– 1 වන පරිච්ඡේදය –
මිසරයේ ජුදෙව්වරුන්ට ලියූ පළමු වන ලිපිය
1 ”සැරදේ වා! ජෙරුසලම්හි සහ ජුදයා දේශයේ වසන ඔබගේ සහෝදරයන් වන අපි මිසරයේ වසන ජුදෙව්වරුන් වන අපගේ සහෝදරයන්ට සව් සිරි හා සාමය පතමු. 2 දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ විශ්වාසී සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කරමින් ඔබ සමෘද්ධිමත් කරන සේක් වා! 3 උන් වහන්සේට නමස්කාර කරනු සඳහා ඔබ සියල්ලන් හට බැතිමත් හදක් ද, උන් වහන්සේගේ අභිප්‍රායයන් ඉටු කරනු සඳහා සවිමත් මනසක් ද ත්‍යාගශීලී සිතක් ද එතුමාණෝ ඔබට ප්‍රදානය කරන සේක් වා! 4 උන් වහන්සේ තමන් වහන්සේගේ නීතිය හා නියෝගවලට ඔබේ හද විවෘත කොට ඔබට සාමය දෙන සේක් වා! 5 උන් වහන්සේ ඔබගේ අයැදුම්වලට සවන් දී ඔබ සමඟ සාමදාන වී, විපත්ති කාලයේ දී උන් වහන්සේ ඔබ අත් නොහරින සේක් වා! අප මෙහි දැන් ඔබ උදෙසා යාච්ඤා කරමු. 6 වර්ෂ එකසිය හැට නවයේ දෙමෙත්‍රියස් රජු දවස ජුදෙව්වරුන් වන අපි ඔබට මෙසේ ලියා එවීමු. 7 ”ජාසොන් සහ ඔහුගේ සහායකයන් ශුද්ධ දේශය සහ රාජ්‍යය පාවා දුන් මේ අවුරුදු තුළ දී අපට දැරිය නොහැකි දුක් කරදර ඇති විය. 8 ඔව්හු දේව මාලිගාවට ඇතුළුවන දොරටුව පුළුස්සාදමා නිදොස් ලේ වැගිරෙව්වෝ ය. එවිට අපි සමිඳාණන් වහන්සේට කන්නලව් කෙළෙමු. උන් වහන්සේ අපට සවන් දුන් සේක. අපි තිරිඟු පිටි සහිත ව පුද පඬුරු ඔප්පු කෙළෙමු; පහන් දල්වා පිදූ පූප ද ඔප්පු කෙළෙමු. 9 එබැවින් වර්ෂ එකසිය අසූ අටේ කිස්ලෙව් මාසයේ කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට වගබලාගන්නා ලෙස අපි යෝජනා කරමු.”
මිසරයේ ජුදෙව්වරුන්ට ලියූ දෙ වන ලිපිය
10 ”ජෙරුසලමෙහි සහ ජුදයාවේ ජනතාව ද උත්තර මන්ත්‍රී මණ්ඩලය හා ජූදස් ද මෙය ලියන්නේ, ටොලමි රජුන්ගේ ආචාර්යවරයා වූ ද ආලේපිත පූජකවරුන්ගේ පවුලේ කෙනෙකු වූ ද ඇරිස්ටෝබුලූස් සහ මිසරයේ වසන ජුදෙව්වරුන් වෙතට ය. ඔබට සුබ පතමු. ඔබ නිදුක් නිරෝගී වෙත් වා!
11 ”මහා අන්තරායයන්ගෙන් දෙවියන් වහන්සේ අප මුදා ඇති බැවින් ද, රජුට විරුද්ධ ව අප කළ ක්‍රියාවල දී උන් වහන්සේ අපට සහාය දුන් බැවින් ද, අපි උන් වහන්සේට ඉමහත් ලෙස ස්තුති කරමු. 12 මන්ද, ශුද්ධ නගරයට විරුද්ධ ව අවි ආයුධ ගත් අය පලවා හැරියේ උන් වහන්සේ ය. 13 බැලූ බැල්මට අනභිභවනීය ලෙස පෙනුණු, සේනාවක් සමඟ ඔවුන්ගේ නායකයා පර්සියාවට ගිය කල නනයා නමැති දේවතාවියගේ දේවාලයේ දී ඔහු කැබලි කරදමන ලදී. එලෙස වූයේ දේවතාවියට වත්පිළිවෙත් ඉටු කළ පූජකවරයන් විසින් යොදන ලද උපාය මාර්ගයකිනි. 14 එය සිදු වූයේ මෙසේ ය: නනයා නමැති දේවතාවියගේ දේවාලය සමඟ සම්බන්ධකමක් ඇති කරගන්නට යන බවට චාටු අදහස් දක්වමින් ඇන්ටිඕකස් රජ තෙමේ සිය මිතුරන් හා සමඟ දේවාලයේ වූ ඉමහත් වස්තුව කොල්ලයක් වශයෙන් ගන්නා අටියෙන් එහි පැමිණියේ ය. 15 එවිට ඒ දේවාලයේ පූජකයෝ ද එහි වස්තුව ප්‍රදර්ශනය කළෝ ය. රජ තෙම කුඩා පිරිසක් පිරිවරාගෙන ශුද්ධ භූමියට ඇතුළු විය. ඇන්ටිඕකස් ඇතුළට වූ විගස ම දේවාලය වසන ලදී. 16 ඉන්පසු පූජකයන් විසින්, එහි සීලිමේ තිබුණු රහස් දොරටුව විවෘත කොට නායකයා සහ ඔහුගේ පිරිසට හෙණ පහර දෙන්නාක් මෙන් ගල් ගසා මරණයට පත් කරනු ලැබූ හ. ඉන්පසු ඔව්හු ඔවුන් කැබලි කොට කපා ඔවුන්ගේ හිස්, පිටත සිටි මිනිසුන් වෙතට වීසි කළහ. 17 අභක්තිකයන් හට නිසි පරිදි ප්‍රතිවිපාක දුන් අපගේ දෙවියන් වහන්සේට සියල්ලෙහි දී ප්‍රශංසා වේ වා!”
පුදුමාකාර ලෙස ශුද්ධ ගින්න ආරක්ෂා වීම
18 ”කිස්ලෙව් මාසයේ විසිපස් වන දින දී අප දේව මාලිගාව පවිත්‍ර කිරීමේ මංගල්‍යය පවත්වන බැවින්, ඔබ ද දේව මාලිගාව සහ පූජාසනය ගොඩනැඟුවාවූ නෙහෙමියා යාග පඬුරු ඔප්පු කරන විට දර්ශනය වූ ගින්නට අදාළ මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය පවත්වන ලෙස ඔබට දැනුම් දීම සුදුසු ය යි අපි කල්පනා කරමු. 19 අපේ මුතුන්මිත්තන් පර්සියාවට පිටුවහල් කරනු ලැබූ විට එකල සිටි බැතිමත් පූජකවරු පූජාසනයේ ගින්නෙන් ස්වල්පයක් රැගෙන වියළී ගිය ළිඳක ගුහාවක් තුළ එය රහසින් සැඟවූ හ. තවද කිසිවකු එය දැන නොගන්නා ලෙසට ඔව්හු වග බලාගත්හ. 20 එහෙත් වසර ගණනාවකට පසු දේව අභිමතය වූ නියමිත කාලයේ දී පර්සියාවේ රජුගේ අණ ලැබූ නෙහෙමියා ඒ ගින්න සැඟවූ පූජක පෙළපතින් පැවත ආ සමහරකු එය ලබා ගැනීම සඳහා යැවී ය. එහෙත් ඔවුන්ට එම ගින්න සොයාගත නොහැකි වූ බවත්, එම ස්ථානයෙහි උකු වූ දියරක් තිබුණු බවත් ඔහුට දන්වනු ලැබූ විට, එයින් කොටසක් ඇද ආපසු රැගෙන එන ලෙස නෙහෙමියා ඔවුන්ට අණ කෙළේ ය. 21 යාග පූජාව සඳහා ද්‍රව්‍ය පිළියෙළ කරනු ලැබූ පසු දර මත ද එය පිට වූ දේවල් මත ද එම දියරය වත් කරන ලෙස නෙහෙමියා පූජකවරුන්ට අණ කෙළේ ය. 22 මෙය කර ස්වල්ප වේලාවක් ගත වූ පසු, එතෙක් අඳුරු වී තිබුණු සූර්යයා බබළන්නට විය; එවිට සියල්ලන් මවිත කරවමින් එහි විශාල ගින්නක් දැල්විණි. 23 යාග පූජාව දැවෙන විට පූජකවරු ද ඔවුන් සමඟ සිටි සියල්ලෝ ද යාච්ඤා කළෝ ය. ජොනතන් යාච්ඤා ආරම්භ කෙළේ ය. නෙහෙමියා සමඟ සෙසු අය පිළිතුරු දුන්හ. 24 ඔවුන් කළ යාච්ඤාව මෙසේ විය: ‘සමිඳාණන් වහන්ස, දෙවි ස්වාමීන් වහන්ස, සියල්ලේ මැවුම්කරුවාණෙනි, ඔබ බියජනක ය, ශක්තිසම්පන්න ය, සාධාරණ ය, කරුණාවන්ත ය, ඔබ පමණක් රජාණෝ ය, ආධාරකරුවාණෝ ය. 25 සියල්ල සපයා දෙන එක ම තැනැන් වහන්සේ ඔබ ය, ඔබ පමණක් යුක්ති සහගත ය, සර්වබලධාරී ය, සදාතන ය, ඔබ ඉශ්රායෙල් ජනතාව සියලු නපුරෙන් මුදාගත් සේක. ඔබ අපේ පියවරුන්, ඔබගේ සෙනඟ ලෙස තෝරාගෙන, ඔවුන් ශුද්ධවන්ත කළ සේක. 26 ඔබගේ සියලු සෙනඟ වන ඉශ්රායෙල් ජනතාව වෙනුවෙන් මේ පුද පඬුර පිළිගෙන ඔබේ උරුමය ආරක්ෂා කොට එය කැප කරන සේක් වා! 27 අප අතරින් තවමත් විසිර සිටින අය එක්තැන් කොට විජාතීන් අතර වහල්කමේ සිටින අය නිදහස් කර අවමානයට හා පිළිකුලට පාත්‍ර වූ අය දෙස ඔබගේ කරුණා බැල්ම හෙළා ඔබ අපගේ දෙවියන් වහන්සේ බව විජාතිකයන්ට දැනගන්නට සලස්වන සේක් වා! 28 උඩඟුකම නිසා අපට පීඩා කොට අපට නින්දා කරන අයට ඔබ වහන්සේ දඬුවම් කරන සේක් වා! 29 මෝසෙස් පොරොන්දු වූ ලෙස ඔබගේ ශුද්ධස්ථානයෙහි ඔබේ සෙනඟ ස්ථිර ව ම පිහිටුවන සේක් වා!’
30 ”ඉන්පසු පූජකවරු ගීතිකා ගායනා කළහ. 31 පුද පූජාව මුළුමනින් ම දැවී ගිය පසු, විශාල ගල් මත, ඉතිරි වූ දියර වත් කිරීමට නෙහෙමියා අණ කෙළේ ය. 32 මෙය කළ විට ගිනි දළුවක් හටගත්තේ ය. එහෙත් පූජාසනයේ ආලෝකධාරා බබළන්නට වූ විට එය නිවී ගියේ ය. 33 මේ පුවත පතළ වී ගොස්, පිටුවහල් කරනු ලැබූ පූජකවරුන් විසින් සඟවන ලද ගින්න තිබූ ස්ථානයෙහි දියර මතු වූ බවත්, නෙහෙමියා සහ ඔහුගේ සෙනඟ එය රැගෙන පුද පූජා භාණ්ඩ එයින් ශුද්ධ කළ බවත් පර්සියාවේ රජු ඇසූ විට, 34 හෙතෙම එම සිද්ධිය සැබෑ බව ස්ථිර කර දැනගෙන එම ස්ථානය වෙන් කොට ශුද්ධ භූමියක් බව ප්‍රකාශ කෙළේ ය. 35 තවද රජුගේ අනුග්‍රහය ලැබූ අය සමඟ හෙතෙම වටිනා තෑගිබෝග ද හුවමාරු කරගත්තේ ය. 36 නෙහෙමියා සහ ඔහුගේ සෙනඟ එම දියරයට ‘පවිත්‍රවීම’ යන තේරුම ඇති ව ‘නෙප්තාර්’ ය යි නම් කළහ. එහෙත් පොදු සම්මත ව්‍යවහාරය අනුව එය ‘නප්තා’ විය.
– 2 වන පරිච්ඡේදය –
මණ්ඩපය ද ගිවිසුම් කරඬුව සහ පූජාසනය ද සඟවා තැබීම
1 අප විසින් විස්තර කරන ලද පරිදි රටින් පිටුවහල් කරනු ලැබූ අයට ගින්න රැගෙන යාමට දිවැසිවර ජෙරමියා අණ කළ විට පහත සඳහන් උපදේශ ද දී තිබෙන බව පහත පැරණි ලියවිලිවලින් අපි සොයාගතිමු. 2 එනම්, ඔහු ඔවුන්ට ව්‍යවස්ථාව භාර දෙමින්, පිටුවහල් කරන ලද අය කිසි දාක සමිඳාණන් වහන්සේගේ අණපණත් අමතක නොකළ යුතු බව හා ඔවුන් රන් රිදී පිළිමත් ඒවායේ විචිත්‍ර වස්ත්‍රාභරණත් දුටු විට ඒවාට නො රැවටිය යුතු බව ය. 3 තවද ඒ සමඟ ම දුන් වෙනත් උපදේශ අතර ඔවුන්ගේ සිත්වලින් ව්‍යවස්ථාව බැහැර නො කරන ලෙස ද ඔහු ඔවුන්ට තදින් අවවාද කෙළේ ය. 4 දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශය නරඹන පිණිස මෝසෙස් නැඟුණ කන්දට දිවැසිවරයා යන විට තමා සමඟ මණ්ඩපය සහ ගිවිසුම් කරඬුව රැගෙන යා යුතු බවට නියමයක් දේව ප්‍රකාශනයන් මඟින් දන්වන ලද බවත් එම ලියවිල්ලෙහි විස්තර කර තිබුණි. 5 ජෙරමියා පැමිණි විට ඔහුට එහි ගුහාවක් සම්බ විය. ඔහු එය ඇතුළට මණ්ඩපය ද ගිවිසුම් කරඬුව සහ සුවඳ දුම් පූජාසනය ද ගෙනා පසු එහි දොරටුව වසාදැමී ය. 6 ඔහුගේ පිරිසෙන් සමහරුන් මාර්ගය ලකුණු කිරීම සඳහා පැමිණි නමුත් ඔවුන්ට එය සොයාගත නො හැකි විය. 7 ජෙරමියා මෙය දැනගත් විට ඔවුන්ට බැණ වදිමින්, ”දෙවියන් වහන්සේ සිය සෙනඟ එකට එකතු කොට උන් වහන්සේ ඔවුන්ට කරුණාව පෙන්වන තුරු එම ස්ථානය කිසිවකු නො දත යුතු යි. 8 එම කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ යළිත් සියල්ල අනාවරණය කරන සේක. එවිට සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය වෙනවා ඇත. මෝසෙස්ගේ කාලයේ දී ද අතිශුද්ධස්ථානය තේජාන්විත ව කැප වන ලෙස සලමොන් රජු යාච්ඤා කළ විටත් වලාකුළු දර්ශනය වුණාක් මෙන් වලාකුළ ද පෙනෙනු ඇතැ”යි කීවේ ය. 9 තවද සලමොන් රජු තම ප්‍රඥා මහිමයෙන් ශුද්ධස්ථානයේ වැඩ හමාර කොට එය කැප කිරීමට පුද පූජාව ඔප්පු කළ සැටි ද එහි වාර්තාගත කර තිබුණි. 10 මෝසෙස් සමිඳාණන් වහන්සේට යාච්ඤා කළ විට අහසින් ගින්න බැස අවුත් පුද පූජාව දැව්වා සේ ම සලමොන් රජු යාච්ඤා කළ විටත්, ඉහළින් පැමිණි ගින්න දවන යාග පූජා දවාදැම්මේ ය. 11 පාප පූජා පඬුර දැවී ගියේ එය අනුභව නොකළ හෙයින් ය යි මෝසෙස් විසින් කියන ලදී. 12 සලමොන් රජ ද පිළිවෙළට ම අට දවසක් මංගල්‍ය පැවැත් විය.
නෙහෙමියාගේ පුස්තකාලය
13 තවද කලින් කී දේවලට අමතර ව නෙහෙමියා විසින් පුස්තකාලයක් පිහිටුවනු ලැබ එහි ඔහු රජවරුන්ට සහ දිවැසිවරුන්ට අදාළ කරුණු පිළිබඳ ග්‍රන්ථ ද දාවිත් රජුගේ ලියකියවිලි ද පුද පූජා සම්බන්ධ රජවරුන්ගේ ලියුම් ද එක්රැස් කළ අන්දම ගැන ලේඛනවල සහ නෙහෙමියාගේ ජීවිත සටහන් පිළිබඳ කෘතියේ වාර්තා කර තිබිණි. 14 එලෙස ම මෑත කාලයේ දී වූ යුද්ධයේ දී විසුරුවා දමනු ලැබූ ග්‍රන්ථ සියල්ල ම ජූදස් විසින් එකතු කරන ලදී. ඒවා අප අතර තවමත් තිබේ. 15 ඔබට ඒවායින් යමක පිටපත් වුවමනා නම් ඒවා ලබාගැනීම සඳහා කෙනෙකු එවන්න.
කැප කිරීමේ උත්සවයට ඇරයුම
16 අවසන් කොට, දැන් අප දේව මාලිගාවේ පවිත්‍ර වීමේ මංගල්‍යය පැවැත්වීමට සූදානම් බැවින් ඔබ ද එම මංගල්‍ය දිනයන් පවත්වන ලෙස ඉල්ලා ඔබ වෙත ලියා එවන්නෙමු. 17 ස්වකීය සෙනඟ මුළුමනින් ම මිදූ දෙවියන් වහන්සේ ව්‍යවස්ථාව මඟින් පොරොන්දු වූ ලෙස සියල්ලන් මත සිය උරුමය ද රාජ්‍යය ද පූජකවරය ද ශුද්ධවන්තකම ද දානය කරමින්, උන් වහන්සේ තුළ අපගේ බලාපොරොත්තුව තබන පරිදි උන් වහන්සේ අප හට සැබැවින් ම කඩිනමින් දයාව පෙන්වන සේක. 18 එලෙස දයාව පෙන්වා මහ නපුරෙන් අප මුදා දේව මාලිගාව පවිත්‍ර කොට ඇති බැවින් උන් වහන්සේ මිහි පිට හැම තැනින් ම අතිශුද්ධස්ථානයට අප එකතු කරන සේක.
සම්පාදකගේ පෙර වදන
19 ජූදස් මකබියස් සහ ඔහුගේ සහෝදරයන් පිළිබඳ ඉතිහාසය ද මහා දේව මාලිගාව පවිත්‍ර කිරීම ද පූජාසනය කැප කිරීම ද සයිරින්හි ජේසන් විසින් ලියන ලද ග්‍රන්ථ පහක ඉදිරිපත් කරන ලදී. 20 ඇන්ටිඕකස් එපිපානෙස් සහ ඔහුගේ පුත්‍රයා වන යූපාටෝර් සමඟ කරන ලද යුද්ධ ද ජුදා ජාතිය සඳහා වීර වික්‍රමාන්විත ලෙසින් තරඟ කරමින් සටන් කළ අයට අහසින් පෙනුණු දර්ශන ද ඔහු ඒවායේ විස්තර කර ඇත. 21 ඔවුන් ස්වල්ප දෙනෙකු වූ නමුත් ඔව්හු මුළු රට විනාශ කළ විදෙස් පිරිස් පලවාදැමූ හ. 22 ඔව්හු ලෝක ප්‍රසිද්ධ දේව මාලිගාව ප්‍රතිසංස්කරණය කොට ජෙරුසලම් නගරය නිදහස් කොට, අවලංගු වීමට ගිය ව්‍යවස්ථාවන් යළිත් ස්ථාපිත කළහ. ඔවුන් මේ සියල්ල කෙළේ සමිඳාණන් වහන්සේ ඔවුන්ට දයාව පෙන්වා කරුණාභරිත වූ බැවිනි.
23 සයිරින්හි ජේසන් විසින් ලියන ලද ග්‍රන්ථ පහේ සඳහන් කරුණු සියල්ල සාරාංශයක් වශයෙන් එක ග්‍රන්ථයක් මඟින් දීමට මම උත්සාහ කරමි. 24 මේ ඉතිහාසයේ කථා වස්තූන් තේරුම්ගැනීමට කැමැති අයට ඒවායේ කරුණුවල බහුලත්වය නිසා ඇති වන දුෂ්කරතාව ද ඒවායේ සංබ්‍යා ලේඛන රාශිය ද මම මැනවින් වටහාගතිමි. 25 රසාස්වාදය පතා කියවන අයගේ විනෝදය සඳහාත් ඒවායේ කරුණු මතකයේ තබාගැනීම අවශ්‍ය වන සිසුන්ගේ පහසුව සඳහාත් කලාතුරකින් කියවන පාඨකයාගේ පවා ප්‍රයෝජනය සඳහාත් ක්‍රියා කිරීමට මම වෑයම් කෙළෙමි. 26 මේ සාරාංශය පිළියෙළ කිරීම සඳහා මා භාරගත් වගකීම සුළුපටු නොවේ. එය ඉටු කිරීම සඳහා වෙහෙස මහන්සි දරමින් මැදියම් රැය දක්වා කාලය වැය කෙළෙමි. 27 රාත්‍රියේ භෝජන සංග්‍රහයක් පිළියෙළ කොට අමුත්තන් තෘප්තිමත් කරවීමට අදහස් කරන යමෙකුට එම වගකීම පහසු එකක් නොවන්නා සේ ම, මා භාරගත් කටයුත්ත ද ලේසි පහසු එකක් නොවේ. එසේ වුවත් පාඨකයන්ගේ පොදු යහපත සඳහා මෙම දුෂ්කර කාර්යය මම ප්‍රීතියෙන් භාරගතිමි. 28 සුළු දේවල් සම්බන්ධ ව විස්තරාර්ථ සාකච්ඡා කිරීම ඓතිහාසික කර්තෘවරයන්ට භාර කොට, මාගේ කටු සටහනේ ප්‍රධාන විෂයයන් ගැන මම මාගේ අවධානය යොමු කරමි. 29 ගෘහ නිර්මාණ ශිල්පියෙකු ගෙයක් ගොඩනඟන විට ඔහු මුළු ගොඩනැඟිල්ල වෙත ම තම අවධානය යොමු කළ යුතු ය. එහෙත් බිත්ති පින්තාරු කරන ශිල්පියා කළ යුත්තේ ඒවායේ විචිත්‍රතාව සඳහා අවශ්‍ය දේ සොයාගැනීම පමණකි. මාගේ කටයුත්ත ද එලෙස යයි මම නිගමනය කරමි. 30 ඉතිහාසයක මුල් කර්තෘවරයාට පැවරෙන කොටස නම් එහි මුළු ක්ෂේත්‍රය ම තේරුම්ගෙන පුළුල් ලෙස සාකච්ඡා කොට සුළු කරුණු ගැන පවා හොඳින් සැලකිලිමත් වීම ය. 31 සාරාංශයක් ලියන තැනැත්තා කළ යුත්තේ අඩංගු කරුණු සම්බන්ධ ව මුළුමනින් ම විස්තරාර්ථ නො දී ලුහුඬු වාක්‍ය විධි උපයෝගි කරගැනීම යි.
32 එබැවින් මම අමුතු යමක් එකතු නොකොට මගේ වෘත්තාන්තය ආරම්භ කරමි. ඉතිහාසයට දිග පෙර වදනක් ලියා ඉතිහාසයේ කරුණු අඩු කිරීම මෝඩ වැඩකි.
– 3 වන පරිච්ඡේදය –
හෙලිඕඩොරස් ජෙරුසලමට පැමිණීම
1 නායක පූජක ඕනියස්ගේ භක්තිවන්තකම ද නපුරු ක්‍රියා කෙරෙහි ඔහු දැක්වූ ද්වේෂය ද නිසා ශුද්ධ නගරය තුළ සියල්ලෝ ම සාමකාමී ව ජීවත් වූ හ; හැකි පමණ හොඳින් ව්‍යවස්ථා පිළිපැද්දා හ. 2 එකල රජවරු පවා අතිශුද්ධස්ථානයට ගෞරව දක්වා ඉතා අගනා පුද පඬුරු ඔප්පුකොට දේව මාලිගාවේ මහිමාලංකාරය වැඩිදියුණු කළහ. 3 ආසියාවේ රජවූ සෙලවුකස් ද තමාගේ පෞද්ගලික ආදායමෙන්, පුද පූජා සඳහා වන වියහියදම් කෙළේ ය.
4 එහෙත් බිල්ගාගේ වංශයේ සීමොන් නමැත්තෙකු දේව මාලිගාවේ පරිපාලනය සඳහා පත් කරනු ලැබ, නගරයේ වෙළෙඳාම් පොළවල් සම්බන්ධ නීති නියෝග නිසා ඔහුට නායක පූජක තැන සමඟ ගැටෙන්නට සිදු විය. 5 තම අදහසට ඕනියස් කැමැති කරවාගැනීමට ඔහුට නොහැකි වූ බැවින්, ඔහු එකල චේලි-සිරියාවේ සහ පිනීෂියාවේ යුද කොමසාරිස්වරයා ව සිටි තාර්සස්හි අපොල්ලෝනියස් වෙතට ගියේ ය. 6 ඔහු එහි ගොස්, ජෙරුසලමෙහි භාණ්ඩාගාරයේ කිය නොහැකි තරම් ඉමහත් ධනස්කන්ධයක් තිබෙන බව ද එහි එකතු කර තිබෙන වස්තු සම්භාරය අසංඛ්‍ය බව ද යාග පූජාවන් සඳහා වියහියදම්වලට යන ප්‍රමාණයට වඩා එම වස්තු ප්‍රමාණය විශාල බව ද ඒ සියල්ල ම රජුගේ පාලනය යටතට ගත හැකි බව ද සැළ කෙළේ ය. 7 එවිට අපොල්ලෝනියස් රජු හමු වූ අවස්ථාවක දී තමාට දන්වන ලද එම වස්තුව ගැන රජුට කීවේ ය. මෙය ඇසූ රජ තෙමේ තමාගේ භාණ්ඩාගාරික, හෙලිඕඩොරස් තෝරාගෙන දන්වන ලද එම වස්තුව ඉවත් කරගැනීම සඳහා උපදෙස් දී ඔහු එහි යැවී ය.
