උත්පත්ති කථාව

– 1 වන පරිච්ඡේදය –

දෙවියන් වහන්සේ ලෝකය මැවීම

1 ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. 2 පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. aදේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. 3 එවිට දෙවියන් වහන්සේ, ”ආලෝකය වේ වා!”යි වදාළ සේක; ආලෝකය විය. 4 ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර 5 ආලෝකයට ”දවාල” කියා ද, අන්ධකාරයට ”රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය.
6 ඉන්පසු දෙවියන් වහන්සේ, ”ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. 7 මෙසේ උන් වහන්සේ අහස් කුස සාදා, ඊට යටින් තිබෙන ජලය, ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර 8 ‍‍‍‍අහස් කුසට ”අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය.
9 ඉන්පසු දෙවියන් වහන්සේ, ”ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. 10 ගොඩබිමට ”පොළොව” කියා ද, ජලයට ”සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක.
11 එවිට දෙවියන් වහන්සේ, ”බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය. 12 මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. 13 සවස ගත විය, උදය උදා විය, ඒ තුන් වන දවස ය.
14 ඉන්පසු දෙවියන් වහන්සේ, ”දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද, 15 ”පොළොවට එළිය දීමට ඒවා අහසෙහි බැබළේ වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. 16 මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක. 17 දෙවියන් වහන්සේ මේ අලෝකයන් අහසේ තැබුවේ පොළොවට ආලෝකය දීම සඳහාත්, 18 දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහාත්, අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත් ය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. 19 සවස ගත විය, උදය උදා විය, ඒ සතර වන දවස ය.
20 ඉන්පසු දෙවියන් වහන්සේ, ”ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේවා!” කියා ද, ”පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. 21 මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන් ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන් ද නන් වැදෑරුම් පක්ෂීන් ද මැවූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. 22 තවද, දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, ”බෝ වී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත් වා!” කියා ද, ”පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියා ද පැවසූ සේක. 23 සවස ගත විය, උදය උදා විය, ඒ පස් වන දවස ය.
24 ඉන්පසු දෙවියන් වහන්සේ; ”විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් නිපදෙත් වා!”යි වදාළ සේක. එසේ ම විය. 25 මෙසේ උන් වහන්සේ විවිධාකාර වන මෘගයන් ද ගවමහිෂයන් ද උරගයන් ද පොළොවෙන් ඉපද වූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක.
26 ඉන්පසු දෙවියන් වහන්සේ; ”අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!”යි අණ කළ සේක.
27 දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක;
දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක;
පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක.
28 දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, ”නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද, පොළොවේ සැරි සරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වන්නැ”යි ඔවුන්ට වදාළ සේක. 29 තවද, උන් වහන්සේ, ”මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා! 30 එහෙත්, පොළොවේ සියලු වන සතුන්ට ද අහසේ පක්ෂීන්ට ද උරගයන්ට ද සියලු ජීවමාන සතුන්ට ද ආහාර පිණිස නිල් පලා දෙමි”යි වදාළ සේක. එසේ ම විය. 31 දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා මනහර බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.

– 2 වන පරිච්ඡේදය –

1 මෙසේ අහසත්, පොළොවත් එහි ඇති සියලු දේත් මවා නිම කරන ලද්දේය. 2 දෙවියන් වහන්සේ තමන් කළ කාර්යය සත් වන දවසෙහි නිමවා, එදින සියලු වැඩ නතර කළ සේක. 3 මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.
4 අහසත් පොළොවත් මැවීමේ පුවත එසේ ය.

මැවීම පිළිබඳ තවත් විස්තරයක්

දෙවි සමිඳාණන් වහන්සේ bඅහස හා පොළොව මවන විට 5 පොළොවෙහි හටගත් පැළෑටියක් වත්, පැලවුණු බීජයක් වත් නො වී ය. එසේ වූයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොව පිට වැස්ස නොඑවූ නිසාත්, භූමිය වගා කිරීමට කිසිවෙකු නොසිටි නිසාත් ය. 6 එහෙත් පොළොවෙන් ජලය මතු වී භූමි තලය පුරා ගලා ගියේය.
7 දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දුවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.

ඒදන් උයන

8 දෙවි සමිඳාණන් වහන්සේ පූර්ව දිශාවේ, ඒදන්හි උයනක් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි පිහිටෙවු සේක. 9 තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පලදෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක.
10 උයනට ජලය සැපයීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. උයනින් පිටත දී එය අතු ගංගා සතරකට බෙදිණි. 11 පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත. 12 එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත. 13 දෙ වන අතු ගංගාවේ නම ගීහොන් ය; එය මුළු කූෂ් ප්‍රදේශය වටා ගලා යයි. 14 තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය.
15 ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. 16 තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, ”උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. 17 එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක.
18 පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ”මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. 19 මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. 20 මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවුවා ය.
21 එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. 22 උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. 23 එවිට මිනිසා කතා කොට,
”දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි
පැවසී ය. 24 මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය. 25 මිනිසාත්, භාර්යාවත් දෙදෙනා ම නග්න ව සිටි නමුත් ඔව්හු ලජ්ජා නොවූ හ.

– 3 වන පරිච්ඡේදය –

මිනිසාගේ වැටීම

1 දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, ”උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය. 2 ස්ත්‍රිය සර්පයාට උත්තර දෙමින්, ”උයනේ ඕනෑ ම ගහක ගෙඩි කන්නට අපට අවසර ඇත. 3 එහෙත්, උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත්, ඒවාට අත ගසන්නටත් දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාම ය”යි කීවා ය.
4 එවිට සර්පයා පිළිතුරු දෙමින්, ”සැබැවින් ම ඔබ මැරෙන්නේ නැත. 5 ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේ දී ඔබ‍‍ගේ ඇස් පෑදී, දෙවියන් හා සමාන වී, ඔබත් හොඳ-නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේකැ”යි කී ය.
6 ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය. 7 එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් පෑදී තමන් නග්න ව සිටි බව ඔව්හු තේරුම්ගත්හ. එබැවින් ඔව්හු අත්තික්කා කොළ එකට මසා ඉණ වැසුම් සාදාගත්හ.
8 ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ. 9 එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, ”නුඹ කොහේ දැ”යි ඇසූ සේක. 10 ”ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය. 11 එවිට උන් වහන්සේ, ”නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක. 12 ඔහු ද පිළිතුරු දෙමින්, ”ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි”යි පැවසී ය. 13 එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, ”නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. ”සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.

දඬුවම් නියම කිරීම

14 එවිට දෙවි සමිඳාණන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළ සේක:
”තා මෙය කළ බැවින් සියලු ගමහිෂයන්ට ද වනයේ සියලු මෘගයන්ට ද වඩා තෝ සාප ලද්දෙක් වේ වා!
දිවි ඇති තාක් උර ගා යමින් තෝ දූවිලි කන්නෙහි ය.
15 තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි.
ඔහු තගේ හිස පොඩි කරන්නේ ය;
තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”
16 උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක:
”නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි.
විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය.
එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය.
ඔහු නුඹ පාලනය කරන්නේ ය.”
17 තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක:
”භාර්යාවගේ වචනයට සවන් දී, ‘නොකෑ යුතු ය’යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේ වා!
දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය;
18 පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැලෑටි ද උපදින්නේ ය, නුඹට වනයේ පලා කන්නට සිදු වන්නේ ය.
19 භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය.
දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.”
20 මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි. 21 දෙවි සමිඳාණන් වහන්සේ හම් වස්ත්‍ර සාදා ආදම්ට සහ ඔහුගේ භාර්යාවට හැඳවූ සේක.
22 එවිට දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ”හොඳ-නරක අවබෝධ වීම නිසා දැන්, මිනිසා ද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය”යි වදාළ සේක.
23 මෙසේ කියා, භූමියෙන් වූ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා ඒදන් උයනින් නෙරපා දැමූ සේක.
24 මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.

– 4 වන පරිච්ඡේදය –

කායින් සහ ආබෙල්

1 ආදම් සිය භාර්යාව වන ඒව සමඟ එක් විය. ඈ දරුවෙකු පිළිසිඳගෙන, ඔහු උපන් කල, ”සමිඳාණන් වහන්සේගේ උපකාරයෙන් මම මිනිසෙකු ලදිමි”යි කීවා ය. එබැවින් ඈ ඒ දරුවාට කායින් යන නම දුන්නා ය. 2 පසු ව ඈ ඔහුගේ සොහොයුරු වූ ආබෙල් ද ලැබුවා ය. ආබෙල් බැටළු එඬේරෙක් විය, කායින් ගොවියෙක් විය. 3 කලක් ගත වූ පසු කායින් පොළොවෙන් නිපද වූ අස්වැන්න පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. 4 ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක. 5 එහෙත්, උන් වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොපිළිගත් සේක. එබැවින් කායින් තදින් කිපී, දුර්මුඛ විය.
6 සමිඳාණන් වහන්සේ ද කායින්ට කතා කොට, ”නුඹ මෙතරම් කිපී, දුර්මුඛ වී සිටින්නේ මන් ද? 7 නුඹ යහපත කරන්නෙහි නම් නුඹ පිළිගනු ලබන්නෙහි ය. නුඹ අයහපත කරන්නෙහි නම් පාපය රකුසෙකු සේ නුඹේ දොරකඩ ලැග සිටින්නේ ය. ඌ නුඹ මැඩලීමට බලාගෙන සිටියි; එහෙත්, නුඹට ඌ දමනය කළ හැකි ය”යි වදාළ සේක.
8 ඉක්බිති කායින් සිය සොහොයුරු ආබෙල් අමතා, ”අපි එළිමහනේ කෙතට යමු”යි කී ය. මෙසේ ඔවුන් ගිය විට කායින් සිය සොහොයුරු ආබෙල්ට විරුද්ධ ව නැඟිට ඔහු මරාදැමී ය.
9 එවිට සමිඳාණන් වහන්සේ කායින්ට කතා කොට, ”නුඹේ සහෝදර ආබෙල් කොහේ දැ”යි ඇසූ සේක. කායින් ද උත්තර දෙමින්, ”මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ භාරකරු දැ”යි ඇසී ය. 10 සමිඳාණන් වහන්සේ ද, ”නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි. 11 මින් මතු නුඹ පොළෝ තලය මත සාප ලද්දෙක් වේ වා! නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළොව කට අයාගෙන ඇත. එම පොළොවෙන් නුඹ නෙරපාදමනු ඇත.12 මෙතැන් සිට නුඹ බිම වගා කරන විට, එය නුඹට පලදාව නොදෙන්නේ ය. නුඹ ගෙයක් දොරක් නැති, මිහි පිට ඉබාගාතේ යන මිනිහෙක් වන්නෙහි යැ”යි වදාළ සේක.
13 එවිට කායින් සමිඳාණන් වහන්සේට කතා කොට, ”මාගේ දඬුවම දැරිය නොහැකි තරම් දරුණු ය. 14 ඔබ මෙදින මේ පොළොවෙන් මා නෙරපාදමන සේක. මා ඔබගෙන් සැඟවී, ගෙයක් දොරක් නැති, මිහි පිට ඉබාගාතේ යන්නෙකු විය යුතු ය. මා හමුවට එන කවරෙක් වේ වා, මා මරා දමනු ඇතැ”යි කී ය. 15 එහෙත්, සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, ”එසේ නොවනු ඇත. යම් කෙනෙක් කායින් මැරුවොත් ඔහුගෙන් එමෙන් සත් වරක් දරුණු ලෙස පළිගනු ලබන්නේ ය”යි වදාළ සේක. එබැවින් සමිඳාණන් වහන්සේ ද යමෙකුට කායින් මුණ ගැසුණොත් කායින් නොමරන පිණිස ඔහු පිට ලකුණක් තැබූ සේක. 16 එවිට කායින් සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව ගොස් ඒදන් උයනට පෙරදිගින් පිහිටි ”නොද්” ප්‍රදේශයේ පදිංචි විය.

කායින්ගේ පෙළපත

17 කායින් සිය භාර්යාව සමඟ එක් විය. ඈ පිළිසිඳ ඒනොක් නම් දරුවා ලැබුවා ය. කායින් ද නුවරක් ඉදි කර තම පුත්‍රයාගේ නාමය අනුව ඊට ඒනොක් යයි නම් තැබී ය. 18 ඒනොක්ට ඊරාද් නම් පුතෙක් උපන්නේ ය. ඊරාද්ට දාව මෙහුයායෙල් ද, මෙහුයායෙල්ට දාව මෙතුෂායෙල් ද, මෙතුෂායෙල්ට දාව ලාමෙක් ද උපන්නෝ ය.
19 ලාමෙක් ස්ත්‍රීන් දෙදෙනෙකු සරණ පාවාගත්තේ ය. එක් කෙනෙකුගේ නම ආදා ය, අනික් තැනැත්තිය ශිල්ලා ය. 20 ආදා, ජාබල් ලැබුවා ය. මොහු කූඩාරම්වල වසන ගොපල්ලන්ගේ ආදි පියා ය. 21 මොහුගේ සහෝදරයාගේ නම ජුබාල් ය; ඔහු වීණා වයන, නළා පිඹින සියලු සංගීතකරුවන්ගේ ආදි පියා ය. 22 ශිල්ලාට ද තුබල්-කායින් උපන්නේ ය. මොහු ලෝකඩ සහ යකඩ උපකරණ සාදන සියලු ලෝකුරුවන්ගේ ආදි පියා ය. තුබල්-කායින්ගේ සහෝදරී නාමා ය. 23 ලාමෙක් සිය භාර්යාවන්ට කතා කොට,

”ආදා හා ශිල්ලා මට සවන් දෙන්න.
මා බිරිඳෙනි, මා බසට කන් යොමන්න.
මිනිසෙක් මට පහර දුනි, මම ඔහු මරාදැමීමි.
තරුණයෙක් මට තුවාළ කෙළේ ය, මම ඔහුත් මරාදැමීමි.
24 කායින්ට පහර දෙන්නේ කවරෙක් ද?
ඔහුගෙන් පළිගැනීම හත් වරක් වේවි.
මට පහර දෙන්නේ කවරෙක් ද?
ඔහුගෙන් පළිගැනීම හැත්තෑ හත් වරක් වේවී”යි පැවසී ය.

සෙත්ගේ පෙළපත

25 ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, ”කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය. 26 සෙත්ට ද පුතෙක් උපන්නේ ය. ඔහු ඒනොෂ් යන නාමය ඔහුට තැබී ය. මනුෂ්‍යයන් ‘යාවේ’ හෙවත් සමිඳාණන් වහන්සේ කියා උන් වහන්සේට පළමු වරට නමස්කාර කරන්නට පටන්ගත්තේ ඒ කාලයේ දී ය.

– 5 වන පරිච්ඡේදය –

 ආදම්ගේ පෙළපත
(1 වංශා: 1:1-4)

1 ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක. 2 ස්ත්‍රී-පුරුෂ වශයෙන් ඔවුන් මැවූ සේක. උන් වහන්සේ ඔවුන් මවන විට ඔවුන්ට ආශීර්වාද කරමින් ‘මිනිසා’ යන නාමය ඔවුන්ට තැබූ සේක. 3 ආදම්ට වයස අවුරුදු එකසිය තිහක් වූ විට තමාගේ ම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. මොහුට සෙත් යන නාමය තැබී ය. 4 සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ. 5 ඔහු අවුරුදු නවසිය තිහක් ආයු වළඳා මියගියේය.
6 සෙත්ගේ වයස අවුරුදු එකසිය පහක් වූ විට ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය. 7 ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. 8 ඔහු අවුරුදු නවසිය දොළොසක් ආයු වළඳා මියගියේය.
9 ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය. 10 කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු අටසිය පසළොසක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. 11 ඔහු අවුරුදු නවසිය පහක් ආයු වළඳා මියගියේය.
12 කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය. 13 මහලලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු අටසිය සතළිසක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. 14 ඔහු අවුරුදු නවසිය දහයක් ආයු වළඳා මියගියේය.
15 මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය. 16 ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. 17 ඔහු අවුරුදු අටසිය අනූපහක් ආයු වළඳා මියගියේය.
18 ජරෙද්ට වයස අවුරුදු එකසිය හැටදෙකක් වූ විට ඔහුට දාව ඒනොක් උපන්නේ ය. 19 ඒනොක් උපන් පසු ජරෙද් තව අවුරුදු අටසියයක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. 20 ඔහු අවුරුදු නවසිය හැටදෙකක් ආයු වළඳා මියගියේය.
21 ඒනොක්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය. 22 මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු තුන්සියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ. 23 ඔහුගේ මුළු ජීවිත කාලය අවුරුදු තුන්සිය හැටපහක් විය. 24 ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය.
25 මෙතුසෙලාට වයස අවුරුදු එකසිය අසූහතක් වූ විට ඔහුට දාව ලාමෙක් උපන්නේ ය. 26 ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු හත්සිය අසූදෙකක් ජීවත් විය. ඔහුට දාව තවත් දරුදැරියෝ උපන්හ. 27 අවුරුදු නවසිය හැටනවයක් ආයු වළඳා ඔහු මියගියේය.
28 ලාමෙක්ට වයස අවුරුදු එකසිය අසූදෙකක් වූ විට ඔහුට දාව පුතෙක් උපන්නේ ය. ලාමෙක් ඔහුට නෝවා යන නාමය තැබී ය. 29 ඔහු එසේ කෙළේ, ‘සමිඳාණන් වහන්සේ සාප කළ පොළොවෙන් මොහු අපට, අපගේ වැඩවල දී ද වෙහෙස මහන්සියේ දී ද සහනය ගෙන දෙනු ඇත’ යන අදහසින් ය. 30 ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ. 31 අවුරුදු හත්සිය හැත්තෑහතක් ආයු වළඳා ඔහු මියගියේය.
32 නෝවාගේ වයස අවුරුදු පන්සියයක් වූ විට ඔහුට දාව ෂෙම්, හාම් සහ ජපෙත් යන පුත්තු තිදෙන උපන්හ.

– 6 වන පරිච්ඡේදය –

මිනිසාගේ දුෂ්ටකම

1 එකල පොළෝ තලය මත ජන සංඛ්‍යාව බහුල විය; ජනතාවට දූවරු උපන්නාහ. 2 මිනිස්-දූවරුන් සුරූපී බව දුටු දිව්‍ය-පුත්‍රයෝ, තම තමන් රිසි වූවන් සරණ පාවාගත්හ. 3 එවිට සමිඳාණන් වහන්සේ, ”මිනිසා මැරෙන සුලු බැවින් මාගේ ජීවන හුස්ම ඔහු තුළ සදහට ම පැවතීමට ඉඩ නොතබමි; මින් මතු ඔහුගේ ජීවිත කාලය අවුරුදු එකසිය විස්සකට වැඩි නොවන්නේ ය”යි වදාළ සේක.
4 ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.
5 මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට 6 මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි. 7 එබැවින් උන් වහන්සේ, ”මා විසින් මවන ලද මිනිසා මම මිහි පිටින් වනසාලමි; ඔහු සමඟ ගවමහිෂයන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසාලමි; ඔවුන් මැවීම ගැන මම තැවෙමි”යි වදාළ සේක. 8 එහෙත් උන් වහන්සේ අබිමුවෙහි නෝවා කරුණාව ලැබී ය.
9 නෝවා පිළිබඳ පුවත මෙසේ ය; ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. 10 තවද, ඔහුට ෂෙම්, හාම්, ජපෙත් කියා පුත්තු තිදෙනෙක් උපන්හ. 11 එහෙත්, ලෝවැසි සෙසු හැම දෙන ම දෙවියන් වහන්සේ අබිමුවෙහි දූෂ්‍ය වී සිටියහ; ඔව්හු සැහැසිකමින් පිරී සිටියහ. 12 දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල්ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය.

නෝවා නැවක් සෑදීම

13 තවද, දෙවියන් වහන්සේ නෝවාට කතා කොට මෙසේ වදාළ සේක: ”සියලු මිනිසුන් වනසාලීමට මා තීරණය කර ඇත. මන්ද මිනිසා නිසා පොළෝ තලය ම සැහැසිකමින් පිරී තිබේ. එබැවින් මම ඔවුන් සමඟ පොළෝ තලය විනාශ කරදමමි. 14 නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදාගන්න; එහි කාමර තනා, නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න. 15 නැවේ සැලැස්ම මෙසේ විය යුතු ය. එහි දිග මීටර් එකසිය තිස්තුනකි; පළල මීටර් විසිදෙකකි; උස මීටර් දහතුනකි. 16 නැවට උඩින් පියස්සක් තනා, ඒ ආවරණය හා බිත්ති අතර සෙන්ටිමීටර් හතළිස්හතරක පරතරයක් තැබිය යුතු ය. පළමු වන, දෙ වන, තෙ වන වශයෙන් තට්ටු තුනක් ඇති ව නැව සාදා එහි එක පැත්තක දොර තබන්න. 17 අහස යට සියලු සත්ත්වයන් වනසාලන පිණිස මම පොළෝ තලය මත ජලගැල්මක් පමුණුවන්නෙමි. එවිට පොළොව පිට ඇති සියලු දේ වැනසී යන්නේ ය. 18 එහෙත්, නුඹ සමඟ මම මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. නුඹ ද නුඹ සමඟ නුඹේ පුතුන් ද නුඹේ භාර්යාව ද නුඹේ පුතුන්ගේ භාර්යාවන් ද නැවට ඇතුළු විය යුතු ය. 19 පණ පිටින් රැකගනු පිණිස එක එක වර්ගයේ, සියලු සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් දෙදෙනෙකු බැගින් නුඹ සමඟ නැව තුළට රැගෙන යා යුතු ය. 20 නොමැරී බේරාගනු පිණිස සෑම වර්ගයක ම පක්ෂීන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද උරගයන්ගෙන් ද දෙදෙනා බැගින් නුඹ සමඟ නැවට ඇතුළු විය යුතු ය. 21 කෑම පිණිස විවිධ ආහාර රැස් කරගෙන යන්න; ඒවා නුඹට ද ඔවුන්ට ද ආහාර පිණිස විය යුතු ය.” 22 මෙසේ දෙවියන් වහන්සේ අණ කළ සියල්ල නෝවා නොපිරිහෙළා ඉටු කෙළේ ය.

– 7 වන පරිච්ඡේදය –

මහා ජලගැල්ම

1 සමිඳාණන් වහන්සේ නෝවාට කතා කොට, ”නුඹ ද, නුඹේ මුළු පවුල ද නැවට ඇතුළු වෙන්න; මන්ද, මිනිසුන් අතර නුඹ පමණක් මා ඉදිරියෙහි දැහැමි බව මම දුටුවෙමි. 2 තවද, නන් වැදෑරුම් සත්ත්ව වර්ග පොළෝ තලයෙහි නොකඩව බෝ වන පිණිස සියලු පවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද සියලු අපවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුවක් බැගින් ද 3 ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න. 4 තව හත් දවසකින් පොළොව මත දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් වැසි වස්වන්නෙමි. මෙලෙස මා මැවූ ජීවමාන සියල්ලක් ම පොළෝ තලයනේ ඉවත් කරදමන්නෙමි”යි වදාළ සේක. 5 නෝවා ද සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ඉටු කෙළේ ය.
6 පොළොව මත ජලගැල්ම පැතිරෙන විට නෝවාට වයස අවුරුදු හයසියයක් විය. 7 ජලගැල්මෙන් බේරීමට නෝවා, සිය පුතුන් ද භාර්යාව ද පුතුන්ගේ භාර්යාවන් ද කැටුව නැවට ඇතුළු විය. 8 පවිත්‍ර සතුන්ගෙන් ද අපවිත්‍ර සතුන්ගෙන් ද පක්ෂීන්ගෙන් ද උරගයන්ගෙන් ද 9 ගැහැණු-පිරිමි සත්තු ජෝඩුව බැගින් දෙවියන් වහන්සේ නෝවාට අණ කළ ලෙස නෝවා සමඟ නැවට ඇතුළු වූ හ. 10 සත් දවසකට පසු මිහි පිට ජලගැල්ම ඇති විය.
11 නෝවාට වයස අවුරුදු හයසියයේ දී, දෙ වන මාසයේ හරියට ම දාහත් වන දින මහා සමුද්‍රයේ සියලු උල්පත් බිඳී ජලය ගලා ගියේ ය; අහසේ කවුළු විවෘත විය. 12 දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් තිස්සේ පොළොව පිට වැසි වැස්සේ ය.
13 ඒ දවසෙහි ම නෝවා ද ඔහුගේ භාර්යාව ද ෂෙම්, හාම් හා ජපෙත් යන පුත්තු තිදෙනා ද ඔවුන්ගේ භාර්යාවෝ ද නැවට ඇතුළු වූ හ. 14 ඔවුන් සමඟ සෑම වර්ගයේ වන මෘගයෝ ද ගවමහිෂයෝ ද උරගයෝ ද පක්ෂීහු ද පියාපත් සහිත සත්තු ද නැවට ඇතුළු වූ හ. 15 සප්‍රාණික සියලු සත්තු, ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුව බැගින් නැවට ඇතුළු වූ හ. 16 දෙවියන් වහන්සේ ඔහුට අණ කළ ලෙස සියලු සත්තු ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුව බැගින් ඔහු සමඟ නැවට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ නෝවා නැවට ඇතුළු කොට දොර වැසූ සේක.
17 පොළොව මත ජලගැල්ම දවස් සතළිසක් පුරා ගැලී ය. ජල මට්ටම නැගෙත් ම නැව පොළොවෙන් ඉලිප්පිණි. 18 මිහි පිට ජලය නොනැවතී නඟින්න, නඟින්න නැව දියත් විය. 19 පොළොව මත ගංවතුර වේගවත් ලෙස ගැලීමත් සමඟ අහස යට පිහිටි ඉතා උස් කඳු සියල්ල වතුරට යට විය. 20 කඳු යට කර, කඳු මුදුන්වලට ද ඉහළින් මීටර් හතරක් ගංවතුර නැංගේ ය.
21 පොළොව මත විසූ පක්ෂීහු ද ගවමහිෂයෝ ද වන මෘගයෝ ද උරගයෝ ද මිනිසා ද යන සියල්ලෝ මියගියෝ ය. 22 ගොඩබිම විසූ පණ ඇති සියලු සත්ත්වයෝ මියගිය හ. 23 උන් වහන්සේ ජීවමාන සියල්ල වන මිනිසා ද සිවුපාවුන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසා ඔවුන් මිහි පිටින් පහකරදැමූ සේක.
නෝවා සහ ඔහු සමඟ නැවේ සිටි අය පමණක් ඉතිරි වූ හ. 24 පොළෝ තලය මත දවස් එකසිය පණහක් ම ජලගැල්ම පැවැතිණි.

– 8 වන පරිච්ඡේදය –

ජලගැල්ම නැවතීම

1 දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය. 2 මහා සමුද්‍රයේ උල්පත් හා අහසේ කවුළු වැසිණි. අහසින් වැටුණු වැස්ස ද නැවතිණි; 3 පොළෝ තලයෙන් ගංවතුර ටිකින් ටික බැස යන්නට විය. දවස් එකසිය පණහකට පසු ගංවතුර බැස ගියේය. 4 සත් වන මාසයේ දහහත් වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිණි. 5 ගංවතුර දස වන මාසය දක්වා නොනැවතී බැස ගියේ ය; දස වන මාසයේ පළමු වන දින කඳු මුදුන් පෙනිණි.
6 දවස් සතළිසකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව ඇර 7 කපුටෙකු පිටතට යැවී ය. ඌ පොළොව මත ජලය සිඳෙන තුරු ඔබමොබ පියාඹා ගියේය. 8 පසුව නෝවා පොළොව මත ජලය බැස ගොස් තිබේ දැ යි බලනු පිණිස පරෙවියෙකු පිටතට යැවී ය. 9 එහෙත් පොළොව මත තවමත් ජලය රැඳී තිබුණු බැවින් ඌට පා තැබීමට තැනක් නොලැබ ඌ නෝවා වෙත නැවට ආපසු පැමිණියේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා නැව තුළට ගත්තේ ය. 10 ඔහු තව සත් දවසක් බලා සිට පරෙවියා නැවෙන් පිටතට යළිත් යැවී ය. 11 සවස් කාලයේ දී ඌ ආපසු පැමිණියේ ය. පුදුමයකි! උගේ හොටෙහි අමු ඔලීව දළුවක් තිබිණි. මේ කරුණින් පොළොවෙන් ගංවතුර බැස ගොස් ඇති බව නෝවා දැනගත්තේ ය. 12 එවිට නෝවා තව දවස් සතක් බලා සිට පරෙවියා යළිත් පිටතට යැවී ය. ඌ ආපසු ඔහු වෙත පැමිණියේ නැත.
13 නෝවාට අවුරුදු හයසිය එකක් වූ කල පළමු වන මාසයේ පළමු වන දින පොළොව මතු පිටින් ජලය බැස ගොස් තිබිණි. එබැවින් නෝවා නැවේ ආවරණය ඉවත් කර පිටත බැලූ විට, පොළෝ තලය වියළී තිබුණු බව දිටී ය. 14 දෙ වන මස විසිසත් වන දින පොළොව සම්පූර්ණයෙන් ම වියළී තිබිණි.
15 එවිට දෙවියන් වහන්සේ නෝවාට කතා කොට, 16 ”නුඹ, නුඹේ භාර්යාව ද නුඹේ පුත්‍රයන් ද ඔවුන්ගේ භාර්යාවන් ද සමඟ පිටතට එන්න. 17 නුඹ සමඟ සිටින ජීවමාන සියලු සතුන් වන, පක්ෂීන් ද ගවමහිෂයන් හා උරගයන් ද පොළොව පිට බහුල ව බෝ වී, වැඩි වර්ධනය වන පිණිස පිටතට ගෙනෙන්නැ”යි වදාළ සේක. 18 මෙලෙස නෝවා සමඟ ඔහුගේ බිරිඳ ද ඔහුගේ පුත්තු ද ඔවුන්ගේ බිරින්දෝ ද පිටතට පැමිණියහ. 19 සියලු මෘගයෝ ද, ගවමහිෂයෝ ද පක්ෂීහු ද උරගයෝ ද තම වර්ගය අනුව රංචු ගැසී නැවෙන් පිටතට ආහ.

නෝවා යාගයක් පූජා කිරීම

20 එවිට නෝවා සමිඳාණන් වහන්සේට පූජාසනයක් තනා, එක එක වර්ගයේ සියලු පවිත්‍ර සතුන්ගෙන් හා පක්ෂීන්ගෙන් එක එකා බැගින් පූජාසනය මත දවන පඬුරක් මෙන් පූජා කෙළේ ය. 21 සමිඳාණන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය කර මෙසේ සිතා ගත් සේක: ”මිනිසා නිසා මින් මතු කවදා වත් මම පොළොවට සාප නොකරමි; යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි; මා මෙවර කළාක් මෙන් මින් මතු කවදා වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි.
22 පොළොව පවතින තෙක්, වැපිරීම හා කැපීම ද ශීත හා උණුසුම ද සිසිර හා ගිම්හානය ද දවාල හා රාත්‍රිය ද නොකඩවා පවතිනු ඇත.”

– 9 වන පරිච්ඡේදය –

නෝවා සමඟ දෙවියන් වහන්සේගේ ගිවිසුම

1 දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: ”නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න. 2 පොළොවේ සියලු වන සතුන් තුළ ද, අහසේ සියලු පක්ෂීන් තුළ ද, උරගයන් තුළ ද, මුහුදේ සියලු මසුන් තුළ ද නුඹලා කෙරෙහි බිය හා තැතිගැන්ම ඇති වන්නේ ය. මම උන් කෙරෙහි බලය නුඹලාට පවරමි. 3 මා නිල්වන් පැලෑටි නුඹලාට දුන් ලෙස සියලු සතුන් ද, නුඹලාට ආහාර පිණිස දෙමි. 4 එහෙත්, ජීව ධාතුව වන ලෙය සමඟ මස් නුඹලා නොකෑ යුතු ය. 5 යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි.
6 මිනිසා, මිනිසෙකුගේ ලේ වගුරුවයි ද ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් ම වගුරුවනු ලැබේ.
ඒ මන්ද, මිනිසා, දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි.
7 ”නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, ලොව පුරා පැතිර එය යටත් කරගන්න.”
8 දෙවියන් වහන්සේ නෝවාට ද ඔහුගේ පුත්‍රයන්ට ද කතා කොට, 9 ”මෙන්න, මම නුඹලා සමඟ ද නුඹලාගේ පෙළපත සමඟ ද 10 නුඹලා සමඟ නැවෙන් නික්මුණු සියලු ජීවමාන සතුන් වන, පක්ෂීන්, ගවමහිෂයන් හා මෘගයන් සමඟ ද ගිවිසුමක් පිහිටුවමි. 11 නුඹලා සමඟ පිහිටුවන ලද ගිවිසුම වනාහි මින්පසු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ කරනු නොලබන බවත්, මින්පසු කවදා වත් ජලගැල්මකින් මහ පොළොව වනසනු නොලබන බවත් ය”යි වදාළ සේක.
12 තවද, දෙවියන් වහන්සේ කතා කොට, ”මා හා නුඹලා ද, නුඹලා සමඟ සිටින සියලු ජීවමාන සතුන් ද අතර, මතු සියලු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙය යි. 13 වලාකුළුවල මම මාගේ දේදුන්න තබමි; මා හා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේ ය. 14 පොළොවට ඉහළින් වලාකුළු පැමිණ වලාකුළු අතර දේදුන්න දිස්වන කල, 15 මා හා නුඹලා ද, සියලු ජීවමාන සතුන් ද අතර මින් මතු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ නොකිරීමට පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. 16 වලාකුළු අතර දේදුන්න පෙනෙන විට, මම එය දෙස බලන්නෙමි. එය දැක, මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටෙවු සදාතන ගිවිසුම සිහි කරන්නෙමි”යි වදාළ සේක.
17 දෙවියන් වහන්සේ නෝවාට කතා කොට, ”මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ මේ ය”යි වදාළ සේක.

නෝවා සහ ඔහුගේ පුත්‍රයෝ

18 නැවෙන් පිටතට පැමිණි නෝවාගේ පුත්‍රයෝ නම් ෂෙම්, හාම් සහ ජපෙත් ය. හාම් කානාන්ගේ පියා ය. 19 පොළොව පුරා මුළු ජනගහණය ඇති වූයේ නෝවාගේ මේ පුතුන් තිදෙනාගෙන් ය.
20 ගොවියෙකු වූ නෝවා මිදි වත්තක් වැවූ පළමු මිනිසා විය. 21 ඔහු මිදියුස පානය කොට, වෙරිමත් ව, සිය කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය. 22 කානාන්ගේ පියා වන හාම් සිය පියාගේ නග්න භාවය දුටු විට, ඔහු ගොස් පිටත සිටි තමාගේ සොහොයුරන් දෙදෙනාට එපවත් කී ය. 23 එවිට ෂෙම් හා ජපෙත් සළුවක් ගෙන, උරහිස් මත තබා ගෙන, පස්සෙන් පස්සට ගොස්, සිය පියාගේ නග්න භාවය වසා දැමූ හ; ඔව්හු තම පියාගේ නග්න භාවය නොදකින ලෙස තමන්ගේ මුහුණු අහකට හරවා ගෙන සිටිය හ.
24 නෝවා ද, වෙරි මත සිඳුණු පසු පිබිද, තම බාල පුත්‍රයා තමාට කළ දේ දැන ගත් විට,
25 ”කානාන් සාප ලද්දෙක් වේ වා!
ඔහු තම සහෝදරයන්ගේ දාසයන්ට දාසයෙක් වේ වා!”යි කී ය.
26 ඔහු තවදුරටත් කතා කරමින්, ”ෂෙම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!
කානාන් ෂෙම්ගේ වහලෙක් වේ වා!”යි ද,
27 ”දෙවියෝ ජපෙත් වර්ධනය වන්නට සලසත් වා!
ඔහුගේ පෙළපත ෂෙම්ගේ ජනයා සමඟ වාසය කරත් වා!
කානාන් ජපෙත්ගේ ද වහලෙක් වේ වා”යි ද කී ය.
28 මහා ජලගැල්මෙන් පසු නෝවා අවුරුදු තුන්සිය පණහක් ජීවත් විය. 29 ඔහු අවුරුදු නවසිය පණහක් ආයු වළඳා මියගියේය.

– 10 වන පරිච්ඡේදය –

නෝවාගේ දරු පරම්පරාව
(1 වංශා: 1:5-23)

1 නෝවාගේ දරුවන් වන ෂෙම්, හාම් සහ ජපෙත් යන තිදෙනාගේ පරම්පරා මෙසේ ය. මහා ජලගැල්මෙන් පසු ඔවුන්ට පුත්‍රයෝ උපන්නා හ.
2 ජපෙත්ගේ පුත්‍රයෝ නම්: ගොමෙර්, මාගොග්, මාදයි, ජාවාන්, තුබල්, මෙෂෙක් සහ තීරස් ය. 3 ගොමෙර්ගේ පුත්‍රයෝ නම්: අෂ්කෙනස්, රිපත් සහ තොගර්මා ය. 4 ජාවාන්ගේ පුත්‍රයෝ නම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම් සහ දෙදානිම් වැසියෝ ය. 5 මොවුන්ගෙන් වෙරළබඩ පෙදෙස්වලට සහ දිවයින්වලට ජනතාව පැතිරී ගිය හ. කණ්ඩායම් වශයෙන් තමන්ගේ ම භාෂාව කතා කරන, විවිධ ගෝත්‍රවලට අයත්, විවිධ රටවල වසන මොවුහු ජපෙත්ගේ පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති.
6 හාම්ගේ පුත්‍රයෝ නම්: කුෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන් ය. 7 කුෂ්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය. 8 කුෂ්ට දාව නිම්රොද් නම් පුතෙක් උපන්නේ ය. ඔහු ලෝකයේ පළමු වන බලසම්පන්න පාලකයා විය. 9 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු විශිෂ්ටතම දඩයම්කාරයා ද විය. ”සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි විශිෂ්ටතම දඩයම්කාරයා වූ නිම්රොද් වාගේ ය”යි යන කියමන ද ඇති වූයේ එසේ ය. 10 ෂිනාර් දේශයෙහි ඔහු පාලනය කළ පළමු වන රාජ්‍යයට බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේ යන පෙදෙස් අයත් විය. 11 ඒ දේශයෙන් අසිරියාවට නික්ම ගොස් නිනිවය ද රෙහොබොත්-ඊර් නගරය ද කලා ද 12 නිනිවය සහ කලා අතර වූ මහ නගරයක් වන රෙසෙන් ද ගොඩනැඟී ය.
13 මිශ්‍රයිම් වනාහි ලුදිම්වරුන්ගේ ද අනාම්වරුන්ගේ ද ලෙහාබිම්වරුන්ගේ ද නප්තුහිම්වරුන්ගේ ද 14 පත්රුසිම්වරුන්ගේ ද කස්ලුහිම්වරුන්ගේ ද කප්තොරිම්වරුන්ගේ ද පියා විය. පිලිස්තිවරුන්ගේ පෙළපත ආයේ කප්තොරිම්වරුන්ගෙන් ය.
15 කානාන් වනාහි සිය කුලුඳුල් පුත් වන සීදොන්ගේ ද හෙක්ගේ ද 16 ජෙබුසිවරුන්ගේ ද අමො‍්රිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද 17 හිවීවරුන්ගේ ද අර්කිවරුන්ගේ ද සිනීවරුන්ගේ ද 18 අර්වාදිවරුන්ගේ ද ශෙමාරිවරුන්ගේ ද හමාතිවරුන්ගේ ද පියා විය. ඉන්පසු කානානිවරුන්ගේ ගෝත්‍රයෝ පැතිරී ගියෝ ය. 19 කානානිවරුන්ගේ දේශ සීමා සීදොන් සිට ගෙරාර් දෙසට පිහිටි ගාසා දක්වා ද සොදොම්, ගොමොරා, අදිමා සහ ශෙබොයිම් දෙසට පිහිටි ලාෂා දක්වා ද පැතිරී ඇත.
20 විවිධ ගෝත්‍රවලට අයිති ව, තම තමන්ගේ ම භාෂා කතා කරමින්, විවිධ දේශවල වසන, විවිධ ජාතීන්ට අයිති මොවුහු හාම්ගේ පෙළපතින් පැවත එන්නෝ ය.
21 එබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ මීමුතු පියා ද, ජපෙත්ගේ වැඩිමහල් සහෝදරයා ද වූ ෂෙම්ටත් පුත්‍රයෝ උපන්නෝ ය. 22 ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂුර්, අර්පක්ෂද්, ලූද් සහ අරාම් ය. 23 අරාම්ගේ පුත්‍රයෝ නම්: ඌශ්, හුල්, ගෙතෙර් සහ මෂ් ය. 24 අර්පක්ෂද් ෂෙලාගේ පියා ය. ෂෙලා ඒබෙර්ගේ පියා ය. 25 ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය; එක් කෙනෙකුගේ නම පෙලෙග් ය; මිහි පිට මුළු මනුෂ්‍ය වර්ගයා බෙදී ගියේ ඔහුගේ කාලයේ දී ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය. 26 ජොක්තන්ට දාව අල්මෝදාද්, ෂෙලෙප්, හශාර්මාවෙත්, ජෙරා, 27 හදෝරාම්, ඌසාල්, දික්ලා, 28 ඕබාල්, අබිමායෙල්, ෂෙබා, 29 ඕපිර්, හවීලා සහ ජෝබාබ් උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය. 30 ඔවුන් විසූ ප්‍රදේශය මේෂා පටන් පෙරදිග කඳු දක්වා පිහිටි ෂෙපාර් අතර විය. 31 විවිධ ගෝත්‍රවලට අයිති ව, තම තමන්ගේ ම භාෂා කතා කරමින්, විවිධ දේශවල වසන, විවිධ ජාතීන්ට අයත් මොවුහු ෂෙම්ගේ පෙළපතින් පැවත එන්නෝ ය.
32 විවිධාකාර පරම්පරාවලට හා ජාතීන්ට අයත් මොවුහු නෝවාගේ පෙළපතින් පැවතෙන ගෝත්‍රයෝ ය. මහා ජලගැල්මෙන් පසු පොළෝ තලයෙහි සියලු ජාතීහු මොවුන්ගෙන් පැවත එන්නෝ වෙති.

– 11 වන පරිච්ඡේදය –

බාබෙල් කොත

1 තවද, ඒ කාලයේ දී සකල ලෝවැසි මිනිසුන් කතා කෙළේ එක ම භාෂාවකි; භාවිත කෙළේ ද එක ම වචන මාලාවකි. 2 නැගෙනහිර දිශාවට යන අතර ෂිනාර් නම් ප්‍රදේශයේ තැනිතලාවක් සම්බ වී, ඔව්හු එහි පදිංචි වූ හ. 3 ඔව්හු එකිනෙකාට කතා කරමින්, ”එන්න, අපි ගඩොල් සාදා, ඒවා හොඳට පුළුස්සමු”යි කී හ. මෙසේ ඔව්හු ගල් වෙනුවට ගඩොල් ද, හුණු බදාම වෙනුවට කීල් ද පාවිච්චි කළහ. 4 එවිට ඔව්හු කතා කොට, ”එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ.
5 ඒ මිනිසුන් ගොඩනැගූ නගරය සහ කොත බැලීම සඳහා සමිඳාණන් වහන්සේ බැස වැඩිය සේක. 6 උන් වහන්සේ, ”බලන්න, මේ සියල්ලෝ එක ම ජනතාවකි; ඔව්හු සියල්ලෝ ම එක ම භාෂාවක් කතා කරති; මේ ඔවුන් කරන්නට යන දේවල මුල් පියවර ය. වැඩි කල් යන්නට පෙර ඔවුන්ට කළ නොහැකි කිසි යම් දෙයක් නොවනු ඇත. 7 එබැවින් අපි බැස ගොස්, ඔවුන් එකිනෙකාට නොවැටෙහන පරිදි, ඔවුන්ගේ භාෂාව අවුල් වියවුල් කරමු”යි වදාළ සේක. 8 මෙසේ උන් වහන්සේ පොළෝ තලය මත ඔවුන් විසුරුවා හැරිය සේක. ඔව්හු ද නගරය ගොඩනැඟීම නැවැත්වූ හ. 9 සමිඳාණන් වහන්සේ ඒ නගරයෙහි දී මුළු ජනතාවගේ භාෂාව අවුල් වියවුල් කළ බැවින් ඊට ‘බාබෙල්’ යැයි නම යෙදිණි. එතැනින් සමිඳාණන් වහන්සේ ඔවුන් මහ පොළොව පුරා විසිර වූ සේක.

 ෂෙම්ගේ පෙළපත
(1 වංශා: 1:24-27)

10 ෂෙම්ගේ පෙළපත මෙසේ ය: ෂෙම්ට අවුරුදු සියයක් වයස් වූ කල, මහා ජලගැල්මෙන් දෑවුරුද්දකට පසු, ඔහුට අර්පක්ෂද් උපන්නේ ය. 11 ඉන්පසු ඔහු තව අවුරුදු පන්සියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
12 අර්පක්ෂද්ට අවුරුදු තිස්පහක් වයස් වූ කල ඔහුට ෂේලා උපන්නේ ය. 13 ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
14 ෂේලාට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට ඒබෙර් උපන්නේ ය. 15 ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දැරුදැරියෝ උපන්නෝ ය.
16 ඒබෙර්ට අවුරුදු තිස්හතරක් වයස් වූ කල ඔහුට පෙලෙග් උපන්නේ ය. 17 ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තිහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
18 පෙලෙග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට රෙයු උපන්නේ ය. 19 ඉන්පසු ඔහු තව අවුරුදු දෙසිය නවයක් ජීවත් විය. ඔහුට තවත් දැරුදැරියෝ උපන්නෝ ය.
20 රෙයුට අවුරුදු තිස්දෙකක් වයස් වූ කල ඔහුට සෙරුග් උපන්නේ ය. 21 ඉන්පසු ඔහු තව අවුරුදු දෙසිය හතක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
22 සෙරුග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට නාහෝර් උපන්නේ ය. 23 ඉන්පසු ඔහු තව අවුරුදු දෙසියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
24 නාහෝර්ට අවුරුදු විසිනවයක් වයස් වූ කල ඔහුට තේරා උපන්නේ ය. 25 ඉන්පසු ඔහු තව අවුරුදු එකසිය දහනවයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
26 තේරාට අවුරුදු හැත්තෑවක් වයස් වූ කල ඔහුට ආබ්‍රම්, නාහෝර් සහ හාරාන් යන පුතුන් තිදෙන උපන්නෝ ය.

