළල ද මීටර් විසිපහක් ය. 3 ඇතුළු මළුවේ මීටර් දහයකට ඉදිරිපිටත්, පිට මළුවේ ගල් බිම ඉදිරිපිටත් නවාතැන් ශාලාවක් බැගින් මහල් තුනක් තිබිණි. 4 කාමර ඉස්සරහ මීටර් පහක් පළල ඇති මාර්ගයක් ද ඇතුළට යාමට මීටර් භාගයක් පළල ඇති පාරක් ද තිබිණි. ඒවායේ ඉහළ කාමර කොට ව තිබිණි. 5 මන්ද, ඒ ගොඩනැඟිල්ලේ පහළ සහ මැද කොටස්වලින් ඉඩ අසු වුණාට වඩා, ඒවායෙන් පිට ශාලාවට ඉඩ අසු විය. 6 මෙසේ වූයේ ඒවා මහල් තුනක් ව තිබුණු නමුත්, මළුවල කුළුණු වාගේ ඒවාට කුළුණු නොතිබුණු නිසා ය. එබැවින් පහළ ඒවාටත්, මැද ඒවාටත් වඩා ඒවා බිම සිට ඉහළට යන්න යන්න පටු ව තිබිණි. 7 කාමර දිගට පිට මළුව දෙසට කාමරවලට ඉදිරිපිට පිටතින් තිබුණු තාප්පයේ දිග මීටර් විසිපහක් ය. 8 මන්ද, පිට මළුවේ කාමරවල දිග මීටර් විසිපහක් ය. එහෙත්, දේව මාලිගාව ඉදිරිපිට තිබුණු ඒවායේ දිග මීටර් පණහක් ය. 9 පිට මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්න නැගෙනහිර පැත්තෙන් ඇතුළු වන තැන ඒවාට යටින් තිබිණි. 10 නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලට ම වෙන් වූ මළුවටත්, ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට කාමර තිබිණි. 11 මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමට ම පාරක් තිබිණි. ඒවායේ දිග ද පළල ද ඒවාට ඇතුළු වන සියලු තැන් ද ඒවායේ වීථි ද ඒවායේ දොරටු ද මෙන් මේවාටත් තිබිණි. 12 දකුණු පැත්තේ කාමරවල දොරකඩවල වාගේ ඇතුළු වන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිට ම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබිණි.
13 එවිට ඔහු මට කතා කොට, ”වෙන් වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමර ද දකුණු කාමර ද ශුද්ධ කාමර වේ. එහි සමිඳාණන් වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අතිශුද්ධ දේ අනුභව කරන්නෝ ය. එහි ඔව්හු අතිශුද්ධ දේවල් වූ ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද තබන්නෝ ය. මන්ද, ඒ ස්ථානය ශුද්ධ ය. 14 පූජකයන් එහි ඇතුළු වුණා ම ඔව්හු ශුද්ධස්ථානයෙන් පිට මළුවට නොයන්නෝ ය. සේවය කිරීමට ඔවුන් අඳින වස්ත්‍ර ද එහි තබන්නෝ ය. මන්ද, ඒවා ශුද්ධ ය. ඔව්හු වෙන වස්ත්‍ර හැඳගෙන සෙනඟට නියමිත තැන්වලට පැමිණෙන්නෝ ය”යි කී ය.

දේව මාලිගාවේ කොටස් මිම්ම

15 ඔහු ඇතුළු ගෘහය මැන අවසන් කළ විට නැගෙනහිර කොටස දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙන ගොස් වටේට ම එය මැන්නේ ය. 16 මනින දණ්ඩෙන් ඔහු නැගෙනහිර පැත්ත මැන්නේ ය. එය මනින දණ්ඩෙන් වටේට පන්සියයක් ව තිබුණේ ය. 17 ඔහු උතුරු පැත්ත මැන්නේ ය. එය වටේට මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය. 18 ඔහු දකුණු පැත්ත මැන්නේ ය. එය මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය. 19 ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් එය මැන්නේ ය. එය මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය. 20 ඔහු එහි සතර පැත්ත ම මැන්නේ ය. ශුද්ධස්ථානය පොදු ස්ථානයෙන් වෙන් කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත්, පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒ වටකරින් තිබුණේ ය.

 

– 43 වන පරිච්ඡේදය –

දෙවියන් වහන්සේ දේව මාලිගාවට පැමිණීම

1 තවද, ඔහු නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මා ගෙන ගියේ ය. 2 එවිට ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දිශාවෙන් පැමිණෙනු දිටිමි. උන් වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොව ද උන් වහන්සේගේ තේජාලංකාරයෙන් බැබළුණේ ය. 3 මා දුටු දර්ශනය නම්, මා නුවර විනාශ කරන්න එද්දී මා දුටු දර්ශනය හා සමාන ය. ඒ දර්ශනය කෙබාර් ඉවුරේ මා දුටු දර්ශනය හා සමාන ය. එවිට මම මුණින්තළා වී වැටුණෙමි. 4 සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුළු විය.
5 එවිට ආත්මානුභාවය මා ඔසවාගෙන ඇතුළු මළුවට මා පැමිණෙව්වේ ය. මාලිගාව සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දිටිමි. 6 මනුෂ්‍යයෙක් ද මා ළඟ සිටියේ ය. කෙනෙකු මාලිගාවේ සිට මට කතා කරනු මට ඇසිණි. ඒ හඬ මා අමතා, 7 ”මනුෂ්‍ය පුත්‍රය, මෙය මාගේ සිංහාසනය ඇති ස්ථානය ය. මා වැඩමකරන ස්ථානය ය. මම මෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි සදාකාලේට ම වාසය කරන්නෙමි. ඉශ්රායෙල් වංශයටත්, ඔවුන්ගේ රජවරුන්ටත් තමන්ගේ වේශ්‍යාකම්වලින් ද තමන්ගේ රජවරුන්ගේ මළකඳන් වැළලීමෙන් ද මාගේ සුවිශුද්ධ නාමය අපවිත්‍ර කරන්නට තවත් ඉඩ නොදෙන්නෙමි. 8 ඔව්හු තමන්ගේ එළිපත්ත මාගේ එළිපත්ත ළඟ ද තමන්ගේ උළුවහු කණු මාගේ උළුවහු කණු ළඟ ද තැබූ හ. මා සහ ඔවුන් අතරේ තිබුණේ බිත්තිය පමණක් ය; එසේ ඔවුන් කළ තමන්ගේ පිළිකුල් ක්‍රියා මඟින් ඔව්හු මාගේ සුවිශුද්ධ නාමය කෙලෙසූ හ. මම ද මාගේ උදහසින් ඔවුන් විනාශ කෙළෙමි. 9 දැන් ඔව්හු තමන්ගේ වේශ්‍යාකම් ද තමන්ගේ රජවරුන්ගේ මළකඳන් ද මා වෙතින් පහකරත් වා! එවිට මම ඔවුන් අතරෙහි සදාකාලේට ම වාසය කරන්නෙමි.
10 ”මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ අපරාධ ගැන ලජ්ජා වන පිණිසත්, දේව මාලිගාවේ ආදර්ශ සැලැස්ම මනින පිණිසත් දේව මාලිගාව ඔවුන්ට පෙන්වන්න. 11 ඔව්හු තමන් කළ සියල්ල ගැන ලජ්ජා වී සිටිත් නම්, දේව මාලිගාවේ සැලැස්ම ද එහි පිළිවෙළ ද ඇතුළට පිටතට යන එන තැන් ද එහි මුළු හැඩය ද එහි සියලු ම නීති රීති ද එහි මුළු සැලැස්ම ද එහි සියලු ම නීති රීති ද අනුගමනය කරමින් ඒවා ක්‍රියාත්මක කරන පිණිස ඔවුන් ඉදිරියේ දී ඒවා ලියන්න. 12 දේව මාලිගාව පිළිබඳ නියමාවලිය මෙසේ ය. කන්ද මුදුනෙහි වටකර ම එහි මුළු සීමාව ඉතා ශුද්ධ ය. දේව මාලිගාවේ නියමාවලිය එය වේ.”

