1 මකබි

– 1 වන පරිච්ඡේදය –

මහා ඇලෙක්සන්දර් රජ

1 පිලිප්ගේ පුත්‍රයා වන මසිදොනියේ ඇලෙක්සන්දර් තෙමේ කිට්ටිම් නම් දේශයෙන් පැමිණ මේදවරුන්ගේ සහ පර්සියානුවරුන්ගේ රජ වූ ඩේරියස් පරාජය කොට, ග්‍රීසියේ පළමු වන පාලකයා ලෙස, ඔහු වෙනුවට රජ විය. 2 ඔහු බොහෝ යුද්ධ ව්‍යාපාර අරඹා බොහෝ බලකොටු අයිති කොට ප්‍රාදේශීය රජවරුන් මරාදැමී ය. 3 මෙසේ ඔහු ජාතියක් පාසා ජාතියක් කොල්ලකමින් පොළොවේ කෙළවර දක්වා ඉදිරියට ගියේ ය. 4 ඔහු ඉදිරියෙහි පොළොව නිහඬ වූවා ය. ඔහුගේ බල ලෝභී හදවත අහංකාරයෙන් ඉදිමිණි. ඔහු බොහෝ බලවන්ත හමුදා එක්රැස් කොට පළාත් ද ජාතීන් ද රාජ කුමාරයන් ද පරාජය කෙළේ ය. ඒ සියල්ල ඔහුට කප්පම් ගෙවන යටත් විජිත විය.
5 කලකට පසු තමා රො‍්ගාතුර වී මරණාසන්න වූ බව ඇලෙක්සන්දර් දැන ගත්තේ ය. 6 ඔහු තරුණ වියේ පටන් තමා සමඟ වැඩුණු වංශාධිපතීන් වන ඔහුගේ සගයන් කැඳවා තමා පණපිටින් සිටිය දී ම ඔවුන් අතර තමාගේ රාජධානිය බෙදා දුන්නේ ය.
7 ඇලෙක්සන්දර් රජ මියයන විට අවුරුදු දොළොසක් රජකම් කර තිබිණි. 8 ඔහුගේ සෑම සගයෙක් ම තම තමාගේ ප්‍රදේශයෙහි ස්ථීර ලෙස පදිංචි විය. 9 ඔහුගේ ඇවෑමෙන් පසු, ඒ සියල්ලෝ ද ඔවුන්ගෙන් පසු ව ඔවුන්ගේ උරුමක්කාරයෝ ද බොහෝ අවුරුදු ගණනක් තුළ මිහි මත නපුරු දේ වැඩි කරමින් කිරුළු පැළඳගත්හ.

ග්‍රීක සංස්කෘතිය පැතිරී යාම

10 මොවුන්ගෙන් ඇන්ටිඕකස් රජුගේ පුත් ඇන්ටිඕකස් එපිපානෙස් නමැති පාපිෂ්ට පුතා ඉපිද වැඩිණි. වරක් රො‍්මයේ සිරකරුවෙකු වශයෙන් සිටි ඔහු ග්‍රීක රාජධානියේ එක සිය තිස් හත් වන වර්ෂයේ දී රජ විය. 11 බොහෝ ජනයා මං මුළා කළ දාමරික කල්ලිය ඉශ්රායෙල්හි බිහි වූයේ ඒ කාලයේ දී ය. ඔව්හු කතා කොට, ”එන්න, අප වටේට සිටින විජාතීන්ගෙන් අප වෙන් වූ නිසා අපට බොහෝ දුර්භාග්‍ය පැමිණ තිබෙන බැවින් අපි ඔවුන් සමඟ සම්මුතියකට පැමිණෙමු”යි කී හ. 12 මේ යෝජනාව පිළිගත් එකක් වූ බැවින් 13 ජනයා අතරෙන් ගණනාවක් රජු වෙත උනන්දුවෙන් ගියහ. රජ ද විජාතීන්ගේ වත්පිළිවෙත් පැවැත්වීමට ඔවුන්ට අණ කළහ. 14 මෙලෙස ඔව්හු විජාතීන්ට තිබෙන්නාක් මෙන් ජෙරුසලමෙහි ක්‍රීඩා ශාලාවක් ගොඩනැඟුවහු ය. ඔව්හු අභක්තියට කැමැත්තෙන් සිටින වහලුන් මෙන් විජාතික පාලනයට යටත් වී 15 චර්මඡේදන පිළිවෙත් සඟවාගත්හ, ශුද්ධ ගිවිසුම අත්හළහ.

පීඩන සමයක්

16 ඇන්ටිඕකස් රජ තෙම තම ආණ්ඩු බලය තහවුරු කරගත් බව තේරුම් ගත් විට, ඔහු මිසරයේ ද රජ වී, රාජධානි දෙකේ ම පාලකයා වීමට අධිෂ්ඨාන කරගත්තේ ය. 17 යුද්ධ රථ ද ඇතුන් ද මහා නාවුක බල ඇණියක් ද ගෙන යෝධ බලය මෙහෙයවා ඔහු මිසර දේශය ආක්‍රමණය කෙළේ ය. 18 මිසරයේ රජ වූ ටොලමි සමඟ ඔහු සටන් කළ විට ටොලමි රජ තෙමේ ආපසු හැරී විපතට පත් බොහෝ අය හැරදමා, ඔහු ඉදිරියෙන් පලා ගියේ ය. 19 ඔහු මිසර දේශයේ බලකොටු සහිත නගර අල්ලාගන්නා ලදී. ඇන්ටිඕකස් රජ දේශය කොල්ල කෑවේ ය. 20 මිසරය අල්ලාගත් පසු එක සිය හතළිස් තුන් වන අවුරුද්දේ දී ඇන්ටිඕකස් ආපසු හැරී යෝධ බලය මෙහෙයවා ඉශ්රායෙල් දේශයට හා ජෙරුසලමේ නගරයට විරුද්ධ ව ගමන් කෙළේ ය. 21 අහංකාරකමින් ඔහු ශුද්ධස්ථානයට කඩා වැදී රන් පූජාසනය ද පහන සඳහා වූ පහන් රුක ද එහි සියලු භාණ්ඩ ද 22 පිදුම් පූප තබන මේසය ද පානීය පූජා පුදන බඳුන් ද කුසලාන් ද රන් ධූම පාත්‍ර ද තිරය ද කිරුළු ද ඉවත් කෙළේ ය. දේව මාළිගාවේ ඉදිරිපිට වූ රන් සැරසිලි සියල්ල ම ඔහු පැහැර ගත්තේ ය. 23 ඔහු රන් රිදී හා වටිනා බඳුන් ද රැගෙන යන්නට ගියේ ය. තවද ඔහු රහසිගත නිධාන ද සොයාගෙන ඒවාත් පැහැරගත්තේ ය. 24 ඔහු මේ සියල්ල ම රැගෙන එම ස්ථානය වධක ස්ථානයක් කොට හැරදමා මහා අහංකාර බස් දොඩමින් සිය රටට ආපසු ගියේ ය.
25 මුළු ඉශ්රායෙල් දේශය මළ ගෙයක් විය;
26 පාලකයෝ ද, ප්‍රජා මූලිකයෝ ද සුසුම්ලෑ හ;
තරුණ තරුණියෝ දුබල වූ හ;
කාන්තාවන්ගේ රූ සපුව මිලාන විය.
27 මනාලයන් සියල්ලෝ ශෝක ගීත ගැයූ හ;
මනාලිය සිරි යහන් ගැබ තුළ කඳුළු සැළුවා ය.
28 දේශය පවා එහි වැසියන් නිසා කම්පා විය;
ජාකොබ්ගේ මුළු පෙළපත ම ලජ්ජාවෙන් මිරිකී ගියේ ය.
29 කාලය ගෙවී ගියේ ය. දෑවුරුද්දකට පසු රජ තෙම ජුදා රටේ නගර ඔස්සේ මිසියන්වරුන්ගේ සෙන්පති යැවී ය. 30 ඔහු ප්‍රබල බල ඇණියක් සමඟ ජෙරුසලමට අවුත්, බැලූ බැල්මට සාමකාමී සේ පෙනෙන වචනවලින් එහි වැසියන් අමතා ඔවුන්ගේ විශ්වාසය දිනාගත්තේ ය. එවිට ඔහු නගරයට මාරක පහරක් දී ඉශ්රායෙල් ජනයාගෙන් බොහෝ දෙනෙකු මරාදමමින් හදිසියෙන් නගරය ආක්‍රමණය කෙළේ ය. 31 ඔහු නගරය කොල්ලකා එය ගිනිබත් කෙළේ ය. එහි ගෙවල් ද නගරය වටේට වූ ප්‍රාකාරය ද කඩා බිඳ දැමී ය. 32 ස්ත්‍රීන් සහ දරුවන් සිර භාරයට ගෙන ගවමහිෂයන් බලහත්කාරයෙන් අයිති කරගත්තේ ය. 33 ඉන්පසු ඔව්හු දාවිත්ගේ නුවර මහා සවිබල පවුරකින් ද සවිබල අටලුවලින් ද ශක්තිමත් කොට එය ඔවුන්ගේ බලකොටුව කරගත්හ. 34 ඉන්පසු ඔව්හු ද්‍රෝ‍්හීන් වන පවිටු මිනිසුන්ගෙන් සෑදුණු හමුදාවක් එහි පිහිටෙව්වෝ ය. 35 ඔව්හු එහි යුද්ධායුධ හා ආහාරපාන රැස් කොට, ජෙරුසලමෙන් රැස් කරගත් කොල්ලය ද එහි තැන්පත් කොට එහි ආරක්ෂා සංවිධාන තර කරගත්හ. සියල්ලන්ට ම ඔව්හු මහා කරදරයක් වූ හ.
36 එය ශුද්ධස්ථානයට රහසින් පහර දෙන තැනක් විය;
නිතර ම ඉශ්රායෙල්වරුන්ගේ නපුරු එදිරිකාරයෙක් එහි විය.
37 ශුද්ධස්ථානය වටේට ම ඔව්හු නිදොස් ලේ වැගිරවූ හ;
ශුද්ධස්ථානය ද කෙලෙසූ හ.
38 ඔවුන් නිසා ජෙරුසලමෙහි පුරවැසියෝ පලා ගියහ.
ඒ නගරය විදේශිකයන්ට වාසස්ථානයක් විය.
ඇගේ ම දරු පරපුරෙන් ඇය වෙන් වූයෙන් ඇයගේ දරුවෝ ඇය අත්හළහ.
39 ඇගේ ශුද්ධස්ථානය පාළුකරයක් මෙන් නිසරු විය.
ඇගේ මංගල්‍යය විලාපයට හැරිණි.
ඇගේ සබත් දවස් සමච්චලයට ලක් විය.
ඇගේ ගෞරවය අගෞරවයට හැරිණි.
40 දැන් ඇගේ අවමානය පළමු මහිමයට කැපෙන සුලු විය.
ඇගේ උදාර බව දුකට හැරිණි.
41 එකිනෙකා තම තමාගේ වත්පිළිවෙත් හැරදමා සියල්ලන් එක ම ජනතාවක් වන පිණිස රජ තෙම තමාගේ මුළු රාජධානියට ප්‍රකාශනයක් නිකුත් කෙළේ ය. 42 මිසදිටු සියල්ලෝ ම රාජකීය ආඥාවට එකඟ වූ හ. 43 ඉශ්රායෙල්වරු බොහෝ දෙනෙක් ද දේව පිළිමවලට පඬුරු පුදා සබත කෙලෙසා රජුගේ ආගම පිළිගැනීමට තෝරාගත්හ. 44 රජ තෙම තම දූතයන් මඟින් ජෙරුසලමට හා ජුදා දේශයේ නගරවලට පණිවුඩ යවමින්, සෙනඟ ව්‍යවස්ථාව අමතක කොට එහි පැවතීම අත්හැරදමන පිණිස රටට අයත් නැති වත්පිළිවෙත්වලට හැඩගැස්සීමට ද 45 ශුද්ධස්ථානයෙන් දවන යාග පූජා, පඬුරු සහ පානීය පූජා බැහැර කිරීමට ද සබත් දවස් සහ මංගල දවස් කෙලෙසීමට ද 46 ශුද්ධස්ථානය සහ ශුද්ධ පූජකවරුන් දූෂ්‍ය කිරීමට ද දේව පිළිම සඳහා 47 දේවාල මඩු කූඩාරම් සහ පූජාසන ගොඩනැඟීමට ද ඌරන් සහ වෙනත් අපවිත්‍ර සතුන් පූජා කිරීමට ද 48 තම පුත්‍රයන්ට චර්මඡේදන පිළිවෙත නොකිරීමට ද 49 නා නා විධ අපවිත්‍ර සහ පිළිකුල් දේවලින් දූෂිත වීමට ද උපදෙස් දුන්නේ ය. 50 යමෙක් රාජ ආඥාවට කීකරු නොවන්නේ ද ඔහු මරනු ලැබිය යුතු විය. 51 තම රාජධානියේ හැම කොටසකට ම මේ පිළිවෙළට ලියා යවමින්, රජ තෙමේ මුළු ජනතාව සඳහා ම මුළාදෑනීන් පත් කොට, ජුදා දේශයේ සියලු ම නගර, එකක් පාසා එකක්, පුද පූජා ඔප්පු කළ යුතු ය කියා අණ කෙළේ ය. 52 ව්‍යවස්ථාව අත්හැරිය බොහෝ සෙනඟ ඔවුන්ට එකතු වී 53 අභය භූමිවල සැඟවීමට ඉශ්රායෙල්වරුන්ට බල කරමින් රටෙහි නපුරු දේ කළහ. 54 එකසිය හතළිස් පස් වන අවුරුද්දේ කිස්ලෙව් මාසයේ පසළොස් වන දින රජ තෙම පූජාසනයට ඉහළින් ”බිහිසුණු දූෂිතය” ඉදි කෙළේ ය. 55 තවද, ජුදා දේශය හාත්පස නගරවල ද පූජාසන ඉදි කරන ලදී. ගෙවල දොරකඩ සහ වීථිවල සුවඳ දුම් ඔප්පු කරන ලදී. 56 ලබාගත හැකි වූ හැම ව්‍යවස්ථා පොතක් ම ඉරන ලදුව පුළුස්සාදමන ලදී. 57 ගිවිසුම් පිටපතක් සතු ව තිබූ හො‍් ව්‍යවස්ථාව පිළිපදින හො‍් යමෙකු සොයාගත් විට රාජාඥාව පිට ඔහුට මරණය තීන්දු විය. 58 ඔවුන්ට බලය හිමි වූ බැවින් ඉශ්රායෙල් දේශයේ නගරවල විසූ සැම වරදකරුවෙකුට ම විරුද්ධ ව මාස්පතා ඔව්හු නඩු ගත්හ. 59 මාසයේ විසි පස් වන දින දවන යාග පූජාසනයට ඉහළින් ඉදි කළ පූජාසනය මත පූජා ඔප්පු කරන ලදී. 60 රාජ නීතිය අනුව, තමන්ගේ දරුවන්ට චර්මඡේදන පිළිවෙත ඉටු කළ ස්ත්‍රීන් අසු වූ විට 61 ඔවුන්ගේ ගෙල වට ඒ සිඟිත්තන් එල්ලා ඔව්හු මරණයට පත් කරන ලදහ. තවද ඔවුන් සමඟ ඔවුන්ගේ ගෙවැසියෝ ද චර්මඡේදන පිළිවෙත ඉටු කළ අය ද මරුමුවට පත් කරන ලදහ.
62 එහෙත්, ඉශ්රායෙල් ජනයා අතර නොසැලී සිටිමින්, අපවිත්‍ර දේ කෑම ප්‍රතික්ෂේප කිරීමට ධෛර්යය තිබුණු බොහෝ දෙනෙක් ද වූ හ. 63 එවැනි ආහාරවලින් දූෂිත වීමටත්, ශුද්ධ ගිවිසුම කෙලෙසීමටත් වඩා ඔවුන් මරණය හොඳ යයි තෝරාගත් බැවින්, ඔව්හු මරනු ලැබූ හ. 64 ඉශ්රායෙල්වරුන් හට උදාවූයේ බියකරු උදහසකි!

– 2 වන පරිච්ඡේදය –

මතතියස් සහ පුත්‍රයෝ

1 ඒ කාලයේ දී ජොයරිබ්ගේ පෙළපතින් පැමිණි පූජකවරයෙකු වූ සිමියොන්ගේ පුත් ජොහන්ගේ පුත් මතතියස් ජෙරුසලම හැරදමා මොදෙයින් නම් නගරයේ පදිංචි විය. 2 ඔහුට ගද්දී යන නමින් හැඳින් වූ ජොහන් ද 3 තස්සී කියන ලද සීමොන් ද 4 මකබියස් කියන ලද ජූදස් ද 5 අවරන් කියන ලද එලෙයාසර් ද අප්පුස් කියන ලද ජොනතන් ද යන පුත්‍රයෝ පස් දෙනෙක් සිටියහ. 6 ජුදාහි සහ ජෙරුසලමෙහි කරන ලද දේවාපහාසයන් ඔහු දුටු විට මෙසේ කී ය: 7 ”අහො‍්! මාගේ සෙනඟගේ පරාජය ද ශුද්ධ නගරයේ පරාජය ද දැකීමටත්, ඇය සතුරන්ට ද ශුද්ධස්ථානය විදේශිකයන්ගේ බලයට ද පාවා දෙනු ලබන විට එය දැකීමටත් ඉපදුණු මම කොතරම් කාලකණ්ණියෙක් ද?‍
8 ඇගේ මැදුර කිත් යසස් නැති මිනිසෙකු මෙන් වී ඇත.
9 ඇයට මහිමය ගෙනා බඳුන් කොල්ලය මෙන් පැහැරගෙන ගොස් ඇත. ඇගේ සිඟිත්තන් වීථිවල මරාදමා ඇත. තරුණයන් සතුරන්ගේ කඩු මුවහතින් නැසීගොස් ඇත.
10 ඇගේ රාජකීය වරප්‍රසාදවලින් කොටසකට උරුමය නොලත් ඇගේ කොල්ලයෙන් කොටසක් නොගත් ජාතියක් සිටී ද?
11 ඇගේ අබරණ සියල්ල ම ඇගෙන් පැහැරගෙන ඇත. ඇගේ පළමු නිදහස වහල්කම වී ඇත.
12 මිසදිටුවන් විසින් කෙලෙසන ලද අපේ ශුද්ධස්ථානය අපේ සුන්දරතාව අපේ මහිමතාව දැන් පාළු වී ඇති අයුරු බලන්න.
13 කුමක් පිණිස අපි ජීවත්වෙමු ද?”
14 මතතියස් සහ ඔහුගේ පුත්‍රයෝ දුකින් තම වස්ත්‍ර ඉරාගෙන ගෝනි රෙදි ලා ගෙන මහා විලාපයක් පැවැත්වූ හ.

නීති විරො‍්ධී පූජාවන්ට පටහැනි වීම

15 ආගම ප්‍රතික්ෂේප කරවීමේ නීතිය ක්‍රියාත්මක කළ රාජකීය නිලධාරීහු මොදෙයින් නගරයේ වැසියන් ලවා පූජා ඔප්පු කරවනු පිණිස එහි පැමිණියහ. 16 බොහෝ ඉශ්රායෙල්වරුන් ඔවුන් වටේට රැස් වූ නමුත්, මතතියස් ද ඔහුගේ පුත්‍රයෝ ද ඈත් වී සිටියහ. 17 එවිට රාජකීය නිලධාරීහු මතතියස් අමතමින්, ”ඔබ සම්භාවනීය නායකයෙකි, මේ නගරයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඔබට ආධාර දීමට පුත්‍රයෝ සහ සහෝදරයෝ සිටිත්. 18 සියලු ජාතීන් ද ජුදා දේශයේ නායකයන් ද ජෙරුසලමෙහි ඉතිරි ව සිටින අය ද කර තිබෙන පරිදි, ඉදිරියට පා තබා රාජ ආඥාවට එකඟ වීමට පළමුවැනියා වන්න. එවිට ඔබ ද ඔබේ පුත්‍රයන් ද රජතුමාගේ මිතුරන් අතරෙහි ගණන් ගැනෙනු ඇත. ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් රන් රිදී සහ බොහෝ තෑගිබෝග ලැබෙනු ඇතැ”යි කීවෝ ය. 19 මතතියස් ද හඬ නඟා, එකටෙක කියමින්, ”රජතුමාගේ ආධිපත්‍යයේ වසන සැම ජාතියක් ම ඔහුගේ ආඥාවලට එකඟ වන පිණිස තම තමන්ගේ ආදි පියවරුන්ගේ ආගම ප්‍රතික්ෂේප කර එතුමන් හට කීකරු වුවත් 20 මාගේ පුත්‍රයෝ ද මාගේ සහෝදරයෝ ද මම ද අපේ ආදි පියවරුන්ගේ ගිවිසුම් අනුගමනය කරන්නෙමු. 21 අපේ ව්‍යවස්ථාවෙන් හා අණපණත්වලින් ඉවතට නොහැරෙන්නෙමු. 22 අපි රජතුමාගේ නීති අනුගමනය නොකරන්නෙමු. කෙලෙස වත් අපේ ආගමධර්මයෙන් නම් අපි පිට නොයන්නෙමු”යි කී ය. 23 ඔහු කතා කොට අවසාන වූ විට, සියල්ලන් බලා සිටිය දී ම රාජ ආඥාව අනුව මොදෙයින්හි පූජාසනය පිට පුද පූජාවන් ඔප්පු කිරීම පිණිස ජුදා ජාතිකයෙක් ඉදිරියට පැමිණියේ ය. 24 මතතියස් මෙය දුටු විට ඔහු උද්‍යෝගයෙන් ඇවිළිණි; ඇට මිඳුළු දක්වා ඔහු සලිතවිණි. ඔහු තමාගේ සාධාරණ කෝපයට ඉඩ දෙමින් ඒ මිනිසා පිට කඩා පැන පූජාසනය මත ඔහු මරාදැමී ය; 25 එවිට ම ඔහුට පූජාව ඔප්පු කිරීමට බල කරමින් එහි සිටි රාජකීය නිලධාරියාත් මරාදමා පූජාසනය ද කඩා බිඳදැමී ය. 26 ව්‍යවස්ථාව පිළිබඳ උද්‍යෝගයෙන් සලුගේ පුත්, සිම්රිට විරුද්ධ ව පිනේහාස් කළාක් මෙන් ඔහු ක්‍රියා කෙළේ ය. 27 ඉන්පසු මතතියස් ගමන් කරමින්, මහහඬින් හඬ නඟා, ”ව්‍යවස්ථාව සඳහා උද්‍යෝගය ඇති, ගිවිසුමට පක්ෂපාත වන සෑම කෙනෙක් ම පිටතට අවුත් මා පසුපස පැමිණෙත් වා”යි කෑගැසී ය. 28 මෙසේ කියා, තමාගේ ධන සම්පත් සියල්ල ම නගරයේ අත්හැරදමා ඔහු තම පුත්‍රයන් සමඟ කඳුකරයට පලා ගියේ ය.

සබත් දින වූ මහා අපරාධ

29 එවිට සුචරිතය සහ සාධාරණත්වය ගැන සැලකිලිමත් වූ බොහෝ දෙනෙක් 30 තමන් සමඟ තමන්ගේ පුත්‍රයන් ද භාර්යාවන් ද ගවමහිෂයන් ද රැගෙන පාළුකරයට බැස ගොස් එහි නැවතී සිටියහ. මන්ද, ඔවුන්ගේ නපුරුකම් මේ අයට ඉවසාගත නොහැකි විය. 31 රාජාඥාව ප්‍රතික්ෂේප කළ මිනිසුන් පාළුකරයේ සැඟවෙන ස්ථානවලට බැසගොස් සිටිති යි කියා දාවිත්ගේ නුවර වූ ජෙරුසලමෙහි බලකොටුවේ සිටි භටපිරිසට ද රාජ පුරුෂයන්ට ද දන්වන ලදී. 32 එවිට බලසම්පන්න සේනාංකයක් ඔවුන් ලුහුබැඳ ගොස්, ඔවුන් හමු වූ විට ඔවුන්ට විරුද්ධ ව සටනට පෙළගැසී සබත් දවසේ දී ඔවුන්ට පහර දීමට සූදානම් වූ හ. 33 එහෙත්, මොවුහු ඉශ්රායෙල් සෙනඟට අභියෝගයක් කරමින්: ”දැන් ඉතින් ඇති. පිටතට අවුත් රාජාඥාවට කීකරු වන්න. එවිට නුඹලාගේ ජීවිත ගළවනු ලබනවා ඇතැ”යි කී හ. 34 එවිට ඔව්හු පිළිතුරු දෙමින්, ”අපි පිටතට නොඑන්නෙමු. රාජාඥාවට කීකරු වන පිණිස අපි සබත් දවස නොකෙලෙසන්නෙමු”යි කීවෝ ය. 35 සේනාංකය ද එක් වරට ම සටන් කරන්නට පටන්ගත්තේ ය. 36 එහෙත් ඉශ්රායෙල්වරු විරො‍්ධයක් නොදැක්වූ හ. ගලක් පවා වීසි නොකරන ලදි. ඔවුන් සැඟවී සිටි ස්ථාන හරස් කොට ආරක්ෂා කිරීමක් ද නො වී ය. 37 ඔවුන් කීවේ, ”අපි නිදොස් ව මැරෙන්නෙමු. නුඹලා යුක්තිය ගැන යන්තම් හැඟීමක් වත් නැති ව අප මරන බවට අහසත් පොළොවත් සාක්ෂි දේ වා” යන්න පමණ ය. 38 ඔව්හු සබත් දින දී ම ඔවුන්ට පහර දුන්හ. මෙසේ ඔව්හු ඉශ්රායෙල්වරුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද ගවමහිෂයන් ද ඇතුළු එක් දහස් දෙනෙකු ඝාතනය කළහ.

මතතියස් සහ ඔහුගේ සහකාරයන්ගේ ක්‍රියා

39 මතතියස් හා ඔහුගේ මිත්‍රයන්ට මෙපුවත් ලැබුණු විට, ඔව්හු මියගිය අය ගැන ඉතා තදින් හඬා වැලපෙමින්, 40 එකිනෙකාට කතා කොට, ”අපේ සහෝදරයන් කළාක් මෙන් අපත් ක්‍රියා කරමින්, අපේ ජීවිත හා ආයතන සඳහා විජාතීන්ට විරුද්ධ ව සටන් කරන්නට අප නොගියහොත් ඔවුන් ඉතා ඉක්මනින් මිහි පිටින් අප වනසාලනු ඇතැ”යි කී හ. 41 ඉන්පසු ඔව්හු තමන් අතර කතා කරගෙන, ”සබත් දවසේ දී යමෙකු අපට පහර දුන්නොත්, ඔහු කවරෙක් හො‍් වේවා අපි ඔහුට විරුද්ධ ව සටන් කරන්නෙමු. සැඟවුණු ස්ථානවල සිටි අපේ සහෝදරයන්ට වූවාක් මෙන් අප සියල්ලන් ම මරණයට පත් නොවිය යුතු ය” යන තීරණයට බැසගත්හ.
42 ඉශ්රායෙල්වරුන් අතර සිටි, සටනට ඉතා දක්ෂ, හසිදියන්වරු යන ජුදා ජාතික පක්ෂයේ පිරිසක් ද විගස ඔවුන්ට එකතු වූ හ. ඒ පක්ෂයේ සෑම කෙනෙක් ම ව්‍යවස්ථාවට පක්ෂපාත වූ ස්වේච්ඡා සේවකයෙක් විය. 43 පීඩනයෙන් මිදී නිදහස සොයා පැමිණි සියල්ලෝ ද ඔවුන්ට සහාය දෙමින් ඔවුන්ට එකතු වූ හ. 44 ඔවුන් සියල්ලෝ ම බළ ඇණියක් මෙන් සංවිධාන වී අදමිටුවන්ට කෝපයෙන් පහර දුන්හ; ආගමට ද්‍රෝහි වූවන් කෙරෙහි කෝපාවිෂ්ට වී ඔවුන්ටත් පහර දුන්හ. ඔවුන්ගෙන් ගැළවී ගිය අය රැකවරණය සඳහා විජාතිකයින් වෙත පලා ගියහ. 45 මතතියස් සහ ඔහුගේ මිත්‍රයෝ චාරිකාවක යෙදී මිසදිටු පූජාසන පෙරළාදැමූ හ. 46 ඉශ්රායෙල් පළාත්වල සිටි චර්මඡේදනය නොලත් සියලු පිරිමි ළමයින් ඔව්හු බලහත්කාරයෙන් චර්මඡේදනය කළහ. 47 ඔව්හු බලකාමීන් ලුහුබැඳ ගියහ. මෙසේ ඔවුන්ගේ ව්‍යාපාරය ඉතා හොඳින් සාර්ථක විය. 48 ඔව්හු විජාතිකයන්ගේ සහ රජවරුන්ගේ පාලන බලයෙන් ව්‍යවස්ථාව නිදහස් කරගෙන පවිටුන්ගේ බලය බිඳදැමූ හ.

මතතියස්ගේ අන්තිම කැමැත්ත සහ මරණය

49 මතතියස්ගේ අවසාන කාලය ආසන්න වූ විට ඔහු සිය පුත්‍රයන් කැඳවා මෙසේ කී ය: ”අහංකාරකම් සහ මැරවරකම් දැන් දැන් වැඩි වේගෙන යයි. මෙය වනාහි කරදරකාරී දැඩි වෛරයේ කාලයකි. 50 මාගේ දරුවෙනි, ව්‍යවස්ථාව සඳහා දැඩි ඇල්මක් ඇති කර ගැනීමටත්, අපේ පියවරුන්ගේ ගිවිසුම සඳහා ඔබේ ජීවිත දෙන්නටත්, කාලය මෙය යි.
51 ”අපේ පියවරුන් විසින්, ඔවුන්ගෙන් සෑම කෙනෙකු විසින් ම තම පරම්පරාවේ දී කරන ලද වික්‍රම ක්‍රියා සිහි කරන්න. එවිට ඔබ මහා ගෞරවයත්, සදාතන කීර්තියත් අත්කරගන්නහු ය. 52 ආබ්‍රහම් පරීක්ෂා කරනු ලැබ, ඔහු විශ්වාසවන්ත කෙනෙකු බව ඔප්පු වූ පසු, ඒ ක්‍රියාව ඔහු ධර්මිෂ්ඨ කෙනෙකු කළ හැටියට ගණන් ගනු ලැබුවා නොවේ ද? 53 ජෝසෙප් තමාගේ හිරිහැරයේ දී ව්‍යවස්ථාව පිළිපැද මිසර දේශයේ අධිපතියා වී ය. 54 අපේ පියා වූ පිනේහාස් ඔහුගේ උණුසුම් ලැදියාව නිසා සදාතන පූජකවරයේ ගිවිසුමක් ලැබී ය. 55 ජො‍්ෂුවා තම කාර්යය ඉටු කිරීම නිසා ඉශ්රායෙල්වරුන්ගේ වීර පුරුෂයෙක් වී ය.
56 ”කාලෙබ් රැස් වූ ජනයා ඉදිරියෙහි දුන් සාක්ෂිය නිසා ඔහු දේශයේ කොටසක් උරුමයක් වශයෙන් ලැබී ය. 57 දාවිත් තම ත්‍යාගශීලී හෘදය නිසා සදාතන, රාජ්‍යයක සිහසුනක් උරුමයක් වශයෙන් ලැබී ය. 58 එලියා ව්‍යවස්ථාව කෙරෙහි දැක්වූ දැවෙන ඇල්ම නිසා ස්වර්ගයට ම රැගෙන යන ලදී. 59 අනනියා, අසරියා සහ මිශායෙල් යන අය ඔවුන්ගේ ස්ථිර ඇදහිල්ල නිසා ගිනි ජාලාවෙන් මුදාගනු ලැබූ හ. 60 දානියෙල් තමාගේ සෘජු අරමුණ නිසා සිංහයාගේ මුඛයෙන් බේරාගන්නා ලදී.
61 ”එබැවින්, පරම්පරාවෙන් පරම්පරාවට දෙවියන් වහන්සේ තුළ බලාපොරොත්තුව තබන අය නොපැකිළෙන සැටි කල්පනා කර බලන්න. 62 පව්කාරයාගේ තර්ජනවලට බිය නොවන්න. ඔහුගේ අහංකාර බාහිර ආටෝපය කසළ ගොඩට ද පණුවන්ට ද ගොදුරු වනු ඇත. 63 ඔහු අද උත්කෘෂ්ට ය, හෙට කොහේ දැ යි සොයනු නැත. ඔහු තනනු ලැබූ දූවිල්ලට ම ආපසු ගොස් ඇත. ඔහුගේ උපා ප්‍රයෝග ද නිෂ්ඵල වී ඇත. 64 මාගේ දරුවෙනි, මිනිසෙකු මෙන් විකුම්පාමින් ක්‍රියා කරන්න. ව්‍යවස්ථාව ගැන ධෛර්යවත් ව සිටින්න. මන්ද, එය ඔබට මහිමය ගෙනෙනු ඇත.
65-66 ”මෙන්න, ඔබේ සහෝදරයා වන සීමොන් මෙහි සිටියි. ඔහු ඔවා බස් දීමට සමතෙකු බව මම දනිමි. ඔබට දිවි ඇතිතාක් ඔහුට සවන් දෙන්න. ඔහු ඔබේ පියාගේ ස්ථානය ගනී වා! ජූදස් මකබියස් යොවුන් වියේ සිට ශක්තිසම්පන්න එඩිතර කෙනෙකි. ඔහු ඔබේ සෙන්පති වී විජාතිකයින්ට විරුද්ධ ව ගෙන යන සටන මෙහෙය විය යුතු යි. 67 ඔබේ සෙනඟට කළ වරදට දඬුවම් දීම සඳහා ඔබ අතරෙන් ඉතිරි අය ව්‍යවස්ථාව පිළිපදින අනිකුත් සියල්ලන් බළ ඇණිවල ලියාපදිංචි කළ යුතු ය. 68 විජාතිකයන්ට හරි හැටියට හොඳින් දඬුවම් දෙන්න. ව්‍යවස්ථාවේ නීති නියෝග හොඳින් පිළිපදින්න” 69 මතතියස් මෙසේ කී පසු සෙනඟට ආශීර්වාද කෙළේ ය; ඔහු ද මරණයට පත් විය. 70 ඔහු අවුරුදු එකසිය හතළිස් පහක් ආයු වළඳා මියගිය විට මොදෙයින් නම් නගරයේ තම පවුලේ සුසාන භූමියේ භූමදාන කරන ලදී. ඉශ්රායෙල්වරු සියල්ලෝ ම ඔහු ගැන තදින් වැලපුණාහ.

– 3 වන පරිච්ඡේදය –

ජූදස් මකබියස් ගැන වර්ණනාව

1 ඉන්පසු මතතියස්ගේ පුත් මකබියස් නම් ලත් ජූදස්, තම පියාගේ විධාන බලය තම අතට ගත්තේ ය. 2 ඔහුගේ සියලු සහෝදරයෝ ද ඔහුගේ පියාට එකතු වූ සියල්ලෝ ද ඔහුට ආධාර කළහ. ඔව්හු ද මහා අධිෂ්ඨානයකින් ඉශ්රායෙල්වරුන් උදෙසා සටන් කළහ.
3 ජූදස් සිය සෙනඟගේ කීර්තිය දස දිග පතුරුවා හැරියේ ය.
ඔහු යෝධයෙකු මෙන් ළය වැස්ම පැළඳගති.
යුද ඇඳුමෙන් සැරසී සිටගති.
සටනක් පාසා සටනක ඔහු නියුක්ත විය.
සිය කඩුවෙන් සේනාංක බලාගති.
4 සිය වීර ක්‍රියාවලින් ඔහු සිංහයෙකු මෙන් විය.
ගොදුරට ගෙරවුම් දෙන සිංහ පොව්වෙකු මෙන් විය.
5 ඔහු ද්‍රෝ‍්හීන් ලුහුබැඳ ගොස් ඔවුන් අල්ලාගති.
සිය සෙනඟට හිරිහැර කළවුන් ඔහු ගින්නට දැම්මේ ය.
6 ඔහුට ඇති බියෙන් ද්‍රෝ‍්හීහු අධෛර්යයට පත් වූ හ.
නපුරුකම් කරන සියල්ලෝ තදින් වියවුල් වූ හ.
ඔහුගේ නායකත්වය යටතේ විමුක්තිය ඉදිරියට ගියේ ය.
7 ඔහු බොහෝ භූපතීන් කුපිත කෙළේ ය.
සිය වීර ක්‍රියාවන් මඟින් ජාකොබ් වංශය ප්‍රමුදිත කෙළේ ය.
ඔහුගේ නාමයට සදහට ම ආසිරි ලැබේ වා!
8 ජුදාහි නගර මැදින් ඔහු ගමන් කෙළේ ය.
ඒවායේ සිටි අභක්තිකයන් ඔහු නසා වනසාදැමී ය.
මෙලෙස ඉශ්රායෙල්වරුන්ගෙන් ඔහු දේව උදහස අහක් කෙළේ ය.
9 පොළොව දසත ඔහු නම රැව් පිළිරැව් දිනි.
විනාශයට ළං වී සිටියවුන් ඔහු යළි එක්රැස් කරගති.

