6 එකල දේව දූතයා මට කතා කරමින්, ”සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: ”නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය. ( සෙකරියා 4 : 6 )
සිය ශුද්ධස්ථානයෙහි වසන දෙවිඳාණෝ බියජනක ය; එතුමාණෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ ය. එතුමාණෝ සෙනඟට බලය ද ශක්තිය ද දෙන සේක. දෙවිඳුන්ට පැසසුම් වේ වා! ( ගීතාවලිය 68 : 35 )
එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක. ( ක්රියා 1 : 8 )
එහෙත්, සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝ ය; රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝ ය; ඔව්හු දුවන්නෝ ය; එහෙත්, වෙහෙස නොවන්නෝ ය; ඇවිදින්නෝ ය; එහෙත්, ක්ලාන්ත නොවන්නෝ ය. ( යෙසායා 40 : 31 )
උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේ දී බැවින්, මාගේ වරප්රසාදය ඔබට සෑහේ”යයි වදාළ සේක. එබැවින් ක්රිස්තුන් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස, මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි. ( 2 කොරින්ති 12 : 9 )
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. ( යෙසායා 41 : 10 )
මන්ද, ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී, එය ඉෂ්ට කරවීමට උන් වහන්සේ ම ඔබ තුළ ක්රියා කරන සේක. ( පිලිප්පි 2 : 13 )
මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය. ( පිලිප්පි 4 : 13 )
ධෛර්යයෙන් ද ඉවසිල්ලෙන් ද ප්රීතියෙන් ද සියල්ල දරාගැනීමට දෙවියන් වහන්සේ ස්වකීය මහිමාන්විත බලපරාක්රමය අනුව සියලු ආකාර බලයෙන් ඔබ ශක්තිමත් කරන සේක් වා. ( කොලොස්සි 1 : 11 )
1 කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද? 2 මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය. අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය. ( ගීතාවලිය 121 : 1 , 2 )