පූජාසනය

13 තවද, උන් වහන්සේ මෙසේ වදාළ සේක: ” දේව මාලිගාව මැන්න මිම්ම අනුව ම පූජාසනයේ මිමි මේවා ය: එහි අඩිතාලමේ උස සෙන්ටිමීටර් පණහකි. පළලත් සෙන්ටිමීටර් පණහකි. වටකර එහි ගැටිය අද්දර දක්වා සෙන්ටිමීටර් විසිපහකි. 14 මෙය පූජාසනයේ අඩිතාලම ය. බිම පටන් පහළ පිළට මීටරයක් ය, පළල සෙන්ටිමීටර් පණහක් ය, කුඩා පිළ පටන් ලොකු පිළට මීටර් දෙකක් ය, පළල ද සෙන්ටිමීටර් පණහකි. 15 පූජාසනයේ උඩ කොටස මීටර් දෙකකි; උඩ කොටස සිට ඉහළට අං සතරක් වැනි කොන් ඇත්තේ ය. 16 උඩ කොටසේ දිග මීටර් හයකි. පළලත් මීටර් හයකි, හතර පැත්ත හතරැස් ය. 17 එහි සතර පැත්තේ පිළේ දිග මීටර් හතකි, එහි පළලත් මීටර් හතකි, එය වටකර තිබෙන ගැටිය සෙන්ටිමීටර් විසිපහකි. එය වටකර තිබෙන අඩිතාලම සෙන්ටිමීටර් පණහකි. එහි පඩිය නැගෙනහිර දෙසට ය.”

පූජාසනය කැප කිරීම

18 තවද, උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, පූජාසනය පිට දවන යාග පූජා ඔප්පු කරන්නටත්, එය පිට ලේ ඉසින්නටත් පූජාසනය ඉදි කළ විට ඒ ගැන නියෝග මේවා ය. 19 එදින මට සේවය කරන්න මා ළඟට පැමිණෙන ශාදොක්ගේ වංශයේ ලෙවීවරුන් වන පූජකයන්ට පූජාසනය මත දවන පාප පූජාවක් පිණිස ගොන් වස්සෙකු දෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 20 නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන එහි අං වැනි කොන් සතරේ ද මැද කොටසේ කොන් සතරේ ද වටකර ගැටියේ ද ගා, එසේ පූජාසනයේ දො‍්ෂ පහකර, පිරිසිදු කර, ඒ උදෙසා සමඟිකමේ පූජාවක් ඔප්පු කරන්න. 21 තවද, පාප පූජාව සඳහා කැප කළ ගොනා රැගෙන ශුද්ධස්ථානයට පිටතින් මාලිගාවේ නියම තැන ඌ පුළුස්සන්න. 22 දෙ වන දවසේ පාප පූජාවක් පිණිස එළුවන්ගෙන් කැළලක් නැති පිරිමි සතෙකු ගෙනෙන්න. ගොනා පූජා කිරීමෙන් පූජාසනය පවිත්‍ර කළාක් මෙන් එයින් එය පවිත්‍ර කරත් වා. 23 නුඹ එය පවිත්‍ර කර අවසාන වූ විට කැළලක් නැති වස්සෙකු ද රැළෙන් කැළලක් නැති බැටළුවෙකු ද ගෙන්වා 24 උන් සමිඳාණන් වහන්සේ ඉදිරිපිටට පමුණුවන්න, එවිට පූජකයෝ උන් පිට ලුණු දමා, දවන යාග පූජාවක් කොට සමිඳාණන් වහන්සේට උන් ඔප්පු කරත් වා. 25 දිනපතා ම සත් දවසක් පූජාවක් වශයෙන් එළුවෙකු පූජා කරන්න. එසේ ම කැළලක් නැති ගොන් වස්සෙකු ද රැළෙන් බැටළුවෙකු ද ඔව්හු පූජා කරත් වා. 26 සත් දවසක් ඔව්හු පූජාසනය උදෙසා සමඟිකමේ පූජා ඔප්පු කොට, පිරිසිදු කර එය කැප කරත්වා. 27 ඒ කාලය අවසානයේ දී අට වන දවසේත්, ඉන්පසුත් පූජකයෝ නුඹලාගේ දවන යාග පූජා ද නුඹලාගේ සහභාගිකමේ පූජා ද පූජාසනය පිට ඔප්පු කරත් වා. මම ද නුඹලා පිළිගන්නෙමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”

 

– 44 වන පරිච්ඡේදය –

වසා තැබිය යුතු නැගෙනහිර දොරටුව

1 එවිට ඒ මිනිසා නැගෙනහිරට තිබෙන ශුද්ධස්ථානයේ දොරටුව දෙසට යන මාර්ගයෙන් මා ගෙන ගියේ ය. එහෙත්, ඒ දොරටුව වසා තිබුණේ ය. 2 සමිඳාණන් වහන්සේ මට කතා කොට, ”මේ දොරටුව නෑර වසා තිබිය යුතු ය. කිසිවෙක් එයින් ඇතුළු නොවන්නේ ය. මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ එයින් ඇතුළු වූ සේක. එබැවින් එය වසා තිබිය යුතු ය. 3 අධිපතියාට නම්, ඔහු අධිපතියා බැවින්, එහි හිඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කෑම කන්න ලැබෙනු ඇත. ඔහු ද්වාර මණ්ඩපයෙන් ඇතුළුවනු ඇත. ඒ මාර්ගයෙන් ම පිටතට යනු ඇතැ”යි වදාළ සේක.

