ආමොස්

– 1 වන පරිච්ඡේදය –

1 මේ වනාහි තෙකෝවා ගම්වැසි එඬේරුන්ගෙන් කෙනෙකු වූ ආමොස් ඉශ්රායෙල් දේශය සම්බන්ධයෙන් දුටු දර්ශන පිළිබඳ පැවසූ වචන වේ. මේ දර්ශන ඔහු දුටුවේ, උශ්ශියා ජුදාහි ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි ද රජ ව සිටි කාලයේ දී, භූමිකම්පාවට දෙවසරකට පෙර ය.
2 ආමොස් මෙසේ පැවසී ය:
”සමිඳාණෝ සියොන් කන්දේ සිට ගර්ජනා කරති;
ජෙරුසලමේ සිට හඬ නඟා ගිගුරුම් දෙති.
එවිට එඬේරුන්ගේ තණ බිම් දැවී යනු ඇත,
කර්මෙල් කඳු මුදුන වියළී යනු ඇත.”

සිරියාව පිළිබඳ දේව විනිශ්චය

3 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”දමස්කයේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් යකඩ කූරු ඇති කුළුගෙඩිවලින් තළා පෙළන්නා සේ ගිලියද් වැසියන් තළා පෙළූ නිසා ඔවුන්ට මම සත්තකින් ම දඬුවම් කරමි. 4 සිරියා රාජ්‍යය පිට මම ගින්නක් එවමි. එයින් බෙන්-හදද්ගේ බලකොටු දවා අළු කර දමමි. 5 දමස්කයේ වාසල් දොරටු සුණු විසුණු කොට, ආවෙන් මිටියාවතේ වැසියන් හා බෙත්-ඒදන්හි අධිපතියා ඉවත් කරන්නෙමි. සිරියාවේ ජනයා හිරකරුවන් වශයෙන් කීර් දේශයට ගෙනයනු ලබන්නෝ ය.” මේ සමිඳාණන් වහන්සේගේ වචනය වේ.

පිලිස්තිය පිළිබඳ දේව විනිශ්චය

6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ගාසාවේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, සත්තකින් ම ඔවුන්ට මම දඬුවම් කරමි. 7 මම ගාසාවේ පවුරු පිට ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. 8 අෂ්දොද් නගරයේ වැසියන් ද අෂ්කෙලොන් නගරයේ අධිපතියා ද මම නෙරපාදමා, එක්‍රොන් නගරයට පහර දෙමි. ඉතිරි වන පිලිස්තිවරුන් මිය යනු ඇත.” මේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය වේ.

තීර් පිළිබඳ දේව විනිශ්චය

9 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”තීර්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන් ගිවිසගත් මිතුරු ගිවිසුම් ඔවුන් අමතක කර ඇත. 10 තීර්හි පවුරු පිට මම ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.”

ඒදොම් පිළිබඳ දේව විනිශ්චය

11 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඒදොම්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් නිර්දය ලෙස ඔවුන්ගේ සහෝදරයන් වන ඉශ්රායෙල්වරුන්ට කඩුවෙන් පහර දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් දෙමි. ඔවුන්ගේ ක්‍රෝධය දිළිහි දිළිහී ද උදහස පැසව පැසවා ද පැවතිණි. 12 එබැවින් මම තේමාන් පිට ගින්නක් එවමි. එයින් බොශ්රාහි බලකොටු දවා අළු කර දමමි.”

අම්මොන් පිළිබඳ දේව විනිශ්චය

13 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”අම්මොන්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් තමන්ගේ දේශ සීමාවන් පළල් කරගන්න පිණිස ගිලියද්හි ගැබිණියන් දෙපළු කර දැමූ නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. 14 රබ්බාහි පවුරුවලට මම ගිනි දල්වමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. යුද්ධ දවසේ දී ගෝරනාඩු ඇති වේ; චණ්ඩ මාරුතයක් සේ යුද්ධය වේගයෙන් පැතිර යනු ඇත. 15 ඔවුන්ගේ රජු හා රාජ සෙනෙවියෝ වහල්කමට යන්නෝ ය.” මෙය සමිඳාණන් වහන්සේගේ වචනය වේ.

– 2 වන පරිච්ඡේදය –

මෝවබ් පිළිබඳ දේව විනිශ්චය

1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මෝවබ්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් ඒදොම් රජුගේ ඇට කටු දවා හුණු ලබාගත් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. 2 මම මෝවබ් දේශය පිට ගින්නක් එවා කෙරියොත්හි බලකොටු දවා අළු කර දමමි. හේවායන්ගේ ගෝරනාඩුව හා හොරණෑවල බෙරිහන්දීමත් සමඟ යුද්ධ ඝෝෂාව මැද මෝවබ් වැසියන් විනාශ වනු ඇත. 3 මෝවබ් රටේ අධිපතියා ද සියලු සෙනෙවියන් ද මම විනාශ කර දමමි.”

ජුදා පිළිබඳ දේව විනිශ්චය

4 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ජුදා වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව එපා කොට, උන් වහන්සේගේ අණපණත් නොපැවැත්වූ නිසා, මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔවුන්ගේ පියවරුන් වැඳ පිදූ දෙවිවරුන්, ඔවුන් නොමඟ ගෙන ගොස් ඇත, 5 ඒ නිසා මම ජුදා පිට ගිනි එවා ජෙරුසලමේ බලකොටු දවා අළු කර දමමි.”