තේරාගේ පෙළපත

27 තේරාගේ පෙළපත මෙසේ ය: තේරා වනාහි ආබ්‍රම්, නාහෝර් සහ හාරාන්ගේ පියා ය. හාරාන් ලොත්ගේ පියා ය. 28 හාරාන් තමා උපන් රටේ ඌර් නම් කල්දිවරුන්ගේ නුවරෙහි, තම පියා වූ තේරා එතෙක් ජීවතුන් අතර සිටිය දී මියගියේය. 29 තවද ආබ්‍රම් ද නාහෝර් ද භාර්යාවන් පාවාගත්තෝ ය. ආබ්‍රම්ගේ භාර්යාවගේ නම සාරයි ය; නාහෝර්ගේ භාර්යාවගේ නම මිල්කා ය. ඈ ඉස්කාගේ පියා වූ හාරාන්ගේ දුව ය. 30 සාරයි වඳ ස්ත්‍රියක වූයෙන් ඈට දරුවෙක් නොවී ය.
31 තේරා තමාගේ පුත්‍රයා වන ආබ්‍රම් ද තම මුණුබුරා වන ලොත් ද ආබ්‍රම්ගේ බිරිඳ වූ, තම ලේලි වන සාරයි ද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශය බලා යන පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් පිටත් විය. එහෙත්, ඔව්හු හාරාන් දක්වා ගොස් එහි පදිංචි වූ හ. 32 තේරා අවුරුදු දෙසියපහක් ආයු වළඳා හාරාන්හි දී මියගියේය.

– 12 වන පරිච්ඡේදය –

ආබ්‍රම්ගේ කැඳවීම

1 සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, ”නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න. 2 මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
3 නුඹට ආසිරි පතන අයට මමත් ආසිරි පතමි.
නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි.
නුඹ මගෙන් ආසිරි ලත් අයුරින් මිහි මත සව් සත ආසිරි ලබනු ඇතැ”යි
වදාළ සේක. 4 ආබ්‍රම්ට වයස අවුරුදු හැත්තෑපහක් වූ කල සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙසට, ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොත් ද ඔහු සමඟ ගියේය. 5 මෙසේ ආබ්‍රම් සිය බිරිඳ වන සාරයි ද තම සොහොයුරාගේ පුත් වන ලොත් ද හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසිදසුන් ද රැගෙන කානාන් දේශය බලා නික්ම ගොස් එහි සැපත් විය.
6 ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය. 7 එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, ”මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය. 8 ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කෙළේ ය. මෙසේ ගමන් කොට, බටහිරින් බෙතෙල් නගරය ද, නැගෙනහිරින් ආයි නගරය ද අතර තම කඳවුර පිහිටුවාගත්තේ ය. එහි දී ඔහු පූජාසනයක් ඉදි කර සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය. 9 ඉන්පසු ඔහු එක තැනක නොරඳා අනුක්‍රමයෙන් ගොස් ‘නේගෙබ්’ ප්‍රදේශයට පැමිණියේ ය.

ආබ්‍රම් මිසර දේශයට පැමිණීම

10 එහෙත්, ඒ දේශයෙහි සාගතයක් පැවතිණි. සාගතය අති උග්‍ර වූ බැවින්, ආබ්‍රම් තාවකාලික පදිංචියට මිසරයට ගියේය. 11 ඔහු මිසරයට සමීප වූ කල සිය බිරිඳ වන සාරයි අමතා, ”මට සවන් දෙන්න, ඔබ කෙතරම් සුරූපී කාන්තාවක් දැ යි මම දනිමි. 12 මිසර වාසීන් ඔබ දුටු විට, ‘මේ ආබ්‍රම්ගේ බිරිඳ ය’යි කියා ඔබ ගැනීමට මා මරාදමා ඔබ බේරනු ඇත. එබැවින්, කරුණාකර, ‘මම ඔහුගේ සහෝදරී ය’යි ඔවුන්ට කියන්න. 13 එවිට ඔබ නිසා ඔවුන් මාගේ පණත් බේරා මට හොඳින් සලකනු ඇතැ”යි කී ය. 14 ආබ්‍රම් මිසරයට පිවිසි කල ඔහුගේ බිරිඳ ඉතා සුරූපී තැනැත්තියක බව මිසර වාසීහු දුටහ. 15 පාරාවෝගේ ඇමතිවරු ඈ දැක, ඇගේ රූපශ්‍රීය ඔහුට වර්ණනා කෙළෙන් ඇය රජ මාලිගාවට ගෙනයනු ලැබුවා ය. 16 රජ තෙමේ ද, ඇය නිසා ආබ්‍රම්ට හොඳින් සලකා ඔහුට එළු බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද සේවක සේවිකාවන් හා කොටළු දෙනුන් හා ඔටුවන් ද ප්‍රදානය කෙළේ ය.
17 එහෙත්, පාරාවෝ ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තබාගත් බැවින්, පාරාවෝ රජුට ද රජ වාසල අයට ද සමිඳාණන් වහන්සේ ඉතා දරුණු වසංගත පැමිණෙවු සේක. 18 එවිට පාරාවෝ ආබ්‍රම් කැඳවා, ”ඔබ මට කළ මේ හදිය කුමක් ද? 19 ඈ ඔබේ බිරිඳ බව මට නො කීවේ මන් ද? ඈ ඔබේ සහෝදරිය ය කියා මට කීවේ කුමක් නිසා ද? මා ඈ පාවා ගත්තේ ඒ නිසා ය. මෙන්න, ඔබේ බිරිඳ, ඇය රැගෙන පිටත් ව යන්නැ”යි කී ය. 20 තවද, පාරාවෝ සිය පිරිසට ද අණ දුන් බැවින්, ඔව්හු ආබ්‍රම්, ඔහුගේ බිරිඳ සහ ඔහු සන්තක සියල්ල ද සමඟ රටින් පිටත් කර හැරියෝ ය.

– 13 වන පරිච්ඡේදය –

ආබ්‍රම් ලොත්ගෙන් වෙන් වීම

1 ආබ්‍රම් සිය බිරිඳ හා තමන් සතු සියල්ල රැගෙන මිසර දේශයෙන් පිටත් වී නේගෙබ් පළාත බලා ගියේය. ලොත් ද ඔහු සමඟ ගියේය. 2 ආබ්‍රම් ගවමහිෂයන්ගෙන් හා රන් රිදීයෙන් ඉතා ධනවතෙක් විය. 3 එවිට ආබ්‍රම් නේගෙබ් සිට කඳවුරෙන් කඳවුර ගෙවා බෙතෙල් දිශාවට යමින්, බෙතෙල් හා ආයි නුවර අතර, පළමුවෙන් කඳවුරු බැඳි ස්ථානයට පැමිණියේ ය. 4 පළමුවෙන් ඔහු පූජාසනයක් ඉදි කෙළේ මේ ස්ථානයේ ය. මෙහි දී ඔහු සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
5 ආබ්‍රම් සමඟ ගමන් කළ ලොත්ට ද එළු බැටළු, ගවමහිෂයන් සහ ඔහු සමඟ කඳවුරු බැඳගත් පිරිසක් ද වූ හ. 6 එබැවින් ඔවුන් දෙදෙනාට ම පොදුවේ ජීවත් වීමට තරම් සෑහෙන තණ බිම් එහි නොතිබිණි. ඔවුන්ට අයිති ගවසම්පත් බොහෝ වූ බැවින් දෙදෙනාට එක් ව විසීමට නොහැකි විය. 7 එහෙයින් ආබ්‍රම්ගේ ගොපලුන් හා ලොත්ගේ ගොපලුන් අතර ආරාවුල් හට ගැනිණි. එකල කානානිවරු ද පෙරිස්සිවරු ද එම දේශයෙහි වාසය කළො‍් ය.
8 එවිට ආබ්‍රම් ලොත්ට කතා කොට, ”අප දෙගොල්ල ම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත්, ඔබේ ගොපලුන් හා මාගේ ගොපලුන් අතරත් ආරාවුල් නො තිබිය යුතු ය. 9 මේ මුළු දේශය ම ඔබ ඉදිරියෙහි ඇත; කරුණාකර ඔබ මගෙන් වෙන් වී යන්න. ඔබ වමතට යන්නෙහි නම්, මම දකුණතට යමි. ඔබ දකුණතට යන්නෙහි නම්, මම වමතට යමි”යි කී ය.
10 ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය. 11 එබැවින් ලොත් තමාට මුළු ජොර්දාන් තැනිතලාව ම තෝරාගෙන නැගෙනහිර දෙසට ගියේ ය; ඒ දෙදෙනා මෙලෙස එකිනෙකාගෙන් වෙන් වූ හ. 12 ආබ්‍රම් කානාන් දේශයෙහි පදිංචි විය. ලොත් තැනිතලාවේ නගර අතර පදිංචි වී සොදොම් නගරය අසල කඳවුරු බැන්දේ ය. 13 සොදොම් නුවර වාසීහු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ, නපුරු, මහ අපරාධකාරයෝ වූ හ.

ආබ්‍රම් හෙබ්‍රොන් දෙසට යෑම

14 ලොත් වෙන් වී ගිය පසු, සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, ”නුඹ සිටින තැන සිට නෙත් ඔසවා උතුර ද දකුණ ද නැගෙනහිර ද බටහිර ද දෙස සැලකිල්ලෙන් බලන්න. 15 නුඹට පෙනෙන මේ මුළු රට ම නුඹටත්, නුඹේ පෙළපතටත් සදහට ම මම දෙන්නෙමි. 16 ගණනින් පොළොවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි ගණන් කළ හැකි නම්, නුඹේ පෙළපත ද ගණන් කළ හැකි වේ. 17 දැන් නුඹ නැඟිට රට පුරා ම ඇවිදින්න. මම මේ සියල්ල ම නුඹට දෙන්නෙමි”යි වදාළ සේක. 18 මෙසේ ආබ්‍රම් සිය කඳවුර රැගෙන විත් හෙබ්‍රොන්හි පිහිටි මම්රේහි ආලෝන අරඹ ළඟ පදිංචි වී, සමිඳාණන් වහන්සේට එහි පූජාසනයක් ඉදි කෙළේ ය.

– 14 වන පරිච්ඡේදය –

ආබ්‍රම් ලොත් මුදාගැනීම

1 එසමයෙහි ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක් ද, එලාම්හි රජ වූ කෙදොර්-ලායොමෙර් ද, ගෝයිම්හි රජ වූ තිදාල් ද යන රජවරු වූ හ. 2 මොවුහු සොදොම්හි රජ වූ බෙරා ද, ගොමොරාහි රජ වූ බිර්ෂා ද, අද්මාහි රජ වූ ෂීනාබ් ද ශෙබොයිම්හි රජ වූ ෂෙමේබෙර් සහ බෙලාහි හෙවත් ශොවර්හි රජ ද යන රජවරු පස්දෙනාට විරුද්ධ ව යුද්ධ කළහ. 3 මෙකී රජවරු පස්දෙන දැන් මළ මුහුද නමින් හැඳින්වෙන සිද්දීම් මිටියාවතෙහි සමගි පෙරමුණක් බැඳ ගත්හ. 4 දොළොස් අවුරුද්දක් තිස්සේ කෙදොර්-ලායොමෙර් රජු යටතේ වහල් මෙහෙවර කළ මොවුහු දහතුන් වන අවුරුද්දේ දී කැරලිගැසූ හ. 5 දහහතර වන අවුරුද්දේ දී කෙදොර්-ලායොමෙර් සිය මිත්‍ර රජවරුන් සමඟ විත්, අෂ්තෙරොත්-කර්ණයිම්හි විසූ රෙපාවරුන් ද හාම්හි සිටි සුසිවරුන් ද කිරියාතායිම් තැනිතලාවේ විසූ ඒමිවරුන් ද 6 කාන්තාර මායිමේ ඒල්-පාරාන් දක්වා සේයිර් කඳුකරයේ සිටි හෝරිවරුන් ද පරාජය කළේ ය. 7 ඔව්හු හැරී ඇවිත් කාදෙෂ් හෙවත් ‘විමංසන-උල්පත’ යන අර්ථය ඇති ඒන්-මිෂ්පාට් දක්වා පැමිණ, අමලෙක්වරුන්ගේ මුළු දේශය ද, හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරාජය කළහ.
8 එවිට සොදොම්, ගොමොරා, අද්මා, ශෙබොයිම් සහ බෙලා හෙවත් ශොවර් යන නුවරවල රජවරු පස්දෙනා නික්ම ගොස් සමගි පෙරමුණක් බැඳ, 9 ඒලාම්හි රජ වූ කෙදොර්-ලායොමෙර් ද, ගොයිම්හි රජ වූ තිදාල් ද, ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක් ද යන රජවරුන් සතරදෙනාට විරුද්ධ ව සිද්දීම් මිටියාවතෙහි යුද්ධ කළහ. මෙය පස්දෙනෙකු, සතරදෙනෙකුට විරුද්ධ ව කරන සටනක් විය. 10 තවද, සිද්දීම් මිටියාවතෙහි බොහෝ කීල් පතල් තිබිණි. සොදොම් හා ගොමොරාහි රජවරු පලා ගොස්, ඒවායේ වැටුණාහ. සෙස්සො‍් කඳුකරයට පලා ගියහ. 11 ජයග්‍රාහි රජවරු සොදොම් සහ ගොමොරාහි ධනසම්පත් ද, ඔවුන්ගේ ආහාර පාන ද රැගෙන යන්න ගියහ. 12 මෙසේ යන විට ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ බෑණා වන ලොත් සහ ඔහුගේ වස්තුවත් රැගෙන ගියහ.
13 එහෙත් ඔවුන්ගෙන් ගැළවී පැමිණි කෙනෙක් හෙබ්‍රෙව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැළ කෙළේ ය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ, අමෝරිය ජාතික මම්රේගේ ආලෝන අරඹ සමීපයේ ය. මොවුහු දෙදෙන ආබ්‍රම් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ. 14 ආබ්‍රම් ද සිය ඥාතිවරයා සිරකරුවෙකු ලෙස අල්ලාගෙන ගිය බව ඇසූ විට, ඔහු සිය කඳවුරේ ම උපන් යුද්ධ පුහුණුව ලත් සේවකයන් තුන්සිය දහඅටදෙනෙකු රැගෙන, දාන් දක්වා සතුරන් ලුහුබැඳ ගියේය. 15 එහි දී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රි කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි හෝබා දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. 16 තවද, ආබ්‍රම් සියලු වස්තුව ද තම ඥාතිවර ලොත් ද ඔහුගේ ධන සම්පත ද ස්ත්‍රීන් හා අල්ලාගත් සෙනඟ ද ආපසු ගෙනාවේ ය.

මෙල්කිසෙදෙක් ආබ්‍රම්ට ආශීර්වාද කිරීම

17 සොදොම්හි රජ තෙමේ ආබ්‍රම් කෙදොර්-ලායොමෙර් හා මොහුගේ මිත්‍රපාක්ෂික රජවරුන් ද පරාජය කර ආපසු පැමිණි විට, ‘රාජකීය දෙණිය’ නම් වූ ෂාවේ මිටියාවතට ඔහු හමුවීම පිණිස ගියේය. 18 තවද, සාලෙම්හි රජ වූ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ මෙල්කිසෙදෙක් රොටි සහ මිදියුස ගෙනැවිත් 19 ඔහුට ආශීර්වාද කරමින්,
”අහසත්, පොළොවත් මවා වදාළ පරමෝත්තම දෙවියන් වහන්සේ ආබ්‍රම්ට ආශීර්වාද කරන සේක් වා!
20 ඔබේ සතුරන්, ඔබ අතට පාවා දුන් පරමෝත්තම දෙවියන් වහන්සේට තුති පැසසුම් වේ වා!”යි
කීවේ ය. ආබ්‍රම් ද සියල්ලෙන් දසයෙන් එක ඔහුට දුන්නේ ය.
21 එවිට සොදොම්හි රජ ආබ්‍රම්ට කතා කොට, ”ධනසම්පත් ඔබට තබාගන්න. මාගේ සෙනඟ පමණක් මට දෙන්නැ”යි කී ය. 22 එහෙත්, ආබ්‍රම් රජුට පිළිතුරු දෙමින්, ”අහසත්, පොළොවත් මවා වදාළ, පරමෝත්තම දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම දිවුරා කියමි: 23 ඔබ සතු දෙයින් එක නූල් පොටක් වත්, සෙරෙප්පු පටියක් වත් මම නොගනිමි. ‘ආබ්‍රම් පොහොසෙතකු කළේ මම ය’යි කීමට ඔබට ඉඩක් මම නොතබමි. 24 මාගේ පිරිස අනුභව කළ දේ හා මා සමඟ ගිය මිනිසුන්ගේ කොටස මිස, මා සඳහා ම කිසිවක් මම නොගනිමි. අනේර් ද එෂ්කෝල් ද මම්රේ ද තම තමන්ගේ කොටස් ගනිත් වා”යි කී ය.

– 15 වන පරිච්ඡේදය –

ආබ්‍රම් සමඟ දෙවියන් වහන්සේ කළ ගිවිසුම

1 කලකට පසු සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, පණිවුඩයක් දෙමින්, ”ආබ්‍රම්, බිය නොවන්න;
නුඹ රක්නා පලිහ මම ය;
නුඹේ වාසනාව අතිවිසල් ය”යි වදාළ සේක.
2 එහෙත්, ආබ්‍රම් උත්තර දෙමින්, ”මහෝත්තම දෙවි ස්වාමීනි, දරුවෙකු නැති මට, ඔබ වෙන කුමක් දුන්නත් කුමන පලක් ද? මාගේ උරුමකරු දමස්කස්හි එලියේසර් වන මොහු ය. 3 ඔබ මට දරුසම්පත් දී නැත. එබැවින් මාගේ ගෙදර උපන් වහලෙක් මාගේ උරුමකරු වන්නේ ය”යි කී ය. 4 එවිට සමිඳාණන් වහන්සේ නැවතත් ඔහු අමතමින්, ”මෙවැන්නෙක් නුඹේ උරුමකරු නොවන්නේ ය. නුඹට දාව උපන් නුඹේ ම දරුවෙක් නුඹේ උරුමකරු වන්නේ ය”යි වදාළ සේක. 5 සමිඳාණන් වහන්සේ ද ඔහු පිටතට රැගෙන ගොස්, ”අහස දෙස බලා, හැකි නම්, ඔය තාරකා ගණන් කරන්න; නුඹේ දරු පරපුර එසේ ම වන්නේ ය”යි වදාළ සේක. 6 ආබ්‍රම් ද සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් උන් වහන්සේ පිළිගත් සේක.
7 එවිට සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ”මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක. 8 එහෙත්, ආබ්‍රම්; ”මහෝත්තම දෙවි ස්වාමීනි, මට එය උරුම වන්නට යන බව මා දැනගන්නේ කෙසේ දැ”යි ඇසී ය. 9 උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, ”තුන් අවුරුදු වැස්සියක ද තුන් අවුරුදු එළුදෙනෙක ද තුන් අවුරුදු බැටළුවෙකු ද කොබෙයියෙකු හා පරෙවි පැටවෙකු ද මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක. 10 ආබ්‍රම් ද මේ සියල්ල උන් වහන්සේ වෙත ගෙන අවුත් ඔවුන් දෙපළු කොට, පළු දෙක එකිනෙකට මූණලා තැබී ය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළු කෙළේ නැත. 11 මේ මළසිරුරු පිට ගිජු ලිහිණියන් පාත් වූ කල ආබ්‍රම් උන් එළවාදැමී ය.
12 තවද, ඉර බැස යන විට ආබ්‍රම් බර නින්දකට වැටිණි. රුදුරු භීතියකින් ඔහු වෙළී ගියේය. 13 සමිඳාණන් වහන්සේ ද ඔහුට කතා කොට, ”මෙය සැබැවින් ම දැනගන්න; නුඹෙන් පැවතෙන පෙළපත විදේශීය රටක විදේශික ව සිටිනු ඇත. එහි දී ඔව්හු වහල් සේවය කරමින් අවුරුදු හාරසියයක් තිස්සේ තාඩන පීඩන විඳින්නාහ. 14 එහෙත්, මා ඔවුන් මෙසේ වහල්කමට පත් කළ ඒ ජාතිය විනිශ්චය කළ පසු, ඔව්හු බොහෝ සම්පත් රැගෙන පිටත් ව යන්නාහ. 15 නුඹ යහතින් දවස් යවා, ඉන්පසු දිගායු සම්පත් වළඳා භූමදාන කරනු ලබන්නෙහි ය. 16 එහෙත්, සතර වන පරම්පරාවේ දී ඔව්හු නැවත මෙහි පැමිණෙන්නෝ ය. මන්ද, අමෝරිවරුන්ගේ දුෂ්ටකම තව ම නිම වී නැති හෙයිනැ”යි වදාළ සේක.
17 තවද, ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නඟින උදුනක් ද, දිළිසෙන ගිනි හුළක් ද, පෙනේ. 18 ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, ”මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා 19 කේනිවරුන් හා කෙනිස්සිවරුන් ද, කද්මොනිවරුන් හා 20 හිත්තීවරුන් ද, පෙරිස්සිවරුන් හා රෙපාවරුන් ද, 21 අමෝරිවරුන් හා කානානිවරුන් ද, ගිර්ගාෂිවරුන් හා ජෙබුසිවරුන් ද සතු මේ දේශය නුඹේ පෙළපතට මම දෙමි”යි වදාළ සේක.

– 16 වන පරිච්ඡේදය –

හාගර් සහ ඉෂ්මායෙල්

1 ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත්, ඈට හාගර් නම් මිසර ජාතික වහල් කෙල්ලක් සිටියා ය. 2 එබැවින් සාරයි ආබ්‍රම්ට කතා කොට, ”බලන්න, සමිඳාණන් වහන්සේ මා දරු පල ලැබීමෙන් වළක්වා ඇත. කරුණාකර, මාගේ වහල් කෙල්ල වෙත යන්න. සමහරවිට ඇගෙන් මට දරුවෙකු ලැබෙන්න පුළුවනැ”යි කීවා ය. ආබ්‍රම් ද සාරයිගේ කීමට එකඟ විය.
3 මෙලෙස ආබ්‍රම් කානාන් දේශයෙහි අවුරුදු දහයක් විසූ පසු, ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයි මිසර ජාතික සිය වහල් කෙල්ල වන හාගර් සිය සැමියා වන ආබ්‍රම්ට භාර්යාව කොට දුන්නා ය. 4 ඔහු ඈ සමඟ එක් වූ පසු ඈ පිළිසිඳගත්තා ය. හාගර් පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ ඇගේ ස්වාමිදුව සුළු කොට සැලකුවෙන්, 5 සාරයි ආබ්‍රම්ට කතා කොට, ”මට අවමානයක් සිදු වූයේ ඔබේ වරදින් ය. මම මාගේ වහල් කෙල්ල ඔබට අඹුවක වශයෙන් පාවා දුනිමි. තමා පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ මා සුළු කොට සිතන්නී ය. වරද කාගේ ද කියා දෙවියන්ට පෙනේ වා!”යි කීවා ය. 6 ආබ්‍රම් ද සාරයිට උත්තර දෙමින්, ”මෙන්න, ඔබේ වහල් කෙල්ල, ඔබ ම ඈ බාරගන්න. ඔබ කැමැති දෙයක් ඇයට කරන්නැ”යි කී ය. එවිට සාරයි, ඇයට තදින් හිරිහැර කෙළෙන් ඈ තම ස්වාමිදුව වෙතින් පලා ගියා ය.
7 මෙසේ හාගර් පලා යද්දී ෂූර් දක්වා යන මාර්ගයෙහි තිබෙන පාළුකරයේ දිය උල්පතක් ළඟ දී සමිඳාණන් වහන්සේගේ දූතයාට ඈ හමු වූවා ය. 8 ඔහු ද කතා කොට, ”හාගර්, සාරයිගේ වහල් කෙල්ල, ඔබ ආවේ කොහෙන් ද? යන්නේ කොහේ දැ”යි ඇසී ය. ඈ උත්තර දෙමින්, ”මම මාගේ ස්වාමිදූ වන සාරයි වෙතින් පලා යමි”යි කීවා ය. 9 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඈට කතා කොට, ”නුඹේ ස්වාමිදූ වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත් ව සිටින්නැ”යි කී ය. 10 ඔහු තවදුරටත් මෙසේ කී ය.
”බොහෝ දරු පල මම ඔබට දෙමි;
ගණන් නොකළ හැකි තරම් විපුල දරු පල ඔබට දෙමි.
11 ඔබ දරුවකු පිළිසිඳ ඇත;
පුතකු බිහි කරනු ඇත;
හිමිතුම ඔබ පීඩා හඬ ඇසූ බැවින් ඔහුට ඉෂ්මායෙල් යන නම තබන්න.
12 ඒ මිනිසා වල් මීමෙකි.
කාටත් ඔහු එරෙහි වේවි.
කවුරුත් ඔහුට එරෙහි වේවි.
නෑදෑයින් හැරදමමින් කල් යවාවි.”
13 තවද, ඈ තමාට කතා කළ සමිඳාණන් වහන්සේට, ‘ඔබ සියල්ල දකින දෙවියෝ ය.’ යන අර්ථය ඇති එල්-රෝයි කියා නම් කළා ය. ඒ මන්ද, ‘මා දුටු තැනැන් වහන්සේ මාත් දැක මම තව ම ජීවත් ව සිටිනවා නොවෙම් දැ’යි ඈ තමාගෙන් ම ප්‍රශ්න කළ බැවිනි. 14 කාදේෂ් සහ බෙරෙද් අතර පිහිටි ඒ ළිඳට මා දක්නා ජීවමාන තැනැන් වහන්සේගේ ළිඳ යන අර්ථ ඇති ‘බෙයර්-ලහයි-රෝයි’ යන නම තබන ලද්දේ එබැවිනි. 15 හාගර් ආබ්‍රම්ගෙන් පුත්‍රයෙකු ලැබුවා ය. ආබ්‍රම් ඔහුට ඉෂ්මායෙල් යන නම තැබී ය. 16 මෙකල ආබ්‍රම්ගේ වයස අවුරුදු අසූහයක් විය.

– 17 වන පරිච්ඡේදය –

ගිවිසුම් ලකුණ: චර්මඡේදනය

1 ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: ”මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න, 2 මම මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවමි; නුඹේ පෙළපත ද බොහෝ සේ වැඩි කරන්නෙමි”යි වදාළ සේක.
3 එවිට ආබ්‍රම් පසඟ පිහිටුවා වැඳ වැටිණි. දෙවියන් වහන්සේ ද ඔහු සමඟ කතා කරමින් මෙසේ වදාළ සේක: 4 ”මා නුඹ සමඟ පිහිටුවන මාගේ ගිවිසුම නම් මේ ය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහි ය. 5 මින්පසු නුඹේ නාමය ‘උතුම් පියා’ යන අර්ථය ඇති ආබ්‍රම් නොව ‘ජාතීන්ගේ පියාණෝ’ යන අර්ථය ඇති ‘ආබ්‍රහම්’ යයි කියනු ලබන්නේ ය. මන්ද, මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි. 6 මම නුඹට බොහෝ දරුසම්පත් දෙමි; නුඹෙන් ජාතීන් උපදවන්නෙමි; නුඹෙන් රජවරු පහළ වන්නාහ.
7 ”නුඹ සමඟ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට නුඹෙන් පැවතෙන නුඹේ පෙළපත සමඟ ද, මාගේ ගිවිසුම පිහිටුවමි. මම නුඹේ ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපත්වල ද දෙවියන් වහන්සේ වන බවට මාගේ සදාතන ගිවිසුම පිහිටුවමි. 8 නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
9 දෙවියන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: ”නුඹ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට පැවතෙන නුඹේ පෙළපත ද මාගේ ගිවිසුම ආරක්ෂා කළ යුතු ය. 10 නුඹ ද, නුඹේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රැකගත යුතු, මාගේ ගිවිසුම නම් මේ ය: එනම්, නුඹලාගේ සියලු පිරිමි දරුවන් චර්මඡේදනය කළ යුතු ය. 11 නුඹලා නුඹලාගේ ලිංගාග්‍ර චර්මය ඡේදනය කළ යුතු ය. මෙය නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේ ය. 12 නුඹලාගේ පෙළපත්වල සියලු පිරිමි දරුවන් දින අටක් වයස් වූ කල ඔවුන් චර්මඡේදනය කළ යුතු ය. ඔව්හු නුඹේ ගෘහයෙහි උපන්නෝ වුව ද, නුඹේ පෙළපතට අයත් නැති, විදේශිකයෙකුගෙන් මිලට ගත් අය වුව ද, ඔවුන් චර්මඡේදනය කළ යුතු ය. 13 ගෘහයෙහි උපන් තැනැත්තෝ වෙත් වා; නුඹ මිල දී ගත් තැනැත්තෝ වෙත් වා; ඔවුන් චර්මඡේදනය කළ යුතු ය. මාගේ ගිවිසුම සදාතන ගිවිසුමක් ලෙස නුඹේ මාංසයෙහි සලකුණු කරනු ලැබිය යුතු ය. 14 ලිංගාග්‍ර චර්මය ඡේදනය නොකළ අචර්මඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි.”
15 තවද, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, ”නුඹේ භාර්යාව වන සාරයිට ‘නින්දා ලද්දී’ යන අර්ථය ඇති ‘සාරයි’ යන නම නොකියන්න. මින්පසු ඇගේ නම ‘කාරුණික’ යන අර්ථය ඇති ‘සාරා’ වේ. 16 මම ඈට ද ආශීර්වාද කරමි. මම ඇගෙන් නුඹට පුත්‍රයෙකු දෙමි. සැබැවින් මම ඈට ආශීර්වාද කරන්නෙමි. ඈ ද බොහෝ ජාතීන්ගේ මාතාව වන්නී ය, ඇගේ පරපුරෙහි බොහෝ ජාතීන්ගේ රජවරු පහළ වන්නෝ ය”යි වදාළ සේක. 17 එවිට ආබ්‍රහම් පසඟ පිහිටුවා වැඳ, මඳක් සිනහ පාමින්, ”සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකි ද? අනූ අවුරුදු වයසැති, සාරා දරුවෙකු ලබන්නී දැ”යි තමාට ම කියා ගත්තේ ය. 18 ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට කතා කොට, ”ඔබ වහන්සේ ඉෂ්මායෙල් රැක බලා දෙන සේක් වා!”යි කී ය.
19 එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, ”සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි. 20 ඉෂ්මායෙල් ගැන කළ නුඹේ ඉල්ලීමට මම සවන් දුනිමි. මෙන්න, මම ඔහුට ද ආශීර්වාද කරමි; ඔහුට දරුසම්පත් දී, ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි; ඔහුට දාව රාජ කුමාරවරු දොළොස් දෙනෙක් උපදින්නාහ. මම ඔහුගේ පෙළපත විශාල ජාතියක් බවට පත් කරමි. 21 එහෙත්, ලබන අවුරුද්දේ මේ කාලයේ දී සාරා නුඹට උපදවන ඊසාක් සමඟ මම මාගේ ගිවිසුම පිහිටුවමි”යි වදාළ සේක. 22 මෙසේ කතා කොට නිම කළ පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් වෙතින් ඉවත් ව ගිය සේක.
23 එවිට ආබ්‍රහම්, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද තම ගෘහයේ උපන් සියලු දෙනා ද ඔහු මිල දී ගත් සියලු දෙනා ද ඇතුළු තම ගෘහයේ සියලු පිරිමින් ද රැගෙන, එක ම දවසේ දී දෙවියන් වහන්සේ කී පරිදි ඔවුන් සියල්ලන් චර්මඡේදනය කෙළේ ය. 24 ආබ්‍රහම් චර්මඡේදනය කරනු ලබන විට ඔහුට වයස අවුරුදු අනූනවයකි; 25 ඉෂ්මායෙල්ට අවුරුදු දහතුනකි. 26 ආබ්‍රහම් ද, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද චර්මඡේදනය කරනු ලැබුවේ එක දවසේ ය. 27 ආබ්‍රහම් සමඟ තම ගෘහයේ උපන් පිරිමින් ද, විදේශීන්ගෙන් මිලට ගත් අය ද ඇතුළු සියලු පිරිමි චර්මඡේදනය කරන ලදහ.

– 18 වන පරිච්ඡේදය –

ඊසාක්ගේ උපත

1 තවද, සමිඳාණන් වහන්සේ මම්රේහි ආලෝන අරඹ ළඟ දී ආබ්‍රහම්ට දර්ශනය වූ සේක. ඔහු දවාලේ තද අවුරස්නය ඇති වේලාවේ කූඩාරමේ දොරකඩ වාඩි වී සිටියේ ය. 2 ඔහු නෙත් ඔසවා බැලූ විට, පුදුමයකි! තමාට නුදුරින් මිනිසුන් තිදෙනෙකු සිටිනු දිටී ය. ඔවුන් දුටු විට ඔහු ඔවුන් හමුවීමට ගොස් හිස නමා, වැඳ වැටුණේ ය. 3 මෙසේ ආචාර කොට, ”ස්වාමීනි, කරුණාකර, ඔබේ දාසයා ළඟ නැවතී යන මෙන් ඉල්ලමි. 4 මට අවසරයි; මම වතුර ටිකක් ගෙනෙන්නෙමි; ඔබ පාද සෝදාගෙන, ගස යට විවේක සුවය විඳින්න. 5 මම ද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා, ඔබේ ගත සිත සනසාගෙන, මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසා යැ”යි කී ය. ඔව්හු ද, ”ඔබ කී ලෙස කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.
6 ආබ්‍රහම් ද වහා කූඩාරම තුළට ගොස්, සාරාට කතා කොට, ”හොඳ ම පිටි ගෝණියක් ඉක්මනින් ගෙන, එයින් ටිකක් අනා, උදුන මත තබා රොටි පුළුස්සන්නැ”යි කී ය. 7 තවද, ඔහු ගව පට්ටියට දුව ගොස්, කදිම ළපටි වස්සෙකු ගෙන දාසයාට දුන්නේ ය. දාසයා ද ඌ ඉක්මනින් පිළියෙළ කෙළේ ය. 8 තවද, ආබ්‍රහම්, වෙඩරු හා කිරි ද, පිසින ලද වහු මස් ද ගෙන ආගන්තුකයන් ඉදිරියෙහි තැබී ය. ඔවුන් ඒවා වළඳන විට ඔහු ද ගස යට ඔවුන්ට සමීප ව සිටියේ ය.
9 එවිට ඔව්හු ආබ්‍රහම්ට කතා කොට, ”නුඹේ බිරිඳ සාරා කොහේ දැ”යි ඇසූ හ. ”ඈ කූඩාරම තුළ ය”යි ඔහු උත්තර දුනි. 10 එවිට අමුත්තා කතා කොට, ”දරු උපතට නියම කාලය පැමිණි විට සත්තකට ම මම නුඹ වෙත නොවරදවා ආපසු එමි. එවිට නුඹේ භාර්යාව වන සාරා පුතෙකු ලබන්නී ය”යි කී ය. අමුත්තාට පිටුපසින් පිහිටි, කූඩාරමේ දොරකඩ සිටි සාරාට එය ඇසිණි.
11 ආබ්‍රහම් ද සාරා ද මහලු ව හොඳට ම වයස් ගත ව සිටිය හ. සාරාට ඔසප් වීම ද නැවතී තිබිණි. 12 එබැවින් සාරා, ”දරු උපතක් නොලැබිය හැකි මහලු වියට පැමිණි පසුත්, මා අඹු-සැමි ප්‍රීතිය භුක්ති විඳින්න ද? ඇරත් මාගේ සැමියාත් දැන් මහල්ලෙකි”යි කියාගනිමින් සිනාසුණා ය. 13 එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, ”මහලු වියට පැමිණි පසුත් හැබෑවට ම දරු උපතක් ලැබිය හැකි දැ යි කියාගනිමින් සාරා සිනාසුණේ ඇයි? 14 සමිඳාණන් වහන්සේට බැරි දෙයක් ඇද් ද? දරු උපතට නියම කාලය පැමිණි විට මම නුඹ වෙත ආපසු එමි. එවිට සාරා පුතෙකු ලබන්නී ය”යි වදාළ සේක. 15 සාරා ද බිය වී, ”මා සිනාසුණේ නැතැ”යි කීවා ය. එහෙත්, අමුත්තා, ”නැහැ, නුඹ සිනාසුණා ය”යි කී ය.

ආබ්‍රහම් සොදොම් නුවර ගැන මැදහත් වීම

16 අමුත්තෝ තිදෙන ද එතැනින් නික්ම සොදොම් නුවර බලා පිටත් වූ හ. ආබ්‍රහම් ද මඟපෙන්වීමට ඔවුන් සමඟ ගියේය. 17 සමිඳාණන් වහන්සේ: ”මා කරන්නට යන දෙය මම ආබ්‍රහම්ගෙන් සඟවම් ද? 18 මොහුගේ පෙළපත මහත් බලසම්පන්න ජාතියක් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන්, මා ආබ්‍රහම්ට ආශීර්වාද කළ ලෙස ඔවුන්ටත් ආශීර්වාද කරන මෙන් මගෙන් අයැදිනු ඇත. 19 ආබ්‍රහම් දැහැමිකමින් හා යුක්තියෙන් ජීවත් වෙමින් තමාගේ දරුවන්ට ද, තමාගෙන් පැවතෙන පෙළපතට ද සමිඳාණන් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කිරීමට අණ දෙන පිණිස මම ඔහු වෙන් කොට ගතිමි. මෙලෙස සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දේ ඔහුට ඉටු කරන සේකැ”යි තමන්ට ම කියාගත් සේක.
20 පසුව උන් වහන්සේ කතා කොට, ”සොදොම් හා ගොමොරා නුවරවලට විරුද්ධ ව නඟින චෝදනා කෙතරම් දරුණු ද? ඔවුන්ගේ පාපය කෙතරම් බරපතල ද? 21 එබැවින් මම දැන් බැස ගොස් මා වෙත පමුණුවා ඇති චෝදනාවල ඇත්ත නැත්ත විභාග කරමි”යි වදාළ සේක.
22 එවිට අමුත්තෝ එතැනින් නික්ම සොදොම් බලා පිටත් වූ හ. එහෙත්, ආබ්‍රහම් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ම නැවතී සිටියේ ය. 23 ආබ්‍රහම් ද උන් වහන්සේට සමීප වී, ”සැබැවින් ම ඔබ අදමිටුන් සමඟ දමිටුන් වත් වනසන සේක් ද? 24 හොඳයි! නුවරෙහි දමිටුන් පණස්දෙනෙක් සිටිත් නම්, මේ පණස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද? 25 අදමිටුන් සමඟ දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුරු වේ වා! අදමිටුන් සමඟ දමිටුන් එක ම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නො වේ වා! මුළු මිහි තලයේ විනිශ්චයකාරයාණෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක් දැ”යි ඇසී ය. 26 එවිට සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, ”සොදොම් නුවරෙහි දමිටුන් පණස්දෙනෙක් සිටිත් නම් ඔවුන් නිසා ඒ මුළු නුවරට මම සමාව දෙන්නෙමි”යි වදාළ සේක.
27 ආබ්‍රහම් නැවතත් කතා කරමින්, ”අළු හා දූවිල්ල පමණක් වූ මා, මාගේ සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට තරම් නිර්භීත වීම ගැන මට සමාවන්න. 28 හොඳයි! නුවරෙහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම් පස්දෙනෙකු අඩු නිසා ඔබ මුළු නුවර වනසාලන සේක් දැ”යි ඇසී ය. ”එහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම්, මම එය නොවනසමි”යි උන් වහන්සේ වදාළ සේක. 29 ආබ්‍රහම් යළිත් කතා කරමින්, ”ඇතැම් විට එහි දමිටුන් සතළිස්දෙනෙකු සිටින්නට පුළුවනැ”යි කී ය. ”ඒ සතළිස්දෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක. 30 ආබ්‍රහම් නැවතත් කතා කරමින්, ”ස්වාමීනි, ඔබ මා සමඟ නොකිපෙන සේක් වා! මම නැවතත් කතා කරමි. හොඳයි! එහි තිස්දෙනෙකු පමණක් සිටින්නට පුළුවනැ”යි කී ය. ”ඒ තිස්දෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ ද උත්තර දුන් සේක.
31 ආබ්‍රහම් තවදුරටත් කතා කරමින්, ”සමිඳාණන් වහන්සේ සමඟ වාද කිරීමට ඉදිරිපත් වීම ගැන කමා වන්න. හොඳයි! එහි දමිටුන් විසිදෙනෙක් පමණක් ඇතැ යි හිතමු”යි කී ය. ”ඒ විසිදෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ පිළිතුරු දුන් සේක.
32 එවිට ආබ්‍රහම් යළිත් මෙසේ කී ය: ”සමිඳාණන් වහන්සේ මා සමඟ නොකිපෙන සේක් වා! තව එක වරක් පමණක් කතා කිරීමට මට අවසරයි. හොඳයි! එහි දමිටුන් දහදෙනෙක් පමණක් ඇතැ යි හිතමු.” ”ඒ දහදෙනා නිසා මම නුවර නොවනසාලමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක.
33 ආබ්‍රහම් සමඟ කතා කොට නිම වූ පසු උන් වහන්සේ යන්න ගිය සේක. ආබ්‍රහම් ද සිය නිවෙසට හැරී ගියේය.

– 19 වන පරිච්ඡේදය –

සොදොම් නගරයේ පවිටු ජීවිතය

1 දූතයන් දෙදෙනා සවස් කාලයේ සොදොම් නුවරට පැමිණි විට නුවර වාසල් දොරකඩ ලොත් වාඩි වී සිටියේ ය. ලොත් ඔවුන් දුටු විට, නැඟිට ඔවුන් හමු වීමට ගොස්, හිස නමා වැඳ, 2 ”මහතුනි, කරුණාකර, මේ ඔබේ දාසයාගේ නිවසට ඇතුළු වන්න, පාද සෝදාගෙන අද රෑ මෙහි නවතින්න. අලුයම නැඟිට ඔබ යන ගමන යන්නට පුළුවනැ”යි කී ය. එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, ”නැත, මුළු රැය ම අපි වීදියේ ගත කරන්නෙමු”යි කී හ. 3 එහෙත්, ඔහුගේ බලවත් පෙරැත්තය නිසා, ඔව්හු ඔහු සමඟ නිවසට ඇතුළු වූ හ. ඔහු ද නුමුහුන් රොටි පුළුස්සා, භෝජනයක් පිළියෙළ කළ පසු ඔව්හු එය වැළඳූ හ.
4 එහෙත්, අමුත්තන් නින්දට යන්නට පෙර ඒ සොදොම් නුවර සතර දිශාවෙන් පැමිණි, බාල මහලු සියල්ලෝ ගෙය වට කර, 5 ලොත්ට හඬගසමින්, ”අද රෑ ඔබ වෙත පැමිණි මිනිස්සු කොහේ ද? අප ඔවුන් සමඟ කම් සැප විඳින පිණිස ඔවුන් පිටතට ගෙනෙන්නැ”යි කී හ.
6 ලොත් ද දොර වසාගෙන ඔවුන් වෙත පිටතට ආයේ ය. 7 ඔහු ඔවුන් අමතා, ”මිතුරෙනි, මම වැඳ ඔබට කියමි: මෙවැනි නපුරුකමක් නොකරන්න. 8 මෙන්න, කන්‍යා දූවරු දෙදෙනෙක් මට සිටිති. මම ඔවුන් ඔබ වෙත ගෙනෙන්නෙමි. ඔබ කැමැති පරිදි ඔවුන් සමඟ හැසිරෙන්න. එහෙත්, මේ මිනිසුන්ට නම් කිසි නපුරක් නොකරන්න. ඒ මන්ද, මොවුහු මාගේ නිවසට පැමිණි අමුත්තෝ ය”යි කී ය.
9 එහෙත් ඔව්හු උත්තර දෙමින්, ”මෙතැනින් ඉවතට යව. විජාතිකයෙකු මෙන් ඇවිත් නතර වූ මිනිසා දැන් ලොකු මිනිහෙකු වෙන්න යන හැටි! අර අයටත් වඩා සැර ගිනිගෙඩියක් අපි නුඹට දෙමු”යි කී හ. මෙසේ කියා ඔව්හු ලොත් තදින් තල්ලු කරගෙන අවුත් දොර කැඩීමට කිට්ටු වූවෝ ය. 10 එහෙත්, ඇතුළේ සිටි අමුත්තෝ දෑත දිගු කර, ලොත් ගෙය ඇතුළට ඇද, දොර වසාදැමූ හ. 11 පසුව, ඔව්හු පිටත දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන්ගේ ඇස් අන්ධ කළො‍් ය. එයින් ඔවුන්ට දොර සොයාගැනීමට නොහැකි විය.