දේව මාලිගාවට ඇතුළු වීමේ නීති

4 එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් මාලිගාවේ ඉස්සරහ පැත්තට මා පැමිණෙව්වේ ය. මා බැලූ විට සමිඳාණන් වහන්සේගේ මාලිගාව සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දැක මම මුණින්තළා වී වැටුණෙමි. 5 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සියලු නීති රීති ගැන ද එහි පිළිවෙළ ගැන ද මා නුඹට කියන සියල්ල ම නුඹ සිතට ගෙන, හොඳින් බලා, සාවධාන ව අසන්න. මාලිගාවට ඇතුළු වන තැනටත්, ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමු කරන්න. මාලිගාවට ඇතුළු වන්නට අවසර ඇති අය ද ශුද්ධස්ථානයෙන් පිටමං කළ යුතු අය ද ගැන සැලකිල්ලෙන් සිටින්න.
6 ”කැරලිකාර ඉශ්රායෙල් වංශයට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. එම්බා ඉශ්රායෙල් වංශය, නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා සීමාව ඉක්මවා ගොස් ඇත. 7 නුඹලා මාගේ ආහාර වන තෙල ද ලේ ද ඔප්පු කරන විට, මාගේ මාලිගාව කෙලෙසන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට ගතින් හා සිතින් පාප මල කපා නොදැමූ විදේශීන් එය ඇතුළට ගෙනාවහු ය. නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට නුඹලා මාගේ ගිවිසුමත් කඩ කළහු ය. 8 නුඹලා මාගේ ශුද්ධ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට විජාතීන් මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් ලෙස පත් කළහු ය.
9 ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටින විදේශීන්ගෙන් ගතින් හා සිතින් පාප මල පහකර නොදැමූ කිසි ම කෙනෙක් මාගේ ශුද්ධස්ථානයට ඇතුළු නොවෙත් වා!

සමිඳුන්ට ද්‍රෝහී ලෙවීවරුන් පූජකවරයෙන් නෙරපීම

10 ”තමන්ගේ දේව රූප පස්සේ මුළා වී ගිය ඉශ්රායෙල්වරුන් මුළා ව ගිය කල මා වෙතින් අහක් ව ගියා වූ ලෙවීවරුන් ඔවුන්ගේ පාපවල විපාකය දැරිය යුතු ය. 11 එහෙත්, ඔව්හු මාගේ ශුද්ධස්ථානයෙහි සේවකයන් ව, මාලිගාවේ දොරටුවල රැකවලුන් ව, මාලිගාවේ සේවකයන් ව සිටින්නෝ ය. ඔවුන් වනාහි දවන යාග පූජාව සහ යාග පූජාව උදෙසා සතුන් මරා දෙනු ඇත. සෙනඟට සේවය කිරීමට ද ඔවුන් ඉදිරියෙහි සිටිනු ඇත. 12 ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි ඔවුන්ට මොවුන් සේවය කොට ඉශ්රායෙල් වංශය පැකිළවන පාපයට පෙළඹෙවූ බැවින් මාගේ අත මොවුන්ට විරුද්ධ ව එසෙවූවෙමි. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔවුන් තමන්ගේ පාපයේ විපාකය දරනු ඇත. 13 මට පූජක සේවය කරමින් මාගේ සියලු ශුද්ධ දේවල් වන අතිශුද්ධ දේවලින් යමක් ළඟට වත්, මා ළඟට වත් ඔවුන් නොපැමිණිය යුතු ය. ඔවුන් තමන් කළ පිළිකුල් ක්‍රියාවල විපාකයක් වශයෙන් ලජ්ජාව දැරිය යුතු ය. 14 එසේ මාලිගාවේ මුළු මෙහෙයටත්, එහි කෙරෙන සියල්ලටත් ඔවුන් මාලිගාව බලාගන්න රැකවලුන් කරන්නෙමි.

පූජක ලෙවීවරු

15 ”එහෙත් ඉශ්රායෙල්වරුන් මා වෙතින් මුලා වී ගිය විට, මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්වූ ලෙවීවරුන් වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම්, මට සේවය කිරීමටත්, මා ළඟට පැමිණෙන්නත්, තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්නත් අවසර ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. 16 ඔවුන්ට නම්, මාගේ ශුද්ධස්ථානයට ඇතුල් වන්නත්, මට සේවය කිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්නත්, මාගේ සේවය පවත්වන්නත් අවසර ඇත. 17 ඔවුන් ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළු වන කල හණ වස්ත්‍ර ඇඳ සිටිය යුතු ය. ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළතින් ද මාලිගාවෙහි ද සේවය කරන අතර ඔව්හු ලෝම රෙදි නෑඳ සිටිත් වා. 18 ඔවුන්ගේ හිස් පිට හණ තොප්පි ද ඔවුන්ගේ ඉඟටිවල හණ වැසුම් ද තිබේ වා. ඩහදිය හටගන්වන දෙයක් පොරවා නොගනිත් වා. 19 ඔවුන් පිට මළුවට එනම්, පිට මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවය කරන්නට අඳින තමන්ගේ වස්ත්‍ර ගලවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමන්ගේ ශුද්ධ වස්ත්‍රවලින් සෙනඟට නපුරක් නොවන ලෙස වෙන වස්ත්‍ර ඇඳගනිත් වා.
20 ”ඔව්හු තමන්ගේ හිස බූගාන්නේ වත් ඉසකේ දික් වීමට අරින්නේ වත් නැති ව තමන්ගේ ඉසකේ කපත් වා. 21 ඇතුළු මළුවට ඇතුළු වන කල කිසි පූජකයෙක් මුද්‍රික පානය නොබී සිටී වා. 22 ඔව්හු වැන්දඹුවන් වත්, දික්කසාද වූ ස්ත්‍රීන් වත් නොව, ඉශ්රායෙල් වංශයේ කන්‍යාවන් සරණ පාවාගනිත් වා! එහෙත්, පූජකයෙකුගේ වැන්දඹුවක ව සිටින ස්ත්‍රියක පාවාගන්නට ඔවුන්ට අවසර ඇත.
23 ”කැප දෙය සහ අකැප දෙය අතර තිබෙන වෙනස ඔව්හු මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර දෙය සහ පවිත්‍ර දෙය අතරෙන් තිබෙන වෙනස ඔවුන්ට දන්වත් වා. 24 පැමිණිල්ලක් ගැන නම්, ඔව්හු ම විනිශ්චය කිරීමට සිට, මාගේ විනිශ්චයයන් හැටියට එය විනිශ්චය කරත් වා. මාගේ ව්‍යවස්ථා ද මාගේ නියෝග ද මාගේ සියලු නියමිත මංගලවල දී ඔව්හු රක්ෂා කරත් වා. මාගේ සබත් දවස් ද ශුද්ධ කොට පවත්වත් වා.
25 ”ඔවුන් මළ කෙනෙකු ළඟට පැමිණියහොත් අපවිත්‍ර වනු ඇත. එහෙත්, පියා හෝ මව හෝ පුත්‍රයෙකු හෝ දුවක හෝ සහෝදරයෙකු හෝ අවිවාහක සහෝදරියක හෝ නිසා ඔවුන් අපවිත්‍ර නොවනු ඇත. 26 යමෙකු අපවිත්‍ර වුවහොත් ඔහු පිරිසිදු වීමට ඔහුට සත් දවසක් වත් ගත විය යුතු ය. 27 ඔහු ශුද්ධස්ථානයේ සේවය කරන්න ශුද්ධස්ථානයේ ඇතුළු මළුවට පිවිසෙන දවසේ ඔහු තමාගේ පාප පූජාව ඔප්පු කළ යුතු ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
28 ”ඔවුන්ට නියම උරුමය නැත. ඔවුන්ගේ උරුමය මම වෙමි. 29 ඉශ්රායෙලයේ කවරෙකුට වුව ද නුඹලා උරුමයක් නොවන්නහු ය. ඔවුන්ගේ උරුමය මම වෙමි. ඔවුන්ට ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද කන්න අවසර ඇත. ඉශ්රායෙල්වරුන් අතරෙහි කැප වූ සියල්ල ම ඔවුන්ට වන්නේ ය. 30 සියලු ම දේවල්, සියලු ම ප්‍රථම පලවලින් පළමු ඒවා ද නුඹලාගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ල ද පූජකයන්ට වන්නේ ය. නුඹේ පවුලට ආශීර්වාදයක් ලැබෙන පිණිස නුඹලා ඇනූ පිටියෙන් මුල් ම කොටස පූජකයන්ට දෙන්න. 31 ඉබේ ම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනු ලැබූ කිසි පක්ෂියෙකු වත්, මෘගයෙකු වත් පූජකයෙකු නොකෑ යුතු ය.”