ඉශ්රායෙල් පිළිබඳ දේව විනිශ්චය

6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඉශ්රායෙල් වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔව්හු ණය ගෙවාගන්නට බැරි නිදොස් අය මුදලටත්, දුප්පත් අසරණයන් සෙරෙප්පු දෙකක මිලයට වහල්කමටත් වික්කෝ ය. 7 දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති; 8 හැම පූජාසනයක් පාසා ඔවුන් උකසට ගත් වස්ත්‍ර එළාගෙන ඒ මත දිගා වී සිටිති; දඩයට යටත් වූවන්ගෙන් ගත් මුද්‍රික පානය ඔව්හු තම තමන්ගේ දේවාලවල දී බොති.
9 ”එහෙත්, කිහිරි ගස් මෙන් උස, කළුවර ගස් මෙන් ශක්තිමත් අමෝරිවරුන් ඔවුන් උදෙසා සහමුලින් ම විනාශ කරදැම්මේ මම ය.
10 ”තවද, අමෝරිවරුන්ගේ දේශය නුඹ ම හිමි කරගන්න පිණිස මිසර දේශයෙන් මුදා ගෙනවුත් සතළිස් වසක් තිස්සේ පාළුකරය මැදින් නුඹ ගෙන ගියේ මම ය. 11 නුඹේ පුත්‍රයන්ගෙන් සමහරුන් දිවැසිවරයන් වශයෙන් ද නුඹේ තරුණයන්ගෙන් සමහරුන් නාසරීයයන් වශයෙන් ද මම තෝරා ගතිමි. ඉශ්රායෙල් ජනයෙනි, මා කියන මේ දේ සැබෑ නොවේ ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.
12 ”එහෙත්, නුඹලා මුද්‍රික පානය බොන්නට නාසරීයයන් පෙළඹෙව්වහු ය; ‘දිවැස් දෙසුම් නොකරන්නැ’යි දිවැසිවරුන්ට අණ කළහු ය. 13 ගොයම් මිටි පිරෙවූ බර කරත්තයකින් පොළොවේ මැඩෙන්නාක් මෙන් මම නුඹලා මඩින්නෙමි. 14 ශීඝ්‍රයෙන් දුවන්නට හැකි අයට වත් බේරෙන්න බැරි වේ; සවිශක්තිය ඇති අයගේ ශක්තිය ද නැති වේ; හේවායන්ට තමන්ගේ දිවි රැකගන්න ද නොහැකි වේ. 15 දුනුවායාට නොවැටී සිටින්න වත්, ශීඝ්‍රයෙන් දුවන්නන්ට ගැළවී යන්න වත්, අසරුවන්ට දිවි බේරාගන්න වත් නොහැකි වේ. 16 හේවායන්ගෙන් ඉතා වීරවන්ත අය වුව ද ඒ දවසේ දී නග්න ව පලා යන්නෝ ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.

 

– 3 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල් කෙරෙහි දිව්‍ය කරුණාව

1 ”ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව, මිසර දේශයෙන් මා පිටතට ගෙනා නුඹලාගේ මුළු ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වදාරන මේ වචනවලට සවන් දෙන්න: 2 ලොවේ සියලු වංශවලින් මා මැනවින් දැනහැඳිනගෙන ඇත්තේ නුඹ පමණකි. ඒ නිසා නුඹලා කර ඇති සියලු පාපවලට මම දඬුවම් දෙමි.”

දිවැසිවරයාගේ වගකීම

3 ”දෙදෙනෙක් එකට ගමනක් යත් ද එකඟ වී මිස?
4 සිංහයෙක් වනයේ ගෙරවුම් දෙයි ද ගොදුරක් දුටුවොත් මිස?
ගුහාවක් තුළ සිංහ නාම්බෙක් ගොදුරක් නැති ව හඬ නඟයි ද?
5 ඇමක් නැති ව කුරුල්ලෙක් මලපතකට අසු වෙයි ද?
අසු නොවී කිසිවක් ගැස්සී යයි ද උගුලක්?
6 යුධ සක් හඬ ඇසුණොත් නගරයේ සෙනඟ බිය නොවෙත් ද?
සමිඳුන් නොපැමිණෙව් විපතක් නගරයේ ඇති වෙයි ද?
7 මේ රහස් එළිදරව් නොකර සිය සේවක දිවැසිවරුන් හට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ සැබැවින් ම කිසිවක් නොකරන සේක.
8 සිංහයෙක් ගර්ජනා කරයි;
බිය නොවී සිටිය හැක්කේ කවරෙකුට ද?
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ කතා කරන සේක;
දිවැස් වැකි නොකියා සිටිය හැක්කේ කවරෙකුට ද?”