ලොත් සොදොම් නුවරින් පිටත් වීම

12 එවිට අමුත්තෝ දෙදෙන ලොත්ට කතා කොට, ”ඔබට මෙහි වෙන කවුරුත් ඇද් ද? ඔබේ බෑණාවරුන් ද දරුදැරියන් ද මේ නුවර ඔබට සිටින සියල්ලන් ද රැගෙන මෙතැනින් පිටත් ව යන්න. 13 අපි මේ නුවර විනාශ කරන්නට යන්නෙමු. මෙහි වසන්නන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වෙත නැඟී ඇති චෝදනා ඉතා දරුණු බැවින්, මෙය විනාශ කිරීමට උන් වහන්සේ අප එවූ සේකැ”යි කී හ. 14 ලොත් ද පිටතට ඇවිත්, තමාගේ දූවරුන් සරණ පාවා ගන්නට සිටි බෑණාවරුන්ට කතා කොට, ”කඩිනමින් මෙතැනින් ඉවතට යන්න, සමිඳාණන් වහන්සේ මේ නුවර විනාශ කිරීමට යන සේකැ”යි කී ය. එහෙත්, එය ඔහුගේ විහිළුවකැ යි බෑණාවරු සිතූ හ.
15 පහන් වූ කල දූතයෝ ලොත් ඉක්මන් කරවමින්, ”ඔබේ භාර්යාව ද මෙහි සිටින ඔබේ දූවරුන් දෙදෙනා ද රැගෙන හනික පිටතට යන්න. එසේ නොකළොත් මේ නුවර වනසාලීමේ දී ඔබත් මැරී යත හැකි ය”යි කී හ. 16 එවිට ලොත් අදිමදි කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔහුට අනුකම්පාව දැක්වූ සේක. අමුත්තෝ, ඔහු ද, ඔහුගේ බිරිඳ ද, දූවරුන් ද අතින් අල්ලාගෙන නිවසින් පිටතට ගෙන ගොස් නුවරින් පිටත නතර කළහ.
17 නුවරින් පිටතට ඔවුන් ගෙන ගිය පසු, එක දූතයෙක් ඔවුන්ට කතා කොට, ”දැන් පණ බේරාගෙන ගැළවී යන්න; ආපසු නොබලන්න. මිටියාවතේ කිසි තැනක නොනවතින්න; නොමැරෙන පිණිස කඳුකරයට පලා යන්නැ”යි කී ය. 18 එහෙත්, ලොත් ඔවුන්ට උත්තර දෙමින්, ”ස්වාමීනි, එසේ නො වේ වා! 19 ඔබේ දාසයා වන මට අනුකම්පා කරමින්, මාගේ පණ බේරාගැනීමට මට මඟපෙන්වීමෙන් ඔබ මට කරුණාව දක්වා ඇත. එහෙත්, කඳුකරයට පලායාම නම් මට නොහැකි ය. මඟ දී කිසි යම් විපතකට අසු වී මා මැරෙන්න පුළුවන. 20 බලන්න, අර නගරය, එය කුඩා වූවත් පලායාමට මට එය කිට්ටු ය. ගැළවී එහි යන්නට මට අවසරයි! ඒ කුඩා නගරයක් නොවේ ද? එහෙත්, මට එහි සුරක්ෂිත ව ඉන්නට පුළුවනැ”යි කී ය. 21 දූතයා ද ඔහුට පිළිතුරු දෙමින්, ”මෙන්න, ඔබ මේ කියන දේටත් මම එකඟ වෙමි, ඔබේ කීම නිසා මම ඒ නගරය විනාශ නොකරමි. 22 කඩිනම් කරන්න. ගැළවීමට එහි දුවන්න. ඔබ එහි පැමිණෙන තෙක් මට කිසිවක් කළ නොහැකි ය”යි කී ය. මෙලෙස ‘සුළු’ යන අර්ථයෙන් ඒ නගරයට ශොවර් යන නම කියන ලදී.

සොදොම් සහ ගොමොරා නගර විනාශ කිරීම

23 ලොත් ශොවර් නුවරට ඇතුළු වූ කල හිරු උදා වී තිබිණි. 24 එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක. 25 උන් වහන්සේ ඒ නගර ද මුළු මිටියාවත ද නගර වාසීන් සෑම දෙන ද පොළොවේ ගස්කොළන් ද විනාශ කරදැමූ සේක. 26 ලොත්ගේ භාර්යාව cආපසු හැරී බැලුවා ය. එවේලේ ම ඈ ලුණු කණුවක් වූවා ය.
27 ආබ්‍රහම් උදෑසනින් නැඟිට, කලින් සමිඳාණන් වහන්සේ හමු වූ ස්ථානයට ගියේය. 28 ඔහු සොදොම් සහ ගොමොරා දෙස ද මුළු මිටියාවත දෙස ද බැලූ විට, පුදුමයෙන් පුදුමයකි! පොළොවෙන් බුර බුරා නඟින දුම් කඳ, උදුනකින් දමන දුමක් මෙන් දිටී ය. 29 එහෙත්, දෙවියන් වහන්සේ මිටියාවතේ නගර විනාශ කරන විට උන් වහන්සේ ආබ්‍රහම් සිහි කළ සේක. ලොත් විසූ නගර වනසන විට ඒ විපතින් උන් වහන්සේ ලොත් ගළවා හැරිය සේක.

මො‍්වබ්වරුන්ගේ සහ අම්මොන්වරුන්ගේ උත්පත්තිය

30 තවද, ලොත් ශොවර්හි පදිංචි වීමට බිය වූයෙන් ඉන් පිටත් වී සිය දූවරුන් දෙදෙන සමඟ කඳුකරයට ගොස් එක් ගුහාවක ජීවත් විය. 31 මෙසේ සිටිය දී, දූවරුන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරිය, බාල සොහොයුරියට කතා කොට; ”අපේ පියා දැන් මහලු ය. ලෝක සම්මත පිළිවෙළට අප සමඟ විවාහ වීමට මිහි පිට මිනිසෙක් නැත. 32 එන්න, අපි පියාට මිදියුස පොවා, පියාගේ පෙළපත රැකෙන පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙමු”යි කීවා ය. 33 එදින රෑ තම පියාට මිදියුස පොවා අක්කා පියා සමඟ සයනය කළා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් තමා සමඟ එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.
34 පසු දින අක්කා නංගීට කතා කොට, ”බලන්න, ඊයේ රෑ මම පියා සමඟ සේවනයෙහි යෙදුණෙමි; අද රෑටත් අපි ඔහුට මිදියුස පොවමු; පොවා, ඔබ ඇතුළු වී අප පියාගේ පෙළපත රකිනු පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙන්නැ”යි කීවා ය. 35 එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය. 36 මෙසේ ඔහුගේ දූවරු දෙදෙනා ම පියාට දාව දරුවන් පිළිසිඳගත්තාහ. 37 වැඩිමහල් සොහොයුරීට පුත්‍රයෙක් උපන්නේ ය. ඈ ඔහුට මෝවබ් යන නම තැබුවා ය. වර්තමාන මෝවබ්වරුන්ගේ ආදි පියා මොහු ය. 38 බාල සොහොයුරියට ද පුත්‍රයෙක් උපන්නේ ය. ඈ ඔහුට බෙන්-අම්මි යන නම තැබුවා ය. තත්කාලීන අම්මොන්වරුන්ගේ ආදි පියා මොහු ය.

– 20 වන පරිච්ඡේදය –

ආබ්‍රහම් සහ අබිමෙලෙක් රජ

1 ආබ්‍රහම් මම්රේ පෙදෙසින් නික්ම නේගෙබ් පළාත බලා ගොස්, කාදෙෂ් සහ ෂූර් අතර පිහිටි ගෙරාර්හි කලකට පදිංචි විය. 2 තවද, ආබ්‍රහම් සිය බිරිඳ වන සාරා තමාගේ සහෝදරිය යි කී බැවින් ගෙරාර්හි රජ වූ අබිමෙලෙක් ඇය තමා වෙත ගෙන්වාගත්තේ ය. 3 එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී, ”නුඹ ගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහි ය”යි වදාළ සේක. 4 එහෙත්, සාරාට සමීප නො වූ අබිමෙලෙක් උන් වහන්සේට කතා කොට, ”ස්වාමීනි, ඔබ නිදොස් ජනයා පවා මරන සේක් ද? 5 ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරී යැයි කීවා නොවේ ද? ඈ වුව ද ඔහු ඇගේ සහෝදරයා ය යි කීවා ය. මා මෙය කෙළේ හෘදය සාක්ෂියට එකඟ ව අවංක සිතකිනි”යි කී ය.
6 දෙවියන් වහන්සේ ද ස්වප්නයක් මඟින් ඔහුට පිළිතුරු දෙමින්, ”සැබැවින් ම ඔබ මෙය කෙළේ අවංක සිතකින් බව මම දනිමි. මට විරුද්ධ ව පව් කිරීමෙන් මම ද නුඹ වළක්වාලීමි; ඈට අත තැබීමට මා නුඹට ඉඩ නුදුන්නේ ඒ නිසා ය. 7 එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක.
8 පසු දින අලුයම අබිමෙලෙක් අවදි ව, තම සේවකයන්ට අඬගසා, ඔවුන් ඉදිරියෙහි මේ සියල්ල කීවේ ය. ඔව්හු ද අතිශයින් බිය වූ හ. 9 එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, ”යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද? 10 මෙය කිරීමට ඔබ පෙළඹුණේ කුමක් නිසා දැ”යි ඇසී ය. 11 ආබ්‍රහම් උත්තර දෙමින්, ”ඇත්තෙන් ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබාගැනීමට ඔවුන් මා මරාදමනු ඇතැ යි මම සිතුවෙමි. 12 එහෙත්, සැබැවින් ම ඈ මාගේ සොහොයුරී ය. ඈ මගේ මවගේ නොව පියාගේ දුව ය. මම ඈ සමඟ විවාහ වුණෙමි. 13 තවද, දෙවියන් වහන්සේ මාගේ පියාගේ ගෘහයෙන් පිට වී යන්නට මට සැලැසූ විට, ‘නුඹට මා වෙනුවෙන් පෙන්විය හැකි එක ම කරුණාව නම්, අප යන යන තැන, ‘ඔහු මාගේ සහෝදරයා ය’යි කියන මෙන් මම ඇගෙන් ඉල්ලීමි’ ”යි කී ය.
14 එවිට අබිමෙලෙක් ආබ්‍රහම්ගේ බිරිඳ වන සාරා ඔහුට ආපසු දුන්නේ ය. ඒ සමඟ ම බැටළුවන් ද ගවමහිෂයන් ද දාසදාසීන් ද රැගෙන ඔහුට දුන්නේ ය.
15 තවද අබිමෙලෙක් ඔහු අමතා, ”මෙන්න, මාගේ රට ඔබ ඉදිරියෙහි ය. ඔබ එහි කැමැති තැනකට ගොස් පදිංචි වන්නැ”යි කී ය. 16 තවද, රජ තෙම සාරාට කතා කොට, ”මෙන්න, මම ඔබේ සහෝදරයාට රිදී මිල දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබේ නිදොස් බව ඔප්පු කිරීමට සාක්ෂියක් වේ වා. ඔබ වැරැද්දක් නොකළ බව සියලු දෙන ම දැනගන්නෝ ය”යි කී ය.
17 ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට යච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද අබිමෙලෙක් සුවපත් කළ සේක; ඔහුගේ භාර්යාවට හා දාසීන්ට දරුසම්පත් ලැබෙන සේ ඔවුන් සුවපත් කළ සේක. 18 එසේ කෙළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයෙහි සියලු ම කාන්තාවන් උන් වහන්සේ වඳ බවට පත් කර තිබුණු හෙයිනි.

– 21 වන පරිච්ඡේදය –

ඊසාක්ගේ උපත

1 තවද, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේ සාරාට කරුණාව දැක්වූ සේක. උන් වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළ සේක. 2 සාරා ද පිළිසිඳගෙන, දෙවියන් වහන්සේ වදාළ නියමිත කාලයෙහි, ආබ්‍රහම්ගේ මහලු වයසෙහි ඔහුට දාව පුත්‍රයෙකු ලැබුවා ය. 3 ආබ්‍රහම්, තම පුත්‍රයාට ඊසාක් යන නම තැබී ය. 4 ඊසාක් වන තම පුතුට දින අටක් වූ කල දෙවියන් වහන්සේ අණ කළ පරිදි ආබ්‍රහම් ඔහු චර්මඡේදනය කෙළේ ය. 5 ඊසාක් උපදින විට ආබ්‍රහම්ට වයස අවුරුදු එකසියයකි. 6 සාරා ද කතා කරමින්, ”දෙවියන් වහන්සේ මා හිනැස්සූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමඟ සිනාසෙනු ඇත.
7 සාරා දරුවන්ට තනකිරි දෙති යි ආබ්‍රහම්ට කියන්නට කවරෙක් සිතුවේ ද?
ඔහුගේ මහලු වියෙහි දී මම ඔහුට පුතෙකු දුනිමි”යි
කීවා ය. 8 දරුවා වැඩී කිරි වැරුවේ ය. කිරි වැරූ දිනයෙහි ආබ්‍රහම් මංගල්‍යයක් පැවැත්විය.

හාගර් සහ ඉෂ්මායෙල් නෙරපාදැමීම

9 ආබ්‍රහම්ට දාව මිසර ජාතික හාගර්ගෙන් ලැබූ ඉෂ්මායෙල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවා ය. 10 එබැවින් ඈ ආබ්‍රහම්ට කතා කොට, ”මේ දාසියත්, ඇගේ පුතාත් එලවා දමන්න, මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමඟ උරුමකරු නොවිය යුතු ය”යි කීවා ය. 11 ඉෂ්මායෙල් ඔහුගේ පුත්‍රයා වන බැවින්, මේ ඉල්ලීම නිසා ආබ්‍රහම් දැඩි සිත් වේදනාවට පත් විය. 12 එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, ”නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය. 13 හාගර්ගේ පුත්‍රයා ද නුඹට දාව උපන් බැවින් ඔහුට ද මම පෙළපතක් දෙන්නෙමි”යි වදාළ සේක.
14 පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය. 15 බෝතලයේ වතුර ඉවර වූ පසු ඈ පඳුරක් යට දරුවා තබා 16 හී සැරයක් පමණ දුර ගොස් වාඩි වූවා ය. ”දරුවා මැරෙනවා මා බලා ඉන්නේ කොහොම දැ”යි කියමින් ඈ ගොස් ඈතින් හිඳගත්තා ය. dදරුවා ද කෑගසමින් හැඬුවේ ය.
17 දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට, ”ඔබ කරදර වී ඉන්නේ කුමක්නිසා ද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත. 18 නැඟිටින්න, දරුවා ඔසවා අතට ගන්න, මම ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි”යි කීවේ ය. 19 දෙවියන් වහන්සේ ඇගේ නෙත් පැහැදූ විට ඈ වතුර ඇති ළිඳක් දුටුවා ය. ඈ ද ගොස් භාජනය පුරවා, දරුවාට බීමට දුන්නා ය. 20 දෙවියන් වහන්සේ ද ඒ දරුවා සමඟ වූ සේක. ඔහු වැඩී, පාළුකරයේ පදිංචි වී දුනුවායෙක් විය. 21 ඔහු පදිංචි වූ පාළුකරය පාරාන් නම් විය. ඔහුගේ මව ඔහුට මිසර දේශයෙන් බිරිඳක ගෙන දුන්නා ය.

ආබ්‍රහම් සහ අබිමෙලෙක් රජ අතර ගිවිසුම

22 ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, ”ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය. 23 එබැවින් ඔබ මට හෝ මාගේ දරු මුණුබුරන්ට හෝ වංචා නොකරන බවටත්, මා ඔබට දැක්වූ කරුණාව ලෙස මටත්, ඔබ විදේශී ව වසන මේ දේශයටත්, කරුණාව දක්වන බවටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන් මෙහි දිවුරන්නැ”යි කීවේ ය. 24 ආබ්‍රහම් ද පිළිතුරු දෙමින්, ”මම දිවුරමි”යි කී ය.
25 ඉන්පසු අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් පැහැරගත් එක්තරා ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට පැමිණිලි කෙළේ ය. 26 එවිට අබිමෙලෙක් උත්තර දෙමින්, ”මෙය කෙළේ කවුදැ යි මම නොදනිමි. ඔබ ද මේ ගැන මට දැන්වූයේ නැත. මා මේ ගැන ඇසුවෙත් අද ය”යි කී ය. 27 ආබ්‍රහම් බැටළුවන් සහ ගවයන් රැගෙන අබිමෙලෙක්ට දුන්නේ ය. මෙලෙස දෙදෙන ගිවිසුමක් පිහිටුවාගත්හ. 28 තවද, ආබ්‍රහම් රැළෙන් බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ ය. 29 අබිමෙලෙක් එවිට ආබ්‍රහම්ට කතා කොට, ”ඔබ මේ බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ මන්දැ”යි විචාළේ ය. 30 ඔහු ද උත්තර දෙමින්, ”මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් හත්දෙනා මාගේ අතින් ඔබ බාරගන්න පිණිස ය”යි කී ය. 31 එබැවින් ඒ ස්ථානයට ඔහු ‘බෙයර්-ෂෙබා’ යන නම තැබී ය. මන්ද, ඔවුන් දෙදෙනා ම එතැන්හි දී දිවුරුම් දුන් බැවිනි.
32 මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහි දී ගිවිසුමක් කරගත්හ. පසුව අබිමෙලෙක් ද ඔහුගේ සෙන්පති පීකොල් ද නැඟිට, පිලිස්තිවරුන්ගේ දේශයට හැරී ගියහ. 33 ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය. 34 ඔහු බොහෝ කාලයක් පිලිස්තිවරුන්ගේ දේශයෙහි පදිංචි ව සිටියේ ය.

– 22 වන පරිච්ඡේදය –

ඊසාක් පූජා කරනු ලැබීම

1 ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, ”ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, ”ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි. 2 එවිට උන් වහන්සේ ”නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.
3 ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය. 4 තුන් වන දින, ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට, දුරින් පිහිටි එම ස්ථානය දිටී ය. 5 එවිට ඔහු සිය සේවකයන්ට කතා කොට, ”කොටළුවා සමඟ මෙහි නවතින්න, දරුවා ද මම ද අතනට ගොස්, වැඳ පුදා ආපසු එන්නෙමු”යයි කීවේ ය.
6 මෙසේ කියා ආබ්‍රහම් දවන යාග පූජාවට සූදානම් කළ දර සිය පුත් ඊසාක් මත තබා, තම අතට ගින්දර ද පිහිය ද ගෙන, දෙදෙනා ම එක් ව යන්න පිටත් වූ හ. 7 මෙසේ යද්දී, ඊසාක් තම පිය ආබ්‍රහම්ට, ”තාත්තේ” කියා ඇමතූ විට, ”පුතා, මම මෙහි ය”යි ඔහු පිළිතුරු දුනි. එවිට ඊසාක්, ”තාත්තේ, මෙහි දරත් ඇත; ගින්දරත් ඇත; නමුත් පූජාවට බැටළු පැටවා කොහේ ද” කියා ඇසී ය. 8 එවිට ආබ්‍රහම්, ”පුතා, දෙවියන් වහන්සේ ම පූජාව සඳහා බැටළු පැටවා දෙන සේකැ”යි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනා ම ගමන් කළහ.
9 මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය. 10 මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය. 11 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, ”ආබ්‍රහම්, ආබ්‍රහම්” කියා හඬගැසී ය. ”මම මෙහි සිටිමි”යි ඔහු කී ය. 12 එවිට දූතයා, ”ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය. 13 එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය. 14 තවද, ආබ්‍රහම් ඒ ස්ථානයට ”ජෙහොවා-ජීරේ” යන නාමය තැබී ය. මීට අද දක්වා ”සමිඳාණන් වහන්සේගේ කන්දේදී සපයන ලදී” යන කීම ව්‍යවහාර වේ.
15 සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට, 16 ”සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින් 17 මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය. 18 ඔබ මාගේ හඬට කීකරු වූ බැවින්, මිහි පිට සියලු ජාතීහු ඔබ මඟින් ආසිරි ලබන්නෝ ය”යි කී ය. 19 ආබ්‍රහම් පසු ව තම සේවකයන් වෙත ආපසු ගිය විට, ඔව්හු සියල්ලෝ ම නැඟිට ගොස් බෙයර්-ෂෙබාවෙහි පදිංචි වූ හ.

නාහෝර්ගේ පෙළපත

20 ඉනික්බිති තම සොහොයුරු නාහෝර්ගෙන් මිල්කා දරුවන් ලැබූ බව ආබ්‍රහම්ට දැනගන්නට ලැබිණි. 21 ඔවුන් නම්, කුලුඳුල් පුත්‍රයා වූ ඌශ් ද, ඔහුගේ සහෝදර වූ බුශ් ද, ආරම්ගේ පියා වූ කෙමුවෙල් ද, 22 කෙසෙද් ද හශෝ ද, පිල්දාෂ් ද, ජිද්ලප් ද බෙතුයෙල් ද ය. 23 මිල්කා ආබ්‍රහම්ගේ සහෝදර වූ නාහෝර්ගෙන් මේ දරුවන් අටදෙනා ලැබුවා ය. තවද, බෙතුයෙල්ට දාව රෙබෙකා උපන්නා ය. 24 නාහෝර්ගේ උපභාර්යාව වන රෙයුමා, තෙබා, ගහම්, තහෂ් හා මයකා යන දරුවන් ලැබුවා ය.

– 23 වන පරිච්ඡේදය –

සාරාගේ අවමඟුල

1 සාරා අවුරුදු එකසිය විසිහතක් ආයු වළඳා 2 කානාන් දේශයේ හෙබ්‍රොන් හෙවත් කිර්යත්-අර්බාහි දී මියගියා ය. ආබ්‍රහම් ඈ ගැන හඬා වැලපුණේ ය.
3 පසුව ඔහු ඇයගේ මළසිරුර ළඟින් නැඟිට, හිත්තීවරුන්ට කතා කොට, 4 ”ආගන්තුකයෙක් වූ මම ඔබ සමඟ ටික කලකට වාසය කරන්නෙක්මි. මාගේ භාර්යාවගේ මළසිරුර ගෙන ගොස් වැළලීම පිණිස මට ම උරුම වන ලෙස සොහොන් පොළක් මට දෙන්නැ”යි කීවේ ය. 5 හිත්තීවරු ඔහුට පිළිතුරු දෙමින්, 6 ”ස්වාමීනි අපට සවන් දෙනු මැනවි. ඔබ අප අතර බලසම්පන්න අධිපතියෙකි. අපේ සොහොන් ගෙවලින් ඉතා අගනා එකක ඔබේ මියගිය බිරිඳ වළලනු මැනවි. අප අතරෙන් කිසිවෙක්, මළ අය වැළලීම සඳහා, තමන්ට හිමි සොහොන් පොළක් ඔබට නො දී නොසිටින්නේ ය”යි කී හ.
7 ආබ්‍රහම් ද නැඟිට, දේශවාසී හිත්තීවරුන් ඉදිරියෙහි හිස නමා ආචාර කොට, 8 ඔවුන් අමතා, ”මා විසින් මගේ මියගිය බිරිඳ වැළලීම පිණිස ඔබ කැමැති නම්, මට සවන් දී, ශොහර් පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි කෙළවර තිබෙන, 9 ඔහු සතු මක්පේලාගේ ගුහාව මට දෙන ලෙස, මා වෙනුවෙන්, කරුණාකර, ඔහුගෙන් ඉල්ලනු මැනවි. එහි වටිනාකම අනුව සෑහෙන මිලකට සොහොන් බිම ඔබ ඉදිරියෙහි හිමි කර දෙන ලෙස කියන්නැ”යි පැවසී ය.
10 එප්‍රොන්, හිත්තීවරුන් මැද වාඩි වී සිටියේ ය. හිත්තීය ජාතික ඔහු හිත්තීවරුන්ට හා නුවර වාසල දොරටුව ළඟ සිටි සියල්ලන්ට ඇසෙන පරිදි, ආබ්‍රහම්ට කතා කොට, 11 ”ස්වාමීනි, එසේ නො වේ වා! මට සවන් දෙන්න, ඉඩම ද එහි ඇති ගුහාව ද මම ඔබට දෙමි. මාගේ ජනයා ඉදිරිපිට මම එය ඔබට දෙමි. ඔබේ මියගිය බිරිඳ එහි වළලනු මැනවැ”යි කී ය. 12 ආබ්‍රහම් ද රටේ ජනයා ඉදිරිපිට නැමී ආචාර කොට, 13 ඔවුන්ට ඇසෙන පරිදි ඔහු එප්‍රොන්ට කතා කොට, ”ඔබ මට එය දෙන්න කැමැති නම්, කරුණාකර, මට සවන් දෙන්න, ඉඩමේ වටිනාකමේ මුදල් මම දෙමි, එය බාරගන්න, මාගේ මියගිය බිරිඳ මම එහි වළලමි”යි කීවේ ය. 14 එවිට එප්‍රොන් ආබ්‍රහම්ට උත්තර දෙමින්, 15 ”ස්වාමීනි, මට සවන් දෙන්න. බිම් කැබැල්ලේ වටිනාකම රිදී මිල හාරසියයක් පමණ ය. ඒක ඔබත් මාත් අතර ලොකු දෙයක් ද? ඔබේ මියගිය බිරිඳ එහි භූමදාන කරන්නැ”යි කී ය. 16 ආබ්‍රහම් ද ඔහුගේ කීමට එකඟ විය. තවද, ඔහු හිත්තීවරුන්ට ඇසෙන පරිදි එකලට වලංගු වෙළඳ මිල අනුව රිදී කාසි හාරසියයක් එප්‍රොන්ට කිරා දුන්නේ ය.
17 මෙසේ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි තිබුණු එප්‍රොන්ගේ ඉඩම හා එහි ගුහාව ද ඉඩමෙහි හා එය වට කළ මායිම්වල තිබූ ගස්කොළන් ද 18 හිත්තීවරුන් හා නුවර වාසල් දොරටුවෙන් ඇතුළු වූ සියලු දෙනා ඉදිරිපිට ආබ්‍රහම්ට සින්නක්කර කොට දෙන ලදී. 19 පසු ව ආබ්‍රහම්, කානාන් දේශයේ හෙබ්‍රොන් එනම්, මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි ඉඩමේ තිබූ ගුහාවෙහි සිය බිරිඳ වන සාරා භූමදාන කෙළේ ය. 20 මෙලෙස ඉඩම ද එහි ගුහාව ද හිත්තීවරුන් විසින් ආබ්‍රහම්ට සොහොන් බිමක් ලෙස සින්නකර දෙන ලදී.

– 24 වන පරිච්ඡේදය –

ඊසාක්ගේ විවාහය

1 ආබ්‍රහම් වයස්ගත මහල්ලෙක් විය; සමිඳාණන් වහන්සේ ද හැම අතින් ම ඔහුට ආශීර්වාද කොට තිබිණි. 2 ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, ”කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න; 3 මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්, 4 මාගේ රටට, මාගේ ඥාතීන් අතරට නුඹ ගොස්, මා පුත් ඊසාක්ට භාර්යාවක ගන්නා ලෙසත්, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ද, පොළොවේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමි”යි කීවේ ය. 5 මෙහෙකරුවා එවිට ඔහුට කියනුයේ, ”සමහරවිට ඒ කාන්තාව මා සමඟ මේ රටට ඒමට අකමැති වන්නට පුළුවන, එසේ වුවහොත් ඔබ නික්ම ආ රටට ම, මා ඔබේ පුත්‍රයා ගෙන යා යුතු දැ”යි ඇසී ය.
6 ආබ්‍රහම් උත්තර දෙමින්, ”මාගේ පුතා නම් නැවත එහි නොගෙන යෑමට තරයේ සිතට ගන්න. 7 මාගේ පියාගේ ගෘහයෙන් ද මාගේ ඥාතීන්ගේ දේශයෙන් ද මා ගෙනා, මට දිවුරා වදාළ, ස්වර්ගයෙහි දෙවි සමිඳාණන් වහන්සේ, ‘මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටු ව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්‍රයාට භාර්යාවක ගත යුතු ය’යි මට වදාළ සේක. 8 නුඹ කැටුව ඒමට ඒ කාන්තාව අකමැති වුවහොත් මා ඉදිරියෙහි දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය. එහෙත්, නුඹ මා පුත්‍රයා නම්, එහි යළි නොගෙන යා යුතුය”යි කීවේ ය. 9 එවිට මෙහෙකරුවා තම ස්වාමියා වන ආබ්‍රහම්ගේ කලවය යට අත තබමින් මේ කරුණ ගැන දිවුරුම් දුන්නේ ය.
10 ඉන්පසු මෙහෙකරුවා, තම ස්වාමියාට අයත් ඔටුවන්ගෙන් දස දෙනෙකු ද, ඔහු සතු සම්පතින් ඉස්තරම් කොටසක් ද රැගෙන පිටත් ව ගොස්, මෙසොපොතේමියේ නාහෝර් නම් නගරයට පැමිණියේ ය. 11 ඔහු සවස් භාගයෙහි, කාන්තාවන් වතුර ඇදීමට එන වේලාවෙහි, නුවරින් පිටත ළිඳ ළඟ තමාගේ ඔටුවන් දණගැස්වී ය. 12 පසුව ඔහු කතා කොට, ”මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, මට කරුණාකර, මෙදින මාගේ ගමන සාර්ථක කර මාගේ ස්වාමියාට කරුණාව දක්වන සේක්වා. 13 මෙන්න, මම ළිඳ ළඟ සිටිමි. මේ නගරයේ කාන්තාවන් දැන් එනු ඇත. 14 මම යම් තරුණියක අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියම් ද, එවිට ඒ තරුණිය, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කියන්නී ද, අන්න ඒ තරුණිය ඔබගේ දාසයා වන ඊසාක්ගේ බිරිඳ වීමට ඔබ නියම කළ තැනැත්තිය වේ වා! මෙලෙස ඔබ මාගේ ස්වාමියාට කරුණාව දැක්වූ බව මම දැනගන්නෙමි”යි කී ය.
15 ඔහු මෙසේ කියා නිම කරන්නටත් පෙර රෙබෙකා නම් තරුණිය තම උරහිස මත කළය තබාගෙන ආවා ය. ඈ ආබ්‍රහම්ගේ සොහොයුරු වන නාහෝර්ගේ බිරිඳ වූ, මිල්කාගේ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව ය. 16 ඒ තරුණිය රූමත් ය. ඈ කන්‍යාංගනාවකි; කිසි ම පුරුෂයෙකු සමඟ සම්බන්ධයක් නොවී ය. ඈ ළිඳට බැස කළය පුරවාගෙන, උඩට පැමිණියා ය. 17 ආබ්‍රහම්ගේ මෙහෙකරුවා ද ඈ වෙත දිව ගොස්, ”කරුණාකර, ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්න මට ඉඩ හරින්නැ”යි කීවේ ය. 18 ”භවතාණෙනි, බොන්නැ”යි කියමින්, ඈ ඉක්මනින් කළය අතට ගෙන, ඔහුට බොන්න දුන්නා ය. 19 මෙසේ ඈ ඔහුට බොන්න දුන් පසු, ”ඔබේ ඔටුවන්ටත් උවමනා තරම් වතුර ඇද දෙමි”යි කියා, 20 හනික වතුර කළය ගව ඔරුවේ වත් කොට, ඔටුවන් සියල්ලන්ට ම වතුර ඇදීම පිණිස නැවත ළිඳට දිව ගියා ය. 21 මෙහෙකරුවා ද නිහඬ ව, ඈ දෙස බලාගත්ගමන්, ‘සමිඳාණන් වහන්සේ තමාගේ ගමන සාර්ථක කළ සේක් ද නැද්දැ’යි සිත සිතා සිටියේ ය.
22 ඔටුවන් වතුර බීවාට පසු ඔහු ඇගේ නාසයට වටිනා රන් මුද්දක් ද, ඇගේ අත්වලට වටිනා රන් වළලු දෙකක් ද දමා, 23 ”ඔබ කාගේ දියණියන් දැ යි කරුණාකර මට කියන්න; අපට නවාතැන් ගැනීමට ඔබ පියාගේ ගෘහයෙහි ඉඩකඩ ඇත් දැ”යි ඇසී ය. 24 ඈ ද, ”මම, නාහෝර් හා මිල්කාගේ පුත් බෙතුයෙල්ගේ දුව වෙමි. 25 අප ළඟ සෑහෙන තරම් පිදුරුත්, සිව්පාවුන්ට දෙන කෑමත්, නැවතීමට ඉඩකඩත් ඇතැ”යි තවදුරටත් කීවා ය. 26 ඔහු ද හිස නමා සමිඳාණන් වහන්සේට නමස්කාර කොට, 27 ”මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ තම කරුණාවත්, යහපත්කමත් ඔහු වෙතින් ඉවත් නොකළ සේක. ඔහුගේ සහෝදරයාගේ ම ගෙදරට කෙළින් ම මා ගෙන ආ සේකැ”යි කී ය.
28 තරුණිය දිව ගොස් සිදු වූ සියල්ල තම මවගේ නිවාසයෙහි සිටි අයට කීවා ය. 29 රෙබෙකාට ලාබන් නම් සහෝදරයෙක් විය. මොහු ළිඳ ළඟ සිටි මිනිසා වෙත දිව ගියේය. 30 මොහු තම සොහොයුරිය වන රෙබෙකා පැළඳ සිටි නාසාභරණය ද, ඇගේ අත්වලට දැමූ වළලු ද දැක, ”ඒ මිනිසා මට මෙසේ කතා කෙළේ ය”යි ඈ පැවසූ වචන ඇසූ විගස ම ආබ්‍රහම්ගේ මෙහෙකරුවා වෙත පැමිණියේ ය. මෙහෙකරුවා ද ළිඳ ළඟ ඔටුවන් සමඟ සිටියේ ය. 31 එවිට ලාබන් ඔහු අමතමින්, ”සමිඳාණන් වහන්සේගෙන් ආසිරි ලත් භවතාණෙනි, පිටත සිටින්නේ මන් ද? ඇතුළට එන්න. මම නිවාසය ද ඔටුවන්ට ස්ථානයක් ද පිළියෙළ කෙළෙමි”යි කී ය. 32 මෙහෙකරුවා නිවසට ඇතුළු විය. එවිට ලාබන් ඔටුවන්ගේ සෑදල ලිහා උන්ට පිදුරු ද කෑම ද දුන්නේ ය. තවද, ඔහු ආබ්‍රහම්ගේ මෙහෙකරුවාට හා පිරිසට පාද සේදීමට වතුර ද දුනි. 33 පසුව ඔහු ඉදිරියෙහි කෑමට ආහාර තබන ලදී. එහෙත්, මෙහෙකරුවා කතා කොට, ”ආහාර වළඳන්නට පළමුවෙන් මා ආ කාරිය කියන්න ඕනෑ ය”යි දැන්වී ය. ලාබන් ද, ”එය කියන්නැ”යි පිළිතුරු දුනි.
34 එවිට ඔහු මෙසේ කී ය: ”මම ආබ්‍රහම්ගේ මෙහෙකරුවෙක්මි. 35 සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාට ඉමහත් ලෙස ආශීර්වාද කළ සේක. ඔහු දැන් ධනවෙතකි. උන් වහන්සේ ඔහුට එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද රන් රිදී ද දැසිදසුන් ද ඔටුවන් හා කොටළුවන් ද දී තිබේ. 36 තවද, මාගේ ස්වාමියාගේ බිරිඳ වන සාරා ඇගේ මහලු වයසේ මාගේ ස්වාමියාගෙන් පුතෙකු ලැබුවා ය. ආබ්‍රහම් තමන් සතු සියල්ල ඔහුට පවරා ඇත. 37 තවද, ඔහුගේ පුතු හට තමා වසන කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක නො ගන්න ලෙසත්, 38 ඔහුගේ පියාගේ ගෙවැසියන් හා ඥාතීන් වෙත ගොස් තම පුතු හට බිරිඳක නොගතහොත් මට සාපයක් වන ලෙසත් ස්වාමියා ඉදිරියේ මාගෙන් දිවුරුම් ගත්තේ ය. 39 එවිට මම ඔහු අමතමින්, ‘ඒ කාන්තාව මා කැටුව ඒමට අකමැති විය හැකි’යි ආබ්‍රහම්ට කීවෙමි. 40 එවිට ඔහු මට කතා කොට, ‘මා සේවය කරන සමිඳාණන් වහන්සේ නුඹ කැටුව සිය දූතයා එවමින් නුඹේ ගමන සාර්ථක කරන සේක. නුඹ මාගේ පුතු හට මාගේ ඥාතීන් අතුරින් හා මාගේ පියාගේ ගෘහයෙන් බිරිඳක ගත යුතු ය. 41 නුඹ මාගේ ඥාතීන් වෙත පැමිණි විට මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය, ඔව්හු නුඹට කාන්තාවක නොදෙන්නෝ නම් මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය’යි කීවේ ය.
42 ”මම ද අද ළිඳ ළඟට පැමිණ, මාගේ ස්වාමීන් වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ මා යන ගමන සාර්ථක කරන සේක් නම්, 43 මෙන්න, මම ළිඳ ළඟ සිටිමි. දැන් කන්‍යාවක වතුර ඇදීමට පැමිණි විට මම ඈ අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියන්නෙමි. 44 ‘ඔබත් බොන්න. ඔබේ ඔටුවන්ට ද මම වතුර අදින්නෙමි’ කියා යම් කන්‍යාවක් මට කියන්නී ද, අන්න, ඒ තැනැත්තී සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාගේ පුත්‍රයා හට නියම කළ බිරිඳ වේවා යි මම සිතුවෙමි.
45 ”මෙලෙස මා සිතූ විගස ම පුදුමයකි, රෙබෙකා කළය උරහිස මත තබාගෙන පැමිණියා ය; ඈ ළිඳට බැස ගොස් වතුර අදින විට, ‘කරුණාකර, මට වතුර ටිකක් බොන්න ඉඩ හරින්නැ’යි කීවෙමි. 46 ඈ ද කඩිනම් කොට කළය ඇලකර, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කීවා ය. මෙසේ මා බීවායින් පසු ඈ මගේ ඔටුවන්ට ද වතුර දුන්නා ය. 47 පසුව මම, ‘ඔබ කාගේ දියණියන් දැ’යි ඇසීමි. ඈ ද, ‘මම නාහෝර්ගෙන් මිල්කා ලැබූ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව වෙමි’යි කී විට, මම ඇගේ නාසයට මුදුව ද අත්වලට වළලු ද දැමීමි. 48 ඉන්පසු මම හිස නමා සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළෙමි. ඇරත්, මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ පුත්‍රයාට ඔහුගේ සොහොයුරුගේ දියණිය ලැබෙන පිණිස මා යන මඟ ගෙන ගිය, ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළෙමි. 49 දැන් ඔබ මාගේ ස්වාමියාට කරුණාව හා හිතවත්කම දක්වන්න කැමැති නම් මට එසේ කියන්න; අකමැති නම් එය ද කියන්න; එවිට කුමක් කළ යුතුදැ යි මම තීරණය කරමි.”
50 එවිට ලාබන් සහ බෙතුයෙල් පිළිතුරු දෙමින්, ”මෙය සමිඳාණන් වහන්සේගෙන් පැමිණි දෙයකි, කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නුපුළුවන. 51 මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහි සිටියි. ඇය රැගෙන යන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඈ ඔබ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේ වා”යි කී හ. 52 ඔවුන්ගේ මේ වචන ඇසූ විට ආබ්‍රහම්ගේ මෙහෙකරුවා පසඟ පිහිටුවා සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළේ ය. 53 තවද, ඔහු රන් රිදී ආභරණ ද වස්ත්‍ර ද ගෙන රෙබෙකාට ප්‍රදානය කෙළේ ය. ඇගේ සහෝදරයාට හා මවට ද වටිනා තෑගි බෝග දුන්නේ ය.
54 ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා පිරිස කා බී මුළු රාත්‍රිය එහි ගත කළහ. උදෑසන ඔවුන් නැඟිටි පසු ඔහු කතා කොට, ”මාගේ ස්වාමියා වෙත යෑමට මට අවසර දෙන්නැ”යි කී ය. 55 එවිට රෙබෙකාගේ සොහොයුරා සහ මව කතා කරමින්, ”තරුණිය අප සමඟ තව ටික දිනක්, අඩු ගානේ දහ දිනක් වත් සිටියා වේ. පසු ව ඈට යත හැකිය”යි පිළිතුරු දුන්හ. 56 එහෙත්, මෙහෙකරුවා ඔවුන් අමතා, ”මා පමා නොකරන්න. මාගේ ගමන සාර්ථක කෙළේ සමිඳාණන් වහන්සේ ය. මාගේ ස්වාමියා වෙත යෑමට මට ඉඩ හරින්නැ”යි කී ය. 57 එවිට ඔව්හු, ”අපි තරුණිය කැඳවා ඇගෙන් විමසමු”යි පිළිතුරු දුන්හ. 58 ඔවුන් ද රෙබෙකා කැඳවා, ”ඔබ මේ මිනිසා කැටුව යන්න කැමැති දැ”යි ඇසූ විට, ”කැමැති ය”යි ඈ උත්තර දුන්නා ය. 59 ඉන්පසු ඔව්හු තම සොහොයුරිය වන රෙබෙකා ද ඇගේ කිරි මව ද ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා ඔහුගේ පිරිස ද පිටත් කර යැවූ හ. 60 මෙසේ යන විට ඔව්හු රෙබෙකාට ආසිරි පතමින්,
”අප සොහොයුරිය වන ඔබ, දහස් වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත් වා!
ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැරගනිත් වා”යි
කී හ. 61 ඉන්පසු රෙබෙකා සහ ඇගේ සේවිකාවෝ නැඟිට, ඔටුවන් පිට නැඟී ආබ්‍රහම්ගේ මෙහෙකරු කැටුව ගියහ.
62 එකල නේගෙබ් ප්‍රදේශයෙහි පදිංචි ව සිටි ඊසාක්, ලහයි-රොයි නම් ස්ථානයේ ළිඳ අසල පාළුකරයට පැමිණ සිටියේ ය. 63 ඉර බැස යද්දී ඔහු කෙතෙහි ඇවිදිමින්, හිස ඔසවා බලන විට ඔටුවන් එනු දුටුවේ ය. 64 රෙබෙකා ද හිස ඔසවා බලන විට ඊසාක් දුටුවා ය. එවිට ඈ ඔටුවා පිටින් බැස 65 මෙහෙකරුවා අමතා, ”අප හමුවීමට කෙතෙහි සිට ඇවිදගෙන එන මේ මිනිසා කවරෙක් දැ”යි විචාළා ය. ඔහු ද පිළිතුරු දෙමින්, ”ඒ මාගේ ස්වාමියා ය”යි කී ය. එවිට ඈ සළුව ගෙන මුහුණ වසාගත්තා ය. 66 මෙහෙකරුවා තමා කළ සියල්ල ඊසාක්ට පැවසී ය. 67 ඊසාක් ද, රෙබෙකා තම මවගේ කූඩාරමට ගෙනැවිත්, ඇය සරණ පාවාගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇයට ප්‍රේම කෙළේ ය. මෙලෙස ඊසාක් තම මවගේ මරණින් පසු සැනසීමට පත් විය.

– 25 වන පරිච්ඡේදය –

ආබ්‍රහම්ගෙන් පැවතුණු තවත් පෙළපතක්
(1 වංශා: 1:32-33)

1 ආබ්‍රහම් නැවත කෙතුරා නම් බිරිඳක සරණ පාවාගත්තේ ය. 2 ඈ ඔහුගෙන් සිම්රාම්, ජොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා ලැබුවා ය. 3 ජොක්ෂාන්ට දාව ෂෙබා සහ දෙදාන් ඉපදුණෝ ය. දෙදාන්ගේ පුත්‍රයෝ නම් අෂුරිම්, ලෙටුෂිම් සහ ලෙයුම්මි ය. 4 මිදියාන්ගේ පුත්‍රයෝ නම්, ඒපා, ඒපෙර්, හෙනාක්, අබිදා සහ එල්දායා ද ය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝ ය.
5 ආබ්‍රහම් තමන් සතු සියල්ල ඊසාක්ට පවරා දුන්නේ ය. 6 එහෙත්, තම උපභාර්යාවන්ගේ පුතුන්ට තෑගි දී, තමන් ජීවත් ව සිටිය දී ම, ඊසාක්ගෙන් ඒ පුත්‍රයන් ඈත් කොට, ඔවුන් නැගෙනහිරින් පිහිටි පෙරදිග රටට යැව්වේ ය.

ආබ්‍රහම්ගේ මරණය හා භූමදානය

7 ආබ්‍රහම් ජීවත් වූ මුළු කාලය අවුරුදු එකසිය හැත්තෑපහක් විය. 8 මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී. 9 එවිට ඊසාක් සහ ඉෂ්මායෙල් වන ඔහුගේ පුත්‍රයෝ මම්රේ ඉදිරියෙහි වූ හිත්තීය ජාතික ශොහර්ගේ පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි පිහිටි මක්පේලාගේ ගුහාවෙහි ඔහු භූමදානය කළහ. 10 යථොක්ත ඉඩම ආබ්‍රහම්, හිත්තීවරුන්ගෙන් මිලට ගත් එකකි. එහි ආබ්‍රහම් ද ඔහුගේ බිරිඳ වන සාරා ද භූමදාන කරනු ලැබූ හ. 11 ආබ්‍රහම්ගේ මරණින් පසු දෙවියන් වහන්සේ ඔහුගේ පුත් ඊසාක්ට ආශීර්වාද කළ සේක. ඊසාක් ද ලහයි-රොයිහි ළිඳ අසල පදිංචි විය.