8 හෙලිඕඩොරස් වහා පිටත් විය. චේලි-සිරියාවේ සහ පිනීෂියාවේ නගර පරීක්ෂා කරන මුවාවෙන් මෙන් ඔහු ගිය නමුත් ඇත්ත වශයෙන් ම ඔහු ගියේ රජුගේ අදහස ඉටු කරන පිණිස ය. 9 ඔහු ජෙරුසලමට පැමිණි විට නායක පූජක තැන විසින් ඔහු සාදරයෙන් පිළිගනු ලැබීමෙන් පසු තමා එහි පැමිණීමට හේතුව දන්වා, තමාට දන්වන ලද දේවල් ප්‍රකාශ කොට, යථා තත්ත්වය එබඳු දැ යි ඇසී ය. 10 එවිට නායක පූජක තෙම ඔහුට විස්තර ඉදිරිපත් කරමින්, වැන්දඹුවන් සහ අනාථයන් සඳහා එහි මුදල් වෙන් කර තිබෙන බව පැවසී ය. 11 තවද ඉතා උසස් නිල පදවියක සිටින තෝබියස්ගේ පුත්‍ර වූ හිර්කානස්ට එම මුදලින් කොටසක් අයිති බවත්, නපුරු සීමොන් චෝදනා කළ දේ ඇත්ත නොවන බවත්, මුළු ධන සම්පත ම රිදී කාසි හාරසියයක් සහ රන් කාසි දෙසියයක් බවත් දැන්විය. 12 ඔහු තවදුරටත් කතා කරමින්, එම ශුද්ධස්ථානය කෙරෙහි විශ්වාසය තැබූ අයට විරුද්ධ ව ද මුළු ලොව පුරා ම පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන එම ස්ථානයේ නො කෙලසිය යුතු මහානුභාව සම්පන්නත්වයට විරුද්ධ ව ද අසාධාරණයක් කිරීම ගැන කොහෙත් ම නොසිතිය යුතු බව ද දැන්විය.
ජෙරුසලමෙහි සන්ත්‍රාසය
13 එසේ වුවත්, රජ තමාට දුන් උවදෙස් නිසා රාජකීය භාණ්ඩාගාරය සඳහා වහා එම මුදල් රාජසන්තක කළ යුතු බව හෙලිඕඩොරස් තරයේ කියා සිටියේ ය. 14 ඔහු මේ සඳහා දිනයක් නියම කොට, එහි තිබුණු වස්තුව පිළිබඳ වට්ටෝරුවක් පිළියෙළ කිරීමට ගියේ ය. එවිට නුවර පුරා සන්ත්‍රාසයක් ඇති විය. 15 නිල ඇඳුම් ලා ගත් පූජකවරු මුණින් වැටී, වස්තුව තැන්පත් කළ අය වෙනුවෙන් ඒවා ආරක්ෂා කර දෙන ලෙස නීතියේ කර්තෘවරයාණන්ටත්, ස්වර්ගයටත් යාච්ඤා කළහ. 16 නායක පූජකතුමාගේ එහි පැමිණීම බලා හුන් අයගේ හදවත් විනිවිද යන සුලු විය. ඔහුගේ විලාසය හා වෙනස් වූ පැහැය සිතෙහි වූ වේදනාව එළිදරව් කරන සංකේතයක් විය. 17 භීතියත් ඇඟපත වෙව්ලීමත් නිසා තැතිගෙන සිටි, ඔහු දුටු අයට ඔහු විඳි චිත්ත සන්තාපයේ තරම ඉතා තදින් කාවැදිණි. 18 ශුද්ධස්ථානයට එල්ල කරන ලද නින්දාවෙන් එය මුදාගැනීම සඳහා ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීමට අදහස් කළ අය මහත් වේගයෙන් ගෙවලින් පිටතට ආහ. 19 කාන්තාවෝ තමන්ගේ යටි කය ගෝණි රෙදිවලින් වසාගෙන වීථිවල එක්රැස් වූ හ. ගෙවල හුදකලා ව නවත්වනු ලැබූ යුවතියන්ගෙන් සමහරු දොරවල් අසලට දිව ගියහ. සමහරෙක් නුවර පවුරු සමීපයටත් දිව ගියහ. තවත් සමහරෙක් කවුළුවලින් පිටතට එබී බලාගෙන සිටියාහ. 20 සියලුදෙනා ම යාච්ඤාවෙහි යෙදී ස්වර්ගය දෙසට තමන්ගේ දෑත් දිගු කළහ. 21 මුණින් වැටී බිම දිගා වීම සඳහා මිනිසුන්ගේ රොක් වීම ද දැඩි සිත් වේදනාවෙන් පෙළෙමින් සිටි නායක පූජකවරයාගේ අසුබ පෙරනිමිති ද දැකීම දුක්බර ජවනිකාවක් විය. 22 වස්තුව තැන්පත් කළ අය සඳහා ඒ වස්තුව ආරක්ෂා කර දෙන පිණිස සෙනඟ සව් බලැති සමිඳාණන් වහන්සේට යාච්ඤා කිරීමෙහි යෙදී සිටින අතර 23 හෙලිඕඩොරස් තෙමේ තමාට නියම ව තිබුණු කාර්යය නොනවත්වා කරගෙන ගියේ ය.
හෙලිඕඩොරස්ට දඬුවම් දීම
24 හෙලිඕඩොරස් ඔහුගේ මුර සෙබළුන් සමඟ භාණ්ඩාගාරය අසලට පැමිණි විට, සකල බලතාවයන්ගේ සහ ආත්මයන්ගේ පරමෝත්තමයාණන් දර්ශනයකින් පෙනුනෙන්, හෙලිඕඩොරස් සමඟ ගමන් ගත් සියල්ලෝ ම දේව බලය ගැන තුෂ්ණීම්භූත ව පිළිකුල් සහගත භීතියකට පත් වූ හ. 25 අලංකාර ලෙස සරසන ලද, අශ්වයෙක් ද ඌ අරා සිටි බිහිසුණු අසරුවෙක් ද ඔවුන් ඉදිරිපිට දර්ශනය වූ හ. ඌ පස්සා ගාත්වලින් කෙළින් සිටගෙන සාහසික ලෙස ඉස්සරහ ගාත්වලින් හෙලිඕඩොරස්ට, පහර දුන්නේ ය. අසරුවා සම්පූර්ණයෙන් ම සැරසී සිටියේ රත්රන්වලිනි. 26 තවද, කැපී පෙනෙන ශරීර ශක්තියෙන් ද පැහැපත් ශෝභාවකින් ද යුත්, විශිෂ්ට ලෙස සැරසුණු, තරුණයෝ දෙදෙනෙක් ද ඒ වේලාවේ දී ම ඔහුට දර්ශනය වූ හ. ඔව්හු හෙලිඕඩොරස්ගේ දෙපස සිටගෙන ඔහුට පහර පිට පහර දෙමින් නො නවත්වා තැළූ හ. 27 හදිසියෙන් ම හෙලිඕඩොරස් ඝන අඳුරකින් වට කරනු ලැබී ය. ඔහු බිම ඇද වැටිණි. ඔහුගේ පිරිස ඔහුගේ සහායට පැමිණ ඔහු ඔසවා යහනක තැබූ හ. 28 මේ මිනිසා වනාහි අප කලින් කී අන්දමට මහා පිරිසක් පිරිවරාගෙන තමාගේ මුර ඇණිය ද සමඟ මොහොතකට කලින් භාණ්ඩාගාරයට ඇතුළු වූ තැනැත්තා ය. ඔහුට කිසි දෙයක් කරගත නොහැකි වූ විට ඔහු උසුලාගෙන ගිය තැනැත්තෝ ප්‍රසිද්ධියේ ම පරමෝත්තම දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය පිළිගත්හ.
29 හෙලිඕඩොරස් කතා කරගත නොහැකි ව ගැළවීමේ කිසි ම බලාපොරොත්තුවක් නැති ව දේව දඬුවමට යටත් කරනු ලැබ බිම වැතිර සිටින විට, 30 තමන් වහන්සේගේ ශුද්ධස්ථානය අරුමපුදුම ලෙස තේජස් සම්පන්න කළ සමිඳාණන් වහන්සේට, ජුදෙව්වරු ප්‍රශංසා කළහ. සුළු වේලාවකට පෙර භීතියෙන් හා ව්‍යාකූලත්වයෙන් පිරී තිබුණු දේව මාලිගාව තුළ දැන් සව් බලැති දෙවියන් වහන්සේ ප්‍රකාශ වීමෙන් ප්‍රීති ප්‍රමෝදය පිරී ඇත්තේ ය. 31 එවිට හෙලිඕඩොරස්ගේ පිරිසෙන් සමහර දෙනෙක් ඕනියස්ට කතා කොට, මරණාසන්න වී සිටින මේ මිනිසාට යළි ජීවිතය දානය කරන ලෙස මහෝත්තමයාණන්ට යාච්ඤා කරන මෙන් ඔහුගෙන් විගස ඉල්ලා සිටියා හ.
32 ජුදෙව්වරුන් හෙලිඕඩොරස්ට කිසි යම් ද්‍රෝහි ක්‍රියාවක් කළහ යි රජු සැක සිතන්නට පුළුවනැ යි සිතා බිය වූ නායක පූජක තැන ද ඔහුගේ සුවය සඳහා පුද පූජාවක් ඔප්පු කෙළේ ය. 33 නායක පූජක තැන වන්දි ගෙවීමේ වත්පිළිවෙත් ඔප්පු කරන විට, කලින් දර්ශනය වූ තරුණයෝ ම එම වස්ත්‍ර ම ඇඳගෙන දර්ශනය වූ හ. මොවුහු හෙලිඕඩොරස් ළඟ සිටගෙන ඔහුට කතා කොට, ”නායක පූජක ඕනියස්ට ස්තුති කරන්න. මන්ද සමිඳාණන් වහන්සේ ඔබට ජීවිතය දුන්නේ ඔහු නිසා ය. 34 ස්වර්ගයෙන් කස පහර ලැබූ ඔබ දෙවියන් වහන්සේගේ බල මහිමය සියලු මිනිසුන්ට ප්‍රකාශ කළ යුතු යි” කී හ. මෙසේ කියා ඔව්හු අතුරුදහන් වූ හ.
හෙලිඕඩොරස්ගේ සිත් හැරීම
35 හෙලිඕඩොරස් සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කොට, තමාගේ ජීවිතය ආරක්ෂා කළ උන් වහන්සේට ප්‍රසිද්ධියේ බාරහාර වී, ඕනියස්ගෙන් ගෞරව පූර්වක ව සමුගෙන, ඔහුගේ හමුදාව සමඟ රජු වෙත ආපසු ගියේ ය. 36 ඔහු තමාගේ ම දෙනෙතින් දුටු අති උත්තම දෙවියන් වහන්සේගේ ක්‍රියා ගැන ප්‍රසිද්ධියේ ම සියලු සෙනඟ ඉදිරියෙහි සාක්ෂි දුන්නේ ය. 37 රජ තෙමේ දෙ වන වතාවටත් කුමන ආකාර කෙනෙකු ජෙරුසලමට යැවිය යුතු දැ යි හෙලිඕඩොරස්ගෙන් ඇසුවේ ය. ඔහු උත්තර දෙමින්, 38 ”රජයට විරුද්ධ කැරලිකාරයෙකු හෝ සතුරෙකු හෝ ඔබට ඇත්නම් එවැන්නෙකු එහි යැව්ව මැනවි. ඔහුට තම පණ බේරාගෙන එන්න වරම් ලැබුණත්, ඔහුට හොඳට ම කස පහර කන්නට ඔබ සලසනවා ඇත. මන්ද, ඒ ස්ථානයේ දෙවියන් වහන්සේගේ අරුම සහගත පරාක්‍රම බලයක් පවතියි. 39 සගලොව වැඩවසන තැනැන් වහන්සේ එම ස්ථානය රැකබලා ගනිමින් එය ආරක්ෂා කරන සේක. ඊට අනතුරක් කරන්නට පැමිණෙන අයට උන් වහන්සේ පහර දී ඔවුන් විනාශ කරන සේකැ”යි කීවේ ය. 40 හෙලිඕඩොරස් හා සම්බන්ධ කාරණයේ ප්‍රතිඵලය හා භාණ්ඩාගාරය ආරක්ෂා වීම පිළිබඳ කතාව එසේ ය.
– 4 වන පරිච්ඡේදය –
සීමොන්ගේ නපුරුකම්
1 එකල භාණ්ඩාගාරයේ අරමුදලට සහ ඔහුගේ රටට විරුද්ධ ව කරුණු ඉදිරිපත් කළ, මෙහි කලින් සඳහන් කරන ලද, සීමොන් නමැත්තා ඕනියස්ට අපවාද කියන්නට පටන්ගත්තේ ය. හෙලිඕඩොරස්ට එතරම් දරුණු ලෙස සංග්‍රහ කෙළේත්, නගරයෙහි වූ අරුමපුදුම සිද්ධීන් ගැන උපක්‍රම යෙදුවේත්, නායක පූජක තැන බවට සීමොන් කරුණු ඇඟැවිය. 2 තවද, නගරයේ මහා දායකයා වූ ද ස්වජාතිකයන්ගේ ආරක්ෂකයා වූ ද ව්‍යවස්ථා ව පිළිපැදීමෙහි අන්තවාදියකු වූ ද ඕනියස් පොදු යහපතේ පරම සතුරා ය යි සීමොන් විළිබිය නැති ව ප්‍රකාශ කෙළේ ය. 3 මේ බද්ධ වෛරය කොපමණ උත්සන්න වී ද යත් සීමොන්ගේ නියෝජිතයන් විසින් කීප දෙනෙක් සැබැවින් ම මරණ ලදහ. 4 එවිට මේ කුළල් කාගැනීම කොතරම් අනතුරුදායක ද යන්න තේරුම්ගත් ඕනියස් තෙමේ චේලි-සිරියාවේ සහ පිනීෂියාවේ යුද කොමසාරිස් වන, මෙනෙස්තෙවුස්ගේ පුත්, අපොල්ලෝනියස් සීමොන්ගේ දුෂ්ටකම ගැන ඔහු අනුබල දෙන බව දැන ගෙන, 5 රජතුමාණන් බැහැදකින පිණිස ගියේ ය. ඔහු එසේ ගියේ ස්වකීය පුරවැසියන්ට විරුද්ධ ව චෝදනා කිරීමට නොව මුළු ජනතාවගේ පෞද්ගලික සහ පොදු ශුභසිද්ධිය ඔහු පැතූ බැවිනි. 6 රජතුමාගේ යම් කිසි මැදහත්වීමක් නොමැති ව පරිපාලනය කිරීමට නොහැකි බවත් සීමොන්ගේ මෝඩ ක්‍රියාවන් නවතාලීමට ඔහුට බලකිරීමට නොහැකි බවත් නායක පූජක තැන දුටුවේ ය.
ජේසන් ග්‍රීක් සංස්කෘතිය රටට ඇතුළු කිරීම
7 සෙලෙවුකස් මියගොස් එපිපානෙස් නාමාභිධාන ඇන්ටිඕකස් රාජ්‍යයට පත් වූ පසු, ඕනියස්ගේ සහෝදර වූ ජේසන් යටිකූට්ටු උපක්‍රමවලින් නායක පූජක පදවියට පත් විය. 8 ඒ කෙසේ ද යත්, ඔහු රජු හට රිදී කාසි තුන්සිය හැටක් ද වෙනත් ආදායම් ක්‍රමයකින් රිදී කාසි අසූවක් ද පොරොන්දු වී රජු හමුවීමට ගියේ ය. 9 තමාගේ අධිකාරි බලය පාවිච්චි කොට සරඹ ක්‍රීඩා ශාලාවක් සහ තරුණ මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් ජෙරුසලමෙහි ඇන්ටිඕකස්ගේ අනුගාමිකයන් වශයෙන් මිනිසුන් ලියාපදිංචි කිරීමටත් තමාට අවසර දුනහොත් තවත් රිදී කාසි එකසිය පණහක් දීමටත් ඔහු සහතික විය. 10 රජු ඊට අනුමැතිය ජේසන් හට දුන් විට, ඔහු බලයට පත් වූ විගස ම තම දේශවාසීන් අතර ග්‍රීක සංස්කෘතිය පුහුණු කරවීමට කටයුතු කෙළේ ය. 11 රෝමවරුන් හා සමඟ කරන ලද මිත්‍ර ගිවිසුමේ තානාපති වශයෙන් පසු කලෙක යවන ලද එයුපොලෙමස්ගේ පියා වන ජෝහන්ගේ ඉල්ලීම පිට ජුදෙව්වරුන්ට දෙන ලද රාජකීය වරප්‍රසාද ඔහු අවලංගු කෙළේ ය. ඔහු නීතිදායක ආයතන වනසාදමා, ව්‍යවස්ථාවට පටහැනි නවතම සිරිත් විරිත් දේශයට ගෙනාවේ ය. 12 තවද ඔහු නගරයේ බලකොටුවේ සීමාව ළඟ සරඹ ක්‍රීඩා ශාලාවක් ගොඩනඟා ඔහුගේ ඉතා උත්තම සෙබළුන්ට ග්‍රීක ක්‍රීඩකයන්ගේ හිස් වැසුම් පැළඳෙව්වේ ය. 13 ජේසන් සැබෑ පූජකයෙකු නො වූ නිසාත් අභක්තික අධමයෙකු වූ නිසාත් ඔහුගේ පාපිෂ්ඨකමට සීමාවක් නැති විය. ග්‍රීක සංස්කෘතිය කොපමණ දුරට කාවැදී ගියේ ද යත්, 14 පූජකවරු පූජාසනයේ සේවාවන්ට කිසි උනන්දුවක් නොදැක්වූ හ. දේව මාලිගාවට අවමන් කරමින් පුද පූජා අතපසු කොට, සරඹ ක්‍රීඩා ඇරඹීමේ සංඥාව දුන් විගස ම, පූජකවරු අනීති අභ්‍යාසවල නිරත වීම සඳහා ක්‍රීඩා පිටියට දිව ගියහ. 15 ඔවුන්ගේ මුතුන්මිත්තන් අගය කළ සියල්ල හෙළා දුටු ඔව්හු ග්‍රීක සම්මාන ඉතා ඉහළින් අගය කළහ. 16 එහෙත් මේ සියල්ල දුර්විපාකවලට තුඩු දුන්නේ ය. ජුදෙව්වරු ග්‍රීකයන්ගේ ජීවන මාර්ගය ඉතා අගය කොට සලකා සියල්ලෙහි දී ඔවුන්ට සමාන වීමට උත්සාහ කළහ. එහෙත් අන්තිමයේ දී මොවුහු ජුදෙව්වරුන්ගේ පරම සතුරෝ ද මිනීමරුවෝ ද වූ හ. 17 පසු ව පැමිණි කාල පරිච්ඡේදයෙහි දී හොඳින් පෙනී ගියාක් මෙන්, දේව නීති කඩ කිරීම සුළු පටු දෙයක් නො වේ.
18 රජු ඉදිරියේ, අවුරුදු පහකට වරක් තීර්හි පවත්වන ලද ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා නීච ජේසන් ජෙරුසලමෙන් ඇන්ටිඕකස්ගේ අනුගාමිකයන් සමහරෙකු නියෝජිතයන් මෙන් එව්වේ ය. 19 මොවුහු හර්කියුලීස් දෙවියාට පුද පඬුරු සඳහා රිදී කාසි තුන් සියයක් ද තමන් සමඟ ගෙනාවෝ ය. එම මුදල් ගෙනා අය යාග පූජා සඳහා ඒවා වැය කිරීම හරි නැති බව සිතූ හ. එසේ සිතා ඒ මුදල් වෙනත් දෙයක් සඳහා වැය කිරීමට තීරණය කළහ. 20 හර්කියුලීස්ට පුද පූජා සඳහා ගෙනෙන ලද දේ එය ගෙනා අයගේ යෝජනාව පිට, තට්ටු තුනේ හබල් නැව් ඉදි කිරීම සඳහා යොදවන ලදී.
ඇන්ටිඕකස් එපිපානෙස් රජ වීම
21 පිලොමේටර් රජුගේ සිංහාසනාරූඪ වීම සඳහා සහභාගි වීමට මෙනෙස්තෙවුස්ගේ පුත් අපොල්ලෝනියුස් මිසරයට යවන ලදී. රජ තමාගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බව දැනගත් ඇන්ටිඕකස් තමාගේ ම ආරක්ෂාව ගැන කල්පනා කරන්නට විය. එබැවින් ඔහු ජොප්පා නුවරට පැමිණ, එතැනින් ජෙරුසලමට ගියේ ය. 22 ජේසන් සහ නුවර වැසියන් විසින් ලන්තෑරුම් සහ ජය ඝෝෂා මැද උත්සවාකාරයෙන් විශිෂ්ට ලෙස ඔහු පිළිගන්නා ලදී. ඉන්පසු ඔහු තමාගේ හමුදාව සමඟ පිනීෂියාවට ආපසු ගියේ ය.
නව නායක පූජකවරයෙක්
23 අවුරුදු තුනකට පසු, රජු වෙත මුදල් ගෙන යාමටත් අත්‍යවශ්‍ය කරුණු කීපයක් ගැන සාකච්ඡා කොට තීරණ ගැනීමටත්, ජේසන් තෙමේ කලින් සඳහන් කරන ලද සීමොන්ගේ සහෝදර වූ මෙනෙලාවුස් නමැත්තා රජු වෙත යැවී ය. 24 එහෙත් රජු වෙත තමා ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු, මෙනෙලාවුස් තෙමේ තමාගේ ම ආණ්ඩු බලයේ මුවාවෙන් රජු ගැන පාරට්ටු කර, ජේසන් දුන්නාට වැඩියෙන් රිදී කාසි තුන් සියයක් රජුට දී නායක පූජක පදවිය තමාට ම ලබාගත්තේ ය. 25 නායක පූජක පදවියට කිසි සුදුසුකමක් ඔහුට නො වූ නමුත්, ප්‍රචණ්ඩ කෲර පාලකයකුගේ රෞද්‍ර භාවයෙන් ද වනචාරි මෘගයකුගේ බලවත් කෝපයෙන් ද වියරු වූ ඔහු රාජකීය ආඥා පණත රැගෙන ආපසු පැමිණියේ ය. 26 මෙලෙස ජේසන් තම සහෝදරයා පන්නාදමා පදවිය ලබාගත් නමුත් තුන් වන තැනැත්තෙකු විසින් ඔහු පන්නා දමනු ලැබීම නිසා ඔහුට අම්මොන්වරුන්ගේ දේශයේ සැඟවෙන්නට සිදු විය. 27 මෙනෙලාවුස් ඔහුගේ උසස් නිල පදවිය ලබාගත් නමුත් ඔහු රජුට නොවරදවා ම දෙන්නට පොරොන්දු වූ විශාල මුදලක් නො දී සිටියේ ය. 28 එහෙත් ආදායම් බදු එකතු කිරීමට පත් කරනු ලැබ සිටි නුවර බලකොටුවේ සේනාපතියා වූ සොස්ත්‍රාතස් එම මුදල ඉල්ලමින් සිටියේ ය. ඉන්පසු ඒ දෙදෙනා ම රජු ඉදිරියට කැඳවනු ලැබූ හ. 29 මෙනෙලාවුස් තම සොහොයුරු වූ ලිසිමාකස් නියෝජ්‍ය නායක පූජකයා වශයෙන් පත් කොට ගියේ ය; සොස්ත්‍රාතස් ද තමා වෙනුවට වැඩ බැලීමට සිප්‍රියන් වැසියන්ගේ සේනාපති වූ ක්‍රාටෙස් පත්කොට ගියේ ය.
ඕනියස් මරාදමනු ලැබීම
30 තත්ත්වය මෙසේ තිබිය දී තාර්සස් සහ මැල්ලස් නම් නුවරවල සෙනඟ කැරලි ගැසූ හ. මක්නිසාද යත්, රජුගේ උපභාර්යාව වූ ඇන්ටිඕකිස්ට තෑගි වශයෙන් ඔවුන්ගේ නගර දී තිබුණි. 31 එබැවින් රජ තෙම තමාගේ උසස් නිලධාරියෙකු වූ ඇන්ඩ්‍රෝනිකස් තම නියෝජිතයා වශයෙන් පත්කොට, එම කරුණ සමථයකට පත් කිරීම සඳහා වහා නික්ම ගියේ ය. 32 එවිට මෙනෙලාවුස් ද තමාට වාසි සහගත අවස්ථාවක් උදා වී යයි සිතාගෙන දේව මාලිගාවෙන් රන් බඳුන් ගණනාවක් පැහැරගෙන ඒවා ඇන්ඩ්‍රෝනිකස්ට තෑගි කෙළේ ය; තවත් රන් බඳුන් තීර් නගරයටත් යාබද නගරවලටත් විකුණුවේ ය. 33 මේ ගැන පැහැදිලි ලෙස සාක්ෂි ලැබුණු පසු ඕනියස් තෙමේ අන්තියෝකිය නුවර අසල ඩැප්නි නගරයේ අභය ස්ථානයකට ගොස් මෙනෙලාවුස්ට විරුද්ධ ව චෝදනා කෙළේ ය. 34 එවිට මෙනෙලාවුස් තෙමේ ඇන්ඩ්‍රෝනිකස් පැත්තකට ගෙන ඕනියස් මරා දමන ලෙස ඔහුට බල කෙළේ ය. ඇන්ඩ්‍රෝනිකස් ද ඕනියස් සොයා ගොස් කපටිකමින් දිවුරුම් දී තමාගේ මිත්‍රත්වය ඔහුට සහතික කොට ඕනියස් තුළ, බොහෝ සැක තිබුණේ වුව ද, අභය භූමියෙන් පිටත් ව යාමට ඔහු පොළඹවාගත්තේ ය. ඉන්පසු හෙතෙම සැණෙකින් ම ඉතා අසාධාරණ ලෙස ඔහු මරා දැමී ය. 35 මෙහි ප්‍රතිඵලය වූයේ ජුදෙව්වරුන් පමණක් නොව මේ දරුණු මිනී මැරීම ගැන ඇසූ බොහෝ විජාතීන් ද තැතිගෙන කෝප වීම ය.
36 රජු සිලිෂියා ප්‍රදේශයෙන් ආපසු පැමිණි විට අගනුවර ජුදෙව්වරු ද මේ අපරාධය ගැන කෝපාවිෂ්ට ව සිටි ග්‍රීක්වරු ද නිකරුණේ ඕනියස් මරාදැමීම ගැන රජුට අභියාචනා කළහ. 37 ඇන්ටිඕකස් තෙමේ තදින් කණගාටු වී සානුකම්පාවෙන් පිරී, මරනු ලැබූ තැනැත්තාගේ විචක්ෂණ භාවය සහ මැදහත් ගතිපැවතුම් ගැන කියමින් හැඬී ය. 38 තදින් කිපුණු හෙතෙම වහා ම ඇන්ඩ්‍රෝනිකස්ගේ පූජක වස්ත්‍ර ගලවාදමා ඔහුගේ ඇඟපතෙන් ඇඳුම් ඉරාදමා, නගරය ඔස්සේ ඇවිදීමට සලස්වා ඔහු විසින් කෲර ලෙස ඕනියස් මරනු ලැබූ ස්ථානයෙහි දී ම මිනීමරු ඔහුව ද මෙලොවින් පහ කරමින්, මරණයට පත් කෙළේ ය. මෙලෙස සමිඳාණන් වහන්සේ ඔහුට සුදුසු පරිදි දඬුවම් කළ සේක.