ජූදස්ගේ පළමු ජයග්‍රහණ

10 ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස අපොල්ලෝනියස් නම් සෙන්පතියා විජාතිකයන් ද සමාරිය දේශයෙන් විශාල හමුදාවක් ද රැස් කෙළේ ය. 11 ජූදස් මෙපවත් ඇසූ විට, ඔහු අපොල්ලෝනියස් හමුවීමට ඉදිරියට ගොස් සේනාව පලවාහැර ඔහු මරාදැමී ය. බොහෝ දෙනෙක් තුවාළ ලැබූ හ; පණ බේරාගත් අය පලා ගියහ. 12 ඔවුන්ගේ කොල්ලය පැහැරගන්නා ලදුව අපොල්ලෝනියස්ගේ කඩුව ජූදස් විසින් ගන්නා ලදී. ජූදස් සිය දිවි ඇති තාක් එය සටනට භාවිත කෙළේ ය. 13 දේව භක්තිකයන්ගෙන් සහ දක්ෂ සෙබළුන්ගෙන් යුත් මිත්‍ර බළ ඇණියක් ජූදස් විසින් එක්රැස් කරවනු ලැබූ බව 14 සිරියන් හමුදාවේ සෙන්පති සෙරොන් ඇසූ විට, ඔහු කතා කොට, ”රජතුමාගේ ආඥාව හෙළා දකින ජූදස්ගේ ආධාර කරුවන්ට සහ ජූදස්ට විරුද්ධ ව මම සටනට ගියොත් මට ම කීර්තිමත් නාමයක් ද රාජ්‍යය තුළ ගරුසම්මාන ද ලබාගන්නෙමි”යි කීවේ ය. 15 එබැවින් ඔහු ඉශ්රායෙල්වරුන්ගෙන් පළිගැනීම පිණිස තමාට ආධාරය සඳහා අභක්තිකයන්ගෙන් සමන්විත විශාල හමුදාවක් රැස් කොට තවත් යුද්ධ ව්‍යාපාරයක් ඇරඹී ය. 16 ඔහු බෙත්-හොරොන් නම් කඳු බෑවුමට ළඟා වනු සමඟ ම ජූදස් අතළොස්සක් පමණ මිනිසුන් රැගෙන ගොස් ඔහුට විරුද්ධ ව සටන් කෙළේ ය. 17 එහෙත්, ඒ මහා බළ ඇණිය තමන් ඉදිරියට එනු දුටු වහා ම ජූදස්ගේ සෙනඟ ජූදස්ට කතා කොට, ”ටික දෙනෙකු වන අපි මේ සා විශාල සෙනඟකට විරුද්ධ ව කෙසේ සටන් කරමු ද? අද අපට කෑමටත් කිසිවක් නොලැබුණු බැවින් අපි අධික වෙහෙසට පත් වී සිටිමු”යි කී හ. 18 එහෙත්, ජූදස් පිළිතුරු දෙමින්, ”ටික දෙනකුන් විසින් විශාල සේනාවක් පලවා හැරීම පහසු දෙයකි. ඇත්තෙන් ම ස්වර්ගය ඉදිරියෙහි ගැළවී යාම බොහෝ දෙනෙකු මඟින් වුවත් ස්වල්ප දෙනෙකු මඟින් වුවත් එය එක ම දෙයකි. 19 ඒ මන්ද, යුද්ධයක ජය රඳා පවතින්නේ සටන් කරන බළ ඇණියේ ලොකු කුඩා කම මත නොවේ; ශක්තිය එන්නේ ස්වර්ගයෙන් ය. 20 ඔව්හු අපට විරුද්ධ ව අහංකාරයෙන් හිස උදුම්මාගෙන, ප්‍රචණ්ඩ ලෙස, අපත් අපේ අඹුදරුවනුත් නසා වනසා අපේ දේ කොල්ලකෑමට එන්නෝ ය. 21 එහෙත් අපි අපේ ජීවිතය සහ ව්‍යවස්ථාවලිය උදෙසා සටන් කරමු. 22 එතුමාණෝ අප බලාගෙන සිටිය දී ම ඔවුන් පොඩි කරදමන සේක. එබැවින් ඔවුන්ට බිය නොවන්නැ”යි කීවේ ය. 23 ඔහු මෙසේ කතා කර අවසාන වූ පසු, සෙරොන්ට සහ ඔහුගේ සේනාවට විරුද්ධ ව හදිසි ප්‍රහාරයක් අරඹා ඔවුන් පරාජය කෙළේ ය. 24 බෙත්-හොරොන්හි සිට මිටියාවත දක්වා ජූදස් ඔහු ලුහුබැඳ ගියේ ය. ඔවුන්ගේ මිනිසුන් අතරෙන් අටසිය දෙනෙක් පමණ මරුමුවට පත්වූ හ. සෙස්සෝ පිලිස්තිවරුන්ගේ දේශයට පලා ගියහ. 25 මෙලෙස ජූදස්ට සහ ඔහුගේ සහෝදරයන්ට මිනිස්සු බිය වූ හ. අවට සෙනඟ ද භීතියෙන් තැතිගත්තෝ ය. 26 ජූදස්ගේ නම ගැන රජතුමාට පවා ආරංචි විය. හැම රටක ම සෙනඟ ඔහු ගැනත් ඔහුගේ සටන් ගැනත් කතාබස් කරන්නට වූ හ.

පර්සියාවේ සහ ජුදයාවේ සටන් ඇරඹීම

27 මේ සිද්ධීන් පිළිබඳ ආරංචි අසා ඇන්ටිඕකස් රජ තෙම කෝපාවිෂ්ට වී තම රාජ්‍යයේ බළ ඇණි සියල්ල ම යුද්ධයට සංවිධානය කෙළේ ය. එය මහා බලසම්පන්න හමුදාවක් විය. 28 තවද ඔහු රාජකීය භාණ්ඩාගාරය ඇර සේනාවලට අවුරුද්දකට වේතනය බෙදා දී, ඕනෑ ම හදිසි තත්ත්වයකට මුහුණ පෑමට සූදානම් වන ලෙස කීවේ ය. 29 එවිට ඔහු මුල් කාලයේ පටන් වලංගු ව තිබුණු නීති අවලංගු කිරීම නිසා රටේ ඇති වූ ආරාවුල් සහ ව්‍යසනවල ප්‍රතිඵල වශයෙන් ඒ ඒ පළාත්වලින් ගෙවන ලද කප්පම් අඩු වී තිබෙන බවත් භාණ්ඩාගාරයේ මුදල් ප්‍රමාණවත් නොවන බවත් දැනගත්තේ ය. 30 එවිට ඔහු බිය විය. මන්ද, ඊට කලින් බොහෝ වාරවල දී සිදු වූවාක් මෙන්, පෙර සිටි රජවරුන්ට වඩා ඔහු අධික ලෙස අතමිට දිග හැර දුන් දීමනාවලට සහ කරන ලද වියහියදම්වලට සෑහෙන මුදලක් නැති බව ඔහු දැනගත් බැවිනි. 31 මෙසේ ඔහු දැඩි සිත් වේදනාවෙන් සිටිය දී, සිය ජනපදවලින් කප්පම් ගෙන විශාල මුදල් සම්භාරයක් රැස් කරගනු සඳහා ඔහු පර්සියාවට යාමට තීරණය කරගත්තේ ය. 32 ඉන්පසු ඔහු යුප්‍රටීස් ගංගාවේ සිට මිසරයේ දේශ සීමාව දක්වා රාජකීය කටයුතුවල වගකීම රාජකීය වංශයට අයත් කුලදෙටුවෙකු වූ ලිසියස්ට පැවරී ය. 33 තමා ආපසු එන තෙක් තම පුතු වන ඇන්ටිඕකස්ගේ අධ්‍යාපනය ගැනත් මොහු වගකිවයුතු විය. 34 තවද ඇන්ටිඕකස්, ඇතුන් ඇතුළත් තමාගේ යුද්ධ හමුදාවෙන් අඩක් ඔහුට භාර දී තමාගේ ප්‍රතිපත්ති ගැන, විශේෂයෙන් ජුදයාවේ සහ ජෙරුසලමේ වැසියන් ගැන, ඔහුට උවදෙස් දුන්නේ ය. 35 ඉශ්රායෙල්වරුන්ගේ බලය ද ජෙරුසලමේ ඉතිරි ව සිටින කුඩා පිරිස ද නසා වනසාදමා ඔවුන්ගේ නම පවා ඒ ස්ථානයෙන් මකා දමන පිණිස ඔවුන්ට විරුද්ධ ව සේනාවක් යැවීමට ද ඔහු ඔහුට අණ කෙළේ ය. 36 තවද, ඔවුන්ගේ රටේ සෑම පෙදෙසක ම විදේශික ජනයා පදිංචි කරවා, දාදු දමා ඔවුන්ගේ රට බෙදා දීමටත් ඔහුට නියම කෙළේ ය. 37 ඉන්පසු රජ තෙම සිය හමුදාවෙන් ඉතිරි වූ කොටස තමා සමඟ රැගෙන, තම රාජධානියේ අගනුවර වන අන්තියෝකිය නුවරින් පිටත් වී, යුප්‍රටීස් ගංගාව හරහා ගොස් උත්තර පළාත් ඔස්සේ ගමන්ගත්තේ ය.

සිරියන් හමුදාව ජුදා රටට පැමිණීම

38 ලිසියස් ද රජුගේ මිත්‍රයන් අතරෙන් බලගතු අය වන නිකනෝර් සහ ගෝර්ජියස් සමඟ ඩොරිමෙනස්ගේ පුත් ටොලමි තෝරාගෙන 39 ඔවුන්ගේ විධානය යටතේ රජු අණ දුන් පරිදි, ජුදා දේශය ආක්‍රමණය කොට එය වනසාලන පිණිස සතළිස් දහසක පාබළ සේනාවක් ද සත් දහසක අශ්ව සේනාවක් ද යැවී ය. 40 මුළු බළ ඇණිය පිටත් වී පහත ප්‍රදේශයේ එම්මාවුස් නම් නගරය අවට පෙදෙස්වලට පැමිණ ඒවායේ කඳවුරු බැඳගත්හ. 41 ඒ පළාතේ වෙළෙන්දෝ ඔවුන් කවුරුන් දැ යි දැනගත් විට, ඉශ්රායෙල්වරුන් වහලුන් ලෙස මිලයට ගනු පිණිස රන් රිදී විශාල තොගයක් ද මාංචු ද රැගෙන කඳවුරට පැමිණියහ. ඔවුන් සමඟ ඉදුමියා දේශයෙන් සහ පිලිස්තිවරුන්ගේ දේශයෙන් සේනාංකයක් ද පැමිණියෝ ය. 42 තත්ත්වය නරකින් නරකට හැරී තිබෙන බවත්, සේනාවන් තමන්ගේ දේශයෙහි කඳවුරු බැඳගෙන සිටින බවත්, ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ දුටහ. තමන් සමූලඝාතනය කරදැමීමට රජතුමා විධාන කර තිබුණු බවත් ඔව්හු හොඳින් දැන සිටියහ. 43 එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, ”අපේ ජනතාවගේ නටබුන් අලුත්වැඩියා කර අපේ ජනතාව හා ශුද්ධස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා සටන් කරමු”යි කීවෝ ය. 44 ඉන්පසු ඔව්හු සටනට සූදානම් වන පිණිසත් යාච්ඤා ඔප්පු කොට දේවානුකම්පාව සහ දයාව අයැදින පිණිසත් ඔවුන්ගේ සෙනඟ එකතු කළහ.
45 ජෙරුසලම මරුකතරක් මෙන් ජන ශූන්‍ය විය.
ඇතුළු වීමට හො‍් පිට වී යාමට හො‍් කිසිවෙක් ඉතිරි නො වූ හ.
ශුද්ධස්ථානය පයින් පාගා දමන ලදී.
පිට ජාතියක මිනිස්සු බලකොටුවේ සිටිති.
දැන් එය විජාතිකයන්ගේ ලැගුම් හලකි.
ජාකොබ්ගේ පෙළපතට ප්‍රීති ප්‍රමො‍්දයක් දැන් නැත.
නළාව ද වීණාව ද නිහඬ වී ඇත.

ජුදෙව්වරුන් එකතු වීම

46 ජුදෙව්වරු සෙනඟ එකතු කොට ජෙරුසලමට ඉදිරිපිටින් වූ මිශ්පා නුවරට ගියෝ ය. මන්ද, මිශ්පා නුවර යාච්ඤාව සඳහා වෙන් කළ ඉශ්රායෙල්වරුන්ගේ චිරාගත ස්ථානයකි. 47 එදින ඔව්හු උපවාස කොට ගෝණි රෙදි හැඳ අළුවලින් හිස් වසාගෙන සොවින් තමන්ගේ වස්ත්‍ර ඉරාගත්හ. 48 විජාතීහු ද තමන්ට මඟපෙන්වීම ලබාගැනීම සඳහා බොරු දෙවි පිළිමවලින් ආධාර පැතූ හ. එහෙත් ජුදෙව්වරු ඒ සඳහා ව්‍යවස්ථා ග්‍රන්ථය පෙරළා බැලූ හ. 49 තවද ඔව්හු නාඹුල් ඵල හා දසයෙන් කොටස සමඟ පූජක වස්ත්‍ර ද පිටතට ගෙනවුත් තමන්ගේ බාරහාර සම්පූර්ණ කළ නාසරියයන් පෙළට සිටෙව්වෝ ය. 50 එවිට ඔව්හු ස්වර්ගයට හඬ නඟා මොරගසමින්, ”මේ ජනයාට අපි කුමක් කරන්නෙමු ද? කිනම් ස්ථානයකට ඔවුන් ගෙනයන්නෙමු ද? 51 ඔබේ ශුද්ධ භූමිය පයින් පාගාදමනු ලැබ කෙලෙසී ඇත. ඔබේ පූජකයෝ නියාලු ව වැලපෙති. 52 අප වනසාලනු පිණිස විජාතීහු එකට එකතු වී සිටිති. ඔවුන් අපට කරන්න යන දේ ඔබ දන්නා සේක. 53 ඔබ වහන්සේ අපේ ආධාරයට නොවඩින සේක් නම්, අපි කෙසේ ගොස් ඔවුන්ට විරුද්ධ ව මුහුණ දෙන්නෙමු දැ”යි ඇසූ හ. 54 ඉන්පසු ඔව්හු හොරණෑ පිම්බෝ ය; මහා හඬින් කෑගැසූ හ.
55 ඉන්පසු ජූදස් සෙනඟගේ නායකයන් වශයෙන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් ද දශාධිපතීන් ද පත් කෙළේ ය. 56 තවද, ඔහු ගෙවල් ගොඩනඟමින් සිටි අයට ද විවාහයට සූදානම් වෙමින් සිටි අයට ද මිදි වතු වවමින් සිටි අයට ද සටනට යන්නට බියෙන් සිටි අයට ද කතා කොට, ව්‍යවස්ථාව අනුව ඔවුන්ට තම තමන්ගේ ගෙවලට යන්නට අවසර ඇති බව දැන්වී ය. 57 ඉන්පසු ජුදා පෙළපාලිය ගමන් කොට එම්මාවුස් නගරයට දකුණු දෙසින් සටනට සැරසී සිටගත්තේ ය. 58 ජූදස් ද ඔවුන් අමතමින් ”යුද්ධායුධ ගෙන නිර්භීත ව ක්‍රියා කරන්න. අප ද අපේ ශුද්ධස්ථානය ද වනසාලීමට එකට එකතු වූ මේ විජාතිකයන්ට විරුද්ධ ව සටනට උදෑසනින් ම සූදානම් වෙන්න. 59 අපේ ජාතියත් ශුද්ධ භූමියත් නටබුන් වීම බලා සිටිනවාට වඩා සටනේ දී මියයාම අපට යෙහෙකි. 60 ස්වර්ගයේ කැමැත්ත කුමක් හො‍් වේවා, දෙවියන් වහන්සේ එය ඉටු කරන සේකැ”යි කීවේ ය.

– 3 වන පරිච්ඡේදය –

ජූදස් මකබියස් ගැන වර්ණනාව

1 ඉන්පසු මතතියස්ගේ පුත් මකබියස් නම් ලත් ජූදස්, තම පියාගේ විධාන බලය තම අතට ගත්තේ ය. 2 ඔහුගේ සියලු සහෝදරයෝ ද ඔහුගේ පියාට එකතු වූ සියල්ලෝ ද ඔහුට ආධාර කළහ. ඔව්හු ද මහා අධිෂ්ඨානයකින් ඉශ්රායෙල්වරුන් උදෙසා සටන් කළහ.
3 ජූදස් සිය සෙනඟගේ කීර්තිය දස දිග පතුරුවා හැරියේ ය.
ඔහු යෝධයෙකු මෙන් ළය වැස්ම පැළඳගති.
යුද ඇඳුමෙන් සැරසී සිටගති.
සටනක් පාසා සටනක ඔහු නියුක්ත විය.
සිය කඩුවෙන් සේනාංක බලාගති.
4 සිය වීර ක්‍රියාවලින් ඔහු සිංහයෙකු මෙන් විය.
ගොදුරට ගෙරවුම් දෙන සිංහ පොව්වෙකු මෙන් විය.
5 ඔහු ද්‍රෝ‍්හීන් ලුහුබැඳ ගොස් ඔවුන් අල්ලාගති.
සිය සෙනඟට හිරිහැර කළවුන් ඔහු ගින්නට දැම්මේ ය.
6 ඔහුට ඇති බියෙන් ද්‍රෝ‍්හීහු අධෛර්යයට පත් වූ හ.
නපුරුකම් කරන සියල්ලෝ තදින් වියවුල් වූ හ.
ඔහුගේ නායකත්වය යටතේ විමුක්තිය ඉදිරියට ගියේ ය.
7 ඔහු බොහෝ භූපතීන් කුපිත කෙළේ ය.
සිය වීර ක්‍රියාවන් මඟින් ජාකොබ් වංශය ප්‍රමුදිත කෙළේ ය.
ඔහුගේ නාමයට සදහට ම ආසිරි ලැබේ වා!
8 ජුදාහි නගර මැදින් ඔහු ගමන් කෙළේ ය.
ඒවායේ සිටි අභක්තිකයන් ඔහු නසා වනසාදැමී ය.
මෙලෙස ඉශ්රායෙල්වරුන්ගෙන් ඔහු දේව උදහස අහක් කෙළේ ය.
9 පොළොව දසත ඔහු නම රැව් පිළිරැව් දිනි.
විනාශයට ළං වී සිටියවුන් ඔහු යළි එක්රැස් කරගති.

ජූදස්ගේ පළමු ජයග්‍රහණ

10 ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස අපොල්ලෝනියස් නම් සෙන්පතියා විජාතිකයන් ද සමාරිය දේශයෙන් විශාල හමුදාවක් ද රැස් කෙළේ ය. 11 ජූදස් මෙපවත් ඇසූ විට, ඔහු අපොල්ලෝනියස් හමුවීමට ඉදිරියට ගොස් සේනාව පලවාහැර ඔහු මරාදැමී ය. බොහෝ දෙනෙක් තුවාළ ලැබූ හ; පණ බේරාගත් අය පලා ගියහ. 12 ඔවුන්ගේ කොල්ලය පැහැරගන්නා ලදුව අපොල්ලෝනියස්ගේ කඩුව ජූදස් විසින් ගන්නා ලදී. ජූදස් සිය දිවි ඇති තාක් එය සටනට භාවිත කෙළේ ය. 13 දේව භක්තිකයන්ගෙන් සහ දක්ෂ සෙබළුන්ගෙන් යුත් මිත්‍ර බළ ඇණියක් ජූදස් විසින් එක්රැස් කරවනු ලැබූ බව 14 සිරියන් හමුදාවේ සෙන්පති සෙරොන් ඇසූ විට, ඔහු කතා කොට, ”රජතුමාගේ ආඥාව හෙළා දකින ජූදස්ගේ ආධාර කරුවන්ට සහ ජූදස්ට විරුද්ධ ව මම සටනට ගියොත් මට ම කීර්තිමත් නාමයක් ද රාජ්‍යය තුළ ගරුසම්මාන ද ලබාගන්නෙමි”යි කීවේ ය. 15 එබැවින් ඔහු ඉශ්රායෙල්වරුන්ගෙන් පළිගැනීම පිණිස තමාට ආධාරය සඳහා අභක්තිකයන්ගෙන් සමන්විත විශාල හමුදාවක් රැස් කොට තවත් යුද්ධ ව්‍යාපාරයක් ඇරඹී ය. 16 ඔහු බෙත්-හොරොන් නම් කඳු බෑවුමට ළඟා වනු සමඟ ම ජූදස් අතළොස්සක් පමණ මිනිසුන් රැගෙන ගොස් ඔහුට විරුද්ධ ව සටන් කෙළේ ය. 17 එහෙත්, ඒ මහා බළ ඇණිය තමන් ඉදිරියට එනු දුටු වහා ම ජූදස්ගේ සෙනඟ ජූදස්ට කතා කොට, ”ටික දෙනෙකු වන අපි මේ සා විශාල සෙනඟකට විරුද්ධ ව කෙසේ සටන් කරමු ද? අද අපට කෑමටත් කිසිවක් නොලැබුණු බැවින් අපි අධික වෙහෙසට පත් වී සිටිමු”යි කී හ. 18 එහෙත්, ජූදස් පිළිතුරු දෙමින්, ”ටික දෙනකුන් විසින් විශාල සේනාවක් පලවා හැරීම පහසු දෙයකි. ඇත්තෙන් ම ස්වර්ගය ඉදිරියෙහි ගැළවී යාම බොහෝ දෙනෙකු මඟින් වුවත් ස්වල්ප දෙනෙකු මඟින් වුවත් එය එක ම දෙයකි. 19 ඒ මන්ද, යුද්ධයක ජය රඳා පවතින්නේ සටන් කරන බළ ඇණියේ ලොකු කුඩා කම මත නොවේ; ශක්තිය එන්නේ ස්වර්ගයෙන් ය. 20 ඔව්හු අපට විරුද්ධ ව අහංකාරයෙන් හිස උදුම්මාගෙන, ප්‍රචණ්ඩ ලෙස, අපත් අපේ අඹුදරුවනුත් නසා වනසා අපේ දේ කොල්ලකෑමට එන්නෝ ය. 21 එහෙත් අපි අපේ ජීවිතය සහ ව්‍යවස්ථාවලිය උදෙසා සටන් කරමු. 22 එතුමාණෝ අප බලාගෙන සිටිය දී ම ඔවුන් පොඩි කරදමන සේක. එබැවින් ඔවුන්ට බිය නොවන්නැ”යි කීවේ ය. 23 ඔහු මෙසේ කතා කර අවසාන වූ පසු, සෙරොන්ට සහ ඔහුගේ සේනාවට විරුද්ධ ව හදිසි ප්‍රහාරයක් අරඹා ඔවුන් පරාජය කෙළේ ය. 24 බෙත්-හොරොන්හි සිට මිටියාවත දක්වා ජූදස් ඔහු ලුහුබැඳ ගියේ ය. ඔවුන්ගේ මිනිසුන් අතරෙන් අටසිය දෙනෙක් පමණ මරුමුවට පත්වූ හ. සෙස්සෝ පිලිස්තිවරුන්ගේ දේශයට පලා ගියහ. 25 මෙලෙස ජූදස්ට සහ ඔහුගේ සහෝදරයන්ට මිනිස්සු බිය වූ හ. අවට සෙනඟ ද භීතියෙන් තැතිගත්තෝ ය. 26 ජූදස්ගේ නම ගැන රජතුමාට පවා ආරංචි විය. හැම රටක ම සෙනඟ ඔහු ගැනත් ඔහුගේ සටන් ගැනත් කතාබස් කරන්නට වූ හ.

පර්සියාවේ සහ ජුදයාවේ සටන් ඇරඹීම

27 මේ සිද්ධීන් පිළිබඳ ආරංචි අසා ඇන්ටිඕකස් රජ තෙම කෝපාවිෂ්ට වී තම රාජ්‍යයේ බළ ඇණි සියල්ල ම යුද්ධයට සංවිධානය කෙළේ ය. එය මහා බලසම්පන්න හමුදාවක් විය. 28 තවද ඔහු රාජකීය භාණ්ඩාගාරය ඇර සේනාවලට අවුරුද්දකට වේතනය බෙදා දී, ඕනෑ ම හදිසි තත්ත්වයකට මුහුණ පෑමට සූදානම් වන ලෙස කීවේ ය. 29 එවිට ඔහු මුල් කාලයේ පටන් වලංගු ව තිබුණු නීති අවලංගු කිරීම නිසා රටේ ඇති වූ ආරාවුල් සහ ව්‍යසනවල ප්‍රතිඵල වශයෙන් ඒ ඒ පළාත්වලින් ගෙවන ලද කප්පම් අඩු වී තිබෙන බවත් භාණ්ඩාගාරයේ මුදල් ප්‍රමාණවත් නොවන බවත් දැනගත්තේ ය. 30 එවිට ඔහු බිය විය. මන්ද, ඊට කලින් බොහෝ වාරවල දී සිදු වූවාක් මෙන්, පෙර සිටි රජවරුන්ට වඩා ඔහු අධික ලෙස අතමිට දිග හැර දුන් දීමනාවලට සහ කරන ලද වියහියදම්වලට සෑහෙන මුදලක් නැති බව ඔහු දැනගත් බැවිනි. 31 මෙසේ ඔහු දැඩි සිත් වේදනාවෙන් සිටිය දී, සිය ජනපදවලින් කප්පම් ගෙන විශාල මුදල් සම්භාරයක් රැස් කරගනු සඳහා ඔහු පර්සියාවට යාමට තීරණය කරගත්තේ ය. 32 ඉන්පසු ඔහු යුප්‍රටීස් ගංගාවේ සිට මිසරයේ දේශ සීමාව දක්වා රාජකීය කටයුතුවල වගකීම රාජකීය වංශයට අයත් කුලදෙටුවෙකු වූ ලිසියස්ට පැවරී ය. 33 තමා ආපසු එන තෙක් තම පුතු වන ඇන්ටිඕකස්ගේ අධ්‍යාපනය ගැනත් මොහු වගකිවයුතු විය. 34 තවද ඇන්ටිඕකස්, ඇතුන් ඇතුළත් තමාගේ යුද්ධ හමුදාවෙන් අඩක් ඔහුට භාර දී තමාගේ ප්‍රතිපත්ති ගැන, විශේෂයෙන් ජුදයාවේ සහ ජෙරුසලමේ වැසියන් ගැන, ඔහුට උවදෙස් දුන්නේ ය. 35 ඉශ්රායෙල්වරුන්ගේ බලය ද ජෙරුසලමේ ඉතිරි ව සිටින කුඩා පිරිස ද නසා වනසාදමා ඔවුන්ගේ නම පවා ඒ ස්ථානයෙන් මකා දමන පිණිස ඔවුන්ට විරුද්ධ ව සේනාවක් යැවීමට ද ඔහු ඔහුට අණ කෙළේ ය. 36 තවද, ඔවුන්ගේ රටේ සෑම පෙදෙසක ම විදේශික ජනයා පදිංචි කරවා, දාදු දමා ඔවුන්ගේ රට බෙදා දීමටත් ඔහුට නියම කෙළේ ය. 37 ඉන්පසු රජ තෙම සිය හමුදාවෙන් ඉතිරි වූ කොටස තමා සමඟ රැගෙන, තම රාජධානියේ අගනුවර වන අන්තියෝකිය නුවරින් පිටත් වී, යුප්‍රටීස් ගංගාව හරහා ගොස් උත්තර පළාත් ඔස්සේ ගමන්ගත්තේ ය.

සිරියන් හමුදාව ජුදා රටට පැමිණීම

38 ලිසියස් ද රජුගේ මිත්‍රයන් අතරෙන් බලගතු අය වන නිකනෝර් සහ ගෝර්ජියස් සමඟ ඩොරිමෙනස්ගේ පුත් ටොලමි තෝරාගෙන 39 ඔවුන්ගේ විධානය යටතේ රජු අණ දුන් පරිදි, ජුදා දේශය ආක්‍රමණය කොට එය වනසාලන පිණිස සතළිස් දහසක පාබළ සේනාවක් ද සත් දහසක අශ්ව සේනාවක් ද යැවී ය. 40 මුළු බළ ඇණිය පිටත් වී පහත ප්‍රදේශයේ එම්මාවුස් නම් නගරය අවට පෙදෙස්වලට පැමිණ ඒවායේ කඳවුරු බැඳගත්හ. 41 ඒ පළාතේ වෙළෙන්දෝ ඔවුන් කවුරුන් දැ යි දැනගත් විට, ඉශ්රායෙල්වරුන් වහලුන් ලෙස මිලයට ගනු පිණිස රන් රිදී විශාල තොගයක් ද මාංචු ද රැගෙන කඳවුරට පැමිණියහ. ඔවුන් සමඟ ඉදුමියා දේශයෙන් සහ පිලිස්තිවරුන්ගේ දේශයෙන් සේනාංකයක් ද පැමිණියෝ ය. 42 තත්ත්වය නරකින් නරකට හැරී තිබෙන බවත්, සේනාවන් තමන්ගේ දේශයෙහි කඳවුරු බැඳගෙන සිටින බවත්, ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ දුටහ. තමන් සමූලඝාතනය කරදැමීමට රජතුමා විධාන කර තිබුණු බවත් ඔව්හු හොඳින් දැන සිටියහ. 43 එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, ”අපේ ජනතාවගේ නටබුන් අලුත්වැඩියා කර අපේ ජනතාව හා ශුද්ධස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා සටන් කරමු”යි කීවෝ ය. 44 ඉන්පසු ඔව්හු සටනට සූදානම් වන පිණිසත් යාච්ඤා ඔප්පු කොට දේවානුකම්පාව සහ දයාව අයැදින පිණිසත් ඔවුන්ගේ සෙනඟ එකතු කළහ.
45 ජෙරුසලම මරුකතරක් මෙන් ජන ශූන්‍ය විය.
ඇතුළු වීමට හො‍් පිට වී යාමට හො‍් කිසිවෙක් ඉතිරි නො වූ හ.
ශුද්ධස්ථානය පයින් පාගා දමන ලදී.
පිට ජාතියක මිනිස්සු බලකොටුවේ සිටිති.
දැන් එය විජාතිකයන්ගේ ලැගුම් හලකි.
ජාකොබ්ගේ පෙළපතට ප්‍රීති ප්‍රමො‍්දයක් දැන් නැත.
නළාව ද වීණාව ද නිහඬ වී ඇත.

ජුදෙව්වරුන් එකතු වීම

46 ජුදෙව්වරු සෙනඟ එකතු කොට ජෙරුසලමට ඉදිරිපිටින් වූ මිශ්පා නුවරට ගියෝ ය. මන්ද, මිශ්පා නුවර යාච්ඤාව සඳහා වෙන් කළ ඉශ්රායෙල්වරුන්ගේ චිරාගත ස්ථානයකි. 47 එදින ඔව්හු උපවාස කොට ගෝණි රෙදි හැඳ අළුවලින් හිස් වසාගෙන සොවින් තමන්ගේ වස්ත්‍ර ඉරාගත්හ. 48 විජාතීහු ද තමන්ට මඟපෙන්වීම ලබාගැනීම සඳහා බොරු දෙවි පිළිමවලින් ආධාර පැතූ හ. එහෙත් ජුදෙව්වරු ඒ සඳහා ව්‍යවස්ථා ග්‍රන්ථය පෙරළා බැලූ හ. 49 තවද ඔව්හු නාඹුල් ඵල හා දසයෙන් කොටස සමඟ පූජක වස්ත්‍ර ද පිටතට ගෙනවුත් තමන්ගේ බාරහාර සම්පූර්ණ කළ නාසරියයන් පෙළට සිටෙව්වෝ ය. 50 එවිට ඔව්හු ස්වර්ගයට හඬ නඟා මොරගසමින්, ”මේ ජනයාට අපි කුමක් කරන්නෙමු ද? කිනම් ස්ථානයකට ඔවුන් ගෙනයන්නෙමු ද? 51 ඔබේ ශුද්ධ භූමිය පයින් පාගාදමනු ලැබ කෙලෙසී ඇත. ඔබේ පූජකයෝ නියාලු ව වැලපෙති. 52 අප වනසාලනු පිණිස විජාතීහු එකට එකතු වී සිටිති. ඔවුන් අපට කරන්න යන දේ ඔබ දන්නා සේක. 53 ඔබ වහන්සේ අපේ ආධාරයට නොවඩින සේක් නම්, අපි කෙසේ ගොස් ඔවුන්ට විරුද්ධ ව මුහුණ දෙන්නෙමු දැ”යි ඇසූ හ. 54 ඉන්පසු ඔව්හු හොරණෑ පිම්බෝ ය; මහා හඬින් කෑගැසූ හ.
55 ඉන්පසු ජූදස් සෙනඟගේ නායකයන් වශයෙන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් ද දශාධිපතීන් ද පත් කෙළේ ය. 56 තවද, ඔහු ගෙවල් ගොඩනඟමින් සිටි අයට ද විවාහයට සූදානම් වෙමින් සිටි අයට ද මිදි වතු වවමින් සිටි අයට ද සටනට යන්නට බියෙන් සිටි අයට ද කතා කොට, ව්‍යවස්ථාව අනුව ඔවුන්ට තම තමන්ගේ ගෙවලට යන්නට අවසර ඇති බව දැන්වී ය. 57 ඉන්පසු ජුදා පෙළපාලිය ගමන් කොට එම්මාවුස් නගරයට දකුණු දෙසින් සටනට සැරසී සිටගත්තේ ය. 58 ජූදස් ද ඔවුන් අමතමින් ”යුද්ධායුධ ගෙන නිර්භීත ව ක්‍රියා කරන්න. අප ද අපේ ශුද්ධස්ථානය ද වනසාලීමට එකට එකතු වූ මේ විජාතිකයන්ට විරුද්ධ ව සටනට උදෑසනින් ම සූදානම් වෙන්න. 59 අපේ ජාතියත් ශුද්ධ භූමියත් නටබුන් වීම බලා සිටිනවාට වඩා සටනේ දී මියයාම අපට යෙහෙකි. 60 ස්වර්ගයේ කැමැත්ත කුමක් හො‍් වේවා, දෙවියන් වහන්සේ එය ඉටු කරන සේකැ”යි කීවේ ය.

– 4 වන පරිච්ඡේදය –

එම්මාවුස් සටන

1 ගෝර්ජියස් පන් දහසක පාබළ සේනාවක් ද දහසක තෝරාගත් අශ්ව සේනාවක් ද ගෙන 2 ජුදෙව් කඳවුරට විරුද්ධ ව සටන් කොට, හදිසි ප්‍රහාරයක් ඔවුන්ට එල්ල කරන පිණිස ඒ බළ ඇණිය රාත්‍රි කාලයේ පිටත් විය. බලකොටුවේ මිනිස්සු ඔවුන්ට මඟ පෙන්වීමට එහි සිටියහ. 3 ජූදස්ට ද එපවත් සැළ වී 4 රාජකීය බළ ඇණියේ සටන් කරන සේනාංක කඳවුරෙන් පිටත් ව සිටිය දී, එම්මාවුස් නුවර දී ඔවුන්ට පහර දෙන පිණිස තමා ද සෙබළුන් සමඟ පිටත් විය. 5 මෙලෙස ගෝර්ජියස්, ජූදස්ගේ කඳවුරට ළඟා වූ විට, ඔහුට කිසිවෙකු සම්බ නොවූයෙන් ඔහු කඳුකරයේ ජුදෙව්වරුන් සොයන්නට පටන්ගෙන, ”ජුදෙව්වරු අප වෙතින් පලා ගියෝ ය”යි කෑගැසී ය. 6 අරුණෝදය වන විට ජූදස් මිනිසුන් තුන් දහසක් සමඟ මිටියාවතෙහි සිටියේ ය. එහෙත් මේ සෙනඟට තමන් කැමැති වූ නමුත්, යුද ඇඳුම් සහ කඩු නොතිබුණි. 7 දැන් ඔවුනට ශක්තිමත් බලකොටුවලින් සහ අශ්ව සේනාවලින් වට වූ විජාතිකයන්ගේ කඳවුරු පෙනෙන්නට විය. මොවුහු නම් යුද්ධ ශිල්පය පිළිබඳ ව මනා තේරුමක් ඇති අය බව පැහැදිලි විය.
8 එවිට ජූදස් තම සෙනඟට කතා කොට, ”ඔවුන්ගේ පිරිස් බලයට බිය නොවන්න. ඔවුන් පහර දෙන විට බියෙන් පසුබට නොවන්න. 9 පාරාවෝ බළ ඇණි සමඟ අපගේ පියවරුන් ලුහුබැඳ යද්දී, රතු මුහුද ළඟ දී ඔවුන් ගැළවුණු අන්දම සිහි කරන්න. 10 දෙවියන් වහන්සේ අපට අනුකම්පා පාන ලෙසත්, අපේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම සිහි කරන ලෙසත්, අද අප සමඟ සටනට එළඹෙන මේ හමුදාව වනසාදමන ලෙසත්, අපි ස්වර්ගය බලා යාච්ඤා කරමු. 11 එවිට ඉශ්රායෙල් ජාතිය ගළවා මුදාගන්න දෙවියන් වහන්සේ මිස අන් දෙවි කෙනෙකු නැති බව සියලු ජාතීහු ඇත්තට ම දැනගන්නෝ ය”යි කීවෝ ය.
12 විදේශිකයෝ ද හිස් ඔසවා බලා තමන්ට විරුද්ධ ව ජුදෙව්වරුන් එනු දැක, 13 සටන් කරනු පිණිස කඳවුරෙන් පිටතට පැමිණියෝ ය. 14 ජූදස්ගේ භටයෝ ද හොරණෑව පිඹ ඔවුන් සමඟ සටන් කළහ. විජාතිකයන් විසුරුවා හරිනු ලැබූ හෙයින් ඔව්හු මිටියාවත බලා පලා ගියහ. 15 යන්නට ප්‍රමාද වූ අය කඩුවෙන් මරනු ලැබූ හ. ගෙසර් දක්වා ද ඉදුමියාවේත් අසෝටර්හිත් ජම්නියාවෙහිත් මිටියාවත් දක්වා ද ඔව්හු සතුරා ලුහුබැඳ ගියහ. මෙලෙස සතුරු හමුදාවෙන් තුන් දහසක් පමණ මියගියහ.
16 ජූදස් ද ලුහුබැඳ යාම නවත්වා තම මිනිසුන් සමඟ ආපසු අවුත්, 17 සෙනඟට කතා කොට, ”අප තවත් සටනට යා යුතු බැවින්, කොල්ලය ගැන නොසලකන්න. 18 ගෝර්ජියස් සහ ඔහුගේ බළ ඇණි අපට නුදුරින් තව ම කඳුකරයේ සිටිති. පළමුවෙන් අපේ සතුරන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් සමඟ සටන් කරන්න. ඉන්පසු ඔබ හැමට කැමැති තරම් කොල්ලය එකතු කරගත හැකි ය”යි කී ය. 19 ජූදස් මේ වචන පවසනවාත් සමඟ ම මුර චාරිකාවක යෙදුණ සතුරු සේනාවක් කඳුකර පෙදෙසෙහි දක්නට ලැබිණි. 20 මේ සතුරු සේනාව ඔවුන්ගේ බළ ඇණිය විසුරුවනු ලැබ කඳවුර ගිනිබත් කර තිබෙන බව තේරුම්ගත්තේ ය. මන්ද, කඳවුරෙන් නැඟුණ, පැහැදිලි ව පෙනුණ ගින්නෙන් නැඟි දුමෙන් සිදු වූ සියල්ල ඔවුන්ට තේරුම්ගියේ ය. මෙය දුටු ඔව්හු භීතියෙන් භ්‍රාන්ත වූ හ. 21 තවද, ජූදස්ගේ සේනාවන් මිටියාවතෙහි සටනට පෙළගැසී සිටින බව දැන, 22 ඔව්හු සියල්ලෝ ම පිලිස්තිවරුන්ගේ රටට පලා ගියහ.
23 ඉන්පසු ජූදස් සතුරු කඳවුරු කොල්ලකනු පිණිස ආපසු අවුත් රන් රිදීවලින් විශාල ධනස්කන්ධයක් ද ලා රතු පාට හා නිල් පාට මිශ්‍ර දම් පාට වස්ත්‍ර ද තවත් වටිනා බොහෝ දේවල් ද පැහැරගෙන ගියේ ය. 24 ජුදෙව්වරු හැරී අවුත්, ස්වර්ගය දෙස බලා තුති ගී ගයමින්, ”දෙවියන් වහන්සේ යහපත් ය. එතුමාණන්ගේ දයාව සදාතන ය”යි කී හ. 25 මෙලෙස එදින ඉශ්රායෙල්වරු විශිෂ්ට විමුක්තියක් ලැබූ හ.