– 45 වන පරිච්ඡේදය –

සමිඳුන්ට පුද කළ යුතු පූජක භූමි කොටස

1 ”තවද, නුඹලා දේශය උරුම කරගැනීමට පස ඇට දමන කල, දේශයෙන් ශුද්ධ කොටසක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. එහි දිග කිලෝමීටර් දොළහමාරකි. පළල කිලෝමීටර් පහකි. මේ මුළු කොටස ශුද්ධ භූමියක් විය යුතු ය. 2 එක පැත්තක් මීටර් දෙසියපණහක් වන චතුරශ්‍රයක් ශුද්ධස්ථානයට වේ වා. ඊට තණ බිමක් පිණිස මීටර් විසිපහකුත් වටේට තිබේ වා. 3 ඒ මිම්මෙන් කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අතිශුද්ධස්ථානය වන්නේ ය. 4 එය දේශයෙන් ශුද්ධ කොටසක් ය. එය සමිඳාණන් වහන්සේට සේවය කරන්න පැමිණෙන ශුද්ධස්ථානයේ සේවකයන් වන පූජකයන්ට අයිති වන්නේ ය. එය ඔවුන්ගේ නිවෙස්වලට ඉඩමක් ද ශුද්ධස්ථානයට ශුද්ධ තැනක් ද වන්නේ ය. 5 කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මාලිගාවේ සේවකයන් වන ලෙවීවරුන් වාසය සඳහා පිහිටුවීමට නගර පිණිස උරුමයක් වේ වා.
6 ”නුවර කොටස පිණිස කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් දෙකහමාරක් පළල ද ඇති ඉඩමක් ශුද්ධ කොටස ළඟ නියම කරන්න. එය මුළු ඉශ්රායෙල් වංශයට අයිති වන්නේ ය.”

අධිපතීන්ට අයිති කොටස

7 ”ශුද්ධ කොටසටත්, නුවරට අයිති කොටසටත් දෙපැත්තෙහි එනම්, ශුද්ධ කොටසටත්, නුවරට අයිති කොටසටත් යාව දිගට ම බස්නාහිර පැත්තෙහි සහ නැගෙනහිර පැත්තෙහි අධිපතියාට කොටස් වේ වා. ඒවායේ දිග බස්නාහිර සීමාවේ සිට නැගෙනහිර සීමාවට ඇති ගෝත්‍රයක කොටසට සමාන විය යුතු ය. 8 දේශයෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි එය ඔහුට කොටසක් වන්නේ ය. එසේ මාගේ අධිපතීන් මාගේ සෙනඟට තවත් පීඩා නොකර ඉශ්රායෙල් වංශයට ඔවුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට දේශය දෙනු ඇත.”

අධිපතියාගේ අයුතුකම්

9 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”එම්බා ඉශ්රායෙල් අධිපතිවරුනි! ඉතින් නුඹලා පව් කළ ප්‍රමාණය ඇත. බලහත්කාරය සහ කොල්ලකෑම ද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකම ද කර මාගේ සෙනඟට බලහත්කාර කිරීමෙන් වැළකෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
10 ”හරි තරාදි ද හරි කිරුම් පඩි ද හරි මිම්මක් ද නුඹලාට තිබේ වා.
11 ”බාත් එකකට හෝමෙර් දසයෙන් කොටසක් ද ඒපාවට හෝමෙර් දසයෙන් කොටසක් ද හෝමෙර් එකක් ලීටර් එකසිය හැත්තෑපහක් ද අල්ලන පිණිස ඒපාව හා බාත් එක ප්‍රමාණය වන්නේ ය. ඒවායේ ප්‍රමාණය හෝමෙර්ට හරි ව තිබේ වා.
12 ”ෂෙකෙලට ගේරා විස්සක් ය. ෂෙකෙලය ග්‍රෑම් එකොළහයි දශම හතරකි. නුඹලාගේ මීනා එක ෂෙකෙල් හැටක් වන්නේ ය.
13 ”නුඹලා ඔප්පු කළ යුතු වූ එසවීමේ පූජාව නම්, තිරිඟු අස්වැන්නෙන් හැටෙන් එකකි. යව අස්වැන්නෙන් හැටෙන් එකකි. 14 තෙල් සම්බන්ධ නියමය නම්, ගස්වලින් ලැබෙන තෙල් ප්‍රමාණයෙන් සියයෙන් කොටසකි. හෝමෙර් එකක් බාත් දහයකි; හෝමෙර් එක කොර් එකකි.
15 ”ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත්, දවන යාග පූජාවටත්, සහභාගිකමේ පූජාවලටත් ඉශ්රායෙල් පවුල්වලට අයිති එළු බැටළු පට්ටිවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්නට යෙදේ වා”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
16 ” දේශයේ මුළු සෙනඟ ඒ පඬුර ඉශ්රායෙල් අධිපතියාට දිය යුතු ය. 17 අධිපතියාගේ යුතුකම් නම්, ඉශ්රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත්, නව සඳ පො‍්දිනවලදීත්, සබත් දවස්වලදීත් දවන යාග පූජා ද ආහාර පූජා ද පාන පූජා ද සපයා දීම ය. ඉශ්රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්නට පාප පූජා ද දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද ඔහු පිළියෙළ කළ යුතු ය.”