සමාරියේ විනාශය

9 අෂ්දොද්හි ද මිසර දේශයේ ද මාලිගාවල සිටින්නන්ට මෙසේ ප්‍රකාශ කරන්න:
”සමාරියේ කඳුවලට නැඟී එහි ඇති අවුල් වියවුල් ද නගරයේ කෙරෙන අපරාධ ද බලන්න.”
10 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”මේ සෙනඟ අපරාධ ක්‍රියාවලින් ද බලහත්කාරයෙන් ද ලබාගත් දෙයින් තමන්ගේ මාලිගා පුරවාගෙන ඇත. අවංකකම ඔවුන් කොහොමට වත් දන්නේ නැත.” 11 එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”සතුරු සේනාවක් ඔවුන්ගේ රට වට කොට, බලකොටු බිඳ හෙළා මාලිගා කොල්ලකන්නෝ ය.”
12 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරමින්, ”එඬේරෙකු, සිංහයාගේ කටින් බැටළුවෙකුගේ කකුල් දෙක හෝ කනින් කෑල්ලක් හෝ ගළවාගන්නාක් මෙන් දෙවියන් වහන්සේ සමාරියේ වසන ඉශ්රායෙල් ජනයා ගළවාගන්න සේක. ගළවනු ලබන්නේ, ඇඳක ලී පතුරක් හෝ කෑල්ලක් හෝ වැනි, ඉතා ස්වල්ප දෙනෙක් පමණි. 13 සවන් දී, ජාකොබ්ගේ වංශයට ප්‍රවේසම් වෙන ලෙස තදින් අවවාද කරන්නැ”යි වදාළ සේක. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය. 14 ”ඉශ්රායෙල් සෙනඟගේ වරද නිසා ඔවුන්ට දඬුවම් කරන දවසේ දී බෙතෙල්හි පූජාසන බිඳ හෙළන්නෙමි; පූජාසනවල අං වැනි නෙරා ඇති කොන් කපාදමා බිමට හෙළන්නෙමි; 15 සිසිර නිවාස හා ග්‍රීෂ්ම නිවාස සිඳබිඳ දමමි; ඇත්දත් මන්දිර වැනසී යයි; හැම මහා මන්දිරයක් ම විනාශවනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

 

– 4 වන පරිච්ඡේදය –

අයුක්තිසහගත සමාරීය ස්ත්‍රීන් පිළිබඳ විනිශ්චය

1 සමාරිය කඳුකරේ සිටින තරබාරු එළදෙනුනි; දිළිඳුන් තළා පෙළා, අසරණයින්ට පීඩා කරන, ‘බොන්නට දෙයක් දෙන්න’ කියා සැමියන්ට අණ කරන ඔබ හැම මෙයට සවන් දෙන්න. 2 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ තම ශුද්ධ නාමයෙන් මෙසේ දිවුරන සේක: ”නුඹලා කොකුවලින් ඇදගෙන යනු ලබන දවස පැමිණෙනු සිකුරු ය. නුඹලාගේ හැම කෙනෙක් ම බිලි කටුවේ ඇමුණු මාලුවෙකු මෙන් වන්නෝ ය. 3 තාප්ප කපොලුවලින් එක එකා ඇදගනු ලැබ, කුණු කසළ ගොඩක් මත වීසි කරදමනු ඇත.” මෙය වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.

ඉශ්රායෙල් ජනයාගේ ආත්ම වංචාවේ සහ අකීකරුකමේ විපාකය

4 ”බෙතෙල්හි සිද්ධස්ථානයට ගොස් පව් කරනු; ගිල්ගාලයට ගොස් මුළු වීරියෙන් පව් කරනු; උදයක් උදයක් පාසා පූජාකිරීමට සතුන් ගෙනෙනු; තෙදිනකට වරක් නුඹලාගේ දසයෙන් එකේ පූජා ගෙනෙනු. 5 මුහුන් මුසු තුති පූජා ඔප්පුකර, ස්වේච්ඡා පූජා ගැන පුරසාරම් දොඩන්න. මන්ද, ඉශ්රායෙල් ජනයෙනි, මෙවැනි දේ කිරීමට නුඹලා බොහෝ සේ කැමැති ය”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
6 ”තවද, නුඹලාගේ සියලු නගරවල සාගින්න ද හැම තැන ම කෑම සාගතය ද ඇති කෙළේ මම ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. 7 ”ගොයම් කැපීමට තුන් මසකට කලින්, වැස්ස ඕනෑ ම කරන දවස්වල මම එය වළක්වාලීමි. එක නුවරකට වහින්න සැලැස්සූ අතර තවත් නුවරකට වැස්ස නොදී ඇරියෙමි. එක වෙල්යායකට වැස්සේ ය, වැස්ස නොලැබූ වෙල්යාය වියළී ගියේ ය. 8 පිපාසයෙන් පෙළුණු නගර දෙක තුනක සෙනඟ වතුර සොයා අසල නගරයකට ගිය නමුත්, බීමට සෑහෙන තරම් වතුර නොතිබුණේ ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
9 ”මම ගොයම් වියළවන සුළඟක් ද එව්වෙමි; නුඹලාගේ බොහෝ වතුපිටි ද මිදි වතු ද අත්තික්කා ගස් ද ඔලීව ගස් ද පළඟැටි පණුවෝ කාදැමූ හ. එහෙත්, නුඹලා මා වෙතට හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
10 ”මා මිසර දේශයේ ඇති කළ වසංගතයට සමාන වසංගතයක් නුඹලා අතරේ ද ඇති කෙළෙමි; නුඹලාගේ තරුණයන් ද කඩුවෙන් මරාදමා, නුඹලාගේ අශ්වයන් පැහැරගෙන ගියෙමි; කඳවුරුවල දුර්ගන්ධයෙන් නුඹලාගේ නාස් පුඩු පිරෙව්වෙමි. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
11 ”දෙවියන් වහන්සේ වන මම සොදොම් සහ ගොමොරා විනාශ කරදැමුවාක් මෙන්, නුඹලා අතරෙන් සමහරෙකු විනාශ කොටදැමුවෙමි; නුඹලා ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් වැනි ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. 12 ”එබැවින් ඉශ්රායෙල් ජනයෙනි, මේ දේ මම නුඹලාට කරන්නට යමි; ඒ දේ මා කරන්නට යන බැවින් දෙවියන් වහන්සේගේ විනිශ්චයට මූණපාන්නට සූදානම්වන්න.”
13 උන් වහන්සේ වනාහි, කඳු සාදන, සුළං මවන, සිය සිතුවිලි මිනිසා හට පාන, උදයත් රැයත් දෙක ම මවන, මුළු ලොවට ම අධිපති වන තැනැන් වහන්සේ ය.
උන් වහන්සේගේ ගරු නාමය සියලු බලැති දෙවි සමිඳු ය.