ඉෂ්මායෙල්ගේ පෙළපත
(1 වංශා: 1:28-31)

12 පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පෙළපත ය; සාරාගේ සේවිකාව වන මිසර ජාතික හාගර්, ආබ්‍රහම්ට දාව ඉෂ්මායෙල් ලැබුවා ය. 13 පෙළපත් අනුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙසේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා නෙබායොත් ය; ඉන්පසු කේදාර්, අද්බෙයෙල්, මිබිසාම්, 14 මිෂ්මා, දුමා, මස්සා, 15 හදද්, තේමා, ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා යන මොවුහු ය. 16 මේ දැක්වූයේ ජනපද හා කඳවුරු අනුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය වේ. මොවුහු ගෝත්‍ර දොළසක ගෝත්‍රපතීහු දොළසකි. 17 ඉෂ්මායෙල් අවුරුදු එකසිය තිස්හතක් ආයු වළඳා, අවසන් හුස්ම හෙළා මියගිය පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී. 18 ඔහුගෙන් පැවතෙන්නෝ හවිලාහි සිට අසිරියාවට යන මගෙහි මිසර දේශයට පෙරදිගින් පිහිටි ෂූර් දක්වා වාසය කළහ. ඔව්හු තම ඥාතීන්ගෙන් ඈත් ව ජීවත් වූ හ.

ඒසව් හා ජාකොබ්ගේ උපත

19 පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ පෙළපත ය. ආබ්‍රහම්ට දාව ඊසාක් ඉපදිණි. 20 මොහු පදන්-අරාම්හි අරමීය ජාතික බෙතුයෙල්ගේ දුව හා අරමීය ජාතික ලාබන්ගේ සොහොයුරිය ද වන රෙබෙකා සිය බිරිඳ මෙන් සරණපාවාගන්න කල්හි ඔහුගේ වයස අවුරුදු සතළිසකි. 21 ඈ වඳ ස්ත්‍රියක වූයෙන්, ඔහු තම බිරිඳ උදෙසා බැගෑපත් ලෙස සමිඳාණන් වහන්සේ අයැදී ය. උන් වහන්සේ ඔහුගේ ඉල්ලීමට සවන් දුන් සේක. රෙබෙකා ගැබ්ගත්තා ය. 22 ඇගේ කුසෙහි හුන් දරුවන් දඟලන්න ගත් විට, ”තත්ත්වය මෙහෙම නම් මා ඉඳලා කුමකට දැ”යි කියමින්, ඕ සමිඳාණන් වහන්සේගෙන් විමසීමට ගියා ය. 23 සමිඳාණන් වහන්සේ ඈට කතා කොට මෙසේ වදාළ සේක:
”ජාතීන් දෙකක් ඔබ කුස තුළ ඇත;
දෙවර්ගයක සෙනඟක් ඔබ කුසෙන් බෙදී නික්මෙති.
එක සෙනඟක් අනිකට වඩා බලවත් වෙති;
වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇත.”
24 ඇගේ ප්‍රසූත කාලය සම්පූර්ණ වූ විට, මෙන්න, ඇගේ කුසෙහි නිඹුල් දරුවෝ සිටියහ. 25 පළමුවැන්නා උපන්නේ ය. ඔහු රතු පාට ය, ඔහුගේ ඇඟ පුරා ම ලෝම වැස්මක් මෙන් විය. එබැවින් ඔහුට ඒසව් යන නම දෙන ලදී. 26 ඉන්පසු උපන්නේ ඔහුගේ සහෝදරයා ය. ඔහු තම අතින් ඒසව්ගේ විලුඹ අල්ලාගෙන සිටියේ ය. එබැවින් ඔහුට ජාකොබ් යන නම දෙන ලදී. රෙබෙකාට මොවුන් ලැබෙන විට ඊසාක්ගේ වයස අවුරුදු හැටකි.

ඒසව් සිය ජන්ම උරුමය විකිණීම

27 දරුවෝ දෙදෙන වැඩුණාහ. ඒසව් එළිමනේ වසන දක්ෂ දඩයම්කාරයෙක් විය. ජාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මිනිසෙක් විය. 28 ඊසාක්, ඒසව් ගෙනා මුව මස් කෑ හෙයින් ඔහුට වඩා කැමැති විය; එහෙත් රෙබෙකා වඩා කැමැති වූයේ ජාකොබ්ට ය.
29 දිනක් ජාකොබ් ව්‍යංජනයක් පිළියෙළ කෙළේ ය. එවිට ඒසව් බොහෝ විඩාවට පත් ව, කෙතෙහි සිට පැමිණියේ ය. 30 ඔහු ජාකොබ්ට කතා කොට, ”කරුණාකර, ඔය රතු පාට ව්‍යංජනයෙන් කෑමට මට දෙන්න; බලන්න, මට හරි මහන්සි ය”යි කී ය. මේ කරුණ නිසා ඔහුට ඒදොම් යන නම දෙන ලදී. 31 එවිට ජාකොබ් ද, ”එසේ නම් කුලුඳුල්කමේ උරුමය අද දින මට විකුණන්නැ”යි කී ය. 32 එවිට ඒසව් පිළිතුරු දෙමින්, ”මම දැන් මරණාසන්න ව සිටිමි. කුලුඳුල්කමේ උරුමයෙන් මට කුමන වැඩක් දැ”යි පැවසී ය. 33 ජාකොබ්, ”එසේ නම් අද මා ඉදිරියෙහි දිවුරන්නැ”යි කීවෙන්, ඒසව් ඔහු ඉදිරියෙහි දිවුරුවේ ය. මෙලෙස ඒසව් කුලුඳුල්කමේ උරුමය ජාකොබ්ට විකිණී ය. 34 ඉන්පසු ජාකොබ් රොටි සහ එලවළු ව්‍යංජනය ඒසව්ට දුනි. ඔහු කා බී, නැඟිට යන්න ගියේය. මෙසේ ඒසව් සිය කුලුඳුල්කමට හිමි උරුමය සුළු කොට සැලකී ය.

– 26 වන පරිච්ඡේදය –

ඊසාක් මුහුණ පෑ ගැටළුව

1 එකල රටෙහි සාගතයක් විය. මෙය ආබ්‍රහම්ගේ කාලයෙහි වූ පළමු සාගතයට පසු පැමිණි එකකි. ඊසාක්, එවිට ගෙරාර්හි පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් වෙත ගියේය. 2 සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක:
”මිසර දේශයට නොගොස්, ඔබට මා කියන දේශයෙහි පදිංචි වන්න.
3 මඳ කලක් මෙරට වසන්න.
මම ඔබ සමඟ සිටිමි, ඔබට ආසිරි දෙමි;
ඔබට ද ඔබ පරපුරට ද මේ මුළු දේශය මම දෙමි.
මෙලෙස ඔබ පිය ආබ්‍රහම් හට මා දිවුළ දිවුරුම ඉටු කරමි.
4 අහසේ තරු මෙන්, ඔබ පෙළපත මම වැඩි කරමි.
මේ මුළු රට ඔබේ පෙළපතට මම දෙමි.
මිහි පිට සියලු ජාතීහු, ඔබ මඟින්, තමන්ට ආශීර්වාද කරගන්නාහ.
5 එසේ වනුයේ, ආබ්‍රහම් මා හට කීකරු ව, මාගේ අණපණත් ද මාගේ නීති ව්‍යවස්ථා ද පිළිපැදි හෙයිනි.”
6 ඊසාක් ගෙරාර්හි පදිංචි විය. 7 එහි සිටි මිනිස්සු ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විමසුවෝ ය. ඔහු ද, ”ඈ මාගේ සහෝදරීය”යි කී ය. ”ඈ මගේ භාර්යාව ය”යි කීමට ඔහු බිය වූයේ, රෙබෙකා රූමත් බැවින් ඈ නිසා ‘ඔවුන් මා මරති’යි සිතූ නිසා ය. 8 ඔහු එහි කාලයක් විසූ පසු, පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් කවුළුවකින් පිටත බැලූ විට, පුදුමයකි, ඊසාක් තම බිරිඳ වන රෙබෙකාට පෙම් කරනු දිටී ය. 9 අබිමෙලෙක් ඊසාක් කැඳවා, ”නිසැක ව ම ඈ ඔබේ භාර්යාව ය; එසේ නම්, ‘ඈ මාගේ සහෝදරී ය’යි ඔබ කීවේ කෙසේ දැ”යි ඇසී ය. ඊසාක් ඔහුට කතා කොට, ”ඈ නිසා මට මැරෙන්න වේ යයි සිතා මම එසේ කීවෙමි”යි පිළිතුරු දුනි. 10 එවිට අබිමෙලෙක්, ”ඔබ අපට කළ මේ දේ කුමක් ද? සෙනඟගෙන් කෙනෙක් ලෙහෙසියෙන් ම ඈ සමඟ සේවනයෙහි යෙදෙන්නට තිබිණි. එසේ වී නම්, ඔබ නිසා අප පිට වරද පැමිණෙන්නට තිබුණේ ය”යි කීවේ ය. 11 තවද රජ තෙම, ”යමෙක් මේ මිනිසාට හෝ ඔහුගේ භාර්යාවට හෝ අත තැබුවහොත් ඇත්තෙන් ම ඔහු මරනු ලැබේ ය” කියා නියෝගයක් සිය සෙනඟට පැණ වී ය.
12 ඉන්පසු ඊසාක් එම රටෙහි ධාන්‍ය වපුරා එම අවුරුද්දෙහි ම සිය ගුණයක් සරු අස්වැන්නක් නෙළාගත්තේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක. 13 ඔහු ද ධනවෙතකු මෙන් සමෘද්ධ වී, මහා බලවෙතකු බවට පත් විය. 14 මන්ද, ඔහු සතු එළු බැටළු හා ගව පට්ටි වූ හ. දැසිදස්හු ද විශාල පිරිසක් වූ හ. එහෙත් පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යා කළහ. 15 එබැවින්, තම පියා වන ආබ්‍රහම්ගේ කාලයේ දී ඔහුගේ මෙහෙකරුවන් කැණූ ළිං සියල්ල ම පිලිස්තිවරු පස් පුරවා වසාදැමූ හ.
16 අබිමෙලෙක් ඊසාක් අමතා, ”ඔබ අපට වඩා බොහෝ බලසම්පන්න බැවින්, අප කෙරෙන් ඉවත් ව යන්නැ”යි කී ය. 17 ඊසාක් ද එතැනින් නික්ම, ගෙරාර්හි මිටියාවතෙහි තම කඳවුර පිහිටුවා, එහි පදිංචි විය. 18 ආබ්‍රහම්ගේ මරණින් පසු, පිලිස්තිවරුන් ළිං සියල්ල වසාදමා තැබු හෙයින්, ඔහුගේ පියාගේ කාලයෙහි කණින ලද වතුර ළිං ඊසාක් නැවත කැණී ය. තවද, තම පියා දුන් නම්වලින් ම ඔහු ඒ ළිං හැඳින් වී ය.
19 ඊසාක්ගේ මෙහෙකරුවන් මිටියාවතේ ළිං කණින විට ඔවුන්ට එහි දිය උල්පත් සහිත ළිඳක් සම්බ විය. 20 එහෙත් ගෙරාර්හි ගොපල්ලෝ, ”මේ වතුර අපගේ ය” කියමින් ඊසාක්ගේ ගොපලුන් සමඟ කලහ කළහ. ඔවුන් ඔහු සමඟ මෙලෙස කලහ කළ බැවින් ඒ ළිඳට ‘ඒසෙක්’ යන නම ඔහු දුනි. 21 ඔවුන් තවත් ළිඳක් කැණූ විට ගෙරාර්හි ගොපල්ලෝ ඒ ගැන ද කලහ කළහ. එබැවින් ඊට ‘සිත්නා’යි නම දුනි. 22 ඊසාක් ඉන්පසු එතැනින් නික්ම ගොස්, තවත් ළිඳක් කැණී ය. එහෙත් ඒ ගැන ඔවුන් කලහ නොකළ බැවින් එය ‘රෙහොබොත්’ යන නමින් හැඳින්විය. ළිඳ මෙසේ හඳුන්වා, ”දැන් ඉතින් සමිඳාණන් වහන්සේ අපට මේ රටෙහි ඉඩ කඩ දුන් සේක. අපි මේ රටෙහි සමෘද්ධ වන්නෙමු”යි කී ය.
23 පසුව ඔහු එතැනින් පිටත් ව, බෙයර්-ෂෙබාවට ගියේය. 24 එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක;
”නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය.
බිය නොවන්න.
නුඹ සමඟ ද මම සිටිමි;
නුඹට ආසිරි දෙමි.
මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා,
නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.”
25 ඊසාක් ද එහි පූජාසනයක් ඉදි කොට, සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය. තවද, එහි ඔහු තම කඳවුර පිහිටුවිය. එම ස්ථානයෙහි ද ඊසාක්ගේ මෙහෙකරුවෝ ළිඳක් කැණූ හ.

ඊසාක් සහ අබිමෙලෙක් රජ අතර ගිවිසුම

26 එකල ගෙරාර්හි සිට අබිමෙලෙක් ද, ඔහුගේ මිතුරෙකු වන අහුස්සත් ද, තම හමුදාවේ සේනාධිපති වන පීකොල් ද ඊසාක් වෙත ගියහ. 27 එවිට ඊසාක් ඔවුන් අමතා, ”මට වෛර කර, ඔබ වෙතින් මා පලවා හැරිය ඔබ හැම දැන් මා වෙත එන්නේ මන්දැ”යි ඇසී ය. 28 ඔව්හු ද, ”සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වන බව අපට ඒකාන්තයෙන් ම පැහැදිලි ය. එබැවින්, ‘දැන් ඉතින් ඔබ හා අප අතර දිවුරුමක් තිබිය යුතු ය. ඔබ සමඟ අපි, ගිවිසුමක් කරගනිමු’යි කියා අපි කතා කරගත්තෙමු. 29 ඒ අනුව අප ඔබට අත වත් නොතබා, යහපත ම පමණක් කර, සාමදානයෙන් ඔබ පිටත් කර හැරිය ලෙස ඔබත් අපට හිරිහැර නොකළ යුතු ය. ඔබ ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේගේ ආශීර්වාද ලත් තැනැත්තා ය”යි කී හ. 30 ඊසාක් ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කළ පසු, ඔව්හු කා බී, 31 පසු දින උදය වේලාසනින් නැඟිට තම තමන් අතර දිවුරුම් දුන්හ. ඊසාක් ඔවුන් පිටත් කර හැරිය විට, ඔව්හු සාමදානයෙන් ඔහු වෙතින් නික්ම ගියහ.
32 ඒ දවසේ ම ඊසාක්ගේ මෙහෙකරුවෝ විත් ඔවුන් කැණූ ළිඳක් ගැන කතා කරමින්, ”අපට වතුර සම්බ විය”යි ඔහුට කී හ. 33 ඔහු එය ෂිබා යන නමින් හැඳින් වී ය. එබැවින් අද දක්වා ම ඒ නගරයේ නම බෙයර්-ෂෙබා වේ.
34 තවද, ඒසව්ට වයස අවුරුදු සතළිසක් වූ කල ඔහු හිත්තීය ජාතික බෙයේරිගේ දුව වන ජුඩිත් ද, හිත්තීය ජාතික එලොන්ගේ දුව වන බෙසමත් ද යන කාන්තාවන් සරණ පාවාගත්තේ ය. 35 මොවුහු ඊසාක්ගේ හා රෙබෙකාගේ සිත් වේදනාවට හේතු වූ හ.

– 27 වන පරිච්ඡේදය –

ජාකොබ් ඊසාක්ගෙන් ආශීර්වාදය ලබාගැනීම

1 ඊසාක් මහලු වයසට පැමිණ, ඔහුගේ ඇස් ද නොපෙනෙන තරමට අඳුරු වී තිබිණි. ඔහු තම දෙටු පුත් ඒසව් කැඳවා, ”පුතා” කියා ඇමතී ය. ඔහු ද, ”ඇයි තාත්තේ” කියා උත්තර දුනි. 2 එවිට ඔහු කතා කොට, ”බලන්න, දැන් මම මහලු ය. කවදා මා මැරේ දැ යි නො දනිමි. 3 එබැවින් කරුණාකර නුඹ දැන් නුඹේ දඩයම් උපකරණ වන හී කොපුව සහ දුන්න රැගෙන වනයට ගොස්, මට මුව මස් රැගෙන, 4 මා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් පිළියෙළ කර එය ගෙනැවිත්, මට කන්න දෙන්න. එවිට මම මැරෙන්නට පෙර නුඹට ආශීර්වාද කරන්නෙමි”යි කී ය.
5 ඊසාක් සිය පුත් ඒසව්ට මෙය කියනු රෙබෙකා අසාගෙන සිටියා ය. ඒසව් ද දඩයම් කර මුව මස් ගෙනෙනු පිණිස වනයට පිටත් විය. 6 එවිට රෙබෙකා, තම පුත් ජාකොබ් අමතා, ”මෙය අහගන්න, නුඹේ පියා නුඹ සොහොයුරු ඒසව්ට කතා කොට, 7 ‘මට මුව මස් ගෙනැවිත් ප්‍රණීත ආහාරයක් පිස දෙන්න; මම ද එය අනුභව කොට මා මැරෙන්නට පෙර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම නුඹට ආශීර්වාද කරන්නෙමි’යි කියනු මම අසාගෙන සිටියෙමි. 8 එබැවින් මාගේ පුත්‍රය, දැන් මා කියන දේ කරන්න. 9 එළු රැළට ගොස්, හොඳ එළු පැටවුන් දෙන්නෙකු මට ගෙනැවිත් දෙන්න; එවිට මම නුඹේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිළියෙළ කරමි. 10 නුඹ ද එය නුඹේ පියා වෙත රැගෙන යන්න. එවිට ඔහු එය අනුභව කොට මැරෙන්නට පෙර, නුඹට ආශීර්වාද කරනු ඇතැ”යි කීවා ය.
11 එහෙත්, ජාකොබ් තම මව වන රෙබෙකාට කතා කොට, ”මාගේ සහෝදර ඒසව් ඇඟ පුරා මයිල් ඇති මිනිසෙකි. එහෙත්, මම සිනිඳු හමක් ඇති කෙනෙක්මි. 12 අහම්බෙන් වත් මාගේ පියා මා අතගා බැලුවහොත්, මා කපටියෙකු මෙන් ඔහුට පෙනෙන්න පුළුවන. එසේ වුණොත් ආශීර්වාදයක් නොව මට ම සාපයක් කරගනු ඇතැ”යි කීවේ ය. 13 එවිට මව ඔහු අමතා, ”පුතා, ඒ සාපය මා පිට වැටේ වා! මට කීකරු ව, මා කී දේ සොයාගෙන එන්නැ”යි කීවා ය. 14 ඔහු ද ගොස්, එළු පැටියන් දෙන්නෙකු රැගෙන මව වෙත ගෙනාවේ ය. මව ඔහුගේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිසුවා ය. 15 පසුව ඈ, ගෙදර තිබුණු දෙටු පුත් ඒසව්ගේ අගනා වස්ත්‍ර රැගෙන, තම බාල පුත් ජාකොබ්ට හඳවා, 16 ඔහුගේ අත් දෙක හා බෙල්ලේ සිනිඳු හරිය එළු හම්වලින් වසා, 17 ඈ පිසූ ප්‍රණීත ආහාරය ද රොටි ද ඔහු අත තැබුවා ය.
18 ඔහු ද පියා වෙත පැමිණ, ”තාත්තේ” කියා ඇමතී ය. පියා ද, ”ඇයි පුතා, උඹ කවරෙක් දැ”යි ඇසී ය. 19 එවිට සිය පියාට ජාකොබ් උත්තර දෙමින්, ”මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් ය. ඔබ කී පරිදි මම ඉටු කෙළෙමි. කරුණාකර, නැඟිට, වාඩි වී, මාගේ මුව මස් අනුභව කරන්න. එවිට මට ආශීර්වාද කරන්න ඔබට පුළුවනැ”යි කී ය. 20 ඊසාක් තම පුතුට කතා කරමින්, ”පුතා, උඹ මේවා මෙතරම් ඉක්මනින් සොයාගත්තේ කෙසේ දැ”යි ඇසී ය. ”ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේවා මට ඉක්මනින් ලැබෙන්නට සැලැසූ සේකැ”යි ඔහු උත්තර දුනි.
21 එවිට ඊසාක් ජාකොබ් අමතමින්, ”පුතා, උඹ මේ මාගේ පුත්‍ර ඒසව් ද නැද්දැ යි අතගා බලන්න, කරුණාකර මට කිට්ටු වෙන්නැ”යි කී ය. 22 ජාකොබ් ද පියා සමීපයට කිට්ටු වූ විට පියා ඔහු අතගා බලමින්, ”කටහඬ නම් ජාකොබ්ගේ වගෙයි; අත් දෙක නම් ඒසව්ගේ හැඩය”යි කී ය. 23 සිය සොහොයුරුගේ අත් දෙක මෙන් ඔහුගේ අත් ලොම්වලින් වැසී තිබුණ බැවින්, ඔහු තම පුතා හැඳින නොගත්තේ ය. එබැවින් ඔහු ආශීර්වාද කරන්නට අරඹමින්, 24 ”නුඹ මාගේ පුත් ඒසව් ම දැ”යි ඇසී ය. ”එසේ ය”යි ඔහු ද උත්තර දුනි. 25 ”එසේ නම් නුඹ පිළියෙළ කළ මුව මස් අනුභව කොට මා නුඹට ආශීර්වාද කරනු පිණිස එය මා ළඟට ගෙනෙන්නැ”යි ඊසාක් කී ය. ඔහු එය පියා ළඟට ගෙනා විට පියා එය අනුභව කෙළේ ය. තවද ජාකොබ් මිදියුස ද ගෙනා විට, පියා එය ද පානය කෙළේ ය. 26 ඉන්පසු ඔහුගේ පියා වන ඊසාක්, ඔහු අමතමින්, ”පුතා, දැන් මා ළඟට කිට්ටු වී මා සිඹින්නැ”යි ඉල්ලී ය. 27 ඔහු ද ළඟට කිට්ටු වී පියා සිඹගත්තේ ය. එවිට පියාට තම පුත්‍රයාගේ වස්ත්‍රවල සුවඳ දැනී, ඔහුට මෙසේ ආශීර්වාද කෙළේ ය:
”බලන්න, මා පුතු සුවඳ, සමිඳුන් ආසිරි දුන් කෙතක සුවඳ මෙනි.
28 අහසින් පිනි ද පොළොවේ සරු බව ද බොහෝ ධාන්‍ය හා මිදියුස ද දෙවිඳාණෝ නුඹ හට දෙන සේක් වා!
29 ජනයෝ නුඹට මෙහෙකරත් වා!
ජාතීහු නුඹට හිස නමත් වා!
සොහොයුරන්ගේ අධිපති නුඹ වේ වා!
නුඹේ මවගේ පුත්තු නුඹට හිස නමත් වා!
නුඹට සාප කරන්නාට සාප වේ වා!
නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේ වා!”
30 ඊසාක් ජාකොබ්ට ආශීර්වාද දී නිමවා, ඔහු තම පියා වෙතින් යද්දී ම ඔහු සොහොයුරු වන ඒසව් දඩයමෙන් හැරී ඇවිත් ගෙට ඇතුළු විය. 31 ඔහු රස මුසු ආහාරයක් පිළියෙළ කොට, පියා වෙත ගෙනැවිත්, ඔහුට කතා කරමින්, ”තාත්තේ, නැඟිට, මට ආශීර්වාද කරනු පිණිස ඔබ පුතු ගෙනා මුව මස් අනුභව කරන්නැ”යි ඉල්ලී ය. 32 එවිට තම පියා වූ ඊසාක් ඔහුට කතා කරමින්, ”නුඹ කවරෙක් දැ”යි ඇසූ විට, ”මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් යැ”යි ඔහු උත්තර දුනි.
33 ඊසාක් ද තදින් තැති ගෙන, ගැහි ගැහී, ”එසේ නම් දඩයම් කර මුව මස් මා වෙත ගෙනාවේ කවරෙක් ද? නුඹ එන්න පෙර මම ඒ සියල්ලෙන් අනුභව කොට ඔහුට ආශීර්වාද කෙළෙමි. සැබැවින් ම ඒ ආශීර්වාදය ඔහු සමඟ පවතින්නේ යැ”යි කී ය. 34 පියාගේ මේ වචන ඇසූ විට ඒසව් ඉතා දැඩි සිත් වේදනාවෙන් කෑගසා, හඬා වැලපී, පියාට කතා කොට, ”අනේ මගේ තාත්තේ, මට ආශීර්වාද කරන්න, මටත් ආශීර්වාද කරන්නැ”යි කියා ඉල්ලී ය. 35 පියා ද උත්තර දෙමින්, ”කූට උපායකින් නුඹේ සහෝදරයා පැමිණ නුඹේ ආශීර්වාදය උදුරාගත්තේ ය”යි කී ය.
36 එවිට ඒසව්, ”ඔහු දෙවරක් ම මට ලැබිය යුතු දේ උදුරාගත්තේ ඔහුගේ නම ජාකොබ් නිසා වෙන්න ඇත. ඔහු කලින් මාගේ කුලුඳුල්කමේ උරුමය ගත්තේ ය. මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් උදුරාගත්තේ ය. ඔබ මටත් ආශීර්වාදයක් ඉතිරි කර නැද්දැ”යි ඇසී ය. 37 ඊසාක් ද පිළිතුරු දෙමින් ඔහුට කියනුයේ, ”බලන්න, මම ජාකොබ් නුඹේ අධිපතියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් සේවකයන් කොට මම ඔහුට දුනිමි. ධාන්‍යයෙන් හා මිදියුසින් මම ඔහු සමෘද්ධ කෙළෙමි. මා පුත්‍රය, දැන් මා නුඹට කුමක් කරන්න දැ”යි ඇසී ය. 38 ඒසව් ද ඔහුට පිළිතුරු දෙමින්, ”තාත්තේ, ඔබට ඇත්තේ එක ම ආශීර්වාදයක් පමණක් ද? අනේ තාත්තේ, මටත්, මේ මටත්, ආශීර්වාද කරන්නැ”යි ඉල්ලා, මහ හඬින් කෑගසා හැඬී ය. 39 එවිට ඔහුගේ පියා වන ඊසාක් උත්තර දෙමින් මෙසේ කීවේ ය:
”මේ බලන්න, පොළොවේ පලදාව ද, අහසේ පිනි ද නුඹේ ගෙවතුවලින් තොර වේ.
40 කඩුවෙන් නුඹ ජීවත් වන්නෙහි ය.
සොහොයුරු හට මෙහෙ කරන්නෙහි ය.
එහෙත් නුඹ ඔහු යටත් කළ විට ඔහුගේ වියගස නුඹේ කරින් ගසාදමනු ඇත.”
41 තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. ”මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය.
42 දෙටු පුත් ඒසව්ගේ මේ වචන රෙබෙකාට දන්වන ලදින් ඈ පණිවුයක් යවා, තම බාල පුත් ජාකොබ් කැඳවා, ”මෙන්න, නුඹේ සොහොයුරු ඒසව් නුඹ මරා, නුඹෙන් පළිගන්න අදහස් කරයි. 43 එබැවින් දැන් ඉතින් පුතේ, නැඟිට හාරාන්හි මාගේ සහෝදර ලාබන් වෙත පලායන්න, 44 පලාගොස්, නුඹ සොහොයුරුගේ දරුණු කෝපය පහ වී, 45 ඔහුගේ කෝපාග්නිය නිවී, නුඹ ඔහුට කළ දේ අමතක වන තුරු මාගේ සහෝදරයා සමඟ ටික කලක් නවතින්න. පසුව මම නුඹට පණිවුඩයක් එවා, එහෙන් නුඹ ගෙන්වාගන්නෙමි. එක දවසේ ම මා නුඹලා දෙදෙනා ම නැති කරගන්නේ කුමට දැ”යි කීවා ය.

ජාකොබ් ලාබන් වෙත යෑම

46 රෙබෙකා ඊසාක්ට කතා කොට, ”හෙත්ගේ දූවරුන් නිසා මට ජීවිතය එපා වී තිබේ. ජාකොබ් ද මේ රටේ ස්ත්‍රීන් වැනි, හෙත්ගේ දූවරුන්ගෙන් කාන්තාවක සරණ පාවාගත්තොත් මට මාගේ ජීවිතයෙන් මොන වැඩක්දැ”යි කීවා ය.

– 28 වන පරිච්ඡේදය –

1 ඊසාක් ද, ජාකොබ් කැඳවා, ඔහුට ආශීර්වාද කොට අණ කරමින්, ”නුඹ කානානිය ස්ත්‍රීන්ගෙන් භාර්යාවක සරණ පාවා නොගත යුතු ය. 2 නැඟිට, මෙසොපොතේමියාවේ නුඹේ මවගේ පියා වන බෙතුයෙල්ගේ ගෙදරට යන්න; එහි ගොස් නුඹේ මවගේ සහෝදර වූ ලාබන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක සරණ පාවාගන්න; 3 සියලු බලැති දෙවියන් වහන්සේ නුඹට ආශීර්වාද කොට, නුඹ සමෘද්ධ කර, නුඹ ජාතීන් සමූහයක් වන පිණිස, උන් වහන්සේ නුඹ වැඩි වර්ධනය කරන සේක් වා! 4 තවද, උන් වහන්සේ ආබ්‍රහම්ට දුන්, නුඹ දැන් විදේශිකයෙකු ව වසන රට, නුඹට උරුම වන පිණිස, ආබ්‍රහම්ගේ ආශීර්වාදය නුඹටත් නුඹේ පෙළපතටත් දානය කරන සේක් වා”යි කී ය. 5 මෙලෙස කියා, ඊසාක් ජාකොබ් පිටත් කොට හැරියේ ය. ඔහු මෙසොපොතේමියාවේ අරමීය ජාතික බෙතුයෙල්ගේ පුත් ලාබන් වෙත ගියේය. ලාබන්, ජාකොබ්ගේ හා ඒසව්ගේ මව වන රෙබෙකාගේ සහෝදරයා ය.
6 ඊසාක් ජාකොබ්ට ආශීර්වාද කොට, මෙසොපොතේමියාවෙන් බිරිඳක සරණ පාවාගනු පිණිස එහි යැවූ බව ද, ඔහු ආශීර්වාද කරද්දී, ”කානානිය ස්ත්‍රීන්ගෙන් බිරිඳක පාවා නොගත යුතු ය”යි ඔහුට අණ කළ බව ද, 7 ජාකොබ්, පියාට හා මවට කීකරු ව මෙසොපොතේමියාවට ගිය බව ද ඒසව් දිටී ය. 8 මෙසේ ඒසව් තම පිය ඊසාක්ට, කානානිය කාන්තාවන් රිසි නො වූ බව තේරුම්ගත් විට 9 ඔහු ඉෂ්මායෙල් වෙත ගොස්, තමාට සිටි භාර්යාවන්ට අමතර ව, ආබ්‍රහම් පුත් ඉෂ්මායෙල්ගේ දුව වන නෙබායොත්ගේ සහෝදරී මහලත් ද, තම භාර්යාව වශයෙන් සරණ පාවාගත්තේ ය.

ජාකොබ් දුටු සිහිනය

10 ජාකොබ් බෙයර්-ෂෙබායෙන් නික්ම හාරාන් බලා ගියේය. 11 ඔහු එක්තරා ස්ථානයකට පැමිණ, ඉර බැස ගිය හෙයින්, මුළු රාත්‍රිය ම එහි ගත කෙළේ ය. තවද, ඔහු එතැනින් ගලක් රැගෙන, එය මත හිස තබාගෙන නිදන්නට විය. 12 එවිට ඔහු සිහිනයක් දිටී ය. පුදුමයකි! පොළොවෙහි තබන ලද ඉණිමඟකි. එහි මුදුන අහස දක්වා විය. මෙන්න, දෙවියන් වහන්සේගේ දූතයෝ එහි නඟිමින් ද බසිමින් ද සිටියෝ ය. 13 සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, ”මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි. 14 තවද, නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී, උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර දිශාවල පැතිර යන්නේ ය. මිහි පිට සියලු ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මඟින් තමන් ආශීර්වාද කරගන්නෝ ය. 15 මෙන්න, මම ද නුඹ සමඟ සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මෙම දේශයට ම නුඹ නැවත ගෙනෙන්නෙමි. මන්ද, මා නුඹට කී දේ ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි”යි වදාළ සේක. 16 ජාකොබ් නින්දෙන් අවදි ව, ”සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය. 17 ඔහු බිය වී, ”මේ ස්ථානය කෙතරම් බියකරු ද? මෙය අනෙකක් නොව දෙවියන් වහන්සේගේ ගෘහයකි; මෙය ස්වර්ගයේ දොරටුව ය”යි පැවසී ය.
18 ජාකොබ් අලුයම නැඟිට, තම හිසට තැබූ ගල ගෙන, සිහිවටනයක් කොට එය සිටුවා, එහි මුදුනේ තෙල් වත් කෙළේ ය. 19 තවද, ඔහු ඒ ස්ථානයට දෙවියන් වහන්සේගේ ගෘහය යන අර්ථය ඇති බෙතෙල් යයි නම් කෙළේ ය. එහෙත් ඒ නගරයට ඊට කලින් තිබූ නම ලූස් ය. 20 ඔහු භාරයක් ඔප්පු කරමින්, ”දෙවියන් වහන්සේ මා සමඟ වැඩසිට, මෙසේ මා යන මඟ ආරක්ෂා කර, මට කන්නට ආහාර ද අඳින්නට වස්ත්‍ර ද දෙන සේක් නම්, 21 අනතුරක් නොමැති ව මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්න සලස්වන සේක් නම්, සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක. 22 තවද, සිහිවටනයක් මෙන් මා සිටවූ මේ ගල දෙවියන් වහන්සේගේ ගෘහය වන්නේ ය. ඔබ මට දෙන සියල්ලෙන් සැබැවින් ම මම ඔබට දසයෙන් කොටසක් දෙන්නෙමි”යි කී ය.

– 29 වන පරිච්ඡේදය –

ජාකොබ් ලාබන්ගේ නිවසට පැමිණීම

1 ජාකොබ් ගමන් කොට පෙරදිග ජනයාගේ දේශයට පැමිණියේ ය. 2 එවිට ඔහු බැලූ කල පුදුමයකට පිට්ටනියේ ළිඳක් ද, ළිඳ ළඟ වැතිර සිටි බැටළු රැළවල් තුනක් ද දිටී ය. බැටළුවන්ට වතුර දෙන ලද්දේ ඒ ළිඳෙන් ය. තවද, ළිං කටේ තැබූ විශාල ගලක් විය. 3 බැටළු රැළවල් සියල්ල ම එතැනට එකතු වූ විට, එඬේරු ළිං කටින් ගල පෙරළා බැටළුවන්ට වතුර දුන් පසු, ළිං කටේ තිබූ තැන ම ගල නැවත තැබූ හ.
4 ජාකොබ් එඬේරුන් අමතා, ”සහෝදරයෙනි, ඔබ කොහේ සිට ආවහු දැ”යි ඇසූ විට, ”අපි හාරාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ. 5 ඔහු නැවත කතා කරමින්, ”නාහෝර්ගේ පුත් ලාබන්, ඔබ දන්නහු දැ”යි ඇසූ විට, ”අපි ඔහු දන්නෙමු”යි ඔව්හු පිළිතුරු දුන්හ. 6 එවිට ජාකොබ් ඔවුන් අමතමින්, ”ඔහු සුව සේ සිටී දැ”යි ඇසූ විට, ”ඔහු සුව සේ සිටියි. අර බැටළුවන් සමඟ එන්නී ඔහුගේ දියණිය වන රාකෙල් ය”යි ඔව්හු කී හ. 7 එවිට ජාකොබ්, ”තවමත් මද්දහන ය. බැටළු රැළවල් රැස් කරන වේලාව නොවෙයි; එබැවින් බැටළුවන්ට වතුර දී, තණ බිමට ඔවුන් ආපසු ගෙනයන්නැ”යි කී ය. 8 ඔව්හු උත්තර දෙමින්, ”බැටළු රැළවල් සියල්ල ම එකතු කර, ළිං කටින් ගල පෙරළාදමන තුරු, අපට එසේ කළ නොහැක. බැටළුවන්ට වතුර දෙන්නේ එවිට ය”යි කී හ.
9 ජාකොබ් මෙසේ ඔවුන් සමඟ කතා කරමින් සිටිය දී රාකෙල් තම පියාගේ බැටළුවන් සමඟ පැමිණියා ය. මන්ද, උන් රැකබලාගත්තේ ඈ ය. 10 ජාකොබ් තම මාමා වන ලාබන්ගේ දුව වන රාකෙල් ද තම මාමාගේ බැටළුවන් ද දුටු විට, ඔහු ළං වී, ළිං කටින් ගල අහකට පෙරළා, තම මාමාගේ බැටළුවන්ට වතුර බොන්න දුන්නේ ය. 11 පසුව ඔහු රාකෙල් සිඹගෙන, මහ හඬින් හැඬී ය. 12 තවද, තමා ඇගේ පියාගේ නෑයෙකු බවත්, රෙබෙකාගේ පුත්‍රයා බවත් ඔහු රාකෙල්ට දැන්වී ය. ඈ ද දිව ගොස් තම පියාට ඒ බව දැන්වූවා ය. 13 ලාබන් තම සොහොයුරීගේ පුත් ජාකොබ්ගේ වගතුග ඇසූ විට, ඔහු හමු වීමට දිව ගොස්, ඔහු සිප වැළඳගෙන තම නිවසට ඔහු ගෙනාවේ ය. 14 එවිට ලාබන් ඔහුට කතා කොට, ”සැබැවින් ම ඔබ මාගේ ම මස් හා ලේ නෑයෙක් ය”යි කී ය. ජාකොබ් ද ඔහු සමඟ මාසයක් විසී ය.

ජාකොබ්ගේ විවාහය

15 ඉන්පසු ලාබන් ජාකොබ්ට කතා කොට, ”ඔබ මාගේ ඥාතියෙකු නිසා නොමිලේ මට සේවය කිරීම යුතු ද? ඔබේ වේතනය කුමක් දැ යි මට දන්වන්නැ”යි කී ය. 16 ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියාහ. වැඩිමලාගේ නම ලෙයා ය; බාලයාගේ නම රාකෙල් ය. 17 ලෙයාගේ ඇස් සිවුමැලි ය; රාකෙල් රූමත් ය, සුකොමල ය, 18 ජාකොබ් රාකෙල්ට පෙම් බැඳ, ”ඔබේ බාල දූ වන රාකෙල් නිසා අවුරුදු සතක් මම ඔබට සේවය කරන්නෙමි”යි කී ය. 19 ලාබන් ද කතා කොට, ”වෙන මිනිසෙකුට ඈ පාවා දෙනවාට වඩා, ඔබට ඈ දීම හොඳ ය. එබැවින් මා සමඟ නවතින්නැ”යි උත්තර දුනි. 20 ජාකොබ් ද රාකෙල් නිසා අවුරුදු සතක් සේවය කෙළේ ය. එහෙත්, ඔහු ඈට ප්‍රේම කළ බැවින් ඒ ගත කළ කාලය ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟිණි.
21 ඉන්පසු ජාකොබ් ලාබන්ට කතා කොට, ”මාගේ සේවා කාලය දැන් සම්පූර්ණ වී ඇත. මාගේ භාර්යාව සමඟ එක් වනු පිණිස ඇය මට දෙන්නැ”යි ඉල්ලී ය. 22 ලාබන් එහි සිටි සියලු මිනිසුන් කැඳවා මංගල භෝජනයක් පැවැත්වී ය. 23 පසුව එම රාත්‍රියේ ඔහු, තම දුව වන ලෙයා කැඳවා ගෙන ජාකොබ් වෙත ගෙනාවේ ය. ජාකොබ් ද ඈ සමඟ එක් විය. 24 තවද, ලාබන් තම දාසිය වන ශිල්පා, ලෙයාගේ සේවිකාව වශයෙන් තම දුවට දුන්නේ ය. 25 පසු දින උදය පහන් වූ කල පුදුමයකට මෙන්, එහි සිටියේ ලෙයා ය. එවිට ඔහු ලාබන් අමතා, ”ඔබ මට කළ මේ දේ කුමක් ද? මා ඔබට සේවය කෙළේ රාකෙල් නිසා නොවේ ද? ඔබ මා රැවටුවේ මන්දැ”යි ඇසී ය. 26 ලාබන් ද උත්තර දෙමින්, ”වැඩිමලාට කලින් බාලයා සරණ පාවා දීම අපේ රටේ සිරිත නොවේ. 27 ඇගේ මංගල සතිය සම්පූර්ණ කරන්න, ඔබ මට තව සත් අවුරුද්දක් සේවය කරන්නෙහි නම් රාකෙල් ද ඔබට සරණ පාවා දෙන්නෙමි”යි කී ය. 28 ජාකොබ් ද එසේ කර, මංගල සතිය සම්පූර්ණ කළ පසු, ලාබන් ඔහුට තම දුව වන රාකෙල්, බිරිඳ වශයෙන් සරණ පාවා දුන්නේ ය. 29 ඔහු, තම දාසිය වන බිල්හා, තම දුව වන රාකෙල්ට ඇගේ සේවිකාව වශයෙන් දුනි. 30 ජාකොබ්, රාකෙල් සමඟ ද එක් වුණි. ඔහු ලෙයාට වඩා රාකෙල්ට ප්‍රේම කළේ ය. තව අවුරුදු සතක් ද ලාබන්ට සේවය කෙළේ ය.

ජාකොබ්ගේ දරුසම්පත

31 තවද, ලෙයා සිය සැමියාට නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු විට, උන් වහන්සේ ඈට පිළිසිඳගන්නට සැලැස්සූ සේක. එහෙත්, රාකෙල් වඳ ස්ත්‍රියක් වූවා ය. 32 ලෙයා ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. එවිට ඈ, ”සමිඳාණන් වහන්සේ මාගේ දුක බැලූ සේක. දැන් වත් මාගේ සැමියා මට ප්‍රේම කරනු ඇතැ”යි කියමින් ඈ ඔහුට රූබන් යන නම දුන්නා ය. 33 ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ”මා නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු බැවින් උන් වහන්සේ මට මේ පුතු ද, දුන් සේකැ”යි කියමින් ඈ ඔහුට සිමියොන් යන නම තැබුවා ය. 34 ඈ නැවතත් පුතෙකු ලැබුවා ය. ”මා මාගේ ස්වාමි පුරුෂයා හට පුතුන් තිදෙනෙකු දුන් බැවින් දැන් වත් ඔහු මට ඇලුම් වන්නේ ය” කියා ඈ ඔහුට ලෙවී යන නම තැබුවා ය. 35 ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ඈ, ”දැන් මම සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමි”යි කියමින් ඔහුට ජුදා යන නම දුන්නා ය. ඉන්පසු ඇගේ ගැබ් ගැනීම නැවතිණි.

– 30 වන පරිච්ඡේදය –

1 රාකෙල් තමා ජාකොබ්ට දාව දරුවන් නොලැබූ බව දුටු විට ඈ සිය සොහොයුරියට ඊර්ෂ්‍යා කරමින්, ජාකොබ් අමතා, ”මට දරුවන් දෙන්න, නැත්නම් මම නසිමි”යි කීවා ය. 2 එවිට ජාකොබ් ඈ සමඟ කෝපයෙන් දැවී, ”මට දෙවියන්ගේ තැන ගත හැකි ද? ගැබ්ගැනීමෙන් ඔබ වළක්වා ඇත්තේ උන් වහන්සේ ය”යි පැවසී ය. 3 ඈ ද කතා කරමින්, ”මෙන්න, මාගේ සේවිකාව වන බිල්හා, ඈ සමඟ එක් වන්න. ඇගෙන් මට දරුවන් ලබාගත හැක. මෙලෙස ඈ මඟින් මට දරුවන් ඇති වේ ය”යි කීවා ය. 4 මෙසේ කියා ඈ තම සේවිකාව වන බිල්හා ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. ඔහු ද ඈ සමඟ එක් වුණි. 5 ඈ ගැබ්ගෙන, ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය. 6 එවිට රාකෙල්, ”දෙවියන් වහන්සේ මට යුක්තිය ඉටු කළ සේක. උන් වහන්සේ මාගේ හඬටත් සවන් දී, මට පුතෙකු දුන් සේකැ”යි කියා ඔහුට දාන් යන නාමය තැබුවා ය. 7 රාකෙල්ගේ සේවිකාව වන බිල්හා නැවතත් ගැබ්ගෙන ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය. 8 එවිට රාකෙල්, ”මාගේ සහෝදරී සමඟ මාර යුද්ධයක් කර ජය ගතිමි”යි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවා ය.
9 ලෙයා ද, තම ගැබ්ගැනීම නැවතුණු බව දුටු විට ඈ ඇගේ සේවිකාව වන ශිල්පා රැගෙන, ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. 10 ශිල්පා ද ගැබ්ගෙන ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය. 11 එවිට ලෙයා, ”මම කෙතරම් වාසනාවන්ත ද” කියා ඔහුට ගාද් යන නාමය තැබුවා ය. 12 ලෙයාගේ සේවිකාව වන ශිල්පා ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය. 13 එවිට ලෙයා, ”මම කෙතරම් භාග්‍යවන්ත ද? ස්ත්‍රීහු මා ‘භාග්‍යවන්තී ය’යි පවසන්නෝ ය” කියා ඈ ඔහුට ආෂෙර් යන නාමය තැබුවා ය.
14 තිරිඟු අස්වැන්න නෙළන කාලයේ දී රූබන් කෙතට ගොස්, එහි, දුදායිම් නම් පැළ කීපයක් සොයාගෙන විත් තම මව වන ලෙයාට දුනි. එවිට රාකෙල් ඈට කතා කොට, ”කරුණාකර, මට ඔබේ පුත්‍රයා ගෙනා දුදායිම් පැළවලින් ටිකක් දෙන්නැ”යි කීවා ය. 15 ඈ රාකෙල්ට උත්තර දෙමින්, ”ඔබ මාගේ සැමියා පාවාගත්තා මදි ද? දැන් මා පුතුන්ගේ දුදායිම් පැළ ටිකත් පැහැරගන්න ද යන්නේ” කියා කීවා ය. එවිට රාකෙල් ද, ”හොඳයි, එසේ නම් ඔබ පුතුන්ගේ දුදායිම් පැළ මට දුන්නොත් අද රාත්‍රියේ මාගේ සැමියා සමඟ ඔබට සැතපෙන්නට පුළුවනැ”යි කීවා ය.
16 සවස් කාලයේ දී ජාකොබ් කෙතේ සිට එන විට, ලෙයා ඔහු හමුවීමට ගොස්, ”ඔබ මා වෙත පැමිණිය යුතු ය. මා පුතුන්ගේ දුදායිම් පැළ දීමෙන් මම ඔබ කුලියට ගත්තෙමි”යි ඈ කීවෙන් එදා රාත්‍රියේ ඔහු ඈ සමඟ සැතපුණේ ය. 17 දෙවියන් වහන්සේ ලෙයාට සවන් දුන් සේක; ඈ ගැබ්ගෙන ජාකොබ්ට දාව පස් වන පුතෙකු ලැබුවා ය. 18 එවිට ලෙයා, ”මාගේ සේවිකාව මාගේ සැමියාට දුන් බැවින් දෙවියන් වහන්සේ මාගේ කුලිය ගෙවූ සේකැ”යි කියා ඔහුට ඉස්සාකර් යන නාමය තැබුවා ය. 19 ලෙයා නැවතත් ගැබ්ගෙන, ජාකොබ්ට දාව සය වන පුතු ලැබුවා ය. 20 ”දෙවියන් වහන්සේ මට මහඟු දායාදයක් දුන් සේක. මාගේ සැමියාට දාව මා පුතුන් සය දෙනෙකු ලැබූ බැවින් දැන් වත් ඔහු මට ගරු කරන්නේ ය”යි කියා ඈ තම පුතුට සාබුලොන් යන නාමය දුන්නා ය. 21 පසුව ඈ දුවක ලැබුවා ය. ඈට දීනා යන නාමය තැබුවා ය.
22 තවද, දෙවියන් වහන්සේ රාකෙල් සිහි කර ඈට සවන් දී, ඈට ගැබ්ගැනීමට සැලැස්සූ සේක. 23 ඈ ද ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ”දෙවියන් වහන්සේ මාගේ නින්දාව පහකළ සේකැ”යි කියමින්, 24 ඈ ඔහුට ජෝසෙප් යන නාමය දී, ”සමිඳාණන් වහන්සේ මට තවත් පුතෙකු එකතු කරන සේක් වා!”යි කියා පැතුවා ය.