ලිසියස්ගේ ප්‍රථම යුද්ධ ව්‍යාපාරය

26 සටනින් ගැළවී පැමිණි විදේශිකයෝ සිදු වූ සියල්ල ලිසියස්ට විස්තර කළො‍් ය. 27 ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ගත් පියවර ඔහු අදහස් කළ පරිදි සාර්ථක නො වූ බැවින්, ලැබුණු ආරංචිවලින් ඔහු කලබල වී වියවුලට පත් විය. තවද ඔවුන් ලැබූ ප්‍රතිඵල ද රජතුමා විසින් දෙන ලද උපදෙස්වලට වඩා බොහෝ වෙනස් විය. 28 ඊළඟ අවුරුද්දේ දී ජුදෙව්වරුන් ක්‍රියා විරහිත කරවනු පිණිස, ලිසියස් තෙමේ තෝරාගන්නා ලද භටයන්ගෙන් හැට දහසක් ද, පන් දහසක අසරු සේනාවක් ද යුද කටයුතු සඳහා පුහුණු කරවූයේ ය. 29 ඉන්පසු ඔව්හු ඉදුමියට පැමිණ බෙත්-ශූර්හි තමන්ගේ මූලස්ථානය පිහිටුවාගත්හ. එහි දී ජූදස් දස දහසක භට සේනාවක් සමඟ ඔවුන්ට මුණගැසුණේ ය. 30 ජූදස් ඔවුන්ගේ සටන් ශක්තිය දුටු විට මෙලෙස යාච්ඤා කෙළේ ය: ”ඉශ්රායෙල්වරුන්ගේ ගැළවුම්කාරයාණෙනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබ සේවක දාවිත්ගේ බලය උපයෝගි කොටගෙන ඔබ වහන්සේ පිලිස්තිවරුන්ගේ වීරයාගේ ඔද බිඳ ඔහුගේ බලය සුන් කළ සේක. සාවුල්ගේ පුත් ජොනතන්ගේ සහ ඔහුගේ යුද්ධ සන්නාහය උසුලායන්නන්ගේ බලයට ඔවුන්ගේ කඳවුර, පාවා දුන් සේක. 31 ඔබේ සෙනඟ වූ ඉශ්රායෙල්වරුන් මඟින් මේ සතුරු ව්‍යාපාරය ද එලෙස ම විනාශ කළ මැනව. ඔවුන්ගේ බළ ඇණි සහ අසරු සේනා පිළිබඳ ව ඔබ ඔවුන් ලජ්ජාවට පත් කළ මැනව. 32 ඔවුන් බයගුල්ලන් බවට පත් කොට, තමන්ගේ ආත්මශක්තිය කෙරෙහි ඔවුන් තබාගෙන තිබෙන විශ්වාසය හීන කරවුව මැනව. ඔවුන් ලබන පරාජය නිසා ඔව්හු බියෙන් තැතිගෙන වැටෙත් වා! 33 ඔබට ප්‍රේම කරන අයගේ කඩුවෙන් ඔවුන් වනසාලුව මැනව. එවිට ඔබ වහන්සේගේ නාමයට ගරුසරු දක්වන අය ඔබේ තුති ගී ගයන්නෝ ය.” 34 ජූදස් මෙසේ යාච්ඤා කළ පසු සේනා දෙක සටන් කළහ. එවිට අති’නත ගැටෙමින් කළ සටනින් ලිසියස්ගේ හමුදාවෙන් පන්දහසක් දෙනා මරුමුවට පත් වූ හ. 35 තම හමුදාවේ පලා යාම ද, ජූදස්ගේ හමුදාවල ධෛර්යය ද, නියම හේවා භටයන් මෙන් ජීවිතයට හො‍් මරණයට හො‍් ඔවුන් තුළ තිබූ සූදානම ද ලිසියස් දුටු විට, ඔහු අන්තියොන් නගරයට ආපසු ගියේ ය. එහි දී ඔහු ඉන් ඉදිරියටත් ජුදා දේශය ආක්‍රමණය කිරීම සඳහා වඩාත් ශක්තිමත් ලෙස කුලියටගත් හේවා භටයන් පුරුදු පුහුණු කෙළේ ය.

දේව මාලිගාව පවිත්‍ර කිරීම සහ නැවත කැප කිරීම

36 එවිට ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ කතා කොට, ”දැන් ඉතින් අපේ සතුරන් පරාජය කරනු ලැබූ බැවින් අපි ශුද්ධස්ථානයට ගොස් එය කැප කරමු”යි කීවෝ ය. 37 එබැවින් මුළු සේනාව සංවිධානය කොට සියොන් කන්දට ගියෝ ය. 38 ශුද්ධස්ථානය පාළුකරයක් වී තිබෙන බව ද පූජාසනය දූෂ්‍ය කර තිබෙන බව ද, දොරටු පුළුස්සාදමා තිබෙන බව ද, වනරොදක හො‍් කඳුකරයක හො‍් මෙන් මාලිගාවේ මණ්ඩපවල ගස්කොළන් වැඩී තිබෙන බව ද, ගබඩා කාමර නටබුන් වී තිබෙන බව ද, එහි දී ඔවුන්ට දකින්නට ලැබිණි. 39 එවිට ඔව්හු සොවින් තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන ඉමහත් ලෙස වැලපෙමින් තමන්ගේ හිස මත ධූලි දමාගත්හ. 40 ඔව්හු මුණින්තළා වී බිම වැටී හොරණෑ හඬ නැඟුව විට, ස්වර්ගයට ඇසෙන ලෙස ශබ්ද නඟා මොරගෑහ.
41 එවිට ජූදස් තමා ශුද්ධස්ථානය පවිත්‍ර කරන තෙක් නුවර බලකොටුවේ හමුදා සමඟ සටනෙහි යෙදෙන ලෙස සිය සෙනඟට අණ කෙළේ ය. 42 ඉන්පසු ඔහු ශුද්ධස්ථානය පවිත්‍ර කරන පිණිස ද පිළිකුල් වූ ගල් පිළිම අපවිත්‍ර ස්ථානයකට ඉවත් කරන පිණිස ද, 43 ව්‍යවස්ථාව නිවැරදි ලෙස පිළිපැදි පූජකවරුන් තෝරාගත්තේ ය.
44 කෙලෙසනු ලැබූ දවන යාග පූජාසනය ගැන කුමක් කළ යුතු ද කියා ඔව්හු තීරණය කරගත්හ. 45 විජාතිකයන් විසින් කෙලෙසනු ලැබූ එම පූජාසනය නිසා ඉන්පසු කවදාවත් ඔවුන්ට අපකීර්තියක් නොවන පිණිස, ඔව්හු එය පහතට ඇද කඩා බිඳදැමූ හ. 46 එහි වූ ගල් පිළිම මාලිගාව පිහිටි කන්දේ සුදුසු ස්ථානයක තබන ලදී. ඔවුන් මෙසේ කෙළේ ඒවාට කළ යුතු දේ පිළිබඳ ව දන්වන දිවැසිවරයෙකු එන තෙක් බලාපොරොත්තුවෙන් ය. 47 ඉන්පසු ඔව්හු ව්‍යවස්ථාවේ පණවා තිබෙන ප්‍රකාර, නොකැපූ ගල් රැගෙන, පැරණි පූජාසනය තැනූ ආකාරයට ම අලුත් එකක් ගොඩනැඟුවෙහු ය. 48 තවද ඔව්හු ශුද්ධස්ථානය ද මාලිගාවේ අභ්‍යන්තරය ද අලුත්වැඩියා කර මණ්ඩප පවිත්‍ර කළහ. 49 ඔව්හු අලුත් භාජන සාදා, පහන් රුක ද සුවඳ ද්‍රව්‍ය පූජාසනය ද මේසය ද දේව මාලිගාව ඇතුළට ගෙනාහ. 50 ඉන්පසු පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය දවා පහන් රුකෙහි පහන් දැල්වූ හ. මේවා දේව මාලිගාව තුළ බබළන්නට විය. 51 තවද, ඔව්හු මේසය මත පිදුම් පූප පිළිවෙළින් තබා, තිර එල්ලා, තමන් භාරගත් වැඩ සියල්ල නිම කළහ.
52-53 වර්ෂ එකසිය හතළිස් අටේ, කිස්ලෙව් යන නව වන මාසයේ විසිපස් වන දින ඔව්හු අලුයම නැඟිට තමන් සෑදූ අලුත් දවන යාග පූජාසනය මත නීතිගත පූජා පඬුරක් ඔප්පු කළහ. 54 ඔව්හු ගීතිකා ගායනා කරමින්, නළා හඬවා, වීණා වයා, අත්තල් ගසා, පූජාසනය කැප කළහ. ඊට කලින් විජාතිකයන් පූජාසනය කෙලෙසූ වසරේ එම කාලයෙහි ම, එම දවසේ ම එය කැප කරන ලදී. 55 මුළු සෙනඟ නමස්කාර කරමින් මුණින්තළා වැටී ඔවුන්ට ඒ සා මහත් ජයග්‍රහණයක් දුන් දෙවියන් වහන්සේට, ඉමහත් ලෙස ප්‍රශංසා කළහ. 56 ප්‍රීතියෙන් ප්‍රමො‍්ද වී දවන යාග පූජා ද, සහභාගිකමේ පූජා ද, ස්තුතිදීමේ පූජා ද ඔප්පු කරමින්, ඔව්හු දවස් අටක් ම පූජාසනය කැප කිරීමේ උත්සවය පැවැත්වූ හ. 57 ඔව්හු මාලිගාවේ ඉදිරිපස, රන්මය ඔටුනු හා කුඩා පලිහවලින් සරසා, දොරටු සහ ගබඩා කාමර අලුත්වැඩියා කොට ඒවාට දොරවල් සවි කළහ. 58 ජනයා අතර ප්‍රීති ප්‍රමො‍්දය නිම්හිම් නැති විය. මෙලෙස ඔව්හු විජාතිකයන් නිසා සිදු වී තිබුණු අපකීර්තිය නැති කළහ. 59 තවද, ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ ද, ඉශ්රායෙල්වරුන්ගේ මුළු සභාව ද, වසරක් පාසා නියමිත කාලයේ දී එනම්, කිස්ලෙව් මාසයේ විසිපස් වන දින පටන් දවස් අටක් ම ප්‍රීති සන්තෝෂයෙන් පූජාසනය කැප කිරීමේ උත්සවය පැවැත්විය යුතු බවට නීතියක් පැනවූ හ. 60 පෙර කාලයේ දී මෙන්, මිසදිටුවන් පූජාසනය වෙත පැමිණ නිර්දය ලෙස පහර දීම වැළැක්වීම සඳහා, ඔව්හු, සියොන් කන්ද වට කර ශක්තිසම්පන්න කොත් සහිත උස ප්‍රාකාරයක් ගොඩනැඟීමට පටන්ගත්හ. තවද, ජූදස් සියොන් කන්ද මුර කරනු පිණිස එහි ආරක්ෂක භට පිරිසක් සහිත බලකොටුවක් ද පිහිටුවිය. ඉදුමියාවට විරුද්ධ ව, සෙනඟට ආරක්ෂාව සලසන පිණිස ඔහු විශාල බලකොටුවකින් බෙත්-ශූර් නගරය ශක්තිසම්පන්න කෙළේ ය.

– 5 වන පරිච්ඡේදය –

ඉදුමියවරුන්ට සහ අම්මොනිවරුන්ට විරුද්ධ යුද්ධ ව්‍යාපාරය

1 පූජාසනය ගොඩනඟනු ලැබූ බවත්, කලින් තත්ත්වයට ම ශුද්ධස්ථානය අලුත්වැඩියා කරනු ලැබූ බවත්, අවට සිටි ජාතීන් ඇසූ විට ඔව්හු තදින් රොස්වූ හ. 2 ඔව්හු එසේ රොස් වී ඔවුන් අතර විසූ ජාකොබ්ගේ මුළු වංශය ම විනාශ කරදැමීමටත් තීරණය කරගෙන, ජුදා ජාතික පුරවැසියන් ඝාතනය කිරීමටත්, පිටමං කිරීමටත් පටන්ගත්හ.
3 ඉදුමියාවේ අක්‍රබත්තෙන් නම් පෙදෙසේ ඒසව්ගේ ජනයා ඉශ්රායෙල්වරුන් වටලා සිටි බැවින්, ජූදස් ඒ ජනයාට විරුද්ධ ව සටන් කොට දරුණු ලෙස ඔවුන් පරාජය කොට ඔවුන් කොල්ලකෑවේ ය. 4 මාවත්වල සැඟවී සිට සිය සෙනඟට පහර දුන්, ඔවුන්ට තර්ජනයක් සහ මලපතක් වැනි වූ, බේයන්ගේ වැසියන්ගේ දුෂ්ටකම ද ජූදස්ට සිහි විය. 5 ඔහු ඔවුන්ගේ ම කොත්වල ඔවුන් අවහිර කොට තබා ඔවුන් වටලා ඔවුන් මරණයට තීන්දු කෙළේ ය. ඉන්පසු ඔහු ඒ කොත්වලට ගිනිතබා, සියල්ලන් ම ඒවා තුළ සිටිය දී ම, ඒවා ගිනිබත් කෙළේ ය. 6 ඉන්පසු ඔහු අම්මොනිවරුන් වෙත ගියේ ය. එහි දී ඔහුට බලසම්පන්න භට සේනාවක් ද ඔවුන්ගේ නායකයා වන තිමො‍්තියස් සමඟ විශාල සෙනඟක් ද මුණගැසුණෝ ය. 7 ඔහු ඔවුන්ට විරුද්ධ ව බොහෝ සෙයින් සටන් කොට ඔවුන් පලවා හැර ඔවුන් කපා කොටාදැම්මේ ය. 8 ඔහු ද ජාසෙර් සහ එය අවට ගම් අල්ලාගත් පසු ජුදා දේශයට ආපසු ගියේ ය.

සටන් ඇරඹීම

9 ඒ කාලයේ දී ගිලියද් දේශයේ සිටි විජාතිකයෝ ඔවුන්ගේ ප්‍රදේශයේ වාසය කළ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඔවුන් විනාශ කරන පිණිස එකමුතු වූ හ. එහෙත් ඔව්හු ද තේමාහි බලකොටුවේ සැඟවී පහත දැක්වෙන ලිපිය ජූදස් සහ ඔහුගේ සහෝදරයන් වෙත යැවූ හ. එහි මෙසේ ලියා තිබුණි. 10 ”අප වටේට සිටින විජාතිකයෝ අප නසා වනසාලන පිණිස අපට විරුද්ධ ව එකමුතු වී සිටිති. 11 අප සැඟවී සිටින බලකොටුවට ද පහර දීමට ඔව්හු සූදානම් වන්නෝ ය. ඔවුන්ගේ හමුදාවල සෙන්පතියා තිමො‍්තියස් ය. 12 අපට දැනටමත් බොහෝ අලාභහානි සිදු වී ඇති බැවින්, හනික අවුත් ඔවුන්ගේ අත්අඩංගුවෙන් අප ගළවාගන්න. 13 තුබියන්වරුන් අතර වාසය කරන අපේ දේශවාසීන් සියල්ලන් ම මරාදමා ඇත. ඔවුන්ගේ අඹුදරුවන් වහල්කමට ගෙන ගොස් ඇත. ඔවුන්ගේ වස්තුව ද ඔව්හු උදුරාගෙන ඇත. මෙලෙස දහසක් පමණ ශක්තිසම්පන්න හමුදාවක් ඔවුන් විසින් එහි විනාශ කර දමා ඇත.” 14 මේ ලිපිය කියවමින් සිටින විට, පළමු ආරංචිවලට සමාන, ආරංචි රැගත් තවත් දූත පිරිසක්, සෝදුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන, ගලීලයෙන් පැමිණියහ. 15 ඔවුන් දැන්වූයේ, ”ටොලමයිස් තීර් සහ සීදොන් යන නුවරවල ජනයා මුළු විජාතික ගලීලයේ ම සෙනඟ සමඟ අප විනාශ කරන පිණිස පෙරමුණ බැඳගත්හ”යි කියා ය. 16 ජූදස් සහ සෙනඟ මෙය ඇසූ විට, සතුරන්ගෙන් පහර ලැබ බොහෝ පීඩා විඳින තමන්ගේ දේශවාසී ජනතාව සඳහා කුමක් කළ යුතු ද යන්න ගැන තීරණයක් ගැනීමට මහා සභාවක් රැස් කරවූ හ. 17 ජූදස් ද ඔහු සොහොයුරු සීමොන්ට කතා කොට, ”ඔබේ මිනිසුන් තෝරාගෙන ගලීලයේ වසන ඔබේ රට වැසියන් වෙත ගොස් ඔවුන්ට සහනය දෙන්න. මම ද මාගේ සහෝදර ජොනතන් ද ගිලියද් දේශයට යන්නෙමු”යි කී ය. 18 තවද ඔහු ශෙකරියාගේ පුත් ජො‍්සප් ද සෙනඟගේ නායකයා වන අසරියා ද කැඳවා, ජුදා දේශය මුර කරන පිණිස ඔවුන් නවතා, ඔවුන්ට අණ කරමින්, 19 ”මේ සෙනඟ භාර ගෙන අප හැරී එන තෙක් විජාතිකයන් සමඟ යුද්ධයට නොයන්නැ”යි කීවේ ය. 20 මෙලෙස ගලීලයෙහි සටනට යන පිණිස සීමොන්ට භටයෝ තුන්දහසක් ද ගිලියද් දේශය සඳහා ජූදස්ට භටයෝ අටදහසක් ද දෙනු ලැබූ හ.

යුද්ධ ව්‍යාපාරය

21 සීමොන් ගලීලයට ඇතුළු වී විජාතිකයන් හා සමඟ බොහෝ සටන් කොට ඔවුන් හිස් ලූ ලූ අත පලවා හැරියේ ය. 22 ඔහු ටොලමයිස් නුවර වාසල් දොරටුව දක්වා ඔවුන් ලුහුබැඳ ගියේ ය. ඔවුන්ගෙන් තුන්දහසක් පමණ භටයෝ මිය ගියෝ ය. ඔව්හු ඔවුන්ගේ කොල්ලය ද එකතු කරගත්තෝ ය. 23 ඉන්පසු සීමොන් ගලීලය සහ අර්බත්තා දේශවල ජුදා ජාතිකයන් ද ඔවුන්ගේ අඹුදරුවන් ද ඔවුන් සතු මුළු වස්තුව ද තමා සමඟ රැගෙන, ඉමහත් ප්‍රීති සන්තෝෂයෙන් යුතු ව ඔවුන් සියල්ලන් ම ජුදා දේශයට ගෙනාවේ ය.
24 ඒ අතරතුරේ දී ජූදස් මකබියස් ද ඔහුගේ සහෝදර ජොනතන් ද ජොර්දාන් ගඟෙන් එතෙර වී පාළුකරය ඔස්සේ තුන් දවසක ගමන් ගියෝ ය. 25 එහි දී ඔවුන්ට නබතියන්වරු හමු වූ හ. මේ නබතියන්වරු ඔවුන් සමඟියෙන් පිළිගෙන ගිලියද් දේශයේ විසූ ඔවුන්ගේ සහෝදරයන්ට සිදු වූ සියල්ල විස්තර කළො‍් ය. 26 ඔව්හු කතා කොට, ජුදා ජාතිකයන් බොහෝ දෙනෙකු බෝශ්රා, බොසොර්, අලේමා, චස්පෝ, මාකද් සහ කර්ණයිම් යන විශාල බලකොටු නගරවල සිරගත කරනු ලැබූ බවත්, 27 සෙස්සන් ගිලියද් දේශයේ අනික් නගරවල වටලනු ලැබ සිටින බවත්, ඊට පසු දින ම සතුරන් මේ බලකොටුවලට පහර දී ඒවා අල්ලාගෙන එක දවසක දී ම ඒවායේ සිටින සෙනඟ අකාමකාදැමීමට යෝජනා කරගෙන සිටින බවත් දැන්වූ හ.
28 එවිට ජූදස් සහ ඔහුගේ සේනාව එක් වර ම පාළුකරයේ පාරෙන් හැරී බොශ්රා නුවර වෙත ගමන් කළහ. ඒ නුවර අල්ලාගත් පසු ඔව්හු ඒ නුවර සිටි සියලු පිරිමින් කඩුවෙන් මරා නුවර කොල්ලකා එය ගිනිබත් කළහ. 29 රෑ බෝ වූ විට ඔව්හු සියල්ලෝ ම ඒ ස්ථානයෙන් නික්ම දතේමා නුවර බලකොටුවට පැමිණෙන තෙක් ගමන් කළහ. 30 අරුණාලෝකයත් සමඟ ම, බලකොටුව අල්ලා ගැනීම සඳහා ඉණිමං සහ යුද්ධ යන්ත්‍ර පිහිටුවන, ගණන් කළ නොහැකි තරම් විශාල පිරිසක් ඔව්හු දුටුවෝ ය. පහරදීම ඇරඹුණා පමණි. 31 පහරදීම අරඹා, හොරණෑ හඬට මුසු වූ යුද ගොස ද ඇති ව, රණ හඬ අහස දක්වා නැඟෙන අයුරු ජූදස් දුටු විට, 32 ඔහු සේනා භටයන් අමතමින්, ”අද දින ඔබ සටන් කළ යුතු ය. ඔබේ රට වැසියන් උදෙසා ඔබ සටන් කළ යුතු ය”යි කී ය. 33 ඉන්පසු ඔහු භටයන් සේනාංක තුනකට බෙදා, හොරණෑ හඬ ද මහහඬින් කරන යාච්ඤා ද ඇති ව සතුරාගේ පිටුපසින් ඉදිරියට ආවේ ය. 34 තිමො‍්තියස්ගේ හමුදාවෝ මේ තැනැත්තා මකබියස් බව තේරුම්ගත් විට, ඔහු එන්නට කලින් පලා ගියහ. මකබියස් ද ඔවුන් අන්ත පරාජයට පත් කෙළේ ය. ඒ දවසේ දී ඔවුන්ගේ සෙනඟගෙන් අට දහසක් පමණ මියගියහ. 35 ඉන්පසු ඔහු වෙන අතකට හැරී ගොස් අලේමා නගරයට පහර දී එය අල්ලාගෙන එහි සිටි සියලු පිරිමින් මරාදමා, නගරය කොල්ලකා එය ගිනිබත් කෙළේ ය. 36 ඔහු එතැනින් පිටත් වී ගොස් චස්පෝ, මාකද්, බොසොර් යන ගිලියද් දේශයේ ඉතිරි නගර අල්ලාගත්තේ ය. 37 මේ සිද්ධීන්ට පසු ව තිමො‍්තියස් තවත් හමුදාවක් රැස්කරගෙන නදියෙන් එගොඩ රපොන් නම් ස්ථානයට ඉදිරිපිටින් කඳවුරු බැන්දේ ය. 38 ජූදස් ද කඳවුරු ගැන ඔත්තු බැලීමට මිනිසුන් යැවී ය. ඔව්හු ආපසු පැමිණ මෙසේ වාර්තා කළහ: ”තිමො‍්තියස් සමඟ විජාතිකයෝ සියලු දෙනා අප වටකරගෙන සිටිති. 39 ඒ හමුදාවට උදව්වට කුලියට ගත් අරාබි ජාතිකයන් ඇතුළු ඉතා විශාල සේනාවක් සිටිති. ඔව්හු නදියෙන් එගොඩ කඳවුරු බැඳගෙන ඔබට පහර දීමට දැන් සූදානම් ව සිටිති.” එවිට ජූදස් ඔවුන් සමඟ සටනට ගියේ ය. 40 ඔහු තම හමුදාවන් සමඟ නදියට ළඟාවෙද්දී, තිමො‍්තියස් තම හමුදාවේ සේනාපතීන් අමතා, ”ජූදස් පළමුවෙන් ගඟෙන් මෙතෙර වුවහොත් ඔහුට ලොකු වාසියක් අත් වෙන බැවින් ඔහුට විරුද්ධ ව සටන් කිරීමට අපට නුපුළුවන. 41 එහෙත්, ඔහු බිය වී ගඟෙන් එගොඩ ම කඳවුරු බැඳගන්නේ නම්, එයින් අපට වාසියක් අත්වන බැවින්, අපි ඔහු වෙත එතෙර වන්නෙමු”යි කීවේ ය.
42 ජූදස් ද ගංගාවට ළඟා වූ විට ම ගංගාව දිගට ම සෙනඟගේ පාලක නිලධාරීන් සිටුවා ඔවුන්ට අණ කරමින්, ”කිසිවෙකුට තමන්ගේ කඳවුරු බැඳීමට ඉඩ නොදෙන්න. සියල්ලන් ම සටනට යා යුතු ය”යි කී ය. 43 ඔහු පළමුවෙන් ම ගඟෙන් එගොඩ ව සතුරා සිටි පැත්තට ගියේ ය. මුළු සෙනඟ ද ඔහු පස්සේ ගියහ. එවිට විජාතිකයෝ සියලු දෙන ම ඔවුන් සිටි තැන්වලින් පලවා හරිනු ලැබූ හ. ඔව්හු තමන්ගේ යුද ආයුධ ඉවතදමා කර්ණයිම් නුවර ශුද්ධ භූමියේ සැඟවෙන පිණිස එහි දිව ගියහ. 44 ජුදෙව්වරු පළමුවෙන් නුවර අල්ලාගෙන සියල්ලන් ම එහි ඇතුළත සිටිය දී ම එය ගිනිබත් කළහ. මෙලෙස කර්ණයිම් නුවර ද පරාජය කරනු ලැබී ය. ජූදස්ට විරුද්ධ ව නැඟිට සිටීමට තවදුරටත් සතුරාට නොහැකි විය.
45 ඉන්පසු ජූදස් ගිලියද් දේශයෙහි වාසය කළ සියලු ඉශ්රායෙල්වරුන් ජුදා දේශයට කැඳවාගෙන යනු පිණිස, ඔවුන්ගේ ලොකු කුඩා සියල්ලන් අඹුදරුවන් හා වස්තුව ද සමඟ රැස් කරවී ය. ඔව්හු අති විශාල සමූහයක් වූ හ. 46 මෙලෙස ඔව්හු ශක්තිසම්පන්න බලකොටුවක් වූ, පාර දෙපස විශාල නගරයක් වූ, එප්‍රොන් දක්වා ගියෝ ය. දකුණින් හො‍් වමෙන් හො‍් ගොස් පාර දෙපසින් ම වූ ඒ නගරය පසු කර යා නොහැකි වූ බැවින්, එය මැදින් ම ගමන් කරන්නට ඔවුන්ට සිදු විය. 47 එහෙත් ඒ නුවර වාසීහු ඔවුන්ට එසේ යාමට අවසර නො දී, කලින් ම වාසල් දොරටු ගලින් අහුරාදැම්මො‍් ය. 48 එවිට ජූදස් ඔවුන් වෙත සාම පණිවුඩයක් යවමින්, ”ඔබේ දේශය මැදින් අපේ රටට යාමට අපට අවසර දෙන්න. කිසිවෙක් ඔබට කිසිදු හානියක් නොකරන්නේ ය. අපට වුවමනා කර ඇත්තේ මෙය මැදින් ගමන් කිරීමට පමණකි”යි කියා ඇරියේ ය. එහෙත් ඔව්හු ඔහුට දොරටු විවෘත නොකළහ. 49 එවිට ජූදස් තම සේනාංකය අමතමින් සෑම කෙනෙකු ම තම තමන් නැවතුණ ස්ථානයෙහි ම නැවතී සිටින ලෙස අණ කෙළේ ය. 50 යුද සෙබළො‍් සටනට සැරසී සිටගත්හ. ජූදස් මුළු දිවා රෑ දෙක්හි ම නුවරට පහර දුන් පසු එය ඔහුගේ අත්වලට පාවා දෙන ලදී. 51 එවිට ඔහු එහි වැසියන් වූ පිරිමින් සියලු දෙනා ම මරාදමා, නගරය පොළොවට සමතලා කර, එය කොල්ලකා, නගරය මැදින්, මළකඳන් උඩින් ගමන් කෙළේ ය. 52 ඉන්පසු ජුදෙව්වරු ජොර්දාන් ගඟෙන් එතෙර වී, බෙත්-ෂාන් නුවර ඉදිරිපිටින් පිහිටි මහා මිටියාවතට ගියෝ ය. 53 ජුදා දේශයට ළඟා වන තෙක් මුළු මාර්ගය දිගට ම යන්නට ප්‍රමාද වන අය එකතු කරමින් ද, සෙනඟ ධෛර්යවත් කරවමින් ද, ජූදස් තම සෙනඟ හසුරුවමින් සිටියේ ය. 54 ඉන්පසු ඔව්හු, එක මිනිසෙකු වත් නැති කර නොගෙන සුව සේ යෙහෙන් ආපසු පැමිණි බැවින්, මහත් ප්‍රීති සන්තෝෂයෙන් සියොන් කන්දට නැඟී, දවන යාග පූජා ඔප්පු කළො‍් ය.

ජම්නියා නගරය පරාජය වීම

55 ජූදස් සහ ජොනතන් ගිලියද් දේශයේ ද ඔවුන්ගේ සහෝදර සීමොන් ටොලමයිස් නුවර ඉදිරිපිටින් වූ ගලීලයේ ද සිටින විට, 56 සේනාධිපතියන් වූ සෙකරියාගේ පුත් ජො‍්සප් ද අශරියා ද ජූදස් සහ පිරිසගේ වීර ක්‍රියාත්, ඔවුන් ඉතා සාර්ථක ලෙස සටන් කළ ආකාරයත් අසා, 57 ඔව්හු එකිනෙකා සමඟ කතා කරමින්, ”අපිත් කීර්තිය ලබාගනු පිණිස ගොස් අප අවට සිටින ජාතීන්ට විරුද්ධ ව සටන් කරමු”යි කීවෝ ය. 58 ඉන්පසු ඔව්හු තම සේනා භටයන්ට අණ දෙමින් ජම්නියා නුවරට විරුද්ධ ව සටන් කළො‍් ය. 59 එහෙත් ගෝර්ජියස් නමැත්තා තමාගේ සෙනඟ සමඟ ඔවුන්ට විරුද්ධ ව සටන් කිරීම පිණිස නුවරින් පිටතට පැමිණියේ ය. 60 එවිට ජො‍්සප් සහ අශරියා පරදවා පලවා හරිනු ලැබ, ජුදා දේශයේ සීමාවන් දක්වා ම ඔව්හු ලුහුබඳවාගෙන යනු ලැබූ හ. ඒ දවසේ දී ඉශ්රායෙල්වරු දෙදහසක් පමණ මරුමුවට පත් වූ හ. 61 මෙලෙස සෙනඟ ජූදස්ට සහ ඔහුගේ සහෝදරයන්ට ඇහුම්කන් නො දී තමන්ගේ ම ශූරතාව කෙරෙහි විශ්වාසය තැබූ බැවින් ඔවුන්ට අන්ත පරාජයක් අත් විය. 62 මොවුහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය භාර දුන් අයට සුදුසු, ගතිගුණ ඇත්තෝ නොවූ හ.

ජයග්‍රහණ

63 එහෙත් වීරයන් වන ජූදස් ද ඔහුගේ සහෝදරයෝ ද මුළු ඉශ්රායෙල් දේශය තුළත්, මොවුන්ගේ නම සඳහන් කරනු ලැබූ සියලු ජාතීන් අතරත් ඉමහත් කීර්තියක් ලැබූ හ. 64 ඔවුන්ට හරසර දක්වන පිණිස සෙනඟ ඔවුන් වටා රැස්වූ හ. 65 ඉන්පසු ජූදස් දකුණුදිග රටේ විසූ ඒදොම්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස තම සහෝදරයන් සමඟ ගමන් කෙළේ ය. ඔහු හෙබ්‍රොන් නුවරට හා ඊට යාබද ව පිහිටි ගම්වලට පහර දී එහි බලකොටු කඩා බිඳදමා එහි වටේට වූ කොත් සියල්ල ම ගිනිබත් කෙළේ ය. 66 ඉන්පසු ඔහු එතැනින් නික්ම පිලිස්තිවරුන්ගේ දේශයට යන පිණිස මරිසා නගරය මැදින් ගමන් කෙළේ ය. 67 එදින සටනේ දී මැරුම්කෑ අය අතර පූජකවරු සමහර දෙනෙක් ද වූ හ. එසේ වූයේ නුවුවමනා ලෙස ඔවුන් සිය දස්කම් පෑම සඳහා සටනට යාමෙන් කළ මො‍්ඩකම නිසා ය. 68 ඉන්පසු ජූදස් පිලිස්තියාවේ පළාතක් වූ අසෝටස් බලා ගියේ ය. ඔහු ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ දෙවි පිළිම ගිනිබත් කොට, ඔවුන්ගේ නගර මෙලෙස මුළුමනින් ම වනසා දමා ජුදා දේශයට ආපසු ගියේ ය.

– 6 වන පරිච්ඡේදය –

ඇන්ටිඕකස් එපිපානෙස්ගේ අන්තිම කාලය

1 මේ අතරතුරේ දී ඇන්ටිඕකස් රජ උතුරු පළාත් ඔස්සේ යමින් සිටියේ ය. තවද, පර්සියාවේ එලිමයිස් නම් නගරයක් ගැන ඔහුට අසන්නට ලැබිණ. මේ නගරය එහි වූ ධන සම්පත් හා රන් රිදී නිසා ද 2 ග්‍රීක් ජාතිකයන් පළමුවෙන් ම පාලනය කළ ග්‍රීසියේ රජු වන පිලිප්ගේ පුත් ඇලෙක්සන්දර්, රන් යුද ඇඳුම්, ළය වැසුම් සහ වෙනත් අවි ආයුධ තැන්පත් කළ ඉතා ඉසුරුමත් දේවාලය නිසා ද මහත් කීර්තියක් ඉසිලී ය. 3 එබැවින් ඔහු ගොස් ඒ නගරය අල්ලාගෙන එය කොල්ලකන්නට උත්සාහ කළ නමුත් එය සාර්ථක නො වී ය. මන්ද, එහි පුරවැසියන් ඔහුගේ සිතුම් පැතුම් දැනගෙන 4 ඔහුට විරුද්ධ ව තදින් ම සටන් කළ බැවිනි. එවිට ඔහු ආපසු හැරී කනගාටුවෙන් බබිලෝනියාව බලා ගියේ ය. 5 එහෙත් ඔහු පර්සියාවේ සිටිය දී ම, ජුදා දේශය ආක්‍රමණය කළ හමුදාවක් පරාජය වූ බව ඔහුට සැළ විය. 6 විශේෂයෙන්, ලිසියස් ඉමහත් සේනාවක් සමඟ ඉදිරියට ගිය නමුත් ඔහුට ජුදෙව්වන් ඉදිරියෙන් බලෙන් ම ආපසු හැරී පලා යන්නට සිදු වූ බව ද ජුදෙව් හමුදාවන් විසින් කැබලි කරනු ලැබූ සේනාවලින් ලබාගත් යුද්ධායුධවලින් ද ආහාර පානාදියෙන් ද අධික කොල්ලයෙන් ද ඔවුන් වඩාත් බලසම්පන්න වී සිටින බව ද 7 ජෙරුසලමේ පූජාසනයට උඩින් තමා ඉදිකරවූ ”පිළිකුල් දූෂිතය” ජුදෙව්වන් විසින් විනාශ කරනු ලැබූ බව ද ඊට කලින් තිබුණු පරිදි ශුද්ධස්ථානය උස් ප්‍රාකාරවලින් වට කොට, ඔහුගේ නගරයක් වූ බෙත්-ශූර් ශක්තිමත් කර තිබෙන බව ද ඔහුට සැළ විය. 8 රජ තෙම මෙය ඇසූ විට මවිතයට පත් වී තදින් කම්පා විය. තමා බලාපොරොත්තු වූ අන්දමට කිසිවක් සිදු නොවූ නිසා, ඔහු යහන මත වැතිර දැඩි සිත් වේදනාවෙන් මලානික වී සිටියේ ය. 9 මෙලෙස ඔහු බොහෝ දින ගණනක් මලානික ගතියෙන් සිටින අතර නොයෙක් වර සිහිසන් නැති ව යන්නට ද වූයෙන් තමා මැරෙන්නට යන බව ඔහු තේරුම්ගත්තේ ය. 10 එවිට ඔහු තම මිත්‍රයන් සියලු දෙනා කැඳවා, ඔවුන්ට කතා කොට, ”මාගේ දෙනෙතට නින්ද නැත. මම ද සිත් තැවුලෙන් බියට පත් වී සිටිමි. 11 මට ධන සම්පත් තිබුණු අවදියේ මම ඉතා ත්‍යාගශීලී ව ප්‍රේමය ලබා සිටියෙමි. එහෙත් දැන් ගංවතුරක් වැනි මහා කරදරයක මා වෙළී පැටලී ගිලී සිටීමට හේතුව කුමක් ද? මගෙන් ම මම ප්‍රශ්න කරගනිමි. 12 මා ජෙරුසලමේ දී එහි සියලු රන් රිදී භාජන පැහැර ගැනීමෙන් ද කිසි ම හේතුවක් නැති ව ජුදා දේශයේ වැසියන් සමුල ඝාතනයෙන් වනසාලීමට අණ කිරීමෙන් ද මා එහි දී කළ වැරදි මට දැන් සිහි වේ. 13 මට මේ සා මහත් කාලකණ්ණිකමක් පැමිණ තිබෙන්නේත්, විදේශීය රටක දී මා මලානික ගතියෙන් මරණාසන්න වී සිටින්නේත් මක්නිසා ද? ඊට හේතුව මට දැන් පැහැදිලි වී ඇතැ”යි කීවේ ය.