 

– 5 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල් ගැන විලාපය

1 අහෝ ඉශ්රායෙල් ජනයෙනි! ඔබ හැම ගැන නඟන මාගේ මේ විලාපයට සවන් දෙන්න:
2 ”ඉශ්රායෙල් කන්‍යාව වැටී ඇත, යළි නැඟිටීමක් ඈට නැත.
පොළොව මත ඈ වැටී සිටියි. උදව් දෙන්නට කවුරුත් නැත.”
3 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:
”ඉශ්රායෙල්හි එක් නගරයකින් සටනට යන භටයින් දහසකින් ආපසු එන්නේ සියයකි.
සියයක් යන තව නගරයකින් ආපසු එන්නේ දසදෙනෙකි.”
4 ඉශ්රායෙල් සෙනඟට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”මා වෙත හැරී එන්න; එසේ ඇවිත් ජීවත් වන්න. 5 එහෙත්, නමදින පිණිස බෙයර්-ෂෙබාවට නොයන්න; මා සොයන පිණිස බෙතෙල්ට නොයන්න. බෙතෙල් නැත්තට ම නැති වේ. ගිල්ගාලයට වත් නොයන්න. එහි සෙනඟ වහල්කමට ගෙනයනු ලබති.”
6 දෙවියන් වහන්සේ වෙත හැරී යන්න; ගොස් ජීවත් වන්න. නොගියොත් උන් වහන්සේ ගින්නක් මෙන් ජෝසෙප්ගේ වංශය පිට පැමිණෙන සේක. බෙතෙල්හි සෙනඟ ගින්නට දැවී යනු ඇත. එය නිවීමට හැකි කිසිවෙක් නැත. 7 යුක්තිය නොපිට පෙරළන, මානව අයිතිවාසිකම් වළක්වන, ඔබට වන විපතක මහත!
8-9 හත්දින්න ද මුවසිරස ද මවාලන, රෑ අඳුර එළිය කරන, දිවා එළිය රෑ කරන, මුහුදු දියට හඬගසා පොළොව පුරා ගලා යවන, පවුරු හා බලකොටු පිට විනාශය පමුණුවන එතුමාණන්ගේ නම සමිඳාණෝ වන සේක.
10 ඔබ උසාවිය මඟින් යුක්තිය ඉටු කරන්නාට වෛර වන්නහු ය; අවංක ලෙස කතා කරන්නාට පිළිකුල් කරන්නහු ය. 11 ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත. 12 ඔබේ පව් කොපමණ බරපතල ද කියාත්, ඔබේ අපරාධ කොපමණ බහුල ද කියාත් මම දනිමි. නුඹලා දමිටුන්ට පීඩා කරන්නහු ය; අල්ලස් ගෙන උසාවිය මඟින් යුක්තිය ඉටු කරගැනීමට දුප්පතුන්ට ඉඩ නොදෙන්නහු ය. 13 කාලය නපුරු බැවින් නැණැතියෝ වුව ද නිහඬ ව සිටිති.
14 ජීවත් වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට ඔබ සමඟ සිටින සේකැ යි ඔබ කියන සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඇත්තෙන් ම ඔබ සමඟ සිටින සේක. 15 නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රිය කරන්න, උසාවිය මඟින් යුක්තිය ඉටු කරවන්න. සමහරවිට, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මේ රටේ ඉතිරි ව සිටින ජනයාට කරුණා කරනු ඇත.