ලාබන් සමඟ ජාකොබ්ගේ ගනුදෙනුව

25 රාකෙල් ජෝසෙප් ලැබූ පසු ජාකොබ් ලාබන්ට කතා කොට, ”මාගේ ම ගෘහයට, මාගේ ම දේශයට යන පිණිස මා යන්න හරින්න. 26 මාගේ භාර්යාවන් මට දෙන්න, මම ඔවුන් නිසා ඔබට සේවය කෙළෙමි. මාගේ දරුවන් ද මට දී මා යන්න හරින්න. ඔබට මා කළ සේවය ඔබ දන්නෙහි ය”යි කී ය. 27 ලාබන් ඔහුට උත්තර දෙමින්, ”ඔබ මට කරුණාව දක්වන්නෙහි නම් මට සවන් දෙන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මට ආශීර්වාද කළ බව මම නිමිති බැලීමෙන් දැනගතිමි. 28 ඔබේ කුලිය නියම කරන්න; මම එය ඔබට ගෙවන්නෙමි”යි කී ය. 29 එවිට ජාකොබ් ඔහු අමතමින්, ”ඔබට මම කෙසේ සේවය කෙළෙම් ද කියාත්, ඔබේ ගව පට්ටි මා බාරේ සිටි සැටිත් ඔබ දන්නෙහි ය. 30 මා පැමිණෙන්න පෙර ඔබ සතු ස්වල්ප දේ, දැන් ඉමහත් ලෙස බහුල වී ඇත. මා පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කළ සේක. දැන් ඉතින් මාගේ පවුලේ අභිවෘද්ධිය තකා මම යමක් සපයන්නේ කවරදා දැ”යි ඇසී ය.
31 ඔහු ද උත්තර දෙමින්, ”මා ඔබට කුමක් ගෙවිය යුතු දැ”යි ඇසූ විට, ”ඔබ මට කිසිවක් දෙන්න උවමනා නැත. මා මේ කියන්න යන දේ ඔබ මට ඉටු කරන්නෙහි නම්, මම නොකඩවා ම ඔබේ බැටළු රැළ කවා පොවා රැකබලාගන්නෙමි. 32 මම අද ඔබේ බැටළු පට්ටි මැදින් ගමන් කරමි. බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද එළුවන්ගෙන් තිත් සහ පුල්ලි ඇති උන් ද වෙන් කරමි. මාගේ කුලිය එය වේ. 33 තවද, මාගේ අවංක භාවය ද ඔබට සොයාගත හැක. ඔබ මාගේ කුලිය ගැන සෝදිසි කර බලන විට, එළුවන් අතරෙන් තිත් හෝ පුල්ලි හෝ නැති එකෙකු වත් බැටළුවන් අතරෙන් කළු පාට නැති එකෙකු වත් මට සිටියොත් ඌ සොරාගත් එකෙකු සැටියට ඔබට ගණන් ගත හැකි ය”යි කීවේ ය. 34 ලාබන් ද, ”හොඳයි, ඔබ කී ලෙස සිදුවේවා”යි පිළිතුරු දුනි. 35 එහෙත්, ලාබන් එදින එළුවන්ගෙන් වයිරම් සහ පුල්ලි වැටුණු උන් ද, එළු දෙනුන්ගෙන් තිත් සහ පුල්ලි සහිත සියලු සතුන් ද, සුදු පාට ඇති උන් ද, බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද වෙන් කර, තම පුතුන් හට බාර දී 36 ජාකොබ්ගෙන් වෙන් ව තුන් දිනක් දුර ගමන් කෙළේ ය. ජාකොබ් ද ලාබන්ගේ ඉතිරි බැටළු රැළවල් පෝෂණය කෙළේ ය.
37 ඉන්පසු ජාකොබ්, ලිබ්නෝ, ලුස් සහ ආර්මොන් යන ගස්වලින් අමු දඬු ගෙන, ඒවායේ සුද පෙනෙන ලෙස, පටු තීරු වශයනේ පොතු ගලවා, 38 එළු බැටළු රැළවල් වතුර බොන්න ආ විට, උන් ඉදිරිපිට, වතුර ඔරුවල ඒවා තැබුවේ ය. උන් ද වතුර බොන්න ආ කල පට්ටි ගැසුණි. 39 මෙසේ ඒ සත්තු, දඬු ඉදිරියෙහි පට්ටි ගැසී, ගැබ්ගෙන, වයිරම් වැටුණු, තිත් සහ පුල්ලි ඇති පැටවුන් බිහි කළහ. 40 පසුව ඔහු බැටළුවන් වෙන් කර ලාබන්ගේ රැළේ සිටි කළු පාට වූ ද, වයිරම් වැටුණා වූ ද සතුන් දෙසට ඔවුන් හැරෙව්වේ ය. ඇරත් ඔහු තමාගේ පට්ටි, ලාබන්ගේ සතුන් සමඟ මිශ්‍ර නොකර, උන් වෙන් කොට තැබී ය. 41 තවද, ඔහු, වඩා ශක්තිමත් සතුන් පට්ටි ගසන සැම විට ම, දඬු ඉදිරියේ ගැබ්ගන්න පිණිස, සතුන් ඉදිරියේ වතුර ඔරුවල ඒවා තැබී ය. 42 එහෙත්, සත්තු බෙලහීන ව සිටියෝ නම්, ඔහු ඒ දඬු නොතැබී ය. මෙසේ කිරීමෙන් බෙලහීන සත්තු ලාබන්ගේ වූ හ. ශක්තිමත් වූවෝ ජාකොබ්ගේ වූ හ. 43 මෙලෙසින් ජාකොබ් අතිශයින් ධනවත් විය. ඔහුට බොහෝ එළු බැටළු රැළවල් ද දාස දාසීහු ද ඔටුවෝ ද කොටළුවෝ ද වූ හ.

– 31 වන පරිච්ඡේදය –

ජාකොබ් පලායාම

1 ”ජාකොබ් අපේ පියා සතු සියල්ල පැහැරගත්තේ ය. අපේ පියා සතු දෙයින් ඔහු තම සියලු සම්පත් ලබා ගත්තේ ය” කියා ලාබන්ගේ පුතුන් කියනු ජාකොබ්ට ඇසිණි. 2 ඇරත් තමා කෙරෙහි ඔහු කලින් මෙන් ප්‍රිය මනාප නො වූ බව ලාබන්ගේ මුහුණින් ම ජාකොබ්ට පෙනී ගියේය. 3 තවද, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ”ඔබේ පියවරුන්ගේ දේශයට, ඔබේ නෑයන් වෙතට ආපසු යන්න. මම ද ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.
4 එවිට ජාකොබ්, රාකෙල් සහ ලෙයා වෙත පණිවුඩයක් යවා, තමාගේ සතුන් සිටි පිට්ටනියට ඔවුන් කැඳවා, 5 ”ඔබේ පියා මා කෙරෙහි කලින් මෙන් ප්‍රිය මනාප නොවන බව ඔහුගේ මුහුණින් මට පෙනේ. එහෙත්, මාගේ පියාගේ දෙවියන් වහන්සේ මා සමඟ වැඩ සිටින සේක. 6 තවද, මාගේ මුළු ශක්තිය යොදා මා ඔබේ පියාට සේවය කළ බව ඔබ දන්නහු ය. 7 එහෙත්, ඔබේ පියා මා රවටා, මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළේ ය. එහෙත්, මට නපුරක් කිරීමට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නුදුන් සේක. 8 ‘ඔබේ කුලිය පුල්ලි වැටුණු සතුන්ය’යි ඔහු කී විට සත්තු සියල්ලෝ ම පුල්ලි වැටුණු පැටවුන් ගැසූ හ. ‘ඔබේ කුලිය වයිරම් වැටුණු සතුන්ය’යි ඔහු කී විට සත්තු සියල්ලෝ ම වයිරම් වැටුණු පැටවුන් ගැසූ හ. 9 මෙලෙස දෙවියන් වහන්සේ ඔබේ පියාගේ සතුන් රැගෙන මට දුන් සේක.
10 ”තවද සතුන් ගැබ්ගන්න කාලයේ දී මම සිහිනෙන්, නෙත් යොමා බැලූ විට මෙවැන්නක් දිටිමි: එනම්, දෙනුන් සමඟ පට්ටි ගසන බැටළුවෝ සියල්ලෝ ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් ඇත්තෝ වූ හ. 11 එවිට දෙවියන් වහන්සේගේ දූතයා සිහිනෙන් මට කතා කරමින්, ‘ජාකොබ්’ කියා මා ඇමතුවෙන්, මම ද, ‘මම මෙහි ය’ කියා පිළිතුරු දුනිමි. 12 එවිට ඔහු, ‘දෙනුන් සමඟ පට්ටි ගසන සියලු බැටළුවන් ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් සහිත සතුන් බව නෙත් යොමා බලන්න. එසේ වන්නේ, ලාබන් ඔබට කරන සියල්ල මා දුටු හෙයිනි. 13 ඔබ සිහිවටන ස්ථම්භයක් ආලේප කර, මට භාරයක් පොරොන්දු වූ ස්ථානය වන බෙතෙල්හි දී ප්‍රකාශ වූ දෙවියන් වහන්සේ මම ය. දැන් නැඟිට, මේ දේශයෙන් පිටත් වී, නුඹ උපන් දේශයට ආපසු යන්න’ කියා කීවේ යැ”යි ඔවුන්ට සැළ කෙළේ ය.
14 එවිට රාකෙල් සහ ලෙයා පිළිතුරු දෙමින්, ”අපේ පියාගේ ගෘහයෙහි අප වෙනුවෙන්, තව යම් කිසි කොටසක් හෝ උරුමයක් හෝ තිබේ ද? 15 ඔහු අප අමුත්තන් මෙන් සලකනවා නොවේ ද? මන්ද, ඔහු අප විකුණා ඇත. අපේ සම්පත ද යසට කාදමා ඇත. 16 තවද, දෙවියන් වහන්සේ අපේ පියාගෙන් රැගත් සියලු සම්පත අපේ ය; අප දරුවන්ගේ ය. දැන් ඉතින් දෙවියන් වහන්සේ යමක් ඔබට වදාළ සේක් නම් එය ඉටු කරන්නැ”යි කීවෝ ය.
17 එවිට ජාකොබ් ද සූදානම් ව, තම පුතුන් හා භාර්යාවන් ඔටුවන් පිට නංවා, 18 මෙසොපොතේමියාවෙහි දී තමා හිමිකරගත් එළු බැටළු රැළවල් ද, උපයාගත් සියලු සම්පත් ද, තමාගේ සතුන් ද දක්කාගෙන කානාන් දේශයේ තම පියා වන ඊසාක් වෙත යන පිණිස නික්මිණි.
19 ලාබන් තමාගේ බැටළුවන්ගේ ලෝම කපන්නට ගොස් සිටිය දී රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගත්තා ය. 20 ජාකොබ් තමා පලායන බව අරමීය ජාතික ලාබන්ට නොදැන්වූයෙන්, ඔහු රැවටී ය. 21 මෙසේ ජාකොබ් තමා සතු සියල්ල සමඟ පලාගොස් යුප්‍රටීස් නම් ගංගාවෙන් එතෙර වී, ගිලියද් කන්ද බලා ගියේය.

ලාබන් ජාකොබ් ලුහුබැඳ යාම

22 තුන් වන දින ජාකොබ් පලාගිය බව ලාබන්ට දන්වන ලදී. 23 ඔහු තමා කැටුව සිය පිරිස රැගෙන, සත් දිනක් ජාකොබ් ලුහුබැඳ ගොස් ගිලියද් කන්දේ දී ඔහුට ළඟා විය. 24 තවද, රාත්‍රි කාලයේ දී දෙවියන් වහන්සේ, ස්වප්නයකින් අරමීය ජාතික ලාබන් වෙත පැමිණ, ඔහුට කතා කොට, ”ඔබ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ”යි වදාළ සේක. 25 ලාබන් ද කන්ද උඩ සිය කඳවුරු බැඳ සිටි ජාකොබ් වෙතට පැමිණියේ ය. ලාබන් සිය පිරිස සමඟ කඳවුරු බැඳ සිටියේ ගිලියද් කන්දෙහි ය.
26 එවිට ඔහු ජාකොබ්ට කතා කොට, ”මා රවටා මාගේ දූවරුන් කඩුවෙන් හිරබාරයට ගත්තවුන් මෙන් රැගෙන යාමෙන් ඔබ මට කෙළේ කුමක් ද? 27 ඔබ රහසින් පලාගියේ මන් ද? මට හොරෙන් ගියේ ඇයි? ප්‍රීති ඝෝෂාවෙන් හා ගීයෙන් ද කිංකිණි රබන් හඬින් හා වීණා නාදයෙන් ද ඔබ පිටත් කර හැරීමට මට හැකි වන සේ, මට නොදැන්නුවේ මන් ද? 28 ඇරත් මාගේ මුණුබුරන් හා දූවරුන් සිඹගැනීමට ඔබ මට ඉඩ නොහැරියෙහි ය. මෙසේ කිරීමෙන් ඔබ පිස්සෙකු මෙන් හැසිරී ඇත. 29 ඔබට හිංසා කිරීමට මා අත බලය ඇත. එහෙත් ඊයේ රාත්‍රියේ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ මට කතා කරමින්, ‘නුඹ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ’යි වදාළ සේක. 30 ඔබේ පියාගේ ගෘහය බලා යෑමට ඔබට බලවත් ආශාවක් ඇති වූ නිසා, පිටත් ව ගිය බව මම දනිමි. එහෙත්, ඔබ මා සතු කුල දේවතා රූප සොරාගත්තේ මන්දැ”යි ඇසී ය.
31 එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, ”ඔබ බලහත්කාරයෙන්, ඔබේ දූවරුන් මාගෙන් පැහැරගන්නට තැත් කරති යි කියා මම බිය වුණෙමි. 32 එහෙත්, ඔබ සතු කුල දේවතා රූප යමෙකු ළඟ තිබී ඔබට සම්බ වේ ද, ඒ තැනැත්තා ජීවතුන් අතර නොසිටියාවේ. අප පිරිස ඉදිරිපිට අප ළඟ ඇති දේ සොයා බලා, ඔබට සතු දේ ගන්නැ”යි කී ය. එහෙත්, රාකෙල් ඒ කුල දේවතා රූප සොරාගත් බව ජාකොබ් දැන සිටියේ නැත.
33 එවිට ලාබන් ජාකොබ්ගේ කූඩාරමට ඇතුළු විය. පසුව ලෙයාගේ කූඩාරමට සහ සේවිකාවන් දෙදෙනාගේ කූඩාරම්වලට ද ඇතුළු විය. එහෙත් කුල දේවතා රූප ඔහුට සම්බ නොවී ය. ඉන්පසු ඔහු ලෙයාගේ කූඩාරමින් පිට වී, රාකෙල්ගේ කූඩාරමට ඇතුළු විය. 34 ඈ ඒ දේවතා රූප රැගෙන ඔටුවාගේ සෑදලයේ දමා, ඒවා උඩ හිඳගෙන උන්නා ය. ලාබන් ද කූඩාරම තුළ සෙවූ නමුත්, ඒවා ඔහුට සම්බ නොවී ය. 35 ඈ තම පියාට කතා කරමින්, ”තාත්තා ඉදිරියේ මට නැඟිට සිටීමට නොහැකි වීම ගැන, ඔබ අසතුටු නොවන්න. මන්ද, මාසික ඔසප් වීම මට දැන් ඇතැ”යි කීවා ය. ලාබන් ද ඒ රූප සෙවූ නමුත් ඒවා ඔහුට සම්බ නොවී ය.
36 එවිට ජාකොබ් තදින් රොස් වී, ලාබන්ට බැණ වැදුණේ ය. ”ඔබ මා පසුපස්සේ මෙතරම් වේගයෙන් ලුහුබැඳ ඒමට මා කළ වැරැද්ද කුමක් ද? මා කළ අපරාධය කුමක් ද? 37 මා සතු සියල්ල ඔබ සොයා බැලූ නමුත්, ඔබ සතු කිසිවක් සොයාගත්තෙහි ද? යමක් සොයාගත්තෙහි නම්, එය මාගේ පිරිස හා ඔබේ පිරිස ඉදිරියෙහි තබන්න. එවිට අප දෙදෙන අතර විනිශ්චය ඔවුන්ට තීරණය කළ හැක. 38 මේ අවුරුදු විස්ස මම ඔබ සමඟ සිටියෙමි. ඔබේ බැටළු දෙනුන් හා එළු දෙනුන්ගෙන් කිසිවෙකු ගබ්සා වූයේ නැත. ඇරත් ඔබේ රැළවල, එක බැටළුවෙක් වත් මම නොකෑවෙමි. 39 තවද, වල් සතුන් මරාදැමූ ඔබේ සිවුපාවුන් මම ඔබ වෙත නොගෙනාවෙමි. ඒ පාඩුව, මම විඳදරාගත්තෙමි. රෑ කාලයේ වේ වා, දවල් කාලයේ වේ වා, පැහැරගන්නා ලද සතුන්ගේ වන්දිය ඔබ මගෙන් අය කෙළෙහි ය. 40 දවල් කාලයේ දී අවු රස්නයෙන් ද රාත්‍රි කාලයේ දී ශීතලයෙන් ද මම වැහැරී ගියෙමි. නින්ද පවා මාගේ ඇස්වලින් බැහැර ගියේය. 41 ඔබේ ගෘහයෙහි මා විසූ අවුරුදු විස්ස මෙසේ ගතවිණි. ඔබේ දූවරුන් දෙදෙන නිසා අවුරුදු දහහතරක් ද, ඔබේ එළු බැටළු පට්ටි නිසා අවුරුදු හයක් ද මම ඔබට සේවය කෙළෙමි. එහෙත්, ඔබ මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළෙහි ය. 42 මාගේ පියාගේ දෙවියන් වහන්සේ ද ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේ ද මා සමඟ නොසිටි සේක් නම්, ඔබ දැන් මා හිස් අතින් පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, දෙවියන් වහන්සේ මාගේ දුක් පීඩාවත්, මාගේ අත්වල ශ්‍රමයත් දැක ඊයේ රෑ ඔබට තරවටු කළ සේකැ”යි කීවේ ය.

ජාකොබ් හා ලාබන් අතර ගිවිසුම

43 එවිට ලාබන් ද ජාකොබ්ට පිළිතුරු දෙමින්, ”මේ දූවරු මාගේ දූවරු ය; මේ මුණුබුරෝ මාගේ මුණුබුරෝ ය; මේ සිවුපාවෝ මාගේ සිවුපාවෝ ය. ඔබට පෙනෙන සියල්ල ද මාගේ ය. ඉතින් මේ දූවරුන්ටත්, ඔවුන් බිහි කළ ඔවුන්ගේ දරුවන්ටත් අද දින මා විසින් කුමක් කළ හැකි ද? 44 එබැවින්, එන්න, ඔබත් මමත් ගිවිසුමක් පිහිටුවා ගනිමු. එය ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කීවේ ය.
45 පසුව ජාකොබ් ගලක් රැගෙන සිහිවටනයක් මෙන් එය සිටෙව්වේ ය. 46 ඔහු එය සිටුවා, තම පිරිස අමතා, ”ගල් රැස්කරන්නැ”යි කීවෙන් ඔව්හු ගල් ගෙන, ගොඩක් ගසා, එය මත වාඩි වී, ආහාර අනුභව කළො‍් ය. 47 ලාබන් ඊටත් ජෙගර්-සාහදූතා යයි නම් කෙළේ ය. එහෙත් ජාකොබ් ඊට ගල්යේද් කියා නම් කෙළේ ය. 48 ඉන්පසු ලාබන් කතා කොට, ”මේ ගල් ගොඩ, අද ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කී ය. එබැවින් ඊට ගල්යේද් යන නාමය දෙන ලදී. 49 තවදුරටත් ඔහු කතා කරමින්, ”අප දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වූ කල සමිඳාණන් වහන්සේ ඔබත් මාත් දෙස සුපරීක්ෂාවෙන් බලා සිටින සේක් වා!”යි කීවේ ය. එබැවින් ඒ ගල් ගොඩට මිස්පා යන නාමය දෙන ලදී. 50 නැවත ඔහු කතා කොට, ”ඔබ මාගේ දූවරුන්ට වෙනස්කම් කළොත්, ඔබ මාගේ දූවරුන්ට අමතර ව වෙන භාර්යාවන් පාවාගතහොත්, කිසිවෙකු අප සමඟ නොසිටියත් දෙවියන් වහන්සේ ඔබත් මාත් අතර සාක්ෂිකාරයාණන් බව සිහි කරන්න. 51 ඔබත් මාත් අතර ගොඩ ගැසූ මේ ගල් ගොඩත්, මේ සිහිවටනයත් දෙස හොඳින් බලන්න. 52 නපුරක් කරනු සඳහා මා මේ ගල් ගොඩ පසු කර ඔබ වෙත නො එන බවටත්, ඔබ ද මේ ගල් ගොඩ සහ සිහිවටනය පසු කර මා වෙත නො එන බවටත් මේ ගල් ගොඩ සාක්ෂියක් වේ වා! මේ සිහිවටනය සාක්ෂියක් වේ වා! 53 තවද, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද, නාහෝර්ගේ දෙවියන් වහන්සේ ද අප අතර විනිශ්චය කරන සේක් වා!”යි කීවේ ය. ජාකොබ් ද තම පියා වන ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දුන්නේ ය. 54 ඉන්පසු ඔහු කන්ද මත යාග පූජාවක් පිදූ පසු, ආහාර අනුභව කිරීමට සිය පිරිස කැඳෙව්වේ ය. ඔව්හු ද ආහාර අනුභව කොට කන්ද මත මුළු රාත්‍රිය ම ගත කළහ. 55 ලාබන් ද උදය අලුයම නැඟිට තම මුණුබුරන් හා දූවරුන් සිඹගෙන ඔවුන්ට ආසිරි පතා, පිටත් වී තමාගේ ගෘහයට ආපසු ගියේය.

– 32 වන පරිච්ඡේදය –

ජාකොබ් ඒසව් හමු වීමට සූදානම් වීම

1 ජාකොබ් තම ගමන යන විට, ඔහුට දෙවියන් වහන්සේගේ දූතයෝ මුණගැසුණාහ. 2 ඔහු ඔවුන් දුටු විට, ”මේ දෙවියන් වහන්සේගේ සේනාව ය” කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබී ය.
3 තවද, ඔහු ඒදොම් දේශයේ සේයිර් රටේ තම සොහොයුරු වන ඒසව් වෙත තමාට පෙරටුවෙන් දූතයන් යැවී ය. 4 ඔහු ඔවුන්ට අණ කරමින්, ”නුඹලා මාගේ ස්වාමීන් වන ඒසව්ට කතා කොට, ‘ඔබේ දාසයා වන ජාකොබ් මෙසේ කියන්නේ ය: මම ලාබන් සමඟ නැවතී, මෙතෙක් එහි සිටියෙමි. 5 තවද, ගවයන් ද කොටළුවන් ද එළු බැටළු පට්ටි ද දැසිදසුන් ද මට ඇත. ඔබ ඉදිරියෙහි ප්‍රසාදය ලබන පිණිස මම මාගේ ස්වාමීන් හට දැන්වීමට මෙම පණිවුඩය එවමි’යි සැළ කළ යුතු යැ”යි කීවේ ය.
6 දූතයෝ ජාකොබ් වෙත ආපසු විත්, ”අපි ඔබ සොහොයුරු වන ඒසව් වෙත ගියෙමු, ඔහු ද ඔබ හමු වීමට එන්නේ ය. ඇරත් ඔහු සමඟ හාරසියයක පිරිසක් සිටිති”යි කී හ. 7 ජාකොබ් අතිශයින් බියවී කැළඹිණි. ඔහු තමා කැටුව සිටි පිරිස ද එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද ඔටුවන් ද කණ්ඩායම් දෙකකට බෙදා, 8 ”ඒසව් යම් විටක එක කණ්ඩායමක් වෙත පැමිණ, ඊට පහර දුන්නොත්, ඉතිරි අනික් කණ්ඩායමට ගැළවී යත හැකි ය”යි සිතී ය.
9 ජාකොබ් තවදුරටත් කතා කරමින්, ”මා පිය ආබ්‍රහම්ගේ දෙවිඳුනි, මා පිය වූ ඊසාක්ගේ දෙවිඳුනි, ‘ඔබේ දේශයට ද ඔබේ ඥාතීන් වෙත ද ආපසු යන්න, මම ඔබට යස ඉසුරු සලසන්නෙමි’යි මට වදාළ ස්වාමීනි, 10 ඔබ වහන්සේගේ දාසයා වන මා හට පෑවා වූ සියලු කරුණාව හා විශ්වාසවන්තකම ලැබීමට මා සුදුස්සෙක් නොවෙමි. මන්ද, මා මේ ජොර්දානෙන් එතෙර වූයේ මාගේ සැරයටියේ ආධාරයෙන් පමණ ය. එහෙත්, දැන් මා කණ්ඩායම් දෙකක් වී ඇත. 11 ඔබ වහන්සේ කරුණාකර, මාගේ සහෝදරයාගේ බලයෙන්, ඒසව්ගේ අතින්, මා මුදාගත මැනව. ඔහු අප වෙත පැමිණ මටත්, මවුවරුන්ටත්, දරුවන්ටත් පහර දෙති යි මම ඔහුට බිය වෙමි. 12 ඇරත්, ‘මම ඔබට ඇත්තෙන් ම ඉසුරු සලසන්නෙමි, ඔබේ පෙළපත ද මුහුදේ වැලි මෙන් ගණනින් විශාල වන ලෙස වැඩි කරන්නෙමි’ කියා ද ඔබ වහන්සේ වදාළ සේකැ”යි පැවසී ය.
13 ඔහු මෙසේ පවසා එම රාත්‍රිය එහි ගත කර, තම සොහොයුරු වන ඒසව් හට තමා ළඟ තිබුණු දෙයින් තෑග්ගක් ද තෝරා ගත්තේ ය. ඒ තෑග්ග නම්: 14 එළු දෙනුන් දෙසියයක් ද එළුවන් විස්සක් ද බැටළු දෙනුන් දෙසියයක් ද බැටළුවන් විස්සක් ද 15 කිරි දෙන ඔටු දෙනුන් තිහක් හා උන්ගේ වස්සන් ද එළ දෙනුන් සතළිසක් ද ගොනුන් දහයක් ද කොටළු දෙනුන් විස්සක් හා කොටළුවන් දහයක් ද වූ හ. 16 ඉන්පසු ඔහු මේ රංචු, වෙන්, වෙන් වශයෙන් තම මෙහෙකරුවන්ට බාර දී, ”නුඹලා රංචුවෙන් රංචුව ඈත් කර මට පෙරටුව යන්නැ”යි කීවේ ය.
17 තවද, ඔහු, මුලින් ම ගිය මෙහෙකරු අමතා, ”මාගේ සොහොයුරු ඒසව් ඔබ හමු වී, ‘ඔබ කාගේ කවු ද? ඔබ යන්නේ කොහේ ද? ඔබට පෙරටුව දක්කාගෙන යන මේ සත්තු කාගේ ද?’ කියා ඇසූ විට, 18 ‘මේ සත්තු ඔබ සහෝදර ජාකොබ්ගේ ය, මා ස්වාමීන් වන ඒසව් වෙත ඔහු එවන තෑග්ගකි. ඇරත් ඔහු ද අප පසුපස්සේ එන්නේ ය’යි කියන්නැ”යි අණ කෙළේ ය. 19 මෙසේ ඔහු දෙවැනියාටත්, තුන්වැනියාටත්, සතුන් රංචු දක්කාගෙන ගිය සියල්ලන්ටත් අණ කරමින්, ”නුඹලාට ඒසව් මුණගැසුණු විට ඔහුට මෙලෙස කියන්න. 20 ඇරත්, ‘ඔබේ සේවක ජාකොබ් අපට පිටුපසින් එන්නේ ය’ කියා ද පවසන්නැ”යි කීවේ ය. මන්ද, ‘මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහුගේ සිත දිනාගත් පසු මට ඔහු මුණගැසෙන්න හැකි වනු ඇතැ යි ද, එවිට, ඔහු මා පිළිගන්නේ ය’යි ද ඔහු සිතී ය. 21 මෙලෙස ඔහු තමාට පෙරටුව තෑගි හැරිය නමුත් ඔහු ඒ රාත්‍රිය කඳවුරෙහි ගත කෙළේ ය.

ජාකොබ්ගේ අද්භූත පොරබැදීම

22 ඒ රාත්‍රියේ ඔහු නැඟිට, තමාගේ භාර්යාවන් දෙදෙන ද සේවිකාවන් දෙදෙන ද පුතුන් එකොළොස්දෙන ද රැගෙන ජබ්බොක් නම් තොටුපොළෙන් එගොඩ විය. 23 ඔහු ඔවුන් රැගෙන ගඟින් එගොඩ කළ පසු, තමා සතු දේ ද එතෙරට යැවී ය. 24 එහෙත් ජාකොබ් තනි ව සිටියේ ය.
එවිට එක්තරා මිනිසෙක්, පහන් වන තුරු ඔහු සමඟ පොරබැදී ය. 25 ඒ තැනැත්තා ද ජාකොබ්ගෙන් තමාට ජය නොලැබෙන බව දුටු විට, ඔහුගේ කලවා සන්ධියට පහරක් ගැසී ය. එවිට ඔහුගේ කලවා සන්ධිය විසන්ධි විය. 26 ඒ තැනැත්තා ද, ”පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, ”ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි. 27 එවිට ඒ තැනැත්තා, ”ඔබේ නම කුමක් දැ”යි ඇසූ විට ඔහු ද, ”ජාකොබ්” යයි කීයෙන්, 28 ”මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය. 29 ජාකොබ් කතා කොට, ”කරුණාකර ඔබේ නම ද මට කියන්නැ”යි ඉල්ලී ය. එවිට ඔහු, ”ඔබ, මාගේ නම අසන්නේ මන්දැ”යි කියා ජාකොබ්ට එහි දී ආශීර්වාද කෙළේ ය.
30 ”මා දෙවියන් වහන්සේ මුහුණට මුහුණ ලා දුටු පසුත් මාගේ ජීවිතය තවමත් ආරක්ෂා වී ඇත” කියා ජාකොබ් එම ස්ථානයට පෙනුයෙල් යයි නම තැබී ය. 31 ඔහු ද පෙනුයෙල් පසු කර යද්දී, ඉර උදාවිය. තමාගේ කලවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය. 32 මේ සිද්ධිය නිසා ඉශ්රායෙල් ජනතාව කලවා සන්ධිය මත වූ මස් ගොබය අද දක්වා අනුභව නොකරති. ඒ මන්ද, ජාකොබ් පහර ලද්දේ කලවයේ එම සන්ධියට බැවිනි.

– 33 වන පරිච්ඡේදය –

ජාකොබ් ඒසව් හා සමගි වීම

1 ජාකොබ් නෙත් ඔසවා බැලූ විට, පුදුමයකි, ඒසව් ද ඔහු සමඟ හාරසියයක පිරිසක් ද එනු දිටී ය. එවිට ඔහු ලෙයා, රාකෙල් සහ සේවිකාවන් දෙදෙන අතර දරුවන් බෙදා දී, 2 සේවිකාවන් සහ ඔවුන්ගේ දරුවන් ඉස්සරහින් සිටෙව්වේ ය. ඔවුන්ට පිටුපසින් ලෙයා සහ ඇගේ දරුවන් ද ඔවුන්ටත් පිටුපසින් රාකෙල් සහ ජෝසෙප් ද සිටෙව්වේ ය. 3 ජාකොබ් ද ඔවුන්ට පෙරටුව ගොස්, තම සොහොයුරා වෙත පැමිණෙන තෙක් සත් වරක් බිමට නැමී වැන්දේ ය. 4 එවිට ඒසව් ඔහු හමුවීමට දිව ගොස් ඔහු බදාගෙන, ඔහුගේ ගෙල වැළඳගෙන ඔහු සිඹගත්තේ ය. පසුව ඔව්හු අඬන්නට වූ හ. 5 ඒසව් නෙත් ඔසවා බැලූ විට, ස්ත්‍රීන් හා දරුවන් දැක, ”ඔබ සමඟ සිටින මේ අය කාගේ දැ”යි ඇසූ විට, ජාකොබ් පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේ ඔබේ දාසයා හට කරුණාව පා දුන් දරුවෝ ය”යි කී ය. 6 එවිට සේවිකාවෝ ද ඔවුන්ගේ දරුවෝ ද ළඟට පැමිණ, ආචාර කළහ. 7 ලෙයා තම දරුවන් සමඟ පැමිණ ආචාර කළ පසු ජෝසෙප් සහ රාකෙල් ද ළඟට පැමිණ ආචාර කළහ.
8 එවිට ඒසව් ජාකොබ්ට කතා කොට, ”මට හමු වූ මේ සතුන් සියල්ලන් ම කුමක් පිණිස දැ”යි ඇසූ විට, ”මාගේ ස්වාමීන් ඉදිරියෙහි අනුග්‍රහය ලැබීම පිණිස යැ”යි ඔහු උත්තර දුනි. 9 එකල ඒසව් කතා කොට, ”මා සොහොයුර, මට උවමනා තරම් ඇත. ඔබට අයිති දේ ඔබ ම තබා ගන්නැ”යි කීවේ ය. 10 එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, ”එසේ නො වේ වා, කරුණාකර ඔබ ඉදිරියෙහි මම ඔබේ ප්‍රසාදය ලදිම් නම්, මා අතින් මාගේ තෑග්ග පිළිගන්න. ඔබ මා සාදරයෙන් පිළිගන්නෙහි නම්, මට ඔබේ මුහුණ දැකීම හරියට දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම හා සමාන ය. 11 එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.
12 පසුව ඒසව්, ”අපි ගමනට පිටත් ව යමු. මම ඔබට පෙරටුව යන්නෙමි”යි කී විට, 13 ජාකොබ් ද පිළිතුරු දෙමින්, ”දරුවන් සුකුමාර බවත්, පැටියන් සහිත බැටළු පට්ටි හා ගව පට්ටි මට ඇති බවත් ස්වාමීන්ට පෙනේ. එක දවසක් වත්, මිනිසුන්, පමණට වඩා ඉක්මන් කර සතුන් දැක්කුවොත් මුළු රැළ මැරී යනු ඇත. 14 කරුණාකර, මාගේ ස්වාමීහු ඔහුගේ දාසයාට පෙරටුව යෙත් වා. මට ඉස්සරහින් යන ගවයන්ට හා දරුවන්ට යත හැකි ප්‍රමාණයට, සේයිර්හි මාගේ ස්වාමීන් වෙත පැමිණෙන තෙක් හෙමින් හෙමින් ගමන් කර මම එන්නෙමි”යි කීවේ ය.
15 එවිට ඒසව් කතා කොට, ”එසේ නම් මා සමඟ සිටින පිරිසෙන් සමහර දෙනෙකු ඔබ සමඟ නවතාලමි”යි කී විට ජාකොබ් ද, ”එවැන්නක් කුමට ද? මට උවමනා මා ස්වාමීන්ගේ ප්‍රසාදය පමණකි”යි උත්තර දුනි. 16 ඉන්පසු එදින ඒසව් සේයිර් බලා ආපසු ගියේය. 17 එහෙත් ජාකොබ් සුක්කොත් දක්වා ගොස්, තමා ම ගෙයක් ඉදි කොට, සිය ගවයන් සඳහා මඩු තැනී ය. එබැවින් එම ස්ථානයට සුක්කොත් යන නම තබන ලදී.
18 මෙලෙස ජාකොබ් මෙසොපොතේමියාවේ සිට ආපසු අවුත් කානාන් දේශයේ ෂෙකෙම් නුවරට සුවෙන් සැපත් ව, නුවර ඉදිරියෙහි සිය කඳවුර බැඳී ය. 19 තවද ඔහු ෂෙකෙම්ගේ පිය වූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන්, සිය කඳවුර පිහිටෙවූ බිම් කැබැල්ල රිදී කාසි සියයක් ගෙවා මිලට ගත්තේ ය. 20 එහි ඔහු පූජාසනයක් ඉදි කර, ඊට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේ යන අර්ථය ඇති ‘එල්-එලෝහේ-ඉශ්රායෙල්’ යන නාමය තැබී ය.

– 34 වන පරිච්ඡේදය –

ජාකොබ්ගේ දුව දූෂණය කරනු ලැබීම

1 ජාකොබ්ට දාව ලෙයා ලැබූ දුව වන දීනා, දේශයේ කාන්තාවන් හමුවීමට නික්ම ගියා ය. 2 එවිට දේශයේ අධිපති වූ, හිවීය ජාතික හාමොර්ගේ පුත්, ෂෙකෙම් ඈ දැක, ඈ පැහැරගෙන ගොස් ඈ සමඟ සැතපී, ඈ දූෂණය කෙළේ ය. 3 ඔහුගේ සිත ද ජාකොබ්ගේ දුව වන දීනා කෙරෙහි තදින් ඇදී ගියෙන්, ඔහු තරුණියට පෙම් කර, ඈ අස්වැසී ය. 4 ෂෙකෙම් සිය පියා වන හාමොර්ට කතා කොට, ”මේ තරුණිය මට බිරිඳ කොට ලබා දෙන්නැ”යි ඉල්ලී ය.
5 ඔහු තම දුව වන දීනා දූෂණය කළ බව ජාකොබ් දැනගත්තේ ය. එකල ඔහුගේ පුතුන්, ඔහුගේ ගවයන් සමඟ තණ පිට්ටනියේ සිටිය බැවින්, ඔවුන් එන තෙක් ජාකොබ් නිහඬ ව සිටියේ ය. 6 ෂෙකෙම්ගේ පියා වන හාමොර් ද ජාකොබ් සමඟ කතා කිරීමට ඔහු වෙත පිටත් ව ගියේය. 7 ජාකොබ්ගේ පුත්‍රයන් තණ පිට්ටනියෙන් පැමිණි පසු ඔව්හු මෙය අසා, කම්පා වී කෝපාවිෂ්ට වූ හ. මන්ද, ෂෙකෙම්, ජාකොබ්ගේ දුව දූෂණය කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර නොකටයුතු සැහැසිකමක් කළ හෙයිනි. 8 හාමොර් ද ඔවුන් සමඟ කතා කරමින්, ”මාගේ පුත්‍ර ෂෙකෙම්, ඔබේ දියණියට පෙම් බැඳ සිටියි. ඇය ඔහුට භාර්යාව මෙන් පාවා දෙන ලෙස මම අයැද සිටිමි. 9 ඇරත්, ඔබ අප සමඟ විවාහ ගිවිසුම් කරගන්න. ඔබේ දූවරුන් අපට දී, අපේ දූවරුන් ඔබ ගන්න. 10 මෙලෙස ඔබට අප සමඟ වාසය කළ හැක. රට ද ඔබ ඉදිරියෙහි ඇත. එහි වාසය කොට, නිදහසේ වෙළහෙළඳාම් කර වතුපිටි අයිති කරගන්නැ”යි කී ය. 11 එවිට ෂෙකෙම් ඇගේ පියාට හා ඇගේ සොහොයුරන්ට කතා කොට, ”ඔබ හැම මට කරුණාව පෙන්වනු මැනව! ඔබ මාගෙන් යමක් ඉල්ලන්නහු ද, එය මම දෙන්නෙමි. 12 තරුණිය මට භාර්යාව කොට දෙන්නහු නම්, ඉතා විශාල දායාදයක් හා තෑගි බෝග මාගෙන් ඉල්ලන්න, ඔබ මාගෙන් ඉල්ලන ඕනෑ ම දෙයක් මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.
13 ෂෙකෙම්, ඔවුන්ගේ සහෝදරී වන දීනා දූෂණය කළ බැවින් ජාකොබ්ගේ පුත්‍රයෝ ද ෂෙකෙම් සහ ඔහුගේ පියා වන හාමොර්ට කපටි ලෙස උත්තර දුන්හ. 14 ”අපට මෙබඳු දෙයක් කළ නොහැක. අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරී දීම අපට නින්දාවකි. 15 එහෙත් ඔබ අතර සෑම පිරිමියෙක් ම චර්මඡේදිත වී අප හා සමාන වන්නහු නම්, ඔබ කියන දේට අපට එකඟ විය හැක. 16 එවිට අපේ දූවරුන් දී ඔබේ දූවරුන් අපි ගන්නෙමු. ඇරත් අපි ඔබ සමඟ වාසය කරමින් එක ජනතාවක් වන්නෙමු. 17 එහෙත් ඔබ චර්මඡේදිත වීම ගැන අපට ඇහුම්කන් නොදෙන්නහු නම්, අපි අපේ දුව රැගෙන යන්නෙමු”යි කීවෝ ය.
18 ඔවුන්ගේ කීමට හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් කැමැති වූ හ. 19 තරුණයා ද ජාකොබ්ගේ දුවට ඇලුම් ව සිටි බැවින්, ඔහු ද යෝජිත දේ කිරීමට පමා නො වී ය. තවද, ඔහු තම පියාගේ ගෘහයේ ඉතා ම වැදගත් තැනැත්තා විය.
20 එබැවින් හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම්, නුවර වාසල් දොරටුවට අවුත්, නුවර වැසියන් සමඟ කතා කරමින්, 21 ”මේ මිනිසුන් අපට හිතවත් ය. එබැවින් රටෙහි පදිංචි වී, එහි නිදහස් ව යන්න එන්න ඔවුන්ට ඉඩ හරිමු. බලන්න, රටෙහි ඔවුන්ටත් සෑහෙන තරම් ඉඩ ඇත. අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගෙන, අපේ දූවරුන් ඔවුන්ට දෙමු. 22 එහෙත්, අප සමඟ එකට වාසය කර එක සෙනඟක් වීමට ඒ මිනිසුන් කැමැති වන්නේ, අප අතර සිටින සෑම පිරිමියෙකු ම, ඔවුන් චර්මඡේදිත වී ඇති ලෙස, චර්මඡේදිත වුවහොත් පමණ ය. 23 ඔවුන්ගේ ගව පට්ටි ද ඔවුන්ගේ වස්තුව ද ඔවුන්ගේ සියලු සතුන් ද අපේ නොවන්නේ ද? එබැවින් අපි ඔවුන් හා එකඟ වෙමු. එවිට ඔව්හු අප සමඟ වාසය කරන්නෝ ය”යි කී හ. 24 වාසල් දොරටුවෙන් පිට වූ සියල්ලෝ ම හාමොර්ට සහ ඔහු පුත් ෂෙකෙම්ට ඇහුම්කන් දුන්හ. මෙලෙස වාසල් දොරටුවෙන් පිට වූ සියලු ම පිරිමි චර්මඡේදනය කරනු ලැබූ හ.
25 තුන් දිනකට පසු, ඔවුන් තවමත් තුවාළවලින් වේදනා විඳින කල්හි, ජාකොබ්ගේ පුතුන් දෙදෙනෙකු වන, සිමියොන් සහ ලෙවී යන දීනාගේ සහෝදරයෝ, තම කඩු රැගෙන, රහසින් නුවරට වැද, සියලු පිරිමින් මරාදැමූ හ. 26 තවද, ඔව්හු හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් ද කඩු පහරින් මරා, ෂෙකෙම්ගේ ගෙයින් දීනා රැගෙන පිට වී ගියහ. 27 ජාකොබ්ගේ පුත්‍රයෝ ද තුවාළ ලැබූවන් පිටට පැන පහර දී නුවර කොල්ලකෑ හ. මන්ද, ඔහු තම සොහොයුරී දූෂණය කළ හෙයිනි. 28 ඔව්හු ඔවුන්ගේ එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද කොටළුවන් ද නුවර හා පිට්ටනියේ තැබූ දේ ද 29 ඔවුන්ගේ වස්තුව ද ගත්තෝ ය. ඔවුන්ගේ සියලු ම කුඩා දරුවන් ද භාර්යාවන් ද අල්ලාගෙන, ඔවුන්ගේ ගෙවල තිබූ සියල්ල ද කොල්ලකෑ හ.
30 එවිට ජාකොබ් සිමියොන්ට සහ ලෙවීට කතා කොට, ”මේ දේශයේ වැසියන් වන කානානිවරුන් සහ පෙරිස්සිවරුන් අතර, මා දුගඳක් මෙන් පිළිකුලට ලක් කිරීමෙන් නුඹලා මට ලොකු අවැඩක් කර තිබේ. මට ඇත්තේ ගණනින් සුළු පිරිසකි. එබැවින් ඔවුන් මට විරුද්ධ ව එක පෙරමුණක් ගෙන, මා මරාදමනු ඇත. මෙසේ මාගේ මුළු පවුලත් මමත් විනාශ වී යන්නෙමු”යි කී ය. 31 එවිට ඔව්හු උත්තර දෙමින්, ”ඔහු අපේ සහෝදරිය වෙසඟනක ලෙස සැලකීම හරි දැ”යි ඇසූ හ.