පස් වන ඇන්ටිඕකස් රජ සිංහාසනාරූඪ වීම

14 ඉන්පසු ඔහු තම මිතුරෙකු වූ පිලිප් කැඳවා මුළු රාජ්‍යයේ ම වැඩ බැලීමට ඔහු පත් කෙළේ ය. 15 තවද පිලිප් රජුගේ පුත් ඇන්ටිඕකස්ට උගන්වා, සිංහාසනයට පත් කිරීම සඳහා ඔහුට පුහුණුව ලබා දිය යුතු ය යන සම්මතය පිට, රජ තෙමේ ඔහුට තමාගේ කිරීටය ද පළඳනාව ද මුද්‍රාව ද භාර දුන්නේ ය. 16 වර්ෂ එකසිය හතළිස් නවයේ දී ඇන්ටිඕකස් රජ මරණයට පත් විය. 17 රජු මරණයට පත් වූ බව ලිසියස් ඇසූ විට බාල වියේ පටන් තමා විසින් හදාවඩා ඇතිකරන ලද රාජ කුමාරයා වන ඇන්ටිඕකස් මියගිය රජු වෙනුවට සිහසුන් පත් කරවූයේ ය. තවද, හෙතෙම යුපාටොර් යන නාමය ද එම රාජ කුමාරයාට තැබී ය.

ජූදස් ජෙරුසලම වටලෑම

18 ජෙරුසලම් බලකොටුවෙහි සිටි භටයන් ශුද්ධස්ථානය අවට ප්‍රදේශයෙහි විසූ ඉශ්රායෙල්වරුන්ට අනතුරු කිරීමට නිතර ම අවස්ථාව සොයමින්, විජාතිකයන්ට මහත් ලෙස උදව් උපකාර කරන්නට වූ බැවින් ඔව්හු, ඉශ්රායෙල්වරුන්ට තර්ජනයක් වූ හ. 19 ජූදස් ද ඔවුන් වනසාලීමට තීරණය කරගෙන, ඔවුන් වටලනු පිණිස යුද්ධ කටයුතු සඳහා මුළු සෙනඟ එක්රැස් කෙළේ ය. 20 ඔව්හු එකතු වී වර්ෂ එකසිය පණහේ දී නගරය අල්ලාගනු පිණිස වේදිකා ද වටලන යන්ත්‍ර ද ඉදිකර බලකොටුව වැටලූ හ. 21 එහෙත් වටලනු ලැබූ අයගෙන් සමහරෙක් බාධක කඩා බිඳගෙන පැමිණියහ. ඉශ්රායෙල්වරුන් වෙතින් පලා ගිය මිනිස්සු ගණනාවක් ද මොවුන් හට එකතු වූ හ. 22 මේ සියල්ලෝ ම රජු වෙත පැමිණ මෙසේ කී හ. ”ඔබ යුක්තිය ඉටු කර, අපේ සෙනඟ කළ වැරැද්දට ඔවුන්ට දඬුවම් කරන තෙක් අප කොපමණ කල් බලා සිටින්න ද? 23 ඔබේ පියාට සේවය කිරීමෙන් ද ඔහුගේ නියමයන්ට එකඟ වීමෙන් ද ඔහුගේ ආඥාවලට කීකරු වීමෙන් ද අපි සතුටු වී සිටියෙමු. 24 එහි ප්‍රතිඵලය වූයේ අපේ ම සෙනඟ විසින් අප කොන් කරනු ලැබීම යි. එපමණක් නොවේ, ඔව්හු අපෙන් ඔවුන්ට අසු කරගන්නට පුළුවන් වූ සියලු දෙනා ම මරාදමා අපේ උරුමය ද කොල්ලකෑ හ. 25 ඔවුන් මෙසේ පහර දී ඇත්තේ අපට පමණක් නොව ඔබේ විජිත සියල්ලට ම ය. 26 මේ මොහොතෙහි දී ජෙරුසලමේ බලකොටුව අල්ලාගනු පිණිස ඔව්හු එය වටලමින් සිටිති. තවද, ඔවුන් ශුද්ධස්ථානය ද බෙත්-ශූර් නගරය ද ශක්තිසම්පන්න කර ඇත. 27 මෙය වළක්වන පිණිස ඔබ දැන් ම කල් ඇති ව ක්‍රියා නොකළහොත් ඔවුන් වඩාත් භයානක දේවල් පවා කරනු ඇත. එවිට කවදාවත් ඔබට ඔවුන් දමනය කළ නොහැකි වනු ඇත.”

සතුරු සේනාවල යුද්ධ ව්‍යාපාරය

28 මෙය ඇසූ රජ තෙමේ අතිශයින් කෝපාවිෂ්ට වී පාබළ හමුදාවල සේනාධිපතීන් ද අශ්ව හමුදාවේ නායකයන් ද වන තම මිතුරන් සියලු දෙනා කැඳවී ය. 29 තවද ඔහු වෙනත් රාජ්‍යවලින් සහ දිවයින්වලින් කුලියට ගත් භටයන් ද පුහුණු කරවූයේ ය. 30 ඔහුගේ හමුදාවත් ගණන් කළ විට, පාබළ හමුදාවේ භටයෝ එක් ලක්ෂයක් වූ හ. අශ්ව සේනාව විසි දහසක් වූ හ. සටන් පිළිබඳ මනා අත්දැකීම් සහිත වූ ඇත්තු තිස් දෙදෙනෙක් ද වූ හ. 31 ඔව්හු ඉදුමියාව මැදින් ඉදිරියට ගොස් බෙත්-ශූර් නගරය වටලා, දින ගණනක් නොකඩවා ම ඊට පහර දුන්හ. ඔව්හු නගර වටලන යුද්ධ යන්ත්‍ර ද සෑදූ හ. එහෙත් ආරක්ෂක භටයෝ ධෛර්යවත් ව ඔවුන්ට විරුද්ධ ව සටන් කරමින් හදිසි පහරක් දී ඒ යන්ත්‍රවලට ගිනි තැබූ හ.
32 එවිට ජූදස් බලකොටුව වටලෑම නවතා රාජකීය කඳවුර ඉදිරිපිටින් වූ බෙත්-ශෙකරියා නම් ස්ථානයේ කඳවුරු බැන්දේ ය. 33 රජ තෙම අලුයම අවදි ව බෙත්-ශෙකරියා නගරය දෙසට තම හමුදාව ඉතා වේගයෙන් ගමන් කරවී ය. එහි දී ඒ හමුදා යුද්ධයට පිළිවෙළින් පෙළගැසී සැරසී හොරණෑ ශබ්ද කළහ. 34 ඇතුන් සටනට සූදානම් කරවනු පිණිස උන්ට පැණි සහිත මිදි ගෙඩි සහ රට ඇඹිල්ල පෙන්වන ලදී. 35 ඉන්පසු ඔව්හු එක එක ඇතාට සන්නාහ සන්නද්ධ ලෝකඩ හිස් වැසුම් ලා ගත් මිනිසුන් දහස බැගින් වෙන් කොට, ඒ සතුන් සටන් වැදෙන පිරිස අතරෙහි බෙදා හැරියහ. එක එක සතාට තෝරාගන්න ලද අශ්ව භටයෝ පන්සියය බැගින් ද වෙන් කරනු ලැබූ හ. 36 ඇතුන් ගත් සෑම පියවරක් ම අශ්ව භටයෝ කල්තියා දැන සිටියහ. ඇතුන් ගිය සෑම තැන ම අශ්ව භටයෝ ද ගියහ; ඔව්හු කෙසේ වත් උන්ගෙන් වෙන් නොවූ හ. 37 ඇතුන් සියලු දෙනා ආරක්ෂා කරනු පිණිස උන්ගේ පිට බඳපටිවලින් වෙළනු ලැබ, නිසි පිළිවෙළට තැබූ ලීයෙන් සාදන ලද ශක්තිමත් අට්ටාලයක් ඒ මත විය. ඇතුන් මෙහෙයවන්නා ද උස් ස්ථානයක සිට සටන් කළ හැකි පිරිසක් ද ඒවායෙහි වූ හ. 38 අශ්ව සේනාවේ ඉතිරි කොටස සතුරාට හිරිහැර කරන පිණිසත් සටන් පිරිස් ආරක්ෂා කරන පිණිසත් හමුදාවේ දෙපැත්තෙන් එක පැත්තක සිටුවනු ලැබූ හ.
39 ඉරු එළිය ලෝකඩ සහ රන් පලිහ මත වැටී බැබළෙන විට එයින් කඳුකරය දිස්නය වූ නිසා ඒවා ගිනිගත් පන්දම් මෙන් බබළන්නට විය. 40 රජුගේ සේනාවෙන් කොටසක් කඳුකරයේ ඉහළ කොටසෙහි ද අනික් කොටස මිටියාවතේ සමභූමියෙහි ද පැතිරී සිටියහ, සියල්ලෝ ම නිසි පිළිවෙළට නිසැක ව ඉදිරියට ගමන් ගත්හ. 41 මේ විශාල පිරිසගේ ශබ්දයත්, ඉදිරියට යමින් සිටි සේනාවන්ගේ ගිගිරුම් හඬත් ඔවුන්ගේ සන්නාහයන් ගැටීමේ හඬත් නිසා ඇති මහා ඝෝෂාවෙන් සියල්ලෝ ම කම්පා වූ හ. එය අතිවිශාල අතිබලසම්පන්න හමුදාවක් විය. 42 එවිට ජූදස් සහ ඔහුගේ සේනාව ද සටන් පිණිස ඉදිරියට ගියහ. සටන් නිසා රජුගේ සේනාවෙන් හය සියයක් මැරුම්කෑ හ. 43 අවරන් නම් ලත් එලෙයාසර් තෙමේ රාජකීය ඇඳුම්ආයිත්තම්වලින් සරසන ලදුව අනිත් ඇතුන්ට වඩා උස් ව සිටි ඇතෙකු දැක, ඌ පිට රජු අසුන් ගෙන සිටිතැ යි සිතාගෙන, 44 තම ජනතාව ගළවාගෙන අමරණීය කීර්තියක් හිමි කරගන්න අදහසින් යුතු ව ක්‍රියා කිරීමෙන් තම ජීවිතය පූජා කෙළේ ය. 45 ඔහු ඒ සටන් පිරිස මැදින් වේගයෙන් ඉදිරියට යමින්, දකුණට හා වමට වේගයෙන් පහර දෙමින්, සෙනඟ පීරාගෙන ඒ සතා වෙත වේගයෙන් ගියේ ය. එවිට සතුරො‍් ද එම පහරින් බේරෙන පිණිස දෙපැත්තට පැනීමෙන් විසිරී ගියහ. 46 ඉන්පසු ඔහු ඇතාගේ බඩ යටට ම ගොස් ඌට කඩුවෙන් ඇණ ඌ මරාදැමී ය. සතා ද ඔහු මත මැරී වැටිණ. ඔහු ද ඌට යට වී එතැන ම මළේ ය. 47 රජුගේ ශක්තිසම්පන්නකමත්, රාජකීය සේනාවල රෞද්‍රකමත් දුටු විට ජුදෙව්වරු සතුරු සේනාව ඉදිරියෙන් පසුබැස්සෝ ය.

සිරියන්වරුන්ගේ ආක්‍රමණය

48 ජෙරුසලම ඉදිරිපිට සිටි ඔවුන්ට විරුද්ධ ව සටන් කිරීමට රාජකීය හමුදාව ගමන් කෙළේ ය. රජ තෙමේ ද, ජුදයාව සහ සියොන් කන්ද අවහිර කිරීමට පටන්ගත්තේ ය. 49 ඔහු බෙත්-ශූර්හි සිටි සෙනඟට සාම කොන්දේසි දුන් බැවින් ඔව්හු ඒ නගරය අත්හැර ගියහ. එකල ඒ දේශයේ සබත් වර්ෂයක් තිබූ නිසා වටලෑමක දී අවශ්‍ය වන ආහාර ගබඩා එහි නො වී ය. 50 රජ තෙම බෙත්-ශූර් නගරය අල්ලාගත් පසු එය මුර කිරීමට ආරක්ෂක සේනා සහිත බළ ඇණියක් එහි සිටවූයේ ය. 51 ඉන්පසු ඔහු නගරවලට ගිනි හුළු වීසි කරන්නන් සහිත වේදිකාව ද නගර වටලන යුද්ධ යන්ත්‍ර ද ගිනි වීසි කරන්නන් ද ගිනි වීසි කරන යන්ත්‍ර ද දමාගසන රළු ආයුධ ද ගල් පටි ද යන මේවා ඇති ව, බොහෝ කාලයක් මුළුල්ලෙහි ශුද්ධස්ථානය වටලෑමෙහි යෙදුණේ ය. 52 මුර භටයන් ද ඒවාට විරුද්ධ ව ඔවුන්ගේ ම යුද්ධ යන්ත්‍ර සෑදූ බැවින් සටන් දික් ගැස්සීමට ඔවුන්ට පුළුවන් විය. 53 එය හත් වන අවුරුද්ද වූ බැවින් එහි ආහාර තොග කිසිවක් නොමැති විය. තවද, විජාතිකයන්ගෙන් ජුදයා දේශයෙහි සැඟවී සිටි අය ඔවුන්ගේ ඉතිරි කෑම ටික අනුභව කොට තිබිණි. 54 සාගතය ඉතා දරුණු වූ බැවින් ශුද්ධස්ථානයෙහි ඉතිරි වූවෝ ටික දෙනෙක් පමණක් වූ හ. සෙස්සෝ විසිරී ගෙවලට ගියහ.

ජුදෙව්වරුන්ට ආගමික නිදහස දීම

55 මේ අතරතුර ඇන්ටිඕකස් රජු විසින් තම මරණයට කලින් තමාගේ පුත් ඇන්ටිඕකස් කුමරු රජකමට පුහුණු කිරීම සඳහා පත් කරනු ලැබූ පිලිප් නමැත්තා 56 රජු කැටුව ගිය හමුදාවන් සමඟ පර්සියාවෙන් සහ මේදියාවෙන් හැරී අවුත්, රාජ්‍ය පාලනයේ කටයුතු පැහැරගැනීමට සිත සිතා සිටියේ ය. 57 ලිසියස් මේ ගැන ඇසූ විට, එක් වර ම නික්ම යාමට තීරණය කරගෙන, රජතුමා ද හමුදා සෙන්පතියන් ද සෙනඟ ද අමතා මෙසේ කී ය: ”අපි දවසින් දවස දුර්වල වීගෙන යන්නෙමු. අපට ආහාර හිඟ ය. අප විසින් වටලන ලද ස්ථානය ද ඉතා ශක්තිසම්පන්න ය. ඇරත් රාජධානියේ කටයුතු ගැනත් අපේ අවධානය යොමු කළ යුතු ය. 58 එබැවින් අපි මේ මිනිසුන් සමඟ මිත්‍ර වී ඔවුන් සමඟ ද ඔවුන්ගේ මුළු ජාතිය සමඟ ද සාමදාන වෙමු. 59 ඔවුන්ගේ සම්ප්‍රදායයන් පහ කිරීම නිසා මෙලෙස ක්‍රියා කිරීමට ඔවුන් පොළඹවනු ලැබූ බැවින්, කලින් තිබුණාක් මෙන් ඔවුන්ගේ සම්ප්‍රදායයන් අනුගමනය කරන්නට අපි ඔවුන්ට අවසර දෙමු.” 60 ඔහු මෙසේ කී පසු, රජු ද ඔහුගේ සෙන්පතීන් ද මේ කථාව අනුමත කළ බැවින්, ඔහු ජුදෙව්වරුන්ට සාම යෝජනාවක් යැවී ය. ජුදෙව්වරු ද එය පිළිගත්හ. 61 රජ තෙමේ ද සෙන්පතීහු ද එම ගිවිසුම දිවුරුමකින් අනුමත කළහ. ඒ අනුව, වටලා සිටි අය බලකොටුවෙන් නික්ම ගියහ. 62 එවිට රජ තෙම සියොන් කන්දට ඇතුළු විය. එහෙත් එම ස්ථානය බිඳ හෙළිය නොහැකි වන පමණට, එය කොපමණ ශක්තිමත් ද යන්න ඔහු දුටු විට, තමා විසින් ඊට කලින් දෙනු ලැබූ දිවුරුම කඩ කරමින්, වටේට පිහිටි ප්‍රාකාරය කඩා බිඳදමන ලෙස අණ කෙළේ ය. 63 එවිට ඔහු ඉක්මනින් කඳවුරු ගලවා අන්තියෝකිය නුවරට ආපසු ගියේ ය. එහි දී නගරයේ ස්වාමියා පිලිප් බව ඔහුට පෙනී ගියේ ය. එබැවින් ඇන්ටිඕකස් ඔහුට විරුද්ධ ව සටන් කොට නගරයට පහර දී එය අල්ලාගත්තේ ය.

– 7 වන පරිච්ඡේදය –

පළමු වන දෙමෙත්‍රියස්ගේ රාජ්‍ය පාලනය

1 වර්ෂ එකසිය පණස් එකේ දී සෙලෙවුකස්ගේ පුත් දෙමෙත්‍රියස් රො‍්මයෙන් ගැළවී ස්වල්ප දෙනෙකු සමඟ මුහුදුබඩ නගරයකට පැමිණියේ ය. 2 එහි දී ඔහු රජකමට පත් විය. 3 ඔහුගේ පියවරුන්ගේ රාජ භවනට ඇතුළුවන්නට යද්දී ඔහුගේ හමුදාව, ඔහු ඉදිරියට ගෙන ඒමට අදහස් කොට, ඇන්ටිඕකස් සහ ලිසියස් අත්අඩංගුවට ගත්තේ ය. එහෙත් මෙය ඇසූ විට, ඔහු කතා කොට, ”මට ඔවුන් දකින්නට ඉඩ නොතබන්නැ”යි කී ය. 4 එබැවින් හමුදාව ඔවුන් මරා දැමුවායින් පසු ව, දෙමෙත්‍රියස් සිංහාසනාරූඪ විය. 5 එවිට ඉශ්රායෙල් දේශයේ සිටි සියලු ද්‍රෝහියෝ ද අභක්තිකයෝ ද රජු වෙතට පැමිණියහ. ඔවුන් එසේ පැමිණියේ නායක පූජක තනතුරට පත් වීමට අදහස් කරගෙන සිටි ඇල්සිමස් නමැත්තාගේ බල කිරීම යටතේ ය. 6 ඔව්හු රජු ඉදිරියෙහි සෙනඟට විරුද්ධ ව චෝදනා කළහ. ඔව්හු කතා කරමින්, ”ජූදස් ද ඔහුගේ සහෝදරයෝ ද ඔබේ මිත්‍රයන් සියලු දෙනා ම මරාදැමූ හ. තවද, ඔව්හු අප ද අපේ රටින් පන්නාදැමූ හ. 7 එබැවින් ඔබ දැන් ඔබට විශ්වාස කළ හැකි යම් තැනැත්තෙකු යවනු මැනවි. ඔහු ගොස් ජූදස් විසින් අප පිටත් රජුගේ යටත් විජිතයන් පිටත් පමුණුවා තිබෙන මහා සංහාරය බැලිය යුතු ය. ඔහු ඒ කාලකණ්ණින්ටත් ඔවුන්ට සහාය දුන් සියලු දෙනාටත් දඬුවම් කළ යුතු ය”යි සැළ කළහ.
8 එවිට රජ තෙම ස්වකීය දේශයේ ශ්‍රේෂ්ඨයෙකු වූ ද තමාට පක්ෂපාතී වූ ද යුප්‍රටීස් ගංගාවෙන් එපිට ප්‍රදේශයෙහි ආණ්ඩුකාරයා වූ ද තමාගේ හිත මිතුරෙකු වූ ද බක්කිදෙස් තෝරාගත්තේ ය. 9 මෙලෙස රජ තෙම ඔහු තෝරාගෙන, නායක පූජක තනතුරට පත් කරනු ලැබූ අභක්තික ඇල්සිමස් සමඟ, ඉශ්රායෙල්වරුන්ගෙන් පළිගන්නා පිණිස අණ දී, ඔහු යැවී ය. 10 මෙලෙස ඔව්හු විශාල හමුදාවක් සමඟ පිටත් ව ගොස් ජුදා දේශයට පැමිණ ජූදස් සහ ඔහුගේ සහෝදරයන් වෙත ව්‍යාජ සාම පොරොන්දු ඇති ව දූතයන් යැවූ හ. 11 ඔවුන් විශාල සේනාවක් පිරිවරාගෙන පැමිණි බැවින් ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ ඔවුන් නොපිළිගත්හ. 12 කෙසේ වුව ද, සාධාරණ සාම කොන්දේසි ඉල්ලන පිණිස ලේකම්වරුන්ගේ කමිටුවක් ඇල්සිමස් සහ බක්කිදෙස් ඉදිරියෙහි පෙනී සිටියහ. 13 ඉශ්රායෙල්වරුන් අතරෙන් සාම කොන්දේසි ඉල්ලීම සඳහා පළමුවෙන් ම ඉදිරිපත් වූවෝ බසිදියන්වරු ය. 14 ”සන්නාහ සන්නද්ධ සේනාවක් සමඟ මේ පැමිණ සිටින්නේ ආරොන්ගේ පෙළපතේ පූජකවරයෙකි. එබැවින් ඔහු අපට නපුරක් නොකරන්නේ ය” කියා, ඔව්හු කල්පනා කළහ. 15 ඇත්තෙන් ම ඔහු ඔවුන් සමඟ සාම කොන්දේසි සාකච්ඡා කොට, ”අපි ඔබට වත් ඔබේ මිතුරන්ට වත් හානියක් කිරීමට උත්සාහ නොකරන්නෙමු”යි ඔවුන්ට දිවුරුම් දුන්හ. 16 ඔවුන් ඔහු විශ්වාස කළ නමුත්, ඔහු ඔවුන් අතරෙන් හැට දෙනෙකු සිරභාරයට ගෙන එක දවසේ දී ම ඔවුන් මරාදැමී ය. මෙලෙස ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි 17 ‘ඔවුන් ඔබේ බැතිමතුන්ගේ මාංස විසුරුවාදමා ඇත. ජෙරුසලම වටේට ම ඔවුන්ගේ ලේ වගුරුවා ඇත. මිනීවළක් කැණීමට පවා කිසිවෙක් නැත’ යන වචන සම්පූර්ණ විය. 18 මෙය සිදු වූ විට මුළු සෙනඟ බියෙන් සහ සංත්‍රාසයෙන් ඇලළී ගියහ. ඔව්හු කතා කොට, ”ඒ අය ඇත්ත කියන අය වත් දැහැමි අය වත් නොවෙති. ඔව්හු තමන් කළ ගිවිසුමත් දුන් දිවුරුමත් කඩ කෙළෝ ය”යි කී හ.
19 එවිට බක්කිදෙස් ජෙරුසලමෙන් නික්ම ගොස් බෙත්සයිත් නම් නුවර කඳවුරු බැඳ එහි සිට දූතයන් යවා තමා අත්හැර ගිය බොහෝ දෙනෙකුන් ද සෙනඟගෙන් සමහර දෙනෙකුන් ද අත්අඩංගුවට ගෙන ඔවුන් මරා ඔවුන්ගේ මළකඳන් මහා වළකට වීසි කෙළේ ය. 20 ඉන්පසු ඔහු ඇල්සිමස්ට පළාතේ වගකීම පවරා දී ඔහුට සහාය වීමට ඔහු සමඟ සේනාවක් නැවැත්වී ය. මෙසේ කළ පසු බක්කිදෙස් තෙමේ රජු වෙත ආපසු ගියේ ය. 21 ඇල්සිමස් නායක පූජක තනතුර සඳහා වූ තම සටන දිගට ම කරගෙන ගියේ ය. 22 ඔවුන්ගේ ම සෙනඟ අතර වූ, සාමයට විරුද්ධ ව ක්‍රියා කළ අය ද ඔහුට එකතු වූ හ. ඔව්හු ජුදා දේශයේ පාලනය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන් අතර මහා සංහාරයක් කළහ. 23 ඇල්සිමස් සහ ඔහුගේ සහායකයන් විසින් ඉශ්රායෙල්වරුන්ට කරන ලද සියලු දුෂ්ටකම් විජාතිකයන් කළ ඒවාටත් වැඩි වූ බව දැක, 24 ජූදස් තෙමේ තමන් අත්හැර ගිය අයගෙන් පළිගන්නා පිණිසත් ඔවුන් රට තුළ නිදහසේ යාම් ඊම් කිරීම වළක්වන පිණිසත් මුළු ජුදා දේශය වටේට ම ගමන් කෙළේ ය.
25 ජූදස් සහ ඔහුගේ සහායකයන් කොපමණ ශක්තිසම්පන්න වී සිටිත් දැ යි දුටු ඇල්සිමස් ඔවුන්ට විරුද්ධ ව යාමට තමාට ශක්තිය නැති බව තේරුම් ගෙන රජු වෙත හැරී ගොස් ඔවුන්ට විරුද්ධ ව සාපරාධී චෝදනා රජුට ඉදිරිපත් කෙළේ ය.

කපර්සලමාහි වූ සටන

26 එවිට රජ තෙමේ ඉශ්රායෙල්වරුන්ගේ පරම සතුරෙකු වූ ද ‘ශ්‍රීමත්’ යන නම්බු නාමය ලැබ සිටියා වූ ද නිකනෝර් නම් සෙන්පතියාට සෙනඟ විනාශ කරන ලෙස අණ දී ඔහු පිටත් කර යැවී ය. 27 විශාල හමුදාවක් සමඟ ජෙරුසලමට පැමිණි පසු නිකනෝර් ජූදස් සහ ඔහුගේ සහෝදරයන් වෙත දූතයන් යවමින් ව්‍යාජ සාම යෝජනා ඉදිරිපත් කෙළේ ය. 28 ”ඔබත් මාත් අතර අපි සටන් නොකරමු. මම කුඩා පිරිවරක් සමඟ පැමිණ සාමදානයෙන් මුහුණට මුහුණ දී ඔබ හමු වන්නෙමි”යි කී ය. 29 ඔහු ජූදස් වෙත පැමිණි විට, ඔව්හු තරමක සාමදානයෙන් අන්‍යොන්‍ය ලෙස එකිනෙකාට ආචාර සමාචාර කළහ. එහෙත් මෙලෙස කිරීමෙන් ජූදස් පැහැරගෙන යාමට සතුරා සියල්ල සූදානම් කර තිබිණි. 30 තමා හමුවීමට පැමිණි නිකනෝර්ගේ මේ ද්‍රෝහි අදහස දැනගත් විට, ජූදස් බිය වී ඉන්පසු නිකනෝර් හමු වීම ප්‍රතික්ෂේප කෙළේ ය. 31 නිකනෝර් ද ජූදස් තමාගේ කූට උපාය තේරුම්ගෙන තිබෙන බව දැනගත් විට, කපර්සලමා නම් ස්ථානයේ දී ජූදස්ට විරුද්ධ ව සටනට ගියේ ය. 32 එහි දී නිකනෝර්ගේ සෙනඟගෙන් පන්සියයක් පමණ දෙනා මැරුම්කෑ හ. සෙස්සෝ දාවිත්ගේ නගරයෙහි සැඟවුණාහ.

දේව මාලිගාවට තර්ජන කිරීම

33 මේ සිද්ධියෙන් පසු ව නිකනෝර් සියොන් කන්දට නැඟී ගියේ ය. එවිට ප්‍රජා මූලිකයන් කීප දෙනෙකු සමඟ සමහර පූජකවරු නිකනෝර් සාමදානයෙන් පිළිගැනීමටත්, රජු උදෙසා ඔප්පු කරන ලද දවන යාග පූජාව පෙන්වීමටත් ශුද්ධස්ථානයෙන් පිටත් ව ආහ. 34 එහෙත් ඔහු ඔවුන්ට කවටකම් කරමින්, මුහුණට ම සිනාසී, ඔවුන් කෙලෙසා, කෝපාවිෂ්ට වී, දිවුරුම් දෙමින්, අහංකාර වචන පාවිච්චි කරමින්, 35 ”නුඹලා මෙවර ජූදස් සහ ඔහුගේ සේනාව මට පාවා නුදුන්නොත්, මා සුව සේ හැරී ආ විට, මේ ගොඩනැඟිල්ල ගිනිබත් කරන්නට පොරොන්දු වෙමි”යි කීවේ ය. ඔහු මෙසේ කියා තද කෝපයෙන් යන්නට ගියේ ය. 36 එවිට පූජකවරු දේව මාලිගාවට ගොස් පූජාසනය සහ ශුද්ධස්ථානය අබිමුව කඳුළු හෙළමින්, 37 ”දෙවියන් වහන්ස, මේ මාලිගාව යාච්ඤාවට ද ඔබේ සෙනඟගේ අයැදුම්වලට ද මාලිගාවක් වන ලෙස, ඊට ඔබේ නාමය දෙමින් ඔබ එය තෝරාගත් සේක. 38 මේ මිනිසාට ද ඔහුගේ සේනාවට ද දඬුවම් කරනු මැනවි. ඔව්හු කඩුවෙන් මරණයට යත් වා! ඔවුන්ගේ දේවාපහාසය සිහි කොට ඔවුන්ට කිසි ම ඉඩ ප්‍රස්තාවක් දානය නොකළ මැනව”යි යාච්ඤා කළහ.

සතුරාගේ පරාජය

39 නිකනෝර් ජෙරුසලමෙන් නික්ම විත් බෙත්-හොරොන් නම් ස්ථානයේ කඳවුරු බැන්දේ ය. සිරියාවෙන් පැමිණි සේනාවක් ද එහි දී ඔහුට එකතු විය. 40 එවිට ජූදස් තුන් දහසක සේනාවක් සමඟ අදසා නම් ස්ථානයේ කඳවුරු බැඳ මෙලෙස යාච්ඤා කෙළේ ය: 41 ”දෙවියන් වහන්ස, අසිරියාවේ රජුගේ තානාපතියන් දේවාපහාස කී විට ඔබේ දූතයා නික්ම ගොස් ඔහුගේ සෙනඟ අතරෙන් එක් ලක්ෂ අසූ පන්දහසකට පහර දී මැරුවේ ය. 42 එලෙස ම ඔබ වහන්සේ අද දින මේ සේනාව විනාශ කරදැමීම අපට දකින්නට ලැබේ වා! එසේ කළ විට, මේ මිනිසා ඔබේ ශුද්ධස්ථානයට විරුද්ධ ව දේවාපහාස කී බව අනෙක් අය දැනගන්නෝ ය. ඔහුගේ දුෂ්ටකම අනුව ඔබ වහන්සේ ඔහු විනිශ්චය කරන සේක් වා!”
43 මෙසේ යාච්ඤා කළ පසු, අදාර් මාසයේ දහතුන් වන දින යුද්ධ සේනාවෝ සටන් වැදුණාහ. ඒ සටනින් නිකනෝර්ගේ හමුදාව පරාජය ලැබී ය. තවද ඒ සටනේ දී පළමුවෙන් ම මැරුම්කෑවේ ඔහු ය. 44 නිකනෝර් මැරුම්කෑ බව ඔහුගේ යුද්ධ භටයන් දුටු විට ඔව්හු තමන්ගේ යුද්ධායුධ විසි කරදමා පලා ගියහ. 45 අදසා සිට ගෙසෙර් නම් ස්ථානයට ඇතුළු වන තෙක්, මුළු දවසක් ම ජුදෙව්වරු ඔවුන් ලුහුබැඳ ගියහ. මෙසේ ලුහුබැඳ යද්දී, අනතුරු ඇඟවීමක් වශයෙන් ඔව්හු තමන්ගේ හොරණෑ පිම්බෝ ය. 46 එවිට මුළු ජුදයාව අවට සෑම ග්‍රාමයකින් ම සෙනඟ අවුත් ඔවුන්ගේ පලායාමට අවහිර කළහ. එවිට සතුරු හමුදාව තමන්ගේ සෙනඟට විරුද්ධ ව සිටි බැවින් සියල්ලෝ ම කඩුවෙන් මැරුම්කෑ හ. එක් කෙනෙකු වත් ඉතිරි නො වී ය. 47 ජුදෙව්වරු කොල්ලය හා පැහැරගත් දේවල් එකතු කරගෙන නිකනෝර්ගේ හිස ද අහංකාරය පෙන්වීමට එසවූ ඔහුගේ දකුණු අත ද කපාගෙන ගොස් ජෙරුසලමේ ජනතාවට පෙනෙන පරිදි ඒවා දැක්වූ හ. 48 සෙනඟ ද නිම්හිම් නැති ප්‍රීතියට පත් වී එදින මහා නිවාඩු දිනයක් ලෙස පැවැත්වූ හ. 49 තවද, අදාර් මාසයේ දහතුන් වන දින එම උත්සවය අවුරුදුපතා ම පැවැත්වීමට ද ඔව්හු තීරණය කළහ. 50 මෙලෙස ස්වල්ප කාලයකට ජුදා දේශයේ සාමය පැවතිණි.

– 8 වන පරිච්ඡේදය –

රො‍්ම ජාතිකයන් පැසසීම

1 රො‍්මවරුන්ගේ කීර්තිය ද ඔවුන්ගේ යුද හමුදා ශක්තිය ද ඔවුන් සමඟ සමඟි පෙරමුණකට බැඳෙන සියල්ලන්ට ඔවුන් දක්වන කාරුණික භාවය ද ගැන ජූදස් අසා තිබිණි. ඔවුන් වෙත ළඟාවෙන සෑම කෙනෙකු සමඟ ම මිතුරු සබඳතා පිහිටුවාගැනීමට ඔවුන්ට වුවමනා විය. 2 එසේ වූයේ ඔවුන්ගේ යුද්ධ හමුදා ශක්තිය නිසා ය. ඔවුන් විසින් පරාජය කරනු ලැබ කප්පම් ගෙවීමට සලස්වනු ලැබූ ප්‍රංශ ජාතිකයන්ට විරුද්ධ ව ඔවුන් කළ සටන් ගැනත්, එහි දී ඔවුන් පෑ ශූරතාව ගැනත් ඔහුට දන්වා තිබිණි. 3 ස්පාඤ්ඤ දේශයේ පිහිටි රන් රිදී ආකර අයිති කරගැනීම සඳහා ඔවුන් කළ සියල්ල ගැන ද 4 තමන්ගේ දේශයේ සිට ඒ රටට බොහෝ දුර වුවත් ඔවුන්ගේ අධිෂ්ඨාන ශක්තියෙන් සහ දැඩි සහයෙන් ඔවුන් ඒ රටට ම අධිපති වූ අන්දම ගැන ද පොළොවේ සතරදිගින් ඔවුන්ට පහර දීමට භූපතීන් පැමිණි නමුත් ඒ සියල්ලන් විනාශයේ ගිල්වා ඔවුන් පොඩිපට්ටම් කළ අන්දම ගැන ද ඔවුන්ට වාර්ෂික කප්පම් ගෙවූ තවත් අය ගැන ද ඔහුට සැළ කර තිබිණි. 5 තවද, රො‍්මවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට නිර්භීතකමක් දැක්වූ පිලිප් ද, කිත්තිම් දේශයේ රජ වූ පර්සේයුස් සහ සෙසු අය ද පරාජය කරනු ලැබ යටත් කරනු ලැබූ හ. 6 ආසියාවේ මහා රජ වූ ඇන්ටිඕකස් ඇතුන් එකසිය විසි දෙනෙකු ද අශ්ව සේනා ද අශ්ව රථ ද, ඉතා විශාල හමුදාවක් ද, රැගෙන රො‍්මවරුන්ට පහර දීමට ඉදිරියට ගිය නමුත් ඔහු ඔවුන් අතින් පරාජයට පත් විය. 7 ඉන්පසු රො‍්මවරු ඒ රජු පණපිටින් අල්ලාගෙන ඔහු විසින් ද ඔහුට පසු ව පැමිණෙන වෙනත් රජවරුන් විසින් ද විශාල කප්පමක් ගෙවන ලෙසත්, සිරකරුවන් නිදහස් කොට පාවා දෙන ලෙසත්, 8 මේදියා, ලිදියා සහ ඔවුන්ගේ ඉස්තරම් පළාත් කීපයක් සමඟ ඉන්දීය දේශය දෙන ලෙසත් නියම කළහ. ඔව්හු මේ දේශ ඔවුන්ගෙන් රැගෙන එයුමේනෙස් රජුට භාර දුන්හ. 9 තවද, ග්‍රීක් ජාතිකයන් රො‍්මවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට සිතාගෙන සිටි විට, 10 රො‍්මවරුන් මේ ගැන දැනගෙන ඔවුන්ට විරුද්ධ ව එක සෙන්පතියෙකු යවා යුද්ධ කොට ඔවුන්ට බරපතල හානි පමුණුවා, ඔවුන්ගේ අඹුදරුවන් වහල්කමට ගෙන ගොස්, ඔවුන්ගේ වස්තුව කොල්ලකා, ඔවුන්ගේ දේශය යටත් කොට, බලකොටු බිඳදමා, අද දක්වා පවතින වහල් තත්ත්වයට ඔවුන් පත් කළ අන්දම ගැන ද, 11 රො‍්මවරුන්ට විරුද්ධ ව සිටි අනෙක් රාජධානි සහ දිවයින් වනසා ඒවා වහල්කමට පත් කළ අන්දම ගැන ද, ජූදස්ට සැළකර තිබිණි.
‍ 12 එහෙත්, රො‍්මවරුන්ගේ මිත්‍රයන් සහ ඔවුන් කෙරෙහි විශ්වාසය තැබූ අනෙක් අය සම්බන්ධයෙන් ඔව්හු නිතර ම මිත්‍රත්වයෙන් ක්‍රියා කළහ. ළඟ පාත වේවා, දුර බැහැරක වේවා, සිටි සියලු ම රජවරුන් ඔවුන් විසින් යටත් කරනු ලැබූ බැවින් ඔවුන්ගේ නාමය ඇසූ සියල්ලෝ ම ඔවුන් ගැන භීතියට පත්වූ හ. 13 යමෙකුට සහාය දී සිංහාසනාරූඪ කරවීමට ඔවුන් අධිෂ්ඨාන කළහොත් ඇත්තෙන් ම ඔහු සිහසුන් පත් වන්නේ ය. එහෙත් වෙනත් අයෙකුට වෙනත් පිළිවෙළකට ක්‍රියා කිරීමට ඔවුන් අධිෂ්ඨාන කළහොත් ඔහු සිංහාසනයෙන් ඉවත් කරවනු ලැබීම ද සිකුරු විය. ඔවුන්ගේ බලපෑම ඉතා ප්‍රබල විය. 14 මේ සියල්ල මෙසේ තිබියදී ඔවුන්ගෙන් කිසිවෙකු තමන්ගේ ම මහන්තත්ත්වය ලොකු කරගැනීම සඳහා කිරුළක් දැරුවේ වත්, රාජකීය වස්ත්‍ර පැළඳගත්තේ වත් නැත. 15 තවද, මන්ත්‍රීවරුන් තුන්සිය විසි දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී මණ්ඩලයක් ද ඔවුන් පිහිටුවා තිබිණි. රාජ්‍ය පරිපාලන කටයුතු ඉතා හොඳින් කරගෙන යාම සඳහා මොවුහු දිනපතා සාකච්ඡා කරමින් වාද විවාද කළහ. 16 ඔව්හු රටේ පාලනය එක අවුරුද්දකට පමණක් එක් අයෙකුට භාර කළහ. ඔහුට මුළු අධිරාජ්‍යය කෙරෙහි ම අසීමිත බලය පැවරිණි. සියලු දෙනා ම කිසි ද්වේෂයක් හො‍් ඊර්ෂ්‍යාවක් හො‍් නැති ව ඔහුට කීකරු වූ හ.