මංගල්‍යයන්
(නික්ම: 12:4-20; ලෙවී 23:33-43)

18 ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පළමු වන මාසයේ පළමු වන දා කැළලක් නැති ගොන් වස්සෙකු රැගෙන ශුද්ධස්ථානයේ දො‍්ෂ පහකරන්න. 19 පූජකයා ද පාප පූජාවේ ලේවලින් ස්වල්පයක් රැගෙන මාලිගාවේ උළුවස්සේ කණුවලත්, පූජාසනයේ අඩිතාලමේ කොන් සතරේත් ඇතුළු මළුවේ දොරටුවේ උළුවහු කණුවලත් ගාන්නේ ය. 20 වැරදීමෙන් හෝ නොදැනුවත්කමෙන් හෝ යමෙකු පව් කළොත් මාසයේ සත් වන දවසේදීත් මාලිගාවේ එවැනි පූජාවක් ඔප්පු කළ යුතු ය. එලෙස කිරීමෙන් දේව මාලිගාව විශුද්ධ කරනු ඇත.
21 ”පළමු වන මාසයේ දහහතර වන දින පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින් මුහුන් නැති රොටි කන්න. 22 ඒ දවසේ දී අධිපතියා තමා උදෙසාත්, දේශයේ මුළු සෙනඟ උදෙසාත් ගොන් වස්සෙකු පාප පූජාවක් වශයෙන් පිළියෙළ කරන්නේ ය. 23 ඔහු මංගල්‍යය පවත්වන දවස් සත තුළ සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ලෙස එක එක දවසට කැළලක් නැති ගොන් වස්සන් සත්දෙනෙකු ද බැටළුවන් සත්දෙනෙකු ද පාප පූජාවක් ලෙස දවසට එළුවෙකු ද පිළියෙළ කරන්නේ ය. 24 ඔහු ආහාර පූජාවක් ලෙස ගොනෙකුට පිටි ලීටර් දහහතහමාරක් ද බැටළුවෙකුට ධාන්‍ය ලීටර් දහහතරහමාරක් ද ධාන්‍ය ලීටරයකට තෙල් ලීටර් තුනක් ද බැගින් පිළියෙළ කරන්නේ ය.
25 ”සත් වන මාසයේ පහළොස් වන දා මංගල්‍යයේ දී ඔහු එසේ ම සත් දවසක් ඒ පාප පූජාව ද දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල් ද පූජාව සඳහා පිළියෙළ කරන්නේ ය.”

 

– 46 වන පරිච්ඡේදය –

අධිපතියා සහභාගී වන පූජෝත්සව

1 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නැගෙනහිර දෙස තිබෙන ඇතුළු මළුවේ දොරටුව වැඩ කරන දවස් හය තුළ වසා තැබිය යුතු ය. එහෙත්, සබත් දවසේ ද අමාවක දවසේ ද එය ඇර තිබෙන්නේ ය. 2 අධිපතියා ද පිටත දොරටුවේ ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වී දොරටුවේ කණුව ළඟ සිටින්නේ ය. පූජකයෝ ඔහුගේ දවන යාග පූජාව ද ඔහුගේ සහභාගිකමේ පූජාව ද පිළියෙළ කරන්නෝ ය. ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාර කොට පිටතට යන්නේ ය. එහෙත්, සවස් වන තුරු දොරටුව නොවසා තිබිය යුතු ය. 3 දේශයේ සෙනඟ ද දොරකඩ ළඟ සබත් දවස්වල ද අමාවක් දවස්වල ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කරන්නෝ ය.
4 ”අධිපතියා සබත් දවසේ දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු දවන යාග පූජාව නම්, කැළලක් නැති බැටළු පැටියන් හයදෙනෙකුත්, කැළලක් නැති බැටළුවෙකුත් ය; 5 ආහාර පූජාව නම්, බැටළුවා සමඟ ධාන්‍ය ලීටර් දහහතහමාරකුත්, බැටළු පැටවුන් සමඟ ඔහුට දෙන්න හැකි තෙල් ලීටර් තුනකුත් ය. 6 අමාවක දවසේ දී කැළලක් නැති ගොන් වස්සෙකුත්, බැටළු පැටවුන් හයදෙනෙකුත්, බැටළුවෙකුත් ඔප්පු කළ යුතු ය. උන් කැළලක් නැති සතුන් විය යුතු ය. 7 ගොනාටත්, බැටළුවාටත් පිටි ලීටර් දහහතහමාරකුත්, බැටළු පැටවුන්ට තමාගේ පුළුවන්කමේ හැටියට තෙල් ලීටර් තුනකුත් පිළියෙළ කරන්නේ ය. 8 අධිපතියා ඇතුළු වන කල ඔහු දොරටුවේ ද්වාර මණ්ඩපයෙන් ඇතුළු විය යුතු ය. ඒ මාර්ගයෙන් ම පිටතට යා යුතු ය.
9 ”එහෙත්, දේශයේ සෙනඟ නියම කාලවල දී සමිඳාණන් වහන්සේ ඉදිරියට ඇතුළු වන කල, නමස්කාර කරන්න උතුරු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය දකුණු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. දකුණු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. කවුරු නමුත්, ඇතුළු වන ද්වාර මණ්ඩපයෙන් හැරී නොගොස් ඊට ඉදිරියට ගමන් කළ යුතු ය. 10 ඔවුන් ඇතුළු වන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුළු වන්නේ ය. ඔවුන් පිටතට යන කල ඔහුත් පිටතට යන්නේ ය. 11 මංගල්‍යවල දී ද නියම කාලවල දී ද ඔප්පු කරන ආහාර පූජාව ගොනෙකුටත් බැටළුවෙකුටත් ලීටර් දහහතහමාරකුත් බැටළු පැටවුන්ට ඔහු දෙන පමණකුත් ඒ සමඟ තෙල් ලීටර් තුනකුත් වන්නේ ය.
12 ”අධිපතියා ස්වේච්ඡා දවන පූජාවක් වත්, ස්වේච්ඡා සහභාගිකමේ පූජාවක් වත් සමිඳාණන් වහන්සේට පිළියෙළ කරන්න එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇර දිය යුතු ය. ඔහු සබත් දවසේ දී කරන ප්‍රකාරයට තමාගේ දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද පිළියෙළ කර පිටතට යන්නේ ය. ඔහු ගිය පසු දොරටුව වසනු ලබන්නේ ය.”