ලිසිමාකස්ගේ මරණය
39 මෙනෙලාවුස්ගේ අනුදැනුම පිට ලිසිමාකස් නගරයේ බොහෝ ශුද්ධ දේවල් පැහැරගෙන තිබුණි. මේ කාරණා පිළිබඳ ආරංචිය හැම තැන ම පැතිර ගිය විට, බොහෝ රන් බඳුන් සොරාගත් ලිසිමාකස්ට විරුද්ධ ව මහජනයා කැරලි ගැසූ හ. 40 කෝපාවිෂ්ට වූ කලහකාරී පිරිස තර්ජනය කරන්නට පටන්ගත් විට ලිසිමාකස් තුන් දහසක් පමණ සේනාවකින් සංයුක්ත වී පහර දෙන්නට විය. ඒ හමුදාවන් මෙහෙයවන ලද්දේ අවුරානස් නමැති අයෙකු විසිනි. ඔහු වනාහි වයසින් මෙන් ම මෝඩකමින් ද පැසුණු කෙනෙකි. 41 මේ පහර දීම ලිසිමාකස්ගේ කටයුත්තක් බව තේරුම්ගත් සෙනඟ ඔහුට පහර දෙන්නට වූ හ; සමහරු ඔහුට පහර දෙන පිණිස ගල් අතට ගත්තෝ ය; තවත් සමහරු පොලු මුගුරු ගත්තෝ ය; තවත් සමහරු තමන් ළඟ තිබුණු අළු සූරා අතට ගත්තෝ ය. මෙසේ ඔව්හු සියල්ලෝ ම තමන් අතට ගත් හැම දෙයින් ම ලිසිමාකස්ට සහ ඔහු සමඟ වූ සෙනඟට පහර දෙන්නට වූ හ. 42 ඒ පහර දීම කොතරම් උග්‍ර වී ද යත් සමහර දෙනෙක් තුවාළ ලැබූ හ; ස්වල්ප දෙනෙක් මැරුම්කෑ හ. මේ නිසා ඔව්හු සියල්ලෝ ම පලායන්නට වූ හ. ඔව්හු භාණ්ඩාගාරයෙන් පිටත දී දේව මාලිගාවේ බඩු ගත් සොරා, මරාදැමූ හ.
මෙනෙලාවුස් නිදහස ලබාගැනීම
43 මෙහි ප්‍රතිඵලය වූයේ මෙනෙලාවුස්ට විරුද්ධ ව නඩු පවරනු ලැබීම ය. 44 රජතුමා තීර් නගරයට පැමිණි විට ප්‍රජා මූලිකයන් විසින් යවන ලද මිනිස්සු තිදෙන රජු ඉදිරියෙහි ඔවුන්ගේ පැමිණිල්ලේ සාධාරණකම පෙන්වා දුන්හ. 45 එවිට මෙනෙලාවුස් තමා දැනටමත් පරාජය වී සිටින බව තේරුම්ගෙන, ඩොරිමිනස්ගේ පුත්‍ර වූ ටොලමි තමාගේ වාසියට රජු ඉදිරියෙහි දී කරුණු කියා සිටියහොත් ඔහුට විශාල අල්ලසක් දෙන බවට පොරොන්දු විය. 46 එවිට ටොලමි තෙමේ කුළුණු පෙළකින් වට වූ වාතාශ්‍රය සහිත එක්තරා ශාලාවකට රජු කැඳවාගෙන ගොස්, එහි දී රජුගේ සිත වෙනස් කිරීමට කරුණු කියා පෑවේ ය. 47 රජ තෙමේ ද මේ සියලු ම නපුරුකම්වල කර්තෘවරයා වූ මෙනෙලාවුස්ට විරුද්ධ ව නඟා තිබුණු චෝදනා ඉවතදමා, පැමිණිල්ල ඉදිරිපත් කළ මිනිසුන් තිදෙනා මරණයට තීන්දු කෙළේ ය. එහෙත් ෂීතියන්වරුන් ඉදිරියෙහි පැමිණිලි කළේ නම්, වනචාරි ජාතියක් වුවත් ඒ තිදෙනා නිදහස් කරනවාට අනුමානයක් නැත. 48 නගරයේ ද පිටිසරබද ජනතා පිරිස්වල ද පූජනීය බඳුන්වල ද ශුභසිද්ධිය සඳහා සටන් කළ ඒ අයට නියම කරන ලද අසාධාරණ දඬුවම වහා ම ක්‍රියාත්මක කරන ලදී. 49 එම අපරාධය නිසා කෝපාවිෂ්ට වූ තීර්හි වැසියන්ගෙන් සමහර දෙනෙක් ඔවුන්ගේ අවමංගල්‍යය සඳහා අවශ්‍ය දේ බහුල ලෙස සැපයූ හ. 50 ඉහළ තැන්වල සිටි අයගේ තණ්හාව නිසා මෙනෙලාවුස් තමාගේ උසස් පදවිය තබාගත් නමුත්, ඔහුගේ දුෂ්ටකම දවසින් දවස වැඩි විය; ඔහු තමාගේ පුරවැසියන්ගේ පරම සතුරා බවට ද පත් විය.
– 5 වන පරිච්ඡේදය –
මෙනෙලාවුස් සහ ජේසන්
1 ඒ කාලයෙහි දී ඇන්ටිඕකස් තෙමේ දෙ වන වරටත් මිසරයට විරුද්ධ යුද්ධයක් පටන්ගත්තේ ය. 2 මුළු නගරය පුරා දවස් සතළිසක් මුළුල්ලෙහි රන්වන් වස්ත්‍රාභරණවලින් සැරසී අහස් කුස පීරාගෙන යන අසරුවෝ ද සන්නාහ සන්නද්ධ ව හෙල්ල ගත් අත් ඇති ව සිටි හමුදාව ද පහර දෙමින් 3 ඔබමොබ වේගයෙන් දිව යමින් පිළිවෙළට සැදුම්ලත් අශ්ව සේනා ද වූහ. පලිස් රාශියක් ද හෙල්ල මහත් රැසක් ද කඩු හරඹ ද ආයුධ විසි කිරීම් ද රන්වන් ඇඳුම් ආයිත්තම්වල දීප්තිය ද විවිධ අවිආයුධ ද දර්ශනය විය. 4 මේ සියල්ල ප්‍රකාශ වීම සුබ නිමිත්තක් වන ලෙස සියලු දෙනා යාච්ඤා කළහ.
5 එවිට ‘ඇන්ටිඕකස් මියගියේ ය’ යන බොරු ආරංචිය පැතිර යාම නිසා ශක්තිසම්පන්න වූ ජේසන් තෙමේ යටත්පිරිසෙයින් දහසක් පමණ මිනිසුන් රැගෙන නගරයට විරුද්ධ ව බලාපොරොත්තු නුවූ අන්දමකින් පහර දුන්නේ ය. පවුර ආරක්ෂා කළ හමුදාවෝ පසු බැස ගියහ. නගරය අල්ලාගැනීම ඉතා සමීප වූ බැවින්, මෙනෙලාවුස් ද බලකොටුව තුළ සැඟවිණි. 6 එහෙත් ජේසන් තෙමේ තමාගේ ම පුරවැසියන් නිර්දය ලෙස ඝාතනය කරමින් සිටියේ ය. තමාගේ ම දේශවාසීන් එසේ මරාදැමීම මහා විපත්තියක් ලෙස හේ නොසැලකී ය. තමාගේ ම ලේ මස් හා සමාන ඔවුන් මරාදැමීම ඔහු කල්පනා කෙළේ යම් කිසි සතුරෙකුට විරුද්ධ ව සටන් කොට ජයගෙන ජයසංකේත ලබාගැනීමක් හැටියට ය. 7 කෙසේ වුවත් ඔහුට බලය අල්ලාගත නොහැකි විය. ඔහුගේ කුමන්ත්‍රණයෙහි ප්‍රතිඵලය වශයෙන් අන්තිමේ දී ඔහුට අත් වූයේ අපකීර්තිය පමණක් වූ හෙයින්, ඔහු නැවතත්, අම්මොන්වරුන්ගේ දේශයෙහි සැඟවෙන්නට ගියේ ය. 8 මෙලෙස ඔහුගේ දුෂ්ට ව්‍යපාරය නවත්වන ලදී. අරාබි ජාතික කෲර පාලකයෙකු වූ අරේතාස් විසින් මෙල්ල කරනු ලැබ, නුවරින් පලායමින් සියල්ලන් විසින් දඩයම් කරනු ලැබීමට පාත්‍ර වූ ඔහු, ව්‍යවස්ථාවට එරෙහි ව කැරලි ගැසූවකු හැටියට ද්වේෂයට පාත්‍ර කරනු ලැබ, ඔහුගේ ම රටෙහි රට වැසියන් විසින් ‘අළුගෝසුවා’ මෙන් පිළිකුල් කරනු ලැබ, මිසරයට ගියේ ය. 9 අවසානයේ දී තමාගේ නෑ සබැඳියාව නිසා ස්පාර්ටාවෙහි ජනයා තමාට ආරක්ෂාව සලසා දෙති යි සිතා ඔහු එහි ගිය නමුත්, සිය රටින් බොහෝ දෙනෙකු පිටුවහල් කළ ඔහු විදේශීය භූමියක දී විනාශ වී ගියේ ය. 10 ඔහු විසින් බැහැර කරදමනු ලැබූ බොහෝ මළකඳන් භූමදාන නොකර තිබුණා සේ ම දැන් ඔහු උදෙසා කිසිවෙක් නොවැලපුණාහ. ඔහු උදෙසා කිසි ම අවමංගල්‍ය වත්පිළිවෙතක් නොපැවැත්වූ හ. ඔහුගේ මුතුන්මිත්තන්ගේ සොහොන් ගැබෙහි තැනක් පවා ඔහුට නොලැබිණි.
ඇන්ටිඕකස් එපිපානෙස් දේව මාලිගාව කොල්ලකෑම
11 සිදු වූ දේ ගැන රජුට අසන්නට ලැබුණු විට, ඔහු ජුදාවේ සෙනඟ කැරලි ගසති යි යන නිගමනයට බැසගත්තේ ය. එබැවින් වල් සතෙකු මෙන් කෝපාවිෂ්ට වූ ඔහු මිසරයෙන් පිටත් ව ගොස් නගරයට පහර දෙන්නට පටන්ගත්තේ ය. 12 එවිට ඔහු හමු වන සියල්ලන් ම කිසි ම අනුකම්පාවක් නොදක්වා මරා දැමීමටත්, තම තමන්ගේ ගෙවල සැඟවුණු සියල්ලන් ද ඝාතනය කිරීමටත් තම සෙබළුන්ට අණ කෙළේ ය. 13 එය බාලයන් හා මහලු අය සමූලඝාතනය කිරීමක් ද කාන්තාවන් හා දරුවන් මරා දැමීමක් ද තරුණියන් හා ළදරුවන් සංහාරයකට යොමු කිරීමක් ද විය. 14 දවස් තුනක් ඇතුළත අසූ දහසක් දෙනා මරණයට ගොදුරු වූ හ; සතළිස් දහසක් සැහැසිකමින් මැරුම්කෑ හ; ඒ හා සමාන ගණනක් වහල්කමට විකුණනු ලැබූ හ. 15 මේ දේවලින් පවා තෘප්තියට පත් නො වූ ඔහු, ව්‍යවස්ථාවටත් තමාගේ රටටත් ද්‍රෝහිකම් කළ මෙනෙලාවුස්ගේ මඟපෙන්වීම යටතේ, මුළු ලෝකයාගේ ම පූජනීය ස්ථානය වූ දේව මාලිගාවට ඇතුළු වීමට පවා නිර්භීත ගතියක් දැක්වූයේ ය. 16 ඔහු තම අපවිත්‍ර අත්වලින් ශුද්ධ භාජන උදුරාගත්තේ ය. වෙනත් රජවරුන් විසින් එම ස්ථානයේ උන්නතියටත් කීර්තියටත් ගෞරවයටත් දෙන ලද තෑගිබෝග ඔහුගේ පවිටු අත්වලින් එතැනින් ඉවත් කරන ලදී. 17 දේශවාසීන්ගේ පව් නිසා එම මොහොතේ සමිඳාණන් වහන්සේ කෝප වී සිටින බව අහංකාරයෙන් පිරී සිටි ඇන්ටිඕකස් තේරුම් නොගත්තේ ය. එබැවින්, ඔහු එම ශුද්ධස්ථානය ගැන සැලකිල්ලක් නොදැක්වූයේ ය.
18 ඔව්හු බොහෝ පාපවල ඇලී ගැලී නොසිටියෝ නම්, සෙලෙවුකස් රජු භාණ්ඩාගාරය පරීක්ෂා කිරීමට හෙලිඕඩොරස් එවූ අවස්ථාවෙහි දී ඔහුට සිදුවූවාක් මෙන්, ඇන්ටිඕකස් පැමිණි වේලෙහි ඔහුට ද කස පහර කා තමාගේ අහංකාරය මර්දනය කරගන්නට තිබිණි. 19 එහෙත් සමිඳාණන් වහන්සේ සෙනඟ තෝරාගත්තේ, ස්ථානය උදෙසා නොවේ; ස්ථානය තෝරාගත්තේ, සෙනඟ උදෙසා ය. එසේ හෙයින් එම ස්ථානයත්, සෙනඟට විඳින්නට සිදු වූ කම්කටොලුවලට භාජනය වූ පසු, යථා කාලයේ දී, සෙනඟගේ සමෘද්ධියටත් පංගුකාර විය. 20 සව් බලැති තැනැන් වහන්සේ විසින් ස්වකීය උදහස් කාලයේ දී එම ස්ථානය අත්හරිනු ලැබූවත් එම පරමේශ්වර, තැනැන් වහන්සේ සමඟ මිත්‍රත්වය ලැබූ පසු එය සකල මහිමාලංකාරයෙන් විරාජමාන තත්ත්වයට පත් කරන ලදී.
ජුදයාවේ මහා පරිපාලකවරු
21 දේව මාලිගාවෙන් රිදී කාසි දහ අට දාහක් සොරාගෙන පිටත් ව ගිය ඇන්ටිඕකස්, එයින් පසු වහා ම අන්තියෝකිය නගරයට හැරී ආවේ ය. ඔහුගේ අභිලාෂය කොතරම් ඉහළ ගියේ ද යත්, තමාගේ උඩඟුව නිසා වියළි බිමෙහි නැව් යාත්‍රා කරවන්නටත් මුහුද පයින් ගමන් කළ හැකි මාවතක් බවට පත් කරවන්නටත්, පවා ඔහු වෑයම් කරනු විය හැකි ව තිබිණි. 22 මහා වසංගතයකින් ජාතියට පීඩා කරන්නට කළ උත්සාහයක් මෙන්, ඔහු මහා පරිපාලකයෙක් පත් කර ගියේ ය. ඔහු ප්‍රීජියන් ජාතිකයෙකු වූ පිලිප් නමැත්තා ජෙරුසලමට පත් කෙළේ ය. ඔහු වනාහි තමා පත් කළ තැනැත්තාටත් වඩා ම්ලේච්ඡ ස්වභාවයක් ඇත්තෙක් විය. 23 ඔහු ගෙරිසීම් කන්දට ඇන්ඩ්‍රෝනිකස් පත් කෙළේ ය. මොවුන්ට අමතර ව සියල්ලන්ට ම වඩා කෲර වූ මෙනෙලාවුස් සිය වැසියන් පාලනය කිරීමට පත් කෙළේ ය. 24 ජුදෙව්වරුන් කෙරෙහි තිබූ ඔහුගේ බද්ධ වෛරය නිසා රජ තෙම විසි දෙදහසකින් සමන්විත හමුදාවක අධිපති පදවිය පවරා අපොල්ලෝනියස් යැවී ය. යොවුන් වියෙහි සිටි සියලු පිරිමින් මරාදැමීමටත් අඹුදරුවන් විකුණාදැමීමටත් ඔහුට අණ කර තිබුණි. 25 ඔහු ජෙරුසලමට පැමිණ සාමකාමී මිනිසෙකු මෙන් පෙනී සිටිමින්, නිවාඩු දිනයක් වන සබත් දවස එන තෙක් බලා සිටියේ ය. ජුදෙව්වරුන් එදින නිවාඩු ගෙන සිටි බැවින් ඔහු තමාගේ හමුදාවට සන්නාහ සන්නද්ධ වී වීථි දිගේ සංචාරය කිරීමට අණ කෙළේ ය. 26 මෙය නරඹන්නට පැමිණි සියල්ලෝ ම මරන ලදහ. ඉන්පසු සන්නාහ සන්නද්ධ ඒ හමුදා, නගරය මැදින් දිව යමින් විශාල සෙනඟක් මරුමුවට පත් කළෝ ය.
27 එහෙත් මකබියස් නම් ලත් ජූදස් තව නව දෙනෙකු සමඟ පාළුකරයට ගොස් වත්පිළිවෙත් අනුව දූෂණය නොවන පිණිස ආහාර වෙනුවට වල් පැළෑටි පමණක් කමින් කඳුකරයේ වන සතුන් මෙන් ජීවත් වූ හ.
– 6 වන පරිච්ඡේදය –
විජාතික වත්පිළිවෙත් බලහත්කාරයෙන් පැවරීම
1 ටික කලකට පසු, ජුදෙව්වරුන්ගේ පැරණි සිරිත් විරිත් අත්හැරදමන ලෙසත් දෙවියන් වහන්සේගේ නීතිය අනුව ජීවත් නොවන ලෙසත් ඔවුන්ට බල කරන පිණිස ද, 2 ජෙරුසලමෙහි දේව මාලිගාව කෙලෙසා, දේශවාසීන් ඉල්ලූ පරිදි ගෙරිසීම් කන්ද මත සිවුස් හෙවත් ඔලිම්පියන් සිවුස් නමැති ආගන්තුක සත්කාරයේ කුල දෙවියාට එම දේව මාලිගාව කැප කරන පිණිස ද, රජ තෙමේ ඇතන්ස් නුවරින් වැඩිමහල්ලෙකු එහි යැවී ය. 3 මෙවැනි නපුරක් බලහත්කාරයෙන් පැවරීම පීඩාදායක දෙයක් වූවා පමණක් නොව, එය කිසිසේත් නොඉවසනසුලු දෙයක් ද විය. 4 විජාතිකයෝ දේව මාලිගාව තුළ ප්‍රීති උත්සව පවත්වමින් අසීමිත සල්ලාලකම්වල යෙදුණා හ. වෙනත් අසභ්‍ය දේවලට අමතර ව ඔව්හු ශුද්ධ භූමිය තුළ ගණිකාවන් සමඟ කම්සැපෙහි යෙදෙමින් ස්ත්‍රීන් සමඟ සයනය කළහ. 5 ව්‍යවස්ථාව අනුව අපවිත්‍ර යයි සම්මත කරන ලද සතුන්ගෙන් පූජාසනය පිරී ඉතිරිණි. 6 සබත හෝ පාරම්පරික මංගල්‍යයන් හෝ පැවැත්වීමට නොහැකි වූවා පමණක් නොව යමකු ජුදා ජාතිකයකු හැටියට පිළිගැනීම පවා අපහසු විය. 7 රජුගේ ජන්මෝත්සවයට අදාළ ව පවත්වන ලද මාසික උත්සවයන්හි දී පූජා කරන ලද සතුන්ගේ බඩවැල් පවා කෑමට මිනිසුන්ට බල කරන ලදී. දියෝනිසියස් නම් දෙවියාගේ උත්සවය පැමිණි විට, මල් මාලා පැළඳගෙන එම දෙවියාගේ උත්සව පෙරහැරේ යාමට ඔවුන්ට බල කරන ලදී. 8 ටොලමයිස්හි වැසියන්ගේ ඉල්ලීම අනුව යාබද ග්‍රීක් නගරවල වසන ජුදෙව්වන් ද ඉහත සඳහන් නියෝග පිළිපැදිය යුතු ය යි ආඥාවක් නිකුත් කරන ලදී. මෙලෙස ඔවුන්ටත් යාග පූජාවල ආහාරවලට පංගුකාරයන් වීමට බල කරන ලදී. 9 ග්‍රීක සිරිත්විරිත්වලට සිය කැමැත්තෙන් එකඟ නොවන අය මරාදැමීමට ද අණක් දෙන ලදී. එබැවින් මහා විපතක් ඉතා ආසන්න බව කාටත් පැහැදිලි විය.
10 උදාහරණයක් වශයෙන්, තමන්ගේ දරුවන් චර්මඡේදනය කිරීම ගැන ස්ත්‍රීන් දෙදෙනෙකුට විරුද්ධ ව චෝදනා කරන ලදී. ඔවුන්ගේ බිළිඳු දරුවෝ ඔවුන්ගේ පියයුරු මත (උරෙහි) එල්ලා නුවර වටේට ප්‍රසිද්ධියේ ගෙන ගොස්, පසු ව නුවර ප්‍රාකාරයට උඩින් තල්ලු කරදමනු ලැබූ හ. 11 අප්‍රසිද්ධියේ සබත් දවස පැවැත්වීම සඳහා ගුහාවල රැස්වුණු තවත් අයට විරුද්ධ ව පිලිප් ඉදිරියේ චෝදනා කරන ලදුව, ඔව්හු සියල්ලෝ ම පුළුස්සාදමනු ලැබූ හ. ඔව්හු ද සබත් දවසේ ශුද්ධවන්තකම නිසා තමන්ගේ හෘදය සාක්ෂිය අනුව තමන්ගේ ආරක්ෂාව සඳහා කිසිත් නොකළහ.
පීඩනයේ නියම තේරුම
12 මේ පොත කියවන සෑම කෙනෙකු ම මේ ව්‍යසන ගැන වියවුල් නොවී, මෙවැනි දඬුවම් පැමිණෙන්නේ අපගේ ජාතිය වැනසීමට නොව එය විනයගරුක කිරීමට බව කල්පනා කරන ලෙස මම තරයේ ඉල්ලා සිටිමි. 13 සැබැවින් ම, නපුරුකම් කරන අයට ඔවුන්ගේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට බොහෝ කාලයක් නො ලැබී, ඔවුන්ට වහාම ප්‍රතිවිපාක ලැබෙන්නේ නම්, එය වනාහි මහා කරුණාව දැක්වෙන ලකුණකි. 14 හිමිතුමාණෝ විජාතිකයන් ගැන ක්‍රියා කරන විට, ඔවුන්ට දඬුවම් දීමට කලින්, ඔවුන්ගේ පාප සම්භාරය සම්පූර්ණ වන තෙක් ඉවසිලිමත් ව බලා සිටින සේක. එහෙත් උන් වහන්සේ අප ගැන ක්‍රියා කරන්නේ වෙනත් පිළිවෙළකට ය. 15 අපේ පව් උත්සන්න වූවාට පසු ව අපට දඬුවම් කිරීමට නොසිට දැන් දැන් ම දඬුවම් කරන සේක. 16 මෙලෙස උන් වහන්සේ ස්වකීය කරුණාව සම්පූර්ණයෙන් ම අපෙන් අහක් කර නොගන්නා සේක. උන් වහන්සේ යම් කිසි විපතක් එවා අප විනයගරුක මඟට යොමු කළත් ස්වකීය සෙනඟ අත් නොහරින සේක. 17 මෙය කර ඇත්තේ මතක් කිරීමක් වශයෙන් පමණකි. දැන් ඉතින් අපි තවත් ප්‍රමාද නොවී අපේ කථාන්තරය යළිත් අරඹමු.
එලෙයාසර් දිවි පිදීම
18 ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රමුඛ ආචාර්යවරයෙකු ව සිටියාවූ ද, ඒ වන විටත් බොහෝ වයස්ගත ව සිටියාවූ ද, උදාරතර පෙනුමක් ඇති ව සිටි, එලෙයාසර් නමැත්තාට ඌරුමස් කවන පිණිස ඔහුගේ කට බලහත්කාරයෙන් අරවන ලදී. 19 එහෙත් ඔහු අපකීර්තියෙන් ජීවත් වීමට වඩා කීර්තිමත් ලෙස මියයාමට අධිෂ්ඨාන කරගෙන සිය කැමැත්තෙන් ම දංගෙඩිය වෙත ගමන් කෙළේ ය. 20 ඔහු එසේ යද්දී කෙළ ගසා කටේ තිබුණ දේ බිම දැමී ය. ඔහු මෙය කළේ ධෛර්යවන්ත ඕනෑ ම කෙනෙකු තමාගේ ජීවිතය රැකගැනීමට ඇති ස්වභාවික ඇල්ම පවා නොතකා නීති විරෝධි කිසිවක් රස බැලීම ප්‍රතික්ෂේප කරන අයුරිනි. 21 මේ පාපිෂ්ඨ භෝජන සංග්‍රහය භාර ව සිටි අය ද, ඔහු සමඟ තිබුණ ඔවුන්ගේ දීර්ඝ කාලීන මිත්‍රත්වය නිසා, ඔහු විසින් ම පිළියෙළ කරන ලද, ඔහුට නීත්‍යනුකූල ව කන්නට අවසර තිබුණු මස් වර්ගයක් ගෙනැවිත්, රජුගේ නීතිය පරිදි යාග පූජාවේ මාංස කන බව බොරුවට අඟවමින් එය කන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා හ. 22 ඔවුන්ගේ දීර්ඝ මිත්‍රත්වය නිසා ඇතිවුණු කරුණාවෙන් ප්‍රයෝජන ගනිමින් මෙසේ කිරීමෙන් මරණින් බේරෙන්නට ඔහුට ඉඩක් තිබිණි. 23 එහෙත් ඔහු තමාගේ වයසටත් වයසින් ඇති වන ගරුත්වයටත් කීර්තිමත් පැසුණු හිසටත් ඔබින උදාර තීරණයක් ගනිමින්, ළමා වියේ පටන් ඇති වූ නිදොස් චරිතය අනුව යමින්, විශේෂයෙන් ම, දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද ශුද්ධ නීතියට එකඟ ව ක්‍රියා කරමින්, තමාගේ පැහැදීම ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරමින්, තමා පාතාල ලෝකයට යවන ලෙස ඔවුන්ට කීවේ ය. 24 තවද ඔහු කතා කරමින්: ”මෙවැනි රැවටිලි කිරීම අපේ ජීවිතයේ මේ අවස්ථාවට තරම් නොවේ. අනූ වියේ සිටි එලෙයාසර් විදේශිකයන්ගේ ජීවිත පිළිවෙළට එකඟ වූයේ යයි යොවුන් වියේ පසු වන බොහෝ දෙනා සිතන්නට පුළුවන. 25 මාගේ ආයු ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසක් නිසා මා මෙසේ ක්‍රියා කළොත් ඔවුන් මා නිසා නොමඟ යත හැකි ය. එවිට මගේ මහලු වියට මා ගෙන දෙන්නේ කෙලෙසීම සහ අපකීර්තිය පමණකි. 26 එහෙත් මේ මොහොතේ දී නම් මිනිසාගේ අතින් මා ලබන මරණයෙන් මිදෙන්නට මට පුළුවන. එසේ වුවත් කිසිදාක ජීවතුන් අතර වේ වා, මළවුන් අතර වේ වා, සව් බලැති තැනැන් වහන්සේගේ ග්‍රහණයෙන් මිදෙන්නට මට නොහැකි ය. 27 එබැවින් මට මේ දැන් ජීවිතයෙන් තුරන් වීමට මිනිස් ශක්තිය ඇති නිසා මගේ මහලු වියට ඔබින කෙනෙකු බව මම ඔප්පු කරන්නෙමි. 28 එවිට, අපේ පූජනීය වූ ද ශුද්ධ වූ ද ව්‍යවස්ථාව උදෙසා ආශාවෙන් සහ ත්‍යාගශීලීකමෙන් යුතු ව සුබ මරණයක් ලබාගන්නේ කෙසේ ද යන්න ගැන උතුම් ආදර්ශයක් මම අපේ තරුණයන්ට තබා යන්නෙමි”යි කීවේ ය.