– 35 වන පරිච්ඡේදය –

ජාකොබ්ට ආශීර්වාද කිරීම

1 දෙවියන් වහන්සේ ජාකොබ්ට කතා කොට, ”නැඟිට, බෙතෙල් කරා ගොස්, එහි පදිංචි වන්න, නුඹේ සොහොයුරු ඒසව්ගෙන් නුඹ පලායද්දී නුඹට දර්ශනය වූ දෙවියන් වහන්සේට පූජාසනයක් එහි සාදන්නැ”යි වදාළ සේක. 2 එවිට ජාකොබ් තම පවුලේ වැසියන් හා තමා සමඟ සිටි සියල්ලන් අමතා, ”ඔබ ළඟ ඇති විදේශීය දේවතා රූප ඉවත් කොට, පවිත්‍ර වීමේ වත්පිළිවෙත් කර, ඔබේ ඇඳුම් මාරු කරගන්න. 3 එවිට අපි නැඟිට බෙතෙල් කරා යමු, මාගේ ආපදාවේ දවසේ දී මට ඇහුම්කන් දුන්, මා ගිය ගිය තැන මා සමඟ වැඩ සිටි දෙවියන් වහන්සේට මම එහි දී පූජාසනයක් සාදන්නෙමි”යි කීවේ ය. 4 ඔවුන් ද, තමන් ළඟ තිබූ සියලු ම විදේශීය දේවතා රූප හා ඔවුන් පැළඳ හුන් කර්ණාභරණ ද ජාකොබ්ට දුන් විට ඔහු ෂෙකෙම් නම් ස්ථානය අසල තිබූ ආලෝන ගස යට ඒවා සැඟවී ය.
5 ඔව්හු යන්න ගියෝ ය. එහෙත් ඔවුන් අවට තිබූ නගරවල වැසියන් බියෙන් තැතිගත් බැවින් කිසිවෙක් ජාකොබ්ගේ පුත්‍රයන් ලුහුබැඳ නොගියෝ ය. 6 මෙසේ ජාකොබ් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද කානාන් දේශයේ ලූස් හෙවත් බෙතෙල් නම් ස්ථානයට පැමිණියෝ ය. 7 එහි දී ඔහු පූජාසනයක් තනා, එම ස්ථානයට එල්-බෙතෙල් යන නම තැබී ය. මන්ද, ඔහු සිය සොහොයුරා වෙතින් පලායන විට, එහි දී දෙවියන් වහන්සේ ඔහුට දර්ශනය වූ බැවිනි. 8 තවද, රෙබෙකාගේ කිරි මව වූ දෙබොරා මළ බැවින්, ඇය බෙතෙල් නම් ස්ථානයට පහළින් ආලෝන ගස යට භූමදාන කරනු ලැබුවා ය. එබැවින් ඊට අල්ලොන්-බාකුත් යන නම දෙන ලද්දේය.
9 ජාකොබ් මෙසොපොතේමියාවෙන් මෙසේ හැරී එන විට දෙවියන් වහන්සේ නැවතත් ඔහුට දර්ශනය වී ආශීර්වාද කළ සේක. 10 උන් වහන්සේ ඔහුට කතා කොට, ”නුඹේ නම ජාකොබ් ය. එහෙත් මින්පසු නුඹේ නම ජාකොබ් යයි හඳුන්වනු නොලැබ, නුඹේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි වදාළ නිසා ඔහුට ඉශ්රායෙල් යන නම තබන ලදී. 11 තවදුරටත් දෙවියන් වහන්සේ ඔහු අමතමින්, ”මම සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ සමෘද්ධ වී, වර්ධනය වන්න. නුඹෙන් ජාතියක් හා ජාතීන් සමුදායක් බිහි වන්නෝ ය. නුඹට දාව රජවරු පවා උපදින්නෝ ය. 12 මම ආබ්‍රහම්ට සහ ඊසාක්ට දුන් දේශය නුඹට දෙන්නෙමි; නුඹෙන් පසුව නුඹේ පෙළපතට එය දෙන්නෙමි”යි වදාරා 13 උන් වහන්සේ ඔහු සමඟ කතා කළ ස්ථානයේ දී, ඔහු වෙතින් ඉවත් ව ගිය සේක. 14 ඉන්පසු ජාකොබ් උන් වහන්සේ සමඟ කතා කළ ස්ථානයෙහි සිහිවටනයක්, එනම්, ගලින් කළ සිහිවටනයක් ඉදිකොට, එය මත පානීය පූජාව ඔප්පු කොට තෙල් ද වත් කෙළේ ය. 15 තවද, දෙවියන් වහන්සේ තමා සමඟ කතා කළ ස්ථානයට ඔහු බෙතෙල් යන නම තැබී ය.

රාකෙල්ගේ මරණය

16 ඔව්හු බෙතෙල් සිට නික්ම ගියහ. එහෙත් ඔවුන් එප්‍රාත් නම් ස්ථානයට පැමිණෙන්නට මඳක් දුර තිබිය දී, රාකෙල්ට ප්‍රසව වේදනා ඇති වී, එය උග්‍ර විය. 17 මෙලෙස ඈ උග්‍ර ලෙස ප්‍රසව වේදනා විඳින විට, වින්නඹු මාතාව ඈට කතා කොට, ”බිය නොවන්න, ඔබට ලැබෙන්නේ තවත් පුත්‍රයෙක් ය”යි කීවා ය. 18 එහෙත්, රාකෙල් මළා ය. ඈ පණ අදින විට ඔහුට බෙන්-ඕනි යන නම තැබූ නමුත් ඔහුගේ පියා ඔහුට බෙන්ජමින් කියා නම් කෙළේ ය.
19 මෙසේ රාකෙල් මළ පසු, එප්‍රාත් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කරනු ලැබුවා ය. 20 ජාකොබ් ද ඇගේ සොහොන පිට සිහිවටනයක් ඉදි කෙළේ ය. අද දක්වා ම රාකෙල්ගේ සොහොන මත සිහිවටනය ඇත. 21 ඉශ්රායෙල් ගමන් කොට, මිග්දාල්-එදෙර් නම් ස්ථානයට එහා, තම කඳවුර පිහිටුවාගත්තේ ය.

රූබන්ගේ අනාචාරය

22 තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය.

 ජාකොබ්ගේ පුත්‍රයෝ
(1 වංශා: 2:1-2)

ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ. 23 ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය. 24 රාකෙල්ගේ පුත්‍රයෝ නම් ජෝසෙප් සහ බෙන්ජමින් ය. 25 රාකෙල්ගේ සේවිකාව වන බිල්හාගේ පුත්‍රයෝ නම් දාන් සහ නප්තලී ය. 26 ලෙයාගේ සේවිකාව වන ශිල්පාගේ පුත්‍රයෝ නම් ගාද් සහ ආෂෙර් ය. මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.

ඊසාක්ගේ මරණය

27 ජාකොබ් ද ආබ්‍රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය. 28 ඊසාක්ගේ වයස අවුරුදු එකසිය අසූවක් වූයෙන් 29 ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්‍රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ.

– 36 වන පරිච්ඡේදය –

 ඒසව්ගේ පෙළපත
(1 වංශා: 1:34-37)

1 ඒසව් හෙවත් ඒදොම්ගේ පෙළපත මෙසේ ය. 2 ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා 3 සහ නෙබායෝත්ගේ සහෝදරී වූ ද, ඉෂ්මායෙල්ගේ දුව වූ ද බාසෙමත් ය. 4 ඒසව්ට දාව, ආදාගෙන් එලිපස් ද, බාසෙමත්ගෙන් රෙවුයෙල් ද, 5 ඔහොලිබාමාගෙන් ජෙවුෂ් ද, ජලාම් ද, කෝරා ද උපන්හ. කානාන් දේශයේ දී ඒසව්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.
6 ඒසව් තම භාර්යාවන් ද පුත්‍රයන් ද දූවරුන් ද ගෙදර වැසි සියල්ලන් ද ගවයන් ද සියලු මෘගයන් ද කානාන් දේශයේ දී තමන් උපයාගත් සියලු වස්තුව ද රැගෙන, තම සොහොයුරු වන ජාකොබ් වෙතින් අන් රටකට ගියේය. 7 මන්ද, ඔවුන්ට එකට පදිංචි වීමට නොහැකි තරමට ඔවුන්ගේ ධනය විශාල විය. ඇරත් ඔවුන් විදේශිකයන් මෙන් විසූ රටෙහි, ඔවුන්ගේ ගොවිපළවල් නිසා ඔවුන්ට ඉඩ මදි විය. 8 මෙලෙස ඒසව් හෙවත් ඒදොම් සේයිර් කන්දෙහි පදිංචි විය.
9 සේයිර් කන්දෙහි විසූ ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත හා 10 ඔහුගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙය වේ: ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍ර එලිපස්, බාසෙමත්ගේ පුත්‍ර රෙවුයෙල්, 11 එලිපස්ගේ පුත්‍රයන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, ගයිතාම් සහ කෙනස් ය. 12 තවද, තිම්නා ඒසව්ගේ පුත්‍ර එලිපස්ගේ අනියම් බිරිඳ වූවා ය. ඇයගෙන් එලිපස්ට දාව අමලෙක් උපන්නේ ය. ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍රයෝ මොවුහු ය.
13 රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. මොවුහු ඒසව්ගේ භාර්යාව වූ බාසෙමත්ගේ මුණුබුරෝ ය.
14 ශිබෙයොන්ගේ පුත්‍රයා වන අනාගේ දුව වූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම්, ඇයගෙන් ඔහුට දාව උපන් ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය.
15 ඒසව්ගේ පෙළපතේ අධිපතීහු නම් ඔහුගේ කුලුඳුල් පුත් එලිපස්ගේ පුත්‍රයෝ ය. මොවුහු නම් අධිපතීන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, කෙනස්, 16 කෝරා, ගයිතාම් සහ අමලෙක් ය. ඒදොම් දේශයේ එලිපස්ගෙන් පැවත ආ අධිපතීහු මොවුහු ය. තවද මොවුහු ආදාගේ පුත්‍රයෝ ය.
17 ඒසව්ගේ පුත්, රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. ඒදොම් දේශයේ රෙවුයෙල්ගෙන් පැවත ආ මේ අධිපතීහු ඒසව්ගේ භාර්යාව වන බාසෙමත්ගේ පුත්‍රයෝ ය.
18 ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය. මොවුහු අනාගේ දුව ද, ඒසව්ගේ භාර්යාව ද වූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝ ය. 19 ඒදොම් හෙවත් ඒසව්ගේ පුත්‍රයන් සහ ඔවුන්ගේ අධිපතීහු මොවුහු ය.

 සේයිර්ගේ පෙළපත
(1 වංශා: 1:38-42)

20 ඒ දේශයෙහි විසූ හෝරිය ජාතික සේයිර්ගේ පුත්‍රයෝ නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, 21 දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු ඒදොම් දේශයෙහි වූ සේයිර්ගේ පෙළපත වන හෝරිවරුන්ගේ අධිපතීහු ය. 22 ලෝතාන්ගේ දරුවෝ නම් හෝරි සහ හේමාම් ය. ලෝතාන්ගේ සහෝදරී තිම්නා ය. 23 ෂෝබාල්ගේ දරුවෝ නම් අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපෝ සහ ඕනාම් ය. 24 ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනා ය. තමාගේ පියා වූ ශිබෙයොන්ගේ කොටළුවන්ට පාළු තැන්නෙහි තණ කවමින් සිටිය දී උණු දිය උල්පත් සම්බ වූයේ මේ අනාට ය. 25 අනාගේ දරුවෝ නම් දීෂොන් සහ අනාගේ දුව වූ ඔහොලිබාමා ය. 26 දීෂොන්ගේ දරුවෝ නම් හෙම්දාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය. 27 එශෙර්ගේ දරුවෝ නම් බිල්හන්, සයවාන් සහ අකාන් ය. 28 දීෂාන්ගේ දරුවෝ ඌශ් සහ අරාන් ය. 29 හෝරිවරුන්ගෙන් පැවත ආ අධිපතීහු නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, 30 දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු සේයිර් දේශයෙහි තමන්ගේ ගෝත්‍ර අනුව හෝරිවරුන්ගේ අධිපතියෝ ය.

 ඒදොම් දේශයෙහි රජවරු
(1 වංශා: 1:43-54)

31 ඉශ්රායෙල්වරුන්ගේ රජෙකු එහි රජකම් කිරීමට පෙර ඒදොම් දේශයෙහි රජකම් කළ රජවරු මොවුහු ය. 32 බෙයෝර්ගේ පුත් බෙලා ඒදොම්හි රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම දින්හාබා ය. 33 බෙලා මළ පසු, ඔහු වෙනුවට බොශ්රායේ ගෙරාගේ පුත්‍ර ජෝබාබ් රජකම් කෙළේ ය. 34 ජෝබාබ් මළ පසු ඔහු වෙනුවට තේමානිවරුන්ගේ දේශයේ හුෂාම් රජකම් කෙළේ ය. 35 හුෂාම් මළ පසු, ඔහු වෙනුවට මො‍්වබ් දේශයේ මිදියන්වරුන් පරාජය කළ බෙදද්ගේ පුත් හදද් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය. 36 හදද් මළ පසු, ඔහු වෙනුවට මස්රේකාහි ෂම්ලා රජකම් කෙළේ ය. 37 ෂම්ලා මළ පසු, ඔහු වෙනුවට ගංගාව අසල රෙහොබොත්හි ෂාවුල් රජකම් කෙළේ ය. 38 ෂාවුල් මළ පසු, ඔහු වෙනුවට අක්බොර්ගේ පුත් බාල්-හනන් රජකම් කෙළේ ය. 39 අක්බොර්ගේ පුත්‍ර බාල්-හනන් මළ පසු, ඔහු වෙනුවට හදාර් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායු ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහබ්ගේ දුව වූ මත්රෙද්ගේ දූ ය.
40 තම තමන්ගේ පෙළපත හා තම තමන්ගේ පේරුව අනුව, ඒසව්ගෙන් පැවත ආ අධිපතීන්ගේ නාමාවලිය නම් තිම්නා, අල්වා ජෙතේත්, 41 අධිපති ඔහොලිබාමා, ඒලා, පීනොන්, 42 අධිපති කෙනස්, තොමාත්, මිබ්ශාර්, 43 අධිපති මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු, දේශයේ තමන්ට උරුම වූ වාසස්ථාන අනුව ඒදොම්හි අධිපතීහු ය. එනම්, ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත ය.

– 37 වන පරිච්ඡේදය –

1 තමාගේ පියා තාවකාලික ව නැවතී සිටි රට වන කානාන් දේශයේ ජාකොබ් පදිංචි විය. 2 ජාකොබ්ගේ පෙළපත් කතාව මේ ය.

ජෝසෙප් සහ ඔහුගේ සහෝදරයෝ

ජෝසෙප්ට වයස අවුරුදු දාහතක් වූ විට, ඔහු තම සහෝදරයන් සමඟ බැටළුවන්ට තණ කවමින් සිටියේ ය. ඔහු සිටියේ තම පියාගේ භාර්යාවන් වන බිල්හාගේ ද, ශිල්පාගේ ද පුත්‍රයන් සමඟ ය. ජෝසෙප් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන පියාට දැන්වුයේ ය.
3 ඉශ්රායෙල් තම දරුවන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කෙළේ ය. මන්ද, ඔහු තම මහලු වියේ ලත් පුත්‍රයා බැවිනි. ඒ නිසා ඔහු ජෝසෙප්ට අත් ඇති, දිග විශේෂ ඇඳුමක් සාදා දුනි. 4 ඔවුන්ගේ පියා, ඔවුන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කරන බව දැක ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළහ. එබැවින් ඔහු සමඟ මිත්‍ර ලීලාවෙන් කතා කිරීමට ඔවුන්ට නොහැකි විය.
5 ජෝසෙප් සිහිනයක් දැක, තම සොහොයුරන්ට එය කීවේ ය. ඒ නිසා ඔව්හු ඔහුට වඩ වඩාත් වෛර කරන්නට වන්හ. 6 ඔහු ද ඔවුන්ට කතා කොට, ”කරුණාකර, මා දුටු සිහිනයට ඇහුම්කන් දෙන්න. 7 මෙන්න, අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු. එවිට, පුදුමයකි, මාගේ ගොයම් මිටිය නැඟිට කෙළින් සිටියේ ය. ඔබ හැමගේ ගොයම් මිටි, එය වටේට සිටගෙන, මාගේ ගොයම් මිටියට නැමී ආචාර කෙළේ ය”යි කීවේ ය. 8 එවිට ඔහුගේ සහෝදරයෝ, ”ඇත්තට ම ඔබ අප කෙරෙහි රජකම් කරන්නට යන්නෙහි ද? සැබැවින් ම ඔබ අප කෙරෙහි අධිපති බලය පාන්න යන්නෙහි දැ”යි ඇසූ හ. එබැවින් ඔව්හු මේ සිහින නිසාත්, ඔහුගේ කියුම් නිසාත් ඔහුට තව තවත් වෛර කළහ.
9 තවද, ඔහු තවත් සිහිනයක් දැක, එය ද තම සොහොයුරන්ට දන්වමින්, ”මේ අහන්න, මම තවත් සිහිනයක් දිටිමි. පුදුමයකි, ඉර, හඳ හා තාරකා එකොළහක් මට නැමී ආචාර කෙළේ ය”යි කී ය. 10 තවද, ජෝසෙප් තම පියාටත්, තම සහෝදරයන්ටත් එය දැන්වී ය. එවිට ඔහුගේ පියා ඔහුට බැණ වදිමින්, ”නුඹ දුටු මේ සිහිනයේ තේරුම කුමක් ද? ඇත්තට ම, නුඹේ අම්මාත්, නුඹේ සහෝදරයෝත්, මමත් බිමට නැමී නුඹට ආචාර කරන්ට එන්නෙමු දැ”යි ඇසී ය. 11 ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කළහ. එහෙත් ඔහුගේ පියා, ඔහු කියූ කරුණ සිතේ තබාගත්තේ ය.

ජෝසෙප් මිසරයට විකුණනු ලැබීම

12 ඔහුගේ සහෝදරයෝ ද තම පියාගේ එළු බැටළු පට්ටි බලාගනු පිණිස ෂෙකෙම් නම් පෙදෙසට ගියහ. 13 එවිට ඉශ්රායෙල් ජෝසෙප්ට කතා කරමින්, ”නුඹේ සහෝදරයන් ෂෙකෙම්හි එළු බැටළු පට්ටි බලාගන්නවා නොවේ ද? එන්න, මම නුඹ ඔවුන් වෙත යවමි”යි කී විට, ජෝසෙප් ද, ”මම ලෑස්ති ය” කියා උත්තර දුනි. 14 ඔහුගේ පියා තවදුරටත් කතා කරමින්, ”කරුණාකර, යන්න, නුඹේ සහෝදරයොත් එළු බැටළුවොත් සුව සේ සිටිත් දැ යි බලාගෙන ඇවිත් මට දන්වන්නැ”යි කී ය. මෙසේ කියා ඔහු හෙබ්‍රොන් නම් මිටියාවතින් ජෝසෙප් පිටත් කර හැරියේ ය.
ජෝසෙප් ෂෙකෙම් පෙදෙසට පැමිණ, එහි තැනින් තැන යන විට, 15 එක්තරා මිනිසෙකුට ඔහු හමු වී, ”ඔබ කුමක් සොයන්නෙහි දැ”යි ඒ මිනිසා ඔහුගෙන් විචාළේ ය. 16 ඔහු ද කතා කොට, ”මම මාගේ සොහොයුරන් සොයමි. ඔවුන් බැටළුවන්ට තණ කවන්නේ කොහේ ද කියා කරුණාකර මට කියන්නැ”යි උත්තර දුන්නේ ය. 17 එවිට ඒ මිනිසා, ”ඔබේ සහෝදරයන් මෙතැනින් යන්න ඇත. ‘අපි දොතාන් නම් පෙදෙසට යමු’යි ඔවුන් කියනු මට ඇසිණි”යි කීවේ ය. එවිට ජෝසෙප් තම සොහොයුරන් සොයා යන විට, දොතාන්හි දී ඔව්හු ඔහුට හමු වූ හ.
18 ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ. 19 ඔව්හු එකිනෙකා අමතමින්, ”ඔය එන්නේ ස්වප්නකාරයා. 20 දැන් ඉතින් වරෙල්ලා, අපි ඔහු මරා වළකට දමා, ‘මොකෙක් හරි නපුරු වන සතෙක් ඔහු කාදැමුවේ ය’යි කියමු. එවිට ඔහුගේ සිහිනවලට සිදුවන දේ බලමු”යි කතා කරගත්හ.
21 රූබන් ඒ අසා, ඔවුන් අතින් ඔහු මුදාගැනීමට බලමින්, ”අපි ඔහුගේ ජීවිතයට හානියක් නොකරමු”යි කී ය. 22 තවදුරටත් ඔහු ඔවුන්ට කතා කොට, ”ලේ බිඳක් නොහළා, පාළු තැන්නේ ඇති මේ වළට අපි ඔහු විසිකර දමමු. ඔහුට නම් අත නොතබන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ ඔවුන්ගෙන් ඔහු බේරාගෙන, තම පියාට නැවත ඔහු මුදා දෙන පිණිස ය. 23 ජෝසෙප් තම සොහොයුරන් වෙත පැමිණි විට ඔව්හු ඔහුගේ ඇඳුම, අත් ඇති, දිග, විශේෂ ඇඳුම ගලවාදමා, 24 ඔහු රැගෙන වළකට දැමූ හ. ඒ වළ ද වතුර නැති හිස් එකක් විය.
25 ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ. 26 එවිට ජුදා තම සොහොයුරන් අමතමින්, ”අපේ සහෝදරයා මරා දමා, ඔහුගේ ලේ සැඟවීමෙන් කුමන පලක් ද? 27 එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ”යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ. 28 මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ.
29 එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන, 30 සිය සොහොයුරන් වෙත නැවත පැමිණ, ”ළමයා නැත, ඉතින් මම කුමක් කරන්න දැ”යි කී ය.
31 ඔව්හු ද එළු පැටියෙකු මරා, ජෝසෙප්ගේ වස්ත්‍රය ගෙන, එය එහි ලේවල ගැල්වූ හ. 32 පසුව අත් ඇති, දිග, එම විශේෂ ඇඳුම තමන්ගේ පියා වෙත ගෙනැවිත්, ”මෙය අපට සම්බ විය, එය ඔබ පුත්‍රයාගේ වස්ත්‍රය ද, නැද්දැ යි කියා සොයා බලන්නැ”යි කී හ.
33 ඔවුන්ගේ පියා වන ජාකොබ් ද, එය බලා හඳුනාගෙන, ”මෙය මාගේ පුතාගේ වස්ත්‍රය ම යි. නපුරු සතෙකු අනුමානයක් නැති ව ම ඔහු කෑලිවලට ඉරාදමා ඇත” කියා, 34 දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම ඉණ වටා හණ රෙදි ඇඳගෙන, බොහෝ දිනක් තම පුත්‍රයා නිසා වැලපුණේ ය. 35 ඔහුගේ පුත්තු හා දූවරු සියල්ලෝ ම ඔහු සනසන්නට නැඟිට ආහ. එහෙත් ඔහු සනසනු ලැබීමට අකමැති ව, ”මම වැලපෙමින් ම මාගේ පුතු වෙත මිනීවළට යන්නෙමි”යි කී ය. මෙලෙස ඔහුගේ පියා ඔහු නිසා හඬා වැලපුණේ ය.
36 මිදියන්වරු, මිසරයේ දී පාරාවෝ රජුගේ වාසල ඇමති හා මුර සෙන්පති වන පොතිපර්ට ජෝසෙප් විකුණුවෝ ය.

– 38 වන පරිච්ඡේදය –

ජුදා සහ තාමාර්ගේ කතාව

1 එකල ජුදා තම සහෝදරයන්ගෙන් වෙන් වී අදුල්ලම් නම් නගරයේ වැසියෙකු වන හීරා නමැත්තෙකු සමඟ වාසය කිරීමට ගියේය. 2 එහි දී ඔහු කානානිය ජාතික, ෂුවා නමැත්තෙකුගේ දුවක දැක, ඈ සරණ පාවාගෙන, ඈ සමඟ විසුවේ ය. 3 ඈ ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ජුදා ඔහුට ඒර් යන නම තැබී ය. 4 ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ඈ ඔහුට ඕනාන් යන නම තැබුවා ය. 5 ඈ තව වරක් ගැබ්ගෙන පුතෙකු ලැබුවෙන්, ඔහුට ෂේලා යන නම තැබුවා ය. ඈ ෂේලා ලැබූ විට, ජුදා සිටියේ කෙසිබ් නම් ස්ථානයේ ය.
6 ජුදා තම කුලුඳුල් පුත් ඒර්ට තාමාර් නමැති ස්ත්‍රියක විවාහ කොට දුනි. 7 එහෙත් ජුදාගේ කුලුඳුල් පුත් ඒර්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව බොහෝ පව් කළ හෙයින් උන් වහන්සේ ඔහු මැරෙන්නට සැලැසූ සේක. 8 එවිට ජුදා ඕනාන්ට කතා කොට, ”නුඹ සහෝදරයාගේ වැන්දඹුව සරණ පාවාගෙන, මස්සිනා කෙනෙකු නිසා ඈ වෙත යුතුකම ඉටු කර සහෝදරයාට දරුවන් උත්පාද කරන්නැ”යි කී ය. 9 එහෙත්, ඕනාන්, දරුවන් තමාගේ නොවන බව දැනගෙන, තම සහෝදරයාගේ වැන්දඹුව සමඟ සයනය කළ සැම විට ම සිය සහෝදරයාට දරුවන් නො දෙනු පිණිස තම පුරුෂ ධාතු බිම වැගිරෙන්නට සැලැසී ය. 10 ඔහු කළ ක්‍රියාව සමිඳාණන් වහන්සේට අප්‍රසන්න වූ හෙයින්, උන් වහන්සේ ඔහු ද මැරෙන්නට සැලැසූ සේක. 11 එවිට ජුදා තම ලේලිය වන තාමාර්ට කතා කොට, ”මාගේ පුත්‍ර ෂේලා වැඩිවියට පැමිණෙන තෙක් ඔබේ පියා වෙත වැන්දඹුවක මෙන් ආපසු යන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, ‘ඔහුගේ සහෝදරයන්ට වූ ලෙස ම ඇතැම් විට ඔහුත් මැරෙන්නට පුළුවනැ’යි සිතූ නිසා ය. එවිට තාමාර් ගොස්, තම පියාගේ ගෘහයෙහි පදිංචි වූවා ය.
12 කලක් ගිය පසු ෂුවාගේ දුව වූ ජුදාගේ භාර්යාව මළා ය. ඔහු ද අවමංගල්‍ය කාලය නිම වූ පසු, අදුල්ලම් නගරවැසි තම මිත්‍ර හීරා සමඟ, තම බැටළුවන්ගේ ලොම් කපන මිනිසුන් වෙත, තිම්නා නම් ස්ථානයට ගියේය. 13 ”ඔබේ මාමණ්ඩි ඔහුගේ බැටළුවන්ගේ ලොම් කපන පිණිස තිම්නාට යන්නේ ය” කියා තාමාර්ට දන්වන ලදින්, 14 ඈ තම කනවැන්දුම් ඇඳුම් ඉවත ලා, මුහුණු වැස්මකින් තම මුහුණ වසා, පොරවාගෙන තිම්නාවට යන මඟ, ඒනයිම් නම් නුවරට ඇතුළු වන ස්ථානයෙහි වාඩි වූවා ය. මන්ද, ෂේලා වැඩිවියට පැමිණි නමුත්, ඔහුට ඈ භාර්යාව කොට නුදුන් බව ඈ දුටු හෙයිනි.
15 ජුදා ඈ දුටු විට ඈ තම මුහුණ වසාගෙන සිටි බැවින් ‘ඈ වේශ්‍යාවකැ’යි ඔහු සිතී ය. 16 ඔහු ද මඟ අසල සිටි ඈ වෙත ගොස්, ”කරුණාකර, එන්න, ඔබ සමඟ සයනය කිරීමට මට ඉඩ හරින්නැ”යි කී ය. මන්ද, ඈ තම ලේලිය බව ඔහු නොදත් හෙයිනි. ඈ ද උත්තර දෙමින්, ”මා සමඟ සේවනයෙහි යෙදෙනු පිණිස ඔබ මට කුමක් දෙන්නෙහි දැ”යි ඇසුවා ය. 17 ”පට්ටියෙන් එළු පැටියෙකු එවන්නෙමි”යි ඔහු කී විට, ”හොඳයි, ඔබ එය එවනතුරු මට අත්තිකාරමක් දෙන්නෙහි දැ”යි විචාළා ය. 18 එවිට ඔහු ද, ”කුමන අත්තිකාරමක් ඔබට දෙන්න දැ”යි ඇසුවෙන්, ඈ ද, ”ඔබගේ මුද්‍රාවත්, මාලයත්, අතේ තිබෙන සැරයටියත් ය”යි උත්තර දුන්නා ය. ඔහු ඒවා ඈට දුන් පසු, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ ද පිළිසිඳගත්තා ය. 19 පසුව ඈ නැඟිට, පිටත් ව ගොස්, සළුව ඉවත ලා, කනවැන්දුම් ස්ත්‍රියකගේ ඇඳුම් ලාගත්තා ය.
20 ජුදා අදුල්ලම් නගරවාසී, තම මිතුරා අත, ස්ත්‍රියගෙන් අත්තිකාරම ආපසු ලබාගන්නා පිණිස එළු පැටියෙකු යැවී ය. එහෙත් ඔහුට ඈ සම්බ නො වූවා ය. 21 එවිට ඔහු එහි සිටිය මිනිසුන්ට කතා කොට, ”ඒනයිම් නම් ස්ථානයේ මඟ අසල සිටි වේශ්‍යාව කොහි දැ”යි ඇසූ විට, ”එහි වේශ්‍යාවක් සිටියේ නැතැ”යි ඔව්හු උත්තර දුන් හ. 22 පසුව ඔහු ජුදා වෙත ආපසු ගොස්, ”මට ඈ සොයාගන්නට බැරි ය, ඇරත් එහි සිටි මිනිස්සු පවා එහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝ ය”යි සැළ කෙළේ ය. 23 එවිට ජුදා කතා කොට, ”ඈ ගත් දේ ඈ ම තබාගත්තාවේ; නැත්නම් මිනිසුන් අපට සිනාසෙන්නට පුළුවනි. ඔබට ඈ සම්බ නුවූ නමුත්, බලන්න, මම මේ බැටළු පැටියා ඈ වෙත යැවීමි”යි කී ය.
24 මාස තුනක් පමණ ගත වූ පසු, ”ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, ”ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, ”ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය. 25 ඈ ද පිටතට ගෙනෙනු ලැබූ විට, තම මාමණ්ඩිට පණිවුඩයක් යවමින්, ”මේවා යම් කෙනෙකුගේ ද, ඒ මිනිසාට දාව මම පිළිසිඳ ගත්තෙමි. එබැවින් කරුණාකර මේ බඩු වන, මුද්‍රාවත්, මාලයත්, සැරයටියත් කාගේ ද කියා විමසා බලන්නැ”යි කීවා ය. 26 ජුදා ද ඒවා හඳුනාගෙන, ”මා පුත් ෂේලා ඈට නුදුන් බැවින් මට වඩා හරි දේ කර ඇත්තේ ඈ ය”යි කී ය. එහෙත්, ඉන්පසු ඈ සමඟ ඔහු සයනය කෙළේ නැත.
27 ඈ ප්‍රසව වේදනාවෙන් පසු වන විට, පුදුමයකි, ඇගේ කුසේ නිඹුල්ලු සිටියහ. 28 ඈ දරුවන් ලබන කල, එක දරුවෙක් අත පිටතට දැමී ය. වින්නඹු මව ද එය ගෙන, ”මොහු පළමුවෙන් පිට වී ය”යි කියා, ඔහුගේ අතේ තද රතු නූලක් බැන්දා ය. 29 එහෙත් ඔහු අත ඇතුළට ඇදගත් විට, ඔහුගේ සහෝදරයා බිහි විය. එවිට වින්නඹු මව ද, ”ඔබ කඩා බිඳගෙන ආ හැටි යස යි” කියා ඔහුට පෙරෙශ් යන නම තැබුවා ය. 30 ඉන්පසු, තම අතේ තද රතු නූල බැඳි ඔහුගේ සහෝදරයා බිහි විය. ඔහුට ශෙරා යන නම දෙන ලදී.

– 39 වන පරිච්ඡේදය –

ජෝසෙප් මිසරයෙහි වාසය කිරීම

1 ජෝසෙප් මිසරයට ගෙනයනු ලැබී ය. එකල පාරාවෝගේ වාසල ඇමති හා මුර සෙන්පති වූ මිසර ජාතික පොතිපර්, ජෝසෙප් එහි ගෙන ගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලයට ගත්තේ ය. 2 සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටියෙන් ඔහුගේ හැම කටයුත්තක් ම සාර්ථක විය. ඔහු මිසර ජාතික තම ස්වාමියාගේ නිවසෙහි වාසය කෙළේ ය. 3 ඔහුගේ ස්වාමියා ද සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටි බවත්, ඔහු කළ සියල්ල සාර්ථක වීමට උන් වහන්සේ සැලැසූ බවත් දිටී ය. 4 එහෙයින් ජෝසෙප් ඔහුගේ ප්‍රසාදයට පාත්‍ර විය. ජෝසෙප් ඔහුට සේවය කෙළේ ය. තවද පොතිපර්, ඔහු තම ගෘහයේ කළමනාකරු කොට පත් කර, තමා සතු සියල්ල ඔහුගේ පාලනයට බාර දුනි. 5 ජෝසෙප් ගෘහයේ හා එහි සියල්ලේ කළමනාකරු හැටියට පත් කළ දින පටන් සමිඳාණන් වහන්සේ මිසර ජාතිකයාගේ ගෘහයට ආශීර්වාද කළ සේක. ඇරත් ඔහුගේ ගෘහයේ හා වතුපිටිවල සියල්ල කෙරෙහි ඒ ආශීර්වාදය විය. 6 පොතිපර් තමා සතු සියල්ල ජෝසෙප්ගේ අතට බාර දුනි. ඔහු තමා අනුභව කළ ආහාර ගැන මිස තමා සතු අන් කිසිවක් ගැන සැලකුවේ නැත.

ජෝසෙප් පෙළඹවීමේ තැත

ජෝසෙප් කඩවසම් පෙනුමක් ඇති, රූපසම්පන්න කෙනෙක් විය. 7 ටික කලක් ගත වූ පසු, ඔහුගේ ස්වාමියාගේ බිරිඳ ජෝසෙප් වෙත නෙත් හෙළා, ”මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. 8 එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර, තම ස්වාමියාගේ බිරිඳ අමතා, ”බලන්න, මා ගෙදර ඉන්න නිසා, කිසි ම දෙයක් ගැන මාගේ ස්වාමියාට බරක් නැත. ඇරත් ඔහු සතු සියල්ල ම මා අතට පවරා දී ඇත. 9 මේ නිවස කෙරෙහි ඔහුට මෙන් ම මට ද පාලන බලය ඇත. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැරෙන්නට, අන් සියල්ල ම මට බාර දී ඇත. එසේ නම් මම මෙ වැනි මහා දුෂ්ට ක්‍රියාවක් කොට, දෙවියන් වහන්සේට විරුද්ධ ව කෙසේ පව් කරම් දැ”යි ඇසී ය. 10 දවසින් දවස, ඈ සමඟ සයනය කිරීමට හෝ ඈ ළඟ සිටීමට හෝ ඈ ජෝසෙප්ට කතා කළ නමුත්, ඔහු ඈට ඇහුම්කන් නුදුන්නේ ය.
11 එක් දිනක් තම සේවා කිරීම පිණිස ජෝසෙප් ගෙට ඇතුළු විය. ගෘහයේ සේවකයන්ගෙන් කිසිවෙක් ද එහි ඇතුළත නො සිටියේ ය. 12 ඈ ඔහුගේ වස්ත්‍රයෙන් අල්ලාගෙන, ”මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. එහෙත් ඔහු තම වස්ත්‍රය ඇගේ අතේ හැරදමා ගෙයින් පිටතට පලා ගියේය. 13 ඈ ද, ඔහුගේ වස්ත්‍රය තමාගේ අතේ හැරදමා, ඔහු පලා ගිය බව දුටු විට, 14 තම ගෘහයේ සේවකයන් කැඳවා, ඔවුන්ට කතා කරමින්, ”බලන්න, මාගේ සැමියා අපට අවමන් කිරීමට අප වෙත හෙබ්‍රෙව් ජාතිකයෙකු ගෙනාවේ ය. මා සමඟ සයනය කිරීමට ඔහු මා ළඟට පැමිණියේ ය, මම ද මහ හඬින් කෑගැසුවෙමි. 15 මා මහ හඬින් කෑගසන බව ඔහුට ඇසුණු විට, මා අත ඔහුගේ වස්ත්‍රය හැරදමා ගෙයින් පිටතට පලා ගියේ ය”යි කීවා ය.
16 මෙසේ කියා තම ස්වාමි පුරුෂයා එන තුරු, ඈ ඔහුගේ වස්ත්‍රය තමා ළඟ තබාගත්තා ය. 17 ඔහුට ද ඈ එම කතාව කියමින්, ”අප වෙත ඔබ ගෙනා හෙබ්‍රෙව් ජාතික සේවකයා, මට නිග්‍රහ කිරීමට මා ළඟට පැමිණියේ ය. 18 මා මහ හඬින් කෑගැසූ විට ඔහු තම වස්ත්‍රය මා වෙත හැරදමා පලා ගියේ ය”යි සැළ කළා ය.
19 ජෝසෙප්ගේ ස්වාමියා ද, ‘ඔබේ සේවකයා මෙලෙස කෙළේ ය’යි තම භාර්යාව කී වචන ඇසූ විට, කෝපයෙන් දිළිහී, 20 ඔහු අත්අඩංගුවට ගෙන රජුගේ සිරකරුවන් තබන සිරගෙයි දැමී ය. මෙසේ ඔහු සිරගෙදර නැවතී සිටියේ ය. 21 එහෙත්, සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිට, ඔහුට කරුණාව පෙන්වා, සිරගෙදර පාලකයාගේ ප්‍රසාදය ද ඔහුට ලබා දුන් සේක. 22 සිරගෙයි පාලකයා ද සිරගෙදර සිටි සියලු සිරකරුවන් ජෝසෙප්ගේ පාලනයට බාර දුන්නේ ය. ඔවුන් එහි කළ සියල්ල පිළිබඳ වගකීම ජෝසෙප් අතෙහි විය. 23 තවද, ජෝසෙප්ගේ පාලනයට පවරා දුන් කිසිවක් ගැන සිරගෙයි පාලකයාට ප්‍රශ්නයක් නො වී ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩසිට, ඔහු කළ සියල්ල ම සාර්ථක කිරීමට සැලැසූ නිසා ය.

– 40 වන පරිච්ඡේදය –

ජෝසෙප් සිරකරුවන්ගේ සිහින තෝරා දීම

1 මීට ස්වල්ප කලකට පසු මිසරයේ රජුගේ කුසලාන පිරිනමන්නා හා පූප සාදන්නා ඔවුන්ගේ ස්වාමියා වන මිසරයේ රජතුමාට විරුද්ධ ව වැරදි කොට තිබිණි. 2 පාරාවෝ රජ කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා හා පූප සාදන්නන්ගේ ප්‍රධානියා යන මේ නිලධාරීන් දෙදෙනාට විරුද්ධ ව කිපී, 3 මුර සෙන්පතියාගේ නිවෙසහි වූ, සිරගෙදර ඔවුන් දැමී ය. ජෝසෙප් ද සිරගත ව සිටියේ එම ස්ථානයේ ය. 4 මුර සෙන්පති ඔවුන් ජෝසෙප්ට බාර දුන්නේ ය. ඔහු ඔවුන් බලාගත්තේ ය. ඔව්හු සෑහෙන කාලයක් සිරගත ව සිටියහ.
5 එකල සිරගත ව සිටි මිසර රජුගේ කුසලාන පිරිනමන්නා හා පූප සාදන්නා යන දෙදෙනා ම තම තමන්ට ම අදාළ වූ තේරුම් ඇති සිහිනයක් බැගින්, එක ම රාත්‍රියේ දී දුටහ. 6 උදය කාලයේ දී ජෝසෙප් ඔවුන් වෙත පැමිණ, ඔවුන් දෙස බැලූ කල, ඔවුන් කණස්සල්ලෙන් සිටිනු දිටී ය. 7 එවිට ඔහු තම ස්වාමියාගේ නිවෙසහි තමා සමඟ හිරගත ව සිටි පාරාවෝගේ වාසල නිලධාරීන්ට කතා කොට, ”අද ඔබ මෙතරම් මළානික ව සිටින්නේ මන්දැ”යි විචාළේ ය. 8 ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, ”අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, ”තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය. ‍‍
9 එවිට ප්‍රධාන කුසලාන පිරිනමන්නා ජෝසෙප්ට කතා කොට, තමාගේ සිහිනය දන්වමින්, ”මම, සිහිනෙන් මා ඉදිරියෙහි මිදි වැලක් දිටිමි. 10 මිදි වැලේ රිකිලි තුනක් විය. තවද එහි, දලු ලියලා මල් හට ගත්තේ ය. එහි වලුවල ඉදුණු මිදි ගෙඩි තිබිණි. 11 පාරාවෝගේ කුසලාන මා අතේ විය. මම මිදි ගෙඩි ගෙන, පාරාවෝගේ කුසලානට ඒවා මිරිකා, පාරාවෝ අතට කුසලාන දුනිමි”යි කීවේ ය.
12 ජෝසෙප් ඔහුට කතා කොට, ”එහි තේරුම නම් මෙය යි. රිකිලි තුන දින තුනකි. 13 තුන් දිනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර ඔබේ නිලය නැවත ඔබට දෙන්නේ ය. ඔබ, කලින් එතුමාගේ කුසලාන පිරිනමන්නා මෙන් සිටිය දී කළ පරිදි නැවත පාරාවෝ අතට කුසලාන දෙන්නෙහි ය. 14 ඉතින් ඔබට හොඳ කාලයක් ආ විට මා සිහිකර, කරුණාකර, මට ප්‍රසාදය දක්වන්න. පාරාවෝට ද මා ගැන සඳහන් කොට, මේ සිරගෙයින් මා පිටතට ගන්න. 15 මන්ද, ඇත්තට ම, මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් පැහැරගනු ලැබීමි. මෙහි දී පවා මේ සිරගෙයි දමනු ලැබීමට මම කිසිවක් නො කෙළෙමි”යි කීවේ ය.
16 ප්‍රධාන පූප සාදන්නා ද එහි තේරුම කදිම බව දුටු විට, ඔහුත් ජෝසෙප්ට කතා කොට, ”මම ද සිහිනෙන්, මාගේ හිස මත පූප පෙට්ටි තුනක් ඇති ව සිටිනු දිටිමි. 17 උඩින් ම තිබූ පෙට්ටියේ පාරාවෝ සඳහා පිසූ විවිධ ආහාර වර්ග තිබිණි. පක්ෂීහු අවුත් මාගේ හිස මත තිබූ පෙට්ටියෙන් ඒවා කෑ හ”යි කීවේ ය. 18 එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, ”එහි තේරුම මෙය යි. පෙට්ටි තුන නම් දින තුනකි. 19 දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය.
20 තවද, තුන් වන දින, පාරාවෝගේ ජන්මෝත්සවය වූයෙන්, ඔහු සියලු නිලධාරීන් සඳහා මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. ඔහු නිලධාරීන් ඉදිරියෙහි කුසලාන පිරිස්නමන්නන්ගේ ප්‍රධානියා හා පූප සාදන්නන්ගේ ප්‍රධානියා සිරගෙයින් පිට කර, 21 කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා යළි එම නිලයට ම පත් කෙළේ ය. ඔහු පාරාවෝ අතට කුසලාන පිරිනැමී ය. 22 එහෙත්, ඔහු පූප සාදන්නන්ගේ ප්‍රධානියා එල්ලාදැමී ය. මෙසේ ජෝසෙප් ඔවුන්ට තේරුම් කර දුන් ලෙස ම සියල්ල සිදු විය. 23 එහෙත් කුසලාන පිරිනමන්නා නම් ජෝසෙප් ගැන නොසිතා ඔහු අමතක කර දැමී ය.