දෛනික පූජා

13 ”තවද, කැළලක් නැති අවුරුද්දක බැටළු පැටවෙකු දවන යාග පූජාවක් කොට දිනපතා ම සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. සෑම උදයක් පාසා එසේ පිළියෙළ කරන්න. 14 ඌ සමඟ සෑම උදයක් පාසා ම ආහාර පූජාවක් වන පිටි කිලෝග්‍රෑම් දෙකක් ද සිහින් ධාන්‍ය තෙමන්න තෙල් ලීටරයක් ද සමිඳාණන් වහන්සේට ආහාර පූජාවක් කොට පිළියෙළ කරන්න. ඒක නිරන්තර දවන යාග පූජාවට නියෝගයක් වන්නේ ය. 15 එසේ නිරන්තර දවන යාග පූජාවක් කොට බැටළු පැටවා ද ආහාර පූජාව ද තෙල් ද සෑම උදයක් පාසා උදයක් පිළියෙළ කළ යුතු ය.”

අධිපතියා සහ දේපළ

16 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”අධිපතියා තමන්ගේ උරුමයෙන් තෑගි වශයෙන් යම් පුත්‍රයෙකුට තෑග්ගක් දුන්නොත්, එය ඔහුගේ උරුමය වන කොටස වන්නේ ය. එය ඔහුගේ පුත්‍රයන්ට අයිති වන්නේ ය. උරුම වීමෙන් එය ඔවුන්ගේ කොටස වේ. 17 එහෙත්, තමාගේ උරුමයෙන් තෑග්ගක් තමාගේ සේවකයන්ගෙන් යමෙකුට දුන්නොත් එය නිදහස් වීමේ අවුරුද්ද දක්වා ඔහුට අයිති වන්නේ ය. ඉන්පසු එය අධිපතියාට නැවත අයිති වන්නේ ය. ඔහුගේ උරුමය ඔහුගේ පුත්‍රයන්ට පමණක් අයිති වන්නේ ය. 18 සෙනඟ ඔවුන්ගේ උරුම කොටස්වලින් අහක් කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනී වා. මගේ සෙනඟ තම තමන්ගේ උරුම කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේ ම කොටසෙන් තමාගේ ම පුත්‍රයන්ට උරුමයක් දේ වා!”

දේව මාලිගාවේ මුළුතැන් ගෙය

19 එවිට ඒ මිනිසා දොරටුව පැත්තෙන් ඇතුළු වීමට තිබුණු මගින් උතුරු දෙසට පූජකයන්ට තිබුණු ශුද්ධ කාමරවලට මා පැමිණෙව්වේ ය. එහි පිටුපස බස්නාහිර දෙසට බිමක් තිබුණේ ය. 20 ඔහු ද කතා කරමින්, ”මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්නටත්, ආහාර පූජාව බදින්නටත් වෙන් කර ඇති ස්ථානය වේ. එසේ කරන්නේ, සෙනඟ ශුද්ධ කරන පිණිස ඒවා පිට මළුවට නොගෙන යන පිණිස ය”යි මට කීවේ ය.
21 එවිට ඔහු පිට මළුවට මා පමුණුවා, මළුවේ මුලු හතර ළඟින් මා ගෙන ගියේ ය. එවිට මළුවේ එක එක මුල්ලෙහි මළුවක් තිබෙන බව දිටිමි. 22 මළුවේ මුලු හතරේ මළු සෙවිලිකර, මීටර් විස්සක් දිග ද මීටර් පහළොවක් පළල ද විය. ඒ සතර ම එක මිම්මට තිබුණේ ය. 23 ඒ සතර ම වටේට ඒවා ඇතුළෙහි බැම්මක් බැගින් තිබුණේ ය. ඒ බැමි පහතින් වටේට මැටි උදුන් සාදා තිබුණේ ය. 24 එවිට ඔහු කතා කරමින්, ”මේවා මාලිගාවේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බනු ලබන්න ඕනෑ වූ මුළුතැන් ගෙවල් ය”යි මට කීවේ ය.

– 47 වන පරිච්ඡේදය –

දේව මාලිගාවෙන් නික්මෙන ජීවන ගඟ

1 පසු ව ඒ මනුෂ්‍යයා දේව මාලිගාවේ දොරකඩ ළඟට මා නැවත පැමිණෙව්වේ ය. එවිට දේව මාලිගාවේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලා යන බව මම දිටිමි. මන්ද, දේව මාලිගාවේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේ ය. ඒ වතුර දේව මාලිගාවට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් එළිපත්ත යටින් ගලා ආවේ ය. 2 එකල ඔහු මා උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට මුහුණ පා තිබුණු පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේ ය. එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනු දිටිමි. 3 ඒ මනුෂ්‍යයා තමාගේ අතින් ලණුව රැගෙන නැගෙනහිර දෙසට යමින් මීටර් පන්සියයක් මැන්නේ ය. එවිට ඔහු මට වතුර මැදින් එගොඩට යන්න කීවේ ය. වතුර වළලුකර දක්වා තිබුණේ ය. 4 ඔහු තව මීටර් පන්සියයක් මැන වතුර මැදින් මට යන්න කීවේ ය. වතුර දණ හිස් දක්වා තිබුණේ ය. ඔහු තව මීටර් පන්සියයක් මැන වතුර මැදින් මා යැව්වේ ය. එතැන වතුර ඉඟටිය දක්වා තිබුණේ ය. 5 ඔහු තව මීටර් පන්සියයක් මැන්නේ ය. එවිට එය මට බැස යන්න බැරි ගඟක් ව තිබුණේ ය. මන්ද, බැස යන්න බැරි ගඟක් ව පීනන්න වුවමනා තරමට වතුර ඉහළට නැඟ තිබුණේ ය. 6 එවිට ඔහු කතා කරමින්, ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි දැ”යි මාගෙන් අසා, මා කැඳවාගෙන නැවත ගං ඉවුරට පැමිණෙව්වේ ය.
7 මම හැරී ගිය කල, ගං ඉවුර දෙපැත්තෙන් ම බොහෝ ගස් තිබෙනු දිටිමි. 8 ඔහු කතා කරමින්, ”මේ වතුර නැගෙනහිර දිශාවට ගලා ගොස්, අරබා සමභූමියට බැස ගොස්, එහි මළ මුහුදට ඇතුළු වූ විට ජලය මිරිදියට හැරුණේ ය. 9 මේ ගංගා ගලා යන සෑම තැන ම රාශි ගණන් පණ ඇති සියලු ම සත්ත්වයෝ ජීවත් වන්නෝ ය. එසේ මත්ස්‍යයන් මහා ගණනක් හටගනු ඇත. මන්ද, මේ වතුර එහි පැමිණි විට අනික් ඒවා මිරිදිය වන්නේ ය. ගංගාව ගලා යන කොතැනක වුව ද සිටින සියල්ලන් ජීවත් ව සිටිනු ඇත. 10 මසුන් අල්ලන්නන් එය අද්දර සිටිනු ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන ඇති වන්නේ ය. එහි මත්ස්‍යයෝ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහා ගණනක් සිටිති. 11 එහෙත්, එහි වගුරුබිම් සහ ගොහොරු බිම්වල වතුර මිරිදිය නොවී ලුණු ලබාගන්න පිණිස හරිනු ලබන්නේ ය. 12 ගඟ ඉවුරේ දෙපැත්තේ ම සියලු ආකාර පලතුරු වැවෙන්නේ ය. ඒවායේ කොළ වේළෙන්නේ වත්, ඒවායේ පල වරන්නේ වත් නැති ව හැම මාසයේ ම අලුත් පල දරන්නේ ය. මන්ද, ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන් ම නික්ම එන්නේ ය. ඒවායේ පල ආහාර පිණිසත්, ඒවායේ කොළ ඖෂධ පිණිසත් වන්නේ ය”යි කී ය.