මේ වචන කියා ඔහු කෙළින් ම දංගෙඩිය වෙත ගියේ ය. 29 මේ වන තෙක් ඔහුට කාරුණික ලෙස සැලකූ පිරිස මේ ප්‍රකාශනයට පසු එය අන්ත පිස්සුවක් ලෙස සලකාගෙන ඔහුට විරුද්ධත්වය දැක්වූ හ. 30 පහර කා මියයන්නට පෙර ඔහු හඬ නඟා සුසුම්ලමින්, ”මට මරණයෙන් ගැළවෙන්නට ඉඩ තිබුණත්, පහර පිට පහර ලැබීම නිසා මා ඇඟපතේ වේදනා වින්දත්, සමිඳාණන් වහන්සේ වෙත මා තුළ ඇති ගරුබිය නිසා ම ඉතා ප්‍රීතියෙන් වේදනා විඳින බව ශුද්ධ වූ දැනුම ඇති උන් වහන්සේ පැහැදිලි ලෙස දකින සේකැ”යි කී ය.
31 තරුණයන් උදෙසා පමණක් නොව ජාතියේ බහුතර පක්ෂය උදෙසා ද තමාගේ මරණය උදාරතර ආදර්ශයක් බවට පත් කරවමින්, දැහැමිකමේ වාර්තාවක් පිහිටුවමින්, ඔහු මියගියේ එලෙස ය.
– 7 වන පරිච්ඡේදය –
සහෝදරයන් සත් දෙනා දිවි පිදීම
1 සහෝදරයන් සත් දෙනෙක් ද ඔවුන්ගේ මව හා සමඟ අත්අඩංගුවට ගන්නා ලදහ. ඔවුන්ට කසයෙන් සහ කටුසැමිටිවලින් වධ හිංසා දෙමින්, ඔවුන්ටත් නීති විරෝධි වූ ඌරුමස් කවනු සඳහා රජ තෙම බලහත්කාරකම් කෙළේ ය. 2 ඔවුන්ගෙන් කෙනෙක් සෙස්සන්ගේ කතා නායකයා මෙන් ඉදිරිපත් වී කතා කොට, ”ඔබ අපෙන් දැනගන්න සොයන්නේ කුමක් ද? අපේ මුතුන්මිත්තන්ගේ ව්‍යවස්ථාවන් කඩ කරනවාට වඩා අපි මැරෙන්නට සූදානම් ය”යි කීවේ ය. 3 එවිට කෝපාවිෂ්ට වූ රජ තෙමේ ගින්නක් මත බඳුන් සහ කල්දේරම් තබා ඒවා රත් කරන ලෙස අණ කෙළේ ය. 4 ඒවා ගිනියම් වූ පසු, ඔහුගේ සහෝදරයන් සහ මව බලා සිටිය දී ම, ඔවුන් වෙනුවෙන් කතා කළ තැනැත්තාගේ දිව කපාදැමීමටත් හිස්කබල ඉවත් කිරීමටත් අත් ඇඟිලිවල සහ පා ඇඟිලිවල අගිස් කපාදැමීමටත් නියම කෙළේ ය. 5 ඔහු සම්පූර්ණයෙන් ම දුබල වූ පසු, තවමත් හුස්ම තිබිය දී, ඔහු ගින්න ළඟට ගෙන ගොස් පණ පිටින් ම බඳුනක දමා බදින ලෙස රජ තෙම අණ දුන්නේ ය. බඳුනෙන් දුම පිට වී ඒ මේ අත පාවෙන විට මව සහ ඉතිරි අය උදාර අන්දමින් මැරෙන ලෙස එකිනෙකා දිරිගන්වමින් කතා කොට: 6 ”දෙවි ස්වාමීන් වහන්සේ බලාගෙන වැඩ සිටින සේක. සෙනඟට විරුද්ධ ව මෝසෙස් සාක්ෂි දුන් ගීතයේ සඳහන් පරිදි, ‘එතුමාණෝ සැබැවින් ම එතුමාණන්ගේ සේවකයින්ට කරුණාව පාන සේකැ’යි ප්‍රකාශ කළ හැටියට, ඇත්තෙන් ම උන් වහන්සේ අපට, කරුණාව දක්වන සේකැ”යි කීවෝ ය.
7 මෙසේ ප්‍රථමයා මියගිය පසු, ඔව්හු තමන්ගේ එම තිරිසන් විනෝදය සඳහා දෙවෙනියා ගෙනාවෝ ය. ඔහුගේ හිසෙන් හිසකෙස් සියල්ලත් හමත් ගලවා දමනු ලැබීමෙන් පසු ඔව්හු ඔහුට කතා කොට, ”නුඹේ ශරීරයේ අවයවයෙන් අවයවයට වධ හිංසා කරන්නට පෙර නුඹ මස් කන්නෙහි දැ”යි ඇසූ හ. 8 එහෙත් ඔහු තමාගේ මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් කතා කරමින්, ”කිසිදාක එසේ නොකරමි”යි ආපසු උත්තර දුන්නේ ය. ඔහු ද එසේ ම වධ හිංසාවට පාත්‍ර කරන ලදී. 9 අවසාන හුස්ම හෙළමින් ඔහු කතා කොට, ”අමනුස්ස යක්ෂය, නුඹට මේ ජීවිතයෙන් අප ඉවත් කරන්නට පුළුවන. එහෙත් ලෝක පරමෝත්තමයාණන්ගේ නීති සඳහා අප මැරෙන බැවින් සදහට ම ජීවත්වීම සඳහා එතුමාණෝ අප නැඟිටුවාලන සේකැ”යි කී ය.
10 ඔව්හු ඔහුට පසු ව තෙවෙනියා රැගෙන විනෝද වූ හ. ඔහුගෙන් ද ප්‍රශ්න ඇසූ විට, ඔහු වහා දිව දිගු කොට දෑත ඔසවා 11 ”මට මේ අවයව ලැබුණේ ස්වර්ගයෙනි. දෙවියන් වහන්සේගේ නීතිය උදෙසා මම ඒවා පිළිකුල් කරමි. මම උන් වහන්සේගෙන් ඒවා යළි ලබාගැනීමට බලාපොරොත්තු වෙමි”යි උදාර ලෙස පැවසී ය. 12 ඒ තරුණයාගේ ධෛර්යය ගැනත් දුක් වේදනා විඳීම ගැන ඔහු දැක්වූ නොසැලකිලිමත් බව ගැනත් රජ ද සේවකයෝ ද මවිත වූ හ.
13 මොහු මියගිය පසු සතරවෙනියා රැගෙන ඔහු ද එම අමානුෂික වේදනාවට පාත්‍ර කරන ලදී. 14 ඔහු මරණාසන්න මොහොතේ දී හඬ නඟා කතා කරමින්, ”මිනිසුන්ගේ අතින් අපට මරණය පැමිණීම යස තෝරාගැනීමකි. එහෙත් දෙවියන් වහන්සේ විසින් අපි යළිත් නැඟුටුවනු ලබමු යන දේව පොරොන්දුව පිට විශ්වාසය තබමු. එහෙත් ඔබට නම් උත්ථානයක් නැත; නව ජීවනයක් ද නැතැ”යි කීවේ ය.
15 ඉන්පසු ඔව්හු පස්වෙනියා ඉදිරියට ගෙනැවිත් ඔහුට හිංසා පීඩා කිරීමට පටන්ගත්හ. 16 එහෙත් ඔහු රජු දෙස බලා කතා කොට, ”ඔබ මැරෙන සුලු කෙනෙකු බැවින් මැරෙන සුලු මිනිසුන් කෙරෙහි බලය ඔබට ඇත. ඔබට කැමැති පරිදි ඔවුන්ට කළ හැකි ය. එහෙත් අපේ ජාතිය දෙවියන් වහන්සේ විසින් අත්හැර දමන ලද්දේ ය යි නො සිතන්න. 17 මඳක් නවතින්න. ඔබේ වාරය පැමිණි විට උන් වහන්සේගේ බලපරාක්‍රමය ඔබටත් ඔබේ ජාතියටත් පීඩා කරන සැටි ඔබට පෙනෙනු ඇතැ”යි කී ය.
18 ඔහුට පසු ව සයවැනියා ගෙනෙන ලදී. ඔහු මියයද්දී කතා කොට, ”ඔබ නොරැවටෙන්න. අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව අප පව් කළ බැවින් අපගේ ම වැරැද්දෙන් අපි මෙසේ දුක් විඳිමු. විපාකය බියජනක ය. 19 ඔබ දෙවියන් වහන්සේට විරුද්ධ ව සටන් කරන්නට උත්සාහ කළ නිසා ඔබ දඬුවම් නොලබන්නෙහි ය කියා නොසිතන්නැ”යි කීවේ ය.
20 ඒ මව නම් විශේෂයෙන් ම ප්‍රශංසනීය වූ ගෞරවාන්විත ලෙස සිහි කළ යුතු කාන්තාවකි. මන්ද ඇය එක දවසක් තුළ දී ම පුත්‍රයන් සත් දෙනෙකුගේ මරණය දෙස බලා සිට, ඇය සමිඳාණන් වහන්සේ තුළ බලාපොරොත්තුව තැබූ බැවින් ඒ සියල්ල නිර්භීත ලෙස ඉවසාගත්තා ය. 21 සැබැවින් ම ඇය ස්වකීය මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් කතා කරමින් ඔවුන් එකිනෙකා දිරිමත් කළා ය. උතුම් පැහැදීමකින් පූර්ණ වී ඇය ස්ත්‍රියකට ආවේණික වූ සිය තර්කය පිරිමියෙකු මෙන් ධෛර්යයෙන් පණගන්වමින් ඔවුන් අමතා, 22 ”ඔබ හැම මාගේ කුසය තුළ පිළිසිඳගත්තේ කෙසේ දැ යි මම නො දනිමි. ඔබට හුස්ම සහ ප්‍රාණය දුන්නේ මා නොවේ; ඔබේ අවයවයන් හැඩගැසුවේ මා නොවේ. 23 ඒවා කෙළේ, මිනිසාගේ උපත සංවිධානය කරමින් සියල්ලේ ආරම්භයට මූලිකත්වය දරන, ලෝකයේ මැවුම්කාරයාණන් ය. උන් වහන්සේගේ ව්‍යවස්ථාව නිසා ඔබ ම ඔබේ ජීවිතය හෙළාදකින බව දකින එතුමාණෝ දයාව පාමින් ඔබට සැබැවින් ම හුස්ම සහ ප්‍රාණය යළි දෙන සේකැ”යි කීවා ය.
24 ඇන්ටිඕකස් වනාහි ඇයගේ කට හඬෙහි යම් කිසි අපහාසයක් ඇතැ යි සැක කර, ඇය තමාට සමච්චල් කරන්නී යැයි සිතී ය. තවද, බාලයා තවමත් පණපිටින් සිටි බැවින් වචනයෙන් පමණක් නොව දිවුරුම් පොරොන්දු පිට ඔහු ඔහුගේ මුතුන්මිත්තන්ගේ ගතානුගතික සම්ප්‍රදායයන් අත්හරින්නේ නම් ඔහු ධනවත් කොට ප්‍රීතියට පත් කරන බව කියා ඔහුට ආයාචනා කෙළේ ය. තවදුරටත්, ඔහු තමාගේ මිතුරෙකු බවට පත් කරගෙන ප්‍රසිද්ධ නිල පදවියක් ඔහුට දෙන බව ද කියන ලදී. 25 එහෙත් ඒ තරුණයා මේ ගැන කිසි ම සැලකීමක් නො දැක්වූයේ ය. එබැවින් රජ තෙම මවට කතා කොට, තරුණයාගේ ජීවිතය බේරාගන්නා ලෙස ඔහුට අවවාද කරන මෙන් ඇයගෙන් ඉල්ලී ය. 26 ඔහු බොහෝ වාරයක් මෙසේ ඉල්ලූ පසු ඈ තම පුතා එකඟ කරවාගැනීමට උත්සාහ කළා ය. 27 ඈ ඔහු වෙත හැරී කෲර පාලකයා විහිළුවට පාත්‍ර කරමින් තම මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් කතා කරමින්, ඔහු අමතා, ”මාගේ පුතුනි, මට අනුකම්පා කරන්න. මම නව මසක් ඔබ මගේ කුසයේ උසුලාගෙන ගියෙමි. අවුරුදු තුනක් කිරි දුනිමි. ඔබට කවා පොවා අද ඔබ සිටින මේ තත්ත්වයට මම ඔබ ගෙනාවෙමි. 28 මාගේ දරුව, අහස හා පොළොව දෙස බලන මෙන් මම ඔබගෙන් ඉල්ලමි. ඒවායේ ඇති සියල්ල ගැන මෙනෙහි කොට කලින් නොතිබුණු දෙයකින් දෙවියන් වහන්සේ මේ සියල්ල මැවූ බවත් එලෙස ම මනුෂ්‍ය වර්ගයා ජීවිතය ලබාගන්නා බවත් පිළිගන්න. 29 මේ අළුගෝසුවාට බිය නොවන්න. ඔබත් ඔබගේ සහෝදරයන්ගෙන් කෙනෙක් බව ඔප්පු කරන්න. එබැවින් දයාවේ දවසේ දී මා ඔබ ද ඔබේ සහෝදරයන් ද සමඟ පිළිගන්නා ලෙස මරණය සාදරයෙන් පිළිගන්නැ”යි කීවා ය.
30 ඈ මෙසේ කියා අවසාන කිරීමටත් පෙර තරුණයා පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: ”ඔබ සැම කුමක් නිසා බලා සිටින්නහු ද? රජුගේ නියෝගයට මම එකඟ නොවෙමි. මෝසෙස් මඟින් අපේ මුතුන්මිත්තන්ට දෙන ලද ව්‍යවස්ථාවේ නියෝගයට මම එකඟ වෙමි. 31 හෙබ්‍රෙව්වරුන්ට විරුද්ධ ව සෑම නපුරක් ම යෙදීමට උත්සාහ කළ ඔබ සැබැවින් ම දෙවියන් වහන්සේගේ අතින් නොමිදෙන්නහු ය. 32 අපි අපේ ම පව් නිසා දුක් විඳිමු. 33 අපට දඬුවම් දී අප විනයගරුක මඟට පමුණුවන පිණිස අපේ ජීවමාන සමිඳාණන් වහන්සේ ස්වකීය උදහස අප පිට වගුරුවන නමුත් එතුමාණෝ තමන් වහන්සේගේ ම සේවකයන් සමඟ සමගි වන සේක. 34 එහෙත් දුෂ්ට කාලකණ්ණියෙකු වන, සකල මිනිස් සංහතියේ ම කුරිරු දුර්ජනයෙකු වන ඔබ, ව්‍යාජ විශ්වාසයකින් තමා ගැන ම පාරට්ටු කරගනිමින් දෙවියන් වහන්සේගේ සේවකයින්ට විරුද්ධ ව අත ඔසවා කිසි තේරුමක් නැති මාන්නයෙන් හිස උදුම්මා නොගන්න. 35 සියලු දේ දකින සව් බලැති දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් ඔබ තවමත් බේරී නොමැත. 36 අපේ සහෝදරයෝ කෙටි කාලීන වූ වේදනාවක් විඳ දරාගත් පසු දේව ගිවිසුම නිසා දැන් සදහට ම ගලන ජීවන ගංගාවෙන් පානය කරන්නෝ ය. එහෙත් ඔබ දේව විනිශ්චය නිසා ඔබේ අහංකාරකමට නිසි දඬුවම වින්ද යුතු ය. 37 මම ද මාගේ සහෝදරයන් මෙන් මාගේ මුතුන්මිත්තන්ගේ ව්‍යවස්ථා උදෙසා මාගේ ශරීරයත් ප්‍රාණයත් පූජා කරමි. අපගේ ජාතිය වෙත දෙවියන් වහන්සේගේ කරුණාව විගස පාන ලෙස ද දුක් කම්කටොලු මඟින් ඔබත් උන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ ය කියා උච්චාරණය කරන ලෙස ද මම උන් වහන්සේට යාච්ඤා කරමි. 38 මෙලෙස අපේ මුළු ජාතිය පිට දෙවියන් වහන්සේ වගුරුවා ඇති උදහස මාත් මාගේ සහෝදරයිනුත් උන් වහන්සේ සමඟ සිටින විට අවසාන වනු ඇත.”
39 රජ තෙම වියරු වී මොහුට අනිත් අයටත් වඩා කෲර ලෙස දඬුවම් කරවිය. මන්ද, රජ තෙම තරුණයාගෙන් ලත් නින්දාව නිසා වේදනා වින්දේ ය. 40 මෙසේ බාලයා ද නොකිළිටි ව සමිඳාණන් වහන්සේ තුළ සම්පූර්ණ විශ්වාසයකින් යුක්ත ව මියගියේ ය. 41 පුත්‍රයන්ට පසු ව අන්තිමයේ දී මියගිය තැනැත්තිය මව වූවා ය.
42 අධික වධ හිංසා සහ ආගමික භෝජන සංග්‍රහයන් පිළිබඳ මේ වාර්තාවෙන් ඔබ සෑහීමට පත් විය යුතු ය.
– 8 වන පරිච්ඡේදය –
ජූදස් මකබියස් විරෝධය පෑම
1 ජූදස් මකබියස් සහ ඔහුගේ පිරිස ගම් මැදින් රහසින් ගොස් ඔවුන්ගේ නෑදෑයින් එකතු කළෝ ය; ජුදා ජාතියට පක්ෂපාත ව සිටි අය පුහුණු කොට හය දාහක පමණ සේනාවක් එක්රැස් කරගත්හ. 2 ඔව්හු සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, හැම පැත්තකින් ම පීඩා කරනු ලබන සෙනඟ ගැන සලකා බලන ලෙසත්, අභක්තිකයන් විසින් කෙලෙසන ලද දේව මාලිගාව කෙරෙහි අනුකම්පාව දක්වන ලෙසත් 3 නටබුන් වී පොළොවට සමතලා වෙන්නට යන නුවර ගැන කරුණාව පාන ලෙසත්, උන් වහන්සේට මොරගසන පීඩිත ජනයාට සවන් දෙන ලෙසත්, 4 නිදොස් සිඟිති දරුවන් අපරාධකාරී ලෙස ඝාතනය කරනු ලැබීම සිහි කරන ලෙසත්, උන් වහන්සේට විරුද්ධ ව ප්‍රචාරය කරනු ලබන දේවාපහාසයන් සඳහා දඬුවම් දෙන ලෙසත් ඉල්ලා සිටියෝ ය. 5 මකබියස් හමුදාව සංවිධානය කළ වහාම සමිඳාණන් වහන්සේගේ කෝපය කරුණාවට හැරී, ඒ හමුදාව විජාතිකයන් විසින් පරාජය කරනු ලැබිය නොහැකි තත්ත්වයකට පැමිණියේ ය. 6 ඔහු නුවරවලට සහ ගම්වලට අනපේක්ෂිත ලෙස පහර දෙමින් ඒවාට ගිනි ලෑවේ ය. වාසිදායක ස්ථාන අල්ලාගෙන සතුරන්ට තදින් පහර දුන්නේ ය. 7 මෙවැනි ව්‍යාපාර සඳහා සාමාන්‍ය වශයෙන් පිටත් වී ගියේ රාත්‍රි කාලය උපයෝගී කරගෙන ය. ඔහුගේ වීර වික්‍රමාන්විත කීර්තිය දසත පැතිරිණි.
ජූදස් මකබියස්ගේ වීර ක්‍රියා
8 ජූදස් ක්‍රමයෙන් බලවත් වන බවත්, ඔහුට වැඩි වැඩියෙන් ජය අත් වන බවත් දුටු පිලිප් රාජකීය ප්‍රයෝජනය සඳහා ආධාර බළ ඇණි එවන ලෙස චේලි-සිරියාවේ සහ පිනීෂියාවේ යුද කොමසාරිස්වරයා වන ටොලමිට ලියා යැවී ය. 9 ටොලමි ද රජුගේ අග්‍ර ගණයේ මිතුරකු වන පැට්රොක්ලස්ගේ පුත් නිකනෝර් පත් කොට, මුළු ජුදා ජාතිය සංහාරය කරනු පිණිස, යටත්පිරිසෙයින් විසි දාහකින් යුත් අන්තර් ජාතික හමුදාවක සෙන්පති වශයෙන් ඔහු නියම කොට වහා යැවී ය. තවද, ඔහුගේ සහායකයා වශයෙන්, යුද්ධ ව්‍යාපාර පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති සේනාපතියෙකු වූ ගෝර්ජියස් ද ඔහු විසින් පත් කරන ලදී. 10 ජුදා ජාතික යුද සිරකරුවන් විකුණා, රජු විසින් රෝමවරුන්ට ගෙවිය යුතු ව තිබුණු කප්පම් මුදල වන රිදී කාසි දෙදහස ලබාගැනීමටත් නිකනෝර් තීරණය කරගත්තේ ය. 11 එක රිදී කාසියකට ජුදෙව්වන් අනූ දෙනා බැගින් දීමට පොරොන්දු වී අවුත්, ජුදෙව්වරුන් මිලයට ගන්නා ලෙස ඔහු මුහුදුබඩ නගර වාසීන්ට ආරාධනා කෙළේ ය. එහෙත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඔහුට පැමිණෙන්නට තිබුණු විනිශ්චය ගැන ඔහු දැනගෙන සිටියේ නැත.
නිකනෝර්ගේ උපක්‍රම
12 නිකනෝර් ඉදිරියට එන බව ඇසූ ජූදස් තෙමේ සතුරාගේ පැමිණීම ගැන සිය සෙනඟට අනතුරු ඇඟවීමක් කෙළේ ය. 13 එවිට, දුබල සිත් ඇති අය ද දේව සාධාරණකම කෙරෙහි බලාපොරොත්තු රහිත අය ද පලා ගියහ. 14 සෙස්සෝ ඔවුන්ගේ ඉතිරි සම්පත් ද විකුණාදමා, යුද්ධයටත් කලින් ම තමන් විකුණා දැමූ මේ අභක්තික නිකනෝර්ගෙන් තමන් ගළවාගන්න ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කළහ. 15 ඔවුන් උදෙසා උන් වහන්සේ එසේ නොකරන සේක් නම්, යටත්පිරිසෙයින් ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ කළ ගිවිසුම උදෙසා ද, එතුමන්ගේ ශුද්ධ තේජාන්විත මහිමය ඔවුන් දරන බැවින් ද එසේ කරන ලෙස ඔව්හු අයැදූ හ.
16 මකබියස් හය දාහක් පමණ වූ ඔහුගේ හමුදාව සටනට පිළියෙළ කොට, සතුරා නිසා වියවුල් නොවීමටත්, තමන්ට විරුද්ධ ව දුෂ්ට ලෙස ඉදිරියට එන විජාතික පිරිස නිසා අධෛර්යයට පත් නොවන ලෙසටත්, නිර්භීත ව සටන් කරන ලෙසටත්, ඔවුන්ට අවවාද කෙළේ ය. 17 මේ විජාතිකයන් ශුද්ධස්ථානය අපරාධකාරී ලෙස දූෂණය කළ අන්දමත්, නින්දිත තත්ත්වයකට වැටී තිබෙන, නගරය නිසා ඇති වන සිත් වේදනාවත් නිතර සිහි කරන ලෙස ද ඔහු ඔවුන්ට කීවේ ය. 18 ඔහු තවදුරටත් කතා කරමින් ”ඔවුන් තමන්ගේ අවිආයුධ කෙරෙහිත් වීර ක්‍රියා කෙරෙහිත් විශ්වාසය තබනවා විය හැකි ය. එහෙත් අපේ විශ්වාසය සව් බලැති දෙවියන් වහන්සේ කෙරෙහි ය. මඳක් හිස වැනීමෙන් පමණක්, උන් වහන්සේට අපට විරුද්ධ ව එන මේ අයත් මුළු ලෝකයත් විනාශ කරදැමිය හැකි ය”යි පැවසී ය. 19 සෙනකෙරිබ් යටතේ සිටි කාලයේ දී එක සිය අසූ පන්දහසක් සෙනඟ වැනසීගිය සැටිත්, 20 බබිලෝනියේ දී ගලාතිවරුන් සමඟ කළ සටනේ දී ජුදෙව් සෙබළුන් අට දහසක් පමණ සහ මසිදෝනියානුවරුන් හාර දහසක් පමණ සිටි නමුත්, මසිදෝනියානුවරුන් දුබල වන විට ස්වර්ගයෙන් ලැබුණු ආධාරය නිසා අට දහසක් සෙනඟ එකසිය විසි දහසක් දෙනා මරුමුවට පත් කළ අන්දමත්, මහත් යුද කොල්ලයක් ලබාගත් අන්දමත්, ඔහු ඔවුන්ට සිහිපත් කරවී ය.