– 41 වන පරිච්ඡේදය –

ජෝසෙප් පාරාවෝගේ සිහින තෝරා දීම

1 අවුරුදු දෙකකට පසු පාරාවෝ සිහිනෙන් තමා නයිල් ගංගාව අසල සිටිනු දිටී ය. 2 එවිට, බලන්න ලස්සන, තරබාරු එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, බට පඳුරු අතර තණ කන්නට වූ හ. 3 උන්ට පසුව, අවලස්සන, කැහැටු, තව එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, ගං ඉවුරේ පෙර කී එළදෙන්නු ළඟ සිටගත්හ. 4 තවද, අවලස්සන, කැහැටු එළදෙන්නු, ලස්සන තරබාරු එළදෙනුන් හත්දෙනා කා දැමූ හ. එවිට පාරාවෝ අවදි විය.
5 ඔහු නැවත නිදාගත්තේ ය. දෙ වන වරටත්, ඔහු සිහිනෙන්, ගොයම් ගහක හටගත් කදිම, රන්වන් ගොයම් කරල් හතක් දිටී ය. 6 ඉන්පසු එහි, පෙරදිග සුළඟින් වියළීගිය තව කේඬෑරි කරල් හතක් මතු විය. 7 තවද, කේඬෑරි කරල් හත, කදිම, රන්වන් කරල් හත ගිලදැමී ය. එවිට පාරාවෝ නින්දෙන් අවදි විය. එය සිහිනයක් බව ඔහු තේරුම්ගත්තේ ය.
8 උදෑසන ඔහුගේ සිත කැළෙඹන්නට විය. ඔහු මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයන් හා ප්‍රාඥායන් සියල්ලන්ට පණිවුඩ යවා, ඔවුන් කැඳවා, ඔවුන්ට තම සිහිනය දැන්වී ය. එහෙත්, පාරාවෝට එය තේරුම්කර දීමට පුළුවන් කිසිවෙක් නො වී ය. 9 එවිට රාජකීය කුසලාන පිරිනමන්නා පාරාවෝට කතා කොට, ”මා අතින් වූ වරද දැන් මට මතක් වෙයි. 10 ඔබතුමා ඔබේ නිලධාරීන් සමඟ කිපී, මා සහ පූප සාදන්නන්ගේ ප්‍රධානියා මුර සෙන්පතිගේ නිවෙසහි වූ හිරගෙයි දැමුවෙහි ය. 11 ඔහුත්, මමත් එක ම රාත්‍රියහි සිහින දුටුවෙමු. අප දුටු සිහින ද අප එක් එක්කෙනාට අදාළ තේරුම් ඇති සිහින විය. 12 තවද, මුර සෙන්පතිගේ සේවකයෙකු වූ, හෙබ්‍රෙව් ජාතික තරුණයෙක් එහි විය. අප ඒවා ඔහුට කී විට අපගේ සිහින ඔහු අපට තේරුම් කොට දුනි. ඔහු අපට ඒවා තේරුම් කොට දුන්නේ අප එක් එක්කෙනා දුටු සිහිනයට ගැලෙපන පරිදි ය. 13 ඇත්තට ම ඔහු අපට තේරුම් කළ ලෙස ම සියල්ල සිදුවිය. එනම් මම නැවත නිලයට පත් කරන ලදිමි. එහෙත් පූප සාදන්නා එල්ලාදමන ලදී”යි කීවේ ය.
14 එවිට පාරාවෝ පණිවුඩයක් යවා ජෝසෙප් කැඳවූ විට, ඔව්හු නොපමාව ඔහු හිරගෙයින් පිටතට ගෙනාහ. ඔහු ද, රැවුළ කපා, තම ඇඳුම් මාරු කර, පාරාවෝ ඉදිරියට පැමිණියේ ය, 15 පාරාවෝ ජෝසෙප්ට කතා කොට, ”මම සිහිනයක් දිටිමි. එය තේරුම් කර දීමට හැකි කෙනෙක් නැත. එහෙත්, නුඹ සිහිනයක් ඇසූ විට, එය තේරුම් කොට දීමට සමතෙකු බව මා අසා තිබේ ය”යි කී ය. 16 ජෝසෙප් උත්තර දෙමින්, ”සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.
17 එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, ”සිහිනෙන්, මම ගං ඉවුරේ සිටිනු දිටිමි. 18 එවිට පුදුමයකි! බලන්න ලස්සන තරබාරු, එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත් බට ගස් අතරෙහි තණ කන්නට වූ හ. 19 උන්ට පසුව වැහැරුණු, ඉතා අවලස්සන, කැහැටු එළදෙන්නු හත්දෙනෙක් ද නැඟී ආහ. මෙබඳු අවලස්සන සතුන් මුළු මිසර දේශයෙහි මීට පෙර මා කවදාවත් දැක නැත. 20 තවද, කෙට්ටු, අවලස්සන එළදෙන්නු, පළමු තරබාරු එළදෙන්නු හත්දෙන කා දැමූ හ. 21 උන් කා දැමූ පසු, උන් කෑ බවක් දැනගන්නට වත් බැරි විය. මන්ද, කලින් සිටියාක් මෙන් ම අවලස්සන තත්ත්වයක සිටි නිසා ය. එවිට මම පිබිදුණෙමි.
22 තව වරක් මම සිහිනෙන්, එක ගොයම් ගහක හටගත් කදිම, රන්වන් කරල් හතක් දිටිමි. 23 ඊට පසු මැළවුණු, නිසරු, පෙරදිග සුළඟින් වියළී ගිය තව කරල් හතක් එහි මතු විය. 24 එවිට නිසරු කරල්, රන්වන් කරල් ගිලදැමී ය. මම මෙය ඉන්ද්‍රජාලිකයන්ට කීවෙමි, එහෙත්, එය මට තෝරා දීමට සමත් කිසිවෙක් නැතැ”යි කීවේ ය.
25 එවිට ජෝසෙප් පාරාවෝට කතා කොට, ”පාරාවෝ දුටු සිහිනවල ඇත්තේ එක ම තේරුමකි. දෙවියන් වහන්සේ කරන්න යන දෙය පාරාවෝට පෙන්වා දුන් සේක. 26 හොඳ එළදෙනුන් හත්දෙන අවුරුදු හතකි; හොඳ කරල් හත ද අවුරුදු හතකි; සිහිනය එක ම යි. 27 තවද, උන්ට පසුව නැඟී ආ කැහැටු, බලන්න තරම් අවලස්සන එළදෙනුන් හත්දෙන ද පෙරදිග සුළඟින් වියළීගිය බොල් කරල් හත ද සාගතයක් පවතින අවුරුදු හතකි. 28 මෙය වූ කලී, මා පාරාවෝට කී පරිදි දෙවියන් වහන්සේ කරන්න යන දෙය උන් වහන්සේ පාරාවෝට කල්තියා පෙන්වාදීමකි. 29 මෙන්න, මුළු මිසර දේශය පුරා ඉතා සරුසාර අවුරුදු හතක් පැමිණෙන්නේ ය. 30 ඉන්පසු සාගතයේ අවුරුදු හතක් පැමිණේ. එවිට මිසර දේශයේ සියලු සමෘද්ධිය අමතක වී ගොස්, සාගතය රට කා දමන්නේ ය. 31 පසුව එන සාගතය ඉතා දරුණු වන හෙයින් එහි තිබූ සමෘද්ධිය නොදැනී යන්නේ ය. 32 තවද, ඔබට ඒ සිහිනය දෙවරක් ම පෙනුණේ, දෙවියන් වහන්සේ දැනට ම මේ සිද්ධිය නියම කර තිබෙන නිසාත්, නුදුරු අනාගතයේ දී එය සිදුවෙන්නට උන් වහන්සේ සලසන නිසාත් ය.
33 ”දැන් ඉතින් පාරාවෝ, දක්ෂ, විචක්ෂණ මිනිසෙකු සොයා බලා, මිසර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතු ය. 34 පාරාවෝ මෙය කළ පසු, රටට නිලධාරීන් පත් කොට, සශ්‍රීක අවුරුදු හත තුළ, ඉඩකඩම්වලින් පහෙන් පංගුවක බද්දක් අය කළ යුතු ය. 35 ඔවුන් ඒ සශ්‍රීක අවුරුදු හත තුළ ඇති වන සියලු ආහාර වර්ග එකතු කළ යුතු ය. තවද, ධාන්‍ය, පාරාවෝගේ පාලනය යටතේ ගබඩා කරමින්, ආහාර වර්ග නගරවල තබා ආරක්ෂා කළ යුතු ය. 36 මිසර දේශයේ ඇතිවෙන්නට යන සාගත අවුරුදු හත වළක්වාලීම සඳහා ඒ ආහාර රටේ ගබඩා කොට තැබුවහොත් සාගතයෙන් රට විනාශ නොවනු ඇතැ”යි කීවේ ය.

ජෝසෙප් මිසර දේශාධිපති වීම

37 ඔහුගේ යෝජනාව පාරාවෝට ද ඔහුගේ නිලධාරීන් සියල්ලන්ට ද සතුටුදායක විය. 38 එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, ”තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය. 39 මෙසේ විචාරා, ඔහු ජෝසෙප්ට කතා කොට, ”දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හෙයින් ඔබ වැනි බුද්ධිමත්, දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත. 40 මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි. 41 බලන්න, මුළු මිසර දේශාධිපති කොට මම ඔබ පත් කරමි”යි කියා, 42 ඔහු තම ඇඟිල්ලෙන් පේරැස් මුදුව ගලවා, ජෝසෙප්ගේ ඇඟිල්ලෙහි දමා, අගනා සිනිඳු වස්ත්‍ර ඔහුට හඳවා, ඔහු ගෙල රන් මාලයක් පැළඳ විය.
43 පසුව පාරාවෝ තමා සතු දෙ වන රාජකීය රථයේ ඔහු නංවාලී ය. රාජකීය මුර බළ ඇණිය, ”දණ නමව්” කියා කෑගසමින් පෙරටුව ගියහ. මෙසේ පාරාවෝ මුළු මිසර දේශාධිපති කොට ඔහු පත් කෙළේ ය. 44 තවද, ඔහු ජෝසෙප් අමතමින්, ”මම පාරාවෝ වෙමි, එහෙත් ඔබේ අවසරය නැති ව, මුළු මිසර දේශයෙහි කිසිවෙකු අත වත්, පය වත් නොසෙල්විය යුතු ය”යි කීවේ ය. 45 ඔහු ජෝසෙප්ට ශාපේනත්-පනේයා යන නම තබා, ඕන් යන පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් ඔහුට බිරිඳ කොට සරණ පාවා දුන්නේ ය. ජෝසෙප් ද මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදුණේ ය.
46 මිසරයේ රජ වන පාරාවෝගේ සේවයට ජෝසෙප් බැඳෙන විට ඔහුට වයස අවුරුදු තිහකි. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදිණි. 47 සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය. 48 ඔහු සත් අවුරුද්ද තුළ මිසර දේශයෙහි වූ සියලු ආහාර වර්ග රැස් කොට, ඒවා නගරවල ගබඩා කෙළේ ය. සෑම නගරයක් අවට තිබූ ආහාර ද ඔහු එලෙස ම ගබඩා කොට තැබී ය. 49 ඇරත්, ඔහු මුහුදේ වැලි මෙන් විශාල ප්‍රමාණයකට ධාන්‍ය රැස් කෙළේ ය. ධාන්‍ය මැනීමට බැරි තරම් අධික වූයෙන් ඔහු ඒවා මැනීම නතර කෙළේ ය.

ජෝසෙප්ගේ පුත්‍රයෝ

50 ඕන් නම් පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් සාගත කාලය පැමිණෙන්නට පෙර ජෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙකු ලැබුවා ය. 51 ”දෙවියන් වහන්සේ මාගේ සියලු දුක් කරදර සහ මාගේ පියාගේ මුළු පවුල ද අමතක කිරීමට මට සැලැසූ සේකැ”යි කියා ඔහු තම කුලුඳුල් පුතුට මනස්සේ යන නාමය දුනි. 52 ”දෙවියන් වහන්සේ අපල දේශයේ දී මා සඵල කළ සේකැ”යි කියා ඔහු දෙවැන්නාට එප්‍රායිම් යන නම තැබී ය.
53 තවද, මිසර දේශයෙහි පැවති සමෘද්ධිමත් අවුරුදු හත කෙළවර විය. 54 ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය. 55 මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, ”ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය. 56 සාගතය ද මුළු පොළෝ තලය පුරා පැවතිණි. ජෝසෙප් ගබඩා සියල්ල විවෘත කොට, මිසර වාසීන්ට ධාන්‍ය වික්කේ ය. මුළු මිසර දේශය තුළ සාගතය තදින් බලපෑවේ ය. 57 ධාන්‍ය මිලට ගැනීම සඳහා සෑම රටවලින් ම සෙනඟ ජෝසෙප් වෙත මිසර දේශයට ගලා එන්නට වූ හ. සෑම රටක ම සාගතය දරුණු ලෙස පැවතිණි.

– 42 වන පරිච්ඡේදය –

ජෝසෙප් හා සහෝදරයන් මුණගැසීම

1 මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, ”නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද? 2 බලන්න, මිසරයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත. නුඹලා එහි ගොස්, අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නැ”යි කීවේ ය. 3 එවිට ජෝසෙප්ගේ සහෝදරයෝ දසදෙනා මිසරයේ ධාන්‍ය මිලයට ගනු පිණිස ගියහ. 4 එහෙත් ජාකොබ්, ජෝසෙප්ගේ සහෝදරයා වන බෙන්ජමින්ට ‘සමහරවිට අනතුරක් වේ ය’යි සිතා ඔහුගේ සහෝදරයන් සමඟ ඔහු නොහැරියේ ය.
5 මෙලෙස කානාන් දේශයේ ද සාගතය පැවතිණි, ධාන්‍ය මිලට ගැනීමට ආ අය අතර ඉශ්රායෙල්ගේ පුත්‍රයෝ ද වූ හ. 6 ජෝසෙප් රටේ අධිපති වූවාක් මෙන් ම, රටේ මිනිසුන් සියල්ලන්ට ම ධාන්‍ය විකුණුවේ ද ඔහු ය. ඔහුගේ සහෝදරයෝ පැමිණ, ඔහු ඉදිරියෙහි මුණින්තලා වී වැන්දා හ. 7 ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, ”නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. ”ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ.
8 ජෝසෙප් තම සොහොයුරන් හැඳින ගත් නමුත්, ඔව්හු ඔහු හැඳින නොගත් හ. 9 ඔවුන් ගැන දුටු සිහින ද ඔහුට මතක් වී, ඔවුන්ට කතා කොට, ”නුඹලා ඔත්තුකාරයෝ ය; නුඹලා පැමිණියේ රටේ දුබල තැන් බැලීමට ය”යි කීවේ ය. 10 එවිට ඔව්හු ඔහුට උත්තර දෙමින්, ”නැත ස්වාමීනි, ඔබේ දාසයන් පැමිණියේ ආහාර මිලට ගැනීමට පමණ ය. 11 අපි සියල්ලෝ ම එක මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සු ය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති”යි කී හ. 12 එවිට ජෝසෙප් නැවතත් ඔවුන්ට කතා කරමින්, ”එසේ නොවේ, නුඹලා ආවේ රටේ දුබල තැන් බලාගන්නට පමණ ය”යි කී ය. 13 ඔව්හු ද පිළිතුරු දෙමින්, ”ඔබේ දාසයෝ වනාහි කානාන් දේශයේ එක ම මිනිසෙකුගේ පුත්‍රයන් වන සහෝදරයෝ දොළොස්දෙනෙකි. ඇත්තට ම බාල ම තැනැත්තා අද අපේ පියා සමඟ ය. එක් කෙනෙකු නම් ආගිය අතක් නැතැ”යි කී හ. 14 ජෝසෙප් ද නැවතත් ඔවුන් අමතමින්, ” ‘නුඹලා ඔත්තුකාරයෝ ය’යි මා නුඹලාට කීවේ අන්න ඒ නිසයි. 15 නුඹලා කවුරු ද කියා මම පරීක්ෂා කර බලන්නට යමි. නුඹලාගේ බාල ම සහෝදරයා මෙහි එන තුරු නුඹලා මෙතැනින් නොයන්නහු ය යි පාරාවෝගේ නාමයෙන් දිවුරා කියමි. 16 නුඹලාගෙන් කෙනෙකු පිටත් කර හරින්න, ඔහු නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන ආ යුතු ය. තවද, නුඹලා අවංක අය ය යි කියන කීම පරීක්ෂා කර බලන තුරු නුඹලා හිරබාරයේ තබනු ලබන්නහු ය. එසේ නොවී නම්, නුඹලා ඔත්තුකාරයෝ ය කියා පාරාවෝගේ නාමයෙන් මම දිවුරා කියමි”යි පැවසී ය. 17 ඔහු ඔවුන් සියල්ලන් දින තුනක් ම හිරබාරයේ තැබී ය.
18 තුන් වන දින ජෝසෙප් ඔවුන්ට කතා කොට, ”මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරාගන්න කැමැති නම් මෙසේ කරන්න; 19 නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න. 20 එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය.
ඔව්හු ද ඊට එකඟ වූ හ. 21 ඉන්පසු ඔව්හු එකිනෙකා අමතමින්, ”අපි ඇත්තෙන් ම අපගේ සහෝදරයාට කළ දේ ගැන වරදකරුවෝ වෙමු. ඒ මන්ද, ඔහු අපට කන්නලව් කරද්දී ඔහුගේ වේදනාව දැක දැකත්, අපි ඇහුම්කන් නුදුන්නෙමු. මේ විපත අපට පැමිණියේ ඒ නිසා ම ය”යි කීවෝ ය.
22 එවිට රූබන් පිළිතුරු දෙමින්, ” ‘ළමයාට විරුද්ධ ව පව් නොකරන්න,’ කියා මා ඔබට කීවා නොවේ ද? එහෙත්, ඔබ ඇහුම්කන් නුදුන්නහු ය. එබැවින්, මෙන්න, ඔහුගේ ලේ ගැන අප දැන් වන්දි ගෙවිය යුතු ය”යි කී ය.
23 ඔවුන් කී දේ ජෝසෙප් තේරුම් ගත් බව ඔව්හු දැන නොගත්හ. මන්ද, ඔහු ඔවුන්ට කතා කෙළේ තෝල්කයෙකු මඟින් බැවිනි. 24 ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.

ජෝසෙප්ගේ සහෝදරයන් හැරී යාම

25 ඉන්පසු ජෝසෙප්, ඔවුන්ගේ ගො‍්ණි ධාන්‍යයෙන් පුරවා, සැම දෙනාගේ ම මුදල් එකිනෙකාගේ ගෝණිවල දැමීමටත්, ගමනට උවමනා ආහාර ඔවුන්ට දීමටත් අණ කෙළෙන්, ඔවුන්ට එලෙස කරන ලදී. 26 ඔව්හු කොටළුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් නික්ම ගියහ. 27 රාත්‍රියේ නැවතුම් පොළේ දී ඔවුන්ගෙන් කෙනෙක් තම කොටළුවාට කෑම දෙන පිණිස තම ගෝණිය හැරිය විට, තමාගේ මුදල් ගෝණි කටේ තිබෙනු දිටී ය. 28 එවිට ඔහු තම සොහොයුරන්ට කතා කොට, ”මාගේ මුදල් ආපසු දමා ඇත. බලන්න, එය මාගේ ගෝණිය තුළ ය”යි කී විට, ඔවුන්ගේ සිත් වියවුල් වී, ඔව්හු බියෙන් එකිනෙකා අමතමින්, ”දෙවියන් වහන්සේ අපට කළ මේ දේ කුමක් දැ”යි කියන්නට වූ හ.
29 ඔව්හු කානාන් දේශයේ තම පියා වන ජාකොබ් වෙත පැමිණ තමන්ට සිදුවූ සියල්ල ම ඔහුට දන්වමින්, 30 ”දේශාධිපතියා වූ තැනැත්තා අපට තදින් කතා කොට ඒ රටේ ඔත්තුකාරයන් ලෙස අප සැලකී ය. 31 අපි ද ඔහු අමතා, අප අවංක අය බවත්, ඔත්තුකාරයන් නොවන බවත් කීවෙමු. 32 ඇරත් අපි එක ම පියෙකුගේ පුතුන් වන සහෝදරයන් දොළොස්දෙනෙකුන් බවත්, එක් කෙනෙකු නැති බවත්, බාලයා දැන් කානාන් දේශයේ අපගේ පියා සමඟ සිටින බවත් කීවෙමු. 33 එවිට දේශාධිපතියා වූ ඒ මනුෂ්‍යයා අපට කතා කොට, ‘නුඹලා අවංක අය බව මෙයින් දැනගන්නෙමි. එනම්, නුඹලාගේ සහෝදරයන්ගෙන් කෙනෙකු මා ළඟ නවත්වා නුඹලාගේ පවුල්වල සාගතය සඳහා ආහාර රැගෙන පිටතට යන්න. 34 තවද, නුඹලාගේ බාල ම සහෝදරයා මා වෙත ගෙනෙන්න; මෙයින් නුඹලා ඔත්තුකාරයන් නොවන බවත්, අවංක මිනිසුන් බවත් මම දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා ආපසු මම නුඹලාට දෙන්නෙමි. නුඹලාට ද රටේ වෙළහෙළඳාම් කළ හැකි ය’ කියා කීවේ ය”යි සැළ කළහ.
35 ඔව්හු තමන්ගේ ගෝණි හිස් කළ විට, එකිනෙකාගේ මුදල් පොදිය ඒ ඒ අයගේ ගෝණියේ තිබෙනු දුට හ. ඔව්හු ද, ඔවුන්ගේ පියා ද මුදල් පොදි දුටු විට බිය වූ හ. 36 එවිට ඔවුන්ගේ පියා වන ජාකොබ් ඔවුන් අමතමින්, ”නුඹලා දරුවන්ගෙන් මා වියෝ කළහු ය. ජෝසෙප් දැන් නැත. සිමියොන් ද නැත, බෙන්ජමින් ද රැගෙන යෑම නුඹලාට උවමනා වී තිබේ. මේ සියලු දුක් විඳින්නා මම ය”යි කීවේ ය. 37 එවිට රූබන් තම පියාට කතා කොට, ”ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය. 38 ජාකොබ් එවිට පිළිතුරු දෙමින්, ”නුඹලා සමඟ මාගේ පුත්‍රයා නම් නොයනු ඇත, ඒ මන්ද, ඔහුගේ සහෝදරයා මළ පසු, ඉතිරි වී ඇත්තේ ඔහු පමණ යි. නුඹලා යන අතරමඟ දී ඔහුට අනතුරක් සිදු වුණොත් වයස් ගත මට දුක් පමුණුවා, නුඹලා මා මරාදමන්නහු ය”යි කීවේ ය.

 

– 43 වන පරිච්ඡේදය –

බෙන්ජමින් මිසරයට ගෙන යාම

1 සාගතය රටේ තදබල විය. 2 මිසරයෙන් ගෙනා ධාන්‍ය කා නිම කළ පසු, ඔවුන්ගේ පියා ඔවුන්ට කතා කොට, ”නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්නැ”යි කී ය. 3 එවිට ජුදා ඔහු අමතා, ” ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ සිටියොත් මිස නුඹලා නම් මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට තදින් අවවාද කෙළේ ය. 4 ඔබ අපේ සහෝදරයා අප සමඟ යවන්නෙහි නම්, අපි ගොස් ඔබට ආහාර මිලයට ගන්නෙමු. 5 එහෙත් ඔබ ඔහු යවන්නේ නැත්නම්, අපි ද නොයන්නෙමු. ඒ මන්ද, ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් නුඹලා මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට කීවේ ය”යි පැවසී ය.
6 එවිට ඉශ්රායෙල් කතා කොට, ”නුඹලාට ‘තව සහෝදරයෙකු ඇතැ’යි කීමෙන් මට වද කරන්නේ මන්දැ”යි ඇසී ය. 7 ඔව්හු ද පිළිතුරු දෙමින්, ” ‘නුඹලාගේ පියා තව ම ජීවත් ව සිටිනවා ද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නවා ද?’ කියා මිනිසා අප ගැනත්, අපේ පවුල ගැනත් දිගට ම අසන විට අපි ද ඒ ප්‍රශ්න අනුව උත්තර දුනිමු. ‘නුඹලාගේ සහෝදරයා ගෙන ආ යුතු’යි කියන්න යන බව අප දන්නේ කෙසේ දැ”යි ඇසූ හ. 8 ජුදා තම පියා වන ඉශ්රායෙල්ට කතා කොට, ”ළමයා මා සමඟ යවන්න, එවිට අපත්, ඔබත්, අපේ කුඩා දරුවනුත් නොමැරී ජීවත් වන පිණිස අපි නැඟිට පිටත් ව යන්නෙමු. 9 මම ඔහු ගැන ඇපකාරයෙක් වෙමි. ඔහු ගැන වගකීම මා පිට පවරන්න. මම ඔබ වෙත ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි ඔහු නොසිටුවන්නෙම් නම්, සදහට ම ඒ ගැන මම වරදකරු වන්නෙමි. 10 අපි මෙහි නළංගු වී නොසිටියෙමු නම් ඇත්තෙන් ම දෙ වන වරටත් ගොස් ආපසු එන්න තිබුණි”යි කී ය.
11 එවිට ඔවුන්ගේ පියා වන ඉශ්රායෙල්, එනම් ජාකොබ්, ඔවුන් අමතමින්, ”දැන් ඉතින් එලෙස විය යුතු ම නම්, මෙය ද කරන්න; අපේ රටේ ඇති ඉස්තරම් දේවල් වන ගුගුල් ටිකක් හා මී පැණි ටිකක් ද කුළු බඩු හා ගන්ධරස ද ඇට වර්ග හා කොට්ටම්බා ද ඔබේ පොදිවල දමාගෙන ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න. 12 තවද, මුදල් දෙගුණයක් අතේ ගෙන යන්න; නුඹලාගේ ගෝණිවල කටේ තිබුණු මුදල් ද අතේ රැගෙන යන්න; ඇතැම් විට එය ප්‍රමාද දෝෂයකින් වූවක් වෙන්න පුළුවන. 13 නුඹලාගේ සොහොයුරු රැගෙන, නැඟිට ඒ මිනිසා වෙත ආපසු යන්න; 14 තවද, ඒ මිනිසා නුඹලාගේ අනෙක් සහෝදරයා ද බෙන්ජමින් ද ආපසු එවන ලෙස, සියලු බලැති දෙවියන් වහන්සේ ඔහු හමුවෙහි නුඹලා හට ප්‍රසාදය ලැබෙන්නට සලසන සේක් වා! මාගේ දරුවන් නැතිවෙනවා නම් ඔව්හු නැතිවෙත් වා!”යි කීවේ ය.
15 ඔව්හු තෑගි ගෙන, තමන්ගේ පසුම්බිවල මුදල් දෙගුණයක් ලාගෙන, බෙන්ජමින් ද රැගෙන, නැඟිට, මිසරය බලා ගොස් ජෝසෙප් ඉදිරියෙහි සිටගත්හ. 16 ජෝසෙප් ඔවුන් සමඟ බෙන්ජමින් සිටිනු දුටු විට, තම ගෘහයේ කළමනාකරුට කතා කොට, ”මේ මිනිසුන් මාගේ ගෘහයට ගෙන යන්න; සතෙකු මරා පිළියෙළ කරන්න; මාගේ ගෘහයේ ඔවුන් මා සමඟ දිවා භෝජනය වළඳනු ඇතැ”යි කීවේ ය. 17 ඔහු ජෝසෙප් කී ප්‍රකාර කර ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් කැඳවාගෙන ආවේ ය.
18 ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් ගෙනා බැවින්, ඔව්හු බිය වී, ”අප මෙහි ගෙනාවේ පළමු වර අප ගෝණිවල ආපසු දමා තිබූ මුදල් නිසා ය, ඔහු අපට අඩන්තේට්ටම් කොට පහර දී, අප වහලුන් කොට, අපේ කොටළුවන් ද ගන්නට යන්නේ ය”යි කී හ. 19 පසුව ඔව්හු ජෝසෙප්ගේ ගෘහයේ කළමනාකරු වෙත පැමිණ, ගෙදර දොර අසල ඔහු සමඟ කතා කරමින්, 20 ”මහතාණෙනි, පළමු වරක් ද ආහාර මිලට ගැනීම සඳහා අපි ඇත්තෙන් ම පැමිණියෙමු. 21 අප නැවතුම් පොළට පැමිණ අපේ ගෝණි ඇරිය විට සෑම මිනිසෙකුගේ ම මුදල්, හරි කිරුම් බරට ගෝණි කටේ තිබෙනු අපි දුටුවෙමු. අපි ද එය නැවත ගෙනාවෙමු. 22 ඇරත් ආහාර මිලට ගැනීම සඳහා තවත් මුදල් ද අප අතේ ගෙනාවෙමු. අපගේ ගෝණිවල මුදල් දැමුවේ කවුද කියා නොදනිමු”යි කී හ.
23 එවිට ඔහු උත්තර දෙමින්, ”ඔබට ආසිරි වේ වා! බිය නොවන්න, ඔබේ දෙවියන් වහන්සේ ද, ඔබේ පියාගේ දෙවියන් වහන්සේ ද, ඔබේ ගෝණිවල ඔබට නිධානයක් දුන් සේක. ඔබේ මුදල් මට ලැබුණේ ය”යි කී ය. ඉන්පසු ඔහු සිමියොන් ඔවුන් වෙත කැඳවාගෙන ආවේ ය.
24 පසුව ඔහු, ඔවුන් ජෝසෙප්ගේ ගෘහයට ගෙනැවිත්, ඔවුන්ට වතුර දුන් විට ඔව්හු තමන් පාද සෝදාගත්හ. ඉන්පසු ඔහු ඔවුන්ගේ කොටළුවන්ට ආහාර දුනි. 25 එම ගෘහයෙහි තමන් ආහාර වැළඳිය යුතු බව ඔවුන් අසා තිබුණෙන්, මද්දහනේ දී ජෝසෙප් එන විට තෑග්ග දීමට ඔව්හු සූදානම් වූ හ. 26 ජෝසෙප් ගෘහයට පැමිණි විට ඔව්හු තමන් ළඟ තිබූ තෑග්ග ඔහුට පිරිනමමින් බිමට නැමී වැන්දා හ. 27 ඔහු ඔවුන්ගේ සුවදුක් අසමින්, ”නුඹලා කී මහලු පියාගේ සැපසනීප කොහොම ද? ඔහු තව ම ජීවත් ව සිටී දැ”යි විමසී ය. 28 ඔව්හු ද පිළිතුරු දෙමින්, ”ඔබේ දාසයා වූ අපේ පියා හොඳ සනීපයෙන් සිටී; ඔහු තව ම ජීවත් ව සිටින්නේ ය”යි කියා හිස පහත් කොට නමස්කාර කළහ.
29 ජෝසෙප් හිස ඔසවා බැලූ කල තම මවගේ පුත්‍රයා වන, තම සහෝදර බෙන්ජමින් දැක, ”නුඹලා මට කී නුඹලාගේ බාල ම සහෝදරයා මොහු දැ”යි අසා, ”මා පුත, ඔබට දෙවි සරණ ලැබේ වා!”යි කීවේ ය. 30 තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියනේ, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය. 31 පසුව ඔහු මුහුණ සෝදාගෙන, පිටතට අවුත් තමා ම හික්මවා ගනිමින්, ”කෑම මේසය පිළියෙළ කරන්නැ”යි කී ය.
32 සේවකයෝ ජෝසෙප්ට වෙන ම මේසයක් ද ඔහුගේ සහෝදරයන්ට වෙන ම මේසයක් ද ඔහු සමඟ වැළඳූ මිසර වාසීන්ට වෙන ම මේසයක් ද පිළියෙළ කළහ. මන්ද, මිසර වැසියන් හෙබ්‍රේව්වරුන් සමඟ කෑම නොකන බැවිනි. එසේ කළොත් මිසර වැසියන්ට එය පිළිකුලකි. 33 ජෝසෙප්ගේ සහෝදරයෝ ද ඔහුට මූණ ලා, වැඩිමලා පටන් බාලයා දක්වා වයස් අනුව පිළිවෙළට වාඩි කරවන ලදහ. ඔව්හු විස්මිත වී එකිනෙකා දෙස බැලූ හ. 34 පසුව ජෝසෙප් තම මේසයෙන් ඔවුන් එකිනෙකාට ආහාර යැව්වේ ය. එහෙත්, බෙන්ජමින්ගේ කොටස අනික් අයගේ කොටස් මෙන් පස් ගුණයක් විය. ඔව්හු ද ඔහු සමඟ බීම පානය කොට ප්‍රීති ප්‍රමෝද වූ හ.

– 44 වන පරිච්ඡේදය –

නැති වූ කුසලාන

1 ජෝසෙප් තම ගෘහයේ කළමනාකරුට කතා කොට, ”මොවුන්ගේ ගෝණි මොවුන්ට උසුලාගෙන යන්න හැකිතරම් ආහාරවලින් පුරවා, එකිනෙකාගේ මුදල් ඒ ඒ අයගේ ගෝණි කටේ දමන්න. 2 තවද, මාගේ කුසලාන එනම් මාගේ රිදී කුසලාන, බාලයාට අයිති ගෝණියේ කටේ ඔහු ධාන්‍යවලට ගෙවූ මුදලත් සමඟ දමන්නැ”යි අණ කෙළේ ය. ඔහු ද ජෝසෙප් කී හැටියට ම ඉටු කෙළේ ය.
3 උදය පහන් වූ කල ජෝසෙප්ගේ සහෝදරයෝ ඔවුන්ගේ කොටළුවන් සමඟ පිටත් කර හරින ලදහ. 4 මොවුන් නගරයෙන් පිටතට ගොස්, වැඩි දුරක් යන්නට ප්‍රථම, ජෝසෙප් තම කළමනාකරුට කතා කොට, ”නැඟිට අර මිනිසුන් ලුහුබැඳ යන්න, නුඹට ඔවුන් හමු වූ කල ඔවුන්ට කතා කොට, ‘හොඳක් කළා ම නරකක් කෙළේ මන් ද? නුඹලා මාගේ රිදී කුසලාන සොරකම් කෙළේ ඇයි? 5 මාගේ ස්වාමියා පානය කරන්නටත්, දිවැස් කියන්නටත් භාවිත කරන්නේ මෙය නොවේ ද? මෙසේ කිරීමෙන් නුඹලා කර ඇත්තේ දුෂ්ටකමකි’ කියා කියන්නැ”යි කීවේ ය.
6 කළමනාකරු ඔවුන් හමු වූ විට එසේ ම කී ය. 7 එවිට ඔව්හු ඔහුට කතා කොට, ”ස්වාමීනි, ඔබ මෙසේ කීමෙන් අදහස් කරන්නේ කුමක් ද? මෙවැන්නක් කිරීමට ඔබේ දාසයන් හීනෙන් වත් සිතන්නේ නැත. 8 බලන්න, අපේ ගෝණි කටේ තිබී සම්බ වූ මුදල් ද කානාන් දේශයේ සිට නැවත ඔබ වෙත අපි ගෙනාවෙමු. එසේ නම් ඔබ ස්වාමියාගේ ගෘහයෙන් රිදී හෝ රත්රන් හෝ අප සොරකම් කරන්නේ කොහොම ද? 9 ඔබගේ දාසයන් අතර යම් කෙනෙකු ළඟ තිබී එය සොයාගතහොත් ඔහු මැරුණා වේ! අපි ද අප ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමු”යි කී හ. 10 ඔහු පිළිතුරු දෙමින්, ”හොඳයි, නුඹලා කී ලෙස ඉටු වේ වා! කවුරුන් හෝ ළඟ තිබී එය සම්බවුවහොත් ඔහු මාගේ වහලා වන්නේ ය; නුඹලා නිදහස් වන්නහු ය”යි කීවේ ය. 11 එවිට ඔව්හු කඩිනම් කොට එකිනෙකා තම තමාගේ ගෝණි බිමට බා, තම තමාගේ ගෝණි ඇරියෝ ය. 12 ඔහු ද වැඩිමලාගෙන් පටන්ගෙන බාලයා දක්වා ඒවා අවුස්සා බැලූ විට බෙන්ජමින්ගේ ගෝණියේ තිබී කුසලාන සම්බ විය. 13 එවිට ඔව්හු දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම තමන් කොටළුවන් පිට බඩු පටවාගෙන ආපසු නගරය බලා පැමිණියෝ ය.
14 මෙසේ ජුදා සහ ඔහුගේ සහෝදරයන් ජෝසෙප්ගේ ගෘහයට ආපසු පැමිණි විට ජෝසෙප් එතෙක් එහි සිටියෙන්, ඔව්හු ඔහු ඉදිරියෙහි බිම වැටී වැන්දා හ. 15 ඔහු ඔවුන් අමතමින්, ”නුඹලා කළ මේ දේ කුමක් ද? මා වැනි කෙනෙකුට ඇත්තෙන් ම දිවැස් කීමට හැකි බව නුඹලා නොදන්නහු දැ”යි ඇසී ය. 16 එවිට ජුදා කතා කොට, ”මාගේ ස්වාමීන් හට අප කුමන පිළිතුරක් දෙන්න ද? අප කුමක් කියන්න ද? අපි කෙසේ නම් මේ ගැන නිදොස් වමු ද? දෙවියන් වහන්සේ ඔබේ දාසයන්ගේ දුෂ්ටකම මතුකර පෙනෙන්නට සැලැසූ සේක. මෙන්න, තමා ළඟ කුසලාන තිබී සම්බ වූ තැනැත්තාත් අපිත්, මාගේ ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමු”යි කීවේ ය. 17 ජෝසෙප් එවිට උත්තර දෙමින්, ”එසේ නො වේ වා! මම එවැන්නක් නොකරමි. එහෙත්, යමෙකු ළඟ තිබී කුසලාන සම්බ වූයේ ද ඔහු පමණක් මාගේ වහලා වන්නේ ය. නුඹලා සැම දෙන නැඟිට නුඹලාගේ පියා වෙත සාමදානයෙන් යන්නැ”යි කී ය.

ජුදා මැදහත් වීම

18 එවිට ජුදා ජෝසෙප් ළඟට පැමිණ, ”මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබට පොද්ගලික ව වචනයක් කීමට ඔබේ දාසයාට අවසර දෙනු මැනව. ඔබේ දාසයාට විරුද්ධ ව ඔබේ කෝපය නොඇවිලේ වා! ඔබ ඇත්තෙන් ම පාරාවෝ හා සමාන ය. 19 ‘නුඹලාට පියෙක් හෝ සහෝදරයෙක් හෝ සිටී දැ’යි මාගේ ස්වාමීන් වන ඔබ දාසයන් වන අපෙන් ඇසුවෙහි ය. 20 අපි මාගේ ස්වාමීන් අමතා, ‘මහලු වියේ සිටින පියෙක් ද මහලු වියේ ඔහු ලැබූ කුඩා ළමයෙක් ද අපට ඇත. ඔහුගේ සහෝදරයා මළේ ය. මවගේ දරුවන්ගෙන් ඉතිරි ව ඇත්තේ ඔහු පමණ යි, ඔහුගේ පියා ද ඔහුට ප්‍රේම කරයි’ කියා කීවෙමු. 21 එවිට ඔබ ඔබේ දාසයන් අමතා, ‘මට ඔහු බලා දැකගන්න පිණිස ඔහු ගෙනෙන්නැ’යි කීවෙහි ය. 22 අපි එවිට, ‘ළමයාට නම් පියා අත්හැර එන්න බැරි ය; පියාගෙන් ඔහු වියෝ වී ආවොත් පියා මැරේවි’ කියා කීවෙමු. 23 ඔබ එවිට ඔබේ දාසයන් අමතා, ‘නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස මින්පසු නුඹලා මා ඉදිරියට නො ආ යුතුය’යි කීවෙහි ය.
24 ”තවද, අපි ඔබේ දාසයා වන මාගේ පියා වෙත පැමිණි විට, මාගේ ස්වාමියා කී දේ ඔහුට සැළ කෙළෙමු. 25 අපගේ පියා, ‘නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්න ය’යි කීවේ ය. 26 එවිට අපි, ‘අපට නම් යන්න බැරි ය; අපේ බාල ම සහෝදරයා අප සමඟ යතොත් නම් අපි යමු; මන්ද, අපේ බාල ම සහෝදරයා අප සමඟ නැත්නම් අප අධිපති තැන ඉදිරියට නොයා යුතු ය’යි කීවෙමු. 27 එවිට ඔබේ දාසයා වන මාගේ පියා අපට කතා කොට, ‘මාගේ බිරිඳ මට දාව පුත්‍රයන් දෙදෙනෙකු බිහි කළ බව නුඹලා දන්නහු ය. 28 එක් කෙනෙකු මාගෙන් වියෝ වී ගිය විට, ඇත්තෙන් ම සතෙකු ඔහු කෑලි කෑලිවලට ඉරාදමා ඇතැ යි මම කීවෙමි. මන්ද, එවක් පටන් මම ඔහු නුදුටිමි. 29 ඔබ මොහු වත් මාගෙන් රැගෙන ගොස් මොහුට අනතුරක් වූයේ නම්, නුඹලා මා පැසුණු හිසකේ එක්ක වළපල්ලට අරින්නට හදන්නහු දැ’යි කී ය. 30 දැන් ඉතින් ඔබේ දාසයා වන මාගේ පියා වෙත මා පැමිණි විට අප සමඟ ළමයා නැත්නම්, ඔහුගේ පණ කෙන්ද ළමයාගේ පණ කෙන්ද සමඟ වෙළී පවතින බව මට පෙනෙන නිසා, 31 අප සමඟ ළමයා නැති බව ඔහු දැක ඔහු නසින්නේ ය. මෙලෙස ඔබේ දාසයෝ ද ඔබ දාසයා වන අපේ මහලු පියාට දුක් දී, මරණයට පත් කරන්නෝ ය. 32 ඔබේ දාසයා වන මම, ‘ඔහු ඔබ වෙත නො ගෙනාවොත් ඒ වරද, මාගේ පියා ඉදිරියෙහි මම සදහට ම බාර ගන්නෙමි’ කියා මාගේ පියාට ළමයාගේ ඇපකරු වූයෙමි. 33 දැන් ඉතින්, මාගේ ස්වාමීන් වෙත ළමයා වෙනුවට මේ ඔබේ දාසයා වහලෙකු මෙන් සිටින්නේ ය. කරුණාකර, ළමයාට ඔහුගේ සහෝදරයන් සමඟ යන්න ඉඩ හරිනු මැනවි. 34 ළමයා මා සමඟ නැති ව මම කෙසේ නම් මාගේ පියා වෙතට යන්නෙම් ද? මාගේ පියාට පැමිණෙන්නට යන විපත මාගේ ඇස්වලින් බලන්න බැරි ය”යි කීවේ ය.

– 45 වන පරිච්ඡේදය –

ජෝසෙප් තමා හඳුන්වා දීම

1 එවිට ජෝසෙප්ට තමා ළඟ සිටි පිරිවර ඉදිරියේ තමන් සිත වාවාගත නොහැකි වී, ”සියල්ලන් ම මා වෙතින් ඉවතට යන්න හරින්නැ”යි හඬනැඟුවේ ය. මෙසේ ජෝසෙප් ඔහුගේ සහෝදරයන්ට තමන් ම හඳුන්වා දෙන විට ඔහු සමඟ අන් කිසිවෙක් එහි නොසිටියේ ය. 2 ඔහු මහ හඬින් හැඬී ය. මිසර වාසීන්ට ද, පාරාවෝගේ රජ වාසල අයට ද එය ඇසිණි. 3 ජෝසෙප් ඔහුගේ සහෝදරයන් අමතමින්, ”මම ජෝසෙප් ය. මාගේ පියා තව ම ජීවත් ව සිටී දැ”යි ඇසී ය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණීම්භූත ව සිටි හෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකි විය.
4 නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, ”කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, ”ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය, 5 ඔබ මා මෙහි විකුණූ නිසා කරදර නො වන්න; නො තැවෙන්න. මන්ද, ඔබේ ජීවිතය රකිනු පිණිස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි එවූ සේක. 6 මේ සාගතය රටේ පැවතෙන දෙ වන අවුරුද්ද ය; සීසෑමක් හෝ අස්වැන්න නෙළීමක් හෝ නැති අවුරුදු පහක් තව ඇත. 7 මිහි පිට ඔබට පෙළපතක් පවතින පිණිසත්, ඔබගෙන් බොහෝ දෙනෙකු ගළවා ඔබේ ජීවිත ආරක්ෂා කිරීමටත් දෙවියන් වහන්සේ ඔබට පෙරටුව මා එවූ සේක. 8 එබැවින් මා මෙහි එවූයේ ඇත්තෙන් ම ඔබ නොව දෙවියන් වහන්සේ ය. තවද, උන් වහන්සේ පාරාවෝ හට මා පියෙකු කොට, ඔහුගේ රජ වාසල මුදලිඳු වශයෙන් ද, මුළු මිසර දේශාධිපති වශයෙන් ද මා පත් කළ සේක.
9 ”ඔබ සැම කඩිනම් කොට මා පියා වෙත ගොස් ඔහුට කතා කොට, ඔබේ පුත්‍රයා වන ජෝසෙප් මෙසේ පවසයි: ‘දෙවියන් වහන්සේ මුළු මිසරයේ අධිපති වශයෙන් මා පත් කළ සේක. පමා නොවී මා වෙත පැමිණෙන්න. 10 ඔබ, ගෝෂෙන් නම් පළාතේ පදිංචි වී, එහි ඔබ ද ඔබේ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ඔබේ එළු බැටළු පට්ටි හා ගව පට්ටි ද ඔබ සතු සියල්ලන් ද මට කිට්ටුවෙන් සිටිය යුතු ය. 11 තව පස් අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබත්, ඔබ ගෙවැසියනුත්, ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට, ඔබට අගහිඟයක් නැති වන සේ මම එහි දී ඔබට සියල්ල ම සපයමි’යි කී ය. 12 තවද, ඔබට කතා කරන්නේ ජෝසෙප් ම බව ඔබ සැමගේ නෙත්වලටත්, මා සොහොයුරු බෙන්ජමින්ගේ නෙත්වලටත් පෙනෙනු ඇත. 13 ඇරත්, මිසරයේ මාගේ ශ්‍රේෂ්ඨතම පදවියත්, ඔබ දුටු සියල්ලත් පියාට දන්වා, හනික ගොස් මාගේ පියා මෙහි කැඳවා ගෙන එන්නැ”යි කීවේ ය.
14 ඉන්පසු ඔහු තම සොහොයුරු බෙන්ජමින්ගේ ගෙල වැළඳගෙන හැඬී ය. බෙන්ජමින් ද ඔහුගේ ගෙල වැළඳගෙන හැඬී ය. 15 තවද, ඔහු තම සහෝදරයන් සියල්ලන් ම සිඹ වැළඳගෙන හැඬී ය. පසුව ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කළහ.