දේශ සීමා

13 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඉශ්රායෙල් ගෝත්‍ර දොළොසට නුඹලා දේශය බෙදා දිය යුතු මේ සීමා අනුව ය. ජෝසෙප්ට කොටස් දෙකක් ලැබෙන්නේ ය. 14 නුඹලා අතර සම සම ව දේශය බෙදාගන්නහු ය; මන්ද, නුඹලාගේ පියවරුන්ට එය දෙන හැටියට මාගේ අත එසෙවුවෙමි. එසේ මේ දේශය උරුමයන් පිණිස නුඹලාට ලැබෙන්නේ ය.
15 ” දේශයේ සීමා මෙසේ ය: උතුරු දිශාවේ මධ්‍යධරණි මුහුදේ සිට සෙදාද්ට පැමිණෙන හෙත්ලොන් මාර්ගයේ තිබෙන ලෙබො‍් හමාත් ද බේරෝතා ද 16 දමස්කයේ සීමාවටත්, හමාත්හි සීමාවටත් අතරේ තිබෙන සිබ්‍රායිම් ද හවුරාන්හි සීමාවේ තිබෙන මධ්‍ය හාශෙර් ද යන ඒවා ය. 17 මෙසේ මුහුදේ සිට දමස්කයේ උතුරු මායිමේ පිහිටි හශර්-ඒනොන් දක්වා උතුරට හමාත්හි සීමාව ද වේ. උතුරු පැත්ත එය වේ.
18 ”දමස්කයටත්, ගිලියද්ටත් අතර පිහිටි නැගෙනහිර පැත්තේ හවුරාන් දක්වා සීමාවටත්, ඉශ්රායෙල් දේශයටත් අතරේ ජොර්දාන ගඟ ඔස්සේ වන්නේ ය. උතුරු සීමාවේ පටන් නැගෙනහිර මුහුද දක්වා මනින්න. ඒක නැගෙනහිර පැත්ත වේ.
19 ”දකුණු දේශ සීමාව නම්, තාමාර් පටන් මෙරිබොත්-කාදෙෂ්හි ජලයත්, ඉක්බිති මිසර ඔය දිගේ මධ්‍යධරණි මුහුදත් දක්වා තිබේ. දකුණු දිශාවේ දකුණු සීමාව එය වේ.
20 ”බස්නාහිර දේශ සීමාව නම්, මධ්‍යධරණි මුහුද පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මධ්‍යධරණි මුහුද වේ. බස්නාහිර සීමාව එය වේ.
21 ”මේ දේශය ද ඉශ්රායෙල් ගෝත්‍ර ප්‍රකාරයට නුඹලා අතරේ බෙදාගන්න. 22 නුඹලාටත්, නුඹලා අතරේ වාසය කරන, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පස ඇට දමා බෙදාගන්න. ඔව්හු ඉශ්රායෙල්වරුන් අතරෙහි පුරවැසියන් මෙන් නුඹලා සමඟ සිටිත්වා. නුඹලා සමඟ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි පස ඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේ ය. 23 වි දේශිකයා වාසය කරන ගෝත්‍රය අතරේ ම ඔහුගේ උරුමය ඔහුට දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

– 48 වන පරිච්ඡේදය –

දේශය ගෝත්‍ර වශයෙන් බෙදීම

1 ”ගෝත්‍රවල නාම මේවා ය: උතුරෙන් පටන්ගෙන හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගය ද උතුරෙහි හමාත් ඉදිරිපිට දමස්කයේ සීමාවේ පිහිටි හශර්-ඒනාන් දක්වා නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා ද දාන්ට එක කොටසක් ය. 2 දාන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ආෂේර්ට එක කොටසක් ය. 3 ආෂේර්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නප්තලීට එක කොටසක් ය. 4 නප්තලීගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා මනස්සේට එක කොටසක් ය. 5 මනස්සේගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා එප්‍රායිම්ට එක කොටසක් ය. 6 එප්‍රායිම්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා රූබන්ට එක කොටසක් ය. 7 රූබන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ජුදාට එක කොටසක් ය.