නිකනෝර් පරාජය කරනු ලැබීම
21 ඔහු මේ වචනවලින් ඔවුන්ගේ ධෛර්යය ප්‍රබෝධවත් කළ හෙයින්, ව්‍යවස්ථා උදෙසා සහ තමන්ගේ රට උදෙසා මැරෙන්නට පවා ඔව්හු සූදානම් වූ හ. එවිට ඔහු තමාගේ හමුදාව දළ වශයෙන් කණ්ඩායම් සතරකට වෙන් කොට, ඒ එක එක කණ්ඩායමකට සෙනඟ එක් දහස් පන්සියයක් නියම කොට, 22 ඒවායේ සෙන්පතියන් වශයෙන් තමාගේ සහෝදරයන් වන සීමොන්, ජෝසෙප් සහ ජොනතන් පිළිවෙළින් පත් කෙළේ ය. 23 ඉන්පසු ඔහු ශුද්ධ පොත කියවීමට එස්ඩ්‍රියාස්ට අණ කොට, ”දෙවියන් වහන්සේගෙන් ආධාර ලැබෙන්නේ ය” යන සටන් පාඨය ඔවුන්ට දුන්නේ ය. මෙසේ කොට, ඔහු ම පළමු වන කණ්ඩායමේ සෙන්පතියා වී නිකනෝර්ට විරුද්ධ ව සටනට ගියේ ය.
24 සව් බලැති තැනැන් වහන්සේ ඔවුන්ගේ මිත්‍රයාණන් වූ බැවින්, ඔව්හු සතුරු සෙනඟගෙන් නව දහසකටත් වඩා ඝාතනය කර, නිකනෝර්ගේ පක්ෂයෙන් විශාල කොටසකට තුවාළ කර, ඔවුන් අබල දුබල කොට, සියල්ලන් ම පලවා හැරියෝ ය. 25 තමන් මිල දී ගැනීමට බලාපොරොත්තු වූ අයගේ මුදල් ඔවුන් අතට ම පත් විය. සෑහෙන දුරක් ඔවුන් ලුහුබැඳ ගිය පසු, කාලය මඳ වූ බැවින්, ඔව්හු ආපසු පැමිණියෝ ය. 26 එය සබත් දිනට පෙර දින සන්ධ්‍යාව වූ හෙයින් ඔව්හු සතුරා ලුහුබැඳ යාම දීර්ඝ නොකළහ. 27 ඔව්හු සතුරාගේ අවිආයුධ එකතු කොට, ඔවුන් කොල්ලකාගත් දේවල් උදුරාගෙන, සමිඳාණන් වහන්සේගේ කරුණාවේ පිනි පොද තමන් මත පතිත වීමට සැලැසූ එදින වන සබත් දවසේ දී උන් වහන්සේ වෙත හද පත්ලෙන් පැන නඟින ප්‍රශංසාව සහ ස්තුතිය පුද කළහ.
28 සබත් දවස අවසන් වූ පසු ඔව්හු පීඩනය නිසා කරදරයට පත් වූ අය අතර ද වැන්දඹුවන් සහ අනාථයන් අතර ද, තමන් කොල්ලකාගත් දේවලින් කොටසක් බෙදා දුන්හ. ඉතිරි කොටස ඔවුන් හා ඔවුන්ගේ දරුදැරියන් අතර බෙදාගත්හ. 29 ඉන්පසු ඔව්හු දයානුකම්පා සහිත සමිඳාණන් වහන්සේට තමන් වහන්සේගේ සේවකයන් සමඟ සමඟි වන ලෙස ඉල්ලා ප්‍රසිද්ධියේ යාච්ඤා කළහ.
තිමෝතියස් සහ බක්කිදෙස් පරාජය වීම
30 ඔව්හු තිමෝතියස්ගේ සහ බක්කිදෙස්ගේ හමුදාවන්ට අභියෝග කොට උස් වූ බලකොටු කීපයක් අල්ලාගෙන විසි දහසක් පමණ සෙනඟ මරාදැමූ හ. ඔව්හු තමන් රැගත් විශාල කොල්ලය සමාන කොටස් දෙකකට බෙදා, එයින් එක් කොටසක් තමන්ට ම තබාගෙන, අනිත් කොටස පීඩනයෙන් දුක් වින්ද අයටත් වැන්දඹුවන්ට සහ අනාථයන්ටත් මහලු අයටත් බෙදා දුන්හ. 31 ඔව්හු සතුරාගේ අවිආයුධ පරිස්සමෙන් රැස් කොට ඒවා පහසු තැන්වල ගබඩා කළහ. කොල්ලයේ ඉතිරි කොටස ඔව්හු ජෙරුසලමට ගෙන ගියහ. 32 ජුදෙව්වරුන්ට මහා අනතුරු පැමිණෙවූ ඉතා නපුරු මිනිසෙකු වූ, තිමෝතියස්ගේ ආරක්ෂක මුර සෙබළුන්ට අණ දෙන නිලධාරියා ඔවුන් විසින් මරාදමන ලදී. 33 ඔවුන් ජෙරුසලමේ ජයෝත්සවය පවත්වද්දී ශුද්ධ වූ වාසල් දොරටුවලට ගිනි තැබූ මිනිස්සු පුළුස්සා මරනු ලැබූ හ. ඒ මිනිස්සු කැලිස්තීනස් සමඟ එක්තරා කුඩා ගෙයක සැඟවී සිටියෝ ය. මෙලෙස ඔවුන් විසින් කරන ලද දූෂණයට නිසි විපාකය ඔව්හු ලැබූ හ.
නිකනෝර් පලා යාම
34 ජුදෙව්වරුන් මිලයට ගැනීම සඳහා දහසක් වෙළෙඳුන් කැඳවාගෙන ආ අතිදුෂ්ට කපටියා වන නිකනෝර් තමන් විසින් සුළු කොට ගණන්ගනු ලැබූ මිනිසුන් විසින් ම, සමිඳාණන් වහන්සේගේ ආධාරය ඇති ව, 35 පරාජයට පත් කරන ලදී. එවිට ඔහු තම රාජකීය නිල ඇඳුම ගලවාදමා, පලා යන වහලෙකු මෙන්, හුදකලා ව රට මැදින් ගමන් කෙළේ ය. තමාගේ ම හමුදාව විනාශ වීමට බොහෝ දුරට මඟ පෑදූ ඔහු එසේ ගොස්, වාසනාවකට මෙන් අන්තියෝකිය නුවරට ළඟා විය. 36 මෙලෙස ජෙරුසලම් නුවරින් සිරකරුවන් විකුණා කප්පම් මුදල් ගෙවීමට රෝමවරුන්ට පොරොන්දු වූ මේ මිනිසා, ජුදෙව්වරුන්ට ආරක්ෂාකරුවෙකු සිටින බවට සාක්ෂි දුන්නේ ය. ඇරත්, ඒ ආරක්ෂාකරුවාණන් විසින් පනවන ලද ව්‍යවස්ථා ඔවුන් පිළිපැද්ද නිසාම ජුදෙව්වරුන්ට පහර දීමට කිසිසේත් නොහැකි බව ද කියා පෑවේ ය.
– 9 වන පරිච්ඡේදය –
ඇන්ටිඕකස් එපිපානෙස්ගේ අවසානය
1 ඒ සමයේ දී ඇන්ටිඕකස් වියවුල් වී පර්සියා දේශයෙන් පසුබැස තිබුණේ ය. 2 පර්සිපොලිස් නගරයේ වූ දේවාලය කොල්ලකා නුවර අල්ලාගැනීමට සිතාගෙන ඔහු ඒ නුවරට ඇතුළු විය. එහෙත් එහි සෙනඟ තමන් ආරක්ෂා කරගැනීමට විගස අවිආයුධ ගත් බැවින්, එහි වැසියන් විසින් ඇන්ටිඕකස් පලවාහරිනු ලැබූ නිසා, නීච ලෙස පසුබසින්නට ඔහුට සිදු විය. 3 ඔහු එක්බතානා නුවරට පැමිණි විට නිකනෝර්ට සහ තිමෝතියස්ගේ හමුදාවන්ට සිදු වූ දේ දැනගත්තේ ය. 4 ඔහු කෝපාවිෂ්ට වී තමා පලවාහැරිය අය විසින් තමාට දෙන ලද අපකීර්තිය උදෙසා, ජුදෙව්වරුන්ගෙන් පළිගැනීමට අධිෂ්ඨාන කරගත්තේ ය. මෙසේ අධිෂ්ඨාන කරගෙන, ගමනේ අවසානය දක්වා, නොනවත්වා ම රථය පදවන ලෙස රථාචාර්යයාට අණ කෙළේ ය. එහෙත් ස්වර්ගයෙන් එවන ලද ඔහුගේ දඬුවම ඔහු සමඟ විය. ඔහු කතා කොට: ”ජෙරුසලමට පැමිණි විට මම එය ජුදෙව්වන් සඳහා විශාල මිනීවළක් කරන්නෙමි” අහංකාර පරවශ ව පවසා තිබිණි. 5 එහෙත් සියල්ල දකින සමිඳාණන් වහන්සේ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ, සුව නොකළ හැකි අදෘශ්‍යමාන වේදනාවකින් ඔහුට පහර දුන් සේක. ඔහු එම වචන කීවාත් සමඟ ම ඔහුගේ උදරයෙහි සුව කළ නොහැකි වේදනාවක් ද, දැරිය නොහැකි ඇතුළාන්ත පීඩාවක් ද ඔහුට ඇති විය. 6 මෙසේ වීම යුක්ති සහගත ය. මන්ද වෙනත් අයගේ උදර ප්‍රදේශයන්ට ඔහු වනචාරී ලෙස වද වේදනා පමුණුවා තිබිණි.
7 එහෙත් ඔහුගේ අහංකාරය නම් කිසිසේත් අඩු නො වී ය. උඩඟුවෙන් උදම් වී, ජුදෙව්වන්ට විරුද්ධ ව කෝපාග්නිය පිට කරමින්, වඩාත් වේගයෙන් රථය පදවාගෙන යාමට අණ කරනවාත් සමඟ ම ඔහු හදිසියෙන් සිය රථයෙන් පිටතට විසි විය. මහත් වේගයෙන් මුණින් වැටීම නිසා ඔහුගේ ශරීරයේ සෑම ඇටකටුවක් ම වේදනා උපදවන සුලු විය. 8 මඳ වේලාවකට කලින්, මිනිස් ශක්තිය ඉක්මවා ගිය පාරට්ටුව නිසා, මුහුදේ රළ පතරට පවා අණ කිරීමට සිතූ ඔහු, කඳු ශිඛරයන් තරාදියක දමා කිරන්නට තමාට හැකි ය යි සිතූ ඔහු, දැන් අසරණ ව බිම වැතිර සිටී. එයින් පසු ඔහු යහනක තබා ඔසවාගෙන යන ලදී. මේ සිද්ධිය සියල්ලන්ට ම දේව බලය ප්‍රත්‍යක්ෂ කරවන දෘශ්‍යමාන සාක්ෂියක් විය. 9 මේ අභක්තිකයාගේ දෙනෙත් පවා පණුවන්ගෙන් පිරී ගියේ ය. ඔහු දැඩි වේදනාවෙන් පීඩාවට පත් කරවමින් ඔහුගේ මාංශ පේශි කුණු වී ගියේ ය. එහි දුගඳ නිසා මුළු හමුදාව ම ලෙඩ වූ හ. 10 මඳ වේලාවකට කලින් ඔහු සිටියේ අහසේ තරු අල්ලන්නට සිතාගෙන ය; එහෙත් දැන් ඔහුගේ දුගඳ ඉවසිය නොහැකි වූ නිසා ඔහු උසුලාගෙන යාමට වත් කෙනෙක් නොවූ හ.
ඇන්ටිඕකස් දුන් පොරොන්දුව
11 මෙහි ප්‍රතිඵලය වශයෙන්, එහි දී, ඔහු දුබල තත්ත්වයේ සිටියදී ම, තමාගේ අධික අහංකාරය ඉවත දමා දේව දඬුවම යටතේ සිහි කල්පනාව ලබාගත්තේ ය. මන්ද, ඔහු නිතර ම වේදනාවෙන් දුක් වින්දේ ය. 12 ඔහුගේ දුගඳ ඔහුට ම පවා ඉවසාගත නොහැකි වූයෙන්, ”දෙවියන් වහන්සේට යටත්වීම යෝග්‍ය දෙයකි, මැරෙන සුලු කිසිවෙක් දේවත්වය සමඟ සමානත්වයක් ලැබීමට තැත් නො කළ යුතු ය” කෑගසා කීවේ ය. 13 ඉන්පසු මේ කාලකණ්ණියා සමිඳාණන් වහන්සේට මෙහි පහත දක්වන දේවල් පොරොන්දු විය. එහෙත් උන් වහන්සේ ඔහු තවදුරටත් බේරාගන්නට අදහස් නොකළ සේක. 14 ඒ පොරොන්දු මේවා ය: පොළොවට සමතලා කොට එය මහා මිනීවළක් බවට හරවනු පිණිස අල්ලා ගැනීමට අදහස් කරගෙන ඔහු දිව ආ ජෙරුසලම නමැති ශුද්ධ, නගරය නිදහස් නගරයක් බව ප්‍රකාශ කිරීම; 15 වළලා දමන්නට පවා නුසුදුසු ය යි ද, කුරුල්ලන්ගේ ද, මෘගයන්ගේ ද ගොදුරට පමණක් සුදුසු ය යි ද ඔහු කලින් සිතූ ජුදෙව්වන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් ඇතැන්ස් නුවර පුරවැසියන් භුක්ති විඳින වරප්‍රසාදවලට සමාන වරප්‍රසාද දානය කිරීම; 16 ඔහු කලින් කොල්ලකෑ දේව මාලිගාව ඉතා අනර්ඝ තෑගිවලින් අලංකාර කිරීම; ඔහු පැහැරගත් පූජනීය බඳුන් වෙනුවට වෙනත් ඒවා ඉතා බහුල ව ගෙන ඒම; තමාගේ ම ආදායමෙන් පුද පූජාවන් සඳහා වැය වන මුදල් දීම සහ 17 මේ සියල්ලට ම අමතර ව, ඔහු ජුදෙව්වෙකු වී දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය මිනිසුන් වසන සෑම තැන්හි ම ප්‍රකාශ කරන පිණිස යාම ය.
ඇන්ටිඕකස් ජුදෙව්වන්ට හසුනක් යැවීම
18 දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ සාධාරණ තීන්දුව අනුව ඔහුට දඬුවම් කළ බැවින් තමා වින්ද එම වේදනාවෙන් කිසිසේත් සහනයක් ඔහුට නොලැබිණි. එබැවින් ඔහු තමා ගැන ම තිබූ බලාපොරොත්තු සියල්ල ම අත්හැරදමා බැගෑපත් ආයාචනයක ස්වරූපයෙන් පහත දැක්වෙන හසුන් ජුදෙව්වරුන් වෙත යැවී ය.
19 ”මාගේ පුරවැසියන් වන ශ්‍රීමත් ජුදෙව් ජනතාවෙනි, ඔබේ රජු වූ ද ප්‍රධාන සෙන්පති වූ ද ඇන්ටිඕකස් වන මම සුබ පැතුම් ඔබ වෙත එවමි. සව් සිරි සැප හා නිදුක් නීරෝගි බව ඔබ සැමට ප්‍රාර්ථනා කරමි. 20 ඔබත් ඔබගේ දරුදැරියනුත් යෙහෙන් වෙසෙමින්, ඔබගේ කාරණා කටයුතු නිසි පරිදි ඉටු වේ නම් මම ද ඒ ගැන මාගේ බලාපොරොත්තුව ස්වර්ගය වෙත යොමුව ඇති බැවින් ඉත සිතින් සතුටු වෙමි. 21 මම, සෙනෙහෙ පිරි සිතින්, ඔබ මට ගෞරවය හා හොඳ හිත දැක්වූ බව සිහි කරමි. මම පර්සියා දේශයෙන් ආපසු හැරී ආ විට තදින් රෝගාතුර වීමි. එබැවින් සියල්ලන්ගේ පොදු ආරක්ෂාව සඳහා කටයුතු සූදානම් කිරීම අවශ්‍ය ය යි මට සිතුණි. 22 මාගේ තත්ත්වය ගැන මට හොඳ බලාපොරොත්තු නැතුවා, නොවේ. මාගේ අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි වේ ය යි මම ඉතා තදින් බලාපොරොත්තු වී සිටිමි. 23 එහෙත් මගේ පියා කඳුකරය බලා යුද්ධ ව්‍යාපාරයකට යන සෑම විට ම ඔහු වෙනුවෙන් කෙනෙකු පත් කර ගිය බව මම දනිමි. 24 මන්ද, යම් කිසි බලාපොරොත්තු නොවූ සිද්ධියක දී හෝ දූෂමාන ආරංචියක් පැතිර ගිය විටක හෝ පළාතේ සෙනඟ රාජ්‍ය පරිපාලනය කවරෙකුට භාර දී තිබේ දැ යි දැනගෙන කරදර නොවී සිටිනු ඇත. 25 ඇරත් අපගේ දේශ සීමාවන්හි සිටින රාජ කුමාරවරුන් ද අපගේ රාජ්‍යයේ අසල්වාසීන් ද යථා තත්ත්වය විභාග කරමින්, සිදු වන්නේ කුමක් දැ යි සිතා බලමින් සිටින බව මා දන්නා බැවින්, මම මාගේ පුත් ඇන්ටිඕකස් රාජකීය පදවියට නම් කෙළෙමි. කඳුකරයේ යටත් විජිතවලට මා යද්දී බොහෝ වාරයක් මම ඔහුට මෙසේ රාජ්‍යය භාර දී ඔහු ගැන ඔබ සැම ඉදිරියෙහි ප්‍රශංසා මුඛයෙන් කතා කෙළෙමි. ඔහුට දුන් මාගේ ලිපියේ පිටපතක් මීට අමුණා ඇත. 26 පසුගිය කාලයේ දී මා ඔබට ප්‍රසිද්ධියේ හා පෞද්ගලික ව දුන් රාජ වරප්‍රසාද සිහි කරන ලෙසට ද, ඔබ අතරෙන් සෑම කෙනෙක් ම මා වෙත සහ මාගේ පුත්‍රයා වෙත ඇති හොඳ හිත නොකඩවා තබාගන්න ලෙස ද, මම ඔබගෙන් ඉතා ඇවිටිලි ව ඉල්ලා සිටිමි. 27 ඔහු මාගේ ප්‍රතිපත්ති කරුණා පෙරදැරි ව සහ සානුකම්පිත ව අනුගමනය කොට, ඔබේ සෞභාග්‍යය සඳහා ක්‍රියා කරන බව මම විශ්වාස කරමි.”
28 මෙලෙස ලියූ පසු, මේ මිනීමරුවා හා දේව අපහාසිකයා, ඔහු අනික් අයට දුන් දුක් වේදනා ඔහු ම භයානක ලෙස විඳ, ඔහුගේ කාලකණ්ණි ඉරණමට මුහුණ දී, බොහෝ දුරින් පිහිටි, වාසයට නුසුදුසු, කඳුකරයෙහි මියගියේ ය. 29 ඔහුගේ මිතුරු පිලිප් ඒ මෘත ශරීරය ආපසු ගෙන ආ නමුත්, ඇන්ටිඕකස්ගේ පුත්‍රයාට බියෙන් මිසරයේ ටොලමි පිලෝමිටර්ගේ රජ වාසලට යන්ට ගියේ ය.
– 10 වන පරිච්ඡේදය –
දේව මාලිගාව පවිත්‍ර කිරීම
1 මකබියස් සහ ඔහුගේ පිරිස සමිඳාණන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ දේව මාලිගාවත් නගරයත් ප්‍රතිසංස්කරණය කොට 2 වෙළෙඳ පොළේ සහ ශුද්ධ භූමියේ විජාතිකයන් විසින් ගොඩනඟන ලද පූජාසන ඇදදැමූ හ. 3 ඉන්පසු ඔව්හු ශුද්ධස්ථානය පවිත්‍ර කොට වෙනත් පූජාසනයක් ඉදි කළෝ ය. ඉක්බිති ගලින් ගිනි ගෙන ඒ ගින්න පාවිච්චි කරමින් සුවඳ දුම් දල්වා පහන් පත්තු කර, පිදුම් පූප පිළියෙළ කොට, අවුරුදු දෙකක කාලයට පසු පළමු වන යාග පූජාව ඔප්පු කළෝ ය. 4 මෙසේ කළ පසු ඔව්හු බිම දිගා වී, කිසිදාක මෙවැනි කරදරවලට වැටෙන්නට තමන්ට ඉඩ නොදෙන ලෙසත්, යම් දවසක ඔව්හු පව් කළෝ නම් ඒ සඳහා ඔවුන්ට යම් ප්‍රමාණයකට දඬුවම් දී, දේවාපහාස කියන වනචාරී විජාතිකයන්ට තමන් පාවා නොදෙන ලෙසත්, සමිඳාණන් වහන්සේට යාච්ඤා කළෝ ය. 5 දේව මාලිගාව පවිත්‍ර කරන ලද්දේ කිස්ලෙව් මාසයේ විසි පස් වන දිනයේ දී ය. විජාතිකයන් විසින් දේව මාලිගාව කෙලෙසන ලද්දේත් එම දවසේ දී ම ය. 6 කූඩාරම් මංගල්‍යය පවත්වන අන්දමට, ඔව්හු දින අටක් ම ප්‍රීති ප්‍රමෝදයෙන් ඒ මංගල්‍යය පැවැත්වූ හ. තවද, ඊට ටික කලකට පෙර කූඩාරම් මංගල්‍යය පවත්වද්දී ඔවුන් කඳුකරයේ සහ ලෙන්වල වන සතුන් මෙන් ජීවත් වූ ආකාරය ද සිහිපත් කළහ. 7 මෙසේ ඔව්හු තමන් වහන්සේගේ ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමේ උත්සවය සාර්ථක ලෙස ඉටු කිරීමට සැලැස්වූ දෙවියන් වහන්සේට කුඩා වැල් වර්ග එතීමෙන් සැරසූ යෂ්ටියන් ද, කොළ අතු ද, තාල වර්ගයේ අතු ද රැගෙන තුති ගී ගායනා කළහ. 8 තවද ඔව්හු ප්‍රසිද්ධ ආඥාවක් පනවා, එය ඡන්දයෙන් අනුමත කරනු ලැබ, මුළු ජුදා ජාතිය ම අවුරුදුපතා එම දවස් උත්සවාකාරයෙන් පැවැත්විය යුතු යයි නියම කළහ.
ටොලමි මක්රොන්ගේ අපකීර්තිය
9 එපිපානෙස් නම් ලත් ඇන්ටිඕකස්ගේ මරණයට අදාළ විස්තර ඉහත කී ලෙස ය. 10 දැන් අපේ කාර්යය නම් ඒ අභක්තිකයාගේ පුත්‍රයා වන ඇන්ටිඕකස් යුපාතෝර්ගේ ඉතිහාසය විස්තර කොට යුද්ධවල දුර්විපාක කියා පෑම ය. 11 සිංහාසනාරූඪ වූ පසු මේ රාජ කුමාරයා කටයුතුවල අධිපතියා වශයෙන්, චේලි-සිරියාවේ සහ පිනීෂියාවේ උසස් කොමසාරිස්වරයා වූ ලිසියස් නමැත්තෙකු පත් කෙළේ ය. 12 එකල යුක්ති සහගත ලෙස ජුදෙව්වරුන් කෙරෙහි ක්‍රියා කළ පළමු වන ආණ්ඩුකාරයා වන මක්‍රොන් නම් ලත් ටොලමි, පසුගිය කාලයේ දී ඔවුන්ට කරන ලද හිංසා පීඩාවලට වන්දියක් වශයෙන්, සාමකාමී ව ඔවුන් පාලනය කිරීමට බොහෝ උත්සාහ කෙළේ ය. 13 රජුගේ මිත්‍රයෝ ය යි සම්මත කණ්ඩායම විසින් යුපාතෝර් ඉදිරියෙහි ටොලමිට විරුද්ධ ව චෝදනා කරන ලදුව, පිලෝමිටර් විසින් ඔහුට භාර දෙන ලද සයිප්‍රස් දූපත අත්හැරීම නිසා ද, සෑම අතින් ම ඔහුට රාජ ද්‍රෝහියා ය යි කියන බව අසන්නට ලැබිණ. තමාගේ කීර්තිමත් නිල පදවිය දීප්තිමත් නො කළ ඔහු වස බී සිය පණ නසාගත්තේ ය.
ගොර්ජියස් සහ බලකොටු
14 ඉන්පසු ඒ ප්‍රදේශයේ යුද පරිපාලකයා වශයෙන් ගොර්ජියස් පත් විය. ඔහු කුලියට ගත් හේවා භට හමුදාවක් මෙහෙයවමින් නිතර ම ජුදෙව්වන් සමඟ යුද්ධ කරමින් සිටියේ ය. 15 ඒ අතර ම වැදගත් බලකොටු පාලනය කළ ඉදුමියන්වරු ද ජුදෙව්වරුන්ට බලහත්කාරකම් කරමින්, ජෙරුසලමෙන් පලායන ද්‍රෝ‍්හීන් සාදරයෙන් පිළිගනිමින්, යුද්ධය පවත්වාගෙන යාමට උත්සාහ දරමින් සිටියෝ ය. 16 මකබියස් සහ ඔහුගේ සෙනඟ තමන්ට ආධාර කරන ලෙස දෙවියන් වහන්සේට ප්‍රසිද්ධියේ යාච්ඤා කොට ඉදුමියන්වරුන්ගේ බලකොටුවලට වේගයෙන් පහර දුන්හ. 17 ඔව්හු වේගවත් ලෙස පහර පිට පහර දෙමින් ප්‍රයෝජනවත් සෑම ස්ථානයක් ම අල්ලාගෙන පවුරු උඩ සිට සටන් කළවුන් පරාජය කළහ. ඔව්හු තමන් අතට අසු වූ සියල්ලන් ම මරාදැමූ හ. එසේ මැරුම්කෑ අය විසි දහසක් පමණ වූ හ. 18 යටත්පිරිසෙයින් නව දහසක් පමණ අය, වටලෑමක දී පරාජය නොවී සිටීමට අවශ්‍ය වූ සියල්ල තැන්පත් කළ ඉතා ශක්තිසම්පන්න බලකොටු දෙකක සැඟවී සිටියහ. 19 එවිට ඔවුන් වටලනු පිණිස සෑහෙන සෙනඟක් සහිත ව සකේවුස් සහ ඔහුගේ හමුදාව ද සීමොන් සහ ජෝසෙප් ද ඉතිරි කොට මකබියස් තෙමේ තමාගේ සේවය අවශ්‍ය වූ වෙනත් ස්ථානයකට ගියේ ය. 20 එහෙත් සීමොන්ගේ සෙනඟ මුදලට තණ්හා වූ බැවින් බලකොටුවල සිටි සමහර අයගේ අල්ලස්වලට ඔව්හු වසඟවූ හ. ඔව්හු රිදී කාසි හැත්තෑ දාහක් ගත් පසු සමහර දෙනෙකුට පැන යන්නට ඉඩ දුන්හ. 21 මකබියස් සිදු වූ දේ දැනගත් පසු, සෙනඟගේ සෙන්පතියන් කැඳවා, තමන් සමඟ යුද්ධ කිරීමට හැකියාවක් ලැබෙන පරිදි සතුරන් නිදහස් කර හැරීම මඟින්, ඔවුන් තමන්ගේ සහෝදරයන් මුදලට විකුණූ බව කියමින්, වරද කළවුන්ට චෝදනා කෙළේ ය. 22 ද්‍රෝ‍්හීන් මෙන් ඔවුන් මරාදැමීමෙන් පසු, ඔහු සැණෙකින් ම බලකොටු දෙක අල්ලාගැනීමට ගියේ ය. 23 අවිආයුධ බලයෙන් ඔහු භාරගත් සෑම දෙයක් ම සාර්ථක වූ නිසා, ඔහු මේ බලකොටු දෙක තුළ සිටි අය විසි දහසකටත් වැඩි ගණනක් ඝාතනය කෙළේ ය.