සමිඳාණන් වහන්සේගේ ආගමන දවස

16 සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”නගරයේ හැම වීථියක හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය; වැලපෙන පිණිස ගම්වැසියන්ටත්, කුලියට ළතෝනි කියන්නන්ටත් අඬගසනු ලැබේ. 17 සියලු මිදි වතුවලත් වැලපීම වන්නේ ය. මන්ද, නුඹලාට දඬුවම් කරන පිණිස මම එන්නෙමි.”
18 සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවස ආසාවෙන් බලා සිටින ඔබට වන්නට යන විපතක මහත! ඒ දවසේ ඔබට කිසි යහපතක් වෙයි ද? එය ආලෝකයේ දවසක් නොව, අන්ධකාරයේ දවසක් වන්නේ ය. 19 ඒ දවසේ දී සිදු වන්නේ, සිංහයෙකුගෙන් බේරී දුවන මිනිසෙකු වලසෙකුට අසුවීම වැනි දෙයකි. නැතහොත්, මිනිසෙකු තම නිවෙසට පැමිණ බිත්තියේ අත තැබූ විට සර්පයෙකු දෂ්ට කිරීම වැනි දෙයකි. 20 සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවසේ දී ඇතිවන්නේ, අන්ධකාරය මිස ආලෝකය නොවේ. එය දීප්තියක් නැති තිත්ත කළුවර දවසක් වන්නේ ය.

ස්වාමීන්ට පිළිකුල් පුද පූජා

21 ”නුඹලාගේ මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට රුස්සන්නේ නැත. 22 නුඹලා දවන යාග පූජා ද ආහාර පූජා ද මට ඔප්පු කරන නමුත්, මම ඒවා නොපිළිගනිමි. සහභාගිකමේ පූජා වශයෙන් මට ඔප්පු කරන පිණිස නුඹලා තර කළ සතුන් මම නොපිළිගනිමි. 23 නුඹලාගේ ගීත ඝෝෂාව නතර කරන්න; නුඹලාගේ වීණා නාදයට මම සවන් නොදෙමි. 24 යුක්තිය ගලා බහින දිය දහරක් මෙන් ද ධර්මිෂ්ඨකම නොසිඳී ගලන ගඟක් මෙන් ද පැවතිය යුතු ය.
25 ”ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයේ සිටිය මට පුද පූජා ඔප්පු කළහු ද? නැත. 26 එහෙත් නුඹලා, දැන් නුඹලා උදෙසා ම තනාගත් ‘සක්කුත්’ සහ ‘කයිවාන්’ යන ග්‍රහ දේව රූප කර තබාගෙන යන්නහු ය; 27 එබැවින් මම දමස්කයෙන් එපිට රටක වහල්කමට නුඹලා ගෙනයන්නෙමි”යි සියලු බලැති දෙවියන් යන නම ඇති සමිඳාණන් වහන්සේ වදාරන සේක.

 

– 6 වන පරිච්ඡේදය –

අදමිටු සෙනඟට වන විපත

1 සියොන්හි සැප පහසුවෙන් කල් යවන, සමාරිය කඳුකරේ තමන් සුරක්ෂිත යයි සිතන, සෙනඟ උදව් පිණිස සොයා යන, ඉශ්රායෙල් නම් ශ්‍රේෂ්ඨ ජාතියේ සිල්වතුන් වන ඔබට වන විපතක මහත! 2 ගොස් කල්නේ නගරය බලන්න; එතැනින් හමාත් මහා නගරයට යන්න. ඉන්පසු පිලිස්තියේ ගාත් නගරයට යන්න. ඒවා ඔබේ රාජ්‍යන්ට වඩා යහපත් ව තිබුණා ද? නැතහොත් ඔබේ දේශයන්ට වඩා ඒවා විශාල ද? 3 ඔබ පිට පැමිණෙන විපත්ති දවස කල්දමන්නට ඔබ උත්සාහ කරන නමුත්, ඔබ කරන දේවල් ම සැහැසිකමට තුඩු දෙන්නේ ය. 4 සුඛෝපභෝගී කදිම යහන්වල හාන්සිවන, කවිච්චිවල දිගා වී සිටින්න ප්‍රිය කරන, වහු මස් හා එළු මස් කාදමන ඔබට වන විපතක මහත! 5 දාවිත් මෙන් ගී ගොතා වීණාවල වාදනය කරන්න ඔබ කැමැති ය. 6 ඔබ බඳුන් පුරා මිදිපැන් බොන්නහු ය; ඉස්තරම් තෙල් ඇඟ ගාගන්නහු ය. එහෙත්, ඉශ්රායෙල්ට වන විනාශය ගැන ශෝක නොවන්නහු ය. 7 එබැවින් සියල්ලන්ට කලින් වහල්කමට ගෙනයනු ලබන්නේ ඔබ ය. එවිට ඔබේ සැප ජීවිකාව හා භෝජන උත්සව කෙළවර වන්නේ ය.
8 සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙය සිය නාමයෙන් දිවුරා මෙසේ වදාරන සේක:
”ඉශ්රායෙල් සෙනඟගේ අහංකාරකම මට පෙන්නන්න බැරි ය. ඔවුන්ගේ වලව් ද මම හෙළාදකිමි. නගරය ද එහි ඇති සියල්ල ද මම සතුරාට පාවා දෙමි.”
9 පවුලක ඉතිරි වී ඇත්තේ දසදෙනකු පමණක් නම්, ඔවුන් සියල්ලන් ම මැරෙනු ඇත. 10 මළ කෙනෙකුගේ ඥාතියෙකු ආදාහනය කරන පිණිස මළකඳ ගෙනයන්නට ආ විට, ගෙයි සැඟවී සිටින කෙනෙකුට කතා කොට, ‘මළගිය තව කවුරුත් මෙහි සිටිනවා දැ’යි අසනු ඇත. එවිට, ‘නැත, නිශ්ශබ්ද වන්න, සමිඳාණන් වහන්සේගේ නාමය සඳහන් නොකරන්න අප ප්‍රවේසම් විය යුතු ය’යි ඔහු පිළිතුරු දෙන්නේ ය.
11 සමිඳාණන් වහන්සේ අණ කරන විට ලොකු කුඩා ගෙවල් සියල්ල සුණු විසුණු වනු ඇත. 12 අශ්වයන්ට පර්වත මත පැන පැන ගිය හැකි ද? ගොනුන් ලවා මුහුද සීසාන්නට පුළුවන් ද? එහෙත් ඔබ යුක්තියට විස පොවා, ඇත්ත නැත්ත කර ඇත.
13 මොන කැකිරි ගෙඩියක් ගැන ඔබ ජය ඝෝෂා කරන්නහු ද? ”අප ජයගත්තේ අපේ ම බලයෙන් නොවේ දැ”යි ඔබ කියන්නහු ය.
14 එහෙත්, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: ”ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම ජාතියක් එවන්නෙමි. උතුරේ ඇති හමාත්ට ඇතුළු වන දුර්ගයේ සිට, දකුණෝ ඇති මළ මුහුද දක්වා ඒ ජාතිය නුඹලාට පීඩා කරනු ඇත.”