ජුදෙව්වරුන් සහ රො‍්මවරුන් අතර මිත්‍ර ගිවිසුම

17 ජූදස් අක්කොස්ගේ පවුලට අයත් ජොහන්ගේ පුත් එයුපොලෙමුස් ද එලෙයාසර්ගේ පුත් ජාසොන් ද තෝරාගෙන, රො‍්මවරුන් සමඟ මිත්‍ර ගිවිසුමක් සහ සුහදතාවක් ඇති කරගැනීම සඳහා ඔවුන් රො‍්මයට පිටත් කර යැවී ය. 18 ග්‍රීක්වරුන්ගේ රාජ්‍යය ඉශ්රායෙල් ජනතාව වහල්කමට පත් කරන බව රො‍්මවරුන් වරක් තේරුම්ගත් විට, ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ කරින් මේ වියගස දුරු කරනු ඇතැ යි ජූදස් සිතී ය. 19 තානාපතීහු ද රො‍්මය දක්වා දුර ගමන් ගොස් උත්තර මන්ත්‍රී මණ්ඩලය ඉදිරියෙහි ඔවුන්ගේ විධිමත් යෝජනාව ඇති ව පෙනී සිටියහ. ඒ යෝජනාවේ මෙසේ කියා තිබිණි: 20 ”ජූදස් සහ ඔහුගේ සහෝදරයන් ද ජුදා ජනතාව ද ඔබ සමඟ මිත්‍රත්වයේ සහ සාමදානයේ ගිවිසුමක් කරගන්න ලෙසත්, ඔබේ සහායකයන් සහ මිත්‍රයන් මෙන් අප ලියාපදිංචි කරවාගන්න ලෙසත්, අප සැම ඔබ වෙත එවා ඇත.” 21 උත්තර මන්ත්‍රීවරු ද මේ යෝජනාව අනුමත කළහ. 22 තවද, සාමදානයේ සහ මිත්‍රත්වයේ වාර්තාව හැටියට ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙහි ආරක්ෂා කර තබනු ලබන පිණිස, ඔවුන් විසින් තඹ පුවරුවක කොටා දෙන ලද ලියවිල්ලේ පිටපත මෙසේ විය.
23 ”රො‍්මවරුන්ට සහ ජුදෙව් ජාතියට මුහුදින් සහ ගොඩබිමින් සදහට ම, සෞභාග්‍යය උදා වේ වා! යුද බිය හො‍් සතුරු බිය හො‍් ඔවුන්ගෙන් දුරින් දුරු වේ වා! 24 රො‍්මයට හො‍් රො‍්ම අධිරාජ්‍යයයේ කිසියම් මිත්‍ර රටකට හො‍් විරුද්ධ ව යුද්ධයක් පළමුවෙන් පැමුණුණොත් 25 ජුදෙව් ජාතිය අවස්ථානුකූල ව මුළු සිතින් ඇගේ මිත්‍ර රටක් ලෙස ක්‍රියා කළ යුතු ය. 26 ඔවුන් සතුරාට ධාන්‍ය වත් යුද්ධායුධ වත් මුදල් වත් නැව් වත් දීම හො‍් සැපයීම හො‍් නොකළ යුතු ය. මෙය රො‍්ම නීතියකි. වන්දි නොගෙන මේ වගකීම ඔවුන් ඉටු කළ යුතු ය. 27 එලෙස ම ජුදෙව් රාජ්‍යයට විරුද්ධ ව පළමුවෙන් යුද්ධයක් පැමුණුණොත් රො‍්මවරුන් ද අවස්ථානුකූල ව ඔවුන්ට ආධාර කළ යුතු ය. 28 සතුරාට ධාන්‍ය වත්, යුද්ධායුධ වත්, මුදල් වත්, නැව් වත් සැපයීම නොකළ යුතු ය. මෙය රො‍්ම නීතියකි. කිසි ම කොන්දේසියක් නැති ව ඔවුන් මේ වගකීම ඉටු කරනු ඇත. 29 ජුදා ජනතාව උදෙසා රො‍්මවරුන් විසින් තීරණය කරන ලද කොන්දේසි මේවා ය. 30 මේවා වලංගු වූ පසු දෙපක්ෂයෙන් එක පක්ෂයක් මේවාට යමක් එකතු කිරීමට හො‍් මේවායින් යමක් අඩු කිරීමට හො‍් කැමැති වන්නේ නම් එසේ කිරීමට ඔවුන්ට නිදහස තිබේ. තවද, එබඳු එකතු කිරීමක් හො‍් අඩු කිරීමක් හො‍් වලංගු ය.”
31 ”තවද, දෙමෙත්‍රියස් රජු විසින් ඔවුන්ට කරන ලද වැරදි ගැන අපි ඔහුට මෙසේ ලියා යැවීමු. එනම්, ‘අපේ මිතුරන් හා සහායකයන් වන ජුදෙව්වරුන් පිට ඔබේ වියගහ මෙපමණ බර කර තිබෙන්නේ මන් ද? 32 ඔබට විරුද්ධ ව ඔවුන් අපට අභියාචනා කළොත් අපි ඔවුන්ගේ අයිතිවාසිකම් රැක දෙන්නෙමු. මුහුදින් සහ ගොඩබිමින් ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නෙමු.’ ”

– 9 වන පරිච්ඡේදය –

ජූදස්ගේ මරණය

1 නිකනෝර් සහ ඔහුගේ හමුදාව යුද්ධයේ දී පරාජය වූ බව දෙමෙත්‍රියස් රජ ඇසූ විට, ඔහු දෙ වන වරටත් බක්කිදෙස් සහ ඇල්සිමස් ද ඔවුන් සමඟ හමුදාවේ දක්ෂිණ සේනාංකය ද ජුදා දේශයට යැවී ය. 2 ඔව්හු ගලීලය බලා ගොස් අර්බේලාහි මෙසලොත් නගරය වටලා, එය අල්ලාගෙන බොහෝ දෙනෙකු මරාදැමූ හ. 3 වර්ෂ එකසිය පණස් දෙකේ පළමු වන මාසයේ ඔව්හු ජෙරුසලම ඉදිරිපිට කඳවුරු බැන්දෝ ය. 4 ඉන්පසු විසි දහසක පාබළ සේනාවක් ද දෙදහසක අශ්ව සේනාවක් ද සමඟ ඔව්හු බෙයර්සෙත් බලා ඉදිරියට ගමන් කළහ. 5 එකල තෝරාගත් තුන් දහසක හමුදාවක් සමඟ ජූදස් එලාසා නුවර කඳවුරෙහි සිටියේ ය. 6 මෙපමණ විශාල සතුරු යුද්ධ සේනාවක් එනු දුටු විට ඔව්හු මහත් සංත්‍රාසයට පත් වූ හ; බොහෝ දෙනෙක් කඳවුරෙන් හොරෙන් පලා ගියහ. එහි ඉතිරි වූයේ හමුදාවෙන් අට සිය දෙනෙක් පමණි. 7 ස්වකීය හමුදාව තුනී වී ගොස් තිබෙන බවත්, පහර දීම අතළඟ ම තිබෙන බවත්, දුටු විට ජූදස් බියට පත් විය. මන්ද, ඔවුන් එකතු කරගැනීමට ඔහුට කාලය නොමැති විය. 8 ඔහු විස්මපත් වී සිටි නමුත් ඉතිරි වූවන් අමතා, ”අවදිවන්න. අපි සතුරාට මුහුණ දෙමු. ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කිරීමට තවමත් අපට ශක්තිය තිබෙන්නට පුළුවනැ”යි කී ය. 9 එවිට ඔහුගේ සෙනඟ ඔහු වැළැක්වීමට උත්සාහ කරමින්, ඔහුට කතා කොට, ”මේ වතාවේ නම් අපට ඇත්තේ පණ බේරාගෙන පලා යාමට ශක්තිය පමණ ය. එවිට ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කිරීමට අපේ සහෝදරයන් සමඟ ආපසු එන්න අපට හැකි ය. අපි ඉතා ස්වල්ප දෙනෙකැ”යි කී හ. 10 එවිට ජූදස් පිළිතුරු දෙමින්, ”ඔවුන් වෙතින් පලායාම වැනි දෙයක් කිරීමෙන් දෙවියන් වහන්සේ මා වළක්වන සේක් වා! අප මියයාමට කාලය පැමිණ තිබේ නම් අපේ දේශවාසීන් උදෙසා නිර්භීත මිනිසුන් මෙන් මියයමු. එහෙත් අපට අපකීර්තියක් වන කිසි දෙයක් නොකරමු”යි කී ය.
11 එවිට සතුරු සේනාවෝ කඳවුරෙන් නික්ම ගොස්, සටන් වැදීමට සූදානම් වී සැරසී සිටගත්හ. අශ්ව සේනාව සේනාංක දෙකකට බෙදා වෙන් කරන ලදී. ගල් පටියෙන් විදින්නෝ ද දුනුවලින් විදින්නෝ ද බිහිසුණු භට පිරිස් සමඟ හමුදාව ඉදිරිපසින් ගමන් කළහ. සියල්ලෝ ම නිර්භීත සටන්කාමීහු වූ හ. 12 බක්කිදෙස් දක්ෂිණ සේනාංකයේ විය. එක් ව සටන් කරන සමූහයා හොරණෑ පිඹිමින් සේනාංක දෙකක් මැදින් ඉදිරියට ගමන් කළහ. ජූදස්ගේ පාර්ශවයේ යුද්ධ භටයෝ ද ඔවුන්ගේ හොරණෑ පිම්බෝ ය. 13 සේනාවන්ගේ හඬ නිසා පොළො‍් තලය කම්පා විය. උදය සිට සවස දක්වා සටන සිදු විය.
14 බක්කිදෙස්ගේ හා ඔහුගේ හමුදාවේ ප්‍රධාන සවිබල අංශය දකුණත වූ බව ජූදස් දිටී ය. නිර්භීත වූ සියල්ලෝ ම ඔහු සමඟ එකතු වූ හ. 15 එවිට ජුදෙව්වරු දක්ෂිණ සේනාංකය කඩා බිඳගෙන ගොස් කඳුකරයේ ඈතින් ම පිහිටි කන්ද පාමුල දක්වා සතුරන් ලුහුබඳවා ගියෝ ය. 16 දක්ෂිණ සේනාංකය බිඳුණු බව වාමාංශික අංශයේ සේනාංකයේ සිටි සිරියන්වරුන් දුටු විට, ඔව්හු ආපසු හැරී ජූදස් සහ ඔහුගේ ඒ සෙනඟ පිටුපසින් අති වේගයෙන් ලුහුබැඳ ගියහ. 17 යුද්ධය ඉතා බිහිසුණු විය. 18 දෙපැත්තේ ම සිටි බොහෝ දෙනෙකුට අනතුරු සිදු විය. ජූදස් ද මැරුම්කෑවේ ය. සෙස්සෝ පලාගියහ.

ජූදස්ගේ අවමංගල්‍යෝත්සවය

19 ජොනතන් ද සීමොන් ද තමන්ගේ සහෝදර වූ ජූදස්ගේ මළකඳ ගෙන ගොස් මොදෙයින් නම් ස්ථානයෙහි වූ පවුලේ සුසාන භූමියෙහි එය භූමදාන කළහ. 20 මුළු ඉශ්රායෙල් ජාතිය ම ඔහු ගැන තදින් හඬා වැලපී බොහෝ දින ගණනක් තුළ ම ශෝකී ගීතය නැවත නැවත ගැයූහ. 21 ඒ ගීතය නම්:
”සියතින් ඉශ්රායෙල් ජාතිය මිදූ වීරයාගේ වැටීම, ශක්තිසම්පන්න ඔහුගේ වැටීම
කොපමණ භයානක ද?” යන්න ය. 22 ජූදස්ගේ සෙසු වීර ක්‍රියා ද ඔහු කළ සටන් ද ඔහුගේ දස්කම් ද ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය කියා පාන පටබැඳි නාම ද වාර්තාගත කර නැත. එහෙත් ඒවා බොහෝ ය.

ජොනතන් නායකත්වයට පැමිණීම

23 ජූදස්ගේ මරණයෙන් පසු ව මුළු ඉශ්රායෙල් දේශයෙහි ම සැඟවී සිටි දේශද්‍රෝහියෝ පිටතට පැමිණියහ. දුෂ්ටකම් කරන සියල්ලෝ ද යළි මතු වූ හ. 24 ඒ කාලයේ දී මහා සාගතයක් වූ බැවින් සාමාන්‍ය ජනයා ද ඔවුන්ගේ පැත්ත ගත්හ. 25 බක්කිදෙස් ද ඕනෑකමින් ම ආගමේ සතුරන් තෝරාගෙන දේශයේ ආණ්ඩුකාරයන් හැටියට ඔවුන් පත් කෙළේ ය. 26 මොවුන් ජූදස්ගේ මිත්‍රයන් සොය සොයා යමින් බක්කිදෙස් ඉදිරියට ඔවුන් ගෙනා විට ඔහු ද ඔවුන්ගෙන් පළිගෙන ඔවුන්ට නිග්‍රහ කෙළේ ය. 27 මෙලෙස ඉශ්රායෙල් දේශයෙහි භයානක පීඩනයක් අරඹන ලදී. ඔවුන් අතර දිවැස් වැකි පැවසීම නැති වූ දා සිට කවදාවත් මෙවැන්නක් නොතිබුණි.
28 එවිට ජූදස්ගේ මිත්‍රයෝ සියලු දෙන එක්රැස් වී ජොනතන් වෙත අවුත්, 29 ”ඔබේ සහෝදර ජූදස්ගේ ඇවෑමෙන් පසු ව අපේ ජාතියේ සතුරන් වන බක්කිදෙස්ට සහ අනෙක් අයට විරුද්ධ ව ගෙනා යුද්ධ ව්‍යාපාරයේ නායකත්වය දැරීමට ඔහු හා සමාන අන් කෙනෙක් නැත. 30 ඔහුගේ තැන ගෙන අපේ පාලකයා සහ නායකයා වශයෙන් අපේ මුළු යුද්ධ ව්‍යාපාරය ගෙන යාමට අපි අද ඔබ තෝරාගත්තෙමු”යි කී හ. 31 ඒ දවසේ පටන් ජොනතන් නායකත්වය පිළිගෙන ඔහුගේ සහෝදර ජූදස්ගේ පාලන බලය තම අතට ගත්තේ ය.

බිහිසුණු සටන්

32 මේ ආරංචිය බක්කිදෙස්ට සැළ වූ විට ඔහු ජොනතන් මරාදැමීමට උපාය යෙදී ය. 33 ජොනතන් ද ඔහුගේ සහෝදර සීමොන් සහ ඔහුගේ සහායකයන් සියලු දෙනා ද මෙය දැනගෙන, තෙකෝවා නම් පාළුකරයේ සැඟවී අස්පාර් නම් ජලාශයට සමීප ව කඳවුරු බැඳගත්හ. 34 සබත් දවසේ දී මෙය බක්කිදෙස්ට ආරංචි වූයෙන් ඔහුත් ඔහුගේ මුළු සේනාවත් ජොර්දාන් ගඟෙන් එතෙර වූ හ.
35 එවිට ජොනතන් ඔවුන්ට සෑහෙන පමණ බඩුමුට්ටු ගබඩා කරන ලෙස ඔහුගේ මිත්‍රයන් වන නබතයන්වරුන්ගෙන් අයැදින පිණිස, සේනාව ගෙනයාම භාර ව සිටි තම සහෝදරයා යැවී ය. 36 එහෙත්, මෙදේබා දේශයේ ජම්බ්‍රිගේ පුත්‍රයෝ ඔවුන් ආක්‍රමණය කොට ජොහන් සහ ඔහු සතු සියල්ල පැහැරගෙන ඔවුන්ගේ කොල්ලය රැගෙන යන්න ගියහ. 37 මේ සිද්ධියෙන් පසු ජම්බ්‍රිගේ පුත්‍රයන් මහා විවාහ මංගල්‍යයක් පවත්වන බවත්, නදබත් දේශයේ ශ්‍රේෂ්ඨ කානානීය කුලදෙටුවකුගේ දියණියක වන මනාලියක් විශාල පිරිවරක් සමඟ කැන්දාගෙන එන බවත්, ජොනතන්ට දන්වන ලදී. 38 එවිට ඔව්හු ඔවුන්ගේ සහෝදරයා වන ජොහන්ගේ බිහිසුණු මරණය සිහිකරමින් කඳුකරයට මුවා වී සැඟවුණාහ. 39 ඔවුන් මෙය සෝදිසියෙන් බලාගෙන සිටිය දී මනාලයා සහ ඔහුගේ යහළුවන් ද ඔහුගේ පවුලේ උදවිය ද හමුවීමට බඩුමුට්ටු විශාල තොගයක් රැගෙන ඝෝෂා සහිත පෙරහැරක් ද කිංකිණි රබන් ගසමින් තූර්ය වාදනය සහිත සටන්කාමි දර්ශනයක් සහිත ව එනු ඔවුන්ට පෙනිණි. 40 එවිට ජුදෙව්වරු තමන් සැඟවී සිටි ස්ථානයෙන් ඔවුන් මත කඩා පැන ඔවුන් මරා ඔවුන්ට බොහෝ අනතුරු කෙළේ ය. පණ බේරාගත් අය තමන්ගේ සියලු බඩුමුට්ටු තොගය අල්ලාගැනීමට ඉඩතබා කඳුකරයට පලා ගියහ. 41 මෙසේ ඒ විවාහ මංගල්‍යය අවමංගල්‍යයට ද, සංගීතය දුක් ගීතයට ද හැරිණි. 42 මේ ආකාරයෙන් ඔව්හු තමන්ගේ සහෝදරයා මරාදැමීම ගැන සම්පූර්ණයෙන් ම පළිගෙන ජොර්දාන් ගඟේ මුඩුබිම් පෙදෙසට ආපසු ගියහ.

ජොර්දාන් ගඟෙන් එතෙරවීම

43 බක්කිදෙස් මෙය ඇසූ වහා ම සෑහෙන හමුදාවක් සමඟ සබත් දවසේ දී ගඟේ හැල බෑවුම් ඇති ඉවුරට ආවේ ය. 44 ජොනතන් තමාගේ සෙනඟට කතා කොට, ”අවදිවන්න, අපේ ජීවිතය සඳහා අපි සටන් කරමු, මන්ද අද දවස ඊයේ වත් පෙර දවස වත් මෙන් නොවේ. 45 අපට ඉදිරිපසින් ද පසුපසින් ද සටන් කළ යුතු බව ඔබට පෙනෙනු ඇත. එක පැත්තකින් ජොර්දාන් ගඟේ ජලය ද අනික් පැත්තෙන් මඩ වගුරු ද මුඩුබිම් ද ඇති බැවින් අපට ආපසු යත නොහැකි ය. 46 අපේ සතුරන්ගේ හස්තයෙන් මිදීම සඳහා ස්වර්ගයට යාච්ඤා කළ යුතු මොහොත මෙය”යි කී ය. 47 ජොනතන් විසින් යුද්ධය පටන්ගෙන ඔහු බක්කිදෙස්ට පහරක් එල්ල කෙළේ ය. එහෙත් ඒ සිරියානු ජාතිකයා එයින් බේරී පස්සට ගියේ ය. 48 එවිට ජොනතන් සහ ඔහුගේ සෙනඟ ජොර්දාන් ගඟට පැන අනික් ඉවුරට පීනා ගියෝ ය. එහෙත් සතුරා ඔවුන් ලුහුබැඳ ජොර්දාන් ගඟෙන් එතෙරට ගියේ නැත. 49 ඒ දවසේ දී බක්කිදෙස්ගේ සෙනඟගෙන් දහසක් පමණ මැරුම්කෑ හ.

බක්කිදෙස් බලකොටු සෑදීම

50 බක්කිදෙස් ආපසු ජෙරුසලමට ගොස් ජුදයාවේ කුඩා බලකොටු ද ජෙරිකෝ එම්මාවුස්, බෙත්-හොරොන්, බෙතෙල් ටිම්නාත්, පරතොන් සහ තෙපොන් යන නගරවල උස් ප්‍රාකාර සහ ඇහිරූ දොරටු ඇති විශාල බලකොටු ද ගොඩනැඟී ය. 51 ඉන්පසු ඔහු ඉන් එක එකේ ඉශ්රායෙල්වරුන්ට පීඩා කිරීම සඳහා ආරක්ෂක සේනාවක් බැගින්, පිහිටෙව්වේ ය. 52 තවද ඔහු බෙත්-ශූර් සහ ගේශෙර් යන නගර ද අගනුවර ද, ශක්තිමත් කොට ඒවායේ ආහාර තොග ඇති ව සේනාවන් නතර කෙළේ ය. 53 තවද, ඔහු ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රටේ නායකයන්ගේ පුත්‍රයන් රැගෙන ගොස් ජෙරුසලම් නුවර බලකොටුවේ මුරකාවල් යටතේ තැබී ය.

ඇල්සිමස්ගේ මරණය

54 වර්ෂ එක සිය පණස් තුනේ දෙ වන මාසයේ දී ඇල්සිමස් ශුද්ධස්ථානයේ ඇතුළු මළුවේ පවුරු බිඳදැමීමට අණ කෙළේ ය. මෙසේ ඔහු දිවැසිවරයන්ගේ කාර්යය වනසාලී ය. 55 ඇල්සිමස් එය බිඳදැමීම පටන්ගත් විට ම ඔහුට අංසභාගය සෑදුණු බැවින් ඒ වැඩය නවත්වන ලදී. ඔහුගේ දිව ගැට ගැසුණු බැවින් ද, ඔහුගේ අංසභාගය නිසා ද, ඔහුට කතා කරන්නටත් ගෙදර වැසියන්ට අණ දෙන්නටත් ඔහුට නොහැකි විය. 56 නොබෝ කලකින් ඔහු බලවත් වේදනාවෙන් මියගියේ ය. 57 ඇල්සිමස් මියගිය බව බක්කිදෙස් දුටු විට ඔහු ආපසු රජු වෙත ගියේ ය. මෙලෙස දෑවුරුද්දකට ජුදා දේශයේ සාමදානය ඇති විය.

බෙත්-බාසි නුවර වටලෑම

58 දේශද්‍රෝ‍්හීහු සියලු දෙනා එක වැඩ පිළිවෙළකට එකඟ වූ හ. ඔව්හු කතා කොට, ”ජොනතන් සහ ඔහුගේ සහායකයන් සාමදානයෙන් සහ කිසි සැකයක් නැති ව ජීවත්වන හෙයින්, බක්කිදෙස් ආපසු ගෙන ආ යුතු හොඳ ම වේලාව මෙය යි ඔහුට එක රාත්‍රියක දී ඔවුන් සියල්ලන් ම අත්අඩංගුවට ගත හැකි ය”යි කීවෝ ය. 59 එබැවින් ඔව්හු ඔහු වෙත ගොස් ඒකමතික තීරණයකට පැමිණියෝ ය. 60 බක්කිදෙස් එක වර ම විශාල සේනාවක් සමඟ පිටත් ව ගොස්, ජොනතන් සහ ඔහුගේ ආධාරකරුවන් අල්ලාගැනීමට ජුදා දේශයේ සිටි ඔහුගේ සියලු ම සහායකයන්ට රහස් උපදෙස් යැවී ය. එහෙත් ඔවුන්ගේ මේ උපාය එළිදරව් වූ බැවින් ඔවුන්ට සිතූ පරිදි එය කරගත හැකි නො වී ය. 61 ජොනතන් සහ ඔහුගේ සෙනඟ එම කුමන්ත්‍රණයේ මූලිකයන් වූ දේශයේ වැසියන් පණස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඔවුන් මරාදැමූ හ.
62 ඉන්පසු ජොනතන් සහ සීමොන් ඔවුන්ගේ පක්ෂයේ අය සමඟ බෙත්-බාසියේ වූ පාළුකරයට පසු බැස ගියහ. තවද, ඔව්හු ඒ ස්ථානයේ නටබුන් වූ කොටස් යළි ගොඩනඟා එය ශක්තිමත් කළො‍් ය. 63 බක්කිදෙස් මෙය ඇසූ විට ඔහු තමාගේ මුළු හමුදාව එකතු කොට ජුදාවේ සිට සිය පාක්ෂිකයන්ට ඒ බව දැන්වී ය. එවිට 64 ඔහු බෙත්-බාසි නගරය වටලා බොහෝ දින ගණනක් ඊට පහර දෙමින්, නගර වටලන යන්ත්‍ර ඉදි කිරීමට පටන්ගත්තේ ය. 65 එහෙත් ජොනතන් තම සොහොයුරු සීමොන් නුවර නවතා, අතළොස්සක් පමණ සෙනඟ රැගෙන පිටිසරබද ප්‍රදේශයට කඩාවැදුණේ ය. 66 ඔහු ඔදමෙරා සහ ඔහුගේ සොහොයුරන්ට ද පාසිරො‍්න්ගේ පුත්‍රයන්ට ද ඔවුන්ගේ කූඩාරම්වල දී ම පහර දුන්නේ ය. පරාජයෙන් පසු ජොනතන්ට එකතු වූ මොවුහු, බක්කිදෙස්ට පහර දෙන්න පටන්ගත්හ. 67 එකල සීමොන් සහ ඔහුගේ සෙනඟ හදිසි සටනක් සඳහා නගරයට කඩාවැදී නගර වටලන යන්ත්‍ර ගිනි තැබී ය. 68 ඔව්හු බක්කිදෙස්ට විරුද්ධ ව නැඟිට ඔහු පලවා හැරියේ ය. ඔහුගේ කූට උපායත් පහර දීමත් ව්‍යර්ථ වූ බව ඔහු තේරුම්ගත් විට ඔහු මහත් සේ කලකිරුණේ ය. 69 එසේ කලකිරී තමා ජුදා දේශයට යාමට පෙළඹවූ දේශද්‍රෝ‍්හීන්ට විරුද්ධ ව තදින් කිපී ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මරා දැමුවේ ය. ඉන්පසු ඔහු තමාගේ ම දේශය බලා යන්නට තීරණය කරගත්තේ ය. 70 ජොනතන් මෙය දැනගත් විට සාම කොන්දේසි සහ සිරකරුවන් නිදහස් කිරීමත් ගැන සාකච්ඡා කිරීමට දූතයන් යැවී ය. 71 බක්කිදෙස් ද ඊට එකඟ වී, ඔහුගේ යෝජනා පිළිගෙන, දිවි ඇතිතාක් ඔහුට කවදාවත් අනතුරු කිරීමට ඉඩප්‍රස්තා නොසොයන බවට දිවුරුම් දුන්නේ ය. 72 ඔහු ජුදා දේශයේ දී කලින් අල්ලාගත් සිරකරුවන් ජොනතන්ට භාර දී ආපසු සිය රට බලා ගොස් කවදාවත් ඒ දේශ සීමාවන් ළඟට නොපැමිණියේ ය. 73 ඉන්පසු ඉශ්රායෙල් දේශයෙහි තවත් යුද්ධ ඇති නො වී ය. ජොනතන් ද මික්මාෂ් නම් ස්ථානයේ පදිංචි වී සෙනඟ විනිශ්චය කිරීමටත් ඉශ්රායෙල්වරුන් කෙරෙහි අභක්තිකයන් නෙරපාදැමීමටත් පටන්ගත්තේ ය.

– 10 වන පරිච්ඡේදය –

නායක පූජකයෙකු පත් කිරීම

1 වර්ෂ එක සිය හැටේ දී ඇන්ටිඕකස්ගේ පුත්‍ර වූ එපිපානෙස් යන පටබැඳි නමක් ඇති ඇලෙක්සන්දර් තෙමේ ටොලමයිස් නම් ස්ථානයට ගොඩබැස එය අල්ලාගත්තේ ය. ඔහු හොඳින් පිළිගනු ලැබී ය. ඔහු ද තමා එහි රජ බව ප්‍රකාශ කෙළේ ය. 2 දෙමෙත්‍රියස් රජ තෙම මෙය අසා ඉතා විශාල සේනාවක් එකතු කොට ඔහුට විරුද්ධ ව සටනට නික්ම ගියේ ය. 3 තවද, දෙමෙත්‍රියස් තෙමේ ජොනතන්ට ගෞරව කර ඔහු උසස් කරනු සඳහා ඔහු වෙත සිත්ගන්නා සුලු ලිපියක් යැවී ය. 4 මන්ද, ඔහු කතා කොට, ”ඔහු අපට විරුද්ධ ව ඇලෙක්සන්දර් සමඟ පොදු ගිවිසුමකට පැමිණෙන්නට පෙර මේ සෙනඟ මුලින් ම අප සාමදානයට පැමිණීම යෙහෙකි. 5 අප විසින් ඔහුටත් ඔහුගේ සහෝදරයන්ටත් ඔහුගේ ජාතියටත් කරන ලද පීඩා අමතක කිරීම ඔහුට කළ නොහැකි දෙයකි”යි කියා තිබුණි. 6 එබැවින් හමුදාවක් එකතු කිරීමටත් යුද්ධායුධ තැනීමටත් තමාගේ මිත්‍රයෙකු බව කියා ගැනීමටත් ඔහු ජොනතන්ට බලය දී බලකොටු නගරයේ සිරකොට රඳවා සිටියවුන් ඔහුට පාවා දීමටත් අණ කෙළේ ය.
7 ජොනතන් ද කෙළින් ම ජෙරුසලමට ගොස් මුළු ජනතාව සහ බලකොටු නගරයේ සිටි සෙනඟ ඉදිරියෙහි ඒ ලිපිය කියවී ය. 8 හමුදාවක් එකතු කිරීමට රජු ඔහුට බලය දී තිබෙන බව සෙනඟ ඇසූ විට සියල්ලෝ ම තුෂ්ණිම්භූත වූ හ. 9 බලකොටු නගරයේ සිටි භටයන් ජොනතන්ට සිරකොට රඳවා සිටියවුන් පාවා දුන් විට ඔහු ඔවුන් ඔවුන්ගේ දෙමව්පියන්ට භාර දුන්නේ ය. 10 ඉන්පසු ජොනතන් ජෙරුසලමේ පදිංචි වී නගරය යළි ගොඩනැංවීමටත් ප්‍රතිසංස්කරණය කරවීමටත් පටන්ගත්තේ ය. 11 කැපූ හතරැස් ගලින්, සියොන් කන්ද වටේට ආරක්ෂා සංවිධාන සහ ප්‍රාකාර ගොඩනැඟීම පිළිබඳ වගකීම දරන අයට ඒවා වඩාත් ශක්තිමත් කරන ලෙස ඔහු අණ කෙළේ ය. එය එලෙස ම කරන ලදී. 12 බක්කිදෙස් විසින් ගොඩනඟන ලද බලකොටුවල සිටි විදේශීහු ඒවා අත්හැර 13 එකිනෙකා තම තමාගේ නිල ස්ථානයෙන් පිටත් වී ස්වකීය දේශයන් බලා ගියෝ ය. 14 ව්‍යවස්ථාව සහ දේවාඥා පණත් අත්හළ අයගෙන් ටික දෙනෙක් පමණක් බෙත්-ශූර් නගරය සැඟවී සිටීමට සුදුසු ස්ථානයක් වූ බැවින් එහි නැවතී සිටියහ.
15 දෙමෙත්‍රියස් විසින් ජොනතන්ට යවන ලද පොරොන්දු සියල්ල ගැන ඇලෙක්සන්දර් රජුට සැළ විය. තවද, ජොනතන් කළ සටන් හා ඔහුගේ වීර ක්‍රියා ගැනත්, ඔහුට දරන්නට සිදු වූ දුක් ගැහැට ගැනත්, විස්තරයක් ද ඇලෙක්සන්දර් රජුට දෙන ලදී. 16 එවිට ඇලෙක්සන්දර් රජ තෙමේ කතා කොට, ”අපට කිසි ම දිනක මේ හා සමාන අන් මිනිසෙකු සම්බ වේ ද? ඔහු සමඟ මිතුරෙකු සහ සහායකයෙකු වීමට ඉක්මන් කරමු”යි හඬ නඟා කීවේ ය. 17 එබැවින් ඔහු ජොනතන්ට ලිපියක් යවමින් මෙසේ දැන්වී ය: 18 ”සැරදේ වා! ඇලෙක්සන්දර් රජුගෙන් තම සොහොයුරු, ජොනතන් වෙතට යි. 19 ඔබ වනාහි ක්‍රියාවේ යුහුසුළු ශක්තිසම්පන්න කෙනෙකු හැටියටත් අපේ මිත්‍රයෙකු වීමට සුදුසු කෙනෙකු හැටියටත් ඔබ ගැන අපට සැළ කර ඇත. 20 එබැවින් ඔබට ‘රාජ මිත්‍රයා’ යන පටබැඳි නාමය දෙමින්, ඔබේ ජාතියේ නායක පූජකවරයා හැටියට අපි ඔබ අද දින පත් කෙළෙමු. ඔබ අපේ ඕනෑඑපාකම් දැනගෙන අප සමඟ මිත්‍ර ලීලාවෙන් ක්‍රියා කළ යුතු ය” තවද, ඔහු දම් පාට සළුවක් ද රන් කිරීටයක් ද ජොනතන් වෙත යැවී ය.
21 වර්ෂ එකසිය හැටේ හත් වන මාසයේ කූඩාරම් මංගල්‍ය දිනයේ දී ජොනතන් තෙමේ පූජක වස්ත්‍ර පැළඳගත්තේ ය. ඉන්පසු ඔහු සේනාවක් සූදානම් කිරීමටත් අධික ලෙස යුද්ධායුධ සෑදවීමටත් යුහුසුළු විය.