ජූදස්ගේ ජයග්‍රහණය
24 මීට කලින් වතාවක ජුදෙව්වරුන් විසින් පරාජය කරනු ලැබූ තිමෝතියස්, කුලියට ගත් භටයන් රාශියක් එකතු කරගෙන ආසියාවෙන් විශාල අශ්ව හමුදාවක් ද ගෙන, අවිආයුධ බලයෙන් ජුදයාව අල්ලාගැනීමේ බලාපොරොත්තුවෙන් යුතු ව, එහි පැමිණියේ ය. 25 ඔහු පැමිණි විට, මකබියස් සහ ඔහුගේ සෙනඟ තමන්ගේ හිස් මත දූවිලි දමාගෙන ඉණ වටා ගෝණි රෙදි ඇඳගෙන දෙවියන් වහන්සේට යාච්ඤා කළෝ ය. 26 ඔව්හු පූජාසනය ඉදිරියෙහි පොළොව මත දිගා වී, තමන්ට ආධාර දෙන ලෙස ද, ව්‍යවස්ථාව පැහැදිලි ලෙස කියන අන්දමට දෙවියන් වහන්සේ ඔවුන්ගේ සතුරාගේ පරම සතුරා බවත් ඔවුන්ගේ විරෝධියාගේ පරම විරෝධියා බවත් පෙන්වා දෙන ලෙස ද, අයැද සිටියෝ ය. 27 මෙසේ යාච්ඤා කළ පසු ඔව්හු සන්නාහ සන්නද්ධ ව නුවරින් සෑහෙන පමණ දුර ගොස් සතුරා සමීප වූ විට නැවතුණෝ ය. 28 අරුණාලෝකය පැතිර යනවාත් සමඟ ම දෙපක්ෂය ම යුද්ධය ආරම්භ කළෝ ය. එක පක්ෂයක ජයග්‍රහණයේ සහ සඵලත්වයේ සහතිකය වූයේ ඔවුන්ගේ ම ශක්තිය පමණක් නොව සමිඳාණන් වහන්සේගේ සරණ පැතීම ය. අනිත් පක්ෂයට සටනේ මහා රුකුල වූයේ තමන්ගේ ම උනන්දුව යි. 29 යුද්ධයෙහි උපරිම අවස්ථාවට පැමිණි විට අහසින් තේජස් සම්පන්න මිනිසුන් පස් දෙනෙකු රන් කටකලියා සහිත අසුන් පිට නැඟී අවුත් ජුදෙව්වරුන්ගේ හමුදාවෙහි මුල් ස්ථානය ගන්නවා සතුරා දිටී ය. 30 ඔව්හු මකබියස් සිසාරා සිටගෙන තමන්ගේ සන්නාහයෙන් ම ඔහු ආවරණය කරමින් ඔහුට තුවාළ නොවන පරිදි ඔහු මුර කරගෙන සිටියෝ ය. එහෙත් ඔව්හු එවිට ම සතුරු සෙනඟ අන්ධ වී වියවුල් වී හිස් ලූ ලූ අත විසිරී යන තෙක් ම ඊ පහර සහ හෙණ අකුණු ඔවුන් මත වැටෙන්නට සැලැස්වූ හ. 31 පාබළ සෙනඟගෙන් විසි දහස් පන්සියයක් ද අශ්ව සේනාවෙන් හයසියයක් ද ඝාතනය කරන ලදහ.
32 තිමෝතියස් තෙමේ කෙරේයස් නමැත්තා යටතේ වූ ගේශර් නම් ලත් බලවත් ලෙස ආරක්ෂා කරන ලද බලකොටුවට පලා ගියේ ය. 33 මකබියස් සහ ඔහුගේ සෙනඟ උනන්දුවෙන් දවස් හතරක් ම එම බලකොටුව වටලෑවෝ ය. 34 ආරක්ෂාව සඳහා ඇතුළේ සිටි අය ද ස්ථානයේ රැකවරණය කෙරෙහි විශ්වාසය තබාගෙන ඔවුන්ට භයානක දේවාපහාස හා අදේවදෘෂ්ටි නින්දා එල්ල කළහ. 35 පස් වන දින අලුයම මකබියස්ගේ හමුදාවේ තරුණයන් විසි දෙනෙක් එම දේවාපහාසයන් නිසා කෝපාවිෂ්ට වී, ප්‍රාකාරයට බලවත් ලෙස පහර දී, ඔවුන්ට හමු වූ සියල්ලන් දරුණු ලෙස මරාදැමූ හ. 36 තවත් අයත් එලෙස ම ප්‍රාකාරවලට නැඟ, සතුරන්ගේ පිටුපසින් ගොස්, එහි කොත්වලට ගිනිතබා, දේවාපහාස කී අය අල්ලාගෙන පණපිටින් ම දර සෑ මත තබා ගිනිබත් කළහ. තවත් සමහරෙක් දොරටු බිඳ හමුදාවේ ඉතිරි කොටස නගරයට ඇතුළු කොට, නගරය පළමු ව අල්ලාගත්තෝ ය. 37 තිමෝතියස් පතලක සැඟවී සිටි නමුත් ඔව්හු ඔහු ද ඔහුගේ සහෝදරයා වන කේරේයස් ද අපොල්ලොපානෙස් ද මරාදැමූ හ. 38 මේ සියල්ල අවසන් වූ විට, ඉශ්රායෙල්වරුන්ට මහා කරුණාව පෙන්වූ, ඔවුන්ට ජයග්‍රහණය අත්කර දුන්, සමිඳාණන් වහන්සේට ඔව්හු ගී ගයා තුති පුදමින් ප්‍රශංසා කළහ.
– 11 වන පරිච්ඡේදය –
ලිසියස්ගේ පළමු වන යුද්ධය
1 මේ සියල්ල අවසාන වනු සමඟ ම, රජුගේ ආචාර්යවරයා වූ ද සහෝදරයා වූ ද අමාත්‍යයා වූ ද ලිසියස් තෙමේ සිදු වූ දේ ගැන කලබල වී 2 අසූ දහසක් පමණ පාබළ සේනාවක් ද, මුළු අශ්ව සේනාව ද එකතු කරගෙන ජුදෙව්වරුන්ට විරුද්ධ ව ගියේ ය. ඔහු අදහස් කෙළේ ශුද්ධ නගරය ග්‍රීක ජාතිකයන්ට වාසය කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කිරීමත්, 3 වෙනත් ජාතික සිද්ධස්ථානවලින් අය කරනු ලැබූ අන්දමට ම දේව මාලිගාවෙනුත් බද්දක් අය කර ගැනීමත්, නායක පූජක පදවිය අවුරුදු පතා විකිණීමත් ය. 4 ඔහු තමාගේ දස දහස් ගණන් වූ පාබළ සේනාවත්, දහස් ගණන් අශ්වාරෝහක හමුදාවත් අසූවක් පමණ ඇත් හමුදාවත් කෙරෙහි උසස් ලෙස විශ්වාසය තබාගෙන සිටි බැවින්, දෙවියන් වහන්සේගේ බල මහිමය කිසිසේත් ගණනකට නොගත්තේ ය.
5 රජ තෙමේ ජුදයාව ආක්‍රමණය කොට ජෙරුසලමෙන් කිලෝමීටර් තිස් දෙකක් පමණ දුරින් පිහිටි ශක්තිමත් බලකොටුවක් වන බෙත්-ශූර් නගරයට පැමිණ එයට ඉතා තදින් බලහත්කාරකම් කරන්නට පටන්ගත්තේ ය. 6 ලිසියස් බලකොටු වටලන බව මකබියස් සහ ඔහුගේ පිරිස දැනගත් විට ඔව්හු ද ජනතාව ද හඬා වැලපෙමින්, ඉශ්රායෙල්වරුන් ගළවාලීමට දේව දූතයෙකු එවන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කළෝ ය. 7 අවිආයුධ ගත් පළමුවැන්නා මකබියස් විය. තමන්ගේ සහෝදරයන්ගේ ආධාරයට තමන්ගේ ජීවිත පවා පිදීමට සූදානම් ව තමා සමඟ එන ලෙස ඔහු අනිත් අයගෙන් ඉල්ලා සිටියේ ය. සියල්ලෝ ම එකාමෙන් අධිෂ්ඨානයෙන් බැඳී සටන සඳහා පිටත් වූ හ. 8 ඔවුන් ජෙරුසලමට සමීප ව සිටිය දී ම ඔවුන්ගේ මූලිකයා වශයෙන් සුදු ඇඳුමෙන් සැරසී රන් යුද පැළඳුම් ලෙළවමින් සිටි අසරුවෙක්, දර්ශනය විය. 9 ඔව්හු සියල්ලෝ ම ඒකමතික ව කරුණාවේ දෙවියන් වහන්සේ පැසසූ හ. ඔව්හු කොතරම් මහත් ධෛර්යයකින් පිරී ගියෝ ද යත් මිනිසුන් පමණක් නොව ප්‍රචණ්ඩ වන සතුන් හා අයෝමය ප්‍රාකාර පවා වනසාලන්නට සූදානම් බවත් ඔව්හු දැක්වූ හ. 10 සමිඳාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ බැවින්, ස්වර්ගීක මිත්‍රයාණන්ගේ ආධාරය ඇති ව, ඔව්හු යුද පෙළපාලියෙන් ඉදිරියට ගමන් ගත්හ. 11 ඔව්හු සිංහයන් මෙන් සතුරන් වෙත පැන, 12 පාබළ හමුදාවෙන් එකොළොස් දහසක් ද අශ්ව හමුදාවෙන් එක් දහස් හය සියයක් ද මරාදමා අනෙක් සියල්ලන් පලවා හැරියෝ ය. ඔවුන් අතර බොහෝ දෙනෙක් තුවාළ ලබා ආයුධ විරහිත ව පැන ගියහ. ලිසියස් ද නීච ලෙස පලා යාමෙන් බේරිණි.
ජුදෙව්වරුන් සමඟ සාමදානය
13 ලිසියස් නැණවත් කෙනෙකු වූ බැවින්, ඔහු තම පරාජය ගැන කල්පනා කොට, බලසම්පන්න දෙවියන් වහන්සේ හෙබ්‍රෙව්වරුන් උදෙසා සටන් කරන බැවින් ඔවුන් පරාජය කළ නොහැකි බව තේරුම්ගත්තේ ය. 14 එබැවින් ඔහු සාධාරණ කොන්දේසි පිට මිත්‍ර ගිවිසුමක් යෝජනා කොට, රජතුමා පවා ඔවුන්ගේ මිත්‍රයා කරවීමට උත්සාහ දරන බවට පොරොන්දු වී ඔවුන්ට ලිපියක් යැවී ය. 15 මකබියස් ද පොදු යහපත ගැන පමණක් සිතා ලිසියස් යෝජනා කළ සියල්ලට ම එකඟ විය. ජුදෙව්වරුන් සම්බන්ධ මකබියස් විසින් ලිසියස්ට ලියන ලද සියල්ල ද රජ තෙමේ දානය කෙළේ ය. 16 ලිසියස් විසින් ලියන ලද ලිපිය මෙය වේ: එනම්,
”සැරදේ වා! ලිසියස්ගෙන් ජුදා ජනතාව වෙතට යි.
17 ඔබගේ තානාපතියන් වන ජොහන් සහ අබ්සලොම්, මෙහි පහත දැක්වෙන නිවේදනය, එහි කොන්දේසි සමඟ අනුමත කරන ලෙස මගෙන් ඉල්ලා මට භාර දී ඇත. 18 රජතුමාගේ අවධානය යොමු කරවීමට අවශ්‍ය යමක් එහි ඇත්නම්, මම එය එතුමන්ට ඉදිරිපත් කර ඇත්තෙමි. මාගේ නීත්‍යනුකූල බලයට අඩංගු වන දේවල් මා ලබා දී ඇත. 19 රාජ්‍ය පරිපාලනය සඳහා ඔබ හොඳ හිත පවත්වාගෙන යන්නහු නම් ඔබගේ යහපත දියුණු කිරීම සඳහා මම ඉදිරියට හොඳින් උත්සාහ කරමි. 20 විස්තර සාකච්ඡා කිරීම සඳහා ඔබේ තානාපතියන්ටත් මගේ නිලධාරීන්ටත් ඔබ සමඟ කතා කිරීමට මා අණ දී ඇත. 21 ඔබ සමෘද්ධිමත් වේ වා. වර්ෂ එකසිය හතළිස් අටේ ඩියොස්කොරොස් මාසයේ විසි හතර වන දින දී ය” යනු යි.
22 රජතුමාගේ ලිපිය මෙසේ විය: ”සැරදේ වා! ඇන්ටිඕකස් රජතුමාගෙන් ඔහුගේ සහෝදරයා වූ ලිසියස් වෙතට යි. 23 අපේ පියාණන් මිය ගොස් දෙවිවරුන් අතර ස්ථානය ඔහුට ලැබී තිබෙන බැවින්, අපගේ කැමැත්ත වනුයේ රාජ්‍යයේ වැසියන් සියල්ලන් නිදහසේ තම තමන්ගේ කටයුතුවල යෙදීමට ඔවුන්ට අවසර දීම ය. 24 ග්‍රීක සිරිත් විරිත් පිළිගැනීම වන අපගේ පියාගේ ප්‍රතිපත්තිය ජුදෙව්වරුන් අනුමත නොකරන බවත්, ඊට වැඩියෙන් ඔවුන් තමන්ගේ ම ජීවිත සම්ප්‍රදායය පවත්වාගෙන යාමට කැමැති බවත්, ඔවුන්ගේ ම ව්‍යවස්ථාවන් අනුගමනය කිරීමට ඔවුන්ට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටින බවත්, අප දැනගෙන ඇත. 25 එබැවින්, මේ ජනතාව සෑම හිරිහැරයකින් ම මිදී නිදහසේ ජීවත්වීම අපේ අදහස බැවින් අපේ නියමය නම්: දේව මාලිගාව ඔවුන්ට යළි ප්‍රතිසංස්කරණය කරදීම සහ ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ සිරිත්විරිත් අනුව ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඔවුන්ට ඉඩ දීම ය. 26 ඒ නිසා ඔවුන් අපගේ ප්‍රතිපත්ති දැනගෙන අප කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ කටයුතුවල සතුටින් නිරතවන පිණිස ඔබ ඔවුන් වෙත මිත්‍රත්වයේ දූත පිරිසක් යැවීමට වගබලාගත යුතු ය.” 27 රජතුමා ජුදා ජාතියට යැවූ ලිපියේ මෙසේ සඳහන් විය: ”සැරදේ වා! රජතුමාගෙන්, ජුදා උත්තර මණ්ඩලයට සහ අනික් ජුදෙව් ජනතාව වෙතට යි: 28 ඔබ සැම සුව සේ සිටින්නහු නම් එය අපට ප්‍රීතියකි. අපි ද නීරෝගි ව සිටිමු. 29 ඔබ ආපසු ගෙවල් බලා ගොස් ඔබගේ ම වැඩ කටයුතුවල යෙදීමට කැමැත්තෙන් සිටින බව මෙනෙලාවුස් අප වෙත දන්වා එවා ඇත. 30 එබැවින් සන්තිකස් මාසයේ තිස් වන දිනට කලින් ආපසු යන අයට බිය වීමට කිසි ම හේතුවක් නැති බවට අපි සහතික වෙමු. 31 ජුදෙව්වරුන්ට ඔවුන්ගේ ම කෑම වර්ග පාවිච්චි කිරීමත් කලින් තිබුණාක් මෙන් තමන්ගේ ම ව්‍යවස්ථාව අනුව ජීවත් වීමත් කළ හැකි ය. නොදැනුවත් ව කරන කිසි ම වරදක් සඳහා කෙසේ හෝ ඔවුන්ගෙන් කිසි ම කෙනෙකුට කරදර නොකළ යුතු ය. 32 ඔබට සිත් සාමදානය දීම සඳහා මම ඇත්තෙන් ම මෙනෙලාවුස් එවමි. 33 ආයුබෝවන්! වර්ෂ එකසිය හතළිස් අටේ සන්තිකස් මාසයේ පසළොස් වන දින දී ය.”
34 රෝමවරු ද පහත දැක්වෙන පරිදි ජුදෙව්වන් වෙත ලිපියක් යැවූ හ. ”සැරදේ වා! රෝමවරුන්ගේ තානාපතීන් වන ක්වීන්ටස් මෙම්මියස්ගෙන් ද ටයිටස් මානියස්ගෙන් ද ජුදා සෙනඟ වෙතට යි: 35 රජුගේ සහෝදරයා වන ලිසියස් විසින් ඔබට දී ඇති සියල්ල ම අපි දු අනුමත කරමු. 36 ඔහු රජු වෙත යොමු කිරීමට තීරණය කරගත් දේවල් ඔබගේ වාසිය පිණිස වන අයුරින් විග්‍රහ කිරීම පිණිස, අප අන්තියෝකිය බලා යන බැවින්, ඒ කරුණු ගැන හොඳින් කල්පනා කරබලා පමා නොවී කෙනෙකු එවන්න. 37 එබැවින් ඔබේ අදහස් උදහස් ගැන අපට දැන්විය හැකි අය ප්‍රමාද නො වී වහා අප වෙත එවන්න. 38 ආයුබෝවන්! වර්ෂ එකසිය හතළිස් අටේ සන්තිකස් මාසයේ පසළොස් වන දින දී ය.”
– 12 වන පරිච්ඡේදය –
ජොප්පා සහ ජම්නියා නගරවල සිදු වූ දේ
1 මේ ගිවිසුම අවසාන කළ පසු ලිසියස් තෙමේ රජු වෙත ආපසු ගියේ ය. ජුදෙව්වරු ද තමන්ගේ කෘෂිකාර්මික කටයුතුවල නිරත වනු සඳහා ආපසු ගියහ. 2 එසේ වුවත් යුද කොමසාරිස්වරුන් වූ තිමෝතියස් සහ ජෙන්නෙවුස්ගේ පුත් අපොල්ලෝනියස් ද හියරෝනිමස් සහ දෙමොපොන් ද නිකනෝර් නමැති සයිප්‍රසයේ ආණ්ඩුකරු ද ජුදෙව්වරුන්ට සාමයෙන් සහ විවේකී ව ජීවත්වීමට ඉඩ නුදුන් හ.
3 ජොප්පා නුවර සෙනඟ පහත දැක්වෙන දුෂ්ට අපරාධය පවා කිරීමට නිර්භීත වූ හ. ඔව්හු තමන්ගේ නැව් කිහිපයකට නඟින ලෙස ඔවුන් අතර විසූ ජුදෙව්වරුන්ටත් ඔවුන්ගේ අඹුදරුවන්ටත් ඇරයුම් කළහ. මොවුන්ට අනතුරක් කිරීමට යාම පිළිබඳ කිසි ම අදහසක් ඒ අවස්ථාවේ දී නොපෙන්වන ලදී. 4 ඒ දිනවල මෙය අනුමත කිරීමට පුරවැසියන් විසින් ප්‍රසිද්ධ ඡන්ද විමසීමක් ද කර තිබුණි. ජුදෙව්වරුන් සාමකාමී ජනතාවක් වූ හෙයින්, ඔව්හු කිසිවක් ගැන සැක නොකොට එම ඇරයුම් පිළිගත්හ. එහෙත් නැව මහ මුහුදට දියත් කරනු ලැබීමෙන් පසු, යටත්පිරිසෙයින් දෙසියයක් වූ මේ පිරිස මුහුදු පත්ලට ගිලා බස්වනු ලැබූ හ.
5 තම රට වැසියන්ට වූ මේ දුෂ්ට ඉරණම ගැන ජූදස්ට සැළ වූ විට ඔහු තම පිරිසට අණ දී, 6 සාධාරණ විනිශ්චයකාරයාණන් වන දෙවියන් වහන්සේට යාච්ඤා කොට, තම සහෝදරයන්ගේ මිනීමරුවන්ට පහර දුන්නේ ය. අන්ධකාර වූ පසු වරායට ගිනිතබා නැව් ගිනිබත් කොට ඒවායේ සැඟවුණු සියල්ලෝ ම කඩුවෙන් මරාදමනු ලැබූ හ. 7 නුවර වාසල් දොරටු වසා තිබුණු බැවින් ආපසු අවුත්, ජොප්පාහි මුළු ජනතාව ම මරාදැමීමට අදහස් කරගෙන ඔහු පසු බැස ගියේ ය. 8 එහෙත් ජම්නියාවේ සෙනඟක් එලෙසට ම එහි වසන ජුදෙව්වන් ගැන ක්‍රියා කිරීමට අදහස් කරන බව දැක 9 ඔහු ජම්නියාවේ සෙනඟට රාත්‍රි කාලයේ පහර දී නැව් සමූහයටත් වරායටත් ගිනිලෑවේ ය. බුර බුරා නැඟී ගිනි ජාලාව කිලෝමීටර් හතළිස් පහක් පමණ ඈතින් පිහිටි ජෙරුසලම් නගරයට පවා පෙනිණි.
ගිලියද් දේශයේ සටන
10 තිමෝතියස් සමඟ සටනට යද්දී නුවරින් කිලෝමීටර් එකහමාරක් පමණ දුර ගිය පසු, අඩු තරමින් පන් දහසක් පමණ වූ පාබළ සේනාවක් සමඟ සිටි, පන්සියයක් පමණ වූ අශ්ව සේනාවක් ද සහිත වූ, අරාබි ජාතික හමුදාවක් විසින් ජූදස්ට පහර දෙනු ලැබී ය. 11 එහි දී දරුණු සටනක් සිදු විය. දේව පිහිටෙන් එදින ජූදස් ජය ගත්තේ ය. පරාජිත වූ අරාබි හමුදාව ජූදස් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගැනීමට කැමැති බව ප්‍රකාශ කළහ. තවද, ඔව්හු තමන්ගේ ගව පට්ටි ජූදස්ට දීමටත්, පොදු වශයෙන් ඔහුගේ යහපත සඳහා ක්‍රියා කිරීමටත් පොරොන්දු වූ හ. 12 ඔවුන්ගේ ආධාරය සෑම අතින් ම වටිනා එකක් බව තේරුම්ගත් ජූදස් ද ඔවුන් සමඟ සාම ගිවිසුමකට එළඹීමට එකඟ විය. මෙසේ පොරොන්දු හුවමාරු කරගැනීමෙන් පසු අරාබිවරු තමන්ගේ ම කූඩාරම්වලට ආපසු හැරී ගියෝ ය.
13 තවද, ජූදස් විවිධ ජාතීන් විසූ, පවුරුවලින් වට වූ, එක්තරා බලසම්පන්න නුවරකට පහර දුන්නේ ය. එහි නම කස්පින් ය. 14 මෙසේ වටලනු ලැබූ අය තමන්ගේ පවුරුවලත් ආහාර ගබඩාවලත් ශක්තිය කෙරෙහි විශ්වාසය තබාගෙන, ජූදස් සහ ඔහුගේ මිනිසුන් කෙරෙහි අහංකාර ලීලාවක් පෙන්වමින්, දේවාපහාස සහ දූෂිත වචන කියමින්, ඔවුන්ට තදින් නින්දා අපහාස කළහ. 15 එහෙත් ජෝෂුවාගේ කාලයෙහි දී, ප්‍රාකාර බිඳින යන්ත්‍රෝපකරණ හෝ යුද්ධෝපකරණ හෝ කිසිවක් නැති ව, ජෙරිකෝ නුවර බිඳ හෙළූ ලෝකයේ පරමෝත්තමයාණන් හට ජූදස් ද ඔහුගේ සෙනඟ ද යාච්ඤා කළෝ ය. ඉන්පසු ව ඔව්හු ප්‍රාකාරයට ඉතා තදින් පහර දුන්නෝ ය. 16 දේව කැමැත්ත අනුව ඔව්හු නගරය අල්ලා ගත්හ. එහි දී ඔවුන් කළ ඝාතනය වචනයෙන් කිව නොහැකි පමණ දරුණු විය; ඒ නිසා ඒ අසල තිබූ කිලෝමීටර් බාගයක් පමණ පළල් වැව ලෙයින් ම පිරී ඉතිරී ගියා සේ පෙනිණි.
කර්ණයිම් නම් ස්ථානයේ සටන
17 ඔව්හු එතැන් සිට කිලෝමීටර් එකසිය පණස් දෙකක් දුර ගොස්, ටූබියන් නම් ජුදෙව්වරුන් වසන දේශයේ කාරක්ස් නම් නුවරට ළඟාවූ හ. 18 ඒ අසල දී ඔවුන්ට තිමෝතියස් හමු නොවූයේ ය. ඔහුට වැදගත් කිසිවක් කරගැනීමට නොහැකි වූ නමුත්, එක්තරා ස්ථානයක ඉතා ශක්තිසම්පන්න ආරක්ෂක භට පිරිසක් නවත්වා, ඔහු එම ප්‍රදේශයෙන් නික්ම ගොස් තිබිණි. 19 මකබියස්ගේ සේනාපතියන් දෙදෙනෙකු වූ දොසිතියස් ද සොසිපේතර් ද පිටත් වී ගොස්, තිමෝතියස් විසින් බලකොටුව තුළ නවත්වනු ලැබූ දස දහසකටත් අධික සෙනඟකින් යුක්ත යුද්ධ හමුදාවක් විනාශ කළෝ ය. 20 මකබියස් ද ස්වකීය හමුදාව බළ ඇණිවලට බෙදාගෙන, ඒවාට සෙන්පතියන් පත් කර, එකසිය විසි දහසක පාබළ සේනාවකින් හා දෙදහස් පන්සියයක අශ්ව සේනාවකින් සමන්විත ව, තිමෝතියස්ගේ සේනාව ලුහුබැඳ ගියේ ය. 21 ජූදස්ගේ පැමිණීම ගැන සැළ වූ විට තිමෝතියස් ගත් පළමු පියවර වූයේ, අඹුදරුවන් ද ඔවුන් පිරිවරාගත් බඩු බාහිරාදිය ද කර්ණයිම් යයි කියන ලද ස්ථානයට පිටත් කර යැවීම ය. මන්ද, ඊට ඇතුළු වන මාර්ග පටු ව එහි පැමිණීම දුෂ්කර ව තිබුණු බැවින්, එම ස්ථානය බිඳ හෙළිය නොහැකි ව තිබිණි. 22 ජූදස්ගේ පළමු බළ ඇණිය දුටු විට ම සතුරා බියෙන් තැතිගත්තේ ය. සියල්ල දකින තැනැන් වහන්සේ එහි දර්ශනය වීමෙන් සන්ත්‍රාසයට පත් සතුරෝ හිස් ලූ ලූ අත පලා ගියෝ ය. ඔවුන් මෙසේ පලා යන අතර, ඔවුනොවුන් එකිනෙකාගේ කඩුමුණවලට ලක් වී, ඔවුන්ගේ මිනිසුන් විසින් ම බොහෝ විට ඔව්හු ම තුවාළ කරනු ලැබූ හ. 23 ජූදස් තෙමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතු ව ඔවුන් ලුහුබැඳ ගොස්, ඒ පවිටුන් කැබලි කොට, ඔවුන්ගෙන් තිස් දහසක් පමණ සෙනඟ විනාශ කෙළේ ය. 24 දොසීතියුස් සහ සොසිපේතර්ගේ ද මොවුන්ගේ ද සෙනඟගේ ද බලයට තිමෝතියස් තෙමේ යටත් විය. එවිට ඔහු ඉතා කපටි ලෙස කතා කරමින් තමා පණපිටින් මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය. එසේ නොකළොත් බොහෝ දෙනකුගේ දෙමව්පියන් ද සමහර දෙනකුගේ සහෝදරයන් ද තමාගේ බලයට යටත් වී සිටින හෙයින්, ඔවුන් මරා දමනු ලැබිය හැකි බව ඔහු කියා සිටියේ ය. 25 ඔහු තමා දුන් පොරොන්දුව ඉටු කරන බවත්, ඒ සෙනඟ සුව සේ යෙහෙන් ආපසු හරින බවත්, බොහෝ වේලාවකට පසු ව ඔහු ඔවුන්ට අවබෝධ කරවූ විට, තමන්ගේ සහෝදරයන් ගළවාගැනීමේ අපේක්ෂාවෙන් ඔව්හු ඔහු මුදා හැරියෝ ය.