 

– 7 වන පරිච්ඡේදය –

පළඟැටියන් ගැන දර්ශනය

1 මහෝත්තම දෙවි ස්වාමීන් වන දෙවියන් වහන්සේ මට දර්ශනයක් දැක්වූ සේක. උන් වහන්සේ පළඟැටියන් කන්දරාවක් ඇතිවන්න සලස්වනු මම දිටිමි. එසේ කෙළේ, රජ්ජුරුවන්ට හිමි ගොයම කැපූ පසු, යල් කන්නය වැවෙන්න පටන්ගත් විට ය. 2 ඒ පළඟැටියන් දේශයේ ඇතිතාක් සියලු පලා වර්ග කාදමනු මම දිටිමි. එවිට මම, ”මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ සෙනඟට කමා වුව මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි.
3 සමිඳාණන් වහන්සේ සිය අරමුණ වෙනස් කොට, ”නුඹ දුටු දේ සිදු නොවන්නේ ය”යි වදාළ සේක.

මහ ගින්න ගැන දර්ශනය

4 දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක: උන් වහන්සේ ගින්නකින් සෙනඟට දඬුවම් කරන්න සූදානම් වන බව මම දිටිමි. ඒ ගින්න ජල පොළොව දවා, ගොඩබිම ද දවන්න පටන්ගත්තේ ය. 5 එවිට මම, ”මහෝත්තම දෙවි ස්වාමීනි, නතර කළ මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි. 6 සමිඳාණන් වහන්සේ සිය අරමුණ වෙනස් කොට, ”මෙයත් සිදු නොවන්නේ ය”යි වදාළ සේක.

ලඹ ලණුව ගැන දර්ශනය

7 දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක. ලඹ ලණුව අල්ලා සෑදූ පවුරක් අසල උන් වහන්සේ තම අතේ ලඹ ලණුවක් ඇති ව සිටිනු මම දිටිමි. 8 ”ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි උන් වහන්සේ මාගෙන් ඇසූ සේක. ”ලඹ ලණුවකැ”යි මම පිළිතුරු දිනිමි. එකල උන් වහන්සේ, ”මාගේ සෙනඟගේ ඇදකුද කෙතරම් ද කියා, මේ ලඹ ලණුව ඇල්ලීමෙන් මම නුඹට පෙන්වමි. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස මම වෙනස් නොකරමි. 9 ඊසාක්ගේ දරු පරම්පරාව නමස්කාර කරන ගිරිකුළු දේවාල විනාශ වන්නේ ය. ඉශ්රායෙල්හි සිද්ධස්ථාන වැනසෙන්නේ ය. ජෙරොබෝවම් රජුගේ වංශයට විරුද්ධ ව මම යුද්ධයක් හටගන්වන්නෙමි”යි වදාළ සේක.