පළමු වන දෙමෙත්‍රියස්ගෙන් ලිපියක්

22 සිදු වූ දේ දැනගත් විට දෙමෙත්‍රියස් අසතුටු විය. 23 ඔහු කතා කොට, ”අප කරගත් දේ කුමක් ද? තමාගේ පදවිය ශක්තිසම්පන්න කරගැනීම සඳහා ඇලෙක්සන්දර් අපට කලින් ජුදෙව්වන්ගේ මිත්‍රත්වය දිනාගත්තා නොවේ ද? 24 එබැවින් ඔවුන්ගේ ආධාරය ලබා ගැනීමේ උපක්‍රමයක් හැටියට, ඔවුන්ට වැඩිදියුණුව හා සම්පත් පොරොන්දු වී ඔවුන් අමතා ආයාචනයක් ලියා යවමි”යි කියා 25 පහත දැක්වෙන ලෙස ලියා යැවී ය: ”සැරදේ වා! දෙමෙත්‍රියස් රජුගෙන් ජුදා ජාතිය වෙතට යි. 26 ඔබ අප සමඟ කළ ගිවිසුම පවත්වා ඇති අන්දමත්, අපේ සතුරන්ගේ පැත්තට නොගොස් අප සමඟ මිත්‍ර සම්බන්ධකම් පවත්වා ගෙන යන අන්දමත් ගැන අසා අපි මහත් ප්‍රීතියට පත් වී සිටින්නෙමු. 27 ඔබ අප සමඟ විශ්වාසවන්ත ව සිටින්නහු නම් අප වෙනුවෙන් ඔබ කරන දේ සඳහා අපි ඔබට විපුල ලෙස ප්‍රති-උපකාර කරන්නෙමු. 28 අපි ඔබට බොහෝ අයබදුවලින් නිදහස ද අනේක වරප්‍රසාද ද දෙන්නෙමු. 29 මෙතැන් පටන් ඔබත් ජුදෙව්වරුන් සියලු දෙනාත් කප්පම් ගෙවීමෙන් ද ලුණු බද්ද ගෙවීමෙන් ද රාජකීය අයබදු ගෙවීමෙන් ද නිදහස් කොට හරින්නෙමි. 30 තවද, වගා කරන ලද දේවලින් තුනෙන් පංගුවකට සමාන කොටසක් සහ පලතුරුවලින් දෙකෙන් කොටසක් බද්දක් වශයෙන් ගැනීමට මට අයිතියක් ඇති නමුත්, අද දින පටන් මින් ඉදිරියට සදහට ම ජුදා දේශය ද, සමාරියට සහ ගලීලයට අයත් පළාත් තුන ද මම ඒ බද්දෙන් නිදහස් කරමි. 31 ජෙරුසලම ශුද්ධ භූමියක් වන අතර එය සහ ඒ අවට ප්‍රදේශය දසයෙන් කොටස ගෙවීමෙන් සහ බදුවලින් නිදහස් වනු ඇත. 32 ජෙරුසලමේ බලකොටුවේ පාලන බලයෙන් මා ඉවත් වී, එහි නායක පූජක තැනට තමා කැමැති පරිදි ආරක්ෂක බළ ඇණියක් යොදාගෙන එය ශක්තිමත් කරගන්න පිණිස, මම එහි පාලනය ඔහුට භාර දෙමි. 33 ජුදා දේශයෙන් සිරභාරයට ගත් මාගේ රාජ්‍යයේ ඕනෑ ම පෙදෙසක සිටින සෑම ජුදෙව්වෙකු ම නොමිලයේ නිදහස් කොට ඒ සියලු දෙනාගෙන් ද ඔවුන්ගේ සතුන් සිවුපාවුන් වෙනුවෙන් ද අය කරන බදු මිල ඔවුන් නොගෙවන ලෙස මම නියෝගයක් පනවමි. 34 සියලු ම මංගල්‍ය දවස් හා සබත් දවස් ද අමාවක දවස් හා විශේෂ අනුස්මරණ දවස් ද මංගල්‍යයකට පෙර හා පසු ව එන තුන් දවස ද මාගේ රාජ්‍යයේ වසන සියලු ම ජුදෙව්වරුන්ට බදු නිදහස් දවස් වනු ඇත. 35 කිසිවෙකුට කුමන කරුණක් නිසා වත් ඔවුන්ගෙන් කිසි ම ගෙවීමක් ලබා ගැනීමට හො‍් ඔවුන්ගෙන් කිසිවෙකුට හිංසා කිරීමට හො‍් අයිතියක් නැත. 36 ජුදෙව්වරුන්ගෙන් තිස් දහසක් රාජකීය හමුදාවට බැඳිය යුතු ය. රාජකීය හමුදාවේ සෙස්සන්ට මෙන් සමාන නඩත්තු මුදලක් ඔවුන්ටත් ගෙවනු ඇත. 37 මොවුන්ගෙන් සමහරෙකු ප්‍රධාන රාජකීය බලකොටුවේ නවතා තබනු ඇත. අනෙක් අය අතරෙන් සමහරෙකුට රාජ්‍යයේ විශ්වාස කටයුතු නිල පදවි දෙනු ඇත. ඔවුන්ගේ නිලධාරීන් සහ සෙන්පතීන් ඔවුන්ගේ සංබ්‍යාව අතරෙන් ම පත්වීම් ලබනු ඇත. රජතුමා ජුදා දේශයට පණවා ඇති ලෙස මොවුන් තමන්ගේ ම ව්‍යවස්ථා අනුව ජීවත් විය යුතු ය. 38 සමාරිය පළාතෙන් ජුදා දේශයට යා කරන ලද ප්‍රදේශ තුන ජුදා දේශයට ම ඒකාබද්ධ කරනු ලැබේ. තවද එහි වැසියන් එක ම නායක පූජකයෙකුගේ අණසකට පමණක් කීකරු වෙමින් එක ම ආණ්ඩුකාරයෙකුගේ පාලනයට පමණක් යටත් විය යුතු ය. 39 ප්‍රසිද්ධ වන්දනාවට වන වියහියදම් පියවීම සඳහා ටොලමයිස් සහ තදාසන්න ප්‍රදේශ දීමනාවක් මෙන් මා ප්‍රදානය කර තිබේ. 40 තවද, මම රිදී කාසි පසළොස් දහසක පෞද්ගලික ආධාර මුදලක් අවුරුදුපතා දෙමි. ඒ මුදල නියමිත ස්ථානවලින් රාජකීය ආදායම් බදු කාර්යාලය අවුරුදුපතා අය කළ යුතු ය. 41 තවද, කලින් ගෙව්වාක් මෙන්, නිලධාරීන් විසින් නොගෙවන ලද, වැඩිපුර ඉතිරි කොටස මින් ඉදිරියට දේව මාලිගාවේ වැඩ සඳහා ගෙවනු ලැබේ. 42 ඊට අමතර ව, ශුද්ධස්ථානයේ ලාභ මුදලින් අවුරුදුපතා වාර්ෂික ගිණුම් වාර්තාවල සඳහන් පරිදි අය කරන ලද රිදී කාසි පන්දහස ජන වන්දනාව පවත්වන පූජකවරුන්ගේ අවශ්‍යතාවන් සඳහා වෙන් කරනු ලැබේ. 43 රාජකීය භාණ්ඩාගාරයට දිය යුතු ණය මුදල නිසා හො‍් වෙනත් කරුණක් නිසා හො‍් යමෙක් ජෙරුසලමේ දේව මාලිගාවේ හො‍් ඊට යාබද ස්ථානයක හො‍් රැකවරණය ගතහොත්, මාගේ රාජ්‍යය තුළ ඔහුට අයිති මුළු වස්තුවේ සම්පූර්ණ අයිතිය සහිත ව ඔහු නිදහස් කරනු ලැබේ. 44 ශුද්ධස්ථානය ගොඩනැඟීම සහ එහි ප්‍රතිසංස්කරණය සඳහා වැය වන මුදල රාජකීය භාණ්ඩාගාරයෙන් ගෙවනු ලැබේ. 45 තවද, ජෙරුසලමේ ප්‍රාකාර යළි ගොඩනැඟීමත් නගර මායිම් ශක්තිමත් කිරීමත් ජුදයා දේශයේ අනෙක් නගරවල පවුරු යළි ගොඩනැඟීමත් සඳහා වැය වන මුදල් ද රාජකීය භාණ්ඩාගාරයෙන් වැය කරනු ලැබේ.

දෙමෙත්‍රියස්ගේ යෝජනා ප්‍රතික්ෂේප කිරීම

46 ජොනතන් සහ සෙනඟ මේ යෝජනා ඇසූ විට, දෙමෙත්‍රියස් රජ ඉශ්රායෙල් දේශයේ කළ මහා දුෂ්ටකම් ද ඔහු කෲර ලෙස ඔවුන් තැළූ, පෙළූ, අන්දම ද සිහි කර, ඒ යෝජනා කෙරෙහි විශ්වාසය නොතබා, ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. 47 ඔව්හු ඇලෙක්සන්දර් රජු තමන්ගේ විශිෂ්ට හිතවතා මෙන් සලකා, ඔහුගේ පැත්ත ගැනීමට තීරණය කළහ. මෙසේ ඔව්හු ඔහුගේ හිතමිතුරො‍් වූ හ. 48 ඇලෙක්සන්දර් රජ ද විශාල සේනාවක් රැස් කොට දෙමෙත්‍රියස්ට විරුද්ධ ව සටනට සැරසිණි. 49 ඉන්පසු රජවරු දෙදෙන යුද ඇරඹුවහ. සටනේ දී ඇලෙක්සන්දර්ගේ හමුදාව පලවා හරින ලදී. දෙමෙත්‍රියස් ද ඔහු ලුහුබැඳ ගොස් ඔහුගේ යුද්ධ භටයන් පරාජය කෙළේ ය. 50 ඔහු ද ඉර බැස යනතෙක් ශක්තිසම්පන්න ව යුද්ධයෙහි නිරත විය. එහෙත් එදින දෙමෙත්‍රියස් මැරුම් කෑවේ ය.

ඇලෙක්සන්දර්ගේ විවාහය

51 ඉන්පසු ඇලෙක්සන්දර් රජ මිසරයේ රජ වූ ටොලමි වෙත තානාපතියන් යවමින් මෙසේ දැන්වී ය. 52 ”මෙකල මම මාගේ රාජ්‍යයට හැරී අවුත්, මාගේ පියවරුන්ගේ සිංහාසනයට ආරූඪ වී, දෙමෙත්‍රියස් පරාජය කොට රටේ පාලන බලය අල්ලාගෙන මාගේ ආධිපත්‍යය පිහිටුවා ඇත. 53 දෙමෙත්‍රියස්ට විරුද්ධ ව සටන් කොට ඔහු ද ඔහුගේ සේනාව ද වනසා, දැන් අපි ඔහුගේ රාජ්‍යය අයිති කරගෙන සිටිමු. 54 එබැවින් දැන් අපි අන්‍යොන්‍ය මිත්‍රත්වයේ ගිවිසුමක් කර ගනිමු. ඔබේ දියණියන් මට සරණ පාවා දෙන්න. මම ද එවිට ඔබේ බෑණා වී ඔබටත් ඇයටත් ඔබේ තත්ත්වයට සුදුසු අන්දමින් තෑගිබෝග දෙන්නෙමි.”
55 ටොලමි රජ තෙම ද පහත දැක්වෙන පරිදි උත්තර යැවී ය: ”ඔබගේ පියවරුන්ගේ දේශයට ආපසු අවුත් ඔවුන්ගේ රාජකීය සිංහාසනයට ආරූඪ වූ දවස වාසනාවන්ත දිනයක් වන්නට ඇත! 56 ඔබගේ ලිපියෙන් යෝජනා කරන දේ මම දැන් ම ඔබ උදෙසා කරමි. අප එකිනෙකා දැකගන්න පිණිස ටොලමයිස් හි දී මා හමුවන්න. ඔබ අසා ඇති පරිදි මම ඔබගේ මාමණ්ඩි වන්නෙමි.”
57 ටොලමි රජ ද සිය දියණියන් වූ ක්ලෙයෝපත්රා සමඟ වර්ෂ එකසිය හැට දෙකේ දී මිසරයෙන් ටොලමයිස් නුවරට ළඟා විය. 58 ඇලෙක්සන්දර් රජ ද ඔහු හමු වීමට ගියෙන්, ටොලමි තම දියණියන් ඔහුට සරණ පාවා දී රාජකීය සිරිත් ලෙස මහත් හරසරින් ටොලමයිස්හි දී විවාහ මංගල්‍යෝත්සවය සිදු කෙළේ ය. 59 ඇලෙක්සන්දර් රජ තෙම තමා හමු වන ලෙස ජොනතන්ට ලියා යැව්වේ ය. 60 ජොනතන් ද අත්‍යාලංකාරයෙන් ටොලමයිස් නගරයට ගොස් රජවරුන් දෙදෙනා හමු විය. ඔහු ඔවුන්ටත් ඔවුන්ගේ මිත්‍රයන්ටත් රන් රිදී හා බොහෝ තෑගිබෝග ද දුන් විට ඔව්හු ඔහු ගැන ඉතා තදින් පැහැදුණාහ. 61 ඉශ්රායෙල් දේශයෙන් කපටි වූ ද නීතියට පටහැණි ව ක්‍රියා කළා වූ ද මිනිසුන් ගණනාවක් එකතු වී ඔහුට විරුද්ධ ව චෝදනා කළ නමුත් රජ තෙම ඔවුන්ට සවන් නුදුන්නේ ය. 62 තවද, ජොනතන් ඔහු පැළඳ සිටි වස්ත්‍ර ඉවත් කොට රාජකීය වස්ත්‍ර පැළඳිය යුතු ය යි රජතුමා අණ කළ විට මෙලෙස කරන ලදී. 63 එවිට රජ තෙම ඔහු සමීපයෙන් වාඩි වී සිය නිලධාරීන්ට කතා කොට, ”නුවර මධ්‍යස්ථානයට ඔහු පිරිවරා ගොස්, කවර කරුණක් නිසා වත් ඔහුට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනාවක් නොකළ යුතු යයි ද කවර කරුණක් නිසා වත් ඔහුට හිරිහැර නොකළ යුතු ය”යි ද අණ කෙළේ ය. 64 මෙම ප්‍රකාශනය මඟින් ජොනතන්ට දෙන ලද ගෞරවය ද ඔහු රාජකීය වස්ත්‍රවලින් සැරසී සිටීම ද ඔහුට විරුද්ධ ව චෝදනා කළ අය දුටු විට ඔව්හු පලා ගියහ. 65 රජ තෙම ජොනතන්ට ”අග්‍රගණ්‍ය මිත්‍රයා” යන නම්බු නාමය ප්‍රදානය කොට, ආණ්ඩුකාරයා සහ යුද්ධ කොමසාරිස්වරයා හැටියට ඔහු පත් කෙළේ ය. 66 ඉන්පසු ජොනතන් ජෙරුසලමට ප්‍රීතියෙන් සුව සේ ආපසු පැමිණියේ ය.

ජොනතන් සහ අපොල්ලෝනියස් අතර ගැටුම

67 වර්ෂ එකසිය හැට පහේ දී පළමු වන දෙමෙත්‍රියස්ගේ පුත් දෙ වන දෙමෙත්‍රියස් ක්‍රීට් දූපතෙන් ඔහුගේ පියවරුන්ගේ දේශයට පැමිණියේ ය. 68 ඇලෙක්සන්දර් රජ තෙම මෙය ඇසූ විට ඔහු දොම්නසෙහි ගිලී අන්තියෝකිය නගරයට ගොස් විශ්‍රාම ගත්තේ ය. 69 මෙකී දෙමෙත්‍රියස් ද අපොල්ලෝනියස් නමැත්තා චෙලිසිරියා පළාතේ ආණ්ඩුකාරයා වශයෙන් පත් කෙළේ ය. මොහු ද විශාල සේනාවක් රැස් කොට, ජම්නියා නම් ස්ථානයේ වූ තම කඳවුරේ සිට, පහත දැක්වෙන පණිවුඩය නායක පූජක ජොනතන් වෙත ලියා යැව්වේ ය:
70 ”අපට විරුද්ධ ව ඔබ පමණක් නැඟිටින්නෙහි ය. ඒ නිසා මම නින්දාවටත් සමච්චලයටත් පාත්‍ර වී සිටිමි. කඳුකරයේ අපට අවාසි වන අන්දමට ඔබ තම ආණ්ඩු බලය යොදවන්නේ මන් ද? 71 ඔබ ඔබේ හමුදාවන් කෙරෙහි මෙපමණ විශ්වාසයක් තබන්නෙහි නම් අප හමු වීමට මිටියාවතට බැස එන්න. එහි දී අපි ගතයුතු පියවරක් ගන්නෙමු. මට වාසි වන ලෙස නගරවල ශක්තිය මට ඇත. 72 මා කවරෙක් ද කියාත්, මට ආධාර වන්නෝ කවරහු ද කියාත්, අසා දැනගන්න. දෙවරක් ම ඔබේ පියවරුන් ඔවුන්ගේ ම දේශවල දී පලවා හරිනු ලැබූ බැවින්, අපට විරුද්ධ ව නැඟිටීමට ඔබට නොහැකි බව දැනගන්නට ලැබෙනු ඇත. 73 මිටියාවතෙහි ඔබට සැඟවීමට ගල් පර්වත වත් ගල් බොරළු වත් වෙනත් යමක් වත් නැති බැවින් අශ්ව හමුදාවට හො‍් විශාල හමුදාවට හො‍් විරුද්ධ ව එහි දී සටන් කිරීමට ඔබට නොහැකි වනු ඇත.”
74 අපොල්ලෝනියස්ගේ මේ පණිවුඩය ඇසූ විට ජොනතන්ගේ සිත ධෛර්යවත් විය. ඔහු දස දහසක හමුදාවක් තෝරාගෙන ජෙරුසලමෙන් පිටත් විය. ඔහුගේ සහෝදර සීමොන් ද යුද්ධාධාර රැගෙන ඔහුට එකතු විය. 75 ඔහු ජොප්පා නුවර ඉදිරියෙහි සේනාව පෙළගස්වා නතර කෙළේ ය. ජොප්පාවෙහි අපොල්ලෝනියස්ට ආරක්ෂක සේනාවක් සිටි බැවින් එහි පුරවැසියෝ ජොනතන්ට ඇතුළු වීමට ඉඩ නුදුන්හ. එහෙත්, ජොනතන් ඊට පහර දීමට පටන්ගත් විට 76 පුරවැසියන් බිය වී වාසල් දොරටු විවෘත කළ බැවින් ඔහු ජොප්පාව අල්ලාගත්තේ ය. 77 මෙය ඇසූ විට අපොල්ලෝනියස් තුන් දහසක අශ්ව සේනාවක් සහ විශාල හමුදාවක් සංවිධානය කරගෙන, ඔහු ඇත්ත වශයෙන් මිටියාවතට යමින් සිටි නමුත්, අසෝතස් නුවර ඔස්සේ යන්න වුවමනා බවක් බොරුවට අඟවමින් මේ නුවර බලා ඉදිරියට ගමන් කෙළේ ය. මන්ද, ඔහු විශ්වාසය තැබූ විශාල අශ්ව හමුදාවක් ඔහුට විය. 78 ජොනතන් ද අසෝතස් දක්වා ඔහු ලුහුබැඳ ගියේ ය. එහි දී හමුදාවෝ සටන පටන්ගත්හ. 79 අපොල්ලෝනියස් ද ඔවුන් පිටිපස දහසක් අසරුවන් සඟවා තිබිණි. 80 සැඟවී සිට තමන්ට පහර දීම සඳහා යොදාගන්නා ලද මේ උපාය ජොනතන් දැනගත්තේ ය. අපොල්ලෝනියස්ගේ අසරුවෝ ජොනතන්ගේ සේනාව වටකරගෙන උදේ සිට සවස දක්වා ඔවුන්ට ඊගස් විද්දෝ ය. 81 එහෙත් ජොනතන් අණ දුන් පරිදි ඔහුගේ සෙනඟ ස්ථීර ව සිටියහ. අන්තිමයේ දී සතුරාගේ අශ්වයෝ වෙහෙසට පත් වූහ. 82 එවිට සීමොන්ට තම සේනාව සමඟ කඩා පනින්නට හැකි විය. ඔව්හු ද එක් ව සටනෙහි නිරත ව සිටි සතුරු හමුදාවට සමීප වී ඔවුන් කෑලි කෑලිවලට කපා පලවා හැරියෝ ය. 83 අශ්ව හමුදාව ද මිටියාවතෙහි සැම තැන ම විසිරී ගොස් අසෝතස් දක්වා පලා ගියහ. ඔව්හු මෙසේ පලා ගොස් රැකවරණය සඳහා බෙත්-දාගොන් නම් වූ තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වූ හ. 84 එහෙත් ජොනතන් අසෝතස් නගරයට ද තදාසන්න වෙනත් නගරවලට ද ගිනි ලා ඒවා කොල්ලකා, දාගොන් දේවාලයට පලා ගොස් එහි රාශිභූත වී සිටි සියල්ලන් හා සමඟ එම දේවාලයත් පුළුස්සාදැමී ය. 85 සතුරන් අතරෙන් කඩුවෙන් මැරුම්කෑ අය සහ ගිනිබත් වූ අයගේ මුළු සංබ්‍යාව අට දහසක් පමණ විය. 86 ඉන්පසු ජොනතන් එම ස්ථානයෙන් නික්ම ගොස් අස්කලොන් නුවර ඉදිරිපිට කඳවුරු බැන්දේ ය. එවිට එහි පුරවැසියෝ මහත් හරසරින් ජොනතන් හමුවීමට පැමිණියහ. 87 ඉන්පසු ඔහු ස්වකීය අනුගාමිකයන් සමඟ, තමන් කොල්ලකා ගත් දේ ද පටවාගෙන, ජෙරුසලමට ආපසු ගියේ ය. 88 ඇලෙක්සන්දර් රජ තෙමේ සිදු වූ මේ සියල්ල ඇසූ විට ජොනතන්ට අලුත් ගරුසම්මාන පිරිනැමී ය. 89 තවද, රජ තෙම සිරිත් පරිදි රජුගේ ඥාතීන්ට පමණක් පිරිනමනු ලබන උරහිස පළඳනාවක් ඔහුට තෑගි වශයෙන් යවා, එක්රොන් සහ තදාසන්න රටවල භුක්තිය සින්නක්කර ව ඔහුට පැවරී ය.

– 11 වන පරිච්ඡේදය –

හය වන ටොලමි රජ දෙ වන දෙමෙත්‍රියස් රජුට ආධාර දීම

1 එකල මිසරයේ රජ තෙම මුහුදු වෙරළේ වැලි ඇට හා සමාන අති විශාල සේනාවක් රැස් කොට, බොහෝ නැව් ද ඇති ව, ඇලෙක්සන්දර්ගේ, රාජ්‍යය කූට උපායකින් අයිති කරගෙන එය තමාගේ රාජ්‍යයට එකතු කරගැනීමට උත්සාහ කෙළේ ය. 2 තවද, ඔහු සාමදානය පිළිබඳ ඒකාන්ත ප්‍රකාශන කරමින් සිරියාව බලා නික්ම ගියේ ය. ටොලමි ඇලෙක්සන්දර් රජුගේ මාමණ්ඩිය වූ බැවින් ඔහු සමාදරයෙන් පිළිගැනීමට රජතුමා අණ දී තිබිණි. නගර වාසීහු ද වාසල් දොරටු විවෘත කොට ඔහු පිළිගැනීමට නික්ම ගියෝ ය. 3 එහෙත්, නගරවලට ඇතුළු වීමට තිබුණු ආරක්ෂක සේනා සහිත එක එක බලකොටුවට ටොලමි යුද්ධ භටයන් බෙදා හැර තිබුණේ ය. 4 ඔහු අසෝතස් නුවරට පැමිණි විට දැවී ගිය දාගොන් දෙවියාගේ දේවාලය ද නටබුන් කොට තිබූ අසෝතස් නුවර සහ තදාසන්න ප්‍රදේශය ද ඔබමොබ විසුරුවාදමා තිබුණු මළකඳන් ද ජොනතන් විසින් යුද්ධයේ දී ගිනිබත් කරනු ලැබූ අයගේ පිළිස්සී ගොස් ඉතිරි වී තිබුණු මෘත දේහයන් මාවත දිගේ ගොඩ ගසා තිබුණු ආකාරය ද ඔහුට පෙන්වන ලදී. 5 ජොනතන් ගත් ක්‍රියා මාර්ගය රජු විසින් හෙළා දකිනු ලබති යි යන බලාපොරොත්තුවෙන් යුතු ව, ඔව්හු රජු හට සියල්ල ම විස්තර කළහ. එහෙත් රජ තෙම නිහඬ විය. 6 එවිට ජොනතන් තෙමේ රජතුමා අත්‍යාලංකාරයෙන් පිළිගැනීම සඳහා ජොප්පා නුවරට ගියේ ය. එහිදී ඔව්හු අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා සාදරයෙන් පිළිගෙන රාත්‍රිය ගත කළහ. 7 ජොනතන් ද එලෙවුතෙරෙස් නම් ගංගාව දක්වා රජු හා සමඟ ගමන් කොට ජෙරුසලමට ආපසු පැමිණියේ ය. 8 ටොලමි රජ ද සෙලුසියාවේ මුහුදුබඩ ප්‍රදේශය දක්වා මුහුදු වෙරළේ පිහිටි නගර අල්ලාගත්තේ ය. මෙසේ කරමින් ඇලෙක්සන්දර් රජුට විරුද්ධ වූ ඔහුගේ දුෂ්ට සිතුම් පැතුම් සියල්ල ක්‍රියාත්මක කිරීමට කල්පනා කෙළේ ය. 9 ඉන්පසු ඔහු දෙමෙත්‍රියස් රජු වෙත තානාපතිවරුන් යවමින්, ”එන්න, අපි අන්‍යොන්‍ය සුහදතාවයේ ගිවිසුමක් කරගනිමු. දැන් ඇලෙක්සන්දර් රජු වෙත සිටින මාගේ දියණියන් මම ඔබට සරණ පාවා දෙමි. එවිට ඔබ ඔබේ පියාගේ රාජ්‍යය පාලනය කරන්නෙහි ය. 10 මා මරන්නට තැත්කළ ඒ මිනිසාට මාගේ දියණියන් සරණ පාවා දීම ගැන මම කණගාටු වෙමි”යි කීවේ ය. 11 ඔහු මෙසේ චෝදනා කෙළේ ඔහුගේ රාජ්‍යය අල්ලාගැනීමට ආශාවක් ඔහුට තිබුණු නිසා ය. 12 ඉන්පසු ටොලමි තම දියණියන් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇය දෙමෙත්‍රියස්ට පාවා දී, ඇලෙක්සන්දර් සමඟ කලහ කොට ඔහුගෙන් වෙන් විය. ඔවුන්ගේ බද්ධ වෛරය ද හෙළි පෙහෙළි විය. 13 ඉන්පසු ටොලමි අන්තියෝකිය නගරයට ඇතුළු වී ආසියාවේ රාජකීය ඔටුන්න පැළඳ ගත්තේ ය. මෙලෙස ඔහුගේ හිස මත ඔටුනු දෙකක් තබාගනිමින්, ඔහු මිසරයේ ද ආසියාවේ ද ඔටුනු දෙකට ම හිමිකම් කියාගත්තේ ය. 14 ඒ කාලයේ දී සිලිසියාවේ සෙනඟ කැරලි ගැසූ බැවින්, ඇලෙක්සන්දර් රජ තෙම එහි ගොස් සිටියේ ය. 15 එහෙත් ඔහුට මේ පුවත් සැළවූ විට, ඔහු තමාගේ තරඟකරු සමඟ සටනට ඉදිරියට පැමිණියේ ය. ටොලමි ද සටන් බිමට වැද විශාල සේනාවක් සමඟ සටන් කොට ඔහු පලවා හැරියේ ය. 16 ඇලෙක්සන්දර් රජ ද සැඟවෙන පිණිස අරාබියට පැන ගියේ ය. එහෙත් ටොලමි රටවල් ජයග්‍රහණය නිමිති කොට උත්සව පැවැත්විය. 17 අරාබි ජාතික ශබ්දියෙල් ඇලෙක්සන්දර්ගේ හිස ගසා එය ටොලමි වෙත යැවී ය. 18 ඉන්පසු තෙදිනක් ගත වූ විට ටොලමි රජ ද මියගියේ ය. බලකොටුවල සිටි, ආරක්ෂක සේනාවෝ දේශයේ වැසියන් විසින් මරාදමනු ලැබූ හ. 19 මෙලෙස වර්ෂ එකසිය හැට හයේ දී දෙමෙත්‍රියස් රජකමට පත් විය.

දෙමෙත්‍රියස් සහ ජොනතන් අතර සම්බන්ධකම්

20 ඒ කාලයේ දී ම ජොනතන් ජෙරුසලමේ බලකොටුවට පහර දෙන පිණිස ජුදයාවේ සෙනඟ එකතු කොට, ඊට විරුද්ධ ව පාවිච්චි කිරීම සඳහා, නගර වටලන බොහෝ යන්ත්‍ර ද සෑදී ය. 21 එහෙත් ඔවුන්ගේ ජාතියට වෛර කළ ද්‍රෝහියෝ සමහර දෙනෙක් රජු වෙත ගොස් ජොනතන් බලකොටුව වටලන බව සැළ කෙළේ ය. 22 මේ ආරංචිය ඇසූ රජ කිපිණි. ඔහුට එපවත් දන්වනු ලැබූ වහා ම ඔහු පිටත් වී ටොලමයිස් බලා පැමිණියේ ය. නගරය වටලෑම නවතාලන ලෙසත් හැකි පමණ කඩිනමින් ටොලමයිස් නුවර දී තමා සමඟ සම්මන්ත්‍රණයක් සඳහා තමා හමු වන ලෙසත් ඔහු ජොනතන්ට ලියා දැන්වී ය. 23 එහෙත් මෙය ඇසූ ජොනතන් නගරය වටලෑම නොනවත්වා ම කරගෙන යන ලෙස අණ කෙළේ ය. ඉන්පසු ඔහු ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සහ පූජකවරුන් අතරෙන් නියෝජිත පිරිසක් තෝරාගෙන 24 රන්, රිදී, ඇඳුම් සහ වෙනත් බොහෝ තෑගිබෝග ද රැගෙන අභියෝගාත්මක ලෙස රජතුමන් හමු වන පිණිස ටොලමයිස් නගරයට ඔවුන් යැවී ය. මෙලෙස ඔහු රජතුමාගේ සිත දිනාගත්තේ ය. 25 ඔහුගේ ජාතියේ ද්‍රෝ‍්හීන්ගෙන් එක් කෙනෙක් හො‍් දෙදෙනෙක් හො‍් ඔහුට විරුද්ධ ව චෝදනා කළ නමුත්, 26 රජ තෙමේ තමාට කලින් සිටි අය ඔහුට සත්කාර කළ අන්දමට ම ඔහුට සත්කාර කොට, ඔහුගේ මිත්‍රයන් ඉදිරිපිට දී ම ඔහු උසස් පදවියකට පත් කෙළේ ය. 27 රජ තෙම ඔහු නායක පූජකවරයෙකු කොට, ඔහු දැරූ වෙනත් නම්බු නාම පදවිවල ද ඔහු ස්ථීර කරමින්, අග්‍රගණ්‍ය රාජ මිත්‍රයන්ගේ ගණනට ඔහු ඇතුළත් කෙළේ ය. 28 ජුදයාව සහ සමාරියේ පළාත් තුන කප්පම්වලින් නිදහස් කරන ලෙසත්, ඒ වෙනුවට රන් කාසි තුන් සියයක් දීමටත් ඔහු රජතුමාට පොරොන්දු විය. 29 රජ ද ඊට එකඟ වී පහත දැක්වෙන කොන්දේසි අනුව මේ කරුණට අදාළ ලියවිල්ලක් ජොනතන්ට ලියා හැරියේ ය.

ජුදෙව්වරුන්ට දුන් බලපත්‍රය

එහි මෙසේ ලියා තිබිණි: 30 ”සැරදේ වා! දෙමෙත්‍රියස් රජුගෙන් ඔහුගේ සොහොයුරු ජොනතන් සහ ජුදා ජනතාව වෙතට යි. 31 අපේ ඥාති සොහොයුරෙකු වූ ලස්තේනස්ට අපි ඔබ ගැන දන්වා යැවීමු. ඔබේ දැනගැනීම සඳහා අපේ ලියවිල්ලේ මේ පිටපත දැන් අපි ඔබ වෙත එවන්නෙමු. 32 සැරදේ වා! දෙමෙත්‍රියස් රජුගෙන් ඔහුගේ පියා වූ ලස්තේනස් වෙතට යි. 33 ජුදා ජනතාව අපේ මිත්‍රයෝ ය. අප කෙරෙහි ඇති ඔවුන්ගේ යුතුකම් ඔව්හු ඉටු කරති. අප කෙරෙහි ඇති ඔවුන්ගේ හොඳ හිත නිසා අපේ ත්‍යාගශීලී භාවය ඔවුන්ට දක්වන්නට අපි තීරණය කරගතිමු. 34 ජුදා දේශයට සහ අපයිරෙමා, ලිඩ්ඩා සහ රාමතයිම් යන ප්‍රදේශ තුනට ඇති ඔවුන්ගේ අයිතිය අපි සහතික කරමු. මේවා ද මේවායින් නඩත්තු වූ සියලු ප්‍රදේශ ද සමාරිය දේශයෙන් ගත් ජුදයාවට යා කරන ලද්දේ ජෙරුසලමේ පුද පඬුරු ඔප්පු කරන සියල්ලන්ගේ ප්‍රයෝජනයට ය. එසේ කරන ලද්දේ රජතුමා විසින් අවුරුදුපතා ධාන්‍ය අස්වැන්නෙන් සහ පලතුරු අස්වැන්නෙන් අය කරන ලද රාජකීය බදු මුදල වෙනුවට ය. 35 අපට ගෙවිය යුතු දසයෙන් කොටසේ බද්දෙන් සහ තීරු බද්දෙන් ද ලේවායවලින් ගත යුතු බද්දෙන් ද අපට ගෙවිය යුතු රාජකීය බද්දෙන් ද අද පටන් අපි ඔවුන් සියලු දෙනා නිදහස් කොට හරිමු. 36 එහෙත්, මේ නිදහසේ ප්‍රකාශනවලින් එකක් වත් අද පටන් කිසිදාක අහො‍්සි නොවනු ඇත. 37 මේ ලියවිල්ලෙන් පිටපතක් සාදා එය ජොනතන්ට භාර දී ශුද්ධ කන්දේ පැහැදිලි ව පෙනෙන ස්ථානයක එය ප්‍රදර්ශනය කිරීම ඔබේ වගකීම වේ.”

ජොනතන්ගේ හමුදා දෙ වන දෙමෙත්‍රියස් රජ බේරා ගැනීම

38 ස්වකීය පාලනය යටතේ රටේ සාමය පැවතෙන බවත්, කිසිවෙකු තමාට විරුද්ධ ව නොනැඟිටින බවත්, දෙමෙත්‍රියස් දුටු විට ඔහු තම සේනාව විසුරුවා හැර සියලු හේවායන්ට තම නිවෙස් බලායන්නට අවසර දුන්නේ ය. එහෙත් විජාතිකයන්ගේ දිවයින්වලින් සේවයට බඳවාගෙන පුහුණු කළ විදේශීය යුද්ධ භටයින්ට එසේ යන්න අවසර නුදුන් බැවින්, ඔහුගේ පියවරුන්ට හමුදා භටයන් සේ සේවය කළ පැරැන්නන්ගේ බද්ධ වෛරයට ඔහු ලක් විය. 39 එවිට ඇලෙක්සන්දර්ගේ පෙර සහායකයෙකු වූ ට්‍රිපෝ නමැත්තා, දෙමෙත්‍රියස්ට විරුද්ධ ව යුද්ධ භටයන් කොඳුරනු දැක, ඇලෙක්සන්දර්ගේ බාල පුත් ඇන්ටිඕකස් ඇතිදැඩි කළ යාම්ලෙතු නමැති අරාබි ජාතිකයා වෙත ළඟා විය. 40 එසේ ළඟා වී ඒ බාල පුත්‍රයා ඇලෙක්සන්දර් වෙනුවට රාජ පදවියට පත් කරනු ලබන පිණිස ඔහුට ඒ දරුවා භාර දෙන ලෙස බල කරමින් ඉල්ලා සිටියේ ය. දෙමෙත්‍රියස්ගේ තීරණය ගැනත්, යුද්ධ භටයන් අතර ඒ නිසා ඇති වූ කලකිරීම ගැනත් ඔහු ඔහුට දැන්වී ය. තවද, ඔහු එහි බොහෝ කාලයක් ගත කෙළේ ය. 41 ආරක්ෂක සේනා ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නිතර ම සටන් කරන බැවින්, ජෙරුසලමේ බලකොටුවේ හා අනෙකුත් බලකොටුවලින් ඔවුන් පහකරන ලෙස ඉල්ලා ජොනතන් දෙමෙත්‍රියස් රජ වෙත දූතයන් යැවී ය. 42 දෙමෙත්‍රියස් ජොනතන් වෙත පිළිතුරු යවමින්, ”ඔබත් ඔබේ ජාතියත් උදෙසා මා මෙය කරනු පමණක් නොව, හොඳ අවස්ථාවක් ලත්විට, ඔබටත් ඔබේ ජාතියටත් ගරුසම්මාන පිරිනැමීමට ද මම කැමැත්තෙමි. 43 මගේ යුද්ධ භටයන් සියල්ලන් ම මා අත්හැර ගොස් සිටින බැවින් දැනට ඔබ මා වෙත ආධාර බළ ඇණි එව්වොත් යෙහෙකැ”යි දැන්වී ය. 44 ජොනතන් ද අන්තියෝකිය නුවර සිටි, පුහුණුව ලත් සෙබළුන් තුන් දහසක් ඔහු වෙත යැවී ය. ඔවුන් රජු වෙත ළඟා වූ විට, ඔවුන්ගේ පැමිණීම ගැන රජ තෙමේ ඉතා සතුටු විය. 45 පුරවැසියෝ එක් ලක්ෂ විසිදහසක් පමණ දෙනා රජතුමන් මරාදැමීමේ අදහසින් යුතු ව නගරයේ මධ්‍යස්ථානයේ ගොඩගැසී සිටගත්හ. 46 එහෙත් රජු මාලිගාවෙහි සැඟවුණු බැවින් පුරවැසියෝ නගරයේ මහා මාර්ගවලට වී පහර දෙන්නට වූ හ. 47 එවිට රජ තෙම තමාට ආධාර කරන පිණිස ජුදෙව්වරුන් කැඳවී ය. ඔව්හු ද එක්රැස් ව රජු පිරිවරා සිටගත්හ. ඉන්පසු ව නගරයේ විසිරී ගිය ඔව්හු එදින එහි වැසියන්ගෙන් එක් ලක්ෂයක් පමණ අය මරාදැමූ හ. 48 ඔව්හු නගරය ගිනි ලා, එවිට ම ඉතා මහත් කොල්ලයක් ද පැහැරගෙන රජුට ආරක්ෂාව සැලැසූ හ. 49 ජුදෙව්වරුන් නගරය අල්ලාගත් බව නගර වැසියන් දුටු විට, ඔව්හු අධෛර්යයට පත් වී රජතුමන්ට බැගෑපත් ලෙස ආයාචනා කරමින්, 50 ”අපට සාමය දෙන්න. ජුදෙව්වරුන් අපටත් නුවරටත් විරුද්ධ ව කරන සටන නවත්වා දෙන්නැ”යි ඉල්ලූ හ. 51 ඔව්හු මෙසේ කියා තමන්ගේ යුද්ධායුධ ඉවත ලා සාමදානයට එකඟ වූ හ. මෙසේ ජුදෙව්වරු රජු ඉදිරියෙහිත් රාජ්‍යයේ සෙසු අය ඉදිරියෙහිත් යසෝකීර්තිය ලැබූ හ. මෙලෙස ඔව්හු ඔහුගේ රාජ්‍යය තුළ කීර්තිය හිමි කරගෙන කොල්ලයත් රැගෙන ආපසු ජෙරුසලමට පැමිණියහ. 52 දෙමෙත්‍රියස් රජ තෙමේ නොකඩවා තම රාජ්‍යය පාලනය කරගෙන ගියේ ය. ඒ පාලනය යටතේ රටේ සාමය ඇති විය. 53 එහෙත් දෙමෙත්‍රියස් රජ තෙම තමා වූ පොරොන්දු සියල්ල ම කඩ කරමින්, ජොනතන් තමාට කළ සේවාවන් වෙනුවට කිසිවක් ආපසු නො දී, ඔහුට විරුද්ධ ව හරස් කපමින් ඔහු සමඟ කලහ කෙළේ ය.