පාරාවෝගේ ආරාධනය

16 තවද, ජෝසෙප්ගේ සහෝදරයන්ගේ පැමිණීමේ ආරංචිය පාරාවෝගේ ගෘහයේ රැව් දිනි. මෙය පාරාවෝට ද ඔහුගේ නිලධාරීන්ට ද ප්‍රීතිදායක විය. 17 එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, ”ඔබේ සහෝදරයන් අමතා, ‘මෙය කරන්න; එනම්, ඔබේ සතුන් පිට බඩු පටවාගෙන යන්න; කානාන් දේශයට ගොස්, 18 ඔබගේ පියා ද පවුල් ද රැගෙන මා වෙත පැමිණෙන්න; මිසරයේ නිපදවන ඉස්තරම් දේ මම ඔබට දෙමි; ඔබ ද රටේ ඉතා අගනා පලදාව වළඳන්නහු ය’යි දැන්විය යුතු ය. ඔබ ද ඔවුන්ට මෙසේ කරන්න කියා අණ කරන්න. 19 එනම්: ‘ඔබේ කුඩා දරුවන් හා භාර්යාවන් ද සඳහා මිසර දේශයේ රථවාහන රැගෙන ගොස් ඔබේ පියා කැඳවාගෙන එන්න. 20 ඇරත් ඔබේ දේපළ ගැන කරදර නොවන්න, මන්ද, මිසර දේශයේ ඉස්තරම් පෙදෙස ඔබට අයිති වන්නේ ය’ කියා දන්වන්නැ”යි සැළ කෙළේ ය.
21 ඉශ්රායෙල්ගේ දරුවෝ ද එලෙස කළහ. පාරාවෝගේ අණ පරිදි ජෝසෙප් ඔවුන්ට රථවාහන ද මඟට ආහාර ද සැපයී ය. 22 ඔවුන් එක් එක්කෙනාට අලුත් ඇඳුම් කට්ටලයක් බැගින් දුන්නේ ය. එහෙත්, ඔහු බෙන්ජමින්ට රිදී කාසි තුන් සියයක් ද, අලුත් ඇඳුම් කට්ටල පහක් ද දුනි. 23 තවද, ඔහු තමාගේ පියාට මිසරයේ ඉතා අගනා දේ පටවන ලද කොටළුවන් දසදෙනෙකු ද, මාර්ගයේ දී ඔහුට උවමනා ධාන්‍ය ආහාර සහ මස් මාංස පටවන ලද කොටළු දෙනුන් දසදෙනෙකු ද යැවී ය. 24 මෙලෙස ඔහු තම සොහොයුරන් පිටත් කර හැරියේ ය. ඔවුන් නික්ම යන විට, ”අතරමඟ දී දබර නොකරන්නට බලාගන්නැ”යි ඔහු ඔවුන්ට කීවේ ය.
25 ඔව්හු මිසරයෙන් පිටත් ව කානාන් දේශයට අවුත් තම පියා වන ජාකොබ් වෙත පැමිණ, 26 ඔහුට කතා කොට, ”ජෝසෙප් තව ම ජීවත් ව සිටියි. ඇරත් මුළු මිසර දේශයට ම අධිපති ඔහු ය”යි සැළ කළහ. ජාකොබ් ද පුදුමයට පත්වී ඔවුන් විශ්වාස නො කෙළේ ය. 27 ඔව්හු ජෝසෙප් තමන්ට කී සියල්ල ම ජාකොබ්ට දැන්වූ හ. ඔහු ගෙන යාමට ජෝසෙප් එවූ රථවාහන ජාකොබ් දුටු විට ඔහු යළි ප්‍රාණවත් විය. 28 එවිට ජාකොබ් හෙවත් ඉශ්රායෙල් කතා කරමින්, ”දැන් ඇති, මා පුත් ජෝසෙප් තව ම ජීවත් ව සිටියි, මා මැරෙන්න කලින් ගොස් ඔහු දැකගත යුතු ය”යි කීවේ ය.

– 46 වන පරිච්ඡේදය –

ජාකොබ් මිසරය බලා යාම

1 ජාකොබ් හෙවත් ඉශ්රායෙල් තමන් සතු සියල්ල රැගෙන ගමනට පිටත් ව බෙයර්-ෂෙබාවට පැමිණ තම පියා වූ ඊසාක්ගේ දෙවියන් වහන්සේට යාග පූජා ඔප්පු කෙළේ ය. 2 දෙවියන් වහන්සේ ද රාත්‍රියේ දී ජාකොබ්ට දර්ශනය වී, ”ජාකොබ්, ජාකොබ්” කියා ඔහු ඇමතූ සේක. ඔහු, ”මම මෙහි ය” කියා උත්තර දුනි. 3 එවිට උන් වහන්සේ කතා කරමින්, ”මම වනාහි දෙවියන් වහන්සේ වෙමි; නුඹේ පියාගේ දෙවියන් වහන්සේ වෙමි. මිසරයට යෑමට බිය නොවන්න. මන්ද, මම එහි දී නුඹේ පෙළපතින් මහත් ජාතියක් ඇති කරන්නෙමි. 4 මම නුඹ සමඟ මිසරයට ගොස් යළි මම ම නුඹ ආපසු ගෙනෙන්නෙමි. තවද, නුඹ මැරෙන විට ජෝසෙප්ගේ අත නුඹේ ඇස් පියවන්නේ ය”යි වදාළ සේක.
5 පසුව ජාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත් විය. ජාකොබ්ගේ පුත්‍රයෝ තම පියා ද, තමන්ගේ කුඩා දරුවන් ද, තම භාර්යාවන් ද පාරාවෝ ඔවුන් ගෙන යෑමට එවූ රථවල රැගෙන ගියහ. 6 තවද, තමන්ගේ ගව පට්ටි ද, කානාන් දේශයේ දී තමන් උපයාගත් වස්තුව ද රැගෙන ජාකොබ් සහ ඔහු කැටුව ඔහුගේ මුළු පෙළපත මිසරයට පැමිණියහ. 7 මෙලෙස ඔහු තම පුත්‍රයන් ද පුත්‍රයන්ගේ පුත්‍රයන් ද පුත්‍රයන්ගේ දූවරුන් ද මුළු දරු පෙළපත ද තමන් කැටුව මිසරයට ගෙන ආවේ ය.

ජාකොබ්ගේ පෙළපත

8 මිසරයට ගිය ජාකොබ්ගේ පෙළපතේ නාමාවලිය මෙය යි: එනම්, ජාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝ: ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්; 9 රූබන්ගේ පුත්‍රයන් වන හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී; 10 සිමියොන්ගේ පුත්‍රයන් වන ජෙමුවෙල්, ජාමීන්, ඔහද්, ජාකින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර ෂාවුල්; 11 ලෙවීගේ පුත්‍රයන් වන ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරී; 12 ජුදාගේ පුත්‍රයන් වන ඒර්, ඕනාන්, ෂේලා, පෙරෙශ් සහ ශෙරා ය. එහෙත්, ඒර් සහ ඕනාන් කානාන් දේශයේ දී මළහ. පෙරෙශ්ගේ පුත්‍රයන් වන හෙශ්රොන් සහ හාමුල්; 13 ඉස්සාකර්ගේ පුත්‍රයන් වන තෝලා, පුවා, ජෝබ් සහ ෂිම්රොන්; 14 සාබුලොන්ගේ පුත්‍රයන් වන සෙරෙද්, ඒලොන් සහ ජාලෙයෙල්; 15 මොවුහු සහ ජාකොබ්ගේ දුව වන දීනා, ලෙයා මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව ලැබූ දරුවෝ ය. ඔහුගේ දරුදැරියෝ සියල්ලෝ තිස්තුන්දෙනෙකි.
16 ගාද්ගේ පුත්‍රයන් වන ශපියොන්, හග්ගි, ෂූනි, එශ්බොන්, ඒරි, අරෝද් සහ අරේලී ය; 17 ආෂෙර්ගේ පුත්‍රයන් වන ඉමනා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා හා ඔවුන්ගේ සහෝදරී වන සෙරා; බෙරියාගේ පුත්‍රයන් වන හෙබෙර් සහ මල්කියෙල් ය; 18 මොවුහු ලාබන් තම දුව වන ලෙයාට සේවිකාව වශයෙන් දුන් ශිල්පාගේ පුත්‍රයෝ ය. ඈ ජාකොබ්ට දාව මොවුන් ලැබුවා ය. මොවුන්ගේ ගණන දහසයදෙනෙකි.
19 ජාකොබ්ගේ භාර්යාව වූ රාකෙල්ගේ පුත්‍රයන් වන ජෝසෙප් සහ බෙන්ජමින් ය. 20 තවද, මිසර දේශයේ දී ඕන් නම් පූජ්‍ය ස්ථානයේ පොතිපෙරා නම් පූජකයාගේ දුව වන ආසෙනත්, ජෝසෙප්ට දාව මනස්සේ සහ එප්‍රායිම් ලැබුවා ය.
21 බෙන්ජමින්ගේ පුත්‍රයන් වන බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආරද් ය; 22 මොවුහු ජාකොබ්ට දාව උපන් රාකෙල්ගේ පුත්‍රයෝ ය. ඒ සියල්ලෝ දසසතරදෙනකි.
23 දාන් සහ ඔහුගේ පුත්‍රයා වන හුෂිම් ය; 24 නප්තලීගේ පුත්‍රයන් වන ජාශෙයෙල්, ගුනී, ජේශෙර් සහ ෂිල්ලෙම් ය; 25 මොවුහු නම් ලාබන් තම දුව වන රාකෙල්ට සේවිකාව වශයෙන් දුන් බිල්හාගේ පුත්‍රයෝ ය. ඈ ජාකොබ්ට දාව මොවුන් ලැබුවා ය. ඒ සියල්ලෝ සත්දෙනෙකි.
26 ජාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර, ඔහුට දාව උපන්, ඔහු සමඟ මිසරයට ගිය අයගේ මුළු ගණන හැටහයදෙනෙකි. 27 මිසරයේ දී ජෝසෙප්ට දාව උපන් පුත්‍රයන්ගේ ගණන දෙදෙනෙකි. මිසරයට පැමිණි ජාකොබ්ගේ පවුලට අයත් සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ.

ජෝසෙප් ඔවුන් පිළිගැනීම

28 තවද, ජාකොබ්, ජෝසෙප් ඉදිරියට පැමිණෙන පිණිස, තමාට පෙරටුව ඔහු වෙත ජුදා එවී ය. ඔව්හු ගෝෂෙන් නම් පෙදෙසට පැමිණියා හ. 29 එවිට ජෝසෙප් තම රථය සූදානම් කොට, තම පියා වන ජාකොබ් හමු වීමට ගෝෂෙන් බලා ගියේය. තම පියා දුටු කෙණෙහි ම ඔහු ඔහුගේ ගෙල බදාගෙන බොහෝ වේලාවක් ගෙල මත හැඬී ය. 30 එවිට ජාකොබ් ජෝසෙප්ට කතා කොට, ”ඔබේ මූණ දැක ඔබ තව ම ජීවත් ව සිටින බව දුටු හෙයින් දැන් ඉතින් මා මළත් කම් නැතැ”යි කීවේ ය.
31 ඉන්පසු ජෝසෙප් තම සහෝදරයන්ට හා තම පියාගේ ගෙවැසියන්ට කතා කොට, ”මම ගොස් පාරාවෝ ඉදිරියේ පෙනී සිට, ‘කානාන් දේශයේ සිටි මාගේ සහෝදරයන් හා පියාගේ පවුලේ සියල්ලන් මා වෙත පැමිණ ඇත. 32 ඔව්හු එඬේරු ය, සත්ත්ව ගොවිපළවල් පාලනය කරන අය ය. ඔවුන් තමන්ගේ එළු බැටළු රැළ ද ගව රැළ ද තමන් සතු සියල්ල ද ගෙනැවිත් ඇත’ කියන්නෙමි. 33 පාරාවෝ ඔබ කැඳවා, ‘ඔබේ රැකියාව කුමක් දැ’යි ඇසූ විට, 34 ඔබ ද, ‘ඔබේ දාසයන් වන අපිත්, අපේ පියවරුත් තමන් තරුණ වියේ පටන් අද දක්වා සත්ත්ව ගොවිපළවල් රැකබලාගත්තෙමු’යි කියන්න. මෙලෙස ඔබට ගෝෂෙන් පෙදෙසේ පදිංචි වීමට අවසර ලැබේ ය”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, එඬේරුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි.

– 47 වන පරිච්ඡේදය –

පාරාවෝ හමු වීම

1 එවිට ජෝසෙප් පාරාවෝ වෙත අවුත්, ඔහුට කතා කොට, ”මාගේ පියා හා සහෝදරයෝ ද, ඔවුන්ගේ එළු බැටළු රැළ හා ගව රැළ ද, ඔවුන් සතු සියල්ල ද කානාන් දේශයෙන් නික්ම ආවා හ. දැන් ඔව්හු ගෝෂෙන් පෙදෙසේ සිටිති”යි කීවේ ය. 2 තවද, ඔහු තම සහෝදරයන්ගෙන් පස්දෙනෙකු රැගෙන පාරාවෝ වෙත ඉදිරිපත් කෙළේ ය. 3 පාරාවෝ ඔහුගේ සහෝදරයන් අමතමින්, ”නුඹලාගේ රැකියාව කුමක් දැ”යි ඇසූ විට, ඔව්හු පාරාවෝට පිළිතුරු දෙමින්, ”අපිත්, අපේ පියවරුත් ඔබේ දාසයන් වන එඬේරු වෙමු. 4 තවද, අප ආවේ මේ රටේ ටික කලක් පදිංචි වීමට ය. මන්ද, කානාන් දේශයේ සාගතය ඉතා දරුණු බැවින් ඔබේ දාසයන්ගේ එළු බැටළු රංචුවලට කෑමට තණ බිම් නැත. දැන් ඉතින්, කරුණාකර ගෝෂෙන් පෙදෙසෙහි ඔබේ දාසයන් හට පදිංචි වීමට අවසර දුන මැනව”යි කී හ. 5 එවිට පාරාවෝ ජෝසෙප් අමතමින්, ”ඔබේ පියා හා සහෝදරයන් ඔබ වෙත පැමිණ ඇත. 6 මුළු මිසර දේශය ම ඔබ ඉදිරියෙහි ඇත. රටේ හොඳ ම පළාතේ ඔබේ පියා හා සහෝදරයන් පදිංචි කරවන්න. මොවුන් ගෝෂෙන් පෙදෙසෙහි පදිංචි වුණා වේ. ඇරත් ඔවුන් අතර කාර්යක්ෂම මිනිසුන් ඇති බව ඔබ දන්නෙහි නම් මාගේ සත්ත්ව ගොවිපළ බලාගැනීමට ඔවුන් පත් කරන්නැ’යි කී ය.
7 එවිට ජෝසෙප් තම පියා වන ජාකොබ් කැඳවාගෙන විත් පාරාවෝ වෙත ඉදිරිපත් කළ විට ඔහු පාරාවෝට ආශීර්වාද කෙළේ ය. 8 පාරාවෝ ඔහු අමතා, ”ඔබේ වයස කොපමණ දැ”යි ඇසූ විට, 9 ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, ”මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය. 10 ජාකොබ් යළි පාරාවෝට සෙත් පතා ඔහුගෙන් නික්ම ගියේය. 11 ඉන්පසු ජෝසෙප් පාරාවෝගේ නියමය පරිදි තම පියා හා සහෝදරයන් පදිංචි කරවා, මිසර දේශයෙහි රාමෙසෙස් නම් පළාතෙන් හොඳ ම ඉඩකඩම් ඔවුන්ට උරුම කොට දුන්නේ ය. 12 තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය.

ජෝසෙප්ගේ පරිපාලන ක්‍රම

13 එකල මුළු රටෙහි ම ආහාර නොතිබිණි. සාගතය කෙතරම් දරුණු වී ද යත්, මිසර දේශය හා මුළු කානාන් දේශය දුර්භික්ෂය නිසා සාගින්නෙන් පෙළුණි. 14 ජෝසෙප් මිනිසුන්ට ධාන්‍ය විකුණා මිසර දේශයෙහි හා කානාන් දේශයෙහි සියලු මුදල් එකතු කොට ඒ මුදල් රාජකීය භාණ්ඩාගාරයෙහි තැන්පත් කෙළේ ය.
15 මිසරයේ හා කානාන් දේශයේ මුදල් ඉවර වූ විට මිසර වාසි සියල්ලෝ ම ජෝසෙප් වෙත අවුත්, ”අපට ආහාර දෙන්න, නැත්නම් ඔබ බලාගෙන සිටිද්දී ම අප මැරෙනු ඇත. අපේ මුදල් ඉවර ය”යි කී හ. 16 එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, ”එසේ නම් ඔබේ ගව පට්ටි ගෙනෙන්න. මුදල් ඉවර නම් ඔබේ ගව පට්ටි හිලව්වට මම ඔබට ආහාර දෙන්නෙමි”යි කී ය. 17 ඔව්හු තමන්ගේ ගව පට්ටි ජෝසෙප් වෙත ගෙනාහ. ඔහු අසුන්, එළු බැටළු රංචු, ගව රැළ හා කොටළුවන් හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේ ය. මෙලෙස අවුරුද්ද තුළ දී ඔවුන්ගේ ගව පට්ටි සියල්ලේ හිලව්වට ඔහු ඔවුන්ට ආහාර දී පෝෂණය කෙළේ ය.
18 ඒ අවුරුද්ද අවසාන වූ විට, දෙ වන අවුරුද්දේ දී ඔව්හු වෙත අවුත්, ඔහුට කතා කොට, ”ස්වාමීනි, ඔබෙන් කරුණු සැඟවීමට නම් බැරි ය; අපේ මුදල් ඉවර ය; අපේ ගව පට්ටි ද ස්වාමීන් සතු ය. අපගේ ශරීර හා ගම්බිම් ඇරෙන්න වෙන කිසිවක් ස්වාමීන් ඉදිරියෙහි අපට නැත. 19 අප ද අපේ ගම්බිම් ද ඔබ බලාගෙන සිටිද්දී විනාශ වී යා යුතු ද? ආහාර සැපයීමේ හිලව්වට අප ද අපේ ගම්බිම් ද මිලයට ගන්න. එවිට අපි ද, අපගේ ගම්බිම් සමඟ පාරාවෝට වහල්ලු වන්නෙමු. අප නොමැරී ජීවත් වෙන පිණිසත්, ඉඩකඩම් පුරන් වී නොයන පිණිසත් අපට බිත්තර වී දෙන්නැ”යි කී හ.
20 මෙසේ ජෝසෙප්, මිසරයේ ඉඩකඩම් සියල්ල ම පාරාවෝ සඳහා මිලට ගති. මන්ද, සාගතය ඔවුන් කෙරෙහි දරුණු වූ බැවින්, සෑම මිසර වැසියෙකු ම තම ඉඩකඩම් විකුණුවෙන් මුළු රට ම පාරාවෝ සතු විය. 21 තවද, ජෝසෙප් මිසරයේ එක සීමාවක පටන් අනික් සීමාව දක්වා ජනතාව වහල් ගොවියන් බවට පත් කෙළේ ය. 22 පූජකයන්ගේ ඉඩකඩම් පමණක් ඔහු මිලට නොගත්තේ ය. මන්ද, පූජකයෝ පාරාවෝගෙන් ආධාර මුදලක් ලබමින්, පාරාවෝ ඔවුන්ට දුන් ඒ මුදලින් ජීවත් වූ හ. එබැවින් තමන්ගේ ඉඩකඩම් විකිණීමට ඔවුන්ට සිදු නොවී ය. 23 එවිට ජෝසෙප් ජනයාට කතා කොට, ”මෙන්න, මම අද නුඹලා ද නුඹලාගේ ඉඩකඩම් ද පාරාවෝ උදෙසා මිලයට ගතිමි. කෙතේ වැපිරීම සඳහා මෙන්න නුඹලාට ධාන්‍ය. 24 තවද, අස්වැන්න නෙළන කාලයේ දී නුඹලා පහෙන් එක පංගුවක් පාරාවෝට දිය යුතු ය. පංගු හතරක් කෙතේ වැපිරීම පිණිසත්, නුඹලාගේ ද නුඹලාගේ ගෙවැසියන්ගේ හා කුඩා දරුවන්ගේ ද ආහාර පිණිසත් නුඹලාට වන්නේ ය”යි කී හ. 25 ඔව්හු පිළිතුරු දෙමින්, ”ඔබ අපේ ජීවිත ආරක්ෂා කෙළෙහි ය. අප ස්වාමියා වන ඔබ හමුවෙහි අපට ප්‍රසාදය ලැබේ වා! අපි ද පාරාවෝගේ වහල්ලු වන්නෙමු”යි කී හ. 26 මෙසේ ජෝසෙප් මිසරයේ දේපළ සම්බන්ධයෙන් අද දක්වා වලංගු වන රජයට පහෙන් පංගුව දීමේ පණත පැනවී ය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් පාරාවෝට අයිති නොවී ය.

ජාකොබ්ගේ අන්තිම කැමැත්ත

27 ඉශ්රායෙල් හෙවත් ජාකොබ් මිසර දේශයෙහි ගෝෂෙන් නම් පෙදෙසෙහි වාසය කෙළේ ය. ඔවුන්ට එහි ගම්බිම් අයිති විය. ඔව්හු සඵල ව බොහෝ සෙයින් වැඩි වර්ධනය වූ හ. 28 තවද, ජාකොබ් මිසර දේශයෙහි අවුරුදු දහහතක් ජීවත් විය. මෙලෙස ඔහුගේ මුළු වයස අවුරුදු එකසිය හතළිස්හතක් විය. 29 ඉශ්රායෙල් නසින කාලය ආසන්න වූ විට ඔහු තම පුත් ජෝසෙප් කැඳවා ඔහුට කතා කොට, ”දැන් ඉතින් ඔබ මට ප්‍රසාදය දක්වන්නෙහි නම්, කරුණාකර, මාගේ කලවය යට ඔබේ අත තබා, මා වෙත පක්ෂපාතකම හා හොඳ හිත දක්වමින්, මා මිසර දේශයෙහි භූමදාන නොකරන බවට පොරොන්දු වන්න. 30 මාගේ පියවරුන් මෙන් මා මරණයට පත් වූ විට ඔබ මිසරයෙන් මා ගෙන ගොස් ඔවුන්ගේ සොහොන් භූමියෙහි මා භූමදාන කරන්නැ”යි කී ය. ”ඔබ කී පරිදි ම මම ඉටු කරමි”යි ජෝසෙප් පිළිතුරු දුනි. 31 තවද, ජාකොබ් කතා කොට, ”එය ගැන මට දිවුරන්නැ”යි ඉල්ලුවෙන් ජෝසෙප් ද ඔහු ඉදිරියෙහි දිවුළේ ය. එවිට ඉශ්රායෙල් e යහනේ ඇන්ද මත ඇළ විය.

 

– 48 වන පරිච්ඡේදය –

ජාකොබ් ජෝසෙප්ගේ පුතුන් දෙදෙනාට ආශීර්වාද කිරීම

1 කලක් ගිය පසු, ”ඔබේ පියා ලෙඩින් සිටී”ය යි ජෝසෙප්ට දන්වන ලදුව, ඔහු තම පුතුන් දෙදෙන වන මනස්සේ සහ එප්‍රායිම් තමා කැටුව ගෙන ගියේය. 2 එවිට, ”ඔබේ පුත්‍රයා වන ජෝසෙප් ඔබ වෙත එන්නේ යැ”යි ජාකොබ්ට දන්වන ලදින්, ඔහු ශක්තිය යළි උපදවාගෙන ඇඳෙහි වාඩි විය. 3 ජාකොබ් ජෝසෙප් අමතමින්, ”සියලු බලැති දෙවියන් වහන්සේ කානාන් දේශයේ ලූස් නම් ස්ථානයේ දී මට දර්ශනය වී මට ආශීර්වාද කළ සේක. 4 තවද, උන් වහන්සේ මට කතා කරමින්, ‘බලන්න, මම නුඹ සඵලවත් කොට, නුඹ වැඩි වර්ධනය කරන්නෙමි. නුඹේ පෙළපතින් මම විශාල සෙනඟක් ඇති කරන්නෙමි. ඇරත් මම මේ දේශය නුඹෙන් පසු පැවතෙන නුඹේ පරම්පරාවට සදහට උරුම කොට දෙමි’යි වදාළ සේක. 5 තවද, මා නුඹ වෙත මිසරයට එන්නට පෙර, නුඹට දාව මිසර දේශයේ දී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙන මාගේ වන්නෝ ය. රූබන් සහ සිමියොන් මෙන් ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝ ය. 6 එහෙත්, ඔවුන්ට පසු නුඹට දාව උපදින දරුවෝ නුඹේ වන්නෝ ය. ඔව්හු උරුමය ලබනු සඳහා ඔවුන්ගේ සහෝදරයන්ගේ නාමයෙන් හඳුන්වනු ලබන්නෝ ය. 7 මා මෙසේ කරන්නේ මෙසොපොතේමියාවේ සිට මා එන විට එප්‍රාත් නම් ස්ථානයට මඳක් දුර තිබිය දී, කානාන් දේශයේ අතරමඟ දී නුඹේ මව රාකෙල් මා දුකට පත් කරමින් මළ නිසා ය. මම ද එප්‍රායිම් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කෙළෙමි”යි කීවේ ය.
8 ඉශ්රායෙල් ජෝසෙප්ගේ පුත්‍රයන් දුටු විට, ”මොවුහු කාගේ දැ”යි ඇසී ය. 9 ජෝසෙප් එවිට තම පියාට උත්තර දෙමින්, ”මොවුහු දෙවියන් වහන්සේ මෙහි දී මට දුන් මාගේ පුත්‍රයෝ ය”යි කී ය. එවිට ඔහු, ”කරුණාකර, මා ළඟට මොවුන් ගෙනෙන්න, මම මොවුන්ට ආශීර්වාද කරමි”යි කීවේ ය. 10 වයස නිසා ඉශ්රායෙල්ගේ පෙනීම දුර්වල වී තිබුණෙන් ඔහුට පෙනුණේ නැත. ජෝසෙප් ද ඔවුන් ඔහු වෙත ගෙනා විට, ඔහු ඔවුන් සිප වැළඳගත්තේ ය. 11 ඉශ්රායෙල් ජෝසෙප්ට කතා කොට, ”නුඹේ මුහුණ බැලීමට ලැබේ ය යි මා නම් සිතුවේ නැත. එහෙත් පුදුමයකි, දෙවියන් වහන්සේ නුඹේ පෙළපත ද මට පෙන්වා වදාළ සේකැ”යි කී ය. 12 පසුව ජෝසෙප් තම පුතුන් පියාගේ තුරුල්ලෙන් ඉවතට ගෙන, මුණින්තලා වී වැන්දේ ය.
13 ජෝසෙප් ඔවුන් දෙදෙන රැගෙන, එප්‍රායිම්, ජාකොබ්ගේ වම් පැත්තට සිටින පරිදි ඔහු තම දකුණතින් ද, මනස්සේ, ජාකොබ්ගේ දකුණු පැත්තට සිටින පරිදි ඔහු තම වමතින් ද අල්ලාගෙන, ජාකොබ්ට ළං විය. 14 එවිට ජාකොබ්, සිය දකුණත දිගු කොට එය බාලයා වන එප්‍රායිම්ගේ හිස මත ද, සිය වමත වැඩිමලා වන මනස්සේගේ හිස මත ද තම අත් මාරු කොට තැබී ය. 15 මෙලෙස අත් තබා ඔහු ජෝසෙප්ට මෙසේ ආශීර්වාද කෙළේ ය:
”මාගේ පියවරුන් වන ආබ්‍රහම් සහ ඊසාක්, යම් දෙවි කෙනෙකුන් අබිමුව විසුවෝ ද, ඒ දෙවියන් වහන්සේ, අද දක්වා මා මුළු ජීවිතය තුළ මා එඬේරාණන් වන ඒ දෙවියන් වහන්සේ,
16 සියලු නපුරෙන් මා මුදාලූ ඒ දූතවරයාණෝ, මේ දරුවන්ට ආශීර්වාද කරන සේක් වා!
මාගේ නම ද මා පියවරුන් වූ ආබ්‍රහම්ගේ හා ඊසාක්ගේ නම ද ඔවුන් සමඟ නොමැකී පවතී වා!
ඔව්හු මිහි මත සඵල විපුල මහ ජනතාවක් වෙත් වා!”
17 සිය පියා ඔහුගේ දකුණත එප්‍රායිම්ගේ හිස මත තැබූ බව ජෝසෙප් දුටු විට ඔහු කලබල වී, එය එප්‍රායිම්ගේ හිසින් ඉවතට ගෙන මනස්සේගේ හිස මතට ගෙන එන්න තම පියාගේ අත අල්ලාගෙන, 18 පියාට කතා කොට, ”පියාණෙනි, මෙසේ නොවේ. කුලුඳුලා මොහු ය, ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ”යි කීවේ ය. 19 එහෙත්, ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, ”මම එය දනිමි, මා පුත, මම එය දනිමි, ඔහු ද ජනතාවක් වන්නේ ය. ඔහු ද බලවතෙක් වන්නේ ය. එහෙත් සැබැවින් ම ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා බලවත් වන්නේ ය, ඔහුගේ පෙළපත විශාල සෙනඟක් වන්නේ ය”යි කී ය.
20 එදින ඔහු ඔවුන්ට ආශීර්වාද කරමින්, ”ඉශ්රායෙල් ජනතාව අතර ආසිරි පැතුමක් දෙන විට ඔබේ නමින් මෙසේ කියමින් දෙවියන් වහන්සේ ඔබ එප්‍රායිම් සහ මනස්සේ සමාන කරන සේක් වා කියනු ඇතැ”යි කී ය. මෙලෙස ඔහු එප්‍රායිම් මනස්සේට පෙරටුව තැබී ය.
21 ඉන්පසු ඉශ්රායෙල් ජෝසෙප් අමතමින්, ”බලන්න, මාගේ අවසානය ළඟ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිට, ඔබ නැවත ඔබේ පියවරුන්ගේ දේශයට ගෙනෙන සේක. 22 තවද, ඔබේ සහෝදරයන්ට මා දුන්නාට වැඩියෙන් මාගේ කඩුවෙන් සහ දුන්නෙන් මා අමො‍්රිවරුන්ගෙන් රැගත් ෂෙකෙම් පෙදෙස, මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.

– 49 වන පරිච්ඡේදය –

ජාකොබ් තම පුතුන් ගැන දිවැස් කීම

1 ජාකොබ් තම පුතුන්ට කතා කොට මෙසේ කීවේ ය: ”මතු දවස නුඹලාට පැමිණෙන්නට යන දේ ගැන, මා නුඹලා හට ප්‍රකාශ කරන පිණිස එකට රැස් වන්න. 2 ජාකොබ්ගේ පුතුනි, එක්රැස් වන්න, සවන් දෙන්න, ඔබ පිය ඉශ්රායෙල් හට කන් දෙන්න.
3 රූබන්, ඔබ මාගේ කුලුඳුලා ය, ඔබ මාගේ බල විකුම ය, මාගේ පුරුෂ ශක්තියේ නාඹුල් පලය ඔබ ය.
ඔබ උදාරත්වයෙන් අගතැන්පත් වේ.
බල මහිමෙන් මුදුන්මල්කඩ වේ.
4 එහෙත්, ඔබ මැඩලිය නොහැකි ගංවතුරකි, ඔබට ප්‍රමුඛත්වය නොලැබෙන්නේ ය.
ඒ මන්ද, ඔබ පියාගේ යහනට නැඟ, මා දුක් ගන්වා, එය කෙලෙසූ බැවිනි.
5 සිමියොන් සහ ලෙවී සොහොයුරෝ ය.
මැරවරකම් කරනු වස් ඔව්හු අවි අතට ගත්හ.
6 එම්බා, මා අධ්‍යාත්මය, ඔබ ඔවුන්ගේ කුමන්ත්‍රණවලට නොබැඳේ වා!
එම්බා, මාගේ කීර්ති නාමය, ඔවුන්ගේ සමාගම්වලට එකතු නො වේ වා!
ඒ මන්ද, ඔව්හූ කිපී මිනිසුන් මැරූ හ.
හිතුමතේ ගොනුන්ගේ සතර ගාතය සිඳදැමූ හ.
7 ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය;
කුරිරු ය.
ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි.
ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.
8 ජුදා, ඔබේ සොහොයුරෝ ඔබ පසසති.
ඔබ අත සතුරන් ගෙල මත ඇත.
ඔබ පියාගේ දරුවෝ ඔබ අබිමුව වැඳ වැටෙති.
9 ජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි.
ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි.
ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද?
10 රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ.
රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ.
ජනතාවෝ ඔහුට කීකරු වෙති,
11 මිදි වැලේ, ඔහු තම කොටළු නාම්බා දිගේලි කරයි, හොඳ ම මිදි වැලේ කොටළු පැටියා දිගේලි කරයි, ඔහු, තම ඇඳුම් මිදිපැනින් ද, තම සළුව මිදියුසින් ද සෝදයි.
12 ඔහු නෙත් මිදිරසින් රතු ය, ඔහු දත් කිරෙන් සුදු ය.
13 සාබුලොන් වසන්නේ මූදුබඩ ය, ඔහුගේ වෙරළ නැව්වලට වරායකි, සීදොන් දක්වා, දේශ සීමා දික් වේ,
14 ඉස්සාකර් සවි බලැති කොටළුවෙකි, ඔහු සෑදල මැද දිගා වී ලගියි.
15 විශ්‍රාමය කදිම බව ඔහු දිටී, රට ද සුන්දර බව දිටී, එබැවින් ඔහු, බඩු පොදියට කර දුන්නෙන්, බර වැඩට වහලෙක් වී ය.
16 දාන්, තම සෙනඟගේ විනිසකරුවෙකි.
ඒ සෙනඟ ඉශ්රායෙල් ගෝත්‍රවලින් එකකි.
17 දාන් මඟ ලගින සර්පයෙක් වේ වා!
මාවතේ රැක සිටින පොළඟෙක් වේ වා!
ඔහු අසුගේ කුරය දෂ්ට කරයි, අසරුවා ද පස්සට වැටෙයි.
18 අහෝ සමිඳුනි, ඔබ ගැළවීම මම බලා සිටිමි.
19 ගාද්ට සොර සතුරු මුළක් පහර දේවි!
පහරට පහර දී ඔහු උන් ලුහුබඳීවි!
20 ආෂෙර්ගේ රට අගනා ආහාර නිපදවයි, ඔහු රජෙකුට නිසි රස මස’වුලු සපයයි.
21 නප්තලී නිදැල්ලේ දුවන මුව දෙනකි, සුමිහිරි බස් තෙපලයි.
22 ජෝසෙප් පල දරන වැලකි, උල්පතක් ළඟ පල දරන වැලකි, එහි රිකිලි බිත්තියට උඩින් විහිදෙයි.
23 දුනුවායෝ ඔහු කුපිත කළහ, ඔහුට විද පහර දුන්හ.
24 ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය.
එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි;
25 ඔබට ආධාර කළ ඔබ පියාගේ දෙවිඳුන් විසිනි;
ඔබට ආසිරි සිරි දෙන සියලු බලැති දෙවිඳුන් විසිනි, ඉහළ අහසින් ආසිරි ද පහළ ගැඹුරින් ආසිරි ද පියයුරු හා කුස තුළ ආසිරි ද
26 ධාන්‍ය හා කුසුම්හි ආසිරි ද පුරාතන කඳුවල ආසිරි ද සදාතන හෙල්වල හොඳ හොඳ දේ ද ජෝසෙප්ගේ හිස මත පතිත වේ වා!
තම සොහොයුරන් අතර කැප කරන දේ ද ඔහුගේ හිස් මුදුන්හි පතිත වේ වා!
27 බෙන්ජමින් ගිජු වෘකයෙකි, උදය ඔහු තම ගොදුරු ගිලදමයි.
සවස කොල්ල කෑ දේ බෙදා දෙයි.”
28 ඉශ්රායෙල්හි ගෝත්‍ර දොළොස මොවුහු සියල්ලෝ ය, ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාද කරමින් ඔවුන් අමතා කීවේ එලෙස ය. එකිනෙකාට නිසි ආසිරි දෙමින් ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.

ජාකොබ්ගේ මරණය

29 ඉන්පසු ජාකොබ් ඔවුන්ට අණ කරමින් කතා කොට, ”මම මාගේ සෙනඟට එකතු වෙන්න යමි. හිත්තීය ජාතික ඒප්‍රොන්ගේ ඉඩමෙහි ඇති ගුහාවෙහි, 30 එනම්, කානාන් දේශයේ මම්රේ ඉදිරිපිට මක්පේලාගේ ඉඩමෙහි තිබෙන, ආබ්‍රහම් සොහොන් බිමක් වශයෙන් ඉඩමක් සමඟ ඒප්‍රොන්ගෙන් මිලට ගත් ඔහුට අයිති ගුහාවෙහි, මාගේ පියවරුන් ළඟ මා භූමදාන කරන්න. 31 ආබ්‍රහම් සහ ඔහුගේ බිරිඳ වන සාරා භූමදාන කරන ලද්දේ එහි ය. ඊසාක් සහ ඔහුගේ බිරිඳ වන රෙබෙකා භූමදාන කරන ලද්දේත් එහි ය. මා, ලෙයා භූමදාන කෙළේත් එහි ය. 32 ඉඩම සහ එහි ඇති ගුහාව හෙත්ගේ සෙනඟගෙන් මිලයට ගන්නා ලදී”යි කීවේ ය. 33 මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්හි, ඔහු තම පාද යහනට ගෙන, අවසන් හුස්ම හෙළා තම සෙනඟට එක් විය.

 

– 50 වන පරිච්ඡේදය –

ජාකොබ්ගේ භූමදානය

1 එවිට ජෝසෙප් තම පියාගේ මුහුණ බදාගෙන හඬමින් ඔහු සිඹින්නට විය. 2 පසුව ඔහු තම සේවක වෙදැදුරන්ට තම පියාගේ මළමිනිය නොදිරන පිණිස බෙහෙත් ගැල්වීමට අණ කෙළේ ය. වෙදැදුරෝ එය ඉටු කළහ. 3 ඒ සඳහා දින හතළිහක් ගත විය. මිනියකට බෙහෙත් කැවීමට ගත වන කාලය දින හතළිහකි. මිසර වාසීහු දින හැත්තෑවක් අවමංගල වත්පිළිවෙත් පැවැත්වූ හ.
4 අවමංගල වත්පිළිවෙත් අවසාන වූ විට ජෝසෙප් පාරාවෝගේ නිලධාරීන් අමතා, ”දැන් ඉතින් ඔබ මට කරුණාව පාන්නහු නම්, කරුණාකර, පාරාවෝට මේ පණිවුඩය යවන්න. 5 එනම්, ‘මාගේ පියා මට කතා කොට, මෙන්න, මාගේ අවසානය ළඟ ය, කානාන් දේශයේ මා සඳහා මා කැණූ සොහොන් බිම මා භූමදාන කළ යුතු ය’ කියා මා දිවුරෙව්වේ ය. දැන් ඉතින්, මාගේ පියා භූමදාන කරනු පිණිස මා යන්න හරින්න; මම ආපසු එන්නෙමි”යි කී ය. 6 පාරාවෝ කතා කොට, ”යන්න, ඔබේ පියාට ඔබ දිවුරූ ලෙස, ඔහු භූමදාන කරන්නැ”යි උත්තර දුනි.
7 එවිට ජෝසෙප් තම පියා භූමදාන කරනු පිණිස ගියේය. තවද, ඔහු කැටුව පාරාවෝගේ නිලධාරීහු සියලු දෙන ද ඔහුගේ රාජ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මිසර දේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සියලු දෙන ද 8 ජෝසෙප්ගේ ගෘහවාසී සියලු දෙන ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ ගෘහවාසීහු ද ගියහ. ඔවුන් ගෝෂෙන් ප්‍රදේශයේ ඉතිරි කර ගියේ ඔවුන්ගේ කුඩා දරුවන් ද එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද පමණි. 9 තවද, ඔවුන් සමඟ අශ්ව රථ හා අශ්වාරෝහකයෝ ද පිටත් වූ හ. එය අති විශාල අවමඟුල් පෙරහැරක් විය.
10 ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය. 11 එම දේශයේ වැසියන් වූ කානානිවරු අතාද් කමතේ පැවැත්වූ අවමංගල කෘත්‍යය දැක, ”මෙය මිසර වැසියන්ගේ ප්‍රසිද්ධ අවමංගල පිළිවෙතක් ය” කියා ජොර්දානෙන් එතෙර වූ එම ස්ථානයට ආබෙල්-මිශ්‍රායිම් යන නාමය තැබුවෝ ය.
12 තවද, ජාකොබ්ගේ පුත්‍රයෝ ඔහුගේ අණ පරිදි සියල්ල ඉටු කළහ. 13 මෙලෙස ඔව්හු කානාන් දේශයට ඔහු ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීය ජාතික ඒප්‍රොන්ගෙන් සොහොන් බිමක් ලෙස ඉඩමක් සමඟ සින්නක්කරේට මිලට ගත් මම්රේ ඉදිරිපිට වූ මක්පේලාගේ භූමියේ ගුහාවෙහි ඔහු භූමදාන කළහ. 14 තම පියා භූමදාන කළ පසු ජෝසෙප් ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ භූමදානය සඳහා ගිය සියල්ලෝ ද ආපසු මිසරයට පැමිණියෝ ය.

ජෝසෙප් තම සහෝදරයන්ගේ බිය පහකිරීම

15 ජෝසෙප්ගේ සහෝදරයෝ තම පියා මළ බව දුටු විට තමන් අතරේ කතා කරමින්, ”ඇතැම් විට ජෝසෙප් අපට වෛර කරන්න පුළුවන, ඇත්තට ම අප ඔහුට කළ සියලු නපුරු දේ ගැන ඔහු අපෙන් පළිගත හැකි ය”යි කී හ. 16 එබැවින් ඔව්හු ජෝසෙප් වෙත පණිවුඩයක් යවමින්, ”ඔබේ පියා මැරෙන්න කලින් අපට කතා කොට, 17 ‘දැන් ඉතින් ඔබේ සහෝදරයන් ඔබට කළ සියලු නපුරුකම්වලටත්, ඔවුන්ගේ ඒ අපරාධයට හා පාපයටත් කරුණාකර ඔවුන් කමා කරන්නැ’යි ජෝසෙප්ට දැන්වීමට අපට අණ කෙළේ ය. එබැවින් දැන් කරුණාකර, ඔබ පියාගේ දෙවියන්ගේ දාසයන් වන අප කළ අපරාධයට සමාව දෙන්නැ”යි කී හ. එහෙත් එලෙස ඔහුට කී විට, ජෝසෙප් හඬන්නට විය.
18 ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියෙහි වැඳ වැටී, ”මෙන්න, අපි ඔබගේ දාසයෝ වෙමු”යි කී හ. 19 එහෙත් ජෝසෙප් ඔවුන්ට කතා කොට, ”බිය නොවන්න, දෙවියන් වහන්සේට හිමි තැන මට ගත හැකි ද? 20 ඔබ නම් මට විරුද්ධ ව නපුරුකම් සිතුවහු ය. එහෙත් අද සිදු වී තිබෙන පරිදි, දෙවියන් වහන්සේ බොහෝ මිනිසුන්ගේ ජීවිත ගළවනු පිණිස ඒවා යහපතට හැරෙවූ සේක. 21 එබැවින් දැන් ඉතින් බිය නොවන්න, මම ඔබ ද ඔබේ කුඩා දරුවන් ද නඩත්තු කරන්නෙමි”යි, ඔවුන් සනසමින්, ඔවුන් අමතා කාරුණික ලෙස කතා කෙළේ ය.

ජෝසෙප්ගේ මරණය

22 මෙලෙස ජෝසෙප් ද ඔහුගේ පියාගේ පවුල ද මිසරයේ පදිංචි වූ හ. ජෝසෙප් අවුරුදු එකසිය දහයක් ජීවත් විය. 23 තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ. 24 ඔහු තම සොහොයුරන් අමතා, ”මාගේ අවසානය ළඟ ය. දෙවියන් වහන්සේ ද සැබැවින් ම ඔබ ආරක්ෂා කොට උන් වහන්සේ ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ රටට, මේ රටින් ඔබ ගෙන යන සේකැ”යි කී ය. 25 ඉන්පසු ඔහු ඔවුන් අමතමින්, ”දෙවියන් වහන්සේ සැබැවින් ම ඔබ ආරක්ෂා කරන විට ඔබ ද මාගේ ඇටකටු මෙතැනින් ගෙන යා යුතු ය” කියා ඉශ්රායෙල්ගේ දරුවන්ගෙන් දිවුරුම් ගත්තේ ය. 26 ජෝසෙප් අවුරුදු එකසිය දහයක් ආයු වළඳා මළේ ය. පසුව ඔව්හු ඔහුගේ මෘත ශරීරයට බෙහෙත් කවා එය මිසරයෙහි මිනී පෙට්ටියක තැන්පත් කළහ.

 

Advertisements

One thought on “උත්පත්ති කථාව

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s