ආමොස් සහ අමසියා අතර විවාදය

10 බෙතෙල්හි පූජක තැන වූ අමසියා ඉශ්රායෙල්හි රජ වූ ජෙරොබෝවම්ට මෙසේ දන්වා යැවී ය: ”ආමොස් ඔබට විරුද්ධ ව, ඉශ්රායෙල් ජනයා අතරේ කුමන්ත්‍රණයක් කර තිබේ. ඔහු ප්‍රකාශ කරන දේ නිසා රට විනාශ වන්නේ ය. 11 ‘ජෙරොබෝවම් රජ යුද්ධයේ දී මිය යන්නේ ය’ කියා ද ‘ඉශ්රායෙල් සෙනඟ වහල්කමට ගෙනයනු ලබන්නේ ය’ කියා ද ඔහු ප්‍රකාශ කරයි.”
12 අමසියා ආමොස් අමතා, ”දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න. 13 මින්පසු දිවැස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය”යි කීවේ ය.
14 එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: ”මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි. 15 එහෙත්, සමිඳාණන් වහන්සේ එඬේර රැකියාවෙන් පිටත මා කැඳවා, ‘නුඹ ගොස් මාගේ ඉශ්රායෙල් සෙනඟට දිවැස් වැකි දෙසන්නැ’යි මට නියම කළ සේක. 16 එබැවින් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න. ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව දිවැස් වැකි කියන්නට වත්, ඊසාක්ගේ දරු පරම්පරාවට විරුද්ධ ව වචනයක් කියන්නට වත් එපා යයි ඔබ කියන්නෙහි ය. 17 ඔබ එසේ කියන බැවින් සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: ‘නුඹේ භාර්යාව නගරයේ වෙසඟනක් වන්නී ය; නුඹේ දූ දරුවෝ යුද්ධයේ මිය යන්නෝ ය; නුඹේ රට මැන බෙදා අන්‍යයන්ට දෙනු ලබන්නේ ය. නුඹ ද මිසදිටු රටක මිය යන්නෙහි ය. ඉශ්රායෙල් සෙනඟ මවු බිමින් පිටුවහල් කරනු ලබන්නෝ ය.’ ”

 

– 8 වන පරිච්ඡේදය –

පැසුණු පලතුරු ගැන දර්ශනය

1 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මේ දර්ශනය මට දැක්වූ සේක. මම පැසුණු පලතුරු ඇති කූඩයක් දිටිමි. 2 එවිට සමිඳාණන් වහන්සේ, ”ආමොස්, නුඹ කුමක් දකින්නෙහි දැ”යි ඇසූ සේක. ”පැසුණු පලතුරු ඇති කූඩයකැ”යි මම පිළිතුරු දුනිමි. එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”ඉශ්රායෙල් සෙනඟගේ විනාශය පඩිසන් දෙන කාලය දැන් පැසී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස් මම වෙනස් නොකරමි. 3 ඒ දවසේ දී මාලිගාවේ ගී ගායනා දුක් ගාවිනා බවට හැරේ, සෑම තැන ම මළකඳන් දක්නට ලැබේ. කිසි තැනක ශබ්දයක් ඇසෙන්නට නැත.”

ඉශ්රායෙල් ජාතියේ විනාශය

4 දිළිඳුන් පාගාදමා, අසරණයන්ට පීඩා කරන, ඔබ මෙයට සවන් දෙන්න. 5 ඔබ ම මෙසේ කියන්නහු ය: ”අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය; 6 අපට දුප්පතා සල්ලිවලට ද දුගියා සෙරෙප්පු දෙකක මිලයට ද ගත හැකි ය; එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකි ය.”
7 ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සිය නාමයෙන් දිවුරා මෙය වදාළ සේක: ”ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලෙක මම අමතක නොකරමි. 8 එබැවින් පොළොව දෙදරන්නේ ය; රටවැසි සියල්ලෝ වැලපෙන්නෝ ය. මුළු රට ම නයිල් ගඟ මෙන් නැඟී, දෙගොඩ තලා, බැස යනවා ඇත. 9 ඒ දවසේ දී, මද්දහන වේලාවේ ඉර බසින්නට සලස්වන්නෙමි; මහා දවාලේ පොළොව අන්ධකාරවන්ට සලස්වන්නෙමි. මේ වචන වදාළේ දෙවි ස්වාමීන් වන මම ය. 10 නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය. 11 ”දේශය මුළුල්ලේ මහා සාගතයන් එවන කාලය ළං වන්නේ ය. ඒ සාගින්න කෑම සඳහා නොවේ; පිපාසය වතුර සඳහා නොවේ. එය සමිඳාණන් වහන්සේගේ වචනය ඇසීමට ඇති වන සාපිපාසය වේ. මෙසේ කියන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය. 12 එවිට සෙනඟ සමිඳාණන් වහන්සේගේ වචනය සොයමින් උතුරේ සිට දකුණට ද නැගෙනහිර සිට බස්නාහිරට ද ඔබමොබ දුවනවා ඇත. එහෙත්, එය ඔවුන්ට සම්බ වන්නේ නැත. 13 ඒ දවසේ දී රූමත් තරුණියෝ ද ශක්තිමත් තරුණයෝ ද පිපාසයෙන් ක්ලාන්ත වී වැටෙන්නෝ ය. 14 ‘දාන්හි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද ‘බෙයර්-ෂෙබාහි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද සමාරියේ දෙවිවරුන් නමින් ද දිවුරන සියලු දෙන නැවත නැඟිටින්නට නොහැකි වන ලෙස වැටෙන්නෝ ය.”