ලෙවී ගෝත්‍රයට හිමි විශේෂ භූමි කොටස

8 ”ජුදා දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නුඹලා වෙන් කළ යුතු විශේෂ කොටස වන්නේ ය. එහි පළල කිලෝමීටර් දොළහමාරක් ද එහි දිග ගෝත්‍රයකට හිමි කොටසට සමාන වූ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ද වන්නේ ය. ශුද්ධස්ථානය එහි මැද වන්නේ ය.
9 ”නුඹලා එයින් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු සමිඳාණන් වහන්සේට විශේෂ කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ව තිබිය යුතු ය. 10 විශේෂ කොටස පූජකයන්ට අයිති වන්නේ ය. එනම්, උතුරට කිලෝමීටර් දොළහමාරක් ද බස්නාහිරට කිලෝමීටර් පහක් පළල ද නැගෙනහිරට කිලෝමීටර් පහක් පළල ද දකුණු දෙසට කිලෝමීටර් දොළහමාරක් දිග ද ඇති කොටසක් වන්නේ ය. එය මැද සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය වන්නේ ය. 11 එය ඉශ්රායෙල් පුත්‍රයන් පව්කර මුළා ව ගිය කල, ලෙවීවරුන් මුළා ව ගියාක් මෙන් මුළා ව නොගොස් මාගේ සේවය පැවැත්වූ, ශාදොක්ගේ පුත්‍රයන් වූ, කැප කරනු ලැබූ, පූජකයන්ට වන්නේ ය. 12 ලෙවීවරුන්ගේ සීමාව ළඟ එය දේශයේ විශේෂ කොටස අතිශුද්ධ විශේෂ කොටස වන්නේ ය. 13 පූජකයන්ගේ සීමාවට යාව කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති කොටසක් ලෙවීවරුන්ට වන්නේ ය. මුළු දිග කිලෝමීටර් දොළහමාරක් ද පළල කිලෝමීටර් පහක් ද විය යුතු ය. 14 ඔව්හු එයින් කිසිවක් විකුණන්නට වත්, මාරු කරන්නට වත්, වෙන් කර අහිමි කරන්නට වත් නොයෙදතේවා. මන්ද එය සමිඳාණන් වහන්සේට ශුද්ධ ය.
15 ”කිලෝමීටර් දොළහමාරක් ද පළලින් දෙකහමාරක් ව ද තිබෙන ඉතිරි කොටස ශුද්ධ නොවේ, එය වාසය කිරීමට නුවර සහ තණ බිම පිණිස පොදු කොටසක් වන්නේ ය. නුවර වනාහි එහි මැද වන්නේ ය. 16 එහි ප්‍රමාණය මෙසේ ය. එය හරි හතරැස් විය යුතු ය. උතුරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද දකුණෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද නැගෙනහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බටහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බැගින් දිග ය. 17 නුවර වටේට ම සෑම අතින් ම තණ බිම් තිබිය යුතු ය. ඒවායේ ප්‍රමාණය උතුරට මීටර් එකසිය විසිපහක් ය. දකුණට මීටර් එකසිය විසිපහක් ය. නැගෙනහිරට මීටර් එකසිය විසිපහක් ය. බස්නාහිරට මීටර් එකසිය විසිපහක් ය. 18 ශුද්ධ, විශේෂ කොටසට යාව දිගින් ඉතිරි වන්නේ නැගෙනහිරට කිලෝමීටර් පහක් ය. බස්නාහිරට කිලෝමීටර් පහක් ය. එය ශුද්ධ විශේෂ කොටස ළඟ වන්නේ ය. ඒ කොටස්වල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේ ය. 19 සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් නුවර වැඩකරන්නෝ එය අස්වද්දවත්වා.
20 ”වෙන් කරන ලද මුළු කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ව, කිලෝමීටර් දොළහමාරක් පළල ව තිබිය යුතු ය. එසේ ශුද්ධ විශේෂ කොටස, නුවර කොටස ඇතුළු ව සතරැස් එකක් කොට වෙන් කරන්න.
21 ”විශේෂ ශුද්ධ කොටසටත්, නුවර කොටසටත් දෙපැත්තෙන් එනම්, විශේෂ කොටසේ කිලෝමීටර් දොළහමාර ළඟ සිට නැගෙනහිර සීමාව දක්වා ද බස්නාහිර දෙසට කිලෝමීටර් දොළහමාර ළඟ සිට බස්නාහිර සීමාව දක්වා ද ගෝත්‍රවල කොටස්වලට සමාන්තර ව ඉතිරි වන පංගුව අධිපතියාට වන්නේ ය. ශුද්ධ විශේෂ කොටස ද මාලිගාවේ ශුද්ධස්ථානය ද එහි මැද වන්නේ ය. 22 එසේ අධිපතියාට අයිති කොටසේ මැද තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිට ද නුවර කොටසේ සිට ද ජුදා වංශයේ සීමාවටත්, බෙන්ජමින් වංශයේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේ ය.

සෙසු ගෝත්‍රවලට හිමි භූමි කොටස

23 ”ඉතිරි ගෝත්‍රවලින් නම්, නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා බෙන්ජමින් වංශයට කොටසක් වේ. 24 බෙන්ජමින්ගේ වංශයේ සීමාව ළඟට නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සිමියොන්ගේ වංශයට කොටසක් වේ. 25 සිමියොන්ගේ වංශයේ දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ඉස්සාකර්ට කොටසක් වේ. 26 ඉස්සාකර්ගේ වංශයේ දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සාබුලොන්ට කොටසක් වේ. 27 සාබුලොන්ගේ වංශයේ දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ගාද්ට කොටසක් වේ.
28 ”ගාද්ගේ වංශයේ දේශ සීමාව ළඟ දකුණු දිශාවට දකුණු පැත්තේ සීමාව නම්, තාමාර් පටන් මෙරිබත්-කාදෙශ්හි ජලයත්, මිසර ඔයත්, මධ්‍යධරණි මුහුදත් දක්වා තිබෙන්නේ ය.
29 ”ඉශ්රායෙල් ගෝත්‍රවලට උරුමයක් පිණිස නුඹලා පස ඇට දමා බෙදිය යුතු දේශය එය වේ. ඔවුන්ගේ කොටස් ඒවා ය.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.

නුවර දොරටුව

30 ”නුවරින් පිටතට යන තැන් මෙසේ ය. මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති උතුරු පැත්තෙහි ඉශ්රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇති ව, නුවර දොරටු තුනක් උතුරට වන්නේ ය. 31 රූබන්ගේ දොරටුව එකක් ය; ජුදාගේ දොරටුව එකක් ය; ලෙවීගේ දොරටුව එකක් ය. 32 මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ජෝසෙප්ගේ දොරටුව එකක් ය; බෙන්ජමින්ගේ දොරටුව එකක් ය; දාන්ගේ දොරටුව එකක් ය. 33 මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. සිමියොන්ගේ දොරටුව එකක් ය; ඉස්සාකර්ගේ දොරටුව එකක් ය; සාබුලොන්ගේ දොරටුව එකක් ය. 34 මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති බස්නාහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ගාද්ගේ දොරටුව එකක් ය; ආෂෙර්ගේ දොරටුව එකක් ය; නප්තලීගේ දොරටුව එකක් ය. 35 වට ප්‍රමාණය මීටර් දහසක් වේ. ඒ දවසේ පටන් නුවර නාමය ‘සමිඳාණන් වහන්සේ එහි ය’ යන අරුත ඇති ජෙහෝවා-ෂාමා වන්නේ ය.”

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s