26 ජූදස් ද කර්ණයිම් සහ අතර්ගතෙයිඔන් නම් ස්ථානවලට පැමිණි පසු විසි පන්දහසක් සෙනඟ ඝාතනය කෙළේ ය.
ජූදස් ආපසු යාම
27 මෙසේ මේ සතුරන් පලවා හැරීමෙන් පසු, ජූදස් තෙමේ ලිසියස් ජීවත් ව සිටි ශක්තිසම්පන්න නගරයක් වූ ඒප්‍රොන්ට විරුද්ධ ව ස්වකීය සේනාව මෙහෙය වූයේ ය. හැඩි දැඩි සිරුරු ඇති තරුණයෝ ප්‍රාකාරයෙන් පිටත සිටගෙන දරුණු ලෙස සටන් කළහ. යුද්ධ යන්ත්‍ර සහ දමාගසන ආයුධ විශාල තොගයක් නගරය තුළ තැන්පත් කර තිබිණ. 28 එහෙත් ස්වකීය බල මහිමයෙන් සතුරු ආරක්ෂක සංවිධාන සිඳ බිඳ හෙළන පරමෝත්තමයාණන්ට යාච්ඤා කොට සටන් කළ, ජුදෙව්වරු නගරය අල්ලාගෙන එහි සිටි විසි පන්දහසක් පමණ සෙනඟ මරාදැමූ හ. 29 ඔව්හු එතැනින් පිටත් වී ගොස් ජෙරුසලමේ සිට කිලෝමීටර් එක සිය විස්සක් පමණ දුරින් පිහිටි ෂිතොපොලිස් නම් නුවර අල්ලාගන්නට උත්සාහ කළහ. 30 එහෙත් එම නගරයේ සෙනඟ ජුදෙව්වරුන්ට හොඳින් සංග්‍රහ කරන බවත් ඔවුන්ට බොහෝ හිරිහැර පැවති කාලවල දී මොවුන් ඔවුන්ට විශේෂ කරුණාව දැක් වූ බවත්, එහි සිටි ජුදෙව්වරුන් ජූදස්ට සහතික කර කියා සිටි විට, 31 ඔහු හා ඔහුගේ සෙනඟ ඒ ගැන ඔවුන්ට ස්තුති කොට, මතුවටත් ස්වජාතිකයන්ට එම මිත්‍රකම දක්වන ලෙස ඉල්ලා සිටියෝ ය.
ඉන්පසු මංගල්‍යයට දින ස්වල්පයකට කලින් ඔව්හු ජෙරුසලමට පැමිණියහ.
ගෝර්ජියස්ට විරුද්ධ සටන
32 පෙන්තකොස්ත නම් වූ මංගල්‍යයට පසු ඔව්හු ඉදුමියාවේ යුද පරිපාලක වන ගෝර්ජියස්ට විරුද්ධ ව සටනට ගියෝ ය. 33 ඔහු තුන් දහසක පාබළ සේනාවක සහ හාර දහසක අශ්ව සේනාවක සෙන්පතියා හැටියට සටනට පැමිණියේ ය. 34 එම යුද්ධයේ දී ජුදෙව්වරු ස්වල්ප දෙනෙක් මරුමුවට පත් වූහ.
35 එකල ශක්තිසම්පන්න ටුබියන් ජාතික අශ්වරෝහකයකු වූ දොසීතියුස් නමැත්තෙක් ගෝර්ජියස්ගේ සළුවෙන් ඔහු අල්ලාගෙන ඒ සාපලත් මිනිසා පණපිටින් ගැනීමට අදහස් කොට බිම දිගේ ඇදගෙන ගියේ ය. එහෙත් ප්‍රසියානු අශ්ව සේනාවේ කෙනෙක් දොසීතියුස්ගේ ඇඟට පැන ඔහුගේ උරහිස දෙපළු කෙළේ ය. ගෝර්ජියස් ද මරිසා නම් නුවරට පලා ගියේ ය. 36 ඒ අතරතුරේ දී එස්ද්‍රියස් සහ ඔහුගේ සෙනඟ බොහෝ කාලයක් සටන් කොට විඩාපත් ව සිටි බැවින්, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ මිත්‍රයා ද සටනේ නායකයා ද බව තමන්ට පෙන්වා දෙන ලෙස උන් වහන්සේට යාච්ඤා කළෝ ය.
37 ඉන්පසු ඔහු මහ හඬින් සිය මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් සටන් පාඨ සහ වෙනත් ගීතිකා ගය ගයා ගෝර්ජියස්ගේ සේනාවන් පලවා හැරියේ ය.
සටනේ දී මියගිය අය සඳහා යාග පූජා
38 ඉන්පසු ජූදස් සිය හමුදාව එකතු කොට අදුල්ලාම් නගරයට ගියේ ය. සතියේ සත් වන දවස පැමිණි බැවින් ඔව්හු සිරිත් පරිදි තමන් පවිත්‍ර කරගෙන ඒ ස්ථානයේ සටන නැවැත්වූ හ. 39 සටනේ දී මියගිය අයගේ මෘත ශරීර එකතු කොට ඒවා ඔවුන්ගේ නෑදෑයන් අතර පවුලේ සොහොන් ගෙවල්වල තැන්පත් කරන පිණිස ඔව්හු පසු දින ජූදස් වෙත ගියෝ ය. මෙය කිරීම ඉතා අවශ්‍ය විය. 40 එහෙත් මළ හැම කෙනෙකු ළඟ ම, වස්ත්‍රවලට යටින්, ජම්නියාවෙන් ගන්නා ලද දෙවි දේවතාවුන්ගේ සුර ඔවුන්ට දක්නට ලැබිණි. මෙය වනාහි ජුදෙව්වන්ට ව්‍යවස්ථාවෙන් තහනම් කරනු ලැබූ දෙයකි. මේ මිනිසුන් මරුමුවට පත් වූයේ මේ නිසා බව එවිට සියල්ලන්ට ම පැහැදිලි විය. 41 ඉන්පසු සියල්ලෝ ම අඳුරෙහි සඟවන ලද දේවල් ආලෝකයට ගෙන එන සාධාරණ විනිශ්චයකාරයාණන් වන දෙවියන් වහන්සේගේ ක්‍රියා පිළිවෙළ ගැන උන් වහන්සේට ප්‍රශංසා කොට 42 කරන ලද පාපය සම්පූර්ණයෙන් ම මකාදමන ලෙස ඉල්ලා යාච්ඤා කරන්න පටන්ගත්හ. තවද, වීරවික්‍රම ජූදස් සෙනඟට කතා කොට, ”මියගිය අයගේ පාපයේ විපාකය ඔවුන්ට තමන්ගේ නෙත්වලින් ම දක්නට ලැබුණු නිසා, ඔවුන් පාපයෙන් වැළකී සිටිය යුතු ය”යි කීවේ ය. 43 ඉන්පසු ඔහු ඔවුන්ගෙන් පෞද්ගලික වශයෙන් මුදල් සම්මාදම් කර රිදී කාසි දෙදහසක් පමණ එකතු කර පාප පූජාවක් ඔප්පු කරනු පිණිස එය ජෙරුසලමට යැවී ය. සැබැවින් ම මෙය වනාහි අනගි උතුම් ක්‍රියාවකි. මෙහි දී ඔහු මළවුන්ගේ උත්ථාන වීම ගැන හොඳින් සලකාබැලී ය. 44 මන්ද, මළාවූ අය යළි උත්ථාන වීම ගැන ඔහු බලාපොරොත්තු වූයේ නැත්නම් මළවුන් සඳහා යාච්ඤා කිරීම අනවශ්‍ය මෝඩ ක්‍රියාවකි. 45 එහෙත් භක්තිමත් ලෙස මෙලොවින් තුරන් වන අයට වෙන් කර තිබෙන අනගි විපාකය ගැන ඔහු කල්පනා කෙළේ නම්, ඒ සිතිවිල්ල ශුද්ධ වූ ද බැතිමත් වූ ද එකකි. ඔවුන් විසින් මළවුන් උදෙසා පූජාවක් ඔප්පු කරනු ලැබීමට ඔහු කටයුතු සැලැස්වූයේ ඒ නිසා ය. මන්ද, එවිට ඔවුන්ගේ පාපවලින් ඔවුන් නිදහස් වන බැවිනි.
– 13 වන පරිච්ඡේදය –
මෙනෙලාවුස්ගේ අවසානය
1 ඇන්ටිඕකස් යුපාතෝර් ජුදයාවට විරුද්ධ ව සේනාවක් රැගෙන එන බව ද, 2 ඔහු සමඟ ඔහුගේ ආචාර්යවරයා සහ අමාත්‍යවරයා වූ ලිසියස් සිටින බව ද, වර්ෂ එකසිය හතළිස් නවයේ දී ජූදස් සහ ඔහුගේ සෙනඟ දැනගත්හ. ඒ රජ හට එක් ලක්ෂ දහදහක ග්‍රීක ජාතික පාබළ සේනාවක් ද, පන්දහස් තුන් සියයක අශ්ව සේනාවක් ද විසි දෙකක ඇත් සේනාවක් ද තුන් සියයක දැති යොදන ලද රථ සේනාවක් ද වූ හ.
3 මෙනෙලාවුස් ද ඔවුන්ට පක්ෂ විය. තවද, ඔහු තම රටේ සෞභාග්‍යය නිසා නොව, තම නිලයෙහි තමා අනුමත කරනු ලැබ සිටීමේ බලාපොරොත්තුවෙන් යුක්ත ව, ඉතා කපටි ලෙස ඇන්ටිඕකස් ධෛර්යවත් කරවමින් සිටියේ ය. 4 එහෙත් රාජාතිරාජයාණෝ මේ පාපිෂ්ට කාලකණ්ණියාට විරුද්ධ ව ඇන්ටිඕකස්ගේ කෝපය ඇවිස්සූ හ. තවද, කරදර සියල්ලට ම මුල වූයේ මෙනෙලාවුස් බව ලිසියස් රජතුමාට පැහැදිලි කර දෙනු ලැබූ විට, ඔහු අල්ලාගෙන බෙරෙයාවට ගෙන යන ලෙසටත් එහි දී ඒ ප්‍රදේශයේ පවතින ක්‍රමය අනුව ඔහු මරාදමන ලෙසටත් එතුමා අණ කෙළේ ය. 5 ඒ ස්ථානයේ මීටර් විසි තුනක් උස කොතක් විය. එය අළුවලින් පුරවා තිබිණි. ඒ කොත මුදුනේ ගැටියේ කවාකාර නිර්මාණයක් විය. එය, කොත ඇතුළට ක්‍රමයෙන් බෑවුම් සහිත ව අළු ගොඩ දෙසට හරවා තිබිණි. 6 යමෙකු ශුද්ධ වූ දෙයක් සොරාගැනීමක් ගැන වරදකරුවෙකු වූ විට හෝ වෙනත් කිසි යම් අපරාධයක් ගැන ප්‍රසිද්ධියේ වරදකරුවෙකු වූ විට හෝ, ඔහු කොත මුදුනට ගෙනයනු ලැබ, මරාදැමීම සඳහා එය ඇතුළට තල්ලු කරදමනු ලැබේ. 7 මේ ද්‍රෝහියා මරණයට පත් වූයේ මේ පිළිවෙළට ය. මෙසේ භූමදාන කරනු ලැබීමේ වරම පවා මෙනෙලාවුස්ට අහිමි විය. මෙය සාධාරණ තීන්දුවකි. 8 පූජාසනයේ ගින්න සහ අළු ශුද්ධ දේවල් ලෙස සලකනු ලැබූ නමුත්, ඒ පූජාසනයට විරුද්ධ ව ඔහු බොහෝ පව් කළ බැවින්, ඔහු මරුමුවට පත් වූයේ අළුගොඩක් තුළ ය.
ජුදෙව්වරුන්ගේ ජයග්‍රහණය
9 රජ තෙමේ තම පියාගේ කාලයේ දී සිදු වූ දේවලටත් වඩා දරුණු ලෙස ජුදෙව්වරුන් සම්බන්ධයෙන් ක්‍රියා කරනු පිණිස ඉතා බිහිසුණු අදහස්වලින් තම සිත පුරවාගෙන ඉදිරියට ගියේ ය. 10 මෙය ඇසූ ජූදස් තම සෙනඟට කතා කොට, රෑ දාවල් සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන ලෙසටත්, 11 ඔවුන්ගේ රට ද දේව මාලිගාව ද ව්‍යවස්ථාව ද අහිමි වෙන්න යන මේ භයානක මොහොතෙහි ඔවුන්ට පිහිට වීමට අයැදින ලෙසටත්, යන්තම් හුස්ම ගැනීමට ඉඩක් ලැබුණු මේ අවස්ථාවෙහි දී දේවාපහාසයන් දොඩන විජාතිකයන්ගේ අත්වලට අසු වෙන්ට ඉඩ නොදෙන මෙන් අයැදින ලෙසටත් අවවාද කෙළේ ය. 12 සියල්ලෝ ම ඔහුගේ නියෝගවලට කීකරු වී එකාවන් ව දවස් තුනක් ම මුණින්තලා ව වැඳ වැටී, නොනවත්වා හඬමින් ද, උපවාස කරමින් ද, දයාව පාන සමිඳාණන් වහන්සේට යාච්ඤා කළහ. ඉන්පසු ජූදස් ඔවුන්ට කතා කොට ඔවුන් ධෛර්යවත් කර, තමාට කිට්ටුවෙන් සිටින ලෙස ඉල්ලී ය. 13 ඉන්පසු ඔහු ප්‍රජා මූලිකයන් සමඟ සම්මන්ත්‍රණය කර, රජුගේ හමුදාව ජුදයාව ආක්‍රමණය කොට නගරය අල්ලාගන්නා තෙක් බලා නොසිට හමුදාව සමඟ ගමන් කොට දෙවි පිහිට ඇති ව මුළු ව්‍යාපාරය පිළිබඳ ව තීරණයක් ගැනීමට අධිෂ්ඨාන කරගත්තේ ය.
14 ඔහු, සටනේ ප්‍රතිඵලය ලෝකයේ මැවුම්කාරයාණන්ගේ හස්තයෙහි තබා, ජුදා ව්‍යවස්ථාවන් ද දේව මාලිගාව ද නගරය ද රට ද ඔවුන්ගේ ජීවිත සම්ප්‍රදායය සඳහා මරණය තෙක් නිර්භීත ව සටන් කරන පිණිස ඔහුගේ හේවා භටයන්ට අනුශාසනා කොට මොදෙයින් නම් ස්ථානය අසල ඔහු ස්වකීය හමුදාව නතර කෙළේ ය. 15 ඔහු තම සෙනඟට ”දෙවිඳුන්ගෙන් ජය අත්වේ” යන සටන් පාඨය කියා දී තෝරාගනු ලැබූ නිර්භීත තරුණ පිරිසක් සමඟ රාත්‍රි කාලයේ දී රජුගේ මණ්ඩපයට පහර දුන්නේ ය. පහර දී කඳවුර තුළ දෙදහසක් පමණ සෙනඟ විනාශ කෙළේ ය. ඔහුගේ හමුදාව රජුගේ දැවැන්ත හස්ති රාජයා ද ඇත් ගොව්වා සමඟ ම මරාදැමූ හ. 16 අවසානයේ දී ජයග්‍රාහී ව නික්ම යන්නට පෙර, ඔව්හු මුළු කඳවුර ම භීතියෙන් සහ වියවුලෙන් පිරී යන්නට සැලැස්වූ හ. 17 ජූදස් ආරක්ෂා කරගත් සමිඳාණන් වහන්සේගේ පිහිටෙන් එදින අරුණෝදය නැඟී ඒමත් සමඟ ම මේ සියල්ල අවසාන විය.
ජුදෙව්වරුන් සමඟ ගිවිසුම
18 ජුදෙව්වරුන්ගේ නිර්භීතකම දැනගත් රජ තෙමේ ඉන්පසු ව ඔවුන්ගේ කඳවුරුවලට පහර දීම සඳහා දක්ෂ උපාය මාර්ග උපයෝගි කරගැනීමට උත්සාහ කෙළේ ය. 19 ජුදෙව්වරුන්ගේ ශක්තිසම්පන්න බලකොටුවක් වූ බෙත්-ශූර් නගරයට විරුද්ධ ව රජු ගිය නමුත් ඒ පහරදීම වළකා ඔහු පරාජය කොට පලවා හරින ලදී. 20 ජූදස් තෙමේ ආරක්ෂක භට පිරිසට අවශ්‍ය වූ දේ යැවී ය. 21 එහෙත් ජුදා හමුදාවේ සිටි රොදොකස් නමැත්තෙකු විසින් සතුරාට රහසින් ආරංචි සපයන ලදී. 22 ඔහු අඳුනාගත් පසු අත්අඩංගුවට ගෙන දඬුවම් දෙන ලදී. 23 රජ තෙමේ දෙ වන වරටත් බෙත්-ශූර් සිටි ආරක්ෂක භට පිරිස සමඟ සාකච්ඡා කෙළේ ය. ඔහු මිතුරු ගිවිසුමක් යෝජනා කොට එය පිළිගෙන පසුබැස ගිය නමුත්, ජූදස්ට සහ ඔහුගේ පිරිසට පහර දුන්නේ ය. එහෙත් ඔහු අන්ත පරාජයකට පත් විය. 24 එවිට රාජ්‍ය කටයුතු භාර ව සිටි පිලිප් අන්තියෝකිය නුවර කැරලි ගැසූ බව ඔහුට සැළ විය. මේ නිසා ඔහු අතිශයින් විස්මිත ව ජුදෙව්වරුන් සමඟ මන්ත්‍රණය කොට, තම පරාජය පිළිගෙන සියලු ම සාධාරණ කොන්දේසි අනුව ක්‍රියා කිරීමට පොරොන්දු දුන්නේ ය. ඔහු ගිවිසුමක් කර, පඬුරු පූජා කොට, දේව මාලිගාවට ගෞරවය පිරිනමා, ශුද්ධස්ථානයට වටිනා තෑගිබෝග බොහෝ දුන්නේ ය.
25 ඉන්පසු ඔහු මකබියස් සාදරයෙන් පිළිගෙන, ටොලමයිස් සිට ජෙරනියන්වරුන්ගේ දේශය දක්වා ප්‍රදේශයෙහි යුද කොමසාරිස් වශයෙන් හෙජෙමොනිදෙස් පත්කොට 26 ටොලමයිස් නගරයට ගියේ ය. එම ස්ථානයේ විසූ අය ගිවිසුම අනුමත නොකළහ. ඒ ගැන තමන්ගේ අමනාපය ප්‍රකාශ කළ ඔවුන්ට එහි පණත් අවලංගු කිරීම අවශ්‍ය විය. 27 එවිට ලිසියස් ප්‍රසිද්ධ වේදිකාවට නැඟී එහි පණත්වල වටිනාකම ගැන තරයේ කරුණු දැක්විය; ඉන්පසු ව ඔව්හු පැහැදී සන්සුන් බවට පත් වූ හ. මෙලෙස ඔහු ඔවුන්ගේ හොඳ හිත දිනාගත්තේ ය. ඉන්පසු ඔහු ආපසු අන්තියෝකිය නුවරට හැරී ගියේ ය.
රජතුමාගේ විරුද්ධත්වයත් ඔහුගේ පසුබැසීමත් පිළිබඳ සිද්ධියේ විස්තර මෙසේ ය.
– 14 වන පරිච්ඡේදය –
නායක පූජක ඇල්සිමස් මැදහත් වීම
1 මීට අවුරුදු තුනකට පසු ව, සෙලෙවුකස්ගේ පුත් දෙමෙත්‍රියස් බලසම්පන්න හමුදාවක් සහ නාවුක බළ ඇණියක් සමඟ ත්‍රිපෝලිස් වරායට පැමිණි බවත්, 2 ඔහු රට අල්ලාගෙන ඇන්ටිඕකස් ද ඔහුගේ ආචාර්යවරයා වූ ලිසියස් ද මරාදමා තිබෙන බවත්, ජූදස් සහ ඔහුගේ පිරිසට දැනගන්ට ලැබුණේ ය. 3 ඊට කලින් කැරලි පැවතුණු කාලයෙහි සිටි එක්තරා නායක පූජකයෙකු වූ මේ ඇල්සිමස් තෙමේ තමා විසින් ම කෙලෙසාගෙන සිටි අයෙකි. කුමන පක්ෂයකින් වත් තමාට ආරක්ෂාවක් නැති බව තේරුම්ගත් ඔහුට තවත් ශුද්ධ පූජාසනය වෙත යාමට පුළුවන්කමක් නැති බව ද තේරුම්ගෙන 4 වර්ෂ එකසිය පණස් එකේ දී දෙමෙත්‍රියස් රජු වෙත ගොස්, දේව මාලිගාවේ පාරම්පරික ඔලීව අතු සමඟ ස්වර්ණ කිරීටයක් රජුට තෑගි කෙළේ ය. එදින ඔහු නිහඬ ව සිටියේ ය.
5 එහෙත් පසු අවස්ථාවක දී ඔහු තමාගේ දුෂ්ට අදහසට සරිලන පිළිවෙළක් සොයාගත්තේ ය. දෙමෙත්‍රියස් රජ තමාගේ රාජ සභාවට ඔහු කැඳවා ජුදෙව්වරුන්ගේ ගතිපැවතුම් සහ අදහස් උදහස් ගැන ඔහුගෙන් විචාළේ ය. එවිට ඔහු උත්තර දෙමින්, 6 ”ජූදස් මකබියස් විසින් මෙහෙයවනු ලබන හසිදෙයින්වරු යයි නම් ලත් ජුදා ජාතිකයෝ කලබලකාරී කැරලිකරුවෝ ය. ඔව්හු රාජ්‍යයේ චිරස්ථිතිය වළක්වති. 7 නායක පූජක පදවිය වන මාගේ පාරම්පරික උතුම් තත්ත්වයෙන් මා පහකරනු ලැබූ පසු, මා දැන් මෙහි පැමිණ සිටින්නේ ඒ නිසා ය. 8 පළමුකොට රජුගේ සෞභාග්‍යය සඳහා මාගේ ඇති අවංක සැලකිල්ල නිසාත්, දෙවනු ව අපගේ පුරවැසියන්ගේ යහපත නිසාත් මම එසේ කෙළෙමි. මන්ද, මා දැන් සඳහන් කළ ඒ අයගේ වගකීමක් නැති ක්‍රියා කලාපය නිසා අපගේ මුළු ජාතිය ම මහා ප්‍රපාතයකට වැටී සිටී. 9 මහානුභාව සම්පන්න ඔබතුමා මේ සියල්ල ගැන සලකා බලා, සියල්ලන් කෙරෙහි ඔබ දක්වන මහා කරුණාව පෙරදැරි කරගෙන, අපේ රටේත් අපේ පීඩිත ජනතාවගේත් සෞභාග්‍යය සඳහා අවශ්‍ය සියල්ල සපයනු පිණිස ඔබ අභිමත දෙයක් කළ මැනව. 10 මන්ද, ජූදස් ජීවත් වී සිටින තෙක් කිසිදාක රජය නම් සාමය භුක්ති නොවිඳිනු ඇතැ”යි කීවේ ය.
11 ඇල්සිමස් මෙසේ කතා කර අවසන් කළ පසු, ජූදස්ට වෛර කළ, රජුගේ මිත්‍රපාක්ෂිකයන්ගෙන් ඉතිරි අය ද ඔහුට විරුද්ධ ව දෙමෙත්‍රියස්ගේ කෝපය ඇවිස්සීමට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්හ. 12 ඔහු විගස ඇත් සේනාවේ සෙන්පති වූ නිකනෝර් තෝරාගෙන ජුදයාවේ යුද කොමසාරිස්වරයා හැටියට ඔහුගේ නිල පදවිය උසස් කොට, 13 ජූදස් මරා දමා ඔහුගේ අනුගාමිකයන් විසුරුවා හැර, උතුම් දේව මාලිගාවේ නායක පූජකයා ලෙස ඇල්සිමස් පත් කරන ලෙස උපදෙස් දී ඔහු යැවී ය. 14 ජුදෙව්වරුන්ට වන ආපදාවලින් සහ කම්කටොලුවලින් තමන්ට ම යහපතක් සිදු වෙති යි යන බලාපොරොත්තුවෙන් ජූදස්ට බියෙන් පලා ගොස් සිටි, ජුදයාවේ විජාතිකයෝ ද රාශිභූත වී නිකනෝර්ට එකතු වූ හ.