ජොනතන් විරුද්ධ ව සිටීම

54 ඉන්පසු ට්‍රිපෝ, කුඩා දරුවා වන, ඇන්ටිඕකස් සමඟ ආපසු පැමිණියේ ය. ඒ කුඩා දරුවා රජකමට පත් කොට ඔහුට ඔටුනු පළඳවනු ලැබී ය. 55 දෙමෙත්‍රියස් විසින් හදිසියේ අස් කරනු ලැබ සිටි යුද්ධ භටයෝ සියලුදෙනා ම ඇන්ටිඕකස් පිරිවරාගෙන දෙමෙත්‍රියස්ට විරුද්ධ ව සටන් කරන්නට වූ හ. දෙමෙත්‍රියස් පරාජය වී ආපසු හැරී පලා ගියේ ය. 56 ට්‍රිපෝ ද ඇතුන් අල්ලාගෙන අන්තියෝකිය නුවර ද යටත් කරගත්තේ ය. 57 ඉන්පසු, යොවුන් වියේ සිටි ඇන්ටිඕකස් ජොනතන්ට ලියා යවමින්, ”මම ඔබ නායක පූජක පදවියෙහි ස්ථීර කොට, පළාත් සතරකට අධිපති කොට, ”රජ මිත්‍රයා” යන නම්බු නාමය ද ඔබට ප්‍රදානය කරමි”යි දැන්වී ය. 58 තවද ඔහු ජොනතන් වෙත ස්වර්ණමය තැටියක් ද යවා, ස්වර්ණමය පාත්‍රවලින් පානය කිරීමටත් රාජකීය වස්ත්‍ර සහ ස්වර්ණමය උරහිස පළඳනා පැළඳීමටත් අවසර දුන්නේ ය. 59 ඇරත් ඔහු ජොනතන්ගේ සොහොයුරු සීමොන් තීර් සිට මිසරයේ දේශ සීමා දක්වා යුද්ධ කොමසාරිස් වශයෙන් පත් කෙළේ ය. 60 ඉන්පසු ජොනතන් එතැනින් නික්ම විත් ට්‍රාන්ස්යුප්‍රටීස් සහ එයට යාබද නගර ඔස්සේ ගමන් කරන්නට වූ විට, මුළු සිරියන් හමුදාව ඔහුගේ ආධාරයට විත් ඔහු පිරිවරා ගත්හ. ඔහු අස්කලොන් නුවරට පැමිණි විට එහි වැසියෝ ද මහත් හරසරින් ඔහු පිළිගත්හ. 61 ඔහු එතැනින් ගාසා නුවර දක්වා ගිය විට එහි වැසියෝ ඔහුට ඇතුළු වීමට ඉඩ නුදුන්හ. එබැවින් ඔහු එය වටලා තදාසන්න පෙදෙස් ගිනිබත් කොට ඒවා කොල්ලකෑවේ ය. 62 එවිට ගාසා නුවර සෙනඟ ජොනතන්ට ආයාචනා කරන්නට වූයෙන්, ඔහු ඔවුන් සමඟ සාමදාන විය. එහෙත් ඔහු ඔවුන්ගේ නායකයන්ගේ පුත්‍රයන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් අල්ලාගෙන ඔවුන් ජෙරුසලම් නගරයට යැවී ය. ඉන්පසු ඔහු දේශය මැදින් දමස්කස් නුවර දක්වා ගමන් කෙළේ ය.
63 එවිට ජොනතන්ට තමන් පදවියෙන් නෙරපීම සඳහා දෙමෙත්‍රියස්ගේ සෙන්පතියන් ගලීලයේ පිහිටි කාදේෂ් නුවරට පැමිණ ඇති බව ඔහුට සැළ විය. 64 ඔහු තම සහෝදර සීමොන් දේශයෙහි නවත්වා ඔවුන් හමු වීමට ගියේ ය. 65 සීමොන් බෙත්-ශූර් නගරය වටලා දවසින් දවස ඊට පහර දෙමින්, එහි වැසියන් සාමදානය ඉල්ලා ආයාචනය කරන තෙක් ඒ නගරය වටලාගෙන සිටියේ ය. 66 මෙසේ ඔවුන් සාමදානයට එකඟ වූ විට ඔහු එය ඔවුන්ට දුන්නේ ය. එහෙත් ඔහු ඔවුන් නගරයෙන් නෙරපාදමා එය අල්ලාගෙන එහි ආරක්ෂක සේනාවක් තැබී ය. 67 ඒ අතරතුරේ දී ජොනතන් සහ ඔහුගේ සේනාව ගෙනසෙරෙත් මුහුද අද්දර කඳවුරු බැඳගෙන සිට, අලුයම අවදි ව උදය කාලයේ ම හාශෝර් තැනිතලාවට පැමිණියාහ. 68 විදේශිකයන්ගේ හමුදාව ඔවුන්ට පහර දීම සඳහා කඳුකරයෙහි සේනාවක් නවත්වා තබා, තුමූ තැනිතලාවෙහි යුද්ධ කරන පිණිස ඉදිරියට පැමිණියහ. 69 ප්‍රධාන සේනාංකය ජුදෙව්වරුන් වෙත පළමුවෙන් ළඟා වන විට, සැඟවී සිටි යුද්ධ භටයෝ පිටතට අවුත් කලින් පහර දුන්හ. 70 එවිට ජොනතන් සමඟ සිටි සියල්ලෝ ම පලාගිය හ. ඉතිරිවූයේ හමුදාවේ සෙන්පතින් වූ අබ්සලොම්ගේ පුත් මතතියස් සහ කල්පිගේ පුත් ජූදස් පමණ ය. 71 එවිට ජොනතන් වේදනාවෙන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන හිස මත දූවිලි දමාගෙන යාච්ඤා කෙළේ ය. 72 ඉන්පසු ඔහු යළිත් සටනට අවුත් සතුරන් පලවා හැරියේ ය. ඔව්හු ද පලා ගියහ. 73 ඔහුගේ ම සේනාවෙන් පලා ගිය අය මෙය දුටු විට, ඔව්හු ඔහු වෙත, පෙරළා අවුත් සතුරු කඳවුර පිහිටි කාදේෂ් දක්වා සතුරන් ලුහුබැඳ ගොස්, එහි කඳවුරු බැඳගත්හ. 74 එදින විදේශිකයන්ගේ යුද්ධ භටයන්ගෙන් තුන් දහසක් පමණ මැරුම්කෑහ. ඉන්පසු ජොනතන් ජෙරුසලමට ආපසු පැමිණියේ ය.

– 12 වන පරිච්ඡේදය –

ජොනතන්ගේ සබඳතා

1 තත්ත්වය තමාගේ වාසියට හැරී තිබෙන බව ජොනතන් දුටු විට, රො‍්මවරුන් සමඟ කරන ලද මිත්‍රත්වයේ ගිවිසුම අනුමත කොට එය අලුත් කරන පිණිස තෝරාගත් දූතයන් පිරිසක් ඔහු රො‍්මය බලා යැවී ය. 2 තවද, ඔහු ඒ අරමුණ සඳහා ම, ස්පාටන්වරුන් වෙතත්, වෙනත් ස්ථානවලටත් ලියා යැවී ය. 3 දූතයෝ ද රො‍්මයට ගොස් උත්තර මන්ත්‍රී සභාවට ඇතුළු වී මෙලෙස ප්‍රකාශ කළහ: ”නායක පූජක ජොනතන් ද ජුදා ජනතාව ද තමන් කලින් කරගෙන තිබුණ පරිදි මිත්‍රත්වයේ ගිවිසුම සහ සම්බන්ධකම අලුත් කරගන්නා පිණිස අප එවූ හ.” 4 ඉන්පසු ඔවුන්ට සුව සේ ජුදා දේශයට යාමට හැකි වන පිණිස රො‍්මවරු ඒ ඒ ස්ථානයේ සිටි ආණ්ඩුකාරවරුන්ට දෙන පිණිස හසුන් පත් ඔවුන්ට දුන්හ.
5 පහත දැක්වෙනුයේ ජොනතන් විසින් ස්පාටන්වරුන්ට ලියන ලද ලිපියේ පිටපතකි: 6 ”සැරදේ වා! නායක පූජක ජොනතන් ද ජාතියේ උත්තර මන්ත්‍රී මණ්ඩලය ද පූජකවරු ද ජුදා ජනතාවේ ඉතිරි අය ද ඔවුන්ගේ සහෝදරයන් වන ස්පාටන්වරුන් වෙත මෙසේ ලියා එවති: 7 මීට අමුණා තිබෙන පිටපතින් ඔප්පු වන පරිදි ඔබ ඇත්තෙන් ම අපේ සහෝදරයන් බව ඔබේ රජතුමෙකු වන අරෙයොස් විසින් අපේ නායක පූජක ව සිටි ඕනියස් වෙත දන්වමින් මීට කලින් ලිපියක් එවන ලදී. 8 ඕනියස් ද ඒ රාජ දූතයා ගරුසම්මාන සහිත ව පිළිගෙන, එම ලිපිය භාර ගත්තේ ය. 9 මිත්‍රකම සහ සම්බන්ධකම ගැන එහි පැහැදිලි ලෙස සඳහන් කර තිබිණි. 10 අපි දු අපට අයිති ශුද්ධ ග්‍රන්ථවලින් ලැබෙන සැනසිල්ල අපට ඇති බැවින්, එවැන්නක් අපට අවශ්‍ය නොවන නමුත්, ඔබ සමඟ අපේ සහෝදර මිත්‍රත්වය අලුත් කරනු පිණිස ලිපියක් එවීමට උත්සාහ කරමු. මෙලෙස කරන්නේ ඔබ අප එම ලිපිය එවා බොහෝ කලක් ගත වූ බැවින්, අප ඔබට අමුත්තන් නොවන පිණිස ය. 11 සහෝදරයන් සිහිපත් කිරීම කළ යුතු හොඳ දෙයක් බැවින්, නිතර ම සෑම අවස්ථාවක දී ම අපේ මංගල්‍යවල දී සහ වෙනත් නියමිත දිනවලදීත් පුද පූජා ඔප්පු කරන විටත් යාච්ඤාවලදීත් අප ඔබ සිහි කරන බව ඔබ වෙත දන්වනු කැමැත්තෙමු. 12 ඔබේ කීර්තිය ගැන අපි ප්‍රීති ප්‍රමො‍්ද වමු. 13 අප අවට සිටින රජවරුන් අපට විරුද්ධ ව යුද්ධ කළ බැවින්, අපි බොහෝ කරදරවලට ද බොහෝ සටන්වලට ද මැදි වී සිටියෙමු. 14 මේ යුද්ධවල දී ඔබට හො‍් අපේ වෙනත් මිත්‍රයන්ට හො‍් කරදර කිරීමට අපි කැමැති නොවූයෙමු. 15 එහෙත් ස්වර්ගයෙන් අපට ලැබුණු ආධාරය නිසා දැන් අපි අපේ සතුරන්ගෙන් ගැළවී සිටින්නෙමු. පරාජයට පත් වූවෝ ඔව්හු ය. 16 එබැවින් දැන් ඇන්ටිඕකස්ගේ පුත් නුමෙනියස් සහ ජාසොන්ගේ පුත් ඇන්ටිපාතර් තෝරාගෙන අප සමඟ පෙර පැවති මිත්‍රත්වයේ ගිවිසුම සහ සම්බන්ධකම අලුත් කරන පිණිස අපි ඔවුන් රො‍්මවරුන් වෙත යැවීමු. 17 ඔබට ද සුබ පතා ඔබ සමඟ ඇති අපේ සහෝදරත්වය අලුත් කරන පිණිස ඔබ වෙත ඒමට ද අපි ඔවුන්ට අණ කෙළෙමු. 18 මීට පිළිතුරක් එවන්නහු නම් අපි කෘතඥ වන්නෙමු.”
19 ඕනියස්ට යවන ලද ලිපියේ පිටපත පහත දැක්වේ: 20 ”සැරදේ වා! ස්පාටන්වරුන්ගේ රජු වූ අරෙයොස්ගෙන් නායක පූජක ඕනියස් වෙතට යි. 21 ස්පාටන්වරුන් සහ ජුදෙව්වරුන් සහෝදරයන් බවත්, ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන අය බවත් එක්තරා ලියවිල්ලකින් සොයාගෙන ඇත. 22 දැන් අප මේ ගැන දන්න බැවින් ඔබේ සැප දුක් පිළිබඳ ආරංචි අප වෙත දන්වා එවන්නහු නම්, අපි ණයගැති වන්නෙමු. 23 ඔබට දෙන අපේ පණිවුඩය මෙය වේ. එනම්, ඔබේ එළු, බැටළු, ගව පට්ටි සහ ඔබ සතු දෙය අපේ ය. අප සතු දේ ඔබේ ය. මෙය ගැන පණිවුඩයක් දීමට අපේ දූතයන් හට අපි උපදෙස් දෙන්නෙමු.”

ජොනතන් සහ සීමොන්

24 තමාට විරුද්ධ ව සටන් කරන පිණිස පෙරටත් වඩා විශාල හමුදාවක් සමඟ දෙමෙත්‍රියස්ගේ සෙන්පතියන් ආපසු පැමිණ සිටින බව ජොනතන් දැනගත්තේ ය. 25 එබැවින් තමාගේ දේශයට විරුද්ධ ව ආක්‍රමණයක් ගොඩනැඟීමට ඔවුන්ට කාලයක් නොදෙනු පිණිස ඔහු ජෙරුසලමෙන් පිටත් වී හාමාත් පෙදෙසෙහි දී ඔවුන්ට මුණ ගැසෙනු පිණිස ඉදිරියට ගියේ ය. 26 තවද ඔහු ඔවුන්ගේ කඳවුරට ඔත්තුකාරයන් යැවී ය. ජුදෙව්වරුන්ට විරුද්ධ ව රාත්‍රි කාලයේ දී පහර දෙන පිණිස සතුරා සූදානම් වන බව ඔව්හු ඔහුට දැන්වූ හ. 27 රාත්‍රි කාලයේ දී ඕනෑ ම වේලාවක සටනට සූදානම් ද සන්නාහ සන්නද්ධ ව සිටින ලෙස ඉර බැස යද්දී ජොනතන් තම සෙබළුන් හට අණ කෙළේ ය. ඔහු මෙසේ අණ කොට, මුළු කඳවුර වටේට ම ආක්‍රමණික මුර භටයන් නතර කෙළේ ය. 28 ජොනතන් සහ ඔහුගේ සෙනඟ සටනට සූදානම් ව සිටින බව දැනගත් සතුරා බිය වී තමන්ගේ කඳවුර තුළ සලිත සිත් ඇති ව ගිනි ගොඩවල් දැල්විය. 29 ගිනි ජාලා දෙස බලාගෙන සිටි ජොනතන් සහ ඔහුගේ සෙනඟ සතුරා පසුබැස ගොස් තිබෙන බව දැනගත්තේ උදය කාලයේ දී ය. 30 ජොනතන් ඔවුන් ලුහුබැඳ ගිය නමුත් ඔවුන් එලෙවුතෙරස් ගඟෙන් එගොඩ වී ගොස් සිටි බැවින් ඔහුට ඔවුන් අල්ලාගත නොහැකි විය. 31 එබැවින් ජොනතන් ශබදේන් නම් අරාබි ජාතිකයන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් පරාජය කොට ඔවුන් සතු දේ කොල්ලකෑවේ ය. 32 ඉන්පසු ඔහු කඳවුරු ගලවා දමස්කයට ගොස් ඒ මුළු පළාත ඔස්සේ ගමන් කෙළේ ය. 33 ඒ අතරතුරේ දී සීමොන් ද තමා සිටි තැතින් පිටත් වී අස්කලොන් සහ තදාසන්න බලකොටු දක්වා ගොස් තිබිණි. එවිට ඔහු ජොප්පා නගරය වෙත හැරී එය අල්ලගැනීමට කඩිනම් වූයේ ය. 34 ඔහු එසේ කෙළේ මේ ශක්තිසම්පන්න ස්ථානය දෙමෙත්‍රියස්ගේ ආධාරකරුවන්ට භාර දීමට ඒ නගර වාසීන් අදහස් කර තිබුණු බැවිනි. ඉන්පසු ඔහු එම ස්ථානය මුර කිරීමට ආරක්ෂක හමුදාවක් තැබී ය.

ජෙරුසලම ගොඩනැඟීම

35 ජොනතන් ආපසු පැමිණි විට ඔහු ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමක් කැඳවා ඔවුන් සමඟ ජුදයාවේ බලකොටු ගොඩනැංවීමට ද 36 ජෙරුසලමේ පවුරු උස් කිරීමට ද නගරයත්, නගරයේ බලකොටුවත් අතර උස මායිමක් ඉදි කිරීමට ද බලකොටුව නගරයෙන් ඈත් කොට එය වෙන් කිරීමට ද එහි වාසීන් වෙළෙහෙළෙඳාම් කිරීමෙන් වැළැක්වීමට ද තීරණයක් ගත්තේ ය. 37 නගරය යළි ගොඩනැඟීමට ඔව්හු එකතු වූ හ. පෙරදිගින් වූ ගැඹුරු දෙණියට ඉහළින් පිහිටි ප්‍රාකාරයෙන් කොටසක් කඩා වැටී තිබිණි. තවද, ඔහු චපෙනනා නම් කොටස ද අලුත්වැඩියා කෙළේ ය. 38 ඒ අතරතුරේ දී සීමොන් පහත් බිමේ පිහිටි අදිදා නගරය යළි ගොඩනඟා එය ශක්තිමත් කොට අගුළු සහිත වාසල් දොරටු එහි ඉදි කෙළේ ය.

ජොනතන්ගේ වැටීම

39 ට්‍රිපෝගේ අභිලාශය වූයේ ආසියාවේ රජ වී කිරුළ පැළඳ ඇන්ටිඕකස් රජු පරාජය කිරීම යි. 40 තමාට එසේ කිරීමට ජොනතන් ඉඩ නොදෙනු ඇතැ යි කියාත් ඔහු තමාට විරුද්ධ ව සටන් කරනු ඇතැ යි කියාත් ඔහු බියෙන් සිටියේ ය. එබැවින් ඔහු ජොනතන් අත්අඩංගුවට ගෙන මරා දැමීමට බොරු හේතුවක් සොයන අදහසින් තමා උන් තැනින් පිටත් වී බෙත්-ෂාන් නගරයට පැමිණියේ ය.
41 ජොනතන් ද ඔහුට හරස් කපන පිණිස යුද්ධයට සැරසී සතළිස් දහසක තෝරාගත් සේනාවක් සමඟ පිටත් වී බෙත්-ෂාන් නම් ස්ථානයට පැමිණියේ ය. 42 ජොනතන් විශාල සේනාවක් සහිත ව එහි සිටිනු දුටු ට්‍රිපෝ ඔහු තමාට විරුද්ධ ව පියවරක් ගැනීම ගැන සිත් දෙගිඩියාවෙන් සිටියේ ය. 43 ඇරත් ඔහු ජොනතන් ගරුසම්මාන සහිත ව පිළිගෙන ඔහුගේ සියලු මිතුරන්ට ඔහු ප්‍රශංසා මුඛයෙන් හඳුන්වා දී, ඔහුට තෑගිබෝග ද ප්‍රදානය කොට, ඔහු තමාට කීකරු වන පරිදි ඔහුට කීකරු වන ලෙස සිය මිතුරන්ට සහ හමුදාවන්ට නියෝග කෙළේ ය. 44 ඔහු ජොනතන් අමතා, ”අප දෙගොල්ල අතර යුද්ධයට තර්ජනයක් නැති විට පවා ඔබ මේ සියලු සෙනඟ මෙතරම් වෙහෙස මහන්සියට පත් කෙළේ කුමක්නිසා ද? 45 ඔවුන් ආපසු ගෙදර යවන්න. ඔබේ පෞද්ගලික ආරක්ෂක භටයන් මෙන් ඔබ ස්වල්ප දෙනෙකු තෝරාගෙන මා සමඟ ටොලමයිස් නුවරට එන්න. එහි ඇති වෙනත් බලකොටු ද ඉතිරි හමුදාවන් සහ සියලු ම නිලධාරීන් ද සමඟ මම ඔබට භාර දෙමි. ඉන්පසු මම ගෙදර බලා ආපසු යන්නෙමි. මා මෙහි පැමිණියේ ඒ නිසා ය”යි කීවේ ය. 46 ජොනතන් ද ඔහු විශ්වාසකොට ඔහු කී ලෙස කෙළේ ය. හමුදාවන් විසුරුවා හැරිය විට හමුදාවෝ ද ජුදා දේශය බලා ආපසු ගියහ. 47 ජොනතන් තමා ළඟ තුන් දහසක සේනාවක් තබාගෙන එයින් දෙදහසක් ගලීලයේ නවත්වා තමා කැටුව දහසක් රැගෙන ගියේ ය. 48 එහෙත් ජොනතන් ටොලමයිස් නගරයට ඇතුළු වූ විට ම එහි නගර වාසීහු වාසල් දොරටු වසා ඔහු අල්ලාගෙන ඔහු සමඟ ඇතුළු වූ සියල්ලන් ම කඩුවෙන් මරාදැමූ හ. 49 ඉන්පසු ට්‍රිපෝ, ජොනතන්ගේ සහායකයන් සියලු දෙනා වනසාලනු පිණිස ගලීලයට සහ මහා තැනිතලාවට පාබළ සේනාංකයන් සහ අශ්ව හමුදා යැවී ය. 50 මේ සහායකයෝ ද ‘ජොනතන් අල්ලාගනු ලැබී ය’යි ද ‘ඔහු තමාගේ ආධාරකරුවන් සමඟ මියගියේ ය’යි ද සිතාගෙන එකිනෙකා ධෛර්යවත් කොට සටනට සූදානම් වී එක පෙරමුණක් වී ඉදිරියට ගමන් කළහ. 51 මොවුන් සිය දිවි නොතකා සටන් කරන්නට සූදානම් වී සිටින බව ඔවුන් ලුහුබැඳ ගිය අය දැක ආපසු යන්න ගියහ. 52 ඔවුන් සියල්ලන් ම ජුදා දේශයට සුව සේ ගිය නමුත්, ඔව්හු, ජොනතන් සහ ඔහුගේ ආධාරකරුවන් ගැන ළත වෙමින් භයින් තැතිගත්හ; මුළු ඉශ්රායෙල් ජනතාව ඒ ගැන විලාප නැඟුවා හ. 53 ඔවුන් වටේට සිටි විජාතිකයෝ සියල්ලෝ ම ඔවුන් වනසාලීමට බලබලා සිටියෝ ය. මේ විජාතිකයෝ කතා කොට, ”දැන් ඔවුන්ට නායකයෙක් නැත; මිත්‍රයෙක් නැත; අප දැන් ඔවුන්ට පහර දුන්නොත් අපි ඔවුන්ගේ නාම මිහි පිටින් සහමුලින් ම මකා දමන්නෙමු” යයි කී හ.

– 13 වන පරිච්ඡේදය –

සීමොන් සෙන්පති වීම

1 ජුදා දේශය ආක්‍රමණය කොට එය වනසාලනු සඳහා ට්‍රිපෝ විසින් විශාල හමුදාවක් රැස් කරන ලද බව සීමොන්ට සැළ විය. 2 සෙනඟ බියෙන් තැතිගෙන සිටින බව දුටු විට, ඔහු ජෙරුසලමට ගොස් සෙනඟ කැඳවා, ඔවුන් ධෛර්යවත් කරවමින් ඔවුන්ට කතා කොට, 3 ”ව්‍යවස්ථාවන් සහ ශුද්ධස්ථානය සඳහා මාත් මගේ සහෝදරයනුත්, මගේ පියාගේ පවුලත් කළ සියල්ල ඔබ හැම දන්නාහු ය. අප අත්දුටු සටන් සහ දුක් ගැනත් ඔබ දන්නාහු ය. 4 ඉශ්රායෙල් ජාතිය උදෙසා මාගේ සහෝදරයන් සියලු දෙනා ම මියගියේත් ඒ නිසා ය. දැන් ඉතිරි ව සිටින්නේ මා පමණ ය. 5 මාගේ සහෝදරයන්ට වඩා මා නොවටින කෙනෙකු බැවින් කිසි ම පීඩන කාලයක දී කවදාවත් මම මාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ නොකරමි. 6 දැන් විජාතීන් සියලු දෙනා ම ද්වේෂ සහගත ව අප වනසාලීම සඳහා එකඟ වී සිටින බැවින් මාගේ ජාතිය හා ශුද්ධස්ථානය උදෙසා ද ඔබේ අඹුදරුවන් උදෙසා ද ඔවුන්ගෙන් පළිගනිමි”යි කීවේ ය. 7 සෙනඟ ඔහුගේ වචනවලට සවන් දුන් විට ඔවුන්ගේ ධෛර්යය නැවත ප්‍රාණවත් වී 8 ඔව්හු මහා හඬින් කෑගසමින්, ”ජූදස් සහ ඔහුගේ සහෝදර ජොනතන් වෙනුවට ඔබ අපේ නායකයා වන්නෙහි ය. 9 අප උදෙසා සටන් කරන්න. ඔබ අපට කියන සෑම දෙයක් ම අපි කරන්නෙමු”යි කීවෝ ය. 10 එබැවින් ඔහු සටන් කරන මිනිසුන් සියලු දෙනා කැඳවා, ජෙරුසලමේ ප්‍රාකාර සම්පූර්ණ කර එය වටා වූ මායිම් සියල්ල ශක්තිසම්පන්න කරවූයේ ය. 11 තවද, ඔහු අබ්සලොම්ගේ පුත් ජොනතන් යටතේ සෑහෙන සේනාවක් ජොප්පා නුවරට යැවී ය. මොහු එහි සිටි වැසියන් පන්නාදමා එය අල්ලාගෙන සිටියේ ය.

සීමොන් ජුදෙයාවෙන් ට්‍රිපෝ පන්නාදැමීම

12 ට්‍රිපෝ ද ජොනතන් තම පාලනය යටතට ගෙන, ජුදා දේශය ආක්‍රමණය කරන පිණිස විශාල යුද්ධ සේනාවක් රැගෙන තොලමයිස් නගරයෙන් නික්ම ගියේ ය. 13 සීමොන් මිටියාවතට මුහුණ ලා අදිදා නම් ස්ථානයේ කඳවුරු බැන්දේ ය. 14 සීමොන් ඔහුගේ සහෝදර ජොනතන්ගේ ස්ථානය ගත් බවත්, ඔහු තමාට විරුද්ධ ව සටන් කිරීමට අදහස් කරගෙන සිටින බවත්, ට්‍රිපෝ දැනගත් විට ඔහු සීමොන් වෙත පහත දැක්වෙන පණිවුඩය තානාපතීන් මඟින් දන්වා යැවී ය: 15 ”ඔබේ සහෝදර ජොනතන් දැරූ පදවිවලට ඔහු රාජකීය භාණ්ඩාගාරයට ණය ගෙවීමට බැඳී සිටියේ ය. අප ඔහු නවත්වාගෙන සිටින්නේ ඒ නිසා ය. 16 කැරලි නොගසන බවට ප්‍රාණ ඇපකරුවන් වශයෙන් ඔහුගේ පුතුන් දෙදෙනෙකු ද රිදී කාසි සියයක් ද ඔබ එවන්නෙහි නම්, අපි ඔහු නිදහස් කර හරින්නෙමු.” 17 මේ පණිවුඩය ප්‍රයෝගයක් බව සීමොන් දැනගත් නමුත්, සෙනඟ ඔහු කෙරෙහි වඩාත් වෛරයක් ඇති කරගනිති යි යන බියෙන් ඔහු ඒ මුදල සහ පුතුන් ලබාගැනීම සඳහා පණිවුඩයක් යැවී ය. 18 මන්ද, එසේ නොකළොත්, සීමොන් ඒ මුදල සහ ළමයින් නෑරිය බැවින් ජොනතන් මළේ යයි කියන්නට සෙනඟට ඉඩ තිබිණි. 19 එබැවින් ඔහු ඒ ළමුන් සහ රිදී කාසි සියය යැවී ය. එහෙත් ට්‍රිපෝ පොරොන්දුව ඉටු නොකර, ජොනතන්ට නිදහස නුදුන්නේ ය. 20 ඉන්පසු ට්‍රිපෝ දේශය ආක්‍රමණය කිරීමටත් විනාශ කිරීමටත් පටන්ගත්තේ ය. ඔහු අදෝරා නම් පාර ඔස්සේ හැරී ගිය නමුත්, ඔහු යන්නට උත්සාහ කළ සෑම තැනකට ම සීමොන් සහ ඔහුගේ හමුදාව ඔහුට විරුද්ධ ව හරස් කැපුවෝ ය. 21 නුවර බලකොටුවේ සිටි සෙනඟ ට්‍රිපෝ වෙත දූතයන් යවමින්, පාළුකරය ඔස්සේ තමන් වෙත එන ලෙසත්, තමන්ට ආහාර සපයන ලෙසත් තදින් ඉල්ලා සිටියෝ ය. 22 පිටත් ව යන පිණිස ට්‍රිපෝ තමාගේ මුළු අශ්ව හමුදාව සංවිධානය කළ නමුත් එදින රාත්‍රියේ ඉතා තදින් හිම වැටුණ බැවින් ඔහුට යාගත නො හැකි විය. එබැවින් ඔහු කඳවුර ගලවා ගිලියද් දේශයට යන්ට ගියේ ය. 23 ඔහු බස්කාමා නම් ස්ථානයට ළඟා වූ විට, එහි දී ජොනතන් මරා වළලාදැම්මේ ය. 24 ට්‍රිපෝ ආපසු හැරී ගොස් තමාගේ රට නැවත දිනාගත්තේ ය.

ජොනතන් භූමදාන කිරීම

25 සීමොන් දූතයන් යවා තමාගේ සහෝදර ජොනතන්ගේ ඇටකටු ගෙන්වාගෙන ඔහුගේ පියවරුන්ගේ නගරය වන මොදෙයින්හි දී ඒවා තැන්පත් කෙළේ ය. 26 මුළු ඉශ්රායෙල් ජනතාව බොහෝ දින ගණනක් ඔහු උදෙසා වැලපෙමින් ප්‍රසිද්ධ ලෙස අවමංගල්‍යය පැවැත්වූ හ. 27 සීමොන් ද ඔහුගේ පියාගේ සහ සහෝදරයන්ගේ සොහොන් කොතට ඉහළින්, ඉදිරියට සහ පිටිපසට නෙළූ ගල් යොදා ඈත සිට පෙනෙන පරිදි, උස සිහිවටනයක් ගොඩනැඟුවේ ය. 28 ඔහුගේ පියා සහ මව වෙනුවට ද සහෝදරයන් සතර දෙනා වෙනුවට ද මුහුණට මුහුණ ලා සිටින පරිදි පිරමීඩ හතක් ඉදි කෙළේ ය. 29 ඔහු ඒවා පදනම් මත ඉදිකොට උස් කුළුණුවලින් වට කෙළේ ය. ඒ කුළුණු මත සදහට ම ඔවුන් සිහි වීමක් වශයෙන් යුද්ධායුධවල ජයසංකේත කැටයම් කෙළේ ය. ඒවාට අමතර ව, මුහුදු නාවිකයන්ට පෙනෙන පරිදි ඒවායේ නෞකා රූප ද කැටයම් කෙළේ ය. 30 මොදෙයින්හි ඔහු ඉදි කළ සිහිවටනය එබඳු එකක් විය. එය අද දක්වා පවතී.

දෙ වන දෙමෙත්‍රියස් සීමොන්ට අනුග්‍රහය දැක්වීම

31 ට්‍රිපෝ බාල වියේ සිටි ඇන්ටිඕකස් රජුට ද්‍රෝහිකම් කොට ඔහු මරාදැමී ය. 32 ඔහු ආසියාවේ රජ කිරුළ පැළඳගෙන රජ සිහසුන බලහත්කාරයෙන් පවරාගෙන රටට මහා විපත්තියක් පැමිණෙව්වේ ය. 33 සීමොන් ජුදයාවේ බලකොටු ඉදි කොට ඒවා උස් කොත්වලින් ද මහා පවුරුවලින් ද අගුලු සහිත වාසල් දොරටුවලින් ද වට කර ඒවායේ ආහාර ගබඩා කොට තැබී ය. 34 තවද ඔහු එම ප්‍රාන්තයට සහනය දානය කිරීමට රජු පොළඹවාගන්න පිණිස නියෝජ්‍ය දූත පිරිසක් දෙමෙත්‍රියස් රජු වෙත යැවී ය. ට්‍රිපෝ කළ එක ම දෙය වූයේ සියල්ල ම රාජසන්තක කිරීම යි. 35 එබැවින් දෙමෙත්‍රියස් රජ තෙමේ ද ඔහුගේ ඉල්ලීමට පහත දැක්වෙන ලෙස ලිපියකින් පිළිතුරු දුන්නේ ය. 36 ”සැරදේ වා! දෙමෙත්‍රියස් රජුගෙන් නායක පූජකවරයා ද රාජ මිත්‍රයා වන සීමොන් ද ප්‍රජා මූලිකයන් ද ජුදා ජාතිය ද වෙතට යි. 37 ඔබ අප වෙත එවූ ස්වර්ණ කිරීටය හා තාල පත්‍රය අප පිළිගත්තේ මහත් සතුටිනි. ඔබ සමඟ පොදු වශයෙන් සාමදානයක් ඇති කරගැනීමටත් සහනය දෙනු පිණිස නිලධාරීන්ට ලිවීමටත් අපි සූදානම් වී සිටිමු. 38 ඔබ ගැන අප පැනවූ නියෝග සියල්ල වලංගු ය. ඔබ ගොඩනැඟුවාවූ බලකොටු ද ඔබ අතේ තබාගත හැකි ය. 39 අද දක්වා දැනුවත් ව හො‍් නොදැනුවත් ව හො‍් කරන ලද වැරදි සියල්ල අපි කමා කරමු. ඔබ ගෙවිය යුතු ව තිබුණු රාජකීය බද්දෙන් හා ජෙරුසලමෙහි කළ යුතු ව තිබුණු අනික් යුතුකම්වලින් ද අපි ඔබ නිදහස් කර හරින්නෙමු. 40 ඔබ අතරෙහි අපේ ආරක්ෂක භටයන් ලෙස ලියාපදිංචි වීමට කැමැති අය සිටිත් නම් ඔවුන්ට එසේ ලියාපදිංචි විය හැකි ය. අප අතර සාමදානය පවතී වා!”
41 ඉශ්රායෙල් ජනයා අතරෙන් විජාතිකයන්ගේ පාලනය ඉවත් කරන ලද්දේ වර්ෂ එක සිය හැත්තෑවේ දී ය. 42 සෙනඟ ඔවුන්ගේ ලියකියවිලි හා ගිවිසුම් නීත්‍යනුකූල ව ලිවීම ඇරඹුවේ උත්තම පූජකයා ද හමුදා කොමසාරිස්වරයා ද ජුදාවරුන්ගේ නායකයා ද වන සීමොන්ගේ පළමු වන අවුරුද්දේ දී ය.

සීමොන් ගේශෙර් නුවර අල්ලාගැනීම

43 ඒ කාලයේ දී ගේශෙර් නුවර වටලෑමට ගිය සීමොන්ගේ යුද්ධ භටයන් විසින් එය වට කරන ලදී. ඔහු එහා මෙහා ගෙන ගිය හැකි කොතක් ඉදිකොට එය නගරයට ගෙනවුත් අට්ටාලයේ කපොල්ලක් විවෘත කොට එය නගරය තුළට ගත්තේ ය. 44 ඉන්පසු ඒ කොතේ සිටි සෙනඟ නගරය තුළට පැන්න විට එහි මහා කලබලයක් ඇති විය. 45 නගර වැසියෝ ද තම අඹුදරුවන් රැගෙන ප්‍රාකාරයට නැඟ දුකින් තම වස්ත්‍ර ඉරාගෙන සතුරන් සමඟ සාමදානයට පැමිණෙන ලෙස හඬ නඟා සීමොන්ට ආයාචන කළො‍් ය. 46 ඔව්හු කතා කොට, ”අපේ දුෂ්ටකම අනුව නොව ඔබේ දයාව තුඩු දෙන පරිදි අපට සලකන්නැ”යි කී හ. 47 සීමොන් ද ඔවුන් හා සාමදාන වී සටන නැවැත්වූයේ ය. එහෙත් ඔහු ඔවුන් නගරයෙන් පලවා හැර බොරු දේව පිළිම තිබූ ගෙවල් පවිත්‍ර කොට පසස් ගී ගයමින් නගරයට ඇතුළු විය. 48 ඉන්පසු ඔහු එහි සියලු අපවිත්‍රකම් දුරුකොට, ව්‍යවස්ථාව පිළිපැදි සෙනඟ එහි පදිංචි කරවා, නගරය ශක්තිමත් කොට තමාට ම එහි නිවාසයක් ගොඩනැඟී ය.

සීමොන් ජෙරුසලමේ බලකොටුව අල්ලාගැනීම

49 පිටිසර ප්‍රදේශයකට ගොස් ආහාර පානාදිය ගෙනවුත් වෙළෙහෙළෙඳාම් කිරීම ජෙරුසලමේ බලකොටුවේ සිටි සෙනඟට තහනම් කර තිබුණු බැවින්, ඔවුන්ට ආහාර හිඟකම තදින් ම දැනෙන්නට විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ද කුස ගින්නෙන් මියගියහ. 50 තමන් සමඟ සාමදාන වන ලෙස ඔවුන් සීමොන්ට ආයාචන කළ විට ඔහු ද එයට කැමැති විය. එහෙත්, ඔහු ඔවුන් පලවා හැර නගරයට වූ කෙලෙසීම්වලින් එය පවිත්‍ර කෙළේ ය. 51 ජුදා සෙනඟ ප්‍රබල සතුරෙකු සුණු විසුණු කොට ඉශ්රායෙල්වරුන් අතරින් පන්නා දැමූ බැවින්, වර්ෂ එකසිය හැත්තෑ එකේ දෙ වන මාසයේ විසි තුන් වන දින ඔව්හු ඔල්වරහඬ නඟමින් තාලපත්‍ර ගෙන මහා වීණා, කුඩා වීණා හා අත්තල් හඬට ගී සින්දු ගය ගයා නගරයට ඇතුළු වූ හ. 52 සීමොන් එම දවස අවුරුදු පතා ප්‍රීති වීමේ දවසක් කෙළේ ය. ඔහු බලකොටුව අසල වූ දේව මාලිගාව පිහිටි කන්දේ ආරක්ෂක සංවිධාන ශක්තිසම්පන්න කොට ඔහුගේ සෙනඟ සමඟ එහි පදිංචි විය. 53 තම පුත් ජොහන් වැඩිවියට පැමිණි බව දුටු සීමොන් ඔහු සියලු හමුදාවල සෙන්පතියා වශයෙන් පත් කෙළේ ය. ඔහු ද නුවර පදිංචියට ආවේ ය.