 

– 9 වන පරිච්ඡේදය –

සමිඳාණන් වහන්සේගේ විනිශ්චය

1 සමිඳාණන් වහන්සේ පූජාසනය ළඟ සිටිනු මම දිටිමි. උන් වහන්සේ මෙසේ අණ කළ සේක: ”උළුවහු සෙලවෙන හැටියට සිද්ධස්ථානයේ පේකඩවලට පහර දී, ඒවා බිඳදමා, ඔවුන් සියල්ලන්ගේ හිස් පිට කඩා වැටෙන්න සලස්වන්න. ඉතිරි වන සියලු දෙනා මම යුද්ධයේ දී මරාදමමි. එක මිනිහෙක් වත් ඉතුරු නොකරමි. එක් කෙනෙක් වත් බේරෙන්නේ නැත. 2 ඔවුන් පොළොව හාරා මළවුන්ගේ ලෝකයට ගියත්, මම ඔවුන් අල්ලාගනිමි. ඔවුන් සගලොව නැඟී ගියත්, එතැනින් මම ඔවුන් පහතට හෙළමි. 3 ඔවුන් කර්මෙල් කන්ද මුදුනෙහි සැඟවී සිටියත්, මම ඔවුන් සොයාගෙන අල්ලාගනිමි. ඔවුන් මට නොපෙනී මුහුදු පත්ලෙහි සැඟවුණත්, එහි දී ඔවුන් දෂ්ට කරන පිණිස මුහුදු සර්පයාට මම අණ කරමි. 4 ඔවුන්ගේ සතුරන් ඔවුන් වහල්කමට ගෙන ගියොත්, ඔවුන් කඩුවෙන් මරන ලෙස මම අණ කරමි. ඔවුන්ට පිහිටවන්නට නොව ඔවුන් විනාශ කරන්න මම අධිෂ්ඨාන කරගෙන සිටිමි.
5 ”සව් බලැති දෙවි සමිඳු, අතගසන විට දෙරණට, දෙරණ සැලෙනු ඇත, සව් ලෝ සත වැලපෙනු ඇත.
මිසරයේ ගඟ වන නයිල් නදිය විලසින නඟියි, බසියි මුළු දෙරණ.
6 සගලොව සිය විමන ද නර ලොව උඩින් අහස් වියන ද මවන්නේ සමිඳාණෝ ය. මුහුදේ ජලයට හඬගසා පොළොවේ වගුරුවා යවන සේක.
එතුමන්ගේ නාමය සමිඳාණෝ ය.”
7 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඉශ්රායෙල් ජනයෙනි, මා නුඹලාත්, එතියෝපිවරුනුත් සලකන්නේ එක හා සමාන ව ය. මා නුඹලා මිසර දේශයෙන් ගෙනා සේ ම, පිලිස්තිවරුන් ක්‍රීතයේ සිට ද සිරියන්වරුන් තීර්හි සිට ද මම ගෙනාවෙමි. 8 මේ පාපිෂ්ඨ රාජ්‍යය දෙස මම බල බලා සිටිමි. මම ඒ රාජ්‍යය මිහි පිටින් විනාශ කර දමමි. එහෙත්, ඒ ඉශ්රායෙල් සෙනඟ මම සහමුලින් ම විනාශ නොකරමි.
9 ”වැදගැම්මකට නැති අය වෙන් කරන පිණිස, පෙනේරෙන් ධාන්‍ය හලන්නා සේ මම ඉශ්රායෙල් සෙනඟ ජාතීන් අතරේ ඒ මේ අත හැලීමට අණ කරන්නෙමි. 10 ‘දෙවියන් වහන්සේ අපට කිසි හානියක් නොකරන සේකැ’යි කියන සෙනඟ අතරේ පව්කාරයන් වන සියල්ලන් මම කඩුවෙන් විනාශ කර දමමි.”

ඉශ්රායෙල් ජාතියේ පුනරුත්ථාපනය

11 ”ඒ දවසේ දී, ගරාවැටුණු ගෙයක් වැනි දාවිත් රජුගේ වංශය මම යළි පුනරුත්ථාපනය කරන්නෙමි. එහි බිත්තිවල ඇති කපොලු අහුරා, නටබුන් ප්‍රතිසංස්කරණය කර පෙර තිබුණු තත්ත්වයට පමුණුවන්නෙමි. 12 එවිට ඉශ්රායෙල් ජනයා, ඒදොම් රටේ ඉතිරි අය ද, මට හිමි ව තිබුණු ජාතීන් ද අයිති කර ගන්නෝ ය.” මෙසේ වදාරන්නේ, මෙය ඉටුවන්නට සලස්වන සමිඳාණන් වහන්සේ ය.
13 තවද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”සීසා ඉවර වූ වහා ම අස්වැන්න ඇති වේ.
බීජ වැපුරූ වහා ම මිදි මිරිකීම ඇති වේ.
කඳුවලින් මිහිරි මිදිපැන් වෑස්සේ, සියලු හෙල්වලින් මිදිපැන් ගලා යේ.
14 මාගේ සෙනඟ යළි සිය රටට ගෙනෙමි, ඔව්හු නටබුන් නගර යළි ගොඩනඟා එහි ජීවත් වන්නෝ ය.
ඔව්හු මිදි වතු වවා මිදියුස බොන්නෝ ය.
ඔව්හු වතු ද වවා එහි පල කන්නෝ ය.
15 මා ඔවුන්ට දුන් දේශයෙහි මම ඔවුන් පිහිටුවන්නෙමි.
කිසි කලෙක නැවත ඔව්හු එයින් උදුරනු නොලබන්නෝ ය.”
නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s