නිකනෝර් සහ ජූදස්
15 නිකනෝර්ගේ පැමිණීම ගැනත්, තමන්ට පහර දීමට විජාතිකයන් සැරසෙන අන්දම ගැනත් ඇසූ ජුදෙව්වරු තමන්ගේ ඇඟපතෙහි අළු තවරාගෙන, තමන් වහන්සේගේ සෙනඟ සදහට ම ස්ථාපිත කොට වදාළා වූ ද තමන් වහන්සේගේ උරුමයට සහාය වීමට මැදහත්වන්නා වූ ද තැනැන් වහන්සේට යාච්ඤා කළහ. 16 ඔව්හු තම නායකයාගේ අණ පිට තමන් සිටි ස්ථානයෙන් වහා ම පිටත් වී ගොස් දේස්සව් නම් ග්‍රාමයේ සිටි සතුරාට පහර දුන්නෝ ය. 17 ජූදස්ගේ සහෝදරයා වූ සීමොන් නිකනෝර් සමඟ සටන් කර තිබිණි, එහෙත් විරුද්ධවාදීන්ගේ හදිසි පැමිණීම නිසා ඔහු සුළු ලෙස පරාජය ලැබී ය. 18 ජූදස් සහ ඔහුගේ පිරිසගේ නිර්භීතකම ගැනත් ඔවුන්ගේ රට උදෙසා ඔවුන් නිතර ම ධෛර්යය වත් ව සටන් කළ අන්දම ගැනත්, නිකනෝර් අසා තිබිණි. එබැවින් ලේ සිඳ හෙළා කාරණය ගැන තීරණයකට එළඹීමට ඔහු අකමැති විය. 19 එසේ හෙයින්, ජුදෙව්වරුන් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගැනීමටත් අනිත් පක්ෂයේ කොන්දේසි පිළිගැනීමටත් තමා කැමැති බව දන්වමින් ඔහු ඒ සඳහා පොසිදෝනියස්, තියෝඩොටස් සහ මත්තතියස් යන අය පිටත් කර යැවී ය.
20 ඔහුගේ කොන්දේසි හොඳින් සලකා බැලීමෙන් පසු, නායකයා ඒ සියල්ල තම සේනාවන්ට දැන්වී ය. ඔවුන් සියල්ලන් ම පැහැදිලි ලෙස ම ඒ ගැන ඒකමතික ව සිටි බැවින් ඔව්හු ගිවිසුමට එකඟ වූ හ. 21 ඉන්පසු දෙපක්ෂයේ නායකයන් පෞද්ගලික ව ඔවුනොවුන් හමු විය හැකි දිනය නියම කරගත්හ. දෙපක්ෂයේ අය දෝලා දෙකකින් පැමිණි පසු ආසන සූදානම් කරන ලදී. 22 එහෙත් සතුරා විසින් කරනු ලැබිය හැකි කිසි යම් හදිසි ද්‍රෝහි පහර දීමක් වුවහොත් එයට මුහුණ දෙන පිණිස, ජූදස් ඔහුගේ සන්නාහ සන්නද්ධ භට පිරිස් ප්‍රයෝජනවත් ස්ථානවල නවතා තිබිණි. නායකයෝ ද සම්මන්ත්‍රණය පවත්වා සම්මුතියකට පැමිණියෝ ය. 23 නිකනෝර් ද ජෙරුසලමෙහි පදිංචි වූ නමුත් එහි දී නීති විරෝධී කිසිවක් නොකෙළේ ය. ඔහු වෙත රැස් වූ පිරිස් පවා ඔහු යන්නට හැරියේ ය. 24 ඔහු ජූදස් තමා ළඟ ම තබාගත්තේ ය. 25 විවාහ වී දරුපල ලබාගන්නා ලෙසත් ඔහු ජූදස්ට අනුබල දුන්නේ ය. ජූදස් ද විවාහයක් කරගෙන ගෙදරක පදිංචි වී සාමාන්‍ය ජීවිතයක් ගත කෙළේ ය.
අනතුරු ඇඟවීමක්
26 ජූදස් සහ නිකනෝර් කොපමණ මිත්‍ර ව සිටිත් ද යන්න ඇල්සිමස් දුටු විට, ඔහු ඔවුන් විසින් අත්සන් තබන ලද ගිවිසුමේ පිටපතක් ද රැගෙන දෙමෙත්‍රියස් වෙත ගොස්, නිකනෝර් රාජ්‍යයේ යහපතට විරුද්ධ ව ක්‍රියා කිරීමට සිතාගෙන සිටින බවත්, රජුගේ මිත්‍ර ගණයේ මීළඟ පුරප්පාඩුව ඇති වූ විට, රාජ්‍යයේ සතුරා වන ජූදස් ඊට පත් කිරීමට සිතාගෙන සිටින බවත් දැන්වී ය.
27 රජ තෙමේ ද කෝපයෙන් දිළිහෙන්නට විය. මේ පරම දුෂ්ටයාගේ මිථ්‍යා අපවාදවලින් ඇවිස්සුණු ඔහු එම ගිවිසුම ගැන තම දැඩි අමනාපය දක්වා, මකබියස්ට මාංචු දමා වහා ම ඔහු අන්තියෝකිය නුවරට එවන ලෙස නිකනෝර්ට ලියා යැවී ය.
28 නිකනෝර්ට ලියුම ලැබුණු විට ඔහු බොහෝ සේ කලබල විය. මන්ද, කිසි ම වරදක් නොකළ මිනිසෙකු සමඟ කළ ගිවිසුම කඩ කිරීම ඔහුට නුරුස්සන සුලු දෙයක් විය. 29 එහෙත් රජුට විරුද්ධ ව සිටීම ඔහුට නොකළ හැකි දෙයකි. එබැවින් කිසි යම් උපාය මාර්ගයකින් රජ අණ ක්‍රියාවේ යෙදවීමට අවස්ථාවක් එන තෙක් ඔහු බලා සිටියේ ය. 30 නිකනෝර් තමාට සලකන ආකාරය තරමක් නපුරු බවත් ඔහුගේ භාෂා විලාශය කලින් තිබුණාට වඩා රළු බවත් තේරුම්ගත් මකබියස් ඔහු මෙවැනි රළු ගතියක් දක්වන්නේ යහපත් චේතනාවකින් නොවන බව තීරණය කරගත්තේ ය. එබැවින් ඔහු තමාගේ අනුගාමිකයන් සෑහෙන ගණනක් එකතු කරගෙන නිකනෝර් වෙතින් ඉවත් වී ගියේ ය.
31 මකබියස් ඉතා දක්ෂ ලෙස තමා රැවටූ බව නිකනෝර් තේරුම්ගෙන පූජකවරුන් සිරිත් පරිදි යාග පූජා ඔප්පු කරන වේලාවේ දී උතුම් දේව මාලිගාවට ගොස් ජූදස් තමාට පාවා දෙන ලෙස ඔවුන්ට අණ කෙළේ ය. 32 අවශ්‍ය මිනිසා කවරෙක් ද කියා තමන් නොදන්නා බව ඔවුන් දිවුරමින් කියා සිටින්නට වූ විට, නිකනෝර් තෙමේ දේව මාලිගාව දෙසට තම දකුණත දිගු කරමින්, ”ජූදස් සිරකරුවෙකු මෙන් ඔබ මට පාවා නොදෙන්නහු නම්, මම දෙවියන් වහන්සේගේ මේ ශුද්ධස්ථානය පොළොවට සමතලා කරදමා, එහි පූජාසනය වනසාදමා, මේ ස්ථානයේ ම දියෝනිසියස් දේවතාව හට මනහර දේවාලයක් ගොඩනංවන්නෙමි”යි කීවේ ය. 33 ඔහු මෙසේ කියා යන්න ගියේ ය. 34 පූජකවරු ස්වර්ගය දෙසට දෑත් ඔසවා තමන්ගේ ජාතිය සඳහා නිතර ම සටන් කළ තැනැන් වහන්සේට මෙසේ යාච්ඤා කළහ. ”සියල්ලට අධිපති වූ කිසිදු දෙයක අවශ්‍යතාවක් නැත්තා වූ ද සමිඳාණන් වහන්ස, අප අතර ඔබට වාසස්ථානයක් වශයෙන් දේව මාලිගාවක් තිබිය යුතු බව ඔබ වහන්සේ අදහස් කළ සේක. 35 එබැවින් දැන් සකල ශුද්ධවන්තකමේ සුවිශුද්ධ සමිඳාණන් වහන්ස, අලුතෙන් පවිත්‍ර කරන ලද මේ ගෘහය සදහට ම දූෂණය වීමෙන් ආරක්ෂා කළ මැනව.”
රාශිස්ගේ මරණය
36 ජෙරුසලමේ සිටි ප්‍රජා මූලිකයන් අතර සිටි රාශිස් නමැත්තෙක් නිකනෝර් ඉදිරියේ චෝදනා ලැබී ය. ඔහු වනාහි තමාගේ දේශවාසීන්ට ප්‍රේම කළ ඔවුන් විසින් ඉතා ඉහළින් අගය කරනු ලැබූ තැනැත්තෙකි. ඔහුගේ කරුණාවන්තකම නිසා, ‘ජුදෙව්වරුන්ගේ පියාණෝ’ යනුවෙන් ඔහු අමතන ලදී. 37 කැරැල්ලේ මුල් අවදියේ දී ජුදා ජාති හිතෛෂියෙකු හැටියට ඔහු වරදට පත් කරන ලදුව ජුදා ජාතිය සඳහා ඉතා උනන්දුවෙන් තමාගේ ජීවිතය වුවත් දීමට ඔහු සූදානම් ව සිටියේ ය. 38 ජුදෙව්වන් කෙරෙහි වූ තමාගේ බද්ධ වෛරය පෙන්වන පිණිස, රාශිස් අත්අඩංගුවට ගැනීමට නිකනෝර් තෙමේ යුද්ධ භටයන් පන්සියයක් පිටත් කර යැවී ය. 39 ඔහු මරාදැමුවහොත් ජුදෙව්වරුන්ට එයින් මරු පහරක් වදිනු ඇතැ යි ඔහු කල්පනා කෙළේ ය. 40 හමුදාවන් කොත අල්ලාගැනීමට සූදානම් වී රජ වාසල දොරටුව බිඳදමමින්, දොරටුවට ගිනිලෑමට ගින්දර ගෙන ඒමට කෑගසද්දී, හැම අතින් ම වට කරනු ලැබ සිටි රාශිස් තෙමේ සිය කඩුව මත වැටී මැරෙන්නට සූදානම් විය. 41 මේ දුර්ජනයන්ගේ ග්‍රහණයට අසුවීමෙන් තම උතුම් කුලයට නොහොබිනා අවමන් විඳිනවාට වඩා, උදාර ලෙස මියයාමට මෙලෙස ඔහු අධිෂ්ඨාන කරගත්තේ ය. 42 එහෙත් සටන් උග්‍රතාවය නිසා ඔහු කඩු මුවහතට නොවැටිණි. හමුදාවන් දොරටුවෙන් ඇතුළට පීරාගෙන එන විට ඔහු කඩිසර ලෙස පවුරට නැඟී නිර්භීත ලෙස හමුදා භටයන් අතරට පැන්නේ ය. 43 එහෙත් හමුදා භටයන් ක්ෂණික ව මඳක් අයින් වූ හෙයින් ඔහු වැටුණේ හිස් ස්ථානයකට ය. 44 මේ නිසා ඔහු භයානක ලෙස තුවාළ ලබා හැම අතින් ම ලේ විදිමින් සිටි නමුත්, තවමත් පණ තිබුණු ඔහු ආයාසයෙන් නැඟිට කෝපයෙන් දිළිහෙමින් සෙනඟ මැදින් දිව ගියේ ය. 45 ඉන්පසු ඔහු උස පර්වතයක් උඩට නැඟගත්තේ ය; ඒ වන විට ඔහුගේ අවසාන ලේ බිංදුව දක්වා ගලා ගොස් තිබුණු නමුත්, ඔහු තමාගේ බඩවැල් ඉරාගෙන ඒවා තම දෑතට ගෙන යම් දිනක තමාට යළි ජීවිතය දෙන ලෙස ජීවිතයේ සහ ප්‍රාණයේ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ඒවා භටයන් අතරට විසි කෙළේ ය. ඔහුගේ මරණය මෙසේ විය.
– 15 වන පරිච්ඡේදය –
නිකනෝර්ගේ දේවාපහාසය
1 ජූදස් සහ ඔහුගේ සෙනඟ සමරියාවට කිට්ටු ප්‍රදේශයෙහි සිටින බව නිකනෝර්ට සැළ විය. එබැවින් ඔහු අනතුරකට මුහුණ නො පා සබත් දවසේ දී ඔවුන්ට පහර දීමට තීරණය කරගත්තේ ය. 2 බල කිරීම නිසා ඔහු අනුව ගිය ඒ ජුදෙව්වරු ඔහුට කතා කොට, ”මෙතරම් රළු ලෙස හා වනචර ලෙස ඔබ ඔවුන් ඝාතනය නොකළ යුතු ය. සියලු දේ දකිමින් සමිඳාණන් වහන්සේ ඒ දවසට විශේෂ ශුද්ධත්වයක් දී තිබෙන නිසා ඔබ ද ඊට නිසි ලෙස ගරු කළ යුතු ය”යි කීවෝ ය. 3 ඒ ඇසූ මේ සාහසික දුෂ්ටයා කතා කොට, ”සබත් දවස පැවැත්වීමට අණ කළ පරමෝත්තමයාණන් කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක් දැ”යි විචාළේ ය. 4 ”සබත් දවස පැවැත්වීමට අණ කෙළේ ස්වර්ගීක පරමෝත්තමයාණන් වන ජීවමාන සමිඳාණන් වහන්සේ ම ය”යි ඔවුන් පිළිතුරු දුන් විට, 5 ඔහු නැවතත් කතා කරමින්, ”මිහි පිට සිටින පරමෝත්තමයාණන් වන මම රාජකීය සේවය සඳහා අවිආයුධ ගන්නා ලෙස ඔබට අණ කරමි”යි කීවේ ය. කෙසේ වුවත් ඔහුගේ දරුණු සැලසුම ක්‍රියාත්මක කිරීම තවදුරටත් සාර්ථක නොවූයේ ය.
ජූදස්ගේ සිහිනය
6 නිකනෝර් තමාගේ අසීමිත ගර්වයෙන් මහත් සේ උදම් වී, ජූදස් සහ ඔහුගේ සෙනඟගෙන් ගන්නා ලද කොල්ලයෙන් ප්‍රසිද්ධ ස්මාරකයක් ඉදි කිරීමට කල්පනා කරන විට, 7 ‘සමිඳාණන් වහන්සේ තමන්ට ආධාර කරන සේකැ’යි මකබියස් ස්ථිර අධිෂ්ඨානයකින් සිටියේ ය. 8 විජාතිකයන්ගෙන් ලබන පහර නිසා වියවුල් වී නොසිටින ලෙසත්, යටගිය කාලයේ දී ස්වර්ගයෙන් ලත් පිහිට ගැන සිහි කරමින්, සව් බලැති සමිඳාණන් වහන්සේගේ උපකාරය ඇති ව මේ වතාවේත් ඔවුන් ජයග්‍රහණය කරන බවට ස්ථිර විශ්වාසයෙන් යුක්ත ව සිටින ලෙසත් ඔහු තමාගේ සෙනඟගෙන් ඉල්ලා සිටියේ ය. 9 තවදුරටත් ඔහු ව්‍යවස්ථාවලියෙන් සහ දිවැසාවලියෙන් උධෘත පාඨ ගෙන හැර දක්වමින්, ඔවුන්ට අලුත් සිතක් දී, මෙතෙක් ජයලත් සටන් ගැන සිහිපත් කරවමින් ඔවුන් නවතාවයෙන් ප්‍රබෝධවත් කෙළේ ය. 10 මෙලෙස ඔහු ඔවුන්ගේ, ධෛර්යය හොඳට ම පණගන්වා විජාතිකයන්ගේ ද්‍රෝහිකම් ද ඔවුන් කළ පොරොන්දු කඩ කිරීම් ද විස්තර කොට තමාගේ කතාව අවසන් කෙළේ ය.
11 පලිහෙන් සහ හෙල්ලයෙන් ලැබෙන රැකවරණයට වඩා උදාරතර කතාවකින් මතු වන උද්‍යෝයෝගයෙන් ඔවුන් ශක්තිමත් කරවා, නව දර්ශනයක් හා සමාන පැහැදිලි සිහිනයක් ඔවුන්ට විස්තර කර දී, ඔහු ඔවුන් සියලු දෙනා ධෛර්යවත් කරවූයේ ය.
12 ඔහු දුටු දර්ශනය මෙවැන්නක් විය: ”එනම්, කලින් සිටි නායක පූජකයා වූ ද ආදර්ශවත් මිනිසෙකු වූ ද නිහතමානී කාරුණික කෙනෙකු වූ ද කතාවෙහි චතුර, ළමා වියෙහි පටන් ම හැම යහපත් ගුණ දහමක් ම පුරුදු පුහුණු කළ අයෙකු වූ ද, ඔනියස්ව ඔහු සිහිනයෙන් දිටී ය. ඔනියස් සිටියේ තම දෑත් දිගු කරගෙන මුළු ජුදා ජාතිය වෙනුවෙන් යාච්ඤා කරමින් ය. 13 ඊළඟට ඔහුගේ දර්ශනයට සමාන ව වයෝවෘද්ධ බවින් හා ගරුත්වයෙන් යුතු කෙනෙක් දර්ශනය විය. මොහු තුළ පුදුම එළවන සිත්ගන්නා සුලු තේජස් ලීලාවක් විය. 14 ඕනියස් කතා කරන්නට පටන්ගෙන මේ මනුෂ්‍යයා වනාහි ඔහුගේ සහෝදරයන්ට ප්‍රේම කරන්නාවූ ද ශුද්ධ නගරයත් ජනතාවත් උදෙසා බොහෝ සේ යාච්ඤා කරන්නාවූ ද කෙනෙකි. මොහු නම් දෙවියන් වහන්සේගේ දිවැසිවරයා වන, ජෙරමියා ය”යි කීවේ ය. 15 එවිට ජෙරමියා තම දකුණත දිගු කොට ජූදස්ට රන් කඩුවක් තෑගි කෙළේ ය. ඔහු එය තෑගි කරමින්, 16 ”මේ ශුද්ධ කඩුව දෙවියන් වහන්සේගෙන් ලැබෙන තෑග්ගක් මෙන් පිළිගන්න. ඔබ මෙයින් සතුරන්ට පහර දෙන්නෙහි ය”යි කීවේ ය.
භටයන්ගේ සංවිධානය
17 ඔවුන්ට අමුතු බල වේගයක් කාවැද්දීමටත් මුහුකුරාගිය මිනිසුන්ගේ ශක්තිය මේ තරුණයන්ට දීමටත් හැකි වූ ජූදස්ගේ උදාරතර කතාවෙන් දිරි ගන්වනු ලැබූ සෙනඟ, කඳවුරු නොබැඳ, ඔවුන්ගේ නගරයත් ශුද්ධ ආගමත් දේව මාලිගාවත් අන්තරාවට මුහුණ පා තිබූ නිසා, නිර්භීත ව පහර දෙමින් මුළු ධෛර්යය යොදා මුහුණට මුහුණ ලා සටන් කොට යුද්ධය අවසාන කිරීමට තීරණය කරගත්හ. 18 ඔව්හු ඒ අවස්ථාවේ දී තමන්ගේ අඹුදරුවන් ගැන වත් සහෝදරයන් සහ නෑදෑයන් ගැන වත් වැඩිපුර නොසැලකූ හ. ඔවුන්ට වඩා මහත් බියක් ඇති වූයේ ආලේප කරන ලද දේව මාලිගාව නිසා ය. 19 නගරයේ ඉතිරි කරනු ලැබූ අය තුළ ද එළිමහනේ කරන්නට යන සංග්‍රාමය නිසා කුතුහලයක් ද සන්ත්‍රාසයක් ද ඇති විය. 20 සියල්ලෝ ම සිදුවන්නට යන දේ ගැන බලා සිටියා හ. සතුරා ද ඔවුන්ගේ හමුදා හොඳින් සංවිධානය කොට, ඇත් සේනාව යුද්ධය පිළිබඳ වැදගත් ස්ථානයක ද අස් සේනාව දෙපැත්තේ ද සිටුවා, සටනට සූදානම් ව සිටියේ ය. 21 තමාට මුහුණ ලා සිටි මේ මහා සෙනඟ ද සන්නද්ධ සන්නාහවල දිස්නය ද හස්තීන්ගේ ප්‍රචණ්ඩ බැල්ම ද දුටු මකබියස් සටන දරුණු එකක් විය හැකි බව තේරුම්ගත්තේ ය. එවිට ඔහු ස්වර්ගය දෙසට තම දෑත් ඔසවා, සමිඳාණන් වහන්සේට සුදුසු යයි අභිමත වන විට එතුමාණන් ජයග්‍රහණය දෙන්නේ එය ඔබින අයට මිස යුද්ධෝපකරණ මඟින් නොවන බව දැනගෙන, හාස්කම් පානා උන් වහන්සේට යාච්ඤා කෙළේ ය. 22 ඔහුගේ යාච්ඤාව මෙසේ විය: ”හිමිතුමෙනි, ජුදයාවේ රජ වූ හෙසෙකියාගේ කාලයෙහි දී ඔබ වහන්සේ තමන් දූතයා යවා සෙනකෙරිබ්ගේ හමුදාවෙන් එකසිය අසූ පන්දහසක් පමණ සෙනඟ විනාශ කරදැමූ සේක. 23 ස්වර්ගයේ පරමෝත්තමයාණන් වහන්ස, දැනුත් තවත් වරක් සන්ත්‍රාසය සහ වියවුල පතුරුවාලීම සඳහා අප ඉදිරියට යහපත් දූතයෙකු එවනු මැනව. 24 මේ මිනිසුන් දේවාපහාස කියමින් ඔබගේ ශුද්ධ සෙනඟට පහර දීමට පැමිණ සිටින බැවින් ඔබගේ බාහු බලයෙන් ඔව්හු විනාශ වී යෙත් වා!” මෙසේ කියා ඔහු තම යාච්ඤාව අවසන් කෙළේ ය.
නිකනෝර්ගේ පරාජය සහ මරණය
25 නිකනෝර් ද ඔහුගේ හමුදාව ද හොරණෑ හඬත් රණ ගීවල තාලයත් අනුව ඉදිරියට ගමන් කරන්නට වූ හ. 26 එහෙත් ජූදස් සහ ඔහුගේ හමුදාව සතුරා ඉදිරියට ගියේ යාච්ඤා කරමින් සහ ගීතිකා ගායනා කරමිනි. 27 ඔවුන් දෑතින් සටන් කරමින් ඒ අතර ම සිතින් දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් සිටි හෙයින්, ඔව්හු එම සටනේ දී තිස් පන් දහසක් දෙනා මරාදැමූ හ. මෙලෙස දේව මැදහත්වීම නිසා ඔව්හු අතිශයින් ප්‍රීතියට පැමිණියෝ ය. 28 සටනට පසු විජයග්‍රාහී ව ආපසු යමින් සිටි ඔව්හු සන්නාහ සන්නද්ධ ව මියගොස් සිටි නිකනෝර් හඳුනාගත් හ.
29 ඔව්හු කෑගසමින් ද සෑම අතින් ම කුල්මත් වෙමින් ද තමන්ගේ මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් කතා කරමින්, පරමෝත්තම සමිඳාණන් වහන්සේට ස්තුති කළහ. 30 තමාගේ මුළු ජීවිත කාලය තුළ ම සිය දේශවාසීන්ට කැප වී සිටියා වූ ද තම ජාතිය කෙරෙහි තරුණවියේ පටන් ම ඉමහත් ප්‍රේමයකින් යුක්ත ව සිටියා වූ ද ජූදස් නමැති ඒ මනුෂ්‍යයා නිකනෝර්ගේ හිස ද උරහිස සමඟ අත ද කපාගෙන ජෙරුසලමට ගෙන යාමට අණ කෙළේ ය. 31 ඔහු එහි පැමිණි විට තම දේශවාසීන් කැඳවා, පූජාසනය ඉදිරියේ පූජකයින් රඳවා නගර බලකොටුවේ සිටි සෙනඟටත් එහි එන්න කියා පණිවුඩ යැවී ය. 32 ඉන්පසු ඔහු අතිදුෂ්ට නිකනෝර්ගේ හිස ද සව් බලැති තැනැන් වහන්සේගේ සුවිශුද්ධ ගෘහයට විරුද්ධ ව අහංකාර ලෙස දිගු කළ ඒ දේවාපහාසකරුවාගේ අත ද ඔවුන්ට පෙන්වී ය. 33 ඔහු මෙසේ පෙන්වා, ඒ අභක්තික නිකනෝර්ගේ දිව කපා එයින් ටික ටික පක්ෂීන්ට දීමටත්, ඔහුගේ සිරුරේ ඉතිරි කොටස, ඔහුගේ උමතුකමේ ප්‍රතිවිපාකය වශයෙන්, දේව මාලිගාව ඉදිරියෙහි එල්ලා තැබීමටත් අණ කෙළේ ය. 34 මෙය දුටු සියල්ලෝ ස්වර්ගය දෙසට නෙත් ඔසවා මහිමාන්විත සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, ”තමන් වහන්සේගේ වාසභවනය නොකෙලෙසන පිණිස එය ආරක්ෂා කරගත් තැනැන් වහන්සේට ප්‍රශංසා වේ වා!”යි කී හ.
35 තවද ඔහු සමිඳාණන් වහන්සේගෙන් ලැබෙන ආධාරයේ පැහැදිලි ප්‍රකට සංකේතයක් වශයෙන්, නිකනෝර්ගේ හිස නුවර බලකොටුවෙහි එල්ලාදැමී ය. 36 කවදාවත් එම දිනය අමතක නොකළ යුතු ය කියාත්, මොර්දෙකයිගේ දිනයට පෙර දින වූ, අරමීය භාෂාවෙන් අදාර් ය යි කියනු ලබන, දොළොස් වන මාසයේ දහතුන් වන දින එම උත්සවය පැවැත්විය යුතු ය කියාත් ඒකමතික ඡන්දයෙන් පණත සම්මත විය.
සම්පාදකගේ අවසාන වචන
37 නිකනෝර් පිළිබඳ පුවත මෙතැනින් අවසාන වේ. ඒ කාලයේ පටන් නගරය හෙබ්‍රෙව්වරුන් සතු ව පැවති නිසා මම ද මගේ කාර්යය මෙයින් හමාර කරමි. 38 මටත් අවශ්‍ය වූයේ අනවශ්‍ය දේවල් නැති ව මෙය හොඳින් රචනය කිරීමයි. 39 තනිකර මිදියුස පානය කිරීම හෝ තනිකර වතුර පානය කිරීම හෝ හානිකර නමුත්, වතුර මිශ්‍ර මිදියුස මිහිරි ප්‍රීතිජනක සැපදායක තත්ත්වයක් ඇති කරන්නා සේ මෙම කරුණු ඉදිරිපත් කිරීමේ නිපුණත්වය, කතාව කියවන පාඨකයන් තුළ මනා අවබෝධයක් ඇති කරවයි. මේ කරුණත් සමඟ මම මේ කතාව මෙයින් අවසන් කරමි.