– 14 වන පරිච්ඡේදය –

සීමොන් ගැන ප්‍රශස්ති ගීය

1 වර්ෂ එකසිය හැත්තෑ දෙකේ දී දෙමෙත්‍රියස් රජ ට්‍රිපෝට විරුද්ධ ව සටන් කරනු වස් තම හමුදාවන් රැස් කොට, ආධාර ලබාගන්න පිණිස මේදියා දේශයට ගියේ ය. 2 පර්සියාවේ සහ මේදියාවේ රජු වූ අර්සාසෙස් තෙමේ දෙමෙත්‍රියස් රජු තම දේශයට ඇතුළු වූ බව අසා ඔහු පණපිටින් අල්ලාගැනීමට එක් සෙන්පතියෙකු යැවී ය. 3 සෙන්පතියා ද ගොස් දෙමෙත්‍රියස්ගේ හමුදාව පරාජය කොට ඔහු අල්ලාගෙන අර්සාසෙස් වෙත ගෙනාවේ ය. රජ තෙමේ ඔහු සිරගත කෙළේ ය.
4 සීමොන්ගේ කාලයේ දී රටේ සාමය පැවතිණි.
ඔහු ජාතියේ සෞභාග්‍යය සෙවී ය;
ඔහුගේ මුළු ජීවිත කාලය තුළ ම ඔව්හු ඔහුගේ ආධිපත්‍යය සහ තේජශ්‍රීය ගැන ප්‍රසන්න වූ හ.
5 ඔහු ජොප්පා නම් ස්ථානය අල්ලාගෙන මුහුදේ දිවයින වෙත යනු පිණිස එය ඔහුගේ වරායක් කරගත්තේ ය.
6 ඔහුගේ ජාතියේ සීමාවන් පුළුල් කර ස්වදේශය පාලනය කරමින්
7 සිරකරුවන් හමුදාවක් එහි පදිංචි කරවී ය.
ඔහු ගේශෙර් බෙත්-ශූර් සහ නුවර බලකොටුව යටත් කරගෙන එහි වූ අපවිත්‍රකම් පහකරදැමී ය.
ඔහුට විරුද්ධ ව නැඟිටින්නට කිසිවෙකුට පුළුවන් වූයේ නැත.
8 සාමකාමී ව ඔහු රට වගා කෙළේ ය.
භූමිය ද පලදාව දුන්නේ ය.
තැනිතලාවේ ගස්කොළන් පලතුරු දුන්නේ ය.
9 මහල්ලෝ සුව සේ වීථියේ වාඩිගත්හ.
ඔවුන්ගේ කතාව වූයේ ස්වකීය සෞභාග්‍යය ගැන ම ය.
තරුණයෝ කදිම ඇඳුම් ලා ගත්හ;
සන්නාහ සන්නද්ධ වූ හ.
10 ඔහු නගරවලට ආහාර සපයා ඒවා බලකොටුවලින් ශක්තිමත් කෙළේ ය.
සිය යස ගොස ලෝ පුරා යන තෙක් ඔහු එසේ කෙළේ ය.
11 ඔහු රටෙහි සාමය තහවුරු කෙළේ ය.
ඉශ්රායෙල් ජනයා මහා ප්‍රීතියක් වින්දෝ ය.
12 සෑම කෙනෙකුට ම නිවී සැනසිල්ලේ සිටීමට මිදි වතු හා අත්තික්කා වතු තමන් සතු ව තිබිණි.
ඔවුන් බිය ගැන්වීමට කිසිවෙක් නොවූ හ.
13 ඔවුන්ට එදිරි ව යුද කිරීමට රටෙහි සතුරෙක් නො වී ය.
එකල රජවරු නැසී වැනසී ගියහ.
14 ඔහුගේ සෙනඟ අතර පහත් ජනයා ඔහු දිරි ගැන්වී ය.
ඔහු සෑම ද්‍රෝහියෙකු හා දුදෙනකු නෙරපා හැරියේ ය.
ව්‍යවස්ථාව පිළිපැදීමට ද ඔහු උත්සාහ කෙළේ ය.
15 දේව මාලිගාව ශුද්ධ බඳුන්වලින් පුරවා හරිමින් ඊට නව සිරියාවක් ගෙන දුන්නේ ය.

ගිවිසුම අලුත් කිරීම

16 රො‍්මයේ ද, කලකට පසු ව ස්පාර්ටාහි ද, ජොනතන් මියගිය බව සැළ වූ විට සෙනඟ කණගාටු වූ හ. 17 එහෙත් ඔහු වෙනුවට ඔහුගේ සහෝදර සීමොන්, නායක පූජකයා වශයෙන් ද රටේ සහ නුවරවල ස්වාමියා වශයෙන් ද පත් වූ බව ඔවුන් දැනගත් විට 18 ඔව්හු ඔවුන්ගේ සහෝදරයන් වූ ජූදස් සහ ජොනතන් සමඟ කරගත් මිත්‍රත්වයේ සහ සම්බන්ධතාවයේ ගිවිසුම අලුත් කරන පිණිස ලෝකඩ පුවරු මත ලියවිල්ලක් ලියා යැවූ හ. 19 ඒ ලියවිල්ල ජෙරුසලමේ සභාව ඉදිරිපිට ප්‍රසිද්ධියේ කියවන ලදී. 20 ස්පාටන්වරුන් ලියූ ලිපියේ පිටපත මෙසේ විය. ”සැරදේ වා! ස්පාර්ටාහි පාලකයන්ගෙන් ද නගර වැසියන්ගෙන් ද නායක පූජක සීමොන් හා ප්‍රජා මූලිකයන් ද ජුදා ජාතියේ ඉතිරි සෙනඟ ද වෙතට යි. 21 ඔබ විසින් අපේ සෙනඟ වෙත එවන ලද තානාපතීන් ඔබේ මහිමය හා ගෞරවය ගැන අපට දැන්වූ විට අපි ඔවුන්ගේ පැමිණීම ගැන ඉතා සතුටු වූයෙමු. 22 අපේ ප්‍රසිද්ධ සභා රැස්වීම් පිළිබඳ වාර්තාවල ඔවුන්ගේ කියමන් අපි සඳහන් කෙළෙමු. ඒවා පහත දැක්වේ. එනම්, ”ජුදෙව්වරුන්ගේ තානාපතීන් වන ඇන්ටිඕකස්ගේ පුත් නුමෙනියස් ද ජාසොන්ගේ පුත් ඇන්ටිපාතර් ද අප සමඟ ඇති මිත්‍රත්වය අලුත් කිරීමට අප වෙත පැමිණියහ. 23 මේ පුද්ගලයන් ගරුසම්මාන සහිත ව පිළිගැනීමත් ජාතික ලේඛනාගාරයේ ඔවුන්ගේ ලිපිවල පිටපත් තැන්පත් කිරීමත් ජනතාවගේ සතුට විය. මෙසේ කෙළේ ස්පාර්ටාවේ සෙනඟ අතර ඔවුන්ගේ වාර්තාවන් සුරක්ෂිත වන පිණිස ය. නායක පූජක සීමොන් සඳහාත් ඒවායේ පිටපතක් සෙනඟ සූදානම් කළහ.
24 ඉන්පසු සීමොන් ඔවුන් සමඟ ඇතිකරගත් මිත්‍රත්වය තහවුරු කරන පිණිස කිලෝග්‍රෑම් පන්සියයක් බර ඇති, විශාල රත්රන් පලිහක් නුමෙනියස් අත රො‍්මයට යැවී ය.

සීමොන්ට රාජකීය ගරුසම්මාන පිදීම

25 මේ සිද්ධීන් සෙනඟට දැනගන්නට ලැබුණු විට ඔව්හු කතා කොට, ”සීමොන් සහ ඔහුගේ පුත්‍රයන් අපි කෙසේ අගය කරමු ද? 26 ඔහු ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ අය ද ස්ථිර ව සිටියහ. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සතුරන් පරාජය කොට ඔවුන්ට නිදහස ලබා දුන්නේ ය”යි කී හ. එබැවින් ඔව්හු ලෝකඩ පුවරුවක් මත ලියවිල්ලක් සටහන් කොට එය සියොන් කන්දේ කුළුණු මත තැබූ හ. 27 ඒ ලියවිල්ල මෙසේ ය: ”උත්තම නායක පූජක සීමොන්ගේ තුන් වන අවුරුද්ද වන වර්ෂ එකසිය හැත්තෑ දෙකේ එලුල් මාසයේ දහ අට වන දින 28 අසරමෙල් නම් ස්ථානයේ දී පූජකයන්ගේ සහ සෙනඟගේ ද ජාතියේ නායකයන්ගේ සහ ප්‍රජා මූලිකයන්ගේ ද මහා සභා රැස්වීමේ දී අපට මෙසේ දන්වන ලදී.
29 ”රටේ විටින් විට සටන් තිබූ කාලයේ දී ජොවාරිබ්ගේ වංශයේ කුලදෙටුවෙකු වන මතතියස්ගේ පුත් සීමොන් සහ ඔහුගේ සහෝදරයෝ අනතුරුවලට මූණ පෑහ. තවද ඔව්හු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ සහ ව්‍යවස්ථාවේ ශුද්ධත්වය රකින පිණිස ජාතියේ සතුරන්ට විරුද්ධ ව නැඟිට ජාතියට විශිෂ්ට කීර්තියක් ලබා දුන්හ. 30 ජොනතන් ඔහුගේ ජාතිය එක්රැස් කොට ඔවුන්ගේ නායක පූජකයා වී ඉන්පසු මියගියේ ය. 31 රට වනසා ශුද්ධස්ථානය කොල්ලකන පිණිස දේශය ආක්‍රමණය කිරීමට සතුරො‍් පිළියෙළ කළහ. 32 එවිට සීමොන් ජාතිය උදෙසා සටන් කිරීමට පැමිණියේ ය. ජාතියේ යුද්ධ භටයින් සන්නාහ සන්නද්ධ කොට ඔවුන්ගේ පඩිනඩි ගෙවනු පිණිස ඔහු තමාගේ ම ධන සම්පතින් විශාල කොටසක් වැය කෙළේ ය. 33 ඔහු ජුදා නගර සහ එහි මායිම් පිහිටි බෙත්-ශූර් නුවර ශක්තිමත් කොට එහි ජුදෙව්වරුන්ගේ සේනාවක් සහිත බලකොටුවක් තැබී ය. සතුරන්ගේ යුද්ධායුධ ගබඩා කලින් වූයේ එම නගරවල ය. 34 ඔහු මුහුදුබඩ පිහිටි ජොප්පා නගරය ද සතුරන් පෙර කලෙක විසූ අසෝතස්හි මායිම් පිහිටි ගේශෙර් නගරය ද ශක්තිමත් කෙළේ ය. එහි ජුදෙව්වරුන්ගේ ජනපදයක් පිහිටුවා ඔවුන්ගේ දියුණුවට මුල් පියවරක් වශයෙන් අවශ්‍ය වුවමනාකම් සියල්ල ම ඔහු සැපයුවේ ය. 35 සීමොන්ගේ විශ්වාසයත් ජාතිය උදෙසා දිනාගැනීමට ඔහු අදිටන් කර තිබූ කීර්තියත් සෙනඟ දුටහ. ඔහුගේ මේ සියලු ධීර වීර ක්‍රියා නිසාත්, ජාතිය වෙනුවෙන් ඔහු පෙන්වූ සාධාරණකම සහ විශ්වාසවන්තකම නිසාත් ඔහුගේ සෙනඟගේ ගෞරවය උසස් කිරීමට ඔහු දැරූ සියලු ප්‍රයත්න නිසාත් සෙනඟ තමන්ගේ අධිපතියා සහ නායක පූජකයා ලෙස ඔහු පත් කළහ. 36 ඔහුගේ කාලයේ දී ඔහුගේ නායකත්වය යටතේ, ජෙරුසලමෙහි දාවිත්ගේ නුවර සිටි විජාතිකයෝ ද ඔවුන්ගේ රටේ සිටි විජාතිකයෝ ද නෙරපාදමනු ලැබූ හ. ශුද්ධස්ථානය අවට පිහිටි පෙදෙස් දූෂ්‍ය කිරීමට ද, එහි ශුද්ධවන්ත බව කෙලෙසීමට ද යනු පිණිස විජාතිකයන් විසින් එම නගරය තමන්ගේ ම ප්‍රයෝජනයට හරවාගෙන තිබිණි. 37 ඔහු එම නගරයෙහි ජුදෙව් යුද්ධ භටයන් පදිංචි කරවා රටටත් නුවරටත් ආරක්ෂාවක් වන පිණිස එය ශක්තිසම්පන්න කොට ජෙරුසලමේ පවුරු උස් කෙළේ ය. 38 මේ කරුණු නිසා දෙමෙත්‍රියස් රජ තම නායක පූජක නිලයෙහි ඔහු ස්ථිර කර 39 ඔහු රාජ මිත්‍රයෙකු බවට පත් කොට උසස් ගරුසම්මාන ඔහුට පිරිනැමී ය. 40 තවද රො‍්මවරුන් විසින් මිත්‍රයන්, සහායකයන් සහ සහෝදරයන් ලෙස ජුදෙව් ජාතිය සලකනු ලැබ තිබෙන බව ද සීමොන්ගේ තානාපතියන් ගෞරවයෙන් පිළිගනු ලැබූ බව ද 41 විශ්වාස කටයුතු දිවැසිවරයන් පහළ වන තෙක් සීමොන් ජුදෙව්වරුන්ගේ සහ පූජකයන්ගේ අධිපතියා හා නායක පූජක තැන වශයෙන් පිළිගැනීමට එකඟ වී තිබෙන බව ද දෙමෙත්‍රියස් රජුට සැළ වී තිබිණ. 42 තවද සීමොන් ජුදෙව්වරුන්ගේ කොමසාරිස්වරයා විය. ශුද්ධස්ථානය ගැන ද වැඩ කටයුතු පාලනය සඳහා නිලධාරීන් පත් කිරීම ගැන ද රට පාලනය කිරීම ගැන ද යුද්ධායුධ ගබඩා සහ බලකොටු මෙහෙයවීම ගැන ද වගකිව යුතු තැනැත්තා ඔහු විය.
43 ශුද්ධස්ථානය පිළිබඳ වගකීම ඔහු අතේ විය. ඔහුට කීකරු වීමට සියල්ලන්ට ම නියම ව තිබිණි. රටේ වූ රජයේ සියලු ම ලියකියවිලි ඔහුගේ නාමයෙන් ලියනු ලබන්නටත් නියම වී තිබිණි. රක්ත වර්ණ වස්ත්‍ර සහ රන් ආභරණ පැළඳීම ද ඔහුට නියම වී තිබිණි. 44 ජනතාවට හො‍් පූජකවරුන් අතරෙන් කිසිවෙකුට හො‍් මෙම ආගමික ආඥාවලින් නොහොත් නියෝගවලින් කිසිවක් කඩ කිරීමටත්, සීමොන්ගේ තීරණයක් වැරදි බව පෙන්වීමටත්, ඔහුගේ අවසර නැති ව රටේ කිසි ම තැනක රැස්වීමක් පැවැත්වීමටත්, රක්ත වර්ණ වස්ත්‍ර සහ රත්රන් උරහිස පළඳනාව පැළඳීමටත් අවසර නැති විය. 45 මෙකී දේවල් කඩ කරන හො‍් ප්‍රතික්ෂේප කරන හො‍් යමෙක් නීතිය අනුව වරදකරුවෝ වූ හ. 46 මෙකී තීරණයන් ගැන ක්‍රියා කරනු පිණිස සීමොන්ට අධිකාරි බලය පවරා දීමට සියල්ලෝ ම එකඟ වූ හ. 47 නායක පූජක පදවිය පිළිගෙන ඊට පත් වීමටත්, යුද්ධ කොමසාරිස්වරයා හැටියට ක්‍රියා කිරීමටත්, ජුදෙව්වරුන්ගේ හා ඔවුන්ගේ පූජකයන්ගේ වංශාධිපතියා හැටියට කටයුතු කිරීමටත් සියල්ලන් කෙරෙහි ආධිපත්‍යය පෑමටත් සීමොන් එකඟ විය.”
48 මෙකී නිවේදනය ලෝකඩ පුවරුවක කොටා දේව මාලිගාව අසල ප්‍රසිද්ධ ස්ථානයක තැබීමටත් එහි 49 පිටපතක් භාණ්ඩාගාරයෙහි තබා සීමොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට එය ලබා දීමටත් ඔව්හු නියම කළහ.

– 15 වන පරිච්ඡේදය –

හත් වන ඇන්ටිඕකස් රජු සීමොන්ගේ නම්බු නාම පිළිගැනීම

1 දෙමෙත්‍රියස් රජුගේ පුත් ඇන්ටිඕකස් විසින් මුහුදුබඩ දිවයින්වල සිට නායක පූජකවරයා හා ජුදෙව්වරුන්ගේ වංශාධිපතියා වන සීමොන්ට ද මුළු ජාතියට ද පහත දක්වන ලිපිය එවන ලදී. 2 ඒ ලිපිය මෙසේ විය:
”සැරදේ වා! ඇන්ටිඕකස් රජුගෙන් නායක පූජක හා වංශාධිපති වන සීමොන් ද මුළු ජුදා ජාතිය ද වෙතට යි. 3 සමහර කෛරාටිකයන් අපේ පියවරුන්ගේ රාජධානියේ පාලනය පැහැරගෙන තිබෙන බැවින් ද එය නැවත හිමි කරගෙන පෙර පැවති ලෙස පිහිටුවාලීමට මා යෝජනා කර තිබෙන බැවින් ද, මාගේ රාජධානියේ නගර වනසා නටබුන් කළ මිනිසුන්ට දඬුවම් කරනු පිණිස 4 ඒ රටෙහි හමුදාවක් ගොඩ බැස්වීමේ අටියෙන් මා ඉතා විශාල යුද්ධ හමුදාවක් පුහුණුකොට යුද්ධ නෞකා ද සූදානම් කර ඇත. 5 මට කලින් සිටි රජවරුන් ඔබට අනුග්‍රහය දක්වා සියලු ම අයබදුවලින් නිදහස් කිරීම ද ඔවුන් ඔබට දුන් යම් යම් වරප්‍රසාද ඇත්නම් ඒවා ද මම යළි අනුමත කරමි. 6 ඔබේ දේශය ඇතුළත නීතියෙන් වලංගු වන පරිදි ඔබට වුවමනා කාසි අච්චුගැසීමට ද මම ඔබට බලය දෙමි. 7 ජෙරුසලම හා ශුද්ධස්ථානය අයබදුවලින් නිදහස් බව මම ප්‍රකාශ කරමි. ඔබ තැනූ සියලු ම යුද්ධායුධ ද ඔබ ගොඩනඟා දැන් අයිති කරගෙන තිබෙන බලකොටු ද ඔබේ ම අයිතියේ පවතිනු ඇත. 8 දැන් පවතින හො‍් ඉදිරියට එන හො‍් රාජකීය භාණ්ඩාගාරයට ගෙවිය යුතු සියලු ම ණයවලින් මම ඔබ සදහට ම නිදහස් කරමි. 9 අපේ රාජධානිය අප නැවත හිමි කරගත් විට ඔබේ කීර්තිය මුළු ලෝකයට ම ප්‍රදර්ශනය කරනු පිණිස ඔබටත් ඔබේ ජාතියටත් දේව මාලිගාවටත් විශාල ගරුසම්මාන පිරිනමමි.”
10 වර්ෂ එකසිය හැත්තෑ හතරේ දී ඇන්ටිඕකස් ඔහුගේ පියවරුන්ගේ දේශයට විරුද්ධ ව යුද්ධ ව්‍යාපාරයක් මෙහෙය වී ය. සියලු ම යුද්ධ හමුදාවෝ ඔහුට එකතු වූ හ. ට්‍රිපෝ සමඟ ඉතිරි වූවෝ ස්වල්ප දෙනෙක් පමණක් වූ හ. 11 ඇන්ටිඕකස් ද තම බලය පැහැරගත් තැනැත්තා ලුහුබැඳ ගියේ ය. ඒ තැනැත්තා ද 12 තමා පිට කරදර රාශියක් ගොඩ ගැසෙන බවත් ඔහුගේ හමුදාවන් ඔහු අත්හැර ගිය බවත් තේරුම්ගෙන මුහුදු වෙරළේ පිහිටි ඩෝර් නම් නගරයෙහි සැඟවුණේ ය. 13 ඇන්ටිඕකස් ද එක්ලක්ෂ විසි දහසක් යුද්ධ භටයන් හා අට දහසක අශ්ව සේනාවක් සමඟ ඩෝර් නුවර ඉදිරියෙහි කඳවුරු බැන්දේ ය. 14 මුහුද හරහා යුද්ධ නෞකා එන විට ඔහු නගරය වටලෑවේ ය. මෙලෙස ගොඩින් ද මුහුදෙන් ද නගරයට පහර දුන් බැවින් කිසිවෙකුට ඇතුළට එන්න හො‍් පිටතට යන්න හො‍් නොහැකි විය.

රො‍්මය සමඟ මිත්‍රත්වය ප්‍රකාශ කිරීම

15 ඒ අතරතුරේ දී නොයෙක් රජවරුන්ට සහ රාජධානිවලට ලියුම් රැගෙන නුමෙතියස් සහ ඔහුගේ සහායකයෝ රො‍්මයෙන් පැමිණියහ. ඒ ලියුම්වල පහත දැක්වෙන කොන්දේසි සඳහන් වී තිබිණි.
16 ”සැරදේ වා! රො‍්මවරුන්ගේ තානාපති වන ලුසියස්ගෙන්, ටොලමි රජු වෙතට යි. 17 අපේ මිත්‍රයන් සහ සහායකයන් මෙන් නායක පූජක සීමොන්ගේ සහ ජුදෙව් සෙනඟගේ නාමයෙන් අපේ කලින් තිබූ මිත්‍රත්වය සහ සම්බන්ධකම අලුත් කරනු පිණිස ජුදෙව් තානාපතිවරු අප වෙත පැමිණ සිටිති. 18 කිලෝග්‍රෑම් පන්සියයක් බර, වටිනා රත්රන් පලිහක් ඔවුන් ගෙනවුත් ඇත. 19 එබැවින් ඔවුන්ට පීඩා නොකරන පිණිසත් ඔවුන්ට හො‍් ඔවුන්ගේ නගරවලට හො‍් රටට පහර නොදෙන පිණිසත් එවැනි සතුරන් සමඟ මිත්‍රකම් නොදක්වන පිණිසත් දැන්වීමට නොයෙක් රජවරුන්ට හා රාජධානිවලට ලියා යැවීමට තීරණය කර ඇත. 20 තවද ඔවුන්ගෙන් ඒ පලිහ පිළිගැනීමට ද අප තීරණය කර ඇත. 21 එබැවින් යම්කිසි කෛරාටිකයෙකු තම රටින් පැන අවුත් ඔබ අතර සැඟවී සිටීනම් නීතිප්‍රකාර ඔහුට දඬුවම් ලැබෙන පිණිස නායක පූජක සීමොන්ට ඔහු භාර දෙන්න.”
22 තානාපතිවරයා මේ ලිපිය දෙමෙත්‍රියස් රජු වෙත ද අට්ටලස් අරියරතිස් සහ අර්සාසේස් යන අය වෙත ද 23 සම්ප්සාමේස්, ස්පාටන්, දේලොස්, මින්දොස්, සිසිඔන්, කාරියා, සාමොස්, පෑම්පිලියා, ලිසියා, හලිකර්නාසස්, රො‍්දසය, පාසෙලිස්, කොස්, සීදෙ, අරාදස්, ගොර්තිනා, ක්නිදස්, සයිප්‍රස් සහ සයිරීන් ඇතුළු සියලු ම රාජධානිවලට ද යැවී ය. 24 නායක පූජක සීමොන් සඳහා පිටපතක් ද ඔව්හු සූදානම් කළහ.

හත් වන ඇන්ටිඕකස් සීමොන්ට තරවටු කිරීම

25 ඒ අතරතුරේ දී ඇන්ටිඕකස් තෙමේ ඩෝර් නගරයේ පිටතින් පිහිටි කඳවුරේ සිට නගරයට විරුද්ධ ව නිතර ම යුද්ධ සේනා යැවී ය. ඔහු නගර වටලන යුද්ධ යන්ත්‍ර තනා කිසිවෙකු ඇතුළට ඒම හො‍් පිටතට යෑම හො‍් වළක්වනු පිණිස ට්‍රිපෝ රජුට අවහිර කෙළේ ය. 26 සීමොන් ද යුද්ධයේ දී ඔහුට ආධාර කරනු පිණිස තෝරාගත් භටයන් දෙදහසක් ද රන් රිදී සහ විශාල බඩු තොගයක් ද යැවී ය. 27 එහෙත් ඇන්ටිඕකස් ඒවා නොපිළිගත්තේ ය. ඒ වෙනුවට සීමොන් සමඟ ඔහු කලින් කරගත් සියලු ම ගිවිසුම් ප්‍රතික්ෂේප කොට ඔහු වෙත තිබුණ ඔහුගේ ආකල්පය වෙනස් කෙළේ ය. 28 තවද ඔහු තමාගේ හිත මිත්‍රයා වන, අතෙනෝබියස්, සීමොන් මුණ ගැසී, සාකච්ඡා කරන පිණිස යැවී ය. එහි දී මෙසේ කියන ලෙස මොහුට දන්වන ලදී: ”ඔබ දැන් මාගේ රාජධානියේ නගර වන ජොප්පා ද ගේශෙර් ද ජෙරුසලම් බලකොටුව ද අයිති කරගෙන ඇත. 29 ඔබ ඒ ප්‍රදේශ වනසාදමා මාගේ රටට බොහෝ පීඩා කර ඇත; මාගේ රාජධානියට අයිති ස්ථාන ගණනාවක් අයිති කරගෙන ඇත. 30 දැන් ඉතින් ජුදා දේශයේ මායිම්වලට පිටින් ඔබ අල්ලාගත් පෙදෙස්වල ආදායම සමඟ ඔබ පැහැරගෙන තිබෙන නගර පාවාදෙන්න. නැතහොත් 31 ඔබ කළ විනාශයට ඒ නගර සඳහා වන්දි වශයෙන් රිදී කාසි පන්සියයක් ද නගරවල ආදායම වෙනුවෙන් තවත් රිදී කාසි පන්සියයක් ද මට ගෙවන්න. එසේ නැත්නම්, අපි පැමිණ ඔබට විරුද්ධ ව සටන් කරන්නෙමු.”
32 මේ පණිවුඩය රැගෙන රජුගේ මිත්‍රයෙකු වන අතෙනෝබියස් ජෙරුසලමට පැමිණ සීමොන්ගේ යසඉසුරු ද රන් රිදී ආලේප කොට නිම වන ලද අගනා භාණ්ඩ ආධාරකය ද එය අලංකාර ව පිළියෙළ කොට තිබූ ආකාරය ද දුටු විට තුෂ්ණීම්භූත විය. ඔහු රජුගේ පණිවුඩය භාර දුන් විට 33 සීමොන් මේ පිළිතුර දුන්නේ ය: ”අප අල්ලාගෙන ඇත්තේ විදේශීය රටක් නොවේ. අප පැහැරගෙන ඇත්තේ විදේශීය ධන සම්පත් නොව කලකට පෙර අපේ සතුරන් විසින් අපෙන් බලෙන් ගන්නා ලද අපේ පියවරුන්ගේ උරුම කොටස ය. 34 දැන් අපට හොඳ අවස්ථාවක් උදා වී ඇති බැවින් අප යළි ලබාගෙන ඇත්තේ අපේ පියවරුන්ගේ උරුම කොටස ය. 35 අපේ සෙනඟට මහත් සේ පීඩා කොට පිටිසර පළාත වැනසූ, ඔබ හිමිකම් කියන, නගර වන ජොප්පා සහ ගේශෙර් වෙනුවෙන් රිදී කාසි සියයක් දීමට අපි සූදානම් ව සිටිමු.”
36 මෙකී දේට උත්තර වශයෙන් වචනයක් වත් නොකියා තානාපති තැන කෝප වී රජු වෙත ආපසු ගොස් සීමොන්ගේ පිළිතුර ද ඔහුගේ යසඉසුරු ද ඔහු ගැන තමා දුටු සියල්ල ද රජුට දැන්විය. එවිට රජ ද කෝපාවිෂ්ට විය.

මුහුදුබඩ ආණ්ඩුකාරයා ජුදයාවට තදින් හිරිහැර කිරීම

37 ට්‍රිපෝ නැව් නැඟී ඔර්තෝසියා නුවරට පලාගියේ ය. 38 රජ ද මුහුදුබඩ පළාතේ යුද්ධ සේනාපති වශයෙන් සෙන්ඩෙබේයස් පත් කොට ඔහුට පාබළ හා අශ්ව සේනාවක් වෙන් කොට දුන්නේ ය. 39 ජුදා දේශයට මුහුණ ලා හමුදාව සිටුවන ලෙසත් කෙද්‍රොන් නුවර ශක්තිමත්කොට එහි දොරටුවලට ආරක්ෂක සංවිධාන සලසන ලෙසටත් සෙනඟට විරුද්ධ ව යුද්ධ කරන ලෙසටත් රජ තෙම ඔහුට අණ දුන්නේ ය. මෙසේ අණ දී රජ ට්‍රිපෝ ලුහුබැඳ ගියේ ය. 40 සෙන්ඩෙබේයස් තෙමේ ජම්නියා නුවරට පැමිණ ජුදා දේශය ආක්‍රමණය කොට සෙනඟ සිරගත කරමින් ද ඔවුන් ඝාතනය කරමින් ද ඔවුන්ට බොහෝ හිංසා පීඩා කරන්නට පටන්ගත්තේ ය. 41 ඔහු කෙද්‍රොන් නුවර ශක්තිමත් කොට රජු උපදෙස් දුන් පරිදි ජුදයාවේ මාර්ගවල මුර සංචාරයෙහි යෙදීමටත්, හදිසි සටන්වල යෙදීමටත් අශ්ව සේනා සහ යුද්ධ භටයන් එහි නවතා තැබී ය.

– 16 වන පරිච්ඡේදය –

සීමොන්ගේ පුත්‍රයන්ගේ ජයග්‍රහණය

1 එකල ජොහන් ගේශෙර් නුවරින් පිටත් වී ගොස් සෙන්ඩෙබේයස් කඩිනම් ව කරන දේ ගැන තම පියා වන සීමොන්ට සැළ කෙළේ ය. 2 එවිට සීමොන් තමාගේ වැඩිමහල් පුත්‍රයන් දෙදෙනා වන ජූදස් සහ ජොහන් කැඳවා ඔවුන්ට කතා කොට: ”අපේ තරුණවියේ පටන් අද දක්වා මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙවැසියෝත් මමත් ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කෙළෙමු. අප විසින් මෙහෙයවන ලද යුද්ධ ව්‍යාපාර සාර්ථක විය. බොහෝ වාරයක් අපි ඉශ්රායෙල් ජනතාවට විමුක්තිය ලබා දුනිමු. 3 එහෙත් මම දැන් මහල්ලෙක්මි. දේව කරුණාවෙන් ඔබ නම් මේරු තරුණ වියේ සිටින අය ය. මාගේ ද මාගේ සහෝදරයන්ගේ ද ස්ථානය ගෙන නික්ම ගොස් ජාතිය උදෙසා සටන් කරන්න. ස්වර්ගයේ පිහිට ඔබ සමඟ වේ වා!”යි කීවේ ය.
4 ඉන්පසු ඔහු සෙනඟ අතරෙන් විසි දාහක යුද්ධ භටයන් සහ අශ්ව සේනාවක් වෙන් කළ විට මොවුහු සෙන්ඩෙබේයස්ට විරුද්ධ ව සටනට ගොස් මොදෙයින් නුවර රාත්‍රිය ගත කළහ. 5 ඔවුන් අලුයමින් ම අවදි වී මිටියාවතට ගමන් කළ විට ඔවුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස පාබළ සේනා සහ අශ්ව සේනා සහිත අති විශාල යුද්ධ හමුදාවක් ආහ. එහෙත් දෙපක්ෂය අතර ඔයක් තිබුණේ ය. 6 සතුරු හමුදාවට මුහුණ ලා සටන් කරන පිණිස ජොහන් තම සෙනඟ නවතා ලූ නමුත්, සෙනඟ ඔය හරහා යාමට බියෙන් සිටි බව දුටු විට, ඔහු ම පළමුවෙන් ඔයෙන් එගොඩ වූයේ ය. මෙය දුටු ඔහුගේ සෙනඟ ද එයින් පසු ඔය තරණය කළහ. 7 සතුරාගේ අශ්ව සේනාව ඉතා විශාල වූ බැවින් ඔහු තමාගේ පාබළ සේනාව, අශ්ව සේනාව මැදි කොට දෙකොටසකට බෙදුවේ ය. 8 හොරණෑ පිම්බ විට සෙන්ඩෙබේයස් සහ ඔහුගේ හමුදාව පරදවා පලවා හරිනු ලැබූ හ. බොහෝ දෙනෙක් බිහිසුණු ලෙස තුවාළ වී වැටුණෝ ය. සෙස්සෝ බලකොටුවෙහි සැඟවුණහ. 9 ජොහන්ගේ සහෝදරයා වූ ජූදස් තුවාළ ලැබුවේ එවිට ය. එහෙත්, සෙන්ඩෙබේයස් ශක්තිමත් කර තිබුණු කෙද්‍රොන් දක්වා යන තෙක් ම ජොහන් සහ පිරිස ඔහු ලුහුබැඳ ගියහ. 10 ඔව්හු අසෝතස්හි ගම්බද පෙදසේහි වූ මුර අට්ටාල දක්වා පලා ගියහ. එවිට ජොහන් ඒවා ගිනිබත් කෙළේ ය. සතුරු හමුදාවෙන් දස දහසක් පමණ සෙනඟ මිය ගියහ. ජොහන් ද සුව සේ ජුදාවට හැරී ආයේ ය.

සීමොන්ගේ හදිසි මරණය

11 ජෙරිකෝ මිටියාවතෙහි යුද කොමසාරිස් වශයෙන් අබුබුස්ගේ පුත් ටොලමි පත් කර තිබුණි. රන් රිදී විශාල තොගයක් ඔහු සතු විය. 12 තවද ඔහු නායක පූජකතැනගේ බෑණා ද විය. 13 යශස්කාමයෙන් උද්දාම වී සිටි ඔහු මුළු දේශයෙහි ම අධිපතියා වීමේ බලාපොරොත්තුවෙන් යුතු ව සීමොන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ විනාශය ගැන කුමන්ත්‍රණ කරන්නට විය. 14 දේශයෙහි දිගට හරහට එහි නගර සෝදිසි කර බැලීමෙහි යෙදෙමින් ඒවායේ පාලන කටයුතුවල නිරත වූ සීමොන් ඔහුගේ පුත්‍රයන් වන මතතියස් සහ ජූදස් සමඟ වර්ෂ එකසිය හැත්තෑ හතේ, ෂෙබෙත් නම් එකොළොස් වන මාසයේ ජෙරිකෝ නුවරට පැමිණ සිටියේ ය. 15 අබුබුස්ගේ පුත්‍රයා ද තමා විසින් ඉදි කරවන ලද ඩොක් නමැති කුඩා බලකොටුවකට උපායකින් ඔවුන් ගෙන ගියේ ය. එහි මිනිසුන් සඟවා තබා, මෙසේ සීමොන් සහ ඔහුගේ පුත්‍රයන් එහි කැඳවාගෙන ගිය ඔහු එහි දී ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. 16 සීමොන් සහ ඔහුගේ පුත්‍රයන් වෙරිමත් වූ පසු ටොලමි ඔහුගේ මිනිසුන් සමඟ පැන අවුත් ඔවුන්ගේ අවිආයුධ පැහැරගෙන සීමොන් ද ඔහුගේ පුත්‍රයන් ද ඔහුගේ සේවකයන්ගෙන් සමහර දෙනෙකු ද එම භෝජන ශාලාව තුළ ම මරාදැමී ය. 17 මෙසේ ඔහු යහපත වෙනුවට අයහපතක් කරමින් මහා ද්‍රෝහි අපරාධයක් කෙළේ ය. 18 ඉන්පසු ටොලමි මේ කරුණු පිළිබඳ වාර්තාවක් රජු වෙත යැවූ විට තමාට ආධාර පිණිස බළ ඇණි එවා නගර සහ පළාත භාර දෙනු ඇත යන බලාපොරොත්තුවෙන් යුතු ව, රජු වෙත වාර්තාවක් ලියා යැවී ය. 19 තවද ඔහු ජොහන් මරා දමනු පිණිස ගේශෙර් නුවරට තවත් මිනිසුන් යවා, යුද සෙන්පතිට ද තමා වෙත පැමිණ රන් රිදී තෑගිබෝග ලබාගන්න ලෙස ලිපි මඟින් දන්වා හැරියේ ය. 20 ජෙරුසලම සහ දේව මාලිගා කන්දත් අයිති කරගන්න පිණිස ඔහු තවත් මිනිසුන් යැවී ය. 21 එහෙත් කෙනෙකු කඩිනම් වී ගේශෙර්හි සිටි ජොහන්ට පණිවුඩයක් යවමින්, ඔහුගේ පියාත්, සහෝදරයනුත් මරනු ලැබූ බව ද ජොහන් ද මැරීමට ටොලමි යම් අය එවන බව ද කියා කල් ඇති ව දන්වා තිබිණි. 22 ජොහන් මෙකී පුවතින් විස්මයට පත් විය; මිනීමැරීමේ අදහස ගැන ඔහු කලින් දැනගෙන සිටි බැවින්, තමා මරනු පිණිස පැමිණි ඒ මිනිසුන් අත්අඩංගුවට ගෙන ඔවුන් මරුමුවට පත් කෙළේ ය.
23 ජොහන්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සටන් ද ඔහු කළ වීර ක්‍රියා ද ගොඩනැඟුවාවූ නගර ප්‍රාකාර ද ඔහුගේ අනිත් සියලු ම දස්කම් ද 24 ඔහුගේ පියාගේ ඇවෑමෙන් නායක පූජක පදවියට පත් වූ දින සිට ඔහු ගෙනගිය පාලන කාලය පිළිබඳ පුරාවෘත්ත ග්‍රන්ථයන්හි වාර්තා කර තිබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s